Friday, January 29, 2016

ඇමරිකාවේ මරිජුවානා නීතිය ලංකාවේ අළුත් ව්‍යවස්ථාවට?

විනෝදාස්වාදය සඳහා කංසා (හා ආශ්‍රිත නිෂ්පාදන) භාවිතය ඇමරිකාවේ ප්‍රාන්ත හතරකම මේ වන විට නීත්‍යානුකූල කටයුත්තකි. මෙය ලංකාවේ බොහෝ දෙනා දන්නා, සිංහල මාධ්‍ය වල කතාබහට ලක්වී ඇති කරුණකි. එහෙත්, ඇමරිකාවේ ෆෙඩරල් නීතිය අනුව, තවමත්, කංසා භාවිතය, ළඟ තබා ගැනීම, විකිණීම, වැවීම හා ප්‍රවාහනය කිරීම නීති විරෝධී කටයුත්තකි.

මේ ලිපියේ අරමුණ විනෝදාස්වාදය සඳහා කංසා භාවිතය නීතිගත වීමේ ඇති හොඳ නරක සාකච්ඡා කිරීම නොවේ. ඒ නීතිය සම්මත වූ ආකාරය විස්තර කිරීමයි.

ෆෙඩරල් නීතිය අනුව කංසා භාවිතය ඇමරිකාව පුරාම විශාල වරදක්ව තිබියදී, 1996 නොවැම්බරයේදී කැලිෆෝර්නියා ප්‍රාන්තයේ වැසියෝ වෛද්‍ය අවශ්‍යතා මත කංසා භාවිතය නීතිගත කරමින් පණතක් සම්මත කර ගැනීමට සමත් වූහ. මෙයින් අනතුරුව, මේ වන විට තවත් ප්‍රාන්ත 22ක් කැලිෆෝර්නියාව අනුගමනය කර තිබේ. විනෝදාස්වාදය සඳහා කංසා භාවිතය මුලින්ම නීතිගත වූයේ වොෂින්ටන් සහ කොලරාඩෝ ප්‍රාන්ත වලය. ඒ 2012 නොවැම්බරයේ පැවති මැතිවරණ අනුවය.

වෛද්‍ය අවශ්‍යතා මත කංසා භාවිතය නීතිගත කෙරුණු කැලිෆෝර්නියා පණත මෙන්ම, වොෂින්ටන් සහ කොලරාඩෝ ප්‍රාන්ත වල විනෝදාස්වාදය සඳහා කංසා භාවිතය නීතිගත වීමද සිදුවූයේ ජනමූල යෝජනා ලෙසිනි. මා මෙහි විස්තර කරන්නේ වොෂින්ටන් ක්‍රියාවලියයි. ඉතිරි තැන් වල වූයේද මෙවැන්නකි.

විනෝදාස්වාදය සඳහා කංසා භාවිතය නීතිගත කළ යුතු බවට ජනතා හඬක් ඇති වුවත් දේශපාලනඥයින් විසින් මෙය යෝජනාවක් ලෙස ඉදිරියට ගෙනයාමක් නිසි පරිදි සිදුනොවුණු බැවින්, ජනතා ක්‍රියාකාරීහු යෝජනාවට පක්ෂව අත්සන් එකතු කරන්නට පටන් ගත්හ. 2011 දෙසැම්බර් 11දින වන විට අත්සන් 354,608ක් එකතු කරගත් ඔවුහු සිය පෙත්සම වොෂින්ටන් රාජ්‍ය ලේකම් වෙත ඉදිරිපත් කළහ.

අවසන් වරට පැවති මැතිවරණයේදී ප්‍රකාශ කළ ඡන්ද සංඛ්‍යාවෙන් 8%කට (හෙවත් 241,152කට) නොඅඩු වලංගු අත්සන් සංඛ්‍යාවක් සමඟ මෙවැනි යෝජනාවක් ඉදිරිපත් කළ විට ව්‍යවස්ථාව අනුව එය සලකා බලන්නට සිදුවේ. කෙසේ වුවද, අත්සන් පරික්ෂා කිරීමේදී  ඡන්දදායකයින් නොවන අයගේ ඒවා, නොගැලපෙන අත්සන්, දෙවරක් අත්සන් යෙදූ අය ආදීන් හඳුනාගෙන සාමාන්‍යයෙන් පෙත්සමක ඇති අත්සන් වලින් 20%ක් පමණ ඉවත් කෙරෙන නිසා අවශ්‍ය ප්‍රමාණයට වඩා අත්සන් එකතු කිරීමට සිදුවේ. මේ පෙත්සමේ එවැනි අත්සන් 21.73%ක් ඉවත් කිරීමෙන් පසුවද අවශ්‍ය ප්‍රමාණයට වඩා අත්සන් 36,000ක් ඉක්මවා තිබුණේය. ඒ නිසා මේ යෝජනාව ව්‍යවස්ථාදායකයට යොමු විය.

කෙසේවුවද, ඉහත යෝජනාව ව්‍යවස්ථාදායකය විසින් සලකා බැලුනේ නැත. ලංකාවේදීනම් සිදුවන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු ඉදිරිපත් කරන යෝජනාවක් වුවත් අදාළ සැසිවාරය තුළ සලකා බලනු නොලැබූයේනම් එය අහෝසි වී යාමයි. එහෙත්, වොෂින්ටන් ව්‍යවස්ථාව අනුව, එසේ සලකා නොබලන යෝජනා ඊළඟ මැතිවරණ දිනයේදී ජනතා තීන්දුවට යොමු විය යුතුය. එය එසේම සිදුවිය. අවශ්‍යනම්, ජනතා ක්‍රියාකාරීන්ට මෙසේ අත්සන් එකතු කරගෙන, ව්‍යවස්ථාදායකය වෙත යොමු නොකර සෘජුවම ජනතා තීන්දුවට යොමු කිරීමටද පුළුවන.

2012 ජූලි 6 වන දින මෙවැනි ජනමූල යෝජනා එම වසරේ නොවැම්බර් ඡන්ද පත්‍රිකාවට එක් කිරීම සලකා බැලෙන අවසන් දිනයයි. ඒ වන විට ඉදිරිපත් වී තිබුණු යෝජනා අතරින් මේ යෝජනාව සහ බදු හා පාසැල් අධ්‍යාපනය හා අදාළ තවත් ජනමූල යෝජනා දෙකක් 2012 නොවැම්බර් 6 ඇමරිකානු මැතිවරණ දිනයේදී වොෂින්ටන් ඡන්ද පත්‍රිකාවට එක් විය.

මේ වන විට වොෂින්ටන් ව්‍යවස්ථාදායකය විසින් සමලිංගිකයන්ගේ වෛවාහික අයිතිය තහවුරු කරමින් පණතක් සම්මත කර තිබුණේය. එහෙත්, මේ පණතට විශාල විරෝධයක්ද පැවතුණේය. ව්‍යවස්ථාදායකය මඟින් සම්මත කළ පණතකට ජනතාව විරුද්ධ වන්නේනම් එය අහෝසි කරන ලෙස ඉල්ලා  පෙර සේම ජනතා තීන්දුවට (referendum) යොමු කළ හැකිය. ඒ සඳහා අවශ්‍ය වන්නේ ජනමූල යෝජනාවකට (initiative) අවශ්‍ය අත්සන් ප්‍රමාණයෙන් අඩක් පමණි. ඒ අත්සන් ප්‍රමාණය තිබුණු බැවින් මේ තීන්දුවද නොවැම්බර් ඡන්ද පත්‍රිකාව මඟින් ජනතාව වෙත යොමු කෙරුණේය.

ඡන්ද ප්‍රතිඵල අනුව කංසා නීතිගත කිරීමට ඡන්දදායකයින්ගෙන් 55.7%ක සහයෝගයක් ලැබුණු අතර සමලිංගික විවාහ නීතිය 53.7%කගෙන් අනුමත විය. බදු හා පාසැල් අධ්‍යාපනය හා සම්බන්ධ ඉතිරි ජනමූල යෝජනා දෙකද (පසුව අධිකරණයේදී අභියෝගයට ලක්වුවත්) බහුතර ඡන්දයෙන් සම්මත විය.

මා විශ්වාස කරන අර්ථ ක්‍රමය නිදහස් වෙළඳපොළ මත පදනම් වූ එකකි. එමෙන්ම, මා විශ්වාස කරන දේශපාලන ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදයයි. ඒ, මේ දෙකෙන් එකක්වත් මිනිසුන්ගේ සියළු ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන සර්ව සම්පූර්ණ ක්‍රම නිසා නොවේ. මේ ක්‍රම වල අඩුපාඩු තිබේ. එහෙත්, මට සිතාගත හැකි වෙනත් විකල්ප දේශපාලන හා අර්ථ ක්‍රම වලට වඩා (වත්මන් සමාජය සිටින තැනට සාපේක්ෂව) මේ ක්‍රම දෙකම ඇත්තේ ගවුගණනක් ඉදිරියෙනි.

බොහෝදෙනා නිදහස් අර්ථ ක්‍රමයේත්, ප්‍රජාතන්ත්‍රවාදයේත් අඩුපාඩු දකිති. එහෙත්, බොහෝදෙනෙකු බොහෝවිට දකින මේ අඩුපාඩු සැබෑවටම මේ ක්‍රම වල ඇති අඩුපාඩු නොවේ. යම් රටක එවැනි ක්‍රමයක් ක්‍රියාත්මක (නො)වන ආකාරයේ ඇති අඩුපාඩුය.

ප්‍රජාතන්ත්‍රවාදය ග්‍රීසියේදී ඇරඹුණේ සෘජු ප්‍රජාතන්ත්‍රවාදයක් ලෙසිනි. එහෙත්, කල් යාමේදී විශාල ප්‍රජාවක් එක්ව තීරණ ගැනීමේදී සෘජු ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රායෝගික නොවූ බැවින් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයක් දක්වා පසු බැසීමට සිදුවිය. ලංකාවේ බොහෝ දෙනෙකු දකින ගැටළු ඇත්තේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය තුළය.

ලංකාවේ ඡන්දදායකයෙකුට රටේ පාලනයට හවුල් වන්නට ලැබෙන්නේ ඡන්ද විමසීමකදී පමණි. ඉන් පසු සිදුවන්නේ සිය නියෝජිතයින් පොරොන්දු වූ පරිදි කටයුතු කරන තෙක් කට ඇරගෙන බලා ඉන්නටය. නැත්නම්, බැන බැන බ්ලොග් සටහනක් ලියන්නටය. පොරොන්දු වන දේ බොහෝ විට ඉටු නොවේ. එහෙත්, ඊළඟ ඡන්දය වනතුරු කළ හැකි දෙයක් නැත. ඊළඟ ඡන්දයෙන් මුහුණු මාරු කළත් අවසාන වශයෙන් බොහෝවිට ඡන්දදායකයෙකුට ඉතිරි වන්නේ අතෘප්තියයි.

මා විශ්වාස කරන පරිදි, තාක්ෂනය විසින් අනාගතයේදී සෘජු ප්‍රජාතන්ත්‍රවාදයකට නැවතත් ඉඩ සලසනු ඇත. ඒ නැතත්, මේ වන විටත් ඉහත විස්තර කර ඇති පරිදි, බොහෝ රටවල ඇති ප්‍රජාතන්ත්‍රවාදය ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට වඩා සෘජු ප්‍රජාතන්ත්‍රවාදයට කිට්ටුය. නීති සම්මත කිරීම හෝ සම්මත කළ නීතියක් අවලංගු කිරීමට සිය නියෝජිතයින් හරහාම යන්නට අවශ්‍ය නොවන ආකාරයේ ප්‍රජාතන්ත්‍රවාද ලෝකයේ තිබේ. මේ ආකාරයෙන් ව්‍යවස්ථා සංශෝධනයක් කිරීමට හෝ පත්කළ නියෝජිතයෙකු ධුර කාලය අවසන් වීමට පෙර ආපසු කැඳවීමට වුවද ජනතාවට හැකියාවක් තිබේ. 2003 වසරේදී කැලිෆෝර්නියාවේ ආණ්ඩුකාරයාව සිටි ගැරී ඩේවිස්ව ධුර කාලය අවසන්වීමට පෙර ඉවත් කර (හොලිවුඩ් තිරයේ හුරුපුරුදු මුහුණක් වන, සංක්‍රමණිකකුද වූ) ආර්නෝල්ඩ් ස්වාශින්ගර්ව පත් කර ගැනුනේද මේ අයුරිනි.

මේවා ඇමරිකාවේ පමණක් සිදුවන දේවල් නොවේ. යුරෝපයේ බොහෝ රටවලද, පිලිපීනය වැනි ආසියාතික රටවලද, වෙනිසියුලාව වැනි රටවලද ව්‍යවස්ථා මඟින් මෙවැනි සෘජු ජනතා මැදිහත්වීම් වලට ඉඩ සලසයි. වෙනිසියුලාවේ ව්‍යවස්ථාව අනුව යම් මහජන නියෝජිතයෙකු පත් කිරීමට ඡන්දය දුන් ගණනින් 20%ක් අත්සන් කළ විට ඔහුව ඉවත් කිරීම තීරණය කිරීමට ඡන්දයක් තැබිය යුතුය. මේ අත්සන් ගණන 25%ක් වුවහොත්, එය පවත්වන තුරු, අදාළ නියෝජිතයාගේ තනතුර වහාම ක්‍රියාත්මක වන ලෙස බලරහිත වේ. 2004 වසරේදී හියුගෝ චාවේස්ට එරෙහිව මෙසේ අවශ්‍ය අත්සන් ප්‍රමාණය එකතු කිරීමට ඔහුට විරුද්ධ බලවේග සමත් වූ බැවින් මෙවැනි ජනමතවිචාරණයක් පැවැත්වුණු නමුත් ජනමතවිචාරණයේ ප්‍රතිඵල අනුව චාවේස්ට තවදුරටත් ධුරයේ රැඳී සිටීමට ඉඩ සැලසුණේය.

ලෝකයේ වෙනත් රටවල ව්‍යවස්ථා වල මෙවැනි දේවලුත් තිබෙන බව නොදන්නා අයගේ දැන ගැනීම පිණිසය.


(Image: http://kuow.org/)

40 comments:

  1. ගන්ජා වගාව සග බාවිතාව නීතිගත කිරීමට ස ර ස තුමා එකෙන් ම කැමතිය.

    අඩුම තරමින් මොනරාගල දිස්ත්‍රික්කයේ ගන්ජා වගාව, ප්‍රවාහනය සහ බාවිතය නීත්‍යානුකූල කල යුතුය.

    එවිට සිරි ලන්කාවේ සන්චාරක ව්යාපාරයේ ස්වර්නමය යුගය ඇරඹේ...

    ReplyDelete
    Replies
    1. මගේ දැඩි විරෝධය.

      Delete
    2. ඇයි මොනරාගලට විතරක්? ඇයි සංචාරකයන්ට විතරක්?

      Delete
    3. // ඇයි මොනරාගලට විතරක්? ඇයි සංචාරකයන්ට විතරක්? //

      අඩු තරමින් කියනා වචන යෙදුවේ එම නිසාය......

      Delete
    4. ඔය කිවුවට මොණරාගලට සා රස තුමාගේ විශේෂ කැමැත්තක් තියෙනවා වගේ.

      Delete
    5. නීතිගත කොරන්න බැරිනම් අල්ලන්නැතිව හිටුකො.. එක්ස්ටසි නම් අල්ලනෙ නෑ වැඩිය.

      Delete
    6. //ඔය කිවුවට මොණරාගලට සා රස තුමාගේ විශේෂ කැමැත්තක් තියෙනවා වගේ.//

      මැටිතුමෝ,

      ස්වබාවික සම්පත් නොමැති ජලය පවා නොමතිව තිබූ නෙවාඩාව හඩ්සන් නදියේ වේල්ලක් බැඳ ජලය සුලබ කර නව ගේමින් නීති පනවා කැසිනෝ සහ අනෙක් සූදු ක්‍රීඩා වලට පහසුකම් දී අමෙරිකාවේ ඉහලම සන්වර්දනයක් අයත් කර ගත්තා මතක ඇතැයි සිතමි.

      මොනරාගලත් ලන්කාවේ නෙවාඩාවයි. ජලය දුස්කරය. විසාල දිස්ත්‍රික්කයකි. විරැකියාව ඉතාම ඉහලය. සන්චාරක කර්මාන්තය ඉතා පහලය.
      එහෙත්:
      ගන්ජා ඉතා හොඬින් වැවේ. ඔනෑ තරම් සන්වර්දනය සඳහා ඉඩම් ඇත. මත්තල අන්තර්ජාතික ගුවන් තොටුපොල පේන මානයේ ය.

      සියලු සුද්දන් හට සුවර්ගය ලඟා කරවන මල් වගා කර මල් බාවිතාව සහ ප්‍රාවහනය නීති ගත කර මොනරාගල මල් පුරයක් කරමු.

      Delete
  2. ඉකොනෝ,
    //මා විශ්වාස කරන පරිදි, තාක්ෂනය විසින් අනාගතයේදී සෘජු ප්‍රජාතන්ත්‍රවාදයකට නැවතත් ඉඩ සලසනු ඇත. //
    මාත් හිතනවා මොකද ඉදිරියේ ජනතාවට කෙලින්ම පනත් ගෙන ඒමත් සම්මත කිරීමත් අන්තර්ජාලය මගින්ම කළහැකි වනු ඇති.
    එහෙම ක්‍රමයකදී අල්ලස් දී ජනතාවට අහිතකර පනත් සම්මත කිරීම කල නොහැකි වෙයි.

    ReplyDelete
    Replies
    1. //මාත් හිතනවා මොකද ඉදිරියේ ජනතාවට කෙලින්ම පනත් ගෙන ඒමත් සම්මත කිරීමත් අන්තර්ජාලය මගින්ම කළහැකි වනු ඇති.//
      මෙවැනි දෙයක් කළ හැකි තත්ත්වයක් දෙසට ලෝකය වේගයෙන් ගමන් කරනවා.
      //එහෙම ක්‍රමයකදී අල්ලස් දී ජනතාවට අහිතකර පනත් සම්මත කිරීම කල නොහැකි වෙයි.//
      ඡන්දදායකයින්ට නීති සම්පාදනට සෘජුව මැදිහත්වීමට ඇති හැකියාව ව්‍යවස්ථාවන්ට ඇතුළු කිරීමට ඉල්ලා සිටින්න හේතුවුනේ දේශපාලනඥයින් විසින් සමාගම් වල අවශ්‍යතා ඉටුකරනවා යනුවෙන් පැවති අදහසයි.

      Delete
  3. අපනයනය සඳහා පමණක් ගංජා නිෂ්පාදනයට අවසර දිය යුතුයි යන මතයේ මමත් ඉන්නවා. ඒ ගැන අවුලක් නෑ
    නමුත් ඔය ජනමත විචාරණ ගැටළු සහිතයි. මෙතනදී පක්ෂ විපක්ෂ කණ්ඩායම් අතර පරතරය 10%කටත් අඩුයි.
    අනිත් අතට ජනතාව කියන්නෙම බටහිර දේශපාලන විද්‍යාවේ පාවිච්චි වෙන වියුක්ත,පට්ටපල් සංකල්පයක්. ඒක බටහිර භෞතික විද්‍යාවේ ක්ෂේත්‍ර‍ ආකෘතිය සමාජයට ආදේශ කිරීමක් විය හැකියි.

    ReplyDelete
    Replies
    1. //අපනයනය සඳහා පමණක් ගංජා නිෂ්පාදනයට අවසර දිය යුතුයි යන මතයේ// එක් පිරිසකට භාවිතයට නුසුදුසු දෙයක් වෙනත් පිරිසකට සුදුසුයි කියා ඔබ හිතන්නේ මොන පදනමින්ද?

      //ජනතාව කියන්නෙම බටහිර දේශපාලන විද්‍යාවේ පාවිච්චි වෙන//ජනතාව වගේම සමාගම්, රාජ්‍ය, ජාතීන් ආදියත් මිනිසුන් විසින් හදාගත් සංකල්ප. අවසාන වශයෙන් හොඳක් භෝ නරකක් වෙන්නේ තනි මිනිස්සුන්ට.

      Delete
    2. //නමුත් ඔය ජනමත විචාරණ ගැටළු සහිතයි. මෙතනදී පක්ෂ විපක්ෂ කණ්ඩායම් අතර පරතරය 10%කටත් අඩුයි.//
      මෙයින් අදහස් වන්නේ රටේ බහුතර මතයට ඉඩදෙනවට වඩා මැතිවරණ ප්‍රදේශයක බහුතරයේ මතයට ඉඩදීම සුදුසුයි කියන එකද?

      Delete
    3. ජනමතය වෙනස්වෙන්න පුලුවන් ඉතින් ඔයවගේ ජනමත විචාරණයකදී තුනෙන් දෙකක කැමැත්ත හෝ ජනමත විචාරණය දෙවරක් පවත්වා දෙවරම ජයගන්නා මතය ක්‍රියාත්මක කිරීම සුදුසුයි.

      Delete
    4. ජනමතය වෙනස් වෙන්න පුළුවන් නිසාම නේද එසේ වෙනස් වන විට නීති රීතිත් වෙනස් විය යුත්තේ?

      Delete
  4. ඔන්න අනාගතයේ දී කරලියට ඒන මැතිවරණ පොරොන්දු..............

    ReplyDelete
    Replies
    1. අවශ්‍ය කෙනෙකුට අවශ්‍ය යෝජනාවක් කෙළින්ම ඡන්දයකට යොමු කර වැඩි ඡන්දයෙන් සම්මත කරගත හැකිනම් මැතිවරණ පොරොන්දු වල වැඩි වැදගත් කමක් නැහැ.

      Delete
  5. මට මේකට මොනවා කියන්නද කියලා තෙරෙන්නෑ..

    ReplyDelete
    Replies
    1. වැඩිය ගණන් ගන්න එපා, මහේෂ්! කියන්න දේවල් තියෙන අය කියල තියෙනවනේ.

      Delete
  6. ඔය වැඩේ කරන්නනම් ඉස්සෙල්ලාම ෆෙඩරල් රාජ්‍යයක් හදන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔබ අදහස් කළ කරුණ මම තේරුම්ගත්තේ වැරදියටද දන්නේ නැහැ. ඔබ කියන්නේ සෘජු ප්‍රජාතන්ත්‍රවාදය ගැනනම් එහිදී බහුතරයේ මතයට සුළුතරය යටවීමක් සිදුවන නිසා බලය ස්ථර කිහිපයකින් බෙදා ඇති තැනකට එය වඩා ගැලපෙනවා තමයි. හැබැයි ඒ දෙක දෙකක්. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙම (සරල ලෙස) කතිකාවකින් පසු බහුතරයේ අදහසට සුළුතරය එකඟ වීමයි. මෙහිදී බහුතරය/සුළුතරය යන වචන යෙදෙන්නේ යම් කිසි කරුණක් සම්බන්ධව දරන අදහස හා අදාලව.

      Delete
    2. නෑ නෑ මම කියන්න හැදුවේ, ප්‍රාන්ත වශයෙන් (පළාත් සභා වශයෙන්) විවිධ නීති රීති පනවන්න නම්, දැනට අපේ තියන ව්‍යවස්ථාව වෙනස් කරලා, ෆෙඩරල් ක්‍රමයක් හදාගන්න වෙනවා කියන එකයි.

      Delete
  7. කියන්න දෙයක් හිතාගනන් බෑ..
    ලංකාවෙ වුණත් ගංජ නං ඕසෙට වවන්නෙ විනාස කරනවනෙ අල්ලපුව ඒවැං 1% ක් වත් ආයුර්වේදයට දෙනවද මංද..

    කිරෙන් තම්බල ගත්තම කංසා කියන්නෙ හොඳ බේතක්

    මස් හැලියකට ගංජ දාල කන්න දීල බැස්ටිය දීපු කතත් තියේ

    ReplyDelete
    Replies
    1. /විනාස කරනවනෙ අල්ලපුව/
      විහිළු ද? තනමල්විල ගංජා වගා පැන්ෂන් ගිය පොලිස් ලොක්කන්නේ, මල පිපුනාම කො‍ළඹ නර්කො එකෙන් ඇවිල්ල ටිකක් පුච්චලා ඉතිරි තොගයම පොලිස් ආරක්ෂාව සහිතවම කොළඹට ගෙනියනවා, මේ මොකටවත් නෙවේ උසාවි දාන්න ....

      අපි පුංචිකාලේ තම්බලා වතුර දෙනවා පණු අමාරුවට කියලා, දරුවෝ දෙමාපියෝ එක්ක එක කාමරේ නිදාගන්න තැන් වලට කියාපු අවුසදේ.

      Delete
    2. බලාගෙන ගියහම සෑහෙන්න ප්‍රයෝජන තිබිල තියෙනවනේ. ත්‍රෛලෝක්‍ය විජය පත්‍ර කියල නම දාන්න ඇත්තේ ඒකයි එහෙනම්. :) මෙහෙ සමහර අම්මලා (ලංකාවෙන් සංක්‍රමනය වූ අය නෙමෙයි) ඔය වැඩේට වෛද්‍ය උපදෙස් නැතුව ෆාමසියෙන් ගතහැකි වේදනා නාශක පොඩි මාත්‍රාවක් දෙනවා. එවිට ළමයින්ට හොඳට නින්ද යනවා. වකුගඩු අකර්මන්‍ය වීමට 3%ක් හේතු වෙන්නේ වැඩිපුර වේදනානාශක ගැනීම. අක්මා වලටත් එවැනිම බලපෑමක් ඇති.

      Delete
    3. Tambala Bipuwama mokada wenne?

      Delete
  8. ගංජා වලින් පටන්ගෙන ප්‍රජාතන්ත්‍රවාදයෙන්ම අවසන් කරලා. ප්‍රජාතන්ත්‍ර වාදය ගැන කියනකොටනම් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලනයකට අකමැති පක්ෂ පාට බදාගත් ඡන්ද දායකයෝ කියලයි පෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මෙවැනි පැත්තක් බදාගත් බොහෝඅය හිතන්නේ ජනතා කැමැත්ත හරියට පිළිබිඹු වීම වැළැක්වීමෙන් තමන්ගේ කණ්ඩායමට වැඩි වාසියක් ගත හැකි බවයි. එහෙත්, හැමෝම මේ විදිහට හිතුවහම කාටවත් අන්තිමට විශේෂ වාසියක් නැහැ.

      Delete
  9. ස්තූතියි ඉකොනො, මේ තොරතුරු හරිම වැදගත්.අපේ අළුත් ව්‍යවස්තාවටත් දාගන්න ඕන වැදගත්ම කරු‍නු 2ක්;
    1. ඡන්ද පොරොන්දු ඉටුකිරීම පැහැර හරින නියෝජිතයන් ධුර කාලය අවසන් වීමට පෙර ආපසු කැඳවීමට හැකි යාන්ත්‍රනයක්
    2. මහජන පෙත්සම් ක්‍රමය

    ReplyDelete
    Replies
    1. මේවා ගොඩක් රටවල ව්‍යවස්ථාවන්ට අළුතින් එක්වෙමින් යන සංශෝධන.

      In the U.S. as of 2012 twenty-seven states have implemented the citizens’ initiative at the state level and about 50% of all municipalities, including 80% of the largest cities, have implemented the citizens’ initiative. In the 1950s and 1960s the number of state-level citizens’ initiatives appearing on ballots declined in the U.S. The number of state-level citizens’ initiatives appearing on ballots in the U.S. has risen since the 1970s and a total of 159 citizens' initiatives were voted on in the U.S. in 2010.

      In Europe as of 2012 ten countries appear to have adopted the citizens’ initiative at the national level and 13 appear to have adopted the agenda initiative at the national level. At least 9 European countries have implemented the citizens’ initiative at the local level. Further, the European Union has implemented the European Citizens’ Initiative, which, despite its name, is an agenda initiative.

      In the Asia-Pacific region as of 2012 five nations seem to have authorized use of the citizens’ initiative at the national level.

      In Africa as of 2012 Kenya and Uganda appear to have implemented the citizens’ initiative at the national level, and Botswana, Cape Verde, and Uganda appear to have implemented the agenda initiative at the national level.

      In Latin America as of 2012 six nations seem to have implemented the citizens’ initiative at the national level and 4 at the regional or local level. Eleven nations seem to have implemented the agenda initiative at the national level and 3 at the regional or local level.

      http://participedia.net/en/methods/initiative-process

      Delete
  10. කොහොමත් ඔය කංසා නීතිගත කරනවානම් ලොකු දෙයක්...
    --------
    උඹේ පොස්ටුවේ දී ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කෙරුණු විදිය විස්තර කරන කොට එක කියෝන අපිට නිකන් හීනයක් වගේ...

    අපි ඉන්නේ උඹ දකින විඳින ඔය සමාජයෙන් කොච්චර ගවු ගානක් පස්සෙන්ද කියලා දැනෙනවා..
    ------------
    තාක්ෂනය විසින් හෝ ඍජු ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කෙරෙනවා නම් රටක යහපැවැත්මට කරන හොඳ බලපෑමක්...

    ReplyDelete
    Replies
    1. //අපි ඉන්නේ උඹ දකින විඳින ඔය සමාජයෙන් කොච්චර ගවු ගානක් පස්සෙන්ද කියලා දැනෙනවා..//මේ ඉඩ ප්‍රස්තාවන් ඇමරිකාවේ ඇතැම් ප්‍රාන්ත ව්‍යවස්ථා වලට එකතු වෙලා තියෙන්නේ 1897 තරම් ඈත කාලයක සිටයි.

      Delete
  11. සමහර රටවල් ගංජා පාවිච්චියට අවසර දී ඇත්තේ ඔවුන් විශ්වාස කරන අන්දමට එහි වරදක් නැති නිසා. ලංකාවේ ගංජා නිපදවා එහෙම රටවලට විකිනීමේ වරදක් නෑ.
    චුම්බක ක්ෂේත්‍රය වගේ දෙයකින් සාර්ථකව ප්‍රයෝජනයක් ගත හැකියි. ඒත් ජනතාව කියන සංකල්පයෙන් කිසිම ප්‍රයෝජනයක් නෑ.

    ReplyDelete
    Replies
    1. 1. ජගත්, මෙය මම බලාපොරොත්තු වූ පිළිතුරක්. දැන් ඔය විදේශිකයින්ට පමණක් කැසිනෝ කියන එකේ අදහසත් ඕකමනේ. මත්පැන් භාවිතය තහනම් ඇතැම් රටවල පාස්පෝට් එක පෙන්වලා විදේශිකයින්ට මත්පැන් මිල දී ගත හැකියි. මෙහි මට ඇති ගැටළුව මෙයයි. දැන් අපි ඇමරිකාවේ වොෂින්ටන් ප්‍රාන්තය ගත්තොත් එහි 55.7%ක් කංසා භාවිතය නිවැරදියි කියා හිතද්දී 44.3%ක් එය වැරදියි කියා හිතනවා. මෙවැනි ජනමතවිචාරණයක් ලංකාවේ තිබ්බොත් කංසා භාවිතය නිවැරදියි කියා විශ්වාස කරන කොටසක් ලංකාවේත් ඉන්නවා. අපි නිකමට හිතමු 5%ක් කියා. (බැලුවහම දැන් අපි කරන්නේ රටේ ඉල්ලුමට අපේ නිෂ්පාදන ධාරිතාව මදි නිසා කේරළයෙන් ආනයනය කරන එකනේ.) එතකොට මෙය නිවැරදියි කියා සිතන ඇමරිකාවේ 55% න් එසේම සිතන ලංකාවේ 5% වෙනස් වෙන්නේ කොහොමද?
      2. ඔබ කියන පරිදි ජනතාව කියන සංකල්පයෙන් කිසිවෙකුට ප්‍රයෝජනයක් නැත්නම් එවැනි සංකල්පයක් නිර්මාණය වීමට සහ පැවතීමට හේතුව කුමක්ද?

      Delete
  12. ජනමූල යෝජනා ගේන ක්‍රමයක් නැතිවුනාට අපේ හිටිය ජනමූල නායකයෙක්...මතකයි නේද?...:)

    ReplyDelete
  13. අපිට ඇත්තේ ප්‍රජාජාතත්‍රවාදී ක්‍රමයක් නොව චන්දය දීමෙන් පසු මිනිසා අවලංගු කාසියක් බවට හරවන රැවටිල්ලක් පමණක් බව අපට පසක් කළ සටහනක්. ස්තුතියි ඉකෝන්

    ReplyDelete
  14. අන්න නියම යෝජනාවක්.නීති සම්පාදනයට පුරවැසියන් විදියට අපිටත් අයිතියක් තියෙන්න ඕනේ.පිලිපීනය වගේ රටකටත් පුළුවන් නම් මේ විදියේ වඩා ප්‍රජාජාතත්‍රවාදී යෝජනා ගෙන්න ඇයි අපිට බැරි.විශේෂයෙන්ම අපි පත් කරන ජනතා නියෝජිතයෝ පාලනය කරන්න පුළුවන් රිමෝට් එක අපේ අතේම තියා ගන්න පුළුවන් නම් මීට වඩා ජනතාවාදී විදියට නායකයෝ කටයුතු කරවී.

    ReplyDelete
  15. ප්‍රසිද්ධියේ තීරණයක් දීමට නොහැකිය.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

Gadget

This content is not yet available over encrypted connections.