වෙබ් ලිපිනය:

Friday, July 26, 2024

දින පණස් හතක තරඟයේ ආරම්භය


මේ වෙද්දී ජනාධිතිවරණ දිනය ප්‍රකාශයට පත් වී අවසන්. අද (ජූලි 26) සිට දින 57කින් ජනාධිපතිවරණය පැවැත්වෙනවා. එය තුන් කොන් සටනක් වන ලකුණුයි දැනට පෙනෙන්නට තියෙන්නේ.

රනිල් වික්‍රමසිංහ ඇතුළු අපේක්ෂයින් හතර දෙනෙකු විසින් පළමු දිනයේදීම ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. අනුර කුමාර දිසානායක හා සජිත් ප්‍රේමදාස කලින් සිටම තමන්ගේ අපේක්ෂකත්වය ප්‍රකාශයට පත් කරලා ඒ වෙනුවෙන් ප්‍රචාරක කටයුතු කරමින් සිටිනවා. නිල අපේක්ෂකයින් ලෙස තවත් අපේක්ෂකයින් ගණනාවක් ඉදිරිපත් වනු ඇතත්, තරඟය තිබෙන්නේ අනුර, සජිත් හා රනිල් අතර බව පැහැදිලි කරුණක්. 

මේ ජනාධිතිවරණය පැවැත්වෙන්නේ සුවිශේෂී තත්ත්වයක් තුළයි. පළමුව, මිනිස්සුන්ට ඇඟටම දැනෙන, ඉතිහාසයේ නොවූ විරූ ආර්ථික අර්බුදයක් ඇවිත්, ඒ ආර්ථික අර්බුදයේ පීඩනය හමුවේ මිනිස්සු පාරට බහිනවා. ඔවුන්ගේ ප්‍රධානම ඉල්ලීම ලෙස එවකට බලයේ සිටි ජනාධිපතිවරයාට ඉල්ලා අස් වෙන්න සිදු වෙනවා. නමුත් ඒ විදිහට පාරට බහින මිනිසුන්ට ආර්ථික අර්බුදයට පැහැදිලි විකල්ප විසඳුමක් හෝ අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු පිළිබඳව පොදු අදහසක් නැහැ. අවසාන වශයෙන්, අරගලයේ ප්‍රතිඵලයක් විදිහට, රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස පත් වෙනවා.

දෙවනුව, රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරය දරද්දී පුළුල් ආර්ථික ස්ථායීකරණ වැඩපිළිවෙළක් සාර්ථක ලෙස ක්‍රියාත්මක වී රටේ ආර්ථිකය නැවතත් යහපත් දිශාවකට තල්ලු වෙනවා. විදේශ සංචිත වර්ධනය වී රුපියල ශක්තිමත් වෙනවා. ඩොලරයක මිල පහළ යනවා. ඉතිහාසය අනුව බැලුවත්, ලෝකයේ අනෙක් රටවල් හා සසඳා බැලුවත්, ඉහළම මට්ටමක තිබුණු උද්ධමනය ඉතාම අඩු මට්ටමකට පහත වැටෙනවා. උද්ධමනය පාලනය කිරීමේ අරමුණින් මුලින් ඉහළ දමනු ලබන පොලී අනුපාතික තනි අංකයකට එනවා. හැකිළුණු ආර්ථිකය නැවත වර්ධනය වෙනවා. ආර්ථික ස්ථායීකරණ වැඩපිළිවෙළ "වැඩ කරන" බව මුලින් ගොඩක් අයට නොතේරුණත් එය බොහෝ දෙනෙකුට දැනෙන්න ගන්නවා. ජනාධිතිවරණය පැවැත්වෙන්නේ රට ලොකු අගාධයකට වැටිලා නැවත ඒ අගාධයෙන් එළියට පැමිණ සිටින පසුබිමක. 

ජනමතසමීක්ෂණ ප්‍රතිඵල අනුව, ජනාධිතිවරණ සටන තුළ කාලයක් තිස්සේම ඉදිරියෙන් සිටියේ මුලින්ම සටනට අවතීර්ණ වූ අනුර කුමාර දිසානායක. මේ ජනමතසමීක්ෂණ කිසිවක් සර්ව සම්පූර්ණ නොවුනත්, 3%කට ආසන්න ඡන්ද පදනමක සිටි මාලිමාව ඒ ඡන්ද පදනම විශාල ලෙස වර්ධනය කරගෙන සිටින බව පැහැදිලි කරුණක්. ජනාධිපතිවරණ ජයග්‍රහණයක් ගැන ලොකුවටම බලාපොරොත්තු තියාගෙන ඉන්න බව පේන්නේ මාලිමාවට සහයෝගය දක්වන අයයි. ඒ බලාපොරොත්තු කඩ වුවහොත් එය ඔවුන්ට විශාල කම්පනයක් වෙන්න පුළුවන්. 

තමන්ගේ ඡන්ද පදනම විශාල ලෙස වැඩි කරගෙන සිටියත් මාලිමාව 50% සීමාවට ඇවිත් නැහැ. මම හිතන්නේ එම පක්ෂයේ ඉහළ ස්ථරයට මේ පිළිබඳ සෑහෙන තරමට නිවැරදි තක්සේරුවක් තිබෙනවා. තුන් කොන් සටනකදී දෙවන හා තෙවන මනාප වලටද වටිනාකමක් ලැබෙන නමුත් මාලිමාවට දෙවන හා තෙවන මනාප පිළිබඳ බලාපොරොත්තුවක් නැති නිසා ඔවුන් උත්සාහ කරන්නේ කෙසේ හෝ පළමු වටයේදීම අවශ්‍ය ප්‍රතිශතය ලබා ගන්නයි. ඔවුන්ට එවැනි ඡන්ද ප්‍රතිශතයක් අවශ්‍ය වන තවත් හේතුත් තිබෙනවා. 

ජවිපෙ කියා කියන්නේ සංවිධාන ශක්තිය අතින් සම්ප්‍රදායික දේශපාලන පක්ෂ වලට වඩා ගවු ගණනක් ඉදිරියෙන් සිටි පක්ෂයක්. ජවිපෙ ඒ ලක්ෂණය මාලිමාව ඇතුළටත් සාර්ථක ලෙස පොම්ප කර තිබෙනවා. මාලිමාව පැත්තට නැඹුරු වෙන කෙනෙක්ව ඒ පක්ෂය ලේසියෙන් අත අරින්නේ නැහැ. මොනවා හෝ වගකීම් දී ඔවුන්ව ඇද බැඳ තියා ගන්නවා. ඒ හරහා ඔවුන් තමන් වෙත අලුතෙන් එකතු වූ කණ්ඩායම් කෙසේ හෝ රඳවා තබා ගැනීමට උත්සාහ කරනවා. ඒ අතරම, කොට්ඨාශ මට්ටමින් දත්ත එකතු කරමින් හා එම දත්ත මත පදනම්ව ඉලක්ක සකස් කර ගනිමින් ඉදිරි දින 57 තුළ 50% ඉලක්කය වෙත යාමට උත්සාහ කරමින් සිටිනවා.

කෙසේ වුවත්, මාලිමාව වටා මෙසේ විශාල පිරිසක් එක්රැස් වීමට හේතු වූයේ ඔවුන්ගේ සංවිධාන ශක්තිය නෙමෙයි. විශාල පිරිසක් ප්‍රධාන පක්ෂ දෙක සමඟම කලකිරීමයි. ඒ කලකිරීමට ප්‍රධානම හේතුව වූයේ ආර්ථික අර්බුදය. ආර්ථික අර්බුදයට හේතුව සුළු පිරිසක් විසින් රටේ ධනය හොරකම් කර ගැනීම ලෙස සලකමින්, හොරකම් නොකරන පිරිසක් බලයට පත් කර ගෙන, ඒ මගින් තමන්ගේ ජීවන මට්ටම සුඛිත මුදිත කර ගැනීමට ඔවුන් මාලිමාව වටා එක්රැස් වී සිටිනවා. ඔවුන්ව දිගටම තමන් වෙත රඳවා ගන්නට මාලිමාවේ සංවිධාන උපක්‍රම පිටිවහල් වී ඇතත්, ඒ උපක්‍රම වල උදවුවෙන් අලුත් පිරිස් මාලිමාව වෙත එකතු කර ගැනීම පහසු කාර්යයක් නෙමෙයි. ඒ සඳහා අවශ්‍ය වූ වාස්තවික තත්ත්වයන් මේ වන විට අහෝසි වෙලා.

ජනමතසමීක්ෂණ ප්‍රතිඵල අනුව, දිගින් දිගටම දෙවන තැන සිටියේ සජිත් ප්‍රේමදාසයි. පසුගිය මාස වලදී සජිත් හා අනුර අතර තිබුණේ ජනමතසමීක්ෂණයේ ප්‍රකාශිත මිනුම් වරදටද වඩා අඩු පරතරයක්. සංඛ්‍යානය අනුව, එයින් අදහස් වන්නේ සජිත් අනුරට වඩා ඉදිරියෙන් සිටින්නටද සැලකිය යුතු සම්භාවිතාවක් ඇති බවයි. අනුරට මෙන් නොව සජිත්ට දෙවන මනාප සැලකිය යුතු ප්‍රමාණයක් ලබා ගැනීමේ හැකියාවක්ද තිබෙන නිසා, මුල් වටයේදී අනුර පළමු තැනට ආවත් බොහෝ දුරට එහි තිබෙන්නේ සජිත්ට වාසිදායක තත්ත්වයකුයි. ජනාධිපති වීම සඳහා 50%ක ඡන්ද අනිවාර්යයෙන්ම අවශ්‍ය නොවෙතත්, මාලිමා කණ්ඩායම 50%ක් ලබා ගැනීමට ඉලක්ක කරන එක් ප්‍රධාන හේතුවක් වන්නේ මේ තත්ත්වයයි. 

මාලිමාවේ ඉහළ ස්ථරයේ සිටින අයගේ ප්‍රකාශ අනුව, ඔවුන් මුල සිටම මෙන් මේ ජනාධිතිවරණය දෙස බලා තිබුණේ තුන් කොන් සටනක් ලෙස නොව අපේක්ෂකයින් දෙදෙනෙකු අතර තරඟයක් ලෙසයි. මාලිමාවේ පැත්තෙන් බැලු විට මේ ප්‍රවේශයේ වැරැද්දක් නැහැ. කෙසේ වුවත්, ඔවුන් බොහෝ අවස්ථා වලදී ඔවුන්ගේ ප්‍රධාන ප්‍රතිවාදියා ලෙස සජිත් වෙනුවට රනිල්ව හඳුනාගෙන තිබුණු බවක් පෙනී ගියා. ඒ රනිල් අඩු වශයෙන්  තමන්ගේ ජනාධිතිවරණ අපේක්ෂකත්වය ප්‍රකාශයට පත් කර නොතිබුණු පසුබිමකයි. 

මාලිමාව විසින් තමන්ගේ ප්‍රධාන ප්‍රතිවාදියා ලෙස රනිල්ව හඳුනා ගැනීම එක පැත්තකින් නිවැරදියි. රටේ ජනතාවගේ තක්සේරුව හරියටම දැන ගන්න ලැබෙන්නේ ජනාධිතිවරණයෙන් පසුව වුවත්, පසුගිය දෙවසරකට නොඅඩු කාලය තුළ රටේ ක්‍රියාත්මක වූ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති වල ප්‍රතිඵල මේ වන විට ඇස් පනාපිට පෙනෙන්නට තිබෙනවා. මේ ජනාධිතිවරණයේදී කිසිදු අපේක්ෂයෙකුට සාර්ව ආර්ථික ප්‍රතිපත්තිය මග හැර යාමේ හැකියාවක් නැහැ.

මේ වන මේ සාර්ව ආර්ථික ප්‍රතිපත්තියෙහි කොටස් රටේ නීතිය බවටද පත් කර අවසන්. ඒ අනුව, රනිල් වික්‍රමසිංහට යම් හෙයකින් නැවතත් ජනාධිපති විය හැකි වුවහොත් එම සාර්ව ආර්ථික ප්‍රතිපත්තිය දිගටම ක්‍රියාත්මක වන බව පැහැදිලියි. 

සජබ ආර්ථික ප්‍රතිපත්තිය දැනට ක්‍රියාත්මක ආර්ථික ප්‍රතිපත්තියෙන් විශාල ලෙස වෙනස් වන්නේ නැහැ. ඒ නිසා, එම පක්ෂයට මේ ආර්ථික ප්‍රතිපත්තිය බරපතල ලෙස විවේචනය කිරීමේ හැකියාවක් නැහැ. එහි ප්‍රතිඵලයක් ලෙස, මිනිස්සුන්ගේ පැත්තෙන්, රනිල්ගේ හා සජිත්ගේ ආර්ථික ප්‍රතිපත්ති අතර ලොකු වෙනසක් නැතිව යනවා. එය ජනතාව කොයි අයුරකින් විනිශ්චය කරයිද යන්න පැහැදිලි නැහැ. 

මෙයින් වෙනස්ව මාලිමාව ජනතාව වෙත යන්නේ දැනට ක්‍රියාත්මක සාර්ව ආර්ථික ප්‍රතිපත්තියේ විවේචකයෙකු ලෙසයි. එහිදී ඔවුන්ගේ ප්‍රධාන ප්‍රතිවාදියා ලෙස ඉස්මතු වන්නේ දැනට ක්‍රියාත්මක සාර්ව ආර්ථික ප්‍රතිපත්ති වල "හිමිකාරත්වය" වෙනුවෙන් පෙනී සිටින රනිල් වික්‍රමසිංහ මිස පැත්තක සිට "කොඩියක් වනන" සජිත් ප්‍රේමදාස නෙමෙයි. 

යම් හෙයකින් 50% ඉක්මවන ජනවරමක් ලබා ගත හැකිනම්, මාලිමාවට රටේ ආර්ථිකය හා සම්බන්ධව ඔවුන්ගේ "විද්‍යාගාර පරීක්ෂණ" සිදු කිරීම සඳහා සදාචාරත්මක හැකියාවක් මෙන්ම ප්‍රායෝගික හැකියාවක්ද ලැබෙනවා. ගෝටාබය රාජපක්ෂටද මෙවැනි "විද්‍යාගාර පරීක්ෂණ" සිදු කළ හැකි වූයේ ඒ සඳහා අවශ්‍ය ජනවරම ඔහුට ලැබී තිබුණු නිසා. වත්මන් සාර්ව ආර්ථික ප්‍රතිපත්තිය වෙනුවෙන් පෙනී සිටින අපේක්ෂකයින් විසින් වෙන වෙනම හෝ 50% ඉක්මවන ජනවරමක් ලබාගතහොත්, ඔවුන් කිසිවෙකුට බලයට පත් විය නොහැකි වුවද, අවශ්‍ය සදාචාරත්මක හා ප්‍රායෝගික හැකියාව මාලිමාවට ලැබෙන්නේ නැහැ. 

රනිල් වික්‍රමසිංහ කියන්නේ චරිත ලක්ෂණ අතින් ලංකාවේ සාමාන්‍ය දේශපාලනඥයෙකුට වඩා බොහෝ වෙනස් අයෙක්. මේ චරිත ලක්ෂණ වලට ලංකාවේ බොහෝ දෙනෙක් කැමති නැහැ. එමෙන්ම අවසන් වරට පැවති මහ මැතිවරණයේදී ඔහුට තමන් තරඟ කළ දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් වීම සඳහා අවශ්‍ය අවම ඡන්ද ප්‍රමාණය හෝ ලබාගත හැකි වූයේ නැහැ. එවර කොළඹ දිස්ත්‍රික්කයෙන් සජිත් ප්‍රේමදාස මනාප 305,744කුත්, අනුර කුමාර දිසානායක මනාප 49,914කුත් ලබා ගනිද්දී රනිල් වික්‍රමසිංහ විසින් ලබාගත්තේ මනාප 30,875ක් පමණයි. 

ජනප්‍රියත්වය ගිලිහී සිටි රනිල් වික්‍රමසිංහව මුලින් ජනප්‍රියව සිටියත් පසුව එම ජනප්‍රියත්වය අහිමි කරගෙන සිටි පොහොට්ටු මන්ත්‍රීවරුන් විසින් ජනාධිපති ලෙස පත් කර ගනිද්දී විපක්ෂ කඳවුර තුළ ඔහුගේ ජනප්‍රියත්වය තවත් පහළට වැටුනා වගේම ඔහුව රාජපක්ෂ පවුලේ ආරක්ෂකයෙකු ලෙස ලේබල් වීමක්ද සිදු වුනා. "රනිල් රාජපක්ෂ" යන්න ප්‍රචලිත යෙදුමක් බවට පත් වුනා. එහෙත්, මීට සමාන්තරව පොහොට්ටු කඳවුර තුළ රනිල්ට යම් වීරත්වයක්ද ආරෝපණය වෙන්නට පටන්ගෙන තිබෙනවා. ජනමතසමීක්ෂණ තුළ රනිල්ගේ ප්‍රතිශතය වේගයෙන් 15% දක්වා ඉහළ යාමෙන් පිළිබිඹු වන්නේ එයයි. 

කෙසේ වුවත්, ජනාධිපතිවරණය ජයගැනීම තවමත් ඔහුට ඉතා දුරස්ථ ඉලක්කයක්. මේ සඳහා රනිල් වික්‍රමසිංහ විසින් කඩුළු තුනක් පැනිය යුතුයි. ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඇප තැන්පත් කිරීමෙන් පෙනී යන්නේ ඔහු ආත්ම විශ්වාසයෙන් යුතුව පළමු කඩුල්ල ආසන්නයට පැමිණ සිටින බවයි.

රනිල් වික්‍රමසිංහ අපේක්ෂයෙකු ලෙස ඉදිරිපත්ව සිටින පසුබිමක වෙනත් පොහොට්ටු අපේක්ෂයෙකු සඳහා තවදුරටත් විශාල ඉඩක් ඉතිරි වී නැහැ. යම් හෙයකින් පොහොට්ටු අපේක්ෂයෙකු තරඟයට පැමිණියහොත් එවැන්නෙකු විසින් ලබා ගැනීමට ඉඩ තිබෙන ලජ්ජාසහගත ඡන්ද ප්‍රතිශතය අදාළ අපේක්ෂකයාට සහයෝගය දීමට ඉදිරිපත් වන පොහොට්ටු දේශපාලනඥයින්ට ඉදිරි මහ මැතිවරණයකදී තේරී පත් වීමට තිබෙන හැකියාව කෙරෙහිද බලපෑම් කිරීම නොවැලැක්විය හැකියි.

පාර්ලිමේන්තුව විසුරුවා හැර අවම වශයෙන් දින 52ක් යන තුරු මහ මැතිවරණයක් නොපැවැත්වෙන බැවින්, ජනාධිපතිවරණයකට පෙර මහ මැතිවරණයක් පවත්වනු ලැබීමේ ඉඩක් නැතත් අනුර හෝ සජිත් ජයගතහොත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි. යම් හෙයකින් රනිල් ජයගත්තද මේ තත්ත්වයේ වෙනසක් නොවිය හැකියි. ඒ නිසා, පොහොට්ටු මන්ත්‍රීවරුන්ට නැවත මැතිවරණයකට යාම පිළිබඳව මේ මොහොතේ සිතන්නම වෙනවා.

රනිල්ට සහයෝගය ඉල්ලමින් ජනතාව වෙත යන පොහොට්ටු මන්ත්‍රීවරයෙකුට කියන්නට මොකක් හෝ කතාවක් තිබෙන නමුත් වෙනත් පොහොට්ටු අපේක්ෂකයෙකු වෙනුවෙන් පෙනී සිටින අයෙකුට කියන්නට එවැනි කතාවක් නැහැ. අනෙක් අතට, යම් හෙයකින් රනිල් ජනාධිතිවරණය ජයගතහොත්, එළැඹෙන මහ මැතිවරණයකදී ඔවුන්ට යම් වාසිදායක තත්ත්වයක් ඇති වෙනවා. ඒ නිසා, පොහොට්ටු මන්ත්‍රීවරුන් තමන් වටා පෙළගස්වා ගැනීම මේ මොහොතේදී රනිල් වික්‍රමසිංහට අසීරු කාර්යයක් නෙමෙයි.

කෙසේ වුවත්, පොහොට්ටු අපේක්ෂයෙක් තරඟයට ආවොත් රනිල් හා එම අපේක්ෂකයා අතර පොහොට්ටු ඡන්ද බෙදී යන බැවින් රනිල්ටද වඩා අසීරු තත්ත්වයකට මුහුණ දෙන්නට සිදු වෙනවා. 

දෙවන හා තෙවන කඩුළු පැනීම ඒ තරම්වත් පහසු නැහැ. දෙවන වටයේදී රනිල් වික්‍රමසිංහට තරඟකරන්නට වෙන්නේ සජිත් ප්‍රේමදාස සමඟයි. ඒ තරඟය ජයගත හැකිනම් අනුර කුමාර දිසානායක සමඟ අවසන් තරඟය ඊට වඩා පහසු එකක්. 

සජිත් ප්‍රේමදාස හා රනිල් වික්‍රමසිංහ අතර තරඟය අනුර කුමාර දිසානායකට වාසිදායක එකක්. ඒ නිසාම, මාලිමාව මේ තරඟයට ඉඩ දී පැත්තකට වී බලා සිටින්නට ඉඩ තිබෙනවා. දැනට ඉදිරියෙන් සිටින සජිත්ගේ ඡන්ද රනිල් වෙත විතැන් වන තරමට එහි වාසිය අනුරට ලැබෙන නමුත් යම් හෙයකින් රනිල් සජිත් ඉක්මවා ඉදිරියට පැමිණියහොත් ඒ වහාම තත්ත්වය කණපිට හැරෙනවා. දින 57ක් තුළ එවැන්නක් නොවෙන්න පුළුවන්.

කෙසේ වුවත්, තනිතනිව තීරණ ගන්නා විශාල ඡන්දදායකයින් පිරිසක් මේ මොහොතේ ඉන්නවා. එය විශේෂ තත්ත්වයක්. මේ ගොඩක් අය ඉන්නේ යම් අර්බුදයකයි. ඒ එක පැත්තකින් පුද්ගලයෙක් ලෙස රනිල්ව "පෙන්නන්න බැරි" වුනත් තමන්ට අවශ්‍ය සාර්ව ආර්ථික වැඩපිළිවෙළ වෙනුවෙන් සෘජුව පෙනී සිටින බවක් පෙනෙන්නේද රනිල් තුළින්ම වීම තුළයි. 

ආර්ථික ස්ථායිකරණ වැඩපිළිවෙළ වෙත නැවත ආවොත්, එය මේ අයුරින් සාර්ථක කර ගත හැකි වූයේ ඒ සඳහා වක්‍ර ලෙස හෝ ලැබුණු පුළුල් මහජන සහයෝගය නිසයි. ගොඩ ගන්නට බැරි අගාධයක් වෙත තල්ලු වෙමින් තිබුණු ආර්ථිකය නැවත ස්ථාවර තත්ත්වයකට ගෙන ඒමේ දැවැන්ත කාර්ය භාරය පසුපස ප්‍රධාන චරිත තුනක් සිටිනවා. ඒ නන්දලාල් වීරසිංහ, මහින්ද සිරිවර්ධන හා රනිල් වික්‍රමසිංහයි. තවත් අය හිටියත් මුලටම ඉන්නේ මේ තුන් දෙනා. අර්බුදයෙන් පසුව තමන්ගේ නායකත්ව හැකියාවන් පෙන්නූ දේශපාලනඥයින් කිහිප දෙනෙක් ලැයිස්තුවේ ඊළඟ ස්ථාන වලට දමන්න පුළුවන්. 

නන්දලාල් වීරසිංහ මහ බැංකුව භාර ගැනීම සමාන කළ හැක්කේ ගිණි නිවන භටයෙක් ගිණිගෙන දැවෙන ගොඩනැගිල්ලක් ඇතුළට රිංගන එකටයි. එහි අවදානමට සාපේක්ෂව ඔහුට ලැබුණු පෞද්ගලික ප්‍රතිලාභයක් ඇතැයි මා සිතන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත් වෙන විටත් මහ බැංකුව පැත්තෙන් සිදු විය යුතු මූලික දේවල් වෙලා.

ඊළඟට අනෙක් දෙදෙනාට සාපේක්ෂව අඩුවෙන් අවධානයට ලක් වන මහින්ද සිරිවර්ධනගේ කාර්ය භාරය. විස්තර කරන්න යන්නේ නැතත් මේකත් දැවැන්ත එකක්. 

හැබැයි දේශපාලන නායකත්වය සහ සහයෝගය නොලැබුනානම් ඔය දෙපැත්තෙන්ම සිදු වූ දේවල් එක සීමාවකදී හිර වෙනවා. එතැනින් එහාට යන්නේ නැහැ. ඇත්තටම රනිල් ජනාධිපති වෙන කොටත් මේ හිරවීම සිදු වෙලා. 

දැන් මෙතැනදී කෙනෙක්ට අහන්න පුළුවන් පහසු ප්‍රශ්නය රනිල් වෙනුවට වෙන කෙනෙක් ඔය තැන හිටියානම් ඔය දේවල් ඔය විදිහටම වෙන්නේ නැද්ද කියන එක. ගොඩක් වෙලාවට නොවෙන්න පුළුවන්. මොකද මේ වගේ අවදානමක් ගන්න ලොකු ආත්ම විශ්වාසයක් අවශ්‍යයි. 

අපි දේශපාලනඥයෝ පැත්තකින් තියමුකෝ. පසුගිය දෙවසර තුළ ක්‍රියාත්මක වූ සාර්ව ආර්ථික වැඩපිළිවෙළ සාර්ථක වන බව පැහැදිලිව කටක් ඇරලා කියපු "විද්වත්තු" කී දෙනෙක් හිටියද? 

එහෙම අය කවුරුවත් හිටියේ නැහැ කියලා නෙමෙයි මම කියන්නේ. එවැනි විද්වතුන් යම් ප්‍රමාණයක් හිටියා. ඒ වගේම, දේශපාලනඥයෝ, සමාජ ක්‍රියාකාරීන් යම් ප්‍රමාණයක් හිටියා. ඒ අය, පෞද්ගලික වාසි නොබලා, මඩ කාගෙන නිවැරදි දේ වෙනුවෙන් පෙනී සිටියා. නමුත් ගොඩක් හිටියේ එහෙම ගටක් නැති අය. 

නන්දලාල් වීරසිංහට හා මහින්ද සිරිවර්ධනට මේ ගට ආවේ ඔවුන්ගේ දැනුම හා පුහුණුව එක්ක ලැබී තිබුණු දුර දැකීමේ හැකියාව තුළින් බව තේරුම් ගන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහට ඒ ගට ආවේ කොහොමද කියලා මම දන්නේ නැහැ. හැබැයි කොහොම හරි අවශ්‍ය ගට රනිල්ට තිබුණා.

මේක සෘජුව සංසන්දනය වෙන්නේ සජබ එක්ක. මොකද මාලිමාව කොහොමත් හිටියේ වෙනම ලයින් එකක. නමුත් සජබ යෝජිත වැඩපිළිවෙළ හා රනිල් ක්‍රියාත්මක කරපු වැඩපිළිවෙළ අතර වෙනස හොයන එක අර ඉස්සර රිවිරැස පත්තරේ තිබුණු ගුරුගෝල වෙනස හොයනවා වගේ වැඩක්. 

මේ වැඩපිළිවෙළ හෝ ඊට ආසන්නව සමාන වැඩපිළිවෙළක් වෙනුවෙන් පෙනී ඉන්න සජබට හැකි වුනත්, අභියෝගය භාර අරගෙන ක්‍රියාත්මක කරන්න ගටක් සජබට තිබී නැති බව මෑතකදී අලි සබ්‍රි විසින් කරපු එළිදරවු කිරීම් වලින් පැහැදිලි වෙනවා. අදාළ පාර්ශ්ව කිසිවක් අලි සබ්‍රි කියපු දේවල් ප්‍රතික්ෂේප කරලා නැහැ. 

දැන් මේ ජනාධිපතිවරණයේදී ජනතාව අතරට යන කිසිදු අපේක්ෂකයෙකුට ආර්ථිකය සම්බන්ධ තමන්ගේ අපේක්ෂිත ප්‍රතිපත්ති මග හැර යන්න බැහැ. (මේක ආර්ථික ප්‍රතිපත්තියක් නැහැ කියන පදනම මත මාලිමාව ඉලක්ක කර කරන විවේචනයක් නෙමෙයි. දන්නා තරමින් මාලිමාව ජනාධිපතිවරණයට කලින් ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය එළියට දාන්නයි ඉන්නේ.) රනිල්ගේ ප්‍රතිපත්තිය මේ වෙද්දී නීතියක් කරලත් ඉවරයි. එතකොට වෙනත් කෙනෙකුට ඒක ඒ විදිහටම ක්‍රියාත්මක කරනවද නැත්නම් වෙනස් කරනවද කියලා පැහැදිලිව කියන්න වෙනවා. වෙනස් කරනවානම් ඒ කොහොමද කියලත් පැහැදිලිව කියන්න වෙනවා.

විශේෂයෙන්ම සජබ ගත්තහම, සජබ සතුව වෙනස් ආර්ථික ප්‍රතිපත්තියක් නැහැ. පොඩි පොඩි වෙනස්කම් පෙන්නන්න බැරිකමක් නැතත් ඒවා අර ගුරුගෝල වෙනස්කම් වගේ ඒවා පමණයි. මිනිස්සුන්ගේ පැත්තෙන් එකම ප්‍රතිපත්තිය. එතකොට මිනිස්සුන්ගේ පැත්තෙන් මතු වෙන ප්‍රශ්නය මේ එකම ප්‍රතිපත්තිය තමන් කැමති සජිත් ලවා ක්‍රියාත්මක කරගන්නවද නැත්නම් තමන් අකැමැති එහෙත් අවුරුදු දෙකක් තිස්සේ මේ වැඩේ හරියට කරලා තිබෙන රනිල් ලවා කර ගන්නවද කියන එක. මේක මාලිමා කඳවුරෙන් පිට ඉන්න අයගේ ප්‍රශ්නයක්.

රනිල්ගේ උපන් ගෙයි ගති ඉදිරි දවස් පනස් හතේදී වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා, රනිල්ගේ උපන් ගෙයි ගති සෙට් වෙන්නේ නැති අයට ඉදිරි දවස් පනස් හතේදී රනිල්ව සෙට් වෙන එකක් නැහැ. නමුත් මේ අයගෙන් කොටසක් හෝ තමන්ට රනිල්ව සෙට් වෙන්නේ නැත්තේ ඇයි කියන එක ගැන නැවත වරක් හිතන්න ඉඩ තිබෙනවා. ඔය තත්ත්වයන් එක්ක සජබ ඡන්ද යම් ප්‍රමාණයක් ඉදිරි දවස් 57 තුළ ගැලවිලා රනිල්ගේ පැත්තට ඇවිත් රනිල් දෙවන ස්ථානයට තල්ලු වෙන්න ඉඩක් තිබෙනවා. හැබැයි තවමත් ඒක වෙලා නැති නිසා තවමත් වාසිය තිබෙන්නේ සජිත්ට. 

මාලිමාව පැත්තෙන් ගත්තොත් කතාව වෙනස්. මාලිමාව පෙනී සිටින්නේ විකල්ප වැඩ පිළිවෙලක් වෙනුවෙන්. ඒක මොකක්ද වගේ දේවල් ඒ තරම් වැදගත් නැහැ. වැදහත් දේ බහුතර ජනතාව හිතන්නේ කොහොමද කියන එකයි. 

දැන් පවතින වැඩපිළිවෙළ ප්‍රතික්ෂේප කරනවානම් ඊට වඩා හොඳ වැඩපිළිවෙලක් ඒ වෙනුවෙන් ආදේශ කරනවා කියන එක මිනිස්සුන්ට ඒත්තු ගන්වන්න මාලිමාවට සිදු වෙනවා. දැනට මාලිමාව එක්ක න්නේ එහෙම විශ්වාසයක් තියෙන අය. නමුත් තමන්ගේ ඡන්ද පදනම තවත් පුළුල් කරගන්න උත්සාහ කරද්දී මාලිමාවට අභිමුඛ වෙන්නේ එහෙම විශ්වාසයක් නැති කණ්ඩායමක්. ඒ අයට දැනට ක්‍රියාත්මක වැඩ පිළිවෙලේ සාර්ථකත්වය ඇස් පනාපිට පේනවා. ඒ නිසා, තමන්ගේ බවුන්ඩරිය එහාට තල්ලු කර ගන්න එක මාලිමාවට ලේසි වැඩක් වෙන්නේ නැහැ.

ඔය තත්ත්වයන් එක්ක මේ මොහොතේදී මම දකින්නේ පැහැදිලි තුන් කොන් සටනක්. ඔය සටනෙන් සජිත්, අනුර වගේම රනිල් වුනත් ඉස්සරහට එන්න පුළුවන්. 

Thursday, July 25, 2024

ඩොලර් බිලියන සීයක් ණය වුනේ කවුද?


පසුගිය මාර්තු මාසය අවසන් වන විට ලංකාවේ රාජ්‍ය අංශයේ ණය ප්‍රමාණයේ ඩොලර් වටිනාකම බිලියන 100 ඉක්මවා තිබුණු බව ගොඩක් අය දන්න, ගොඩක් කතාබහට ලක් වුනු දෙයක්නේ. මෙම ණය ප්‍රමාණය වසරේ මුල් මාස තුන ඇතුළත ඩොලර් බිලියන හතරකින් පමණ වැඩි වී තිබුණත් එයට හේතුව ඩොලරයක මිල පහත වැටීම මිසක් අලුතෙන් ණය ගැනීම නොවන බව පෙර ලිපියක පැහැදිලි කළා. 

ඉහත පැහැදිලි කිරීම ගොඩක් අය තේරුම් අරගෙන තිබුණා. මෙය සාමාන්‍ය බුද්ධි මට්ටමක් සහ සරල ගණිත දැනුමක් තිබෙන කෙනෙකුට තේරුම් ගන්න අපහසු දෙයක් නෙමෙයි. අවශ්‍ය වන්නේ උනන්දුව පමණයි. අපේ සටහන් කියවන අය අතර එසේ නොවන අය ඉන්නේ ඉතා අඩු ප්‍රමාණයක්. මේ ලිපිය ලියන්නෙත් එසේ යමක් තේරුම් ගන්න පුළුවන් සහ ඒ සඳහා උනන්දුවක් තිබෙන බහුතර පාඨකයින්ට. වරින් වර විවිධ අය රාජ්‍ය ණය ගැන එක එක විදිහේ කතන්දර ගොතලා ඒවා ජනගත කරන නිසා නැවත නැවත කළ යුතු පැහැදිලි කිරීමකුයි මේ ලිපියේ තියෙන්නේ. 

මේ ඩොලර් බිලියන 100 රාජ්‍ය අංශයේ ණය. එයට රජයේ ණය සහ මහා භාණ්ඩාගාරය ඇප වී ලබා ගෙන තිබෙන ඇතැම් රාජ්‍ය සංස්ථා වල ණයත් ඇතුළත්. කතා කරන්න යන කරුණ හා අදාළව, අපි මේ මහා භාණ්ඩාගාරය ඇප වී ලබා ගෙන තිබෙන ණය කොටස අත හැර රජයේ ණය කොටස ගනිමු. ඒ වගේම, සංසන්දනය කිරීමේ පහසුවට, මාර්තු අවසානයට නොගොස් 2023 වසර අවසානයේ නවතිමු. 

පසුගිය 2023 වසර අවසන් වන විට රජයේ මුළු ණය ප්‍රමාණය රුපියල් වලින් මිලියන 28,695,949ක් හෙවත් ට්‍රිලියන 28.7ක්. වසර අවසානයේදී ඩොලරයක මිල රුපියල් 323.92 ලෙස සැලකූ විට, මෙම ණය ප්‍රමාණය ඩොලර් වලින් මිලියන 88,589.6ක්. මේ තරම් ප්‍රමාණයක් රාජ්‍ය ණය එකතු වුනේ කොහොමද?

රජය ආදායම ඉක්මවා වියදම් කරද්දී අඩුව පුරවන්න ණය ගන්න වෙනවා. මෙය සරල හා පැහැදිලි කරුණක්. 1950 වසර අවසානය දක්වා මේ විදිහට අරගෙන තිබුණු ණය ප්‍රමාණය රුපියල් මිලියන 654ක්. එම ණය ප්‍රමාණයට ඉන් පසු වසරෙන් වසර ප්‍රාථමික අයවැය හිඟය එකතු වෙලා තමයි 2023 වසර අවසාන වෙද්දී මේ ණය ප්‍රමාණය රුපියල් මිලියන 28,695,949ක් වෙලා තියෙන්නේ. 

හැබැයි 1950 වසර අවසානයේදී තිබුණු ණය ප්‍රමාණය රුපියල් මිලියන 654ක් පමණයි කියන එකෙන් අදහස් වෙන්නේ ඉතිරි මුළු ණය ප්‍රමාණයම ඉන් පසුව රජය විසින් ණයට අරගෙන වියදම් කළා කියන එක නෙමෙයි. ගත්ත ණයක් ආපසු ගෙවන තාක් කල් ඒ ණය වර්ධනය වෙනවා. උදාහරණයක් විදිහට 1950 වසර අවසානය වන විට අරගෙන තිබුණු රුපියල් මිලියන 654ක ණය ප්‍රමාණය 2023 වසර අවසානය වන විට රුපියල් මිලියන 499,779ක ණයක් වී තිබෙනවා. මෙය 764 ගුණයකින් වැඩි වීමක්.

මෙයින් අදහස් වෙන්නේ 1950 වන විට ගෙවන්න තිබුණු ණය තවම ගෙවලා නැහැ කියන එක නෙමෙයි. තාක්ෂණිකව බැලුවොත් ඒ ණය ගෙවලා සෑහෙන කාලයක් වෙනවා ඇති. නමුත් ඒ විදිහට ණය ගෙවලා තියෙන්නේ රජය විසින් ආදායමෙන් කොටසක් ඉතිරි කරලා නෙමෙයි. වෙනත් ණයක් අරගෙන. එතකොට සෛද්ධාන්තිකව බැලුවොත් වෙලා තියෙන්නේ අර පරණ ණයේ ස්වරූපය මාරුවීමක් පමණයි.

අලුතෙන් ණයක් අරගෙන පරණ ණයක් ගෙවද්දී ණයට ගත්ත මුදලට අමතරව පොලියත් ගෙවන්න වෙනවා. ඒ නිසා, පරණ ණයට වඩා වැඩි ණය ප්‍රමාණයක් අලුතෙන් ණයට ගන්න වෙනවා. ණය ගෙවන්න තියෙන්නේ ඩොලර් වලින්නම්, ඩොලරයක මිල ඉහළ යද්දී අලුතෙන් ඩොලර් මිල දී ගන්න වැඩි රුපියල් ප්‍රමාණයක් අවශ්‍ය වන නිසා, ඒ හේතුවෙනුත් ගන්න අවශ්‍ය ණය ප්‍රමාණය ඉහළ යනවා. මේ ආදී හේතු නිසා ලංකාවේ සංඛ්‍යාලේඛණ වලට අනුව, ණය අලුත් කරද්දී සාමාන්‍ය වශයෙන් වසරකට 10%කින් පමණ ණය ප්‍රමාණය ඉහළ යනවා. 1950වන විට අරගෙන තිබුණු රුපියල් මිලියන 654ක ණය ප්‍රමාණය 2023 වසර අවසානය වන විට රුපියල් 499,779ක ණයක් වී තිබෙන්නේ ඔය ක්‍රමයටයි. 

තිබෙන ණය ප්‍රමාණය ඔය වදිහට වර්ධනය වනවාට අමතරව, ප්‍රාථමික අයවැය හිඟයක් පවත්වා ගන්නා හැම අවුරුද්දකදීම ඔය ණය මල්ලට තවත් යම් මුදලක් එකතු වෙනවා. ඉන් පසු, ඒ කොටසක් දිගින් දිගටම අර 10%ක පමණ වූ සාමාන්‍ය වේගයෙන් වර්ධනය වෙන්න පටන් ගන්නවා. ලංකාවේ ප්‍රාථමික අයවැය හිඟයක් තිබී නැත්තේ 1950 වසරින් පසුව වසර හයකදී පමණයි. 

කිසියම් වසරකදී ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගන්න පුලුවන්ම්, ඒ ප්‍රමාණය කොයි තරම් කුඩා වුනත්, සුළු ණය ප්‍රමාණයක් හෝ ආපසු ගෙවන්න පුළුවන්. එහෙම කළා කියලා බොහෝ විට ඒ අවුරුද්ද තුළ මුළු ණය ප්‍රමාණයේ අඩු වීමක් වෙන්නේ නැහැ. මොකද පරණ ණය වර්ධනය වීම නිසා ණය ප්‍රමාණයේ සිදුවන ඉහළ යාම ඊට වඩා ගොඩක් වැඩියි. 

හැබැයි මේ විදිහට සුළු හෝ ණය ප්‍රමාණයක් ආපසු ගෙවීමේ වාසිය දිගුකාලීන එකක්. මොකද ඒ ණය ප්‍රමාණය ආපසු නොගෙවුවානම් වසරක් ගානේ 10%ක පමණ වේගයකින් වර්ධනය වෙලා විශාල ණයක් බවට පත් වෙනවා. සුළුවෙන් හෝ ආපසු ගෙවන එකෙන් එය නවතිනවා. ප්‍රමාණවත් ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගත්තොත් අවුරුදු හතර පහකින් කොහොම වෙතත්, යම් කාලයකට පසුව ණය අඩුවෙන්නට පටන් අරගෙන තවත් කාලයකට පස්සේ ණය ගෙවී අවසන් වෙනවා. 

මේ අනුව, 2023 වසර අවසානයේදී මුළු රාජ්‍ය ණය ප්‍රමාණය කියා කියන්නේ ඊට පෙර වසර වල රජයේ ප්‍රාථමික අයවැය ශේෂ වල ඒ වන විට වටිනාකම් වල එකතුව. ප්‍රාථමික අයවැය හිඟ වලින් ප්‍රාථමික අයවැය අතිරික්ත ටික අඩුවෙලා තමයි ඔය ණය ප්‍රමාණය හැදිලා තියෙන්නේ. 

පහත තිබෙන්නේ ණය ලබාගත් කාල වකවානු අනුව, 2023 අවසර අවසානයේදී ඩොලර් වලින් මිලියන 88,589.6ක් වූ ණය ප්‍රමාණය එකතු වූ ආකාරය. මතක තියාගන්න ඩොලර් වලින් ගණන් පෙන්නුවත් මේ සියල්ල ඩොලර් ණය හෝ විදේශ ණය නෙමෙයි. වැඩි ප්‍රමාණය රුපියල් ණය. අවශ්‍යනම් ඩොලරය රුපියල් 323.92 බැගින් රුපියල් ගණන ගණනය කරගන්න පුළුවන්.

1950 දක්වා - ඩොලර් මිලියන 1,542,9

1951-1955 - ඩොලර් මිලියන 549.4

1956-1960 - ඩොලර් මිලියන 1,938.5

1961-1964 - ඩොලර් මිලියන 2,175.1

1965-1969 - ඩොලර් මිලියන 2,928.8

1970-1976 - ඩොලර් මිලියන 4,819.0

1977-1988 - ඩොලර් මිලියන 27,239.6

1988-1993 - ඩොලර් මිලියන 3,960.2

1994-2001 - ඩොලර් මිලියන 10,860.0

2002-2004 - ඩොලර් මිලියන 1,838.2

2005-2014 - ඩොලර් මිලියන 14,100.9

2015-2019 - ඩොලර් මිලියන 5,833.6

2020-2022 - ඩොලර් මිලියන 11,538.5

2023 - ඩොලර් මිලියන (-535.1)

එකතුව - ඩොලර් මිලියන 88,589.6

එක් වර්ෂය තුළ ප්‍රාථමික අයවැය ශේෂය ණය ප්‍රමාණයට දායක වූ ආකාරය ප්‍රස්ථාරයේ දැකිය හැකියි. ආදායමට වඩා අඩුවෙන් වියදම් කර සුළුවෙන් හෝ ණය ගෙවා තියෙන්නේ 1954, 1955, 1992, 2017, 2018 හා 2023 වසර වලදී පමණයි. 

මේ විදිහට ආදායම ඉක්මවා වියදම් කරමින් ණය ගොඩ ගැසුවේ රටේ ආණ්ඩු මිසක් සාමාන්‍ය මිනිස්සු නෙමෙයි. හැබැයි ඒ ආණ්ඩු බලයට පත් කර ගත්තේ සාමාන්‍ය මිනිස්සු. ඒ විදිහට තමන් විසින් බලයට පත් කර ගත් ආණ්ඩු විසින් ටිකක් හෝ ණය ගෙවද්දී මිනිස්සු ප්‍රතිචාර දැක්වූයේ කොහොමද?

- 1954 හා 1955 වසර වලදී ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගනිද්දී බලයේ හිටියේ ඩඩ්ලි සේනානායකගේ එජාප ආණ්ඩුව. 1956 මැතිවරණයේදී රටේ මිනිස්සු එජාපය ආසන අටට බැස්සුවා. බලයට පත් වූ ආණ්ඩුව වගේම ඉන් පසුව දිගින් දිගටම බලයට පත් වූ ආණ්ඩු ගණනාවක්ම කවදාවත් ප්‍රාථමික අයවැය අතිරික්තයක් වාර්තා කළේ නැහැ. හැම වසරකදීම කළේ ආදායම ඉක්මවා වියදම් කරන එක.

- ඊට පස්සේ සුළු ප්‍රාථමික අයවැය අතිරික්තයක් වාර්තා වුනේ 1992 වසරේදී. ඒ වෙද්දී බලයේ සිටියේත් එජාප ආණ්ඩුවක්. අවුරුදු 17ක් එක දිගට බලයේ සිටි එජාපය 1993දී පරාද වුනා. 1994 ජනාධිපතිවරණයේදී එජාප අපේක්ෂිකාව වැඩි ඡන්ද ලබාගත්තේ ලංකාවෙන් එකම එක මැතිවරණ ආසනයක පමණයි. මහියංගණය හැර අනෙක් හැම තැනකදීම එජාපය පරාද වුනා. ඊට පස්සේ තවත් අවුරුදු ගණනාවක් යන තුරු ප්‍රාථමික අයවැය අතිරික්තයක් වාර්තා වුනේ නැහැ.

- ඊටත් පස්සේ, මෑතකාලීනව, 2017 හා 2018 වසර වලදී ප්‍රාථමික අයවැය අතිරික්තයක් වාර්තා වුනා. මේක කියවන හැමෝගෙම වගේ මතකයේ තිබෙන අතීතයක්. ඒ වෙද්දී බලයේ සිටි එජාපයට ඊට පස්සේ 2020දී පැවති මැතිවරණයේදී ලැබුණේ ජාතික මට්ටමෙන් ලැබුණු මන්ත්‍රී ධුරයක් පමණයි. 

ආණ්ඩු ණය වීම ගැන විවේචනාත්මක කතා කරන "සාමාන්‍ය මිනිස්සු" ආණ්ඩුවක් ණය බරින් ටිකක් හෝ නිදහස් වෙන්න උත්සාහ කරද්දී ප්‍රතිචාර දැක්වූයේ ඔය විදිහටයි.

හැබැයි ලොකුම ප්‍රාථමික අයවැය හිඟයන් පවත්වා ගනිමින් ලොකුවටම ණය ගොඩ ගැසූ 1977-1988 කාලයේදී මෙන්ම 2005-2014 කාලයේදීත් ඒ ආණ්ඩු අනෙක් බොහෝ ආණ්ඩු වලට වඩා ජනප්‍රියව පැවතුණා. අනෙක් ආණ්ඩු වල වගේම ඒ ආණ්ඩු වලත් ජනප්‍රියත්වය අවසානයේදී පිරිහී ගිය එක වෙනම කතාවක්. 2020දී පත් කරගත්ත ආණ්ඩුවේ වුනත් ජනප්‍රියතාවය ගිලිහුණේ ඇදගන්න බැරි තරමටම ආර්ථිකය කඩා වැටුනට පස්සෙයි. නැත්නම් කවුරුවත් ණය ගැන වද වෙන්නේ නැහැ. එහෙමනම්, ඔය ණය ගැනිල්ලට වග කිව යුත්තේ ආණ්ඩු විතරයිද? ඩොලර් බිලියන සීයක් ණය වුනේ ආණ්ඩු කරපු අයමද?

වැඩියෙන් ණය වී වැඩියෙන් වියදම් කරන ආණ්ඩු අදාළ කාල වකවානු වලදී ජනප්‍රිය වෙන්න හේතුවක් තිබෙනවා. ඊට හේතුව ආර්ථික වර්ධනය ඉහළ යාම හා පරිභෝජනය ඉහළ යාම. 1977-1988 හා 2005-2014 වකවානු වලදී මේ තත්ත්වය දැකිය හැකි වුනා. රටක් ආර්ථික වර්ධනය ඉලක්ක කරන එක කිසිසේත්ම නරක නැති, කළ යුතු දෙයක්. නමුත් ප්‍රශ්නය ආර්ථික ස්ථාවරත්වය පරදුවට තබමින් ලබා ගන්නා වර්ධනය තිරසාර එකක් නොවීමයි. 

මේ විදිහේ රාජ්‍යමූලික වර්ධනයකදී රජය විසින් කරන වියදම් වලට අනුරූපව රටේ ජනතාවගේ ආදායම් ඉහළ යන නමුත් ඒ ආදායම් බදු හරහා රජයේ ආදායම් බවට පත් වුනේ නැත්නම් රාජ්‍ය අංශය අර්බුදයකට යනවා. ලංකාව වගේ රටක ගොඩක් වෙලාවට ඒ අර්බුදය විදේශ අංශයේ අර්බුදයක් විදිහට එළියට එනවා. 

දැන් නැවතත් 2023 වසරේදී ප්‍රාථමික අයවැය අතිරික්තයක් වාර්තා වී තිබෙනවා. ඒ වගේම, 2024 පළමු මාස හතරේ සංඛ්‍යාලේඛණ අනුව, එම මාස හතර තුළද සැලකිය යුතු ප්‍රාථමික අයවැය අතිරික්තයක් වාර්තා වී තිබෙනවා. මෙය යහපත් තත්ත්වයක් වුනත් ඔය විදිහට අවුරුද්දක් දෙකක් පමණක් ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගත් පමණින් රට ගොඩ යන්නේ නැහැ. මේ තත්ත්වය දිගටම පැවතිය යුතුයි.

පසුගිය වසරේ ප්‍රාථමික අයවැය අතිරික්තයක් වාර්තා වී තිබුණත් එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.6%ක් පමණයි. රටේ ආර්ථිකය නැවතත් අර්බුදයකට තල්ලු නොකර තිරසාරව පවත්වා ගන්නනම් මේ අගය අවම වශයෙන් 2.3% මට්ටමට අරගෙන ඒ මට්ටමේ හෝ ඉහළින් තියා ගත යුතුයි. එහෙම කළොත් රට නැවත ආර්ථික අර්බුදයකට යන එක වගේම ලංකාවට නැවත වරක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යන එකත් වලක්වා ගන්න පුළුවන්. හැබැයි ඔය ඉලක්කය අත ඇරුණොත්නම් මොනවා වෙයිද කියා කියන්න අමාරුයි.

මේක නිශ්චිත අපේක්ෂයෙක්ට සහයෝගය දෙන්න කියලා කරන ඉල්ලීමක් නෙමෙයි. ඒවා පෞද්ගලික තීරණනේ. ඔබ කැමති අපේක්ෂකයා කවුරු වුනත්, දේශපාලන පක්ෂය කුමක් වුවත්, දැන් තියෙන ඔය සමතුලිතතාවය නැති කර ගත්තොත්, ආපහු වැටෙන්නේ හිටපු තැනටත් වඩා නරක තැනකටයි. එහෙම වෙන එක වලක්වා ගන්න අවශ්‍යනම් තමන්ගේ අපේක්ෂකයාව, තමන් සහයෝගය දෙන පක්ෂය, අවශ්‍ය තැනට තල්ලු කර ගන්නම වෙනවා. ඒ වැඩේ නොකර, මෙතෙක් කළා වගේ ආණ්ඩු වලට වරදින කොට විවේචනය කරන්න පමණක් බලා හිටියොත් වටයක් කැරකිලා නැවත හිටපු තැනමයි.

(වත්පොතෙන් කියවන වැඩි උනන්දුවක් දක්වන අයට 1950 වර්ෂයේ සිට එක් එක් වර්ෂයේ ප්‍රාථමික අයවැය ශේෂය, 2023 වන විට එය ගුණනය වී ඇති ගුණන සාධකය හා ඒ අනුව රුපියල් වලින් හා ඩොලර් වලින් වත්මන් අගය අඩංගු වගුවක් වියුණුව වෙත ගොස් බලා ගත හැකියි. මෙම අගයන්හි එකතුව රජයේ මුළු ණය ප්‍රමාණයට සමානයි.)

Tuesday, July 23, 2024

බැංකු පද්ධතියේ ශුද්ධ විදේශ වත්කම් ධන අතට!

 

හරියටම වසර හතරක කාලයකට පසුව, බැංකු පද්ධතියේ ශුද්ධ විදේශ වත්කම් නැවතත් ධන අතට හැරී තිබෙනවා. මෙයින් අදහස් වන්නේ බැංකු පද්ධතියේ සමස්ත විදේශ වගකීම් ප්‍රමාණය ඉක්මවන විදේශ වත්කම් ප්‍රමාණයක් මේ වන විට බැංකු පද්ධතිය තුළ එක්රැස් වී ඇති බවයි. 

ඉහත වසර හතරක කාලයෙන් ආර්ථිකය වේගයෙන් වල පල්ලට ගිය කාලය සහ ඉන් පසුව අමාරුවෙන් ගොඩ ආ කාලය හඳුනා ගැනීම අසීරු දෙයක් නෙමෙයි. මේ සමඟ පළ කෙරෙන ප්‍රස්ථාරය දෙස බැලූ විට මේ කාල වකවානු පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්. 

බැංකු පද්ධතිය යන්නෙන් අදහස් වන්නේ වාණිජ බැංකු සියල්ල හා මහ බැංකුවයි. වාණිජ බැංකු විසින් විදේශ ණය ලබා ගැනීමේදී මෙන්ම පාරිභෝගිකයින් විසින් වාණිජ බැංකු වල මුදල් තැන්පත් කිරීමේදීද (විශේෂයෙන්ම අක්වෙරළ ශාඛාවන්හි) බැංකු පද්ධතියේ විදේශ මුදල් වගකීම් ඉහළ යනවා. ඒ නිසා, විදේශ බැරකම් සියල්ල විදේශ ණය නෙමෙයි. එහෙත් බැංකු වල විදේශ ණය සියල්ල විදේශ බැරකම් යටතට වැටෙනවා.

වාණිජ බැංකු වල විදේශ ණය ආපසු ගෙවීම සඳහාත්, තැන්පතු ආපසු ගෙවීම සඳහාත්, අවශ්‍ය පමණ විදේශ වත්කම් රඳවා ගත යුතු වෙනවා. සාමාන්‍යයෙන් මේ විදේශ වත්කම් පවත්වා ගන්නේ විදේශ බැංකුවක තැන්පතු හෝ වෙනත් ආයෝජන ලෙසයි. 

කිසියම් නිශ්චිත වාණිජ බැංකුවක හෝ සමස්තයක් ලෙස සියලුම වාණිජ බැංකු වල ශුද්ධ විදේශ වත්කම් සෘණ වීම, එසේත් නැත්නම් විදේශ වගකීම් වලට වඩා විදේශ වත්කම් අඩු වීම, අසාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි. වාණිජ බැංකු විසින් ඇතැම් කාල වකවානු වලදී කෙටිකාලීනව අවශ්‍ය වන ප්‍රමාණයට පමණක් විදේශ වත්කම් රඳවාගෙන ඉතිරි විදේශ වත්කම් (විදේශ ව්‍යවහාර මුදල්) විකුණා දමනවා. මෙම විදේශ වත්කම් (විදේශ විණිමය) ආනයනකරුවන් විසින් හෝ මහ බැංකුව විසින් මිල දී ගන්නවා. 

වාණිජ බැංකු විසින් ඇතැම් විට මෙසේ ශුද්ධ විදේශ වත්කම් සෘණ වීමට ඉඩ හරිමින් තමන් සතු විදේශ විණිමය විකුණා දමන්නේ අවශ්‍ය වූ විටෙක නැවත වෙළඳපොළෙන් විදේශ විණිමය මිල දී ගැනීමේ අපේක්ෂාවෙන්. මහ බැංකුව විසින් මිල දී ගන්නා විදේශ විණිමය නිල සංචිත වලට එකතු වෙනවා. එහෙත් ආනයනකරුවන් විසින් මිල දී ගන්නා විදේශ විණිමය රටෙන් බැහැර වෙනවා. මෙය සැලකිල්ලට ගෙන, ප්‍රමාණවත් විදේශ සංචිත පවත්වා ගැනීම මහ බැංකුවේ විදේශ විණිමය ප්‍රතිපත්තියේ කොටසක්.

වාණිජ බැංකු වලට මෙන්ම මහ බැංකුවටද විදේශ වගකීම් තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාගෙන තිබෙන ණය උදාහරණයක් ලෙස පෙන්වන්න පුළුවන්. එහෙත් සාමාන්‍යයෙන් මහ බැංකුවේ විදේශ වගකීම් එහි විදේශ වත්කම් ප්‍රමාණය ඉක්මවා ඉහළ යන්නේ නැහැ. වෙනත් විදිහකින් කිවුවොත් මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් සාමාන්‍යයෙන් සෘණ පැත්තට යන්නේ නැහැ.

වාණිජ බැංකු වල ශුද්ධ විදේශ වත්කම් 2019 වසර අවසන් වන විටද සෘණ පැත්තේ තිබුණත්, එම හිඟය ඉක්මවන ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණයක් ඒ වන විට මහ බැංකුව සතු වූ බැවින් සමස්තයක් ලෙස බැංකු පද්ධතියේ ශුද්ධ වත්කම් ධන පැත්තේ තිබුණා. එහෙත්, 2020 අප්‍රේල් වන තුරු පැවති මේ තත්ත්වය 2020 මැයි මාසයේදී වෙනස් වුනා. එම මාසයේදී සමස්තයක් ලෙස බැංකු පද්ධතියේ ශුද්ධ විදේශ වත්කම් සෘණ අතට හැරුණා.

මහ බැංකුව විසින් සංචිත විකුණා දමමින් ඩොලරයක මිල පාලනය කිරීමට ගත් උත්සාහය තුළ නිල සංචිත ක්‍රමයෙන් පිරිහීමේ ප්‍රතිඵලයක් ලෙස, 2021 අගෝස්තු මාසයේදී මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් සෘණ අතට හැරුණා. ඉන් පසුව, මහ බැංකුව විසින් දිගින් දිගටම "අතමාරු ණය" ගැනීම නිසා මෙම ශුද්ධ විදේශ වත්කම් හිඟය එන්න එන්නම ඉහළ ගියා. වත්මන් අධිපතිවරයා විසින් මහ බැංකුව භාරගත් 2022 අප්‍රේල් මාසය වන තුරුම පැවතියේ මේ තත්ත්වයයි.

කෙසේ වුවත්, 2022 වසර මැද සිට තත්ත්වය යහපත් අතට හැරෙන්නට පටන් ගත්තා. මුලින්ම වේගයෙන් අඩු වෙන්නට පටන් ගත්තේ වාණිජ බැංකු වල විදේශ වත්කම් හිඟයයි. 2023 පෙබරවාරි මාසයේදී වාණිජ බැංකු වල ශුද්ධ විදේශ වත්කම් ධන අතට හැරුණා. කෙසේ වුවත්, මහ බැංකුවේ විදේශ වත්කම් හිඟය වඩා විශාල වූ නිසා සමස්තයක් ලෙස බැංකු පද්ධතිය තුළ තිබුණේ විදේශ වත්කම් හිඟයක්.

මහ බැංකුව විසින් ටිකෙන් ටික විදේශ සංචිත ගොඩ නගා ගැනීම නිසා මේ වන විට සමස්තයක් ලෙස බැංකු පද්ධතිය තුළ විදේශ වත්කම් අතිරික්තයක් ඇති වී තිබෙනවා. මහ බැංකුවේ තව දුරටත් විදේශ වත්කම් හිඟයක් තිබුණත්, එම හිඟය ඉක්මවන විදේශ විණිමය අතිරික්තයක් මේ වන විට බැංකු පද්ධතිය තුළ තිබෙනවා. 

ගෙවුණු 2024 මැයි මාසය අවසන් වන විට, වාණිජ බැංකු සතුව රුපියල් බිලියන 322.0ක විදේශ වත්කම් අතිරික්තයක් පැවති අතර, එම අතිරික්තය මහ බැංකුවේ විදේශ වත්කම් හිඟය වූ රුපියල් බිලියන 248.0 ඉක්මවනවා. මේ අනුව, සමස්තයක් ලෙස බැංකු පද්ධතිය තුළ රුපියල් බිලියන 93.9ක අතිරික්තයක් වාර්තා වෙනවා.

මැයි මස අවසානයේදී ඩොලරයක මිල රුපියල් 301.8883ක්ය යන්න සැලකූ විට, මෙය ඩොලර් මිලියන 311ක පමණ අතිරික්තයක්. මෙයින් අදහස් වන්නේ අපහසුවකින් තොරව මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් හිඟය පියවාගෙන තවත් ඩොලර් මිලියන 311ක මුදලක් සංචිත වලට එකතු කර ගැනීම සඳහා අවශ්‍ය තරම් අතිරික්ත විදේශ විණිමය ප්‍රමාණයක් වාණිජ බැංකු පද්ධතිය තුළ එක්රැස් වී ඇති බවයි.

එසේනම් මහ බැංකුව විසින් බැංකු පද්ධතිය තුළ තිබෙන මෙම අතිරික්ත විදේශ විණිමය ප්‍රමාණය මිල දී නොගන්නේ ඇයි? 

මෙයට හේතු කිහිපයක් තිබෙනවා. පළමුව, මහ බැංකුව විසින් මේ වන විට ක්‍රියාත්මක කරන්නේ පාලිත පාවෙන විණිමය අනුපාත ක්‍රමයක්. එහිදී වෙළඳපොලට මැදිහත්වීම් කරන්නේ කලින් ප්‍රකාශයට පත් කර තිබෙන සංචිත ගොඩ නගා ගැනීමේ ඉලක්ක හා ගැලපෙන තරමට පමණයි. මහ බැංකුව විසින් "ඕනෑවට වඩා හදිස්සි නොවී" මාස්පතා යම් විදේශ සංචිත ප්‍රමාණයක් එකතු කර ගනිමින් ඉන්නවා. එම වේගයෙන් යාම වර්ෂාවසාන සංචිත ඉලක්කයට යාම සඳහා ප්‍රමාණවත් වනවා විය යුතුයි.

දෙවනුව, වෙළඳපොළෙන් විදේශ විණිමය මිල දී ගැනීමේදී රුපියල් නිකුත් කරන්නට සිදු වෙනවා. එම රුපියල් නැවත එකතු කර ගැනීමටනම් මහ බැංකුව සතු රාජ්‍ය සුරැකුම්පත් විකුණන්නට සිදු වෙනවා. මහ බැංකුව විසින් යම් පාලනයක් ඇතුව මෙය කරමින් සිටිනවා. ඕනෑවට වඩා වැඩියෙන් වෙළඳපොළට රාජ්‍ය සුරැකුම්පත් තල්ලු කළහොත්, පොලී අනුපාතික මත පීඩනයක් ඇති වෙන්න පුළුවන්. මහ බැංකුව විසින් පොලී අනුපාතික තව දුරටත් පහළ දමා ගැනීමේ උත්සාහයකද නිරතව සිටින බව පෙනෙන්නට තිබෙනවා.

ඒ අතරම, රුපියල් සැපයුම පාලනය කිරීම මගින් මෙම විදේශ විණිමය ආනයනකරුවන් විසින් මිල දී ගැනීමද මහ බැංකුව විසින් සාර්ථක ලෙස සීමා කර තිබෙනවා. ඒ නිසා, වාණිජ බැංකු පද්ධතිය තුළ විදේශ විණිමය එක්රැස් වෙමින් තිබෙනවා. දැනට මහ බැංකුව විසින් එම විදේශ විණිමය මිල දී ගන්නා බව පෙනෙන්නේ ඩොලරයක මිල පහළ වැටෙන්නට යද්දී පමණයි. 

එක පැත්තකින් විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම තුළ මැදිකාලීනව රජයේ විදේශ විණිමය අවශ්‍යතාව සීමා වී ඇති පසුබිමක, බැංකු පද්ධතියේ ශුද්ධ විදේශ වත්කම්ද වර්ධනය වීම මගින් කියා පාන්නේ සාර්ව ආර්ථික ප්‍රතිපත්තීන්හි අයහපත් හැරවුමක් සිදු නොවුවහොත් ඉදිරි කාලයේදී විණිමය අනුපාතය මත පීඩනයක් ඇති වීමේ කිසිදු ඉඩක් පෙනෙන්නට නොමැති බවයි. මෙම තත්ත්වය තුළ ඉක්මණින්ම වාහන ආනයනය සඳහා ඉඩ දිය හැකි පසුබිමක් ඇති වී තිබෙනවා. පවතින යහපත් තත්ත්වය ඉක්මණින් නරක අතට වෙනස් විය හැක්කේ ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලසුමට කිසියම් බාධාවක් පැමිණුනහොත් පමණයි. 

Saturday, July 20, 2024

විසි දෙවන සංශෝධනය කුමකටද?


විසි දෙවන සංශෝධනය ගැසට් කිරීම නිසා යම් කිසි ව්‍යාකූලත්වයක් ඇතැම් අය තුළ ඇති වී තිබෙනවා. විශේෂයෙන්ම මේ වෙලාවේ මේක එළියට දැම්මේ ජනාධිපතිවරණය නොපවත්වා ඉන්නද කියලා සැකයක් ඇතැම් අයට ඇති වී තිබෙනවා. 

මේ කරුණ සම්බන්ධව ආණ්ඩුව විසින් වගේම මැතිවරණ කොමිසම විසින්ද පැහැදිලි ප්‍රකාශ නිකුත් කරමින් ජනාධිපතිවරණය කල් දැමීමක් සිදු නොවන බව කියා තිබුණත්, එහෙමනම් මේ වෙලාවේ මේ සංශෝධනය එළියට ගත්තේ ඇයි කියන එක ගොඩක් අයට මතු වන සාධාරණ ප්‍රශ්නයක්. 

විසි දෙවන සංශෝධනයෙන් සිදු වෙන්නේ කුමක්ද?

ව්‍යවස්ථාවේ පෙළ වෙනස්වීම අනුවනම්, මෙය ඉතාම කුඩා සංශෝධනයක්. එයින් කෙරෙන්නේ ව්‍යවස්ථාවේ එක් වචනයක් වෙනස් කරන එක. නමුත් ඒ වචනය වෙනස් වීමේ සහ ඊට අදාළ ක්‍රියාවලියේ තිබෙන බලපෑම ඒ තරම්ම සරල නැහැ. 

රටේ ව්‍යවස්ථාදායකයට, එහෙමත් නැත්නම් පාර්ලිමේන්තුවට, අලුතෙන් නීති හැදීමේ, තිබෙන නීති ඉවත් කිරීමේ හා එම නීති සංශෝධනය කිරීමේ පූර්ණ බලය තිබෙනවා. නමුත් මේ වැඩේ කළ හැක්කේ දැනට පවතින නීති රාමුවට යටත්වයි. විශේෂයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමඟ නොගැටෙන නීතියක්නම් පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කර ගන්න පුළුවන්. ඊට පස්සේ ඒක රටේ නීතියක්. නමුත් කිසියම් නීතියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එක්ක ගැටෙනවානම් හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොටසක් වෙනස් කරන්න අවශ්‍යනම් ඒ සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය වෙනවා. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සමහර කොටස් වෙනස් කරන්න පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් තිබිලත් මදි. ඒ සඳහා ජනමතවිචාරණයක් තියලා මහජන කැමැත්ත විමසන්නත් වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ කොටස් සමඟ ගැටෙන වෙනත් නීතියකට වුනත් මේ කරුණ වලංගුයි.

මේ විදිහට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයට අමතරව ජනමතවිචාරණයක්ද පැවැත්විය යුතු වන්නේ ව්‍යවස්ථාවේ මොන කොටස් වලට බලපෑමක් වෙනවානම්ද කියන එක සඳහන් කරලා තියෙන්නේ 83 ව්‍යවස්ථාවේ. ඒ 83 ව්‍යවස්ථාවේ වචනයක් තමයි විසි දෙවන සංශෝධනයෙන් වෙනස් කරන්න යන්නේ. 

මේ විදිහට ජනමතවිචාරණයක් අවශ්‍ය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මොන කොටස් වලට බලපෑමක් වන විටද? 

කෙටියෙන් කිවුවොත් තත්ත්වයන් දෙකකදී ජනමතවිචාරණයක් අවශ්‍ය වෙනවා. පළමුව ශ්‍රී ලංකා රාජ්‍යයේ මූලික ස්වභාවය අර්ථ දක්වන ව්‍යවස්ථාවේ මුල් කොටස් වලට බලපෑමක් වෙනවානම්. ඒ කියන්නේ රටේ නම, ජාතික ගීය, ජාතික කොඩිය, රටේ නිදහස් දිනය, බුද්ධාගමට ප්‍රමුඛත්වය දිය යුතු බව වගේ දේවල්. මේවා ගැන සඳහන්ව තිබෙන්නේ 1-3 හා 6-9 ව්‍යවස්ථා වල. ඒ වගේම මූලික අයිතිවාසිකම් ගැන සඳහන් වන 10 හා 11 ව්‍යවස්ථා. 

දෙවනුව පාර්ලිමේන්තුවේ හෝ ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර හයකට වඩා වැඩි කරගන්නවානම් හෝ ඒ සම්බන්ධව සඳහන්ව ඇති 30(2) හා 62(2) අනුව්‍යවස්ථා සංශෝධනය කරනවානම් ජනමතවිචාරණයක් අවශ්‍ය වෙනවා.

දැන් මේ විදිහට ජනමතවිචාරණයක් නැතුව ඇතැම් වෙනස්කම් කළ නොහැකි බව සඳහන්ව තිබෙන්නේ 83 ව්‍යවස්ථාවේ නිසා එම 83 ව්‍යවස්ථාව වෙනස් කළොත් ඔය ඕනෑම එකක් වෙනස් කරන්න පුළුවන්නේ. 

අපි උදාහරණයක් විදිහට ඉඩමක් කාට හරි බලා ගන්න දෙනවා කියා හිතමු. ඒකේ පැත්තක වැටක් ගහලා වැටෙන් එහා කිසිම දෙයක් වෙනස් කරන්න එපා කියනවා. නමුත් වැට වෙනස් කරන්න එපා කියන්නේ නැහැ. දැන් ඔය වැඩේ අවුලක් තියෙනවනේ. අර ඉඩම බලා ගන්න පුද්ගලයාට මුලින් වැට වෙනස් කරලා ඊට පස්සේ වැටෙන් එහා තිබුණු දේවලුත් වෙනස් කරන්න පුළුවන්. 

ඔන්න ඔය හේතුව නිසා ඉහත කී ව්‍යවස්ථා වලට අමතරව 83 ව්‍යවස්ථාවත් ජනමතවිචාරණයක් නොතියා වෙනස් කළ නොහැකි බව එම 83 ව්‍යවස්ථාවේ සඳහන්ව තිබෙනවා. හැබැයි එහෙම සඳහන් කරන එකේ අරමුණ අර මුල් කාණ්ඩ දෙකේ ව්‍යවස්ථා වල තිබෙන විධිවිධාන සෘජු මහජන කැමැත්ත නැතිව වෙනස් කරන එක වලක්වන එක. 

දැන් 22 වන සංශෝධනයෙන් වෙන්නේ 83 ව්‍යවස්ථාව වෙනස් කරන එකනේ. 83 ව්‍යවස්ථාවේ පෙළ අනුව එම ව්‍යවස්ථාවේ විධිවිධාන වෙනස් කරන්නනම් ජනමතවිචාරණයක් තියන්න වෙනවා. ජනමතවිචාරණ කතාව එන්නේ ඔය විදිහටයි. හැබැයි ඉතිං නීතිය අර්ථ දක්වන්නේ සිංහල භාෂාවේ රීති හෝ තර්ක ශාස්ත්‍රයේ රීති අනුවම නෙමෙයි. මේ සංශෝධනය කරන්න ජනමතවිචාරණයක් අවශ්‍ය නැහැ කියලා නීති තර්ක ගේන්නත් පුළුවන්. අන්තිමට තීරණය දෙන්න පුළුවන් අධිකරණයටම තමයි. 

දැන් ඔය 83 ව්‍යවස්ථාව සංශෝධනය වෙලා නැහැනේ. දහනවවන සංශෝධනය ගේන කොට තිබුණෙත් ඔය 83 ව්‍යවස්ථාවමයි. එහි වචන අනුව, "30 වන ව්‍යවස්ථාවේ (2) වන අනුව්‍යවස්ථාවේ නැතහොත් 62 වන ව්‍යවස්ථාවේ (2) වන අනුව්‍යවස්ථාවේ විධිවිධාන සංශෝධනය කිරීම හෝ පරිච්ඡින්න කොට ප්‍රතියෝජනය කිරීම සඳහා" ජනමතවිචාරණයකින් ජනතාව විසින් අනුමත කළ යුතුයි. නමුත් දහනවවන සංශෝධනයෙන් 30(2) හා 62(2) සංශෝධනය කළේ ජනමතවිචාරණයක් තියන්නේ නැතිවයි.  ඒ මගින් ජනාධිපතිවරයාගේ හා පාර්ලිමේන්තුවේ ධුර කාලය වසර පහකට සීමා කළා.

මම දකින විදිහටනම් දහනවවන සංශෝධනයෙන් 30(2) හා 62(2) වෙනස් කරන්න ජනමතවිචාරණයක් නොතියපු එකේ මූලධාර්මික වැරැද්දක් නැහැ. මොකද පරමාධිපත්‍ය බලය තිබෙන මහජනතාව විසින් ඔවුන්ගේ නියෝජිතයින්ට දැනටම දී තිබෙන බලය සීමා කර ගන්න නැවත මහජනතාවගෙන් අහන්න අවශ්‍ය නැහැ. එහෙම අවශ්‍ය වෙන්නේ එම බලය පුළුල් කරගන්නවානම්. දහනවවන සංශෝධනයෙන් වුනේ ඒ වන විට තිබුණු බලය සීමා කර ගැනීමක්. 

දැන් ප්‍රශ්නය විසි දෙවන සංශෝධනයෙන් වෙන්නෙත් ඕකමනම් දහනවවන සංශෝධනයට අවශ්‍ය නොවුණු ජනමතවිචාරණයක් විසි දෙවන සංශෝධනයට අවශ්‍ය වෙන්නේ ඇයි කියන එක. රනිල් වික්‍රමසිංහ හා විජේදාස රාජපක්ෂ එවැනි ජනමතවිචාරණයක් අවශ්‍ය නොවන බව හිතන බව පේනවා. නමුත් ජයම්පති වික්‍රමරත්නට අනුව ජනමතවිචාරණයක් නොපවත්වා විසි දෙවන සංශෝධනය සම්මත කළ නොහැකියි. 

ඊළඟ ප්‍රශ්නය දහනවවන සංශෝධනය සම්මත කරගනිද්දී 83 සංශෝධනය නොකළේ ඇයි කියන එක. රනිල් වික්‍රමසිංහ කියන විදිහට මෙය ජයම්පති වික්‍රමරත්නට සිදු වූ අත්වැරැද්දක්. නමුත් ජයම්පති වික්‍රමරත්න කියන විදිහට මෙය හිතාමතා කරපු දෙයක්. එහෙම කරලා තියෙන්නේ ජනමතවිචාරණයකට යන්න වෙන එක වලක්වා ගන්න. ඒ අනුව, දහනවවන සංශෝධනයෙන් ජනාධිපතිවරයාගේ හා පාර්ලිමේන්තුවේ ධුර කාලය වසර හය සිට පහ දක්වා අඩු කර ගෙන තිබුණත්, 83 වෙනස් වී නැති නිසා එහි පෙළ අනුව නැවත එම ධුර කාලයන් වසර හයක් කරගැනීම සඳහා ජනමතවිචාරණයකට යන්න අවශ්‍ය නැහැ. මොකද ඒක සීමා කරගෙන නැහැ. දැන් විසි දෙවන සංශෝධනයෙන් කරන්න හදන්නේ ඒකත් සීමා කරගන්න එක. (විසි දෙවන සංශෝධනය නැතත්, තුනෙන් දෙකෙන් නැවත පහ හය කරගන්න බැරි වෙන්න පුළුවන්. මොකද එසේ කිරීමෙන් 30(2) හා 62(2) විධිවිධාන වලට බලපෑමක් වෙනවා. ලිපිය දිගු වන නිසා ඒ පැත්ත කතා කරන එක අත ඇරියා.)

සමහර විට රනිල් වික්‍රමසිංහ කියන ජයම්පති වික්‍රමරත්නගේ අත් වැරැද්ද 83 වෙනස් කරන්න ජනමතවිචාරණයක් අවශ්‍යයි කියලා මතයක් ඉදිරිපත් කළ එක වෙන්න පුළුවන්. ඒ අනුව, ඒ වෙලාවේ 83 වෙනස් නොකර හිටියත් දැන් හොයා බැලූ විට ජනමතවිචාරණයක් නොතියා අවශ්‍ය වෙනස කළ හැකි බව පේනවා වෙන්න පුළුවන්. එහෙම නැතුව මේ කියන්නේ 83 දැක්කේ නැහැ වගේ දෙයක් ගැනනම් ඒක වෙන්න බැරි තරමේ අත්වැරැද්දක්. ව්‍යවස්ථාවක් සංශෝධනය කරද්දී ඒ වගේ මූලික වැරැද්දක් වෙයි කියලා හිතන්න අමාරුයි. මොකද 83 කියන්නේ ප්‍රධානම ව්‍යවස්ථාවක්. 

කොහොම වුනත් මේ මට පේන විදිහ. මම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශේෂඥයෙක් නෙමෙයි. ඒ වගේම මේ හා අදාළ පැරණි ලේඛණ සියල්ල පරිශීලනය කරන්න අවස්ථාවක් ලැබිලත් නැහැ. විශේෂයෙන්ම දහනවවන සංශෝධනයට පෙර 30(2) හා 62(2) වෙනස් කළ හැකි ආකාරය ගැන අධිකරණයේ මතය. එහි මෙහි මට නොපෙනෙන දේවල් තියෙනවා වෙන්න පුළුවන්. ඒ වෙලාවේ  30(2) හා 62(2) වෙනස් කිරීමට ජනමතවිචාරණයක් අවශ්‍ය නොවූ හේතුව 83ට අදාළ නොවන හේතුවක් තියෙනවද? මේ ගැන අදහසක් ගන්න පුළුවන් අදාළ ලේඛණය පරිශීලනය කරන්න ලැබුනොත් පමණයි. 

කොහොම වුනත් විසි දෙවන සංශෝධනයට ජනමතවිචාරණයක් අවශ්‍යද කියලා අධිකරණයෙන් ඇහුවොත් අධිකරණයට ඒ ගැන තීරණයක් දෙන්න වෙනවා. දෙපැත්තටම නීති තර්ක ගේන්න පුළුවන් නිසා පිළිතුර නිසැක පිළිතුරක් නෙමෙයි. ඒ කියන්නේ තීරණයක් එන තුරු ජනමතවිචාරණයක් අවශ්‍ය නොවන බව නිශ්චිතව කියන්න බැහැ. වෙනත් විදිහකින් කිවුවොත් යම් ජනමතවිචාරණ අවදානමක් තියෙනවා.

නමුත් මේ වෙලාවේ ආණ්ඩුව ජනමතවිචාරණයකට යයිද? එහෙම දෙයක් කරයි කියලා හිතන එක කිසිසේත්ම තර්කානුකූල නැහැ. මෙතෙක් එකම ආණ්ඩුක්‍රම සංශෝධනයකදීවත් ජනමතවිචාරණයකට ගිහින් නැහැ. සියල්ලම තුනෙන් දෙකේ සීමාවෙන් ගොඩින් තමයි බේරාගෙන තියෙන්නේ. මෙතෙක් කරපු සංශෝධන එක්ක බලද්දී මේ සංශෝධනය හදිසි නැති, වැදගත්කමින් අඩු එකක්. එහෙමනම් ආණ්ඩුව හදිසියේ විසි දෙවන සංශෝධනය ගෙනාපු එකේ අරමුණ කුමක්ද?

රනිල් මේ සංශෝධනය පාර්ලිමේන්තුවට දමනවා ඇත්තේ තුනෙන් දෙක ගැන සැකයක් නැත්නම් පමණයි. ඒ කියන්නේ එය කොහොමත් පාර්ලිමේන්තුවේ සම්මත වෙනවා කියන එක. කැබිනට් මණ්ඩලයේ මතය අනුව මේ සඳහා ජනමතවිචාරණයක් අවශ්‍ය නැත්නම් සහ වෙන කවුරු හෝ අධිකරණයට යාමේ ප්‍රතිඵලයක් ලෙස අධිකරණය ජනමතවිචාරණයක් අවශ්‍ය වන බව කිවුවේ නැත්නම් එය ඉන් පසු ජනමතවිචාරණයකට යන්නේ නැහැ. 

මෙතැන වැදගත් දේ මේ එක්ක විපක්ෂයට මුහුණ දෙන්න වෙන අර්බුදය. මේ සංශෝධනයට විරුද්ධ වෙනවා කියන්නේ ධුර කාලය සීමා කරගන්න එකට විරුද්ඩ වීමක් නිසා ඒක කරන්න බැහැ. විරුද්ධ වීම සඳහා ඉදිරිපත් කළ හැකි ලොකුම හේතුව මේ වෙලාවේ ජනමතවිචාරණයක් තියන්න වෙන එකේ අවදානම ගන්න එක සුදුසු නැහැ කියන එක. නමුත් කවුරුවත් අධිකරණය වෙත ගියේ නැත්නම් ජනමතවිචාරණයක් තියන්න වෙන්නේ නැහැ. ජනමතවිචාරණයකට විරුද්ධව පෙනී ඉන්න අයෙකුට ජනමතවිචාරණයක් ඉල්ලලා අධිකරණයට යන්නත් බැහැ. 

විපක්ෂය අධිකරණයට ගිහින් අධිකරණය ජනමතවිචාරණයක් අවශ්‍යයි කියා තීරණය කළොත් අප්‍රසාදයට පත් වෙන්නේ අධිකරණයට ගිය එක. එහෙම ගියත් ගොඩක් වෙලාවට ජනමතවිචාරණයක් අවශ්‍ය නොවන බව කියන්න ඉඩ තියෙන නිසා අන්තිමට නිකම්ම නරක නම විතරක් ඉතිරි වෙන්න පුළුවන් වැඩක්. ඒ වගේම, එහෙම නොගියොත් ජනමතවිචාරණයක් තියන්න වෙනවා කියන තර්කය එසැණින් බොරු වෙනවා. ඒ නිසා සංශෝධනයට විරුද්ධව ඡන්දය දෙන්න හේතුවක් නැහැ. අවසාන වශයෙන් ගොඩක් අයට අකමැත්තෙන් හෝ රනිල් එක්ක හිටගන්න වෙන එක පමණක් සිදු වෙන්න පුළුවන්. 

ඊට අමතරව, අවශ්‍යනම් පහසුවෙන්ම තව අවුරුද්දක් ඉන්න පුළුවන්කම තියෙද්දී එහෙම නොකර මැතිවරණයට ඉදිරිපත් වුනා කියන කතාවත් රනිල්ට කියන්න පුළුවන්. මොකද 82 අනුව පහ හය කරගන්න ජනමතවිචාරණයක් අවශ්‍ය නැත්නම්, තුනෙන් දෙකකුත් තියෙනවා කියලා පෙන්නුවට පස්සේ ඒ කතාව පහසුවෙන් ගොඩක් අයට පිළිගන්වන්න පුළුවන්. හැබැයි ඔය වගේ සූපීන් වැඩ වලින් ජනමතයේ දැනෙන වෙනසක් වෙයිද කියන එක ප්‍රශ්නයක්. 

ගොඩක් ඉස්සර ඇමරිකාවෙත් විසි දෙවන සංශෝධනයක් තිබුණා. ඇමරිකන් ජනාධිපතිධුරයට එක් අයෙකුට පත් විය හැකි වාර ගණන දෙකකට සීමා කෙරුණේ ඒ සංශෝධනයෙන්. 

Friday, July 19, 2024

විසි දෙවන සංශෝධනය හා ජනාධිපතිවරණය


විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කරලා තිබෙනවා. මගේ අදහසනම් මේ සංශෝධනයෙන් ව්‍යවස්ථාවේ තිබෙන අවුලක් ලිහෙනවා හැර ප්‍රායෝගිකව වෙන කිසිම බලපෑමක් වෙන්නේ නැහැ කියන එකයි. මේ හා අදාළව අධිකරණ මැදිහත්වීමක් සිදු විය හැකියි. එසේ වුවත්, කලින් ලබා දී තිබෙන අධිකරණ තීන්දු අනුව, මේ සංශෝධනය සිදු කිරීම සඳහා ජනමතවිචාරණයක් තියන්න අවශ්‍ය වෙන එකක් නැහැ කියන එකයි මගේ අදහස. කොහොම වුනත්, මම ආණ්ඩුක්‍රම නීතිය පිළිබඳ විශේෂඥයෙක් නෙමෙයි.  [පසු සටහන. 83 ව්‍යවස්ථාව සැලකිල්ලෙන් කියවූ විට, ජනමතවිචාරණයක් තියන්න අවශ්‍ය වන බව පෙනී යනවා. මේ ගැන පසුව කතා කරමු.]

ජනාධිපතිවරණය සම්බන්ධව මෙයින් බලපෑමක් සිදු නොවන බවත්, ඒ හා අදාළ ගැසට් නිවේදනය ඉදිරි සතියේදී නිකුත් වනු ඇති බවත්, මැතිවරණ කොමිසමේ සභාපති විසින් දැනුම් දී තිබෙනවා. ඒ කියන්නේ ජූලි 26 දිනට පෙර ගැසට් නිවේදනය එනවා කියන එක. 

ජූලි 26 දිනට පෙර ගැසට් නිවේදනය ආවොත් අගෝස්තු 16ට පෙර නාම යෝජනා ගන්න වෙනවා. රාහු කාලය නිසා සිකුරාදා දවස් අත ඇරියොත් අගෝස්තු 12-15 අතර දවසක. ලබන සතියේ සඳුදා හෝ අඟහරුවාදා ගැසට් නිවේදනය නිකුත් කළොත් පමණක් අගෝස්තු 7 හෝ 8 මේ වැඩේ වෙන්න පුළුවන්. 

ඒ අනුව, ලබන සතියේ ගැසට් නිවේදනය නිකුත් වුනොත්, සැප්තැම්බර් 26ට පෙර ජනාධිපතිවරණය තියන්න වෙනවා. පෝය දවසට පසු දින නිසා සැප්තැම්බර් 18ත් අත ඇරියොත්, සැප්තැම්බර් 19-26 අතර දවසක තමයි ජනාධිපතිවරණය තියන්න වෙන්නේ. 

ජනාධිපතිවරණයක් සාමාන්‍යයෙන් තියන්නේ සෙනසුරාදා හෝ සතියේ නිශ්චිත දවසකද? එහෙම එකක් නැහැ. සෙනසුරා ලබපු අන්තිම ජනාධිපතිවරණය තිබ්බේ සෙනසුරාදා දවසක වුනත්, ඊට පෙර ජනාධිපතිවරණ සියල්ලම පවත්වා තිබෙන්නේ සතියේ දින වල. මෙතෙක් ජනාධිපතිවරණ පවත්වා නැත්තේ ඉරිදා සහ සිකුරාදා දවස් වල පමණයි.  

1982 ඔක්තෝබර් 20 - බදාදා 

1988 දෙසැම්බර් 19 - සඳුදා

1994 නොවැම්බර් 9 - බදාදා

1999 දෙසැම්බර් 21 - අඟහරුවාදා

2005 නොවැම්බර් 17 - බ්‍රහස්පතින්දා

2010 ජනවාරි 26 - අඟහරුවාදා

2015 ජනවාරි 8 - බ්‍රහස්පතින්දා

2019 නොවැම්බර් 16 - සෙනසුරාදා

මට හිතෙන්නේ බ්‍රහස්පතින්දා දවස් වන සැප්තැම්බර් 19 හා 26 දවස් වලට ටිකක් බර වැඩියි කියලා. ප්‍රතිඵලය අවිනිශ්චිත වූ 2005 සහ 2015 ජනාධිපතිවරණ තියලා තියෙන්නේ බ්‍රහස්පතින්දා දවස් වල. බ්‍රහස්පතින්දා ජනාධිපතිවරණය තිබ්බොත් ප්‍රතිඵල එන්නේ සිකුරාදා. රට සන්සුන් වෙන්න සති අන්තය තියෙනවා. 

Thursday, July 18, 2024

ලෝකයටම ලණු දෙන රටක ලණු දෙන්නෝ සහ ලණු කන්නෝ


ඉස්සර ලංකාවේ ප්‍රධාන අපනයන විදිහට අපි ඉගෙන ගත්තේ තේ, රබර් හා පොල්. දැන් ලංකාව මේ දේවල් ඒ විදිහටම අපනයනය කරන්නේ නැහැ. විශේෂයෙන්ම රබර් හා පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කරන්නේ රට ඇතුළේ අගය එකතු කරලා. 

ලංකාව ලෝකයටම වගේ කොහු ලණු අපනයනය කරනවා. ලංකාවේ කොහු ලණු වලට ලෝකය පුරාම හොඳ ඉල්ලුමක් තිබෙනවා. පසු ගිය 2023 වසරේදී ලංකාව ලෝකයේ රටවල් 111කට කිලෝග්‍රෑම් 408,370,302ක කොහු ලණු හා එම කාණ්ඩයේ අනෙකුත් නිෂ්පාදන අපනයනය කර එමගින් ඩොලර් මිලියන 172ක (හරියටම ඩොලර් 171,964,416ක) විදේශ විණිමය ප්‍රමාණයක් උපයාගෙන තිබෙනවා. ලංකාව ලණු දීපු නැති රටක් ලෝකයේම නැති තරම්!

ගිය අවුරුද්දේ ලංකාව වැඩියෙන්ම ලණු දී තිබෙන්නේ චීනයටයි. එම ප්‍රමාණය කිලෝග්‍රෑම් 89,301,836ක්. එමගින් උපයා තිබෙන විදේශ විණිමය ප්‍රමාණය ඩොලර් මිලියන 20.4ක් (හරියටම ඩොලර් 20,381,674ක්). මෙක්සිකෝවට ලණු දී තිබෙන්නේ මීට වඩා අඩුවෙන් වුනත් (කිලෝග්‍රෑම් 43,676,320ක්), වැඩිම විදේශ විණිමය ප්‍රමාණයක් උපයා තිබෙන්නේ මෙක්සිකෝවට ලණු දීලයි. එම ආදායම ඩොලර් මිලියන 23ක් (ඩොලර් 22,978,180ක්). ජපානයට කිලෝග්‍රෑම් 35,566,195ක ලණු දී ඩොලර් මිලියන 11.1ක (ඩොලර් 11,082,593ක) ආදායමක් උපයාගෙන තිබෙනවා.

උඩ ඡායාරූපයේ දැකිය හැක්කේ ජපානයේ විකුණන්නට තිබෙන ලංකාවේ නිපදවනු ලැබූ ලණු කැරලි. මේවා විකුණන්නට තිබෙන්නේ ජපානය පුරා ව්‍යාප්තව ඇති, යෙන් 100ක මිලකට බඩු විකුණන (ඇමරිකාවේ ඩොලර් කඩ හා එක්සත් රාජධානියේ පවුම් ෂොප් වැනි), දයිසෝ නම් සිල්ලර වෙළඳසැල් ජාලයකයි.

මෙහි නිෂ්පාදකයාගේ නම කියවා ගන්න අසීරුයි. කියවා ගත හැකි පරිදි මෙය නිපදවා තිබෙන්නේ වේයන්ගොඩ, නයිවල, කොළඹ පාරේ, අංක 379/4 දරන ලිපිනයේ ඇති (හෝ ඊට කිට්ටුවෙන් යන නමක් සහිත ලිපිනයක ඇති) කොයිල් ප්‍රොඩක්ට්ස් (පුද්ගලික) සමාගම හෝ ඊට කිට්ටු නමක් තිබෙන ආයතනයකයි. බොහෝ විට මුලින් තවත් වචනයක් ඇති.

කොහු ලණු හදන්න අවශ්‍ය අමුද්‍රව්‍ය ලංකාවේ තිබෙන්නේ සීමිත ප්‍රමාණයක්. ඒ ටිකෙන් ලණු හැදිය හැක්කේත් සීමිත ප්‍රමාණයක්. ඒ ටිකෙන් වැඩි කොටසක් අපනයනය කළ විට ලංකාවේ අවශ්‍යතා සඳහා ලණු හිඟ වෙනවා. නමුත් කොහු ලණු වලින් කළ හැකි දේ කරන්න හැම විටම කොහු ලණුම අවශ්‍ය නැහැ. අඩු මිලකට ප්ලාස්ටික් ලණු මිල දී ගත හැකිනම් බොහෝ දෙනෙක් කොහු ලණු වෙනුවට ප්ලාස්ටික් ලණු මිල දී ගන්නවා. ඒ ප්ලාස්ටික් ලණු ආනයනය කරනවා වෙන්න පුළුවන්.

කොහු ලණුවක් අවශ්‍ය වැඩේ ප්ලාස්ටික් ලණුවකින් කරගත් විට බොහෝ දෙනෙකු අතේ මුදල් ඉතිරි වෙනවා. එය පාරිභෝගිකයින්ට වාසියක්. අනෙක් පැත්තෙන් කොහු ලණු නිෂ්පාදකයින්ට ඔය ලණු රට ඇතුළේ විකුණලා ගන්න බැරි මුදලක් ඒවා අපනයනය කරලා ලබා ගන්න පුළුවන්. ඒ නිසා මේ වැඩෙන් පාරිභෝගිකයින්ට වගේම නිෂ්පාදකයින්ටත් වාසියි. 

කොහු ලණු අපනයනය කරලා උපයා ගන්නා විදේශ විණිමය වැය කරලා ප්ලාස්ටික් ලණු ගේන එකෙන් අවශ්‍ය වැඩෙත් වෙලා තව අමතර විදේශ විණිමය ප්‍රමාණයක් ඉතිරි වෙනවා. ඕක තමයි ජාත්‍යන්තර වෙළඳාමේ තියෙන වාසිය. එහෙම නැතුව රටට අවශ්‍ය ලණු රටේම හදාගන්න ගියොත් පාරිභෝගිකයින්ට, නිෂ්පාදකයින්ට වගේම අන්තිමේදී රටටත් වෙන්නේ අවාසියක්. එහෙම ලණුනම් කන්න එපා!

ජනාධිපති හටන


තවමත් නිල වශයෙන් ලංකාවේ ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කර නැහැ. නමුත් රටේ පවතින නීතිය අනුව, තවත් මාස තුනක් ඇතුළත (ඔක්තෝබර්ජ 16 දිනට පෙර) ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි. 

නීතිය අනුව, ඊයේ (ජූලි 17) සිට, ඕනෑම මොහොතක මැතිවරණ කොමිසමට ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ හැකියි. මැතිවරණ කොමිසමේ සභාපතිට අනුව මේ මාසය අවසන් වීමට පෙර එම කාර්යය සිදු වීමට නියමිතයි. ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව උපරිම වශයෙන් දින 63ක කාලයක් ඇතුළත එම මැතිවරණය පැවැත්විය යුතුයි. ඒ අනුව, අනපේක්ෂිත දෙයක් සිදු නොවුවහොත්, සැප්තැම්බර් මාසයේ අවසාන සති දෙක ඇතුළත ජනාධිපතිවරණය පවත්වනු ලැබීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා.

මෙම ජනාධිපතිවරණය පිළිබඳව මීට පෙර කිසිදු ජනාධිපතිවරණයකට පෙර නොපැවති තරමේ උනන්දුවක් දැකිය හැකියි. ඊට පැහැදිලි හේතු තිබෙනවා. ඒවා කවුරුත් දන්න නිසා වීස්තර කරන්න අවශ්‍ය නැහැ. 

ආර්ථිකය ගැන කතා කරද්දී මෙන් නොව දේශපාලනය ගැන කතා කරද්දී මත ගැටුම් වලට වැඩියෙන් මුහුණ දෙන්න වෙනවා. විශේෂයෙන්ම මැතිවරණයක් ආසන්න වෙද්දී. ඉදිරියේදී මේ තත්ත්වය තවත් වර්ධනය වීමට නියමිත නිසා දේශපාලනයට සම්බන්ධ මාතෘකා ගැන කතා කරන එක කල් දමන එකේ තේරුමක් නැහැ. 

ලේඛකයා දේශපාලන විශ්ලේෂකයෙක් නොවුනත්, දේශපාලන විශ්ලේෂණ කියන්නෙත් ආර්ථික විශ්ලේෂණ වලම කොටසක්. ආර්ථික විද්‍යාව කියා කියන්නේ පුද්ගල චර්යාවන් ගැන හදාරන විද්‍යාවක්. සමහර අය හිතාගෙන ඉන්න විදිහට මුදල් ගැන හෝ ලාබ ගැන පමණක් හදාරන විද්‍යාවක් නෙමෙයි. ආර්ථික විද්‍යාවේදී මුදල් ගැන හැදෑරීමක් සිදු වෙන්නෙත් පුද්ගල චර්යාවන් ගැන හැදෑරීමේ දිගුවක් වීදිහටයි. ආර්ථික විද්‍යාවේදී ගොඩක් වෙලාවට වෙළඳපොළ ගැන කතා කරන්නේ වෙළඳපොලක් කියන්නේ පුද්ගල චර්යාවන්ගේ පිළිබිඹුවක් නිසා.

ජනාධිපතිවරණයක් හෝ වෙනත් මැතිවරණයක් කියා කියන්නෙත් හරියටම පුද්ගල චර්යාවන්ගේ පිළිබිඹුවක්. ඒ නිසා, ආර්ථික විද්‍යාවේ මූලධර්ම යොදාගෙන ජනාධිපතිවරණයක් ගැනත් විශ්ලේෂණය කරන්න පුළුවන්. ඊට අමතරව, මැතිවරණ ප්රතිඵල පුරෝකථනය කිරීම්දී යොදා ගන්නේ ආර්ථිකමිතියේදීද යොදා ගන්නා සංඛ්‍යානමය ආකෘති හා ක්‍රමවේද. ඒ නිසා, ඔය විෂයයන් ගැන තිබෙන පොඩි පුහුණුව අනුසාරයෙන් සහ ප්‍රසිද්ධ අවකාශයේ තිබෙන තොරතුරු යොදා ගනිමින් ජනාධිපතිවරණය ගැන යම් විශ්ලේෂණයක් කරන එක අමාරු වැඩක් නෙමෙයි.

මේ ජනාධිපතිවරණයේදී උදෙන්ම අවදි වූ කුරුල්ලෙක් ඉන්නවා. ඒ අනුර කුමාර දිසානායක. හරියටම කිවුවොත් අනුර කුමාර දිසානායක උදෙන්ම අවදි වූ කුරුල්ලෙකුත් නෙමෙයි. අවදි වෙන්න නිදා ගන්න ඕනෑනේ. ජනාධිපතිවරණය හා අදාළව අනුර කුමාර දිසානායක කියන්නේ රෑ එළිවන තුරු නිදි වරා අවදිව සිටින කුරුල්ලෙක්. උදෙන්ම අවදි වූ කුරුල්ලා කියා කියන්න පුළුවන් දෙවනුව පිටියට බැහැපු සජිත් ප්‍රේමදාසටයි. 

මැතිවරණ සමීක්ෂණ ලංකාවට සාමාන්‍ය දෙයක් නෙමෙයි. නමුත් මෙවර එක් ආයතනයක් විසින් මාස ගණනාවක් පුරා ජනාධිපතිවරණය පිළිබඳව සමීක්ෂණයක් සිදු කරනවා. එහි ප්රතිඵල අනුව ඉදිරියෙන්ම සිටින්නේ අනුර හා සජිත්. රනිල් වික්‍රමසිංහ දුරස්ථ තෙවන ස්ථානයක ඉන්නවා.

බොහෝ දෙනෙක් රනිල් වික්‍රමසිංහව ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස හඳුනාගෙන ඇතත් ඔහු තවමත් ඒ බව පැහැදිලි ලෙස නිවේදනය කර නැහැ. ජනාධිපතිවරණ තරඟය තුළ රනිල් වික්‍රමසිංහ කියන්නේ තවමත් අවදි නොවූ කුරුල්ලෙක්. සමහර විට හොරට නිදාගෙන ඉන්න කුරුල්ලෙක් වෙන්නත් පුළුවන්. 

ප්‍රමුඛ අපේක්ෂයින් දෙදෙනා අතර නැතත්, මේ මොහොතේ අපේක්ෂයෙක් විදිහට වැඩි අවධානයක් යොමු වී තිබෙන බව පෙනෙන්නේ රනිල් වික්‍රමසිංහ වෙතයි. මොකක් හෝ ගේමක් ගසා ඔහු අනෙක් අපේක්ෂකයින් අභිබවා ඉදිරියට එනු ඇතැයි ඔහුට කැමැත්තක් දක්වන අය හිතාගෙන ඉන්නවා. ඒ වගේම, ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයේ ඉන්න මාලිමා කණ්ඩායමත් රනිල්ව අභියෝගයක් විදිහට භාරගෙන තිබෙනවා. රනිල් වික්‍රමසිංහගේ හැසිරීම් අනුව වුනත් ජනාධිපතිවරණය ජයගැනීම පිළිබඳ යම් විශ්වාසයක් පේන්න තිබෙනවා. මේ තත්ත්වය සමීක්ෂණ වාර්තා සමඟ ගැලපිය හැක්කේ කොහොමද?

සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ ජනමත සමීක්ෂණ මත පදනම් වූ අලුත්ම (2024 ජූනී 24 දත්ත මත පදනම්ව, 2024 මැයි මාසය සඳහා ඉදිරිපත් කළ) ඇස්තමේන්තුව අනුව, ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ ශක්තිය පහත පරිදියි.

අනුර කුමාර දිසානායක - 39%

සජිත් ප්‍රේමදාස - 38%

රනිල් වික්‍රමසිංහ - 15%

පොහොට්ටුවේ අපේක්ෂකයා - 7%

පළමු ප්‍රශ්නය මේ ඇස්තමේන්තු කොයි තරම් නිවැරදිද?

කෙටි පිළිතුර ජනාධිපතිවරණ ප්‍රතිඵලයේ දිශානතිය පිළිබඳව අදහසක් ගන්න තරම් නිවැරදියි. නමුත් හරියටම නිවැරදි නැහැ. 

මේ විදිහට ඉදිරිපත් කර තිබෙන්නේ අදාළ ආයතනය විසින් එකතු කරගත් "අමු" සමීක්ෂණ ප්‍රතිඵල නෙමෙයි. ඒවා ඇසුරෙන් එම ආයතනය විසින් සකස් කළ ඇස්තමේන්තු. එවැනි ඇස්තමේන්තු සකස් කළ හැකි සංඛ්‍යානමය ආකෘති හා ක්‍රමවේද පරිපූර්ණ නැහැ. අදාළ ආයතනයට අනුවම මෙම ඇස්තමේන්තු වල 1%-4% අතර වරදක් තිබිය හැකියි. මගේ පෞද්ගලික අදහසනම් ඉහත ඇස්තමේන්තු වල ඇස්තමේන්තු වරද ඊටත් වඩා වැඩි විය යුතු බවයි.

පහත තියෙන්නේ ඉහත ආයතනය විසින් තෙමසකට පෙර, 2024 මාර්තු 24 දත්ත මත පදනම්ව, 2024 පෙබරවාරි මාසය සඳහා ඉදිරිපත් කළ ඇස්තමේන්තු. 

අනුර කුමාර දිසානායක - 53%

සජිත් ප්‍රේමදාස - 34%

පොහොට්ටුවේ අපේක්ෂකයා - 7%

රනිල් වික්‍රමසිංහ - 6%

මෙම ඇස්තමේන්තු හා අලුත් ඇස්තමේන්තු සංසන්දනය කළහොත් පෙනී යන්නේ අනුර කුමාර දිසානායකගේ ඡන්ද ප්‍රතිශතය තෙමසක් තුළ 15%කින් පහත වැටී රනිල් වික්‍රමසිංහගේ ඡන්ද ප්‍රතිශතය 9%කින් ඉහළ ගොස් ඇති බවයි. සජිත් ප්‍රේමදාසගේ ඡන්ද ප්‍රතිශතයද 4%කින් ඉහළ ගොස් තිබෙනවා.

කෙසේ වුවත්, සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් අලුත් ඇස්තමේන්තු ප්‍රකාශයට පත් කරද්දී පෙර ඉදිරිපත් කළ ඇස්තමේන්තුද සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව, 2024 පෙබරවාරි මාසයේදී පැවති මහජන කැමැත්ත පහත ආකාරයෙන් වෙනස් වී තිබෙනවා. 

අනුර කුමාර දිසානායක - 46%

සජිත් ප්‍රේමදාස - 38%

රනිල් වික්‍රමසිංහ - 8%

පොහොට්ටුවේ අපේක්ෂකයා - 8%

මේ අනුව පැහැදිලි වන පරිදි, සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් පෙබරවාරි මාසයේදී ඉදිරිපත් කළ ඇස්තමේන්තු අනුව අනුර කුමාර දිසානායක හා සජිත් ප්‍රේමදාස අතර ඒ වන විට 18%ක පරතරයක් තිබුණත්, දැන් ඔවුන් කියන විදිහට ඒ වෙද්දී ඇත්තටම තිබී ඇති පරතරය එයින් තුනෙන් එකක් එනම් 6%ක් පමණයි!

ඉහත ඇස්තමේන්තු වල ඇස්තමේන්තු වරද 1%-4% මට්ටමට වඩා වැඩි බව තේරුම් ගැනීමට මේ වෙනස වුවද ප්‍රමාණවත් විය යුතුයි. මෙය එම ආයතනය විසින් හිතාමතා කළ වරදක් කියා මා කියන්නේ නැහැ. මෙය මෙවැනි සංඛ්‍යානමය ආකෘති ඇසුරෙන් පුරෝකථන සිදු කිරීමේදී සාමාන්‍යයෙන් සිදු විය හැකි දෙයක්. 

මෙම ඇස්තමේන්තු වැනි වෙනත් ඇස්තමේන්තුද තිබේනම් අප‍ට එක් සංඛ්‍යානමය ආකෘතියක තිබිය හැකි වැරදි වෙනත් සංඛ්‍යානමය ආකෘතියක් සමඟ සසඳන්න පුලුවන්. එහෙත් ලංකාවේ වෙනත් මෙවැනි ජනමත සමීක්ෂණ සිදු වන්නේ නැහැ. 

අඩුපාඩු තිබුණත්, මෙම සමීක්ෂණ ප්‍රතිඵල අනුව දැනට ජනමතය වෙනස්වන ආකාරය ගැන අදහසක් ගන්න පුළුවන්. මාලිමාවට තිබුණු සහයෝගය අඩුවෙමින් තිබීම සහ සජිත්ගේ හා රනිල්ගේ ජනප්‍රියතාවය ඉහළ යමින් තිබීම එසේ පැහැදිලිව හඳුනාගත හැකි එක් ප්‍රවණතාවක්.

සුදත්ත තිලකසිරි විසින් රට පුරා කරගෙන යන අවිධිමත් සමීක්ෂණ මාලාවෙන්ද ඉහත ප්‍රවණතා පිළිබිඹු වෙනවා. ඊට අමතරව, වෙරිටේ රිසර්ච් ආයතනය මගින් සිදු කරන සමීක්ෂණ මාලාවක ප්‍රතිඵලය අනුව රජයේ ප්‍රතිපත්ති අනුමත කරන ප්‍රමාණය කෙටි කලක් තුළ කිහිප ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා. එය සෘජුව ජනාධිපතිවරණය හා සම්බන්ධ වූ සමීක්ෂණයක් නොවුනත්, ඉහත සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ හා සුදත්ත තිලකසිරිගේ සමීක්ෂණ ප්‍රතිඵල හා ගැලපෙනවා. විධිමත් ක්‍රමවේදයක් නොවුනත්, පෞද්ගලිකව ඇසුරු කරන විවිධ දේශපාලනික අදහස් දරන නියැදියක් හා කතා කරද්දී නිරීක්ෂණය වන ඔවුන්ගේ ජනමතයද මේ ප්‍රවණතා පෙන්නුම් කරනවා. ඒ නිසා, වඩා හොඳ ඇස්තමේන්තුවක් නොමැති තත්ත්වයක් යටතේ විශ්ලේෂණයක් සඳහා පාදක කරගන්නට වෙන්නේ සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ අලුත්ම ඇස්තමේන්තුවයි. 

සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ ක්‍රමවේදයේ තිබෙන ප්‍රධානම අඩුපාඩුවක් සේ සැලකිය හැක්කේ "හතරටම නැති" කොටස බැහැර කර තිබීමයි. සුදත්ත තිලකසිරිගේ අවිධිමත් සමීක්ෂණ අනුව, යම් අඩුවීමක් දැකිය හැකි වුවත්, මෙම කොටස මේ වන විටද අවම වශයෙන් 25%ක් පමණ වෙනවා. එම කොටස ඉවත් කළ විට දැකිය හැක්කේ පහත තත්ත්වයයි.

අනුර කුමාර දිසානායක - 29%

සජිත් ප්‍රේමදාස - 28%

රනිල් වික්‍රමසිංහ - 11%

පොහොට්ටුවේ අපේක්ෂකයා - 5%

වෙනත් - 25%

මෙම ඇස්තමේන්තු වල ඇස්තමේන්තු වරද සැලකිය යුතු තරම් විශාල විය හැකි වුවත්, පහත නිරීක්ෂණ නිවැරදි නොවන තරමට විශාල විය නොහැකියි. එම නිරීක්ෂණ මේවායි.

1. දැනට පවතින තත්ත්වය තුළ කිසිදු අපේක්ෂකයෙකුට මුළු ඡන්ද ප්‍රමාණයෙන් 50%ක් ලබා ගැනීමේ හැකියාවක් නැහැ. එයින් අදහස් වන්නේ දෙවන හා තෙවන මනාප ගණන් කරන්නට සිදු විය හැකි බවයි.

2. ඉදිරියෙන් සිටින අපේක්ෂකයින් දෙදෙනා වන්නේ අනුර කුමාර දිසානායක හා සජිත් ප්‍රේමදාසයි. රනිල් වික්‍රමසිංහ ඔවුන් දෙදෙනාට කිට්ටුවක නැහැ.

දැනට පවතින තත්ත්වය තුළ රනිල් වික්‍රමසිංහට දෙවන වටයට යාමේ හැකියාවක් නැහැ. ජනාධිපති ධුරයට පත් විය හැක්කේ දෙවන වටයට යා හැකි අපේක්ෂකයන් දෙදෙනාගෙන් අයෙකුට පමණයි.

කෙසේ වුවත්, රනිල් වික්‍රමසිංහට නැවත ජනාධිපති වීමේ අපේක්ෂාවක් ඇති බව පෙනෙනවා. සජිත් ප්‍රේමදාසට හා අනුර කුමාර දිසානායකටද එවැනි අපේක්ෂා තිබෙන බව පැහැදිලි හා ප්‍රකාශිත කරුණක්. ඔවුන්ගෙන් අයෙකු අභිබවා පළමු අපේක්ෂයින් දෙදෙනා අතරට පැමිණීමේ හැකියාවක් රනිල් වික්‍රමසිංහට තිබේද?

මේ සඳහා රනිල් වික්‍රමසිංහට යම් හැකියාවක් තිබුණේනම් එය වේගයෙන් ක්ෂය වෙමින් යනවා. එයට ප්‍රධානම හේතුව ඔහු තවමත් තමන්ගේ අපේක්ෂකත්වය ප්‍රකාශයට පත් කර තරඟයට අවතීර්ණ වී නොසිටීමයි. කෙසේ වුවත්, එය ඔහුට තනිව කළ නොහැක්කක්. යම් හෝ බලාපොරොත්තුවක් තියා ගන්නටනම් ඔහුට කළ එළි බසින්නට වෙන්නේ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පොහොට්ටුවේ පූර්ණ සහයෝගය ලබන අපේක්ෂකයෙකු ලෙසයි.

එජාපය කියන්නේ පසුගිය මහ මැතිවරණයේදී 2% මට්ටමට වැටුණු පක්ෂයක්. මාලිමාව හා සජබය හා සසඳන විට එජාපය සතුව මේ වන විට රට පුරා ව්‍යාප්ත වූ සංවිධාන යාන්ත්‍රණයක් නැති තරම්. ඒ නිසා, පොහොට්ටුවේ පූර්ණ සහයෝගය නොමැතිව මුල් තැන් දෙකෙන් එකකට පැමිණීම රනිල් වික්‍රමසිංහට හිතන්නවත් බැරි දෙයක්. පොහොට්ටුවේ පූර්ණ සහයෝගය ලැබුනහොත් තත්ත්වය වෙනස් වෙනවා. එහෙත්, එය අනිවාර්ය අවශ්‍යතාවයක් මිසක් ප්‍රමාණවත් අවශ්‍යතාවයක් නෙමෙයි. 

ලංකාවේ ඡන්දදායකයින් බහුතරය සාමාන්‍යයෙන් ඡන්දය භාවිතා කරන්නේ "හානිය අවම කර ගැනීමේ" පදනම මතයි. "වාසි බලාගෙන" ඡන්දය භාවිතා කිරීම අදාළ වන්නේ ඡන්දදායකයින්ගෙන් සීමිත කොටසකට පමණයි.

මේ හේතුව නිසා, ප්‍රධාන පක්ෂ දෙක අතර ඡන්ද බෙදී ගොස් තිබුණු දිගු කාලය තුළ බොහෝ විට සිදු වුනේ දිනන්නට ඉඩ නැති පක්ෂයට සහයෝගය දැක්වූ සැලකිය යුතු පිරිසක් ඡන්දය දීමෙන් වැළකීම තුළ අනෙක් පක්ෂයේ ඡන්ද ප්‍රතිශතය ඉහළ යාමයි. එසේ ඡන්දය නොදී සිටීම මගින් තමන් මුලින් සහයෝගය දැක්වූ පක්ෂයෙන් කැඩෙන කොටස් වෙනත් පක්ෂයක් වෙත ආකර්ෂණය වීම යම් කාලයකට පසුව සිදු වූ දෙයක්. පාවෙන ඡන්දදායකයින් කියන්නේ මේ චක්‍රය මැතිවරණ චක්‍රයට වඩා කෙටි කාලයකින් සම්පූර්ණ කරන අයයි.

ඉහත හේතුව නිසා ඡන්ද ප්‍රචාරණ කටයුතු වලදී බොහෝ විට ප්‍රමුඛ උපාය මාර්ගය වන්නේ ප්‍රතිවිරුද්ධ පිලේ ඡන්දදායකයින් ආකර්ෂණය කර ගැනීම නොව තමන්ගේ පිලේ සිටින ඡන්දදායකයින් දිගටම රඳවා ගැනීමයි. මෙය සාර්ථක උපාය මාර්ගයක්. 

කාලයක් තිස්සේ සිදු වුනේ කුමක් හෝ නිසා තමන්ගේ පිලෙන් තාවකාලිකව ඉවත් වන ඡන්දදායකයින්ගෙන් කොටසක් අනෙක් ප්‍රධාන පක්ෂය වෙත විතැන් වීමයි. නමුත් මෙවර කෙටිකලක් තුළ ප්‍රධාන පක්ෂ දෙකම අසාර්ථක වීම නිසා පොහොට්ටුවෙන් විතැන් වූ සැලකිය යුතු කොටසක් මාලිමාව වෙත විතැන් වුනා. මාලිමාව දිගින් දිගටම වෙර දරන්නේ එම පිරිස දිගටම තමන් සමඟ රඳවා ගැනීමටයි.

මාලිමාව වෙත විතැන් වී ඇති පිරිසට අමතරව යම් පොහොට්ටු ඡන්ද ප්‍රමාණයක් සජබ වෙතද විතැන් වී ඇති අතර රනිල්ගේ 15% (හෝ 11%) කියන්නේද වැඩි වශයෙන්ම පොහොට්ටු ඡන්දයි. මේ ඡන්ද ජනධිපතිවරණයකදී රනිල් වික්‍රමසිංහට ලැබෙනු ඇති නමුත් ඉන් පසුව පැවැත්වෙන මහ මැතිවරණයකදී එජාපයට ලැබේයයි සිතිය නොහැකියි. කෙසේ වුවද, ඔය කිසිම ගොඩකට ගොස් නැති, පොහොට්ටු ඡන්දද සැලකිය යුතු ප්‍රමාණයක් තවමත් තිබෙන බව මගේ අදහසයි.

සුදත්ත තිලකසිරිගේ සමීක්ෂණ වලදී "වෙනත්" ගොඩට වැටෙන ඡන්ද සියල්ලම නොවුනත් එයින් සැලකිය යුතු කොටසක් පොහොට්ටු ඡන්දයි. මේ අයට තිබෙන ප්‍රශ්නය තමන් තවමත් පොහොට්ටුව සමඟ බව කටක් ඇර ප්‍රසිද්ධියේ කියන්නට බැරි තරමේ සමාජ පීඩනයක් තවමත් තිබීමයි. මීට අමතරව, සුදත්ත තිලකසිරිගේ සමීක්ෂණ වලදී මෙන්ම සෞඛ්‍ය ප්‍රතිපත්ති සමීක්ෂණ ආයතනයේ ජනමත සමීක්ෂණ වලදීදීද අන්තර්ජාලය හෝ ජංගම දුරකථන පරිශීලනය නොකරන, වයස්ගත හා ග්‍රාමීය කොටස් ප්‍රමාණවත් තරමින් නියෝජනය වෙන්නේ නැහැ. එම කණ්ඩායම් අතර තවමත් පොහොට්ටුව සමඟ රැදී සිටින පිරිස් සිටින්නට වැඩි ඉඩක් තිබෙනවා. 

දැනට අකර්මන්‍ය වී තිබුණත් පොහොට්ටුව සතුව රට පුරා පැතිරුණු සංවිධාන ජාලයක් තිබෙනවා. එහි පහළ ස්ථරයට රෙද්දක් ඇඳගෙන ජනතාව වෙත යාමට තිබුණු නොහැකියාව මේ වෙද්දී රනිල් වික්‍රමසිංහ විසින් යම් තරමකින් නැති කර තිබෙනවා. එම යාන්ත්‍රණය රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් සක්‍රිය වුවහොත්, රනිල් වික්‍රමසිංහ හා ඉදිරි පෙළ අපේක්ෂකයින් දෙදෙනා අතර පරතරය විශාල ලෙස අඩුවිය හැකියි. එසේ වුවද, සජබයෙන් ලොකු පළුවක් කඩා නොගෙන රනිල් වික්‍රමසිංහට දෙවන තැනට යාමේ හැකියාවක් නැහැ. ඒ වගේම, පොහොට්ටු වැඩපිළිවෙළ ඇතුළේ ඔය පහළ ස්ථරයට ලබා ගත හැකිව තිබුණු පෞද්ගලික වාසි රනිල්ගේ වැඩපිළිවෙළ ඇතුළේ පෙනෙන්නට නැති පසුබිමක පොහොට්ටු යාන්ත්‍රණය රනිල් වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න තිබෙන ඉඩකඩ අඩුයි. 

රටේ ආර්ථිකය කෙටි කලක් තුළ ස්ථාවර කිරීම සඳහා රනිල් වික්‍රමසිංහගෙන් ලැබුණු දායකත්වය සුවිශේෂී එකක්. මෙය අදට වඩා විශාල ලෙස අගය කෙරෙනු ඇත්තේ අනාගතයේදී. විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ අතේ දැනට තිබෙන බැටන් පොල්ල වෙනත් අයෙකු අතට ඉක්මණින් මාරු වන තත්වයක් යටතේදී. කෙසේ වුවත්, මේ දායකත්වය පහසුවෙන් ඡන්ද බවට හැරවෙනු ඇතැයි රනිල් වික්‍රමසිංහ සිතන්නේනම් එය මුලාවක්.

රටේ ආර්ථික අර්බුදයට හේතුව හොරකම් පමණක් නොවන බව සිතන ප්‍රමාණය ඉහළ ගොස් ඇතත්, හොරු එළවීම ප්‍රමුඛ අභිප්‍රාය කරගත් විශාල පිරිසක් තවමත් රටේ ඉන්නවා. මාලිමාව වටා එකතු වූ පිරිස් තවමත් බොහෝ දුරට මාලිමාව සමඟ රැඳී ඉන්නවා. මේ අයගෙන් යම් කොටසක් මාලිමාව ජයගනු ඇතැයි පෙනුණු පසුබිමක "හානි අවම කර ගැනීමේ" ප්‍රවේශයෙන් මාලිමාව වටා එකතු වූ අයයි. මාලිමාව සම්බන්ධව බොහෝ දෙනෙකු හිතන ආකාරය සහ එම පක්ෂයේ ඇතැම් ක්‍රියාකාරීන් හැසිරෙන ආකාරය අනුව මාලිමාව ජයගන්නා බව පෙනේනම්, ඒ පැත්තට හේත්තු වෙන එක කෝකටත් හොඳ බව ලංකාවේ සැලකිය යුතු පිරිසක් හිතන ආකාරයයි.

මාලිමාව අභිබවා සජිත් ප්‍රේමදාස ඉදිරියට පැමිණෙන බව පෙනෙන පසුබිමක ඔවුන්ගෙන් කොටසක් මාලිමා කඳවුරෙන් හෙමින් සැරේ ලිස්සා යා හැකි අතරම එහි අනෙක් පැත්ත වුවහොත් මාලිමා රැල්ල ඉහළ යන්නත් පුළුවන්. ඒ අනුව, සජබ ඡන්ද රනිල්ගේ පැත්තට විතැන් වුවහොත් එයින් වක්‍ර ලෙස මාලිමාවට වාසියක්ද සිදු වෙනවා. කෙසේ වුවත්, දැනට පවතින තත්ත්වය තුළ අනුර කුමාර දිසානායකට (හෝ වෙනත් අපේක්ෂයෙකුට) 50% සීමාවට පැමිණීමේ හැකියාවක් පෙනෙන්න නැහැ. 

අනුර කුමාර දිසානායක විසින් මුළු ඡන්ද ප්‍රමාණයෙන් අවම වශයෙන් තුනෙන් එකක් ලබාගතහොත් රනිල් හා  සජිත් අතර බෙදී යන්නේ ඡන්ද ප්‍රමාණයෙන් තුනෙන් දෙකකට අඩු කොටසක්. ඒ අනුව, ගණිතමය ලෙස අනුර කුමාර දිසානායකව අභිබවිය හැක්කේ ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකුට පමණයි. මේ ගලඋඩ සටන තුළ දැනට ඉදිරියෙන් සිටින්නේ සජිත් බැවින් ඔහු රනිල්ට ඉදිරියට පැමිණීමට අවස්ථාවක් දීමේ ඉඩක් නැහැ. සජිත් රනිල්ට වඩා ඉදිරියෙන් සිටින තාක් සජබ සමඟ සිටින පිරිස් රනිල් කරා විතැන් වන්නේ නැහැ. එවැන්නක් සිදු විය හැක්කේ පොහොට්ටුව සක්‍රිය වී එහි උදවුවෙන් රනිල් සජිත්ගේ මට්ටමට ආසන්න වුවහොත් පමණයි. එසේ වුවහොත්, සජබ සමඟ සිටින පිරිස් රනිල්ගේ පිලට මාරු වීම ගැන දෙවරක් හිතන්නේ නැහැ. නමුත් රනිල් කඳවුරට මාස තුනක් ඇතුළත මේ තරම් පිම්මක් පනින එක ලේසි වැඩක් නෙමෙයි.

අනුර කුමාර දිසානායකට කැමැත්තක් දක්වන බොහෝ දෙනෙකු පළමු වටයේදීම ඔහුව තෝරාගන්නා බැවින් දෙවන වටයකදී ඔහුට ලබා ගත හැක්කේ සුළු ඡන්ද ප්‍රමාණයක් පමණයි. නමුත් රනිල්ට ඡන්දය දෙන සැලකිය යුතු පිරිසක් සජිත්ට දෙවන මනාපයක් දීමට ඉඩ තිබෙනවා. ඒ නිසා, අනුර කුමාර දිසානායකට ජනාධිපති වීමටනම්, පළමු වටයේදී සජිත්ට වඩා සැලකිය යුතු ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ඉදිරියෙන් ඉන්නට සිදු වෙනවා. මෙම පරතරය කුඩා එකක්නම්, පළමු වටයේදී අනුර කුමාර දිසානායක ජය ගත්තද දෙවන වටය ජයගෙන ජනාධිපති වනු ඇත්තේ සජිත් ප්‍රේමදාසයි.

රනිල් වික්‍රමසිංහ පොහොට්ටු අපේක්ෂකයා වුවද ඔහුට ආකර්ෂණය කරගත නොහැකි පොහොට්ටු ඡන්ද යම් ප්‍රමාණයක් තිබෙනවා. හරියටම කිවුවොත් වාම ජාතිකවාදී ඡන්ද. රනිල්, සජිත් හා අනුර අතරින් මේ ඡන්ද ආකර්ෂණය කර ගැනීමේ වැඩි විභවයක් තියෙන්නේ අනුරටයි. දිලිත් වැනි අපේක්ෂකයෙකු ඉදිරිපත් වීම තුළ එම ඡන්ද මාලිමාව කරා යාමට නොදී රඳවා ගැනීමට හැකි අතර එහි වාසිය ලැබෙන්නේද සජිත්ටයි. 

සියලුම තත්ත්වයන් සලකා බැලූ විට, ජනාධිපතිවරණය ජයගැනීම රනිල් වික්‍රමසිංහට දුරස්ථ ඉලක්කයක්. එවැනි තත්ත්වයක් තුළ ඔහු තරඟයට පිවිසෙයිද? එසේ නැත්නම් ධම්මික පෙරේරා වැනි අයෙකු පොහොට්ටු අපේක්ෂයා ලෙස කරලියට එයිද? 

බැඳුම්කර ණයහිමියන් එක්ක මූලික එකඟතාවයක් ඇති කරගෙන අවසන්ව ඇතත්. මේ වගේ අවිනිශ්චිත පසුබිමක බැඳුම්කර හුවමාරු නිකුතුවක් සඳහා ඉල්ලුම්පත් කැඳවුවහොත් බැඳුම්කරහිමියන්ගෙන් කොටසක් පස්ස ගහන්න ඉඩ තිබෙනවා. ඒ නිසා, මේ වැඩේ මැතිවරණ අවසන් වන තුරු කල් දැමිය යුතු බව අදාළ ජාත්‍යන්තර උපදේශකයින් හා අනෙකුත් මැදිහත්කාර පාර්ශ්වයන් විසින් යෝජනා කරන්න ඉඩ තිබෙනවා. එහෙම වුනොත්, ඒ වැඩෙත් සිදු වනු ඇත්තේ ජනාධිපතිවරණයෙන් පස්සේ. 

Wednesday, July 17, 2024

ජනාධිපතිවරණ දිනය


මේ අවුරුද්දේ ඇමරිකාවේ වගේම ලංකාවේත් ජනාධිපතිවරණ පැවැත්වීමට නියමිතයි. ඇමරිකාවේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ නොවැම්බර් 5 අඟහරුවාදා. මේ දිනය ඇමරිකන් නීතියෙන් නිශ්චය වී තිබෙන දිනයක්. ඒ නිසා, කිසියම් බලධාරියෙකුට ඒ දිනය තීරණය කිරීමේ හැකියාවක් නැහැ.

ලංකාවේ නීතියෙන් ජනාධිපතිවරණය පැවැත්විය යුතු දිනය ඇමරිකාවේ වගේ හරියටම තීරණය වී නැහැ. එම දිනය තීරණය කිරීමේ බලය තිබෙන්නේ මැතිවරණ කොමිසම සතුවයි. නමුත් ජනාධිපතිවරණය පැවැත්විය යුතු කාල රාමුව නීතියෙන් නිශ්චය කර තිබෙන නිසා මැතිවරණ කොමිසමට දින තීරණය කළ හැක්කේ නීතියෙන් ඉඩ ලැබෙන කාල රාමු හා ගැලපෙන විදිහටයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වීමට මසකට නොඅඩු හා දෙමසකට නොවැඩි දිනයක ලංකාවේ ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි. වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත් වී සිටින්නේ ඉල්ලා අස් වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ධුර කාලයේ ඉතිරි කොටස අවසන් වන තුරුයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයේ වැඩ භාර ගත්තේ 2019 නොවැම්බර් 18 වෙනිදා. ඒ නිසා, ඔහුගේ ධුර කාලය 2024 නොවැම්බර් 17 දිනෙන් අවසන් වෙනවා. ඒ අනුව, සැප්තැම්බර් 17 හා ඔක්තෝබර් 17 අතර දිනක ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි. 

නමුත්, මේ අවුරුද්දේ සැප්තැම්බර් 17 වගේම ඔක්තෝබර් 17ත් පෝය දවස්. ජනාධිපති මැතිවරණ පණත අනුව පෝය දවසක ජනාධිපතිවරණය පවත්වන්න බැහැ. ඒ නිසා, ඔය කාල පරාසය සැප්තැම්බර් 18 සිට ඔක්තෝබර් 16 දක්වා කාලයට සීමා වෙනවා.

ජනාධිපති මැතිවරණ පණත අනුව, ජනාධිපතිවරණය පැවැත්වෙන දිනට සති හතරකට නොඅඩු හා සති හයකට නොවැඩි දිනක නාමයෝජනා කැඳවිය යුතුයි. මේ අනුව, නාමයෝජනා භාර දීම සඳහා අගෝස්තු 7 හා සැප්තැම්බර් 18 අතර දිනයක් යොදාගන්න පුළුවන්. 

නාමයෝජනා කැඳවන දිනය දැනුම් දී ගැසට් නිවේදනයක් නිකුත් කළ යුත්තේ නාමයෝජනා දිනයට දින 16කට නොඅඩු හා දින 21කට නොවැඩි කාලයක් ඇතුළතයි. මේ අනුව, මැතිවරණ කොමිසමට ජූලි 17 සිට සැප්තැම්බර් 2 දක්වා දිනයක මෙම ගැසට් නිවේදනය නිකුත් කළ හැකියි. ඔය තමයි ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ යුතු දිනය සම්බන්ධ නෛතික සීමාවන්.

මැතිවරණ කොමිසමේ සභාපතිට අනුව, ඉහත ගැසට් නිවේදනය නිකුත් කළ හැකි අවසන් දිනය අගෝස්තු 20. ඒ දිනය ඔහු ගණනය කළේ කොහොමද කියන එක පැහැදිලි නැහැ. මම හිතන විදිහට මේ සඳහා මැතිවරණ කොමිසමට සැප්තැම්බර් 2 දක්වාම කාලය තිබෙනවා. සරල ගණිතය අනුව, සැප්තැම්බර් 2 දින අදාළ නිවේදනය නිකුත් කළත්, එයින් දින 16කට පසුව සැප්තැම්බර් 18 දින නාම යෝජනා කැඳවලා, තවත් දින 28කට පසුව ඔක්තෝබර් 16 දින ජනාධිපතිවරණය තියන්න පුළුවන්. 

මෙය ගැසට් නිවේදනය නිකුත් කිරීම ප්‍රමාද කිරීමට යෝජනා කිරීමක් නෙමෙයි. නෛතික ප්‍රතිපාදන තිබුනත්, ඒ විදිහට අවසන් දවස දක්වා කල් ගන්න සුදුසු නැහැ. විශේෂයෙන්ම රටේ ගොඩක් අය මේ දවස දැන ගන්න විශේෂ උනන්දුවකින් ඉන්න මේ වගේ අවස්ථාවක ඔය වැඩේ පුළුවන් තරම් කලින් කරන එකයි වඩා සුදුසු. කොහොම වුනත්, මේ වන විට මැතිවරණ කොමිසමේ සභාපති මේ හා අදාළව ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර ඇති නිසා ඔය ගැසට් නිවේදනය නිකුත් වීමට ඒ තරම් කල් යන එකක් නැහැ. 

මැතිවරණ කොමිසමේ සභාපති විසින් නිවේදනය කළ පරිදි මේ මාසය අවසන් වීමට පෙර ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කෙරෙන නිවේදනය නිකුත් කිරීමට නියමිතයි. නමුත් ඔය වැඩේ හෙට අනිද්දා කරන්න ඉන්නවානම් ඒ ගැන කලින් ප්‍රකාශ නිකුත් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැනේ. ගොඩක් වෙලාවට වැඩේ වෙන්න ඉඩ තියෙන්නේ මාසයේ අවසානය කිට්ටු කරලා. අපි ජූලි 25-31 සතිය ඇතුළත මේ නිවේදනය නිකුත් කරනු ඇතැයි උපකල්පනය කරමු.

ඉහත සතිය ඇතුළත ගැසට් නිවේදනය නිකුත් කළොත්, නාම යෝජනා කැඳවන්න වෙන්නේ අගෝස්තු 10-21 දක්වා කාලය ඇතුළතයි. සති අන්තය අත ඇරියොත් අගෝස්තු 12-21 අතර. පෝය, රාහු කාල දවස් අත ඇරියම මේ දවස අගෝස්තු 12, 13, 14, 15, 20, 21 දවස් වලින් එකක් වෙන්න පුළුවන්. 

මේ දවසක නාම යෝජනා කැඳවනු ලැබුවොත්, ඔක්තෝබර් 2 වෙන්න කලින් ජනාධිපතිවරණය පවත්වන්න වෙනවා. සමහර තැන් වල සඳහන්ව තිබුණු පරිදි ඔක්තෝබර් 3 හෝ ඔක්තෝබර් 10 වගේ දවසක ජනාධිපතිවරණය තියන්න වෙන්නේ නැහැ. එහෙම කරන්නනම්, ගැසට් නිවේදනය නිකුත් කරන එක අගෝස්තු මාසය දක්වා කල් දමන්න වෙනවා.

අපි හිතමු ගැසට් නිවේදනය එන්නේ ජූලි 31 කියලා. එහෙම වුනොත් නාම යෝජනා ගන්න පුළුවන් අන්තිම දවස අගෝස්තු 21නේ. එතකොට මැතිවරණය පැවැත්විය හැකි අවසාන දිනය ඔක්තෝබර් 2. ඒ කියන්නේ මැතිවරණ කොමිසමේ සභාපතිගේ ප්‍රකාශය අනුව ඔහු ඇත්තටම කටයුතු කළොත්, මේ වෙද්දී ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය සැප්තැම්බර් 17 සිට ඔක්තෝබර් 2 දක්වා කාල පරාසයට සීමා වී අවසන්. උපරිම වශයෙන් තව දවස් 77යි!

Monday, July 15, 2024

බැංකොක් සවාරියක් යමුද?


ලංකාවේ ජීවත් වන වත්පොත් මිතුරන් ගණනාවක් විදේශ සංචාර වල ඡායාරූප පළ කර තිබෙනු නිරීක්ෂණය කළ හැකි වුනා. ලාංකිකයින්ගේ විදේශ සංචාර වලින් පෙන්නුම් කරන්නේ රටේ ආර්ථිකය නැවත පෙර පැවති මට්ටම කරා පැමිණෙමින් තිබෙන බව. 

වසංගතය නිසා ලෝකයේම සංචාරක ව්‍යාපාරයේ කඩා වැටීමක් වුනා. දැන් එය නැවත යථා තත්ත්වයට පත් වෙමින් තිබෙනවා. කොරේ පිටට මරේ වගේ වසංගතය ඉවර වෙද්දී ලංකාවේ ආර්ථික අර්බුදය ආපු නිසා ලාංකිකයින්ගේ  විදේශ සංචාර කලින් මට්ටමට එන එක තවත් ප්‍රමාද වුනා. 

ලංකාවට පැමිනෙන සංචාරකයින් ප්‍රමාණ හා එමගින් ලැබෙන විදේශ විණිමය වගේ මාතෘකා නිතර කතාබහට ලක් වෙනවා. අපේ ලිපි වල වුනත් මේ ගැන වරින් වර කතා කර තිබෙනවා. නමුත් ලාංකිකයින්ගේ විදේශ සංචාර ගැන කතා කෙරෙන්නේ අඩුවෙන්.

ලංකාවට විදේශ සංචාරකයින් පැමිණෙද්දී රටට විදේශ විණිමය ගලා එනවා. ශ්‍රී ලාංකිකයින් විදේශ සංචාර කරද්දී වෙන්නේ ඒ විදිහට රටට එන විදේශ විණිමය රටෙන් යන එක. ලාංකිකයින්ගේ විදේශ සංචාර ගැන එතරම් කතාබහක් නොකෙරෙන්නේ ඔය නිසා වෙන්න පුළුවන්.

විදේශ විණිමය අර්බුදයක් වගේ විශේෂ අවස්ථාවක විදේශ විණිමය රටෙන් යන එක ගැන සැලකිලිමත් වෙන එකේ වැරැද්දක් නැහැ. නමුත් දැන් ලංකාව ඒ අමාරු අදියර පහු කරලා. රටේ ආර්ථිකය නැවත පිබිදෙද්දී ශ්‍රී ලාංකිකයින්ගේ විදේශ සංචාරත් ඉහළ යා යුතුයි. එහෙම නැත්නම් ආර්ථිකය යථා තත්ත්වයට පත් වෙලා කියලා කියන්න බැහැ.

ගොඩබිමින් වෙනත් රටකට සම්බන්ධ නැති, දූපත් රාජ්‍යයක් වන ලංකාවේ ඉඳලා වෙනත් රටකට යන එක ටිකක් අමාරු, රටේ හැමෝටම කරන්න බැරි, වැඩක්. ප්‍රායෝගිකව රටෙන් එළියට යා හැක්කේ ගුවන් මහින් පමණයි. ඒ නිසා මේ වැඩේ සාපේක්ෂව මිල අධික වැඩක්. 

කාලයකට පෙර දුම්රියෙන් ඉන්දියාවට යාමේ අවස්ථාවක් තිබුණා. මෑතකදී නැව් සේවයකුත් ආරම්භ වුණා. නමුත් සාමාන්‍යයෙන් ලාංකිකයෙක් රටෙන් පිට වෙනවා කියන්නේ ගුවන් ගමනක්. 

ලාංකිකයෙකුට රටෙන් පිට යන්න තිබෙන එකම බාධාව ගුවන් ප්‍රවේශපත්‍ර මිල නෙමෙයි. සමහර රටවල ගමන් බලපත්‍ර වලින් කිසිම ප්‍රශ්නයක් නැතුව තවත් රටවල් ගණනාවකට ඇතුළු විය හැකියි. ගුවන් ප්‍රවේශපත්‍රය මිල දී ගත්තා, ගියා. එච්චරයි. හැබැයි ලංකාවේ ගමන් බලපත්‍රයට ඒ තරම් හයියක් නැහැ. එය ලෝකයේ දුර්වලම ගමන් බලපත්‍ර වලින් එකක්. ලංකාවේ ගමන් බලපත්‍රයක් තියෙන කෙනෙක්ට වීසා නොගෙන ඇතුළු විය හැකි රටවල් තියෙන්නේ ඉතාම සීමිත ගණනක් පමණයි. 

විසා ගන්නවා කියන එකත් සෑහෙන කට්ටක්. ඔය කට්ට මම සෑහෙන්න කාලා තියෙන එකක්. රටෙන් රටට කොන්දේසි වෙනස්. ගොඩක් වෙලාවට වීසා අයදුම්පතක් ගන්න එක පාරක්, අයදුම්පත බාර දෙන්න තව පාරක් සහ ගමන් බලපත්‍රය ආපහු ගන්න නැවතත් වරක් අදාළ තානාපති කාර්යාලයට යන්න වෙනවා. දැන්නම් මේවා වෙනස් වෙලා ඇති. ඔය වීසා කතා ගැන ලියනවානම් සෑහෙන්න ලියන්න දේවල් තිබෙනවා. 

මගේ පළමු ගුවන් ගමන වගේම පළමු විදේශගත වීමත් තායිලන්තයට ගිය ගමනක්. අනූව දශකයේ දෙවන භාගයේදී. ඊට පස්සේ ඔය වගේ ගමන් සෑහෙන්න ගිහින් තිබුණත් පළමු ගමන අමතක නොවන අත්දැකීමක්. මතක විදිහට වීසා අයදුම් කරද්දී ආපහු පැමිණෙන ගුවන් ප්‍රවේශපත්‍රයක් වගේම යම් මුදල් ප්‍රමාණයකුත් පෙන්වන්න වුනා. කොළඹ රාජකීය තායිලන්ත තානාපති කාර්යාලයට කීප වරක්ම යන්න වුනා. කොහොම හරි ගමන් බලපත්‍රයේ පළමුවෙනි සීල් එක වැදුනා. 

ඒ දවස් වල ලංකාවේ ගමන් බලපත්‍රයකින් කලින් වීසා නැතිව යන්න පුළුවන් ළඟපාත රටවල් කියලා තිබුණේ සිංගප්පූරුව හා මාල දිවයින පමණයි. තායිලන්තයට යනවානම් කලින් වීසා අරගෙන යන්න ඕනෑ. ඔය හේතුව නිසා කීප වරක්ම තායිලන්තය හරහා වෙනත් රටවල් වලට යද්දී පැය ගණන් ගුවන් තොටුපළේ ගත කරන්න වෙලා තියෙනවා. සිංගප්පූරුව හරහා යද්දීනම් පැය පහක් හයක් තිබුණත් එළියට ගිහින් එන්න පුළුවන්. 

තායිලන්තය කියන්නේ සංස්කෘතිකව වගේම දුරෙන් වුනත් ලංකාවට සමීපම රටවල් වලින් එකක්. දුරෙන් දකුණු ඉන්දියාව ලංකාවට ගොඩක් සමීප වුනත්, දිල්ලියට වඩා බැංකොක් ලංකාවට ලඟයි. වීසා බාධාව තිබුණත් තායිලන්තය කියන්නේ කවදත් ලාංකිකයන්ගේ ජනප්‍රිය සංචාරක ගමනාන්තයක්. අනිත් එක ඉන්දියාවට කියලත් වීසා නැතුව යන්න බැහැනේ. 

අද  (ජූලි 15) ඉඳන් ශ්‍රී ලාංකිකයින්ට කලින් වීසා නොගෙන තායිලන්තයට යන්න පුළුවන්. මම හිතන්නේ මේක සංචාරයට කැමති ශ්‍රී ලාංකිකයින්ට ගොඩක් සතුටුදායක පුවතක්. 

තායිලන්තය කියන්නේ ලෝකයේ ජනප්‍රියම සංචාරක ගමනාන්ත වලින් එකක්. වසංගතයට කලින්, 2019 වසර තුළ තායිලන්තයට පැමිණි සංචාරකයින් ප්‍රමාණය 39,916,251ක්. මිලියන 39.9ක්. මිලියන 71.7ක් වන රටේ ජනගහණයේ ප්‍රතිශතයක් ලෙස 57%ක් පමණ. එම වසරේදී තායිලන්තය සංචාරක කර්මාන්තයෙන් ඉපැයූ ආදායම ඩොලර් බිලියන 61.6ක්.

ඉහත කී සංචාරකයින් අතරින් 70,247ක් ශ්‍රී ලාංකිකයෝ. ශ්‍රී ලාංකිකයෙක් සාමාන්‍ය වශයෙන් දින 7.16ක් තායිලන්තයේ ගත කර තිබෙන අතර දිනකට ඩොලර් 180.16 බැගින් ඩොලර් මිලියන 90.63ක මුදලක් තායිලන්තයේදී වියදම් කර තිබෙනවා. 

වසංගත අවුරුදු වල තායිලන්තයේ සංචාරක පැමිණීම් හා ආදායම් අඩු වුනත් එරට සංචාරක කර්මාන්තය මේ වන විට නැවත යථා තත්ත්වයට පත් වෙමින් තිබෙනවා. පසුගිය (2023) අවුරුද්දේ තායිලන්තයට සංචාරකයින් 28,150,016 දෙනෙක් පැමිණියා. ඒ අතරින් 33,893 දෙනෙක් ශ්‍රී ලාංකිකයින්. 

මේ අවුරුද්දේ ඉලක්කය සංචාරකයින් මිලියන 35ක්. ඒ ඉලක්කයට යන එක අමාරු වැඩක් නෙමෙයි. පළමු මාස පහ තුළ පමණක් සංචාරකයින් 14,760,911 දෙනෙක් තායිලන්තයට ඇවිත් තිබෙනවා. එයින් ශ්‍රී ලාංකිකයින් ගණන 19,897ක්. සමස්තයක් ලෙස තායිලන්තයට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය පූර්ව-වසංගත මට්ටමට ආසන්න වෙමින් තිබුණත්, තායිලන්ත සවාරි යන ශ්‍රී ලාංකිකයින් ප්‍රමාණය තවම තිබෙන්නේ පූර්ව-වසංගත මට්ටමෙන් බාගයකට වඩා තරමක් ඉහළින්.

බදු වැඩි කිරීම නිසා ලංකාවේ මධ්‍යම පාංතිකයින්ට රට සවාරි යන එක කලින් තරම්ම පහසු නැති බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. ඒ නිසා මේ වගේ අඩුවීමක් සිදු නොවෙන්න හේතුවක් නැහැ. නමුත් දැන් කලින් වීසා නොගෙන තායිලන්තයට ඇතුළු වීමේ අවස්ථාව ලැබීමත් එක්ක තායිලන්තයේ සවාරි යන ශ්‍රී ලාංකිකයින් ප්‍රමාණයේ යම් වැඩිවීමක් වෙන්න ඉඩ තිබෙනවා. 

Saturday, July 13, 2024

ඇමරිකාවේ අනිවාර්ය පාසැල් විෂයයන්


ඇමරිකාවේ අධ්‍යාපනය කියන විෂයය ෆෙඩරල් රජයේ කාර්ය භාරයක් නෙමෙයි. ඒ නිසා, සාමාන්‍යයෙන් පාසැල් අධ්‍යාපනය නියාමනය වෙන්නේ ප්‍රාන්ත මට්ටමේදී හෝ පහළ මට්ටමකදී. ඒ නිසා, මාතෘකාවේ "ඇමරිකාවේ" කියා කිවුවත් අධ්‍යාපන ප්‍රතිපත්තිය හා අදාළ ගොඩක් දේවල් තැනින් තැනට වෙනස් වෙනවා.

ඇමරිකාවේ පාසැල් ක්‍රමය ගැන පෙර ලිපි වල විස්තර කර තිබෙනවා. මේකත් තැනින් තැනට වෙනස් වෙන දෙයක්. නමුත් වඩාත්ම පොදු ආකෘතිය මූලික, මධ්‍යම හා උසස් පාසැල් ආකෘතිය. උසස් පාසැලක් කියන්නේ 9-12 ශ්‍රේණි හතර. මේ අවුරුදු හතර සම්පූර්ණ කළාම උසස් පාසැල් ඩිප්ලෝමාවක් ගන්න පුළුවන්.

උසස් පාසැල් ඩිප්ලෝමාවක් සම්පූර්ණ කරනවා කියන්නේ අවශ්‍ය විෂයයන් හදාරා අවසන් කරන එක. ඒ හැර ලංකාවේ වගේ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ වැනි පොදු විභාග වලට මුහුණ දීමක් අනිවාර්යයෙන් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම, ලංකාවේ වගේ විද්‍යා, කලා, වාණිජ ආදී විෂය ධාරා අනුව සිසුන් බෙදීමක් වෙන්නෙත් නැහැ.

උසස් පාසැල් ඩිප්ලෝමාව නොකියා උසස් පාසැල් ඩිප්ලෝමාවක් කිවුවේ එවැනි ඩිප්ලෝමා ගණනාවක් තිබෙන නිසා. තමන් සම්පූර්ණ කරන්නේ කොයි ඩිප්ලෝමාවද කියන එක සිසුන්ගේ තේරීමක්. අපේ ප්‍රාන්තයේ අවම, එහෙමත් නැත්නම් පහළම මට්ටමේ, උසස් පාසැල් ඩිප්ලෝමාව Core 40 කියන එක. අනෙක් උසස් පාසැල් ඩිප්ලෝමා සියල්ලම ඊට වඩා වැඩි අවශ්‍යතා ප්‍රමාණයක් සම්පූර්ණ කර ලබා ගත යුතු ඒවා.

මෙහි Core 40 කියන එකේ Core කියන එකේ තියෙන්නේ මූලික වගේ තේරුමක්නේ. 40 කියන එකෙන් අදහස් කරන්නේ ක්‍රෙඩිට් පැය 40ක් සම්පූර්ණ කළ යුතු බව. ක්‍රෙඩිට් පැයක් කියන එකෙන් අදහස් වන්නේ (උසස් පාසැල් මට්ටමේදී) එක දිගට වාරයක් පුරා විෂයයක් හදාරා අවසන් කිරීම. 

ග්‍රීෂ්ම සෘතුව අත හැරියොත් අවුරුද්දකට පාසැල් වාර දෙකයිනේ. එතකොට අවුරුදු හතරට වාර අටක්. එක වාරයකදී විෂයයන් පහ බැගින් සම්පූර්ණ කළොත් පහසුවෙන්ම ඔය ඩිප්ලෝමාව ගන්න පුළුවන්. 

හැබැයි වාරයක් තුළ විෂයන් හයක් හෝ හතක් ගන්න එක ඒ තරම් අමාරු වැඩක් නෙමෙයි. ඒ වගේම, අවශ්‍යනම් ග්‍රීෂ්ම සෘතුවේදීත් විෂයයන් කිහිපයක් හදාරන්න පුළුවන්. ඊටත් අමතරව, දක්ෂ සිසුවෙකුට හතේ අටේ පන්ති වලදීම උසස් පාසැල් විෂයයන් හදාරා සම්පූර්ණ කරන්න පුළුවන්. ඒ නිසා, ගොඩක් සිසුන් ඔය ක්‍රෙඩිට් පැය 40 සීමාවෙන් එහාට ගිහින් වඩා ඉහළ මට්ටමක උසස් පාසැල් ඩිප්ලෝමාවක් ලබා ගන්නවා.

උදාහරණයක් විදිහට අවම වශයෙන් ක්‍රෙඩිට් පැය 47ක් සම්පූර්ණ කරලා ගෞරව සම්මාන සහිත Core 40 ඩිප්ලෝමාවක් ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් තාක්ෂණික ගෞරව සම්මාන එක්ක  Core 40 ඩිප්ලෝමාව ලබා ගන්න පුළුවන්. තවත් එහාට යන්නත් පුළුවන්. 

ඔය විදිහේ වැඩිමනත් දේවල් තිබුණත්, අවම අවශ්‍යතාවය Core 40 ඩිප්ලෝමාව සම්පූර්ණ කරන එකනේ. පහත තියෙන්නේ ඒ සඳහා අනිවාර්යයෙන් සම්පූර්ණ කළ යුතු විෂයයන්.

ඉංග්‍රීසි භාෂා විෂයයන් ක්‍රෙඩිට් පැය අටක් - මෙයට සාහිත්‍යය, රචනය, කථනය විෂයයන් සංකලනයක් ඇතුළත් විය යුතුයි.

ගණිත විෂයයන් ක්‍රෙඩිට් පැය හයක් - මෙයට වීජ ගණිතය ක්‍රෙඩිට් පැය හතරක් සහ ජ්‍යාමිතිය ක්‍රෙඩිට් පැය දෙකක් ඇතුළත්.

විද්‍යා විෂයයන් ක්‍රෙඩිට් පැය හයක් - මෙයට ජීව විද්‍යාව ක්‍රෙඩිට් පැය දෙකක් සහ භෞතික විද්‍යාව හා/හෝ රසායන විද්‍යාව ක්‍රෙඩිට් පැය දෙකක් ඇතුළත් විය යුතුයි. ඉතිරි ක්‍රෙඩිට් පැය දෙක තමන් කැමති විද්‍යා විෂයයක් හෝ දෙකක්. 

සමාජ අධ්‍යයන විෂයයන් ක්‍රෙඩිට් පැය හයක් - මෙයට ඇමරිකානු ඉතිහාසය ක්‍රෙඩිට් පැය දෙකක්, ඇමරිකානු රාජ්‍යය විෂය ක්‍රෙඩිට් පැයක් හා ආර්ථික විද්‍යාව ක්‍රෙඩිට් පැයක් ඇතුළත්. ඉතිරි ක්‍රෙඩිට් පැය දෙක ලෝක ඉතිහාසය හා ලෝක ශිෂ්ඨාචාරය හෝ භූගෝල විද්‍යාව.

නිර්දේශිත විකල්ප විෂයයන් ක්‍රෙඩිට් පැය පහක් - මේ යටතේ වෙනත් භාෂා, සෞන්දර්ය විෂයයන් (ලලිත කලා) හෝ තාක්ෂනික/ ප්‍රාග්-වෘත්තීය විෂයයන් හැදෑරිය හැකියි.

ශාරීරික අධ්‍යාපනය/ ක්‍රීඩා - ක්‍රෙඩිට් පැය දෙකක් 

සෞඛ්‍යය - ක්‍රෙඩිට් පැයක්

කැමති විකල්ප විෂයයන් - ක්‍රෙඩිට් පැය හයක්

මෙම අවශ්‍යතාවයන් ඇමරිකාව තුළ වුනත් සම්මතයක් නෙමෙයි. මෙහි මේ විස්තර දැම්මේ වෙනත් රටක් මේ පිළිවෙලටම කටයුතු කළ යුතුයි කියා නිර්දේශ කරන්නත් නෙමෙයි. ඕක තමයි අපේ ප්‍රාන්තයේ පාසැල් සිසුන් විසින් සම්පූර්ණ කළ යුතු මූලික අවශ්‍යතාව. ඊට අමතරව  ඔය මූලික උසස් පාසැල් ඩිප්ලෝමාව ලබා ගැනීම සඳහා අවම පැය ගණනක් ස්වේච්ඡා සේවය, රැකියාවක් හෝ රැකියා පුහුණුවක් (internship) කිරීම වගේ තවත් අවශ්‍යතාත් තිබෙනවා. 

අපේ පාසැල් දිස්ත්‍රික්කයේනම් ඔය Core 40 ඩිප්ලෝමාව පමණක් අරගෙන නවතින්නේ කලාතුරකින් කෙනෙක් පමණයි. ගොඩක් සිසුන් ඔය අවශ්‍යතා කලින්ම අවසන් කරලා පාසැලේදීම විශ්ව විද්‍යාල මට්ටමේ පාඨමාලා හදාරනවා. නවවන ශ්‍රේණියේදීම සමහර විශ්ව විද්‍යාල මට්ටමේ පාඨමාලා හදාරන්න පුළුවන්. හැබැයි ඒවා පුද්ගලික තේරීම්. ඔය උඩ ලැයිස්තුවේ තිබෙන විෂයයන් ටික තමයි අනිවාර්යයෙන්ම ගත යුත්තේ. 

Friday, July 12, 2024

එංගලන්තයේ වැඩ වර්ජන (අවම සේවා) පණත


ශ්‍රමය විකිණීම කියන්නේ පාර්ශ්ව දෙකක් අතර සිදු වන ගණුදෙනුවක්. සාමාන්‍යයෙන් ශ්‍රමය මිල දී ගන්නේ ව්‍යවසායකයෙකු විසින්. සෛද්ධාන්තිකව ව්‍යවසායකයෙකු හා ප්‍රාග්ධනහිමියෙකු කියන්නේ දෙන්නෙක් වුනත්, ප්‍රායෝගිකව ගොඩක් වෙලාවට ව්‍යවසායකයා වෙන්නෙත් ප්‍රාග්ධනහිමියා. අඩු වශයෙන් ධනවාදයේ මූලික අදියර වලදී දැකිය හැක්කේ ඔය තත්ත්වය. හැබැයි ධනවාදය දියුණු වෙද්දී ඔය සම්බන්ධය දියාරු වී යනවා.

ගොඩක් රටවල සමාජ සම්මතය තුළ ප්‍රාග්ධනහිමියන් එකතු වී කාටලයක් සේ කටයුතු කිරීම නරක දෙයක් ලෙස සැලකෙනවා. ඇතැම් රටවල මේ සමාජ සම්මතය යම් ආකාරයක නීතියක් වෙලා තිබෙනවා. නමුත් ශ්‍රමය සම්බන්ධව තියෙන්නේ වෙනස් සම්මතයක්. ශ්‍රමිකයින් එකතු වී කාටලයක් සේ කටයුතු කිරීම ගොඩක් වෙලාවට නරක දෙයක් විදිහට සැලකෙන්නේ නැහැ. ඒ පමණක් නෙමෙයි. ගොඩක් රටවල එය මූලික අයිතිවාසිකමක්!

මේ වෙනසට හේතුව ශ්‍රමිකයින් සතුව නැති හෙට්ටු කිරීමේ බලයක් ප්‍රාග්ධනහිමියන් සතුව තිබෙනවා කියන අදහස. ඓතිහාසික තත්ත්වයන් දිහා බැලුවොත් කතාවේ වැරැද්දක් නැහැ. ශ්‍රමිකයන්ගේ කාටල වලට සමාජයීය හා නෛතික පිළිගැනීමක් ලැබෙන්නේ ඔය තත්ත්වයත් එක්ක. 

ධනවාදයේ මුල් අදියරේදී ප්‍රාග්ධනහිමියන් ඉන්නේ සීමිත ප්‍රමාණයක්. ඒ නිසා, ඔවුන් අතර තරඟය අඩුයි. ඊට සාපේක්ෂව ශ්‍රමිකයෝ "ඕනෑ තරම්" ඉන්නවා. ඒ නිසා, ශ්‍රමිකයින් සතුව නැති හෙට්ටු කිරීමේ බලයක් ප්‍රාග්ධනහිමියන්ට ඇත්තටම ලැබෙනවා. "ශ්‍රමය සූරාකෑම" කියන අදහස මතු වෙන්නෙත් ඔය තත්ත්වයත් එක්ක.

"වෘත්තීය සමිති" කියන්නේ ශ්‍රමිකයින්ගේ කාටල. ඓතිහාසිකව බැලුවොත් ශ්‍රමිකයින්ගේ තත්ත්වය වඩා යහපත් කර ගැනීමට වෘත්තීය සමිති ලෙස සංවිධානය වීම උදවුවක් වී තිබෙනවා. නමුත් ධනවාදය දියුණු වෙද්දී ප්‍රාග්ධනහිමියන් හා ශ්‍රමිකයින් අතර තිබෙන බල අසමතුලිතතාවය ක්ෂය වී යන නිසා වෘත්තීය සමිති වලින් සිදු වූ ඓතිහාසික කාර්ය භාරය තව දුරටත් අවශ්‍ය වෙන්නේ නැහැ. 

තරඟකාරී නිදහස් වෙළඳපොළක අවසාන වශයෙන් ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය ශ්‍රමිකයාටත්, ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවය ප්‍රාග්ධනහිමියාටත් ලැබෙනවා. වඩා සරල භාෂාවකින් පැහැදිලි කළොත් ශ්‍රමිකයෙකු අලුතෙන් එකතු වීම නිසා ඉහළ යන නිෂ්පාදිතයේ වටිනාකම මුළුමනින්ම එම ශ්‍රමිකයාට ලැබෙනවා. ප්‍රාග්ධනය එකතු කිරීම නිසා ඉහළ යන නිෂ්පාදිතයේ වටිනාකම මුළුමනින්ම එම ප්‍රාග්ධනහිමියාට ලැබෙනවා. මෙය ඉතාම සාධාරණ බෙදීමක්. 

"වෘත්තීය සමිති" වලට කාර්ය භාරයක් තියෙන්නේ කවර හෝ හේතුවක් නිසා ඔය වැඩේ නොවෙන තත්ත්වයක් යටතේදී. හරියටම කිවුවොත්, ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය ශ්‍රමිකයාට නොලැබෙන තත්ත්වයක් යටතේදී. ඒ වගේ තත්ත්වයක් යටතේදී ශ්‍රමිකයෙකුට තනිව හෝ සාමූහිකව හෙට්ටු කරලා ලබා ගත හැකි අතිරික්තයක්  තිබෙනවා.

දියුණු ධනවාදයක් ඇතුළේ ශ්‍රමිකයෙකුට තමන්ගේ  ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය නොලැබී යන්න තිබෙන ඉඩකඩ ඉතාම අඩුයි. මොකද වෙළඳපොළක එකම නිෂ්පාදනය කරන සමාගම් ගණනාවක් තිබෙනවා. ඒ නිසා, ඕනෑම ආකාරයක ශ්‍රමය විකිණිය හැකි විකල්ප අවස්ථා තිබෙනවා. තමන්ගේ ශ්‍රමය වෙනුවෙන් එහි ආන්තික ඵලදායීතාවය ලැබෙන්නේ නැත්නම් ඉන්න තැනින් අයින් වෙලා වෙන තැනකට යන්න පුළුවන්. 

ඒ විදිහට ශ්‍රමිකයෙක් අයින් වෙලා ගියාම අදාළ ව්‍යවසායකයාට වැඩි අපහසුවක් නොමැතිව වෙනත් අයෙකු බඳවා ගන්න පුළුවන් වුනත්, ඒ අලුත් ශ්‍රමිකයාගේ ශ්‍රමය මිල දී ගන්න වෙන්නේ එහි ආන්තික ඵලදායීතාවය ගෙවලා. ඒ නිසා, ඉන්න ශ්‍රමිකයාට අඩුවෙන් ගෙවලා යන්න අරින එකේ තේරුමක් නැහැ. ඔය තත්ත්වය තුළ හැම වෙලාවකම වගේ ව්‍යවසායකයෙකු විසින් ශ්‍රමිකයෙකුට ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය ගෙවන්න පෙළඹෙනවා. ඒකට ඒ තරම් හෙට්ටු කරන්න අවශ්‍ය නැහැ. හැබැයි ඔය වැඩේ වෙන්නේ දියුණු වෙළඳපොළක් ඇත්නම් පමණයි.

ඉහත හේතුව නිසා දියුණු වෙළඳපොළක් තිබෙන රටවල වෘත්තීය සමිති වලින් ලොකු බලපෑමක් වෙන්නේ නැහැ. ඒ නිසාම, වෘත්තීය සමිති විදිහට සංවිධානය වීමේ අයිතිය තිබුණා කියලා ලොකු අවුලක් වෙන්නෙත් නැහැ. ගොඩක් වෙලාවට වෘත්තීය සමිති තිබෙනවා කියන එක පේන්නෙවත් නැහැ.

උත්ප්‍රාසජනක දෙයක් වන්නේ දැන් ගොඩක් වෙලාවට වෘත්තීය සමිති ක්‍රියාකාරිත්වය පේන්න තියෙන්නේ රාජ්‍ය අංශය ඇතුළේ වීමයි. එයින් අදහස් වන්නේ පෞද්ගලික අංශයේ ශ්‍රමිකයෙකුට සාමාන්‍යයෙන් ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය ලැබෙනවා කියන එකයි. ඒ නිසා සාමූහිකව හෙට්ටු කිරීමේ අවශ්‍යතාවයක් නැහැ.

මේ වෙද්දී බටහිර රටවල රාජ්‍ය අංශය ක්‍රියාත්මක වෙන්නේ පොදු සේවා සැපයීම තුළයි. ඇමරිකාවේනම් එවැන්නක් සිදු වෙන්නෙත් නැති තරම්. ඒ නිසාම, වෘත්තීය සමිති ක්‍රියාකාරකම් වලට ඉඩක් හෝ අවස්ථාවක් නැති තරම්. නමුත් යුරෝපයේ තත්ත්වය වෙනස්. රටෙන් රටට තත්ත්වය වෙනස් නමුත් අධ්‍යාපනය, සෞඛ්‍යය, ප්‍රවාහනය වගේ පොදු සේවා සැපයීමේදී ගොඩක් වෙලාවට රාජ්‍ය ඒකාධිකාරයක් හෝ ඊට ආසන්න තත්ත්වයක් දකින්න පුළුවන්.

උදාහරණයක් විදිහට එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය සේවය සැලකුවොත් එම ආයතනය එරට ලොකුම රැකියා සපයන්නා පමණක් නෙමෙයි රැකියා සැපයීම අතින් ලෝකයේම පස්වන තැන සිටින ආයතනය. ඊට වඩා වැඩි පිරිසකට සේවා සපයන ආයතන වන්නේ ඇමරිකාවේ, ඉන්දියාවේ හා චීනයේ ආරක්ෂක අංශ හා ඇමරිකාවේ වෝල්මාට් ආයතනය පමණයි. එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය සේවය මිලියන 1.7කට සෘජු ලෙස රැකියා සපයනවා. 

මේ වගේ රාජ්‍ය ඒකාධිකාරයක් වෙනුවෙන් සේවය කරන කෙනෙකුට තමන්ගේ ආන්තික ඵලදායීතාවය මැනගත හැකි සම්මතයක් නැතිව යනවා. මොකද සේවය හැර ගියොත් ගොඩක් වෙලාවට රට ඇතුළේ වෙනත් විකල්ප රැකියා සපයන්නෙක් නැහැ. 

රාජ්‍ය අංශය විසින් සපයන මෙවැනි පොදු සේවාවන් සමහර වෙලාවට නොමිලේත්, තවත් සමහර වෙලාවට සුබසාධිත මිලකටත් සපයනවා. හරියටම කිවුවොත් බදු මුදල් වලින් මෙවැනි සේවාවන් සුබසාධනය කෙරෙනවා. ඒ නිසා, මිල, ආදායම හෝ ලාබය තව දුරටත් සපයන සේවාවේ වටිනාකම පිළිබඳ නිර්ණායකයක් වන්නේ නැහැ. ඒ නිසාම, ආයතනයේ ලාබ හෝ පාඩු වලින් එම ආයතනයේ සේවකයින්ගේ ශ්‍රමයේ ඵලදායීතාවය මැන ගන්න බැහැ. 

ඉහත තත්ත්වය තුළ පොදු සේවා සපයන රාජ්‍ය ආයතනයක සේවකයෙකුට ආයතනය සමඟ තනිව හෙට්ටු කරන්න අසීරු වෙනවා. මොකද එහෙම හෙට්ටු කරලා රස්සාවෙන් යන්න වුනොත් රට හැර යනු හැර වෙන යන්න තැනක් නැහැ. ආයතනය ගොඩක් විශාල නිසා එක්කෙනෙක් දෙන්නෙක් ගියා කියලා ආයතනයට ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා, හෙට්ටු කිරීමේ හැකියාව අතින් ශ්‍රමිකයා හා ආයතනය අතර පැහැදිලි බල වෙනසක් තිබෙනවා. 

ඔය වගේ ආයතනයක සේවකයින් බහුතරය වෘත්තීය සමිතියක් යටතේ සංවිධානගත වූ විට තත්ත්වය කණපිට හැරෙනවා. දැන් ශ්‍රමිකයින්ට කලින් නොතිබුණු හෙට්ටු කිරීමේ බලයක් තිබෙනවා. මොකද මේ සේවකයෝ ඔක්කොම අයින් කරලා අලුතෙන් පිරිස් බඳවා ගත හැකි ශ්‍රම වෙළඳපොළක් රට ඇතුළේ නැහැ. ඒ නිසා අදාළ රාජ්‍ය ආයතනයට සේවකයින් එක්ක (වෘත්තීය සමිතිය එක්ක) කිසියම් සංහිඳියාවකට එන්නම වෙනවා.

මේකේ තිබෙන අවුල මේ ක්‍රමයට සේවකයින්ට හෙට්ටු කරලා තමන්ගේ ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවයට වඩා වැඩි දෙයක් වුනත් ලබා ගන්න පුළුවන් වීමයි. මොකද ඔවුන් හෙට්ටු කරන්නේ ලාබ ලැබීම ඉලක්ක කරගත් ආයතනයක් එක්ක නෙමෙයි. එවැනි ආයතනයක් එක්ක හෙට්ටු කළානම් ආයතනයේ ලාබ ප්‍රමාණය මගින් හෙට්ටු කිරීමේ හැකියාව නියාමනය වෙනවා. තේරෙන විදිහට කිවුවොත් ආයතනයක් පාඩු විඳගෙන සේවක පඩි වැඩ කරන්නේ නැහැ. ආයතනය වහල දමලා ප්‍රාග්ධනය වෙන තැනකට අරගෙන යන එක ඊට වඩා වාසියි. ඒ නිසාම ශ්‍රමිකයෝ තමන්ගේ රැකියා අහිමි වීමේ අවදානම අරගෙන ඒ මට්ටමට හෙට්ටු කරන්නේ නැහැ.

රාජ්‍ය ආයතනයක් එක්ක හෙට්ටු කරද්දී ඔය ප්‍රශ්නය නැහැ. මොකද ආයතනයේ ලාබ පාඩු මේ හෙට්ටු කිරීමට අදාළ නැහැ. රජයට අවශ්‍යනම් බදු ගෙවන්නන් මත වැඩි බරක් පටවමින් සේවක වැටුප් හා ප්‍රතිලාභ වැඩි කරන්න පුළුවන්. 

මේ ආකාරයේ වැඩ වර්ජනයක් සාර්ථක වෙන්නේ බදු ගෙවන්නන් මත, ඒ කියන්නේ සාමාන්‍ය මහජනතාව මත, වැඩි පීඩනයක් එල්ල කරපු තරමටයි. රාජ්‍ය ආයතනයකට පොදු සේවා සැපයීමේ ඒකාධිකාරයක් තියෙද්දී මේ වැඩේ කරන එක අමාරු නැහැ. මොකද මේ පොදු සේවා බොහොමයක් අත්‍යවශ්‍ය සේවා.

නමුත් මේ වැඩේ සාධාරණද? 

සමාජ සම්මතය ඇතුලෙ නැත්නම් නීතිය ඇතුලෙ වැඩ වර්ජන අයිතිය තහවුරු කරලා තියෙන්නේ වෙනම සන්දර්භයක. හරියටම කිවුවොත් ප්‍රාග්ධනහිමියන් එක්ක හෙට්ටු කිරීමේදී බල අසමතුලිතතාවය නිසා ශ්‍රමිකයින්ට සිදු විය හැකි අසාධාරණයට පිළියමක් විදිහට. නමුත්, දැන් වෙන්නේ මොකක්ද?

දැන් වෙන්නේ ශ්‍රමිකයින් පිරිසක් විසින් ඒකාධිකාරයක් හදාගෙන ඒ හරහා රටේ සාමාන්‍ය මහජනතාව වෙත පීඩනයක් එල්ල කරමින් එහි වාසිය ගන්න එක. මෙහිදී සේවායෝජකයා වන රජය අතරමැදියෙක් පමණයි. මේ තත්ත්වය තුළ, කිසියම් පිරිසකගේ සාමූහික හෙට්ටු කිරීමේ අයිතිය තහවුරු කරනවා කියන්නේ ඊට වඩා විශාල පිරිසකගේ ජීවත් වීමේ, අධ්‍යාපනය ලැබීමේ, සංචලනයේ අයිතීන් උල්ලංඝනය වෙනවා කියන එක. එතකොට රජයක් විසින් ගත යුත්තේ කාගේ පැත්තද?

මේක අඩු වශයෙන් යුරෝපය පුරා මෑතකාලීනව සංවාදයට බඳුන් වී තිබෙන මාතෘකාවක්. එක පැත්තකින් ශ්‍රමිකයින්ගේ සාමූහිකව හෙට්ටු කිරීමේ අයිතිය තහවුරු කළ යුතු අතරම අනෙක් පැත්තෙන් සාමාන්‍ය මහජනතාවගේ ජීවත් වීමේ, අධ්‍යාපනය ලැබීමේ, සංචලනයේ අයිතීන් තහවුරු කිරීම ගැනත් රජයකට හිතන්න වෙනවා. නමුත් මේ එකක් කරද්දී එයින් අනෙක් එකට බාධා වෙන එක වලක්වන්න බැහැ.

මේ ප්‍රශ්නයට විසඳුමක් විදිහට එංගලන්තය පසු ගිය වසරේදී වැඩ වර්ජන (අවම සේවා) පණත සම්මත කළා. එය එවැනි පණතක් සම්මත කරගත් පළමු යුරෝපීය රට නෙමෙයි. ඉතාලිය, ප්‍රංශය හා ස්පාඤ්ඤය කලින්ම මෙවැනි පණත් සම්මත කරගෙනයි තිබුණේ.

මෙම පණත ඉදිරිපත් කර සම්මත කර ගනු ලැබූයේ පසුගිය සතියේ ලේබර් පක්ෂය බලයට පත්වන තුරු එක්සත් රාජධානියේ බලය හෙබවූ කොන්සර්වේටිව් පක්ෂය විසිනුයි. 2023 ජනවාරි 16 දින මේ සඳහා පැවති ඡන්ද විමසීමේදී 310-249 ලෙස වැඩි ඡන්ද 61කින් මෙම පනත මහජන මන්ත්‍රී මණ්ඩලය තුළ (House of Commons) සම්මත වුණා. පණතට පක්ෂව ඡන්දය දුන් මන්ත්‍රීවරුන් 308 දෙනෙකුම කොන්සර්වේටිව් පක්ෂයේ නියෝජිතයින්. ලේබර් පක්ෂය ඇතුළු විරුද්ධ පක්ෂ සියල්ලක්ම පාහේ ඡන්දය දුන්නේ මෙම පණතට විරුද්ධවයි.

එක්සත් රාජධානියේ මහජන මන්ත්‍රී මණ්ඩලය තුළ සම්මත වූ මෙම පණත ඉන් පසුව සාමි මන්ත්‍රී මණ්ඩලය තුළද සම්මත වී 2023 ජූලි 20 දින නීතියක් බවට පත් වුනා. ඊට පෙර පෙන්ම පසුවද වෘත්තීය සමිති වලින් මෙම පණතට එරෙහිව විරෝධතා පැමිණි අතර, දැන් බලයට පත් වී සිටින ලේබර් පක්ෂය එම විරෝධතා වලට සහයෝගය දෙමින් තමන් බලයට පත් වී දින 100ක් ඇතුළත පණත අහෝසි කරන බවට ප්‍රතිඥා දී තිබෙනවා. කෙසේ වුවත්, මේ වන විට මෙය එංගලන්තයේ නීතියක්ව තිබෙනවා. 

මෙම පණත යටතේ සෞඛ්‍යය, අධ්‍යාපනය හා ප්‍රවාහනය ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන් කාණ්ඩ හයක් ආවරණය වෙනවා. මේ වන විට පණතේ ප්‍රතිපාදන අනුව අවශ්‍ය මාර්ගෝපදේශන නිකුත් කර තිබෙනවා. ඒ අනුව, වැඩ වර්ජන කළ හැක්කේ පූර්ව දැනුම්දීමකින් පසුව දෙපාර්ශ්වයට එකඟ විය හැකි සැලසුමකට අනුවයි.

වැඩ වර්ජනයට දින 14කට පෙර - වෘත්තීය සමිතිය විසින් වැඩ වර්ජනය කිරීමේ අභිප්‍රාය සේවායෝජකයා වෙත දැනුම්දීම.

වැඩ වර්ජනයට දින 7-14කට පෙර - සේවායෝජකයා විසින් අවම සේවා මට්ටමක් පවත්වා ගැනීම පිණිස අවශ්‍ය වන සේවකයින් ප්‍රමාණය ඇස්තමේන්තු කිරීම සහ නිශ්චිත සේවකයින් හඳුනාගෙන ඔවුන්ගේ ලැයිස්තුවක් සකස් කර වෘත්තීය සමිතිය වෙත ලබා දීම.

වැඩ වර්ජනයට දින 1-7කට පෙර - සේවායෝජකයා විසින් ලැයිස්තුවේ නම් සඳහන් සේවකයින් වෙත ඒ බැව් දැනුම් දීම.

වැඩ වර්ජනයට දින 4කට පෙර - සේවායෝජකයා විසින් අත්‍යවශ්‍ය සේවක ලැයිස්තුව සංශෝධනය කළ හැකි අවසන් දවස. 

මෙම කාර්ය පටිපාටිය ඉතාලිය වැනි අනෙකුත් යුරෝපීය රටවල ක්‍රියාත්මක කාර්ය පටිපාටියට බොහෝ දුරට සමානයි. කෙසේ වුවත්, දැන් බලයට පත්ව සිටින ලේබර් පක්ෂය විසින් ඉහත නීතිය අහෝසි කරයිද යන්න කාලය පිළිබඳ ප්‍රශ්නයක්.

Wednesday, July 10, 2024

ඉතාලියේ කෝච්චි ස්ට්‍රයික්!


පසුගිය දෙසතියක පමණ කාලය ගත කළේ යුරෝපයේ. එයින් අවසන් දවස් කිහිපය ගත කළේ ඉතාලියේ. යුරෝපයේ සංචාරය කරද්දී කවුරු වුනත් සාමාන්‍යයෙන් පොදු ප්‍රවාහනය කෙරෙහි ලොකු බරක් තියනවානේ. නමුත් ගිහින් අනෙක් අතට දැන ගන්න ලැබුණේ රෝම නගරයේ දුම්රිය වැඩ වර්ජනයක් බවයි. ඒ මදිවට හරියටම ආපහු එන දවසේ ගුවන් තොටුපොළ සේවක වැඩ වර්ජනයක්. අර කියනවනේ අපි නැග්ගොත් පුවක් ගහෙත් දෙබලක් කියලා. ඔන්න ඔය වගේ වැඩක් තමයි සිද්ද වුනේ. 

දුම්රිය සේවක වර්ජනය නිසා ඉන්න දවස් දෙක තුනේ අවශ්‍ය තැනකට යා ගන්න එකට බාධාවක් වෙයිද? ඊටත් වඩා වැඩියෙන්, ආපහු එන ගුවන් යානය ප්‍රමාද වෙලා හරි අවලංගු වෙලා හරි අවුලක් වෙයිද? ඔය වගේ අවිනිශ්චිතතා ගණනාවක් ගැන වද වෙන්න සිදු වුනත් වාසනාවට ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිදු වුනේ නැහැ. 

පසුගිය සති අන්තයේ ඉතාලිය පුරාම ව්‍යාප්ත වූ ලොකු දුම්රිය වැඩ වර්ජනයක් තිබුණා. හැබැයි ඒ අපි ඉතාලියෙන් පිට වෙන්න නියමිතව තිබුණු සිකුරාදා දවසට පස්සේ. ඒ නිසා, ඒ වැඩ වර්ජනය අපට බලපෑවේ නැතත්, ඊට කලින් බ්‍රහස්පතින්දා දවසේ රෝම නගරයේ හුදෙකලා දුම්රිය සේවක වැඩ වර්ජනයක් තිබුණා. අපට බලපෑවේ එම වැඩ  වර්ජනය සහ සිකුරාදා පැවති ගුවන් තොටුපොළ සේවක වැඩ වර්ජනය. 

බලපෑවා කිවුවට ඇත්තටම වුනේ දුම්රිය ගමන් නියමිත වෙලාවට වඩා විනාඩි කිහිපයක් ප්‍රමාද වුන එක පමණයි. වෙන ප්‍රශ්නයක් සිදු වුනේ නැහැ. මෙයට හේතුව ඉතාලි නීතිය අනුව වැඩ වර්ජන කිරීමේ අයිතිය තහවුරු කර තිබුණත්, ඒ එක්කම වැඩ වර්ජන නිසා පොදු සේවාවන් ලබා ගැනීමේ අයිතියට බාධා වීමද වලක්වා තිබීමයි. 

ඉතාලි ව්‍යවස්ථාවේ 40 වගන්තියෙන් "ඉතාලි නීතියට අනුගත වන පරිදි" වැඩ වර්ජනය කිරීමේ අයිතිය තහවුරු කර තිබෙනවා. මෙය පුද්ගලික අයිතියක්. නමුත් රටේ කිසියම් පිරිසකගේ මෙවැනි අයිතියක් නීතියෙන් තහවුරු කරද්දී ඒ හේතුව නිසා තවත් පිරිසකගේ අයිතීන් අහිමි වීමක් සිදු වෙන්න පුළුවන්. මේ ප්‍රශ්නයට විසඳුමක් විදිහට ඉතාලි ව්‍යවස්ථාදායකය විසින් 1990 අංක 146 දරන නීතිය සම්මත කර තිබෙනවා. ඉන් පසුව, 2000 අංක 83 දරන නීතියෙන් මෙයට තවත් දේවල් එකතු කර තිබෙනවා.

ඉහත නීති මගින් ව්‍යවස්ථාවේ තිබෙන වර්ජන කිරීමේ අයිතිය තහවුරු කරන අතරම එයට යම් සීමා පනවමින් වැඩ වර්ජන නිසා අනෙකුත් පුද්ගලයින්ගේ අධ්‍යාපනය ලැබීමේ, වෛද්‍ය ප්‍රතිකාර ලැබීමේ, ප්‍රවාහන පහසුකම් ලැබීමේ අයිතීන් උල්ලංඝනය නොවන බවද තහවුරු කර තිබෙනවා. එවැනි මූලික අවශ්‍යතා වලට බාධා වන අයුරින් වැඩ වර්ජන කළ නොහැකියි. මේ දෙකම එක වර කරන්නේ කොහොමද?

ඉතාලි ව්‍යවස්ථාවේ සඳහන් මූලික අයිතිවාසිකම් තහවුරු වන පරිදි 1990 අංක 146 දරන නීතිය මගින් වැඩ වර්ජන කරද්දී ආරක්ෂා විය යුතු මූලික අයිතීන් අර්ථ දක්වා තිබෙනවා. මෙම අයිතීන්ට ජීවත් වීමේ අයිතිය, සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමේ අයිතිය, පුද්ගල නිදහස හා ආරක්ෂාව, සංචාරය කිරීමේ නිදහස, අධ්‍යාපනය ලැබීමේ අයිතිය, සන්නිවේදනය කිරීමේ අයිතිය ආදිය ඇතුළත්. ඒ නිසා, වැඩ වර්ජන කළ හැකි වුවත්, සාමාන්‍ය මහජනතාවගේ ඉහත සඳහන් අයිතීන් උල්ලංඝනය වන පරිදි වැඩ වර්ජන කළ නොහැකියි. 

මේ අනුව, ඉහත සඳහන් පොදු සේවාවන් සැපයීමට දායක වන අයගේ වැඩ වර්ජනය කිරීමේ අයිතිය සීමා වෙනවා. වැඩ වර්ජන කළ හැක්කේ අත්‍යවශ්‍ය සේවාවන් අවම මට්ටමකින් පවත්වා ගනිමින් පමණයි. එසේ නැත්නම් එය තීති විරෝධීයි. මෙම අවම මට්ටම තීරණය කිරීම සඳහා බලධාරියෙක් ඉන්නවා.

දුම්රිය සේවය සැලකුවහොත්, වැඩ වර්ජනයකදී ඇතැම් දුම්රිය සේවා බාධාවකින් තොරව පවත්වා ගෙන යා හැකි පරිදි එම වැඩ වර්ජනය සිදු කළ යුතුයි. උදාහරණයක් විදිහට රෝම නගරයේ සිට ගුවන් තොටුපොළ දක්වා දිවෙන ලියනාඩෝ එක්ස්ප්‍රස් දුම්රිය වැඩ වර්ජනයකදී වුවද බාධාවක් නොමැතිව ධාවනය විය යුතුයි. 

මේ නීතිය බලපාන්නේ රජයේ සේවකයින්ට පමණක් නෙමෙයි. අත්‍යවශ්‍ය පොදු සේවා සපයන පෞද්ගලික අංශයේ සේවකයින්ටද මෙම නීතිය බලපානවා.

ඉතාලියේ මෙන්ම ප්‍රංශය හා ස්පාඤ්ඤය වැනි රටවලද මෙවැනි අවම සේවා නීති ක්‍රියාත්මකව ඇති අතර පසුගිය වසරේදී එක්සත් රාජධානියද (ස්කොට්ලන්තය හැර) මෙවැනි නීතියක් (වැඩ වර්ජන (අවම සේවා) පණත) සම්මත කළා. මේ අනුව, වැඩ වර්ජන අවස්ථාවකදී සෞඛ්‍ය, අධ්‍යාපන හා ප්‍රවාහන ආදී ක්ෂේත්‍ර වල අවම සේවා මට්ටමක් පවත්වා ගෙන යාම තහවුරු වෙනවා. 

Sunday, July 7, 2024

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය


විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා සම්බන්ධ මූලික කටයුතු මේ වන විට සෑහෙන දුරකට අවසන් වී තිබෙනවා. හරියටම කිවුවොත්, ශ්‍රී ලංකා රජය විසින් ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථක ලෙස අවසන් කරලා වාණිජ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අවශ්‍ය වන මූලික එකඟතාවයන් ඇති කර ගෙන තිබෙනවා. මේ ඒ පිළිබඳ හැකි තරමින් සංක්ෂිප්ත, එහෙත් අවශ්‍ය පමණ විස්තරාත්මක, සමාලෝචනයක්.

මෙහි ආරම්භයේදී මතක් කරන ඇතැම් කරුණු මීට පෙර වඩා විස්තරාත්මක ලෙස පැහැදිලි කර ඇතත්, මෙය තනි ලිපියක් ලෙස කියවන අය වෙනුවෙන් නැවතත් කෙටියෙන් සටහන් කිරීම යෝග්‍යයයි අප සිතනවා.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් අවශ්‍ය වූයේ ඇයි?

ශ්‍රී ලංකා රජයට ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අවශ්‍ය වූයේ ණය තිරසාරත්වය නැති වූ නිසා. ණය තිරසාරත්වය නැති වීම යන්නෙන් අදහස් වන්නේ කලින් ගත් ණය වල වාරික මුදල් හා ඒ වෙනුවෙන් ගෙවිය යුතු පොලී මුදල් සියල්ලම  "පොරොන්දු වූ දිනට" ආපසු ගෙවීම සඳහා අවශ්‍ය වන අරමුදල් සොයා ගත නොහැකි තත්ත්වයකට ශ්‍රී ලංකා රජය පත් වීමයි. 

ණය වාරික හා පොලී මුදල් "සියල්ලම" නිසි කලට ගෙවිය නොහැකි වූ පමණින් එම වාරික හා පොලී මුදල් "කිසිවක්" නිසි කලට ගෙවිය නොහැකි තත්ත්වයක් අදහස් වන්නේ නැහැ. ණය වාරික හා පොලී මුදල් වලින් යම් කොටසක් නිසි පරිදි ගෙවීමේ හැකියාවක් තව දුරටත් ශ්‍රී ලංකා රජය සතුව තිබුණා.

ණය වාරික හා පොලී මුදල්  සියල්ලම "නිසි කලට" ගෙවිය නොහැකි වූ පමණින් එසේ කලට වෙලාවට නොගෙවන ණය වාරික හා පොලී මුදල් "කිසි දිනක" ගෙවිය නොහැකි තත්ත්වයක් ඇති වූ බවද අදහස් වන්නේ නැහැ.

ණය තිරසාරත්වය නැති වුනේ ඇයි?

මෙතෙක් දිගින් දිගටම ශ්‍රී ලංකා රජය විසින් කළේ අලුතෙන් ගන්නා ණය වලින් පැරණි ණය වල වාරික හා පොලී ගෙවීමයි. ඊට අමතරම දිගින් දිගටම පවත්වා ගෙන ගිය රජයේ ප්‍රාථමික අයවැය හිඟය පියවා ගැනීම සඳහාද අලුතෙන් ණය ගන්නට අවශ්‍ය වුනා. ණය ප්‍රමාණය ක්‍රමයෙන් විශාල වීමත් සමඟ එම ණය හා පොලී ආපසු ගෙවීම සඳහා අවශ්‍ය වන අරමුදල් ප්‍රමාණය අලුතෙන් ණයට ලබා ගත නොහැකි තත්ත්වයකට ශ්‍රී ලංකා රජය මුහුණ දුන්නා. මෙම තත්ත්වය විශේෂයෙන්ම ඇති වූයේ 2022-2027 කාලය හා අදාළවයි. 

ඉදිරි වසර තුන හතරක කාලය තුළ ණය හා පොලී ආපසු ගෙවීම සඳහා අරමුදල් සපයා ගැනීම අසීරු වූ විට සාමාන්‍යයෙන් කරන්නේ ඒ සඳහා අවශ්‍ය අරමුදල් ප්‍රමාණය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණයට ලබා ගැනීමයි. එසේ ණය ලබා දෙද්දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ප්‍රශ්නයට හේතු වූ රජයේ ප්‍රාථමික අයවැය හිඟය ඇතුළු අනෙකුත් ආකෘතිමය ප්‍රශ්න විසඳා ගැනීම සඳහා බලපෑම් කරනවා. එම වෙනස්කම් කිරීමට වූ අකැමැත්ත නිසා මෙවර ශ්‍රී ලංකා රජය කලට වෙලාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගියේ නැහැ. ඒ නිසා ප්‍රශ්නය වඩා බරපතල වුනා.  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යන අවස්ථාව වන විට ප්‍රශ්නය වසර තුන හතරකින් විසඳිය හැකි මට්ටමක තිබුණේ නැහැ. ඒ නිසා ණය තිරසාරත්වය ඇති කර ගැනීම සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් අවශ්‍ය වුනා. 

ණය ප්‍රතිව්‍යුහගත කිරීමකින් ණය තිරසාරත්වය ඇති වන්නේ කොහොමද?

කලින් කී පරිදි ශ්‍රී ලංකාවේ ණය තිරසාරත්වය නැති වී තිබුණේ 2022-2027 කාලය හා අදාළවයි. ඒ නිසා, එම කාලය තුළ ආපසු ගෙවිය යුතු වූ ණය වාරික හා පොලී මුදල් "සියල්ල" පොරොන්දු පරිදි ආපසු ගෙවීමේ හැකියාවක් තිබුණේ නැහැ. මෙම ණය වාරික හා පොලී මුදල් ආපසු ගෙවීම පිණිස වැඩි කාලයක් ලබා ගැනීම මගින් ශ්‍රී ලංකා රජයට අවශ්‍ය පරිදි ආකෘතිමය ප්‍රශ්න විසඳා ගෙන රටේ ආර්ථිකය ස්ථාවර කර ගැනීම සඳහා වැඩි කාලයක් ලැබෙනවා.

ඒ කියන්නේ තවම රටේ ආර්ථිකය ස්ථාවර නැද්ද?

දෙවසරක පමණ අසීරු ව්‍යායාමයකින් පසුව මේ වන විට රටේ ආර්ථිකය ස්ථාවර කරගෙන ඇතත් එසේ කරගෙන තිබෙන්නේ ණය වාරික හා පොලී මුදල් වලින් කොටසක් පොරොන්දු පරිදි නොගෙවා සිටින අතරයි. දිගුකාලීනව රටට අවශ්‍ය වන්නේ පෙර කළ වැරදි නැවත නැවත නොකරන අතරම, පෙර වැරදි වෙනුවන් වන්දි ගෙවිය හැකි ආකාරයේ ස්ථාවරත්වයක්. දශක ගණනක් තිස්සේ ශ්‍රී ලංකා රජය විසින් කළ සාර්ව ආර්ථික "වැරදි" දැන් කරන්නේ නැතත්, පෙර වැරදි වෙනුවෙන් වන්දි ගෙවන ආකාරය (කලින් ගත් ණය ආපසු ගෙවන ආකාරය) පිළිබඳව ණයහිමියන් සමඟ එකඟතාවයකට පැමිණිය යුතුයි.

එවැනි එකඟතාවයකට පැමිණීම අසීරු ඇයි?

දෙපාර්ශ්වයක් අතර ඇති කරගත් ගිවිසුමක් ඒක පාර්ශ්වීය ලෙස කඩ කළ විට අනෙක් පාර්ශ්වයට පාඩුවක් සිදු වෙනවා. පාඩු විඳින්නට කවුරුවත් කැමති වෙන්නේ නැහැ. ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් කියන්නේ බොහෝ දුරට ණයහිමියන්ට සිදු වන පාඩුවක්. 

ණය තිරසාරත්වය නැති පසුබිමක වුවද ශ්‍රී ලංකා රජයට ගෙවිය යුතු ණය වාරික හා පොලී වලින් කොටසක් පොරොන්දු පරිදි ගෙවීමේ හැකියාව තිබෙනවා. ඒ නිසා, කිසියම් තනි ණයහිමියෙක් සැලකුවොත්, බොහෝ විට එම ණයහිමියාට ශ්‍රී ලංකා රජයෙන් තමන්ට අයවිය යුතු මුදල් අය කර ගත හැකියි. නමුත් සියලුම ණයහිමියන්ට එසේ කළ නොහැකියි. අවසානයේදී ණයහිමියන්ගෙන් යම් පිරිසකට තමන්ගේ අරමුදල් නොලැබී යනවා.

මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් "සාධාරණ මැදිහත්කරුවෙකුගේ" භූමිකාව ඉටු කරනවා. පළමුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් 2027 පමණ දක්වා ශ්‍රී ලංකා රජයට අනිවාර්ය ණය සහනයක් අවශ්‍ය බව ණයහිමියන්ට පෙන්වා දී තිබෙනවා. මේ අනුව, ශ්‍රී ලංකාවට අවශ්‍ය වන අවම ණය සහනය තීරණය වෙනවා. 

දෙවනුව, ශ්‍රී ලංකාව විසින් එම ණය සහනය ලබා ගනිද්දී එහි පාඩුව ණයහිමියන් අතර සාධාරණ ලෙස බෙදී යන යාන්ත්‍රණයක් අවශ්‍ය වෙනවා. අමාරුම කාර්යය විෂමජාතීය ණයහිමියන් සමඟ මෙවැනි "සියල්ලන්ටම එකඟ විය හැකි" එකඟතාවයක් ඇති කර ගැනීමයි.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් මගින් ණය තිරසාරත්වය ඇති වෙන්නේ කොහොමද?

පෙර ලිපි වල විස්තර කර ඇති පරිදි ශ්‍රී ලංකා රජයේ ප්‍රශ්නය වූයේ ණය ගෙවිය හැකි තරම් රුපියල් නැති වීම සහ එසේ රුපියල් සොයා ගත්තද විදේශ ණය ගෙවීම සඳහා මිල දී ගත හැකි තරම් ඩොලර් රටේ නැති වීමයි. රුපියල් ප්‍රශ්නයට විසඳුම රජයේ බදු ආදායම් වැඩි කර ගැනීම සහ වියදම් සීමා කර ගැනීමයි.  2022 වන විට රජයේ බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 7.3% දක්වා පහත වැටී තිබුණා. හැමෝම කතා කරන බදු වැඩි කිරීම් සියල්ලෙන් පසුව, 2023දී මෙම අගය 9.8% දක්වා ඉහළ ගොස් තිබෙනවා. එහෙත්, 2022දී ණය වාරික හා පොලී ගෙවීම සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් 34.6%ක පමණ අරමුදල් ප්‍රමාණයක් අවශ්‍ය වුනා. 

රජයේ බදු ආදායම දදේනියෙන් 7.3% සිට 9.8% දක්වා වැඩි කර ගනිද්දී ජනතාව මත පැටවෙන බදු බර 34%කින් පමණ ඉහළ යනවා. ක්ෂණිකව බදු බර මෙපමණ වැඩි වීම බොහෝ දෙනෙකුට දැනෙනවා. නමුත්, එසේ කිරීමෙන් පසුවද බදු ආදායම දදේනියෙන් 9.8%ක් පමණයි. ණය සියල්ල කෙසේ වුවත්, වසරක් තුළ ගෙවිය යුතු ණය වාරික හා පොලී ප්‍රමාණය පමණක් දදේනියෙන් 30% ඉක්මවද්දී  දදේනියෙන් 9.8%ක බදු ආදායමක් හැරෙන්නවත් මදි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඉලක්කය 2027-2032 කාලයේ ශ්‍රී ලංකා රජයේ ණය සේවාකරණ බර  (ණය වාරික හා පොලී ගෙවීම්) දදේනියෙන් 13% දක්වා අඩු කර ගැනීමයි.

මෙසේ ණය සේවාකරණ බර දදේනියෙන් 13% දක්වා අඩු කර ගත්තත් ඒ ණය වාරික හා පොලී ගෙවීම සඳහා අලුතෙන් ණය ගන්න සිදු වෙනවා. ඒ නිසා ණය තව දුරටත් එන්න එන්නම වැඩි වෙනවා. නමුත්, අඩු වශයෙන් ණය අරගෙන හෝ ණය ආපසු ගෙවන්න පුළුවන්. ඒ වගේම, ණය බර අඩු වන තරමට රජයට අඩු පොලියට ණය ලබා ගැනීම පහසු වෙනවා. ඒ නිසා, අනාගත ණය බර අඩු වෙනවා. හරියටම කිවුවොත් ණය තව දුරටත් වැඩි වුනත් ණය වැඩි වන වේගය අඩු වෙනවා. 

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ප්‍රධාන වශයෙන්ම සිදු වුනේ 2022-2032 කාලය තුළ ගෙවිය යුතු වූ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර වලින් කොටසක් වඩා වැඩි කාලයකින් ආපසු ගෙවිය යුතු බැඳුම්කර සමඟ හුවමාරු කර ගැනීමයි. මෙයින් ඉදිරි වසර දහයක පමණ කාලය තුළ රජයේ රුපියල් අවශ්‍යතාවය සැලකිය යුතු ලෙස අඩු වෙනවා. කෙසේ වුවත්, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් විසඳෙන්නේ දේශීය ණය හා පොලී ආපසු ගෙවීම පිළිබඳ ප්‍රශ්නයයි. විදේශ ණය ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් අනිවාර්යයෙන් අවශ්‍යයි.

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලසුම කුමක්ද?

මෙම (2024) වසරේ මාර්තු අවසාන වන විට ශ්‍රී ලංකා රජයේ මුළු විදේශ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 37,041ක්. එයින් ඩොලර් මිලියන 11,716ක් බහුපාර්ශ්වීය ණයයි.  ශ්‍රී ලංකා රජය විසින් මෙම බහුපාර්ශ්වීය ණය කිසිදු පැහැර හැරීමක් නොකර මෙතෙක් දිගටම ගෙවාගෙන යමින් සිටින අතර මෙම ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු වන්නේ නැහැ. ඉතිරි විදේශ ණය ප්‍රමාණයෙන් ඩොලර් මිලියන 10,589ක් ද්විපාර්ශ්වීය ණය වන අතර, ඩොලර් මිලියන 14,736ක් වාණිජ ණයයි. මෙම කොටස් දෙක අදාළ ණයහිමියන්ගේ එකඟතාවය පරිදි ප්‍රතිව්‍යුහගත කිරීමට නියමිතයි.

ද්විපාර්ශ්වීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලසුම කුමක්ද?

ද්විපාර්ශ්වීය ණය යනු වෙනත් රටවල රජයයන්ගෙන් ලබාගත් ණයයි. මෙම ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් ශ්‍රී ලංකා රජය විසින් ලබා ගන්නා වාසියක් යනු අදාළ රටවල බදු ගෙවන්නන් මත පැටවෙන බරක්. මෙවැනි ණය ප්‍රතිව්‍යුහගත කිරීමකදී ණයහිමියන් අතර කිසියම් සාධාරණ ආකාරයකින් බර පටවන්නට සිදු වෙනවා. එය ඔවුන්ගේ එකඟතාවය ලබා ගැනීම සඳහා අවම කොන්දේසියක්. 

ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වීය ණයහිමියන්ගෙන් විශාල පිරිසක් පැරිස් සංසදයේ සාමාජිකයින් ලෙස සංවිධානගත වී සිටීම මේ කාර්යයේදී විශාල පහසුවක් වූ අතර ඊට අමතරම ප්‍රධාන ණයහිමියෙකු වූ ඉන්දියාවද පැරිස් සංසදය හා එක්ව එක් කණ්ඩායමක් ලෙස කටයුතු කිරීම නිසා මේ කාර්යයය තවත් පහසු වුනා. එහෙත්, ලංකාවේ ප්‍රධානතම ද්විපාර්ශ්වීය ණයහිමියා වන චීනය පැරිස් සංසදය හා එක්ව එක් කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට එකඟ නොවීම නිසා මේ කාර්යය තරමක් සංකීර්ණ වුනා. ශ්‍රී ලංකා රජයට ඉන්දියාව හා හංගේරියාවද ඇතුළුව පැරිස් සංසදය සමඟ වෙනමත්, චීනය සමඟ වෙනමත් සාකච්ඡා පවත්වමින් එකඟතා වලට පැමිණෙන්නට සිදු වූ අතර මෙම කණ්ඩායම් දෙකට සාධාරණ ලෙස බර පටවන බව එක් එක් කණ්ඩායමට ඒත්තු ගන්වන්නට සිදු වුනා. ඊට අමතරව, කුවේට්, සවුදි අරාබිය, ඉරානය හා පකිස්ථානය යන රටවල් සමඟද වෙන වෙනම සාකච්ඡා කරන්නට සිදු වුනා. මේ වන විට ඉහත සඳහන් ද්විපාර්ශ්වීය ණය ප්‍රමාණයෙන් පැරිස් සංසදයේ රටවලට, ඉන්දියාවට, හන්ගේරියාවට හා චීනයට ගෙවිය යුතු ඩොලර් බිලියන 10ක පමණ ණය ප්‍රමාණයක් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ගිවිසුම් අත්සන් කර තිබෙනවා. 

පැරිස් සංසදයේ රටවල, ඉන්දියාවේ හංගේරියාවේ ණය ප්‍රතිව්‍යුහගත කෙරෙන්නේ කොහොමද?

මෙම රටවල් දා හතේ ණය ප්‍රමාණය, ණය බවට පරිවර්තනය කිරීමට නියමිත 2022 වසර අවසානය දක්වා නොගෙවා එකතු වී ඇති පොලී මුදල්ද සමඟ, ඩොලර් බිලියන 5.8ක් පමණ වෙනවා.

2024 මාර්තු අවසානයේදී මෙම එක් එක් රටට ගෙවිය යුතු වූ ණය ප්‍රමාණ පහත තිබෙනවා.

ජපානය - ඩොලර් මිලියන 2,359.1

ඉන්දියාව - ඩොලර් මිලියන 1,366.4

ප්‍රංශය - ඩොලර් මිලියන 427.0

කොරියාව - ඩොලර් මිලියන 294.6

නෙදර්ලන්තය - ඩොලර් මිලියන 262.6

ජර්මනිය - ඩොලර් මිලියන 199.8

එක්සත් රාජධානිය - ඩොලර් මිලියන 190.6

ඇමරිකාව - ඩොලර් මිලියන 132.5

ඔස්ට්‍රියාව - ඩොලර් මිලියන 106.4

ස්පාඤ්ඤය - ඩොලර් මිලියන 99.3

හංගේරියාව - ඩොලර් මිලියන 47.3

රුසියාව - ඩොලර් මිලියන 35.4

ස්වීඩනය - ඩොලර් මිලියන 34.7

ඩෙන්මාර්කය - ඩොලර් මිලියන 32.8

ඕස්ට්‍රේලියාව - ඩොලර් මිලියන 25.0

කැනඩාව - ඩොලර් මිලියන 18.1

බෙල්ජියම - ඩොලර් මිලියන 9.9

එකතුව - ඩොලර් මිලියන 5,641.9

ණය බවට පරිවර්තනය කෙරෙන 2022 වසර අවසානය දක්වා නොගෙවා එකතු වී ඇති පොලී මුදල් ප්‍රමාණයද සමඟ මෙම මුදල ඩොලර් බිලියන 5.8ක් පමණ වෙනවා.

මෙම ණය ආපසු ගෙවීම සඳහා 2027 අවසානය දක්වා සහන කාලයක් ලබාගෙන තිබෙනවා. 2023 වසර තුළ නොගෙවා පැහැර හැර තිබෙන පොලී මුදල් වලින් 50%ක් 2024 ජූලි මාසයේදීද ඉතිරි 50% 2025 ජූලි මාසයේදීද ආපසු ගෙවීමට නියමිතයි. ඉන් පසුව, 2042දී මෙම ණය ගෙවා අවසන් කරන තුරු හිඟ ණය වෙනුවෙන් ගෙවිය යුතු පොලිය 2%ක උපරිමයකට සීමා කර තිබෙනවා. මුල් ණය අරගෙන තිබෙන්නේ 2%කට වඩා අඩු පොලියකටනම් දිගටම ගෙවාගෙන යන්නේ එම අඩු පොලියයි. එමෙන්ම 2028-2034 කාලය තුළ ආපසු ගෙවන්නේ වසරකට ඩොලර් මිලියන 174ක් පමණයි.

චීන ණය ප්‍රතිව්‍යුහගත කෙරෙන්නේ කොහොමද?

මෙහිදී චීන ණය ලෙස සැලකෙන්නේ චීන එක්සිම් බැංකුවෙන් හා චීන රජයෙන් ලබාගෙන තිබෙන ඩොලර් බිලියන 4.2ක් පමණ වන ණය ප්‍රමාණය සහ එම ණය වෙනුවෙන් 2023 වසර අවසානය දක්වා ගෙවිය යුතු පොලියයි. 

චීන එක්සිම් බැංකුවෙන් 2024 මාර්තු අවසානය වන විට ඩොලර් මිලියන 3,993.0ක ණය ප්‍රමාණයක්ද, චීන රජයෙන් තවත් ඩොලර් මිලියන 13.8ක්ද ලෙස ඩොලර් මිලියන 4,006.8ක් ලබා ගෙන තිබුණා. ණය බවට පරිවර්තනය කෙරෙන 2023 වසර අවසානය දක්වා ගෙවිය යුතු පොලියද සමඟ මෙම මුදල ඩොලර් බිලියන 4.2ක් පමණ වෙනවා.

මෙම ණය ආපසු ගෙවීම සඳහාද 2027 අවසානය දක්වා සහන කාලයක් ලබාගෙන තිබෙනවා. එම කාලය තුළ එක්සිම් බැංකුවේ ණය වෙනුවෙන් 1.5% දක්වා වන පොලියක් ගෙවිය යුතු අතර ඉන් පසුව එම පොලිය 3.2% දක්වා ඉහළ යනවා. චීන රජයේ ණය වෙනුවෙන් 2%ක පොලියක් ගෙවිය යුතුයි. 2035 වසර දක්වා වසරකට ගෙවිය යුතු ණය වාරිකය ඩොලර් මිලියන 126කට සීමා වන අතර මේ අනුව 2034 වසර දක්වා චීන එක්සිම් බැංකුවට, ඉන්දියාවට, හංගේරියාවට හා පැරිස් සංසදයේ රටවල් 15කට ආපසු ගෙවිය යුතු ණය ප්‍රමාණය වසරකට ඩොලර් මිලියන 300කට සීමා වෙනවා.

ඒ කියන්නේ ද්විපාර්ශ්වීය ණය ප්‍රතිව්‍යුහගත කරලා ඉවරද?

බොහෝ දුරට ඉවරයි. නමුත් චීන ණය කියන්නේ එක්සිම් බැංකුවෙන් හා චීන රජයෙන් ලබාගත් ණය පමණක් නෙමෙයි. චීන සංවර්ධන බැංකුවෙන් ලබාගත් ඩොලර් මිලියන 538.8ක මුදලක්ද ශ්‍රී ලංකා රජය විසින් වර්ග කර තිබෙන්නේ ද්විපාර්ශ්වීය ණය ලෙසයි. හොංකොංහි HSBC බැංකුවෙන් ලබා ගත් ඩොලර් මිලියන 123.1ක මුදලක්ද චීන ද්විපාර්ශ්වීය ණය ලෙස වර්ග කර තිබෙනවා. මීට අමතරව සවුදි අරාබියෙන් ඩොලර් මිලියන 148.0ක්, කුවේටයෙන් ඩොලර් මිලියන 95.3ක්, පකිස්ථානයෙන් ඩොලර් මිලියන 2.1ක් හා ඉරානයෙන් ඩොලර් මිලියන 32.9ක් ද්විපාර්ශ්වීය ණය ලෙස ලබා ගෙන තිබෙනවා. මේ අනුව, චීන නොවන ද්විපාර්ශ්වීය ණය ප්‍රමාණය වන ඩොලර් මිලියන 278ක් පමණ ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වෙන වෙනම ගිවිසුම් අත්සන් කළ යුතුව තිබෙනවා. මෙය සාපේක්ෂව කුඩා ප්‍රමාණයක්.

චීන සංවර්ධන බැංකුවෙන් ලබාගෙන තිබෙන ඩොලර් මිලියන 2,185.9ක මුදලක් වර්ග කර තිබෙන්නේ වාණිජ ණය ලෙසයි. මෙම මුදලද සමඟ චීන සංවර්ධන බැංකුවට ගෙවිය යුතු හා ප්‍රතිව්‍යුහගත කර ගත යුතු මුදල ඩොලර් මිලියන 2,724.7ක් වෙනවා. මෙම මුදලට පසුගිය වසර වල නොගෙවා පැහැර හැර තිබෙන පොලී මුදල්ද එකතු කළ යුතුයි. එවිට මුළු මුදල ඩොලර් බිලියන 3.2ක් පමණ වෙනවා. මේ හා අදාළ සාකච්ඡාද මේ වන විට සෑහෙන දුරකට අවසන්ව තිබෙනවා. 

ඉහත විස්තර කළ පරිදි ද්විපාර්ශ්වික ණය වලින් වැඩි කොටසක් මේ වන විට ප්‍රතිව්‍යුහගත කර අවසන්ව ඇති අතර ඉතිරි ප්‍රමාණය හා අදාළවද ඉතා ඉක්මණින් ගිවිසුම් අත්සන් කෙරෙනු ඇතැයි සිතිය හැකියි. පැරිස් සංසදයේ රටවල්, ඉන්දියාව, හංගේරියාව හා චීනය සමඟ ඇති කරගෙන තිබෙන එකඟතාව අනුව ඉතිරි ද්විපාර්ශ්විය ණයහිමියන් සමඟද සංසන්දනාත්මක ගිවිසුම් අත්සන් කරන්නට සිදු වෙනවා. ඒ අනුව, එම ණයද 2027 වසර දක්වා ආපසු ගෙවීමක් සිදු විය නොහැකියි.

ද්විපාර්ශ්වීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා ණය බර අඩු වෙන්නේ කොහොමද?

ද්විපාර්ශ්වීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා ක්ෂණිකව ණය අඩු වෙන්නේ නැහැ. පසුගිය දෙවසර තුළ නොගෙවූ පොලී වලින් කොටසක්ද ණය ලෙස වර්ග කෙරෙන නිසා ක්ෂණිකව ණය ප්‍රමාණයේ යම් වැඩි වීමක් විය හැකියි. නමුත් පොලී වියදම් අඩු වීම නිසා ඉදිරි වසර වලදී ණය බර සැලකිය යුතු ලෙස අඩු වීමක් වෙනවා. මෙහිදී ණය අඩු වීම සලකා බලන්න වෙන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු නොවීනම් ණය කොපමණ ඉහළ යා හැකිද යන්නට සාපේක්ෂවයි. එහෙම නැතුව ණය ප්‍රමාණයේ අඩු වීමක් වෙන්නේ නැහැ. ණය කොහොමටත් එන්න එන්නම වැඩි වෙනවා. ඇතැම් විදේශ මාධ්‍ය විසින් ඇස්තමේන්තු කර ඇති පරිදි ද්විපාර්ශ්වීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා ඩොලර් බිලියන පහක පමණ ණය බරඅඩු වීමක් සිදු වෙනවා. මෙය ප්‍රධාන වශයෙන්ම සිදු වෙන්නේ චීන ණය සඳහා ගෙවිය යුතු වූ පොලිය සීමා වීම නිසා.

වාණිජ ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා අදාළ ප්‍රගතිය කෙසේද?

වාණිජ ණය ප්‍රධාන වශයෙන්ම කොටස් දෙකකින් සමන්විතයි. එක් කොටසක් චීන සංවර්ධන බැංකුවෙන් ලබාගෙන තිබෙන වාණිජ ණයයි. දෙවන කොටස ස්වෛරිත්ව බැඳුම්කරයි. මේ වන චිට ස්වෛරිත්ව බැඳුම්කරහිමියන් අතරින් ප්‍රධාන බැඳුම්කරහිමියන් කණ්ඩායමක් සමඟ එකඟතාවයක් ඇති කර ගෙන තිබෙනවා. ඔවුන් සතු බැඳුම්කර ප්‍රමාණය 50% ඉක්මවන අතර දේශීය ආයෝජකයින් සතුව තවත් 12%ක පමණ බැඳුම්කර ප්‍රමාණයක් තිබෙනවා. මේ අනුව, ස්වේච්ඡා ණය හුවමාරුවකට 66% ඉක්මවන බැඳුම්කරහිමියන් පිරිසක් කැමති කර ගැනීම අසීරු කාර්යයක් නෙමෙයි. එවිට ඉතිරි පිරිසට බහුතරයේ කැමැත්ත පිළිගන්නට සිදු වෙනවා.

බැඳුම්කරහිමියන් සමඟ ඇති කරගෙන තිබෙන එකඟතාවය කුමක්ද?

බැඳුම්කරහිමියන් නව දෙනෙකු සමඟ මේ වන විට ඇති කරගෙන තිබෙන එකඟතාවය අනුව 2029 වසර වන තුරු බැඳුම්කර වල මුහුණත අගය ආපසු ගෙවීමක් සිදු වන්නේ නැහැ. එම කාලය තුළ, එනම් 2024 සිට 2028 දක්වා, දැනට නොගෙවා පැහැර හැර ඇති ඩොලර් මිලියන 1,678ක කූපන් පොලී මුදල් ප්‍රමාණය කොටස් වශයෙන් ආපසු ගෙවනු ලබනවා. වසරකට ඩොලර් මිලියන 300කට තරමක් වැඩි මුදලක්. 

ඉන් පසුව, එනම් 2029 සිට 2038 දක්වා වසර දහයක කාලය තුළ බැඳුම්කර වල මුහුණත අගය ආපසු ගෙවන ආකාරය තීරණය වන්නේ 2025-2027 කාලය තුළ ආර්ථිකයේ ප්‍රමාණය කොපමණ වේද යන්න මතයි. එම කාලයේ සාමාන්‍ය දළ දේශීය නිෂ්පාදිතය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඇස්තමේන්තු කර තිබෙන ඩොලර් ඩොලර් බිලියන 88.6ක් වුවහොත් ආපසු ගෙවිය යුත්තේ මුහුණත අගයෙන් 72%ක් පමණයි. ඒ කියන්නේ 28%ක ණය කප්පාදුවක්. එහෙත් යම් හෙයකින් සහ එම වසර තුනේ ආර්ථික වර්ධනය 11.1% ඉක්මවුවහොත් සහ ඒ නිසා සාමාන්‍ය දළ දේශීය නිෂ්පාදිතය ඇස්තමේන්තු මට්ටම් ඉක්මවා ඉහළ ගියහොත් කප්පාදු කෙරෙන ණය ප්‍රමාණය ක්‍රමයෙන් 15% දක්වා අඩු වෙනවා. අනෙක් අතට, ආර්ථිකය අපේක්ෂිත මට්ටමට වර්ධනය නොවුවහොත් 40.4% දක්වා වන ණය කප්පාදුවක් සිදු වෙනවා.

මේ එකඟතාවය අනුව ස්වෛරිත්ව බැඳුම්කර ණය ප්‍රතිව්‍යුහගත කෙරෙන්නේ කොහොමද?

ස්වෛරිත්ව බැඳුම්කර ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු වන්නේ ස්වේච්ඡා හුවමාරුවක් ලෙසයි. බොහෝ විට ඉදිරි සති කිහිපය තුළ මේ සඳහා අයදුම්පත් කැඳවීමක් සිදු විය හැකියි. අයදුම් කිරීම සඳහා මාසයක් පමණ කල් ලබා දෙන්නට ඉඩ තිබෙන නිසා එය අවසන් වීමට මාස දෙකකට කිට්ටු කාලයක් යා හැකියි. මෙහිදී ඇති කරගෙන තිබෙන එකඟතාවය අනුව ප්‍රධාන ණයහිමියන් නව දෙනෙකු හුවමාරුව සඳහා අයදුම් කරනු ඇති අතර, දේශීය ණයහිමියන්ද එසේ අයදුම් කිරීමට නියමිතයි. ඉතිරි ණයහිමියන් සියලු දෙනාම අයදුම් කිරීමේ ඉඩක් නැතත් ඔවුන්ගෙන් වැඩි ප්‍රමාණයක් අයදුම් නොකර සිටින්නට හේතුවක් නැහැ.

වාණිජ ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා ණය බර අඩු වෙන්නේ කොහොමද?

ද්විපාර්ශ්වීය ණය වලදී මෙන් නොව මෙහිදී මුහුණත අගය කප්පාදු කිරීමක් සිදු වන බැවින් ක්ෂණිකව යම් ණය අඩු වීමක් සිදු වන නමුත් දැනට පැහැර හැර ඇති කූපන් පොලී බැඳුම්කර බවට පරිවර්තනය වන බැවින් එම අඩු වීමෙන් යම් කොටසක් නිශේධනය වෙනවා. දිගුකාලීනවනම් විශාල වාසියක් සිදු වෙනවා.

මේ තත්ත්වය ඩොලරයක මිල කෙරෙහි කෙසේ බලපායිද?

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම් අවසන් වෙද්දී දැනට නොගෙවන ණය ආපසු ගෙවන්නට සිදු වෙනවා. ඒ අනුව, ඩොලර් අවශ්‍යතාවය දැනට පවතින තත්ත්වයට සාපේක්ෂව ඉහළ යනවා. නමුත් 2027 දක්වා ගෙවන්නට සිදු වන්නේ පොලී හා නොගෙවූ පොලී පමණයි. ද්විපාර්ශ්වීය ණය වල පොලී ලෙස වසරකට ඩොලර් මිලියන 150ක පමණ මුදලක්ද, පැහැර හැර ඇති කූපන් පොලී ලෙස තවත් ඩොලර් මිලියන 350ක්ද, ඉදිරි වසර වල පොලී ලෙස වසරකට ඩොලර් මිලියන 500ක් පමණද ලෙස ගත්තොත් මෙය ඩොලර් බිලියනයක පමණ අවශ්‍යතාවයක්. වාහන ආනයනය වෙනුවෙන් වසරකට තවත් ඩොලර් බිලියනයක්වත් අවශ්‍ය වෙනවා. ඒ නිසා, ඩොලරයක මිල මත යම් උඩුකුරු තෙරපුමක් ඇති විය හැකි නමුත් ණය හා ආයෝජන ලෙස මෙම විදේශ විණිමය ප්‍රමාණය හෝ එයින් සැලකිය යුතු කොටසක් රටට පැමිණිය හැකි බැවින් ඩොලරයක මිල මත විශාල පීඩනයක් ඇති වීමේ ඉඩක් නැහැ.

දැන් ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් වෙනස්වෙලාද?

තවම නැහැ. මෙය සිදු වනු ඇත්තේ ස්වෛරිත්ව බැඳුම්කර ණය ප්‍රතිව්‍යුහගත කර අවසන් වීමෙන් පසුවයි. ඒ සඳහා මාස දෙකක පමණ කාලයක් යා හැකි බව අපගේ ඇස්තමේන්තුවයි. කෙසේ වුවත් දැන් මෙය කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි.

වෙබ් ලිපිනය: