වෙබ් ලිපිනය:

Saturday, August 6, 2022

රුපියල් විකුණා ගැනීමේ ප්‍රශ්නය

සාමාන්‍යයෙන් මම ලියන දේවල් නිතර කියවන අය බොහෝ විට මාව හඳුනා ගන්නවා ඇත්තේ නිදහස් වෙළඳපොළ හා ධනවාදය වෙනුවෙන් පෙනී සිටින කෙනෙක් විදිහටයි. එහෙම හිතන එකේ ලොකු වැරැද්දකුත් නැහැ. මම නිදහස් වෙළඳපොළ හා ධනවාදය වෙනුවෙන් පෙනී සිටිනවා. හැබැයි එහෙම කරන්නේ සාක්ෂි මත පදනම් වූ විනිශ්චයන් අනුව මිසක් ඇදහීමක් විදිහට නෙමෙයි.

ලංකාවේ ආර්ථිකය හා සම්බන්ධ බොහොමයක් ප්‍රශ්න වලට හේතුව නිදහස් වෙළඳපොළට බාධා කිරීම බව ඉතා පහසුවෙන්ම හඳුනා ගන්න පුළුවන්. හැබැයි නිදහස් වෙළඳපොළ කියා කියන්නේ ඕනෑම ප්‍රශ්නයකට විසඳුමක් දෙන කෝකටත් තෛලයක් නෙමෙයි. නිදහස් වෙළඳපොළ විසඳුම හොඳම විසඳුම නොවන අවස්ථා හා තත්ත්වයන් ඕනෑ තරම් තිබෙනවා. මේවා ගැන කතා කරන්න මම වැඩි බරක් නොතියන්නේ ලංකාවේ පවතින සන්දර්භය තුළ බොහෝ විට එහෙම කරන එක වෙළඳපොළ විරෝධීන්ට පනින්න ඉනි මං බැඳීමක් පමණක්ම වන නිසා.

ඉකොනොමැට්ටා නමින් වියුණු පටන් ගත් තැන් සිට බොහෝ විට සිදු වුනේ වෙළඳපොළ විරෝධීන් සමඟ ගැටෙමින් ඔවුන්ට පිළිතුරු දෙන්නයි. අන්තවාදී ලෙස වෙළඳපොළ අදහන අය කවුරු හෝ හමු වුනානම් මම ඒ අයටත් පිළිතුරු දෙනවා. ඇමරිකාව වැනි රටක එවැනි අය අඩු නැතිව හිටියත්, ලංකාවේ එහෙම අය නැති තරම්. ලංකාවෙන් හැම විටම වගේ හමු වුනේ සමාජවාදීන් විසින් කාලයක් තිස්සේ ඔලු සේදීම නිසා වෙළඳපොළ විරෝධීන් වූ අයයි.

හැබැයි මේ වෙද්දී මෙය කියවන බොහෝ දෙනෙකුට වෙළඳපොළ ගැන යම් විශ්වාසයක් තියෙනවා. ඇතැම් අයට දැඩි විශ්වාසයක් තියෙනවා. මෙවැනි ඇතැම් අයෙකු විශ්වාස කරන්නේ විණිමය අනුපාතය පා කිරීම මේ මොහොතේ ලංකාව මුහුණ දෙන විදේශ විණිමය හිඟයට විසඳුමක් බවයි. මේ  ලිපියේ අරමුණ එය එසේ නොවන්නේ ඇයි කියන එක පහදා දීමයි.

වැඩිදුර යන්න කලින් මේ ටික නැවත මතක් කළ යුතුයි. මා විසින් හඳුනා ගන්නා පරිදි, ලංකාවේ ආර්ථික අර්බුදයට මූල හේතුවක් වන්නේ රුපියල අවශ්‍ය පමණ අවප්‍රමාණය නොකිරීමයි. රුපියල සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වූ ඇතැම් වකවානු වල පවා මගේ අදහස වූයේ එය තව දුරටත් අවප්‍රමාණය විය යුතු බවයි. අනාගතයේ සිදු විය යුතු දේ සේ මා දකින්නේද රුපියල අවශ්‍ය පමණ අවප්‍රමාණය වීමට ඉඩ හැරීමයි. 

එහෙත් මේ මොහොතේ මහ බැංකුවේ උපාය මාර්ගය වී තිබෙන ඩොලරයක මිල පාලනය කිරීම හා එයට අනුපූරක ලෙස ආනයන පාලනය කිරීම වෙනුවෙන් මා පෙනී සිටිනවා. පවතින තත්ත්වයේ සැලකිය යුතු වෙනසක් සිදු වන තුරු විණිමය අනුපාතය නිදහසේ තීරණය වන්නට ඉඩ හැරීම කිසිසේත්ම නොකළ යුතු දෙයක්. 

මා මේ අදහස පළ කරන්නේ වෙළඳපොළ විරෝධියෙකු ලෙස නොව ඉල්ලුම් සැපයුම් ආකෘතිය තුළම සිටිමිනුයි. ඉල්ලුම් සැපයුම් ආකෘතිය අවබෝධ කර ගැනීම යනු එය කට පාඩමින් මතක තබා ගැනීම නෙමෙයි. අදාළ යාන්ත්‍රනය තේරුම් ගැනීමයි. දැන් මම මේ මොහොතේ විණිමය අනුපාතය නිදහසේ තීරණය වන්නට ඉඩ නොහැරිය යුතු ඇයි කියන එක ඉල්ලුම් සැපයුම් ආකෘතිය මගින්ම පැහැදිලි කරන්නම්. 

කිසියම් භාණ්ඩයක් සඳහා වන ඉල්ලුම හා සැපයුම අතර පරතරයක් ඇති විට මිල නිදහසේ තීරණය වීමට ඉඩ දීම මගින් එම පරතරය නැති කළ හැකියි. එය එසේ වන්නේ මිල ඉහළ යද්දී ඉල්ලුම අඩු වීමත්, මිල ඉහළ යද්දී සැපයුම වැඩි වීමත් යන දෙකෙන් අඩු වශයෙන් එකක් හෝ සිදු වන නිසයි. බොහෝ විට ඔය දෙකම සිදු වෙනවා. 

නමුත් අප මෙහිදී කතා කරන්නේ කිසියම් උපයෝගීතාවයක් තිබෙන පාරිභෝගික භාණ්ඩයක් ගැන නෙමෙයි. රුපියල් නෝට්ටු වලින් කිසිවෙකුට වැඩක් නැහැ. රුපියල් නෝට්ටු වලට ඉල්ලුමක් ඇති වන්නේ රුපියල් නෝට්ටු සමඟ හුවමාරු කර උපයෝගීතාවයක් තිබෙන පාරිභෝගික භාණ්ඩ හා සේවාවන් ලබා ගත හැකි නිසයි. මේ කතාවම ඩොලර් ඇතුළු අනෙක් විදේශ ව්‍යවහාර මුදල් වලටත් අදාළයි. 

රුපියල් සමඟ හුවමාරු කර භාණ්ඩ හා සේවා ලබා ගත හැක්කේ ලංකාව ඇතුළේදී පමණයි. එහෙත් ලෝකයේ බොහෝ රටවල් වලදී ඩොලර් සමඟ හුවමාරු කර භාණ්ඩ හා සේවා ලබා ගත හැකියි. මේ හේතුව නිසා ඩොලර් ඉල්ලුම හා සැපයුම ගැන කතා කරන එක තරමක් සංකීර්ණයි. නමුත්, ප්‍රශ්නයේ අනෙක් අන්තයෙන් අල්ලා ගත් විට එය වඩා සරල වෙනවා. 

අපේ මුල් ප්‍රශ්නය රුපියලට සාපේක්ෂව ඩොලරයක මිල ඉහළ යන්න දීමෙන් ඩොලර් හිඟය මග ඇරෙයිද කියන එකයි. මේ ප්‍රශ්නයම අපට ඩොලරයට සාපේක්ෂව රුපියලක මිල පහළ යන්න දීමෙන් ඩොලර් හිඟය මග ඇරෙයිද කියා අහන්නත් පුළුවන්. දැන් අප කතා කරන්නේ රුපියලක මිල ගැන නිසා අදාළ වන්නේ රුපියල් ඉල්ලුම හා සැපයුමයි. කිසියම් මිලකදී  රුපියල් ඉල්ලුම හා සැපයුම සමතුලිත වේනම් ඩොලර් හිඟයක් නැහැ. 

සාමාන්‍යයෙන් ඩොලරයට සාපේක්ෂව රුපියලක මිල පහළ යද්දී (රුපියලට සාපේක්ෂව ඩොලරයක මිල ඉහළ යද්දී) රුපියල් ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙනවා. රුපියල් සැපයුම තීරණය කරන්නේ බොහෝ දුරටම මහ බැංකුව විසින් නිසා, මේ වැඩේ වෙන්නනම් සැපයුම හා ගැලපෙන තරමට ඉල්ලුම ඉහළ යා යුතුයි.

දැන් තියෙන්නේ රුපියල් කොයි තරම් ලාබෙට විකිණුවත් මේ වැඩේ නොවෙන තත්ත්වයක්. රුපියල් සැපයුම ඒ තරම්ම වැඩියි. නමුත්, රුපියල් නිකම්ම වගේ දුන්නත් ඉල්ලුම මීට වඩා ගොඩක් වැඩි වෙන්නේ නැහැ. මේ වගේ තත්ත්වයකට කියන්නේ "මුල්ලේ විසඳුමක් (corner solution)" නැත්නම් "මුල්ලේ සමතුලිතතාවක්" කියලා. ඒ කියන්නේ ඉල්ලුම් වක්‍රය හා සැපයුම් වක්‍රය එකිනෙක හරහා යන්නේ බිංදුවට පහළින්. නමුත්, මිල බිංදුවට වඩා අඩු වෙනවා කියන්නේ රුපියලට කිසිම වටිනාකමක් නැති වෙලා කියන එකයි.

මේ වගේ තත්ත්වයක් භාණ්ඩ වෙළඳපොලක වුනත් ඇති වෙන්න පුළුවන්. දැන්නම් එළවලු ගිණි ගණන්. හැබැයි සමහර කාල වකවානු වල දඹුල්ල පැත්තේ ගොවියෝ තක්කාලි, වට්ටක්කා වගේ දේවල් විකුණගන්න බැරුව ගෝනි පිටින් විසි කරනවා. හේන් වල වට්ටක්කා කුණු වෙන්න අරිනවා. ඒ වෙන්නෙත් ඔය කියන කතාවමයි. තක්කාලි කිලෝවක මිල රුපියල් පහක් පමණ දක්වා අඩු කළාට පස්සෙත් තක්කාලි විකිණෙන්නේ නැත්නම්, මිල රුපියල් දෙකක් කරලා වැඩක් නැහැ. රුපියල් දෙක කළා කියලත් ඔය මුළු තොගයම විකිණෙන්නේ නැහැ.

ආර්ථික විද්‍යා උපාධි නැතත්, පිටකොටුවේ වෙළෙන්දෝ ඔය ටික දන්නවා. දඹුල්ලේ තක්කාලි කුණු වෙද්දී වුනත් පිටකොටුවේ තක්කාලි මිල ලොකුවට අඩු නොවෙන්නේ ඔය හේතුව නිසා. එහෙම නැතුව පිටකොටුවේ තොග වෙළෙන්දන්ගේ මාෆියාවක් නිසා නෙමෙයි. ගාණ අඩු කළා කියලා වැඩියෙන් තක්කාලි විකිණෙන්නේ නැති බව (ඉල්ලුම වැඩි වෙන්නේ ඉතා සුළු වශයෙන් පමණක් බව) පිටකොටුවේ වෙළෙන්දෝ පළපුරුද්දෙන් දන්නවා. ඔවුන් කරන්නේ දැන් මහ බැංකුව කරන වැඩේම තමයි. ලාබ කළා කියලත් වැඩියෙන් විකුණන්න බැරි බව පැහැදිලි නිසා මිල තියෙන මට්ටමේම තියා ගෙන ඉන්නවා. 

කලාතුරකින් වෙන දෙයක් වුනත්, මේ වගේ වෙලාවක වෙන්නේ පවතින මිල තුළ පාරිභෝගික ඉල්ලුම සංතෘප්ත වීමක්. එතැනින් එහාට මිල අඩු කළා කියලා ඉල්ලුම ඉහළ යන්නේ නැහැ. ඉල්ලුම නොවෙනස්ව තියෙද්දී සැපයුම වැඩි වීමෙන් අතිරික්තයක් ඇති වෙන එක විතරයි වෙන්නේ. රුපියල් වෙළඳපොළේ දැන් වෙලා තියෙන්නෙත් ටිකක් ඔය වගේ වැඩක්. 

තක්කාලි වලටම ගියොත්, රටේ තක්කාලි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා රජය විසින් ගොවීන් විසින් නිපදවන හැම තක්කාලි කිලෝවකටම රුපියල් සීයක සුබසාධනයක් කළා කියලා හිතමු. දැන් ගොවියෙක් තක්කාලි කිලෝ පහක් නිපදවලා රජයට වාර්තා කළ ගමන්ම රජයෙන් රුපියල් පන්සීයක් දෙනවා. ඔය වගේ සහනයක් දුන්නොත් ගොඩක් ගොවීන් අනිවාර්යයයෙන්ම තක්කාලි වවන්න පෙළඹෙනවා. තක්කාලි නිෂ්පාදනය සැලකිය යුතු ලෙස ඉහළ යනවා. පාරිභෝගිකයන්ට ලාබෙට තක්කාලිත් ලැබෙනවා. තක්කාලි කිලෝවක සාමාන්‍ය මිල රුපියල් තුන්සීයනම් ඔය මිල දෙසිය පනහක් පමණ දක්වා අඩු වෙනවා.

දැන් ඔය සහනාධාරය රුපියල් තුන්සීයක් කළොත් මොකද වෙන්නේ? හැම ගොවියෙක්ම වගේ අනෙක් වගා අත ඇරලා තක්කාලි වවන්න පටන් ගන්නවා. තක්කාලි නිෂ්පාදනය විශාල ලෙස ඉහළ යනවා. බැලූ බැලූ අත තක්කාලි. මිල හොඳටම අඩු වෙනවා. රජයෙන් කිලෝවකට රුපියල් තුන්සීයක් ලැබෙන නිසා ගොවීන්ට තක්කාලි වවලා නිකම් දුන්නත් ලාබයි. ඔය වගේ තත්ත්වයක් යටතේ, තක්කාලි කිලෝවක මිල රුපියල් විස්සක් දක්වා අඩු වුනාට පස්සේ රටේ පාරිභෝගිකයින්ගේ තක්කාලි ඉල්ලුම මුළුමනින්ම සංතෘප්ත වෙන්න පුළුවන්. ඊට පස්සේ තක්කාලි තැන් තැන් වල කුණු වෙන්න පටන් ගන්නවා. මිල රුපියල් දහය කළා කියලා ඔය ඉතිරි තක්කාලි ටික විකිණෙන්නේ නැහැ. අර සහනාධාරය තිබෙන තුරු තක්කාලි සැපයුම අඩු වෙන්නෙත් නැහැ. ඒ නිසා තක්කාලි විකුණගන්න බැරි ප්‍රශ්නයත් එහෙම්මම තියෙනවා. මිල යාන්ත්‍රණයට මේ ප්‍රශ්නය විසඳන්න බැහැ.

තක්කාලි මල්ලක් වෙනුවට අපි රුපියලේ කාසි දාහක් දමපු මල්ලක් ගැන හිතමු. නිදහස ලබන කළේ ලංකාවට ඔය මල්ල ඩොලර් 210කට වගේ විකුණන්න පුළුවන්කම තිබුණා. මහ බැංකුව ඔය වගේ මලු හද හදා විදේශිකයින්ට විකිනුවා. කාලයක් යද්දී ඔය රුපියල් මල්ලක් ඔය ගානට විකුණන්න බැරි වුනා. ටිකක් විකිණෙනවා. හදන තරමට විකිණෙන්නේ නැහැ. 

ඔය වගේ වෙලාවක වෙළෙන්දෙක් කරන සාමාන්‍ය දෙය මිල අඩු කරන එකනේ. මහ බැංකුවත් ඒක කළා. ඩොලර් 210ට විකුණන්න බැරි මල්ල මිල අඩු කළාම විකුණන්න පුළුවන් වුනා. හැබැයි ඒ අඩු කළ මිලට වුනත් විකුණන්න පුළුවන් රුපියල් මලු ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණය ඉක්මවා රුපියල් මලු වෙළඳපොළට දමන හැම වෙලාවකම රුපියල් මල්ලේ මිලත් අඩු කරන්න වුනා. නැත්නම් විකුණගන්න බැහැ. 

පහුගිය මාර්තු මාසේ වෙනකම් ඔය මල්ලක් ඩොලර් පහ ගානෙනේ විකිණුවේ. රුපියල් දෙසීයක් ඩොලර් එකයි. දාහක් ඩොලර් පහයි. හැබැයි හදපු මලු ප්‍රමාණය ඒ ගාණට විකුණන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. දැන් මිල දෙකයි හැත්තෑ පහකට විතර බස්සලා විකුණනවා. ඒත් ගන්න කෙනෙක් නැහැ. ඕනෑ කරන කෙනෙකුට ඔය මල්ලක් පිටින් දෙකයි පණහට ගන්නත් පුළුවන්.

කඩේ රුපියල් මලු ගොඩ ගැහිලා. "රුපියල් ගොවියා" ගොඩට තව තව රුපියල් මලු එකතු කරනවා. මිල තවත් පහත වැටෙන බව හොඳටම පේන නිසා හදිස්සියක් නැත්නම් ඕනෑ කරන කෙනෙක් වුනත් ඔය මල්ලක් ගන්නේ දෙපාරක් හිතලා. දෙකයි හැත්තෑ පහට විකුණ ගන්න බැරි ඉතිරි වෙලා තියෙන ඔය රුපියල් මලු ටික සත පණහ ගානේ දුන්නත් විකුණන්න බැහැ. ඉල්ලුම සංතෘප්ත වෙලා ඉවරයි.

මේ කතාව රූප සටහන් ඇසුරෙන් තව දුරටත් පැහැදිලි කරන්න පුළුවන්. 1A රූප සටහනේ තියෙන්නේ සාමාන්‍ය ඉල්ලුම් සැපයුම් සමතුලිතතාව පෙන්වන ඉල්ලුම් හා සැපයුම් වක්‍ර. රුපියල් 1000ක මිල ඩොලර් 2.77ක් ලෙස (ඩොලරයක් රුපියල් 360 ලෙස) තියෙද්දී ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙන්නේ නැහැ. ඉල්ලුම අඩුයි. සැපයුම වැඩියි. මේ දෙක අතර පරතරයක් තිබෙනවා. ඒ කියන්නේ වෙළඳපොළේ රුපියල් අතිරික්තයක් තියෙනවා. කවුරුවත් මේ රුපියල් මලු ටික ඩොලර් දීලා මිල දී ගන්නේ නැහැ. 

ඉල්ලුම් හා සැපයුම් වක්‍ර පිහිටා තියෙන්නේ 1A රූප සටහනේ පෙන්වන විදිහටනම් මිල බාගෙට බාගයක් අඩු කළාම ඔය නොවිකිණෙන රුපියල් ටිකත් විකුණා ගන්න පුළුවන්. ඒ කියන්නේ, රුපියල් 1000ක මිල ඩොලර් 1.38 දක්වා බහිද්දී (ඩොලරයක මිල රුපියල් 720 වෙද්දී) ඉල්ලුම හා සැපයුම සමාන වෙනවා. රුපියල් අතිරික්තය (ඩොලර් හිඟය) නැති වෙනවා. වෙළඳපොළ ගැන විශ්වාසය තියන ගොඩක් අය රුපියල පා කළ යුතුයි කියා කියන්නේ ඔය වැඩේ වෙයි කියා හිතාගෙන. මොකද ඕක තමයි ගොඩක් අයට හුරු පුරුදු සාමාන්‍ය පාඨ ග්‍රන්ථ ඉල්ලුම් සැපයුම් ආකෘතිය (text book model).

නමුත් කවර හෝ හේතුවක් නිසා 1B රූප සටහනේ පෙන්වන තරමට සැපයුම් වක්‍රය දකුණට විතැන් වුනොත් මොකද වෙන්නේ? දැන් රුපියල් 1000ක මිල ඩොලර් 0 දක්වා අඩු කළත් ඉල්ලුම හා සැපයුම අතර කිසියම් පරතරයක් තිබෙනවා. ඒ කියන්නේ, වෙළඳපොළ සමතුලිත වෙන්න කලින් රුපියලේ වටිනාකම ශුන්‍ය වෙලා යනවා.

රූප සටහනක් මගින් හරි, උදාහරණයක් මගින් හරි පැහැදිලි කළා කියලත් ඔය වගේ දෙයක් වෙනවාම කියලා කියන්න බැහැනේ. මෙහෙම දෙයක් වෙන බව පෙන්වන්න පුළුවන් මීට වඩා හොඳ විදිහක් නැද්ද?

රුපියල් ඉල්ලුම එන්නේ කොහෙන්ද? කාට හරි රුපියල් ඕනෑ වෙන්නේ ලංකාව ඇතුළෙන් භාණ්ඩ හා සේවා මිල දී ගන්න. දැන් අපි කතා කරන්නේ ඩොලර් (හෝ වෙනත් විදේශ මුදලක්) දීලා ඔය වැඩේට රුපියල් මිල දී ගන්න හොයන අය ගැන. ලංකාවෙන් භාණ්ඩ හා සේවා ආනයනය කරන විදේශිකයෝ මේ ගොඩේ ඉන්නවා. ඒ අයට අවශ්‍ය දේවල් ලංකාවේ හැදෙන තරමට මේ ඉල්ලුම ඉහළ යනවා. හැබැයි ඒ අයට ඔය භාණ්ඩ හා සේවා මිල දී ගන්න තියෙන එකම වෙළඳපොළ ලංකාව නෙමෙයි. ඒ නිසා, රුපියල් වලට ඉල්ලුමක් එන්නේ තරඟකාරී මිලකට ලංකාවේ හැදෙන භාණ්ඩ හා සේවා ප්‍රමාණයට පමණයි. ඒ නිසාම. මේ රුපියල් ඉල්ලුමේ උපරිම සීමාවක් තියෙනවා.

ඊළඟට ඉන්නවා ලංකාවට ප්‍රේෂණ එවන අය. ඒ අයගේ පවුල් වල අයට ලංකාව ඇතුළෙන් භාණ්ඩ හා සේවා මිල දී ගන්න රුපියල් අවශ්‍යයි. ඒ නිසා, මේ අය ඩොලර් දීලා රුපියල් මිල දී ගන්නවා. මේකෙත් උපරිම සීමාවක් තිබෙනවා. මේ කොටස් දෙකම එකතු කළාම මාසයකට ඩොලර් මිලියන 1,500ක පමණ මුදලක් ගෙවා රුපියල් මිල දී ගැනීම සඳහා ඉල්ලුමක් තියෙනවා. රුපියලක මිල පහළ යද්දී විකිණෙන රුපියල් ප්‍රමාණයත් වැඩි වන නමුත් රුපියල් ගන්න එන්නේ ඔය කියපු සීමිත පාරිභෝගිකයෝ ටිකම තමයි. රටේ මූර්ත ආර්ථිකයේ වෙනසක් වෙන්නේ නැතිව ඊට වඩා රුපියල් විකුණන්න බැහැ. මිල අඩු වෙද්දී පිටින් එන ඉල්ලුම යම් තරමකින් ඉහළ යා හැකි වුවත් රටේ අපනයන භාණ්ඩ නිෂ්පාදනය ක්ෂණිකව විශාල ලෙස ඉහළ යන්නේ නැහැ. 

දැන් ඔය විදිහට රුපියල් ඉල්ලන අයට රුපියල් සපයන්නේ කවුද? ලංකාව ඇතුළේ ඉන්න විදේශ වල නිපදවන භාණ්ඩ හා සේවා මිල දී ගන්න අවශ්‍ය අය. මෙහෙම අය ඕනෑ තරම් ඉන්නවා. මොකද ලංකාවේ අය මිල දී ගන්න කැමති විදේශ වල නිපදවන භාණ්ඩ හා සේවා කිවුවහම ඕකේ සීමාවක් නැහැ. අතේ ඩොලර් තියෙනවානම් ගන්න බඩු ඕනෑ තරම් රටින් පිට තියෙනවා. අතේ රුපියල් තියෙන තරමට සහ ඩොලර් එකේ මිල අනුව ඩොලර් මිල දී ගැනීම සඳහා වන රුපියල් සැපයුමත් ඕනෑ තරම්  ඉහළ යන්න පුළුවන්. 

විණිමය අනුපාතය නිදහසේ තීරණය වෙන්න ඉඩ ඇරියහම වෙන්නේ රුපියල් ඉල්ලුමට සමාන වෙන විදිහට රුපියල් සැපයුම සීමා වෙන එක. ඩොලරයක මිල ඉහළ ගිහින්, ඩොලර් ගන්නවට වඩා රටේ හදන බඩු ගන්න එක ලාබ වෙද්දී ඩොලර් ගන්න රුපියල් විකුණන එක නවතිනවා. ඒ වගේ සමතුලිතතාවයකදී රුපියල් දී ඩොලර් ගන්න අවශ්‍ය තරමටම රුපියල් වලට ඉල්ලුමක් තියෙනවා. ඒ නිසාම, රට ඇතුළේ තියෙන ඩොලර් ඉල්ලුමට සමාන ඩොලර් සැපයුමකුත් තියෙනවා.

මේක ඩොලර් වලින් කිවුවොත් ඩොලරයක මිල කීය වුවත් රටට එන අපනයන හා ශ්‍රමික ප්‍රේෂණ නිසා ඩොලර් ප්‍රමාණය එක්තරා සීමාවකින් එහාට යන්නේ නැහැ. ඩොලරයක මිල ඉහළ ගිහින් ආනයන ඉල්ලුම ඒ මට්ටමේ නවතිනවා. වැඩේ ගොඩ!

දැන් මේ වෙලාවේ මේ වැඩේ නොවෙන්නේ ඇයි? 

අපි නිකමට හිතමු ඩොලරයක් රුපියල් 3,600 දක්වා දහ ගුණයකින් ඉහළ ගියා කියලා. ඒ එක්කම රටේ ආනයනික භාණ්ඩ හැම එකකම මිලත් දහ ගුණයකින් ඉහළ ගිහින් ඉල්ලුම විශාල ලෙස අඩු වෙනවා. හැබැයි ඒ කියලා ලංකාවේ මිනිස්සු ආනයනික භාණ්ඩ ගන්නෙම නැතුව ඉඳියිද? 

ඒක වෙන්නේ නැහැ. මිල කීය වුනත් ගන්න අතේ සල්ලි තිබෙන යම් පිරිසක් ඉන්නවා. ඒ වගේම දුප්පතෙකුට වුනත් ඉන්න ගේ දොර විකුණලා හරි මිල දී ගන්න වෙන දේවලුත් තියෙනවා. ඒ නිසා, ඩොලරයක මිල දහ ගුණයකින් ඉහළ ගියත් යම් ආනයන ඉල්ලුමක් රට ඇතුළේ තියෙනවා.  ඒ සඳහා ඩොලර් මිල දී ගැනීමට රුපියල් විකුණන පිරිසකුත් ඉන්නවා. 

දැන් මාසෙක ආනයන ඉල්ලුම ඩොලර් 1,200 පමණ මට්ටමට අඩු වෙලානේ. ඕකෙන් බාගයක්වත් අපනයන කර්මාන්ත වලට අවශ්‍ය අමු ද්‍රව්‍ය විය යුතුයි. ඒ ආනයන ටික කොහොමටත් අඩු වෙන්නේ නැහැ. ඉතිරි අත්‍යවශ්‍ය ආනයනය ටික ඩොලර් 400 දක්වා අඩු වුනා කියා අපි හිතමු. ඒත් මාසයකට ඩොලර් බිලියනයක්. අනෙක් පැත්තෙන් අපනයන හා ශ්‍රමික ප්‍රේෂණ වලින් ඩොලර් 1,500ක් ආවොත් ඩොලර් 500ක් වැඩිපුරත් තියෙනවා.

කතාව මෙතැනින් ඉවරනම් 1A රූප සටහනේ ආකෘතිය ගැලපෙනවා. ඩොලරයක මිල ඔය තරම්ම ඉහළ යන්න කලින් වැඩේ නවතිනවා. නමුත්, මේ අවස්ථාවේ තිබෙන තත්ත්වය අනුව රුපියල් සැපයුම එන්නේ ආනයන ඉල්ලුමෙන් විතරක් නෙමෙයි. 

ලංකාව ණය ගෙවන එක අත් හිටවලා කියලා කාටත් මතකයිනේ. ඩොලර් බිලියන පණහක හැටක ණය ආපහු ගෙවන්න තියෙනවා. ඔය ණය ටික ඔක්කොම කොහොම වෙතත් සැලකිය යුතු කොටසක් සාමාන්‍ය මිනිස්සු දුන්න වාණිජ ණය. එහෙම නැත්නම් බැංකු තැන්පතු. අපි බිලියන පණහෙන් විසිපහක් අයින් කරලා විසි පහක් ඔය ගොඩට දමමු. ඔය ණයකාරයෝ ටික බලා ඉන්නේ තමන්ගේ සල්ලි ආපහු ගන්නේ කොයි වෙලාවෙද කොහොමද කියලා. 

ශ්‍රී ලංකා රජය විසින් ණය ගෙවීම අත් හිටෙවුවත්, ඩොලර් වලින් නැතුව රුපියල් වලින් ගන්නවනම් ණය ආපහු ගෙවනවා කියලයි කියල තියෙන්නේ. ඒ කියන්නේ පහුගිය ජූලි 25 ගෙවන්න තිබුණු ඩොලර් බිලියනය සහ එහි පොලිය ඩොලර් වලින් නැතුව රුපියල් වලින් ගන්නවානම් රජය එම මුදල ගෙවන්න සූදානම්. ඔය වගේ තව ණය තිබෙනවා. ඔහොම කිවුවට කවුරුවත් රුපියල් නොගන්නේ ඒ රුපියල් ඩොලර් වලට මාරු කරලා රටින් ගෙනියන්න විදිහක් නැති නිසා. එහෙම පුලුවන්නම් කවුද රුපියල් නොගන්නේ?

දැන් අපි හිතමු රුපියල පා කළා කියලා. ඩොලර් ගෙවලා රුපියල් මිල දී ගන්න ඉන්නේ අපනයනකරුවෝ ටික සහ ශ්‍රමික ප්‍රේෂණ එවන අය විතරයි. රුපියල් විකුණලා ඩොලර් ගන්න බලාගෙන ආනයනකරුවන්ට අමතරව ණයකාරයෝ ටික ඉන්නවා. ඒ අය කාක්කෝ වගේ බලාගෙන ඉන්නේ තමන් අතේ තිබෙන හෝ ඉදිරියේදී ලැබෙන්නට නියමිත රුපියල් ටික දීලා ඩොලර් ගන්න. යම් හෙයකින් ඩොලරයක මිල විශාල ලෙස ඉහළ ගිහින් ආනයන ආදායම් + ශ්‍රමික ප්‍රේෂණ සහ අපනයන වියදම් අතර ගනුදෙනු වලින් යම් ඩොලර් අතිරික්තයක් ආවත් ණයකාරයින්ට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය ඊට වඩා වැඩියි.

ඩොලරයක මිල අහස උසට නැගලා රටේ ආනයන මුළුමනින්ම නැවතුනත් අපනයන හා ශ්‍රමික ප්‍රේෂණ විදිහට මාසයකට ඩොලර් බිලියනයකට වඩා රටට එන්නේ නැහැ. මොකද අපනයන ටික කරන්නම යම් ආනයන ප්‍රමාණයක් කරන්නත් වෙනවනේ. ඒ ඩොලර් ටික කොහොමටත් නැවත රටින් එළියට යනවා. ඒ කියන්නේ මේ වෙලාවේ ඩොලරයක මිල රුපියල් ලක්ෂයට ගියත් අවුරුද්දකට ඩොලර් බිලියන දොළොස්දාහකට වඩා විණිමය වෙළඳපොළට එන්නේ නැහැ. නමුත් ආපහු ගන්න බලාගෙන ඉන්න ණය ටික ඒ වගේ කිහිප ගුණයක්. ඒ නිසා ඩොලර් එක කීයට ගියත් ඩොලර් හිඟය නැති කරන්න බැහැ. 

මේක IMF එකෙන් ඩොලර් බිලියන තුන හතරක් අරගෙන ගොඩදාන්න පුළුවන් දෙයක් නෙමෙයි. අනිවාර්යයෙන්ම ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් කරන්නම වෙනවා. එහෙම කරලා ණයකාරයෝ ටික පැත්තකට කරන්න වෙනවා. රුපියල පා කිරීමක් ගැන හිතන්නවත් පුළුවන් ඒක කළාට පස්සේ විතරයි.

මේ විදිහට මේ කතාව කිවුවත්, නොකියපු කොටසක් තිබෙනවා. ඒ මූර්ත වත්කම් වල බලපෑම. රටේ මූර්ත වත්කම් විදේශිකයින්ට මිල දී ගන්න බාධාවක් නැත්නම් ඒ හරහා මේ වෙළඳපොළ සමතුලිත වෙන්න පුළුවන්. ඒ ගැන වෙන ලිපියකින් කතා කරමු. 

Friday, August 5, 2022

ණය ගෙවන්න තියෙන්නේ කාටද?




ලංකාව විසින් ගෙවිය යුතු විදේශ ණය ගෙවන්න තියෙන්නේ කාටද? 

පහත තියෙන්නේ මධ්‍යම රජය විසින් ගෙවිය යුතු වූ විදේශ ණය පිළිබඳ සංඛ්‍යාලේඛණයි. මෙහි තිබෙන්නේ 2022 අප්‍රේල් අවසානයේදී පැවති තත්ත්වය.

තවමත් ගෙවා ගෙන යන ණය:

ආසියානු සංවර්ධන බැංකුව - රුපියල් බිලියන 1,564.4 (14.4%)

ලෝක බැංකුව - රුපියල් බිලියන 804.3 (7.4%)

අනෙකුත් ජාත්‍යන්තර සංවිධාන - රුපියල් බිලියන 254.3 (2.3%)


මේ වන විට ගෙවීම අත් හිටුවා ඇති ණය:

ජපාන රජය - රුපියල් බිලියන 869.6 (8.0%)

වෙනත් රටවල රජයයන් - රුපියල් බිලියන 1,587.1 (14.6%)

සහනදායී නොවන ණය - රුපියල් බිලියන 5,788.1 (53.3%)


එකතුව: රුපියල් බිලියන 10,867.1 


පසුගිය 2021 වසර අවසාන වන විට පැවති මධ්‍යම රජයේ විදේශ ණය සංයුතිය පිළිබඳව මීට වඩා විස්තරාත්මක දත්ත තිබෙනවා.

ආසියානු සංවර්ධන බැංකුව - 16.2%

ලෝක බැංකුව - 9.9%

අනෙකුත් ජාත්‍යන්තර සංවිධාන - 2.7%

ජපාන රජය - 9.6%

ඉන්දියානු රජය - 2.2%

චීන රජය - 1.8%

වෙනත් රටවල රජයයන් - 3.6%

චීන එක්සිම් බැංකුව - 8.5%

ස්වෛරිත්ව බැඳුම්කර - 34.6%

අනෙකුත් සුරැකුම්පත් - 4.1%

කාලීන ණය පහසුකම් - 6.9%


මෙම ගණන් වල රාජ්‍ය සංස්ථා ආදිය විසින් ලබාගත් විදේශ ණය ඇතුළත්ව නැහැ. 

Thursday, August 4, 2022

හොර පාරෙන් රටින් පන්නන සල්ලි


රටකට විදේශ විණිමය එන හා එළියට යන ක්‍රම ගණනාවක් තිබෙනවා. කලින් ඕනෑ තරම් කතා කරලා තිබෙන නිසා නැවත විස්තර කරන්න යන්නේ නැහැ. මේ මාර්ග බොහොමයක් නීත්‍යනුකූල මාර්ග වුනත්, නීති විරෝධී ලෙසත් සැලකිය යුතු විදේශ විණිමය ප්‍රමාණයක් දේශ සීමා හරහා යනවා. එක පැත්තකට නෙමෙයි දෙපැත්තටම. 

නීත්‍යනුකූල මාර්ග වලින් රටට එන හා රටින් යන විදේශ විණිමය ප්‍රවාහ පිළිබඳ තොරතුරු වලින් විශාල කොටසක් මහ බැංකුවට වාර්තා වෙනවා. ගෙවුම් ශේෂ ගිණුම් වල තියෙන්නේ මේ තොරතුරු. මේ විදිහට රටට එන හා රටින් යන විදේශ විණිමය ප්‍රවාහ ගැන තොරතුරු සියල්ලම මහ බැංකුවට වාර්තා වෙනවානම්, කිසිවක්ම මග හැරෙන්නේ නැත්නම්, යන ප්‍රමාණය හා ආ ප්‍රමාණය අතර වෙනස රටේ සංචිත වල වෙනස් වීමට සමාන වෙන්න ඕනෑ. නමුත්, ලෝකයේ කිසිම රටක ඔය සමතුලිත වීම හරියටම වෙන්නේ නැහැ. ඇතැම් විදේශ විණිමය ගලනයන් මහ බැංකුවට වාර්තා වෙන්නේ නැහැ.

සාමාන්‍යයෙන් නීති විරෝධී විදේශ විණිමය ගලනයන් කොහොමටත් මහ බැංකුවට වාර්තා වෙන්නේ නැහැ. නීති විරෝධී නැති ගලනයන් වුවත් හැම එකක්ම වාර්තා වෙන්නේ  නැහැ. උදාහරණයක් විදිහට කවුරු හරි පිටරට සංචාරයක යද්දී ඩොලර් සීයක් බැංකුවකින් අරගෙන ආපහු එද්දී ඉතිරි වුනු ඩොලර් විස්ස ගෙදර ලාච්චුවේ තියා ගත්තොත් ඒ ඩොලර් විස්ස රටට ආපහු ආපු බව වාර්තා වෙන්නේ නැහැ. ඒ වගේම, සංචාරකයෙකු විසින් බැංකුවෙන් ඩොලර් මාරු කරද්දී එය වාර්තා වුනත්, ගයිඩ් කෙනෙක්ගේ අතට දෙන ඩොලර් විස්සක් වාර්තා වෙන්නේ නැහැ. දැන් වෙනත් කෙනෙක් පිටරට යද්දී බැංකුවෙන් ඩොලර් මිල දී නොගෙන ඔය වගේ රටේ තිබෙන ඩොලර් එකතු කරගෙන ගිහින් වියදම් කළොත් ඒකත් වාර්තා වෙන්නේ නැහැ. 

මේ වගේ සිල්ලර ගනුදෙනු සහ අනීතික ගනුදෙනු මහ බැංකුවට වාර්තා වෙන්නේ නැතත් රටට පැමිණි හා රටින් ගිය විදේශ විණිමය ප්‍රමාණ අතර වෙනස සංචිත වෙනස් වීමත් එක්ක සංසන්දනය කළාම "වැරදීම් හා මගහැරීම්" සියල්ලේ සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය ඇස්තමේන්තු කරන්න පුළුවන්. ඕනෑම රටක ගෙවුම් ශේෂ ගිණුම් වල මේ ප්‍රමාණය සටහන්ව තිබෙනවා. සාමාන්‍යයෙන් සැලකිය විශාල යුතු අගයක්. 

පහත තියෙන්නේ පසුගිය වසර 15 තුළ ලංකාවේ මේ වැරදීම් හා මග හැරීම් ප්‍රමාණය ඩොලර් මිලියන වලින්. වරහන් ඇතුළේ තියෙන්නේ සෘණ අගයන්.

2007- (165)

2008- 728

2009- 346

2010- (881)

2011- (707)

2012 - (412)

2013 - (590)

2013- 393

2015- (308)

2016 - (465)

2017- 175

2018 - (593)

2019 - (640)

2020 - 765

2021 - (711)

ඔය වසර 15 සමස්තයක් ලෙස ගත්තොත්, ධන හා සෘණ අගයයන් දෙවර්ගයම තිබුණත්, වැඩිපුර තියෙන්නේ සෘණ අගයයන් කියන එක පේනවනේ. ඒ කියන්නේ රටට ආපු විදේශ විණිමය ප්‍රමාණයෙන් යම් කොටසකට වෙච්ච දෙයක් නැහැ. ඒ සල්ලි නීති විරෝධී ලෙස රටින් පිටට ගියා කියන එක එයින් අනිවාර්යයෙන් අදහස් වන්නේ නැහැ. එක්කෝ නීති විරෝධී ලෙස රටින් එළියට ගියා. නැත්නම් රට ඇතුළේම කා අතේ හෝ දැනටත් තියෙනවා. එහෙම රට ඇතුළේ තිබුණත් මේ සල්ලි පහසුවෙන් රටින් පන්නන්න පුළුවන් නිසා ඔය දෙකේ වැඩි වෙනසකුත් නැහැ.

මේ විදිහට පසුගිය වසර 15 තුළ අවිධිමත් වෙළඳපොළ හරහා සම්ප්‍රේෂණය වී තිබෙන විදේශ විණිමය ප්‍රමාණයේ ශුද්ධ අගය ඩොලර් බිලියන 3ක් පමණ. ඒ කියන්නේ, ඇස්තමේන්තු නිවැරදිනම්, සාමාන්‍ය වශයෙන් වසරකට ඩොලර් මිලියන 200ක් පමණ අවිධිමත් වෙළඳපොළ හරහා රටින් පිට වී තිබෙනවා. එහෙම නැත්නම් ඇස්තමේන්තු වල එපමණ වරදක් තිබෙනවා.

නීති විරෝධී ලෙස රටට එන හා රටෙන් යන සල්ලි මහ බැංකුවට වාර්තා නොවුණත්, එවැනි ගනුදෙනු වල ශුද්ධ ප්‍රතිඵලය මේ සංඛ්‍යාව ඇතුළේ තියෙනවා. මේ සංඛ්‍යාලේඛණයට මග හැරෙන වෙනත් ආකාර වලින් සල්ලි රටින් පන්නන්න බැරිද? 

අපි හිතමු කවුරු හෝ බලවතෙක් ඩොලර් නෝට්ටු ගෝනි වල දාලා පෞද්ගලික ජෙට් යානයකින් මොකක් හරි රටකට පැන්නුවා කියලා. ඔය වගේ කතාවක් මට පෞද්ගලිකව විශ්වාස කරන්න අමාරු වුනත් කතාව එක පාරට ප්‍රතික්ෂේප කළ හැකි සෛද්ධාන්තික පදනමක් නැහැ. විය හැකියාවක් ලෙස ඔය කතාව මට භාර ගන්න වෙනවා. 

හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. මම හිතන්නේ කියවන අය මාත් එක්ක එකඟ වෙයි. 

ඔය විදිහට හෝ වෙන විදිහකින් රටින් පන්නන්නනම් ඊට කලින් රටට ඔය ඩොලර් ටික ඇවිත් තියෙන්න ඕනෑ. රටට ඩොලර් ආවේ නැත්නම් රටෙන් පන්නන්න විදිහකුත් නැහැනේ. ඒ කියන්නේ මේ පන්නපු ප්‍රමාණය කලින් පෙන්වපු "වැරදීම් හා මගහැරීම්" ගොඩේ තියෙන්න ඕනෑ. රටට ආපු ඩොලර් ප්‍රමාණයෙන් වෙච්ච දෙයක් නැත්තේ ඒ ප්‍රමාණය පමණයි. 

ඒ කියන්නේ ඊට වඩා වැඩි ඩොලර් ප්‍රමාණයක් රටින් පැන්නුවා වෙන්නම බැරිද? 

පුළුවන්. එහෙමනම්, ඒ වැඩි ප්‍රමාණය හොර පාරකින්ම රටට ඇවිත් තියෙන්න ඕනෑ. රටට හොරෙන් ඩොලර් ආවේ නැත්නම්, ඔය ගණනට වඩා වැඩියෙන් රටෙන් ඩොලර් එළියට යන්න විදිහකුත් නැහැ. ඒ කියන්නේ, හොරෙන් ආ ගිය ඩොලර් ගණන් සැලකුවට පස්සෙත්, ශුද්ධ වශයෙන් බැලුවොත් වාර්තා නොවී රටේ ඩොලර් අඩු වෙලා තියෙන්නේ ඔය ප්‍රමාණයම තමයි.

ආනයන අපනයන වෙළඳාමේදී වැරදියට ඉන්වොයිස් දමන එක මේ සංඛ්‍යාලේඛණ වලට බලපාන්නේ කොහොමද? 

ඇමරිකාවේ රාජ්‍ය නොවන සංවිධානයක (GFI) සේවය කරන පර්යේෂකයෙකු (දේව් කර්) විසින්, නෝර්වේ රජයේ ආධාර මත, කනිෂ්ඨ සහායකයෙකුගේ උදවු ඇතිව සකස් කර තිබෙන 2015 වාර්තාවක ඉහත විස්තර කළ ගෙවුම් ශේෂ ගිණුම් වල "වැරදීම් හා මගහැරීම්" වලට ආනයන අපනයන වෙළඳාමේදී වැරදියට ඉන්වොයිස් දැමීම මගින් රටින් පිට කළේයයි ඔවුන් දෙදෙනා විසින් ඇස්තමේන්තු කර තිබෙන සංඛ්‍යාවක්ද එකතු කර එම මුදල නීති විරෝධී ලෙස සංවර්ධනය වන රට වලින් පිට කෙරුණු මුදලක් ලෙස අර්ථ දක්වා තිබෙනවා. මේ ඇස්තමේන්තු සකස් කර තිබෙන ක්‍රමවේදයේ බැලූ බැල්මටම පෙනෙන වැරදි හා අඩුපාඩු ගණනාවක් තිබෙනවා. විමර්ශිත ජර්නලයක පළව ඇති පර්යේෂණ පත්‍රිකාවක් වැන්නක් නොවන මෙවැනි ලියැවිල්ලක එවැනි වැරදි හා අඩුපාඩු තිබීම අනපේක්ෂිත දෙයක් නෙමෙයි. 

දේව් කර් සේවය කළ රාජ්‍ය නොවන සංවිධානය විසින්ම 2021දී තවත් වාර්තාවක් එළි දක්වා තිබෙනවා. පෙර කී වාර්තාවට සාපේක්ෂව දුර්වලතා අඩු එම වාර්තාවේ ඉලක්ක අරමුණ මෙන්ම ක්‍රමවේදයද මුල් වාර්තාවට වඩා වෙනස්. එහි අවධානය යොමු කර තිබෙන්නේ ආනයන අපනයන වෙළඳාමේදී වැරදියට ඉන්වොයිස් දැමීම හරහා සිදු කර තිබෙන නීති විරෝධී ගණුදෙනු පරිමාව පිළිබඳවයි. 

මේ 2021 වාර්තාව ගැන මීට පෙරද කතා කර තිබෙන නිසා අපි 2015 වාර්තාව ගැන දැන් කතා කරමු. 2015 වාර්තාවේ ඇස්තමේන්තු පදනම් වන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල් හා සංවර්ධිත රටවල් අතර සිදුව ඇති ගනුදෙනු මතයි. 2021 වාර්තාවේ මෙන්ම මේ වාර්තාවේද කරන්නේ දෙපැත්තේ ගණන් සංසන්දනය කිරීමයි. එහිදී දේව් කර් හා ඔහුගේ සහායකයා විසින් සංවර්ධිත රටේ සංඛ්‍යාලේඛණ නිවැරදි සේ සලකනවා. ඉන් පසුව, රක්ෂණ හා නැව් ගාස්තු 10%ක් සේ උපකල්පනය කර සංවර්ධනය වන රටකට භාණ්ඩයක් යන විට හා සංවර්ධනය වන රටකින් භාණ්ඩයක් එන විට පෙන්වා තිබිය යුතු "නියම මිල" ගණනය කරනවා. 

සංවර්ධනය වන රටකින් සංවර්ධිත රටකට භාණ්ඩයක් අපනයනය කරන විට පෙන්වා ඇති මිල ඉහත ආකාරයෙන් ගණනය කළ "නියම මිලට" වඩා අඩුනම් එය ඔවුන් විදේශ විණිමය ගලනයක් සේ සලකනවා. පෙන්වා ඇති මිල "නියම මිලට" වඩා වැඩිනම් එය නොසලකා හරිනවා.

මේ ආකාරයෙන්ම, සංවර්ධනය වන රටක් සංවර්ධිත රටකින් භාණ්ඩයක් ආනයනය කරන විට පෙන්වා ඇති මිල ඉහත ආකාරයෙන් ගණනය කළ "නියම මිලට" වඩා වැඩිනම් එය ඔවුන් විදේශ විණිමය ගලනයක් සේ සලකනවා. පෙන්වා ඇති මිල "නියම මිලට" වඩා අඩුනම් එය නොසලකා හරිනවා.

මේ පදනම මත, සංවර්ධනය වන රටවල් හා සංවර්ධිත රටවල් අතර ගනුදෙනු වලදී ඔවුන්ගේ ක්‍රමය අනුව රටින් පිටට විදේශ විණිමය ගලනයක් වී ඇතැයි සැක කෙරෙන අවස්ථා සියල්ල හඳුනා ගැනෙන අතර එම පදනම මතම රට තුළට විදේශ විණිමය ගලනයක් වී ඇතැයි සැක කෙරෙන අවස්ථා සියල්ල නොසලකා හරිමින් ඔවුන් විසින් පළමුව මූලික ඇස්තමේන්තුවක් සකස් කරනවා. ඉන් පසුව, සංවර්ධනය වන රටවල් අතරම සිදු වන ගනුදෙනු වලදීද එම අනුපාතයෙන්ම විදේශ විණිමය ගලනයක් වී ඇතැයි උපකල්පනය කරමින් අවසන් ඇස්තමේන්තුවක් හදනවා. 

දේව් කර්ගේ මූලික උපකල්පනයක් වන්නේම සංවර්ධනය වන රටවල් වල සිට සංවර්ධිත රටවල් වලට ප්‍රාග්ධනය විතැන් කිරීමක් මිස එහි අනෙක් පැත්ත සිදු නොවන බවයි. එහෙත්, ඔහු දෙවනුව සංවර්ධනය වන රටවල් අතර සිදු වන ගනුදෙනු වලදීද ප්‍රාග්ධනය විතැන් වන්නේ එක් දිශාවකට පමණක් බව උපකල්පනය කරනවා. ඒ වගේම, අදාළ අනුපාතයද සමාන සේ සලකනවා. 

ඒ කියන්නේ, ලංකාවෙන් ඉන්දියාවට හොරෙන් පන්නපු ගණන ඇස්තමේන්තු කරද්දී ඉන්දියාවෙන් ලංකාවට සල්ලි හොරෙන් පන්නන්න කිසිම හේතුවක් නැහැ කියා උපකල්පනය කරනවා. ඔය විදිහටම ඉන්දියාවෙන් ලංකාවට හොරෙන් පන්නපු ගණන ඇස්තමේන්තු කරද්දී ලංකාවෙන් ඉන්දියාවට සල්ලි හොරෙන් පන්නන්න කිසිම හේතුවක් නැහැ කියා උපකල්පනය කරනවා. 

ඔය දෙකෙන් එකක්වත් ඇස්තමේන්තු කරන්නේ ලංකාව හා ඉන්දියාව අතර ඇත්තටම සිදු වූ ගනුදෙනු මත පදනම්ව නෙමෙයි. ලංකාව සංවර්ධිත රටවල් සමඟ ඩොලර් 1000ක ගනුදෙනු කරද්දී ඩොලර් 200ක් එම රටවලට පන්නලානම්, ලංකාව ඉන්දියාව සමඟ ඩොලර් 1000ක ගනුදෙනු කරද්දීත් ඩොලර් 200ක් ඉන්දියාවට පන්නලා කියලා උපකල්පනය කරලා.  

මේ 2015 වාර්තාවේ ඇස්තමේන්තු කිසිසේත්ම බරපතල ලෙස ගිණිය නොහැකියි. මා හිතන පරිදි, 2021 වාර්තාව සකස් කළ පර්යේෂක කණ්ඩායම විසින් පෙර වාර්තාවේ වැරදි හා අඩුපාඩු බොහොමයක් හඳුනාගෙන තිබෙනවා. එම වාර්තාවේ අනීතික ගනුදෙනු ගැන මිස ප්‍රාග්ධන ගලනයන් ගැන අවධානය යොමු කරවන්නේ නැහැ. 

සාමාන්‍යයෙන් වෙන පරිදි, ලංකාවේ සමහර අය ඔය වාර්තා වල තියෙන දේවල් තමයි උඩින් පල්ලෙන් කියවලා, අදාළ පර්යේෂකයින් විසින් කරලා තියෙන වැරදි ගැන කිසිම අවබෝධයක් නැතුව, අනෙක් පැත්තට වමාරන්නේ. ඒ විතරක් නෙමෙයි. වාර්තා වල වැරදි පැත්තකින් තිබ්බත්, ඒ වාර්තා වල තියෙන දේවල්වත් හරියට ග්‍රහණය කර ගෙන නැහැ. 

ලංකාවේ කට්ටිය වැඩේ අනාගන්න ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ 2015 වාර්තාවේ සහ 2021 වාර්තාවේ තියෙන්නේ එකම දෙයක් ගැන කියලා හිතලා. වෙනස දැන ගන්නනම් එක් එක් වාර්තාවේ ක්‍රමවේද තේරුම් ගන්න ඕනෑනේ! 

ලංකාවේ කට්ටිය 2021 වාර්තාවේ තියෙන සංඛ්‍යාලේඛණ අරගෙන ඒවා අර්ථ දක්වන්නේ 2015 වාර්තාවේ අර්ථ දැක්වීම් අනුවයි. නමුත්, මේ දෙකේ කරලා තියෙන්නේ වගේම කියල තියෙන්නෙත් කරුණු දෙකක් ගැන. ඒ වගේම, 2021 වාර්තාවෙත් වැරදි හා අඩුපාඩු තිබුණත්, 2015 වාර්තාවේ ඇස්තමේන්තු වල වැරදි හා අඩුපාඩු ඉතාම ප්‍රාථමික මට්ටමේ ඒවා.

හරි. අපි දැන් ඔය වාර්තා සහ ඒවායේ තිබෙන ගණන් හිලවු පැත්තකින් තියලා වැරදියට ඉන්වොයිස් කිරීම කියන කාරණාවට එමුකෝ. එහෙම දෙයක් ඇත්තටම වෙනවනේ. ඒක අර මුලින් කී ගෙවුම් ශේෂ ගිණුම් ඇස්තමේන්තු වලට බලපාන්නේ කොහොමද? 

ලංකාවේ කවුරු හෝ කෙනෙක් ඩොලර් 1000ක බඩුවක් ආනයනය කරද්දී ඩොලර් 1500ක් කියලා පෙන්වනවා. දැන් මේ වැඩෙන් නියාමකයින්ගේ ඇස් වහලා ඩොලර් 500ක් රටින් පිටතට ප්‍රේෂණය කරනවා. ඒ ඩොලර් 500 ලංකාවට අපනයනය කරන සමාගමේ ගිනුමට යනවා. පසුව, එම සමාගම හරහා වෙනත් ගිණුමකට විතැන් වෙනවා වෙන්න පුළුවන්. 

හැබැයි මේ විදිහට ඉන්වොයිස් එක වැඩියෙන් පෙන්නුවත් ඩොලර් 1500 යන්නේ විධිමත් ලෙස බැංකු පද්ධතිය හරහා මිසක් හොර පාරකින් නෙමෙයි. ඒ නිසා, ඒ මුළු මුදලම, ඉතා නිවැරදි ලෙස රටින් එළියට ගිය මුදලක් ලෙස ගෙවුම් ශේෂ ගිණුම් වල සටහන් වෙනවා. සිදු වෙන වැරැද්ද ප්‍රේෂණයක් ලෙස (outward remittance) ද්වීතියික ආදායම් ගිණුමේ සටහන් විය යුතු ඩොලර් 500ක් එහි සටහන් නොවී වෙළඳ ගිණුමේ සටහන් වෙන එකයි. ඒ කියන්නේ, මේ වැඩෙන් ජංගම ගිණුමේ ශේෂය වෙනස් වෙන්නේ නැහැ.

අපි හිතමු ඔය විදිහට රටින් එළියට ගෙනයන ඩොලර් 500 රටින් පිට ආයෝජනය කළා කියලා. එහෙමනම්, ඒ මුදල යන්න ඕනෑ මූල්‍ය ගිණුමට. ඒ කියන්නේ, මූල්‍ය ගිණුමට යා යුතු ඩොලර් 500ක් ජංගම ගිණුමේ (වෙළඳ උප ගිණුමේ) සටහන් වෙනවා. නමුත්, මේ ඩොලර් 500 රටින් එළියට ගිය බව නියාමකයින් දන්නවා. ඒ නිසා, එම මුදල "වැරදීම් හා මගහැරීම්" වලට යන කොටසක් නෙමෙයි.

දැන් ඕකෙම අනෙක් පැත්ත වුනා කියා හිතමු. ලංකාවේ කවුරු හෝ කෙනෙක් ඩොලර් 1000ක බඩුවක් ආනයනය කරද්දී ඩොලර් 500ක් කියලා පෙන්වනවා. හැබැයි එහෙම පෙන්නුවත්, අදාල අපනයනකරුවාට මොන ක්‍රමයකින් හෝ ඉතිරි ඩොලර් 500 ගෙවන්න වෙනවා. ඒ මුදල ගෙවන්න වෙන්නේ හොර පාරකින්. 

මේ ඩොලර් 500 ගෙවන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් අවිධිමත් විදිහට ලංකාවෙන්ම සල්ලි යවන එක. එහෙම නැත්නම් දැනටමත් රටින් පිට තිබෙන ගිණුමකින් සල්ලි ගෙවන එක. අවිධිමත් විදිහට ලංකාවෙන්ම සල්ලි යැව්වොත් එය ගෙවුම් ශේෂ ඇස්තමේන්තු වල තිබෙන "වැරදීම් හා මගහැරීම්" වලට අහු වෙනවා. "වැරදීම් හා මගහැරීම්" වල එවැනි මුදලක් රටින් ගිය බවක් පෙනෙන්න නැත්නම් ඒ සල්ලි ගෙවලා තියෙන්නේ කලින් රටින් පිට කළ මුදල් යොදා ගෙන. මොකද කොහෙන් හෝ ඔය ඩොලර් 500 ගෙවන්නම වෙනවා. 

ඊළඟට අපි අපනයන පැත්ත බලමු. ඩොලර් 1000ක බඩු අපනයනය කරද්දී ඩොලර් 500ක් කියා පෙන්නුවොත් ඉතිරි ඩොලර් 500 රටින් එළියේ ගිණුමක තියා ගන්න පුළුවන්. "වැරදීම් හා මගහැරීම්" නැහැ. මොකද රටට ආපු ගණන ඩොලර් 500ක් පමණයි. ඒ ගණන ගිණුම් වල හරියට තිබෙනවා. නැත්තේ රටට නොආ කොටස. ඒ කොටස හොර පාරෙන් රටට ගෙනාවොත් " වැරදීම් හා මගහැරීම්" ගොඩට යනවා. නැත්නම් තවමත් රටින් පිට. 

එතකොට ගණන් වැඩියෙන් පෙන්නුවොත්? ඒ කියන්නේ, ඩොලර් 1000ක බඩු අපනයනය කරද්දී ඩොලර් 1500ක් කියා පෙන්නුවොත්? දැන් අමතර ඩොලර් 500ක් නිල වශයෙන්ම රටට එනවා. ඒ සල්ලි එන්නේ කොහෙන්ද? එහෙම වැරදි ඉන්වොයිස් පෙන්නලා සල්ලි ගෙන්වන්නනම් අපනයනකරු සතු, වාර්තා වී නැති, ධනයක් පිටරටක තියෙන්න ඕනෑ. එහෙම නැත්නම් වෙනත් කෙනෙක් අපනයනකරුගේ නමට ප්‍රේෂණයක් කළා වෙන්න ඕනෑ. ඔය දෙකෙන් කොයි එක වුනත් රට ඇතුළට ප්‍රාග්ධන ගලනයක් වෙලා. 

සරලවම කිවුවොත් ඉන්වොයිස් වල නොගැලපීම් වලට හේතුව ප්‍රාග්ධන ගලනය ලෙස සැලකුවොත් එය දෙපැත්තටම සිදු වන බව සලකා වෙනස දෙස බැලිය යුතුයි. එක පැත්තක් දෙස පමණක් බලන එක වැරදියි. එහෙම බැලුවට පස්සේ ශුද්ධ වශයෙන් යම් විදේශ විණිමය ගලනයක් වී ඇත්නම් එයින් අදහස් වන්නේ ගෙවුම් ශේෂය තව දුරටත් නිවැරදි වුවත්, මූල්‍ය ගිණුම හෝ ජංගම ගිණුමේම වෙනත් උප ගිණුමක් යටතේ සටහන් විය යුතු කොටසක් වෙළඳ ගිණුම යටතේ සටහන් වී තිබෙන බවයි. 

මෙවැන්නක් සිදු වීමේ ප්‍රතිඵලයක් ලෙස රටේ බාහිර වත්කම් (බැරකම්) පිළිබඳව තිබෙන ඇස්තමේන්තුවත් නිවැරදි නොවෙන්න පුළුවන්. ඒක තීරණය වන්නේ අදාළ මුදල් යොදා ගැනුණේ කවර කටයුත්තකටද කියන එක මතයි. රටින් මුදලක් පන්නපු පමණින්ම ඒ මුදල් රටින් පිට තිබෙනවා කියන එක අනිවාර්යයෙන් අදහස් වන්නේ නැහැ. මම මේ කියන්නේ කලින් කියපු නැවත රටට ඒ සල්ලි ආපහු ගෙනත් තිබීමේ හැකියාව ගැන නෙමෙයි. ශුද්ධ වශයෙන්ම රටින් පිට කෙරුණු විදේශ විණිමය ගැන.

මේ වගේ මුදලක් වුනත් අදාළ පුද්ගලයා රටින් බැහැර වූ විටක "එන්ජෝයි කරලා" වැය කර අවසන්ව තියෙන්න පුළුවන්. එහෙමනම් එය ජංගම ගිනුමේම වෙන උප ගිනුමක සටහන් විය යුතු මුදලක්. එහෙම නැතුව කොහේ හෝ ආයෝජනය කරලානම් ඒ සල්ලි රටින් පිට තියෙනවා. ඒ විතරක් නෙමෙයි. එවැනි මුදලක් රටින් පිට ඇත්නම් අදාළ ආයෝජනයේ ප්‍රතිලාභ ගෙවුම් ශේෂ ගිණුමේ සටහන් වෙන්නේ නැති ප්‍රශ්නයත් තියෙනවා. ඒ කියන්නේ මුලින් රටින් සල්ලි යද්දී එය ගෙවුම් ශේෂ ගිණුමේ වැරදි තැනක හෝ සටහන් වෙනවා. හැබැයි ඊට පස්සේ වෙන දේවල් ඒ විදිහට අහු වෙන්නේ නැහැ. 

ඇමරිකාව වගේ රටවල බදු ගොනු කරද්දී ලෝකයේ කොහේ හෝ රටක තිබෙන වත්කම් මත ලැබෙන ප්‍රතිලාභ වෙනුවෙන් බදු ගෙවිය යුතුයි. උදාහරණයක් විදිහට ඇමරිකන් පුරවැසියෙකු සතුව ලංකාවේ තිබෙන ගෙයක් හෝ ඉඩමක් විකිනුවොත් එහි ගැනුම් මිල හා විකුණුම් මිල අතර වෙනස ආදායමක් ලෙස පෙන්වලා ඒ වෙනුවෙන් ඇමරිකාවට බදු ගෙවිය යුතුයි. මම දන්නා තරමින් ලංකාවේ බදු නීතිය අනුවත් එහෙමයි. දැන් මේ විදිහට කා සතුව හෝ රටින් පිට එළිදරවු නොකළ වත්කම් තිබෙනවානම්, එම සල්ලි රටින් පිට කරන විට සිදු වන බදු වංචාවට අමතරව, අදාළ වත්කම් එළි නොකර තිබෙන තුරු දිගින් දිගටම සිදු වන බදු වංචාවක්ද එහි තිබෙනවා.

Wednesday, August 3, 2022

අර්බුදය හා විකල්ප ප්‍රවාද


ලංකාවේ ආර්ථික අර්බුදය පිළිබඳ විග්‍රහයන් ගණනාවක් තිබෙනවා. ගොඩක්ම ප්‍රචලිත හා ජනප්‍රිය ප්‍රවාදයක් වන්නේ රටේ මිනිස්සු ඔවුන් විසින් උපයන ඩොලර් වලට වඩා වැඩියෙන් ඩොලර් වියදම් කිරීම ප්‍රධාන හේතුව බවයි. මේක බොහෝ දුරට ආණ්ඩුවට හා රජයට හිතවත් අයගේ විග්‍රහයක්. මෙහිදී මිනිස්සු කියා කියන එකෙන් අදහස් කෙරෙන්නේ පාරිභෝගිකයින්. ආණ්ඩුව කියා කිවුවේ අලුත් ආණ්ඩුව ගැන නෙමෙයි. අලුත් ආණ්ඩුව මොන වගේ එකක්ද කියන එක තවමත් අපැහැදිලියි. 

උපයන ඩොලර් වලට වඩා වැඩියෙන් ඩොලර් වියදම් කිරීම ප්‍රශ්නයක් සේ හඳුනා ගන්නා නමුත් මගේ විග්‍රහය මේකම නෙමෙයි. එය මම බොහෝ වර විස්තර කර තිබෙනවා. මේ වෙද්දී කිසියම් සුළුතරයක් අතර හෝ මගේ ප්‍රවාදයටත් යම් පිළිගැනීමක් තිබෙනවා. ඊට අඩු වැඩි වශයෙන් සමාන ප්‍රවාද වෙනත් බොහෝ අය විසින්ද ඉදිරිපත් කර තිබෙනවා. ඔය ප්‍රවාද දෙකටම අමතරව තවත් විකල්ප ප්‍රවාද ගණනාවක් තිබෙනවා. මම මෙවැනි ප්‍රවාද තුනක සරල කරනු ලැබූ වර්ෂන් ඉතා කෙටියෙන් ඉදිරිපත් කරන්නම්.

1. ප්‍රචලිත ප්‍රවාදය - රටේ මිනිස්සු (පාරිභෝගිකයෝ) අපනයන වලින් අවුරුද්දකට උපයන්නේ ඩොලර් බිලියන දහයක් වුනත්, ඩොලර් බිලියන විස්සක ආනයනික භාණ්ඩ පරිභෝජනය කරනවා. ඒ නිසා, රජයට වසරකට ඩොලර් බිලියන දහයක් ණය ගන්න වී තිබෙනවා. වැරැද්ද මිනිස්සුන්ගේ අධිපරිභෝජනය. ප්‍රශ්නය විසඳන්නනම් මිනිස්සු පරිභෝජනය අඩු කරන්න ඕනෑ. ආනයන සීමා කරලා දේශීය නිෂ්පාදන වලට පුරුදු වෙන්න ඕනෑ. ව්‍යාපාරිකයින්ගේ වැරැද්දක් නැහැ. ඔවුන් කරන්නේ මිනිස්සු ඉල්ලන නිසා ඉල්ලන දේ ගෙනත් දෙන එකයි. රජයත් අහිංසකයි. ආණ්ඩුවත් අහිංසකයි. රජය/ආණ්ඩුව විසින් කරන්නේ බොහොම අමාරුවෙන් කොහෙන් හෝ රටකින් ණයට සල්ලි අරගෙන පාරිභෝගිකයන්ට අවශ්‍ය දේ ගෙනත් දීම සඳහා ව්‍යාපාරිකයන්ට සල්ලි හොයලා දෙන එක. ඒ කියන්නේ සාර්ව ආර්ථික ප්‍රතිපත්තියේ වැරැද්දක් නැහැ. වැරැද්ද තනිකරම මිනිස්සුන්ගේ අධිපරිභෝජනය. 

2. මගේ ප්‍රවාදය- රජය ආදායම ඉක්මවා වියදම් කරනවා. හිඟය පියවන්න විදේශ ණය ගන්නවා. සල්ලිත් අච්චු ගහනවා. ණයට ගත්ත ඩොලර් වෙළඳපොළේ විකුණා ලැබෙන රුපියල් ටිකත්, අච්චු ගහපු රුපියල් ටිකත් රට ඇතුළේ වියදම් කරද්දී රුපියල් වැඩි වන නමුත් ඒ තරමට රටේ නිෂ්පාදනය වැඩි වෙලා නැහැ. නමුත් වෙළඳපොළේ ඩොලර් වැඩි වෙනවා. ඩොලර් ලාබ වෙනවා. කිසියම් පිරිසක් මේ ඩොලර් මිල දී ගෙන පිටරටින් බඩු ගෙනත් ලාබෙට විකුණනවා. ඒ බඩු ගන්න අවශ්‍ය රුපියල් ආණ්ඩුව සංසරණයට දැනටමත් එකතු කරලා. ලාබෙට පිටරටින් බඩු එන නිසාත්, ඒ බඩු ගන්න ඇති තරම් රුපියල් අතේ තියෙන නිසාත් කවුරුවත් නිෂ්පාදනය වැඩි කරන්න මහන්සි වෙන්නේ නැහැ. අපනයන වලින් අවුරුද්දකට උපයන්නේ ඩොලර් බිලියන දහයක් වුනත්, ඩොලර් බිලියන විස්සක ආනයනික භාණ්ඩ පරිභෝජනය කරන්න මිනිස්සුන්ට පුළුවන් වෙනවා. මිනිස්සු ආතල් එකේ ඉන්නවා. 

මගේ මේ ප්‍රවාදයේදීත් ප්‍රචලිත ප්‍රවාදයේදී මෙන්ම වෙළඳ හිඟයක් තිබෙනවා. වෙනස එයට හේතුව මොකක්ද කියන එකයි. මගේ ප්‍රවාදය අනුව, මෙය රටේ සාර්ව ආර්ථික ප්‍රතිපත්තියේ වැරැද්දක් මිසක් මිනිස්සුන්ගේ (පාරිභෝගිකයින්ගේ) වැරැද්දක් නෙමෙයි. මිනිස්සුන්ගේ වැරැද්ද ඒ ප්‍රතිපත්තිය අනුමත කිරීම පමණයි. 

3. විකල්ප ප්‍රවාදය - මේ නිශ්චිත විකල්ප ප්‍රවාදය අනුව ඉහත ප්‍රවාද දෙකේම කියන විදිහේ වෙළඳ ශේෂ ප්‍රශ්නයක් රටේ නැහැ. ඇත්ත අපනයන ආදායම ඩොලර් බිලියන 15ක්. ඇත්ත ආනයන වියදමත් ඩොලර් බිලියන 15ක් පමණයි. හැබැයි අපනයනකරුවෝ අඩුවෙන් ගණන් පෙන්වලා ඩොලර් බිලියන 10ක් පමණක් රටට ගෙනත් ඉතිරි ඩොලර් 5 රටින් පන්නනවා. ආනයනකරුවෝ වැඩියෙන් ගණන් පෙන්නලා ඩොලර් බිලියන 15 වෙනුවට ඩොලර් බිලියන 20ක්ම රටින් එළියට ගෙනියනවා. දැන් එතැනත් ඩොලර් බිලියන පහක් රටින් පන්නලා. එතකොට ඔක්කොම ඩොලර් බිලියන 10ක් රටින් පන්නලා. ඒ ප්‍රමාණය තමයි රටට ණය වෙන්න වෙලා තියෙන්නේ. ඒ කියන්නේ වැරැද්ද මේ ආනයන අපනයන කරන වෙළෙන්දන්ගේ. මිනිස්සු අහිංසකයි. රජයත් අහිංසකයි. ආණ්ඩුව කරන වැරැද්ද මේ ව්‍යාපාරිකයින්ට දඬුවම් නොකර හුරතල් කරන එකයි.

මේ ප්‍රවාද තුනම මම ගොඩක් සරල කරලා තියෙන්නේ. සල්ලි පන්නන කතාව කියන අය ගණන ඩොලර් බිලියන දහයක් කියා කියන්නේ නැහැ. හැබැයි අදහස ඔය වගේ. ඔය ප්‍රවාද තුනට අමතරව කිසියම් පිරිසක් විසින් ණයට ගත් ඩොලර් හොරා කා රටින් පැන්නීම වගේ තවත් ප්‍රවාදත් තියෙනවා. 

දැන් මා ඇතුළු ඕනෑම කෙනෙකුට ඔය වගේ ප්‍රවාදයක් ඉදිරිපත් කරන්න පුළුවන්. ප්‍රවාදයක් කියා කියන්නේ නිකම්ම නිකම් හිතලුවක් මිසක් ඇත්ත නෙමෙයි. ඒ වුනත්, ලංකාවේ ආර්ථික අර්බුදයක් තියෙනවා කියන එක කාටත් පේන ඇත්තක්. ඇත්තම කතාව ඒ ආර්ථික අර්බුදයට හේතු වූ කරුණු ඔය ඕනෑම ප්‍රවාදයකට වඩා සංකීර්ණයි. ප්‍රවාදයකින් කරන්නේ ඒ සංකීර්ණ අර්බුදය වඩා පහසුවෙන් තේරුම් ගන්න කරන උත්සාහ කරන එකයි.

යම් කිසි ආකාරයකින් විද්‍යාත්මක ලෙස ප්‍රතික්ෂේප කරන තුරු ඔය වගේ ඕනෑම ප්‍රවාදයකට විය හැකියාවක් ලෙස වලංගු භාවයක් තිබෙනවා. එහෙම ප්‍රතික්ෂේප කළ ප්‍රවාදයකට වුනත් ඇතැම් අය අතර පිළිගැනීමක් තියෙන්න පුළුවන්. 

මේ වගේ ප්‍රවාදයක් ස්ථිර ලෙස ප්‍රතික්ෂේප කරන එක ගොඩක් අසීරු වැඩක්. ඒ නිසා, බොහෝ විට වෙන අය මොනවා කිවුවත් තමන්ගේ ප්‍රවාදය වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිටින කෙනෙකුට ඒ සඳහා යම් හෝ ඉඩක් ඉතිරි වෙනවා. මේ හේතුව නිසාම, තමන්ගේ ප්‍රවාදය වෙනුවෙන් දැඩි සේ පෙනී සිටින අයෙක් සමඟ තර්ක කරලා දිනන්න අමාරුයි. 

විය හැකියාවක් ලෙස වලංගු භාවයක් තිබෙනවා කියන්නේ ඇත්ත කියා කියන එක නෙමෙයි. බොරු බව ඔප්පු වී නැහැ කියන එකයි. ඒ නිසා, අවංකවම තමන්ගේ ප්‍රවාදය ඇත්තද කියා දැන ගන්න අවශ්‍ය කෙනෙක්නම් කළ යුත්තේ එය හැකි තරම් පරීක්ෂාවට ලක් කරන එකයි. තාර්කික තලයේදීම කළ හැකි මූලික පරීක්ෂාවක් වන්නේ ප්‍රවාදයේ අභ්‍යන්තර පරස්පරතා තියෙනවද කියලා බලන එකයි. එහෙම පරස්පර තියෙනවානම් එතැනින්ම වැඩේ අත ඇරලා දමන්න පුළුවන්. 

ගොඩක් වෙලාවට එවැනි අභ්‍යන්තර පරස්පරතා නැති ප්‍රවාද එකකට වඩා ඉතිරි වෙනවා. එතකොට හරි එක හෝ වඩා ගැලපෙන එක හොයා ගන්න වෙන්නේ අනුභූතික දත්ත දිහා බලලා. මුල් වටයේදී ප්‍රතික්ෂේප නොවන ප්‍රවාද සමහරක් මේ විදිහට ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඒකත් හරියන්නේ නැත්නම්, අවදානමක් අරගෙන, ඉතිරි වී තිබෙන විකල්ප අතරින් තමන්ට වඩා හොඳයි කියා හිතෙන ප්‍රවාදය තෝරා ගන්න වෙනවා. 

ඉහත තෙවන විකල්ප ප්‍රවාදය කරලියට එන්නේ පළමු ප්‍රචලිත ප්‍රවාදයට එරෙහි ප්‍රවාදයක් ලෙසයි. පළමු ප්‍රවාදයෙන් වැරැද්ද පාරිභෝගිකයින් වෙත දමනවා. දෙවැන්නෙන් වැරැද්ද ව්‍යාපාරිකයින් වෙත දමනවා. මේ දෙකම දේශපාලනිකයි. ඒ විවේචනය මගේ ප්‍රවාදයත් ඒ විදිහටම වලංගුයි. ප්‍රවාදයක ස්වභාවයෙන්ම ඌණිතවාදී ප්‍රවේශයක් තියෙන නිසා එය ප්‍රවාදය හදන පුද්ගලයාගේ දැක්මට සාපේක්ෂ වීම නොවැලැක්විය හැකියි. 

ප්‍රවාදයක් ඇතුළෙන් මේ විදිහට දේශපාලනික ස්වරූපයක් පෙනෙන්න තිබෙන විට සහ පහසුවෙන් බැහැර කළ නොහැකි විකල්ප ප්‍රවාද එකකට වඩා තිබෙන කොට කවුරු හෝ කෙනෙක් තමන්ගේ දේශපාලන අභිරුචියට වඩා ගැලපෙන ප්‍රවාදයක් තෝරා ගෙන ඒ වෙනුවෙන් පෙනී සිටින එකත් වලක්වන්න බැහැ. විශේෂයෙන්ම මේ නිශ්චිත කාරණයේදී ප්‍රශ්නයට විසඳුම් යෝජනා කෙරෙන්නේ ප්‍රවාදයක් ඇතුළේ සිට නිසා.

උදාහරණයක් විදිහට පළමු ප්‍රවාදය පිළිගත් විට පරිභෝජනය සීමා කිරීම සඳහා පාරිභෝගිකයින් මත බදු පැනවීම සාධාරණීකරණය කෙරෙනවා. එයට එරෙහිව තෙවන ප්‍රවාදයෙන් ව්‍යාපාරිකයින්ගේ ලාබ මත බදු පැනවිය යුතුයි කියා යෝජනා කෙරෙනවා. මගේ ප්‍රවාදයට සාපේක්ෂව බැලුවොත්, ඔය කතා දෙකම එකම කාසියේ දෙපැත්ත. මේ දෙකෙන්ම කරන්නේ රජය ආරක්ෂා කරන එක. විශාල රජයක් යුක්තිගරුක කරන එක. වෙළඳපොළට විරුද්ධ වෙන එක. (පාරිභෝගිකයින්ට එරෙහිව ව්‍යාපාරිකයින්ගේ පැත්ත ගැනීම හා වෙළඳපොළ වෙනුවෙන් පෙනී සිටීම කියන්නේ කරුණු දෙකක්. ධනවාදය කියා කියන්නේ වෙළඳපොළ නිදහස වෙනුවෙන් පෙනී සිටීම මිසක් ව්‍යාපාරිකයින්ගේ පැත්ත ගැනීම නෙමෙයි.)

අනුභූතික දත්ත වලින් සහයෝගයක් නොලැබෙන නමුත් අපි මොහොතකට තෙවන ප්‍රවාදය පිළිගනිමු. මේ ප්‍රවාදය අනුව, ඇත්තටම වෙළඳ හිඟයක් නැහැ. ආනයන හා අපනයන කරන ව්‍යාපාරිකයින් විසින් විදේශ විණිමය රටින් පන්නන නිසා තමයි වෙළඳ හිඟයක් තියෙනවා වගේ පේන්නේ. දැන් යම් හෙයකින් මෙහෙම දෙයක් වෙනවානම් එයින් පැහැදිලිව පේන්නේ ඔවුන්ට විදේශ විණිමය රටින් පන්නන්න අවශ්‍යතාවයක් තිබෙනවා කියන එකයි. ඔය වැඩේ ඔය විදිහට සිදු නොවී වෙනත් විදිහකට සිදු වුනා කියා අපි හිතමු. ඒ කියන්නේ අපනයනකරුවෝ ඩොලර් බිලියන 15ම රටට ගේනවා. ඊට පස්සේ එයින් ඩොලර් බිලියන 5ක් රටින් එළියට ගෙනියනවා. ඒ වගේම, ආනයනකරුවෝ ආනයන කරද්දී හරියට ගනන් පෙන්නලා, ඩොලර් බිලියන පහක් විධිමත් ලෙස වෙනම රටෙන් එළියට ගෙනියනවා. ආර්ථික විද්‍යා අර්ථයකින් බැලුවොත් ඔය කතාවේ සහ මුල් කතාවේ විශාල වෙනසක් නැහැ. වෙනස තියෙන්නේ සල්ලි ගෙන යන ආකාරයේ පමණයි.

දැන් මම මෙහි කියපු විදිහට ඔය වැඩේ වුනොත් වෙළඳ ශේෂයක් නැහැ. නමුත් ගෙවුම් ශේෂ හිඟය ඒ විදිහටම තියෙනවා. ඒ කියන්නේ විදේශ විණිමය අර්බුදය හා අදාළව ප්‍රශ්නය මේ ඩොලර් ටික රටෙන් යන එක මිසක් යන ආකාරය නෙමෙයි. හැබැයි හරි පාරේ නොගොස්, නීති විරෝධී ලෙස සල්ලි එළියට යන එකේ රජයේ බදු ආදායම් අහිමි වීම වැනි වෙන ප්‍රශ්න තියෙන්න පුළුවන්.

ප්‍රශ්නය විදේශ විණිමය ගලනය කියා හිතුවොත්, ඇත්තටම වෙන්නේ පළමු ප්‍රවාදයේ කියන කතාව නොවී තෙවන ප්‍රවාදයේ කතාව වුනත් මගේ ප්‍රවාදය අනුව විග්‍රහයේ ලොකු වෙනසක් නැහැ. අපි හිතමු ව්‍යාපාරිකයින් විසින් වසරකට ඩොලර් බිලියන දහයක් රටින් පන්නනවා කියලා. යම් හෙයකින් එය එසේ වුවත්, ඔවුන්ට එහෙම කරන්න හැකි වී තිබෙන්නේ රජය ණය වී ඔය ඩොලර් බිලියන දහය වෙළඳපොළට පොම්ප කරන නිසා. රටේ ඩොලර් නැත්නම් රටෙන් ඩොලර් පන්නන්න බැහැ. අවසාන වශයෙන් මගේ ප්‍රවාදය හරහා හඳුනා ගන්නා ප්‍රශ්නයේ මූලික ස්වරූපය එකයි.

ආනයනකරුවෝ වැරදි ඉන්වොයිස් දමා රටෙන් ඩොලර් පන්නනවානම් ඒ විධිමත් ලෙස හෝ අවිධිමත් ලෙස වෙළඳපොළෙන් මිල දී ගන්න ඩොලර්. ඔවුන් එහෙම කරන්නේ එක පැත්තකින් අතේ රුපියල් තිබෙන නිසා. අනෙක් පැත්තෙන් ඩොලර් ලාබෙට තියෙන නිසා.

අපනයනකරුවන් දිහා බැලුවත් එහෙමයි. ඔවුන් ඩොලර් රටට ගේන්නේ නැත්තේ එක පැත්තකින් මාරු කළාම ලැබෙන රුපියල් ප්‍රමාණය මදි නිසා. අනෙක් පැත්තෙන් ඒ සල්ලි නොගෙනාවත් අතේ ඇති වෙන්න රුපියල් තිබෙන නිසා.

ප්‍රශ්නයට හේතුව ව්‍යාපාරිකයින් විසින් ඩොලර් රටින් පැන්නීම කියන උපකල්පනයේ සිට පටන් ගත්තත්, පාරිභෝගිකයින්ගේ අධිපරිභෝජනය සේ සැලකුවත්,  අවසාන වශයෙන් පාදක හේතුව එකමයි. අච්චු ගහන රුපියල් සහ ලාබෙට විකුණන ණයට ගත් ඩොලර්!

ප්‍රශ්නයට විසඳුම පාරිභෝගිකයින් පාලනය කිරීමට හෝ ව්‍යාපාරිකයින් පාලනය කිරීමට රජයට තව තවත් බලතල දෙන එක නෙමෙයි. රජයේ අයවැය හිඟය පියවා ගන්න බල කරන එක. ඒ වැඩේ වුනොත් සල්ලි අච්චු ගහන එක සහ විදේශ ණය අරගෙන රුපියල් කරන එක නවතිනවා. ඒ එක්කම, ඩොලරය විදේශ ණය පොම්ප කරලා ලාබ කරන එක කරන්න බැරි වෙනවා. රුපියල් පොම්ප කරන එකත් නවතිනවා. ප්‍රශ්නය පාරිභෝගිකයින්ගේ අධිපරිභෝජනයනම් දැන් ඒ වැඩේ සීමා වෙනවා. ප්‍රශ්නය ව්‍යාපාරිකයින් විසින් සල්ලි පන්නන එකනම් ඒකත් නවතිනවා.

Monday, August 1, 2022

රටින් පන්නපු ඩොලර් බිලියන හතළිහ

සුවිශේෂී හේතුවක් නිසා කලින් ලිපිය ලියා පළ කළේ ඉංග්‍රීසි භාෂාවෙන්. එම ලිපිය එසේ ඉංග්‍රීසි භාෂාවෙන් ලියා පළ කිරීමේ අරමුණ ඉටු වූ නිසාත්, එහි වූ දෑ සිංහලෙන් නොලිවීම පිළිබඳව අභියෝගාත්මක විවේචනයක් ආ නිසාත් මේ ලිපිය සිංහලෙන්ම ලියනවා. 

ලිපිය ලිවුවේ මේ දවස් වල සමාජගත කෙරෙන බොරුවක් පිළිබඳ ඇත්ත එළිදරවු කිරීමටයි. අදාළ ප්‍රබන්ධනාත්මක ව්‍යාජයට අනුව, ඇමරිකාවේ පර්යේෂණ ආයතනයක් විසින් පළ කර තිබෙන වාර්තාවකට අනුව 2009-2017 අතර කාලය තුළ වසරකට ඩොලර් බිලියන 4 ඉක්මවන විදේශ විණිමය ප්‍රමාණයක් ආනයන අපනයන වෙළඳාමේ යෙදෙන ව්‍යාපාරිකයින් විසින් රටින් පන්නා තිබෙනවා. මේ වාර්තාව අපි GFI වාර්තාව ලෙස හඳුන්වමු.  

මේ වෙද්දී ලංකාවේ විදේශ ණය පිළිබඳ නිල ඇස්තමේන්තුව ඩොලර් බිලියන 51ක්. ඉහත කතාව ඇත්තනම්, ප්‍රශ්නයට විසඳුම ලෙස පසුගිය වසර 13ක පමණ කාලය තුළ ඉහත ආකාරයෙන් රටින් පැන්නූ ඩොලර් ටික රටට ගෙන්වා ගත්තොත් වැඩේ ගොඩ නේද කියන එක කතාව අහන ඕනෑම කෙනෙකුට හිතෙන දෙයක්.

මේ වන විට ලංකාවේ ජනතාව පෙර නොවූ විරූ දැවැන්ත ආර්ථික අර්බුදයකින් පීඩා විඳිමින් සිටින බව අමුතුවෙන් කිව යුතු නැහැ. අර්බුදයට හේතු නිවැරදිව හඳුනාගෙන පිළියම් යොදනු වෙනුවට, ප්‍රබන්ධනාත්මක හේතු පසුපස පැන්නීමේ අවසන් ප්‍රතිඵලය අර්බුදය තවත් ඔඩු දුවා රටේ ජනතාවටට දිගින් දිගටම පීඩා විඳින්න වෙන එකයි.

මා පෙර ලිපියෙන් එළිදරවු කළ ව්‍යාජය මෙලෙස සාරාංශගත කළ හැකියි.

- අදාළ ඇමරිකන් වාර්තාවේ, එනම් GFI වාර්තාවේ, කිසිදු තැනක  2009-2017 අතර කාලය තුළ රටින් පැන්නූ මුදල් පිළිබඳව කිසිදු ඇස්තමේන්තුවක් නැහැ. එය එම වාර්තාව පෙන්වමින්, ලංකාවේ ඇතැම් අය විසින් ප්‍රබන්ධ කර ඉදිරිපත් කරන අදාළ වාර්තාවේ සඳහන්ව නැති දෙයක්. 

- අදාළ වාර්තාව මත පදනම්ව ඉහත ආකාරයේ නිගමනයකට පැමිණිය හැකි ශක්තිමත් තාර්කික පදනමක්ද නැහැ. 

ඒ හැර පහත පහත සඳහන් කිසිවක් මම කිවුවේ නැහැ.

- අනීතික ලෙස රටින් මුදල් පිට නොවන බව මම කිවුවේ නැහැ.

- ව්‍යාපාරිකයින් විසින් වැරදි ඉන්වොයිස් ඉදිරිපත් නොකරන බව මම කිවුවේ නැහැ.

- එසේ කිරීමෙන් රජයට විශාල බදු ආදායමක් අහිමි වීම නොසලකා හැරිය හැකි කරුණක්යැයි මම කිවුවේ නැහැ.

- ව්‍යාපාරිකයින් විසින් වැරදි ඉන්වොයිස් ඉදිරිපත් කිරීමේදී දේශ සීමා හරහා ප්‍රාග්ධන ගලනයන් සිදු නොවන්නේයැයි මම කිවුවේ නැහැ.

මම කිවුවේ 2009-2017 අතර කාලය තුළ ඩොලර් බිලියන 40කට ආසන්න මුදලක් ව්‍යාපාරිකයින් විසින් වැරදි ඉන්වොයිස් ඉදිරිපත් කිරීම මගින් රටින් පන්නා ඇතැයි යන්න කිසිදු පදනමක් නැති ප්‍රබන්ධනාත්මක ව්‍යාජයක් බව පමණයි. එහෙත්, මීට වඩා බෙහෙවින්ම අඩු යම් මුදලක් මේ විදිහට රටින් පන්නා තිබෙනවා විය හැකි බවයි.

එහෙමනම් ඔය කියන වාර්තාවේ තියෙන්නේ කුමක්ද?

වාර්තාවේ තිබෙන්නේ ආනයන අපනයන වෙළඳාමේ යෙදෙන ව්‍යාපාරිකයින් විසින් වැරදි ඉන්වොයිස් ඉදිරිපත් කිරීම පිළිබඳ අධ්‍යයනයක්. ව්‍යාපාරිකයින් විසින් මෙවැන්නක් කරන්නේ ප්‍රධාන වශයෙන්ම බදු වංචා කිරීමේ අරමුණින්. වාර්තාව ඉදිරිපත් කරන පර්යේෂකයින් විසින් සන්නිවේදනය කරන්න උත්සාහ කරන අදහසත් ඒකයි. එහෙත් විදේශ විණිමය විතැන් කිරීම වැනි අරමුණු වලින් මෙවැන්නක් කරන අවස්ථාද තිබිය හැකියි. මම එය කිසිසේත්ම බැහැර කරන්නේ නැහැ.

යම් කිසිවෙකු ලංකාවේ සිට යම් භාණ්ඩයක් අපනයනය කළ විට ගණුදෙනුව පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකා රේගුවේ සටහන් වෙනවා. අදාළ භාණ්ඩය ගමනාන්ත රටට ළඟා වූ පසු අදාළ රටේ රේගුවේද තොරතුරු වාර්තා වෙනවා. මේ ගණන් සැසඳෙන්නේ නැත්නම්, පාර්ශ්ව දෙකෙන් එකක් බොරුවක් කර තිබෙන බව අපට සැක කළ හැකියි. එහෙත්, ඒ කවර පාර්ශ්වයද යන්න හඳුනාගත නොහැකියි. GFI පර්යේෂක කණ්ඩායම විසින් කරන්නේ රටවල් දෙකේ රේගු වාර්තා සංසන්දනය කරමින් මෙවැනි නොගැලපීම් හඳුනා ගැනීමයි. වසරකට බිලියන 4කට ආසන්නව ඇත්තේ ශ්‍රී ලංකාවේ සහ ගනුදෙනුකාර රටවල් වල වාර්තා සැසඳූ විට දැකිය හැකි නොගැලපීම් වල එකතුවයි.

මේ සඳහා උපයෝගී කර ගෙන තිබෙන දත්ත පොදු අවකාශයේ තිබෙන නිසා, අදාළ ක්‍රමවේදය අනුගමනය කරමින් ඇස්තමේන්තුවක් හදන එක අපට වුනත් කරන්න පුළුවන්. කාලය වැය කිරීමේ වියදම මිසක් මහා සංකීර්ණ වැඩක් නෙමෙයි. කැමති අයෙකුට උත්සාහ කර බැලිය හැකියි.

පසුගිය 2021 වසරේ දත්ත තවමත් බොහෝ දුරට අසම්පූර්ණ නිසා අපි 2020 දත්ත දෙස බලමු. එම වසර තුළ, ලංකාව විසින් භාණ්ඩ ආනයනය කළ රටවල් අතරින් රටවල් 106ක් විසින් ඔවුන් ලංකාවට අපනයනය කළ භාණ්ඩ වල විස්තර වාර්තා කර තිබෙනවා. ලෝකයේ රටවල් වලින් බාගයක් පමණම මෙතැන නැති වුනත්, ලංකාවේ ආනයන වලින් 99%ක්ම ඇවිත් තියෙන්නේ දත්ත තිබෙන රටවල් වලින් නිසා ඒ අඩුව නොසලකා හරින්න පුළුවන්. ගැලපිය හැකි අපනයන දත්ත තිබෙන රටවල් ගණන 134ක්. අපි මේ විදිහට ගැලපිය හැකි දත්ත පමණක් අරගෙන අපේ විශ්ලේෂණය කරමු. GFI පර්යේෂක කණ්ඩායම විසින්ද නොගැලපිය හැකි දත්ත ඉවත් කළ බව සටහන් කර තිබෙනවා.

දැන් අපට මේ එක් එක් රටේ සංඛ්‍යාලේඛණ හා ලංකාවේ සංඛ්‍යාලේඛණ සංසන්දනය කර, වෙනස ගණන් බලා එකතු කළ හැකියි. මේ එක් එක් රටේ දත්ත දෙස වෙන වෙනම බැලූ විට කිසිදු රටක සංඛ්‍යාලේඛණ ලංකාවේ සංඛ්‍යාලේඛණ සමඟ හරියටම ගැලපෙන්නේ නැහැ. හේතු ගණනාවක් නිසා මෙවැන්නක් සිදු විය හැකියි. වැරදියට ඉන්වොයිස් කිරීම ඒ අතරින් එක් හේතුවක්. ආනයන දත්ත සැසඳූ විට වෙනස ඩොලර් මිලියන 2,187.4ක් එනවා. අපනයන දත්ත වල නොගැලපීම් එකතුව ඩොලර් මිලියන 2,871.4ක්. ඒ කියන්නේ එකතුව ඩොලර් මිලියන 5,058.8ක්.

මම මේ ඇස්තමේන්තු හැදුවේ රටවල් මට්ටමින් ආනයන හා අපනයන දත්ත සංසන්දනය කරලා වුනත්, GFI පර්යේෂණ කණ්ඩායම විසින් සිදු කර තිබෙන සංසන්දනය මා කළ සංසන්දනයට වඩා පුළුල් එකක්. ඔවුන් එක් එක් රටට ලංකාවෙන් අපනයනය කළ එක් එක් භාණ්ඩය හා අදාළ තොරතුරු එකිනෙක වෙන වෙනම ගෙන සංසන්දනය කර තිබෙනවා. මෙය විශාල කාලයක් යන කටයුත්තක්. මා එවැන්නක් නොකළත්, මගේ සරල විශ්ලේෂණයෙන් ලැබී තිබෙන පිළිතුර ඔවුන්ගේ ඇස්තමේන්තු වලට ආසන්නයි. 

මෙවැනි වෙනසක් දෙආකාරයකින් ඇති විය හැකියි. එක්කෝ ලංකාවේ ගණන් අනෙක් පැත්තේ ගණන් වලට වඩා වැඩි වීමෙන්. එහෙම නැත්නම් අඩු වීමෙන්. GFI වාර්තාවේ මේ කොටස් දෙක වෙන වෙනම පෙන්වන්නේ නැහැ.

මේ ඇස්තමේන්තුව මුළුමනින්ම රටින් සල්ලි පැන්නීමක් පමණක් සේ අර්ථදක්වන අය කියන්නේ අපනයනකරුවන් ගණන් අඩුවෙන් පෙන්වීම මගින් සල්ලි රටෙන් පන්නන බවයි. එය පැහැදිලි ලෙසම සිදු විය හැකි දෙයක්. අපනයන වල ඉන්වොයිස් අගය අඩුවෙන් පෙන්වා වෙනස රටෙන් පිටත තියා ගන්න පුළුවන්. හැබැයි එහෙම කරන්න පුළුවන් කියන එකෙන් එහෙම කළා කියන එක තහවුරු වෙන්නේ නැහැ. 

මේ තර්කයම අනෙක් පැත්තට ඉදිරිපත් කරන්නත් පුළුවන්. යම් හෙයකින් අපනයන වල ඉන්වොයිස් අගය වැඩියෙන් පෙන්වා ඇත්නම් එයින් පෙන්වන්නේ අනීතික ලෙස රටට විදේශ විණිමය පැමිණ ඇති බව විය හැකියි. උදාහරණයක් ලෙස මේ දවස් වල අපනයනකරුවන් විසින් නිශ්චිත කාලයක් තුළ තමන්ගේ අපනයන ආදායම් රටට ගෙන ආ යුතුයි. ගණන් වැඩියෙන් පෙන්නුවා කියන්නේ මොන විදිහකින් හෝ නැති සල්ලිත් රටට ගේන්න වෙනවා කියන එකයි. 

මා ඉදිරිපත් කළ අදහස වුනේ ඔය දෙකම සිදු වන බවයි. ඒ නිසා, දිගුකාලයක් ගත් විට මේ ආකාරයේ ප්‍රාග්ධන විතැන් වීම් දෙපැත්තටම සිදු වන නිසා බොහෝ දුරට සමතුලිත වන බවයි. මගේ ප්‍රතිවාදීන්ගේ තර්කය වන්නේ මෙය සිදු වන්නේ එක් පැත්තකට පමණක් බවයි. ලංකාවේ සිට නිදහසේ ප්‍රාග්ධනය එළියට ගෙන යන එක අමාරු වැඩක් නිසා, කියන ගණන කෙසේ වුවත්, යම් ප්‍රමාණයක් රටින් එළියට යනවා කියන එකනම් පිළිගන්න පුළුවන්. ඒ කියන්නේ, කොටසක් සමතුලිත වුනත් සම්පූර්ණයෙන්ම සමතුලිත වන්නේ නැහැ කියන එක.

මේ ආකාරයේ ගැටළුවකට තර්කයෙන් පමණක් විසඳුමක් හොයන්න බැහැ. තමන්ගේ මතය නිවැරදියි කියා කියන්න ඕනෑ කෙනෙකුට තර්ක ඉදිරිපත් කරන්න පුළුවන්. මම කලින් ලිපියෙන් පෙන්වා දුන්නේ GFI වාර්තාවේ ඉහත ප්‍රතිවාදී මතය තහවුරු කළ හැකි දත්ත නැති නිසා එම මතය හිතලුවක් පමණක් බවයි. දැන් යමෙකුට ඒ විවේචනය මටත් කරන්න පුළුවන්. ඒ විවේචනයට පිළිතුර පොදු අවකාශයේ තිබෙන සංඛ්‍යාලේඛණයි.

දත්ත පරීක්ෂා කළ විට පැහැදිලිව පෙනෙන පරිදි ලංකාවෙන් ආනයන කළ රටවල් 134න් රටවල් 67ක් හා අදාළව අඩුවෙන් ගණන් පෙන්වීමේ ප්‍රවාදය නිවැරදි නමුත් ඉතිරි රටවල් 67 හා අදාළව දැකිය හැක්කේ එහි අනෙක් පැත්තයි. ඒ අනුව, මුල් රටවල් 67ට ලංකාවෙන් සල්ලි පැන්නූ බව කවුරු හෝ කියනවානම් ඉතිරි රටවල් 67 ලංකාවට සල්ලි පන්නා තිබෙන බවත් කියන්න පුළුවන් (Table 1). ගණන් සියල්ල එකතු කළ විට පෙනෙන්නේ ඔය කියන කතාව ඇත්තනම් 2020 වසර තුළ ඩොලර් මිලියන 351.4ක් මේ ක්‍රමයට ලංකාවෙන් හොරෙන් පන්නා ඇති බවයි. එහෙත්, වැඩිපුර සොයා නොබලා, GFI ඇස්තමේන්තු සල්ලි පැන්නීම් සේ උපකල්පනය කළොත් මෙම ප්‍රමාණය ඩොලර් මිලියන 2,187.4ක්. 

ඩොලර් මිලියන 351.4ක් මේ ක්‍රමයට ලංකාවෙන් හොරෙන් පන්නා ඇත්නම් එයත් ප්‍රශ්නයක් තමයි. නමුත්, මේ ඇස්තමේන්තුව ඩොලර් මිලියන 2,187.4ට වඩා ගොඩක් අඩුයි. 

මෙහිදී හරියටම රටවල් 67ක් සමඟ ධන වෙනසක් හා අනෙක් රටවල් 67 සමඟ සෘණ වෙනසක් තිබීම සාමාන්‍ය තත්ත්වයක් කියා මම කියන්නේ නැහැ. වෙන අවුරුද්දක් ගත්තොත්, එක පැත්තකට බර වැඩි වෙන්න පුළුවන්. හැබැයි දෙපැත්තක් තියෙනවා කියන එක සාමාන්‍ය තත්ත්වයක්.

මෙහිදී කියැවුණු තවත් කතාවක් වුනේ ඉන්වොයිස් අඩුවෙන් දාලා සල්ලි පන්නන්නේ බටහිර රටවලට කියන එකයි. එහෙමනම්, මේ සෘණ ශේෂ තියෙන ගොඩේ තියෙන්නේ බටහිර රටවල්ද? ධන ශේෂ තියෙන්නේ වෙනත් පොඩි පොඩි රටවල් එක්කද?

නැහැ, බටහිර සේ සැලකෙන රටවල් 18ක් අතරින් සෘණ ශේෂ දැකිය හැක්කේත්  රටවල් 9ක පමණයි. ඉතිරි 9 ධන ශේෂ. අදාළ තර්කය ඇත්තනම්, 2020 වසර තුළ ලංකාවෙන් බටහිර රටවලට ඩොලර් මිලියන 30.0ක් පන්නලා තියෙනවා (Table 1A). මෙය එම රටවලට සිදු කර තිබෙන අපනයන වලින් 0.5%ක් පමණයි. නමුත්, ලංකාවේ අපනයන වලින් 55.4%ක්ම ගිහින් තියෙන්නේ එම රටවල් 18ටයි. ඒ කියන්නේ, මේ විදිහට සල්ලි පන්නන්නේ බටහිර රටවලට කියා කියන්න සාක්ෂි නැහැ. ඩොලර් මිලියන 321.4ක්ම ගිහින් තියෙන්නේ අනෙකුත් රට වලට.

ආනයන මෙන් නොව, අපනයන දත්ත දෙස බැලූ විට ධන හා සෘණ අක්‍රමිකතාවන්හි පැහැදිලි අසමමිතියක් පේනවා. රටවල් 82ක ධන ශේෂ තිබුණත්, සෘණ ශේෂ තිබෙන්නේ රටවල් 20ක් සමඟ පමණයි (Table 2). 

මා ලියන දේ දිගටම කියවන අය දන්නා පරිදි මා මෙවැනි හැදෑරීම් කරන්නේ ඇත්ත සොයා ගැනීමේ අරමුණින් මිස "ඇත්ත කලින්ම දැනගෙන" එය තහවුරු කර පෙන්වීමේ අරමුණින් නෙමෙයි. එයින් කියන්නේ කිසිම අදහසක් නැතිව වැඩේට බහිනවා කියන එක නොවුනත්, ලැබිය හැකි ප්‍රතිඵලය පිළිබඳ විශේෂ බලාපොරොත්තුවක් නැතිව වැඩේට බහිනවා කියන එකයි.  

මා තරමක් විමතියට පත් කළ ඉහත ප්‍රතිඵලයෙන් ඉඟි කෙරෙන්නේ සල්ලි පැන්නීමේ අරමුණ  කලින් හිතාගෙන හිටියාට වඩා පැහැදිලි ලෙස පෙනෙන්නට ඇති බවයි. මිල අඩුවෙන් පෙන්වීම මගින් බදු වාසි පිළිබිඹු කෙරෙන නමුත් මිල වැඩියෙන් පෙන්වා ඇත්නම් එයින් ඉඟි කෙරෙන්නේ සල්ලි පැන්නීමේ අරමුණයි. GFI ක්‍රමවේදය අනුව ඇස්තමේන්තු කළ ඩොලර් මිලියන 2,871.4ට වඩා බොහෝ අඩු වුවත්, ඩොලර් මිලියන 723.6ක් කියා කියන්නේත් සැලකිය යුතු මුදලක්.

කල් වේලා ගතවන කටයුත්තක් නිසා මා විසින් විශ්ලේෂණය කළේ එක් වසරක දත්ත පමණයි. ඒ මත පදනම්ව මම බරපතල ප්‍රකාශ කරන්නේ නැහැ. එහෙත්, කලින් ලිපියේ මගේ මූලික තර්කය වූ, ප්‍රාග්ධන ගලනයක් එකම පැත්තකට පමණක් සිදු නොවන බව මේ දත්ත දෙස බැලූ විට පැහැදිලිව සනාථ වෙනවා. ඒ අනුව, GFI වාර්තාව මත පදනම්ව ලංකාවේ ඇතැම් අය පතුරුවන ඩොලර් බිලියන හතළියක් රටින් එළියට ගිය කතාව බොරුවක් බවද පැහැදිලිව පෙනෙනවා. 

කෙසේ වුවත්, ආනයන හා අපනයන වලට අදාළ ඉහත ඇස්තමේන්තු දෙකේ එකතුව ඩොලර් මිලියන 1,075.0ක්. වසරකට ඩොලර් බිලියන හතරක් හෝ පහක් මේ ක්‍රමයට රටින් එළියට යන්න විදිහක් නැතත්, ඩොලර් බිලියනයක් රටින් එළියට යනවානම් එයත් නොසලකා හැරිය හැකි කරුණක් නෙමෙයි. මේ ගැන හරියටම යමක් කිව හැක්කේ අනෙකුත් වර්ෂ වල දත්තද විශ්ලේෂණය කිරීමෙන් පසුවයි. වසංගතය පැවති 2020 සාමාන්‍ය වසරක් නොවූ නිසා, සාමාන්‍ය වසරක තත්වය මීට වඩා වෙනස් විය හැකියි. පරීක්ෂා කර නොබලා කොයි පැත්තටද කියා කිව නොහැකියි.

මුඛ්‍ය තර්කය නිශේධනය නොකරන පොඩි පොඩි අත්වැරදි අප අතින් සිදු වී තියෙන්න පුළුවන්. හැම දෙයක්ම නැවත පරීක්ෂා කරන්න කාලය යොදවන්න අමාරුයි. සමාජවාදීන් නොවන අපි වගේ සාමාන්‍ය මිනිස්සු අතින් අත් වැරදීම් වෙනවා. 

වෙබ් ලිපිනය: