Thursday, February 18, 2016

මරණය කල් දමා ගත හැකිද?


පසුගිය ලිපියේ කතාකළ පරිදි ශ්‍රී ලාංකිකයින්ගෙන් 38%ක් පමණම මිය යන්නේ හෘදයාබාධ හෝ ආඝාත නිසාය. එනම්, හදවතේ හෝ මොළයේ ධමනියක් අවහිර වී රුධිර සැපයුම නැවතීම නිසාය. මෙසේ ධමනි අවහිර වීම වලක්වාගත හැකිනම් හෘදයාබාධ හා ආඝාත වලක්වාගත හැකිය. එය කිරීමට තරම් විද්‍යාව දියුණු නැත. එහෙත්, මෙසේ ධමනි අවහිරවීමේ ඉඩකඩ අඩු කරගැනීමට අපට හැකියාවක් තිබේ. එනයින්, හෘදයාබාධ හා ආඝාත ඇතිවීමේ ඉඩකඩ අඩු කර අපේක්ෂිත ආයු කාලය වැඩි කර ගැනීමට අපට පුළුවන.

රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම සහ හෘදයාබාධ අතර ඉතා පැහැදිලි, හඳුනාගත් සම්බන්ධතාවයක් තිබේ. එහෙත්, එවැනි පැහැදිලි සම්බන්ධතාවයක් තිබූ පමණින් කොලෙස්ටරෝල් හෘදයාබාධ වලට හේතු වන බව ස්ථිරවම පැවසිය නොහැකිය. අප නොදන්නා තෙවන කරුණක් හෘදයාබාධ වලට මෙන්ම කොලෙස්ටරෝල්  මට්ටම ඉහළ දැමීමටද හේතුවනවා විය හැකිය. කෙසේවුවද, එවැනි යාන්ත්‍රණයක් ගැන හරියටම නොදන්නා බැවින් කොලෙස්ටරෝල්  මට්ටම පාලනය කිරීම මඟින් හෘදයාබාධ ඇතිවීම අවම කර ගැනීම සඳහා අපට උත්සාහයක් දැරිය හැකිය.

බොහෝ දෙනා දන්නා පරිදි, කොලෙස්ටරෝල් වල ප්‍රධාන සංඝටක තුනක් තිබේ. ඒ, LDL (ලෝ ඩෙන්සිටි ලිපෝ ප්‍රෝටීන්), HDL (හයි ඩෙන්සිටි ලිපෝ ප්‍රෝටීන්) හා ට්‍රයිග්ලිසරොයිඩ් (TG) යන සංඝටකයි. යමෙකුගේ රුධිරයේ මුළු කොලෙස්ටරෝල් ප්‍රමානය ඩෙසි ලීටරයකට මිලිග්‍රෑම් 200ක් හෝ ඊට වැඩිනම් සාමාන්‍යයෙන් වෛද්‍යවරයෙකු එහි සංයුතිය පරීක්ෂා කිරීමට නියම කරයි.

පරීක්ෂණාගාරයකදී මනින රුධිරයේ ඇති මුළු කොලෙස්ටරෝල් ප්‍රමාණය (TC) ඉහත කොටස් තුනේ එකතුවට සමාන නැත. මුළු කොලෙස්ටරෝල් ප්‍රමාණය සහ එහි සංඝටක අතර ඇති සම්බන්ධතාවය ආසන්න වශයෙන් මෙවැන්නකි.

TC = LDL + HDL + 0.2 TG

සාමාන්‍යයෙන් පරීක්ෂණාගාරයකදී රුධිරයේ ඇති LDL ප්‍රමාණය ඇත්තටම මනින්නේ නැත. ඉහත සමීකරණය භාවිතයෙන් එය ආසන්නව ගණනය කරගන්නවා පමණි. ඇතැම් විට LDL-C කියා (calculated) සඳහන් කරන්නේ ඒ නිසාය. සාමාන්‍ය මට්ටමේ කොලෙස්ටරෝල් ප්‍රමාණයක් ඇති අයෙකු හා අදාළව මේ සමීකරණය එතරම් වැරදි නැත.

මේ LDL නරක කොලෙස්ටරෝල් ලෙසත් HDL හොඳ කොලෙස්ටරෝල් ලෙසත් හැඳින්වේ. LDL මඟින් අවහිර කරන ධමනි HDL මඟින් පිරිසිදු කරන බව දැනට පිළිගැනෙන ප්‍රධාන ධාරාවේ දැනුමයි. මේ දැනුම මත රෝගියෙකුගේ LDL මට්ටම අඩු මට්ටමක පවත්වා ගැනීම සහ HDL මට්ටම වැඩි කර ගැනීම වෛද්‍ය වරයෙකුගේ ඉලක්කයයි. LDL වලට අමතරව ට්‍රයිග්ලිසරොයිඩ්ද ධමනි අවහිර කිරීමට උදවු කරන නිසා TG මට්ටම අඩුකරගැනීමද ඉලක්කයකි.

දැනට කොලෙස්ටරෝල් වැඩිකමෙන් පෙලෙන රෝගීන් විසින් වැඩිපුරම භාවිතා කරන ඖෂධය ඇටෝවැස්ටටීන් කැල්සියම්ය (atorvastatin calcium). එහි ජනප්‍රියම වෙළඳනාමය ලිපිටෝර්ය. ලිපිටෝර් මෙතෙක් ලෝකයේ වැඩිපුරම විකිනුණු ඔසුවකි. 1997 සිට 2012 දක්වා වසර 14.5ක කාලය තුල ලිපිටෝර් අලෙවිය සඳහා පේටන්ට් අයිතිය තිබුණු ෆයිසර් සමාගම ලැබූ ආදායම ඇමරිකන් ඩොලර් බිලියන 125 ඉක්මවයි. 2011 නොවැම්බර් 11 දින ෆයිසර් සමාගමේ පේටන්ට් බලපත්‍රය කල් ඉකුත් වීමෙන් පසුව තරඟකාරී සමාගම් විසින්ද වෙනත් සන්නාම යටතේ ඇටෝවැස්ටටීන් කැල්සියම් නිපදවීම ඇරඹුවේය. මේ 2012 මැද පමණ සිට මේ විකල්ප නිෂ්පාදන වෙළඳපොළට පැමිණීමත් සමඟ ෆයිසර් සමාගම ලිපිටෝර් විකුණා ලැබූ ආදායමෙන් හතරෙන් තුනක්ම ඔවුන්ට අහිමි වී තිබේ.

ලිපිටෝර් මඟින් රුධිරයේ LDL සැලකිය යුතු ලෙස අඩු කරන අතර HDL සුළු වශයෙන් වැඩි කරයි. ට්‍රයිග්ලිසරොයිඩ්ද තරමකට අඩුකරයි. කෙසේ වුවද, ලිපිටෝර් වල ජනප්‍රියත්වයට හේතු වූයේ එමඟින් රුධිරයේ කොලෙස්ටරෝල් අඩු කිරීම නොවේ. හෘදයාබාධ ඇතිවන සම්භාවිතාව අඩු කිරීමය. කොලෙස්ටරෝල් ප්‍රශ්නයක් වන්නේ හෘදයාබාධ හා කොලෙස්ටරෝල්  අතර ඇති සම්බන්ධතාවය නිසාය.

ලිපිටෝර් වලට හෘදයාබාධ සෑදීම වැළැක්විය නොහැකිය. එහෙත්, හෘදයාබාධයක් සෑදීමේ සම්භාවිතාව අඩු කළ හැකිය. මේ වන විට පර්යේෂණ 300කින් පමණ තහවුරු කරගෙන ඇති පරිදි ලිපිටෝර් මඟින් රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය 37-58% කින් පමණ අඩු කරන අතර හෘදයාබාධයක් හැදීමේ ඉඩකඩ 25-45%කින් පමණ අඩු කරයි. වෙනත් අයුරකින් කිවහොත්, මරණය නියත වුවත්, අපට මුදල් ගෙවා මරණය කල් දමා ගත හැකිය.

කෙසේ වුවද, මෙය සූදුවකි. මුදල් ගෙවා දිගටම ලිපිටෝර් මිලදීගෙන පාවිච්චි කළත් හෘදයාබාධයක් සැදීමේ හැකියාව ඉවත් නොවේ. එය අඩුවනවා පමණි.

මිනිස් ජීවිතයක වටිනාකම ඉතා විශාලය. එහෙත්, එය අසීමිත නැත. ලිපිටෝර් වැනි රෝගයක් සෑදීමේ ඉඩකඩ අඩුකර ගැනීමට උදවු කරන (එහෙත් ඇතැම් එන්නත් මෙන් ඉතා ඉහල සම්භාවිතාවකින් රෝග නිවාරණය නොකරන) ඔසුවක් භාවිතා කිරීම වාසිදායක වන්නේ එසේ කිරීම නිසා වැඩි වන අපේක්ෂිත ආයු කාලයේ වටිනාකම ඔසුවේ මිලට වඩා වැඩිනම් පමණි. ඔසුවේ මිල ඉතා අධිකනම්, හෘදයාබාධයක් සෑදීමේ අවදානම ගැනීම වඩා වාසිදායකය. වෙනත් විදිහකින් කියනවානම්, ලිපිටෝර් මිල පැවති මිලට වඩා අඩු වීනම් තවත් බොහෝ දෙනෙකු වැඩි කලක් ජීවත් විය හැකිව තිබුණි.

ඒකාධිකාරය අහෝසි වීමෙන් පසුව ලිපිටෝර් මිල කලින් පැවති මිලෙන් හතරෙන් එකක් පමණ දක්වා පහත වැටී ඇත. එසේනම්, ෆයිසර් සමාගම පේටන්ට් බලපත්‍රය මඟින් ලැබුණු ඒකාධිකාරය නිසා විශාල ලාභයක් ලබා තිබේ.

මේ ලාභය අසාධාරණද?

කියවා නැත්නම්, පහත ඇති ලිපියත් කියවා තීරණය කරන්න.

ඔසු සමාගම් වල ඒකාධිකාරය බිඳහෙළිය යුතුද?


(Image: katanapen.wordpress.com)

32 comments:

  1. ඇටෝවැස්ටටීන් බෙහෙත් පෙති විවිධ නම්වලින් ලංකාවේ තිබුණා 2011 ට කලකට පෙරත්. ඒවා බොහෝ විට ඉන්දියානු නිෂ්පාදන.

    මට මතකයි, මගේ ඥාතියෙකුට ඒ පෙති බොන්නට නියමිත වූ විට, ඇය හිතුවා බේත් පෙති පිටරටින් ගෙන්වන නිසා ඒවා ඕස්ටේ‍ර්ලියාවේ ලාබ ඇති ය කියා. පෙති විසි අටක ලිපිටෝ පැකට්ටුවක මිල ඔසී ඩොලර් 80 ක් බව කී විට ඇය පුදුමයට පත් වුණා.

    (නමුත් මෙහේ වැසියන්ට pharmaceutical benefits scheme යටතේ ඒ පැකට්ටුවක් එකල ඩොලර් 30 කට පමණ ලබා ගත හැකියි. විශ්‍රාම හෝ සමාජ සුබසාධක පතක් තිබේ නම් ඩොලර් දහයක් පමණ මුදලකුයි ගෙවන්න වෙන්නේ. ඉතිරි මුදල රජයෙන් දැරුවා.)

    ෆයිසර් ලා ගේ ලාබය පුදුමයක් නෑ!

    ReplyDelete
    Replies
    1. / ඇටෝවැස්ටටීන් බෙහෙත් පෙති විවිධ නම්වලින් ලංකාවේ තිබුණා 2011 ට කලකට පෙරත්. ඒවා බොහෝ විට ඉන්දියානු නිෂ්පාදන. /

      රසිකගෙ කතාව හරි. 2008 වසරේ මට මුලින්ම හෘදයාබාධයක් ඇතිවූ විට නිර්දේශ කලේ සහ මේ දක්වා දිනපතා පාවිච්චි කරන්නෙ Atorva පෙති. ඇටෝවා ඉන්දීය නිෂ්පාදනයක්.

      Delete
    2. Atorva, Storvas, Litorva, Stator, Torid, Atoris, Atorlip, Mactor, Lipvas, Sortis, Torvast, Torvacard, Totalip ආදී විවිධ වෙළඳනම් වලින් මේ ඔසුව අලෙවි විය. (මගේ දැනුම පරිදි) ඉන්දියාව සහ මැලේසියාව ඇතුළු ඇතැම් රටවල් පේටන්ට් අයිතිය නොපිළිපදිමින් මේ ඔසුව කලක සිටම නිපදවූවේය. පේටන්ට් අයිතිය පිළිගන්නා ඇතැම් රටවලටද මෙසේ නිපදවන ඖෂධ ආනයනය කරනු ලැබීම ඵලදායී ලෙස වැලැක්වුනේ නැත. එසේ වූ විට වැඩි මිලකට ඔසුව අලෙවි කිරීමේ හැකියාවක් නැත. එවිට වක්‍ර ලෙස සිදුවන්නේ ඒ අවාසියත් පේටන්ට් අයිතිය තහවුරුව ඇති, මුදල් අය කර ගත හැකි වෙළඳපොළවල් වලින් අය කර ගනු ලැබීමයි. ෆයිසර් සමාගමේ ලාභයෙන් විශාල මුදලක් එකතු වී ඇත්තේ ඇමරිකාව තුළින්මය. ඇමරිකාවේ සෞඛ්‍ය වියදම් වලට සාපේක්ෂව ලැබෙන ප්‍රතිඵල අඩුවීමට මෙයද එක් හේතුවකි. යම් තාක්ෂණයක් විශාල ආයෝජනයක් කර වැඩි දියුණු කළ පසු වෙනත් අයට අඩු මුදලක් වැය කර එය නිපදවීම මඟින් එහි ප්‍රතිලාභ ලබාගෙන වඩා කාර්යක්ෂම බව පෙන්විය හැකිය.

      Delete
  2. ඔබ ද (වක්‍රාකාරව) පවසා ඇති පරිදි, කොලොස්ටරෝල් සම්මත අගයට වඩා වැඩි වීම හෘදායාබාධ ඇති වීමේ අවදානම වැඩි වීමට හේතුවක් වුවත්, කොලොස්ටරෝල් සම්මත අගයට වඩා අඩු අයගේ ද, හදවතට ලේ සපයන ධමනි ඇහිරී හෘදායාබාධ සෑදිය හැක.

    ගණිතමය වශයෙන් පවසතොත් අප උත්සහා කළ යුත්තේ / අනුපාතය අවම කර ගැනීමටයි. ඒ සඳහා "හොඳ" කොලොස්ටරෝල් වැඩි කර ගැනීමක් "නෝටි" කොලොස්ටරෝල් අඩුකර ගැනීමත් අවශ්‍ය වේ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම කියන්නට තියෙන්නේ තවමත් මේවා ගැන අප දන්නේ ඉතා අඩුවෙන් බවයි. ඉතාම මෑතක සිදුකළ සෑහෙන දුරට විශ්වසනීය පර්යේෂණයකින් මේ නෝටි කොලෙස්ටරෝල් හයිපොතිසිසය අභියෝගයට ලක් වී තිබේ. මා අනිත් ලිපියේ ලිවූ පරිදි "ඉලයි-ලිලී සමාගම විසින් රටවල් 37ක රෝගීන් 12,095 ක් යොදාගෙන විශාල මුදලක් වැය කර සිදු කළ සසම්භාවී පාලිත පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව පෙනීගිය පරිදි මේ නව ඔසුව මඟින් HDL ප්‍රමාණය 129%කින් ඉහළ නැංවීමටත්, LDL ප්‍රමාණය 36%කින් පහත හෙලීමටත් සමත් විය. එය වැඩි දියුණු කිරීමෙන් බලාපොරොත්තු වූ මූලික කාර්යය මෙසේ ඉතා සාර්ථකව සිදුවුණත් එමඟින් අපේක්ෂා කළ අවසන් කාර්යය ඉටුවී තිබුණේ නැත. 'එවස්ට්‍රපිබ්' මඟින් අවශ්‍ය පරිදි කොලෙස්ටරෝල් පාලනය කළද එමඟින් හෘදයාබාධ අඩුකිරීමක් සිදුවී නැත." අනුපාතය විශාල ලෙස වෙනස් වුවද කොකේසියන් අයගේ හෘදයාබාධ ඉතාම සුළු ලෙස පමණක් අඩුවුනේය (4%පමණකින් ). වෙනත් බොහෝ ජනවර්ග වල වෙනසක් වුනේ නැත.

      Delete
    2. Could I have the link for that study please. thank you.

      Delete
    3. http://www.nature.com/nbt/journal/v34/n1/full/nbt0116-5.html

      Delete
    4. // අනුපාතය විශාල ලෙස වෙනස් වුවද කොකේසියන් අයගේ හෘදයාබාධ ඉතාම සුළු ලෙස පමණක් අඩුවුනේය (4%පමණකින් ). වෙනත් බොහෝ ජනවර්ග වල වෙනසක් වුනේ නැත. //

      Sa rasaFebruary 16, 2016 at 10:21 PM
      ඔය සමීකරන ඔච්චර විස්වාස කරන්න එපා....

      ජීවය සහ ජීවියා කියන දේවල් සමීකරන වලින් විසදන්න අමාරුයි....

      ඔවැනි බොහෝ කොලෙස්ටෙරෝල් කතා වල ඇත්තට වඩා ඇත්තේ ස්ටැටින්ස් වැනි අවුසද විකුනාගැනීමේ යටි අරමුනු යි!

      Delete
    5. ජීවය සහ ජීවියා කියන දේවල් සමීකරන වලින් විසදන්න අමාරුයි.+++++++

      Delete
    6. //ඔවැනි බොහෝ කොලෙස්ටෙරෝල් කතා වල ඇත්තට වඩා ඇත්තේ ස්ටැටින්ස් වැනි අවුසද විකුනාගැනීමේ යටි අරමුනු යි!//
      මෙවැනි ප්‍රකාශ කිරීම ඉතා පහසු දෙයකි. එහෙත් ඒවාට නිසි පදනමක් තිබිය යුතුය. පරීක්ෂණ ප්‍රතිඵලයක විශ්වසනීයත්වය පරික්ෂා කළ යුත්තේ එය කර ඇති ක්‍රමවේදය අනුව මිස එයට මුදල් යෙදවූ අය හෝ වෙනත් යටි අරමුණු තිබෙනවාද වැනි කරුණු මත නොවේ. පර්යේෂණයක් පළ කිරීම සඳහා ඉදිරිපත් කරන විට කිසියම් හෝ conflict of interest එකක් ඇත්නම් සඳහන් කළ යුතු බව ඔබ නොදැන සිටිය නොහැකිය. වසර කිහිපයකට පෙර පිරික්සන විට ලිපිටෝර් සම්බන්ධව RCT 54ක් ඇතුළුව අධ්‍යයනයන් 298ක් සිදු කර තිබුණේය. විවිධ රටවල එකිනෙකාට සම්බන්ධයක් නැති පර්යේෂකයින් රැසක් සිදු කරන පරීක්ෂණ සියගණනකින් තහවුරු වන දෙයක පදනමක් තිබිය යුතු බව ඉතා පැහැදිලිය. මේ පර්යේෂණය සම්බන්ධව ගතහොත්, මේ ප්‍රතිඵලය අනුව අදාළ සමාගමට සිදුවී ඇත්තේ විශාල අවාසියකි. මට හමුවී ඇති විවිධ ක්ෂේත්‍ර වල පරිණත පර්යේෂකයින් සියළු දෙනාම වාගේ අවංක සත්‍ය ගවේෂකයින්ය. පරිණත යන වචනය පාවිච්චි කළේ කනිෂ්ඨ පර්යේෂකයෙකුට ක්ෂේත්‍රයේ තහවුරු වීමේ අවශ්‍යතාවය හෝ අඩු වශයෙන් ඇති බැවිනි. මේ බොහෝ දෙනෙකු තමන්ගේ පර්යේෂනයක ඇති අඩුපාඩුවක්පෙන්වා දෙනවාට කැමති අයයි.

      Delete
    7. //ජීවය සහ ජීවියා කියන දේවල් සමීකරන වලින් විසදන්න අමාරුයි// සැබෑ ලෝකයේ සංසිද්ධීන් සරල ආකෘති වලට වඩා බොහෝ සංකීර්ණය. ඒවා භාවිතා කළ යුත්තේ මේ සීමාවන් හඳුනාගනිමිනි. අවිනිශ්චිතතාව ආකෘතිගත කරන්නේ සම්භාවිතාව යොදාගනිමිනි.

      Delete
  3. ඉකොන් ඉතාම වැදගත් ලිපියක්. මගේ අදහස නම් මරණයට බිය වීම මරණය ඉක්මණින් කැන්දන හේතුවක් බවයි. මරණානුස්සති භාවනාව කර ඕනෑම අවස්ථාවක එයට මුහුණදීමට සූදානම්ව සිටීම තමයි කළ යුත්තේ. හදවත හෘදයාබධ ආඝාතය ඇතිවීමට ඉඩ ඇති අයකුත් හැම අතින්ම නිරෝගී අයකුත් වාහන අනතුරකින්, ගුවන් යානා අනතුරකින්, වෙඩි වැදීම්, ආදියෙන් මිය යන්න පුළුවන් නිසා.

    ReplyDelete
    Replies
    1. මැද්දෙන් පැනීම ගැන ඉයන්තුමා ගෙන් ද මැටි තුමා ගෙන් ද සමාව අබාජනය කරමි.

      ඉයන් තුමෝ...
      මරනය ගැන ඔබේ අදහස් අනර්ගය... එහෙත්..
      එහෙත් මරනය තෙන් ජීවත් වීම හෝ ජීවත් කරවීමේ ආර්තික විශ්ලේශන බොහෝ විට යොදාගන්න වෛද්ය ක්‍රම සහ බෙහෙත් වල කොස්ට් එක මත රඳාපවතින විත් මෙවැනි දේ දීර්ග ලෙස සාකච්චා කල යුතු බව ස ර ස තුමා ගේ මෝඅඩ කල්පනාවයි!

      Delete
    2. මරණානුස්සති භාවනාවේ සැබෑ අරමුණ මරණය තවත් සාමාන්‍ය දෙයක් ලෙස හඳුනාගෙන බය නැති කිරීම වුණත් "මරණය දුකකි" ලෙස කියන අයවත් තේරුමක් නොදැන කියවන දේ මතුපිටින් ගත්විට සිදුවන්නේ එහි ප්‍රති විරුද්ධ දෙයයි.

      Delete
    3. //මරනය තෙන් ජීවත් වීම හෝ ජීවත් කරවීමේ ආර්තික විශ්ලේශන බොහෝ විට යොදාගන්න වෛද්ය ක්‍රම සහ බෙහෙත් වල කොස්ට් එක මත රඳාපවතින විත් මෙවැනි දේ දීර්ග ලෙස සාකච්චා කල යුතු බව //
      මේ පැත්ත ගැනනම් තරමක දැනුමක් ඇතත් මේ විෂයයට අත ගැසීම දෙබරයකට ගල් ගැසීමක් විය හැකි බැවින් හිමිහිට කළ යුතු දෙයකි.

      Delete
    4. හෙමිහිට හෝ අත දැමීම පාඨක බොහෝ අයට වටී.

      Delete
  4. ඉස්සරෝම සමාව ඉල්ලන්ට ඕන පහුගිය දවස් වල තිබ්බ වැඩ හිංද පහුගිය පෝස්ට් එකට දාපු රිප්ලයි ටික බැලුවෙත් අද තමා. අපරාදෙ හොද සංවාදයක් නෙ මිස් වෙලා තිබ්බෙ...

    හෘදයාබාධ ගැන මම දන්න තරම අඩුයි ඇත්තටම දන්න දෙයක් නැති තරං. ඒ හිංද ලිපියට අදාලව ප්‍රශ්නයක් අහන්ට තරං දෙයක් නැති තරං.
    ස්පින් ඕෆ් එකක් දැම්මට කමන් නැත්තං ප්‍රශ්නයක් අහන්නං.

    ලංකාවෙ බහුතරයක් අය පොල් තෙල් භාවිතා කර එක අත්ඇරිය පොල්තෙල් වලිං කොලෙස්ටරෝල් හැදෙනව කියල. ඒ හිංද අර එළවළු තෙල් කියන පාම් ඔයිල් යූස් කරනව කෑම පිසගන්න සහ ඒ සමාන බොහෝ කාරිය් වලට. සම හරක් උදවිය(සමාවෙන්ට ඕන වචනය විසන්ධි කළාට) ඔළුවෙ ගාන්නත් පොල්තෙල් භාවිතා කරන්නෙ නෑ. අර සිලිකොන් වගේ මොනවද මගුලක් හරි ඒ වගේ කුමාරිකා හරි මොනා හරි උලනව.
    ප්‍රශ්නෙ තියෙන්නෙ ඇත්තටම පොල්තෙල් වලිං එහෙම සයිඩ් ඉෆෙක්ට් එකක් එනවද. පාම් තෙල් වල බලපෑමක් ඇත්තෙම නැද්ද. පොල් තෙල් ඔය තරං අවුල් නං ඇයි මේ තරං තෙල් අපනයනය කරන්නෙ(දන්න තරමිං බහුතරයක් යුරෝපීය රටවලට) ඒ ගැන විස්තරයක් කියන්න පුලුවංද දැං නැත්තං පස්සෙ හරි

    ReplyDelete
    Replies
    1. වර්ජින් කොකොනට් ඔයිල් අද ලෝකයේ මිල අදික සරීර සෞක්යයට ඉතාම හිතකර තෙලක් ලෙස සැලකේ... ( එය කොප්පරා වලින් නොව අමු පොල් සෙන්ට්‍රිෆ්යුජ් කර සාදනු ලබයි )

      Delete
    2. සරස තුමා,
      ඇත්තටම ඒවා හොඳෙයි...

      Delete
    3. හොඳ බව ස ර ස තුමා ගේ වැටහීමයි...

      Delete
    4. මහේෂ්, පළමුව, මේ කරුණු ගැන මගේ දැනුම සීමිත නිසා මේ හා අදාළව මා කියන දේ වලට ලොකු බරක් දමන්න එපා. බටහිර රටවල උදේට එළකිරි වෙනුවට පොල්කිරි බීමත් ලොකුවට නොවූවත් වර්ධනය වන ප්‍රවණතාවක්. මා හිතන පරිදි මේ ගැන සා රස කියා ඇති කරුණු නිවැරදියි. ඒත් මතක තියාගන්න ඔහු කියන්නේ කොප්පරා වලින් නොව අමු පොල් සෙන්ට්‍රිෆ්යුජ් කර සාදනු ලබන වර්ජින් කොකොනට් ඔයිල්. සෞඛ්‍යට වඩාත්ම හොඳ ලෙස සැලකෙන ඔලිව් තෙල් වල පවා ඒ හොඳ තියෙන්නේ අමුවෙන් ආහාරයට ගැනීමේදී. ග්රීකයින් බොහෝවිට ඔලිවූ ඔයිල් ආහාරයට ගන්නේ එහෙම. වෙනත් දේවල් බැදීමට යොදා ගැනීමේදී රත් වන විට බොහෝ තෙල් වර්ග වල රසායනික සංයුතිය වෙනස වෙනවා. සාපේක්ෂව හොඳ ලෙස සැලකෙන තෙල් වර්ගයක් වුණත් තෙල් එක නැවත නැවත බැදීමට ගැනීම අන්තිම නරකයි. (මම යාන්තමින් දන්නා කරුනු අනුව).

      Delete
  5. වැදගත් ලිපියක් .. ලංකාව වගේ තුන්වෙනි ලෝකයේ රටවල මිනිස්සු වැඩිහරියක් බොන්නේ ට්‍රයල් වර්ෂන් බෙහෙත්. දියුණු රටවල දොස්තර කෙනෙක් මලාට නිර්දේශ නොකරන පැරසිටමෝල් වගේ බෙහෙත් අපේ මිනිස්සුන්ට දොස්තරලා ගෝනි ගණන් පොවන එක ගැනත් ලිපියක් ලියන්න කියල මම යෝජනා කරනවා.

    ReplyDelete
    Replies
    1. // යුණු රටවල දොස්තර කෙනෙක් මලාට නිර්දේශ නොකරන පැරසිටමෝල් වගේ බෙහෙත් //????

      :D

      Delete
    2. මට ලංකාවේ බෙහෙත් දෙන ආකාරයේ ඇති වෙනස්කම් ගැන කතාකරන්න තරම් ඒ ගැන දැනුමක් නැහැ. මගේ පුද්ගලික අත්දැකීම් මත පමණක් අදහසක් පළ කළොත් බටහිර රටකට සාපේක්ෂව ලංකාවේ බෙහෙත් නියම කරනවා බොහෝ වැඩියි. විශේෂයෙන්ම ප්‍රතිජීවක. බටහිර රටක බෙහෙතක් දෙන්නේ එය දිය යුතුමනම් පමණයි. ලංකාවේ (සාමාන්‍ය) දොස්තර කෙනෙකු ලඟට එන කෙනෙක් ගොඩක් වෙලාවට එන්නෙම බෙහෙතක් බලාගෙන. ගොඩක් වෙලාවට තියෙන්නේ බෙහෙත් අවශ්‍ය නොවන හෝ බෙහෙත් නැති වෛරස් රෝග. අනෙක් අතට, දොස්තර කෙනෙක් ලෙඩෙක් සමඟ ගත කරන්නේ විනාඩි කිහිපයක් පමණයි. බටහිර රටක දොස්තර කෙනෙක් ලෙඩාව හමුවන්නෙම පරිගණකයෙන් ඔහුගේ වෛද්‍ය ඉතිහාසය පිරික්සීමෙන් පසුව. ඒ නිසා ලංකාවේ බොහෝ විට වෙන්නේ ඒ කාලයේ පැතිරෙන රෝග ආදිය හා එක් වර පෙනෙන රෝග ලක්ෂණ අනුව තිබීමට ඉඩ ඇති රෝග තුන හතරකට හරියන බෙහෙතුත් ඒ බෙහෙත් වල අතුරු ප්‍රතිපල සිදුවුවහොත් ඒවාට බෙහෙතුත් එක වරම නියම කිරීමයි. මේවා බොහෝ සමාජ, ආර්ථික කරුණු වල සමතුලිතතාවයෙන් ඇති වන ප්‍රතිපල නිසා තනි සිද්ධි ලෙස ගන්න අමාරුයි. වසර ගණනක ඉගෙනීමක් සහ පුහුණුවක් ලබා තිබුණත් 95%කම අවස්ථා වල කරන්නේ මෙවැනි සරල දෙයක් නිසා තමයි වෙනත් අයටත් ඔය බෙහෙත් කුඩු කරලා ගුලි, කල්ක කරලා දීමටත් ඉඩකඩක් ලැබිලා තියෙන්නේ. හැබැයි නිසි ඉගෙනුමක් හා පුහුණුවක් ඇති වෛද්‍යවරයෙක් බොහෝ විට වඩා සංකීර්ණ තත්ත්වයක් හඳුනාගෙන (ඉතිරි 5%) අවශ්‍ය තැනට යොමුකරනවා. වෙනස ඇත්තේ එතනයි.

      Delete
  6. "මිනිස් ජීවිතයක වටිනාකම ඉතා විශාලය. එහෙත්, එය අසීමිත නැත" meka boruwak neda ... awa ,, giya

    ReplyDelete
    Replies
    1. මේ වටිනාකම ඇතැම් සමාජ වල ඇතැම් කාල වලදී ගොඩක් අඩුවෙනවා.

      Delete
  7. උඹ ලියන ලිපි ගොඩක් වැදගත් මචං. නොදන්න අය මේවා හරහා දැනුවත් වෙන එක ගොඩක් වටිනවා...

    මගේ අලුත් වාර්තා අනුව කලින් පෝස්ට් එකේ තිබ්බ රිස්ක් අගය 9% ක් වෙලා ඇති බව සතුටින් වාර්තා කරනවා...

    ඉකොනෝ උඹ දාන අටමගල් බැලුවම ලයිෆ් ඉන්සුරන්ස් එකක් දා ගන්න හිතේ තිබ්බ අදහස ඉක්මන් උනා...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ලොකුපුතා මේ දත්ත වැඩිපුරම ප්‍රයෝජනයට ගන්නේ රක්ෂණ සමාගම් විසින්. ඔබ මරණයට පත්වීමට ඇති අවදානම ඔබට වඩා නිවැරදිව දැනගැනීම මඟින් සහ වෙනත් ක්‍රම මඟින් ඔවුන් ලාභයක් ලබනවා. මා හිතන්නේ ඔබ කළ යුත්තේ උත්සාහ කර අවදානම ටිකක් අඩුකරගැනීම බවයි. හරියන්නේ නැතිබව වුනත් තේරෙන්නේ උත්සාහ කිරීමන් පසුවයි.

      Delete
  8. මේකනං මාර පෝස්ටුවක්, මං අද තමයි දන්නේ පේරාදෙණියේ ඉංජිනේරු ෆැකල්ටියේ දොස්තරලත් බිහිවුණා කියල

    ReplyDelete
    Replies
    1. ඉකොනොමිස්ට්ලාට ඉංජිනේරුවන් වගේම දොස්තරලා සමඟත් එක්ව පර්යේෂණ කිරීමේ දුර්ලභ භාග්‍යය ලැබෙනවා. මෙහි ඇත්තේනම් සාමාන්‍ය ජනතාව දැන සිටිය යුතු සරල විද්‍යාව (simple science for commons) පමණයි.

      Delete
  9. හ්ම්..........හිතලා බලන්න දේවල් ගොඩක් තියනවා.

    ReplyDelete
    Replies
    1. ඔබ බොහෝ මාරක පැන අද සිටින තැනට පැමිණි කෙනෙක්. අනාගතය අවිනිශ්චිතයි. ඒ වුණත් අපට අපේ අනාගතයට බලපෑමක් කරන පොඩි තීරණ ගතහැකියි. එක් එක් කෙනාට හොඳ දෙය කුමක්ද කියන එක සාපේක්ෂ කරුණක්. කෙසේවෙතත්, වැඩිපුර කවර හෝ දැනුමක් එකතු වූ විට වඩා හොඳ තීරණ ගත හැකියි.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

Gadget

This content is not yet available over encrypted connections.