වෙබ් ලිපිනය:

Showing posts with label නියාමනය. Show all posts
Showing posts with label නියාමනය. Show all posts

Saturday, March 15, 2025

තොරතුරු අසමතුලිතතාවයේ ප්‍රශ්නය


වෙළඳපොළ කාර්යක්ෂමතාවය ගැන මීට පෙර ඕනෑ තරම් පැහැදිලි කර තිබෙන නිසා, නැවතත් ඒ දේවල් මුල සිටම විස්තර කරන්න අවශ්‍ය නැහැ. වෙළඳපොළ කාර්යක්ෂමතාවයට මූලික හේතුව වටිනාකම් පිළිබඳ අප එකිනෙකාගේ තක්සේරු වෙනස් වීම. 

සඳුනි ඇයට අයිති ඉඩමක් රුපියල් ලක්ෂ 100කට චරිත්ට විකුණනවා කියා හිතමු. මේ වගේ ගනුදෙනුවක් දෙදෙනාගේම කැමැත්තෙන් සිදු වෙන්නේ කොහොමද? 

සඳුනිගේ තක්සේරුව අනුව අදාළ මොහොතෙ ඉඩමේ වටිනාකම රුපියල් ලක්ෂ 100ට වඩා කීයක් හෝ අඩුයි. ඒ නිසා, ඉඩම රුපියල් ලක්ෂ 100කට විකිණීමෙන් ඇයට කීයක හෝ වාසියක් ලැබෙනවා. නමුත්, චරිත්ගේ තක්සේරුව අනුව අදාළ මොහොතේ ඉඩමේ වටිනාකම රුපියල් ලක්ෂ 100ට වඩා කීයක් හෝ වැඩියි. ඒ නිසා, ඉඩම රුපියල් ලක්ෂ 100කට මිල දී ගැනීමෙන් ඔහුටත් කීයක හෝ වාසියක් ලැබෙනවා. ඕක තමයි වෙළඳපොළ කාර්යක්ෂමතාවයට හේතු වන මූලධර්මය.

උදාහරණයක් විදිහට සඳුනිගේ තක්සේරුව රුපියල් ලක්ෂ 80ක් සහ චරිත්ගේ තක්සේරුව රුපියල් ලක්ෂ 120ක් වෙන්න පුළුවන්. එය එසේනම්, රුපියල් ලක්ෂ 100කට ගනුදෙනුව අවසන් වෙද්දී දෙදෙනාටම රුපියල් ලක්ෂ 20 බැගින් වාසි වෙලා. ඒ කියන්නේ රුපියල් ලක්ෂ 40ක අගය එකතු වීමක් සිදු වෙලා. ගනුදෙනුව සිදු නොවුනානම් ඔය අගය එකතු වීම සිදු වෙන්නේ නැහැ. 

දැන් බැලූ බැල්මට මෙහිදී ඉඩමේ කිසිදු භෞතික වෙනසක් හෝ "නිෂ්පාදනය වැඩිවීමක්"වෙලා නැහැ. එහි අයිතිය මාරුවීමක් පමණයි සිදු වී තිබෙන්නේ. එහෙමනම්, ගනුදෙනුව නිසා රුපියල් ලක්ෂ 40ක අගය එකතු වීමක් සිදු වුනේ කොහොමද?

ඉඩම නොවිකුණා සඳුනි සතුවම තියාගත්තානම්, එමගින් ඇයට අනාගතයේදී ඉපැයිය හැකිව තිබුණු සියලු ආදායම් වල අද වටිනාකම රුපියල් ලක්ෂ 80ක් පමණයි. නමුත්, චරිත්ට මේ ඉඩමම යොදාගෙන ඊට වඩා ආදායම් ඉපැයිය හැකියි. එම ආදායම් වල අද වටිනාකම රුපියල් ලක්ෂ 120ක්. ඒ නිසා, අයිතිය මාරු වෙද්දී රුපියල් ලක්ෂ 40ක අගය එකතු වීමක් සිදු වෙනවා. මේ මොහොතේ සිදු නොවුනත්, ඊට අනුරූපව නිෂ්පාදනය වැඩිවීමක් අනාගතයේදී සිදු වෙයි. 

අනාගතයේදී නිෂ්පාදනය වැඩිවීමක් ඇත්තටම සිදු වුනත් නැතත්, ගනුදෙනුව සිදු වෙද්දී සඳුනිගේ තක්සේරුවට වඩා ඉහළින් චරිත් ඉඩම තක්සේරු කරලා ඉවරයි. ඒ නිසා, ඉඩමේ අයිතිය මාරු වන මොහොතේ රුපියල් ලක්ෂ 40ක අගය එකතු වීමක් සිදු වෙනවා. නමුත්, ඉහත උදාහරණයේදී මෙන් එම මුදල සඳුනි සහ චරිත් අතර සමසමව බෙදී යා යුතු නැහැ. ඕනෑම අනුපාතයකින් ඒ මුදල දෙදෙනා අතර බෙදී යා හැකියි. එය තීරණය වෙන්නේ දෙදෙනාගේ හෙට්ටු කිරීමේ හැකියාව අනුව. 

සඳුනිට වඩා චරිත් හෙට්ටු කරන්න දක්ෂනම් ඔය ඉඩම රුපියල් ලක්ෂ 85කට විකිණෙන්න පුළුවන්. එවිට චරිත්ගේ වාසිය රුපියල් ලක්ෂ 35ක්. සඳුනිට ලැබෙන්නේ රුපියල් ලක්ෂ 5ක වාසියක් පමණයි. හෙට්ටු කරන්න වඩා දක්ෂ සඳුනිනම්, ඉඩම රුපියල් ලක්ෂ 110කට විකිනේන්න පුළුවන්. එවිට සඳුනිට රුපියල් ලක්ෂ 30ක වාසියක් ලැබෙනවා. චරිත්ට ලැබෙන්නේ රුපියල් ලක්ෂ 10ක වාසියක් පමණයි. 

සඳුනි ඉඩම තක්සේරු කර තිබෙන්නේ රුපියල් ලක්ෂ 80කට බව චරිත් දැන සිටියේනම්, ඔහු උත්සාහ කරනු ඇත්තේ කෙසේ හෝ එම මුදලට ඉඩම මිල දී ගැනීමටයි. ඒ වගේම, චරිත්ට ඉඩම රුපියල් ලක්ෂ 120ක් වටිනා බව සඳුනි දැනගෙන සිටියානම් ඇය උත්සාහ කරනු ඇත්තේ කෙසේ හෝ එම මුදලට ඉඩම විකිණීමටයි. නමුත් ගනුදෙනුවක පාර්ශ්වකරුවන්ට තමන්ගේ සාපේක්ෂ වටිනාකම් පිළිබඳව මිස අනෙකාගේ සාපේක්ෂ වටිනාකම් පිළිබඳව නිවැරදි අදහසක් නැහැ. කළ හැක්කේ කිසියම් අනුමාන කිරීමක් පමණයි. හෙට්ටු කිරීම් සිදු වන්නේ එවැනි අනුමාන මතයි.

ඇතැම් විට ඉඩම පිළිබඳ සඳුනිගේ තක්සේරුව රුපියල් ලක්ෂ 70ක් පමණ විය හැකියැයි චරිත් විසින් අනුමාන කරන්න පුළුවන්. ඒ අනුව, තමන්ගේ වටිනාකම රුපියල් ලක්ෂ 120ක් වුවත් ඒ බව නො අඟවා, තමන්ට ගෙවිය හැකි උපරිම මිල රුපියල් ලක්ෂ 75ක් බව පවසන්න පුළුවන්. සඳුනි විසින්ද මේ අයුරින්ම චරිත්ගේ තක්සේරුව රුපියල් ලක්ෂ 130ක් පමණ විය හැකි සේ අනුමාන කර තමන්ට අවශ්‍ය අවම මුදල ලක්ෂ 125ක් බව පවසා එම මුදලම ඉල්ලුවොත් සිදු වන්නේ කුමක්ද?

ඉහත විස්තර කළ ආකාරයේ තත්ත්වයක් යටතේදී ගනුදෙනුකරුවන්ගේ ආක්‍රමණශීලී ස්වභාවය ඕනෑවට වඩා වැඩි නිසාම, දෙදෙනාටම වාසිදායකව අවසන් විය හැකිව තිබුණු ගනුදෙනුවක් සිදු නොවෙන්න පුළුවන්. එහෙත්, ගනුදෙනුව සිදු නොවීමෙන් දෙදෙනාටම සිදු වන්නේ පාඩුවක් බැවින් දීර්ඝ හෙට්ටු කිරීම් වලින් පසුව ගනුදෙනුව සිදු වීමටයි වැඩි ඉඩක් තිබෙන්නේ. 

මෙවැනි ගනුදෙනුවකින් අවසාන වශයෙන් දෙදෙනාටම කිසියම් වාසියක් සිදු වුවත්, වාසි බෙදී යන ආකාරය තීරණය වන්නේ කෙතරම් ආක්‍රමණශීලී ලෙස හෙට්ටු කළ හැකිද යන්න මතයි. එක අයෙකු ආක්‍රමණශීලී ලෙස හෙට්ටු කරද්දී අනෙක් පාර්ශ්වය නිහඬව සිටිහොත් සිදු වන්නේ වඩා ආක්‍රමණශීලී පාර්ශ්වයට වාසිදායක ලෙස ගනුදෙනුව තීන්දු වීමයි. එයින් අනෙක් පාර්ශ්වයට පාඩුවක් සිදු නොවෙතත්, ලැබිය හැකිව තිබුණු වාසිය අඩුවීමක් සිදු වෙනවා. 

මේ දවස් වල "තිරගත වන" ඇමරිකා-කැනඩා වෙළඳ යුද්ධය තුළ දැකිය හැක්කේද ඉහත තත්ත්වයට කිට්ටු තත්ත්වයක්. මෙවැනි වෙළඳ යුද්ධ අවසාන වශයෙන් අනිවාර්යයෙන්ම කිසියම් එකඟතාවයකින් අවසන් වෙනවා. එහෙත්, එම අවසන් එකඟතාවය වෙළඳ යුද්ධය ආරම්භයේදී පැවති තත්ත්වයට වඩා වෙනස් එකක් විය හැකියි. අවසන් ප්‍රතිඵලය තීරණය වන්නේ වැඩි හානියක් වැඩි කාලයක් දරාගත හැක්කේ කවර පාර්ශ්වයටද යන්න මතයි. ඒ අතින්, වෙළඳ යුද්ධයක් සාමාන්‍ය යුද්ධයකට සමානයි. 

මුල් උදාහරණයට නැවත පැමිණියහොත්, සඳුනිගේ සහ චරිත්ගේ සාපේක්ෂ තක්සේරු වෙනස් වුවත්, ඔවුන් දෙදෙනා විසින්ම තක්සේරු කරන්නේ එකම ඉඩමේ වටිනාකමයි. ඉඩමේ ස්වභාවය පිළිබඳ දෙදෙනාටම පොදු දැනුමක් තිබෙනවා. වෙළඳපොළ කාර්යක්ෂමතාවය සඳහා මෙය අවශ්‍ය කරුණක්.

යම් හෙයකින් ඉඩම පිළිබඳව සඳුනි සහ චරිත් සතුව තිබෙන්නේ අසමාන දැනුමක්නම් තත්ත්වය කුමක්ද? උදාහරණයක් ලෙස ඉඩම නාය යාමේ තර්ජනයකට ලක්ව ඇති බව සඳුනි දන්නේ වුවද, චරිත් එය නොදන්නේනම් තත්ත්වය කුමක්ද?

දැන් සඳුනි මේ ඉඩම ලක්ෂ 80කට තක්සේරු කරන්නේ නාය යාමේ තර්ජනයක් ඇති බව දැනගෙන වුවත්, චරිත් ඒ ඉඩමම ලක්ෂ 120කට තක්සේරු කරන්නේ ඒ බව නොදැනයි. යම් විදිහකින් මේ තත්ත්වය යටතේ රුපියල් ලක්ෂ 100කට ගනුදෙනුව සිදු වුවහොත්, චරිත් විසින් පසුව තේරුම් ගනු ඇත්තේ තමන්ට ඇත්තටම රුපියල් ලක්ෂ 20ක වාසියක් වී නැති බවයි. එය ඇතැම් විට ඊට වඩා අඩු වාසියක් විය හැකි වුවත්, පාඩුවක් වෙන්නත් පුළුවන්. ඔය දෙකෙන් කොයි එක වුවත්, ගනුදෙනුවෙන් පසුව චරිත්ට තමන් රැවටී ඇති බව පැහැදිලි වීම අනිවාර්යයි. නිදහස් ගනුදෙනු වලට බාධාවක් වන තොරතුරු අසමතුලිතතාවයේ ප්‍රශ්නය මෙයයි.

මේ තොරතුරු අසමතුලිතතාවයේ ප්‍රශ්නය බොහෝ ගනුදෙනු හා අදාළව තිබෙන එකක්. පාර අයිනකින් මිල දී ගන්නා  අඹ ගෙඩියක් හෝ රඹුටන් ගෙඩියක් ඇඹුල් නැති බවත්, ප්‍රණීත රසයකින් යුතු බවත් ඔබට දැනගත හැකිද? ඒ බැව් නොදැන සිදු කරන වටිනාකම් තක්සේරුවක් කෙතරම් නිවැරදිද?

මෙවැනි අවස්ථාවක ඔබට පහසුවෙන් කළ හැකි එක් දෙයක් වන්නේ එක් ගෙඩියක් අහඹු ලෙස තෝරාගෙන ඒ සඳහා මුදල් ගෙවා මිල දී ගෙන රස විඳීමෙන් පසුව එම අහඹු නියැදිය ඇසුරෙන් ඉතිරි ගෙඩි පිළිබඳව නිගමනයකට පැමිණීමයි. එවැනි පරීක්ෂාවක් කිරීමට ඔබ සූදානම් නැත්නම්, ඔබට සිදු වන්නේ වෙළෙන්දා පවසන දේ පිළිබඳව විශ්වාසය තැබීමටයි. නමුත් වෙළෙන්දා බොරු කියා පළතුර විකිණීමේ අවදානම ඔබට බැහැර කරන්න බැහැ. 

මේ හේතුව නිසාම, මුලින් අඹ කෑල්ලක් හෝ රඹුටන් ගෙඩියක් රස විඳ මිල දී ගැනීමේ තීරණය ගැනීමට බොහෝ වෙළෙන්දන් ඉඩ දෙනවා. එහි අරමුණ තොරතුරු අසමතුලිතතාවයේ ප්‍රශ්නයට විසඳුමක් දීමයි. වෙළෙන්දන් එසේ කරන්නේ තොරතුරු අසමතුලිතතාවයේ ප්‍රශ්නය ගැන දැනගෙන හෝ ආර්ථික විද්‍යාව ඉගෙන ගෙන නෙමෙයි. ඇතැම් භාණ්ඩ මිල දී ගැනීමේදී වගකීම් සහතිකයක් ලබා දෙන්නේත් මේ හේතුව නිසා.

සමහර ගනුදෙනු වලදී තොරතුරු අසමතුලිතතාවයේ ප්‍රශ්නය වඩා දරුණුවට බලපානවා වගේම එහි අවාසිය එක් පාර්ශ්වයකට විඳින්නට සිදු වෙනවා. බොහෝ විට මෙසේ සිදු වන්නේ කිසියම් සේවා නිෂ්පාදනයක් මුලින් මුදල් ගෙවා මිල දී ගත් විටයි. 

ඔබ සංගීත සංදර්ශනයක් සඳහා කලින් මුදල් ගෙවා ප්‍රවේශපත්‍රයක් මිල දී ගත්තේයැයි සිතන්න. ඔබ එසේ කරන්නේ ඔබට ලැබීමට නියමිත සේවා නිෂ්පාදනයේ වටිනාකම ප්‍රවේශපත්‍රයේ මිලට වඩා වැඩි නිසයි. ඔබ එම වටිනාකම තක්සේරු කරන්නේ අදාළ සංවිධායකින් විසින් ඔබට ලබා දී තිබෙන තොරතුරු මත පදනම්වයි. නමුත්, අදාළ දිනයේදී ඔබ බලා සිටි, ඔබ කැමතිම ගායකයෙක් මෙම සංදර්ශනය සඳහා සහභාගී නොවුවහොත් තත්ත්වය කුමක්ද? දැන් ඔබට ලැබී තිබෙන්නේ ඔබ විසින් මුදල් ගෙවා මිල දී ගත් "දෙය" නොව ඊට වඩා අඩු වටිනාමක් ඇති දෙයක්. එම වටිනාකම ඔබ ගෙවූ ප්‍රවේශපත්‍රයේ මිලට වඩා අඩු වෙන්න පුළුවන්. 

මේ වගේ තත්ත්වයක් ඇතැම් පාරිභෝගිකයින් විසින් "රැවටුනා නෙමෙයි විශ්වාස කළා" තත්ත්වයක් ලෙස භාර ගෙන නිහඩව පාඩුව විඳ දරා ගන්න පුළුවන්. නමුත් මෙවැනි අවස්ථාවකදී තවත් ඇතැම් පාරිභෝගිකයින් තමන් රැවටී ඇති බව තේරුම් ගැනීමෙන් පසුව එයට විරෝධය පෑම සඳහා පෙළඹෙන්න පුළුවන්. 

තවත් උදාහරණයක් ලෙස ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකු ඇතුළු නිෂ්පාදක කණ්ඩායමක් විසින් ප්‍රධාන චරිතයක් සඳහා නිලිය තෝරාගන්නේ අදාළ ටෙලිනාට්‍යය අවසන් වන තුරු රූගත කිරීම් සඳහා සහභාගී වේයැයි යන විශ්වාසයෙන්. මෙහිදී කෙටි කලකට පසුව අදාළ නිලිය ටෙලිනාට්‍යය අතහැර යාමේ අවදානම ගන්නට සිදු වෙනවා. මෙය තොරතුරු අසමමිතිය පිළිබඳ ප්‍රශ්නයක්. 

තොරතුරු අසමතුලිතතාවයේ ප්‍රශ්නය වෙළඳපොළ කාර්යක්ෂමතාවයට බාධාවක් බව පැහැදිලි දෙයක් වන අතරම එය වෙළඳපොළ කාර්යක්ෂමතාවය පිළිබඳව විශ්වාස කරන අය පොදුවේ පිළිගන්නා කරුණක්. එහෙත්, මෙම ප්‍රශ්නයට විසඳුම කුමක්ද යන කරුණේදී එම කණ්ඩායම තුළ විසම්මුතික අදහස් දැකිය හැකියි. 

වඩා මධ්‍යස්ථ හා ප්‍රධාන ධාරාවේ අදහස වන්නේ ස්වභාවික ලෙසම වෙළඳපොළ කාර්යක්ෂමතාවට බාධා පවතින තත්ත්වයන් වලදී වෙළඳපොළ කාර්යක්ෂම ලෙස හැසිරවීම සඳහා නියාමනය අවශ්‍ය බවයි. මෙවැනි නියාමනයන් රාජ්‍ය මැදිහත්වීම් ලෙස මෙන්ම වෙනත් ආකාර වලින්ද සිදු විය හැකියි. එහෙත්, මෙවැනි තත්ත්වයන් පවා වෙළඳපොළ විසින්ම "ස්වභාවික ලෙස" විසඳනු ඇතැයි විශ්වාස කරන අයද සිටිනවා. ඇතැම් තත්ත්වයන් හා අදාලව මෙම දෙවන කරුණ නිවැරදි වුවත්, තොරතුරු අසමතුලිතතාවයේ ප්‍රශ්නය වෙළඳපොළ විසින් හැම විටම "ස්වභාවික ලෙස" විසඳන්නේ නැහැ. 

අඹ, රඹුටන් ප්‍රශ්නයට නැවත පිවිසුනහොත්, බොරු කියා පළතුරු විකුණන වෙළෙන්දෙක්ගෙන් පළතුරු මිල දී ගත් අයෙක් නැවතත් ඒ වැරැද්ද කරන්නේ නැහැ. ඒ නිසා, කාලයක් යද්දී එවැනි වෙළෙන්දන් වෙළඳපොළ තරඟය තුළ ස්වභාවයෙන්ම ප්‍රතික්ෂේප වී යා හැකියි. ඒ වගේම, කිහිප වරක් ටෙලි නාට්‍යය අතරමග දමා ගොස් ඇති නිලියක් ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ්‍යවරුන් විසින් සම්පූරණයෙන්ම ප්‍රතික්ෂේප කරන්න ඉඩ තිබෙනවා. නමුත් මේ අයුරින් වෙළඳපොළ විසින්ම ප්‍රශ්නය විසඳීමටනම් එකම පරීක්ෂාව වෙළඳපොළ තුළ දිගින් දිගටම සිදු විය යුතුයි.

තොරතුරු අසමතුලිතතාවයේ ප්‍රශ්නය තිබෙන බොහෝ තැන් වලදී, අදාළ ගනුදෙනුවේ ස්වභාවය අනුවම, එකම ගනුදෙනුව නැවත නැවත සිදු වන්නේ නැහැ. උදාහරණයක් ලෙස බොහෝ දෙනෙකු ජීවිත කාලය තුළ ගෙයක් හදන්නේ එක් වරයි. ඒ කියන්නේ ගෙවල් හදන බොහෝ දෙනෙක් ඒ වැඩේ පටන් ගන්නේ අත්දැකීම් රහිතවයි. එහෙත්, අදාළ භාණ්ඩ හා සේවා සපයන්නන් කාලයක් තිස්සේ මේ කාර්යයෙහි නියැලෙන අයයි. ඔවුන් ආධුනිකයින් නෙමෙයි. ඔවුන්ට තොරතුරු අසමතුලිතතාවයේ උදවුවෙන් පහසුවෙන්ම තමන්ගේ පාරිභෝගිකයින් රැවටිය හැකියි. විවාහ උත්සව තවත් උදාහරණයක්. බොහෝ දෙනෙකු විවාහ උත්සවයක් ගන්නේ එක්වරක් පමණක් බැවින් ඒ අවස්ථාවේදී පළපුරුදු සේවා සපයන්නෙකුට රැවටුනත්, වැරැද්ද නිවැරදි කර ගැනීමට දෙවන අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා, මෙවැනි ගනුදෙනු පාරෙන් අඹ හෝ රඹුටන් මිල දී ගන්නවාට වඩා වෙනස්.

වෙළඳපොළ විසින්ම තොරතුරු අසමතුලිතතාවයේ ප්‍රශ්නය විසඳන්නේ රැවටීමට ලක් වන පාරිභෝගිකයින් විසින් පසුව දක්වන ප්‍රතිචාර වල පීඩනය හේතුවෙනුයි. සාමාන්‍යයෙන් මෙම ප්‍රතිචාරය වන්නේ එවැනි රැවටිලිකාර ගනුදෙනුකරුවන්ව ඉන්පසුව ප්‍රතික්ෂේප කිරීමයි. එහෙත්, ඇතැම් ගනුදෙනු හා අදාළව, ඉහත විස්තර කළ පරිදි, පාරිභෝගිකයින්ට මෙවැනි දෙවන අවස්ථා හිමි වන්නේ නැහැ. 

මෙහිදී කෙනෙකුට පෙන්වා දිය හැක්කේ මෙවැනි තත්ත්වයන්ට විසඳුම් වන වෙනත් වෙළඳපොළ විසඳුම්ද ඇති බවයි. උදාහරණයක් ලෙස, සේවා සපයන්නන් පිළිබඳව අන්තර්ජාලයේ ඇති පාරිභෝගික ප්‍රතිචාර ආදිය පෙන්විය හැකියි. මේවා ඇසුරින් රැවටිලිකරුවන් හඳුනාගැනීමට යම් උදවුවක් ලැබෙන නමුත් ප්‍රශ්නය මුළුමනින්ම විසඳෙන්නේ නැහැ.

තොරතුරු අසමතුලිතතාවයේ ප්‍රශ්නයේ වාසිය ලබමින් පාරිභෝගිකයින් රවටන අය පාරිභෝගිකයින්ට ප්‍රශ්නයක් වනවාට අමතරව එසේ පාරිභෝගිකයින් රවටන්නේ නැති අනෙකුත් සැපයුම්කරුවන්ටද ප්‍රශ්නයක් වෙනවා. උදාහරණයක් ලෙස කිසියම් සංගීත සංදර්ශනයකට එක් ප්‍රසිද්ධ ගායකයෙකු සහභාගී නොවීම නිසා ඇති වන තත්ත්වයට මුහුණ දෙන්නට සිදු වන්නේ එසේ කවදාවත් පොලු නොතියන එහි පැමිණ සිටින අයට වෙන්න පුළුවන්. 

එක් රඹුටන් වෙළෙන්දෙක් පාරිභෝගිකයින් රැවටීම නිසා අදාළ ස්ථානයේ වෙළඳාම් කරන අනෙකුත් වෙළෙන්දන්ටත් පාරිභෝගිකයින් නැති වෙන්න පුළුවන්. මෙවැනි තත්ත්වයන් යටතේ අදාල සේවා සපයන්නන් විසින්ම සංවිධානය වී තමන් සපයන සේවාව නියාමනය කිරීමට පෙළඹුමක් ඇති වෙනවා. වෛද්‍ය සංගම්, ඉංජිනේරු සංගම් ආදිය උදාහරණ සේ පෙන්විය හැකියි. මෙවැනි නියාමනයන් සිදු වන්නේ රජයේ සම්බන්ධයකින් තොරවයි. කෙසේ වුවද, එහිදී නියාමනයේ අරමුණ වන්නේ කණ්ඩායමක් ලෙස තමන්ට සිදු වන අවාසිය අවම කර ගැනීම මිස තමන්ගේ පාරිභෝගිකයින්ට සිදු වන අවාසිය අවම කිරීම නෙමෙයි. 

තොරතුරු අසමතුලිතතාවයේ ප්‍රශ්නයට මුහුණ දෙන පාරිභෝගිකයෙකුට ඉන් පසුව කළ හැකි දෙයක් නැහැ. එවැන්නෙකු දෙවන වරට නොරැවටෙනු ඇතත්, නැවත නැවත රැවටෙන්නට පළමුවැන්නන් ඕනෑ තරම් ඉන්න නිසා වෙළඳපොළ විසින් ප්‍රශ්නය විසඳන්නේ නැහැ. සිදු විය හැකි එකම දෙය මේ අයුරින් රැවටෙන පාරිභෝගිකයින් සංවිධානය වී තමන්ව රවටනු ලැබීමට විරෝධය පෑමයි. සංගීත සංදර්ශනයක් වැනි අවස්ථාවක එවැන්නක් වෙන්න පුළුවන්. 

සංගීත සංදර්ශන සංවිධායකයෙකු විසින් ප්‍රවේශපත්‍ර විකුණද්දී පොරොන්දු වූ දෙයට වඩා අඩු දෙයක් ලබා දුන් විට සිදු වන්නේ පාරිභෝගිකයින් විශාල පිරිසකගේ අතිරික්ත වටිනාකම් වලින් කොටස බැගින් රැවටිලිකාර ලෙස ලබා ගැනීමක්. එසේ ලබා ගන්නා කොටස ගනුදෙනුව නිසා දෙපාර්ශ්වයටම සිදු වන වාසියෙන් පරිබාහිර දෙයක්.  මෙවැන්නක් දිගින් දිගටම සිදු වෙද්දී සමස්තයක් ලෙස පරිභෝගිකයින්ට සිදු වන අවාසිය සහ සංවිධායකන්ට සිදු වන වාසිය එකතු කළහොත් එය විශාල මුදලක්. එය එතරම් අවධානයට ලක් නොවන්නේ අවාසිය විශාල පිරිසක් අතර බෙදී යන නිසා සහ පාඩු විඳින්නන් සංවිධානය වී නොසිටින නිසා. කිසියම් අවස්ථාවක මෙසේ රැවටිල්ලට ලක් වූවන් සංවිධානය වූ විට, එසේ කාලයක් තිස්සේ ලබාගත් අනිසි වාසිය වෙනුවෙන් විශාල මිලක් ගෙවන්නට සිදු වෙන්නට පුළුවන්. මෙවැනි තත්ත්වයන් වලක්වා ගැනීම සඳහා කිසියම් ආකාරයක නියාමනයක් මගින් තොරතුරු අසමතුලිතතාවයේ ප්‍රශ්නය විසඳිය යුතු වෙනවා. 

Monday, March 13, 2023

රුපියල් 387කට බැංකුවක් විකිණෙයි!


මේ වෙද්දී ඩොලරයක මිල රුපියල් 320 ආසන්න මට්ටමක ස්ථාවර වී තිබෙනවා. එසේ නැත්නම් ස්ථාවර කරනු ලැබ තිබෙනවා. අනෙකුත් මුදල් ඒකක වල මිල ඩොලරයක මිලට සාපේක්ෂව තීරණය වෙමින් තිබෙනවා. අද (මාර්තු 13) ලංකාවේ අන්තර්බැංකු එතැන් වෙළඳපොළේ බ්‍රිතාන්‍ය පවුමක සාමාන්‍ය මිල රුපියල් 386.88ක්. 

පසුගිය සිකුරාදා දින ඇමරිකාවේ නියාමකයින් විසින් පවරා ගනු ලැබූ සිලිකන් වැලි බැංකුව ගැන පෙර සටහනෙහි ලිවුවා. මේ වන විට එම බැංකුවේ සියළුම පාරිභෝගිකයින්ගේ තැන්පතු මුදල් ආපසු ගෙවන බව ෆෙඩරල් තැන්පතු රක්ෂණ සමාගම විසින් තහවුරු කර තිබෙනවා. ඩොලර් 250,000 නොඉක්මවන තැන්පතු වහාම ලබා ගත හැකියි. වඩා විශාල තැන්පතු තිබෙන අයට එයින් යම් ප්‍රතිශතයක් දැන්ම ආපසු ලබා ගත හැකි අතර ඉතිරි තැන්පතු වෙනුවෙන් වගකීම් සහතිකයක් ලැබෙනවා. බැංකුවේ වත්කම් ඈවර කිරීමෙන් පසුව එම සහතික මුදල් කළ හැකියි. 

මෙසේ සිලිකන් වැලි බැංකුවේ පාරිභෝගිකයන්ගේ වත්කම් ආපසු ගෙවීම සඳහා බදු මුදල් වැය කෙරෙන්නේ නැහැ. එම මුදල් වලින් වැඩි කොටසක් අදාළ බැංකුවේම ඉතිරිව ඇති ද්‍රවශීල වත්කම් වලින් හා ද්‍රවශීල නොවන වත්කම් විකිණීම මගින් පියවා ගැනෙනු ඇති අතර ඉතිරි කොටස ආපසු ගෙවන්නේ ෆෙඩරල් තැන්පතු රක්ෂණ සමාගමේ අරමුදල් වලින්. මෙම අරමුදලට මුදල් ලැබෙන්නේ සාමාජික වාණිජ බැංකු විසින් ගෙවන රක්ෂණ වාරික මුදල් වලිනුයි. 

ඇමරිකාවේ කැලිෆෝනියා හා මැසචුසෙට්ස් ප්‍රාන්ත වල පමණක් ව්‍යාපාරික කටයුතු සිදු කළ සිලිකන් වැලි බැංකුවෙහි ශාඛාවක් එංගලන්තයේද තිබුණා. ලන්ඩන් නුවර ෆින්ස්බරි චතුරස්‍රයේ තිබුණු එම ශාඛාව සහ සිලිකන් වැලි බැංකුව විසින් එංගලන්තය තුළ සිදු කළ ව්‍යාපාරික කටයුතු මේ වන විට HSBC බැංකුව විසින් මිල දී ගෙන තිබෙනවා. එසේ මිල දී ගෙන තිබෙන්නේ බ්‍රිතාන්‍ය පවුමක මුදලකටයි. එනම් රුපියල් 387ක පමණ මුදලකට. 

බංකොලොත් වීමට ආසන්න ආයතන ලොකු ගණන් වලට විකුණන්න බැහැ. බංකොලොත් වූ පසුවනම් කීයටවත් විකුණන්න බැහැ. ව්‍යාපාරික ආයතනයක් විකුණා දැමිය හැක්කේ අවම වශයෙන් එහි බැරකම් ඉක්මවන වත්කම් ඇත්නම් පමණයි. 

ඇමරිකාවේ බැංකුවක් අවම වශයෙන් එහි බැරකම් වලට වඩා 5%ක වත්කම් පවත්වා ගත යුතුයි. වාණිජ බැංකුවක වත්කම් හා බැරකම් හා අදාළව තවත් මෙවැනි අවම අවශ්‍යතා කිහිපයක්ම තිබෙනවා. මෙම අනුපාතය මීට වඩා පහළ වැටුණොත් නියාමකයින් විසින් වත්කම් වැඩි කර ගැනීම සඳහා යම් සීමිත කාලයක් ලබා දෙනවා. එම කාලය තුළ අවශ්‍ය දේ ඉටු නොවී ඉහත සීමාව 3% දක්වා පහත වැටුනොත් පාරිභෝගිකයින් කලබල වීමට පෙර අදාළ බැංකුව වෙනත් බැංකුවකට විකිණීම සඳහා ඉඩකඩ සලසා දෙනවා. එය කළ නොහැකි වුවහොත් බැංකුවේ වත්කම් පවරාගෙන එම වත්කම් ඈවර කිරීම මගින් එහි බැරකම් පියවා බැංකුව වසා දමනවා. 

සිලිකන් වැලි බැංකුව සතුව වත්කම් වල අඩුවක් තිබුණේ නැහැ. අවශ්‍ය අවම නියාමන අනුපාත දෙගුණයකින් පමණ ඉක්මවන වත්කම් එම බැංකුව සතුව තිබුණා. එහෙත් එම වත්කම් අතර ප්‍රමාණවත් ද්‍රවශීල වත්කම් තිබුණේ නැහැ. 2022 වසර අවසානයේදී සමස්තයක් ලෙස ඇමරිකාවේ වාණිජ බැංකු වල වත්කම් වලින් 13.8%ක් මුදල් හෝ මුදල් වලට සමාන වත්කම් වුවත් සිලිකන් වැලි බැංකුවෙහි එම අනුපාතය පැවතුණේ 6.5% මට්ටමේ.

සිලිකන් වැලි බැංකුවෙහි වත්කම් වලින් 57%ක්ම තිබුනේ සුරැකුම්පත් ආයෝජන ලෙසයි. එයින්ද විශාල කොටසක් දිගුකාලීන ආයෝජන. ඇමරිකාවේ පැවති ඉහළ උද්ධමනය පාලනය කිරීම සඳහා ෆෙඩරල් සංචිත බැංකුව විසින් පසුගිය වසරේ මුල සිට ඉතා කෙටි කාලයක් තුළ පොලී අනුපාතික විශාල ලෙස ඉහළ දැම්මා. මෙහි ප්‍රතිඵලයක් ලෙස වසරකට ආසන්න කාලයක් තුළ වසර-2 බැඳුම්කර පොලිය 1% සිට 5% දක්වාත්, වසර-30 බැඳුම්කර පොලිය 2% සිට 4% දක්වාත් (ආසන්න වශයෙන්) ඉහළ ගියා. මේ මට්ටමේ පොලී අනුපාතික ඉහළ යාමකදී වසරකින් කල් පිරෙන වසර-2 බැඳුම්කරයක වෙළඳපොළ මිල 4%කින් පමණත්, වසර-29කින් කල් පිරෙන වසර-30 බැඳුම්කරයක මිල 32%කින් පමණත් පහළ යනවා.

කෙසේ වුවද, ඉහත පරිදි බැඳුම්කර වල වෙළඳපොළ මිල පහළ යාම ඒ නිසාම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මෙම බැඳුම්කර කල් පිරෙන තුරු තබා ගතහොත් මුලින් අපේක්ෂා කළ මුදලම ලැබෙනවා. පාඩුවක් වෙන්නේ කලින් විකුණන්නට සිදු වුවහොත්. 

ෆෙඩරල් සංචිත බැංකුව විසින් ලබන සතියේදී පොලී අනුපාතික තවත් ඉහළ යවන්නට අපේක්ෂා කරන බව කලින්ම දැනුම් දුන්නා. මෙහි ප්‍රතිඵලය බැඳුම්කර මිල තවත් පහළ යාමයි. දිගුකාලීන බැඳුම්කර හා අදාළව මෙසේ මිල පහත වැටීමේ සංවේදීතාව ඉතා විශාලයි. පොලී අනුපාතික වල සිදු වන පොඩි වැඩිවීමකින් වෙළඳපොළ මිල විශාල ලෙස පහත වැටෙනවා. මෙම අවදානම හමුවේ දිගුකාලීන බැඳුම්කර වලින් කොටසක් විකුණා සිදු විය හැකි පාඩුව අවම කර ගැනීමට සිලිකන් වැලි බැංකුව කටයුතු කළා. ඒ අනුව, එම බැංකුව විසින් ඩොලර් බිලියන 21ක බැඳුම්කර විකුණා දමනු ලැබූ අතර එයින් ඩොලර් බිලියන 1.8ක අලාභයක් එම බැංකුවට සිදු වුනා. 

වසර මුලදී සිලිකන් වැලි බැංකුව සතුව, සමුච්ඡිත ලාබද ඇතුළුව, ඩොලර් බිලියන 16 ඉක්මවන කොටස් ප්‍රාග්ධනයක් තිබුණා. ඒ කියන්නේ එහි බැරකම් වලට වඩා ඩොලර් බිලියන 16ක වත්කම් තිබුණා. ඒ නිසා, ඩොලර් බිලියන 1.8ක අලාභයකින් එම බැංකුව බංකොලොත් වීමේ හැකියාවක් නොතිබුණත්, කොටස් ප්‍රාග්ධනය ඉහළ දමා ගැනීම සඳහා ඩොලර් බිලියන 1.25ක කොටස් අලුතින් නිකුත් කිරීමට එම බැංකුව පෙළඹුණා. මේ හරහා බැංකුවේ මූල්‍ය ශක්තිය වඩා යහපත් කරගෙන ඒ බව සිය පාරිභෝගිකයින්ට හා නියාමකයින්ට පෙන්වීමට සිලිකන් වැලි බැංකුවේ අයිතිකරුවන් අපේක්ෂා කළත් මේ නිසා සිදු වුනේ නොසිතූ අකරතැබ්බයක්. 

අලුතෙන් කොටස් නිකුත් කිරීමට පෙළඹීම බොහෝ දෙනෙකු දැක්කේ බැංකුවේ මූල්‍ය තත්ත්වය අස්ථායී වීමක් ලෙසයි. මේ නිසා, එක පැත්තකින් බැංකුවේ කොටස්හිමියන් තමන්ගේ කොටස් හිමිකම් හැකි ඉක්මණින් විකුණා දමන්නට පෙළඹුණා. කොටස් මිල වේගයෙන් කඩා වැටුණා. අනෙක් පැත්තෙන් තැන්පතුකරුවන් ඉතා කෙටි කලක් තුළ ඔවුන්ගේ තැන්පතු ආපසු ලබා ගන්නට පෙළඹුණා. කෙසේ වුවත්, නියාමකයින් ඉතා ඉක්මණින් ක්‍රියාත්මක වී බැංකුවෙහි වත්කම් පවරා ගෙන තත්ත්වය මැනවින් කළමනාකරණය කළා. 

සිලිකන් වැලි බැංකුවෙහි ඇමරිකාවේ ව්‍යාපාරික කටයුතු වෙනත් බැංකුවකට පැවරීම සඳහා ගත් උත්සාහයන් මෙතෙක් සාර්ථක වී නැහැ. දැනට මෙම බැංකුව ෆෙඩරල් රක්ෂණ සමාගමට අයිති ආයතනයක් ලෙස ක්‍රියාත්මක වෙනවා. කෙසේ වුවත්, එංගලන්ත බැංකුවේ සහ එංගලන්ත රජයේ මැදිහත්වීම හා උදවුව මත සිලිකන් වැලි බැංකුවෙහි එංගලන්තයේ ව්‍යාපාරික කටයුතු පවුමක මුදලකට HSBC බැංකුවට විකුණා තිබෙනවා. 

ලංකාවේ තෙල් සංස්ථාව හා ශ්‍රීලන්කන් ගුවන් සේවය වැනි ආයතන දැනටමත් බංකොලොත් වී අවසන් ආයතනයි. එම ආයතන වල වත්කම් වලට වඩා බැරකම් වැඩි නිසා එක රුපියලකට හෝ මෙම ආයතන විකුණා දැමීමේ හැකියාවක් නැහැ. එසේ විකුණන්නේනම් එය කළ හැක්කේ බැරකම් වල බර රජයට පවරා ගැනීමෙන් පසුව, එනම් බදු ගෙවන්නන් මත පැටවීමෙන් පසුව, පමණයි. 

Sunday, September 11, 2022

විදුලි සැරෙන් බේරෙන්නේ කොහොමද? (පස්වන කොටස)

සම්ප්‍රේෂණය හා බෙදාහැරීම ගැන ටිකක් කතා කරපු නිසා දැන් අපි ජනනය පැත්තට එමු. ඉන් පසුව, නැවතත් බෙදාහැරීම ගැන තවත් දේවල් කතා කරන්න තිබෙනවා.

ලංකාවේ වෙළඳපොළ ගැන කතා කරද්දී, සම්ප්‍රේෂණය හා බෙදාහැරීම එක්ක බලද්දී ජනනය ටිකක් සංකීර්ණයි. පළමුව, ජනනය සඳහා දැනටත් පෞද්ගලික අංශයේ විශාල දායකත්වයක් තිබෙනවා. දෙවනුව, හදන්නේ එකම කිලෝවොට්පැය වුනත් හදන තාක්ෂණයේ වෙනස්කම් අනුව, පිරිවැය ආකෘතියේ විශාල වෙනස්කම් තිබෙනවා. විවිධ ක්‍රම වලින් හදන විදුලිය එකම අච්චුවකට දමලා කතා කරන එක අමාරු වැඩක්. හැබැයි පාරිභෝගිකයාගේ පැත්තෙන් මේ විදිහට විවිධ ක්‍රම වලට හදන විදුලිය අතර විශාල වෙනසක් නැහැ. විශේෂයෙන්ම ලංකාවේ වත්මන් සන්දර්භයේදී. මේ තත්ත්වය අනාගතයේදී වෙනස් වෙන්න පුළුවන්.

මේ කොටසින් වැඩි අවධානයක් යොමු කරන්නේ විදුලිය හදන එක් නිශ්චිත පෞද්ගලික සමාගමක් වන වැලිබල් පවර් එරත්න සමාගම වෙත. මතුපිට ප්‍රකාශයක් විදිහට මේ සමාගම ධම්මික පෙරේරාට අයිති සමාගමක් කියා කෙනෙකුට කියන්න පුළුවන්. ගොඩක් අයට ධම්මික පෙරේරාගේ දේශපාලනය හෝ ව්‍යාපාරික ආකෘතිය එක්ක ප්‍රශ්න තියෙන්න පුළුවන්. අපි ඒවා පැත්තකින් තියමු. 

මම මේ සමාගම මුලින්ම තෝරා ගත්තේ එය පොදු සමාගමක් නිසා. මට අනුවනම්, ජනසතු සමාගම් කියා කිවහැක්කේ මේ වගේ පොදු සමාගම් වලට මිසක් රජයේ ඒකාධිකාරයක් යටතේ තියෙන සමාගම් වලට නෙමෙයි. මට අවශ්‍යනම් ධම්මික පෙරේරා වගේම මේ සමාගමේ අයිතිකාරයෙක් වෙන්න පුළුවන්. මගේ ආයෝජනයේ අනුපාතයක් විදිහට ධම්මික පෙරේරා හොයන ලාබයම ලබා ගන්න පුළුවන්. ලංකාවේ වෙන ඕනෑම කෙනෙක්ට වගේම ලංකාවෙන් පිට ඉන්න විදේශිකයින්ට වුනත් ඒ වැඩේ කළ හැකියි. ඒ නිසා, වැලිබල් පවර් එරත්න ගැන කතා කරද්දී පහසුවෙන්ම ධම්මික පෙරේරා සමාගමේ ලොකුම කොටස් හිමියා කියන කරුණ පැත්තකින් තියන්න පුළුවන්. ව්‍යවසායකයෙක් හා කළමනාකරුවෙක් ලෙස ඔහුගේ භූමිකාව නොසලකා හැරිය නොහැකි වුවත්, අපි ඔහුව ලාභ අපේක්ෂා තිබෙන ඕනෑම පුද්ගලයෙක් ලෙස සලකමු.

මගේ විශ්ලේෂණය සඳහා වැලිබල් පවර් එරත්න වැනි පොදු සමාගමක් මුලින්ම තෝරා ගන්න අනෙක් හේතුව පොදු සමාගම් හා අදාල මූල්‍ය වාර්තා හා අනෙකුත් සංඛ්‍යාලේඛණ පහසුවෙන් සොයා ගත හැකි වීමයි. වැලිබල් පවර් එරත්න සමාගම සතුව කුඩා පරිමාණ ජල විදුලි බලාගාර (මිනි හයිඩ්‍රෝ) තුනක් තිබෙනවා. පළමුවැනි එක රත්නපුර දිස්ත්‍රික්කයේ එරත්න ප්‍රදේශයේ. අනෙක් දෙකෙන් එකක් රත්නපුර දිස්ත්‍රික්කයේ. අනෙක් එක නුවරඑළිය දිස්ත්‍රික්කයේ. තුනම තියෙන්නේ ශ්‍රීපාද කන්ද ආශ්‍රිත ජලපෝෂක ප්‍රදේශ වල. සිරීපාදේ යන පාරවල් තුනේ කියා කියන්නත් පුළුවන්. 

පළමු බලාගාරය, කුරුවිට පැත්තෙන් සීරීපාදේ යන පාරේ තියෙන, වැලිබල් පවර් එරත්න සමාගමට කෙලින්ම අයිති, ඒ සමාගම විසින්ම හදපු එකක්. අනෙක් බලාගාර දෙක අයිති මුල් සමාගම වැලිබල් පවර් එරත්න සමාගම විසින් පසුව මිල දී ගන්නවා. ඒ අනුව, ඒ දෙකේ වක්‍ර අයිතිය තියෙන්නෙත් වැලිබල් පවර් එරත්න සමාගමට.

ලංකාවේ විදුලිබල වෙළඳපොළ ගිගාවොට්පැය පහළොස් දාහක පමණ වෙළඳපොළක්. ඔය වෙළඳපොළේ වැලිබල් පවර් දායකත්වය ගිගාවොට්පැය සීයකටත් අඩුයි. ඒ කියන්නේ සීයට එකක්වත් නැහැ. මිනි හයිඩ්‍රෝ කොටස පමණක් ගත්තත් වැලිබල් පවර් දායකත්වය 10%කට අඩුයි. ඒ කියන්නේ, වෙළඳපොළ හැසිරවීමේ බලයක් මේ සමාගමට නැහැ. 

වැලිබල් පවර් සමාගම විසින් කරන්නේ හදන විදුලිය ලංවිමට විකුණන එක. ඒ කියන්නේ, වැලිබල් පවර් සමාගම විසින් තරඟ කරන්නේ ලංකාවේ විදුලිබල කර්මාන්තයේ දැවැන්තයා වන සහ සම්ප්‍රේෂණයේ හා බෙදා හැරීමේ (තමන්ටම අයිති ලෙකෝ සමාගමද සමඟ) ඒකාධිකාරය පවත්වා ගෙන යන ලංවිමට විදුලිය විකිණීමටයි. මෙහිදී එම සමාගමට රටේ වැඩිපුරම විදුලිය ජනනය කරන ලංවිමම එක්කත් තරඟ කරන්න වෙනවා. 

කොහොම වුනත්, වැලිබල් පවර් සමාගම විසින් සෑම වසරකදීම විශාල ලාබයක් ලබනවා. පහත පළමු වගුවේ පෙන්වා තිබෙන්නේ 2012/13-2021/22 මූල්‍ය වසර දහය තුළ (අප්‍රේල් 1 සිට ඊළඟ වසරේ මාර්තු 31 දක්වා) වැලිබල් පවර් සමාගමට විදුලිය ඒකකයක් (කිලෝවොට් පැයක්) හදන්නට ගිය වියදම, එම ඒකකයක් ලංවිමට විකිණූ මිල, බදු ගෙවීමට පෙර ලාබය හා ලාබයෙන් බදු ලෙස ගෙවූ කොටසයි. පිරිවැයට විදුලිය ජනනය කිරීම සඳහා යන සෘජු පිරිවැය මෙන්ම සමාගම නඩත්තු කිරීම සඳහා යන අනෙකුත් සියලුම වක්‍ර වියදම්ද ඇතුළත්. 

වගුව 1: වැලිබල් පවර් එරත්න ලාබ 


පේනවනේ තත්ත්වය. මෑත වසර කිහිපය දිහා බැලුවොත් විදුලි ඒකකයක් විකුණලා තියෙන්නේ හදනවා වගේ පස් ගුණයක මිලකට. ඒ කියන්නේ ආදායමෙන් පහෙන් හතරක්ම ලාබ. ලාබ වලින් හතරෙන් එකක් ආදායම් බදු විදිහට ගෙවුවට පස්සෙත් හතරෙන් තුනක්ම ලාබ!

සාමාන්‍යයෙන් ගිණුම්කරණ ලාබ පෙන්වන්නේ ඔය විදිහට. ඒ කියන්නේ ලංවිම ලාබ පෙන්වන්නෙත් ඔය විදිහට. හැබැයි ආර්ථික ලාබ කියා කියන්නේ ගිණුම්කරණ ලාබ වලටම නොවන බව මම කලින්ම විස්තර තිබෙනවානේ. ආර්ථික ලාබ ගණනය කළ හැක්කේ යෙදවූ ප්‍රාග්ධනයේ ආවස්ථික පිරිවැයද සැලකීමෙන් පසුවයි. 

පෞද්ගලික ආයෝජකයෙක්ට ගිණුම්කරණ ලාබ විතරක් තිබිලා වැඩක් නැහැ. ආර්ථික ලාබ තියෙන්න ඕනෑ. වැඩිදුර විස්තර මෙහි පෙන්වා නැතත්, වැලිබල් පවර් සමාගමට ඉතා ඉහළ මට්ටමක ආර්ථික ලාබත් තිබෙනවා. පසුගිය වසර දහය සැලකුවොත්ම, ආදායම් බදු ගෙවීමට පෙර කොටස් ආයෝජන මත සාමාන්‍ය වාර්ෂික ප්‍රතිලාභ අනුපාතය (ROE) 27.2%ක්. බදු ගෙවීමෙන් පසුව 23.6%ක්. 

ඔය වසර 10 තුළ සාමාන්‍ය එක්-වසර භාණ්ඩාගාර බිල්පත් පොලිය 8.5%ක් පමණ. දැන් තත්ත්වය ටිකක් වෙනස් වුනත්, සාමාන්‍යයෙන් භාණ්ඩාගාර බිල්පත් ආයෝජනයක් සැලකෙන්නේ අවදානම් රහිත ආයෝජනයක් විදිහටනේ. ඒ කියන්නේ ආයෝජකයෙකුට තමන්ගේ සල්ලි වැලිබල් පවර් වගේ සමාගමක දමලා අවදානමක් ගන්නේ නැතිව භාණ්ඩාගාර බිල්පත් වල දමා 8.5%ක ප්‍රතිලාභයක් ලබා ගැනීමේ විකල්පය තිබෙනවා. ඒ නිසා, ඒ කොටස කොහොමටත් ලාබයක් නෙමෙයි. ඊට අමතරව, මේ වගේ ආයෝජනයක අවදානමක් තිබෙන නිසා ඒ අවදානමට රක්ෂණයක් විදිහට තවත් 5%ක් තියමු. එතකොට 13.5%ක්. මේ මට්ටම දක්වා ගිණුම්කරණ ලාබයක් කියා කියන්නේ ආර්ථික ලාබයක් නෙමෙයි. ආර්ථික ලාබ කියන්නේ එයින් එහාට ලැබෙන කොටස.

වැලිබල් පවර් සමාගමේ ආයෝජකයෙකුට බදු ගෙවීමෙන් පසුව අඩු වශයෙන් 10%ක පමණ ආර්ථික ලාබයක් තිබෙනවා. එය සුපිරි ලාබයක්. 

සුපිරි ලාබ තියෙනවා කියන්නේ ප්‍රමාණවත් තරඟයක් නැහැ කියන එක. මේ සුපිරි ලාබ කතාව ප්‍රධාන කතාවෙන් බාහිර අතුරු කතාවක් නිසා මම විස්තර කරන්න යන්නේ නැහැ. ඒ ගැන විස්තර කරන්න ගියොත් වෙනම ලිපි මාලාවක් ලියන්න වෙනවා. නමුත්, අදාළ මූලධර්ම ගැන අවබෝධයක් තියෙන අයත් කියවන අය අතර ඉන්න නිසා කෙටියෙන් මේ ගැන යමක් කිවුවොත්, මේ සුපිරි ලාබ වල ප්‍රභවය ලංවිම අකාර්යක්ෂමතාවය. කර්මාන්තයේ ඒකාධිකාරයක් තිබෙන ලංවිමට අඩු පිරිවැයකින් විදුලිය ජනනය කළ නොහැකි නිසා ඒ වැඩේ කළ හැකි අයෙකුට සුපිරි ලාබ ලබන්න අවස්ථාවක් පහසුවෙන්ම ලැබෙනවා. රාජ්‍ය බැංකු දෙකේ අකාර්යක්ෂමතාවය නිසා අනෙකුත් සියලුම වාණිජ බැංකු සුපිරි ලාබ ලබන්නේත් ඔය විදිහටමයි. ටෙලිකොම් ක්ෂේත්‍රයේ වුනත් යම් තරමකින් හෝ ඔය වැඩේ වෙනවා කියලා මම හිතනවා. ඒක අතුරු කතාවක්. ඒ නිසා දැනට අපි වැලිබල් පවර් සමාගම පසුගිය වසර දහය තුළ ඉතා ඉහළ ලාබයක් උපයා තිබෙනවා කියන කරුණ එක්ක ඉදිරියට යමු. 

මේ විදිහට කිසියම් සමාගමක් විසින් ඉහළ ලාබ ලබනවා කියන්නේ ආර්ථිකයට අගය එකතු කිරීමක් වෙනවා කියන එකයි. රටේ කාගේ හරි ආදායමක්නේ. ගණන් හිලවු බැලුවොත්, වැලිබල් පවර් සමාගමේ ආයෝජනය කරපු රුපියල් 1000ක් වසර දහයක් යද්දී රුපියල් 11,112ක් වී තිබෙනවා. ඒ කියන්නේ රටේ ආර්ථිකයට රුපියල් 10,112ක අගය එකතු කිරීමක්. එයින් රුපියල් 2,762ක් ආදායම් බදු ලෙස රජයට ගෙවා තිබෙනවා. ඊට අමතරව බදු ගෙවීමෙන් පසු ලාබයෙන් වැඩි කොටසක් කොටස් හිමියන්ට ලාභාංශ ලෙස ගෙවා තිබෙන නිසා, ඔවුන්ගේ පෞද්ගලික ආදායම් බදු ලෙසත් රජයට සැලකිය යුතු බදු ආදායමක් ලැබී තිබිය යුතුයි. සමහර විට එකතුව රුපියල් 5000ක් පමණ වෙන්න පුළුවන්.

මේ සියලුම බදු ආදායම් රටේ සමස්ත ජනතාවට ලැබුණු ප්‍රතිලාභයක්. අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි දේවල් වලට වියදම් කරන්න වගේම දේශපාලනඥයින්ට හා රාජ්‍ය නිලධාරීන්ට නාස්ති කරන්න, හොරකම් කරන්න වගේ ඕනෑම දෙයකට යොදාගත හැකි මුදලක්. අපි හිතමු ඔය විදිහට රජයට ලැබුණු රුපියල් 5000න් රුපියල් 1000ක් කවුරු හරි හොරා කෑවා. කියලා. එහෙම නැත්නම් ගෙවිය යුතු පෞද්ගලික ආදායම් බදු හරියට ගෙවුවේ නැහැ කියලා. මේවා ප්‍රශ්න තමයි. කිසිම විවාදයක් නැහැ. ඒ රුපියල් 1000 බේරා ගත යුතුයි. හැබැයි ඔය රුපියල් 5000ම රජයට ලැබුණේ වැලිබල් සමාගම වගේ පෞද්ගලික සමාගමක් තිබුණු නිසා කියන එක අමතක නොකළ යුතුයි. හොරකම්, දූෂණ වලට විරුද්ධ, එහෙත් පෞද්ගලීකරණයට එරෙහිව රාජ්‍ය ඒකාධිකාරයන් වෙනුවෙන් පෙනී සිටින ආර්ථික ප්‍රතිපත්තියකින් ඔය රුපියල් 1000 බේරෙන්නේ නැහැ. රුපියල් 5000ම නැති වෙන එකයි වෙන්නේ. එතකොට කොහොමත් හොරකම් කරන්න කියලා දෙයක් නැහැ. ඒකත් අතුරු කතාවක්.

ආපහු වැලිබල් ලාබ වලට ආවොත්, අපිට ඔය ලාබ අදාළ කාලයේ ලංවිම ලාබ එක්ක සංසන්දනය කළ හැකියි. සම්ප්‍රේෂණය කිරීමේ හා බෙදා හැරීමේ ඒකාධිකාරය පැත්තකින් තිබ්බත්, ලංවිම කියා කියන්නේ ලංකාවේ විදුලිය ජනනයෙන් 70%කට වඩා කරන, ඒ නිසාම පරිමාණයේ වාසියද ලබන (economy of scale), වැලිබල් සමාගමේ තරඟකරුවෙක්. වැලිබල් සමාගමට ලාබ ලැබිය හැකිනම් ලංවිමට ඒ හා සමාන ලාබ ලබන්න බැරි වෙන්න විශේෂ හේතුවක් තියෙනවද? 

ලංවිම මූල්‍ය වර්ෂය දෙසැම්බර් 31න් අවසන් වන නිසා හරියටම ගලපන්න බැහැ. නමුත් මේ වෙනස සංසන්දනයක් කරන්න බාධාවක් නෙමෙයි. 2012-2021 කාලය තුළ ලංවිම විසින් ලාබ ලබා තියෙන්නේ 2013 හා 2015 වසර වලදී පමණයි. නමුත්, මේ ලාබ ගිණුම්කරණ ලාබ. කොටස් ආයෝජන වල අනුපාතයක් ලෙස 2013දී 11.5%කුත්, 2015දී 5.1%කුත් ලාබ ලබා තිබෙනවා. එහෙත්, මෙම වසර වලදී එක්-වසර භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික පිළිවෙලින් 8.29% හා 7.30% නිසා, ආර්ථික ලාබයක් තිබෙනවානම් තිබිය හැක්කේ 2013දී පමණයි. අවදානම වෙනුවෙන් යාන්තම් 3.2%ක් දමපු ගමන් ඒකත් නැතිව යනවා. මේ ලාභ ගිණුම්කරණ ලාබ මිසක් ආර්ථික ලාබ නෙමෙයි. 

පසුගිය වසර දහය තුළ, ආදායම් බදු ගෙවීමට පෙර ලංවිම කොටස් ආයෝජන මත සාමාන්‍ය වාර්ෂික ප්‍රතිලාභ අනුපාතය සෘණ 10.5%ක්. මෙය වැලිබල් සමාගමේ එම අනුපාතය වූ 27.2% සමඟ සසඳා බලන්න. 37.7%ක වෙනසක්. වැලිබල් පවර් සමාගමේ ආයෝජනය කරපු රුපියල් 1000ක් වසර දහයක් යද්දී රුපියල් 11,112ක් වී තිබෙනවා. අදාළ කාලය තුළ (මාස තුනේ වෙනස නොසලකා හැර) ලංවිම තුළ ආයෝජනය කරපු මහජන ධනය රුපියල් 1000ක් වසර දහයක් යද්දී රුපියල් 329ක් දක්වා අඩු වී වී තිබෙනවා. 2022 පළමු මාස හයේ පාඩුව සැලකුවොත්, මෙම වටිනාකම රුපියල් 260 දක්වාම අඩු වෙනවා. මෙහි අවාසිය මේ පාඩුව පමණක් නොවන බව පැහැදිලි විය යුතුයි. පෞද්ගලික අංශය යටතේ ලැබිය හැකිව තිබුණු ලාබය හා ඒ මත අය කළ හැකිව තිබුණු බදු ආදායම මෙහිදී මුළුමනින්ම නැති වී තිබෙනවා.

දැන් අපි ජනප්‍රිය සමාජවාදී තර්කය වෙත එමු. වැලිබල් ලාබ කියා කියන්නේ වෙනත් අයෙකුට අහිමි වූ දෙයක්ද? එසේ නැත්නම්, ඔවුන් විසින් අලුතින්ම නිර්මාණය කළ ධනයක්ද? 

මෙහිදී වැලිබල් ලාබ නිසා වෙනත් අයෙකුට යමක් අහිමි වූවානම් එසේ අහිමි වූයේ ලංවිමට, රජයට හෝ පාරිභෝගිකයාට විය හැකියි. එවැන්නක් සිදු වී ඇත්දැයි දැන් අපි විමසා බලමු. 

වගුව 2: වැලිබල් පවර් විදුලියෙන් ලංවිම ලාබ 


පසුගිය වසර දහය තුළ ලංවිම විසින් වැලිබල් පවර් වෙතින් මිල දී ගත් විදුලිය පාරිභෝගිකයාට විකුණා තිබෙන්නේ සාමාන්‍ය වශයෙන් ඒකකයකට රුපියල් 2.90ක ලාබයක් තියා ගෙනයි. සම්ප්‍රේෂණය කිරීමේ හා බෙදාහැරීමේ වියදම් අඩු කිරීමෙන් පසුව ශුද්ධ ලාබය කොපමණද කියා මා දන්නේ නැහැ. ඇතැම් විට එය අලාබයක් වෙන්නත් පුළුවන්. අපට එය ගණනය කළ හැකි නිශ්චිත පදනමක් නැහැ. 

කෙසේ වුවත්, වැලිබල් පවර් සමඟ ගනුදෙනු වලින් ලංවිමට ලැබුණු සැබෑ ලාබය ඊට වඩා ගොඩක් වැඩියි. එක් වසරකදී හැර (2015) අනෙක් සෑම වසරකදීම ලංවිම විසින් වැලිබල් පවර් විදුලිය ඒකකයක්  වෙනුවෙන් ගෙවා ඇති මුදල ලංවිම සාමාන්‍ය ඒකක පිරිවැයට වඩා අඩුයි. වෙනසෙහි සාමාන්‍ය අගය රුපියල් 5.14ක්. එහෙත්, විදුලි ඒකකයක් හැදීමේ ලංවිම ආවස්ථික පිරිවැය අනිවාර්යයෙන්ම මීට වඩා වැඩියි. එය (ඩීසල් වලින් විදුලිය හැදීමේ පිරිවැය) සාමාන්‍ය ඒකක පිරිවැයට වඩා අඩු වශයෙන් රුපියල් පහකින්වත් වැඩි විය යුතුයි. ඒ කියන්නේ, වැලිබල් පවර් විදුලිය මිල දී ගැනීමෙන් ලංවිමට ඒකකයකින් රුපියල් 10ක පමණවත් ලාබයක් තිබිය යුතුයි. මේ ගනුදෙනුව නොවන්නට ලංවිම පාඩු මීටත් වඩා ඉහළ ගිහින්.

ලංවිම පාඩු වැඩි වෙනවා කියන්නේ රජයේ වියදම්ද වැඩි වෙනවා කියන එකයි. ඒ වගේම, විදුලි බිල වැඩි වීමේ ඉඩකඩ ඉහළ යනවා කියන එකයි. මේ අනුව, වැලිබල් පවර් සමඟ ලංවිම කර ඇති ගනුදෙනු වලින් පාරිභෝගිකයාට හා රජයට වාසියක් මිස පාඩුවක් සිදු වී නැහැ. 

වැලිබල් පවර් විසින් විදුලිය හදන්නේ "ඔවුන් විසින් ආයෝජනය කර නිපදවාගත්" ජලය භාවිතයෙන් නෙමෙයි. පාවිච්චි කරන වතුර රටේ කාටත් අයිති පොදු භාණ්ඩයක්. එහෙමනම්, පෞද්ගලික සමාගමක් විසින් මේ පොදු භාණ්ඩය යොදාගෙන ලාබ උපයන එක නිවැරදිද?

වතුර නිකම්ම ගලා යන වතුර වුනත් ඒ වතුර ප්‍රයෝජනයට ගන්නා සමාගමක් වතුරේ "අයිතිකරුවන්ට" එහි මිල ගෙවිය යුතුයි. වැලිබල් පවර් සමාගම මේ මිල රජයට බද්දක් ලෙස ගෙවනවා. ප්‍රමාණය කොපමණද කියා මම දන්නේ නැහැ. ඒ බදු මුදලද වැලිබල් පවර් සමාගමේ ඒකක පිරිවැයෙහි කොටසක්. රජයට ලැබෙන ආදායමක්. 

මෙතෙක් ලියූ දේවල් වලින් එක් දෙයක් පැහැදිලි විය යුතුයි. ඒ වැලිබල් පවර් සමාගම විසින් අලුතෙන් ධනය නිර්මාණය කරන බව. ප්‍රාග්ධන ආයෝජනයේ ආවස්ථික පිරිවැය අඩු කිරීමෙන් පසු වැලිබල් පවර් සමාගම විසින් නිපදවන විදුලි ඒකකයකින් රුපියල් පහක් පමණ එහි කොටස් හිමියන්ට ලැබෙනවා ඇති. ඊට අමතරව තවත් රුපියල් පහක් පමණ රජයට බදු ලෙස ලැබෙනවා. ලංවිමට රුපියල් දහයක පමණවත් වාසියක් ලැබෙනවා. මේ සියලු වාසි ලැබෙන්නේ වැලිබල් පවර් සමාගමේ අයිතිකරුවන්ගේ ලාබ සොයා යාමේ අපේක්ෂාව තුළයි. 

Tuesday, September 6, 2022

විදුලි සැරෙන් බේරෙන්නේ කොහොමද? (සිවුවන කොටස)

අමතර කරුණු වලට යන්න කලින් පෙර කොටසේ ලියූ දේවල් වල අපැහැදිලි සේ පෙනෙන තැන් පැහැදිලි කරලා ඉන්නම්. පළමු කොටසේදී මම වචන යොදාගත්තේ ආර්ථික විද්‍යාත්මක අරුතකින් මිසක් විදුලිබල කර්මාන්තය තුළ සිදුවන භෞතික ක්‍රියාවලිය මත පදනම්ව නෙමෙයි. ඒ නිසා, වචන වල අවුලක් පෙනෙන්න පුළුවන්. විදුලිය නිපදවීමේ සිට පාරිභෝගිකයා දක්වා පැමිණීමේ භෞතික ක්‍රියාවලිය කොටස් තුනකට (හතරකට) බෙදිය හැකියි. 

1. විදුලිය නිපදවා තොග වශයෙන් විකිණීම 

2. සම්ප්‍රේෂණය හා පද්ධති පාලනය 

3. බෙදා හැරීම 

(4. සිල්ලර වෙළඳාම) 

විදුලිය නිපදවා "තොග වශයෙන්" විකිණීම - මේ වැඩේ තරඟකාරී පදනමකින් බොහෝ දෙනෙකුට කළ හැකි වැඩක්. එසේ කිරීම වලක්වන ලොකු තාක්ෂණික බාධාවක්  නැහැ. ඒ වගේම, තරඟකාරී වෙළඳපොළක් තිබීම ආර්ථික වශයෙන් ශක්‍ය දෙයක්. ලංකාව ගත්තත් විදුලිය නිපදවන සමාගම් ගණනාවක් දැනටමත් තිබෙනවා. පෙර කොටසේ ලියූ පරිදි, 2021දී ලංකාවේ නිපදවූ විදුලිය ගිගාවොට්පැය 16,716න් වැඩිම කොටසක්, එනම් ගිගාවොට්පැය 12,711ක්ම නිපදවූයේ ලංවිම විසින්. එහෙත්, පෞද්ගලික සමාගම් විසින්ද ගිගාවොට්පැය 4,004ක් නිපදවුවා. මේ හා අදාළ වැඩිමනත් තොරතුරු හා මගේ යෝජනා ඉදිරි කොටසකින් කතා කරමු.

සම්ප්‍රේෂණය- මෙය දෙවන පියවර. සම්ප්‍රේෂණ සමාගමක් විසින් කරන්නේ ජනනය කරන විදුලිය ට්‍රාන්ස්ෆෝමරයක් මගින් අධි-වෝල්ටීය විදුලිය බවට හරවා වෙනත් තැනකට "ප්‍රවාහනය" කර එහිදී තවත් ට්‍රාන්ස්ෆෝමරයක් මගින් වෝල්ටීයතාව අඩු කර බෙදාහරින්නෙකුට ලබා දීම. ඒ වෙනුවෙන් සම්ප්‍රේෂකයා විසින් "ප්‍රවාහන ගාස්තුවක්" අය කරනවා. 

මෙහෙම කිවුවත් මෙය තාක්ෂණික ලෙස සංකීර්ණ වැඩක්. විදුලිය ප්‍රවාහනය කිරීම තක්කාලි ප්‍රවාහනය කිරීම වගේ දෙයක් නෙමෙයි. විදුලිය සම්ප්‍රේෂණය කරන පද්ධතියක් හැම මොහොතකම "සමතුලිතව" තබා ගත යුතුයි. විදුලිය ගබඩා කර තබා ගන්න බැහැ. (තාක්ෂණිකව වැරදිනම් එය ගොඩක් අසීරුයි කියා කියමුකෝ). ඒ නිසා, ඕනෑම මොහොතක විදුලි ඉල්ලුම හා විදුලි සැපයුම සමාන විය යුතුයි. නැත්නම් පද්ධතිය බිඳ වැටෙනවා. අසමතුලිතතාවය යම් සීමාවක් පැන්නොත් පද්ධතිය බිඳ වැටෙනවා. 

සම්ප්‍රේෂකයෙකුට බෙදාහරින්නෙකුගේ ඉල්ලුම පාලනය කරන්න බැහැ. කළ හැක්කේ පුරෝකථනය කිරීම පමණයි. ඒ පුරෝකථනය අනුව සැපයුම වෙනස් කළ යුතුයි. සැපයුම බොහෝ විට පොඩි ගණන් වලින් වෙනස් කරන්න බැහැ. ජනක යන්ත්‍රයක් ක්‍රියාත්මක කිරීම හෝ ක්‍රියා විරහිත කිරීමයි කළ හැක්කේ. එවිට, එම ජනක යන්ත්‍රයේ මුළු ධාරිතාවම එකවර පද්ධතියට එකතු වෙනවා. නැත්නම් එම මුළු ධාරිතාවම පද්ධතියෙන් එක වර ඉවත් වෙනවා. ඒ නිසා, පද්ධතිය කුඩා වූ තරමට එය සුමට ලෙස පවත්වා ගෙන යාම අසීරුයි. බෙදාහරින්නන් හා විදුලිය නිපදවන්නන් විශාල ප්‍රමාණයක් පද්ධතියට සම්බන්ධ වී සිටින විට එය සුමට ලෙස මෙහෙයවන එක පහසුයි.

ලංකාවේ විදුලිය බෙදා හරින මධ්‍යස්ථාන හා ජනක යන්ත්‍ර සියල්ල එකම පද්ධතියක් ලෙස සම්බන්ධ කර තිබෙනවා. එය කාර්යක්ෂමයි. මේ පද්ධතිය මුළුමනින්ම පාලනය කරන්නේ ලංවිම විසින්. ඒ වගේම සම්ප්‍රේෂණය කිරීමේ ඒකාධිකාරයක්ද තිබෙනවා.

ලොකු රටක් වන ඇමරිකාවේ මහද්වීපයට පිටින් තිබෙන ඇලස්කා හා හවායි ප්‍රාන්ත වල හුදෙකලා විදුලිබල පද්ධති දෙකක් තිබෙනවා. මහාද්වීපයේ පිහිටි ඉතිරි ප්‍රාන්ත 48න් ටෙක්සාස් ප්‍රාන්තයේද බොහෝ දුරට හුදෙකලා විදුලි පද්ධතියක් තිබෙනවා. අනෙක් ප්‍රාන්ත 47 සහ වොෂින්ටන් අගනුවර එකිනෙකින් බොහෝ දුරට හුදෙකලා විශාල විදුලිබල පද්ධති දෙකක් ලෙස සම්බන්ධ වී තිබෙනවා. රටේ නැගෙනහිර කොටසේ ප්‍රාන්ත එක් පද්ධතියක්. බටහිර කොටසේ ප්‍රාන්ත තවත් පද්ධතියක්. ඒ වගේම මේ නැගෙනහිර හා බටහිර විදුලි බල පද්ධති වලට කැනඩාවේ ප්‍රදේශද සම්බන්ධයි. උතුරු ඇමරිකාවම සැලකුවොත් කැනඩාවේ කියුබෙක් ප්‍රාන්තය පැත්තට වෙන්න තවත් විදුලිබල පද්ධතියක් තිබෙනවා. 

මහාද්වීපික ඇමරිකාවේ තිබෙන විදුලිබල පද්ධති තුන එකිනෙකින් "බොහෝ දුරට" හුදෙකලා කියා කීවේ මේ පද්ධති අතරද විදුලි බලය හුවමාරු කළ හැකි සම්බන්ධතාවන් තිබෙන නිසයි. එහෙත් එසේ එම පද්ධති සම්බන්ධ කර ඇත්තේ එක් පද්ධතියක් අසමතුලිත වීම අනෙක් පද්ධති වලට බල නොපාන ආකාරයකිනුයි. මේ විදිහට එකම පද්ධතියක් ලෙස සම්බන්ධ වී තිබුණත් බටහිර හා නැගෙනහිර විදුලිබල පද්ධති එකම සම්ප්‍රේෂකයෙකුට මුළුමනින්ම අයිති නැහැ. ඒ පද්ධති වල කොටස් පද්ධති පාලකයින් 66 දෙනෙකු විසින් පාලනය කරනවා. කැනඩා කොටස් වල තවත් පද්ධති පාලකයෝ ඉන්නවා.


ප්‍රදේශ දෙකක් අතර විදුල බලය ප්‍රවාහනය කිරීම සඳහා තරඟකාරී සම්ප්‍රේෂකයින් දෙදෙනෙකු සිටීම තාක්ෂණික ලෙස සිදුවිය නොහැක්කක් නෙමෙයි. එහෙත්, යටිතල පහසුකම් සඳහා අවශ්‍ය ආයෝජනය විශාල නිසා මේ වැඩේ මුලින්ම කරන සම්ප්රේෂකයාට විශේෂ වාසියක් ලැබෙනවා. ඒ තුළින් "ස්වභාවික ඒකාධිකාරයක්" හැදෙනවා. ඒ හේතුව නිසා සම්ප්‍රේෂණ පද්ධතියක අයිතිය කාට වුවත් ඇමරිකන් නීතිය යටතේ ඒවා සැලකෙන්නේ පොදු භාණ්ඩ ලෙසයි. ඒ කියන්නේ, පෞද්ගලික  බස් වගේ. 

සම්ප්‍රේෂණ පද්ධතියක අයිතිකරුවෙකු එය පරිහරණය කිරීම සඳහා සියල්ලන්ටම සම අවස්ථා ලබා දිය යුතුයි. වෙනස් ලෙස සැලකිය නොහැකියි. 

ලංකාවේ සම්ප්‍රේෂණ පද්ධතිය මේ වන විට මුළුමනින්ම අයිති ලංවිමටයි. ඒ වගේම, පද්ධති පාලනය කරන්නේත් ලංවිම පමණයි. ලංකාවේ විදුලිබල පද්ධතියේ ප්‍රමාණය අනුව සම්ප්‍රේෂණය හා පද්ධති පාලනය තනි ආයතනයක් විසින් කිරීම ආයතන කිහිපයක් විසින් කොටස් කඩා කරනවාට වඩා කාර්යක්ෂම විය හැකියි. කඩනවා වුනත් වැඩිම වුනොත් මෙය කොටස් පහකට පමණ බෙදිය හැකියි. ඊට වඩා කුඩා කිරීම තාක්ෂණික ලෙස ශක්‍ය නැහැ. ඒ වගේම, එසේ කොටස් කිරීමේ තාක්ෂණික අවාසියට සාපේක්ෂව වෙනත් ආර්ථික වාසි නැහැ. සම්ප්‍රේෂණය කිරීමේ හා පද්ධති පාලනය කිරීමේ ලංවිම ඒකාධිකාරය කඩන එක අනවශ්‍ය දෙයක්. ඇමරිකාවේ පද්ධති පාලකයින් 66 දෙනෙකු ඉන්නේ ඓතිහාසික හා දේශපාලනික හේතු මත මිස ආර්ථික හේතු නිසා නෙමෙයි. 

දෙවන කොටස ගැන තරමක් ලොකු විස්තරයක් ලිවුවේ මේ කොටස ගැන දිගින් දිගටම කතා කරන්න බලාපොරොත්තුවක් නැති නිසා. මොකද මේ කටයුත්ත දැන් සිදු වෙන විදිහ ලොකුවට වෙනස් විය යුතු නැහැ.

බෙදා හැරීම - බෙදා හැරීම තුන් වන කොටසයි. බෙදා හරින්නා විසින් කරන්නේ සම්ප්‍රේෂකයා විසින් තොග වශයෙන් ලබා දෙන විදුලිය විදුලි උපපොළක සිට නිවෙස් දක්වා බෙදා හැරීමයි. මේ සඳහාද යටිතල පහසුකම් වෙනුවෙන් මුදල් යෙදවිය යුතු නිසා පළමුවැන්නාට ස්වභාවික ඒකාධිකාරයක් හිමි වෙනවා. එහෙත්, මෙහි ස්ථිර පිරිවැය සම්ප්‍රේෂකයෙකුගේ ස්ථිර පිරිවැය තරම්ම විශාල නොවන නිසා දෙවැන්නෙකුට වෙළඳපොළට ඇතුළු වීම නොකළ හැක්කක් නෙමෙයි. ඒ වගේම, බෙදා හරින්නෙකුට පැවතීම සඳහා විශාල ප්‍රදේශයක් අවශ්‍ය වන්නේ නැහැ. මගේ අදහස අනුව ඇමරිකාවේ බෙදාහරින්නන් දහස් ගණනක් සිටිනවා විය යුතුයි. ලංකාවේ බෙදා හැරීම කරන්නේ ලංවිම හා ලෙකෝ සමාගමයි.

සිල්ලරට විකිණීම - විදුලිය ජනනය කිරීම, සම්ප්‍රේෂණය හා බෙදා හැරීම භෞතික ලෙස සිදු වන කටයුතු තුනක්. විකිණීම ආර්ථික කටයුත්තක්. ලංකාවේ සන්දර්භයේදී විදුලිය බෙදා හැරීම හා සිල්ලරට විකිණීම එකට යන කටයුතු දෙකක්. එහෙත්, මෙය එසේම සිදු විය යුතු නැහැ. විදුලිය සිල්ලරට විකිණීම කළ හැක්කේ කාටද?

පහසුම ක්‍රමය ලංකාවේ දැනටද සිදුවන පරිදි බෙදා හරින්නා විසින් විදුලිය සිල්ලරට විකිණීමයි. මෙහිදී බෙදා හරින්නා විසින් නිපදවන්නාගෙන් තොග වශයෙන් විදුලිය මිල දී ගන්නවා. නිපදවන්නාට එක්කෝ බෙදාහරින්නට අවශ්‍ය තැනට විදුලිය සපයන්න පුළුවන්. මෙහිදී නිපදවන්නා විසින් සම්ප්‍රේෂකයාට ප්‍රවාහන ගාස්තු ගෙවනවා. එසේ නැත්නම් විදුලිය හදන තැනින් සපයන්න පුළුවන්. එහිදී බෙදාහරින්නා විසින් ප්‍රවාහන ගාස්තු ගෙවනවා. 

සම්ප්‍රේෂකයා විසින් විදුලිය විකිණීම - මෙය ආචාර ධාර්මිකව නුසුදුසු දෙයක්. බොහෝ රටවල නීතියෙන් ඉඩ නොලැබෙන දෙයක්. සම්ප්‍රේෂකයාට ලැබෙන ස්වභාවික ඒකාධිකාරය නිසා සම්ප්‍රේෂකයා සියලු නිපදවන්නට, බෙදාහරින්නට හා පාරිභෝගිකයින්ට සම සේ සැලකිය යුතුයි. සම්ප්‍රේෂකයා ඔවුන්ගේ තරඟකරුවෙකු වූ විට මේ වැඩේ සිදු වෙන්නේ නැහැ. ඇමරිකාවේ බොහෝ සම්ප්‍රේෂකයින් ලාබ ලැබීම අරමුණු කර නොගත් ආයතන. 

නිෂ්පාදකයා විසින්ම සිල්ලරට විදුලිය විකිණීම - ලංකාවේ සිදු නොවුනත් මෙයත් ලෝකයේ වෙනත් රටවල සිදු වන දෙයක්. මෙහිදී නිෂ්පාදකයා විසින් සම්ප්‍රේෂකයාට මෙන්ම බෙදාහරින්නාටද ගාස්තුවක් ගෙවනවා. 

වෙනමම පාර්ශ්වයක් විසින් විදුලිය විකිණීම - මෙහිදී සිල්ලර වෙළෙන්දාට විදුලිය සැපයීම තුළ කිසිදු භෞතික කාර්යභාරයක් නැහැ. සිල්ලර වෙළෙන්දා විසින් නිෂ්පාදකයාගෙන් තොග මිලට විදුලිය ලබාගෙන, සම්ප්‍රේෂකයාට සහ බෙදා හරින්නාට ගාස්තු ගෙවා පාරිභෝගිකයාට විදුලිය ලැබෙන්නට සලස්වනවා.

මේ සියල්ල පසුබිම් විස්තර. දැන් අපි කලින් නැවැත්වූ තැනට එමු. එහිදී මම යෝජනා කළේ ලංකාවේ විදුලිය බෙදා හැරීම හා සිල්ලරට විකිණීම පළමුව විමධ්‍යගත කර දෙවනුව ඒ සඳහා පෞද්ගලික අංශය දායක කර ගත යුතු බවයි. දැන් අපි ප්‍රශ්න වලට යමු.

ජනනය හා සම්ප්‍රේෂණය ගැන කතා නොකර බෙදාහැරීම ගැන කතා කළේ ඇයි?

ලංකාවේ විදුලිබල වෙළඳපොළෙහි ප්‍රමාණය හා රටේ ප්‍රමාණය අනුව සම්ප්‍රේෂණය හා පද්ධති පාලනය විමධ්‍යගත කිරීම හෝ පෞද්ගලීකරණය කිරීම අවශ්‍යම දෙයක් නෙමෙයි. ඒ වගේ වැඩකින් දැනට තිබෙන කාර්යක්ෂමතාවය වැඩි වීමට ලොකු ඉඩක් නැතුවාක් මෙන්ම කාර්යක්ෂමතාවය අඩු වෙන්න වුනත් පුළුවන්. කවර හෝ හේතු නිසා එසේ කළ යුතු වුවත්, ඒ ගැන සිතා බැලිය යුත්තේ කලින් කළ යුතු අනෙකුත් බොහෝ දේ කිරීමෙන් පසුවයි.

ලංකාවේ විදුලි ජනනය මේ වන විටත් සෑහෙන දුරකට පෞද්ගලික අංශය විසින් කරනවා වගේම සැලකිය යුතු තරඟයක්ද තිබෙනවා. තව යා යුතු දුර බොහෝ බව ඇත්ත. නමුත් විදුලි ජනන වෙළඳපොළ ලංවිම ඒකාධිකාරය දැනටත් දුර්වල එකක්. ලංකාවේ විදුලිය නිපදවීමේ ආන්තික පිරිවැය (marginal cost) වගේම සාමාන්‍ය පිරිවැයද (average cost) තීරණය කරන්නේ පෞද්ගලික විදුලිබල නිෂ්පාදකයින් විසින්. 

විදුලි ජනන වෙළඳපොලේ එවැනි තරඟයක් තිබියදීත් එහි වාසිය පාරිභෝගිකයා වෙත නොඑන්නේ විදුලිය සම්ප්‍රේෂණය කිරීමේ හා බෙදා හැරීමේ ඒකාධිකාරය ලංවිම හා ලෙකෝ සතුව තිබෙන නිසා. තාක්ෂණික හේතු මත සම්ප්‍රේෂණ ඒකාධිකාරය නොබිඳිය යුතු බව මම ඉහත විස්තර කළා. එවිට ඉතිරි වන්නේ බෙදා හැරීම හා සිල්ලර වෙළඳාම.

ඊළඟට ලංකාවේ බිම් යථාර්තයට ආවොත් මෙය කියවන්නේ ලංකාවේ අහඹු නියැදියක් නෙමෙයි. මෙය කියවන අය අතර වෙළඳපොළ වෙනුවෙන් පෙනී සිටින අය වැඩි වෙන්න පුළුවන්. නමුත් රටේ තත්ත්වය වෙනස්. රටේ ගොඩක් මිනිස්සු වෙළඳපොළ වැඩි දියුණු කෙරෙන ප්‍රතිසංස්කරණ වලට බයයි. කිසිම තාර්කික හේතුවක් නැතුව ඕනෑම ප්‍රගතිශීලී වෙනසකට විරුද්ධ වෙන අය ඕනෑ තරම් ඉන්නවා.

ලංකාවේ මෙන් රාජ්‍ය ඒකාධිකාරයක් තිබුණු කර්මාන්තයක් එක රැයින් විශාල පරිවර්තනයකට ලක් කරන එක ප්‍රායෝගිකව කළ හැකි දෙයක් නෙමෙයි. ලෝකයේ කිසිම රටක ප්‍රති-නියාමනය හදිසියේ කරලා නැහැ. ඇමරිකාව, ඕස්ට්‍රේලියාව වගේ රටවල විදුලිබල සැපයුම් කර්මාන්තය අද තියෙන තැන දක්වා පරිණාමය වී තිබෙන්නේ වසර ගණනක් තුළයි. ඒ නිසා, පියවරෙන් පියවර යා යුතුයි. එක් පියවරක් ලොකු කම්පනයක් නොවිය යුතුයි. හැම පියවරකින් පසුවම එයින් වැඩක් වූ බව රටේ සැලකිය යුතු පිරිසකට පෙනෙන්න තිබිය යුතුයි. මම යෝජනාව ගෙනාවේ මේ හැම දෙයක් ගැනම හිතලා. එය පළමු පියවරක් පමණයි. ඊළඟ පියවර පසුව විස්තර කරන්නම්.

මෙහිදී මම නිගමනය කරනවා මේ පළමු අදියරේදී විදුලිය සිල්ලරට විකිණීම බෙදා හරින්නා විසින් කළ යුතුයි කියා. ඒ ඇයි?

මේ වැඩේ විදුලිය හදන සමාගම් වලට දුන්න ගමන් ලංවිමත් එක්ක ක්ෂණික ගැටුමක් එනවා. එක පැත්තකින් ලංවිම විදුලිය විකුණනවා. පෞද්ගලික නිෂ්පාදකයින්ට විදුලිය විකුණන්න වෙන්නෙත් ලංවිම යටිතල පහසුකම්ම උපයෝගී කරලා. සම්ප්‍රේෂණය වගේම බෙදාහැරීමත් තියෙන්නේ ලංවිම අතේ. වෙනත් බොහෝ දේ වෙනස් නොවී ඔය වගේ ප්‍රතිසංස්කරණයක් සාර්ථක ලෙස දියත් කරන එක ගොඩක් අමාරු වැඩක්. 

දැනට කර්මාන්තයේ නැති අලුත්ම පිරිසක් වැඩේට සම්බන්ධ වෙන එක නොවෙන දෙයක්. එවැනි අයෙකුට කොහොමත් ලංවිම එක්ක තරඟ කරන්න බැහැ. 

බෙදා හරින්නා විසින් විදුලිය සිල්ලරට විකුණන එක ලංකාවට අලුත් දෙයක් නෙමෙයි. ඒ වැඩේ කාලයක් තිස්සේ සාර්ථක ලෙස සිදු වුනා. දැනටත් ලෙකෝ එක ඒ වැඩේ කරනවා. මේ වැඩේ වෙළඳපොළට විශාල කම්පනයක් නෙමෙයි. 

මේ වැඩෙන් පාරිභෝගිකයාට වාසියක් නැහැ නේද?

පළමු වටයේදී ක්ෂණික වාසියක් නැහැ. වාසිය ලැබෙන්නේ දෙවන අදියරේදී සහ ඉන් පසුව. එය මම පසුව විස්තර කරන්නම්.

මේ වැඩෙන් තරඟයක් ඇති වෙන්නේ නැහැ නේද? 

තරඟයක් ඇති වෙනවා. වෙළඳපොළක තරඟයක් ඇති විය හැකි විවිධ ආකාර තිබෙනවා. මෙහිදී තරඟය පටන් ගන්නේ බෙදාහරින්නන් තෝරා ගන්නා අවස්ථාවේදී.

මේ වැඩෙන් ලංවිම ඒකාධිකාරය නැති වෙන්නේ නැහැ නේද?

පැහැදිලිවම නැහැ. මෙය ලංවිම ඒකාධිකාරය බිඳීම සඳහා තැබිය හැකි එක් පළමු පියවරක් පමණයි.

ලංකාව වගේ කුඩා රටක විදුලිය බෙදාහරින්නන් 200-300 විතර ඉන්න ආකෘතියක් ලෝකයේ මොනම හරි රටක මේ වෙද්දී සාර්ථක විදිහට ක්‍රියාත්මක වෙන ආකෘතියක්ද?

පළමුව, විදුලිය බෙදාහරින්නන් 200-300 විතර සිටිය යුතු බවක් මම කිවුවේ නැහැ. දෙවනුව, අපි කරන හැම දෙයක්ම ලෝකයේ වෙනත් රටක් කලින් කර තිබිය යුතු නැහැ. ඕනෑම දෙයක් මුලින්ම කරන්නේ මොකක් හරි එක රටක. බොහෝ රටවල් වෙන රටවල් කර නැති දේවල් මුලින්ම කරලා තියෙනවා. හැබැයි වෙනත් බොහෝ රටවල් විසින් කරලා අසාර්ථක වී තිබෙන දෙයක්නම් එවැන්නක් කරන එකේ තේරුමක් නැහැ. මෙය එවැන්නක් නෙමෙයි.

එහෙමනම් විදුලිය බෙදාහරින්නන් කොපමණ සිටිය යුතුද?

මෙය අවසාන වශයෙන් තීරණය වන්නේ වෙළඳපොළ තුළයි. එහෙත්, මුලින්ම කඩන කොටස් ප්‍රමාණයට වඩා බෙදාහරින්නන් ඉන්න විදිහක් නැති නිසා විමධ්‍යගත කිරීමේ සැලසුම තුළ උපරිම බෙදාහරින්නන් ප්‍රමාණය තීරණය වෙනවා. දැනටම ලෙකෝ එකේ ශාඛා බල ප්‍රදේශ 7ක් තිබෙනවා. ලංවිම කොට්ඨාශ වල උප ප්‍රදේශ ගණනාවක් තිබෙනවා.

කොට්ඨාශය 1 - ප්‍රදේශ 20

කොට්ඨාශය 2 - ප්‍රදේශ 24

කොට්ඨාශය 3 - ප්‍රදේශ 14

කොට්ඨාශය 4 - ප්‍රදේශ 11

ලෙකෝ - ප්‍රදේශ 7

එකතුව - ප්‍රදේශ 76

දැනටම මෙවැනි විමධ්‍යගත ආකෘතියක් ඇති නිසා මේ ප්‍රදේශ මත පදනම්ව ප්‍රතිසංස්කරණයක් කරන එක පහසු වැඩක්. මගේ ලිපියේ මම කොටස් 200-300කට කැඩිය යුතු කතාවක් කිවුවේ නැහැ. එහි මම ලිවුවේ මෙවැන්නක්.

"ලෙකෝ එකෙන් කතාව පටන් ගත්තත්, ලංවිම බෙදා හැරීමේ කොට්ඨාශ වලත් උප කොට්ඨාශ තිබෙනවා. ලෙකෝ එකෙන් පටන් ගන්නේ නැතිව, ඒ උප කොට්ඨාශ වලින් මේ වගේ වැඩක් පටන් ගන්න පුළුවන්."

ඔය 200 කතාව ලිවුවේ අහපු ප්‍රශ්නයකට ප්‍රතිචාරයක් ලෙසයි. එහිදී මම කිවුවේ කඩන කලාප ගණනින් බෙදාහරින්නන් එපමණ ඇති වන බවක් අදහස් නොවන බවයි. 200 පැහැදිලි කිරීමේ උදාහරණයේදී යොදාගත් සංඛ්‍යාවක් පමණයි.

"අපි හිතමු කලාප 200කට කැඩුවා කියලා. කුඩා වැඩි නිසා එය අකාර්යක්ෂමනම් වෙන්දේසි කරද්දී කලාප 10 පමණ බැගින් ලබා ගන්නා තරමක් ලොකු සමාගම් 20ක් හැදෙයි. නමුත්, කලාප 20කින් පටන් ගත්තොත් එය අනෙක් පැත්තට වෙන්නේ නැහැ. ඒ නිසා, හැම විටම විමධ්‍යගත කිරීම වඩා කාර්යක්ෂමයි. එය කාර්යක්ෂම නැත්නම් වෙළඳපොළ විසින් ප්‍රශ්නය විසඳනවා. නමුත් අනෙක් පැත්තට වෙන්නේ නැහැ."

කොයි තරම් කුඩා කොටස් වලට කැඩිය යුතුයිද කියන එක හරියටම තීරණය කරන්න වෙන්නේ දැනට තිබෙන බෙදාහැරීමේ ජාලයේ ස්වරූපය අනුව. (ග්‍රිඩ් උපපොලවල්, ට්‍රාන්ස්ෆෝමර්ස් ආදිය තිබෙන තැන් අනුව). වැඩේ කෙරෙනවනම් කෙරෙන වෙලාවක ඒ ගැන හදාරමු. දැනට නිශ්චිත ගණනක් ගැන තීරණයකට එන්න අවශ්‍ය නැහැ.

මේ තරම්ම පොඩි කොටස් වලට කඩන එක තාක්ෂණික ලෙස ශක්‍යද? තිරසාරද?

පැහැදිලිවම, ඔව්. ලෙකෝ එක පටන් ගත්තේ දැන් ලෙකෝ එකට අයත් ප්‍රදේශ හතෙන් එකකින්. මුලින්ම ලෙකෝ එක වුනේ කෝට්ටේ නගර සභා බල ප්‍රදේශය. පාරිභෝගිකයෝ හිටියේ 13,000ක් පමණයි. ඒ කාලෙත් ලෙකෝ ආකෘතිය වැඩ කළා. ලෙකෝ එක තවමත් තියෙන්නෙත්, එහි ව්‍යාපාරික කටයුතු ටිකෙන් ටික ව්‍යාප්ත වුනෙත්, ආකෘතිය තිරසාර වූ නිසා. මෙයත් රාජ්‍ය ආයතනයක් නිසා එකම හේතුව කියා මම කියන්නේ නැහැ. 

ලෙකෝ එක හදන්න කලින් ලංවිම හැර බෙදාහරින්නන් 219 දෙනෙක් හිටියා. ඔවුන්ට හිටියේ පාරිභෝගිකයින් 230,000ක් පමණයි. ඒ කියන්නේ සාමාන්‍ය වශයෙන් එක් අයෙකුට දාහක් පමණ. අඩුපාඩු තිබුණත් මේ ක්‍රමය වැඩ කළා. බෙදාහරින්නාගේ ප්‍රමාණය පොඩි වැඩිවීම ප්‍රශ්නයක් වුනේ නැහැ. ලෙකෝ එක නොහදා මේ කාර්යය පෞද්ගලික අංශයට දුන්නානම් බොහෝ විට අද තියෙන්නේ වෙනම තත්ත්වයක්. පළාත් පාලන ආයතන වලින් පාලනය වෙද්දී අකාර්යක්ෂම වීම අහන්නත් දෙයක් නැහැනේ. 

මේ වෙද්දී ලංවිම පාරිභෝගිකයෝ ලක්ෂ 68ක් ඉන්නවා. ලෙකෝ එකත් එක්ක ගත්තම ලක්ෂ 76ක් ඉන්නවා. මම හිතන්නේ සම්ප්‍රේෂණ පද්ධතියේ තිබෙන ග්‍රිඩ් උප පොළවල් ප්‍රමාණයත් මීට ආසන්නයි. ඒ මට්ටමෙන් ප්‍රදේශ වෙන් කළොත් එක කොටසක පාරිභෝගිකයෝ ලක්ෂයක් පමණ ඉන්නවා. සාමාන්‍ය වශයෙන් වසරකට රුපියල් බිලියන තුන ඉක්මවන පිරිවැටුමක්. ඒ කියන්නේ සෑහෙන්න විශාල සමාගමක්. 

මේ මට්ටමට කැඩුවා කියලා ඔය ගාණට බෙදා හරින්නෝ ප්‍රමාණයක් බිහි වෙන්නේ නැහැ. එකම සමාගම බොහෝ විට ප්‍රදේශ ගණනාවකම බෙදා හැරීමේ අයිතිය ලබා ගන්නවා. රුපියල් බිලියන තුනක පිරිවැටුමක් කියා කියන්නෙත් සැලකිය යුතු විශාල සමාගමක්. මම හිතන්නේ වැඩේ පටන් ගන්න රුපියල් බිලියනකවත් ආයෝජන අවශ්‍ය වෙයි. කළ හැකි දෙයක් වුනත් හරියටම ගණන් බැලුවේනම් නැහැ.

ඒ කියන්නේ මේ මට්ටමට කැඩුවා කියලා අලුතෙන්ම ව්‍යවසායකයෝ බිහි වෙන්නේ නැහැ. දැනට රටේ ඉන්න ලොකු සමාගම් වල හා ලොකු ව්‍යාපාරිකයින්ගේ අතට තමයි වැඩේ යන්නේ. ගොඩක් වෙලාවට වැඩිම වුනොත් සමාගම් හය හතක් අතර රටේ ප්‍රදේශ බෙදී යයි. කතිපයාධිකාරයක් (oligopoly) හැදෙයි. හැබැයි දැනට සාපේක්ෂව සැලකිය යුතු තරඟයක් ඇති වෙනවා. එක සමාගමකට බ්ලොක් එකක් විදිහට ලොකු ප්‍රදේශයක් ලැබෙන්නේ නැහැ. 

මම හිතන්නේ අවම වශයෙන් මේ මට්ටමට කලාප කැඩිය යුතුයි. එහෙම නැතිව බෙදා හැරීම මුළුමනින්ම පෞද්ගලීකරණය කළොත් ඔය වැඩේට බොහෝ විට එන්නේ විදේශීය සමාගම්. කොටස් හතරකට කැඩුවා කියලත් ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ප්‍රශ්නය වැඩේ විදේශ සමාගමක් අතට යන එකම නෙමෙයි. ප්‍රමාණවත් තරඟයක් ඇති නොවෙන එක. රාජ්‍ය ඒකාධිකාරය වෙනුවට පෞද්ගලික අංශයේ ඒකාධිකාරයක් හැදුනොත් කරපු ප්‍රතිසංස්කරණයෙන් වැඩක් නැහැ. ඒ වගේම, ඔය වගේ ලොකු කෑලි විකුණද්දී අත යට ගනු දෙනු සිදු වෙන්න තිබෙන ඉඩකඩ ඉතාම වැඩියි. ඒ වගේ සැගවුණු වියදම් අන්තිමට ගෙවන්න වෙන්නෙත් පාරිභෝගිකයින්ට. කෑලි කුඩා වූ තරමට මේ අවදානම අඩු වෙනවා.

මුලින්ම සැලසුම් කරලා කොටස් හතරකට කඩන එකත්, කොටස් 75කට පමණ කඩලා වෙන්දේසි කළාට පස්සේ ඒ කොටස් එකතු වෙලා කොටස් හතරක් හැදෙන එකත් එකම නෙමෙයි. දෙවැනි ක්‍රමයේදී තරඟකාරීත්වයට වැඩි ඉඩක් ලැබෙනවා වගේම ප්‍රශස්ත ලෙස කලාප බෙදෙනවා. 

සමාගම් පහක් හයක් වගේ ගණනක් අතර බෙදාහැරීමේ කටයුත්ත බෙදී ගියා කියා අපි හිතමු. ඒ එක්කම දැනට ලංවිම වගේ තැන් වල සේවය කරන තාක්ෂණික කුසලතා හෝ සුදුසුකම් තිබෙන අයට එක වරම විශාල ඉල්ලුමක් ඇති වෙනවා. ඒ අයට හෙට්ටු කරලා වැඩි පඩියකට රැකියාවකට යන්න අවස්ථාව ලැබෙනවා. වැඩි වරප්‍රසාද සමඟ එක් සමාගමකින් අයින් වෙලා තවත් සමාගමකට යන්න ඉඩ ලැබෙනවා. සරලවම දැනට නැති රැකියා වෙළඳපොළක් අලුතෙන් හැදෙනවා. 

අවශ්‍යනම් මීටත් වඩා කුඩා කොටස් වලට කලාප බෙදන එකත් කරන්න බැරි දෙයක් නෙමෙයි. මම හිතන්නේ දැනට ලංවිම බෙදාහැරීම් ට්‍රාන්ස්ෆෝර්මර් (උපපොළවල්) තිස්පන්දාහක් පමණ තිබෙනවා. වැරදිනම් නිවැරදි කරන්න. උපපොළවල් විස්සක් පමණ එකතු කලොත් පාරිභෝගිකයින් හාරදාහක් පමණ ඉන්නවා. වසරකට රුපියල් මිලියන දොළහක පමණ, ඒ කියන්නේ මාසයකට මිලියනයක පමණ පිරිවැටුමක්. එයින් ලක්ෂයක් හෝ දෙකක් ලාබ ගන්න පුළුවන්. සිල්ලර වෙළඳාම බෙදා හැරීමෙන් වෙන් කරනවානම් කිසිම අපහසුවක් නැතුව මේ වගේ මට්ටමටකට නෙමෙයි උපපොල මට්ටමට වුනත් යන්න පුළුවන්. වැඩේට තාක්ෂණික දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. 

සිල්ලර වෙළඳාම උපපොළ මට්ටම දක්වාම වුවත් කොටස් කළ හැකි වුවත්, විදුලිය බෙදාහැරීම ඒ තරම්ම පොඩි මට්ටමකට කඩන්න බැහැ. එවිට යටිතල පහසුකම් සඳහා අවශ්‍ය ආයෝජන සිදුවෙන්නේ නැහැ. නඩත්තු කටයුතු හරියට වෙන්නේ නැහැ. නමුත්, අවශ්‍යනම් ඔය සීමා දෙක අතර ප්‍රශස්ත මට්ටමක් තෝරා ගන්න පුළුවන්. අළුත් ව්‍යවසායකයින් බිහි වීමට ඉඩ සැලසෙන තරම් කුඩා විය යුතුයි. අවශ්‍ය ආයෝජන නොකඩවා සිදු වෙන තරමට විශාල විය යුතුයි. පාරිභෝගිකයින් හාර පන්දාහකට වඩා නැති බෙදාහරින්නන් ඇමරිකාවේ ඉන්නවා. ඊට වඩා පොඩි සමාගමුත් ඇති. ලංකාවට වඩාත්ම සුදුසු ප්‍රසස්ථ බෙදාහරින්නන් ප්‍රමාණය ගැන මම අවසන් නිගමනයකට එන්නේ නැහැ.

මේ විදිහට බෙදාහැරීම හා සිල්ලර වෙළඳාම භූගෝලීය කලාප ලෙස වෙන් කළත් අදාළ ප්‍රදේශයේ ස්වභාවික ඒකාධිකාරයක් ඇති වීම වැළැක්විය නොහැකියි. එහෙමනම්, ඔය වැඩේ එක් ආයතනයක් විසින් කරන එකේ තිබෙන ප්‍රශ්නය කුමක්ද?

කිසියම් ප්‍රදේශයක් ඇතුළත ස්වභාවික ඒකාධිකාරයක් ඉතිරි වන එක ඇත්ත. පළමුව, සම්ප්‍රේෂණයේදී මෙන් මෙහිදී ප්‍රමාණය කුඩා වීමේ අවාසියක් නැහැ. ගොඩක්ම කුඩා වුනොත් ඒ ප්‍රශ්නය එනවා. නමුත්, පාරිභෝගිකයින් ලක්ෂයක් පමණ සිටීම ඕනෑවටත් වඩා ප්‍රමාණවත් කියා මම හිතනවා. අවාසි නැත්නම් පොඩි වාසියක් වුනත් ශුද්ධ වාසියක්.

ඕනෑම ආයතනයක ආයතනික සංස්කෘතියක් තිබෙනවා. නවෝත්පාදන බිහිවන්නේ ඒ ආයතනික සංස්කෘතිය ඇතුළේ. ඒ නිසා, එක් ආයතනයක සිදුවන වෙනසක් ඒ විදිහටම වෙනත් ආයතනයක සිදු වෙන්නේ නැහැ. ආයතන ප්‍රමාණය වැඩි වූ තරමට හොඳ අතට (වගේම නරක අතටත්) වෙනස්කම් සිදු වෙන්න තිබෙන ඉඩකඩ වැඩියි. එක් ආයතනයක හොඳ අතට වෙනස්කමක් වූ විට (කාර්යක්ෂමතාවය ඉහළ ගිය විට) ලාබ අභිලාශ තිබෙන අනෙකුත් තරඟකාරී ආයතන විසින්ද ඒ දෙයම කරන්න පෙළඹෙනවා. තනි ආයතනයක් තියෙද්දී මේ වැඩේ මේ විදිහටම වෙන්නේ නැහැ.

ඒ ළඟට කර්මාන්තයේ ශ්‍රමිකයින්ට ඔවුන්ගේ ඵලදායීතාවය හා ගැලපෙන තරඟකාරී මිලක් ලැබෙනවා. ඒ වැඩේ කරගන්න වෘත්තීය සමිති අවශ්‍ය වෙන්නේ නැහැ. 

මිල නියාමනය තව දුරටත් තිබුණේ වුවත් පාරිභෝගිකයින්ට තරඟකාරී සේවා සපයන්නන් සංසන්දනය කිරීමේ හැකියාවක් ලැබෙනවා. මේ සංසන්දනයන් කතාබහට ලක් වෙනවා. ඒ එක්ක සේවාවන්හි ගුණාත්මක භාවය ඉහළ යනවා. වැදගත්ම දෙය ඊළඟට කියන්න යන එක. 

ලංකාවේ විදුලිය ජනනය මේ වන විටත් ඒකාධිකාරයක් නෙමෙයි. ඒකාධිකාරය හැදෙන්නේ විදුලිය ජනනය කළාට පස්සේ ලංවිම විසින් ජනනය වන සියලුම විදුලිය තොග වශයෙන් මිල දී ගැනීම නිසා. එතැනින්ම තරඟය නවතිනවා. සම්ප්‍රේෂණය හා බෙදාහැරීම ලංවිම (හා ලෙකෝ) අතේ තියෙද්දී මේ තත්ත්වය වෙනස් කරන්න බැහැ. සම්ප්‍රේෂණය ලංවිමෙන් ගලවන්නත් බැහැ. නමුත්, බෙදාහැරීම ලංවිමෙන් ගලවලා සම්ප්‍රේෂණය දැඩි ලෙස නියාමනය කළොත් (ලංවිමට විශේෂ ප්‍රමුඛතාවයක් නොලැබෙන පොදු භාණ්ඩයක් කළොත්) නිෂ්පාදකයින්ට හා බෙදාහරින්නන්ට සෘජුව සම්බන්ධ වීමට ඉඩ සැලසෙනවා. ඒ එක්ක ගොඩක් දේවල් වෙනස් වෙන්න පටන් ගන්නවා. ජනනය කිරීමේ ලොකු පංගුව තව දුරටත් ලංවිම අතේම තිබුනත්, ඒකාධිකාරය නැති වෙනවා. විදුලිය ජනනය කරන අනෙකුත් සමාගම් එක්ක තරඟ කරන්න වෙනවා. ඒ පැත්ත පසුව කතා කරමු.

Sunday, September 4, 2022

විදුලි සැරෙන් බේරෙන්නේ කොහොමද? (තෙවන කොටස)


ලංකාවේ පාරිභෝගිකයින්ට විදුලි බලය සැපයීමේ ඒකාධිකාරය තියෙන්නේ ශ්‍රී ලංකා රජයට. ශ්‍රී ලංකා රජය විසින් ආයතන දෙකක් හරහා මේ ඒකාධිකාරය ක්‍රියාත්මක කරනවා. පළමුවැන්න ලංවිම. දෙවැන්න ලෙකෝ. ලෙකෝ එක පුද්ගලික සමාගමක් ලෙස හදා තිබුණත් එහි අයිතිය තියෙන්නේ ලංවිමට, නාගරික සංවර්ධන අධිකාරියට, මහා භාණ්ඩාගාරයට සහ පළාත් පාලන ආයතන කිහිපයකට. ඒ කියන්නේ පෞද්ගලික අංශයට ලංකාවේ විදුලි බලය සැපයීම තුළ කිසිදු ඉඩක් නැහැ.

වෙනත් බොහෝ දේවල් වගේම ලංකාවට විදුලි බලය හඳුන්වා දෙන්නෙත් පෞද්ගලික අංශය. හොයලා බැලුවොත් රටේ ගොඩක් පාරවල් වලට මුලින්ම බස් එකක් දාල තියෙන්නේ පෞද්ගලික අංශය. බස් ජනසතුව එන්නේ පස්සේ. ඔය වගේම මුලින්ම ලංකාවේ විදුලි බල සැපයුම් කරන්නෙත් පෞද්ගලික අංශය. ලංවිම හදන්නේ පස්සේ. මේ කිවුවේ දැන් තියෙන ලංවිම ගැන නෙමෙයි. මුලින්ම හදපු ලංවිම ගැන. 

පළමු ලංවිම එන්න කලින් වගේම දැන් තියෙන දෙවන ලංවිම ඇවිත් සෑහෙන කාලයක් යන තුරුත් ලංකාවේ විදුලිබල කර්මාන්තය සෑහෙන තරමින් විමධ්‍යගත වෙලයි තිබුණේ. දැන් වගේ ඒකාධිකාරයක් තිබුණේ නැහැ. කර්මාන්තය රාජ්‍ය අංශයේ ග්‍රහණයට ටිකෙන් ටික ගියත් විමධ්‍යගත ආකෘතිය ඒ විදිහටම තිබුණා. පළාත් පාලන ආයතන විසින් විදුලිය හදලා තමන්ගේ ප්‍රදේශයේ පාරිභෝගිකයින්ට විකිණුවා. පෞද්ගලික අංශයේ කර්මාන්ත ශාලා ආදිය තමන්ට අවශ්‍ය විදුලිය තමන් විසින්ම හදා ගත්තා.  

රජය විසින් ආයෝජන කරලා රටේ විදුලි බල නිෂ්පාදනය ඉහළ යද්දී ලංවිමට හදන විදුලිය විකුණා ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් මතු වුනා. සැපයුම තරමට ඉල්ලුමක් රටේ තිබුණේ නැහැ. එහි අවසන් ප්‍රතිඵලය වුනේ ලංවිම විසින් තමන් නිපදවන විදුලිය කොහොම හරි අනෙක් අයගේ ඇඟේ ගහන එක. ඒ හේතුවෙන්, අනෙකුත් රාජ්‍ය ආයතන හා පෞද්ගලික ආයතන විසින් විදුලිය නිපදවන එක ටිකෙන් ටික නැවතිලා ඔවුන් ලංවිම පාරිභෝගිකයින් බවට පත් වුනා. 

හැබැයි ඊට පස්සෙත් පළාත් පාලන ආයතන විසින් විදුලිය බෙදා හරින එක දිගටම කරගෙන ගියා. අදාළ ප්‍රදේශ තුළ ලංවිමෙන් තොග මිලට ගන්න විදුලිය සිල්ලරට විකුණන එක කළේ පළාත් පාලන ආයතන විසින්. ඒ අය විදුලිය හදන එකත් සම්පූර්ණයෙන්ම නැවතිලා තිබුණේ නැහැ. 1982 වන විටත් පළාත් පාලන ආයතන විසින් නඩත්තු කළ විදුලි බල පද්ධති 219ක් රටේ තිබුණා. රටේ ගෘහස්ථ පාරිභෝගිකයින්ගෙන් බාගයක් පමණම විදුලිය ලබා ගත්තේ මේ පද්ධතියකින්. 

ජේආර් ජයවර්ධන කියන්නෙත් මධ්‍යගත ආකෘතියකට කැමැත්තක් දක්වපු කෙනෙක්. හැත්තෑ හතේ ව්‍යවස්ථාවෙන් රටේ නමට "සමාජවාදී" කෑල්ලක් එකතු වුනේ ජේආර්ට වැරදිලා නෙමෙයි. ලංකාවේ එවකට තිබුණු විමධ්‍යගත විදුලිබල ආකෘතිය මධ්‍යගත සැලසුමක් යටතට ගන්න ජේආර්ට අවශ්‍ය වුනා. හැබැයි අර ප්‍රාදේශීය විදුලිබල පද්ධති ටික එකතු කර ගන්න ඒ වෙලාවේ ලංවිම කැමති වුනේ නැහැ.

අන්තිමට ජේආර් කළේ ලෙකෝ සමාගම හදලා අර ප්‍රාදේශීය විදුලිබල පද්ධති බොහොමයක් ඒ යටතට ගන්න එක. මේක ටිකක් තගෙන් වගේ කරපු වැඩක්. ඇතැම් ආයතන උසාවිත් ගියා. කොහොම වුනත් වැඩේ කෙරුණා. ඊට පස්සේ ලංකාව ඇතුළේ විදුලිබලය විකිණීම ලංවිමට හා ලෙකෝ එකට සීමා වුනා.

රාජ්‍ය අංශයට අයිති ආයතනයක් වුනත් ලෙකෝ එකේ යම් සාධනීය ලක්ෂණ තිබුණා. ආයතනය හැදුවේ පෞද්ගලික ආයතනයක ආකෘතියකට. ආසියානු සංවර්ධන බැංකුවෙන් සල්ලි වගේම අවශ්‍ය තාක්ෂනික සහායත් ලැබුණා. අදටත් බටහිර වෙරළ තීරයේ නාගරික ප්‍රදේශ හතක පාරිභෝගිකයින්ට විදුලිබලය සපයන්නේ ලෙකෝ සමාගම. ලංවිමෙන් තොග මිලට මිල දී ගන්න විදුලිය ලෙකෝ එක විසින් සිල්ලරට විකුණනවා. 

ඒ තරම්ම තේරුමක් නැති ප්‍රකාශයක් වුවත් ලෙකෝ එක සාමාන්‍යයෙන් ලාබ ලබනවා. ප්‍රකාශයේ ඒ තරම් තේරුමක් නැහැ කියා කිවුවේ ගැනුම් මිල වගේම විකිණුම් මිලත් තීරණය වෙන්නේ ලෙකෝ එකට පිටින් නිසා. හැබැයි ඒ තත්ත්වය යටතේ ලෙකෝ එක බොහෝ විට ලාබ ලබනවා. 

ලෙකෝ ලාබ වලින් නිරපේක්ෂව කිසිම දෙයක් අදහස් වෙන්නේ නැහැ. මේ ලාබ ඇත්තටම ලාබ නොවෙන්නත් පුළුවන්. හැබැයි මේ විදිහට ලෙකෝ එක ලාබ ලබනවා කියන එකෙන් ලංවිම කාර්යක්ෂමතාවය පරීක්ෂා කර බලන්න පදනමක් හැදෙනවා. කාලයකට කලින් ලංවිම කොටස් කිහිපයකට වෙන් කර තිබීමේ පදනමත් මේකයි.

දැනට ලංකාව තුළ විදුලිය බෙදා හැරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම විසින් බෙදා හැරීමේ බලපත්‍ර පහක් නිකුත් කර තිබෙනවා. එකක් ලෙකෝ එකට. ඉතිරි හතර විදුලි බල මණ්ඩලයේම කොට්ඨාශ හතරකට. මේ බෙදා හරින්නන් පස් දෙනා අතර ලංකාව භූගෝලීය ලෙස බෙදා දී තිබෙනවා. ඒ එක් එක් ප්‍රදේශය ඇතුලේ බලපත්‍රය තිබෙන ආයතනයට ඒකාධිකාරයක් තිබෙනවා. 

මෙහෙම කොටස් පහකට වෙන් කළා කියලා පූර්ණ තරඟකාරිත්වයක් ඇති වෙන්නේ නැහැ. අකාර්යක්ෂමතා නැති වෙන්නෙත් නැහැ. හැබැයි මෙය හොඳ අතරමැදි පියවරක්. මොකද මේ වැඩේ හරියට වෙනවානම් විදුලිය බෙදා හැරීමේ කාර්යක්ෂමතාවය සංසන්දනය කළ හැකි යම් හෝ නිර්ණායකයක් ලැබෙනවා. මේ නිර්ණායකයේ අඩුපාඩු රැසක් තිබුණත්, මොකක් හෝ එකක් තියෙනවා. 

මහජන උපයෝගීතා කොමිසමේ යෝජනාව වන්නේ බෙදා හැරීමේ බලපත්‍ර හතරක්ම දීලා තියෙන්නේ ලංවිමටම වුනත් අදාළ ලංවිම කොට්ඨාශ වෙනම ආයතන සේ සලකා ගිණුම් පවත්වා ගත යුතු බවයි. එවිට විදුලිය ජනනය වෙනමම කොටසක් වෙනවා. ලංවිම ජනන කොට්ඨාශයට තියෙන්නේ හදන විදුලිය තොග වශයෙන් බෙදා හරින්නන් පස් දෙනාට විකුණන එක. තොග මිලට ගන්න විදුලිය සිල්ලරට විකුණලා ලාබ ගන්න එක එක් එක් බෙදා හරින්නාගේ වැඩක්. මේ වැඩේ හරියට වෙනවානම් ලංවිම කොට්ඨාශ වල බෙදා හැරීමේ ව්‍යාපාරයේ කාර්යක්ෂමතාවය ලෙකෝ එකත් එක්ක හා ලංවිමම අනෙකුත් කොට්ඨාශ එක්ක සංසන්දනය කළ හැකි බව කොමිසමේ අදහසයි.

එක් එක් කොට්ඨාශයේ විදුලි පාරිභෝගිකයින් ගණන, ඔවුන්ගේ සංයුතිය, සම්ප්‍රේෂණ ජාලයේ ප්‍රමාණය හා ස්වභාවය වගේ ගොඩක් දේවල් අසමාන නිසා මේ වගේ සංසන්දනයක් කරන එක පහසු වැඩක් නෙමෙයි. "විද්‍යාත්මක ක්‍රමයකට" ඒ වෙනස්කම් ගලපලා සංසන්දනයක් කරන එක තමයි කොමිසමේ අපේක්ෂාව. කොමිසමේ සභාපතිවරයා ලංවිමට චෝදනා කරන්නේ එසේ කාර්යක්ෂමතා සංසන්දනය කිරීම සඳහා ඉඩ සලසමින් වෙන වෙනම ගිණුම් නඩත්තු කරන වැඩේ තවමත් හරියට වෙලා නැහැ කියලයි. 

පසුගිය 2021 වසරේදී ලංවිම විසින් විදුලිය ගිගාවොට්පැය 12,711ක් නිපදවලා තිබෙනවා. ඊට අමතරව තවත් ගිගාවොට්පැය 4,004ක් පෞද්ගලික නිෂ්පාදකයින්ගෙන් මිල දී ගෙන තිබෙනවා. එකතුව ගිගාවොට්පැය 16,716ක්. 

ලංවිම - 12,711 GWh 

පෞද්ගලික අංශය - 4,004 GWh 

එකතුව - 16,716 GWh 

මේ විදිහට ලංවිම විසින් නිපදවපු හෝ මිල දී ගත් විදුලිය ලංවිම විසින් එක්කෝ තමන්ගේම කොට්ඨාශයක් හරහා කෙළින්ම පාරිභෝගිකයාට සිල්ලරට විකුණලා තිබෙනවා. එහෙම නැත්නම් තොග මිලට ලෙකෝ එකට විකුණලා තිබෙනවා.

කොට්ඨාශය 1 - 4,129 GWh 

කොට්ඨාශය 2 - 4,766 GWh 

කොට්ඨාශය 3 - 2,675 GWh 

කොට්ඨාශය 4 - 2,010 GWh 

ලෙකෝ - 1,633 GWh 

එකතුව - 15,214 GWh 

හදපු හෝ මිල දී ගත් ප්‍රමාණය හා විකුණපු ප්‍රමාණය අතර වෙනස වන ගිගාවොට්පැය 1,502 නාස්ති වූ ප්‍රමාණයක්. විදුලිය සම්ප්‍රේෂණය කිරීමේදී තාක්ෂණික හේතු මත යම් නාස්තියක් වීම නොවැලැක්විය හැකි දෙයක්. එහෙත්, මේ නාස්තිය අවම කර ගත හැකියි.

විදුලිය විකුණන මිල තීරණය කරන්නේ ලංවිම විසින් නෙමෙයි. මහජන උපයෝගීතා කොමිසම විසින්. ඒ වගේම, පාරිභෝගිකයින් ප්‍රවර්ගය අනුව විකිණුම් මිල වෙනස් වෙනවා. ඒ හේතුව නිසාම, එක් එක් කොට්ඨාශය තුළ විදුලි ඒකකයක් විකිණෙන සාමාන්‍ය මිලද වෙනස් වෙනවා. ලංවිම විසින් ලෙකෝ එකට විදුලිය විකිණිය යුතු මිල තීරණය කරන්නෙත් කොමිසම විසින්. 

කොට්ඨාශය 1 - කිලෝවොට් එකක් රුපියල් 17.89  

කොට්ඨාශය 2 - කිලෝවොට් එකක් රුපියල් 15.85

කොට්ඨාශය 3 - කිලෝවොට් එකක් රුපියල් 16.17

කොට්ඨාශය 4 - කිලෝවොට් එකක් රුපියල් 16.68

ලෙකෝ - කිලෝවොට් එකක් රුපියල් 14.04

මේ සියල්ල 2021 වසර හා අදාළ ලංවිම සංඛ්‍යාලේඛණ. 

ලෙකෝ සංඛ්‍යාලේඛණ අනුව,ලෙකෝ එක විසින් ලංවිමෙන් මිල දී ගත් විදුලි ඒකක ගිගාවොට්පැය 1,633ට අමතරව තවත් ගිගාවොට්පැය 84ක සූර්ය බල විදුලිය පාරිභෝගිකයින්ගෙන් මිල දී ගෙන තිබෙනවා. එවිට එකතුව, ගිගාවොට්පැය 1,717ක්. එයින් ගිගාවොට්පැය 1,616ක් විකුණා තිබෙනවා. ඉතිරි ගිගාවොට්පැය 101 ලෙකෝ එක විසින් විදුලිය මිල දී ගැනීමෙන් පසුව සිදු වූ නාස්තිය. 

ලෙකෝ දත්ත අනුව ඒකකයක් මිල දී ගැනීමට රුපියල් 15.11ක් වැය වී තිබෙනවා. ඇතැම් විට සූර්ය බල විදුලිය වෙනුවෙන් වැඩි මිලක් ගෙවුවා වෙන්න පුළුවන්. නැත්නම් නාස්ති වූ විදුලියේ වියදමත් සැලකිල්ලට ගැනීමෙන් පසුව වෙන්න පුළුවන්. ඒකකයක් විකුණලා තියෙන්නේ රුපියල් 20.06කට. ලංවිම කොට්ඨාශ වල විකිණුම් මිලට වඩා වැඩියි. 

ලෙකෝ එක සාමාන්‍යයෙන් ලාබ ලබනවා කියලා මම කිවුවනේ. තවත් දේවල් (නඩත්තු කටයුතු ආදිය) කළත්, ලෙකෝ එක කරන ප්‍රධානම වැඩේ කියා කිව හැක්කේ තොග මිලට විදුලිය අරගෙන සිල්ලරට විකුණන එක. මේ තොග මිල වගේම සිල්ලර මිලත් තීරණය කරන්නේ නියාමකයා විසින් නිසා ලෙකෝ එක ලාබ ලබනවා කියන එකෙන් ලෙකෝ එක කාර්යක්ෂමයි කියා අදහස් වෙන්නේ නැහැ. අකාර්යක්ෂමයි කියා අදහස් වන්නේත් නැහැ. ලෙකෝ ලාබ එහි කාර්යක්ෂමතාවය හා සෘජු සම්බන්ධයක් නැති නිකම්ම අංකයක් පමණයි. 

හැබැයි ලෙකෝ ආකෘතිය අනුවම යමින් මේ කටයුත්ත කාර්යක්ෂම සේ සිදු වන පරිදි වෙළඳපොළ ප්‍රතිසංස්කරණ කරන එක අමාරු වැඩක් නෙමෙයි. 

අපි මෙහෙම හිතමු. සිල්ලර විදුලි ගාස්තු දැන් වගේම නියාමකයා විසින් තීරණය කරනවා. එසේ කරන අතර විදුලිය ලංවිමෙන් තොග මිලට අරගෙන සිල්ලරට විකිණීමේ ව්‍යාපාරය වෙන්දේසි කරනවා. උදාහරණයක් විදිහට 2021දී ලෙකෝ එක විදුලි ඒකකයක් රුපියල් 15.11 බැගින් මිල දී ගෙන රුපියල් රුපියල් 20.06 බැගින් විකුණා තිබෙනවානේ. දැන් වෙන සමාගමක් ඔය කොන්ත්‍රාත්තුව ගත්තත් විකුණන්න වෙන්නේ ඔය මිලටමයි. අනෙකුත් සේවාවන්ද ඔය විදිහටම සැපයිය යුතුයි. එසේ කරන ගමන් ලංවිමට ලෙකෝ එක ගෙවන මිලට වඩා වඩා වැඩි මිලක් ගෙවන්න වෙනත් සමාගමක් සූදානම්නම් ඔය වැඩේ ලෙකෝ එකෙන් ගලවලා ඒ සමාගමට දෙන එකෙන් ලංවිමට වැඩි ලාබයක් ලබා ගන්න පුළුවන්නේ. 

කතාවට කිවුවත් ප්‍රායෝගිකව ඔය වැඩේ සාර්ථකව සිදු නොවෙන්න පුළුවන්. මොකද ලෙකෝ එකත් එක්ක තරඟ කළ හැකි වෙන සමාගම් රටේ නැති වෙන්න පුළුවන්. හැබැයි ඔය වැඩේ තව දුරටත් විමධ්‍යගත කළොත් තත්ත්වය වෙනස් වෙනවා. දැනට ලෙකෝ එකේ ශාඛා හතක් තිබෙනවා. ලෙකෝ එකේ ව්‍යාපාරික කටයුතු සිදු වෙන්නේ ඔය ශාඛා වලට අයිති කලාප මට්ටමෙන්. කෝට්ටේ, නුගේගොඩ, මොරටුව, කළුතර, කැළණිය, මීගමුව හා ගාල්ල. ලෙකෝ කලාපය ගෙඩිය පිටින්ම වෙන්දේසි නොකර ඔය කලාප වෙන් කරලා වෙන වෙනම වෙන්දේසි කළා කියා හිතමු. අවශ්‍යනම් තවත් කුඩා කොටස් වලට කඩන්න පුළුවන්.

මේ වගේ කුඩා කලාප වලට වෙන් කළොත් ඒ වගේ ප්‍රදේශයක් තුළ දැනට ලෙකෝ එක විසින් කරන ව්‍යාපාරික කටයුත්ත කළ හැකි දේශීය සමාගම් අනිවාර්යයෙන්ම බිහි වෙනවා. 

සිවිල් ඉංජිනේරු උපාධිය හදාරන ගොඩක් අය කලක් යද්දී තමන්ගේම ව්‍යාපාර පටන් ගන්නවා. එහෙම පටන් අරගෙන තරුණ ඉංජිනේරුවන්ටත් රැකියා දෙනවා. ඒ වැඩේ එහෙම වෙන්නේ සිවිල් ඉංජිනේරු කටයුතු කලක සිටම සෑහෙන තරමකින් විමධ්‍යගත වී තිබෙන නිසා. ලංකාවේ සිවිල් ඉංජිනේරු ව්‍යාපෘති ගත්තත් බොහෝ දුරට කර්මාන්තයේ ලාබ අලාබ තීරණය කරන්නේ රජය විසින් තමයි. නමුත්, රජයට ඒකාධිකාරයක් නැහැ. තරඟයක් තියෙනවා. ව්‍යාපෘති, අනු ව්‍යාපෘති, කොන්ත්‍රාත්තු, උප කොන්ත්‍රාත්තු විදිහට කර්මාන්තය විමධ්‍යගත වෙලා තියෙන්නේ. ඒ නිසා, සිවිල් ඉන්ජිනේරුවෙකුට ව්‍යවසායකයෙකු ලෙස මතු වෙන්න ගොඩක් අමාරු නැහැ. දැවැන්ත ප්‍රාග්ධනයක් අවශ්‍ය නැහැ. මම කියන්නේ ඉදිකිරීම් ක්ෂේත්‍රය නන්නත්තාර වී තිබෙන දැන් තත්ත්වය ගැන නෙමෙයි සාමාන්‍ය තත්ත්වය ගැන. 

ඔය විදිහට ලංකාව ගොඩක් විශාල නැති භූගෝලීය කලාප වලට කඩලා විදුලිය තොග මිලට අරගෙන සිල්ලරට විකුණන එක වෙන්දේසි කළොත් ව්‍යවසායකත්වය තිබෙන විදුලි ඉංජිනේරුවන්ට තමන්ගේ ක්ෂේත්‍රයේ තමන්ගේම ව්‍යාපාරයක් පටන් ගන්න අවස්ථාවන් හැදෙනවා. විශාල ප්‍රාග්ධනයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ප්‍රදේශය කුඩා වූ තරමට විදුලි හොරකම් ආදිය අල්ලගන්න එකත් ලේසි වෙනවා. 

ලෙකෝ එකෙන් කතාව පටන් ගත්තත්, ලංවිම බෙදා හැරීමේ කොට්ඨාශ වලත් උප කොට්ඨාශ තිබෙනවා. ලෙකෝ එකෙන් පටන් ගන්නේ නැතිව, ඒ උප කොට්ඨාශ වලින් මේ වගේ වැඩක් පටන් ගන්න පුළුවන්. මේ කතා කළේ විදුලිය බෙදා හැරීම වඩා කාර්යක්ෂම ලෙස කළ හැකි ආකාරය ගැන. විදුලිබල කර්මාන්තයේ අනෙකුත් කටයුතු වඩා කාර්යක්ෂම කළ හැකි ආකාර ගැන පසුව කතා කරමු. 

Saturday, September 3, 2022

පෞද්ගලීකරණය හා නියාමනය (දෙවන කොටස)


වෙළඳපොළ නියාමනය කරන එක නරක දෙයක් නෙමෙයි. වෙළඳපොළ නියාමනය කළ හැකි විවිධ ක්‍රම තිබෙනවා. මේ ඇතැම් ක්‍රම වලින් වෙන්නේ වෙළඳපොළ විකෘති වී කාර්යක්ෂමතාවය අඩු වෙන එක. නමුත්, වෙළඳපොළ වඩා හොඳින් ක්‍රියාත්මක වී කාර්යක්ෂමතාවය වැඩි වන විදිහට නියාමනය ක්‍රියාත්මක කරන්නත් පුළුවන්.

වෙළඳපොළ කාර්යක්ෂමයි කියන එක මම නැවත විස්තර කරන්න යන්නේ නැහැ. කියවන ගොඩක් අය මේ බව දන්නා, පිළිගන්නා අය. හැබැයි මෙය දන්නා අය වෙළඳපොළ කාර්යක්ෂම වෙන්නේ කොහොමද කියන එකත් අමතක කළ යුතු නැහැ. 

වෙළඳපොළ කාර්යක්ෂමතාවය සඳහා ගනුදෙනු නිදහස්ව සිදු විය යුතුයි. එවැනි තත්ත්වයක් යටතේ එක් පාර්ශ්වයකටවත් පාඩුවට ගනුදෙනුවක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. පාඩු බව පේනවානම් ගනුදෙනුව නොකර ඉන්න පුළුවන්. නමුත්, තොරතුරු අසමමිතියක් තියෙද්දී මේ වැඩේ මේ විදිහටම වෙන්නේ නැහැ.

සල්ලි දීලා ගම්මිරිස් ගනිද්දී ලැබෙන්නේ පැපොල් ඇටනම්, මිරිස් කුඩු ගනිද්දී ලැබෙන්නේ ගඩොල් කුඩුනම්, එතැන අවුලක් තියෙනවනේ. විකුණන කෙනාට පාඩුවක් නැහැ. නමුත්, ගන්න කෙනා මිල ගෙවන්නේ ගන්න බඩුව ගැන හරි අවබෝධයක් නැතිව. ඒ කියන්නේ ගනුදෙනුවේ පාර්ශ්ව දෙක අතර තොරතුරු සමමිතියක් නැහැ. 

ගමනක් යන්න බස් එකට නගිද්දීත් මේ වගේ ප්‍රශ්නයක් මතු වෙනවා. බස් එකට නැගලා ටිකට් එක ගත්තට පස්සේ ලැබෙන සේවය මගියා බලාපොරොත්තු වූ සේවය නොවෙන්න පුළුවන්. දුරකථන සේවා වගේ දේවල් ගනිද්දීත් මේ වගේ ප්‍රශ්න ඇති වෙනවා. මේ වගේ තත්ත්වයක් නියාමනය මගින් වලක්වන්න පුළුවන්. ඊට පස්සෙත් මගියා මිල ගෙවනවා. නමුත්, තමන්ට ලැබෙන සේවය ගැන හරි අවබෝධයක් ඇතිව. මේ වගේ අවස්ථාවකදී නියාමකයා විසින් කරන්නේ විකිණිය හැකි භාණ්ඩය කුමක්ද කියලා අර්ථ දක්වන එක. 

ලංකාවේ පෞද්ගලික බස් වලට අවසර ලැබුණු කාලය මට මතකයි. නමුත්, ඒ අවසරය ලැබෙද්දී නියාමනය මොන විදිහට සිදු වුනාද කියලා මම සොයා බලලා නැහැ. නියාමනය පිළිවෙලක් වෙන්න යම් කාලයක් යන්න ඇති. 

මම පාසැල් යද්දී ලංගම බස් එකේ සත විස්සක් ගෙවා ගිය දුර යන්න පෞද්ගලික බස් එකක සත විසිපහක් ගෙවන්න වුනා. සමහර විට ඔය මිල තීරණය වුනේ වෙළඳපොළ තුළම වෙන්න පුළුවන්. ඇතැම් විට පෞද්ගලික බස්රථ වලටත් උපරිම මිලක් තිබුණත් වැඩි මිලක් අය කරන්න ඉඩ සලසා තිබුණා වෙන්න පුළුවන්. මමනම් සතපහ වැඩියෙන් දීලා වුනත් පෞද්ගලික බස් එකක ගියේ ගොඩක් කැමැත්තෙන්. ඉරිච්ච සීට් වෙනුවට පුසුඹ ගහන අලුත් සීට්. තව ඔය වගේ දේවල්. 

පෞද්ගලික බස් ආවාට පස්සේ ලංගම බස් නොතිබුණු ගොඩක් පාරවල් වලට පෞද්ගලික බස් වැටුණා. මෙය මටනම් හොඳටම මතකයි. තවත් අයත් මේ ගැන ලියලා තියෙනවා. පාරකට අලුතෙන් ලංගම බස් එකක් වැටෙන්න සාමාන්‍යයෙන් දේශපාලනඥයෙක් මැදිහත් විය යුතු වුනා. ගොඩක් වෙලාවට බස් එකේ ගමනාන්තය වුනේ බලයේ සිටි දේශපාලන පක්ෂයේ ග්‍රාමීය බලවතෙකුගේ ගෙදර කිට්ටුව තැනක්. සමහර වෙලාවට කාල සටහන් හැදුනෙත් ඔය වගේ කෙනෙකුගේ අවශ්‍යතාවය මත. ලාබය වැදගත් සාධකයක් වුනේ නැහැ. නමුත්, එහි වාසිය හැම දෙනෙකුටම සමසේ බෙදී ගියේ නැහැ. ඒ දවස් වල නොතේරුණත්, දැන් තේරෙන විදිහට, ටික දෙනෙකු විසින් මේ වගේ වාසියක් ලැබුවේ තවත් බොහෝ දෙනෙකුගේ වියදමින්. 

පෞද්ගලික බස් වැටුනේ ලාබ තිබුණු පාරවල් වලට. ලංගම බස් නොතිබුණු ගොඩක් පාරවල් වලට පෞද්ගලික බස් වැටුනෙත් මේ හේතුව නිසා. බස් කිවුවට ගොඩක් වෙලාවට පොඩි වෑන්. 

සාමාන්‍යයෙන් ලාබ තියෙන පාරක් කියා කියන්නේ වැඩියෙන් සෙනඟ ඉන්න පාරක්. ඒ වගේ තැන් වලට බස් වැටෙනවා කියා කියන්නේ වැඩි දෙනෙකුගේ ශුභ සිද්ධිය සැලසෙන පරිදි වෙළඳපොළ විසින් ප්‍රශ්නය විසඳනවා කියන එකයි. හැබැයි මේ ක්‍රමයේදී  සෙනඟ අඩු පාරකට බස් එකක් නොවැටෙන්න පුළුවන්. සෙනඟ ඉන්න පාරකට වුනත් සෙනඟ අඩු වෙලාවකදී බස් එකක් නැති වෙන්න පුළුවන්. 

නියාමනයක් නොතිබුනානම් වෙළඳපොළ විසින්ම ප්‍රශ්නය බොහෝ දුරට විසඳනවා. නමුත්, රජය විසින් පෞද්ගලික බස් ධාවනයට අවසර දෙන්නේ "මගී සුබසිද්ධිය වෙනුවෙන්" මිල පාලනය කරලා. බස් සේවා සපයන්නෙකුට ඊට වඩා මිලක් අය කරන්න බැහැ. අනුමත උපරිම මිලට බස් එකක් දුවවලා වියදම ආවරණය කර ගන්නනම් අවම මගීන් ප්‍රමාණයක් අවශ්‍යයි. ඒ ප්‍රමාණය නැත්නම් කවුරුවත් බස් එකක් දමන්නේ නැහැ.

මිල පාලනයක් නොතිබුණානම් රෑට දැන් තියෙනවට වඩා බස් වැටෙනවා. හැබැයි බස් ගාස්තුව දවල් ගාණට වඩා වැඩි වෙනවා. සෙනඟ අඩු පාරවල් වලටත් බස් වැටෙනවා. ඒකේ වුනත් යම් සීමාවක් තියෙනවා තමයි. බස් ගාස්තුව දෙගුණයක් කළත් වියදම ආවරණය කර ගන්න යම් අවම මගීන් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවනේ. 

ලංකාවට පෞද්ගලික බස් නැවත හඳුන්වා දී කර්මාන්තය නියාමනය කරද්දී පෞද්ගලීකරණය කරන භාණ්ඩය නිවැරදිව හඳුනා ගන්නේ නැහැ. වැඩේ වරද්ද ගන්නා තැන ඕකයි. නියාමකයා බැලිය යුතුව තිබුණේ පාරිභෝගිකයාගේ පැත්තෙන්. ඒ කියන්නේ මගියාගේ පැත්තෙන්. මොකද මේ වෙළඳපොළේ තොරතුරු අසමමිතියේ අවාසිය තියෙන්නේ මගියාටයි. වෙන ගොඩක් රටවල නියාමකයා බලන්නේ මගියාගේ පැත්තෙන්. 

මගියාට තියෙන්නේ යම් කිසි වෙලාවකදී යම් කිසි තැනක සිට තවත් තැනක් දක්වා යාමේ අවශ්‍යතාවය. එතකොට මගියාගේ පැත්තෙන් බැලුවහම ඔහුට හෝ ඇයට මිල දී ගැනීමට අවශ්‍ය දෙය (සේවාව) තමන්ට අවශ්‍ය වෙලාවට අවශ්‍ය තැන සිට තවත් අවශ්‍ය තැනකට තමන්ව ප්‍රවාහනය කරන එක. ඒ සේවාවේ යම් ගුණාත්මක භාවයකුත් තිබිය යුතුයි. මේ වෙනුවෙන් මිලක් ගෙවන්න මගියා සූදානම්. 

නමුත් නියාමකයා මේ මගී අවශ්‍යතාවය නිවැරදිව හඳුනාගෙන ඒ සඳහා වෙළඳපොළක් හදන්නේ නැහැ. ඒ වෙනුවට, කිසියම් පාරකට බස් එකක් දැමීමේ අයිතිය විකුණනවා. වෙළඳ භාණ්ඩය වෙන්නේ ඒක. මේක වෙන්නේ බස් අයිතිකරුවන්ගේ පැත්තෙන් බලලා.

මෙහෙම වෙන එක අහම්බයක් නෙමෙයි. ආරම්භයේදී මගී ප්‍රවාහන බලපත්‍ර වෙන්දේසියේ විකිනුණේ නැහැ. ඒවා තමන්ට අවශ්‍ය අයට ලබා දෙන එකයි වුනේ. බාර් පර්මිට් වගේම තමයි. මන්ත්‍රීවරුන්ගේ හිතවතුන්ට රූට් පර්මිට් ලැබුණා. රූට් පර්මිට් ලබා ගත හැකි වූ සමහර අය ලොකු ගණන් වලට පර්මිට් එක වෙන අයට විකිණුවා. 

මේ විදිහට පර්මිට් එකක් ලබා ගන්න බස් අයිතිකරුවෙකුට ඊට පස්සේ තියෙන්නේ පුළුවන් තරම් සල්ලි හොයන එක. එකම සීමාව බස් ටිකට් එකේ මිල. බස් එකට පොල් පටවනවා වගේ සෙනඟ පටවන්න පුළුවන්. අනෙක් බස් එක්ක තරඟ කරලා සෙනග ගන්න රේස් යන්න පුළුවන්. සෙනඟ අඩු වෙලාවට කොටන්න පුළුවන්. ඔය ඔක්කොම වුණේ නියාමන ආකෘතිය අවුල් නිසා. 

විකුණන භාණ්ඩය වෙනස් විදිහකට අර්ථ දක්වා ගත්තානම් මිල නියාමනය දැන් විදිහටම තියෙද්දී වුනත් සේවයේ ගුණාත්මක භාවය වැඩි කර ගන්න තිබුණා. උදාහරණයක් විදිහට රූට් එක විකුණන්නේ නැතිව මගී අවශ්‍යතාවය අනුව මුලින්ම කාල සටහනක් හදලා ගමන් වාර වෙන්දේසි කළානම් ප්‍රශ්න ගණනාවක් විසඳෙනවා. 

අපි 101 රූට් එක ගනිමු. මේවා සෙනග ඉන්න රූට්. බස් අංකයට නිශ්චිත කාල සටහනක් හදලා වැඩේ පටන් ගන්න පුළුවන්. මොරටුවෙන් පටන් ගන්න බස් එකක් කොටුව දක්වා නිශ්චිත තැන් වලින් පිටත් විය යුතු නිශ්චිත වෙලාවක් කාල සටහනේ තිබෙනවා. හරියටම ඒ වෙලාවට අනිවාර්යයෙන්ම අදාළ තැන සිටිය යුතුයි. මේ තැන් කියා කියමු. 

මොරටුව - රත්මලාන - ගල්කිස්ස - දෙහිවල - වැල්ලවත්ත - බම්බලපිටිය - කොල්ලුපිටිය - කොම්පඤ්ඤවීදිය - ලේක් හවුස් - කොටුව - පිටකොටුව

ඊළඟට දවසේ එක් එක් පැය තුළ මොරටුවෙන් බස් රථයක් පිටත් වන වෙලාවල් තීරණය කරන්න පුළුවන්. උදේ 7-8 අතර බස් දෙකක් අතර පරතරය අඩුයි. රෑ දහයේ සිට පාන්දර පහ දක්වා ගමන් පරතරය වැඩියි. ඔය විදිහට. ඊට පස්සේ රූට් එක වෙන්ද්සි නොකර ඔය ගමන් වාර වෙන්දේසි කරන්න පුළුවන්. 

මේ වගේ වෙන්දේසියක් විවෘත ක්‍රමයට කරන්න පුළුවන්. උදේ 7 බස් වාරයෙන් පටන් ගත්තා කියමු. කලින් ඇප මුදලක් තබා වෙන්දේසියට එන බස් හිමියන්ට ලන්සු ඉදිරිපත් කළ හැකියි. අවශ්‍යනම් නැවත නැවත ලන්සු ඉදිරිපත් කළ හැකියි. වැඩිම ලංසුව ඉදිරිපත් කළ බස් හිමියාට ගමන් වාරය හිමිවෙනවා. ඉන් පසුව, වසරක කාලයක් අදාළ සේවාව සැපයීම සඳහා කොන්ත්‍රාත්තුවක් අත්සන් කළ යුතුයි. 

දැන් වෙන්දේසියෙන් මේ ගමන් වාරයේ අයිතිය ලබා ගන්නා බස් හිමියාට එම ගමන් වාරය සඳහා වසරක කාලයකට ඒකාධිකාරයක් හිමි වෙනවා. ඒකාධිකාරයක් හිමි වුනත් ඒකාධිකාරයක තිබෙන ලාබ නැහැ. වෙන්දේසියේදී එකඟ වූ මිල ගෙවුවට පස්සේ ලැබෙන්නේ සාමාන්‍ය ලාබයක් පමණයි. ඒ ලාබය ලබා ගැනීම සඳහා එකඟ වූ කාල සටහනට බස් රථය ධාවනය කරන්න වෙනවා. කලිනුත් බැහැ. පසුවත් බැහැ. බස් එකට ගන්න වෙන්නේ ඒ වෙලාවට බස් නැවතුමේ ඉන්න සෙනඟ පමණයි. 

කාල සටහන අනුව උදේ හතෙන් පසු ඊළඟ බස් වාරය පටන් ගන්නේ 7:05ට කියමු. දැන් මුල් බස් හිමියා මේ සඳහා ලංසුවක් තියන්නේ නැහැ. බස් එකකට වැඩියෙන් තියෙනවානම් පමණක් ලංසුවක් තියයි. නැත්නම් ගමන් වාරය වෙනත් බස් හිමියෙකුට යයි. ඔය විදිහට 101 රූට් එකේ "ලාබ තියෙන" ගමන් වාර සියල්ලම වෙන්දේසි කරගෙන යන්න පුළුවන්. නමුත්, රෑ දහය වගේ වෙලාවක් එද්දී ලන්සු කිසිවක් නැති වෙන්න පුළුවන්.

ලන්සු කිසිවක් නැති ගමන් වාරයකදී නියමකයාට ලංසු තියන්න පුළුවන්. ගමන් වාරය තුළ සේවා සපයන බස් හිමියාට නියාමකයා විසින් යම් මුදලක් ගෙවනවා. ඔය මුදල වැඩි කරගෙන යද්දී කවුරු හෝ බස් හිමියෙක් වැඩේට කැමති වෙනවා. අඩුම මිලට සේවය සපයන බස් හිමියාට අවස්ථාව ලැබෙනවා.

මේ වගේ ක්‍රමයකට "විකුණන දෙය" අර්ථ දැක්වීමෙන් බස් හිමියන් අතර මහපාරේ තරඟය නැති කළ හැකියි. නමුත්, ඔවුන් අතර තරඟය නිසා ලැබෙන වාසි සියල්ලමත් ලැබිලා. හැබැයි වෙන්දේසිය ඉවර වන විටම ඒ තරඟය ඉවරයි. ඊට පස්සේ සෙනඟ ඉන්න වෙලාවක බස් එක ධාවනය කළත්, සෙනඟ නැති වෙලාවක ධාවනය කළත් ලැබෙන ලාබයේ වෙනසක් නැහැ. 

මේ ක්‍රමයේදී මගීන්ට සැපයිය යුතු සේවාව නියාමකයා විසින් තීරණය කරලා ඒ සේවාව ඒ විදිහටම සැපයීමේ අවස්ථාව තමයි තරඟකාරී ලෙස වෙන්දේසි කරන්නේ. දැන් වෙන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් දෙයක්. දැන් ඇත්තටම වෙන්නේ පාරක බස් සේවා සැපයීම නියාමනය කිරීමේ අයිතිය බස් හිමියන්ට විකුණන එක වගේ වැඩක්. 

මේ ක්‍රමයේත් අවුල් නැතුවා නෙමෙයි. නියාමකයා විසින් හදන කාල සටහන ප්‍රශස්තම කාල සටහන නොවෙන්න පුළුවන්. නමුත්, මගී දත්ත එකතු කරලා කාල සටහන සීරුමාරු කර ගන්න එක වැඩි කලක් නොයා කර ගන්න පුළුවන් දෙයක්. මගී දත්ත එකතු නොකළත් වෙන්දේසියේ මිල ගණන් වලින්ම ඒ ගැන අදහසක් ගන්න පුළුවන්. අවශ්‍යනම් ඒ අනුව, මිල ගණන් සංශෝධනය කරන්නත් පුළුවන්. 

උදාහරණයක් විදිහට රෑට සිදු වෙන පාඩුව අවම කර ගන්න රාත්‍රී ගමන් වාර වල බස් ගාස්තුව වැඩි කරන්න පුළුවන්. කාර්යාල වෙලාවල් වල තදබදය අඩු කර ගැනීම සඳහා ඒ ගමන් වාර වල ගාස්තුව වැඩි කරන්න පුළුවන්. නැත්නම් දැන් වගේම දිගටම එකම මිලක් අය කරන්නත් පුළුවන්.

මේ ක්‍රමයට දවල්ට බස් වල යන මගීන්ගේ වියදමෙන් රෑට බස් වල යන මගීන්ව සුබසාධනය කළ හැකියි. ඒ හැර, වෙනත් කිසිවෙකුට බරක් පටවන්න අවශ්‍ය වන්නේ නැහැ. ඔය කණ්ඩායම් දෙකම එකම පිරිසක් නිසා මෙහි ලොකු වැරැද්දක් නැහැ. දවල්ට බස් එකක යද්දී පොඩ්ඩක් වැඩියෙන් ගෙවන මිල හදිසියේ දවසක රෑ ගමනක් යද්දී බස් එකක් තිබෙන බවට වන රක්ෂණයේ මිලයි.

දැන් මේ කතා කළේ 101 වගේ සෙනඟ ඉන්න රූට් එකක් ගැන. සෙනග නැති, ලාබ නැති, රූට් එකක් පිළිබඳ තත්ත්වය කුමක්ද?

මේ වගේ රූට් එකකට ඔය ක්‍රමයටම සුබසාධනය කර බස් දමන්න පුළුවන් වුනත්, ඒ වියදම ඒ රූට් එකෙන්ම එකතු කර ගන්න බැහැ. වියදම එකතු කර ගන්න වෙන්නේ ලාබ තියෙන වෙන රූට් එකකින්. ගෝනමඩිත්තට බස් එකක් දමන එකේ පාඩුව මොරටුව මගීන්ගෙන් අය කර ගන්න එක සාධාරණද?

මේක දේශපාලනික ප්‍රශ්නයක්. අපිට දෙපැත්තකට තර්ක කරන්න පුළුවන්. තනි මගියෙක්ගේ පැත්තෙන් බැලුවොත්, මොරටුවේ සිට කිලෝමීටර් පහක් යන්න මිනිත්තු පහකට වරක් බස් එකක් එනවානම්, ඒ මිලම ගෙවා ගෝනමඩිත්තේ සිට කිලෝමීටර් පහක් යන්න මිනිත්තු පහකට වරක් බස් එකක් තිබීමේ වරප්‍රසාදය මගියෙකුට නොතිබිය යුතුද? මේ වගේ තර්කයකට යම් පදනමක් තිබෙනවා. මොකද තනි මගියෙක් ගත්තහම අදාළ ප්‍රදේශයේ වැඩිපුර සෙනග ඉන්නවද නැද්ද කියන එක බාහිර කරුණක්. තමන් ඉන්න පැත්තේ සෙනග නැත්තේ මගියාගේ වැරැද්දකින් නෙමෙයි.

මේ තර්කය නිවැරදි වෙන්නේ තමන් පදිංචි ස්ථානය තමන්ගේ තේරීමක් නොවන අහම්බයක්නම්. පාසැල් සිසුන් වැනි අය හා අදාළව මේ තර්කය හරි. නමුත්, තමන් පදිංචි ස්ථානය තමන්ගේ තේරීමක්නම් මේ තර්කය අදාළ නැහැ.

කොළඹ රැකියාවක් කරන කෙනෙක් බස් වැඩි පැත්තක බෝඩිමකට වැඩි මිලකුත්, බස් අඩු පැත්තක බෝඩිමකට අඩු මිලකුත් ගෙවන්නේ ඇයි? බස් වැඩි පැත්තක බෝඩිමකට වැඩි මිලක් ගෙවන්නේ බස් වැඩියෙන් තියෙන එක වෙනුවෙනුත් ගාණක් එකතු කරලා. ඔහොම තියෙද්දී ඔහුගෙන් සල්ලි අය කරලා ඒ වියදමෙන් බස් අඩු පැත්තට බස් එකක් දැම්මහම ඔහුට හෝ ඇයට වෙන්නේ අසාධාරණයක්. ඒ වගේම, බස් වැඩි පැත්තක ඉඩමක් අරන් ගෙයක් හදාගත් කෙනෙකුටත් මෙවැනිම අසාධාරණයක් වෙනවා.

කොහොම වුනත්, ලංකාවේ ඉඩම්, නිවාස වෙළඳපොළ සක්‍රිය නැති නිසා මුල් තර්කයට යම් වලංගු භාවයක් තිබෙනවා. අවසාන වශයෙන් සෙනග අඩු පැත්තේ මගීන් සෙනග වැඩි පැත්තේ අයගේ වියදමෙන් සුබසාධනය විය යුතුයිද, ඒ කොපමණකටද කියන එක දේශපාලනික ලෙස තීරණය විය යුතු දෙයක්. ඒ තීරණය අනුව වෙනස්ම පිරිසකගේ වියදමෙන් මේ මගීන්ව සුබසාධනය විය යුතුයි කියන තීරණය වුනත් එන්න පුළුවන්.

මට අවධානය යොමු කරන්න අවශ්‍ය කරුණ මේ දේශපාලනික තීරණය නෙමෙයි. අවසාන වශයෙන් ගෝනමඩිත්තට මිනිත්තු පහකට වරක් බස් එකක් දමන්න තීරණය වුනා කියා කියමු. දැන් ඔය වැඩේට ලංගම වැනි ආයතනයක් පාඩුවට නඩත්තු කළ යුතුද?

ඔය විදිහේ සුබසාධනයක් කරන්න අවශ්‍ය වුවත්, වෙළඳපොළ මූලධර්ම ඇතුළේම ඉඳගෙන ඔය වැඩේ වඩා කාර්යක්ෂම ලෙස කළ හැකියි. අර ගමන් වාර ටික වෙන්දේසි කරලා අඩුම ලංසු ඉදිරිපත් කරන බස් හිමියන්ට අවස්ථාව ලබා දෙන එකයි කරන්න තියෙන්නේ. ඔය වැඩේට පාඩු ලබමින් ලංගමක් නඩත්තු කරන්න අවශ්‍ය නැහැ. 

අනෙක් අතට ඔය කියපු විදිහේ තරඟයක් ඇතුළේ ලංගමට පවතින්න පුළුවන්නම් ලංගම තිබුණා කියලා ප්‍රශ්නයකුත් නැහැ. හැබැයි සුබසාධනය විය යුත්තේ මගීන්ව මිසක් ලංගම නෙමෙයි. ලංගම අනිවාර්යයෙන්ම ලාබ ලැබිය යුතුයි.

නැවත සෙනඟ අඩු රූට් එකකට ආවොත් ඔය වගේ පැත්තකට බස් එකක් දැමිය යුත්තේ ඇයි? අදාළ ප්‍රදේශයේ මිනිස්සුන්ට තියෙන්නේ යම් කිසි වෙලාවකදී යම් කිසි තැනක සිට තවත් තැනක් දක්වා යාමේ අවශ්‍යතාවය මිසක් ගමට බස් එකක් තිබීමේ අවශ්‍යතාවය නෙමෙයි. ඒ වැඩේ කෙරෙනවානම් බස් එකක්ම අවශ්‍ය නැහැ. 

කවදාවත්ම බස් එකක් පිරෙන්න සෙනඟ නැති පාරකට ලොකු බස් එකක් අවශ්‍ය නැහැ. වැඩේ කෙරෙන පොඩි වාහනයක් තිබුණහම හොඳටම ඇති. රාත්‍රී කාලයේ සෙනඟ නැති හිස් බස් ධාවනය කරවන එකත් තේරුමක් නැති වැඩක්. හොට්ලයින් එකකට සම්බන්ධ කරලා මොනවා හෝ පොඩි වාහන ටිකක් තැනින් තැන අංගන වල නවත්වා තබන එක ඊට වඩා ලාබයි. කාර්යක්ෂමතාවය වැඩි කර ගැනීම කියා කියන්නේ දැනට සලසන සේවාවම ඊට වඩා අඩු වියදමකින් සලසන එක. සුබසාධනය කිරීම එක් දෙයක්. එය අකාර්යක්ෂම ලෙස කිරීම තවත් දෙයක්. 

සුබසාධනය කිරීමම අකාර්යක්ෂම වෙන්න පුළුවන්. නමුත්, එය වඩා කාර්යක්ෂම ලෙස කිරීමෙන් මේ අකාර්යක්ෂමතාවය අඩු කර ගන්න පුළුවන්.

Friday, September 2, 2022

පෞද්ගලීකරණය හා නියාමනය (පළමු කොටස)


"සමහර රාජ්‍ය ආයතන තියෙන්නෙ ම සුබසාධනය (welfare) වෙනුවෙන්. ඒවා පෞද්ගලීකරණය කරන්න තියා හිතන්න වත් හොඳ නෑ.

අපි උදාහරණයක් ලෙස ප්‍රවාහනය ගමු. අන්ත ලිබරල්වාදීන්ට අනු ව රජය විසින් ලංගම බස් ධාවනය කරවීම මෝඩ වැඩක්. දිගින් දිගට ම පාඩු ලබන වැඩක්. ඔවුන් හිතන විදියට ලංගම සේරම නවත්තල දාල ප්‍රවාහනය පෞද්ගලික අංශයට දෙන්න ඕන. අපි හිතමු එහෙම දුන්න කියල. ඊට පස්සෙ මොකද වෙන්නෙ? ඊට පස්සෙ මේ රටේ බස් දුවන්නෙ ලාභ ලබන රූට්වල විතරයි. කොළඹට කිලෝමීටර් 15කට මෙහා තියෙන ගෝනමඩිත්ත කියන ගමට දවසකට බස් හයකට වඩා දුවන්නෙ නෑ. උදේට දෙකයි දවල්ට දෙකයි රෑට දෙකයි. ඔච්චරයි. ඇයි, ඊට වඩා දුවන එක පාඩුයි. ලංගම නැත්නම් දවල්ට ගමනක් ගිහිල්ල හමාරයි.

අන්න ඒ ගැප් එක පුරවන්න තමයි රාජ්‍ය ව්‍යවසාය මැදිහත් වෙන්න ඕන. ඒ නිසා ම තමයි ලංගම වගේ රාජ්‍ය ආයතන පාඩු ලැබුවට හෝ ඉතා සුළු ලාභයක් ලැබුවට කමක් නෑ කියල මම කියන්නෙ.

හැබැයි පත්තරවල මේක යන්නෙ වෙන විදියකට. පත්තර ඇතුළු මාධ්‍ය වාර්තා කරන්නෙ "ලංගම ගිය වසරේ අච්චරක් පාඩු ලැබුවා / මෙච්චරක් ලාභ ලැබුවා" කියලයි. ඔය මාධ්‍ය ම කවදාවත් කියනව ද "යුද්ධ හමුදාව ගිය වසරේ බිලියන මෙච්‍චරක් පාඩු ලැබුවා" කියල? නෑ. ඇයි? අපි හැමෝ ම දන්නව රජය හමුදාවක් නඩත්තු කරන්නෙ ලාභ ලබන අරමුණින් නෙමෙයි කියල.

අධ්‍යාපනය, සෞඛ්‍යය, ප්‍රවාහනයට එනකොට අපට මේක අමතක වෙනව. ඒකයි ප්‍රශ්නෙ."

ඉහතින් තියෙන්නේ අපේ වියුණුවේ දමා තිබුණු ප්‍රතිචාරයක කොටසක්. කොහේ හෝ තැනකින් කොපි කරගෙන අලවපු එකක් වෙන්නත් පුළුවන්. අපි ඉහත උපුටනයේ අගින් සාකච්ඡාව පටන් ගනිමු. 

ලෝකයේ බොහෝ රටවල රජයයන් විසින් හමුදා නඩත්තු කරනවා. ඇත්තටම මේ වැඩේ කරන්නේ ලාබයක් බලාගෙන තමයි. හමුදාව නඩත්තු කරන එකේ ලාබයක් නැත්නම් හමුදා විසුරුවා හරින්න පුළුවන්නේ. රජයක් විසින් සලසන වෙනත් සේවයක් ගත්තත් එය කරන්නේ කුමක් හෝ ලාබයක් බලාගෙන. වෙනසකට තියෙන්නේ පෞද්ගලික සමාගමක මෙන් මේ සේවාවන් වල ලාබ පාඩු වෙන වෙනම ගණන් හදන්නේ නැති එක පමණයි. 

ගණන් හැදුවත් නැතත් රජයක් විසින් සලසන සේවාවන් වල පිරිවැයට වඩා වැඩි ප්‍රතිලාභයක් ඒ පිරිවැය දරන අයට ලැබෙන්න ඕනෑ. රජයක් ලාබ ලැබිය යුතුයි කියන එකෙන් අදහස් කළ හැක්කේ එයයි. රජයකින් ලැබෙන ප්‍රතිලාභ වලට වඩා රජය නඩත්තු කිරීමේ පිරිවැය වැඩිනම් රජයක් තිබීමෙන් ඒ රටේ ජනතාවට අයහපතක් මිස යහපතක් වෙන්නේ නැහැ.

වත්මන් ලෝකය දේශපාලනික ලෙස සංවිධානය වී තිබෙන්නේ ස්වාධීන රටවල් විදිහට. ඒ හැම රටකම රජයක් තිබෙනවා. එයින් අදහස් වෙන්නේ රජයක් කියා කියන්නේ හැම රටකම වගේ බහුතර මිනිසුන්ගේ තේරීම කියන එකයි. එහෙමනම්, රජයක් නඩත්තු කිරීමේ පිරිවැයට වඩා දෙයක් රජයක් පැවතීම නිසා මිනිස්සුන්ට ලැබෙනවා විය යුතුයි. අඩු වශයෙන් බොහෝ දෙනෙක් එසේ විශ්වාස කරනවා විය යුතුයි. 

ලෝකයේ බොහෝ රටවල සාමාන්‍යයෙන් රජය විසින් කරන, පෞද්ගලික අංශය විසින් නොකරන දේවල් ටිකක් තියෙනවා. ආරක්ෂක හමුදා නඩත්තු කිරීම, නීතිය හා සාමය රැකීම, නියාමනය වගේ දේවල් වැටෙන්නේ ඔය ගොඩට. ඒ වගේ දේවල් සම්බන්ධව රජයට ඒකාධිකාරයක් තියෙනවා.

කිසියම් ආයතනයකට ඒකාධිකාරයක් තියෙනවා කියන්නේ මිල තීරණය කිරීමේ හා එමගින් ලාබ තීරණය කිරීමේ හැකියාවක් තියෙනවා කියන එකයි. තරඟකාරී වෙළඳපොළක මෙන් ස්වභාවික ලෙස ලාබ නියාමනය වීමේ යාන්ත්‍රණයක් ඒකාධිකාරයක් තුළ නැහැ. එහෙමනම්, ඒ වගේ ආයතනයක් ලාබ ලබනවද කියලා හොයන එකේ ලොකු තේරුමක් නැහැ. ඒකාධිකාරයකට පහසුවෙන්ම ලාබ ලැබිය හැකියි.

හැබැයි ඒකාධිකාරයක් තිබූ පමණින් ස්වභාවික ලෙසම ලාබ ලැබෙන්නේ නැහැ. පහසුවෙන් ලාබ ලැබීමේ හැකියාවක් තිබෙනවා කියන එකෙන්ම ලාබ ලබන බව අදහස් වෙන්නේ නැහැ. කළමනාකරුවන්ගේ අකාර්යක්ෂමතාවය නිසා (දූෂණ, හොරකම්, නාස්තිය, අදක්ෂතාව ඇතුළුව) ඒකාධිකාරී ව්‍යාපාරයක් පාඩු ලබන්න පුළුවන්. එසේ නොවන බවට වග බලා ගන්න එක කොටස් හිමියන්ගේ වැඩක්. රජය කියන ඒකාධිකාරය සැලකුවොත් මේ කොටස්හිමියෝ කියන්නේ රටේ මහජනතාව. තමන්ට අයිති සමාගම පාලනය කරන කළමනාකරුවෝ අකාර්යක්ෂමද කියලා හොයලා බලන එක ඒ අයගේ වැඩක්. හරියට හොයා බැලුවේ නැත්නම් පාඩුව වෙන්නේ කොටස් හිමියන්ට.

සාමාන්‍යයෙන් ලෝකයේ හැම රටකම වගේ රාජ්‍ය ඒකාධිකාරයක් යටතේ සිදුවෙන දේවල් හැරුණු විට වෙනත් දේවල්ද ඇතැම් රටවල රජයයන් විසින් කරනවා. සමහර රටවල මේ වගේ වෙනත් දේවල් වලටත් රාජ්‍ය ඒකාධිකාරයක් තියෙනවා. සාමාන්‍යයෙන් රජයක් විසින් සලසන සේවාවන් වල ලාබ පාඩු වෙන වෙනම ගණන් හදන්නේ නැහැ. මම මේ කතා කරන්නේ රාජ්‍ය ව්‍යවසාය ගැන නෙමෙයි. කෙළින්ම රජය විසින් සලසන සේවාවන් ගැන. ලංකාවේ සන්දර්භය ගත්තොත් ජාතික ආරක්ෂාව, අධ්‍යාපනය, සෞඛ්‍යය වගේ දේවල් ගැන. ඉන්ධන, විදුලිබලය, ප්‍රවාහනය වගේ දේවල් මේ ගොඩට වැටෙන්නේ නැහැ. 

රජය විසින් සලසන සේවාවන් වන ජාතික ආරක්ෂාව, අධ්‍යාපනය, සෞඛ්‍යය වගේ දේවල් වල ලාබ පාඩු වෙන වෙනම ගණන් හදන්නේ නැත්තේ එවැන්නක් කළ නොහැකි නිසා. ලාබ ගණන් හදන්න ආදායමක් තිබිය යුතුයි. මේ සේවාවන් වෙළඳපොළක විකුණන්නේ නැති නිසා ලැබෙන ආදායමක් පැහැදිලිව පේන්න නැහැ. ආදායම් පේන්න නැතත්, මේ සේවා සපයන්න වියදම් යනවා. ඒ වියදම් පහසුවෙන්ම ගණන් බැලිය හැකියි. 

පේන්න තිබුණත් නැතත් ආදායමක් නැත්නම් වියදම් කරන්න බැහැ. ඒ නිසා, රජයක් විසින් කරන වියදම් එන විදිහකුත් තියෙන්න ඕනෑ. රජයක් විසින් සිදු කරන වියදම් පියවා ගන්නේ අය කරන බදු වලින්. 

යුද්ධ හමුදාව ගිය වසරේ බිලියන කීයක් ලාබ ලැබුවාද වගේ ප්‍රශ්නයකට තේරුමක් නැත්තේ මේ සන්දර්භය ඇතුළේ. හමුදාවට බඳවා ගන්නා ප්‍රමාණය තීරණය කරන්න රජයට පුළුවන්. ගෙවන වැටුප් තීරණය කරන්නත් පුළුවන්. බදු අය කරලා යන වියදම පියවා ගන්නත් පුළුවන්. යුද්ධ හමුදාවේ ලාබ පාඩු ගණන් හදනවානම් හදන්න වෙන්නේ රජය විසින් යුද්ධ හමුදාවේ වියදම් වෙනුවෙන් වෙන් කළ බදු මුදල යුද්ධ හමුදාවේ ආදායමක් ලෙස සලකලා. ඒ අනුව, යුද්ධ හමුදාව ලාබ ලබා තිබුණත්, පාඩු ලබා තිබුණත් එයින් කළමනාකරණයේ කාර්යක්ෂමතාව හෝ අකාර්යක්ෂමතාව පිළිබිඹු වන්නේ නැහැ. ඒ නිසා, ලාබ පාඩු ගණන් බලන එකේ තේරුමක් නැහැ. රජය විසින් සපයන වෙනත් සේවාවක් ගත්තත් එහෙමයි.

රජයක් විසින් සපයන සියලුම සේවාවන් වල පිරිවැය ආවරණය කරගත හැකි තරමේ බදු ආදායමක් රජයට ලැබෙනවානම්, රටේ ජනතාව කැමැත්තෙන්ම ඒ බදු මුදල ගෙවනවානම් එයින් අදහස් වෙන්නේ රජය පාඩු නොලබන බවයි. රජයේ කළමනාකරුවන් විසින් කොටස්හිමියන්ට සාධාරණය ඉටු කරන බවයි.

එහෙත් එපමණකින් රජයට "ලාබ" වැඩි කරගත නොහැකි බවක් කියැවෙන්නේ නැහැ. රජයකට වුවත් පෞද්ගලික ආයතනයකට මෙන්ම දිගින් දිගටම කාර්යක්ෂමතාව ඉහළ නංවා ගත හැකියි. එසේ සිදු වේනම්, එක්කෝ බදු ආදායම් (හා රජයේ වියදම්) නොවෙනස්ව තිබියදී ලබා දෙන සේවාවේ ගුණාත්මක භාවය ඉහළ යා යුතුයි. එසේ නැත්නම්, ගුණාත්මක භාවය පවත්වා ගැනීම සඳහා යන වියදම ක්‍රමක්‍රමයෙන් පහළ යා යුතුයි.

ආරක්ෂාව, අධ්‍යාපනය හා සෞඛ්‍යය වැනි සේවාවන් වල ලාබ පාඩු වෙන වෙනම ගණන් බැලුවේ නැතත් සමස්තයක් ලෙස රජය කියන ආයතනයේ ලාබ පාඩු ගණන් බැලීමක් කෙරෙනවා. රජයක අයවැය කියන්නේ ඒකට. අයවැය හිඟයක් තියෙනවා කියා කියන්නේ රජය පාඩු ලබනවා කියන එකයි. රජය ලාබ ලබනවානම් අයවැය අතිරික්තයක් තිබිය යුතුයි. 

ආයතනයක් දිගින් දිගටම පාඩු ලබනවා කියා කියන්නේ ආයතනය පවත්වා ගෙන යාම සඳහා ප්‍රාග්ධනය එළියෙන් පොම්ප කළ යුතුයි කියන එකයි. එක්කෝ ණය ගන්න වෙනවා. නැත්නම් කොටස්හිමියන්ට සල්ලි දාන්න වෙනවා. 

මේ කතාව රජයකටත් එක සේ වලංගුයි. රජයක් දිගින් දිගට පාඩු ලබනවානම් ණය ගන්න වෙනවා. ඒ විදිහට ගන්න ණය ආපසු ගෙවීමේ වගකීම තියෙන්නේ කොටස්හිමියන්ට. එහෙම නැත්නම් කොටස්හිමියන්ට සල්ලි දමන්න වෙනවා. ණය ගත්තොත් ඒ සල්ලි ආපසු ගෙවන්නත් කවදා හෝ කොටස්හිමියන්ටම සල්ලි දමන්න වෙනවා. බදු වැඩි කරනවා කියා කියන්නේ රජය කියන සමාගමේ කළමනාකරුවන් විසින් කොටස්හිමියන්ට සල්ලි දාන්න කියන එක. 

රජය විසින් සල්ලි දමා රජයේම කොටසක් නොවන (රජයට අයිති හෝ අයිති නැති) ආයතනයක් සුබසාධනය කළ හැකියි. මෙහිදී වෙන්නේ රජයේ ආදායම් (බදු) වලින් කොටසක් රජයෙන් පිටතට ගලා යාමක්. නමුත්, රජය කියන ආයතනය සුබසාධනය යටතේ පවත්වා ගෙන යන්න බැහැ. ඒ සල්ලි කොහෙන් හෝ එකතු විය යුතුයි. 

රජයක් විසින් සලසන නිශ්චිත සේවාවක ලාබ පාඩු ගණන් බලන්න අසීරු වුවත්, රජයට අයිති ව්‍යවසායයක ලාබ පාඩු පහසුවෙන් ගණන් බලන්න පුළුවන්. අවශ්‍යනම් රජයකට එවැනි ආයතනයක් බදු මුදලින් සුබසාධනය කරමින් පාඩුවටම පවත්වාගෙන යන්නත් පුළුවන්. හැබැයි සාමාන්‍යයෙන් ඒ වගේ වැඩක් වුනත් කරන ආකෘතියක් තිබෙනවා. එහිදී වෙන්නේ රජය විසින් අදාළ ආයතනයට ලබා දෙන බදු මුදල් ප්‍රමාණය කලින්ම දෙන එක. එම මුදල අදාළ ආයතනයේ ආදායම් වලට එකතු වෙනවා. ඒ කොටස ඉවත් කළොත් ආයතනය පාඩු ලබනවා පුළුවන්. නමුත්, ලබා දුන් බදු මුදල ආදායමක් සේ සැලකීමෙන් පසුව අදාළ ආයතනය විසින් තරඟකාරී ආයතනයක් තරමටම ලාබ ලබා තිබිය යුතුයි.

කෙටියෙන් කිවුවොත් රජය විසින් රජයට අයිති හෝ අයිති නැති ආයතන සුබසාධනය කරමින් නඩත්තු කළ යුතුයි කියා කාට හෝ යෝජනා කළ හැකියි. හැබැයි ඒ එක්කම එසේ සුබසාධනය කිරීම සඳහා සල්ලි හොයා ගත යුතු ක්‍රමයක්ද යෝජනා කරන්න වෙනවා. 

Tuesday, August 30, 2022

විදුලි සැරෙන් බේරෙන්නේ කොහොමද? (දෙවන කොටස)

ලංවිම අවසන් වරට ලාබ ලැබුවේ 2015 වසරේදී. එම ලාබය වුවද ගිණුම්කරණ ලාබයක් මිස ආර්ථික ලාබයක් නෙමෙයි. 2016 සිට 2021 දක්වාම ලංවිම දිගින් දිගටම පාඩු ලබනවා. මෙයට හේතුව ලෙස ලබා දිය හැකි කෙටි පිළිතුර විකිණුම් මිල වෙනස් නොවුනත් නිෂ්පාදන වියදම ක්‍රමක්‍රමයෙන් ඉහළ ගොස් ඇති බවයි. 

ලංවිම නිෂ්පාදන වියදම කෙරෙහි බලපාන ප්‍රධාන සාධකයක් වන්නේ කොයි තරම් වහිනවාද කියන එකයි. වහින අවුරුදු වල ලංවිම නිෂ්පාදන වියදම් පහළ යනවා. පායන අවුරුදු වල වියදම ඉහළ යනවා. මේ විචලනයන්ට හේතුව ලංවිම කාර්යක්ෂමතාවය අඩු වැඩි වීම නෙමෙයි. 

ලංවිම සේවක වැටුප් පිළිබඳව සමාජ මාධ්‍ය වල සංසරණය වන තොරතුරු ඇත්තද නැද්ද කියා මම දන්නේ නැහැ. ඒ තොරතුරු ඇත්ත වුවත්, එය මම ප්‍රශ්නයක් ලෙස දකින්නේත් නැහැ. ආයතනයක සේවක වැටුප් ඉහළ මට්ටමක තිබීම නරක දෙයක් නෙමෙයි. වැදගත් වන්නේ සේවක වැටුප් සේවකයින්ගේ ඵලදායීතාවය හා ගැලපෙනවාද යන්නයි. 

කෙසේ වුවත්, පසුගිය දශකය තුළ ලංවිම සේවක වැය බර විශාල ලෙස ඉහළ ගොස් ඇති බව පැහැදිලි කරුණක්. 2011දී රුපියල් බිලියන 12ක් පමණ වූ ලංවිම වැටුප් බර 2020 වන විට රුපියල් බිලියන 38 ඉක්මවා තිබෙනවා. නිල නොවන වාර්තා අනුව කියැවෙන්නේ මේ වන විට මෙම වියදම රුපියල් බිලියන 51ක් පමණ වී ඇති බවයි.  

කිසියම් කර්මාන්තයක ඒකාධිකාරයක් ඇති විට එම කර්මාන්තයේ නිරත සේවකයින්ට තරඟකාරී වැටුප් ලබා ගැනීමේ ඉඩකඩ අහිමි වෙනවා. වැටුප් වලින් සතුටු නොවන අයෙකුට ආයතනයෙන් අස් වී ගොස් රැකියාව කළ හැකි ඊට සමාන තැනක් බොහෝ විට නැහැ. මෙයට විකල්පයක් ලෙස එවැනි කර්මාන්තයක සේවකයින් සංවිධානය වී ඔවුන්ගේ පැත්තෙන්ද ඒකාධිකාරයක් හදා ගන්නවා. එවිට සේවකයින් මුහුණ දෙන ප්‍රශ්නයටම ආයතනයටද මුහුණ දෙන්නට සිදු වෙනවා. ඉන්න සේවකයින් ඉවත් කර සමාන කුසලතා ඇති සේවකයින් බඳවා ගත හැකි වෙළඳපොළක් රටේ නැහැ.

මෙවැනි වාතාවරණයක් තුළ ආයතනයක සේවක වැටුප් හා සේවක ඵලදායීතාවය ගලපන යාන්ත්‍රණයක් නැහැ. ඒ නිසාම, සේවක වැටුප් කොපමණ වුවත් ඒ වැටුප් අඩුද වැඩිද කියා සරල ලෙස නිගමනය කිරීමේ හැකියාවක්ද නැහැ. සංසන්දනාත්මක නිර්ණායක සොයා ගන්න වෙන්නේ කවර හෝ උපකල්පන මත පමණයි.  

පහත වගුවේ තිබෙන්නේ ලංවිමට කිලෝවොට් පැයක විදුලිය නිපදවා හෝ මිල දී ගෙන, සිල්ලරට හෝ තොග මිලට විකිණීම සඳහා වැය වී ඇති පිරිවැයයි. "අනෙකුත් වියදම්" වලට ප්‍රධාන වශයෙන්ම අයත් වන්නේ පෞද්ගලික නිෂ්පාදකයන්ගෙන් විදුලිය මිල දී ගැනීමේ පිරිවැයයි. 

ආයතනයක සේවකයෙකු වැඩි වැටුප් ඉල්ලා හෙට්ටු කිරීම වරදක් නොවන්නාක් මෙන්ම කළ යුතු දෙයක්. සේවකයින් එක්ව කණ්ඩායමක් ලෙස මෙය කිරීමේද වරදක් නැහැ. එහිදී එසේ ඉල්ලන වැටුප් ලබා දෙනවාද නැද්ද යන්න අදාළ ආයතනයේ පාලකයින් විසින් තීරණය කළ යුතු දෙයක්. 

ලංවිම සේවකයින් ඇතැම් විට ඔවුන්ට ලැබෙන වැටුප් හා වරප්‍රසාද පිළිබඳව තෘප්තිමත් ඇති. සමහර විට එය එසේ නොවන්නත් පුළුවන්. විශේෂ කුසලතා අවශ්‍ය වෘත්තීය රැකියා කරන අය සම්බන්ධව කෙසේ වෙතත් පහළ හා මධ්‍යම මට්ටමේ රැකියා කරන අයගේ වැටුප් "වෙළඳපොළ වැටුප්" සමඟ සසඳන එක ගොඩක් අමාරු නැහැ. සුවිශේෂී කුසලතා හෝ පුහුණුවක් අවශ්‍ය රැකියා සම්බන්ධවනම් මේ වැඩේ අමාරුයි.

ලංවිම පාරිභෝගිකයින් ඔවුන් ගෙවන මිලට ලැබෙන දේ ගැන තෘප්තිමත්ද? මේ ප්‍රශ්නයටත් පහසු පිළිතුරක් නැහැ. එය එසේ වීමට හෝ නොවීමට පුළුවන්. 

කෙසේ වුවත්, එක් දෙයක්නම් ඉතාම පැහැදිලියි. ලංවිම "කොටස් හිමියන්ට" කෙසේවත් තෘප්තිමත් විය නොහැකියි. ඔවුන්ගේ ආයෝජන වෙනුවෙන් අවශ්‍ය පමණ ප්‍රතිලාභ නොලැබෙන බව ඉතාම පැහැදිලියි. බොහෝ විට මොනම ප්‍රතිලාභයක්වත් ඔවුන්ට ලැබෙන්නේ නැහැ. එසේනම් ලංවිම පාරිභෝගිකයින්ට, ලංවිම සේවකයින්ට හෝ එම කණ්ඩායම් දෙකටම යම් "අනිසි" ප්‍රතිලාභ ලැබී තිබිය යුතුයි. එය එසේ නොවී, ලංවිම සේවකයින්ගෙන් යම් පිරිසකට, එසේත් නැත්නම් ලංවිම සමඟ ගනුදෙනු කරන වෙනත් ආයතන වලට එම "අනිසි" ප්‍රතිලාභ ලැබී තිබෙනවා වෙන්නත් පුළුවන්. 

මේ විදිහට පාඩු විඳින කොටස්හිමියන් කවුද? නෛතික ලෙස බැලුවොත් මහා භාණ්ඩාගාරයයි. එහෙත්, මහා භාණ්ඩාගාරයේ සල්ලි කියන්නේ මහජන මුදල්. බොහෝ විට "උද්ධමන බදු" ලෙස අය කරන මුදල්. 

වත්මන් රාජ්‍ය ඒකාධිකාරය එලෙස තිබියදී මේ ප්‍රශ්නය විසඳිය නොහැකියි. ඒ සඳහා, මේ ඒකාධිකාරය නැති විය යුතුයි. ඒ සඳහා හොඳ මූලාරම්භක පිළියමක් වන්නේ දැනට තිරස් ලෙස ඒකාබද්ධ වී (vertically integrated) ඇති මෙම කර්මාන්තයේ සංරචක විභේදනය කිරීමයි. සරල ලෙස කිවුවොත්, විදුලිය නිෂ්පාදනය කිරීම (ජනනය කිරීම), ප්‍රවාහනය (සම්ප්‍රේෂණය) හා විකිණීම වෙන වෙනම ආයතන වලට පැවරීමයි. මෙය අලුත් අදහසක් නෙමෙයි. එසේ කිරීමෙන් මේ කර්මාන්තය තුළ යම් තරඟකාරිත්වයක් ඇති කළ හැකියි. 

Monday, August 29, 2022

විදුලි සැරෙන් බේරෙන්නේ කොහොමද? (පළමු කොටස)

ලංවිම පාඩු ගැන ලියපු සටහන තුළ ලංවිම පෞද්ගලීකරණය කළ යුතු බව ලියා නොතිබුණත්, එය එම අරමුණ පෙරදැරිව ලියූ ලිපියක් සේ දකිමින් එක් පාඨකයෙකු විසින් ප්‍රතිචාරයක් දමා තිබුණා. ඔහුගේ අනුමානය මුළුමනින්ම අහේතුක නැහැ. 

අදාළ ප්‍රතිචාරයෙහි ලංවිම පාඩු ලැබීමට හේතු විස්තර කර තිබුණා. ඒ කරුණු පහත පරිදි සාරාංශගත කළ හැකියි.

1. ගල් අඟුරු බලාගාර හදන්නට යන හැම විටකම පරිසරවේදීන් විරුද්ධ වීම 

2. වියදම ආවරණය කර ගත හැකි පරිදි මිල ඉහළ දැමීමට ඉඩ නොදීම 

3. ආනයන සඳහා අවශ්‍ය විදේශ විණිමය ලංවිම වෙත ලබා නොදෙන අතර විදුලිය විකුණා විදේශ විණිමය උපයා ගැනීමටද ඉඩ නොදීම.

4. ජාතික බලශක්ති ජාලය (national grid) වැඩි දියුණු කිරීම සඳහා ප්‍රාග්ධනය නොමැතිකම. 

ඔහු කියන විදිහට,

- මේ කිසිවක් ලංවිම ප්‍රශ්න නෙමෙයි.

- ලංවිම පෞද්ගලීකරණය කිරීමෙන් මේ ප්‍රශ්න කිසිවක් විසඳෙන්නේ නැහැ. තවත් උග්‍ර වෙනවා පමණයි. 

මේ ප්‍රතිචාරයෙහි ඇති කරුණු වලින් පටන් ගෙන අපට වඩා පුළුල් සංවාදයකට මුල පුරන්න පුළුවන්. 

ලංකාවේ විදුලිබල කර්මාන්තය රජයේ මධ්‍යගත සැලසුමක් යටතේ ඒකාධිකාරයක් ලෙස ක්‍රියාත්මක වන්නක්. එම ඒකාධිකාරය පවත්වා ගෙන යාම සඳහා ශ්‍රී ලංකා රජය විසින් උපයෝගී කර ගන්නා ප්‍රධානම මෙවලම ලංවිමයි. ලංවිම හරහා ශ්‍රී ලංකා රජය විසින් ලංකාව තුළ විදුලිය ජනනය කිරීමේ, ප්‍රවාහනය (සම්ප්‍රේෂණය) කිරීමේ හා විකිණීමේ ඒකාධිකාරයක් පවත්වා ගෙන යනවා. ඒ අතරම, මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඇතුළු වෙනත් ආයතන හරහා ශ්‍රී ලංකා රජය විසින් විදුලිබල කර්මාන්තය නියාමනය කරනවා. 

මෙයින් අදහස් වන්නේ ලංකාවේ විදුලිබල කර්මාන්තය තුළ පෞද්ගලික අංශයේ දායකත්වයක් ඇත්තේම නැති බව නෙමෙයි. පෞද්ගලික සමාගම් ගණනාවක් විසින්ම ලංකාව තුළ විදුලි බලය නිපදවනවා. එහෙත්, එම සමාගම් සියල්ලම රජයේ ඒකාධිකාරයට යටත්. ඔවුන් කරන්නේ නිපදවන විදුලිය තොග වශයෙන් ලංවිමට විකිණීමයි. විදුලිය සිල්ලර වශයෙන් බෙදා හරින්නේ ලංවිමයි. එය කරන තවත් එක් සමාගමක් (ලෙකෝ) තිබුණත් එම සමාගමද රජයට පූර්ණ වශයෙන් අයිති සමාගමක්. 

පෞද්ගලික අංශය ලංකාවේ විදුලිබල කර්මාන්තයට සම්බන්ධ වී සිටියත් කර්මාන්තයේ වත්මන් ආකෘතිය අනුව එය ශ්‍රී ලංකා රජයේ ඒකාධිකාරයක් ලෙස හඳුන්වන්නට මා පැකිලෙන්නේ නැහැ. එවැනි තත්ත්වයක් තුළ කර්මාන්තය තුළ සිටින පෞද්ගලික සමාගම් වල කටයුතු සිදු වන්නේද අඩු වැඩි වශයෙන් රජයේ මධ්‍යගත සැලසුම් ආකෘතියේ අංග ලෙස මිස වෙළඳපොළ තරඟය මත පදනම්ව නෙමෙයි. 

කවුරු හෝ කෙනෙක් ලංවිම ඒකාධිකාරය ගැන කතා කරන අතරම ලංවිම පාඩු ගැනද කතා කරන්නේනම් එහි තිබෙන්නේ විසංවාදයක්. ඒකාධිකාරයක් ඇත්නම් පාඩු සිදු විය නොහැකියි. ඒකාධිකාර වලින් පාරිභෝගිකයින්ට පාඩු සිදු වන අතර ඒකාධිකාරී සමාගමේ කොටස් හිමිකරුවන් වාසි ලබනවා. ලංවිම ලාබ ලැබිය යුතුද? ඒ ඇයි? ලංවිම පාඩු ලබද්දී වාසි ලබන අය සිටිනවාද? ඒ කවුද?

ලංවිම පාඩු ලැබීමට හේතු ලෙස ඉහත විස්තර කර ඇති කරුණු වලින් පළමුවැන්න මම බරපතල ලෙස සලකන්නේ නැහැ. ලංවිම ජනන ධාරිතාවෙන් තුනෙන් එකක් පමණත්, නිෂ්පාදනයෙන් අඩක් පමණත් ගල් අඟුරු. ඒ වගේම, ලංවිම ඉදිරි සැලසුම් අතරද ගල් අඟුරු බලාගාර තිබෙනවා. පරිසරවේදීන්ගේ විරෝධතා ශ්‍රී ලංකා රජයට ඒ තරම්ම විශාල බලපෑමක් කර ඇතැයි මා සිතන්නේ නැහැ. එකම ප්‍රභවයක් යොදා ගෙන විදුලිය ජනනය කිරීම, මා දන්නා තරමින්, උපාය මාර්ගිකව නිවැරදි දෙයක් ලෙස ලංවිම විසින් සලකන්නේ නැහැ. එය නිවැරදි ප්‍රවේශයක්.

දෙවන කරුණේ බලපෑම ඉතාම පැහැදිලියි. ලංවිමට අවශ්‍ය පරිදි මිල ඉහළ දැමිය හැකි වූවානම් ලංවිම කිසිසේත්ම පාඩු ලබන එකක් නැහැ. ඒකාධිකාරී බලයක් ඇති සමාගමකට, විශාල ලෙස අකාර්යක්ෂම වුවත්, ලාබ ලැබීම අසීරු දෙයක් නෙමෙයි. නමුත්, මෙහිදී ඒකාධිකාරය තිබෙන්නේ ශ්‍රී ලංකා රජයට මිස ලංවිමට නොවන නිසා ලංවිම පාඩු ලබමින් සිටිනවා. ඒ සන්දර්භය මත ලංවිම පාඩු ගැන කතා කිරීම තේරුමක් නැති දෙයක්. 

තෙවන හා සිවුවන හේතු සෘජුවම ලංවිම ප්‍රශ්න. හතරවැන්න සෘජු ලෙසම ලංවිම දිගින් දිගටම පාඩු ලැබීමේ ප්‍රතිඵලයක්. ආයෝජන කිරීමට අවශ්‍යනම් ආයතනයක් විසින් ලාබ ලබා එයින් කොටසක් ආයෝජන වෙනුවෙන් වෙන් කළ යුතුයි. එසේ නැත්නම් කොටස් නිකුත් කිරීම හෝ ණය ගැනීම මගින් ප්‍රාග්ධනය ලබා ගත යුතුයි. ලංවිම විසින් දැනටමත් විශාල ලෙස ණය අරගෙන තිබෙනවා. ඒ ණය වල පොලිය ලංවිම වියදම් වල සැලකිය යුතු කොටසක්. 

තෙවැන්නද මෙයටම සම්බන්ධ දෙයක්. මේ වෙලාවේ ලංවිමට විදේශ විණිමය මිල දී ගැනීමට බාධා ඇති බව ඇත්ත. එහෙත්, යම් හෙයකින් ඒ සඳහා ඉඩ දුන්නත් විදේශ විණිමය මිල දී ගැනීම සඳහා අවශ්‍ය රුපියල් ලංවිම සතුව නැහැ. මෙයද ලංවිම දිගින් දිගටම පාඩු ලැබීමේ ප්‍රතිඵලයක්. වෙනත් විදිහකින් කිවුවොත්, ඉහත තෙවන හා සිවුවන කරුණු ලංවිම පාඩු ලැබීමට හේතු නොව ලංවිම දිගින් දිගටම පාඩු ලැබීමේ ප්‍රතිඵලයි.

කෙසේ වුවත්, අවශ්‍ය පරිදි මිල වැඩි කරන්නට ඉඩ ලැබුනේනම් ලංවිමට ලාබ ලබන්නට හැකිව තිබුණේය යන්න අපට බැහැර කරන්න බැහැ. එසේ වුනානම්, ඉහත තෙවන හා සිදුවන ප්‍රශ්න මතු වන්නේද නැහැ. 

එහෙමනම්, ලංවිමට අවශ්‍ය පරිදි මිල වැඩි කර පාඩු පියවා ගැනීමට ඉඩ හැරිය යුතුද? 

මෙවැන්නක් කළ යුතුයැයි මා හිතන්නේ නැහැ. එවැන්නකට ඉඩ දුන්නොත් අවසාන වශයෙන් සිදුවන්නේ ලංවිම අකාර්යක්ෂමතා වෙනුවෙන් පාරිභෝගිකයින්ට වන්දි ගෙවන්නට සිදු වන එකයි. 

මේ ආකාරයෙන් "ලංවිම අකාර්යක්ෂමතා" ගැන කතා කළ හැකි පදනම කුමක්ද? මෙය ඉතා සංකීර්ණ ප්‍රශ්නයක්. ලංවිම පාඩු එහි අකාර්යක්ෂමතාවයන්හි ප්‍රතිඵලයක් ලෙස සරල නිගමනයකට එන්න බැහැ. ප්‍රතිපාක්ෂිකයෙකුට මෙවැනි තර්කයක් බිඳ හෙළන එක ඉතාම පහසුයි. 

අපි හිතමු ලංකාවේ විදුලිබල කර්මාන්තයේ වත්මන් ආකෘතිය එලෙසම තිබියදී ලංවිම කිසියම් පෞද්ගලික ආයතනයකට විකුණා දැමුවා කියලා. බොහෝ විට එම ආයතනය විසින් ඉතා ඉක්මණින්ම සේවක කප්පාදුවක් කරයි. අඩු සේවක පිරිසක් යොදවාගෙන ඔය වැඩ ටිකම කර ගනියි. යම් ආයෝජන සිදු කර විදුලිබල පද්ධතියේ කාර්යක්ෂමතාවය තවත් වැඩි කර ගනියි. ඔය දේවල් කරලා දැන් තිබෙන පාඩුව ලාබයකට හරවයි.

ඔය ඔක්කොම කළා කියමුකෝ. ඊට පස්සේ රජය විසින් සැලකිය යුතු ලෙස මිල අඩු කළොත් මොකද වෙන්නේ? දැන් අර පෞද්ගලික සමාගමටත් පාඩු වාර්තා කරන්න වෙනවා. ඒ කියන්නේ දැන් තිබෙන ආකෘතිය ඇතුළේ ලංවිම පාඩු සහ එහි අකාර්යක්ෂමතාවයන් අතර තිබෙන්නේ දුර්වල සහසම්බන්ධයක්. 

ඒකාධිකාරී ආකෘතියක් පවතින තුරු කිසියම් කර්මාන්තයක අකාර්යක්ෂමතා ඇස්තමේන්තු කර පෙන්වා හැකි නිශ්චිත නිර්ණායකයක් (benchmark එකක්) නැහැ. අකාර්යක්ෂමතා තිබෙන බව පැහැදිලි ප්‍රායෝගික සත්‍යයක් වුවත්, හැම විටම කෙනෙකුට එය එසේ නොවන බවට තර්ක ඉදිරිපත් කරන්න පුළුවන්. 

ලංවිම පෞද්ගලීකරණය කළ යුතුයි කියා මම හිතනවා. එහෙත්, මම එයින් අදහස් කරන්නේ දැන් තිබෙන ලංවිම ගෙඩිය පිටින්ම කිසියම් විදේශ සමාගමකට විකුණා දැමීම වැනි දෙයක් ගැන නෙමෙයි. ලංකාවේ විදුලිබල කර්මාන්තයේ කාර්යක්ෂමතාවය ක්‍රමිකව ඉහළ නැංවෙන පරිදි අනුක්‍රමයෙන් සිදු කෙරෙන ප්‍රතිසංස්කරණ මාලාවක් ගැන. ඒ හරහා කර්මාන්තය තුළ දැනට පවතින රාජ්‍ය ඒකාධිකාරය නැති කිරීමක් ගැන. කාර්යක්ෂමතාව පිළිබඳ නිර්ණායක පැහැදිලිව ඇහැට පෙනෙන තරඟකාරීත්වයක් කර්මාන්තය ඇතුළට ගෙන ඒමක් ගැන. කර්මාන්තයේ නිරත සේවකයින්ට, ආයෝජකයින්ට වගේම පාරිභෝගිකයින්ටත් "අවශ්‍ය පමණ" වාසි සැලසෙන ක්‍රමයක් ගැන. 

මේ දේවල් ගැන අපි ලිපි මාලාවේ ඉදිරි කොටස් වලින් කියවමු. එහෙත්, ලංවිම අකාර්යක්ෂමතා කොපමණ තිබුණේ වුවත්, ඒ අකාර්යක්ෂමතා ඉවත් කළ යුතු වුවත්, මේ වෙලාවේ ක්ෂණිකව කළ යුතු දෙය මිල වැඩි කිරීම බව නොපැකිළ කිව හැකියි. මා එසේ කියන්නේ පැහැදිලි හේතු ඇතිවයි. 

පහත රූප සටහනේ පෙන්වා ඇති පරිදි, 2014 සිට විදුලි ඒකකයක මිල වැඩි වී නැතුවාක් මෙන්ම අද මිල 2014ට පෙර පැවති මිලට වඩා අඩු මිලක්. විදුලි ඒකකයක මිල අඩු වශයෙන් 2011 පමණ කාලයේ පැවති මට්ටමේ තිබුණානම් ලංවිම මෙතරම් පාඩු ලබන්නේ නැහැ. උදාහරණයක් ලෙස 2012දී මුල් විදුලි ඒකක වෙනුවෙන් ගෙවන්නට වූ මිල ඉන් පසු (මේ මාසයේ මිල වැඩිවීමට පෙර) පැවති මිලට වඩා 50%කින් වැඩි මිලක්. 

මේ කාලය තුළ සේවක වියදම් ඕනෑවට වඩා ඉහළ ගොස් තිබෙනවා වෙන්න පුළුවන්. එහෙත් කාලයත් එක්ක සේවක වියදම් යම් පමණකින් වැඩි වීම සාමාන්‍ය දෙයක්. ඉන්ධන මිල ඇතුළු අනෙකුත් අමුද්‍රව්‍ය මිල ඉහළ යාමද සාමාන්‍ය දෙයක්. ඊට අනුරූප ලෙස මිල වැඩි නොවන්නේනම් ආයතනයකට පාඩු ලබන්නට වන බවද පැහැදිලි කරුණක්.

විදුලි ගාස්තු ඉහළ දමා ඇති නිසා දැන් ලංවිමට පාඩු පියවා ගන්නට අවස්ථාවක් ලැබී තිබෙනවා. එය හොඳ දෙයක්. එහෙත්, ඒ හරහා ලංවිමට වඩා අකාර්යක්ෂම වීමට උදවු කිරීමක්ද සිදු වෙනවා. කර්මාන්තයේ අකාර්යක්ෂමතා ඉවත් කිරීම පියවරෙන් පියවර කළ යුතු දෙයක්. 


Saturday, May 14, 2022

ඩොලර් එකට වෙන්න යන දේ


පෙර ලිපියෙහි අනුමාන කළ මහ බැංකු තීරණය හා අදාළ නිල නිවේදනය හොයා ගත හැකි වුනා. මහ බැංකුව විසින් වාණිජ බැංකු වල ප්‍රධාන විධායක නිලධාරීන්ට නිකුත් කර ඇති 2022 මැයි 12 දාතම දරන හා අංක 33/04/12/0012/004 දරන මෙහෙයුම් උපදෙස් අනුව 2022 මැයි 13 දින සිට මහ බැංකුව විසින් වාණිජ බැංකු වල තැන් ගනුදෙනු (spot transactions) එක්තරා ආකාරයක නියාමනයකට ලක් කරනවා. මෙහිදී සිදුවන්නේ අදාළ ගනුදෙනු සිදුවිය යුතු උපරිම හා අවම සීමාවක් නියම කිරීමයි.

මීට පෙර මහ බැංකු අධිපති ධුරය දැරූ කබ්රාල්ගේ සයමාසික සැලැස්ම තුළද මෙවැනි දෙයක් සිදු වුනා. එය පවතින අර්බුදයටද හේතු වුනා.  දැන් සිදු වෙන්න යන්නේත් එවැන්නක්ද?

මෙය එවැන්නක් මෙන් පෙනුනත් එවැන්නක්ම නෙමෙයි. වෙනස මේකයි. කලින් වාරයේද මෙවැනිම උපරිම හා අවම සීමා නියම කිරීමක් (විධිමත් හෝ අවිධිමත් ආකාරයෙන්) සිදු වුනත් අදාළ සීමා නියම කෙරුණේ හිතුමතේට, පුද්ගල විනිශ්චයන් මතයි. එහෙත්, මෙවර මෙම සීමා නියම කෙරෙන්නේ එසේ කාගෙවත් හිතු මනාපෙට නෙමෙයි. වෙළඳපොළ මත පදනම්වයි.

මේ අනුව, එක් එක් දිනයේ සිදුවන අන්තර්බැංකු තැන් ගනුදෙනු වල බරිත සාමාන්‍ය අගය මහ බැංකුව විසින් ගණනය කරනවා. මේ ගණනය කිරීම අලුත් දෙයක් නෙමෙයි. මහ බැංකුව විණිමය අනුපාතය ලෙස දිනපතා ප්‍රසිද්ධ කරන්නේ මෙම අගයයි. මේ අගය වෙළඳපොළ මත තීරණය වන්නක්. දැන් සිදුවන අලුත් වෙනස වන්නේ ඕනෑම දිනක අන්තර්බැංකු තැන් ගනුදෙනු සිදු කළ හැකි මිල මෙසේ මහ බැංකුව විසින් නිවේදනය කරන පෙර දින පැවති සාමාන්‍ය මිලෙන් වෙනස් විය හැක්කේ නිශ්චිත සීමාවක් තුළ පමණක් වීමයි.

මෙහිදී සිදු වන්නේ වෙළඳපොළ නියාමනය කිරීමක්. එහෙත්, වෙළඳපොළ සංඥාව මග හැර යාමක් සිදු වන්නේ නැහැ. අවිනිශ්චිතතාවය අඩු කිරීමක් පමණක් සිදු වෙනවා. ඕනෑම දවසක ඩොලරයක මිල ඉල්ලුම හා සැපයුම අනුව ඉහළ හෝ පහළ යා හැකියි. එහෙත්, එසේ ඉහළ හෝ පහළ යා හැකි උපරිම සීමාවක් තිබෙනවා. ඒ නිසා, ආනයනකරුවන්ට, අපනයනකරුවන්ට හා අනෙකුත් අයට ඩොලරයේ මිල වෙනස් වීම ගැන යම් අදහසක් ඇති කර ගත හැකියි.

ඉහත සඳහන් මෙහෙයුම් උපදෙස් වල බලපෑම තීරණය වන්නේ මහ බැංකුව විසින් නිවේදනය කරන විචල්‍යතා සීමාව මතයි. පෙර දින බරිත සාමාන්‍ය තැන් මිල තීරණය වන්නේ මහ බැංකුවෙන් ස්වායත්ත ලෙස තනිකරම වෙළඳපොළ ඉල්ලුම හා සැපයුම මත වුවත්, විචල්‍යතා සීමාව තීරණය වන්නේ මහ බැංකුවේ අභිමතය මතයි. එය තීරණය කරන ආකාරය ඉහත කී අංක 33/04/12/0012/004 දරන මෙහෙයුම් උපදෙස් මාලාවේ නැහැ.

ඉන් පසුව මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන 2022 මැයි 13 දාතම දරන හා අංක 33/04/12/0012/005 දරන මෙහෙයුම් උපදෙස් අපට වෙනත් මූලාශ්‍රයකින් ලැබී තිබෙනවා. මහ බැංකු වෙබ් අඩවියෙන් මෙහි මුල් පිටපතක් සොයා ගත නොහැකි වුවත්, පෙනෙන ආකාරයට මෙය සැබෑ ලේඛණයක් කියා සිතිය හැකියි. එය පදනම් වන්නේ පෙර දින නිකුත් කළ මෙහෙයුම් උපදෙස් මතයි.

දෙවනු කී 33/04/12/0012/005 දරන මෙහෙයුම් උපදෙස් අනුව අන්තර්බැංකු තැන් අනුපාතය පෙර දින පැවති අනුපාතය වූ රුපියල් 360 සිට අඩු හෝ වැඩි විය හැක්කේ රුපියල් 2.60කින් පමණයි. මෙම සීමාව ගණනය කළ ආකාරය පැහැදිලි නැහැ. කෙසේ වුවද, මෙම මෙහෙයුම් උපදෙස් නිකුත් කිරීමෙන් අනතුරුව ඩොලරයක තැන් මිල පෙර දින පැවති රුපියල් 360 මට්ටමේම ස්ථාවර වී තිබෙනවා. මහ බැංකු උපදෙස් නොකඩමින් රුපියල් 362.60 දක්වා මිලකට ඩොලර් අලෙවි කළ හැකි වුවත් එවැන්නක් සිදු වී නැහැ.

මගේ පෙර ලිපියෙහි මා අනුමාන කළ අයුරින් පාරිභෝගිකයන්ට ඩොලර් විකිණිය යුතු හා ඔවුන්ගෙන් ඩොලර් මිල දී ගත යුතු මිල මහ බැංකුව විසින් සෘජුව තීරණය කර නැහැ. සීමා පනවා ඇත්තේ තැන් අනුපාතිකයටයි. කෙසේ වුවත්, මහ බැංකුවේ මේ තීරණයෙන් අනතුරුව විකුණුම් මිල තැන් මිලට වඩා ආසන්න වශයෙන් රුපියල් 5ක් වැඩියෙනුත් ගැනුම් මිල ආසන්න වශයෙන් රුපියල් 5ක් අඩුවෙනුත් ස්ථාවර වී තිබෙනවා. 

පවතින තත්ත්වය තුළ, මේ තීරණය නරක එකක් ලෙස මා දකින්නේ නැහැ. මෙහිදී සිදු වන පළමු දෙය විවිධ බැංකු අතර විණිමය අනුපාතයේ තිබෙන වෙනස්කම් අවම වීමයි. එවැනි ස්ථාවරත්වයක් තිබීම කාට වුවත් හොඳයි. දෙවැනි ප්‍රතිඵලය හෙට ඩොලරය කීයක් වෙයිද කියන අවිනිශ්චිතතාවය අවම වීමයි. ඒ හැර, මේ තීරණයෙන් ඩොලරයක මිල ක්‍රමයෙන් ඉහළ යාම වලක්වා නැහැ. 

තවමත් අවිනිශ්චිත කරුණකට තිබෙන්නේ මහ බැංකුව විසින් විචල්‍යතා සීමාව තීරණය කරන්න යන්නේ කොහොමද කියන එකයි. ලබන සතිය තුළ මෙයද දැන ගන්න ලැබෙයි. 

දැනට පෙනෙන්නට තිබෙන රුපියල් 2.60 දිනකට ඩොලරයක මිල ඉහළ යා හැකි උපරිම ප්‍රමාණය සේ සැලකුවත්, මේ හරහා ලැබෙන යහපත් ප්රතිඵල ගණනාවක් තිබෙනවා. අපනයනකරුවෙකුට දැන් වඩා පහසුවෙන් තමන් අතේ තිබෙන ඩොලර් විකුණනවාද තියා ගෙන ඉන්නවාද කියන තීරණය ගන්න පුළුවන්. ඒ වගේම ආනයනකරුවන්ට තමන් ඩොලරයකට ගෙවිය යුතු සාධාරණ මුදල පිළිබඳව වඩා නිවැරදි තක්සේරුවකට එන්න පුළුවන්. මූල්‍ය වෙළඳපොළකට අවශ්‍යම දෙය ස්ථාවරත්වයයි.

දැනට පවතින සාර්ව ආර්ථික තත්ත්වයන් තුළ ඩොලරයක මිල නැවත විශාල ලෙස පහත වැටේයැයි මා හිතන්නේ නැහැ. යම් හෙයකින් එසේ පහත වැටීමේ ප්‍රවණතාවක් ඇති වුනත් මේ තීරණය නිසා එකවර ඩොලරයක මිල කඩා වැටීමේ ඉඩ ඇහිරෙනවා. ඩොලරයක මිල දැන් තිබෙන මට්ටමේ ටික දවසකට හෝ ස්ථාවර වෙයිද නැත්නම් හෙමින් හෙමින් ඉහළ යයිද කියන එක බලා ගන්න වෙන්නේ වෙළඳපොළ ප්‍රතිචාර අනුවයි. බොහෝ විට එළැඹෙන සතිය තුළ මේ දිශානතිය නිරීක්ෂණය කරන්න පුළුවන් වෙයි.

වෙබ් ලිපිනය: