වෙබ් ලිපිනය:

Friday, August 13, 2021

සංචිත ඩොලර් බිලියන 2.8 දක්වා පහළට!


මහ බැංකුවේ අලුත්ම සංඛ්‍යාලේඛණ අනුව, ජූලි අවසානය වෙද්දී නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 2,833.5 දක්වා පහත වැටී තිබෙනවා. මෙයින්ද ද්‍රවශීල විදේශ වත්කම් තිබෙන්නේ ඩොලර් මිලියන 2,364.6ක් පමණයි. 

වසරේ පළමු මාස හය තුළ විදේශ ගනුදෙනු වල ඩොලර් මිලියන 1,261ක හිඟයක් පෙන්නුම් කරන අතර ඒ අනුව වසරේ අවසන් මාස හය තුළද එවැනිම හිඟයක් අපේක්ෂා කළහොත්, ද්‍රවශීල විදේශ වත්කම් ප්‍රමාණය වසර අවසන් වෙද්දී ඩොලර් බිලියනයක් පමණ දක්වා පහත වැටිය හැකියි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 780ක පමණ වටිනාකමක් ඇති එස්ඩීආර් ප්‍රමාණයක් ලැබෙන්නට නියමිතව ඇතත් මෙම ලැබීම් ද්‍රවශීල විදේශ වත්කම් සේ සැලකිය නොහැකියි. 

මේ මොහොත වන විට මහ බැංකුව සතු ඩොලර් මිලියන 2,833.5ක් වන සමස්ත විදේශ වත්කම් ප්‍රමාණය යොදා ගෙන රුපියල් බිලියන 1,060ක් පමණ වන මහ බැංකුවේ වගකීම් සියල්ල පියවන්නටනම් ඩොලරයක මිල රුපියල් 375ක්වත් විය යුතුයි. ඊට අඩු විණිමය අනුපාතිකයක් පවත්වා ගනිමින් අඩු ගණනේ ඩොලර් වලින් වගකීම් පියවා මහ බැංකුව විසුරුවා හරින්නවත් බැහැ. 

මෙයින් මා අදහස් කරන්නේ ඩොලරයක නියම මිල රුපියල් 375ක් බව නෙමෙයි. එහෙත්, ප්‍රමාණවත් තරමින් සංචිත වර්ධනය කරගත නොහැකිනම් ඉදිරි වසරේ මැද භාගය පමණ වන විට රුපියලේ දැවැන්ත කඩා වැටීමක් සිදුවීම නොවැලැක්විය හැකියි. 

මහ බැංකුව විසින් සංචිත වර්ධනය කර ගැනීම සඳහා වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගැනීමට උත්සාහ කරමින් සිටියත් විණිමය අනුපාතිකය පවතින මට්ටමේ නඩත්තු කරමින් එය කළ නොහැකියි. පවතින මිලට කවුරුවත් ඩොලර් විකුණන්නේ නැහැ. 

විණිමය අනුපාතිකය ඉහළ ගිය විට එක පැත්තකින් ආණ්ඩුවේ ආර්ථික කළමණාකරණයේ දුර්වලකම ප්‍රදර්ශනය වීමත්, අනෙක් පැත්තෙන් රජයේ විදේශ ණය වල රුපියල් අගය වැඩි වීමත් මේ විණිමය ප්‍රතිපත්තියට හේතු සේ සැලකිය හැකියි. විණිමය අනුපාතිකය නිවැරදි වෙන්නට ඉඩ හැරීමෙන් ඇත්තටම ආණ්ඩුවේ ආර්ථික කළමණාකරණයේ දුර්වලකමක් පිළිබිඹු නොවන නමුත් මේ ආණ්ඩුවේ ප්‍රබලයින් විසින්ම එවැනි මතයක් ජනගතකර තිබීම ආණ්ඩුවට පාරාවළල්ලක් වී තිබෙනවා. 

ඒ වගේම, විදේශ ණය වල රුපියල් අගය වැඩි වුනා කියා එම ණය ඇත්තටම වැඩි වන්නේ නැහැ. එහෙත්, ණය ගෙවීම සඳහා ඩොලර් මිල දී ගැනීමට අවශ්‍ය රුපියල් ප්‍රමාණය ඉහළ යන නිසා වැඩියෙන් භාණ්ඩාගාර බිල්පත් විකුණන්න සිදු වෙනවා. පවතින පොලී අනුපාතික නඩත්තු කරමින් භාණ්ඩාගාර බිල්පත් අවශ්‍ය පමණ විකිණිය නොහැකියි.

91 comments:

  1. So only hope is recovery of tourism. Worker's Remittances also on the decline
    ER

    ReplyDelete
    Replies
    1. Yes. Hopes about the recovery of tourism also are diminishing with the status of the spread of the virus.

      Delete
  2. මට ප්‍රශ්න දෙකක් අහන්න තියෙනවා ,එකක් ලිපිය සමග ඍජුව සම්බන්දයි, අනෙක ලිපිය සමග කිසිම සම්බන්ධයක් නැති මවිසින් පෙර අසා ඇති නමුත් ඔබට මගේ ඇසූ ප්‍රශ්නනය නොපැහැදි වූ කරුණක්

    1. යූ ටියුබ් නාලිකාවක් සමග සම්මුක සාකච්ඡාවට සහභාගි වූ ආචාර්ය අජිත් කොලොන්නේ කියනවා මෙම විනිමය අනුපාතික ප්‍රශ්නයට විකල්පයක් ලෙස නව මුදල් ඒකකයක් හදුන්වා දීමෙන් එම ප්‍රශ්නයට යම් විසදුමක් දිය හැකි බව( චීනයේ ද මෙවැනිම මුදල් එකක් දෙකක් ඔවුන් භාවිතා කරන බව ඔහු පැවසුවා, එකක් රට තුල ගනදෙනු සදහා , අනෙක විදේශ සමග කෙරෙන ගනුදෙනු සදහා). නව මුදල් එකක්යක් හදුන්වාදීම තරමක හෝ හොද විකල්පයක් ද?

    2. මා පෙර ඇසූ ,ඔබට නොපැහැදි වූ, නමුත් මට දැනගැනීමට අවශ්‍ය දෙවිනි දෙය නම්, american actuarial association හී professional exam හා british actuarial association හී professional exams අතර ඇති වෙනස මොකක්ද ? බොහෝ රටවල පිලිගැනීමක් ඇත්තේ මෙම කුමන association එකක් හරහා කරන exam වල ද?

    ReplyDelete
    Replies
    1. 1. කවුරු හෝ ලින්ක් එකක් යොමු කිරීමෙන් පසුව මම මේ සාකච්ඡාව බැලුවා. සාකච්ඡාවට එන්න කලින් එහෙන් මෙහෙන් ඇහිඳ ගත් දේවල් ටිකක් මත පදනම්ව තමන්ට මෙලෝ මගුලක් නොතේරෙන කරුණක් ගැන කියවන විකාර ටිකක් මිස ඔය සාකච්ඡාවේ කිසිම ගතයුත්තක් නැහැ. රෙන්මිම්බි කියන්නේ යුවාන්ම තමයි. මුදල් වර්ග දෙකක් නෙමෙයි. ඒ වගේම, රටේ ආකෘතිමය ප්‍රශ්න එසේම තිබියදී අලුත් මුදල් ඒකකයක් හඳුන්වා දුන්නා කියලා කිසිම වෙනසක් වෙන්නේ නැහැ. එහෙම වෙනවානම් කෝවිඩ් රෝගය කාවිද රෝගය ලෙස නම් කර ලංකාවෙන් එක් සැණින් කෝවිඩ් තුරන් කළ හැකියි.

      2. ප්‍රශ්නයනම් පැහැදිලියි. නමුත් මෙවැනි සංසන්දනයක් කළ හැකි තරම් මේ විභාග ගැන දැනුමක් මට නැහැ. මේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න ගියොත් මමත් කොළොන්නේ කෙනෙක් වෙනවා.

      Delete
  3. මේ මහ බැංකු දත්ත ගතෙත් කොහෙන්ද? මං මහ බැංකු නිළ වෙබ් අවවියේ බැලුවා. හොයා ගන්න බෑනේ. පොඩ්ඩක් උදවු කරන්න පුළුවන්ද?

    ReplyDelete
    Replies
    1. ඔබට අවශ්‍ය දත්තය කුමක්ද?

      Delete
    2. මට හොයා ගන්න ඕනේ ලංකාවේ විදේශ ශ්‍රමිකයන්ගෙන් ලැබුණු විදෙස් විණිමය ප්‍රමාණය. තව ලංකාවේ ණය ප්‍රමාණය. දේශීය ණය සහ විදේශීය ණය වෙන වෙනම. පුළුවන් වෙයිද? එසයින්මන්ට් එකක් තියෙනවා ගොඩ දා ගන්න.

      Delete
    3. ඔය සියල්ල මෙහි තිබෙනවා.

      https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/statistics/wei/WEI_20210806_s.pdf

      Delete
    4. තෑම්ක්ස් බ්‍රෝ

      Delete
  4. //තරමින් සංචිත වර්ධනය කරගත නොහැකිනම් ඉදිරි වසරේ මැද භාගය පමණ වන විට රුපියලේ දැවැන්ත කඩා වැටීමක් සිදුවීම නොවැලැක්විය හැකියි. //

    මයෙලොමාව හැදුණත් බිය වුණෙ නැතිය
    ආවාම කොරෝනා බය හිතුණෙත් නැතිය
    කියවන විටදී නං ඔබගේ මේ ලිපිය
    හිතේ කොනක උපදිනවා සබඳ, බිය

    ReplyDelete
    Replies
    1. ලංකාවේ ආර්ථික අර්බුදයේ ස්වභාවය අනුව ඔය වගේ දෙයකින් නිදි වගේ අයෙකුට පෞද්ගලිකව විශාල බලපෑමක් වෙන්නේ නැහැ. ආනයනික භාණ්ඩ වල මිල විශාල ලෙස ඉහළ යන එකයි ප්‍රධාන වශයෙන්ම වෙන්නේ.

      Delete
  5. රෙමිටන්ස් අඩු වෙන තත්වයක්ද තියෙන්නෙ?
    රෙමිටන්ස් ගැන ප්‍රශනයක් තියෙනව.
    උන්ඩියල් හෝ කලුකඩෙන් මාරු කලාමත් ඒව විදේශ විනිමය ඉපැයීම් වලට කෞන්ට් වෙනවද?

    ReplyDelete
    Replies
    1. කෝවිඩ් නිසා ප්‍රේෂණ වැඩි වුනා මිස අඩු වුනේ නැහැ. සාමාන්‍යයෙන් රටක ව්‍යසනකාරී තත්ත්වයක් ඇති වූ විට ප්‍රේෂණ ඉහළ යනවා. එහෙත්, ලංකාවේ වත්මන් විණිමය ප්‍රතිපත්තිය නිසා පසුගිය මාසයේදී රටට එන ප්‍රේෂණ අඩු වී තිබෙනවා. මුදල් එවීමට උන්ඩියල් ක්‍රම භාවිතා කිරීමේදී, විශේෂයෙන්ම මේ අවස්ථාවේදී, අදාළ පවුල් වල අයට රුපියල් ලැබුණත් රටට ඩොලර් ලැබෙන්නේ නැහැ. පොඩි මනඃකල්පිත උදාහරණයකින් පැහැදිලි කරන්නම්. ලංකාවේ සිටින අයෙකුට ඇමරිකාවේ ඉගෙන ගන්න දරුවෙකුට මුදල් යැවිය යුතු වුවත්, බැංකු වලින් ඩොලර් නිකුත් කරන්නේ නැහැ. ඒ නිසා, සල්ලි යවන්න කිසිම ක්‍රමයක් නැහැ. ඇමරිකාවේ සිටින මට ලංකාවට සල්ලි යවන්න ඕනෑ. දැන් මම මේ දරුවාට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය දෙනවා. ඒ වෙනුවට එම දරුවාගේ පියා ලංකාවේ මගේ ගෙදරට රුපියල් දෙනවා. ලංකාවෙන් ඇමරිකාවට සල්ලි එවන්න බැරි වුනත් මට ඇමරිකාවෙන් ලංකාවට සල්ලි යවන්න පුළුවන්. බැංකුවක් හරහා යවන එකට වඩා මේ ක්‍රමය අවදානම් නිසා මම මේ වගේ ගනුදෙනුවකට සාමාන්‍යයෙන් එකඟ වෙන්නේ නැහැ. එහෙත් බැංකුවක් හරහා යැවුවොත් මට ලැබෙන්නේ රුපියල් 200 බැගින්. මේ ක්‍රමයට රුපියල් 225 බැගින් ලැබෙනවා. ඒ නිසා මම අවදානම ගන්නවා. උන්ඩියල් ක්‍රමයේදී වෙන්නේ ඔය වගේ දෙයක්. මේ වෙලාවේ ලංකාවේ සිට ඩොලර් පිටට යැවීම විවිධ ආකාර වලින් සීමා කර තිබෙනවා. නමුත් විවිධ හේතු මත ලංකාවේ මිනිස්සුන්ට ඩොලර් පිටට යවන්න අවශ්‍යයි. ඒ අය වැඩි මිලක් ගෙවන්නත් සූදානම්. වැඩේ වෙන්නනම් ලංකාවට පිටින් ඩොලර් හොයා ගන්න වෙනවා. ශ්‍රමික ප්‍රේෂණ මේ වැඩේට යොදා ගන්න පුළුවන්. මෙහිදී අදාළ පවුල් වලට සල්ලි ලැබෙන නමුත් රටට ඩොලර් එන්නේ නැහැ.

      Delete
    2. ඔව්. ඔබගේ පහුගිය ලිපිවල කෝවිඩ් කාලෙ ප්‍රේශන වැඩි වෙලා කියල ලියා තිබුනනිසා නවතම තත්වය දැනගන්න ඇහුවෙ. මමත් බැන්ක්කකු හරහ පහුගිය කාලෙම මුදල් යැව්වෙ. නමුත් ආන්ඩුව මේ කරන වැඩේ නිසා දැන් යවාගන්න විදියක් නැතිව ඉන්නෙ. කුනු කොල්ලෙට ඩොලර් විකුනන්න කවුරුත් කැමති නැහැනෙ

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. 'දැන් මම මේ දරුවාට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය දෙනවා. ඒ වෙනුවට එම දරුවාගේ පියා ලංකාවේ මගේ ගෙදරට රුපියල් දෙනවා'. ඉකෝන් කියලා තියෙන මේ උදාහරනයේදි යම් වෙලාවක සල්ලි බැංකු පද්ධතිය හරහා ගියොත්, බැංකුව money laundering ගැන ඇල'ට් වෙලා මේ වගේ ගනුදෙනු දිගු කාලීනව (කෙටිකාලීනව වුනත් වැඩිදෙනෙකුට) කරන්න කොහොමත් බැරි වෙනවා නේද. (unless these are one-off transactions).

      Delete
    5. ඔබ අහන්නේ රට ඇතුළේ සිදුවන හුවමාරුව ගැන වෙන්න ඇති. හුවමාරු වන මුදල ඉතා විශාලනම් හෝ කෙටි කාලයක් තුළ විවිධ පාර්ශ්වයන් ගණනාවක් වෙත මුදල් යවා ඇති බව පෙනුනොත් මුදල් විශුද්ධිකරණය පිළිබඳ සැක ඇති විය හැකියි. මම හිතන්නේ උන්ඩියල් ක්‍රමයේදී බැංකු පද්ධතිය භාවිතා වන්නේ නැති තරම් කියලා.

      Delete
    6. මෙහෙන් දැන් චීනයට සල්ලි යවද්දී උන්ඩියල් වගේ ක්‍රම පාවිච්චි කරන්න බැරි තරම්. ඒ විදියට යැව්වා China වල diposit වෙන account එක ඉතාම කෙටි කාළයක් තුළ freez කරනවා. දැන් නම් පැයක් වගේ ඇතුලත මේක වෙනවා. එයාලා ඒක identify කරන විදිහ කොහොමද දන්නේ නෑ. ඒ නිසා ගොඩාක් supplier ලා අකමැතියි එහෙම සල්ලි එවන එකට. මේ දවස් වල මෙහේ බඩු ගනන් යන්න ඒකත් හේතුවක්.

      Delete
  6. වගකිවයුතු විපක්ශයක් තියේනම් ඔවුන් දැනුවත් කලයුතුයි මේ වෙලාවෙ රටට සල්ලි එවන්න එපා කියල. මුන් බලෙන් රේට් එක අල්ලන් ඉඳල පරිප්පුව කන්න වෙන්නෙ නැතිනම් ඊලඟ ආන්ඩුවට

    ReplyDelete
    Replies
    1. ආණ්ඩුවට වගේම විපක්ෂයටත් මිනිස්සුන්ගේ තීරණ වලට එවැනි බලපෑමක් කිරීමේ හැකියාවක් ඇතැයි මම හිතන්නේ නැහැ.

      Delete
    2. බලපෑම් කරන්න බෑ. නමුත් වේදිකාවල කෑගහන්න පුලුවන්නෙ. ආන්ඩුව දැනටමත් විනිමය ප්‍රතිඔඅත්තිය මගින් මිනිස්සුන්ට කරන බලපෑමට කෞන්ටර් එකක් තියෙන්න ඕනනෙ

      Delete
  7. මටත් ප්‍රශ්නයක් තියෙනවා ඉකොන්. අපිටත් වඩා දරුණු විදියට කොරෝනා උවදුරෙන් දුක් විදපු/විදින අසල්වැසි රටක් වන බංග්ලාදේශයේ විදේශ සන්චිත කොරෝනා සමය තුල ඩොලර් බිලියන 14කින් වැඩි වෙන්නත් (2020 ජනවාරි බිලියන 32.3 සහ 2021 ජුනි වනවිට බිලියන 46.39 පමණ) අපේ රටේ විදේශ සංචිත බිලියන 7.5 සිට බිලියන 2.8 දක්වා බිලියන 4.7 කින් පහල බසින්නත් බලපෑ ප්‍රදානම හේතුව කුමක් විය හැකිද?

    ReplyDelete
    Replies
    1. මේ වගේ ප්‍රශ්නයකට සම්පූර්ණ පිළිතුරක් සපයන්න ලොකු විග්‍රහයක් කරන්න වෙනවා. ප්‍රධානම හේතුව මෙම කාලය තුළ බංග්ලාදේශයට ලැබුණු ප්‍රේෂණ විශාල ලෙස ඉහළ යාම. රටක ජනතාව අමාරුවේ වැටුණු විට රටින් පිට සිටින අය වැඩියෙන් මුදල් එවීම සාමාන්‍ය දෙයක්. මා කලින් පැහැදිලි කර ඇති පරිදි ලංකාව මේ තත්ත්වයට වැටුනේ කෝවිඩ් නිසා නෙමෙයි. රටේ විණිමය ප්‍රතිපත්තිය නිසා. බංග්ලාදේශයේ එවැනි තත්ත්වයක් තිබුණේ නැහැ.

      Delete
  8. රටක් වශයෙන් බැරිද ජාත්‍යන්තර කොටස් වෙළඳපොල වගේ තැන් වල ආයෝජනය කරලා ලාබ ලබන්න ... මෝඩ ප්‍රස්නයක් වෙන්න පුළුවන් .. නමුත් ඇයි ලංකාවේ මහා බැංකුවට බැරි ඩොලර් බිලියනයක් බ්ටිකොයින් වගේ දෙකට ආයෝජනය කරලා කෙටි කාලයක් තුල ලාබයක් ලබන්න ... උදාහරණයක් විදියට ඉලෝන් මස්ක් වැනි අයගේ වත්කම් තීරණය වෙනවා වගේ ඇයි රටකට බැරි ඒ විදියට මුදල් සංචිත වැඩි කර ගන්න ?

    මගේ ආර්ථික විද්‍යා දැනුම බිංදුවයි ... පුළුවන් නම් පැහැදිලි කරලා දෙන්න.

    ReplyDelete
    Replies
    1. මෝඩ ප්‍රශ්නයක් නෙමෙයි. ඉතාම හොඳ ප්‍රශ්නයක්. සංචිත වල කාර්ය භාරය මෙයයි. සිංගප්පූරුව වගේ රටක් රටක් ගත්තත් රාජ්‍ය ණය ඉතා වැඩියි. එහෙත් ණය වලට වඩා වත්කම්/ආයෝජන වැඩියි. සිංගප්පුරු නීතිය අනුව රජයට ණය අරගෙන වියදම් කරන්න බැහැ. එහෙත් ආයෝජනය කළ හැකියි. මැදපෙරදිග රටවල වත්කම්ද මෙලෙස විවිධ තැන් වල ආයෝජනය කර තිබෙනවා. චීනය ලංකාවට ණය දෙනවා කියන එකෙන් අදහස් වෙන්නෙත් චීනය පැත්තෙන් මේ වගේ ආයෝජනය කිරීමක්. ඇමරිකාවේ විදේශ ණය විදේශ වත්කම් වලට වඩා වැඩියි. නමුත් එම අඩු වත්කම් වලින් ලැබෙන ආදායම වැඩි ණය ප්‍රමාණය වෙනුවෙන් ගෙවිය යුතු පොලියට වඩා වැඩියි. බිට්කොයින් වැනි දෙයක හෝ කොටස් වෙළඳපොළ ආයෝජනය කිරීම ඉතා අවදානම් කටයුත්තක්. එහෙත් ලැබිය හැකි ප්‍රතිලාභ වැඩියි. තනි පුද්ගලයෙක් ගත්තත් මේ ආකාරයේ වැඩි අවදානම්- වැඩි ප්‍රතිලාභ ආයෝජන කළ හැක්කේ සැලකිය යුතු අතිරික්ත වත්කම් තිබේනම් පමණයි. හෙට දවල්ට ළමයින්ට කිරිපිටි ගන්න තියෙන සල්ලි කොටස් වෙළඳපොළ ආයෝජනය කරන එක අනවශ්‍ය අවදානමක්. ලංකාව නිදහස ලබන විට ලංකාවටත් අතිරික්ත වත්කම් තිබුණා. නමුත් නිදහස ලැබුණු දා පටන් කළේ එම වත්කම් වියදම් කර අවසන් කරන එකයි. 1956 වෙද්දීම ලංකාවේ විදේශ ණය ප්‍රමාණය සංචිත ප්‍රමාණය ඉක්මවා ගියා. එතැන් සිටම සංචිත වල කාර්ය භාරය වන්නේ ණය රෝල ගහන අතර එදිනෙදා වියදම් පියවා ගැනීමයි. එවැනි තත්ත්වයක් යටතේ ලොකු අවදානම් ගන්න බැහැ. ග්‍රීක බැඳුම්කර සිද්ධියේදී වුනේ එවැනි අවදානමක් ගන්න ගිහින් කඳ හරහට ඇණ ගැනීමක්. සාමාන්‍යයෙන් රටක සංචිත විශාල අවදානම් ඇති තැන් වල ආයෝජනය කරන්නේ නැහැ. එහෙත් අනිවාර්යයෙන්ම ආයෝජනය කරනවා. ඉලෝන් මස්ක් වැනි අයගේ වත්කම් එක රැයින් විශාල ලෙස වැඩි වෙන්න වගේම අඩු වෙන්නත් පුළුවන්. රටක සංචිත එවැනි අවදානමක හෙලන්න බැහැ. විශේෂයෙන්ම තිබෙන සංචිත ඉතාම සීමිත තත්ත්වයක් යටතේ. ලංකාවේ විදේශ සංචිතත් ආයෝජනය කරලයි තියෙන්නේ. ඒ හරහා සෑම වසරකම සංචිත වැඩිකර ගැනීමක් සිදු වෙනවා. මහ බැංකුවේ නියම ආදායම ලෙස සැලකිය හැක්කේ මේ විදිහට සංචිත ආයෝජනය කර උපයන ආදායමයි. එහෙත් යම් සංචිත ප්‍රමාණයක් එදිනෙදා වියදම් වෙනුවෙන් තියා ගන්න වෙනවා. දැන්නම් තියෙන්නේ එදිනෙදා වියදම් වලට අවශ්‍ය ප්‍රමාණයට වඩා බොහොම ටිකයි.

      Delete
    2. බොහොම ස්තුතියි ඔබගේ පැහැදිලි කිරීමට ... ලංකාව දැනට එසේ කරල තියෙන විදෙස් ආයෝජන මොනවාද ? නිකන් දැනගැනීමට පමණයි ...

      Delete
    3. වැඩිපුරම ආයෝජනය කර තිබෙන්නේ ඩොලර් බැඳුම්කර සහ යුරෝ බැඳුම්කර වල විය යුතුයි. මේ ආයෝජන නිතිපතා වෙනස් කරනවා.

      Delete
  9. Econo, now I have an issue that is not directly related to the above letter. Now SL economy is in tatters and people are exhausted with the government action to rectify the issue. However, many do not have any alternative political option. Meanwhile the NPP has recently proposed that they are willing to take up the country and they have enough intellectual support to make progressive changes. But I have a concern on the socialite policies that they support with which i presume it would also take us to a dead end. However, they seems to be a better option compared current ruling gang.

    ReplyDelete
    Replies
    1. Successive governments in SL have been inefficient in implementing efficient policies. It is possible that NPP could efficiently implement the proven inefficient policies they represent. The more efficient they will be in implementing the policies they prescribe, the more inefficient will be the system. I believe most Sri Lankans may not want to touch a hot iron to investigate whether it will burn their fingers.

      Delete
  10. ඒ කියන්නේ ගොඩ යන්න තියෙන අන්තිම අවස්ථාවත් නැති වේගන යනවද

    ReplyDelete
  11. දැනට බොරුවට ඩොලර් එකට පාල්න මිලක් දාල තිබ්බට ඒ ගානට ඩොලර් නැහැනෙ. ඉකොනො හිතන්නෙ ඊලඟට මොකක්ද වෙන්නෙ? දිගටම මෙහෙම අල්ලන් ඉන්න බැරිද? නැතිනම් කොහොමහරි ඩොලර් එන ක්‍රමයක් ආන්ඩුවට හදාගන්න බැරිවෙයිද දැන් තියෙන කලු කඩේ රේට් එක රජයේ රේට් එකට සමාන කරවන්න?

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ ආණ්ඩුව උත්සාහ කරන්නේ ඒකට තමයි. ප්‍රශ්නයට මූලික හේතුව කෝවිඩ් නොවුනත් කෝවිඩ් නිසා සංචාරක කර්මාන්තයෙන් ලැබුණු ඩොලර් අහිමිව යාමත් ප්‍රධාන හේතුවක්. ආණ්ඩුව උත්සාහ කරන්නේ රට විවෘත කර සංචාරක කර්මාන්තය හරහා නැවත ඩොලර් උපයන්නයි. කෝවිඩ් වලට පෙර තිබුණු තත්ත්වයට සංචාරක කර්මාන්තය නැවත පත් වුනොත් ඩොලර් බිලියන දෙකක් පමණ ලැබෙනවා. ප්‍රශ්නය බොහෝ දුරට විසඳෙනවා. එහෙත් දැනට පෙනෙන්නට තිබෙන තත්ත්වය අනුව කෙටි කලකදී (ලබන වසර මැද පමණ වන විට) සංචාරක කර්මාන්තය නැවත පෙර මට්ටමටම එන්න තිබෙන ඉඩකඩ ඉතාම අඩුයි. කෝවිඩ් මරණ වේගයෙන් වැඩිවන පසුබිමක එක පැත්තකින් සංචාරකයින් එන්න තිබෙන ප්‍රවණතාව අඩුයි. අනෙක් පැත්තෙන් රට වහන්න බලපෑම් වැඩියි. එන ඩොලර් වැඩි කර ගත නොහැකි පසුබිමකදී ආණ්ඩුවට විණිමය අනුපාතිකය පවත්වා ගන්න එළියට යන ඩොලර් තවදුරටත් දැඩි සේ සීමා කරන්න වෙනවා. මෙහිදී භාණ්ඩ හිඟයක් ඇති වී ආණ්ඩුව කෙරෙහි අප්‍රසාදයක් ඇති වීම නොවැලැක්විය හැකියි. අනෙක් අතට ආනයන සීමා ඉවත් කරන්න හෝ අඩු කරන්නනම් විණිමය අනුපාතිකය නිවැරදි වෙන්න අරින්න සිදු වෙනවා. එහිදීද ආනයනික භාණ්ඩ වල මිල ඉහළ ගොස් ආණ්ඩුව කෙරෙහි අප්‍රසාදයක් ඇති වීම නොවැලැක්විය හැකියි. මේ දෙකෙන් පළමුවැන්න ආණ්ඩුවේ තෝරා ගැනීම වී තිබෙනවා.

      Delete
  12. සල්ලි අක්චු ගැහුවට ඒව මිනිස්සු අතට එන්නෙ නැති නිසා ආර්තිකේට උද්දමනය වෙන්නෙ නෑ කියන කතාවක් ඇහෙනව. ඒක ඇත්තක්ද?

    ReplyDelete
    Replies
    1. කතාවේ ඇත්තක් තිබෙනවා. සල්ලි අච්චු ගහන්නේ ණය ගෙවන්න. ඒ නිසා, එම අච්චු ගහන සල්ලි බොහෝ දුරට රටෙන් එළියට යනවා. ඒ නිසා, උද්ධමනය ක්ෂණිකව ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. විණිමය අර්බුදය ඊට කලින් ප්‍රශ්නයක් වෙනවා. උද්ධමනය ප්‍රශ්නයක් වනු ඇත්තේ දෙවනුව. 2023 පමණ වන විට. විණිමය අනුපාතිකය කඩා වැටුනොත් ඒ එක්කම ආනයනික භාණ්ඩ මිල ඉහළ ගොස් උද්ධමන දර්ශක ඉහළ යනවා. මෙහිදී ඇත්තටම වෙන්නේ විණිමය අනුපාතිකය පාලනය කිරීම හරහා කෘතීම ලෙස පාලනය කර තිබෙන, උද්ධමන දර්ශක වලට හසු නොවන නමුත් කොහොමටත් තිබෙන, සැඟවුණු උද්ධමනය පෙනෙන්න පටන් ගැනීමයි. අනෙක් පැත්තෙන් කෙසේ හෝ ඩොලර් හොයා ගෙන විණිමය අනුපාතිකය කඩා වැටීම වලක්වා ගත්තොත් එම ඩොලර් රුපියල් කිරීමේදී මුදල් සැපයුම එකවර විශාල ලෙස ඉහළ ගොස් උද්ධමනය විශාල ලෙස ඉහළ යනවා. 2024ට පෙර මේ දෙකෙන් එකක් බොහෝ දුරට සිදු විය හැකි නිසා ප්‍රශ්නය ඉදිරි ආණ්ඩුවකට තල්ලු කිරීමේ හැකියාවක් මේ ආණ්ඩුවට ඉතිරි වී නැහැ.

      Delete
    2. ඉදිරි ආණ්ඩුවට තල්ලු කරන්න බැහැ කියන එක දීර්ඝ කාලීනව බැලුවොත් හොදක්. ආණ්ඩුව බිත්තියට හේත්තු වෙනවා කියන්නේ සිදු විය යුතු ආකෘතිමය වෙනස් කම් ටික අකමැත්තෙන් උනත් කරන්න වෙන එක නේද

      Delete
    3. ඔව්. නමුත්, යම් හෙයකින් මේ ආණ්ඩුවට ඉදිරි වසර හයේදීත් ආණ්ඩු කිරීමට හැකිවීම පිළිබඳ ඔවුන්ගේ බලාපොරොත්තුව තීරණාත්මක ලෙස බිඳ වැටුනොත් එය වෙන්නේ නැහැ. එහෙම වුනොත් යන යකා කොරහත් බිඳ ගෙන යාමක් සිදු විය හැකියි.

      Delete
    4. අච්චු ගහන රුපියල් රටෙන් එලියට යනවා කියන එකෙන් ඔබ අදහස් කලේ මොකක්ද කියල පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් ද? ආණ්ඩුව ඩොලර් මිලදී ගන්න මහ බැංකුවට දෙන අලුතින් අච්චු ගැසූ රුපියල් වලට මහ බැංකුව මොකද්ද කරන්නේ

      Delete
    5. මා යොදාගත් වචන එලෙසම ගත්තොත් එතරම්ම නිවැරදි නැහැ. ඔබ පැහැදිලි කිරීමක් කරන සේ ඉල්ලා සිටි එක හොඳයි. සල්ලි අච්චු ගැසීම කියා කියන්නේ රජය මහ බැංකුවට භාණ්ඩාගාර බිල්පත් විකුණා ඒ වෙනුවෙන් මුදල් ලබා ගැනීම. මෙහිදී මහ බැංකුව විසින් සපයන මුදල් ප්‍රමාණය තමයි සල්ලි අච්චු ගැසීම සේ සැලකෙන්නේ. මේ සල්ලි ගුරු වැටුප් වැඩි කිරීම වැනි දෙයකට වැය කළොත් ගුරවරු එම අලුත් සල්ලි භාණ්ඩ හා සේවා මිල දී ගැනීම වෙනුවෙන් වැය කරන නිසා ඉල්ලුම වැඩි වී උද්ධමනය ඉහළ යනවා. එම මුදල් දේශීය ණය ආපසු ගෙවීම වෙනුවෙන් යෙදෙවුවත් ඒ දෙයම වෙනවා. වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගෙන විදේශ ණය ගෙවුවත් වෙන්නේ ඒ දෙයමයි. නමුත්, මෙහිදී මේ සල්ලි යොදවන්නේ මහ බැංකුවෙන් ඩොලර් මිල දී ගන්න නිසා අලුත් සල්ලි නැවත මහ බැංකුවටම ආපසු එනවා. එක කවුන්ටරයකින් රජයට දෙන සල්ලි අනෙක් කවුන්ටරයෙන් ආපසු ගන්නවා. මේ විදිහට කිවුවත් මේ ගනුදෙනු දෙක එකිනෙකින් නිශේධනය වනවා මිස සල්ලි එළියට යාමක් වෙන්නෙම නැහැ. ඒ නිසා, ක්ෂණිකව රට ඇතුළේ ඉල්ලුම වැඩි වීමක් හෝ උද්ධමනයක් ඇති වන්නේ නැහැ. නමුත්, රුපියලේ ගුණාත්මක භාවයේ අඩුවීමක් සිදු වන නිසා උද්ධමන බීජ සැඟවී තිබෙනවා. යම් අයුරකින් ඩොලර් හොයාගෙන එම ඩොලර් මහ බැංකුවට විකුණා ලැබෙන මුදල් වලින් මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ආපසු මිල දී ගත්තොත් මේ උද්ධමන බීජ පැලවෙන්න පෙර මරා දැමිය හැකියි. එහෙත් එහෙම කරන්නනම් ඩොලර් හොයා ගන්නවට අමතරව ආණ්ඩුවේ ආදායමද වැඩි කර ගන්න සිදු වෙනවා. දැනට ආණ්ඩුව ආදායම් වැඩි කර ගැනීමේ උත්සාහයක නිරතව නොසිටින නිසා කවර හෝ ආකාරයකින් ඩොලර් හොයාගෙන මහ බැංකුවට විකිණුවත් එසේ විකුණා ලබා ගන්නා රුපියල් අයවැය හිඟය පියවීමට යොදා ගන්න වෙනවා. එවිට මුදල් සැපයුම ඉහළ ගොස්, ඉල්ලුම වැඩි වී, උද්ධමනය ඉහළ යනවා. හැබැයි මෙය වෙන්න 2023 වසර පමණ දක්වා කල් යයි. ඊට පෙර විණිමය අනුපාතිකය මේ මට්ටමේ පවත්වා ගැනීම ගැන ආණ්ඩුවට නැවත සිතා බලන්න සිදු වෙනවා. බොහෝ විට යම් තරමකින් අවප්‍රමාණය කරයි. මම හිතන විදිහට කෙටි කාලයක් තුළ රුපියල් 220 පමණ දක්වා අවප්‍රමාණය කරන්න ඉඩ තිබෙනවා. ඇතැම් විට ලබන වසර මුල වගේ වෙද්දී. මේ අවස්ථාවේදී අච්චු ගහන සල්ලි යෙදවෙන්නේ මහ බැංකුවෙන් ඩොලර් මිල දී ගෙන ණය ගෙවන්න නිසා එම රුපියල් වැය කෙරෙන්නේ රට තුළ නොව රටින් පිටයි. රජය එම සල්ලි රට ඇතුළේ වැය කරන්නේ නැහැ. අච්චු ගහන රුපියල් රටෙන් එළියට යනවා කියන එකෙන් අදහස් කළේ මෙයයි. මෙය එක්තරා ආකාරයකින් රුපියල (රුපියලේ කීර්ති නාමය) උගසට තියා ණය ගැනීමක් කියා කිව හැකියි. ණය ආපසු නොගෙවුවොත් රුපියලත් එක්කම මහ බැංකුවත් (මහ බැංකුව පිළිබඳ විශ්වාසනීයත්වය) කඩා වැටෙන්න පුළුවන්. මහ බැංකුව පිළිබඳ විශ්වාසනීයත්වය කඩා වැටීම කියන්නේ මහ බැංකුවේ අධිපති හෝ නිලධාරීන් පිළිබඳ විශ්වාසනීයත්වය බිඳ වැටීමට වඩා අතිශයින්ම භයානක තත්ත්වයක්. හැබැයි බොහෝ විට තත්ත්වය ඒ තරම් නරක අඩියකට යන එකක් නැහැ. ඊට කලින් ආණ්ඩුවට හරි පාරට එන්න සිදු වෙයි. කෝවිඩ් වලදී වගේ.

      Delete
    6. මහ බැංකුව විවෘත වෙලඳ පොළෙන් ඩොලර් මිලදී ගන්න මේ රුපියල් වැය කරන්නේ නැද්ද?

      Delete
    7. ඔබේ ප්‍රශ්නය පැහැදිලි නැහැ. විශේෂයෙන්ම "මේ රුපියල්" කියන එක. මහ බැංකුව විවෘත වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගනිද්දී රුපියල් එළියට යනවා. ඒ නිසා, මුදල් සැපයුම ඉහළ යනවා. ඔබ අහන්නේ ඒ ගැනද?

      Delete
    8. මට තේරුණ විදිහට මහ බැංකුවේ අලුතින් අච්චු ගැසූ රුපියල් "ගොඩ ගැසීමක්" වගේ දෙයක් සිදුවෙනවා. මම "මේ රුපියල්" කියා අදහස් කාලේ එයයි.

      Delete
    9. //මෙහිදී මේ සල්ලි යොදවන්නේ මහ බැංකුවෙන් ඩොලර් මිල දී ගන්න නිසා අලුත් සල්ලි නැවත මහ බැංකුවටම ආපසු එනවා//
      මේ කියන්නෙ මහ බැන්කුවෙ තියෙන සන්චිත ඩොලර් ටික ආන්ඩුවෙන් රුපියල් දීල අරගෙන ඒ ඩොලර් ටිකෙන් විදේශ නය පියවනව කියලද?

      Delete
    10. //මට තේරුණ විදිහට මහ බැංකුවේ අලුතින් අච්චු ගැසූ රුපියල් "ගොඩ ගැසීමක්" වගේ දෙයක් සිදුවෙනවා. මම "මේ රුපියල්" කියා අදහස් කාලේ එයයි.//

      මම හිතන්නේ සල්ලි අච්චු ගැසීම පිළිබඳ ඔබේ අදහස තවමත් නිරවුල් නැහැ. සල්ලි අච්චු ගැසීම කියන එකෙන් අදහස් වෙන්නේ මුද්‍රණාලයකදී සිදු වන කාර්යය නෙමෙයි. මුද්‍රණාලයකදී වෙන්නේ කඩදාසි වල රූප, අකුරු මුද්‍රණය කිරීමක් පමණයි. පෙනුමෙන් සමාන වුවත් මේ වර්ණවත් කඩදාසි සල්ලි නෙමෙයි. එම කඩදාසි සල්ලි බවට පත් වෙන්නේ මහ බැංකුවෙන් එළියට ඇවිත් සංසරණයට එකතු වූ විටයි. සල්ලි කියන්නේ එම කඩදාසි වලට ලැබෙන ගුණයක්. ඒ ගුණය නැති වූ විට ඒවා තව දුරටත් සල්ලි නෙමෙයි. මුදල් නෝට්ටු මහ බැංකුවට පැමිණි විට ඒවා නැවතත් වර්ණවත් කඩදාසි පමණක් බවට පත් වෙනවා. මහ බැංකුවෙන් එළියට ගොස් සංසරණයට එකතු වන මුදල් නෝට්ටු නැවත සල්ලි බවට පත් වෙනවා. මෙහිදී එළියට යන්නේ කවදාවත්ම සංසරණයේ නොතිබුණු මුදල් නෝට්ටුද කලින් සංසරණයේ තිබී නැවත මහ බැංකුව වෙත ආ පරණ නෝට්ටුද කියන එක වැදගත් නැහැ. වසර ගණනාවකට පෙර මුද්‍රණය කළ පරණ නෝට්ටුවක් සංසරණයට එකතු වුනත් එය සල්ලි අච්චු ගැහීමක්. නමුත්, පරණ නෝට්ටුවක් මාරු කර අලුත්ම නෝට්ටුවක් දීමේදී මුදල් සැපයුමේ වෙනසක් නොවන නිසා සල්ලි අච්චු ගැසීමක් වෙන්නේ නැහැ. මහ බැංකුවේ කොහොමටත් මුදල් නෝට්ටු ගොඩ ගසා තිබෙනවා. එසේ නැතිව දවස ගානේ මුදල් නෝට්ටු මුද්‍රණය කරන්නේ නැහැ. එසේ ගොඩ ගසා තිබෙන මුදල් නෝට්ටු සල්ලි නෙමෙයි. ඒවා සල්ලි වෙන්නේ සංසරණයට එකතු වූ විට. පරණ නෝට්ටු අපවිත්‍ර වෙද්දීත් අලුත් නෝට්ටු නිකුත් කරන්න වෙන නිසා මුදල් නෝට්ටු අලුතෙන් මුද්‍රණය කරන්න වෙනවා. නමුත් මෙහිදී මුදල් සැපයුම වෙනස් නොවන නිසා ආර්ථික විද්‍යා අර්ථයකින් සල්ලි අච්චු ගැහීමක් සිදු වෙන්නේ නැහැ. ඒ වගේම මුදල් සැපයුම අඩු වැඩි වන බොහෝ අවස්ථා වල භෞතික ලෙස මුදල් නෝට්ටු සම්බන්ධ වෙන්නේම නැහැ. ගිණුම් එහා මෙහා කිරීමකින් පමණක් මුදල් සැපයුම වෙනස් කළ හැකියි.

      Delete
    11. //මේ කියන්නෙ මහ බැන්කුවෙ තියෙන සන්චිත ඩොලර් ටික ආන්ඩුවෙන් රුපියල් දීල අරගෙන ඒ ඩොලර් ටිකෙන් විදේශ නය පියවනව කියලද?//

      ඔව්.

      Delete
    12. ඇත්තටම මම "ගොඩ ගැසීම" කියලා කිව්වේ ගිණුම් වල පෙන්වන නමුත් සංසරණයට එක් නොවූ සල්ලි

      Delete
    13. සංසරණයට එක් නොවූ නෝට්ටු මහ බැංකුවේ කිසිදු ගිණුමක මුදල් සේ පෙන්වන්නේ නැහැ. ඇතැම් විට inventory item එකක් ලෙස කඩදාසි වල වටිනාකම පෙන්වනවා විය හැකියි.

      Delete
    14. නෝට්ටු ලෙස සංසරණයට එක් නොවූ මුදල් මහ බැංකුවේ ගිණුම් වල තියනවාද?

      Delete
    15. ඔව්. වාර්ෂික ගිණුම් වාර්තා වල තිබෙනවා. ඇත්තටම මම මෙය පරීක්ෂා කළේ ඔබ ප්‍රශ්නය ඇහුවට පස්සේ.

      2019 අවසානයේදී,
      ගබඩා වල තිබෙන නෝට්ටු වල වටිනාකම = රු මිලියන 2,913
      ගබඩා වල තිබෙන කාසි වල වටිනාකම = රු මිලියන 4,029
      ඇණවුම් කර ලැබෙන්නට තිබෙන නෝට්ටු වල වටිනාකම = රු මිලියන 346
      ඇණවුම් කර ලැබෙන්නට තිබෙන කාසි වල වටිනාකම = නැත.
      එකතුව = රු මිලියන 7,298

      2020 අවසානයේදී,
      ගබඩා වල තිබෙන නෝට්ටු වල වටිනාකම = රු මිලියන 2,295
      ගබඩා වල තිබෙන කාසි වල වටිනාකම = රු මිලියන 3,519
      ඇණවුම් කර ලැබෙන්නට තිබෙන නෝට්ටු වල වටිනාකම = රු මිලියන 440
      ඇණවුම් කර ලැබෙන්නට තිබෙන කාසි වල වටිනාකම = රු මිලියන 32
      එකතුව = රු මිලියන 6,286

      Delete
  13. 2024 දි කල් පිරෙන US85227SAY28 කියන ISB එක USD 100 ට ඉතා ආසන්න මිලකට විකිණෙන බව පෙන්වනවා. මෙයට විශේෂ හේතුවක් තියනවා ද

    ReplyDelete
    Replies
    1. වැරදි තොරතුරක්. එය විකිණෙන්නේ ඊට වඩා ගොඩක් අඩු මිලකට.

      Delete
    2. වෙන්න පුළුවන්. ලංකාවේ 2025 දී කල්පිරෙන අනෙකුත් ISB USD 60-70 අතර මිලකට ගනුදෙනු වෙද්දී මේක විතරක් අසාමාන්‍ය හැසිරීමක් දක්වන නිසා ඇති උන කුතුහලය නිසා ඔබෙන් ඇසුවේ

      Delete
    3. ඔබ එසේ කියන්නේ කොතැනක තිබෙන දත්ත මත පදනම්වද? මම හිතන්නේ ඔබ හොයාගෙන තිබෙන්නේ වැරදි දත්තයක් කියලා. මම දන්නා තරමින් එවැනි අසාමාන්‍ය හැසිරීමක් නැහැ.

      Delete
    4. https://markets.businessinsider.com/bonds/sri_lanka-_republikdl-bonds_201924_144a-bond-2024-us85227say28

      Delete
    5. එහි අවසානයට තියෙන්නේ 2019 මැයි 14 දින සිදු වූ ගනුදෙනුවක මිලයි. ඒ වෙද්දී විකිණුනේ 100ක පමණ මිලකට.

      Delete
  14. 100ට විකිනෙනවයි කියන්නෙ ඒ කාලෙ ගත්තු
    ගානට වඩා පොලිය වැඩි වෙලා නිසා එවුන්ට වැඩි ගනන්වලට විකුන ගන්න බෑ. ගත්තු උන්ට පාඩුයි කියන එක. උන් පාඩුවට හරි විකුනන්නෙ තියාගෙන හිටියොත් ඩිෆෝල්ට් වෙයි කියල් බයට.

    ReplyDelete
    Replies
    1. 100ට විකිණෙනවා කියන්නේ බැඳුම්කර සම්බන්ධ සාමාන්‍ය තත්ත්වයක්. ලංකාවේ ස්වෛරිත්ව බැඳුම්කර මේ අවස්ථාවේදී 100ට විකිණෙනවානම් එය ඉතා හොඳ සලකුණක්. එහෙත් විකිණෙන්නේ ඊට වඩා ගොඩක් අඩුවෙන්.

      Delete
  15. //ඔව්. නමුත්, යම් හෙයකින් මේ ආණ්ඩුවට ඉදිරි වසර හයේදීත් ආණ්ඩු කිරීමට හැකිවීම පිළිබඳ ඔවුන්ගේ බලාපොරොත්තුව තීරණාත්මක ලෙස බිඳ වැටුනොත් එය වෙන්නේ නැහැ. එහෙම වුනොත් යන යකා කොරහත් බිඳ ගෙන යාමක් සිදු විය හැකියි.//
    ගොඩක් වෙලාවට 2024 වෙනකොට බිඳින්න ඉතුරු වෙලා තියෙන එකම කොරහා පාඩු ලබන රාජ්‍ය ආයතන යි, නිදිමත රාජ්‍ය සේවයයි විතරක් වෙන්න පුළුවන්

    ReplyDelete
    Replies
    1. මම එහෙම හිතන්නේ නැහැ. ඩොලර් බිලියන කිහිපයක් හොයා ගත්තොත් කලින් වගේම රෝල ගහගෙන යන්න පුළුවන්. විණිමය අනුපාතිකය තරමක් පිරිහුනාට පසුව දිගුකාලීන ප්‍රශ්න එසේම තිබියදී තාවකාලික ප්‍රශ්න විසඳෙනවා. ඉන් පසුව, ප්‍රශ්නය ඊළඟ ආණ්ඩුවට තල්ලු කළ හැකියි. 2018න් පසුව යහපාලන ආණ්ඩුව කළේත් එවැනි දෙයක්.

      Delete
  16. ප්‍රශ්න අහන්න වැටහෙන්නේ නෑ. නමුත් ඉතාම ස්තුතියි කියන්න ඕනේ වැදගත් ප්‍රශ්න යොමු කරලා හොඳ තොරතුරු එළියට අරන් දීලා තියෙන හැමෝටමත්, ඉකොනොට වගේම! ස්තුතියි!

    ReplyDelete
  17. සංචාරක කර්මාන්තයේ "ශුද්ධ" විදෙස් ඉපයීම කොපමණ වගේද?

    ReplyDelete
    Replies
    1. සාමාන්‍යයෙන් ඩොලර් බිලියන දෙකක් පමණ. (2019දී ඩොලර් මිලියන 1,969ක්. මෙය 2020දී ඩොලර් මිලියන 234 දක්වා අඩු වුනා.) මීට අමතරව ගුවන් සේවා වලින්ද ශුද්ධ වශයෙන් මිලියන 200ක්වත් ලැබෙනවා. ඔබට වැඩි විස්තර අවශ්‍යනම්, මගේ දෙවන යූටියුබ් වීඩියෝවේ මම ගෙවුම් ශේෂ ගිණුම් ගැන විස්තරාත්මකව කතා කරනවා.

      https://www.youtube.com/watch?v=gZDsw6BQsis&t=572s

      Delete
    2. ස්තූතියි

      Delete
  18. මහ බැංකුව swap ණය ලබා ගන්නේ රුපියල් අච්චු ගහලා ද? එවැනි ණයක් settle කිරිමේදී රුපියල් සැපයුම ඉහළ යන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. මහ බැංකුව swap ණය ලබා ගන්නේ රුපියල් අච්චු ගහලා ද?

      ඔව්.

      එවැනි ණයක් settle කිරිමේදී රුපියල් සැපයුම ඉහළ යන්න පුලුවන්ද?

      නැහැ, ණය settle කිරිමේදී නැවත රුපියල් සැපයුම පෙර මට්ටමට පහළ යනවා.

      Delete
    2. //නැහැ, ණය settle කිරිමේදී නැවත රුපියල් සැපයුම පෙර මට්ටමට පහළ යනවා//
      ඒ කියන්නේ swap එකක් ගන්න අපි වෙන රටක මහ බැංකුවක තැන්පත් කරන රුපියල් සංසරණයට එක් වූ රුපියල් කියලා සලකනවා ද

      Delete
    3. මේ රුපියල් මුදල් සැපයුමේ කොටසක් වන නමුත් වහාම සංසරණයට එක් වූ නෝට්ටු බවට පත් වෙන්නේ නැහැ. අදාළ ගිණුමෙන් මේ රුපියල් මුදල් නෝට්ටු ලෙස ලබා ගත්තොත් පමණක් සංසරණයේ පවතින ව්‍යවහාර මුදල් ඉහළ යනවා. චීනයට හෝ බංග්ලාදේශයට රුපියල් නෝට්ටු වලින් වැඩක් නැති නිසා ඔවුන් මේ සල්ලි ව්‍යවහාර මුදල් ලෙස තියා ගන්න කිසිදු හේතුවක් නැහැ. ඒ වෙනුවට ඔවුන් බොහෝ විට කරන්න ඉඩ තියෙන්නේ මේ මුදල් භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කිරීමයි. එහිදී මේ රුපියල් රජය සතු වෙනවා. රජය එම මුදල් ගුරු වැටුප් වැඩි කිරීම වැනි කටයුත්තකට වැය කළොත් සංසරණයේ පවතින ව්‍යවහාර මුදල් ඉහළ යනවා. ඒ අනුව, වක්‍ර ලෙස සංසරණයේ පවතින ව්‍යවහාර මුදල් ඉහළ යනවා.

      Delete
  19. ඔබ සමස්තයක් ලෙස මේ ආන්ඩ්ඩඩුව හා යහඔආලන ආන්ඩුව අතර ආර්තික ප්‍රතිපත්තිය සන්සන්දනය කලොත් වෙනසක් දකිනවද? මේ කාලෙ යහපාලන ආන්ඩුව හිටියනම් මීට වෙනසක් වෙනවද?

    ReplyDelete
    Replies
    1. ඔබ සමස්තයක් ලෙස මේ ආන්ඩ්ඩඩුව හා යහඔආලන ආන්ඩුව අතර ආර්තික ප්‍රතිපත්තිය සන්සන්දනය කලොත් වෙනසක් දකිනවද?

      ඔව්.

      මේ කාලෙ යහපාලන ආන්ඩුව හිටියනම් මීට වෙනසක් වෙනවද?

      එසේ විය යුතුයිනේ. ඒ වෙනස කුමක් විය හැකිද කියා උපකල්පනය කරන්න යාමනම් තේරුමක් නැති දෙයක්.

      Delete
    2. මොනවද ප්‍රධාන වෙනස්කම්? මම මෙහෙම අහන්නෙ ඔබ බොහෝ තැන් වල කියන නිසා හැම ආන්ඩුවම කලේ ඊලඟ ආන්ඩුවට අරර්බුදය තල්ලු කරන එක කියල

      Delete
    3. යහපාලන ආණ්ඩුව ප්‍රතිපත්තිමය වශයෙන් විණිමය අනුපාතිකය කෘතීම ලෙස පාලනය කිරීම, පොලී අනුපාතික කෘතීම ලෙස ලෙස පාලනය කිරීම, අයවැය හිඟය පුළුල් වීමට ඉඩ හැරීම හෝ අසීමිත ලෙස සල්ලි අච්චු ගැසීම වෙනුවෙන් පෙනී සිටියේ නැහැ. මේ ආණ්ඩුව ඒ දේවල් වෙනුවෙන් සෘජුවම පෙනී සිටිනවා. ප්‍රායෝගිකව, 1955න් පසු පළමු වරට, 2017 හා 2018 වසර වලදී ප්‍රාථමික අයවැය පරතරය අතිරික්තයක් ලෙස පවත්වා ගැනීම ඉතාම අසීරුවෙන් කළ දෙයක්. ඒ කියන්නේ එම වසර වල පරණ ණය සුළුවෙන් හෝ ගෙවුවා මිස අලුතෙන් ණය වුනේ නැහැ. එහෙත්, 2019දී නැවතත් ප්‍රාථමික අයවැය පරතරය හිඟයක් බවට පත් වුනා.

      Delete
    4. //එහෙත්, 2019දී නැවතත් ප්‍රාථමික අයවැය පරතරය හිඟයක් බවට පත් වුනා.//
      ඔබ පෙර පැවසූ ආකාරයේ කොරහත් බිඳගෙන යාම ද?

      Delete
    5. යහපාලන ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති වලට ජනතා කැමැත්තක් නැති බව පළාත් පාලන මැතිවරණ වලදී පෙනී ගියා. ඉන් පසුව, එම ප්‍රතිපත්ති දිගටම අනුගමනය කරන්න පසුබිමක් නැතිව යනවා. මෙය පැහැදිලිව අපේක්ෂා කළ හැකි තත්ත්වයක්.

      Delete
    6. 2017 2018 ලන්කාවෙ නය ප්‍රමානය වැඩි උනේ නෑ කියලද කියන්නෙ? ලිපියක් නැද්ද මේ ගැන ලියපු

      Delete
    7. ණය ප්‍රමාණය එම වසර දෙකේදීත් වැඩි වුනා. එහෙත්, පරණ ණය වෙනුවෙන් ගෙවූ පොලී අඩු කළ විට එම වසර දෙක තුළ රජයේ වියදම් පියවීම වෙනුවෙන් ණය වී නැහැ.

      ණය හා විනය
      https://economatta.blogspot.com/2019/11/blog-post_29.html

      Delete
    8. එහෙම බලනකොට ගොඩයන්න පුකුවන් එකම ක්‍රමය නේද යහපාලනය අනුගමනය කරල තියෙන්නෙ.

      Delete
  20. මේ වෙලාවේ ලංකාවේ ආර්ථිකය ඉතා බරපතල තත්වයක් යටතේ පවතින බව ඉතාමත් පැහැදිලියි, ඒ නිසා ජනපති අඩියක් පස්සට අරගෙන ආණ්ඩුවේ අගමැති ඇතුළු ඇමතිවරු ඉල්ලා අස්වී නව අගමැති ලෙස ආචාර්ය රනිල් වික්‍රමසිංහ පත් කරගෙන ආචාර්ය හර්ෂ ද සිල්වා වැනි නව ඇමතිවරු සහිත ප්‍රබල ඇමති මණ්ඩලයක් පත් කිරීමට ක්‍රියා කළ යුතුයි.

    මම හිතන්නේ ඇමරිකා ඩොලර් බිලියන 8ක වාර්ෂික වෙළඳ හිඟයක් පවතින රටක, 2021-2025 අතරතුර ඇමරිකානු ඩොලර් බිලියන 23ක් නැවත ගෙවන්නට සිදුවීම කොහොමටත් ඉතාමත් බරපතල විදිහට කල්පනා කර පිළියම් යෙදිය යුතු අති දුෂ්කර කාර්යයක් බව. ඊට අමතරව අපට ඇති විදේශ විනිමය ණය ලබා ගැනීමේ හැකියාවත් ගෝලීය ශ්‍රේණිගත කිරීමේ ආයතන ණය ආපසු ගෙවීමේ හැකියාව අතින් පහළ ශ්‍රේණියට ඇද දැමූ නිසා තවත් සීමා වෙලා. ඒ අනුව ආචාර්ය රනිල් නිතර පවසන ආකාරයට රජය IMF වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට වේගයෙන් කටයුතු කිරීමේ වගකීමක් තියෙනවා.

    ඒ සමග IMF එක රජයට නියම කරන තීරණ අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන්න සිදු වෙනවා. හරියටම මහා බ්‍රිතාන්‍ය 1980 දශකයේ මුල IMF ඩොලර් බිලියන 3.9 ක ණය ලබා IMF නියම කළ ජනප්‍රිය නොවූ දැඩි තීරණ හා සමාන ආකාරයට ලංකාවේත් තීරණ ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍යයි. පහුගිය කාලේ ආචාර්ය රනිල් වික්‍රමසිංහ අගමැති වශයෙන් සිරිසේන ඇතුළු නිදහස් පක්ෂයේ දැඩි විරෝධය සහ බාධා මධ්‍යයේ 2016 - 2018 කාලයේ ප්‍රතිපත්ති නැවත වතාවක් වඩාත් දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍යයි.

    ඒ අනුව ක්ෂණිකව ක්‍රියාත්මක කළ යුතු දේ.

    01. රටේ විනිමය අනුපාතය නිදහසේ ෆ්ලෝට් කර ඩොලර් එක රුපියල් 275 - 300 පමණ සීමාවට ගෙන එය ස්ථාවර කිරීම. (මේ සමග ආනයනික බඩු මිල ඉහළ යාම නිසා ඇතිවන මහජන විරෝධය ගණන් නොගෙන දැඩි තීරණයක සිටීම). ටික කලකින් ජනතාව ඊට පුරුදු වේවි.

    02. රජය මගින් නොමිලේ දෙන එන්නත්, දීමනා, බඩු මලු ආදිය කපාහැරීම. චීන එන්නත් නවතා පෞද්ගලික අංශයට ඔක්ස්ෆර්ඩ්, ෆයිසර්, මොඩර්නා වැනි එන්නත් ගෙන්වීමට අවසර ලබා දී ජනතාවට මුදල් ගෙවා එන්නත් ගසා ගැනීමට පැවසීම. මේ අනුව එන්නත් දෙකම දළ වශයෙන් රුපියල් 25,000 ක මිලට අලෙවි වේවි. තව පී සී ආර් ආදියද හැකිතාක් දුරට පෞද්ගලිකව කර ගැනීමට සැලසීම. රජයේ සෞඛ්‍ය සේවා අවම කර මුදල් නැති ඉතාමත්ම දිළිඳුවූ මරණාසන්න අයට පමණක් රජයේ නොමිලේ සේවය සැලසීම.

    මේහා සමගාමීව 1980 ගණන් වල මාග්රට් තැචර් මහා බ්‍රිතාන්‍යයේ ආර්ථික ප්‍රතිපත්ති වල රැඩිකල් වෙනසක් සිදු කළ පරිදි පහත සඳහන් කුලුනු අපද අනුගමනය කළ යුතුයි.

    01. රටේ මුදල් සැපයුම අවම කිරීම හරහා උද්ධමනය අඩු කිරීම.

    02. සියලුම භාණ්ඩ හා සේවා, බැංකු ගිණුම් වල පොළියට, ආදායම් ආදී හැකි සෑම සියලු දේටම ඉතාමත් ඉහළ 20 % - 25% ක පමණ වැට් බදු, NBT, WHT ආදී විවිධාකාර බදු වැඩි කිරීම් ක්‍රියාත්මක කිරීමෙන් රජයේ ආදායම් ඉහළ නැංවීම හරහා අයවැය හිඟය පාලනය.

    03. විවිධාකාර සහනාධාර, පාලන මිල ආදිය කපාහැරීමෙන් රාජ්‍ය වියදම් අඩු කරමින් අය වැය හිඟය අඩු කිරීම.

    04. හැකි ඉක්මනින් සෑම රාජ්‍ය හිමි ව්‍යවසායක්ම පෞද්ගලීකරණය කිරීම.

    05. මූල්‍ය අංශයේ පාලන නීති ඉවත් කිරීම.

    06. මේ දවස්වල දැඩි තර්ජනයක් වන විවිධ වෘත්තිය සමිති කඩා බිඳ විසුරුවා හැරීම. එම ඉල්ලීම් සත පහකට මායිම් නොකර වර්ජන කරද්දී ඒ කාලේ පඩි කපා හැරීම සහ හැකි නම් රස්සා වලින් ඉවත් කිරීම.

    මේ දේවල් කරද්දී එදා බ්‍රිතාන්‍යයේ වගේ රටපුරා මතුවන විවිධාකාර අර්බුද හමුවේ දැඩි විනයක් සහිතව රජය ශක්තිමත්ව මුහුණ දීමට අත්‍යවශ්‍යයි.

    ReplyDelete
    Replies
    1. IMF ණය සමග ලංකාවට අනිවාර්යයෙන්ම එම ආයතනයේ නියෝග ක්‍රියාත්මක කරන්න වෙනවා. ඒ අනුව සියලු මිල ගණන් නිදහස් කළ යුතුයි. ඒ අනුව පෙට්රල් මිල රුපියල් 280 ක් විතර සහ ඩීසල් රුපියල් 180- 200 සීමාවට ගෙනැවිත් තෙල් සංස්ථාවේ පාඩුව නවතා වෙනත් මිල පාලන විගඩම් සියල්ල අත්හිටුවා සෑම දෙයක්ම නිසි වෙළඳ පොළ මිලට අලෙවි කළ යුතුයි. ගෑස් ලොකු සිලින්ඩරයක් රුපියල් 2500 - 2800 සහ පොඩි සිලින්ඩරයක් රුපියල් 1,500 ක් විතර වෙයි සැබෑ සාධාරණ මිල ගණන්. මෙසේ වෙළඳ පොළට සියලුම මිල පාලනය පැවරිය යුතුයි.

      මේ ගැන අතීත ඉතිහාසයේ වඩාත්ම සාර්ථක උදාහරණයක් විදියට UK/ GB සහ යුරෝපයේ 1980 ගණන් වලදී සිදුකළ ක්‍රමය ඉතා වැදගත්. කෙටියෙන් කියනවනම් එක්සත් රාජධානියේත්, ජර්මනියෙත් 60- 70 ගණන්වල බොහෝ විට බලයට ආවේ සමාජවාදී රජයන්, එම රජයන් සමාජ සුභසාධනය දේශපාලන දර්ශනයක් ලෙස ශක්තිමත් කළ අතර ධනවාදය ප්‍රිය කළේ නෑ. ඒත් ඉතාමත් වැදගත් දෙයක් තමයි 1973 ඊශ්‍රායලය ඇමරිකානු සැලැස්මක් ලෙස මැද පෙරදිග සමහර අරාබි රටවල් හා කළ යුද්ධයෙන් අනතුරුව විය යුතු පරිදිම බොහෝ යුරෝපා රටවල ආර්ථිකයන් කඩාකප්පල් වුණා.

      ඇමරිකන් තෙල් සමාගම් බලවත් කරමින් එකල ඛනිජ තෙල් මිල සියයට 400කින් ඉහළ ගියේ ඇමරිකානු සහ බටහිර යුරෝපා රටවල සම්බන්ධක පැනවීම් නිසා සැපයුම් ද සීමා කරමින්.

      මේ සමගම එක්සත් රාජධානිය බරපතල ලෙස මහා පරිමාණ බලශක්ති අර්බුදයකින් වෙලී ගියේ ඛනිජ තෙල් සැපයීමේ දුර්වලතා සහ කුප්‍රකට කිං ආතර්ලගේ වැඩි පඩි ඉල්ලා ගල් අගුරු ආකරවල කම්කරුවන් කළ උද්ඝෝෂණත් නිසා. එහි ප්‍රතිඵලයක් ලෙස රජය රටපුරා හදිසි අවස්ථාවක් ප්‍රකාශ කළේ බලශක්ති සංරක්‍ෂණයට කර්මාන්ත ශාලාවලට සතියකට දින තුනක් පමණක් වැඩ කිරීමට බල කරමින්.

      ඒවගේම එක්සත් රාජධානියේ සියලුම රූපවාහිනී මධ්‍යස්ථාන රාත්‍රී 10.30 නිවා දැමිය යුතු වුණා. ඊට අමතරව සියලුම සිසුන්ට තම ගෙදර වැඩ සන්ධ්‍යා කාලයේ දී ඉටිපන්දම් එළියෙන් කරන්නට සිදුවී මහත් රාශියක් ප්‍රශ්න ඇතිවී ඊළඟ අවුරුද්දේ දී ඡන්ද දායකයන් විසින් ප්‍රතික්‍ෂේප කරනු ලැබු කන්සර්වටිව් ආණ්ඩුව ඊට වන්දි ලෙස ගෙදර ගියා.

      ඒ කාලේ මහ බ්‍රිතාන්‍ය වෘත්තීය සමිති කර්මාන්තශාලා තුළ ගෙන ගිය අති විශාල විරෝධතා ව්‍යාපාර රජයට මහත් හිසරදයක් වූ අතර ඒවායින් මහජනතාව ද මහත් පීඩාවට පත්වී එහි දී 26% කින් උද්ධමනය වැඩිවී වෘත්තීය සමිති වැඩි පඩි ඉල්ලා මහත් කෝලාහල කළා.

      රාජධානියේ විරැකියාව උග්‍ර අතට වැඩි වූ අතර ඉල්ලු වැඩි පඩි ගෙවීමට බොහෝ සමාගම් අපොහොසත් වී ඒ සියල්ලම එක්ව දුෂ්ට චක්‍රයක් ක්‍රියාත්මක වුණා.

      ඒ කාලේ දුර්වල ආර්ථිකය හේතුවෙන් බ්‍රිතාන්‍යයේ මහජනතාව තුළ මහත් රාශියක් ප්‍රශ්න සමග, අපේක්ෂා භංගත්වය සහ දැඩි කණස්සල්ල වර්ධනය වෙමින් පැතිර ගිය වෘත්තිය සමිති උද්ඝෝෂණ නිසා අමාත්‍ය ජේම්ස් කැලැහැන් (James Callaghan) තම සෙසු කැබිනට් අමාත්‍යවරුනට 1974 දී ප්‍රජාතන්ත්‍රවාදය බිඳ වැටීමට පවා ඉඩ තියෙන බව අනතුරු ඇඟවූයේ 'මම තරුණයකු නම්, මමත් වෙන රටකට සංක්‍රමනය වෙනවා' කියා උත්ප්‍රාසාත්මක අයුරින්.

      ඒ වගේම ලේබර් පාක්‍ෂික අගමැති හැරල්ඩ් විල්සන් 1976 දී සියල්ලන් විමතියට පත්කරමින් ඉල්ලා අස්වූ විට එම තනතුරට පත් වූයේ කැලගන්.

      ඒ සමගම ලේබර් පාක්‍ෂික රජය, වැඩිවන උද්ධමනය, වැඩිවන තෙල්මිල නිසා ගෙවුම්ශේෂ හිඟය වැඩිවීම, කාර්මික අංශයේ එක් පෙළට ආරවුල් මතු වීම යන බරපතල ආර්ථික අසීරුතාවලට නොකඩවා මුහුණ පෑවේ සියල්ල උත්සන්න වූ 1976 දී ස්ටර්ලිං පවුම්වලට ඇති විශ්වාසය බිඳ වැටුණු විට 1976 සැප්තැම්බරයේ දී බ්‍රිතාන්‍ය ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇ.ඩො. බිලියන 3.9ක් ඉල්ලීමට පවා සිදු විය. ඒ එවන් ආයතනයකින් එතෙක් ඉල්ලා සිටි විශාලතම මූල්‍ය අරමුදල් ණයයි. මේ ණය දීමට සලකා බැලීමේට නම් මුලින්ම රාජ්‍ය වියදම් රාශියක් කපා හරින ලෙස IMF අරමුදල කළ අණාත්මක නියම කිරීම් බ්‍රිතාන්‍ය ආණ්ඩුව පිළිගත්තා ලංකාවේ පණ්ඩිත රාජපක්ෂලාටත් පාඩමක් උගන්වමින්.

      Delete
    2. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් කළ අණ ක්‍රියාත්මක කරමින් ණය ලබාගෙන ඉදිරියට ගිය එක්සත් රාජධානිය බරපතල ලෙස ආර්ථික වශයෙන් අර්බුදකාරී තත්ත්වයක් සමග පුරවැසියන්ට එක්සත් රාජධානියේ ජීවිතය තවත් අසීරු වූයේ ලේබර් පාක්ෂික අගමැති ජේම්ස් කැලැහැන් සහ වෘත්තීය සමිති අතර වැටුප් වැඩි කිරීම උදෙසා පැවැති අරගලය නිමාවට පත් වුණේ කිසිම ආකාරයකින් සංහිඳියාවකින් තොරව. ඒ සමගම එක්සත් රාජධානිය පුරාවටම සිටින කුණු එකතු කරන්නන්, මිනී වළවල් කණිනන්, හෙදියන් තදින්ම වැඩ වර්ජනය කරන්නට පටන් ගත් නිසා පාරවල් කුණු කන්දල් වලින් පිරී ගියේ, මල මිනී වළ දමා ගත නොහැකිව ගොඩ ගැසෙමින්, රෝහල් ගතව සිටි තම දරුවන්ට සාත්තු කරන්න සෞඛ්‍ය සේවාව තමන්ම කරමින් දෙමාපියෝ රෝහල් වල පදිංචි වුණා.

      ඒ සමග බ්‍රිතාන්‍ය උද්ධමනය වළක්වන්නට හා වෘත්තිය සමිති උද්ඝෝෂණ වළක්වා ගන්නට ලේබර් පක්ෂයට නොහැකි වූ නිසා ජනතාව 1979 දී හෙම්බත්වී අලුත් මුහුණුවරකින් මාග්‍රට් තැචර් නායකත්වය දුන් කොන්සවේටිව් පක්ෂයට පාර්ලිමේන්තු ආසන 43 ක බහුතරයක් පිරිනමමින් ජනතාව ඡන්දය දුන්නේ සෑහෙන බලාපොරොත්තු සහිතව.

      Delete
    3. මාගරට් තැච මැතිනිය බොහෝ දුරට ලංකාවේ ආචාර්ය රනිල් වික්‍රමසිංහ හා සමාන ආකාරයේ ගතිගුණ ඇති කෙනෙක්. මාග්‍රට් තැචර් කටයුතු ආරම්භ කළ මුල් කාලයේ බ්‍රිතාන්‍ය ජනතාව අතිශය අසීරුතා වින්දෝය. ඇගේ ප්‍රතිපත්ති නිසා විරැකියාව සෑහෙන තරම් වැඩි විය. පොලී අනුපාතිකය වැඩි කළ විට බොහෝ සමාගම් කම්මුතු වී ගියා. ඒ කාලයේ බ්‍රිතාන්‍යයේ ජාතික රූපවාහිනි නාළිකාව දෙස සැමදා විනාඩියක් බලා සිටියදී කොම්පැණි ගණනාවක් වැසී යන සැටි නිවේදනය වූ අයුරු මතකයි නේද?
      ඒ වගේම නිවේදනයකින් තොරව වැසී ගිය කොම්පැණි දස දහස් ගණනාවක්. 1981 දී බදු වැඩි කිරීමට ඈ කළ සැලසුම් හෙළා දකිමින් ප්‍රමුඛ පෙළේ ආර්ථික විද්‍යාඥයන් 364 දෙනෙක් එක්ව ලිපියක් පළ කළා

      තැචගේ මූල්‍ය ප්‍රතිපත්ති නිසා ආර්ථිකය තව තවත් උද්ධමනයේ ගිලී යතැයි කියමින් ඇගේම මූල්‍යවාදියෝ ඇයට පහර දුන්නා. එහෙත් කිසිම ආකාරයකින් ඒවායින් සැලුනේ මාග්‍රට් තැචර් නොවේ. 1980 ඔක්. 10 වැනිදා කොන්සවේටිව් පක්ෂ සම්මේලනයේදී තමාගේ ආපසු හැරීමක් නැති බව ඇය ප්‍රසිද්ධියේ තරයේ කියා සිටියා.

      එය තැචර්ගේ දේශපාලන ප්‍රගතිය පැහැදිලි කරන කතාවක් සැලකෙනවා. එහි ප්‍රතිඵලය අයන් ලේඩි නැත්නම් "යකඩ ආර්යාව’’ යන නාමය ඇයට හිමි වී.

      තැච මැතිනියගේ ආර්ථික ප්‍රතිපත්ති වල මූලික කාරණා ඉතාමත් සවිස්තරාත්මකව පැහැදිලි කරමින් දැක්වීම ඉතාමත් අපහසු නිසා දැනට මම ලංකාව පවතින තත්ත්වයට බෙහෙවින් අදාළ එකී මූලික කාරණා 2 ක් කොටින් කියන්නම්.

      ඇත්තටම තැචර්ගේ ආණ්ඩුව යටතේ, ජාත්‍යන්තර ණය ලබා දුන් IMF දැඩි බලපෑම් මත මත බ්‍රිතාන්‍ය රජය සතුව තිබූ ප්‍රධාන කර්මාන්ත කිහිපයක් පෞද්ගලික ආයතන වලට විකුණුවා.

      මුලදී බ්‍රිටිෂ් ඒරෝ ස්පේස් සහ කේබල් ඇන්ඩ් වයර්ලස් නම් රාජ්‍ය ආයතනය විකුණලා ඉන් පසු, බ්‍රිටිෂ් ටෙලිකොම්, බ්‍රිටොයිල්, බ්‍රිටිෂ් ගෑස්, සහ ජගුවර්/ ලෑන්ඩ් රෝවර් වගේ බ්‍රිතාන්‍ය රජයේ ආයතන පෞද්ගලීකරණය වුණේ බ්‍රිටිෂ් එයාර්වේස්, බ්‍රිටිෂ් පෙට්‍රෝලියම්, බ්‍රිටිෂ් ස්ටීල්, රෝල්ස් රොයිස් හා විද්‍යුත් සහ ජල සැපයුම් සමාගම් ද පෞද්ගලීකරණය කරමින්.

      එම සමාගම් බොහෝවක් පෞද්ගලික කොම්පැණි ලෙස සාර්ථකත්වයට පත් වුණ නිසා 1980 ගණන් වලදී දැවැන්ත මුදල් ප්‍රමාණයක් වියදම් නොකර ඉතිරි කර ගත හැකි විය. ඒ නිසා බදු වැඩි කිරීම් ද වැළකිනි. සන්නිවේදන සහ ඉන්ධන අංශයේ තරගකාරීත්වය වර්ධනය වෙමින් කාර්යක්ෂමතාව වැඩි කර ගැනීමට පුළුවන් වුණා.

      Delete
  21. ඉතා හොද කියවීමක්... ස්තූතියි.

    ReplyDelete
  22. ඉකනො... මම තේ ටිකක් වවාගෙන ඉන්න මිනිහෙක්. අක්කර 5 ක් 6ක්. අනාගතයේ මොනවගේ දෙයක් වෙයිද මේ යන ආකාරයට. මම UOC pass out as a and completed masters on Development studies and public policy too. job කට්ටක් හොයාගන්න වෙයිද?

    ReplyDelete
    Replies
    1. රුපියල ඕනෑවට වඩා පහළින් තියා ගැනීම හරහා රජය දිගින් දිගටම ඔබ වැනි අපනයන නිෂ්පාදනකරුවන්ගෙන් නොපෙනෙන බද්දක් අය කරනවා. ආර්ථිකය කඩා වැටුනොත් මේ නොපෙනෙන බද්ද අහෝසි වන නිසා ඔබ වැනි අයගේ තත්ත්වය වඩා යහපත් වෙනවා. නිකමට හිතන්න තේ කිලෝවක ඩොලර් අගය එලෙසම තිබියදී ඩොලරයක මිල 50%කින් ඉහළ ගියොත් ඔබට අත්වන වාසිය ගැන. විදේශ ශ්‍රමිකයන්ගේ පවුල් වල අය, වතු කම්කරුවන්, ඇඟලුම් අංශයේ ශ්‍රමිකයන් ආදීන්ගේ තත්ත්වයද වඩා හොඳ වෙනවා. අමාරුවේ වැටෙන්නේ රටේ දේශපාලන බලය හිමි නාගරික හා අර්ධ නාගරික මධ්‍යම පාන්තිකයින් ඇතුළු රජය මත යැපෙන පිරිසයි.

      Delete
  23. ස්තූතියි.... ඉකනො මේ පැහැදිලි කිරීමට. රුපියල ස්ථාවර අගයක පවත්වාගෙන යාම මා හිතන ආකාරයට තවදුරටත් හැකියාවක් ඇතැයි සිතීම අපහසු කරුණක්. එසේම උපයනවිට ලබාදිය යුතු එම වාසිය ලබා දීමට එකගවන ප්‍රතිපත්ති සම්පාදනය වේ යැයි සිතිය නොහැක. ඉන් ලබන අතිරේක වාසිය තව තවත් හිරවන ණය උගුලෙන් ගැලවීමට භාවිතා කිරීමේ ඉඩ නේද තවදුරටත් වැඩි?

    ReplyDelete
  24. එමෙන්ම ඔබ සදහන් කරන උපකල්පනය සාපේක්ෂ වාසියක් බවට පත්වීමටනම් උද්ධමන ඉහළ නොයා තිබිය යුතුයි නේද? නොඑසේනම් සිදුවිය හැක්කේ විශාල නෝට්ටු ප්‍රමාණයක් අප අත පැවසීම පමණයි නේද? ණය ලබාගෙන තිබේනම් මෙම වාසිය යම් තරමකින් වාසි සහගතවිය හැකි යැයි සිතේ. (ඇත්තටම එම පදනමින් මා දැනටත් ණය මුදලක් ලබාගෙන නව තේ වගාවක් අරඹා ඇත. 4.7% පොළී අනුපාතයක් යටතේ)

    ReplyDelete
    Replies
    1. ලංකාවේ ආර්ථිකයේ මූලිකම ආකෘතික ප්‍රශ්නය රුපියලේ දේශීය අගය පිරිහී ඇති තරමට එහි විදේශීය අගය නොපිරිහීමයි. ලංකාවට දිගුකාලීනව ගොඩයන්නනම් එක්කෝ මේ ප්‍රශ්නය සැලසුම්සහගතව විසඳිය යුතුයි. නැත්නම් ආර්ථිකයේ විදේශ අංශයේ සිදුවන විශාල කඩා වැටීමකින් පසුව ස්වභාවික ලෙස නිවැරදි විය යුතුයි. මෙය සම්ප්‍රදායික IMF වැඩ සටහනකින් පමණක් නොවිසඳිය හැකි ප්‍රශ්නයක්. සම්ප්‍රදායික IMF වැඩ සටහනකදී ඉලක්ක කරන්නේත්, පසුගිය යහපාලන රජය විසින් ඉලක්ක කළේත් ඉල්ලුම හා සැපයුම මත පදනම් වූ කෙටිකාලීන හා මැදිකාලීන ස්ථිතික සමතුලිතතාවයක් පමණයි. එයින් තාවකාලිකව ස්ථාවරත්වයක් ඇති වන නමුත් දිගුකාලීනව ප්‍රශ්නය නොවිසඳෙන නිසා වසර කිහිපයකට පසු නැවතත් පෙර සිටි තැනටම වැටීම නොවැලැක්විය හැකියි. මේ සඳහා, අවදානම් සැලකිල්ලට ගැනීමෙන් පසුව දිගුකාලීනව රුපියල ස්ථාවරව තබා ගත හැකි ආකාරයේ ගතික සමතුලිතතාවක් පවත්වා ගත හැකි මුදල් වැඩසටනක් සැලසුම් කර නඩත්තු කළ යුතුයි. එහිදී ආරම්භයේදී උද්ධමනය සැලකිය යුතු තරම් ඉක්මවන තෙක් විණිමය අනුපාතිකය පිරිහෙන්නට ඉඩ දෙමින් සංචිත එක් රැස් කර ගත යුතුයි. මෙහිදී එක වර විණිමය අනුපාතිකය විශාල ලෙස පිරිහෙන නමුත් ඉන් පසුව විණිමය අනුපාතිකය ස්ථාවර වී දිගුකාලීනව ඩොලරයක අගය ස්ථාවර වී රුපියල ක්‍රමයෙන් ශක්තිමත් වෙන්න පටන් ගන්නවා. චීනය, සිංගප්පූරුව වැනි වේගවත් පිම්මක් පැනපු හැම රටකම වගේ අදාළ කාලයේ මුදල් වැඩ සටහන එවැන්නක්. ආර්ථිකය කඩා වැටීමකදී උද්ධමනයද ඉහළ යන නමුත් විණිමය අනුපාතිකය අනිවාර්යයෙන්ම වඩා වේගයෙන් පිරිහෙන නිසා අපනයනකරුවන්ට සාපේක්ෂ වාසියක් වෙනවා. ඔබ කියනවාක් මෙන්ම උද්ධමනය අවාසියක් වන්නේ රුපියල් වලින් ද්‍රවශීල මූල්‍ය වත්කම් ගොඩගසාගෙන සිටින විශ්‍රාමිකයින් වැනි අයටයි. රුපියල් වලින් ශුද්ධ මූල්‍ය බැරකම් තිබෙන අයට සිදු වන්නේ වාසියක්. ඒ වගේම මෙහිදී රජයේ වියදම් මූර්ත වශයෙන් අඩු වෙනවා. උද්ධමනයට සරිලන සේ රාජ්‍ය සේවක වැටුප් වැඩි නොකිරීමෙන් රාජ්‍ය අයවැය විකෘතිය නිවැරදි කර ගත හැකියි. ජේආර් විසින් 1980දී පමණ කළේත් එවැනි දෙයක්. මෙය සිදුවිය හැක්කේ රජය මත නොයැපෙන පිරිස් වෙත රටේ දේශපාලන බලය ලැබුණොත් පමණයි. ස්වභාවික තත්ත්වයන් යටතේ ලංකාවේ එවැන්නක් සිදුවන්නට අවම වශයෙන් වසර 20-30ක්වත් යා හැකි වුවත් විශාල ආර්ථික/සමාජයීය කඩා වැටීමක් සිදුවුවහොත් එයින් පසුව ඉක්මන් දේශපාලන පරිවර්තනයක් සිදුවිය හැකියි.

      Delete
    2. අප වැනි සුභ සාධන සංකල්පයන් පදනම්කරගත් රාජ්‍යයන් ව්‍යුහාත්මක වෙනස්කම්වලට යාමට මැලිවන්නේනම් කඩාවැටීමට ලක්වීම අනිවාර්ය තත්වයකි. නිදහස් සෞඛ්‍ය , නිදහස් අධ්‍යාපනය තවදුරටත් ඒ ආකාරය‍ෙන්ම පවත්වාගැනීමට උත්සාහ කරන්නේනම් ඉහත කඩාවැටීම උත්සන්න කරන බව නිසැකය. IMF කියන්නේ මෙය නොවන්නේද? අසීමාන්තිකව හා ඵළදායී නොවන ලෙස රාජ්‍ය සේවය පුළුල් කිරීමද මෙහි අනෙක් අංගය නොවේද? නිදහස් වෙළදපළ එහි මූලිකම සංකල්පයෙන් බැහැරව සුභසාධනය මූලික කරගනිමින් වසර 73 ක්‍රියාත්මක කිරීම මෙහිලා මූලික ක්‍රමෝපායික වැරැද්ද නොවන්නේද? කෙසේ වෙතත් මධ්‍යකාලීන ආර්ථික උගුල තව බොහෝ කාලයකට අපව සිරකරන බවනම් ස්ථිරය. අපගේ අපනයන විශේෂීකරණය හා විවිධාංගීකරණයට නොඑළඹීම මෙහි එක් පදාසයකි. කෙසේ වෙතත් මෙහිලා ව්‍යවස්ථාදායකයටත් වඩා මෙරට ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ හා කරන රාජ්‍ය සේවය (පරිපාලන/සැලසුම් වැනි) ඒ සදහා වගකිව යුතු නොවේද?
      අප වැනි කුඩා පරිමාන වැවිලි කරුවන් ඔබ ප්‍රකාශ කරන ආකාරයේ යම් සාපේක්ෂ වාසියක් අත්කරගත්තද ඒවයෙහි දෛනික උපයනන්න් මුහුණ දෙන බැරෑරුම් යථාර්තය න්‍යායාත්මක සංකල්පවලින් ඔබ්බට විහිදුනකි.

      Delete
    3. //එහිදී ආරම්භයේදී උද්ධමනය සැලකිය යුතු තරම් ඉක්මවන තෙක් විණිමය අනුපාතිකය පිරිහෙන්නට ඉඩ දෙමින් සංචිත එක් රැස් කර ගත යුතුයි// එකතුවිය හැකි සංචිතවලට අපවැනි රටක සිදුවිය හැකි දෑ බොහෝය ඉකනො. නේද?

      Delete
    4. //එකතුවිය හැකි සංචිතවලට අපවැනි රටක සිදුවිය හැකි දෑ බොහෝය ඉකනො. නේද?//

      ඔබ අදහස් කරන්නේ දූෂණය ගැනනම් මෙය එතරම් බර තැබිය යුතු කරුණක් නෙමෙයි. දේශපාලන පක්ෂ ඉක්මවා යන ජාතික අභිලාෂයන් නැති පසුබිමක එක ආණ්ඩුවක් මහත් කැප වීමෙන් එක්රැස් කරන සංචිත ඊළඟ ආණ්ඩුවට ඉතා ඉක්මණින් වැය කර අවසන් කළ හැකි වීම අපේක්ෂා කළ හැකි ප්‍රධානම ප්‍රශ්නයයි. මෙය පූර්ව දැනුමක් බැවින් කිසිදු ආණ්ඩුවක් විශාල ලෙස සංචිත ගොඩනැගීමට නොපෙළඹෙන බවද පැහැදිලියි. උඩ ප්‍රතිචාරයට අඩුවැඩි වශයෙන් එකඟයි.

      Delete
  25. පවත්නා තත්වයන් මහ පොළවේ යථාර්තයන් සමග ගැලපිය යුතු බැවින් මෙවැනි ප්‍රශ්න අසනවාට උරණ නොවනු ඇතැයි සිතමි. කමත්වා. කෙසේ වෙතත් ඉතා කැමැත්තෙන් ඔබේ ලිපි කියවමි. ස්තූතියි Brother....

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්න ඇසීම අගය කරන අතර කිසිසේත්ම උරණ නොවෙමි. මා අපේක්ෂා කරන්නේ මා ලියන දේ ප්‍රශ්න කරනු ලැබීමයි. කවුරුවත් ලියන දෙයක් එලෙසම භාර ගැනීමෙන් සිදුවන යහපතක් නැහැ. ප්‍රශ්න අසන විට අටුවා එකතු කිරීමෙන් ලියන දේ වඩා විස්තරාත්මකව පැහැදිලි කිරීමට අවකාශයක්ද ලැබෙනවා.

      Delete
    2. අපූරු බ්ලොග්කාරයා... ස්තූතියි.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: