වෙබ් ලිපිනය:

Friday, August 29, 2025

ජූලි මාසය අවසානයේදී විදේශ අංශය


ගෙවුණු 2025 ජූලි මාසය තුළ ජංගම ගිණුමෙහි ඩොලර් මිලියන 244.6ක අතිරික්තයක් වාර්තා වී තිබෙනවා. මේ සමඟ ජූලි අවසානය තෙක් වසරේ මාස හතක කාලය තුළ ජංගම ගිණුමේ අතිරික්තය ඩොලර් මිලියන 1,739.6 දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

පසුගිය (2024) වසරේ පළමු මාස හතක කාලය තුළද ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා වී තිබුණත් එම අතිරික්තය ඩොලර් මිලියන 1,274.1ක් පමණයි. දැනට දැකිය හැකි අතිරික්තයෙහි විශේෂත්වය වනුයේ වාහන ආනයන නිදහසේ සිදු වෙමින් තිබියදී පවා පසුගිය වසරේ ජංගම ගිණුමේ අතිරික්තය ඉක්මවා යන අතිරික්තයක් වාර්තා වී තිබීමයි. 

ජංගම ගිණුමේ අතිරික්තයක් යන්නෙන් අදහස් වන්නේ රටට ලැබෙන ආපසු නොගෙවිය යුතු විදේශ විණිමය ලැබීම් වලින්, එනම් සංචාරක කර්මාන්තයේ ලැබීම් ඇතුළු භාණ්ඩ හා සේවා අපනයන ආදායම්, ශ්‍රමික ප්‍රේෂණ ආදියෙන්, රටේ ආනයන අවශ්‍යතා සහ ණය ආපසු ගෙවීම් හැර අනෙකුත් විදේශ විණිමය ගෙවීම් සඳහා අවශ්‍ය ප්‍රමාණය ඉවත් වීමෙන් පසුව ඉතිරි වන කොටසයි. ණය ආපසු ගෙවීම් ජංගම ගිණුමෙහි සටහන් නොවෙතත්, විදේශ ණය වෙනුවෙන් ගෙවිය යුතු පොලී වියදම් එහි සටහන් වෙනවා. මේ ඉතිරිය ඒ සියල්ලෙන් පසුවයි. 

ලංකාව විශාල කාලයක් තිස්සේ නිදන්ගත ජංගම ගිණුම් හිඟයක් පැවති රටක්. 1956 වසරෙන් පසුව, 2023 වසර දක්වාම, රටේ ජංගම ගිණුමෙහි අතිරික්තයක් වාර්තා වූයේ රුපියල එක වර විශාල ලෙස අවප්‍රමාණය කෙරුණු 1965 සහ 1977 වසර දෙකේදී පමණයි. එහෙත් 2022දී රටේ ආර්ථිකයේ සිදු වූ දැවැන්ත කඩා වැටීමෙන් පසුව රජය සහ මහ බැංකුව විසින් රටේ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති නිවැරදි දිශාවට වෙනස් කර ගැනීම හේතුවෙන් මේ තත්ත්වය වෙනස් වී තිබෙනවා. 

රටේ ජංගම ගිණුම් හිඟයට මූල හේතුව වූයේ රජයේ නිදන්ගත අයවැය හිඟය සහ එය පියවා ගැනීම සඳහා දිගින් දිගටම විදෙස් ණය ලබා ගැනීමයි. එම විදෙස් ණය පියවනු ලැබුණේ වඩා වැඩියෙන් තවත් විදෙස් ණය ලබා ගැනීම මගිනුයි. මේ තත්ත්වය ණය පැහැර හැරීමකින් සහ ආර්ථිකයේ දැවැන්ත කඩා වැටීමකින් කෙළවර වුනා.

ජංගම ගිණුම් හිඟයට මූල හේතුව වූ රජයේ නිදන්ගත අයවැය හිඟය තුලනය කර ගැනීම සඳහා රජය යොමු වීමෙන් පසුව මහ බැංකුවට නිවැරදි විදේශ විණිමය ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් ජංගම ගිණුමේ හිඟය අතිරික්තයක් බවට පත් කර ගැනීමට හැකි වුනා. ඒ අනුව, 2023 වසරේදී රටේ ජංගම ගිණුමෙහි ඩොලර් මිලියන 1,439.1ක අතිරික්තයක් වාර්තා වූ අතර 2024 වසරේදී තවත් ඩොලර් මිලියන 1,205.8ක අතිරික්තයක් වාර්තා වුනා. කෙසේ වුවද, මෙම අතිරික්තයන් වාර්තා වූයේ වාහන ආනයන ඇතුළු ඇතැම් ආනයන සිදු නොවන තත්ත්වයක් යටතේදීයි.

මේ වන විට සියලුම ආනයන නිදහසේ සිදු වෙනවා. මාස හතක කාලයක් ඇතුළත ඩොලර් මිලියන 1,739.6ක අතිරික්තයක් වාර්තා වී තිබෙන්නේ එවැනි තත්ත්වයක් යටතේදීයි. කෙසේ වුවද, අදාළ කාලය තුළ රටේ දළ නිල සංචිත ඉහළ ගොස් තිබෙන්නේ ඩොලර් මිලියන 24.9කින් පමණයි. ඒ අනුව පෙනී යන්නේ මෙම අතිරික්තය මුළුමනින්ම මෙන් රටේ විදේශ බැරකම් අඩු කර ගැනීම වෙනුවෙන් වැය කර ඇති බවයි. 

පසුගිය (2025) ජූනි මාසයේදී රටේ දළ නිල සංචිත ප්‍රමාණයේ මෙන්ම ශුද්ධ විදේශ සංචිත වලද යම් අඩු වීමක් පෙන්නුම් කළත්, ජූලි මාසයේදී දළ නිල සංචිත වල මෙන්ම ශුද්ධ විදේශ සංචිත වලද, විශාල වැඩිවීමක් නොවුනත්, වැඩිවීමක් දකින්නට ලැබෙනවා. මහ බැංකුව විසින් අගෝස්තු මාසය අවසානයේදී රටේ දළ නිල සංචිත ප්‍රමාණය තවමත් නිවේදනය කර නැහැ. එහෙත් එම මාසය තුළද මහ බැංකුව විසින් ඩොලර් මිලියන 81.8ක් වෙළඳපොළෙන් මිල දී ගෙන ඇති බැවින් ශුද්ධ විදේශ සංචිත තව දුරටත් ඉහළ ගොස් තිබිය යුතුයි. මෙම මුදල මහ බැංකුවේ ණය ආපසු ගෙවීම සඳහා යොදා නොගත්තේනම්, දළ නිල සංචිත ප්‍රමාණයද ඉහළ ගොස් තිබිය යුතුයි.

2 comments:

  1. සෘණ උද්ධමනයෙන් ධන උද්ධමනයට් ගිහින් තියෙනවා . ඒක හොඳයි කියල දන්නවා . ඒ කියන්නේ ක්‍රය ශක්තිය හෙම වැඩිවෙනවා . යෝජනා ඇවිත් කියන එකනේ . ඒ ගැන ලියපු ලිපියක් තියනවද

    ReplyDelete
  2. ජබොස්ලේන්August 30, 2025 at 9:09 PM

    "ලංකාව විශාල කාලයක් තිස්සේ නිදන්ගත ජංගම ගිණුම් හිඟයක් පැවති රටක්" කියන එක සහ ආනයන ලිහිල් කර තිබියදීත් ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා වීම කියන ඒවගෙන්, ආර්ථිකයේ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති නිවැරදි දිශාවට වෙනස් කරා කියල අනුමාන කලාට ඒක සැබවින්ම ස්ථාවර සහ තිරසාර ආර්ථික වර්ධනයක් පෙන්නුම් කරන බවට සහතික විය හැක්කේ කෙසේද?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: