වෙබ් ලිපිනය:

Tuesday, September 14, 2021

ගෙදර යන ගමන් ලියූ අවසන් ලිපිය


ශ්‍රී ලංකා මහ බැංකුවේ පහළොස්වන අධිපති සේ කටයුතු කළ මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් අද සිය ධුරයෙන් ඉවත් වෙනවා. ඔහු කියන විදිහට තමන්ට සිදු වූ සිත් රිදීම් මේ තීරණයට හේතු වී තිබෙනවා. ඒ මොනවාද කියා කියා නැහැ.

මහාචාර්ය ලක්ෂ්මන්ගේ ප්‍රකාශය අනුව මහ බැංකු අධිපති සේ ඔහු කටයුතු කර තිබෙන්නේ ආර්ථික විද්‍යාඥයින්ගෙන් බහුතරයක් විසින් නොපිළිගන්නා, සුළුතර ආර්ථික විද්‍යාඥයින් පිරිසක් විසින් පමණක් පිළිගන්නා ආර්ථික විද්‍යාවකට අනුවයි. මහ බැංකුවේ සිටින ආර්ථික විද්‍යාඥයින් බහුතරයක්ද ඔහුගේ ආර්ථික විද්‍යාව පිළිගෙන නැහැ.

මහාචාර්ය ලක්ෂ්මන්ගේ අධිපති ධුර කාලය තුළ අපට පෙනෙන්නට තිබුණේ ඉවක් බවක් නැතිව සංචිත විකුණමින් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම, රජය වෙනුවෙන් මහ බැංකුව ලෝකයට ණය වීම, ආනයන පාලනය ආදී දේවලුයි. ඔහු ඒ දේවල් කළේ ඔහු විශ්වාස කළ ආර්ථික විද්‍යාව අනුව වෙන්න ඇති. 

අවසාන වශයෙන් මහාචාර්ය ලක්ෂ්මන් ධුරයෙන් ඉවත් වන්නේ ඉතා කෙටි කාලයක් තුළ මහ බැංකුවක් බංකොළොත් කිරීමෙන් පසුවයි. තමන්ගේ මාස විස්සක කෙටි ධුර කාලය තුළ මහ බැංකුව සතු විදේශ වත්කම් එහි විදේශ බැරකම් පියවීමටවත් ප්‍රමාණවත් නොමැති තැනකට මහ බැංකුව තල්ලු කිරීමට මේ අධිපතිවරයා සමත්ව තිබෙනවා. මහ බැංකුවේ අධිපති ධුරයෙන් ඉවත් වීමෙන් පසු ඔහුගේ සිත් තැවුල් පහව යනු ඇතත් රටේ මිනිස්සුන්ට සිත් තැවුල් දැනෙන්න පටන් ගනු ඇත්තේ ඔහු අනුගමනය කළ සුළුතර ආර්ථික විද්‍යා න්‍යායයන්ගේ ප්‍රතිඵල තැපෑලෙන් එන කොටයි. 

මහාචාර්ය ලක්ෂ්මන් අධිපති ධුරය අත හැරීමට මසකට පමණ පෙර සිට වාණිජ බැංකු වල ඩොලරයක මිල මහ බැංකුවේ පාලනයෙන් ගිලිහී නිදහසේ පාවෙන්න පටන් ගත්තා. එහෙත්, පසුගිය සතියේ හිටිවනම වාණිජ බැංකු වල ඩොලරයක මිල මහ බැංකුවේ මිලටම පහත වැටුණා. සිදු වුනේ කුමක්ද කියා මේ වෙද්දී අනාවරණය වී තිබෙනවා.

මහ බැංකුවේ සංචිත අඩියටම වගේ හිඳී තියෙද්දීත් ඩොලරයක මිල රුපියල් 200 ආසන්නයේ තියා ගැනීම සඳහා අගෝස්තු මාසය තුළ පමණක් මහ බැංකුව විසින් ශුද්ධ වශයෙන් ඩොලර් මිලියන 175ක පමණ සංචිත විකුණා තිබෙනවා. මහ බැංකුව ශුද්ධ ණයකරුවෙකු කරමින් මෙපමණ සංචිත විකිණීමෙන් පසුවද වාණිජ බැංකු වල ඩොලර් ඉල්ලුම හා සැපයුම සමතුලිත වී තිබෙන්නේ රුපියල් 225 පමණ මට්ටමකයි. ඒ, ආනයන පාලන හරහා ඩොලර් ඉල්ලුම සීමා කිරීමෙන්ද පසුවයි.

සංචිත විකිණීමෙන්ද ඩොලරයේ මිල පාලනය කර ගත නොහැකි වීමෙන් පසුව මහ බැංකු අධිපතිවරයා විසින් ගෙදර යන ගමන් හෝ ගෙදර යන්නට පෙර අවසන් කටයුත්තක් ලෙස සියලු වාණිජ බැංකු වල හා ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරීන්ට ලිපියක් ලියමින් ඩොලරයේ මිල මහ බැංකුවට හා රජයට අවශ්‍ය මට්ටමේ තියා ගන්නා ලෙස අවවාද කර තිබෙනවා. එසේ නොකළහොත් පාවිච්චි කළ හැකි මහ බැංකුව සතු ආයුධ ගැනද මේ ලිපියේ සඳහන්ව ඇතත් මහ බැංකුව විසින් මේ වගේ ක්‍රියා මාර්ගයක් ගන්නේ තමන්ගේ ආයුධ ගබඩාවේ ආයුධ සියල්ල අවසන් වීමෙන් පසුව වෙන කළ හැකි දෙයක් නොමැති වූ විට බව රහසක් නෙමෙයි.

මහ බැංකු අධිපතිගේ "නියෝගය" අනුව වානිජ බැංකු විසින් ඩොලරයක විකිණුම් මිල රුපියල් 203 මට්ටමේ පවත්වා ගත යුතුයි. එහෙත්, මේ මිලට විකුණන්නනම් ඊට අඩුවෙන් ඩොලර් මිල දී ගත යුතු නිසා අවසන් ප්‍රතිඵලය වාණිජ බැංකු වල විණිමය අනුපාතයද නමට පමණක් විණිමය අනුපාතයක් වීමයි.

අලුතෙන් ධුරය භාර ගන්නා අධිපතිවරයාද කලින් ධුර කාලයේදී කළාක් මෙන් විණිමය අනුපාතය තිබෙන මට්ටමේම තියා ගන්නට ගැසිය හැකි හැම දහං ගැටයක්ම ගහන බව ස්ථිරයි.

28 comments:

  1. මුන්ගෙ ජීවිත වල එකම අරමුණ ඩොලරය පහතින් තබා ගැනීමද? නිකන් අර මිනී මරල හරි බුදු දහම ආරක්ශා කරනව වගෙ.

    ReplyDelete
  2. //මහ බැංකුව ශුද්ධ ණයකරුවෙකු කරමින් මෙපමණ සංචිත විකිණීමෙන් පසුවද වාණිජ බැංකු වල ඩොලර් ඉල්ලුම හා සැපයුම සමතුලිත වී තිබෙන්නේ රුපියල් 225 පමණ මට්ටමකයි. //
    දැන් බැලුව කොමර්ශල් රේට් එක. ඒකෙ පෙන්නන්නෙ 203.

    ReplyDelete
  3. වැඩිම කොටසක් රටක ඉන්නා දන්නෙ නැත 'නය' ආර්ථිකයේ
    දන්න වියතුන් පිස්සු කෙළියම රට හිටින්නේ නරක අඩියේ
    බෙහෙතකටවත් ගන්නෙ නැත පැණි බලු xකේ බැඳ තියෙන මීයේ
    ඒත් ඒ වගෙ කියත් වියතුන්; xජ්ජ නැති අය හිඳිති බලයේ

    ReplyDelete
  4. ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ ආශීර්වාදයෙන් බැසිල් ඇමතිතුමා දැන් අපේ ආර්ථිකය මෙහෙයවන්න පැමිණ ඇත්තේ. ඔහුව සහය දීමට අජිත් නිවාඩ් කබ්රාල් මැතිතුමා වගේ දක්ෂයන් සිටිනවා.

    යහපාලන නඩය කඩා දමපු ආර්ථිකය ගොඩ නැගීම ඒ උදවිය සාර්ථකව කරන බව පැහැදිලියි.

    කොරෝනා නිසා ඇමරිකාවේ ලක්ෂ ගානක් මැරුණා. ඒත් ලංකාවේ මේකට ඉතා සාර්ථකව මුණ දෙනවා.

    රට වහලා තිබ්බත් හැමෝටම අවශ්‍ය පහසුකම් දුන්නා. ඇමරිකාවේ වගේ මිනිස්සු පාරවල් ගානේ මැරුණේ නැහැ ලංකාවේ.

    ඇමරිකාව ඇෆ්ගනිස්තානේ ගිහිං ඉල්ලං කාලා අවා. මහින්ද මැතිතුමා, ගෝඨාභය මැතිතුමා, බැසිල් ඇමතිතුමා එහෙම නෙමෙයි, සාර්ථකව පටන් ගත්තු කාර්යය අවසන් කරනවා. උතුරේ යුද්දේ උනත් නිවැරදිව අවසන් කරා දිනලා.

    ඇමරිකාවේ පුරවැසිකම අරං ඉන්න ඉකොනෝමැට්ටා දැන් හිතේ ආමරුවට මේ බ්ලොග් එකේ බොරු දානවා. මහා බැංකුව කඩන් වැටෙනවා, රට ආර්ථිකව කඩන් වැටෙනවා කියලා. ඊට කලින් ඔයාගේ රට වෙන ඇමරිකාවේ ආර්ථිකය ගැන බලන්නකෝ. කොච්චර චීනට නයද කියලා.

    -රංග තේනුවර-

    ReplyDelete
    Replies
    1. කොච්චර ණයද?

      Delete
    2. ඔය රංග තේනුවර කියලා කොමෙන්ට් දාන්නේ මියුරු - miyuru4u කියන අයිඩී එකෙන් ඉන්න කෙනා.

      miyuru4u

      Delete
  5. ඉකොනො, ආර්ථිකය වගේම දේශපාලන බලය පැත්තෙන් මේ ගැන බලද්දී මේ වනවිට ලංකාවේ පවතින තත්ත්වය මත ආණ්ඩුවට තවදුරටත් කිසිසේත්ම රට පාලනය කළ නොහැකි නිසා වහාම ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ ජනාධිපති ඉල්ලා අස්වී ජනපතිවරණයක් සහ මහ මැතිවරණයක් කැඳවන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් පාර්ලිමේන්තුවට කරන ලද යෝජනාවට ජනතා විමුක්ති පෙරමුණ දැඩි විවේචනයක් එල්ල කරනවා ඔබ දකින්න ඇති.

    ඒ අනුව ජවිපෙ ජාතික ජන බලවේගයේ අදහස් අනුව මෙවන් අවස්ථාවක මැතිවරණ ඉල්ලා සිටින අයගේ මොළම පරීක්‍ෂා කල යුතු බව කී පක්‍ෂ නායක අනුර දිසානායක මේ අවස්ථාවේ කල යුත්තේ විනාශය අවම කර ගැනීම සදහා ආණ්ඩුවට බලපෑම් කල යුතු බවත් ඒ වෙනුවෙන් දැඩි ලෙස කරන බලපෑම් වැඩි කල යුතු බවකුයි.

    පැලවත්ත ජවිපෙ ජාතික ජන බලවේගයේ පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු පැවසුවේ ‘මේ වගේ වෙලාවක මැතිවරණයක් ඉල්ලන කෙනාගේ මොළය පරීක්ෂා කරගන්න ඕනෑ. ඔය කණ්ඩායම් දෙකම හැමවෙලාවෙම කළේ පවතින පාලනය යම් අසාර්ථකත්වයකට පත්වීමේදී මෝහනයට පත්වීමයි. උද්දාමයට පත්වීමයි. රට හෝ ආර්ථිකය හෝ ජනතාව ගැන හැඟීමකින් කරන ප්‍රකාශ නෙවෙයි ඔය. පසුගිය මහ මැතිවරණය පැවැත්වීම කල් දැම්මේ දවසකට සීයක් විතර ආසාදිතයන් වාර්තා වෙද්දීයි. දවසකට දෙතුන් දෙනෙක් මියයෑම් වාර්තා වෙද්දී. අද දහස් ගණනක් ආසාදිතයන් වාර්තා වෙන, සිය ගණනක් මියයන තත්ත්වයක් යටතේ ඡන්දයක් ඉල්ලන අයගේ මොළය පරීක්ෂා කරන්න ඕනෑ නැද්ද? මේ වෙලාවේ අපි ආණ්ඩුවට බලපෑම් කරන්න ඕනෑ විනාශය අවම කර ගන්න. ඒ වෙනුවෙන් දැඩි ලෙස තර්ජනය කරමින් කරන බලපෑම් වැඩි කරන්න ඕනෑ. එහෙම නොකර ලාභ ලෙස බලය ලබාගන්න හිතන අයගේ අදහස් ගැන අපිට වෙන කියන්න දෙයක් නැහැ’ කියලා. මේ ගැන දේශපාලන හා ආර්ථික, සාමාජීය සහ සෞඛ්‍ය යන විවිධ ආකාරයෙන් බලමින් මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද? මම හිතන්නේ මේක ආණ්ඩුව පරාජය කිරීමට හොඳම කාලයක් බව, නැත්නම් ඉදිරියේ ආර්ථිකය තවත් කඩා බිඳ වැටීමක් සිදුවෙනවා නම් එතෙක් මැතිවරණ කල් දාන එක හොඳයි නේද?

    ReplyDelete
    Replies
    1. මෙය අනුර කුමාරගේ හා පොදුවේ ජනතා විමුක්ති පෙරමුණේ අගය කළ යුතු, පරිණත හැසිරීමක්. මේ ප්‍රකාශය මේ වෙලාවේ කරන්නේ එහි දේශපාලන වාසියක් තිබීම නිසා විය හැකි වුවත් මෙය අගය කළ යුතු හැසිරීමක්ය යන්න වෙනස් වන්නේ නැහැ. 2018දී මහින්දව අගමැති කළ අවස්ථාවේදීද ජවිපෙ මෙවැනිම ස්ථාවරයක සිටියා. අතීත භාවිතාව කුමක් වුවත් කලක සිට (පෙසපෙ ඉවත් වීමෙන් පසුව) ජවිපෙ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සෘජුව පෙනී සිටිනවා. ඇතැම් විට ප්‍රධාන පක්ෂ දෙකටම වඩා වැඩියෙන්. එයට සාපේක්ෂව සජිත් ප්‍රේමදාසගේ ප්‍රකාශය ඉතාම අපරිණත එකක්. මේ වෙලාවේ මැතිවරණයක් අවශ්‍ය නොවන්නේ වසංගතයක් තිබෙන නිසා නෙමෙයි. ඒ නැතත් මේ වෙලාවේ ප්‍රධාන මැතිවරණයක් තියන්න කිසිදු අවශ්‍යතාවයක් නැහැ. මේ ආණ්ඩුවට ලැබී තිබෙන ජනවරම තවත් කාලයකට වලංගුයි. ආණ්ඩුව යන එන මං නැතිව හතර අතේ ගැහීමක් කරනවා තමයි. නමුත් වෙන කාට හරි මීට වඩා ගොඩක් වෙනස් හා වඩා හොඳ වැඩපිළිවෙලක් තිබෙනවද? ඒ වගේම ආණ්ඩුව මේ වෙද්දී හැමෝටම වගේ එපා වෙලා බව පැහැදිලි කරුණක් වුවත් මගේ තක්සේරුව අනුව දැන් ඡන්දයක් තිබ්බත් දිනන්නේ මේ ආණ්ඩුවයි. (මේවා අනාවැකිනම් නෙමෙයි- මම අනාවැකිකරුවෙක් නෙමෙයි!)

      Delete
  6. Could you please explain or point to your previous article on income and expenditure of a central bank. I am very much interested in "Net foreign Assets".

    ReplyDelete
    Replies
    1. Thank you for this question. However, this requires a descriptive answer which deserves the space of a separate post. I will add this to my "to-do" list.

      Delete
  7. ඔබ හිතන්නේ හිටපු අධිපති වරයා සමයේ මහා බැංකුව ස්වාධීනව ක්‍රියාත්මක උනා කියලද?
    අලුත් අධිපතිවරයාගෙ ප්‍රධානම KPI එක ඩොලර් එක 200 තියාගන්න එක නම් ඔහුත් fail වෙන එක කාලය පිළිබඳ ප්‍රශ්නයක් විතරයි නේද

    ReplyDelete
    Replies
    1. ඔබ දන්නවා ඇතැයි මා සිතන පරිදි, මහ බැංකුවේ අධිපතිවරයා ඇතුළු මුදල් මණ්ඩලය පත් කරන්නේ රටේ දේශපාලනය අධිකාරය විසින්. ඔවුන්ට රටේ දේශපාලනයෙන් ස්වාධීන විය හැකි සීමාවක් තිබෙනවා. ඊට පහළින් සිටින නියෝජ්‍ය අධිපති දක්වා නිලධාරීන් කාලයක් තිස්සේ මහ බැංකුවේ සේවය කර පහළ සිට උසස් වී ආ නිලධාරීන්. ඔවුන්ටද යම් දේශපාලනයක් තිබිය හැකි වුවත් ඔවුන් වැඩි දෙනෙක් යම් ස්වාධීනත්වයක් තිබෙන, තමන්ගේ කීර්ති නාමය ගැනද සිතන අයයි. මහ බැංකුවේ තීරණ කියන්නේ මේ බොහෝ දෙනෙකුගේ අදහස් මිශ්‍ර වී එළියට එන පොදු තීරණ. බොහෝ විට පහළින් ඉහළට එන අදහස් ස්වාධීන අදහස්. එම අදහස් යම් අවස්ථාවක, අවසානයේදී ක්‍රියාත්මක වන, ඉහළ තට්ටුවේ දේශපාලනික අවශ්‍යතා සමග ගැටෙන්න පුළුවන්. මෙහිදී නිලධාරීන් ස්ථිර හා දැඩි මතයක සිටිනවානම් මුදල් මණ්ඩලයට එම මතයට නැමෙන්න වෙනවා. අනෙක් අතට නිලධාරීන් අතර එවැනි එකඟතාවක් නැති විට අධිපතිවරයාට නිලධාරීන් එහා මෙහා කර තමන්ට අවශ්‍ය අයව අවශ්‍ය තැන් වල තියාගෙන අවශ්‍ය දේ කළ හැකියි. අධිපතිවරයාගේ ප්‍රකාශයෙන් පෙනෙන්නේ අවසන් කාලයේදී ඔහුට තමන්ට අවශ්‍ය පරිදි මහ බැංකුව මෙහෙයවීමට බැරි තරමට නිලධාරීන්ගේ ස්වාධීන මතය ප්‍රබල වූ බවයි. මෙය මහ බැංකුව විසින් ගත් ඇතැම් ප්‍රතිපත්ති තීරණ තුළද දැකිය හැකි වූ දෙයක්. කබ්රාල්ට සාපේක්ෂව ලක්ෂ්මන් එතරම් නායකත්ව ලක්ෂණ තිබුණු අයෙක්යැයි මා හිතන්නේ නැහැ. ඇතැම් විට ලක්ෂ්මන්ට වඩා හොඳින් කබ්රාල්ට මහ බැංකුවේ නිලධාරීන් තමන්ට අවශ්‍ය පරිදි මෙහෙයවීමට හැකි විය හැකියි. කබ්රාල් ඇත්තටම දක්ෂ, මහන්සි වී වැඩ කරන හා අධිෂ්ඨානශීලී පුද්ගලයෙක්. ඔහුගේ හැකියාවන් මම අවතක්සේරු කරන්නේ නැහැ. විණිමය අනුපාතය පහළින් තියාගැනීම සඳහා කොහෙන් හෝ ඩොලර් හොයාගන්න ඔහු සෑහෙන ගේමක් දෙයි. ඔහු වැඩි භාර ගැනීමෙන් පසු කරන්නට හදන පළමු දෙය සාධනීය හා මේ වෙලාවේ කළ යුතුම දෙයක්. මහ බැංකු අධිපති ලෙස විශ්වාසනීය ඉදිරි සාර්ව ආර්ථික වැඩ පිළිවෙලක් හදා ඉදිරිපත් කිරීම මේ වෙලාවේ රටේ ස්ථාවරත්වය ඇති කිරීම සඳහා කළ යුතු පළමු හා වැදගත්ම දෙයක්. එහෙත් ප්‍රතිඵලය තීරණය වන්නේ වැඩ පිළිවෙළ කුමක්ද යන්න හා එය ක්‍රියාත්මක කිරීමේ ශක්‍යතාවය මතයි.

      Delete
    2. මම හිතන් හිටියේ මහ බැංකුව ස්වාධීන නොවීම යි ප්‍රශ්නය කියලා.
      //විණිමය අනුපාතය පහළින් තියාගැනීම සඳහා කොහෙන් හෝ ඩොලර් හොයාගන්න ඔහු සෑහෙන ගේමක් දෙයි//
      මහා බැංකු අධිපතිවරයා මාරු උනා කියන එක
      ඩොලර් ලබා දෙන්න තරම් ප්‍රබල හේතුවක් වෙයි ද

      Delete
    3. 2006දී ලංකාව පළමු වරට ස්වෛරිත්ව බැඳුම්කරයක් නිකුත් කිරීම ඒ වෙලාවේ හැටියට යම් ආකාරයක "විප්ලවීය" වැඩක්. අද හිරවීමට හේතුවද ස්වෛරිත්ව බැඳුම්කරම වීම වෙනම කරුණක්. එය අමතක කළොත්, මේ වැඩෙන් එක වර ඩොලර් මිලියන 500ක් ලැබුණා. එය විශාල මුදලක්. සම්ප්‍රදායික රාමුව තුළ හිතුවානම් මේ වගේ විසඳුමක් කාටවත් පෙනෙන්නේ නැහැ. ඒ වගේම ග්‍රීක බැඳුම්කර ආයෝජනය, හෙජිං ගනුදෙනුව ආදිය ගැන හැමෝම දන්නවනේ. මේවායින් පාඩු වුන එක ඇත්ත. නමුත්, වෙනත් අයෙකු මහ බැංකු අධිපති සේ සිටියානම් බොහෝ විට මෙවැනි දේවල් සිදුවිය නොහැකිව තිබුණා. කබ්රාල් වැනි සම්ප්‍රදායික ලෙස නොසිතන, හිතන දේ කරන්නට නොපැකිලෙන, අවශ්‍ය දෙය කෙසේ හෝ කර ගන්නා තුරු නොපසුබසින පුද්ගලයෙකු මහ බැංකු අධිපති වූ විට අපට දැන් හිතා ගත නොහැකි දේවල් වෙන්න පුළුවන්.

      Delete
  8. මම හිතන්නේ එහෙම අවුලක් නෑ නේද ඉකොනොමැට්ටා? ඒ වගේම මේ වීඩියෝ එකේ පැහැදිලි කරන කාරණා ගැන ඉකොනොමැට්ටා හිතන්නේ මොකද?

    https://m.facebook.com/story.php?story_fbid=843162576255292&id=351989292039292

    ලංකාවේ මේ දවස් වල දේශීයව නිශ්පාදනය කරන උසස් තත්ත්වයේ ටයිල් පැලට් එකක් රොසෙල්, ලංකා ටයිල්ස් වගේ ඒවා කම්හලෙන් එළියට දෙන්නේ රුපියල් 33,000 ක් විතර ගානකට. ඒත් ලංකාවේ විශාල වශයෙන් ජනප්‍රිය සාමාන්‍යයෙන් හොඳ තත්ත්වයේ ආනයනික චීන ටයිල් පැලට් එකක් පහුගිය කාලේ රුපියල් හත් අට දාහකට විතර ගේන්න පුළුවන් වුණා. දැන් බ්ලැක් මාකට් එකේ රුපියල් 205 - 210 ඩොලර් රේට් එකක් තියෙනවා. මේක රුපියල් 240 ක් විතර වුණත් ඒ ටයිල් පැලට් එකම රුපියල් 10,000 ක් විතර වෙද්දි ගේන්න පුළුවන්. ටැක්ස් එක්ක මේක රුපියල් 16,000 ක් විතර වෙනවා වියදම. ඊට පස්සෙ ඒක පාරිභෝගිකයාට රුපියල් 30,000 - 32,000 කට අතර ගානකට දීලා සෑහෙන දුරට හොඳින් ඉහළ ලාභයක් ගන්න පුළුවන් වුණා. දේශීය ටයිල් පැලට් එකක් රුපියල් 36,000 කට විකුණල උනත් සුළු ලාභයක් තියෙන්නේ පැලට් එකකින්.

    විශේෂයෙන්ම මේ නූතන දූෂිත රාජපක්ෂ ආණ්ඩුව ආනයනය තහනම් කර තියෙන්නේ ජාතිවාදී වර්ගවාදී මුග්ධ පදනමකින් බවට දැඩි මතයක් ගොඩනැගී තියෙනවා. මොකද ලංකාවේ පිටරටවලින් ආනයනය කරන දේවල් ආශ්‍රිත ව්‍යාපාර වලින් 90%ක් විතර කරන්නෙ ලංකාවේ මුස්ලිම්වරු සහ දමිළ ව්‍යාපාරික ප්‍රජාව. පිටකොටුවේ පරිප්පු, සීනි, ටින් මාළු, තිරිඟු පිටි වල සිට ටයිල්, හාඩ්වෙයාර් උපාංග ආදී මෙකී නොකී බොහෝ ආනයන ආශ්‍රිත ව්‍යාපාර ඉන්දියාවේ, චීනයේ යන ප්‍රධාන ආනයන මූලාශ්‍ර මෙන්ම සිංගප්පූරුව, ඉන්දුනීසියාව, මැලේසියාව, තායිලන්තය ආදී බොහෝ රටවල් වලින් ආනයනය කරන්නේ ඔවුන්. පසුගිය දවස්වල රාජපක්ෂ හොර පවුල සමග එක්ව අතිවිශාල සීනි බදු වංචාව කළේත් පිරමීඩ් විල්මා කියන ආනයන සමාගම් ජාලය අයිති මුස්ලිම් ව්‍යාපාරිකයෙක්.

    කෙසේ නමුත් රාජපක්ෂ කල්ලියේ මූලික හිතවතුන් වන උග්‍ර සිංහල ජාතිවාදී ජාවාරම්කරුවන් ලෙස සිතිය හැකි නිශ්ශංක සේනාධිපති, ධම්මික පෙරේරා, ඉෂාන් නානායක්කාර, නිමල් පෙරේරා, මෙරිල් ජේ පෙරේරා ආදී බොහෝ දෙනෙක් විදේශ රටවලට අපනයන සහ නිෂ්පාදන කර්මාන්ත වලට සම්බන්ධ අයයි. දිලිත් ජයවීර පමණක් George Stewart එක හරහා වෛද්‍ය උපකරණ ගෙන්වන නමුත් ඔහුට මේවායින් බලපෑම් අඩුයි. රාජපක්ෂ පවුලේ හිතවත් මුස්ලිම් ව්‍යාපාරිකයන් වන බ්‍රැන්ඩික්ස් හිමිකරු අශ්රොෆ් ඕමාර් සහ MAS ආයතන හිමිකරුවන් ආදී අයත් අපනයන ආදායම් වලින් ධනවතුන් වූ අය. මේ නිසා මේ ඩොලරය පාලනය කරන එකෙන් කෙටිකාලීනව අපනයන ආදායම් අඩු වුණත් දිගුකාලීනව අපනයනකරුවන්ගේ ආදායම් වැඩි වෙන නිසා ඔවුන්ගේ බලපෑම් මත සහ ජාතිවාදී වර්ගවාදී දේශපාලන කූට කුමන්ත්‍රණයක් ලෙස මේ ජඩ ප්‍රතිපත්ති අනුගමනය කරන බව ඉතාමත් පැහැදිලියි මට නම්. මේ ගැන ඔබේ නිරීක්ෂණය සහ අදහස් මොනවද ඉකොනොමැට්ටා?

    ReplyDelete
    Replies
    1. MAS හිමිකරුවන් වන ඉන්දීය සම්භවයක් ඇති ගුජරාට ජාතික අය දමිළ ජනයා අයත් වන කුලකයකට ඇතුලත් විය යුතු වුවත් ඔවුන් මුරලිදරන් ව්‍යාපාරික පවුල මෙන්ම රාජපක්ෂ කල්ලියේ හිතවතුන් වීමත්, ජෝන් කීල්ස් සමූහය වැනි විශාල ව්‍යාපාර හිමි කෙන් බාලේන්ද්‍ර පවුල වැනි උතුරේ දමිළ පවුල් රාජපක්ෂ කල්ලිය සමග සමීප වීම පුදුමයක්, මේ ගැන ඔබට අදහසක් තියෙනවා ද?

      Delete
    2. ඔබෙන් ප්‍රශ්නයක් අහන්නද? මම මෙය අහන්නේ ලංකාවේ ටයිල් වෙළඳපොළේ මෑතකාලීන ප්‍රවණතා ගැන මම එතරම් නොදන්නා නිසා සහ ඔබ දන්නා බව පෙනෙන නිසා. ඔබ කියන විදිහට බදුද සමඟ චීන ටයිල් එකක් වෙන්නේ රුපියල් 16,000ක් පමණ. ලංකාවේ ටයිල් එකක් හදන්න රුපියල් 30,000ක් පමණවත් යනවා. දැන් ලංකාවේ ටයිල් රුපියල් 36,000ක පමණ මිලකට විකුණන්න හැකි වී තිබෙන්නේ චීන ටයිල් රුපියල් 16,000ට ගෙනාවත් 32,000ක පමණ මිලකට විකුණන නිසානේ. ඔය මිල රුපියල් 20,000 පමණ මට්ටමට අඩු කළොත් ලංකාවේ ටයිල් බොහෝ විට නොවිකිණෙන්න පුළුවන්. ආනයනික ටයිල් වැඩියෙන් විකිණෙන්න පුළුවන්. ආනයනකරුවන් එසේ නොකරන්නේ ඇයි? කවර හෝ හේතුවක් නිසා ආනයනකරුවන් එසේ නොකර විශාල ලාබයක් ලබා ගන්නවානම් වෙනත් අය ඔය වැඩේට අත නොගහන්නේ ඇයි? මම අහන්නේ දැන් තත්ත්වය ගැන නෙමෙයි. දැන් තත්ත්වය වෙනස් බව මම දන්නවා. කෝවිඩ් වලට පෙර තත්ත්වය ගැනයි මම අහන්නේ.

      Delete
    3. පර්මිට් දෙන්නෙ නැති නිසා නේද? ආනයනය තහනම් නැති උනත් පර්මිට් ගන්න ඕන මම හිතන්නෙ.

      Delete
    4. පර්මිට් ක්‍රමයක් යටතේනම් මේ වගේ තත්ත්වයක් ඇති වීම සාමාන්‍ය දෙයක්. මම හිතාගෙන හිටියේ ලංකාවේ ආනයන පර්මිට් ක්‍රමය භාවිතයෙන් ඉවත්ව තිබුණා කියලා.

      Delete
  9. මහා බැංකු අධිපතිවරයා මාරු කරලා විසදන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි නේ ලංකාවේ තියෙන්නේ. අධිපති වරුන් දෙන්නා ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති වල ලොකු වෙනසක් වෙයි කියලා හිතන්න බැහැනේ. උදාහරණයක් විදිහට කබ්රාල් කියන්නේ IMF යාමට ඉතාම තදින් විරුද්ධ මත ප්‍රකාශ කරපු කෙනෙක්.
    අනික ඔබ පෙර ලිපියක comment කරලා තිබුණා කබ්රාල් දැම්මොත් ප්‍රශ්නේ ඉක්මනින්ම "විසදෙයි" කියලා. මේ කරන්නේ හිසරදය ට කොට්ට මාරු කිරිල්ලක් නෙමෙයි ද?

    ReplyDelete
    Replies
    1. අපි බලමු වෙන්නේ කුමක්ද කියා. ඔහු ඔහුගේ ඉදිරි සාර්ව ආර්ථික වැඩ පිළිවෙළ සකස් කර ප්‍රකාශයට පත් කිරීමට සූදානම්ව සිටින බව කියා තිබෙනවා. අපි බලමු ඔහුගේ වැඩ පිළිවෙළ කුමක්ද කියා.

      Delete
  10. Beginning of the pandemic govt banned importing turmeric. Many started growing it. Now two or three reaping times have passed.Apparently now we have cultivated the local demand. But major spice brands have placed a too much high price for their turmeric . Farmers as well as other middlemen also have followed the suit by limiting their supply.
    In here unlike your chinese and local tile example, both the quality of imported and local turmeric is nearly same. Could a
    Govt's intervention with a importation of only a agreed percentage of local demand reverse the situation?
    Can't this model apply to other areas. I mean not letting to import
    without a limit, But only to make a ground that save everyone's interests.

    ReplyDelete
    Replies
    1. Interesting case study!
      First, as we know, before imports were restricted, prices were low, and the local supply was insufficient to meet the local demand. That is because the local cost of production was higher than the price of imported turmeric. That does not mean that the local cost of production was uniformly higher- the most efficient producers produced at a low cost even then. Just the less efficient producers did not have a market since their cost of production was higher than the market price. At the same time, the efficient local producers did not have the capacity to meet the local demand, they just supplied a part of the demand. The equilibrium price was determined by the price of imports and most local producers who produced at that time managed to enjoy a higher margin per unit than the importers. That was a natural equilibrium. The most efficient producers who could compete with imports were producing and others did not.
      Once the imports were banned, less efficient producers started to produce. Even though their cost of production is high the import ban protects them. The supply has increased until it meets the local demand. When the local supply meets the local demand, the market price is equal to the marginal cost of the least efficient local producer. Remember that the market price is determined by the marginal cost, not by the average cost. Everyone else who are more efficient than the least efficient producer makes a profit and the original producers who were efficient even when there were imports are enjoying a significantly higher margin. This is a natural equilibrium under the import restrictions and other conditions- Producers and middlemen are not making an unfair profit. It is the cost of inefficiency introduced by the import ban. This is the problem of protectionism. The moment the import ban would be lifted, local production will drop back to where it was.
      What will happen if the government allows to import a limited quantity? Now, a part of the local demand is met by these imports and the residual demand must be met by the local producers. Local production will drop by an equal amount and the prices will drop by some amount. The most inefficient producers will be out of business and the market price will be equal to the cost of production of the least efficient producer who still produces which is less than the previous price but higher than the import price. As a result, the importers will enjoy a higher margin. Each time when the percentage of imports allowed will increased prices will drop by some amount and the local production also will drop by some amount. Prices will not be back to where they were until imports will be allowed without any restrictions.
      What if the dollar will increase by a significant percentage? The cost of imported turmeric will increase by an equal amount and as a result the market price (dictated by the import price) increases. Many producers who were not producing earlier will start to produce now. They may not produce the full local demand. However, this will be a sustainable natural equilibrium.

      Delete
  11. ඔබ කබ්‍රාල් සාර්තක වෙන්න ඉඩ තියෙනව කියන්නෙ ඔහුගෙ අරමුන වෙන රුපියල පහලින් තබා ගැනීමට ඩොලර් ඔහු කොහොම හරි හොයාගනීවි කියන එක ගැනද? නැතිනම් සමස්ත ආර්තිකය හොඳ අතට හැරෙයි කියන් එක ගැනද?
    එක වුනොත් දෙක වෙන්නෙ නැහැ නේද කීයටවත්?

    ReplyDelete
    Replies
    1. //ඔබ කබ්‍රාල් සාර්තක වෙන්න ඉඩ තියෙනව කියන්නෙ ඔහුගෙ අරමුන වෙන රුපියල පහලින් තබා ගැනීමට ඩොලර් ඔහු කොහොම හරි හොයාගනීවි කියන එක ගැනද?//
      ඔව්. හැබැයි මේක වුනත් පහසු වැඩක් නෙමෙයි.

      //නැතිනම් සමස්ත ආර්තිකය හොඳ අතට හැරෙයි කියන් එක ගැනද?//
      හොඳ කියන එක සාපේක්ෂ දෙයක්නේ. ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් කිසිවක් නොකළත් ආර්ථිකයක් ස්වභාවිකවම නිවැරදි වෙනවා. ආර්ථිකය කඩා වැටුනොත් එය වෙන්නෙත් එම ස්වභාවික යාන්ත්‍රනයේම කොටසක් ලෙසයි. සැරව බුබුලක් පුපුරා යාමෙන් පසුව තුවාලය සුව වී ප්‍රශ්නය විසඳෙනවා වගේ.

      //එක වුනොත් දෙක වෙන්නෙ නැහැ නේද කීයටවත්?//
      එක වුනොත් එහි උදවුවෙන් දෙක නොවුනත් වුනා වගේ පෙන්නන්න පුළුවන්. ගොඩක් මිනිස්සු මතුපිටින් පේන දේ මිසක් ගැඹුරෙහි ඇති අවදානම් දෙස බලන්න උනන්දු වන්නේ නැහැ. දැනටමත් රටේ ආර්ථික හා සෞඛ්‍ය ප්‍රශ්න විසඳලයි තියෙන්නේ කියලා හිතන අය ඉන්නවනේ.

      Delete
    2. මම හොඳ අතට හැරෙනවයි කිව්වෙ ඔබේ බ්ලොග් වල තියෙන ඩොලර් එක ඉහල ගියාම වෙන කතාව පදනම් කරගෙන. ඕගනික් විදියට ඉබේම ගෙවුම් ශේශ අර්බුදය සමනය වෙනව වගෙ අදහසක්

      Delete
    3. ගෙවුම් ශේෂයට ණයද ඇතුළත්නේ. විණිමය අනුපාතය වඩා වැදගත් වෙන්නේ ජංගම ගිණුම් ශේෂයට. ජංගම ගිණුමේ හිඟයක් තිබුණත් එම හිඟය පියවිය හැකි තරම් ණය ගත්තොත් ගෙවුම් ශේෂ හිඟයක් නැහැ. මෙතෙක් කලක් කළේත් ඕකනේ. දැන් නැවත ණය ගත්තොත් ඔය විදිහටම තාවකාලිකව ගෙවුම් ශේෂ ප්‍රශ්නය විසඳිය හැකියි. නමුත්, දැනටම අරගෙන තිබෙන ණය හා දැන් ගන්න ණය ආපසු ගෙවන්න යාමේදී නැවතත් ප්‍රශ්නයේ මුලට එනවා. විණිමය අනුපාතය නිවැරදි කිරීම මේ දිගුකාලීන ප්‍රශ්නයට විසඳුමක්. එහෙත් ඇත්තටම කියනවානම් විණිමය අනුපාතය නිවැරදි කළා කියලාත් මේ මොහොතේ ප්‍රශ්නය ක්ෂණිකව විසඳෙන්නේ නැහැ. විශේෂයෙන්ම කෝවිඩ් නිසා. ඒ වගේම කෝවිඩ් අවසන් වී සංචාරක කර්මාන්තය හරහා නැවත ඩොලර් ආවොත් ජංගම ගිණුමත් නැවත යම් තරමකින් හොඳ තත්ත්වයකට එනවා. මේ වෙලාවේ බිලියන දෙක තුනක් හොයා ගත්තොත් ලබන වසර මැද පමණ දක්වා ඇද ගන්න පුළුවන්. ඒ වෙද්දී සංචාරක කර්මාන්තය ගොඩ ගියොත් තවත් ටික කලක් ඇද ගන්න පුළුවන්. ඇද ගන්න අවශ්‍ය වෙන්නේ 2024 වන තුරු පමණයිනේ. මේ ක්‍රමයට ඕගනික් විදියට ප්‍රශ්නය විසඳෙන්නනම් ඉඩක් නැහැ.

      Delete
    4. ඒක හරි. සාර්ව ආර්තික වැඩපිලිවෙල මහිතෙ 2024 වෙනකම් ඇදන් යාම ගැන වෙන්න ඕන අරමුන.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: