පසුගිය දෙවසරක කාලය තුළ දැකිය හැකි වූ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන ප්‍රවණතාව තව දුරටත් එලෙසම පවතින බව පෙන්නුම් කරමින්, 2026 පළමු කාර්තුව තුළ ශ්‍රී ලංකාවේ මූර්ත ආර්ථික වර්ධන වේගය 5.1%ක් ලෙස ඇස්තමේන්තු වී තිබෙනවා. කෘෂි ආර්ථිකය 1.1%කින් වර්ධනය වී ඇති අතර, කාර්මික නිෂ්පාදිතය 7.2%කින්ද, සේවා ආර්ථිකය 3.4%කින්ද වර්ධනය වී ඇති ආකාරය දැකිය හැකියි.
මේ වන තුරුද බොහෝ දුරට සිදු වෙමින් පවතින්නේ ආර්ථික අර්බුදය හමුවේ හැකිළුණු ආර්ථිකය නැවතත් පෙර පැවති මට්ටම දක්වා පැමිණෙමින් තිබීමයි. විශේෂයෙන්ම කාර්මික නිෂ්පාදිතය, මෙම 7.2%ක වර්ධනයෙන් පසුවද, පවතින්නේ 2018 පළමු කාර්තුවේදී පැවති මට්ටමට වඩා 1.6%ක් පසුපසිනුයි. කෘෂි ආර්ථිකය පවතින්නේද 2021 පළමු කාර්තුවට වඩා 0.7%ක් පසුපසින්. එහෙත් සේවා ආර්ථිකයේ 3.8%ක සැබෑ ප්‍රසාරණයක් සිදුව ඇති බැවින්, පසුගිය කාර්තුවේ සමස්ත ආර්ථිකයේ ප්‍රමාණය පෙර වාර්තා වී ඇති ඉහළම අගයට සාපේක්ෂව 2.5%කින් ප්‍රසාරණය වී තිබෙනවා.
සමස්තයක් ලෙස සලකද්දී මෙම වසර තුළ රටේ ආර්ථික ක්‍රියාකාරකම් ආසන්න වශයෙන් ආර්ථික අර්බුදයට පෙර පැවති මට්ටම ආසන්නයට පැමිණෙමින් ඇති ආකාරය දැකිය හැකියි. මෙම මට්ටමෙන් ඔබ්බට සිදු වන වර්ධනයක් ආර්ථිකයේ ප්‍රමාණය සැබෑවටම විශාල වීමක් සේ සැලකිය හැකියි.