වෙබ් ලිපිනය:

Sunday, August 14, 2022

එන ඩොලර් හා යන ඩොලර්

රුපියල් විකුණා ගැනීමේ ප්‍රශ්නය ගැන කලින් ලිපියක විස්තර කළා. එහි විස්තර කළ පරිදි ලංකාව දැනට මුහුණ දෙන ඩොලර් හිඟය රුපියල් අතිරික්තයක් ලෙසද හැඳින්විය හැකියි. විකුණාගත නොහැකි අතිරික්තයක් ඇති විට එයට විසඳුම මිල අඩු කිරීම වුවත්, මේ වෙලාවේ එවැන්නක් කිරීමෙන් ප්‍රශ්නය නොවිසඳෙන්නේ ඇයි කියන එකත් මම පැහැදිලි කළා. කෙසේ වුවත්, වෙනත් කළ යුතු ඇතැම් දේ මුලින් කිරීමෙන් පසුව මේ ඩොලර් අතිරික්තයෙන් නිදහස් වීම පිණිස රුපියලේ මිල අඩු කරන්න වෙනවා. ඒ කියන්නේ ඩොලරයක මිල ඉහළ යන්න ඉඩ දෙන්න වෙනවා.

වැටී සිටින වලෙන් ගොඩ යාමේ මාර්ගය තුළ කළ යුතු පළමු දෙය ණය ප්‍රතිව්‍යුහගත කර ණය හිමියන් විසින් වෙළඳපොළට රුපියල් සැපයීම තාවකාලිකව වැළැක්වීමයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සාර්ථක ලෙස අවසන් වනවා කියා කියන්නේ තමන්ට ලැබිය යුතු මුදල් අනාගතයේ දිනෙක ඩොලර් වලින් ලැබෙන බවට සහතිකයක් ණය හිමියන්ට ලැබෙනවා කියන එකයි. ඒ සහතිකය ලැබීමෙන් පසුව ඔවුන්ට වෙළඳපොළෙන් ඩොලර් එකතු කර ගැනීමට හදිස්සියක් නැතිව යනවා. 

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සාර්ථක ලෙස අවසන් කර ගැනීම වුවද දැඩි අභියෝගාත්මක කටයුත්තක් වුවත්, ඒ වැඩේ හොඳ විදිහට අවසන් වුනා කියා අපි හිතමු. මෙහිදී තමන්ගේ ණය හෝ ණයෙන් එකඟ වූ කොටසක් දැන්ම ආපසු නොගෙන යම් කාලයකට පසුව ආපසු ගැනීමට ඔවුන් එකඟ වෙනවා කියා හිතමු. ඉන් පසුව, විණිමය වෙළඳපොළේ රුපියල් ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙයිද?

ණය ටික පැත්තකින් තිබ්බත් ලංකාව කාලයක් තිස්සේ නූපයූ ඩොලර් වියදම් කළ රටක්. ඒ වැඩේ තව දුරටත් කිරීමේ හැකියාවක් නැහැ. ඒ කියන්නේ, ඩොලර් වියදම් ඩොලර් ආදායම් වල ප්‍රමාණයට සීමා කර ගන්න එක දිගටම කරන්න වෙනවා. 

ඒ මට්ටමට ඩොලර් වියදම් සීමා කර ගත්තා කියලත් ප්‍රශ්නය කෙළවර වෙන්නේ නැහැ. විදේශ ණය හා අදාළව තව දුරටත් ප්‍රශ්න දෙකක් ඉතිරි වෙනවා. පළමුව, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට යටත් නොවන දැනටත් දිගටම ගෙවාගෙන යන ණය ගෙවන්නත් උපයන ඩොලර් වලින් කොටසක් ඉතිරි කර ගන්න වෙනවා. මෙය කෙටිකාලීන ප්‍රශ්නයක්. ඊළඟට, පහු වෙලා හරි ඉතිරි ණය ටිකත් ගෙවන්න වෙනවා. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය තුළ එම ණය වලින් කොටසක් කපා හරින්න ණය හිමියන් කැමති වුනත්, ඉතිරි කොටස ගෙවන්න වෙනවා. එය දිගුකාලීන ප්‍රශ්නයක්.

මේ සමස්ත කතාව ඇතුළේ පැහැදිලිව කියවෙන දේ තමයි මෙතෙක් දිගින් දිගටම කරගෙන ආපු අලුත් ණය වලින් පරණ ණය ගෙවමින් පරිභෝජනය කළ සුන්දර අතීතයට නැවත යන්න බැහැ කියන එක. ඒ විතරක් නෙමෙයි. දැනට එකතු වී තිබෙන පරණ ණය ආපසු ගෙවීම සඳහාත් යම් තරමකින් පරිභෝජනය කැප කරන්න වෙනවා කියන එක.

විශාල කාලයකට පස්සේ පසුගිය ජූනි මාසයේදී ලංකාවේ වෙළඳ ශේෂය ධන පැත්තට ගිහින් තිබෙනවා. කියන විදිහට අන්තිමට වෙළඳ ශේෂය ධන පැත්තේ තිබිලා තියෙන්නේ 2002දී. මේ විදිහට වෙළඳ ශේෂය ධන පැත්තට යාම සාමාන්‍ය තත්ත්වයක් යටතේ සිදු වූ දෙයක් නොවන බව කාට වුනත් පැහැදිලියි. ආනයන පාලනයක් නොතිබුනානම් ඔය වැඩේ වෙන්නේ නැහැ. හැබැයි ආනයන පාලනය නිසා හෝ වැඩේ වෙලා තියෙනවා.

ජූනි මාසයේ වෙළඳ ශේෂය ධන පැත්තට යන්නේ එක පැත්තකින් ආනයන පාලනය හා ඩොලර් හිඟය හේතුවෙන් ආනයන වියදම විශාල ලෙස අඩු වෙද්දී අනෙක් පැත්තෙන් අපනයන ආදායමත් සැලකිය යුතු ලෙස ඉහළ යාම නිසා. ඩොලර් මිලියන 21ක අතිරික්තය  විශාල මුදලක් නොවෙන්න පුළුවන්. හැබැයි මේ වගේ අතිරික්තයක් වාර්තා වෙන්නේ ඩොලර් මිලියන සිය ගණනක වෙළඳ හිඟයක් ආවරණය කර ගෙනයි. වෙළඳ හිඟය වැසී යනවා කියන්නේ සංචාරක ඉපැයීම් හා ශ්‍රමික ප්‍රේෂණ ටික අතිරික්තයක් විදිහට ඉතිරි වෙනවා කියන එකයි.

ඩොලර් හිඟයට පිළියමක් විදිහට ඩොලරයක මිල ඉහළ යන්න දීම විකල්පයක්නම් ඒ වැඩෙන් ඉලක්ක කෙරෙන්නේ අපනයන ආදායම් වැඩි කර ගැනීම හා ආනයන වියදම් අඩු කර ගැනීම. වෙන ක්‍රමයකට වුනත් දැන් ඔය දෙකම වෙලා. මම හිතන්නේ අපනයන ආදායම් වල වැඩි වීම තිරසාර එකක් කියලා. ආනයන වියදම් ගැනනම් ඒ කතාව කියන්න බැහැ. නිදහසේ ආනයන කරන්න ඉඩ ඇරියොත් ආනයන වියදම අනිවාර්යයෙන්ම ඉහළ යනවා. හැබැයි එහි යම් තිරසාර අඩු වීමක් තිබිය යුතුයි. ඒ කියන්නේ, වෙළඳ හිඟය පියැවී තියෙන්නේ ඩොලරයක මිල රුපියල් 360 දක්වා ඉහළ යාම නිසා නොවුනත්, ඒ හේතුව නිසා වෙළඳ හිඟයේ පැහැදිලි අඩු වීමක් සිදු වී තිබිය යුතුයි.

අපනයන වියදම් ඩොලර් මිලියන 1,200 මට්ටමට අඩු වීම මම පෞද්ගලිකව අපේක්ෂා නොකළ දෙයක්. මගේ අදහස වුනේ මේ වියදම ඩොලර් මිලියන 1,400 සීමාවෙන් පහළට ගන්න එක කළ නොහැකි තරම් අසීරු වැඩක් කියලයි. මේ අඩුවීම ජූනි මාසයේ ඇති වූ තාවකාලික තත්ත්වයක්ද කියලා බලාගන්න වෙන්නේ ජූලි මාසයේ දත්ත ලැබුණු පසුවයි. 

මොන විදිහකින් හරි ජූනි මාසයේ ඔය වැඩේ වෙලා තියෙනවනේ. ඒ කියන්නේ ආනයන සඳහා වැය වී තිබෙන්නේ අපනයන ආදායම් ටික පමණයි. ඒ අතර අනෙක් පැත්තනේ ශ්‍රමික ප්‍රේෂණ හා සංචාරක ඉපැයීම් ලෙස ඩොලර් මිලියන 333කුත් ලැබී තිබෙනවා. ඒ කියන්නේ ආනයන වියදම් වලට වඩා වැඩියෙන් ඩොලර් මිලියන 350ක් පමණ රටට ලැබී තිබෙනවා. මේ ඩොලර් ප්‍රමාණය බොහෝ විට හදිසි ණය ගෙවීම සඳහා වැය වුනා වෙන්න පුළුවන්. 

ජූලි මාසයේ තත්ත්වයත් ජූනි මාසයේ වගේමද කියා මම හරියටම දන්නේ නැහැ. යම් විදිහකින් අමාරුවෙන් හෝ වෙළඳ ශේෂය සමතුලිතව පවත්වා ගෙන, ශ්‍රමික ප්‍රේෂණ ආදියෙන් ලැබෙන ඩොලර් ටිකෙන් ණය ගෙවාගෙන ගියොත් යම් කාලයක් යද්දී බැංකු පද්ධතියේ ණය වලින් සැලකිය යුතු කොටසක් අඩු කර ගන්න වුනත් පුළුවන්. සෘණ පැත්තේ තියෙන බැංකු පද්ධතියේ ශුද්ධ විදේශ වත්කම් ඉහළ යන බව (සෘණ අගය අඩු වන බව) පැහැදිලිව පෙනෙන්න ගත්තොත් කෙටි කාලයක් තුළ ගොඩක් දේවල් වෙනස් වෙනවා. මේ වෙනස මාස තුන හතරකදී වුනත් වෙන්න පුළුවන්. 

මොන විදිහකින් හෝ මහ බැංකුව ඇතුළු බැංකු පද්ධතියේ විදේශ වත්කම් ධන පැත්තට ගියොත් එතැනින් එහාට රුපියලේ අගය ස්ථාවර කර ගන්න එක අමාරු දෙයක් නෙමෙයි. බැංකු පද්ධතියේ විදේශ වත්කම් ධන පැත්තට නොගියත් යමින් තිබෙන බව පැහැදිලිව පෙනුණු වහාම බැංකු පද්ධතිය හරහා නොඑන ශ්‍රමික ප්‍රේෂණ නැවත බැංකු පද්ධතිය හරහා එන්න පටන් ගන්නවා. ඊටත් වඩා වැදගත්ම දේ කෙටිකාලීන ආයෝජන එන්න පටන් ගන්න එකයි.

මේ වන විට රාජ්‍ය සුරැකුම්පත් පොලී අනුපාතික 28% පමණ මට්ටමක තියෙනවා. ඩොලරයක මිලත් ස්ථාවරව තිබෙනවා. ඒ කියන්නේ විදේශ ආයෝජකයෙකුට ඉතාම ආකර්ශනීය තත්ත්වයක්. එහෙම තියෙද්දිත් ලංකාවේ රාජ්‍ය සුරැකුම්පත් වලට විදේශිකයන්ගේ ඉල්ලුමක් පේන්න නැත්තේ රුපියල් කරන ඩොලර් නැවත ඩොලර් කර ගන්න පුළුවන් වීම ගැන සහතිකයක් නැති නිසා. ඒ වගේම, ඩොලරයක මිල රුපියල් 360 මට්ටමේ දිගටම තියා ගත හැකි වෙයි කියන එක ගැන සහතිකයක් නැති නිසා. මොන විදිහකින් හෝ ඔය තත්ත්වය වෙනස් වුනොත් කෙටිකාලීන ආයෝජන විදිහට ඩොලර් ලංකාවට එන්න ගන්නවා. එහෙම එද්දී ඩොලරයක මිල කොහොමටත් ස්ථාවර වෙනවා. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සල්ලි ලැබුණොත් ඔය වැඩේ වෙනවා. එකවර ලැබෙන්නේ ඩොලර් බිලියනයක් වගේ ගාණක් පමණක් වුනත්, එයින් සැලකිය යුතු "මානසික" බලපෑමක් වීමෙන් කෙටිකාලීන ප්‍රාග්ධන ආයෝජන කරාමය ඇරෙන්න පුළුවන්. සංචාරක ඉපැයීම් විශාල ලෙස ඉහළ ගියොත් ඊට කලින්ම වුනත් ඔය කරාමය ඇරෙන්න පුළුවන්. ඔය දෙකෙන් එකක්වත් සිදු නොවුනොත් බැංකු පද්ධතියේ ශුද්ධ විදේශ වත්කම් ඉහළ දමා ගන්න එක ලේසි නැහැ. හැබැයි අඩු වශයෙන් තියෙන මට්ටමේ තියා ගන්න පුළුවන්. 

බැංකු පද්ධතියේ ශුද්ධ විදේශ වත්කම් සැලකිය යුතු ලෙස ඉහළ යන තුරු විණිමය අනුපාතය පා කරන්න අමාරුයි. ඒ කියන්නේ ආනයන සීමා ඉවත් කරන්නත් අමාරුයි. හැබැයි ආනයන සීමා දිගටම පවත්වා ගන්නත් බැහැ. එහෙම කරනවා කියන්නේ රටේ මූර්ත අංශය දවසෙන් දවස පස්සට යනවා කියන එකයි. හැකි මුල් අවස්ථාවේම විණිමය අනුපාතය පා කරන්න වෙනවා. ඒ වගේම, ඒ මොහොතේ සිට දිගුකාලීන විසඳුම් ගැන අවධානය යොමු කරන්න වෙනවා. 

විණිමය අනුපාතය ස්ථාවරව තියාගෙන පොලී අනුපාතික ඉහළින් තියා ගැනීම මගින් විදේශ ප්‍රාග්ධනය ආකර්ෂණය කර ගැනීම හොඳ කෙටිකාලීන උපක්‍රමයක්. හැබැයි මේ උගුලේ හිර වුනෙත් ඔය වැඩෙන්ම තමයි. එහෙම කියලා දැන් මේ වැඩේ නොකර ඉන්න බැහැ. ලිං කටෙන්ම ගොඩ යාමේ උත්සාහයක් කියලා හිතලා අවබෝධයෙන් යුතුව වැඩේට අත ගහන්න ඕනෑ. 

ඒ එක්කම අමතක නොකළ යුතු දෙය ආනයන සීමා ඉවත් කරලා රුපියල නිදහස් කළ වහාම ඔය විදිහට එකතු වන කෙටිකාලීන ප්‍රාග්ධනය ආපහු යනවා කියන එක. ඒක මතක තියාගෙන රටට එන ඩොලර් ටික පරිස්සම් කර ගන්න වෙනවා. කලින් දිගින් දිගටම කරපු වැරැද්ද මේ විදිහට රටට එන කෙටිකාලීන ප්‍රාග්ධනය ආනයන වෙනුවෙන් වැය කර නාස්ති කරගත් එකයි. 

වෙනත් විදිහකින් කිවුවොත්, ඩොලරයක මිල දැන් තියෙන මට්ටමේම තියෙද්දී මොන විදිහකින් හෝ රටට එන ඩොලර් ප්‍රමාණය ඉහළ ගියොත්, ඒ ඩොලර් ටික ආනයන වෙනුවෙන් වැය නොකළ යුතුයි. එක්කෝ ණය ආපසු ගෙවන්න යෙදවිය යුතුයි. නැත්නම් බැංකු පද්ධතිය ඇතුළේ සංචිත ලෙස රඳවා තබා ගත යුතුයි. ඒ වගේම, යම් මොහොතක ආනයන සීමා ඉවත් කරන්න තීරණය කරනවානම්, එයට සමාන්තරව ඩොලරයක මිල රිසි සේ ඉහළ යන්න ඉඩ ඇරිය යුතුයි. ඩොලරයේ මිල පාලනය කිරීම සඳහා බැංකු පද්ධතියේ එකතු වී තිබෙන විදේශ සංචිත නොවිකිණිය යුතුයි.

දැන් ඉන්න තැන සිට කෙටිකාලීනව වගේම දිගුකාලීනවත් ගොඩ යා හැකි මාර්ග සිතියම ඕකයි. දිගුකාලීනව ආනයන වෙනුවෙන් වැය කළ යුත්තේ උපයන ඩොලර් පමණයි. එයින්ද යම් කොටසක් පරණ ණය ගෙවන්න වෙන් කරන්න වෙනවා. කෙටිකාලීන ප්‍රාග්ධනය ලෙස ඕනෑවටත් වඩා ඩොලර් රටට ගලාගෙන ආවොත් ඒ ඩොලර් ආනයන වෙනුවෙන් වැය නොකර සංචිත ලෙස තබා ගත යුතුයි. ඔය වැඩේ කළොත් අපනයන ආදායම් ටිකෙන් ටික වැඩි වී ආනයන වියදම් ඒ හා ගැලපෙයි.

නමුත් කෙටිකාලීනව ඔය වැඩේ කරන්න බැරි බව මම කලින් පැහැදිලි කළානේ. ඒ නිසා, දැනට විණිමය අනුපාතය පාලනය කරන්න වෙනවා. එය කරන තුරු ආනයන පාලනයත් කරන්න සිදු වෙනවා. මෙය කළ යුත්තේ මේ කරන්නේ අඩු නරක තෝරා ගැනීමක් බව අමතක නොකරමිනුයි. ලැබෙන ඩොලර් ටික අපනයන කර්මාන්ත වලට අවශ්‍ය අමුද්‍රව්‍ය වෙනුවෙනුත්, සංචාරක කර්මාන්තය වැනි ඩොලර් උපයන කර්මාන්ත වෙනුවෙනුත් වෙන් කරන එක කළ යුතුම දෙයක්. IMF සල්ලි නැතත් රට ගොඩ යන බව පේනවානම් IMF එක ඉතා ඉක්මණින් සල්ලි දෙනවා. IMF සල්ලි දුන්නත් ගොඩ යන පාටක් පේන්න නැත්නම් වෙන්නේ මොනවා හරි කතාවක් කියලා වැඩේ පස්සට දමන එක. 

අනාගතය ගැන කියන්න තවමත් ඉක්මන් වැඩි වුවත්, මහ බැංකු අධිපති මාරුවෙන් පසුව සිදු වූ ප්‍රතිපත්ති වෙනස්කම් වල ප්‍රතිඵල පැහැදිලිව පෙනෙන්න තිබෙනවා. රටේ තත්ත්වය හොඳ අතට හැරී නැතත්, තවත් නරක අතට යන එක නැවතී ඇති බව නිර්ණායක ගණනාවකින්ම පෙන්නුම් කරනවා.

පළමුව, ශ්‍රමික ප්‍රේෂණ වල වැඩි වීමක් නොපෙනුනත් අඩු වීමේ ප්‍රවණතාව නැවතී තිබෙනවා. දෙවනුව, පාලිත තත්ත්වයක් යටතේ වුවත්, වෙළඳ ගිණුම තුලනය වී තිබෙනවා. තෙවනුව, මුදල් සැපයුම වේගයෙන් වැඩි වීම නැවතී ස්ථාවර වී තිබෙනවා. සිවු වනුව, පුළුල් මුදල් සැපයුමේ සංරචක වන රජයට හා පෞද්ගලික අංශයට බැංකු අංශයෙන් දෙන ණය ලොකුවට අඩු වී නැතත් තිබුණු මට්ටමේ ස්ථාවර වී තිබෙනවා. මෙය ආර්ථික වර්ධනය කෙරෙහි හානිකර බලපෑමක් කරන නමුත් දැන් තිබෙන්නේ ආර්ථික වර්ධනය ගැන සිතිය හැකි තත්ත්වයක් නෙමෙයි. පස් වෙනුව, බැංකු අංශයේ ශුද්ධ විදේශ වත්කම් ඉහළ ගොස් නැතත් අඩු වීම නැවතී ස්ථාවර වී තිබෙනවා. 

මේ සියල්ල සාධනීය තත්ත්වයන් වුවත්, අර්බුදයෙන් ගොඩ යාම සඳහා මේ තත්ත්වයන් තවදුරටත් හොඳ අතට හැරිය යුතුයි. එහෙත්, පවතින තත්ත්වය එක දිගට එලෙසම පවත්වා ගැනීම වුවද විශාල අභියෝගයක්. මහ බැංකුවට එය කළ හැකි වනු ඇත්තේ ඉතා ඉක්මණින් අවශ්‍ය ප්‍රතිසංස්කරණ කර රජයේ අයවැය තුලනය කරගන්නේනම් පමණයි.



11 comments:

  1. //IMF සල්ලි නැතත් රට ගොඩ යන බව පේනවානම් IMF එක ඉතා ඉක්මණින් සල්ලි දෙනවා. IMF සල්ලි දුන්නත් ගොඩ යන පාටක් පේන්න නැත්නම් වෙන්නේ මොනවා හරි කතාවක් කියලා වැඩේ පස්සට දමන එක//
    ඔබ හිතන්නේ IMF නැතුව ගොඩ යන්න තවම අවස්ථාවක් තියෙනවා කියලද? IMF නැති උනොත් අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු වෙයි කියලා හිතන්න පුලුවන්ද

    ReplyDelete
    Replies
    1. මම අදහස් කළේ ඒක නෙමෙයි. IMF නොගොස් ගොඩ දාගන්න එක ඉතාම අසීරුයි. බොහෝ විට නොකළ හැකියි. මම අදහස් කළේ හරි පාරේ යන බව පේනවානම් IMF එකේ සල්ලි ලැබෙන එක ඉක්මන් වන බවයි. ඒ වගේම, එය පැහැදිලිව පෙනෙන තුරු වැඩේ ඇදෙන බවයි. (ඒ වගේම, IMF යාම තාවකාලික විසඳුමක් පමණක් බවත් අමතක නොකළ යුතුයි)

      Delete
  2. හැරේවා හොඳ අතට තත්ත්වය රටත් ගැලවී අපත් ගැලවෙයි
    වැඩේවා නුවණැස අපෙත්, පාලක ගොඩෙත් යනු මගේ පැතුමයි!

    ReplyDelete
  3. july data will be available when?

    ReplyDelete
  4. Ape greek bond salli aaye ganna berida? Greece restructured those loand or not paying as all ?

    ReplyDelete
    Replies
    1. ග්‍රීසිය අපේ ණය නොගෙවා සිටීම නෙමෙයි වුනේ. බය වෙලා කලින්ම අඩු මිලට විකුණපු එක.

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. ඉකොනොමැට්ටා මෙතනදි ලංකාවේ සැබෑ ප්‍රශ්නය තේරුම් ගෙන නෑ එය මීට වඩා ගොඩාක් සීරියස් විදියට සැලකිල්ලෙන් කල්පනා කරලා විසඳුම් හොයාගන්න ඕන විශාල ප්‍රශ්නයක් ලංකාවේ තිබෙන ප්‍රශ්නය උද්ධමනය නොවේ. ඇත්ත වශයෙන්ම, උද්ධමනය ලංකාවේ ගැටළු සඳහා දැනට පවතින හොඳම විසඳුමයි.

    ඇයි ලංකාවේ විදේශ සංචිත ඩොලර් ඉවර වුණේ? ලංකාවට විශාල වශයෙන් රුපියල් සහ ඩොලර් ණය ඇත්තේ ඇයි? ඇයි අපි දිගින් දිගටම ණය ගත්තේ? ණය පැහැර හැරීමෙන් පසුවත්, අපි ණය දෙන්නන් පසුපස ගොස් තවත් ණය ඉල්ලන්නේ ඇයි?

    මේ ගැන හිතලා බලද්දී පේන හේතුව නම්, ලංකාව නිෂ්පාදකයින්ගේ ජාතියක් නොව පාරිභෝගික ජාතියක් වීමයි. මිලියන 22 ක ජනගහනයක්, නිෂ්පාදනය කරනවාට වඩා පරිභෝජනය කරනවා. නිසැකවම, ඔබ උපයන මුදලට වඩා වියදම් කළහොත්, ඔබ ණයට ගැනීමට සිදු වේ. අපේ දේශපාලකයෝ දශක ගණනාවක් තිස්සේ අපිව සහනාධාරවල වහලුන් බවට පත් කළා.

    ඉන්ධන සහනාධාර, පොහොර සහනාධාර, නොමිලේ නිවාස, සහනාධාර ජලය සහ විදුලිය, නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය, නොමිලේ මුදල් යනාදී වශයෙන් මේ දේශපාලකයින් මේවා කළේ ඔබටත් මටත් තිබෙන ආදරය නිසා නොවෙයි. ඔවුන් එය කළේ අපේ ඡන්දය මිළදී ගැනීමටයි.

    අප දැන් ඔවුන්ගේ වහලුන් වී ඇති පසුබිමක අප දැන් වෙනස් කළ යුතු සංස්කෘතිය එයයි. ලංකාවේ මුළු ණය ප්‍රමාණයෙන් දේශපාලකයෝ උපරිමයෙන් 10%ක් කඩා ගන්න ඇති. නමුත් ඉතිරි 90% අපි හැමෝම ජාතියක් විදියට අවුරුදු 30 ක් තිස්සේ සහනාධාර භාණ්ඩ හා සේවා පරිභෝජනය ලෙසින් රැගෙන තිබේ.

    ඔබ දන්නවාද, පසුගිය වසර 25 තුළ අපි ඉන්ධන සහ පොහොර සහනාධාර නොදුන්නා නම්, අපේ විදේශ ණය අද තිබෙන මුදලින් අඩකටත් වඩා අඩුවෙන් තිබෙන බව? මේ රටේ රජයේ සේවකයන් 1,500,000ක්, ත්‍රිරෝද රථ 800,000ක්, සාප්පු 200,000ක් සහ රූපලාවන්‍යාගාර, ස්පා, රූපලාවන්‍ය හා ඡායාරූප රූගත කිරීම් මධ්‍යස්ථාන 50,000ක් තිබෙන බව ඔබ දන්නවාද?

    ඔබ නිතිපතා විදේශගත වන අයෙක් නම්, ඔබට කවදා හෝ විදේශගත ශ්‍රී ලාංකික කුලී රථ රියදුරෙකු හමු වී තිබේද? ශ්‍රී ලාංකික ස්පා සේවකයෙක්, ශ්‍රී ලාංකේය ජංගම දුරකථන හෝ කඩ සාප්පු වෙළෙන්දෙක්? කවදාවත්! ඇයි ඒ?

    ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය, පිලිපීනය, ඉන්දුනීසියාව, තායිලන්තය වැනි රටවල මෙන් නොව, ශ්‍රී ලංකාවේ, ඔබ ඵලදායී රැකියාවක් නොකළත්, මිනිසුන්ට කුසගින්නෙන් තොරව සාමාන්‍ය ජීවිතයක් ගත කළ හැකිය. මන්ද මෙහි සෑම මූලික අවශ්‍යතාවක්ම පාහේ නොමිලේ හෝ සහනාධාර ලබා දෙන බැවිනි. ඔබ පෝෂණය කරන්නේ නම්, මුදල් සොයන්නට මහන්සි වන්නේ ඇයි?

    අපේ දේශපාලන ගිජුලිහිණියන් අපට දායාද කළ සංස්කෘතිය මෙයයි. අප කළ යුත්තේ එම ගිජු ලිහිණියන් එළවා දැමීම පමණක් නොව, එම සංස්කෘතිය හා සමාජය ද වෙනස් කිරීමයි. අප බලාපොරොත්තු වන්නේ එම ගිජු ලිහිණියන් පලවා හැරීම පමණක් නොව ඉන් පසුව නැවත පැමිණීම නම්, ඵලදායී නොවන, සහනාධාර, මධ්‍යස්ථ සමාජයක ජීවත් වීමට අප ඉල්ලා සිටින එම වෙනසෙහි තේරුමක් නැත.

    සෞඛ්‍ය හා අධ්‍යාපනය හැර අන් කිසිවකට සහනාධාර නොදිය යුතුය. සෑම කෙනෙකුටම පරිභෝජනය කිරීමට අවශ්‍ය නම්, තමන් පරිභෝජනය කරන දේ සඳහා නියමිත මිලක්‌ ගෙවීමට ඉඩ දෙන්න. දුප්පත්කම යනු පරාජය කළ යුතු දෙයක් මිස වැළඳ ගත යුතු දෙයක් නොවේ. අපේ දේශපාලන සංස්කෘතිය දිළිඳුකම වැළඳගන්නට දිරිමත් කළා මිස, දිළිඳුකම කවදාවත් පරාජය කිරීමට උදව් කලේ නැත.

    ReplyDelete
  7. Thanks. I read your articles with an interest. It would be great if you could the following points. 1. How does the CB maintains the current exchange rate 2. Does it supply dollars to the market ( i guess it doesn't have dollars). 2 would it be possible to get the remittance to sri lanka from each country (at least from middle east, Europe, east Asian countries for each month / quarter). 3. what factors contributes to increase our exports ?

    ReplyDelete
    Replies
    1. 1. CB has imposed a maximum price for a dollar. Banks can't quote above that price.

      2. Unfortunately, disaggregated data are not publicly available to my knowledge. I like to refer to such data if available and it will be very helpful for my own analyses.

      3. Of the $200 million increase from May to June, $90 million is garments, $25 million is rubber products, $24 billion is tea and the rest is other items. It is broad-based.

      3.

      Delete
  8. විණිමය අනුපාතය ස්ථාවරව තියාගෙන පොලී අනුපාතික ඉහළින් තියා ගැනීම මගින් විදේශ ප්‍රාග්ධනය ආකර්ෂණය කර ගැනීම හොඳ කෙටිකාලීන උපක්‍රමයක්. හැබැයි මේ උගුලේ හිර වුනෙත් ඔය වැඩෙන්ම තමයි. However, in my opinion during Cabraal's time CBSL didnt try to keep the interest rate up but rather tried to keep rates also down. That obviously doesnt work and thats what has brough this economy to this situation.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: