Monday, February 1, 2016

ලෝකය නැවතත් සෘජු ප්‍රජාතන්ත්‍රවාදය කරා...

පසුගිය ලිපියෙන් මම ලෝකයේ වත්මන් ප්‍රවණතාවක් වන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ සිට සෘජු ප්‍රජාතන්ත්‍රවාදයක් කරා සංක්‍රමනය වීම ගැන කතා කළෙමි. එහිදී මා එය පළමුව විස්තර කළේ ඇමරිකාවේ ප්‍රාන්ත කිහිපයක මෑත කාලයේදී කංසා නීතිගත වීම උදාහරණයකට ගනිමිනි.

කෙසේ වුවද, සෘජු ප්‍රජාතන්ත්‍රවාදය භාවිතා වන අවස්ථා මීට වඩා බොහෝ සෙයින් පුළුල්ය. පළමුව, මෙවැනි ඉඩප්‍රස්තා අවශ්‍ය වන්නේ කංසා භාවිතය නීතිගත කිරීම වැනි මතභේදකාරී නීති පැනවීමටම නොවේ. දෙවනුව, එය යොදා ගැනීමට ෆෙඩරල් ක්‍රමයක් තිබීම අවශ්‍ය වන්නේද නැත. තෙවනුව, මෙය ඇමරිකාව වැනි දියුණු රටවල පමණක් යොදාගැනෙන ක්‍රමයක්ද නොවේ.

ඒක පුද්ගල ආදායම අතින් ලංකාවට කිට්ටු, තවත් ආසියාතික රටක් වන පිලිපීනයේ නීති පැනවීම මෙන්ම ව්‍යවස්ථා සංශෝධයක් කිරීමද මහජනතාවට මුල් වී කළ හැකිය. එය මහජන නියෝජිතයින් විසින් සිදු කරන තුරු බලා සිටීම අවශ්‍ය නොවේ.

පිලිපීනයේ පැරණි (1935 සහ 1973) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අනුව, ව්‍යවස්ථා සංශෝධනයක් කළ හැකි ක්‍රම තිබුණේ දෙකක් පමණි.
1. කොන්ග්‍රසයේ හතරෙන් තුනක ඡන්දයෙන්; සහ
2. ව්‍යවස්ථාදායක සම්මේලනයක් (constitutional convention) මඟිනි.

දැනට බලාත්මක 1987 ව්‍යවස්ථාව අනුව තුන්වන විකල්පයක්ද මෙයට එක් වී ඇත. මේ අනුව, එක් එක් දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින්ගෙන් අවම වශයෙන් 3%ක් ඇතුළත්ව, රටේ වලංගු ඡන්දදායක සංඛ්‍යාවෙන් 12%කගේ අත්සන් සහිතව මහජන පෙත්සමක් ඉදිරිපත් කිරීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට මුලපිරිය හැකිය.

එමෙන්ම, එක් එක් දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින්ගෙන් අවම වශයෙන් 3%ක් ඇතුළත්ව, රටේ වලංගු ඡන්දදායක සංඛ්‍යාවෙන් 10%කගේ අත්සන් සහිතව මහජන පෙත්සමක් ඉදිරිපත් කිරීමෙන් වෙනත් ඕනෑම නීතියක් යෝජනා කිරීමට හෝ කොන්ග්‍රසය විසින් සම්මත කරගත් නීතියක් අහෝසි කිරීමට මුලපිරීමේ හැකියාව පිලිපීන ඡන්දදායකයින් සතු අයිතියකි. මෙසේ මුලපිරෙන ජනමූල යෝජනාවක් ජනමතවිචාරණයකට යොමු කෙරී සරල බහුතරයක් ලබා ගැනීමෙන් පසු එය බලාත්මක වේ.

අප්‍රිකානු කලාපයෙන් උදාහරණයක් ගන්නේනම්, 1995දී හඳුන්වා දුන් උගන්ඩා ව්‍යවස්ථාවේ 255 වන වගන්තිය අනුව, මැතිවරණ බලප්‍රදේශ වලින් තුනෙන් දෙකක ලියාපදිංචි ඡන්දදායකයින්ගෙන් 10%ක අත්සන් සහිත මහජන පෙත්සමක් රටේ මැතිවරණ කොමිසමට ඉදිරිපත් කිරීමෙන් ජනමතවිචාරණයක් කැඳවිය හැකිය. එමෙන්ම යම් මහජන නියෝජිතයෙකුව තෝරා පත්කර ගැනුණු බල ප්‍රදේශයේ ඡන්දදායකයින්ගෙන් තුනෙන් දෙකක් අත්සන් කර ඇත්නම් එවැන්නෙකුගේ ධුරය අහෝසි වේ.

සෘජු ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කිරීම හා අදාළව ලෝකයේ ඉදිරියෙන්ම සිටින රට ලෙස සැලකෙන්නේ ස්විට්සර්ලන්තයයි. එහි, ප්‍රාදේශීය (කැන්ටන්) මට්ටමේදී ජනතා මුලපිරීම් මත පදනම් වූ වෙනස්වීම් ඉතා සුලභය. උදාහරණයක් වශයෙන් අළුතින් පාරක් තැනීම හෝ වෙනත් පොදු කටයුත්තකට මුදල් වෙන් කිරීම අදාළ ප්‍රදේශයේ සියළු ඡන්දදායකයින්ගේ සහභාගිත්වයෙන් තීරණය වීම එහි දුලබ දෙයක් නොවේ.

ලංකාවේ ෆෙඩරල් ක්‍රමයක් නැතත් සෑහෙන මට්ටමකට බලය විමධ්‍යගත වී තිබේ. ප්‍රාදේශීය සභාවකට හෝ නගර සභාවකට අදාළ ප්‍රදේශයේ යටිතල පහසුකම්, බදු වැනි දේ සම්බන්ධව තීරණ ගැනීමට සැලකිය යුතු බලයක් තිබේ. 


මේ ආයතන වලට බොහෝ විට තේරී පත්වෙන්නේ දේශපාලන පක්ෂ වල නියෝජිතයින්ය. බොහෝවිට ඔවුන්ගේ ප්‍රධාන අපේක්ෂාව වන්නේ තමන්ගේ පක්ෂයේ ජාතික බල ව්‍යාපෘතිය වෙනුවෙන් බිම් මට්ටමේදී පෙනී සිටීමයි. සමාජය වෙනුවෙන් යමක් කිරීමට කැමති සහ ශක්‍යතාවක් ඇති, එහෙත් පක්ෂ දේශපාලනයේ අතකොලුවක් වීමට අකැමති බොහෝ දෙනෙකු ප්‍රාදේශීය දේශපාලනයෙන් ඈත් වී සිටින අතර එවැන්නෙකු යම් හෙයකින් තරඟ කළද තේරී පත්වීමට ඇත්තේ ඉතාම සීමිත ඉඩකඩකි.


සෘජු ප්‍රජාතන්ත්‍රවාදයක් ඇත්නම් තමන්ගේ ප්‍රදේශය සම්බන්ධව යමක් කිරීමට බලාපොරොත්තු වන, එහෙත් ජාතික දේශපාලනයට හෝ පක්ෂ දේශපාලනයට අකැමති අයෙකුට වුවද තමන්ගේ යෝජනා ජනතා අනුමැතියට ඉදිරිපත් කර ඒවා ක්‍රියාත්මක කර ගැනීමේ හැකියාව තිබේ. උදාහරණයක් වශයෙන් තමන්ගේ ප්‍රදේශයට විමධ්‍යගත අයවැයෙන් වෙන් කරන මුදල් වියදම් කළ යුතු ආකාරය ගැන සාමාන්‍ය පුද්ගලයෙකුට යෝජනා ඉදිරිපත් කළ හැකිය.

වසර කිහිපයකට පෙර අයෝවා විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය හැදෑරු සිසුවෙකු ඉදිරිපත් කර තිබුණු නිබන්ධනයේ සාකච්ඡා කර තිබුණේ සෘජු ප්‍රජාතන්ත්‍රවාදය හඳු
න්වා දීමෙන් පසු ඡන්දදායකයින් විසින් සිය නියෝජිතයින් තෝරා ගන්නා ආකාරය වෙනස් වී ඇති ආකාරයයි. ඔහු පෙන්වා දෙන පරිදි, නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය යටතේ මහජන නියෝජිතයෙකුගේ ප්‍රතිපත්ති වඩා වැදගත් වුවත්, සෘජු ප්‍රජාතන්ත්‍රවාදය යටතේ ප්‍රතිපත්ති තීරණ තමන්ටම ගත හැකි බැවින් නියෝජිතයෙකුගේ අවංක භාවය, විශ්වාසනීයත්වය, මහන්සි වී වැඩ කිරීමේ හැකියාව වැනි පුද්ගල ස්වභාවය හා සම්බන්ධ ගුණාංග වඩා වැදගත්ය. ඒ නිසා, ඡන්දදායකයින් එවැනි අපේක්ෂකයින් වෙතට වඩා නැඹුරු වී තිබේ. මෙයින් ප්‍රධාන ධාරාවේ නොවන පක්ෂ වල අපේක්ෂකයින්ට යම් වාසියක් සැලසී ඇත.

ලංකාව වැනි රටකනම් සෘජු ප්‍රජාතන්ත්‍රවාදයක් යටතේ වුවත්, බොහෝ ඡන්දදායකයින් සිය පක්ෂය අනුවම තීරණ ගැනීම සිදු වීමට ඉඩ තිබේ. ඒ නිසා, වත්මන් සන්දර්භය යටතේ එමඟින් ජාතික තලයේදීනම් ලොකු වෙනසක් සිදුවීමේ ඉඩකඩක් නැත. එහෙත්, ප්‍රාදේශීය තලයේදී පක්ෂ දේශපාලනයට අකැමති සමාජ ක්‍රියාකාරීන් තීරණ වලට හවුල් කර ගැනීමට එවැන්නකින් ඉඩ සැලසිය හැකිය.



(Images: ideasmakemarket.com, http://occupiedmedia.us/2012/05/a-few-good-democrats-are-not-enough/ )


38 comments:

  1. ලංකාවේ නම් තියෙන්නේ සිස්ටම් එකේ අවුලටත් වැඩිය මිනිස්සුන්ගේ අවුල. පත්වෙන නියෝජිතයා වගේම එයාව පත් කරන ජනතාවත් හරිම පටු විදියට හිතන්නේ ක්‍රියා කරන්නේ. අර කියුව වගේ වැඩක් කරන්න පුළුවන් කොච්චර මිනිස්සු දේශපාලනයට ඇත නොදැ ඉන්නවද? වැඩිය ඕනි නෑ ගමක ග්‍රාම සංවර්ධන සමිතියක නිලධාරීන් ගමේ හැබැවටම වැඩක් කරන්න පුළුවන් මිනිස්සුද? ලොකු ගැටළුවක් එක. ඍජු ප්‍රජාතන්ත්‍රවාදය හරහා මිට යම් පිලියමක් ලැබෙයි කියලා හිතෙනවා ක්‍රියාත්මක උනොත්..

    ReplyDelete
    Replies
    1. මිනිස්සුන්ගෙ අවුල තමා තියෙන්නෙ. ලංකාවෙ ඡන්දදායකය දේශපාලකයටත් වඩා ජඩයෙක්.

      Delete
    2. ඇත්තටම ඔව් අපේ ගොඩක් වෙලාවට තියෙන්නේ මිනිස්සුන්ගේ අවුලක්.දැන් අපි හැම තිස්සෙම කියනවා දේශපාලකයෝ ආත්මාර්ථකාමීයි කියලා.ඉතින් අපිත් ඒ වගේනේ.ජන්දේකදී අපේ නියෝජිතයා විදියට අපි පත් කරගන්න බලන්නේ අපිට වැඩක් කර ගන්න පුළුවන් අයව.වැඩක් කියලා කිව්වේ සමාජයට වඩා තමන්ට පුද්ගලිකව වැඩක් කර ගන්න පුළුවන් අයව.එහෙම නැති නම් අපි දන්නා හිතවතෙක්ව/අපි දන්නවා ඔහු ඒ වගේ තතුරක් දරන්න සුදුසු නැහැ කියලා නමුත් අපි ඔහුව අපේ නියෝජිතයා කර ගන්න අපි ඔහුට ජන්දේ දෙනවා අපේ පුද්ගලික වාසිය තකා.

      Delete
  2. ඔපමන ප්‍රෝග්‍රෙසිව් වියස්තාවක් තිබිලත් පිලිපීනය ලොකේ අන්ත දුගී දුප්පත් රටක් ව තිබීමටත් එහි මොරෝ කැරලිකරුවන් ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල කිරීමටත් හේතුවක් තිබේද?

    මීට පිල්ලි එක්ස්පර්ට්,

    ස ර ස තුමා

    ReplyDelete
    Replies
    1. ව්‍යවස්ථාවට වගන්තියක් එක් කිරීමෙන් රටක දරිද්‍රතාවය හෝ ත්‍රස්තවාදය අවසන් කළ හැකි බව කොහේ හෝ සඳහන් වී තිබෙනවාද?

      Delete
  3. ඔය වගේ දේ හොඳයි නිදහස් චින්තන තියෙන නිරාගමික ළෝකය ගැන අවබෝධයක් ජනතාවක් ඉන්න රටකට. එහෙම නැති අපි වගේ පසුගාමී අදහස් වලින් හෙබි ගස් ගල් වලට වඳින ගෝත්‍රික සමාජයකට ඕවා ගැලපෙන්නේ නෑ කියන්න තියෙන හොඳම උදාහරණය තමයි ඔබත් සඳහන් කරන පිලිපීනය. පිල්ලෝ පිල්ලියෝ එක්ක කතා කරන කොට අපේ උන් දාහෙන් හොඳයි.

    මෙහේට ගැලපෙන හොඳම ක්‍රමය තමයි එක්කෝ සුන්දර එකාධිපතියෙක් එන්න ඕන. (ඒක තමයි හොඳම ක්‍රමය. මොකෝ අපේ උන් රජ මානසිකත්වයේ ඉන්න ජනතාවක්) එහෙම නැත්නම් ඊශ්‍රායලයේ "කිබුට්ස්" (kibbutz) ක්‍රමය.

    ReplyDelete
    Replies
    1. පසුගාමී ලංකා සමාජයට ඔය වගෙ ඒව ගැලපෙන්නෙ නෑ. වදුරට දැලිපිහිය දුන්න වගෙ තියෙයි.

      Delete
    2. //පිල්ලෝ පිල්ලියෝ එක්ක කතා කරන කොට අපේ උන් දාහෙන් හොඳයි.// ව්‍යවස්ථාවේ මේ අයිතිවාසිකම් තිබුණත් ඒවා ප්‍රයෝජනයට ගෙන නොමැති තරම්ය.

      මාර්කෝස්ගේ දීර්ඝ පාලනය අවසන් කර කොරසොන් අකිනෝගේ රජය පිහිටවූ අළුත මේ ව්‍යවස්ථාව හදන කාලයේ මෙවැනි වගන්තියක වටිනාකම ඉස්මතු වී පෙනෙන්නට ඇත. මාර්කෝස්ගෙන් පසු පිලිපීනය දෙස බැලිය යුත්තේ මාර්කෝස්ගේ කාලයට සාපේක්ෂවය.

      Delete
  4. උපදින හැම මිනිහටම මයික්‍රෝ චිප් එකක් ඇඟ ඇතුලේ සවි කරලා, එමගින් ගෙදර ඉඳන් ක්‍ෂණික ප්‍රතිචාර දක්වන්න ක්‍රමයක් හදාගත්තොත්, ඍජු ප්‍රජාතන්ත්‍රවාදය නැවත පටන්ගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. What an original idea???

      Here is wisdom. Let him that hath understanding count the number of the beast: for it is the number of a man; and his number is Six hundred threescore and six.
      and he provides that no one will be able to buy or to sell, except the one who has the mark, either the name of the beast or the number of his name. Here is wisdom. Let him who has understanding calculate the number of the beast, for the number is that of a man; and his number is six hundred and sixty-six.

      revelation 13-18

      Delete
    2. //උපදින හැම මිනිහටම මයික්‍රෝ චිප් එකක් ඇඟ ඇතුලේ සවි කරලා// ඇඟ ඇතුළේ නැතත් මයික්‍රෝ චිප් එක බොහෝ දෙනෙකුගේ සාක්කුවේ තිබේ. (2014 අවසානයේදී ජනගහණයෙන් 100 දෙනෙකුට ජංගම දුරකථන 107ක් තිබුණේය.)

      Delete
    3. මට හිතෙනවා අනාගතයේදී මේක වෙයි කියලා. එන්නත් කටුවක් තුලින් ඇඟේ නියමිත තැනක ස්ථිරව තැන්පත් කරන්න පුළුවන් චිප් එකක් එයි. එය දුරස්ථ පාලක ස්කෑනර්ස් වලට ප්‍රතිචාර දක්වනු ඇති. ජියෝ ටැගින්ග් තිබුනොත් හැංගිලා හමාරයි. ඇමරිකානු හමුදා සොල්දාදුවන්ගේ හෙල්මට් එකේ මේ ක්‍රමය දැනටමත් තියනවා.

      Delete
    4. @ Sa rasa

      මේ චිත්‍රපටිය බලන්න. එහි ප්‍රධාන චරිතයේ ඉන්න ළමයාගේ ඔලුවේ ඔය යක්ෂයාගේ සංකේතය වන 666 තියනවා.

      https://en.wikipedia.org/wiki/The_Omen

      Delete
  5. මේ සම්බන්ධයෙන් මාගේ යෝජනාව වන්නේ ග්‍රාමිය මට්ටමේ සිට යම් සංවිධාන ව්‍යුහයක් සකස්කර එම සංවිධානවලින් පළාත් පාලන ආයතන හා පාර්ලිමේන්තුවට දේශපාලන පක්ෂයක නොවන නිජෙිතයින් ප්‍රමාණයක් පත් කරවා ගැනීමයි

    එමෙන්ම ඔවුන්ට යම් කලාපයන්ට අනුව වෙන්කර සංවර්ධන යෝජනා ක්‍රියාත්මක කිරීමේ බලතල ලබා දීමය.

    තවද පාර්ලිමේන්තුවට එලෙස පත්කරනු ලබන නියෝජිතයින් එම කළාපයේ සංවර්ධන නියෝජිතයින්ගේ වැඩි කැමැත්ත අනුව පාර්ලිමේන්තුවේදි චන්දය දෙනු ලබන ක්‍රමවේදයකි.
    http://nelumyaya.com/?p=5118

    ReplyDelete
    Replies
    1. ප්‍රදීප්, මම මෙය කියෙවුවා. ඔබ පුරවැසියෙකු ලෙස ඔබේ යෝජනා ඉදිරිපත් කිරීම වටිනවා. ඇතැම් දේවල්නම් ගොඩක් හොඳයි. සමහර ඒවා හොඳ වුවත් ඒවා සාමාන්‍යයෙන් රටක ව්‍යවස්ථාවකට දමන දේවල් නෙමෙයි. සාමාන්‍ය නීතිය යටතට වැටිය යුතු කරුණු. ඒත් යෝජනා කිරීමේ වරදක් නැහැ. නිර්දේශපාලනීකරණ යෝජනාව ප්‍රයෝගිකව හරියන එකක් නෙමෙයි කියන එකයි මගේ අදහස. නිර්දේශපාලනීකරණය හොඳ වුවත් එය කෘතිමව කරන්න අමාරුයි. අන්තිමට එක්කෝ දේශපාලන පක්ෂ වලම අතකොළු ඕවට රිංගා ගන්නවා. නැත්නම් දේශපාලන පක්ෂ විසින් ඔවුන්ව බිලි බා ගන්නවා. (මගේ පෞද්ගලිකව දේශපාලන පක්ෂ ක්‍රමය ගැන ප්‍රතිරෝධයක් නැහැ. මේ මම හිතන සිදුවිය හැකි දෙය.) මෙය ඉතා කෙටි විචාරයක් පමණයි.

      Delete
  6. ලංකාවෙ සෘජු ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කරන්න කලිං මිනිස්සුන්නෙ ඔලු හදන්නඕන

    ReplyDelete
  7. ලංකාවෙ සෘජු ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කරන්න කලිං මිනිස්සුන්නෙ ඔලු හදන්නඕන

    ReplyDelete
  8. ඉකොනෝ..............

    අැත්තට ම නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ ගැටලුවක් නෙමෙයි තියෙන්නේ... දැන් ඒක දේශපාලනඥයින් විසින් සහ අවස්ථාවාදීව කඩේ යන ඡන්දදායකයන් විසින් ජරාජීර්ණ කර ගැනීමකි. මේ ක්‍රමය වෙනස් කිරීමට නං අපි යෝජනා කරන්නේ ජනතා පරමාධිපත්‍යය අභියෝගයට ලක්වීම වැළැක්විය යුතුයි. ඒ වෙත අැති බාධාව ඉවත් කිරීමට අවශ්‍ය මාර්ගයට ප්‍රවේශයක් ගැනීමට මේක හොද අවස්ථාවක්....

    ඒකාධිපති අාණ්ඩුවල අැතිවූ දූෂිත තත්වයන් නිසා ජනතාව ඒවාට විරුද්ධ වෙලා සටන් කරා. අන්තිමට දේශපාලන විද්වතුන් මේකට හොද පදනමක් හදලා දුන්නා. ඒ තමා ජනතා පරමාධිපත්‍යය. ඒකේ කොටස් තුනයි.

    1. පාලන බලතල
    2. ඡන්ද අයිතිය
    3. මූලික අයිතිවාසිකම්

    මේවායින් දෙවැනි අංගය වෙන ඡන්ද අයිතිය භාවිතා කරලා පළවෙනි අංගය වෙන පාලන බලතල නියෝජිතයෙකුට සීමිත කාලයකට පැවරීම නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය වුණා... නමුත් මෙතැන තමා ලොකුම ගැටලුව අැති වුණේ... දැන් අැති වෙන කතා බහ තමා අපි තෝරා යැවූ නියෝජිතයා නැවත කැදවීමේ බලයක් තිබීමේ අවශ්‍යතාවය. අැත්තට ම මේකෙන් වෙන්නේ ජනතා පරමාධිපත්‍යයේ තියෙන පළවෙනි අංශය වෙනකෙකු වෙත අසීමිත ව පැවරීම අහෝසි වී යෑමයි.... අාසන ක්‍රමයට මැතිවරණයක් අැති වුණාම මේක කරන්න හැකියි.... ඒ කොට්ඨාශයේ ඡන්ද දායකයින් සුදුසු ප්‍රමාණයක අත්සන් සහිත පෙත්සමකින් නැවත කැදවීමක් කළ හැකි අාකාරයට මේක වෙනස් කළ හැකියි... මේක කොහොම හරි ව්‍යවස්ථාවට දා ගන්න හැකි නං ඔය පාර්ලිමේන්තුවේ නටන නාඩගම් බහුතරය නවතිනවා වගේ ම ජනතාවට වගකියන මන්ත්‍රීවරු සහ අැමතිවරු අැති කරගන්න උත්සහ කළ හැකියි........

    ReplyDelete
    Replies
    1. ඔව් අනිවර්යෙන්ම ජන්ද දායකයින් විදියට අපිට අපේ නියෝජිතයා ගේ සේවය සුදුසු නොවේ නම් යලි කැදවන්න අවස්ථාක් තියෙන්න ඕනේ.කුරුටු කියන්නා වගේ එතකොට මේ ජනතා නියෝජිතයෝ වගකීමක් ඇතුව කටයුතු කරන්න ඒ තුලින් හෝ පෙලබේවි.

      Delete
    2. කුරුටු:

      මහජන නියෝජිතයෙකු ආපසු කැඳවීමේ අයිතිය සෘජු ප්‍රජාතන්ත්‍රවාදයේ අංගයකි (පෙර ලිපිය බලන්න). නිශ්චිත කාලයකට නියෝජිතයෙකු තෝරා පත්කර යැවූ විට, ඔහු හෝ ඇය මොනවා කළත් කාලය අවසන් වන තුරු කට ඇරගෙන බලා ඉන්නට සිදුවේ. ඡන්දය අවසන් වූ වහාම පක්ෂ මාරු කරන නියෝජිතයන් ගැන සිතන්න. මේ බලය ජනතාවට ඇත්නම් මහජන නියෝජිතයෙකු තමන්ව තෝරාපත් කරගත් ජනතාව අකැමති දෙයක් කිරීමට පෙර දෙවරක් සිතනු ඇත.

      ඉතිරි අංග දෙකම මේ කරුණට වඩා අඩු මට්ටමේ දේවල්ය. බොහෝවිට සිදුවන්නේ සමස්තයක් වශයෙන් නියෝජිතයෙකු අප්‍රසාදයට ලක් නොවුණත් එවැන්නෙකුගේ එක් ක්‍රියාවක් ජනතා කැමැත්ත නොවීමයි. එවිට නියෝජිතයාව ඉවත් නොකර එසේ ගත් තීරණය පමණක් 'ආපසු කැඳවිය' හැකිය. (18 වන සංශෝධනය වැනි දෙයක් ගැන සිතන්න. උදාහරණයක් පමණි.)

      ඇතැම් විට මෙහි අනිත් පැත්ත සිදුවේ. ජනතාවට පොරොන්දු වන සංශෝධනයක් ඉදිරිපත් නොකෙරේ. (විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ගැන සිතන්න.) මෙවැනි අවස්ථාවක පුරවැසියෙකුට ඉදිරිපත් වී යෝජනාවට මුල පිරිය හැකිය.

      පසුව කී අංග දෙකෙන් සිදුවන්නේ මහජන නියෝජිතයෙකු ඉවත් කිරීමට පෙර යන ගමන ගැන ඉඟියක් දී (උදාහරණයක් ලෙස නූතන විහාර මහා දේවියක චෞර රැජිනක් වීමට පෙර) අවශ්‍යනම් නිවැරදි වීමට ඉඩ සැලසීමයි.

      Delete
  9. ඉතාම වැදගත් ලිපියක්. මේ සදහා ඒකකය කුඩා වීම,සාමාජිකයන් බුද්ධිමත් වීම වගෙ කරුණුත් අවශ්‍යයි. දේශපාලන පක්ෂය ආගමක් වුන කලබල වෙන හැඟීම් බර පටු විදියට සිතන ලංකා සමාජයට ඒක ගැලපෙන්නෙ නෑ.
    නමුත් උඩ ප්‍රදීප් මංගලත් කිව්ව වගෙ යට ඉදන් උඩට බලය ගමන්කරන කිසියම් සංවිධාන ව්‍යුහයක් හදන එක ප්‍රයෝජනවත්.

    ReplyDelete
  10. මේ ලිපි දෙකම ව්‍යවස්ථවට අදාල කරනවද නැත්ද කියල මේ කල්පනා කලේ.

    ReplyDelete
  11. ප්‍රජාතන්ත්‍රවාදයේ ගැටලුවක් නෙමෙයි ලංකාවෙ තියෙන්නේ විනය පිළිබඳ ගැටලුවක් .

    ReplyDelete
  12. ලංකාවට මොන පන්නයේ ව්‍යවස්ථාක් හැදුවත් වැඩක් වේවි කියලා මං හිතන්නෑ

    ReplyDelete
  13. සෘජු ප්‍රජාතන්ත්‍රවාදය කියන අදහස හොඳයි හැබැයි අපි ඒ වගේ නීතියක් මුලින් ගෙනල්ල සම්මත කරගෙන ඊට පස්සේ අපේ ව්‍යවස්ථා යෝජනා දාල ඒවා සම්මත කර ගන්න තියෙන්නේ ජනතා චන්දය හරහා.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මම මතු කරන අදහස. මෙතැන තියෙන්නේ බඩගින්නට මාළුවෙකු දීම සහ මාළුවෙකු අල්ලා ගන්නා හැටි කියා දීම අතර ඇති වෙනස වැනි වෙනසක්. කොයිතරම් හොඳ යෝජනාවක් වුණත් පසුව (බාහිර කරුණු වෙනස් වූ විට) නරක යෝජනාවක් ලෙස පෙනිය හැකියි. එවිට එය පහසුවෙන් වෙනස් කර ගත හැකි වීමයි වැදගත්. ඒ වගේම, තනි තනි යෝජනා ඇතුළත් කරනවාට වඩා මෙවැන්නක ඵලදායීතාව ගොඩක් වැඩියි. මොකද තනි යෝජනා ඉන්පසු ඕනෑ තරම් දාගන්න පුළුවන් (ජනතාව කැමතිනම්). හරියට අර ගුලි තුනක් උඩ දාන්න දුන්නම තුන්වෙනි එක උඩදාල ඒ ජාතියෙම තව ගුලි සීයක් ඉල්ලනවා වගේ වැඩක් මේක.

      මෙවැනි ඉඩකඩක් තිබුණ පලියටම එක පාරට ලොකු වෙනසක් වෙන්නේ නැහැ (වෙනත් රටවල අත්දැකීම් අනුව). මෙවැන්නක වැදගත්කම පෙනෙන්නේ පාලකයෙකු තනිකරම ජනතා කැමැත්තට පිටින් යන තත්ත්වයක් යටතේ. ලංකාවේ තත්ත්වය කොයිතරම් නරක් වුණත් කවදාවත් සුහර්තෝලා මාර්කෝස්ලා යටතේ තරමටම දුරදිග ගිහින් නැහැ. එහෙත්, ඒවා වෙන්න බැරි දේවල් නෙමෙයි. කෙසේ හෝ එවැනි තත්ත්වයක් වැලකුනත්, ඇතැම් විට විය හැකිව තිබුණු දේවල්.

      අනිත් කරුණ, මේවා අහසින් එන ප්‍රායෝගික නැති යෝජනා නෙමෙයි. ලෝකයේ රටවල් බොහොමයක අත්හදා බලා ඇති දේවල්. එවැන්නක් ඉස්මතු කරන්න පදනමක් තිබෙනවා. එසේ නොවන යෝජනාවක් බොහෝවිට මුල් වටයේම කුණු කූඩයට යන්න ඉඩකඩ වැඩියි.

      කොහොමවුනත්, මෙවැන්නක් දමා ගැනීම හිතන තරම්ම පහසු වෙන එකක් නැහැ. මොකද ඕනෑම දේශපාලන පක්ෂයක වටිනාකම තියෙන්නේ මේ නියෝජිත කාර්යය තුළ. ඒ නිසා මේ වැඩෙන් තරමක් දුරට හෝ කොයි පක්ෂයේත් බඩට වදිනවා. ලංකාවේ හැම දේශපාලන පක්ෂයකම වගේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය රටේ ප්‍රජාතන්ත්‍රවාදය තරම්වත් හොඳ නැහැ. එවැනි අය මෙවැන්නකට අවංකවම කැමති වෙන එකක්නම් නැහැ. 2010 කෙන්යා ව්‍යවස්ථාව හදද්දීත් මෙවැනි යෝජනා ලොකුවට සාකච්ඡා කළත් අන්තිමට ව්‍යවස්ථාවට එකතුවුනේ "මහජන යෝජනාවක් සලකා බැලීම සඳහා කෙළින්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකිය" ආකාරයේ දියාරු වූ යෝජනාවක්. එහෙත්, මෙතන තියෙන වාසිය ජනතා පරමාධිපත්‍යය ගැන බොරුවට හෝ පෙනීසිටිමින් කතා කරන කෙනෙකුට මෙවැනි යෝජනාවකට ප්‍රසිද්ධියේ විරුද්ධ විය නොහැකි වීම.

      Delete
  14. පොඩි ටොයිං ගතියක් දැනෙනව මේක කියෙව්වම.. ඔය මොක කිව්වත් අපේ පුතයල හදන්න බෑ බං....

    ReplyDelete
    Replies
    1. මටනම් කාවවත් හදන්න පුළුවන්කමක්වත්, උවමනාවක්වත් නැහැ, සජ්ජා. :)

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

Gadget

This content is not yet available over encrypted connections.