මේ කොටසින් අපි අර්වින් ෆිෂර්ගේ මුදල් ප්‍රමාණ සමීකරණය ගැන කතා කරමු. දැන් ඒ තරම්ම භාවිතයට ගන්නේ නැතත්, කාලයක් මහ බැංකු විසින් මුදල් සැපයුම තීරණය කිරීම සඳහා මේ සමීකරණය යොදා ගත්තා.
මුදල් ඉල්ලුම කිසිවෙකුට තනිව තීරණය කරන්න බැහැ. නමුත් කිසියම් ප්‍රදේශයක තිබෙන්නේ එකම මුදල් වර්ගයක් පමණක්නම් සහ එම මුදල් වර්ගය සපයනු ලබන්නේ මහ බැංකුවක් විසින්නම්, ඒ මහ බැංකුවට මුදල් සැපයුම තීරණය කරන්න පුළුවන්. ඒ නිසාම, මුදල් ඉල්ලුම හරියටම දන්නවානම්, මුදල් ඉල්ලුම හා මුදල් සැපයුම ගලපන්න පුළුවන්. මුදල් සැපයුම තීරණය වන්නේ රන් හෝ රිදී සැපයුම වැනි බාහිර සාධකයක් මතනම්, මෙවැනි ගැලපීමක් සිදු කිරීමේ හැකියාවක් නැහැ.
ප්‍රශ්නය වන්නේ මුදල් ඉල්ලුම දැන ගන්නේ කොහොමද කියන එකයි. මුදල් ප්‍රමාණ සමීකරණය මේ සඳහා ප්‍රවේශයක් සපයනවා.
අපි පෙර කොටසේ කතා කළ පරිකල්පනීය දූපතට යමු. මේ දූපතට පැමිණෙන ආක්‍රමණිකයින් පිරිසක් විසින් දූපත් වැසියන්ට මුදල් භාවිතය හඳුන්වා දෙනවා. දූපත් වැසියෝ මුදල් වලින් ගනුදෙනු කරන්න ඉගෙන ගන්නවා. නමුත් කිසියම් හේතුවක් නිසා ටික කාලයකට පස්සේ ඔවුන් දූපතෙන් යනවා. ඒ යන්නේ දූපතේ සංසරණයට එකතු කර තිබුණු මුදල් ටිකත් එකතු කරගෙන.
කෙසේ වුවත්, ආක්‍රමණිකයින් දූපතෙන් ගියාට පස්සේ එහි වැසියෙකු වූ ජෝන්ට ඔවුන්ට අමතක වී දමා ගොස් තිබුණු මුදල් ටිකක් හමු වෙනවා. අපි රුපියල් කාසි කියලම කියමු. රුපියල් කාසි දහයක මල්ලක්. මේ රුපියල් කාසි වලට දැන් දූපත ඇතුළේ වටිනාකමක් තිබෙනවා. ඒ දූපත් වැසියන්ගේ පිළිගැනීම නිසා ඇති වූ වටිනාකමක්.
ජෝන් මේ මුදල් වලින් කාසි අටක් වැය කර බර්නිගෙන් එළදෙනක් මිල දී ගන්නවා. බර්නි අතට රුපියල් අටක් යනවා. ටික කාලයකට පසුව බර්නි එම මුදලින් රුපියල් හයක් වැය කර රුපියල් තුන බැගින් එමලිනාගෙන් එළුවන් දෙදෙනෙකු මිල දී ගන්නවා. එමලිනා එම රුපියල් හයෙන් රුපියල් තුනක් වැය කර බර්නිගෙන් කුකුළන් තුන් දෙනෙක් මිල දී ගන්නවා. ඉතිරි රුපියල් තුන වැය කර ජෝන්ගෙන් මාස තුනක් දිනපතා කිරි මිල දී ගන්නවා. වසරක කාලයක් තුළ සිදු වන්නේ මෙම ගනුදෙනු ප්‍රමාණය පමණයි.
දැන් මේ විදිහට වසරක කාලයක් ඇතුළත සිදු වූ මුළු ගනුදෙනු ප්‍රමාණයේ වටිනාකම රුපියල් 20ක් (= 8 + 6 + 3 + 3). එහිදී හුවමාරු වූයේ රුපියල් දහයක මුදලක් පමණයි. ඇත්ත වශයෙන්ම රුපියල් දහයෙන් රුපියල් දෙකක් හුවමාරු වුනේම නැහැ. රුපියල් දහයක් වෙන්නේ ඒ රුපියල් දෙකත් එක්ක. ඉතිරි රුපියල් අටෙන් හයක් තුන් වරක් අතින් අත මාරු වුනා. අනෙක් රුපියල් දෙක එක් වරක් අතින් අත මාරු වුනා. ඒ කියන්නේ අවස්ථා 20කදී රුපියලේ කාසි අතින් අත මාරු වී තිබෙනවා. සාමාන්‍ය අගයක් ලෙස එක් රුපියලේ කාසියක් (දිගටම ජෝන් අතේම තිබුණු රුපියල් දෙකද ඇතුළුව) දෙවරක් අතින් අත මාරු වී තිබෙනවා.
ෆිෂර්ගේ මුදල් ප්‍රමාණ සමීකරණයෙහි මුදල් වල සංසරණ ප්‍රවේගය කියා සංකල්පයක් තිබෙනවා. කෙටියෙන් මුදල් ප්‍රවේගය කියා කියමු. මෙයින් අදහස් වන්නේ නිශ්චිත කාලයක් තුළ, එක් රුපියලක් (හෝ එවැනි වෙනත් මුදලක්) සාමාන්‍ය වශයෙන් කොපමණ වාරයක් ගනුදෙනු සඳහා භාවිතා වුනාද කියන එකයි. මෙම අගය සංසරණයට එකතු කර තිබෙන මුදල් ප්‍රමාණයෙන් ගුණ කළ විට ලැබෙන පිළිතුර, අර්ථදැක්වීම අනුවම, අදාළ කාලයේදී සිදු වූ මුදල් ගනුදෙනු වල වටිනාකමට සමානයි.
කිසියම් රටක ගනුදෙනු සිදු වන්නේ එක් මුදල් වර්ගයකින් පමණක්නම් සහ එම මුදල් සංසරණයට එකතු කර තිබෙන්නේ මහ බැංකුවක් වැනි ඒකාධිකාරයක් විසින්නම්, සංසරණයේ ඇති මුදල් ප්‍රමාණය පහසුවෙන්ම, හරියටම දැනගන්න පුළුවන්. බිට්කොයින් වැනි නූතන මුදල් වර්ග කිසියම් නිශ්චිත කාලයක් තුළ කොපමණ වාරයක් අතින් අත මාරු වුනාද කියලා පහසුවෙන්ම හරියටම දැන ගන්න පුළුවන් වුනත්, ලෝහ කාසි වැනි සම්ප්‍රදායික මුදල් හා අදාළව මෙවැන්නක් පහසුවෙන් කරන්න බැහැ. නමුත් කිසියම් කාලයක් තුළ සිදු වූ මුළු ගනුදෙනු ප්‍රමාණයේ වටිනාකම දන්නවානම්, එම අගය මුදල් සැපයුමෙන් බෙදලා මුදල් ප්‍රවේගය වක්‍ර ලෙස හොයා ගන්න පුළුවන්.
කිසියම් කාලයක් තුළ සිදු වූ මුළු ගනුදෙනු ප්‍රමාණයේ වටිනාකම මැනිය හැකි ක්‍රමයක් තියෙනවද?
රටක නාමික දළ දේශීය නිෂ්පාදිතය ආසන්න වශයෙන් කිසියම් කාලයක් තුළ සිදු වූ මුළු ගනුදෙනු ප්‍රමාණයේ වටිනාකම සේ සලකන්න පුළුවන්. විශේෂයෙන්ම හුදෙකලා දූපතක් වැනි සංවෘත ආර්ථිකයක් සැලකුවොත්, ගනුදෙනු ලෙස හුවමාරු වෙන්නේ කිසියම් කාලයක් තුළ රට තුළ නිපදවනු ලබන භාණ්ඩ හා සේවා ප්‍රමාණයයි. නාමික දළ දේශීය නිෂ්පාදිතය කියා කියන්නේ එම භාණ්ඩ හා සේවා වල තත්කාලීන වෙළඳපොළ වටිනාකමයි. ඒ නිසා, නාමික දළ දේශීය නිෂ්පාදිතය ගනුදෙනු ප්‍රමාණයේ වටිනාකම පිළිබඳ ඇස්තමේන්තුවක් සේ සලකන්න පුළුවන්. මේ අනුව, නාමික දළ දේශීය නිෂ්පාදිතය මුදල් සැපයුමේත්, මුදල් ප්‍රවේගයේත් ගුණිතයට සමාන විය යුතුයි.
නාමික දළ දේශීය නිෂ්පාදිතය = මුදල් සැපයුම x මුදල් ප්‍රවේගය
සාමාන්‍යයෙන් වසරෙන් වසර රටක නාමික දළ දේශීය නිෂ්පාදිතය ඇස්තමේන්තු කරනවා. ඒ වගේම, මුදල් සැපයුමේ වෙනස් වීම පිළිබඳවත් දත්ත තිබෙනවා. ඒ නිසා, ඔය සංඛ්‍යාලේඛණ දෙක ඇසුරෙන් මුදල් ප්‍රවේගය ඇස්තමේන්තු කර එහි වෙනස්වීම පරීක්ෂා කරන්න පුළුවන්. මේ පරීක්ෂාව මගින් තහවුරු කර ගැනීමෙන් පසුව, එක්තරා කාලයකදී පිළිගැනීමට ලක් වූ කරුණක් වන්නේ දිගුකාලීනව නාමික දළ දේශීය නිෂ්පාදිතය හා මුදල් සැපයුම වෙනස් වන පරිමාණයට සාපේක්ෂව මුදල් ප්‍රවේගය වෙනස් නොවන බැවින් මුදල් සැපයුම පාලනය කිරීම හා අදාළ ප්‍රතිපත්ති තීරණ ගැනීමේදී මුදල් ප්‍රවේගය නියතයක් සේ සැලකිය හැකි බවයි. එසේ උපකල්පනය කිරීමෙන් පසුව මුදල් ප්‍රවේගය මැනීමේ අවශ්‍යතාවයක් ඇති වන්නේ නැහැ.
මුදල් ප්‍රවේගය වෙනස් නොවන නියතයක්නම්, මුදල් සැපයුම වැඩි වන විට නාමික දළ දේශීය නිෂ්පාදිතයද ඉහළ යා යුතුයි. ඒ නිසා, මුදල් සැපයුම වර්ධනය වන වේගයෙන්ම නාමික දළ දේශීය නිෂ්පාදිතයද වර්ධනය විය යුතුයි. එහෙත්, නාමික දළ දේශීය නිෂ්පාදිතය හේතු දෙකක් නිසා වර්ධනය විය හැකියි. පළමුවැන්න මූර්ත ආර්ථික වර්ධනයයි. දෙවැන්න උද්ධමනයයි.
මුදල් සැපයුමේ වර්ධන වේගය = මූර්ත ආර්ථික වර්ධන වේගය + උද්ධමනය
මේ අනුව, අපේක්ෂිත මූර්ත ආර්ථික වර්ධන වේගය මත පදනම්ව, මුදල් සැපයුමේ වර්ධන වේගය පාලනය කිරීම මගින් උද්ධමනය පාලනය කිරීමට හැකි විය යුතුයි.
උද්ධමනය = මුදල් සැපයුමේ වර්ධන වේගය - අපේක්ෂිත මූර්ත ආර්ථික වර්ධන වේගය
මුදල් සැපයුමේ වර්ධනය මූර්ත ආර්ථික වර්ධන වේගය කෙරෙහි බලපාන බව ඩේව්ඩ් හියුම්, රිචඩ් කැන්ටලින් වැනි අය වැනි අය පවා පෙන්වා දී තිබුණු පැරණි අදහසක් වුවත්, මෙය සිදු වන යාන්ත්‍රනය විස්තර කරමින් එම අදහසට ජවයක් ලබා දුන්නේ ජෝන් මෙනාඩ් කේන්ස් විසිනුයි. ඒ මහා ආර්ථික අවපාතය සමයේදී. ඒ වන විට පිළිගැනුණු අදහස වූයේ මුදල් සැපයුම මූර්ත ආර්ථික වර්ධන වේගය කෙරෙහි බලපෑමක් සිදු නොකරන බවයි. මුදල් සැපයුම වර්ධනය වෙද්දී, ඒ වේගයෙන්ම මූර්ත නිෂ්පාදිතයද වර්ධනය වේනම්, ඒ හේතුවෙන් උද්ධමනයක් ඇති වීමේ ඉඩක් නැහැ.
කේන්සියානු අදහස් ප්‍රචලිත වීමට පෙර ප්‍රධාන ධාරාව තුළ පිළිගැනීමට ලක්ව තිබුණු, මුදල් සැපයුම මූර්ත ආර්ථික වර්ධන වේගය කෙරෙහි බලපෑමක් සිදු නොකරන්නේය යන සම්භාව්‍ය ආර්ථික විද්‍යා අදහසේ පදනම වූයේ මුදල් සැපයුම වැඩි වීම නිසා නිෂ්පාදන සාධක වල හෝ තාක්ෂණයේ වෙනසක් සිදු වීමේ හැකියාවක් නොතිබීමයි. මෙම අදහස අනුව, මූර්ත ආර්ථික වර්ධන වේගය ආර්ථිකයක් සතු නිෂ්පාදන සාධක ප්‍රමාණය මත තීරණය වන්නක් බැවින් මුදල් සැපයුම වැඩි කර ආර්ථිකය වර්ධනය කිරීමේ හැකියාවක් නැහැ. එහෙත් කේන්ස් විසින් පෙන්වා දුන්නේ ආර්ථිකය තුළ නිෂ්පාදනය සඳහා යොදා නොගැනෙන නිෂ්පාදන සාධක තිබේනම්, මුදල් සැපයුම වැඩි කිරීම මගින් එම නිෂ්පාදන සාධක නිෂ්පාදනය සඳහා යොදා ගැනීම උත්තේජනය කර මූර්ත ආර්ථික වර්ධන වේගය වැඩි කළ හැකි බවයි.
සම්භාව්‍ය අදහස අනුව, මුදල් සැපයුමේ වර්ධන වේගය මූර්ත ආර්ථික වර්ධන වේගය කෙරෙහි බල නොපාන බැවින් එහි අවසන් ප්‍රතිඵලය වනුයේ උද්ධමනයයි. කේන්සියානු අදහස අනුව, මුදල් සැපයුම වැඩි කිරීම මගින් යම් තත්ත්වයන් යටතේදී, යම් සීමාවක් දක්වා මූර්ත ආර්ථික වර්ධන වේගය ඉහළ දැමිය හැකියි. එසේ වුවද, එම සීමාවෙන් ඔබ්බට මුදල් සැපයුම වැඩි කිරීමෙන් සිදු වන්නේ උද්ධමනය ඉහළ යාම පමණයි.
මේ අනුව පෙනී යන පැහැදිලි කරුණක් වන්නේ, ඉහත කවර මතවාදය අනුව වුවද, මුදල් සැපයුමේ වර්ධන වේගය මූර්ත ආර්ථික වර්ධන වේගය ඉක්මවා යන්නේනම්, මුදල් ප්‍රමාණ සමීකරණය අනුව, එම වෙනසට සමාන උද්ධමනයක් ඇති විය යුතු බවයි. ඒ නිසා, මුදල් සැපයුමේ වර්ධන වේගය පාලනය කිරීම මගින්, මහ බැංකුවකට උද්ධමනය පාලනය කළ හැකි විය යුතුයි.
නමුත් මෙහිදී මතු වන ඊළඟ ප්‍රශ්නය වනුයේ මුදල් සැපයුම කියන්නේ කුමක්ද කියන එකයි. අපේ පරිකල්පනීය දූපතේ සරල උදාහරණයෙහි මුදල් කියන්නේ ලෝහ කාසි වර්ගයක්. එකම වර්ගයක කාසි වෙනුවට විවිධ වටිනාකම් වල කාසි සංසරණයට එකතු කළත්, කාසි වෙනුවට නෝට්ටු එකතු කළත්, මූලික අදහසේ වෙනසක් සිදු වෙන්නේ නැහැ. රුපියල් සීයක මුදල් නෝට්ටුවක් අතින් අත මාරු වීම රුපියලේ කාසි සීයක් අතින් අත මාරු වීමට සමාන සේ සලකන්න පුළුවන්. නමුත්, වාණිජ බැංකු බිහිවීමෙන් පසුව ඇති වන තත්ත්වයන් සලකා බලද්දී, මුදල් වල ඉහත අර්ථ දැක්වීම පිළිබඳ ගැටලුවක් මතු වෙනවා.
විශේෂයන්ම ගනුදෙනු සඳහා චෙක්පත් භාවිතා කිරීම ප්‍රචලිත වී තිබීම තුළ ගනුදෙනු පියවීම සිදු වන්නේ කාසි හා නෝට්ටු වලින් පමණක් නෙමෙයි. ආකෘතිමය ලෙස වෙනස් කාසි හා නෝට්ටු ගෙවීම් සහ චෙක්පත් ගෙවීම් යන අවස්ථා දෙකේදීම යම් ආකාරයක මුදල් භාවිතයක් සිදු වෙනවා.
වාණිජ බැංකු වල මුදල් තැන්පත් කිරීමෙන් පසුව එම මුදල් මුදල් සේ ආපසු ලබා නොගෙන චෙක්පත් මගින් ගෙවීම් කිරීම ප්‍රචලිත වීමෙන් පසුවද මුදල් සැපයුම සංසරණයේ ඇති කාසි හා නෝට්ටු ප්‍රමාණය පමණක් සේ සැලකුවහොත් ගනුදෙනු පරිමාවෙන් කොටසක් මග හැරෙනවා. එම කොටසද නාමික දළ දේශීය නිෂ්පාදිතයට අයත් කොටසක්. ඒ නිසා, කාසි හා නෝට්ටු වලට අමතරව චෙක්පත් හරහා ගෙවීම් සඳහා යොදා ගත හැකි ජංගම ගිණුම් තැන්පතුද මුදල් සැපයුමෙහි කොටසක් සේ සලකන්නට සිදු වෙනවා. එහෙත්, කාසි හා නෝට්ටු මෙන්, මෙම ජංගම ගිණුම් තැන්පතු ප්‍රමාණය ඒකාධිකාරී මහ බැංකුවකට වුවද සෘජුව පාලනය කිරීමේ හැකියාවක් නැහැ.
මේ වන විට මේ තත්ත්වය වඩා සංකීර්ණ වී තිබෙනවා. දැන් බොහෝ දෙනෙකු ගෙවීම් කරන්නේ ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්, අන්තර්ජාලය හරහා කරන ගෙවීම්, ජංගම දුරකථනය හරහා කරන ගෙවීම් ඇතුළු විවිධ ක්‍රම වලින්. ඒ නිසා, මුදල් සැපයුමේ අර්ථදැක්වීම විශාල ප්‍රශ්නාර්ථයක්. මේ හේතුව නිසාම බොහෝ රටවල මුදල් සැපයුම පිළිබඳ අර්ථදැක්වීම් එකකට වඩා තිබෙනවා. උද්ධමනය පාලනය කිරීම සඳහා මුදල් සැපයුම පාලනය කළ යුත්තේනම්, මහ බැංකුවක් විසින් ඉලක්ක කළ යුත්තේ විවිධ මුදල් සැපයුම් අතරින් කවර මුදල් සැපයුමද? මෙය ප්‍රශ්නයක්.
තමන්ගේ දේශපාලනික හෝ වෙනත් අභිලාශ හා ගැලපෙන ප්‍රවාද ආගමික ලෙස අදහන පිරිස් අපට බොහෝ විට දකින්නට ලැබෙනවා. මේ සඳහා හොඳම උදාහරණය මාක්ස්වාදීන්. මෙවැනි අය තමන් අදහන ප්‍රවාදයේ සීමාවන් පැහැදිලිව දෘශ්‍යමාන වෙද්දී පවා ප්‍රවාදයේ සීමාවන් හඳුනා ගන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් කරන්නේ ප්‍රවාදය ඇත්ත සේ සලකමින්, දෘශ්‍යමාන තත්ත්වය විකෘතියක් ලෙස අර්ථ දැක්වීමයි. මෙවැනි පිරිස් වාමාංශික අන්තයේ මෙන්ම දක්ෂිණාංශික අන්තයේද ඉන්නවා. මුදල්වාදය අදහන ඇතැම් අයට අනුව, මුදල් සැපයුම කවර ආකාරයෙන් මැන්නත් එහි වෙනසක් නැහැ. මෙය සාවද්‍ය අදහසක්.
මේ සමඟ පළ කරන ප්‍රස්ථාරය දෙස බලා ඉහත කරුණ සනාථ කරගන්න අමාරු නැහැ. ඒ අනුව, පැහැදිලි වන්නේ මුදල් සැපයුම පිළිබඳ විවිධ මිනුම් කාලයත් සමඟ විචලනය වී තිබෙන්නේ එකම ආකාරයකින් නොවන බවයි. එසේනම්, මුදල් ප්‍රමාණ සමීකරණය අනුව යමින් මහ බැංකුව විසින් ඉලක්ක කළ යුත්තේ කවර මුදල් සැපයුමද?
මුදල් ප්‍රමාණ සමීකරණය මගින් විස්තර කරන්නේ මුදල් සැපයුම දිගුකාලීනව උද්ධමනය කෙරෙහි බලපාන ආකාරයයි. ඒ නිසා, කෙටිකාලීනව විවිධ මුදල් මිනුම් වල හැසිරීම් වෙනස් වීම හේතුවෙන් ප්‍රවාදය අභියෝගයට ලක් වන්නේ නැහැ. නමුත් මෙහිදී සලකා බලා තිබෙන්නේ වසර 34ක් වැනි දීර්ඝ කාලයක්. මෙම කාලය තුළ සංසරණයේ ඇති මුදල් ප්‍රමාණය 4.23 ගුණයකින්ද, සංචිත මුදල් (M0) 3.84 ගුණයකින්ද, පටු මුදල් සැපයුම (M1) 4.13 ගුණයකින්ද ඉහළ යද්දී, M2 පුළුල් මුදල් සැපයුම 11.4 ගුණයකින්ද, M2b පුළුල් මුදල් සැපයුම 11.9 ගුණයකින්ද ඉහළ ගොස් තිබෙනවා. ඒ නිසා, මුදල් සැපයුම සේ සැලකිය යුත්තේ කවර මිනුමද යන්න මත පෙනෙන චිත්‍රය සැලකිය යුතු ලෙස වෙනස් වෙනවා.
කෙසේ වුවද, අවසාන ඉලක්කය වන්නේ උද්ධමනය පාලනය කිරීම නිසා අපට ඉහත මිනුම් අතරින් නාමික දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය හා වඩා හොඳින් ගැලපෙන මිනුම තෝරා ගත හැකියි. එහෙත්, මෙයද කියන තරම් පහසු වැඩක් නෙමෙයි.
ඉහත කාලයේදී නාමික දළ දේශීය නිෂ්පාදිතය 8.03 ගුණයකින් වර්ධනය වී තිබෙනවා. වසරකට 14.2%ක සාමාන්‍ය වර්ධන වේගයක්. මෙම වේගය මූර්ත ආර්ථික වර්ධන වේගයේ සහ උද්ධමනයේ එකතුවයි. මේ අනුව පෙනී යනු ඇත්තේ මහ බැංකුව විසින් සංසරණයේ ඇති මුදල් ප්‍රමාණය, සංචිත මුදල් හෝ පටු මුදල් සැපයුම ඉලක්ක කළේනම්, ඉලක්ක කළ උද්ධමනයට වඩා වැඩි උද්ධමනයක් ඇති විය හැකිව තිබුණු බවයි. එමෙන්ම, M2 පුළුල් මුදල් සැපයුම හෝ M2b පුළුල් මුදල් සැපයුම ඉලක්ක කළේනම්, ඉලක්ක කළ උද්ධමනයට වඩා අඩු උද්ධමනයක් ඇති විය හැකිව තිබුණු බවයි.
ඉහත කිසිදු මිනුමක් මුදල් ප්‍රමාණ සමීකරණය හා හරියටම ගැලපෙන්නේ නැහැ. ඒ නිසා, හුදෙක් මුදල් සැපයුමේ වර්ධනය දෙස පමණක් බලමින් උද්ධමනය ප්‍රශස්ත ලෙස කළමනාකරණය කිරීමේ හැකියාවක් නැහැ. මෙයට එක් හේතුවක් ලෙස පෙන්වා දිය හැක්කේ ඇතැම් මුදල්වාදීන් විසින් උපකල්පනය කරන පරිදි මුදල් ප්‍රවේගය නියතයක් නොවීමයි. විවිධ මුදල් සැපයුම් හා අදාළ මුදල් ප්‍රවේග එකම ආකාරයකින් වෙනස් නොවීම මේ තත්ත්වය වඩා සංකීර්ණ කරනවා.
මුදල් ප්‍රමාණ සමීකරණයේ ප්‍රයෝජ්‍ය වටිනාකම සීමා කරන තවත් සාධකයක් වනුයේ ජාත්‍යන්තර වෙළඳාමේ බලපෑමයි. ලෝකයේ කිසිම රටක අපේ උදාහරණයෙහි ඇති පරිකල්පනීය දූපතේ වැනි හුදෙකලා වූ ආර්ථිකයක් නැහැ. ලංකාව වැනි බොහොමයක් රටවල් වල දළ දේශීය නිෂ්පාදිතයෙන් කොටසක් පරිභෝජනය කරන්නේ රටින් පිටත සිටින අයයි. එමෙන්ම රට තුළ පරිභෝජනය කෙරෙන බොහෝ දෑ ආනයනික භාණ්ඩයි. ඒ නිසා, රට තුළ සිදු වන ගනුදෙනු ප්‍රමාණය සහ රටේ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රමාණය අතර සම්බන්ධය කැඩී යනවා.
රට තුළ ආනයනික භාණ්ඩ මිල දී ගන්නා ලංකාවේ පාරිභෝගිකයෙකු විසින් ඒ වෙනුවෙන් මුදල් ගෙවන්නේ රුපියල් වලින් වුවත් අවසාන වශයෙන් අදාළ භාණ්ඩයේ නිෂ්පාදකයාට මුදල් ගෙවන්නේ රුපියල් වලින් නොවන නිසා රුපියල් වලින් විදේශ විණිමය මිල දී ගන්නට සිදු වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස විණිමය අනුපාතයද උද්ධමනය කෙරෙහි බලපෑම් කරනවා. වෙනත් විදිහකින් කිවුවොත් රුපියල් ගනුදෙනු ප්‍රමාණය රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් කොටසක් පමණයි.
ඇමරිකාව වැනි රටකට මේ ප්‍රශ්නය වෙනත් ආකාරයකින් බලපානවා. ඇමරිකාව විදේශ රටවල් සමඟ කරන ගනුදෙනු සිදු වන්නේද ඔවුන්ගේ මුදල් ඒකකය වන ඇමරිකන් ඩොලර් වලින්. එහෙත් ඇමරිකන් ඩොලර් භාවිතා වන්නේ ඇමරිකාව තුළ හෝ ඇමරිකාව සමඟ සිදු කෙරෙන ගනුදෙනු සඳහා පමණක් නොවන බැවින් ඩොලර් සඳහා වන ඉල්ලුම ඇමරිකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ පරිමාව ඉක්මවා යන්නක්.
වෙනස තිබෙන්නේ කවර අතට වුවත්, අවසාන ප්‍රතිඵලය වනුයේ ගනුදෙනු වල වටිනාකම දළ දේශීය නිෂ්පාදිතය ඇසුරෙන් මැන ගත නොහැකි වීමයි. ඒ නිසාම, මුදල් ඉල්ලුම නිවැරදිව තක්සේරු කළ නොහැකි වීමයි.
මුදල් ඉල්ලුම මෙන්ම මුදල් සැපයුමද නිවැරදිව මැන ගැනීම පහසු නොවන්නාක් මෙන්ම මුදල් ප්‍රවේගය නියතයක්ය යන්න ඒ තරම් නිවැරදි උපකල්පනයක් නෙමෙයි. ආර්ථිකයේ චක්‍රීය විචලනයන් සමඟ මුදල් ප්‍රවේගයද වෙනස් වෙනවා. මේ හේතූන් නිසා, මුදල් ප්‍රමාණ සමීකරණයේ පදනම අභියෝග කළ නොහැකි සර්වසාම්‍යයක් වුවද, ප්‍රායෝගික භාවිතාවේදී එය උපයෝගී කර ගත හැක්කේ කිසියම් මාර්ගෝපදේශනයක් සපයා ගැනීම සඳහා පමණයි.
මහා අවපාතයෙන් පසුව, 1930 දශකයේදී කේන්සියානු අදහස් ආර්ථික විද්‍යාවේ ප්‍රධාන ධාරාව බවට පත් වුනා. එහෙත්, 1950 පමණ වන විට ප්‍රධාන ධාරාව තුළ මිල්ටන් ෆ්‍රීඩ්මන්ගේ මුදල්වාදය ඉස්මතු වෙන්න පටන් ගත්තා. 1970 දශකය මුලදී ඉහළ උද්ධමනයක් තිබියදී විරැකියා අනුපාතයද ඉහළ මට්ටමක පැවතීම තුළ කේන්සියානු අදහස් පහසුවෙන්ම අභියෝගයට ලක් කළ හැකි වාතාවරණයක් ඇති වීම නිසා මුදල්වාදයට විශාල පිළිගැනීමක් ලැබුණා. මෙම කාලයේදී ලෝකයේ ප්‍රධාන මහ බැංකු ගණනාවක්ම මුදල් ප්‍රමාණ සමීකරණය අනුව යමින් සෘජුව මුදල් සැපයුම පාලනය කිරීම හරහා උද්ධමනය පාලනය කිරීමට උත්සාහ කළා.
මිල්ටන් ෆ්‍රීඩ්මාන්ගේ උපදෙස් පරිදි, එවකට ෆෙඩරල් සංචිත බැංකුවේ අධිපතිව සිටි පෝල් වෝකර් විසින් 1979-1982 කාලයේදී උද්ධමනය පාලනය කිරීම සඳහා පොලී අනුපාතික වෙනුවට කෙළින්ම මුදල් සැපයුම ඉලක්ක කිරීමට තීරණය කළා. මීට පෙර මෙන්ම මෙම අසාර්ථක පරීක්ෂණයෙන් පසු කාලයේදීද මහ බැංකු විසින් සාමාන්‍යයෙන් උද්ධමනය පාලනය කළේ පොලී අනුපාතික පාලනය කිරීම මගිනුයි. ඒ හා අදාළ වැඩි විස්තර වෙනත් ලිපියකින්.
පෝල් වෝකර් පරීක්ෂණය සිදු කළ 1979-1982 කාලය තුළ ඇමරිකාවේ පොලී අනුපාතික ඉතා විශාල ලෙස විචලනය වීම නිසා මූල්‍ය ක්ෂේත්‍රයේ විශාල අස්ථාවරත්වයක් ඇති වුනා. අවසන් වශයෙන් මේ පරීක්ෂණය අත හැර දමනු ලැබුවා. මීට සමාන්තරව මාග්‍රට් තැචර්ගේ ආණ්ඩුව යටතේ එක්සත් රාජධානියේද, ජර්මනිය, කැනඩාව, ස්විට්සර්ලන්තය වැනි රටවලද මේ පරීක්ෂණය සිදු කෙරුණා. එහෙත් ඒ කිසිදු තැනක මුදල් සැපයුම පාලනය කිරීම මගින් සෘජුව උද්ධමනය පාලනය කිරීමේ උත්සාහයන් සාර්ථක වූයේ නැහැ. සෘජුව මුදල් සැපයුම පාලනය කිරීම මගින් උද්ධමනය කළමනාකරණය කිරීම ලෝකයේ ප්‍රධාන ආර්ථික ගණනාවකම ප්‍රයෝගිකව පරීක්ෂා කරනු ලැබ, ඉතා කෙටි කලකින්ම අත හැර දමා ඇති අසාර්ථක ක්‍රමයක්.
මෙයින් පෙන්වා දෙන්නේ මුදල් සැපයුම වැඩි වීම උද්ධමනයට හේතු නොවන බව හෝ මුදල් සැපයුම පාලනය කිරීම මගින් උද්ධමනය පාලනය කළ නොහැකි බව නෙමෙයි. මූලික අදහස මුදල් සැපයුම සෘජුව පාලනය කිරීම මගින් උද්ධමනය පාලනය කරන්නට උත්සාහ කිරීම සාර්ථක ක්‍රමයක් නොවන බවයි. ඊට සාපේක්ෂව, පොලී අනුපාතික පාලනය කිරීම මගින් උද්ධමනය පාලනය කිරීම දශක ගණනාවක් තිස්සේ අත්හදා බලා තිබෙන සාර්ථක ක්‍රමයක්. එහිදීද අවසාන වශයෙන් මුදල් සැපයුම පාලනය කිරීමක් සිදු වන නමුත් එය සිදු වන්නේ වක්‍ර ලෙසයි. මේ ගැන ඉදිරි ලිපියකින් වැඩි විස්තර කතා කරමු.
No comments:
Post a Comment
මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.