Wednesday, June 14, 2017

මළවුන්ගේ නොමැරුණු ගිණුම්


දින කිහිපයකට පෙර, ගායක ප්‍රින්ස් උදය ප්‍රියන්ත නවලෝක පෞද්ගලික රෝහලේදී අභාවප්‍රාප්ත විය. රෝහල් බලධාරීන් විසින් ඔහුගේ දේහය නිදහස් කර තිබුණේ, මසක් ඇතුළත රුපියල් ලක්ෂ 25ක නොපියවූ රෝහල් බිල ගෙවන බවට පවුලේ සාමාජිකයින්ගෙන් ලිඛිත පොරොන්දුවක් ලබාගැනීමෙන්  පසුවය. ගායක කීර්ති පැස්කුවල් විසින් ඒ සඳහා මහජන උදවු ඉල්ලමින් ඔහුගේ වත්පොතේ සටහනක් පළකර තිබුණු අතර ඇතැම් අය මේ වෙනුවෙන් දායක වීමට ඉදිරිපත් වී සිටියේය.

ලංකාවේ පෞද්ගලික රෝහල් වල මිය යන පුද්ගලයින්ගේ දේහයන් රෝහල් බලධාරීන් විසින් අදාළ බිල ගෙවන තුරු නිදහස් නොකර සිටි අවස්ථා ගණනාවක්ම මීට පෙර
වාර්තා වී තිබුණේය. මේ අවස්ථාවේදී නවලෝක රෝහල එසේ නොකර ලිඛිත පොරොන්දුවක් ගෙන ප්‍රින්ස් උදය ප්‍රියන්තගේ දේහය නිදහස්  කිරීමේදී ඔහු ජනප්‍රිය පුද්ගලයෙකු වීමද සලකා බැලුවා විය හැකිය.

නවලෝක රෝහලේ 2015/16 වාර්ෂික වාර්තාව අනුව 2015 අවසාන වන විට ලංකාවේ පෞද්ගලික රෝහල් 241ක් ලියාපදිංචි කර තිබී ඇති අතර රෝහල් ඇඳන් ගණන 5,883කි. බටහිර වෙදකම කරන රජයේ රෝහල් 610ක් තිබී ඇති අතර ඇඳන් ගණන 76,781කි.

ඉහත සංඛ්‍යාලේඛණ වලින් පෙනෙන පරිදි ලංකාවේ (බටහිර වෙදකම කරන) මුළු රෝහල් ගණනින් 28.3%ක් පෞද්ගලික රෝහල් වන නමුත් රෝහල් ඇඳන් ප්‍රමාණයෙන් 92.9%ක්ම තවමත් තිබෙන්නේ රජයේ රෝහල් වලය.
මෙයින් ලංකාවේ පෞද්ගලික රෝහල් සඳහා ඇති ඉල්ලුමේ ස්වභාවය ගැන ඉඟියක් ලබාදෙයි.

ලංකාව නිදහස් සෞඛ්‍ය සේවාවක් ඇති රටකි. ඕනෑම ආදායම් මට්ටමක කෙනෙකුට රජයේ රෝහල් වලින් මුදල් නොගෙවා සෞඛ්‍ය සේවාවන් ලබා ගත හැකිය.
රජයේ රෝහල් වලින් සෞඛ්‍ය සේවාවන් ලබා නොගත්තද, මේ නොමිලේ ලබා දෙන සෞඛ්‍ය සේවාවන්හි පිරිවැය රටේ සියලු දෙනා විසින්ම දැරිය යුතුය.

මා දන්නා තරමින් ලංකාවේ පෞද්ගලික රෝහල් සියල්ලම ලාභ ලබන ව්‍යාපාරයි. එම රෝහල් මඟින් ලබා දෙන සේවාවන් වල පිරිවැය මෙන්ම ඒ මත එකතු කෙරෙන ලාභ ආන්තිකයක්ද එම රෝහල් වලින් සේවාවන් ලබා ගන්නා පුද්ගලයින්ගෙන් අය කෙරේ.
නිදහස් සෞඛ්‍ය සේවයක් නැති ඇමරිකාවේ ඇති රෝහල් 5,564ක් අතරින්ද, ලාභ තකා පවත්වාගෙන යන රෝහල් ප්‍රමාණය 1,034ක් හෙවත් 18.6%ක් පමණි. 

ලංකාවේ රජයේ රෝහල් වල මෙන්ම පෞද්ගලික රෝහල් වලද ඇඳන් හිස්ව තිබීම සාමාන්‍ය තත්ත්වයක් නොවේ. මෙයින් පෙනෙන්නේ සෞඛ්‍ය සේවා සැපයුම තවමත් තිබෙන්නේ ඉල්ලුම සැපිරෙන මට්ටමට අඩුවෙන් බවයි. එසේනම්, මේ කර්මාන්තයේ සාමාන්‍ය ලාභ ඉක්මවන සුපිරි ලාභ තිබිය යුතුය. අළුතින් ආරම්භ කෙරෙන පෞද්ගලික රෝහල් වලින් තහවුරු කෙරෙන්නේද මේ කරුණයි. කර්මාන්තයේ ස්වභාවය අනුව, මේ සුපිරි ලාභ හිමිවන්නේ කොටස් හිමියන්ට නොවන්නට පුළුවන.
 
ලංකාවේ පෞද්ගලික වෛද්‍ය සේවා සඳහා වන ඉල්ලුම දෙස බැලීමේදී මතුවන පළමු ප්‍රශ්නය වනුයේ කිසියම් පුද්ගලයෙකු තමන්ට "නොමිලේ" ලබා ගත හැකි දෙයක් මුදල් ගෙවා ලබා ගන්නේ ඇයිද යන්නයි. රජයේ හා පෞද්ගලික රෝහල් වලින් ලැබෙන්නේ එකම දෙයනම් කිසිවකුට මුදල් ගෙවා පෞද්ගලික රෝහලකට යාමට අවශ්‍යතාවයක් නැත. එසේ තිබියදී, පෞද්ගලික රෝහල් එන්න එන්නම ජනප්‍රිය වීමෙන් පෙනෙන්නේ ගෙවන මුදලට සරිලන කිසියම් "අමතර දෙයක්" පෞද්ගලික රෝහල් වලින් ලැබෙන බවයි. මේ අමතර දෙය වඩා සාර්ථක වෛද්‍ය ප්‍රතිකාර, වඩා ඉක්මන් ප්‍රතිකාර, වඩා හොඳ පාරිභෝගික සේවාවන් හෝ වෙනත් යමක් විය හැකිය.

රට පුරා හන්දියක් හන්දියක් ගානේ ඇති බටහිර වෛද්‍යවරුන්ගේ පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථාන ප්‍රමාණය කොතරම්දැයි මා නොදන්නා නමුත් 20,000කට ආසන්න ලියාපදිංචි බටහිර වෛද්‍යවරුන්ගෙන් 90%ක්වත්, පෞද්ගලිකව, මුදල් අයකර ප්‍රතිකාර සපයන බව හා මේ වන විට සාමාන්‍ය ලෙඩකට ලංකාවේ බොහෝ දෙනෙක් ප්‍රතිකාර ගන්නේ රජයේ රෝහල් හා වෛද්‍යශාලා වලින් නොවන බව මගේ අදහසයි. සුළු ලෙඩකට රජයේ රෝහලකට යන්නේ සීමිත පිරිසකි. පෞද්ගලික රෝහල් එන්න එන්නම ව්‍යාප්ත වන්නේ මේ ඉල්ලුම හමුවේය.

කෙසේවුවද, ලොකු ලෙඩකදී හැසිරෙන ආකාරය මෙයම නොවේ. දීර්ඝකාලීනව නේවාසිකව ප්‍රතිකාර ගත යුතු අවස්ථාවක තවමත් ලංකාවේ බොහෝ දෙනෙකුගේ තේරීම රජයේ රෝහලකි. රටේ රෝහල් වලින් 28.3%කම පෞද්ගලික රෝහල් වුවත් එම රෝහල් සතු රෝහල් ඇඳන් ගණන මුළු ප්‍රමාණයෙන් 7.1%ක් පමණක් වන්නේ මේ හේතුව නිසාය.

දීර්ඝකාලීනව නේවාසිකව ප්‍රතිකාර ගත යුතු අවස්ථා වලදී බොහෝ දෙනෙකුගේ තේරීම රජයේ රෝහලක් වන්නේ එවැනි අවස්ථාවලදී පෞද්ගලික රෝහල් වලින් "අමතර දේවල්" නොලැබෙන නිසා නොවේ. මේ අමතර දේවල් වෙනුවෙන් වැය කළ යුතු අමතර මුදල ලැබෙන අමතර දේවල් වල වටිනාකමට වඩා වැඩි නිසාය. ඒ නිසා, තවමත්, දීර්ඝකාලීනව ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය වූ විටක පෞද්ගලික රෝහලක් තෝරාගන්නේ ඉහළ මධ්‍යම පාන්තිකයින්ය.

ප්‍රින්ස් උදය ප්‍රියන්තගේ නොපියවූ රෝහල් බිල රුපියල් ලක්ෂ 25ක් ලෙස ඉතිරිව ඇත්තේ රුපියල් ලක්ෂ 125ක් පමණ රෝහල් ගාස්තු ලෙස ගෙවීමෙන් පසුවය. මෙය විශාල මුදලකි. මෙවැනි විශාල මුදලක් එකවර ගෙවීම ඉහළ මධ්‍යම පාන්තිකයෙකුට වුවද පහසු නැත.

යමෙක් ප්‍රතිකාර සඳහා පෞද්ගලික රෝහලකට ඇතුළත් වන බොහෝ විට තමන්ට ඉහත ආකාරයේ විශාල මුදලක් ගෙවන්නට සිදුවිය හැකි බව උපකල්පනය කරන්නේ නැත. සෞඛ්‍ය සේවාවක් වෙනත් පාරිභෝගික භාණ්ඩයකින් හෝ සේවාවකින් වෙනස් වන එක් ප්‍රධාන තැනක් වන්නේ තමන් මිලදී ගන්නට යන දෙය ගැන පාරිභෝගිකයා හරියටම නොදැන සිටීම නිසා ඇති වන තොරතුරු අසමමිතියයි. සෞඛ්‍ය රක්ෂණ ඇති වී තිබෙන්නේ මේ ප්‍රශ්නයට විසඳුමක් වශයෙනි.

ලාභ ලබන හෝ ලාභ නොලබන ව්‍යවසායයක් ලෙස රෝහලක් පවත්වාගෙන යන්නෙකුට නොපියවන බිල්පත් විශාල ප්‍රශ්නයකි. ඇමරිකාවේ රෝහල් බිල්පත් වලින්ද 4-6% අතර ප්‍රමාණයක් නොපියවෙන අතර 2015 වසරේදී මෙසේ නොපියැවුණු බිල්පත් වල වටිනාකම ඩොලර් බිලියන 35.7ක් විය. අවසාන වශයෙන් මේ නොපියවන බිල්පත් වල බර වැටෙන්නේ එවැනි රෝහල් වලින් ප්‍රතිකාර ගන්නා අනෙක් පාරිභෝගිකයින් මතය.

අනෙක් අතට, තමන් රෝගී වන්නේ කොයි වේලාවේද යන්න කිසිවකු හරියටම දන්නේ නැත. යමෙක් හදිසියේ රෝගාතුර වූ විට විශාල වියදමක් දරන්නට සිදුවිය හැකිය. ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවාවක් තිබෙන බව ඇත්තක් වුවත්, වියදම් කිරීමේ හැකියාවක් තිබේනම් බොහෝ දෙනෙකුගේ තේරීම වන්නේ පෞද්ගලික රෝහලකි. මෙය ප්‍රායෝගිකව පෙනෙන්නට තිබෙන තත්ත්වයයි.

හොඳ සෞඛ්‍ය රක්ෂණ ක්‍රමයක් පැවතීම රෝගීන්ට මෙන්ම රෝහල්වලටද වාසිදායකය. එමඟින් රෝගීයෙකුට (හෝ රෝගියෙකුගේ සමීපතමයින්ට) එකවර විශාල මුදලක් ගෙවන්නට සිදුවීමේ අවදානම නැති වන අතර රෝහල් සේවා සපයන්නන්ට සිය බිල්පත් පියවගැනීමේ අවදානම නැති වේ. කෙසේවුවද, මෙවැනි විශාල මුදලක් අවශ්‍ය වන විටකදී ලංකාවේ සෞඛ්‍ය රක්ෂණ සේවාවන් එතරම් ප්‍රයෝජනවත් නොවන බව බොහෝ දෙනෙකු දන්නා දෙයකි. 



ලංකාවේ සෞඛ්‍ය රක්ෂණ සේවා සැපයීමේ ව්‍යාපාරික ආකෘතිය එතරම් සාර්ථක බවක් නොපෙනේ. මෙයට හේතුවද, අවශ්‍ය තරම් වේගයෙන් පෞද්ගලික රෝහල් බිහි නොවීමට හේතු වන සුවිශේෂී තත්ත්වයමය. සෞඛ්‍ය සේවා සැපයීමේ කර්මාන්තය තුළ ලාභ වලට බලපාන තීරණ ගැනීම බලය තිබෙන්නේ ආයෝජකයින්ට වඩා වෛද්‍ය වෘත්තිකයින් අතේය. ඒ නිසා කර්මාන්තයේ සුපිරි ලාභ සාමාන්‍ය ආයෝජකයින් අතට පත් නොවී සැඟව යයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස වෛද්‍ය වෘත්තිකයෙකු නොවන සාමාන්‍ය ආයෝජකයෙකු ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීමට දක්වන්නේ අඩු නැඹුරුවකි.


ලංකාවට ගැලපෙන සෞඛ්‍ය රක්ෂණ සේවා ආකෘතියක් වන්නේ පෞද්ගලික රෝහල් විසින්ම එවැනි සේවා සැපයීමයි. ප්‍රධාන පෞද්ගලික රෝහල් වලට ඉහළ මධ්‍යම පන්තිය ඉලක්ක කරමින් මෙවැන්නක් නියාමක ව්‍යාපෘතියක් ලෙස අත්හදා බලන්නට පුළුවන. මෙ
වට්ටම් සාමාජික ක්‍රමයක් (Discount membership) ලෙස වුවද ක්‍රියාත්මක කළ හැකිය.  උදාහරණයක් ලෙස, වාර්ෂික සාමාජික ගාස්තුවක් අයකර ඒ වෙනුවෙන් වාර්ෂික වෛද්‍ය පරීක්ෂණයක්, තමන්ගේ රෝහලෙන් ලබා දෙන සේවාවන් සඳහා සැලකිය යුතු වට්ටමක් හා උපරිම වියදම් සීමාවක් සහිත පැකේජයක් ඉදිරිපත් කළ හැකිය.

මෙවැන්නක් කිරීමෙන් පෞද්ගලික රෝහලකට කිසියම් පාරිභෝගික පිරිසක් තමන්ගේ රෝහල තුළම රඳවා ගත හැකිය. ලැබෙන වට්ටම නිසා මේ පිරිස වෙනත් රෝහලකට නොයනු ඇත. පුළුල් වෛද්‍ය පරීක්ෂණයක් කරන්නේනම් බොහෝ රෝග තත්ත්වයන් කලින් හඳුනා ගත හැකි නිසා ඉල්ලුම් කළමණාකරණය පහසු වේ. උපරිම වියදම් සීමාවක් ඉදිරිපත් කිරීම නිසා ඇතැම් රෝගීන්ගේ වියදම ආවරණය නොවූවත්, සමස්තයක් ලෙස මේ ආවරණය කර ගන්නට පුළුවන. 


කර්මාන්තයක් ලෙස පෞද්ගලික රෝහල් යොමු විය යුත්තේ මැරෙන්න වැටුණු ලෙඩුන් ටික දෙනක් මරාගෙන ආදායම් ඉපැයීමට නොව වැඩි දෙනෙකුගේ සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීමට හා එමඟින් ආදායම් ඉපැයීමටය. අනෙක් අතට, අඩුම වශයෙන් වියදම් කිරීමේ හැකියාවක් ඇති අයට, මැරෙන්නම වැටෙන්නට පෙර තමන්ගේ සෞඛ්‍යය ගැන හිතන්නට හා ආයෝජනයක් කරන්නට මෙන්ම රෝග තත්ත්වයන් කලින් හඳුනා ගන්නට රෝහලකින් මිලදී ගන්නා සෞඛ්‍ය සේවා පැකේජයකින්  ඉඩ සැලසේ.

ආර්ථිකයේ කවර ප්‍රශ්න තිබුණත් පසුගිය දශක දෙක තුන තුළ ලංකාවේ ඒක පුද්ගල ආදායම කිහිප ගුණයකින් වැඩි වී ඇති අතර සල්ලි වියදම් කළ හැකි සැලකිය යුතු පිරිසක් රටේ සිටිති. ඒ නිසා, රජය, පුද්ගලික අංශය මෙන්ම තනි පුද්ගලයින් විසින්ද සැලසුම් සකස් කළ යුත්තේ කාලයකට පෙර භාවිතා කළ "ඌන සංවර්ධිත" ආකෘති වල හිරවී සිටිමින් නොව රටේ ක්‍රමික ආදායම් ඉහළ යාමට ගැලපෙන සමාජ පරිවර්තන දිරිගන්වමිනි.


(Image: SARIGAMA.LK)

20 comments:

  1. පුද්ගලික රෝහල් වල කරන ටෙස්ට් වලින් කොමිස් මුදලක් එම ටෙස්ට් ඉල්ලාසිටින වයිද්ය වරයාට ලැබනවා

    ReplyDelete
  2. /* ලංකාවේ පෞද්ගලික වෛද්‍ය සේවා සඳහා වන ඉල්ලුම දෙස බැලීමේදී මතුවන පළමු ප්‍රශ්නය වනුයේ කිසියම් පුද්ගලයෙකු තමන්ට "නොමිලේ" ලබා ගත හැකි දෙයක් මුදල් ගෙවා ලබා ගන්නේ ඇයිද යන්නයි. */

    ඒ සමගම, මුදල් යහමින් නැති කලාකරුවන් කියන පිරිසෙන් සමහරු තමන්ගේ වියදම් පොදු ජනතාව විසින් කෙලින් ම හෝ රජයේ අරමුදල් හරහා ගෙවිය යුතුයි කියා සිතීම ද විහිළුවකි!

    තමන් ගේ ලෙඩට බේත් ගැනීමට රජයේ මුදල් අවභාවිතා කරන දේශපාලුවන් ද එමට ය.

    ReplyDelete
    Replies
    1. මේ ගැන මගේ අදහස ඊළඟ පෝස්ට් එකේ ලියනවා.

      Delete
  3. ප්‍රින්ස්ගෙ කේස් එකනම් ඛේදවාචකයක්. හොඳ ස්පෙෂලිස්ට් කෙනෙක් චැනල් කළාම (කීප දෙනෙක් හරි කමක් නෑ) ලෙඩේ මොකක්ද කියල අහුවෙනවනෙ. අනික තාමත් ලංකාවෙ චැනලින් ගාස්තු හරිම අඩුයි, වැඩිම වුණොත් 2000ක් ඇති. ඊට පස්සෙ සල්ලි නැත්නම් රජයෙ රෝහලක ඇඩ්මිට් වෙන්න පුළුවන්නෙ. අනික ජනප්‍රිය නිසා රෝහල් සේවකයො වුණත් නොසලකා ඉන්නෙ නෑ. සල්ලි ටිකක් තියෙනවානම් ජයවර්ධනපුර රෝහලට යන්න පුළුවන්. සල්ලි නැතුව නවලෝකෙ ගිහින් අන්තිමට කෝටි ගානක් ගෙවල බොඩිය ගෙදර ගෙනාව. දැන් බිල ගෙවන්න මිනිස්සුන්ගෙන් ගිඟා කනවා. මේක හරිම කණගාටුවට කරුණක්. ලංකාවෙ ඉන්න ජනප්‍රිය මිනිස්සු හිතන්නෙ, මහජනතාව ඒ අයට ණයයි කියලා. මේක සුසන්තිකාගෙ ඉඳල ටෙලි නළු බට්ටන්ටත් තියෙන උද්ධච්ච ආකල්පයක්. මේ මිනිස්සු රඟපෑවත්, සිංදු කිව්වත්, මෙඩල් ගෙනාවත් ලංකාවෙ දියුණුවට ඒකෙන් වෙන සෙතේ මොකක්ද ? මේ රටේ මිනිස්සුන්ට රස්සා ටික දෙන්නෙ ඔය උදේ හවස පතුරු අරින මේ රටෙ ධනපති පන්තිය. ඊට පස්සෙ රට දියුණුවට වැඩක් කරන්නෙ වෘත්තිකයො ටික දෙනෙක්. ඔය ජනප්‍රිය කියන මිනිස්සුයි, දේශපාලකයොයි මේ රටට බරක් විතරයි. අනික ඔය ජනප්‍රිය කියන මිනිස්සු කවුරුත් නිකන් වැඩ කරන්නෙ නෑ. ඔවුන් එක වැඩකට අය කරන මුදල සාමාන්‍ය වෘත්තිකයෙක්ගෙ පඩිය වගේ කීප ගුණයක්. හැබැයි ලංකාවෙ රජයේ රෝහලකින් හොඳ කරන්න බැරි අමාරුවක් හරි, පිටරට යන්න වෙන අවස්ථාවක් හරි නම් ජනතාවගෙ මුදල් ඉල්ලා හිටින එක සාධාරණයි.
    අනික ඔය පුද්ගලික රෝහලකට ගියාම සනීප කරන්න බැරි කෙනෙක් වුණත්, සල්ලි කඩන්න හොස්පිට්ල් එකේ තියාගෙන ඉන්නවා. අනික ඔවුන් බලනවා ලෙඩාගෙ ඥාතීන්ට සල්ලි තියෙනවද කියලත්, එහෙම පොෂ් කට්ටියනම්, පුළුවන් තරම් අදින්න තමයි බලන්නෙ. ඔය වෙලාවට සංවේදී නොවී බුද්ධියට ඉඩ දෙන්න ඕනෙ. නැත්නම් ලෙඩා මැරුණට පස්සෙ පවුලෙ කට්ටියට පාරට බහින්න තමයි වෙන්නෙ
    සුජීව කොකාවෙල

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, කමෙන්ට් එකට. මම මුලින් හිතුවේ කවුරු හෝ මෙය උපුටාගෙන (කට් ඇන්ඩ් පේස්ට් කර) පලකළ කමෙන්ටුවක් කියලා. මේ ගැන මගේ අදහස් ඊළඟ පෝස්ට් එකෙත් තියෙනවා.

      Delete
  4. ලංකාවේ බොහෝ රජයේ රෝහල්වල තත්වය ඉතා කණගාටුදායකයි. රෝගීන් බොහෝ විට අත් දකින අප්‍රසන්න දෙයක් නම් රෝහල් සුළු සේවකයින් ලෙඩුන් කෙරේ දක්වන නොකැමැත්ත සහ ආකල්පය. ඔවුන් තමුන්ගේ වෘත්තීය පීඩනය ලෙඩුන්ගෙන් පිට කරනවා වෙන්න පුළුවන්. වැඩි දෙනෙක් කෙසේ හෝ පෞද්ගලික රෝහලකට යන්නේ වැඩි පහසුකම්, රෝගියා කෙරේ දක්වන උනන්දුව සහ සැලකිල්ල, පවුලේ අයට 24 පැයේ ළඟ රැඳීමේ හැකියාව වැනි කරුණු ගැන සලකා. පෞද්ගලික රෝහලක් හා සමානවම සේවා සපයන රජයේ රෝහලක් ලෙස මම දැක තියෙන්නේ අම්පාර මහා රෝහල පමණයි.

    ReplyDelete
    Replies
    1. රැකියා සුරක්ෂිත නිසාත් වෙළඳපොළ තරඟයක් නැති නිසාත් මෙවැනි තත්ත්වයක් ඇති වීම බලාපොරොත්තු විය යුතු දෙයක්. එවැනි තත්ත්වයන් යටතේ වුවත් හොඳ සේවයක් සපයන කිසියම් පිරිසක් ඉන්නවා. ඔබ සඳහන් කරන උදාහරණය එවැන්නක්.

      Delete
  5. //උදාහරණයක් ලෙස, වාර්ෂික සාමාජික ගාස්තුවක් අයකර ඒ වෙනුවෙන් වාර්ෂික වෛද්‍ය පරීක්ෂණයක්, තමන්ගේ රෝහලෙන් ලබා දෙන සේවාවන් සඳහා සැලකිය යුතු වට්ටමක් හා උපරිම වියදම් සීමාවක් සහිත පැකේජයක් ඉදිරිපත් කළ හැකිය.//

    මම අහලා තියෙන විදිහටනම් කුරුණෑගල සමූපකාර රෝහලේ ඔය වගේ වැඩසටහනක් තියෙනවා. එහි සාමාජිකත්වයගත් පුද්ගලයෙක් මට කිව්වේ සාමාජිකත්වය ගන්නා පිරසට වසරකට වරක් නොමිලේ වෛද්‍ය පරීකෂන සිදුකරන බවයි. ඊට අමතරව සාමාජිකයන් රෝහලේ නැවතුම් ගාස්තුවටත් යම් වට්ටමක් දෙන බව ඔහු මට කියා සිටියා.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ඉකොන් කියන එක රක්ෂණ ක්‍රමයක්. නිශ්චිත ගණනක් අයකර අනාගතෙයේදී විය හැකි නොදන්නා වියදමක් දැරීමට එකඟවීමක්. මෙහිදී adverse selection කියා හඳුන්වන යමක් සිදුවීමට අවස්ථාව වැඩියි. එනම් වැඩිපුර ලෙඩ හැදීමට ඉඩ ඇති අය විශාල ප්‍රමාණයක් සාමාජිකත්වය ලබා ගැනීමත් එසේ නොවන විශාල ප්‍රමාණයක් සමාජිකත්වය ලබා නොගැනීමත්. එමනිසා ඒවගේ දෙයක් කිරීමට රෝහලක් පෙලඹෙන්නේ නැහැ. ඒක වෙනම ව්‍යාපාර අංශයක්. වෛද්‍ය රක්ෂණ ක්‍රම හරහා මෙය ගොඩක් දුරට සිදුවෙනවා.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. ඔබාමා ඇමෙරිකාවට හඳුන්වා දුන් Affordable Care Act එකේ Adverse selection අවාසිය මඟ හැරීමට වෛද්‍ය රක්ෂණ ලබා ගැනීම අනිවාර්‍ය කලා. එවිට ලෙඩ හැදීමේ අවදානම අඩු නිරෝගී සහ තරුණ අයත් එම පූල් එකට එකතුවන නිසා වාරික අඩුවිය යුතුයි. එහෙත් එම ක්‍රමයේ වාරික විශාල ලෙස වැඩිවීමත් (deduction) එනම් රෝගියා විසින් දැරිය යුතු අවම ගණන වැඩි කිරීමත් සිදුවුණා. එසේ වීම සාමාන්‍ය ක්‍රමයක විය නොහැකියි. මම හිතන්නේ දොස්තර වරු, රක්ෂණ සමාගම් සහ රෝහල් එම ක්‍රමයෙන් විශාල වාසි ලබා ගැනීමට උත්සාහ කලා කියලයි.

      Delete
    5. //ඉකොන් කියන එක රක්ෂණ ක්‍රමයක්. නිශ්චිත ගණනක් අයකර අනාගතෙයේදී විය හැකි නොදන්නා වියදමක් දැරීමට එකඟවීමක්.//
      ඔව්. රක්ෂණ ක්‍රමයක් තමයි. මෙවැනි දෙයක් ජනප්‍රිය වෙන්නනම් පාර්ශ්ව දෙකටම කිසියම් වාසියක් තිබිය යුතුයි. රක්ෂණ ක්‍රමයක මේ ලක්ෂණය තිබෙනවා. අඩු වශයෙන් කාලයකදී ඉහළ ආදායම් උපයන, ලෙඩක් වුණොත් පුද්ගලික රෝහලකට යන්න හිතාගෙන ඉන්න අය ලෙඩ වෙන්න කලින් ආයෝජනයක් කරන එක නරක දෙයක් නෙමෙයි.

      //මෙහිදී adverse selection කියා හඳුන්වන යමක් සිදුවීමට අවස්ථාව වැඩියි.// ඔබ හරි. තාක්ෂණික වචන භාවිතා නොකර ලිපිය ලිවුවත් මා කියූ දෙයෙහි පදනම මෙයම තමයි. පැත්තක ඉන්න සමාගමක් රක්ෂණ ගිවිසුම් විකුණන විට මේ ප්‍රශ්නය වැඩියි. ලංකාවේ සෞඛ්‍ය රක්ෂණ එතරම් ජනප්‍රිය/ සාර්ථක නොවීමට මෙය එක් හේතුවක්. ලංකාව දැනට සිටින අදියරේදී මේ ප්‍රශ්නයට විසඳුමක් ලෙස මම හිතන්නේ සෞඛ්‍ය සේවා සපයන සමාගම් විසින්ම (පුද්ගලික රෝහල් වැනි) රක්ෂණ සැපයීමයි.

      adverse selection ප්‍රශ්නය දශක ගණනක සිට (අඩුම වශයෙන් 1971 පමණ සිට) දැන සිටි දෙයක්. මේ වන විට මේ ප්‍රශ්නයට බොහෝ දුරට සාර්ථක විසඳුම් යොදාගෙන තිබෙනවා. ප්‍රශ්නයේ පදනම වන්නේ "වැඩිපුර ලෙඩ හැදීමට ඉඩ ඇති අය" ඒ බව දැනගෙන සිටීම සහ රක්ෂණ සමාගම් වලට ඒ අයව හඳුනාගැනීමට නොහැකිවීම නිසා ඇතිවන තොරතුරු අසමමිතියයි. එහෙත්, දැන් ඇමරිකාවේ සෞඛ්‍ය රක්ෂණ විකුණන සමාගම් මේ "වැඩිපුර ලෙඩ හැදීමට ඉඩ ඇති අය" ගැන ඒ අයටත් වඩා හොඳින් දන්නවා.

      ලංකාවේ තත්ත්වය ගැන ටිකක් අමුවෙන්ම ලියනවනම් ලංකාවේ බොහෝ පෞද්ගලික රෝහල් ලෙඩෙක්ව මරාගන්න අවස්ථාවක් ලැබුණු විට පුළුවන් තරම් ලොකුවටම බිල දානවා. මේ ගැන මගේ පෞද්ගලික හා පෞද්ගලිකම නොවන අත්දැකීම් ගණනාවක් තිබෙනවා. විශේෂයෙන්ම සේවය කරන සමාගමෙන් රෝහල් බිල් ආවරණය කරන බව දැනගත් විට මෙය කරනවා. මෙහිදී බිල ගෙවන්නේ සමාගමෙන් නිසා රෝගියා මෙය එතරම් ප්‍රශ්නයක් කරගන්නේ නැහැ. නමුත් අවසාන වශයෙන් වක්‍ර ලෙස සමාගම ලබාදෙන ප්‍රතිලාභයේ වියදම ගෙවන්න වෙන්නෙත් ඔහුට හෝ ඇයටයි. තෙවන පාර්ශ්ව විසින් සෞඛ්‍ය රක්ෂණ විකිණූ විට වෙන්නෙත් මෙවැනි දෙයක්. අවසාන වශයෙන් එයින් වෙන්නේ රක්ෂණ වාරික ඕනෑවට වඩා ඉහළ යාමයි. මෙයින් දීර්ඝකාලීන ලෙස රෝහල් වලටත් පාඩුයි. රෝහල් මගින්ම රක්ෂණ ක්‍රම ඇරැඹු විට ඔවුන්ට වැඩිපුර බිල් දැමීමෙන් හෝ මුදල් පිණිසම අනවශ්‍ය ප්‍රතිකාර කිරීමෙන් වාසියක් නැති නිසා එසේ කරන්න පෙළඹෙන්නේ නැහැ. ඒ අතරම ඔවුන්ගේ ආදායම් විචල්‍ය නොවී ස්ථාවර වන නිසා අවදානම නැති වෙනවා. නොපියවෙන බිල්පත් ප්‍රමාණයත් අඩුවෙනවා. පුද්ගලයෙකුට ලෙඩක් හැදෙන වෙලාව දන්නේ නැති වුනත් විශාල නියැදියක් ගත් විට සියල්ලන්ටම එක වර ලොකු ලෙඩ හැදෙන්නේ නැති නිසා තනි පුද්ගලයින්ට බැරි වුනත් රෝහලකට වියදම් පැත්තත් ස්ථාවරව තබා ගත හැකියි.

      ACA ගැන කතා කරන්න ගියොත් ගොඩක් දේවල් කතා කරන්න වෙන නිසා දැනට කතා කරන්නේ නැහැ.

      Delete
    6. //එවිට ලෙඩ හැදීමේ අවදානම අඩු නිරෝගී සහ තරුණ අයත් එම පූල් එකට එකතුවන නිසා වාරික අඩුවිය යුතුයි.//

      සෞඛ්‍ය රක්ෂණ හා අදාළ adverse selection කියන එක ගොඩක් දෙනෙක් දන්නවනේ. එයට අමතරව තවත් ප්‍රවාදයක් තිබෙනවා propitious selection හෙවත් advantageous selection කියලා. මෙය පළමුවැන්නට වඩා දශක දෙකකට පමණ පසු ඉදිරිපත් වුණු ප්‍රවාදයක්. මේ අනුව කියන්නේ අවදානම් නොතකන අය තමන්ගේ සෞඛ්‍යය ගැන නොතකන අතර රක්ෂණ ගැනීම ගැනත් වද නොවන බවයි. අවදානම් වලට අකමැති අය තමන්ගේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන අතරම සෞඛ්‍ය රක්ෂණ මිල දී ගැනීමටත් පෙළඹෙනවා. අවසාන ප්‍රතිඵලය වන්නේ adverse selection නිසා සිදු වන එකේ අනිත් පැත්ත. ආනුභාවික දත්ත මඟින් පෙන්වන්නේ මිශ්‍ර ප්‍රතිඵල. ඇතැම් පර්යේෂණ අනුව propitious selection බලපෑම adverse selection බලපෑමට වඩා වැඩියි.

      ඇමරිකාවේ රක්ෂණ නැතුව හිටි අය "ලෙඩ හැදීමේ අවදානම අඩු නිරෝගී සහ තරුණ" අයනම් ඔබ කියන පරිදි (adverse selection අනුව) වාරික අඩුවිය යුතුයි. නමුත් මෙය සෑහෙන දුරකට ACA එක ගොඩදාගැනීම සඳහා ඉදිරිපත් කළ තර්කයක් මිසක් ආනුභාවික දත්ත වලින් හරියටම තහවුරු වී තිබුණු දෙයක් නෙමෙයි. රක්ෂණ නැතුව හිටි අය අඩු ආදායම්ලාභී, අඩු උගත් කමක් ඇති, සෞඛ්‍ය ගැන අඩුවෙන් තකන අය ලෙස සැලකුවොත් ඔවුන් පූල් එකට එකතු වීමෙන් වෙන්නේ රක්ෂණ වාරික වැඩි වන එකයි.

      Delete
    7. ඔබ කියා ඇත්තේ උරුගුවේ හි තිබෙන "මියුචලිස්ටා" රක්ෂණ ක්‍රමය ගැනයි.

      Delete
  6. මානුෂික පැත්ත බැළුවම මේක අසාධාරණ දෙයක් බව පේනවා. මේවගේ ප්‍රශ්ණය වල අනික් පැත්තේ ඉන්න වුණ කෙනෙක් ලෙස මගේ අදහස නම් පෞද්ගලික රෝහලේ බිල දවසක් හැර දවසක් ලෙඩාගේ ඥාතීන්ට ලබා දෙන නිසා තමන්ට දරා ගැනීමට හැකි ප්‍රමාණය ඉක්මවීමට පෙර ලෙඩා රජයේ රෝහලකට රැගෙන යාම කල යුතු බවයි. මෙම බිල වුණත් අවසාන දවස් දෙකට ලක්ෂ 25 වෙන්න කොහොමටවත් බැහැ. ඒ කියන්නේ අවසාන දවස් කීපෙකම බිල නොගෙවා සිටියොත් තමයි මෙවන් මුදලක් එකතුවෙන්නේ.

    බොහෝ විට බිල නොගෙවූ අවස්ථාවල සිහිය නොමැති හෝ අසාධ්‍ය ලෙඩෙක් බලෙන් එලියට දාන්න රෝහල පෙලඹෙන්නේ නැහැ. ඒකට හේතුව එම නිසා ලෙඩ මළොත් රෝහලට නඩු පැවරීමට ඉඩ ඇති නිසා. මෙවන් අවස්ථාවලින් අයුතු ප්‍රයෝජන ගන්නා අය විශාල ලෙස සිටිනවා. ලෙඩෙක් ඉවත්කිරීමට පෙර බිල ගෙවිය යුතු බව ලෙඩා ඇතුලත් කරන අවස්ථාවේදී දන්නවා. ලෙඩා මල විට ඉවත් කිරීමේදීත් එය අදාලයි. හදිසි මරණයකදී නොව රිකවර් නොවී ඉන්නා ලෙඩෙකු දිගටම පෞද්ගලික රෝහලේ තබා ගැනීමෙන් එවන් අවස්ථාවකට පාර කපන්නනේ ඥාතීන්.

    ReplyDelete
    Replies
    1. ප්‍රතිකාර කරන අතරතුර මුදල් ගෙවීමේ නොහැකියාව මත රෝහලෙන් එළියට ඇදදැමීම ප්‍රශ්නකාරී හා බොහෝ විට රෝගියාගේ තත්ත්වය අනුව කළ නොහැකි දෙයක් නේද? ඇමරිකාවේනම් රෝහලකට නීතියෙන්ම මෙය කළ නොහැකියි. ඒ වගේම හදිසි තත්ත්වයකදී රෝගියෙකුට ප්‍රතිකාර නොකර සිටීමත් කළ නොහැකියි. එවිට ප්‍රතිකාර කරන්නේ බිල නොපියවෙන බව දැන දැනමයි.

      Delete
  7. ආ රෝගියා පරමා ලාබා

    ReplyDelete
    Replies
    1. ලංකාවේ පෞද්ගලික රෝහල් වල ව්‍යාපාරික ආකෘතිය බොහෝ දුරට පදනම් වන්නේ ඔය හේතු පාඨය මත තමයි. ඇමරිකාවේ මේ තත්ත්වය පාලනය වී තිබෙන්නේ සෞඛ්‍ය රක්ෂණ සමාගම් වල බලපෑම නිසා. ඔවුන් මුදල් ගෙවන්නේ ප්‍රතිකාරය අවශ්‍ය එකක්ද යන්නත්, වැඩිපුර අය කර තිබේද යන්නත් සැලකිල්ලට ගනිමිනුයි. ඇමරිකාවේ දන්ත වෛද්‍ය රක්ෂණ වලින් සියලු වියදම් පුළුල් ලෙස ආවරණය නොවන නිසා එහි බොහෝ විට තිබෙන්නේ "ආ රෝගියා පරමා ලාභා" ක්‍රමය.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

Gadget

This content is not yet available over encrypted connections.