වෙබ් ලිපිනය:

Showing posts with label වෛද්‍ය අධ්‍යාපනය. Show all posts
Showing posts with label වෛද්‍ය අධ්‍යාපනය. Show all posts

Saturday, March 16, 2024

ඉන්දියාවේ වෛද්‍ය විද්‍යාල බාලද?


ලෝක වෛද්‍ය විද්‍යාල නාමාවලිය අනුව, මේ වන විට (2024 මාර්තු 16), ලෝකයේ දැනට ක්‍රියාත්මක වෛද්‍ය විද්‍යාල 3,953ක් තිබෙනවා. මේ අතරින් වෛද්‍ය විද්‍යාල 600ක්ම තිබෙන්නේ ඉන්දියාවේ. ඒ කියන්නේ ලෝකයේ තිබෙන මුළු වෛද්‍ය විද්‍යාල ප්‍රමාණයෙන් 15.2%ක්. ලෝක ජනගහණයෙන් 17.8%ක්ම ජීවත් වන්නේ ඉන්දියාවේ බැවින් මෙය අසාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි. කෙසේ වුවත්, ඉන්දියාව වෛද්‍ය උපාධිධාරීන් නිපදවන්නේ ඉන්දියානු වෙළඳපොළ සඳහා පමණක් නෙමෙයි. 

පහත තිබෙන්නේ ඉහත සඳහන් ලෝක වෛද්‍ය විද්‍යාල නාමාවලිය අනුව, ලෝකයේ රටවල් අතරින් වැඩිම වෛද්‍ය විද්‍යාල ප්‍රමාණයක් තිබෙන රටවල්.

ඉන්දියාව - 600

බ්‍රසීලය - 375

ඇමරිකා එක්සත් ජනපදය - 211

චීනය - 164

මෙක්සිකෝව - 147

පකිස්ථානය - 123

තුර්කිය - 109

බංග්ලා දේශය - 100

රුසියාව - 91

ඉන්දුනීසියාව - 91

ජපානය - 82

ඉරානය - 64

කොලොම්බියාව - 59

පිලිපීනය - 54

පේරු - 50

ඉහත සංඛ්‍යාලේඛණ වලින් පෙනෙන පරිදි ලෝකයේ තිබෙන වෛද්‍ය විද්‍යාල ප්‍රමාණයෙන් බාගයකට වඩා තිබෙන්නේ රටවල් දහයකයි. එයින් රටවල් අටක වෛද්‍ය විද්‍යාල සීයකට වඩා තිබෙනවා. මෙම රටවල් අට අතර අපේ අසල්වැසි රටවල් තුනක්ම තිබෙනවා. වෛද්‍ය විද්‍යාල පණහකට වඩා තිබෙන රටවල් ගණන 15ක්.

පෙර ලිපියක විස්තර කළ පරිදි ඇමරිකාවේ වෛද්‍ය විද්‍යාල වල උපාධි වර්ග දෙකක් ලබා දෙනවා. ලබා දෙන වෛද්‍ය උපාධිය අනුව, මෙම වෛද්‍ය විද්‍යාල පිළිගැනීමට ලක් කරන ආකාරයද වෙනස් වෙනවා. වෛද්‍ය විද්‍යාල වැඩි ගණනකින් ලබා දෙන MD උපාධිය පිළිගැනීමට ලක් කරන්නේ (accredit) වෛද්‍ය අධ්‍යපනය පිළිබඳ සම්බන්ධීකරණ කමිටුව (LCMA) විසින්. මෙම කමිටුව ඇමරිකානු වෛද්‍ය සංගමයේ හා ඇමරිකානු වෛද්‍ය විද්‍යාල සංගමයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක්. මෙම ආයතන කිසිවකට ඇමරිකාවේ ෆෙඩරල් හෝ ප්‍රාන්ත රජයක සෘජු සම්බන්ධයක් නැහැ. 

ඇමරිකානු වෛද්‍ය සංගමයට හා ඇමරිකානු වෛද්‍ය විද්‍යාල සංගමයට ඇමරිකාවේ වෛද්‍ය විද්‍යාල වල ගුණාත්මක භාවය පවත්වා ගන්නට අවශ්‍ය ඇයිද කියන එක තේරුම් ගන්න අපහසු නැහැ. එක් වෛද්‍ය විද්‍යාලයකින් ලබා දෙන වෛද්‍ය උපාධියේ ගුණාත්මක භාවය හොඳ මට්ටමක නැත්නම් එය ඊට සමාන උපාධි ලබා දෙන අනෙක් වෛද්‍ය විද්‍යාල වල වෛද්‍ය උපාධි වල කීර්ති නාමය කෙරෙහිද බලපානවා. ඒ නිසා, MD උපාධිය ලබා දෙන ඇමරිකානු වෛද්‍ය විද්‍යාල වල එකතුවක් වන ඇමරිකානු වෛද්‍ය විද්‍යාල සංගමය මේ කටයුත්තට සම්බන්ධ වී සිටිනවා. ඒ වගේම, ඇමරිකාවේ MD උපාධියක ගුණාත්මක භාවය පහත වැටීම දැනට එම උපාධිය තිබෙන සියල්ලන්ටම බලපානවා. ඒ නිසා, එවැන්නන්ගේ එකතුවක් වන ඇමරිකානු වෛද්‍ය සංගමය මේ කටයුත්තට සම්බන්ධ වී සිටිනවා. 

ඉහත පිළිගැනීම ලබා ඇති වෛද්‍ය විද්‍යාල ගණන 158ක්. එම වෛද්‍ය විද්‍යාල 158ට තවමත් පූර්ණ පිළිගැනීමක් ලැබී නොමැති අලුත් වෛද්‍ය විද්‍යාල 8ක් සහ පිළිගැනීම පරිවාස මට්ටමට ලක් කර ඇති පැරණි වෛද්‍ය විද්‍යාල 3ක්ද ඇතුළත්. මීට පෙර අපේ ලිපි කිහිපයකට මාතෘකාව වූ ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයට මේ වන විට පරිවාස තත්ත්වයේ තිබෙන වෛද්‍ය විද්‍යාලයක්. එයින් අදහස් වන්නේ කිසියම් අඩුපාඩුවක් නිවැරදි කර ගැනීම සඳහා යම් කාලයක් ලබා දී ඇති බවයි. මීට අමතරව තවත් වෛද්‍ය විද්‍යාල පහක් වෛද්‍ය අධ්‍යපනය පිළිබඳ සම්බන්ධීකරණ කමිටුවේ ඇගයීම අපේක්ෂාවෙන් සිටිනවා. 

මේ දක්වාම කැනඩාවේ වෛද්‍ය විද්‍යාල පිළිගැනීමට ලක් කරන්නේද ඇමරිකාවේ වෛද්‍ය අධ්‍යපනය පිළිබඳ සම්බන්ධීකරණ කමිටුවයි. එහෙත්, ලබන වසරේ මැද (2025 ජූනි 30) සිට මෙම කාර්යය කැනේඩියානු වෛද්‍ය විද්‍යාල පිළිගැනීමේ කමිටුව විසින් සිදු කිරීමට නියමිතයි.

ඇමරිකාවේ විද්‍යා විද්‍යාල වලින් ලබා දෙන දෙවන උපාධි වර්ගය වන DO උපාධි පිළිගැනීමට ලක් කරන්නේ ඇමරිකානු ඔස්ටියෝපති සංගමය විසින්. මෙහිදීද, උපාධියේ ගුණාත්මක භාවය පවත්වා ගැනීම ගැන උනන්දු වන්නේ දැනට එම උපාධිය ලබා ඇති අයයි. මේ ආයතනයටද ඇමරිකන් රජයේ සම්බන්ධයක් නැහැ. මේ වන විට DO උපාධිය ලබා දෙන වෛද්‍ය විද්‍යාල 41ක් ඇමරිකානු ඔස්ටියෝපති සංගමයේ පිළිගැනීමට ලක්ව තිබෙනවා.

ඉහත සඳහන් උපාධි වර්ග දෙක ලබා දෙන වෛද්‍ය විද්‍යාල අතරින් අඩක් පමණ පෞද්ගලික විශ්ව විද්‍යාලයි. රාජ්‍ය විශ්ව විද්‍යාල වලට අනුබද්ධ වෛද්‍ය විද්‍යාල වලද පාඨමාලා ගාස්තු අය කෙරෙන බැවින් මේ දෙවර්ගයේ විශාල වෙනසක් නැහැ. අදාළ ප්‍රාන්ත රජයයන් විසින් තමන්ගේ ප්‍රාන්තයේ සිසුන්ගේ පාඨමාලා ගාස්තු වලින් කොටසක් බදු මුදල් වැය කර සුබසාධනය කරනවා. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බොහොමයක් පවුලේ ආදායම් මට්ටම සලකා පාඨමාලා ගාස්තු වලින් සැලකිය යුතු කොටසක් කපා හරිනවා. ඒ නිසා, දක්ෂ සිසුවෙකුට පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක අධ්‍යාපනය ලැබීම සඳහා ආදායම විශාල බාධාවක් වන්නේ නැහැ. 

රාජ්‍ය හා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අතර ගුණාත්මක භාවයේ විශාල වෙනසක් නැහැ. හොඳම වෛද්‍ය විද්‍යාල අතර වැඩියෙන්ම තිබෙන්නේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයි. එහෙත් එම හොඳම වෛද්‍ය විද්‍යාල ලාබ ලැබීම ඉලක්ක කරන ආයතන නෙමෙයි. රජයට සම්බන්ධයක් නැති ඉහත සඳහන් ආයතන විසින් ඇමරිකාවේ වෛද්‍ය විශ්ව විද්‍යාල සියල්ලේම ගුණාත්මක භාවය නිරන්තරයෙන් පරීක්ෂාවට ලක් කරනවා. ගුණාත්මක භාවය ඉහළින් තබා ගැනීමට වැඩි බරක් තබන නිසාම, ඇමරිකාවේ වෛද්‍ය විද්‍යාල වලින් ඇමරිකාවට අවශ්‍ය පමණ වෛද්‍යවරුන් බිහිවන්නේ නැහැ. 

මේ තත්ත්වයේ වාසිය වැඩි වශයෙන්ම ලබා ගෙන තිබෙන්නේ ඇමරිකාවට ආසන්නව පිහිටි කැරිබියන් දූපත් රාජ්‍ය වල වෛද්‍ය විද්‍යාලයි. එම වෛද්‍ය විද්‍යාල ඇමරිකානු වෛද්‍ය සිසුන් ඉලක්ක කරනවා. ඔවුන් වෛද්‍ය උපාධිය ලබා ගෙන නැවත ඇමරිකාවට පැමිණෙනවා.

ඇමරිකාවේ රජය විසින් වෛද්‍ය විද්‍යාල නියාමනය නොකළත්, වෛද්‍ය වෘත්තියට ප්‍රවේශ වීම නියාමනය කරනවා. ඇමරිකාවේ පිළිගත් වෛද්‍ය විද්‍යාලයකින් උපාධියක් ලද පමණින් වෛද්‍ය වරයෙකු ලෙස කටයුතු කළ නොහැකියි. ඒ සඳහා ඇමරිකාවේ ප්‍රාන්ත එකකින් හෝ වැඩි ගණනකින් බලපත්‍ර ලබා ගත යුතුයි. මෙය අසීරු හා සංකීර්ණ ක්‍රියාවලියක්. මුලින්ම අදාළ විභාග සමත් විය යුතුයි. සාමාන්‍යයෙන් මේ විභාග සඳහා පෙනී සිටිය හැකි උපරිම වාර ගණනක් තිබෙනවා. ඉන් පසුව වසර 1 සිට 3 දක්වා කාලයක් ගත වෙන (ප්‍රාන්තය අනුව) සීමාවාසික පුහුණුවක් අවශ්‍ය වෙනවා. 

මේ සියලු අවශ්‍යතා නිසි සේ සම්පූර්ණ නොකර වෛද්‍ය බලපත්‍රයක් ලබා ගත නොහැකියි. එසේ ලබා ගත්තද ඇමරිකාවේ වෛද්‍යවරුන්ට රජයේ රැකියා ලැබෙන්නේ නැහැ. තමන් විසින් වෛද්‍ය සේවා සපයා මුදල් සොයා ගත යුතුයි. මෙම තත්ත්වය තුළ නමට මොකක් හෝ වෛද්‍ය උපාධියක් ලබා ගැනීමේ ඇති ප්‍රයෝජනයක් නැහැ. වෛද්‍ය උපාධිය තුළින් වෛද්‍ය බලපත්‍රයක් ලබා ගැනීම සඳහා අවශ්‍ය කුසලතා වැඩි දියුණු විය යුතුයි. මෙය වෛද්‍ය වෘත්තියට පමණක් සීමා වූ තත්ත්වයක් නෙමෙයි. තවත් වෘත්තීන් ගණනාවක් සඳහා උපාධියක් ලබා ගැනීමට අමතරව වෙනත් අවශ්‍යතා සම්පූර්ණ කර මෙවැනි බලපත්‍රයක් ලබා ගත යුතුයි. රැකියාවක් කළ හැක්කේ ඉන් පසුවයි. උදාහරණ ලෙස ඉංජිනේරු හා ගුරු වෘත්තීන් පෙන්වා දිය හැකියි. 

ඇමරිකාවේ ප්‍රාන්තයක වෛද්‍ය වරයෙකු ලෙස කටයුතු කිරීම සඳහා වෛද්‍ය බලපත්‍රයක් ලබා ගැනීමේ අවස්ථාව ඇමරිකාවෙන් පිටත ලංකාව ඇතුළු වෙනත් රටවල වෛද්‍ය උපාධි ලබා ඇති අයටද විවෘතයි. මේ සඳහා ඇමරිකාවෙන්ම වෛද්‍ය උපාධියක් ලබාගත යුතු නැහැ. මුලින්ම විස්තර කළ ලෝක වෛද්‍ය විද්‍යාල නාමාවලියේ නම සඳහන් වෛද්‍ය විද්‍යාලයකින් එම උපාධිය ලබා තිබිය යුතුයි. මෙම නාමාවලියේ ලංකාවේ වෛද්‍ය විද්‍යාල අටක නම් ඇතුළත්ව තිබෙනවා. ඒවානම් කොළඹ, පේරාදෙණිය, රුහුණු, යාපනය, රජරට, නැගෙනහිර, කැළණිය හා ශ්‍රී ජයවර්ධන විශ්ව විද්‍යාල වල වෛද්‍ය පීඨ සහ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයයි. මීට අමතරව මෙම නාමාවලියෙහි නම සඳහන් දැනට ක්‍රියාත්මක නැති වෛද්‍ය පීඨයකින් වෛද්‍ය උපාධිය ලබා ගත් අයටද මෙම අවස්ථාව විවෘතයි. 

වෙනත් රටක වෛද්‍ය විද්‍යාලයක සිසුවෙකු අවශ්‍ය සුදුසුකම් සපුරා ඇමරිකාවේ ප්‍රාන්තයකින් බලපත්‍රයක් ලබා ගැනීම අදාළ වෛද්‍ය විද්‍යාලයේ හා පොදුවේ අදාළ රටේ වෛද්‍ය අධ්‍යාපනයේ පිළිබිඹුවක් සේ සැලකිය හැකියි. ඇමරිකානු වෛද්‍ය උපාධිධාරීන් හැරුණු විට ඇමරිකාවේ බලපත්‍රලාභී වෛද්‍යවරුන් අතර වැඩියෙන්ම සිටින්නේ ඉන්දියාවේ වෛද්‍ය විද්‍යාලයකින් උපාධියක් ලැබූ අයයි. 

ඇමරිකාවේ මෙන්ම ඉන්දියාවේද වෛද්‍ය විද්‍යාල වලින් අඩක් පමණ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයි. ඉන්දියාවේ අධ්‍යාපන අමාත්‍යංශයේ ශ්‍රේණිගත කිරීම් අනුව, එරට හොඳම වෛද්‍ය විද්‍යාල දහය අතර වෙල්ලෝරාවේ ක්‍රිස්තියානි වෛද්‍ය විද්‍යාලය, කොයිම්බතූර්හි අම්රිතා විශ්ව විද්‍යාපීතම්, කස්තුර්බා වෛද්‍ය විද්‍යාලය වැනි පෞද්ගලික වෛද්‍ය විද්‍යාලද තිබෙනවා.

ඇමරිකාවේ දැනට සිටින බලපත්‍රලාභී වෛද්‍යවරුන් 1,044,734 දෙනෙකු අතරින් (2022 සංඛ්‍යාලේඛණ) ඇමරිකාවේ හෝ කැනඩාවේ වෛද්‍ය විද්‍යාලයකින් වෛද්‍ය උපාධි ලැබූ ප්‍රමාණය 77%ක් පමණයි. ඉතිරි 23% අතර ඉන්දියානු වෛද්‍ය උපාධි ලැබූ 51,383ක්, පකිස්තානු වෛද්‍ය උපාධි ලැබූ 14,793ක් හා පිලිපීන වෛද්‍ය උපාධි ලැබූ 11,402 දෙනෙකු සිටිනවා. මේ අනුව පෙනෙන පරිදි ඉන්දියාව, පකිස්ථානය හා පිලිපීනය වැනි රටවල් ඉතා තරඟකාරී ඇමරිකාවේ ශ්‍රම වෙළඳපොළ වෙතද මහා පරිමාණයෙන් වෛද්‍යවරුන් සපයමින් සිටිනවා.

Sunday, March 3, 2024

ඩොලර් බිලියනයේ තෑග්ග (තෙවන කොටස)


රූත් ගොටස්මන් විසින් නිවු යෝර්ක් ප්‍රාන්තයේ ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලය වෙත සිදු කළ ඩොලර් බිලියනයක පරිත්‍යාගය ගැනත්, එයින් වෙළඳපොළ සමතුලිතතාවයට සිදු වන බලපෑම ගැනත් පෙර ලිපි දෙකෙන් කතා කළා. මෙම පරිත්‍යාගය නිසා දිගුකාලීනව වැඩිම වාසියක් ලබන්නේ ආයතනයක් ලෙස ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයයි. පරිත්‍යාගයේ උදවුවෙන් වඩා හොඳ සිසුන් මෙන්ම වඩා හොඳ ආචාර්ය මණ්ඩල සාමාජිකයින්ද ආකර්ෂණය කර ගත හැකි බැවින් දිගුකාලීනව එම වෛද්‍ය විද්‍යාලයට සිය කීර්ති නාමය බොහෝ සේ ප්‍රවර්ධනය කර ගැනීමට අවස්ථාව ලැබෙනවා.

ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලය ලාබ ලැබීම අරමුණු නොකරන ආයතනයක්. ලාබ ලැබීම අරමුණු නොකරන ආයතන කියන්නේ ලාබ නොලබන හෝ පාඩු ලබන ආයතන නෙමෙයි. ලාබ ලැබීම ඕනෑම ලාබ ලැබීම අරමුණු නොකරන ආයතනකද ඉලක්කයක්. එහෙත්, එය ප්‍රධාන අරමුණ නෙමෙයි. මෙවැනි ආයතනයකට ලාබ ලැබීමේ ඉලක්කයට වඩා උඩින් තිබෙන වෙනත් අරමුණක් තිබෙනවා. සාමාන්‍යයෙන් මෙවැනි ආයතනයක් ලබන ලාබ වැය කරන්නේද එම ප්‍රධාන අරමුණ වෙනුවෙන්.

"Our founding mandate has been to combine the pursuit of scientific excellence with the social mission to improve human health through engagement in our local, national, and global communities."

ඇල්බට් අයින්ස්ටයින්ගේ පෞද්ගලික එකඟත්වය මත ආයතනයක නමට ඔහුගේ නම එකතු කර ගෙන ඇති ලෝකයේ එකම ආයතනය ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයයි. මෙම වෛද්‍ය විද්‍යාලයය බිහිවන්නේ ඇමරිකාවේ පිහිටි යුදෙවු විශ්ව විද්‍යාලයක් වන යෙෂිවා විශ්ව විද්‍යාලයේ කොටසක් ලෙසයි. ආයතනයේ අරමුණ විද්‍යාවේ ප්‍රගමනය හඹා යමින් මානව සෞඛ්‍යය දියුණු කිරීමේ සමාජ මෙහෙවර ඉදිරියට ගෙන යාමයි. 

කවුද මේ  රූත් ගොටස්මන්?

ඇල්බට් අයින්ස්ටයින්ට මෙන්ම ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලය වෙත ඩොලර් බිලියනයක් පරිත්‍යාග කළ රූත් ගොටස්මන්ටද තිබෙන්නේ යුදෙවු සම්භවයක්. ඇය ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයේ ළමා රෝග දෙපාර්තමේන්තුවේ සේවය කළ සේවාර්ජිත මහාචාර්ය වරියක්. එමෙන්ම, එම වෛද්‍ය විද්‍යාලය පාලනය කරන භාරකාර මණ්ඩලයේ සභාපතිනිය වන්නේද ඇයයි. 

සාමාන්‍යයෙන් විශ්ව විද්‍යාලයක ආචාර්ය මණ්ඩලයකට එකතු වන බොහෝ අය තමන්ගේ ජීවිතයේ ප්‍රධාන අරමුණ මුදල් සෙවීම කරගත් අය නෙමෙයි. එවැන්නෙකු විසින් බොහෝ විට තමන්ගේ ජීවත් වීමේ අරමුණ ලෙස සලකන්නේ දැනුම ප්‍රවර්ධනය කිරීම හා දැනුම බෙදා හැරීම වැනි දෙයක්. මෙම කරුණ හා අදාළව, රූත් ගොටස්මන් කියන්නේද වෙනස් අයෙකු නොවෙයි. ඇය වෙනත් බොහෝ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් විසින්ද අරමුණු කරන ඉලක්ක තමන්ගේ ජීවිතයේ ප්‍රධාන අරමුණු බවට පත් කරගත් තැනැත්තියක්. 

විශ්ව විද්‍යාල ආචාර්යවරයෙකුට එම සුදුසුකම් හා පළපුරුද්ද තිබෙන වෙනත් රැකියා කරන අය තරමටම වැටුපක් ලැබෙන්නේ නැතත්, වෙළඳපොළ මත පදනම් වූ සැලකිය යුතු වැටුපක් ලැබෙනවා. විශේෂයෙන්ම වෛද්‍ය විද්‍යාල වල. 

ඇමරිකාවේ ජීවත් වන, ජීවත් වීම සඳහා මුදල් සෙවීමේ ප්‍රධාන අරමුණෙන් රැකියාවක් කරන්නන් බොහෝ දෙනෙකු අවශ්‍ය තරම් ප්‍රමාණවත් මුදලක් ඉතිරි කර ගැනීමෙන් පසු රැකියාවෙන් විශ්‍රාම ගන්නවා. එහෙත්, ඇමරිකාවේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් බොහෝ දෙනෙකු තමන්ගේ රැකියාවට තිබෙන කැමැත්ත නිසාම ඉක්මණින් විශ්‍රාම ගන්නේ නැහැ. ඇතැම් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් විශ්‍රාම ගැනීමෙන් පසුවද ස්වේච්ඡා පදනමෙන් පර්යේෂණ වල නිරත වීම හා ඉගැන්වීම දැකිය හැකියි. 

බොහෝ විශ්ව විද්‍යාල මහාචාර්යවරුන් සරල ජීවිත ගත කරන අයයි. මේ කරුණ හා අදාළවනම්, ඇමරිකාවෙන් මෙන්ම ලංකාවෙන්ද වැඩි අපහසුවක් නොමැතිව උදාහරණ සොයා ගත හැකියි. ඒ හේතුව නිසාම ඇමරිකාවේ මහාචාර්යවරයෙකුට, විශේෂයෙන්ම වෛද්‍ය විද්‍යාලයක මහාචාර්ය වරයෙකුට, වෙළඳපොළ මත පදනම්ව වැටුප් ලෙස ලැබෙන ආදායම තමන් අපේක්ෂා කරන ජීවිතය ගත කිරීම සඳහා ඕනෑවටත් වඩා ප්‍රයෝජනවත්. 

ඇමරිකාවේ බොහෝ සේවාර්ජිත මහාචාර්යවරුන් විසින් ජීවිතයේ අවසාන කාලයේදී තමන් සතු වත්කම් වලින් කොටසක් තමන් සේවය කළ විශ්ව විද්‍යාලය වෙත පරිත්‍යාග කිරීම ඉතාම සාමාන්‍ය තත්ත්වයක්. එවැනි පරිත්‍යාග අදාළ මහාචාර්යවරයාගේ අභිලාෂය පරිදි සිසුන්ට ශිෂ්‍යත්ව ලබා දීම සඳහා හෝ පර්යේෂණ ආධාර ලෙස වැය කෙරෙනවා. රූත් ගොටස්මන්ගේ පරිත්‍යාගය සේවාර්ජිත මහාචාර්යවරුන් බොහෝ දෙනෙකු විසින් සිදු කරන මෙවැනි පරිත්‍යාග වලින් වෙනස් වන එකම හේතුව පරිත්‍යාගයේ ප්‍රමාණය පමණයි.

සාමාන්‍යයෙන් විශ්ව විද්‍යාල මහාචාර්යවරයෙකු තමන්ගේ ජීවන අභිලාෂය කරගන්නේ පුළුවන් තරම් මුදල් හෙවීම නොවන නිසා, ඩොලර් බිලියනයක් වැනි විශාල මුදලක් පරිත්‍යාග කළ හැකි තරමේ වත්කමක් ඔවුන් වෙත ඉතිරි වන්නේ නැහැ. මෙම කාරණය හා අදාළව වුවද, රූත් ගොටස්මන් වෙනස් තැනැත්තියක් නොවෙයි. ඇයට මුදල් එකතු කිරීම තමන්ගේ ජීවිතයේ ප්‍රධාන අරමුණ කර නොගත් තැනැත්තියක්. එසේනම්, ඇයට මෙවැනි පරිත්‍යාගයක් කිරීමට ඉඩ සැලසෙන්නේ කොහොමද?

ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයේ වත්මන් සිසුන්ට පමණක් නොව, රූත් ගොටස්මාන්ටද මෙම මුදල ලැබෙන්නේ අනපේක්ෂිත ලෙසයි. ආර්ථික විද්‍යා අර්ථයෙන් එහිදී වෙන්නේ ඇයට ලොතරැයියක් ඇදීමක්. එම ලොතරැයියනම් ඇගේ සැමියා වූ ඩේව්ඩ් ගොටස්මාන් විසින් ඇයගේ අභිලාෂය පරිදි වියදම් කිරීමට ඉඩ සලසමින් විශාල ධනස්කන්ධයක් ඈ වෙත උරුම කර මිය යාමයි.

සෘජුව හෝ වක්‍රව දැනුම නිර්මාණය කිරීම වෙනුවෙන් කැප වූ රූත් ගොටස්මාන් මෙන් නොව ඇගේ සැමියා වූ ඩේව්ඩ් ගොටස්මාන් ධනය නිර්මාණය කිරීම වෙනුවෙන් කැප වූ අයෙක්. එමෙන්ම තමන්ගේ අභිලාෂ සාක්ෂාත් කරගත් අයෙක්. වත්කම් කළමනාකරණ ආයතනයක් ස්ථාපනය කරන ඔහු දශක ගණනාවක් තිස්සේ එම ආයතනය වැඩි දියුණු කර බිලියනපතියෙකු බවට පත් වෙනවා. රූත් ගොටස්මන්ට උරුම වන්නේ එම වත්කමයි.

වත්කම් කළමනාකරණ ආයතනයක් කියන්නේ සෘජුව පරිභෝජන භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනයක් නොකරන,  අතරමැදි ව්‍යාපාරයක්. ඒ වගේම ඉතා අඩු ශ්‍රමයක් යෙදවුම් ලෙස භාවිතා කරමින් බොහෝ දුරට ප්‍රාග්ධනය මගින් ප්‍රාග්ධනය නිර්මාණය කරන ව්‍යාපාරයක්. සෘජුව පරිභෝජන භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනය කරන අයෙකුට සාපේක්ෂව වත්කම් කළමනාකරණ ආයතනයක් ස්ථානගත කළ හැක්කේ කවර ආකාරයෙන්ද?

සැබෑ ධනය නිර්මාණය වීමක් සිදු වීමටනම්, අවසාන වශයෙන් පරිභෝජනය කළ හැකි ආකාරයේ කිසියම් භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනයක් සිදු විය යුතුයි. එසේ නිපදවන භාණ්ඩ හෝ සේවාවන් වලට පාරිභෝගිකයෙකු විසින් කොපමණ මිලක් ගෙවන්නට සූදානම් වන්නේද යන්න මත සිදු වූ නිෂ්පාදනයේ වෙළඳපොළ වටිනාකම තීරණය වෙනවා.

භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනයක් සිදු කරන නිෂ්පාදකයෙකුට ඒ සඳහා ප්‍රාග්ධනය අවශ්‍ය වෙනවා. අවශ්‍ය තරම් අඩු "කුලියකට" ප්‍රාග්ධනය සපයා ගත නොහැකි වුවහොත් එවැන්නෙකු විසින් සිදු කෙරෙන භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනය සීමා වෙනවා. 

අනෙක් අතට, යමෙකු තමන් විසින් උපයන ආදායම් එසැණින්  පරිභෝජනය කර අවසන් කිරීම හෝ අනාගත පරිභෝජනය වෙනුවෙන් ඉතිරි කිරීම නිර්ණය වන්නේ ආදායම් ප්‍රාග්ධනය බවට පරිවර්තනය කිරීම මගින් ලබා ගත හැකි "කුලිය" කොපමණද යන්න මතයි. මෙම "කුලිය" ඉහළ යන තරමට රටක වැඩි ප්‍රාග්ධන සමුච්ඡනයක් සිදු වෙනවා. රටක ප්‍රාග්ධන සමුච්ඡනය වැඩි වෙද්දී, භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සඳහා ප්‍රාග්ධනය යෙදවීමේ හැකියාව ඉහළ ගොස් රටේ නිෂ්පාදනය ඉහළ යනවා.

වත්කම් කළමනාකරණ ආයතනයක් විසින් කරන්නේ රටේ ප්‍රාග්ධන වෙළඳපොළ වඩා කාර්යක්ෂම කිරීම මගින් ඉතිරි කරන්නන්ට වැඩි ප්‍රතිලාභයක් ලබා ගැනීමට අවස්ථාවක් ලබා දෙන අතරම, නිෂ්පාදකයින්ට අඩු පිරිවැයකට ප්‍රාග්ධනය සපයා ගැනීමටද අවස්ථාවක් ලබා දීමයි. මේ හරහා එවැනි ආයතනයක් විසින් වක්‍ර ලෙස රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය වැඩි කරනවා. එහිදී අලුතෙන් ධනය නිර්මාණය වීමක් සිදු වෙනවා.

නිෂ්පාදකයෙකු නිෂ්පාදනය කරන්නේ එමගින් තමන්ට ලැබෙන ලාබ නිසා. ඉතිරි කරන්නෙකු ඉතිරි කරන්නේද එයින් තමන්ට ලැබෙන ප්‍රතිලාභ නිසා. ඒ දෙදෙනා සම්බන්ධ කරන වත්කම් කළමනාකරණ ආයතනයක් විසින් එසේ කරන්නේද තමන්ට ලබාගත හැකි ලාබ නිසා. එහෙත්, මේ යාන්ත්‍රනය තුළ තවත් බොහෝ දෙනෙකුට යහපතක් සිදු වෙනවා.

යමෙකු ලෝකයට එකතු කරන්නේ ධනය වුවත්, දැනුම වුවත්, වෙනත් යම් දෙයක් වුවත් අවසානයේදී එසේ එකතු කරන දේ ඉතිරි කර මිය යන්නට සිදු වෙනවා. ඉතිරි කර යන දෙයක ප්‍රතිලාභ ජීවත් වන්නන්ට ලැබෙනවා. ඩේව්ඩ් ගොටස්මාන් විසින් මිය යන්නට පෙර ඔහු විසින් ඉපැයූ ධනය නාස්ති කර හෝ විනාශ කර නැහැ. කොපමණ විශාල ධනයක් උපයන අයෙකු වුවද සිය ජීවිත කාලය තුළ පරිභෝජනය කරන්නේ එයින් කොටසක් පමණයි. මෙසේ යමෙකු ඉතිරි කර යන දෙයකු උරුමකරුවෙකු වන අය ලොතරැයියක් දිනන වාසනාවන්තයෙක්.

කෙසේ වුවත්, වයස අවුරුදු 93 ඉක්මවා සිටින රූත් ගොටස්මාන්ට අහම්බෙන් ලැබුණු ඩොලර් බිලියන ගණනක විශාල ධනයකින් කළ හැකි විශේෂ දෙයක් නැහැ. එබැවින් එය එම මුදලෙන් සැලකිය යුතු කොටසක් තමන්ගේ ජීවන අභිලාෂ හා ගැලපෙන අරමුණක් වෙනුවෙන් වැය කර තිබෙනවා. මෙහිදී ඩේව්ඩ් ගොටස්මාන් මෙන්ම රූත් ගොටස්මාන් විසින්ද කර තිබෙන්නේ තමන්ට සතුටු විය හැකි පරිදි, තමන්ගේ ජීවන අභිලාෂ ශාක්ෂාත් කර ගැනීමයි. කෙනෙකුගේ ජීවන අභිලාෂය කුමක්ද යන්න පෞද්ගලික කාරණයක්. 

ඩේව්ඩ් ගොටස්මාන් විසින් ධනය නිර්මාණය කරන වෙනත් එවැනි අය මෙන්, තමන්ගේම වත්කම් කළමනාකරණ ආයතනයක් පිහිටුවා ඒ මගින් ධනය නිර්මාණය කිරීමට ජීවිතයේ වැඩි කාලයක් යොදවා තිබෙනවා. ඒ කාර්යය සාර්ථක ලෙස නිමා කර ජීවිතයෙන් සමු ගෙන තිබෙනවා. තමන්ගේ ජීවිත කාලය තුළ විශාල ධනයක් එක්රැස් කර තබා මිය යන ඩේව්ඩ් ගොටස්මාන් වැනි අයෙකුගේ ප්‍රධාන අභිලාෂයක් වන්නේ තමන් මිය යාමෙන් පසු තමන්ගේ උරුමකරුවන්ගේ අභිලාෂ පරිදි එම ධනය භාවිතා කිරීමයි. මෙහිදී ඔහුගේ එම අභිලාශය ඉටු වී තිබෙනවා.

මීට අමතරව, ඩේව්ඩ් ගොටස්මාන් වැනි ඇතැම් අය ජීවත්ව සිටියදීම තමන්ගේ ධනය තමන් සතුටු වන විවිධ දේ වෙනුවෙන් පරිත්‍යාග කරනවා. මේවාත් අනෙකුත් වෙළඳපොළ ගනුදෙනු වැනිම ගනුදෙනු. එකම වෙනස ගනුදෙනුවේ අභිලාශය මූල්‍ය ලාභයක් නොවීම පමණයි. 

රූත් ගොටස්මාන් ඇයගේ ජීවිතයේ වැඩි කාලයක් යොදවා තිබෙන්නේ ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයේ උන්නතිය ඇගේ ජීවිතයේ ප්‍රධාන අභිලාශයක් ලෙස සලකමිනුයි. ඇයට අනපේක්ෂිතව ලැබුණු විශාල ධනය ඈ ඇගේ මෙම දිගුකාලීන අභිලාශය සාක්ෂාත් කර ගැනීම පිණිස වැය කර තිබෙනවා. එයද සාර්ථක ගනුදෙනුවක්! 

Saturday, March 2, 2024

ඩොලර් බිලියනයේ තෑග්ග (දෙවන කොටස)


නිවු යෝර්ක් ප්
‍රාන්තයේ ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයට ඉදිරි වසරේදී ඇතුළු වන සිසුවෙකු විසින් එහි අධ්‍යාපනය ලබන වසර හතරක කාලය තුළ ගාස්තු ලෙස ඩොලර් 287,122ක මුදලක් ගෙවිය යුතුව තිබුණා. රූත් ගොටස්මන් විසින් එම වෛද්‍ය විද්‍යාලයට ඩොලර් බිලියනයක ධන පරිත්‍යාගයක් කිරීම නිසා ඉදිරි වසර තුළ හා ඉන් පසුව මෙම වෛද්‍ය පීඨයට ඇතුළු වන සිසුන් විසින් දැන් මෙම ගාස්තුවෙන් නිදහස් කෙරෙනවා.

අලුත් සිසුන්ට අමතරව දැනට මෙම වෛද්‍ය විද්‍යාලයෙහි ඉගෙන ගන්නා සිසුන්ද, ඉදිරි වාරයේ සිට පාඨමාලා ගාස්තු වලින් නිදහස් කෙරෙනවා. මේ බැව් දැන ගන්නා සිසුන් එයින් උද්දාමයට පත් වන ආකාරය අන්තර්ජාලයේ සංසරණය වන වීඩියෝවක දැක ගත හැකියි. මේ සිසුන් අතර විදේශික සිසුන් හා සංක්‍රමණික පවුල් වල සිසුන් ගණනාවක් සිටිනවා. ඔවුන් හරහා මේ පුවත දැන ගන්නා ඇමරිකාවෙන් පිටත සිටින ඔවුන්ගේ දෙමවුපියන් හා වෙනත් ඥාතීන්ද උද්දාමයට පත් වන ආකාරය මාධ්‍ය විසින් වාර්තා කර තිබෙනවා.

දැනට මෙම වෛද්‍ය විද්‍යාලයෙහි ඉගෙන ගන්නා සිසුන් හා අදාළව මෙය ලොතරැයියක් ඇදීමක්. ඔවුන් මෙම වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වීමට තීරණය කර තිබෙන්නේ ශිෂ්‍ය ණය ලබා ගෙන හෝ වෙනත් ක්‍රමයකින් තමන්ගේ පාඨමාලා ගාස්තු පියවීමට සූදානම්වයි. ඒ, එසේ කිරීම වුවද ඔවුන්ට වාසිදායක නිසා. දැන් පාඨමාලා ගාස්තු ඉවත් වීම නිසා ඔවුන්ට අමතර වාසියක් ලැබෙනවා.

මෙසේ යම් අයෙකුට හදිසියේ අනපේක්ෂිත වාසියක් ලැබීම ආර්ථික විද්‍යාවේදී ලොතරැයියක් ඇදීමක් ලෙස හැඳින්වෙනවා. එහි අරුත සාමාන්‍ය ලොතරැයි දිනුමකින් ඔබ්බට යන පුළුල් එකක්. හදිසියේ වැස්සට පොළොව සේදුණු තැනකින් වටිනා මැණිකක් මතු වුවහොත් එය මෙම අර්ථකථනය අනුව ලොතරැයියක් ඇදීමක්. කාත් කවුරුවත් නැති දුර ඥාතියෙකුගේ ලොකු දේපොලක් හදිසියේ අයිති වුවහොත් එය ලොතරැයියක් ඇදීමක්.

කෙසේ වුවත්, මෙම වාසිය ලොතරැයියක් ඇදීමක් වනුයේ ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයේ වත්මන් සිසුන්ට පමණයි. එම වෛද්‍ය විද්‍යාලයට ඉදිරි වසරේ සිට ඇතුළු වීමට නියමිත සිසුන්ට මෙම සහනය ලොතරැයියක් වන්නේ නැහැ. එය ඔවුන් විසින් තරඟ කර ලබා ගත යුතුව තිබෙන දෙයක්.

ඇමරිකාවේ තිබෙන වෛද්‍ය විද්‍යාල දෙසීයක ප්‍රමාණ ප්‍රමාණය අතරින් එකක් හෝ කිහිපයක් විසින් මෙවැනි පාඨමාලා ගාස්තු සහනයක් ලබා දුන් විට එම වෛද්‍ය විද්‍යාලයට ලැබෙන අයදුම්පත් ප්‍රමාණය විශාල ලෙස ඉහළ යනවා. නමුත් සාමාන්‍ය මූලධර්මයක් ලෙස වෛද්‍ය විද්‍යාලයකට ඇතුළු කර ගන්නා සිසුන් ප්‍රමාණය එකවර හිතුමතේට වැඩි කරන්නේ නැහැ. ඒ නිසා, සිදු වීමට නියමිතව තිබෙන්නේ මෙම වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වීම වඩා අසීරු වීමයි. පසුගිය වසරේදීද මෙම අවස්ථාව ලැබී තිබෙන්නේ අයදුම්කරුවන්ගෙන් 3.3%කට පමණයි. දැන් මෙය තවත් අසීරු කාර්යයක් බවට පත් වෙනවා.

වෛද්‍ය විද්‍යාලයකට හෝ වෙනත් විශ්ව විද්‍යාලයකට ඇතුළු වීම වඩා අසීරු වෙනවා යන්නෙන් අදහස් වන්නේ අවසාන වශයෙන් එහි ඇතුළු වන සිසුන්ගේ ගුණාත්මක භාවය ඉහළ යනවා කියන එකයි. මෙය එවැනි උසස් අධ්‍යාපන ආයතනයක ගුණාත්මක භාවය වැඩි කරනවා. කීර්ති නාමය ඉහළ යවනවා. එහි ප්‍රතිඵලය වන්නේ ඉල්ලුම තවත් ඉහළ ගොස් ප්‍රවේශය තවත් අසීරු වීමයි.

පසුගිය වසරේ USNews ශ්‍රේණිගත කිරීම් අනුව, ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලය පැවතියේ 42වන ස්ථානයේයි. පහත තිබෙන්නේ එම ශ්‍රේණිගත කිරීම් අනුව ඇමරිකාවේ හොඳම වෛද්‍ය විද්‍යාල දහය.

1. හාවඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලය

2. ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලය

3. පෙනිසිල්වේනියා විශ්ව විද්‍යාලයේ පෙරල්මාන් වෛද්‍ය විද්‍යාලය

4. කොලම්බියා විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලය

5. ඩියුක් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලය

6. ස්ටෑන්ෆඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලය

7. සැන් ෆ්‍රැන්සිස්කෝහි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලය

8. වැන්ඩර්බිල්ට් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලය

9. සෙන්ට් ලුවිස්හි වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලය

10. කොනෙල් විශ්ව විද්‍යාලයේ වීල් කොනෙල් වෛද්‍ය විද්‍යාලය

ඉහත විශ්ව විද්‍යාල අතරින් සැන් ෆ්‍රැන්සිස්කෝහි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලය හැර අනෙකුත් සියල්ල පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයි. ශ්‍රේණිගත කිරීම් අනුව උඩින්ම තිබෙන වෛද්‍ය විද්‍යාල 21 සැලකුවද (20 ස්ථාන දෙකක් ඇති නිසා), ඒ අතර රාජ්‍ය විශ්ව විද්‍යාල වලට අයත් වෛද්‍ය විද්‍යාල තිබෙන්නේ හතරක් පමණයි. සාමාන්‍ය කරුණක් ලෙස ඇමරිකාවේ හොඳම විශ්ව විද්‍යාල බොහොමයක් පෞද්ගලික විශ්ව විද්‍යාලයි. එහෙත් එම විශ්ව විද්‍යාල ලාබ ලැබීම ඉලක්ක කරන ආයතන නෙමෙයි.

වෙනම ලිපියක දීර්ඝ ලෙස කතා කළ යුතු කරුණක් වුවත්, ඉතිහාසය පුරා විධිමත් අධ්‍යාපනය ගොඩ නැගී තිබෙන්නේ බොහෝ දුරට අධ්‍යාපනය ලබා ගැනීමේ අවශ්‍යතාවයට වඩා අධ්‍යාපනය ලබා දීමේ අවශ්‍යතාවය මත පදනම්වයි. යම් කිසිවෙකුට වෙනත් අයෙකුට හෝ අයට අධ්‍යාපනය ලබා දීමට අවශ්‍ය වූ විට එහි පිරිවැයද එසේ අධ්‍යාපනය ලබා දීමට අවශ්‍ය තැනැත්තාට පෞද්ගලිකව දරන්නට සිදු වෙනවා. කාලය වැය කරමින් අප විසින් මේ ලියන ලිපියද ඒ සඳහා උදාහරණයක්.

එයින් වෙනස්ව, යම් අයෙකුට අධ්‍යාපනය ලබා ගැනීමේ අවශ්‍යතාවය ඇති විට එහි පිරිවැය අධ්‍යාපනය ලබා ගන්නා තැනැත්තාට පෞද්ගලිකව දරන්නට සිදු වෙනවා. මෙම ලිපිය කියවීම වෙනුවෙන් කාලය යොදවන ඔබ ඒ සඳහා උදාහරණයක්. බොහෝ විට මෙම අවශ්‍යතා දෙකම සමපාත වීමක් සිදු වන බැවින් පිරිවැයද අවශ්‍යතාවයේ අනුපාතයට දෙපාර්ශ්වයක් හෝ පාර්ශ්ව වැඩි ගණනක් අතර බෙදී යනවා.

ඇමරිකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල බොහොමයක් නඩත්තු වන්නේ රූත් ගොටස්මන් වැනි අයගේ පරිත්‍යාග වල උදවුවෙන්. පරිත්‍යාගශීලීන්ගේ අරමුණ තමන්ගේ වියදමෙන් වෙනත් අයට තමන් කැමති ආකාරයේ අධ්‍යාපනයක් ලබා දීමයි. මෙසේ පරිත්‍යාග ලෙස ලැබී ඇති මුදල් ආයෝජනය කරමින් එම විශ්ව විද්‍යාල ආදායම් උපයනවා. එය කරන්නේ හැකි උපරිම ලාබයක් ලබා ගත හැකි ආකාරයෙනුයි. ඊට අමතරව, මෙම විශ්ව විද්‍යාල විසින් සිසුන්ගෙන් මුදල් අය කරනවා. අය කරන මුදල තීරණය වන්නේ වෙළඳපොළ මතයි. ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලය විසින් වුවද ඉදිරියේදී කරනු ඇත්තේ සිසුන්ගේ ගිණුම් වෙත පළමුව පාඨමාලා ගාස්තු බැර කර එම මුදල විශ්ව විද්‍යාලය විසින්ම ශිෂ්‍යත්ව අරමුදලකින් පීයවීම විය හැකියි.

පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් වෙනස්ව, රාජ්‍ය විශ්ව විද්‍යාල විසින් බදු මුදලින් පාඨමාලා ගාස්තු සුබසාධනය කරනවා. ඇමරිකාවේ අධ්‍යාපනය ෆෙඩරල් රජයේ කාර්යයක් නොවන නිසා මේ වෙනුවෙන් වැය කෙරෙන්නේ ප්‍රාන්ත රජයයන්ගි බදු ආදායමෙන් කොටසකුයි. ඒ නිසාම, ප්‍රාන්තයෙන් පිට පදිංචි බදු නොගෙවන්නන් හෝ ඔවුන්ගේ යැපෙන්නන් සුබසාධනය කෙරෙන්නේ නැහැ.

ඉහත වෙනස්කම නිසා ඇමරිකාවේ සිසුවෙකුට තමන්ගේ ප්‍රාන්තයේ රාජ්‍ය විශ්ව විද්‍යාලයකට හෝ අනුබද්ධ වෛද්‍ය විද්‍යාලයකට ඇතුළු වුවහොත් සැලකිය යුතු මූල්‍යමය වාසියක් ලැබෙනවා. එහෙත්, ඇතැම් ප්‍රාන්ත වල වෛද්‍ය විද්‍යාල නැහැ. ඒ වගේම, තවත් ප්‍රාන්ත ගණනාවක වෛද්‍ය විද්‍යාල තිබෙන්නේ එකක් හෝ දෙකක් පමණයි. ඒ නිසා, මේ අඩු පිරිවැය විකල්පය පසුපස යන සිසුන්ට තිබෙන්නේ සීමිත තේරීමක්.

ප්‍රාන්ත බදු මුදලින් පාඨමාලා ගාස්තු සුබසාධනය කෙරෙන බැවින්, රාජ්‍ය විශ්ව විද්‍යාල වලට තමන්ගේ ප්‍රාන්තයේ හොඳම සිසුන් ආකර්ෂණය කර ගැනීමට වැඩි අවස්ථාවක් ලැබෙනවා. මෙහිම අතුරු ප්‍රතිඵලයක් ලෙස වෙනත් ප්‍රාන්ත වල හොඳම සිසුන් ආකර්ෂණය කර ගැනීමේ අවස්ථාව ගිලිහී යනවා.

මෙයින් වෙනස්ව, පෞද්ගලික විශ්ව විද්‍යාල විසින් සියලුම ප්‍රාන්ත වල හොඳම සිසුන් පිරිස වෙනුවෙන් තරඟ කරනවා. එසේ කිරීමේදී, ප්‍රාන්ත සරසවි වල අඩු පාඨමාලා ගාස්තු වලට වඩා ආකර්ෂණීය වන පරිදි ශිෂ්‍යත්ව මගින් පාඨමාලා ගාස්තු සුබසාධනය කරනවා. බොහෝ විට මෙම තරඟය ඇමරිකාවෙන් පිටතටද දිගු වන අතර, ඇමරිකාවෙන් පිටත සිට අයදුම් කරන දක්ෂ සිසුවෙකුටද මෙවැනි පෞද්ගලික විශ්ව විද්‍යාලයකට ඇතුළු වීමේදී හා ශිෂ්‍යත්ව ලබා ගැනීමේදී සම අවස්ථා හිමි වෙනවා. එහිදී ඉටු වන්නේ අදාළ විශ්ව විද්‍යාලයට ධනය පරිත්‍යාග කර ඇති අයගේ අභිලාශයනුයි.

රූත් ගොටස්මන් විසින් ලබා දුන් අරමුදල් වල උදවුවෙන් ඉදිරි වසර වලදී ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයය ඇතුළු වන සිසුන්ගේ පාඨමාලා ගාස්තු සුබසාධනය වෙද්දී, බොහෝ දුරට සිදු වනු ඇත්තේ එම වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වන සිසුන්ගේ ගුණාත්මක භාවය විශාල ලෙස ඉහළ යාමයි. මෙහිදී, එම වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වනු ඇත්තේ වෙනත් වෛද්‍ය විද්‍යාලයකින් වුවද සෑහෙන තරමක ශිෂ්‍යත්වයක් දිනා ගත හැකි තරමේ සිසුනුයි. ඒ නිසා, ඒ බොහෝ සිසුන්ට මෙම වෛද්‍ය විද්‍යාලයෙන් ලබා දෙන ශිෂ්‍යත්වයේ ආවස්ථික වටිනාකම ශිෂ්‍යත්ව මුදල තරම්ම ලොකු එකක් වන එකක් නැහැ.

උදාහරණයක් ලෙස ගුණාත්මක භාවය අතින් ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයයට වඩා ඉදිරියෙන් සිටින හා සමාන වෙනත් වෛද්‍ය විද්‍යාල දෙකකට ඇතුළු වීමේ අවස්ථාව තිබෙන සිසුවෙකු ගැන සිතමු. රූත් ගොටස්මන්ගේ පරිත්‍යාගය නොවන්නට ඔහු හෝ ඇය ඉදිරියේ තිබෙන තේරීම මෙවැන්නක්.

1. ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයය - ඩොලර් 280,000ක පාඨමාලා ගාස්තුවක්.

2. ශ්‍රේණිගත කිරීම් අනුව ඉදිරියෙන් සිටින වෛද්‍ය විද්‍යාලය - ඩොලර් 290,000ක පාඨමාලා ගාස්තුවක්.

3. ශ්‍රේණිගත කිරීම් අනුව සමාන වෛද්‍ය විද්‍යාලය - 50%ක ශිෂ්‍යත්වයකින් පසු ඩොලර් 140,000ක පාඨමාලා ගාස්තුවක්.

දැන් මේ සිසුවා විසින් බොහෝ විට ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයය තෝරා ගන්නේ නැහැ. එක්කෝ අඩු මුදලක් ගෙවා සමාන ගුණාත්මක භාවයක් තිබෙන අනෙක් වෛද්‍ය විද්‍යාලයට යනවා. එසේ නැත්නම්, ඩොලර් 10,000ක් වැඩියෙන් ගෙවා වැඩි ගුණාත්මක භාවයක් තිබෙන වෛද්‍ය විද්‍යාලයට යනවා.

ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයය විසින් පාඨමාලා ගාස්තු මුළුමනින්ම සුබසාධනය කිරීමෙන් පසුව මෙවැනි සිසුවෙකු විසින් අනෙක් විකල්ප දෙක අත හැර ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයය තෝරා ගන්නට ඉඩ තිබෙනවා. එහිදී එම සිසුවා වෙනුවෙන් ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයය විසින් ඩොලර් 280,000ක මුදලක් වැය කළත් සිසුවාට එයින් ඇත්තටම ලැබෙන වාසිය ඩොලර් 140,000ක් පමණයි. ඉතිරිය තෙවන විකල්පය තෝරා ගත්තේ වුවද ලැබෙන දෙයක්. අලුත් ශිෂ්‍යත්වය නිසා ආකර්ෂණය වන බොහෝ සිසුන් මෙවැනි විකල්ප තිබෙන අය විය හැකියි. ඒ නිසා, ඒ බොහෝ සිසුන්ට ලැබෙන ශිෂ්‍යත්වයේ ආවස්ථික වටිනාකම ශිෂ්‍යත්ව මුදල තරම්ම ලොකු එකක් වන එකක් නැහැ.

අනෙක් අතට, මෙවැනි වෙනත් විකල්ප තිබෙන සිසුන් විසින් ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයය තෝරා ගනිද්දී ඔවුන් විසින් ලබා ගත හැකිව තිබුණු විකල්ප අවස්ථාවන් වෙනත් පිරිසකට ලැබෙනවා. උදාහරණයක් ලෙස, ශ්‍රේණිගත කිරීම් අනුව සමාන වෛද්‍ය විද්‍යාලයේ 50%ක ශිෂ්‍යත්වය වෙනත් සිසුවෙකුට ලැබෙනවා. ඒ ක්‍රමයට රූත් ගොටස්මන්ගේ පරිත්‍යාගයේ වාසිය ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයයෙන් පිටත වෙනත් වෛද්‍ය විද්‍යාල වලට ඇතුළු වන සිසුන් වෙතද ගලා යනවා.

අවසාන වශයෙන් මේ හරහා සිදුවන වෙනස්කම් වලින් වැඩිම වාසියක් ලබන්නේ ආයතනයක් ලෙස ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයයි. ඒ ඔවුන්ට බඳවා ගත හැකි සිසුන්ගේ ගුණාත්මක භාවය විශාල ලෙස ඉහළ යන නිසා. අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි අංශ වල වෙළඳපොළ තරඟය සරල ලාබ වැඩි කර ගැනීමේ තරඟයක් නෙමෙයි. ලාබ වැඩි කිරීම හා ගැට ගැසුණු ගුණාත්මක භාවය වැඩි කර ගැනීමේ තරඟයක්ද එහි තිබෙනවා. අලුත් ශිෂ්‍යත්ව ක්‍රමය නිසා ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයට අනෙකුත් වෛද්‍ය විද්‍යාල හා තරඟ කොට හොඳම සිසුන් බඳවා ගැනීමට ඉඩ ලැබෙනවා.

විශ්ව විද්‍යාලයක ගුණාත්මක භාවය තීරණය කරන ප්‍රධානම සාධකය එහි සිසුන් නොව ආචාර්ය මණ්ඩලයයි. හොඳ විශ්ව විද්‍යාල ආචාර්ය වරුන් සඳහා විශ්ව විද්‍යාල අතර තරඟයක් තිබෙනවා. අරමුදලේ උදවුවෙන් වඩා හොඳ සිසුන් බඳවා ගැනීමට මෙන්ම, වඩා හොඳ ආචාර්ය මණ්ඩල සාමාජිකයින් බඳවා ගැනීමටද ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයට අවස්ථාව ලැබෙනවා. තමන්ට ලැබෙන වැටුපට අමතරව සිසුන්ගේ ගුණාත්මක භාවය වැනි කරුණුද ආචාර්ය මණ්ඩල සාමාජිකයින් විසින් සැලකිල්ලට ගන්නා බැවින් මේ දෙක එකිනෙකටද සම්බන්ධයි.

ඩොලර් බිලියනයේ තෑග්ග (පළමු කොටස)


රූත් ගොටස්මන් විසින් නිවු යෝර්ක් ප්‍රාන්තයේ ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයට ලබා දුන් ඩොලර් බිලියනයක ආධාර මුදල ගැන ලංකාවේද යම් සාකච්ඡාවක් ඇති වී තිබුණු බව දැක්කා. මේ ආධාර මුදල නිසා මෙයින් ඉදිරියට එම වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වන සිසුසිසුවියන්ට පාඨමාලා ගාස්තු නොගෙවා නොමිලයේ අධ්‍යාපනය ලබා ගන්න අවස්ථාව ලැබෙනවා. 

පාඨමාලා ගාස්තු නොගෙවා වෛද්‍ය අධ්‍යාපනය ලබා ගැනීම ලංකාවේ පසුබිමේ සිට සිතන අයෙකුට විශේෂ දෙයක් නොවුනත්, ඇමරිකාව ඇතුළු තවත් රටවල් බොහොමයක එවැනි අවස්ථාවක් කියා කියන්නේ දුලබ අවස්ථාවක්. ඇමරිකාවේ වෛද්‍ය උපාධියක් කියා කියන්නේ දෙවන උපාධියක්. වෛද්‍ය විද්‍යාලයකට ඇතුළු වීම පිණිස තරඟ විභාගයට පෙනී සිටිය හැක්කේ වසර හතරක පළමු උපාධි පාඨමාලාවක් සාර්ථක ලෙස හැදෑරීමෙන් පසුව පමණයි. මේ පළමු උපාධිය වෙනුවෙන්ද ඇමරිකානු සිසුවෙකුට පාඨමාලා ගාස්තු ගෙවන්නට සිදු වෙනවා. 

පසුගිය (2023/24) අධ්‍යයන වර්ෂයේදී ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයේ පාඨමාලා ගාස්තුව පමණක් වසරකට ඩොලර් 59,458ක් වූ අතර, අනෙකුත් ගාස්තු හා වෛද්‍ය රක්ෂණ ගාස්තුව එකතු වූ විට මෙම මුදල වසරකට ඩොලර් 69,873ක්. 

ශ්‍රේණිගත කිරීම් වලින් ඉදිරියෙන් සිටින පෞද්ගලික විශ්ව විද්‍යාල ගණනාවකම ප්‍රථම උපාධියක් හැදෑරීම සඳහාද පාඨමාලා ගාස්තු ලෙස වසරකට මීට ආසන්න මුදලක් ගෙවන්නට සිදු වෙනවා. වෛද්‍ය සිසුවෙකු විසින් මේ වියදම එක දිගට වසර අටක කාලයක් දැරිය යුතු අතර, වෛද්‍ය වෘත්තියට පිවිසිය හැක්කේ ඉන් පසුවද වසර ගණනාවක සීමාවාසික පුහුණුවක් අවසන් කිරීමෙන් පසුවයි. මෙම වසර ගණන අදාළ වෛද්‍ය ක්ෂේත්‍රය අනුව වෙනස් වන්නක්.

ඇමරිකාවේ පිළිගත් වෛද්‍ය විද්‍යාල දෙසීකට ආසන්න ප්‍රමාණයක් තිබෙනවා. මේවා සම්ප්‍රදායික (ඇලෝපති) වෛද්‍ය අධ්‍යාපනයක් සමඟ MD උපාධිය ලබා දෙන වෛද්‍ය විද්‍යාල සහ DO (ඔස්ටියෝපති) උපාධි ලබා දෙන වෛද්‍ය විද්‍යාල ලෙස වර්ග කළ හැකියි. වෙනත් රටවල කෙසේ වුවත්, මේ වන විට ඇමරිකාවේ මෙම දෙවර්ගයේ වෛද්‍ය අධ්‍යාපන පුහුණු මාදිලි අතර විශාල වෙනසක් නැහැ. ඔස්ටියෝපති වෛද්‍යවරුන් විසින් හිපොක්‍රටික් වෛද්‍ය ප්‍රතිඥාව වෙනුවට ඔස්ටියෝපති වෛද්‍ය ප්‍රතිඥාව ලබා දෙනවා. 

මේ වන විට ඇමරිකාවේ පිළිගත් MD වෛද්‍ය උපාධියක් ලබා දෙන වෛද්‍ය විද්‍යාල 157ක් ඇති අතර, පිළිගත් DO උපාධියක් ලබා දෙන වෛද්‍ය විද්‍යාල 41ක් තිබෙනවා. MD වෛද්‍ය උපාධිය ලබා දෙන වෛද්‍ය විද්‍යාල අතරින් 63ක් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වන අතර ඉතිරි 94 ප්‍රාන්ත රාජ්‍යයන් විසින් සුබසාධනය කෙරෙන වෛද්‍ය විද්‍යාලයි. MD වෛද්‍ය උපාධිය ලබා දෙන පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අතරින් දෙකක් හැර ඉතිරි සියල්ල ලාබ ලැබීම ඉලක්ක කර නොගත් ආයතනයි. ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයද එවැන්නක්. 

සම්ප්‍රදායික වෛද්‍ය අධ්‍යාපනයක් සමඟ MD උපාධිය ලබා දෙන වෛද්‍ය විද්‍යාල වලට සාපේක්ෂව, DO උපාධිය ලබා දෙන වෛද්‍ය විද්‍යාල 41 අතරින් 34ක්ම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වන අතර ඒවායින් 5ක් ලාබ ලැබීම ඉලක්ක කළ ආයතනයි. විශේෂඥ වෛද්‍යවරුන් නොවන සාමාන්‍ය වෛද්‍යවරුන් බිහි කිරීමේදී DO උපාධි ලබා දෙන වෛද්‍ය විද්‍යාල ඉදිරියෙන් සිටිනවා. 

මේ අනුව, ඉහත විස්තර කර වෛද්‍ය උපාධි වර්ග දෙකම සැලකූ විට ඇමරිකාවේ වෛද්‍ය විද්‍යාල 198ක් ඇති අතර ඒවායින් 97ක් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයි. ඉතිරි 101 ප්‍රාන්ත රාජ්‍ය අරමුදල් වලින් සුබසාධනය වන වෛද්‍ය විද්‍යාලයි. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අතරින් 90ක්ම ලාබ ලැබීම අරමුණු කර නොගත් ආයතනයි. 

ඇමරිකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල මෙන්ම රාජ්‍ය විශ්ව විද්‍යාලද පාඨමාලා ගාස්තු අය කරන බැවින් රාජ්‍ය විශ්ව විද්‍යාලයක වෛද්‍ය විද්‍යාලයකට ඇතුළු වුවද ආසන්නව සමාන පාඨමාලා ගාස්තුවක් ගෙවන්නට සිදු වෙනවා. සාමාන්‍යයෙන් ඇමරිකාවේ ප්‍රාන්ත රජයයන් විසින් ප්‍රාන්තයේ සිසුන්ගේ උසස් අධ්‍යාපන පාඨමාලා ගාස්තු සුබ සාධනය කරන බැවින් තමන්ගේ ප්‍රාන්තයේ රාජ්‍ය විශ්ව විද්‍යාලයකට ඇතුළු වන සිසුවෙකුට අඩු පාඨමාලා ගාස්තුවක් ගෙවා වෛද්‍ය අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව ඇතත්, සාමාන්‍ය අගයයක් ලෙස ප්‍රාන්තයේ සිසුවෙකු විසින්ද සෞඛ්‍ය රක්ෂණ ගාස්තුව ඇතුළත්ව ඩොලර් 41,737ක වාර්ෂික පාඨමාලා ගාස්තුවක් ගෙවිය යුතුයි. ප්‍රාන්තයෙන් පිට රාජ්‍ය වෛද්‍ය විද්‍යාලයකට යන්නේනම් මෙම වියදම වසරකට ඩොලර් 67,308ක්. මීට සාපේක්ෂව ප්‍රාන්තයෙන් පිට පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක අධ්‍යාපනය ලැබීම සඳහා අදාළ සාමාන්‍ය වියදම වසරකට ඩොලර් 70,596ක්.

ඉහත වියදමට ඇතුළත් වන්නේ පාඨමාලා ගාස්තු හා වෛද්‍ය රක්ෂණ ගාස්තු පමණයි. මීට අමතරව පොත්පත්, නවාතැන්, ආහාරපාන ආදිය වෙනුවෙන්ද වියදම් දරන්නට සිදු වෙනවා. ඉදිරි වසරේදී (2024/25) ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වන සිසුවෙකුගේ වසර හතරක වියදම එම වෛද්‍ය විද්‍යාලය විසින් ඇස්තමේන්තු කර තිබුණේ පහත පරිදියි.

වෛද්‍ය විද්‍යාල ගාස්තු පමණක්:

පළමු වසර - ඩොලර් 71,903

දෙවන වසර - ඩොලර් 72,583

තෙවන වසර - ඩොලර් 72,583

සිවුවන වසර - ඩොලර් 70,053

මුළු වියදම:

පළමු වසර - ඩොලර් 95,123

දෙවන වසර - ඩොලර් 96,505

තෙවන වසර - ඩොලර් 101,568

සිවුවන වසර - ඩොලර් 101,553

සාමාන්‍ය කරුණක් ලෙස, ප්‍රාන්තයෙන් පිට වෛද්‍ය විද්‍යාලයක අද්‍යාපනය ලැබීම සඳහා ඩොලර් ලක්ෂ හතරකට ආසන්න වියදමක් දරන්නට සිදු වන අතර ප්‍රාන්තයේ තිබෙන රාජ්‍ය විශ්ව විද්‍යාලයක වෛද්‍ය අධ්‍යාපනය හැදෑරුවද මෙම වියදම ඩොලර් ලක්ෂ තුනකට ආසන්න විය හැකියි. මීට අමතරව, වෛද්‍ය විද්‍යාල ප්‍රවේශයට පෙර වසර හතරක පූර්ව-වෛද්‍ය උපාධි පාඨමාලාවක්ද හැදෑරිය යුතු බැවින් ඒ වෙනුවෙන්ද සැලකිය යුතු මුදල් ආයෝජනයක් කරන්නට සිදු වෙනවා. මේ සියලු වියදම් දරමින් ඇමරිකාවේ වෛද්‍ය වරයෙකු වෘත්තියට පිවිසෙන්නේ ඩොලර් ලක්ෂ කිහිපයක ණයකරුවෙකු ලෙසයි.

ඉහත වියදම් දරන්නට වුවද, ඇමරිකාවේ වෛද්‍යවරයෙකුට එම වියදම ආවරණය කරගනිමින් තමන්ගේ ආයෝජනයට මෙන්ම ගන්නා අවදානමටද ප්‍රමාණවත් ප්‍රතිලාභ අනුපාතිකයක් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ නිසා, ඇමරිකාවේ වෛද්‍ය අධ්‍යාපනයට විශාල ඉල්ලුමක් තිබෙනවා. එමෙන්ම, මුදල් ගෙවීමේ හැකියාව තිබූ පමණින් වෛද්‍ය විද්‍යාලයකට ඇතුළු විය නොහැකියි. ප්‍රස්තුත ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලය සැලකුවහොත්, පසුගිය වසරේදී එහි වෛද්‍ය අධ්‍යාපනය ලබා ගැනීම සඳහා අයදුම්කළ අයදුම්කරුවන් 9,782 දෙනෙකු අතරින් එම අවස්ථාව හිමි වී තිබෙන්නේ 326 දෙනෙකුට (3.3%) පමණයි.

ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලය වැනි වෛද්‍ය විද්‍යාලයකට ඇතුලත් වීමේ අවස්ථාව ලබා ගන්නා බොහෝ දෙනෙකුට වෙනත් වෛද්‍ය විද්‍යාල වලින්ද එවැනිම අවස්ථාවක් හිමි වෙනවා. ඕනෑම සිසුවෙකු උත්සාහ කරන්නේ ශ්‍රේණිගත කිරීම් වලින් ඉහළ මට්ටමක ඇති සහ අඩු වියදමකින් සම්පූර්ණ කළ හැකි උපාධියක් ලබා ගන්නටයි. ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වීමේ අවස්ථාව ලද සිසුන් 326 දෙනෙකු අතරින් එම වෛද්‍ය විද්‍යාලයට ඇතුළත්ව ඇති ප්‍රමාණය 183ක් පමණයි. 

එක් සිසුවෙකුගෙන් වසරකට ඩොලර් 71,000 බැගින් අය කළහොත්, සිසුන් 183 දෙනෙකුගේ පාඨමාලා ගාස්තු ලෙස වසරකට ඩොලර් මිලියන 13ක පමණ මුදලක් එකතු වෙනවා. ලාබ ලැබීම ඉලක්ක නොකරන වෛද්‍ය විද්‍යාලයකට මෙම මුදල එහි වසරක වියදම් වෙනුවෙන් වැය කරන්නට සිදු වෙනවා. සරසවියක වියදමෙන් වැඩි කොටසක් ආචාර්ය මණ්ඩලයේ වැටුප් හා ප්‍රතිලාභයි. විශේෂයෙන්ම වෛද්‍ය පීඨයක ආචාර්යවරුන්ට ඔවුන්ගේ වෙළඳපොළ අගය හා ගැලපෙන ඉහළ වැටුප් ගෙවන්නට සිදු වෙනවා. 

ඩොලර් බිලියනයක මුදලක් දිගුකාලීනව ආයෝජනය කිරීමෙන් අඩු වශයෙන් 8%ක පමණ සාමාන්‍ය වාර්ෂික ප්‍රතිලාභයක් ලබා ගත හැකියි. ඒ කියන්නේ වසරකට ඩොලර් මිලියන 80ක පමණ මුදලක්. ලාබ ලැබීම ඉලක්ක නොකරන වෛද්‍ය විද්‍යාලයකට මෙවැනි ආදායම් ප්‍රවාහයක් ඇත්නම්, එම ආදායම යොදවා සදාකාලිකවම සිසුන්ගේ පාඨමාලා ගාස්තු මුළුමනින්ම සුබසාධනය කළ හැකියි. එසේ කිරීමෙන් පසුවද, ආයෝජනය වසරින් වසර වර්ධනය වනු මිස ක්ෂය වන්නේ නැහැ. ඩොලර් බිලියනයක ආධාර මුදලක් ලැබූ ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලය කරන්නට යන්නේ මෙයයි.

කෙසේ වුවත්, ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලය මෙවැන්නක් කරන පළමු වෛද්‍ය විද්‍යාලය නෙමෙයි. මෙවැනි විශාල ආධාර මුදල් වල උදවුවෙන් පාඨමාලා ගාස්තු මුළුමනින්ම සුබසාධනය කරන තවත් වෛද්‍ය විද්‍යාල කිහිපයක්ම ඇමරිකාවේ තිබෙනවා. සාමාන්‍යයෙන් ඇමරිකාවේ ලාබ ලැබීම ඉලක්ක නොකරන පෞද්ගලික විශ්ව විද්‍යාල බොහොමයක් අඩු ආදායම්ලාභී පවුල් වල සිසුන්ගේ පාඨමාලා ගාස්තු වලින් කොටසක් හෝ මුළුමනින්ම මේ ආකාරයෙන් සුබසාධනය කරනවා.

මතු සම්බන්ධයි.

වෙබ් ලිපිනය: