වෙබ් ලිපිනය:

Showing posts with label වී. Show all posts
Showing posts with label වී. Show all posts

Saturday, January 25, 2025

ලාබය වී මෝල්හිමියාටද නැත්නම් වී ගොවියාටද?


ලංකාවේ වී මෝල්හිමියන්ගේ මාෆියාව ගැන ජනප්‍රිය කතාවක් තිබෙනවා. ඒ කතාව අනුව, වී මෝල්හිමියා කරන්නේ මේ වගේ වැඩක්.

"අස්වනු කැපෙද්දී තමන්ගේ නියෝජිතයෝ දමලා කුඹුරටම ගිහින් වී ටික කුණු කොල්ලෙට ගන්නවා. දැන් වී ටික තියෙන්නේ මෝල්හිමියා ළඟ. ඊට පස්සේ ඒ වී තොග සහල් කර එළියට දමන එක පාලනය කිරීම මගින් කෘතීම සහල් හිඟයක් හදනවා. ඒ සහල් හිඟය පෙන්වා එහි උදවුවෙන් සහල් මිල වැඩි කරනවා. ඊට පස්සේ දිගින් දිගටම වැඩි මිලට සහල් එළියට දමනවා. නමුත් එහෙම කරන්නේ සැපයුම පාලනය කරමිනුයි. මේ විදිහට සැපයුම පාලනය කිරීම මගින් සහල් හිඟය පෙන්වමින් මිල තව තව වැඩි කරනවා. එසේ කරමින් ලාබ එකතු කර ගන්නවා. ඔය විදිහට මිල ඉහළ මට්ටමක තියාගෙන ඉඳලා ඊළඟ කන්නේ අස්වනු කැපෙන්න කිට්ටු වෙද්දී අර එකතු කරගත් වී මහා පරිමාණයෙන් සහල් කර අඩු මිලට වෙළඳපොළට දැමීම මගින් සහල් මිල බස්සනවා. එහෙම සහල් මිල බස්සලා එහි උදවුවෙන් නැවතත් වී ටික කුණු කොල්ලෙට ගන්නවා."

මම හිතන්නේ ඔය වගේ දෙයක් වෙනවා කියලා විශ්වාස කරන, නමුත් කතාව හරියට පැහැදිලිව ගලපාගන්න අමාරු අයට ඔය විස්තරය කියෙවුවහම "හරියටම හරි! ඕක තමයි වෙන්නේ" කියලා හිතෙයි. මෙය විස්තරාත්මක සහ බැලූ බැල්මටම තර්කානුකූල සේ පෙනෙන කතාවක්. ඔය දේ ඔය විදිහටම වෙනවා කියන එක කෙනෙකුට ඒත්තු ගන්වන්න අපහසු නැහැ. ඒ වගේම, වරින් වර මහ පොළොවේ පෙනෙන සංයුක්ත නිරීක්ෂණ එක්ක මේ කතාව ගලපන්නත් පුළුවන්. 

මෙහි මම ලියා තිබෙන තරම් සංක්ෂිප්තව සහ නිරවුල්ව විස්තර කරන්න අමාරු විය හැකි වුවත්, මෙය කියවන විශාල පිරිසක් වුවද ඇත්තටම සිදු වන දේ ලෙස හිතන්නේ මීට කිට්ටු දෙයක්. වෙළඳපොළ ක්‍රියාකාරිත්වය ගැන හොඳ දැනුමක් සහ අවබෝධයක් තිබෙන අයෙකුට හැර වෙනත් අයෙකුට මේ කතාවේ තිබෙන වැරදි හා අඩුපාඩු පැහැදිලි කරන එක සෑහෙන්න අමාරු වැඩක්. ඒ අවබෝධය තිබෙන බොහෝ දෙනෙකුට වුවත්, මේ කතාවේ අවුලක් තිබෙන බව තේරුණත්, අවුල පහසුවෙන් විස්තර කළ හැකියයි මම හිතන්නේ නැහැ. 

ඇත්තටම වෙන්නේ ඔය වගේ දෙයක් කියන නිගමනයට ආවට පස්සේ ප්‍රශ්නය විසඳිය හැකි ක්‍රමය යෝජනා කරන්න අමාරු නැහැ. පළමු පියවර සහල් වලට පාලන මිලක් නියම කිරීම. මේ ප්‍රවාදය විශ්වාස කරන බොහොමයක් අයට අනුව, සහල් වලට පාලන මිලක් නියම කරපු ගමන්ම වී මෝල්හිමියෝ සහල් සැපයුම තව දුරටත් සීමා කරලා සහල් හිඟයක් ඇති කරනවා. ඒකට විසඳුම රජය මැදිහත් වෙලා වී මෝල්හිමියන් සතු වී තොග සහල් කර පාලන මිලට වෙළඳපොලට නිකුත් කරන බවට වග බලා ගැනීම. 

නමුත්, මේ ප්‍රවාදය විශ්වාස කරන අයට අනුවම, ඔය විදිහේ මැදිහත් වීමක් කළාට පස්සේ ඊළඟ කන්නයේදී වී මෝල්හිමියන් විසින් වී මිලදී නොගෙන ඉන්න පුළුවන්. එහෙම වුනොත්, වී ගොවීන්ට තමන්ගේ වී ටික විකුණගන්න බැරි වෙනවා. ඒකටත් විසඳුමක් තිබෙනවා. ඒ තමයි රජය මැදිහත් වී සහතික මිලකට වී ටික මිල දී ගන්න එක. ඒ වැඩේ මේ වෙලාවේ හදිස්සියේ කළ නොහැක්කේ ඒ සඳහා අවශ්‍ය ගබඩා පහසුකම් රජය සතුව නැති නිසා. ගබඩා ප්‍රශ්නය විසඳාගත් විට මේ ප්‍රශ්නය විසඳන්න පුළුවන්. ඊට පස්සේ වී මිල තීරණය කරන්නේ රජය. සහල් මිල තීරණය කරන්නෙත් රජය. 

තව දුරටත් ඉතිරි වන ප්‍රශ්නයක් වන්නේ රටේ සහල් නිෂ්පාදනය රටේ සහල් පරිභෝජන අවශ්‍යතාවයට වඩා අඩු මට්ටමක තිබීම. මේකටත් විසඳුම් තිබෙනවා. ඒ තමයි දිගුකාලීනව රටේ සහල් නිෂ්පාදනය වැඩි කර ගන්නා අතර, එම ඉලක්කයට යන තුරු හරියටම ඉල්ලුම හා සැපයුම අතර වෙනසට සමාන සහල් ප්‍රමාණයක් පමණක් ආනයනය කිරීම සහ ඒ විදිහට ආනයනය කරන සහල් රජය විසින් නියම කර ඇති පාලන මිලට විකිණීම. දැන් ඒ ප්‍රශ්නයත් විසඳිලා. එකම දේ මේ වැඩේ කරන්න රටේ සහල් පරිභෝජනය සහ සහල් සැපයුම පිළිබඳ දත්ත හරියටම අවශ්‍ය වෙනවා. නැත්නම් වැඩේ වැරදෙන්න පුළුවන්.

මේ සමස්ත විසඳුම ක්‍රියාත්මක කිරීම සඳහා රජය විසින් කළ යුතු විශාල කාර්ය භාරයක් තියෙනවා. පළමුව, වී ගොවියාගේ පිරිවැය රජය විසින් හරියට ගණන් හදලා, වී ගොවියාට සාධාරණ ලාබයකුත් තියලා වී මිල තීරණය කරන්න වෙනවා. වී ගොවියාගේ ලාබය කොපමණ විය යුතුද කියන එක තීරණය කරන්නේ රජය. ඊළඟට වී එකතු කර ගබඩා කර තබා ගැනීමේ, සහල් කිරීමේ හා බෙදා හැරීමේ පිරිවැය හරියටම නිවැරදිව ගණනය කරන්න වෙනවා. වෙළෙන්දන්ගේ ලාබය කොපමණ විය යුතුද කියන එකත් තීරණය කරන්න වෙනවා. මේ අනුව තමයි සහල් මිල තීරණය කරන්නේ. ඔය සියල්ලම කරන්නේ රජය විසින්. 

ඕකට තමයි සමාජවාදී මධ්‍යගත සැලසුම් ආර්ථික ක්‍රමය කියා කියන්නේ. මේ ක්‍රමය ඇතුළේ රජයට සෘජු සම්බන්ධයක් නැති වී ගොවියෝ, වී මෝල්හිමියෝ, තොග හා සසිල්ලර වෙළෙන්දෝ, ආනයනකරුවෝ ඉන්න පුළුවන්. එහෙම හිටියා කියලා මෙය මධ්‍යගත සැලසුම් ක්‍රමයක් නොවෙන්නේ නැහැ. මොකද ඔය ක්‍රමය ඇතුළේදී වී ගොවියෝ, වී මෝල්හිමියෝ, තොග හා සසිල්ලර වෙළෙන්දෝ, ආනයනකරුවෝ ඇතුළු සියල්ලන්ම ඉන්නේ රජයේ මධ්‍යගත සැලසුම ඇතුළේ. ඒ අය රජය නොවන්නේ නමට පමණයි. 

වී ගොවියාගේ ලාබය තීරණය කරන්නේ රජය. වී මෝල්හිමියාගේ, තොග හා සිල්ලර වෙළෙන්දාගේ, ආනයනකරුවගේ ලාබය තීරණය කරන්නෙත් රජය. ඒ හැමෝම මධ්‍යම සැලසුම් යාන්ත්‍රණයේ දැති රෝද පමණයි. කිසිවෙකුටත් ස්වාධීනව කටයුතු කර තමන්ගේ ලාබ හොයන්න බැහැ. 

ධනවාදී වෙළඳපොළ ආර්ථිකයක් කියා කියන්නේ වෙළඳසැල් වල ගොඩනැගිලි සහ ඒවායේ අයිතිකරුවන් හා සේවකයින් නෙමෙයි. ඒ භෞතික දේවල් වලින් එහාට ගිය සංකල්පයක්. සමුපකාර හෝ රජයටම අයිති ව්‍යාපාර ක්‍රියාත්මකව තිබුණත්, මූලික ලක්ෂණ අනුව රටක තිබෙන ආර්ථික ක්‍රමය ධනවාදී වෙළඳපොළ ආර්ථික ක්‍රමයක් වෙන්න පුළුවන්. ඒ වගේම, පෞද්ගලික අංශය විශාල ලෙස ආර්ථික ක්‍රියාවලියට සම්බන්ධ වී සිටින අතරම සමාජවාදී මධ්‍යගත සැලසුම් ආර්ථික ක්‍රමයක් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. වැදගත් වෙන්නේ ආර්ථිකය ක්‍රියාත්මක වන මූලික මූලධර්ම මොනවද කියන එකයි.

ඉහත හේතුව නිසාම, ධනවාදී වෙළඳපොළ ආර්ථිකයක් පැවතීම සඳහා රාජ්‍ය මැදිහත්වීම් කිසිවක් නැති වෙන්න අවශ්‍ය නැහැ. එහෙම තැන් ලෝකයේ නැහැ. වැදගත් වෙන්නේ රජය මැදිහත් වෙන්නේ වෙළඳපොළ කාර්යක්ෂමතාවය වැඩි කරන විදිහටද එහෙම නැත්නම් වෙළඳපොළට බාධා වෙන විදිහටද කියන එකයි. 

නැවත මුලට ගියොත්, දුෂ්ඨ වී මෝල්හිමියාගේ කතාවේ එක කොටසක් මේ වෙද්දී ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ තමයි වී මෝල්හිමියන් විසින් සහල් තොග සඟවනවා කියන කතාව. ජනතාව අනුරව ගල් ගුහාවට යැවුවේ එහි සිටින බව විශ්වාස කළ ගිණි මකරාව මරන්න. ගල් ගුහාව ඇතුළේ ඔය කියන විදිහේ ගිණි මකරෙක් නැති බව ඩඩ්ලි සිරිසේන වගේ වී මෝල්හිමියන් විසින් දිගින් දිගටම කිවුවා. නමුත් ගල් ගුහාවට ගිහින් නැති මිනිස්සු ඒ කතා විශ්වාස කරන්නේ නැහැ. 

ගල් ගුහාවට ගිහින් නැති අපි වගේ අය ගල් ගුහාවේ ගිණි මකරෙක් ඉන්න විදිහක් නැහැ කියන්නේ ලෝකයේ ගිණි මකරු කියා ජාතියක් ඉන්න බවට සාක්ෂි නැති නිසා සහ ඇතැම් මූලික දැනුම් අනුව ඒ කියන විදිහේ සත්තු වර්ගයක් සිටිය නොහැකි නිසා. ඒ හැර ගල් ගුහාවට ගිහින් පරීක්ෂා කර බලලා නෙමෙයි. දැන් අනුර ගල් ගුහාවේ ගිණි මකරෙක් නැති බව කියන්නේ ගල් ගුහාව පරීක්ෂා කරලා. ඒ විදිහට පරීක්ෂා කර තහවුරු කරගත්තට පස්සේ ඔහු ගල් ගුහාවේ ගිණි මකරෙක් නැති බව කීමෙන් නොනැවතී ගල් ගුහාවේ ගිණි මකරෙක් ඉන්න විදිහක් නැත්තේ ඇයි කියන එකත් පැහැදිලි කරනවා.

එක දෙයක් ගැනනම් ජනාධිපති අනුරව විශේෂයෙන්ම අගය කළ යුතුයි. ඒ මහජනයා ඉදිරියට ඇවිත් මේ විදිහට පැහැදිලි කිරීම් කරන එක ගැන. මේක තමයි මහජන දේශපාලනය. සන්නිවේදන හැකියාවන්ගේ සීමාවන් නිසා හෝ හැම දෙයක්ම මහජනයා දැනගත යුතු නැතැයි සිතපු නිසා මීට කලින් රාජ්‍ය නායකයෝ කවුරුවත් ඔය මට්ටමට ගිහින් පැහැදිලි කිරීම් කළේ නැහැ. ඒ අනුව, පැහැදිලි කිරීම් වල මොන තරම් වැරදි හා අඩුපාඩු තිබිය හැකි වුවත්, මෙය ඉතාම හොඳ පූර්වාදර්ශයක්.

අනුර කියන විදිහට වී මෝල්හිමියන් විසින් වී හංගන්නේ නැහැ. එහෙම හංගන්න තර්කානුකූල හේතුවකුත් නැහැ. හැබැයි ඔහු එහෙම කිවුවා කියලා මුලින්ම විස්තර කරපු ජනප්‍රිය ප්‍රවාදය අවලංගු වෙන්නේ නැහැ. වී හැංගුවේ නැතත්, කතාවේ විස්තර කෙරෙන ආකාරයට වී කුණු කොල්ලෙට ගැනීම සහ පසුව වැඩි මිලට විකිණීම කරන්න පුළුවන්නේ.

හැබැයි අනුර බිඳ දමන්නේ වී මෝල්හිමියන් විසින් වී හංගන්නේ නැහැ කියන මතය පමණක් නෙමෙයි. ඔහු එතැනින් එහාට ගිහින් වී මෝල්හිමියන් විසින් කුණු කොල්ලෙට වී මිල දී ගන්නවා කියන මතයත් බිඳ දමනවා. අනුර කියන විදිහට දැන් වෙන්නේ මී මෝල්හිමියන් විසින් "ඕනෑවට වඩා" වැඩි මිලකට වී මිල දී ගන්න එක.

අනුරට අනුව, වී මෝල්හිමියන් විසින් දැන් වී මිල දී ගන්නේ කිලෝව රුපියල් 140ක පමණ මිලකටයි. ඒ මිලට වී අරගෙන කිලෝව රුපියල් 220ට හාල් විකුණන්න බැහැ. රුපියල් 220ට හාල් විකුණන්නනම් රුපියල් 117ට වී මිල දී ගන්න වෙනවා. ඒ කියන්නේ වී සහල් කිරීමේ පිරිවැය පිළිබඳ රජයේ හෝ අනුරගේ ඇස්තමේන්තු සහ ආණ්ඩුවේ මධ්‍යගත සැලසුම අනුව අතරමැදියන් විසින් ලබා ගත යුතු ලාබ එකතු කළාට පස්සේ වී සහ සහල් කිලෝවක මිල ගණන් අතර අනුපාතය 1.88 පමණ වෙනවා. මේ අනුපාතය අනුව, රුපියල් 140ට මිල දී ගන්න වී සහල් කර විකුණන්න වෙන්නේ රුපියල් 263ක පමණ මිලකටයි. 

අනුර කියන විදිහට දැන් රතු කැකුළු සහල් විකිණෙන්නේ රුපියල් 280 වැනි මිලකට. වී මෝල්හිමියන් විසින් වී හංගා නැතත්, වී කුණු කොල්ලයට අරගන්නේද නැතත්, ඔවුන් ඕනෑවට වඩා ලාබයක් ලබනවා කියා තව දුරටත් තර්ක කරන්න පුළුවන්. කොහොම වුවත්, ඒ ලාබය කවර හෝ ක්‍රමයකින් "අවශ්‍ය ප්‍රමාණයට" සීමා කළත්, ආණ්ඩුවට අවශ්‍ය මිලට පාරිභෝගිකයාට සහල් ලබා දීමේ හැකියාවක් නැහැ. එවැන්නක් කළ හැක්කේ වී ගොවියාට ගෙවන මිල අඩු කිරීම මගින් පමණයි. පෙනෙන විදිහට අනුර ඉලක්ක කරන මැදිහත්වීම තුළ සිදු වෙන්නෙත් එයයි. නිශ්චිතව සූත්‍රගත කළොත් අතරමැදියාගේ ලාබ සීමා කිරීමෙන් නොනැවතී "වී ගොවියා විසින් උපයන අසාධාරණ ලාබය සීමා කිරීම". ඒ සඳහා රජය සතු වැඩ පිළිවෙලක් තිබෙන බවයි අනුර කියන්නේ.

සහල් වෙළඳපොළේ ඇති වී තිබෙන ප්‍රශ්නය කුමක්ද? මේ ප්‍රශ්නය විසඳිය හැක්කේ කොහොමද? මේ ප්‍රශ්න වලට පිළිතුරුත් එක්ක විවිධ ආර්ථික ක්‍රම ගැන සන්සන්දනයක්ද කරමින් ඊළඟ ලිපියෙන් හමුවෙමු! 

මේ සමඟ පළ කරන පළමු ඡායාරූපයේ තිබෙන්නේ ඊයේ දිනයේදී අපේ ගෙවල් ළඟ තිබෙන වෙළඳසැලකදී ගත් රතු කැකුළු සහල් කොට්ටයක ඡායාරූපයක්. මා රතු කැකුළු ලෝලියෙකු නෙමෙයි. එහෙත් අවශ්‍යනම් එම වෙළඳසැලෙන් අවශ්‍ය පමණ රතු කැකුළු සහල් මිල දී ගන්න පුළුවන්. තවත් ලංකාවේ සහල් වර්ග ගණනාවක් මිල දී ගන්නත් පුළුවන්. ලෝකයේ වෙනත් රටවල නිපදවන වෙනත් සහල් වර්ග විශාල ප්‍රමාණයක් මිල දී ගන්න වගේම පොල් සහ පොල් නිෂ්පාදනත් කිසිදු හිඟයකින් තොරව මිල දී ගන්න පුළුවන්. ගාපු පොල්, පොල් කිරි ටින්, ලෙලි ගැසූ පොල්, ලෙලි සහිත පොල්, කුරුම්බා, කොට්ට පොල්, පොල් වතුර ආදී බොහෝ දේවල් එම වෙළඳසැලේ ඇති තරම් තිබෙනවා. දෙවන ඡායාරූපයේ තිබෙන්නේ ලෙලි ගැසූ පොල් තොගයක්. අපිනම් අවශ්‍ය වූ විට ආහාර පිසින්න භාවිතා කරන්නේ පොල් කිරි ටින් සහ ගාපු පොල්. පොල් ගාන්න මහන්සි වෙනවාට වඩා මේවා භාවිතා කරන එක පහසුයි. රසේ එහෙමට දැනෙන වෙනසකුත් නැහැ. 

අපට අවශ්‍යනම් ගාපු පොල් වලින් සම්බෝල හදාගන්න පුළුවන්. පොල් මිල දී ගෙන පොල් ගාලා සම්බෝල හදාගන්නත් පුළුවන්. ලෙලි සහිත පොල් මිල දී ගෙන ලෙලි ගහලා, පොල් ගාලා සම්බෝල හදාගන්නත් පුළුවන්. අපට ප්‍රශ්නයක් නැත්නම් සහ අවශ්‍ය මිල ගෙවන්න සූදානම්නම්, පොල් නාස්ති වෙනවද නැද්ද කියන එක කවුරුවත් ප්‍රශ්නයක් කරගන්නේ නැහැ. මේ හාල් පොල් හැම දෙයක්ම දුර කතර ගෙවා අපේ අත ලඟට එන්නේ රජයේ කිසිදු මැදිහත් වීමක් නැතිවයි. ඒ තමයි වෙළඳපොළ ක්‍රමයේ අපූර්වත්වය! 


Thursday, January 23, 2025

මෝල්හිමියෝ වී හංගනවද?

ලංකාවේ වී මෝල්හිමියන්ගේ මාෆියාවක් ඇති බවත්, අස්වනු කැපෙද්දී වී මෝල්හිමියන් විසින් කුණු කොල්ලයට මිල දී ගන්නා වී තොග පසුව සහල් කර අධික ලාබයක් තියාගෙන විකුණන බවත් ජනප්‍රිය කතාවක්. මේ කතාව "පොදු ජනයාගේ" කතාවක් මිස මාලිමාවේ කතාවක් නොවුනත්, මාලිමාව විසින් කාලයක් තිස්සේ මේ ජනප්‍රිය අදහස උස්සාගෙන ගියා. මාලිමාවට ප්‍රතිවිරුද්ධ සම්ප්‍රදායික දේශපාලන කඳවුරද අඩු වැඩි වශයෙන් මේ අදහස වෙනුවෙන් පෙනී සිට ඇති බවත් මෙහිදී මතක් කළ යුතුයි. 

වෙළඳපොළ ක්‍රියාකාරිත්වය හා අදාළ මූලික සිද්ධාන්ත පිළිබඳ දැනුමක් ඇති අයෙකුට මෙවැන්නක් සිදු විය නොහැකි බව තේරුම් ගැනීම සඳහා හමුදාව සමඟ ගොස් වී මෝල් පරීක්ෂා කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. වී නිෂ්පාදනය සහ සහල් පරිභෝජනය පිළිබඳ දත්ත සියයට සියයක් නිවැරදිව අවශ්‍ය වන්නේත් නැහැ. වෙළඳපොළ මිල ගණන් නිරීක්ෂණය කිරීමෙන් පමණක් පහසුවෙන්ම පිළිතුර හොයා ගන්න පුළුවන්.

එහෙත්, මේ අයුරින් වෙළඳපොළ මිල ගණන් නිරීක්ෂණය කර ඉහත ප්‍රශ්නයට පිළිතුර සොයා ගැනීම සඳහා එක්කෝ යම් තරමකින් වියුක්ත ලෙස සිතන්නට හැකි විය යුතුයි. එසේ නැත්නම් ආර්ථික විද්‍යා ප්‍රවාද "විශ්වාස කළ" යුතුයි. කෙසේ වුවත්, අදාළ ප්‍රවාද තේරුම් ගත හැකි අයෙකු එසේ එම ප්‍රවාද විශ්වාස කළ යුතු වන්නේ නැහැ. වියුක්ත ලෙස සිතීමේ හැකියාව ප්‍රගුණ කර නැති, ආර්ථික විද්‍යා ප්‍රවාද විශ්වාස නොකරන අයෙකුට ඇත්ත තත්ත්වය දැන ගැනීම සඳහා සංයුක්ත නිරීක්ෂණ අවශ්‍ය වෙනවා. ඇතැම් අයට ඒ සඳහා තමන්ට විශ්වාස කළ හැකි අයෙකු විසින් සිදු කරන තහවුරු කිරීමක් ප්‍රමාණවත් විය හැකියි. 

ඉතා දක්ෂ මහජන සන්නිවේදකයෙකු වන ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් වී මෝල්හිමියන් විසින් වී තොග හංගන්නේ නැත්තේ ඇයි කියන කරුණ ඉතා හොඳින් සහ කෙටියෙන් පැහැදිලි කර තිබෙනවා. මේ සමඟ පළ කර තිබෙන වීඩියෝවේ තිබෙන්නේ ඔහුගේ එම පැහැදිලි කිරීමයි. 

රටකට ඉදිරියට යාම සඳහා අවශ්‍ය වැදගත්ම දෙයක් වන්නේ හැකි තරමින් දැනුමෙන් සන්නද්ධ වීමයි. ඒ අනුව, ජනාධිපති දිසානායක විසින් කෙටි කාලයක් ඇතුළත මේ හා අදාළ නිවැරදි දැනුම උකහාගෙන වෙනත් අයද දැනුවත් කිරීම අගය කළ යුත්තක්. 

මෙහිදී ජනාධිපති දිසානායක විසින් ලබා දෙන්නේ පහත ආකාරයේ පිළිතුරක් නෙමෙයි.

"අපි ගිහින් පරීක්ෂා කළා. වී මෝල් වල තොග හංගාගෙන නැහැ."

ඉහත ආකාරයේ පිළිතුරක් හැඳින්විය හැක්කේ දේශපාලනික පිළිතුරක් ලෙසයි. එවැනි පිළිතුරකින් මේ මොහොතේ ඔය කියන විදිහේ ප්‍රශ්නයක් නැති බව තහවුරු කළ හැකි විය හැකියි. එහෙත්, එවැනි පිළිතුරකින් ප්‍රශ්නයට සාධාරණ (general) පිළිතුරක් ලැබෙන්නේ නැහැ. මේ මොහොතේ වී මෝල්හිමියන් විසින් තොග හංගාගෙන නොසිටියත්, සාමාන්‍යයෙන් එසේ කරන්නේය යන අදහස තව දුරටත් ඉතිරි වෙනවා. නමුත් ජනාධිපති දිසානායක විසින් ලබා දෙන්නේ වඩා වියුක්ත, එහෙයින්ම වඩා නිවැරදි හා සාධාරණ (general) පිළිතුරක්. 

කෙසේ වුවත්, ජනාධිපති දිසානායකගේ පැහැදිලි කිරීමෙන් පසුවද එක් නිවේදකයෙකු විසින් අසන්නේ "ඔබ වී මෝල් ඇතුළට ගොස් පරීක්ෂා කර බලා තහවුරු කර ගත්තාද?" මාදිලියේ ප්‍රශ්නයක්. එයින් පෙනෙන්නේ ලංකාවේ නිවේදකයින් සිටින තැනයි. ඇතැම් විට එම නිවේදකයා ලංකාවේ "පොදු ජනතාව" වෙනුවෙන්, ඔවුන් නියෝජනය කරමින් එම ප්‍රශ්නය ඇසුවා විය හැකියි.

මේ ප්‍රශ්නය මෑතකදී මගේ පෞද්ගලික මිතුරෙකු විසින්ද මතු කර මා සමඟ වාදයක පැටලුනු ප්‍රශ්නයක් (මා සාමාන්‍යයෙන් එවැනි වාද වල පැටලෙන්නේ ඉතා හොඳ මට්ටමේ පෞද්ගලික මිතුරුකමක් ඇත්නම් පමණයි. ඒ නිසා මෙවැන්නක් සිදු වන්නේ කලාතුරකින්). සක්‍රිය මාලිමා ක්‍රියාකාරිකයෙකු වන ඔහු තමන්ගේ විෂය ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක්. එහෙත් ආර්ථික විද්‍යාවේ මූලික සංකල්ප ගැන අදහසක් ඔහුට තිබුණේ නැහැ. 

වී මෝල්හිමියෙකුට තමන් කැමති පරිදි සහල් මිල වැඩි කිරීමේ හැකියාවක් නැහැ. සහල් වැනි අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩයක් සඳහා වන ඉල්ලුම සෑහෙන තරම් අනම්‍ය වුවත් එය පූර්ණ අනම්‍ය ඉල්ලුමක් නෙමෙයි. ඒ එක පැත්තක්. අනෙක් පැත්තෙන් ලංකාවේ සහල් වෙළඳපොළේ සැපයුම් අංශයේ පූර්ණ ඒකාධිකාරයක් නැහැ. එහි සැලකිය යුතු තරඟයක් තිබෙනවා. යම් හෙයකින් ඔය දෙකම ඔය විදිහට සිදු වී වී මෝල් හිමියෙකුට අභිමත පරිදි මිල තීරණය කළ හැකි (උපකල්පිත) තත්ත්වයක් තිබුණත්, ව්‍යාපාරිකයෙකු විසින් තමන්ගේ ලාබ වැඩි කරගන්නේ භාණ්ඩයක මිල පුලුවන්ම තරම් වැඩි කිරීම මගින් නෙමෙයි. එය කරන්නේ පිරිවැටුම වැඩි කර ගැනීම මගින්. මිල යනු පිරිවැටුම වැඩි කරන එක් සාධකයක් පමණයි. වී තොග නොවිකුණා තියා ගැනීමෙන් බොහෝ විට වී මෝල්හිමියෙකුට සිදු වන්නේ පාඩුවක්.

ලංකාවේ අතරමැදි වී මෝල්හිමියන් විසින් කරන්නේ වී කොටා සහල් බවට පත් කිරීම පමණක් නෙමෙයි. එම වී ගබඩා කර තබා ගැනීම හා බෙදා හැරීම කරන්නේද ඔවුන් විසින්.

මෙම වීඩියෝවේ ජනාධිපති දිසානායක විසින් පැහැදිලි කරන පරිදි සහල් වල ගුණාත්මක භාවය ඉහළ මට්ටමක පවත්වා ගැනීම සඳහා වී තොග මාස දෙකක පමණ කාලයක් ගබඩා කර තියා ගන්නට සිදු වෙනවා (මෙය සියලුම සහල් වර්ග වලට එක සේ බලපාන දෙයක් නොවිය හැකි බව මගේ අදහසයි). ඊට අමතරව, ලංකාවේ වී සැපයුමේ ස්වභාවය අනුව, මාස හයක් දක්වා කාලයක් වී ගබඩා කර තබා ගන්නට සිදු වෙනවා. ඒ වී අස්වනු කැපෙන කන්න දෙකක් අතර කාලයයි.

වී ගබඩා කර තබා ගැනීම වියදම් අධික වැඩක්. වී ලෙස ගබඩා කෙරෙන්නේ තමන්ගේ හෝ ණයට ගත් ධනයයි. ණය පොලිය 10% ලෙස සැලකුවහොත්, මාස හයක කාලයක් සඳහා 5%ක පොලියක් ගෙවන්නට සිදු වෙනවා. ඒ නිසා, මිල දී ගන්නා වී වැඩි කාලයක් සහල් නොකර තියා ගන්නවා කියන්නේ දවසින් දවසම පිරිවැය ඉහළ යාමක්. ඊට අමතරව ගබඩා වල වී සුරක්ෂිත ලෙස තබා ගැනීමේ පිරිවැයක්ද තිබෙනවා. මේ තත්ත්වය යටතේ ඕනෑම වී මෝල්හිමියෙකු විසින් ඉදිරි කන්නයේ අස්වනු කැපෙන්නට පෙර තමන්ගේ වී තොග සහල් කර විකුණා ගැනීම අපේක්ෂා කළ හැකි දෙයයි. එය ජනාධිපති දිසානායක විසින් කෙටියෙන් වුවත් හොඳින් පැහැදිලි කරනවා. 

විපක්ෂයේ සිටින විට මුවන් සමඟ දුවන අතරම වෘකයින් සමඟ දඩයමේ යන්නත් පුළුවන්. නමුත් ආණ්ඩුවක් කරද්දී එහෙම කරන්න බැහැ. පාරිභෝගිකයින්, වී ගොවීන්, සුළු වී මෝල්හිමියන් ඇතුළු විවිධ කණ්ඩායම් එකවර සතුටු කළ හැකි විසඳුම් හොයන එක ලේසි වැඩක් නෙමෙයි. ජනාධිපති ධුරයේ වැඩ භාර ගැනීමෙන් පසුව අනුර කුමාර දිසානායක විසින් වෙළඳපොළ ක්‍රියාකාරිත්වය ගැන ඔහුගේ අවබෝධය වැඩි දියුණු කරගෙන තිබෙනවා. විශේෂයෙන්ම සහල් වෙළඳපොළ හා අදාළව, ඔහුගේ මෙම දැනුම හා අවබෝධය ඉදිරි මාස හයක සිට වසරක් දක්වා කාලය තුළ තව දුරටත් බොහෝ වැඩි දියුණු වීමට නියමිත බවයි දැනට පෙනෙන්නට තියෙන්නේ. තැත් වරද ක්‍රමය වියුක්තව තේරුම් ගැනීම අසීරු දේවල් තේරුම් ගැනීම සඳහා හොඳ ක්‍රමයක්!

වෙබ් ලිපිනය: