වෙබ් ලිපිනය:

Tuesday, September 22, 2026

ලංකාවේ ණය ශ්‍රේණිය ඉහළ යයි!



ෆිච් රේටිං ආයතනය විසින් ලංකාවේ ණය ශ්‍රේණිය CCC+ මට්ටමේ සිට B-‌ මට්ටම දක්වා ඉහළ දමා තිබෙනවා. මේ අනුව, ලංකාවට නැවතත් ජාත්‍යන්තර ණය වෙළඳපොළ වෙත පිවිසීම සඳහා වන ඉඩකඩ ක්‍රමක්‍රමයෙන් ඉහළ යමින් තිබෙනවා.

මෙම තීරණය සඳහා ප්‍රධාන වශයෙන්ම දායක වී තිබෙන්නේ රාජ්‍ය වියදම් සීමා කරගන්නා අතර, බදු ආදායම් ඉහළ දමා ගනිමින් සැලකිය යුතු ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගැනීම සහ ඒ අතරම විදේශ සංචිතද යම් තරමකට ශක්තිමත් කර ගැනීමයි. කෙසේ වුවද, B කාණ්ඩයේ රට වලට සාපේක්ෂව ලංකාව තවමත් බොහෝ පසුපසින් සිටින බවද ෆිච් රේටිං ආයතනය විසින් අවධාරණය කර තිබෙනවා.

- පසු ගිය වසරේදී 96.7%ක් වූ රාජ්‍ය ණය/ දදේනි අනුපාතය මෙම වසරේදී 92.9% දක්වා පහත වැටීමට නියමිතව ඇතත් B කාණ්ඩයේ රට වල මධ්‍යස්ථ අගය වන 54.7%ට සාපේක්ෂව මෙම අනුපාතය තවමත් ඉතා ඉහළ අනුපාතයක්. එම මට්ටමට රාජ්‍ය ණය/ දදේනි අනුපාතය අඩු කරගැනීම සඳහා වසර ගණනාවක කැපවීමක් අවශ්‍ය වෙනවා.

- පොලී වියදම් සහ රාජ්‍ය ආදායම් අතර අනුපාතය මේ වන විට 76.3% සිට 45.6% දක්වා අඩු වී ඇති අතර මෙම වසරේදී 41.0% දක්වා අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. එහෙත් B කාණ්ඩයේ රට වල මධ්‍යස්ථ අගය වන 12.7%ට සාපේක්ෂව මෙම අගය තුන් ගුණයකටත් වඩා වැඩියි.

- එක දිගට වසර තුනක් අතිරික්තයන් පෙන්වූ ජංගම ගිණුම ඇමරිකා ඉරාන ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස මෙම වසරේදී හිඟයක් විය හැකි බව පෙනෙන්නට තිබෙනවා. එහෙත්, 2027 සිට නැවතත් ජංගම ගිණුම තුලනය වීමේ ඉඩකඩ පෙනෙන්නට තිබෙනවා.

- මූල්‍ය අරමුදල සහ අනෙකුත් බහුපාර්ශ්වික ආයතන වලින් ලැබෙන මූල්‍ය සහාය නිසා කෙටිකාලීන විදේශ මූල්‍යකරණ තත්ත්වය ප්‍රමාණවත් මට්ටමක පවතිනවා. මෙම වසර අවසානයේදී විදේශ සංචිත ඩොලර් බිලියන 7.7 දක්වා ඉහළ යාමේ ඉඩක් පෙනෙනවා. එහෙත්, මෙහි මුල් ඇස්තමේන්තු වලට සාපේක්ෂව මන්දගාමී වීමක් තිබෙනවා.

- ඉදිරි වසරේ වලදී, විශේෂයෙන්ම 2028න් පසුව, විදේශ ණය සේවාකරණය ඉහළ යනවා. මෙම අභියෝගයට මුහුණ දීම සඳහා ඉදිරි 2027 වසර තුළ නැවතත් ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව ශ්‍රී ලංකා රජය විසින් සලකා බලමින් සිටිනවා. 

- එමෙන්ම, 2027 මාර්තු මාසයේදී මූල්‍ය අරමුදල සමඟ වන වැඩ සටහන අවසන් වීමෙන් පසුව තවත් වැඩ සටහනකට යාමේ ඉඩකඩ පෙනෙන්නට තිබෙනවා. එවැන්නක් මගින් රජයේ ප්‍රතිපත්ති වල ස්ථාවරත්වය තහවුරු වෙනවා. 

- ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ දුර්වලතා, අපනයන අංශය වර්ධනය කර ගැනීමේ දුර්වලතා හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ පිළිබඳ සීමාවන් නිසා මැදිකාලීනව ආර්ථිකය වර්ධනය වනු ඇත්තේ යාන්තමින් 4% ඉක්මවන වර්ධන වේගයකිනුයි. 

- දැනට ඇති උද්ධමන පීඩනය තාවකාලික සංසිද්ධියක් වන අතර, උද්ධමනය ක්‍රමයෙන් 5% සීමාවෙන් පහළට පැමිණීමට නියමිතයි. පොලී අනුපාතික තව දුරටත් ඉහළ යාමේ ඉඩක් පෙනෙන්නට නැහැ. 

ෆිච් රේටිං ආයතනයේ ඉහත නිරීක්ෂණ, විශ්ලේෂණ හා පුරෝකථන සමඟ අපටද එකඟ විය හැකියි. සාර්ව ආර්ථික ස්ථාවරත්වය පිළිබඳව ප්‍රතිපත්ති සම්පාදකයින්ට නොපැකිළ ලකුණු දිය හැකි නමුත් ආර්ථික වර්ධන වේගය වැඩි කර ගැනීම සඳහා තවත් කළ හැකි බොහෝ දේ තිබෙනවා. එහෙත් එයින් අදහස් කෙරෙන්නේ ආර්ථික ස්ථාවරත්වය නැවතත් අවදානමට ලක් කෙරෙන ක්‍රියාමාර්ග නෙමෙයි.

ණය පැහැර හැරී රටක් මේ අයුරින් නැවතත් B කාණ්ඩයට පැමිණීම සුවිශේෂී සන්ධිස්ථානයක්. අනෙකුත් ණය ශ්‍රේණිගත කරන ආයතන දෙක විසින්ද ඉතා ඉක්මණින් ෆිච් රේටිං ආයතනය අනුගමනය කර ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය ඉහළ දැමුවහොත්, ශ්‍රී ලංකා රජයට මුලින් ඉලක්ක කළ පරිදි ඉදිරි වසරේදී නැවතත් ජාත්‍යන්තර ණය වෙළඳපොළ වෙත ප්‍රවේශ වීමට අවකාශ ලැබෙනවා. 

Monday, September 21, 2026

උද්ධමනය සහ පොලී අනුපාතික



ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව 2026 අගෝස්තු මාසයේ උද්ධමනය 8.1%ක් ලෙස ඇස්තමේන්තු කර තිබෙනවා. නිල උද්ධමනය දර්ශකය වන කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව, 2026 අගෝස්තු මාසයේ උද්ධමනය 8.0%ක්ව පැවතුනා.

පසුගිය පෙබරවාරි මාසය අවසානයේදී ඉරාන යුද්ධය ආරම්භ වීම සහ එහි ප්‍රතිඵලයක් ලෙස ලෝක ඉන්ධන මිල ගණන් ඉහළ යාම නිසා ලෝකයේ බොහෝ රටවල උද්ධමනය එම රටවල ඉලක්ක උද්ධමන මට්ටම් ඉක්මවා ඉහළ ගොස් තිබෙනවා. මෙයට ප්‍රතිචාරයක් ලෙස බොහෝ රටවල් පොලී අනුපාතික ඉහළ දැමීමට පෙළැඹී තිබෙනවා.

ඇමරිකාව පසු ගිය සතියේදී ප්‍රතිපත්ති පොලී අනුපාතික 0.25%කින් ඉහළ දැම්මා. යුරෝපීය මහ බැංකුව මේ වන විට 0.25% බැගින් දෙවරක්ම පොලී අනුපාතික ඉහළ දමා තිබෙනවා. එක්සත් රාජධානිය විසින් පසුගිය සතියේදී පොලී අනුපාතික වැඩි නොකිරීමට තීරණය කළත් එය බෙදුණු තීරණයක්. කමිටු සාමාජිකයින් නව දෙනෙකුගෙන් තිදෙනෙකුම 0.25%ක පොලී වැඩි කිරීමක් වෙනුවෙන් පෙනී සිටියා. ඉරාන යුද්ධය ආරම්භ වන විටද පොලී අනුපාතික ඉහළ දමමින් සිටි ජපානය මේ වන විට වසර 31ක ඉහළම මට්ටමට එරට ප්‍රතිපත්ති අනුපාතික ඉහළ දමා තිබෙනවා. කෙසේ වුවද, එම මට්ටම වන 1.25% ලංකාව වැනි රටකට සාපේක්ෂව අඩු මට්ටමක්. ඕස්ට්‍රේලියාව මෙම වසර තුළ තෙවරක් පොලී අනුපාතික ඉහළ දමා තිබෙනවා. ඉන්දියාව තවමත් පොලී අනුපාතික ඉහළ දමා නැතත් ඉදිරි මාස වලදී එවැන්නක් සිදු වේයැයි අපේක්ෂා කෙරෙනවා.

මහ බැංකුවක් විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ දැමූ විට එය ක්ෂණිකව බලපාන්නේ මහ බැංකුවෙන් සෘජුව ණය ලබා ගැනීමේ හැකියාවක් ඇති වාණිජ බැංකු වලටයි. තමන්ට මහ බැංකුවෙන් ණය ලබා ගත හැකි පොලී අනුපාතිකය ඉහළ යද්දී වාණිජ බැංකු විසින් සිය පාරිභෝගිකයින්ට ණය ලබා දෙන පොලී අනුපාතික ඉහළ දමනවා. එසේ ණය පොලී ඉහළ යද්දී රටේ ණය ඉල්ලුම පහත වැටී මුදල් සංසරණය අඩු වෙනවා. අනෙක් අතට තැන්පතු පොලී ඉහළ යාම නිසා සංසරණයේ තිබෙන මුදල් තැන්පතු ලෙස නැවත බැංකු පද්ධතිය තුළට පැමිණ ඒ මගින්ද මුදල් සංසරණය අඩු වෙනවා.

ඉහත කී පරිදි රටේ මුදල් සංසරණය අඩු වී පාරිභෝගික ජනතාව අතේ ගැවසෙන මුදල් ප්‍රමාණය පහත වැටෙද්දී භාණ්ඩ හා සේවා සඳහා වන ඉල්ලුමද පහත වැටෙනවා. මේ හරහා මිල ගණන් අඩු වෙනවා. මහ බැංකුවක් පොලී අනුපාතික වැඩි කරද්දී උද්ධමනය පාලනය වෙන්නේ ඔය ක්‍රමයටයි.

ඉහත යාන්ත්‍රනය මගින් ප්‍රතිඵලයක් ලැබීමට සැලකිය යුතු කාලයක් යන බැවින් මහ බැංකුවක් විසින් පොලී අනුපාතික වැඩි කළ පමණින් උද්ධමනය ක්ෂණිකව අඩු නොවන බව පැහැදිලි විය යුතුයි. මේ අයුරින්ම, මහ බැංකුවක් විසින් පොලී අනුපාතික අඩු කර මුදල් සැපයුම වැඩි කරද්දී උද්ධමනය ඉහළ යාම සිදු වන්නේද කිසියම් කාල පමාවකින් පසුවයි. ඇමරිකාව විසින් පසුගිය පොලී වැඩි කිරීම් මගින් උත්සාහ කරන්නේ 2029 වන විට එරට උද්ධමනය 2.0% ඉලක්ක මට්ටම දක්වා අඩු කර ගැනීමටයි.

මහ බැංකුවක් විසින් සාමාන්‍යයෙන් කරන්නේත්, මහ බැංකුවකට කළ හැක්කේත්, සැලසුම් සහගත ලෙස දිගුකාලීනව උද්ධමනය පාලනය කිරීමයි. මහ බැංකුවක් එම අරමුණ අනුව නිවැරදි පියවර රැගෙන තිබියදී යුද්ධ, කාලගුණය, ස්වභාවික ආපදා වැනි වෙනත් හේතු නිසා උද්ධමනය තාවකාලිකව ඉලක්ක මට්ටම ඉක්මවා ඉහළ යා හැකියි. එවැනි ඉහළ යාම් බාහිර කම්පනයකින් පසුව ක්ෂණිකව සිදු වෙනවා. එවැනි තත්ත්වයක් හමුවේ මහ බැංකුවක් විසින් ක්ෂණිකව අවශ්‍ය පියවර ගත්තත් ප්‍රතිඵලයක් ලබා ගැනීම සඳහා වසරක පමණ කාලයක් ගත වෙන්න පුළුවන්.

ඉරාන යුද්ධයෙන් පසුව උද්ධමන පීඩනය ඉහළ යාමත් සමඟ, මැයි මාසයේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 7.75% සිට 8.75% දක්වා ඉහළ දැම්මා. එය ප්‍රමාණවත් වැඩි කිරීමක්. එහෙත්, එහි ප්‍රතිඵල ලැබෙනුයේ ඉදිරි වසරේ මැද භාගය පමණ විටයි. මේ වන විට පවතින උද්ධමනය මහ බැංකුව විසින් වසරකට පමණ පෙර අනුගමනය කළ ක්‍රියාමාර්ග වල සහ බාහිර කම්පනයේ සම්ප්‍රයුක්ත ප්‍රතිඵලයක්.

ඉරාන යුද්ධය ආරම්භ වීමට ආසන්න කාලයේදී ලංකාවේ මහ බැංකුව සිටියේ පොලී අනුපාතික අඩු කරමින් උද්ධමනය ඉහළ දමා ගැනීමේ ඉලක්කයකයි. එසේ මහ බැංකුව විසින් කලින් ගත් ක්‍රියාමාර්ග නිසා 2026 පෙබරවාරි මාසයේදී 1.6% මට්ටමේ පැවති උද්ධමනය වසරේ අවසන් කාර්තුව වන විට 5% ඉලක්ක මට්ටම දක්වා වැඩි වීමට නියමිතව තිබුනා. ඒ කියන්නේ 3-4%ක පමණ වූ අපේක්ෂිත වැඩි වීමක්. මහ බැංකුව විසින් පසුව ගත් ප්‍රතිපත්ති තීරණ නිසා ඒ වැඩි වීම ආපසු හැරෙන්නේ නැහැ.

තෙල් මිල ඉහළ යාම නිසා අප්‍රේල් මාසය වන විට ලංකාවේ උද්ධමනය 5.4% දක්වා ඉහළ ගියා. මෙය 4%ක පමණ අනපේක්ෂිත වැඩිවීමක්. එසේ උද්ධමනය ඉහළ ගියේ මහ බැංකුවේ කලින් ප්‍රතිපත්ති තීරණ වල බලපෑම ඉදිරි මාස වලදී උද්ධමනයට එකතු වීමට නියමිතව තිබියදීයි. දැන් එය සිදු වෙමින් තිබෙනවා. මහ බැංකුවේ මෑතකාලීන තීරණ වල ප්‍රතිඵල ලැබෙන තුරු ඒ තත්ත්වයේ වෙනසක් වෙන්නේ නැහැ.

ඉහත තත්ත්වයන් තුළ ඉදිරි මාස දෙකේදී උද්ධමනය තව දුරටත් යම් තරමකින් ඉහළ යා හැකියි. දෙසැම්බර් මාසයේදී සුළු අඩු වීමක් සිදු විය හැකි වුවත්, 2027 මුල් මාස තුන තුළද උද්ධමනය පවතිනු ඇත්තේ ඉහළ මට්ටමකයි. උද්ධමනය අපේක්ෂිත මට්ටම දක්වා ක්‍රමයෙන් අඩු වනු ඇත්තේ ඉන් පසුවයි. එහෙත් ඒ අතර වුවද, දැනට පවතින තත්ත්වයන් යටතේ, උද්ධමනය 10% මට්ටම ඉක්මවා යාමේ ඉඩක් නැහැ.

Wednesday, September 16, 2026

ඇමරිකාවේ පොලී අනුපාතික ඉහළට!


ඇමරිකාවේ ෆෙඩරල් විවට වෙළඳපොළ කමිටුව විසින් අද පැවති මුදල් ප්‍රතිපත්ති විවරණයේදී, වසර තුනකට පසුව, ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 0.25%කින් ඉහළ දැම්මා. මේ අනුව ප්‍රතිපත්ති පොලී අනුපාතික පරාසය 3.75-4.0% දක්වා ඉහළ යනවා. කමිටුවේ සාමාජිකයින් සියලු දෙනාම මෙම තීරණයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළා.

පසුගිය පෙබරවාරි මාසය වන විට 2.4% මට්ටම දක්වා අඩු වී තිබුණු ඇමරිකාවේ උද්ධමනය, ඉරාන යුද්ධය ආරම්භ වීමෙන් පසුව ඉන්ධන මිල ගණන් ඉහළ යාමත් සමඟ සැලකිය යුතු ලෙස ඉහළ ගියා. පසුගිය අගෝස්තු මාසයේදී ඇමරිකාවේ උද්ධමනය 3.4%ක්ව පැවතුනා. ඇමරිකානු ෆෙඩරල් සංචිත බැංකුව විසින් ඉලක්ක කරනුයේ උද්ධමනය 2% මට්ටමේ පවත්වා ගැනීමටයි.

ජනාධිපති ට්‍රම්ප් විසින් නම් කළ කෙවින් වාර්ෂ්, සෙනෙට් අනුමැතියෙන් පසුව පසුගිය මැයි මාසයේදී ඇමරිකානු ෆෙඩරල් සංචිත බැංකුවේ සභාපති ධුරයේ වැඩ භාරගත්තා. ඊට පෙර ජෙරමි පවල් එම ධුරය දරද්දී, පොලී අනුපාතික "අවශ්‍ය පමණ" අඩු නොකිරීම පිළිබඳව ජනාධිපති ට්‍රම්ප් සිටියේ එතරම් සතුටකින් නෙමෙයි. ජනාධිපති ට්‍රම්ප් විසින්ම නම් කළ කෙවින් වාර්ෂ්ගේ සභාපතිත්වයෙන් යුත් ෆෙඩරල් විවට වෙළඳපොළ කමිටුව, ජනාධිපති ට්‍රම්ප්ගේ අභිමතයට පටහැනිව පොලී අනුපාතික ඉහළ දැමීමට ඒකමතිකව තීරණය කිරීම විශේෂත්වයක්. මේ මගින් ඇමරිකානු මහ බැංකුවේ ස්වාධීනත්වය පිළිබඳ විශ්වාසය තවදුරටත් තහවුරු වෙනවා.

දෙසතියකට පමණ පෙර ජනාධිපති ට්‍රම්ප් විසින්, ෆෙඩරල් සංචිත බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතික අඩු නොකරන්නේ නම් ඇමරිකාව වෙළඳ හිඟයක් පවත්වාගෙන යන රටවල් සමඟ වෙළඳාම මුළුමනින්ම නවත්වා දමන බවට සටහනක් පළ කළා. මෙම පොලී අනුපාතික වැඩි කිරීම සිදු කර තිබෙන්නේ එම "තර්ජනය" සත පහකට මායිම් නොකරමිනුයි.

මේ වන විට ඇමරිකානු රජයේ ණය ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 40 ඉක්මවා ඉහළ ගොස් තිබෙනවා. එම සමස්ත ණය ප්‍රමාණයටම 0.25%ක පොලී අනුපාතික වැඩිවීමක් අදාළ කර සරලව ගණනය කළොත්, එය වසරකට ඩොලර් බිලියන 100ක අමතර පොලී වියදමකට සමානයි. පසුගිය වසරේ ඇමරිකාවේ ෆෙඩරල් රජයේ වාර්ෂික ශුද්ධ පොලී වියදම ඩොලර් බිලියන 970ක් වූ අතර මෙම වසරේදී එම වියදම ඩොලර් ට්‍රිලියනය ඉක්මවා යන බව පැහැදිලියි. 

Tuesday, September 15, 2026

ආර්ථික වර්ධනය - 2026 දෙවන කාර්තුව


මෙම (2026) වසරේ දෙවන කාර්තුවේ ආර්ථික වර්ධන වේගය 4.2% දක්වා පහත වැටී තිබෙනවා. වසරේ පළමු කාර්තුවේ ආර්ථික වර්ධනය 5.1%ක්ව පැවතුනු අතර, ඊට පෙර, 2024 සහ 2025 වසර වලදී 5.0% බැගින් වූ වර්ධන වේගයන් වාර්තා වුනා. 

සේවා ආර්ථිකයේ වර්ධන වේගය 2.7% දක්වා පහත වැටී ඇති අතර, කෘෂිකාර්මික නිෂ්පාදිතය 2.3%කින් සංකෝචනය වී තිබෙනවා. කාර්මික නිෂ්පාදිතය 7.3%කින් වර්ධනය වී ඇතත්, ඊට ප්‍රධාන හේතුව එම නිෂ්පාදිතය තවමත් ආර්ථික අර්බුදයට පෙර පැවති මට්ටම ආසන්නයටවත් පැමිණ නොතිබීමයි. 2018 දෙවන කාර්තුවට සාපේක්ෂව කාර්මික නිෂ්පාදිතය තවමත් තිබෙන්නේ 10.1%ක් පසුපසිනුයි. 2.7%කින් සංකෝචනය වීමෙන් පසුව, කෘෂිකාර්මික නිෂ්පාදිතයද නැවත වරක් 2015 දෙවන කාර්තුවේදී පැවති මට්ටමෙන් පහතට වැටී තිබෙනවා. කෙසේ වුවද, සේවා ආර්ථිකය මෙතෙක් ඉහළම අගයක් වාර්තා වූ 2019 දෙවන කාර්තුවේදී පැවති මට්ටමට වඩා 1.0%කින් ඉහළ ගොස් තිබෙනවා.

සමස්තයක් ලෙස, දෙවන කාර්තුවේ මූර්ත දළ දේශීය නිෂ්පාදිතය තවමත් තිබෙන්නේ 2018 දෙවන කාර්තුවට වඩා 2.9%ක් පසුපසිනුයි. එයින් අදහස් වනුයේ ආර්ථික අර්බුදයට පෙර වසර කිහිපය තුළ සිදු වූ හැකිලීමෙන් ගොඩ යාම ඉක්මවා ගිය සත්‍ය වර්ධනයක් දැක ගැනීම සඳහා අඩු වශයෙන් තවත් වසරක්වත් බලා ඉන්නට සිදුවනු ඇති බවයි. 

පසුගිය (2015) වසරේ දෙවන කාර්තුවට සාපේක්ෂව සහල් නිෂ්පාදනය 15.1%කින්ද, තේ නිෂ්පාදනය 1.9%කින්ද, රබර් නිෂ්පාදනය 2.2%කින්ද පහත වැටී ඇති අතර පොල් නිෂ්පාදනය 6.2%කින් ඉහළ ගොස් තිබෙනවා. කරදිය ධීවර කර්මාන්තයේ 10.1%ක හැකිලීමක් පෙන්නුම් කරන අතර මිරිදිය ධීවර කර්මාන්තයේ හැකිලීම 61.0%ක්. 

කර්මාන්ත අංශය තුළ, ඇඟලුම් නිෂ්පාදන 1.4%කින් පහත වැටී ඇති අතර, පෙට්‍රෝලියම් නිෂ්පාදන කර්මාන්තයේ 15.2%ක හැකිලීමක්ද, රබර් හා ප්ලාස්ටික් නිෂ්පාදන කර්මාන්ත වල 4.2%ක හැකිලීමක්ද දකින්න පුළුවන්. එහෙත්, ඉදිකිරීම් කර්මාන්තය 13.9%කින් වර්ධනය වී තිබීම නිසා සේවා ආර්ථිකය සමස්තයක් ලෙස වර්ධනය වී තිබෙනවා. කර්මාන්ත අංශයේ වර්ධනයෙන් 70%කටම දායක වී තිබෙන්නේ ඉදිකිරීම් කර්මාන්තයයි.

සේවා අංශයේ ප්‍රධානම සංරචක වන තොග හා සිල්ලර වෙළඳාම් වර්ධනය 1.4%කට සීමා වී ඇති අතර භාණ්ඩ හා මගී ප්‍රවාහන සේවා සැපයීම් 3.1%කින් වර්ධනය වී තිබෙනවා. සංචාරක හා නවාතැන් සේවා සැපයීම් වර්ධනය වී තිබෙන්නේ 2.9%කින් වන අතර මූල්‍ය සේවා සැපයීම් 7.7%කින් වර්ධනය වී තිබෙනවා. 

Sunday, September 13, 2026

ඉන්දියාවේ විදේශ සංචිත තවත් ඉහළට!


පසු ගිය අගෝස්තු 21 දින වන විට ඉන්දියාවේ නිල විදේශ සංචිත ප්‍රමාණය ඉතිහාසයේ වැඩිම අගය වූ ඩොලර් මිලියන 729,328 දක්වා ඉහළ ගොස් තිබුණා. දෙසතියකට පසුව, සැප්තැම්බර් 4 දින වන විට එම ප්‍රමාණය ඩොලර් මිලියන 785,706 දක්වා තව දුරටත් ඉහළ නංවා ගැනීමට ඉන්දියාව සමත් වී තිබෙනවා. 

මෙය දෙසතියක කාලය තුළ ඩොලර් බිලියන 56 ඉක්මවන වැඩි වීමක්. එයින් ඩොලර් බිලියන 45 ඉක්මවන ප්‍රමාණයක් එකතු කරගෙන තිබෙන්නේ සැප්තැම්බර් 4 දිනයෙන් අවසන් වූ සතියක කාලය තුළයි. අගෝස්තු 28 දින වන විට සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 740,803ක්ව පැවතුනා. 

සැප්තැම්බර් 4 දින වන විට රුසියාව සතු වූ නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 753.5ක්. සම්බාධක වලට යටත්ව ප්‍රයෝජනයට ගත නොහැකිව ඇති විදේශ සංචිතද එම ගණනට ඇතුළත්. මේ අනුව, සැප්තැම්බර් 4 දිනයෙන් අවසන් වූ සතියක කාලය තුළ ඉන්දියාවේ නිල විදේශ සංචිත ප්‍රමාණය රුසියාවේ එම ප්‍රමාණයද ඉක්මවා ගොස් තිබෙනවා. මේ වන විට විදේශ සංචිත ප්‍රමාණය අතින් ඉන්දියාවට වඩා ඉදිරියෙන් සිටින්නේ චීනය, ජපානය සහ ස්විට්සර්ලන්තය යන රටවල් තුන පමණයි.

පසුගිය අගෝස්තු 31 දින වන විට ඉන්දියාවේ සංචිත බැංකුව (මහ බැංකුව) විසින් නිකුත් කර තිබුණු සංචිත මුදල් ප්‍රමාණය ඉන්දියානු රුපියල් බිලියන 52,766.4ක් වූ අතර, සංචිත බැංකුව සතු වූ ශුද්ධ විදේශ සංචිත ප්‍රමාණයේ වටිනාකම ඉන්දියානු රුපියල් බිලියන 69,556.2ක්. මෙයින් අදහස් වන්නේ ඉන්දියාවේ සංචිත බැංකුව සතු විදේශ වත්කම් වලින් එහි සියලු විදේශ බැරකම් පියවීමෙන් අනතුරුව අගෝස්තු 31 දින පැවති විණිමය අනුපාතය වූ රුපියල් 95.56 යටතේ ඉන්දියාවේ සංචිත බැංකුව විසින් නිකුත් කර ඇති සියළුම ඉන්දියානු රුපියල් ආපසු ලබාගෙන ඒ වෙනුවට ඇමරිකානු ඩොලර් ලබා දුන්නද සංචිත බැංකුව සතුව තවත් ඩොලර් බිලියන 175.7ක් ඉතිරි වන බවයි. මෙයම වෙනත් විදිහකින් විස්තර කළහොත් ඩොලරයක වටිනාකම ඉන්දියානු රුපියල් 72.49 දක්වා අඩු වීමට ඉඩ හැරියද දැනට නිකුත් කර ඇති සියලුම ඉන්දියානු රුපියල් එම අනුපාතයට ආපසු මිල දී ගැනීමේ හැකියාවක් ඉන්දියාවේ සංචිත බැංකුව සතු බවයි.

මේ අනුසාරයෙන් ඉන්දියානු රුපියල මේ වන විට පෙනෙනවාට වඩා කොපමණ ශක්තිමත්ද යන්න තේරුම් ගත හැකියි.

Monday, September 7, 2026

දළ නිල සංචිත - අගෝස්තු 2026


අගෝස්තු මාසය අවසානයේදී දළ නිල සංචිත ඩොලර් මිලියන 6,905 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙයින් ඩොලර් මිලියන 1,483ක් පමණ චීන මුදල් හුවමාරු ගිවිසුම යටතේ ලබා ගෙන ඇති යුවාන් බිලියන 10ක මුදලේ ඩොලර් වටිනාකමයි. එම මුදල ඉවත් කළ විට ඉතිරිය ඩොලර් මිලියන 5,422ක් පමණ වෙනවා. චීන ණය මුදල 2027 දෙසැම්බර් මාසයේදී පියවිය යුතුයි. 

වසරේ ඉතිරි මාස හතරක කාලය තුළ මහ බැංකුවට වෙළඳපොලෙන් යම් සංචිත ප්‍රමාණයක් මිල දී ගැනීමේ හැකියාවක් ඇති අතර එසේ මිල දී ගැනීමට ඉඩ තිබෙන විදේශ විණිමය වලින් ඉන්දියාවට තවමත් ගෙවන්නට ඇතැයි මා ඇස්තමේන්තු කරන සුළු මුදල සහ මූල්‍ය අරමුදලට ගෙවිය යුතු ණය වාරික පහසුවෙන්ම ගෙවිය හැකියි. එහෙත්, පසුගිය මාසය තුළ මහ බැංකුව විසින් ඩොලර් මිලියන 579ක මුදලක් වෙළඳපොළෙන් මිල දී ගැනීමෙන් පසුවද, දළ නිල සංචිත ඉහළ ගොස් තිබෙන්නේ ඩොලර් මිලියන 305කින් පමණක් බවද අප‍ට සැලකිල්ලට ගැනීමට සිදු වෙනවා. මෙම ගණන් අතර ඩොලර් මිලියන 274ක වෙනසක් තිබෙනවා.

මහ බැංකුව විසින් පසුගිය මාසය තුළ මහ බැංකුවේ විදේශ ණය පියැවීම වෙනුවෙන් යම් මුදලක් වැය කර තිබීම නිසැක දෙයක් වුවත්, එම මුදල ඩොලර් මිලියන 274ක් වීමේ ඉඩක් නැහැ. මේ වෙනසට ප්‍රධාන හේතුව රජයේ විදේශ ණය ආපසු ගෙවීම වෙනුවෙන්ද විදේශ විණිමය වැය වී තිබීමයි. 

දළ නිල සංචිත වල මහ බැංකුවේ විදේශ සංචිත මෙන්ම රජයට අයිති විදේශ සංචිත යම් ප්‍රමාණයක්ද තිබෙනවා. සාමාන්‍යයෙන් මූල්‍ය අරමුදල විසින් ණය දෙන්නේ රටක මහ බැංකුවට වුවත්, 2023දී පැවති සුවිශේෂී තත්ත්වය තුළ මූල්‍ය අරමුදලෙන් ලබා දුන් ණය කෙළින්ම ශ්‍රී ලංකා රජයට ලබා දීමට තීරණය කළා. ඊට හේතුව එවර ඇති වී තිබුණු අර්බුදය සාමාන්‍ය ගෙවුම් ශේෂ අර්බුදයක් පමණක් නොවීමයි. ගෙවුම් ශේෂ අර්බුදය ඇති වී තිබුණේ රාජ්‍යමූල්‍ය අර්බුදයක ප්‍රතිඵලයක් ලෙසයි. 

මේ වන විට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ රාජ්‍යමූල්‍ය කළමනාකරණය නිවැරදි කර ගැනීම මගින් රාජ්‍යමූල්‍ය ප්‍රශ්නය විසඳාගෙන ඇතත්, රටේ විදේශ අංශයේ පැවති දිගුකාලීන ප්‍රශ්නය තවමත් එලෙසම පවතින බැවින් රටේ ගෙවුම් ශේෂ අර්බුද අවදානම පහව ගොස් නැහැ. දශක ගණනාවක ප්‍රශ්නයක් විසඳා ගැනීම සඳහා වසර ගණනාවක සැලසුම්සහගත කැපවීමක් අවශ්‍ය වෙනවා. 

ඉහත විස්තර කළ හේතු නිසා මූල්‍ය අරමුදලෙන් රජයට සෘජුවම ලැබෙන ණය වාරික බැර කෙරෙන්නේ රජය විසින් මහ බැංකුවෙහි පවත්වා ගෙන යන ගිණුමකටයි. එහි ශේෂය රජයට රජයේ විදේශ ණය ගෙවීම සඳහා යොදා ගත හැකියි. 

වසර තුළ මූල්‍ය අරමුදලෙන් තවත් වාරිකයක් ලැබීමට නියමිතව තිබෙන අතර එම මුදලද රජයට රජයේ විදේශ ණය ආපසු ගෙවීම වෙනුවෙන් වැය කළ හැකියි. එසේ වුවත්, විදේශ ණය ගෙවීම සඳහා ප්‍රමාණවත් ඩොලර් සංචිත රජය සතුව නැත්නම් රජයට මහ බැංකුවෙන් ඩොලර් මිල දී ගැනීමට සිදු වෙනවා. එහිදී මහ බැංකුව සතු විදේශ සංචිත වල අඩු වීමක් සිදු වෙනවා. 

පසුගිය පෙබරවාරි මාසය වන විට දළ නිල සංචිත ඩොලර් මිලියන 7,280 දක්වා ඉහළ ගොස් තිබුණද ජූනි මාසය වන විට එම ප්‍රමාණය ඩොලර් මිලියන 6,458 දක්වා පහත වැටුනා. ඒ මැයි මාසයේදී ඩොලර් මිලියන 695ක වටිනාකමැති, ණය වාරික දෙකක මුදලක් මූල්‍ය අරමුදලෙන් එක වර ලැබීමෙන්ද පසුවයි. දළ නිල සංචිත ප්‍රමාණය මේ වන විටද තිබෙන්නේ පෙබරවාරි මාසයේදී පැවති මට්ටමට වඩා ඩොලර් මිලියන 375ක් පහළිනුයි. 

ණය ප්‍රතිව්‍යුහත කිරීමෙන් පසුව අවදානම් අඩු වී ඇතත්, 2028 සිට රජයේ විදේශ ණය ආපසු ගෙවීම් වල ඉහළ යාමක් සිදු වෙනවා. මුල් සැලසුම වූයේ නැවතත් ස්වෛරිත්ව බැඳුම්කර නිකුත් කිරීම මගින් අවශ්‍ය අරමුදල් සපයා ගැනීමයි. එහෙත් එසේ කළ හැකි මට්ටමකට තවමත් ශ්‍රී ලංකාව පිළිබඳ ආයෝජක විශ්වාසය වර්ධනය වී නැහැ.

මූල්‍ය අරමුදල සමඟ ඇති වත්මන් වැඩ පිළිවෙළ අවසන් වෙද්දී බාධාවකින් තොරව රටට අවශ්‍ය පමණ ආනයන සිදු කරන අතර රටේ ආර්ථික ස්ථායීතාවය පවත්වා ගැනීම සඳහා ප්‍රමාණවත් විදේශ සංචිතයක් ගොඩ නගා ගැනීම අපහසු දෙයක් නොවුනත්, එය එසේ කළ හැකි වන්නේ රජයේ විදේශ ණය ආපසු ගෙවීම් මහ බැංකුව සතු සංචිත වලට පීඩනයක් ගෙන නොදෙන්නේනම් පමණයි. එය එසේ වීමටනම්, රජයට නැවතත් ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළ වෙත ප්‍රවේශ වීමට සිදු වෙනවා. ඒ සඳහා ශ්‍රේණිගත කිරීම් ඉහළ දමා ගත යුතුයි. එය කළ නොහැකිනම්, අවම වශයෙන් රක්ෂණයක් ලෙස, මූල්‍ය අරමුදල සමඟ තවත් වැඩ සටහනකට යාමට සිදු වෙනවා. එය අනිවාර්ය ණය ගැනීමක්ම විය යුතු නැහැ. 

Saturday, September 5, 2026

අලුත් ලෝක සිතියම


ඊයේ දිනයේ (2026 සැප්තැම්බර් 4) එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පසුගිය සියවස් හතරකට වැඩි කාලයක් පුරා ලෝකයේ වඩාත් ප්‍රචලිත සිතියම් ප්‍රක්ෂේපණයක් ලෙස භාවිතා වූ මර්කේටර් ලෝක සිතියම වෙනුවට, රටවල් හා මහාද්වීපවල සාපේක්ෂ භූමි ප්‍රමාණය වඩා නිවැරදිව නිරූපණය කරන Equal Earth වැනි සිතියම් ප්‍රක්ෂේපණ භාවිතය ලෝකය පුරා ප්‍රවර්ධනය කිරීම පිණිස යෝජනාවක් සම්මත කරගනු ලැබුවා.

අප්‍රිකානු රටවල් විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාවට පක්ෂව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 164ක් ඡන්දය ලබා දුන් අතර, විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ ඇමරිකා එක්සත් ජනපදය පමණයි. පැරණි සෝවියට් සමූහාණ්ඩු පහක් වූ ලිතුවේනියාව, එස්ටෝනියාව, යුක්‍රේනය, මෝල්දෝවා සහ ජෝජියාවත්, පැරණි යුගෝස්ලාවියාවේ කොටසක් වූ සර්බියාවත් ඡන්දය දීමෙන් වැළකී සිටියා.

මෙම යෝජනාවේ මුඛ්‍ය පරමාර්ථය වූයේ වත්මන් ලෝක සිතියම තුළ ලෝකයේ රටවල් ඒවායේ නියම ප්‍රමාණයෙන් නිරූපණය නොවීමේ ඓතිහාසික වරද නිවැරදි කිරීමයි. මර්කේටර් ලෝක සිතියම තුළ කැනඩාව, රුසියාව හා ග්‍රීන්ලන්තය වැනි රටවල් ඕනෑවට වඩා ලොකුවට පෙනෙන අතර අප්‍රිකාවේ සාපේක්ෂ විශාලත්වය පෙනෙන්නේ නැහැ. 

යෝජනාවට විරුද්ධ වූ එකම රට වූ ඇමරිකා එක්සත් ජනපදය විසින් මෙම යෝජනාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලික අරමුණු වලින් බැහැර වීමක් ලෙසත්, යෝජනාව වෙනුවෙන් පෙනී සිටින්නන්ගේ පුළුල් මතවාදී ව්‍යාපෘතියක කොටසක් ලෙසත් හඳුන්වා තිබුණා. ඡන්දය දීමෙන් වැළකී සිටි යුක්‍රේනය, අප්‍රිකානු රටවල යෝජනාවේ මූලික අරමුණට තමන් විරුද්ධ නොවන බව සඳහන් කළත්, Equal Earth සිතියමෙහි රුසියාව විසින් අත්පත් කරගෙන ඇති යුක්‍රේන භූමි ප්‍රදේශ නිරූපණය කර ඇති ආකාරය පිළිගත නොහැකි බව සඳහන් කළා. 

මීට සතියකට පමණ පෙර, 2026 අගෝස්තු 27 දින, ඇමරිකන් ජනාධිපතිවරයා විසින් පංච මහා විල් වලින් එකක් වූ ඔන්ටාරියෝ විල ඇමරිකානු ෆෙඩරල් රජයේ භාවිතය සඳහා ඇමරිකා විල ලෙස නම් කළ අතර, ඊටත් පෙර මෙක්සිකන් බොක්ක ඇමරිකන් බොක්ක ලෙස නම් කරනු ලැබුවා. 

මේ වන විට මෙට්‍රික් මිනුම් ක්‍රමය ලෝකයේ බොහෝ රටවල ප්‍රධාන මිනුම් ක්‍රමය බවට පත්ව ඇතත්, ඇමරිකා එක්සත් ජනපදය තුළ දෛනික භාවිතයේ ප්‍රධාන මිනුම් ක්‍රමය ලෙස තවමත් මෙට්‍රික් මිනුම් ක්‍රමය භාවිතා වන්නේ නැහැ. මෙම යෝජනාවට එරෙහිව ඡන්දය භාවිතා කළ ඇමරිකාව විසින් අලුත් ලෝක සිතියම ප්‍රවර්ධනය කිරීමට සහයෝගය දීමේ ඉඩක් පෙනෙන්නට නැහැ. ගූගල් හා ඇපල් වැනි ඇමරිකානු සමාගම් විසින් පිළියෙළ කෙරෙන ලෝක සිතියම් මේ වන විට ඇමරිකාවෙන් පිටත ලෝකය පුරාම භාවිතා වෙනවා. එබැවින් අනෙකුත් රටවල අලුත් ලෝක සිතියම ප්‍රචලිත වුවද, පැරණි සිතියම ඉක්මණින් භාවිතයෙන් ඉවත් වීමේ ඉඩක් නැහැ. 

Friday, September 4, 2026

මහ බැංකුවේ මැදිහත් වීම් - අගෝස්තු 2026


ගෙවුණු 2026 අගෝස්තු මාසය තුළ මහ බැංකුව විසින් ඩොලර් මිලියන 579ක විදේශ විණිමය ප්‍රමාණයක් වෙළඳපොළෙන් මිල දී ගැනීමට සමත් වී තිබෙනවා. මෙම මුදල මෙම වසර තුළ මහ බැංකුව විසින් මාසයක් ඇතුළත මිල දී ගත් වැඩිම විදේශ විණිමය ප්‍රමාණයයි. 

වසරේ මුල් මාස කිහිපය තුළ මහ බැංකුව විසින් වෙළඳපොළෙන් විදේශ විණිමය මිල දී ගනිමින් සංචිත ගොඩ නගා ගනිමින් සිටියත්, ඉරාන යුද්ධය ඇරැඹී විණිමය ප්‍රවාහ සීමා වීමෙන් පසුව ඇති වූ සමපේක්ෂණ ඉල්ලුම පාලනය කිරීම සඳහා මහ බැංකුවට යම් විදේශ සංචිත ප්‍රමාණයක් විකිණීමට සිදු වුනා. නැවත විණිමය අනුපාතය ස්ථාවර වීමෙන් පසුව, මේ වන විට, සමපේක්ෂකයින් විසින් තමන් සතු කරගත් විදේශ විණිමය ආපසු විකුණා දමන්නට පෙලැඹී ඇති බවක් පෙනෙන්නට තිබෙනවා.

අප්‍රේල් සහ මැයි මාස වලදී මහ බැංකුව විසින් ශුද්ධ වශයෙන් විදේශ විණිමය විකුණා දැමීම සැලකිල්ලට ගැනීමෙන් පසුවද, මේ වන විට වසර ඇතුළත මහ බැංකුව විසින් ශුද්ධ වශයෙන් ඩොලර් මිලියන 1,485ක් වෙළඳපොලෙන් මිල දී ගෙන තිබෙනවා. 

අගෝස්තු මාසය අවසානයේදී නිල විදේශ සංචිත ප්‍රමාණය කොපමණදැයි මහ බැංකුව විසින් තවමත් ප්‍රකාශයට පත් කර නැහැ. එහෙත්, මෙම ප්‍රමාණය නැවතත් ඩොලර් බිලියන හතේ සීමාව ඉක්මවා තිබෙන්නට බොහෝ දුරට ඉඩ තිබෙනවා.

වසරේ මුල් මාස නවය තුළ මහ බැංකුව විසින් සිදු කර ඇති මැදිහත් වීම් මෙසේයි.

  • 2026 ජනවාරි: ඩොලර් මිලියන 200
  • 2026 පෙබරවාරි: ඩොලර් මිලියන 461
  • 2026 මාර්තු: ඩොලර් මිලියන 49
  • 2026 අප්‍රේල්: ඩොලර් මිලියන -13 (ශුද්ධ විකිණීම)
  • 2026 මැයි: ඩොලර් මිලියන -211 (ශුද්ධ විකිණීම)
  • 2026 ජූනි: ඩොලර් මිලියන 71
  • 2026 ජූලි: ඩොලර් මිලියන 349
  • 2026 අගෝස්තු: ඩොලර් මිලියන 579
  • එකතුව: ඩොලර් මිලියන 1,485 

Thursday, September 3, 2026

කෝවිඩ් අවුරුද්දේ විදේශ අංශය


නැවත නැවත මතු කෙරෙන කරුණක් නිසා ආර්ථික අර්බුදය කෙරෙහි වූ වසංගතයේ බලපෑම ගැන නිශ්චිතව සටහන් කරලා තියන එක සුදුසුයි කියලා හිතුණා. සමහර අයට අනුව ආර්ථික අර්බුදයට හේතු වුනේ වසංගතය. වසංගතය නොවන්නට ඒ වන විට අනුගමනය කළ ආර්ථික ප්‍රතිපත්ති වලින් රට සුඛිත මුදිත වෙනවා. මේ ප්‍රවාදයට අභියෝගයක් ලෙස වෙනත් අය මතු කරන වලංගු ප්‍රශ්නයක් වන්නේ අර්බුදයට හේතුව වසංගතයේ බලපෑමනම්, ලෝකයේ අනෙක් රටවල් වලත් මේ විදිහේ අර්බුදයක් ඇති නොවුනේ ඇයි කියන එක. 

වසංගතය ලංකාවේ විදේශ අංශයට බලපෑවේ කොහොමද?

වසංගතය පැතිරෙද්දී 2020 මාර්තු මාසයේදී ශ්‍රී ලංකා රජය විසින් සංචාරකයින් සඳහා රටේ දේශ සීමා වසා දමනු ලැබුවා. මෙසේ වසා දමනු ලැබූ දේශ සීමා නැවත මුළුමනින්ම විවෘත කරනු ලැබුවේ 2021 ජනවාරි මාසයේදී. 2020 දෙසැම්බර් මාසයේදී "ජීව බුබුළු" පදනම මත සංචාරකයින්ට සීමිත අවස්ථාවක් ලබා දුන්නා. ඔය අතරමැද මාස නවයක පමණ කාලයක් සංචාරකයින්ගේ පැමිණීම මුළුමනින්ම නැවතී ඒ හරහා රටට ලැබුණු විදේශ විණිමය ප්‍රවාහ නැවතුනා. 

ඉහත හේතුව නිසා, පෙර වසරට සාපේක්ෂව 2020 වසරේදී සංචාරක කර්මාන්තයෙන් ලැබෙන විදේශ විණිමය ප්‍රමාණයෙන් ඩොලර් බිලියන තුනක් පමණ රටට අහිමි වුනා. ඒ වගේම, ගුවන් හා නැවු ප්‍රවාහන සේවා සපයා ලැබූ ආදායමෙන් තවත් ඩොලර් බිලියනයක් පමණ අහිමි වුනා. සේවා ගිණුමේ සියලු ලැබීම් ඩොලර් මිලියන 4,439කින් අඩු වුනා.

සේවා ගිණුමේ ලැබීම් ඔය විදිහට අඩු වෙද්දී, වසංගතය හේතුවෙන් ශ්‍රී ලාංකිකයින්ගේ විදේශ සංචාර වියදම් සහ ප්‍රවාහන සේවා ඇතුළු අනෙකුත් සේවා වෙනුවෙන් වැය වූ වියදම්ද ඩොලර් මිලියන 2,409කින් අඩු වුනා. ඒ නිසා, ශුද්ධ වශයෙන් සේවා ගිණුමට සිදු වූ බලපෑම ඩොලර් මිලියන 2,030ක් පමණයි. ඔව්, ඒක වුනත් සැලකිය යුතු අඩු වීමක් තමයි!

අනෙක් අතට රට වහද්දී යම් තරමකින් අපනයන නිෂ්පාදන කර්මාන්තත් වැහුනා. ලෝකය පුරාම ඉල්ලුම අඩු වී මිල අඩුවීමකුත් සිදු වුනා. මෙහි ප්‍රතිඵලයක් විදිහට අපනයන ආදායම පෙර වසරේ වූ ඩොලර් මිලියන 11,940 සිට ඩොලර් මිලියන 10,047 දක්වා ඩොලර් මිලියන 1,893කින් අඩු වුනා. ඇඟලුම් අපනයන ආදායම පමණක් ඩොලර් මිලියන 1,173කින් පහත වැටුනා.

නමුත් අනෙක් අතට ලෝක ඉන්ධන මිල විශාල ලෙස පහත වැටුණා. රටේ ඉන්ධන ඉල්ලුම විශාල ලෙස අඩු වුනා. ඉන්ධන ආනයන වියදම ඩොලර් මිලියන 3,891.6 සිට ඩොලර් මිලියන 2,542.6 දක්වා ඩොලර් මිලියන 1,349.0කින් පහත වැටුනා. ඒ වගේම, ඇඟලුම් කර්මාන්තය සඳහා අවශ්‍ය වන රෙදිපිළි ආනයන වියදම් ඩොලර් මිලියන 574.3කින් අඩු වුනා. ඉදිකිරීම් සීමා වූ නිසා ඉදිකිරීම් කර්මාන්තයේ අමුද්‍රව්‍ය ආනයන වියදම් ඩොලර් මිලියන ඩොලර් මිලියන 473.1කින් අඩු වුනා. පෞද්ගලික වාහන ආනයන සීමා කිරීම නිසා එම ආනයන වියදම් ඩොලර් මිලියන 532.8කින් අඩු වුනා. ඔය විදිහට සමස්ත ආනයන වියදම ඩොලර් මිලියන 3,882කින් පහත වැටුනා. මේ අඩු වීම අපනයන ආදායම් අඩු වීමට වඩා ඩොලර් බිලියන දෙකකින් පමණ වැඩියි. හරියටම ඩොලර් මිලියන 1,989ක්!

සේවා ගිණුමේ ලැබීම් ශුද්ධ වශයෙන් ඩොලර් බිලියන දෙකකින් පමණ අඩු වෙද්දී, ඒ ඩොලර් බිලියන දෙකේ අඩුව වෙළඳ ගිණුම හරහා ආපසු ලැබුනා. ඒ නිසා, වෙළඳ හා සේවා ගිණුම් දෙක එක්ව ගනිද්දී ජංගම ගිණුමට බලපෑමක් නොතිබුණු තරම්.

ඔය අතර, විගමණික ප්‍රේෂණ ඉහළ යාම නිසා ද්වීතියික ආදායම් ගිණුමේ ශේෂය ඉහළ ගියා. පොලී අනුපාතික හා සමාගම් වල ලාබ අඩු වීම නිසා ප්‍රාථමික ගිණුම හරහා රටෙන් එළියට යන විදේශ විනිමය සීමා වුනා. අවසාන වශයෙන් වසංගතය නිසා සිදු වුනේ අවුරුදු දහයකට පසුව ජංගම ගිණුමේ වාර්තා වූ අඩුම හිඟය 2020දී වාර්තා වූ එකයි. 2011-2020 කාලයේ ලංකාවේ ජංගම ගිණුම් හිඟ පහත පෙන්වා තිබෙනවා.

2011 - ඩොලර් මිලියන (-4,615)

2012 - ඩොලර් මිලියන (-3,982)

2013 - ඩොලර් මිලියන (-2,541)

2014 - ඩොලර් මිලියන (-1,988)

2015 - ඩොලර් මිලියන (-1,883)

2016 - ඩොලර් මිලියන (-1,742)

2017 - ඩොලර් මිලියන (-2,309)

2018 - ඩොලර් මිලියන (-2,799)

2019 - ඩොලර් මිලියන (-1,843)

2020 - ඩොලර් මිලියන (-1,183)

අවුරුදු දහයක කාලයකට පසුව අඩුම ජංගම ගිණුම් හිඟයක් වාර්තා වුනේ වසංගතයේ බලපෑම තිබුණු 2020 වසරේදීනම්, ආර්ථික අර්බුදයට හේතු වුනේ වසංගතය කියලා කාට හරි කියන්න පුළුවන්ද?

නමුත්, ජංගම ගිණුමේ හිඟය ඔය තරමට අඩු වෙද්දී රටේ නිල විදේශ සංචිත ඩොලර් මිලියන 7,642 සිට ඩොලර් මිලියන 5,664 දක්වා ඩොලර් බිලියන දෙකකින් පමණ අඩු වුනා. මෙයට හේතුව ඩොලර් බිලියනයකට තරමක් වැඩියෙන් තිබුණු ජංගම ගිණුම් හිඟය නෙමෙයි. අඩු වශයෙන් ඩොලර් බිලියන දෙකක පමණ ජංගම ගිණුම් හිඟයක් කාලයක් තිස්සේම තිබුනා. එහෙම තියෙද්දීත් සමහර අවුරුදු වල සංචිත වැඩි වුනා. 

වසංගතය පටන් ගන්න කොටත් බදු කප්පාදු කරලා රාජ්‍ය ආදායම් අහිමි කරගෙනයි තිබුණේ. ඒ තීරණයෙන් පසුව, රජය බංකොලොත් වීම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි කියන එක සිහි බුද්ධිය තියෙන අයට පේන්න ගත්තා. ඒ වගේම, මේ හේතුවෙන් ඉහළ ගිය අයවැය හිඟය පියවන්න රුපියල් අවශ්‍ය වුනා. රටේ රුපියල් සැපයුම වැඩි වෙද්දී උද්ධමනය ඉහළ යන නිසා එය වලක්වා ගැනීමේ උපාය මාර්ගය වුනේ සංචිත විකුණමින් විණිමය අනුපාතයේ උදවුවෙන් උද්ධමනය පාලනය කරන එක. මේ ක්‍රමයට රුපියල් එකතු කරගත හැකි වූ නිසා අලුතෙන් රුපියල් සංසරණයට එකතු නොකරම විශාල ලෙස රජයට ණය දෙන්න මහ බැංකුවට පුළුවන් වුනා. මේ ක්‍රමයට යද්දී කොයි වෙලාවක හෝ සංචිත ඉවර වෙලා රුපියල කඩා වැටෙන බවත් සිහි බුද්ධිය තියෙන අයට පේන්න ගත්තා. මේ කිසිවක් වසංගතය නිසා සිදු වූ දේවල් නෙමෙයි.

රජයක් බැංකු අංශයෙන් ණය ගන්න පෙළඹෙන්නේ වෙළඳපොළෙන් ණය ගන්න අසීරු වූ විටයි. බැංකු අංශයෙන් ණය ගනිද්දී මුදල් සැපයුම ප්‍රසාරණය වෙනවා. රාජ්‍යමූල්‍ය කළමනාකරණය වැටිලා තිබුණු තැනත් එක්ක රජයට කොයි වෙලාවක හෝ ණය ගෙවාගන්න බැරිවන බවත්, මහ බැංකුවේ විණිමය ප්‍රතිපත්ති අනුව කොයි වෙලාවක හෝ රුපියල කඩා වැටෙන බවත් කලින්ම තේරුම් ගත්තේ විදේශ ආයෝජකයෝ. ඔවුන් විශාල වශයෙන් ඔවුන් සතු වූ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර විකුණමින් ඒ රුපියල් ඩොලර් කර රටෙන් ගෙන යන්න පටන් ගත්තා. 2020 වසර තුළදී මෙසේ ඉවත් කරගත් මුදල ඩොලර් මිලියන 553ක්. 

විදේශ ආයෝජකයින් විසින් රාජ්‍ය සුරැකුම්පත් ආයෝජන ඔය විදිහට ඉවත් කර ගනිද්දී ඒ එක්කම කොටස් වෙළඳපොළ ආයෝජනද ඩොලර් මිලියන 225ක් ඉවත් කරගත්තා. වාණිජ බැංකු වල තිබුණු විදේශ විණිමය තැන්පතු වලින් තවත් ඩොලර් මිලියන 415ක් එළියට ගියා. 

අනෙක් අතට ස්වෛරිත්ව බැඳුම්කර වල ආයෝජන සිදු කර තිබුණු විදේශිකයෝ ඒ බැඳුම්කර අයිතිය කීයකට හෝ විකුණා දමන්න පෙළඹුනා. එසේ කරද්දී ස්වෛරිත්ව බැඳුම්කර වල ඵලදා අනුපාතික විශාල ලෙස ඉහළ ගිහින් ශ්‍රී ලංකා රජයට අලුතෙන් ස්වෛරිත්ව බැඳුම්කර නිකුත් කළ නොහැකි තත්ත්වයක් ඇති වුනා. ඒ නිසා, ඔක්තෝබර් මාසයේදී කල් පිරුණු ස්වෛරිත්ව බැඳුම්කරය අලුත් කරමින් අලුත් ස්වෛරිත්ව බැඳුම්කරයක් නිකුත් කිරීමේ හැකියාව අහිමි වුනා. රට ඇතුළේ සිටි පුද්ගලයින් හෝ ආයතන විසින් විදේශිකයින් විසින් විකුණන ලංකාවේ ස්වෛරිත්ව බැඳුම්කර කුණු කොල්ලයට මිල දී ගනිද්දී, ඒ මිල දී ගැනීම් වෙනුවෙන්ද රටේ තිබුණු ඩොලර් විශාල ලෙස එළියට ගියා. රජය විසින් මේ මුදල් ආපසු ගෙවයි කියන විශ්වාසය ඒ අයට තියෙන්න ඇති. ඒ වගේම ආපසු ගෙවනු ලැබූ ස්වෛරිත්ව බැඳුම්කර වලින් විශාල ලාබයක් ලැබෙන්නත් ඇති. 

විදේශ විණිමය අර්බුදයකට පාර කැපුනේ ඔය විදිහට මූල්‍ය ගිණුම හරහා එළියට ගිය විදේශ විණිමය නිසා මිසක් වසංගතයෙන් ජංගම ගිණුමට අහිතකර බලපෑමක් සිදු වූ නිසා නෙමෙයි. ඇත්තටම සිදු වුනේ වසංගත අවුරුද්ද තුළ ජංගම ගිණුම් ශේෂය වඩා හොඳ පැත්තට හැරීමයි.

මේ කතා කළේ 2020 අවුරුද්ද ගැන. 2021 ගැන වෙනම කතා කරන්න පුළුවන්. 

ජූලි අවසානයේදී රාජ්‍යමූල්‍ය තත්ත්වය


ජූලි මාසය අවසන් වෙද්දී වසරේ සමුච්ඡිත අයවැය ශේෂය නැවතත් සෘණ අතට හැරී තිබෙනවා. පසුගිය මාස කිහිපය තුළ අයවැය අතිරික්තයක් දක්නට ලැබුණේ මෙම වසරේ වියදම් වෙනුවෙන් වෙන් කළ අරමුදල් වැය කෙරෙන තුරු තාවකාලිකව පැවති සංක්‍රාන්තික තත්ත්වයක් හේතුවෙන් බැවින් මෙය අපේක්ෂා කළ හැකිව තිබුණු තත්ත්වයක්. 

වසරේ පළමු මාස හයේ සමස්ත අයවැය හිඟය රුපියල් බිලියන 109.7ක් වන අතර එම අගය පසුගිය වසරේ පළමු මාස හතේ අයවැය හිඟය වූ රුපියල් බිලියන 556.1ට වඩා බෙහෙවින්ම අඩු අගයක්. පොලී වියදම් ඉවත් කිරීමෙන් පසුව, වසරේ පළමු මාස හතක කාලය තුළ රුපියල් බිලියන 1,348.6ක ප්‍රාථමික අයවැය අතිරික්තයක් වාර්තා වී තිබෙනවා. 

වසරේ ඇස්තමේන්තුගත බදු ආදායමෙන් 63.9%ක්ම මේ වන විට එකතු වී ඇති අතර, ඇස්තමේන්තුගත බදු නොවන ආදායම් වලින් 78.2%ක් එකතු වී තිබෙනවා. ඒ අනුව, පැහැදිලිව පෙනී යන්නේ මෙම වසරේ රාජ්‍ය ආදායම් ඉලක්ක සාක්ෂාත් කර ගැනීම පිළිබඳ ගැටළුවක් පෙනෙන්නට නොමැති බවයි. 

ඇස්තමේන්තුගත පුනරාවර්තන වියදම් වලින් 53.9%ක් මේ වන විට වැය කර ඇති අතර, ඇස්තමේන්තුගත ප්‍රාග්ධන වියදම් වලින් තවමත් වැය කර තිබෙන්නේ 22.2%ක් පමණයි. 

Wednesday, September 2, 2026

මහ බැංකුවේ ශුද්ධ විදේශ සංචිත - ජූලි 2026


සාමාන්‍යයෙන් කියන විදිහට ෆියට් මුදල් වලට කිසිම නෛසර්ගික වටිනාකමක් නැහැ. ඒවා නිකම්ම කඩදාසි. එහෙමනම් මිනිස්සු ෆියට් මුදල් මුදල් විදිහට භාර ගන්නේ ඇයි?

මේ ප්‍රශ්නයට සම්මත පිළිතුරු තිබෙනවා. එක පිළිතුරක් වන්නේ රජය විසින් මේ ෆියට් මුදල් රටේ නීත්‍යානුකූල මුදල් ලෙස නීතිගත කර තිබෙන නිසා කියන එක. නමුත් වෙනත් රටවල් එක්ක ගනුදෙනු කරද්දී මේ කතාව හරියන්නේ නැහැ. ඒ නිසාම, තමන්ගේ රටින් පිටතදී ගනුදෙනු සඳහා භාවිතා කළ හැකි මුදල් වර්ග තිබෙන්නේ සීමිත ප්‍රමාණයක් පමණයි.

ශ්‍රී ලංකා රුපියල් කියන්නේ රටින් පිටත කිසිදු පිළිගැනීමක් නොමැති මුදල් වර්ගයක්. ඇමරිකාවට ඩොලර් මුද්‍රණය කරලා ඒ ඩොලර් වලින් ගෙවලා රටට ආනයන කරන්න පුළුවන් වුනත් ලංකාවට රුපියල් මුද්‍රණය කරලා ඒ රුපියල් වලින් ආනයන කරන්න බැහැ. ඒ නිසාම රුපියල් වල වටිනාකම රැඳී තිබෙන්නේ ඩොලර් වැනි පිළිගැනීමක් තිබෙන මුදල් වර්ග එක්ක හුවමාරු කිරීමේ හැකියාව පිළිබඳව තිබෙන විශ්වාසය මතයි.

ඩොලර්, යුරෝ වැනි මුදල් වර්ග කීපයක් හැරුණු කොට චීන යුවාන්, ඉන්දියානු රුපියල් වගේම ජපාන යෙන් දක්වා මුදල් වර්ග වලට අඩු වැඩි වැඩි වශයෙන් ඉහත කතාව අදාළයි. චීනය, ඉන්දියාව, ජපානය වගේ රටවල් විශාල විදේශ විනිමය සංචිත නඩත්තු කරන්නේ ඒ බව දන්න නිසා. 

ශ්‍රී ලංකා රුපියලේ ඉතිහාසය දිහා බැලුවොත්, මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන රුපියල් ප්‍රමාණයට සමාන වටිනාකමක් තිබෙන ශුද්ධ විදේශ සංචිත මහ බැංකුව සතුව නැත්නම් මේ වටිනාකම් සමාන වන තුරු රුපියල අවප්‍රමාණය වීම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණක් බව පැහැදිලිව පේනවා. 

උදාහරණයක් විදිහට මහ බැංකුවේ සංචිත මුදල් සැපයුම රුපියල් බිලියන 1920ක්නම් සහ මහ බැංකුව සතු ශුද්ධ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 6ක්නම්, සංචිත මුදල් සැපයුම සහ ශුද්ධ විදේශ සංචිත ප්‍රමාණයේ රුපියල් වටිනාකම සමාන වෙන්නේ ඩොලරයක මිල රුපියල් 320ක් වුනොත් (320x6=1920). ඒ නිසා, මහ බැංකුව සතුව ඩොලර් බිලියන 6ක ශුද්ධ විදේශ සංචිත තිබේනම්, නිකුත් කර තිබෙන රුපියල් සියල්ලම ආපහු අරගෙන ඒ වෙනුවට ඩොලර් ආපහු දෙන්න මහ බැංකුවට පුළුවන්. 

මෙයින් අදහස් වෙන්නේ කොයිම වෙලාවකවත් ඉහත කී ආකාරයේ හුවමාරුවක් වෙනවා කියන එක නෙමෙයි. එහෙම වෙන්නේ නැහැ. නමුත් යම් හෙයකින් රුපියල් අතේ තිබෙන හැමෝම රුපියල් වෙනුවට ඩොලර් ඉල්ලුවත්, අවශ්‍යනම් දෙන්න බැරිකමක් මහ බැංකුවට නැහැ. ඒ නිසාම, රුපියලේ වටිනාකම ගැන කාටවත් සැකයක් ඇති වෙන්නේ නැහැ. නමුත් ඩොලර් බිලියන 6ක් මහ බැංකුවේ නැත්නම් ඔය වැඩේ කරන්න බැහැ. 

රුපියල් ප්‍රමාණයට සාපේක්ෂව ශුද්ධ විදේශ සංචිත පොඩ්ඩක් අඩු වුනා කියලා ඔය කලින් කියපු විශ්වාසය බිඳ වැටෙන්නේ නැහැ. නමුත් රුපියල් ප්‍රමාණය විශාල ලෙස වැඩි වීම හෝ ශුද්ධ විදේශ සංචිත ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩු වීම නිසා විදේශ සංචිත ප්‍රතිශතය ගොඩක් පහළට වැටුනොත් රුපියල පිළිබඳ විශ්වාසය කෙරෙහි එය බලපානවා. විණිමය අනුපාතය අනුව පෙනෙන තරමට රුපියල නොවටිනා බව මිනිස්සුන්ට පේන්න ගන්නවා. මිනිස්සු රුපියල් ඩොලර් වලට මාරු කරන්න පටන් ගන්නවා. ඩොලර් ඉල්ලුම වැඩි නිසා ඩොලරයක මිල ඉහළ යනවා.

විණිමය අනුපාතය වෙනස් වෙන්න දීම මගින් ඉහත තත්ත්වය පාලනය කර ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ශුද්ධ විදේශ සංචිත ඩොලර් බිලියන 3 දක්වා අඩු වුනා කියලා හිතමු. ඩොලරයක මිල රුපියල් 640 දක්වා ඉහළ ගියොත් නැවතත් ශුද්ධ විදේශ සංචිත වල රුපියල් වටිනාකම සහ සංචිත මුදල් ප්‍රමාණය සමාන වෙනවා. ඒ විණිමය අනුපාතය මහ බැංකුවට ප්‍රශ්නයක් නැතිව ආරක්ෂා කරගන්න පුළුවන් නිසා රුපියල තව දුරටත් අවප්‍රමාණය වෙන්නේ නැහැ. ප්‍රායෝගිකව ඩොලරයක මිල යම් තරමකින් ඉහළ යද්දී ඔය විශ්වාසය ගොඩ නැගෙනවා. ඔය මට්ටමටම මිල ඉහළ යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. 

ආචාර්ය කුමාරස්වාමි මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් වන විට මහ බැංකුවේ සංචිත මුදල් සැපයුම සහ ඒ වන විට පැවති ඩොලරයක මිල අනුව මහ බැංකුවේ ශුද්ධ විදේශ සංචිත වල රුපියල් වටිනාකම ආසන්නව සමානයි. 2020 ජනවාරි අවසානයේදී මේ අනුපාතය 99.0%ක්. 2020 පෙබරවාරි අවසානයේදී 100.8%ක්. නමුත් ඉන් පසුව දිගින් දිගටම මේ අනුපාතය අඩු වුනා. 2020 දෙසැම්බර් අවසන් වෙද්දී 54.6%යි. 2021 මාර්තු වෙද්දී 33.1%යි. 2021 ජූලි වෙද්දී 1.0%යි. 

විදේශ විණිමය ප්‍රශ්නයට කෝවිඩ් බලපෑවා තමයි. නමුත් කෝවිඩ් නිසා ප්‍රධාන වශයෙන්ම වුනේ සංචාරක ආදායම අහිමි වීම. අනෙක් පැත්තෙන් ලෝක ඉන්ධන මිල විශාල ලෙස පහත වැටුනා. රට ඇතුළේ ඉන්ධන ඉල්ලුමද විශාල ලෙස අඩු වෙලා ඉන්ධන ආනයන වියදම විශාල ලෙස අඩු වුනා. ආර්ථික කටයුතු සීමා වෙද්දී අනෙක් ආනයන අවශ්‍යතාද අඩු වුනා. ඒ නිසා, අර්බුදය පටන් ගනිද්දී හිටපු ශක්තිමත් තැන අනුව කරගත් ආකාරයේ අවුලක් කර නොගෙන විදේශ අංශය කළමනාකරණය කරගන්න පුළුවන්කම තිබුණා. 

විදේශ අංශය කළමනාකරණය කරගන්න බැරි වුනේ බදු සහන දී රාජ්‍ය ආදායම අහිමි කරගෙන ඒ අඩුව පුරවගන්න සල්ලි අච්චු ගහපු නිසා. සල්ලි අච්චු ගැසීම කියා කිවුවත් මුල් අදියරේදී බොහෝ දුරට සිදු වුනේ මහ බැංකුව විසින් විදේශ සංචිත විකුණමින් එකතු කරගත් රුපියල් රජයට ණයට දුන්න එකයි. ඒ හැර අලුතෙන්ම රුපියල් සංසරණයට එකතු කළේ අඩුවෙන්. ඒ නිසාම, මුලදී උද්ධමනය ප්‍රශ්නයක් වුනේ නැහැ. 

අලුතෙන්ම රුපියල් සංසරණයට එකතු කිරීම වේගවත් වුනේ දෙවන අදියරේදී. ඊට අමතරව මහ බැංකුව විසින් ලෝකයට ණය වෙමින් ලබාගත් ඩොලර් වෙළඳපොළේ විකුණමින් ඒ මගින් ලබාගත් රුපියල්ද රජයට ණයට දුන්නා. බංග්ලාදේශයෙන් පවා ණය ගත්තානේ. මෙහි ප්‍රතිඵලයක් විදිහට මහ බැංකුවේ ශුද්ධ විදේශ සංචිත සෘණ පැත්තට ගියා. මහ බැංකුවක් හා අදාළව ඒ වගේ තත්ත්වයක් කියන්නේ අසාමාන්‍ය තත්ත්වයක්. 2022 අප්‍රේල් වලදී වත්මන් අධිපතිවරයා මහ බැංකුව භාර ගනිද්දී ශුද්ධ විදේශ සංචිත සහ සංචිත මුදල් අතර අනුපාතය -98.7%ක්. ඒ කියන්නේ ඒ වන විට 2020 ජනවාරි සිට 58%කින් ඉහළ ගොස් තිබුණු රුපියල් සැපයුමට අමතරව, එම රුපියල් සැපයුමට ආසන්නව සමාන රුපියල් ප්‍රමාණයක් ණයට ගත් ඩොලර් විකිණීම මගින් හොයාගෙන ඒ සල්ලිත් රජයට ණයට දීලා වගේ දෙයක්. 

සාමාන්‍යයෙන් සංචිත පහත වැටුණු අවස්ථාවක විණිමය අනුපාතය ඉහළ යන්න දීම මගින් ශුද්ධ විදේශ සංචිත වල රුපියල් අගය වැඩි කරගෙන ප්‍රශ්නය කළමනාකරණය කරගන්න පුළුවන්. නමුත් ශුද්ධ විදේශ සංචිත සෘණ පැත්තට ගියාට පස්සේ රුපියල අවප්‍රමාණය වෙද්දී වෙන්නේ සෘණ අගය තව තවත් සෘණ පැත්තට යන එක. වත්මන් අධිපතිවරයා වැඩභාර ගැනීමෙන් පසුව මාස කිහිපයක් යන තුරු මේ තත්ත්වය දකින්න පුළුවන් වුනා. 2022 නොවැම්බර් වන විට ශුද්ධ විදේශ සංචිත සහ සංචිත මුදල් අතර අනුපාතය -124.3% මට්ටමට ගියා. අලුත් ජනාධිපතිවරයෙක් පත් වෙලා බදු සංශෝධන කිරීමෙන් පසුව යහපත් රාජ්‍යමූල්‍ය කළමනාකරණයේද උදවු ලබමින් ඒ වැටුණු වලෙන් ගොඩ එන්න අවුරුදු දෙකක්ම ගියා. ශුද්ධ විදේශ සංචිත නැවත යාන්තමින් ධන පැත්තට හැරුණේ 2024 ඔක්තෝබර් මාසයේදී. ඉන් පසුව ඉතිරි වී තිබුණු සහ දැනටත් තිබෙන අභියෝගය වන්නේ මේ ශුද්ධ විදේශ සංචිත අවශ්‍ය ප්‍රමාණය දක්වා වර්ධනය කර ගැනීමයි.

පසුගිය 2026 පෙබරවරි මාසයේදී ඉරාන යුද්ධය ආරම්භ වන තුරුම මහ බැංකුව ඔය ඉලක්කය ඇතුළේ හිටියා. පෙබරවාරි මාසය අවසන් වෙද්දී ශුද්ධ විදේශ සංචිත මහ බැංකුවේ සංචිත මුදල් වලින් 53.0%ක් දක්වා වර්ධනය වෙලයි තිබුණේ. බාහිර කම්පනයකට මුහුණ දෙන්න වුනේ ඔය වගේ තත්ත්වයක් යටතේදීයි.

මේ කම්පනය අවස්ථාවේදී මහ බැංකුව විසින් පෙර අවස්ථා වලදී කළ වරද නැවත සිදු වුනේ නැහැ. වෙළඳපොළේ ඩොලර් ඉල්ලුම හා සැපයුම අනුව මිල ඉහළ යන්න මහ බැංකුව ඉඩ දුන්නා. නමුත් 2020 පෙබරවාරි වලදී මෙන් 100% ඉක්මවන සංචිත ආවරණයක් ඒ වෙද්දීත් ගොඩ නැගිලා නොතිබුණු නිසා සමපේක්ෂකයින් විසින් අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න උත්සාහ කළා. සමපේක්ෂණ ඉල්ලුම නිසා විණිමය අනුපාතය ඉහළ යද්දී මහ බැංකුවකට පැත්තකට වෙලා බලාගෙන ඉන්න බැහැ. එවැන්නක් සාමාන්‍ය ඉල්ලුමක් නෙමෙයි. සංචිත තියාගෙන ඉන්නෙම ඒ වගේ වෙලාවකදී ප්‍රයෝජනයට ගන්න.

මහ බැංකුව විසින් අවශ්‍ය අවස්ථාවේදී අවශ්‍ය මැදිහත්වීම කළා. ඒ වෙනුවෙන් යම් සංචිත ප්‍රමාණයක් නාස්ති කරන්න සිදු වුනත් වැඩේ පරක්කු නොකර නියම අවස්ථාවේදී කරපු නිසා අඩු වියදමකින් සමපේක්ෂන ඉල්ලුම පාලනය කරගන්න මහ බැංකුවට පුළුවන් වුනා. කොහොම වුනත්, පෙබරවාරි අවසානයේදී 53.0% මට්ටමේ තිබුණු සංචිත ආවරණ අනුපාතය මැයි වෙද්දී 41.3% දක්වා පහත වැටුණා. 

මාස තුනකින් මේ තත්ත්වය කළමනාකරණය කරගැනීමට සමත් වීම අගය කළ යුතු දෙයක්. හරි තීරණ හරි වෙලාවට ගත්තේ නැත්නම් මේ කම්පනය හමුවේ වුනත් විදේශ අංශයේ ලොකු කඩා වැටීමක් සිදු විය හැකිව තිබුණා. මෙය කෝවිඩ් කම්පනයට සාපේක්ෂව ලොකු කම්පනයක් නොවුනත්, විදේශ සංචිත හා අදාළව 2026 පෙබරවාරි වලදී ලංකාවේ ආර්ථිකය තිබුණේ 2020 පෙබරවාරි වල තිබුණු ශක්තිමත් තැන නෙමෙයි. ඒ නිසා සැලකිය යුතු තරමේ අවදානමක් තිබුණා.

පසුගිය මාස දෙක ඇතුළත මහ බැංකුව විසින් නැවතත් සංචිත මුදල් සැපයුමේ ශුද්ධ විදේශ සංචිත ආවරණය 48.0% දක්වා ඉහළ දමාගෙන තිබෙනවා. සමහර විට අගෝස්තු මාසය අවසන් වෙද්දී පෙබරවාරි හිටපු තැන කිට්ටුවට නැවත ඇවිත් ඇති. 

මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් කියා කියන්නේ විදේශ වත්කම් සහ විදේශ බැරකම් අතර වෙනස. මහ බැංකුව විසින් ඉන්දියාවෙන් ගත් විශාල ණය ප්‍රමාණය මෙතෙක් කල් ටිකෙන් ටික ගෙවාගෙන ආවා. මම දන්නා තරමින් මේ මාසය අවසන් වෙද්දී ඒ ණය ගෙවා අවසන් වෙනවා. ඉන් පසුව ඒ ණය ගෙවන්න නැති නිසා දළ විදේශ සංචිත තරමක් වේගයෙන් වර්ධනය වෙයි. ඒ වගේම, චීන ණය දෙසැම්බර් මාසයේදී ආපසු ගෙවන්න තියෙනවා. ඒ ණය තවත් කල් දමා ගනියිද කියලා මම දන්නේ නැහැ. එහෙම කරන එකේ ඒ තරම් තේරුමකුත් නැහැ. දෙසැම්බර් මාසයේ චීන ණය ආපසු ගෙවුවොත්, දළ නිල සංචිත වල එක පාරටම අඩුවක් වෙයි. නමුත් එයින් ශුද්ධ විදේශ සංචිත වල වෙනසක් වෙන්නේ නැහැ. 

චීන ණය හා ඉන්දියන් ණය ගෙවලා ඉවර කළොත් ඉතිරි වෙන්නේ IMF ණය පමණයි. මහ බැංකුවක් IMF එකට ණය වෙන එක සාමාන්‍ය තත්ත්වයක්. ඒ වගේම, ඔය ණය වලින් කොටසක් කැමති වෙලාවක ගෙවන්න පුළුවන් ණය. ඒ කොටසින් ලොකු බරක් නැහැ. ඉතිරි කොටස වුනත් අවශ්‍යනම් තව IMF වැඩසටහනකට යාම මගින් ප්‍රමාද කරගන්න පුළුවන්. ඒ නිසා, ඉන්දියාවේ හා චීනයේ ණය ගෙවලා දැම්මොත් ඊට පස්සේ දළ නිල සංචිත සහ ශුද්ධ විදේශ සංචිත අතර වෙනස නොසලකා හැරිය හැකි සාමාන්‍ය තත්ත්වයක් ඇති වෙනවා. එකම වෙනස තවත් යම් කාලයක් IMF උදවු නැතිව බැරි වීම පමණයි.

Tuesday, September 1, 2026

ඉන්දියාවේ විදේශ සංචිත වාර්තාගත මට්ටමකට!


ඉන්දියාවේ නිල විදේශ සංචිත ප්‍රමාණය මේ වන විට (2026 අගෝස්තු 21) ඩොලර් බිලියන 729.3 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙය ඉතිහාසයේ වාර්තා වී ඇති ඉහළම අගය වන අතර ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය මෙන් හත් ගුණයකට ආසන්න අගයක්. එමෙන්ම, ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය මෙන් සිය ගුණය ඉක්මවන අගයක්.

ලංකාවට වඩා බොහෝ විශාල ආර්ථිකයක විදේශ සංචිත ලංකාවේ විදේශ සංචිත සමඟ සැසඳීම නිවැරදි නැහැ. එසේ හෙයින්, ආනයන වියදම් සමඟ ගැලපුවද මෙය මාස නවයකට වඩා වැඩි කාලයක ආනයන සඳහා ප්‍රමාණවත් අගයක්. එමෙන්ම ඉන්දියාවේ රාජ්‍ය අංශයේ විදේශ ණය ප්‍රමාණය වන ඩොලර් බිලියන 168.7 මෙන් හතර ගුණයකටත් වඩා වැඩි අගයක්. 

විදේශ සංචිත එකතු කර ගැනීම "මිල අධික" කටයුත්තක්. මහ බැංකුවක් විසින් වෙළඳපොළෙන් විදේශ විණිමය ඉවත් කර ගන්නා තරමට රටේ මුදල් ඒකකයේ වටිනාකම පහත වැටෙනවා. රට තුළ ආනයනික භාණ්ඩ වල මිල ඉහළ යනවා. එහෙත් මේ මගින් ආනයනික භාණ්ඩ පරිභෝජනය සීමා වන බැවින් දේශීය නිෂ්පාදන දිරි ගැන්වෙනවා. අපනයන ඉහළ යනවා. මේ හරහා දිගුකාලීනව රටට වැඩි වැඩියෙන් විදේශ විණිමය ගලා එනවා. අවසාන වශයෙන් දිගුකාලීනව රටේ මුදල් ඒකකය වඩා ශක්තිමත් වෙනවා.

ලෝකයේ රටවල් අතරින් වැඩිම විදේශ සංචිතයක් පවත්වා ගන්නා රට චීනයයි. මේ වන විට (2026 ජූලි 31) චීනය සතු නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 3791.6ක්. ඉන් පසුව, වැඩිම නිල විදේශ සංචිත ඇති රටවල් වන්නේ ජපානය, ස්විට්සර්ලන්තය සහ රුසියාවයි. ඉන්දියාව මේ වන විට රුසියාවේ මට්ටමට බෙහෙවින්ම ආසන්නව පස් වන තැන සිටිනවා. මේ වන විට (2026 අගෝස්තු 21) රුසියාව සතු විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 761.2ක්.

විදේශ සංචිත ලෙස පොදුවේ හැඳින්වුනද ඉහත සංචිත වලට රන් සංචිතද ඇතුළත්. චීනයේ නිල විදේශ සංචිත වලින් ඩොලර් බිලියන 306.3ක ප්‍රමාණයක් රන් සංචිත වන අතර ඉන්දියාව සතු රන් සංචිත වල වටිනාකම ඩොලර් බිලියන 114.2ක්. 

ජංගම ගිණුම් ශේෂය - ජූලි 2026


පසුගිය 2026 ජූලි මාසය අවසන් වී තිබෙන්නේද ජංගම ගිණුමේ හිඟයක් වාර්තා කරමිනුයි. එම හිඟය ඩොලර් මිලියන 142.0ක්. එම මාසය එක දිගටම ජංගම ගිණුමේ හිඟයක් වාර්තා වූ සිවුවන මාසයයි. මේ වන විට වසරේ පළමු මාස හතක කාලය ඇතුළත, සමස්තයක් ලෙස, ඩොලර් මිලියන 387.4ක ජංගම ගිණුම් හිඟයක් වාර්තාවී තිබෙනවා.

ජූලි මාසය ඇතුළත භාණ්ඩ ආනයන වෙනුවෙන් ඩොලර් මිලියන 2,251.0ක් වැය වී ඇති අතර අපනයන ආදායම් ලෙස ලැබී තිබෙන්නේ ඩොලර් මිලියන 1,233.4ක් පමණයි. ඒ අනුව, එම මාසයේ වෙළඳ හිඟය ඩොලර් මිලියන 1,017.6ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. සමස්තයක් ලෙස, වසරේ පළමු මාස හතේම වෙළඳ හිඟය ඩොලර් මිලියන 6,506.7ක්. පසුගිය වසරේ පළමු මාස හතක කාලයේ පැවති වෙළඳ හිඟය ඩොලර් මිලියන 3,850.1ක් පමණයි. 

වෙළඳ හිඟය සැලකිය යුතු ලෙස ඉහළ යාමට ප්‍රධාන වශයෙන්ම හේතු වී තිබෙන්නේ පළමු මාස හතේ ඉන්ධන ආනයන වියදම පෙර වසරේ එම මාස හතට සාපේක්ෂව ඩොලර් මිලියන 1,357කින් පමණ (59.9%කින්) ඉහළ යාමයි. වාහන ආනයන වෙනුවෙන් පෙර වසරේ පළමු මාස හතට සාපේක්ෂව ඩොලර් මිලියන 827ක අමතර මුදලක් වැය වී තිබීම අනෙක් ප්‍රධාන හේතුවයි. කෙසේ වුවද, පළමු මාස හතේ අපනයන ආදායම් වර්ධනය 4.4%කට සීමා වී තිබියදී, ඉන්ධන හා වාහන ආනයන වියදම් හැර අනෙකුත් භාණ්ඩ ආනයන සඳහා වැය කර තිබෙන විදේශ විණිමය ප්‍රමාණයද එමෙන් දෙගුණය ඉක්මවන 9.4%ක වේගයකින් වර්ධනය වී තිබෙනවා.

වෙළඳ ගිණුමේ සමස්ත චිත්‍රය දෙස බලද්දී පෙනී යන්නේ රට තුළ රුපියල් සංසරණය ඉහළ යාමට සාපේක්ෂව ඩොලරයක මිල ඉහළ නොයාම නිසා ආනයන නැවතත් ක්‍රමක්‍රමයෙන් "ලාබ වෙමින්" ඇති ආකාරයයි. 

වෙළඳ හිඟය ඉහත අයුරින් ඉහළ යද්දී සංචාරක ආදායම් වල කැපී පෙනෙන අඩුවීමක්ද දැකිය හැකියි. පසුගිය වසරේ පළමු මාස හතේ සංචාරක ආදායම වූ ඩොලර් මිලියන 2,031.1ට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස හතේ සංචාරක ආදායම ඩොලර් මිලියන 1,796.7ක් පමණයි. 

සමස්තයක් ලෙස, පළමු මාස හතේ සේවා ගිණුමේ අතිරික්තය පෙර වසරේ පැවති ඩොලර් මිලියන 2,375.8 මට්ටමේ සිට ඩොලර් මිලියන 1,842.7 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අඩු වීමට සංචාරක ආදායම් අඩු වීමටත් වඩා වැඩියෙන් දායක වී තිබෙන්නේ ශ්‍රී ලාංකිකයින් විසින් විදේශ සංචාර සඳහා වැය කර ඇති මුදල විශාල ලෙස ඉහළ යාමයි. පසුගිය වසරේ ඩොලර් මිලියන 427.1ක් වූ එම මුදල මෙම වසරේ පළමු මාස හතක කාලය තුළ ඩොලර් මිලියන 737.5 දක්වා, 72.7%කින් ඉහළ ගොස් තිබෙනවා. 

මේ අයුරින් විදේශ සංචාර සඳහා වියදම් විශාල ලෙස ඉහළ යාම මගින් නිරූපණය වන්නේ රටේ මධ්‍යම පාන්තිකයින්ගේ බැහැර කළ හැකි ආදායම (disposable income) කැපී පෙනෙන ලෙස වර්ධනය වී ඇති ආකාරයයි. රටේ ආර්ථිකය නැවතත් අර්බුදයට පෙර පැවති මට්ටමට පැමිණීම, අර්බුදයෙන් පසු පැවති තත්ත්වයට සාපේක්ෂව පොලී අනුපාතික අඩු මට්ටමක පැවතීම නිසා පොලී වියදම් සීමා වීම, ආදායම් බදු සීමා ඉහළ දැමීම නිසා සිදු වූ ඉතිරිය හා ඩොලරයක මිල පාලනය වී තිබීම බැහැර කළ හැකි ආදායම ඉහළ යාමට හේතු සේ සැලකිය හැකියි.

වෙළඳ ගිණුමේ සහ සේවා ගිණුමේ දැකිය හැකි ඉහත පෙන්වා දුන් අහිතකර ප්‍රවණතා හමුවේ රටේ විදේශ අංශය මේ මට්ටමෙන් ස්ථාවරව පැවතීමට ප්‍රධාන වශයෙන්ම දායක වී තිබෙන්නේ සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති විගමණික ප්‍රේෂණයි. පෙර වසරේ පළමු මාස හතේ රටට ලැබුණු ඩොලර් මිලියන 4,435.2ක මුදලට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස හතක කාලය තුළ ඩොලර් මිලියන 5,382.4ක මුදලක් රටට ලැබී තිබෙනවා. මෙම වසර තුළ ඩොලර් බිලියන 9 සීමාව ඉක්මවන වාර්තාගත විගමණික ප්‍රේෂණ ප්‍රමාණයක් රටට ලැබිය හැකියි. එසේ වුවද, රටේ අපනයන නිෂ්පාදන දිරි ගැන්වීමට අවශ්‍යනම් කළ යුත්තේ විගමණික ප්‍රේෂණ ලෙස ලැබෙන ඩොලර් වල උදවුවෙන් ඩොලරයක මිල සීමා වීමට ඉඩ හැරීම නොව ඩොලරයක මිල අවශ්‍ය පමණ වේගයකින් ඉහළ යාමට ඉඩ සලසමින් විදේශ සංචිත තර කර ගැනීමයි. උද්ධමනය පාලනය කළ යුතු වුවත්, එය කළ යුත්තේ රුපියල් සැපයුම සීමා කිරීම මගින් මිස ඩොලරයක මිල අඩු මට්ටමක තබා ගැනීම මගින් නෙමෙයි. 

පසු ගිය ජූලි මාසය තුළ ජංගම ගිණුමෙහි ඩොලර් මිලියන 142.0ක හිඟයක් තිබියදීම ඩොලර් මිලියන 348.6ක් වෙළඳපොළෙන් මිල දී ගැනීමට මහ බැංකුව සමත්ව තිබෙනවා. මෙයින් පෙනී යන්නේ ජංගම ගිණුමේ හිඟයක් පැවතියද ප්‍රාග්ධන ගිණුම හරහා රටට විදේශ විණිමය පැමිණ ඇති ආකාරයයි. ජූලි මාසය තුළ වාර්තාගත ඩොලර් මිලියන 137.5ක විදේශ විණිමය ප්‍රමාණයක් රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළ හරහා රටට පැමිණ තිබෙනවා. 

රාජ්‍යමූල්‍ය කළමනාකරණය යහපත් මට්ටමක ඇති පසුබිමක කෙටිකාලීන කල් පිරීම් සහිත රාජ්‍ය සුරැකුම්පත් වල ආයෝජනය කිරීමේ අවදානමක් නොමැති තරම්. එවැනි තත්ත්වයක් තුළ මහ බැංකුව විසින් සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික සැලකිය යුතු ලෙස ඉහළ දැමීමක් සිදු කළ විට සුරැකුම්පත් ආයෝජන වල ප්‍රතිලාභද සැලකිය යුතු ලෙස ඉහළ යන නමුත් විදේශිකයින්ට මෙම වාසිය එලෙසම ලැබෙන්නේ විණිමය අනුපාතය ස්ථාවරව පවතින්නේනම් පමණයි. ඒ නිසා මේ ආයෝජන විදේශිකයින් විසින් විණිමය අනුපාතිකය මත ඔට්ටු දැමීමක් ලෙසද සැලකිය හැකියි. එවැනි අරමුදල් ක්ෂණිකව ඉවත් කර ගනු ලැබීමේ අවදානමක්ද තිබෙනවා. එබැවින් මහ බැංකුව විසින් ඉලක්ක කළ යුත්තේ ජංගම ගිණුම හරහා රටට ලබා ගත හැකි මුදල් ප්‍රවාහයි. 

පෙබරවාරි මාසය අවසානයේදී මැද පෙරදිග යුද තත්ත්වයක් ඇති වූයේ ඉතාම අනපේක්ෂිත ලෙසයි. එය ලොව පුරාම මූල්‍ය වෙළඳපොළ හා ඉන්ධන ඇතුළු අනෙකුත් වෙළඳපොළ තුළ කම්පන තත්ත්වයක් ඇති කළා. මේ වන විට එම කම්පනය වෙළඳපොළ විසින් අවශෝෂණය කරගෙන අවසානයි. ඒ නිසා එම යුද්ධය අවසන් වන දිනය කුමක්ද යන්න තව දුරටත් විශාල වෙළඳපොළ බලපෑමක් සිදු කළ හැකි සාධකයක් නෙමෙයි. යුද්ධය පටන් ගත්තේත්, එහි අවසානය තීරණය කරන්නේත් ඇමරිකාව විසින් නිසා ඇමරිකන් ආර්ථිකයට විශාල බලපෑමක් සිදු විය හැකි මට්ටමකට ලෝක ඉන්ධන මිල තව දුරටත් ඉහළ යාමේ විශාල ඉඩකඩක් නැහැ. එමෙන්ම යුද්ධය අවසන් වුවද ඉන්ධන මිල ක්ෂණිකව පහත වැටෙන්නේද නැහැ. 

ඉහත තත්ත්වයන් තුළ ලංකාවේ ඉන්ධන ආනයන පිරිවැය වසරේ ඉතිරි කාලය තුළ විශාල ලෙස වෙනස් වීමේ ඉඩක් නැහැ. ජූලි මාසය තුළදී තරම්ම නැතත්, අගෝස්තු මාසය තුළද රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළ තුළ සැලකිය යුතු මට්ටමක විදේශ ආයෝජන සිදුව තිබෙනවා. නමුත් මේ තත්ත්වය තාවකාලික තත්ත්වයක් පමණක් වනවා මෙන්ම මෙසේ පැමිණෙන අරමුදල් කිසියම් මොහොතකදී විණිමය අනුපාතය මත සැලකිය යුතු පීඩනයක් ඇති කරමින් ආපසු යා හැකියි. එවැනි තත්ත්වයක් යටතේ විණිමය අනුපාතය ආරක්ෂා කර ගැනීම පිණිස මහ බැංකුවට සංචිත වැය කරන්නට සිදු විය හැකියි. 

ලංකාවේ ජංගම ගිණුම් ශේෂය 1978 සිට එක දිගටම පැවතුණේ හිඟයක් ලෙසයි. එහෙත් පසුගිය ආර්ථික අර්බුදයෙන් පසුව, 2023, 2024 සහ 2025 වසර වලදී ජංගම ගිණුමේ අතිරික්තයක් පවත්වා ගැනීමට හැකි වුනා. දැන් නැවතත්, මෙම වසරේ පළමු මාස හතක කාලය අවසානයේදී හිඟ තත්ත්වයක් දැකිය හැකිව තිබෙනවා. ඉතිරි මාස පහක කාලය තුළ මෙම හිඟය අතිරික්තයක් බවට පත් කර ගැනීම තරමක අභියෝගයක්. වසර අවසන් වන විට රටේ විදේශ සංචිත කොපමණ මට්ටමක පවතීද යන්නද මේ මත තීරණය වෙනවා. 

ජංගම ගිණුමේ අතිරික්තයක් තිබෙනවා කියන්නේ ශුද්ධ වශයෙන් රටේ විදේශ බැරකම් කීයකින් හෝ අඩු වෙනවා කියන එකයි. ජංගම ගිණුමේ හිඟයක් කියන්නේ රටේ ශුද්ධ විදේශ බැරකම් තවත් ඉහළ යනවා කියන එකයි. රටේ දිගුකාලීන ඉලක්කය විය යුත්තේ හුදෙක් විදේශ සංචිත වැඩි කර ගැනීම නොව ශුද්ධ විදේශ බැරකම් අඩු කර ගැනීමයි. විදේශ සංචිත වැඩි කරගත යුත්තේ එම දිගුකාලීන ඉලක්කය හා අනුරූප වන ආකාරයටයි. අතීතයේ ඇතැම් වකවානු වල මෙන් විදේශ බැරකම් වඩා වැඩියෙන් වැඩි කරගන්නා අතරද විදේශ සංචිත වැඩි කර ගත හැකි වුවත් එය දිගුකාලීනව යහපත් තත්ත්වයක් නෙමෙයි. 

Monday, August 31, 2026

ඉන්දියාවේ ආර්ථික වර්ධන වේගය


ලෝකයේ බොහෝ රටවලට බාහිර කම්පන තත්ත්වයකට මුහුණ දීමට සිදු වූ පසු ගිය කාර්තුව තුළද ඉන්දියාවේ ආර්ථික වර්ධන වේගය 7.8%ක් ලෙස වාර්තා වෙනවා. මෙම වර්ධන වේගය පුරෝකථන ඉක්මවා යන්නක්. මෙම වසරේ මුල් කාර්තුවේදී ඉන්දියාවේ ආර්ථිකය 8.6%ක වර්ධන වේගයක් වාර්තා කළා. 

උද්ධමනය 8% මට්ටමට!


ගෙවුණු අගෝස්තු මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වන නිල උද්ධමනය 8.0% දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉදිරි මාස තුන තුළදීද මෙම අගය ආසන්න වශයෙන් මෙම මට්ටමේම පැවතීමට ඉඩ තිබෙන අතර පැහැදිලිව පෙනෙන අඩු වීමක් සිදු විය හැක්කේ දෙසැම්බර් පමණ වන විටයි. 

Sunday, August 30, 2026

වසර මැදදී රාජ්‍ය අංශයේ ණය


දෙවන කාර්තුව අවසානයේදී රාජ්‍ය අංශයේ ණය ප්‍රමාණය පිළිබඳ සංඛ්‍යාලේඛණ මේ වන විට මුදල් අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ එකම සංඛ්‍යාලේඛන විවිධ අයට වෙනස් ආකාර වලින් විග්‍රහ කරන්න පුළුවන්. බොහෝ විට එය එසේ වෙනවා. 

ලංකාවේ රාජ්‍ය අංශයේ ණය යන්නෙන් මධ්‍යම රජයේ ණය මෙන්ම පළාත් හා ප්‍රාදේශීය සභා වල ණයත්, රාජ්‍ය ව්‍යවසායයන්හි ණයත් අදහස් වෙනවා. මෙම කොටස් අතරින් වඩාත්ම වැදගත් කොටස සහ විශාලම කොටස වන්නේ මධ්‍යම රජයේ ණයයි. මධ්‍යම රජයේ ණය දේශීය ණය හා විදේශ ණය ලෙස වර්ග කළ හැකියි. 

රාජ්‍ය අංශයේ ණය මීට වඩා වෙනස් ආකාර වලින්ද අර්ථ දැක්වෙනවා. උදාහරණයක් ලෙස ඇතැම් විට මහ බැංකුවේ ණයද රාජ්‍ය අංශයේ ණය සේ සැලකෙනවා. එහෙත් මෙම ලිපියෙහි රාජ්‍ය අංශයේ ණය යන්නෙන් අදහස් කෙරෙන්නේ ඉහත සංරචක තුන පමණයි. එමෙන්ම දේශීය ණය හා විදේශ ණය ලෙස ණය වර්ග කිරීමේදීද යොදා ගැනෙන්නේ එකම සම්මතයක් පමණක් නෙමෙයි. අප මෙහිදී යොදා ගන්නේ ශ්‍රී ලංකා රජයේ වර්ගීකරණයයි. මහ බැංකුවේ සහ මූල්‍ය අරමුදලේ වර්ගීකරණය මීට වඩා තරමක් වෙනස්. 

ඉහත සඳහන් ශ්‍රී ලංකා රජයේ සම්මතය අනුව, විදේශීය ණය යන්නට බහුපාර්ශ්වීය, ද්විපාර්ශ්වීය සහ වාණිජ ණය යන සංරචක ඇතුළත් වෙනවා. වාණිජ ණය සේ සැලකෙන ස්වෛරිත්ව බැඳුම්කර වල හිමිකාරිත්වය ශ්‍රී ලාංකිකයින් හෝ ශ්‍රී ලාංකික ආයතන සතු වුවද එම ණය සැලකෙන්නේ විදේශ ණය ලෙසයි. එමෙන්ම භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර වල හිමිකාරිත්වය විදේශිකයින් සතු වුවද එම ණය සැලකෙන්නේ දේශීය ණය ලෙසයි. මෙයින් වෙනස්ව, මහ බැංකුව හා මූල්‍ය අරමුදල විසින් දේශීය හා විදේශ ණය ලෙස ණය වර්ග කරන්නේ හිමිකාරිත්වය මත පදනම්වයි. ඒ නිසා, අප විසින්ම මහ බැංකුවේ හෝ මූල්‍ය අරමුදලේ සංඛ්‍යාලේඛණ ඉදිරිපත් කරද්දී සංඛ්‍යාලේඛණ අතර නොගැලපීමක් තිබිය හැකියි. 

රජයේ සම්මතය අනුව, විදේශ ණය වලට අයත් වන අනු කාණ්ඩ තුනම විදේශ ව්‍යවහාර මුදලින් ලබාගත් ණයයි. එම ණය අතර ඩොලර්, යෙන්, යුවාන්, මූල්‍ය අරමුදලේ SDR වැනි විවිධ මුදල් ඒකක වලින් ලබා ගත් ණය තිබෙනවා. මේ ණය ආපසු ගෙවිය යුත්තේද ණය ලබාගත් මුදල් වර්ගයෙනුයි. එසේ වුවද, සංඛ්‍යාලේඛණ ඉදිරිපත් කිරීමේදී සංසන්දනය කිරීමේ පහසුවට මෙම සියලුම ණය වල වටිනාකම් රුපියල් වලින් හා ඇමරිකන් ඩොලර් වලින් ඉදිරිපත් කෙරෙනවා.

රජයේ සම්මතය අනුව,  දේශීය ණය ප්‍රධාන වශයෙන්ම රුපියල් වලින් ලබා ගත් හා රුපියල් වලින්ම ආපසු ගෙවිය යුතු ණය වුවත්, දේශීය නීතිය යටතේ රට ඇතුළෙන් විදේශ ව්‍යවහාර මුදලින් ලබාගත් ණය යම් ප්‍රමාණයක්ද දේශීය ණය සේ සැලකෙනවා. මෙම දේශීය ණය ප්‍රමාණද සංසන්දනය කිරීමේ පහසුව තකා රුපියල් වලින් හා ඇමරිකන් ඩොලර් වලින් ඉදිරිපත් කෙරෙනවා.

ඩොලරයක මිල ඉහළ යද්දී, විදේශ ණය ප්‍රමාණය වෙනස් නොවුනත්, එම ණය වල රුපියල් වටිනාකම ඉහළ යනවා. එමෙන්ම ඩොලරයක මිල පහත වැටෙද්දී රුපියල් වලින් ණය අඩුවීමක් පෙනෙනවා. මෙසේ රුපියල් වලින් විදේශ ණය අඩු වෙද්දී පවතින රජයට හිතවත් අය එය විදේශ ණය අඩු වීමක් සේ පෙන්වනු දැකිය හැකියි. එමෙන්ම ඩොලරයක මිල ඉහළ ගොස් විදේශ ණය වල රුපියල් වටිනාකම ඉහළ යද්දී විපක්ෂ කණ්ඩායම් විසින් එය ණය ඉහළ යාමක් සේ පෙන්වනුද දැකිය හැකියි. විදේශ ණය ප්‍රමාණය දෙස බැලීමේදී වඩාත්ම යෝග්‍ය ප්‍රවේශය වන්නේ රුපියල් වටිනාකම දෙස නොබලා ඩොලර් ප්‍රමාණය දෙස බැලීමයි.

විදේශ ණය වෙනස් වීම ඩොලර් වලින් බලද්දී වුවද එයින් සියයට සියයක්ම නිවැරදි තත්ත්වය දැකිය නොහැකියි. ඊට හේතුව විණිමය අනුපාත වෙනස් වෙද්දී යුවාන්, යෙන්, SDR ආදී මුදල් ඒකක වලින් ලබා ගෙන ඇති ණය වලද ඩොලර් අගය වෙනස් වීමයි. නමුත් රුපියල් ණය වල ඩොලර් වටිනාකම දෙස බලද්දී සිදු වන තරමේ විකෘතියක් මෙහිදී සිදු වන්නේ නැහැ.

රුපියල් වලින් ලබා ගෙන ඇති ණය වල ඩොලර් අගය දෙස බැලීමනම් කිසිසේත්ම තේරුමක් නැති දෙයක්. එම ණය ලබා දෙන ඇත්තේත්, ආපසු ගෙවිය යුත්තේත් රුපියල් වලිනුයි. ඒ නිසා, රාජ්‍ය ණය වල දිශානතිය ගැන නිවැරදි අදහසක් ගැනීමට අවශ්‍ය අයෙකු විසින් කළ යුත්තේ රජයේ සමස්ත ණය ප්‍රමාණයේ රුපියල් හෝ ඩොලර් අගය දෙස නොබලා, රුපියල් ණය වල රුපියල් වටිනාකම දෙසත් අනෙකුත් ණය වල ඩොලර් අගය දෙසත් වෙන වෙනම බැලීමයි.

ඉහත ඔබ කියැවූ, තරමක් දිගු, එහෙත් අත්‍යාවශ්‍යම පූර්විකාව අවසන් කර, 2026 ජූනි 30 දින වන විට පැවති රාජ්‍ය අංශයේ ණය පිළිබඳ තත්ත්වය දෙස දැන් අපි පසු ගිය 2025 වසර අවසන් වන විට පැවති තත්ත්වය හා සංසන්දනය කරමින් බලමු. 

මධ්‍යම රජයේ දේශීය රුපියල් ණය 

වසරේ පළමු මාස හයක කාලය ඇතුලත, දේශීය රුපියල් ණය ප්‍රමාණය රුපියල් බිලියන 18,751 සිට රුපියල් බිලියන 18,462 දක්වා රුපියල් බිලියන 289කින් අඩු වී තිබෙනවා. 

මධ්‍යම රජයේ දේශීය ඩොලර් ණය 

මෙම ණය ඩොලර් මිලියන 2,204 සිට ඩොලර් මිලියන 2,201 දක්වා ඩොලර් මිලියන 3කින් අඩු වී තිබෙනවා.

මධ්‍යම රජයේ විදේශ ණය 

මධ්‍යම රජයේ විදේශ ණය ඩොලර් මිලියන 37,663 සිට ඩොලර් මිලියන 38,008 දක්වා ඩොලර් මිලියන 345කින් ඉහළ ගොස් තිබෙනවා. ජූනි 30 දින ඩොලරයක මිල (රුපියල් 336.6623) අනුව, මෙය ශුද්ධ වශයෙන් රුපියල් බිලියන 116ක පමණ අමතර විදේශ ණය ලබා ගැනීමකට සමානයි. 

එසේ වුවද, දේශීය රුපියල් ණය රුපියල් බිලියන 289කින්ද, දේශීය ඩොලර් ණය තවත් රුපියල් බිලියනයකින් පමණද අඩු වී ඇති බැවින්, සමස්තයක් ලෙස මධ්‍යම රජයේ ණය ආපසු ගෙවීමක් සිදු වී ඇති බව අප‍ට පෙනෙනවා. මෙම ණය ආපසු ගෙවීම ආසන්න වශයෙන් රුපියල් බිලියන 174ක් පමණ ලෙස ඇස්තමේන්තු කළ හැකියි.

ණය ගෙවුවේ කොහොමද?

වසරේ මුල් මාස හය ඇතුළත මධ්‍යම රජයේ අයවැය හිඟය රුපියල් බිලියන 9.5කට සීමා වී තිබුණා. එසේනම්, රුපියල් බිලියන 174ක ශුද්ධ ණය ආපසු ගෙවීමක් සිදු විය හැකිද? මෙවැන්නක් සිදුව ඇත්නම් එයින් පෙනීයන්නේ ණය ආපසු ගෙවීම වෙනුවෙන් රජය විසින් කලින් එකතු කරගෙන තිබුණු රුපියල් සංචිතයෙන් යම් කොටසක් වැය කර ඇති බවයි. ඒ අනුව, 2025 අවසානයට සාපේක්ෂව 2026 වසර මැද වන විට රජය සතුව තිබුණු රුපියල් සංචිතය අඩු වී තිබිය යුතුයි.

බහුපාර්ශ්වීය, ද්විපාර්ශ්වීය සහ වාණිජ ණය

බහුපාර්ශ්වීය ණය ඩොලර් මිලියන 488කින්ද, ද්විපාර්ශ්වීය ණය ඩොලර් මිලියන 119කින්ද ඉහළ ගොස් ඇති අතර, මධ්‍යම රජයේ වාණිජ ණය ඩොලර් මිලියන 263කින් අඩු වී තිබෙනවා. මේ අනුව, වසරේ පළමු මාස හයක කාලය තුළ ශුද්ධ වශයෙන් ලබාගත් බහුපාර්ශ්වීය හා ද්විපාර්ශ්වීය ණය වලින් කොටසක් වාණිජ ණය අඩු කර ගැනීම වෙනුවෙන් වැය කර ඇති බවත්, තවත් කොටසක් රුපියල් කර රුපියල් ණය අඩු කර ගැනීම වෙනුවෙන් යොදවා ඇති බවත් පේනවා.

රාජ්‍ය සංස්ථා වල විදේශ ණය 

වසරේ පළමු මාස හයක කාලය තුළ රාජ්‍ය සංස්ථා වල විදේශ ණය ඩොලර් මිලියන 3,239 සිට ඩොලර් මිලියන 2,885 දක්වා ඩොලර් මිලියන 599කින් අඩු වී තිබෙනවා. මෙම අඩු වීම මධ්‍යම රජයේ විදේශ ණය ඉහළ යාම වූ ඩොලර් මිලියන 345 ඉක්මවා යනවා. ඒ අනුව පෙනී යන්නේ සමස්තයක් ලෙස රාජ්‍ය අංශය විසින් රටේ විදේශ ණය ප්‍රමාණය කෙරෙහි ඩොලර් මිලියන 254ක සෘණ බලපෑමක් සිදු කර ඇති බවයි. මෙම කාලය ඇතුළත මහ බැංකුව විසින්ද යම් විදේශ ණය ප්‍රමාණයක් ආපසු ගෙවා ඇති බැවින් පළමු මාස හය ඇතුළත රටේ සමස්ත විදේශ ණය ප්‍රමාණයේ යම් අඩු වීමක් සිදුව තිබිය හැකියි. 

සාමාන්‍ය කරුණු ලෙස, රජය විසින් අයවැය අතිරික්තයක් පවත්වා ගන්නේනම් රාජ්‍ය ණය ක්‍රමයෙන් පහත වැටෙනවා. එමෙන්ම, විදේශ ජංගම ගිණුමෙහි අතිරික්තයක් ඇත්නම් රටේ සමස්ත විදේශ ණය ක්‍රමයෙන් අඩු වෙනවා.

Friday, August 21, 2026

ගලන ගඟකි ජීවිතේ...


ශ්‍රී ලාංකික කාන්තාවකගේ අපේක්ෂිත සාමාන්‍ය ආයු කාලය අවුරුදු අසූ එකක්. කෙනෙකු තමන්ගේ අපේක්ෂිත සාමාන්‍ය ආයු කාලය ගත කරලා මිය යනවානම් එය අකල් මරණයක් නෙමෙයි. ඉතාම සාමාන්‍ය මරණයක්. එවැනි මරණයක් ගැන විශේෂයෙන් දුක් වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් යම් කෙනෙකුගේ මරණය කියන්නේ මරණය දක්වා ගත කළ ජීවිතය ගැන සහ මරණයෙන් පසු ඉතිරි කර ගොස් තිබෙන දේවල් ගැන යම් පසු විපරමක් කිරීම සඳහා හොඳ අවස්ථාවක්. 

ශ්‍රී ලාංකික කාන්තාවක වූ මගේ මව මිය යන විට ඈ ගෙවා තිබුණේ ශ්‍රී ලාංකික කාන්තාවකගේ අපේක්ෂිත සාමාන්‍ය ආයු කාලයට වඩා බොහෝ අඩු කාලයක්. එය අකල් මරණයක්. මෙවැනි අකල් මරණයකින් පසුව ජීවත් වන්නන් තුළ ඉතිරි වන දුක සාමාන්‍ය මරණයක දුකට වඩා ගොඩක් වැඩියි. විශේෂයෙන්ම කුඩා වයසක සිටින දරුවන්ට එවැනි මරණයකින් විශාල බලපෑමක් වෙනවා. සමහර විට මුළු අනාගත ජීවිතයේ දිශානතියම වෙනස් වෙනවා.

සංගීතය ගැන කතා කරන්න තරම් විෂය දැනුමක් මට නැහැ. පසුකාලීනව අපේ නිවසේ තිබුණු වටාපිටාව තුළ සංගීතයට සහ කලාවට ලොකු ඉඩක් වෙන් වෙලා තිබුණේත් නැහැ. ඊට හේතුව මගේ පියාට සංගීතය හෝ පොදුවේ කලාව පිළිබඳව එතරම් රුචියක් නොතිබීම. ඔහු කිසිම දවසක සිංදුවක් අහපු බවක් මට මතක නැහැ. ටෙලිනාට්‍යයක් වුනත් බැලුවා කියලා මම හිතන්නේ නැහැ. චිත්‍රපට, වේදිකා නාට්‍ය හෝ වෙනත් කලා ප්‍රසංග සඳහා ආරාධනා හෝ නොමිලේ ප්‍රවේශපත්‍ර ලැබුණු බොහෝ අවස්ථා වලදී පවා අපිව ඇතුළට දමලා ප්‍රසංගය අවසන් වන වෙලාවට ඇවිත් ගන්න එකයි ඔහු කළේ. 

මගේ පියාට කලාව කෙරෙහි උනන්දුවක් නොතිබුණු නමුත් ඔහුගේ සහෝදර සහෝදරියන් එවැනි අය නෙමෙයි. ඒ අය සංගීතය රස විඳපු අය. මගේ මවගේ පාර්ශ්වයේනම් ගොඩක් අය සංගීතය එක්ක ජීවත් වුනා. ඒ නිසාම, ඉතාම කුඩා කාලයේ, සාමාන්‍ය නැළවිලි ගී වලින් එහාට ගිය නැළවිලි ගී මට අහන්න ලැබුණා. ඒ ගී අතරින්, එක් ගීයක් ඉතාම කුඩා කාලයේ මගේ ප්‍රියතම නැළවිලි ගීයක් වී තිබුණා.

"රුවන් වළා දුහුල් කඩින් පෙරී ස‍ඳේ රිදී කැළුම් 

තුෂාර හාර හා එතී ගලා හැළෙනවා

පුතුගෙ සිඟිති දෙතොල් වලට සිනා ගෙනෙනවා..

සිනා ගෙනෙනවා..


අනෝතත්ත නෙළුම් විලේ පාවෙන මල් රේණු වලින්

සුවඳ උරා හෙමින් හෙමින් සුළං ඇදෙනවා...

සඳුන් සෙමෙර සලා පුතුට පවන් සලනවා..

පවන් සලනවා..


අතු අග මල් කුමාරියන් බිඟුමිණි දැල් සැලෙන හඬින්

නිදන පුතුගෙ කණට මිහිරි කතා කියනවා..

සිහින ලොවේ ළපටි සිහින සිතේ අඳිනවා..

සිතේ අඳිනවා..


රාජ ඉසුරු බරට වටින වාසනාව කිරුළු දරන

මාළිගාව එළිය කරන බිළිඳු නිදනවා..

සීත නළින සිහින ලොවට බිළිඳු වඩිනවා..

බිළිඳු වඩිනවා.."

මේ ගීය බිහි වී තිබුණේ මහගගමසේකර, අමරදේව සහ නන්දා මාලනී කියන පසුකාලීනව මගේ ප්‍රියතම කලාකරුවන් වූ තිදෙනෙකුගේ සුසංයෝගයෙන් කියලා මම ඒ දවස් වල දැනගෙන හිටියේ නැහැ. සිංදුව මුලින්ම ඇහුනේ ඒ වගේ දේවල් ගැන උනන්දුවක් තිබුණු හෝ තේරුම් ගත හැකි වූ වයසකදී නෙමෙයි. ඒ වගේම මට ගොඩක් වෙලාවට සිංදුව ඇහුනේ නන්දා මාලිනියගේ කටහඬිනුත් නෙමෙයි. 

පසුව දැනගත් පරිදි මේ ගීය තිබී ඇත්තේ වෙසතුරු සිරිත චිත්‍රපටයේ. එය ප්‍රදර්ශනය කෙරී තියෙන්නේ මා ඉපදෙන්න දෙවසරකට පමණ කලින්. මා ඉපදෙන කාලය වන විට මේ ගීය ජනප්‍රිය ගීයක්ව තියෙන්න ඇති. මා ඉපදුනු පසුව මගේ මව ඇයගේ කුළුඳුල් දරුවාව නිදි කරවන්න මේ ගීය ගයන්න ඇති. 

රුවන් වලා ගීතය ඉතාම කුඩා කාලයේ මිහිරි මතකයක් විදිහට මගේ මතකය තුළ තවමත් රැඳී තිබෙනවා. දැන් වුනත් මේ ගීතය ඇහෙද්දී මට දැනෙන්නේ තොටිල්ලක නිදන කුඩා බිලිඳෙකුට දැනෙන විදිහේ සැනසිලිදායක හැඟීමක්. 

මුලින්ම මේ ගීතය ඇහුනේ කොයි කාලයේද කියලා මම දන්නේ නැහැ. සමහර විට ඉපදුනු අලුතම වෙන්න ඇති. නමුත් යාන්තම් මතක තියෙන වයසේදී නිදා ගන්න කලින් මේ ගීතය ඉල්ලා සිටි බවනම් හොඳටම මතකයි. ගීතය අහගෙන ඉඳිද්දී දන්නෙම නැතිව නින්ද යනවා. 

අම්මාගේ අකල් මරණයෙන් පස්සේ අප්පච්චීට මුහුණ දෙන්න වුනු බරපතල අභියෝග ගණනාවක් අතරින් එකක් වුනේ රෑට දරුවන් නිදි කරවන එක. දරුවන් නිදි කරවිය හැකි මිහිරි තාලයකින් ගී ගැයීමේ හැකියාවක් ඔහුට කිසිසේත්ම තිබුණේ නැහැ. නමුත් මවගේ බාල සොහොයුරියක් සහ පියාගේ බාල සොහොයුරියක් පුළුවන් වෙලාවට ඒ අඩුව පිරෙවුවා.

රුවන් වලා ගීය ගැයූ අම්මාගේ කටහඬ දැන් මට මතක නැහැ. නමුත් පියාගේ හා මවගේ බාල සොහොයුරියන් විසින් ගැයූ රුවන් වලා ගී වල මතකය තවමත් මා සමඟ රැඳී තිබෙනවා. ඔවුන් ඒ ගීය ගැයූ හැම වෙලාවකම මට දැනුනේ මිය ගිය මව ළඟ ඉන්නවා වගේ හැඟීමක්. දශක ගණනකට පසුව අන්තර්ජාලය හරහා නන්දා මාලිනියගේ හඬින් මේ ගීතය අහද්දී දැන් වුනත් මට ඒ හැඟීමම දැනෙනවා. හිතට දුකක් දැනෙන සමහර අවස්ථා වලදී දැනුත් මම මේ ගීතය අහනවා. 

කුඩා කාලයේදී මව අහිමි වන දරුවෙකුගේ ජීවිතයට එකතු වෙන හිස් බව නැවත කවදාවත් පිරෙන්නේ නැහැ. අම්මා කෙනෙකුට වෙනත් කිසිම ආදේශකයක් නැහැ. මවගේ මරණයෙන් පසුව ශේෂ වී ඇති ඇගේ වෙනත් භෞතික හෝ භෞතික නොවන ස්වරූපයක් නැති බව කොයි තරම් හොඳින් අවබෝධ කරගෙන සිටියත්, ජීවිතයේ අසීරු අවස්ථාවන් වලදී දුක කියන්න ඉතිරි වී සිටින්නේ ඒ මිය ගිය අම්මාම පමණයි. ඇත්තක් නොවන බව කොයි තරම් හොඳින් දැනගෙන හිටියත්, අම්මා ළඟ ඉන්නවා කියන හැඟීම පමණක්ම පවා හිතට විශාල සහනයක් ගෙන දෙනවා. අම්මාවරු කවදාවත් මැරෙන්නේ නැහැ. 

"අම්මාවරුනේ... අම්මාවරුනේ...

සම්මා සම්බුදු අම්මාවරුනේ

දරුවන්ගේ දුක් කඳුළු දකින දා

සුර ලොව සිට අත පා

ඒ කඳුළැලි පිසිනා...


අම්මාවරු නැති දරුවන්නේ

සංකා දුක් කවුදෝ දන්නේ

ඒ දුක දන්නා අම්මාවරුමයි

යම් මතු දිනයක බුදු වන්නේ

සංසාරේ මතු බුදු වන්නේ

අම්මාවරුනේ... අම්මාවරුනේ...


සෙනෙහස වැඩි දා

සිතද බොළද වේ

ලොවම ආදරේ කියා සිතී

මායාවක්වී එහි තනිවූ දා

අම්මා පමණයි ළඟ ඉන්නේ

අම්මා පමණයි ළඟ ඉන්නේ

අම්මාවරුනේ... අම්මාවරුනේ..."

ධර්මසිරි ගමගේ, කේමදාස, නන්දා මාලනී සුසංයෝගයෙන් මේ ගීය හැදෙන කොට මම තොටිල්ලේ නිදන බිලිඳෙක් නෙමෙයි. සැලකිය යුතු ලෝකාවබෝධයක් තිබුණු පාසැල් දරුවෙක්. මතක විදිහට මේ සිංදුව තිබුණු යසඉසුරු චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරුණේ අසූ දෙකේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු කෙරෙන කාලයේ. ඒ කියන්නේ ජූලි කෝලාහල වලට කලින්. විජේවීර හිරෙන් නිදහස් වෙලා නිදහසේ දේශපාලනය කරපු කාලයේ. 

අම්මාවරුනේ ගීතය කියන්නේ මිය ගිය මව පිළිබඳ මතකයත් එක්ක මගේ ආත්මය තුළට කිඳා බැසපු අමතක කළ නොහැකි තවත් ගීතයක්. අම්මා ගැන මතකය එක්ක බැඳී තිබුණු රුවන් වලා ගීතයේ වගේම මේ ගීතයේත් මුල් ගායිකාව වූයේ නන්දා මාලිනියයි. මේ නිසාම හෝ වෙනත් හේතු නිසා ඈ කෙරෙන් වහනය වූයේ මවකගේ සුවඳයි.

රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ප්‍රශ්නය ඔඩු දුවන කාලය වන විට නන්දා මාලිනිය මගේ ප්‍රියතම ගායිකාව වී අවසානයි. ඒ තැනට ඉන් පසුව වෙනත් ගායිකාවකට ආදේශ විය හැකි වුයේ නැහැ. කැසට් පටයකට එකතු කරගත් ඇගේ මා වඩාත්ම ප්‍රිය කළ ගී එකතුව කාලයක්ම මා ළඟ තිබුණා. එම ගීත එකතුවෙහි වූ මා කැමතිම ගීත ගණනාවක් අතරින් තවත් එක් ගීතයක් වනුයේ සැදෑ කළුවර ගීතයයි. මඩවල එස් රත්නායක විසින් ලියා ඇති එම ගීතයේ ගායනය මෙන්ම තනුවද නන්දා මාලනීගේයි. කවර හේතුවක් නිසා හෝ තනිකම දැනෙන ගොඩක් වෙලාවල් වලදී ඒ තනිකම එක්ක සැදෑ කළුවර ගීතය සුසර වෙනවා. නන්දා මාලිනිය විසින් මුල් කාලයේ ගැයූ මෙවැනි ගීත ගණනාවක් තිබෙනවා. 

කෙනෙකුගේ ආයු කාලය ගැන කතා කරද්දී අප විසින් උපත හා මරණය අතර ජීවත් වන පුද්ගලයෙකු පිළිබඳ ආකෘතියක් හදා ගන්නවා. මෙය අප විසින් නිරන්තරයෙන් ප්‍රයෝජනයට ගන්නා නැතිවම බැරි සහ මූලික මට්ටමේ ආකෘතියක් පමණයි. අවසාන වශයෙන් උපත හා මරණය කියන්නේත් සම්මුතීන් දෙකක් පමණයි. ඒ සම්මුතීන් දෙක අපට නැතිවම බැරි වන්නේ උපතක් හා මරණයක් නොමැතිව ජීවත් වන පුද්ගලයෙකු අර්ථ දැක්විය නොහැකි නිසා. ජීවත් වන පුද්ගලයෙකු අර්ථ දැක්විය නොහැකි වන මොහොතේ අපිට අපිවම නැති වෙනවා. අප විසින් නිර්මාණය කර ගන්නා ලෝකයම ක්ෂණයකින් අහෝසි වී යනවා. 

ජීවත් වන හෝ ජීවත් වූ පුද්ගලයෙකු ලෙස අප විසින් අපේ පහසුවට අර්ථ දක්වා ගන්නේ නිරන්තරයෙන් වෙනස් වන ප්‍රපංචයක්. එහිදී අප විසින් අපට පුද්ගලයෙකු අර්ථ දැක්විය යුතු වන නිසාම මෙසේ කාලයත් සමඟ නිරන්තයෙන් වෙනස් වන ප්‍රපංචයක එසේ වෙනස් නොවන්නේයැයි අප සිතන කොටස් වෙන් කර ගන්නවා. නමුත් එක් එක් පුද්ගලයා විසින් එසේ වෙන් කර ගන්නේ එකම කොටස් ටිකක් නෙමෙයි. ඒ නිසාම, තමන් විසින් අර්ථ දක්වා ගත් පුද්ගලයාගේ තමන් විසින් වෙනස් නොවන සේ සලකන ලද ලක්ෂණ වෙනස් වෙද්දී අප විසින් හදා ගන්නා ආකෘති අර්බුදයට යනවා. 

ගායිකාවක් ලෙස සැලකුවහොත් නන්දා මාලිනී කියන්නේ කාලයත් සමඟ වරින් වර සැලකිය යුතු ලෙස වෙනස් වූ ප්‍රපංචයක්. ඇගේ ගායන ජීවිතයේ එක් තැනකින් පමණක් අල්ලා ගන්නවා කියන්නේ අන්ධ පුද්ගලයෙකු අලියෙකුගේ සිරුරේ කොටසක් ස්පර්ශ කර අලියා ගැන නිගමනය කරනවා වැනි දෙයක්. නන්දා මාලිනී මගේ ප්‍රියතම ගායිකාව වූයේ ඇගේ ගායන දිවියේ මුල් කාලයේදී. ඒ ගායිකාව පිළිබඳව කලකට පෙර නිර්මාණය කරගත් ආකෘතිය නඩත්තු කරද්දී මා ඇගේ පසුකාලීන හැරීම් ප්‍රශ්නයක් කර ගන්නේ නැහැ. මගේ ප්‍රියතම ගායිකාව විසින් නියෝජනය කරන්නේ නන්දා මාලිනියගේ ගායන දිවියේ එක් කාල පරාසයක් පමණයි.

පවන යුගය නන්දා මාලිනී විසින් විශාල සමාජ බලපෑමක් කළ කාලයක්. කාලයත් සමඟ මගේද සමාජ දේශපාලනික අදහස් වෙනස් වී තිබෙනවා. පවන ගීත ප්‍රචලිත වූ කාලයේදී පෞද්ගලිකව මා පවන ගීත ගැන සිතුවේ වුවද අද හිතන විදිහට නෙමෙයි. ඒ නිසා මා මගේ අද දෘෂ්ටි කෝණයෙන් බලා එම ගීත විචේචනය කරන්නේ නැහැ. නමුත් ඒ දිනවල වුවද මේ ගීත ඇසෙද්දී ඒවා සංගීතමය සටන් පාඨ ලෙස මිස ප්‍රියතම ගීත ලෙස මට දැනුනේ නැහැ. ඒ ගීත ඇහෙද්දී මවකගේ සුවඳ දැනුනේ නැහැ. මේ ගීත හරහා සිදු වුනේ ඒ දින වල පැවති සමාජ ඉල්ලුම සහ සැපයුම ගැලපීමක්. 

බාහිර තත්ත්වයන් වෙනස් වෙද්දී පවන මාදිලියේ ගීත සමාජය විසින් දිගින් දිගටම තව දුරටත් ඉල්ලා සිටියේ නැහැ. සමාජය පිළිබඳව සංවේදීව සිටි කලාකාරිනියක වූ නන්දා මාලිනියට, මම හිතන විදිහට, ඉන් පසුව වෙනස් වූ තත්ත්වයන්ට ගැලපෙන තවත් හැරුමක් අවශ්‍ය වී තිබුණා. නමුත් ඒ වෙද්දී නන්දා මාලිනී පවන එක්ක ආපහු හැරෙන්න බැරි තරම් දුරක් ගිහින් තිබුණා. 

ඉන්පසු කාලයේදී එළි දැක්වූ යනවානම් අනේ මං අරන් ගීතය ඇතැම් අය විසින් නන්දා මාලිනියගේ දුර්වල ගීතයක් ලෙස හඳුනා ගෙන තිබෙනු දැක්කා. මුලින්ම කී පරිදි, ගීයක් විචාරය කළ හැකි විෂය දැනුමක් මට නැහැ. නමුත් මා දකින විදිහට මේ ගීතයේ විශේෂත්වයක් තිබෙනවා. 

මේ ගීයේ බොහෝ වාමාංශික කලා නිර්මාණ වල කතා කර ඇති රාගයෙන් තොර, සඳ එළිය සේ අචින්ත්‍ය, පාරිශුද්ධ, සුරම්‍ය ප්‍රේමයක් ගැන කතා කරන්නේ නැහැ. ඒ වෙනුවට මෙහි සිදු කෙරෙන්නේ බොළඳ ප්‍රේමය සමච්චලයට ලක් කිරීමයි. ඊනියා උත්තරීතර ප්‍රේමයේ සීමාව ආර්ථික ශක්තිය මගින් සීමා කෙරෙනවා. ලුණුයි බතුයි කකා උත්තරීතර ප්‍රේමය නඩත්තු කරන්න බැහැ!

නන්දා මාලිනී කියන්නේත් වෙනත් බොහෝ කලාකරුවන් වගේම වෙළඳපොළ ඉල්ලුම අනුව වෙනස් වූ කලාකාරිනියක්. ඇගේ ගීත සම්පාදනය වූයේ ඒ ඒ අවස්ථා වල සමාජයේ පැවති ඉල්ලුම සැපිරෙන පරිද්දෙනුයි. එය වරදක් නෙමෙයි. යනවානම් අනේ මං අරන් වැනි ගීත මා දකින්නේ පශ්චාත් පවන යුගයේදී තවත් හැරවුමකට ගත් අසාර්ථක උත්සාහයක කොටසක් ලෙසයි.

ප්‍රසිද්ධ චරිත වලට තමන්ගේ අනන්‍යතාවය කිහිප වරක් නැවත නැවත වෙනස් කර ගැනීම පහසු වැඩක් නෙමෙයි. විශේෂයෙන්ම පවන යුගයේදී නන්දා මාලිනී ගමන් කළ දුර අනුව, ඉන් පසුව ඇයට ආපසු හැරෙන්න පහසු වූයේ නැහැ. ඒ නිසාම, පශ්චාත් පවන යුගයේ නන්දා මාලිනියට අපේ හිතට දැනෙන අලුත් නිර්මාණ කිරීමේ හැකියාවද සීමා වුනා කියා මම හිතනවා. 

මගේ අදහස අනුව නන්දා මාලිනිගේ රසිකයින් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එක් කොටසක් පවන ඇතුළු විරෝධාකල්ප ගී වලට ආශක්ත වූ පිරිසයි. අනෙක් කොටස, මා වැනි, ඇගේ මුල් කාලීන ගී වලට කැමති රසික පිරිසයි. ඔය කොටස් දෙක හැරුණු විට, නන්දා මාලිනීගේ පසුකාලීන නිර්මාණ නිසා ඈ වටා එකතු වූ රසිකයින් එතරම් ඇතැයි මා සිතන්නේ නැහැ. 

නන්දා මාලිනීගේ භෞතික මරණයට කලකට පෙර ගායිකාවක ලෙස ඇගේ මෙහෙවර අවසන්ව තිබුණු බව මගේ අදහසයි. එහෙත්, ජීවත්ව සිටි කාලය තුළ, තවත් විශාල කාලයකට මිය නොයන මතකයක් නන්දා මාලිනිය විසින් බොහෝ දෙනෙකු තුළ ඉතිරි කර ගොස් තිබෙනවා. මරණය කියන සම්මුතිය නොසලකා හැරියොත්, එලෙස අප තුළ ඉතිරිව ඇති මතකය කියන්නේ තව දුරටත් ගලා යන ඇගේ ජීවිතයම තමයි. ඇගේම හඬින් අප අසා ඇති පරිදි, ගලන ගඟකි ජීවිතේ. 

Friday, August 7, 2026

දළ නිල විදේශ සංචිත - 2026 ජූලි අවසානයේදී


මැද පෙරදිග යුද තත්ත්වය හේතුවෙන් ඇති වූ බාහිර කම්පනයේ බලපෑම ක්‍රමයෙන් තුනී වී යමින් ඇති පසුබිමක, මහ බැංකුවට නැවතත් විදේශ සංචිත ගොඩ නගා ගැනීමේ දිගුකාලීන ඉලක්කය වෙත ප්‍රවේශ වීමට හැකි වී තිබෙනවා. පසුගිය ජූලි මාසය තුළ මහ බැංකුව විසින් ශුද්ධ වශයෙන් ඩොලර් මිලියන 348.6ක් මිල දී ගැනීමට සමත්ව ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස දළ නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6,591 දක්වා ඉහළ ගොස් තිබෙනවා. බොහෝ විට ජූලි මාසයේදී ජංගම ගිණුමේ නැවතත් අතිරික්තයක් වාර්තා විය හැකියි.

මෙම බාහිර කම්පනයට පෙර මූල්‍ය අරමුදල විසින් ඇස්තමේන්තු කර තිබුණේ වසර අවසන් වන විට දළ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 8,645ක් වනු ඇති බවයි. මේ වන විට එම ඇස්තමේන්තුව බොහෝ දුරස්ථ ඉලක්කයක් බවට පත් වී තිබෙනවා. ඉහත දළ නිල සංචිත ප්‍රමාණය තුළ යුවාන් බිලියන 10ක (ඩොලර් බිලියන 1.5කට ආසන්න) චීන මුදල් හුවමාරු ණය ප්‍රමාණයද ඇතුළත්ව ඇති අතර, අදාළ ගිවිසුම අලුත් කර නොගන්නේනම් මෙම මුදල වසර අවසන් වීමට පෙර පියවිය යුතුයි.

දැනට පවතින තත්ත්වය අනුව පෙනී යන්නේ බාහිර කම්පනයකට තනිව මුහුණ දීම සඳහා අවශ්‍ය මට්ටමකට විදේශ සංචිත ගොඩ නගා ගැනීම සඳහා මුලින් ඇස්තමේන්තු කළ කාලයට වඩා වැඩි කාලයක් ගත වනු ඇති බවයි. වෙනත් අයුරකින් කිවහොත්, මූල්‍ය අරමුදල සමඟ මෙම වැඩ සටහන අවසන් වන විට විදේශ සංචිත එම සීමාව දක්වා ලඟා නොවනු ඇති බවයි. එවැනි තත්ත්වයක් තුළ, විදේශ අංශයේ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා තවත් යම් කාලයකට මූල්‍ය අරමුදලේ සහතිකය අවශ්‍ය වෙනවා. 

Saturday, August 1, 2026

ජංගම ගිණුමේ දැන් තත්ත්වය

වසරේ දෙවන කාර්තුවේ මාස තුන තුළම ජංගම ගිණුමෙහි හිඟයන් වාර්තා වීමේ ප්‍රතිඵලයක් ලෙස වසරේ පළමු මාස හය අවසානයේදී ශ්‍රී ලංකාවේ විදේශීය ජංගම ගිණුමේ ඩොලර් මිලියන 245.4ක සමුච්ඡිත හිඟයක් වාර්තා වෙනවා.

කිසියම් කාලයක් තුළ, නැවත ආපසු ගෙවීමේ අවශ්‍යතාවයක් නොමැතිව, විදේශිකයන්ගෙන් රටට ලැබී ඇති සහ රටෙන් විදේශිකයින් වෙත යවා ඇති විදේශ අරමුදල් ජංගම ගිණුමෙහි සටහන් වෙනවා. පළමු මාස හයේ මෙසේ සටහන් වූ විදේශ ආදායම් හා වියදම් මෙසේ සාරාංශගත කළ හැකියි.

වසරේ පළමු මාස හය තුළ ජංගම ගිණුමට ලැබුණු විදේශ විණිමය:

අපනයන ආදායම් - ඩොලර් මිලියන  6,903.2

සේවා ආදායම් - ඩොලර් මිලියන 3,528.3

(මෙයින් ඩොලර් මිලියන 1,511.1ක් සංචාරක ආදායම්)

ප්‍රාථමික ආදායම් - ඩොලර් මිලියන 311.3

ද්වීතියික ආදායම් (ශ්‍රමික ප්‍රේෂණ) - ඩොලර් මිලියන  4,604.8 

එකතුව - ඩොලර් මිලියන 15,347.6


වසරේ පළමු මාස හය තුළ ජංගම ගිණුමෙහි වැය:

ආනයන වියදම් - ඩොලර් මිලියන 12,392.3 

(මෙයින් ඩොලර් මිලියන 3,168ක් ඉන්ධන ආනයන වන අතර වාහන ආනයන ඩොලර් මිලියන 1,254ක් පමණයි)

සේවා වියදම් - ඩොලර් මිලියන 1,929.7

ප්‍රාථමික වියදම් - ඩොලර් මිලියන 1,205.8

ද්වීතියික වියදම් - ඩොලර් මිලියන  70.0

එකතුව - ඩොලර් මිලියන 15,597.8


ජංගම ගිණුමේ හිඟය - ඩොලර් මිලියන 245.4


වසරේ දෙවන අර්ධය තුළ මෙම අයහපත් ප්‍රවණතාවය ආපසු හැරීමේ ඉඩක් ඇත්තේ වුවද, පසුගිය තෙවසර තුළ පැවති ආකාරයේ සැලකිය යුතු අතිරික්තයක් දැකිය හැකි වනු ඇති බවක් පෙනෙන්නට නැහැ. එයින් අදහස් වන්නේ මෙම වසර අවසන් වන විට රටේ නිල විදේශ සංචිතයේ ලොකු වෙනසක් සිදු වීමේ ඉඩක් නොමැති බවයි. 

ලංකාවේ ජංගම ගිණුමෙහි 1956 වසරේ සිට 2022 දක්වා කාලය අතරතුර 1965 සහ 1977 යන දෙවසර තුළදී හැරුණු විට දිගින් දිගටම දැකිය හැකි වූයේ හිඟ තත්ත්වයක්. එහෙත්, 2022 ආර්ථික අර්බුදයෙන් පසුව මෙම තත්ත්වය ආපසු හරවා ගැනීමට හැකි වුනා. 

ජංගම ගිණුමේ හිඟයක් ඇති විට ඊට සමානව රටේ විදේශ බැරකම් ඉහළ යනවා. දිගින් දිගටම ජංගම ගිණුම් හිඟයක් නඩත්තු වෙද්දී විදේශ බැරකම්ද දිගින් දිගටම ඉහළ යනවා. මෙය අවසාන වශයෙන් එම බැරකම් පියවිය නොහැකි තත්ත්වයකට පත් වී කෙළවර වීම අසාමාන්‍ය දෙයක් නෙමෙයි. 1965, 1977 මෙන්ම 2022දීද මෙම තත්ත්වය නිවැරදි වූයේ රුපියල එකවර විශාල ලෙස අවප්‍රමාණය වීමට ඉඩ හැරීමෙන් පසුවයි.

පසුගිය ආර්ථික අර්බුදයෙන් පසුව, එක දිගට වසර තුනක්ම ජංගම ගිණුමෙහි අතිරික්තයක් පවත්වා ගැනීමට හැකි වූ අතර එමගින් රටේ ශුද්ධ විදේශ බැරකම් වල සැලකිය යුතු අඩු වීමක් සිදු වුනත් මේ වන තුරුද බාහිර කම්පනයකට තනිව මුහුණ දිය හැකි මට්ටමකට රටේ නිල විදේශ සංචිත වර්ධනය වී නැහැ. දැනට මූල්‍ය අරමුදල සමඟ ඇති වැඩ සටහන අවසන් වනු ඇත්තේද මේ තත්ත්වයේ විශාල වෙනසක් නොමැතිවයි. එබැවින් දැනට පෙනෙන්නට තිබෙන්නේ මෙම වැඩසටහන අවසන් වෙද්දී මූල්‍ය අරමුදල සමඟ තවත් වැඩ සටහනකට යාමට සිදු වනු ඇති බවයි.




Friday, July 31, 2026

උද්ධමනය 7% සීමාවෙන් ඉහළට!


ගෙවුණු ජූලි මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වන නිල උද්ධමනය 7.3% දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අනුව පෙනී යන පරිදි 2026 තුන් වන කාර්තුවේ සාමාන්‍ය උද්ධමනය මහ බැංකුවේ උද්ධමන ඉලක්කය වන 5% ඉක්මවා යාමෙන් පසු, එහි උපරිම විචලන සීමාව වන 7% මට්ටමද ඉක්මවා යාමේ අවදානමක් දකින්නට තිබෙනවා. කෙසේ වුවද, මහ බැංකුව විසින් දැනටමත් ගෙන ඇති ක්‍රියාමාර්ග හේතුවෙන් දිගුකාලීනව උද්ධමනය 5% මට්ටම දක්වා අඩු වීමට නියමිතයි.


Thursday, July 30, 2026

වසර මැද රාජ්‍යමූල්‍ය තත්ත්වය


මැයි මාසය අවසානයේදී රුපියල් බිලියන 197.3ක්ව පැවති අයවැය අතිරික්තය ජූනි මාසය අවසානයේදී රුපියල් බිලියන 9.5 දක්වා පහත වැටී තිබෙනවා. වසරෙන් අඩක් ගත වෙද්දී වසර මුල ඇස්තමේන්තු කළ ආදායමෙන් 55.8%ක් එකතු වී ඇති අතර වියදම් කර තිබෙන්නේ ඇස්තමේන්තුවෙන් 39.0%ක් පමණයි. පුනරාවර්තන වියදම් ඇස්තමේන්තුවෙන් 45.7%ක් වියදම් කර ඇති නමුත් ප්‍රාග්ධන වියදම් ඇස්තමේන්තුවෙන් වසර මැද වන විටද වැය කර තිබෙන්නේ  16.1%ක් පමණයි.

රාජ්‍ය ආදායම ක්‍රමයෙන් දදේනියෙන් 20% මට්ටම දක්වා වැඩි කර ගැනීමේ ඉලක්කයක ආණ්ඩුව සිටින බව පෙනෙනවා. මේ සඳහා කළ හැකි දේ යෝජනා ලෙස ඉදිරිපත් කිරීම සඳහා පසුගිය මාසයේදී රජය විසින් අවස්ථාව ලබා දී තිබුණා. 

Tuesday, July 21, 2026

මහ බැංකුවේ උද්ධමන ඉලක්කය කුමක් විය යුතුද?


පසු ගිය මාසයේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරි කාලය සඳහා උද්ධමන ඉලක්කය නිර්ණය කිරීමට පෙර ඒ පිළිබඳව මහජන අදහස් විමසා තිබුණා. මේ සඳහා ලබා දී තිබුණු කාලය මේ වන විට අවසන් වී තිබෙනවා. එම අදහස්ද සලකා බැලීමෙන් පසුව, නුදුරු කාලයේදී මහ බැංකුව සහ රජය විසින් ඉදිරි කාලය හා අදාළ උද්ධමන ඉලක්කය පිළිබඳව එකඟතාවකට පැමිණෙනු ඇතැයි සිතිය හැකියි.

වත්මන් උද්ධමන ඉලක්කය 

පසුගිය වසර තුනක කාලය තුළ මහ බැංකුව විසින් 5%ක සාමාන්‍ය උද්ධමන වේගයක් පවත්වා ගැනීම සඳහා රජය සමඟ එකඟතාවයක් ඇති කරගෙන තිබුණා. මෙම එකඟතාවය අනුව, උද්ධමනය සේ සැලකුණේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වාර්ෂික වෙනස් වීමෙහි මාස තුනක සාමාන්‍ය අගයයි. කාර්තුවෙන් කාර්තුවට මෙම ඉලක්කය පිළිබඳව විමසා බැලීමක් සිදු කෙරුණු අතර ඉලක්කයෙන් 2% ඉක්මවන අපගමනය වීමක් ඉලක්කය ගිලිහීමක් ලෙස සැලකුණා. පසුගිය කාලය වෙත ආපසු හැරී බැලීමේදී පැහැදිලි වන්නේ මහ බැංකුවට එම කාලය තුළ බොහෝ කාර්තු වලදී ලබා දී තිබුණු උද්ධමන ඉලක්කය පවත්වා ගැනීමට නොහැකි වී ඇති බවයි. පසුගිය කාර්තු දහයක කාලය සැලකුවහොත්, මහ බැංකුවට උද්ධමන ඉලක්කය පවත්වා ගත හැකි වී තිබෙන්නේ කාර්තු දෙකකදී පමණයි.

උද්ධමන ඉලක්කය පරීක්ෂා කිරීම සඳහා වඩා යෝග්‍ය නිර්ණායකය කුමක්ද?

මෙහිදී මේ සඳහා සලකා බැලිය හැකි විකල්ප දෙකක් තිබෙනවා. පළමුවැන්න දැනට යොදා ගන්නා කොළඹ පාරිභෝගික මිල දර්ශකයයි. දෙවැන්න ජාතික පාරිභෝගික මිල දර්ශකයයි. පළමුවැන්න ඓතිහාසිකව ශ්‍රී ලංකාවේ නිල උද්ධමන දර්ශකය ලෙස දිගටම යොදාගෙන ඇති අතර, මෙය මාසය අවසන් වෙද්දී ගණනය කරනු ලබනවා. ජාතික පාරිභෝගික මිල දර්ශකය ගණනය කර ඉදිරිපත් කරනු ලබන්නේ මාසයක් ගත වී සති තුනකට පසුවයි. කෙසේ වුවද, රටේ මහ බැංකුව විසින් ඉලක්ක කළ යුත්තේ රටේම උද්ධමනය මිස කොළඹ නගරයේ උද්ධමනය පමණක් නොවන නිසා උද්ධමන ඉලක්කය සේ යොදා ගැනීම වඩා යෝග්‍ය වන්නේ ජාතික පාරිභෝගික මිල දර්ශකය බව අපගේ අදහසයි. වඩා ස්ථාවර දර්ශකයද එයයි. සති තුනක ප්‍රමාදය අවාසියක් වුවත්, මිල මට්ටමේ හැසිරීම පිළිබඳව ජාතික පාරිභෝගික මිල දර්ශකය ඇසුරෙන් මහ බැංකුවට අදහසක් ලබා ගත හැකි බැවින් එය ගැටලුවක් වන්නේ නැහැ. 

දර්ශකය තෝරා ගැනීමෙන් පසුව දෙවන තේරීමක්ද තිබෙනවා. ඒ, මතුපිට උද්ධමනය සහ මූලික උද්ධමනය අතරයි. මතුපිට උද්ධමනය යනු දර්ශකය ඇසුරෙන් සාමාන්‍ය පරිදි ගණනය කරන උද්ධමනයයි. එහෙත් එහි ඇතැම් සංරචක පිළිබඳව මහ බැංකුවට පාලනයක් නැහැ. ලෝක ඉන්ධන මිල අනුව රටේ තෙල් මිල ඉහළ යාම නිදර්ශනයක් සේ පෙන්වා දිය හැකියි. මූලික උද්ධමනය යනු මහ බැංකුවට පාලනය කළ නොහැකි කොටස් ඉවත් කර නැවත ගණනය කරන අගයක්. 

ඉහත තේරීම් දෙක අතරින් වඩා යෝග්‍ය තේරීම වනුයේ මතුපිට උද්ධමනයයි. රටේ ජනතාවට වැදගත් වන්නේ මතුපිට උද්ධමනය වීම ඊට හේතුවයි. එසේ මතුපිට උද්ධමනය ඉලක්ක කරන අතර, මහ බැංකුවට ඉලක්කය සාක්ෂාත් කර ගැනීමට අපහසු අවස්ථා වලදී කරුණු ඉදිරිපත් කිරීම සඳහා මූලික උද්ධමනය යොදා ගත හැකියි. ඉලක්කය ලෙස දැනට යොදා ගන්නේද මතුපිට උද්ධමනයයි.

මීට අමතරව දර්ශකය පිළිබඳ තුන්වන තේරීමක්ද තිබෙනවා. ඒ, දැනට සිදු කරන පරිදි, මාසික උද්ධමන අගය වෙනුවට එහි මාස තුනක සාමාන්‍ය අගය යොදා ගැනීම සුදුසුද යන්නයි. මගේ අදහස වනුයේ තව දුරටත් එසේ කිරීම යෝග්‍ය බවයි. මහ බැංකුවට මුදල් ප්‍රතිපත්ති මගින් මිල දර්ශකයක කෙටිකාලීන විචලනයන් පාලනය කළ නොහැකි වීම ඊට ප්‍රධාන හේතුවයි. 

උද්ධමන ඉලක්කය කොපමණ විය යුතුද?

මෙම කරුණ විමසා බැලීමේදී දැනට පවතින 5% ඉලක්කය උපරිම සීමාවක් සේ සැලකිය හැකියි. ඊට වඩා වැඩි ඉලක්කයක් කිසිවෙකු විසින් යෝජනා කරන්නේයැයි මා සිතන්නේ නැහැ. එමෙන්ම, සංවර්ධිත රටවල් විසින් ඉලක්ක කරන 2% විමසා බැලිය යුතු අවම සීමාව සේ සැලකිය හැකියි. 

මෙම ඉලක්කය පිළිබඳ මගේ අදහස වනුයේ 5% ඉලක්කය තව දුරටත් අඩු කිරීමේ හැකියාවක් පවතින බව සහ එසේ කිරීම යෝග්‍ය බවයි. එහෙත්, ඉලක්කය එක වරම 2% මට්ටම දක්වා පහත හෙලීම සුදුසුයැයි මා සිතන්නේ නැහැ. මගේ අදහස වනුයේ අවම වශයෙන් 4% දක්වා මෙම ඉලක්කය පහත හෙළිය යුතු බවයි.

ලංකාවට 2%ක උද්ධමනයක් ඉලක්ක කළ හැකිනම්, ඩොලරයක මිල දිගුකාලීනව ස්ථාවරව පවත්වා ගත හැකියි. ඊට වඩා වැඩි ඕනෑම උද්ධමන ඉලක්කයකින් අදහස් වනුයේ වාර්ෂිකව, ඩොලරයට සාපේක්ෂව, රුපියල අවප්‍රමාණය වීමට ඉඩ හරින්නට සිදු වන බවයි. එහෙත්, 4%ක උද්ධමන ඉලක්කයක් පවත්වා ගැනීම මගින් ඉන්දියානු රුපියලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ස්ථාවරව පවත්වා ගත හැකියි. ඊට හේතුව ඉන්දියාවේ උද්ධමන ඉලක්කය 4%ක් වීමයි. මෑතකදී ඉන්දියාව විසින් මෙම 4% ඉලක්කය 2031 දක්වා පවත්වා ගැනීමට තීරණය කළා. අවශ්‍යනම් ඉන්දියාවේ ඉලක්කයට වඩා අඩු, 3% වැනි මට්ටමක් ඉලක්ක කිරීමද ඒ තරම් අපහසු නැති බව අපගේ අදහසයි. ඉන්දියාවේ ඉලක්කයට වඩා අඩු උද්ධමන ඉලක්කයක් පවත්වා ගැනීම මගින් කලාපයට පැමිණෙන විදේශ ආයෝජන තරඟකාරී ලෙස ආකර්ෂණය කර ගත හැකියි.

උද්ධමන ඉලක්කය ඕනෑවට වඩා පහත හෙළීමේ ප්‍රශ්නය වනුයේ එසේ කිරීම සඳහා පෞද්ගලික ණය වර්ධනය සීමා කිරීම ආර්ථික වර්ධනය කෙරෙහි අහිතකර බලපෑමක් ඇති කිරීමයි. එහෙත්, දැනට සිදු වන පරිදි, දැඩි රාජ්‍යමූල්‍ය විනයක් දිගටම පවත්වා ගත හැකිනම්, මුදල් සැපයුමේ වර්ධන වේගය අඩු මට්ටමක පවත්වා ගන්නා අතරම, පෞද්ගලික ණය වර්ධන වේගය සැලකිය යුතු තරම් ඉහළ මට්ටමක පැවතීමට ඉඩ හැරීම අපහසු කාර්යයයක් නෙමෙයි.

ඉලක්කය කොපමණ විචලනය වීමට ඉඩ දිය යුතුද?

විචලන සීමාව අඩු වන්නේනම් හොඳ වුවත්, දැනට පවතින 2% විචලන පරාසය වුවද මහ බැංකුවට අභියෝගයක්ව පවතින බැවින් එය තව දුරටත් අඩු කර ගැනීම ගැන කතා කිරීමේ තේරුමක් නැහැ. එබැවින් වඩා සුදුසු වන්නේ විචලන පරාසය නොවෙනස්ව දැන් මට්ටමේම පවත්වා ගැනීමයි.

මේ අනුව, අපගේ යෝජනාව වනුයේ ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම්ව ගණනය කරන මතුපිට උද්ධමන අගයේ මාස තුනක සාමාන්‍ය අගය, ඉදිරි වසර තුනක කාලය තුළ එක එක් කාර්තුව තුළ, 2%ක විචලන පරාසයකට යටත්ව, 4% හෝ 3% මට්ටමේ පවත්වා ගැනීම වඩාත්ම යෝග්‍ය බවයි. මෙම අගයන් දෙක අතරින්ද, රටේ විදේශ අංශය ශක්තිමත් කර ගැනීම ගැන සිතන්නේනම් වඩා යෝග්‍ය වනුයේ 3% මට්ටම වන අතර අපගේ අදහස අනුව 4% යනු මහ බැංකුව විසින් ඉලක්ක කළ යුතු උපරිම මට්ටමයි.

කෙසේ වුවත්, මහ බැංකුවේ හැසිරීම් අනුව දැනට පෙනෙන්නේ උද්ධමන ඉලක්කය 3% වැනි මට්ටමක් දක්වා පහත හෙළීමට මහ බැංකුවේ වැඩි කැමැත්තක් නොමැති බවයි. 

Wednesday, July 8, 2026

මැයි අවසානයේදී රාජ්‍යමූල්‍ය තත්ත්වය


අප්‍රේල් මාසය අවසානයේදී රුපියල් බිලියන 105.0ක්ව පැවති රාජ්‍ය අයවැය අතිරික්තය මැයි මාසය අවසන් වන විට රුපියල් බිලියන 197.3 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම, ප්‍රාථමික අයවැය අතිරික්තය රුපියල් බිලියන 1,131.2ක් ලෙස වාර්තා වෙනවා. පසු ගිය මාස වල ඉන්ධන සහනාධාර ආදිය වෙනුවෙන් අමතර මුදල් වැය කිරීමෙන් අනතුරුවද මෙවැනි අතිරික්තයක් වාර්තා වී තිබීම විශේෂත්වයක්.

පසුගිය වසරේ පළමු මාස පහට සාපේක්ෂව බදු ආදායම් 28.3%කින් වර්ධනය වී ඇති අතර, බදු නොවන ආදායම් හා ප්‍රදාන ඇතුළුව සමස්ත ලැබීම් 30.6%කින් ඉහළ ගොස් තිබෙනවා. එවැනි ආදායම් වර්ධනයක් තිබියදී වියදම් වර්ධනය 7.4%කට සීමා වී තිබීම අයවැය අතිරික්තය මේ අයුරින් ඉහළ යාමට හේතු වී තිබෙනවා. 

අයවැය අතිරික්තය යනු රජයේ ආදායම සහ පොලී වියදම් ඇතුළු සමස්ත වියදම් අතර වෙනසයි. ප්‍රාථමික අයවැය අතිරික්තය යනු රජයේ ආදායම සහ පොලී වියදම් හැර අනෙකුත් වියදම් අතර වෙනසයි. කෙසේ වුවද, අයවැය වියදම් වලට ණය ගෙවීම් ඇතුළත් නොවන බැවින් ණය ආපසු ගෙවීම සඳහා තව දුරටත් ණය ලබා ගැනීමට සිදු වෙනවා. 

සාමාන්‍ය කරුණක් ලෙස, අයවැය අතිරික්තයක් ඇති විට අලුතෙන් ණය ලබා ගැනීමට අවශ්‍ය වන්නේ ගෙවිය යුතු ණය ප්‍රමාණයට වඩා තරමක් හෝ අඩුවෙනුයි. එබැවින් දේශීය ණය ලබා ගැනීම හා අදාළව කිසිදු ගැටළුකාරී තත්ත්වයක් මතු නොවන නමුත් රුපියල් වලින් ලබා ගන්නා දේශීය ණය වලින් හෝ අයවැයෙන් ඉතිරි වන රුපියල් වලින් විදේශ ණය ආපසු ගෙවීමේ හැකියාවක් නොමැති බැවින් විදේශ ණය ආපසු ගෙවීම සඳහා තව දුරටත් විදේශ ණය ලබා ගැනීමට සිදු වෙනවා. එසේ නැත්නම්, රුපියල් වැය කර වෙළඳපොළෙන් අවශ්‍ය ඩොලර් ප්‍රමාණය මිල දී ගත හැකි තරමේ ඩොලර් අතිරික්තයක් රට තුළ තිබීම අවශ්‍ය වෙනවා. 

ඉහත සඳහන් දෙවැන්න තවමත් දුරස්ථ ඉලක්කයක්. ජංගම ගිණුමේ යම් අතිරික්තයක් තබා ගත්තේ වුවද, අවශ්‍ය පමණ සංචිත වර්ධනය කර ගන්නා අතරම විදේශ ණය ගෙවීම සඳහා රුපියල් ගෙවා ප්‍රමාණවත් තරම් ඩොලර් මිල දී ගැනීමට එම අතිරික්තය ප්‍රමාණවත් වන්නේ නැහැ. එමෙන්ම, 2022දී ණය පැහැර හරිනු ලැබීමෙන් පසුව, අඩු පොලියකට ජාත්‍යන්තර වෙළඳපොළෙන් වාණිජ ණය ලබා ගැනීමේ හැකියාවක්ද තවමත් ලංකාව සතුව නැහැ. මෙම තත්ත්වයන් තුළ විදේශ ණය ආපසු ගෙවීම සඳහා යොදා ගන්නට සිදු වන්නේ ප්‍රධාන වශයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහ අනෙකුත් ජාත්‍යන්තර ආයතන වලින් ලැබෙන ණය වාරිකයි.

අයවැය තුලනය කර ගැනීම මගින් රුපියල් ප්‍රශ්නය විසඳා ගත් අයුරින්ම ජංගම ගිණුමේ අතිරික්තයක් පවත්වා ගැනීම මගින් ඩොලර් ප්‍රශ්නයද දිගුකාලීනව විසඳා ගත හැකි වුවත්, දශක ගණනාවක් තිස්සේ එකතු වී ඇති විදේශ ණය ප්‍රමාණයේ තරම අනුව මේ සඳහා තවත් වසර ගණනාවක් එක දිගටම ජංගම ගිණුමේ ප්‍රමාණවත් අතිරික්තයක් පවත්වා ගැනීමට සිදු වෙනවා. 

රටේ ණය තිරසාරත්වය තහවුරු වන පරිදි ණය ප්‍රතිව්‍යුහගත කරනු ලැබ ඇති බැවින් පසුගිය වසර වල පැවති මට්ටමේ ජංගම ගිණුම් අතිරික්තයක් පවත්වා ගන්නා අතර වැඩි අපහසුවකින් තොරව ලබා ගත හැකි මට්ටමේ විදේශ ණය ප්‍රමාණයක් අලුතෙන් ලබා ගැනීම මගින් ඉදිරි වසර වලදී ගෙවිය යුතු විදේශ ණයද ප්‍රශ්නයක් නැතිව ආපසු ගෙවීමේ හැකියාවක් තිබෙන නමුත් පසුගිය මාස වල ඇති වූ ආකාරයේ කම්පනයක් ඇති වුවහොත් ජංගම ගිණුමේ අතිරික්තය ඒ සඳහා අවශ්‍ය මට්ටමේ පවත්වා ගැනීම අසීරු වෙනවා.

මෙවැනි තත්ත්වයකදී සාමාන්‍ය පිළියම වන්නේ තාවකාලිකව අඩුව පියවා ගැනීම සඳහා සංචිත යොදා ගැනීමයි. ඒ සඳහා ප්‍රමාණවත් මට්ටමක් දක්වා සංචිත වර්ධනය කර ගත යුතු වෙනවා. සංචිත වර්ධනය කර ගැනීම සඳහා වඩා කල් ගත වේනම්, ඉතිරි වන අනෙකුත් විකල්පය වනුයේ කෙටිකාලීන ආරක්ෂක පියවරක් ලෙස නැවත වරක් මූල්‍ය අරමුදල සමඟ වැඩ සටහනකට ඇතුළු වීමයි. 

වෙබ් ලිපිනය: