වෙබ් ලිපිනය:

Sunday, March 6, 2016

ෆ්ලැමින්ගෝලා සහ ගජමෑන්



මේ තියෙන්නේ ෆ්ලැමින්ගෝ රංචුවක සිටි ෆ්ලැමින්ගෝලා තිදෙනෙකුගේ සමීප ඡායාරූපයකි. ඔයවල් අසබඩ ෆ්ලැමින්ගෝලා වැඩිපුර සිටිති. මේ ඡායාරූපයේ පෙනෙන පරිදි, කරන්නට විශේෂ වැඩක් නැති සාමාන්‍ය තත්ත්වයන් යටතේ ෆ්ලැමින්ගෝලාට ඇත්තේ එක් පයක් පමණි. ඒ නිසා, ෆ්ලැමින්ගෝලා එවැනි තත්ත්වයන් යටතේ 'පොදු ජනතාව' වෙනුවෙන් තනි පයින් පෙනී සිටිති.

පේන්නට නැතත් ෆ්ලැමින්ගෝලාට තවත් පයක් තිබේ. එය බලාගන්නටනම් ෆ්ලැමින්ගෝලාට කරන්නට වැඩක් භාර දිය යුතුය. ඡායාරූපයේ සිටින ෆ්ලැමින්ගෝ රංචුව මැද්දට කෑමක් විසි කළොත් ඒ අනිත් පය වගේම හංගාගෙන සිටින මූණත් හරියටම බලාගන්නට පුළුවන.


***



මේ  ගජ මෑන්.
ඔහු පොදු ජනයෙක්.
ඔහු දුගීයෙකුත් නොවේ, පෝසතෙකුත් නොවේ.
ඔහු උසත් නැත, කොටත් නැත.
කළුත් නැත , සුදුත් නැත.
ඔහු ලොවෙත් නැත.
ලොවි ගහෙත් නැත. 

උපුටා ගැනීම: http://pinchpoints.blogspot.com/2016/03/2.html

*** 
ලොවෙත් නැති, ලොවි ගහෙත් නැති ගජමෑන් ඇත්තටම ඉන්නා තැනක් තිබේ. ඒකට කියන්නේ නැති රට කියලාය. ඒ රට ඇති තැන දැනගන්නට ඕනෑ කෙනෙක්ට ලස්සන වසීලිස්සා පොත කියවා විස්තර හොයාගන්නට පුළුවන. නැති රටට වී ගජමෑන් නැති දේ හොයයි. හොයනවා කිවුවාට හොයන්නේත් නැත. එය හොයන්නට ෆ්ලැමින්ගෝලා ටිකක් ඔයක් මැද්දේ දූපතකට යවා නැති දේ අතටම ගෙනත් දෙන තුරු බලා සිටී. වැඩේට ෆ්ලැමින්ගෝලාවම තෝරාගත්තේ ඒ අය නැති දේ ගෙනත් දෙන බව එක පයින් කියා සිටි නිසාය.

***


ගජමෑන් නාන්නට බාත්රූම් එකට ගියේය. දොර වසාගෙන සරම ගලවා කොක්කක එල්ලා කරාමය ඇරියේය. වතුර නැත. ගජමෑන්ගේ බාත්රූම් එකට වතුර එන්නේ පැත්තක ඇති ලිඳකිනි. බාත්රූම් එකේ වතුර නැත්තේ වහලය උඩ ඇති ටැංකිය හිඳී ඇති බැවිනි. නැවත සරම ඇඳගත් ගජමෑන් වතුර මෝටරය ක්‍රියාත්මක කර ටැංකියට වතුර පිරෙන තුරු සාලයේ හාන්සි පුටුවකට හේත්තු වී රූපවාහිනිය ක්‍රියාත්මක කළේය.

රූපවාහිනියේ ෆ්ලැමින්ගෝලා අටෝරාසියකි. ඉස්සරනම් හිටියේ කණ කොක්කුය. කිරි කොක්කු කියා හිතාගෙන ගජමෑන්ලා දූපතට යවා ඇත්තේ කණ කොක්කු බව දැනගන්නට ලැබුණේ උන් ඉගිල්ලෙන්නට පටන් ගත් විටය. මෙය දැනගත් වහාම ගජමෑන්ලා කළේ කණ කොක්කුන් ආපසු කැඳවා ෆ්ලැමින්ගෝලා දූපතට යැවීමයි. සමහර පරණ කොක්කුත් දැන් පිහාටු පේන්ට් කරගෙන ෆ්ලැමින්ගෝලාට එක් වී සිටිති. තවත් පරණ කොක්කු දැන් තටු අකුලාගෙන නැවතත් කිරි කොක්කු වෙන්න හදති.

***

නැති දේවල් පමණක් ඇති නැති රටේ
නැති ආර්ථිකය දැන් අර්බුදයක බව ගජමෑන්ට නිතර අසන්නට ලැබේ. එහෙමනම්, නැති රටේ නැති රජයට වියදම් කපන්නට සිදු වී ඇති බව නිසැකය. ෆ්ලැමින්ගෝලාගේ නිල නිවාස වල ජල බිල්පත් සීමා කර ඇති නිසා දැන් ඒ අයට පොදු ලිඳෙන් නාන්නට වී ඇති බව කවුදෝ කියා තිබුණේ විහිළුවට වෙන්නට පුළුවන. ෆ්ලැමින්ගෝලා පොදු තැන් වල නාන නෑමේ හැටියට කතාව විහිළුවක්ම වෙන්නත් බැරිය. කොහොම වුණත් කාලෙකින් තමා පොදු ලිඳෙන් නා නැති බව ගජමෑන්ට සිහිවිය.

***

ලිඳ කිට්ටුවටම යන විට ගජමෑන්ට අමුත්තක් දැනුණේය. ලිඳ වටේ ආරක්ෂක නිලධාරීන්ය. ෆ්ලැමින්ගෝ කෙනෙක් පොදු ලිඳට නාන්නට ඇවිත්ය. ගුවන් විදුලි නිවේදකයෙක් වතුර ඇද දෙයි. ෆ්ලැමින්ගෝ හොඳට නා ගනී.

"නැති රටේ නැති පණතේ නැති වගන්තිය අනුව ෆ්ලැමින්ගෝ කෙනෙක්ට අයිතියක් තියෙනව රටේ ඕනෑම තැනකින් නාන්න. තමුසේ ඒක දන්නෙ නැද්ද?"

"අනේ අප්පේ, කිරි කල සීයක් උණු කරලා ටැංකිය පුරෝගෙන කිරි පැනින් නාන්න පුළුවන්කම තියෙන රාම කුමාරයගෙ මල්ලි වගෙ උත්තමයෙක් නේද මේ ජරා වතුර නාන්නේ?" ගජමෑන්ට හිතුණේය.

"තමන්ට කරන්න බලය තියෙන දේවල් ගැන ඔය තරං හොඳට මතක තියෙන එක කොච්චර දෙයක්ද? ඒ වුනාට ඒ බලය ලැබුනෙ කාගෙන්ද ඒ මොකටද කියන එකත් ඔය වගේම මතක තිබුණනම් තවත් හොඳයි!"

කොහොම වුණත් ෆ්ලැමින්ගෝ ස්නානය කර අවසන් වන තුරු ගජමෑන්ට බලා ඉන්නට සිදු වී ඇත.

"ෆ්ලැමින්ගෝ කෙනෙක් පොදු ළිඳකින් නාන එක කොයි තරම් ආදර්ශයක්ද? පොඩි අවුලකට තියෙන්නේ නාන්නේ බාත්රූම් එක ඇතුලෙ දොර වහගෙන කියන එක ෆ්ලැමින්ගෝට අමතක වෙලා තියෙන එකයි."

***

මේ අතර, ආරක්ෂක නිලධාරීහු කාටදෝ තගක් දමති.

"මේක පොදු ළිඳක්! ඔය දෙන්නට මෙතන එකට ඇවිත් නාන්න බෑ. ළමයෙක්වත් හිටියනං නාන්න දෙන්න තිබුණා."

සෝමපාල සහ සිරියාවතී ආපසු හැරී යයි.

"තව මාස පහක් තියෙනව මෙයාට. එහෙනං අපිට ඊට පස්සේ ඇවිත් නා ගන්න බැරුවයැ..."

***

දඩාස් ගා ජීප් රථයක් ඇවිත් ලිඳ අසළ නතර විය.

"අම්මටසිරි තව ෆ්ලැමින්ගෝ කෙනෙක්!"

ගජමෑන්ට නිකම්ම කියාවුනේය. මේ දෙවෙනි ෆ්ලැමින්ගෝනම් ආරක්ෂක භටයින් හෝ රියදුරෙකු නැතිව තනියම වාහනය එලවාගෙන පැමිණ තිබේ.

"බලනවකො, ගජමෑන්! මේ හරක් රංචුවක් ගාල කඩාගෙන දුවන ගමන් එකෙක් මේ ජීප් එකටත් ඇන්නනේ..."

"මම මේ වාහනේ හෝදගන්න කියල ආව."

ෆ්ලැමින්ගෝ සරම ඔළුවෙන් ගැලෙව්වේ පොදු ලිඳක් කියා ගාණක්වත් නැතුවය.


***

ඒ එක්කම තවත් වාහනයක් බරාස් ගා බ්රේක් ගැසුවේය. තවත් ෆ්ලැමින්ගෝ කෙනෙකි.

"ඔබතුමත් නාගන්නද?" ගජමෑන් ඇසුවේ පොදු ලිඳට ෆ්ලැමින්ගෝ කෙනෙකු වුණත් එන්නේ මාළු බාන්නට විතරක්ම නොවන නිසාය.

"ඔව්, අයිසේ! වැඩි පරිස්සමට මම පොල් සම්බෝල හදන්නෙ වත්තෙ ගස් වල පොල් වලින් විතරයි. අද උදේට පානුයි සම්බෝලයි කෑවට පස්සෙයි දැනගත්තේ පොල් කඩපු මනුස්සයගෙ යාලුවෙක්ගෙ මල්ලිට ඒඩ්ස් හැදිල කියල කටකතාවක් තියෙන බව."

"ඉතිං මේ තකහනියක්ම ආවේ විසබීජ ටික යවාගන්න හොඳට නාගන්න කියලා!"

ෆ්ලැමින්ගෝ විනාඩියට කලිසම සහ යට ඇඳුම එක පාරම ගලවා අවසානය.

"නාගන්න නාගන්න ආයේ කාගෙන් බාධාවක්ද?"

***

"මට කියන්න මොකද්ද වුනේ කියලා...කපල් වලට ඉඩ දෙන්නෙ නෑ?"

"කොහෙද තියෙන්නෙ කපල් වලට පොදු ලිඳෙන් නාන්න බෑ කියලා...?"

ඒ පාර තවත් ෆ්ලැමින්ගෝ කෙනෙකි. මේ ෆ්ලැමින්ගෝ දූපතට යන්නට පෙරනම් නැති රටේ
නැති ආර්ථිකේ ගැන කතා නොකළ දවසක් නැත. දූපතට ගිය පසු ඒ පරණ කතා නැත. නමට මුලින් එකම ටයිටලයත්, අගට එකම වාසගමත් ඇති කුරුල්ලෝ ටයිටලය උපයා ගත්තේ දුක් මහන්සියෙන්ද නැත්නම් පිනටදැයි භේදයක් නැතිව, එකම විදිහට නාන ආකාරය ගැන නැති රටේ නැති ප්‍රස්ථා පිරුළක් ගජමෑන්ට සිහිවිය.

ෆ්ලැමින්ගෝලා පෝලිමේ ඇවිත් පොදු ලිඳෙන් නාන විදිහට ගජමෑන්ට අදනම් නාන්න වෙන පාටක් නැත.

***

"මෝටරේ ගහල ඇවිත් මෙතන නිදිද? අන්න ටැංකිය උතුරනව!"

ඒනම් ෆ්ලැමින්ගෝ කෙනෙකු නොවේ. ගජමෑන්ගේ හාමිනේය.

40 comments:

  1. "මෝටරේ ගහල ඇවිත් මෙතන නිදිද? අන්න ටැංකිය උතුරනව!"
    - අනගිරත්න සහ රාජ් ටයිප්

    ReplyDelete
  2. ඉකෝන්ගේ හොඳම ළිපිය.... දැන් මෙහේද ඉන්නේ...?

    හර්ෂ නොදන්න අපි දන්න කපල්

    ReplyDelete
  3. Replies
    1. සල්ලි අපේ වීමයි ප්‍රශ්නේ.

      Delete
  4. සෙන්ට්‍රල් බෑන්ක් ෆ්ලැමින්ගෝ නාන්න ආවේ නැතෙයි?

    ReplyDelete
    Replies
    1. මට මිස් වුනු එකක්. තව කමෙන්ට් එකකත් දැක්කා. ලින්ක් එකක් තියෙනවද?

      Delete
  5. ෆ්ලෙමින්ගෝලා පොදු දේවල්ම බාවිතා කරති. නැති බව කියති. පොදු මනාපයම ගනිති. මොනරුන් බව සිතා එළියේම නටති. ආවඩන්නෝ සාදු නාද දෙති. එළියේ ඇති පස්චත් බාගයද දකින්නෝ සිටිති. සමහරු දෙස් දෙති. සමහරු ඒ ගැන කතා කරති. සමහරු ඇටි කෙහෙල් කෑ උගුඩුවෝ මෙන් සිටිති. නමුත් ඊළඟ වතාවේද නාගන්නට වතුරත් ඇද දෙති. ඇදගෙන නාන්නෝ නොව ඇද දෙන ඒ අයයි ......... නේ?

    ReplyDelete
  6. අර කපල් එකට නාන්න දුන්නෙ නැති එක ගැන හරි හරියට ප්‍රශ්න කරප්ය් ෆ්ලෙමින්ගෝ කාරයා ගිය අවුරුද්දේ ජනවාරි 08 පහුවෙලා ටික දවසකින් අපේ සයිට් එකට ඇවිත් නිවේදකයෝ පිරිවරාගෙන හෙණ සත්තමක් දැම්මා "මේවා කාගේ සල්ලිද" අරක මේක කියලා...
    ටික දවසකට පස්සේ එයයිලගේ ආණ්ඩුවෙන්ම අපේ ක්ලයන්ට් ගේ ඩිරෙක්ටර් බෝඩ් එක පත්කරලා...
    මුල්ම ක්‍රියාව විදිහට රක්ෂණ සංස්ථාවේ තිබ්බ සල්ලි ටික (~24bn) මහ බැංකුවට අරගත්තට පස්සේ දැන් ප්‍රොජෙක්ට් එක ඉබි ගමනේ යනවා...
    අපරාදේ මහජන මුදල්...

    ReplyDelete
    Replies
    1. // අපේ සයිට් එකට ඇවිත් නිවේදකයෝ පිරිවරාගෙන හෙණ සත්තමක් දැම්මා "මේවා කාගේ සල්ලිද" අරක මේක කියලා...
      ටික දවසකට පස්සේ එයයිලගේ ආණ්ඩුවෙන්ම අපේ ක්ලයන්ට් ගේ ඩිරෙක්ටර් බෝඩ් එක පත්කරලා... //

      :D

      Delete
    2. ලොක්කා එහෙනම් කමියත් එක්ක එක තැන වගේ වැඩ කරන්නේ. කලින් කාලයේ කුඩා අඳබාලයෙක් සහ සෙනරත් කියල ලොකු කෙනෙක්ගේ ලේකම් කෙනෙක් හොඳට හෙව්වේ ඔය ව්‍යාපෘතියෙනුයි ඒගොල්ල ලිට් රෝ කියල කරපු එකෙනුයි. එතකොට ආන්ඩුව මාරු වුණාමත් ඒගොල්ලොම තියාගන්න බැහැනෙ ලොක්කා. ඒවගේම ආණ්ඩුව මාරු වුණා කියල තට්ටු 45 ක් බිල්ඩිම මඟ අතෑරලා දානත් බැහැනෙ. ඉතින් අලුත් අධ්‍යක්ශක මණ්ඩලය දාල හදන එක තමයි හරිදේ. ඒ වුණාට සභාපති කරල ඉන්න කලු කොට ඩෑල් එකත් අම්බ හොරෙක් තමයි. ඒක අද හෙට වෙනස් වෙනව කියල තමයි ආරංචිය.

      Delete
    3. // ඒ වුණාට සභාපති කරල ඉන්න කලු කොට ඩෑල් එකත් අම්බ හොරෙක් තමයි. ඒක අද හෙට වෙනස් වෙනව කියල තමයි ආරංචිය. //

      :D

      Delete
    4. නොදන්න තොරතුරු ටිකක්.

      Delete
  7. Phenomenal...වෙන වචනයක් මතක් වෙන්නේ නෑ!

    ReplyDelete
  8. 'මෙයාලගේ සුදුසුකම් පරීක්ෂාකර හොඳට නාගන්න දෙනු' කියලා, ක්‍රී ඈල් තුමාගෙන් ලියුමක් අරගෙන, මමත් යනවා ඔය ලිඳට අපේ උන්දැත් එක්ක.

    ReplyDelete
    Replies
    1. එහෙම පවුල් පිටින් යන එක යහපාලනය යටතේ ඔට්ටු නැහැ...

      Delete
    2. හැක්, එහෙනං බලමුකෝ අල්ලපු ගෙදර උන්දැ එක්කවත් යන්න පුපුවන්ද කියලා.

      Delete
    3. විචාරක තුමා නාන්න ගිහින් ලිඳට වැටුනොත් මතක ඇතුව ලිං කටෙන්ම ආපහු එන්න.

      Delete
  9. ටීවී කොමඩියක් තිබුනා නේද නාන ලිඳ වගේ එකක්. ඒකේ මුදළාලි නාන හැටි පෙන්නන්න ගිහින් තමන් ම නාගන්නවා ඇඳුම් පිටින්!

    ReplyDelete
    Replies
    1. නාන කාමරේ- බන්දු සමරසිංහ.
      ඒ යකාගෙ මෑණියන් මතක් නොකර බලපු එකම වැඩසටහනද කොහෙදෝ..

      Delete
    2. ඇඳුම් පිටින් නාගන්න කොමඩිනම් දැන් ගොඩයි.

      Delete
  10. කපල් එකකටවත් නිදහසේ ලිදකින් නාගන්න දෙන්නේ නැති හැටි.

    ඒ අතරේ සමහරු ලොකු හෝටල් කාමර වල වොෂ්රූම් වල නිදහසේ වොෂ් එකක් දාගන්නවා.අන්තිමට උන් පොදු ලිදෙනුත් නාගන්නවා. ගජමෑන්ලාට මොනවත් නෑ.

    ReplyDelete
  11. නාල වැඩිකමට වෙව්ලලා උණ ගන්න හදනකොටම ඇම්බියුලන්ස් ප්ලේන් ඇවිත් ෆ්ලෙමින්ගෝව ගෙනියනව නෙව සුපිරි වෙටා ල ලඟට... හම්මේ සන්තෝසේ....
    ජයවේවා..!!

    ReplyDelete
  12. උඹෙ කතාව මසුරං. හදපං "නැති රටේ කතා" කියල ලේබලයක්...

    ReplyDelete
    Replies
    1. අදහසනම් නරක නෑ තමයි, ඩ්‍රැකී. නැති රටේ නැති කතා ලියන්න ගියොත්නම් කෙළවරක් නෑ.

      Delete
  13. Atthatama me nana ling dan nethikama hari abaggayak. Issara nam GNT eke anik paththe idan arthal ekak ganna thibuna

    ReplyDelete
    Replies
    1. ඒකනේ. ඒ දවස් වල කී පාරක්නම් ලිඳට වැටිලා ලිං කටෙන්ම ගොඩ ඇවිත් තියෙනවද?

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: