වෙබ් ලිපිනය:

Wednesday, August 25, 2021

රට වැසීමේ පාඩුව කීයද?


රට වැසීම විවාදාත්මක මාතෘකාවක්. රට වහන්න යෝජනා කරන අය වගේම එයට විරුද්ධ අයත් රට වැසීමෙන් පාඩුවක් වෙන බව පිළිගන්නවා. එකඟතාවයක් නැත්තේ ජීවිත බේරා ගැනීම වෙනුවෙන් ඒ පාඩුව දැරිය යුතුද නැද්ද කියන කරුණේදී. මේ වගේ කරුණක් සම්බන්ධව නිගමනයකට එන්නනම් මුලින්ම රට වැසීමේ පාඩුව ගැන ඇස්තමේන්තුවක් අවශ්‍ය වෙනවා.

ලංකාවට කෝවිඩ් තර්ජනයක් නොතිබුණු 2019 වසරේදී රටේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් බිලියන 15,013ක්. මේ ගණන 365න් බෙදුවොත් රුපියල් බිලියන 41ක් පමණ. එය ලංකාවේ දිනකදී ඉපැයෙන සමස්ත ආදායම. කොහොම වුනත්, රට වැහුවා කියලා රටේ ආදායම බිංදුවට වැටෙන්නේ නැහැ. 2020 දෙවන කාර්තුවේදී දළ දේශීය නිෂ්පාදිතය 16.4%කින් පහළ ගිය නිසා ඒ වගේ අඩුවක් වෙන්න පුළුවන්. එම කාර්තුව තුළ දිගටම රට වසා නොතිබුණු නිසා රට වැසීමේ අලාභය මීට වඩා වැඩි විය යුතුයි.

අවම ඇස්තමේන්තුවක් විදිහට අපි රට වැහීම නිසා දවසක රටේ සමස්ත ආදායමෙන් 16.4%ක් අඩු වෙනවා කියලා ගත්තොත් දවසකට රුපියල් බිලියන 6.75ක් පමණ. දවස් දහයකට රුපියල් බිලියන 67.5ක්. මේ ගණන දවස් දහයක් රට වසා තැබීමේ අවම පාඩුව.

කලින් ඇස්තමේන්තු කරපු විදිහට මේ වෙලාවේ දවස් දහයක් රට වැහීමෙන් උපරිම වශයෙන් ජීවිත 300ක් බේරෙයි. එක ජීවිතයක් රුපියල් මිලියන 130ක් වටිනා සේ සැලකුවොත් පාඩුව රුපියල් බිලියන 39ක්. මෙපමණ ජීවිත ගණනක් බේරෙන්නේ මේ වෙලාවේ රට වැසීම නිසා. එන්නත්කරණය සම්පූර්ණ කිරීමෙන් පසුව මේ විදිහටම දවස් දහයක් රට වැහුවොත් ඕනෑනම් ජීවිත 25ක් බේරෙයි. ඒ කියන්නේ රුපියල් බිලියන 67.5ක පාඩුවක් කර ගැනීමෙන් පසු ලැබෙන වාසිය රුපියල් බිලියන 3.25ක් පමණයි. ආණ්ඩුව රට වහන්න දක්වන ප්‍රතිරෝධය තේරුම් ගන්න අමාරු නැහැ.

12 comments:

  1. වැඩේ තියෙන්නේ මේ ගැන ඇත්ත කොයි දේශපාලකයා වත් ජනතාවට කෙලින් පැහැදිලි කරන්නේ නැති එක. එහෙම උනොත් ඒ මනුස්සයා ඉවරයි. මිඩියා වලිනුයි ශෝෂල් මිඩියා වලිනුයි නැතිම කරලා දායි.

    ReplyDelete
  2. All activities and industries related to dollar-earnings are working well. Government will not bother about local money supply as long as Thomas de laru's machines in Biyagama functions.

    ReplyDelete
  3. ඉකොන්,

    ලංකාවේ කොරෝනාවෛරස මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයන් සඳහා ස්මාට් කාඩ් පතක් නිකුත් කිරීම ලංකාවේ ජාතික තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනය ආරම්භ කර ඇති බවත් මේ වගෙ වැඩකට ආන්ඩුවට තව සෑහෙන වියදමක් යන නිසා මේව ඔක්කොම දූෂිත නන්දසීනි කම්බා හොර රැලගේ ආණ්ඩුවේ කවුරු හරි politician කෙනෙකුගෙ සාක්කුවට අති විශාල ගානක් දාගන්න කරන වැඩ බවත් Internet එකේ App එකක් හදල ඕනි කෙනෙකුට Log වෙලා ඒක print කරගන්න හැදුවනම් ඉවර බවත් විපක්ෂ කණ්ඩායම් වල බොහෝ දෙනෙක් පවසන අතර මෙච්චර දියුනු ලෝකෙ ලංකාවේ අන්ත දූෂිත රාජපක්ෂ ආණ්ඩුවේ දේශපාලකයන් අවස්ථානුකූලව කීයක් හරි ගසා කන්න කරන වැඩ මේව කියලා පැහැදිලියි නේද? ඇමරිකානු එක්සත් ජනපදයේ මේ වගේ විගඩම් නැහැ නේද? සාමාන්‍ය ඇප් එකක් හරහා ෆෝන් එකේ පේන විදියට හදාගන්න පුළුවන් නේද? බොරු බයිලා මේවා ලංකාවේ ආණ්ඩුවේ.

    ReplyDelete
    Replies
    1. එන්නත් කරන සියල්ලන්ටම සාමාන්‍ය කඩදාසි කාඩ් පතක් ලැබෙනවා. මම කෝකටත් කියා මෙහි ඡායාරූපයක් ජංගම දුරකථනයේ ගබඩා කරගෙන ඉන්නවා. හැබැයි කවුරුවත් ඕක බලන්නේනම් නැහැ. ප්‍රාන්තය තුළ එන්නත්කරණය පිළිබඳ සියලු තොරතුරු එක තැනක යාවත්කාලීන වෙනවා. අදාළ වෙබ් අඩවියට ගොස් නම හා උපන් දිනය ඇතුළු කළ විට මේ තොරතුරු ලබා ගත හැකියි. අවශ්‍යනම් මුද්‍රණය කරගත හැකියි.

      Delete
  4. මේ වන විට ලෝකයේ බංකොලොත්ම රට වන අන්ත දූෂිත ඒකාධිපති රාජපක්ෂ පවුල් පාලනය යටතේ පවතින ලංකාවට පමණක් නොව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ලොව ණය දෙන ආයතනයන් අතර ප‍්‍රමුඛ වන අතර ශ‍්‍රී ලංකාවද දිගින් දිගටම එම අරමුදලින් ණය අරගෙන ඇති අතර අවස්ථා 16 කදී පමණ ලංකාව බංකොලොත් වීමෙන් බේරාගෙන තිබේ. 1988/89 සමයේ ලංකාවේ විදේශ සංචිත ඩොලර් බිලියන 0.2 කටත් අඩු වෙලා ආර්ථිකය නන්නත්තාර වූ විට ලංකාවේ මහබැංකු අධිපති වර්ණසේන රාසපුත්ර ඇතුළු නිලධාරීන් පිරිසක් දැඩි ලෙස බැගෑපත් වී IMF ණයක් ලබාගෙන ලංකාව ගොඩ දාගන්න පුළුවන් වුණේ.

    ඒත් මේ සියලුම අවස්ථාවලින් වාරික වශයෙන් IMF ණය ලංකාවට ලබා දීමේදී පොරොන්දු වූ ණය මුදල ලංකාවට ලබාදී ඇත්තේ අවස්ථා එකක් හෝ දෙකකදී පමණයි. අනෙක් සෑම අවස්ථාවකදීම ගිවිසුම්ගත මුළු ණය ප‍්‍රමාණයෙන් 50 % - 70% කට වඩා නිදහස් කර නැත.

    ලංකාවේ ප්‍රවීණ ආර්ථික විශේෂඥයින් වන ඩබ්ලිව් ඒ විජයවර්ධන මහතා ඇතුළු බොහෝ විශේෂඥ ආර්ථික විශේෂඥයින් සරසවි ආචාර්යවරුන් මාධ්‍ය වලින් පැහැදිලි කර ඇති පරිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය ණය ප‍්‍රදානයේදී ලංකාවට දැඩි ප්‍රධානතම සහ අනිවාර්යය ලෙස පනවන කොන්දේසි 6කි. ඒ මේවායි.

    01. රජයේ අය වැය පරතරය පටු කිරීම

    02. රුපියලේ අගය පාලනය කිරීම නවතා නිදහස් වෙළද පොලේ ස්ථාවර වීමට සැලැස්වීම

    03. රජයේ ආදායම් වැඩි කර ගැනීම (සාමාන්‍යයෙන් බදු අධික ලෙස වැඩි කිරීමෙන් තමයි)

    04. රාජ්‍ය ව්‍යාපාර කළමනාකරණය පුද්ගලික අංශයේ ව්‍යවසායයන්ට ලැබෙන සේ ප්‍රතිව්‍යුහගත කිරීම.

    05. මහජන මුදල් කළමනාකරණය විනිවිදභාවයකින් යුතුව සීමාසහිත ලෙස අත්‍යවශ්‍ය දේවල් වලටම පමණක් වියදම් කිරීම.

    06. විදේශ ආනයන බදු හැකි තරම් ලිහිල් කර විදේශ වෙළෙඳාම හා විදේශ ආයෝජන ප‍්‍රවර්ධනය සඳහා එම විදෙස් ආයෝජකයන්ට ලිහිල් නීති රීති සහ හැකි උපරිම වශයෙන් බදු සහන ලබාදීම

    මේ අනිවාර්යය කොන්දේසි දෙස බැලීමේදී අය වැය පරතරය අඩුකර ගැනීම නැත්නම් පටු කර ගැනීම කරගත හැකි නොවේ. සැමදා සිදුවූයේ පෙර වර්ෂයට වඩා ඊළඟ වර්ෂයේ අය වැය පරතරය ඉහළට ඒමය.

    ඒ වගේම ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පාලනය කරගැනීම කිසිසේත් කරගත නොහැක්කකි. මේ වනවිටත් රුපියල් අගය පහළ යමින් ඩොලරයේ අගය රොකට් වේගයෙන් ඉහළ යමින් පවතී.

    අනෙක් කොන්දේසි සම්බන්ධයෙන් අවධානය යොමු කළහොත් එකී කොන්දේසි ඉටු කරගත හැකැයි සිහිනෙන්වත් සිතන්නට නොහැක. සැප්තැම්බර් මාසයේදී ඉදිරිපත් කිරීමට නියමිත අය වැය වාර්තාවේදී මේ වග හොඳින් පැහැදිලි කරගත හැකි වනු ඇත කියලා පැහැදිලියි.

    කොවිඞ් මරණ ප‍්‍රතිශතය අනුව ලෝකයෙන්ම වැඩිම රෝගීන් පැතිරීම සහ ලොව වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව පවතින්නේ ශ‍්‍රී ලංකාවේ බව ලංකාවේ විපක්ෂයේ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සහ ජවිපෙ අනුර කුමාර පාර්ලිමේන්තුවේ පෙන්වා දී ඇත. ”අපි තමයි හොඳටම කළේ” යැයි උදම් ඇනූ අයගේ හොඳටම කරපු කෙරුවාව ඉන් පැහැදිලියි.

    ඒ අතරේ කොවිඩ් ආසාදිතයන් අතරමැදි නිරෝධායන මධ්‍යස්ථාන හෝ රෝහල්වලට ඇතුළත් කර ගැනීම නවතින තැනට පැමිණ ඇත. ඒ බව හොඳටම පැහැදිලි වන්නේ සුළු රෝග ලක්ෂණ ඇති නව කොවිඩ් ආසාදිතයන්ට නිවෙස්වලම රැුඳී සිටින ලෙස ලංකාවේ දූෂිත ඒකාධිපති ආණ්ඩුව උපදෙස් දී තිබීමයි.

    කනගාටුදායකම දේ එසේ නිවෙස්වල රැුඳවියන් පිළිබඳ සොයා බැලීමට කිසිදු රජයේ දේශපාලන නායකයින් හෝ සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ වගකිවයුත්තන් කිසිවෙක් නොපැමිණීමයි.

    ඒ වගේම කොවිඩ් 19 ලෙස ආරම්භ වූ මුල්ම වෛරසය විවිධ ප‍්‍රභේදවලින් එක් එක් රටවලින් මතු වූ අතර ලංකාවේ දැන් මතුව ඇති ඩෙල්ටා නමැති අලුත් ප‍්‍රභේදය එවැන්නක්. ඒ අතරේ ඇමරිකාවෙන් තවත් නවතම ප‍්‍රභේදයක් සොයාගෙන තිබේ. මෙය අතිශය භයානක මහත් සේ ව්‍යාසනකාරී අතිශය බරපතල තත්ත්වයකි. හෙට අනිද්දා වන විට එසේ තව තවත් නව ප‍්‍රභේද මතුනොවේ යැයි සිතිය නොහැක.

    මේ දිනවල ලොව පුරා විෂය ප‍්‍රාමාණික විශේෂඥ දැනුම යොදාවගෙන ව්‍යසනයට මුහුණදීමට සූදානම් වෙද්දී අප එදත් මුලින්ම පිහිට පැතුවේ මිථ්‍යාවෙන්ය. සිදුවෙන දේවල් අනුව නම් තවමත් පෙනෙන්නේ ඥානකාලිගේ උපදෙස් පැතීමත් ඒ අනුව ක‍්‍රියාකිරීමත් අපේ රටේ මහ උදවිය තවමත් අතහැර නැති බවයි.

    ReplyDelete
    Replies
    1. //අය වැය පරතරය අඩුකර ගැනීම නැත්නම් පටු කර ගැනීම කරගත හැකි නොවේ. සැමදා සිදුවූයේ පෙර වර්ෂයට වඩා ඊළඟ වර්ෂයේ අය වැය පරතරය ඉහළට ඒමය.//

      අයවැය පරතරය අඩු කර ගැනීම නොකළ හැකි දෙයක් නොවනවාක් මෙන්ම මෑත කාලයේදී වුවත් එය කළ අවස්ථා තිබෙනවා. උදාහරණයක් ලෙස 2015දී රු බිලියන 829,502ක් වූ අයවැය හිඟය 2016දී රු බිලියන 640,325 දක්වා අඩු වුනා. ඊට පෙර 2002 හා 2003 වසර වලදීද අයවැය හිඟය අඩු වුනා. මහින්ද රාජපක්ෂ මුදල් ඇමතිව සිටි කාලයේ 2010දීද අයවැය හිඟය අඩු වුනා. දදේනි ප්‍රතිශතයක් ලෙස ගත්තොත් අඩු වූ වසරවල් ඕනෑ තරම් තිබෙනවා. ප්‍රශ්නය කරන්නේ නැතිකම මිසක් කරන්න බැරිකම නෙමෙයි.

      //ඒ වගේම ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පාලනය කරගැනීම කිසිසේත් කරගත නොහැක්කකි.//
      අයවැය හිඟය අඩු කර, සල්ලි අච්චු ගැසීම සීමා කර, ඇමරිකාවට වඩා අඩු ප්‍රතිශතයකින් උද්ධමනය පවත්වා ගත්තොත් රුපියල දුර්වල වෙනවා වෙනුවට ශක්තිමත් වෙන්න පටන් ගන්නවා. "කිසිසේත් කරගත නොහැක්කකි." කියා කියන්න සල්ලිම අච්චු ගහනවා මිස කවදාවත්ම මෙවැන්නක් කර තියෙනවද?

      අනෙක් දේවල් කොහොමටත් කළ හැකි දේවල්. කරන්න තිබෙන බාධාව ලංකාවේ ප්‍රචලිත වැඩ නොකර පඩි කන සමාජවාදී මානසිකත්වයයි.

      //ඒත් මේ සියලුම අවස්ථාවලින් වාරික වශයෙන් IMF ණය ලංකාවට ලබා දීමේදී පොරොන්දු වූ ණය මුදල ලංකාවට ලබාදී ඇත්තේ අවස්ථා එකක් හෝ දෙකකදී පමණයි. අනෙක් සෑම අවස්ථාවකදීම ගිවිසුම්ගත මුළු ණය ප‍්‍රමාණයෙන් 50 % - 70% කට වඩා නිදහස් කර නැත.//

      IMF ණයක් කියා කියන්නේ O/D එකක් වගේ එකක්. ණය පහසුකම ලැබුණා කියා එය ගන්නම අවශ්‍ය නැහැ. බොහෝ විට IMF යෝජනා ක්‍රියාත්මක කරද්දී ප්‍රශ්නය විසඳෙන නිසා පහසුකම තිබුණත් ණය ගන්න අවශ්‍ය වෙන්නේම නැහැ.

      Delete
  5. ලොක්ඩවුන් ය කියන කාබාසිනියාව ලබන 6 වැනිදා දක්වා දික් කළ ප්‍රවෘත්තිය සෞඛ්‍ය ඇමතිවරයා විසින් නිවේදනය කළ බව මීට මිනිත්තු කිහිපයකට පෙර දැන් ලැබුණු පුවතක් ලෙස ආණ්ඩුවේ ගුවන් විහිළුවෙන් ප්‍රචාරය උනා.

    මේ ගැන ඔබේ තක්සේරුව දැන ගැනීමට සතුටුයි.

    ReplyDelete
    Replies
    1. ජනාධිපතිවරයාගේ කතාවේදී සඳහන් කළ ඉලක්කයට එන්නත්කරණය කරන්න බැරි වෙන්න ඇති කියා හිතනවා. එය එසේනම්, මුලින් රට වැසීමේදී ඇස්තමේන්තු කළ එන්නත්කිරීමේ අපේක්ෂිත වාසිය ලබා ගන්න තවත් කෙටි කලක් රට වහන්න වෙනවා. අනෙක් පැත්තෙන් අපනයන කර්මාන්ත පවත්වා ගනිමින් රට වැහීම ආණ්ඩුවේ උපාය මාර්ගය බව පේනවා. මෙහිදී ආණ්ඩුව කරන්නේ රජයට සම්බන්ධ අයගේ යහපත ගැනත්, රජයට ක්ෂණික ප්‍රශ්න ගෙන දිය හැකි අංශ ගැනත් සැලකිලිමත් වන අතර අනෙක් අයට ඕනෑ මගුලක් වුනාවේ වැනි ස්ථාවරයක සිට කටයුතු කිරීමයි. දින දහයක් රට වැසීමෙන් එම දින දහය තුළ සිදුවන මරණ ප්‍රමාණය දහසකින් පමණ අඩු කර ගත හැකි වෙයි කියා මම හිතනවා. නමුත් එයින් අදහස් වන්නේ ජීවිත දහසක් බේරීමේ ශුද්ධ වාසියක් ලැබෙනවා කියන එක නෙමෙයි. මේ පිරිසට ජීවත් වෙන්න තවත් සතියක හෝ දෙකක කාලයක් ලැබෙනවා කියන එකයි. ජීවිත විශාල ගණනක් බේරිය හැකිනම් එය කළ යුතු බවට කිසිම විවාදයක් නැහැ. එහෙත් එළුවාගේ බෙල්ල කැපීමෙන් පසු මුට්ටියත් බිඳින්න වෙනවානම් කරපු වැඩේ තේරුමක් නැහැ. දැන් තිබෙන තත්ත්වය අනුව මාස හයක් රට වහගෙන හිටියත් රටෙන් කෝවිඩ් තුරන් කරන්න බැහැ. මාස හයකට පසුව රට ඇරියත් එතැන් සිට කෝවිඩ් පැතිරෙන එක වළක්වන්නත් බැහැ. ඇතැම් විට ඒ වෙද්දී ඩෙල්ටා ප්‍රභේදයත් වඩා භයානක ප්‍රභේදයක් බිහි වී තියෙන්නත් පුළුවන්. ඇත්තට මුහුණ දී පිළියම් යොදනු මිස හැංගිලා මේ ප්‍රශ්නය විසඳන්න බැහැ. කෝවිඩ් වසංගතය ආරම්භයේදී බටහිර රටවල්/ විද්‍යාව අසරණ වී ඇති බව ගොඩක් අය කිවුවා. නමුත්, එසේ වී තිබුණේ නැහැ. බටහිර රටවල්/ විද්‍යාව අසරණ වෙන්න පටන් ගන්නේ දැනුයි.

      Delete
  6. ඉකොනොමැක්ටා දන්නව නේද ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරියාගේ වැටුප රුපියල් ලක්‍ෂ 35 ක් බව මාධ්‍ය හෙලි කළ එක. මේ බව හෙලිව ඇත්තේ සමාගමේ සභාපති ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩලය කැදවා කැබිනට් මණ්ඩලය විසින් කල ප‍්‍රශ්න කිරීමේදීයි.

    ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප‍්‍රධාන විධායක ධුරය දරන්නේ සුරෙන් රත්වත්තේ වන අතර ජ්‍යෙෂ්ඨ ප‍්‍රධාන විධායක නිලධාරියාටද මාසික වැටුප ලක්‍ෂ 27කි. ඇයි මේ අය ඉල්ලා අස් වෙලා අඩු පඩිය්ට වැඩ කරන රු. 50,000 - 60,000 කාර්යශූර දක්ෂ කළමණාකාරවරුන් පත් නොකරන්නේ? ජවිපෙ ට දුන්න නම් නියමෙට හදල ගනියි නේද? මේ වගේ දේවල් ගැන ලියන්න කැමැත්තක් නැත්තේ ඇයි?

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්නය ප‍්‍රධාන විධායක නිලධාරියාගේ වැටුප කීයද කියන එක නෙමෙයි. ඒ වැටුප අරගෙන සලසා තිබෙන සේවය කුමක්ද කියන එකයි. වෙනත් ප්‍රතිලාභ නැතුව, රු. 50,000 - 60,000 වැටුපකට ඔය වගේ රස්සාවක් කරන්න එන කෙනෙක් කවදාවත් කාර්යශූර දක්ෂ කළමණාකාරුවෙක් වෙන්න විදිහක් නැහැ. ඔය වගේ තනතුරක වැටුප් තීරණය කිරීමේදී හොඳම ක්‍රමය වන්නේ සාපේක්ෂව අඩු වැටුපක් සහ උපයන ලාභය යම් පරිසාධන සීමාවක් ඉක්මවීමෙන් පසුව ඉතිරි අමතර ලාභයෙන් ප්‍රතිශතයක් ලබා ගන්න අවස්ථාව දෙන එකයි. හොඳින් විශ්ලේෂණය කළොත් ඉහළ වැටුපක් ලබා ගැනීම නිසා සිදු වූ පාඩුවට වඩා ගත් තීරණ නිසා සිදුව ඇති පාඩු වැඩි බව පෙනෙන්න පුළුවන්. මේ අවස්ථාවේ ගුවන් ගමන් සේවා ලාබ පිළිබඳ තත්ත්වයනම් සුවිශේෂී තත්ත්වයක්.

      Delete
  7. මේ දිනවල ලංකාවේ කොළඹ නගරය පුරා පැතිරී යන යන කොරෝනා වෛරස් ප්‍රභේදය 100%ක්ම ඩෙල්ටා ප්‍රභේදය බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වසංගත රෝග විශේෂඥ ආචාර්ය චන්දිම සඳහන් කරන අතර මාධ්‍යයට ප්‍රකාශ කරමින් ඔහු පැවසුවේ ශ්‍රී ලංකාව තුළ පැතිරී යන නව ප‍්‍රභේදය ‘සුපර් ඩෙල්ටා’ ප්‍රභේදයක් ලෙස හැදින්විය හැකි බවත් එහි හැසිරීම තව සෑහෙන දුරට අධ්‍යනය කළ යුතු බවද කෙසේ වෙතත් ලංකාව තුල සිදුවන සාර්ථක එන්නත්කරන ක්‍රියාවලිය නිසා සැප්තැම්බර් මස අවසානය වන විට යම්කිසි සහනදායී තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බවද පවසන නමුත් මම හිතන්නේ මේක පාලනය කළ නොහැකි බවත් ලංකාවේ ජනයා අවම වශයෙන් 40,000 - 50,000 ක් වත් මියයන තුරු මේක අඩු නොවන බව මේ ගැන ඔබ මොකද හිතන්නේ?

    ReplyDelete
    Replies
    1. එන්නත්කරන ක්‍රියාවලිය අවසන් වන වීමෙන් පසු අපේක්ෂා කළ හැකි හොඳම තත්ත්වය දකින්න පුළුවන් වෙයි. එම තත්ත්වය අනිවාර්යයෙන්ම කෝවිඩ් සමඟ ජීවත් වීමක්. දිගුකාලීන සමතුලිත තත්ත්වයක්. කෝවිඩ් අවසන් වන දිනයක් ගැන කියන්න බැරි පසුබිමක මරණ ගණන ඇස්තමේන්තු කරන්න අමාරුයි. වසරකට මිලියන 20-40 අතර ඇමරිකානුවන් පිරිසක් ඉන්ෆ්ලුවන්සා රෝගය ආසාදනය වී රෝග ලක්ෂණ පෙන්වනවා. එයින් 20,000-60,000 අතර පිරිසක් වසරකට මැරෙනවා. මෙසේ වන්නේ බොහෝ දෙනෙකු වාර්ෂිකව එන්නතක් ලබා ගැනීමෙන් පසුවයි. කෝවිඩ් පාලනය වීම කියා කියන්නේ බොහෝ විට මෙවැනි තත්ත්වයක්.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: