වෙබ් ලිපිනය:

Showing posts with label නිවාස. Show all posts
Showing posts with label නිවාස. Show all posts

Monday, December 12, 2022

ඇමරිකාවේ රාජ්‍ය මැදිහත්වීම්


ඇමරිකාවේ නිවාස චක්‍රය ගැන කලින් සටහනක ලිවුවා. ඇමරිකානුවන් අතරින් තමන්ගේම නිවසක ඉන්නේ ආසන්න වශයෙන් 65%ක පමණ ප්‍රතිශතයක්. මෙම ප්‍රතිශතය විවිධ සාධක මත විචලනය වෙනවා. 

ඇමරිකානුවන්ගෙන් තුනෙන් එකක් පමණ තමන්ගේම නිවසක නොසිටින්න ප්‍රධානම හේතුවක් වන්නේ යාන්තම් වයස දහඅට පිරුණු පසු දරුවන් ගෙවල් වලින් යාම. එසේ ගෙවල් වලින් නවාතැනකට හෝ කුලී නිවසකට යන තරුණ තරුණියන් තමන්ගේම නිවසක් මිල දී ගෙන පිළිවෙලක් වෙන මධ්‍යන්‍ය වයස අවුරුදු 36ක් පමණ වෙනවා. එතෙක්, කුලී නිවසක සිටීම ඔවුන්ගේ තෝරා ගැනීමක්. 

මේ වයස වන තුරු නිතර නිතර රැකියා මාරු කිරීම මීට ප්‍රධාන හේතුවක්. ඉන් පසුව වුනත් ඇමරිකානුවන් නිතර රැකියා මාරු කරන නමුත් එසේ රැකියා මාරු කරන වේගය අඩු වෙනවා. ඒ වගේම ඇමරිකානු කාන්තාවක් විවාහ වන සාමාන්‍ය වයස අවුරුදු 27-28ක් පමණද, පිරිමියෙකු සඳහා මේ වයස අවුරුදු 29-30 පමණද වෙනවා. ඒ කියන්නේ, තමන්ටම ගෙයක් ගන්න එක ගැන හිතන්නේ විවාහ වෙලා දරුවෙක් හෝ දෙන්නෙක් හදලා ඒ දරුවෝ පාසැල් යන වයසට වගේ එද්දී. 

ඇමරිකාවේ සාමාන්‍ය විශ්‍රාම වයස අවුරුදු 66ක්. මෙය 67 දක්වා ක්‍රමයෙන් ඉහළ යාමට නියමිතයි. ඇමරිකානුවෙකුගේ අපේක්ෂිත ආයු කාලය අවුරුදු 77ක් පමණ. ඒ කියන්නේ, අවුරුදු 36ක් වෙලා ගෙයක් ගන්න කෙනෙක්ට ඒ ගෙදර ජීවත් වෙන්න ඉතිරිව තියෙන්නේ අවුරුදු 40ක වගේ කාලයක්. ඒ කාලයෙන් අවුරුදු 30ක් පමණම වැඩ කරන කාලය. 

දැන් කවුරු හරි ගෙයක් ගන්නවානම් ගන්නේ ඔය අවුරුදු 40 ඉන්නනේ. ඒ කාලය ඒ වගේම ගෙයක කුලියට ඉන්න වැය වන්නේ ගේ සල්ලි වලට ගන්න යන මුදලට වඩා අඩු මුදලක්නම් ගෙයක් ගන්න එකේ විශේෂ වාසියක් නැහැනේ. ඒකේ අනෙක් පැත්තත් එහෙමයි. ඒ නිසා, සක්‍රිය නිවාස වෙළඳපොළක් ඇති විටෙක ඔය වියදම් දෙකම ආසන්නව සමාන විය යුතුයි. එහෙම නැත්නම් එකකට ඉල්ලුම නැති විය යුතුයිනේ. ඇත්තටම වෙන්නේත් ඔය වගේ දෙයක්. 

ගෙයක් සල්ලි වලට ගන්න අය සාමාන්‍යයෙන් කරන්නේ වසර 30කට උගස් ණයක් ගන්න එක. මෙම කාලය සාමාන්‍යයෙන් ඇමරිකානුවෙක් පළමු වරට ගෙයක් මිල දී ගන්න වයස සහ විශ්‍රාම වයස අතර කාලයට ආසන්නව සමානයි. 2019දී ඇමරිකානුවෙක් විසින් මසකට ගෙවූ උගස් ණය වාරිකයේ මධ්‍යස්ථ අගය ඩොලර් 1,609ක්. එම වසරේදීම කුලී ගෙදරක ඉන්න කෙනෙක් මාසයකට ගෙවූ මධ්‍යස්ථ මුදලත් ආසන්න වශයෙන් ඩොලර් 1,600ක් පමණ. 

වයස අවුරුදු 36 වෙද්දී ගෙයක් ගන්න කෙනෙක් විශ්‍රාම යන වයස වන විට උගස් ණය ගෙවා අවසන්. ඉන් පසුව ගෙයි අයිතිය තමන්ට. එහෙත්, දිගටම කුලියට හිටියොත් එවැනි වාසියක් නැතුවම ඒ මුදල වැය කරන්න වෙනවා. අනෙක් අතට, ගෙයක් සල්ලි වලට ගැනීමෙන් පසුව වරිපනම් බදු, නිවාස රක්ෂණය ආදී ලෙස තවත් ගෙවීම් එකතු වෙන නිසා ඒ වාසිය බොහෝ දුරට කැපිලා යනවා. කොහොම වුනත්, අවදානමක් ගෙන කරන ආයෝජනය වෙනුවෙන් ලැබිය යුතු ප්‍රතිලාභ කොටස ඉතිරි වෙනවා.  

කලින් සටහනෙන් කියපු විදිහට ගෙයක් ගන්නනම් ඩවුන් පේමන්ට් එක ගෙවන්න වෙනවා. ඒ සඳහා ප්‍රමාණවත් මුදලක් එකතු කර ගන්න වෙනවා. නමුත්, ගෙයක් අරගත්තට පස්සේ ගෙවන්න වෙන උගස් ණය වාරිකයට කිට්ටු මුදලක් ගෙවල් කුලී ලෙස ගෙවන ගමන් ඔය විදිහට සල්ලි ඉතුරු කරන එක අඩු ආදායමක් ලබන කෙනෙකුට ටිකක් අමාරු වැඩක්. හැබැයි මොන විදිහකින් හරි ගෙයක් ගත්තොත්, කුලී ලෙස ගෙවන මුදලින් උගස් ණය වාරිකය ගෙවාගෙන යන්න පුළුවන්. මෙතන පොඩි ග්‍රිඩ්ලොක් තත්ත්වයක් තියෙන්නේ.

ෆෙඩරල් නිවාස ණය බැංකු වලින් කරන්නේ මෙන්න මේ ග්‍රිඩ්ලොක් එක කඩලා අතේ ලොකු මුදලක් නැති අයටත් ගෙයක් මිල දී ගන්න ඉඩ සලසන එක. එම බැංකු වල අරමුදල් වලින් 3.5% තරම් අඩු ඩවුන් පේමන්ට් එකක් ගෙවලා නිවාස ණයක් ගන්න පුළුවන්. 

ගෙයක් මිල දී ගන්න හිතන, සම්ප්‍රදායික ණයක් ගන්න අමාරු, ඇමරිකානුවෙකුට ෆෙඩරල් නිවාස පරිපාලනයේ උදවුවෙන් නිවසක් මිල දී ගැනීමේ අවස්ථාව ලැබෙනවා. මෙහි රාජ්‍ය මැදිහත්වීමක් තිබෙනවා. එය මොන වගේ එකක්ද කියන එක පසුව පැහැදිලි කරන්නම්. මේ ණය වලට කියන්නේ FHA ණය කියලා. අකුරු තුනේ තියෙන්නේ Federal Housing Administration කියන අර්ථය. ඇමරිකානුවන් විසින් ගන්න නිවාස ණය වලින් 9%-10% අතර ප්‍රමාණයක් FHA ණය.

ඇමරිකාවේ සුබසාධන ක්‍රම ගොඩක් ආරම්භ වී තිබෙන්නේ 1929 මහා ආර්ථික අවපාතයෙන් පසුවයි. පසුගිය අඩ සියවසක පමණ කාලය තුළ ඇමරිකානුවන් අතරින් තමන්ගේම නිවසක වසන ප්‍රමාණය 65% ආසන්න මට්ටමක පැවතී ඇතත් 1940 පමණ වන තුරු මේ අනුපාතය තිබී ඇත්තේ 45% ආසන්න මට්ටමකයි. මහා ආර්ථික අවපාතයෙන් පසුව, 1930දී 47.8%ක් වූ මෙම අනුපාතය 1940 වන විට 43.6% දක්වා පහත වැටී තිබෙනවා. මේ කාලයේදී නිවසක් මිල දී ගැනීමේදී ගෙවිය යුතු ආරම්භක මුදල (ඩවුන් පේමන්ට් එක) නිවසේ වටිනාකමින් 30%-50% වැනි ඉහළ මට්ටමක තිබී ඇති අතර ණය ආපසු ගෙවිය යුතු කාලයද අවුරුදු 5-10කට වඩා වැඩි කාලයක්ව පැවතී නැහැ. එම තත්ත්වයන් යටතේ නිවසක හිමිකරුවෙකු වීම බොහෝ දෙනෙකුට අභියෝගයක්.

අනෙක් පැත්තෙන්, මීට වඩා හොඳ කොන්දේසි යටතේ ණයක් දී එහි අවදානම දරා ගැනීමේ හැකියාවක් බැංකු වලට තිබුණේ නැහැ. මේ වෙද්දී ඇමරිකාවේ තිබුණු වාණිජ බැංකු ප්‍රමාණය 24,000ක් පමණ. මේවා බොහොමයක් තනි ශාඛාවක් පමණක් තිබුණු කුඩා ව්‍යාපාර. අදටත් ඇමරිකාවේ මේ වගේ කුඩා බැංකු විශාල ප්‍රමාණයක් තිබෙනවා. මම දන්නා තරමින් බැංකු ක්ෂේත්‍රයේ මෙවැනි තරඟකාරිත්වයක් තිබෙන එකම රට ඇමරිකාවයි. 

ඇමරිකාවේ "ලංකා බැංකුව" ගැන මම ටික කලකට පෙර ලිපියක් ලියා තිබෙනවා. ලංකා බැංකුව කියා නිකමට වගේ කිවුවත් ඔය බැංකුවේ නියම නම ස්ටේට් බෑන්ක් ඔෆ් සිලෝන්. මේ බැංකුව තිබුණේ මිනසෝටා ප්‍රාන්තයේ දකුණු කොණේ අයෝවා ප්‍රාන්ත මායිම කිට්ටුව තිබෙන සිලෝන් කියන ප්‍රදේශයේ. ඇමරිකාවේ 42වන උප ජනාධිපති වූ වෝල්ටර් මොන්ඩේලුත් මේ සිලෝන් කියන ප්‍රදේශයේ ඉපදුනු අයෙක්. මේ ප්‍රදේශය සිලෝන් ලෙස නම් කර තිබෙන්නේ ලංකාව හැඳින්වුණු සිලෝන් කියන නම අනුව යමිනුයි.

වසර හතරකට පෙර 2018දී ඔය ලිපිය ලියා පළ කරද්දී ස්ටේට් බෑන්ක් ඔෆ් සිලෝන් නමින් හැඳින්වුණු මේ බැංකුව ඊට අවුරුද්දකට පස්සේ 2019දී පෝර්ටේජ් බෑන්ක් විදිහට නම වෙනස් කරලා. එතෙක් අවුරුදු 117ක් බැංකුව හැඳින්වුණේ ස්ටේට් බෑන්ක් ඔෆ් සිලෝන් ලෙසයි. බැංකු ක්ෂේත්‍රයේ රාජ්‍ය නියාමනය දැඩි වීමට අනුරූපව මේ වගේ පොඩි බැංකු එකකින් එක වැහී යනවා. වැහී යනවා කිවුවට වැහිලම යන්නේ නැහැ. ලොකු බැංකු විසින් මේ වගේ පොඩි බැංකු මිල දී ගන්න එකයි වෙන්නේ. ඉහත කී බැංකුවේ නම වෙනස් වෙලා තියෙන්නෙත් මුල් අයිතිකරුවන් විසින් එය අලුත් ආයෝජකයින් පිරිසකට විකිණුවට පස්සේ. අතුරු කතාවෙන් නැවත මුල් කතාවට එමු.

ඇමරිකානුවන් රටේ ඉතිහාසයේ සිටම ඒකාධිකාර වලට කැමති නැති ජාතියක්. ඇමරිකාවේ මහ බැංකුව වන ෆෙඩරල් සංචිත බැංකුව පවා හදලා තියෙන්නේ එකිනෙකට සම්බන්ධ බැංකු පද්ධතියක් විදිහට. 

කලින් කියපු 1929 මහා අවපාතයෙන් පසුව බැංකු විශාල ප්‍රමාණයක් කඩා වැටුණා. මෙයට පිලියමක් විදිහට 1934දී ෆෙඩරල් තැන්පතු රක්ෂණ සමාගම පිහිටවනු ලැබුවා. ෆෙඩරල් නිවාස ණය ක්‍රමය ආරම්භ වුනෙත් ඔය කාලයේ. පළමු වරට නිවාසයක් මිල දී ගන්නා අයෙකුට වගේම සාමාන්‍ය නිවාස ණයක් ගන්න අසීරු වෙනත් ඇතැම් අයටත් FHA ණයක් සඳහා අයදුම් කළ හැකියි. මෙම ණය ලබා දීම සඳහා ඇමරිකාව ආවරණය වන පරිදි ෆෙඩරල් නිවාස ණය බැංකු 11ක් ස්ථාපනය කර තිබෙනවා.

ආයතනයේ නමට ෆෙඩරල් කියා තිබුණත් මේ ෆෙඩරල් නිවාස ණය බැංකු රජයට අයිති නැහැ. එක් එක් බැංකුවේ අයිතිය තියෙන්නේ අදාළ ප්‍රදේශයේ සාමාජික වාණිජ බැංකු වලට. එක් එක් සාමාජික වාණිජ බැංකුව විසින් තමන්ගේ පෙර වසරේ ලාබයෙන් 20%ක් තමන්ගේ ප්‍රදේශයේ ෆෙඩරල් නිවාස ණය බැංකුවේ කොටස් මිල දී ගැනීම සඳහා වෙන් කළ යුතුයි. මේ ෆෙඩරල් නිවාස ණය බැංකු පාලනය කරන්නෙත් එම සාමාජික බැංකු විසින්මයි. ඒ වගේම, ලාබ බෙදා ගන්නෙත් එම සාමාජික බැංකු විසින්. 

ආයතනයේ නමට ෆෙඩරල් කියා තිබුණත් මේ ෆෙඩරල් නිවාස ණය බැංකු රජයට අයිති නැහැ කියා කිවුවනේ. ඒ වගේම, ආයතනයේ නමට නිවාස ණය කියා තිබුණත් මේ ෆෙඩරල් නිවාස ණය බැංකු වලින් සෘජුව නිවාස ණය ගන්න බැහැ. ඒ වගේම නමට බැංකු කියා තිබුණත් මේ ආයතන ඇත්තටම බැංකුත් නෙමෙයි. 

නිවාස ණයක් ගන්න කෙනෙක්ට එය ගන්න වෙන්නේ තමන් කැමති බැංකුවකින්. ඒ විදිහට තමන් කැමති බැංකුවකින් නිවාස ණයක් ගනිද්දී, අදාළ අවශ්‍යතා සපුරන කෙනෙකුට සාමාන්‍ය ණයක් වෙනුවට FHA ණයක් ගන්න පුළුවන්. මේ වැඩේට ණය ගන්නා තැනැත්තා ෆෙඩරල් නිවාස ණය බැංකුවකට යා යුතු නැහැ. ඒ වෙනුවට වෙන්නේ සාමාජික වාණිජ බැංකු විසින් අදාළ ෆෙඩරල් නිවාස ණය බැංකුවේ අරමුදල් යොදාගෙන ණය දෙන එකයි. හැබැයි මෙහිදී ආයතන දෙකෙන්ම ණය අනුමත විය යුතුයි. 

දැන්නම් FHA ණයක් ගන්න එකේ ලොකුම වාසිය ඩවුන් පේමන්ට් එක අඩු වීම. නමුත්, මුල් කාලයේදී සාමාන්‍ය නිවාස ණයක ආපසු ගෙවීමේ කාලය අවුරුදු 5-10ක් වෙද්දී FHA ණයක් අවුරුදු 20-30කින් ආපසු ගෙවීමේ වාසියත් විශාල වාසියක්ව තිබී තිබෙනවා. මේ ක්‍රමය ආවට පස්සේ දැන් වෙළඳපොළත් ඊට අනුරූපව වෙනස් වෙලා.

එක ගමකට සීමාවුණු පොඩි වාණිජ බැංකුවක් එක්ක බලද්දී ඒ වගේ බැංකු දහසකට වඩා ප්‍රමාණයක් සාමාජිකත්වය දරන ෆෙඩරල් නිවාස ණය බැංකුවක් විශාල ආයතනයක්. පොඩි බැංකුවකට ගන්න බැරි අවදානම් ඒ වගේ ලොකු ආයතනයකට ගන්න පුළුවන්. මේ යාන්ත්‍රනය නිසා වාණිජ බැංකු අතර තරඟකාරිත්වය හා ඒ හේතුවෙන් ඇති වෙන කාර්යක්ෂමතාවය ඒ විදිහටම තිබෙනවා. බැංකු කුඩා වෙද්දී නැති වෙන පරිමාණයේ වාසිය (ඉකොනොමි ඔෆ් ස්කේල්) ෆෙඩරල් නිවාස ණය බැංකුව නිසා ලැබෙනවා. එයට ඒකාධිකාරයක් තිබුණත්, ඒකාධිකාරය දරන්නේ අදාළ ප්‍රදේශයේ බැංකු සියල්ලම විසින් සාමූහිකව නිසා වැඩේ කිසිම අවුලක් නැහැ. ඒ වගේම, රටම ආවරණය කරන එක ෆෙඩරල් නිවාස ණය බැංකුවක් වෙනුවට බැංකු 11ක් තිබෙන නිසා, මේ ආයතන වල කාර්යක්ෂමතාවය පිළිබඳ සංසන්දනයක්ද සිදු වෙනවා. ඇමරිකාවේ විදුලිබල සැපයුම් කර්මාන්තය වගේ දෙයක් ගත්තත් ක්‍රියාත්මක වෙන්නේ ඔය මූලධර්මය. මම හිතන්නේ ලංවිම කොටස් කිරීමේ යෝජනාව ඇතුළේ තියෙන්නෙත් ඔය මූලධර්මය.

මේක සාර්ථක ආකෘතියක්. හැම ෆෙඩරල් නිවාස ණය බැංකුවක්ම ලාබ ලබනවා. ඒ වගේම, ෆෙඩරල් නිවාස ණය බැංකුවක "ප්‍රමාණය" සාමාජික බැංකු වල ලාබ අනුව විචලනය වෙනවා. බැංකු වැඩියෙන් ලාබ ලබන කාල වකවානු වලදී FHA ණය වැඩියෙන් ලැබෙනවා. 

ණය ගන්නා කෙනෙක්ගේ පැත්තෙන් බැලුවහම, ඩවුන් පේමන්ට් එක අඩුවෙන් ගෙවීමේ වාසිය තිබුණත්, ණය වාරිකයට වගේම මුල් ණය මුදලටත් රක්ෂණ වාරික මුදලක් එකතු වෙනවා. වැඩි අවදානමක් ගන්නා අතරම කඩා නොවැටී ෆෙඩරල් නිවාස ණය බැංකු පවත්වා ගෙන යා හැකිව තිබෙන්නේ ණය ගෙවීම නැවතුනු විටෙක හිඟ ණය මුදල රක්ෂණය හරහා ලැබෙන නිසා. FHA ණය වලට රාජ්‍ය මැදිහත්වීමක් වෙන්නේ මේ රක්ෂණ ක්‍රමය හරහා.

රක්ෂණ ක්‍රමය ක්‍රියාත්මක කරන රාජ්‍ය ආයතනය ෆෙඩරල් නිවාස පරිපාලන ආයතනය. හැබැයි ඒ ආයතනය වුනත් බදු මුදලෙන් නඩත්තු වන ආයතනයක් නෙමෙයි. ෆෙඩරල් නිවාස ණය බැංකු වලට රක්ෂණ වන්දි ගෙවන්නේ රක්ෂණ වාරික විදිහට එකතු කර ගන්නා අරමුදල් වලින්. මේ වැඩේට ෆෙඩරල් රජය මැදිහත් වෙන්නේ එවැනි අවදානමක් ගත හැකි පෞද්ගලික ආයතනයක් නොතිබුණු පසුබිමක. 

එහෙත්, මේ වෙද්දී නිවාස ණය රක්ෂණය කරන පෞද්ගලික ආයතන ගණනාවක් බිහි වී තිබෙනවා. ඒ නිසා, FHA නොවන ණයක් වුනත්, 5%ක පමණ අඩු ඩවුන් පේමන්ට් එකක් ගෙවා වසර 30ක් වැනි දිගු කාලයකට ලබා ගන්න පුළුවන්. රජය වෙළඳපොළ මාර්ගෝපදේශනය කරමින් වෙළඳපොළ දියුණු වීමට උදවු කරනවා මිසක් ඒකාධිකාරයක් නඩත්තු කරමින් එයට බාධා කරන්නේ නැහැ. මේ වැඩේට බදු මුදල් නාස්ති කරන්නෙත් නැහැ.

Thursday, December 8, 2022

ඇමරිකාවේ නිවාස චක්‍රය


සාමාන්‍ය ඇමරිකානුවෙකු විසින් තමන්ගේ මාසික වියදමෙන් 40%ක් පමණ වැය කරන්නේ නිවාස වියදම් වෙනුවෙන් බව කලින් සටහනෙන් කිවුවා. මෙය නිවසක් කුලියට ගැනීමේ වියදම වෙන්න පුළුවන්. එසේ නැත්නම් තමන්ගේම නිවසක් මිල දී ගෙන එහි ජීවත්වීම වෙනුවෙන් දරන වියදම් වෙන්න පුළුවන්. මේ වියදමට විදුලි, ජල, ගෑස්, මළ අපහරණ, කසල අපහරණ ආදී වියදම්ද ඇතුළත්. ඊට අමතරව හෝටල් වැනි තාවකාලික නවාතැන්පොලවල් වෙනුවෙන් ගෙවන මුදල්ද ඇතුළත්. 

ඇමරිකානු දරුවෙක් සාමාන්‍යයෙන් පාසැල් ගිහින් ඉවර වුනාට පස්සේ, ඒ කියන්නේ වයස අවුරුදු 18 පැන්නට පස්සේ ගෙදරින් යනවා. පාසැල් අවසන් කරන අයගෙන් 75%ක් පමණම අනෙක් අතට සරසවියකට යනවනේ. ඒ නිසා, පාසැල් වයස පසු කරන ගොඩක් අයගේ පළමු ස්වාධීන නවාතැන වන්නේ සරසවිය තුළ හෝ අවට තැනක්. මේක ලංකාවේ සරසවියකට යාමට සමානයි. ප්‍රධානම වෙනස ලංකාවේ වගේ පාසැල් අවසන් කිරීම හා සරසවි යාම අතර කාල පරතරයක් නැති කම. 

ඔය විදිහට පාසැල් අවසන් කරලා සරසවියකට යන දරුවන් ප්‍රායෝගිකව නැවත දෙමවුපියන්ගේ නිවසට පදිංචියට එන්නේ නැහැ. සරසවි නොයන කෙනෙක් වුනත් පාසැල් අවසන් කර මොකක් හෝ රැකියාවක් හොයා ගත්තට පස්සේ ගෙදරින් යන එක සාමාන්‍ය තත්ත්වයක්.

ජීවිතය පටන් ගන්න තරුණයෙක් හෝ තරුණියක් මුලින්ම කරන්නේ මහල් නිවාස ඒකකයක් කුලියට ගන්න එක. එක්කෝ තනියම. නැත්නම් ලිංගික සහකරුවෙකු හෝ සහකාරියක එක්ක හවුලේ. සමහර වෙලාවට වෙන යාළුවෙක් හෝ කාමර සගයෙක් එක්ක හවුලේ. ජීවිතය පටන් ගන්න අලුත කෙනෙක් ගෙයක් සල්ලි වලටම ගන්න හිතන එක අඩුයි. හැබැයි සරසවි කාලයේදීම ගෙවල් සල්ලි වලට ගන්න අයත් නැත්තේම නැහැ. 

මහල් නිවාස ඒකකයක් කුලියට ගන්න එක වුනත් ගිවිසුමක් අත්සන් කරලා නිශ්චිත කාලයකට බැඳීමක් ඇති කරගෙන කරන්න වෙන දෙයක්. ගොඩක් වෙලාවට අඩු වශයෙන් අවුරුද්දකට. අතර මගදී ගේ දාලා යන්න වුනත් ගිවිසුම ඉවර වන තුරු කුලිය ගෙවන්න වෙනවා. 

මුල් කාලයේදී නිතර රැකියා මාරු කරන එකත්, රැකියා එක්ක ජීවත් වන ප්‍රදේශය මාරු කරන එකත් සාමාන්‍ය දෙයක්. ඇමරිකාව වගේ රටක ප්‍රදේශය මාරු කරනවා කියන්නේ ලංකාවට සාපේක්ෂවනම් වෙනම රටක පදිංචියට යනවා වගේ වැඩක්. සිංගප්පූරුව වගේ අතිශයින්ම කුඩා රටකදී මේ වගේ ප්‍රශ්නයක් මතු වෙන්නේ නැහැ. රටේ කොයි කොණේ රැකියාව කරන්න වුනත් ඉන්න තැන ඉඳලා යන එක අමාරු වැඩක් නෙමෙයි. 

රැකියාව, එයින් ලැබෙන වැටුප හෝ ඉන්න ප්‍රදේශය ගැන එතරම් සතුටු නැති කෙනෙක් ගෙයක් ගන්න හදිස්සි වෙන්නේ නැහැ. මහල් නිවාස ඒකකයක කුලියට ඉන්න එක ඊට වඩා නම්‍යශීලී තේරීමක්. ඒ වගේම බොහෝ කරුණු අතින් ලේසියි, පහසුයි. 

කලින් සටහනේ කිවුවා වගේ ගෙයක් සල්ලි වලට ගන්න එක කුලියට ඉන්නවට වඩා වාසියි. නමුත්, වාසිය තියෙන්නේ දිගුකාලීනව. ගෙයක් ගනිද්දී එකතු වන යම් යම් ස්ථාවර වියදම් හා අනෙකුත් හේතු නිසා ගෙයක් අරගෙන අනෙක් අතට විකුණලා ලාබ ගන්න බැහැ. 

මේකට එක හේතුවක් කලින් සටහනේ ලියපු 6%ක ඒජන්ත ගාස්තුව. මේ හේතුව නිසාම, ගෙයක් අරගෙන අනෙක් අතට විකිණුවොත් අනිවාර්යයෙන්ම 6%ක් පාඩු වෙනවා. ඒ නිසා, විකුණලා ලාබයක් ගන්නනම් මිල 6%කින්වත් වැඩි වන තුරු බලා ඉන්න වෙනවා. ඊට අමතරව නිවාස ණයක් ගැනීමේදී බැංකුව එකතු කරන ගාස්තුත් තියෙනවා. මේ සියල්ල එක්ක පාඩුවක් නැතුව ගේ විකුණගන්න පුළුවන් වෙන්නේ අවුරුදු තුන හතරක්වත් ගෙයි හිටියොත් විතරයි. එච්චර කාලයක් එක තැනක ඉන්න එක ගැන සහතිකයන් නැත්නම් කුලියට ඉන්න එක වඩා වාසිදායකයි. 

ඉන්න තැන ඉඩ මදි වගේනම් වඩා ලොකු මහල් නිවාස ඒකකයකට යන්න පුළුවන්. තනි කාමරේ ඒකකයක ඉඳලා කාමර දෙකක ඒකකයකට. කාමර දෙකක ඒකකයක ඉඳලා තුනක එකකට. ඔහොම යද්දී කුලියත් වැඩි වෙනවා. ඔය අතරවාරයේ විවාහ වී හෝ නොවී දරුවන් හදන එක වගේ දේවලුත් වෙන්න පුළුවන්. දරුවෝ ඉපදෙද්දී, ඒ දරුවෝ ලොකු වෙද්දී වැඩියෙන් ඉඩකඩ තියෙන ගෙයක් අවශ්‍ය වෙනවා. 

ඔහොම යද්දී තමන්ටම කියලා ගෙයක් සල්ලි වලට ගන්න හිතෙන වෙලාවක් එනවා. ගොඩක් අය ගෙවල් ගන්නේ අවශ්‍යතාවය මත පදනම්ව. සමහර වෙලාවට ආදායම මත පදනම්ව. 28% රීතිය කියා එකක් තිබෙනවා. ඒ කියන්නේ නිවාස ණය වාරිකය ලෙස ගෙවිය යුත්තේ තමන්ගේ ආදායමෙන් 28%කට නොවැඩි කොටසක් කියලා. 

ආදායමෙන් වඩා ලොකු කොටසක් ණය වාරිකයට කැපෙන විදිහට ණයක් ගන්න අමාරුයි. ඒ නිසා, මිල දී ගන්න පුළුවන් වෙන්නේ නිවසක උපරිම වටිනාකම යම් මට්ටමකින් සීමා වෙනවා. අනෙක් අතට ආදායම වැඩිනම් බැංකු විසින් ලොකු ණයක් අරගෙන ලොකු ගෙයක් ගන්න පොළඹවනවා. බැංකු වලටත් වඩා නිවාස ඒජන්තයින් විසින්. මොකද ගන්න ගෙයි වටිනාකම වැඩි වන තරමට ඒ අයට ලැබෙන කොමිස් මුදලත් වැඩි වෙනවනේ. ඒ වගේම, ගෙවල් වල මිල කාලයත් එක්ක වැඩි වෙන නිසා, ගෙවාගෙන යන්න පුළුවන්නම් ලොකු ගෙයක් ගන්න එකේ පාඩුවක් නැහැ. මේ හැම දෙයකින්ම වෙන්නේ ගන්න ගෙයි වටිනාකම ලැබෙන ආදායම මත තීරණය වීම. 

ගන්න පුළුවන් ගෙයි වටිනාකම ආදායම මත තීරණය වුනාට පස්සේ තේරීම තියෙන්නේ ගෙයි ප්‍රමාණය හා ප්‍රදේශය අතර. සමහර පැති විවිධ හේතු නිසා වඩා "හොඳ" ලෙස සැලකිය හැකි පැති. ඒ වගේ පැති වල ගෙවල් සාපේක්ෂව ගණන්. ගන්න පුළුවන් මිලට වඩා ලොකු ගෙයක් ගන්නනම් අඩුවෙන් ඉල්ලුම තිබෙන පැත්තක් තෝරා ගන්න වෙනවා. එකම නගරයක වුනත් මේ වගේ වෙනස් පැති තිබෙනවා. 

දරුවන් සිටින කෙනෙකුට කාමර ගණන වැඩි, සාපේක්ෂව ලොකු ගෙයක් අවශ්‍ය වෙනවා. දරුවන් ගණන වැඩි වන තරමට කාමර අවශ්‍යතාවය වැඩියි. කාමර ගණන වැඩි වෙද්දී වැය කළ යුතු මුදලත් ඉහළ යනවා. අනෙක් අතට ප්‍රදේශය ජීවත්වීමට වඩා හොඳ වන තරමට මිල ඉහළ යනවා.

ඇමරිකාවේ පොදු පාසැල් පද්ධතිය තුළ හැම දරුවෙකුටම නිශ්චිත පාසැලක් හිමි වෙනවා. පාසැල තීරණය වෙන්නේ ඉන්න තැන අනුව. මේ හේතුව නිසා, හොඳ පාසැල් අවට ගෙවල් වලට ඉල්ලුම වැඩියි. ඒ නිසාම මිලත් වැඩියි. 

අනෙක් අතට, මිල වැඩි පැත්තක ගෙවල් මිල දී ගත හැක්කේ ආදායම වැඩි අයට. ආදායම වැඩි වෙද්දී යමෙක් තමන්ගේ දරුවන්ගේ අධ්‍යපනය වෙනුවෙන් කරන ආයෝජනද වැඩි වෙනවා. මේ ආයෝජන මූල්‍ය හෝ මූල්‍ය නොවන ආයෝජන විය හැකියි. දරුවන් වෙනුවෙන් දෙමවුපියන් වැඩියෙන් ආයෝජන කරද්දී දරුවන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ යනවා. ඒ වගේ දරුවන් වැඩි දෙනෙක් ඉන්න පැත්තක පාසැලක් නිකම්ම හොඳ පාසැලක් වෙනවා. 

ඇමරිකාවේ අධ්‍යාපනය ප්‍රාදේශීය කටයුත්තක්. පොදු පාසැල් අධ්‍යාපන වියදම් වලින් විශාල කොටසක් දරන්නේ අදාළ ප්‍රදේශයේම ජීවත් වන අයයි. පාසැල් බොහෝ දුරට නඩත්තු වෙන්නේ වරිපනම් බදු වලින්. නිවාස වල මිල ඉහළ යද්දී එකතු වන  වරිපනම් බදු ආදායම්ද ඉහළ යනවා. ඊට අනුරූපව පාසැල් පද්ධතිය නඩත්තු කිරීම සඳහා ලැබෙන අරමුදල් ඉහළ ගිහින් වැඩි වැටුප් ගෙවා හොඳ ගුරුවරුන් ආකර්ෂණය කර ගන්න පාසැල් වලට පුළුවන් වෙනවා. අනෙක් පහසුකම් වෙනුවෙන්ද වැඩි මුදලක් වැය කළ හැකි වෙනවා. ඒ හේතුව නිසාත් ප්‍රදේශයේ පාසැල් අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ඉහළ යනවා. ඔය විදිහට පාසැල් අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ඉහළ යද්දී වැඩියෙන් ආදායම් ලබන පවුල් එම ප්‍රදේශයට තවත් වැඩියෙන් ආකර්ෂණය වෙනවා.

ඇමරිකාවේ වෙඩි තැබීම් ගැන ගොඩක් වෙලාවට මාධ්‍ය වල කතා වෙනවා. යම් ප්‍රදේශයක මේ වගේ සිද්ධි නිතර වෙද්දී ඒ ප්‍රදේශයේ ගෙවල් වලට ඉල්ලුම අඩු වෙලා මිල පහළ යනවා. ඒ වගේ පැත්තක සාපේක්ෂව ලොකු ගෙයක් වුනත් අඩු මිලට ගන්න පුළුවන්. ගෙවල් වල මිල අඩු වෙද්දී වරිපනම් බදු ආදායම් අඩු වෙලා අධ්‍යාපනයේ ගුණාත්මක භාවයද අඩු වෙන නිසා ප්‍රදේශයට එන්න තිබෙන කැමැත්ත තවත් අඩු වෙනවා. මේ වගේ පැත්තකට පදිංචියට එන්නේ අවදානම් ගැන ලොකු තැකීමක් නොකරන අය. ඒ වගේ අය තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය ගැන හෝ හොඳ සෞඛ්‍ය පුරුදු ආදිය ගැන වුනත් දක්වන්නේ අඩු සැලකිල්ලක්. මේ නිසා, මේ වගේ පැත්තක අධ්‍යාපන මට්ටම, සෞඛ්‍ය තත්ත්වය, සුරක්ෂිතතාවය වගේ කොයි දෙයක් දිහා බැලුවත් සාපේක්ෂව හොඳ මට්ටමක නැහැ.

වායු දූෂණය වගේ දෙයක් ගත්තත්, එහි මිල නිවාස වල මිලෙන් පිළිබිඹු වෙනවා. පිරිසිදු වාතය තිබෙන පැති වල ගෙවල් ගණන්. වාතයේ ගුණාත්මක භාවය අඩු වෙද්දී ගෙවල් වල මිලත් අඩු වෙනවා.

සක්‍රිය නිවාස වෙළඳපොළක් තිබෙන නිසා වෙළඳපොළ යාන්ත්‍රනය විසින්ම ඔය බෙදීම කරනවා. හොඳ පැත්තක ඉන්නනම්, වැඩි මිලක් ගෙවන්න වෙනවා. නමුත් අඩු මිලක් ගෙවලා ඒ තරම් හොඳ නැති පැත්තක ඒ තරම්ම ලොකු ගෙයක ඉන්න පුළුවන්. ගේ හදන්න යන පිරිවැය පමණක් මත මිල තීරණය වෙනවානම් මේ තේරීම ලැබෙන්නේ නැහැ. නිවාස ඉල්ලුම මත තීරණය වන වෙළඳපොළ මිල ඇතුළේ සෘජුව ගණනය කළ හැකි ගේ හදන්න යන භාණ්ඩ හා සේවා වල වියදම් වගේම, වෙළඳපොළේ ඒ විදිහට නොවිකිණෙන පිරිසිදු වාතය, සුරක්ෂිත පරිසරය, හොඳ අසල්වැසියන් වගේ දේවල් වෙනුවෙන් ගෙවිය යුතු මිලත් වක්‍ර ලෙස තීරණය වෙනවා. ඒ මිලත් නිවසේ මිලට එකතු වෙනවා.

ඇමරිකානුවෙක් ගෙයක් මිල දී ගන්නේ ජීවිත කාලයම ඒ ගෙදර ඉන්න නෙමෙයි. වඩා වැඩි වැටුපක් වෙන ප්‍රදේශයකින් ලැබුණු ගමන් බොහෝ දෙනෙක් ගේ විකුණලා අලුත් රැකියා ස්ථානය තියෙන පැත්තට යනවා. දරුවන් ගණන වැඩි වෙද්දී ගේ විකුණලා ලොකු ගෙයක් ගන්නවා. රැකියාව වෙනස් නොකළත්, රැකියාවෙන් ලැබෙන ආදායම ඉහළ යද්දී ඉන්න ගේ විකුණලා වඩා ලොකු ගෙයක් ගන්නවා. නැත්නම් වඩා අලුත් ගෙයක් ගන්නවා. අවසාන වශයෙන් තමන්ගේ මාසික ආදායම ඉහළ යද්දී ඊට අනුරූපව නිවාස වෙනුවෙන් කරන වියදමද ඉහළ යනවා.

සාමාන්‍යයෙන් රැකියා වෙළඳපොළට එන තරුණයෙක් හෝ තරුණියක් මැදි වියට එද්දී ආදායම ඉහළ යනවා. මැදි විය පහු කරද්දී ආදායම තවත් ඉහළ යනවා. ඒ අතර දරුවන් ඉපදී පවුල ලොකු වෙනවා. දරුවන්ද ටිකෙන් ටික ලොකු වී ඒ අයට ගෙදර වැඩි ඉඩක් අවශ්‍ය වෙනවා. ඔය දේවල් වෙද්දී කිහිප වරක් ගෙවල් මාරු වෙන්න පුළුවන්. පළමු ගෙය ගනිද්දී මුළු මුදලම වගේ නිවාස ණයෙන් පියවා ගන්න වුනත්, දෙවෙනි තුන් වෙනි ගෙවල් ගනිද්දී පළමු ගෙයට යට කළ මුදල ඉතිරි වී තිබෙන නිසා මුළු මුදලම ණය වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. 

ඇමරිකානුවෙකු හැම විටම ඔය විදිහට පොඩි ගෙයකින් ලොකු ගෙයකට යන්නේ නැහැ. එහි අනෙක් පැත්ත වෙන වෙලාවල්ද තිබෙනවා. ඕනෑම වෙලාවක ඇමරිකානුවෙකුගේ රස්සාව නැති වෙන්න පුළුවන්. සේවකයින්ට රැකියාව දමා යන්න තිබෙන අයිතියම අනෙක් පැත්තෙන් සමාගමටත් තියෙනවා. රස්සාව නැති වුනාට පස්සේ ජීවත් වෙන්න නැවත මොකක් හෝ රස්සාවක් හොයා ගන්න වෙනවා. ඒ හොයා ගන්න රස්සාවෙන් කලින් වැටුප නොලැබෙන්න පුළුවන්. ඒ ලැබෙන වැටුපට කලින් දැරූ නිවාස වියදම දරාගන්න බැරි වෙන්න පුළුවන්.

නිවාස වියදම දරාගන්න අමාරු වෙද්දී ඇමරිකානුවෙක් විසින් කරන්නේ ඉන්න ලොකු ගෙය විකුණලා පොඩි ගෙයකට යන එක. ඇමරිකානුවෙකුට ගෙයක් කියන්නේ තාවකාලිකව ජීවත් වන නවාතැනක් මිස ලොකු චිත්තවේගීය බැඳීමක් තිබෙන තැනක් නොවන නිසා මෙහි අවුලක් නැහැ. ඒ වගේම, මෙහි ලොකු සමාජයීය ප්‍රශ්නයකුත් නැහැ. 

ඇමරිකාවේ දික්කසාද අනුපාතය ටිකක් වැඩියි. දික්කසාද වුනාට පස්සේ දේපොළ බෙදී යන්නේ ලංකාවේ ක්‍රමයට නෙමෙයි. හැම දෙයක්ම දෙන්නා අතර සමසමව බෙදී යනවා. හම්බ කළේ කවුද, වියදම් කළේ කවුද වගේ දේවල් අදාළ නැහැ. ගොඩක් වෙලාවක විවාහක පවුලකට තිබෙන ලොකුම වත්කම ගෙවාගෙන ගිය නිවාස ණය වාරික ටික. ගෙයි වටිනාකමින් හිඟ ණය මුදල අඩු කළාට පස්සේ කොටස දෙකට බෙදූ විට එන එක් අයෙකුගේ කොටස සාමාන්‍යයෙන් ටිකක් ලොකු මුදලක්. එක් කෙනෙක් ගේ තියා ගන්නනම් ඒ මුදල අනෙක් තැනැත්තාට දෙන්න වෙනවා. නමුත්, ඒ වගේ මුදලක් අතින් දෙන එක අමාරු වැඩක් නිසා බොහෝ විට කරන්න වෙන්නේ ගේ විකුණලා, බැංකු ණය පියවලා, ඉතිරි සල්ලි ටික බෙදා ගන්න එකයි. මේකත් ගෙවල් විකිණෙන්න හේතුවක්.

දරුවන් ලොකු වෙලා ගෙදරින් ගියාට පස්සේ තව දුරටත් ලොකු ගෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔය කාලයේදී ගොඩක් ඇමරිකානුවෝ, ආදායම තිබුණත්, ඉන්න ගේ විකුණලා පොඩි ගෙයකට යනවා. 

ඇමරිකානු දෙමවුපියන් විසිනුත් විශ්‍රාම ගත්තට පස්සේ ලංකාවේ වගේම දරුවන්ගේ දරුවන් බලා ගන්නවා. ඒ වගේ බැඳීම් තියෙන්නේ ලංකාවේ විතරයි කියන එක ලංකාවේ ඉන්න අයගේ හිතළුවක්. වෙනස, දරුවන්ගේ ගෙදරට රිංගලා දරුවන්ට වාතයක් නොවීම. ගොඩක් දෙමවුපියන් විසින් කරන්නේ අදාළ දරුවාගේ හෝ දරුවන්ගේ ගේ කිට්ටුවෙන් කුලියට හෝ සල්ලි වලටම ගෙයක් අරගෙන එහි පදිංචියට යන එක. එවිට වැඩට යන යන දරුවන්ට ඔවුන්ගේ දරුවන්ව තමන්ගේ දෙමවුපියන්ට භාර දීලා වැඩට යන්න පුළුවන්.

ඒ වගේම, විශ්‍රාමික වයසට ආපු ඇමරිකානුවෝ තමන්ගේ ගේ විකුණලා විශ්‍රාමික අය ජීවත් වන පැති වල පදිංචියට යනවා. ඒ වගේ පැති තියෙනවා. මේ වගේ පැත්තක පදිංචියට යන එකේ වාසිය සමාන අවශ්‍යතා තිබෙන පිරිසක් එක්ක ජීවත් වෙන්න ඉඩ ලැබීම. හොඳටම වයස්ගත වුනාට පස්සේ ගෙවල් විකුණලා මහලු නිවාසයකට යනවා. ඒක තමයි සුරක්ෂිතම තේරීම. දරුවෝ එක්ක ඉඳලා, දරුවෝ වැඩට ගියාට පස්සේ හදිසියක් වුනොත් මුහුණ දෙන්න වෙන අවදානම මහලු නිවාසයකට ගියාම නැති වෙනවා.

ඕක තමයි ඇමරිකාවේ නිවාස චක්‍රය. ඔය නිවාස චක්‍රය සම්පූර්ණ කරන ඇමරිකානුවෙක් තමන්ගේ ජීවිත කාලය තුළ 12 වරක් පමණ ඉන්න තැන මාරු කරනවා. උපන්දා සිට හතළිස් පාරකට වඩා ඉන්න තැන මාරු කරලා තිබෙන මටනම් මේක පොඩි ගාණක්. 

ඇමරිකානුවෙකුට ගෙයක් කියන්නේ යම් කාලයක් ජීවත් වන තැනක් පමණයි. තමන් ඉන්න ගේ කොයි වෙලාවේ හෝ විකුණන්න වන බව ඇමරිකානුවෙක් දන්නවා. ඒ නිසා, ගේ සම්බන්ධව කටයුතු කිරීමේදී තමන්ගේ රුචිකත්වය ගැන මෙන්ම එය අනාගතයේ මිල දී ගැනීමට ඉඩ තිබෙන අනෙකාගේ රුචිකත්වය ගැනත් හිතන්න වෙනවා. ඒ නිසාම, රජයෙන් එකම අච්චුවට ගෙවල් නොහැදුවත්, ගෙවල් අතර මූලික සමානකම් තිබෙන බවට වෙළඳපොළ යාන්ත්‍රනය විසින්ම වග බලා ගන්නවා. නිවාස ණය ක්‍රමය, නිවාස රක්ෂණ ක්‍රමය ආදී දියුණු වෙළඳපොළ යාන්ත්‍රණ නිසා මේ සමානත්වය තවතවත් තහවුරු වෙනවා. 

ඇමරිකානුවෙක් සල්ලි දීලා තමන්ටම ගෙයක් ගත්තත්, අයිතිය පෞද්ගලික වුනත්, ඇත්තටම එය එක්තරා ආකාරයක පොදු භාණ්ඩයක්. කාට වුනත් ගෙයක් නඩත්තු කරන්න වෙන්නේ පොදු සමාජයට අවශ්‍ය විදිහට. පොදු සම්මත වලට ගැලපෙන විදිහට. එහෙම නැත්නම් වෙළඳපොළ වටිනාකම අහිමිවීමේ පාඩුව දරාගන්න වෙනවා. 

ඉහත හේතුව නිසාම, ඇමරිකාව ඇතුළේ ගෙයකින් ගෙයකට යන එක විශාල ආතතියක් හෝ කම්පනයක් ඇති කරන දෙයක් නෙමෙයි. අලුත් ගෙයත් බොහෝ කරුණු අතින් පරණ ගේ වගේම තමයි. 

අනෙක් අතට තමන්ගේම ගේක හිටියා හෝ කුලියට හිටියා කියලා ජීවත් වන විදිහේ ලොකු වෙනසක් වෙන්නේ නැහැ. අවුරුදු හතරක් පහක් එක තැනක එක දිගට ඉන්න අදහස් කරනවානම් ගෙයක් සල්ලි වලට ගන්න එක වාසියි. අවුරුද්දක් දෙකක් ඉන්නවානම් ගෙයක් හෝ මහල් නිවාස ඒකකයක් කුලියට ගන්න එක වාසියි. ඊටත් අඩු කාලයකට ඉන්න දිගුකාලීන පදනම මත හෝටල් හා නවාතැන්පළ කාමර කුලියට ගන්න පුළුවන්. ඔය කොයි දේ කළත්, ගණන් වල පරාසය ගොඩක් විශාල නැහැ. 

මේ විදිහට ලොකු ගෙවල්, පොඩි ගෙවල්, මහල් නිවාස ඒකක, තමන්ගේම ගෙවල්, කුලී ගෙවල්, හෝටල් හා නවාතැන්පොළවල් අතර මාරු වෙද්දී මුහුණ දෙන්න වෙන ප්‍රශ්න වලට විසඳුම්ද වෙළඳපොළ යාන්ත්‍රනය ඇතුළේම හැදිලා තිබෙනවා. බඩු වැඩිනම්, පොඩි ගේක තියා ගන්න ඉඩ නැත්නම්, ගබඩා කාමරයක් කුලියට ගන්න පුළුවන්. හැම නගරයකම වගේ තැනින් තැන මෙවැනි ගබඩා කාමර පහසුකම් සපයන ගබඩා කාමර සංකීර්ණ තිබෙනවා. ඒ වගේම, ගෙයකින් ගෙයකට බඩු ප්‍රවාහනය කර ගැනීම සඳහා කුලියට ගත හැකි ඒ සඳහාම හදපු වාහන හා අනෙකුත් සේවාවන් තිබෙනවා. 

මේ වගේ කරුණු ගණනාවක් නිසා කිසියම් මොහොතක ඇමරිකානුවෙකු ජීවත් වෙන්නේ තමන්ටම අයිති නිවසක නෙමෙයි කියන එකෙන් අදහස් වන්නේ තමන්ටම නිවසක් අයිති කර ගැනීමේ හැකියාවක් නැහැ කියන එක නෙමෙයි. එය හොඳම තේරීම නොවන බවයි. උදාහරණයක් විදිහට පසුගිය වසංගත සමයේ ඇමරිකාවේ තමන්ගේම නිවසක ජීවත් වන ප්‍රතිශතය එකවර විශාල ලෙස ඉහළ ගියා. නමුත්, එයින් අදහස් වුනේ හොඳ දෙයක් නෙමෙයි. එය තමන්ගේ නිවස විකුණා වෙනත් නිවසකට යාමට පොළඹවන ආර්ථික අවස්ථා තාවකාලිකව අඩු වීමේ ප්‍රතිඵලයක්.

Tuesday, December 6, 2022

ඇමරිකාවෙන් සිංගප්පූරුවට...

ඇමරිකානුවෙකුගේ 2021 ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 69,287.5 ක්. සිංගප්පූරු ජාතිකයෙකුගේ 2021 ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 72,794.0 ක්. ඒ කියන්නේ සිංගප්පූරු ජාතිකයෙකුගේ ඒක පුද්ගල ආදායම ඇමරිකානුවෙකුගේ  ඒක පුද්ගල ආදායමටත් වඩා ටිකක් වැඩියි. එසේ වුවත්, ගණන් දෙක අතර ලොකු වෙනසක් නැහැ. 

ඇමරිකාවට සාපේක්ෂව සිංගප්පූරුවේ ආදායම් විෂමතා අඩුයි. ඒ නිසා, ඇමරිකාවේ ගෘහ ඒකකයක මධ්‍යස්ථ ආදායම ඇමරිකන් ඩොලර් 70,000කට මඳක් වැඩිව තියෙද්දී සිංගප්පූරුවේ එම ගණන ඇමරිකන් ඩොලර් 85,000ක් පමණ වෙනවා. සිංගප්පූරුවේ ගෘහස්ථ ආදායමෙන් 25%ක් පමණ, එනම් ඇමරිකන් ඩොලර් 21,000ක් පමණ, නිවාස වෙනුවෙන් වැය වෙද්දී ඇමරිකානු නිවෙසක ආදායමෙන් 40%ක් පමණ, එනම් ඩොලර් 28,000ක් පමණ නිවාස වෙනුවෙන් වැය වෙනවා. මේ අනුව, සිංගප්පූරුවට සාපේක්ෂව බලා ඇමරිකාවේ නිවාස වියදම් දරා ගැනීමට අපහසුයි කියා කවුරු හෝ කියනවානම් එහි වැරැද්දක් නැහැ. 

සිංගප්පූරු රජය විසින් සහන මිලකට නිවාස ලබා දීම මෙයට හේතුවක් විය හැකි වුවත්, එය මෙම වෙනසට එකම හේතුව නෙමෙයි. ඇමරිකානුවෙකු ජීවත් වන සාමාන්‍ය නිවසක ප්‍රමාණය වර්ග අඩි 2500ක් පමණ වෙද්දී සාමාන්‍ය සිංගප්පූරු ජාතිකයෙකු ජීවත් වන්නේ වර්ග අඩි 1000ක පමණ මහල් නිවාස ඒකකයකයි. නිවසක ප්‍රමාණය විශාල වෙද්දී බිල්පත් ගාස්තු හා ගෘහ භාණ්ඩ වියදම් ආදියද අනුපාතිකව වැඩි වෙනවා.

කෙසේ වුවත්, වෙනස්කම් රැසක් ඇති සිංගප්පූරුව හා ඇමරිකාව සරල ලෙස සංසන්දනය කළ නොහැකියි. සිංගප්පූරුව ජන ඝනත්වය වැඩි නාගරික රාජ්‍යයක්. සිංගප්පූරුවේ වර්ග කිලෝමීටරයක් තුළ 8,358 දෙනෙකු ජීවත් වුනත්, ඇමරිකාවේ වර්ග කිලෝ මීටරයක් තුළ ජීවත් වන්නේ 36 දෙනෙකු පමණයි. ඒ නිසා, ඉඩම් ඉතා දුලබ සම්පතක් වන සිංගප්පූරුව හා සංසන්දනය කළ විට ඇමරිකාව "ඉඩ තිබෙන" රටක්.

කෙසේ වුවත්, සිංගප්පූරුවටත් වඩා ජන ඝනත්වය වැඩි නාගරික ප්‍රදේශ ඇමරිකාවේ තිබෙනවා. මිලියන 5.5ක ජනගහණයක් සිටින සිංගප්පූරුවේ ප්‍රමාණය වර්ග කිලෝමීටර 728.6ක්. නිවුයෝර්ක් නගර සීමාවට අයත් වර්ග කිලෝමීටර 778.2 තුළ මිලියන 8.8ක ජනගහණයක් වාසය කරනවා. නිවුයෝර්ක් වැනි නාගරික ප්‍රදේශ වල බොහෝ දෙනෙකු ජීවත් වන්නේ සිංගප්පූරුවේ මෙන්ම මහල් නිවාස ඒකක වලයි.

සිංගප්පූරු වැසියෙකුට මෙන් නොව ඇමරිකානුවෙකුට නාගරික මහල් නිවාසයක හෝ නාගරික නොවන ප්‍රදේශයක ඉඩකඩ ඇති ගෙයක ජීවත් වීමේ තේරීම තිබෙනවා. එය රටේ ප්‍රමාණය නිසා ලැබී තිබෙන වාසියක්. 

සමකය ආසන්නයේ ඇති සිංගප්පූරුවේ වැසියෙකුට තමන්ගේ මහල් නිවාසය ඇතුළේ දවසම ගෙවන්න අවශ්‍ය නැහැ. නිවසින් පිට වී අපහසුවක් නැතිව කාලය ගෙවිය හැකියි. නමුත්, ඇමරිකානුවෙකුට බොහෝ විට ශීත කාලය තුළ නිවසටම වී ඉන්න වෙනවා. ඒ නිසා, නිවස ඇතුළත වැඩි ඉඩක් තිබීමේ වටිනාකම වැඩියි.

පහළ තියෙන්නේ ඇමරිකානුවෙකුගේ සාමාන්‍ය වියදම් රටාවයි.

ආහාර - 14.3%

නිවාස - 39.9%

ප්‍රවාහනය - 21.9%

සෞඛ්‍යය - 7.0%

අධ්‍යාපනය - 1.9%

සන්නිවේදනය - 4.3%

විනෝදාස්වාදය - 4.4%

ඇඳුම් - 2.6%


ඉහත වියදම් රටා සමඟ පහත ඇති සිංගප්පූරු වියදම් රටා සංසන්දනය කළ හැකියි.

ආහාර - 21.1%

නිවාස - 24.8%

ප්‍රවාහනය - 17.1%

සෞඛ්‍යය - 6.6%

අධ්‍යාපනය - 6.6%

සන්නිවේදනය - 4.1%

විනෝදාස්වාදය - 7.9%

ඇඳුම් - 2.1%


අවශ්‍ය අයෙකුට ඉහත රටවල් දෙක සමඟ ලංකාවද සැසඳිය හැකියි.

ආහාර - 44.0%

නිවාස - 21.9%

ප්‍රවාහනය - 9.8%

සෞඛ්‍යය - 4.4%

අධ්‍යාපනය - 2.8%

සන්නිවේදනය - 2.3%

විනෝදාස්වාදය - 1.6%

ඇඳුම් - 3.4%

ලංකාව සිංගප්පූරුව වැනි නාගරික රාජ්‍යයක් නෙමෙයි. ඇමරිකාව තරම් විශාල රටකුත් නෙමෙයි. සිංගප්පූරුවේ හෝ ඇමරිකාවේ ආකෘති ලංකාවට ඒ විදිහටම ගැලපෙන්නේ නැහැ. ලංකාව ලංකාවට ගැලපෙන අතරමැදි තැනක් සොයාගත යුතුයි. 

Monday, December 5, 2022

ඇමරිකාවේ නිවාස වෙළඳපොළ


කෝවිඩ් වසංගතය අවසාන වීමෙන් පසුව ඇමරිකාවේ නිවාස මිල ඉතාම වේගයෙන් ඉහළ ගොස් තිබෙනවා. ෆෙඩරල් සංචිත බැංකුවේ දත්ත අනුව, 2022 තුන් වන කාර්තුවේදී විකිණුනු නිවෙස් වල මධ්‍යන්‍ය මිල ඩොලර් 542,900ක්. 2020 දෙවන කාර්තුවේදී මෙම මිල ඩොලර් 375,500ක් පමණයි. මෙය කාර්තු නවයක් ඇතුළත 53.5%කින් මිල ඉහළ යාමක්. 

මේ විදිහට නිවාස මිල වේගයෙන් ඉහළ ගොස් ඇත්තේ නිවාස ඉල්ලුම නිවාස සැපයුම ඉක්මවා වේගයෙන් වැඩි වී ඇති නිසා. මෙසේ ඉල්ලුම විශාල ලෙස ඉහළ යන්න එක් හේතුවක් වන්නේ පසුගිය කාලයේ මුදල් සැපයුම විශාල ලෙස ඉහළ යාම හා පොලී අනුපාතික අඩු මට්ටමක තිබීමයි. මීට අමතරව කෝවිඩ් වලින් පසුව මහලු නිවාස වල ජීවත් වූ අය නැවතත් තමන්ගේම නිවාස වල ජීවත් වීමට පෙළඹීම වැනි සමාජයීය හේතුත් තිබෙනවා. 

මේ විදිහට නිවාස මිල දී ගන්න ගොඩක් අය එසේ කරන්නේ තමන්ගේ පදිංචිය සඳහා. හැබැයි ඒ අයගෙන් වුනත් බොහෝ දෙනෙක් මෙය ආයෝජනයක් විදිහටත් සලකනවා. ආයෝජනයක් ලෙසම නිවාස මිල දී ගන්න අයත් ඔය අතර ඉන්නවා. මුල් කාණ්ඩය ණය වී නිවාස මිල දී ගනිද්දී දෙවන කාණ්ඩය කරන්නේ තමන්ගේ ඉතිරි කිරීම් නිවාසයක ආයෝජනය කරන එක.

ඇමරිකාවේ නිවාස මිල දී ගන්න වැඩි දෙනෙක් එය කරන්නේ ඒජන්තයෙකු හරහා. ගනුදෙනුවේ පාර්ශ්ව දෙක කෙළින්ම සම්බන්ධ වෙන එක ගොඩක් අඩුයි. පසුගිය වසරේ මෙම ප්‍රමාණය 86%ක්. එහෙම නැතුව කෙළින්ම ගෙවල් ගන්නේ තමන්ගේ සල්ලි වලින් ආයෝජනයක් ලෙස ගෙවල් ගන්න අය. 

ඉඩමක් සල්ලි වලට අරගෙන හෙමිහිට ගෙයක් හදාගන්න එක ඇමරිකාවේ ඉතාම කලාතුරකින් වෙන දෙයක්. ගෙවල් හදන වැඩේ කරන්නේ ඒ වැඩේම කරන සමාගම්. ඉඩම් හොයාගෙන, කොටස් කරලා, ගෙවල් හදලා, විකුණන්නේ ඒ සමාගම් විසින්. ගොඩක් වෙලාවට හදන්න කලින්ම ගේ විකුණනවා. ඒ වගේ වෙලාවක ගේ තමන්ට අවශ්‍ය විදිහට ටිකක් වෙනස් කර ගන්න පුළුවන්. 

ගොඩක් අය සල්ලි වලට ගන්නේ අලුත්ම ගෙවල් නෙමෙයි. පසුගිය අවුරුද්දේ විකිණුනු ගෙවල් වලින් අලුත් ගෙවල් ප්‍රමාණය 12%ක් පමණයි. ඉතිරි 88%ම පරණ ගෙවල්. (මේ දත්ත නිවාස ඒජන්තයින්ගේ ජාතික සංගමයේ වාර්ෂික වාර්තාවෙන්).

පසුගිය වසරේ ගෙවල් මිල දී ගත් අයගෙන් අතේ සල්ලි වලට ගෙවල් මිල දී ගත් ප්‍රමාණය 22%ක් පමණයි. ඉතිරි 78% ණය වී ගෙවල් ගත් අය. පෙර වසරේ (2021) මෙම ප්‍රමාණය 87%ක්. මේ වෙනසට හේතුව මේ වෙද්දී ආයෝජනයක් ලෙස ගෙවල් මිල දී ගැනීම වැඩි වී තිබීමයි. ඊට අනුරූපව පළමු වරට නිවාස මිල දී ගන්නා ප්‍රතිශතය 34% සිට 26% දක්වා අඩු වී තිබෙනවා.

පළමු වරට නිවසක් මිල දී ගන්නා අයෙකුට තිබෙන ලොකුම බාධකය ඒ සඳහා ගෙවිය යුතු අවම මුදල හෙවත් ඩවුන් පේමන්ට් එක. මෙම මුදල සාමාන්‍යයෙන් නිවසේ මිලෙන් 5%ක්. නිවසක මිල ඩොලර් 500,000ක් ලෙස සැලකුවොත් 5%ක් කියන්නේ ඩොලර් 25,000ක්. මුල් වරට නිවසක් මිල දී ගන්න කෙනෙකුට මෙය ලොකු මුදලක්. 

දෙවන වරට නිවෙසක් මිල දී ගන්න කෙනෙකුට තමන්ගේ මුල් නිවෙස විකුණා ඉතිරිව ඇති ණය ගෙවීමෙන් පසු අතට ගණනක් එන නිසා ඩවුන් පේමන්ට් එක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. ඒ ගොඩක් අය 20%ක ඩවුන් පේමන්ට් එකක් ගෙවනවා. නිවසක් මිල දී ගනිද්දී ගෙවිය යුතු ඩවුන් පේමන්ට් එක ඕනෑම ගණනක් විය හැකි නමුත් බොහෝ විට මෙය නිවසේ මිලෙන් 5%ක් හෝ 20%ක්. 

එහා මෙහා විය හැකි වුනත්, සාමාන්‍යයෙන් ගෙයක් විකුණද්දී එහි මිලෙන් 3% බැගින් දෙපැත්තේ ඒජන්තයින් දෙන්නාට ගෙවිය යුතුයි. මේ ඒජන්ත ගාස්තු දෙකම ගෙවන්නේ විකුණන තැනැත්තා විසින්. මිල දී ගන්නා තැනැත්තා විසින් ඒජන්ත ගාස්තු ගෙවිය යුතු නැහැ. නමුත්, මේ ක්‍රියාවලිය ඇතුළේ ඇත්තටම වෙන්නේ ඒජන්ත ගාස්තුව හෝ එයින් කොටසක් ගෙයි මිලට එකතු වෙනවා වගේ වැඩක්.

සාමාන්‍යයෙන් නිවාස ණයක් ආපසු ගෙවන කාලය අවුරුදු 30 හෝ අවුරුදු 15. ගොඩක් වෙලාවට මුලින්ම ගෙයක් ගන්න කෙනෙක් ගන්නේ අවුරුදු 30කින් ගෙවන්න. අවුරුදු 15න් ගෙවන්න ගන්නේ, මැදිවිය පහු කරපු, වැඩි ඩවුන් පේමන්ට් එකක් දමන්න පුළුවන්කම තියෙන අය. අවුරුදු 15න් ආපසු ගෙවන්න ගන්නේ 9%ක් පමණයි. 70%ක්ම අවුරුදු 30කින් ගෙවන්න ගන්න ණය. ඉතිරි 21%, විචල්‍ය පොලී ණය සහ අවුරුදු 10 හෝ අවුරුදු 20 වගේ කාල වලින් ආපසු ගෙවන ණය.

මේ වෙද්දී අවුරුදු 30 පොලිය 5.5% වගේ මට්ටමකට වැඩි වෙලා. අවුරුදු 15 පොලිය වුනත් 4.75%ක් පමණවත් වෙනවා. මේ මට්ටම ටිකක් ඉහළ මට්ටමක්. ක්‍රෙඩිට් රේටිං එක අඩුනම් මීටත් වඩා වැඩි පොලියක් ගෙවන්න වෙනවා.

අපි ඩොලර් 300,000ක ගෙයක් ගැන හිතමු. ඕකට 5%ක ඩවුන් පේමන්ට් එකක් (ඩොලර් 15,000ක්) දැම්මොත්, ඩොලර් 285,000ක් ණයට ගන්න වෙනවා. ඔය ගණන 5.5% පොලියට අවුරුදු 30කින් ගෙවන්න ගත්තොත්, මාසයකට ඩොලර් 1,618ක් වැටෙනවා. නමුත් ඔය වටිනාකම තියෙන ගෙයක් කුලියට ගන්න වුනත් සාමාන්‍යයෙන් ඔය ගණන හෝ වැඩි ගණනක් යන නිසා ගෙයක් සල්ලි වලටම ගන්න එක සාමාන්‍යයෙන් ලාබයි. 

බැංකුවක් ණය දෙන්නේ ගේ ඇපයට තියාගෙන. ණය පිළිවෙලට ගෙවා ගන්න බැරි වුනොත් ගේ බැංකුවට සින්න වෙනවගේ. ඒ කියන්නේ බැංකුවේ පැත්තෙන් ලොකු අවදානමක් නැහැ. නමුත් අවුලකට තියෙන්නේ හිටපු ගමන් නිවාස වෙළඳපොළ කඩා වැටෙන්න ඉඩ තියෙන එක. ඩවුන් පේමන්ට් එකක් ගන්නෙත් මේ නිසා. මිලෙන් 95%ක් පමණක් ණය දුන්නහම 5%කින් මිල අඩු වුනත් බැංකුවට අවුලක් නැහැනේ. 

හැබැයි නිවාස මිල 5%ට වඩා වැඩියෙන් අඩු වෙන්න පුළුවන්. 2006 අවසාන කාර්තුවේදී විකිණුනු නිවසක සාමාන්‍ය මිල ඩොලර් 322,100යි. 2009 පළමු කාර්තුව වෙද්දී මෙය 257,000 දක්වා 20.2%කින් අඩු වුනා. සාමාන්‍යයෙන් කාලයත් එක්ක නිවාස මිල ඉහළ ගියත් ඔය වගේ වෙන වෙලාවලුත් තියෙනවා. ඒ විදිහට නිවාස මිල පහළ වැටුනහම ඇපයෙන් වැඩක් නැහැ. 

ලෝකය පුරාම පැතිරුණු ඇමරිකාවේ මහා ආර්ථික අවපාතය ඇති වුනෙත් ඔය විදිහට නිවාස වෙළඳපොළ කඩා වැටීම නිසා. පසුගිය දෙවසරක කාලය තුළ තරම් වේගයෙන් නොවෙතත්, 2002-2007 කාලයේ ඇමරිකාවේ නිවාස මිල වේගයෙන් ඉහළ ගියා. මිල ඉහළ යන වේගය එක්ක බැංකු වලට ණය දෙන එකේ අවදානමක් පෙනුනේ නැහැ. ඒ නිසා, පොඩි ඩවුන් පේමන්ට් එකක් අරගෙන ණය දුන්නා. ගෙයි මිල ඉහළ යද්දී එයම ඇපයට තියාගෙන වෙනත් දේවල් සඳහා තවත් ණය දුන්නා. අන්තිමට නිවාස මිල අඩු වෙන්න පටන් ගත්තා. ණය ගත් ඇතැම් අයගේ නිවසේ වටිනාකම එය ඇපයට තියා ගත් ණය වලට වඩා පහළ යද්දී ඒ අය කළේ ණය නොගෙවා ගේ බැංකුවට සින්න වෙන්න අරින එකයි. 

ඇමරිකානුවන්ට ගොඩක් ශ්‍රී ලාංකිකයින්ට වගේ තමන්ගේ ගේ එක්ක චිත්තවේගීය (emotional) බැඳීමක් නැහැ. ඒක පදිංචි වී ඉන්න තාවකාලික නවාතැනක් පමණයි. ඒ නිසාම, කුලියට ඉන්න එක සහ තමන්ටම අයිති ගෙයක ඉන්න එක අතර වෙනසත් බොහෝ දුරට මූල්‍යමය වාසි පිළිබඳ ප්‍රශ්නයක්. අනෙක් අතට තමන්ගේම ගේ කියා කිවුවත් බොහෝ විට ගේ ඇත්තටම අයිති බැංකුවටනේ. ඉතිං ගෙයි වටිනාකම ගෙවන්න තියෙන ණය ප්‍රමාණයට වඩා අඩුනම් හොඳම දේ ගේ බැංකුවට දීලා නිදහස් වෙන එක. 

ඔය විදිහට ගෙවල් බැංකුවට සින්න වෙද්දී, බැංකු ඒවා විකුණගන්න දඟලද්දී, නිවාස මිල තව තව පහළ ගිහින් අර්බුදය උග්‍ර වුනා. සමහර බැංකු කඩා වැටුණා. ප්‍රශ්නය දුර දිග ගියා. 

මේ වගේ අවදානමක් තිබෙන නිසා, 20%ට අඩු ඩවුන් පේමන්ට් එකක් ගෙවලා නිවාස ණයක් ගන්න කෙනෙක් අනිවාර්යයෙන්ම උගස් රක්ෂණයක්ද මිල දී ගත යුතුයි. ණය වාරිකය ගෙවා ගන්න බැරි වුනොත් උගස් රක්ෂණයෙන් බැංකුවේ අලාභය පියවනවා. 

ණය ගෙවාගන්න බැරි වුනොත් උගස් රක්ෂණයෙන් ණය ගන්න කෙනාට වාසියක් වෙන්නේ නැහැ. වාසිය බැංකුවට. හැබැයි රක්ෂණ වාරිකය ගෙවන්න වෙන්න ණය ගන්නා තැනැත්තාටයි. ඒ නිසා, මාසික ණය වාරිකයට තවත් මුදලක් එකතු වෙනවා. ණය ගන්නා තැනැත්තාට ලැබෙන වාසිය 20%ක ඩවුන් පේමන්ට් එකක් නැතත් නිවාස ණයක් ගන්න පුළුවන්වීමයි. මේක හැමෝමටම වාසිදායක වෙළඳපොළ විසඳුමක්.

අපි නිකමට හිතමුකෝ ඩොලර් 300,000ක ගෙයක් ගැන. ඕකෙන් 20%ක් කියන්නේ ඩොලර් 60,000ක්. මේක පළමු වරට නිවසක් මිල දී ගන්න කෙනෙකුට දරාගන්න පුළුවන් ගණනක් නෙමෙයි. ඒ නිසා, වෙන්නේ ඔය මුදල හොයා ගන්නා තුරු කුලියට ඉන්න. ඩවුන් පේමන්ට් එක ගෙවන්න අතේ සල්ලි තියෙන කෙනෙකුට ඔය ගෙයම නිවාස ණයක් වෙලා අරගෙන කුලියට දීලා කුලියෙන් නිවාස ණය ගෙවාගෙන යන්න පුළුවන්.

ලංකාව, ඉන්දියාව, පකිස්ථානය, චීනය වගේ ආසියාතික රටවලින් සංක්‍රමණය වූ ඇතැම් අය ඔය විදිහට ණය වෙලා ගෙවල් අරගෙන ඒ ගෙවල්ම කුලියට දීලා කුලියෙන් ණය වාරික ගෙවන වැඩේ සාර්ථකව කරගෙන යනවා. ඇමරිකාවේ විතරක් නෙමෙයි, එංගලන්තයේ එහෙමත් ඔය වැඩේ කරන ගොඩක් අය ඉන්නවා. කොහොම වුනත් මේ වැඩෙන් වෙන්නේ අතේ සල්ලි තියෙන මනුස්සයා අතේ තවත් සල්ලි ගොඩ ගහලා දුප්පත් මනුස්සයෙකුට ගෙයක් ගන්න තිබෙන අවස්ථාව සීමා කරන එක. 

උගස් රක්ෂණය මේ ප්‍රශ්නයට විසඳුමක්. දැන් 300,000ක ගෙයක් ගන්න ඩොලර් 60,000ක ඩවුන් පේමන්ට් එකක් අවශ්‍ය නැහැ. ඩොලර් 15,000ක්, ඒ කියන්නේ 15%ක්, තිබුණහම ඇති. මෙය සාපේක්ෂව දරාගත හැකි මට්ටමක්. අනෙක් පැත්තෙන් උගස් රක්ෂණය නිසා බැංකුවටත් අවදානමක් නැහැ. 

හැබැයි ඔහොම කිවුවට ඔය 5% ඩවුන් පේමන්ට් එක හොයා ගන්න එක වුනත් ගොඩක් අයට අමාරු වැඩක්. කොහෙන් හරි රෝලක් ගහලා ඩවුන් පේමන්ට් එක ගෙවන්නත් බැහැ. තමන්ගේම සල්ලි කියලා පෙන්නිය යුතුයි. මොකද රෝලක් ගහලා ඔය සල්ලි ගෙවනවා කියන්නේ, ගේ ගත්තට පස්සේ ඔය මුදලයි ණය වාරිකයි ඔක්කොම එකට ගෙවන්න ගිහින් හිර කර ගන්නවා කියන එකනේ. ඒක බැංකුව දන්නවා. ඒ නිසා, නිවාස ණය ගන්න කිට්ටුව බැංකු ගිණුමට ආපු සල්ලි ඇත්නම් ඒ සල්ලි ආපු ක්‍රමය බැංකුවට පැහැදිලි කළ යුතුයි. නැත්නම් ණය අනුමත වෙන්නේ නැහැ. 

ණය රක්ෂණයෙන් ප්‍රශ්නය යම්තාක් දුරකට විසඳනවා. හැබැයි එහෙම විසඳූවත්, 5%ක්වත් අතින් නොගෙවා ණය ගන්න බැහැ. ඒ කියන්නේ දුප්පත්ම අයගේ නිවාසයක් අයිති කර ගැනීමේ සිහිනය තවදුරටත් ඉටු කර ගන්න අසීරු සිහිනයක්. මේ ප්‍රශ්නය විසඳන්න ඇමරිකන් රජය වෙළඳපොළට මැදිහත් වෙන්නේ කොහොමද?

ඩවුන් පේමන්ට් එක විදිහට 5%ක්වත් නොගෙන ණය දෙන්න කියා ඇමරිකන් රජය බැංකු වලට නියෝග කළොත් නිවාස මිල බහින වෙලාවක පෝලිමට බැංකු කඩා වැටෙන්න පුළුවන්. ඩවුන් පේමන්ට් එක රජයෙන්, ඒ කියන්නේ බදු සල්ලි වලින්, ගෙවුවොත් ගොඩක් අය ණය අරගෙන නොගෙවා පැහැර ඇරලා අන්තිමට ඒ බරත් බදු ගෙවන්නන් මතම වැටෙන්න පුළුවන්. එහෙමනම් කොහොමද ප්‍රශ්නය විසඳන්නේ?

මතු සම්බන්ධයි.

Monday, June 29, 2020

හෝම්ලස් මිනිස්සු


ඇමරිකාවේ නිවාස අහිමි ජනතාව අපේ බ්ලොග් එක කියවන සමහර අයගේ විශේෂ අනුකම්පාවට ලක් වන පිරිසක්. ලංකාවේ නිවාස අහිමි අයට නිවාස ලබා දෙන්න ඇමතිලා හිටියත් ඇමරිකාවේ එහෙම නැති නිසා මේ විශේෂ අනුකම්පාව ඇති වෙනවා වෙන්න පුළුවන්.

ඇමරිකාවේ නිවාස අහිමි ජනගහණය පිළිබඳව වාර්ෂික සමීක්ෂණයක් සිදු කරනවා. ඇමරිකාවේ නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය විසින් සිදු කරන මේ සමීක්ෂණයේදී වසරේ නිශ්චිත දිනක රැය ගෙවන්නට සුදුසු ස්ථිර වාසස්ථානයක් නැති පුද්ගලයින් ප්‍රමාණය ඇස්තමේන්තු කෙරෙනවා. එය බොහෝ විට සිදු කරන්නේ ජනවාරි මාසයේ අවසන් සතියේදී. පසුගිය 2019 වසරේදී මෙසේ ඇස්තමේන්තු සකස් කළ දිනයේ නිවාස අහිමිව සිටි පිරිස 567,715ක්. එයින් 43%ක්ම සිටින්නේ කැලිෆෝර්නියා හා නිවු යෝර්ක් ප්‍රාන්ත වලයි.

කිසියම් දිනක මෙවැනි ගණන් ගැනීමක් කරන විට විවිධ හේතු මත නිවාස අහිමි පුද්ගලයෙකු බවට පත්ව සිටින අය හමු වෙනවා.
- ලැව් ගිණි, සුළි සුළං ආදී කිසියම් ස්වභාවික ආපදාවක් නිසා තාවකාලික නවාතැනක සිටින අය
- පවුල් ප්‍රශ්න නිසා නිවසින් පිටව ගොස් සිටින අය; උදාහරණයක් විදිහට ගෙදරින් පැන යන දරුවන්
- මානසික රෝග, මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතය වැනි හේතු නිසා නිවසින් බැහැරව රැය පහන් කරන අය
- මුදල් ප්‍රශ්න නිසා පාරට වැටී සිටින අය

මේ බොහෝ දෙනෙක් බෝඩ් අල්ලා පාරේ හිඟා කන අය නෙමෙයි. සමහර විට ස්ථිර වාසස්ථානයක් හොයා ගන්නා තුරු හෝටලයක හෝ වෙනත් අයෙකුගේ නිවසක ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. කිසියම් හේතුවක් නිසා එදා රැය බස් නැවතුමක හෝ වෙනත් පොදු ස්ථානයක පහන් කරන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙත් බෝඩ් අල්ලා පාරේ හිඟා කන අයත් මේ අතර ඉන්නවා.

පසුගිය දවස් වල අප කතා කළ රට ගිය ඇත්තෝ කතාවේ සිරිල් සපරමාදු හෝම්ලස් තත්ත්වයට පත් වෙන්නේ ඔහුගේ පුතා ඔහුව අපාර්ට්මන්ට් එකේ තබා පැන ගිය දවසේ නෙමෙයි. ඔහුගේ දුවගේ නිවසේ සිට ඔහු පුතාගේ අපාර්ට්මන්ට් එකට එන දවසේයි. සිරිල් සපරමාදු පුතාගේ අපාර්ට්මන්ට් එකට නොපැමිණ හෝටලයක නැවතුණත් ඔහු හෝම්ලස් පුද්ගලයෙක්. නිවසක් ලෙස හඳුන්වන, මිනිස් වාසයට සුදුසු, නිශ්චිත ස්ථිර වාසස්ථානයක් නැත්නම් එය හෝම්ලස් වීමක්.

ගණනය කළ රැයේ නිවාසයක් අහිමි තත්ත්වයට පත් වී සිටි 567,715 දෙනෙකුගෙන් 396,045 දෙනෙක් තනි පුද්ගලයින්. ඉතිරි පිරිස, එනම් 171,670 දෙනෙක්, නිවාස අහිමිව සිටි පවුලක සාමාජිකයින්.

නිවාස අහිමි අයගෙන් 63%ක්, එනම් 356,422ක්, කවර හෝ සුදුසු වාසස්ථානයක රැය ගෙවන අය වුවත් ඉතිරි පිරිස මිනිස් වාසයට යෝග්‍ය තත්ත්වයන් ඇති තැනක රැය නොගෙවූ අයයි. එම ප්‍රමාණය 211,293ක්. මෙසේ මිනිස් වාසයට යෝග්‍ය තත්ත්වයන් ඇති තැනක රැය නොගෙවූ වැඩි දෙනෙක්, එනම් 196,514ක්, තනි පුද්ගලයින්. එවැනි තැනක රැය ගෙවූ පවුල් වල සාමාජිකයින් ප්‍රමාණය 14,779ක්. ආසන්න වශයෙන් නිවාස නිවාස අහිමි පවුල් පන්දහසක් පමණ. මේ අයගෙන් බොහෝ දෙනෙක්ද කිසියම් හේතුවක් නිසා තාවකාලිකව නිවාස අහිමි වී සිටින අයයි.

මිනිස් වාසයට යෝග්‍ය තත්ත්වයන් ඇති තැනක රැය නොගෙවූ පිරිස අතරින් 119,487ක් සුදු ජාතිකයින් වන අතර 56,381ක් කළු ජාතිකයින්. අඩකටත් වඩා, එනම් 108,432 දෙනෙක් කැලිෆෝර්නියානුවන්.

නිවාස අහිමි ඇමරිකානුවන් අතරින් 96,141 දෙනෙක් ප්‍රවේණිගත නිවාස අහිමි පුද්ගලයින් ලෙස සැලකෙන අයයි. මේ අර්ථකථනයට වැටෙන්නේ පසුගිය වසර තුනෙන් අවම වශයෙන් වසරක කාලයක් එක දිගට හෝ වරින් වර නිවාස අහිමි තත්ත්වයට පත්ව සිටි අයයි. ඒ අය අතරින් 60,941 දෙනෙක් මිනිස් වාසයට නුසුදුසු තැනක රැය පහන් කරන අය. බොහෝ දෙනෙක් හෝම්ලස් පුද්ගලයින් සේ හඳුනා ගන්නා සිරිල් සපරමාදු චරිතයේ අවසන් කාලයේ සිටින තත්ත්වයට පත් වී සිටින අය ඉන්නේ මේ ගොඩේ.

ගණනය සිදු කරන රැයේ කවර හේතුවක් නිසා හෝ නිවාස අහිමිව සිටි මුළු පිරිස ඇමරිකාවේ ජනගහණයෙන් 0.17%ක් වුවත්, ඒ අය අතරින් සිරිල් සපරමාදු ඔහුගේ පුතාගේ නිවසේ සිටියාක් මෙන් වාසයට සුදුසු නිවසක සිටින අය හා තාවකාලිකව නිවාසයක් අහිමිව සිටින පිරිස ඉවත් කිරීමෙන් පසුව, ප්‍රවේණිගත නිවාස අහිමි තත්ත්වයේ සිටි පිරිස මුළු ජනගහණයෙන් 0.02%කට අඩුයි. තාවකාලිකව හෝ වාසයට යෝග්‍ය නොවන තැනක රැය පහන් කළ පිරිසද එකතු කළ විට ජනගහණයෙන් 0.06%ක්.

ඇමරිකාවේ නිවාස අහිමි පිරිස් පිළිබඳව පසුගිය සැප්තැම්බරයේදී ධවල මන්දිරයේ ආර්ථික උපදේශක සභාව විසින් සකස් කළ අලුත්ම වාර්තාවක ඇමරිකාවේ නිවාස අහිමි වූවන්ගේ ප්‍රශ්නයට ප්‍රධාන හේතු හතරක් හඳුනාගෙන තිබෙනවා.

- නිවාස වෙළඳපොල අධි නියාමනය: ප්‍රාන්ත ආණ්ඩු හා ප්‍රාදේශීය ආණ්ඩු විසින් වාණිජ හා නේවාසික ගොඩනැගිලි ඉදි කළ හැකි කලාප තීරණය කිරීම, ගෙවල් කුලී සීමාවන්, නිවාස ප්‍රතිසංස්කරණය පිළිබඳ රෙගුලාසි, බලශක්ති හා ජල භාවිතය කාර්යක්ෂම කිරීම සඳහා වන නීති, උපරිම ජන ඝනත්ව සීමාවන්, ඓතිහාසික ස්ථාන ආරක්ෂා කිරීම, තෙත්බිම් සුරැකීම ඇතුළු පාරිසරික රෙගුලාසි, වාහන නැවැත්වීම සඳහා අවම ඉඩකඩ ආදී විවිධ ආකාර වලින් නිවාස ඉදි කිරීමේ කර්මාන්තය "ඕනෑවට වඩා" නියාමනය කිරීමේ අවසන් ප්‍රතිඵලය නිවාස මිල ඉහළ ගොස් කිසියම් පිරිසකට එම මිල දරා ගත නොහැකි වීමයි. නියාමනයේ බර ඉහළ යන තරමට නිවාස ඉදි කිරීමේ පිරිවැය හා නිවාස මිල අතර පරතරය ඉහළ ගොස් ඇති බව පෙනෙනවා. වාර්තාවේ ඇස්තමේන්තු අනුව අධි නියමනයේ බර නොවන්නට සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේ නිවාස අහිමි ජනගහණය 54%කින් අඩු වෙනවා. ඇමරිකාවේ ප්‍රධාන නගර දහයක නිවාස අහිමි ජනගහණය 71,709කින් හෙවත් 31%කින් අඩු වෙනවා.

- පොදු ස්ථාන වල නිදා ගැනීම පාලනය නොකිරීම: එළිමහනේ රැය ගෙවීම අසීරු ප්‍රදේශ වල නිවාස අහිමි පුද්ගලයින් දැකිය හැක්කේ අඩුවෙන්. එයට හේතුව එම ප්‍රදේශ වල එළිමහනේ රැය ගෙවීමට කාලගුණය බාධාවක් වීමයි. එහෙත්, කාලගුණය මේ සඳහා බලපාන එකම සාධකය නෙමෙයි. ඕලන්ඩෝ, ලාස් වේගාස් හා සැන් ෆ්‍රැන්සිස්කෝ නගර තුනේම සාමාන්‍ය ජනවාරි උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 50-60 අතර වුවත් ජනගහණය දස දහසකට නිවාස අහිමි ප්‍රමාණය 2, 19, 60 ලෙස සැලකිය යුතු තරම් වෙනස් වීමෙන් පෙනෙන්නේ කාලගුණයට අමරතව වෙනත් සාධක මේ සඳහා බලපාන බවයි.

- නිවාස අහිමි පිරිස් සඳහා නිවාස සැපයීම: නිවාස අහිමි පුද්ගලයන්ගේ ප්‍රශ්නයට විසඳුමක් ලෙස ඔවුන්ට නිවාස සැපයීමෙන් තාවකාලිකව නිවාස අහිමි පුද්ගලයන් ප්‍රමාණය අඩු වී ප්‍රශ්නය යටපත් වන නමුත් දිගුකාලීනව එයින් සිදු වන්නේ තවත් බොහෝ පිරිසකට නිවාස අහිමි තත්ත්වයට පත් වීමට දිරි දීමක්. ඒ නිසා දිගුකාලීනව මෙයින් සිදු වන්නේ නිවාස අහිමි පුද්ගලයන්ගේ ප්‍රශ්නය වඩාත් උග්‍ර වීමයි.

- පුද්ගල සාධක: නිවාස අහිමි පුද්ගලයින්ගෙන් 111,122ක් (20%ක්) මානසික ආබාධ වලින් පෙළෙන අයයි. තවත් 86,647ක් (16%ක්) දරුණු ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින අයයි. සමාජ සම්බන්ධතා බිඳ වැටීම තවත් හේතුවක්. 2017 වසරේදී නිවාස අහිමි අය සඳහා ඇති වාසස්ථාන කරා පැමිණි අයගෙන් 51%ක්ම කෙළින්ම නිවසක සිට පැමිණි අයයි.

මේ වාර්තාවේ විශ්ලේෂණ සිදු කර තිබෙන්නේ ආර්ථික විද්‍යා මූලධර්ම මත පදනම්ව වුවත් එම විශ්ලේෂණ තුළින් පිළිබිඹු වන්නේ ඇමරිකාවේ නිවාස අහිමි වූවන්ගේ ප්‍රශ්නය පිළිබඳ රිපබ්ලිකන් පාක්ෂිකයන්ගේ මතය කියා කිව හැකියි. ඩිමොක්‍රටික් පක්ෂයට නැඹුරුවක් ඇති අය මෙය දකින්නේ නිවාස අහිමි පිරිස් වලට "දඬුවම් කර" ප්‍රශ්නය විසඳීමේ ක්‍රමවේදයක් ලෙසයි.

වෙබ් ලිපිනය: