ලංකාවේ වී මෝල්හිමියන්ගේ මාෆියාවක් ඇති බවත්, අස්වනු කැපෙද්දී වී මෝල්හිමියන් විසින් කුණු කොල්ලයට මිල දී ගන්නා වී තොග පසුව සහල් කර අධික ලාබයක් තියාගෙන විකුණන බවත් ජනප්‍රිය කතාවක්. මේ කතාව "පොදු ජනයාගේ" කතාවක් මිස මාලිමාවේ කතාවක් නොවුනත්, මාලිමාව විසින් කාලයක් තිස්සේ මේ ජනප්‍රිය අදහස උස්සාගෙන ගියා. මාලිමාවට ප්‍රතිවිරුද්ධ සම්ප්‍රදායික දේශපාලන කඳවුරද අඩු වැඩි වශයෙන් මේ අදහස වෙනුවෙන් පෙනී සිට ඇති බවත් මෙහිදී මතක් කළ යුතුයි.
වෙළඳපොළ ක්‍රියාකාරිත්වය හා අදාළ මූලික සිද්ධාන්ත පිළිබඳ දැනුමක් ඇති අයෙකුට මෙවැන්නක් සිදු විය නොහැකි බව තේරුම් ගැනීම සඳහා හමුදාව සමඟ ගොස් වී මෝල් පරීක්ෂා කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. වී නිෂ්පාදනය සහ සහල් පරිභෝජනය පිළිබඳ දත්ත සියයට සියයක් නිවැරදිව අවශ්‍ය වන්නේත් නැහැ. වෙළඳපොළ මිල ගණන් නිරීක්ෂණය කිරීමෙන් පමණක් පහසුවෙන්ම පිළිතුර හොයා ගන්න පුළුවන්.
එහෙත්, මේ අයුරින් වෙළඳපොළ මිල ගණන් නිරීක්ෂණය කර ඉහත ප්‍රශ්නයට පිළිතුර සොයා ගැනීම සඳහා එක්කෝ යම් තරමකින් වියුක්ත ලෙස සිතන්නට හැකි විය යුතුයි. එසේ නැත්නම් ආර්ථික විද්‍යා ප්‍රවාද "විශ්වාස කළ" යුතුයි. කෙසේ වුවත්, අදාළ ප්‍රවාද තේරුම් ගත හැකි අයෙකු එසේ එම ප්‍රවාද විශ්වාස කළ යුතු වන්නේ නැහැ. වියුක්ත ලෙස සිතීමේ හැකියාව ප්‍රගුණ කර නැති, ආර්ථික විද්‍යා ප්‍රවාද විශ්වාස නොකරන අයෙකුට ඇත්ත තත්ත්වය දැන ගැනීම සඳහා සංයුක්ත නිරීක්ෂණ අවශ්‍ය වෙනවා. ඇතැම් අයට ඒ සඳහා තමන්ට විශ්වාස කළ හැකි අයෙකු විසින් සිදු කරන තහවුරු කිරීමක් ප්‍රමාණවත් විය හැකියි.
ඉතා දක්ෂ මහජන සන්නිවේදකයෙකු වන ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් වී මෝල්හිමියන් විසින් වී තොග හංගන්නේ නැත්තේ ඇයි කියන කරුණ ඉතා හොඳින් සහ කෙටියෙන් පැහැදිලි කර තිබෙනවා. මේ සමඟ පළ කර තිබෙන වීඩියෝවේ තිබෙන්නේ ඔහුගේ එම පැහැදිලි කිරීමයි.
රටකට ඉදිරියට යාම සඳහා අවශ්‍ය වැදගත්ම දෙයක් වන්නේ හැකි තරමින් දැනුමෙන් සන්නද්ධ වීමයි. ඒ අනුව, ජනාධිපති දිසානායක විසින් කෙටි කාලයක් ඇතුළත මේ හා අදාළ නිවැරදි දැනුම උකහාගෙන වෙනත් අයද දැනුවත් කිරීම අගය කළ යුත්තක්.
මෙහිදී ජනාධිපති දිසානායක විසින් ලබා දෙන්නේ පහත ආකාරයේ පිළිතුරක් නෙමෙයි.
"අපි ගිහින් පරීක්ෂා කළා. වී මෝල් වල තොග හංගාගෙන නැහැ."
ඉහත ආකාරයේ පිළිතුරක් හැඳින්විය හැක්කේ දේශපාලනික පිළිතුරක් ලෙසයි. එවැනි පිළිතුරකින් මේ මොහොතේ ඔය කියන විදිහේ ප්‍රශ්නයක් නැති බව තහවුරු කළ හැකි විය හැකියි. එහෙත්, එවැනි පිළිතුරකින් ප්‍රශ්නයට සාධාරණ (general) පිළිතුරක් ලැබෙන්නේ නැහැ. මේ මොහොතේ වී මෝල්හිමියන් විසින් තොග හංගාගෙන නොසිටියත්, සාමාන්‍යයෙන් එසේ කරන්නේය යන අදහස තව දුරටත් ඉතිරි වෙනවා. නමුත් ජනාධිපති දිසානායක විසින් ලබා දෙන්නේ වඩා වියුක්ත, එහෙයින්ම වඩා නිවැරදි හා සාධාරණ (general) පිළිතුරක්.
කෙසේ වුවත්, ජනාධිපති දිසානායකගේ පැහැදිලි කිරීමෙන් පසුවද එක් නිවේදකයෙකු විසින් අසන්නේ "ඔබ වී මෝල් ඇතුළට ගොස් පරීක්ෂා කර බලා තහවුරු කර ගත්තාද?" මාදිලියේ ප්‍රශ්නයක්. එයින් පෙනෙන්නේ ලංකාවේ නිවේදකයින් සිටින තැනයි. ඇතැම් විට එම නිවේදකයා ලංකාවේ "පොදු ජනතාව" වෙනුවෙන්, ඔවුන් නියෝජනය කරමින් එම ප්‍රශ්නය ඇසුවා විය හැකියි.
මේ ප්‍රශ්නය මෑතකදී මගේ පෞද්ගලික මිතුරෙකු විසින්ද මතු කර මා සමඟ වාදයක පැටලුනු ප්‍රශ්නයක් (මා සාමාන්‍යයෙන් එවැනි වාද වල පැටලෙන්නේ ඉතා හොඳ මට්ටමේ පෞද්ගලික මිතුරුකමක් ඇත්නම් පමණයි. ඒ නිසා මෙවැන්නක් සිදු වන්නේ කලාතුරකින්). සක්‍රිය මාලිමා ක්‍රියාකාරිකයෙකු වන ඔහු තමන්ගේ විෂය ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක්. එහෙත් ආර්ථික විද්‍යාවේ මූලික සංකල්ප ගැන අදහසක් ඔහුට තිබුණේ නැහැ.
වී මෝල්හිමියෙකුට තමන් කැමති පරිදි සහල් මිල වැඩි කිරීමේ හැකියාවක් නැහැ. සහල් වැනි අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩයක් සඳහා වන ඉල්ලුම සෑහෙන තරම් අනම්‍ය වුවත් එය පූර්ණ අනම්‍ය ඉල්ලුමක් නෙමෙයි. ඒ එක පැත්තක්. අනෙක් පැත්තෙන් ලංකාවේ සහල් වෙළඳපොළේ සැපයුම් අංශයේ පූර්ණ ඒකාධිකාරයක් නැහැ. එහි සැලකිය යුතු තරඟයක් තිබෙනවා. යම් හෙයකින් ඔය දෙකම ඔය විදිහට සිදු වී වී මෝල් හිමියෙකුට අභිමත පරිදි මිල තීරණය කළ හැකි (උපකල්පිත) තත්ත්වයක් තිබුණත්, ව්‍යාපාරිකයෙකු විසින් තමන්ගේ ලාබ වැඩි කරගන්නේ භාණ්ඩයක මිල පුලුවන්ම තරම් වැඩි කිරීම මගින් නෙමෙයි. එය කරන්නේ පිරිවැටුම වැඩි කර ගැනීම මගින්. මිල යනු පිරිවැටුම වැඩි කරන එක් සාධකයක් පමණයි. වී තොග නොවිකුණා තියා ගැනීමෙන් බොහෝ විට වී මෝල්හිමියෙකුට සිදු වන්නේ පාඩුවක්.
ලංකාවේ අතරමැදි වී මෝල්හිමියන් විසින් කරන්නේ වී කොටා සහල් බවට පත් කිරීම පමණක් නෙමෙයි. එම වී ගබඩා කර තබා ගැනීම හා බෙදා හැරීම කරන්නේද ඔවුන් විසින්.
මෙම වීඩියෝවේ ජනාධිපති දිසානායක විසින් පැහැදිලි කරන පරිදි සහල් වල ගුණාත්මක භාවය ඉහළ මට්ටමක පවත්වා ගැනීම සඳහා වී තොග මාස දෙකක පමණ කාලයක් ගබඩා කර තියා ගන්නට සිදු වෙනවා (මෙය සියලුම සහල් වර්ග වලට එක සේ බලපාන දෙයක් නොවිය හැකි බව මගේ අදහසයි). ඊට අමතරව, ලංකාවේ වී සැපයුමේ ස්වභාවය අනුව, මාස හයක් දක්වා කාලයක් වී ගබඩා කර තබා ගන්නට සිදු වෙනවා. ඒ වී අස්වනු කැපෙන කන්න දෙකක් අතර කාලයයි.
වී ගබඩා කර තබා ගැනීම වියදම් අධික වැඩක්. වී ලෙස ගබඩා කෙරෙන්නේ තමන්ගේ හෝ ණයට ගත් ධනයයි. ණය පොලිය 10% ලෙස සැලකුවහොත්, මාස හයක කාලයක් සඳහා 5%ක පොලියක් ගෙවන්නට සිදු වෙනවා. ඒ නිසා, මිල දී ගන්නා වී වැඩි කාලයක් සහල් නොකර තියා ගන්නවා කියන්නේ දවසින් දවසම පිරිවැය ඉහළ යාමක්. ඊට අමතරව ගබඩා වල වී සුරක්ෂිත ලෙස තබා ගැනීමේ පිරිවැයක්ද තිබෙනවා. මේ තත්ත්වය යටතේ ඕනෑම වී මෝල්හිමියෙකු විසින් ඉදිරි කන්නයේ අස්වනු කැපෙන්නට පෙර තමන්ගේ වී තොග සහල් කර විකුණා ගැනීම අපේක්ෂා කළ හැකි දෙයයි. එය ජනාධිපති දිසානායක විසින් කෙටියෙන් වුවත් හොඳින් පැහැදිලි කරනවා.
විපක්ෂයේ සිටින විට මුවන් සමඟ දුවන අතරම වෘකයින් සමඟ දඩයමේ යන්නත් පුළුවන්. නමුත් ආණ්ඩුවක් කරද්දී එහෙම කරන්න බැහැ. පාරිභෝගිකයින්, වී ගොවීන්, සුළු වී මෝල්හිමියන් ඇතුළු විවිධ කණ්ඩායම් එකවර සතුටු කළ හැකි විසඳුම් හොයන එක ලේසි වැඩක් නෙමෙයි. ජනාධිපති ධුරයේ වැඩ භාර ගැනීමෙන් පසුව අනුර කුමාර දිසානායක විසින් වෙළඳපොළ ක්‍රියාකාරිත්වය ගැන ඔහුගේ අවබෝධය වැඩි දියුණු කරගෙන තිබෙනවා. විශේෂයෙන්ම සහල් වෙළඳපොළ හා අදාළව, ඔහුගේ මෙම දැනුම හා අවබෝධය ඉදිරි මාස හයක සිට වසරක් දක්වා කාලය තුළ තව දුරටත් බොහෝ වැඩි දියුණු වීමට නියමිත බවයි දැනට පෙනෙන්නට තියෙන්නේ. තැත් වරද ක්‍රමය වියුක්තව තේරුම් ගැනීම අසීරු දේවල් තේරුම් ගැනීම සඳහා හොඳ ක්‍රමයක්!
No comments:
Post a Comment
මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.