පසුගිය 2026 ජූලි මාසය අවසන් වී තිබෙන්නේද ජංගම ගිණුමේ හිඟයක් වාර්තා කරමිනුයි. එම හිඟය ඩොලර් මිලියන 142.0ක්. එම මාසය එක දිගටම ජංගම ගිණුමේ හිඟයක් වාර්තා වූ සිවුවන මාසයයි. මේ වන විට වසරේ පළමු මාස හතක කාලය ඇතුළත, සමස්තයක් ලෙස, ඩොලර් මිලියන 387.4ක ජංගම ගිණුම් හිඟයක් වාර්තාවී තිබෙනවා.
Tuesday, September 1, 2026
ජංගම ගිණුම් ශේෂය - ජූලි 2026
පසුගිය 2026 ජූලි මාසය අවසන් වී තිබෙන්නේද ජංගම ගිණුමේ හිඟයක් වාර්තා කරමිනුයි. එම හිඟය ඩොලර් මිලියන 142.0ක්. එම මාසය එක දිගටම ජංගම ගිණුමේ හිඟයක් වාර්තා වූ සිවුවන මාසයයි. මේ වන විට වසරේ පළමු මාස හතක කාලය ඇතුළත, සමස්තයක් ලෙස, ඩොලර් මිලියන 387.4ක ජංගම ගිණුම් හිඟයක් වාර්තාවී තිබෙනවා.
Saturday, August 1, 2026
ජංගම ගිණුමේ දැන් තත්ත්වය
වසරේ දෙවන කාර්තුවේ මාස තුන තුළම ජංගම ගිණුමෙහි හිඟයන් වාර්තා වීමේ ප්‍රතිඵලයක් ලෙස වසරේ පළමු මාස හය අවසානයේදී ශ්‍රී ලංකාවේ විදේශීය ජංගම ගිණුමේ ඩොලර් මිලියන 245.4ක සමුච්ඡිත හිඟයක් වාර්තා වෙනවා.
කිසියම් කාලයක් තුළ, නැවත ආපසු ගෙවීමේ අවශ්‍යතාවයක් නොමැතිව, විදේශිකයන්ගෙන් රටට ලැබී ඇති සහ රටෙන් විදේශිකයින් වෙත යවා ඇති විදේශ අරමුදල් ජංගම ගිණුමෙහි සටහන් වෙනවා. පළමු මාස හයේ මෙසේ සටහන් වූ විදේශ ආදායම් හා වියදම් මෙසේ සාරාංශගත කළ හැකියි.
වසරේ පළමු මාස හය තුළ ජංගම ගිණුමට ලැබුණු විදේශ විණිමය:
අපනයන ආදායම් - ඩොලර් මිලියන 6,903.2
සේවා ආදායම් - ඩොලර් මිලියන 3,528.3
(මෙයින් ඩොලර් මිලියන 1,511.1ක් සංචාරක ආදායම්)
ප්‍රාථමික ආදායම් - ඩොලර් මිලියන 311.3
ද්වීතියික ආදායම් (ශ්‍රමික ප්‍රේෂණ) - ඩොලර් මිලියන 4,604.8
එකතුව - ඩොලර් මිලියන 15,347.6
වසරේ පළමු මාස හය තුළ ජංගම ගිණුමෙහි වැය:
ආනයන වියදම් - ඩොලර් මිලියන 12,392.3
(මෙයින් ඩොලර් මිලියන 3,168ක් ඉන්ධන ආනයන වන අතර වාහන ආනයන ඩොලර් මිලියන 1,254ක් පමණයි)
සේවා වියදම් - ඩොලර් මිලියන 1,929.7
ප්‍රාථමික වියදම් - ඩොලර් මිලියන 1,205.8
ද්වීතියික වියදම් - ඩොලර් මිලියන 70.0
එකතුව - ඩොලර් මිලියන 15,597.8
ජංගම ගිණුමේ හිඟය - ඩොලර් මිලියන 245.4
වසරේ දෙවන අර්ධය තුළ මෙම අයහපත් ප්‍රවණතාවය ආපසු හැරීමේ ඉඩක් ඇත්තේ වුවද, පසුගිය තෙවසර තුළ පැවති ආකාරයේ සැලකිය යුතු අතිරික්තයක් දැකිය හැකි වනු ඇති බවක් පෙනෙන්නට නැහැ. එයින් අදහස් වන්නේ මෙම වසර අවසන් වන විට රටේ නිල විදේශ සංචිතයේ ලොකු වෙනසක් සිදු වීමේ ඉඩක් නොමැති බවයි.
ලංකාවේ ජංගම ගිණුමෙහි 1956 වසරේ සිට 2022 දක්වා කාලය අතරතුර 1965 සහ 1977 යන දෙවසර තුළදී හැරුණු විට දිගින් දිගටම දැකිය හැකි වූයේ හිඟ තත්ත්වයක්. එහෙත්, 2022 ආර්ථික අර්බුදයෙන් පසුව මෙම තත්ත්වය ආපසු හරවා ගැනීමට හැකි වුනා.
ජංගම ගිණුමේ හිඟයක් ඇති විට ඊට සමානව රටේ විදේශ බැරකම් ඉහළ යනවා. දිගින් දිගටම ජංගම ගිණුම් හිඟයක් නඩත්තු වෙද්දී විදේශ බැරකම්ද දිගින් දිගටම ඉහළ යනවා. මෙය අවසාන වශයෙන් එම බැරකම් පියවිය නොහැකි තත්ත්වයකට පත් වී කෙළවර වීම අසාමාන්‍ය දෙයක් නෙමෙයි. 1965, 1977 මෙන්ම 2022දීද මෙම තත්ත්වය නිවැරදි වූයේ රුපියල එකවර විශාල ලෙස අවප්‍රමාණය වීමට ඉඩ හැරීමෙන් පසුවයි.
පසුගිය ආර්ථික අර්බුදයෙන් පසුව, එක දිගට වසර තුනක්ම ජංගම ගිණුමෙහි අතිරික්තයක් පවත්වා ගැනීමට හැකි වූ අතර එමගින් රටේ ශුද්ධ විදේශ බැරකම් වල සැලකිය යුතු අඩු වීමක් සිදු වුනත් මේ වන තුරුද බාහිර කම්පනයකට තනිව මුහුණ දිය හැකි මට්ටමකට රටේ නිල විදේශ සංචිත වර්ධනය වී නැහැ. දැනට මූල්‍ය අරමුදල සමඟ ඇති වැඩ සටහන අවසන් වනු ඇත්තේද මේ තත්ත්වයේ විශාල වෙනසක් නොමැතිවයි. එබැවින් දැනට පෙනෙන්නට තිබෙන්නේ මෙම වැඩසටහන අවසන් වෙද්දී මූල්‍ය අරමුදල සමඟ තවත් වැඩ සටහනකට යාමට සිදු වනු ඇති බවයි.
Friday, January 30, 2026
තෙවන වරටත් ජංගම ගිණුමේ අතිරික්තයක්!
පසුගිය (2025) වසර තුළ ශ්‍රී ලංකාවේ ජංගම ගිණුමෙහි ඩොලර් මිලියන 1,733.4ක අතිරික්තයක් වාර්තා වී තිබෙනවා. මේ අනුව, එක දිගට වසර තුනක්ම ශ්‍රී ලංකාවේ ජංගම ගිණුමෙහි අතිරික්තයක් වාර්තා වෙනවා.
1956 වසරෙන් පසුව, පසුගිය ආර්ථික අර්බුදය ඇති වන තුරු, ශ්‍රී ලංකාවේ ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා වූයේ දෙවසරකදී පමණයි. අනෙක් හැම වසරකදීම දැකගත හැකි වූයේ ජංගම ගිණුම් හිඟයක්.
ජංගම ගිණුමේ හිඟයක් ඇති විට එම හිඟය පියවෙන්නේ රටට පැමිණෙන විදේශ ප්‍රාග්ධනයෙන්. මේ විදේශ ප්‍රාග්ධනය බොහෝ විට විදේශ ණයයි. විදේශ ණය ප්‍රමාණය ඉහළ යන තරමට ඒ වෙනුවෙන් වාර්ෂිකව ගෙවිය යුතු පොලී වියදමද ජංගම ගිණුමට බරක් වී ජංගම ගිණුමේ හිඟය තවත් ඉහළ දමනවා.
ජංගම ගිණුමේ හිඟයක් යන්නෙන් අදහස් වන්නේ උපයන විදේශ විණිමය ප්‍රමාණය ඉක්මවා විදේශ විණිමය වැය කරනවා කියන එකයි. ඒ අනුව, ජංගම ගිණුමේ අතිරික්තයකින් පෙන්නුම් කරන්නේ ඉපැයූ විදේශ විණිමය වැය නොකර ඉතිරි කර ගැනීමක්.
කාලයක් ප්‍රචලිත කර තිබුණු අදහසක් වූයේ ලංකාවේ ජංගම ගිණුමේ හිඟයක් "පවතින" නිසා එම හිඟය පියවා ගැනීම සඳහා විදේශ ණය ගන්නට සිදු වන බවයි. අප විසින් පසුගිය කාලයේ දිගින් දිගටම පෙන්වා දුන්නේ එය එසේ නොවන බව සහ විදේශ ණය ගන්නා නිසාම ජංගම ගිණුමේ හිඟයක් පවතින බවයි. පසුගිය වසර දෙස බලද්දී අප විසින් පෙන්වා දුන් කරුණ ඉතා හොඳින් සනාථ වී තිබෙනවා.
මෙහිදී පසුගිය වසර ගැන විශේෂයෙන් සඳහන් කළේ පසුගිය වසරේදී ආනයන සිදු කිරීම බාධාවකින් තොරව සිදු වූ නිසයි. නිදහසේ වාහන ඇතුළු ආනයන සිදු කළද රටේ කිසිදු විදේශ විණිමය හිඟයක් ඇති වූයේ නැහැ. ජංගම ගිණුමේ හිඟයක් ඇති වූයේත් නැහැ. රජය විසින් විදේශ ණය ලබා ගෙන වෙළඳපොළට විදේශ විණිමය පොම්ප කරන්නේ නැත්නම් විදේශ විණිමය ඉල්ලුම හා සැපයුම වෙළඳපොළ තුල තුලනය වෙනවා.
මහ බැංකුව විසින් මැදිහත් වී වෙළඳපොළෙන් විදේශ විණිමය මිල දී ගැනීම මගින් ජංගම ගිණුමේ අතිරික්තයක් පවත්වා ගන්න පුළුවන්. එවිට ඉතිරි වන විදේශ විණිමය ප්‍රමාණය හා විදේශ විණිමය ඉල්ලුම තුලනය වී රටේ විදේශ විණිමය යම් ප්‍රමාණයක් ඉතිරි වෙනවා. විණිමය අනුපාතය නිදහසේ තීරණය වීමට ඉඩ හරින්නේනම් රටේ විදේශ විණිමය හිඟයක් ඇති වන්නේ නැහැ.
පසුගිය දශක ගණනාවක් පුරාම මෙවැන්නක් කළ නොහැකි වූයේ රජයේ අයවැය හිඟය පියවා ගැනීම පිණිස විදේශ ණය යොදා ගත් නිසා. රජයේ බදු ආදායම් ඉහළ නංවා ගැනීමෙන් පසුව මේ තත්වය වෙනස් වී තිබෙනවා.
වසර තුළ ජංගම ගිණුමට ලැබුණු විදේශ විණිමය:
අපනයන ආදායම් - ඩොලර් මිලියන 13,581.4
සේවා ආදායම් - ඩොලර් මිලියන 7,065.7
(මෙයින් ඩොලර් මිලියන 3,219.2ක් සංචාරක ආදායම්)
ප්‍රාථමික ආදායම් - ඩොලර් මිලියන 621.2
ද්වීතියික ආදායම් (ශ්‍රමික ප්‍රේෂණ) - ඩොලර් මිලියන 8,076.2
එකතුව - ඩොලර් මිලියන 29,344.5
වසර තුළ ජංගම ගිණුමෙහි වැය:
ආනයන වියදම් - ඩොලර් මිලියන 21,479.9
සේවා වියදම් - ඩොලර් මිලියන 3,358.5
ප්‍රාථමික වියදම් - ඩොලර් මිලියන 2,645.5
ද්වීතියික වියදම් - ඩොලර් මිලියන 130.4
එකතුව - ඩොලර් මිලියන 27,614.3
Wednesday, December 31, 2025
උද්ධමනය හා ජංගම ගිණුම
කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව, දෙසැම්බර් මාසයේ උද්ධමනය 2.1%ක් ලෙස වාර්තා වෙනවා. ඔක්තෝබර් හා නොවැම්බර් මාස වලදීද උද්ධමනය පැවතුනේ 2.1% ලෙසයි. ඒ අනුව, වසරේ අවසන් කාර්තුවේ සාමාන්‍ය අගයද 2.1%ක්. මේ අනුව, සුළි කුණාටුවේ බලපෑමෙන් පසුවද, උද්ධමනය තවමත් මහ බැංකුවේ ඉලක්ක පරාසයේ අවම සීමාව වන 3%ට වඩා අඩු අගයක්.
සුළි කුණාටුවේ බලපෑම නිසා ආහාර මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබුණද, උද්ධමනයෙහි වෙනසක් නොවීමට ප්‍රධාන හේතු දෙකක් බලපා තිබෙනවා. එයින් පළමුවැන්න වන්නේ ආහාර මිල ගණන් දෙසැම්බර් මාසය තුළ 3.9%කින් ඉහළ ගොස් තිබුණද, ආහාර නොවන පාරිභෝගික භාණ්ඩ වල මිල මාසය තුළ සමස්තයක් ලෙස නොවෙනස්ව තිබීමයි. දෙවන හේතුව වන්නේ පසුගිය 2024 දෙසැම්බර් මාසයේදීද ආහාර මිල ගණන් 3.9%කින් ඉහළ යාමයි. උද්ධමනය ගණනය කරන්නේ පෙර වසරේ අදාළ මාසයට සාපේක්ෂව බැවින්, මෙම දෙසැම්බර් මාසය තුළ ආහාර මිල ඉහළ යාමේ බලපෑමද නිශේධනය වී තිබෙනවා. ඒ අනුව, දෙසැම්බර් මාසයේ උද්ධමනය නොවැම්බර් මාසයේ පැවති මට්ටමේම නැවතී තිබෙනවා.
මේ අනුව පෙනී යන්නේ සුළි කුණාටුවේ බලපෑමෙන් පසුව වුවද උද්ධමනය ප්‍රශ්නකාරී මට්ටමකට ඉහළ යාමේ ඉඩක් පෙනෙන්නට නොමැති බවයි. කෙටිකාලීනව එවැනි ප්‍රශ්නයක් නැතත්, මුදල් සැපයුම ප්‍රසාරණය වෙමින් පවතින ආකාරය අනුව, මහ බැංකුවට උද්ධමන අවදානම ගැනද සැලකිල්ලෙන් සිටීමට සිදු වෙනවා. මේ ගැන පසුව වෙනම ලිපියක කතා කරමු.
තවත් යහපත් ප්‍රවණතාවක් වන්නේ මාස දෙකක් එක දිගටම සෘණ අතට හැරී තිබුණු ජංගම ගිණුමේ ශේෂය නැවතත් ධන අතට හැරී තිබීමයි. නොවැම්බර් මාසය තුල ජංගම ගිණුමෙහි ඩොලර් මිලියන 82ක අතිරික්තයක් වාර්තා වී තිබෙනවා. මේ අනුව, ජංගම ගිණුමේ නොවැම්බර් දක්වා මාස එකොළහක ශේෂය ඩොලර් මිලියන 1,677.7 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
වාහන ආනයන වෙනුවෙන් නොවැම්බර් මාසය තුළ ඩොලර් මිලියන 281ක් වැය වී ඇති අතර, වසරේ පළමු මාස එකොළහක කාලය ඇතුළත ඩොලර් මිලියන 1,746ක් වැය වී තිබෙනවා. ඒ අනුව පෙනී යන්නේ වසරේ වාහන ආනයන වියදම ඩොලර් බිලියන දෙක ඉක්මවා යා හැකි බවයි. මුලින් ඇස්තමේන්තු කර තිබුණේ වාහන ආනයන වෙනුවෙන් ඩොලර් බිලියනයක් පමණ අවශ්‍ය වනු ඇති බවයි.
විදේශ අංශය, විශේෂයෙන්ම විදේශ සංචිත, මුලින් අපේක්ෂා කළ ඉලක්ක වලට සාපේක්ෂව අයහපත් මට්ටමක තිබීමටත්, රාජ්‍ය ආදායම් මුලින් සිදු කළ ඇස්තමේන්තු සැලකිය යුතු ලෙස ඉක්මවා යාමටත් හේතු වී තිබෙන්නේ මේ අයුරින් වාහන ආනයන සැලකිය යුතු ලෙස ඉහළ යාමයි. ඉදිරි වසර තුළ වාහන ආනයන සාමාන්‍ය මට්ටමක් දක්වා අඩු වෙද්දී රාජ්‍ය ආදායම් කෙරෙහි වූ සාධනීය බලපෑම මෙන්ම විදේශ අංශය කෙරෙහි වූ නිශේධනීය බලපෑමද ආපසු හැරීමට නියමිතයි.
වසර අවසාන වීමට තවත් දින දෙකක් තිබියදී සංචාරක පැමිණීම් ප්‍රමාණය 2,344,978ක් ලෙස වාර්තා වෙනවා. මෙම ගණන මෙතෙක් වසරකදී වාර්තා වී ඇති වැඩිම සංචාරකයින් ප්‍රමාණයයි. නොවැම්බර් මාසය තුල සංචාරකයින් 212,906 දෙනෙකු රටට පැමිණ ඇති අතර පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී රටට පැමිණ තිබෙන්නේ සංචාරකයින් 184,158 දෙනෙකු පමණයි. සංචාරකයින් ප්‍රමාණයේ මෙවැනි වර්ධනයක් දැකිය හැකි වුවද, එමගින් පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී ලැබුණු ඩොලර් මිලියන 272.9ක මුදලට සාපේක්ෂව, පසුගිය නොවැම්බර් මාසය තුළ ලැබී තිබෙන්නේ ඩොලර් මිලියන 251.6ක් පමණයි. දෙසැම්බර් මාසයේ තත්ත්වයද බොහෝ විට මෙවැන්නක් විය හැකියි.
සංචාරක ආදායම් වල පමණක් නොව මුහුදු හා ගුවන් ප්‍රවාහන සේවා සහ පරිගණක සේවා සැපයීම් වැනි අනෙකුත් සේවා ආදායම් වලද පසුගිය වසරේ නොවැම්බර් මාසයට සාපේක්ෂව අඩුවක් දකින්නට පුළුවන්. එසේ තිබියදී වුවද, ශ්‍රමික ප්‍රේෂණ සැලකිය යුතු ඉහළ යාම සහ භාණ්ඩ අපනයන ආදායම් ඉහළ යාම ජංගම ගිණුමේ ශේෂය නැවතත් ධන අතට හැරවීමට උදවු කර තිබෙනවා.
පසු ගිය ආර්ථික අර්බුදයට පෙර පැවති තත්ත්වයට සාපේක්ෂව දැනට සිදුවන ප්‍රධානම සහ වැදගත්ම වෙනස වන්නේ ඉල්ලුම හා සැපයුම අනුව ඩොලරයක මිල ඉහළ යාමට බාධා නොකරමින් ජංගම ගිණුමේ තුලනය පවත්වා ගැනීමයි. එය දිගටම එලෙස සිදු වන්නේනම් විදේශ අංශයේ අර්බුදයක් ඇති වීමට හේතුවක් නැහැ.
ඉදිරි වසරේදී නැවත හමු වෙමු. අප හා රැඳී සිටින ඔබ සැමට සුබ නව වසරක්!
Thursday, December 4, 2025
ආපදාවෙන් පසු විදේශ අංශය
අප බොහෝ දෙනෙකුට මතක තිබෙන ඉතිහාසය තුළ ලංකාවට මුහුණ දීමට සිදු වූ ලොකුම ස්වභාවික ආපදාව සුනාමියයි. සුනාමිය ජීවිත 35,000ක් පමණ බිලි ගත්තා. පසුගිය සුළි කුණාටුව සුනාමියෙන් පසුව ලංකාවට මුහුණ දීමට සිදු වූ ලොකුම ස්වභාවික ආපදාවයි. සුළි කුණාටුව විසින් බිලිගෙන ඇති, දැනට වාර්තා වී ඇති මරණ ප්‍රමාණය 500කට ආසන්න වන අතර අවසන් ගණනයේදී මෙම ගණනට තවත් මරණ සිය ගණනක් එකතු විය හැකියි.
අහිමි වූ ජීවිත ගණන පිළිබඳව සලකන්නේනම් සුනාමියේ හානියේ මෙම සුළි කුණාටුවේ හානිය හා කිසිසේත්ම සැසඳිය නොහැකි වුවත්, ජීවිත හානිය දෙස නොබලා දේපොළ හානිය දෙස පමණක් බලන්නේනම්, සුළි කුණාටුවේ හානිය සුනාමියෙන් සිදු වූ දේපොළ හානියටද වඩා වැඩි හානියක් විය හැකියි. මෙම දේපොළ හානිය ආර්ථිකයේ සියලු අංශ කෙරෙහි දැනෙන බලපෑමක් කරන බව පැහැදිලියි.
සුළි කුණාටුව අතර මහ බැංකුව විසින් ඔක්තෝබර් මාසයේ විදේශ අංශයේ තත්ත්වය පිළිබඳ සංඛ්‍යාලේඛණ ප්‍රකාශයට පත් කර තිබුණා. එම සංඛ්‍යාලේඛණ අනුව එම මාසය තුළ ජංගම ගිණුමෙහි ඩොලර් මිලියන 200ක හිඟයක් වාර්තා වී තිබුණා. ඊට පෙර සැප්තැම්බර් මාසය තුළද ජංගම ගිණුමෙහි ඩොලර් මිලියන 183ක හිඟයක් වාර්තා වුනා. ඒ වසරේ පළමු මාස අට තුළ එක දිගටම ජංගම ගිණුම් අතිරික්තයක් වාර්තා වීමෙන් පසුවයි.
අගෝස්තු මාසය අවසන් වන විට ජංගම ගිණුමෙහි ඩොලර් මිලියන 2,039.5ක සමුච්ඡිත අතිරික්තයක් දැකිය හැකිව තිබුණත්, පිට පිටම දෙමසක් හිඟයන් වාර්තා වීමෙන් පසුව, ඔක්තෝබර් අවසානය වන විට එම අතිරික්තය ඩොලර් මිලියන 1,657.4 දක්වා පහත වැටී තිබුණා. පැවති ප්‍රවණතා අනුව, නොවැම්බර් මාසය තුළ මෙම අතිරික්තය තව දුරටත් අඩු වී තිබෙන්නට ඉඩ තිබෙනවා. සුළි කුණාටුවේ බලපෑම නිසා යම් වෙනසක් සිදු විය හැකි වුවත්, එතෙක් අපේක්ෂා කළ හැකිව තිබුණේ දෙසැම්බර් මාසය තුළද මෙම ප්‍රවණතාවය තව දුරටත් එලෙසම පැවතීමයි.
නොවැම්බර් මාසය අවසන් වන විට ලංකාවට සංචාරකයින් 2,103,593 දෙනෙකු පැමිණ තිබුණා. මීට පෙර ලංකාවට සංචාරකයින් වැඩිම ප්‍රමාණයක් පැමිණියේ 2018 වසරේදීයි. එම ප්‍රමාණය 2,333,796ක්. ආපදා බලපෑම හමුවේ වුවද, මෙම වසර අවසන් වන විට වසරක් තුළ ලංකාවට පැමිණි වැඩිම සංචාරකයින් ගණන වාර්තා විය හැකියි. එම ප්‍රමාණය රජයේ ඉලක්ක හා ඇස්තමේන්තු වලට වඩා බෙහෙවින්ම අඩු විය හැකි බව වෙනම කරුණක්.
ආර්ථිකය හා අදාළව වඩා වැදගත් වන්නේ රටට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය නොව ඔවුන් හරහා රටට ලැබෙන විදේශ විණිමය ප්‍රමාණයයි. 2018 වසරේදී සංචාරක කර්මාන්තය තුළින් ඩොලර් මිලියන 4,380.6ක විදේශ විණිමය ප්‍රමාණයක් රටට ලැබුණා. එහෙත් මෙම වසරේ ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ සංචාරක කර්මාන්තයෙන් ලැබී තිබුණේ ඩොලර් මිලියන 2,659.0ක මුදලක් පමණක් බැවින් වසර අවසානයේදී මෙම ආදායම 2018 මට්ටම ආසන්නයට යාමේ ඉඩක් නැහැ. ආපදා තත්ත්වය හේතුවෙන් මෙම ආදායම කෙරෙහි තව දුරටත් නිශේධනීය බලපෑමක් සිදු විය හැකියි.
සංචාරක ආදායම් පිළිබඳ තත්ත්වය එසේ වුවද, මෙම වසර තුළ ශ්‍රමික ප්‍රේෂණ ලැබීම් වල සැලකිය යුතු වැඩිවීමක් දකින්නට ලැබෙනවා. ආපදා තත්ත්වය හමුවේ දෙසැම්බර් මාසය තුළ ශ්‍රමික ප්‍රේෂණ ලැබීම් වල සැලකිය යුතු ඉහළ යාමක් අපේක්ෂා කළ හැකි බැවින් එමගින් සංචාරක කර්මාන්තයේ ආදායම් අඩු වීම පහසුවෙන්ම නිශේධනය විය හැකියි. කෙසේ වුවද, සංචාරක කර්මාන්තයේ බලපෑම තිබෙන්නේ විදේශ අංශයට පමණක් නෙමෙයි. මූර්ත අංශයටද, එනම් ආර්ථික වර්ධනයටද, එහි බලපෑමක් තිබෙනවා.
මෙම වසරේ පළමු කාර්තු දෙක තුළ ශක්තිමත් ආර්ථික වර්ධන වේගයක් දැකිය හැකි වූ අතර, තවමත් ඇස්තමේන්තු පිළියෙල කර නැතත්, තෙවන කාර්තුව තුළද සාපේක්ෂව හොඳ ආර්ථික වර්ධන වේගයක් දැකිය හැකි ලකුණු පෙනෙන්නට තිබුණා. එහෙත්, ආපදා තත්ත්වයට පෙර වුවද, සිවුවන කාර්තුව තුල ආර්ථික වර්ධන වේගය අඩු වන ලකුණු දැකිය හැකිව තිබුණා. ආපදා බලපෑම හේතුවෙන් සිවුවන කාර්තුවේ ආර්ථික වර්ධන වේගය තව දුරටත් අඩු විය හැකියි.
සුළි කුණාටුවේ බලපෑම පැවතුණේ සතියක පමණක කාලයක් වුවද, එහි ආර්ථික බලපෑම මාස හයක පමණ කාලයක් පැවතිය හැකියි. ඒ අනුව, මෙම වසරේ අවසන් කාර්තුවේ සහ ලබන වසරේ මුල් කාර්තුවේ ආර්ථික වර්ධන වේග කලින් හිතුවාට වඩා අඩු වෙන්න පුළුවන්.
කෙසේ වුවත්, මෙවැනි ස්වභාවික ආපදාවකින් රටක දිගුකාලීන ආර්ථික වර්ධන වේගය කෙරෙහි බලපෑමක් කරන්නේ නැහැ. ඒ නිසා, සමස්තයක් ලෙස ඉදිරි වසරේ ආර්ථික වර්ධන වේගය ලොකුවට වෙනස් වෙන එකක් නැහැ. 2026 පළමු කාර්තුවේ ආර්ථික වර්ධන වේගය අඩු වුවත්, 2025 අවසන් කාර්තුවේ වර්ධන වේගය අඩු වීම යථා තත්ත්වයට පත් වෙද්දී 2026 අවසන් කාර්තුවේ වර්ධන වේගය ඊට අනුරූපව ඉහළ ගොස් එහි බලපෑම නිශේධනය වෙයි. ඒ නිසා, මෙම වසරේදී 4.0%ක පමණ ආර්ථික වර්ධන වේගයක් සහ ඉදිරි වසරේදී 3.5%ක පමණ ආර්ථික වර්ධන වේගයක් තව දුරටත් අපේක්ෂා කරන්න පුළුවන්.
ආපදාව හේතුවෙන් ධීවර ඇතුළු කෘෂිකාර්මික අංශයේ නිෂ්පාදිතය විශාල ලෙස අඩු වෙන්න පුළුවන්. ඊට අමතරව කර්මාන්ත හා සේවා අංශ වලටද බලපෑමක් සිදු වෙන බව පැහැදිලියි. කෙසේ වුවත්, පෙර සඳහන් කළ පරිදි, මේ බලපෑම් සියල්ල කෙටිකාලීනයි.
නොවැම්බර් මාසයේ උද්ධමන ප්‍රවණතාව දෙස බැලූ විට පෙනී යන්නේ ආපදාවට පෙරද ආර්ථික ක්‍රියාකාරිත්වය මන්දගාමී වෙමින් පැවති බවයි. මෙයට ආපදාවේ බලපෑම එකතු වූ විට, විදේශ අංශය හා අදාළ ආනයන හා අපනයන ආදියේද තාවකාලික අඩුවීමක් අපේක්ෂා කරන්න පුළුවන්. ජංගම ගිණුම් ශේෂය සෘණ අතට හැරී ඇති තත්ත්වයක් තුළ, විදේශ අංශයේ ක්‍රියාකාරකම් සමස්තයක් ලෙස අඩු වෙද්දී එයින් සිදු වන්නේ ජංගම ගිණුම් හිඟයද අඩු වීමයි. ආර්ථික ක්‍රියාකාරකම් අඩු වීම සමස්තයක් ලෙස නරක තත්ත්වයක් වුවත්, විදේශ අංශය හා අදාළව එහි බලපෑම නරක එකක් නෙමෙයි. මෙම තත්ත්වය තුළ රටට ලැබෙන ප්‍රේෂණ වල සැලකිය යුතු ඉහළ යාමක්ද අපේක්ෂා කළ හැකි බැවින් ඇතැම් විට පැවති ප්‍රවණතාව වෙනස් වී දෙසැම්බර් මාසය තුළ ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා වෙන්න වුනත් ඉඩ තිබෙනවා.
මේ ආණ්ඩුවට හා ආණ්ඩු පක්ෂයට හිතවත් බොහෝ දෙනෙකු මෙම ස්වභාවික විපත රටේ (හා බලයේ සිටින පක්ෂයේ) වාසියට හරවා ගත හැකි තත්ත්වයක් සේ දකින බවක්ද පෙනී යනවා. එහි පදනම සුනාමියෙන් පසුව රටට ලැබුණු විශාල විදේශාධාර ප්‍රමාණයයි.
විදේශාධාර එකතු කරගැනීමේ අරමුණ පෙරදැරිව ආණ්ඩු පක්ෂය විසින් ලෝකය පුරාම සංවිධානාත්මක මෙහෙයුමක් සිදු කරමින් සිටින බවක්ද පෙනෙනවා. මේ ආණ්ඩුවේ ඉන්නේ, අනෙක් දේවල් කෙසේ වුවත්, කැට හෙල්ලීම පිළිබඳව විශේෂ ප්‍රාගුණ්‍යයයක් ඇති පිරිසක්. කෙසේ වුවද, අපට කිව හැක්කේ, මෙවැනි සංවිධානාත්මක මෙහෙයුමකින් පසුව වුවද, සුනාමියේදී ලැබුණු මට්ටමේ විදේශාධාර රටට ලැබෙන්නේ නැති බවයි.
සුනාමි ආධාර ගලා ඒමට හේතු වූයේ එම ස්වභාවික ආපදාව නිසා අහිමි වූ විශාල ජීවිත ප්‍රමාණයයි. මරණ ප්‍රමාණය තවත් එක් සංඛ්‍යාලේඛණයක් සේ සැලකීම බොහෝ දෙනෙකුට අප්‍රසන්න දෙයක් විය හැකි වුවත්, මෙම ආපදාව හා අදාළ තිත්ත ඇත්ත වන්නේ සිය ගණනින් ගැනෙන මරණ ප්‍රමාණයක කම්පනය මරණ දස දහස් ගණනක කම්පනයකට වඩා බෙහෙවින්ම අඩු බවයි. එමෙන්ම, මෙම මරණ වලක්වා ගත හැකිව තිබුණු මරණ බවට ආණ්ඩුවට එල්ල වූ චෝදනාව හමුවේ ආණ්ඩුව සහ ආණ්ඩුවේ හිතවතුන් විසින් හානිය අවතක්සේරු කිරීමට ගත් උත්සාහයන් හේතුවෙන් සිදු වූයේද ආපදාව නිසා ඇති විය හැකිව තිබුණු කම්පනය තව දුරටත් අඩු වීමයි.
ආපදා තත්ත්වයක් හමුවේ ලෝකයෙන් ආධාර ඉල්ලීම සෑම රටක් විසින්ම කරන දෙයක් නෙමෙයි. ඇතැම් රටවල් මෙවැන්නක් සලකන්නේ රටේ ජාතික අභිමානයට බලපාන කරුණක් ලෙසයි. ඒ වගේම, රජය විසින් රටක ආපදාවක් හා ආපදා ආධාර ලෙස ලැබෙන අරමුදල් හොඳින් කළමනාකරණය කිරීම හේතුවෙන් එම රටට ලැබෙන ආධාර ඉහළ යාමක් සිදු වෙන්නේ නැහැ. ඇත්තටම සිදු වන්නේ එහි අනෙක් පැත්තයි. කිසියම් රටක රජයෙන් එම කටයුතු නිසියාකාරව සිදු නොවෙද්දී එම රටේ ජනතාව කෙරෙහි වෙනත් රටවල මිනිසුන් තුළ ඇති වන සහකම්පනය ඉහළ යනවා. මේ සියලු හේතු නිසා මෙම ආපදාව පෙන්වා විදේශාධාර ලබා ගැනීමට උත්සාහ කිරීමේ ආණ්ඩුවේ හා ආණ්ඩු පක්ෂයේ අභිප්‍රාය සහ ඒ සඳහා යොදා ගන්නා ක්‍රමෝපායයන් අතර පැහැදිලි ප්‍රති විරෝධයක් තිබෙනවා.
ලෝකය පුරා සිදු කරන සංවිධානාත්මක මෙහෙයුමක් මගින් වැඩි පිරිසකගෙන් කීය කීය හෝ එකතු කර ගන්න පුළුවන්. එහෙත් සතෙන් සතෙන් එකතු කර ධනවතෙකු වීම වෙළඳ දැන්වීම් වලින් පිට ප්‍රායෝගික ලෝකය තුළ කිරීමට අසීරු දෙයක්. මෙම ආපදාව හමුවේ ඩොලර් බිලියන් ගණන් වලින් විදේශාධාර ලංකාවට ලැබෙන එකක් නැහැ. දැනට ලැබෙන ආධාර ගැන බොහෝ විට කියැවෙන්නේ වැඩිම වුනොත් ඩොලර් මිලියනයකට තරමක් වැඩි ගණන් වලිනුයි. ඒ නිසා, බොහෝ විට මෙම ආපදාව හමුවේ රටට අමතරව ලැබෙනු ඇත්තේ ඩොලර් මිලියන සිය ගණන් වලින් කියැවෙන ගණනක්. මාසයකට ඩොලර් මිලියන දෙසීයක ජංගම ගිණුම් හිඟයක් ඇති රටක ආර්ථිකයට එයින් විශාල බලපෑමක් වෙන්නේ නැහැ.
නොවැම්බර් මාසය අවසානයේදී රටේ නිල විදේශ සංචිතය පිළිබඳ තොරතුරු මහ බැංකුව විසින් මේ වන විටද ප්‍රසිද්ධ කර නැහැ. එම ප්‍රමාණය බොහෝ විට ඔක්තෝබර් මාසය අවසානයේදී පැවති ඩොලර් බිලියන 6.2 ආසන්නයේම තිබෙනවා විය හැකියි. කෙසේ වුවද, තවත් දෙසතියකින් ලංකාවට මූල්‍ය අරමුදලේ ඊළඟ වාරිකය ලැබීමට නියමිතව ඇති අතර මෙම මාසය තුළ අනෙකුත් ජාත්‍යන්තර ආයතන වලින්ද යම් ණය ප්‍රමාණයක් ලැබීමට නියමිතව තිබෙනවා. ඊට අමතරව, ශ්‍රී ලංකා රජය විසින් ඩොලර් බැඳුම්කර විකුණා දේශීය වෙළඳපොළෙන් ඩොලර් මිලියන 50ක මුදලක් ලබා ගැනීමට සමත්ව තිබෙනවා. මෙම ලැබීම් වලට, ආපදාව හමුවේ ලැබෙන යම් විදේශ ප්‍රේෂණ ප්‍රමාණයක් එකතු වීම නිසා දෙසැම්බර් මාසය තුළ රටේ දළ නිල සංචිත වල සැලකිය යුතු වැඩි වීමක් සිදු වෙන්න පුළුවන්.
පහත වගුවේ තිබෙන්නේ ඩොලර් බැඳුම්කර වෙන්දේසිය හා අදාළ සංඛ්‍යාලේඛණයි. ණය පැහැර හැරීමෙන් පසු මුල් වරට ඩොලර් වලින් කීයක් හෝ ණයට ගැනීමට හැකි වීම නරක තත්ත්වයක් නොවෙතත්, ශ්‍රී ලංකා රජයට ඩොලර් මිලියන 50ක් වැනි සාපේක්ෂව සොච්චම් මුදලක් දේශීය වෙළඳපොළෙන් ණයට ගැනීමට හැකි වී තිබෙන්නේද සැලකිය යුතු පොලියක් යටතේයි. එක් වසර ඩොලර් බැඳුම්කර වෙනුවෙන් රජයට 5.7%ක පොලියක් ගෙවන්නට සිදු වන අතර, දෙවසරක ඩොලර් බැඳුම්කර වෙනුවෙන් 6.1%ක පොලියක් ගෙවන්නට සිදු වෙනවා. මේ වන විට ශ්‍රී ලංකා රජයට එක් වසර රුපියල් බැඳුම්කර වෙනුවෙන් 8%කට ආසන්න පොලියක් ගෙවන්නට සිදු වෙනවා. මේ අනුව පෙනී යන්නේ රජය විසින් ඉදිරි වසරක කාලය තුළ ඩොලරයක මිල 2.3%කින් පමණ ඉහළ යා හැකි බව උපකල්පනය කර ඇති බවයි.
Saturday, November 8, 2025
විදේශ සංචිත, මහ බැංකු මැදිහත් වීම් සහ ජංගම ගිණුම් ශේෂය
ගෙවුණු ඔක්තෝබර් මාසය තුළ නිල විදේශ සංචිත ඩොලර් මිලියන 6,244 දක්වා පහත වැටී තිබෙනවා. මෙය මාසය තුළ ඩොලර් මිලියන 28ක අඩු වීමක්. මාසය ඇතුළත මහ බැංකුව විසින් ඩොලර් මිලියන 55ක් වෙළඳපොළෙන් මිල දී ගෙන ඇතත්, එයින් ඩොලර් මිලියන 9.5ක් නැවත විකුණා තිබෙනවා. මිල දී ගත් විදේශ විණිමය වලින්ම සුළු කොටසක් වුවත්, මහ බැංකුව විසින් මෙසේ විදේශ විණිමය විකිණීමක් කර තිබෙන්නේ මාස ගණනාවකට පසුවයි.
Friday, August 29, 2025
ජූලි මාසය අවසානයේදී විදේශ අංශය
ගෙවුණු 2025 ජූලි මාසය තුළ ජංගම ගිණුමෙහි ඩොලර් මිලියන 244.6ක අතිරික්තයක් වාර්තා වී තිබෙනවා. මේ සමඟ ජූලි අවසානය තෙක් වසරේ මාස හතක කාලය තුළ ජංගම ගිණුමේ අතිරික්තය ඩොලර් මිලියන 1,739.6 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
පසුගිය (2024) වසරේ පළමු මාස හතක කාලය තුළද ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා වී තිබුණත් එම අතිරික්තය ඩොලර් මිලියන 1,274.1ක් පමණයි. දැනට දැකිය හැකි අතිරික්තයෙහි විශේෂත්වය වනුයේ වාහන ආනයන නිදහසේ සිදු වෙමින් තිබියදී පවා පසුගිය වසරේ ජංගම ගිණුමේ අතිරික්තය ඉක්මවා යන අතිරික්තයක් වාර්තා වී තිබීමයි.
ජංගම ගිණුමේ අතිරික්තයක් යන්නෙන් අදහස් වන්නේ රටට ලැබෙන ආපසු නොගෙවිය යුතු විදේශ විණිමය ලැබීම් වලින්, එනම් සංචාරක කර්මාන්තයේ ලැබීම් ඇතුළු භාණ්ඩ හා සේවා අපනයන ආදායම්, ශ්‍රමික ප්‍රේෂණ ආදියෙන්, රටේ ආනයන අවශ්‍යතා සහ ණය ආපසු ගෙවීම් හැර අනෙකුත් විදේශ විණිමය ගෙවීම් සඳහා අවශ්‍ය ප්‍රමාණය ඉවත් වීමෙන් පසුව ඉතිරි වන කොටසයි. ණය ආපසු ගෙවීම් ජංගම ගිණුමෙහි සටහන් නොවෙතත්, විදේශ ණය වෙනුවෙන් ගෙවිය යුතු පොලී වියදම් එහි සටහන් වෙනවා. මේ ඉතිරිය ඒ සියල්ලෙන් පසුවයි.
ලංකාව විශාල කාලයක් තිස්සේ නිදන්ගත ජංගම ගිණුම් හිඟයක් පැවති රටක්. 1956 වසරෙන් පසුව, 2023 වසර දක්වාම, රටේ ජංගම ගිණුමෙහි අතිරික්තයක් වාර්තා වූයේ රුපියල එක වර විශාල ලෙස අවප්‍රමාණය කෙරුණු 1965 සහ 1977 වසර දෙකේදී පමණයි. එහෙත් 2022දී රටේ ආර්ථිකයේ සිදු වූ දැවැන්ත කඩා වැටීමෙන් පසුව රජය සහ මහ බැංකුව විසින් රටේ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති නිවැරදි දිශාවට වෙනස් කර ගැනීම හේතුවෙන් මේ තත්ත්වය වෙනස් වී තිබෙනවා.
රටේ ජංගම ගිණුම් හිඟයට මූල හේතුව වූයේ රජයේ නිදන්ගත අයවැය හිඟය සහ එය පියවා ගැනීම සඳහා දිගින් දිගටම විදෙස් ණය ලබා ගැනීමයි. එම විදෙස් ණය පියවනු ලැබුණේ වඩා වැඩියෙන් තවත් විදෙස් ණය ලබා ගැනීම මගිනුයි. මේ තත්ත්වය ණය පැහැර හැරීමකින් සහ ආර්ථිකයේ දැවැන්ත කඩා වැටීමකින් කෙළවර වුනා.
ජංගම ගිණුම් හිඟයට මූල හේතුව වූ රජයේ නිදන්ගත අයවැය හිඟය තුලනය කර ගැනීම සඳහා රජය යොමු වීමෙන් පසුව මහ බැංකුවට නිවැරදි විදේශ විණිමය ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් ජංගම ගිණුමේ හිඟය අතිරික්තයක් බවට පත් කර ගැනීමට හැකි වුනා. ඒ අනුව, 2023 වසරේදී රටේ ජංගම ගිණුමෙහි ඩොලර් මිලියන 1,439.1ක අතිරික්තයක් වාර්තා වූ අතර 2024 වසරේදී තවත් ඩොලර් මිලියන 1,205.8ක අතිරික්තයක් වාර්තා වුනා. කෙසේ වුවද, මෙම අතිරික්තයන් වාර්තා වූයේ වාහන ආනයන ඇතුළු ඇතැම් ආනයන සිදු නොවන තත්ත්වයක් යටතේදීයි.
මේ වන විට සියලුම ආනයන නිදහසේ සිදු වෙනවා. මාස හතක කාලයක් ඇතුළත ඩොලර් මිලියන 1,739.6ක අතිරික්තයක් වාර්තා වී තිබෙන්නේ එවැනි තත්ත්වයක් යටතේදීයි. කෙසේ වුවද, අදාළ කාලය තුළ රටේ දළ නිල සංචිත ඉහළ ගොස් තිබෙන්නේ ඩොලර් මිලියන 24.9කින් පමණයි. ඒ අනුව පෙනී යන්නේ මෙම අතිරික්තය මුළුමනින්ම මෙන් රටේ විදේශ බැරකම් අඩු කර ගැනීම වෙනුවෙන් වැය කර ඇති බවයි.
පසුගිය (2025) ජූනි මාසයේදී රටේ දළ නිල සංචිත ප්‍රමාණයේ මෙන්ම ශුද්ධ විදේශ සංචිත වලද යම් අඩු වීමක් පෙන්නුම් කළත්, ජූලි මාසයේදී දළ නිල සංචිත වල මෙන්ම ශුද්ධ විදේශ සංචිත වලද, විශාල වැඩිවීමක් නොවුනත්, වැඩිවීමක් දකින්නට ලැබෙනවා. මහ බැංකුව විසින් අගෝස්තු මාසය අවසානයේදී රටේ දළ නිල සංචිත ප්‍රමාණය තවමත් නිවේදනය කර නැහැ. එහෙත් එම මාසය තුළද මහ බැංකුව විසින් ඩොලර් මිලියන 81.8ක් වෙළඳපොළෙන් මිල දී ගෙන ඇති බැවින් ශුද්ධ විදේශ සංචිත තව දුරටත් ඉහළ ගොස් තිබිය යුතුයි. මෙම මුදල මහ බැංකුවේ ණය ආපසු ගෙවීම සඳහා යොදා නොගත්තේනම්, දළ නිල සංචිත ප්‍රමාණයද ඉහළ ගොස් තිබිය යුතුයි.
Tuesday, April 1, 2025
විදේශ අංශයේ වත්මන් තත්ත්වය
පසුගිය 2024 වසර තුළ ශ්‍රී ලංකාවේ ජංගම ගිණුමේ ඩොලර් මිලියන 1,206ක අතිරික්තයක් වාර්තා වී තිබෙනවා. ඊට පෙර, 2023 වසර තුළද ඩොලර් මිලියන 1,559ක ජංගම ගිණුම් අතිරික්තයක් වාර්තා වුනා. එහෙත්, 1956 වසරින් පසුව, 1965දී සහ 1977දී හැර, 2022 දක්වා සෑම වසරකදීම ලංකාවේ ජංගම ගිණුමේ දැකිය හැකි වූයේ හිඟයක්. 1965 සහ 1977 යනු ගෙවුම් ශේෂ අර්බුද හමුවේ රුපියලේ අගය විශාල ලෙස අවප්‍රමාණය කරනු ලැබු වසර දෙකක්.
පසුගිය 2023 හා 2024 දෙවසර තුළද ණය හා පොලී ගෙවීම් නිසි පරිදි සිදු නොවූ බවත්, ආනයන පාලනය කර තිබූ බවත්, අපට තවමත් අමතක නැති කරුණු දෙකක්. ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා වීමට එම කරුණුද හේතු වුනා. එහෙත්, එවැනි තත්ත්වයක් තුළ වුවද, ජංගම ගිණුමේ අතිරික්තයක් පැවතීම යහපත් ප්‍රවණතාවයක්. පසුගිය (2024) වසරේ ජංගම ගිණුමේ අතිරික්තය හැදුනේ පහත පරිදියි.
විදේශ විණිමය ලැබීම් (2024):
භාණ්ඩ අපනයන - ඩොලර් මිලියන 12,772
සේවා අපනයන - ඩොලර් මිලියන 6,910
ප්‍රාථමික ආදායම් - ඩොලර් මිලියන 610
ද්වීතියික ආදායම් - ඩොලර් මිලියන 6,585
එකතුව - ඩොලර් මිලියන 26,877
විදේශ විණිමය ගෙවීම් (2024):
භාණ්ඩ ආනයන - ඩොලර් මිලියන 18,841
සේවා ආනයන - ඩොලර් මිලියන 3,475
ප්‍රාථමික ආදායම් (ගෙවීම්) - ඩොලර් මිලියන 3,208
ද්වීතියික ආදායම් (ගෙවීම්) - ඩොලර් මිලියන 146
එකතුව - ඩොලර් මිලියන 25,671
මෙම සාධනීය ප්‍රවණතාව මෙම (2025) වසරේ පළමු මාස දෙක තුළද දැකිය හැකි අතර ජනවාරි හා පෙබරවාරි දෙමස තුළ ඩොලර් මිලියන 489ක ජංගම ගිණුම් අතිරික්තයක් වාර්තා වී තිබෙනවා. ඒ පහත පරිදියි.
විදේශ විණිමය ලැබීම් (2025 ජනවාරි හා පෙබරවාරි):
භාණ්ඩ අපනයන - ඩොලර් මිලියන 2,106
සේවා අපනයන - ඩොලර් මිලියන 1,370
ප්‍රාථමික ආදායම් - ඩොලර් මිලියන 104
ද්වීතියික ආදායම් - ඩොලර් මිලියන 1,121
එකතුව - ඩොලර් මිලියන 4,701
විදේශ විණිමය ගෙවීම් (2025 ජනවාරි හා පෙබරවාරි):
භාණ්ඩ ආනයන - ඩොලර් මිලියන 3,250
සේවා ආනයන - ඩොලර් මිලියන 544
ප්‍රාථමික ආදායම් (ගෙවීම්) - ඩොලර් මිලියන 391
ද්වීතියික ආදායම් (ගෙවීම්) - ඩොලර් මිලියන 28
එකතුව - ඩොලර් මිලියන 4,213
දශක ගණනාවක් අඛණ්ඩව පැවති ලංකාවේ ජංගම ගිණුමේ හිඟයට ප්‍රධානම හේතුව වූයේ රජය විසින් දිගින් දිගටම අයවැය හිඟයක් නඩත්තු කරන අතර එයින් සැලකිය යුතු කොටසක් විදේශ ණය වලින් පියවා ගැනීම සහ එම විදේශ ණය වල උදවුවෙන් රුපියලේ අගය ඉහළ මට්ටමක පවත්වා ගැනීමයි. ඒ නිසා, රජයේ අයවැය හිඟය තුලනය කරගෙන රුපියලේ අගය නිදහසේ තීරණය වෙන්නට ඉඩ දීමෙන් පසුව ජංගම ගිණුමේ හිඟය තව දුරටත් එලෙසම නඩත්තු වන්නේ නැහැ.
දිගින් දිගටම ජංගම ගිණුමේ හිඟයක් නඩත්තු වෙද්දී, එම හිඟය පූරණය වන පරිදි, ණය හෝ ආයෝජන ලෙස විදේශ ප්‍රාග්ධනය රටට පැමිණිය යුතුයි. මේ ආකාර දෙකෙන්ම පැමිණෙන විදේශ විණිමය නිසා රටේ විදේශ වත්කම් වලට සාපේක්ෂව විදේශ බැරකම් ඉහළ යනවා. එමගින් ඇතිවන ශුද්ධ විදේශ වත්කම් හිඟය නිසා ප්‍රාථමික ආදායම් ලැබීම් වලට සාපේක්ෂව ප්‍රාථමික ආදායම් ගෙවීම් ඉහළ යනවා. පහත තිබෙන්නේ පසුගිය (2024) වසර අවසානයේදී ලංකාවේ විදේශ වත්කම් හා බැරකම් ප්‍රමාණ.
විදේශ වත්කම් (2024 අවසානයේදී):
රජය - නැත
මහ බැංකුව - ඩොලර් මිලියන 6,122
බැංකු - ඩොලර් මිලියන 5,188
අනෙකුත් ආයතන හා පුද්ගලයින් - ඩොලර් මිලියන 3,312
එකතුව - ඩොලර් මිලියන 14,542
විදේශ බැරකම් (2024 අවසානයේදී):
රජය - ඩොලර් මිලියන 37,599
මහ බැංකුව - ඩොලර් මිලියන 4,874
බැංකු - ඩොලර් මිලියන 4,980
අනෙකුත් ආයතන හා පුද්ගලයින් - ඩොලර් මිලියන 20,572
එකතුව - ඩොලර් මිලියන 68,025
රජයේ, මහ බැංකුවේ සහ බැංකු වල විදේශ බැරකම් සියල්ල විදේශ ණය වන අතර අනෙකුත් ආයතන හා පුද්ගලයින්ගේ විදේශ බැරකම් වලින් ඩොලර් මිලියන 9,680ක්ද විදේශ ණයයි. ඒ අනුව, ශ්‍රී ලංකාවේ මුළු විදේශ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 57,133ක් වන අතර විදේශ බැරකම් වලින් ඉතිරි කොටස වන ඩොලර් මිලියන 10,892 රටේ දැනට ඇති ණය නොවන මුළු විදේශ ආයෝජන ප්‍රමාණයයි.
Monday, October 7, 2024
2024 පළමු මාස හයේ විදේශ අංශයේ ප්‍රගතිය
මේ සමඟ පළ කර තිබෙන වගුවෙහි පෙන්වා දී තිබෙන්නේ 2024 පළමු මාස හයේ විදේශ අංශයේ ප්‍රගතිය. පෙර (2023) වසරේ පළමු මාස හය සමඟ සැසඳීමක්ද එහි තිබෙනවා. අප මෙම සැසඳීම කරන්නේ විදේශ අංශය ඉතාම දුර්වලව පැවති 2021 හෝ 2022 වැනි වසරක් සමඟ නොවන බවද මතක තබා ගත යුතුයි.
වසරේ පළමු මාස හය තුළ ඩොලර් මිලියන 1,104ක ජංගම ගිණුම් අතිරික්තයක් වාර්තා වී තිබෙන අතර එය පෙර වසරට සාපේක්ෂව 74%ක වර්ධනයක්. 1956 වසරෙන් පසුව 2023 දක්වා කාලය තුළ ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා වූයේ 1965 හා 1977 දෙවසර තුළ පමණක් බවද අප මෙහිදී මතක් කර ගත යුතුයි.
මෙම වසර තුළ රුපියලේ අගය අධිප්‍රමාණය වූයේ ණය ගත් නිසා හෝ ණය නොගෙවා සිටි නිසා නොවන බව ඉහත වගුව දෙස බැලූ විට පැහැදිලි විය යුතුයි. රජය විසින් නිවැරදි රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්තියකුත්, මහ බැංකුව විසින් නිවැරදි මුදල් ප්‍රතිපත්තියකුත් පවත්වා ගත් විට විදේශ අංශය "ඉබේටම" වර්ධනය වෙනවා.
මෙහිදී "ඉබේටම" යන්නෙන් අදහස් වන්නේ දේශීය හා විදේශීය සමාගම් හා පුද්ගලයින් විශාල පිරිසක් තනි තනිව පවතින තත්ත්වයට ප්‍රතිචාර දැක්වීම තුළ මෙය සිදු වන බවයි. සැලසුම් සහගත රාජ්‍ය මැදිහත්වීම් මගින් විදේශ අංශය වඩාත් ශක්තිමත් කර ගැනීම කළ නොහැක්කක් නොවෙතත්, ප්‍රායෝගිකව බොහෝ අවස්ථා වලදී එවැනි සැලසුම් නිශේධනාත්මකව බලපෑමේ අවදානම දැකිය හැකියි.
වසරේ පළමු මාස හය තුළ, පෙර වසරේ පළමු මාස හයට සාපේක්ෂව, භාණ්ඩ අපනයන ආදායම් 4.6%කිනුත්, සේවා අපනයන ආදායම් 36.2%කිනුත්, ප්‍රාථමික ආදායම් 17.8%කිනුත්, ද්වීතියික ආදායම් 10.8%කිනුත් වර්ධනය වී ඇති අතර සමස්තයක් ලෙස ජංගම ගිණුමේ ලැබීම් ඩොලර් මිලියන 1,501කින් වර්ධනය වී තිබෙනවා.
මීට අනූරූප ලෙස භාණ්ඩ ආනයන වියදම්, සේවා ආනයන වියදම් මෙන්ම ප්‍රාථමික වියදම්ද ඉහළ ගොස් තිබෙනවා. සේවා ආනයන වියදම් 53%කින් පමණ ඉහළ ගොස් ඇති අතර එයට හේතුව ශ්‍රී ලාංකිකයින් විශාල ලෙස විදේශගත වීමයි. ද්වීතියික වියදම් වල පමණක් අඩු වීමක් දැකිය හැකියි. මෙයින් පෙනෙන්නේ රටේ ආර්ථිකය නැවත යහපත් අතට හැරෙද්දී ශ්‍රී ලංකාවේ වෙසෙන විදේශිකයින් තමන්ගේ අරමුදල් රටින් පිටතට ප්‍රේෂණය කිරීම විශාල ලෙස සීමා වී ඇති බවයි. මේ අනුව ජංගම ගිණුමේ ගෙවීම් කොටස ඉහළ ගොස් තිබෙන්නේ ඩොලර් මිලියන 1,032කින් පමණයි.
වසරේ පළමු මාස හයේ ජංගම ගිණුමේ අතිරික්තය ඩොලර් මිලියන 1,104ක් වුවත්, එම කාලය තුළ නිල සංචිත ඊට වඩා වැඩියෙන් ඉහළ ගොස් තිබෙනවා. ඊට හේතුව මූල්‍ය ගිණුමේ ගෙවීම් වලට වඩා වැඩියෙන් එම ගිණුමටද අරමුදල් ලැබීමයි. මෙම තත්ත්වයන් සමඟ අපට ඉදිරි (2025) වසරේ පළමු මාස හය පිළිබඳ යම් විනිශ්චයකට පැමිණිය හැකියි.
වාහන ආනයනය ආරම්භ වීමෙන් පසුව ආනයන වියදම් ඉහළ යාමක් සිදු වෙනවා. එමෙන්ම ණය ප්‍රතිව්‍යුහගත කිරීම් අවසන් වූ පසු ණය වාරික හා පොලී ආපසු ගෙවීමටද සිදු වෙනවා. නමුත් මෙම වසරේ ජංගම ගිණුම් ශේෂය දෙස බැලූ විට පෙනී යන්නේ මෙම වසරේ තත්ත්වය එලෙසම පැවතියද එය ප්‍රශ්නයක් නොවන බවයි. එමෙන්ම පසුගිය දෙවසර තුළ සිදු වූ වර්ධනය අනුව, විශේෂ සැලසුමක් නැතත්, ඉදිරි වසර තුළ විදේශ අංශයේ ලැබීම් වල සැලකිය යුතු වර්ධනයක් අපේක්ෂා කළ හැකියි.
සැප්තැම්බර් මාසය අවසන් වෙද්දී නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 5,992 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මාසය තුළ වැඩිවීම ඩොලර් මිලියන 33ක් පමණයි. මීට හේතුව මහ බැංකුව විසින් ලොකු මැදිහත් කිරීමක් නොකිරීමද, එසේ නැත්නම් මිල දී ගත් විදේශ විණිමය කිසියම් ණයක් ගෙවීම වෙනුවෙන් යෙදවීමද යන්න පැහැදිලි නැහැ. එය බොහෝ විට මේ සතිය අවසානයේදී දැනගන්න ලැබෙයි.
Thursday, April 25, 2024
මහ බැංකුවේ 2023 වාර්ෂික වාර්තා
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙතෙක් වාර්ෂිකව ඉදිරිපත් කළ "ලොකු" වාර්ෂික වාර්තාව වෙනුවට මෙවර "කුඩා" වාර්ෂික වාර්තා දෙකක් ඉදිරිපත් කර තිබෙනවා. එයින් එක් වාර්තාවක් රටේ ආර්ථිකය පිළිබඳව වන අතර දෙවැන්න මහ බැංකුවේ කටයුතු සම්බන්ධවයි. එමෙන්ම, මෙතෙක් මුද්‍රිත ක්‍රමයට ඉදිරිපත් කළ සංඛ්‍යාලේඛණ වගු බොහොමයක් මෙවර විද්‍යුත් ක්‍රමයට ප්‍රසිද්ධ කර තිබෙනවා.
පසුගිය 2023 වසර ශ්‍රී ලංකාවේ ආර්ථිකය හා අදාළව සුවිශේෂී වසරක්. පෙර වසර තුළ සිදු වූ දැවැන්ත කඩා වැටීමකින් පසුව වුවත්, පසුගිය වසර තුළ ලංකාවේ ආර්ථිකය නැවත සුන්බුන් මතින් නැගී සිටියා.
පෙර වසරේදී ඩොලර් බිලියන 76.8 දක්වා පහත වැටුණු රටේ දළ දේශීය නිෂ්පාදිතය 2023 වසරේදී ඩොලර් බිලියන 84.4 දක්වා ඉහළ ගොස් ඇති අතර ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් 3,464 සිට ඩොලර් 3,830 දක්වා වැඩි වී තිබෙනවා.
රටේ ආර්ථිකය 2.3%කින් හැකිලෙද්දී මේ අයුරින් ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඉහළ යාමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙන්නේ දේශීය මිල ගණන් වල ඉහළ යාමට අනුරූපව ඩොලරයක මිල ඉහළ නොයාමයි. ඊට අමතරව රටේ ජනගහණය අඩුවීමෙන්ද සුළු දායකත්වයක් ලැබී තිබෙනවා.
ඩොලරයක මිල පහළ යාමෙන් රටේ විදේශ අංශය ස්ථාවර වීම පිළිබිඹු වෙනවා. 1978 වසරෙන් පසුව මුල් වරට පසුගිය වසරේදී ජංගම ගිණුමේ ඩොලර් මිලියන 1,559ක අතිරික්තයක් වාර්තා වී ඇති අතර එය දදේනියෙන් 1.8%ක්. මූල්‍ය ගිණුමට ලැබුණු විදේශ විණිමයද ඇතුළුව වසර තුළ ඩොලර් මිලියන 2,826ක සමස්ත ගෙවුම් ශේෂ අතිරික්තයක් වාර්තා වී තිබෙනවා.
මේ අයුරින් විදේශ අංශය ස්ථාවර වීමට රාජ්‍යමූල්‍ය කළමනාකරණයේ යහපත් දිශානතිය බොහෝ සේ උපකාරී වී තිබෙනවා. රජයේ බදු ආදායම පෙර වසරට සාපේක්ෂව රුපියල් බිලියන 2,720.6 දක්වා 55.4%කින් වර්ධනය වී ඇති අතර සමස්ත ආදායම රුපියල් බිලියන 3,048.8 දක්වා 54.0%කින් වැඩි වී තිබෙනවා. මීට සාපේක්ෂව පොලී ගෙවීම් හැර අනෙකුත් වියදම් වල රුපියල් බිලියන 6.4ක සුළු අඩුවීමක් දැකිය හැකියි. මෙහි ප්‍රතිඵලයක් ලෙස වසර තුළ රුපියල් බිලියන 173.3ක ප්‍රාථමික අතිරික්තයක් වාර්තා වී තිබෙනවා. මෙය දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.6%කට සමාන මුදලක්.
කෙසේ වුවත්, පැරණි ණය වෙනුවෙන් පොලී ගෙවීම සඳහා රුපියල් බිලියන 2,455.6ක මුදලක් අවශ්‍ය වී ඇති අතර, ඉතිරි කරගත් ප්‍රාථමික අතිරික්තය ඒ සඳහා ප්‍රමාණවත් නොවන බැවින්, එම මුදලෙන් රුපියල් බිලියන 2,282.3ක්ම ගෙවා තිබෙන්නේ අළුත් ණය වලිනුයි. මෙයින් රුපියල් බිලියන 494.7ක මුදලක් විදේශ මූලාශ්‍ර වලින්ද, ඉතිරි රුපියල් බිලියන 1,787.6 දේශීය මූලාශ්‍ර වලින්ද ලබාගෙන තිබෙනවා.
මේ අනුව, රටේ ණය ඉහළ ගොස් ඇතත්, දළ දේශීය නිෂ්පාදිතය ඊට වඩා වැඩියෙන් ඉහළ යාම හේතුවෙන් දදේනිහි ප්‍රතිශතයක් ලෙස මධ්‍යම රජයේ ණය ප්‍රමාණය 114.2% සිට 103.9% දක්වා පහත වැටී තිබෙනවා.
රුපියල් බිලියන 2,455.6ක මුදලක් පොලී ලෙස ගෙවීමට අමතරව, රුපියල් බිලියන 1,807.7ක මුදලක් වසර තුළ ණය වාරික ලෙස ආපසු ගෙවා තිබෙනවා. මේ අනුව, වසරේ මුළු ණය සේවාකරණ පිරිවැය රුපියල් බිලියන 4,263.3ක් වන අතර එයින් රුපියල් බිලියන 470.5ක් වැය වී තිබෙන්නේ විදේශ ණය වාරික හා පොලී ගෙවීම සඳහායි.
Friday, March 29, 2024
ඩොලර් බිලියන එකහමාරක් ඉතිරි කරපු හැටි!
පසුගිය වසර තුළ ශ්‍රී ලංකාව විසින් ඩොලර් මිලියන 1,559ක ජංගම ගිණුම් අතිරික්තයක් වාර්තා කර තිබෙනවා. එයින් සරලව අදහස් වන්නේ වසර තුළ ශ්‍රී ලංකාව විසින් වැය කළ විදේශ විණිමය ප්‍රමාණයට වඩා ඩොලර් මිලියන 1,559ක් එම වසර තුළ උපයා ඇති බවයි.
මෙය 1977 වසරින් පසුව මෙවැන්නක් සිදු වන පළමු අවස්ථාව වන අතර 1956 වසරින් පසුව ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා වන දෙවන වසරයි. අනෙක් සෑම වසරකදීම ශ්‍රී ලංකාව විසින් වසර තුළ ඉපැයූ විදේශ විණිමය ප්‍රමාණය ඉක්මවා වියදම් කර තිබෙනවා. ණය පැහැර හැරීමකින් කෙළවර වන තුරු ගොඩගසා ගත් ලංකාවේ දැවැන්ත විදේශ ණය කන්දරාව මෙහි ප්‍රතිඵලයයි.
ඩොලර් බිලියන 4 ඉක්මවන හෝ ඊට ආසන්න මට්ටමක පැවති 2008, 2011 හා 2012 වසර වල ජංගම ගිණුමේ හිඟය විශේෂයෙන්ම කැපී පෙනෙනවා. ඉන් පසුව, 2021 වසර තුළදීද ජංගම ගිණුමේ හිඟය ඩොලර් බිලියන 3 සීමාව ඉක්මවා ගියා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් එකඟ වූ සාර්ව ආර්ථික වැඩපිළිවෙළ තුළද ජංගම ගිණුමේ හිඟය සීමා කිරීමක් මිස අතිරික්තයක් පවත්වා ගැනීමේ සැලසුමක් තිබුණේ නැහැ. අරමුදලේ සැලසුම් අනුව 2023 වසරේ ජංගම ගිණුම් හිඟය ඩොලර් මිලියන 1,184 සීමාව නොඉක්මවිය යුතුව තිබුණා. එම සැලසුමට සාපේක්ෂව වුවද ඩොලර් මිලියන 1,559ක අතිරික්තයක් යනු කැපී පෙනෙන ජයග්‍රහණයක්. මෙහි ගෞරවය ප්‍රධාන වශයෙන්ම මහ බැංකුවට යා යුතු අතර රජයටද එයින් කොටසකට හිමිකම් කිව හැකියි.
මේ ආකාරයෙන් වසර තුළ ඩොලර් මිලියන 1,559ක් ඉතිරි වුනේ කොහොමද?
පහත තිබෙන්නේ පසුගිය වසර තුළ රටට විදේශ විණිමය ලැබුණු ආකාරය සහ රටෙන් විදේශ විණිමය පිටතට ගලා ගිය ආකාරයයි.
විදේශ විණිමය ලැබීම්:
භාණ්ඩ අපනයන ආදායම = ඩොලර් මිලියන 11,911
සේවා අපනයන ආදායම = ඩොලර් මිලියන 5,416
ප්‍රාථමික ආදායම් = ඩොලර් මිලියන 463
ද්වීතියික ආදායම් (ශ්‍රමික ප්‍රේෂණ) = ඩොලර් මිලියන 5,989
ආදායම් එකතුව = 23,779
විදේශ විණිමය ගෙවීම්:
භාණ්ඩ ආනයන වියදම = ඩොලර් මිලියන 16,811
සේවා ආනයන වියදම = ඩොලර් මිලියන 2,012
ප්‍රාථමික ආදායම් ගෙවීම් (පොලී හා ලාභාංශ) = ඩොලර් මිලියන 3,027
විදේශිකයින්ගේ ද්වීතියික ආදායම් = ඩොලර් මිලියන 371
වියදම් එකතුව = 22,221
රට තුළ ඉතිරි වූ මුදල = ඩොලර් මිලියන (23,779 - 22,221) = ඩොලර් මිලියන 1,559
මෙවැනි අතිරික්තයක් බැංකු පද්ධතිය තුළ ඉතිරි වීනම් ඒ හේතුවෙන් ඩොලරයක මිල විශාල ලෙස පහත වැටී ආනයන ප්‍රමාණය මීට වඩා ඉහළ යනවා. එහෙත්, මහ බැංකුව මැදිහත් වී මෙම අතිරික්තය වෙළඳපොළෙන් මිල දී ගෙන සංචිත වලට එකතු කර ගැනීම නිසා එවැන්නක් සිදු වී නැහැ.
ඇත්තටම කියනවානම් මහ බැංකුව විසින් "අතිරික්ත ඩොලර්" මිල දී ගත් බව කීම නිවැරදි ප්‍රකාශයක් නෙමෙයි. ජංගම ගිණුමේ මෙවැනි අතිරික්තයක් ඇති වී තිබෙන්නේම මහ බැංකුව මැදිහත් වී වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගනිමින් ඩොලරයක මිල "ඉහළින්" තියා ගත් නිසා. මහ බැංකුව විසින් එසේ ඩොලරයක මිල "ඉහළ" මට්ටමක පවත්වා ගනිද්දීද ඩොලරයක මිල පහත වැටීම වෙනම කරුණක්.
මෙය 2008, 2011 හා 2012 වැනි වසර වලදී මෙන්ම නැවත 2021දීද ජංගම ගිණුමේ විශාල හිඟයක් පවත්වා ගනිමින් (උපයන විදේශ විණිමය ප්‍රමාණයට වඩා විශාල ප්‍රමාණයක් වැය කරමින්) විදේශ ණය වල උදවුවෙන් ඩොලරයක මිල පහළින් තියා ගැනීමට වඩා හාත්පසින්ම වෙනස් තත්ත්වයක්.
පසුගිය වසර තුළ නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 2,245කින් ඉහළ ගොස් තිබෙනවා. මෙම ප්‍රමාණය ජංගම ගිණුමේ අතිරික්තය වූ ඩොලර් මිලියන 1,559ට වඩා ඩොලර් මිලියන 616කින් වැඩියි. එම අතිරික්ත ඩොලර් ප්‍රමාණය ආවේ කොහෙන්ද?
ජංගම ගිණුමේ ශේෂයට අමතරව, පසුගිය වසර තුළ සෘජු විදේශ ආයෝජන ලෙස ශුද්ධ වශයෙන් (ලංකාවෙන් සිදු කළ ඩොලර් මිලියන 34ක සෘජු විදේශ ආයෝජන අඩු කිරීමෙන් පසු) ඩොලර් මිලියන 678ක් ලැබී තිබෙනවා. සාමාන්‍යයෙන් සෘජු විදේශ ආයෝජන ලෙස පැමිණෙන අරමුදල් දිගු කාලයක් රට තුළ රැඳෙනවා. ඒ අනුව, පැහැදිලි විය යුත්තේ මහ බැංකුව සංචිත තර කර ගෙන තිබෙන්නේ සෘජුව හෝ වක්‍රව ණය ගෙන නොවන බවයි.
රටක ජංගම ගිණුමේ හිඟයක් ඇත්නම් ඒ රට ණය ගන්නෙක් වන අතර ජංගම ගිණුමේ අතිරික්තයක් ඇත්නම් ඒ රට ණය දෙන්නෙක්. දිගුකාලීන තත්ත්වය කෙසේ වුවත්, පසුගිය වසර පමණක් සැළකු විට ලංකාව ණය ගන්නෙක් නොව ණය දෙන්නෙක් වී තිබෙනවා. මේ තත්ත්වය දිගටම පවත්වා ගත හැකිනම් ලංකාවට විදේශ ණය අවශ්‍ය වන්නේ පැරණි ණය ආපසු ගෙවීමට පමණයි. විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසුව මේ සඳහාද ප්‍රමාණවත් කාලයක් ලැබෙනවා.
මේ ආකාරයෙන් ලංකාවට වසරක කාලයක් තුළ හෝ ණය ගන්නෙකු නොවී ණය දෙන්නෙකුව සිටින්නට හැකි වී තිබෙන්නේ ප්‍රධාන හේතු දෙකක් නිසා. එයින් පළමුවැන්න රජය විසින් ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගැනීමයි. දෙවැන්න වාහන ආනයන නවත්වා තිබීමයි. 2018 වසරේදී පෞද්ගලික වාහන ආනයනය සඳහා ලංකාව ඩොලර් මිලියන 1,573.5ක් වැය කළ අතර, අනෙකුත් ප්‍රවාහන උපකරණ ආනයනය කිරීමට තවත් ඩොලර් මිලියන 668.1ක් වැය කළා.
වාහන ආනයනයට පූර්ණ නිදහසක් ලබා දුන්නොත් පහසුවෙන්ම වසරකට ඩොලර් බිලියන දෙක ඉක්මවන වාහන ආනයන සිදු විය හැකි අතර ඇතැම් විට මෙම ඉල්ලුම ඩොලර් බිලියන තුන ඉක්මවන්න වුනත් බැරි නැහැ. එසේ වුවහොත් ජංගම ගිණුමේ අතිරික්තය නැවත හිඟයක් බවට පත් වන අතර ඩොලරයක මිලද ඉහළ යනවා. වාහන ආනයන වාරණ එකවර ඉවත් නොකර පියවරෙන් පියවර ඉවත් කිරීම මගින් මෙම අවදානම කළමනාකරණය කර ගන්නට සිදු වෙනවා.
Friday, December 29, 2023
ගෙවුම් ශේෂ ප්‍රශ්නය හා විසඳුම
තනි පුද්ගලයෝ විදිහට මෙහෙම හිතන එක හොඳයි. එහෙම ඩොලර් කීයක් හරි හොයන්න උත්සාහ කරන එකෙන් තමන්ට හොඳක් වෙනවට අමතරව රටටත් හොඳක් මිසක් කිසිසේත්ම නරකක් වෙන්නේ නැහැ. නමුත්, එහෙම කීයක් හෝ හෙවුවා කියලා ගෙවුම් ශේෂ ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ.
ඔය විදිහට තනි පුද්ගලයින් විසින් ඩොලර් හොයලා ප්‍රශ්නය විසඳන එකේ දිගුවක් ලෙස සැලකිය හැකි වර්ෂන් එක අනුව රජය විසින් අපනයන වෙළඳපොළවල් සොයා ගත යුතුයි. යම් තාක් දුරකට මේ අදහසේ ගත යුත්තක් තිබුණත් මෙය අලුත් අදහසක් හෝ ක්‍රියාත්මක කරන්න උත්සාහ කර නැති අදහසක් නෙමෙයි. ඔය වැඩේ වෙනුවෙන්ම ඉන්න රාජ්‍ය නිලධාරීන් ඉන්නවා. නමුත්, "විකුණන්න පුළුවන් දේවල්" ගැන හොයා බලන එක රජයට ඒ තරම් ලේසියෙන් කළ හැකි දෙයක්නම් කවුරු හෝ ව්‍යාපාරිකයෙක් ඒ වැඩේ නොකර ඉන්නේ නැහැ.
කොහොම වුනත්, ආනයන සීමා කිරීම මගින් ප්‍රශ්නය විසඳීමේ විකල්පයට සාපේක්ෂවනම් ඉහත යෝජනා දෙකම හොඳයි. අර්බුද අවස්ථා වලදී තාවකාලිකව ඔය වැඩේ කරන්න සිදු වුනත්, දිගුකාලීනව මෙය රටකට ඉතාම හානිකරයි.
ඔය එකක්වත් හරියන්නේ නැත්නම් ප්‍රශ්නයට විසඳුම කුමක්ද?
ගෙවුම් ශේෂ ප්‍රශ්නය සාර්ව ආර්ථික ප්‍රශ්නයක්. සාර්ව ආර්ථික ප්‍රශ්නයකට සාර්ව ආර්ථික විසඳුම් අවශ්‍යයි. ඒ වැඩේ කරන්න පුළුවන් රටේ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති තීරණය කරන අයටයි. තනි පුද්ගලයින්ට හා සමාගම් වලට ක්ෂුද්‍ර ආර්ථික ප්‍රශ්න විසඳිය හැකි වුවත්, එහෙම කිරීමෙන් පමණක් සාර්ව ආර්ථික ප්‍රශ්න විසඳන්න බැහැ. රටේ මිනිස්සු කොයි තරම් මහන්සි වෙලා වැඩ කළත්, සාර්ව ආර්ථික ප්‍රතිපත්ති අවුල්නම් අවශ්‍ය ප්‍රතිඵලය ලැබෙන්නේ නැහැ. ඒ වගේම, සාර්ව ආර්ථික ප්‍රතිපත්තියේ වැරැද්ද නිවැරදි කළාට පස්සේ අනෙක් දේවල් කිසිවක් නොකළත් ප්‍රශ්නය විසඳෙනවා.
මුලින්ම අපි ප්‍රශ්නය නිවැරදිව තේරුම් ගැනීම සඳහා 2012 වසරට යමු. මෙහිදී අවධානය යොමු කළ යුතු ප්‍රධාන කරුණ ගෙවුම් ශේෂ ප්‍රශ්නයට හේතුව ජංගම ගිණුමේ හිඟය මිසක් වෙළඳ ගිණුමේ හිඟය නොවන බවයි. වෙළඳ ගිණුමේ සටහන් වන භාණ්ඩ ආනයන හා අපනයන කියන්නේ රටට විදේශ විණිමය එන හා රටේ විදේශ විණිමය වැය වන එක ආකාරයක් පමණයි. පහත තිබෙන්නේ 2012 වසරේදී රටට ලැබුණු විදේශ විණිමය ආදායම් හා රටේ විදේශ විණිමය වියදම්.
2012 ජංගම ගිණුම:
අපනයන ආදායම් - ඩොලර් මිලියන 9,774
සේවා අපනයන ආදායම් - ඩොලර් මිලියන 3,800
ප්‍රාථමික ආදායම් - ඩොලර් මිලියන 142
ද්වීතියික ආදායම් - ඩොලර් මිලියන 6,038
ඉපැයීම් එකතුව - ඩොලර් මිලියන 19,754
දැන් මෙහි පෙනෙන පරිදි, රටේ අපනයන ආදායම් කියන්නේ රටේ මුළු විදේශ විණිමය ඉපැයීම් වලින් බාගයකටත් වඩා අඩු කොටසක්. අපනයන ආදායම් ප්‍රමාණයට වඩා වැඩි විදේශ විණිමය ප්‍රමාණයක් වෙනත් ක්‍රම වලින් රටට ඇවිත් තිබෙනවා. මේ කියන්නේ ණය හෝ ආයෝජන ගැන නෙමෙයි. ඒවා අත ඇරලා ආපසු නොගෙවිය යුතු විදේශ විණිමය ලැබීම් පමණක් ගැනයි. අපනයන ආදායම් ලෙස ඩොලර් මිලියන 9,774 එද්දී අනෙකුත් විදේශ විණිමය ඉපයීම් වලින් ඩොලර් මිලියන 9,880ක් රටට ඇවිත්.
දැන් අපි 2012දී විදේශ විණිමය වැය කළ ආකාරය දෙස බලමු.
ආනයන වියදම් - ඩොලර් මිලියන 19,190
සේවා ආනයන වියදම් - ඩොලර් මිලියන 2,538
ප්‍රාථමික ආදායම් ගෙවීම් - ඩොලර් මිලියන 1,361
ද්වීතියික ආදායම් ගෙවීම් - ඩොලර් මිලියන 646
ගෙවීම් එකතුව - ඩොලර් මිලියන 23,736
ප්‍රාථමික ආදායම් ගෙවීම් වල තියෙන්නේ පොලී හා ලාභාංශ ගෙවීම්. ද්වීතියික ආදායම් ගෙවීම් ලංකාවෙන් එළියට යන ප්‍රේෂණ. දැන් මේ විදේශ විණිමය වැය දිහා බැලුවහම පේන පරිදි, ඉපැයීම් හා ගෙවීම් අතර ඩොලර් මිලියන 3,982ක පරතරයක් තිබෙනවා. මේක තමයි ජංගම ගිණුමේ හිඟය.
මේ හිඟය පියවුනේ කොහොමද? මෙයින් යම් කොටසක් විදේශ ආයෝජන ලෙස රටට එන විදේශ විණිමය වලින් පියැවෙනවා. වැඩි කොටසක් ණය.
ඊළඟ ප්‍රශ්නය මේ වගේ පරතරයක් හැදුනේ කොහොමද? රටේ මිනිස්සු ඉවක් බවක් නැතිව ආනයන කරපු නිසා මේ වගේ හිඟයක් හැදුනද?
නැහැ. මේ හිඟය ණය ගැනීමේ ප්‍රතිඵලයක්. එහෙම නැතුව, විදේශ විණිමය හිඟයක් තිබුණු නිසා ණය ගන්න වුනා නෙමෙයි. ඔය 2012 අවුරුද්ද තුළ රජය විසින් ඩොලර් මිලියන 2,869ක දිගුකාලීන විදේශ ණය අරගෙන තියෙනවා. විදේශිකයින්ට රාජ්‍ය සුරැකුම්පත් අලෙවි කිරීම මගින් තවත් ඩොලර් මිලියන 843ක මුදලක් එකතු කරගෙන තියෙනවා. විදේශ විණිමය ඉපැයීම් හා ගෙවීම් අතර පරතරයට හේතුව ඔය ණය.
රජය විවිධ ව්‍යාපෘති සඳහා විදේශ ණය ගනිද්දී ඒ ව්‍යාපෘති සඳහා අවශ්‍ය ආනයන ඉහළ ගිහින් ඉහත පරතරය හැදෙනවා. ගත්ත ණය වලින් ඒ පරතරය පියැවෙනවා. ඩොලර් මිලියන 19,190ක් වන 2012 වසරේ ආනයන වියදමෙන් පරිභෝජන භාණ්ඩ සඳහා වැය වුනු කොටස ඩොලර් මිලියන 2,995ක් පමණයි. ඉතිරි කොටස ආයෝජන හා අතරමැදි භාණ්ඩ. රටේ සාමාන්‍ය මිනිසුන්ගේ පරිභෝජනය සීමා කළා කියලා මේ ප්‍රශ්නය විසඳෙන්නේ නැති බව මේ අනුව පැහැදිලි විය යුතුයි.
මීට අමතරව, ණයට ගන්න ඩොලර් රුපියල් කරද්දී ඩොලරය ලාබ වීම නිසා ආනයන තවත් වැඩි වෙනවා. පරතරය තවත් පුළුල් වෙනවා. රාජ්‍ය සුරැකුම්පත් විදේශිකයින්ට අලෙවි කරද්දී ඔය වැඩේ ඉබේටම වගේ වෙනවා. මොකද රුපියල් වලින් ගෙවා රාජ්‍ය සුරැකුම්පත් මිල දී ගන්නනම් ඩොලර් රටට ගෙනත් රුපියල් වලට මාරු කරන්න වෙනවා. ඒ විදිහට රටට එන ඩොලර් මහ බැංකුව විසින් සංචිත වලට එකතු කර නොගත්තොත් ඒ ඩොලර් ටික ආනයන වියදම් වෙලා රටින් එළියට යනවා.
මේ අනුව පැහැදිලි වන පරිදි රටේ විදේශ විණිමය ප්‍රශ්නයේ මුල තියෙන්නේ රජය විසින් ආදායම ඉක්මවා වියදම් කිරීම. ආනයන ඉහළ ගොස් විශාල ජංගම ගිණුම් හිඟයක් ඇති වීම එහි අතුරු ප්‍රතිඵලයක් පමණයි.
දැන් අපි 2012 සිට 2021 දක්වා එමු. 2021 වන විට පැවති තත්ත්වය කුමක්ද?
2021 ජංගම ගිණුම:
අපනයන ආදායම් - ඩොලර් මිලියන 12,499
සේවා අපනයන ආදායම් - ඩොලර් මිලියන 2,475
ප්‍රාථමික ආදායම් - ඩොලර් මිලියන 116
ද්වීතියික ආදායම් - ඩොලර් මිලියන 5,498
ඉපැයීම් එකතුව - ඩොලර් මිලියන 20,587
ආනයන වියදම් - ඩොලර් මිලියන 20,637
සේවා ආනයන වියදම් - ඩොලර් මිලියන 899
ප්‍රාථමික ආදායම් ගෙවීම් - ඩොලර් මිලියන 2,075
ද්වීතියික ආදායම් ගෙවීම් - ඩොලර් මිලියන 270
ගෙවීම් එකතුව - ඩොලර් මිලියන 23,871
දැන් මේ 2021 අවුරුද්දෙත් ඩොලර් මිලියන 3,284ක හිඟයක් තිබෙනවා. මේ හිඟය නඩත්තු වුනේ 2012දී වගේ විදේශ ණය ගත් නිසාම නෙමෙයි. මහ බැංකුවේ නිල සංචිත විකුණපු නිසා. සංචිත හින්දවමින් ඩොලරයක මිල පහළින් තියා ගත් නිසා ආනයන වියදම් ඒ විදිහටම පවත්වා ගත හැකි වුනා. අන්තිමට සංචිත හිඳිලා රට බංකොලොත් වුනා.
මේ ප්‍රශ්නය වැඩි අපහසුවකින් තොරව විසඳිය හැකිව තිබුණු "හදාගත්" ප්‍රශ්නයක්. සාර්ව ආර්ථික ප්‍රතිපත්ති නිවැරදි කරපු ගමන්ම දැන් ප්‍රශ්නය විසඳිලා තියෙන්නේ ඒ නිසා. පහත තියෙන්නේ මේ (2023) වසරේ පළමු මාස නවය ඇතුළත විදේශ විණිමය ලැබීම් හා ගෙවීම් තුලනය වුනු ආකාරය.
2023 පළමු මාස නවයේ ජංගම ගිණුම:
අපනයන ආදායම් - ඩොලර් මිලියන 8,982
සේවා අපනයන ආදායම් - ඩොලර් මිලියන 3,690
ප්‍රාථමික ආදායම් - ඩොලර් මිලියන 337
ද්වීතියික ආදායම් - ඩොලර් මිලියන 4,349
ඉපැයීම් එකතුව - ඩොලර් මිලියන 17,358
ආනයන වියදම් - ඩොලර් මිලියන 12,323
සේවා ආනයන වියදම් - ඩොලර් මිලියන 1,256
ප්‍රාථමික ආදායම් ගෙවීම් - ඩොලර් මිලියන 2,258
ද්වීතියික ආදායම් ගෙවීම් - ඩොලර් මිලියන 289
ගෙවීම් එකතුව - ඩොලර් මිලියන 16,127
මේ අනුව, 2023 පළමු මාස නවය ඇතුළත පමණක් ජංගම ගිණුමේ ඩොලර් මිලියන 1,258ක අතිරික්තයක් තියෙනවා. මේ මුදල ඉතිරි වෙන්නේ පැරණි ණය සඳහා පොලී වගේම විදේශ ආයෝජන සඳහා ලාභාංශද ගෙවුවට පස්සේ. ප්‍රාථමික ආදායම් ගෙවීම් ලෙස සටහන්ව තිබෙන්නේ එම ගෙවීම්. ඒ නිසා, මේ මුදල පැරණි ණය වලින් කොටසක් ආපසු ගෙවීම සඳහා යොදාගත හැකි මුදලක්.
මේ විදිහට, දිගටම ජංගම ගිණුමේ අතිරික්තයක් පවත්වා ගන්න පුළුවන්නම් අවුරුද්දෙන් අවුරුද්ද රටේ විදේශ ණය ටිකෙන් ටික ගෙවී යනවා. එහෙම ගෙවී යද්දී ප්‍රාථමික ආදායම් ගෙවීම් ලෙස වාර්ෂිකව රටෙන් එළියට යන විදේශ විණිමය ප්‍රමාණයද ටිකෙන් ටික අඩු වෙනවා. විදේශ ආයෝජන සඳහා ලබා ගන්නා ලාභාංශ වලින් වැඩි කොටක් නැවත රට ඇතුළේම ආයෝජනය කෙරෙන නිසා ඇත්තටම ජංගම ගිණුමේ සුළු හිඟයක් තිබුණත් රටට ගෙවුම් ශේෂ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ.
ගෙවුම් ශේෂ ප්‍රශ්න එන්න පාදක හේතුව රජය විසින් ආදායම ඉක්මවා වියදම් කරමින් එම අඩුව පුරවා ගන්න විදේශ ණය ගැනීම. ඒ මූලික ප්‍රශ්නය විසඳුනු විට, මහ බැංකුව විසින් විණිමය අනුපාතය කෘතීම ලෙස පහළින් තියා ගත්තේ නැත්නම්, ගෙවුම් ශේෂ ප්‍රශ්නය ඉබේටම වගේ විසඳෙනවා.
Thursday, December 28, 2023
නොවැම්බර් අවසානයේදී වෙළඳ ශේෂය
නොවැම්බර් මාසයේ ආනයන හා අපනයන පිළිබඳ සංඛ්‍යාලේඛණ ප්‍රකාශයට පත් වී තිබෙනවා. අපනයන ආදායම ඩොලර් මිලියන 999ක්. ආනයන වියදම ඩොලර් මිලියන 1,389ක්. මාසය තුළ වෙළඳ හිඟය ඩොලර් මිලියන 390ක්.
අවුරුද්දේ පළමු මාස එකොළහම සැලකූ විට, අපනයන ආදායම ඩොලර් මිලියන 10,909ක්. ආනයන වියදම ඩොලර් මිලියන 15,323ක්. සමුච්ඡිත වෙළඳ හිඟය ඩොලර් මිලියන 4,414ක්.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සංශෝධිත ඇස්තමේන්තු අනුව, වසරේ අපේක්ෂිත අපනයන ආදායම ඩොලර් මිලියන 12,365ක්. එම ඇස්තමේන්තුව නිවැරදි වෙන්නනම් දෙසැම්බර් මාසයේ අපනයන ආදායම ඩොලර් මිලියන 1,456ක් විය යුතුයි. එහෙත්, එම ආදායම ඒ මට්ටමට යාමේ ඉඩක් නැහැ. මෙම වසරේ සැබෑ අපනයන ආදායම අරමුදලේ සංශෝධිත ඇස්තමේන්තුවට වඩා ඩොලර් මිලියන 400කින් පමණ අඩු විය හැකියි.
ඒ වගේම, අරමුදලේ සංශෝධිත ඇස්තමේන්තු අනුව, වසරේ අපේක්ෂිත ආනයන වියදම ඩොලර් මිලියන 17,887ක්. එම ඇස්තමේන්තුව නිවැරදි වෙන්නනම් දෙසැම්බර් මාසයේ ආනයන වියදම ඩොලර් මිලියන 2,564ක් විය යුතුයි. එහෙත්, එය කිසිසේත්ම ඒ මට්ටමට යන්නේ නැහැ. මෙම වසරේ සැබෑ ආනයන වියදම ආසන්න වශයෙන් අරමුදලේ සංශෝධිත ඇස්තමේන්තුවට වඩා ඩොලර් බිලියනයකින් පමණ අඩු විය හැකියි.
අරමුදලේ සංශෝධිත ඇස්තමේන්තු අනුව මෙම වසරේ වෙළඳ හිඟය ඩොලර් මිලියන 5,523ක් විය යුතු වුවත්, ඉහත කී පරිදි අපනයන ආදායම් ඇස්තමේන්තුවට වඩා අඩු වෙද්දී ආනයන වියදම් ඊටත් වඩා වැඩියෙන් අඩුවීම නිසා වසරේ වෙළඳ හිඟය ආසන්න වශයෙන් ඩොලර් බිලියන 4.9-5.0කට වඩා වැඩි වෙන එකක් නැහැ.
වෙළඳ හිඟයක් තිබීම ලංකාවට සාමාන්‍ය තත්ත්වයක්. 1956 වසරෙන් පසුව ලංකාවේ වෙළඳ ගිණුමේ අතිරික්තයක් පැවතුණේ 1977 වසරේදී පමණයි. එයද, ආනයන කිරීම සඳහා විදේශ විණිමය නැතිකමින් ආනයන පාලනය කිරීම නිසා සිදු වූ දෙයක් මිසක් ස්වභාවිකව ඇති වූ වර්ධනයක් නෙමෙයි. කොහොම වුනත්, රටක වෙළඳ ගිණුමේ හිඟයක් තිබීම ලොකු ප්‍රශ්නයක් හෝ අමුතු දෙයක් නෙමෙයි.
වෙළඳ ගිණුමේ සටහන් කරන්නේ භාණ්ඩ ආනයනය හා අපනයනය හා අදාළ ආදායම් හා වියදම්. ඇතැම් අය වෙළඳ ගිණුමේ ශේෂයට ඕනෑවට වඩා ලොකු අවධානයක් යොමු කළත්, භාණ්ඩ ආනයනය හා අපනයනය කියන්නේ රටකට විදේශ විණිමය එන සහ රටෙන් විදේශ විණිමය යන එක් ක්‍රමයක් පමණයි.
මේ වෙද්දී ලංකාවේ ආර්ථිකය ප්‍රධාන වශයෙන්ම සේවා ආර්ථිකයක්. ආර්ථිකයේ විදේශ අංශය සැලකුවත්, භාණ්ඩ ආනයන හා අපනයන වලට සාපේක්ෂව සැලකිය යුතු තරමක සේවා ආනයන හා අපනයන සිදු වෙනවා. මේ ආදායම් හා වියදම් සටහන් වන්නේ සේවා ගිණුමේ. ලංකාවේ වෙළඳ ගිණුමේ ශේෂය දිගින් දිගටම සෘණ පැත්තේ තිබුණත්, සේවා ගිණුමේ හැම විටම මෙන් අතිරික්තයක් තිබෙනවා.
ඊට අමතරව, කවුරුත් දන්නා පරිදි, රටට වාර්ෂිකව විශාල ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබෙනවා. මෙම ප්‍රමාණය පමණක් සැලකුවත් ඉහත සඳහන් ඩොලර් බිලියන 4.9-5.0ක පමණ වෙළඳ හිඟයට වඩා වැඩියි. සේවා ගිණුමේ අතිරික්තය වෙනම තිබෙනවා. ශ්‍රමික ප්‍රේෂණ කියා කියන්නේ රටින් පිට ජීවත් වන හෝ සේවය කරන ශ්‍රී ලාංකිකයෝ ඒ රට වල භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනයට දායක වෙලා උපයන දෙයින් ලංකාවට එවන මුදල්. මේවාත් ලංකාවට ලැබෙන ආදායම්.
රටට ඩොලර් එනවානම්, මොන විදිහෙන් ආවත්, ඒවා ඩොලර්ම තමයි. ඩොලර් එන්නේ භාණ්ඩ අපනයනයෙන්ද, සේවා අපනයනයෙන්ද එහෙම නැත්නම් ශ්‍රමික ප්‍රේෂණ විදිහටද කියන එක අදාළ නැහැ. ඩොලර් රටින් පිට වෙද්දීත්, ඔය විදිහටම, යන හේතුව අදාළ නැහැ. ඩොලරයක් රටෙන් යද්දී රටේ තිබෙන ඩොලරයක් අඩු වෙනවා. ඒ අඩු වෙන්නේ මොන විදිහකින් හෝ ඉපැයිය යුතු ඩොලරයක්. ඩොලරය උපයන්නේ භාණ්ඩ අපනයනයෙන්ද, සේවා අපනයනයෙන්ද එහෙම නැත්නම් වෙනත් ක්‍රමයකටද කියන එක වැදගත් නැහැ.
වෙළඳ ගිණුමේ හිඟයක් තිබීම ප්‍රශ්නයක් නොවුනත්, දිගින් දිගටම ජංගම ගිණුමේ හිඟයක් තිබෙනවානම් එය ප්‍රශ්නයක්. ජංගම ගිණුම කියා කියන්නේ වෙළඳ, සේවා, ප්‍රාථමික ආදායම් හා ද්වීතියික ආදායම් ගිණුම් වල එකතුව. මේ සියල්ලේ එකතුව විදේශ විණිමය අතිරික්තයක්නම් රටට විදේශ විණිමය ප්‍රශ්නයක් නැහැ. නමුත්, සමස්තයක් ලෙස ජංගම ගිණුමේ හිඟයක් තියෙනවානම් ඒ හිඟය පියැවෙන තරමට විදේශ ආයෝජන රටට පැමිණිය යුතුයි. එහෙම නැත්නම් විදේශ ණය ගන්න හෝ සංචිත වියදම් කරන්න වෙනවා.
ලංකාවේ විදේශ අංශයේ සැබෑ ප්‍රශ්නය දිගින් දිගටම ජංගම ගිණුමේ හිඟයක් තිබීම. ඉන් පසුව, 1977න් පසු පළමු වරට, මේ අවුරුද්දේ ජංගම ගිණුමේ අතිරික්තයක් පැවතීමට නියමිතයි. එයින් අදහස් වන්නේ වසර තුළ උපයනු ලැබූ විදේශ විණිමය ප්‍රමාණයට වඩා අඩුවෙන් වියදම් කර ඇති බවයි. ඒ කියන්නේ, ශුද්ධ වශයෙන් විදේශ ණය ආපසු ගෙවා හෝ සංචිත වැඩි කරගෙන ඇති බවයි. 1956න් පසු එවැන්නක් සිදුව තිබෙන්නේ 1965දී සහ 1977දී පමණයි.
ජංගම ගිණුමේ අතිරික්තයක් ඇති විට විදේශ ණය අවශ්‍ය වන්නේ කලින් ගත් විදේශ ණය ආපසු ගෙවීමට හෝ සංචිත තර කර ගැනීමට පමණයි. ඒ නිසා, විණිමය අනුපාතය මත වන පීඩනය සැලකිය යුතු ලෙස අඩු වෙනවා. දිගින් දිගටම ජංගම ගිණුමේ අතිරික්තයක් පවත්වා ගත හැකිනම්, රටේ මුදල් ඒකකය අවප්‍රමාණය වීම නැවතී අධිප්‍රමාණය වෙන්න පටන් ගන්නවා. සංචිත ඉහළ යනවා. විදේශ ණය අඩු වෙනවා.
කොහොම වුනත්, දැනට පවතින තත්ත්වය තිරසාර තත්ත්වයක් නෙමෙයි. එක පැත්තකින් විදේශ ණය වලින් කොටසක පොලී ගෙවීම අත් හිටවලයි තියෙන්නේ. ඒ පොලී නියම විදිහට ගෙවුවානම් ජංගම ගිණුමේ ශේෂය අඩු වෙනවා. අනෙක් අතට වාහන වැනි ආනයන තවමත් සිදු වෙන්නේ නැහැ. ඒ ආනයන සිදු වුනානම් ආනයන වියදම් මීට වඩා වැඩි වෙනවා. හැබැයි මෙවැනි සීමාකාරී තත්ත්වයක් යටතේ වුවත්, ජංගම ගිණුමේ අතිරික්තයක් පවත්වා ගැනීම සුවිශේෂී දෙයක්.
ලංකාවේ ජංගම ගිණුමේ දිගින් දිගටම හිඟයක් පැවතුණේ ඇයි?
මෙවැනි තත්ත්වයක් ඇති වුනේ රජය විසින් දිගින් දිගටම විදේශ ණය අරගෙන ඒ අරමුදල් රුපියල් කර වියදම් කිරීම නිසා. ණයට ගන්න ඩොලර් රුපියල් කරද්දී රටේ ඩොලර් සැපයුම උපයන ඩොලර් ප්‍රමාණය ඉක්මවා ඉහළ යනවා. එවිට ඩොලරයේ මිල පහළ ගිහින් ආනයන ඕනෑවට වඩා ලාබ වී ආනයන ලෙස රටින් පිට වන විදේශ විණිමය ප්‍රමාණය ඉහළ යනවා. ඒ හරහා, ණය ලෙස රටට ආ ඩොලර් ප්‍රමාණය රටින් පිට වී ඩොලර් වෙළඳපොළ තුලනය වෙනවා.
මේ ක්‍රමය මේ විදිහට පවත්වා ගන්න දිගින් දිගටම විදේශ ණය ගන්න වෙනවා. එය කළ නොහැකි වූ විට විදේශ අංශයේ අර්බුදයක් ඇති වෙනවා. ඔය වැඩේ ඔය විදිහට නොවුනානම්, ලංකාවේ විදේශ විණිමය අර්බුදයක් ඇති වෙන්නේ නැහැ.
රටේ විදේශ විණිමය ප්‍රශ්නය විසඳා ගැනීමේ පූර්ව කොන්දේසියක් විදිහට රජයේ අයවැය තුලනය කර ගත යුතු වන්නේ ඔන්න ඔය හේතුව නිසා. රජයේ ප්‍රාථමික අයවැය ශේෂය අතිරික්තයක් වූ විට රජයට පැරණි ණය හා පොලී ගෙවීමට මිසක් එදිනෙදා වියදමට ණය ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසාම, විදේශ ණය හා පොලී ගෙවන්න අවශ්‍ය ප්‍රමාණය මිසක් ඊට වඩා වැඩියෙන් විදේශ ණය ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ.
මේ වගේ තත්ත්වයක් යටතේ, අලුතෙන් ගන්න විදේශ ණය පැරණි ණය වල පොලී හා වාරික ලෙස රටින් එළියට යන නිසා රජය විසින් ණයට ගන්න ඩොලර් රුපියල් වීමක් වෙන්නේ නැහැ. ඒ නිසා, රටේ ඩොලර් වෙළඳපොළ උපයන ඩොලර් ප්‍රමාණය හා ගැලපෙන පරිදි තුලනය වෙනවා. එයින් කොටසක් මහ බැංකුව විසින් සංචිත ලෙස වෙළඳපොළෙන් ඉවත් කරගත් විට ජංගම ගිණුමේ අතිරික්තයක් හැදෙනවා.
රටේ විදේශ විණිමය ආදායම් වැඩි වෙන දේවල් මොකක්වත් ආණ්ඩුව විසින් කරලා නැත්නම් විදේශ විණිමය ප්‍රශ්නය විසඳෙන්නේ කොහොමද? ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්. විදේශ විණිමය ආදායම් හොයන එක පුද්ගලයින්ගේ හා සමාගම් වල වැඩක්. රජයට ඒ සඳහා වඩා යෝග්‍ය වාතාවරණයක් හදා දෙන්න පුළුවන්. එහෙත්, විදේශ ආදායම් වැඩි කරගන්න එක රජයට සෘජුව කළ හැකි දෙයක් නෙමෙයි. ඒ වගේම, රජය විසින් එසේ නොකිරීම ප්‍රශ්නයකුත් නෙමෙයි.
රජය විසින් රජයේ අයවැය තුලනය කර ගන්නවානම්, විදේශ ණය අරගෙන රුපියල් කර රටේ විණිමය වෙළඳපොළේ තුලනය නැති නොකරනවානම්, මහ බැංකුව විසින් විණිමය අනුපාතය පාලනය කිරීමට මැදිහත් නොවනවානම්, රටට විදේශ විණිමය ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. විදේශ විණිමය සඳහා නියම මිල ලැබෙනවානම් රටේ මිනිස්සු විදේශ විණිමය හොයනවා. ඒ හොයන්නේ භාණ්ඩ අපනයනයෙන් හෝ සේවා අපනයනයෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රටින් පිටවී ප්‍රේෂණ රටට එවීම මගින් වෙන්නත් පුළුවන්. මොන විදිහට ආවත් ඒ එන්නේ විදේශ විණිමය.
කලින් කී පරිදි, රජය ණය විදේශ අරගෙන වෙළඳපොළට පොම්ප කරන්නේ නැත්නම්, මහ බැංකුව විණිමය අනුපාතය කෘතිමව පාලනය කරන්නේ නැත්නම්, රටට එන විදේශ විණිමය ප්‍රමාණයෙන් දිගුකාලීනව රටේ විදේශ විණිමය අවශ්‍යතා සම්පූර්ණ වෙනවා. විදේශ විණිමය හිඟයක් ඇති වෙන්නේ නැහැ. තාවකාලිකව එවැනි තත්ත්වයන් ඇති විය හැකි වුවත් මහ බැංකුවේ ප්‍රමාණවත් සංචිත පවත්වා ගැනීම මගින් එවැනි තාවකාලික කම්පන වලට මුහුණ දෙන්න පුළුවන්.
Sunday, December 24, 2023
විදේශ අංශයේ තුලනය
ස්ථායීකරණ වැඩපිළිවෙලේ ප්‍රගතිය ගැන සමාලෝචනය කළ පෙර ලිපියෙහි එම වැඩ පිළිවෙළ සාර්ථක ලෙස ක්‍රියාවට නැංවීම හා අදාළව අප විසින් පෙර හඳුනාගත් අභියෝග හතරක් ගැන මුලින්ම මතක් කළා. ඉන් පසුව, එම අභියෝග හතරෙන් පළමුවැන්න වූ කෙටිකාලීන රාජ්‍යමූල්‍ය ඉලක්ක සාක්ෂාත් කර ගැනීමේ ප්‍රගතිය ගැන විස්තරාත්මකව කතා කළා.
ඉහත ලිපියෙහි විස්තරාත්මක කරුණු සමඟ පෙන්වා දී ඇති පරිදි, මෙම වසර අවසන් වෙද්දී වැඩ සටහනෙහි ආරම්භක රාජ්‍ය ආදායම් ඉලක්කය වූ දදේනියෙන් 11.0 කරා යාමේ හැකියාවක් පෙනෙන්නට නැහැ. එහෙත්, අපගේ ඇස්තමේන්තු අනුව, මීට ආසන්න 10.7% වැනි ඉලක්කයක් කරා යාමේ හැකියාව පෙනෙන්නට තිබෙනවා. මෙය අරමුදලේ සංශෝධිත ඇස්තමේන්තුව වන දදේනියෙන් 10.2%ට වඩා වැඩි අගයක්. ඊට අමතරව, රාජ්‍ය වියදම් සීමා කිරීම මගින්, අරමුදල ලබා දී ඇති ප්‍රාථමික අයවැය හිඟ ඉලක්කය ඉක්මවමින්, ප්‍රාථමික අයවැය අතිරික්තයක් වාර්තා කිරීමේ ඉඩකඩද පෙනෙන්නට තිබෙනවා. මේ අනුව, සංරචක ඉලක්ක වල අඩුපාඩු තිබුණත්, සමස්තයක් ලෙස අවසාන ඉලක්කය දෙස බැලූ විට පෙනී යන්නේ මුලින් අපේක්ෂා කළාට වඩා හොඳ තත්ත්වයක්.
මෙම ලිපියෙන් අප කතා කරන්නට යන්නේ දෙවන අභියෝගය වන කෙටිකාලීනව විදේශ අංශය තුලනය කර ගැනීමේ ප්‍රගතිය පිළිබඳවයි.
අප දන්නා පරිදි, මෙම ආර්ථික අර්බුදය ප්‍රධාන වශයෙන්ම ආර්ථිකයේ විදේශ අංශයේ අර්බුදයක්. රාජ්‍යමූල්‍ය අංශයේ අසමතුලිතතාව එම අර්බුදයට පාදක හේතුවක්. විදේශ අංශයේ අසමතුලිතතා සමනය කර ගැනීම සඳහා රාජ්‍යමූල්‍ය අංශයේ සමතුලිතතාව වැදගත් වන්නේ ඒ නිසා. කෙසේ වුවත්, ප්‍රධාන ප්‍රශ්නය විදේශ අංශය තුලනය කර ගැනීමයි.
ආර්ථික අර්බුදයේ ආසන්න හේතුව වූයේ විදේශ අංශයේ සමතුලිතතාව ගිලිහී විදේශ ණය වාරික හා පොලී ආපසු නොගෙවිය හැකි තත්ත්වයක් ඇති වීමයි. මෙහිදී ඇති වූ අසමතුලිතතාවයේ ප්‍රමාණය අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගයෙන් පමණක් එම අසමතුලිතතාව සමනය කර ගැනීමේ හැකියාවක් තිබුණේ නැහැ. ඒ සඳහා, විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් නොකරම බැරි තත්ත්වයක් ඇති වී තිබුණා.
මැදිකාලීනව විදේශ අංශය තුලනය කර ගැනීම සඳහා කළ යුතු වූ ප්‍රධානම දෙය විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමයි. මේ වන විට ඒ සඳහා පැරිස් සංසදයේ හා චීනයේ මූලික එකඟතාවය ලැබී තිබෙනවා. කෙසේ වුවත්, කරුණක් ලෙස, මේ වන තුරුද විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු වී නැහැ. එමෙන්ම වසර අවසාන වන විට එය සිදුවීමේ ඉඩක්ද පෙනෙන්නට නැහැ.
විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු වී නැති පසුබිමක, විදේශ අංශයේ තුලනය පවත්වා ගෙන යන්නේ ණය වාරික හා පොලී ගෙවීම් දිගින් දිගටම පැහැර හරිමිනුයි. මෙය දිගුකාලීනව ස්ථායී සමතුලිතතාවයක් නෙමෙයි. එහෙත්, එය තාවකාලික සමතුලිතතාවයක්. දැනට අපට කළ හැක්කේ මෙම තාවකාලික සමතුලිතතාවය පිළිබඳව විමසා බැලීමක් කිරීම පමණයි.
අරමුදලේ ඉලක්ක අනුව වසර අවසන් වෙද්දී ජංගම ගිණුමේ හිඟය ඩොලර් මිලියන 1,184 නොඉක්මවිය යුතුයි. එහෙත්, අරමුදලේ සංශෝධිත ඇස්තමේන්තු අනුව වර්ෂාවසානයේදී ජංගම ගිණුමෙහි ඩොලර් මිලියන 1,234ක අතිරික්තයක් වාර්තා වීමට නියමිතයි. එය එසේ වුවහොත් මෙම 2023 වසර 1977 වසරෙන් පසුව ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා වන පළමු වසර බවටත්, 1956න් පසුව එවැනි අතිරික්තයක් වාර්තා වන තුන්වන වසර බවටත් පත් වෙනවා.
ජංගම ගිණුමේ අතිරික්තයක් පැවතීම යනු ණය ගැනීම් ආදිය නැතිව, ඇත්තටම උපයන විදේශ විණිමය ප්‍රමාණයෙන් වසරේ සියලු විදේශ විණිමය අවශ්‍යතා සපුරා ගැනීමෙන් අනතුරුව ඉතිරි කර ගන්නා විදේශ විණිමය ප්‍රමාණයයි. එවැනි තත්ත්වයක් පැවතීම 1956න් පසු ලංකාවට නුහුරු දෙයක්. 1956 වසරෙන් පසුව මෙවැන්නක් සිදුව තිබෙන්නේ රුපියල විශාල ලෙස අවප්‍රමාණය කළ හා මුලින්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උදවු ලබාගත් 1965 වසරේදී සහ ඉන් පසුව ද්විත්ව විණිමය අනුපාත ක්‍රමය අවසන් කර නිල විණිමය අනුපාතය වෙළදපොළ අනුපාතය හා ගලපනු ලැබූ 1977 වසරේදී පමණයි.
කෙසේ වුවද, මෙවැන්නක් සිදු වන්නේ ආනයන සඳහා සීමා පනවා ඇති පසුබිමකයි. එම සීමා ඉවත් වීනම් මේ තත්ත්වය වෙනස් විය හැකිව තිබුණා.
දැන් අපි විදේශ අංශයේ එක් එක් කොටස් දෙස වෙන වෙනම විමසා බලමු.
අපනයන ආදායම්
අරමුදලේ මුල් ඇස්තමේන්තුව අනුව වසරේ අපනයන ආදායම් ඩොලර් මිලියන 13,666ක් විය යුතු නමුත් සංශෝධිත ඇස්තමේන්තු අනුව අපේක්ෂා කළ හැක්කේ ඩොලර් මිලියන 12,365ක අපනයන ආදායමක් පමණයි. මේ අනුව, වසර තුළ අපේක්ෂිත ඩොලර් ලැබීම් වල මිලියන 1,301ක අඩුවක් පෙනෙන්නට තිබෙනවා. වසරේ පළමු මාස දහය ඇතුළත අපනයන ආදායම ඩොලර් මිලියන 9,909.8ක් පමණයි. මෙය පෙර වසරේ පළමු මාස දහයට සාපේක්ෂව 10.3%ක අඩුවක්. මෙම අඩුවීමට ප්‍රධාන වශයෙන්ම හේතු වී තිබෙන්නේ ඇඟලුම් අපනයන ආදායම ඩොලර් මිලියන 977.9කින් අඩුවීමයි. එයට හේතුව පැහැදිලි නැහැ.
සමස්තයක් ලෙස මෙම වසරේ අපනයන ආදායම් පෙර වසරට සාපේක්ෂව 10.3%කින් පහළ ගියහොත් වසර අවසන් වන විට වාර්තා වන අපනයන ආදායම විය හැක්කේ ඩොලර් මිලියන 11,761ක් පමණයි. පළමු මාස දහයේ සාමාන්‍ය මාසික අපනයන ආදායම අනුව ඇස්තමේන්තු කළහොත් මෙම අගය ඩොලර් මිලියන 11,893ක්. ඒ අනුව, අපගේ ඇස්තමේන්තුව වනුයේ අරමුදලේ සංශෝධිත අපනයන ආදායම් ඉලක්කය ලඟා කර ගැනීමද අසීරු විය හැකි බවයි. සැබෑ අපනයන ආදායම සංශෝධිත ඇස්තමේන්තුවට වඩා ඩොලර් මිලියන 400-600කින් පමණ අඩු විය හැකියි.
ආනයන වියදම්
අරමුදලේ මුල් ඇස්තමේන්තුව අනුව වසරේ ආනයන වියදම් ඩොලර් මිලියන 20,597ක් විය යුතු නමුත් සංශෝධිත ඇස්තමේන්තු අනුව මෙම වියදම ඩොලර් මිලියන 17,887කට සීමා වෙනවා. වසරේ පළමු මාස දහය ඇතුළත ආනයන වියදම ඩොලර් මිලියන 13,933.8ක් ලෙස සටහන්ව තිබෙන අතර මෙය පෙර වසරට සාපේක්ෂව 9.6%කින් අපනයන වියදම් අඩුවීමක්. මෙම අනුපාතය අනුව, මෙම වසරේ අපනයන වියදම ඩොලර් මිලියන 16,527ක් විය යුතුයි. එම අගය අරමුදලේ සංශෝධිත ඇස්තමේන්තුවට වඩා සැලකිය යුතු ලෙස අඩු අගයක්. පළමු මාස දහයේ සාමාන්‍ය මාසික ආනයන වියදම අනුව ඇස්තමේන්තු කළහොත් මෙම අගය ඩොලර් මිලියන 16,721ක්. සැබෑ ආනයන වියදම සංශෝධිත ඇස්තමේන්තුවට වඩා ඩොලර් මිලියන 1200-1400කින් පමණ අඩු විය හැකියි.
වෙළඳ ශේෂය
අරමුදලේ මුල් ඇස්තමේන්තුව වූ ඩොලර් මිලියන 6,921ක වෙළඳ ශේෂ හිඟයට සාපේක්ෂව සංශෝධිත ඇස්තමේන්තුව අනුව එම හිඟය ඩොලර් මිලියන 5,523ක් පමණයි. අපගේ ඉහත ඇස්තමේන්තු අනුව මෙම හිඟය ඩොලර් මිලියන 4,800ක් පමණ විය යුතුයි. ඒ නිසා, වෙළඳ ගිණුමේ හිඟය අරමුදලේ ඇස්තමේන්තුවට වඩා අඩු වීමට මිස වැඩි වීමට ඉඩක් පෙනෙන්නේ නැහැ.
සේවා ගිණුම
සේවා අපනයන ආදායම් ඇස්තමේන්තුව ඩොලර් මිලියන 5,511 සිට 4,438 දක්වාත්, සේවා ආනයන වියදම් ඇස්තමේන්තුව ඩොලර් මිලියන 2,004 සිට 1,507 දක්වාත් පහත හෙළා තිබෙනවා. මේ අනුව සේවා ගිණුමේ අතිරික්තය ඩොලර් මිලියන 3,507 සිට 2,868 දක්වා පහත වැටී තිබෙනවා. මෙම සංශෝධිත ඇස්තමේන්තුව වැඩිදුර විමර්ශනය කළ හැකි ප්‍රමාණවත් අමතර දත්ත අප සතුව නැහැ. එහෙත් වසරේ පළමු අර්ධයේ සේවා ගිණුම් අතිරික්තය 1,242ක් වූ බවත්, දෙවන අර්ධයේ සංචාරක ඉපැයීම් වල පළමු අර්ධයට සාපේක්ෂව විශාල වෙනසක් නොතිබීමත් සැලකූ විට සේවා ගිණුමේ අතිරික්තය ඩොලර් මිලියන 2,500ක් පමණ වීමට වැඩි ඉඩකඩක් තිබෙනවා. මෙය සංශෝධිත ඇස්තමේන්තුවට වඩා ඩොලර් මිලියන 300-400කින් පමණ අඩුයි. කෙසේ වුවත්, වෙළඳ හා සේවා ගිණුම් එකට ගත් විට දැකිය හැක්කේ අරමුදලේ සංශෝධිත ඇස්තමේන්තුවට ආසන්න හා තරමක් හොඳ තත්ත්වයක්.
ප්‍රාථමික ආදායම් ගිණුම
අරමුදලේ සංශෝධිත ඇස්තමේන්තු වල ප්‍රාථමික ආදායම් ගිණුමේ හිඟය ඩොලර් මිලියන 1,993 සිට ඩොලර් මිලියන 1,715 දක්වා පහත හෙළා තිබෙනවා. පළමු මාස හය තුළ මෙම හිඟය ඩොලර් මිලියන 992ක්. පොලී අනුපාතික පහත යාම නිසා මෙම හිඟය අරමුදලේ සංශෝධිත ඇස්තමේන්තුවට ආසන්න විය හැකියි. ඇතැම් විට ඊට වඩා තරමක් වැඩි හා මුල් ඇස්තමේන්තුවට ආසන්න විය හැකියි. එසේ වුවද, සේවා, වෙළඳ හා ප්‍රාථමික ආදායම් ගිණුම් ඇස්තමේන්තු සමස්තයක් ලෙස ගත් විට අප දකින ප්‍රතිඵලය අරමුදලේ සංශෝධිත ඇස්තමේන්තු මත පදනම් වූ සමස්ත චිත්‍රයට සමානයි.
ද්වීතියික ආදායම් ගිණුම
ශ්‍රමික ප්‍රේෂණ සටහන් වන්නේ මෙම ගිණුමේ. එම ලැබීම් ශුද්ධ ලෙස ඩොලර් මිලියන 4,233 සිට ඩොලර් මිලියන 5,602 දක්වා ඉහළ නංවා තිබෙනවා. පළමු මාස 11 තුළ ශ්‍රමික ප්‍රේෂණ ලෙස ඩොලර් මිලියන 5,399.8ක් දැනටමත් ලැබී ඇති අතර දෙසැම්බර් මාසයේ ප්‍රේෂණ එකතු වූ විට මෙම ප්‍රමාණය ඩොලර් බිලියන 6කට ආසන්න විය යුතුයි. මෙම ප්‍රමාණයෙන් ඩොලර් මිලියන 400ක් පමණ නැවත රටින් පිටට ප්‍රේෂණය කෙරෙන බව සැලකුවහොත්, ද්වීතියික ආදායම් ගිණුමේ ශුද්ධ ශේෂය අරමුදලේ සංශෝධිත ඇස්තමේන්තුවට ආසන්න වෙනවා.
ජංගම ගිණුම
ජංගම ගිණුමේ ශේෂය ඉහත ගිණුම් හතරේ ශේෂයන්හි එකතුවයි. අපගේ විශ්ලේෂණය අනුව වෙළඳ ගිණුමේ හිඟය මෙන්ම සේවා ගිණුමේ අතිරික්තයද අරමුදලේ සංශෝධිත ඇස්තමේන්තු වලට වඩා අඩු වීමට ඉඩ තිබෙනවා. එමෙන්ම, ප්‍රාථමික ආදායම් ගිණුමේ හිඟයද සුළු වශයෙන් වැඩි විය හැකියි. ද්වීතියික ආදායම් ගිණුමේ අතිරික්තය අරමුදලේ සංශෝධිත ඇස්තමේන්තුවට ආසන්න විය යුතුයි. මේ සියල්ලේ සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය අනුව අප දකින චිත්‍රය අනුව ජංගම ගිණුමේ ශේෂය හා අදාළව අරමුදලේ සංශෝධිත ඇස්තමේන්තුව වන ඩොලර් මිලියන 1,234ක අතිරික්තය යථාර්තයට බොහෝ දුරට කිට්ටු විය යුතු බව අපේ අදහසයි. එය එසේ වුවහොත් මෙය දදේනියෙන් 1.5%කට සමාන ජංගම ගිණුම් අතිරික්තයක්. පෙර සඳහන් කළ පරිදි, 1956න් පසුව ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා වී තිබෙන්නේ 1965 හා 1977 වර්ෂ වලදී පමණයි.
කළ යුතුම දෙය වන විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම මේ වන විටද සිදු වී නැහැ. එහෙත්, ජංගම ගිණුමේ අතිරික්තයක් පවත්වා ගෙන තිබෙන නිසා අලුතෙන් විදේශ ණය අවශ්‍ය වන්නේ පැරණි විදේශ ණය ගෙවීම සඳහා පමණයි. විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු කෙරෙන තුරු එම ණය හා වාරික ආපසු ගෙවීමක් සිදු නොවන නිසා මේ තත්ත්වය යටතේ වැඩි අපහසුතාවයකින් තොරව විදේශ අංශයේ සමතුලිතතාවය පවත්වා ගත හැකියි. කෙසේ වුවත්, මෙවැන්නක් සිදු වන්නේ ආනයන වෙළඳපොළ නිදහස්ව නැති පසුබිමකයි. ඒ නිසා මෙය ස්ථාවර තත්ත්වයක් වන්නේ කෙටිකාලීනව පමණයි.
Monday, August 7, 2023
ජංගම ගිණුම් ශේෂය හා ජූලි අවසානයේදී නිල සංචිත
පෙර ලිපියේ සහ ඊට පෙර වසර කිහිපයක් පුරා පළ කර තිබෙන ලිපි ගණනාවක පැහැදිලි කර ඇති පරිදි රජයේ ආදායම් හා වියදම් ගලපා ගනිමින් ප්‍රාථමික අතිරික්තයක් පවත්වා ගත හැකිනම් ලංකාවේ රාජ්‍යමූල්‍ය ප්‍රශ්නයෙන් සෑහෙන කොටසක් එතැනින්ම ඉවර වෙනවා. ඒ එක්කම රටේ තවත් ප්‍රශ්න ගණනාවක් විසඳෙනවා. උදාහරණයක් විදිහට දිගුකාලීනව පොලී අනුපාතික ඉහළ මට්ටමක පැවතීමේ ප්‍රශ්නය. දෙවැන්න ගැන වෙනත් ලිපියක හෝ වීඩියෝවක විස්තරාත්මකව පැහැදිලි කරන්නම්.
මෙතෙක් රටේ ඇති වූ ආර්ථික අර්බුද සියල්ලටම මෙන් හේතු වූ ගෙවුම් ශේෂ ප්‍රශ්නයට එකම හේතුව රාජ්‍යමූල්‍ය ප්‍රශ්නය නොවුනත්, එම ප්‍රශ්නයද බොහෝ දුරට රාජ්‍යමූල්‍ය ප්‍රශ්නයේම ව්‍යුත්පන්නයක්. ඒ නිසා, ගෙවුම් ශේෂ ප්‍රශ්නය විසඳාගැනීම සඳහා රාජ්‍යමූල්‍ය ප්‍රශ්නය විසඳා ගැනීම කළ යුතුම දෙයක්. එහෙත්, එය ප්‍රමාණවත් නැහැ. රාජ්‍යමූල්‍ය ප්‍රශ්නය විසඳා ගැනීමෙන් අනතුරුව විණිමය අනුපාතය පාලනය කිරීමෙන්ද ඉවත් විය යුතුයි. ඔය කාරණා දෙක ඉෂ්ඨ වේනම් ගෙවුම් ශේෂ ප්‍රශ්නයෙන් සෑහෙන කොටසක් ඉවරයි.
ඉහත ප්‍රශ්න දෙක හා අදාළවම "සෑහෙන කොටසක්" කියා කිවුවේ අනපේක්ෂිත බාහිර කම්පන නිසා ඇතැම් විට මේ ප්‍රශ්න නැවත මතු වීමේ ඉඩකඩ සියයට සියයක්ම බැහැර නොවන නිසා. ඊට අමතරව, මේ දෙකම හරියට කළත්, වසර හැටකට වඩා වැඩි කාලයක් තිස්සේ එකතු වූ අසමතුලිතතාවන්ගේ බරින් නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් පමණයි. ඒ කටයුත්ත සාර්ථකව කර ගත්තොත්, ඉහත සමතුලිතා දෙක පවත්වා ගෙන ඉදිරියට යාම අපහසු වැඩක් නෙමෙයි. ප්‍රශ්නයක් මතු වුනොත් මතු වෙන්නේ යුද්ධයක් හෝ වසංගතයක් වැනි සුවිශේෂී තත්ත්වයක් යටතේ පමණයි.
"රටට ඩොලර් උපයන්න හරි වැඩපිළිවෙළක් නැතිව එහෙම කරන්නේ කොහොමද?"
රටේ දැනට තිබෙන මානව සම්පත් හා අනෙකුත් සම්පත් උපයෝගී කර ගනිමින් රටට විශාල විදේශ විණිමය ප්‍රමාණයක් ගෙන ආ හැකි ආකාරය දන්නා විශිෂ්ඨ බුද්ධිමතුන් විශාල ප්‍රමාණයක් ෆේස්බුක් එකේ ඉන්නවා. අවාසනාවට රජය හෝ මහ බැංකුව ඒ අයගේ උපදෙස් පිළිපදින්නේ නැහැ. ආර්ථික සිද්ධාන්ත වලම හිර වී ඉන්න අපි වගේ මැට්ටන්ට ආර්ථික සිද්ධාන්ත පැත්තකින් තියා රටට ඩොලර් ගේන විදිහ ගැන පෙට්ටියෙන් පිට විසඳුම් ඉදිරිපත් කරන විශිෂ්ඨ බුද්ධිමතුන් විසින් ඉදිරිපත් කරන විසඳුම් නොතේරෙනවා වගේම මහ බැංකුවේ හා රජයේ ප්‍රතිපත්ති තීරණය කරන ආර්ථික විද්‍යාඥයින්ටත් ඒ විසඳුම් තේරුම් ගත හැකි බුද්ධියක් නැති වීම රටේ අවාසනාවක්.
සිද්ධාන්ත අමතක කර වතුරෙන් තෙල් හදන විදිහ ගැන රජය විසින් සොයා බැලුවානම් ඉන්ධන ආනයනය සඳහා යන විශාල ඩොලර් ප්‍රමාණය ඉතිරි වෙනවා. ඒ වගේම, පොඩ්ඩක් වියදම් කර නිවසකට එක මුද්‍රණ යන්ත්‍රය හා කඩදාසි මිටිය බැගින් බෙදා දී තම තමන්ට අවශ්‍ය පමණ සල්ලි අච්චු ගහගන්න ඉඩ දුන්නානම් රටේ හැමෝගෙම ප්‍රාග්ධන ප්‍රශ්න විසඳෙනවා. ඊට පස්සේ රටේ හැමෝම ඔය ප්‍රාග්ධනය උපයෝගී කරගෙන ඩොලර් රටට ගේන්න පටන් ගන්න නිසා උද්ධමනය වැඩි වී රුපියල් වල වටිනාකමක් නැති වී ගියත් ප්‍රශ්නයක් නැහැ.
අවාසනාවට මේ දේවල් කරගන්න පුළුවන් වෙන්නේ සිද්ධාන්ත පැත්තකට දමා ඒ අයගේ අලුත් සිද්ධාන්ත වලින් විසඳුම් හොයන පිරිසක් බලයට පත් කරගත්තොත් පමණයි. ඒ වගේම, ඩොලර් හොයන්න මේ තරම් අවස්ථා තියෙද්දී රටේ ඉන්න ප්‍රාග්ධනය තිබෙන අය ඒ ගැන උනන්දු නොවීමත් ප්‍රශ්නයක්. අඩු ගානේ මේ විශිෂ්ඨ බුද්ධිමතුන්ට ඒ අයට හෝ තමන්ගේ විසඳුම් පැහැදිලි කර දිය හැකිනම් රටට ඩොලර් ගලාගෙන එයි.
තව මෙහෙම යෝජනාවකුත් කරන්න පුළුවන්. ලංකාවේ රජය සහ මිනිස්සු මේ විසඳුම් ගණන් ගන්නේ නැති එකේ වෙන රටක උපදේශකයෙක් විදිහට හරි මේ යෝජනා ක්‍රියාත්මක කරලා ලැබෙන ආදායම රටට ගේන්න පුළුවන්නම් ඒ ඩොලර් ටික හරි රටේ සේවා ගිණුමට එකතු වෙයි නේද? තේරුම් ගන්න පුළුවන් පාලකයෝ ලෝකයේ කොහේ හරි ඇතිනේ!
ඉතිරි කොටස ඔය කලින් කියූ විශිෂ්ඨ බුද්ධිමතුන්ට නෙමෙයි. කුමක් හෝ හේතුවක් නිසා අප ලියන දේ කියවන අයගේ පහන් සංවේගය පිණිස.
මේ වන විට රජය විසින් ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වාගෙන යමින් සිටින අතර මහ බැංකුව විසින් විණිමය ප්‍රතිපත්ති හරහා ජංගම ගිණුමේද අතිරික්තයක් පවත්වා ගෙන යනවා. එය ඉතා හොඳ තත්ත්වයක්. අපි පළමුව වසරේ පළමු මාස තුනෙන් පටන් ගනිමු.
ආනයන වියදම - ඩොලර් මිලියන 3,894යි
අපනයන ආදායම - ඩොලර් මිලියන 2,998යි
වෙළඳ ශේෂ හිඟය - ඩොලර් මිලියන 896යි
සේවා ලැබීම් - ඩොලර් මිලියන 1,048යි
සේවා ගෙවීම් - ඩොලර් මිලියන 367යි
සේවා ගිණුමේ අතිරික්තය - ඩොලර් මිලියන 682යි
වෙළඳ ගිණුමේ හා සේවා ගිණුමේ සමස්ත හිඟය - ඩොලර් මිලියන 214යි.
ප්‍රාථමික ආදායම් ගිණුමේ ශුද්ධ හිඟය - ඩොලර් මිලියන 486යි
ද්වීතියික ආදායම් ගිණුමේ ශුද්ධ අතිරික්තය - ඩොලර් මිලියන 1,344යි
මේ අනුව, පළමු මාස තුනේදී සමස්තයක් ලෙස ඩොලර් මිලියන 644ක ජංගම ගිණුම් අතිරික්තයක් වාර්තා වෙනවා. එයින් අදහස් වන්නේ සියලු ඩොලර් අවශ්‍යතා සපුරා ගැනීමෙන් පසුව රටට පැමිණි ඩොලර් වලින් මිලියන 644ක් ඉතිරි වී ඇති බවයි.
ඉහත ගණනයේදී මූල්‍ය ගිණුම සලකා නැහැ. ඒ කියන්නේ මෙහි රටට ලැබුණු ඩොලර් වලට විදේශ ණය සේ ලැබුණු කිසිදු මුදලක් ඇතුළත් නැහැ. ඒ වගේම, සෘජු විදේශ ආයෝජන සේ ලැබුණු විදේශ විණිමයද ඇතුළත් නැහැ. එහෙත් පරණ ණය වල පොලී ලෙස හා ආයෝජන වල ප්‍රතිලාභ ලෙස රටින් ගෙන ගිය විදේශ විණිමය ඇතුළත්. ප්‍රාථමික ආදායම් ගිණුමේ තිබෙන්නේ එසේ රැගෙන ගිය ප්‍රමාණයයි.
මේ අනුව පැහැදිලි වන පරිදි, ජංගම ගිණුමේ අතිරික්තයක් පවතීනම් රටේ ශුද්ධ බැරකම් අඩු වීමක් සිදු වෙනවා. තේරෙන විදිහට කිවුවොත් විදේශ ණය අඩු වෙනවා. අලුතෙන් ණය ගැනීමක් සිදු වෙන්නේ පරණ ණය වාරික ගෙවීම සඳහා පමණයි.
පළමු මාස හය අවසානයේදී තත්ත්වය පිළිබඳ යම් තොරතුරු ඇතත් එම තොරතුරු සම්පූර්ණ නැහැ. එහෙත් යන දිශාව තේරුම් ගන්න අමාරු නැහැ.
පළමු මාස හය ඇතුළත ආනයන වියදම් ලෙස ඩොලර් මිලියන 8,161ක් යද්දී අපනයන ආදායම් ලෙස ලැබී තිබෙන්නේ ඩොලර් මිලියන 5,871ක් පමණයි. ඒ අනුව, ඩොලර් මිලියන 2,289ක වෙළඳ ශේෂ හිඟයක් තිබෙනවා. ජංගම ගිණුමේ අතිරික්තයක් තිබියදී වෙළඳ ගිණුමේ මෙවැනි හිඟයක් තිබීම කිසිසේත්ම ප්‍රශ්නයක් නෙමෙයි. මෙම මාස හයක කාලය තුළ ශ්‍රමික ප්‍රේෂණ ලෙස ඩොලර් මිලියන 2,823ක් ලැබී ඇති අතර සංචාරක ඉපැයීම් ලෙස තවත් ඩොලර් මිලියන 875ක් ලැබී තිබෙනවා. මාස හයක කාලය තුළ ගෙවුම් ශේෂයෙහි ඩොලර් මිලියන 1,958ක අතිරික්තයක් වාර්තා වී තිබෙනවා.
මේ තත්ත්වය ඉතා හොඳ තත්ත්වයක් බව පැහැදිලියි. එහෙත්, මේ තත්ත්වය තිරසාරද?
මේ වන විටද ආනයන පාලන ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම, විදේශ ණය අපේක්ෂිත පරිදි ප්‍රතිව්‍යුහගත කළද ඉන් පසුව දැනට නොගෙවන ණය යම් ප්‍රමාණයක් ආපසු ගෙවන්නට සිදු වෙනවා. ඒ නිසා, දැනට පවතින සමතුලිතතාව මේ විදිහටම දිගටම පැවතීමේ ඉඩක් නැහැ. එම සමතුලිතතාව කොයි තරම් නරක පැත්තට යා හැකිද?
මේ වන විට, ජූලි මාසයේ නිල සංචිත ප්‍රමාණය ප්‍රකාශයට පත් වී තිබෙනවා. එම ප්‍රමාණය ඩොලර් මිලියන 3,762ක්. පෙර මාසයේ වූ ඩොලර් මිලියන 3,724ට සාපේක්ෂව ඩොලර් මිලියන 38ක සුළු (1%ක වැඩි වීමක්). මෙය ගිණිය හැකි වෙනසක් නෙමෙයි. ඒ අනුව, මාසය තුළ මහ බැංකුව විසින් විදේශ විණිමය වෙළඳපොළ තුල දැනෙන මැදිහත්වීමක් සිදු කර නැහැ. පෙර මාසය තුළ පැවතියේද එවැනිම තත්ත්වයක්.
පසුගිය මාසය තුළ සිදු වූ විශේෂ දෙයක් වූයේ ඩොලර් මිලියන 791.4ක සංවර්ධන බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කරනු ලැබීමයි. විස්තර ප්‍රසිද්ධ කර නැතත්, මෙම ප්‍රමාණයෙන් සැලකිය යුතු කොටසක් වෙනුවට රුපියල් බැඳුම්කර ලබා ගෙන ඇතැයි සිතිය හැකියි. පවතින තත්ත්වයන් තුළ දේශීය ආයෝජකයින්ට වඩා වාසිදායක සේ පෙනෙන්නේ එම විකල්පයයි. මෙහිදී ඔවුන්ට අඩුව පුරවා ගැනීම සඳහා වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගැනීමට සිදු වෙනවා. එහිදී ඩොලරයක මිල මත පීඩනය ඉහළ යනවා. ඊට අමතරව, ඩොලර් මිල දී ගැනීම සඳහා රුපියල් අවශ්‍ය වන නිසා රුපියල් හිඟ වී පොලී අනුපාතික මත පීඩනයද ඉහළ යනවා. කෙසේ වුවත්, දැන් මේ දෙකම සිදු වී අවසානයි.
ඩොලරයක මිල ඉහළ යද්දී මහ බැංකුව විසින් මැදිහත් වීමක් කර නැති බව දැන් පෙනෙනවා. යම් තරමකින් ඩොලරයක මිල ඉහළ යාමෙන් පසුව දැන් නැවතත් තරමක් අඩු වී තිබෙනවා. මේ සතියේදී පොලී අනුපාතික තුළින්ද මෙවැනිම නැඹුරුවක් පෙනෙන්නට ඉඩ තිබෙනවා.
කෙසේ වුවත්, ඩොලරයක මිල හා අදාළව තවත් කම්පන කිහිපයක් සිදු විය යුතුයි. පළමුව, වාහන හැර අනෙකුත් ආනයන සඳහා පනවා ඇති සීමාවන් ඉවත් විය යුතුයි. මෙම කම්පනය විශාල කම්පනයක් වේයැයි මා සිතන්නේ නැහැ. දෙවනුව, ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසුව යම් කම්පනයක් ඇති වෙනවා. අවසාන වශයෙන් වාහන ආනයන වලට ඉඩ ලැබෙද්දී තවත් කම්පනයක් ඇති වෙනවා. මේ එක් එක් අවස්ථාවේදී ඩොලරයක මිල යම් තරමකින් ඉහළ යා යුතුයි. එය ක්ෂණිකව වඩා වැඩියෙන් ඉහළ ගොස් පසුව තරමක් අඩු වීමක් විය හැකියි. "කීයට විතර යයිද?" වගේ ප්‍රශ්න වලටනම් පිළිතුරු දෙන්න බැහැ. පාවෙන විණිමය ක්‍රමයක මූලධර්මය වන්නේම එසේ විනිමය අනුපාතිකය නිවැරදිව පුරෝකථනය කළ නොහැකි බවයි.
මේ සියල්ල සිදු වීමෙන් පසුව, රජය විසින් අලුතෙන් විදේශ ණය ලබා ගනිමින් බැංකු පද්ධතිය වෙත පොම්ප නොකරන්නේනම්, බැංකු පද්ධතිය තුළ ඩොලර් ඉල්ලුම හා සැපයුම පහසුවෙන්ම තුලනය වෙනවා. ඒ නිසා, රටේ ඩොලර් හිඟයක් ඇති වෙන්නේ නැහැ. එහෙත්, පරණ ණය ආපසු ගෙවීම සඳහා රජයට දිගටම විදේශ ණය ගන්න සිදු වෙනවා. එම ඩොලර් ප්‍රමාණය වෙළඳපොළෙන් මිල දී ගැනීමේ හැකියාවක් නැහැ.
බැංකු පද්ධතිය තුළ ඩොලර් ඉල්ලුම හා සැපයුම තුලනය වේනම් සීමා කිසිවක් නැතත් අපනයන ඕනෑවට වඩා වැඩි වීමේ ප්‍රශ්නයක් මතු වන්නේ නැහැ. ඩොලර් සැපයුමට වඩා ඉල්ලුම ඉහළ ගියහොත් ඩොලරයක මිල ඉහළ යයි. ඒ තත්ත්වය දිගටම පැවතුනොත් ඩොලරයක මිල දිගටම, ක්‍රමිකව ඉහළ යයි. එවිට රටේ සිටින ව්‍යවසායකයින් ඩොලර් ඉපැයිය හැකි ආකාර ගැන ස්වභාවික ලෙසම උනන්දු වෙයි. කෙටිකාලීනව කෙසේ වෙතත් දිගුකාලීනව මේ සඳහා අවශ්‍ය වන්නේ ජංගම ගිණුමේ තුලනය පවත්වා ගැනීම පමණයි.