Wednesday, January 20, 2016

ආර්ථික විද්‍යාව අවිනිශ්චිත විද්‍යාවක්ද?

ආර්ථික විද්‍යාව අවිනිශ්චිත විද්‍යාවක්ය යන අදහස ඇතැම් අය වරින්වර මතු කර තිබේ. එයින් ව්‍යංගයෙන් අදහස් වන්නේ නිශ්චිත විද්‍යාවන්ද ඇති බවයි. භෞතික විද්‍යාව වැනි විද්‍යාවක් නිශ්චිත විද්‍යාවක් ලෙස ඇතැම් අය සලකති.

මේ ලිපියේ අරමුණ ආර්ථික විද්‍යාව අවිනිශ්චිත විද්‍යාවක් නොවන බව තහවුරු කිරීම නොවේ. පළමුව, යම් විද්‍යාවක් නිශ්චිත හෝ අවිනිශ්චිත විද්‍යාවක් ලෙස බෙදිය හැකි පැහැදිලි ඉරක් නැති බව පෙන්වා දීමය. දෙවැන්න, මේ අදහස තහවුරු කිරීමට මේ විෂයයන් උගන්වන අධ්‍යාපන ක්‍රමවේදය දායක වන අයුරු පෙන්වා දීමටය.

මා දන්නා තරමින් ආර්ථික විද්‍යාව අවිනිශ්චිත විද්‍යාවක්ය යන අදහසට කිට්ටු ඉංග්‍රීසි භාවිතය dismal science යන්නයි. මේ වචනයෙන් අඳුරු, අපැහැදිලි, අවිනිශ්චිත, දුක්ඛදායක වැනි අදහසක් පළ වේ. ආර්ථික විද්‍යාව විස්තර කිරීමට මේ වචනය මුළින්ම භාවිතා කළේ තෝමස් කාර්ලයිල් විසිනි. එසේ විස්තර කිරීමට හේතු වූයේ දහනමවෙනි සියවසේ මුල් කාලයේදී ප්‍රචලිතව පැවති මැල්තුසියානු මතවාදයයි. මේ කාලයේ තෝමස් මැල්තුස් විසින් දුටුවේ සදාකාලිකවම කුසගින්නෙන්, ලෙඩරෝගවලින් හා දරිද්‍රතාවයෙන් පීඩා විඳිනු ඇතැයි සැලකුණු අනාගත මිනිස් ප්‍රජාවකි. තාක්ෂණයට මේ අනාගතය තීරණාත්මක ලෙස වෙනස් කළ හැකි බව පුරෝකථනය කිරීමට මැල්තුස්ට නොහැකි විය.

ආර්ථික විද්‍යාව අවිනිශ්චිත විද්‍යාවක්ය යන අදහස එක්තරා දුරකට සිදුවිය හැකි දේ නිවැරදිව පුරෝකථනය කිරීමට ආර්ථික විද්‍යාවට ඇති නොහැකියාව හා සම්බන්ධ වූවකි. කෙසේවුවද, මෙය සියළුම ව්‍යවහාරික විද්‍යාවන්ට පොදු ලක්ෂණයකි. ගණිතය වැනි සංකල්ප මත පදනම් වූ ශුද්ධ විද්‍යාවක ඇති නිශ්චිතතාවය ව්‍යවහාරික විද්‍යාවක නැත. ව්‍යවහාරික විද්‍යාවන් බොහොමයක පදනම සම්භාවිතාවයි.

රසික විසින් පිළිගතහැකි මූලාශ්‍රයක් සමඟ පෙන්වා දී ඇති පරිදි, "බද්ධකරන ලද වකුගඩුවලින් වසර තුනකට පසු ක්‍රියාකාරීව පවතින්නේ 87% ක් පමණි. වසර දහකට පසු ක්‍රියාකාරීව තිබෙන්නේ 54% පමණි." වෙනත් බොහෝ වෛද්‍ය ප්‍රතිකාර වලින්ද අවශ්‍ය ප්‍රතිඵලය ලැබීම සියයට සියයක් තහවුරු කළ නොහැකිය. එහෙත් මෙවැනි බද්ධ කිරීමක් සාර්ථක වීමේ සම්භාවිතාව යම් තරමකින් වැඩි කිරීමට කළ හැකි දේ තිබේ. යම් ඉංජිනේරු ආකෘතියක් නිශ්චිත කාලයක් තුළ බිඳ නොවැටෙනු ඇතිබව සියයට සියයක් තහවුරු කළ නොහැක. එහෙත්, මේ සම්භාවිතාව අඩු කළ හැකිය.

ආර්ථික විද්‍යා ආකෘතින්ද මෙයට වෙනස් නැත. නිදහස් වෙළඳපොළ මූලධර්ම අනුව ආර්ථිකයයන් මෙහෙයවෙන රටවල බොහෝ එදිනෙදා කටයුතු සඳහා සමාගම් හා පුද්ගලයින් විසින් සරල ආර්ථික විද්‍යා මූලධර්ම සාර්ථක ලෙස යොදාගැනේ. එමෙන්ම, රටක ආර්ථිකය මෙහෙයවීම වැනි සංකීර්ණ ව්‍යාපෘති වලදී  මෙවැනි සරල ආකෘති රැසක් එක් කර වඩා සංකීර්ණ ආකෘති ගොඩනඟා ප්‍රයෝජනයට ගැනේ.

ආකෘතියක් සංකීර්ණ වූ තරමට එහි අවිනිශ්චිතතාව වැඩි වේ. එමෙන්ම, ආකෘතියේ ඇති වරදක් නොපෙනී යාමේ ඉඩකඩද වැඩි වේ. වසර විස්සකට පෙර සිදු වූ චැලෙන්ජර් ඛේදවාචකය උදාහරණයකි. මෙය ආර්ථික විද්‍යා ආකෘති වලටද අදාළය. කෙසේවුවද, මහා පරිමාණ ව්‍යාපෘතියක් අසාර්ථක වූ විට ඒ පිලිබඳ මතකය සෑහෙන කලකට බැහැර නොවේ. රටක ආර්ථිකයක් හැසිරවීම බොහෝ දෙනෙකුගේ දායකත්වයෙන් හා සහභාගිත්වයෙන් සිදුකෙරෙන මහා පරිමාණ ව්‍යාපෘතියකි.

ලංකාවේ ආර්ථික විද්‍යාව ඉගැන්වෙන්නේ කලා විෂයයක් ලෙසිනි. භෞතික විද්‍යාව ඉගැන්වෙන්නේ ගණිතමය විෂයයක් වශයෙනි. මේ විෂයයන් බොහෝ විට මුලින්ම ඉගැන්වෙන්නේ උසස් පෙළ පන්ති වලදීය.

භෞතික විද්‍යාව ඉගැන්වීමේදී වස්තුවක ස්කන්ධය, ඒ මත යෙදෙන ත්වරණය හා ඒ නිසා ඇතිවන බලය අතර ඇති සම්බන්ධතාවය පැහැදිලි කරමින් නිවුටන්ගේ දෙවන නියමය F = ma නම් වූ සමීකරණයක් ලෙස උගන්වනු ලබයි. බොහෝ දෙනෙකුට මේ සමීකරණය ඉගෙන ගැනීමේ අරමුණ ඒ අනුසාරයෙන් විභාගයට ලැබෙන ප්‍රශ්න වලට නිවැරදිව පිළිතුරු ලියා වැඩිම ලකුණු ගණනක් ගැනීමයි. ඒ සඳහා F = ma සමීකරණය කටපාඩම් කරගතයුතුය. එවිට, F, m හා a යන තුනෙන් දෙකක් දී ඇත්නම් ඉතිරි එක හරියටම හොයා ගත හැකිය. එය නිශ්චිත සංඛ්‍යාවකි.

ආර්ථික විද්‍යාව ඉගැන්වෙන්නේ මෙයට වඩා වෙනස් ක්‍රමයකටය. උදාහරණයක් වශයෙන් "රටේ විනිමය අනුපාතය තීරණය වෙන්නෙ කරුණු 8ක් අනුව" බව කෙනෙකුට ඉගෙන ගන්නට ලැබිය හැකිය. එවැන්නෙකු "අහලා තියෙන ආර්ථික විද්‍යාවෙදි" "රටේ විනිමය අනුපාතය තීරණය වෙන" කරුණු 8 මේවාය.
1) උද්ධමන අනුපාත (Inflation rates)
2) පොලී අනුපාත (Interest rates)
3) රටේ ජංගම ගිණුම/ගෙවුම් ශේෂය (Country's Current Account/ Balance of Payment)
4) රාජ්‍ය ණය (Government debt)
5) ආනයන අපනයන අනුපාත (Terms of Trade)
6) දේශපාලන ස්ථාවරත්වය සහ රටේ ක්‍රියාකාරිත්වය (Political Stability & Performance)
7) Recession
8) Speculation

දැන් මේ ශිෂ්‍යයා මේ කරුණු අට ඉගෙනගන්නේද නිවුටන්ගේ නියම උගත් අවශ්‍යතාවය සඳහාය. ඒ, ඒ අනුසාරයෙන් විභාගයට ලැබෙන ප්‍රශ්න වලට නිවැරදිව පිළිතුරු ලියා වැඩිම ලකුණු ගණනක් ගැනීමටය. ඒ සඳහා සටහන් පොතේ ලියාගෙන ඇති උඩ තිබෙන කරුණු අටම නිවැරදි පිළිවෙළට කටපාඩම් කරගත යුතුය. වෙනත් වැඩි වැඩක් කළ යුතු නැත. මෙහි නිවුටන් නියමයේ වැනි නිශ්චිත සමීකරණයක් නොමැති නිසා මේ එක් එක් කරුණ විණිමය අනුපාතිකයට බලපාන ආකාරය ගැන ශිෂ්‍යයාට පැහැදිලි අදහසක් නැත. මෙය ආර්ථික විද්‍යාවේ ප්‍රශ්නයක් බව ඔහු සිතයි.

යම් හෙයකින් යමෙකුට භෞතික විද්‍යාව මෙන්ම ආර්ථික විද්‍යාවද හැදෑරීමේ වාසනාව ලැබුණොත් ඔහුට මේ විෂයයන් දෙකේ පැහැදිලි වෙනසක් පෙනේ. භෞතික විද්‍යාව නිශ්චිත විද්‍යාවකි. උගන්වා ඇති සමීකරණය භාවිතා කිරීමෙන් අසා ඇති ප්‍රශ්නයට නිශ්චිත සංඛ්‍යාත්මක පිළිතුරක් දිය හැකිය. ආර්ථික විද්‍යාවේ එවැන්නක් කළ නොහැකිය. කරුණු අටක්ම ඇති නිසා වැඩේ සංකීර්ණය. පිළිතුර දන්නා කෙනෙක් නැත. ආර්ථික විද්‍යාව අවිනිශ්චිත විද්‍යාවකි.

"වසර 25කට පෙරත් රුපියල් 40කට පමණ හුවමාරු වූ ඇමරිකන් ඩොලරය මේ වන විට රුපියල් 135කට පමණ ආසන්නව හුවමාරු වන්නේ අපේ උද්ධමනය මේ වසර 25 තුළ ඇමරිකාවේ උද්ධමනයට වඩා ඉහළින් පැවතීම නිසාය"

"නිශ්චිත විද්‍යාවක් නොවන ආර්ථික විද්‍යාවෙදි , ඔහොම සරල විධියට දෙයක් කියන්න පුළුවන්ද? දැන් මෙහෙම කියමු, භෞතික විද්‍යාවෙ තියෙන බලය(F), ත්වරණය (a) සහ ස්කන්ධය (m) අතර සමීකරණය F=ma; ස්කන්ධය කියන සාධකය නියතයක් වෙද්දි ත්වරණය 3.375 ගුණයක් කරන්න නම්, බලය 3.375 ගුණයකින් වැඩි කරන්න වෙනවා. නමුත් ඔය කියන විනිමය අනුපාතය රුපියල් 40 ඉඳන් 135 ට වැඩි වුණේ අනිත් සියලු සාධක නියත වනවිට ඇමරිකාවට වඩා ලංකාවෙ උද්ධමනය 3.375කින් වැඩි වුණ නිසාද ? උත්තරය නෑ. මේ විධියෙ සරලව ආර්ථික විද්‍යාවෙ දේවල් නිගමනය කරන්න බෑ." ඔහු සිතයි.

භෞතික විද්‍යාවට උගත් නිවුටන් නියමයත් යම් උපකල්පිත තත්ත්වයන් යටතේදී භාවිතා කළ හැකි තවත් එක් සරල න්‍යායක් පමණක් බව තේරුම් ගැනීමටනම් ඔහු මේ න්‍යායයේ ප්‍රායෝගික භාවිතාවක් වෙත යොමු විය යුතුය. පාරේ නැවතී ඇති මෝටර් රථයට 3.375ක ත්වරණයක් දෙන්නට, එහි ස්කන්ධය නියත වූ පමණින්, 3.375ක බලයක් ප්‍රමාණවත් නැත. මෝටර් රථයට තල්ලුව යෙදිය යුත්තේ සමතලා මතුපිටක, සුමට පෘෂ්ඨයක් මත හෝ රික්තකයක් ඇතුළේ නොවේ. ඒවා තියෙන්නේ විභාග ප්‍රශ්න පත්‍රයේ පමණි. ඝර්ෂණය හා වායු ප්‍රතිරෝධය ආදී වෙනත් සාධක නිසා මේ ශිෂ්‍යයාට 3.375ක ත්වරණයක් දෙනු තබා මෝටර් රථය අඟලකින්වත් හොලවන්නට නොහැකිය. මහපාරේ අවිනිශ්චිතතාව තිබේ. එය නැත්තේ විභාග ප්‍රශ්න පත්‍රයේ පමණි.

සමාන්තර විශ්වයක මේ විෂයයන් වෙනත් අයුරකින් උගන්වනු ලැබීම සිදුවිය හැක්කකි. මෙහි නිවුටන් නියමය පෙර ලෙස ඉගැන්වෙන්නේ නැත. එය උගන්වන්නේ පෙර උදාහරණයේ ආර්ථික විද්‍යාව ඉගැන්වූ අයුරිනි.

"යම් වස්තුවක ත්වරණයට බලපාන කරුණු 8ක් ඇත. ඒවා මේවාය.
1) ඒ මත යොදන බලය
2) බලය යොදන දිශාව
3) වස්තුව පිහිටි පෘෂ්ඨයේ ආනතිය
4) වස්තුව පිහිටි පෘෂ්ඨයේ ස්වභාවය
5) සුළං හමන දිශාව
6) සුළඟේ වේගය
7) වස්තුවේ හැඩය
8) ත්වරණය මනින උපකරණවල නිරවද්‍යතාවය"

මේ එක් එක් සාධකය යම් වස්තුවක ත්වරණයට බලපාන ආකාරය තේරුම් ගැනීම දැන් පෙර තරම් පහසු නැත. ඒ නිසා මේ සමාන්තර විශ්වයේ ඉගෙනගන්නා ශිෂ්‍යයාට භෞතික විද්‍යාව අවිනිශ්චිත විද්‍යාවකි.

කෙසේවුවද, එහි ආර්ථික විද්‍යාව උගන්වන්නේ ගණිතමය ආකෘති ඇසුරෙනි. දැන් ඔහුට රටවල් දෙකක සමාන භාණ්ඩ දෙකක මිල සහ විණිමය අනුපාතිකය අතර සම්බන්ධතාවය පැහැදිලි කරමින් 'ක්‍රය ශක්ති සාම්‍යය' නම් වූ න්‍යායයක් ගැන ඉගෙන ගන්නට ලැබේ. මේ අනුව, විණිමය අනුපාතිකය (e), e = p1/p2 නම් වූ සමීකරණයකින් ඉදිරිපත් කෙරේ. තුනෙන් දෙකක් දැනගත් විට අනිත් එක හරියටම හොයාගත හැකිය. ඒ නිසා ආර්ථික විද්‍යාව නිශ්චිත විද්‍යාවකි.

අර පෙර උදාහරණයේදී මෙන්ම මෙහිදීද නිශ්චිත පිළිතුරක් ලැබෙන්නේ විභාගයට අසා ඇති ප්‍රශ්නයටය. ප්‍රායෝගික භාවිතයේදී නිවුටන්ගේ නියමය වගේම ක්‍රය ශක්ති සාම්‍යයත් හරියටම වැඩකරන, 'රික්තකයක පිහිටි සමතලා සුමට පෘෂ්ඨ' සොයා ගැනීම පහසු නැත.

උදාහරණයක් වශයෙන් ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවට අනුව පසුගිය දෙසැම්බර් අවසානයේදී ලංකාවේ අළුත් කුකුළුමස් කිලෝවක සාමාන්‍ය මිල රුපියල් 506.47 කි. ඇමරිකාවේ මේ මිල ඇමරිකන් ඩොලර් 3.17කි. ඒ අනුව, ක්‍රය ශක්ති සාම්‍යය තහවුරු කරන විණිමය අනුපාතිකය 159.80 කි. මෙය සැබෑ විණිමය අනුපාතිකයට වඩා තරමක් වැඩිය. එසේනම්, ඇමරිකාවෙන් ලංකාවට කුකුළුමස් ආනයනය කිරීමෙන් යමෙකුට ලාභයක් ලැබීමට හැකි විය යුතුය. එහෙත්, ප්‍රවාහන වියදම් නිසා ප්‍රායෝගිකව මෙය සිදුවිය නොහැක. ක්‍රය ශක්ති සාම්‍යය ඇතිවීමටනම් ප්‍රවාහන වියදම් නැති විය යුතුය. සැබෑ ලෝකයේදී වියදම් රහිතව කුකුළුමස් ප්‍රවාහනය කිරීම ඝර්ෂණය නොමැති පෘෂ්ඨයක් සොයනවාක් මෙන් අසීරු කාර්යයකි.

භෞතික විද්‍යාව ප්‍රායෝගිකව භාවිතයට ගන්නා ඉංජිනේරුවෙකුට මෙන්ම ව්‍යවහාරික ආර්ථික විද්‍යාඥයෙකුටද සරල න්‍යායයන් රැසක් සම්බන්ධ කරමින් සංකීර්ණ කාර්යයක් නිවැරදිව කිරීමට බැරිකමක් නැත. එහෙත්, සරසවි පිවිසුම එකම අරමුණ කරගෙන උසස්පෙළ තරඟයට මුහුණ දීමට සුදානම් වන සිසුවෙකුට තමන් ඉගෙනගන්නා දේ ගැන ගැඹුරින් සිතීමට වෙලාවක් නැත. මෙවැනි තරඟයකින් ජයගෙන සරසවියට ඇතුළු වුවද තමන් පුරුදු වී සිටින රටාවෙන් ගැලවෙන්නට බොහෝ දෙනෙකුට අසීරුය. එහෙත්, සරසවි වල දැනුම පිණිස ඉගෙනගන්නා අය නැතුවා නොවේ. එසේ න්‍යායාත්මක දැනුම ලබාගත්තද, බොහෝ දෙනෙකුට සරසවියේදී තමන් ඉගෙන ගන්නා න්‍යායයන් සැබෑ ලෝකය සමඟ ගලපා ගැනීම හුරුවන්නේ වෘත්තීය භාවිතාව තුළදීය. ඒ අවස්ථාව නොලැබුණු, ආර්ථික විද්‍යාව සංකල්පමය ලෙස පමණක් උගත් අයෙකුට එය හැමදාමත් අවිනිශ්චිත විද්‍යාවකි.

(Image: http://www.oxfordscholarship.com/view/10.1093/0198294905.001.0001/acprof-9780198294900)

36 comments:

  1. ඔය නිව්ටන්ගේ නියම තුන ආශ්‍රිත පොඩි අත්දැකීමක් මගේ සංරක්ෂණය කරලා තියන බ්ලොගයේත් ලිව්වා. මටත් තිබ්බ ප්‍රශ්නයක් තමයි, ප්‍රක්ෂේපණ, ආතති වගේ දේවල් ගණනය කරන්න වෙන කිරිම බාහිර බලපෑමක් නෑ කියලා සැලකුවහම සැබෑ ජීවිතයේදි ඕක කොච්චර ප්‍රයෝජනවත් ද කියලා.

    ආර්ථික විද්‍යාව ගැන මට තියෙන්නේ මෙහෙම අදහසක්... මේක මේ කිසිම හැදෑරීමකින් පසුව එළඹුනු අදහසක් නෙමෙයි. "ආර්ථික විද්‍යාවෙන් වැඩි හරියක් කරන්නේ, සිද්ධ විය හැකි දේ පුරෝකථනයට වඩා, සිද්ධ වූ දේවල් පැහැදිලි කිරීමක්..." ඔන්න ඔය වගේ අදහසක් තමයි මටත් තියෙන්නේ...

    ඔය නිශ්චිත විද්‍යාවක් නෙමෙයි කියල කාරණයට ආර්ථික විශේෂඥයොත් කරන දේවල් සෑහෙන බලපානවා නේද? බොහෝ වෙලාවට ඔවුන් පරස්පර මත ඉදිරිපත් කරනවා. අනික මම දැකලා තියන දෙයක් තමයි, ආර්ථික විද්‍යාව සමහරු මැජික් එකක් ලෙවල් එකට ගේනවා... නිකං අපේ ජ්‍යෝතිෂ්‍යකාරයෝ වගේ...

    ReplyDelete
    Replies
    1. ඔබගේ මතය හා එකඟ වෙමි. ආර්ථික විද්‍යාවත් ජ්‍යෝතිෂ්‍ය වැනිවූ හුදෙක් සිදුවූ දේවල් විස්තර කිරීමට යොදාගන්නා මෙවලමක් පමණි. ඉන් කරන්නේ යම් යම් සිදුවීම් "එසේ නිසා මෙසේ විය" කියා හේතු ගැලපීමක් පමණි. ලොව කිසිදු ආර්ථික විශ්ලේශකයකුට අනාගත ආර්ථික ප්‍රවණතා හැර කිසිම විටක "වෙන්නෙ මේකයි" කියා හරියටම ආර්ථික විද්‍යාවෙන් කිසිදාක කෙසේවත් කිව නොහැක.

      සාස්තරකාරයින්ගේ අනාවැකිමෙන්ම ආර්ථිකඥයන්ගේ අනාවැකිද හරියන්නේ කණාවට සම්භාවිතාවෙනි. සාස්තර කාරයිනුත් අර්ථ ශාස්ත්‍රඥයනුත් දෙකම එකයි.

      Delete
    2. තිසර:
      ඔබේ පැරණි සටහන කියෙවුවා. ඔබ එහි ලියා ඇති දේ සමඟ මම එකඟයි. බොහෝවිට සත්‍යයන් කියන්නේ සාපේක්ෂ සත්‍යයන් මිස නිරපේක්ෂ සත්‍යයන් නෙමෙයි.

      තිසර සහ ඇනෝ:
      අනාගතයේ සිදුවිය හැකි දෙය හරියටම කියන්න කිසිවෙකුට බැහැ. එසේ කළ හැකිනම් එය තර්කානුකූලව විසංවාදයක්. වැඩිය බර වචන පාවිච්චි නොකර මම මෙය සරල උදාහරණයක් ඇසුරෙන් පැහැදිලි කරන්නම්.

      යම් කෙනෙකුට අනාගතයේ සිදුවිය හැකි දෙය හරියටම දැකිය හැකියි කියා සිතමු. ඒ කියන්නේ වර්තමානයෙන් ස්වායත්ත නිශ්චිත අනාගතයක් තිබෙනවා. නමුත්, මේ අනාගතය හරියටම දැකිය හැකි කෙනෙකුට වර්තමානය වෙනස් කිරීම මඟින් අනාගතය වෙනස් කළ හැකියි. සුනාමිය එන බව කලින් හරියටම දැන සිටියානම් කිසිවෙකු එදින මිය යන්නේ නැහැ. පරදින බව හරියටම දැනගෙන සිටියානම් මහින්ද එදින ඡන්දය පවත්වන්නේ නැහැ. ඒ කියන්නේ අනාගතය වෙනස් වෙනවා. එහෙමනම්, අර මුලින් දුටු අනාගතය සැබෑ අනාගතය නෙමෙයි. අනෙක් අතට, අනාගතය දැනගැනීම නිසා කිසිම වෙනසක් නොවේනම් එය දැනගැනීමෙන් ඇති කිසිම ප්‍රයෝජනයකුත් නැහැ.

      කිසිවෙකුට කළ නොහැකි දෙයක් ආර්ථික විද්‍යාඥයෙකුට කරන්න බැහැ. එහෙත්, යම් නිරවද්‍යතාවයක් ඇතුව සිදුවිය හැකි දේවල් කියන්න අපි කාටත් පුළුවන්. එය අප කරන්නේ අතීත අත්දැකීම් ඇසුරෙන්. කෝච්චිය සාමාන්‍යයෙන් හැමදාම වගේ වෙලාවට එනවනම් එය හෙටත් එසේ එනු ඇතැයි අපට බලාපොරොත්තු විය හැකියි. එහෙත්, එය සිදු නොවන්නත් පුළුවන්.

      දුම්පානය කරන සියල්ලන්ටම පෙනහළු පිළිකා හැදෙන්නේ නැහැ. ඒ වගේම දුම්පානය නොකරන අයට පෙනහළු පිළිකා නොහැදෙන්නෙත් නැහැ. ඒ වුණත්, දුම්පානය පෙනහළු පිළිකා වලට හේතු වනවා කියන කරුණ අනාවැකියක් නෙමෙයි. පිළිගත හැකි කරුණු මත පදනම් වූ සත්‍යයක්. එය කණාවට කියන දෙයක් නෙමෙයි. ලබන මස පළමුවන දින වන විට ඩොලරයක මිල 153.47ක් වනු ඇතැයි කාටවත් කියන්න බැහැ. එහෙත්, එදින විණිමය අනුපාතිකය 153.47 හෝ ඊට වැඩි වීමට ඇති සම්භාවිතාව ගණනය කිරීම කළ නොහැකිම දෙයක් නොවෙයි. ඒ වගේම, මුදල් සැපයුම වැඩි වී ඇති ආකාරය දෙස බලා මිල මට්ටම වැඩි වන බව හෝ එක් රටක උද්ධමනය වෙනත් රටක උද්ධමනයට වඩා විශාල ලෙස වැඩිනම් ඒ රටේ විණිමය අනුපාතිකය පිරිහෙන බව කීම කණාවට ගහන අනාවැකියක් නෙමෙයි. අනාගතය වඩා යහපත් වන ලෙස වර්තමානය වෙනස් කරගැනීමට මෙවැනි දැනුමක් ප්‍රයෝජනවත් වෙනවා.

      Delete
  2. ඔබ අල්ලා ඇති මතෘකාව සහ විස්තරය අනර්ඝයි, අනර්ඝයි, අනර්ඝයි. කළමනාකරණය විද්‍යාවක්ද කලාවක්ද යන මාතෘකාව යටතේ කලමණාකරන ආයතනයකදී සහභාගී වූ විවාදයක් මතක් වුනා. ඔබේ ලිපිය එහි දැක්වූ කරුණු වලට වඩා විද්‍යාත්මකව එහෙත් සරලව ලියා තිබෙනවා. මීට වඩා පැහැදිලිව මෙය විස්තර කරන්න විදිහක් නැහැ කියල අතිශෝක්තියකින් තොරව කිව හැකියි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, ඉයන්! යම් නිශ්චිත ක්‍රමවේදයක් මත පදනම් වේනම්, මේ ක්‍රමවේදය අනුගමනය කළ විට එය කවුරු කළත් නැවත නැවතත් එකම ප්‍රතිඵලය ලැබේනම් එය විද්‍යාවක්.

      Delete
  3. ඔබේ ලිපියේ එකඟ විය නොහැකි සුලු දේවල් කිහිපයක් තියෙනවා. පසුව ලියන්නම්.

    ReplyDelete
    Replies
    1. මේ ලිපියේ වැඩිපුරම තියෙන්නේ මා මේ වන විට සිතන ආකාරය. මා සිතන ලෙස හැම කෙනෙකුම සිතිය යුතුයැයි මම සිතන්නේ නැහැ. මා සිතන විදිහත් සදාකාලිකවම එක ලෙස පැවතී හෝ පවතිනු ඇත්තේ නැහැ.

      Delete
  4. // "රටේ විනිමය අනුපාතය තීරණය වෙන්නෙ කරුණු 8ක් අනුව" //

    ඔය කරුනු වලට අමතරව සොබාවික විපතක් (බූමිකම්පාවක් වගේ Act of God) ආවනම් විනිමෙ අනුපාතෙ බඩු බනිස් නේද?

    ReplyDelete
    Replies
    1. කරුණු අට ඇතුළු උපුටා ගැනීම් (" ") ගත්තේ පැරණි ලිපියකට වැටුණු කමෙන්ටුවකිනුයි. සොබාවික විපතක් (කෙතරම් කණගාටුදායක දෙයක් වුනත්) ඇතැම් විට දේවාශිර්වාදයක් වගේ වෙන්නත් පුළුවන්. සුනාමිය නිසා ලංකාවේ විදේශ අංශය වගේම රාජ්‍ය අංශයත් සමස්ත ආර්ථිකයටත් ඇත්තටම විශාල වාසි සැලසුණා. එය කෙතරම් ශෝකජනක සිදුවීමක් වුණත් රටේ පැවති යුද්ධයේ සමතුලිතතාව වගේම ආර්ථිකයේ සමතුලිතතාවත් එයින් වාසිදායක ලෙස වෙනස්වුණා.

      Delete
  5. ආර්ථික විද්‍යාව ගැන දැනුම අඩු නිසා මට ඔය නිතර ඇහෙන සමහර වචන අන්ඩර දෙමල. ඔබේ ලිපිය වැදගත්.

    ReplyDelete
    Replies
    1. ඔබ කියන කරුණ ඇත්ත. ක්‍රය ශක්ති සාම්‍යය කිවුවහමත් එය බොහෝ දෙනෙකුට අණ්ඩර දෙමළයක්. ඉංග්‍රීසියෙන් purchasing power parity කී විට ඉංග්‍රීසි බස කතාකරන සාමාන්‍ය පුද්ගලයෙකුට වුනත් අදහස වැටහෙනවා. 'මිලදී ගැනීමේ හැකියාවේ සමානතාවය' වගේ යෙදීමක් වඩා පැහැදිලියි. සරලයි. ඒත් ඉතිං 'ක්‍රය ශක්ති සාම්‍යය' කියනවා වගේ ගරු ගාම්භීර කමක් තමයි නැත්තේ. (ඔබටනම් ඔය කිවුවට මේවා තේරෙන බව මගේ අදහසයි. :) )

      Delete
  6. ආර්ථික පුරෝකථන වැරදීමට ලොකුම හේතුවක් තමයි කළු ආර්ථික වෙළදපොල සහ නිතිවිරෝදිව සිදුවන ආර්ථික ක්‍රියාකාරකම් වල තොරතුරු මෙම වාර්තා වල අන්තර්ගත නොවීම

    ReplyDelete
    Replies
    1. ඔවු. ඒක එක් ප්‍රධාන කරුණක් තමයි, ලංකා. සමීක්ෂණ වල අඩුපාඩු, ඒවාට ප්‍රතිචාර දැක්වීමේදී ඇති සීමාවන් වගේම හිතාමතා වැරදි තොරතුරු ඉදිරිපත් කිරීමත් ලංකාවේ වගේම වෙනත් රටවලත් දත්ත වල තත්ත්වය දුර්වල වීමට බලපනවා. දත්ත නිවැරදි නැති වූ විට ඒ අනුව බැසගන්නා නිගමනත් වැරදෙනවා.

      Delete
  7. තේරුනු එකම දෙය අමෙරිකාවේ කුකුල් මස් ලංකාවේ කුකුල් මස්වලට වඩා ලාබයි කියන එක විතරමයි. :D

    ReplyDelete
    Replies
    1. ඒ මදෑ.

      Delete
    2. -ඇමරිකාවේ කුකුළුමස් මිල ලංකාවේ මිලට සාපේක්ෂව විශාල ලෙස වෙනස් නැත. එයට පළමු හේතුව ඇමරිකාවේ කුකුළුමස් ලංකාවේ කුකුළුමස් වලට වඩා (තත්ත්වය අනුව) විශාල ලෙස වෙනස් නොවීමයි. දෙවන කරුණ, ලංකාවේද කුකුළුමස් නිෂ්පාදනය සිදුවන්නේ විධිමත් අයුරින් 'වගාවක් ලෙස' බැවින් රටවල් දෙකේ නිෂ්පාදන තාක්ෂණයන්හි විශාල වෙනසක් නැත.
      -සාමාන්‍යයෙන් ඇමරිකාවේ මිල මට්ටම ලංකාවේ මිල මට්ටම මෙන් දෙගුණයක් පමණ වේ. මෙයට හේතුව මිනිස් ශ්‍රමය වෙනුවෙන් ගෙවිය යුතු මුදලේ වෙනසයි. වැඩිපුර මිනිස් ශ්‍රමය අවශ්‍ය සේවාවන්ගේ මිල වෙනස විශාලය. වෙළඳාම් (ආනයනය සහ අපනයනය) කළ හැකි ද්‍රව්‍ය වල මිල වෙනස අඩුය.
      -ඇමරිකාවේ පෙට්‍රල් මිල මේ දිනවල ලංකාවේ මිලට වඩා බොහෝ අඩුය. එයට හේතුව, ලංකාවේ රාජ්‍ය ඒකාධිකාරයයි.
      -ශ්‍රමයද යම් තරමකට අවශ්‍ය කුකුළුමස් මිල ඇමරිකාවට වඩා ලංකාවේ වැඩිවීම විමසිය යුත්තකි. මෙයින් පෙනෙන්නේ ලංකාවේ වෙළඳපොළ තරඟකාරිත්වය ප්‍රමාණවත් නොවන බවයි.
      -ඇමරිකාවේ හරක්මස් මිල ලංකාවේ මිලට වඩා කිහිප ගුණයක් වැඩිය. එයට හේතුව ඇමරිකන් හරක්මස් ලංකාවේ හරක්මස් වලට සමාන නොවීමයි. මා කියන මේ අසමානත්වය ඇත්තේ රසේ හෝ ගුණයේ නොවේ. (ඒවාද වෙනස් විය හැකිය.) ඇමරිකාවේ හරක්මස් නිෂ්පාදනයද කුකුළුමස් නිෂ්පාදනය වැනිම විධිමත් වගාවකි. ලංකාවේ මරන්නේ ජීවිත කාලයක් කෘෂිකාර්මික කටයුතු වලට උදවුදෙමින්, බර අදිමින් තණකොළ උලාකන හරකුන්ය. තමන්ගේ ආහාර තමන් විසින්ම සොයා ගන්නා මේ හරකුන්ගෙන් වෙනත් ලාභ ලබා ඇති නිසා salvage value එක පමණක් ලබා ගනිමින් අඩුවට මස් කඩ කාරයාට විකිණේ.
      -රටවල් දෙකක් අතර ක්‍රය ශක්ති සාම්‍යය නොපවතීනම් එයට හේතු විමසා තේරුම් ගැනීම අපහසු නැත.

      Delete
    3. නිවැරදි සිංහල වචනය වන කුකුළු මස් යන්න යෙදීම ගැන ස්තුතියි.

      Delete
  8. ඔබේ ලිපිය හරිම අගෙයි. ආර්චික විද්‍යාව ගැන වැඩිය නොදන්න අයටත් තේරෙන විදියට සරලව ලිපි ලිවීමේ හැකියාව තමයි ඔබේ දක්ෂකම.

    ReplyDelete
    Replies
    1. හැමෝටමනම් ඒත් තේරෙන්නේ නැතුව ඇති, වරා මලී. ලියන දේ ඔබ වැනි සුළු පිරිසකට හරි තේරීම ලොකු දෙයක්!

      Delete
  9. වැදගත් ලිපියක්

    ReplyDelete
    Replies
    1. ලංකාවේ ආර්ථික විද්‍යාව ඉගැන්වෙන්නේ කලා විෂයක් ලෙසිනි//
      දන්නේ නැති නිසයි අහන්නේ වානිජ විෂය ධාරාවට ආර්ථික විද්‍යාව සම්බන්ද නැද්ද?

      Delete
    2. මහේෂ්, මෙහිදී කලා විෂයයක් වශයෙන් කීමෙන් මම අදහස් කළේ ඉගැන්වීමේදී භාවිතා කරන ක්‍රමවේදය ප්‍රධාන වශයෙන්ම විස්තරාත්මක ඉගැන්වීමක් මිස ගණිතමය ක්‍රමවේදයක් නොවන බවයි. ලංකාවේ මේ වන විට විෂය ධාරා බෙදෙන ආකාරය ගැන මගේ දැනුම යාවත්කාලීන වී නැති නිසා ඒ ගැන අදහස් දැක්වීමට මම සුදුස්සෙක් නෙමෙයි.

      මෙහිදී මා ලංකාව උදාහරණයට ගත්තත්, මෙය වෙනත් රටවලටත් පොදු දෙයක්. ආර්ථික විද්‍යාව සාම්ප්‍රදායිකව ගොඩනැඟුණේ ඉතිහාසය වැනි කලා විෂයයක් ලෙසයි. එහෙත්, මේ වන විට ආර්ථික විද්‍යාවේ විෂය පථය (ඉහළ තලයේදී) මුළුමනින්ම වාගේ ගණිතමය රාමුවකට මාරු වී තිබෙනවා. ආර්ථික විද්‍යාව විද්‍යාවක්ද කලාවක්ද කියන එක තවමත් නිම නොවූ සංවාදයක්. මේ වන විටත් ඇමරිකාවේ විවිධ සරසවි වල ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තු ශාස්ත්‍ර පීඨ යටතේ මෙන්ම ව්‍යාපාර අධ්‍යයන පීඨ යටතේත්, විද්‍යා පීඨ යටතේත්, ස්වභාවික සම්පත් අධ්‍යයන පීඨ යටතේත් ආදී වශයෙන් වෙනස් ලෙස වර්ගීකරණය වී තිබෙනවා. මෙය වෙනත් රටවලත් අඩු වැඩි වශයෙන් මෙලෙසම සිදුවෙනවා. කොහොමවුණත්, තවමත් බොහෝ දුරට ඇමරිකාව ඇතුළු ලෝකයේ හැම රටකම වාගේ ඇති ප්‍රධාන විශ්ව විද්‍යාල වල ප්‍රථම උපාධි මට්ටම දක්වා ආර්ථික විද්‍යාව උගන්වන්නේ කලා විෂයයක් ලෙසයි. තෙවන වසරේදී ඇතැම් විෂයයන් කලනය අනුසාරයෙන් ඉගැන්වුවත් එය හැමවිටම එසේම සිදුවන්නේ නැහැ. එය වෙනස් වන්නේ පශ්චාත් උපාධි මට්ටම් වලදී. එහෙත්, මේ ඉගැන්වීමේ ඇති (ලංකාවට සාපේක්ෂව) එක් වෙනසක් වන්නේ කලා විෂයයක් ලෙස ඉගැන්වුවත් ගණිතමය විෂයයක් ලෙස ඉගැන්වුවත් මේ ඉගෙනගැනීම 'ඉගෙනගැනීම සඳහාම' නොවී ප්‍රායෝගික භාවිතය අරමුණු කරගෙන සිදුවීමයි. මෙහිදී හැමවිටම සිසුවෙකු (ප්‍රාථමික පන්ති වල සිටම) තමන් ඉගෙන ගන්නා දේ ප්‍රායෝගිකව දකින දෙයට සාපේක්ෂව ප්‍රශ්න කිරීමට පෙළඹෙනවා. ප්‍රශ්න කිරීම කියන්නේ න්‍යායන් වැරදි බව කියමින් තේරුමක් නැති විවේචන කිරීම නෙමෙයි. න්‍යායයන්ගේ ඇති සීමාවන් හඳුනාගෙන ඒ සීමාවන් යටතේ ප්‍රයෝජන ගැනීමයි.

      Delete
  10. එකොනො,

    ඔබ මෙහි දක්වා ඇති භෞතික විද්‍යා සමීකරණය පිළිබඳ කතාව පිළිගත නොහැක.

    චලිතය පිළිබඳ නිව්ටන් නියම සම්භාව්‍ය යාන්ත්‍ර විද්‍යාවෙහි මූලික සිද්ධාන්තයන් වේ. මෙම නියමයන්ගෙන් වස්තූන් මත ඇති වන බලය සහ එමඟින් ඇති වන චලිතය ගැන පැහැදිලි කෙරෙයි. නිවුටන් නියම ත්‍රිත්වය ඉතා සරලව සැකෙවින් මෙසේ ය:

    පළමු නියමය: බාහිර අසමතුලිත බලයක් නොයෙදෙන තාක් කල් එම වස්තුව නිශ්චලතාවයේ හෝ ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙමින් පවතී.
    දෙවැනි නියමය: යම් වස්තුවක ගම්‍යතාවය වෙනස් වීමේ සීග්‍රතාව ඒ මත යෙදෙන බලයට අනුලෝම ව සමානුපාතික වේ.
    තෙවැනි නියමය: සෑම ක්‍රියාවකට විශාලත්වයෙන් සමාන එහෙත් දිශාවෙන් ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් පවතී.

    නිවුටන් කිව්වේ ගම්‍යතාව වෙනස් වීමේ සීග්‍රතාවය යෙදෙන අසමතුලිත බාහිර බලයට අනුලෝමව සමානුපාතික බවයි. F = ma නිවුටන් ගේ දෙවැනි නියමය මත පදනම් වූ සමීකරණයක් මිස සූත්‍රයක් නොවේ. කටපාඩම් කරගෙන ඉන් ගණන් සෑදිය නොහැක.

    P ∝ d(P)/dt = P ∝ d(m.V)/dt

    එවිට සමීකරණය (අවකලනයේ සංඝටන න්‍යාය අනුව ශ්‍රිත දෙකක ගුණිතය) විය යුත්තේ m.d(V)/dt + V.d(m)/dt නේද? ස්කන්ධය නියතව පවතින විටත් නියතය k =1 විටත් පමණක් F = ma ගත හැකියි. අපොස සා.පෙ. පන්තිවලදී විද්‍යාව විෂයයට ඔයවැනි සරල ක්‍රමයකට ඉගැන්වූවත් ලිපියේදී ආර්ථික විද්‍යාව සමග සැසඳීමට යොදාගත් අයුරු අතිශය වැරදි සහගත බව මගේ මතයයි. අනික බාහිර සමුද්දේශ රාමුවකට සාපේක්ෂව අනෙකුත් බාහිර සාධක නියත විය යුතුයි.

    ReplyDelete
    Replies
    1. ඇනෝ,
      සැසඳිය නොහැකියි කියන එක හැර අනෙත් කරුණු සියල්ලටම එකඟයි. මම කියන්නෙත් ඔබ කියන දෙයටම කිට්ටු දෙයක්. F = ma සම්බන්ධව ඔබට තේරෙන හැම දෙයක්ම ආර්ථික විද්‍යා සමීකරණ වලටත් අදාලයි. ඒවාත් නියම මත පදනම් වූ සරල සමීකරණ. ඒ වගේම, භෞතික විද්‍යාවේදී වගේම ආර්ථික විද්‍යාවේදීත් සරල මට්ටමේදී මේ විදිහට යොදාගන්නා සම්බන්ධතා වඩා ගැඹුරින් හැදෑරීමේදී එය කරන්නේ කලනය ඇසුරින්. වෙනසකට තියෙන්නේ ආර්ථික විද්‍යාවේදී මෙය සාමාන්‍යයෙන් සිදුවන්නේ අධ්‍යාපනයේ වඩා ඉහළ මට්ටමකදී වීමයි. ඒ වගේම ආර්ථික විද්‍යා නියමය අර්ථ දක්වා තිබෙන්නේත් බාහිර සාධක නියතව තබා සහ යම් සමුද්දේශ රාමුවකට සාපේක්ෂවව. V වැඩි වන විට dm/dt නොසලකා හැරිය නොහැකි නමුත් V විශාල නැත්නම් F = ma සරල සම්බන්ධය (ප්‍රායෝගිකව) නිවැරදියි. V විශාල වන විට තව දුරටත් මෙය වලංගු නැහැ. ඔබට තේරෙන මේ දෙය වැනි තත්ත්වයක් තමයි ආර්ථික විද්‍යා සමීකරණයටත් අදාළ වෙන්නේ. බොහෝ අවස්ථා වලදී හරියටම ඔය approximation එකම කරනවා.

      Delete
    2. තවත් මට්ටමක් පිටුපසට ගියහොත් කලනයේදී සාමාන්‍යයෙන් යොදාගන්නා ඔබ සඳහන් කළ සංඝටන න්‍යායය වැනි සම්බන්ධතා වල පදනමත් approximation එකක්. ඇත්තටම කලනය කියන්නේමත් නිර්-රේඛීය ශ්‍රිතයක් ඉතා කුඩා තැන් දෙකක් අතරදී රේඛීය ලෙස සලකන approximation එක මත පදනම්ව ගොඩ නැඟූ දෙයක්. වෙනස තියෙන්නේ මේ න්‍යායන් හෝ තාක්ෂණික ක්‍රමවේද යොදා ගත හැකි රාමුව වඩා පුළුල් එකක් වීමයි.

      Delete
  11. 1995 ජනවාරි 16 දා ඉන්ගලන්තෙ මහරැජිනි ගෙ බැන්කුව වන බාරින්ග් බැන්කුවේ ස්පෙකියුලටේරයෙකු වන නික් ලීසන් නැමැත්තා එවකට ප්‍රසිද්දව තිබූ ආර්තික විද්යාත්මක කරුනු කාරනා වලට අනුව ජපාන ව්‍යාපාරවස්තු වල ගනන් ගැනිය යුතු තත්වයේ වෙනසක් සිදු නොවේ යැයි සින්ගප්පූරු සහ ටොකියෝ වි‍යාපාරවස්තු හුවමාරු වල දී අති විශාල මුදල් කන්දරාවක් "ඔට්ටු" ඇල්ලුවා.... 1995 ජනවාරි 17 දා ජපානයේ කෝබේ නගරයට ඉතා දරුනු භූමිකම්පාවකට මූන දෙන්න සිදු වුනා....

    එම භූමිකම්පාව නිසා ජපාන ආර්තිකය කඩා වැටී නික් ලීසන් ඔට්ටු ඇල්ලූ මුදල හිමි බාරින්ග් බැන්කුව බන්කොලොත් වුනා...

    ආර්තික විද්යාවේ බාවිතය ඔහොමයි...

    වෙච්චි දේ පැහැදිලි කල හැකිය... වෙන්ට තිබෙන දේ කිව නොහැකිය....

    ReplyDelete
    Replies
    1. 1. උදේ දහයට ඇති රැස්වීමට සහභාගී වීම සඳහා X නවයට නිවසින් පිටවේ. GPS එක අනුව ඔහුට 9.37ට ගමනාන්තයට පැමිණිය හැකිය. වාහනය පාර්කින්ග් ගරාජයේ දමා කාර්යාලයීය අසුනට ඇවිද විත් අවශ්‍ය ලිපිගොනුව රැගෙන රැස්වීම පැවැත්වෙන තැනට යාමට විනාඩි 13ක් ප්‍රමාණවත්ය. GPS එක පෙන්වන වෙලාව වැරදුනොත් සාමාන්‍යයෙන් විනාඩියකින් හෝ දෙකකිනි.

      රිය අනතුරක් නිසා අධිවේගයට ඇති පිවිසුම වසා ඇත. ඊළඟ පිවිසුම ගැනීමට තවත් සැතපුම් තුනහමාරක් ඉදිරියට යා යුතුය. රිය අනතුර නිසා මේ කොටසේද පිවිසුමේද ඇත්තේ වෙනදා නැති මාර්ග තදබදයකි. X රැස්වීමට එන්නේ විනාඩි දහයක් පසුවී 10.10ටය.

      වෙච්චි දේ පැහැදිලි කල හැකිය... වෙන්ට තිබෙන දේ කිව නොහැකිය.

      2. Y සුළු ශල්‍ය කර්මයකට මුහුණ දෙයි. වෛද්‍යවරයා ඔහුට ප්‍රතිජීවක, වේදනානාශක සහ ශරීර උෂ්ණත්වය අඩු කිරීමට බෙහෙත් ලබා දේ. ඔහුට අනුව. දින දෙක තුනකින් වේදනාව මෙන්ම උණද බැහැර වනු ඇත.

      දින තුනක් ගතවේ. වේදනාව මෙන්ම උණද වැඩි වී ඇත. දැන් වෛද්‍යවරයා කියන්නේ තුවාලය ආසාදනය වී ඇති බවයි.

      වෙච්චි දේ පැහැදිලි කල හැකිය... වෙන්ට තිබෙන දේ කිව නොහැකිය.

      අනාගතය කොහේවත් හරියටම ලියවී නැත. ඒ නිසා නිසිවෙකුට වෙන්ට තිබෙන දේ හරියටම කිව නොහැකිය. මෙය සියලුම ව්‍යවහාරික විද්‍යාවන්ට මෙන්ම සාමාන්‍ය ජීවිතයටත් පොදු දෙයකි.

      1992 සැප්තැම්බර් 15 වෙනිදා, ඔය පහු ගිය දවස් වල බොහෝ දෙනෙකු කතා කළ ජෝජ් සෝරස් උන්නැහේ ඩොලර් බිලියන 10ක පමණ 'අතේ නැති' ස්ටර්ලින් පවුම් විකිණුවේය. එසේ කළේ, පැවති ආර්ථික වාතාවරණය තුළ පවුම අවප්‍රමාණය වීමේ සම්භාවිතාව ඉතා වැඩි බව ඔහු දුටු නිසාය. එය එසේම වූ බැවින් ඔහුට පහුවෙනිදා වන විට ඩොලර් බිලියනයක් උපයා ගත හැකි විය. විණිමය සමපේක්ෂණය බොහෝ දුරට සූදුවකි. කෙටිකාලීන විණිමය අනුපාතික හැසිරීම ගැන ආර්ථික විද්‍යා (හා මූල්‍ය) න්‍යාය අනුවද එය එසේමය. එහෙත්, ඇතැම් තත්ත්වයන් යටතේ සිදුවිය හැකි ප්‍රවණතාවන් යම් තරමකට අනුමාන කළ හැකිය. මේ සූදුවෙන් ගොඩයන බොහෝදෙනෙකු සිටිති. ඒ අය ඇනගන්නා අවස්ථාවන්ද ඕනෑ තරම් තිබේ. ඔවුන් මේ වැඩේට අත දමන්නේ අවදානම ගැන දැනගෙනය.

      වෙන්ඩ තිබෙන දේ හරියටම කිව නොහැකි වුවත් වැඩිපුර වෙන්ඩ ඉඩතියෙන දේ කිව හැකිය.

      Delete
  12. ආර්තික විද්‍යා මූලධර්ම නේද? අපිට රුසියාවේදී කියල දුන්නේ සැලැස්ම හදන හැටිනේ,ඉතින් මටත් ඔය ආර්තික විද්‍යාව ඉගෙන ගන්න හරි ආසාවක් තිබ්බා, ඒ මදිවට රුසියාවේ ඩිග්රි බාලයි කියලා ලංකාවේ අය නිතර ඔච්චම් කරපු නිසා ලංකාවේ එකකුත් අමුණගන්නත් ඕන වුනා,

    ඔන්න ඔහේ පටන්ගත්ත ෙඑකේ මගේ එකොනොමික්ස් සටඩීස් කතාවම ලියල දාන්නම්, ඉතිං ගෙඩි රුපියල් වලින් ගෙවලා පස්තාච්චි කට්ටකට සෙට් වුනා කන්දේ තියෙන කෘෂි කර්මෙට අදාල ආයතනෙට. ඉස් ඉස්සෙල්ලම මයික්‍රො එකොනොමික්ස්, බෝ ගහක් වගේ හිටි පොෆෙසර්තුමෙක් ගේ. එයා ක්‍රිකට් මැච් එහෙම නැත්තං වරද්ද වරද්ද ලෙක්චරුත් එනවා (අපි ලෙක්චර් නිසා මැච් මිස් කරගත්තොතින් කියා දුක හිතෙන්නැති), අැවිත් බෝඩ් එකේ වක්‍ර‍ වක්‍ර‍ අදිනවා මට මෙලෝ හසරක් තේරෙන්නැති සූත්‍ර ලියනවා, එන දවසත් රුසියාවේ පුරුද්දට තේරුනේ නෑ කීවා‍, ආයේ අන්ඩර දෙමළයක් කියලා බේසික්ස් දන්නැත්තම් අවබෝධකරගන්න බෑ කියලක් කීවා, කුප්පියක් ගන්න බැලුවාම අනෙක් වුන්ටත් තේරිලා නැතිය උන් කීවා ඔක්කොම බෝඩ් එකේ විදියටම ලියා ගනින් ඕවම විභාගෙට ආපහු ලියන්නයි තියෙන්නේ කියා. බෝඩ් එකෙන් කොපි කරන සාත්තරේ දුර්වල නිසා මගේ නෝට් පොත හැම තැනම හිස් තැන් පමණකි. ලයිබ්‍රියට රිංගලා ඇමරිකන් හයිස්කූල් ටෙක්ස්බුක් වලින් පොඩ්ඩ පොඩ්ඩ මීටර් කරගත්ත් (ඒ ටෙක්ස් පොත් බොහොම අපූරුවට සංරක්ෂණය වෙලා තිබ්බා අඩුගානේ 10 -15වත් කියවලා තියෙන්න නැතුව ඇති) ඒවායේ අර සමීකරණ තිබ්බේ නෑනේ. මිඩ් ටර්ම් එකට උපාය දන්නෝ ඔළුව නොවුස්සම ඔඩොක්කුවේ දිගැරගත්ත පොත එහෙම පිටින්ම පිටපත් කොලෝය, මට අනුකම්පා කල එකෙක් ඌ ලියලු කොලයක් දුන්නා කොපි කරගන්න, එක කෙල්ලෙත් නම් ඔළුව උස්සාගෙන උත්තර ලීවා, එයා නම් මහබැංකුවට ගියා කියා ආරංච්වුනා, අනෙත්වනුත් ජොබ් එක අප්ඩේට් කරගත්තළු, මගේ එකොනොමික්ස් ස්ටඩීස් නම් පළවෙනි මිඩ් ටර්ම් එකෙන් නිමවිය.

    ReplyDelete
    Replies
    1. ඇණයා, ඔබේ අදහස් දැක්වීමට ගොඩක් ස්තුතියි! (ඔය බෝ ගහක් වගේ හිටි පොෆෙසර් තුමා යාලුවෙක්ද දන්නෙත් නැහැ. අහල බලන්නම්!) මගේ මුල්ම ආර්ථික විද්‍යා පාඨමාලාවත් ඔය ජාතියේම පස්තාච්චි අත්දැකීමක් තමයි. මමත් ඔබ වගේම ඔය සමීකරණ ප්‍රස්ථාර ආදිය ඒ විදිහටම සටහන් කරගත්තා මිසක් ඊට වැඩිය දෙයක් තේරුණේ නැහැ. ගෙඩි රුපියල් වලින් බර ගාණක් ගෙවලත් තත්ත්වය ඔහොමයි. නිකම් ලැබෙන ඒවාට වඩා වැඩි වෙනසක් නැහැ. මෙයට එක හේතුවක් වෙන්නේ මේ තැන්වලට එන අයට අවශ්‍ය කොහොම හරි කොළේ සහ අකුරු තුන ගැනීම වීමයි. දැන් ඔබේ ප්‍රධානම අරමුණක් වුනේ "රුසියාවේ ඩිග්රි බාලයි කියලා ලංකාවේ අය නිතර ඔච්චම් කරපු නිසා ලංකාවේ එකකුත් අමුණගන්නත් ඕන" වීම. මම මෙය මේ විදිහටම උදාහරණයට ගත්තේ ඔබ ඒ ගැන පටු විදිහට නොහිතනු ඇතැයි යන අවබෝධයෙන්. ඇත්තටම මගේ ඔය කියපු පස්තාච්චියෙදී මම හිටියෙත් (වෙනත් හේතු මත වුවත්) ඔබ සිටින තැනම තමයි. //ආයේ අන්ඩර දෙමළයක් කියලා බේසික්ස් දන්නැත්තම් අවබෝධකරගන්න බෑ කියලක් කීවා// බේසික්ස් දන්නේ නැත්නම් කළ යුත්තේ ඒවා කියාදීමයි. අහන්නේ නැතුව සිටීම එක් දෙයක්. එහෙත් ඔබට නොතේරෙන දෙය ඔබ අහන්නේ ඔබට කොළය වගේම දැනුමත් වැදගත් නිසා. අනිත් එක ඔබ ඒ වෙනුවෙන් ලොකු මුදලකුත් ගෙවලයි තියෙන්නේ. ඒත් ඔබට ඒ ගැන ප්‍රශ්න කරන්න ඉඩක් නැහැ. ඕවා හරියන්නේ ලංකාවටම තමයි. හැබැයි මට පෙර කී පාඨමාලාව ඉගැන්වූ ගුරුවරයා සම්බන්ධවනම් මෙහි තවත් පැත්තකුත් තිබුණා. බාහිර දේශකයෙකු වූ ඔහු මේ ඉගැන්වීම කළේ prestige එක සඳහා. අපෙන් විශාල මුදලක් අයකළත් බාහිර දේශකයින්ට ලැබුණේ දේශන පවත්වන පැයගණන අනුව සාපේක්ෂව සුළු මුදලක් (honorarium එකක්) පමණයි. ඒ වෙනුවෙන් ඔහුගෙන් එයට වඩා ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්නත් බැහැ.

      Delete
    2. ඔයවගේ තැන්වලදී ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනයත් බලපානවා. ශිෂ්‍යයා හොඳටම දන්නෙ සිංහල, ගුරුවරයත් හොඳටම දන්නෙ සිංහල, නමුතු අධ්‍යාපන මාධ්‍යයය ඉංග්‍රීසි. එහි ප්‍රතිඵලය වන්නේ තේරෙන උපමා යොදාගෙන නිර්මාණශීලීව හිතල ඉගැන්වුම් ක්‍රියාවලිය කරන්න අපහසු වීම.

      Delete
    3. ඔබ කියන කරුණ ඇත්ත, ඇනෝ. හැබැයි ඉංග්‍රීසි මාධ්‍යය භාවිතා කළත් පුරුදු වටපිටාවෙන් දන්නා දේවල් උදාහරණ වලට ගැනීම මඟින් මේ පරතරය ටිකක් හෝ අඩු කරගන්න පුළුවන්.

      Delete
    4. ඉකොනො ගේ උත්තරේ ගැන කිසිම වාදයක් නෑ සහතිකම ඇත්ත, ඇනෝ ලියපු ඉංග්‍රීසි කතාවටත් +++, අර කොමන් බාස්කට් කතාව ඇරුනාම වෙනත් කිසිම උදාහරණයක් ප්‍රායෝගික අත්දැකීමකින් පැහැදිලි කිරිමක් නෑ, ඉකොනො ලියන ඒවා අපට හොඳට දිරවීමේ රහස ඔය ප්‍රායෝගික ලෝකයේ කරුනු වලින් පැහැදිලි කිරිම වෙන්නෝන.

      පස්තාච්චිය පෙරලිච්ච දුක තුනීකරගත්තේ එකොනොමික්ස් නැතත් ඉංග්‍රීසි සහ ලංකාවේ විශ්ව විද්‍යාල අධ්‍යාපනේ ගැන ඉගෙනගත්තනේ කියල, පස්සෙං පහු ඒ දැණුම බොහෝ ප්‍රයෝජනවත් වුනා.

      Delete
    5. //කන්දේ තියෙන කෘෂි කර්මෙට අදාල ආයතනෙට. //

      පේරා PGIA එකෙන් ඇනගත්තා වගේ :D

      Delete
  13. ඔබගේ රැකියාව කුමක්දැයි මම දන්නේ නැහැ. ඔබ රැකියාව ලෙස හෝ විනෝදාංශයක් ලෙස හෝ උගන්නන්නේ නැත්නම් ඔබේ සාමාන්‍යයට ඉහල හැකියාවට කරණ ලොකු අසාධාරණයක්. කරුණාකර ප්‍රායෝගික ආර්ථික විද්‍යාව ගැන සිංහල පොතක් ලියන්න. එය ලාංකික ශිශ්‍යන්ට සහ රටට කරන ලොකු සේවයක් වේවි. ලිව්වොත් මුද්‍රණය කර දෙන්නම්.

    ReplyDelete
  14. නිදහසේ කියෙව්වා. කමෙන්ට්ස් ටිකත් කියෙව්වා. ආර්ථික විද්‍යාව ඉගෙනගෙන නැත. නමුත් මෙයින් යම් යම් දේ ත්රුම් ගන්න පුළුවන්. අපේ සමහර දේසපාලුවෝ කතාකරන්නේ මෙව්වාගෙන් අබමල් රේණුවක් වත් දැනගෙනද කියලා හිතෙනවා.

    ReplyDelete
  15. This comment has been removed by the author.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

Gadget

This content is not yet available over encrypted connections.