Sunday, March 13, 2016

සතර පෙර නිමිති නොදැකීම


පිළිකාවක් හේතුවෙන් සිදු වූ මිතුරෙකුගේ මරණයක් ගැන මම දෙසතියකට පෙර ලිපියක සඳහනක් කළෙමි. වත්පොත හරහා මේ පුවත දැනගන්නා මොහොතේ ඒ මරණය හා අදාළ තවත් කරුණු දෙකක් දැනගන්නට ලැබුණේය.
-ඔහු මේ පුවත දැනගන්නා විට පිළිකාව සුව කළ නොහැකි මට්ටමට වර්ධනය වී තිබී ඇත.
-මේ ගැන වෙනත් අයට කියනවාට ඔහුගේ වැඩි කැමැත්තක් තිබී නැත.

පසුගිය වසර දෙක තුළ ඇමරිකාවේ ජීවත් වූ මගේ වෙනත් මිතුරු මිතුරියන් තිදෙනෙකුට පිළිකා සෑදී මේ වන විට සුවය ලබා සිටිති. එයින්, දෙදෙනෙකු ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින්ය. මගේ පදිංචිය වෙනස්වීම් නිසා ඔවුන් මේ රෝගයට පාත්‍ර වන විට මා මේ මිතුරා හා මිතුරිය දැන හඳුනාගෙන වැඩි කාලයක් නැත. අනෙක් මිතුරිය පිලිපීන සම්භවයක් ඇති තැනැත්තියකි. දශකයක පමණ කාලයක් තිස්සේ මා දන්නා ඇය සමඟ මා රටවල් කිහිපයකදී අවස්ථා කිහිපයක්ම සමීපව කටයුතු කර ඇත.

බටහිර රටවල පිළිකාවකින් සුවය ලැබීමේ ඉඩකඩ (survival rate) දියුණු වන රටවල එම ඉඩකඩට වඩා සැලකිය යුතු ලෙස විශාලය. මෙයට එක් හේතුවක් වන්නේ මුල් අදියරේදීම පිළිකා වැඩි ප්‍රමාණයක් හඳුනාගැනීමයි. එසේ වුවද, බටහිර රටකදී පිලිකාවක් වැළඳීමට ඇති ඉඩකඩ කිහිප ගුණයකින් වැඩි නිසා පිළිකාවකින් මරණයට පත්වීමේ ඉඩකඩද වැඩිවී තිබීම වෙනම කතා කළ යුතු කරුණකි.

අකල් මරණයකට පත් වූ, මුලින්ම සඳහන් කළ මිතුරා මෙන්ම පෙර කී අනෙක් මිතුරා හා මිතුරියද තමන්ගේ රෝග තත්ත්වය ගැන වෙනත් අය දැනගන්නවාට එතරම් කැමැත්තකින් සිට නැති බව පෙනේ. මෙයින් වඩා වයසින් අඩු මිතුරිය ඇගේ පිළිකාව හා සටන් කර ජයගත් බව මා වත්පොත හරහා දැනගත්තේ ඇය විසින්ම අවසානයේ ඒ බව වත්පොත හරහා දැනුම් දීමෙන් පසුවය. ඒ අතරවාරයේදී මට ඇයව කිහිප වරක්ම පෞද්ගලිකව හමුවන්නට ඇත.

දෙවන මිතුරා රෝහල්ගතව සිටින බව මා 'වටෙන් ගොඩෙන්' දැනගත්තත්, ඇතැම් විට ඒ වන විට ඔහු සමඟ මගේ ලොකු සම්බන්ධයක් නොතිබූ බැවින්, වෙනත් මිතුරන් ඒ ගැන මා සමඟ කතාබහ නොකළේය. තමන්ගේ සමීපතම නෑදෑයන් ආදීන්ගෙන් වෙන්ව සිටින අයෙකුට මෙවැනි අවස්ථාවකදී වෙනත් අයෙකුගේ උදවුවක වටිනාකම බොහෝ වැඩිය. මගේ රැකියාවේ ස්වභාවය අනුව මට නිශ්චිත සේවා මුරයක් තුළ සේවය කිරීමට බොහෝ විට අවශ්‍ය නොවන නිසා දිනක් හෝ  කිහිපයක් රෝහලේ නැවතී ඔහුට අත් උදවු කිරීමේ හැකියාවක් මට තිබුණේය. එහෙත්, තමන්ගේ රෝගය ගැන 'හැමෝම දැනගන්නවට' ඔහු අකමැති වූ බැවින් ඔහුගේ පෞද්ගලිකත්වයට ගරු නොකර උදවුවක් කිරීමේ හැකියාවක් මට තිබුණේ නැත.

කෙසේ වුවද, පිලිපීන මිතුරියගේ ප්‍රවේශය වූයේ මීට වඩා වෙනස් එකකි. මුලින් පිලිපීන මුදල් අමාත්‍යාංශයේත්, පසුව ලෝක බැංකුවේත් සේවය කළ ඇය මේ සිදුවීම වන විට ඇමරිකානු සරසවියක ආචාර්ය උපාධිය හදාරමින් සිටියාය. පිළිකාව වැළඳෙන විටත් අවිවාහකව සිටි ඇය වෘත්තීය කටයුතු වලට දක්වන සැලකිල්ලම සාමාන්‍යයෙන් රූ සපුව ගැනද දැක්වූ තැනැත්තියකි. පිළිකාවෙන් බේරීමට ඇයට ඇගේ පියවුරක් ඉවත් කිරීමට සිදු විය. විකිරණ ප්‍රතිකාර නිසා ඈ මහත් සැලකිල්ලෙන් නඩත්තු කළ දිගු වරල සම්පූර්ණයෙන්ම ගිලිහී ගියේය. මා මේ සියළු දේ දැනගත්තේ ඈ ඇගේ පිළිකාව මුලින්ම හඳුනාගත් තැන් පටන් සියළු අදියරයන් වෙනම බ්ලොග් එකක යාවත්කාලීන කළ බැවිනි.

මේවා පුද්ගලික තේරීම්ය. එහෙත්, මගේ සාමාන්‍ය නිරීක්ෂණය වන්නේ බොහෝ ලාංකිකයින් පිළිකාවක් වැනි රෝගයක් වැළඳුනු විට ඒ බව රහසිගතව තබාගැනීමට උත්සාහ කරන බවයි. වෙනත් රටකට සංක්‍රමණය වී වසර ගණනක් ජීවත් වුවද මෙවැනි පුරුදු ඇතැම් විට වෙනස් නොවේ. වෙනත් අයෙකුගෙන් උදවු උපකාරයක් ලබා ගැනීමට ඇති හැකියාවද නොසලකමින් මෙසේ හැසිරෙන්නේ ඇයිද යන්න විමසිය යුතු කරුණකි.

බටහිර රටකට සාපේක්ෂව ලංකාවේදී වෙනත් අයෙකුගේ රෝගයක් වැනි තත්ත්වයක් ගැන පුද්ගලයින් වැඩිපුර සැලකිලිමත් වේ. මේ නිසා 'වෙන කෙනෙකුට කරදර කළ යුතු නැත' යන මානසිකත්වය මේ තත්ත්වයට මුල් වෙනවා විය හැකිය. එහෙත්, මට සිතෙන පරිදි මෙයට වෙනත් හේතුද තිබේ.

කොයිතරම් මරණයේ අනියත බව ගැන කතා කළත් ලංකාවේ බොහෝ දෙනා මරණයට වගේම මාරාන්තිකයැයි සාමාන්‍යයෙන් සිතන රෝග වලටත් ඇත්තේ පුදුම බයකි. සමීක්ෂණයක ප්‍රතිඵල අනුව, ලංකාවේ කාන්තාවන්ගේ එච්අයිවී/ඒඩ්ස් පිලිබඳ දැනුම් මට්ටම මම පසුගිය ලිපියකින් සංඛ්‍යාත්මකව ඉදිරිපත් කළෙමි. මේ වන විට, එච්අයිවී වෛරසය ශරීරගත වීම දශක දෙකකට පෙර මෙන් මාරාන්තික තත්ත්වයක් නොවේ. අධි සක්‍රිය ප්‍රති-වෛරස් ප්‍රතිකාරකය (Highly active antiretroviral therapy - HAART) වැනි සම්බන්ධීකරණය කළ ඖෂධ පංතියක් දිගටම ගැනීමෙන් එච්අයිවී වෛරසය ශරීරගත වූ බොහෝ දෙනෙකු දැන් ඒඩ්ස් තත්ත්වයට එළඹෙන්නේ නැත. ඒ අනුව, එච්අයිවී වෛරසය ශරීරගත වීම කොලෙස්ටරෝල් හෝ සීනි වැඩිවීම වැනි රෝගකාරක තත්ත්වයක් බවට දැන් පත් වී ඇති අතර බටහිර රටවල එච්අයිවී ආසාදිත පුද්ගලයෙකුගේ අපේක්ෂිත ආයුකාලය සාමාන්‍ය පුද්ගලයෙකුගේ අපේක්ෂිත ආයුකාලයටම ආසන්නය.

තත්ත්වය එසේ වුවද, එච්අයිවී ආසාදිත පුද්ගලයෙකු සමඟ සාමාන්‍ය සමාජ කටයුත්තක යෙදීමට සූදානම් පිරිස කොතරම් සීමිත විය හැකිද යන්න පසුගිය දින වල ලංකාවේ සිදුවූ සිදුවීම් වලින් පැහැදිලි විය. ඒ සිදුවීම් වසර හයකට පෙර සිදුකළ සමීක්ෂණයේ දත්ත තහවුරු කරයි.

එච්අයිවී/ඒඩ්ස් පිලිබඳ දැනුම් මට්ටම ගැන ඉහත ආකාරයේ සමීක්ෂණයක් සිදුකර තිබුණත් පිලිකා පිලිබඳ දැනුම හා ආකල්ප ගැන මා දන්නා තරමින් මෙවැනි සමීක්ෂණයක් සිදු කර නොමැත. එහෙත්, මගේ පෞද්ගලික අදහසනම් පිළිකා පිලිබඳ දැනුම හා ආකල්ප වුවද එච්අයිවී/ඒඩ්ස් පිලිබඳ තත්ත්වයෙන් විශාල ලෙස වෙනස් නොවන බවයි.


ලංකාවේ යමෙකුට පිළිකාවක් වැළඳුණු විට ඒ බව වෙනත් අය දැනගන්නවාට කැමති අය සිටිනවානම් ඒ බොහෝ අඩුවෙනි. එච්අයිවී/ඒඩ්ස් හැදුණු විටක මෙන්ම මෙහිදීද වන්නේ "ඔය හංගගෙන හිටියට පුෂ්පගෙ හස්බන්ඩ්ට පිළිකාවක්ලු!" ආකාරයේ කටකතා පැතිරීමයි. එමෙන්ම, පිළිකා වාතයෙන්, ආහාර වලින් වැනි ක්‍රම වලින් බෝ නොවුණත්, පිළිකා රෝගියෙකුගේ නිවසට නිතර යන්න එන්නට හෝ එවැන්නෙකු සමඟ කෑම කන්නට බොහෝ ලාංකිකයින් පැකිලෙන බව මගේ උපකල්පනයයි. තමාගේ රෝගය ගැන ප්‍රචාරය වනවාට බොහෝ දෙනෙකු අකැමති වන්නේ මේ හේතුවද නිසාය.

අපි සතර පෙර නිමිති ගැන ඕනෑ තරම් අසා ඇත්තෙමු. සතර පෙර නිමිති ඕනෑ තරම් අපට පෙනෙන්නට තිබේ. එහෙත්, බොහෝවිට අපි සතර පෙර නිමිති නොදකිමු.



(Image: adarawanthaingearamaya.blogspot.com/)

53 comments:

  1. //ඉකොන්,
    ලොකු උදව්වක් කරන්න පුලුවන්ද? ඔයාලගෙ සහෝදර blog කරුවෙක් වැදගත් ලිපියක් ලියල තිබුන. විදේශගත වීමේදී, ගුවන් තොටුපල පර්‍යන්තය තුලදී, නොදැනුවත්කම නිසා සිදුවන්නාවූ අපහසුතවයන් හා එම අපහසුතවයන් මගහරවාගන්නේ කෙසේද යන්න පිළිඳව. මට එම blog ලිපිය සොයාදෙන්න පුලුවන්ද? ලොකු උදව්වක්.//

    කරුණාකර මේ ලිපිය ගැන මතකයක් තියෙන කෙනෙක් ඉන්නවනම් ලින්ක් එකක් දානවද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, රවී! මම මෙය ඉල්ලා සිටි තැනැත්තාට ඊමේල් කළා. ඔහු හොයන ලිපියනම් වෙන එකක්ලු.

      Delete
    2. මේක අහන්න ඕන සිංහලබ්ලොග්පිඩියැටිස්ට් ප්‍රසන්න මහතාගෙන්.. මං අහල බලල උත්තරයක් දෙන්නං.

      Delete
    3. http://sincanada.blogspot.com/2013/06/blog-post.html

      ප්‍රසා මේක දුන්නේ. හරිද දන්නෑ

      Delete
    4. @දේශක යා,
      මම පීඩියා ප්‍රෝ බොන්නෙ නෑ බොල. හැක්..

      Delete
    5. දේශා සහ ප්‍රසන්න: දෙන්නටම ස්තුතියි මහන්සි වුනාට. රවී පෙන්නපු ලිපියෙන් සහ මේ ලිපියෙන් ඔහුට අවශ්‍ය තොරතුරු හොයාගත් බව කියල තියෙනවා.

      Delete
  2. මරු ලිපියක්. මම හිතන විදිහට පිළිකා රෝගය හැංගීමට හේතුවක් තියෙනවා. එනම් මව්පියන්ගෙන් කෙනෙකුට පිළිකාවක් හැදීම දරුවන්ටත් එය වැලඳීමට හේතුවක් යයි සිතීම. විශේශයෙන් ගැහැණු දරුවන් සිටිනා මව්පියන් මේ ගැන බියක් දක්වනවා.

    ReplyDelete
    Replies
    1. ඒ පියයුරු පිළිකා පමණයි නේද?

      Delete
    2. පිළිකා වලට යම් ජානමය බලපෑමක් තිබුනත් එහි බලපෑම එතරම් විශාල නැති බවයි මගේ අදහස. අනෙත් කරුණ, ලංකාව වැනි සියවස් ගණනක් දූපතක් තුළ අන්තර්-අභිජනනය සිදු කළ රටක පුද්ගලයින් අතර ජාන වෙනස්කම් ගොඩක් විශාල නැහැ. දැන් ඔය අබ මිට හොයන්නෙමත් සීමිත වපසරියක් ඇතුලෙනේ.

      Delete
  3. ලංකාවේ අය අතර ඇති නරක පුරුද්දක් නම් ලෙඩාට රෝගය ගැන නොකියා සිටීමයි. මෙමගින් ලෙඩාට තමන් ගැන තීරණ ගැනීමේ ඇති අයිතියත් අහුරා දමනවා!

    ReplyDelete
    Replies
    1. රසික-ඒකට එක හේතුවක් තමයි අපේ කට්ටිය මරණයට, දරුණු ලෙඩකට මුහුණ දෙන විදිහ. කොච්චර බුද්ධාගම දැනගෙන හිටියත් මැරෙන්න යනවා කිව්වා ගමන් අඬා වැටෙනවා. ඒ නිසා හරි decisions ගන්න බැරි වෙන්න පුළුවන්. හුඟක් අය බුද්ධාගම කියල දන්නේ පාලි වචන ටිකක් විතරයි. එතනින් එහා මේවා ජීවිතේට practically apply කරගන්නේ නැහැ. westernersලා අපිට වැඩ ඉදිරියෙන් ඒ අතින්.

      Delete
    2. මාරාන්තික වුනත් නැතත් මගේ ලෙඩක් මගෙන් හැංගුවොත් නම් බොහෝ දුරට ඒ හංගපු කෙනා මට කලින් මගේ අතින් අවසන් ගමන් යන්න ඉඩ තියෙනවා. මොකද රසික වගේම මමත් ඉතා දැඩිව විශ්වාස කරනව රෝගියෙක්ට තමාගේ තත්වය ගැන දැනගන්න අයිතියක් තියෙනව බව. ඒ අයිතිය ඉතාම වැදගත් අයිතියක් වගේම ඒ අයිතිය උල්ලංඝනය කරන එක බරපතල වරදක්.

      අපේ අය බොහෝ අය ජීවත් වෙන්නේ අනුන් වෙනුවෙන්, වැඩ කරන්නේ අනිත් අය හිතන දේ වෙනුවෙන්.. ඒ වගේම මේ වගේ අවස්ථා වලදීත් කෙනෙක් වෙනුවෙන් වෙනත් කෙනෙක් තීරණයන් ගැනීමක් වෙන්නේ. මේකට එක හේතුවක් වෙන්න පුළුවන් රෝගියාට රෝගය ගැන ප්රවෘතියට මුහුණ දෙන්න තරම් පරිණතභාවයක්(Maturity) එකක් නැහැ කියල රෝගියාගේ සමීපතයන් හිතන එක.මොනව වුනත් එහෙම හංගන එක ඉතාම සදාචාරාත්මක විරෝධී ක්‍රියාවක් කියලයි මම හිතන්නෙ.

      Delete
    3. මට හොඳම දේ මට වඩා හොඳින් ඔබ දන්නවා කියා බොහෝ විට හිතන චින්තනයේම දිගුවක්නේ ඕක. නේද?

      Delete
  4. /කොයිතරම් මරණයේ අනියත බව ගැන කතා කළත් ලංකාවේ බොහෝ දෙනා මරණයට වගේම මාරාන්තිකයැයි සාමාන්‍යයෙන් සිතන රෝග වලටත් ඇත්තේ පුදුම බයකි./
    පොඩ්ඩක් කල්පනා කර බලන්න එබෝලා රෝගය පැතුරුණු රටවල්වලට ගිය වෛද්‍යවරුන් හා හෙදියන් පැමිණියේ මොන රටවලින්ද කියා. මා දන්නා අන්දමට නම් ඔවුන් වැඩිදෙනෙක් පැමිණියේ අපේ දේශප්‍රේමීන් 'අධිරාජ්‍යවාදී' ලෙස හඳුන්වන බටහිර රටවලින්. දයාව, කරුණාව ගැන උදේ සවස දෙසාබාන ධර්මද්වීපයෙන් කී දෙනෙක් ගිහින්ද? මා දන්නා පරිදී, හරියටම - බින්දුවයි? ඒ ඇයි?

    ReplyDelete
    Replies
    1. +++++++
      'I was thinking the same, when I heard about the 'AIDS' issue in K'pitiya.

      Delete
    2. කවුරුත් මිනිස්සු ලෙස සලකා එවැනි අවදානම් ගන්න ගොඩක් අය බටහිර රටවල ඉන්නවා. සුනාමිය වෙලාවේ මුලින්ම ආපු සහන සේවකයෝ කිහිප දෙනා අතරෙත් ඔය බටහිර රටවල සාමාන්‍ය මිනිස්සු ගණනාවක් හිටියා.

      Delete
  5. මම හිතනවා තව පරම්පරාවක් යනවිට මේ බොරු බිය අපේ රටේ සමාජයේ බහුතරයකගේ සිත් වලින් පහව යයි කියා.

    සෞඛ්‍ය අධ්‍යාපනය ගැන අධ්‍යාපන අමාත්‍යාංශය මීටවඩා සැලකිලිමත් වියයුතුයි.

    ReplyDelete
    Replies
    1. පිළිකාව විතරක් නෙමේ නිට්ටාවටම හොඳ කරන්න පුළුවන් ක්ෂය රෝගය, ලාදුරු වගේ රෝගත් මිනිස්සු සමාජයෙන් හංගනවා. සුවවෙලා අවුරුදු ගානක් ගියත් ඔවුන් මේ බව තියාගන්නේ රහසක් විදියට (මටත් ක්ෂය රෝගය හැදිලා තියෙනවා දැනට අවුරුදු 8කට විතර කලින්)

      Delete
    2. ජේමිස් බණ්ඩා, ඔන්න බලහන් උඹ ඕක අපිට අවුරුදු අටක්ම හැංගුවනේ.... හෙහ් හෙහ් :D

      Delete
    3. තාම හංගන් තමා බං ඉන්නේ. තාම රහසක්, උඹලට විතරයි ඕං කිව්වෙ. කාටවත් කියනව හෙම නෙමේ :D

      Delete
    4. සුවවූ පසුවත් මෙසේ හැංගීමේ අහිතකර ප්‍රතිපල කිහිපයක්ම තියෙනවා. මෙවැනි ලෙඩ හැදී මැරුණු අය මිස සුව වූ අය පේන්න නැති නිසා තමන්ට මෙවැනි ලෙඩක් හැදුනු විට සුව වීමට ඇති හැකියාව ගැන සමාජයේ ඇති සැකය වැඩි වෙනවා. ඒ නිසා එක අතකින් 'හොර වෙදුන්' වෙත යාම දිරිමත් වෙනවා. අනික් අතින්, 'කොහොමත් මැරෙන්න ඉන්න මිනිහෙක්' කියා අතහැර දැමීම දිරිමත් වෙනවා.

      Delete
  6. ගොඩක් වෙලාවට මේ පිළිකා තත්ත්ව හැංගීමෙන් වෙන්නෙ තමන්ට ජීවත් වන කාලයවත් හිතෛෂීන් එක්ක සතුටින් ගෙවන්න නැති වෙලා තමන් තනිවම වේදනා විඳගනිමින් ඉඳල මැරිල යාම.හැබැයි සමහර හිතමිතුරන් කියන කට්ටිය ලෙඩා සමඟ සංවාදයෙ යෙදෙද්දි ලෙඩ ගැනම කියවනව.. ඒ වගේ තත්ත්වයන් නිසා ලෙඩ හංගන අවස්ථාත් එමටයි.හැබැයි වඩාත් ම වැදගත් දේ වෙන්නෙ මේ තමන්ගෙ කර්මය කියල අවබෝධයෙන් තේරුම් අරන් රෝගයට මුහුණ දීම.හැබැයි ඔය කිව්වත් වගේ සතර පෙරනිමිති තමන්ගෙ ඇස් ඉස්සරහ තියෙද්දිත් මිනිස්සු ඒවා හඳුනානොගැනීමේ ගැටලු අනන්තයි අප්‍රමාණයි..

    ReplyDelete
    Replies
    1. සමහර දේවල් අපට සම්පූර්ණයෙන් වෙනස් කළ නොහැකි වුනත් යම් තරමකට වෙනසක් කර ගන්න පුළුවන්, වර්ෂා. ඒ ටික අපි කර ගත යුතුයි. අනිවාර්යයෙන්ම නිශ්චිත කාලයකින් මැරෙන කෙනෙක්ට වුනත් ඉතිරි වී ඇති කාලය වඩා හොඳින් සැලසුම් කර ගත කරන්න පුළුවන්. බුද්ධ ධර්මයේ මරණය, ලෙඩ ගැන කතාකිරීමේ අරමුණ ඒවා සාමාන්‍ය දේ බව තේරුම් අරගෙන බයෙන් මිදීමයි. බය වැඩි කරගැනීම නෙමෙයි. මේ ගැන තව ලිපි කිහිපයක් ලියල තියෙනවා. ඉදිරි දින වල දාන්නම්.

      Delete
  7. බටහිර රටකදී පිලිකාවක් වැළඳීමට ඇති ඉඩකඩ කිහිප ගුණයකින් වැඩි නිසා///////////// agree

    ReplyDelete
    Replies
    1. සංඛ්‍යාලේඛණ අනුව එය දෙගුණයක සිට තෙගුණයක් දක්වා වැඩියි. මම මේ දිනවල ඒ සඳහා හේතුවන යාන්ත්‍රණ හොයාගන්න උත්සාහ කරමින් සිටිනවා.

      Delete
  8. පිළිකාව පිළබඳ රෝගියා දැනගත් විගස මානසික කඩාවැටීම ලංකාවේ සුලබව දක්නට පුළුවන්, වසර ගනාවක් නොදැන පිළිකාව සමග ජීවත් වූ පුද්ගලයන් , අහම්බෙන් හෝ දැනගත් පසු ඉක්මනින් මරණයට පත් වීමට තරම් මේ මානසික කඩාවැටීම බලවත්

    ReplyDelete
    Replies
    1. ඔවු, එහෙම පැත්තකුත් තියෙනවා. සමහර විට මුල සිටම දැනගෙන සිටියානම් ඒ තත්ත්වයට ඉක්මණින් හැඩ ගැහෙයි. මාරාන්තික රෝගයකට ගොදුරු වූ කෙනෙක් මානසිකව අදියර කිහිපයකින් එයට හැඩ ගැසෙනවා. මේ අදියර බොහෝ දුරට කාටත් පොදුයි.

      Delete
  9. මගේ අත්දැකීම් අනුව ලංකාවේ රෝගයක් (විශේෂයෙන් පිළිකාව වැනි තත්වයන්) වැළඳුණු විට ඒ බව වෙනත් අය දැනගන්නවාට රෝගීන් අකමැති වීමට ප්‍රධාන හේතුවක් වන්නේ බොහෝ විට නෑදයන් සහ මිතුරන් රෝගය නිසා තමන් කෙරේ තිබුණ ආකල්ප වෙනස් කර ගැනීමට පෙළඹීමයි. රෝගය සුවකරගැනීම සඳහා කායික, මානසික වශයෙන් උදව්වනවාට වඩා සිදුවන්නේ රෝගය උත්සන්න වීමට ඔවුන් (හැමවිටම නොවේ) හේතුවක් වීමයි. මෙය ඉතා කණගාටුදායක තත්ත්වයක්.

    පිළිකා රෝගියෙක් වුන මගේ ඥාතියෙකුගේ අයිතීන් වෙනුවෙන් පෙනීසිටීම නිසා වෙනත් ඥාතින් පිරිසක් අමනාප වුණ අමිහිරි සිදුවීමක් මතකයට නැගුනා. වෙනද වගේම කාලීන ලිපියක්. ස්තුතියි ඉකොන් !

    ReplyDelete
    Replies
    1. 'රෝගය සුවකරගැනීම සඳහා කායික, මානසික වශයෙන් උදව්වනවාට වඩා සිදුවන්නේ රෝගය උත්සන්න වීමට ඔවුන් (හැමවිටම නොවේ) හේතුවක් වීමයි'.

      සම්පුර්ණ ඇත්ත. ලංකාවේ මිනිස්සු දන්නේ නෑ කෙනෙකුගේ හිත සැනසෙන විදිහට කතා කිරීමට සහ personal space එකට respect කරන්න. පිළිකාවක් කියල දැන ගත්තගමන් ඒ ලෙඩාව වචන වලින්ම මරල ඔක්කොම ඉවරයි. අනිත් එක තමයි බලන්න එන්නෙත් උදව්වක් කරනවට වඩා ඕප දුප ටික බලාගෙන යන්න. Melbourne වල ඉන්න මගේ යාලුවෙක් කිව්වා එයාගේ පවුලේ කෙනෙක් ලෙඩ වෙච්ච වෙලේ වෙන state එකක ඉඳල ආපු නෑදෑයෝ කට්ටියකගේ හැසිරීම ගැන. ඒ මනුස්සය ලෙඩාගේ සාත්තුව කරන අතරේ අර ආපු නෑදෑයොත් ඔක්කොම සැලකිලි බලාපොරොත්තු වෙනවලු. තුන් වේලම උයන්න ඕනේ, තේ හදන්න්න ඕනේ, ඒ මදිවට hospital එකට යන්න වෙලාවට නැගිටින්නේ වත් නැතිලු. අර මනුස්සයා එක පාරක් hospital දුවලා ආයිත් එනවලු මේගොල්ලෝ එක්ක යන්න. වැරදිලාවත් වත් taxi එකක් අරගෙන හරි public transport වල හරි එන්න කැමති නැහැලු. ඔන්න අපේ මිනිස්සුන්ගේ හැටි.

      Delete
    2. වැරදිම විතරක් කියනව නෙමේ, ඒත් ඔය කමෙන්ට් එක කියවද්දි මට තව කාරණාවක් මතක් වුනා. අපේ සිරිතක් තියෙනවා කෙනෙක්ට කරදරයක් වුනාම ඒක දිට්ඨ දම්මවේදනීය කර්මයට (වචනය හරි නේද?) බැර කරන. ඒ කිව්වේ කාට හරි කරදරයක් වුනාම

      "ඔය දැක්කනේ. ඕකිට ඔහොම වුනේ අර මනුස්සයට අරෙහෙම කල නිසා තමා"

      කියනව. කොටින්ම දරුවෙක්ට ඔය වගේ අසනීපයක් හැදුනත් දෙමව්පියන්ගේ කරුම ලමයි පිටින් යවනවා.

      හැමෝම වැරදි වැඩ කරල තියෙන එකේ, හැමෝ එක්කම හිත යටින් තරහ මිනිස්සු ඉන්න එකේ, කවුද කැමති තමාට කරදරයක් වුනාම ඕක පැතිරෙන්න දීලා ඔය වගේ කට කැඩිච්ච කතා අහගන්න,

      කොහොමත් නෑදෑයෝ කියන්නේ මහා කාලකණ්ණි ජාතියක් (හැමෝම නෙමේ, මගේ අත්දැකීඉමේ හැටියට එහෙමයි)

      Delete
    3. ඇත්ත. කියන්න ඕනෑ දේවල් ටික ඔබලා කියා තිබෙනවා.

      Delete
  10. එක අතකට බලනකොට හැම කෙනෙක්ම ඇවිත් ලෙඩෙකුට කරදර කරනවට වඩා ලඟම නෑයෝ කීපදෙනෙක් හා යාලුවෝ කීපදෙනෙක් හිටියාම ඇති කියලා හිතෙනවා. සමහර අය එන්නේ තොරතුරු දැනගෙන ගිහින් එක, එක අය එක්ක කතා කරන්ට මිසක් ලෙඩාට තියෙන ආදරේ හන්දා නෙමේනේ...

    මේ ඉකොනොමැට් මම ඔයාට මැට්ටෝ කීවොත් කමක් නැද්ද? :P

    ReplyDelete
    Replies
    1. මේ වගේ ඉකොනො නැති ලිපි ලියන කොට මැට්ටා කෑල්ල විතරයි තමයි ඉතුරු වෙන්නේ, පොඩ්ඩි.

      Delete
  11. පිලිකා ගැන කුලියාපිටියෙ ලැබ් එකේ රිසර්ච් කරල නැද්ද තාම?

    ReplyDelete
    Replies
    1. වැඩි විස්තර දන්නේ නෑ, ප්‍රා ජේ.

      Delete
  12. යම් රෝගි තත්වයකට පත්වු පුද්ගලයකුට තමන් මුහුණදෙන තත්වය සහ තමන් ඒ වෙනුවෙන් සිදුකරනු ලබන ප්‍රතිකාරයන් පිලිබදව අනෙක් පුද්ගලයින් දැනුවත් කිරීම සදහා කටයුතු කරනවානම් තවත් කිහිප දෙනෙකුට එයින් යම් ප්‍රතිලාභයක් ලැබීමට ඉඩ තිබෙනවාය. එමෙන්ම ඒ සම්බන්ධයෙන් වෙනත් පුද්ගලයින්ගේ උපදෙස්ද හා අත්දැකිම්ද තමාවෙත ලබා ගැනීමට හැකිය.

    එහෙත් මෙවැනි ලෙඩක් සැදුණු පසු අනිත් සියලුම මිනිසුන් රෝගියා දෙස බලන්නේ මියයාමට ආසන්න පුද්ගලයෙකු දෙස බලා දුකවන ආකාරයකටය. (අනෙත් රටවල්වල කෙසේද යන්න පිලිබදවනම් මා දන්නේ නැතිය) ඒ අනුවම රෝගියා හා අනෙක් පිරිස් අතර පරතරයක් ඉබේම සැදෙනවාය. සියලුදෙනාම රෝගියාද ඇතුලුව දින ගනිමින් සිටින්නේ ඔහු මියයන දිනය වනතුරුය. දොස්තරලා කොයිතරම් විශ්වාසයක් ඇතිකලද ඒ සියලු විශ්වාසයන් රෝගියා බැලිමට එන පුද්ගලයින් විසින් විනාශකර දමනවාය. ඔහු සාමාන්‍ය පුද්ගලයෙකු හෝ සාමාන්‍ය තත්වයේ කෙනෙකු ලෙස සිතා කටයුතු කිරිමට සමහර අවස්ථාවලදී මටත් නොහැකි බව මාහට විශ්වාසය. අපට එම තත්වය දරාගැනීමට තරම් දැනුම් හා අත්දැකිම් ප්‍රමාණයක් නොමැතිවිම මෙයට එක් හේතුවක්යැයි මම සිතමි.

    අනෙක් කරුණනම් යමෙක් රෝගිවු බව දැනගත්විට රෝගියාගේ ඥතින්ට දරා ගැනීමට නොහැකි තරමේ උපදෙස් ප්‍රමාණයක් ලැබීමය. මෙහෙම කරන්න අරම කරන්න ආදී ලෙස ලැබෙන බොහෝ උපදෙස් අනුව කටයුතු නොකරනවිටදී රෝගියාට හෝ රෝගියාගේ ඥතියකුට වන බලපෑමද ඉතාමත් වැඩිය. එය සමහර අවස්ථාවලදී නිසි පරිදි ප්‍රතිකාර කරගෙන යාමටද ගැටලුවක් වනවාය.

    ReplyDelete
    Replies
    1. එහෙත් මෙවැනි ලෙඩක් සැදුණු පසු අනිත් සියලුම මිනිසුන් රෝගියා දෙස බලන්නේ මියයාමට ආසන්න පුද්ගලයෙකු දෙස බලා දුකවන ආකාරයකටය. අපට එම තත්වය දරාගැනීමට තරම් දැනුම් හා අත්දැකිම් ප්‍රමාණයක් නොමැතිවිම මෙයට එක් හේතුවක්යැයි මම සිතමි.
      v.well said.

      Delete
    2. // දරා ගැනීමට නොහැකි තරමේ උපදෙස් ප්‍රමාණයක් ලැබීමය. //

      මොනවට කියනවද ඒ හරිය.... ඒ උපදෙස් නොපිළිපැද්දොත් තරහා වෙන අවස්තාත් තියනවා... වෙන උපදෙසක් පිළිපැදලා වැඩේ නොපිටට ගියොත්, අපි කලින්ම කිව්වනේ මෙහෙම කොරන්න කියලා.. කෝ ඇහුවද ? ඔය කොර ගත්තේ.... ආදී වශයෙන් බැනුම් වරුසාවකට ලක්වෙන වෙලාවලුත් තියනවා.. ඒ වෙලාවට රෝගියට නෙමේ උගේ ලඟ ඉන්න උන්ට හිතෙනවා අනේ අපිවත් රෝගී උනානම් කියලා.....

      Delete
    3. ස්තුතියි, එකතු කිරීම් වලට. මේවා තමයි මම කතාබහට ලක්කිරීමට බලාපොරොත්තු වූ දේවල්.

      Delete
  13. මා දන්නා තරමින් පිළිකාව ආරයට යන රෝගයක් නෙවෙයි. රුධිර පිළිකාව හැර..

    ReplyDelete
    Replies
    1. පිළිකා තරමක් දුරට ආරයට යාමකුත් තියෙනවා. මෙවැනි ජාන පරීක්ෂා කර හඳුනා ගැනීමේ හැකියාවත් තියෙනවා. සමහර වෙලාවට පවුලේ අයට පිළිකා එක විදිහට හැදීමට ජාන නොවන වෙනත් 'පවුලේ පුරුදු'ත් හේතු වෙනවා.

      Delete
  14. ලෙඩේ ගොඩදෙනෙක් දැනගන්නවා කියන්නෙ තත්ව වාර්ථා සපයලාම ලෙඩා හෙම්බත් වෙනව කියන එකයි.ඒත් එක්කම තමුන් තනි නෑ කියල ලෙඩ උනු කෙනා හිත ශක්තිමත් කරගන්න අවස්ථාත් තියෙනවා.
    ඉකෝන් දේවදූත සූත්‍රය කියවලා තියෙනවාද? මේ වගේම කතාවක් එතනත් තියෙනවා..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. දැන් කියෙවුවා. කලින් කියවල තිබුණු බවක් මතක නෑ. ස්තුතියි!

      "මහණෙනි, ඔහුට යමරජ තෙම, ’එම්බල පුරුෂය, තෝ මනුෂ්‍යයන් අතරෙහි, ව්‍යාධියෙන් පීඩිතවූ, දුකට පැමිණියාවූ, දැඩි ගිලන් බැව් ඇත්තාවූ, ස්වකීය මළ මූත්‍රයෙහි සයනය කරන්නාවූ, අන්‍යයන් විසින් නැගිටුවනු ලබන්නාවූ, අනුන් විසින් නිදි කරවන්නාවූ, ස්ත්‍රියක් හෝ පුරුෂයෙකු නුදුටුයෙහිදැ’ යි අසයි. හෙතෙම, ’ දුටුවෙමි ස්වාමීනි,’ යි කියයි. මහණෙනි, යමරජතෙම ඔහුට, ’එම්බල පුරුෂය, මහළුවූ, නුවණැතිවූ, ඒ තොපට මමද ව්‍යාධිය ස්වභාවකොට ඇත්තෙක් වෙමි. ව්‍යාධිය නොඉක්මවූයෙමි. දැන් කයින්, වචසින්, මනසින් යහපතක් කරමියි මෙබඳු සිතක් නොවූයෙහිදැ’ යි අසයි.. හෙතෙම ’ස්වාමීනි, නොහැකිවූයෙමි. ප්‍රමාදවූයෙමි’ යි කියයි."

      Delete
  15. සමාජ රෝග වගේ ඒවනම් සමාජයෙන් හංගන එක තේරුම් ගන්න පුළුවන් මොකද ඒවා හුඟක්ම තමන්ගේම වැරදි පැවතුම් නිසා විහින් කරගන්න දේවල්නේ...ඒක නිසා නිවැරදි කෙනෙක්ට් ඒ වගේ ලෙඩක් හැදුනත් තම්න් ගැන වැරදි විදිහට හිතයි කියලා හන්ගන අවස්තා තියෙන්න පුළුවන්...

    ඒත් පිළිකාවක් වගේ තමන්ගේ පාලනයකින්, වගකීමකින් තොරව හැදෙන ලෙඩක් හංගන එක තේරුම් ගන්න අමාරුයි... සමහරු සමහර විට අනෙක් අයගේ අනුකම්පාවට ලක් වෙන්න අකමැති නිසා එහෙම කරනවද දන්නෙත් නෑ....

    ReplyDelete
    Replies
    1. ප්‍රායෝගිකව දැන් සමාජ රෝග වලින් පෙන්නන්නෙත් දැනුමේ අඩුවක්ම නේද?

      Delete
  16. විදුලි අර්බුදයට යටවී මගේ අදහස් වියැකි ගිය බැවින් නැවත ස්මරණය කර ගැනීමට නොහැකිය..

    ReplyDelete
    Replies
    1. දේශකයාගේ මොළය දුවන්නේ විදුලියන් වගේ? :P

      Delete
  17. මෙතැනදී වෛද්‍ය වරුන්ගේ යුතු කමක් නේද රෝගියාට ඔහුගේ සිරුරේ (ඔහුගේ නොවන ) සැබෑ තත්වය පහදා දීම . ලංකාවේ මෙය බොහෝ අඩුවෙන් නේද සිදුවෙන්නේ ?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

Gadget

This content is not yet available over encrypted connections.