වෙබ් ලිපිනය:

Saturday, June 17, 2017

ඔලිම්පික් පදක්කමක වටිනාකම කොපමණද?


ඔලිම්පික් පදක්කමක් දිනා ගැනීම ක්‍රීඩකයෙකුට ලබා ගත හැකි ඉහළම ජයග්‍රහණයකි. ඔලිම්පික් ජයග්‍රාහකයන්ට රන්, රිදී හා ලෝකඩ පදක්කම් හිමි වන නමුත් ඒ පදක්කම් හදා තිබෙන්නේ අදාළ ලෝහ වලින්ම නොවේ.

ඔලිම්පික් රන් පදක්කමක රත්තරන් තිබෙන්නේ ග්රෑම් 6ක් පමණ හෙවත් 1.2% නොඉක්මවන ප්‍රමාණයක් පමණි. ඉතිරිය රිදී හා තඹ මිශ්‍රණයකි.

රිදී පදක්කමකනම් 92.5%ක් රිදී තිබේ. ඉතිරිය තඹයි. රන් පදක්කමක අඩංගු රිදී හා තඹ මිශ්‍රණයේ රිදී අනුපාතයද මෙයමය.

ලෝකඩ පදක්කමක 97%ක් පමණ තඹද, 2.5%ක් තුත්තනාගම්ද, 0.5ක් ටින් ලෝහයද අඩංගුය.

ඔලිම්පික් රන් පදක්කමක ලෝහ වටිනාකම ඇමරිකන් ඩොලර් 550ක් පමණද, රිදී පදක්කමක වටිනාකම ඩොලර් 300ක් පමණද, ලෝකඩ පදක්කමක වටිනාකම ඩොලර් 2ක් පමණද වේ.

ඔලිම්පික් පදක්කමක් දිනාගන්නා ක්‍රීඩකයෙකුට ඉහත පදක්කම් හැරුණු විට වෙනත් මුදල් ත්‍යාගයක් හිමි නොවේ. එහෙත්, බොහෝ රටවල ඔලිම්පික් කමිටු හෝ රජයයන් මඟින් ඔලිම්පික් පදක්කම් දිනා ගන්නා ක්‍රීඩකයින් දිරිගැන්වීම සඳහා යම් මුදල් ත්‍යාගයක් ප්‍රදානය කරයි.

අවසන් වරට ලංකාව වෙනුවෙන් ඔලිම්පික් පදක්කමක් ජයග්‍රහණය කළ සුසන්තිකා ජයසිංහට ඇගේ ලෝකඩ පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකා රජයෙන් රුපියල් මිලියන 5ක මුදල් ත්‍යාගයක් හිමි විය. මේ මුදල එවක පැවති විණිමය අනුපාතිකය අනුව ඇමරිකන් ඩොලර් 67,500ක පමණ මුදලකි.

මහජන පරිත්‍යාග මත යැපෙන ලාභ නොලබන සංවිධානයක් වන ඇමරිකන් ඔලිම්පික් කමිටුව විසින් රන්, රිදී හා ලෝකඩ පදක්කම් ලාභීන්ට පිළිවෙලින් ඇමරිකන් ඩොලර් 25000, 15000 හා 10000 බැගින් ලබා දෙයි. එහෙත්, මේ ත්‍යාග මුදල් වලින් සැලකිය යුතු කොටසක් ක්‍රීඩකයින් විසින් ආදායම් බදු ලෙස රජයට ගෙවිය යුතුය.

මේ අයුරින්ම කැනඩාවේ ක්‍රීඩක විශිෂ්ඨත්ව අරමුදල මඟින් රන්, රිදී හා ලෝකඩ පදක්කම් ලාභී කැනේඩියානු ක්‍රීඩකයින්ට  පිළිවෙලින් කැනේඩියන් ඩොලර් 20000, 15000 හා 10000 බැගින් ලබා දෙයි. මේ ත්‍යාග මුදල්ද ආදායම් බදු  වලට යටත්ය.

ඕස්ට්‍රේලියාවේ තත්ත්වයද මීට සමානය. ජයග්‍රාහක ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන්ට ඕස්ට්‍රේලියානු ඩොලර් 20000, 15000 හා 10000 ලෙස ත්‍යාග මුදල් හිමි වේ.

එංගලන්තය ඔලිම්පික් ක්‍රීඩකයන්ට මෙවැනි ත්‍යාග මුදලක් පිරිනමන්නේ නැත.

ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව හා ඕස්ට්‍රේලියාව වැනි බටහිර රටවල ඔලිම්පික් පදක්කමක් වෙනුවෙන් ක්‍රීඩකයෙකුට ලැබෙන මුදල් ත්‍යාගය එම රටවල ඒක පුද්ගල ආදායමට සාපේක්ෂව එතරම් විශාල නොවූවත්, ක්‍රීඩකයින් දිරි ගැන්වීම සඳහා මීට වඩා සැලකිය යුතු ලෙස විශාල මුදල් ත්‍යාග පිරිනමන රටවල්ද තිබේ. මෙවැනි රටවල් බොහොමයක් වැඩිපුර ඔලිම්පික් පදක්කම් නොලබන රටවල්ය. ඒ නිසා, ඔලිම්පික් ක්‍රීඩකයෙකුට වැඩි වාසි තිබෙන්නේ ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව හා ඕස්ට්‍රේලියාව වැනි බටහිර රටවල නොව ඔලිම්පික් පදක්කම් වැඩිපුර නොලබන රටවලය.

සිංගප්පූරුව විසින් ඔලිම්පික් රන් පදක්කමක් ලබා ගන්නා එරට ක්‍රීඩකයෙකුට සිංගප්පූරු ඩොලර් මිලියනයක මුදල් ත්‍යාගයක් ලබා දෙන බව කලක සිට නිවේදනය කර තිබුණු අතර 2016 ඔලිම්පික් තරඟයේදී මුල් වලට ක්‍රීඩකයෙකු විසින් මේ ත්‍යාගය දිනා ගත්තේය, රිදී හා ලෝකඩ පදක්කම්ලාභීන්ට සිංගප්පූරුව විසින් සිංගප්පූරු ඩොලර් 500,000 හා 250,000 බැගින් ප්‍රදානය කරයි. දන්නා තරමින් ඔලිම්පික් පදක්කම්ලාභීන්ට වැඩිම මුදල් ත්‍යාග ගෙවන රට සිංගප්පූරුවයි.

අසල්වැසි ඉන්දියාව විසින් මෙවර ඔලිම්පික් තරඟයේදී රන්, රිදී හා ලෝකඩ පදක්කම් දිනාගන්නා ක්‍රීඩකයින්ට පිළිවෙලින් ඉන්දියානු රුපියල් ලක්ෂ 50, 30 හා 20 ලෙස ත්‍යාග මුදල් ලබා දෙන බව නිවේදනය කර තිබුණේය. ඉන්දියාවට මෙවර රිදී හා ලෝකඩ පදක්කම බැගින් ලැබුණත් රන් පදක්කමක් හිමි වුණේ නැත.

ඇතැම් ඔලිම්පික් පදක්කම්ලාභීන් විසින් ඔවුන්ගේ ඔලිම්පික් පදක්කම් වෙන්දේසි කර තිබේ. බොහෝ විට මෙය කර ඇත්තේ කිසියම් පුණ්‍ය කටයුත්තක් සඳහා මුදල් ඉපැයීමටය. මේ වෙන්දේසි වලදී, ඔලිම්පික් පදක්කමක මිල බොහෝ විට තීරණය වී ඇත්තේ පදක්කම ලබාගත් වසර හා පදක්කම්ලාභියා කෙතරම් ප්‍රසිද්ධද යන්න මතය.

බර්ලින්හි පැවති 1936 ඔලිම්පික් තරඟයේදී ජෙසී අවන්ස් විසින් ලබාගත් ඔලිම්පික් රන් පදක්කමක් 2013දී ඇමරිකන් ඩොලර් 1,466,574 කට වෙන්දේසි වූ අතර දන්නා තරමින් මෙය ඔලිම්පික් පදක්කමක් වෙන්දේසි වී ඇති ඉහළම මිලයි. මළල ක්‍රීඩා ඉතිහාසයේ වඩාත්ම ප්‍රසිද්ධ ක්‍රීඩකයා ලෙස සැලකෙන අප්‍රිකානු ඇමරිකානුවෙක් වූ ජෙසී අවන්ස් විසින් 1936 බර්ලින් ඔලිම්පික් තරඟයේදී මිනිත්තු 45ක් තුළ ලෝක වාර්තා තුනක් තබමින්, ඔලිම්පික් රන් පදක්කම් හතරක් දිනාගත්තේය. ජෙසී අවන්ස්ගේ සුපිරි කාර්ය සාධනය එවකට ජනප්‍රියව පැවති හිට්ලර්ගේ ආර්ය විශිෂ්ඨත්වය පිළිබඳ ප්‍රවාදයට විශාල අභියෝගයක් වූ අතර ඒ හේතුවෙන් ඔහුට ඉතිහාසයේ වැදගත් තැනක් හිමිවිය. ඔහුගේ ඔලිම්පික් රන් පදක්කම මෙවැනි ඉහළ මිලකට වෙන්දේසි වීමට හේතුව වූයේ එයයි.

කලකට පසු සුසන්තිකා ජයසිංහ විසින් ලංකාවටද ඔලිම්පික් ජයග්‍රහණයක් ලබා දුන්, 2000 සිඩ්නි ඔලිම්පික් තරඟයේදී රන් පදක්කමක් දිනාගත් තවත් කළු ඇමරිකානුවෙකු වූ ඇන්තනී අර්වින් විසින් 2004 ආසියානු සුනාමියෙන් විපතට පත් වූවන්ට ආධාර පිණිස ඔහුගේ ඔලිම්පික් රන් පදක්කම ඊබේහි වෙන්දේසි කළ අතර එම පදක්කම ඇමරිකන් ඩොලර් 17,101කට වෙන්දේසි විය. ඉන්පසුව ක්‍රීඩාවෙන් විශ්‍රාම ගෙන සිටි ඔහු පසුව නැවතත් පුහුණුවීම් කර 2016දී තවත් ඔලිම්පික් රන් පදක්කමක් දිනාගත්තේය. මුල් පදක්කම නැතත් මේ දෙවන පදක්කම තවමත් ඔහු සතුව තිබේ.


සැබෑ ඔලිම්පික් පදක්කම් වලට සමාන අනුකරණ පදක්කම් ඒවායේ ලෝහ අගයට ආසන්න ඉතා අඩු මිලකට ඊබේහි විකිණේ. මෙවැනි අනුකරණ ඔලිම්පික් පදක්කමක් ඩොලර් විස්සකට තිහකට මිල දී ගත හැකිය. එහෙත්, සැබෑ ඔලිම්පික් පදක්කමක් වෙළඳපොළෙන් මිලදී ගැනීම එතරම් පහසු නොවන්නේ සිය පදක්කම විකුණන්නට ඉදිරිපත් වන ක්‍රීඩකයින් ඉන්නේ සීමිත ප්‍රමාණයක් බැවිනි. ඒ නිසා, සැබෑ ඔලිම්පික් පදක්කම් ඒවායේ ලෝහ අගයට වඩා ඉතා වැඩි මිලකට වෙළඳපොලේ අලෙවි වේ.

සැබෑ ඔලිම්පික් පදක්කම් ඒවායේ ලෝහ වටිනාකමට වඩා වැඩි මිලක් ගෙවා මිලදී ගන්නේ විනෝදාංශයක් ලෙස ඔලිම්පික් පදක්කම් එකතු කරන අයයි. වෙන්දේසිකරුවන්ගේ ඇස්තමේන්තු අනුව ලෝකයේ මෙවැනි අය පණහකට වඩා නැත. ඒ නිසා, ඔලිම්පික් පදක්කම් වෙළදපොළේ සැපයුම අඩු වුවත්, ඉල්ලුමද අඩුය. මේ හේතුව නිසා, විශේෂත්වයක් නැති සාමාන්‍ය ඔලිම්පික් පදක්කමක් ඉතා විශාල මිලකට අලෙවි වන්නේද නැත.

යූඑස්ඒටුඩේ විසින් වසර කිහිපයකට පෙර වෙන්දේසිකරුවෙකු හා සාකච්ඡා කිරීමේදී ප්‍රකාශ කර තිබුණු පරිදි විශේෂ ඓතිහාසික සිදුවීමකට සම්බන්ධ නැති රන්, රිදී හා ලෝකඩ ඔලිම්පික් පදක්කම් වෙන්දේසි වන සාමාන්‍ය මිල පිළිවෙලින් ඩොලර් 10000, 8000 හා 6000 පමණ වේ. මේ අනුව, ඔලිම්පික් ක්‍රීඩකයින් වැඩි දෙනෙකුට සිය පදක්කම් වෙන්දේසි කර ලබා ගත හැකි මුදල තමන්ගේ රටේ ඔලිම්පික් කමිටුවෙන් ලැබෙන ත්‍යාග මුදලට
වඩා අඩු මුදලකි.

(Image: http://www.marketwatch.com/story/olympic-gold-medals-come-with-big-cash----if-youre-from-one-of-these-countries-2016-08-10)

6 comments:

  1. අපේ රටේ ලිං මැඩියන්ට ඔය ඔලිම්පික් මෙඩ්ල් කෝටි ගානට විකුණන කතා මැජික් තමා ඇමතියෙක් කැඩුනු කුණු සපත්තු දෙකත් කෝටි ගානට විකුනනව කියපු කතා ගිල්ල උන්ට මෙව්ව මොනාද?හැබැයි අපිට නම් ඉස්සරහට ඔලිම්පික් නෙමේ ආසියානු පදක්කමකුත් කෝටි ගානක් වටීවි මොකෝ දකුණු ආසියාවෙන් එහාට ක්‍රීඩා ජයග්‍රහණයක්පේන තෙක් මානෙක නැහැ.

    ReplyDelete
    Replies
    1. කොමිටියකුත් පත් කළා නේද? අයියෝ සල්ලි!

      Delete
  2. // පදක්කම් හදා තිබෙන්නේ අදාළ ලෝහ වලින්ම නොවේ.//
    මෙය සුසී නොදනී.
    //විශේෂත්වයක් නැති සාමාන්‍ය ඔලිම්පික් පදක්කමක් ඉතා විශාල මිලකට අලෙවි වන්නේද නැත.//
    මෙයද සුසී නොදනී.

    ReplyDelete
    Replies
    1. සමහර විට දැනගෙන පියවරක් ඉදිරියෙන් සිටිනවා වන්නටද පුළුවන.

      Delete
  3. /* ඔලිම්පික් පදක්කමක් ජයග්‍රහණය කළ සුසන්තිකා ජයසිංහට ඇගේ ලෝකඩ පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකා රජයෙන් රුපියල් මිලියන 5ක මුදල් ත්‍යාගයක් හිමි විය. මේ මුදල එවක පැවති විණිමය අනුපාතිකය අනුව ඇමරිකන් ඩොලර් 67,500ක පමණ මුදලකි. */

    ඒ ආරම්භය පමණයි නේද? තට්ටු නිවාස හා ඉඩම් ලැබුණු බවත් කියවුණා.

    එතැන් සිටයි ඇය සුබසාධක මානසිකත්වයට පත්වුනේ. පව් එක අතකට.

    වසර 2000 කාලේ ලක්‍ෂ පණහක් තිබුණු කෙනෙකුට මොනවා නොකරන්න තිබුණා ද? දැන් පවා ලංකාවේ පාසල් ගුරුවරයෙකුට පඩි ලැබෙන්නේත් මසකට රුපියල් 40,000 පමණයි!

    ReplyDelete
    Replies
    1. ඔය කාලයේ ඇතැම් අංශ වලින් BOI ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අවශ්‍ය වුනෙත් ඩොලර් 50,000ක් පමණයි.

      ඇයට ලැබුණු අනෙක් දේවල් ගැන මෙහි තිබෙනවා.

      http://www.lankaenews.com/news/2111/en

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: