වෙබ් ලිපිනය:

Showing posts with label මුදල්. Show all posts
Showing posts with label මුදල්. Show all posts

Saturday, July 19, 2025

ගනුදෙනු වල ආරම්භය කුමක්ද?

සම්භාව්‍ය ආර්ථික විද්‍යාව ගොඩ නැගී තිබෙන්නේ නිදහස් ගනුදෙනු සිදුවන්නේ ස්වාර්ථය මතයි කියන අදහස පාදකවයි. ඇඩම් ස්මිත්ට අනුව ඔබට පාන් ලැබෙන්නේ බේකරිහිමියාගේ කරුණාව නිසා නොව බේකරිහිමියා ස්වාර්ථය මත ක්‍රියා කිරීම නිසායි. මේ ප්‍රකාශයේ වරදක් නැතත්, මෙවැනි අදහස් ඉදිරියට යද්දී එයින් එහාට ගිය ගනුදෙනු සිදු වන්නේ ස්වාර්ථය මත පමණක්ය යන අදහස ඉස්මතු වීමක්ද දැකිය හැකියි. ධනවාදයේ සදාචාරත්මක පදනම වන්නේද මෙම අදහසයි.

නූතන ආර්ථික විද්‍යාවට අනුව ගනුදෙනු සිදු වන්නේ ස්වාර්ථය මත පමණක්ම නෙමෙයි. පරාර්ථය නිසාද ගනුදෙනු සිදු වෙනවා. ඒ කියන්නේ ඇතැම් විට බේකරිහිමියාගේ කරුණාව නිසාත් ඔබට පාන් ලැබෙන්න පුළුවන්. මෙය චර්යා ආර්ථික විද්‍යාවේදී දිගින් දිගටම පර්යේෂණාත්මකව තහවුරු වී ඇති දෙයක්. 

ඇත්ත වශයෙන්ම ඇඩම් ස්මිත් වුවද, ගනුදෙනු සිදු වන්නේ ස්වාර්ථය මත පමණක්යැයි කියන්නේ නැහැ. ඔහු කියන්නේ වෙනත් අයෙකු විසින් පරාර්ථය මත සිදු කරන දේවල් පිළිබඳව පමණක් ඔබට බලාපොරොත්තු තැබිය නොහැකි බවයි.

"But man has almost constant occasion for the help of his brethren, and it is in vain for him to expect it from their benevolence only."

කෙසේ වුවත්, සම්භාව්‍ය ආර්ථික විද්‍යාවේ උපකල්පන මත ගොඩ නැගී ඇති ආකෘති සැබෑ ලෝකයෙහි වැඩ කරනවා. ඊට හේතුව එම ආකෘති වැඩ කිරීම සඳහා මුලින් එම ආකෘති ගොඩ නැගීමේදී සිදු කෙරුණු උපකල්පන සියල්ලක්ම අනිවාර්යයෙන්ම අවශ්‍ය නොවීමයි. සීමිත උපකල්පන යටතේ වුවද ආකෘති බොහොමයක් වැඩ කරනවා.

මුදල් ක්‍රමයේ විකාශනය ගැන විස්තර කෙරෙද්දී සෘජු භාණ්ඩ හුවමාරුව යන්නෙන් අදහස් වන්නේ ස්වාර්ථය මත පදනම් වූ ගනුදෙනු. ඒ නිසාම, සෘජු භාණ්ඩ හුවමාරුව ඇරඹුණු කාලය සේ සැලකෙන්නේ ස්වාර්ථය මත පදනම් වූ ගනුදෙනු සිදු වූ බවට සාක්ෂි ඇති කාලයයි. 

නිදහස් ගනුදෙනු යනු පුළුල් ලෙස අර්ථකථනය කළ හැකි අදහසක්. එයට ස්වාර්ථය මත පදනම් වූ ගනුදෙනු පමණක් ඇතුළත් විය යුතු නැහැ. දෙදෙනෙකු අතර ස්ව කැමැත්තෙන් සිදු වන ඕනෑම ගනුදෙනුවක් නිදහස් ගනුදෙනුවක් සේ සැලකිය හැකියි. 

ජීව විද්‍යාත්මක හේතු මත සිදු වන ගනුදෙනු මූලිකම මට්ටමේ ගනුදෙනු සේ සලකන්න පුළුවන්. මෙවැනි මූලික ගනුදෙනු ස්වාර්ථය මත මෙන්ම පරාර්ථය මත වුවද සිදු විය හැකියි. 

ඕනෑම සත්ත්ව ගහණයක් වඳ නොවී පැවතිය හැක්කේ තිරසාර ලෙස වර්ගයා බෝවීමක් සිදු වන්නේනම් පමණයි. මිනිසුන් ඇතුළු බොහෝ සතුන් හා අදාළව මේ සඳහා ගැහැණු හා පිරිමි සතුන් අතර ලිංගික එක්වීමක් අවශ්‍ය වෙනවා. මෙවැන්නක් සිදු විය හැකි ආකාර දෙකක් තිබෙනවා. එකක් ලිංගික බලහත්කාරය. දෙවැන්න නිදහස් කැමැත්ත මත සිදු වන එක් වීම. 

මිනිසුන් අතර වුවද බලහත්කාරය මත පදනම් වූ ලිංගික එක් වීම් සිදු වෙනවා. නමුත් බොහෝ විට දැකිය හැක්කේ කැමැත්ත ලබා ගැනීම පිණිස සිදු කරන පොළඹවා ගැනීමුයි. මේ තත්ත්වය සතුන් අතරද දැකිය හැකියි. සාමාන්‍යයෙන් ඕනෑම අහඹු ගැහැණු සතෙකු හා පිරිමි සතෙකු අතර ලිංගික එක්වීමක් සිදු වන්නේ නැහැ. 

මීට පෙර වාලම්පුරි ගැන ලියා ඇති ලිපියක විස්තර කර ඇති පරිදි, කටුව දක්ෂිණාවර්තව කැරකුණු බෙල්ලන් ඉතා දුලබයි. කටුව දක්ෂිණාවර්තව කැරකුණු බෙල්ලෙකුට කටුව වාමාවර්තව කැරකුණු බෙල්ලෙකු හා ලිංගිකව එක්වීම භෞතික වශයෙන් ඉතා අසීරු දෙයක්. අපේ ප්‍රදේශයේ ඇති සත්ත්ව උද්‍යානයක එක්තරා බෙල්ලන් වර්ගයක කටුව දක්ෂිණාවර්තව කැරකුණු සතෙකු හිටියා. එම සතාගෙන් ජනිතයින් බිහි කරගැනීමේ අරමුණින් එවැනිම තවත් සතෙකු සොයා ගැනීම සඳහා විශාල උත්සාහයක් දැරීමෙන් පසුව එවැනි තවත් සතෙකු සොයා ගැනීමට හැකි වුනා. නමුත් මේ සතුන් දෙදෙනා අතර ලිංගික එක් වීමක් සිදු වූයේ නැහැ.

වඩා දියුණු මොළයක් සහිත සතුන් අතර ලිංගික සහකරුවන් තෝරා ගැනීමේ චර්යාව පැහැදිලිව දකින්න පුළුවන්. ක්ෂීරපායීන්, පක්ෂීන් මෙන්ම යම් දුරකට මත්ස්‍යයන් විසින්ද මෙම චර්යාව පෙන්නුම් කරනවා. මෙහි පදනම සවිඥානිකත්වය මත පදනම් වූ නිදහස් කැමැත්තක්ය යන්න එයින් අනිවාර්යයෙන් ගම්‍ය වන්නේ නැහැ. මෙය සිදු වන්නේ ජීව විද්‍යාත්මක හේතු මතයැයි සලකන්නේනම්, මේ කාරණය හා අදාළව මිනිස් හැසිරීම්ද එවැනිම පදනමකින් සිදු වීමේ හැකියාව බැහැර කරන්න බැහැ. 

ලිංගික එක්වීම් හා අදාළව පැහැදිලි වන පරිදි මිනිසුන් විසින් විරුද්ධ ලිංගිකයෙකුගේ කැමැත්ත ලබා ගැනීම සඳහා විවිධ දේවල් කරනවා. එසේ කළ පමණින් අනිවාර්යයෙන්ම අනෙකාගේ කැමැත්ත ලැබෙන්නේ නැහැ. මෙය මිනිසුන්ට අනන්‍ය දෙයක් නෙමෙයි. ඇතැම් සතුන්ටද පොදු දෙයක්. අවසාන වශයෙන් මෙහි තිබෙන්නේ ස්වාර්ථය පිණිස සිදු කරන ගනුදෙනුවක් හෝ එහි මූලික ස්වභාවයක්. 

මිනිසුන් පොදු අරමුණක් වෙනුවෙන් සාමූහිකව කටයුතු කරන්නාක් මෙන්ම සතුන්ද සාමූහිකව කටයුතු කරනවා. වෘකයින් කණ්ඩායමක් ලෙස සාමූහිකව දඩයමේ යනවා. නමුත් මේ අවස්ථාවේදී වුවද සහයෝගීතාවයක් ඇති වීමේ පදනම ස්වාර්ථ සාධනයයි. 

එහෙත් සිය ජනිතයින් ලොකු මහත් කර ගැනීම පිණිස කාලය හා ශ්‍රමය වැය කරද්දී මෙවැනි ස්වාර්ථ සාධන අරමුණකින් ඔබ්බට ගිය පරාර්ථකාමී අරමුණක් දකින්න පුළුවන්. මෙය මිනිසුන්ට අනන්‍ය වූ තත්ත්වයක් නෙමෙයි. සිය ජනිතයින් කෙරෙහි වන මෙම පරාර්ථකාමී අරමුණ නොවන්නේනම් මිනිස් ගහණය ඇතුළු බොහෝ සත්ත්ව ගහණයන් මේ වන විට වඳ වී ගිහින්. 

පරිනාමිකව ඉදිරීයෙන් සිටින සත්ත්ව ගහණයක තිරසාර පැවැත්ම සඳහා ස්වාර්ථ සාධනය මුල් කර ගනිමින් ආහාර සපයා ගැනීම මෙන්ම පරාර්ථකාමය මත පදනම්ව ජනිතයින් ලොකු මහත් කිරීමද අවශ්‍ය වෙනවා. ඒ නිසා, ස්වාර්ථය මත මෙන්ම පරාර්ථය මත පදනම්ව සිදු වන ගනුදෙනු වලටද ජීව විද්‍යාත්මක පදනමක් තිබෙනවා. 

මිනිසුන් අතර සිදු වන සංකීර්ණ ගනුදෙනු ගහණයේ පැවැත්ම සඳහා අවශ්‍ය මූලික සීමාවෙන් ඔබ්බට ගිය ගනුදෙනු බව පෙනෙන්නට තිබෙනවා. මෙවැනි සංකීර්ණ ගනුදෙනු වල මූලාරම්භය කුමක්ද? 

සත්ත්ව චර්යා දෙස බැලූ විට පෙනෙන්නේ ජීව විද්‍යාත්මක සම්බන්ධයක් නොමැති සතුන් දෙදෙනෙකු අතර සිදු වන ගනුදෙනු මුලින්ම ආරම්භ වන්නේ ස්වාර්ථය මුල් කොටගත් ක්‍රියාවකින් නොව පරාර්ථය මුල් කොට ගත් ක්‍රියාවකින් විය හැකි බවයි. මෙම පරාර්ථය මුල් කොට ගත් ක්‍රියාවට ප්‍රතික්‍රියාවක් දැක්වීම හේතුවෙන් (reciprocal altruism) එම පරාර්ථකාමී ක්‍රියාව ගනුදෙනුවක් බවට පත් වෙනවා. ඉන් පසුව, පරාර්ථය මත පදනම් වූ ගනුදෙනු මගින් ලබා ගත් "අධ්‍යාපනය"හේතුවෙන්  ස්වාර්ථය මත පදනම්වද එවැනි ගනුදෙනු සිදුවිය හැකියි.

ලේ උරා බොන වවුලෙකු විසින් වෙනත් වවුලෙකුට ආහාර සැපයීම හෝ  වඳුරෙකු විසින් වෙනත් වඳුරෙකුගේ සිරුර පිරිසිදු කිරීම උදාහරණ සේ පෙන්වන්න පුළුවන්. මුලින්ම මෙවැන්නක් කරන්නේ ස්වාර්ථය මුල් කරගත් ගනුදෙනුවක් ලෙස නෙමෙයි. තමන්ගේ ජනිතයෙකු වෙනුවෙන් කරන ආකාරයේ පරාර්ථකාමී ක්‍රියාවක් ලෙසයි. මෙවැනි එක් පරාර්ථකාමී ක්‍රියාවක් නිසා වෙනත් සතුන්ද එසේ කිරීමට පෙළඹෙනවා. නමුත් සියල්ලන්ම මෙවැනි ක්‍රියාවකට ප්‍රතික්‍රියා දක්වන්නේ නැහැ. මෙහි ප්‍රතිඵලයක් ලෙස අහඹු අයෙකුට උදවු කිරීම වෙනුවට අන්‍යෝන්‍ය වශයෙන් උදවු කර ගැනීමේ චර්යාවක් ගොඩ නැගෙන්න පුළුවන්. එවිට එය ස්වාර්ථය මත පදනම් වූ ගණුදෙනුවක්. 

මිනිස් ක්‍රියාකාරකම් බොහොමයකට කිසියම් ජානමය සම්බන්ධයක් තිබෙනවා. ආහාර තේරීම්, මත්ද්‍රව්‍ය සඳහා වන කැමැත්ත වැනි දේවල් වල සිට මුදල් ඉතිරි කිරීමේ නැඹුරුව දක්වා විශාල පරාසයක ක්‍රියාකාරකම් වල මේ සම්බන්ධය දැකිය හැකියි. ඒ නිසා, මිනිසුන්ගේ තීරණ මුළුමනින්ම ඔවුන්ගේ පාලනය යටතේ තිබෙන තීරණ නෙමෙයි. නමුත් ස්වාධීන කැමැත්තක් නොමැති බවක් එයින් අදහස් වන්නේ නැහැ. පුහුණු වීම මගින් මුත්‍රා කිරීම වැනි අතිශය ජීව විද්‍යාත්මක ක්‍රියාකාරකම් පවා පාලනය කිරීමේ හැකියාවක් මිනිසුන්ට තිබෙනවා. එහෙත් මිනිසුන් කියන්නේත් අනෙක් සතුන් වැනිම කාබනික යන්ත්‍ර.

සතුන්ට පමණක් නැති සවිඥානිකත්වයක් මිනිසුන්ට පමණක් ඇති බව යල් පැන ගිය හෝ ආගමික අදහසක් පමණයි. දර්පණ පරීක්ෂණය යමෙකුගේ ස්වයං දැනුවත්භාවය (self-awareness) පිළිබඳ පරීක්ෂාවක්. දර්පණයකින් පෙනෙන්නේ ඔබේම ප්‍රතිබිම්බයක් බව ඔබට හඳුනා ගත හැකිද? දර්පණයක ඇති ප්‍රතිබිම්බයක් දෙස බලාගෙන ඔබේ සිරුරේ ඇති කිසියම් සලකුණක් ස්පර්ශ කිරීමේ හැකියාවක් ඔබට ඇත්නම් එයින් අදහස් වන්නේ ඔබට ස්වයං දැනුවත්භාවයක් ඇති බවයි.

මිනිස් දරුවන් දර්පණ පරීක්ෂණය සමත් වන්නේ මාස 18-24 අතර වයසකදීයි. එයින් අදහස් වන්නේ මිනිසුන් තුළ ස්වයං දැනුවත්භාවය ගොඩ නැගෙන්නේ එම කාලයේදී බවයි. චිම්පන්සි, බොනබෝ වඳුරන්, අලි, ඩොල්ෆින් මත්ස්‍යයින් මෙන්ම පොල්කිචි වර්ගයේ පක්ෂීන් විසින්ද මෙම දර්පණ පරීක්ෂණය සමත්ව තිබෙනවා. 

වඳුරෙකු විසින් වෙනත් වඳුරෙකු විසින් තමන් සතු ආහාර දුටු බව දැකීමෙන් පසුව එම ආහාර සඟවනවා. කපුටන් විසින්ද වෙනත් කපුටෙකු විසින් තමන් සතු ආහාර දුටු බව දැකීමෙන් පසුව එම ආහාර සඟවනවා. මෙයින් පෙනී යන්නේ එම සතුන්ට අනෙක් සතුන්ගේ හැසිරීම් පිළිබඳව පවා අවබෝධයක් ඇති බවයි. එමෙන්ම ආයුධ භාවිතයද බොහෝ සත්ත්ව වර්ග විසින් කරන දෙයක්. 

ඉහත කරුණු අනුව සියල්ල එක්ව ගත් විට පෙනී යන්නේ සවිඥානිකව හා ස්වාර්ථය මුල් කරගෙන, අනෙකාගේ කැමැත්ත පිළිබඳවද තක්සේරුවක් ඇතිව, ගනුදෙනු කිරීමේ හැකියාවක් සතුන්ට පවා ඇති බව බැහැර කළ නොහැකි බවයි. එය එසේනම් මිනිස් සත්ත්වයා විසින් ස්වාර්ථය මුල් කරගෙන ගනුදෙනු කිරීමේ හැකියාව  වර්ධනය කර ගන්නට ඇත්තේ මිනිසා සතුන්ගෙන් විභේදනය වීමටද පෙර කාලයකදීයි. 

කෙසේ වුවද දඩයම් සතෙකු වූ මිනිසා කෘෂිකාර්මික සතෙකු බවට පත් වී පෞද්ගලික දේපොළ මත පදනම් වූ සමාජ ගොඩ නැගුනු පසු මිනිසාගේ ස්වාර්ථ සාධන අරමුණ වෙනුවෙන් කරන ගනුදෙනු වේගයෙන් ඉහළ යනවා. එයට ප්‍රධාන හේතුවක් වන්නේ මෙවැනි සමාජ ක්‍රමයකදී ශ්‍රම විභජනයේ වාසි ඉහළ යාමයි. ඊටම සම්බන්ධ අනෙක් හේතුව නිෂ්පාදන අතිරික්තය සහ ඒ මගින් වත්කම් බිහිවීමයි.

සෛද්ධාන්තිකව භාණ්ඩ හුවමාරු ක්‍රමයක් වෙනත් සත්ත්ව ගහණයක වුනත් ඇති වෙන්න බැරිකමක් නැහැ. ඒ සඳහා අවශ්‍ය වන මූලික කොන්දේසි වන ස්වයං දැනුවත්භාවය සහ අනෙකාගේ හැසිරීම් තේරුම් ගැනීමේ හැකියාව ඇතැම් සත්ත්ව වර්ග විසින් පවා ප්‍රදර්ශනය කර තිබෙනවා. නමුත් සත්ත්ව සමාජ කිසිවක භාණ්ඩ හුවමාරු ක්‍රමයක් බිහි විය හැකි වාස්තවික තත්ත්වයන් ගොඩ නැගී නැහැ. ඒ සඳහා සංකීර්ණ සමාජ ගොඩ නැගුමක් අවශ්‍ය වෙනවා.

මිනිසුන්ගේ වුවද, දඩයම් සමාජයක මේ වාස්තවික තත්ත්වයන් නැහැ. භාණ්ඩ හුවමාරු ක්‍රමයක් ඇති වීම සඳහා පළමුව පෞද්ගලික දේපොළ අයිතිය පිළිබඳ අදහස සමාජයක සාමූහික විශ්වාසයක් බවට පත් විය යුතුයි. දඩයම් සමාජයක් කෘෂිකාර්මික සමාජයක් බවට පරිණාමය වෙද්දී මේ වෙනස සිදු වෙනවා. මා වගා කළ දෙයක අස්වැන්න මගේ දෙයක්. ඔබ වගා කළ දෙයක අස්වැන්න ඔබේ දෙයක්. ඔබට අයිති දෙය ඔබේ කැමැත්ත ලබා නොගෙන මා විසින් ලබා ගැනීම වරදක්. සොරකම වරදක් වන්නේ පෞද්ගලික දේපොළ අයිතිය පිළිබඳ අදහස සමාජයක සාමූහික විශ්වාසයක් බවට පත් වීමෙන් පසුවයි. පෞද්ගලික දේපොළ අයිතිය සමාජ සම්මතයක් වන තුරු සොරකම කියන වරදට අර්ථයක් නැහැ. 

පෞද්ගලික දේපොළ අයිතිය සංකල්පයේ මූලිකම අවස්ථාවක් වන්නේ සිය දරුවන් පිළිබඳව මවට තිබෙන අයිතියයි. මෙය සතුන්ටද තිබෙන හැඟීමක්. සපයා ගන්නා ආහාර වල අයිතිය පිළිබඳ හැඟීමද මෙවැනි මූලික දෙයක්. තමන් සතු මෙවැනි "දේපොළ" ආරක්ෂා කර ගැනීම සඳහා සාපේක්ෂව දියුණු මොළයක් තිබෙන ඕනෑම සතෙක් සටන් කරනවා. නමුත් භාණ්ඩ හුවමාරු ක්‍රමයක් ඇති වෙන්නනම් පෞද්ගලික දේපොළ අයිතියේ පරාසය මීට වඩා විශාල විය යුතුයි. දඩයම් සමාජයක් ඒ සීමාව පනින්නේ නැහැ. 

කිසියම් සමාජයක පෞද්ගලික දේපොළ පරාසය විශාල වීමෙන් පසුව වුවද හැම පෞද්ගලික දේපොළක්ම හුවමාරු භාණ්ඩ බවට පත් වන්නේ නැහැ. ඉඩමක් වැනි දෙයක අයිතිය හුවමාරු කර ගැනීම සඳහා සංකීර්ණ සමාජ සම්මුතීන් අවශ්‍ය වෙනවා. එහෙම නැතුව ඉඩමක් අතින් අරගෙන යන්න බැහැ. නමුත් කුකුළෙක් හෝ එළුවෙක් අතින් අරගෙන යන්න පුළුවන්. ඒ නිසා කුකුළෙක් හෝ එළුවෙක් කියන්නේ කිසියම් පුද්ගලයෙකුගේ පෞද්ගලික දේපොළක් කියන සාමූහික විශ්වාසය ගොඩ නගා ගත්තාට පස්සේ එවැනි දේ භාණ්ඩ හුවමාරු ආර්ථිකයක වෙළඳ භාණ්ඩ බවට වීමේ විභවයක් ඇති වෙනවා.

මේ සියල්ල සිදු වූ පමණින්ද භාණ්ඩ හුවමාරු ආර්ථිකයක් ඇති වෙන්නේ නැහැ. ඒ සඳහා ශ්‍රම විභජනය මත පදනම් වූ සමාජ ක්‍රමයක් ගොඩ නැගෙන්නත් අවශ්‍යයි. ස්වයංපෝෂිත ආර්ථික ඒකක පමණක් තිබෙන සමාජ ගොඩනැගුමක භාණ්ඩ හුවමාරු කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. 

කෘෂිකාර්මික සමාජ ක්‍රමයක මූලික අදියරේදී බිහි වන්නේ ඔය විදිහේ ස්වයංපෝෂිත ආර්ථික ඒකකයි. දඩයම් කර ආහාර සපයා ගැනීම වෙනුවට වගා කොට හෝ සත්ත්ව පාලනය මගින් ආහාර සපයා ගැනීම ආදේශ වෙනවා. නමුත් එපමණකින්ම තමන්ගේ මූලික අවශ්‍යතා සපයා ගැනීම සඳහා අනෙකෙකු සමඟ කරන ගනුදෙනු පිළිබඳව විශ්වාසය තැබීමක් සිදු වන්නේ නැහැ.

පෞද්ගලික දේපොළ අයිතිය සම්මුතියක් බවට පත් වී, වත්කම් ගොඩ නැගීමක්ද සිදු වීමෙන් පසුව, කිසියම් සමාජ කණ්ඩායමක් තුළ යම් ප්‍රමාණයක හෝ වත්කම් විෂමතාද ඇති වෙනවා. මෙයින් අදහස් කෙරෙන්නේ මූලික ආර්ථික ඒකකය මූලික සමාජ ඒකකයකට වඩා විශාල වූ තත්ත්වයක්. සාමාන්‍යයෙන් දඩයම් සමාජයක හෝ සත්ත්ව ගහණයක සමාජ ඒකකයක් හා ආර්ථික ඒකකයක් අතර වෙනසක් නැහැ. ඒ නිසාම, එකට ජීවත් වන කණ්ඩායමක් අතර සම්පත් විෂමතා නැහැ.

කෘෂිකාර්මික හැරවුමකින් පසුව මිනිස් සමාජයේ මේ මූලික සැකැස්මේ වෙනසක් සිදු වෙනවා. මූලික ආර්ථික ඒකකය පවුල. මූලික සමාජ ඒකකය ගම හෝ ගෝත්‍රික කණ්ඩායම. මෙවැනි සමාජ ඒකකයක් තුළ ආර්ථික ඒකක අතර වත්කම් විෂමතා පැවතීම සාමාන්‍ය තත්ත්වයක්. එහෙත්, සමාජ ඒකකය තුළ පවතින පොදු බැඳීම නිසා ආර්ථික ඒකක අතර පරාර්ථය මත පදනම් වූ ගනුදෙනු සිදු වෙන්න පුළුවන්. වැඩිපුර ආහාර තිබෙන අයෙකු විසින් ආපසු යමක් අපේක්ෂා නොකර ආහාර නොමැති අයෙකුට ආහාර ලබා දීමක් සිදු වෙන්න පුළුවන්. 

මෙවැනි අවස්ථාවකදී පෞද්ගලික දේපොළ සමාජ සම්මතයක් වී ඇති කණ්ඩායමක් තුළ අනෙකෙකුගේ උපකාර ලබන අයෙකුට තමන් විසින් ලබා ගත් දේ වෙනුවෙන් ආපසු යමක් කිරීමේ පෙළඹුමක් ඇති වෙන්න පුළුවන්. ඒ පෙළඹුම නිසා මුල් ගනුදෙනුව පසුව ආපසු හැරවෙන්න පුළුවන්. මෙවැනි අවස්ථාවකදී ණය දීමේ සහ ණය ලබා ගැනීමේ සංස්කෘතියක මූලික බීජය පැල වෙනවා. ඒ නිසා, කාලයක් යද්දී ණය දීම හා ගැනීම සම්මුතියක් සහ ස්වාර්ථ සාධනය මත පදනම් වූ ගනුදෙනුවක් බවට පත් වෙන්න පුළුවන්. 

මෙවැනි තත්ත්වයක් යටතේ වුවද සිදු වන්නේ භාණ්ඩ හුවමාරුවක්. එකම වෙනස ගනුදෙනුවේ සංරචක දෙක අතර කාල වෙනසක් පැවතීමයි. එවැන්නක් සිදු විය හැක්කේ අදාළ පාර්ශ්ව දෙක අතර සැලකිය යුතු මට්ටමේ විශ්වාසයක් ගොඩ නැගී ඇත්නම් පමණයි. නමුත් එසැණින් අවසන් වන භාණ්ඩ හුවමාරුවක් සඳහා මෙවැනි විශ්වාසයක් අවශ්‍ය වන්නේ නැහැ. ඒ නිසා, භාණ්ඩ හුවමාරුව සඳහා අවශ්‍ය වන්නේ ණය ගනුදෙනු සිදු වීම සඳහා අවශ්‍ය වන වාස්තවික තත්ත්වයන්ට වඩා අඩු කොන්දේසි ප්‍රමාණයක්. 

ණය ගනුදෙනු ඇති වීමට හෝ භාණ්ඩ මුදල් බිහි වීමට පෙර භාණ්ඩ හුවමාරු ක්‍රමය ඇති වීම තර්කානුකූලව සිදු විය යුතු දෙයයි. ඒ සඳහා අවශ්‍ය වන කොන්දේසි වල ස්වභාවය නිසා ලෝකයේ විවිධ කලාප වල මෙය සිදු වන්නට ඇත්තේ විවිධ කාල වකවානු වලයි. 

පුරා විද්‍යාත්මක සාක්ෂි අනුව ක්‍රිස්තු පූර්ව 9000 වැනි කාලයක පවා භාණ්ඩ හුවමාරු සිදුව ඇත්තේයැයි විශ්වාස කෙරෙනවා. මෙම විශ්වාසයේ පදනම වන්නේ කිසියම් ස්ථානයක සිට කිලෝ ඈතින් පමණක් ලබා ගත හැකි දේ අදාළ ප්‍රදේශයේ වීමයි. වත්මන් ඊශ්‍රායලය, තුර්කිය හා පකිස්ථානය රටවලට අයත් විවිධ පෙදෙස් වලින් මෙවැනි සාක්ෂි හමු වී තිබෙනවා. නමුත් එයින් අදහස් වන්නේ මුදල් විකාශනයේ ඊළඟ අදියරකට යාමෙන් පසුව එම ප්‍රදේශ වලින් භාණ්ඩ හුවමාරු ක්‍රමය අතුරුදහන් වූ බව නෙමෙයි. අද පවා යම් සීමිත තත්ත්වයන් යටතේ භාණ්ඩ හුවමාරු ක්‍රමය ක්‍රියාත්මක වෙනවා. 

මෙවැනි භාණ්ඩ හුවමාරු ගනුදෙනු සංකල්පීය ලෙස ස්වාර්ථය මුල් කොට ගෙන සිදු වන මූලික මට්ටමේ ගනුදෙනු සේ සැලකිය හැකියි. ලිපියෙහි විස්තර කර ඇති පරිදි භාණ්ඩ හුවමාරු ගනුදෙනු සිදු වීම සඳහා මුලින්ම ඒ සඳහා අවශ්‍ය වාස්තවික තත්ත්වයන් ඇති විය යුතුයි. එහෙත් කිසියම් සමාජ කණ්ඩායමක් තුළ මේ අවශ්‍ය වාස්තවික තත්ත්වයන් ගොඩ නැගී භාණ්ඩ හුවමාරු ගනුදෙනු ආරම්භ වීමෙන් පසුව එම කණ්ඩායමට එවැනි වාස්තවික තත්ත්වයන් ගොඩ නැගී නොමැති සමාජ කණ්ඩායම් සමඟ වුවද භාණ්ඩ හුවමාරු ගනුදෙනු සිදු කළ හැකියි. ඒ නිසාම, අවසාන වශයෙන්, වාස්තවික තත්ත්වයන් ගොඩ නැගී නොමැති සමාජ කණ්ඩායම් දෙකක් අතර වුවද මේ භාණ්ඩ හුවමාරු ගනුදෙනු සිදු විය හැකියි. 

පෙර ලිපියක විස්තර කර ඇති පරිදි, පරීක්ෂණ තත්ත්වයන් යටතේ, කැපුචින් වඳුරන් මිදි වෙනුවට ඇපල් හුවමාරු කරගෙන තිබෙනවා. මෙයින් අදහස් වන්නේ ස්වාර්ථය මත පදනම්ව, සවිඥානික තේරීමක් හා හුවමාරුවක් කිරීමේ හැකියාව එම වඳුරන් සතු බවයි. මෙය තොප්පි වෙළෙන්දාගේ කතාවේ වඳුරන්ගේ ප්‍රතිචාරය වැන්නක් නෙමෙයි. එහෙත් මෙවැනි හුවමාරුවක් සිදු වන්නේ පර්යේෂකයින් විසින් එම වඳුරන්ට මුලින්ම මිදි ලබා දී පසුව එම මිදි වෙනුවට ඇපල් ලබා ගැනීමට අවස්ථාවක් ලබා දුන් නිසා. ස්වභාවික තත්ත්වයන් යටතේ වඳුරන් සතුව මෙවැනි හුවමාරු කළ හැකි පෞද්ගලික දේපොළ හෝ හුවමාරු කිරීමේ අවස්ථාවන් නැහැ. ඒ නිසාම වඳුරන් අතර භාණ්ඩ හුවමාරු ආර්ථික ක්‍රමයක්ද නැහැ. 

භාණ්ඩ හුවමාරුව ආරම්භ වීමට පෙර දඩයම් සමාජයක් තුළ පවතින්නේද මෙවැනි තත්ත්වයක්. එහෙත්, යම් කෘෂිකාර්මික සමාජයක් තුළ භාණ්ඩ හුවමාරුව ආරම්භ වීමෙන් පසුව, ඔවුන්ට දඩයම් සමාජයක් සමඟ වුවද භාණ්ඩ හුවමාරු ගනුදෙනු සිදු කළ හැකියි. වඳුරන්ට තේරෙන තරමේ දෙයක් මිනිසුන්ට තේරුම් ගන්න අමාරු නැහැ. 

මුදල් ක්‍රමයේ විකාශනයේ පසු අදියර වලදී සිදු වී තිබෙන්නේද මෙවැන්නක්. එම විකාශනයේ බොහෝ පසුකාලීන අදියරක් ගැන එකවරම දැනගන්නා සමාජයකට ඒ අදියරට යාම සඳහා මුල් අදියර සියල්ල සම්පූර්ණ කර පැමිණෙන්නට අවශ්‍ය වන්නේ නැහැ. එකවරම පියවර ගණනාවකින් ඉදිරියට යන්න පුළුවන්. නමුත් ස්වභාවික විකාශනය හරහා පසු අදියරකට යාමටනම් මුල් අදියර පසු කරන්නට සිදු වෙනවා. 

මේ හේතුව නිසා මුදල් ක්‍රමයේ ඓතිහාසික විකාශනය පිළිබඳ ආකෘති වල ආකෘති සලකද්දී ලොකු වැරැද්දක් නැහැ. නමුත් මේ ආකෘති ඉතිහාසය සමඟ ගලපන්න ගියොත් අනිවාර්යයෙන්ම විශාල නොගැලපීම් හමු වෙනවා. මේ සටහන "ගනුදෙනු වල ආරම්භය කුමක්ද?" යන ලිපියේ මාතෘකාවට පිළිතුරක් නෙමෙයි. එම ප්‍රශ්නයද මුල් කරගෙන මුදල් ක්‍රමයේ විකාශනය පිළිබඳව සිදු කෙරෙන සාකච්ඡාවක් පමණයි. 

ඉතිහාසය කියා කියන්නේ දැනට අපට සිදු කළ හැකි නිරීක්ෂණ ඇසුරෙන් හදා ගන්නා කතාවකටයි. මෙහි දැනට අපට සිදු කළ හැකි නිරීක්ෂණ කියද්දී එයට අපට පෙර පරම්පරා වලින් දැනගන්නට ලැබුණු ඉතිහාස කතන්දරද ඇතුළත්. මේ කතා සහ අතීතයේ ඇත්තටම සිදු වූ දේවල් අනිවාර්යයෙන්ම සමාන විය යුතු නැහැ.

සමහර වෙලාවට, සමහර කරුණු හා අදාළව බොහෝ වෙලාවට, මේ ඉතිහාස කතා හැදෙන්නේ ඒ මොහොතේ පවතින දේශපාලනික අවශ්‍යතා මතයි. ඒ නිසා, විකල්ප කතා ගණනාවක් තියෙන්න පුළුවන්. මේ කතා අතරින් හරි කතාව තෝරා ගැනීම පහසු දෙයක් නෙමෙයි.

කිසියම් දෙයක ඓතිහාසික විකාශනය තේරුම් ගත හැකි විකල්ප ක්‍රමයක් වන්නේ දැනටත් අප‍ට නිරීක්ෂණය කළ හැකි, එම විකාශනයේ මුල් අදියරක තවමත් සිටින සමාජ පරීක්ෂාවට ලක් කිරීමයි. සියවසකට හෝ දෙකකට පෙර එවැනි මිනිස් සමාජ තිබුණත් මේ වෙද්දීනම් නැති තරම්. මෙයට එක් විසඳුමක් වන්නේ සත්ත්ව ලෝකය වෙත අවලෝකනය කිරීමයි. 

වඳුරන් සමඟ සිදු කර ඇති ගනුදෙනු ගැන මෙම ලිපියෙහි මෙන්ම පෙර ලිපියකද කතා කළා. නමුත් මේ ගනුදෙනු පර්යේෂණ තත්ත්ව යටතේ සිදු කර ඇති ගනුදෙනු පමණයි. ඒ කිසිම අවස්ථාවක් වඳුරන් හෝ වෙනත් සතුන් මිනිසුන් සමඟ ගනුදෙනු කිරීමට ඉදිරිපත් වූ අවස්ථා නෙමෙයි.

සාපේක්ෂව මෑතකදී ඉන්දුනීසියාවේ බාලිහි පූජනීය ස්ථාන ආශ්‍රිතව සිදු කර ඇති වීඩියෝ විශ්ලේෂණය කිරීමේදී පෙනී ගොස් ඇති පරිදි, මිනිසුන් විසින් සෘජුව පුහුණු නොකරම වදුරන් විසින්ම ගනුදෙනු කිරීමට ඉගෙන ගෙන ඇති බවද දකින්නට ලැබී තිබෙනවා. මෙවැනි ගනුදෙනු දඹුල්ල වැනි තැන් වල සිටින ලංකාවේ රිළවුන් විසින් වුවද කරනවා වෙන්න පුළුවන්.

මේ වඳුරන් වඩා වටිනා දෙයක් සමඟ හුවමාරු කරගැනීමේ අරමුණින්ම ඔවුන්ට වැඩක් නැති, මිනිසුන්ට වටිනා දේවල් පැහැර ගන්නවා. මෙය දරුවෙකු පැහැරගෙන කප්පම් ඉල්ලීමකට සමානයි. 

ඔවුන් කරන්නේ පැහැදිලි ගණුදෙනුවක්. පූජනීය ස්ථාන වලට පැමිණෙන සංචාරකයින්ගෙන් මේ පැහැර ගැනීම් කරද්දී ඔවුන් කිසි විටෙකත් මිනිසුන්ට හිරිහැර කරන්නේ නැහැ. සැලසුම් කර, කල් යල් බලා, ඉතා ක්ෂණිකව තමන්ට අවශ්‍ය දේ පැහැර ගැනීමයි හැම විටම මෙන් සිදු කර තිබෙන්නේ. එසේ පැහැර ගැනීමෙන් පසුව ඔවුන් මිනිසුන්ට ලඟා විය නොහැකි තරම් ඈතකට යන්නේ නැහැ. ගනුදෙනුවක් සිදු කළ හැකි සීමාවක රැඳෙනවා.

ජංගම දුරකථනයකින්, කාන්තා අත් බෑගයකින් හෝ උපැස් යුවලකින් වඳුරෙකුට වැඩක් නැහැ. විශ්ලේෂණ අනුව පෙනී ගොස් ඇති පරිදි වඳුරන් මෙවැනි දේ පැහැර ගන්නේම හුවමාරුවක් කර ගැනීමේ අරමුණින්. ඒ වගේම, මේ වඳුරන්ට මිනිසුන්ට වටිනා දේවල් ගැන අවබෝධයක් තිබෙනවා. එය අත්දැකීම් ඇසුරෙන් ලබාගත් අවබෝධයක්. හුවමාරු වටිනාකමක් නැති, මිනිසුන්ට එතරම්ම නොවටිනා දේ වඳුරන් විසින් පැහැර ගන්නේ ඔවුන්ට එහි වටිනාකමක් ඇත්නම් පමණයි.

මෙවැනි පැහැර ගැනීම් කරන්නේ ආහාර නොමැතිකම නිසාද නෙමෙයි. මේ වඳුරන්ට ප්‍රමාණවත් තරම් ආහාර ලැබෙනවා. ඔවුන්ගේ ඉලක්කය වන්නේ වඩා කැමති දෙයක් ලබා ගැනීමයි. පැහැර ගත් දෙයක් ආපසු ඉල්ලා සිටි විට වඳුරන් විසින් ඵලදායී හෙට්ටු කිරීමක් කරනවා. ඔවුන්ට සාපේක්ෂ වටිනාකම් තිබෙනවා. එම වටිනාකම් වඳුරාගෙන් වඳුරාට වගේම, අවස්ථාව අනුවද වෙනස් වෙනවා. තමන්ට ලබා ගත හැකි උපරිම මිල ලැබෙන තුරු ඔවුන් පැහැර ගත් දෙය ආපසු දෙන්නේ නැහැ. අඩු මිල අර්පණයන් සියල්ල පැහැදිලි ලෙස ප්‍රතික්ෂේප කරනවා. මෙම වඳුරන්ගේ හැසිරීම් නිරීක්ෂණය කිරීම මගින් මිනිසුන් අතර භාණ්ඩ හුවමාරු සංස්කෘතියක් ඇති වූ ආකාරය ගැන යම් අදහසක් ලබා ගන්න පුළුවන්. 


මුදල් ක්‍රමයේ විකාශනය පිළිබඳ කතාව


මුදල් ක්‍රමයේ විකාශනය පිළිබඳව පිළිගත් සම්මත කතාවක් තිබෙනවා. ඒ කතාව අඩු වැඩි වශයෙන් පහත සාරාංශගත කර තිබෙන ආකාරයට සමානයි. 

සෘජු භාණ්ඩ හුවමාරුව ↓ භාණ්ඩ මුදල් ↓ ලෝහ කාසි ↓ නියෝජිත මුදල් ↓ ෆියට් මුදල් ↓ ඉලෙක්ට්‍රොනික මුදල් ↓ ඩිජිටල් සහ ක්‍රිප්ටෝ මුදල්


සමහර විට මේ කතාව මීට වඩා පියවර ගණන අඩු, සරල එකක් වෙන්න පුළුවන්. 

සෘජු භාණ්ඩ හුවමාරුව ↓ භාණ්ඩ මුදල් ↓ නියෝජිත මුදල් ↓ ෆියට් මුදල්

කතාවේ මූලික ආකෘතිය දෙවැන්න ලෙසත්, පළමුවැන්න ඒ තුළට අප්‍රධාන පියවර එකතු කර පුළුල් ලෙස හදපු ආකෘතියක් ලෙසත් හඳුන්වන්න පුළුවන්. 

මේ ආකෘති වල ලොකු වැරැද්දක් නැතත්, ආකෘතිය විස්තර කරද්දී සහ තේරුම් ගනිද්දී සමහර වෙලාවට මෙය ආකෘතියක් කියන එක අමතක වෙනවා. ඒ නිසා, මේ විකාශනය තේරුම් ගැනෙන්නේ වැරදි අවබෝධත් එක්ක විය හැකි අවස්ථා තිබෙනවා.

ආකෘතිය විස්තර කරද්දී, ගොඩක් වෙලාවට, එයට කාල වකවානු යෙදීමක් සිදු වෙනවා. ඒ කාල වකවානු ලෝකයේ හැම කලාපයකටම ගැලපෙන්නේ නැතත්, සාමාන්‍යයෙන් ඒ කරුණට අවධානය යෙදවෙන්නේ අඩුවෙන්. ඒ වැරැද්ද නිවැරදි කෙරෙන විස්තර කිරීමකදී වුවත්, මේ විකාශනය අනිවාර්ය රේඛීය ගලායාමක් විදිහට තේරුම් යනවා. නමුත් එය එසේම විය යුතු නැහැ. ඉදිරි පියවරක සිට පසු පියවරකට ආපසු ඇවිත් නැවත ඉදිරියට ගිය අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. ඒ වගේම මේ හැම පියවරක්ම අනිවාර්ය නැහැ. පියවර පැනලා ඉදිරියට යන්න බැරිකමක් නැහැ. ලෝකයේ බොහෝ කලාප වල එය එසේ සිදු වී තිබෙනවා.

මේ ආකෘතිය කාලානුක්‍රමනික (chronological) විකාශනයක් ලෙස තේරුම් නොගෙන සංකල්පීය විකාශනයක් ලෙස තේරුම් ගත්තොත් අවුල් අඩුයි. 

සෘජු භාණ්ඩ හුවමාරුව (Barter system)

ගනුදෙනු වල මූලිකම අවස්ථාව සෘජු භාණ්ඩ හුවමාරුව (Barter system) කියන එක බොහෝ දෙනෙකුට පහසුවෙන්ම එකඟ වෙන්න පුළුවන් කරුණක්. මේ අවස්ථාවේදී ගනුදෙනු සිදු වුනත්, මුදල් කියා දෙයක් නැහැ. සංකල්පීය වශයෙන් වගේම ප්‍රායෝගිකවත්, ගනුදෙනු කරන්න මුදල් කියා දෙයක් අවශ්‍ය වන්නේ නැහැ. ඒ නිසා, මේ පියවර ආකෘතිගත කරන්න වෙන්නේ ඕනෑම මුදල් වර්ගයක් භාවිතා කරන අදියරකට පෙර අදියරක් ලෙසයි.

සෘජු භාණ්ඩ හුවමාරු ක්‍රමයේදී හුවමාරුවක් සිදු වෙන්නනම් එක් එක් පුද්ගලයා සතුව අනෙක් පුද්ගලයාට අවශ්‍ය දෙයක් තිබිය යුතුයි. උදාහරණයක් විදිහට මා සතුව වී තිබුණත් පොල් නැහැ. මට පොල් අවශ්‍යයි. තවත් අයෙකු සතුව පොල් තිබුණත් වී නැහැ. ඒ පුද්ගලයාට වී අවශ්‍යයි. ඔය වගේ තත්ත්වයක් යටතේදී හුවමාරුවක් සිදු වෙනවා. මේ විදිහට අවශ්‍යතා ද්විත්වයක සමපාත වීමක් සිදු නොවුවහොත් ගනුදෙනුවක් සිදු වෙන්නේ නැහැ. 

භාණ්ඩ මුදල් (Commodity money)

මේ තමයි මුදල් කියන සංකල්පයේ මූලිකම අවස්ථාව. භාණ්ඩ මුදල් භාවිතය සෘජු භාණ්ඩ හුවමාරු ක්‍රමයේ සීමාවන් අතික්‍රමණය කරනවා. උදාහරණයක් ලෙස මා සතුව වී තිබුණත් පොල් නැහැ. මට පොල් අවශ්‍යයි. තවත් අයෙකු සතුව පොල් තිබෙනවා. පොල් හුවමාරු කරගන්නත් කැමතියි. නමුත් ඒ පුද්ගලයාට අවශ්‍ය වන්නේ බිත්තර මිසක් වී නෙමෙයි. ඒ නිසා, හුවමාරුවක් වෙන්නේ නැහැ. 

භාණ්ඩ මුදල් ක්‍රමයකදී මේ පුද්ගලයා විසින් මා සතු වී ලබාගෙන ඒ වෙනුවට පොල් ලබා දෙනවා. නමුත් එසේ කරන්නේ ඒ පුද්ගලයාට වී අවශ්‍ය නිසා නෙමෙයි. වෙනත් අයෙකු එක්ක වී වෙනුවට බිත්තර හුවමාරු කර ගැනීමේ අරමුණෙන්. එසේ කරන්නේ වී වෙනුවට බිත්තර හුවමාරු කර ගැනීමට කැමති කෙනෙක් සිටියි කියන විශ්වාසය මතයි. මේ ගණුදෙනුවේදී වී භාණ්ඩ මුදලක් සේ ක්‍රියා කරනවා. 

භාණ්ඩ මුදලක් විය හැක්කේ මොන වගේ භාණ්ඩයක්ද?

භාණ්ඩ මුදලක් විය හැක්කේ බොහෝ දෙනෙකුට අවශ්‍ය වන භාණ්ඩයක්. හුවමාරු කර ගැනීමේ ශක්‍යතාවය වැඩි වන්නේ භාණ්ඩ මුදලක් වැඩි දෙනෙකුට අවශ්‍ය භාණ්ඩයක් වූ තරමටයි. ඊට අමතරව භාණ්ඩ මුදලක් නැවත හුවමාරුවක් සිදු කරන තුරු කල් තබා ගත හැකි ද්‍රව්‍යයක් විය යුතුයි. ඒ නිසා, බිත්තර වැනි දෙයක් මේ වැඩේට ගැලපෙන්නේ නැහැ. වී ගැලපෙනවා. 

මුදල් වලින් කාර්යයන් තුනක් ඉටුවන සේ සැලකෙනවා. ඒ කාර්යයන් තුන භාණ්ඩ මුදල් ඇසුරෙන් වුවත් පැහැදිලි කළ හැකියි.

1. ගනුදෙනු කිරීමේ මාධ්‍යයක් ලෙස - තමන්ට වී අවශ්‍ය නැති කෙනෙක් තමන් සතු පොල් වෙනුවට වී හුවමාරු කර ගන්නවා. ඉන් පසුව වී වෙනුවට බිත්තර හුවමාරු කරගන්නවා. අවසාන වශයෙන් වෙලා තියෙන්නේ පොල් වෙනුවට බිත්තර ලබා ගැනීම. කෙළින්ම පොල් වෙනුවට බිත්තර හුවමාරු කර ගත හැකි වුනානම් වෙන්නෙත් මේ වැඩේමයි. නමුත් බිත්තර සතු වූ පුද්ගලයාට අවශ්‍ය වී තිබුණේ වී මිසක් පොල් නෙමෙයිනම්, ඒ වගේ ගනුදෙනුවක් සිදු වෙන්නේ නැහැ. ගනුදෙනු කිරීමේ උපකරණයක් ලෙස වී යොදා ගත හැකි වූ නිසා මේ වැඩේ සිදු වුනා. 

2. වටිනාකම් සංසන්දනය කිරීමේ ඒකකයක් ලෙස - කිසියම් භාණ්ඩයක් භාණ්ඩ මුදලක් වූ විට එම භාණ්ඩය ඇසුරෙන් අනෙක් භාණ්ඩ වල වටිනාකම් මනින්න පුළුවන්. පොල් ගෙඩියක් වී සේරුවයි, බිත්තර පහක් වී සේරුවයි යනාදී වශයෙන්. ඔය විදිහේ සම්මතයක් හදාගත්තට පස්සේ පොල් වල සහ බිත්තර වල වටිනාකම් වී වලින් කියන්න පුළුවන්. ප්‍රායෝගිකව කොහොම වෙතත්, සෛද්ධාන්තිකව වී කියන දේ එකවරම ලෝකයෙන් අතුරුදහන් වුනත් ඔය සම්මතය දිගටම පවත්වා ගෙන යමින් වී වලින් වටිනාකම් මනින්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය වෙන්නේ සාමූහික එකඟතාවයක් නැත්නම් සම්මුතියක් පමණයි. නමුත්, මේ විදිහට වටිනාකම් සංසන්දනය කිරීමේ ඒකකයක් සම්මුතියක් බවට පත් වෙන්නනම් මුලින්ම අදාළ දෙය  ගනුදෙනු කිරීමේ මාධ්‍යයක් වෙන්න ඕනෑ. ඒ නිසා මුදලක පළමු කාර්යය දෙවන කාර්යයට වඩා ප්‍රමුඛයි. 

3. වටිනාකම් ගබඩා කළ හැකි දෙයක් ලෙස - වටිනාකම් ගබඩා කිරීම සඳහා මුදල් කියා දෙයක් තිබීම තබා ගනුදෙනු සිදුවීම හෝ අවශ්‍ය වන්නේ නැහැ. ඔය දෙකෙන් එකක්වත් නැතත් කෙනෙකුට වටිනාකම් ගබඩා කර ගන්න පුළුවන්. තමන්ටම අයිති වී තමන් විසින්ම ගබඩා කර ගනිද්දීත් වටිනාකම් එක්රැස් වීමක් වෙනවා. ඒ නිසා, මේ කාර්යය වෙනුවෙන් පමණක් මුදල් කියා දෙයක් අවශ්‍ය වන්නේ නැහැ. මුදලක කාර්යයන් තුනෙන් අඩුවෙන්ම වැදගත් කාර්යය මෙයයි. මුදල් නොවන දෙයක් වටිනාකම් ගබඩා කිරීම සඳහා යොදා ගත් විට එය වත්කමක් වෙනවා. ඒ නිසාම, මුදල් කියන්නේද වත්කමක් වුවත්, වත්කම් කියන්නේ මුදල් පමණක් නෙමෙයි.

භාණ්ඩ මුදල් ලෙස යම් කිසි මුදල් වර්ගයක් භාවිතයට එනවාද කියන එක තීරණය වෙන්නේ ඉහත එක් එක් අවශ්‍යතාවය කොයි තරම් වැදගත්ද කියන එකත්, කිසියම් භාණ්ඩයක් භාණ්ඩ මුදල් සේ භාවිතා කිරීමෙන් එම අවශතාවය කෙතෙක් දුරට ඉටු වේද කියන එකත් මතයි. 

සෘජු භාණ්ඩ හුවමාරු ක්‍රමයක ඉඳලා භාණ්ඩ මුදල් භාවිතයට ක්‍රමයෙන් පුරුදු වෙද්දී ගනුදෙනු කිරීමේ මාධ්‍යයක් ලෙස මුදලක් යොදා ගැනීමේ හැකියාව ගැන බොහෝ දෙනෙකුට ලොකු විශ්වාසයක් නැහැ. එවැනි තත්ත්වයක් යටතේදී යම් තරමකින් හෝ විශ්වාසය තැබිය හැක්කේ වී වැනි දෙයක් මතයි. ගනුදෙනුවක් සඳහා යොදා ගන්න බැරි වුනොත් පරිභෝජනය සඳහා හෝ ගන්න පුළුවන්. 

නමුත් ගනුදෙනු සංස්කෘතියක් ඇති වෙලා කිසියම් මුදලකින් ගනුදෙනු කිරීමේ හැකියාව ගැන සාමූහික විශ්වාසයක් ඇති වුනාට පස්සේ මේ වැඩේට පරිභෝජනය කළ හැකි දෙයක්ම අවශ්‍ය වන්නේ නැහැ. එවිට වැදගත් වන්නේ නරක් නොවී කල් තබා ගත හැකි වීම. ඒ කියන්නේ තුන් වන කාර්යය වන වටිනාකම් විනාශ නොවී ගබඩා කර තබා ගැනීම. 

කුකුළන්, එළුවන් වැනි පණ තිබෙන සතුන්ද භාණ්ඩ මුදල් ලෙස භාවිතා වී තිබෙනවා. මේ සතුන් බෝ වෙන නිසා ප්‍රතිලාභයකුත් තිබෙන වත්කමක් සේ සලකන්න පුළුවන්. නමුත් සත්තු හදිසියේ මැරෙන්න පුළුවන් නිසා අවදානමකුත් තිබෙනවා. 

ලෝකයේ විවිධ කලාප වල විවිධ කාල වකවානු වල විවිධ භාණ්ඩ භාණ්ඩ මුදල් සේ භාවිතා වී තිබෙනවා. ඒ අතර, රන්, රිදී, තඹ වැනි ලෝහ වර්ගද තිබෙනවා. මෙවැනි ලෝහ වර්ග භාණ්ඩ මුදල් සේ ජනප්‍රිය වීමට හේතු වී තිබෙන්නේ විනාශ නොවී කල් තබා ගැනීමේ හැකියාව නිසා විය යුතුයි. ඒ කියන්නේ මේ ලෝහ වර්ග විසින් වත්කම් ලෙස ඉටු කළ කාර්ය භාරය. 

මේ වර්ග අතරින්ද රන් බොහෝ විට භාවිතා වී තිබෙන්නේ මුදලකට වඩා වත්කමක් ලෙසයි. මුදල් ලෙස වැඩිපුරම භාවිතා වී තිබෙන්නේ රිදී. ඊට හේතුව කලාප කිහිපයක හැර, කිසිම විටෙක ගනුදෙනු සඳහා අවශ්‍ය වන ප්‍රමාණයට රන් සැපයුමක් ලෝකයේ තිබී නොමැති වීමයි. ඊට සාපේක්ෂව ගනුදෙනු සඳහා ප්‍රමාණවත් රිදී සැපයුමක් ලෝකයේ බොහෝ ප්‍රදේශ වල තිබී ඇති බව පේනවා. 

රන් හෝ රිදී කියන්නේ වී හෝ කුකුළන් වැනි පරිභෝජනය සඳහා බොහෝ දෙනෙකුට අවශ්‍ය වන දේවල් නෙමෙයි. ඒ නිසා, භාණ්ඩ මුදල් ක්‍රමය තුළම වී හෝ කුකුළන් වෙනුවට රන් හෝ රිදී ආදේශ වෙද්දී පසුකාලීන අදියරකදී භාවිතයට ආ ෆියට් මුදල් වල මූලික ස්වරූපයක් මුදල් ක්‍රමයට එකතු වෙනවා. යමෙක් භාණ්ඩයක් හෝ සේවාවක් වෙනුවෙන් ෆියට් මුදල් භාර ගන්නේ ඒ ෆියට් මුදල් වෙනත් අයෙකුට දී තමන්ට අවශ්‍ය භාණ්ඩයක් හෝ සේවාවක් ලබා ගත හැකි වේයැයි යන විශ්වාසය නිසා. මුදල් ලෙස රන් හෝ රිදී භාර ගනිද්දී සිදු වෙන්නෙත් ඔය දෙයමයි. 

ඉහත හේතුව නිසා අවශ්‍යනම් කෙනෙකුට රන් හෝ රිදී කියා කියන්නේ භාණ්ඩ මුදල්ම නෙමෙයි කියලා කියන්නත් පුළුවන්. භෞතිකව වී හෝ කුකුළන් වගේම රන් හා රිදී කියන්නෙත් භාණ්ඩ. නමුත් සංකල්පීයව මේ දෙවර්ගයේ වෙනසක් තිබෙනවා. ඔය දෙවර්ගය එකට දමනවා වගේම අවශ්‍යනම් රන් හා රිදී, ඒවා මත පදනම් වූ නියෝජිත මුදල් සහ ෆියට් මුදල් ආදී වර්ග සියල්ලම එක ගොඩකට දමලා ඉරක් අඳින්නත් පුළුවන්. ඓතිහාසික විකාශනයන් විස්තර කරද්දී සිදු කරන යුග බෙදීම් හා අදියර බෙදීම් කියන්නේ ආකෘති ඇතුළේ තිබෙන වෛෂයික බෙදීම් මිසක් වාස්තවික බෙදීම් නෙමෙයි. 

Sunday, July 13, 2025

රටවල් ධනවත් වීම සහ රන් වාසිය


ලංකාව දුප්පත් ඇයි කියන ප්‍රශ්නය ඉතාම වැදගත් ප්‍රශ්නයක් වනවාක් මෙන්ම ඉතාම සංකීර්ණ ප්‍රශ්නයක්. සංකීර්ණ ප්‍රශ්න වලට සරල පිළිතුරු දෙන්න අමාරුයි. මේ ප්‍රශ්නයටනම් සරල පිළිතුරක් දෙන්නම බැහැ. නමුත් අපි හුදෙක් සාකච්ඡාවක් ආරම්භ කිරීමේ අරමුණින් පමණක්, කාට වුනත් බැලූ බැල්මටම "මෝඩ විග්‍රහයක්" ලෙස පෙනෙන, සරල පැහැදිලි කිරීමක් එක්ක මේ ප්‍රශ්නය දිහා බලමු. 

පසුගිය 2024 වර්ෂයේ ඇමරිකාවේ ඒක පුද්ගල දදේනිය 85,912ක්. ලංකාවේ එම අගය ඇමරිකන් ඩොලර් 4,516ක් පමණයි. මේ නිර්ණායකය දිහා බැලුවොත්, ඇමරිකානුවෙක් ශ්‍රී ලාංකිකයෙක් මෙන් 19 ගුණයක් ධනවත්. එහෙම වෙලා තියෙන්නේ ඇයි?

පළමුවෙන්ම අපට ඔය වෙනස පෙනෙන්නේ සංසන්දනයක් කරන නිසා. සංසන්දනය කරන්නේ ඇමරිකන් ඩොලර් මත පදනම් වූ නිර්ණායකයක් යොදා ගෙනයි. ඇමරිකානුවෙකුගේ ධනවත්කම මැනිය හැකි බොහොමයක් දේවල් වලට කිසියම් ඇමරිකන් ඩොලර් වටිනාකමක් තිබෙනවා. නමුත් ලාංකිකයෙකුගේ ධනවත් කම මැනිය හැකි බොහොමයක් දේවල් වලට සෘජු ඇමරිකන් ඩොලර් වටිනාකමක් නැහැ. ඒවාට තියෙන්නේ රුපියල් වටිනාකමක්.

ලංකාවේ දදේනිය මනින්නේ රුපියල් වලින්. සංසන්දනය කිරීම සඳහා අප එම අගය ඇමරිකන් ඩොලර් වලට හරවනවා. එය කරන්නේ පවත්නා විණිමය අනුපාතය යොදා ගෙන. පවත්නා විණිමය අනුපාතය යොදා ගැනීමේ අඩුපාඩු නිවැරදි කෙරෙන ක්‍රය ශක්ති සාම්‍ය විණිමය අනුපාතය කියා එකකුත් තිබෙනවා. නමුත් මෙහිදී අප කතා කරන්න යන්නේ පවත්නා විණිමය අනුපාතය යොදා ගැනීමේ වැරැද්ද ගැන නෙමෙයි. ඒ නිසා අපි පවත්නා නාමික විණිමය අනුපාතය වෙතම අවධානය යොදවමු. 

පසුගිය 2024 වසරේ ලංකාවේ ඒක පුද්ගල දදේනිය රුපියල් 1,364,235ක්. මෙම අගය ඇමරිකන් ඩොලර් 4,516ක් වෙන්නේ රුපියල් 302ක් ඇමරිකන් ඩොලරයකට සමාන සේ සැලකූ විටයි. එසේ නොමැතිව, යම් ආකාරයකින් ඇමරිකන් ඩොලරයක වටිනාකම රුපියල් 302කට සමාන නොවී රුපියල් 16කට සමාන වීනම්, ලංකාවේ ඒක පුද්ගල ආදායමද ඇමරිකාවේ මට්ටම කිට්ටුවටම ඇවිත්. 

දැන් අපිට ලංකාව දුප්පත් ඇයි කියන ප්‍රශ්නය වෙනුවට එහි ව්‍යුත්පන්න ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඇමරිකන් ඩොලරයක වටිනාකම රුපියල් 16කට සමාන නොවී රුපියල් 302කට සමාන වී තිබෙන්නේ ඇයි?

ඇතැම් රටවල් දුප්පත් වීම සහ තවත් රටවල් ධනවත් වීම සහ විවිධ රටවල මුදල් ඒකක වල සාපේක්ෂ වටිනාකම් අතර පැහැදිලි සම්බන්ධයක් තිබෙනවා. ශ්‍රී ලංකා රුපියලකට වඩා ඇමරිකන් ඩොලරයක් වටින්නේ ඇයි?

ශ්‍රී ලංකා රුපියල් වගේම ඇමරිකන් ඩොලර් කියා කියන්නෙත් ගනුදෙනු සඳහා භාවිතා කළ හැකි මුදල් වර්ග. මෙවැනි කිසියම් මුදල් වර්ගයකට වටිනාකමක් ලැබෙන්නේ එවැනි වටිනාකමක් තිබෙන බව බොහෝ දෙනෙකු විසින් සාමූහිකව විශ්වාස කරන නිසා. ඒ හැරෙන්න වෙනත් වැදගත් හේතුවක් නැහැ. ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමරිකන් ඩොලරය පිළිබඳව එම විශ්වාසය වැඩියි. ඒ නිසා, එහි වටිනාකමද වැඩියි.

ගනුදෙනු සහ හුවමාරු ඉතාම ස්වභාවික දේවල්. සත්තු එක්ක පවා ගනුදෙනු කරන්න පුළුවන්. කෙසෙල් ගෙඩියක් දීම මගින් වඳුරෙක්ව කිසියම් දෙයක් කරන්න පොළඹවා ගන්න පුළුවන්. මස් කෑල්ලක් දී බල්ලෙක්ගෙන් වැඩක් ගන්න පුළුවන්. අඩු වශයෙන් යම් පුහුණුවකින් පසුව සතුන් මේ විදිහේ ගනුදෙනු කරනවා. නමුත් රුපියල් හෝ ඩොලර් දී බල්ලෙක්ගෙන් හෝ වඳුරෙක්ගෙන් වැඩක් ගන්න බැහැ. 

කිසියම් හේතුවක් නිසා කුඩා කළ සිටම මිනිස් සමාජයෙන් මුලුමනින්ම දුරස්ථව සිටි පුද්ගලයෙක් හෝ ජන කණ්ඩායමක් හදිසියේ සම්මුඛ වුවහොත් රුපියල් හෝ ඩොලර් දී ඔවුන් සමඟ ගනුදෙනු කළ හැකි වෙයිද? පැහැදිලිවම නොහැකියි. නමුත් කිසියම් ආහාර වර්ගයක් වැනි දෙයක් දී ගනුදෙනුවක් ආරම්භ කරන්න බැරිකමක් නැහැ. මුදල් වලට වටිනාකමක් තිබෙන්නේ අපගේ සාමූහික විශ්වාසය නිසා පමණයි.

ඇතැම් අයගේ අදහස රුපියල් හෝ ඩොලර් වලට සැබෑ වටිනාකමක් නොමැති වුවත් රන් වලට එවැනි වටිනාකමක් ඇති බවයි. රන් වලට තිබෙන්නේත් රුපියල් හෝ ඩොලර් වලට තිබෙන ආකාරයේම වටිනාකමක්. වෙනසක් ඇත්නම් එය ඉතාම සුළු වෙනසක්. 1799දී කොනාඩ් රීඩ්ට හමු වූ රාත්තල් 17ක රත්තරන් කුට්ටිය කාලයක්ම පාවිච්චි කළේ දොර අඩයක් ලෙසයි. ඒ වැඩේට රත්තරන් කුට්ටියක් ඩොලර් නෝට්ටු මිටියකට වඩානම් තරමක් හොඳයි. 

රත්තරන් ආභරණ සේ භාවිතා වන බව කෙනෙකුට කියන්න පුළුවන්. ඒකට හේතුවත් රත්තරන් වලට ලොකු වටිනාකමක් ඇති බවට වන පොදු පිළිගැනීම. රත්තරන් පළඳින අය එසේ කරන්නේ තමන්ගේ ධනවත්කම ප්‍රදර්ශනය කරන්නයි. සන්නාම සහිත ඇඳුම් වලට ඉහළ මිලක් ගෙවනවා වගේ දෙයක්. සමහර අය රත්තරන් සේ පෙනෙන ඉමිටේෂන් ආභරණ පළඳින්නේ ඒ නිසා. රත්තරන් වලට තියෙන්නේ සැබෑ වටිනාකමක්නම් කවුරුවත් ඉමිටේෂන් ආභරණ පළඳින්න පෙළඹෙන්නේ නැහැ. 

ඉතිහාසයේ සෑහෙන කාලයක් රන් හා රිදී මුදල් ලෙස භාවිතා වුනා. ඒ ඒ කාලයේ ඒ සඳහා වඩා හොඳ විකල්ප නොතිබුණු නිසා. ඩොලර් රුපියල් වැනි මුදල් වර්ග වලින් මේ වෙද්දී ඒ කාර්ය භාරය ඊට වඩා හොඳින් කෙරෙනවා. රන් රිදී වැනි ලෝහ වර්ග සැලකුවත්, ඩොලර් රුපියල් වැනි මුදල් වර්ග සැලකුවත් මේවායේ තිබෙන්නේ සාමූහික විශ්වාසය මත පදනම් වූ සංස්කෘතික වටිනාකමක්. 

දැන් ලෝකය පුරාම ඉන්න මිනිස්සු ඇහැට නොපෙනෙන, අතින් අල්ලන බැරි බිට්කොයින් වැනි දේවල් වලටත් වටිනාකමක් තියෙනවා කියලා සාමූහිකව විශ්වාස කරනවා. කිසිදු නෛසර්ගික වටිනාකමක් නොමැති, ඇහැට නොපෙනෙන, ස්පර්ශ කළ නොහැකි, ක්‍රිප්ටෝ මුදලක වටිනාකම පිළිබඳව සාමූහිකව විශ්වාස කිරීම සහ ඇහැට නොපෙනෙන, ස්පර්ශ කළ නොහැකි දෙවි කෙනෙකු පිළිබඳව හෝ කර්මය වැනි සංකල්පයක් පිළිබඳව සාමූහිකව විශ්වාස කිරීම අතර ලොකු වෙනසක් නැහැ. 

අඩු වශයෙන් වසර තුන් දහසක පමණ කාලයක් පුරා වෙළඳාම් හරහා ලෝකයේ රටවල් සම්බන්ධ වී තිබෙනවා. මෙම වෙළඳාම් වලදී ගෙවීම් මාධ්‍යයක් ලෙස රන් හා රිදී යොදා ගැනුනා. ඒ නිසාම එම ලෝහ වර්ග වල වටිනාකම පිළිබඳ සාමූහික විශ්වාසයක් ගොඩ නැගුණා. ලෝකයේ බොහෝ සංස්කෘතීන් මේ සාමූහික විශ්වාසයේ කොටස්කරුවන් බවට පත් වුණා. එහෙත් මේ ජාත්‍යන්තර වෙළඳ ජාලයට සම්බන්ධව නොසිටි සංස්කෘතීන්ද තිබුණා.

කැලිෆෝනියාවේ සහ ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් රෂ් ඇති වූ දහනවවන සියවසේ මැද භාගය වන තුරුම ලෝකයේ ඇතැම් පෙදෙස් වලින් පොළොව මතුපිට තිබී රත්තරන් හමු වුනා. ඉන් පසුව පොළොව මතුපිට රත්තරන් අවසන් වී රන් රිදී "නිපදවීම" වියදම් අධික කර්මාන්තයක් බවට පත් වුණා. පොළොව මතුපිට තිබී රත්තරන් හමු වෙද්දී එය සිදු වුනේ අහම්බෙන්, වාසනාවට හෝ පිං මහිමය නිසා කියා කියන්න පුළුවන්. 

ජාත්‍යන්තර වෙළඳාමට වඩා වැඩියෙන් නිරාවරණය වී සිටි රටවල රන් හා රිදී වල වටිනාකම පිළිබඳ අදහසද කලින්ම පැතිරුණා. අඩු වශයෙන් සමාජයේ ඉහළ ස්ථරය රන් හා රිදී වලින් ගනුදෙනු කළා. ඒ නිසාම, පොළොව මතුපිට තිබුණු රන් හා රිදී කාගේ හෝ අවධානයට යොමු වී මුදල් වුනා. ලංකාවේ පොළොව මතුපිටින් හමු වූ රන් හා රිදී ගැමුණු රජුගේ කාලයේදීම මුදල් වී අවසන් වුනා වෙන්න පුළුවන්.

ස්වදේශිකයින් ජාත්‍යන්තර ගනුදෙනු සමඟ ගැට ගැසී නොසිටි උතුරු ඇමරිකාවේ සහ ඕස්ට්‍රේලියාවේ මෙවැන්නක් සිදු වුනේ නැහැ. එම කලාප වල මතුපිට රන් ඉතිරිව තිබුණා. මෙහි වාසිය එම රටවලට සංක්‍රමණය වූ යුරෝපීයයන්ට ලැබුණා. එය එම රටවලට ධනවත් වීමටද උදවුවක් වුනා.

රන් හා රිදී ඕනෑම රටකින් අහම්බයෙන් හමු විය හැකි දෙයක්ව තියෙද්දී එය යම් ආකාරයක "දිව්‍යමය" දෙයක්. කවුරු හෝ උත්සාහ කළා කියලා රන් හෝ රිදී නිපදවා ගන්න බැහැ. ඒ වගේ තත්ත්වයක් යටතේ රටකින් රන් හෝ රිදී හමු වෙන්නේ රජුගේ පිං මහිමයෙන්, එහෙමත් නැත්නම් රජු දෙවියන්ට ප්‍රිය වීමෙන්, වැනි ප්‍රවාදයකට සාමූහිකව විශ්වාස කළ හැකි තරමේ වලංගු භාවයක් තිබෙනවා. රටේ කොහේ හෝ තැනකින් අහම්බෙන් රන් හෝ රිදී හමු වෙන එක පැහැදිලි කරන්න ඊට වඩා ගොඩක් හොඳ ප්‍රවාදයක් හදාගන්න අමාරුයි. 

මේ හේතුව නිසාම රටක මිනිස්සු හෝ රටක් ධනවත් වෙන එකත් කිසියම් බාහිර හේතුවක් නිසා සිදු වෙන දෙයක් බවත්, එය වෙනස් කර ගැනීමේ හැකියාවක් මිනිසුන්ට නොමැති බවත් පැහැදිලි වෙනවා. කාලයෙන් කාලයට සමහර රටවල් ධනවත් වීම සහ දුප්පත් වීම වෙනස් කළ නොහැකි දෙයක් ලෙස භාර ගන්න වෙනවා. වෙනස් කර ගන්න කළ හැක්කේ රජු දැහැමි වීම හෝ රජු දෙවියන්ට ප්‍රිය වන ලෙස හැසිරීම වැනි සීමිත දේවල් ටිකක් පමණයි. ඒ නිසාම, මිනිසුන්ගේ ක්‍රියාකාරකම් වලින් බාහිර දෙයක් වන රන් සැපයුම එක්ක හෝ රිදී සැපයුම එක්ක අනෙකුත් වටිනාකම් ගැට ගහන එක ගැන ලෝකයේ විවිධ සංස්කෘතීන් වල මිනිසුන්ට පහසුවෙන් එකඟ වෙන්න පුළුවන්.

ඔය වගේ ලෝක සම්මතයක් තියෙද්දී ලෝකයේ සමහර රට වලින් හිටිවනම විශාල රන් හෝ රිදී සංචිත හමු වෙනවා. ඒ නිසා, ජාත්‍යන්තර වෙළඳාමේදී එවැනි රටවලට විශේෂ වාසියක් ලැබෙනවා. පොළොවෙන් නිකම්ම වගේ ලැබෙන රන් හෝ රිදී එක්ක වෙනත් වටිනා දේවල් හුවමාරු කර ගැනීම මගින් එවැනි රටවල මිනිසුන්ගේ කෙසේ වෙතත් අඩු වශයෙන් රජ පවුල් වල ජීවන තත්ත්වය ඉහළ නංවා ගන්න පුළුවන්. රන් හෝ රිදී නැති රටක රජ කෙනෙකුට මේ තත්ත්වය අවාසියි. එවැනි රටවල රජු සාපේක්ෂව දුප්පත් කියන්නේ රටත් සාපේක්ෂව දුප්පත් කියන එකයි. ඉතිහාසයේ සෑහෙන කාලයක් රටක දුප්පත්කම හෝ ධනවත්කම කියන්නේ රජුගේ දුප්පත්කම හෝ ධනවත්කම.

රන් හෝ රිදී නැති රටක රජ කෙනෙකුට මේ තත්ත්වයට අභියෝග කරන්න හේතුවක් නැහැ. තමන්ගේ රටෙන් වුනත් රන් හෝ රිදී හමු වීමේ යම් විභවයක් තිබෙනවා. නමුත් එසේ හමු නොවෙන්නේ තමන්ට දෙවියන් ප්‍රිය නැති නිසා. එහෙම නැත්නම් තමන්ගේ තියෙන පවුකාර කමට. වැරැද්ද තමන්ගේමනම් පවතින තත්ත්වය භාර ගන්න වෙනවා.

රන් හා රිදී "නිපදවීම" කර්මාන්තයක් වූ විට මේ තත්ත්වය වෙනස් වෙනවා. මේ වටිනා ලෝහ තව දුරටත් දිව්‍යමය දේවල් වෙන්නේ නැහැ. ඒවා මිනිසුන් විසින් ශ්‍රමය යොදවා නිපදවා ගත යුතු දේවල්. එවිට අර මුල් කතන්දරය අභියෝගයට ලක් වෙනවා. රන් හා රිදී කියා කියන්නෙත් හාල් පොල් වගේ ශ්‍රමය යොදවා නිපදවා ගත හැකි දෙයක්නම්, හාල් පොල් වල නැති අමුතු දෙයක් රන් රිදී වල තියෙන්නේ හේතුවක් නැහැ. වටිනාකම් පිළිබඳ ශ්‍රම න්‍යාය යෝජනා වෙන්නේ ඔය විදිහට රන් රිදී වල තිබෙන වටිනාකමේ දිව්‍යමය ස්වභාවය තව දුරටත් සාමූහිකව විශ්වාස කරන්න බැරි වෙද්දීයි.

මිනිස් චින්තනයේ මේ විදිහේ සුසමාදර්ශී වෙනසක් සිදු වුනාට පස්සේ ලෝකයේ රන් සම්මුතියක් පවතින්න හේතුවකුත් නැහැ. එය අනිවාර්යයෙන්ම බිඳ වැටිය යුතුයි. නමුත් සාමූහික මිනිස් විශ්වාස එක වර වෙනස් නොවන නිසා ඒ සඳහා යම් කාලයක් ගතවෙන්න පුළුවන්. 

අවසාන වශයෙන් රන් සම්මත බිඳ වැටී ෆියට් මුදල් නිර්මාණය වීම අහම්බයක් හෝ වැරැද්දක් නෙමෙයි. එවැන්නක් අනිවාර්යයෙන්ම සිදු විය යුතුව තිබුණා. කොයි තරම් විවේචන තිබුණත් ෆියට් මුදල් ක්‍රමය කියන්නේ රන් සම්මතයට වඩා ගොඩක් දියුණු මුදල් ක්‍රමයක්. ෆියට් මුදල් වල වටිනාකම තීරණය කරන දිව්‍යමය බාහිර බලවේගයක් නැහැ. වටිනාකම තීරණය කරන්නේ මිනිස්සු. 

රන් සම්මත ක්‍රමය ඒකාධිකාරී ක්‍රමයක්. ඊට සාපේක්ෂව ෆියට් මුදල් ක්‍රමයේදී මුදල් වර්ග අතර තරඟයක් තිබෙනවා. වැඩි දෙනෙකුගේ විශ්වාසය දිනාගත හැකි මුදල් වර්ගයක වටිනාකම ඉහළ යනවා. එවැනි මුදල් වර්ගයක් භාවිතා කරන රට ධනවත් වෙනවා. 

නමුත් සාමූහික විශ්වාසය මත පදනම් වන මුදල් වැනි දෙයක් හා අදාළව ඒකාධිකාරයක් හැදෙන එක අසාමාන්‍ය දෙයක් නෙමෙයි. සියවස් ගණනක් රන් සම්මත ක්‍රමය පැවතුනේ ඒ නිසා. මුදල් කියන්නේ භාණ්ඩයක් නෙමෙයි. සම්මතයක්. අඩි, රාත්තල් හෝ මීටර, ග්‍රෑම් වගේ දෙයක්. ඒ නිසා ලෝකයේම කෙසේ වුවත් කිසියම් ප්‍රදේශයක එකම සම්මතය පවතින එක වඩා කාර්යක්ෂමයි. 

කිසියම් රටක් ගත්තොත් බර මනින, දුර මනින සම්මත තිබෙනවා. රටක් ඇතුළේ මෙවැනි සම්මත ගණනාවක් නැත්තේ රාජ්‍ය බලහත්කාරයක් නිසා නෙමෙයි. එක සම්මතයක් භාවිතා කිරීම කාටත් පහසු නිසා. රටක් තුළ විවිධ මුදල් වර්ග භාවිතා කිරීම වෙනුවට එක් මුදල් වර්ගයක් භාවිතා වීම ප්‍රචලිතව තිබෙන්නේත් මේ නිසා. මෙය සීමිත ඒකාධිකාරයක් සේ දැකිය හැකි වුනත්, එය ස්වභාවික ඒකාධිකාරයක්. කිසියම් මුදල් වර්ගයකට කිසියම් භූගෝලීය සීමාවක් තුළ ඒකාධිකාරයක් තිබුණත් ඒ සීමාවෙන් එහා තවත් එවැනිම මුදල් වර්ග තිබෙන නිසා නිරන්තර තරඟයකට මුහුණ දෙන්න වෙනවා. විණිමය අනුපාත වලින් පිළිබිඹු වෙන්නේ රට රටවල මහ බැංකු මේ තරඟය තුළ කොයි තරම් සාර්ථක වී ඇත්ද යන්නයි.

මහ බැංකු ක්‍රමය සහ ෆියට් මුදල් ක්‍රමය විවේචනය කරන අය බොහෝ විට එසේ කරන්නේ අතීතකාමය සහ වෙනස්වීමට තිබෙන අකැමැත්ත නිසා. අතීතයේ පැවති රන් සම්මත, නිදහස් බැංකු ක්‍රමය වගේ ක්‍රම එක්ක බලද්දී මහ බැංකු ක්‍රමය දියුණු සහ තව දුරටත් දියුණු වෙමින් පවතින ක්‍රමයක්. පැරණි ක්‍රම බිඳ වැටී මහ බැංකු ක්‍රමය ඇති වී තිබෙන්නේ ඒ නිසා. 

අනාගතයේදී මහ බැංකු ක්‍රමය බිඳ වැටී රන් සම්මත යුගයේ පැවති ආකාරයේ වෙනත් ලෝක ඒකාධිකාරයක් ඒ වෙනුවට ආදේශ වෙන්න පුළුවන්. එහෙම වෙන්නනම්, මිනිස් ක්‍රියාකාරකම් මගින් වටිනාකම පාලනය නොවන කිසියම් "දිව්‍යමය" දෙයක් ඒ වෙනුවෙන් ආදේශ විය යුතුයි. කෘතීම බුද්ධිය දියුණු වෙද්දී එවැන්නක් වෙන්න පුළුවන්. නමුත් දැනට තිබෙන ලෝක සන්දර්භය තුළ, ඉතිහාසයේ යම් යම් කාල වල පරීක්ෂාවට ලක් වී ප්‍රතික්ෂේප වූ විකල්ප වලට සාපේක්ෂව, මහ බැංකු ක්‍රමය සහ ෆියට් මුදල් ක්‍රමය දියුණු ක්‍රමයක්. 

Friday, May 9, 2025

මුදල් සංසරණය 14.5% කින් ඉහළ යයි!

 

"2024 වසර තුළ භෞතික මුදල් සංසරණයේ පෙර නොවූ විරූ සියයට 14.5 ක වාර්ෂික වර්ධනයක් මහ බැංකුව වාර්තා කර ඇත."

මේ මේ වෙද්දී වේගයෙන් සංසරණය වන පුවතක්. ඔය වගේ දෙයක් දුටු විට ගොඩක් අය තල් අත්තට බෙලි ගෙඩිය වැටුණු වෙලාවේ වගේ කලබල වෙලා ඕක පස්සේ දුවනවා. මෙය ප්‍රශ්නයක් ලෙස දැකලා ප්‍රශ්නය විසඳන්න කරපු යෝජනාත් ගණනාවක්ම දැක්කා. 

පෙනෙන විදිහට මේ පුවතේ සම්භවය සාමාන්‍යයෙන් හැමදාම බැණුම් අහන සමාජ ජාලා කිසිවක් නෙමෙයි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ඉංග්‍රීසි මාධ්‍ය ජාතික පුවත්පතක්. ඔය වගේ ඉංග්‍රීසි මාධ්‍ය පුවත්පත් වුනත් තත්ත්ව පාලනය අතින් සමාජ ජාලා වලට වඩා ලොකුවට වෙනස් නැති බව දැනගන්න මේ පුවත හොඳ උදාහරණයක්.

"Sri Lanka sees unprecedented 14.5% surge in cash in 2024" - 8 May 2025, https://www.dailymirror.lk

සිංහලට පරිවර්තනය කර තිබෙන්නේ ඔය පුවත.

2024 වසර තුළ භෞතික මුදල් සංසරණය ඇත්තටම ඔය කියන විදිහට 14.5%කින් වර්ධනය වෙලාද?

ඔව්. 14.51%කින් වර්ධනය වෙලා තියෙනවා. ඒ කරුණේ කිසිම වැරැද්දක් නැහැ. 

එහෙමනම් මේ ප්‍රවෘත්තියේ තිබෙන වැරැද්ද කුමක්ද?

වැරැද්ද තියෙන්නේ "unprecedented" කියන වචනයේ. මෙය කිසිසේත්ම "පෙර නොවූ විරූ" වර්ධනයක් නෙමෙයි. සාමාන්‍ය කරුණක් ලෙස සංසරණයේ තිබෙන මුදල් ප්‍රමාණය සෑම වසරකදීම ඔය ආසන්න ප්‍රමාණයකින් ඉහළ යනවා. පහත තිබෙන්නේ පසුගිය වසර පහ තුළ භෞතික මුදල් සංසරණය වර්ධනය වූ ආකාරය.

2020 - 23.13%

2021 - 20.40%

2022 - 2.14%

2023 - 15.58%

2024 - 14.51%

පසුගිය අවුරුදු පහෙන් එක් අවුරුද්දකදී හැර අනෙක් සෑම අවුරුද්දකදීම භෞතික මුදල් සංසරණය වැඩි වීම පසුගිය වසරේ වර්ධනයට වඩා වැඩියි. පසුගිය වසරේ වර්ධනය ඉතාම සාමාන්‍ය තත්ත්වයක්. ඇත්තටම කියනවානම් භෞතික මුදල් සංසරණය මීට වඩා වැඩි වේගයකින් වර්ධනය වෙන්න වුනත් හේතු මේ වෙද්දී තිබෙනවා.

භෞතික මුදල් සංසරණයේ ප්‍රමාණය තීරණය කරන සාධක මොනවාද?

මෙය ඉතාම සරල, ඒ වගේම බොහෝ දෙනෙකු දන්නා, මූලික මට්ටමේ ආර්ථික විද්‍යා න්‍යාය කිහිපයකින් පැහැදිලි කළ හැකි දෙයක්. 

මිනිස්සු භෞතික මුදල් භාවිතා කරන්නේ ගනුදෙනු කිරීමේ මෙවලමක් විදිහටයි. ඒ නිසා, රටේ ගනුදෙනු ඉහළ යද්දී මුදල් ඉල්ලුම ඉහළ යනවා. රටේ ආර්ථිකය වර්ධනය වෙද්දී ගනුදෙනු ප්‍රමාණය ඉහළ යනවා. මුදල් වැඩියෙන් අතේ තියාගත් තරමට ගනුදෙනු කිරීම පහසු වෙනවා.

කෙසේ වුවත්, භෞතික මුදල් භාවිතය සීමා කෙරෙන සාධකත් තිබෙනවා. ප්‍රධානම සාධකය පොලී අනුපාතික. පොලී අනුපාතික ඉහළ යන තරමට සල්ලි අතේ තියා ගැනීමේ "ආවස්ථික පිරිවැය" ඉහළ යනවා. ඒ කියන්නේ සල්ලි බැංකුවේ නොතියා අතේ තියා ගැනීම නිසා අහිමි වන පොලී ආදායම. යමෙක් අතේ තියා ගන්න භෞතික මුදල් ප්‍රමාණය තීරණය කරන්නේ පොලී ආදායම අහිමි වීමේ පාඩුව සහ ගනුදෙනු සඳහා අවශ්‍ය වන මොහොතේ අතේ සල්ලි නැති වීමේ පාඩුව කිරා මැන බැලීමෙන් පසුවයි. 

ඉහත දත්ත වල පෙනෙන පරිදි, 2022දී භෞතික මුදල් සංසරණයේ වර්ධනය ඉතා අඩු මට්ටමකට වැටී තිබෙන්නේ පොලී අනුපාතික විශාල ලෙස ඉහළ ගිය නිසා. පොලී අනුපාතික ක්‍රමයෙන් අඩු වෙද්දී සල්ලි අතේ තියා ගැනීමේ ආවස්ථික පිරිවැයද නැවත ක්‍රමයෙන් අඩු වී තිබෙනවා. ඒ නිසා, මුදල් සංසරණය සාමාන්‍ය පරිදි වර්ධනය වී තිබෙනවා.

මීට අමතරව, 2022 කියන්නේ රුපියල පිළිබඳ විශ්වාසය බිඳ වැටුණු වසරක්. එවිට මිනිස්සු රුපියල් අතේ තබා ගැනීම සීමා කරනවා. ඒ වෙනුවට වාහන, ගෙවල්, ඉඩම්, රත්තරන්, ඩොලර් වගේ දේවල් මිල දී ගන්නවා. නැවත රුපියල පිළිබඳ විශ්වාසය ගොඩ නැගුනු පසුව ඒ තත්ත්වය වෙනස් වී තිබෙනවා.

මේ හේතු අතරට එකතු කළ යුතු තවත් හේතුවක් වන්නේ මේ වන විට මාස අටක පමණ කාලයක් එක දිගට රටේ අවධමනයක් තිබීම. සල්ලි අතේ තියා ගැනීමේ එක් ප්‍රධාන අවාසියක් වන්නේ උද්ධමනය නිසා මුදලේ වටිනාකම අඩු වීම. අව්ධමනයක් තියෙද්දී සිදු වන්නේ එහි අනෙක් පැත්තයි. ඒ කියන්නේ අතේ තිබෙන මුදල් වල වටිනාකම එන්න එන්නම වැඩි වීම.

ඔය කරුණු වලට අමතරව, රඳවා ගැනීමේ බද්ද වැඩි කිරීම. බැංකු තැන්පතු පිළිබද තොරතුරු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලබා දීම නිසා බදු ගොනු අරින්නට වීමේ අවදානම වගේ හේතු නිසාත් භෞතික මුදල් භාවිතය ඉහළ යන්න පුළුවන්.

ඔය වගේ හේතු ගොඩක් නිසා මේ වෙලාවේ භෞතික මුදල් භාවිතය ඉහළ යාම ඉතා සාමාන්‍ය දෙයක් වුනත්, ඇත්තටම එවැනි කැපී පෙනෙන වැඩි වීමක් වෙලා නැහැ. මේක "මහනුවරට නගරාන්තර දුම්රියක්!" වගේ ප්‍රවෘත්තියක්. හැබැයි පසුගිය දවස්වල ඔය විදිහේ ප්‍රවෘත්ති ගණනාවක්ම සමාජ ජාලා වලනම් තිබුණා.

Monday, December 26, 2022

රුපියලේ පාලනය ඉන්දියාවට යයිද?


මේ වන විට අඩු වශයෙන් ශ්‍රී ලාංකික බැංකු පහක් විසින් ඉන්දියානු රුපියල් වලින් සෘජුව ගනුදෙනු කිරීමට පහසුකම් සලස්වමින් ඉන්දීය සංචිත බැංකුවේ අධීක්ෂණයට හා නියාමනයට යටත් වන ඉන්දියානු රුපියල් ගිණුම් (වොස්ට්‍රෝ ගිණුම්) විවෘත කර තිබෙනවා. ඉතා ඉක්මණින් තවත් බැංකු ගණනාවක් විසින්ද මෙම පියවර ගනු ඇතැයි අනුමාන කළ හැකියි. 

ඉන්දියානු රුපියල කලාපය තුළ ජනප්‍රිය කිරීමේ හා ඉන්දියානු අපනයන ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ලංකාව ඇතුළු විදේශ රටවල වාණිජ බැංකු වලට ඉන්දියාව තුළ වොස්ට්‍රෝ ගිණුම් ආරම්භ කිරීමට ඉඩ දීමට පසුගිය ජූලි මාසයේදී ඉන්දීය සංචිත බැංකුව තීරණය කළා. ශ්‍රී ලාංකික වාණිජ බැංකු පහක ඉන්දියානු රුපියල් ගිණුම් ඉන්දීය සංචිත බැංකුව විසින් මේ වන විටද අනුමත කර තිබෙනවා.

මේ අනුව, මහජන බැංකුව විසින් ඉන්දීය රාජ්‍ය බැංකුවේ (State Bank of India) ඉන්දියානු රුපියල් ගිණුමක් විවෘත ඇති අතර සෙලාන් බැංකුව, NDB බැංකුව සහ තවත් බැංකුවක් ඉන්දියානු බැංකුවේ (Indian Bank) ගිණුම් විවෘත කර තිබෙනවා. ලංකා බැංකුව මේ කාර්යය සඳහා එහි චෙන්නායි ශාඛාව හරහා වොස්ට්‍රෝ ගිණුමක් විවෘත කර තිබෙනවා.

ඉන්දියාව නිදහස ලබන විට ඉන්දියානු රුපියල දකුණු ආසියානු කලාපය මෙන්ම මැදපෙරදිග පවා ජනප්‍රියව තිබුණු ප්‍රබල මුදල් ඒකකයක්. එය ලංකාව ඇතුළු රටවල් ගණනාවක සංචිත මුදල් ඒකකයක් ලෙසද භාවිතා වුනා. 

මුලින්ම ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුව මෙන් කොටස් හිමියන්ගේ බැංකුවක් වූ ඉන්දීය සංචිත බැංකුව 1949දී රජයට පවරා ගැනීමෙන් පසුව ඉන්දියානු රුපියලේ පරිහානි කාලය ඇරඹුනා. නිදහසින් පසුව ලංකාව මෙන්ම ජාතික සමාජවාදී ආර්ථික ප්‍රතිපත්ති වැළඳ ගනිමින්, සුබසාධන වියදම් නඩත්තු කිරීම සඳහා දිගින් දිගටම සල්ලි අච්චු ගහද්දී ඉන්දියාවටද ලංකාවට මෙන් දිගින් දිගටම ගෙවුම් ශේෂ අර්බුද වලට මුහුණ දෙන්නට වුනා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උදවුවෙන් මේ අර්බුද වලින් ගොඩ ගියත් ආර්ථිකයේ වූ ආකෘතිමය ප්‍රශ්න එලෙසම පැවති නිසා ඉන්දියාවටද නැවත නැවත අරමුදලේ උදවු සොයා යන්න සිදු වුනා. 

ඉන්දියාව දරුණුම ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුණ දුන් 1991දී ඉන්දියාවට ණය ලබා ගත හැකි වූයේ රටේ තිබුණු රන් සංචිත ගුවන් මගින් ප්‍රවාහනය කර ඇපකරයක් ලෙස එංගලන්ත බැංකුවේ තැන්පත් කිරීමෙන් පසුවයි. ඒ වන විට ඉන්දියාවේ විදේශ ණය ප්‍රමාණය රටේ නිල විදේශ සංචිත ප්‍රමාණය මෙන් 15 ගුණයක් පමණ දක්වා ඉහළ ගොස් තිබුණා. වෙනත් විදිහකින් කිවුවොත්, රටේ නිල සංචිත ප්‍රමාණය රටේ විදේශ ණය ප්‍රමාණයෙන් 6%-7% මට්ටම දක්වා පහත වැටී තිබුණා.

කෙසේ වුවත්, මේ දරුණු ගෙවුම් ශේෂ අර්බුදයෙන් පසුව ඉන්දියාව පාඩමක් ඉගෙන ගත්තා. පෙර වැරදි නැවත නැවත කළේ නැහැ. රට ක්‍රමක්‍රමයෙන් විවෘත වුණා. ජාතික සමාජවාදී ප්‍රතිපත්ති වෙනුවට වෙළඳපොළ ප්‍රතිපත්ති ආදේශ වුනා. ඉන්දියානු රුපියල ටිකෙන් ටික ශක්තිමත් වුනා. ඉන්දීය සංචිත බැංකුව විසින් එංගලන්ත බැංකුවේ ණය ගෙවා තමන්ගේ රන් සංචිත බේරාගෙන නැවත රටට ගෙනාවා. ඉන්දියාවේ විදේශ සංචිත රටේ විදේශ ණය ප්‍රමාණය ඉක්මවා ගියා. දැන් ඉන්දියානු රුපියල නැවතත් ශක්තිමත් මුදල් ඒකකයක්.

ඉන්දියානු රුපියල නැවතත් ශක්තිමත් මුදල් ඒකකයක් වී තිබුණත් රටේ මහ බැංකුව රජය සතු කරන්නට පෙර මුදල් ඒකකය සතු වූ කීර්තිය නැවත හිමි කර ගැනීමට තවමත් ඉන්දියානු රුපියල සමත් වී නැහැ. දැන් ඉන්දියාවේ ඉලක්කය ඒ නැති වූ පිළිගැනීම නැවතත් තමන්ගේ මුදල් ඒකකයට ලබා දීමයි. 

ඉන්දියානු රුපියල් වලින් ගනුදෙනු කිරීම සඳහා ලංකාව පොළඹවා ගැනීමේ උත්සාහය සාර්ථක ලෙස ක්‍රියාවට නැගෙන්නේ මේ පසුබිම තුළ වුවත් ඒ සඳහා ලංකාව යොමු වීමට තවත් ප්‍රබල සාධකයක්ද හේතු වී තිබෙනවා. ඒ, වසර 47ක් තිස්සේ ලංකාව හා ඉන්දියාව අතර ගනුදෙනු සිදු වූ ආසියානු නිශ්කාෂණ යාන්ත්‍රනය තුළින් ශ්‍රී ලංකාව මේ වන විට ඉවත් වී සිටීමයි.

ආසියානු නිශ්කාෂණ යාන්ත්‍රනය යනු 1975 සිට ඉන්දියාව හා ලංකාව ඇතුළු කලාපයේ රටවල් ගණනාවක මහ බැංකු අතර ඇති සම්මුතියක්. මෙම සම්මුතිය අනුව, සාමාජික රටවල් අතර ගනුදෙනු සිදු වෙද්දී ක්ෂණිකව රටවල් අතර මුදල් හුවමාරුවක් සිදු වන්නේ නැහැ.

ආසියානු නිශ්කාෂණ යාන්ත්‍රනය ක්‍රියාත්මක තිබියදී ශ්‍රී ලාංකිකයෙකු විසින් ඉන්දියාවට මුදලක් යැවීමේදී (උදාහරණයක් ලෙස කිසියම් ආනයනයක් වෙනුවෙන්) මුලින්ම තමන්ගේ බැංකුවට ගොස් රුපියල් ගෙවා ඩොලර් මිල දී ගත යුතුයි. ඉන්දියානුවාට ඔහුගේ බැංකුවෙන් එම ඩොලර් ප්‍රමාණයට සමාන ඉන්දියානු රුපියල් ප්‍රමාණයක් වහාම ලැබෙනවා. 

මේ ගනුදෙනු දෙකෙන් එකකදීවත් මුදල් නෝට්ටු භාවිතා කිරීමට අවශ්‍ය නැහැ. ලංකාවේ බැංකුවට තමන්ගේ පාරිභෝගිකයාගේ ගිණුමෙන් අදාළ මුදල අඩු කර ගත හැකියි. මේ අයුරින්ම ඉන්දියානු බැංකුව විසින් කරන්නේත් තමන්ගේ පාරිභෝගිකයාගේ ගිණුම් ශේෂයට අදාළ මුදල එකතු කරන එකයි.

එහෙත්, ලංකාවේ වාණිජ බැංකුව විසින් ඉන්දියාවේ අදාළ වාණිජ බැංකුවට ඩොලර් යැවීමක් සිදු වන්නේ නැහැ. ඒ වෙනුවට ලංකාවේ වාණිජ බැංකුව විසින් කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවට අදාළ ඩොලර් ප්‍රමාණයේ වටිනාකමට සමාන රුපියල් ප්‍රමාණයක් ලබා දීමයි. රුපියල් ලබා දෙනවා කිවුවත් මෙහිදී සිදු වන්නේ මහ බැංකුවේ තිබෙන අදාළ බැංකුවේ ගිණුම් ශේෂය අඩුවීමයි.

අනෙක් පැත්තෙන්, ඉන්දියාවේ මහ බැංකුව විසින් අදාළ ඉන්දියානු බැංකුවට මෙම ඉන්දියානු රුපියල් ප්‍රමාණය ලබා දෙනවා. එය කරන්නේත් එම බැංකුව සතු ගිණුමේ ශේෂය වැඩි කිරීම මගින්. 

ඉන්දියාවෙන් ලංකාවට සල්ලි එවද්දී වෙන්නේත් මෙයමයි. මෙහිදී රටවල් දෙක අතර මුදල් ගලා යාමක් සිදු වෙන්නේ නැහැ. ඉන්දියාවේ හා ලංකාවේ මහ බැංකු අන්‍යෝන්‍ය විශ්වාසය මත එකම ඒකකයක් ලෙස කටයුතු කරනවා. මේ යාන්ත්‍රනයට සම්බන්ධ වී සිටින කලාපීය රටවල් සියල්ලේම මහ බැංකු අතර මේ අන්‍යෝන්‍ය විශ්වාසය පවත්වා ගැනෙනවා. ඒ නිසා, ගනුදෙනු සිදු වන්නේ ඩොලර් වලින් වුවත්, ඇත්තටම ඩොලර් හුවමාරුවක් සිදු වන්නේ නැහැ.

කෙසේ වුවත්, යම් අවස්ථාවක ඩොලර් හුවමාරුවක් සිදු විය යුතුයි. මෙය සිදු වන්නේ මාස දෙකකට වරක්. මාස දෙක කාලයක් තුළ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනෙක් රටවල් වෙනුවෙන් ලංකාවේ වාණිජ බැංකු වලට ගෙවා ඇති මුදල සහ අනෙක් රටවල් වෙනුවෙන් එකතු කරගෙන ඇති මුදල ගණනය කිරීමෙන් පසු අමතර මුදලක් ගෙවිය යුතුනම් එම මුදල මාස දෙකකට වරක් පියවිය යුතුයි. ඒ සඳහා දින හතරක කාලයක් ලැබෙනවා. 

මෙහිදී ඇමරිකන් ඩොලර් මෙන්ම ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුවද සම්බන්ධ වෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව මෙන්ම අනෙකුත් රටවල මහ බැංකුද මේ සඳහා ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුවේ ගිණුම් පවත්වා ගෙන යනවා. ලංකාව ඉන්දියාවට මුදලක් ගෙවිය යුතුනම් ෆෙඩරල් සංචිත බැංකුවේ ඇති ලංකාවේ ගිණුමෙන් අදාළ මුදල අඩු වී ඉන්දියාවේ ගිණුමට එකතු වෙනවා. 

ආසියානු නිශ්කාෂණ යාන්ත්‍රනය තිබීමේ වාසිය වන්නේ ගනුදෙනු සිදු වන්නේ ඩොලර් වලින් වුනත් ඒ සඳහා ඇත්තටම ඩොලර් අවශ්‍ය වන්නේ මාස දෙකකට වරක් සිදුවන මේ ගනුදෙනු පියවීමේදී පමණක් වීමයි. මෙවැනි යාන්ත්‍රණයක් නොතිබෙන්නට ලංකාව හා ඉන්දියාව අතර ගනුදෙනුවක් සිදුවන වාරයක් පාසා එයට ඇමරිකාවද සම්බන්ධ කර ගැනීමට සිදු වෙනවා. 

ආසියානු නිශ්කාෂණ යාන්ත්‍රනයේ පියවීම් සඳහා මුලින් යොදාගත්තේ ඇමරිකන් ඩොලර් පමණක් වුවත් පසුව මේ සඳහා යුරෝ මුදල් ඒකකයද, ඉතා මෑතකදී යෙන් මුදල් ඒකකයද අනුමත කෙරුණා. එහෙත්, එහිදී සිදු වන්නේ ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුව වෙනුවට ජපාන බැංකුව වැනි තවත් බාහිර විකල්පයක් ලැබීම පමණයි.

පසුගිය වසර අවසානයේදී ලංකාවේ සංචිත හිඳී යාම නිසා ශ්‍රී ලංකා මහ බැංකුවට ආසියානු නිශ්කාෂණ යාන්ත්‍රනයේ එකඟතාව පරිදි ඉන්දියාවට මුදල් පියැවීමට නොහැකි වුනා. ඉන්දියාව කිහිප වරක්ම මේ සඳහා නැවත නැවත කල් දුන්නා. ජූනි මාසය අවසන් වන විට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉන්දියාවට ගෙවිය යුතු වූ හිඟ මුදල ඩොලර් බිලියන 1.9 දක්වා ඉහළ ගොස් තිබුණා. ඉන් පසුව මෙම මුදලෙන් කොටසක් හෝ පියෙවුවාද නැත්නම් හිඟ මුදල තවත් ඉහළ ගොස් ඇත්ද යන්න පැහැදිලි නැහැ. කෙසේ වුවත්, ඔක්තෝබර් මැදදී ශ්‍රී ලංකාව ඒකපාර්ශ්විකව ආසියානු නිශ්කාෂණ යාන්ත්‍රනයෙන් ඉවත් වුනා.

ශ්‍රී ලංකා මහ බැංකුව ආසියානු නිශ්කාෂණ යාන්ත්‍රනයෙන් ඉවත් වීමෙන් පසුව ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර දශක ගණනක් තිස්සේ ගණුදෙනු පියැවුණු යාන්ත්‍රනය අක්‍රිය වී තිබෙනවා. ඉන්දියාව විසින් ශ්‍රී ලාංකික බැංකු වලට ඉන්දියාව සමඟ සෘජුව ඉන්දියානු රුපියල් වලින් ගනුදෙනු කිරීමට ඉඩකඩ සලසා තියෙන්නේ මෙම පසුබිම තුළයි.

අලුත් යාන්ත්‍රනය තුළ ලංකාවෙන් ඉන්දියාවට සල්ලි යද්දී ලංකාවෙන් එකතු කර ගන්නා රුපියල් ප්‍රමාණයට අනුරූප ඉන්දියානු රුපියල් ප්‍රමාණයක් ඉන්දියාවේදී ලැබෙන්නේ එම මුදල අදාළ වොස්ට්‍රෝ ගිණුමේ ශේෂයෙන් අඩු කර ගැනීම මගින්. මේ සඳහා ශ්‍රී ලාංකික බැංකු වලට තමන්ගේ ඉන්දියාවේ වොස්ට්‍රෝ ගිණුම් තුළ ප්‍රමාණවත් ශේෂයක් (සංචිත) පවත්වා ගන්න වෙනවා. එම මුදල් ඉන්දියාවේ භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කළ හැකියි.

ඉතා පැහැදිලිවම ඉන්දියාව මේ ක්‍රමය ක්‍රියාත්මක කරන්නේ ඉන්දියාවේ ජාතික අභිලාශ මත ඔවුන්ගේ පැත්තෙන් බලලා. නමුත්, මේ වැඩෙන් ලංකාවට හානියක් වන බවක් මෙයින් අදහස් වන්නේ නැහැ.

පළමුව, මේ වැඩෙන් ශ්‍රී ලංකා රුපියල් වෙනුවට ඉන්දියානු රුපියල් ආදේශ වෙන්නේ නැහැ. ඉන්දියානු රුපියල් ආදේශ වන්නේ ඩොලර්, යුරෝ හෝ යෙන් වැනි වෙනත් මුදල් ඒකක වෙනුවටයි. මෙය ඉන්දියාව හා ලංකාව අතර වෙළඳ ශේෂය කෙරෙහි බලපාන්නේ කොහොමද?

දැනටමත් ඉන්දියාව සහ ලංකාව අතර විශාල වෙළඳ හිඟයක් තිබෙනවා. ඒ නිසා, ලංකාවේ බැංකුවක් ඉන්දියාවේ පවත්වා ගෙන යන ඉන්දියානු රුපියල් ගිණුමකින් සල්ලි යන තරමට එම ගිණුම් වලට සල්ලි එන්නේ නැහැ. මේ අඩුව පුරවන්නට ලංකාවේ බැංකු වලට ඔවුන් කොහෙන් හෝ හොයා ගන්නා ඩොලර් ඉන්දියානු රුපියල් කර ඉන්දියාවේ තැන්පත් කරන්න සිදු වෙනවා. 

වාණිජ බැංකු වලට එන විදේශ විණිමය ඉන්දියාවේ ගිණුම් වල එකතු වෙනවානම් එය නරක දෙයක්ම නෙමෙයි. මොන විදිහකින් හෝ වෙන්නේ රටේ විදේශ සංචිත ඉහළ යන එකයි. ඒවා නිල සංචිත නොවෙන්න පුළුවන්. නමුත් මේ ඩොලර් රටට ඇවිත් මහ බැංකුවට විකිණීමෙන් පසුව ඉතිහාසය තුළ සිදු වී තිබෙන දෙය අපි දන්නවනේ. එහෙම බලද්දී ඉන්දියාවේ ඒ සල්ලි එකතු වෙන එක ලංකාවේ ජාතික අභිලාශ අනුව වුනත් වඩා සුරක්ෂිතයි. 

තවමත් අවසන් එකඟත්වයක් ඇති වී නැතත් ඉන්දියාව මේ වන විට ඉන්දියානු රුපියල් වලින් ගනුදෙනු කිරීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟද සාකච්ඡා කරමින් සිටිනවා. එම සාකච්ඡා වල ප්‍රගතිය මත ඇතැම් විට මැද පෙරදිග සිට ලංකාවට එන ඩොලර් වලින් කොටසක් ඉන්දියන් රුපියල් වී ඉන්දියාවේ රැඳෙන්න පුළුවන්. එහෙම වුනොත්නම් මුලින් කියපු වාසිය නැතුව යනවා. 

මේ වැඩෙන් ලංකාවට එන විදේශ විණිමය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව හා ඉන්දියාව අතර යම් තරඟයක් ඇති වෙනවා. මම හිතන්නේ මේ තරඟය හොඳ එකක් කියලා. ශ්‍රී ලංකා මහ බැංකුවට රුපියලේ අගය තියා ගන්න අවශ්‍යනම් සංචිත එකතු කරගෙන රුපියල ශක්තිමත් කරන්නම වෙනවා. සංචිත එකතු කරගන්නනම් විදේශ විණිමය වෙනුවෙන් නියම මිල ගෙවන්නම වෙනවා. නැත්නම් ඒ සංචිත ඉන්දියාවට යන එක වලක්වන්න බැරි වෙනවා. සමස්තයක් ලෙස ශ්‍රී ලාංකිකයින්ට මෙයින් වෙන්නේ වාසියක්. ඇත්තටම කියනවානම් මේ වැඩෙන් දිගුකාලීනව වෙන්නේ ඉන්දියානු රුපියලේ ශක්තියත් අරගෙන ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වෙනවා වගේ දෙයක්. එහෙම නැතුව ශ්‍රී ලංකා රුපියල අතු ගෑවිලා යන්නේ නැහැ. (වෙන හේතු නිසා එහෙම වෙන්න පුළුවන්.)

ශ්‍රී ලංකා රුපියල කියන එක ඓතිහාසිකව හැදී තිබෙන්නේම ඉන්දියානු රුපියලේ ශක්තියෙන්. ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටෙවුවට පස්සේ ඒ සම්බන්ධය කැඩිලා රුපියල අයාලේ ගියා. අනෙක් අතට ඉන්දියානු රුපියලේත් හුළං බැහැලා ශක්තියක් නැති මුදල් ඒකකයක් වුනා. නමුත් දැන් නැවතත් ඉන්දියානු රුපියල එහි පරණ ඓශ්චර්යය කරා හෙමින් හෙමින් ගමනක් අරඹා තිබෙනවා. ශ්‍රී ලංකා රුපියල ඉන්දියානු රුපියලේ ගැට ගහන එක මේ වෙලාවේ හැටියට වගේම දිගුකාලීනව වුනත් නරක අදහසක් නෙමෙයි.

Friday, October 15, 2021

රුපියල බලු නොවටීයැයි මහ බැංකුවම හිතනවද?


මහ බැංකුව පැත්තෙන් තවත් "පෙට්ටියෙන් පිට" යෝජනාවක් ඉදිරිපත් වෙලා. මේ යෝජනාව ක්‍රියාත්මක වුවහොත්, ඩොලර් වලින් බදු ගෙවන්න සූදානම් අයට වාහන ආනයනය කළ හැකියි. වැදගත්ම කරුණ මේ යෝජනාව ඉදිරිපත් වෙන්නේ මහ බැංකුව පැත්තෙන් වීමයි. යම් හෙයකින් මේ යෝජනාව ක්‍රියාත්මක වුවහොත් එය රුපියල අත හැර ලංකාවේ ගනුදෙනු සඳහා ඇමරිකන් ඩොලර් යොදා ගැනීම (dollarization) කරා තබන මූලික පියවරක්. 

කිසියම් රටක් තමන්ගේ ජාතික මුදල් ඒකකය අතහැර විදේශ මුදල් ඒකකයකින් ගනුදෙනු කරන්න පටන් ගැනීම ඩොලර්කරණය (dollarization) ලෙස හැඳින්වෙනවා. ඇතැම් රටවල් නිල වශයෙන්ම තමන්ගේ මුදල් ඒකකය අතහැර විදේශ මුදල් රට තුළ භාවිතා කරන්න පටන් ගන්නවා. සිම්බාබ්වේ රාජ්‍යය මෑතකදී එසේ කළ රටක්. මෙය හැඳින්වෙන්නේ නිල ඩොලර්කරණය (de jure dollarization) ලෙසයි. රටක් එවැනි තීරණයක් ගන්නේ තමන්ගේ මුදල් ඒකකයේ කිසිම වටිනාකමක් නැති වී වෙන කරන්නම දෙයක් නැති වූ විටයි. එහෙම වෙන්නේ අසීමිත ලෙස සල්ලි අච්චු ගැසීමේ ප්‍රතිඵලයක් ලෙස රටේ මිනිස්සු රටේ ජාතික මුදල් ඒකකය අත හැර දමන තැනට වැටුණු විටයි.

රටක් නිල ඩොලර්කරණය තෝරා ගැනීම නිතර සිදු වන දෙයක් නොවුනත් අවිධිමත්, නිල නොවන ඩොලර්කරණය (de facto dollarization) ඊට වඩා ප්‍රචලිතයි. මෙහිදී නිල වශයෙන් ගනුදෙනු සිදු විය යුත්තේ රටේ ජාතික මුදල් ඒකකයෙන් වුනත්, රට ඇතුළේ සිටින ඇතැම් කණ්ඩායම් විසින් හෝ ඇතැම් ප්‍රදේශ වල නොනිල ලෙස විදේශ ව්‍යවහාර මුදලින් ගනුදෙනු සිදු වෙනවා. මෙය බොහෝ විට සිදු වන්නේ සංචාරක කලාප වල. 

උද්ධමනය විශාල ලෙස ඉහළ ගොස් රටේ ජාතික මුදල් ඒකකය බලු නොවටින තැනට වැටුණු විට, නිල වශයෙන් රජය හෝ මහ බැංකුව විසින් ඩොලර්කරණය විදේශ විණිමය ප්‍රතිපත්තිය ලෙස ප්‍රකාශයට පත් කරන්න කලින්ම, සමස්තයක් ලෙස රටේ මිනිස්සු තමන්ගේ ජාතික මුදල් ඒකකය අතහැර විදේශ මුදල් වලින් ගනුදෙනු කරන්න පටන් ගන්නවා. රටක් නිල වශයෙන්ම ඩොලර්කරණය තෝරා ගන්නේ ඒ වගේ අඩියටකට වැටුණාට පසුවයි. 

මිනිස්සු කිසියම් දෙයක් මුදල් ලෙස භාර ගන්නේ ඒ පිළිබඳ විශ්වාසය මත පදනම්ව. මෙහිදී විශ්වාසය කියා කියන්නේ වෙනත් අයත් අදාළ දෙය මුදල් සේ භාර ගනු ඇතැයි යන විශ්වාසය. මෙහිදී රන්, රිදී, ධාන්‍ය වැනි දෙයක් පිළිබඳ ඒ විශ්වාසය ඇති වන්නේ එම ද්‍රව්‍ය වල තිබෙන නෛසර්ගික වටිනාකම නිසා. ආඥාප්ති ව්‍යවහාර මුදල්, එහෙමත් නැත්නම් ෆියට් මුදල් වලට එවැනි නෛසර්ගික වටිනාකමක් නැහැ. මිනිසුන්ගේ විශ්වාසය නැත්නම් ඒවා නිකම්ම නිකම් කොළ කෑලි පමණයි. ඒ නිසා, ආඥාප්ති ව්‍යවහාර මුදලක් මිනිසුන් අතර ප්‍රචලිත කරන එක පහසු වැඩක් නෙමෙයි.

ආඥාප්ති ව්‍යවහාර මුදලක් පිළිබඳව මිනිසුන්ගේ විශ්වාසය ගොඩ නැගිය හැකි එක ක්‍රමයක් වන්නේ වටිනාකමක් තිබෙන යම් දෙයක් ආශ්‍රයෙන් එවැනි මුදල් ඒකකයකට කෘතීම වටිනාකමක් ආරෝපණය කිරීමයි. මහ බැංකු වල පවත්වා ගන්නා රන් ඇතුළු සංචිත වලින් කරන්නේ අදාළ මහ බැංකුව විසින් නිකුත් කරන මුදල් ඒකකයට මේ ආකාරයෙන් වටිනාකමක් ආරෝපණය කරන එකයි. රන් සම්මතයකදී මෙන් නිකුත් කළ මුදල් වල වටිනාකමට රත්තරන් මහ බැංකුවේ නැතත්, යම් රන් ප්‍රමාණයක් මහ බැංකුවේ තිබෙන නිසා විශ්වාසය මතම ලැබෙන වටිනාකමට අමතරව පොඩි හරි නෛසර්ගික වටිනාකමක් මේ සල්ලි කොළ වල තියෙනවා. 

ආඥාප්ති ව්‍යවහාර මුදලක් පිළිබඳව මිනිසුන්ගේ විශ්වාසය ගොඩ නැගිය හැකි තවත් ක්‍රමයක් වන්නේ රාජ්‍යාධිකාරය හරහා වටිනාකමක් කෘතීම ලෙස ආරෝපණය කිරීමයි. රජයකට මිනිසුන්ගෙන් බදු අය කිරීමට හා එම බදු නොගෙවන අයට දඬුවම් කිරීමට ඒකාධිකාරී හෝ ඊට ආසන්න බලයක් තිබෙනවා. (කප්පම්කාරයෝ වගේ අයත් ඔය වැඩේ කරනවා තමයි!) මේ ඒකාධිකාරී බලය යොදාගෙන රජයකට කිසිදු නෛසර්ගික වටිනාකමක් නැති කඩදාසි කෑල්ලකට වටිනාකමක් දිය හැකියි. ආරම්භයේදී ගොඩක් මුදල් ඒකක ප්‍රචලිත කර තිබෙන්නේ ඔය ක්‍රමයටයි.

ඉතිහාසයට ගියොත් රජයක් බදු අය කර තිබෙන්නේ එක්කෝ සෘජු ශ්‍රමය විදිහට. රාජකාරි ක්‍රමයේදී වගේ. නැත්නම් රන්, ධාන්‍ය වැනි දෙයකින්. ඔහොම තියෙද්දී එක පාරටම බදු ගෙවිය යුතු මුදල් ඒකකය ලෙස මොකක් හරි එකක් රජය විසින් දැනුම් දුන්නට පස්සේ රටේ මිනිස්සුන්ට කොහෙන් හරි ඒ දේ හොයා ගන්න වෙනවා. ඒ එක්කම ඒ මොකක් හරි දෙයට, නෛසර්ගික වටිනාකමක් තිබුණත් නැතත්, ආරෝපිත වටිනාකමක් ලැබෙනවා. අදාළ මුදල් ඒකකය රටේ ප්‍රචලිත වෙනවා.

මේ විදිහට රටේ ප්‍රචලිත වෙන්නේ නෛසර්ගික වටිනාකමක් නැති දෙයක් වූ විට රජයට ඒ දේ වැඩි වැඩියෙන් සපයලා වක්‍ර ලෙසත් බද්දක් අය කර ගැනීමේ හැකියාව ලැබෙනවා. ෆියට් මුදල් එහෙමත් නැත්නම් ආඥාප්ති ව්‍යවහාර මුදල් කියා කියන්නේ ඔය වගේ දෙයකටයි. හැබැයි ඔය වටිනාකම එන ක්‍රමයේ පාදමේ තියෙන්නේ රජයට බදු ගෙවිය යුත්තේ අදාළ මුදලින් වීමයි. නෛසර්ගික වටිනාකමක් නැති බව කවුරුත් දන්නා මේ සල්ලි වෙන කාටවත්ම එපා කිවුවත්, අඩු ගණනේ රජයට බදු ගෙවන්න හෝ ගන්න පුළුවන් නිසා සල්ලි බලු නොවටිනා ගානට වැටෙන්නේ නැහැ. 

දැන් මහ බැංකුව විසින් (හෝ එහි අධිපතිවරයා විසින්) ඉදිරිපත් කරන යෝජනාව ක්‍රියාත්මක වෙනවා කියන්නේ ලංකාවට වාහන ආනයනය කරන කෙනෙකුට ඩොලර් වලින් බදු ගෙවන්න වෙනවා කියන එකයි. ඒ කියන්නේ මහ බැංකුවේ සල්ලි අඩු ගණනේ ලංකාවේ රජය විසින්වත් පිළිගන්නේ නැහැ කියන එකයි. 

කොහොමටත් මේ වෙද්දී මහ බැංකුවේ විදේශ ශුද්ධ වත්කම් සෘණ පැත්තට ගිහින්. අගෝස්තු අන්තිම වෙද්දී මහ බැංකුව සතුව තිබුණු විදේශ සංචිත ප්‍රමාණයෙන් මහ බැංකුවේම විදේශ වගකීම් පියවන්නත් ඩොලර් මිලියන 400ක් මදි. සැප්තැම්බර් අවසාන වෙද්දී අනිවාර්යයෙන්ම මේ හිඟය තවත් විශාල ලෙස වැඩි වී තිබිය යුතුයි. එහෙම තියෙද්දී මහ බැංකුවට මෙතෙක් කාලයක් කළා වගේ රුපියල් වලට නෛසර්ගික වටිනාකමක් ආරෝපණය කිරීමේ කිසිදු හැකියාවක් නැහැ. රුපියල එල්ලිලා තියෙන්නේ තනිකරම මිනිස්සු රුපියල් භාර ගැනීම මත පමණයි. එහෙම තියෙද්දේ තමයි බදු විදිහට රුපියල් භාර ගැනීම ලංකාවේ රජය විසින්ම අත හරින්න යන්නේ.

මෙය අවිධිමත් ඩොලර්කරණයක් ලොකුවට වෙන්නත් කලින්ම, නිල ඩොලර්කරණය ස්වේච්ඡාවෙන් තෝරා ගැනීමකට ආසන්න දෙයක්. 

ඩොලර්කරණය නරක දෙයක්ම නෙමෙයි. ලංකාවේ මුදල් ඒකකය ඩොලර් බවට පත් වෙනවා කියා කියන්නේ ලංකාවේ උද්ධමනය ඇමරිකාවේ උද්ධමනයට සීමා වෙනවා කියන එක. ඇමරිකාව උද්ධමනය 2% මට්ටමේ පාලනය කර ගන්නා රටක්. බොහෝ රටවල් නිල ඩොලර්කරණය තෝරා ගන්නේ උද්ධමනය පාලනය කරන්න වෙන ක්‍රමයක් පේන්න නැති වූ විට. මෙහි තිබෙන අවාසිය වන්නේ මහ බැංකුව අවලංගු කාසියක් වී, සල්ලි අච්චු ගසා අයවැය හිඟය පියවීමේ හැකියාව නැතිව යාමයි. හරියටම කිවුවොත් සල්ලි අච්චු ගැසීමේ ලාබය ඩොලර් අච්චු ගහන ඇමරිකාවට ලැබෙන එකයි.

දැන් මේ වැඩෙන් ලංකාවේ රජයට ලැබෙන වාසියක් ඇත්තෙම නැද්ද? වාසියක් නැත්තේ නැහැ. දැන් වාහන ආනයන නවත්වා ඇති නිසා රජයට අහිමි වන ආනයන බදු නැවතත් රජයට ලැබෙන්න පටන් ගන්නවා. ඒ හරහා රජයේ අයවැය හිඟය අඩු කර ගන්න පුළුවන්. සල්ලි අච්චු ගහන එක සීමා කරන්න පුළුවන්. එය රජයට වගේම රටටත් හොඳයි. 

හැබැයි මේ වැඩේ කළා කියලා අමුතුවෙන් රටට ඩොලර් එන්නේනම් නැහැ. වාහනයක් ආනයනය කරන කෙනෙක්ට ඒ වෙනුවෙන් ගෙවන්න වගේම රජයට බදු ගෙවන්නත් ඩොලර් හොයා ගන්න වෙන්නේ කොහොමටත් රටට එන ඩොලර් ටිකෙන්ම තමයි. අපනයනකරුවන් විසින් රටට නොගෙනවිත් තියාගෙන එන්න ඩොලර් ටිකක් වාහන විදිහට රටට එන්නනම්  පුළුවන්. 

උදාහරණයක් විදිහට කවුරු හෝ ආනයනකරුවෙක් ඩොලරයකට රුපියල් 250ක් බලාගෙන ඩොලර් රටින් එළියේ තියාගෙන ඉන්නවා කියා හිතමු. දැන් මේ සල්ලි ඩොලර් විදිහට ගෙනාවොත් ලැබෙන්නේ ඩොලරයකට රුපියල් 200ක් පමණයි. ඔය ඩොලර් වලින් රජයට බදුද ගෙවා වාහනයක් ආනයනය කළොත් වාහනය විකුණන මිලෙන් වක්‍ර ලෙස ඩොලරයකට රුපියල් 250ක් හොයා ගන්න පුළුවන්. මේ වෙලාවේ රටේ වාහන මිල ඉහළ ගොස් තිබෙන තත්ත්වයත් එක්ක වැඩි මිලකට වාහනයක් විකුණන එක අමාරු වැඩක් නෙමෙයි. වෙනත් විදිහකට කිවුවොත් මේ වෙලාවේ නැවත වාහන ආනයනය කරන්න ඉඩ දුන්නොත් රටින් පිටත ඩොලර් තියාගෙන ඉන්න අයට වක්‍ර ලෙස ඩොලරයක "නියම මිල" ලබා ගන්න අවස්ථාවක් ලැබෙනවා. 

Wednesday, July 7, 2021

ඇයි රත්තරං හැංගිලා?

 


ලංකානිවුස්වෙබ් වාර්තාවකට අනුව ලංකාව තුළ දැඩි රත්තරන් හිඟයක් ඇති වෙලා. මෙයට හේතුව "රන් ආභරණ නිෂ්පාදකයන් ඔවුන් සතු රත්රන් තොග සඟවා තබා ගනිමින් සීමිත ප්‍රමාණයක් පමණක් වෙළඳපොලට නිදහස් කිරීම" බවත් "දේශීය වෙළඳපොල තුළ රන් පවුමක මිල රුපියල් 124,000 දක්වා ඉහළ ගොස් තිබෙන" බවත් එම වාර්තාවේම සඳහන්.

මේ බඩු හංගන කතාව කියන්නේ රත්තරන් හා අදාළව පමණක් නෙමෙයි. පෝර ගැනත් ඔය කතාවම කියනවා. කලකට පෙර හාල් ගැන කිව්වෙත් ඔය කතාවමයි. භාණ්ඩයකට පුද්ගලයෙකුට සාපේක්ෂ වටිනාකමක් මිසක් නිරපේක්ෂ වාස්තවික වටිනාකමක් නැති බව තේරුම් ගෙන ඉන්න අයටනම් මේ සිද්ද වෙන්නේ කුමක්ද කියා තේරුම් ගන්න අමාරු වෙන එකක් නැහැ. වටිනාකම ගැන ශ්‍රම න්‍යාය පමණක් දන්න අය කනිපින්දම් ගාන එක පුදුමයක් නෙමෙයි.

ලංකාවෙන් රත්තරන් හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ලංකාවේ රත්තරන් සැපයුම තීරණය වෙන්නේ ආනයන මත. ආනයන සිදු නොවන තාක් රට ඇතුළේ රත්තරන් සැපයුම වෙනස් වෙන්නේ නැහැ. අනෙක් පැත්තෙන් මේ දවස් වල රුපියලේ අගය කඩා වැටීමේ අවදානම ගැන ගොඩක් අය ඉන්නේ සැලකිල්ලෙන්. ඒ නිසා, තමන්ගේ රුපියල් ඩොලර්, රත්තරන් වගේ දේවල් වලට මාරු කරලා අගය ආරක්ෂා කර ගන්න උනන්දුවක් රටේ ඇති වී තිබෙනවා. ඒ නිසා, ඩොලර් ඉල්ලුම වගේම රත්තරන් ඉල්ලුමත් ඉහළ ගිහින්. සැපයුම එසේම තියෙද්දී ඉල්ලුම වැඩි වුනහම මිල ඉහළ යනවා.

මූලික ආර්ථික විද්‍යා න්‍යාය අනුව ඉල්ලුම හා සැපයුම අතර පරතරයක් ඇති වූ විට මිල යාන්ත්‍රනය ක්‍රියාත්මක වී එම පරතරය නැති කරනවා. මිල වැඩි වෙද්දී භාණ්ඩයක් සපයන්න නිෂ්පාදකයින්ට තිබෙන උනන්දුව වැඩි වෙලා ඉල්ලුම තරමටම සැපයුම වැඩි වීම හරහායි මේ පරතරය නැති වෙන්නේ. නමුත් රත්තරන් ලංකාවේ නිපදවන්න බැරි නිසා මිල කොයි තරම් ඉහළ ගියත් දේශීය සැපයුම වැඩි වෙන්නේ නැහැ. සැපයුම වැඩි වෙන්නේ රත්තරන් ආනයනය කළොත් පමණයි. එයට ඉඩ නොලැබෙන තුරු ඉල්ලුම හා සැපයුම පහසුවෙන් සමතුලිත වෙන්නේ නැහැ.

පෝර සම්බන්ධව තත්ත්වයත් මීටම සමානයි. පෝර ලංකාවේ නිපදවන්න බැරිකමක් නැතත් එය හදිස්සියෙන් කරන්න බැහැ. ඒ නිසා, හදිස්සියේම ආනයන තහනම් කළ විට ඉල්ලුම හා සැපයුම අතර, මිල යාන්ත්‍රනය තුලින් පහසුවෙන් නැති කළ නොහැකි, පරතරයක් ඇති වෙනවා. අඩු පරිමාණයකින් වුවත් හාල් සම්බන්ධව තත්ත්වයත් ඕකමයි. 

රටක ආර්ථික-දේශපාලන ක්‍රමය කොයි තරම් ධනවාදයෙන් ඈත්ව තිබුණත්, කොයි තරම් සමාජවාදයට බරව තිබුණත්, මූලික මිනිස් හැසිරීම් වල ස්වභාවය වෙනස් වෙන්නේ නැහැ. මිනිස්සු බොහෝ දෙනෙක් හැකි හැම විටම ලාබ හොයනවා. යම් හෙයකින් රුපියලේ අගය විශාල ලෙස කඩා වැටුනොත් රුපියල් අතේ තියාගෙන ඉන්න අයට වෙන්නේ විශාල පාඩුවක්. දැනට වුනත් බැංකු පොලිය උද්ධමන අනුපාතිකයට වඩා අඩුයි. රුපියල් ඩොලර් වලට හරි රත්තරන් වලට හරි මාරු කිරීම මේ අවදානම අවම කර ගත හැකි ක්‍රමයක්. ධනවාදය ගැන හරි ආර්ථික විද්‍යාව ගැන හරි හාන්කවිසියක් නොදැන හිටියත් මිනිස්සුන්ට ඔය ටික තේරෙනවා. ඒ නිසා, රුපියල් වලට වගේම ඩොලර් වලටත් මේ වෙලාවේ විශාල ඉල්ලුමක් ඇති වී තිබෙන බවයි පෙනෙන්නේ.

ඉල්ලුම කොයි තරම් ඉහළ ගියත් ඩොලර් හෝ රත්තරන් හෝ සැපයුම ඉහළ යන බවක් පෙනෙන්නට නැහැ. ඒ නිසා, ඉල්ලුම හා සැපයුම නුදුරු දිනක සමතුලිත වන බවක් පෙනෙන්නත් නැහැ. ඒ කියන්නේ, රත්තරන් වල වගේම ඩොලර් එකේත් මිල ඉහළ යාමේ විභවයක් මිසක් පහළ යාමේ විභවයක් පෙනෙන්න නැහැ. 

ඔය වගේ වෙලාවක සිහියක් බුද්ධියක් තියෙන කෙනෙක් ස්වේච්ඡාවෙන් තමන් සතු ඩොලර් හෝ රත්තරන් හෝ විකුණන්නේ නැහැ. මොකද තමන්ට සාපේක්ෂව මේවායේ වටිනාකම වෙළඳපොළ වටිනාකමට වඩා වැඩියි. පෝර හෝ හාල් හා අදාළව වෙන්නෙත් ඕකමයි. රත්තරන් තොග තිබෙන අය මිල වැඩි වනු ඇතැයි අපේක්ෂාවෙන් තමන් සතු රත්තරන් නොවිකුණා සිටිද්දී රත්තරන් වලට ඉල්ලුම ඉහළ ගියාම මිල ඉහළ යන එක පුදුමයක් නෙමෙයි. 

චීන කොමියුනිස්ට් පක්ෂයේ සියවස වෙනුවෙන් මහ බැංකුව විසින් රුපියල් දහසක රන් කාසියක් නිකුත් කරලා. මුහුණත වටිනාකම රුපියල් දහසක් වුනත් මේ රන් කාසිය රුපියල් දහසක් ගෙවා මහ බැංකුවෙන් මිල දී ගන්න බැහැ. මහ බැංකුව විසින් කාසියක් විකුණන්නේ රුපියල් 220,000ක මුදලකට.

ලංකාවට නිදහස ලැබෙන කොට ඇමරිකන් ඩොලරයක් රුපියල් 3.30ක් පමණයි. රන් අවුන්සයක නිල මිල ඇමරිකන් ඩොලර් 35යි. ඒ කියන්නේ රන් අවුන්සයක් රුපියල් 116කට අඩුයි. චීන කොමියුනිස්ට් පක්ෂයේ අඩ සියවස සැමරූ 1971 කාලය වෙද්දීත් ඩොලරයක් රුපියල් 5.95යි. රන් අවුන්සයක් රුපියල් 208ක් පමණ. නිදහසෙන් පසුව දිගින් දිගටම රුපියල අවප්‍රමාණය වී තිබුනත්, ඒ වෙද්දීත් නිල වටිනාකම අනුව රුපියල් දහසක් ගෙවා රන් අවුන්ස 4.8ක් මිල දී ගත හැකිව තිබුණා. රන් අවුන්ස 4.8ක රත්තරන් කියන්නේ චීන කොමියුනිස්ට් පක්ෂයේ සියවස වෙනුවෙන් නිකුත් කළ රන් කාසියක තිබෙන රත්තරන් ප්‍රමාණය වගේ 13.57 ගුණයක්. ඒ කියන්නේ මේ කාසියේ තිබෙන රත්තරන් ප්‍රමාණයේ වටිනාකම ඒ වෙද්දී රුපියල් 73.68ක් පමණයි.

දැන් චීනය කොමියුනිස්ට් පක්ෂයේ සියවස සමරනවා. පහුගිය අවුරුදු පණහක මහ බැංකුවේ කෙරුවාව නිසා රුපියල කොයි තරම් බාල්දු වෙලාද කියනවානම් 1971දී රුපියල් 73.68ක වටිනාකමක් තිබුණු රත්තරන් ප්‍රමාණයක් දමලා හදපු රුපියල් දහසක කාසිය දැන් මහ බැංකුවට එහි මුහුණත වටිනාකමට විකුණන්න බැහැ. රුපියල් 1000 විකුණන්නේ රුපියල් 220,000කට.

අලුත් කාසියක කැරට් 22 රත්තරන් ග්‍රෑම් 12ක් තිබෙනවා. රන් පවුමක තිබෙන්නේ ග්‍රෑම් 7.98ක් පමණ. ඒ කියන්නේ මහ බැංකුව විසින් මේ කාසියේ මිල නියම කර තිබෙන පදනම අනුව බැලුවොත් මේ වෙද්දී රන් පවුමක වටිනාකම රුපියල් 146,300ක් විය යුතුයි. එහෙම තියෙද්දී වෙළඳපොළේ රන් පවුමක මිල රුපියල් 124,000ක් කියා කියන්නේ ගොඩක් අඩු මිලක්. මහ බැංකුව විසින්ම රන් පවුමක් රුපියල් 146,300කට මිල නියම කරද්දී රත්තරන් තොග අතේ තියෙන අය තමන්ගේ රත්තරන් රුපියල් 124,000 ගානේ නොවිකුණා මිල තවත් වැඩි වන තුරු බලා ඉන්න එක අහන්නත් දෙයක්ද?

Sunday, July 4, 2021

මහ බැංකුව උගස් කර ණය ගැනීම


මේ වෙලාවේ ලංකාව විසින් කරමින් සිටින දෙය හැඳින්විය හැකි හොඳම ආකාරය "මහ බැංකුව උගස් කර ණය ගැනීම" කියන එකයි. ලංකාවේ ආර්ථික අර්බුදයට පාදක හේතුව වන අයවැය හිඟය පියවා ගැනීම සඳහා දිගින් දිගටම විදේශ ණය ගැනීම නිසා ලංකාවේ රජය අර්බුදයකට ගියා. මෙය අද ඊයේ සිදු වූ දෙයක් නෙමෙයි. 

වැඩි වැඩියෙන් ණය ගනිද්දී ලංකාවේ රජයට තව තවත් විදේශ ණය ලබා ගැනීම අසීරු වුනා. මෙහිදී මධ්‍යම රජයේ ණය අඩුවෙන් පෙන්වීමේ උපක්‍රමයක් විදිහට රාජ්‍ය සංස්ථා හරහා ණය ගත්තා. ඉන් පසුව සෘජුව හා වක්‍රව වාණිජ බැංකු හරහා විදේශ ණය ලබා ගත්තා. මේ සියල්ලේ ප්‍රතිඵලයක් ලෙස මේ වෙද්දී ලංකාවේ මධ්‍යම රජය වගේම රාජ්‍ය සංස්ථා හා වාණිජ බැංකුද එකිනෙක හා ගැට ගැහුණු ණය අවදානමක පැටලී ඉන්නවා. මේ දිය සුලිය කරා අවසාන වශයෙන් මහ බැංකුවද ඇදෙමින් සිටිනවා. 

රටක ආර්ථික ක්‍රියාකාරිත්වය තේරුම් ගත යුත්තේ වෛද්‍යවරයෙකු විසින් විද්‍යාගාර පරීක්ෂණ වාර්තා තේරුම් ගන්නා ආකාරයටයි. විද්‍යාගාර පරීක්ෂණ වාර්තා සැලකිය යුත්තේ කිසියම් රෝගයක් ගැන කරන සංඥා ලෙසයි. මොනවා හෝ කර වාර්තාව හොඳ කර ගත්තා කියා රෝගය අවසන් වන්නේ නැහැ. රටක ආර්ථිකයක සැබෑ ප්‍රශ්න හඳුනාගෙන විසඳීමෙන් මිසක් සංඛ්‍යාලේඛණ ඉලක්ක කිරීමෙන් ආර්ථිකයක් අර්බුදයට යාම වලක්වන්න බැහැ.

මේ දවස් වල ලංකාවේ තේරීම වී තිබෙන්නේ මුදල් හුවමාරු ගිවිසුම්. මේ ගිවිසුම් සිදු වන්නේ රටවල් දෙකක මහ බැංකු අතරයි. මුදල් හුවමාරු ගිවිසුමක් ගෙවුම් ශේෂ ප්‍රශ්නයට තාවකාලික විසඳුමක්. මෙහිදී සිදු වන්නේ මහ බැංකුවෙන් ණය අරගෙන විදේශ ණය ගෙවීමක්. මහ බැංකුව වෙනත් රටක මහ බැංකුවකින් ණය ගන්නවා.

මේ වැඩෙන් සල්ලි අච්චු ගැසීමක් වෙන්නේ නැහැ. මොකද ශුද්ධ වශයෙන් ගත්තොත් මෙහි රුපියල් සම්බන්ධයක් නැහැ. මහ බැංකුව විසින් එක පැත්තකින් ණයට ගන්න ඩොලර් (හෝ වෙනත් විදේශ ව්‍යවහාර මුදලක්) අනෙක් පැත්තෙන් ඩොලර් ලෙසම එළියට යනවා. 

හැබැයි මේ විදිහට මහ බැංකුව විසින් ණය වී ගෙවන්නේ රජයේ ණය මිසක් මහ බැංකුවේ ණය නෙමෙයි. මහ බැංකුව විසින් ණය වී ලබා ගන්නා ඩොලර් මහ බැංකුව විසින් රජයට විකුණනවා. රජය ඒ වෙනුවෙන් මුදල් ගෙවනවා. ඒ මුදල් හොයා ගන්න නැවත මහ බැංකුවට භාණ්ඩාගාර බිල්පත් විකුණනවා. දැන් රජයේ ණය ඒ විදිහටම තිබෙනවා. කලින් තිබුණු විදේශ ණය වෙනුවට දැන් තිබෙන්නේ මහ බැංකුවට වූ ණය. සංඛ්‍යාලේඛණ වල රාජ්‍ය ණය ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ. රාජ්‍ය ණය වෙනස් වෙන්නේ නැහැ කිවුවත් තව දුරටත් රජය ආදායම් ඉක්මවා වියදම් කරන නිසා රාජ්‍ය ණය වැඩි වෙනවා. මම කියන්නේ ඒ හැර විදේශ ණය ගෙවීම හේතුවෙන් රාජ්‍ය ණය වෙනස් වීමක් සිදු නොවන බවයි. ඒ වෙනුවට සිදු වන්නේ විදේශ ණය වෙනුවට දේශීය ණය ආදේශ වීමක්.

මේ විදිහට මහ බැංකුවෙන් ණය ගත්තත්, ඒ සල්ලි නැවත මහ බැංකුවටම යන නිසා සංචිත මුදල් විශාල ලෙස වැඩි වෙන්නේත් නැහැ. ඒ නිසා, උද්ධමනය ගැන බය වෙන්න අවශ්‍ය නැද්ද? 

ඇත්තටම වෙන්නේ ප්‍රශ්නය මහ බැංකුව පැත්තට තල්ලු කිරීමක්. දැන් රජය වෙනුවට ණය වෙන්නේ මහ බැංකුවයි. රජයේ විදේශ ණය අඩු වන ප්‍රමාණයට මහ බැංකුවේ විදේශ ණය ඉහළ යනවා. මේ විදේශ ණය මහ බැංකුව සතු විදේශ වත්කම් වලින් අඩු කළ විට මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් පහළ යනවා. ඒ එක්කම රුපියලට වටිනාකමක් ලැබෙන පදනම වේගයෙන් ඛාදනය වෙනවා. 

මහ බැංකුව විසින් මුදල් හුවමාරු ගිවිසුමක් අත්සන් කළාම මහ බැංකුවට ඩොලර් එනවා. ඩොලර් වත්කම් ඉහළ යනවා. එහෙත් ඒ එක්කම අනෙක් පැත්තෙන් ඊට හරියටම සමානව ඩොලර් බැරකම්ද ඉහළ යනවා. ඒ නිසා මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් වෙනස් වෙන්නේ නැහැ. වෙනත් විදිහකින් කිවුවොත් මුදල් හුවමාරු ගිවිසුම් නිසා මහ බැංකුවේ ශුද්ධ විදේශ සංචිත ඉහළ යන්නේ නැහැ.

මේ විදිහට මහ බැංකුව මුදල් හුවමාරු ගිවිසුම් අත්සන් කරන්නේ රජයේ විදේශ ණය ගෙවන්න ඩොලර් හොයා ගන්න කියලා අපි දන්නවා. මහ බැංකුව මුදල් හුවමාරු ගිවිසුම් හරහා ලබා ගන්නා ඩොලර් රජයට විකුණනවා. එසේ කරද්දී මහ බැංකුවේ විදේශ වත්කම් අඩු වුනත් බැරකම් ඒ විදිහටම තිබෙනවා. මෙහි ප්‍රතිඵලය මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් අඩු වෙන එකයි. එහෙමත් නැත්නම් මහ බැංකුවේ "වටිනාකම" අඩු වෙන එකයි. මේ වැඩේ මහ බැංකුව උගස් කර ණය ගැනීමක් වන්නේ ඒ නිසයි.

මහ බැංකුව උගස් කර ණය ගැනීමේ ප්‍රතිඵලයක් විදිහට මේ මොහොත වන විට මහ බැංකුව තිබෙන්නේ බංකොලොත් තත්ත්වයක කියා කියන්න පුළුවන්. 2021 ජූලි 1 දින වන විට මහ බැංකුවේ සංචිත මුදල් වගකීම් වල වටිනාකම රුපියල් බිලියන 1,072.0ක්. මහ බැංකුවට අනුව ඩොලරයක මිල රුපියල් 200.52යි. ඒ අනුව, මහ බැංකුවේ බැරකම් සියල්ල ඇමරිකන් ඩොලර් වලින් පියවන්නනම් ඩොලර් මිලියන 5,346.1ක් අවශ්‍යයි. නමුත්, මහ බැංකුව සතුව තිබෙන ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය ඊට වඩා අඩුයි. මැයි අවසන් වන විටත් තිබුණේ ඩොලර් මිලියන 4,032.8ක නිල සංචිත ප්‍රමාණයක් පමණයි.

ඩොලර් මිලියන 4,032.8ක ශුද්ධ විදේශ වත්කම් වලින් රුපියල් බිලියන 1,072.0ක මුදල් සැපයුමක් ආවරණය කළ හැක්කේ අවම වශයෙන් ඩොලරයක මිල රුපියල් 265.87ක් වුනොත් පමණයි. ඒ නිසා, ඩොලරයක මිල රුපියල් 200 මට්ටමේ තියා ගන්නනම් මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය අවම වශයෙන් ඩොලර් මිලියන 5,346.1ක මට්ටමට ඉහළ නංවා ගන්න වෙනවා. මුදල් හුවමාරු ගිවිසුම් වලින් මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් වෙනස් වෙන්නේ නැහැ. එසේ ලබා ගන්නා ඩොලර් රජයට විකිණීමෙන් මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් තවත් පහළ යන්නනම් පුළුවන්.

මහ බැංකුවට විදේශ වත්කම් වැඩි කර ගත හැකි වන්නේ වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගැනීමෙන් පමණයි. පවතින විණිමය අනුපාතිකය යටතේ එය කළ හැකිද? 

මහ බැංකුව විසින් දැනට අනුගමනය කරන උපක්‍රමය වන්නේ ඩොලර් රටින් පිටවීම හැකි තරම් පාලනය කිරීමයි. මේ සීමාවන් නිසා විධිමත් ලෙස ඩොලර් මිල දී ගැනීම වඩ වඩා අසීරු වී අවිධිමත් වෙළඳපොළේ ඩොලර් ඉල්ලුම ඉහළ යනවා. ඩොලරයක අවිධිමත් වෙළඳපොළ මිල බැංකු වල මිල ඉක්මවා විශාල ලෙස ඉහළ යනවා. ඒ එක්කම කවර හෝ ආකාරයකින් ඩොලර් උපයන අය, උදාහරණයක් විදිහට විදේශගත ශ්‍රමිකයන්ගේ පවුල් වල අය, රටේ බැංකු පද්ධතිය මග හැර යාමේ ප්‍රවණතාවයක් ඉදිරියේදී ඇති විය හැකියි. එහි ප්‍රතිඵලය වන්නේ මහ බැංකුවට දැන් මිලට වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගැනීම තවත් අමාරු වෙන එකයි. 

දැන් යන ක්‍රමයට ලංකාවේ ආර්ථික අර්බුදය මහ බැංකුවේ ස්ථායීතාවය පිළිබඳ ප්‍රශ්නයක් විදිහට මතු වෙන්න වුනත් බැරිකමක් නැහැ! ශ්‍රී ලාංකිකයෙකුගේ අපේක්ෂිත ආයු කාලය අවුරුදු හැත්තෑ හතක්. මහ බැංකුවටත් දැන් හැත්තෑ එකක්!!  

Friday, July 2, 2021

මහ බැංකුව බංකොලොත්ද?


ලංකාව මුහුණ දෙමින් ඉන්න ආර්ථික අර්බුදය ගැන හැමදාමත් උස් හඬින් කතා කළේ ඒ අවස්ථාව වන විට විපක්ෂයේ සිටි දේශපාලන පක්ෂ විසිනුයි. බලයේ සිටි පක්ෂයේ දේශපාලනඥයින් විසින් බොහෝ විට කළේ මොනවා හෝ සංඛ්‍යාලේඛණ ටිකක් පෙන්වමින් රටේ ආර්ථිකය ගැන ශුභවාදී චිත්‍රයක් පින්තාරු කරන එකයි. එයින් අදහස් කළේ විපක්ෂ දේශපාලනඥයින් විසින් නිවැරදි සංඛ්‍යාලේඛණ ඉදිරිපත් කළ බව නෙමෙයි. ඒ අය විසින් බොහෝ විට කළේ පවතිනවාටත් වඩා අශුභවාදී චිත්‍රයක් පින්තාරු කරන එකයි.

ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේ දේශපාලනඥයින් විසින් මාරුවෙන් මාරුවට සිදු කළ එකිනෙකට ප්‍රතිවිරුද්ධ මෙවැනි පැහැදිලි කිරීම් නිසා ආර්ථික දර්ශක ගැන ලොකු අවබෝධයක් නැති සාමාන්‍ය ජනතාව බොහෝ විට අන්දමන්ද වෙලයි හිටියේ. හැමදාම විපක්ෂයේ ඉන්න පක්ෂ වල දේශපාලනඥයින් කොහොමටත් පවතින තත්ත්වය ගැන ශුභවාදීව නොබලන අශුභවාදීන් වූ නිසා ඒ අය කියන දේවල් දිහා ගොඩක් අය බැලුවේත් සැකයෙන්. ඔය අතර කලාතුරකින් රටේ ආර්ථිකය ගැන නිවැරදි විශ්ලේෂණ කරන විෂය ප්‍රවීණයන්ද හිටියත්, විෂය ප්‍රවීණයන් බොහෝ දෙනෙකුද කවර හෝ දේශපාලන පක්ෂයකට කඩේ යන්නන් වූ නිසා එසේ නොවූ අයෙකු කියන දෙයකට වුනත් වැඩි දෙනෙක් ඇහුම්කන් දුන්නේ නැහැ. 

මේ සෙල්ලම දැන් කෙළවරකට ඇවිත්. මේ වෙද්දී රටේ ආර්ථික අර්බුදය ගැන කතා කරන්නේ විපක්ෂ දේශපාලනඥයින් විසින් පමණක් නෙමෙයි. පවතින ආණ්ඩුවට සම්බන්ධ දේශපාලනඥයින් විසිනුත් තරඟයට වගේ ආර්ථික අර්බුදය ගැන මිනිස්සු දැනුවත් කරනවා.

මේ ගැන දැන් ඕනෑවට වඩා කතා කරන එකේ තේරුමක් නැහැ. කතා කරන එකේ තේරුමක් තිබුණු කාලයේ අප මේ ගැන ඕනෑ තරම් කතා කර තිබෙනවා. දිනපතා ව්‍යායාම කරන්න උපදෙස් දිය යුත්තේ හෘදයාබාධයක් හැදෙන්න කලින්. හෘදයාබාධයක් හැදුනු අයෙකුට විවේකයෙන් ඉන්න උපදෙස් දෙනවා මිසක් ලොකුවට ව්‍යායාම කරන්න උපදෙස් දෙන්න බැහැ. එක පැත්තකින් බැලුවහම මේ වියුණුව වෙනුවෙන් අප විසින් වැය කර ඇති කාලය ගැනත් තියෙන්නේ කණගාටුවක්. ඒ කාලය වඩා ඵලදායී කටයුත්තකට යෙදෙවුවානම් සමහර විට ලෝකයේ කොහේ හෝ ජිවත්වන වැඩි දෙනෙකුට යහපතක් විය හැකිව තිබුණා. කොහොම වුනත් අප ලියන දේ දිගින් දිගටම උනන්දුවෙන් කියවන යම් පිරිසක් ඉන්න නිසා වියුණුව මැරෙන්න දෙන්න අදහසක් නැහැ.

මේ දවස් වල ජනප්‍රිය මාතෘකාවක් වී තිබෙන සල්ලි අච්චු ගැහීම ගැන කිහිප දෙනෙක්ම විමසා තිබුණා. ඒ එක්කම ඔය සල්ලි අච්චු ගැහීම ගැන විවිධ ප්‍රවෘත්ති පැතිරෙමින් තිබෙනවා.

සල්ලි අච්චු ගැහීම ගැන මම කාලයක් තිස්සේ පැහැදිලි කර තිබෙනවා. සාමාන්‍යයෙන් සල්ලි අච්චු ගහනවා කියා කියන්නේ මහ බැංකුවේ සංචිත මුදල් ප්‍රමාණය වැඩි වෙන එකටයි. සංචිත මුදල් වල කොටස් දෙකක් තිබෙනවා. පළමු කොටස සංසරණයේ තිබෙන කාසි හා නෝට්ටු. මේවා සල්ලි බව කාට වුනත් පැහැදිලියි. දෙවන කොටස මහ බැංකුවේ තිබෙන වාණිජ බැංකු වල තැන්පතු මුදල්. දෙවන කොටස සල්ලි වෙන්නේ කොහොමද කියන එක එකවර පැහැදිලි වෙන දෙයක් නොවුනත්, ඔය කොටස් දෙකේ වැඩි වෙනසක් නැහැ. මේ කොටස් දෙකේම තිබෙන්නේ මහ බැංකුවේ "වගකීම්" එහෙම නැත්නම් "බැරකම්".

වාණිජ බැංකු වල තිබෙන්නේ තැන්පතුකරුවන්ගේ මුදල් බව අපි දන්නවා. තැන්පතුකරුවන් විසින් ආපසු ඉල්ලූ විට වාණිජ බැංකු විසින් මේ තැන්පතු මුදල් ආපසු ගෙවිය යුතුයි. ඒ සඳහා වාණිජ බැංකුවක් සතුව හැම විටම ඔවුන්ගේ බැරකම් ඉක්මවන වත්කම් තිබිය යුතුයි. වාණිජ බැංකුවක වත්කම් වලට වඩා බැරකම් වැඩිනම් එයින් අදහස් වෙන්නේ එම වාණිජ බැංකුව බංකොලොත් වී ඇති බවයි. බංකොලොත් වූ වාණිජ බැංකුවකට එම බැංකුව සතු සියලුම වත්කම් මුදල් කළත් තැන්පතුකරුවන්ගේ මුදල් සියල්ල ආපසු ගෙවීමේ හැකියාවක් නැහැ.

මේ කතාවම මහ බැංකුවටත් අදාළයි. කිසියම් වාණිජ බැංකුවක් විසින් මහ බැංකුවේ තිබෙන තමන්ගේ තැන්පතු ආපසු ඉල්ලා සිටි විට එම තැන්පතු ආපසු ගෙවීමට මහ බැංකුවට හැකි විය යුතුයි. ඒ සඳහා ප්‍රමාණවත් වත්කම් මහ බැංකුව සතු විය යුතුයි. 

මේ විදිහට වාණිජ බැංකු විසින් තමන්ගේ තැන්පතු ආපසු ඉල්ලා සිටින්නේ මුදල් නෝට්ටු වලින්නම් මහ බැංකුවට කිසිම අවුලක් වෙන්න විදිහක් නැහැනේ. මොකද මහ බැංකුවට ඕනෑ තරම් සල්ලි අච්චු ගහන්න පුළුවන්. ඒ කියන්නේ මහ බැංකුවක් කවදාවත් බංකොලොත් වෙන්න විදිහක් නැහැ. නමුත් මහ බැංකුවකට එසේ සල්ලි අච්චු ගසා තමන්ගේ වගකීම් පියවිය හැක්කේ මහ බැංකුව විසින් නිකුත් කරන මුදල් හා නෝට්ටු වටිනාකමක් ඇති දේ සේ සැලකෙන්නේනම් පමණයි. ඒ නිසා, මහ බැංකුවකට හැම වෙලාවකම තමන් නිකුත් කරන මුදල් නෝට්ටු වල වටිනාකම වෙනත් නිර්ණායකයන්ට සාපේක්ෂව යම් මට්ටමක තියා ගන්න වෙනවා. උදාහරණයක් විදිහට ඇමරිකන් ඩොලරයට හෝ රන් අවුන්සයකට සාපේක්ෂව. 

මහ බැංකුවට අනුව ජූලි 1 දින ඇමරිකන් ඩොලරයක සාමාන්‍ය මිල රුපියල් 200.52ක්. එයින් අදහස් වන්නේ මහ බැංකුව විසින් නිකුත් කරන රුපියල් නෝට්ටු හා කාසි වලින් 200.52ක් ආපසු අරගෙන ඇමරිකන් ඩොලරයක් දෙන්න මහ බැංකුව සූදානමින් ඉන්නවා කියන එකයි. යම් හෙයකින් සියලුම වාණිජ බැංකු විසින් රුපියල් 200.52 අනුපාතයට තමන්ගේ තැන්පතු වල වටිනාකමට සමාන ඇමරිකන් ඩොලර් ප්‍රමාණයක් ඉල්ලා සිටියොත් මහ බැංකුව විසින් එම ඇමරිකන් ඩොලර් ප්‍රමාණය ලබා දිය යුතුයි. ඒ වගේම, මහ බැංකුව විසින් මෙතෙක් නිකුත් කර තිබෙන සියලුම නෝට්ටු හා කාසි ඒවායේ අයිතිකරුවන් විසින් ආපසු මහ බැංකුවට භාර දී රුපියල් 200.52 අනුපාතයට ඇමරිකන් ඩොලර් ඉල්ලුවොත් මහ බැංකුව විසින් එම ඇමරිකන් ඩොලර් ප්‍රමාණයත් ලබා දිය යුතුයි. මේ පදනම මත සංචිත මුදල් වල සංරචක දෙකේ ව්‍යුහමය වෙනසක් නැහැ.

ඔය විදිහට රුපියලේ වටිනාකම විදිහට මහ බැංකුව විසින්ම දැනුම් දෙන වටිනාකම අනුව මහ බැංකුවේ බැරකම් සියල්ල පියවන්න ප්‍රමාණවත් වත්කම් මහ බැංකුව සතු විය යුතුයි. එසේ නැත්නම් කියන්න වෙන්නේ මහ බැංකුව බංකොලොත් වී ඇති බවයි. 

වැඩි වැඩියෙන් සල්ලි අච්චු ගහනවා, එහෙමත් නැත්නම් සංචිත මුදල් ප්‍රමාණය ඉහළ යනවා, කියා කියන්නේ මහ බැංකුවේ බැරකම් වැඩි වෙනවා කියන එකයි. එවිට මහ බැංකුවට එක්කෝ එම අනුපාතයට විදේශ සංචිත වැඩි කරගන්න වෙනවා. එහෙම නැත්නම් ඩොලරයක මිල ඉහළ යන්න ඉඩ ඇර ඩොලරයට සාපේක්ෂව රුපියල බාල්දු වෙන්න අරින්න වෙනවා. දෙවන ක්‍රමයේදී වත්කම් ඇත්තටම වැඩි වෙන්නේ නැතත් වත්කම් වල රුපියල් අගය වැඩි වෙනවා. ඒ කියන්නේ මහ බැංකුව සතු ඇමරිකන් ඩොලර්, රන් වැනි වත්කම් වලට සාපේක්ෂව රුපියල බාල්දු වෙනවා. 

දැන් අපි මුලින්ම බලන්න වෙන්නේ මාධ්‍ය වාර්තා වල දැකිය හැකි පරිදි මහ බැංකුව ඇත්තටම විශාල ලෙස සල්ලි අච්චු ගහනවද කියන එකයි. පහතින් තියෙන්නේ පසුගිය කාලය තුළ රුපියල් බිලියන වලින් මහ බැංකුවේ සංචිත ඉහළ ගිය ආකාරය.

2019 දෙසැම්බර් 31-  932.6

2020 දෙසැම්බර් 31-  964.4

2021 ජූලි 1 -            1,072.0

මේ අනුව, 2019 වසරේදී රුපියල් බිලියන 31.8ක් අලුතින් සල්ලි අච්චු ගහලා තියෙනවා. 2020 පළමු මාස හය ඇතුළත රුපියල් බිලියන 107.6ක් අලුතින් සල්ලි අච්චු ගහලා තියෙනවා. 

ඔය රුපියල් බිලියන ගණන් අපි ගොඩක් අයට ඇඟට දැනෙන්නේ නැහැනේ. කොහොම වුනත් මේ ප්‍රමාණය එක පැත්තකින් ඇතැම් මාධ්‍ය වාර්තා වල දැකිය හැකි තරම් විශාල මුදලක් නෙමෙයි. අනෙක් පැත්තෙන් මහ බැංකුවේ ඉතිහාසය බැලුවහම අසාමාන්‍ය මුදල් සල්ලි අච්චු ගැහීමක් නෙමෙයි. ඔය වගේ ප්‍රමාණයකින් සංචිත මුදල් සැපයුම වැඩි වුනා කියලා ලංකාව සිම්බාබ්වේ වගේ වෙන්නේ නැහැ!

මේ කතාව ගොඩක් අයට පිළිගන්න අමාරු වෙන එකක් නැහැ. ලංකාවේ බඩු මිල ඉහළ යමින් තිබෙනවා තමයි. නමුත්, මෙය අසාමාන්‍ය ඉහළ යාමක් නොවන බව මැදහත්ව සිතන ඕනෑම කෙනෙක් පිළිගත යුතුයි. ඔයිට වඩා වේගයෙන් ලංකාවේ බඩුමිල ඉහළ ගිය වකවානු ඕනෑ තරම් තිබුණා.

එහෙමනම්, මේ සල්ලි අච්චු ගහන කතාව කිසිම පදනමක් නැති කතාවක්ද?

මහ බැංකුව විසින් අලුතින් අච්චු ගහන සල්ලි එළියට දමන ක්‍රම දෙකක් තිබෙනවා. එකක් ඩොලර් මිල දී ගැනීම. දෙවැන්න භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම. හැබැයි ඒ වගේම මේකේ අනෙක් පැත්තත් වෙනවා. මහ බැංකුවේ සංචිත හෝ මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් විකුණද්දී අච්චු ගහලා එළියට දමපු සල්ලි නැවත මහ බැංකුව ඇතුළට එනවා. සංචිත මුදල් ප්‍රමාණය අඩු වෙනවා. මේ හේතුව නිසා කිසියම් මොහොතක සංචිත මුදල් ප්‍රමාණය දෙස බලා එය උද්ධමනයට හේතු වන බව කියන්න බැහැ. උද්ධමනය ඇති වන්නේ මුදල් සැපයුම එක දිගට යම් කාලයක් ඉහළ මට්ටමක තිබුණු විටයි. 

පසුගිය කාලය පුරා මහ බැංකුව විසින් විශාල වශයෙන් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගෙන තිබෙනවා. බදු අඩු කර ආදායම් අහිමි කරගත් ආණ්ඩුව ඉතාම විශාල ලෙස පුළුල් වී තිබෙන අයවැය හිඟය පියවාගනිමින් සිටින්නේ මහ බැංකුවට භාණ්ඩාගාර බිල්පත් විකිණීමෙන්. එහෙමත් නැත්නම් සල්ලි අච්චු ගැහීමෙන්. 

පසුගිය වසරේ (2020) ජනවාරි පළමුවෙනිදා වන විට මහ බැංකුව විසින් මිල දී ගෙන තිබුණු භාණ්ඩාගාර බිල්පත් වල වටිනාකම (මුහුණත අගය) වුනේ රුපියල් බිලියන 74.7ක් පමණයි. 2021 ජූලි පළමුවෙනිදා වන විට මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් වල වටිනාකම රුපියල් බිලියන 919.2ක් වෙලා. දොළොස් ගුණයකට වඩා වැඩි වැඩි වීමක්!

මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගන්නවා කියා කියන්නේ අලුතින් සල්ලි සංසරණයට එකතු කරනවා කියන එකනේ. ඒක බොරුවක් නෙමෙයි. ගොඩක් අය සල්ලි අච්චු ගැහීම කියලා මේ දවස් වල කතා කරන්නේ මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම ගැන. එහෙමනම් මම කලින් විස්තර කළ පරිදි සංචිත මුදල් මේ අනුපාතයට වැඩි වෙලා නැත්තේ ඇයි?

මහ බැංකුව විසින් එක පැත්තකින් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගනිමින් අලුතින් සල්ලි සංසරණයට එකතු කරන අතරම අනෙක් පැත්තෙන් විදේශ සංචිත විකුණනවා. විදේශ සංචිත මිල දී ගන්න අය රුපියල් වලින් ගෙවන නිසා සංසරණයේ තිබෙන සල්ලි නැවත මහ බැංකුවට එනවා. භාණ්ඩාගාර බිල්පත් මිල දී ගනිමින් අලුතින් සල්ලි සංසරණයට එකතු කිරීමේ බලපෑම නිශේධනය වෙනවා. ලංකාවට තවමත් උද්ධමන තර්ජනයක් ඇති වී නැත්තේ ඒ නිසයි.

ඒ කියන්නේ මේ කියන ආර්ථික අර්බුද කතාව බොරුවක්ද?

මෙතැන තියෙන්නේ සල්ලි අච්චු ගැහීම පිළිබඳ ප්‍රශ්නයකට වඩා සල්ලි වල ගුණාත්මක භාවය අඩුවීම පිළිබඳ ප්‍රශ්නයක්. මම මේක පුළුවන් තරමින් පැහැදිලි කරන්නම්.

මම කලින් සඳහන් කළ පරිදි 2019 අවසානයේදී මහ බැංකුවේ සංචිත මුදල් වගකීම් වල වටිනාකම රුපියල් බිලියන 936.6ක්. ඒ වෙද්දී ඇමරිකන් ඩොලර් එකක් රුපියල් 181.63ක්. ඒ වෙලාවේ රටේ සියලුම වාණිජ බැංකු හා මිනිස්සු එක පාරටම මේ සියලුම සංචිත මුදල් වගකීම් වල වටිනාකම ඇමරිකන් ඩොලර් වලින් ඉල්ලා සිටියා කියා අපි හිතමු. මේ සියලු බැරකම් ගෙවා අවසන් කරන්න මහ බැංකුවට ඇමරිකන් ඩොලර් මිලියන 5,134.6ක් අවශ්‍ය වෙනවා. ඒ වෙලාවේ මහ බැංකුව සතුව තිබුණු විදේශ සංචිත වල වටිනාකම ඇමරිකන් ඩොලර් මිලියන 7,642.4ක්. අවුලක් නැහැනේ. බැරකම් වලට වඩා ගොඩක් වැඩියෙන් වත්කම් තිබෙනවා.

අවුරුද්දකට පස්සේ, 2020 අවසානය වන කොට තත්ත්වය කොහොමද? මහ බැංකුවේ සංචිත මුදල් වගකීම් වල වටිනාකම රුපියල් බිලියන 964.4ක්. ඒ වෙද්දී ඇමරිකන් ඩොලර් එකක් රුපියල් 186.41ක්. ඒ අනුව, සියලු බැරකම් ගෙවා අවසන් කරන්න මහ බැංකුවට ඇමරිකන් ඩොලර් මිලියන 5,173.5ක් අවශ්‍ය වෙනවා. මහ බැංකුව සතුව ඒ වන විටත් ඩොලර් මිලියන 5,664.3ක විදේශ සංචිත තිබුණා. වෙනස එතරම් ලොකු නොවුනත්, බැරකම් වලට වඩා වත්කම් වැඩිපුර තිබුණා.

මේ වෙද්දී තත්ත්වය කොහොමද? 2021 ජූලි 1 වන විට මහ බැංකුවේ සංචිත මුදල් වගකීම් වල වටිනාකම රුපියල් බිලියන 1,072.0ක් බව මම කිවුවනේ. මහ බැංකුවට අනුව ඩොලරයක සාමාන්‍ය මිල රුපියල් 200.52යි. ඒ අනුව, මහ බැංකුවේ බැරකම් සියල්ල ඇමරිකන් ඩොලර් වලින් පියවන්නනම් ඩොලර් මිලියන 5,346.1ක් අවශ්‍යයි. 

මේ වෙද්දී මහ බැංකුව සතුව ඩොලර් මිලියන 5,346.1ක සංචිත නැති බව ඉතාම පැහැදිලියි. 2021 මැයි අවසානය වන විට නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 4,032.8ට බැහැලා. තව තෙසතියකින්, එනම් 2021 ජූලි 27, කල් පිරෙන ස්වෛරිත්ව බැඳුම්කරය වෙනුවෙන් ඩොලර් බිලියනයක් හෙවත් ඩොලර් මිලියන 1000ක් අවශ්‍යයි. ඒ වෙනුවෙන් තිබෙන සංචිත වලින් සැලකිය යුතු කොටසක් වැය කරන්න වෙන බවත් පැහැදිලියි. අපි දැනට ඒක පැත්තකින් තියලා ඩොලර් මිලියන 4,032.8ක නිල සංචිත මේ වන විටත් තියෙනවා කියලා උපකල්පනය කරමු.

මේ මොහොතේ තිබෙන තත්ත්වය අනුව බැලුවොත් රුපියල් 200.52 විණිමය අනුපාතිකය යටතේ මහ බැංකුවේ සියලුම වගකීම් ඩොලර් වලින් ආපසු පියවීමේ හැකියාවක් නැහැ. ඒ කියන්නේ, සාමාන්‍ය සම්මත අනුව බැලුවොත් මහ බැංකුව බංකොලොත්!

මේ වන විට මහ බැංකුවේ සංචිත මුදල් වගකීම් ප්‍රමාණය වන රුපියල් බිලියන 1,072.0 තිබෙන නිල සංචිත වලින් ආපසු ගෙවන්න පුළුවන් වෙන්නනම් විණිමය අනුපාතිකය කීයක් විය යුතුද? තවමත් ඩොලර් මිලියන 4,032.8ක නිල සංචිත මහ බැංකුව සතුව තිබෙනවාද කියා අපි හරියටම දන්නේ නැහැ. තිබෙනවා කියා අපි හිතමු. එහෙම වුනොත් මහ බැංකුවේ සංචිත මුදල් වගකීම් හා නිල සංචිත යාන්තමින් සමාන වෙන්නේ ඩොලරයක මිල රුපියල් 265.87ක් වුනොත් පමණයි. ඒ කියන්නේ මේ වෙලාවේ සියලු වගකීම් පියවා මහ බැංකුව වහල දමන්න පුළුවන් වෙන්නෙත් ඩොලරයක මිල රුපියල් 265.87ක් වුනොත් පමණයි.

නිකමට වගේ කිවුවත් රටක මුදල් ඒකකය කඩා වැටෙන්න කලින් මහ බැංකුව විසිරුවා හරින එකත් විසඳුමක්. අපි හිතමු ඩොලරයක මිල රුපියල් 265.87ක් වෙන්න ඇරියා කියලා. මේ වෙද්දී පවතින තත්ත්වය යටතේ මහ බැංකුව බංකොලොත් ලෙස ප්‍රකාශයට පත් නොකරනවානම් ඊට මෙහායින් නවත්ත ගන්න කිසිම හැකියාවක් නැහැනේ. ඩොලරයක මිල රුපියල් 265.87ක් වුනොත් මහ බැංකුවට පුළුවන් වාණිජ බැංකු වල තැන්පතු සියල්ල ඩොලර් වලින් ගෙවලා, මුළු රටේම තියෙන රුපියල් ටිකත් ඩොලර් වලට මාරු කරලා දෙන්න. ඊට පස්සේ රුපියලුත් නැහැ. මහ බැංකුවකුත් නැහැ. රටේ මිනිස්සු හැමෝම අතේ ඩොලර් තියෙනවා. මිනිස්සු ඩොලර් වලින් ගනුදෙනු කරනවා. රජය ඩොලර් වලින්ම බදු අය කරගෙන ණය ගෙවනවා. රාජ්‍ය ණය ප්‍රශ්නය ඒ විදිහටම තිබුණත් ගෙවුම් ශේෂ ප්‍රශ්නය එතැනින් ඉවරයි. උද්ධමන ප්‍රශ්නෙකුත් නැහැ. 

කතාවට කිවුවට ඔය වගේ දෙයක් වෙන්න ඉඩක් නැහැනේ. මහ බැංකුව විසුරුවා හරිනවා තියා ඩොලරයේ අගය වැඩි වෙන්න දෙන්න වුනත් රජය හෝ මහ බැංකුව කැමැත්තක් දක්වන්නේ නැහැ. එහෙමනම්, පවතින තත්ත්වය යහපත් අතට වෙනස් විය හැක්කේ කොහොමද? 

ඩොලරයේ අගය දැන් මට්ටමේම තියා ගනිමින් මහ බැංකුව ද්‍රවශීල තත්ත්වයේ තියා ගන්නනම් නිල සංචිත ප්‍රමාණය අඩු වශයෙන් ඩොලර් බිලියනය 1.5කින් පමණවත් වැඩි කර ගන්න වෙනවා. අපි හිතමු රජය ඩොලර් බිලියන 1.5ක ණයක් ගත්තා කියලා. ඒ ඩොලර් ටික මහ බැංකුවට විකුණලා ලබා ගන්න මුදල් ටික නැවත මහ බැංකුවටම දීලා මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් වලින් රුපියල් බිලියන 300ක පමණ ප්‍රමාණයක් ආපහු ගත්තොත් මහ බැංකුවේ සංචිත මුදල් වගකීම එලෙසම තියෙද්දී විදේශ සංචිත ප්‍රමාණය ඉහළ ගිහින් නැවතත් මහ බැංකුව ද්‍රවශීල තත්ත්වයට පත් වෙනවා. 

ලංකාව ණය අරගෙන තියෙන හැටියට ඩොලර් බිලියන 1.5ක ණයක් කියන්නේ මහා ලොකු දෙයක් නොවුනත් මේ වෙද්දී ලංකාවේ රජයට ඒ ප්‍රමාණයේ ණයක් ගන්න එක වුනත් පහසු නැති බව අපිට පැහැදිලිව පේනවා. අනෙක් එක කලින් අරන් තියෙන ණය ගෙවන්නත් වෙනම ණය ගන්න වෙනවා. උදාහරණයක් විදිහට ජූලි 27 කල් පිරෙන ඩොලර් බිලියනයේ බැඳුම්කරය. ඒ නිසා, තත්ත්වය හිතන තරම් ශුභදායී නැහැ. ආණ්ඩුවට ඩොලර් බිලියනයක් හොයා ගන්න එක ලේසි නැති බව ආණ්ඩුවේ ප්‍රධානියෙක්ම කියල තිබුණනේ.

මගේ විශ්ලේෂණ නිවැරදි නොවේවා කියා ප්‍රාර්ථනා කරමින් අනෙක් පැත්තත් පොඩ්ඩක් කතා කරමු. ජූලි 27 බැඳුම්කරය ගෙවන්න ඩොලර් බිලියනයක් සංචිත වලින් ගත්තා කියා හිතමු. ඒ එක්කම සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන තුනට බහිනවා. සංචිත වලින් ඩොලර් ගත්තත් ඔය ඩොලර් ටික මිල දී ගන්න රජය රුපියල් හොයා ගන්නත් අවශ්‍යයිනේ. මේ වෙලාවේ හරි හමං බදු ආදායමකුත් නැති නිසා ඔය සල්ලි ටික හොයා ගන්න වෙන්නෙත් භාණ්ඩාගාර බිල්පත් විකුණලා. 

ඩොලර් බිලියනයක් මිල දී ගන්නනම් රුපියල් බිලියන 200ක භාණ්ඩාගාර බිල්පත් විකුණන්න වෙනවා. යන ක්‍රමේට ඔය භාණ්ඩාගාර බිල්පත් වලින් සැලකිය යුතු කොටසක් ආපහු මහ බැංකුවටම විකුණයි කියන එකත් නරක උපකල්පනයක් නෙමෙයිනේ. අපි ඔය රුපියල් බිලියන 200න් රුපියල් බිලියන 128 මහ බැංකුවට විකිණුවා කියා හිතමු. දැන් මහ බැංකුවේ සංචිත මුදල් වගකීම් ප්‍රමාණය රුපියල් බිලියන 1,200 දක්වා ඉහළ යනවා. එම බැරකම් ආවරණය කරන්න තිබෙන විදේශ වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන තුනකට අඩු වෙලා. 

මේ වගේ තත්ත්වයක් යටතේ මහ බැංකුවට ද්‍රවශීල තත්ත්වයේ ඉන්න පුළුවන් වෙන්නේ ඩොලරයක මිල කීයට ගියොත්ද? රුපියල් බිලියන 1,200 බිලියන තුනෙන් බෙදා බලන්න!

ලංකාව දැන් පවතින තත්ත්වය යටතේ ආර්ථික අර්බුදය මුලින්ම හිස ඔසොවනු ඇත්තේ විදේශ අංශයේ අර්බුදයක් විදිහටයි. එහිදී මුලින්ම විය හැක්කේ ඩොලරයක මිල විශාල ලෙස ඉහළ යාම. ඉහත කී ගණනය කිරීම අනුව බැලුවොත් ඩොලරයක මිල රුපියල් 400ක් දක්වා යන එක වුනත් වෙන්න බැරි දෙයක් නෙමෙයි. මම කියන්නේ එහෙම වෙනවාම කියන එක නෙමෙයි. දැන් තිබෙන තත්ත්වය අනුව ඉතා කෙටි කාලයක් තුළ ලංකාවේ ආර්ථිකයේ සමතුලිතතාවය විශාල ලෙස වෙනස් වෙන්න පුළුවන්. හොඳ අතට වගේම නරක අතටත්. කණගාටුවෙන් වුනත් කියන්න තියෙන්නේ නරක අතට වෙනස් වෙන්න සැලකිය යුතු ඉඩක් තිබෙන බවයි.

රුපියල් 400 නෙමෙයි රුපියල් 300 දක්වා ඩොලර් එක වැඩි වුනා කියමු. ඒ එක්කම රටේ බඩු මිලත් නොවැලැක්විය හැකි ලෙස විශාල ලෙස ඉහළ යනවා. රජයේ විදේශ ණය වල රුපියල් අගයත් ඉහළ ගිහින් රජයේ අයවැය පරතරය තවත් වැඩි වෙනවා. අයවැය පරතරය පියවන්න තවත් සල්ලි අච්චු ගහන්න වෙනවා. ඊට පස්සේ විෂම චක්‍රයක සර්පිලාකාර ගමනක් මිසක් ගොඩයාමක් නැහැ.

මේ කිසිවක් මගේ ප්‍රාර්ථනාව නෙමෙයි. ඒ වගේම මට විතරක් තේරෙන දේවලුත් නෙමෙයි. මේවා තේරෙන අය ලංකාවේ ආර්ථිකය පාලනය කරන කණ්ඩායමේ ඉන්නවා. ඒ අය, තත්ත්වය පාලනය කර ගන්න මොනවා හරි කරයි කියා මම හිතනවා. කොහොම වුනත් ඕක තමයි මම දකින විදිහට මේ වෙද්දී ලංකාවේ තත්ත්වය.

Monday, April 19, 2021

බිට්කොයින් ගැන මහ බැංකුවෙන් අවවාදයක්!


අවුරුද්ද ඔන්න මෙන්න කියලා තියෙද්දී මහ බැංකුව විසින් ශ්‍රී ලංකාව තුළ බිට්කොයින් ඇතුළු අතථ්‍ය මුදල් වල ආයෝජනය කිරීමේ අවදානම් පිළිබඳව මහජනයා දැනුවත් කරමින් නිවේදනයක් නිකුත් කර තිබුණා. මහ බැංකුව විසින් මෙවැනි නිවේදනයක් නිකුත් කරනු මම දැක්කේ මුල් වරටයි. සමහර විට මේ එවැන්නක් කළ මුල් වතාව නොවෙන්න පුළුවන්. කොහොම වුනත් මේ වෙද්දී බිට්කොයින් ඇතුළු අතථ්‍ය මුදල් මහ බැංකුවටත් හිසරදයක් වී තිබෙන බව පැහැදිලියි.

මීට ආසන්න කාලයේ අපේ ඇතැම් පාඨකයින් විසින්ද බිට්කොයින් ගැන ලියන මෙන් ඉල්ලා සිටියා. මේ ඉල්ලීම අලුත් ඉල්ලීමක්ම නෙමෙයි. පාඨකයින් විසින් කාලයක් තිස්සේ කරන ඉල්ලීමක්. 

බිට්කොයින් ගැන මම හොයන්න පටන් අරන් දැන් අවුරුදු දහයකටත් වඩා වැඩියි. ඒ වෙද්දී බිට්කොයින් එකක මිල ඇමරිකන් ඩොලර් සත ගණනක්. මුලින්ම බිට්කොයින් එකක මිල ඇමරිකන් ඩොලරය පහු කරද්දී මේ ගැන සැලකිය යුතු අවධානයක් යොමු වුනා. ඒ 2011 පමණ කාලයේදී. දැන් බිට්කොයින් එකක් ඩොලර් 55,000ක් පමණ වෙනවා. 

මේක ටිකක් තේරෙන විදිහකට පැහැදිලි කළොත්, අවුරුදු දහයකට කලින් කවුරු හරි රුපියල් සීයක් බිට්කොයින් වල ආයෝජනය කළානම් මේ වෙද්දී ඒ තැනැත්තා කෝටිපතියෙක්. මොකද පහුගිය අවුරුදු දහයක කාලය තුළ රුපියල් සීයේ බිට්කොයින් එකක් රුපියල් මිලියන දහයක් හෙවත් රුපියල් කෝටියක් වෙලා.

කොහොම වුනත් බිට්කොයින් සම්බන්ධව පෞද්ගලිකව මට තිබෙන්නේ මිශ්‍ර හැඟීමක්. මේ ගැන ලියන්න කියා ඉල්ලීම් බොහෝ වර ආවත් එසේ කරන්න උනන්දුවක් ඇති නොවුනේ මේ මිශ්‍ර හැඟීම නිසා. එක පැත්තකින් බිට්කොයින් වගේ අතථ්‍ය මුදල් නිසා ලෝකය පුරා මහ බැංකු විසින් කරන "කැත වැඩේ" කරන්න බැරි වෙනවා. අනෙක් පැත්තෙන් එය වෙන්නේ වෙනත් අය විසින්ද ඒ "කැත වැඩේම" කරන එක හරහා.

පෞද්ගලිකව මට මුදල් වලින් සතුටක් ලැබෙන්නේ ඒ මුදල් නිසාම නෙමෙයි. ලැබෙන මුදලක මම කරන මොකක් හෝ දෙයක වටිනාකම පිළිබිඹු වන නිසා. වෙනත් විදිහකින් කිවුවොත් ආතල් එක තියෙන්නේ සල්ලි හොයන්න ගහන ගේම් එක ඇතුළේ මිසක් සල්ලි වල නෙමෙයි. මේ හේතුව නිසා මම කුඩා කාලයේ ඉඳලම ලොතරැයි මිල දී ගන්නේ නැහැ. බිට්කොයින් වල ආයෝජනය කරලා සල්ලි හොයන්න පුළුවන් බව පැහැදිලි වුනත් මට ඒ වැඩේට හිත යන්නේම නැහැ. 

බිට්කොයින් ජනප්‍රිය වෙන්න හේතු දෙකක් තිබෙනවා. පළමුවැන්න එක විදිහක දේශපාලනික හේතුවක්. ලෝකයේ රටවල් වල ජාතික මුදල් ඒකක වල අගය පාලනය කරන රජයයන් හා මහ බැංකු විසින් ඉතා කැත සූරාකෑමක් කරනවා. එය කරන්නේ සල්ලි අච්චු ගැසීම හරහා. ලංකාවේ රුපියල්, ඇමරිකන් ඩොලර් ඇතුළු බොහෝ ව්‍යවහාර මුදල් ඒකක වලට කිසිදු නෛසර්ගික වටිනාකමක් නැහැ. මේ මුදල් වලට අපි කියන්නේ ආඥාප්ති ව්‍යවහාර මුදල් එහෙමත් නැත්නම් ෆියට් මුදල් කියලා. මුදල් වල වටිනාකම තීරණය වන්නේ ඉල්ලුම හා සැපයුම මත. මේ ඉල්ලුම යම් ආකාරයක කෘතීම ඉල්ලුමක්.

මහ බැංකුව කියන විදිහට බිට්කොයින් ඇතුළු අතථ්‍ය මුදල් වල ආයෝජනය කිරීම අවදානම් වැඩක්. ඇත්ත. නමුත් ප්‍රශ්නය මහ බැංකුව විසින් නිකුත් කරන රුපියල් නෝට්ටු ළඟ තබා ගැනීමේ අවදානමක් නැද්ද කියන එකයි. රුපියල් නෝට්ටු වලත් ඒ වගේම අවදානමක් තිබෙනවා. බිට්කොයින් ප්‍රවර්ධකයින්ගේ ප්‍රධානම තර්කයක් වන්නේ මහ බැංකු විසින් කරනවාක් මෙන් ඔවුන් විසින් සීමාවක් නැතුව බිට්කොයින් සැපයුම වැඩි කරන්නේ නැහැ කියන එකයි.

අලුතින් සංසරණයට එකතු වන බිට්කොයින් ප්‍රමාණය එන්න එන්නම අඩු වෙනවා. එහෙම අඩු වෙලා ගිහින් 2040 පමණ වෙද්දී බිට්කොයින් "අච්චු ගැසීම" සම්පූර්ණයෙන්ම නවතිනවා. නමුත් වෙනත් ඕනෑම මුදල් ඒකකයක් අලුතෙන් අච්චු ගැසීම එන්න එන්නම වැඩි වෙනවා වගේම එහි කිසිම සීමාවක් නැහැ. ඒ නිසා වෙනත් මුදල් වලට සාපේක්ෂව බිට්කොයින් වලට උද්ධමනයෙන් ආරක්ෂාවක් තිබෙනවා. 

මේ වෙනස හැර බිට්කොයින් වල අනෙක් මුදල් වලට නැති විශේෂ වටිනාකමක් තියෙනවද? එවැන්නක් නැහැ. බිට්කොයින් කියන්නෙත් ෆියට් මුදල් වර්ගයක්. බිට්කොයින් වලත් කිසිම නෛසර්ගික වටිනාකමක් නැහැ. 

ලොව පුරා අරාජිකවාදීන් අතර බිට්කොයින් ජනප්‍රියයි. මම අරාජිකවාදියෙක් නෙමෙයි. ඉතා පැහැදිලිවම රජය කියන්නේ අකාර්යක්ෂම යාන්ත්‍රනයක්. එසේ වුවත් රජයකින් කළ හැකි යම් කාර්යභාරයක්ද තිබෙනවා කියා මම විශ්වාස කරනවා. පෞද්ගලික සමාගමක් කියා කියන්නේ මිනිස්සු එකතු වී සාමූහිකව හදා ගන්නා යාන්ත්‍රණයක්. එවැන්නක් පවතින එක හොඳනම් මිනිස්සු එකතු වී සාමූහිකව හදා ගන්නා තවත් යාන්ත්‍රණයක් වන රජය මුළුමනින්ම අහෝසි වී යා යුතුයි කියා හිතන්න ලොකු හේතුවක් නැහැ. රජය ප්‍රශ්නයක් වන්නේ රජය සතුව ඕනෑවට වඩා වැඩි අධිකාරී බලයක් ගොනු වී එය තවදුරටත් මිනිසුන්ගේ පොදු හා සාමූහික යාන්ත්‍රණයක් නොවූ විටයි.

මේ වගේම තර්කයක් බිට්කොයින් හා අදාළවත් ගේන්න පුළුවන්. මහ බැංකු සල්ලි අච්චු ගහලා මුදල් උපයනවා වගේම බිට්කොයින් නිකුත් කළ මූලික කණ්ඩායම පැත්තක ඉඳලා බිට්කොයින් වලිනුත් සල්ලි හොයනවා. රජයයන් හා මහ බැංකු විසින් සල්ලි අච්චු ගහලා එකතු කර ගන්නා ධනය යන්නේ යම් සීමිත පිරිසක් අතට වුවත් බිට්කොයින් වලින් පෝසත් වෙන්නේ ඊට වඩා ගොඩක් පොඩි, සමහර විට අතේ ඇඟිලි වලින් ගිනිය හැකි, පිරිසක්. 

බිට්කොයින් සැපයුම සීමිතයි කියන එක ආකර්ශනීය "සටන් පාඨයක්". එහෙත් බිට්කොයින් වැනි අතථ්‍ය මුදල් පොදුවේ සැලකුවොත් එවැනි සීමාවක් නැහැ. මේ වැඩේ ඕනෑවට වඩා ව්‍යාප්ත වුනොත් පොදුවේ අතථ්‍ය මුදල් තවත් පිරමිඩ් ක්‍රමයක් වගේ වෙනවා. අනෙක් පැත්තෙන් චීනය මුලිනුත්, ඇමරිකාව ඉන් පසුවත් මේ වැඩේට රජයයන් ලෙසම අත ගහන්න යාමත් එක්ක මේ සමීකරණය වෙනත් පැත්තකට හැරෙන්න පුළුවන්. 

ප්‍රාග්ධනය එක්ක බොහෝ විට බලයත් එකට යනවා. ඉතාම දුරස්ථ කාරණාවක් වුවත් යම් හෙයකින් බිට්කොයින් හෝ වෙනත් යම් නිශ්චිත අතථ්‍ය මුදල් ඒකකයක් ලෝක පරිමාණයෙන් ප්‍රධානම මුදල් ඒකකය බවට පත් වෙනවා කියා අපි හිතමු. සෛද්ධාන්තිකව බිට්කොයින් වලට එවැනි තැනකට එන්න බැරිකමක් නැහැ. එවැන්නක් වෙනවා කියා කියන්නේ බිට්කොයින් හඳුන්වා දුන් මූලික කණ්ඩායම අත ලෝකයේ දේශපාලන බලයද කේන්ද්‍රගත වෙනවා කියන එකයි. 

මතක තියා ගන්න බිට්කොයින් හඳුන්වා දුන්නේ කවුරුවත් නමක් ගමක් නොදන්නා ඇනෝ කෙනෙක්. මුලින්ම "කණිනු ලැබූ" බිට්කොයින් විශාල ප්‍රමාණයක් තවමත් තිබෙන්නේ ඔහු සතුවයි. අලුතෙන් සංසරණයට එකතු වන බිට්කොයින් ප්‍රමාණය එන්න එන්නම අඩු වෙද්දී බිට්කොයින් සැපයුම තීරණය කිරීමේ බලය මේ පුද්ගලයා අතේ කේන්ද්‍රගත වෙනවා. 

බිට්කොයින් හෝ වෙනත් අතථ්‍ය මුදල් වල ආයෝජනය කරන අති මහත් බහුතරය සමපේක්ෂකයින්. ඔවුන් එසේ කරන්නේ ඉක්මණින් පෝසත් වෙන්නයි. ඉතා ඉක්මණින් මේ සමපේක්ෂකයින්ගේ සිහින බිඳ වැටෙන එකක්නම් නැහැ. ලෝකය පුරා මහ බැංකු විසින් විශාල ලෙස සල්ලි අච්චු ගසමින් අතථ්‍ය මුදල් වල ආයෝජනය කිරීමට මිනිසුන් පොළඹවමින් සිටින අතර ඒ නිසාම තවත් කාලයක් යන තුරු මේ වෙළඳපොළ කඩා වැටෙන එකක් නැහැ.

පළමු වරට පෘථිවියෙන් පිටත වෙනත් ග්‍රහ ලොවක මිනිසුන් විසින් හෙලිකොප්ටරයක් පියාසර කළ අද දින වන විට ඇමරිකාවේ ඕනෑම ප්‍රාන්තයකින් වයස අවුරුදු 16 ඉක්මවූ අය‍ට කෝවිඩ් එන්නතක් ලබා ගත හැකියි. මේ වෙද්දී ඇමරිකාවේ ජන ජීවිතය වේගයෙන් සාමාන්‍ය තත්ත්වයට පත් වෙමින් තිබෙනවා. ඒ එක්කම අපටද කාලයක් පැත්තකට දමා සිටි බොහෝ දේවල් ගැන නැවත අවධානය යොමු කරන්න සිදු වෙනවා. බ්ලොග් එක වෙනුවෙන් වැය කළ හැකි කාලය අඩු වෙනවා.

Monday, April 12, 2021

වෙනිසියුලාවෙන් බොලිවාර් මිලියනයේ නෝට්ටුවක්!


වෙනිසියුලාවේ මහ බැංකුව විසින් බොලිවාර් ලක්ෂ දෙකේ, ලක්ෂ පහේ හා මිලියනයේ නෝට්ටු තුනක් අලුතෙන් නිකුත් කර තිබෙනවා. නිකොලොස් මදුරෝගේ එක්සත් සමාජවදී පක්ෂ පාලනය යටතේ වෙනිසියුලාවේ දුප්පත්ම වැසියන් පවා මිලියනපතියන් වී සිටීම එයට හේතුවයි.

ප්‍රධාන වශයෙන්ම තෙල් අපනයනය මත යැපෙන වෙනිසියුලාවට අනූව දශකය අවසානයේදී කාලයක් තිස්සේ එක දිගට ඉහළ ගිය ලෝක තෙල් මිල විශාල වාසියක් වුනා. එවකට වෙනිසියුලාවේ ජනාධිපති වූ හියුගෝ චාවේස් ඉහළ ගිය තෙල් මිලේ වාසිය ප්‍රයෝජනයට ගනිමින් රට තුළ විශාල සුබසාධන ආර්ථිකයක් ඇති කළා. එයින් ඔහුගේ ජනප්‍රියතාවයද විශාල ලෙස ඉහළ ගියා. 

තෙල් මිල පහළ වැටීමත් සමග චාවේස්ගේ සුබසාධන ආර්ථික ප්‍රතිපත්ති අතේ පත්තු වෙන්න පටන් ගත්තා. එහෙත් සුබසාධන වියදම් කපා හැරීමක් සිදු වුනේ නැහැ. සුබසාධක වියදම් ඉහළ යද්දී ලැබෙන ජනප්‍රියත්වය හා විශාල වන රාජ්‍ය යාන්ත්‍රණය තුළ වංචා හා දූෂණ දළු දමා පැල වීමත් සාමාන්‍ය දෙයක්. ඉහළ යන අයවැය හිඟය පියවා ගැනීම සඳහා රජය සතු තෙල් සමාගමෙන් මුදල් ලබා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස තෙල් සමාගමේ ආයෝජන ඇන හිටීම නිසා වෙනිසියුලාවේ තෙල් නිෂ්පාදනය විශාල ලෙස පහත වැටී ආර්ථික අර්බුදය තවත් උග්‍ර වුනා.

චාවේස්ගේ මරණයෙන් පසුව මදුරෝ බලයට පත් වුනත් චාවේස්ගේ දේශපාලන ප්‍රතිපත්ති දිගටම ඉදිරියට ගියා. අසාර්ථක රාජ්‍ය ප්‍රතිපත්ති හමුවේ රාජ්‍ය පාලකයන්ගේ අන්තිම තුරුම්පුව වන සල්ලි අච්චු ගැසීම කරා වෙනිසියුලාව යොමු වුනා. මෙහි ප්‍රතිඵලයක් ලෙස උද්ධමනය යක්ෂයෙකු සේ හිස ඔසොවද්දී මිල පාලනය ආදී සම්ප්‍රදායික සමාජවාදී උපක්‍රම වලින් තත්ත්වය තවත් දරුණු අතට හැරුණා.

පාන් රාත්තලක, සීනි කිලෝවක මිල බොලිවාර් ලක්ෂ ගණනක් දක්වා ඉහළ යද්දී මදුරෝ රජය ප්‍රශ්නයට සුහුරු දේශීය විසඳුමක් හොයා ගත්තා. ඒ සියලුම මිල ගණන් වලින් බින්දු පහක් කපා දැමීමයි. 2018 අගෝස්තු 20 දින සිට ක්‍රියාත්මක වූ මේ බින්දු කැපිල්ලෙන් පසු ඒ වන විට බොලිවාර් ලක්ෂ දහයකට අලෙවි වුනු පාරිභෝගික භාණ්ඩයක මිල බොලිවාර් දහය දක්වා අඩු වුනා. හැබැයි මේ සුහුරු විසඳුමෙන් පසුවත් වැඩිකලක් බඩුමිල පහළින් තියා ගන්න බැරි වුනා.




මේ වෙද්දී වෙනිසියුලාවේ හාල් කිලෝවක් බොලිවාර් මිලියන 2.5ක්ද, තක්කාලි කිලෝවක් බොලිවාර් මිලියන 5ක්ද, කුකුළෙක් බොලිවාර් මිලියන 14.6ක්ද වෙනවා. දවසකට වේලක් කන වෙනිසියුලානු වැසියෙක් ඇත්නම් ඔහු අනිවාර්යයෙන්ම මිලියනපතියෙක්. බොලීවියාවේ මහ බැංකුවේ දත්ත අනුව මේ වන විට (2021 අප්‍රේල් 13) ඇමරිකානු ඩොලරයක මිල බොලිවාර් 2,290,488.29ක්. 

වත්මන් ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙක් කලකට පෙර ප්‍රකාශ කළේ ලංකාවද වෙනිසියුලාව ආදර්ශයට ගනිමින් ඔවුන් පසුපස පියවර තැබිය යුතු බවයි.

වෙබ් ලිපිනය: