Wednesday, March 9, 2016

සංඛ්‍යාලේඛණ බොරුද?

ලෝක බැංකුවට අනුබද්ධ ආයතනයක් වන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) මඟින් ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් පිළිබඳ සමීක්ෂණයක් 2003 දී හෝ ආසන්න වසරකදී සිදු කළේය. ඒ වන විට ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් සම්බන්ධ මෙවැනි පුළුල් සමීක්ෂණ සිදු කිරීමේ භාවිතාවක් නොවූ බැවින් මෙය ඉතා අභියෝගාත්මක කටයුත්තක් විය. මේ කාණ්ඩයට වැටෙන සමාගම් වල ප්‍රධාන විධායක නිලධාරීන් සම්බන්ධ කරගෙන සිදු කළ පෞද්ගලික සම්මුඛ සාකච්ඡා මඟින් එකතු කරගත් තොරතුරු වල සාරාංශ වාර්තාවක් එළිදක්වමින් ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව විසින් කොළඹ ප්‍රදර්ශන හා සම්මන්ත්‍රණ ශාලාවේ කොටසක පැවති සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය සංවර්ධනය පිලිබඳ වැඩමුළුවට හා ප්‍රවෘත්ති සාකච්ඡාවට මමද සහභාගී වූයෙමි.

මේ වැඩමුළුව අතරතුර එවකට ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ ලංකාව භාරව සිටි ප්‍රධාන නිලධාරියා විසින් තමන් මේ සමීක්ෂණය සිදු කිරීමේදී මුහුණදුන් අභියෝග විස්තර කළේ මෙසේය.

"ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටවල සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය වල ලාභදායීත්වය පිරික්සන විට තියෙන ලොකුම බාධාව වන්නේ අපි ඔවුන්ගේ ගිණුම් වල තොරතුරු ලබාගත යුත්තේ කොහෙන්ද කියන එකයි. මේ ව්‍යවසායකයින් සාමාන්‍යයෙන් ගිණුම් කට්ටල් තුනක් පවත්වාගෙන යනවා. එකක් බැංකුවට පෙන්වීමට. ණය ලබා ගැනීම සඳහා තමන්ගේ බැංකුවට ඉදිරිපත් කරන කරන මේ ගිණුම් අනුව පාඩු ලබන ව්‍යවසායකයෙක් හම්බ වෙන්නේ බොහොම කලාතුරකින්...."

"දෙවැනි කට්ටලය පවත්වාගෙන යන්නේ ආදායම් බදු දෙපාර්තමේන්තුවට පෙන්වීමටයි. මේ ගිණුම් අනුව බැලුවොත් ලාභ ලබන ව්‍යවසායකයෙක් හම්බ වෙන්නේ බොහොම කලාතුරකින්...."

"මේ දෙතැනින්ම පහසුවෙන් දත්ත එකතු කරගැනීමේ හැකියාව තියෙද්දී එසේ නොකර මේ ව්‍යවසායකයින්ව පෞද්ගලිකව හමුවී විස්තර ලබාගැනීමේ පිරිවැය අධික, කාලය ගතවෙන, දුෂ්කර කටයුත්තට අපි අත ගැහුවේ තමන්ගේ බිරිඳට පමණක් පෙන්වන, රහසිගතව පවත්වාගෙන යන තුන් වන ගිණුම් කට්ටලය හොයා ගන්නයි"

මේ ප්‍රකාශයේ වැරැද්දක් ඇත්නම් එසේ ඇතැයි මා සිතන්නේ ඔහු කී බිරිඳට පෙන්වන කතාවේ පමණි. කිසියම් ක්‍රමවේදයක අවිනිශ්චිතතා ඇති විට ඒ අවිනිශ්චිතතාවන්ගෙන් ප්‍රයෝජන ගැනීමට මිනිස්සු පෙළඹෙති.

ඉහත සිදුවීමෙන් වසර පහකට පසු, සති ගණනාවක් පුරා පැවති ජාත්‍යන්තර වැඩමුළුවකදී අප්‍රිකානු රටවල් ගණනාවක මුදල් අමාත්‍යාංශයන්හි නිලධාරීන් සමඟ සමීපව ඇසුරු කිරීමේ අවස්ථාව මට ලැබුණේය. එහිදී මා දැනගත්, මා විමතියට පත් කළ කරුණක් වූයේ බොහෝ අප්‍රිකානු රටවල ජාතික ගිණුම් හා අදාළවද මෙවැන්නක් සිදුවන බවයි. ඒ අනුව, එක් ගිණුම් කට්ටලයක් පිළියෙළ වන්නේ රටේ ජනතාවට හා මාධ්‍යයට පෙන්වීමටය. දෙවැන්න, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකුව වැනි අඩු ආදායම් රටවලට ණය හා ආධාර ලබාදෙන ජාත්‍යන්තර ආයතන වලට පෙන්වීම සඳහාය. තුන්වැන්නක් ගැන එහිදී කතාබහක් සිදු නොවූවත්, ඇතැම් විට අභ්‍යන්තර තීරණ ගැනීමේදී එවැන්නක්ද ප්‍රයෝජනයට ගන්නවා විය හැකිය.

ඉහත කතාබහ විසින් මා විමතියට පත් කළේ ලංකාවේ මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව හෝ ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේතුව විසින් සංඛ්‍යාලේඛණ  සකස් කිරීමේදී මෙවැන්නක් කිසිවිට නොකරන බැවිනි. තවමත්, මේ සංඛ්‍යාලේඛණ පිළියෙළ වන ක්‍රමවේදයේ විශාල ගැටළුකාරී තත්ත්වයන් නැත. එමෙන්ම, රටේ දේශපාලන අධිකාරියට මෙවැනි කටයුතු වලට අතපෙවීමට ඇත්තේ ඉතාම සීමිත, දුරස්ථ හා වක්‍ර හැකියාවක් පමණි.

කෙසේවුවද, ලංකාවේ ආර්ථිකය හා අදාළ සංඛ්‍යාලේඛණ පිළිබඳව බොහෝ දෙනා තුළ යම් අවිශ්වාසයන් පවතී. එයට ප්‍රධානම හේතුව පොතේ ඇති දේ අතේ නැති බව නිතර දකින්නට ලැබීමයි. අප්‍රිකානු රටවල සිදුවන බව මා කී දේවල් ලංකාවේ සිදුනොවුනද මහජනතාව තුළ සංඛ්‍යාලේඛණ පිළිබඳව ඇති අවිශ්වාසය පදනම් විරහිත එකක් නොවේ. එයට හේතුව  සංඛ්‍යාලේඛණ බොරු නොවූවත් මහජනතාවට පෙනෙන්නට සංඛ්‍යාලේඛණ වලින් 'සෙල්ලම් දැමීමට' පුළුවන් කමක් තිබීමයි.

නිවැරදි සංඛ්‍යාලේඛණ වෙනස් ප්‍රවේශ වලින් ඉදිරිපත් කිරීම මෙසේ සෙල්ලම් දැමිය හැකි සරලම ක්‍රමයයි. "මේ වසරේ 6%ක ඉතා හොඳ ආර්ථික වර්ධනයක් ලබාගත හැකිවනු ඇත." කියූ විට සම්ප්‍රේෂණය කෙරෙන අදහස හා "මේ වසරේ ආර්ථික වර්ධනය 6% මට්ටමට කඩා වැටෙන ලකුණු දැන්මම පෙනෙන්නට තිබේ." කියන විට බොහෝ දෙනෙකුට දැනෙන දෙය එකම නොවේ. එහෙත්, විමසිල්ලෙන් කියවන්නේනම් මෙවැනි තොරතුරක ඇති මූලික කරුණ උකහා ගැනීම අමාරු දෙයක් නොවේ.

ඊළඟ මට්ටමේදී සිදුවන්නේ තමන්ගේ මතය තහවුරු කිරීමට උදවු වන සංඛ්‍යාලේඛණ පමණක් තෝරා බේරා ඉදිරිපත් කිරීමයි. ආර්ථික වර්ධනය මෙන්ම උද්ධමනයත් වැඩි වන විට අයෙක් උද්ධමනය ගැන කතා නොකර ආර්ථික වර්ධනය ගැන ලොකුවට කතා කරද්දී තවත් අයෙක් එහි අනෙත් පැත්ත කරයි.

සංඛ්‍යාලේඛණ සමඟ බොහෝ විට දමන මෙවැනි සරල හා සිල්ලර සෙල්ලම් වලට අමතරව වඩා සංකීර්ණ තාක්ෂණික සෙල්ලම් දමන්නටත් පුළුවන. එසේ කළ විට සිදුවී ඇත්තේ කුමක්ද යන්න බොහෝ දෙනෙකුට නොතේරේ.


2004-2014 කාලය තුළ ලංකාවේ මුළු රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 2,139.5 සිට 7,390.9 දක්වා වැඩි වූ බව කෙනෙකු කියද්දී වෙනත් අයෙකුට දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ණය මේ කාලය තුළ 102.3 සිට 75.5 දක්වා අඩු වූ බව කියන්නට පුළුවන. මේ දෙදෙනාම කියන්නේ බොරු නොවේ. එකම දෙය දෙයාකාරයකට කියූ විට වෙනස් අරුත් මතුවේ.

ගිණුම්කරණ ක්‍රමවේදයේ ඇති අවිනිශ්චිතතාවන් ප්‍රයෝජනයට ගනිමින් ඇතැම් අවස්ථාවල යම් සමාගමක් කිසියම් කාලයක් තුළ ලාභ ලැබූ හෝ පාඩු ලැබූ බව පෙන්වීමේ හැකියාවක් තිබේ. මෙය ලංකාවේ පමණක් සිදුවන දෙයක් නොවේ. කොයි රටේත් සිදුවන්නකි. එහෙත්, මෙසේ යම් සමාගමක ගිණුමක්  'තාක්ෂණිකව නිවැරදිව' ලාභ ලබන බව පෙන්වූ පමණින් ඒ සමාගමේ 'අතේ ඇති ලාභ' වෙනස් වන්නේ හෝ බංකොලොත් වීමට නියමිතනම් එය සිදු නොවන්නේ නැත. ආර්ථික විද්‍යාඥයෙකු විසින් ගිණුම්කරණ ලාභ හා ආර්ථික ලාභ නිවැරදිව වෙන්කොට හඳුනාගත යුත්තේ එබැවිනි.

කෙසේවුවද, ගණකාධිකාරී වරුන් පුහුණුවක් ලබා ඇත්තේ ඔවුන් දන්නා තාක්ෂනික උපක්‍රම උපයෝගී කරගෙන සිය සේවාදායකයාට අවශ්‍ය පරිදි ලාභය අඩුවෙන් හෝ වැඩියෙන් පෙන්වීමටය. දක්ෂ ගණකාධිකාරීවරයෙකුට මේ කාර්යය වඩා හොඳින් කළ හැකිය.

වෘත්තීය ගණකාධිකාරීවරයෙකු රටක මහ බැංකුවේ ප්‍රධානියා හෝ මුදල් ඇමතිවරයා වූ විට එවැන්නෙකු තමන් ලබා ඇති පුහුණුව අනුව, තමන්ට අවශ්‍ය ඉලක්ක සපුරා ගැනීම සඳහා කළ යුතු හොඳම දෙය කිරීමට උත්සාහ ගැනීම තේරුම් ගැනීමට අපහසු නැත.


(Image: http://38north.org/2012/07/rfrank071612/)

38 comments:

  1. ඔය ගිණුම් තුනේ කතාව සම්පුර්න ඇත්ත. ඒ අතරම පිටරට විසා ඉල්ලන්න හතරවැන ගිණුමක් තිබෙනවා. එකට අනුව කෝටිපතියෝ විතරයි විසා ඉල්ලන්නේ. ඒ නිසාම සාමාන්‍ය රැකියාවක් කරන යෙකුට වීසා ගන්න අමාරුයි

    ReplyDelete
    Replies
    1. හොඳ උදාහරණයක්! මගෙනුත් කිහිප දෙනෙක්ම මාස හයකට ගිණුමට මුදලක් දාන්න කියා ඉල්ලීම් කර නොදුන් නිසා අමනාප වෙලත් තියෙනවා (දුන්නේ නැත්තේනම් ඉල්ලපු ගණන් ඇත්තටම තිබුණේ නැති නිසා).

      Delete
  2. අපේ කුටුම්බයේ නම් මුදල් ඇති සියලුම ගිනුම් බිරිඳ සහ මගේ දෙදෙනාගේ ම නමින් ඇති ඒවායි.

    මගේ නමින් විතරක් තියෙන්නේ ඔය පුන්‍ය කටයුතුවලට භාවිතා කරන එක විතරයි. ඒකේ බිරිඳට අමුතුවෙන් පෙන්වන්න දෙයක් නෑ.

    ReplyDelete
    Replies
    1. අපේ ගිණුම් සියල්ලම වාගේත් හවුල් ගිණුම් වුවත් බිරිඳ නිකමටවත් ශේෂය බලන්නේ නැත. අන්තිමේදී, මේ පුරුද්ද ඇති කිරීමට වෙනම ගිණුමක් විවෘත කර දුන්නෙමි. දැන් මට අයිතියක් නැති ඒ ගිනුමත් මොනිටර් කරන්නට සිදු වී තිබේ.

      Delete
    2. අනේද කියන්නේ, සල්ලි හිඟ කාලේ හිටපු ගමන් අහනවා ඇයි මෙච්චර ද තියෙන්නේ කියලා, බැරිම තැන මාසේ අගට සවිස්තරාත්මක ප්‍රින්ට් එකක් අතට දුන්නත් ඒක ඇහැ ඇරලා බලන්නේ නැතිව ආයේ අහනවා මොකද කලේ කියලා. දැන් සප්ලිමෙන්ටරි කාඩ් එකක් දීලා තිබුනත් කඩ ගානේ ඇවිදල හිස් අතින් ඇවිත් චෝක් බෑග්ස් ඇවිත් පඩිය එනකම් තියෙවිද දන්නෑ කියල කෙදිරි ගානවා.

      Delete
  3. ලංකාවේ ජාතික ගිනුම් තැබීම ගැන ප්‍රසිද්ධ විවාදයක් තිබුණා නේද පාර්ලිමේන්තුවේ? අනුර දිසානායක හෙම කතා කළේ.

    ReplyDelete
    Replies
    1. මෙය මම බලල නැහැ, රසික. ලංකාවේ සිදුවන දේ හඹායාම මඟහැරී තිබී නැවත පටන්ගත්තේ මේ බ්ලොග් එක ඇරඹීමෙන් පසුවය. දැන් මේ බ්ලොග් එක නිසා මට ලැබෙන ලොකුම වාසියත් එයයි. (ලංකාවේ ස්වභාෂා/ඉංග්‍රීසි අධ්‍යාපනය ගැන වැඩි විස්තර දැනගැනීමට උනන්දුවක් ඇති වී මගේ පියාට දුරකථන ඇමතුමක් දී රසික ලියා තිබුණු නිදහස් අධ්‍යාපනයට පෙර තත්ත්වය මුළුමනින්ම වාගේ තහවුරු කරගත්තා.)

      Delete
  4. 2014 දක්වා ණය ප්‍රමාණය රුපියල් බිළියන 7,390.9 ක් බව ඉකොන් කියද්දී දැන් ආණ්ඩුව මහින්ද යුගයේ රටේ ණය ප්‍රමාණය රුපියල් බිළියන 9500 ක් දක්වා වැඩි උනාය කියන අගය ආවේ කොහෙන්ද...
    ඒ ගැන පොඩි පැහැදිළි කිරීමක් කරනවද, මේ දෙකෙන් කොයිකද හරි...

    ReplyDelete
    Replies
    1. ලොකු පුතා:
      මගේ ලිපි වල මා පල කරන සංඛ්‍යාලේඛණ සෑමවිටම පාහේ මා ගන්නේ අන්තර්ජාලයෙන් ඕනෑම කෙනෙකුට ලබාගත හැකි, යම් කරුණක් හා අදාල වඩාත්ම යාවත්කාලීන හා නිල සංඛ්‍යාලේඛණ ලෙස සැලකිය හැකි දත්තයි. ඊට වඩා වැඩිපුර දේවල් ඇතැම් විට මා දන්නා නමුත් ඒ දේවල් මම සාමාන්‍යයෙන් මෙහි ලියන්නේ නැත. වෙනත් කරුණු වුවද බොහෝ විට මා ලියන්නේ මා දන්නා දේවල් වුවත් නැවතත් තහවුරු කරගෙනය. ඒ නිසා මගේ ලිපි වල ඇති ඕනෑම සංඛ්‍යාලේඛණයක් අවශ්‍ය කෙනෙකුට පරික්ෂා කර තහවුරු කර ගැනීම සඳහා මුලාශ්‍ර ලබා දිය හැකිය. මේ ලිපියේ ඇති සංඛ්‍යා ශ්‍රී ලංකා මහා බැංකුවේ දත්තයි. 2015 අප්‍රේල් මස ප්‍රකාශයට පත් කළ මහ බැංකුවේ 2014 වාර්ෂික වාර්තාවේ මේ සංඛ්‍යාව පළ කර ඇති අතර සැප්තැම්බර් මස පළ කළ වසර මැද වාර්තාවේද එසේම තිබේ. වසර මැද වාර්තාව අනුව, 2015 ජූලි අවසාන වන විට ණය ප්‍රමාණය රුපියල් බිලියන 7,990.8 දක්වා තවත් රුපියල් බිලියන 599.9කින් වැඩි වී තිබේ. මේ වන විට, තවත් වැඩි වී තිබිය යුතුය. අවශ්‍යනම් මෙහි ගොස් පිටු අංක 84 බලන්න.
      http://www.cbsl.gov.lk/pics_n_docs/10_pub/_docs/efr/recent_economic_development/RED2015/Red2015e/8_Chapter_06e.pdf

      Delete
    2. මා මෙහි කියන්නේ රජයේ ණය ගැනය. රටේ ණය කියන්නේ රජයේ ණය පමණක් නොවේ. එයින් අදහස් කෙරෙන්නේ රජය, සමාගම් හෝ පුද්ගලයින් විදේශිකයින්ට ණය වී ඇති ප්‍රමාණයයි. මේ දෙක දෙකකි. ඒ නිසා ඔබ කියන ගණන ඇතැම් විට නිවැරදි විය හැකිය.

      Delete
    3. මෙය රටේ ණයද විය නොහැකිය. ඒ ප්‍රමාණය ගැන මා මෙහි ලියා තිබේ.
      http://emgesathapaha.blogspot.com/2016/01/blog-post_27.html

      Delete
    4. ඉකෝන් කොහොමද කියන්නේ මහ බැංකුවේ වාර්තා සියල්ල නිවැරදියි කියලා.. ඕකේ තියෙන්නේ අමූලික බොරු.. ඒ බව ජනතා විමුක්ති පෙරමුණට සියළු දත්ත හා ලබා දුන් නිලධාරියාගේ වැඩ තහනම් කලා රාජපක්ෂ පාලන සමයෙම.. මගේ බොක්කෙ යාලුවෙක් ඉන්නවා ඔකේ.. ඌත් ඒ බව තහවුරු කලා.. ඒ විතරක් නෙමෙයි මේ ආන්ඩුව බලයට ආපු ගමන්ම කලෙත් අමු වංචාවක්...

      එජාපයේ යුතුකම තමයි නිවැරදි දත්තයන් ජනතාවට ඉක්මනින් හෙලි කිරීම.. (ගෙදර යන්න කලින්)

      Delete
    5. ස්තුතියි ඉකොන්. ඔබ කියූ අගයන් ගැන සැකයකට වඩා එක එක තැන්වල වෙනස් වෙනස් අගයන් තිබීම සහ ගැන කතා කරන නිසයි ඒ ගැන ඇහුවේ...

      ///මෙය රටේ ණයද විය නොහැකිය. ඒ ප්‍රමාණය ගැන මා මෙහි ලියා තිබේ.///
      ඔබේ ලිපිය කියවා බැලුවා, ඉතා හොඳ විග්‍රහයක්...
      එහෙම බැලුවම මේ එහෙන් මෙහෙන් එලියට එන ගණන් මිනුම් ගොඩක් ඒවා අන්ධයෝ අලියා ගැන කිව්වා වගේ ඒවා...
      හිතෙන හිතෙන විදිහට කියන ඒවා වගේ...

      මාතලන්, එහෙම වෙනසක් කරපු වැරදි වාර්තා අනුව නම් මේ අගයන් එළියට එන්නේ ඒක ලොකු ගැටළුවක්...
      වැඩ තහනම් කරගෙන හරි අර දුන්නාය කියන සියළු දත්ත හරහා ජෙප්පෝ මුකුත් කරන බවක් පේන්න නැහැ නේද...?
      එහෙම දෙයක් තියෙනවනම් ඒවා එළියට දාන්නේ නැත්තේ මොකද...

      Delete
    6. ප්‍රශ්නයට පිළිතුරත් මාතලන්ගේ සහ ලොකු පුතාගේ කමෙන්ට්ස් ඇතුලේම තියෙනවා.

      //එජාපයේ යුතුකම තමයි නිවැරදි දත්තයන් ජනතාවට ඉක්මනින් හෙලි කිරීම.. (ගෙදර යන්න කලින්) //
      //එහෙම දෙයක් තියෙනවනම් ඒවා එළියට දාන්නේ නැත්තේ මොකද...//

      මහ බැංකුවේ වාර්තා සියල්ල නිවැරදි නොවිය හැකි වුවත් පැහැදිලිවම ඒවා අමූලික බොරු නෙමෙයි. මහ බැංකුව වාර්තා කළත් මේ ගොඩක් සංඛ්‍යාලේඛණ රටේ විවිධ රාජ්‍ය හා පෞද්ගලික ආයතන වලින් එකතු කරගන්නා ඒවා. ඒ නිසා විවිධ හේතු මත වැරදි තියෙන්න පුළුවන්. නමුත්, එසේ තිබිය හැකි වැරදි වලට සීමාවක් තියෙනවා. දන්න කෙනෙකුට ඒවා තේරෙනවා. මහා බැංකුවේ වෙන්නේ මොනවාද කියලා දන්නේ නැති හා බාගෙට දන්නා අය ඕනෑ තරම් මහ බැංකුව ඇතුළෙත් ඉන්නවා. පළමුවෙනි කරුණ, රටේ දළ ජාතික නිෂ්පාදිතය (හා එහි වෙනස්වීම වන ආර්ථික වර්ධනය), මිල මට්ටම (හා එහි වෙනස්වීම වන උද්ධමනය) වැනි සංඛ්‍යාලේඛණ ඇස්තමේන්තු. ඒවා 100%ක්ම නිවැරදි නැහැ. ගණනය කරන ක්‍රමවේද අනුව තරමක් දුරට වෙනස් විය හැකියි. ඒත්, රාජ්‍ය ණය කියන්නේ එවැනි ඇස්තමේන්තුවක් නෙමෙයි. අන්තිම සතයටම හරියට දන්න දෙයක්. ඇතැම් විට, සංඛ්‍යාලේඛණ පිළියෙල කරන අවස්ථාව වන විට ඇතැම් තොරතුරු වාර්තා වී නොතිබීමේ ඉඩක් පමණක් තියෙනවා. නමුත්, මේ ගණන මාස හයකට පසුවත් තහවුරු කළ එකක්. අනිත් කරුණ මා තොරතුරු ගත් මහ බැංකුවේ මේ වාර්තා දෙකම අර්ජුන් මහේන්ද්‍රන් විසින් රවී කරුණානායකට ඉදිරිපත් කළ වාර්තා මිසක් පසුගිය රජය කාලයේ ප්‍රකාශයට පත් කළ වාර්තා නෙමෙයි.

      Delete
    7. මේවායේ වැරදි තියෙනවා කියා විපක්ෂයේ සිටියදී ලොකු හඬක් නැඟූ අය දැන් ඒවා නිවැරදි නොකරන්නේ ඇයි?
      1. එවැනි වැරදි නැති නිසා
      2. එවැනි වැරදි හොයා ගැනීමට තරම් දැනුමක් නැති නිසා
      3. වැරදි පෙන්වනවාට වඩා තමන් විසිනුත් ඒ වැරදි දිගටම කිරීම වඩා වාසිදායක නිසා.

      පිළිතුර මේ තුනෙන් එකක් නෙමෙයි. අඩු වැඩි වශයෙන් තුනම. සංඛ්‍යාලේඛණ වලට අමතරව වෙනත් දේවල් වලටත් මෙය අදාළයි.

      Delete
    8. // ඒ බව ජනතා විමුක්ති පෙරමුණට සියළු දත්ත හා ලබා දුන් නිලධාරියාගේ වැඩ තහනම් කලා රාජපක්ෂ පාලන සමයෙම.. //

      ඉතින් ඒ ආන්ඩුව බලයෙන් පහවෙලා වසරක් ගිහිනුත් එම ජාති හිතයිශී මහ බැන්කු සේවකයා ව අරලියහග මැඩුරට ගෙනැල්ලා ලන්කා ඇටබන්දු සම්මානේ දීලා සියලු රූපවාහිනී සහ පුවත්පත් වල එම වීර දීර නිලදාරියා ගැණ කතා පල කරලා....

      හම්මේ... කරනවා නම් වැඩ කෝටියයි..

      පුරස්නේ එම ජාතී හිතයෛශී නිලදාරී කතා වස්තුව ප්‍රබන්දයක් පමනක් වීමයි

      ස ර ස තුමා අභියෝග කරමි... දැණ් නිදහසේ එම කතා වස්තුව එම සෝ කෝල්ඩ් පුද්ගලයා සමග ප්‍රසිද්ද කොරන්න මෙයා!

      Delete
    9. //ඔබ කියූ අගයන් ගැන සැකයකට වඩා//
      මා කියන දේවල් සැක කිරීමේ හෝ ප්‍රශ්න කිරීමේ කිසිම වැරැද්දක් නැත. ඇත්තටම කළ යුත්තේ මා හෝ වෙනත් ඕනෑම කෙනෙක් කියන දේ ප්‍රශ්න කිරීමයි. ඇත්තෙන් බොරුව වෙන්වී පෙනෙන්නේ එවිටය. මගේ අදහස්, මතවාද හෝ මා සිතන අයුරු නිවැරදියයි මට හැම විටම කිව නොහැකි වුවත් මා ඉදිරිපත් කරන සංඛ්‍යාලේඛණ හා කරුණු හැකිතාක් නිවැරදිව ඉදිරිපත් කිරීම මගේ අභිලාෂයයි. ඒවායේ වැරැද්දක් හෝ අපැහැදිලි තැනක් ඇත්නම් පෙන්වා දීම මට කරන උදවුවකි. රසික, ඉයන් වැනි අය පෙන්වා දීම නිසා එවැනි ඇතැම් වැරදි නිවැරදි කිරීමට මට හැකි වී තිබේ.

      Delete
  5. අපේ ගිණුම් ගැන නම් කියන්නේ නැහැ. කීප රටකම තියෙන හන්දා. ඉකොනොමැට් මොනා කරයිද දන්නේ නෑනේ ඒ විස්තර අරගෙන. :P :D

    ReplyDelete
    Replies
    1. //ඉකොනොමැට් මොනා කරයිද දන්නේ නෑනේ //
      "පොඩ්ඩිගේ බැංකු ගිණුම්" කියලා ලිපියක් දානවා.

      Delete
  6. Mama ahala thiyenawa jana sankyanna esimate ekak witharalu.

    ReplyDelete
    Replies
    1. ජන සංගණනයක් කියන්නේ ඇස්තමේන්තුවක් නෙමෙයි. නිවැරදිම ගණන. රටේ හැම කෙනෙක්ම නිශ්චිත වේලාවකදී ගණන් කරනවා. 2001දී උතුරු නැගෙනහිර ප්‍රදේශ වල මෙය කිරීමේ හැකියාවක් නොතිබුණු නිසා ඒ වසරේ ඒ ප්‍රදේශ වල තොරතුරු පමණක් ඇස්තමේන්තු.

      Delete
  7. ලංකාවේ කෙනෙක්නම් ඔය ගිණුම් තුනට අමතරව , ශී ෂෙල්ස් , ස්විස් බෑන්ක් වල එහම එකවුන්ට් තියෙන්නත් පුළුවන්නේ

    ReplyDelete
    Replies
    1. මෙය වෙනත් රටවල අයත් කරනවා. මේවා වලක්වන්න හරිම අමාරුයි. උදාහරණයක් ලෙස ඇමරිකාවේ ස්ථිරව වෙසෙන පුද්ගලයෙක් ලෝකයේ කොහේ හෝ ඇති තමන්ගේ ආදායම පෙන්වා බදු ගෙවිය යුතුයි. නමුත්, බොරුවක් කළොත් එය හොයා ගැනීම අමාරුයි. ඒ නිසා සමහර රටවල් සමඟ රෙසිප්රෝකල් ඇග්රිමන්ට් තියෙනවා. ඒ අනුව මේ තොරතුරු හුවමාරු කර ගන්නවා.

      Delete
  8. මමනම් බදු නොගෙවන්න නීතියානුකුල විදියක් සොයාගත්තා එනම් මගේ ශ්‍රී ලංකාව තුල ආදායම වසරකට ලක්ෂ 5කට අඩුවෙන් පැවැත්වීමෙන්.
    මෙනිසා මම කිසිවක් ශ්‍රී ලංකාව තුල විකුනන්නේ වසරේ ආදායම ලක්ෂ 5ට අඩු සිමාවේ පමණයි විදේශ වලට විකුණන ආදායම කෙලින්ම විදේශ ගිණුමක තැම්පත් කරනවා.
    මෙය තමයි නිතියානුකුලව බදු නොගෙවන විදිය.
    මට හේතුව බදු ගැන සෙවීමේදී මම මේ ගිණුම 3 නේ කතාව දැනගත්ත, මෙය කියන්නේ ආදායම් නිලදාරියයි ඔහුට ඔබ ගානක් ගෙවනවානම් ඔහුට ගිණුම ලෙස වෙනම ගිණුමක් පෙන්වන අතර පටන්ගනිමේදී ඔබ සොරකු වී තමයි වියාපාරයක් කරන්න වෙන්නේ.
    යම්විදියකින් ඔබ අවංකව වියාපාර කිරීමට පෙළබුනොත් ඔබට කළහැකි සියලු රස්තියාදු කිරීම ආදායම් බදු දෙපර්තමේන්තුව කරනු ඇති මම මෙය දන්නේ 1985 පමණ සිට බදු ගෙවන මගේ පියාට සිදුවූ දේ දැකීමෙන්, උවමනාවෙන් බදුගේවිමට පෙලබූන ඔහු පසුකාලයේ මම පුවත්පතකින් දැනගත්තේ ඔහුගේ වුර්තියේ මිනිසුන් 40 පමණයි බදු ගෙවා ඇත්තේ, මෙය ගැන මතක් කල විට ඔහු කිව්වේ අපේ රටේ නිදහස් අද්‍යාපනය ස්වුකය වැනි දේ දෙන්න පුළුවන් උනේ මේ බදුවලින් බවයි.

    ReplyDelete
    Replies
    1. ඔබ කියන්නේ රටේ බදු ගෙවීම හා අදාළ සාමාන්‍ය සහ ඇත්ත තත්ත්වය ගැන.

      Delete
    2. // මෙනිසා මම කිසිවක් ශ්‍රී ලංකාව තුල විකුනන්නේ වසරේ ආදායම ලක්ෂ 5ට අඩු සිමාවේ පමණයි විදේශ වලට විකුණන ආදායම කෙලින්ම විදේශ ගිණුමක තැම්පත් කරනවා.//

      ඒ කියන්නේ ඔබතුමා ලස්ස පහකින් අවුරුද්දක් ජීවත් වෙනවා කිඅයන එකද නැත්නම් පොඩි වන්ගුවක් දාලා විදේස මුදල් ලන්කාවට ගෙනත් වියදම් කරන එකද?

      වසරකට ලස්ස පහකින් ජීවත් වෙනවා නම් ඔබ තුම බන්දුල ගුනවර්දන තුමා ගේ නෑයෙක් ද?

      Delete
    3. Sa rasa,
      //නැත්නම් පොඩි වන්ගුවක් දාලා විදේස මුදල් ලන්කාවට ගෙනත් වියදම් කරන එකද?//
      චිකෙය්ය සරසා තුමෝ ඔබ තුමා මාවත් මහින්ද ලොක්කගේ ගොඩට දානවනේ,
      කිසි වංගුවක් දාන් නෑ කෙලින්ම මගේ විදේශ ගිණුමේ සිට මගේ ශ්‍රී ලංකික ගිණුමට මුදල් මාරු කරනවා, අපනයන විදේශ ඉපයීම් බද්දෙන් නිදහස් නිසා ප්‍රශ්නයක් නෑ. මට අපේ රටේ ආයතනය පුළුල් කිරීමට කීප විටක් අවස්තාව ලැබුනත් මම එක කලේ නෑ ශ්‍රී ලංකාවේ වෙළදාම ගැන දැනුවත් උනාට පස්සේ. මේ නිසා තමයි මාතලන් ඉන්දියානු IT වුර්තිකයන් ශ්‍රී ලංකාවට ආවහම මගේ ඒකාධිකාරය නැතිවෙනවා කිව්වහම මට පිටිපස්සෙන් හිනා යන්නේ.
      //බන්දුල ගුනවර්දන තුමා ගේ නෑයෙක් ද?//
      අපෝ නෑ එතුමෝ මගේ ගුරු දෙවයෝ, මට මතකයි උසස් පෙල ආර්ථික විද්‍යාවට එතුමාණෝ නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය දකුණට විතැන් කර ආර්ථිකය සංවර්දනය කල විදිය, හැබැයි ඇමති උනාට පස්සේ තමයි මට තේරුනේ අපට ගුරුමුස්ටි ඇතිව තමයි උගන්නල තියෙන්නේ කියල මොකද එතුමෝ “වයිම” නියාය ඉගැන්නුවා රටේ මිනිස්සුන්ට.

      Delete
    4. ඉකොනො,
      //ඔබ කියන්නේ රටේ බදු ගෙවීම හා අදාළ සාමාන්‍ය සහ ඇත්ත තත්ත්වය ගැන. //
      අන්න හරි ඉකොනෝ දන්නවා ප්‍රායෝගික තත්වය අපේ රටේ බොහෝ මේ විෂයේ උගතුන් ඉන්නේ ප්‍රායෝගික ලෝකයේ නෙමෙයි.

      Delete
  9. ඉස්සර නම් රාජ්‍ය ගිණුම් තැබීමේ දක්ෂයෝ ඉන්නේ බංගලිදේසේ කියලයි අසා තිබුනේ එයාල එහෙම හංගපු රෙසර්ව් වෙන්නැති නේද හැකර්ස්ලා උස්සලා කියන්නේ.

    ReplyDelete
    Replies
    1. මේ ගැන විස්තර මට අහුවෙලා නෑ.

      Delete
  10. මිනිස්සු විශ්වාස කරන්නේ තමන්ට ඕනා දේ කියනවනේ.... ඕක දන්න දේශපාලුවෝ ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් දෙනවා.....

    ReplyDelete
    Replies
    1. ඔවු, සෙන්නා. ඒත් එහෙම මිනිස්සුන්ට කියන බොරු ඇත්ත කියල තමන්ම විශ්වාස කරන්න පටන් ගත් වහාම ඒ අයත් ඇණ ගන්නවා.

      Delete
  11. අඹගස්, කෙසෙල් ගස් වගේ තේරෙන දේවල් එක්ක උදාහරණයක් දීල නැති නිසාද මන්ද මේක නම් වැඩිය තේරුනේ නෑ.. මගෙත් ගිණුම් හැම බැංකුවකම වගේ තිබුනත් වැඩක් වෙන්නේ පඩිය වැටෙන බැංකුවේ ගිණුමෙන් විතරයි.. කරුමෙට ඒකෙත් sms එක යන්නේ ගෙදර උන්දෑගේ ෆෝන් එකට.. :p අද දහය නිසා චන්ඩියා වගේ ඉන්න පුළුවන්. හෙට අනිද්දා ගිණුම චෙක් කරොත් සොරි තමයි.. ඔන්න අපි දන්නා ආර්ථික විජ්ජාව..

    ReplyDelete
    Replies
    1. ඉදිරියේදී පළවන දෙවෙනි ලිපියක් කියවූ විට සමහර දේවල් තේරෙයි. :) ඇත්තටම, මෙහි ඇති පඹගාල මේ කරුණු ගැන ඔබට වඩා ලොකු පළපුරුද්දක් හා පුහුණුවක් ඇති කෙනෙකුට වුවත් ලිහා ගැනීමට අමාරු එකකි. මම සරල උදාහරණයක් ගන්නම්.

      රත්නසේකරගේ පසුගිය රුධිර පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව සීනි (fasting blood glucose) වැඩි වී තිබුණේය. කෑමෙන් පරිස්සම් වීමට ඔහුගේ වෛද්‍යවරයා ඔහුට උපදෙස් දුන්නේය. දැන් ඔහුගේ බිරිඳ ඔහුට පැණිරස දෙයක් කටේ තියන්නට දෙන්නේ නැත. ඔහුට මේ අවුලෙන් ගැලවෙන්නට අවශ්‍ය වී තිබේ. මාස තුනකට පසු ඔහු තවත් රුධිර පරීක්ෂනයකට මුහුණ දිය යුතුය. ඔහු ඉදිරියේ මේ විකල්ප තිබේ.

      1. දිගටම කෑමෙන් පරිස්සම් වීම හා ව්‍යායාම කිරීම.
      2. රුධිර පරීක්ෂනයට දින දෙකකට පෙර සිට කෑමෙන් පරිස්සම් වීම හා ව්‍යායාම කිරීම.
      3. රුධිර පරීක්ෂන වාර්තාව වෙනස් කර බිරිඳට පෙන්වීම.

      මෙහි (3) අමු හොරකමකි. රත්නසේකරගේ බිරිඳ රුධිර පරීක්ෂණයේ ප්‍රතිඵල අදාල තැනින් කෙළින්ම ලබා ගත්තොත් හෝ රත්නසේකරව නැවත වරක් වෙන තැනකට ඇදගෙන ගොස් රුධිර පරීක්ෂාවක් කළහොත් වැඩේ අතේ මාට්ටු වේ. බොහෝ සුළු හා මධ්‍යම පරිමාණ පෞද්ගලික ව්‍යවසායකයින් බදු ගෙවීමේදී මේ ආකාරයේ 'හොරකම්' කරති. එමෙන්ම, නීතිඥ හා වෛද්‍ය වැනි වෘත්තිකයෝද තවත් බොහෝ අයද තමන්ගේ සැබෑ ආදායම රජයට නොපෙන්වති. ලංකාවේ නිල සංඛ්යාලේඛණ මේ තත්ත්වයට පත් වී නැත.

      මෙහි (2) එවැනි ආකාරයේ හොරකමක් නොවේ. වාර්තාවෙන් පෙන්වන්නේ එදින ඇත්තටම තිබුණු සීනි ප්‍රමාණයයි. මේ පරීක්ෂණය වෙන තැනකින් නැවත කළත් එය වෙනස් වෙන්නේ නැත. ඒ අර්ථයෙන් මේ සංඛ්යාලේඛණය නිවැරදිය. එහෙත්, මේ ආකාරයෙන් සීනි අඩු කරගත් පලියට දියවැඩියාව හැදීමේ අවදානම අඩු වන්නේ නැත. සැබෑ ප්‍රශ්නය දියවැඩියාව මිස සීනි නොවේ. එමෙන්ම, රත්නසේකරගේ බිරිඳට අහු නොවුණත්, වෛද්‍යවරයෙකුට හෝ වෙනත් වැඩිපුර දැනුමක් ඇති කෙනෙකුට A1c පරීක්ෂාවක් කිරීමෙන් (2) හා (1) තත්ත්වයන් වෙන් වශයෙන් හඳුනා ගැනීමට පුළුවන.

      Delete
    2. Anna ehema kiyanna epayi. Mama karanne 2. Ita passe hithe hatiyata panirasa kanawa.. ☺😊

      Delete
  12. වහාම ගිණුම් අංක වත් හොයාගන්න ඕනෙ.ශේෂයක් හොයන එක ඊට පස්සෙ බැරියැ.. ආ.... පොත් කොහෙද දන්නෙත් නෑ... ඔන්න ගස්ලබ්බත් ගිණුම් ගැන උනන්දු වෙනවා.
    ජෝන් හෝප්කින්ග්ස් 'ආඝා' වරු ගැන , ගිණුම් ගැන කියපු කතා ගැන ඉකෝන් මොනවද හිතන්නෙ?
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ජෝන් පර්කින්ස් (ජෝන් හොප්කින්ස් කියන්නේ ඇමරිකාවේ ඇති සරසවියක නමක් සහ මුලින්ම එය හැදීමට මුදල් පරිත්‍යාග කළ පුද්ගලයාගේ නම.). අහපු ප්‍රශ්නයට කෙටි පිළිතුරක් දෙන්න අමාරුයි.

      Delete
  13. මොකද්ද මේ Capital gain tax කියන්නේ ? . මේක 1987 තිබ්බ එකක්ලු. ඕක stock exchange එකට බලපාන්නේ කොහොමද ? රනිල් මෙක ගැන හරි විස්තරයක් කීවේ නැහැ. ඉකෝන් මට මෙක ගැන දන්න දෙයක් තියනව නම් පැහැදිලි කරන්න .

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

Gadget

This content is not yet available over encrypted connections.