Thursday, March 17, 2016

අවසන් දේශනය



ඇමරිකාවේ කානගී මෙලන් සරසවියේ "අවසන් දේශනය" නම් වූ දේශන මාලාවක් පැවැත්වේ. මෙහිදී, තෝරාගත් දේශකයෙකුට ආරාධනා කෙරෙන්නේ යම්කිසි අයුරකින් මේ දේශනය ඔහුට හෝ ඇයට ඉදිරිපත් කිරීමට ලැබෙන අවසාන දේශනය වී යැයි උපකල්පනය කරමින් තමන්ට ලෝකයට දෙන්නට ඇති පණිවුඩයක් ඇත්නම් එය පැයක් තුළ ඉදිරිපත් කිරීමටය.

2007 සැප්තැම්බර් මස 18 වන දින පැවති "අවසන් දේශනය" සඳහා තෝරාගෙන තිබුණු දේශකයා වූයේ පරිගණක විද්‍යාව හා මිනිස්-පරිගණක අන්තර්-සම්බන්ධතා පිලිබඳ මහාචාර්ය වරයෙකු වූ ආචාර්ය රැන්ඩෝල්ෆ් පෝෂ්ය. දේශනයට සවන්දීමට පැමිණි සියගණනක පිරිසකගේ අත්පොළසන් මැද ඔහුගේ දේශනය ඇරඹුනේය.

"ස්තුතියි! මේ දේශනය සඳහා අවස්ථාවක් ලැබීම විශාල සතුටක්....මට දැනගන්න ලැබුණා මේ දේශනය නම් කර ඇත්තේ අවසාන දේශනය ලෙස බව. ඔබට මියයාමට පෙර අවසන් වරට එක් දේශනයක් කිරීමට පමණක් ඉඩතිබේනම් ඔබ එහිදී කතා කරන්නේ මොනවා ගැනද? එහෙනං අන්තිමට මගෙත් දිනය තීරණය වෙලා වගේ..."

සභාවේ සිනා.

"මගේ කතාවේ පසුබිම නොදන්න කෙනෙක් මෙතන ඉන්නවනම්, මම එය මුලින්ම කියල ඉන්නම්. අපේ තාත්තා කියල තියෙන්නේ කාමරේ අලියෙක් ඉන්නවනම් ඌව මුලින්ම හඳුන්වල දීල ඉන්න කියලා. [කියන්න ලොකු දෙයක් තියෙනවනම් වටෙන් ගොඩෙන් එතෙන්ට එන්නෙ නැතුව ඒක මුලින්ම කියල දාන්න කියලා]"

දේශනශාලාවේ තිරය මත ස්කෑන් ඡායාරූපයක් ප්‍රක්ෂේපනය වේ.

"මේ තියෙන්නේ මගේ අක්මාවේ කැට් ස්කෑන් ඡායාරූපයක්. ඔබට පේනවා ඇති එහි ටියුමර් දහයක් පමණ තියෙන බව. මේ ස්කෑන් ඡායාරූප  අනුව වෛද්‍යවරුන් ඇස්තමේන්තු කර ඇති ආකාරයට මට ජීවත්ව සිටීමට තව ඉතිරි වෙලා තියෙන්නේ මාස තුනක සිට හයක් දක්වා වූ කාලයක්!"

සභාව මීයට පිම්බාක් මෙන් නිහඬය.


"මේ ස්කෑන් ඡායාරූප පරික්ෂා කරලා ඔය ඇස්තමේන්තුව කරලා දැන් තවත් මාසයක් වෙනවා. මං හිතන්නේ ඔයගොල්ලන්ට ගණන හදාගන්න පුළුවන්!"

"මම ප්‍රතිකාර ගන්නේ ලෝකයේ සිටින හොඳම වෛද්‍යවරුන්ගෙන්. ඒත්, මේ තමයි ඇත්ත! මෙය අපට වෙනස් කළ නොහැකියි. අපට තීරණය කරන්න වෙනවා මෙවැනි තත්ත්වයකට අප ප්‍රතිචාර දැක්විය යුත්තේ කොහොමද කියලා...අපට ලැබෙන කාඩ් අත අපට වෙනස් කරන්න බෑ. ඒත්, ඒ කාඩ් සෙල්ලම් කරන විදිහ තියෙන්නේ අපේ අතේ..."

"මා දිහා බැළුවහම ඔබ බලාපොරොත්තු වන ආතතියෙන් හෙම්බත් වූ, මූසල මූණක් ඔබට නොපෙනෙනවානම්, මට කියන්න තියෙන්නේ, ඔබේ බලාපොරොත්තු බිඳ දැමීම ගැන අතිශයින්ම කණගාටුයි..."

"ඒ එක්කම මට සහතික කර කියන්න පුළුවන් මම මේ ඇත්ත මනසින් ප්‍රතික්ෂේප කර බොරු සතුටක් ලබනවා නෙමෙයි. සිදුවීමට නියමිත දේ මම පැහැදිලිව දන්නවා..."

"මගේ පවුල, දරුවන් තිදෙනා [ඒ අයගේ වයස අවුරුදු 1, 3 හා 5], මගේ බිරිඳ..."



සුන්දර පවුලක ඡායාරූපය තිරයේ ප්‍රක්ෂේපනය වේ.

"ටික දවසකට කලින් අපි ගෙවල් මාරු කළා. අපි වර්ජිනියා වලින් ලස්සන ගෙයක් මිලදී ගත්තා. අපේ පවුලේ සාමාජිකයින්ට ඉදිරි කාලය ගෙවන්න හොඳම තැන එය බව අපි හිතනවා."

ලස්සන ගෙයක ඡායාරූපය තිරයේ ප්‍රක්ෂේපනය වේ.


"අනෙත් වැදගත්ම කරුණ, මම දැනටත් ඉතාම සෞඛ්‍ය සම්පන්නයි. ඔවු, මෙතැන ඉන්න වැඩි දෙනෙකුට වඩා..."

වේදිකාව මත පහත්වන ආචාර්ය රැන්ඩි පෝෂ් පුෂ්-අප් කිහිපයක් ගසා, එක් අතක් ඔසවා තනි අතින්ද පුෂ්-අප් කිහිපයක් ගසයි.

"අපිට හිතාගන්න අමාරුම දෙයක් තමයි, පේන්න ඉහෙන් බහින රෝගයක් නැති පුද්ගලයෙක් මාස කිහිපයකින් අනිවාර්යයෙන් මැරෙන්නෙ කොහොමද කියන එක..."

"මෙතන කවුරු හරි ඉන්නවනම් මා ගැන අනුකම්පා කරන, මට කියන්න තියෙන්නේ, මම ඔහු හෝ ඇය ගැන අනුකම්පා කරන බව පමණයි."

මේ දේශනය ගැන කෙටි ලිපියක් 'දී ඔන්කොලොජිස්ට්' සඟරාවේද පළ විය.

දේශනයේ මාතෘකාව ආචාර්ය රැන්ඩි පෝෂ් විසින්ම පැහැදිලි කළේ මෙසේය.

"මේ දේශනය පිළිකා ගැන නෙමෙයි. පිළිකා ගැන ඕනැ තරම් අය කතා කරනවා. පිළිකා ගැන කතා කරල දැන් මට ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා, පිළිකා සුව කරන වැඩි දෙනෙක් නොදන්නා රහස් ප්‍රතිකාර ක්‍රම ගැන ඔබ දන්නවනම් කරුණාකරලා ඒවා ගැන මට කියන්න එන්න එපා."


"ඒ වගේම, මම කතා කරන්නේ ආගම හෝ අධ්‍යාත්මිකත්වය ගැනත් නෙමෙයි. හැබැයි මැරෙන්න කිට්ටුව කාලයක් තිස්සේ තිබුණු විශ්වාසයන් වෙනස් වීම ගැන (Deathbed conversions) අත්දැකීම්නම් මටත් තිබෙනවා."

නැවතත් නිහඬතාවයකි.

"මම මේ මැකින්ටොෂ් ලැප්ටොප් එකක් ගත්ත විතරයි!"


"මම අද කතා කරන්නේ අපේ කුඩා කාලයේ සිහින සැබෑ කරගන්නේ කොහොමද කියන එකත්, ඒ වගේම වෙනත් අයගේ කුඩා කාලයේ සිහින සැබෑ කරගැනීමට අපට උදවු කළ හැක්කේ කෙසේද කියන එකත් ගැනයි..."

දේශනයේ සම්පූර්ණ වීඩියෝව පහත තිබේ.





මේ වන විට මිලියන 17ක් දෙනා විසින් නරඹා ඇති ඉහත වීඩියෝව ඉතා ඉක්මණින් ජනප්‍රිය විය. 2008 ජූලි 25 දින ආචාර්ය රැන්ඩි පෝෂ් සිය කෙටි දිවිය නිමා කළේය. මියයාමට පෙර ඔහු ඉහත දේශනය පාදක කරගෙන පොතක්ද පළ කළේය. එය ඇරඹෙන්නේ මෙසේය.


මා ඉංජිනේරු ගැටළුවකට මුහුණ දී සිටිමි.

බැලූ බැල්මට මගේ පෙනුම ඉතාම සෞඛ්‍ය සම්පන්න වුවත්, මගේ අක්මාවේ පිළිකා ගැටිති දහයක් තිබේ. මට ජීවත් වීමට ඉතිරිව ඇත්තේ තවත් මාස කිහිපයක් පමණි.

මා සිහින මැවූ කාන්තාව හා විවාපත්ව සිටින මම කුඩා දරු තිදෙනෙකුගේ පියෙක්මි. මට ඉතා පහසුවෙන් මා පත් වී සිටින තත්ත්වය ගැන කණගාටු විය හැකි වුවත්, එයින් මට හෝ මගේ බිරිඳට හා දරුවන්ට සිදුවන කිසිදු යහපතක් නැත.

එසේනම්, ඉතිරිව ඇති සීමිත කාලය මා ගෙවිය යුත්තේ කෙසේද?

ඉතාම පැහැදිලිව මා විසින් කළ යුතු දේවල් වන්නේ මට හැකිතාක් කල් මගේ පවුලේ සාමාජිකයින් සමඟ සමීපව සිටිමින්, ඔවුන් සමඟ ගෙවන හැම මොහොතක්ම සතුටින් වැළඳ ගනිමින්, මා නැතිව ගෙවන ඔවුන්ගේ ඉදිරි ජීවිතය වඩා සැපවත් කිරීමට කළ යුතු සියල්ල සැලසුම් කිරීමයි.

එතරම්ම නොපැහැදිලි දෙයනම්, ඉදිරි වසර විස්සක පමණ කාලය නොමැරී ජීවත් වීමට ලැබුනේනම් මා විසින් මගේ දරුවන්ට උගන්වනු ලැබීමට නියමිත සියළු දේ ඉගෙන ගැනීමට ඔවුන්ට ඉඩ සලස්වන්නේ කෙසේද යන්නයි. ඔවුන් ඉතා ලාබාල වයසේ පසුවන බැවින් මේ කතාබහ මේ වෙලාවේ කිරීමේ හැකියාවක් නැත. වැරැද්දෙන් නිවැරැද්ද වෙන් කරගන්නා ආකාරයත්, අප වැදගත්යයි සිතන දේවලුත්, ජීවිතයේ අභියෝග වල මුහුණ දිය යුතු ආකාරයත් සෑම දෙමවුපියෙකු විසින්ම සිය දරුවන්ට කියා දිය යුතුය. ඔවුන්ගේ ජීවිත හැඩගස්වා ගැනීමට ආධාරක ලෙස අපේ සැබෑ ජීවිත කතා අපවිසින් ඔවුන්ට කියා දිය යුතුය. මා කානගී මෙලන් සරසවියේ අවසාන දේශනය යොදාගත්තේ මගේ ඒ අරමුණ වෙනුවෙනි.

මේ දේශනා සාමාන්‍යයෙන් සලඡායාලේඛණගත කෙරේ. එදින මා විසින් කරන්නේ කුමක්දැයි මම හොඳින් දැන සිටියෙමි. ශාස්ත්‍රාලීය දේශනයක් කිරීමට ලැබුණු අවස්ථාවට මුවා වෙමින් මා විසින් කළේ කිසියම් අනාගත දිනෙක මුහුදු වෙරළට ගසාගෙන ආ විටෙක මගේ දරුවන්ට සොයාගත හැකි වන පරිදි මා නමැති ප්‍රපංචය බෝතලයක් තුළට රිංගවීමයි.


මා චිත්‍ර ශිල්පියෙකු වීනම් මා ඔවුන් වෙනුවෙන් සිතුවමක් පින්තාරු කරනු ඇත. මා සංගීතඥයෙකු වීනම් මා ඔවුන් වෙනුවෙනි සංගීත ඛණ්ඩයක් නිමවනු ඇත. එහෙත්, මම දේශකයෙක්මි. එබැවින්, මම දේශනයක් කළෙමි.

මගේ ජීවිතයෙන් ඉතිරිව ඇති කාලය මෙතරම් කෙටි වුවද, ජීවිතයේ මිහිර ගැනත්, ජීවිතයේ වටිනාකම ගැනත් මම දේශනා කළෙමි. මා විසින් හෘදයංගම දේ ලෙස සලකන අවංකත්වය, ප්‍රතිපත්තිගරුක බව, කළගුණ සැලකීම වැනි යහගුණ ගැන මම කතා කළෙමි. ඒ අතර, මගේ දේශනය ඒකාකාරී, නීරස එකක් නොවන්නටද මම, ඉතා අසීරුවෙන් වුවත්, වගබලා ගත්තෙමි.

මේ පොත මඟින් මා කරන්නේ කානගී මෙලන් සරසවි වේදිකාවේදී මා පටන්ගත් දේශනය තවදුරටත් දිගටම කරගෙන යාමයි. කාලය ඉතා වටිනා නිසා, ඒ කාලය හැකිතාක් මගේ දරුවන් සමඟ ගත කළ යුතු නිසා, මම මේ කටයුත්තට ජෙෆ් සැස්ලෝගේ [පොතේ සම කතෘ] උදවු ඉල්ලුවෙමි. මගේ සෞඛ්‍යය පවත්වාගැනීමට ව්‍යායාම අත්‍යවශ්‍ය බැවින් සෑම දිනකම මම මගේ නිවස ආසන්නයේ පාපැදියෙන් රවුම් ගණනාවක් යමි. ඒ අතර, මගේ ජංගම දුරකථනයට සම්බන්ධ කළ හෙඩ් ෆෝනයෙන් මම ජෙෆ්ට දේශනා පැවැත්වූයෙමි. ජෙෆ් විසින් මේ පොතේ පරිච්ඡේද වලට හරවා ඇත්තේ මගේ එවැනි දේශනා පනස් තුනකි.

වෙනත් කිසිවක් ජීවත් වන දෙමවුපියෙකුගේ අඩුව නොපුරවන බව අපි මුල සිටම දැන සිටියෙමු. එහෙත්, ඉංජිනේරු විද්‍යාව යනු පරිපූර්ණ විසඳුම් ලබා දීම නොවේ. ඔබ සතුව ඇති සීමිත සම්පත් යොදාගෙන කළ හැකි හොඳම දෙය කිරීමයි. [ඉංජිනේරු විද්‍යාව හා ආර්ථික විද්‍යාව එකිනෙක අතිපිහිත වන්නේ මෙතැනදීය.] මගේ දේශනය මඟින් මෙන්ම මේ පොත මඟින්ද මා කිරීමට උත්සාහ කරන්නේ එවැන්නකි.

ලිපියේ කොටු වරහන් තුළ ඇති එකතුකිරීම් මගේය. මේ පොත කියවීමට කැමති කෙනෙකුට මෙහි ගොස් එය කියවිය හැකිය. පිළිකා හා අදාළව මා ලියූ පසුගිය ලිපියට ඉතා වටිනා එකතු කිරීම් රැසක් ප්‍රතිචාර ලෙස බොහෝදෙනෙකු විසින් එකතු කර ඇති නිසා ඒ දේවල් ලිවීමට මා වැය කළ යුතු කාලය ඉතිරිවීම සතුටට කරුණකි.

39 comments:

  1. මාත් ජීවත් වෙන්නේ තව වැඩි කාලයක් නෑ ය කියා හිතලා තමයි.
    නමුත් හැමදාම හිතට දුකක් දැනෙනවා කරන්න ඇති වැඩ කරලා ඉවර කරන්න බැරි වෙයිද කියා.

    ReplyDelete
    Replies
    1. සම්භාවිතාව කියන්නෙ රසික 1% වුනත් 99% වුනත් දෙකෙන් ඕනැ දෙයක් වෙන්න පුළුවන් කියන එකනේ. මමනම් තනි පුද්ගලයෙක් වශයෙන් ඒ තරම් බරක් කරගන්නෙ නෑ. කරන්න බැරිවෙන දේවල් ගොඩක් නොකෙරුණා කියල ලොකු ප්‍රශ්නයක් වෙන්නෙත් නැති දේවල්. දරුවන්ට වන අඩුව තමයි රිප්ලේස්මන්ට් එකක් නැති එකම දෙය. ඒ නිසා දරුවෝ ස්වාධීන වෙනකම් ඉන්න තියෙනවනම් හොඳයි. හෙල්ත් ශොක්ස් වලක්වන්න බැරි වුනත් බටහිර රටකදී ක්ෂණිකව කළ යුතු දේ කළොත් බොහෝවිට රිකවර් වෙන්න හැකියාව තියෙනවා.

      Delete
  2. මම මේ පොත කියෙව්වා. :(

    “Find the best in everybody. Just keep waiting no matter how long it takes. No one is all evil. Everybody has a good side, just keep waiting, it will come out.”

    ― Randy Pausch, The Last Lecture

    ReplyDelete
    Replies
    1. //Everybody has a good side, just keep waiting, it will come out.//
      මේක තමයි මම ආසම ඒ වගේම දැඩිව විශ්වාස කරන කෑල්ල, පොඩ්ඩි. ඒක එහෙම නැත්නම් ඒ කියන්නේ අපි ප්‍රමාණවත් කාලයක් වේට් කරල නැහැ.

      Delete
  3. මෙහි සිංහල පරිවර්තනය තියෙනවා සූරිය ප්‍රකාශනයක්... එය පරිවර්තනය කරල තියෙන්නෙ සිලිලාර බ්ලොග් අඩවියේ නිර්මාණකරු.. මට නම මතක නැහැනෙ...

    ReplyDelete
    Replies
    1. අවසන් දේශනය - සමන් කළුආරච්චි

      Delete
    2. ස්තුතියි, තරුරසී. මම ඒ ගැන දැනගෙන හිටියේ නැහැ. එහෙමනං සිංහලෙන් කියවන්න කැමති අයටත් ඔප්ෂන් එකක් තියෙනවා.

      Delete
  4. රසවත්..... සිත්ගන්නාසුළු කතාවක්.. හිතන්ට ආහාර?

    ReplyDelete
    Replies
    1. ඔවු, උපේක්ෂා. හිතන්න ගොඩක් දේවල් තියෙනවා.

      Delete
  5. ඉකෝ.. පහුගිය කාලෙදි දෙපාරක් කියවපු පෝස්ට් තියේනං ඒ උඹගේ ඒවා තමා. ඒවා හැම එකක්ම විවිධයි. ඒත් යම් නූලක් හැම එකකම ගැට ගහල කියල හිතෙනවා.. ජය

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ ඔය දේශකයා වැදගැම්මකට ඇති, නිවැරදි ප්‍රකාශයක් කොළාමද කොහෙද ! නැත්නම් ඕකා හැමදාම බොරු පිබින එකනේ කළේ....:D

      Delete
    2. කාලෙකින් බොරුවක් කිව්වා. ඒකත් අවුල්.. අප්පා ඇයි ලෝකේ කූර මේ තරං

      Delete
    3. "ලියන කෙහෙම්මලක් එක පාරක් කියෙව්වම තේරෙන විදිහට ලියපං බං. අපිට දෙපාර දෙපාර කියවන්න වෙලා නෑ." කියන එකේ ප්‍රොෆෙෂනල් වර්ෂන් එකද? :) බොරුවක්නම් කමක් නෑ!

      Delete
    4. නෑ රියල් වර්ෂන් එක ඉකෝ..

      Delete
    5. ස්තුතියි, දේශා! විහිළුවට ලිවුවේ.

      Delete
  6. පට්ට...

    අපි දන්නවනං, අපි තව‍ කොච්චර කලක් ජීවත් වෙනවද කියල, අපි මීට වඩා හොඳට මේ සමාජයෙ ජීවත් වෙයි.

    ReplyDelete
    Replies
    1. ඒක තීරණය වෙන්නේ පුද්ගලයා මත නේද? සමහර විට එහිම ප්‍රතිවිරුද්ධ දෙය වෙන්නත් පුළුවන්.

      Delete
  7. මේ කතාව කලින් නරඹා තිබුණා. කෙසේ උනත් බෙදා හදා ගත්තාට ස්තුතියි.

    ReplyDelete
  8. මේ පොත කළින් කියෙව්වා.නැවත මතක් කිරීම ගැන ස්තූතියි.

    ReplyDelete
  9. හදිසියේම ඔබේ සහකාරිය හෝ සහකරුවා අඩුවයසෙන් මියගියොත් ඔබ කුමක් කරන්නේද ? මේ ගැන ටිකක් සිතාබලන්න කටුක වුවත් සිදුවිය හැකි දෙයක් !

    ReplyDelete
    Replies
    1. මැරෙන්න වෙන්නේ නොමැරුනු කෙනාට නේද?

      Delete
  10. හදිසියේම ඔබේ සහකාරිය හෝ සහකරුවා අඩුවයසෙන් මියගියොත් ඔබ කුමක් කරන්නේද ? මේ ගැන ටිකක් සිතාබලන්න කටුක වුවත් සිදුවිය හැකි දෙයක් !

    ReplyDelete
    Replies
    1. මළ ගෙවල් දෙකයි... හෙහ් හෙහ්...

      Delete
  11. හොඳ පෝස්ටුවක් සහ හිතන්නට යමක් ඉකොනො

    හැබෑටම මරණය සම්බන්ධයෙන් විවාහකයෙකුට තියෙන ලොකුම කේස් එක තමයි දරුවන්ගේ අනාගතය පිළිබඳ බිය සහ අවිනිශ්චිත භාවය. කෙසේ නමුත් ඔබ මරණය සහ ඉන් පුද්ගලයෙකුට සහ ඔහුගේ සමීපතමයන්ට වන බලපෑම ගැන ඉතාම විමාර්ශනාත්මක පෝස්ට් කීපයක්ම දමා තිබුණා. කොහොම වුණත් මමනම් ජීවත් වෙන්නේ මරණය අමතක කරදමායි. මා මරණයට බයත් නැහැ ඒ ගැන හිතන්නේත් නැහැ.

    ReplyDelete
    Replies
    1. මරණයට බය වෙන්නවත් ඒ ගැන ඕනෑවට වඩා හිතන්නවත් ඕනෑ නෑ තමයි, ඇනෝ. ඒත් මැරෙනවා කියන එක ඔලුවේ තියාගෙන තමන් විශ්වාස කරන පරිදි මැරෙන තුරු පුළුවන් තරම් ප්‍රසස්ථ ජීවත් වෙන්නේ කොහොමද කියන එක ගැන හිතන්න වෙනවා.

      Delete
  12. ඔහු හිතන විදිහ හොඳයි...අපේ සමාජයේ බහුතරයක් නම්, දොස්තර "ඔයාට පි.." කියලා කියපු ගමන් එතනම මැරිලා වැටෙනවා... ඊට පස්සේ ඇත්තටම මැරෙණකම් ඉන්නෙ ඇවිදින මළමිනියක්....

    මටනම් නිතරම හිතෙන දෙයක් තමා මේ ලෝකේ කවුරුවත් කා මතවත් යැපෙන්නේ නෑ කියලා.. තාත්ත මලාට ළමයි ඒ මත්තේ මැරෙන්නේ නෑනෙ... අඩු පාඩු ඇතිව හරි කොහොම හරි, ජීවත් වෙනවනේ...ඒක හින්දා මම මලාට පස්සේ මගේ ගෑනිට, ළමයින්ට මොකද වෙන්නේ කියලා දුක් වෙලා පලක්ම නෑ.. පුළුවන්නම් යුතුකමක් වශයෙන් ඒ ගොල්ලන්ට ජීවිතේ පහසු කරගන්න විධියක් හදන්න එක හොඳයි...මොනවා වුනත් බොහොම ටික කාලෙකින් හැමෝම මළවුන්ව අමතක කරලා දානවා...

    ReplyDelete
    Replies
    1. //මොනවා වුනත් බොහොම ටික කාලෙකින් හැමෝම මළවුන්ව අමතක කරලා දානවා// දරුවෙක් සම්බන්ධව ඒක එහෙමම නෑ, සෙන්නා. කුඩා කාලයේ සිදුවන දෙමවුපියෙකුගේ අඩුව මුළු ජීවිත කාලයටම බලපානවා. මේ කොහොම හරි ජීවත් වීමේ විශාල වෙනසක් තියෙනවා. අනිත් කරුණු වලටනම් එකඟයි.

      Delete
  13. ඉතා වටිනා ලිපියක්.

    ReplyDelete
  14. බොහොම ස්තූතියි..!!
    ජයවේවා..!!

    ReplyDelete
  15. ආපහු වතාවක් මේ ගැන හිතන්න සැලැස්සුවට තුති...

    මේ වගේ හොඳ මිනිහෙක් මැරෙන දවස දැනගෙන ඉඳලා ක්‍රියා කරපු අකාරය විශිෂ්ඨ උනාට නරක අදහස් ඇති මනුස්සයෙක් ලෝකෙන් පළි අරගෙන මැරෙන්නත් පුළුවන්...
    ඒ නිසා මැරෙන දවස හෝ ආසන්න කාල වකවානුව දැනගෙන ඉන්නේ නැති තරමට හොඳයි...
    එතකොට යන්න වෙච්ච වෙලාවක දන්නෙම නැතුව හුටුස් ගාල යන්නනේ තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ඔවු ඒක ඇත්ත. මැරෙන දවස දැන ගත් විට ගොඩක් මිනිස්සු වඩා නරක ලෙස හැසිරෙන්න පුළුවන්. වෙන ඕනෑ නෑ අනිවාර්යයෙන් පැරදෙන බව දැනගත් විට ඇතැම් දේශපාලකයෝ කොහොමද හැසිරෙන්නේ. (පක්ෂයක් හෝ පුද්ගලයෙක් හා අදාළව නෙමෙයි.)

      Delete
  16. ගො ඩක් පින් මේ ලිපිය පල කලාට .හිතන්න දේ එමටයි . මම නම් 66 කණුවේ ඉන්නේ .ඉතිරි ටික ගත කරන්න හොඳ ගැම්මක් ආවා .ඔබේ ලිපි එක පාරට වැඩියෙන් කියවනවා.වැඩිපුර සිංහලෙන් කියවන අපට රත්තරන් ආකරයක් .

    ReplyDelete
  17. ගො ඩක් පින් මේ ලිපිය පල කලාට .හිතන්න දේ එමටයි . මම නම් 66 කණුවේ ඉන්නේ .ඉතිරි ටික ගත කරන්න හොඳ ගැම්මක් ආවා .ඔබේ ලිපි එක පාරට වැඩියෙන් කියවනවා.වැඩිපුර සිංහලෙන් කියවන අපට රත්තරන් ආකරයක් .

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

Gadget

This content is not yet available over encrypted connections.