Thursday, March 10, 2016

බොරු, පට්ටපල් බොරු හා සංඛ්‍යාලේඛණ


ගිණුම්කරණ සම්මතයන්ගේ ඇති අවිනිශ්චිතතාවන් උපයෝගී කරගෙන සැබෑ ලෝකයේ යම් නිශ්චිත ආකාරයකින් සිදුවන දෙයක් වෙනස් ආකාර කිහිපයකින් වාර්තා කිරීමේ යම් හැකියාවක් පවතී. පහත උදාහරණය සලකමු.

සිරිපාල කිසියම් රැකියාවක් කර මසකට රුපියල් 20,000ක ආදායමක් ලබයි. ඔහුගේ මාසික වියදම රුපියල් 30,000කි. මේ දෙක අතර ඇති අඩුව පුරවා ගැනීමට සිරිපාලට මාස්පතා වැඩි වැඩියෙන් ණය ගැනීමට සිදුවේ. ආදායම වැඩියෙන් පෙන්විය හැකිනම් ණය ගැනීම වඩා පහසුය.

ඉහත දත්ත අනුව සිරිපාලගේ අයවැය හිඟය රුපියල් 10,000කි. ඔහුගේ ආදායමේ ප්‍රතිශතයක් ලෙස එය 50%කි.

සිරිපාල ජීවත් වන්නේ දෙමවුපියන්ගෙන් ලැබුණු නිවසේය. මේ නිවස කුලියට දුන්නොත් ඔහුට මසකට රුපියල් 10,000ක් ලබාගත හැකිය. එමෙන්ම, ඔහු එවැනි නිවෙසක් කුලියට ගත්තොත් ඔහුට මසකට රුපියල් 10,000ක් ගෙවන්නට වනු ඇත. ඒ නිසා, සිරිපාලගේ පරිභෝජන වියදම රුපියල් 30,000ක් කීම නිවැරදි නැත. අයිතිය තමන්ටම වුවත් නිවසේ සිටීම මඟින් සිදුකරන පරිභෝජනයද සැලකුවහොත්, ඔහු ඇත්තටම රුපියල් 40,000ක් වටිනා භාණ්ඩ හා සේවා පරිභෝජනය කරයි. එමෙන්ම, ඔහුට තමාගේ දේපල වලින් (නිවසෙන්) කුලිය ලෙස මසකට තවත් රුපියල් 10,000ක ආදායමක්ද ලැබේ. ඒ අනුව, සිරිපාලගේ මුළු ආදායම රුපියල් 30,000කි.

මෙහිදී ඇත්තටම සිදුවන්නේ සිරිපාල විසින් ඔහුට අයිති දේපල එහි වෙළඳපොළ වටිනාකමට ඔහුටම කුලියට දුන් සේ සැලකීමයි. එසේ සැලකීම හෝ නොසැලකීම මත ඔහුගේ සැබෑ ජීවන තත්ත්වයේ කිසිදු වෙනසක් වුනේ නැත. එහෙත්, ඔහුගේ "අයවැය හිඟය" දැන් ආදායමේ ප්‍රතිශතයක් ලෙස 50% සිට 33.3% දක්වා අඩු වී තිබේ.

සංඛ්‍යාලේඛණ ඉදිරිපත් කිරීමේදී තාක්ෂණිකව වැරදි නොවන මෙවැනි 'විජ්ජා' කිරීමට පුළුවන. ඒ විජ්ජා සංකීර්ණ වූ විට බොහෝ දෙනෙකුට යම් අවුලක් ඇඟට දැනුණත් සිදුවුනේ කුමක්ද කියා හරියටම මීටර් වෙන්නේ නැත. මෙවැනි සමහර සංඛ්‍යාලේඛණ විජ්ජානම් අතේ මාට්ටු වෙන ඒවාය. එහෙත්, ඒවා වුවත් කෙනෙකුට පෙනෙන්නේ විමසිලිමත් වුවහොත් පමණි.

පැරා විසින් රාවය පුවත්පතෙන් උපුටාගෙන පළ කර ඇති මේ සංඛ්‍යාලේඛණ අනුව, 2016 සඳහා ඇස්තමේන්තු කර ඇති අමාත්‍යංශ සියල්ලේ මුළු වියදම රුපියල් බිලියන 1,661 සිට රුපියල් බිලියන 2,128 දක්වා 28%කින් වැඩි වී ඇත. රජයේ වියදම් ගැන කතා කරන විට බොහෝ දෙනා කතා කරන්නේ අධ්‍යාපනය හා සෞඛ්‍යය ගැනය. අනෙක් කේෂ්ත්‍ර වලට සාපේක්ෂව අධ්‍යාපනය හා සෞඛ්‍යය සඳහා කෙරෙන වියදම් ගැන බොහෝ දෙනාගේ ඇත්තේ ධනාත්මක අදහසකි.

ඉහත සංඛ්‍යාලේඛණ අනුව, 2015 වසරට සාපේක්ෂව අධ්‍යාපනය සඳහා වන ප්‍රතිපාදන 45%කින්ද, සෞඛ්‍යය සඳහා වන ප්‍රතිපාදන 29%කින්ද ඉහළ දමා ඇති අතර සියළු අමාත්‍යාශ වල මුළු වියදමෙන් පිළිවෙලින් 16%ක් හා 11%ක් වෙන් කර ඇත්තේ අධ්‍යාපනය හා සෞඛ්‍යය වෙනුවෙනි. මේ අනුව, 2016 වසර තුළ අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍ර වල සැලකිය යුතු දියුණුවක් ඇතිවෙනු ඇතැයි යමෙකුට අපේක්ෂා කළ හැකිය.

ඇත්තටම එහෙම වෙයිද? 

මෙය තීරණය වන්නේ මේ වියදම් වැඩි කර ඇත්තේ කවර අනු අංශයන් යටතේද යන්න මතය. මුදල් අමාත්‍යාංශ වෙබ් අඩවියේ මේ වන විටත් ඇති අයවැය ඇස්තමේන්තු සැලකිල්ලෙන් පරීක්ෂා කළහොත් පිළිතුර සොයාගැනීම අපහසු නැත.

අධ්‍යාපනය සඳහා රජය විසින් වැයකෙරෙන මුළු මුදල අමාත්‍යංශ කිහිපයක් අතර බෙදී යයි. මේ අතරින් විශාලම ප්‍රතිපාදන වැඩිවීම පෙනෙන්නට ඇත්තේ අධ්‍යාපන අමාත්‍යාංශ වැය ශීර්ෂය යටතේය. එම අමාත්‍යාංශයට 2015දී වෙන් කළ රුපියල් මිලියන 62,134ක මුදල 2016දී රුපියල් මිලියන 185,975 දක්වා තෙගුණයකින් වැඩිකර තිබේ. මෙය ඉතා විශාල වැඩි වීමකි. අධ්‍යාපනය සඳහා වැඩිපුර වෙන්කළ ප්‍රතිපාදන වලින් වැඩි කොටසක් ඇත්තේ මෙතැනය.

කෙසේ වුවද, එක් එක් අනු අංශ පිරික්සීමේදී කොතැනකවත් එවැනි විශාල වැඩි වීමක් පෙනන්නට නැත. එසේනම්, මේ වැඩිවීම සිදුවුනේ කෙසේද?

2106 අයවැය ඇස්තමේන්තු වෙළුම 2 පිටුව 217 වෙත ගිය විට රහස හමු වේ.

http://www.treasury.gov.lk/images/depts/nbd/docs/budgetestimates/2016/approved/sin/bdgtestmates2016S-vol2.pdf

2016 ප්‍රතිපාදන වෙන් කිරීම් වල 2015දී නොතිබුණු අළුත් කැටගරියක් තිබේ. මේ කැටගරිය නම් කර ඇත්තේ "රාජ්‍ය ආයෝජන පවත්වාගෙන යාමේ පිරිවැය- ඉඩම් හා ගොඩනැගිලි" යනුවෙනි. අධ්‍යාපන අමාත්‍යංශයට වෙන්කර ඇති රුපියල් මිලියන 185,976 ක මුදලින් රුපියල් මිලියන 121,976ක්ම ඇත්තේ ඇත්තේ මේ අළුත් කැටගරිය යටතේය. ඒ මුදල ඉවත් කළහොත් ඉතිරි වන්නේ රුපියල් මිලියන 64,626ක් පමණි. මේ මුදල 2015 ගණන වූ රුපියල් මිලියන 62,624ට වඩා වැඩි වන්නේ යාන්තමිනි.

එතකොට මොකක්ද මේ අළුත් කැටගරිය?

දිවයින පුරා පවත්වාගෙන යන රජයේ පාසැල් 10,121ක් සතුව සැලකිය යුතු ඉඩම් හා ගොඩනැගිලි ප්‍රමාණයක් තිබේ. මේ ඉඩම් හා ගොඩනැඟිලි වෙන කාට හෝ කුලියට දුන්නොත් රජයට විශාල මුදලක් උපයා ගන්නට පුළුවන. එසේ කිරීමට නොහැකි වී තිබෙන්නේ ඒ ඉඩම් හා ගොඩනැගිලි පාසැල් සඳහා ප්‍රයෝජනයට ගන්නා (හෝ නොගන්නා) නිසාය. එසේනම්, මෙය අධ්‍යාපනය සඳහා වැය කෙරෙන වියදමකි.

අධ්‍යාපන අමාත්‍යංශයේ වැය ශීර්ෂයට එකතු වූ ආකාරයෙන්ම මේ කැටගරිය සෞඛ්‍ය අමාත්‍යංශයේ වැය ශිර්ෂයටද එකතු කර තිබේ. (2016 අයවැය ඇස්තමේන්තු වෙළුම 1 පිටුව 299 බලන්න.)

http://www.treasury.gov.lk/images/depts/nbd/docs/budgetestimates/2016/approved/sin/bdgtestmates2016S-vol1.pdf

සෞඛ්‍ය අමාත්‍යාශයේ පිරිවැයද 2015දී වූ රුපියල් මිලියන 148,184 සිට රුපියල් මිලියන 174,078 දක්වා වැඩි කර ඇත්තේ ඉහත කැටගරිය යටතේ රුපියල් මිලියන 17,878ක් එකතු කිරීමෙනි. එය ඉවත් කළ විට ඉතිරි වන්නේ සුළු වැඩි වීමක් පමණි.

රජයට ස්මාර්ට් විසඳුම් නැතැයි ඇතැම් අය කියති. එහෙත්, මේ තරම් සරල ස්මාර්ට් විසඳුමක්නම් මා දැක ඇති බවක් මතක නැත.

මා පාසැල් යන කාලයේ අපේ පාසලේ පැත්තකද දම් කැලයක් තිබුණේය. දැනටත් බොහෝ ග්‍රාමීය පාසැල් සතුව මෙවැනි ඉඩම් තිබෙනවා විය හැකිය.  අධ්‍යාපනයට වැය කරන වියදම් තවත් මදිනම් දැන් කරන්නට ඇත්තේ මේ ඉඩකඩම් සඳහා අය කරන කුලිය වැඩි කර එය නොගෙන සිටීම පමණි.

මෙහිදී සිදුවී ඇත්තේ ගිණුම්කරණ සම්මත වෙනස්වීමක් නොවේ. හිතාමතාම සිදු කළ සංඛ්‍යාලේඛණ විජ්ජාවකි. එය ගිණුම්කරණ ක්‍රමවේදයේ සිදුවූ වෙනසක්නම් අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යාංශ වල වැය ශීර්ෂ වලට පමණක් බලපෑමට හේතුවක් නැත. වනජීවී, ආරක්ෂක වැනි අමාත්‍යාංශ යටතේද විශාල රජයේ දේපල ප්‍රමාණයක් තිබේ.

පැරා විසින් උපුටාගත් රාවය සංඛ්‍යාලේඛණ පිළියෙළ කළේයැයි මා සිතන අහිලන් කදිරගාමර්ටනම් මෙය අසු වී නැත. අධ්‍යාපනය හා සෞඛ්‍යය වෙනුවෙන් ප්‍රතිපාදන වැඩි කර තිබීම ඔහු විසින් බොහෝ තැන්වල අගය කර තිබීමෙන් එය පෙනේ. එහෙත්, මෙය පරීක්ෂාවෙන් බලන ඕනෑම කෙනෙකුට අතටම අහුවෙන ඉතාම ලාබ සංඛ්‍යාලේඛණ විජ්ජාවකි.

මෙසේ අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යාංශ වැය ශීර්ෂ වලට 'නැති' අරමුදල් එකතු කිරීමටනම් රජයේ ආදායමට 'නැති' ඉපයීමක්ද එක් කළ යුතුය. රජයේ බදු නොවන ආදායම් 2015දී පැවති රුපියල් බිලියන 126 සිට රුපියල් බිලියන 378 දක්වා තෙගුණයකින් වැඩි වී ඇත්තේ මේ 'නැති ආදායම' එකතු කිරීම නිසාය. 2016 වසර සඳහා වූ ආදායම් ඇස්තමේන්තු වල ආදායම් කේතය 20.02.01.05 යටතේ "Notional Rent income from Land & Building" යනුවෙන් අළුතින් කැටගරියක් එකතු කර රුපියල් බිලියන 139 ක් (රුපියල් මිලියන 139,230ක්) රජයේ ආදායමට එකතු කර ඇති බව ඔබට බලා ගත හැකිය. මේ මුදල ඉහත අධ්‍යාපන හා සෞඛ්‍ය වැය ශීර්ෂ වලට එකතු කර ඇති අයිතම දෙකේ එකතුවට සමානය.

http://www.treasury.gov.lk/images/depts/fpd/docs/circulars/Revenue_Estimate_%202016.pdf

මේ ආකාරයට නැති ආදායම් පෙන්වීමට හැකි වුවද රජයට ඒ නැති ආදායම් වියදම් කළ නොහැකිය. එමෙන්ම, පළාත් සභා ආදායම් කියා ඇති කොටසද ඇත්තටම නැති ආදායමකි. පළාත් සභා වල වියදම කිහිප ගුණයකින් වැඩි නිසා මේ මුදල් ඇත්තටම මධ්‍යම රජයට ලැබෙන මුදල් නොවේ. රජයේ සැබෑ ආදායම් වන්නේ බදු ආදායම් පමණි. එමෙන්ම, අයවැය යෝජනා නැවත ආපසු හැරවීම නිසා ඒ යෝජනා හරහා මුලින් ලබාගැනීමට අපේක්ෂා කළ බදු ආදායමෙන්ද තුනෙන් එකක් පමණ ලැබීමේ ඉඩක් නැත. ඒ නිසා, රජයට ඉතිරිව ඇති විසඳුම් දෙක වනුයේ තවදුරටත් වක්‍ර බදු වැඩිකිරීම හෝ මුදල් අච්චු ගැසීම පමණි.

මේ ලිපිය අධ්‍යාපනයට හා සෞඛ්‍යට ප්‍රතිපාදන ප්‍රමාණවත් ලෙස වැඩි නොකිරීම ගැන කරන විවේචනයක් නොවේ. පවතින වාතාවරණය යටතේ එය අසීරු දෙයක් විය හැකිය. වෙනත් අයගේ සංඛ්‍යාලේඛණ විජ්ජා ගැන කතාකරන අය ඊට වඩා බාල අතේ මාට්ටු වන විජ්ජා කරන බව පෙන්වා දීමක් පමණි. කරන හොර වැඩක් අහු නොවන ලෙස, වෘත්තීය ලෙස කළ විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන වල නිලධාරීන් වුවද තරමක් දුරට අන්දන්නට බැරිකමක් නැත. එයින්, ඇතැම් විට වාසියක් ගන්නටත් පුළුවන. එහෙත්, මෙවැනි බාල විජ්ජාවන්නම් අතේ මාට්ටු වුවහොත් වෙන්නේ වස ලැජ්ජාවකි.

(Image: davidmcghee.wordpress.com)

43 comments:

  1. ඉකොනෝ,
    අපුරුයි ඔබේ විග්ග්‍රහය. දැන් මම ප්‍රායෝගික ලෝකයේ අන්තර්ජාතික වෙළදාම නිසා ලෝකයේ ඇති සාර්ථක උදාහරණයක් පෙන්වන්නම්.
    ඔබ දන්නවා ඇති Jack Ma ඔහු Alibaba.com නිර්මාත්රුයි,. ඔහු විසින් චීනයේ අන්තර්ජාලය මගින් ලෝකයට භාණ්ඩ හා සේවා විකිනීමට අදාළ විශාලම වෙනස කල මිනිසායි, ඔහුගේ මේ වැඩේ නිසා චීනයට දිනකට ඔහුගේ අඩවිය තුලින් කරන වෙළදාම ඩොලර් බිලියන 14 ක් http://fortune.com/2015/11/11/alibaba-singlesday-record-2015/
    මෙහි මතක තබා ගත යුත්තේ මේ මුදල ඔහුගේ ආයතනයේ පුද්ගලික මුදලක් නොවන බවයි, නමුත් වැදගත් දේ තමයි එක දිනකදී නිසා චීනයට Alibaba.com ලැබුන විදේශ විනිමය ඩොලර් බිලියන 14 , එක දිනකදී මෙවැනි විසාල මුදලක් ලැබීමට ගෙතුව්ව චීනය විසින් අන්තර්ජාලය තුලින් විකිණීමේ පහසුකම සහ හොද තැපැල් සේවයක් නිසා අදාළ භාණ්ඩය වංචාවකින් තොරව අපනයනය කිරීමට හැකි වීමයි.
    මා විසින් PAYPAL ගැන ලිපි ගණනාවක් ලියල තියනවා මෙරටේ අනෙක් මිනිසුන් විසිනුත් මේ ගැන ලියල තියනවා පාර්ලිමේන්තුවට රනිල් ඇතුළු හර්ෂ සිල්වා වැනි උගතුන් යවල තියනවා, අද ඔවුන් පෙම්වතුන් සමග විහිලු සපයනවා. රටේ මිනිස්සුන්ට බදු වැඩි කරනවා.
    යම් විදියකින් මේ අංශය ක්‍රියාත්මක කලොත් අපට ලැබෙන විදේශ විනිමය නිසා මේ ප්‍රශ්නය ඉතා පහසුවෙන් විසදිය හැකියි.
    අද වනවිට https://wordpress.org/plugins/wordpress-simple-paypal-shopping-cart/
    ඕනෑම ශ්‍රී ලාංකිකයකුට නොමෙලේ පාවිච්චි කල හැකි open source මෘදුකාංග පැමිණ තියනවා මෙනිසා මේ පහසුකම දුන්න වහාම ශ්‍රී ලාංකිකයන්ට විදේශ වලට භාණ්ඩ විකිනීමට හැකියි. මෙවැනි දෙයක් කළා නම් අපේ ගෙවුම් ශේෂ ප්ර්හ්ස්නය විසදිය හැකියි.
    ඉතින් ඉකොනෝ මොකද්ද මේ රජය මේ කරන කුනුහරුපෙ?

    ReplyDelete
    Replies
    1. පේ පෑල් දෙනව නම් කොච්චර හොඳයි ද? හැබැයි ඊට මාස දෙකකට විතර කලින් පටන් අරන් තැපැල් සේවය පුහුණු කරලා වංචා කරුවන්ට දැඩි දඬුවම් හඳුන්වලා දෙන්න ඕනෙ.දැං නම් ගෙන්නන බඩුත් කොච්චර තැපෑලෙන් නැති වෙනවද..?සමහර අය ලංකාවට එවන්නෙත් නෑ දැං. යවන ඒව හරියට ගියෙ නැත්තම් අපි ඉවරයි.

      Delete
    2. එක තමයි වංචා කිරීම ට කිසිම ඉඩක් දියයුතු නෑ, දැනට අවුරුදු 25කට පමණ පෙර චින රජය මේ ගැන සැලකිලිමත් වුනේ නෑ නමුත් Jack Ma ගේ උත්සාහය නිසා චීනයට සිදුවුනා ගතයුතු පියවර ගන්න, අද ඔවුන් එයින් ප්‍රයෝජන ගන්නවා.
      මෙහි ඇති වැදගත්ම දෙයනම් ඉතා කෙටි කලකින් විශාල දියුණුවක් ලැබීමයි. නමුත් ඔබ කිව්වා වගේ වංචා උනොත් විශාල අලාබයක් වෙනවා, ඉතින් රජයක් සිටින්නේ මේවා නවත්තන්න තමයි

      Delete
    3. පේපෑල් ලබා දීම වැනි සරල දෙයක් මඟින් පමණක් ගෙවුම් ශේෂ ප්‍රශ්නයනම් විසඳන්න බැහැ. ඒ නිසා ගෙවුම් ශේෂයට මහා ලොකු හොඳ හෝ නරක බලපෑමක් වෙයි කියල මම හිතන්නේත් නැහැ. කොහොම වුණත් පේපෑල් ලබා දීම වැනි රටේ භාණ්ඩ හා සේවා වෙළඳාම තවදුරටත් ව්‍යාප්ත කරන ක්‍රියාමාර්ගයක් ගැනීමට ඇති බාධාව කුමක්ද කියා මම දන්නේ නැහැ. එට්කා වැනි ගිවිසුම් වලට ප්‍රවේශ වීමට ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක් නැති රජයට පේපෑල් වලට විරුද්ධ වීමට එවැනි හේතුවක් තිබීම තේරුම් ගන්න අමාරුයි. ඇතැම් විට ප්‍රායෝගික හේතුවක් විය හැකියි. විණිමය අනුපාතිකය දැන් තියෙනවා වගේ නිසි මට්ටමේ තබා ගත්තොත් පේපෑල් දීමෙන් ගෙවුම් ශේෂයට නරක බලපෑමක් වෙන්න ඉඩ අඩුයි.

      Delete
    4. අනිත් එක මේ අලිබබා කතාවත් පැහැදිලි කළ යුතුයි.
      1. මේ යුවාන් බිලියන 91.2ක වෙළඳාම (ආසන්නව ඩොලර් බිලියන 14 පමණ) සිදුවුනේ එක් විශේෂ දවසක. හරියට අළුත් අවුරුදු නිවාඩුවට පෙර දින ලංකාවේ වෙළඳාම් වැඩිවනවා වගේ. එම කාර්තුව තුළ දිනකදී අලිබබා මඟින් සිදුකළ සාමාන්‍ය වෙළඳාම එයින් 10% පමණ.
      2. මේ තියෙන්නේ චීන පාරිභෝගිකයින් විසින් අන්තර්ජාලය හරහා මිලදී ගත් භාණ්ඩ. මෙයට රටවල් 25ක භාණ්ඩ ඇතුළත්. ඒ නිසා චීනයෙන් විශාල ඩොලර් ප්‍රමාණයක් එළියට යාම තමයි ඇත්තටම සිදුවී ඇත්තේ. එසේ නැතුව විදේශ විණිමය ඉපයීම නෙමෙයි.

      Delete
    5. මේ තැපැල් දෙපාර්තමේන්තුවේ හොරකම් ඇත්තටම විශාල ප්‍රශ්නයක්. පොටෝ ටිකක් දාල යැවුවත් ගොඩක් වෙලාවට හම්බ වෙන්නේ නැහැ. ලියුම ලොකුවට දැක්ක ගමන් වටිනා දෙයක් ඇති කියලා කඩනවා.

      Delete
    6. කොහොම වුණත්, වැදගත් දේ පේපෑල් වැනි දේකින් ලංකාවේ ගොඩක් අයට ස්වාධීන ආදායම් මාර්ගයක් විවෘත වීමයි. මෙවැනි දේ තුළින් සංක්‍රමණය වීමට අවස්ථාවක් නැති හෝ අවශ්‍ය නැති කෙනෙකුට ලංකාවේ ලාභ ශ්‍රමයේ වාසිය ලබා ගත හැකියි. ඒ නිසා ඔබ මේ ගැන තනියම හරි කතාකිරීම වටිනවා.

      Delete
    7. ඉකොනො,
      //පේපෑල් ලබා දීම වැනි සරල දෙයක් මඟින් පමණක් ගෙවුම් ශේෂ ප්‍රශ්නයනම් විසඳන්න බැහැ.//
      PAYPAL හි ඇති විශේෂ වැදගත්කම මේකයි, හිතන්න ඔබ ඇමරිකාවේ වැසියෙක් කියල, අන්තර්ජාලය තුලින් ඔබ පැමිණෙනවා ශ්‍රී ලංකික වෙබ් අඩවියකට, මේ අඩවියේ අත්කම් භාණ්ඩයක් විකිනීමට දමා තිබෙනවා දැන් එය මිලදී ගැනීමට යනවිට පෙනෙනවා එය සම්පත් බැංකුව සේවය සපයන වෙළද ගිනුමක් බව ඔහු දැනගන්නවා ඔහුගේ ණය පත ඇතුලත් කිරීමට සිදුවෙන්නේ විදේශීය රටක අඩවියකට බව මේ නිසා බොහෝ විට ඔවුන් කැමති නෑ අදාළ ගෙවීම කරන්න.
      දැන් හිතන්න අදාළ අඩවියට PAYPAL පහසුකම තිබෙනවා කියල, එහෙම නම් කිසිදු පැකිලිමකින් තොරව අදාළ ගනුදෙනුව කරනවා මොකද PAYPAL වලදී ඔබට ණය පත් අංකය ලබා දියයුතු නෑ
      මිට අමතරව අදාළ වෙළෙන්දාට ගෙවිය යුත්තේ සෑම ගනුදෙනුවකින්ම 3.5 % ප්‍රතිශතයක් නමුත් ශ්‍රී ලංකාවේ සම්පත් බැංකුවේ සහය ගන්නවානම් වසරකට රුපියල් 60000 ට අමතරව 3.5 % ගෙවිය යුතු වෙනවා මෙනිසා කිසිදු සුළු හෝ මදය පරිමාන වියාපරිකයකු මෙය අත්හදා බැලීමටවත් පෙලබෙන්නේ නෑ.
      දැන් බලමු මෙය ගෙවුම් ශේෂයට වැදගත් වෙන්නේ කොහොමද කියල,
      අද වනවිට ඔබට PAYPAL මගින් මුදල් ගෙවා ඕනෑම දෙයක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගත හැකියි එතකොට දැනටමත් මෙයින් විදේශ විනිමට පිටවෙනවා වෙනස ශ්‍රී ලංකාවට මුදල් ලබාගත නොහැකි වීමයි.
      යම් විදියකින් මේ පහසුකම ලැබුණානම් සුළු හා මදය පරිමාණ වියාපරිකයෝ විදේශ වලට භාණ්ඩ විකිනීමට මෙය යොදාගන්නවා එහෙම උනොත් ඔබට හිතාගන්න පුලුවන්ද ලැබෙන විදේශ විනිමය ප්‍රමාණය ?
      මෙය කොතරම් පහසුද කියන එක තේරුම් ගැනීමට
      https://wordpress.org/plugins/wordpress-simple-paypal-shopping-cart/
      දැනටමත් open source software නොමිලේ තම වෙබ් අඩවියට එකතු කර ගත හැකියි මෙන්න මේ නිසයි මම කියන්නේ මෙය ඉතා වැදගත් බව.

      නමුත් මේ සමගම තැපැල් සේවය නවීකරණය වෙන්න ඕනේ මොකද පටන්ගනිමේම වංචා සිදුවීමට ඉඩ දිය නොහැකියි
      ඔබ හිතන්න මෙමගින් පුද්ග්ගලයන් 30000 ක් ඩොලර් 100ක සාමන්යක් ලැබෙන විදියට මසකට අලවි කළා කියල ලැබෙන ආදායම මසකට ඩොලර 3000000 (මසකට ඩොලර් මිලියන 3ක් ) වසරකට ඩොලර් මිලියන 36ක්
      ඩොලර් 100 ක සාමානය කියන්නේ නොසලකා හැරිය හැකි අගයක්.
      මා විකුණුම් වලට සහයවන විදේශීය වෙබ් අඩවියක මසක වෙළදාම ඩොලර් 25000 ක් මෙය අදාළ රටේ හැටියට කුඩා අගයක් උනත් ශ්‍රී ලංකාව වැනි රටකට මෙය හරියට පාවිච්චි කරනවානම් කළහැකි දේ විශාලයි.

      Delete
    8. පේපෑල් සම්බන්ධ සාමාන්‍ය කරුණුනම් මම දන්නවා. ඒත් මම හිතාගෙන හිටියේ මේ වන විට පේපෑල් මඟින් දෙපැත්තටම මුදල් සම්ප්‍රේෂණයට බාධා ඇති බවයි. සල්ලි යවන්න පුලුවන්නම් ගෙන්න ගන්න බැරි වීම පාඩුවක් තමයි. පාඩුව සුළුද ලොකුද කියන එක එතරම් වැදගත් නැහැ. ලොකු මුදලක් ගෙන්න ගන්න අයනම් බැංකු හරහා එය කොහොමටත් කරයි. මේ මඟින් අන්තර්ජාලය පරිහරණය කරන ගොඩක් අයට තමන්ගේ පොතක්, පැරණි කාසියක් වැනි දෙයක් හෝ කිසියම් වෙනස් නිර්මාණයක් (කවුද ලියල තිබුණා පොල්කටු යතුරු ගැන) ලංකාවේ විකිණිය හැකි මුදලට වඩා සැලකිය හැකි මුදලකට විකුණා අදායමක් ලැබීමේ ඉඩක් තියෙනවා. චීනයේ ගොඩක් අය ගෘහ කර්මාන්ත හෝ අර්ධ කාලීන ආදායම් මාර්ගයක් ලෙස ඩොලර් 1ට 2ට ආභරණ වැනි දේ විකුණන බව මම පෞද්ගලිකව දන්නවා. මෙය විශේෂයෙන්ම බැංකු හරහා ගණුදෙනු ඇරඹීමට තරම් ලොකු දෙයක් නොකරන අයට වාසියක්. ඒ අයට පසුව වර්ධනය වීමට ඉඩ සැලසෙනවා. මට එක්වරම පෙනෙන ප්‍රධානම අවදානම (ලංකාවේ දැන් පෙනෙන රැල්ලත් එක්ක) ගොඩක් අය අලුතින් පිරමිඩ් ක්‍රම වලට එකතු වීමට ඉඩ තිබීම පමණයි.

      Delete
    9. ඉකොනෝ,
      මේ ලියන මම paypal මගින් විවිද දේවල් මිලදීගෙන තියනවා මගේ PAYPAL ගිනුමත් සමග මගේ ශ්‍රී ලංකික ණය පත සම්බන්ද කරලයි තියෙන්නේ.
      // මට එක්වරම පෙනෙන ප්‍රධානම අවදානම (ලංකාවේ දැන් පෙනෙන රැල්ලත් එක්ක) ගොඩක් අය අලුතින් පිරමිඩ් ක්‍රම වලට එකතු වීමට ඉඩ තිබීම පමණයි.//
      මොන ගනුදෙනුව කලත් කරන්න වෙන්නේ වාණිජ බැංකුවක් හරහා, බොහෝ අය කියන කතාවක් තමයි මෙය මුදල් විශුද්ධි කරණයට යොදාගන්නවා කියල මේක තනිකරම මිත්‍යාවක් මොකද අවසන් වශයෙන් PAYPL වල සිට අපේ ගිණුමට ගන්න ඕනෑම වෙලාවක අදාළ මුදලත් ගනුදෙනුවත් ගිණුම ගත වෙනවා.
      අවාසනාව කියන්නේ මේක ගැන දැනුවත් අයගේ නොදැනුවත් කමයි. මමත් බොහෝ අයත් ඇමති හර්ෂ සිල්වා ගෙන් නොයෙක් වර මේ ගැන ප්‍රශ්න කලත් ඔහු ඒ කිසිවකට අඩුගානේ උත්තරයක්වත් දෙන්නේ නෑ
      හැබැයි පෙම්වතුන්නේ ප්‍රශ්න විසදනවා

      Delete
    10. මේ ප්‍රතිචාරය PayPal ප්‍රතිචාරය හා බැඳේ
      මට නම් PayPal acivate කරන්නේ නැත්තේ මොන මෝඩකමක්ද කියා සිතුනු වර අනන්තවත්ය. මොකද, ලංකාවට වෙන ක්‍රම වලින් සල්ලි එවන විදි තියෙන නමුත් එයන් වෙන පාඩුව කියා නිම කරන්න බැරිය. මගේ ව්‍යාපාරයේ Software පාර්ට් එක ලංකාවෙන් කරන්නේ එය මට අතිශය ලෙස ලාභදායක නිසාය. මා වැනි StartUp එකකට විශාල මුදලක් යට කිරීමට ඇති අපහසුව නිසා ලංකාවේ සිටින මිතුරෙකුගෙන් මාගේ අවශ්‍යතාවය කරගැනීමට ම යොමු විය. මුළු project එකේ වටිනාකම රුපියල් ලක්ෂ 10ක් පමණ වන අතර එය මට ඩොලර් 10,000කටත් වඩා අඩු වියදමකි. එඉන් දෙපැත්තටම වාසියක් අත්වන්නේ ලංකාවේ සිටින මිත්රයද market price එකටම මට සේවාව සපයන නිසාය. මට ලැබෙන සහනය නම් මාස් පතා ගෙවීමය්. ලංකාවේ PayPal තාම නැති නිසා මට Western Union භාවිත කිරීමට සිදු වන අතර ලංකාවෙන් සේවා සපයන්නට ඒ මුදල ලබා ගැනීමට බැංකුවට යාම අනිවාර්ය වේ. මොන තරම් කාලය නාස්තියක්ද? අනික ලංකා සිතුවිලි කියා ඇති ආකාරයට ලංකාවෙන් නිෂ්පාදන ලෝක වෙළඳපලට සපයා ඇති මහත් වූ ලාභයක් ලබා ගැනීමට හැකියාවක් මෙමගින් ලැබේ. මා ලංකාවේ සිටින කාලයේ විනෝදයට Handmade paper and greeting cards සාදුවෙමි. වියදම රුපියල් 10කටත් වඩා අඩු අතර වෙළඳපොලේ රුපියල් 100කට පමණ විකුණා ගැනීමේ හැකියාව තිබේ. ලෝක වෙළඳපොලේ නම් $5-$10 අතර මිලකට විකුණා ගැනීමට හැකියාව තිබේ. එපමණක් නොවේ. Etcy, Alibaba, Ebay වල මේ භාණ්ඩ විකිණීමට වැඩි අවස්ථාවක් ලැබේ.
      අනික් කරණය නම් ලංකාවේ තැපෑලේ ඇති බාල තත්ත්වයි. නමුත් ලංකාවේ ඇති Fedex , UPS , DHL වලින් විශාල හා වටිනා දේවල් අපනයනය කිරීමට හැකියාවක් ඇත. එමෙන්ම ලංකා සිතුවිලි කියා ඇති ආකාරයට, website එකට ගෙවන්න හිතෙන්නේ නැති වෙලාවට PayPal භාවිත කිරීම අනිවාර්යෙන්ම සිදුවන්නක්. කොටින්ම කියනවා නම් ඒක Card Details Enter කරනවට වඩා ලේසි නිසා PayPal ඇති නම් සාම විටම පාහේ මන් ඒ option එක පාවිච්චි කරනවා. ඉතින් PayPal activate කරන එක කුඩා හා මදය පරිමාණ ව්‍යාපාරිකයන් සන්කයව වැඩි කර ගන්න තියෙන ලොකු ක්‍රමයක්. මොකද. PayPal නැති වුන කියල ලංකාවේ ස්මාර්ට් Phone විකිනෙනේ එක අඩු නැහැනේ.

      Delete
  2. මමත් හිතන් හිටියේ පහුගිය අයවැයෙන් අධ්‍යාපනයට හා සෞඛ්‍යට වෙනදාට වඩා ප්‍රතිපාදන වෙන් කර ඇති කියල. ඒත් ඒක බොහොම කපටි නූල් සූත්තර ඉලක්කම් ගේමක් විතරයි කියල දන්නේ දැන්නේ. අපි වගේ උගත් මෝඩයොත් මෙහෙම රැවටෙනවානම් සාමාන්‍ය ජනයා ගැන මොන කතාද :-|

    ආර්ථික විද්‍යාවේ අයන්න ආයන්නවත් නොදන්නා අපි වගේ මැට්ටන්ට මෙහෙම සරලව මේවා පැහැදිලිකරලා දෙන එක බොහොම වටිනා දෙයක් ඉකෝන්.

    ReplyDelete
    Replies
    1. සංඛ්‍යාලේඛණ බොරු කියන මතය සමාජගත වුනහම ඇතැම් අය බලන්නේ ඇයි අපට ඒ තත්ත්වයෙන් වාසියක් ගන්න බැරි කියලයි.

      Delete
  3. Hu.N.P ye redi galawalaaaa... huu. Huu.. :) elaz...

    ReplyDelete
    Replies
    1. එජාප මහජන නියෝජිතයින්ගෙන් වුනත් මෙය දන්නේ කිහිප දෙනෙක් පමණක් විය හැකියි.

      Delete
  4. මෙවැනිම සංඛ්‍යාලේඛණ ප්‍රෝඩාවක් තමයි වරාය නම්භන්ධවත් ඉදිරිපත් කරන්නේ. කොලඹ වරායේ බහලු මෙහෙයුම් පසුහිය වසරට වඩ වෑඩි බවත් එය ධනාත්මක වර්ධනයක් බවත් ඇමති අර්ජුන ප්‍රකාශ කලා. නමුත් ඇත්ත වභයෙන්ම සිදුවී ඇත්තේ රජයට අයත් වරාය අධකාරිය සතු JCT Terminal බහලු ප්‍රමාණය අඩුවීමක් , එහෙත් චීනාට අයිති CICT terminal එක වැඩි බහලු ප්‍රමාණයක් මෛහෙයවා තිබෙන නිසා කොලඹ වරායේ බහලු මෙහෙයුම් වෑඩිවී තිබෙනවා. නමුත් වරාය අධිකාරියේ බහලු මෙහෙයුම් පසු බැමකට ලක්වෙලා. එයට පිලියම් යොදනවා වෙනුවට තම පාලනය යටතේ වරාය කාර්යක්‍ෂමතාවය වැඩිවු බවට පෙන්වීමට බොරුසංක්‍යාලේකණ හරඹයක් කරනවා

    ReplyDelete
    Replies
    1. ඇනෝ, හැබැයි මෙතනදි සමස්තයක් ලෙස කොළඹ වරායේ වැඩි වීමක් පෙන්නුම් කරනවා. ඒක සාධනීය ලක්ෂණයක්. CICT එක ඇවිල්ලා Deep water terminal එකක්. ඉදිරියේදි ලෝකයේ තියන ටීයුස් 14000-18000 වගේ අති දැවැන්ත නැව් වල කොළමට පැමිණීමේ වැඩි වීමක් සිදු වූවොත් දැනට CICT එකට් යන පොඩි නැව් ඉබේටම අනිත් ටර්මිනල් දෙකට බෙදිලා යාවි කියලා අපේක්ෂා කරණවා. හැබැයි ඉතින් ඒකේ ප්‍රතිලාබ වැඩියෙන් බුක්ති විදින්නනම් JCT කාර්යක්ෂම වෙන්න ඕනා...

      අනිත් එක කොයි ටර්මිනල් එකට ගියත් නැව් හැසිරවීමේ ගාස්තුව (Negigation Dues ) අයිති වෙන්නේ වරාය අධිකාරියට.

      අනිත් කාරණාව වරායෙ මෙහෙයුම් වැඩි වීමේ ගෞරවය තමන්ට පවරා ගනිමින් ඇමති තුමා ඇතුලු පිරිස නිකුත් කරලා තිබුනා මාධ්‍ය සැනකෙලි අපි දැක්කා..හැබැයි නිසි ගෞරවය යන්න ඕනා පරක්කු වෙලා හරි කොළඹ දකුණු වරාය සංවර්ධන ව්‍යාපෘතිය දියත් කරලා CICT වැනි ගැඹුරු පර්යන්තයක් කරලියට ගෙනාපු පහුගිය රජයට. එහෙම නොවුනානම් මේ වෙනකොට කොළඹ ෂිපින් ඉන්ඩ්‍රස්ට්‍රි එකට දෙවියන්ගේ පිහිටම වෙන්න තිබුනා..

      Delete
    2. ස්තුතියි, මේ විස්තර වලට. මම මේ ගැන වැඩි දෙයක් දැනගෙන හිටියේ නැහැ.

      Delete
  5. ඔය සංඛ්‍යා ලේඛන ඉතින් ඒ ගොල්ලන්ටම තමා බල බල ආතල් ගන්න වෙන්නෙ.. මොකද ජනතාව තමන්ගේ ආර්තිකේ තීරණය කරන්නේ මාසෙ අන්තිමට අතේ ඉතිරිවෙන හෝ ණය වෙන ගාන බලලා මිසක් ඔය සංඛ්‍යාලේඛන බලලා නෙමේනෙ....

    ReplyDelete
    Replies
    1. ඒ ගොල්ලෝ නෙමෙයි ආතල් ගන්නේ, සෙන්නා. 6% ඉල්ලලා දැන් ඒ කිට්ටුවට ලැබුනා කියා සෙවිල්ලක් බැලිල්ලක් නැතුව සතුටු වන අය වැනි කණ්ඩායම්.

      Delete
  6. හැබැයි සුළු ප්‍රතිශතයක් හරි පහුගිය රජයට වඩා මේ රජයෙන් අද්යාපනෙට මුදල් වෙන් කරලා නැතිද? මම ගණන් හදපු විදියටනම් 0.2% විතර වැඩිවීමක් තියෙනවා

    ReplyDelete
    Replies
    1. වෙන්න පුළුවන්, ඇනෝ. මම සියල්ල එකතු කරන්න කාලය යෙදෙවුවේ නැහැ. මෙය එක් වරම මගේ ඇස ගැටුණු දෙයක්.

      Delete
  7. // එහෙත්, මෙය පරීක්ෂාවෙන් බලන ඕනෑම කෙනෙකුට අතටම අහුවෙන ඉතාම ලාබ සංඛ්‍යාලේඛණ විජ්ජාවකි.
    //

    අඩ අඳුරේ සිහින් සන්ගීතයේ පැටලී පිරූ මී විත් අතින් ගෙන .....යහපාලන ගනිකාව ගේ සලු පිලි ගලවා ඉවත් කරනා රොමෑන්ටික් එකොනොමැටි තුමා....

    ReplyDelete
    Replies
    1. මම ගැලෙවුවේ නෑ, සා රස. හරියටම තැනට ඇඟිල්ල දික් කරලා පෙන්නුවා විතරයි. ගලවන පරක්කුවට ඒ ඇඳුම් අරගෙන ඇඳගන්න කට්ටිය ඉන්න කොට මිනිස්සු තමන්ගේ වස්තරේ හරි ගලවලා අන්දනවා.

      Delete
  8. ප්‍රයෝජනයට නොගන්න ඉඩම් (හිස් ඉඩම්) අති විශාල ප්‍රමාණයක් මුළු රටපුරාම තිබෙනවා. පරිසර හානියක් නොවන ආකාරයට මේ ඉඩම් බදු දීමෙන් විශාල ලාභ ලබන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම්.

    ReplyDelete
    Replies
    1. පරණ කැලණිවැලි මාර්ගය ගැනනම් දන්නවා. තව ගොඩක් ඉඩම් තියෙනවද?

      Delete
    2. ලංකාවේ වැඩිම ඉඩම් තියන දෙපාර්තමේන්තුවක් තමයි දුම්රිය දෙපාර්තමේන්තුව. කොළඹත් තියනවා පාලුවට ඇරලා කැලේ වැවිච්ච ඉතා විශාල ඉඩම්. ඒවා දීර්ඝ කාලීනව බදු දීමෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ පාඩු අවම කරගන්න පුළුවන්. සෑහෙන වතාවක් එසේ කරන්න උත්සාහ කර තිබෙනවා විවිධ රජයයන් යටතේ. නමුත් වෘත්තීය සමිති මාෆියාව ඊට ඉඩදෙන්නේ නැහැ.

      Delete
  9. මෙයාල හැම එකම අනා ගන්නවා...
    කලින් මේ ගැන කවුරුහරි දේශපාලුවෙක් ද කොහෙද කියල FB එකේ දාල තිබ්බ නිසා දැනුවත් වෙලා හිටියා, නමුත් ඉකොන් කරලා තියෙන පැහැදිළි කිරීම ඉතා සිත්ගන්නා සුළුයි වගේම හරි සරළයි...

    රජයට අදායම් ගන්න තියෙන අවස්ථා කොච්චර තියෙනවද, රජයේ තානායම් වගේ ඒවා බදු දෙන්නේ ගල් යුගයේ ගණන් වලට...
    ඒවා එහෙමත් වැඩි කරලා ගානක් හොයා ගන්න පුළුවන්...
    විදෙස් විනිමය සෑහෙන ගෙන්න පුළුවන් අවස්ථා අපේ මිනිස්සුන්ගේ මෝඩකම් හරහා නැති වෙලා...
    උදා:
    01. Paypal බිස්නස් සියල්ලම

    02. සර්ප විෂ රට යැවීම (ග්‍රෑම් එකක් $900 ක් පමණ දක්වා මිල නියම වෙනවා, සර්පයා අනුව. අපේ සර්පයින්ගේ විෂ මාකට් එකේ නැති නිසා ඒවට ලැබෙන මිල වැඩියි. ඒ නිසා සමහරු හොරෙන් රට යවනවා. අපේ විෂ රට යවන්න පුළුවන්නම් ඒවායෙන් හදන ප්‍රති විෂ ආපහු ලංකාවට ගේන්න පුළුවන්. දැනට පාවිච්චි වෙන ඉන්දියන් ප්‍රතිවිෂ නිසා ඇතිවෙන සංකුලතා එහෙමත් ඒකෙන් මග ඇරෙනවා)

    තව කොතෙක්නම් තියෙනවද...?

    ReplyDelete
    Replies
    1. //කලින් මේ ගැන කවුරුහරි දේශපාලුවෙක් ද කොහෙද කියල FB එකේ දාල තිබ්බ නිසා දැනුවත් වෙලා හිටියා// ඇත්තටම මම ඒ ගැන දැනගෙන හිටියේ නැහැ. දැනගෙන හිටියනම් සමහර විට මේ ලිපිය දාන්නෙත් නෑ. මාස දෙකක් පමණ බලා ඉඳලා කවුරුත් මේ ගැන කතා කර නැති නිසයි කතා කළේ. මෙවැනි සංඛ්‍යාලේඛණ විජ්ජාවක් කවුරු හෝ පටන් ගත් විට සාමාන්‍යයෙන් වෙන්නේ ඊළඟට එන අය අය තවත් නරක විදිහට කිරීමයි.

      Delete
    2. කවුරුවත් දානකම් බලා ඉන්නේ නැතිව ඔයා ඉස්සරලාම දානවා නම් තමයි හොඳ.. මම හිතුවේ budget එක ගැන ඔයා ඉස්සරලාම ලියයි කියල..

      Delete
    3. එක හේතුවක්, අනුර, මෙය කිහිප වරක් සංශෝධනය කිරීම. කිසියම් අයවැය යෝජනාවක් ආපසු හැරවූ පසු මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් විසින් ඒ අඩුව හොයන ආකාරය සැලසුම් කර නැවත අනුමත කරගෙන සංඛ්යාලේඛණ ප්‍රසිද්ධ කරන තුරු බලා ඉන්න වෙනවා. අනිත් කරුණ මෙවැනි දේවල් සඳහා වැය කරන කාලයට සෘජුව හෝ වක්‍රව ගෙවීමක් ලබන අය ඉන්න නිසා මගේ කාලය වෙන දෙයකට යොදවන එක හොඳයි කියා හිතුවා.

      Delete
    4. //කලින් මේ ගැන කවුරුහරි දේශපාලුවෙක් ද කොහෙද කියල FB එකේ දාල තිබ්බ නිසා දැනුවත් වෙලා හිටියා//
      බන්දුල ගුණවර්ධන මෙව්වගේ යමක් කීවා, ඒත් මේ වගේ තේරෙන බාෂාවකින් නොවේ, හැබැයි ඒක ඒ ඉක්මනින් ම එයාටත් අමතකවෙලා වගේ :)

      Delete
  10. ඇමරිකාවට ටික කාළෙකට කලින් කෙලවෙලා ගියෙත් පච එකවුන්ට්ස් නිසා නේද....?

    අජ්ජාපන සවුක්ක ගැන නම් කියන්න දන්නේ නෑ... කුසිකර්මයේ නම් වෙන්කරපු මුදල් වැඩි උනොත් වැඩි වෙන්නේ සබීතගේ බිල්ඩිමට... සබීතා කිව්වම මතක් උනේ... මම දැක්කා කාන්තවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් තිබුන පෙලපාලියක සනත් ගුණතිලක යනවා... එයා කානතා අයිතිවාසිකම් ලබා දෙන හැටි සබීතගෙන් ඇහුවා නම් කියයි..

    මේක නම් අම්මට සිරි ලංකාවම තමයි...

    ReplyDelete
    Replies
    1. ඔවු. ඇමරිකාවට වුණෙත් ඒක තමයි. ඒකනම් ඉතාම සංකීර්ණ පටලැවිල්ලක්. මේ වගේ බැලු බැල්මට පේන එකක් නෙමෙයි. ග්‍රීසියට වුනෙත් එවැනි දෙයක්.

      Delete
  11. අපි දන්නා කාලයේ සිට රජයේ ඇතැම් සේවාවන් පාඩු පිට තමයි ක්‍රියාත්මක වෙන්නෙ.වර්ථමාන රජයේ ආර්ථිකය ගැන ලොක්කන් කීප පොලක්ම සිටියත් ඒ ලාබ ලැබිය හැකි එහෙත් පාඩුම ලබන ආයතන වෙනස් කරන්න මෙතෙක් මක්කාවත්ම කොරල නෑ..කොරන පාටකුත් නෑ...උදා: දුම්‍රිය,ලංගම,ගුවන්සේවා,තැපැල්

    ReplyDelete
    Replies
    1. දුම්රිය, ලංගම වගේ ඒවා දැනට අමතක කරන්නකෝ අමිල. ඒවා වෙනසක් කරන එක පහසු නෑනේ. මොන තරම් විරෝධයක් එයිද? ශ්‍රී ලන්කන් එක එහෙම නෙමෙයිනේ. එමිරේට්ස් අරගෙන කරපු කාලය ගැනයි ඉන් පසුව කාලය ගැනයි වෙනස ඒ කාල වල වරක් බැගින් හෝ රටින් පිට ගිය කෙනෙකුගෙන් ඇහුවොත් කියයි.

      Delete
  12. මගේ කමෙන්ටුව වැටිලා නෑ වගෙයි?

    ReplyDelete
    Replies
    1. වැරදිලාවත් ඩිලීට් වුනේනම් නෑ, රසික. මොකද වුනේ?

      Delete
    2. මා ඇසුවේ මේ වගේ දේවල්.

      සෞඛ්‍යයට හෝ අධ්‍යාපනයට ඉදිරි වසර සඳහා වෙන් කරන වියදම් ඇස්සමේන්තු කැපිටල් සහ රිකරන්ට් ලෙසින් පෙන්විය යුතු නේද? ඒ අගයන් සෙයා බැලූ විට ඔය අවුල නෑ නේද?

      ගෙඩනැගිලිලි සහ වෙනත් නිශ්වල දේපල ඇසට් ලෙස පෙන්විය යුතු නේද? එවිට ඒ සඳහා ගෙිය යුතුන නාමික කුලිය ලයබිලිටීස් ලෙස හෝ වෙනත් ආකාරයකට පෙන්විය යුතුයි නේද? එවිට ඔය අවුල නෑ නේද?

      එසේ නොමැතිව දැනට ඇති ගොඩනැගිලි වැනි දේවල වටිනාකම ඉදිරි වසරේ වියදමක් / ප්‍රතිපාදනයක් ලෙස පෙන්වීම නම් වංචාවකි.

      Delete
    3. මේවා දමල තියෙන්නේ පුනරාවර්තන (රිකරන්ට්) වියදම් යටතේ. ලයිට් බිල්, වතුර බිල් ආදී පෙර සිටම තිබුණු නඩත්තු වියදම් අතරට මේ අලුත් "කුලී බිල" දාල තියෙන්නේ.

      ප්‍රශ්නය තියෙන්නේ මේ ගොඩනැඟිලි හදන අවුරුද්දේත් මේවා වියදම් විදිහට පෙන්නපුවා වීමයි. පබ්ලික් ඉන්ෆොර්මේෂන් වල තියෙන දේ අනුව මටනම් පෙනෙන්නේ පැහැදිලි වංචාවක්. ලියන්න කලින් මෙය සිදු විය හැකි වෙනත් ආකාර තියෙනවද කියන එක සෑහෙන්න හිතලයි ලිවුවේ. මෙවැනි දෙයක් මම දුටු ප්‍රථම අවස්ථාව මේ.

      Delete
  13. Found this in Aruni's blog.
    http://freedom-school.com/money/how-an-economy-grows.pdf

    ReplyDelete
  14. ඇත්තටම සැහෙන දෙයක් ඉගෙන ගන්නවා මම ඔබේ බ්ලොග් එක කියවීමෙන්. තවත් හොඳ ආර්ටිකල් එකක්. ඉස්තුති අපිව දැනුවත් කලාට. ජය !

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

Gadget

This content is not yet available over encrypted connections.