නැවත නැවත මතු කෙරෙන කරුණක් නිසා ආර්ථික අර්බුදය කෙරෙහි වූ වසංගතයේ බලපෑම ගැන නිශ්චිතව සටහන් කරලා තියන එක සුදුසුයි කියලා හිතුණා. සමහර අයට අනුව ආර්ථික අර්බුදයට හේතු වුනේ වසංගතය. වසංගතය නොවන්නට ඒ වන විට අනුගමනය කළ ආර්ථික ප්‍රතිපත්ති වලින් රට සුඛිත මුදිත වෙනවා. මේ ප්‍රවාදයට අභියෝගයක් ලෙස වෙනත් අය මතු කරන වලංගු ප්‍රශ්නයක් වන්නේ අර්බුදයට හේතුව වසංගතයේ බලපෑමනම්, ලෝකයේ අනෙක් රටවල් වලත් මේ විදිහේ අර්බුදයක් ඇති නොවුනේ ඇයි කියන එක.
වසංගතය ලංකාවේ විදේශ අංශයට බලපෑවේ කොහොමද?
වසංගතය පැතිරෙද්දී 2020 මාර්තු මාසයේදී ශ්‍රී ලංකා රජය විසින් සංචාරකයින් සඳහා රටේ දේශ සීමා වසා දමනු ලැබුවා. මෙසේ වසා දමනු ලැබූ දේශ සීමා නැවත මුළුමනින්ම විවෘත කරනු ලැබුවේ 2021 ජනවාරි මාසයේදී. 2020 දෙසැම්බර් මාසයේදී "ජීව බුබුළු" පදනම මත සංචාරකයින්ට සීමිත අවස්ථාවක් ලබා දුන්නා. ඔය අතරමැද මාස නවයක පමණ කාලයක් සංචාරකයින්ගේ පැමිණීම මුළුමනින්ම නැවතී ඒ හරහා රටට ලැබුණු විදේශ විණිමය ප්‍රවාහ නැවතුනා.
ඉහත හේතුව නිසා, පෙර වසරට සාපේක්ෂව 2020 වසරේදී සංචාරක කර්මාන්තයෙන් ලැබෙන විදේශ විණිමය ප්‍රමාණයෙන් ඩොලර් බිලියන තුනක් පමණ රටට අහිමි වුනා. ඒ වගේම, ගුවන් හා නැවු ප්‍රවාහන සේවා සපයා ලැබූ ආදායමෙන් තවත් ඩොලර් බිලියනයක් පමණ අහිමි වුනා. සේවා ගිණුමේ සියලු ලැබීම් ඩොලර් මිලියන 4,439කින් අඩු වුනා.
සේවා ගිණුමේ ලැබීම් ඔය විදිහට අඩු වෙද්දී, වසංගතය හේතුවෙන් ශ්‍රී ලාංකිකයින්ගේ විදේශ සංචාර වියදම් සහ ප්‍රවාහන සේවා ඇතුළු අනෙකුත් සේවා වෙනුවෙන් වැය වූ වියදම්ද ඩොලර් මිලියන 2,409කින් අඩු වුනා. ඒ නිසා, ශුද්ධ වශයෙන් සේවා ගිණුමට සිදු වූ බලපෑම ඩොලර් මිලියන 2,030ක් පමණයි. ඔව්, ඒක වුනත් සැලකිය යුතු අඩු වීමක් තමයි!
අනෙක් අතට රට වහද්දී යම් තරමකින් අපනයන නිෂ්පාදන කර්මාන්තත් වැහුනා. ලෝකය පුරාම ඉල්ලුම අඩු වී මිල අඩුවීමකුත් සිදු වුනා. මෙහි ප්‍රතිඵලයක් විදිහට අපනයන ආදායම පෙර වසරේ වූ ඩොලර් මිලියන 11,940 සිට ඩොලර් මිලියන 10,047 දක්වා ඩොලර් මිලියන 1,893කින් අඩු වුනා. ඇඟලුම් අපනයන ආදායම පමණක් ඩොලර් මිලියන 1,173කින් පහත වැටුනා.
නමුත් අනෙක් අතට ලෝක ඉන්ධන මිල විශාල ලෙස පහත වැටුණා. රටේ ඉන්ධන ඉල්ලුම විශාල ලෙස අඩු වුනා. ඉන්ධන ආනයන වියදම ඩොලර් මිලියන 3,891.6 සිට ඩොලර් මිලියන 2,542.6 දක්වා ඩොලර් මිලියන 1,349.0කින් පහත වැටුනා. ඒ වගේම, ඇඟලුම් කර්මාන්තය සඳහා අවශ්‍ය වන රෙදිපිළි ආනයන වියදම් ඩොලර් මිලියන 574.3කින් අඩු වුනා. ඉදිකිරීම් සීමා වූ නිසා ඉදිකිරීම් කර්මාන්තයේ අමුද්‍රව්‍ය ආනයන වියදම් ඩොලර් මිලියන ඩොලර් මිලියන 473.1කින් අඩු වුනා. පෞද්ගලික වාහන ආනයන සීමා කිරීම නිසා එම ආනයන වියදම් ඩොලර් මිලියන 532.8කින් අඩු වුනා. ඔය විදිහට සමස්ත ආනයන වියදම ඩොලර් මිලියන 3,882කින් පහත වැටුනා. මේ අඩු වීම අපනයන ආදායම් අඩු වීමට වඩා ඩොලර් බිලියන දෙකකින් පමණ වැඩියි. හරියටම ඩොලර් මිලියන 1,989ක්!
සේවා ගිණුමේ ලැබීම් ශුද්ධ වශයෙන් ඩොලර් බිලියන දෙකකින් පමණ අඩු වෙද්දී, ඒ ඩොලර් බිලියන දෙකේ අඩුව වෙළඳ ගිණුම හරහා ආපසු ලැබුනා. ඒ නිසා, වෙළඳ හා සේවා ගිණුම් දෙක එක්ව ගනිද්දී ජංගම ගිණුමට බලපෑමක් නොතිබුණු තරම්.
ඔය අතර, විගමණික ප්‍රේෂණ ඉහළ යාම නිසා ද්වීතියික ආදායම් ගිණුමේ ශේෂය ඉහළ ගියා. පොලී අනුපාතික හා සමාගම් වල ලාබ අඩු වීම නිසා ප්‍රාථමික ගිණුම හරහා රටෙන් එළියට යන විදේශ විනිමය සීමා වුනා. අවසාන වශයෙන් වසංගතය නිසා සිදු වුනේ අවුරුදු දහයකට පසුව ජංගම ගිණුමේ වාර්තා වූ අඩුම හිඟය 2020දී වාර්තා වූ එකයි. 2011-2020 කාලයේ ලංකාවේ ජංගම ගිණුම් හිඟ පහත පෙන්වා තිබෙනවා.
2011 - ඩොලර් මිලියන (-4,615)
2012 - ඩොලර් මිලියන (-3,982)
2013 - ඩොලර් මිලියන (-2,541)
2014 - ඩොලර් මිලියන (-1,988)
2015 - ඩොලර් මිලියන (-1,883)
2016 - ඩොලර් මිලියන (-1,742)
2017 - ඩොලර් මිලියන (-2,309)
2018 - ඩොලර් මිලියන (-2,799)
2019 - ඩොලර් මිලියන (-1,843)
2020 - ඩොලර් මිලියන (-1,183)
අවුරුදු දහයක කාලයකට පසුව අඩුම ජංගම ගිණුම් හිඟයක් වාර්තා වුනේ වසංගතයේ බලපෑම තිබුණු 2020 වසරේදීනම්, ආර්ථික අර්බුදයට හේතු වුනේ වසංගතය කියලා කාට හරි කියන්න පුළුවන්ද?
නමුත්, ජංගම ගිණුමේ හිඟය ඔය තරමට අඩු වෙද්දී රටේ නිල විදේශ සංචිත ඩොලර් මිලියන 7,642 සිට ඩොලර් මිලියන 5,664 දක්වා ඩොලර් බිලියන දෙකකින් පමණ අඩු වුනා. මෙයට හේතුව ඩොලර් බිලියනයකට තරමක් වැඩියෙන් තිබුණු ජංගම ගිණුම් හිඟය නෙමෙයි. අඩු වශයෙන් ඩොලර් බිලියන දෙකක පමණ ජංගම ගිණුම් හිඟයක් කාලයක් තිස්සේම තිබුනා. එහෙම තියෙද්දීත් සමහර අවුරුදු වල සංචිත වැඩි වුනා.
වසංගතය පටන් ගන්න කොටත් බදු කප්පාදු කරලා රාජ්‍ය ආදායම් අහිමි කරගෙනයි තිබුණේ. ඒ තීරණයෙන් පසුව, රජය බංකොලොත් වීම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි කියන එක සිහි බුද්ධිය තියෙන අයට පේන්න ගත්තා. ඒ වගේම, මේ හේතුවෙන් ඉහළ ගිය අයවැය හිඟය පියවන්න රුපියල් අවශ්‍ය වුනා. රටේ රුපියල් සැපයුම වැඩි වෙද්දී උද්ධමනය ඉහළ යන නිසා එය වලක්වා ගැනීමේ උපාය මාර්ගය වුනේ සංචිත විකුණමින් විණිමය අනුපාතයේ උදවුවෙන් උද්ධමනය පාලනය කරන එක. මේ ක්‍රමයට රුපියල් එකතු කරගත හැකි වූ නිසා අලුතෙන් රුපියල් සංසරණයට එකතු නොකරම විශාල ලෙස රජයට ණය දෙන්න මහ බැංකුවට පුළුවන් වුනා. මේ ක්‍රමයට යද්දී කොයි වෙලාවක හෝ සංචිත ඉවර වෙලා රුපියල කඩා වැටෙන බවත් සිහි බුද්ධිය තියෙන අයට පේන්න ගත්තා. මේ කිසිවක් වසංගතය නිසා සිදු වූ දේවල් නෙමෙයි.
රජයක් බැංකු අංශයෙන් ණය ගන්න පෙළඹෙන්නේ වෙළඳපොළෙන් ණය ගන්න අසීරු වූ විටයි. බැංකු අංශයෙන් ණය ගනිද්දී මුදල් සැපයුම ප්‍රසාරණය වෙනවා. රාජ්‍යමූල්‍ය කළමනාකරණය වැටිලා තිබුණු තැනත් එක්ක රජයට කොයි වෙලාවක හෝ ණය ගෙවාගන්න බැරිවන බවත්, මහ බැංකුවේ විණිමය ප්‍රතිපත්ති අනුව කොයි වෙලාවක හෝ රුපියල කඩා වැටෙන බවත් කලින්ම තේරුම් ගත්තේ විදේශ ආයෝජකයෝ. ඔවුන් විශාල වශයෙන් ඔවුන් සතු වූ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර විකුණමින් ඒ රුපියල් ඩොලර් කර රටෙන් ගෙන යන්න පටන් ගත්තා. 2020 වසර තුළදී මෙසේ ඉවත් කරගත් මුදල ඩොලර් මිලියන 553ක්.
විදේශ ආයෝජකයින් විසින් රාජ්‍ය සුරැකුම්පත් ආයෝජන ඔය විදිහට ඉවත් කර ගනිද්දී ඒ එක්කම කොටස් වෙළඳපොළ ආයෝජනද ඩොලර් මිලියන 225ක් ඉවත් කරගත්තා. වාණිජ බැංකු වල තිබුණු විදේශ විණිමය තැන්පතු වලින් තවත් ඩොලර් මිලියන 415ක් එළියට ගියා.
අනෙක් අතට ස්වෛරිත්ව බැඳුම්කර වල ආයෝජන සිදු කර තිබුණු විදේශිකයෝ ඒ බැඳුම්කර අයිතිය කීයකට හෝ විකුණා දමන්න පෙළඹුනා. එසේ කරද්දී ස්වෛරිත්ව බැඳුම්කර වල ඵලදා අනුපාතික විශාල ලෙස ඉහළ ගිහින් ශ්‍රී ලංකා රජයට අලුතෙන් ස්වෛරිත්ව බැඳුම්කර නිකුත් කළ නොහැකි තත්ත්වයක් ඇති වුනා. ඒ නිසා, ඔක්තෝබර් මාසයේදී කල් පිරුණු ස්වෛරිත්ව බැඳුම්කරය අලුත් කරමින් අලුත් ස්වෛරිත්ව බැඳුම්කරයක් නිකුත් කිරීමේ හැකියාව අහිමි වුනා. රට ඇතුළේ සිටි පුද්ගලයින් හෝ ආයතන විසින් විදේශිකයින් විසින් විකුණන ලංකාවේ ස්වෛරිත්ව බැඳුම්කර කුණු කොල්ලයට මිල දී ගනිද්දී, ඒ මිල දී ගැනීම් වෙනුවෙන්ද රටේ තිබුණු ඩොලර් විශාල ලෙස එළියට ගියා. රජය විසින් මේ මුදල් ආපසු ගෙවයි කියන විශ්වාසය ඒ අයට තියෙන්න ඇති. ඒ වගේම ආපසු ගෙවනු ලැබූ ස්වෛරිත්ව බැඳුම්කර වලින් විශාල ලාබයක් ලැබෙන්නත් ඇති.
විදේශ විණිමය අර්බුදයකට පාර කැපුනේ ඔය විදිහට මූල්‍ය ගිණුම හරහා එළියට ගිය විදේශ විණිමය නිසා මිසක් වසංගතයෙන් ජංගම ගිණුමට අහිතකර බලපෑමක් සිදු වූ නිසා නෙමෙයි. ඇත්තටම සිදු වුනේ වසංගත අවුරුද්ද තුළ ජංගම ගිණුම් ශේෂය වඩා හොඳ පැත්තට හැරීමයි.
මේ කතා කළේ 2020 අවුරුද්ද ගැන. 2021 ගැන වෙනම කතා කරන්න පුළුවන්.