වෙබ් ලිපිනය:

Friday, August 20, 2021

කෝවිඩ් බය


මේ වන විටද ලෝකයේ රටවල් අතරින් වැඩිම කෝවිඩ් ආසාදිතයින් ගණනක් හඳුනා ගැනුණු රට මෙන්ම වැඩිම කෝවිඩ් මරණ ප්‍රමාණයක් වාර්තා වී ඇති රටද ඇමරිකාවයි. ඇමරිකාවෙන් පිටත බොහෝ දෙනෙකුට අනුව ඇමරිකාවේ ආණ්ඩුව ඇමරිකානුවන්ගේ ජීවිත පරදුවට තබමින් ආර්ථිකය ආරක්ෂා කර ගෙන තිබෙනවා. ඒ වගේම ඇමරිකානුවන් ඉතා නොසැලකිලිමත් ලෙස හැසිරී විශාල විනාශයක් කරගෙන තිබෙනවා. මේ කතා සුරංගනා කතා පමණක්ම බව පැහැදිලි කරද්දී එය පිළි නොගත් අයටද ඉතා ඉක්මණින් මේ බැව් පිළිගන්නට සිදුවනු නොඅනුමානයි.

මා පසුගිය වසර මුලදීම කියා ඇති පරිදි ඇමරිකාව කෝවිඩ් වසංගතය සැලකුවේ දිගුකාලීන යුද්ධයක් ලෙස මිස ඉතා ඉක්මණින් අවසන් සතුරාද මරා දමා ජයග්‍රහණය සැමරිය හැකි සටනක් ලෙස නෙමෙයි. ලංකාවේ අත්දැකීම තරමක් වෙනස් සේ මතුපිටින් පෙනුනත්, දිගුකාලීන යුද්ධ බොහෝ විට එක් පාර්ශ්වයක් මුළුමනින්ම විනාශ වීමෙන් අවසන් වන්නේ නැහැ. බොහෝ යුද්ධ වල අවසානය යම් ආකාරයක සංහිඳියාවක්. 

ඇමරිකාව බොහොමයක් තීරණ ගනු ලැබුවේ විද්‍යාව මත පදනම්වයි. ඇතැම් තීරණ ගනු ලැබුවේත්, බොහෝ ඇමරිකානුවන් ක්‍රියා කළේත් විද්‍යාව අදහමින් කියා කිව හැකියි. විද්‍යාව අදහමින් ගනු ලබන තීරණ විද්‍යාව මත පදනම්ව ගන්නා තීරණ තරමටම සාර්ථක වෙන්නේ නැහැ. විද්‍යාව මත පදනම්ව ගන්නා තීරණද හැම විටම සාර්ථක වන්නේ නැහැ. එහෙත්, කෝවිඩ් හා අදාලවනම් මේ දෙවර්ගයේම තීරණ බොහෝ දුරට හරි ගියා. ඇමරිකාව තවමත් කෝවිඩ් පරාජය කර නැතත්, එය ඇමරිකාව ෆේල් වීමක් නොවන්නේ මේ තත්ත්වය මුල සිටම ඇමරිකාව අපේක්ෂා කළ දෙයක් වූ නිසයි.

කෝවිඩ් සතුරා ලේසියකට පරාජය කළ නොහැකි බව ඇමරිකාව මුල සිටම තේරුම් ගෙන සිටි කරුණක්. ඒ අනුව හැම විටම ඉලක්කය වුනේ හානිය අවම කිරීම මිස කෝවිඩ් සහමුලින්ම දුරු කිරීම නෙමෙයි. ඇමරිකාවේ කියා කිවුවත් පොදුවේ බොහොමයක් බටහිර රටවලට මේ කියන දේවල් අදාලයි.

ඇමරිකාව ඇතුළු බටහිර රටවල ප්‍රවේශය නිවැරදි බව මේ වෙද්දී තහවුරු වී අවසන්. ඝර්ම කලාපීය රටවල් කෝවිඩ් වලින් ආරක්ෂා වුනේ නැහැ. බීසීජී එන්නත් කළ රටවල් කෝවිඩ් වලින් ආරක්ෂා වුනේ නැහැ. දුඹුරු හම ඇති අය කෝවිඩ් වලින් ආරක්ෂා වුනේ නැහැ. විවිධ විකල්ප ඖෂධ භාවිතා කළ අය කෝවිඩ් වලින් ආරක්ෂා වුනේ නැහැ. සමාජවාදී රටවල් කෝවිඩ් වලින් ආරක්ෂා වුනේ නැහැ. ථෙරවාදී බෞද්ධ රටවල් කෝවිඩ් වලින් ආරක්ෂා වුනේත් නැහැ. චීනය පමණක් තවමත් කෝවිඩ් පාලනය කරගෙන ඉන්නවා.

කෝවිඩ් මරණ අනුපාතය අතින් ඊයේ ලංකාවට වඩා ඉහළින් හිටියේ ජනගහණය ඉතා අඩු රටවල් කිහිපයක් පමණයි. කෝවිඩ් මර්දන කාර්යයේදී ලංකාවේ ආණ්ඩුව පට්ට ෆේල් බව මේ වන විට විවාදිත කරුණක් නෙමෙයි. එය එසේ වන්නේ ලංකාව ලෝකයේ රටවල් අතරින් කෝවිඩ් පාලනය කිරීමට අසමත්ම වූ රට නිසා නෙමෙයි. ලංකාවේ ආණ්ඩුව තමන්ගේම ක්‍රමයකට රට කෝවිඩ් වලින් මුදාගෙන බටහිර රටවල් ඇතුළු ලෝකයට පෙන්වීමට බලාගෙන සිට ඇණගත් නිසයි. ආරම්භය එසේ වුවත් මේ වෙද්දී ලංකාවේ ආණ්ඩුව කෝවිඩ් සමඟ සහජීවනයකට සූදානම්ව සිටිනවා.

ඇමරිකාව ඇතුළේ හැම දෙයක්ම කලින් සැලසුම් කළ, පුරෝකථනය කළ හා අපේක්ෂා කළ විදිහට සිදු වුනා. හැබැයි ඇමරිකාවේ ජනාධිපතිට වුනත් බලාගෙන හිටපු විදිහට ජයට නිදහස් දිනය සමරා රට විවෘත කරන්න ඉඩ ලැබුණේ නැහැ. මේ වෙද්දී ඇමරිකාවේ එන්නත් ලබා ගන්නට අවශ්‍ය හැම දෙනෙක්ම වගේ එන්නත් ලබාගෙන අවසන්. එසේ ලබාගෙන තිබෙන්නේත් තිබෙන හොඳම එන්නත්. එසේ වෙලත් මේ වෙද්දී ඇමරිකාව පුරා කෝවිඩ් ඩෙල්ටා ප්‍රභේදය වේගයෙන් පැතිරෙනවා. එහි R0 අගය 6-7 තරම් විශාලයි වගේම මරණ අනුපාතයද අඩු නැහැ. වෛරසයේ පරිණාමය ඩෙල්ටා ප්‍රභේදයෙන් අවසන් වන එකක් නෙමෙයි.


කෝවිඩ් වලට එරෙහිව එන්නත් වලින් ආරක්ෂාවක් ලැබෙන බව ඉතා පැහැදිලියි. එහෙත් මෙය සාපේක්ෂ ආරක්ෂාවක් පමණයි. එන්නත් දෙකම ලබාගත් අයටත් කෝවිඩ් හැදෙනවා. ඔවුන් කෝවිඩ් බෝ කරනවා. ඇතැමෙක් මැරෙනවා. ශීත සෘතුව එළැඹෙද්දී තත්ත්වය තවත් දරුණු විය හැකි බව පැහැදිලියි.

මම පෞද්ගලිකව ගත්තොත්, වසරකට වැඩි කාලයක් පුරා ස්වේච්ඡාවෙන් නිවාස අඩස්සිගතව සිටියා කිව හැකියි. එළියට බැස්සේ එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන සති දෙකකට පසු පූර්ණ ප්‍රතිශක්තිය ලැබීමෙන් පසුවයි. එහෙත් මේ පූර්ණ ප්‍රතිශක්තිය කියන එකත් වචනයක් පමණයි. ඕනෑම වෙලාවක මට කෝවිඩ් හැදෙන්න පුළුවන්. අමාරු වෙන්න වගේම මැරෙන්නත් පුළුවන්.

වසරක්ම ගෙදරට වී සිටියේ උමග කෙළවර එළිය දෙස බලාගෙනයි. ඒ එළිය අපේක්ෂා කළ පරිදිම දැක ගත හැකි වුනා. එය කණාමැදිරි එළියක්‌ කියා මම කියන්නේ නැහැ. එහෙත්, එළිය පෙනුණේ උමග කෙළවර නෙමෙයි. උමග තව දිගයි. 

කෝවිඩ් අවදානම තිබුණත් හැමදාම ගේ ඇතුළට වී ඉන්න බැහැ. කොයි දේක වුනත් සීමාවක් තිබෙනවා. මොන තරම් අවදානමක් තිබුණත් කෝවිඩ් එක්ක ජීවත් වෙන්න පුරුදු වෙන්නම වෙනවා. දැන් ඇමරිකාවේ ජීවිතය ගැන ගැන කෙටියෙන්ම කිවුවොත් මෙය කෝවිඩ් සමඟ සහජීවනයක්. ලෝකයේ අනෙක් හැම රටකටමත් කොයි වෙලාවේ හෝ කරන්න වෙන්නේ ඕකම තමයි. යම් පිරිසක් තව දුරටත් මැරෙයි. ඒ අතර මම වුනත් ඉන්න පුළුවන්. එන්නත නිසා අවදානම අඩු වෙලා තිබෙනවා. එච්චරයි. 

7 comments:

  1. මදැයි වෙච්ච දෙයක්... වෙන වෛරස් රෝග (පැපොල් වගේ ඒවා) එක පාරක් හැදුනම ප්‍රතිශක්තියක් හැදෙනවා උනත් මේ උලව්වෙන් එහෙම සහනයකුත් නෑ වගේ.. දැන්නම් මාස්ක් නොදා හිටිය කාලය ගැන තියෙන්නෙ පොඩි නොස්ටැලජියාත්මක හැඟීමක්...කෝවිඩ් මුලින්ම මතු වුනේ ඇමරිකාවෙන් කියලා දැන් අලුත් මතයක් තියනවා නේද?

    ReplyDelete
  2. //ලංකාවේ ආණ්ඩුව තමන්ගේම ක්‍රමයකට රට කෝවිඩ් වලින් මුදාගෙන බටහිර රටවල් ඇතුළු ලෝකයට පෙන්වීමට බලාගෙන සිට ඇණගත් නිසයි//
    උද්ධච්ඡකම කියන්නේ ඕකට තමයි. ආර්ථික ප්‍රශ්නයටත් ගොඩක් වෙලාවට අපේ ක්‍රමයකටම කොරයි කියලා මට නම් හිතෙන්නෙ

    ReplyDelete

  3. යවා රට ප්‍රපාතෙට
    බොහෝ දේ රිවස් කොට
    කොහොම හරි අන්තිමට
    කරල ඇති අපි හොඳට

    ReplyDelete
  4. මුස්ලිම් කඩ වර්ජනය කරන්නට
    රෑ දවල් නැතුව විලාප දුන් අපි
    දැන් ණය ගන්නේ බංගලි දේසෙන්
    හාල් ගේන්නේ පකිස්ථානයෙන්
    කෝවීඩ් කල වින්නැහියක් රටකට!

    ReplyDelete
  5. 'දැන් ඇමරිකාවේ ජීවිතය ගැන ගැන කෙටියෙන්ම කිවුවොත් මෙය කෝවිඩ් සමඟ සහජීවනයක්'
    මේ තමයි වැදගත්ම දෙය හුඟක් රටවල තවමත් කරන්නෙ මිනිස්සුන්ව බය කිරීමෙන් මේ තත්වය පාලනය කිරීම. ලංකාව වගේ රටවල මේ බය කිරීම හා බය වීම බරපතල වගේම ඕස්ට්රේලියා, නිව් සීලන්ඩ් වගෙ රටවල් සෑහෙන දුරකට කරන්නෙත් ඒක.ඒ අතරෙ තව කට්ටිය වැක්සීන් එක ගන්න එපා කියලා මිනිස්සුන්ව බය කරනවා. කොවිඩ් වලින් පරිස්සම් වීමට අවශ්‍ය චර්යාවන් පිලිපැදීම එකක්, කොවිඩ් වලට බය වෙලා අපි තුල තියෙන ස්වාභාවික ප්‍රතිශක්තිය නැති කරගැනීම තවත් එකක්. අනිත් එක ලන්කාවෙ නම් මිනිස්සු එලිමහනේ ඇවිදීම ව්‍යායාම වගේ දේවල් කරන්නෙ සාපෙක්ශව අඩුවෙන්, කන්න ගියාම කෙලවරක් නැහැ. අපේ මිනිස්සුන්ගෙ චර්යාවන් කොවිඩ් වලට තවත් උදව්වක් . වඩා වැදගත් වෙන්නෙ අපි කවදා හෝ මැරෙන බව තේරුම් ගෙන පුලුවන් තාක් දුරට කෝවිඩ් එක්ක සටන් කරන්න අවශ්‍ය ශක්තිය කායිකව හා මානසිකව ඇති කර ගැනීම. ජීවිතය කියන්නෙ කොහොමත් රිස්ක් එකක්.

    ReplyDelete
  6. Econo, What I gather from your writing in Sri Lankan context there is no point is going for a lockdown situation at this point we anyway has to manage covid with other economic activities. However, medical specialists in Sri Lanka has called for a lockdown considering the hospital capacity and number of deaths. What would you suggest the government of Sri Lanka to adopt in a dire situation like this?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: