වෙබ් ලිපිනය:

Sunday, August 31, 2025

සල්ලි අච්චු ගැසීම සහ උද්ධමනය


සල්ලි අච්චු ගැසීම උද්ධමනයට හේතු වෙනවා කියන එක මේ වෙද්දී ලංකාවේ පොදු දැනුමක් වී අවසානයි. ඔය වැඩේ වුනේ ආර්ථික අර්බුදයෙන් පස්සේ. ඊට කලින් මේ ගැන බරපතල සංවාදයක් තිබුණේ ආර්ථික විද්‍යාව විධිමත්ව හදාරා තිබුණු සීමිත පිරිසක් අතර පමණයි. 

නමුත් මේ විදිහට පොදු දැනුමක් වී තිබෙන්නේ සල්ලි අච්චු ගැසීම උද්ධමනයට හේතු වෙනවා කියන මූලික අදහස පමණයි. එය සිදු වෙන්නේ කොහොමද කියන එක තවමත් ඒ පොදු දැනුමේ කොටසක් වෙලා නැහැ. 

සල්ලි අච්චු ගැසීම උද්ධමනයට හේතු වන ආකාරය විවිධ අය තේරුම් අරගෙන තිබෙන්නේ විවිධ ආකාර වලිනුයි. එයට මේ දැනුම සමාජගත කිරීම සඳහා ඕනෑවට වඩා සරල ආකෘති යොදා ගෙන තිබීමත් එක් හේතුවක්. ඒ වැඩේට අපද දායක වී තිබෙනවා. 

යම් අදහසක් මුලින්ම සමාජගත කරද්දී අවශ්‍ය වැදගත්ම කරුණට පමණක් අවධානය යොමු කරමින් සරලව පැහැදිලි කිරීම සහ හැම දෙයක්ම විස්තර කිරීම අතර තේරීමක් තිබෙනවා. අවශ්‍ය වන්නේ කෙටි කලකින් වැඩි දෙනෙකු දැනුවත් කිරීම වූ විට පළමු ක්‍රමය තෝරා ගන්න සිදු වෙනවා. නමුත් එහි දිගුකාලීන බලපෑම් දිහා බැලුවොත් සමහර දේවල් බාගෙට දැන ගැනීම නොදැන සිටීමටත් වඩා භයානක වන අවස්ථාත් දැකිය හැකියි. 

මේ සම්බන්ධය තව දුරටත් පැහැදිලි කර ගැනීම සඳහා අපි කුඩා දූපතක් වෙත යමු. දැන් මේ කරන්නේත් සරල පැහැදිලි කිරීමක්ම තමයි. 

ආරම්භයේදී ඔය දූපතේ අද අර්ථයෙන් මුදල් කියා දෙයක් නැහැ. දූපතේ මිනිසුන් අතර සිදු වන සීමිත ගනුදෙනු සිදු වන්නේ භාණ්ඩ හුවමාරු ලෙසයි. රජුට බදු ගෙවන්නේත් භාණ්ඩ වලින්.

ඔහොම තියෙද්දී ඔය දූපත විදේශිකයින් පිරිසක් විසින් යටත් කර ගන්නවා. එම විදේශික රජයේ හමුදාවට වැටුප් ගෙවන්නේ කිසියම් මුදල් වර්ගයකින්. මේ මුදල් දැන් රට පාලනය කරන ආක්‍රමණික කණ්ඩායමේ නායකයා විසින් තමන්ගේ රටින් රැගෙන ආ මුදල්. ඒවා එකම වර්ගයක ලෝහ කාසි. ඒ ලෝහ කාසි ගෙවා නැවේ තිබෙන ආහාර වැනි දේ මිල දී ගන්න පුළුවන්. ඒවාත් මුල් රටින් රැගෙන ආ ආහාර. ආහාර වල අයිතිය තිබෙන්නේත් ආක්‍රමණික කණ්ඩායමේ නායකයාටයි.

ඉතා ඉක්මණින් නැවේ ආහාර අවසන් වෙනවා. නමුත් විදේශිකයින් සතුව මුදල් තිබෙනවා. ඔවුන් එම මුදල් ගෙවා ස්වදේශිකයින්ගෙන් ආහාර මිල දී ගන්න උත්සාහ කළත් ඔවුන් එවැනි හුවමාරුවකට කැමති වෙන්නේ නැහැ. ඔවුන්ට මේ මුදල් වලින් වැඩක් නැහැ. ඔවුන්ගේ සංස්කෘතිය හුවමාරු සංස්කෘතියක් නෙමෙයි.

මේ වෙලාවේ රටේ අලුත් පාලකයා වන ආක්‍රමණික කණ්ඩායමේ නායකයා විසින් සියලුම රටවැසියන්ට බද්දක් පනවනවා. එම බද්ද ගෙවිය යුත්තේ මුදල් වලින්. නමුත් ස්වදේශිකයින් සතුව මුදල් නැහැ. ඒ නිසා ඔවුන්ට මුදල් ලබා ගැනීම සඳහා විදේශිකයින් සමඟ භාණ්ඩ හුවමාරු කර ගැනීමට සිදු වෙනවා. ඒ හරහා රටේ නිපදවන භාණ්ඩ වලට මුදල්මය වටිනාකමක් ලැබෙනවා.

බදු ගෙවද්දී භාණ්ඩ හුවමාරුව හරහා ස්වදේශිකයින් අතට පත් වෙන මුදල් නැවත අලුත් රජය සතු වෙනවා. ඒ නිසා, ඒ මුදල් වලින් නැවත නැවත වැටුප් ගෙවිය හැකියි. වැටුප් ලබන අයට ඒ වැටුප් භාණ්ඩ හා සේවා මිල දී ගැනීම වෙනුවෙන් වැය කළ හැකියි. භාණ්ඩ හා සේවා විකුණන අයට ඒ මගින් බදු ගෙවීම සඳහා අවශ්‍ය මුදල් සපයා ගත හැකියි. 

මේ විදිහට මුදල් මත පදනම් වූ සීමිත ගනුදෙනු ආර්ථිකයක් හැදී රටේ නිපදවන භාණ්ඩ හා සේවා වලට මුදල් වටිනාකමක් ලැබීමෙන් පසුව ගනුදෙනු ආර්ථිකය ක්‍රමයෙන් ව්‍යාප්ත වෙන්න පටන් ගන්නවා. දැන් ස්වදේශිකයෙකුට තමන්ගේ පරිභෝජනයට අවශ්‍ය නොවුනත් මුදල් පිණිස භාණ්ඩ හා සේවා නිපදවන්න පුළුවන්. ඒ වගේම, ඒ මුදල් ගෙවා තමන්ට අවශ්‍ය, තමන් සතු නැති, භාණ්ඩ හා සේවා මිල දී ගන්න පුළුවන්. ඊට අමතරව මුදල් වලින් වත්කම් එකතු කරන්න පුළුවන්. 

ඔය විදිහේ ගනුදෙනු ආර්ථිකයක් හැදුනට පස්සේ රජය විසින් මුලින් පනවපු බද්ද ඉවත් කළත් මුදල් භාවිතය නැති වෙන්නේ නැහැ. ගනුදෙනු කිරීමේ හැකියාව සහ අනාගත ගනුදෙනු සඳහා ප්‍රයෝජනයට ගැනීමේ හැකියාව නිසාම මුදල් වලට වටිනාකමක් ඇති වෙනවා. ඒ සඳහා අදාළ මුදලේ නෛසර්ගික වටිනාකමක් තියෙන්න අවශ්‍ය නැහැ. 

අපි හිතමු මුලින්ම නැවෙන් ගෙනාවේ සීමිත මුදල් ප්‍රමාණයක් පමණයි කියලා. ඔය මුදල් ප්‍රමාණය ඉවර වෙනකම් රජයට පුළුවන් මුදල් සැපයුම වැඩි කරන්න. බදු ගෙවීම සඳහා පමණක් මුදල් අවශ්‍ය වන මුල් අවස්ථාව සැලකුවොත්, අවුලක් නැතිව මුදල් සැපයුම වැඩි කළ හැක්කේ බදු ලෙස එකතු කර ගත යුතු මුදල් ප්‍රමාණය දක්වා පමණයි. මිනිස්සුන්ට ඊට වඩා මුදල් අවශ්‍ය වන්නේ නැහැ. මුදල් සැපයුම ඊට වඩා වැඩි කළොත් ඒ මුදල් වැටුප් සේ ලබා ගන්නා අයට මුදල් සමඟ හුවමාරුවට භාණ්ඩ හා සේවා ලබා ගන්න අමාරු වෙනවා. එවැනි අය භාණ්ඩ හා සේවා මිල දී ගන්න තරඟ කරද්දී භාණ්ඩ හා සේවා වල මිල වැඩි වෙනවා. වෙනත් විදිහකින් කිවුවොත් උද්ධමනයක් ඇති වෙනවා.

නමුත් ගනුදෙනු ආර්ථිකයක් හැදී එය ක්‍රමයෙන් වර්ධනය වෙන්න පටන් ගත්තට පස්සේ ඒ හේතුවෙන් මුදල් ඉල්ලුම දවසින් දවස ඉහළ යනවා. ඒ නිසා, උද්ධමනයකට මුහුණ නොදී මුදල් සැපයුමත් දවසින් දවස ඉහළ දමන්න පුළුවන්. අලුතෙන් රාජ්‍ය සේවකයින් බඳවා ගන්න පුළුවන්. මේ මගින් රජය විශාල කර ගන්න පුළුවන්. 

ඔහොම ගිහින් නැවේ ගෙනාපු සල්ලි සියල්ලම සංසරණයට එකතු කර අවසන් කළාට පස්සේ වෙන්නේ කුමක්ද? නැවේ ගෙනාපු සල්ලි ඉවර නිසා මුදල් සැපයුම තවත් වැඩි කරන්න බැහැ. නමුත් රටේ ගනුදෙනු ව්‍යාප්ත වෙද්දී මුදල් වලට තිබෙන ඉල්ලුම එන්න එන්නම ඉහළ යනවා. ඒ නිසා, තිබෙන මුදල් ප්‍රමාණය ලබා ගන්න තරඟය වැඩි වෙලා මුදල් වල වටිනාකම ඉහළ යනවා. මුදල් වලට සාපේක්ෂව භාණ්ඩ හා සේවා වල මිල අඩු වෙනවා. ඒ කියන්නේ අවධමන තත්ත්වයක් ඇති වෙනවා. 

දැන් එක දෙයක් පැහැදිලි විය යුතුයි. ඒ තමයි උද්ධමනයක් හෝ අවධමනයක් ඇති වෙන්නේ කිසියම් මුදල් වර්ගයකට තිබෙන ඉල්ලුම හා සැපයුම මත කියන එක. ඉල්ලුමට වඩා සැපයුම වැඩිනම් උද්ධමනයක් ඇති වෙනවා. සැපයුමට වඩා ඉල්ලුම වැඩිනම් අවධමනයක් ඇති වෙනවා. මෙය වෙනත් භාණ්ඩයක හෝ සේවාවක මිල ඉල්ලුම හා සැපයුම අනුව වෙනස් වීමට සමානයි.

මෙහි තිබෙන්නේ පරිකල්පනීය විස්තරයක් වුනත්, ඉංග්‍රීසි කාලයේදී ලංකාවේ ගනුදෙනු සංස්කෘතිය ව්‍යාප්ත වෙද්දී සිදු වූ දෙයත් මීට බොහෝ දුරට සමානයි. මුදල් ඉල්ලුම එන්න එන්නම වැඩි වුනා. නැවේ ගෙනාපු සල්ලි ඉවර වෙද්දී "තව නැවු වලින් සල්ලි ගේන්න පුළුවන් වූ නිසා" මුදල් සැපයුමත් එන්න එන්නම වැඩි වුනා. ඉල්ලුම හා සැපයුම වෙනස් වෙන ආකාරය අනුව මුදල් වල වටිනාකම වෙනස් වී උද්ධමනයක් හෝ අවධමනයක් ඇති වුනා. 

මේ විස්තරයේ තිබෙන පරිකල්පනීය දූපතේ මුදල් සැපයුම තීරණය කරන්නේ රජය විසින්. රජයක හෝ මහ බැංකුවක ඒකාධිකාරය යටතේ තනි මුදල් වර්ගයක් භාවිතා කරන රටකට මේ විස්තරය ගැලපෙනවා. නූතන ලෝකයේ බොහොමයක් රටවල් එවැනි රටවල්. (එවැනි ඒකාධිකාරයක් තිබුණත් ඒ ඒකාධිකාරයට තිබෙන සීමාවන් ගැන පසුව වෙනත් ලිපියකින් අවධානය යොදවමු.)

මුදල් සැපයුම පාලනය කරන රජයකට හෝ මහ බැංකුවකට එය හරියටම තීරණය කරන්න පුළුවන්. ඒ නිසා, මුදල් ඉල්ලුම දන්නවානම් හරියටම මුදල් ඉල්ලුම සහ මුදල් සැපයුම ගලපන්න පුළුවන්. එවිට උද්ධමනයක් හෝ අවධමනයක් ඇති වෙන්නේ නැහැ. නමුත් ඒ විදිහට මුදල් ඉල්ලුම හරියටම දැන ගැනීමේ හැකියාවක් නැහැ. ඒ නිසා, මහ බැංකුවකට හෝ රජයකට කෙටිකාලීනව මුදලේ අගය ස්ථාවරව තබා ගැනීමේ හැකියාවක් නැහැ. එක්කෝ උද්ධමනයක් ඇති වෙනවා. නැත්නම් අවධමනයක් ඇති වෙනවා.

කෙටිකාලීනව මුදලේ අගය ස්ථාවරව තබා ගැනීමේ හැකියාවක් නැති වුනත්, මුදල් සැපයුම පාලනය කිරීම හා අදාළව මහ බැංකුවකට හෝ රජයකට ඒකාධිකාරී බලයක් තිබේනම්, දිගුකාලීනව මුදලේ අගය ස්ථාවරව තියා ගන්න පුළුවන්. එසේ නැත්නම් දිගුකාලීනව ස්ථාවර වේගයකින් මුදලේ අගය අඩු වෙන්න ඉඩ හරින්න පුළුවන්. ඒ කියන්නේ උද්ධමනය දිගුකාලීනව ස්ථාවර මට්ටමක පවත්වා ගන්නවා කියන එක. මේ පරිකල්පනීය උදාහරණයේ මෙන් ඒකාධිකාරී බලයක් නැතත්, ලෝකයේ මහ බැංකු බොහොමයක් විසින් දැන් කරන්නේ මේ වැඩේ. 

ඉතිහාසයේ මුල් යුගයේ කෙසේ වෙතත් යුරෝපීයයන් ලංකාවට පැමිණෙන කාලය වෙද්දී, දළ අදහසක් ලෙස, ලංකාවේ තිබුණේ රජුගේ අයිතියට යටත් වූ පොදු දේපොළ ක්‍රමයක්. ඔය ක්‍රමය ඇතුළේ සාමාන්‍ය මිනිසුන් අතේ විශාල ලෙස වත්කම් සමුච්ඡනය වීමක් සිදු වුණේ නැහැ. නමුත් වෙනත් ඇතැම් සමාජ වල, විශේෂයෙන්ම යුරෝපයේ, පෞද්ගලික දේපොළ ක්‍රමය වඩා ප්‍රචලිතව තිබුණා. එවැනි රටවල වත්කම් ගබඩා කර ගැනීමේ මාධ්‍ය ලෙස රන් හා රිදී වැනි දුලබ ලෝහ භාවිතා වුනා. මෙවැනි ලෝහ වර්ග ගනුදෙනු සඳහාද යොදා ගැනුණා. ඒ සඳහා රජු හෝ රජය මගින් සම්මත කාසි නිකුත් කර ඒවාට බාහිරින් වටිනාකමක් ලබා දෙන්න අවශ්‍ය වුනේ නැහැ. 

මුදල් වල වටිනාකමේ ප්‍රභවය එහි ලෝහ සංයුතිය මිස ඒ මත ඇති රජුගේ මුද්‍රාව වැන්නක් නොවේනම් මුදල් සැපයුම ඒකාධිකාරයක් වන්නේ නැහැ. ඕනෑම කෙනෙකුට මුදල් "හොයා ගෙන" සංසරණයට එකතු කළ හැකියි. ඒ නිසා, මුදල් ඉල්ලුම වගේම මුදල් සැපයුමද විචලනය වෙනවා. මේ අනුව, අවධමනයක් හෝ උද්ධමනයක් ඇති වීම හෝ පැවතීම කිසිවෙකුට පාලනය කළ නොහැකියි. 

යුරෝපීයයන් ඇමරිකාව සොයා ගැනීමෙන් පසුව වටිනා ලෝහ සංචිත, විශේෂයෙන්ම එවකට මුදල් ලෙස වඩාත්ම ප්‍රචලිතව තිබුණු රිදී, විශාල ලෙස හමු වූ බැවින් යුරෝපය තුළ මුදල් සැපයුම වැඩි වී මුදලේ වටිනාකම අඩු වුනා. භාණ්ඩ හා සේවා මිල ඉහළ ගියා. උද්ධමනයක් ඇති වුනා. මේ විදිහට උද්ධමනයක් ඇති වෙද්දී තමන්ගේ වත්කම් රන් හා රිදී වලින් තබා ගෙන සිටි අයගේ එම වත්කම් වල වටිනාකමද පහත වැටුණා. උද්ධමනය නිසා හානියක් වෙනවා කියන අදහස පසුව ප්‍රචලිත වන්නේ ඔය යුගයේ නිරීක්ෂණ මත පදනම්වයි. උද්ධමනය කියා කිවුවත්, ඔය කාලය වෙද්දී උද්ධමනය කියන පසුකාලීන සංකල්පය වැඩි දියුණු වෙලා නැහැ.

මේ යුගයේ නිරීක්ෂණත් එක්ක පෙනී ගිය කරුණක් වූයේ මුදල් සැපයුම, නිශ්චිතව කිවුවොත් රන් හෝ රිදී සැපයුම, ඉහළ යද්දී පොදුවේ ජනතාව වඩ වඩා ධනවත් වීමක් සිදු නොවන බව සහ ඒ වෙනුවට මුදලේ වටිනාකම පහළ යාම හේතුවෙන් අවසාන වශයෙන් මුදල් සැපයුම ඉහළ යාමේ විශේෂ වාසියක් රටට හෝ එහි ජනතාවට නොමැති බවයි. ප්‍රංශ චින්තකයෙකු වන ෂෝන් බෝදන් (Jean Bodin) විසින් 1568දී මේ බව පෙන්වා දුන්නා. එම අදහස ඉදිරිපත් කළේ උද්ධමනයට හේතුව මුදල් බාල කිරීමය යන එවකට ප්‍රචලිතව පැවති අදහසට විකල්ප අදහසක් ලෙසයි. බෝදන්ටත් කලින් මාටින් ද අස්පෙල්ක්වේතා (Martín de Azpilcueta ) වැන්නන් මේ අදහස ඉදිරිපත් කර තිබුණත්, අදහස ඉදිරියට ගෙන ගියේ ෂෝන් බෝදන්.

පසුව ජාන් ලාක් (John Locke), ඩේව්ඩ් හියුම්, රිචඩ් කැන්ටලින් වැනි අය මේ අදහස වැඩි දියුණු කළා. ජෝන් ස්ටුවට් මිල්, ඇල්ෆ්‍රඩ් මාෂල් වැනි අය තවත් එකතු කිරීම් කළා. මේ සියලුම අය ප්‍රධාන වශයෙන් අවධානය කළේ මුදල් සැපයුම සහ පොදුවේ මිල ගණන් ඉහළ යාම අතර සම්බන්ධයටයි. එසේ නැත්නම් එය සිදු විය හැකි යාන්ත්‍රනයටයි.

කලකට පසුව, 1911දී අර්වින් ෆිෂර් විසින් මේ අදහස වඩා සම්පූර්ණ හා තර්කානුකූල ගණිතමය සමීකරණයක ආකාරයෙන් ඉදිරිපත් කළා. මෙය පසුව මුදල් ප්‍රමාණ සමීකරණය ලෙස ප්‍රචලිත වුනා. මුදල් ප්‍රමාණ සමීකරණයේ පදනම සරල සර්වසාම්‍යයක්. මුදල් ප්‍රමාණ සමීකරණය පිළිබඳව මීළඟ ලිපියෙන් විස්තරාත්මකව කතා කරමු.

ඔය කාලය වන විට ඇමරිකාවේ මහ බැංකුවක් තිබුණේ නැහැ. ඒ නිසා, මුදල් නිකුත් කිරීමේ ඒකාධිකාරයක් තිබුණේත් නැහැ. ෆෙඩරල් සංචිත බැංකුව පිහිටවූයේ 1913 වසර අවසානයේදීයි. මුදල් නිකුත් කිරීමේ ඒකාධිකාරයක් නොමැති තත්ත්වයක් යටතේ මුදල් සැපයුම තීරණය වුනේ රන් සැපයුම මතයි. ඒ වෙද්දී රන් කැණීම කර්මාන්තයක් බවට පත් වී තිබුණා. 

රන් සංසරණයට එකතු කිරීමේ ඉහළ ආවස්ථික පිරිවැය නිසා පසුකාලීනව රන් සැපයුම ඉහළ ගියේ අඩු වේගයකින්. ඒ නිසාම, රන් සැපයුම හා ගැට ගැසී තිබුණු මුදල් සැපයුම ඉහළ ගියේද අඩු වේගයකින්. නමුත් යුරෝපයේත්, විශේෂයෙන්ම "අලුත් ලෝකය" වූ ඇමරිකාවේත් ගනුදෙනු ආර්ථික වේගයෙන් ප්‍රසාරණය වෙමින් පැවති නිසා මුදල් සැපයුමේ වර්ධනය ඉක්මවන වේගයකින් මුදල් ඉල්ලුම වර්ධනය වුනා. මෙහි ප්‍රතිඵලය වූයේ උද්ධමනයට වඩා අවධමනය සාමාන්‍ය තත්ත්වයක් බවට පත් වීමයි. 

උද්ධමනය හේතුවෙන් මුදල් වල වටිනාකම විශාල ලෙස පහත වැටුණු, යුරෝපය විසින් අලුත් ලෝකය සොයා ගත්, 16 වන සියවසේදී මෙන්ම එහි විලෝමය සිදු වූ 19 වන සියවසේදීද මේ දේවල් සිදු වූයේ මධ්‍යගත අධිකාරයක් විසින් මුදල් සැපයුම පාලනය කළ තත්ත්වයක් යටතේදී නොව එවැන්නක් සිදු නොවූ තත්ත්වයක් යටතේදීයි. 

විශේෂයෙන්ම 1500-1650 අතර කාලයේදී බටහිර යුරෝපයේ භාණ්ඩ මිල ගණන් 4-6 ගුණයකින් ඉහළ ගියා. ස්පාඤ්ඤය විසින් දකුණු ඇමරිකාවේ වත්මන් බොලීවියාවෙන් එකතු කරගත් රිදී හා රන් යුරෝපයට රැගෙන ඒම නිසා මුලින්ම ස්පාඤ්ඤයේ ඇති වූ උද්ධමනය පසුව පෘතුගාලය, ඉතාලිය, ප්‍රංශය වැනි රට වලට ව්‍යාප්ත වී අවසාන වශයෙන් එංගලන්තය, ජර්මනිය හා ස්කැන්ඩිනේවියාව දක්වා ව්‍යාප්ත වුනා. 

මෙසේ සියවස් එකහමාරක පමණ කාලයක් එක දිගට පැවති උද්ධමනය යුරෝපයේ ධනවතුන්ගේ වත්කම් වල වටිනාකම විශාල ලෙස පහත හෙලුවා. ඔය කාලය යුරෝපයේ ධනවතුන් සීමිත පිරිසක් අතේ විශාල ධනයක් එක් රැස් වී තිබුණු, ආදායම් විෂමතා විශාල ලෙස ඉහළ ගොස් තිබුණු කාලයක්. මිල ගණන් 4-6 ගුණයකින් ඉහළ යනවා කියන්නේ රන් හෝ රිදී සේ තබාගත් වත්කම් වල වටිනාකමෙන් 75%-83% අතර කොටසක් අහිමි වෙනවා කියන එකයි. නමුත් මෙලෙස වත්කම් අහිමිවීමක් සිදු වන්නේ ඒ වත්කම් රන් හෝ රිදී සේ තබාගත් නිසා. 

මිල ගණන් ඉහළ යාම නිසා නිෂ්පාදනය සඳහා යොදා ගත හැකි මූර්ත වත්කම් වල වටිනාකම අඩු වන්නේ නැහැ. උදාහරණයක් ලෙස එළදෙනකගේ හෝ අශ්වයෙකුගේ වටිනාකම අඩු වෙන්නේ නැහැ. මෙවැනි මූර්ත වත්කම් වර්ධනය වනවා වගේම ඊට අමතරව උද්ධමනය නිසා නාමික වටිනාකම් ඉහළ යාමක්ද සිදු වෙනවා. උද්ධමනය නිසා ධනය අහිමි වීම නිෂ්පාදනය සඳහා ප්‍රයෝජනයට ගත හැකි මූර්ත වත්කම් වෙනුවට, නාමික වටිනාකමක් පමණක් ඇති රන් රිදී ගොඩ ගසා ගෙන සිටි අයට මුහුණ දෙන්නට සිදු වූ ප්‍රශ්නයක්. 

වාර්ෂික සාමාන්‍යයක් ලෙස බලන්නේනම් මේ කාලයේ පැවති උද්ධමනය 1-1.5% අතර අගයක්. අද තත්ත්වයන් හා සංසන්දය කළහොත් පෙනී යනු ඇත්තේ මෙය ඉතා අඩු මට්ටමක උද්ධමනයක් බවයි. නමුත් සියවස් ගණනාවක් මිල ගණන් ස්ථාවරව පැවතීමෙන් පසුව ඇති වූ මෙම තත්ත්වය යුරෝපයේ සමාජය, විශේෂයෙන්ම ධනවතුන්ව, විශාල ලෙස කම්පනය කළ සුවිශේෂී තත්ත්වයක්. චීනය වැනි රටවල මීට බොහෝ පෙරද මෙවැනි උද්ධමන තත්ත්වයන් ඇති වී තිබුණත් යුරෝපයට ඒ අත්දැකීම ලැබී තිබුණේ නැහැ.

කෙසේ වුවත්, ලෝහ වල සාපේක්ෂ වටිනාකම් අඩු වීම නිසා ලෝහ කැනීම සඳහා වූ උනන්දුව අඩු වීමත්, යුරෝපයේ ගණුදෙනු ආර්ථිකය ප්‍රසාරණය වී මුදල් ඉල්ලුම ඉහළ යාම මෙන්ම යටත් විජිතකරණය හරහා ගණුදෙනු ආර්ථිකයේ භූගෝලීය වපසරිය වර්ධනය වීමත් නිසා 1650 පමණ වන විට නැවතත් යුරෝපයේ මිල මට්ටම් ස්ථාවර වුනා. උද්ධමන යුගය අවසන් වුනා. ලංකාවේ පෘතුගීසි පාලන යුගය යුරෝපයේ උද්ධමන යුගයක්. ලන්දේසි පාලන කාලය යුරෝපයේ මිල ගණන් බොහෝ දුරට ස්ථාවරව පැවති යුගයක්. 

ඉහත කී පරිදි යුරෝපයේ මිල ගණන් බොහෝ දුරට ස්ථාවරව පැවතීමට හේතුව මුදල් වල වටිනාකම වෙනස් වීමට අනුරූපව රන් හා රිදී වැනි වටිනා ලෝහ කැණීම සඳහා වූ පෙළඹවීමද වෙනස් වීමයි. මුදල් ඉල්ලුමට වඩා මුදල් සැපයුම ඉහළ යද්දී රන් හා රිදී වල වටිනාකම පහත වැටී කැණීම සඳහා වූ පෙළඹවීම අඩු වුනා. මේ හේතුවෙන් සැපයුම පාලනය වී නැවතත් මිල ඉහළ ගියා. මිල ඉහළ යද්දී නැවතත් රන් රිදී සොයා ගැනීම සඳහා වන උනන්දුව ඉහළ ගියා. 

කෙසේ වුවත්, දහනව වන සියවසේ අග භාගයේදී දෙවන කාර්මික විප්ලවය හමුවේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය ඉහළ ගොස් මුදල් ඉල්ලුම වේගයෙන් ඉහළ යද්දී ඊට අනුරූපව මුදල් සැපයුමේ ඉහළ යාමක් සිදු වූයේ නැහැ. ඒ වන විට, පහසුවෙන් හා අඩු වියදමකින් ලබා ගත හැකි රන් සංචිත අවසන් වෙලා. මෙහි ප්‍රතිඵලය වූයේ දැනෙන තරමේ විශාල හා දශක ගණනාවක් පැවතුණු අවධමන කාලයක්. ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුව ස්ථාපනය කෙරෙන්නේ ඇමරිකාවේ හා යුරෝපයේ පැවති මෙම අවධමන යුගයේ අවසානය සනිටුහන් වෙද්දීයි. මේ සියල්ල සිදු වන්නේ වසර පන්සීයකට පමණ පෙර සිට වසර සීයකට පෙර දක්වා වූ අතීත කාලයකදීයි. 

ඉතිහාසයේ ඉහත කාලය සැලකුවහොත්, ඉඩම් වැනි වත්කම් හිමි ධනවතුන් සහ ශ්‍රමය පමණක් හිමි දුප්පතුන් ලෙස සමාජයේ පැහැදිලි කොටස් දෙකක් සිටියා. දුප්පතුන් අතේ මුදල් එක්රැස් වී තිබුණේ නැහැ. ඔවුන්ට ජීවත් වීමට සිදු වී තිබුණේ එදිනෙදා උපයන ආදායමෙන්. එයින් වෙනස්ව, ධනවතුන් සතුව එක්රැස් කරගත් වත්කම් තිබුණා. සාමාන්‍ය කරුණක් ලෙස ධනය හා බලය එකට යන බව අප දන්නා කරුණක්. ජීවත්වීම පිණිස රැකියාවක් සොයන, සංවිධානය නොවූ, දුප්පතෙකුට ධනවතෙකු හා හෙට්ටු කර වැඩි වැටුපක් ලබා ගැනීමේ හැකියාව සීමිතයි. ඊට සාපේක්ෂව ධනවතෙකුට ශ්‍රමය වෙනුවෙන් ශ්‍රමිකයින්ට ගෙවන මිල තීරණය කිරීමේ හැකියාවක් තිබුණා. මේ තත්ත්වයන් දැනට වුවත් මුළුමනින්ම අහෝසි වී නැතත්, ඉහත කාලයේදී වඩා පැහැදිලිව පෙනෙන්නට තිබුණා.

රන් රිදී වැනි වටිනා ලෝහ හෝ එවැනි ලෝහ වල වෙළදපොළ වටිනාකම මත වටිනාකම නිර්ණය වූ මුදල් එක්රැස් කරගෙන සිටියේ සමාජයේ ධනවතුන් විසිනුයි. දුප්පතුන් සතුව එසේ එක්රැස් කරගත් ධනයක් තිබුණේ නැහැ. 

මුදල් වල වටිනාකම ලෝහ වටිනාකම අනුව තීරණය වෙද්දී, එක දිගට උද්ධමනයක් පැවති වකවානු වලදී ධනවතුන්ගේ වත්කම් අඩු වුනා. එක දිගට අවධමනයක් පැවති වකවානු වලදී ඔවුන්ගේ වත්කම් වල වටිනාකම ඉහළ ගියා. මෙය ශ්‍රමය පමණක් හිමිව තිබුණු දුප්පතුන්ට බලපෑවේ කෙසේද?

උද්ධමනය නිසා භාණ්ඩ මිල ඉහළ යද්දී දුප්පතුන්ට කලින් ලබා ගත් වැටුපෙන් ජීවත් වීමට හැකි වූයේ නැහැ. ඒ නිසා, ධනවතුන්ට ඔවුන්ගේ වැටුප් වැඩි කිරීමට සිදු වුනා. නමුත් එවැනි වැටුප් වැඩිවීමක් ඔවුන්ට විශේෂ වාසියක් වූයේ නැහැ. ලැබෙන ආදායම අනෙක් අතට භාණ්ඩ හා සේවා මිල දී ගැනීම වෙනුවෙන් වැය වුනා. 

අවධමනය දුප්පතුන්ට බලපෑවේ කොහොමද? අවධමන තත්ත්වයක් පවතිද්දී කලින් වැටුපම ලැබුණේනම්, එම වැටුපෙන් වැඩි භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් මිල දී ගැනීමට ඔවුන්ට හැකි වෙනවා. මේ හේතුවෙන් භාණ්ඩ හා සේවා සඳහා වන ඉල්ලුම ඉහළ ගොස් මිල ගණන් ඉහළ යනවා. නමුත් මිල ගණන් ඉහළ යාමක් කියන්නේ උද්ධමනයක් මිසක් අවධමනයක් නෙමෙයි. ඒ නිසා, එක දිගට අවධමනයක් පැවතීමෙන් පෙනී යන්නේ මෙවැන්නක් සිදු නොවූ බවයි. එක දිගට අවධමනයක් පැවතීමට හේතුව මිල ගණන් අඩු වෙද්දී ඊට අනුරූපව ශ්‍රමය වෙනුවෙන් ලැබෙන මිලද පහත වැටීමයි.

උද්ධමනයක් එක දිගට පවතිද්දී ධනවතුන්ට ශ්‍රමය වෙනුවෙන් ගෙවන මිල වැඩි කරන්නට සිදු වෙනවා. එමෙන්ම, අවධමනයක් පවතිද්දී, ඔවුන්ට ශ්‍රමයේ මිල අඩු කිරීමට ඉඩකඩ ලැබෙනවා. ඒ අනුව, උද්ධමනය හෝ අවධමනය නිසා ප්‍රාග්ධනය අහිමි ශ්‍රමිකයින්ගේ ජීවන තත්ත්වයේ ලොකු වෙනසක් සිදු වන්නේ නැහැ. 

මාක්ස්වාදයට පදනම් වූයේ මේ නිරීක්ෂණයයි. එනම්, ධනවතුන්ට ශ්‍රමිකයින්ට ඔවුන්ට ජීවත්වීම සඳහා අවශ්‍ය අවම මිල පමණක් ගෙවමින් ඔවුන්ගේ ශ්‍රමය මිල දී ගත හැකි බවයි. අවම වශයෙන් ඉතිහාසයේ එක් යුගයක් හා අදාළව මේ නිරීක්ෂණය පදනමක් නැති එකක් නෙමෙයි. 

උද්ධමනයක් හෝ අවධමනයක් පැවතීම ප්‍රාග්ධනය අහිමි ශ්‍රමිකයෙකුගේ ජීවන තත්ත්වය කෙරෙහි විශාල බලපෑමක් කරන්නේ නැහැ. කෙටිකාලීනව බලපෑමක් සිදු විය හැකි වුවත්, ඊට හේතුව ඔවුන්ගේ සීමිත හෙට්ටු කිරීමේ හැකියාව මිසක් උද්ධමනය හෝ අවධමනය නෙමෙයි. එය ආර්ථික කරුණකට වඩා දේශපාලනික කරුණක්. දිගුකාලීනවනම් බලපෑමක් වන්නේම නැහැ. 

එහෙත්, තමන්ගේ වත්කම් රන් හෝ රිදී වැනි වටිනා ලෝහ වලින් හෝ එවැනි ලෝහයක ව්‍යුත්පන්නයක් වූ මුදලකින් තබා ගන්නා ධනවතෙකුට උද්ධමනය පැහැදිලි අවාසියක්. අවධමනය වාසියක්. එය එසේ වන්නේ රන් හෝ රිදී වල තිබෙන්නේ සැබෑ වටිනාකමක් නොවන නිසා. මේ අතින් රන් හා රිදී ෆියට් මුදල් වලට සමානයි. රන්, රිදී, ෆියට් මුදල්, බිට්කොයින් ආදී කිසිවක් සැබෑ ආයෝජන නෙමෙයි. සැබෑ ආයෝජනයක් හෙවත් මූර්ත ආයෝජනයක් සේ සැලකිය හැක්කේ අනාගතයේදී භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනය කිරීම සඳහා උපයෝගී කර ගත හැකි යන්ත්‍ර සූත්‍ර, කෘෂිකාර්මික උපකරණ, වෙනත් යටිතල පහසුකම් ආදියයි. එවැනි ආයෝජන වල ප්‍රතිලාභ කෙරෙහි උද්ධමනයේ හෝ අවධමනයේ කිසිදු දිගුකාලීන බලපෑමක් නැහැ.

මේ සඳහන කළත්, මේ ලිපියේ සහ ඉදිරි ලිපි වල ප්‍රධාන ඉලක්කය සල්ලි අච්චු ගැසීම සහ උද්ධමනය අතර සම්බන්ධය පැහැදිලි කිරීමයි. වර්තමාන සන්දර්භය තුළ උද්ධමනයේ හා අවධමනයේ වාසි අවාසි කාටද කියන එකත් වෙනම ලිපියක විස්තරාත්මකව කතා කරමු. ඊට කලින්, පෙර සඳහන් කළ, මුදල් ප්‍රමාණ සමීකරණය පිළිබඳව පැහැදිලි කර ගනිමු. 

මේ සමඟ පළ කරන රූපය අලුතෙන් නිකුත් කර තිබෙන රුපියල් 2000 නෝට්ටුවේ නිදර්ශකයක්. මෙය අනුර කුමාර දිසානායකගේ අත්සන සහිතව නිකුත් කෙරෙන මුල්ම මුදල් නෝට්ටුව විය හැකියි.මෙම නෝට්ටුව ඉදිරි කාලය තුළ විශාල වශයෙන් සංසරණය වීමට නියමිතයි. එහෙත් එය ආර්ථික විද්‍යා අර්ථයෙන් සල්ලි අච්චු ගැසීමක් හෝ මුදල් සැපයුම වැඩි කිරීමක් නෙමෙයි. මහ බැංකුව විසින් මෙම නෝට්ටු සංසරණයට එකතු කරනු ඇත්තේ පැරණි නෝට්ටු සංසරණයෙන් ඉවත් කර විනාශ කිරීමෙන් පසුව ඒ වෙනුවටයි.

No comments:

Post a Comment

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: