වෙබ් ලිපිනය:

Showing posts with label පොත්. Show all posts
Showing posts with label පොත්. Show all posts

Tuesday, February 6, 2024

ආන්තික පිරිවැය හා ආන්තික උපයෝගීතාවය

ආර්ථික විද්‍යා විශ්ලේෂණයක් ගොඩක් වෙලාවට ආන්තික විශ්ලේෂණයක්. බොහොමයක් ආර්ථික විද්‍යා විශ්ලේෂණ වල ආන්තික උපයෝගීතාවය, ආන්තික පිරිවැය, ආන්තික ඵලදායීතාවය වගේ දේවල් ගැන කතා කරනවා. නූතන ආර්ථික විද්‍යා විෂය වෙනම විෂයයක් විදිහට ගොඩ නැගෙන්නේම ආන්තික විශ්ලේෂණ ගැන අදහස් වැඩි දියුණු වෙද්දී කියා කියන්න පුළුවන්. 

ඇඩම් ස්මිත්, කාල් මාක්ස් වගේ අය ජීවත් වූ කාලයේ අද අර්ථයෙන් ආර්ථික විද්‍යාව කියා විෂයයක් තිබුණේ නැහැ. විෂය අද තිබෙන එම විෂය හා සම්බන්ධ කළ හැකි තරමට වැඩි දියුණු වුනේ ඊට බොහෝ පසු කාලයකදීයි. ඒ නිසා, නූතන ආර්ථිකයක් ඒ කාලයේ චින්තකයින් විසින් ලියා ඇති දේ ඇසුරෙන් නිවැරදිව විග්‍රහ කරන්න හෝ තේරුම් ගන්න බැහැ. නමුත් ආර්ථික විද්‍යා විෂය ගොඩ නැංවුණු ආකාරය ගැන උනන්දුවක් දක්වන අයට ඒ කාලයේ ලියැවී තිබෙන ඓතිහාසික ලේඛන වැදගත් වෙන්න පුළුවන්.

වටිනාකම පිළිබඳ ශ්‍රම න්‍යායය කියන්නේ ආන්තික න්‍යාය පුළුල් ලෙස පිළිගැනීමට ලක් වෙන්න පෙර එයට විකල්පයක් ලෙස යෝජනා වී තිබුණු න්‍යායයක්. මාක්ස්ගේ විශ්ලේෂණ ඉදිරියට යන්නේ වටිනාකම පිළිබඳ ශ්‍රම න්‍යායය මත පදනම්වයි. දැනටත් මෙම න්‍යාය වෙනුවෙන් පෙනී සිටින යම් පිරිසක් ඉන්නවා. නමුත් ඔවුන් ඉන්නේ ආර්ථික විද්‍යාවේ ප්‍රධාන ධාරාවෙන් පිටත. 

තමළු මලිත්ත පියදිගම විසින් ලියා තිබෙන "මාක්සියානු ආර්ථික කතිකාවේ අසාර්ථකත්වය: දස් කපිටාල් කෘතිය ගැන විමසුමක්" පොත මේ දවස් වල ගොඩක් කතාබහට ලක් වන, ඒ වගේම සීඝ්‍රයෙන් විකිණෙන පොතක්. පොත කියවා නැති නිසා එහි අන්තර්ගතය සම්බන්ධ විස්තරාත්මක දේවල් දන්නේ නැතත් මාතෘකාවෙන්, වත්පොතේ දැකිය හැකි තමළුගේ හඳුන්වා දීම් වලින් සහ වෙනත් අයගේ විචාර වලින් අන්තර්ගතය ගැන යම් අදහසක් ගන්න පුළුවන්. 

ග්‍රන්ථ ප්‍රකාශකයින් විසින් රුපියල් 750කට මිල කර තිබෙන මෙම පොත 20%ක වට්ටමක් එක්ක රුපියල් 600ක මුදලකට මිල දී ගන්න පුළුවන්. මම හිතන්නේ මුලින්ම 25%ක වට්ටමක් ලබා දී තිබුණා. 20% වට්ටම තවමත් තිබෙනවා. 

ආන්තික පිරිවැය කියන්නේ කිසියම් භාණ්ඩයක තවත් එක් අමතර ඒකකයක් මිල දී ගැනීම සඳහා වැය වන පිරිවැය. උදාහරණයක් විදිහට තමළුගේ පොතේ පිටපත් 10ක් ගන්න රුපියල් 6000ක මුදලකුත්, පිටපත් 11ක් ගන්න රුපියල් 6600ක මුදලකුත් වැය වනවා. ඒ අනුව, එකොළොස්වන පොත මිල දී ගැනීම සඳහා දරන්න වන ආන්තික පිරිවැය රුපියල් 600ක්.

ආන්තික පිරිවැය කියන සංකල්පයට අමතරව ආර්ථික විද්‍යාවේ සාමාන්‍ය පිරිවැය කියා සංකල්පයකුත් තිබෙනවා. එයින් අදහස් කරන්නේ මුළු පිරිවැය මිල දී ගන්නා ඒකක ගණනින් බෙදූ විට ලැබෙන අගය. රුපියල් 6600/11 = 600 නිසා තමලුගේ පොතේ පිටපත් 11ක සාමාන්‍ය පිරිවැයද රුපියල් 600ක්. 

ඉහත උදාහරණයේදී ආන්තික පිරිවැය = සාමාන්‍ය පිරිවැය = මිල වුනත් මෙය සාධාරණ නිරීක්ෂණයක් නෙමෙයි. ඔය අගයයන් තුනම එකිනෙකට සමාන වෙන්නේ පිරිවැය හා ඒකක ගණන අතර රේඛීය සම්බන්ධයක් ඇති විටෙක පමණයි. සාධාරණ වශයෙන් එය එසේ වෙන්නේ නැහැ.

කවුරු හෝ කෙනෙක් රුපියල් 600ක මුදලක් ගෙවා තමලුගේ පොතේ පිටපතක් මිල දී ගන්නේ ඇයි?

ආර්ථික විද්‍යාව අනුව කෙනෙක් එහෙම කරනවානම් කරන්නේ එයින් ලැබෙන ආන්තික උපයෝගීතාවය රුපියල් 600ට වඩා වැඩි නිසා. ඒ කියන්නේ පොතක් මිල දී ගැනීමෙන් තමන්ට ලැබෙන තෘප්තියේ මුදල් සාම්‍ය අගය. පොත ගැනත්, එහි මිල ගැනත් දැනගෙන, එය මිල දී ගැනීමේ අවස්ථාව තිබියදී යමෙක් එසේ නොකරන්නේ එසේ කිරීමෙන් තමන්ට ලැබෙන ආන්තික උපයෝගීතාවය රුපියල් 600ට වඩා අඩු නිසා.

රුපියල් 600ක් ගෙවා තමළුගේ පොත මිල දී ගන්නා කෙනෙක් ඒ හරහා ලබා ගන්නා ආන්තික උපයෝගීතාවය හරියටම රුපියල් 600ක් හෝ ඊට වඩා වැඩි මුදලක් වෙන්න පුළුවන්. එය අපිට හරියටම දැන ගන්න බැහැ. දැනගන්න පුළුවන් එකම දෙය ආන්තික උපයෝගීතාවය අවම වශයෙන් රුපියල් 600ක් කියන එක පමණයි. එහෙම නැත්නම් රුපියල් 600කට අඩු ආන්තික උපයෝගීතාවයක් වෙනුවෙන් රුපියල් 600ක් නැති කර ගන්න කෙනෙක් පෙළඹෙන්නේ නැහැ.

අපි හිතමු මේ පොත 20% හෝ 25% වට්ටම නැතිව එහි මුද්‍රිත මිල වන රුපියල් 750 බැගින් විකිණුවා කියලා. එහෙමනම් පොත මිල දී ගන්නේ එයින් අවම වශයෙන් රුපියල් 750ක ආන්තික උපයෝගීතාවයක් ලැබිය හැකි අය පමණයි. අපි හිතමු ඊට පස්සේ එක පාරටම 20% වට්ටම දුන්නා කියලා. දැන් කලින් රුපියල් 750 ගෙවා පොත මිල දී නොගත් යම් පිරිසක් පොත මිල දී ගන්නවා. එයින් අදහස් වන්නේ ඒ අයගේ ආන්තික උපයෝගීතාවය රුපියල් 600 සහ රුපියල් 750 අතර බවයි. මොකද ආන්තික උපයෝගීතාවය රුපියල් 750ට වඩා වැඩිනම් කලින්ම පොත ගන්නවා. එම අගය රුපියල් 600ට වඩා අඩුනම් පසුව වුවත් පොත මිල දී ගන්නේ නැහැ. 

ඉහත උදාහරණයෙන් පැහැදිලි කළ පරිදි තමළුගේ පොතේ වටිනාකම එය මිල දී ගන්නා පාරිභෝගිකයාට සාපේක්ෂ දෙයක්. එයට ඒ වෙනුවෙන් වැය කර තිබෙන පිරිවැය හෝ යෙදවූ ශ්‍රමය, එහෙමත් නැත්නම් "සමාජයීයව අවශ්‍ය ශ්‍රමය" කොපමණද කියන එක අදාළ නැහැ. 

පොතේ වටිනාකම කියා කියන්නේ එක් එක් පාරිභෝගිකයාට සාපේක්ෂව එහි ආන්තික උපයෝගීතාවය. මෙම අගය සහ පොතේ මිල අතර වෙනසට ආර්ථික විද්‍යාවේදී පාරිභෝගික අතිරික්තය කියා කියනවා. පාරිභෝගික අතිරික්තය ගනුදෙනුවකදී පාරිභෝගිකයෙකු විසින් ලබන වාසියක්. උදාහරණයක් විදිහට උපරිම වශයෙන් රුපියල් 2000ක මුදලකට මෙම පොත මිල දී ගන්න සූදානමෙන් ඉන්න පාරිභෝගිකයෙකුට රුපියල් 600කට පොත මිල දී ගැනීමේ අවස්ථාව ලැබුණු විට රුපියල් 1400ක පාරිභෝගික අතිරික්තයක් ලැබෙනවා.

තමළුගේ පොතේ එක් පිටපතක් මිල දී ගත් පාරිභෝගිකයෙකුට එහි ආන්තික උපයෝගීතාවය කොපමණද? බොහෝ විට ශුන්‍යයට ආසන්නයි. ඒක පොතක් වගේ දෙයකින් ලැබෙන උපයෝගීතාවයේ ස්වභාවය. ඒ නිසා, පොතේ පළමු පිටපත මිල දී ගන්න රුපියල් 2000ක් වුනත් පැකිලීමක් නැතුව වියදම් කරන කෙනෙක් රුපියල් 100කට දුන්නත් බොහෝ විට එහි දෙවන පිටපතක් මිල දී ගන්න එකක් නැහැ. 

පොතක් වගේ දෙයක උපයෝගීතාවය බොහෝ විට තිබෙන්නේ තමන් මිල දී ගන්නා පළමු පිටපතේ පමණයි. චිත්‍රපටයක් බලන එක වගේ දෙයක් වුනත් එහෙමයි. එකම චිත්‍රපටය දෙවරක් බලන අය ඉන්නේ ඉතා අඩුවෙන්. නමුත් අඹ, රඹුටන් වගේ පළතුරක් ගත්තොත් එහි දෙවන, තුන් වන ඒකක වලත් යම් ආන්තික උපයෝගීතාවයක් තිබෙනවා. හැබැයි වැඩි වැඩියෙන් මිල දී ගනිද්දී ආන්තික උපයෝගීතාවය ටිකෙන් ටික අඩු වෙලා යනවා. පාර අයිනේ කඩේකින් රඹුටන් මිල දී ගන්න කෙනෙක් රඹුටන් කන එක නවත්වන්නේ එහි ආන්තික උපයෝගීතාවය මිලට වඩා අඩු වෙලා පාරිභෝගික අතිරික්තය සෘණ පැත්තට යන සීමාවට ආවට පස්සේ.

පොතක පිටපත් දෙකක් භෞතිකව සමාන වුවත්, ඒ වෙනුවෙන් වැය කර තිබෙන පිරිවැය සමාන වුවත්, යොදවා තිබෙන "සමාජයීයව අවශ්‍ය ශ්‍රම කාලය" සමාන වුවත්, පාරිභෝගිකයින් දෙදෙනෙකුට එයින් ලැබෙන ආන්තික උපයෝගීතාවය සමාන වෙන්නේ නැහැ. එකම පාරිභෝගිකයෙකුට වුනත් පළමු පිටපතෙන් ලැබෙන ආන්තික උපයෝගීතාවය දෙවන පිටපතෙන් ලැබෙන්නේ නැහැ.

පාරිභෝගිකයෙකුගේ පැත්තෙන්, රුපියල් 600ක් කියා කියන්නේ තමළුගේ පොත වගේ පොතකට ගොඩක් හොඳ මිලක්. ඇමරිකාවේ ඉඳලා මේ මිල දිහා බැලුවොත් ඩොලර් දෙකකටත් වඩා අඩුයි. ගොඩක් දියුණු වෙළඳපොළ යාන්ත්‍රනයක් තිබෙන ඇමරිකාවේ ඩොලර් ශතයකට වුනත් හොඳ පොත් මිල දී ගන්න අවස්ථා තිබුණත් [1], අලුතෙන් නිකුත් කළ මේ වගේ පොතක් ඩොලර් දෙකකට ගන්න පුළුවන්නම්, මම වගේ කෙනෙකුට එහි සැලකිය යුතු පාරිභෝගික අතිරික්තයක් තිබෙනවා.

[1] https://economatta.blogspot.com/2016/01/blog-post.html

හැබැයි තමළුගේ පොත රුපියල් 600කට මිල දී ගන්නනම් ලංකාවේ පොත් කඩයකටම යන්න වෙනවා. ඇමරිකාවේ පොත් කඩවල ඔය පොත නැහැ. ග්‍රන්ථ සමාගම ඩීඑච්එල් හරහා ඇමරිකාවට පොත එවන නමුත් ඒ සඳහා රුපියල් 10,032.70ක ගාස්තුවක් අය කරනවා. එවිට ඩොලර් දෙකකට වඩා අඩුවෙන් විකුණන පොත මිල දී ගන්න ඩොලර් 34කටත් වඩා මුදලක් වැය වෙලා. ඇමරිකන් ඩොලර් 34ක් කියා කියන්නේ, මට සාපේක්ෂව, ඔය වගේ පොතක් වෙනුවෙන් වැඩි මිලක්. පොතේ පිටපතකින් මට එපමණ පාරිභෝගික අතිරික්තයක් ලබා ගන්න අමාරුයි. යුරෝපයේ ජීවත් වන කෙනෙකුත් මීට කිට්ටු දෙයක් සටහන් කරලා තිබෙනවා දැක්කා.

අන්තර්ගතය පැත්තකින් තියලා තමළුගේ පොතේ භෞතික ලක්ෂණ දිහා බැලුවොත් මෙය පිටු 147ක පොඩි පොතක්. ඔය ප්‍රමාණයේ පොතක් සාමාන්‍යයෙන් ඇමරිකාවේ විකිණෙන්නේ ඩොලර් හය හතකට කියලයි මම හිතන්නේ. එහෙම බැලුවත් ඩොලර් 34ක් කියා කියන්නේ අධික මිලක්. හැබැයි ඔය මිල ගෙවා පොත ඇමරිකාවට ගෙන්වා ගන්න අය ඇති. මොකද එය එක් එක් පාරිභෝගිකයාගේ ආන්තික උපයෝගීතාවය පිළිබඳ කරුණක්.

අපි හිතමු කවුරු හෝ කෙනෙක් මේ පොත රුපියල් 10,032.70ක ඩීඑච්එල් ගාස්තුව ගෙවා ඇමරිකාවට ගෙන්වා ගන්නවා කියලා. එහෙම අය ඉන්න පුළුවන්නේ. ඒ කියන්නේ පොත වෙනුවෙන් රුපියල් 10,632.70ක පිරිවැයක් දරන්න වෙනවා. එයින් ඊට වඩා වැඩි ආන්තික උපයෝගීතාවයක් ලැබෙනවා. 

ඔය විදිහට රුපියල් 10,032.70ක ඩීඑච්එල් ගාස්තුව ගෙවා ඇමරිකාවට තමළුගේ පොතේ පිටපතක් ගෙන්වා ගන්නා අයෙකුට ඒ එක්කම එහි දෙවන පිටපතකුත් ගෙන්වා ගන්න පුළුවන්. එසේ කළා කියලා ඩීඑච්එල් ගාස්තුව වැඩි වෙන්නේ නැහැ. ඒ අනුව, පළමු පිටපතේ ආන්තික පිරිවැය රුපියල් 10,632.70ක් වුනත් දෙවන පිටපතේ ආන්තික පිරිවැය රුපියල් 600ක් පමණයි. නමුත් ගොඩක් වෙලාවට මේ පොත ගෙන්වා ගන්න කෙනෙක් එහි පිටපත් දෙකක් ගෙන්වා ගන්නේ නැහැ. මොකද පළමු පිටපතේ ආන්තික උපයෝගීතාවය රුපියල් 10,632.70 ඉක්මවන කෙනෙකුට වුනත් දෙවන පිටපතේ ආන්තික උපයෝගීතාවය බොහෝ විට රුපියල් 600ට වඩා අඩුයි.

අපි හිතමු ඇමරිකාවේ ඉන්න කෙනෙකුට තමලුගේ පිටපතේ ආන්තික උපයෝගීතාවය ඩොලර් 34ක් වෙන්නේ නැහැ කියලා. නමුත් එය ඩොලර් 20ක් පමණ වෙන්න පුළුවන්. ඒ වගේ දෙන්නෙක්ට එකතු වුනොත්, රුපියල් 11,322.70කට පිටපත් දෙකක් ගෙන්වා ගන්න පුළුවන්. එවිට පිටපතක සාමාන්‍ය පිරිවැය රුපියල් 5,616.35 දක්වා පහත වැටෙනවා. ඩොලර් 18ක් පමණ. 

තමන්ගේ ආන්තික උපයෝගීතාවය ඩොලර් 34 ඉක්මවන කෙනකුට වුනත් ඔය වැඩේ කරන්න පුළුවන්. දෙවන පිටපත ඩොලර් 10කට කාට හෝ විකිණුවත් තමන්ට ඩොලර් 8ක ලාබයක් වෙලා. පොත් දෙකක් වෙනුවට තුනක්ම ගෙන්වා ගත්තොත් මීටත් වඩා වැඩි පාරිභෝගික අතිරික්තයක් ලබා ගන්න බැරිද? 

පිටපත් ගණන දෙකක් වෙද්දී ඩීඑච්එල් ගාස්තුව වෙනස් නොවුනත් තුනක් වෙද්දී එය රුපියල් 11,562 දක්වා ඉහළ යනවා. ඒ කියන්නේ රුපියල් 1,529.30කින් වැඩි වෙනවා. ඒ නිසා, දෙවන පිටපතේ ආන්තික පිරිවැය රුපියල් 600ක් පමණක් වුනත්, තුන්වන පිටපතක ආන්තික පිරිවැය රුපියල් 2,129.30ක්. දෙවන පිටපත ඩොලර් දෙකකට විකිනුවත් එහි ලාබයක් තිබෙනවා. නමුත් තුන්වන පිටපතෙන් පාඩුවක් නොවෙන්නනම් එය ඩොලර් හතකට පමණ විකුනන්න වෙනවා. කොහොම වුනත් පොත් තුනක් එක වර ඇණවුම් කළොත් එක් පිටපතක සාමාන්‍ය පිරිවැය රුපියල් 4,454 දක්වා අඩු වෙනවා.

එක වර පිටපත් වැඩි ගණනක් ඇණවුම් කරන තරමට පොතේ පිටපතක සාමාන්‍ය පිරිවැය තව තව අඩු වෙනවා. මෙහි කාට හෝ ප්‍රයෝජනයට ගත හැකි ව්‍යාපාරික අවස්ථාවක් නැද්ද?

තමලුගේ පොත ඇමරිකාවට ගේන්න යන ඩීඑච්එල් ගාස්තු සැලකූ විට, මගේ අදහස අනුව, පිරිවැය අවම වීම කෙසේ වුවත්, ප්‍රශස්ත මට්ටමකට එන්නේ එකවර පිටපත් 12ක් ඇනවුම් කළොත්. එවිට සාමාන්‍ය පිරිවැය රුපියල් 2001.86 දක්වා අඩු වෙනවා. රුපියල් දෙදහසක් කියන්නේ ලංකාවේදී වුනත් පොතකට නරකම නැති මිලක්. ඩොලර් වලින්නම් හයක් හතක් වගේ. 

පිටපත් ගණන තවත් ඉහළ යද්දී ඉහත සාමාන්‍ය පිරිවැය තව දුරටත් පහළ යන නමුත් එසේ පහළ යන්නේ හෙමින්. අනෙක් අතට විකිණිය යුතු පිටපත් ගණන ඉහළ යද්දී පාරිභෝගිකයින් සොයා ගත නොහැකි වීමේ අවදානමත් වැඩි වෙනවා. පොතේ පිටපත් දොළහක් වගේ ගණනක්නම් වැඩි අපහසුවක් නැතිව ඇමරිකාව ඇතුළේ විකුණගන්න පුළුවන් වෙයි. 

ඉහත විග්‍රහය තමළුගේ පොතට වගේම ලංකාවේ පළ කරන වෙනත් පොත් වලටත් එලෙසම යොදා ගන්න පුළුවන්. ඩීඑච්එල් ගාස්තු වලට පොත කුමක්ද කියන එක අදාළ නැහැ. ඒ වගේම, ආසන්න මිලක් හා බරක් තිබෙන පොත් දෙකකින් හෝ වැඩි ගණනකින් පිටපත් දොළහක් වගේ එකතු කළත් මේ කතාව වලංගුයි. 

ග්‍රන්ථ සමාගමට ඇමරිකාවේ ජීවත් වන කෙනෙක්ව සම්බන්ධ කර ගත්තානම් තමළුගේ පොත වගේ පොතක් ඩොලර් දහයකට වඩා අඩුවෙන් විකුණන්න පුළුවන්. මම හිතන්නේ ලංකාවේ වෙනත් ප්‍රසිද්ධ පොත් ප්‍රකාශන ආයතනයක හිමිකරුවන්ගේ ඇමරිකාවේ ඉන්න පවුලේ සාමාජිකයෙක් ඔය වැඩේ කරනවා. 

Tuesday, September 10, 2019

පොත් මිල අඩු කරගත හැක්කේ කොහොමද?


පොත් වල මිල වැඩියි කියා මැසිවිලි නගන ගොඩක් අයට තිබෙන ප්‍රශ්නය ආකල්පමය ප්‍රශ්නයක් මිසක් පොත් වල මිල පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. ප්‍රශ්නයේ මුල තිබෙන්නේ ලංකාවේ බොහෝ දෙනෙකු සමාජවාදී ක්‍රමයට හිතන්න පුරුදු වී හෝ පුරුදු කරනු ලැබ තිබීමයි.

සමාජවාදය, වඩාත් නිවැරදිව කියනවානම් මාක්ස්වාදය, කියා කියන්නේ ද්‍රව්‍යවාදය මත පදනම්ව බිහි වූ කතන්දරයක්. මාක්ස්වාදී ආර්ථික විද්‍යාව ගොඩ නැගී තිබෙන්නේත් මේ කතන්දරයට ගැලපෙන ආකාරයටයි. ඒ අනුව කිසියම් දෙයක වටිනාකම තීරණය වෙන්නේ එය නිෂ්පාදනය කරන්න යෙදවූ අමුද්‍රව්‍ය ආදී සාධක මතයි. මේ අනුව, පොතක් මිල දී ගන්නවා කියන එකෙන් අදහස් වෙන්නේ අකුරු මුද්‍රණය කර තිබෙන කඩදාසි මිටියක් තමා සන්තක කර ගැනීමයි.

සමාජවාදී චින්තනය අනුව දැන් මේ පොතක් කියා කියන කඩදාසි මිටියේ වටිනාකම කීයද? එය තීරණය වන්නේ එහි නිෂ්පාදන වියදම මතයි. පොත තිබෙන්නේ කා සන්තකවද කියන එක අනුව පොතේ වටිනාකම වෙනස් වෙන්නේ නැහැ. මේ පදනමෙන් බැලූ විට රුපියල් දෙසීයක වියදමින් නිපදවූ පොතක් රුපියල් හාරසීයකට විකිණීම පෙනෙන්නේ පොත් ප්‍රකාශකයා විසින් අසාධාරණ ලාබයක් ඉපැයීමක් ලෙසයි.

ධනවාදය මාක්ස්වාදය මෙන් ද්‍රව්‍යවාදය මත පදනම්ව බිහි වූ කතන්දරයක් නෙමෙයි. ධනවාදී ආර්ථික විද්‍යාව අනුව ගනුදෙනු වල යෙදෙන්නේ හිතන පතන මිනිස්සු මිසක් යන්ත්‍ර නෙමෙයි. ඒ අයට එකිනෙකාගෙන් වෙනස් වූ රුචිකත්වයන් තිබෙනවා. ධනවාදී චින්තනය අනුව කෙනෙක් පොතක් මිල දී ගැනීමේදී ඒ මිල ගෙවන්නේ පොත තමා සන්තක කර ගැනීමේ සතුට වෙනුවෙන් මිසක් පොතක් කියා කියන කඩදාසි මිටිය වෙනුවෙන් නෙමෙයි.

බොහෝ දෙනෙකු හා අදාළව පොතක් තමා සන්තක කර ගැනීමෙන් ලැබෙන සතුට කියා කියන්නේ පොත කියවීමෙන් ලැබෙන සතුට මිසක් පොත ගෙදර රාක්කයක තියාගෙන සිටීමෙන් ලැබෙන සතුට නෙමෙයි. අවශ්‍ය අයෙකු දෙවන ආකාරයේ සතුටක් ලැබීම ධනවාදී චින්තනය සමග ගැටෙන දෙයක්ද නෙමෙයි. පොතක් තමා සන්තක කර ගෙන යමෙක් මේ කවර ආකාරයෙන් හෝ ලබන සතුට පුද්ගලයා අනුව වෙනස්වන දෙයක් නිසා පොතක වටිනාකම කියන එකත් පුද්ගලයා අනුව වෙනස් වන දෙයක්. එහි නිශ්චිත නිරපේක්ෂ අගයක් නැහැ.

ධනවාදී ක්‍රමයට හිතනවානම් වැදගත් වෙන්නේ පොතක් තමන් සන්තක කර ගැනීමෙන් ලැබිය හැකි සතුටේ වටිනාකම ගෙවන මිල නිසා අහිමිවන සතුටට වඩා අඩුද වැඩිද කියන එක පමණයි. යමෙක් පොතක් මිලදී ගන්නේ ඔහුට හෝ ඇයට සාපේක්ෂව පොතේ වටිනාකම ගෙවන මිලට වඩා වැඩිනම් පමණයි. ඒ නිසා, පොතක් මිල දී ගන්නා කෙනෙකුට හැම විටම වාසියක් වෙනවා මිසක් පාඩුවක් වෙන්නේ නැහැ. මේ ගනුදෙනුවේදී පොත් ප්‍රකාශකයා කොයි තරම් ලාබයක් උපයනවාද කියන එක වැදගත් කරුණක් නෙමෙයි. වැදගත් වන්නේ තමන්ට ලාබයක් ලැබුනේද යන්නයි.

ධනවාදී ක්‍රමයට හිතුවොත් පොතක් කියවා අවසන් වූ පසුව ඒ පොත මිල දී ගැනීමෙන් ලබන්න අපේක්ෂා කළ සතුට ලබා අවසන්. ඒ නිසා, තව දුරටත් ඒ පුද්ගලයාට ඒ පොතේ වටිනාකමක් නැහැ. මේ කරුණ හැම පොතකටම අදාළ නැහැ. කිසියම් විෂයයකට අදාළ පාඨ ග්‍රන්ථයක් වගේ එකක්නම් එහි තිබෙන්නේ තරමක් දිගුකාලීන වටිනාකමක්. එවැනි පොතක වුවත් වටිනාකම වසරකට හෝ කිහිපයකට පසුව නැති වී යනවා. එසේ නොවන්නේ ශබ්දකෝෂයක් වැනි පොතක් හා අදාළව පමණයි.

නවකතා වැනි පොත් වලට බොහෝ විට මෙවැනි දිගුකාලීන වටිනාකමක් නැහැ. පොත කියවා අවසන් වූ පසු එය මිල දී ගැනීමෙන් අපේක්ෂා කළ සතුට ලබා අවසන්. හරියට චිත්‍රපටයක් හෝ වේදිකා නාට්‍යයක් බැලුවා වගේ. නමුත්, සමාජවාදී ක්‍රමයට හිතුවොත්නම් කියෙවුවත් නැතත් පොතේ වටිනාකම එක ලෙසම පවතිනවා. ඒ වටිනාකම නැති වෙන්නේ පොත භෞතිකව විනාශ වුවහොත් පමණයි.

තමන් කියවා අවසන් කළ, නැවත වරක් කියවන්න කිසිදු ඉඩක් නැති පොත් එකතු කර ගෙන ඉන්න ලංකාවේ ගොඩක් අය පෙළඹෙන්නේ ඔවුන් හුරු වී සිටින සමාජවාදී චින්තනය නිසා. ලංකාවේ ඉන්න තාක් කල් මම හිටියේත් ඔය ගොඩේම තමයි. පොත් මිල දී ගෙන නොකියවා ගොඩගහගෙන ඉන්න හේතුවත් මෙයමයි. කවදාවත් වාඩි නොවෙන පුටු සෙට්, ක්‍රියාත්මක නොකරන ශීතකරන, මාසයකට වරක් ස්ටාට් කරන කාර් ගෙවල් වල තියා ගෙන ඉන්නේත් තමන් මිල දී ගෙන තිබෙන්නේ අදාළ භාණ්ඩය කියා හිතන්න පුරුදු කරනු ලැබ ඇති නිසයි. ධනවාදී ක්‍රමයට හිතනවානම් කෙනෙක් මුදල් ගෙවන්නේ සුවපහසුවට අසුන් ගැනීමෙන් ලබන සතුට, කෑම නරක් කර නොගෙන සීතල බීම වීදුරුවක් බීමේ සතුට හා පහසුවෙන් ගමනක් යාමේ සතුට වෙනුවෙන් මිස අදාළ භාණ්ඩ තමා සන්තක කර ගැනීම වෙනුවෙන් නෙමෙයි. ඒ නිසා, මේ වාසි නොලබනවානම් අදාළ භාණ්ඩ වෙනුවෙන් වැය කළ මුදලේ තේරුමක් නැහැ.

බටහිර රටවල මිනිස්සු සාමාන්‍යයෙන් තමන් පරිභෝජනය කරන භාණ්ඩ මිස අනාගතයේදී පරිභෝජනය කරන්න හිතාගෙන ඉන්න භාණ්ඩ හෝ අතීතයේදී පරිභෝජනය කළ භාණ්ඩ ගොඩ ගසා ගෙන ඉන්නේ නැහැ. අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවට මිල දී ගන්නවා. අවශ්‍ය නැති වෙලාවට කීයකට හෝ විකුණලා දමනවා. සක්‍රිය හා පුළුල් වෙළඳපොළක් තියෙන නිසා අවශ්‍ය වෙලාවට අවශ්‍ය දෙයක් අවශ්‍ය මිලකට මිල දී ගන්න ගන්න බැරි වෙයි කියන බය ඔවුන්ට නැහැ. අලුත් බඩුවක් ගන්න සල්ලි නැත්නම් අතේ තිබෙන මුදලට සෙකන්ඩ් හෑන්ඩ් බඩුවක් හරි ගන්න පුළුවන්.

පෞද්ගලික අයිතියට මුල් තැන ලැබෙන සමාජ ක්‍රමයකදී භාණ්ඩයක් පරිභෝජනය කිරීමේ අයිතිය වෙනුවෙන් වැය කළ යුත්තේ තමන්ගේම ප්‍රාග්ධනය නිසාත්, ඒ ප්‍රාග්ධනයේ ආවස්ථික පිරිවැයක් තිබෙන නිසාත් වර්තමානයේ පරිභෝජනය නොකරන භාණ්ඩයක් වෙනුවෙන් මුදල් යට කිරීම අවාසිදායකයි. එක්කෝ ඒ මුදලින් වර්තමානයේ පරිභෝජනය කරන්න කැමැත්තෙන් ඉන්න වෙනත් දෙයක් මිල දී ගත හැකියි. එහෙම නැත්නම්, මුදල් ආයෝජනය කර (ණයට දී) ආදායමක් ඉපැයිය හැකියි. ධනවාදී චින්තනය තියෙන මිනිස්සු හිතන්නේ ඔය විදිහටයි.

අනෙක් අතට පොදු දේපොළ ක්‍රමය යටතේ ඕක වෙනස් විදිහකට සිදු වෙනවා. භාණ්ඩයක් පරිභෝජනය කරන්න තමන්ගේම මුදලක් වැය කළ යුතු නැත්නම්, හොඳම දේ ඉඩක් ලැබුණු වෙලාවට පුළුවන් තරම් පරිභෝජනය කරන එකයි. තමන්ට අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ පරිභෝජනය කරන්න ලැබෙයි කියා විශ්වාසයක් නැති නිසා ආණ්ඩුවෙන් දෙන දේ දෙන වෙලාවට පරිභෝජනය නොකළොත් ඒ අවස්ථාව ගිලිහී යනවා. ලංකාවේ රජයේ සේවකයින් උදාහරණයට ගත්තොත් සහන දුම්රිය ප්‍රවේශපත්, රජයට අයත් නිවාඩු නිකේතන, අඩු පොලී ණය (උත්සව අත්තිකාරම්) වගේ වසරකට වරක් හෝ කලාතුරකින් ලැබෙන සහන තමන්ට අවශ්‍යම නොවුනත් ගන්න පෙළඹෙන්නේ මේ පදනමිනුයි.

ලංකාවට වෙලා තිබෙන්නේ, ධනවාදී ක්‍රමයක තිබෙන, අවශ්‍ය වෙලාවට අවශ්‍ය මිලකට අවශ්‍ය දේ මිල දී ගන්න ඉඩ සැලසෙන වෙළඳපොළ යාන්ත්‍රණයක් රටේ නැහැ. මිනිස්සු වෙළඳපොළ ක්‍රමය විශ්වාස කරන්න පටන් ගන්න තුරු එවැනි යාන්ත්‍රණයක් හැදෙන්නේ නැහැ. ඒ වගේම, පරිභෝජනයට අවශ්‍ය බොහොමයක් දේවල් ආණ්ඩුවෙන් නිකම් ලැබෙන තරමේ සමාජවාදයකුත් නැහැ. එවැනි ක්‍රමයක් පවත්වාගත හැකි ආර්ථික ශක්තියක් රටට නැහැ. ඒ නිසා, ඉඩක් ලැබෙන වහාම පොදු දේපොළ ඕනෑවටත් වඩා පරිභෝජනය කර නාස්ති කරන අතරම පෞද්ගලික දේපොළ පරිභෝජනය නොකර ගොඩ ගසා ගන්නවා. ඔතැන තියෙන්නේ ගොඩක් මිනිස්සු දැන හෝ නොදැන මතවාදී ලෙස සමාජවාදීන් වුවත්, රටේ සමාජ ආර්ථික ක්‍රමය ඔවුන්ට අවශ්‍ය තරමටම සමාජවාදී කරගත නොහැකි වීමේ අවුලයි.

දැන් මගේ ධනවාදී යෝජනාව මෙයයි. පොතක් කියවා අවසන් වුනාට පස්සේ, එය නැවත වරක් කියවන්න අදහසක් නැති පොතක්නම් පොඩ්ඩක් අඩුවෙන් කාට හෝ විකුණන්න. උදාහරණයක් විදිහට රුපියල් පන්සීයකට මිල දී ගත් පොතක් රුපියල් තුන්සීයකට විකිණුවා කියා ඔබට පාඩුවක් වෙන්නේ නැහැ. රුපියල් පන්සීය ඔබ වැය කර අවසන්. එය නැවත නොලැබෙන ගිලුණු පිරිවැයක්. ඒ වගේම, පොත කියැවීමෙන් පසුව ඔබට එයින් ලැබිය හැකි සතුටත් ඔබ විසින් ලබා අවසන්. එසේ තිබියදී පොත ඔබ සන්තකයේ තබා ගැනීමෙන් ඔබට ලැබෙන විශේෂ වාසියක් නැහැ. නමුත්, කියවා අවසන් වූ පොත රුපියල් තුන්සීයකට විකිණුවොත් ඔබට අතට මුදලක් ලැබෙනවා. මේ විදිහට කියවා අවසන් පොත් දෙකක් විකිණුවොත් තවත් අලුත් පොතක් මිල දී ගන්න මුදලක් අතට ලැබෙනවා.

රුපියල් පන්සීයක පොතක් මුද්‍රණද්වාරයෙන් පැමිණි අලුතම අයෙක් වරක් කියවූ පොතක් රුපියල් තුන්සීයකට මිල දී ගන්න කෙනෙක් හොයා ගැනීම අමාරු නැහැ. ඔබ මේ වැඩේ කරනවානම් හොඳම ක්‍රමය පොත ගැන හා ඔබ එය විකුණන මිල ගැන වත්පොත හෝ වට්ස්ඇප් වැනි තැනක් හරහා ඔබේ මිතුරන්ට දැනුම් දීමයි. එවිට ඔබේ කාර්යාලයේම සේවය කරන හෝ දුම්රිය සගයෙකු වන මේ පොත මිල දී ගන්න හිතාගෙන ඉන්න අයෙකු ඉදිරිපත් වෙන්න පුළුවන්.

යහළුවන් විසින් කියවීම සඳහා පොත් ඉල්ලාගෙන යාම ලංකාවේ සුලබව සිදුවන දෙයක්. මේ පොත් ඇතැම් විට ආපහු ලැබෙන්නේ නැහැ. එය යහළුවන් අතර නොහොඳ නෝක්කාඩු වලටත් හේතු වෙනවා. බොහෝ විට මේ විදිහට යාළුවෙකුගෙන් ඉල්ලාගෙන යන පොත ආපසු නොදෙන්නේ යාලුවා එය කියවා නැති නිසයි. යාලුවා හිතාගෙන ඉන්නේ කියවා අවසන් වූ පසු පොත ආපහු දෙන්නයි. නමුත්, එය කවදාවත් වෙන්නේ නැහැ. කියවන්න ලොකු උනන්දුවක් නැතුව යාලුවා පොත අරන් යන්නේ එය නිකම් ලැබෙන නිසයි.

පොත නිකම් කියවන්න නොදී අඩු මුදලකට විකිණීම දෙන්නාටම හොඳ විකල්පයක්. පොත යාළුවාට දෙන්නේ මුදලක් අරගෙන නිසා පොත එතැනින් අමතක කර දැමිය හැකියි. ඒ වගේම, යාලුවා මුදල් ගෙවා පොත ගන්නේ එය ඔහුට වටිනවානම් පමණයි. මේ වගේ වැඩක් රැල්ලක් විදිහට බෝ කළොත්, ඉතා ඉක්මණින් පොත් වලට සෙකන්ඩ් හෑන්ඩ් වෙළඳපොළක් හැදෙනවා. එවිට, ඔබටත් පොත් සාප්පුවේ මිල නොගෙවා යාළුවෙක් කියවූ පොතක් අඩු මිලකට මිල දී ගත හැකියි. ගනුදෙනුව සිදුවන්නේ යාළුවෙක් සමඟ වුවත් නිසි පරිදි ගනුදෙනු පියැවීම වැදගත්.

රුපියල් පන්සීයක පොතක් ඔබ මිල දී ගත්තේ රුපියල් තුන්සීයකට වුවත් ඔබට එය නැවත රුපියල් දෙසීයකට හෝ දෙසිය පණහකට විකිණිය හැකියි. වැඩි දෙනෙකු මේ කටයුත්තට සහභාගී වන තරමට ඔබට පොතක් මිල දී ගන්න වැය වන මුදල හා කියැවූ පොත නැවත විකිණිය හැකි මුදල අතර වෙනස, එනම් ඔබ පොත කියවා ලැබූ සතුට වෙනුවෙන් ගෙවිය යුතු මුදල අඩු වෙනවා.

මේ විදිහට පොතක් අතින් අත යද්දී ක්‍රමක්‍රමයෙන් එහි මිල පහළ වැටී අන්තිමේදී අලුත් පොතක් වෙනුවෙන් ලොකු මුදලක් වැය කළ නොහැකි පාසැල් සිසුවියක හෝ රැකියා විරහිත තරුණියක වැනි අයෙකුට සුළු මුදලක් ගෙවා පොතක් මිල දී ගැනීමේ අවස්ථාව ලැබෙනවා. නමුත්, පොත ලැබෙන්නේ නිකම්ම නොවන නිසා එය අනවශ්‍ය අයෙකුගේ අතට යාමත් වැළකෙනවා. සමහර විට මාස කිහිපයකට පෙර රුපියල් පන්සීයකට මිල කර එළියට දැමූ පොතක් මේ ආකාරයට අතින් අත යාමෙන් පසු රුපියල් පණහකට මිල දී ගන්න පුළුවන් වෙයි. නැවත විකිණීමේ බලාපොරොත්තුව නිසා පොත කියවන හැම කෙනෙක්ම පුළුවන් උපරිමයෙන් පොත පරිස්සම් කරන්නත් පෙළඹෙනවා.

අවසාන වශයෙන් සිදු වන්නේ පන්සලේ මල් වට්ටි වෙන්දේසියේදී වගේ පොතේ මිලට හත් අට දෙනෙක් සම්මාදම් වීමකුයි. මෙය ධනවාදී ලෙස හිතන මිනිසුන් සිටින තැනක කටයුතු සිදුවන සාමාන්‍ය පිළිවෙළ මිස අමුතු දෙයක් නෙමෙයි. ලංකාවේ කාර් ගන්න මිනිස්සු හිතන්නේ ධනවාදී ක්‍රමයට වුනත්, පොත් ගන්න මිනිස්සු තවමත් හිතන්නේ සමාජවාදී ක්‍රමයටයි. ඒ නිසා, ලංකාවේ මිනිස්සු පරණ කාර් ගෙවල් වල ගොඩ ගහගෙන ඉන්නේ නැතත් පරණ පොත් ගොඩගහගෙන ඉන්නවා. මම මේ කියන්නේ මූලාශ්‍රයක් සේ නිතර පරිශීලනය කළ යුතු වර්ගයේ පොත් ගැන නෙමෙයි.

කවුරු හෝ තමන් කියැවූ පොත් යාළුවන් අතර නැවත විකිණීමේ වැඩේ පටන් ගත්තොත් තත්ත්වය ඉක්මණින් වෙනස් වෙයි. එවිට දැන් රුපියල් පන්සීයකට අලුත් පොතක් කියවීමේ සතුට මිල දී ගන්නා කෙනෙකුට ඒ මිලටම පොත් දහයක් කියවීමේ සතුට මිල දී ගන්න පුළුවන් වෙයි.

ඒ වගේම, රටේ තරුණ පරම්පරාව අතර පොත් කියවීමේ පුරුද්ද ඇති කරන්න බොක්කෙන්ම උවමනාවක් තිබෙනවානම් තමන්ගේ රාක්කයේ තිබෙන කියවා අවසන් වූ පොත් හා කවදාවත් නොකියවනු ඇති අලුත් පොත් වලින් කිහිපයක් අඩු මිලකට ප්‍රසිද්ධියේ විකුණා දමන්න. කණ්ඩායමක් එකතු වී සංවිධානාත්මකව පාසැල් සිසුන් හෝ සාමාන්‍යයෙන් පොත් නොකියවන ජන කණ්ඩායම් සිටින තැන් ඉලක්ක කළ හැකි තැනක මේ පොත් විකිණිය හැකිනම් වඩාත් හොඳයි. හැබැයි රුපියල් පණහක් හෝ අය කර මිස නිකම් පොත් දෙන්න එපා. නිකම් දුන්නොත් වෙන්නේ නැවතත් මේ පොත් පොත් නොකියවන අයෙකු ළඟ රැඳෙන එක පමණයි.

වැදගත් වෙන්නේ පොත් කියවීමේ පුරුද්ද ප්‍රවර්ධනය කරනවාත් එක්කම වෙළඳපොළ යාන්ත්‍රණයටත් පොඩි තල්ලුවකුත් දීමයි. එසේ නැත්නම්, මෙවැනි හුදෙකලා වැඩකින් දිගුකාලීනව ලොකු ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. නමුත්, පොත් වලට සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකක් මොන විදිහකින් හෝ හැදුනොත් දිගුකාලීනව එයින් බොහෝ දෙනෙක්ට යහපතක් සැලසෙනවා.

Monday, September 9, 2019

පොත් මිල වැඩිද?


සාහිත්‍ය මාසයේදී පොත් ගැන වැඩිපුර කතාබහ කෙරෙනවා. ඒ කතාබහ අතරතුරේදී බොහෝ විට පොත් වල මිල ගැන මැසිවිලි නැගෙනවා. ඒ එක්කම, පොත් මිල වැඩි වීමට හේතුව පොත් ප්‍රකාශකයින් බවටද අදහස් පළ වෙනවා.

ලංකාවේ පොත් ප්‍රකාශකයින් තමන් විසින් කරන ආයෝජනයට හා ගන්නා අවදානමට සරිලන ලාබයක් මිස සුපිරි ලාභ උපයන පිරිසක් නොවන බව මා මීට සිවු වසරකට පෙර ලියා තිබෙන කරුණක්. අදාළ තත්ත්වයන් තවමත් ලොකුවට වෙනස් වී ඇතැයි මා හිතන්නේ නැහැ. පෙර ලිපියට සබැඳියක් පහත තිබෙනවා.

පොත් ප්‍රකාශනයේදී අතරමැදියා ගසා කනවාද?

පොත් පළ කිරීමෙන් සුපිරි ලාබ ලැබිය හැකිනම් අලුත් ව්‍යාපාරිකයින් විශාල වශයෙන් මේ ව්‍යාපාරයට ආකර්ශනය විය යුතුයි. එහෙත්, එය එසේ වෙන්නේ නැහැ. සිංහල කියවන්නන් සිටින්නේ ලංකාවේ හෝ ලංකාවෙන් බැහැරව ජීවත්වන ශ්‍රී ලාංකික ඩයස්පෝරිකයින් අතර පමණයි. මේ ප්‍රමාණය ගොඩක් ලොකු නැහැ. ඉංග්‍රීසි හෝ  ස්පාඤ්ඤ වැනි බසකින් ලියන පොතකට තිබෙන වෙළඳපොළ හා සසඳන විට මේ වෙළඳපොළ ඉතාම කුඩා එකක්. බෙංගාලි හෝ දෙමළ වැනි බසකින් ලියන අයටත් විශාල වෙළඳපොළක් තිබෙනවා.

සාපේක්ෂව ඉහළ ස්ථිර පිරිවැයක් හා අඩු විචල්‍ය පිරිවැයක් ඇති නිෂ්පාදන කාර්යයකදී වෙළඳපොළ පරිමාව විසින් එයට ඔරොත්තු දිය හැකි ප්‍රසස්ථ නිෂ්පාදකයින් ප්‍රමාණය තීරණය කෙරෙනවා. ඒ ප්‍රමාණය ඊට වඩා වැඩි වුවහොත්, කිසිවෙකුට තමන් විසින් සිදු කරන ආයෝජනයට හා ගන්නා අවදානමට සරිලන ලාබයක් ලැබිය නොහැකි වෙනවා. මෙවැනි වෙළඳපොළකට අලුත් නිෂ්පාදකයින් එකතු වෙන්නේ වෙළඳපොළ පරිමාව ප්‍රසාරණය වීමට සාපේක්ෂවයි.

ලංකාවේ පොත් ප්‍රකාශනයෙහි යෙදෙන්නේ සමාගම් සීමිත ගණනක්. ඒ කියන්නේ ලංකාවේ පොත් ප්‍රකාශනය කතිපයාධිකාරී වෙළඳපොළක්. නමුත්, මෙය ස්වභාවික තත්ත්වයක් මිස කෘතීම තත්ත්වයක් හෝ නිවැරදි කළ යුතු දෙයක් කියා මා හිතන්නේ නැහැ.

ලංකාවේ මුද්‍රිත පොත් සඳහා තිබෙන වෙළඳපොළ තවමත් ක්‍රමයෙන් ප්‍රසාරණය වෙනවා කියන එක මගේ අදහසයි. එයට හේතු තිබෙනවා. වෙළඳපොළ ප්‍රසාරණය වීමට සාපේක්ෂව අලුත් පොත් ප්‍රකාශකයින් බිහි වන බව වගේම, වඩා කාර්යක්ෂම පොත් ප්‍රකාශකයින් මතු වී අකාර්යක්ෂම පොත් ප්‍රකාශකයින් වෙළෙඳපොළෙන් විසිවන බවත් පෙනෙන්නට තිබෙනවා.

මේ යුගය විද්‍යුත් මාධ්‍ය වල යුගය මිස මුද්‍රිත ප්‍රකාශන වල යුගය නෙමෙයි. කලක් ජනප්‍රියව තිබූ මුද්‍රිත පුවත්පත් වගේම මුද්‍රිත පොතුත් ඉවත් කරමින් විද්‍යුත් මාධ්‍ය ප්‍රකාශන ආදේශ වීම ලොව පුරාම දැකිය හැකි ප්‍රවණතාවක්. එසේ තිබියදීත්, ලංකාවේ මුද්‍රිත පොත් සඳහා වන වෙළඳපොළ ප්‍රසාරණය වීමට ප්‍රධානම හේතුව ලංකාවේ ආදායම් මට්ටම් ක්‍රමයෙන් ඉහළ යාමයි.

රටක ආදායම් මට්ටම අඩු ආදායම් මට්ටමේ සිට පහළ මැදි ආදායම් මට්ටම දක්වා ඉහළ යාම බොහෝ විට පිළිබිඹු වන්නේ ආහාර, ඇඳුම් පැළඳුම් වැනි මූලික අවශ්‍යතා මිල දී ගැනීමට ඇති ඉල්ලුම වැඩි වීමෙන්. එහෙත්, රටක් පහළ මැදි ආදායම් මට්ටමේ සිට ඉහළ මැදි ආදායම් මට්ටම දක්වා එසැවෙන විට රටේ බොහෝ දෙනෙක් මේ මූලික අවශ්‍යතා සපුරා ගත හැකි මට්ටම ඉක්මවා ගොස් සිටින නිසා පොත් පත් වැනි ද්වීතියික අවශ්‍යතා වෙනුවෙන් මුදල් වැය කිරීම ඉහළ ගොස් ඒවාට ඉල්ලුම වැඩි වෙනවා. ලංකාව දැන් ඉන්නේ මෙවැනි අදියරකයි.

අනෙක් අතට විද්‍යුත් මාධ්‍ය නිසා මුද්‍රිත පොත් ප්‍රවර්ධනය වීමකුත් යම් තරමකින් හෝ සිදු වෙනවා. ටික දවසකට කලින් අජිත් ධර්මා විසින් පොතක් එළියට දැම්මා. මේ විදිහට පොතක් විදිහට පළ කෙරුණේ ඔහු තමන්ගේ බ්ලොග් එකේ කොටස් වශයෙන් පළ කළ කතාවක්. මීට පෙරත් ඔහු බ්ලොග් එකේ පළ වූ ඔහුගේ ලිපි එකතුවක් පොතක් විදිහට පළ කළා. මීට කලින් රසික සූරියාරච්චි, තිලකසිත ලියන තිලකසිරි ඒකනායක වගේ අයත් මේ වැඩේම කළා. මෙතැනදී වුනේ විද්‍යුත් මාධ්‍ය නිසා මේ අයට පාඨකයින් පිරිසක් හදා ගන්න පුළුවන් වීම හා ඒ මත පොතක් මුද්‍රණය කර එළියට දැමිය හැකි වෙළඳපොළක් බිහි වීමයි. අජිත් ධර්මාගේ බ්ලොග් එක නොවන්නට ඔහුගේ පොත් පළ නොවන්නට ඉඩ තිබුණා.

වෙළඳපොල ප්‍රසාරණය වන තරමට පොත් ප්‍රකාශකයින් ගණන වැඩිවීමත්, පොතක මිල පහළ යෑමත් සිදු වෙනවා. විකිණෙන පිටපත් ප්‍රමාණය වැඩි වන තරමට පොතක් මුද්‍රණය කිරීමේ ස්ථිර පිරිවැය වැඩි දෙනෙකු අතර බෙදී යාම හා පළ වන පොත් ප්‍රමාණය වැඩි වන තරමට පොත් ප්‍රකාශකයෙකුගේ ස්ථිර පිරිවැය වැඩි පොත් ගණනක් අතර බෙදී යාම මීට හේතුවයි.

මගේ අදහසනම් ඇත්තටම ලංකාවේ පොත් මිල දැන් සාපේක්ෂව ගොඩක් අඩුයි කියන එකයි. මා එසේ කියන්නේ ලංකාවේ බොහෝ දෙනෙකුගේ ආදායම් මට්ටම් වලට සාපේක්ෂවයි. අවශ්‍ය කෙනෙකුට කියවන්න අවශ්‍ය පොතක් මිල දී ගන්න ලැබෙන ආදායම ලොකු බාධාවක් නෙමෙයි.

හොඳින් කල්පනා කර බැලුවොත් මේ ලිපිය කියවන ගොඩක් අය ළඟ නොකියවූ අලුත් පොත් එකක් හෝ කිහිපයක් තිබෙනවා. පොතක් මුදල් ගෙවා මිල දී ගෙන එය නොකියවනවා කියා කියන්නේ පොත වෙනුවෙන් ගෙවූ මිලට සාපේක්ෂව පොත කියවීම වෙනුවෙන් වෙන් කළ යුතු කාලයේ ආවස්ථික පිරිවැය වැඩියි කියන එකයි. සිසුන්, රැකියා විරහිත තරුණයින් හා විශ්‍රාමිකයින් හැරුණු විට ලංකාවේ බොහෝ දෙනෙකුගේ තත්ත්වය මෙයයි. පොත් ගන්න සල්ලි තිබෙනවා. කියවන්නත් ආසයි. ඒත් වෙලාව නැහැ.

කියවන්න වෙලාවක් නැති බව දැන දැනම පොත් මිල දී ගන්නා විශාල පිරිසක් සිටීමෙන් පෙනෙන්නේ ලංකාවේ පොත් මිල එතරම්ම වැඩි නැති බවයි. මා ළමා හා තරුණ වියේදී ලොකු පොත් ලෝලියෙකු වුවත්, ඒ කාලයේදී පවා මුදල් ගෙවා මිල දී ගෙන නොකියැවූ පොත් මගේ පොත් රාක්කයේ තිබුණා. සෝවියට් දේශය විසින් විශාල ලෙස සුබසාධනය කර කඩදාසි වල මිල තරමටවත් නොවටිනා ඉතා අඩු මිලකට විකිණූ කාල් මාක්ස්ගේ ප්‍රාග්ධනය පොතේ වෙළුම් උදාහරණ සේ දැක්විය හැකියි. ඊට අමතරව මරදානේ පදික වේදිකාවෙන් ඉතා අඩු මිලකට මිලදී ගත් ඇතැම් පාවිච්චි කළ ඉංග්‍රීසි පොත්ද මා කියවා නැහැ.

විවිධ ශානර වලට අයත් මේ පොත් සියල්ල එකතු කළ හැකි පොදු සාධකය ඒවා මිල දී ගැනීම වෙනුවෙන් මා විසින් වැය කළ මිලයි. ඒ මිල ඉතා සුළු මිලක් නොවූවානම් මා මේ පොත් මිල දී ගන්නේ නැහැ. නමුත්, විකිණුනු මිල අනුව යම්හෙයකින් ඉඩක් ලැබුණොත් කියවන්න හිතාගෙන මෙවැනි පොතක් මිල දී ගැනීමට පෙළඹුමක් ඇති වුනා. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයෙන් පොත් මිල දී ගෙන නොකියවා ගොඩ ගසා ගෙන සිටින මධ්‍යම වයසේ මධ්‍යම පාන්තිකයින් බොහෝ දෙනෙක් කරන්නේත් මෙයයි.

ඉහත හේතුව මත ලංකාවේ පොත් මිල එතරම් වැඩි නැතැයි මා කිවුවත් මෙය සාධාරණ ප්‍රකාශයක් නෙමෙයි. පොත් කියවන්න ඕනෑ තරම් වෙලාව තිබෙන සිසුන්, රැකියා විරහිත තරුණයින් හා විශ්‍රාමිකයින් වැනි බොහෝ දෙනෙකුට පොත් වෙනුවෙන් වැය කළ හැකි තරමේ ආදායමක් නැහැ. ඔවුන්ට සාපේක්ෂව බැලුවොත් පොත් වල මිල තවමත් වැඩියි. නමුත්, රජය මැදිහත් වී පොත් වෙළඳපොළ සුබසාධනය කිරීම වැනි සමාජවාදී පන්නයේ මැදිහත්වීම් මෙයට විසඳුමක් නොවන්නේ එමඟින් අනවශ්‍ය අය අතේ පොත් ගොඩ ගැසීම තව දුරටත් ධෛර්යමත් වන නිසයි.

මේ අසමතුලිතතාව සමනය කළ හැකි ධනවාදී විසඳුමක් ගැන ඉදිරි ලිපියක කතා කරමු.

Sunday, September 8, 2019

සාක්ෂරතා දිනය හා සාහිත්‍ය මාසය


අද (සැප්තැම්බර් 8) ජාත්‍යන්තර සාක්ෂරතා දිනයයි. 1966 ඔක්තෝබර් 26 වන දින පැවැත්වුණු යුනෙස්කෝ සංවිධානයේ 14 වන මහා සභා සැසි වාරයේදී මේ දිනය ජාත්‍යන්තර සාක්ෂරතා දිනය ලෙස නම් කොට ඊළඟ වසරේ සිට එදිනට ලොව පුරා විවිධ වැඩසටහන් සංවිධානය කරනු ලැබීමට යෝජනා සම්මත කර ගනු ලැබුවා.

ජාත්‍යන්තර සාක්ෂරතා දිනය යෙදෙන සැප්තැම්බර් මාසය ලංකාවේ ජාතික සාහිත්‍ය මාසය ලෙසත්, ඇමරිකාවේ ජාතික සාක්ෂරතා මාසය ලෙසත් හැඳින්වෙනවා. මේ මාසයේ ආරම්භය සනිටුහන් කරමින් ඇමරිකාවේ කොන්ග්‍රස් පුස්තකාලය මඟින් 2001 වසරේ සිට වාර්ෂිකව පවත්වන ජාතික පොත් සැණකෙළිය මෙවරද පැවැත්වුනා.

නමුත්, මේ සැණකෙළිය හෝ ජාත්‍යන්තර සාක්ෂරතා මාස සැමරුම් කටයුතු ඇමරිකාවේදී ලංකාවේ තරම්ම උත්කර්ෂවත් ලෙසින් පැවැත්වෙනවා කියා කියන්න බැහැ. 1999 සිට වාර්ෂිකව පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඊට වඩා දෙවසරකින් පැරණියි වගේම ඊට වඩා ගොඩක් සාර්ථක බවත් කිව හැකියි. ඇමරිකාවේ පොත් සැණකෙළිය ලාභ ලැබීම අරමුණ කර නොගත් රාජ්‍ය ආයතනයක් විසින් පවත්වන්නක් වීමත්, ලංකාවේ පොත් ප්‍රදර්ශනය පෞද්ගලික ව්‍යවසායකයින් විසින් සංවිධානය කරන ලාභ අරමුණු කරගත් කටයුත්තක් වීමත් මේ වෙනසට හේතුව බව පෙනෙනවා.

ලංකාවේ මේ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඇරඹුණු කාලය මට ඉතා හොඳින් මතකයි. මුල් වසර වලදී මා දිගටම මේ පොත් ප්‍රදර්ශනයට සහභාගී වුනා වගේම පොත් සැලකිය යුතු ප්‍රමාණයක් මිල දී ගත්තා. ඒ කාලය මගේ ආදායමෙන් සෑහෙන කොටසක් පොත් වෙනුවෙන් වැය කළ කාලයක්.

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයෙන් පොත් මිල දී ගැනීමෙන් ලැබුණු වාසි රැසක් තිබුණා. ඒ අතර වූ ප්‍රධාන වාසිය එහිදී ලැබුණු වට්ටම් නෙමෙයි. ලංකාවේ පොත් ප්‍රකාශකයින් විසින් සාහිත්‍ය මාසය තුළ අඩු මිලට පොත් විකිණීම ආරම්භ වුණේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සංවිධානය කරනු ලැබීමෙන් පසුව නෙමෙයි. ඒ වට්ටම් ඊට පෙරත් තිබුණා. අවම වශයෙන් අසූව දශකයේ මුල් කාලයේ සිට ලංකාවේ ප්‍රධාන පොත් ප්‍රකාශකයින් විසින් සාහිත්‍ය මාසය පුරා වට්ටම් මිලකට පොත් විකිණුවා. හරියටම මතක නැතත්, හැත්තෑව දශකයේදීත් සැප්තැම්බර් මාසයේදී මේ අයුරින් වට්ටම් දීම සිදු වුනා කියා මා හිතනවා.

ඒ දවස් වල ලංකාවේ පොත් ප්‍රකාශකයින් අතර ඉදිරියෙන්ම සිටියේ ගුණසේන සමාගමයි. එම සමාගමට රට පුරා ව්‍යාප්ත වූ පුළුල් ශාඛා ජාලයක්ද තිබුණා. දෙවැනි තැන හිටියේ ගොඩගේ සමාගම වෙන්න ඇති. දයාවංශ ජයකොඩි සමාගම, මොඩන් පොත් ප්‍රකාශකයෝ වගේ අයත් පොත් ගැහුවා. අනූව දශකයේදී වේගයෙන් ඉදිරියට ආ සරසවි සමාගම ඒ කාලය වෙද්දී ලොකුවට මතු වී තිබුණු එකක් නෙමෙයි.

සාහිත්‍ය මාසයේදී අඩු මිලට පොත් ගන්න ගුණසේන සමාගමට එන එක මා පටන් ගත්තේ වැඩිහිටියෙකු සමඟ මිස තනිව නිවසින් බැහැර යා නොහැකි තරම් කුඩා කාලයේදීයි. මේ කටයුත්ත මගේ පියා වගේම මවගේ පියා විසිනුත් කළ දෙයක්. ඉන් පසුව, තනිව පොත් හලකට යා හැකි වයසකට පැමිණ අතට මුදලක්ද ලැබුණු කාලයේ සිට දිගටම මා මේ පොත් මිල දී ගැනීම කළා.

මේ ආකාරයට කොළඹදීනම් බොහෝ විට ගියේ ගුණසේන එකටයි. ඒ දවස් වල කොළඹ කියා හොඳින් දැන සිටියේ පිටකොටුව පමණයි. වෙන කොහේ හරි යන්න අවශ්‍ය වුනත් කළේ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළට ඇවිත් ආපහු යන එකයි. නුගේගොඩ ඉඳලා නාරාහේන්පිට වගේ තැනකට යන්න පිටකොටුවට යන්න අවශ්‍ය නැති බව දැන ගන්න කොළඹ අවට ජීවත් නොවූ අයෙකුට කාලයක් යනවා.

ගුණසේන එකේ තිබුණු වාසිය එම පොත්හළ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළට ඉතා කිට්ටුවෙන් තිබීමයි. අපේ ප්‍රාදේශීය නගරයේත් ගුණසේන ශාඛාවක් තිබුණත්, එහිත් කොළඹදී ලැබෙන වට්ටම්ම ලැබුණත්, කොළඹදී මෙන් විශාල පොත් තොග එහිදී දැකිය හැකි වුනේ නැහැ. කොළඹ පැමිණි විට අතේ ඇති මුදලට වැඩි තේරීමක් තිබුණා.

ඒ දවස්වලත් සාහිත්‍ය මාසයේදී ගුණසේන එකේ හැම පොතකටම දැන් ලැබෙන 20% වට්ටම ලැබුණා. ඇතැම් පොත් වලට 50%, 75% වැනි වට්ටම්ද ලැබුණා. ඒ විකුණාගත නොහැකිව ඉතිරිව තිබූ දශකයකට හෝ දෙකකට පෙර මුද්‍රණය කළ පොත්. දිලිසෙන කවර තිබුණු පොත් නෙමෙයි. ඒ පොත් වල සාමාන්‍ය මිල සේ සටහන්ව තිබුණේද බොහෝ අඩු මිලක් නිසා වට්ටම් ලැබුණු පසුව මේ පොත් අලෙවි වුනේ හොඳටම අඩු මිලකටයි. ගුණසේන සමාගම වැනි පොත් සමාගම් සාහිත්‍ය මාසය යොදාගත්තේ විකිණෙන පොත් වැඩියෙන් අලෙවි කර ගන්න වගේම නොවිකිණෙන පොත් කීයකට හෝ විකුණා නිදහස් වීමේත් අරමුණිනුයි.

ගුණසේන සමාගම වගේම අනෙක් පොත් ප්‍රකාශකයනුත් සාහිත්‍ය මාසයට වට්ටම් දෙන එක කළා. එම සමාගම් තිබෙන තැන් වලට යා හැකි ආකාරය හොයා ගැනීමෙන් පසුව මම ගුණසේන එකට අමරතව ඒ තැන් වලටත් ගියා. එහෙත්, ප්‍රශ්නය වුනේ ගුණසේන එකට මුලින්ම යාමෙන් පසුව බොහෝ විට අතේ වූ මුදල් අවසන් වීමයි.

කොළඹ ජාත්‍යන්තර ප්‍රදර්ශනය ආරම්භ කරනු ලැබීමෙන් පසුව ලැබුණු ප්‍රධානම වාසිය වුනේ මේ ප්‍රධාන පොත්හල් සියල්ලේම තිබෙන පොත් සසඳා බලා අතේ ඇති මුදලට හොඳම තේරීමක් කළ හැකි වීමයි. ඒ හැර, ලැබුණු වට්ටම් වල අමුතු වාසියක් තිබුණේ නැහැ. ඒ වගේම, ඉතාම අඩු මිලකට විකිනුණු "නොවිකිණෙන පොත්" කොළඹ පොත් ප්‍රදර්ශනයේදී දකින්න ලැබුනේත් නැහැ.

මම හිතන විදිහට මුල් අවුරුදු වලනම් කොළඹ පොත් ප්‍රදර්ශනයට සහභාගී වුනේ ඇත්තටම පොත් මිල දී ගන්න අවශ්‍ය අය මිස සෙල්ෆි ගහන්න හෝ යාලුවෝ හමු වෙන්න අවශ්‍ය අය නෙමෙයි. සෙල්ෆි ගැහිල්ලක් හෝ ෆේස්බුක් ඒ කාලයේ තිබුණෙත් නැහැ. කොහොම වුනත්, අවශ්‍ය කෙනෙක් එවැනි වෙනත් අරමුණකින් කොළඹ පොත් ප්‍රදර්ශනයට සහභාගී වෙනවානම් එහි ඇති වැරැද්දකුත් නැහැ.

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පොත් ප්‍රකාශකයින්ගේ පැත්තෙන් වගේම පාරිභෝගිකයන්ගේ පැත්තෙනුත් හොඳ දෙයක් කියලයි මම හිතන්නේ. පොත් ප්‍රකාශකයින්ගේ සංගමය හරහා ප්‍රකාශකයින් විසින් ඒකාධිකාරයක් (කතිපයාධිකාරයක්) ඇති කර ගෙන තිබීමේ අවුලක් තිබුණත්, එය පොත් ප්‍රදර්ශනය නිසා ඇති වී තිබෙන දෙයක් නෙමෙයි. පාරිභෝගිකයන්ගේ පැත්තෙන් බැලුවොත් මෙහි තිබෙන වාසිය වට්ටම් නෙමෙයි. පොත් ප්‍රදර්ශනය නැතත් ඔය වට්ටම් වෙන කවර හෝ ආකාරයකින් ලැබෙනවා. පාරිභෝගිකයින්ට ලැබෙන වාසිය තමන්ගේ අතේ තිබෙන මුදලට පොතක් මිල දී ගන්න පෙර වැඩි විකල්ප ගණනාවක් පහසුවෙන් සසඳා බැලිය හැකි වීමයි. පොත් ප්‍රකාශකයින්ට වැඩි අලෙවියේ වාසිය ලැබෙනවා.

දෙපැත්තටම වාසි තිබෙන නිසා, කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඉදිරි වසර කිහිපයේදීත් ඔය විදිහටම පැවැත්වෙයි කියා හිතන්න පුළුවන්. නමුත්, අන්තර්ජාල වෙළඳාම් ක්‍රමයෙන් ප්‍රචලිත වන විට පාරිභෝගිකයින් විසින් පොත් ප්‍රදර්ශනයේදී කරන විකල්ප සසඳා බැලීම ගෙදර සිටම කළ හැකි වන නිසා කොළඹ පොත් ප්‍රදර්ශනයෙන් පාරිභෝගිකයින්ට හා පොත් වෙළෙන්දන්ට වාසි සැපයෙන ව්‍යාපාරික වාතාවරණය කාලයත් සමඟ නැති වී යා හැකියි.

වෙබ් ලිපිනය: