Monday, June 12, 2017

කටාර් අර්බුදය


කටාර් රාජ්‍යය හා අසල්වැසි රටවල් කිහිපයක් අතර ඇති වී තිබෙන රාජ්‍යතාන්ත්‍රික අර්බුදය ගැන යමක් ලියන මෙන් පාඨකයින් දෙදෙනෙකු විසින් ඉල්ලා තිබේ. තවත් බොහෝ දෙනෙකු මේ වෙලාවේ කටාර් වල සිදුවන්නේ කුමක්දැයි විමසිල්ලෙන් සිටින බව නිසැකය.

පළමුවම කියන්නට තිබෙන්නේ මේ හා අදාළව සීරියස් මට්ටමේ විග්‍රහයක් කරන්නට තරම් ඉකොනොමැට්ටා විශේෂඥයෙක් නොවන බවයි. විශේෂඥයෙක් නොවනවාට අමතරව ඉකොනොමැට්ටා පසුගිය දින තුනේ සංචාරයක යෙදී සිටින අතරතුර මේ සිදුවීම හා අදාළව එහෙන් මෙහෙන් දුටු පුවත් හැර ලිපියක් ලියන්නට තරම් විශේෂ හැදෑරීමක් හෝ කර නැත.

විශේෂඥතාවයක් හෝ වැඩිපුර දැනුමක් නැතත් මැද පෙරදිග කලාපයේ වෙන්නේ කුමක්ද යන්න ගැන ඉකොනොමැට්ටාට යම් උනන්දුවක් තිබේ. පාඨක ඉල්ලීම එකහෙලාම බැහැර නොකර ඉකොනොමැට්ටාගේ නිරීක්ෂණ කිහිපයක් සටහන් කරමින් ලිපියක් ලියන්නට තීරණය කළේ එබැවිනි.

මේ වන විට බොහෝ දෙනෙක් දන්නා පරිදි සවුදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා බහරේන් ඇතුළු මුස්ලිම් රටවල් කිහිපයක් විසින් කටාර් රාජ්‍යය සමඟ වූ තානාපති සබඳතා අත් හරිමින් එම රටවලට අයත් භූමියට හෝ අහසට ඇතුළු වීම කටාර් වැසියන්ට තහනම් කර තිබේ. එම රටවල සිටින කටාර් ජාතිකයින්ටද වහාම ඉවත් වන මෙන් නියෝග කර තිබේ.

කටාර් රාජ්‍යය භූමි ප්‍රමාණය අනුව ලංකාවේ ප්‍රමාණය මෙන් පහෙන් එකක්වත් නැති කුඩා රටකි. එහි ජීවත්වන මුළු ජනගහණය මිලියන දෙකහමාරක් පමණ වුවත් ඒ අතරින් කටාර් ජාතිකයින් ගණන අටෙන් එකකටත් අඩුය. සෑම කටාර් ජාතිකයින් පස් දෙනෙකුටම ඉන්දියානුවන් දහ දෙනෙකුත්, බංග්ලාදේශ ජාතිකයින් හතර දෙනෙකුත් ශ්‍රී ලාංකිකයින් හා පකිස්තානුවන් දෙදෙනා බැගිනුත් වෙනත් විදේශිකයින් විස්සකට වැඩි ගණනකුත් එහි ජීවත් වෙති. කටාර්හි ජීවත් වන ශ්‍රී ලාංකිකයින් අතර ජනප්‍රිය සිංහල බ්ලොග්කරුවෝ කිහිපදෙනෙක්ම වෙති.

ශ්‍රී ලාංකික විදේශ ශ්‍රමිකයින්ගේ ගමනාන්ත අතර සවුදි අරාබිය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය හැරුණු විට ජනප්‍රියම ගමනාන්තය කටාර් රාජ්‍යයයි. එහි ශ්‍රී ලාංකිකයෝ 125,000ක් පමණ සේවය කරති. මගේ දළ ඇස්තමේන්තුව අනුව ලංකාවට වාර්ෂිකව ලැබෙන ඩොලර් බිලියන හත ඉක්මවන විදේශ ප්‍රේෂණ වලින් යටත් පිරිසෙයින් 10%ක් පමණවත් පැමිණෙන්නේ කටාර් රාජ්‍යයෙන් විය යුතුය.

කටාර් රාජ්‍යය එමීර් වරයෙකුගේ පාලනය යටතේ ඇති, ඉස්ලාමික ෂරියා නීතිය ක්‍රියාත්මක වන රටකි. රටේ බහුතරය සුන්නි මුස්ලිම් වරුන්ය. කටාර් ආර්ථිකය ප්‍රධාන වශයෙන්ම තෙල් හා ස්වභාවික වායු සම්පත් මත රඳා ඇති රටකි. ක්‍රය ශක්ති සාම්‍ය පදනම මත ලෝකයේ ඉහළම ඒක පුද්ගල ආදායම ලබන්නේ කටාර් ජාතිකයින්ය.

කුඩා රාජ්‍යයක් වුවත්, සිය ආර්ථික ශක්තිය මත පදනම්ව කටාර් රාජ්‍යය මැදපෙරදිග කලාපයේ පමණක් නොව ලෝකයේ අනෙකුත් රාජ්‍ය අතරද හිස ඔසොවාගෙන සිටී. අල් ජසීරා පුවත් සේවය බටහිර ජනමාධ්‍ය සමඟ හරි හරියට තරඟ කරන අතර, කටාර් ගුවන් සේවය ලෝකයේ ප්‍රධාන පෙළේ ගුවන් සේවයකි.

මැද පෙරදිග කලාපය ලෝකයේ ගැටුම් වැඩිම කලාපයකි. එහි පසුගිය අඩසියවසක පමණ කාලය තුළ සිදු වූ ගැටුම් වලින් බොහොමයක් ඊශ්‍රායලය හා අරාබි රාජ්‍යයන් අතර ගැටුම්ය. ඊශ්‍රායලය සම්බන්ධ නොවුණු, අරාබි රටවල් අතර වූ ගැටුම් බොහොමයක් සුන්නි හා ෂියා මුස්ලිම්වරුන් අතර සිදුවූ බල අරගල ලෙස පුළුල් වශයෙන් හැඳින්විය හැකිය.

මෙවර රාජ්‍යතාන්ත්‍රික අර්බුදයේ එක් කැපී පෙනෙන වෙනසක් වන්නේ අරාබි ලෝකයේ සුන්නි-ෂියා භේදය වෙනුවට අළුත් බෙදුම් ඉරක් ඇඳී තිබීමයි. මෙය පසුගිය වසර දෙක තුන තුළ වර්ධනය වූ අලුත් තත්ත්වයකි.

සාමාන්‍ය පිළිගැනීම අනුව ෂියා මුස්ලිම්වරුන් සුන්නි මුස්ලිම්වරුන්ට වඩා මූලධර්මවාදීය. එහෙත්, ෂියා මුස්ලිම්වරුන් අතර මෙන්ම සුන්නි මුස්ලිම්වරුන් අතරද අන්තවාදීන් මෙන්ම මධ්‍යස්ථ මතධාරීහුද සිටිති. සවුදි අරාබිය ඇතුළු රටවල් කටාර් රාජ්‍යයට එල්ල කරන ප්‍රධාන චෝදනාවක් වන්නේ අවිගත් ඉස්ලාමික කණ්ඩායම් වලට උදවු කරන බවයි. එහෙත්, මේ කරුණ හා අදාළව මෙසේ චෝදනා නගන අයද පිරිසිදු දෑත් ඇත්තන්යැයි පැවසිය නොහැකිය.

ෂියා මෙන්ම සුන්නි මුස්ලිම් රාජ්‍යයන්ටද ව්‍යාප්තිවාදී අපේක්ෂාවන් තිබේ. මෑතකාලීනව මේ අපේක්ෂාවන් වඩාත් මතු වී ඇත්තේ බටහිර සංස්කෘතියේ හා දේශපාලන ව්‍යාපෘතීන්හි ඒකාධිකාරයට ප්‍රතිරෝධයක් වශයෙනි. ලෝක දේශපාලනය තුළ සමාජවාදයේ භූමිකාව අවලංගු වී යාමත් සමඟ එමඟින් ඇති කළ රික්තකය, අඩු වශයෙන් මැද පෙරදිග කලාපය තුළදී, පුරවනු ලැබුවේ ඉස්ලාමික දේශපාලනය විසිනි.

මේ වන විට මැදපෙරදිග අරාබි රටවල් ඔවුන්ගේ දේශපාලනය අනුව වෙන් කෙරෙමින් ඇඳී ඇති බෙදුම් ඉරේ පදනම සුන්නි ෂියා භේදය නොවේ. එහි පදනම ඉස්ලාමික සංස්කෘතිය හා බටහිර සංස්කෘතිය අතර ගැටුම තුළ ඉස්ලාමික සංස්කෘතිය ව්‍යාප්ත කිරීමේ ප්‍රසස්ථ ක්‍රමවේදය හා අදාළ වූවකි.

සවුදි අරාබිය ප්‍රධාන කණ්ඩායම මෙහිදී අනුගමනය කරන්නේ බටහිර සංස්කෘතිය සමඟ සෘජු ගැටුමකට නොයමින්, උපක්‍රමික ලෙස ව්‍යාප්ත වීමේ ක්‍රමවේදයයි. ඔවුන්ගේ ගණන් බැලීම් අනුව බටහිර සංස්කෘතිය හා ඉස්ලාමික සංස්කෘතිය අතර සෘජු ගැටුමකින් අවසන් වශයෙන් ඔවුන්ට පරාජය හිමිවන්නට ඉඩ ඇති බැවින් බටහිර සංස්කෘතිය සමඟ සහයෝගීතාවය පවත්වා ගනිමින් සිය ආර්ථික ශක්තිය තවදුරටත් වර්ධනය කර ගැනීම හා එමඟින් අවසාන වශයෙන් බටහිර සංස්කෘතියට හා ඒ මත පාදක වූ දේශපාලනයට අභියෝග කිරීම ඔවුන්ගේ උපාය මාර්ගය බව පෙනේ.

මේ උපාය මාර්ගය අනුව කටයුතු කරමින්, බටහිර දැනුම, තාක්ෂනය, මානව සම්පත් ආදිය ප්‍රයෝජනයට ගන්නා ඔවුහු බටහිරින් ලබා ගන්නා දෙයින් පෝෂණය වන අතර තමන්ගේ සංස්කෘතික අනන්‍යතාවයන් පවත්වා ගනිමින් හා ව්‍යාප්ත කරමින් බටහිර සංස්කෘතිය අභ්‍යන්තරයෙන් ඛාදනය කරති. බටහිර සංස්කෘතික ආධිපත්‍යය ඇති රටවල ඉස්ලාමික සංස්කෘතිය ප්‍රමුඛ වූ "පොකට්" හදා ගැනීමට හැකි වී තිබෙන්නේ බටහිර සංස්කෘතිය සමඟ සෘජු ගැටුමකට නොයෑමේ උපක්‍රමික වාසි පෙන්වා දෙමිනි.

බෙදුම් ඉරෙන් අනෙත් පැත්තේ ඉන්නේ, යුදමය අරුතකින් නොවූවත්, බටහිර සංස්කෘතිය සමඟ සෘජුව මුහුණට මුහුණ ගැටෙන්නට අදහස් කරන කොටසයි. මේ රටවල ප්‍රවේශය ඉස්ලාමික සන්නද්ධ කණ්ඩායම් වලට වඩා අනුකම්පා සහගත එකක් වුවත් බෙදීමේ සැබෑ පදනම වන්නේ මුල් කරුණ මිස මේ දෙවන කරුණ නොවේ. බටහිර ක්‍රමවේද බැහැර කර තමන්ගේම ක්‍රමවේද අනුගමනය කිරීමෙන් බටහිර සංස්කෘතිය පසු බැස්විය හැකි බව ඔවුහු සිතති. යුදමය අරුතකින් මුහුණට මුහුණ නොවන පහරදීම් යනු සංස්කෘතික අරුතකින් මුහුණට මුහුණ ගැටීමක් වන්නේ එසේය.

බටහිර සංස්කෘතිය සමඟ සහයෝගය පවත්වා ගන්නට යාම තුළ යම් තරමකින් හෝ ඉස්ලාමික සංස්කෘතිය මුළුමනින්ම දියවී යාමේ අනතුරද තිබේ. එමෙන්ම, ඓතිහාසිකව, හැම විටකම වාගේ, ඉස්ලාම් සංස්කෘතිය ව්‍යාප්ත වී ඇත්තේ වෙනත් සංස්කෘතීන් සමඟ මුහුණට මුහුණ සෘජුව ගැටීමෙන් මිස සහයෝගයෙන් කටයුතු කිරීමෙන් නොවේ. දෙවන කාණ්ඩයේ සිටින්නන් සිතනවා ඇත්තේ මේ ආකාරයෙන් විය යුතුය.

දෙවන කණ්ඩායමේ උපාය මාර්ගයන් නිසා පළමු කණ්ඩායමේ උපාය මාර්ගයන් විශාල ලෙස අර්බුදයට ගොස් තිබේ. දශක ගණනක් යුරෝපීය රටවලට ප්‍රශ්නයක් නොවූ බුර්කා හා සංක්‍රමණිකයන් මෑතකාලීනව ලොකු ප්‍රශ්න ලෙස පෙනෙන්නට පටන්ගෙන ඇත්තේ එබැවිනි. ඒ නිසා, බටහිර සංස්කෘතිය සමඟ උපාය මාර්ගික සහයෝගීතාවයක් පවත්වා ගනිමින් සිටි කණ්ඩායම් වලට, එසේ නැතිව මුහුණට මුහුණ සටන් කරන්නට සැරසෙන කණ්ඩායම් මේ වන විට විශාල තර්ජනයකි. මෙය ෂියා-සුන්නි භේද ඉක්මවන වෙනත් තලයක සිදුවන ගැටුමකි. සුන්නි සවුදි අරාබියට ෂියා බහරේනය හා එක්ව සුන්නි කටාර් රාජ්‍යයට සම්බාධක පැනවිය හැකි වන්නේ එබැවිනි.

මේ අනුව, මෙය එක පැත්තකින් මේ වන විට බටහිර සංස්කෘතික ආධිපත්‍යයට විශාලම අභියෝගය වී ඇති ඉස්ලාමික සංස්කෘතිය තුළ අරමුණු වශයෙන් එකම තැන සිටියත් උපාය මාර්ගික ලෙස බෙදී සිටින පාර්ශ්ව දෙකක් අතර ගැටුමකි. එය ලෝක දේශපාලනය තුළ සිදුවෙමින් පවතින සංස්කෘතික ගොනුවීම් හා බෙදීම් පිළිබඳව ඉඟි සපයයි.

දෙවනුව, මෙය ලෝක දේශපාලනය තුළ සිදුවෙමින් පවතින කලාපීය ගොනුවීම් පිළිබඳ කතාවකි. ලෝක දේශපාලනයේ වත්මන්  ප්‍රවණතා අතර දෙවැන්න වන්නේ කලාපීය බලවතුන් ඉස්මතු වීම හා කුඩා රටවලට මේ කලාපීය දේශපාලනයට අනුගත වන්නට සිදුවීමයි. කටාර් රාජ්‍යය සිය අසල්වැසි කලාපීය බලවතා වන සවුදි අරාබිය නොසලකා හැර නැතත්, ඉරානය ඇතුළු පසමිතුරු බලවේග සමඟද සහයෝගීතාවය පවත්වාගනිමින් ස්වාධීනව සිටීමට උත්සාහ කළේය. එය පහසු කටයුත්තක් නොවන බව පවතින දේශපාලන යථාර්තය විසින් පෙන්වා දෙයි.

මෙය ලංකාවටද අදාළ තත්ත්වයකි. ලංකාව විසින් ඉන්දියාව, චීනය හා බටහිර රටවල් "බැලන්ස් කරන" බව, කලින් එසේ කළ බව, හෝ එසේ කළ යුතු බව කියන බොහෝ දෙනෙක් සිටිති. එහෙත්, ප්‍රායෝගිකව මෙය පහසු කටයුත්තක් නොවේ. ප්‍රායෝගිකව සිදු වෙමින් පවතින්නේ කලාපීය බලවතුන් විසින් අසල්වැසි කුඩා රාජ්‍යයන් හොඳින් හෝ නරකින් සිය ආධිපත්‍යයන්ට නතු කරගනිමින් සිටීමයි.

ඉදිරි දශක දෙක තුන තුළ ලෝකයේ රටවල් සංස්කෘතික හා/හෝ ප්‍රාදේශීය කලාප ලෙස ඒකරාශී වන කණ්ඩායම් පහක් හයක් වටා ගොනුවන්නට බොහෝ දුරට ඉඩ තිබෙන බව කටාර් දේශපාලනික ගැටුම මඟින්ද තහවුරු කරයි.

කටාර් රාජ්‍යය මත අසල්වැසි රටවල් විසින් ඇති කර ඇති පීඩනය සුළුපටු නොවේ. විශේෂයෙන්ම ගුවන් කලාප තහනම නිසා කටාර් ගුවන් සේවයට ගුවන් ගත වන්නට ඉතිරි වී ඇත්තේ පටු තීරයක් පමණි. එමෙන්ම, බොහෝ ගමනාන්ත වෙත යන්නට වෙන්නේ ඔලුව වටා අත කරකවා කණ අල්ලන ආකාරයෙනි. අත්‍යවශ්‍ය ආහාර ආනයන ආදිය හා අදාළවද ප්‍රශ්න තිබේ.

එසේ වුවද, ලෝක දේශපාලනය තුළ කටාර් රාජ්‍ය හුදෙකලා වී නොමැත. එමෙන්ම, කටාර් රාජ්‍යයේ මූල්‍ය අංශයද ස්ථාවරය. ඒ නිසා, කටාර් රාජ්‍යය දණ ගැස්සවීමද පහසු නොවනු ඇත. කටාර් රාජ්‍යය සාකච්ඡා වලට විවෘත බව දැනටමත් සඳහන් කර ඇති නිසා ප්‍රශ්නය වැඩි දුර දිග් නොගැසී විසඳෙන්නට ඉඩ තිබේ.

31 comments:

  1. Thank you very much dear Econo. I'm quite busy now & will comment soon again reading this properly. Thanks again. Well done.

    ReplyDelete
    Replies
    1. It's OK dude, you had written a nice post, but, of course it's not what I expected but I really appreciate this good work. Thank you very much. We could further observe and predict the future impacts. Once again, well done mate.

      Delete
  2. ෂියා, සුන්නි මුස්ලිම්වරු කියන්නේ කවුද? මුස්ලිම් හැමෝම සුන්නත් කරාම පස්සේ සුන්නි මුස්ලිම් නෙමේද?

    ReplyDelete
    Replies
    1. https://en.wikipedia.org/wiki/Islamic_schools_and_branches

      Delete
    2. මෙය මුහම්මද් නබි තුමාගේ මරණයෙන් පසුව අනුප්‍රාප්තිකත්වය මුල් කරගෙන ඇති වූ බෙදීමක්. සුන්නි මුස්ලිම්වරුන් විසින් ඔහුගේ මාමාවත්, ෂියා මුස්ලිම්වරුන් විසින් ඔහුගේ බෑණාවත් අනුප්‍රාප්තිකයා ලෙස තෝරා ගත්තා. මුල සිටම වෙනම නිකායන් දෙකක් ලෙස වර්ධනය වූ නිසා වෙනස්කම් ගණනාවක් තිබෙනවා. සුන්නත් කිරීම මුස්ලිම් ආගම ඇති වීමටත් පෙර පැවති සිරිතක්. ජේසුස් වහන්සේත් චර්ම ඡේදනය කළා. දැනටත් ඇමරිකාවේ දරුවන් බොහෝ දෙනෙක් ආගමික නොවන (ප්‍රධාන වශයෙන්ම සෞඛ්‍ය) හේතු මත උපතේදීම චර්ම ඡේදනය කරනවා. ෂියා හා සුන්නි දෙපිරිසම සුන්නත් කිරීම කරනවා.

      Delete
  3. 1. සුන්නි සහ ෂියා දෙගොල්ල වෙන්කර හඳුනා ගත හැකිද? පිටස්තර අපට බැරි උනත් උනූනුන් අතර එසේ පුලුවනිද?
    2. ලංකාවේ ඉන්නෙ ෂියාද සුන්නිද.
    මාතෘකාවට නම් අදාල නෑ, සමා වෙලා දන්නේනම් පිලිතුරු දෙන්න.

    ReplyDelete
    Replies
    1. 1. පිටස්තර අයට මෙය කිරීම අපහසුයි. සුන්නි ෂියා තබා මුස්ලිම් කෙනෙක් වුනත් පිටින් බලා අඳුනා ගත හැක්කේ ඔවුන් ආගමික/ සංස්කෘතික සංකේත බාහිරින් ප්‍රදර්ශනය කරනවානම් පමණයි නේද? එහෙත්, එය බැරිමත් නැහැ. විශේෂයෙන්ම මුස්ලිම් අයට ඔවුන්ගේ ආගමික සංකේත හා සංස්කෘතීන්හි ඇති වෙනස්කම් හඳුනාගත හැකියි.

      2. ලංකාවේ මුස්ලිම්වරුන්ගෙන් 99% ඉක්මවන ප්‍රමාණයක්ම සුන්නි මුස්ලිම්වරු. සම්ප්‍රදායික සුන්නි මුස්ලිම්වරුන් අතරින් සුළු පිරිසක් පසුගිය වසර 20-30ක පමණ කාලය තුළ ෂියා මුස්ලිම් වී තිබෙනවා. ඔවුන් නැගෙනහිර පළාතේ ප්‍රදේශ කිහිපයක සුන්නි මුස්ලිම්වරුන්ව ෂියා කරමින් ව්‍යාප්ත වෙමින් සිටිනවා. මගේ තක්සේරුව අනුව මේ වන විට ලංකාවේ ෂියා මුස්ලිම්වරුන් 10,000කට ආසන්න ප්‍රමාණයක් සිටිනවා. කුඩා දරුවන් හැර ඔවුන්ගෙන් කිසිවෙකු උපතින් ෂියා මුස්ලිම්වරුන් නෙමෙයි. ඔවුන් ෂියා ලෙස වෙනස් (කන්වර්ට්) කරන්නේ සම්ප්‍රදායික සුන්නි මුස්ලිම්වරුන් නිසා ඔවුන්ට ලංකාවේ මුස්ලිම්වරුන් අතර තිබෙන්නේ ප්‍රතිරෝධයක්. මෙය ලංකාවේ රෝමානු කතෝලිකයින් හා යෙහෝවා සාක්ෂිකරුවන් අතර පවතින ආකාරයේ තත්ත්වයක්. එසේත් නැත්නම් සමන්තභද්‍ර හිමිගේ අනුගාමිකයින් සම්බන්ධව සම්ප්‍රදායික බෞද්ධයින් අතර ඇති ආකාරයේ ප්‍රතිරෝධයක්. සුන්නි මුස්ලිම්වරුන් සුදු ඇඳීමට නැඹුරුවක් තිබුණත් ෂියා මුස්ලිම්වරුන් කළු ඇඳීමට නැඹුරුවක් තිබෙනවා.

      Delete
  4. ෂියා මුස්‌ලිම් බහුතරයක් ඉන්න ඉරානය තමයි මේ වෙද්දී කාටරයට ආහාර එවන්නේ.මේ ගැටලුවට හේතුව සුන්නි,ෂියා බෙදීමකට වඩා දෙයක් බවට ඉකනෝ කරන පැහැදිලි කිරීම අගනෙයි.

    ReplyDelete
    Replies
    1. මතුපිටින් ෂියා-සුන්නි ප්‍රශ්නයක් වගේ පේන්න තිබුණත් මෙය ඊට වඩා සංකීර්ණ බෙදීමක්.

      Delete
  5. ISISගේ සුන්නි ෂියා භේදය කොහොමද?

    ReplyDelete
    Replies
    1. ISISලා සුන්නි මුස්ලිම්. ඔවුන්ට බලය ඇති තැන් වල ඔවුන් ෂියා මුස්ලිම්වරුන්ව මරනවා.

      Delete
  6. මගේ පාසලේ සඟරාවක තිබුනා ඉස්ලාමයට අනුව ලොව වසන ජාති නවයක් ගැන.
    මට මතක හැටියට,
    1. සුන්නි මුස්ලිම්
    2. ශියා මුස්ලිම්
    3.පැරණි නබිවරුන්ගේ ආගම් අදහන අය (ක්‍රිස්තියානි සහ යුදෙව්)
    4.පට්ට මිත්‍යා දෘෂ්ඨිකයෝ (අපි)
    5.දිව්‍ය ලෝකයට යෑමට අවශ්‍ය අවම ප්‍රමාණයට ආගම අදහන්නන්
    6.ලාබ ප්‍රයෝජන තකා ‍මුස්ලිම්වරු ලෙස හැසිරෙන්නන්.
    7.මුස්ලිම්වරු භේද කිරීම සඳහා ඉස්ලාමයට හැරුණු සතුරන්.
    8.ඉස්ලාමය අතහැරි අය.
    9.ඉස්ලාමය ගැන කිසිවක් නොදන්නා අය.

    ReplyDelete
    Replies
    1. "ඉස්ලාමයට අනුව" කියා පසුව කණ්ඩායම් නවයක් ඉදිරිපත් කළාම එතැනම විසංවාදයකුත් තියෙනවා. සුන්නි-ෂියා කොටස් දෙකේම සැලකිය යුතු පිරිසක් අනෙක් කණ්ඩායම මුස්ලිම් නොවන (කෆීර්ලා) ලෙස සලකනවා.

      Delete
  7. මෙතනදි ලංකාවෙනුත් එළවළු පළතුරු නැවක් කටාරය වෙත පිටත්වුන බවට පුවත් පලවුනා.මේ ගැටුම ලංකාවෙට මොන විදිහකට අනාගතයේදී බලපායිද? අපේ තෙල් සැපයුම,ශ්‍රමිකයන් ආදිය එක්ක?
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ලංකාව කටාර් රාජ්‍යයට අපනයන නොකරන තරම්. ආනයන අපේ ආනයන වලින් 1%කටත් අඩුයි. ඒ නිසා ආනයන හෝ අපනයන වලට සැලකිය යුතු බලපෑමක් නැහැ. පවතින ගැටුම කිසියම් ආකාරයකින් දුරදිග ගියොත් ලංකාවට එහි බලපෑම දැනෙන්නේ එහි සිටින විශාල විදෙස් ශ්‍රමික පිරිස හා ඔවුන් එවන මුදල් හරහා.

      Delete
  8. ඉදිරි දශක දෙක තුන තුළ ලෝකයේ රටවල් සංස්කෘතික හා/හෝ ප්‍රාදේශීය කලාප ලෙස ඒකරාශී වන කණ්ඩායම් පහක් හයක් වටා ගොනුවන්නට බොහෝ දුරට ඉඩ තිබෙන බව//
    1984 ??? ඇත්ත වීමක් වගේ ඒක හෙහ්..
    සුන්නි ෂියා කේස් එක තදටම තියෙන කචල් එකක් නේ..ඇත්ත.. ඒත් ඒ හංද මේක වෙනව කියන එකයි හැම කෙනාගෙම හොද එකා වෙන්න යන එකයි අතර ලොකු වෙනසක් තියෙයි නේ

    ReplyDelete
    Replies
    1. //ඒත් ඒ හංද මේක වෙනව කියන එකයි//
      මෙය මම කිවුවේ සුන්නි ෂියා බෙදීම හා අදාළව නෙමෙයි. එය පැත්තකට කරමින් ප්‍රාදේශීය බලවතෙක් වන සවුදි අරාබිය වටා බහරේන් වැනි රටවල් එකතු වීම හා එසේ නොකරන කටාර් වලට ප්‍රශ්න වලට මුහුණ දෙන්න වීම හා අදාළව.

      Delete
  9. කටාර් වල ප්‍රධාන සංඟනායක ධුරන්දර අඟුනුකොළපැලැස්සේ චන්ද්‍රදෝති මහනායක ස්ථවරයන් වහන්සේ මගේ බාප්පා. මං උන්වහන්සේ සම්බන්ධ කරගත්තා දුරකතනය ඔස්සේ මේ දැන්. ලංකික අයට් කිසිසු ගැටළුවක් නෑ.

    ReplyDelete
  10. ගහෙන් ගෙඩි එන්නා වගේ එක පාරටම මේක උනා නේද? කිසිම වෝර්නින් එකක් නැතුව...මේක ඇමෙරිකන් හිතවාදී හා ඉරාන හිතවාදී ගැටලුවක් වෙන්න බැරිද

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්නත් පුළුවන්.

      Delete
  11. හොඳ ලිපියක්. මගේ අදහස නම මෑතදී එංගලන්තයේ ඇතිවූ පිපිරුම් ආදියේදී සවුදි ඇඟිල්ල දික් වුණා. එසේම දැන් කලක සිට සවුදි අරාබියේ සිට වහබිස්ම් නමැති අන්තවාදයට බර ඉස්ලාමිය ප්‍රවේශයක් රට රට වල පතුරවන බව කියනවා. එය අදහන්න් පටන් ගත විගසම බොහෝ මුස්ලිම් තරුණ තරුණියන් අරාබි විධිහට . (බර්කා ඇඳීම , රැවුල වැවීම) එහි ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔවුන් ආක්‍රමණශීලි විධිහට සමහර තැන්වල කටයුතු කරන අතර මුස්ලිම් පල්ලි වලට සවුදියෙන් ආධාර එනවා. ඉතින් කෙලින්ම සවුදියට ආපු කටාර් වලට චෝදනා කලා කියල කියනවා. නමුත් ඔබේ ලිපියේ සන්ධාන අයුරු ඉරානය සමග සම්බන්ධතාවය ආදියත් බලපාන්න ඇති.

    ReplyDelete
    Replies
    1. සවුදි අරාබියත් වහාබ්වාදය පැතිරවීම සඳහා විශාල ලෙස සම්පත් යොදවනවා. කවුරු වුවත් ආගම් හෝ මතවාද පැතිරවීමේ ප්‍රශ්නයක් නැහැ. නමුත්, එසේ කිරීමේදී අනෙක් අයගේ වෙනස් මතවාද හෝ විශ්වාස දැරීමේ අයිතීන්ට බාධාවක් වන සීමාව හඳුනා ගත යුතුයි.

      Delete
  12. බටහිර ක්‍රිස්තියානි සංස්කෘතියේ ප්‍රධාන ආයුධයක් තමයි බටහිර ඇලෝපති වෙදකම.
    බටහිරයන් තම විරුද්ධවාදී සංස්කෘතීන් අතට බටහිර න්‍යෂ්ටික තාක්ශණය යෑමට විරුද්ධයි.
    නමුත් ඔවුන් අතර බටහිර ඇලෝපති වෙදකම පැතිරීමට පක්ෂයි.
    එයට හේතුව ඇලෝපති වෙදකම හරහා බටහිර ක්‍රිස්තියානි නූතන හරපද්ධතීන් අන් සංස්කෘතීන් අතර ව්‍යාප්තවීමයි.

    සිංහල බෞද්ධයන් වුවත් ඇලෝපති වෙදකම සමඟ ගනුදෙනු කිරීමේදී ප්‍රවේශම් වියයුතුයි.
    ලංකාවේ හේතුවාදීන් අතරත් වැඩිදෙනා ඇලෝපති වෛද්‍යවරු.
    සිංහල බෞද්ධයන් කල්පනාකලයුතුයි අප සංස්කෘතියට වැඩියෙන්ම හානි වෙන්නේ, කට්ටඬියන්ගෙන්ද, ඇලෝපති දොස්තරලගෙන්ද?

    ReplyDelete
    Replies
    1. බටහිර ඇලෝපති වෙදකම කියන්නේ මොකක්ද? හෝමියෝපති වෙදකමටද ?

      Delete
    2. හෝමියෝපති වෛද්‍යවරුන් විසින් අප බටහිර වෙදකම ලෙස සාමාන්‍යයෙන් හඳුනාගන්නා ප්‍රධාන ධාරාවේ වෛද්‍ය ක්‍රමය හඳුන්වන්නේ ඇලෝපති වෛද්‍යක්‍රමය ලෙසයි.

      Delete
  13. ඔය ට්‍රම්ප් කාරයා ඇවිල්ලා ගියාට පස්සේ තමයි ඕක ඔක්කෝම සිද්ධ වෙන්නේ. ඔතන එල්ල කරන චෝදනා මුකුත් සාක්ෂි මත පදනම් වුනු ඒවා නොවේ. කටාරයට අවශ්‍ය මධ්‍යස්තව ඉඳිමින් ගැටුම් නිරාකරනය කරන එක. ඔවුන් ඒ වෙනුවෙන් දායක වෙලා තියෙනවා. ෂියා සුන්නි අදාලත්වයක් එතන ඔවුන්ට නැහැ. ඔවුන් යථාර්තවාදීව කටයුතු කරනවා. නමුත් සෞදි අරාබියාව, එක්සත් අරාබි එමිර් රාජ්‍යයවල න්‍යාය පත්‍රයන් වෙනස්. එතන ඔවුන්ට තිබෙන්නේ පැවැත්ම (survival) පිලිබඳ ප්‍රශ්ණයක් .

    ReplyDelete
  14. ස්තුතී ඉකෝන් මේ සටහනට... මාත් මේ වගේ ලිපියක් ඔබ ලියාවි කියලා බලාපොරෙත්තු උනා...

    වහක් වාදය ගැන වැඩි විස්තරයක් දන්නේ නෑ.. පුලුවන් නම් ඒ ගැනත් ලියන්න...

    ReplyDelete
    Replies
    1. බොහෝ ඉස්ලාම් භක්තිකයින් කුරානයේ ඇති දේ වචනාර්ථයෙන්ම නොසලකා එයින් අදහස් කළ දේ ලෙස ඔවුන් සිතන දෙය අනුගමනය කරනවා. තවත් අය ඒ කාලයට ගැලපුනත් අදට නොගැලපෙන දේ ලෙස හඳුනාගත් කොටස් තියෙනවා. වහාබ්වාදීන් සිතන්නේ කුරානයේ ඇති දේ වචනාර්ථයෙන්ම පිළිපැදිය යුතු බවයි. ඇතැම් වහාබ්වාදීන් විසින් වහාබ්වාදීන් නොවන අනෙක් ඉස්ලාම් භක්තිකයින් මුස්ලිම් නොවන අය ලෙස සලකනවා.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

Gadget

This content is not yet available over encrypted connections.