වෙබ් ලිපිනය:

Sunday, August 8, 2021

ඇමරිකාවේදී ගුරුවරයෙකු වන හැටි


ඇමරිකාවේදී වෙනත් බොහෝ වෘත්තීන් වගේම ගුරු වෘත්තියේ නියැලීම සඳහාත් බලපත්‍රයක් ලබා ගත යුතුයි. මෙවැනි බලපත්‍ර එක් එක් ප්‍රාන්තය විසින් නිකුත් කරනවා. බලපත්‍රය වලංගු වන්නේ අදාළ ප්‍රාන්තය තුළ පමණයි. වෙනත් ප්‍රාන්තයක ගුරුවරයෙකු ලෙස රැකියාව කරන්නනම් එම ප්‍රාන්තයෙන් බලපත්‍රයක් ලබා ගත යුතුයි.

බලපත්‍රය ලබා ගැනීම සඳහා සාමාන්‍යයෙන් අධ්‍යාපනය හා ඉගැන්වීම පිළිබඳ ප්‍රථම උපාධියක් තිබිය යුතුයි. නිශ්චිත විෂයයන් ඉගැන්වීම සඳහා අවම වශයෙන් අදාළ විෂය සම්බන්ධ ප්‍රථම උපාධියක්ද තිබිය යුතුයි. ඇතැම් විට පශ්චාත් උපාධියක් තිබිය යුතුයි. අධ්‍යාපනය හා ඉගැන්වීම පිළිබඳ ප්‍රථම උපාධියක් නැති, එහෙත් වෙනත් විෂයයක් සම්බන්ධ ප්‍රථම උපාධියක් තිබෙන අයෙකුට ඉගැන්වීම පිළිබඳ පශ්චාත් උපාධි පාඨමාලාවක් හදාරා ගුරු වෘත්තියට ඇතුළු විය හැකියි. 

බලපත්‍රයක් ලබා ගැනීම සඳහා කළ යුතු දේ ප්‍රාන්තය අනුව වෙනස් වෙනවා. බොහෝ විට ලබා ගන්නා බලපත්‍රයේ ස්වභාවය (උගන්වන විෂයයන් හා පන්ති) අනුව, අදාළ විෂයයන් පිළිබඳ දැනුම සම්බන්ධ හා ඉගැන්වීමේ හැකියාව සම්බන්ධ විභාග වලින් සමත් විය යුතුයි. ඊට අමතරව අපේ ප්‍රාන්තයේ ගුරුවරු ප්‍රථමාධාර පිළිබඳ පුහුණු පාඨමාලාවක් (හදිසි අවස්ථාවකදී හෘදය වස්තුව පණ ගැන්වීම) හා සිය දිවි නසා ගැනීමේ ලක්ෂණ කලින් හඳුනා ගෙන වැළැක්වීම පිළිබඳ පුහුණු පාඨමාලාවක්ද සම්පූර්ණ කළ යුතුයි. වෙනත් ප්‍රාන්ත වල අවශ්‍යතා මීට වඩා අඩු හෝ වැඩි විය හැකියි.

මේ සුදුසුකම් ඇත්නම් ඉගැන්වීමේ බලපත්‍රයක් සඳහා අයැදුම් කළ හැකියි. එහිදී මුලින්ම අයැදුම්කරුගේ පෙර වැරදි පිළිබඳ (criminal history) සොයා බැලීමක් කරනවා. පළමු වරට ලැබෙන්නේ ආධුනික බලපත්‍රයක්. එය වලංගු වන්නේ වසර දෙකක කාලයකට පමණයි. එහිදී පුහුණු ගුරුවරයෙකුගේ අධීක්ෂණය යටතේ තවත් අවශ්‍යතා සම්පුර්ණ කළ යුතුයි. ඉන් පසුව, පූර්ණ බලපත්‍රයක් ලබා ගත හැකියි. කිසියම් හේතුවක් මත අවලංගු කරනු නොලැබුවහොත් ගුරු බලපත්‍රයක් වසර පහකට වලංගුයි. ඉන් පසුව නැවත බලපත්‍රය අලුත් කළ යුතුයි. ඒ සඳහා, ඇතැම් පුහුණු පාඨමාලා නැවත සම්පූර්ණ කළ යුතුයි. මේ දේවල්ද ප්‍රාන්තය අනුව තීරණය වන දේවල්.

ගුරු බලපත්‍රයක් ඇති අයෙකුට එම බලපත්‍රයෙන් ආවරණය වන විෂයයන් හා පංති වල ඉගැන්වීම සඳහා ප්‍රාන්තය තුළ පාසැල් වල තිබෙන පුරප්පාඩු වලට අයැදුම් කළ හැකියි. කිසියම් පාසැලක තිබෙන පුරප්පාඩුවක් සඳහා තෝරා ගනු ලැබුවහොත් රැකියාව භාර ගැනීමට පෙර තමන්ගේ වැටුප සම්බන්ධව හෙට්ටු කළ හැකියි. එසේ හෙට්ටු කිරීම සඳහා පෙන්විය හැකි සුදුසුකම්, කුසලතා හෝ කාර්ය සාධන වාර්තා තිබිය යුතුයි.

යම් හෙයකින් ප්‍රාන්තය මාරු කළහොත් අලුත් ප්‍රාන්තයෙන් බලපත්‍රයක් ලබා ගත යුතුයි. මෙහිදී හැම දෙයක්ම මුල සිටම කළ යුතු නැහැ. බලපත්‍රය ලබා ගැනීම සඳහා කළ යුතු දේ මුල් බලපත්‍රය ලබාගත් ප්‍රාන්තය හා අලුත් ප්‍රාන්තය කුමක්ද යන්න මත තීරණය වෙනවා. ඇතැම් විට මුල් බලපත්‍රය පෙන්වා අලුත් බලපත්‍රය ලබා ගන්න හැකි විය හැකි නමුත් සමහර විට නැවතත් අලුතෙන්ම ඇතැම් පාඨමාලා හදාරන්න සිදු වෙන්නත් පුළුවන්.

විදේශ උපාධි තිබෙන අයටද ගුරු බලපත්‍ර සඳහා අයැදුම් කළ හැකියි. එහිදී විදේශ සුදුසුකම් ඇමරිකානු පාඨමාලා අවශ්‍යතා හා ගැලපේනම් එවැනි පාඨමාලා නැවත හැදෑරිය යුතු නැහැ. ඉතිරි සුදුසුකම් සම්පූර්ණ කළ යුතුයි.

ගුරුවරයෙකු වන අයෙකු සාමාන්‍යයෙන් ආධුනිකයෙකු ලෙස වෘත්තියට පිවිසෙන්නේ වසර පහක පමණ කාලයක්වත් අධ්‍යාපනය වෙනුවෙන් ආයෝජනය කිරීමෙන් පසුවයි. ගුරුවරයෙකු ලෙස ලබන ප්‍රතිලාභ වලින් එම ආයෝජන වල වියදම් ආවරණය විය යුතුයි. වෙළඳපොළ යාන්ත්‍රනය විසින් හැම විටම මෙය සිදුවන බවට වග බලා ගන්නවා. එහෙත්, ගුරුවරයෙකු "නිෂ්පාදනය වීමට" වසර පහ හයක කාලයක් ගත වන නිසා කෙටිකාලීනව වෙළඳපොළ අසමතුලිතතා තිබිය හැකියි. මෙය වෛද්‍ය වෘත්තීය වැනි වෙනත් වෘත්තීන් හා අදාළවද සිදු වන දෙයක්.  මෙවැනි තත්ත්වයන් ඇති විට තාවකාලිකව විදේශිකයින්ට ඇමරිකානු රැකියා වෙළඳපොළ විවෘත වෙනවා.

පහත රූප සටහනේ පෙන්වා ඇති පරිදි ඇමරිකාවේ එක් එක් ප්‍රාන්තයේ සාමාන්‍ය ගුරු වැටුප විශාල ලෙස වෙනස් වෙනවා. ප්‍රාන්තයක් තුළ පාසැල් දිස්ත්‍රික්ක අතරත්, පාසැල් වල ගුරුවරුන් අතරත් මෙවැනිම වෙනස්කම් දැකිය හැකියි. 


8 comments:

  1. ඇමරිකාවේ ළමයි එතරම් ඉගෙනීමට දක්ෂ නැත්තේ ඇයි ඉකොනෝ මහත්මයා?

    ReplyDelete
    Replies
    1. ඔබ එසේ කියන්නේ කවර පදනමකින්ද? වෙනත් ඕනෑම රටක වගේම හිතා ගන්න බැරි තරම් දක්ෂ ළමයි ඇමරිකාවේ ඉන්නවා. එතරම් දක්ෂ නැති ළමයින්ද සිටිනවා. ඇමරිකානු අධ්‍යාපන ක්‍රමය තුළ මේ කණ්ඩායම් දෙකටම අවශ්‍ය දෙය ඉටු වෙනවා. අපේ පාසැල් දිස්ත්‍රික්කයේ බොහෝ සිසුන් 9 ශ්‍රේණියේ සිට සරසවි ප්‍රථම වසර පාඨමාලා සම්පූර්ණ කරනවා. එය සාමාන්‍ය දෙයක්. සිසුන් බොහෝ දෙනෙක් සරසවි යන විට පාඨමාලාවෙන් යම් කොටසක් අවසන් කරලා.

      Delete
  2. ඉකොනො ලංකාවේ ටියුශන් අධ්‍යාපනය (වෙළඳපොල?) පූර්ණ නිදහස් වෙළඳපොලක් නෙවෙයිද? කවුරුත් පාලනය කරන්නෙ නැහැනේ. එහෙම නොවනවනම් ඒ ඇයි? ලංකාවෙ පෞද්ගලික රෝහලුත් ටිකක් ඒවගේ නේද?


    ReplyDelete
    Replies
    1. ලංකාවේ ටියුෂන් වෙළඳපොළ පූර්ණ නිදහස් වෙළඳපොළක් කියා කිව හැකියි. එහෙත්, එය පාසැල් අධ්‍යාපන වෙළඳපොළට විකල්ප වෙළඳපොළක් නොව පාසැල් අධ්‍යාපන වෙළඳපොළට පරිපූරක හා පාසැල් අධ්‍යාපන ක්‍රමය මත යැපෙන වෙනම වෙළඳපොළක්. ලංකාවේ තරම් ප්‍රචලිත නැතත්, මෙවැනි වෙළඳපොළක් ඇමරිකාවේත් තිබෙනවා. වෙනත් බටහිර රටවලත් තිබෙනවා. ලංකාවේ පෞද්ගලික රෝහල් සඳහා නිදහස් යන වචනය යෙදිය හැකි වෙතත් මෙම වෙළඳපොළෙහි ආකෘතිමය අඩුපාඩු ගණනාවක් තිබෙනවා. එයත් රජයේ රෝහල් මත වක්‍ර ලෙස යැපෙන පරායත්ත වෙළඳපොළක්.

      Delete
  3. ගුරුකමට සුදුසුකම් ඕනි බව සහතික ඇත්ත. ඒත් අපේ රටේ සමුර්ධි ලාභීන් වීමත් ගුරුකමට සුදුසුකමක් වුණා නේද? අනෙක රස්සා දෙන්න ඕනි වුනු අවස්ථා...
    ඒවායේ විපාක ගැන කවුද හොයන්නේ?

    ReplyDelete
    Replies
    1. ඔබ සඳහන් කරන ගුරු පත්වීම් ලබා දෙන කාලයේදී සමෘද්ධි යන නම භාවිතා කරන්න පටන් අරන් තිබුණේ නැහැ. ජනාධිපති රණසිංහ ප්‍රේමදාස විසින් හඳුන්වා දුන් ජනසවිය වැඩ සටහන සමෘද්ධි වැඩ සටහන ලෙස වෙනස් වුනේ 1995දී පමණ ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ කාලයේදී. 1989 වසරේදී මසකට රුපියල් 1000ක වැටුපට අභ්‍යාසලාභී ගුරුවරුන් බඳවා ගැනීමේ ක්‍රමවේදය තුළ ජනසවිලාභීන්ට ජනසවිලාභීන් වීම නිසාම සැලකිය යුතු ලකුණු ප්‍රමාණයක් හිමි වුනා. එහෙත්, ජනසවිලාභීන් නොවූ අයටද අසමාන තරඟයකට මුහුණ දෙමින් මේ පත්වීම් ලබා ගැනීමේ හැකියාව තිබුණා. ඒ අනුව, මේ අභ්‍යාසලාභී ගුරු පත්වීමක් මටත් ලැබුණා. එහෙත්, ඒ දිනවලම වැඩි වැටුපක් ලැබිය හැකි සාමාන්‍ය ගුරු පත්වීමක්ද ලැබුණු නිසා මා එම අභ්‍යාසලාභී ගුරු පත්වීම භාර ගත්තේ නැහැ. ඇත්තටම කියනවානම් ආකෘතිමය ලෙස මීට සමාන දේවල් ඇමරිකාව වැනි රටවලත් වෙනවා. උදාහරණයක් ලෙස කළු, හිස්පැනික්, ගැහැණු, වයස 40 ඉක්මවූ, ශාරීරික දුර්වලතා ඇති, හමුදා සේවයේ නිරතව සිට ඇති වැනි රැකියාවට සෘජුව අදාළ නොවන කරුණු මත ඇතැම් අයට වැඩි අවස්ථා හිමි වෙනවා.

      Delete
  4. I've heard that US schools adhere lax attitude on discipline.Media frequently report school shooting incidents.
    Do US teachers have a authority on administering physical punshment on students? (like caning)

    ReplyDelete
    Replies
    1. //Do US teachers have a authority on administering physical punshment on students? (like caning)//

      Definitely, *NO*. Neither do parents/ caregivers have authority on administering physical punishment. If they do, they face the risk of losing the custody of their children and being punished. School teachers and healthcare providers are required to report any sign of suspected physical abuse to the Department of Child Services and usually they respond within hours.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: