වෙබ් ලිපිනය:

Sunday, September 5, 2021

හමන සුළන් මකුළු දැලෙන්...?


මේ වෙද්දී ඩොලරයක මිල රජයේ හා මහ බැංකුවේ පාලනයෙන් ගිලිහී ඇති බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන කරුණක්. මහ බැංකුවට අනුව ඩොලරයක මිල රුපියල් 203කට වඩා අඩු වුවත් පෞද්ගලික බැංකු වල ඩොලරයක් විකිණෙන්නේ රුපියල් 226-232 අතර පරාසයකයි. බැංකු වලින් පිට කොටුවේ මිල ඊටත් වැඩියි. මෙවැනි තත්ත්වයක් මෑත ඉතිහාසයේ මීට පෙර දැකිය හැකි වූයේ නැහැ.

ප්‍රශ්නයට මුල පසුගිය රාජපක්ෂ දශකය තුළ දිගින් දිගටම විදේශ ණය ගනිමින්, එසේ ගත් විදේශ විණිමය දේශීය වෙළඳපොළට මහා පරිමාණයෙන් පොම්ප කරමින්, කෘතීම ලෙස රුපියලේ විදේශීය අගය එහි නියම අගයට වඩා පහළ මට්ටමක පවත්වා ගැනීමයි. බොහෝ දෙනෙක් රාජපක්ෂ ණය ගැන කතා කළත්, වඩා බරපතල සැබෑ ප්‍රශ්නය වූයේ එම ණය වල උදවුවෙන් ඩොලරය පාලනය කිරීමයි. මෙහි ප්‍රතිඵල මේ වෙද්දී ලැබෙමින් පවතිනවා.

රාජපක්ෂ දශකයේ සාර්ව-ආර්ථික දර්ශක පරීක්ෂා කරන අයෙකුට වැරැද්දක් හොයා ගන්න ලේසි නැහැ. හැම දෙයක්ම ඉතා හොඳින් තිබුණු බවයි සංඛ්‍යාලේඛණ වලින් පෙන්වන්නේ. ඇතැම් අය කියන විදිහට මේ සංඛ්‍යාලේඛණ බොරු නෙමෙයි. සංඛ්‍යාලේඛණ වලින් පෙනෙන්නේ ඇස් බැන්දුමක් වුවත්, ඒ ඇස් බැන්දුම සැබෑ ලෝකයේද දැකිය හැකි වූ දෙයක්. එහෙත්, රාජපක්ෂ දශකයේ දැකිය හැකි වූ ආශ්චර්යය, දැකිය හැකි වූ සෞභාග්‍යය, බොහෝ දුරටම වැල්ලේ තැනූ මාලිගාවක්. මාලිගාව කිසිදු අඩුපාඩුවක් නැතිව ඉතා හොඳින් හදා තිබුණත් එය හදා තිබුණේ ලොකු රැල්ලක් පැමිණි වහාම බිඳ වැටෙන අයුරිනුයි. 

ආණ්ඩු මාරුවක් සිදු නොවුනානම් මාලිගාව කඩා වැටෙන්නේ 2016 පමණ කාලයේදී. එහෙත්, යහපාලන ආණ්ඩුව කෙසේ හෝ රැල්ල වලකා, මාලිගාවට මුක්කු ගසා, ප්‍රශ්නය වසර කිහිපයක් ඉදිරියට තල්ලු කළා. දැන් රැල්ල ඇවිත්. මාලිගාව කඩා වැටෙන්න පටන් අරන්.

ඩොලරය පහළින් තබා ගැනීම රාජ්‍ය ණය ප්‍රශ්නයටද වඩා බරපතල ප්‍රශ්නයක් බව මා කියන්නේ ඇයි? මේ හරහා රජය විසින් රජයෙන් බාහිර පාර්ශ්වයන්ටද ලෝකයට ණය වෙන්නට සෘජු හා වක්‍ර බලපෑමක් කළා. විශේෂයෙන්ම 2008න් පසුව ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළ වල පොලී අනුපාතික තිබුණේ ඉතාම පහළ මට්ටමකයි. ලංකාවේ පොලී අනුපාතික ඊට වඩා ඉහළින් තිබුණා.

උදාහරණයක් විදිහට ලංකාවේ පොලී අනුපාතිකය 7% ලෙසත්, ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළෙහි ඩොලර් පොලී අනුපාතිකය 2% ලෙසත් සලකමු. මේ වගේ අවස්ථාවක ඩොලර් වලින් ණය ගෙන රුපියල් වලින් ආයෝජනය කරන අයෙකුට 5%ක ලාබයක් ලැබිය හැකියි. එහෙත්, රුපියල අදාළ කාලය තුළ 5%කින් අවප්‍රමාණය වුනොත් එම ලාබය ලැබෙන්නේ නැහැ. 

සාමාන්‍යයෙන් පවතින හා පැවති තත්ත්වය ඉහත ආකාරයේ තත්ත්වයක්. ලංකාවේ රුපියල් පොලී අනුපාතික ඩොලර් පොලී අනුපාතික වලට වඩා වැඩි වුවත් ඩොලරයක අගය ඉහළ යාමෙන් එම වෙනසේ වාසිය නිශේධනය වන නිසා ඩොලර් වලින් ණය වී රුපියල් වලින් ආයෝජනය කර ලාබ ගැනීමේ හැකියාවක් තිබුණේ නැහැ. ලංකාවේ රජය හා මහ බැංකුව විසින් ඩොලරයේ මිල ස්ථාවරව තබන බව ප්‍රකාශ කිරීමෙන් හා ඒ බව ක්‍රියාවෙන් පෙන්වීමෙන් මේ තත්ත්වය වෙනස් කළා. ඒ එක්කම, ලංකාවේ බැංකු හා වෙනත් ඇතැම් සමාගම් ඩොලර් වලින් ණය වී රුපියල් වලින් රාජ්‍ය සුරැකුම්පත් වල ආයෝජනය කරන්න පෙළඹුණා. මෙය ඉංග්‍රීසියෙන් හැඳින්වෙන්නේ "carry trade" ලෙසයි.

දැන් මේ වැඩෙන් වෙන්නේ කුමක්ද? වාණිජ බැංකු හා සමාගම් ඩොලර් වලින් ලෝකයට ණය වෙනවා. රජය මේ වාණිජ බැංකු හා සමාගම් වලින් රුපියල් ණය ගන්නවා. අන්තිමට වක්‍ර ලෙස සිදු වන්නේ රජය ලෝකයට ණය වීමක්ම වුවත්, මෙහිදී රජයෙන් බාහිර පාර්ශ්වද අවදානමක වැටිලා. රජයේ සංඛ්‍යාලේඛණ බැලුවොත් පෙනෙන්නේ දේශීය ණය. එහෙත්, ඇත්තටම මේ ණයත් විදේශීය ණය.

මහ බැංකුව ඇතුළේ මේ වෙද්දී යම් වෙනසක් සිදුවෙමින් පවතින බව පේනවා. මා එසේ කියන්නේ බාහිර නිරීක්ෂකයෙකු ලෙස මට පෙනෙන දේවල් අනුවයි. මහ බැංකුව ඇතුලෙ මගේ පෞද්ගලික මිතුරන් ගණනාවක් සිටියත් මම ඔවුන් සමඟ සාමාන්‍යයෙන් කතා කරන්නේවත් නැති තරම්. මා මෙහි ලියන දේවල් ලියන්නේ පොදු අවකාශයේ තිබෙන තොරතුරු මත පදනම්වයි. ඒ හැර, කිසිදු ආයතනයකින් මා අභ්‍යන්තර තොරතුරු ලබා ගන්නේ නැහැ. 

ලංකාවේ මහ බැංකුවට රජයෙන් ස්වායත්තව කටයුතු කළ නොහැකි බව ප්‍රචලිත කරුණක්. ඕනෑවට වඩා ස්වාධීන වෙන්න ගියොත් මහ බැංකු වෘත්තිකයෙකුට තමන් විසින් කරන යම් සාධනීය දෙයක් වුනත් කරන්න තිබෙන ඉඩ අවහිර වෙන්න පුළුවන්. ඒ වගේම, මහ බැංකුව ඇතුළේ තමන්ගේ පැවැත්ම තර්ජනයට ලක් වෙන්න පුළුවන්. හැබැයි රජයට අවශ්‍ය සේ වැඩ කිරීමෙන් මහ බැංකුවේ පැවැත්මම අභියෝගයට ලක් වුවහොත්, එහි සේවකයින්ට කොහොමටත් පැවැත්මක් නැති වෙනවා. දේශපාලන පත්වීම් ලබන අධිපතිවරුන්ට මෙය ප්‍රශ්නයක් නොවුනත්, මහ බැංකුවේ පැවැත්මම අභියෝගයට ලක් වූ විට එහි අවශේෂ සේවකයින්ට රජයේ පැවැත්ම අමතක කර මහ බැංකුවේ පැවැත්ම ගැන හිතන්න වෙනවා. මම හිතන්නේ දැන් මේ වගේ හැරවුම් ලක්ෂ්‍යයක් දක්වා අර්බුදය තල්ලු වෙලා.

පසුගිය ජූනි මාසය තරම් මෑතකදී මහ බැංකුව විසින් "තම ව්‍යාපාරික ශක්තීන් උපරිම වශයෙන් යොදා ගනිමින්" පිටරටින් ඩොලර් ණය අරගෙන, ඒ ඩොලර් රජයට ණය ලෙස දෙන මෙන් පෞද්ගලික අංශයෙන් ඉල්ලා සිටියා. මෙය ගිලී මැරෙන්න යන රජය බේරා ගැනීම සඳහා වතුරට පැන මැරෙන සේ සෘජුවම කළ ආරාධනයක්. කිසියම් පෞද්ගලික ආයතනයක් මහ බැංකුවේ ඉල්ලීමට සවන් දුන්නේනම් දැන් වෙන්න තිබෙන හරිය වෙලා. වාණිජ බැංකු ටිකනම් කලින්ම ඔය උගුලේ අහුවෙලයි හිටියේ.

පහළින් තිබෙන්නේ පසුගිය මාස කිහිපය තුළ බැංකු පද්ධතියේ ශුද්ධ විදේශ වත්කම් වෙනස් වූ ආකාරයයි. වරහන් තුළ තිබෙන්නේ සෘණ අගයන්.

2021 අප්‍රේල් අවසානයේදී:

මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම්: රුපියල් බිලියන 349.1 

වාණිජ බැංකු වල ශුද්ධ විදේශ වත්කම්: රුපියල් බිලියන (778.0) 

බැංකු පද්ධතියේ ශුද්ධ විදේශ වත්කම්: රුපියල් බිලියන (428.9)

 

2021 ජූලි අවසානයේදී:

මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම්: රුපියල් බිලියන 10.3 

වාණිජ බැංකු වල ශුද්ධ විදේශ වත්කම්: රුපියල් බිලියන (709.6) 

බැංකු පද්ධතියේ ශුද්ධ විදේශ වත්කම්: රුපියල් බිලියන (699.4) 

රජය වගේම ලංකාවේ බැංකු පද්ධතියත්, විදේශ සංචිත පැත්තෙන් බැලුවොත්, බංකොලොත් වී අවසන්. ටික කලක සිටම බැංකු පද්ධතිය සතු විදේශ වත්කම් වලට වඩා විදේශ බැරකම් වැඩියි. තෙමසක් ඇතුළත බැංකු පද්ධතියේ විදේශ වත්කම් හිඟය (එහි රුපියල් අගය) රුපියල් බිලියන 428.9 සිට රුපියල් බිලියන 699.4 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මහ බැංකුව ධන පැත්තේ ඉන්නේ යාන්තමින්. තව සුළු අඩුවක් වුවහොත් මහ බැංකුවත් සෘණ පැත්තට යනවා.

මේ සංඛ්‍යාලේඛණ ඇසුරෙන් වාණිජ බැංකු වල ඩොලරයක මිල මහ බැංකුවේ පාලනයෙන් මිදී ඉහළ යන්නේ ඇයි කියන එක පහසුවෙන් පැහැදිලි කළ හැකියි. 2021 ජූලි අවසානයේදී වාණිජ බැංකු වල ශුද්ධ විදේශ බැරකම් ප්‍රමාණය රුපියල් බිලියන 709.6ක්. සරලව කිවුවොත්, මෙයින් අදහස් වෙන්නේ ලංකාවේ බැංකු වල තැන්පත් කර තිබෙන ඩොලර් ගිණුම් හිමියන්ගේ තැන්පතු මුදල් ආපසු ගෙවීම (හෝ එවැනි වෙනත් බැරකම්) සඳහා පමණක් බැංකු වලට බිලියන 3.5ක පමණ ඩොලර් ප්‍රමාණයක් අවශ්‍ය බවයි.

බැංකු වලින් කාලයක් තිස්සේ කළේ, මහ බැංකුව විසින් මෑතකදී පෞද්ගලික අංශයෙන් ඉල්ලා සිටි පරිදි, ලෝකයට ණය වී ඩොලර් එකතු කරගෙන එම ඩොලර් රජයට ණය ලෙස දෙන එකයි. නමුත්, රජයට ණය දී තිබෙන්නේ ඩොලර් රුපියල් කිරීමෙන් පසුව නිසා ආපසු ලැබෙන්නේ රුපියල්. රුපියල් වලින් ණය ආපසු ලැබුණා කියා වාණිජ බැංකු වලට ඩොලර් ණය පියවන්න බැහැ. මේ වගේ වෙලාවක වාණිජ බැංකු වලට තිබෙන සාමාන්‍ය පිළියම මහ බැංකුවට රුපියල් දී ඩොලර් වලට මාරු කිරීමයි. ඒත් මේ වෙලාවේ මහ බැංකුව වාණිජ බැංකු වලට ඩොලර් දෙන්න සූදානම් නැහැ. තවත් ඩොලර් විකිණුවොත් මහ බැංකුව තමන්ගේම විදේශ බැරකම්වත් පියවිය නොහැකි තැනකට වැටෙනවා.

ඉහත තත්ත්වය යටතේ වාණිජ බැංකු වලට තමන්ගේම විදේශ බැරකම් පියවීම සඳහා වෙළඳපොළෙන් කීයට හෝ ඩොලර් මිල දී ගන්න සිදු වී තිබෙනවා. තමන්ට අවශ්‍ය ඩොලර් ටිකවත් හොයා ගන්න අමාරු තත්ත්වයක් යටතේ පාරිභෝගිකයින්ගේ ඩොලර් ඉල්ලුම සීමා කිරීම සඳහා ඩොලරයක විකිණුම් මිල ඉහළ දමන්න වෙනවා. ඩොලරයක මිල බලා ඉඳිද්දී ඉහළ යන පසුබිමක අපනයනකරුවන් වැනි ඩොලර් උපයන අය ඩොලර් රුපියල් කරන්න හදිස්සි නොවී ඩොලර් ලෙසම තියා ගන්න පෙළඹෙන නිසා බැංකු වලට මුහුණ දෙන්න වී තිබෙන ප්‍රශ්නය තවත් අසීරු වී තිබෙනවා. මේ තත්ත්වය යටතේ, මහ බැංකුව විසින් සංචිත නිදහස් කිරීමක් නොකළොත්, වාණිජ බැංකු වල ඩොලරයක මිල තවතවත් ඉහළ යන එක වලක්වන්න බැහැ.

මහ බැංකුව තව දුරටත් සංචිත නිදහස් කරයිද? 

මෙය යම් තරමකින් දේශපාලනික ප්‍රශ්නයක්. මහ බැංකුවට මේ වෙද්දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 787ක පමණ විදේශ වත්කම්ද, බංග්ලාදේශ බැංකුවෙන් ඩොලර් මිලියන 150ක ණයක්ද ලැබී ඇති බව ප්‍රසිද්ධ කර තිබෙනවා. ඒ අනුව ඩොලර් මිලියන 937කින් පමණ මහ බැංකුවේ විදේශ සංචිත ඉහළ ගොස් තිබිය යුතුයි. කෙසේ වුවද, මේ ලැබීම් වල තිබෙන ප්‍රශ්නය මහ බැංකුවේ විදේශ වත්කම් ඉහළ යන තරමටම විදේශ බැරකම්ද ඉහළ යන නිසා ශුද්ධ විදේශ වත්කම් වල වෙනසක් සිදු නොවීමයි. ඒ නිසා, යම් හෙයකින් මහ බැංකුව විසින් සංචිත විකිණීමක් කළහොත් රජය, වාණිජ බැංකු මෙන්ම මහ බැංකුවද ලෝකයට ණයකරුවෙක් බවට පත් වෙනවා.

මීට අමතරව චීන සංවර්ධන බැංකුවෙන්ද යම් මුදලක් ලැබීමට නියමිත බව පැවසෙනවා. එම මුදල ලැබුණොත්, එය රජයේ ණයක් නිසා, මහ බැංකුවේ බැරකම් ඉහළ යන්නේ නැහැ. මහ බැංකුවට අදාළ ඩොලර් ප්‍රමාණය මිල දී ගෙන වාණිජ බැංකු වලට විකිණිය හැකියි. හැබැයි එහෙම කළා කියලත්, හමන සුළන් මකුළු දැලෙන් වළකන්නට බැහැ.

79 comments:

  1. //ඒත් මේ වෙලාවේ මහ බැංකුව වාණිජ බැංකු වලට රුපියල් දෙන්න සූදානම් නැහැ//
    ඩොලර් වියයුතුයි

    ප්‍රශ්නයකුත් තියෙනව. අපනයනකරුව ඩො ලර් තියන් ඉන්නව කියන්නෙ මොකක්ද? ඒව ටතියෙන්නෙ බැන්කු වල නෙමෙයිද? එහෙමන් තියන් ඉන්න පුලුවන් කාල සීමාව ගැන නීතියක් නැද්ද? කබ්‍රාල් කාරය අද නහයෙන් අඬල තිබ්බෙ.

    ReplyDelete
    Replies
    1. AnonymousSeptember 5, 2021 at 11:40 AM,

      මෙහෙමයි, මේ දවස්වල ලංකාවේ තියෙන සැබෑ ප්‍රශ්නය මීට වඩා ගොඩාක් වෙනස්. උදාහරණයක් විදියට ලංකාවෙන් අපනයනය කරන භාණ්ඩ සඳහා අපනයනකරුවන් විසින් උපයා ගන්නා ලද ඩොලර් බිලියන 2 කට වඩා වැඩි ආදායම් මුදලක් රුපියල් බවට පරිවර්තනය නොකිරීමෙන් ලංකාවේ ආර්ථිකයේ දැඩි අර්බුදකාරී තත්ත්වයක් ඇතිවීම ඊටත් වඩා විශාල ප්‍රශ්නයක්.

      මේ ගැන මාධ්‍යවලට කතා කරපු නූතන ඒකාධිපති පවුල් රෙජීමයේ මුදල් රාජ්‍ය අමාත්‍ය ග්‍රීක් බැඳුම්කර සක්විති අජිත් නිවාඩ් කබ්රාල් නමැත්තා සඳහන් කරන්නේ එම මුදල රුපියල් බවට පරිවර්තනය නොකිරීම නිසා පවතින ආර්ථික අර්බුදයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවයි.

      මේ ගැන මමත් සොයා බැලූවිට ආරංචි වුණ විදියට එම ඩොලර් ආදායම ලංකාවේ අපනයනකරුවන්ගේ ගිණුම්වලට ලැබී ඇති බවට තහවුරු වී ඇති අතර ඒවා රුපියල් බවටත් පත් නොකිරීම බරපතළ ගැටලුවක් බව තමයි මහ බැංකුවේ සහ අමාත්‍යාංශයේ අදහස.

      කෙසේ නමුත් ඔබ කියූ ආකාරයටම ආණ්ඩුවේ මූල්‍ය අංශ බලධාරීන් නිහඬව සිටීම විමතියට කරුණක් බව ඇමති කබරරාල කබ්බාගේ අදහසයි.

      ආණ්ඩුවේ පැත්තෙන් කියනවා නම් අපනයනකරුවන් දිරිගැන්වීම සඳහා දැනටමත් රජය විසින් විශාල බදු සහන පිරිනමා ඇති බවත් පහුගිය යහපාලන රජය සමයේ 2016 - 2019 අග දක්වා අපනයනකරුවන් සියලුම දෙනාගෙන් ලාභය මත අය කරපු 28% ක් වූ බද්ද 2019 අග භාගයේ සිට ලංකාවේ අපනයනකරුවන් ගෙන් අය කරන්නේ 14%ක් බවට කබරයා කියන කතාව ඇත්ත තමයි.

      හැබැයි එහෙම සහන ලබා දුන් පළියට එම මුදල ගැන තීරණ ගැනීමේ හැකියාව තිබිය යුතු අපනයන ව්‍යාපාර එම මුදල් ආණ්ඩුවේ දේශපාලන අවශ්‍යතාවලට අවශ්‍ය ලෙස මහ බැංකුවට මුදල් සම්පාදනය නොකිරීම ගැන දැඩි පියවරක් ගැනීමට ආණ්ඩුව කටයුතු කළොත් ඊට එරෙහිව ක්‍රියාත්මක වී දැඩි විරෝධය සහ රජයට එරෙහිව උද්ඝෝෂණ ව්‍යාපාර ආරම්භ කිරීමට සූදානම් විය යුතුයි. මේ ගැන විපක්ෂයේ අවධානය යොමු කරන්න ඕන දැන්මම.

      Delete
    2. //ඩොලර් වියයුතුයි//
      නිවැරදි කළා. ස්තුතියි!

      //අපනයනකරුවන් ඩොලර් තියන් ඉන්නව කියන්නෙ මොකක්ද? ඒව තියෙන්නෙ බැන්කු වල නෙමෙයිද? එහෙමන් තියන් ඉන්න පුලුවන් කාල සීමාව ගැන නීතියක් නැද්ද?//

      තියෙන්නේ බැංකු වලම තමයි. නමුත් ඩොලර් ගිණුමක. මෙසේ අපනයන ආදායම් ඩොලර් ගිණුමක තබා ගත හැකි උපරිම නීතිමය කාල සීමාවක් තියෙනවද කියලා මම නිශ්චිතව දන්නේ නැහැ. රාජ්‍ය ඇමතිගේ ප්‍රකාශයෙන් පෙනෙන්නේ එවැන්නක් අලුතෙන් දමන්න හෝ තිබෙන සීමාව දැඩි කරන්න යන බවකුයි. අද රුපියල් 230ට තිබෙන ඩොලර් එක සතියකින් රුපියල් 240 වන බව පේනවානම් කවුරුවත් අද ඩොලර් රුපියල් කරන්නේ නැහැ. සතියක් ඉඳලා රුපියල් 10ක් වැඩියෙන් ගන්නවා. නමුත්, නීතියක් දැම්මොත් එය කරන්න සිදු වෙනවා. හැබැයි මෙවැන්නක් කළත් එයින් ලැබෙන්නේ එකවර ලැබෙන ක්ෂණික වාසියක් පමණයි. ඉන් පසුව අපනයනකරුවන් ඩොලර් ලංකාවට ගේන එකම වුනත් හැකි තරම් ප්‍රමාද කරන්න ඉඩ තිබෙනවා.

      Delete
    3. ඒ කියන්නෙ ලන්කාවෙ nrfc ගිනුමකට මුදල් එව්වොත් ඒව ගෙවුම් ශේශය ගනනය කරන කොට රෙමිටන්ස් විදියට ගනන් ගන්නෙ නැතිද? බැන්කුවෙ තිබ්බට ආනයන සඳහා යූස් කරන්න බැරිද?

      Delete
    4. //ඒ කියන්නෙ ලන්කාවෙ nrfc ගිනුමකට මුදල් එව්වොත් ඒව ගෙවුම් ශේශය ගනනය කරන කොට රෙමිටන්ස් විදියට ගනන් ගන්නෙ නැතිද?//
      ගණන් ගන්නවා.

      //බැන්කුවෙ තිබ්බට ආනයන සඳහා යූස් කරන්න බැරිද?//
      මේ ඩොලර් ආනයන වෙනුවෙන් ප්‍රයෝජනයට ගන්න බැරිකමක් නැහැ. සැලකිය යුතු ප්‍රමාණයක් දැනටම ආනයන වෙනුවෙන් යොදාගෙන අවසන්. නමුත්, ප්‍රශ්නය මේ ඩොලර් වාණිජ බැංකු වල බැරකමක් ලෙස තිබීමයි. ගිණුම්හිමියන් විසින් එම මුදල් ආපසු ඉල්ලා සිටියොත් ඩොලර් වලින්ම ආපසු ගෙවිය යුතුයි. ආනයන වෙනුවෙන් ඩොලර් විකිණුවොත්, තැන්පතුකරුවන් විසින් මුදල් ආපසු ඉල්ලූ විට දෙන්න බැංකු වලට ඩොලර් නැති වෙනවා. වාණිජ බැංකු වල ශුද්ධ විදේශ වත්කම් රුපියල් සෘණ බිලියන 709.6ක් වී තිබෙන්නේ ඔය වගේ දෙයක් කිරීමෙන් තමයි. සාමාන්‍ය තත්ත්වයනම් ඔය වගේ තත්ත්වයක් යටතේ අවශ්‍ය වූ විට මහ බැංකුවෙන් ඩොලර් මිල දී ගත හැකි වීමයි. නමුත්, දැන් ඒ දොරටුව අවහිර වී ඇති නිසා වාණිජ බැංකු වලට තව දුරටත් අවදානමක් ගන්න බැහැ. ඩොලර් ගිණුම් වල තිබෙන ඩොලර් රුපියල් කළොත් ආපසු ගෙවන්න වෙන්නේ රුපියල් වලින් නිසා මේ අවදානම නැති වෙනවා. අපනයනකරුවන් යම් කාල පමාවකින් පසුව හෝ එය කරයි. එහෙත් විදේශ වල පදිංචි nrfc ගිණුම් හිමියන් කවදා හෝ තමන්ගේ සල්ලි ඉල්ලන්නේ ඩොලර් වලින්ම නිසා එම මුදල් ආපසු ගෙවීමේ ප්‍රශ්නයට බැංකු වලට මුහුණ දෙන්න වෙනවා.

      Delete
    5. මම හිතන් හිටියෙ nrfc දැම්මත් ආපහු ගන්නකොට රුපියල් වලින් විතරයි ගන්න පුලුවන් කියල. දාපු මුදල් වර්ගයෙන්ම ආපහු ඉල්ලුවොත් දෙන්නෙ නෑ කියල තමයි හැමෝම කියන්නෙ. මොකක් හරි කොන්දේසියක් තියෙනවද ඒ මුදල් වර්ගයෙන්ම ගන්න?

      Delete
    6. NRFC හා RFC ගිණුම් වල FC කියන එකෙන් අදහස් වෙන්නේ Foreign Currency කියන එකනේ. සිංහලෙන් අනේවාසික/නේවාසික විදේශ ව්‍යවහාර ගිණුම්. මෙවැනි වෙනත් ගිණුම් වර්ගයක් තියෙන්නේම රුපියල් නොවන මුදල් ඒකක වලින් කෙනෙකුගේ වත්කම් තියා ගන්න. දාපු මුදල් වර්ගයෙන්ම ආපසු දීමට බැංකු බැඳී සිටිනවා. (දැන් මුදල් ආපසු ගැනීමේදී ප්‍රායෝගිකව ප්‍රශ්න තිබෙන බව මට අහන්න ලැබී තිබෙනවා).

      Delete
    7. බැන්කු වල වගකීම කෙසේ වෙතත් එහෙම දෙන්නෙ නෑ. මොකක්ද නීතිය කියලනම් දන්නෙ නෑ. මේක ලඟදි ඉදල එහෙම උන දේකුත් නෙමෙයි මම හිතන්නෙ. අඩු වශයෙන් 1900 ගනන් වල ඉඳල එහෙමයි.

      Delete
    8. මම හිතන විදිහට NRFC ගිණුම් වලට සාපේක්ෂව RFC ගිණුම් වලින් මුදල් ආපසු ගැනීමේ කොන්දේසි වැඩියි.

      Delete
  2. ඕවා ගැන කොච්චර කල්පනා කරත් වැඩක් නැහැ. මේ ජිවිතේ දුකයි. මරණය තමයි විසදුම. ඒ සදහා හොද උත්තේජනයක් ලැබෙනවා මේ නෙගටිව් බ්ලොග් එක කියෙව්වම.

    ReplyDelete
    Replies
    1. මේ දවස් වල ආණ්ඩුවේ පාලනයට යටත් මාධ්‍ය වලට ප්‍රචාරය කිරීම සඳහාවත් හොඳ ප්‍රවෘත්ති හොයා ගන්න නැති වීම විශාල ප්‍රශ්නයක් තමයි!

      Delete
  3. මේ වෙලාවේ බඩු මිල අඩු කිරීම, මිල පාලනය කියන දේවල් ගැන අමතක කරලා දාන්න ඕන, නැත්නම් අවසානයේ මීට වඩා මහ විශාල ප්‍රමාණයේ පීඩනයක් රජයට වෙන්න පුළුවන්.

    ඒ අනුව ආණ්ඩුව බොරු dollar rate එකක් තියාගෙන ඉන්න එක අතාරින්න ඕනේ. අපනයන කරුවන් විතරක් නෙවෙයි ලංකාවේ විදේශ ශ්‍රමිකයන් වගේ ලංකාවට විදේශ විනිමය ගෙනෙන කාටවත් අමාරුවක් නැහැ බොරුවට dollar මාරු කරන්න. ඒ නිසා කට්ටිය විදේශ මුදල් හිර කරගෙන ඉන්නවා මාරු නොකර, මේ වෙලාවේ ආණ්ඩුව dollar එකට හරි මිලක් දුන්නොත් මේ තත්ත්වය කළමනාකරණය වෙනවා. එහෙම වුනොත් රටේ dollar ප්‍රශ්නයට පොඩි පිළිතුරක් හරි ලැබෙනවා. කළු කඩවලට වඩා බැංකු පද්දතියට dollar ලැබෙනවා. දැන් ලංකවෙන් dollar යවන්නේ (ඉම්පෝර්ට් වලට) කළු කඩෙන්. එන dollar එන්නෙත් කළු කඩේට.

    ඒත් ඉතින් එහෙම කරලත් අනිත් පැත්තෙන් ලංකාවේ සම්පූර්ණයෙන්ම ආනයන මත පදනම් වූ ජීවන වියදම් ඉහළ යෑමත් සමඟ ඇතිවන තත්ත්ව යටතේ ආණ්ඩුවට බරපතල ප්‍රශ්ණයක් තියෙනවා. ලංකාවේ ස්ථිර ආදායම් නොලබන පවුල් මිලියන තුනකට වඩා වැඩි පිරිසකට මොකද වෙන්නේ? සමෘද්ධි ආධාර මුදල් තව දුරටත් වැඩි කරන්න වෙනවා. ඊට අමතරව රජයේ සේවකයන්ට වැටුප් වලින් ජීවත් වෙන්න බැරි වෙනවා. දැනටමත් රට වහපු නිසා අති විශාල ප්‍රමාණයක් වන එදා වේල හම්බ කරගන්න හැමෝටම කෙළවිලා තියෙන්නේ. සංචාරක කර්මාන්තය හරහා යැපුණු මිලියන තුනක් විතර ජනයා අන්ත අසරණ ලෙස අනාථ වෙලා. ඒත් කාටවත්ම කරන්න දෙයක් නෑ, උන්නත් දාහයි මළත් දාහයි කියලා ඉතින් දෙකින් එකක් බේරගන්න වෙනවා.

    රට වහලා තියෙන එකෙන් ප්‍රශ්නය තව තව උග්‍ර අතට හරවා ගැනීමට විපක්ෂයේ සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සහ රජයේ දොස්තර සංගම් කටයුතු කරන එක තවත් ප්‍රශ්නයක්. මරණ බිය නිසා ජනයා උකටලී වීම, අධ්‍යාපන ක්ෂේත්‍රයේ, විශේෂයෙන්ම උසස් අධ්‍යාපන කටයුතු වල කඩා බිඳ වැටීම තවත් බරපතල ලෙස ආර්ථිකයට බලපානවා. මේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දීමට කවුරුවත් නෑ ප්‍රශ්න කිය කියා ඉන්න ඕන තරම් කට්ටිය ඉන්නවා වැල් බයිලා විතරයි. පහුගිය කාලේම අතිශය අසාර්ථක වූ ආර්ථිකයට තවත් කෙළවෙන බදු ප්‍රමාණය වැඩි කිරීම හෝ රජය විසින් මුදල් මුද්‍රණය කරන එක, රාජ්‍ය ණය ආදියෙන් තොරව ණය නොවී රජයේ ආදායම් මුදල් වැඩි කර ගැනීම සඳහා ක්‍රමයක් යෝජනා කරන කෙනෙක් ඉන්නවා ද?

    පහුගිය කාලේ පුරාම මංගොංපිල කියන්නේ මන්නාරමේ තෙල් සහ ගෑස් හාරන්න ආයෝජන ගේන්න. තව ආණ්ඩුවේ බොහෝ දෙනෙක් ගිය අවුරුද්දෙ මුල ඉඳලම දේශීය ටයිටේනියම්, තඹ නිධි වගේ දේවල් වලින් කර්මාන්ත ආරම්භ කරන්න ආයෝජන ගෙනත් රජයේ royalty වැඩි කර ගැනීම වගේ දේවල්. මේ වන විට වල් වැදී පාලුවට ගිය රජයේ ඉඩම් හෙක්ටයාර ලක්ෂ පහක් විතර පුද්ගලික අංශයට අපනයන කෘෂි වගාවන් වගේ දේවල් වලට දෙන්න හදපු එකත් පහුගිය කාලේ විපක්ෂ කණ්ඩායම් වල මරාගෙන මැරෙන තරම් උග්‍රව කරපු පරිසර හිතකාමී දැඩි විරෝධය සහ බාධා සහිත උද්ඝෝෂණ මධ්‍යයේ අකුලා ගැනීමට නන්දසේන ජනපති කටයුතු කළා. මේ නිසා ලංකාවේ ආර්ථිකය ගොඩ දාගන්න ඉතාමත් අමාරුයි. මට නම් මේ කිසිම දෙයක් තේරුම් ගන්න අමාරුයි මහ මායාවක් බව පේනවා. සිත කල කිරී ඇත.

    ReplyDelete
    Replies
    1. //පහුගිය කාලේම අතිශය අසාර්ථක වූ ආර්ථිකයට තවත් කෙළවෙන බදු ප්‍රමාණය වැඩි කිරීම හෝ රජය විසින් මුදල් මුද්‍රණය කරන එක, රාජ්‍ය ණය ආදියෙන් තොරව ණය නොවී රජයේ ආදායම් මුදල් වැඩි කර ගැනීම සඳහා ක්‍රමයක් යෝජනා කරන කෙනෙක් ඉන්නවා ද?//

      ඔය එකක්වත් නොකරනවානම් ඉතිරිව තිබෙන එකම විකල්පය රජය සතු ඉඩම් වැනි මූර්ත වත්කම් සින්නක්කරේටම විදේශිකයන්ට විකුණන එක පමණයි. සමහර විට ආණ්ඩුව ඔය විකල්පය වෙත තල්ලු වෙයි.

      Delete
    2. //මේ නිසා ලංකාවේ ආර්ථිකය ගොඩ දාගන්න ඉතාමත් අමාරුයි. මට නම් මේ කිසිම දෙයක් තේරුම් ගන්න අමාරුයි මහ මායාවක් බව පේනවා. සිත කල කිරී ඇත.//

      වෙළඳපොළ නමන්න ගොස් ඇති වී තිබෙන ප්‍රශ්න වලට විසඳුම වෙළඳපොළට ඉඩදීමයි. එවිට ප්‍රශ්න එකින් එක ලිහී යයි. මායාව වන්නේ වෙළඳපොළ යාන්ත්‍රණයට වඩා හොඳින් රජයට ආර්ථිකය සැලසුම් කළ හැකියැයි සිතීමයි. වෙළඳපොළ නැමීමට සැලසුම් හදන තරමට සිදු වන්නේ මඩ වලක වැටුණු ඌරෙකු ගොඩයාම සඳහා දඟලන විට සිදුවන දෙය පමණයි. මේ මොහොතේ කළ යුතු පළමු දෙය විණිමය අනුපාතිකයට නිදහසේ තීරණය වීමට ඉඩ හැරීමයි. එයින් ආනයනික භාණ්ඩ වල මිල ඉහළ යනු ඇති නමුත් එය එකවර සිදුවන වැඩිවීමක් පමණක් වනු ඇත. එමෙන්ම ආනයනික භාණ්ඩ වල මිල ඉහළ යද්දී මිල පාලනය කළොත් හෝ බදු අඩු කළොත් අවශ්‍ය ප්‍රතිඵලය නොලැබෙනු ඇත. ඇත්තටම බදු වැඩි කළද ප්‍රශ්නයක් නැහැ. මෙයින් පීඩාවට පත් වන පහළම තට්ටුවේ අයට සෘජු ලෙස මුදල් වලින් සහනාධාර දිය යුතුයි. දැන් කෝවිඩ් සහනාධාර දෙන අයුරින්. වෙළඳපොළට අවම හානියක් වන ක්‍රමය එයයි. එවිට මේ සහනාධාර ලබන අය ආනයනික බඩු මිල වැඩි නිසා වඩා ලාබ දේශීය නිෂ්පාදන මිල දී ගනු ඇත. එයින් දේශීය නිෂ්පාදන වලට ඉල්ලුම වැඩි වී නිෂ්පාදනයද වැඩි වනු ඇත. ඉහළ ආදායම් ලබන අය ඔවුන්ට අවශ්‍යනම් වැඩි මිලක් ගෙවා ආනයනික භාණ්ඩ මිල දී ගනු ඇත.

      Delete
    3. //ඔය එකක්වත් නොකරනවානම් ඉතිරිව තිබෙන එකම විකල්පය රජය සතු ඉඩම් වැනි මූර්ත වත්කම් සින්නක්කරේටම විදේශිකයන්ට විකුණන එක පමණයි. සමහර විට ආණ්ඩුව ඔය විකල්පය වෙත තල්ලු වෙයි.//
      නමුත් මෙම ක්‍රියාමාර්ගයත් දේශපාලන වශයෙන් බැලුවොත් IMF යන එක වගේ ම එජාප ප්‍රතිපත්ති වෙත යාමක් කියලා අර්ථකථනය කරන්න පුළුවන් නේද

      Delete
    4. ඔව්. නමුත් මම හිතන්නේ මෙය මේ ආණ්ඩුවට IMF යනවාට වඩා පහසු තේරීමක් කියලා.

      Delete
  4. // මම හිතන්නේ දැන් මේ වගේ හැරවුම් ලක්ෂ්‍යයක් දක්වා අර්බුදය තල්ලු වෙලා//
    ඔබ කියන්නේ මහා බැංකුව නුදුරේදීම තරමක ස්වාධීනත්වයක් ඇතුව වැඩ කරන්න පෙලඹෙන්න පුළුවන් කියන එකද

    ReplyDelete
    Replies
    1. සුළුවෙන් වුවත් පොලී අනුපාතික ඉහළ දැමීම හා සංචිත අනුපාතය ඉහළ දැමීම මා දකින්නේ එවැනි හැරවුම් ලක්ෂ්‍යයක් ලෙසයි.

      Delete
    2. හැරවුම් ලක්ෂ්‍යයත් හරවන බවක් පේන්නේ. කබ්රාල් ආයිත් governor කරන්න යනවා කියලා රාවයක් තියනවා

      Delete
    3. එහෙමත් එකක්ද? මේ වෙලාවේ එවැනි දෙයක් සිදු වෙනවානම් හොඳයි. වැඩිය ඇදෙන්නේ නැතුව ඉක්මණින් ප්‍රශ්නය "විසඳෙයි". හැබැයි එහෙමනම් ඔහු විශ්‍රාම වැටුප් හදා ගන්න උත්සාහ කරන්නේ ඇයි?

      Delete
    4. ඔව් එහෙම වුනොත් ජනතාවට දැනෙන, සෑහෙන කාලෙකට මතක හිටින "විසඳුමක්" හම්බෙයි

      Delete
  5. මේ ලිපියෙ කියන දේ හරිද?
    https://www.colombotelegraph.com/index.php/a-childs-guide-to-sdrs-sdr-allocation/?fbclid=IwAR3GS-nKSPAFg5oh-dRKKxrfvTURZDXVMYjQK1P9kTlOMI8DRXb89mGp3Xw

    ReplyDelete
    Replies
    1. //No, SDR interest rate is not determined in the market. Rather, it is determined by IMF by using a formula containing the short-term interest rates applicable to government securities in the five member countries whose currencies have been included in the basket of currencies which make up of SDRs. These five currencies are the US dollar, Euro, Chinese Renmimbi, Japanese Yen, and the Pound Sterling. USA and the European Union are the biggest economies in this block, and, therefore, they have a high weight amounting to 42% and 31% in the basket, respectively. This is followed by Chinese Renmimbi at 11%, Japanese Yen at 8%, and British Pound at 8%.//
      මේ basket of currencies කියන සංකල්පය යොදා ගන්නේ පොලී අනුපාත ගණනය කිරීමට විතරද? SDR අපිට කැමති විදිහට reserve currency එකකට මාරු කරගන්න පුලුවන්ද? උදාහරණයක් විදිහට අපිට හම්බ උන එස් ඩී ආර් මුළු ප්‍රමාණයම (100% ම) USD වලට මාරු කරගන්න පුලුවන්ද එහෙම නැත්නම් basket of currencies එකේ තියෙන අනුපාතයට (42% දක්වා) විතර ද මාරු කර ගන්න පුළුවන්?
      SDR reserve currency එකකට මාරු කර ගන්නවා නම් ඒකට අදාල විනිමය අනුපාතය තීරණය කරන්නේ කොහොමද?
      අපි SDR දීලා ඩොලර් ගන්නවනම් ඒක සලකන්නෙ වත්කමක් විකිණීමක් විදිහට ද? නැත්නම් currency swap එකක් විදිහට ද?
      මහ බැංකුවක් සැලකීමේදී Liability සහ indebtedness අතර තියෙන වෙනස මොකක්ද?
      මේකෙ කියන විදිහට SDR වලට ගෙවන පොලියෙන් ගැලවෙන්න විදිහක් නැද්ද?

      Delete
    2. //මේ basket of currencies කියන සංකල්පය යොදා ගන්නේ පොලී අනුපාත ගණනය කිරීමට විතරද?//
      SDR ඒකකයක අගය (විණිමය අනුපාතය) තීරණය වන්නේත් ප්‍රධාන මුදල් ඒකක පහක වෙනස් වීම අනුව. ඒ කියන්නේ basket of currencies කියන සංකල්පය අනුව.

      //SDR අපිට කැමති විදිහට reserve currency එකකට මාරු කරගන්න පුලුවන්ද? උදාහරණයක් විදිහට අපිට හම්බ උන එස් ඩී ආර් මුළු ප්‍රමාණයම (100% ම) USD වලට මාරු කරගන්න පුලුවන්ද එහෙම නැත්නම් basket of currencies එකේ තියෙන අනුපාතයට (42% දක්වා) විතර ද මාරු කර ගන්න පුළුවන්?//

      කැමති විදිහට මාරු කළ හැකියි. එහෙත්, කවර හෝ අනෙක් පාර්ශ්වය ඒ සඳහා කැමති විය යුතුයි. උදාහරණයක් ලෙස චීනය කැමතිනම් මේ SDR ප්‍රමාණය මිල දී ගෙන ඒ වෙනුවට යුවාන්, ඩොලර් හෝ යෙන් දෙන්න පුළුවන්.

      //SDR reserve currency එකකට මාරු කර ගන්නවා නම් ඒකට අදාල විනිමය අනුපාතය තීරණය කරන්නේ කොහොමද?//
      මෙය ප්‍රධාන මුදල් ඒකක පහක වෙනස් වීම අනුව වෙනස් වන නිශ්චිත අගයක්. IMF එක දිනපතා එම අගය නිවේදනය කරනවා. හරියටම කියනවානම් (ආසන්නව) ඩොලර් 0.583ක, පවුම් 0.086ක, යෙන් 11.9ක, යුරෝ 0.387ක හා යුවාන් 1.017ක වටිනාකම් එකතුවට SDR එකක වටිනාකම සමානයි. මෙය ඩොලර් 1.42ක් පමණ අගයක්.

      //අපි SDR දීලා ඩොලර් ගන්නවනම් ඒක සලකන්නෙ වත්කමක් විකිණීමක් විදිහට ද? නැත්නම් currency swap එකක් විදිහට ද?//
      ගනුදෙනුව නැවත ආපසු හැරවීමක් IMF එකෙන් අපේක්ෂා කෙරෙන නිසා මෙවැන්නක් currency swap එකක් සේ සැලකිය හැකියි. මෙය ලංකාව විසින් උපයාගත් වත්කමක් නොවන නිසා නිකම්ම විකුණලා දමන්න බැහැ. ගනුදෙනුව නැවත ආපසු හරවන තුරු පොලී ගෙවන්න වෙනවා. විකුණා දා නිකම් හිටියොත් සදාකාලිකව පොලිය ගෙවන්න වෙනවා.

      //මහ බැංකුවක් සැලකීමේදී Liability සහ indebtedness අතර තියෙන වෙනස මොකක්ද?//
      මෙය පහසුවෙන් පිළිතුරු දීමට අපහසු සංකීර්ණ ප්‍රශ්නයක්. Liability කියන එක පැහැදිලි හා බොහෝ දෙනෙකුට එකඟ විය හැකි දෙයක්. indebtedness කියන එක ගැන විවිධ අදහස් තියෙන්න පුළුවන්.

      //මේකෙ කියන විදිහට SDR වලට ගෙවන පොලියෙන් ගැලවෙන්න විදිහක් නැද්ද?//
      අපට ලබා දෙන SDR ප්‍රමාණය එලෙසම IMF එකේ තියා ගත්තොත් ඒ වෙනුවෙන් පොලී ආදායමක් ලැබෙන්නේ හෝ වියදමක් යන්නේ නැහැ. හරියටම කිවුවොත් ලබා දුන් SDR වෙනුවෙන් පොලියක් අය කර SDR තැන්පතු වෙනුවෙන් හරියටම ඊට සමාන පොලියක් ගෙවන නිසා ඒ දෙක නිශේධනය වී යනවා. නමුත්, මේ SDR වෙනත් මුදලකට මාරු කළොත් ඒ ප්‍රමාණය වෙනුවෙන් පොලී ආදායමක් නොලැබෙන නිසා ශුද්ධ වශයෙන් පොලී වියදමක් යනවා. දැනට මෙය වසරකට 0.05%ක් වුවත් කලින් කී පරිදි රටවල් පහක පොලී අනුපාතික වෙනස් වීම අනුව මෙය වෙනස් වෙනවා. දැන් තිබෙන්නේ තිබිය හැකි අවම මට්ටමයි.

      Delete
  6. හැම නරකකම හොඳකුත් ඇත හැංගීලා!

    ReplyDelete
  7. මහින්දගෙ කාලෙ ඩොලර් බිලියන 35 අරන් තියෙන්නෙ ඔය කියන බැන්කු වලින් ගත්තු රුපියලුත් එක්කද?

    ReplyDelete
    Replies
    1. ඔව්. සමස්ත විදේශ ණය වැඩි වීම.

      Delete
    2. ඔබ කොහෙ හරි කියල තිබ්බ මතකයි මහින්දගෙ කාලෙ ඩොල්‍රර් බිලියන 35 ක් සහ යහපාලන කාලෙ ඩොලර් බිලියන 12ක් ණය උනා කියල.
      නමුත් රුපියල් වලින් බැලුවම මහින්දගෙ කාලෙ ටට්‍රිලියන් 5ක් විතරයි ණය වෙලා තියෙන්නෙ. යහපාලන අවුරුදු 5 ට්‍රිලියන 7ක් ණය වෙලා නේද?

      Delete
    3. ඒ ගමන්ම මේ ප්‍රශ්නයත්.
      මෙතන කියන ඩොලර් බිලියන් ණය සහ රුපියල් ට්‍රිලියන් ණය කියන්නෙ දෙකම රජයෙන් ගත්තු ණයද? මහින්ද රාජ්ප්ක්ශ 2016 දි විතර ලිපියක් ප්‍රසිද්ද කරල තිබ්බ නේද විදේශ ණය ගැන. එව්ක්ව් විදියටනම් මහින්දගෙ රජයෙන් ඩොලර් බිලියන 35ක් ණය අරගෙන නෑ.

      Delete
    4. //ඔබ කොහෙ හරි කියල තිබ්බ මතකයි මහින්දගෙ කාලෙ ඩොල්‍රර් බිලියන 35 ක් සහ යහපාලන කාලෙ ඩොලර් බිලියන 12ක් ණය උනා කියල.//
      මම හිතන්නේ මෙය යම් කාල වකවානු දෙකක් තුළ රටේ විදේශ ණය වැඩිවීම ගැන ඔබ හෝ වෙනත් අයෙකු විසින් අහපු ප්‍රශ්නයකට දුන් පිළිතුරක්. මේ ගණන් වලට රජය විසින් සෘජුව හා වක්‍රව ගත් විදේශ ණයත්, වෙනත් ණයත් ඇතුළත්.

      //නමුත් රුපියල් වලින් බැලුවම මහින්දගෙ කාලෙ ට්‍රිලියන් 5ක් විතරයි ණය වෙලා තියෙන්නෙ. යහපාලන අවුරුදු 5 ට්‍රිලියන 7ක් ණය වෙලා නේද?//
      මෙහි ඔබ කතා කරන්නේ සමස්ත රාජ්‍ය ණය වැඩි වීම ගැන. කාල වකවානු දෙකේම රුපියල් වලින් බැලූ විට රාජ්‍ය ණය වැඩි වීම ආසන්න වශයෙන් රුපියල් ට්‍රිලියන 5.5 බැගින්. රාජ්‍ය ණය වැඩි වීම සහ ණය වීම කියන්නේ කරුණු දෙකක්. විදේශ ණය ඇති විට ණය වුනේම නැතත් ණය වල රුපියල් අගය වැඩි විය හැකියි. ඩොලරයක මිල කෘතිමව පහළින් තියා ගත් විට රුපියල් වලින් ණය අඩුවෙන් පේනවා. විණිමය අනුපාතය නිවැරදි වන විට නැවත නිවැරදි අගය පේනවා. එවිට තිබෙන ණය ප්‍රමාණයේ රුපියල් අගය ඉහළ යනවා.

      Delete
    5. //මේ ගණන් වලට රජය විසින් සෘජුව හා වක්‍රව ගත් විදේශ ණයත්, වෙනත් ණයත් ඇතුළත්//
      වෙනත් නය කියන්නෙ රජය හැර වෙන කවුරුවත් ගත්තු නයද?

      Delete
    6. ඔව්. රාජ්‍ය සංස්ථා, බැංකු, අනෙකුත් පෞද්ගලික ආයතන ආදිය ගත් ණයද ඇතුළත්. විණිමය අනුපාතය පහළින් තබා ගැනීම මගින් "carry trade" කිරීමට පෙළඹවීමක් ඇති වුනා. සෘජු ලෙසමත් එවැනි පෙලඹවීමක් කළා. ඒ නිසා, වෙනත් ආයතනද විශාල ලෙස විදේශ ණය ගත්තා. ආනයන ඉහළ ගියේ මේ විදිහට ණයට ගත් ඩොලර් නිසා. වත්මන් අර්බුදයට මේ ප්‍රතිපත්තිය බොහෝ සේ දායක වී තිබෙනවා.

      Delete
    7. ඩොලර් බිලියන 35න් කීයක් ඔය විදියෙ වෙනත් ණයද?
      යහපාලන කාලෙ ඔය වැඩේ උනෙ නැද්ද?

      Delete
    8. මෙය කාලය යොදවා ඇස්තමේන්තු කළ යුතු දෙයක්.

      Delete
    9. මේ ගැන සවිස්තරාත්මක පිලිට්ගුරක් හෝ ලිපියක් ලියන්න බැරිද?
      පරන මහින්ද රාජපක්ශ ලිපියක් හම්බ උනා.
      ඒකෙ විදියට මහින්දගෙ කාලෙ විදේශ නය ඩොල්‍ර් බිකියන 5ක් වගෙ ලබාගෙන තියෙන්නෙ. සියලුම දේ ව්‍යාපෘති සඳහා ගත් ණය.
      එයින් වෙනස්ව යහපාලනය බිලියන 26ක් ලබාගෙන තියෙනව.

      Delete
    10. මේ ගැන සවිස්තරාත්මක පිලිට්ගුරක් හෝ ලිපියක් ලියන්න බැරිද?
      පරන මහින්ද රාජපක්ශ ලිපියක් හම්බ උනා.
      ඒකෙ විදියට මහින්දගෙ කාලෙ විදේශ නය ඩොල්‍ර් බිකියන 5ක් වගෙ ලබාගෙන තියෙන්නෙ. සියලුම දේ ව්‍යාපෘති සඳහා ගත් ණය.
      එයින් වෙනස්ව යහපාලනය බිලියන 26ක් ලබාගෙන තියෙනව.
      https://www.colombotelegraph.com/index.php/mahinda-rajapaksa27-february-2018/

      Delete
    11. ඔය වගේ ලිපියකට ඒ අවස්ථාවේ යහපාලන ආණ්ඩුවට සම්බන්ධව සිටි කවුරු හෝ අයෙකු විසින් පිළිතුරු සැපයිය යුතුව තිබුණා. කිසිවකු එසේ නොකළේනම් ඒ අඩු වශයෙන් ඔවුන්ටවත් මෙයට පිළිතුරු සැපයීම වැදගත් දෙයක්ව තිබී නැති නිසයි. මේ වන විට කාලීන වැදගත්කමක් නැති, යහපාලන ආණ්ඩුවට සම්බන්ධව සිටි අයට මිස පොදුවේ මෙහි පාඨකයින්ට වැදගත් නැති දෙයක් ගැන ලියන එක මගේ ප්‍රමුඛතාවක් සේ මම සලකන්නේ නැහැ. රටේ ආර්ථිකය ගැන මහින්ද රාජපක්ෂ වැනි කෙනෙක් කියූ දෙයක් (බොහෝ විට වෙනත් අයෙකු විසින් ලියා ඔහුගේ නමින් පළ කළ දෙයක්) අපේ පාඨකයින් විසින් බරපතල සේ සලකන්නේයැයි මම හිතන්නේ නැහැ. ඔය වගේ දේවල් වලට පිළිතුරු ලියන්න ගියොත් වෙන වැඩක් නැති වෙනවා.

      Delete
    12. ඔබ කියන දේ තේරෙනව.
      නමුත් මේ බ්ලොග් ලිපියෙන් ඔබ කියන්න හදන දේ මෙයට කෙලින්ම සම්බන්දයි නේද?
      මෙය තේරුම් ගන්න අපහසු රජයෙන් ගත් විදේශ නය විතරක් මහ බැන්කු වාර්තා වල පෙන්නන නිසාද?
      වෙනත් නය වශයෙන් ගත් විදේසීය නය වලින් විනිමය අනුපාතය කොන්ට්‍රෝල් කලා වගේ වැඩක්ද වෙලාතියෙන්නෙ? සහ එම නය මහ බැන්කු වාර්තා වලින් පෙන්නුම් කරන්නෙ නැතිද? උදාහරනයක් විදියට රාජ්‍ය නය ප්‍රතිශතය කිව්වම පෞද්ගලික බැන්කු මාර්ගයෙන් ගත් නය කෞන්ට් වෙන්නෙ කොහොමද?

      Delete
    13. //මෙය තේරුම් ගන්න අපහසු රජයෙන් ගත් විදේශ නය විතරක් මහ බැන්කු වාර්තා වල පෙන්නන නිසාද?//
      මහ බැංකු වාර්තා වල විදේශ ණය සේ පෙන්වන්නේ රටේ සමස්ත ණය. විදේශ ණය ගැන කතා කිරීමේදී රජයේ ණය, රජයේ නොවන ණය සේ වර්ග කරන එකේ එතරම් තේරුමක් නැහැ. ණය ගත්තේ රජය වුනත්, නැතත් මුහුණ දෙන්න වෙන ප්‍රශ්නය එකයි. ඔබ කියන ආකාරයේ වෙන් කර විස්තර කිරීමක් තේරුමක් නැති දෙයක් වන්නේද ඒ නිසා. එවැන්නකට වැඩක් තිබෙන්නේ දේශපාලන වේදිකා වලදී පමණයි.

      //උදාහරනයක් විදියට රාජ්‍ය නය ප්‍රතිශතය කිව්වම පෞද්ගලික බැන්කු මාර්ගයෙන් ගත් නය කෞන්ට් වෙන්නෙ කොහොමද?//
      රාජ්‍ය ණය ප්‍රශ්නය වෙනම ප්‍රශ්නයක්. එහිදී ණය දේශීය ණයද විදේශීය ණයද කියන එක එතරම් වැදගත් නැහැ. දෙවර්ගයම රජයේ ණය. පෞද්ගලික බැංකු වලින් රජය ගත් ණයත් රාජ්‍ය ණය වලට ඇතුළත්. පෞද්ගලික බැංකු විදේශ ණය අරගෙන එම ණය රජයට දුන් විට රාජ්‍ය ණය හා බැංකු වල විදේශ ණය එකට සම්බන්ධ වෙනවා. මෙහිදී වෙන්නේ රජය වක්‍ර ලෙස බැංකු හරහා විදේශ ණය ගැනීමක්. එසේ නැතුව බැංකු වල ණය සෘජුවම රාජ්‍ය ණය ප්‍රතිශතයට ඇතුළත් වෙන්නේ නැහැ.

      Delete
    14. //වෙනත් නය වශයෙන් ගත් විදේසීය නය වලින් විනිමය අනුපාතය කොන්ට්‍රෝල් කලා වගේ වැඩක්ද වෙලාතියෙන්නෙ?//
      ඇත්තටම වෙන්නේ ඕක අනෙක් පැත්තට. විනිමය අනුපාතය කොන්ට්‍රෝල් කිරීම නිසා බැංකු ණය වෙන්න පෙළඹෙනවා. බැංකු වලින් පිට සමාගම් හා මිනිස්සුද ණය වෙන්න පෙළඹෙනවා.

      Delete
    15. මම ඔබගෙ පරන ලිපිත් මේ සම්බන්දව කියවන ගමන් ඉන්නෙ. ඒවත් කියවල තව ප්‍රශ්න ඇහුවට කමක් නැද්ද?

      Delete
    16. ප්‍රශ්නයක් නැහැ. අහන්න. ඔබ අසා තිබෙන සහ ඔබට පැටලුම් සහගත සේ පෙනෙන හැම ප්‍රශ්නයකටම වගේ විස්තරාත්මක පිළිතුරු ලිපියේ සඳහන් පෙර ලිපි වල සහ පහත සඳහන් ලිපි වල තිබෙනවා.

      ඩොලර් වලින් රුපියල් බැලන්ස් කිරීම
      https://economatta.blogspot.com/2018/09/blog-post_7.html

      ආණ්ඩුව ඇත්තටම ණය ගෙවනවාද?
      https://economatta.blogspot.com/2016/12/blog-post.html

      විණිමය හුවමාරු ගිවිසුම් හා ණය
      https://economatta.blogspot.com/2021/02/blog-post_16.html

      බදු වැඩි කර විදේශ ණය ගෙවිය නොහැකිද?
      https://economatta.blogspot.com/2016/11/blog-post_29.html

      ණයෙන් හුළං ගසා රුපියල උඩ යැවීම
      https://economatta.blogspot.com/2020/07/blog-post_18.html

      ශ්‍රමික ප්‍රේෂණ, සෘජු විදේශ ආයෝජන හා විදේශ ණය
      https://economatta.blogspot.com/2018/09/blog-post_11.html

      හැත්තෑ හතේ කඩා වැටීම හා විදේශ ණය උගුලේ පැටලීම
      https://economatta.blogspot.com/2018/08/blog-post_26.html

      රුපියලේ අගය වෙනස් වෙනකොට ණය ප්‍රමාණයට මොකද වෙන්නේ?
      https://economatta.blogspot.com/2018/10/blog-post_10.html

      අපි කෑ හැටි කවුරු දනී?
      https://economatta.blogspot.com/2018/09/blog-post_24.html

      යහපාලන ණය හා රාජපක්ෂ ණය
      https://economatta.blogspot.com/2019/12/blog-post_5.html

      Delete
    17. අපි කෑ හැටි කවුරු දනී කියන ලිපියෙන් ප්‍රශ්නයක්
      //එය එසේ වුණත්, 2002-2005 අතර කාලයේදී රජයේ විදේශ ණය ඩොලර් බිලියන 3 කින් පමණ ඉහළ ගියා.//
      //2006-2014 අතර අවුරුදු වලදී රටේ විදේශ ණය ඩොලර් බිලියන 31කින් පමණ ඉහළ ගියත්//
      රජය හා රට වෙනස් වචන පාවිචි කරල තියෙන්නෙ අර්තයක් ඇතුවද?

      Delete
    18. සාමාන්‍යයෙන් මම මේ වචන පාවිච්චි කරන්නේ අර්ථ දෙකකින්. රජය කියන්නේ රටේ එක් කොටසක් පමණයි. මෙහි "රටේ" නොකියා "රජයේ" කියා ලිවුවේ ඇයි කියලා දැන් මට මතක නැහැ. අදාළ කාලය සම්බන්ධව සැලකුවහොත්, "රජයේ" නොකියා "රටේ" කියා කිවුවත් ඔය ප්‍රකාශය නිවැරදියි. එම කාලය තුළ රජයේ නොවන රටේ වෙනත් විදේශ ණය වල ලොකු වෙනසක් වී නැහැ.

      Delete
  8. Econo, what do you think regarding imposing a government requirement to convert 100 per cent of export revenue into Rupee as India does, wouldnt such rule may release the pressure in the short run?

    ReplyDelete
    Replies
    1. Can u explain this in more detail.

      Delete
    2. Export proceeds, I think, will be converted to Rupees anyway within a few months. With strict regulations, dollars will flow somewhat faster and there will be a change in cashflow for, let's say, during the first two months. But, it is the same cashflow thereafter.

      Delete
  9. මේ දවස්වල උන්ඩියල් ක්‍රමය නැගලා යනවා. පිටරටට සල්ලි යවන්න ඕන අය මෙහෙ කෙනෙකුට සල්ලි දෙනවා...එහෙන් කෙනෙක් අදාල තෑනට ගෙවනවා. ඒකම අනික් පෑත්තටත් වෙනවා. අවශ්‍ය වැඩේ වෙනවා නමුත් ආර්ථිකයට වාසියක් නෑ. බ්‍රෝකර්ලාට තමයි වාසි.

    ReplyDelete
    Replies
    1. ඒක ඉතින් වෙන්නෙ විශ්වාසය බිඳ වැටුනම.ආංඩුවම තමයි ඒක බිඳගත්තෙ

      Delete
    2. මෙය විශ්වාසය බිඳ වැටීමේ ප්‍රශ්නයක්ම නෙමෙයි. මෙයට හේතුව විණිමය අනුපාතිකය කෘතීම ලෙස පාලනය කරගෙන සිටීම.

      Delete
  10. ලන්කාව එක් එක් අවුරුද්දෙ දේසීය නය කොච්චර ගත්තද, විදේශ ණය කොච්චර ගත්තද කියල ඩේට කොහෙන්ද හොයාගන්න පුලුවන්?

    ReplyDelete
    Replies
    1. මහ බැංකු වාර්තා වලින් සොයා ගත හැකියි. මුදල් අමාත්‍යාංශ වාර්තා වලත් තිබෙනවා.

      Delete
    2. මහබැන්කු වාර්තා හොයාගන්න විදිය තමයි තේරෙන්නෙ නැත්තෙ. මහබැන්කඋ වාර්තා කිව්වම එක එක ජාතියෙ ඩොක්‍යුමන්ට්ස් ගොඩක් තියෙනව නේද? කොයි ඩොක්‍යුමන්ට් එකද බලන්න ඕන.

      Delete
    3. මම අදහස් කළේ වාර්ෂික වාර්තා.

      Delete
  11. තෙමසක් ඇතුළත බැංකු පද්ධතියේ විදේශ වත්කම් හිඟය (එහි රුපියල් අගය) රුපියල් බිලියන 428.9 සිට රුපියල් බිලියන 699.4 දක්වා ඉහළ ගොස් තිබෙනවා. Is it purely due to new borrowing or rupee depreciation

    ReplyDelete
    Replies
    1. During these months, official rate stayed around Rs 200. If there's any effect of exchange rate, it is 0.5-1%. This is due mainly not to the increase in liabilities but erosion of assets at the central bank.

      Delete
  12. අද එක පාරටම වානිජ බැන්කු වල ඩොලර් එකේ ගාන මහ බැන්කුවේ ගානට සමාන උනා. ඒක උනේ කොහොමද? ඊයෙ වෙනකම් වක්කඩ කැඩුව වගේ වැඩි වෙමින් තිබ්බෙ 230ට විතර.

    ReplyDelete
    Replies
    1. මහ බැංකුව විසින් යම් ඩොලර් ප්‍රමාණයක් විකුණා නැවතත් විණිමය අනුපාතයේ පාලනය අතට අරගෙන බව පේනවා. ඩොලර් නිදහස් කරන මෙන් මහ බැංකුවට කරන ආණ්ඩුවේ බලපෑම් අවසානයේදී ක්‍රියාත්මක වී ඇති බවකුයි පෙනෙන්නේ.

      Delete
    2. දවස් කීයක් ඕක කරන්න පුළුවන් වෙයිද

      Delete
    3. ඒක එහෙමනම් ඔබ කියඖ මහ බැන්කුව ස්වාදීනව වැඩ කරන්න ලෑස්තියි කියන එක බොරුවක් නේද?

      Delete
    4. මහ බැංකුව කියන්නේ වෘත්තිකයින් විශාල පිරිසක් සිටින ආයතනයක්. මේ බොහෝ දෙනෙකු මහ බැංකු ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටිනවා. නමුත් හැම විටම ඔවුන්ගේ අදහස් එලෙසම ක්‍රියාත්මක වෙන්නේ නැහැ.

      Delete
    5. මම හිතන්නෙ මහ බැන්කුව ඩොලර් විකුනන්න බැහැ කියපු නිසා වෙන්න ඕනෙ කබයව අදිපති කරන්න හදන්නෙ.

      Delete
    6. //ඒක එහෙමනම් ඔබ කියඖ මහ බැන්කුව ස්වාදීනව වැඩ කරන්න ලෑස්තියි කියන එක බොරුවක් නේද?//
      කබාව ඔතෙන්ට ඔබන්න හදන්නේ ඒක ඇත්තක් හින්දා වෙන්න බැරිද

      Delete
    7. සමහර විට වෙන්න පුළුවන්. බාහිර නිරීක්ෂකයෙකු වන මට ආර්ථික දර්ශක මත පදනම්ව යමක් කියනවා මිසක් දේශපාලනය ක්‍රියාත්මක වන ආකාරය ගැන නිශ්චිතව යමක් කියන්න බැහැ. ඔබ ඔය සඳහන් කරන කරුණ වුවත් මට අලුත් ප්‍රවෘත්තියක්.

      Delete
  13. ලංකාවේ මේ දවස් වල තියෙන බරපතල ආර්ථික අර්බුදය ගැන ඉතාමත් හොඳින් විස්තර කරලා තියෙනවා මේ කෙටි වීඩියෝ ක්ලිප් වල;

    https://youtu.be/odMsw8J3JHU

    ඒ වගේම මේකත් මුල් විනාඩි කිහිපය බැලුවත් ඇති;

    https://youtu.be/57xPUP9HVuY

    මේ අර්බුදයට සම්පූර්ණයෙන්ම වගකිවයුතු වන්නේ අන්ත දූෂිත රාජපක්ෂ දූෂිත ප්‍රජාතන්ත්‍ර විරෝදී පවුල සහ එම කල්ලියේ දූෂිත මැර කණ්ඩායම් වල විනාශකාරී ක්‍රියා බැවින් රාජපක්ෂ කල්ලියේ පාලනය අවසන් කිරීමට ලංකාවේ හැමෝම ඒකාබද්ධව කටයුතු කළ යුතුයි.

    ReplyDelete
    Replies
    1. //රාජපක්ෂ කල්ලියේ පාලනය අවසන් කිරීමට ලංකාවේ හැමෝම ඒකාබද්ධව කටයුතු කළ යුතුයි.//
      මේ විදිහට ගියොත් ඒගොල්ලො ම ඒක කරගනී

      Delete
  14. ණය කතා ගැන ඇත්ත කතාව මේ ආචාර්ය නාලක ගොඩහේවා කරන පැහැදිලි කිරීම් වලින් තේරුම් ගන්න;

    https://m.youtube.com/watch?feature=youtu.be&v=LOCsTZKJpgI

    ReplyDelete
  15. https://twitter.com/waw1949/status/1434093052222533636?s=19

    මෙහි ඇති video එකේ පලමු විනාඩි 7 තුළ කියන විදිහට ආණ්ඩුව වාණිජ බැංකු වලින් ණය ගැනීමත් මුදල් අච්චු ගැසීමක් ලෙස ගනන් ගන්නවා. ඒක හරිද

    ReplyDelete
    Replies
    1. මෙහි 164 පිටුව කියවන්න.

      https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/publications/annual_report/archives/si/2007_11_Chapter_07.pdf

      Delete
    2. ස්තූතියි

      Delete
  16. මහ බැන්කුවෙ ඩොලර් විකුනන්නෙ නැතිව, මහබැන්කුව කියන මිලට වඩා වැඩි මිලට ඩොලර් ගැනීම තහනම් කියල බැන්කුවලට නියෝග කරන්න බැරිද? ඒ විදියට මිල පහල හෙලුව වෙන්න බැරිද? මට නම් සැකයි මේතරම් මිල පහල යවන්න තරම් විකුනන්න ඩොලර් ප්‍රමානයක් මහ බැන්කුවෙ තිබුන කියල

    ReplyDelete
    Replies
    1. ඔය වගේ නියෝග නිල වශයෙන් වගේම නොනිල ලෙසත් කළ හැකිනේ. සාමාන්‍යයෙන් වාණිජ බැංකු මහ බැංකුව කියන දෙයක් නොකර ඉන්නේ නැහැ.

      Delete
    2. ඔව්. එහෙම දෙයක් තමයි මම අදහස් කලේ.
      හැබැයි කලු සල්ලි වලින් වගේ ගේම් එක යන්නෙ.

      Delete
    3. නමුත් London forex Market එකෙත් මේ වෙනස වෙලා තියනවා කියලා තමයී ආරංචි. ඒ කියන්නේ මහා බැංකුව වාණිජ බැංකු වලට දුන්න නියෝගයට වඩා වැඩි දෙයක් වෙලා තියනවා

      Delete
  17. https://www.hirunews.lk/business/281674/%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD-%E0%B6%B4%E0%B7%92%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A-%E0%B6%9C%E0%B7%83%E0%B6%BA%E0%B7%92-%E0%B6%87%E0%B6%AF%E0%B7%84%E0%B7%92%E0%B6%BA-%E0%B6%B1%E0%B7%9C-%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92-%E0%B6%B8%E0%B7%92%E0%B6%BD-%E0%B6%8B%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%8F%E0%B7%80%E0%B6%A0%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
    මේ කියන්නෙ කලු සල්ලි විකුනල කියලද ඊයෙම?

    ReplyDelete
  18. ලංකාවේ විදේශ සංචිත වලට පුද්ගලික බැංකු වල තිබෙන විදේශ මුදල් ගිණුම් ශේෂයන් අයත්ද.
    ඊට අමතරව චැ තම් වීදියේ ඇති විදේශ මුදල් අයත්ද.

    ReplyDelete
    Replies
    1. මේවා නිල විදේශ සංචිත වලට අයත් නැහැ. එහෙත් රටේ විදේශ සංචිත වලට අයත්. ඇත්තටම නිල සංචිත හැරුණු කොට සැලකිය යුතු තරම් සංචිත ප්‍රමාණයක් ලංකාවේ නැහැ. චැතැම් වීදියේ වෙන්නේ එක අතකින් අරගෙන අනෙක් අතින් දීමක්. මේ ගනුදෙනු සාපේක්ෂව පොඩි ගනුදෙනු. ඩොලර් මිලියන් ගණන් චැතැම් වීදියේ ගනුදෙනු වෙන්නේ නැහැ. බැංකු වල වුවත් එවැනි විශාල ගනුදෙනු නෝට්ටු වලින් සිදු වෙන්නේ නැහැ. නෝට්ටු ගනුදෙනු සිල්ලර ගනුදෙනු.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: