Friday, February 5, 2016

මරා දමන්නට පෙර තවත් වරක් සිතන්න!


(ඔබ පළමු කොටස කියවා නැත්නම් කරුණාකර එය කියවා මෙහි නැවත එන්න.)

පළමු කොටස: නීතිය උන්ගේ හිරබත අපෙ උන්ගේ...

රටකට නීතියක් හඳුන්වාදුන් පසු ඒ නීතියෙන් සියල්ලෝම බැඳෙති. මෙය නීතිය හඳුන්වා දෙන ඉංග්‍රීසින්ටද පොදුය. ඒ නිසා, ඔවුන්ට පෙනුණු පරිදි වඩා දියුණු, වඩා සාධාරණ නීති ක්‍රමය තමන්ටද බලපවත්වන පරිදි රටේ පොදු නීතිය ලෙස යොදාගත්තා විය යුතුය. පසුකාලීනව වුවද, ඔවුන් විසින් ඉංග්‍රීසි නීතියෙන් රෝම-ලන්දේසි නීතියේ අඩු තැන් පිරෙවුවා මිස රෝම-ලන්දේසි නීතිය සම්පූර්ණයෙන්ම ඉවත් කර ඉංග්‍රීසි නීතිය ආදේශ කළේ නැත. නිදහස ලැබෙන විට ලංකාවේ පැවතියේ මෙසේ ඉංග්‍රීසි නීතියේ කොටස් මිශ්‍ර වූ රෝම-ලන්දේසි නීතියයි.

නිදහස ලබන විට ලංකාවේ පොදු සමාජය මත පටවා තිබුණු නීතිය ඉංග්‍රීසින් විසින් බලෙන් පැටවූවක්යැයි යමෙක් කියන්නේනම් එය වැරදි නැත. එවකට අපේ "පොදු සමාජයට" අවශ්‍ය වීනම්, අපට රාජසිංහ රජුගේ මී මුණුපුරෙකු හෝ ළඟ නෑදෑයෙකු හොයාගෙන නැවතත් උඩරට රාජ නීතිය ක්‍රියාත්මක කරන්නට තිබුණි. එසේ නැත්නම්, වෙනත් "අපේම" නීතියක් අළුතින් හදාගන්නට තිබුණි. එහෙත්, අප විසින් ඒ අවස්ථාවේදී චේතනාන්විතවම තෝරාගත්තේ පැවති නීති ආකෘතිය එලෙසම පවත්වා ගනිමින් පසුව අවශ්‍ය සංශෝධන කර ගැනීමේ ක්‍රමවේදයයි. මේ, ඉංග්‍රීසින් රට භාර ගත් අවස්ථාවේදී කළ දෙයමය.

ලංකාවට 1948 දී නිදහස ලැබුණත්, එය සම්පුර්ණ නිදහසක් නොවීය. තවදුරටත්, බ්‍රිතාන්‍ය කිරීටය මෙන්ම බ්‍රිතාන්‍ය අධිකරණ පද්ධතියද අපේ අධිකරණ පද්ධතියේ ඉහළින්ම වැජඹුනේය. ඒ නිසා, ලංකාවේ ඉහළම අධිකරණයක තීන්දුවකින් සෑහීමකට පත් නොවන අයෙකුට බ්‍රිතාන්‍ය අධිකරණයකින් යුක්තිය ඉටු කරවා ගැනීමේ හැකියාව තිබුණේය. කෙසේවුවද, මේ කාලය තුළ රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැර අනෙකුත් නීති අපට අවශ්‍ය පරිදි වෙනස් කරගැනීමට අපට ලොකු බාධාවක් තිබුණේ නැත.

උදාහරණයක් වශයෙන් නිදහස ලබා දින 285කින් සම්මත කරගත් 1948 අංක 18 දරන පුරවැසි පණත මඟින් අපට එවකට රටේ ජනගහණයෙන් 11%ක් වූ, ඉන්දියානු සම්භවය සහිත දෙමළුන්ගේ පුරවැසිභාවය අහෝසි කළ හැකි විය. 1949 අංක 58 දරන මුදල් නීති පණත සම්මත කරගෙන මහ බැංකුව පිහිටුවන්නට හැකි විය. 1956 අංක 29 දරන මී හරකුන් රැකගැනීමේ පනත සම්මත කරගෙන රටේ මී හරකුන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කළ හැකි විය.

මේ නීති සම්මත කර ගනු ලැබුවේ රටේ පොදු ජනතාව විසින් තෝරා පත් කර ගැනුණු ඔවුන්ගේ නියෝජිතයින් විසිනි. එනයින්, මේ නීති පොදු සමාජයේ තේරීම්ය. අඩුම වශයෙන්, රටේ ඡන්ද අයිතිය තිබුණු පුද්ගලයින්ගේ තේරීම්ය.

අධිකරණ තීන්දුවකින් සෑහීමකට පත් නොවන ලංකාවේ පුරවැසියකුට බ්‍රිතාන්‍යයේ ප්‍රිවි කවුන්සිලයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට තිබුණු හැකියාව ඉවත් වූයේ 1972 ජනරජ ව්‍යවස්ථාව සම්මත වීමට ආසන්න කාලයේ වුවත් එමඟින් නොවේ. ඊට පෙර සම්මත කර ගැනුණු, 1971 අංක 44 දරන අභියාචනාධිකරණ පණත මඟිනි. ඩීබීඑස් ජෙයරාජ්ට අනුව, පරිදි මේ පණත හදිසියේ ගෙන ඒමට හේතු වී ඇත්තේ කොඩීස්වරන් නම් වූ දෙමළ ලිපිකරුවෙක් ප්‍රිවි කවුන්සිලයට ඉදිරිපත් කළ අභියාචනයකි. සිය වැටුප් වර්ධකය ලබා ගැනීම සඳහා සිංහල ඉගෙන ගැනීමට අවශ්‍ය වීම සිය මූලික අයිතිවාසිකමක් කඩවීමක් ලෙස ඔහු විසින් ඉදිරිපත් කළ තර්කය ප්‍රිවි කවුන්සිලයේදී පිළිගැනී ඇත. කෙසේවුවද, මේ පණතට හේතුවූයේ මෙවැනි සරල කරුණක්ය යන්න ලොකු බරක් තැබිය හැකි තර්කයක් නොවේ.

ලිපිකරුවකු වූ කොඩීස්වරන්ට සිය වැටුප් වර්ධකය වෙනුවෙන් එංගලන්තයට යාමේ හැකියාව එදා තිබුණත් (එමෙන්ම එහි පිරිවැය සිංහල ඉගෙන ගැනීමේ ආවස්ථික පිරිවැයට වඩා අඩු වුවත්), තමන්ට අවාසිදායක නඩු තීන්දුවක් වෙනස් කරවා ගන්නට මෙසේ එංගලන්තයට යාමේ හැකියාව තිබුණේ රටේ ඉතා සීමිත පිරිසකට බව නොකිවමනාය. (මෙය අද දක්වා ක්‍රියාත්මක වූවානම්, ඇතැම් විට, කැමැත්තෙන් හෝ වැරැද්දක් කර නඩුවට සහභාගී වීමට එංගලන්තයට යාමට දිග පෝලිමක් ඇති විය හැකිව තිබුණි.) මෙවැනි ඇති හැකි අයට, ලංකාවේදී යම් වරදකට වරදකරු වීමෙන් පසුව (පත්තර වල ලොකුවට ප්‍රවෘත්තිද වැටීමෙන් පසුව) එංගලන්තයට ගොස් හීන් සීරුවේ තීන්දුව වෙනස් කරගෙන නැවත පැමිණ සද්ද බද්ද නැතුව පාඩුවේ ඉන්නට ඉඩ ලැබුණු අවස්ථා මේ කාලයේදී තිබුණේය.

තුනෙන් දෙකක බලයක් දී සමඟි පෙරමුණු රජය පත් කරගැනීම මඟින් බ්‍රිතාන්‍ය පෙකණිවැලේ ඉතිරිව තිබූ කොටස් කපා දමා ජනරජ ව්‍යවස්ථාව හදා ගැනීමට වක්‍රව දායක වූයේ ලංකාවේ පොදු ජනතාවයි. ඉන් පසුව, ජේආර්ගේ රජයට ඊටත් වැඩි බලයක් ලබා දී වත්මන් ව්‍යවස්ථාව හදා ගැනීමට වක්‍රව දායක වුනේද ලංකාවේ පොදු ජනතාව හෙවත් සුනිල් ආරියරත්නගේ වචන වලින් "අපෙ වුන්"ය. ඒ නිසා මේ ව්‍යවස්ථා හෝ ඊට පහළින් ඇති නීති කිසිවක් "පොදු ජනතාව විසින් තමන්ගේ අවශ්‍යතාවය අනුව සකස්කර නොගන්නා ලද වෙනත් අය විසින් සකස්කර බලහත්කාරීව පිළිපැදිය යුතුයැයි පනවා තිබෙන" සම්මුතීන් ලෙස සලකමින් ඒවායේ තිබිය හැකි අඩුපාඩු සම්බන්ධ වගකීමෙන් අපට සම්පූර්ණයෙන්ම ගැලවෙන්නට නුපුළුවන.

සමඟි පෙරමුණ විසින් සම්මත කරගත් ජනරජ ව්‍යවස්ථාවේ (සහ ඉන්පසුව සම්මත කරගත් වත්මන් ව්‍යවස්ථාවේ) ඉන් පෙර පැවති ව්‍යවස්ථාවට සාපේක්ෂව ඉතා වැදගත් මූලික වෙනසක් තිබේ. ජනරජයක බලයේ ප්‍රභවය රජෙකු හෝ රැජිනක නොවේ. ඒ රටේ ජනතාවයි. ව්‍යවස්ථාදායකයට, විධායකයට මෙන්ම අධිකරණයටද බලය ලැබෙන්නේ රටේ ජනතාවගෙනි. ජනතාව සිටින්නේ මේ සියල්ලන්ටම වඩා ඉහළිනි.

ජනරජයක නීති හදන්නේ රටේ ජනතාව මිස "වෙනත් අය විසින්" නොවේ. "වෙනත් අය විසින්" එසේ කරනවානම් ඒ රටේ පොදු ජනතාවගේ කැමැත්ත පරිදි සිදු කරන, "පොදු ජනතාව" විසින් පවරා ඇති කාර්යයක් පමණි. මේ කාර්යය වෙනුවෙන් "පොදු ජනතාව" මේ සඳහා දායක වන අයට මුදල් ගෙවයි. ඒ අනුව, මෙය මුදල් පිණිස කරන කොන්ත්‍රාත්තුවක් නැත්නම් කුලී වැඩක් පමණි. කරන කාර්යය හරියට නොකරනවානම් මේ කොන්ත්‍රාත්කරුවන් ඉවත් කිරීමට, ඔවුන්ට මුදල් නොගෙවා සිටීමට, වෙනත් කොන්ත්‍රාත් කරුවෙකුට වැඩේ භාර දීමට මෙන්ම තමන් විසින් සෘජුවම මේ කාර්යය කර ගැනීමට බලයේ ප්‍රභවය වන "පොදු ජනතාව"ට හැකියාව තිබේ.

දැන් ප්‍රශ්නය මෙයයි. කවුද මේ "පොදු ජනතාව"?

පාඩුවේ ගොවිතැන් බතක් කරගෙන ඉන්නා දෙමෝදර හේරත් බණ්ඩා, පොලේ බඩු විකුණන ආරච්චිකට්ටුවේ ශ්‍රියාලතා හෝ හෝ කල්මුණේ ඔරාබි පාෂා පාරේ සිල්ලර කඩයක් කරන සම්සුදීන් රටේ නීති හදන්නට සෘජුව දායක වෙන්නේ නැත. එසේ දායක වෙන්නට තරම් දැනුමක් හෝ ඕනෑකමක්ද ඒ අයට නැත. ඒ වුනත්, උසස් පෙළ ගොඩදාගෙන සරසවියකට ඇතුළු වී දැන් ආණ්ඩුවේ කන්තෝරුවක වැඩකරන හේරත් බණ්ඩාගේ දෙවන පුතාත්, අවුරුදු හතරෙන් තුනක්ම ඔහුගේ ඔහුගේ රූමා වූ ශ්‍රියාලතාගේ මල්ලීත්, සම්සුදීන්ගේ කඩේට අල්ලපු ගෙදර කුලියට හිඳ ළඟදී මාරුවීමක් ලබා කොළඹට ගිය ආමීනුත් මේ වැඩේට හවුල් වෙති.

වෙනත් රටවල මෙන්ම ලංකාවේද නීති හදන (ඉවත් කරන හා වෙනස් කරන) ක්‍රමවේදයක් තිබේ. යම් පණත් කෙටුම්පතක් පෞද්ගලික හෝ පොදු පණතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීම මේ ක්‍රමවේදයේ අත්‍යාවශ්‍ය අංගයකි. එහෙත්, බොහෝ විට මෙවැන්නක් මහජන නියෝජිතයෙකු විසින් තනිව කරන සරල කාර්යයකට වඩා ඉතා විශාල පිරිසක් විසින් කාලයක් තිස්සේ දායක වීමෙන් සිදුවන ඉතා සංකීර්ණ ක්‍රියාවලියකි. පොදු පණතක් සඳහා බොහෝ විට මුල පුරන්නේ විෂයයට අදාළ රජයේ ආයතනයක හෝ කිහිපයක සේවය කරන නිලධාරී කණ්ඩායමකි. නීතිපති දෙපාර්තමේන්තුව වැනි තැන් වල සේවය කරන අයගේ දායකත්වයද මෙයට ලැබේ.

පණත් කෙටුම්පතක් නිවැරදිව සකස් කිරීම පහසු කටයුත්තක් නොවේ. නීති ඕනෑවට වඩා දැඩි වූ විට නීතියත් යුක්තියත් ගැටෙන්නට ගනී. එමෙන්ම, එවැනි නීතියක් ක්‍රියාත්මක කිරීමද අපහසුය. නීතියේ හිල් ඇති විට වරද කරුවන්ට ඒ හිල් වලින් රිංගා යාමට ඉඩ ලැබේ. ඒ නිසා, මෙවැනි කෙටුම්පතක් ඒ ගැන දැනුමක් ඇති කණ්ඩායමකගේ සුපරීක්ෂාවට ලක්වෙමින් වැඩි දියුණු වීමට කාලයක් ගතවේ. මේ අතරතුර බොහෝ විට විෂය භාර ඇමති වරයා මාරු වේ. ඇතැම් විට ආණ්ඩුවද මාරු වේ. අවසානයේදී, එය සභාගත කරන විෂය භාර ඇමතිවරයා නිලධාරියෙකුගෙන් දමාගත් කුප්පියක් ඇරෙන්නට ඒ ගැන වැඩි දෙයක් නොදන්නවා වුවද විය හැකිය. 

නීතිය හැදීමට ඇත්තටම දායක වන බොහෝ දෙනෙකු පෙර කී "අපෙ උන්"ගේ ගොඩෙන් පැමිණි, බොහෝ විට තවමත් ඒ ගොඩේම ඉන්නා අයයි. ඒ අය "පොදු ජනතාව" කියන කුලකයෙන් පිටත ඉන්නා අය නොවේ. මේ අයුරින් හදන නීති ක්‍රියාත්මක කරන පොලීසි, බන්ධනාගාර දෙපාර්තමේන්තු හා උසාවි වැනි තැන් වල ඉන්නේද පිටසක්වලකින් පැමිණෙන්නෝ නොවෙති. ඒ නිසා "ජේලර මහතුන් නෑදෑයෝ වේවා" කියා අමුතුවෙන් කියන්නට දෙයක් නැත. ඒ අය කවර අයුරකින්වත් නොනෑයෝනම් නොවෙති.

කෙසේ වුවද, "වෙනත් අය විසින් සකස්කර බලහත්කාරීව පිළිපැදිය යුතුයැයි පනවා තිබෙන" කියන කතාවේ ඇත්තක්ද තිබේ. අප උපදින්නේත්, වැඩිහිටියන් වන්නේත් අප මත අපේ කැමැත්ත නොවිමසා පනවා ඇති නීති වල බර දරාගෙනය. මෙය අපේ තෝරාගැනීමක් නොවේ. නමුත්, නීතිය කියන්නේ අප මත එසේ පටවා ඇති එකම බර නොවේ. අපට ඉපදෙන්නට පෙර කාලය, දීපය, දේශය, කුලය හෝ මව තෝරා ගැනීමේ හැකියාවක් නැත. මේ දේවල් අපට පෙර කර්මය නිසා, දෙවියන්ගේ කැමැත්ත නිසා හෝ අහම්බයෙන්, අපේ පාලනයකින් තොරව හිමිවේ. ඒ අහඹු දේවල් අපේ ජීවිත වලට බලපෑම් කරයි. 

නීති හැදීම පොදු ජනතාවගේ කාර්යයක් වුවත්, නීතියට යටත් වන එහෙත් නීති හැදීමේ කාර්යයෙන් බැහැර කරනු ලැබුවෝ සිටිති. රටේ පුරවැසියන් නොවන අය සහ බාල වයස්කරුවන් උදාහරණයි. කෙසේවුවද, නීතිය තමන් මත බලෙන් පටවා ඇති බවට මැසිවිලි නැඟෙන්නේ මේ අයගෙන් නොවේ.

නීතිය තමන් මත බලෙන් පටවා ඇති, සමාජයේ තෝරා ගැනීමක් නොවන දෙයක්යැයි සිතෙන විට යමෙකු තමන්ගෙන්ම ප්‍රශ්න කළ යුත්තේ මෙයයි. මේ නීතිය වෙනස් කිරීමට මට ඉඩ ලැබුණොත් මා එය කළ යුත්තේ කෙසේද? 

අළුතින් යමක් කිරීම සංකීර්ණ කටයුත්තක්නම් ප්‍රායෝගිකව හොඳම විසඳුම දැනට සිටින තැනින් පටන් ගැනීමයි.

රටේ ගමක් ගානේ දුසිම් ගණනින් විනිසුරුවන් හා නීති ක්‍රම බිහි වූ 1988/89 කාලයේ මෙන් රජ කාලයේ නීති වලටත් වඩා දරුණු නීති ක්‍රමයක් හදා ගැනීමනම් එතරම් අමාරු නැත. දැනටත්, වාහන අනතුරක් සිදුවන ඇතැම් අවස්ථා වල කාර්යක්ෂම ලෙස නඩු අසා, ක්ෂණික තීන්දුවක් දීමට "පොදු ජනතාව" ඉදිරිපත් වේ. එපමණින්, සමාජයේ තෝරා ගැනීම පවතින නීති ක්‍රමය කඩා බිඳ දමා වෙනස්ම නීති ක්‍රමයක් හදා ගැනීම  යැයි කිව නොහැකිය.

රටේ නීතිය ඇත්තේ පොදු ජනතාව වෙනුවෙනි. පවතින ව්‍යවස්ථාව මඟින් විවිධ ආයතන වෙත බලය සම්ප්‍රේෂණය වන්නේ පොදු ජනතාව වෙතිනි. තමන් උදෙසා වන නීතිය ක්‍රියාත්මක කරවා ගැනීමේ ප්‍රධානම පාර්ශ්වකරුවන් වන්නේද මේ පොදු ජනතාවයි. යම් හෙයකින් එය එලෙස සිදු නොවන්නේනම්, කළ යුත්තේ එය දිරිගැන්වීමයි. "නීතිය උන්ගේ හිරබත අපෙ උන්ගේ" කියන විට මේ පොදු ජනතාවට දෙන අදහස නීතිය ඇත්තේ විශේෂිත පිරිසකගේ ආරක්ෂාව වෙනුවෙන් යන්නයි. මෙවැනි අදහස් මැද ලොකු මහත් කර නීතිය ක්‍රියාවේ යොදවන්නට යොමු කළ විට මේ "පොදු ජනතාවගේ" දරුවන් සිතන්නේ තමන්ගේ කාර්යය භාරය වන්නේ "අපෙ උන්ගෙන්" "උන්"ව ආරක්ෂා කර ගැනීම බවයි.




තුලාව ගෙන නෙත්යුග බැඳ රෙදි කඩකින්...
නීතියෙ යුවතිය වැජබෙයි අද නිදුකින්...
ඔබවන් මිනිසුන් වෙනුයෙන් ඇණ සැතකින්...
මරා දමමි ඇය මරා දමමි සැනෙකින්...

ලියවුනු පසුබිම සහ ගීතයේ මධුරත්වය අතහැර, සුනිල් ආරියරත්න යෝජනා කරන දෙය දෙස බැලූ විට එහි ඇති විසංවාදය හඳුනාගත හැකිය. "ඔබවන් මිනිසුන් වෙනුයෙන් ඇණ සැතකින්" මරා දමන්නට යෝජනා කරන්නේ ඒ මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කැප වී සිටින නීතියේ යුවතියවය. සැත දික්කකරගෙන ගලබොඩඅත්තේ ඥානසාර හිමි දශක ගණනකට පසු එන්නේත් මේ කාර්යය කරන්නටය. එහෙත්, ඒ වන විටත් මේ යුවතිය ඇඟේ සීරුම් තුවාලයක්වත් නැති, කිසිදා වරදේ නොබැඳුනු කන්‍යාවක් නොවේ.

ඇතැම් අය ඇයව බිම පෙරලාගෙන අතවර කරන විට ඇයට දෑස් ආවරණ පිටින්ම ඉවසා සිටින්නට සිදු වූ අවස්ථා තිබුණේය. ඇගේ තරාදිය සමතුලිතව තබා ගැනීමට විශාල මහන්සියක් දැරීමට සිදු වුනු අවස්ථා තිබුණේය. මේ යුවතිය "උන්ගේ" පීඩනය මැද තරාදිය සමතුලිතව තබා ගන්නට දඟලද්දී, "අපෙ උන්" කළේ ඇගේ තරාදියේ ඇදය හේතුවකට ගෙන ඇයව සමූහ දූෂණය කිරීමයි. 

සුනිල් ආරියරත්න කියන පරිදි ඇය සිටින්නේ නිදුකින්ම නොවේ. ඇගේ ඇඟ පුරාම සැත් පාරවල් මෙන්ම, කලෂ්නිකොව් හා ගල්කටස් වලින් සිදු වූ තුවාල කැළැල්ද තිබේ. එහෙත්, ඇය තවමත් නිරෝගීය. ඇය වෛශ්‍යාවක්ද නොවේ. 

ඇයගෙන් රැකවරණය ලබන, රැකවරණය පතන පොදු ජනතාව කළ යුත්තේ අතේ ඇති සැත පැත්තකට විසිකර ඇගේ තුවාල කැළැල් මකා දමා, ඇයට දිගු කලක් නිදුක් නිරෝගීව ජීවත් විය හැකි පරිසරයක් හදා ගන්නට උදවු කිරීමයි. එසේ නැතිව, ඇයට සැතකින් ඇන මරා දැමුවහොත් මේ "පොදු ජනතාවට" අවසානයේ සිදු වන්නේද ඒ සැතම ගලවා ආපසුගෙන හරාකිරි කර ගන්නටය.

(Image: lawandhumanitiesrome.org)


20 comments:

  1. කවුරුත් දන්නේ නැති උනත් ලංකාවේ දකුණේ තුන් වන විප්ලයකුත් ආවා. වාසනාවකට ඒකේ ලේ වැගිරීමක් උනේ නෑ. අර අරාබි වසන්තෙම කොටසක් උනා..

    ඒ නිසා මින්ස්සුන්ගේ ප්‍රෙෂර් එක අඩු උනා. ඒත් මේ ආන්ඩුවට නම් බයිලා ගායනා කරන්න අමාරුයි.. මොකෝ අර උඩින්ම සඳහන් කරපු බයියලත් දැන් පෝඩ්ඩක් ඉතර දැණුවත්..

    ReplyDelete
    Replies
    1. ලේ වැගිරීම් නැතිව සිදු වූ විප්ලව ඕනෑ තරම් තිබේ. ලේ නොවගුරවා කරන විප්ලවයක වටිනාකම විශාලය.

      Delete
  2. නීතියට අනුව ජීවිතාන්තත්ය දක්වා වෙල් විදානේ නිල ඇඳුම අඳිනා කලවැද්දාට පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකු ලෙස දිවුරුම් දිය නොහැකිය කියලා ප්‍රාඤ්ඤයෙක් කිය කිය ඇවිදිනවා නෙව!

    ReplyDelete
  3. ඔබගේ සම්පුර්න ලිපිය මගින් මා තෙරුම්ගනු ලැබුයේ දැනට ලන්කාවේ පවතින නීතීය මිනිසුන් විසින් මහජනතවගෙ කැමැත්ත පරිදි සකස්කරගත් ආයතන පද්දතියක් මගින් සකස්කරගෙන ඇති සම්මුතියක් යන්නයි. (මිනිසුන් සියල්ලන්ටම එකතුවී සම්මුතියක් සකස්කර ගැනීමට නොහැකි බැවින් ඒ වෙනුවට මහජනතව අතරින් තමන්ගේ කැමැත්ත පරිදි පත්කරගත් මහජන නියෝජිතයින් මගින් සහ මහජනතාව අතරින් සුදුසුකම් අනුව පත්කරගත් නිලධාරින් මගින් පොදු මහජනතව වෙනුවෙන් සකස්කරගෙන ඇති සම්මුතියක් යන්නයි ) සහ පොදු මහජනතාවට අවශයනම් එම සම්මුතිය වෙනස්කර ගත හැකි බවත්ය. එමෙන්ම පොදු මහජනතාව වෙනුවෙන් සකස්කරගෙන ඇති මෙම සම්මුතිය එය ඔවුන් විසින්ම වෙනස්කරගන්නාතුරු එයට අනුගත විය යුතු බවයි.

    එමෙන්ම අප විසින් සකස්කරගෙන ඇති පොදු සම්මුතිය (නීතීය ) ක්‍රියත්මක කරවනුයේද අප විසින් අපගේ හැකියාව අනුව එකතුකරගන්නා බදු මුදල් වලින් වියදම් කර සහ ඒ අනුව සකස්කරගෙන ඇති ආයතන පද්දතියක් මගින් බවයි. අපගේ වියදම් කිරීමේ හැකියාව අනුව සහ පොදු මහජනතාව අතරින් පත්කරවාගෙන ඇති පුද්ගලයන්ගේ දුර්වලතා හෝ අකාර්යක්ශමතා හේතුවෙන් මෙම නීතී පද්දතිය සකස්කර ගැනිමේදී හා ක්‍රියත්මක කිරීමේදී අඩුපාඩු ඇතිවිය හැකි බවයි (මෙය ඔබ විසින් කිය තිබෙන කරුනු ආසන්න වනු ඇතැයි මම සිතමි )

    රටේ මුලීක නීතිය අනුව බලය තිබෙන්නේ ජනතාවටය. එයට ප්‍රමාධිපත්ය බලයයැයි ආන්ඩුක්‍රම වයවස්තාවේ කියනු ලබන අතර එයට අදාලව ජනතාවට ඇත්තේ මහජන නීයොජිතයින් පත්කර ගැනීමේ චන්ද බලය පමනි, මහජන චන්දයෙන් පත්වන නියොජිතයින් විසින් සකස්කරන ක්‍රමවේදයක් අනුව (දැනට කොමිශන් සබා මගින් ) නිලධරින් පත්කරගනු ලැබේ. මහජන නියොජිතයින් සහ නිලධරින් මහජනතාවට අනවශය නීතියක් පනවන්නේනම් වසර 5කට පසු මහජන නියොජිතයින් ඉවත්කල හැකිය එහෙත් ඔවුන් විසින් සකස්කල නීතිය ඉලගට පත්වන නීයොජිත්යින්ද වෙනස් නොකලේනම් දිගටම ක්‍රියත්මක වේ.

    මහජන නියොජිතයින් හා නිලධාරින් (යම් බල අධිකාරියක් ) නීති සකස් කිරිමේදි සලකා බලනුයේ සන්කල්පයක් ලෙස හෝ ඔවුන්ගේ විශ්වාසය අනුව හෝ මහජනතාවගෙන් වැඩි පිරිසකට යහපත ක්‍රියත්මක කීරිමය. (අද දවසේ එය ප්‍රයොගිකව සිදුනොවනබව වැඩි දෙනකු පිලිගත්තද එය වෙනස් කිරිම වෙනුවෙන් යෙදවෙන බලයේ ප්‍රමාන්ය ඒ සදහා ප්‍රමානවත් නොවන බැවින් වැඩි දෙනෙකු නිශ්ක්‍රියව හෝ මෙම ක්‍රමය සමග අනුගත වෙමින් සිටින බව මම සිතමි ) එම නීතීසකස්කිරිමෙදි ඒ සදහා ඇති ආර්තිකමය හැකියාව, සමාජ හා සන්ස්කෘතික පිලිවෙත්, ජාතයන්තර තත්වයන් ආදිය සහ ජනතාවගෙ අපෙක්ශාවයැයි ඔවුන් තෙරුම් ගන්නා දේවල් පිලිබන්දව සැලකිලිමත් වීමට සිදුවෙනවා මෙන්ම ඒවා මගින් පනවනු ලබන නීතින් සීමා වෙනවාය.

    අද දවසෙදි රටේ පවතින නීතී පද්දතියේ (පොදු සම්මුතියේ ) අඩුපාඩු ලෙස මම දකිනුයේ ආර්තික තත්වයන් මගින්, පවතින බල අධිකාරියේ දුර්වල තාවයන් විසින් හා සමජ සන්ස්කෘතික පිලිවෙත් තුලින් ඇතිකර අති සීමාවන්ය.

    මෙම සීමාවන් බහුතරයක් ජනතාවගේ ආකල්ප වෙනස් කිරිමෙන් තොරව වෙනස් කීරීමට නොහැකිය. තමන් සතු බලය ලියවිල්ලක් මගින් වෙනත් පිරිසකට පවරා ඔවුන් විසින් තමන්ගේ ජිවිත සුකිත මුදිත කරන තුරු බලාසිටින හෝ අනෙකා විසින් යුතුකම ඉටුකරනතුරු පැත්තකට වී බල සිට ඔහුගේ අඩුපාඩු විවෙචන්ය කරන ජනතාවකට පවතින තත්වයන් වෙනස් කිරීමට නොහැකිය. එමෙන්ම රටේ ආර්තිකය දියුනුකිරීම සදහා සක්‍රියව මැදිහත්විමෙන් සහ එම ආර්තික ප්‍රතිලාබයන් බහුතරයකගේ අතට යන ක්‍රමවෙදයක් සකස්කරගැනිමකින් තොරව සැමට සමානව නීතීය ක්‍රියත්මක වීම දැකිම සිහිනයක් පමනක් වනු ඇත.

    ReplyDelete
    Replies
    1. ඔබේ කමෙන්ට් එකේ ඇති කරුණු මා කියා ඇති දෙය ඔබ තේරුම් ගන්නා පරිදි සාරාංශගත කිරීමක්ද නැත්නම් ඔබ සිතන ආකාරයද කියා හරියටම පැහැදිලි නැත. ඒ කවරක් වුවත්, එහි මූලික හරය මා ලිපිය ලියූ පදනමමය. (මට කියන්නට අවශ්‍ය වූ දෙය කියවී තිබීම ගැන සතුටක් තිබේ.) මේ මූලික හරය හා නොගැටෙන එකතු කිරීම් කිහිපයක් පමණක් කරන්නට තිබේ.

      //ජනතාවට ඇත්තේ මහජන නීයොජිතයින් පත්කර ගැනීමේ චන්ද බලය පමනි//
      දැනට ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පුරවැසියෙකු සතු මූලික අයිතිවාසිකම් ගැනවත් බොහෝ දෙනෙකු දැනුවත් නැති බව මගේ අදහසයි. තමන්ට රටේ මූලික නීතිය අනුව දැනටත් තිබෙන අයිතිවාසිකම් ලබාගැනීම වෙනුවෙන් පවතින නීති රාමුව යටතේම කටයුතු කිරීමෙන් පමණක්ම වුවත් ඔබ දකින (ඔබ දකිනවායයි මා සිතන) බොහෝ අඩුපාඩු මඟහරවා ගත හැකිය.

      පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිංහල පිටපතක් මා ළඟ දැනට නැත. ඒ නිසා මා දළ වශයෙන් පරිවර්තනය කරන පුරවැසියෙකුගේ මූලික අයිතිවාසිකම් මේවාය.

      වගන්තිය 10: සිතීමේ, හෘද සාක්ෂියේ සහ කැමති ආගමක් ඇදහීමේ නිදහස
      වගන්තිය 11: කෘර, අමානුෂික වදබන්ධන වලට ලක්ව නොසිටීමේ නිදහස
      වගන්තිය 12: නීතිය ඉදිරියේ සමාන ලෙස සලකනු ලැබීමේ නිදහස (කිසිදු පුරවැසියෙකු ඔහුගේ හෝ ඇයගේ ජාතිය, ආගම, කුලය, භාෂාව, ස්ත්‍රී/පුරුෂ භාවය, දේශපාලන මතය, උපන් ස්ථානය වැනි කරුණු මත වෙනස්ව සලකනු නොලැබිය යුතුය. දරුවන්, කාන්තාවන් හා ආබාධිත පුද්ගලයින්ගේ තත්ත්වය ඉහළ නැංවීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමටත්, යම් රැකියා අවශ්‍යතාවයක් වෙනුවෙන් නියමිත කාලයක් තුළ යම් භාෂාවක් ඉගෙන ගැනීම අවශ්‍යතාවක් බවට පත් කිරීමටත් බාධාවක් නැත.)
      වගන්තිය 13: නීතිප්‍රකාරව මිස කිසිදු පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නොහැක. අත්අඩංගුවට ගැනීමට පෙර එයට හේතුව පැහැදිලි කළ යුතුය. නීති මූලධර්ම අනුව අපරාධ ලෙස සැලකෙන කරුණු හැර, යම් ක්‍රියාවක් කරන අවස්ථාවේ නීතියෙන් වරදක් නොවූ කරුණක් පසුව නීතිය වෙනස් වීම නිසා වරදක් නොවේ. නීතිප්‍රකාරව වරදකරු කරන තුරු යමෙකු නිවැරදිකරුවෙකි. මේ තීරණය ගන්නා තුරු අත්අඩංගුවට ගැනීම, රඳවා තැබීම දඬුවමක් නොවේ. (මේ වගන්තිය ඉතා විස්තරාත්මක එකකි. සියළුම කරුණු මෙහි නැත.)
      වගන්තිය 14: කතාකිරීමේ, ප්‍රකාශනයේ, සාමකාමීව රැස්වීමේ, වෘත්තීය සමිතියකට බැඳීමේ, තනිව හෝ වෙනත් අය සමඟ පෞද්ගලික හෝ පොදු ස්ථානයක තමන්ගේ ආගම ඇදහීමේ, භාවිතයේ සහ ඉගැන්වීමේ නිදහස, තනිව හෝ පොදුවේ තමන්ගේ සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීමේ සහ භාෂාව කතා කිරීමේ නිදහස, නීත්‍යනුකුල රැකියාවක, වෘත්තියක හෝ වෙළඳාමක නිරතවීමේ නිදහස, රටේ ඕනෑම තැනක ජීවත්වීමේ නිදහස, රටට නැවත ආපසු පැමිණීමේ නිදහස.
      වගන්තිය 15: තොරතුරු දැනගැනීමේ නිදහස (විස්තරාත්මකව ඇත.)

      (මා කාලවේලා ප්‍රශ්නයක් නිසා දැනට නවත්වමි.)

      Delete
    2. මා කලින් නැවැත්වූ තැනට ආපසු ගියහොත්, ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති මේ මූලික අයිතිවාසිකම් ටික ඇතුළේ පමණක් වුවත් පුරවැසියෙකුට විශාල රැකවරණයක් ඇති බව පැහැදිලි විය යුතුය. එක් අතෙකින් මේ දේවල් තරමක් දුරට "පොදු සමාජය මත බලෙන් පැටවූ දේවල්" කියන්නත් පුළුවන්ය. ඒ, මේ දේවල් පොදු ජනතාව විසින් විශාල අරගලයක් කර හෝ කාලයක් තිස්සේ ඉල්ලා සිටීම නිසාම ලැබුණු දේවල් නොවන නිසාය. මේ ඇතැම් දේවල් ව්‍යවස්ථාවට ඇතුළු වී ඇත්තේ රටෙන් පිටත වෙනත් අය අප දෙස බලා සිටීම නිසාය. මේ අයිතිවාසිකම් ගැන පොදු ජනතාව දැනුවත් නැත්තේ ඒ නිසාය. මේවා බලෙන් පැටවූ දේවල් විය හැකි වුවත් සමාජයේ බොහෝ දෙනෙකුට එකඟ විය හැකි දේවල්ය. අඩු වශයෙන් ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති තමන්ගේ මූලික අයිතිවාසිකම් ගැන පොදු සමාජයේ අති මහත් බහුතරය දැනුවත් වී (සියල්ලන්ම කිවුවොත් එය 'ෆැන්ටසියක්' වනු ඇත.) තමාගේ සහ අනෙකාගේ මූලික අයිතිවාසිකම් වෙනුවෙන්වත් කතාවෙන් සහ ක්‍රියාවෙන් පෙනී සිටිනවානම් සමාජයේ විශාල වෙනසක් සිදුවනු ඇත.

      Delete
    3. මුලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කිරිමේ මුල් වියදම ලක්ශ 3 _ 4ක් පමනවේ. මාධයයේ කතා නොකේරෙනා ගටලුවක්නම් කිසිවෙකු ඒ වෙනුවෙන් පෙනිසිටින්න නෙත.

      Delete
    4. කෙසේ හෝ මූලික මිනිස් අයිතිවාසිකමක් වන තම නියෝජිතයකු පත් කර ගැනීමේ අයිතිය පවතින ඡන්ද ක්‍රමය තුල නැත. සමහර ආසනවලට කිසිඳු පක්ෂයකින් නියෝජිතයකු නැති අතර, ඒ හේතුවෙන්ම අසරණ වන ජනතාව මෙන්ම ප්‍රදේශද බොහෝය.

      Delete
    5. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිංහල පිටපතක් පාර්ලිමේන්තුවේ වෙබ් එකෙන් ලබාගත හැකිය. http://www.parliament.lk/si/constitution/main

      Delete
    6. //කෙසේ හෝ මූලික මිනිස් අයිතිවාසිකමක් වන තම නියෝජිතයකු පත් කර ගැනීමේ අයිතිය පවතින ඡන්ද ක්‍රමය තුල නැත. සමහර ආසනවලට කිසිඳු පක්ෂයකින් නියෝජිතයකු නැති අතර, ඒ හේතුවෙන්ම අසරණ වන ජනතාව මෙන්ම ප්‍රදේශද බොහෝය.//

      පවතින චන්ද ක්‍රමයතුල මැතිවරණ කොට්ඨාසයක් වනුයේ පරිපාලන දිස්ත්‍රික්කයක්ය. (දැනට චන්දය ගනන් කරණු ලබන මැතිවරණ බල ප්‍රදේශ (ආසන)ඇත්තේ මැතිවරණ කටයුතු කිරීමේ පහසුව සදහා පමණි. මැතිවරණ බල ප්‍රදේශයක් (ආසන)අනුව රජය විසින් කිසිදු කාර්යයක් කරන්නේ නැතිය. සාමාන්‍ය පරිපාලන කටයුතු සිදුවන්නේ පලාත් පාලන බල ප්‍රදේශ හෝ ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශ අනුව පමණි) ඒ අනුව ජනතාවට තම මැතිවරණ කොට්ඨාසය (දිස්ත්‍රික්කය) සදහා නියෝජිතයින් තිදෙනෙකු පත්කර ගැනීමේ අවස්ථාව ඇත.

      කිසිදු පක්ෂයකින් නියෝජිතයකු නොමැතිවීම නිසා අසරණවන ජනතාවක් සිටින ප්‍රදේශ පවතින බව ප්‍රකාශකලද දැනට පවතින නීතීය අනුව එවැනි ප්‍රදේශ නැත. එබැවින් ආසන අනුව මන්ත්‍රිවරයකු ලබා ගැනීම සදහා වන මතවාදය තවදුරටත් ශක්තිමත් කර එවැනි ක්‍රමවේදයක් ලබා ගැනීමට ජනතාව හා බල අධිකාරියන් පෙලඹවිය යුතුය. (ආසනයකට මන්ත්‍රිවරයකු ලැබිමෙන් ජනතාවට අමුතුවෙන් දෙයක් ලැබෙනු ඇතැයි මම නොසිතමි. සිදුවිය හැක්කේ දැන් එක් තැනකට ලැබෙන දෙයක් අඩුවී තව තැනකට එම දෙය ලැබිමය)

      Delete
    7. ස්තුතියි, ප්‍රදීප්, ලින්ක් එකට. සිංහල සහ දෙමළ පිටපත් සොයාගත්තා. නියෝජනය පිලිබඳව මට කියන්නට අවශ්‍යව තිබුණු කරුණු ඔබ කියා ඇත.

      Delete
    8. තවත් යමක් එකතු කරනවානම් දැනට ලංකාවේ භුමි ප්‍රදේශය/ජනගහණය හා මන්ත්‍රී ධුර ගණන සැලකූ විට දිස්ත්‍රික්කයකට එක් මන්ත්‍රීවරයෙකු සිටියද බොහෝ රටවලට සාපේක්ෂව වැඩි නියෝජනයකි.

      Delete
  4. //නීති හැදීම පොදු ජනතාවගේ කාර්යයක් //

    නීති සකස් කිරීම පොදු ජනතාවගේ කර්යයක් වී ඇත්තේ ඔවුන් නීතී සකස් කිරීම සදහා යම් පුද්ගලයින් කොටසක් පත්කරවා ගන්නා බැවින් පමණි. පවතින සමජ තත්වයන්තුල බහුතරයක් ජනතාවට තොරා ගැනිමට විකල්පයන් නොමැති අතර (ඔවුන් ප්‍රධාන පක්ශ 2න් යම් පිරිසක් තොරා ගත යුතුය ) තොරා ගැනීම වෙනස් කිරීම සදහාද සමාජය තුල ඇති අනෙකුත් ආයතන වලින් (ජනමාධය, සිවිල් බුද්ධිමතුන්, සමාජ ක්‍රියාකාරිකයින්,....) සහයක් ලැබෙන්නෙද යම් සීමාවක් දක්වා පමනකි. එසේම පවතින ආයතන පද්දතිය තුල මහජන නියොජිතයින් 225ක් සිටියද සෘජුවම තීරනයන් ගනු ලබන්නේ අතලොස්සක් විසිනි (අතිතයෙදී මහින්ද සහ පවුලේ පිරිස, වර්තමානයෙදි රනිල් සහ ඔහු වටා සිටිනා කල්ලිය ). ඉතිරි පිරිසට යම් ගෙවිමක් සිදුකිරීම මගින් හැකිතාක් දුරකට නිශ්ක්‍රිය කර ඇත. ( මෙලෙස සිදුවීමෙ යම් වගකීමක් සමානයය ජනතාවටද ඇත )

    ReplyDelete
    Replies
    1. ඔබ මෙහි කියා ඇති දේවල් බොරු නොවේ. මේවා මෙසේ වී ඇත්තේ ඇයි යන කරුණ වෙනත් තැන් වල මා ලබා ඇති අත්දැකීම් අනුව දැන් මට තේරුම් කර ගත හැකිය. ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය තුළ මා දකින පරිදි බල තුලනය පිලිබඳ පැහැදිලි ප්‍රශ්නයක් තිබේ. (අඩු වැඩි වශයෙන් වෙනත් රටවලද තිබේ.) පවතින ව්‍යවස්ථාව, එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන ආකාරය සහ සමාජ ව්‍යුහය යටතේ විධායකයට ව්‍යවස්ථාදායකයට හා අධිකරණයට වඩා ඉහළින් සිටින්නට හැකි වී තිබේ. (ඇතැම් විට බහුතරය විසින් මෙය යහපත්යයි දකිනවා විය හැකිය.) පවතින ප්‍රායෝගික යථාර්තයන් යටතේ, තත්ත්වය වෙනස්කර ගැනීමේ යතුර අධිකරණය ශක්තිමත් කර ගැනීම බව මගේ පෞද්ගලික අදහසයි. ස්වාධීන අධිකරණයක් ඇත්නම් එයම පමණක් වුවද ප්‍රශ්න රැසකට විසඳුම් සපයනු ඇත. (වෙනත් වචන මෙන්ම ස්වාධීන යන වචනයද මා භාවිතා කරන්නේ පරමාදර්ශී අරුතකින් නොවේ.)

      Delete
    2. මා මෙය දකින්නේ ඔබ දකින ආකාරයට වඩා යම් වෙනසක් සහිතවය. එනම් නීතීය යනු යම් නිශ්චිත මොහොතකදී පවතින ආර්ථික අවශ්‍යතාවයන්ට සහ අධිපතිවී ඇති මතවාදයන් අනුව මහජනතාව පිලිගන්නා සම්මුතියක් ලෙසය. අතීතයේදී රජුට තිබු මතවාදීමය හා ආර්ථිකමය බලය මගින් අනෙක් පිරිස පිලිගන්නා පොදු සම්මුතියක් ඔහුට සෑදීමට හැකිවිය. එම ආර්ථිකමය හා මතවාදීමය බලය සමාජය සංවර්ධනයවීමත් සමග ජනතාව විසින් පත්කරන ලද නියෝජිතයින් පිරිසකට ලැබුනි (මෙය ලංකාවට ලැබුනේ එංගලන්තයේ මිනිසුන් සහ ප්‍රබූන් මේ වෙනුවෙන් මතවාදීමය අරගලයක අතුරු ප්‍රතිඵලයක් ලෙසය) වර්ථමානයේදීද ඒ අනුවම අධිපතිවී ඇති මතවාදයන් අනුව පොදුවේ ජනතාව පිලිගන්නා නීතී පද්දතියක් සැකසීමට මහජන නියෝජිතයින්ට හැකිවී ඇත. එම නියෝජිතයින්ටද සමාජය සංවර්ධනයවීමත් සමගම සහ ජාත්‍යන්තර තත්වයන් සමග ජනතාවට වැඩි අයිතිවාසිකම් ප්‍රමාණයක් ලබාදිය යුතුයැයි යන මතවාදයන් ප්‍රබලවීමත් සමග වඩා සාධාරණවන නීතී පැනවීමට සිදුවී ඇත. එබැවින් මෙම නීතීය යනු මේ මොහොතේදී බහුතරයක් ජනතාව අපේක්ෂා කරන සාධාරණත්වයයි (ලියවී ඇති ආකාරයටනම් සමහර අවස්ථාවලදී ජනතාව අපේක්ෂා කරනවාටත් වඩා ඉදිරියටද ගොස් ඇත)

      කෙලෙසවුවද පවතින නීතීය සාධාරණව ක්‍රියාත්මකවීම මගින් සහ අධිකරණය හැකි උපරිමයක් දක්වාවත් සාධාරණවීම මගින් වැඩිම සහනය ලැබෙන්නේ පොදුවේ මෙම සමාජ තත්වයන් තුල දුර්වලයින්වන සාමාන්‍ය ජනතාවටමය.

      එලෙසවුවද පවතින මෙම නීතීය තවදුරටත් සාධාරණ කර ගැනීම (මම ලියා ඇති නීතීයෙහි සහ නිතීය ප්‍රයෝගිකව ක්‍රියාත්මකවිමේ පක්ෂපාතිත්වයක් තිබෙන බව විශ්වාස කරමි)සහ නීතීය සකස්කරන මතවාදය හා ආර්ථික තත්වයන් වඩා යහපත් කර ගැනීම සදහා තවදුරටත් මිනිසුන් සක්‍රීය විය යුතුය.

      Delete
    3. //එබැවින් මෙම නීතීය යනු මේ මොහොතේදී බහුතරයක් ජනතාව අපේක්ෂා කරන සාධාරණත්වයයි//
      //එලෙසවුවද පවතින මෙම නීතීය තවදුරටත් සාධාරණ කර ගැනීම (මම ලියා ඇති නීතීයෙහි සහ නිතීය ප්‍රයෝගිකව ක්‍රියාත්මකවිමේ පක්ෂපාතිත්වයක් තිබෙන බව විශ්වාස කරමි)සහ නීතීය සකස්කරන මතවාදය හා ආර්ථික තත්වයන් වඩා යහපත් කර ගැනීම සදහා තවදුරටත් මිනිසුන් සක්‍රීය විය යුතුය.//

      ඔබ වෙනසක් ලෙස දකින්නේ මේ දේවල්නම්, පැහැදිලිවම එසේ නැත. මේ කරුණු වලට මා සම්පූර්ණයෙන්ම එකඟය. ඇතැම් විට, වෙනස ඇත්තේ මෙය කළ යුතු යයි අප සිතන ආකාර වල විය හැකිය. පළමු කරුණට අදාළව, දැනට සමාජය සිටින තැනට වඩා බොහෝ "ඉදිරියෙන් ඇති" සංශෝධන ගෙන ඒමද ප්‍රයෝගිකව වැඩක් නැත. මූලික අයිතිවාසිකම් ඇතත් ඒවා ගැන බොහෝ දෙනෙකු දැනුවත් නැත. ආගම, ජාතිය, දේශපාලන මතය, ආර්ථික තත්ත්වය අනුව වෙනස්කම් ඕනෑ තරම් සිදුවේ. මෙතැනදී තමන්ට සිදුවන අසාධාරනකම් ගැන කතා කරනවා මෙන්ම අනුන්ට එසේ නොකර සිටීමද එකසේ වැදගත්ය. මා ඔබට වඩා වෙනස්ව සිතනවානම් සිතන්නේ සමාජය ස්වභාවිකව පරිණාමය වන ආකාරයට ඉඩ නොදී කෘතිමව එකවර කඩා බිඳ දමා අළුතින් හදන්නට අවශ්‍ය නොවන බවයි. පොඩි දේවල් එකින් එක වෙනස් කර ගත හැකිනම් අවසානයේ ලොකු වෙනසක් සිදුවේ. නීතිය අනුන්ගේය යන අදහසින් සිදුකරන්නේ සාමාන්‍ය ජනතාව විසින් මෙවැනි පොඩි වෙනස්කම් සිදුකරගැනීම (මිනිසුන් සක්‍රිය වීම) හරහා සිදුවන ස්වභාවික පරිණාමය නැවැත්වීමයි.

      Delete
  5. ඔබගේ ලිපියට එකග වෙන්න බෑ. හේරත්බන්ඩලට ශ්‍රියාලතාලට සම්සුදීන්ලට වඩා හේරත්බන්ඩගෙ පුතා ශ්‍රියාලතාගෙ මල්ලි වෙනස් නෑ. ඒ අයටත් තීරන ගන්න බෑ. නීති හදන්නෙ ප්‍රභූන්ගෙ උවමනාවට. නිර්ප්‍රභූන් ඉන්නෙ දඩුවම් විදින්නයි.
    නීතිය කියන්නෙ පීඩනයෙ ප්‍රකාශනයක්. නීතියෙන් ගැලවෙන්නෙ එක්කො නීතිඅය්ත් එක්ක බද්ධ වෙන්න ඕන නැත්නම් පැවිදි ගෝත්‍රයට සම්බන්ධවෙන්න ඕන. ඥානසාරලගෙන් ප්‍රකාශවෙන්නෙ නීතියට එරෙහි පොදුජනතාවගෙ අවිඥානික විරෝධය. ඥානසාර පොලිස්කාරයන්ට තග දාන කොට ,උසාවියට කඩාවදින කොට පොදු ජනතාවට කික් එකක් එන්නෙ ඒකයි.

    ඔබවන් මිනිසුන් වෙනුයෙන් ඇණ සැතකින්" මරා දමන්නට යෝජනා කරන්නේ ඒ මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කැප වී සිටින නීතියේ යුවතියවය.//
    පොදු ජනතාවගේ වධකයා වන නීතියේ යුවතිය ලෙස නිවැරදි කරගන්න.නීතියේ නාමයෙන් කළ අපරාධ මානව වංශකථාවේම ශෝකාලාපයකි. මේ අපරාධ වෙනුවෙන් මුක්තියක් නීතියේ කන්‍යාවට ඇත.

    එහෙත්, ඒ වන විටත් මේ යුවතිය ඇඟේ සීරුම් තුවාලයක්වත් නැති, කිසිදා වරදේ නොබැඳුනු කන්‍යාවක් නොවේ.//

    මේ කොටස ටයිප් කරන්නට ඇත්තේ අපව සිනහ සාගරයේ ගිල්වීමට යයි සිතමි.නැත්නම් ස්වාධීන අධිකරන ලෝකයේ කොහේ හෝ ඇති යැයි ෆැන්ටසියක ඔබ ජීවත් වන්නේද.අධිකරනය පවතින පාලනයේ ප්‍රකාශනයකි. නීති සාදන්නේ පීඩකයායි.

    ReplyDelete
    Replies
    1. //ස්වාධීන අධිකරන ලෝකයේ කොහේ හෝ ඇති යැයි ෆැන්ටසියක// මා එසේ කියා නැත. මේ බව ලියා ඇතැයි සිතා සිටියත් ආපසු කියවා බැලීමේදී එවැන්නක් විස්තර කෙරී නැත. ඒ නිසා මා එවැනි අදහසක සිටින බව ඔබට පෙනේනම් එය මගේ ලිවීමේ අඩුපාඩුවකි. පරමාදර්ශී අධිකරණ නැතත් අපට ලෝකයේ විවිධ රටවල නීති ක්‍රම හා නීතිය ක්‍රියාත්මක වන ආකාර සසඳා බැලිය හැකිය. එමෙන්ම එකම රටක යුග දෙකක් සැසඳිය හැකිය. එවිට විශාල වෙනස්කම් නිරීක්ෂණය කිරීමට හැකි වීම අපහසු කරුණක් නොවේ. අරාබි රටකට සාපේක්ෂව ලංකාවේ නීතිය දියුණු එකකි (ඔබට මෙයට එකඟ නොවී සිටිය හැකිය. මේ මට සාපේක්ෂවය. ඉදිරිගාමිත්වය සහ පසුගාමීත්වය නිරීක්ෂකයාට සාපේක්ෂව වෙනස් විය හැකිය.) එහෙත්, නීතිය ක්‍රියාත්මක වීම අතින් අරාබි රටවල් ඉදිරියෙනි. (මෙය සර්ව සම්පූර්ණ ප්‍රකාශයක් බව මම නොකියමි.) ලංකාවේ ඇති ගැටළු නීති වලට වඩා නීති භාවිතය පිලිබඳ ගැටළුය. වෙනත් විදිහකින් කිවහොත් බොහෝ විට වැරැද්ද නීතියේ නොවේ. පුද්ගලයෙකුගේ හෝ පුද්ගල කණ්ඩායමකගේය.

      Delete
    2. ඔබේ ප්රභූ නිර්ප්‍රභූ බෙදීම තව දුරටත් ලොකුවට වලංගු සාධකයක්යයි මා සිතන්නේ නැත. එවැනි කාලයක් තිබුණේය. ලංකාව නිදහස ලැබූ කාලය වන විටත්, සර්වජන ඡන්ද බලය තිබූ නමුත්, මෙවැනි පැහැදිලි කොටස් දෙකක් සිටියේය. නිර්ප්‍රභූ කණ්ඩායමේ දරුවෙකුට ප්රභූ කණ්ඩායමට ඇතුළු වීමේ ඒ කාලයේ පහසු දෙයක් වූයේ නැත. නිදහස් ආර්ථිකය, ප්‍රභාකරන්ගේ භූමිකාව වැනි කරුණු නිසා මේ බෙදීම මේ වන විට සමාජයට අනවශ්‍යනම් ඉවත් කළ නොහැකි දෙයක් නොවේ. දැන් ඉන්නා බොහෝ "ප්රභූ" කොටස් නිර්ප්‍රභූ සාමාන්‍ය ජනතාව අතරින් මතු වූ අයයි. ඒ අයව කෘතිමව ප්රභූ තත්ත්වයට පත් කරන්නේ පොදු ජනතාවයි. වැරැද්ද ඇත්තේ එතැනය. නීතිය ක්‍රියාත්මක වීමේ අඩුපාඩු කෙතරම් තිබුණත් නීතියේ රැකවරණය දැනටත් ඉතාම ප්‍රබලය. හොඳින් ඇති දේවල් විශේෂ අවධානයට ලක් නොවේ. අඩුපාඩු පෙනේ. "මම මටම ගහගත්තා" කියන එක කෙසේවත් හොඳ තත්ත්වයක් නොවුනත්, "ඔවු මම ගැහුවා. පුළුවන් දෙයක් කරපන්." වෙනුවට එවැන්නක් ඇහෙන්නේ කොයි චණ්ඩියාත් නීතියට ටිකක් හෝ යටත් නිසාය. "මම මටම ගහගත්තා" කියා කීම පොදු සම්මතය නොවීමටනම් ඉදිරියට ගෙනයා යුත්තේ "නීතිය කියන්නේ පීඩකයාගේ ප්‍රකාශනක්ය." යන මතය නොවේ. එවැනි අදහසකින් කෙරෙන්නේ නීතියට එරෙහිව යන පීඩකයින්ගේ ක්‍රියා සාමාන්යීකරණය කර එය ඉවසා සිටීමට සමාජය පෙළඹවීමයි. මේ පෙළඹවීමේ ප්‍රතිඵලය වන්නේ ඉවසීමේ සීමාව ඉක්මවූ විට හා/හෝ අවස්ථාවක් ලැබුණු විට පීඩිතයා පීඩකයෙකු වීමයි.

      Delete
  6. ලිපි දෙකම බලුවා.ඉතා හොඳ ලිපි දෙකක්.

    ...//"නීතිය උන්ගේ හිරබත අපෙ උන්ගේ" කියන විට මේ පොදු ජනතාවට දෙන අදහස නීතිය ඇත්තේ විශේෂිත පිරිසකගේ ආරක්ෂාව වෙනුවෙන් යන්නයි//...

    නීතිය පිළිබඳව මහජනතාව තුල ඇති අදහස තමයි නීතිය සාධාරණව ක්‍රියාත්මක නොවන බව. කොහොම උනත් මහජනතාව නීති අනපනත් ගැන නොදැන සිටීමත් එක්තරා ආකාරයක ගැටලුවක්.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

Gadget

This content is not yet available over encrypted connections.