වෙබ් ලිපිනය:

Saturday, July 13, 2024

ඇමරිකාවේ අනිවාර්ය පාසැල් විෂයයන්


ඇමරිකාවේ අධ්‍යාපනය කියන විෂයය ෆෙඩරල් රජයේ කාර්ය භාරයක් නෙමෙයි. ඒ නිසා, සාමාන්‍යයෙන් පාසැල් අධ්‍යාපනය නියාමනය වෙන්නේ ප්‍රාන්ත මට්ටමේදී හෝ පහළ මට්ටමකදී. ඒ නිසා, මාතෘකාවේ "ඇමරිකාවේ" කියා කිවුවත් අධ්‍යාපන ප්‍රතිපත්තිය හා අදාළ ගොඩක් දේවල් තැනින් තැනට වෙනස් වෙනවා.

ඇමරිකාවේ පාසැල් ක්‍රමය ගැන පෙර ලිපි වල විස්තර කර තිබෙනවා. මේකත් තැනින් තැනට වෙනස් වෙන දෙයක්. නමුත් වඩාත්ම පොදු ආකෘතිය මූලික, මධ්‍යම හා උසස් පාසැල් ආකෘතිය. උසස් පාසැලක් කියන්නේ 9-12 ශ්‍රේණි හතර. මේ අවුරුදු හතර සම්පූර්ණ කළාම උසස් පාසැල් ඩිප්ලෝමාවක් ගන්න පුළුවන්.

උසස් පාසැල් ඩිප්ලෝමාවක් සම්පූර්ණ කරනවා කියන්නේ අවශ්‍ය විෂයයන් හදාරා අවසන් කරන එක. ඒ හැර ලංකාවේ වගේ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ වැනි පොදු විභාග වලට මුහුණ දීමක් අනිවාර්යයෙන් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම, ලංකාවේ වගේ විද්‍යා, කලා, වාණිජ ආදී විෂය ධාරා අනුව සිසුන් බෙදීමක් වෙන්නෙත් නැහැ.

උසස් පාසැල් ඩිප්ලෝමාව නොකියා උසස් පාසැල් ඩිප්ලෝමාවක් කිවුවේ එවැනි ඩිප්ලෝමා ගණනාවක් තිබෙන නිසා. තමන් සම්පූර්ණ කරන්නේ කොයි ඩිප්ලෝමාවද කියන එක සිසුන්ගේ තේරීමක්. අපේ ප්‍රාන්තයේ අවම, එහෙමත් නැත්නම් පහළම මට්ටමේ, උසස් පාසැල් ඩිප්ලෝමාව Core 40 කියන එක. අනෙක් උසස් පාසැල් ඩිප්ලෝමා සියල්ලම ඊට වඩා වැඩි අවශ්‍යතා ප්‍රමාණයක් සම්පූර්ණ කර ලබා ගත යුතු ඒවා.

මෙහි Core 40 කියන එකේ Core කියන එකේ තියෙන්නේ මූලික වගේ තේරුමක්නේ. 40 කියන එකෙන් අදහස් කරන්නේ ක්‍රෙඩිට් පැය 40ක් සම්පූර්ණ කළ යුතු බව. ක්‍රෙඩිට් පැයක් කියන එකෙන් අදහස් වන්නේ (උසස් පාසැල් මට්ටමේදී) එක දිගට වාරයක් පුරා විෂයයක් හදාරා අවසන් කිරීම. 

ග්‍රීෂ්ම සෘතුව අත හැරියොත් අවුරුද්දකට පාසැල් වාර දෙකයිනේ. එතකොට අවුරුදු හතරට වාර අටක්. එක වාරයකදී විෂයයන් පහ බැගින් සම්පූර්ණ කළොත් පහසුවෙන්ම ඔය ඩිප්ලෝමාව ගන්න පුළුවන්. 

හැබැයි වාරයක් තුළ විෂයන් හයක් හෝ හතක් ගන්න එක ඒ තරම් අමාරු වැඩක් නෙමෙයි. ඒ වගේම, අවශ්‍යනම් ග්‍රීෂ්ම සෘතුවේදීත් විෂයයන් කිහිපයක් හදාරන්න පුළුවන්. ඊටත් අමතරව, දක්ෂ සිසුවෙකුට හතේ අටේ පන්ති වලදීම උසස් පාසැල් විෂයයන් හදාරා සම්පූර්ණ කරන්න පුළුවන්. ඒ නිසා, ගොඩක් සිසුන් ඔය ක්‍රෙඩිට් පැය 40 සීමාවෙන් එහාට ගිහින් වඩා ඉහළ මට්ටමක උසස් පාසැල් ඩිප්ලෝමාවක් ලබා ගන්නවා.

උදාහරණයක් විදිහට අවම වශයෙන් ක්‍රෙඩිට් පැය 47ක් සම්පූර්ණ කරලා ගෞරව සම්මාන සහිත Core 40 ඩිප්ලෝමාවක් ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් තාක්ෂණික ගෞරව සම්මාන එක්ක  Core 40 ඩිප්ලෝමාව ලබා ගන්න පුළුවන්. තවත් එහාට යන්නත් පුළුවන්. 

ඔය විදිහේ වැඩිමනත් දේවල් තිබුණත්, අවම අවශ්‍යතාවය Core 40 ඩිප්ලෝමාව සම්පූර්ණ කරන එකනේ. පහත තියෙන්නේ ඒ සඳහා අනිවාර්යයෙන් සම්පූර්ණ කළ යුතු විෂයයන්.

ඉංග්‍රීසි භාෂා විෂයයන් ක්‍රෙඩිට් පැය අටක් - මෙයට සාහිත්‍යය, රචනය, කථනය විෂයයන් සංකලනයක් ඇතුළත් විය යුතුයි.

ගණිත විෂයයන් ක්‍රෙඩිට් පැය හයක් - මෙයට වීජ ගණිතය ක්‍රෙඩිට් පැය හතරක් සහ ජ්‍යාමිතිය ක්‍රෙඩිට් පැය දෙකක් ඇතුළත්.

විද්‍යා විෂයයන් ක්‍රෙඩිට් පැය හයක් - මෙයට ජීව විද්‍යාව ක්‍රෙඩිට් පැය දෙකක් සහ භෞතික විද්‍යාව හා/හෝ රසායන විද්‍යාව ක්‍රෙඩිට් පැය දෙකක් ඇතුළත් විය යුතුයි. ඉතිරි ක්‍රෙඩිට් පැය දෙක තමන් කැමති විද්‍යා විෂයයක් හෝ දෙකක්. 

සමාජ අධ්‍යයන විෂයයන් ක්‍රෙඩිට් පැය හයක් - මෙයට ඇමරිකානු ඉතිහාසය ක්‍රෙඩිට් පැය දෙකක්, ඇමරිකානු රාජ්‍යය විෂය ක්‍රෙඩිට් පැයක් හා ආර්ථික විද්‍යාව ක්‍රෙඩිට් පැයක් ඇතුළත්. ඉතිරි ක්‍රෙඩිට් පැය දෙක ලෝක ඉතිහාසය හා ලෝක ශිෂ්ඨාචාරය හෝ භූගෝල විද්‍යාව.

නිර්දේශිත විකල්ප විෂයයන් ක්‍රෙඩිට් පැය පහක් - මේ යටතේ වෙනත් භාෂා, සෞන්දර්ය විෂයයන් (ලලිත කලා) හෝ තාක්ෂනික/ ප්‍රාග්-වෘත්තීය විෂයයන් හැදෑරිය හැකියි.

ශාරීරික අධ්‍යාපනය/ ක්‍රීඩා - ක්‍රෙඩිට් පැය දෙකක් 

සෞඛ්‍යය - ක්‍රෙඩිට් පැයක්

කැමති විකල්ප විෂයයන් - ක්‍රෙඩිට් පැය හයක්

මෙම අවශ්‍යතාවයන් ඇමරිකාව තුළ වුනත් සම්මතයක් නෙමෙයි. මෙහි මේ විස්තර දැම්මේ වෙනත් රටක් මේ පිළිවෙලටම කටයුතු කළ යුතුයි කියා නිර්දේශ කරන්නත් නෙමෙයි. ඕක තමයි අපේ ප්‍රාන්තයේ පාසැල් සිසුන් විසින් සම්පූර්ණ කළ යුතු මූලික අවශ්‍යතාව. ඊට අමතරව  ඔය මූලික උසස් පාසැල් ඩිප්ලෝමාව ලබා ගැනීම සඳහා අවම පැය ගණනක් ස්වේච්ඡා සේවය, රැකියාවක් හෝ රැකියා පුහුණුවක් (internship) කිරීම වගේ තවත් අවශ්‍යතාත් තිබෙනවා. 

අපේ පාසැල් දිස්ත්‍රික්කයේනම් ඔය Core 40 ඩිප්ලෝමාව පමණක් අරගෙන නවතින්නේ කලාතුරකින් කෙනෙක් පමණයි. ගොඩක් සිසුන් ඔය අවශ්‍යතා කලින්ම අවසන් කරලා පාසැලේදීම විශ්ව විද්‍යාල මට්ටමේ පාඨමාලා හදාරනවා. නවවන ශ්‍රේණියේදීම සමහර විශ්ව විද්‍යාල මට්ටමේ පාඨමාලා හදාරන්න පුළුවන්. හැබැයි ඒවා පුද්ගලික තේරීම්. ඔය උඩ ලැයිස්තුවේ තිබෙන විෂයයන් ටික තමයි අනිවාර්යයෙන්ම ගත යුත්තේ. 

7 comments:

  1. අනේ දෙවියනේ මෙහෙ තියෙනා විදිය
    එලෝ මෙලෝ දෙකටම නැති මඟුලක්ය
    ඉගෙනීමෙන් පලක් නැතිවා වාගේය
    ගොඩක් දෙන හොයන්නේ සහතිකයක්ය

    ReplyDelete
  2. ඉංග්‍රීසි නොවන භාෂාවකින් කරන්න ඩිප්ලෝමා තියෙනවද?

    ReplyDelete
    Replies
    1. මම දන්නා තරමින් අපේ ප්‍රාන්තයේ නැහැ. ඉංග්‍රීසි වචනයක්වත් නොදන්නා සිසුන්ට වුනත් විශේෂ ඉංග්‍රීසි අධ්‍යාපනයක් දීලා අවශ්‍ය මට්ටමට ගන්නවා. දෙවන භාෂා ලෙස වෙනත් භාෂා උගන්වනවා.

      Delete
  3. ඇමරිකාවේ හිටපු ජනාධිපති ශ්‍රීමත් ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිතුමාට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් අපගේ කනස්සල්ල මෙසේ පල කර සිටිමු.

    ReplyDelete
  4. ඉකොනොමැට්ටා මැතිතුමනි, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමන්ට 2024 ජනාධිපතිවරණ ජයගත හැකිද?

    ReplyDelete
  5. ඉකොනොමැට්ටා, මට මතක හැටියට ඇමරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණ ඉතිහාසයේ ප්‍රධාන පක්ෂයක අපේක්ෂකයකු වීමට අපේක්ෂා කළ කෙනෙක්ව මැතිවරණ ව්‍යාපාරය අතරතුර ඝාතනයට ලක් වූ අවසන් අවස්ථාව ලෙස මතක තිබෙන්නේ 1968 දී රොබර්ට් එෆ්. කෙනඩිව ඝාතනය වූ අවස්ථාවයි.

    ඒ වගේම මෙවර ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනයට කළ උත්සාහය එවන් උත්සාහයක් ලෙසම ඉතිරි වූ බව පෙනෙන්නේ කෙස් ගහක තරම් දුරින්. ඔහුව ඝාතනය කිරීමට සැලසුම්කර අය මීට වඩා වෘත්තීමය ඝාතකයකු තෝරාගත්තානම් නම් රොබර්ට් එෆ්. කෙනඩිගේ ලැයිස්තුවට ට්‍රම්ප් ද එක් වීමට තිබුණා. (කෙනඩි අපේක්ෂකයා වනු ඇතැයි නිසැකව තීරණය වී තිබුණේ නැහැ), අනෙක දෛවයේ සරදමකට මෙන් රොබර්ට් එෆ්. කෙනඩිගේ පුත්‍රයා මෙවර තුන්වන අපේක්ෂකයකු ලෙස ඇඑජ ජනපතිවරණයට තරග කරනවා.

    මෙවර වෙඩි තැබීම සිදුවූ අවස්ථාවේ එ.ජ. ප්‍රභූ ආරක්ෂක සේවයේ (US Secret Service) නිලධාරීන් ට්‍රම්ප්ව වේදිකාව මතට තල්ලු කර ඔහුට උඩින් වැතිරුණේ සාමාන්‍ය මෙහෙයුම් සම්ප්‍රදාය අනුවයි. වෙඩික්කරුවා මරාදැමුන ද තවත් වෙඩික්කරුවකු සිටී යැයි වන සැකය මත එවැනි පියවර ගැනීම සාමාන්‍ය දෙයක්. ඉන් අනතුරුව ඔවුන් ට්‍රම්ප්ව වේදිකාවෙන් ඉවත ගෙන යද්දී ට්‍රම්ප්ගේ විශිෂ්ටතම මොහොත එළඹුණා. ඔහු නිකම්ම එතැනින් නික්මුණේ නැහැ. සිය අත මිට මොළවා එසවූ ඔහු "ෆයිට්! ෆයිට්! ෆයිට්!" යනුවෙන් කෑගසනු දකින්න ලැබුණා.

    මෙවර ඒපී ඇසෝසියේටඩ් ප්‍රෙස් ආයතනයේ ඉවාන් වූච්චී ලබාගත් සුප්‍රසිද්ධ ඡායාරූපය එම අවස්ථාව මනාව පිළිබිඹු කරන ඓතිහාසික ඡායාරූපයක් බව ඉකොනොමැට්ටාත් පිළිගනීවි. මේවන විට මුළු ලොවටම විහිළුවක් වී සිටින වත්මන් ඇඑජ ජනපති බයිඩන්ගේ කිසිම වැදගත් පරිපාලන තනතුරකට තබා සාමාන්‍ය
    කාකාස තනතුරක් කිසිසේත්ම නොගැලපෙන රෝගී දුර්වල​, විකාර පැටලිලිසහගත හැසිරීම සමග එම ඡායාරූපය යළි යළිත් සන්සන්දනය වනු නොඅනුමානයි.

    කෙසේ වෙතත් මේ ගැන තවත් තැනක මා දුටුවේ ඩොනල්ඩ් ට්‍රම්ප් සමග එක වේදිකාවේ විවාද කිරීම පිළිබඳ සිය අත්දැකීම් ගැන සඳහන් කරන ඩිමොක්රටික පක්ෂයේම හිලරි ක්ලින්ටන් පැවසුවේ ඔහුට "සතෙකුගේ ඉව​" තිබෙන බවයි. ට්‍රම්ප් සාමාන්‍යයෙන් දුර්වලයන්ට ඔද තෙද පෙන්වන දාමරිකයකු ලෙස ඩිමොක්‍රටික ජඩමාධ්‍ය මගින් පුනපුනා ප්‍රකාශ කර හංවඩුගසා ඇති නමුත් මේ දකින ට්‍රම්ප් නිර්භීත අයෙක් බවයි දැන් ජනතාව හිතන්නේ, විශේෂයෙන්ම මේ මොහොතේ, තවත් වෙඩික්කරුවකු සිටීමේ අවදානම තිබියදී, මෙසේ අත මිටමොළවා පෙන්වන්නට ඔහුට සිහි වූයේ ඒ දේශපාලන ඉව නිසයි.

    දැන් ඉතින්, ජනතාවට එපාවී ඇති ඩිමොක්‍රටික් පක්ෂයට ඉඩකඩ නොදී හොඳින් හෝ නරකින් හෝ සිසිකල්පනාවත් නැති වලපය ගොඩපය බයිඩන් මුත්තා නමැති හොල්මන යටතේ පවතින දූෂිත මිනීමරු ඩිමොක්රටික අපත පාලනය ගෙදර යැවිය යුතුයි. නැත්නම් මුළු මහත් ලෝකයටම මහත් විනාශයක් සිදුවනු නොඅනුමානයි. එහෙම නේද ඉකොනෝ ඇත්තටම?

    ReplyDelete
    Replies
    1. ඒ වගේම එම ඓතිහාසික පින්තූරේ දැක්ක පලවෙනි වෙලේම මතක් වුනේ The Iwo Jima Memorial එක. මේක (ට්‍රම්ප්ගේ මේ පින්තූරේ) ඉතිහාසගත වෙන පින්තූරයක් වෙයි.

      ඊට වඩා ඇමරිකන් ජඩ මාධ්‍ය වලට අනුව ලවුඩ් නොයිසස් විකාරය ගැන ඉකොනොමැට්ටා මොකද ඇත්තටම හිතන්නේ? ලංකාවේ විතරක් නෙමෙයි ලෝකයේම ජඩමාධ්‍ය කුජීතයි ලංකාවේ වගේම හෝ ඇමරිකා එක්සත් ජනපද ලෙගසි මීඩියා නම් ලංකාවටත් වඩා සෑහෙන්න පජාතයි නේද?. මේ කියන්නේ ඊලෝන් මස්ක්!

      https://x.com/elonmusk/status/1811772058067509628?mx=2&failedScript=vendor

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: