වෙබ් ලිපිනය:

Showing posts with label ජනාධිපතිවරණය. Show all posts
Showing posts with label ජනාධිපතිවරණය. Show all posts

Sunday, September 22, 2024

නවවන ජනපතිට සුබ පැතුම්!


මේ වන විට ජනාධිපතිවරණයේ අවසන් නිල ප්‍රතිඵල නිකුත් වී අවසන්. රටේ ව්‍යවස්ථා නීතිය අනුව එම ධුරයට තේරී පත්ව සිටින්නේ අනුර කුමාර දිසානායකයි. රටේ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායේ ශක්තිය ලොවට පෙන්වමින් තවත් වරක් ඉතා සුමට බල හුවමාරුවක් සිදු වෙමින් පවතිනවා.

අනුර කුමාර දිසානායක මෙම ජනාධිපතිවරණ තරඟය ජය ගන්නේ ඉතා අසීරු හා තියුණු සටනකින් පසුවයි. මෙහිදී ඔහුගේ කඳවුර විසින් යොදාගත් උපාය මාර්ග කිසිදු අයුරකින් ලංකාවේ දේශපාලන පක්ෂ විසින් සම්ප්‍රදායිකව මැතිවරණ වලදී යොදා ගත් උපාය මාර්ග වලට සම කළ නොහැකියි. ඔවුන් ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී නොවූ ඔවුන්ගේ අතීත භාවිතාව තුළ සාර්ථකව භාවිතා කළ ඇතැම් සාර්ථක උපාය මාර්ග ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට රැගෙන එමින් සහ නූතන තාක්ෂණයේ උදවු ලබා ගනිමින් ඉතා ප්‍රතිඵලදායක මහජන සන්නිවේදනයක් සිදු කළා. 

කෙසේ වුවද, අනුර කුමාරගේ ජයග්‍රහණයට හේතු වූ ප්‍රධාන සාධකයක් වූයේ ප්‍රතිවිරුද්ධ කඳවුර තුළ වූ බල සංයුතියේ ස්වභාවයයි. මීට පෙර ලංකාවේ පැවති සෑම ජනාධිපතිවරණයකදීම දැකිය හැකි වූ පැහැදිලි ද්වි-ධ්‍රැව විභේදනය මෙවර එලෙසින්ම සිදු වුනේ නැහැ. මාලිමා කඳවුර ඇතුළු තවත් බොහෝ දෙනෙකු විශ්වාස කළේ මෙවරද පෙර මෙන්ම එම ද්වි-ධ්‍රැව විභේදනය සිදු වනු ඇති බවයි. 

අනුර කුමාර විසින්ම සඳහන් කළ පරිදි ඔහුගේ දැඩි විශ්වාසය වූයේ ඔවුන්ගේ ඡන්ද ප්‍රතිශතය ඉතා අඩු මට්ටමකට නොවැටේනම් එය 50% මට්ටම ඉක්මවීම පිළිබඳ කිසිදු සැකයක් නැති බවයි. මෙය සමාජවාදී පක්ෂ වල සාමාජිකයින් කාලයක් පුහුණු වී සිටින චින්තනයේ ස්වභාවය නිසා ඔවුන් ලෝකය තේරුම් ගන්නා ආකාරය වෙන්න පුළුවන්. 

මහ පොළොවේ පවතින තත්ත්වය දැකීම ඇස් කණ තිබෙන ඕනෑම කෙනෙකුට කළ හැකි දෙයක්. අසීරු කාර්යය වන්නේ මහ පොළොවේ පවතින තත්ත්වයෙන් දැකීමෙන් පසුව ඒ මත පදනම්ව එයින් ඔබ්බට දේවල් දැකීමයි. එසේ දැකිය හැකි වූ ඇතැම් අයට මෙවර ජනාධිපතිවරණ තරඟයේ ස්වභාවය නිවැරදිව හඳුනා ගත හැකි වුණා. 

අනුර කුමාර මුල් වටයේ ජයග්‍රාහකයෙකු වීම මෙන්ම 50% සීමාව නොඉක්මවීමද බොහෝ දුරට ගණිතමය යථාර්තයන් ලෙස ලියැවී තිබුණු දේවල්. එම තත්ත්වය තුළ ජනාධිපතිවරණ ප්‍රතිඵලය කෙරෙහි බලපෑ හැකි තීරණාත්මක සාධකය වී තිබුණේ රනිල් වික්‍රමසිංහ විසින් ලබා ගන්නා ඡන්ද ප්‍රතිශතයයි. මේ හේතුව නිසා අප මුල සිටම ඒ පිළිබඳව විමසිලිමත්ව සිටියා. මැතිවරණ ප්‍රතිඵලය කෙරෙහි රනිල් වික්‍රමසිංහ විසින් ලබා ගත් ඡන්ද ප්‍රමාණය බලපා ඇති ආකාරය දැන් ඕනෑම කෙනෙකුට දැකගත හැකියි. ප්‍රතිඵලය මහ පොළොවට වැටුණු පසු කාටත් පැහැදිලිව පේනවා. 

මෙතෙක් ලංකාවේ ජනාධිපතිවරණ තරඟයක් ජයගත් සෑම අපේක්ෂකයෙකු විසින්ම 50% සීමාව ඉක්මවීමට සමත්ව තිබෙනවා. මෙහි වාසිය වනුයේ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයට 50%ක ජනතා අනුමැතියක් හිමිව ඇති සේ සැලකිය හැකි වීමයි. මෙහි නෛතික හා සදාචාරත්මක සිද්ධාන්තය වන්නේ අදාළ ප්‍රතිපත්ති ප්‍රකාශනය ජනමත විචාරණයකට ඉදිරිපත් කර ඒ සඳහා 50%ක අනුමැතිය ලබා ගත් සේ සැලකිය හැකි වීමයි. අනුර කුමාර දිසානායක ජනාධිපති සේ තේරී පත් වන්නේ මෙම වාසිය නොමැතිවයි. 

කෙසේ වුවත්, බොහෝ කරුණු හා අදාළව ප්‍රධාන අපේක්ෂකයින් තිදෙනාගේම ප්‍රතිපත්ති වල ඒකමිතියක් තිබීම අපට දැකිය හැකි තත්ත්වයක්. උදාහරණයක් වශයෙන්, ප්‍රතිවාදීන් කවර විවේචන සිදු කළත්, මාලිමා කඳවුරේ වගකිව යුතු අය මැතිවරණ සමයේදී පැහැදිලිව සඳහන් කළේ දැනට ක්‍රියාත්මක ආර්ථික ස්ථායීකරන වැඩපිළිවෙළ සාර්ථකව දිගටම ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ඔවුන්ද පෙනී සිටින බවයි. 

මාලිමා අපේක්ෂකයෙකු ජනාධිපති සේ පත් වීම හා අදාළව බොහෝ අයට තිබුණු එක් කණස්සල්ලක් වූයේ ඔවුන්ගේ කණ්ඩායමට ප්‍රමාණවත් පළපුරුද්දක් නොමැති බවයි. මෙය බොරුවක් නොවුනත් විශාල ප්‍රශ්නයක් නෙමෙයි. එක් අතකින් මාලිමා (ජවිපෙ) මන්ත්‍රීවරුන් කාලයක් තිස්සේ පාර්ලිමේන්තුවේ විවිධ කාරක සභා ආදියෙහි කටයුතු කර තිබෙනවා. අනෙක් අතින් ඕනෑම කෙනෙකුට යම් දෙයක් අලුතෙන් කරද්දී යම් හැදෑරීමක් කරන්න වෙනවා. ඒ සඳහා අවශ්‍ය වන්නේ කැපවීමයි. 

අනෙක් ප්‍රධාන ප්‍රශ්නය රටේ ආර්ථිකය නිවැරදි ලෙස කළමනාකරණය නොකිරීම නිසා නැවත වරක් සියල්ලන්ටම විඳවන්නට සිදු වේද යන්නයි. රටේ ආර්ථික ස්ථායීත්වය සදහා අවශ්‍ය වන්නේ හොඳ වැඩ පිළිවෙලක්. එය ක්‍රියාත්මක කරන නායකත්වය වෙනස් වූ පමණින් ආර්ථිකයක් අස්ථායී වන්නේ නැහැ. විශේෂයෙන්ම මාලිමාව හා අදාළව ගත් විට ඔවුන් වරද්දා ගන්නා තෙක් බලා සිටිනා පිරිසක් සිටිනා බැවින් ඔවුන් අඩු වශයෙන් යම් කාලයක් යන තුරු ඇල් වතුරත් නිවා බොන ස්ථාවරයක සිටිනු ඇතැයි යන්න මගේ විශ්වාසයයි.

නව ජනපති අනුරට මුහුණ දෙන්නට සිදුවන ප්‍රධානම අභියෝගය ලෙස මා හඳුනා ගන්නේ ආර්ථික කළමණාකරණය නොව දේශපාලන කළමනාකරණයයි. ඔහුව තෝරා පත් කරගෙන සිටින පිරිස විවිධ අපේක්ෂා ඇති ඉතාම විෂමජාතීය පිරිසක්. මාලිමා කඳවුරේ ප්‍රධාන ඉල්ලීම වුයේ "අප කෙරෙහි විශ්වාසය තබන්න" යන්නයි. 

දැන් 42%ක පිරිසක් විසින් ඉල්ලා සිටි අයුරින්ම මාලිමා කණ්ඩායම කෙරෙහි විශ්වාසය තබා තිබෙනවා. රටේ ජනපතිගේ ඉලක්කය විය යුත්තේ එම 42%ක පිරිසගේ විශ්වාසය නොබිඳිමින්, යම් හේතුවක් නිසා තමන් කෙරෙහි විශ්වාසය නොතැබූ 58%ක කණ්ඩායමේද විශ්වාසය දිනා ගැනීම සදහා කටයුතු කිරීමයි. අනුර ඇතුළු කණ්ඩායම සතු දේශපාලන පළපුරුද්ද මේ සඳහා උදවුවක් විය හැකි නමුත් මෙය අභියෝගාත්මක කටයුත්තක්. ඊට සාපේක්ෂව බැලූ විට ආර්ථිකය කළමනාකරණය කර ගැනීම වඩා පහසු තාක්ෂනික වැඩක්.

නව ජනපතිට අපේ සුබ පැතුම්!

පළමුව පළමු මනාපය! දෙවනුව ඉතිරි මනාප!!

දැන් ජනාධිපතිවරණයේ පළමු වටය අවසන්. පළමු වටයෙන් කිසිදු අපේක්ෂකයෙකු විසින් 50%කගේ කැමැත්ත ලබාගෙන නැහැ. දැන් තිබෙන්නේ දෙවන හා තෙවන මනාපද එකතු කර එම කැමැත්ත විමසීමේ අදියරයි. මේ ඉඩකඩ මුල සිටම තිබුණත්, මෙතෙක් පැවති ජනාධිපතිවරණ සියල්ලේදීම ඡන්දදායකයින් 50%කගේ කැමැත්ත ලැබූ තරඟකරුවෙකු සිටි බැවින් දෙවන හා තෙවන මනාප සලකා බලන්නට සිදු වූයේ නැහැ. මේ අනුව, පළමු අපේක්ෂකයින් දෙදෙනාට පළමු මනාප නුදුන් ඡන්දදායකයින්ගේ දෙවන හා තෙවන මනාප වලට මෙවර "අපමණ අගයක්" ලැබී තිබෙනවා. කෙසේ වුවත්, බොහෝ දෙනෙකු දෙවන හා තෙවන මනාප භාවිතා නොකර තිබීමට ඉඩ තිබෙන බැවින් අවසන් ප්‍රතිඵලයේ වෙනසක් වීමට ලොකු ඉඩක් නැහැ.

පළමු හා දෙවන අපේක්ෂකයින් අතර පරතරය ඡන්ද 1,268,880ක් වන අතර තෙවන හා අනෙකුත් අපේක්ෂකයින් විසින් ලබාගෙන තිබෙන ඡන්ද ප්‍රමාණය 3,317,662ක්. ඒ අනුව, වෙනසක් සිදු වීමටනම් දෙවන අපේක්ෂකයා විසින්'එම ඡන්ද වලින් 38%ක පමණ වාසියක් ලබාගත යුතුයි. එවැන්නක් වීමේ ඉඩක් පෙනෙන්නට නැහැ.

ටිකක් වෙලා ගියත් ඉක්මණින්ම නිරෝගී දරුවෙක් ලැබෙයි. කේන්දර හදන එක ඉන් පසුව කරමු! එතෙක් ලංකාවේ ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදය සමරමු!!





Saturday, September 21, 2024

මහ පාරේ මත විමසුම්

දැන් ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන්. හැමෝම ප්‍රතිඵල ලැබෙන තුරු බලා ඉන්නවා. තව පැය කිහිපයකින් ප්‍රතිඵල දැනගන්න ලැබෙයි. මෙම ජනාධිපතිවරණ කාලය තුළ දැකිය හැකි වූ සුවිශේෂී දෙයක් වූයේ "මහ පාරේ මත විමසුම්".  පහත තිබෙන්නේ රට පුරා සිදු කරනු ලැබූ  මහ පාරේ මත විමසුම් ප්‍රතිඵල වල සාරාංශයක්. මේවායේ දැකිය හැකි විශාල "නොදන්නා" ප්‍රතිශතය කෙසේ බෙදී ගොස් ඇත්දැයි තවත් පැය කිහිපයකින් බලා ගන්න පුළුවන්. මෙය පළ කරන්නේ සංරක්ෂණය කිරීමේ අරමුණින්. මේ සඳහා සුදත්තගේ මෙන්ම බදුල්ල ටීවී, ගෝමි ටීවී, මොණරාගල ටීවී හා IBC ටැමිල් ටීවී නාලිකා වල මත විමසුම් තොරතුරු යොදා ගෙන තිබෙනවා. එමෙන්ම මෙම නියැදි අදාළ දිස්ත්‍රික්ක වල අහඹු නියැදි නෙමෙයි. 



Friday, September 20, 2024

සතුටුදායක ඡන්දයක්! Happy voting!!

 



තවත් පැය කිහිපයකින් ශ්‍රී ලාංකික ඡන්දදායකයින්ට රටේ නවවන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ කර්තව්‍යයට දායක වෙන්නට ඉඩ ලැබෙනවා. මෙය රටේ බොහෝ දෙනෙකු මාස ගණනාවක් තිස්සේ උනන්දුවෙන් බලා සිටි මොහොතක්.

මෙම ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිතා කිරීමේ අභිප්‍රාය පිළිබඳව කාලයක් තිස්සේ වීවිධ පාර්ශ්ව විසින් විවිධ ආකාරයන්හි මත විමසුම් සිදු කළා. එම මත විමසුම් වල සීමාවන් පිළිබඳව අප විසින් ලිපි ගණනාවකින් පැහැදිලි කර තිබෙනවා. ඒවා බොහොමයක් විද්‍යාත්මක සමීක්ෂණ නෙමෙයි.

යම් තරමකින් හෝ නිවැරදි ක්‍රමවේදයක් අනුගමනය කළේ සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසිනුයි. එහි ඇති අඩුපාඩු හා සීමාවන් පිළිබඳවද අප විසින් ලිපි කිහිපයකම විස්තර කර තිබෙනවා. සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින්ම අවසාන මොහොතේ ප්‍රකාශ කර තිබුණේ ඔවුන්ගේ ආකෘතියෙහි වූ විශාල අඩුපාඩුකම් ඔවුන් විසින් හඳුනාගෙන ඇති බවයි. කෙසේ වුවත්, විද්‍යාත්මක නොවන මත විමසුමකින් වුවද සිදු විය හැකි දේ පිළිබඳව යම් අදහසක් ගන්න පුළුවන්.

මත විමසුම් වලින් කවර ප්‍රතිඵලයක් පෙන්නුවත්, ඔබ දැනටමත් තැපැල් ඡන්දය භාවිතා කර නැත්නම්, අවසන් ප්‍රතිඵලය තීරණය කරනුයේ තවත් පැය කිහිපයකින් ඔබ විසින් ගන්නා තීරණයයි. එය තවමත් විවෘත තීරණයක්. ඔබගේ එම තීරණය ඔබට ශ්‍රී ලංකාවේ අනාගතය තීරණය කිරීමට වසර ගණනාවකට වරක් පමණක් ලැබෙන දුලබ අවස්ථාවක්.

රටේ පවතින තත්ත්වය පිළිබඳව පාලකයින්ට දොස් තැබීම පහසු දෙයක්. එහෙත් ඒ පාලකයින් ඕපපාතිකව පහළ වූ අය නෙමෙයි. මහජන ඡන්දයෙන් තේරී පත් වූ අයයි. ඒ නිසා පාලකයෙකු විසින් කිසියම් වරදක් කර ඇත්නම් එහි වගකීම එවැන්නන් තෝරා පත් කරගත් අය විසින්ද භාර ගත යුතුයි. 

ඔබේ තීරණය කුමක් වුවත් ඔබේ හෘද සාක්ෂිය හඹා යන්න. 

සතුටුදායක මැතිවරණ දිනයක්!

Wednesday, September 18, 2024

අනුර 50% සීමාව ආසන්නයට!


ජනාධිපතිවරණයට පෙර සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් ඉදිරිපත් කර ඇති අවසන් ඇස්තමේන්තු අනුව අනුර කුමාර දිසානායක 50% සීමාව ආසන්නයටම පැමිණ සිටිනවා. ඔහුගේ ඡන්ද ප්‍රතිශතය 48% ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර අතර පරතරය 23% දක්වා ඉහළ ගොස් තිබෙනවා. සජිත් ප්‍රේමදාස 25% මට්ටමේ සිටිද්දී රනිල් වික්‍රමසිංහ ඊට ආසන්නව 20% මට්ටමේ සිටිනු දැකිය හැකියි.

මේ අනුව පෙනී යන්නේ අවසන් සති දෙක තුළ පාවෙන ඡන්ද බොහොමයක් අනුර කුමාර දිසානායක වෙත විතැන් වී ඇති බවයි. මෙම ඇස්තමේන්තු නිවැරදි සේ සැලකුවහොත් එයින් අදහස් වන්නේ පොහොට්ටු ඡන්ද වලින් 85%ක් පමණ මාලිමාව වෙත විතැන් වී තිබිය යුතු බවයි. සජිත් හා රනිල් අතර බෙදී ගොස් ඇත්තේ බොහෝ දුරටම සම්ප්‍රදායික එජාප ඡන්ද පදනමයි. රනිල් තරඟයට පැමිණීමෙන් පසුව සජිත් හා රනිල් අතර ඇති වූ තරඟය මාලිමාවට වාසිදායක ලෙස බලපා ඇති අයුරු පැහැදිලිව දැක ගත හැකියි. 

මැතිවරණ ප්‍රතිඵලයක් කලින් පුරෝකථනය කිරීම පහසු කටයුත්තක් නෙමෙයි. කොයි තරම් උත්සාහ දැරුවද එවැන්නක් කළ හැක්කේ සැලකිය යුතු මිනුම් වරදක් සහිතවයි. මේ කාර්යය ලංකාවට අලුත් දෙයක් බැවින් එය වඩාත් අපහසුයි.

ජනාධිපතිවරණ ප්‍රතිඵල පුරෝකථනය කිරීමේ කාර්යයේදී එය වඩාත්ම නිවැරදි ක්‍රමවේදයකට සිදු කළේ සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයයි. ඒ නිසා, ප්‍රතිඵලය ගැන නිගමනයකට එළැඹීමේදී ඔවුන්ගේ ඇස්තමේන්තු වලට වැඩි බරක් තියන්නට සිදු වෙනවා. 

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන්ද පසුව සුදත්ත තිලකසිරි විසින් දිවයිනේ දිස්ත්‍රික්ක 16ක නගර 52ක ඔහුගේ "මත විමසුම්" සිදු කර තිබුණා. මෙවැනි මත විමසුම් විද්‍යාත්මක සමීක්ෂණ ලෙස කිසිසේත්ම සැලකිය හැකි නොවෙතත්, ඡන්ද භාවිතයේ දිශානතිය පිළිබඳව එවැනි මත විමසුම් වලින්ද අදහසක් ගත හැකියි. සුදත්ත විසින් ඉදිරිපත් කර තිබුණු දසදහස ඉක්මවන ඔහුගේ අහඹු නොවන නියැදියේ සමස්ත ප්‍රතිඵලයද ඉහත සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ ඇස්තමේන්තු සමඟ ගැලපිය හැකියි.

බොහෝ දෙනෙකු උනන්දුවෙන් බලා සිටින සැබෑ ප්‍රතිඵලය දැනගන්නට තවත් වැඩි දවසක් නැහැ. 


පසු එකතු කිරීම: නම්බර්ස් ඩොට් එල්කේ ඇස්තමේන්තු 



Tuesday, September 17, 2024

දෙවෙනි මනාපේ...


වසර ගණනාවකට පසුව මෙවර ජනාධිපතිවරණයේදී දෙවන මනාප පිළිබඳව නැවත අවධානය යොමු වී තිබෙනවා. දෙවන මනාප කියා කියන්නේ පසුගිය දශක තුනකට වැඩි කාලය තුළ ශ්‍රී ලංකාවේ ඡන්දදායකයින් විසින් නොසලකා හැර තිබුණු දෙයක් කියා කියන්න පුළුවන්. ඒ නිසාම ගොඩක් අයට ජනාධිපතිවරණය කටටම ඇවිත් තිබෙන මේ මොහොතේ වුනත් දෙවන මනාප වැඩ කරන විදිහ ගැන පැහැදිලි අවබෝධයක් නැති බවයි පෙනෙන්නේ. 

සාමාන්‍ය කාරණයක් විදිහට පුද්ගලයෙක්ට වැඩි තේරීම් ප්‍රමාණයක් ලැබෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම හොඳ දෙයක්. එයින් හැම විටම අනිවාර්යයෙන්ම වාසියක් නොවුනත්, කිසිම විටක අවාසියක් වෙන්නේනම් නැහැ. 

ලංකාවට සර්වජන ඡන්ද බලය ලැබිලා දැන් අවුරුදු 93ක් වෙනවා. මේ අවුරුදු 93න් අවුරුදු 50ක්ම ලංකාවේ ඡන්දදායකයා දැනගෙන හිටියේ තමන් වැඩියෙන්ම කැමති පුද්ගලයාට ඡන්දය දෙන ක්‍රමය ගැන පමණයි. එයින් එහාට තේරීමක් ඔවුන්ට තිබුණේ නැහැ. 

කාර්යාල වල වැඩ කරන අය සමහර වෙලාවට වෙනත් අයෙකුට කියලා එළියෙන් බත් පාර්සලයක් ගෙන්වා ගන්නවා. එහෙම ගේන්න සල්ලි එකතු කර ගනිද්දී අවශ්‍ය වන්නේ චිකන් කෑම එකක්ද, මාළු කෑම එකක්ද, බිත්තර කෑම එකක්ද එහෙම නැත්නම් එළවලු කෑම එකක්ද කියලා කියන්න වෙනවා.

"මට ගේන්න මාළු කෑම එකක්!"

කවුරු වුනත් කියන්නේ තමන් වැඩියෙන්ම කැමති තේරීම අරගෙන එන්න කියලයි. ඒ තේරීම ඒ විදිහටම ලැබුනොත් අවුලක් නැහැ. අවුලක් වෙන්නේ ඒ තේරීම නොලැබුනොත්.

"මොකද මේ බිත්තර කෑම? මම ගේන්න කිවුවේ මාළු කෑම එකක්නේ..."

"මාළු කෑම ඉවර වෙලා! ඒ නිසා මම බිත්තර කෑම එකක් ගෙනාවා."

"අයියෝ! මම බිත්තර කන්නේ නැහැනේ. චිකන් කෑම තිබුනේ නැද්ද?"

"තිබුණා! චිකන් කයිද කියලා දන්නේ නැති නිසා මම බිත්තර කෑම ගෙනාවා."

ඔන්න ඔය ක්‍රමය තමයි 1977 වන තුරු ලංකාවේ තිබුණු එකම මැතිවරණ ක්‍රමය. තමන් කැමතිම කෑම වර්ගය ඕඩර් කරන්න පුළුවන්. ඒක ලැබුනොත් හරි. හැබැයි නොලැබුනොත් ලැබෙන ඕනෑම දෙයක් භාර ගන්න වෙනවා.

ජනාධිපතිවරණ ක්‍රමය ලංකාවට හඳුන්වා දෙද්දී ඔය වඩාත්ම කැමති පුද්ගලයා තෝරන ක්‍රමයෙන් එහාට ගිය තේරීමක් ලංකාවේ ඡන්දදායකයාට ලැබුණා.

"මට ගේන්න මාළු කෑම එකක්! මාළු කෑම නැත්නම් චිකන් කෑම එකක් ගේන්න. ඒත් නැත්නම් එළවලු."

දැන් තිබෙන ක්‍රමය ඔය වගේ. කලින් වගේම මාළු කෑම ඕඩර් කරන්න පුළුවන්. හැබැයි හදිසියේ හරි මාළු කෑම ඉවර වෙලානම් ලැබෙන දෙයක් කන්න අවශ්‍ය නැහැ. දෙවන තේරීමට යන්න පුළුවන්. ඒකත් නැත්නම් තුන්වන තේරීමකුත් තිබෙනවා. මේක කලින් ක්‍රමයට වඩා ගොඩක් දියුණු ක්‍රමයක්. 

මේ වගේ තේරීමක් තියෙද්දී තමන්ගේ දෙවන තුන්වන කැමැත්ත ප්‍රකාශ නොකර ඉන්නවා කියන්නේ අන්තිම මෝඩ වැඩක්. මොකද මාළු කෑම තිබෙනවානම් කොහොමටත් මාළු කෑම ලැබෙනවා. දෙවන තුන්වන කැමැත්ත මොකක් වුනත් මාළු කෑම තිබෙනවානම් ඒක නැති වෙන්නේ නැහැ. 

පළමු කැමැත්ත ලබා ගැනීමේ හැකියාවක් තිබේනම් ඒක කොහොමටත් ලැබෙනවා. අවුලක් වෙන්නේ මොන හේතුවකින් හරි පළමු කැමැත්ත ඉටු වුනේ නැත්නම්. හදිසියේවත් මාළු කෑම ඉවර වෙලානම්, දෙවන තුන්වන කැමැත්ත ප්‍රකාශ කරලා නැති කෙනෙකුට ලැබෙන කෑමක් භාර ගන්න වෙනවා. ඒ නිසා, දෙවන තුන්වන කැමැත්ත ප්‍රකාශ කරන්න අවස්ථාවක් ලැබෙනවා කියන්නේ කිසිදු මුදලක් නොගෙවා රක්ෂණයක් ගන්නවා වගේ දෙයක්. 

හිටපු මැතිවරණ කොමසාරිස්වරයෙක් විසින් දෙවන තුන්වන මනාප ගණන් කරන විදිහ හරියටම පැහැදිලි කරනවා. ඒ විස්තර කරන්නේ පණතේ තිබෙන ක්‍රමය. මේ විස්තර කරන ක්‍රමය හරියටම හරි වුනත් විස්තරේ ගොඩක් අයට හරියට තේරිලා නැති බව පේනවා. ඊට හේතුව ඒ ක්‍රමය ඕනෑවට වඩා සංකීර්ණ ලෙස විස්තර කර තිබීම. ඒක විස්තර කිරීමේ වැරැද්දක් නෙමෙයි. පණතේම තියෙන විදිහ.

හැබැයි පණතේ මේ විස්තරය ඔය තරම් සංකීර්ණ වුනේ පසුව කරපු සංශෝධනයකදී. මුලින් පණතේ තිබුණු ක්‍රමය කාට වුනත් තේරුම් ගන්න ලේසියි.

දැන් ක්‍රමයට වඩා තාක්ෂණිකව වෙනස් වුනත් මුලින්ම පණතේ විස්තර කර තිබුණු ක්‍රමයෙන් වෙන්නෙත් දැන් වෙන දෙයම තමයි. ඒ නිසා, මම ඒ ක්‍රමය ගැන මුලින්ම කියන්නම්. ඒ ක්‍රමය තේරුම් ගන්න පහසුයි.

මේ ක්‍රමය හඳුන්වා දුන්නේ රටේ ඡන්දදායකයින් සියලු දෙනාගේම ඡන්දයෙන් රටේ නායකයා තෝරාගන්නා ක්‍රමයකුත් එක්කයි. ඊට කලින් ඒ වගේ දෙයක් සිදු වුනේ නැහැ. රටේ නායකයාව තෝරා ගත්තේ මහජන නියෝජිතයින්ගේ ඡන්දයෙන්. ඡන්දදායකයින්ට කළ හැකි වූයේ තමන්ගේ නියෝජිතයාව තෝරාගන්නා එක පමණයි.

ඔය අලුත් ක්‍රමය හඳුන්වා දෙද්දී මනාප තුනක් ලකුණු කිරීමේ අවස්ථාවද ඡන්දදායකයින්ට ලැබුණා. ඒ අනුව, තමන් වැඩියෙන්ම කැමති පුද්ගලයා වගේම දෙවෙනියට හා තුන්වෙනියට කැමති කවුද කියලත් සඳහන් කරන්න පුළුවන්. ලකුණු කළ යුතුව තිබුණේ 1, 2, 3 ලෙසයි. අවශ්‍යනම් 1 පමණක් හෝ 1 හා 2 පමණක් ලකුණු කරන්නත් පුළුවන්. 

අපි හිතමු ඡන්ද දායකයින් ගණන 100ක් සහ අපේක්ෂයින් ගණන 5ක් කියලා. ඔවුන්ව අපි A, B, C, D හා E ලෙස හඳුන්වමු. ඒ අයට පළමු මනාප ලැබුනේ මේ විදිහට කියලා හිතමු.

A = 52

B = 40

C = 5

D = 2

E = 1

ප්‍රතිඵලය ඔය වගේනම් දෙවන තුන් වන මනාප ගණන් කිරීමක් සිදු වෙන්නේ නැහැ. මොකද ඉදිරියෙන්ම ඉන්න අපේක්ෂකයාට කැමති ඡන්දදායකයින් ගණන අකැමැති ඡන්දදායකයින් ගණනට වඩා අනිවාර්යයෙන්ම වැඩියි. රටේ නායකයා වෙන්නේ රටේ වැඩි දෙනෙක් කැමති පුද්ගලයෙක්. 

නමුත් වැඩිම පළමු මනාප ගත් පුද්ගලයාට මුළු වලංගු ඡන්ද ප්‍රමාණයෙන් හරි අඩක් සහ තවත් එකක් නැත්නම්, එයින් අදහස් වෙන්නේ ඒ පුද්ගලයාට කැමති ප්‍රමාණයට වඩා අකැමැති ගොඩ වැඩියි කියන එකයි. උදාහරණයක් විදිහට මේ වගේ.

A = 42

B = 40

C = 15

D = 2

E = 1

පරණ ක්‍රමය අනුව, ඔය වගේ වේලාවකදී කරන්නේ දෙවන මනාප ගණන් කරන එක. දෙවන මනාප ගණන් කරන්නේ C, D හා E යන තුන් දෙනාට පළමු මනාප දී තිබෙන අයගේ. මේකේ අරමුණ වෙන්නේ ඒ අය අඩු වශයෙන් Aට හෝ Bට දෙවෙනියට හෝ කැමතිද කියා පරීක්ෂා කර බලන එක. ඒ කියන්නේ ඒ අයට මාලු කෑම දෙන්න බැරි වුනත් අඩු වශයෙන් චිකන් කෑම හරි දෙන්න පුලුවන්ද කියා බලන එක.

අපි හිතමු D හා E දෙන්නාට පළමු මනාප දුන් අය කාටවත්ම දෙවෙනි මනාප දීලා නැහැ කියලා. Cට පළමු මනාප දුන් අයගෙන් 13 දෙනෙක් දෙවන මනාප දීලා කියලා හිතමු.

A = 9

B = 2

D = 1

E = 1

දැන් කරන්නේ ඔය දෙවන මනාප A හා B දෙන්නාගේ පළමු මනාප වලට එකතු කරන එක.

A = 42 + 9 = 51

B = 40 + 3 = 43

දැන් තත්ත්වය අනුව පේන්නේ Aට අඩු වශයෙන් දෙවෙනියට හෝ කැමති ඡන්දදායකයින් ගණන අකැමැති ඡන්දදායකයින් ගණනට වඩා වැඩි බවයි. ඒ නිසා, තුන් වන මනාප ගණන් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ.

දෙවන මනාප එකතු කළාට පස්සේ පළමු වටයේ දෙවන තැන හිටපු අපේක්ෂයා ඉස්සරහට එන්නත් පුළුවන්. අපි හිතමු Cට පළමු මනාප දුන් අයගෙන් 13 දෙනෙක් දෙවන මනාප දීලා තියෙන්නේ මේ විදිහට කියලා.

A = 1

B = 11

D = 1

දැන් ප්‍රතිඵලය මේ වගේනේ. 

A = 42 + 1 = 43

B = 40 + 11 = 51

ඒ කියන්නේ පළමු වටයෙන් දෙවෙනි තැන හිටියත් දෙවෙනි මනාප එකතු කළාට පස්සේ B ජයග්‍රාහකයා වෙලා.

ඔය විදිහට දෙවෙනි මනාප එකතු කළාට පස්සේත් කාටවත් 50% සහ එක නැති වෙන්න පුළුවන්. අපි හිතමු Cට පළමු මනාප දුන් අයගෙන් 13 දෙනෙක් දෙවන මනාප දීලා තියෙන්නේ මේ විදිහට කියලා.

A = 1

B = 1

D = 6

E = 5

දැන් ප්‍රතිඵලය මේ වගේනේ. 

A = 42 + 1 = 43

B = 40 + 1 = 41

ඔය වගේ අවස්ථාවක Aට හෝ Bට පළමු හෝ දෙවන මනාප නොදුන් අයගේ තුන්වන මනාපත් ගණන් කරනවා. ඒ කියන්නේ මේ උදාහරණයේදී Cට පළමු මනාපය දී Dට හෝ Eට දෙවෙනි මනාප දුන්න 11 දෙනාගේ. අපි හිතමු ඒ තුන්වන මනාප බෙදී ගොස් තිබුනේ මේ විදිහට කියලා. 

A = 2

B = 2

D = 1

E = 1

දැන් තුන් වන මනාපත් එකතු කළාට පස්සේ ප්‍රතිඵලය මේ වගේ. 

A = 42 + 1 + 2 = 45

B = 40 + 1 + 2 = 43

තුන් වන මනාප එකතු කළාට පස්සේත් කාටවත් 50% සහ එක නැහැ. ඒ නිසා රටේ ඡන්දදායකයින් වැඩි දෙනෙක් අකැමති කෙනෙක්ව රටේ නායකයා විදිහට තෝරා ගන්න එක හැර වෙනත් විකල්පයක් නැහැ. ඒ නිසා, පළමු දෙවන හා තුන් වන මනාප සියල්ලම එකතු කළාට පස්සේ ඉදිරියෙන්ම ඉන්න පුද්ගලයාව රටේ නායකයා විදිහට තෝරා ගන්නවා. 

ඕක තමයි මූලධර්මය. නමුත් 1988 සංශෝධනයෙන් පස්සේ ඔය වැඩේ කරන විදිහ තරමක් වෙනස් වී තිබෙනවා. දැන් ක්‍රමයේදී දෙවන හා තුන්වන මනාප දෙපාරකට ගණන් කරන්නේ නැහැ. ඒ පියවර දෙකම එකවර කරලා පළමු මනාප වලට එකතු කරනවා. හැබැයි වෙන්නේ ඔය විස්තර කරපු දෙයම තමයි. 

කලින් උදාහරණයක්ම නැවත ගන්නම්.

පළමු මනාප:

A = 42

B = 40

C = 15

D = 2

E = 1

Aට හෝ Bට පළමු මනාප නොදුන් අයගේ දෙවන මනාප:

A = 1

B = 1

D = 6

E = 5

Aට හෝ Bට පළමු හෝ දෙවන මනාප නොදුන් අයගේ තුන්වන මනාප:

A = 2

B = 2

D = 1

E = 1

Aගේ සහ Bගේ දෙවන හා තුන්වන මනාප:

A =  1 + 2 = 3

B = 1 + 2 = 3

Aගේ සහ Bගේ පළමු, දෙවන හා තුන්වන මනාප:

A = 42 + 3 = 45

B = 40 + 3 = 43

පේනවනේ. දැන් ක්‍රමයේ සහ මුල් ක්‍රමයේ අවසන් ප්‍රතිඵල සමානයි. ප්‍රධානම වෙනස දෙවන හා තුන් වන මනාප එකවරම ගණන් කරලා එකතු කරන එක. එහෙම කළා කියලා ජයග්‍රාහකයා වෙනස් වෙන්නේ නැහැ.

මේ ක්‍රමයේ තිබෙන වැදගත්කම කිසිසේත්ම දිනන්නේ නැති අපේක්ෂකයෙක්ට වුනත් තමන්ගේ පළමු මනාපය දීමෙන් අවසන් ප්‍රතිඵලයට බලපෑමක් නොවීම. අපි හිතමු මම කැමතිම අපේක්ෂකයා D කියලා. නමුත් දිනන්න ඉඩ තියෙන්නේ A හෝ B. මම වැඩියෙන්ම කැමති Dට වුනත් Aටත් යම් තරමක් කැමතියි. නමුත් Bට කොහොමටවත්ම කැමති නැහැ. ඔය වගේ වෙලාවක ගොඩක් අයට තිබෙන බය තමන් වඩා කැමති Dට පළමු මනාපය දීම නිසා A පැරදිලා B දිනයිද කියන එක. 

හැබැයි ඔය වැඩේ කීයටවත් වෙන්නේ නැහැ. මොකද එක්කෝ මගේ පළමු මනාපය නැතත් A විසින් පළමු වටයේදීම 50% සහ එක අරගෙන දිනනවා. යම් විදිහකින් මම මගේ පළමු මනාපය Dට දුන් නිසා (සහ මා වැනි තවත් අය නිසා) පළමු මනාප වලින් පසුව Aගේ 50% සහ එක නැති වෙලානම්, මගේ දෙවන (සහ මා වැනි අනෙක් අයගේ) දෙවන මනාප එකතු වූ ගමන්ම 50% සහ එක හැදෙනවා. එහෙම වෙන්නේ නැත්නම් ඒ කියන්නේ මම පළමු මනාපය Aට දුන්නත් Aට 50% සහ එක හැදෙන්නේ නැහැ කියන එකයි. 

දෙවන හා තුන්වන මනාප ගණන් කරන තත්ත්වයක් ඇති වෙනවා කියන්නේ ඒ දෙවන හා තුන්වන මනාප වලටත් පළමු මනාපයක වටිනාකමම ලැබෙනවා කියන එක. වෙනත් විදිහකින් කිවුවොත් තමන්ගේ තේරීමට අවස්ථා දෙකකදීම වටිනාකම් ලැබිලා කියන එක.

සාමාන්‍ය කරුණක් ලෙස ඡන්දය නොදා සිටීමත් පුද්ගලයෙකුගේ අයිතියක්. නමුත් එයින් වෙන්නේ අනෙක් අයගේ කැමැත්ත කුමක් වුවත් එය භාර ගැනීමක්. දෙවන හා තුන්වන මනාප ප්‍රයෝජනයට නොගැනීමෙන් වෙන්නෙත් ඊට කිට්ටු දෙයක්. 

ඡන්දය නොදා සිටීම තමන්ට අවශ්‍ය චිකන් කෑමද, බිත්තර කෑමද කියා හරියට නොකියා "තියෙන ඕනෑ එකක්" කියනවා වගේ වැඩක්. පළමු මනාපය පමණක් දැමීම "චිකන් තියෙනවනම් ගේන්න. නැත්නම් තියෙන ඕනෑ එකක් කියනවා වගේ වැඩක්." තමන්ට "තියෙන ඕනෑ එකක්" ප්‍රශ්නයක් නැති කෙනෙක් ඔය තේරීම කරන එකේ කිසිම වැරැද්දක් නැහැ. නමුත් තමන්ට ප්‍රමුඛතා අනුපිළිවෙලක් තියනවානම් හොදම වැඩේ එය ප්‍රකාශ කිරීම සඳහා ලැබී තිබෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න එකයි. ඒකෙන් වාසියක් මිසක් කිසිදු අවාසියක් වෙන්නේ නැහැ. 

Saturday, September 14, 2024

කැමති හා අකැමැති අපේක්ෂකයෝ


මේ වෙද්දී ලංකාවේ ගොඩක් අය තමන් කැමතිම ජනාධිපති අපේක්ෂකයාව තෝරාගෙන අවසන්. ඒ කවුරු වුවත්, මේ ගොඩක් අයට තමන් කැමති අපේක්ෂකයා හැර අනෙක් අපේක්ෂකයින් සම්බන්ධව අප්‍රසාදයක් තිබෙන බවත් පෙනෙන්න තිබෙන දෙයක්. 

සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් කාලයක සිටම එක් එක් අපේක්ෂකයාට තිබෙන කැමැත්ත හෝ අකැමැත්ත ගැන විමසනවා. මෙයින් අදහස් වන්නේ ඡන්දය දීමේ අභිප්‍රාය නෙමෙයි. ඒ දෙක දෙකක්. හැබැයි මේ වගේ අවස්ථාවක ඔය දෙක එක කිට්ටුවෙන් යන්න සෑහෙන ඉඩකඩක් තිබෙනවා. 

ජනාධිපතිවරණයේදී කෙනෙකුට මනාප තුනක් දක්වා දෙන්න පුළුවන්. පළමු මනාපය හෝ එකම මනාපය දෙන්නේ තමන් වැඩියෙන්ම කැමති අපේක්ෂකයාටනේ. හැබැයි ඒක එහෙම නොවී අඩුවෙන්ම අකැමැති අපේක්ෂකයාට පළමු මනාපය දෙන අයත් ඉන්න පුළුවන්. ඒ වගේ කෙනෙක් සියලුම අපේක්ෂයින් තමන් අකැමැති අපේක්ෂයින් ලෙස හඳුන්වන්න පුළුවන්. නමුත් කාට හෝ ඡන්දය දෙනවා. 

ඔය විදිහටම අපේක්ෂයින් දෙදෙනෙකුට හෝ වැඩි දෙනෙකුට කැමති (හෝ අකැමැත්තක් නැති) අය ඉන්නත් පුළුවන්. නමුත් ඒ සියලු දෙනාටම මනාප දෙන බවක් එයින් අනිවාර්යයෙන් අදහස් වෙන්නේ නැහැ. ඒ නිසා, එක් එක් අපේක්ෂයාට තිබෙන කැමැත්ත හෝ අකැමැත්ත සහ ඡන්දය දීමේ අභිප්‍රාය කියන්නේ වෙන වෙනම කරුණු දෙකක්. 

මේ සමඟ පළ කරන රූප සටහනේ දැකිය හැකි "සමස්ත හිතකරත්වය" කියන එකෙන් අදහස් වෙන්නේ එක් එක් අපේක්ෂකයාට තිබෙන ප්‍රසාදයේ හා අප්‍රසාදයේ සාරාංශයක්. හතර දෙනාටම තියෙන්නේ සෘණ අගයන්. ඒ කියන්නේ මේ කවුරු ගත්තත් කැමති ප්‍රමාණයට වඩා අකැමැති ප්‍රමාණය වැඩියි කියන එක. 

අඩුම පිරිසක් අකැමැති අපේක්ෂකයා අනුර. වැඩිම දෙනෙක් අකැමැති නාමල්ට. රනිල් හා සජිත් ඔය අතර ආසන්නව එක මට්ටමේ ඉන්නවා. 

මෙම අගයන් ඇසුරෙන් අපට එක් එක් අපේක්ෂකයාට කැමති හා අකැමැති ප්‍රතිශත පිළිබඳ දළ අදහසක් ගන්න පුළුවන්.

අනුර:

කැමති ප්‍රතිශතය = 39.5%

අකැමැති ප්‍රතිශතය = 100% - 39.5% = 60.5%

වෙනස = 39.5% - 60.5% = (-21%)


සජිත්:

කැමති ප්‍රතිශතය = 34%

අකැමැති ප්‍රතිශතය = 100% - 34% = 66%

වෙනස = 34% - 66% = (-32%)


රනිල්:

කැමති ප්‍රතිශතය = 33.5%

අකැමැති ප්‍රතිශතය = 100% - 33.5% = 66.5%

වෙනස = 33.5% - 66.5% = (-33%)


නාමල්:

කැමති ප්‍රතිශතය = 5.5%

අකැමැති ප්‍රතිශතය = 100% - 5.5% = 94.5%

වෙනස = 94.5% - 5.5% = (-89%)


දැන් අපිට මේ එක් එක් එක් අපේක්ෂකයාට කැමති ප්‍රතිශත දෙස බලන්න පුළුවන්.

අනුර = 39.5%

සජිත් = 34%

රනිල් = 33.5%

නාමල් = 5.5%

එකතුව = 112.5%


එකතුව 100%ට වඩා 12.5%කින් වැඩියි. ඒ කියන්නේ 12.5%ක් එක් අයෙකුට වඩා වැඩි අපේක්ෂයින් ගණනකට කැමැත්ත පෙන්වා තිබෙනවා. පළමු වටයේ ඡන්ද සැලකුවොත් ඔය 12.5% ගොඩවල් හතරෙන් කොයි විදිහකට හෝ අඩු විය යුතුයි. ඒ 12.5% කියන්නේ කාට හෝ ලැබෙන දෙවන මනාපද?

Wednesday, September 11, 2024

සමීක්ෂණ ප්‍රතිඵල - අගෝස්තු මාසය


සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් අගෝස්තු මාසය හා අදාළ ඡන්දය ප්‍රකාශ කිරීමේ අභිප්‍රාය පිළිබඳ ඇස්තමේන්තු ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ සඳහා සැප්තැම්බර් 2 දින දක්වා දිවයින පුරා පවත්වන ලද සම්මුඛ පරීක්ෂණ 19,721ක දත්ත උපයෝගී කර ගෙන තිබෙනවා. 

මෙම ඇස්තමේන්තු හා ප්‍රවණතා අනුව පෙනී යන්නේ මෙම ජනාධිපතිවරණ තරඟය ඇතැම් අයගේ විශ්ලේෂණ වල සඳහන් ආකාරයේ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනෙකු අතර තරඟයක් වීමේ ඉඩක් කිසිසේත්ම නොපෙනෙන බවයි. එය මේ වන විට පැහැදිලි තුන් කොන් සටනක් බවට පරිවර්තනය වී අවසානයි. 

මෙම ඇස්තමේන්තු අනුව තවමත් ඉදිරියෙන් සිටින්නේ අනුර කුමාර දිසානායක වන අතර දෙවන තැන සිටින්නේ සජිත් ප්‍රේමදාසයි. කෙසේ වුවත්, තෙවන තැන සිටින රනිල් වික්‍රමසිංහ වේගයෙන් ඉදිරියට පැමිණෙමින් සිටීම කැපී පෙනෙන කරුණක්. එහි හානිය වැඩි වශයෙන් සජිත්ටත් ඉතා සුළු වශයෙන් අනුරටත් සිදුව ඇති බව දැකිය හැකියි. 

බැලූ බැල්මට මීට වඩා බොහෝ වෙනස් සේ පෙනෙන අනෙකුත් විවිධ "මත විමසුම්" වල දත්තද සංඛ්‍යානමය ගැලපුම් සිදු කිරීමෙන් පසුව මෙම ඇස්තමේන්තු හා සැසඳෙනවා. එමෙන්ම ප්‍රධාන කඳවුරු වල ප්‍රතිචාර වලින් පෙනී යන්නේ දැනට පවතින බලතුලනය පිළිබඳව එම කඳවුරු තුනටම අවබෝධයක් ඇති බවයි. 

මේ අනුව, පැහැදිලිව දැකිය හැක්කේ ජනාධිපතිවරණ සටන වඩා තියුණු තුන් කොන් සටනක් බවට පත්ව ඇති ආකාරයයි. මෙම ජනාධිපතිවරණය අපේක්ෂකයින් 39 දෙනාගේම ඡන්ද වලට වටිනාකමක් ලබා දෙන ජනාධිපතිවරණයක්. එවැනි තත්ත්වයක් මීට පෙර පැවතී නැහැ. 



Saturday, September 7, 2024

ජනාධිපතිවරණ ප්‍රතිඵලය පිළිබඳ අපේක්ෂාවන්


පහත තිබෙන්නේ 2,700 දෙනෙකුගේ ප්‍රතිචාර මත පදනම්ව නම්බර්ස් ඩොට් එල්කේ මගින් සිදු කර ඇති විශ්ලේෂණයකට අනුව, එක් එක් ප්‍රධාන අපේක්ෂකයාට සහයෝගය දක්වන අය ජනාධිපතිවරණ ප්‍රතිඵලය පුරෝකථනය කරන ආකාරයයි.

අනුරගේ ආධාරකරුවෝ:

අනුර - 50%

සජිත් - 27%

රනිල් - 15%

නාමල් - 5%


සජිත්ගේ ආධාරකරුවෝ:

සජිත් - 46%

අනුර - 24%

රනිල් - 19%

නාමල් - 8%


රනිල්ගේ ආධාරකරුවෝ:

රනිල් - 42%

සජිත් - 30%

අනුර - 21%

නාමල් - 6%


නාමල්ගේ ආධාරකරුවෝ:

නාමල් - 30%

සජිත් - 27%

රනිල් - 21%

අනුර - 18%


Friday, September 6, 2024

විවිධ ජන කාණ්ඩ වල ඡන්දය දීමේ අභිප්‍රාය


සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් මීට දින දෙකකට පෙර (සැප්තැම්බර් 4) ඔවුන්ගේ සමීක්ෂණ දත්ත පිළිබඳ විස්තරාත්මක තොරතුරු ප්‍රසිද්ධ කළා. පහත තිබෙන්නේ එක් එක් ජන කාණ්ඩය ඇතුළත මෙම ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිතා කිරීමේ අභිප්‍රායයි.

සිංහල 

අනුර - 41.4%

සජිත් - 30.8%

රනිල් - 23.0%


ශ්‍රී ලංකා දෙමළ 

අනුර - 24.7%

සජිත් - 51.0%

රනිල් - 22.4%


කඳුකර දෙමළ 

අනුර - 25.9%

සජිත් - 56.7%

රනිල් - 16.7%


මුස්ලිම් 

අනුර - 23.3%

සජිත් - 65.4%

රනිල් - 11.1%


පිරිමි 

අනුර - 42.7%

සජිත් - 37.4%

රනිල් - 16.7%


ගැහැණු 

අනුර - 32.3%

සජිත් - 37.2%

රනිල් - 26.1%


වයස 18-29 අතර 

අනුර - 54.4%

සජිත් - 34.7%

රනිල් - 8.5%


වයස 30-59 අතර 

අනුර - 36.8%

සජිත් - 38.2%

රනිල් - 22.0%


වයස 60ට වැඩි 

අනුර - 16.3%

සජිත් - 38.2%

රනිල් - 37.6%


අඩු ආදායම්ලාභීන් 

අනුර - 34.9%

සජිත් - 42.2%

රනිල් - 18.6%


මැදි ආදායම්ලාභීන් 

අනුර - 35.3%

සජිත් - 35.4%

රනිල් - 24.0%


ඉහළ ආදායම්ලාභීන් 

අනුර - 41.5%

සජිත් - 34.4%

රනිල් - 22.2%


මෙම දත්ත අගෝස්තු 19 දක්වා දත්ත. මෙම ප්‍රතිශත වෙනස් වෙමින් තිබුණු ප්‍රවණතාව රූප සටහනෙහි දැකිය හැකියි.

Thursday, September 5, 2024

අයිස් කන්ද දිය වෙනවා වගේද?


මම හිතන්නේ ජනාධිපතිවරණ ප්‍රතිඵලය හා අදාළව ලොකු බලපෑමක් කළ හැකිව තිබුණු අයිස් කන්ද දැන් දියවෙන්න පටන් අරගෙන. තුනෙන් එකක් පමණවත් දැනටම දිය වෙලා ඇති. බොහෝ විට අවසන් ප්‍රතිඵලය මේ වෙද්දීත් ලියැවිලා අවසන්ව තියෙන්න පුළුවන්. ඒක විසි දෙවෙනිදාට බලා ගන්න පුළුවන් වෙයි.

මේක පුරෝකථනයක් නෙමෙයි. අවසන් ප්‍රතිඵලය කුමක් වෙයිද කියලා මම දන්නේ නැහැ. නමුත්, ඒක කුමක් වුනත්, මාලිමාව වගේම රනිලුත් දැනටම දිනලා ඉවරයි. 

දැන් තිබෙන බලතුලනය අනුව අනුර එක්කෝ දිනයි. නැත්නම් පරදියි. හැබැයි අනුර පැරදුනොත් දිනන අපේක්ෂකයාට දිනන්න වෙන්නේ සුවිශේෂී තත්ත්වයන් දෙකක් යටතේ. ඒ දෙකෙන්, අඩු වැදගත් කරුණ උතුරු නැගෙනහිර ඡන්ද වල උදවුවෙන් දිනන්න සිදු වීම. වඩා වැදගත් කරුණ දෙවන වටයෙන් දිනන්න සිදු වීම. 

ඔය අඩු වැදගත් කරුණ වුනත්, ඉන් පසුව ජන විඥානය කෙරෙහි විශාල බලපෑමක් කරන්න ඉඩ තිබෙන එකක්. මේ වැඩේ මීට කලින් 2015දී සිදු වුනා. සිංහල බහුතර ප්‍රදේශ සියල්ලේම වගේ මහින්ද ඉදිරියෙන් සිටිද්දී ජනාධිපති වුනේ මෛත්‍රීපාල සිරිසේන. පොහොට්ටුව හැදුනේ ඔය කම්පනය එක්කයි. 2019දී සිංහල බහුතර ප්‍රදේශ වල ඡන්ද වලින් ගෝඨාභය ජයග්‍රහණය කිරීම දක්වාම විකාශනය වුනේ ඔය කම්පනයේ පසු තරංග.

දෙවැන්න සිදු වුනොත් වෙන්නේ හිතාගන්න බැරි තරමේ කම්පනයක්. නිකමට හිතන්නකෝ අනුර පළමු වටයෙන් සැලකිය යුතු ලීඩ් එකක් අරගෙන දිනුවට පස්සේ දෙවන වටයෙන් යාන්තමින් පැරදුනොත් ඇති වෙන තත්ත්වය. මේ වගේ දෙයක් පිළිබඳ පූර්වාදර්ශයක් (precedent) ලංකාවට නැහැ. ඒ වගේ තත්ත්වයකට ලංකාවේ සමාජය මොන විදිහට ප්‍රතිචාර දක්වයිද කියලා හිතා ගන්නත් අමාරුයි. 

කොහොම වුවත් අනුර හැර වෙනත් අපේක්ෂකයෙක් දිනුවොත්, ඊට පස්සේ හැදෙන්නේ ඉතාම දුර්වල ආණ්ඩුවක්. ඒක ගෙනියන්න වෙන්නේ අමාරුවෙන් අටවාගෙනයි. එහෙම ආණ්ඩුවක් කරද්දී, කිසිම සහයෝගයක් දෙන්න සූදානමක් නැති, පුළුවන් පළමු අවස්ථාවේම ආණ්ඩුව ගෙදර යවලා රාජ්‍ය බලය ලබා ගන්න බලාගෙන ඉන්න ශක්තිමත් විපක්ෂයක් එක්ක ගැටෙන්නත් වෙනවා. ඔය තත්ත්වයන් එක්ක මෙවර අනුර පැරදුනොත් වෙන්නේ ඊළඟ වාරයේ, සමහර විට ආණ්ඩුවක සම්පූර්ණ කාලය ඉවර වෙන්නත් කලින්, මාලිමාවට ආණ්ඩු බලයට කිට්ටු කරන්න ඉඩ ලැබෙන තත්ත්වයක්. කොහොමටත් මාලිමාව දැන් තුන් වන පක්ෂයක සීමාවෙන් එළියට ඇවිත් ඉවරයි. 

තුන් වන පක්ෂයක් විදිහට දශක ගණනාවක් දේශපාලනය කරපු, අවසන් ජාතික මැතිවරණ වලදී 3% සීමාවේ හිටපු පක්ෂයක් විදිහට මාලිමාව දැනටමත් දිනලා ඉවරයි කිවුවේ ඔය හේතුව නිසා. දැන් ඉන්න තැනට ආවට පස්සේ පැරදුනත් දිනන එක කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි.

රනිල්ගේ පැත්තෙන් බැලුවොත් ඒත් රනිල් දිනලා. මාලිමාව එක්ක බලද්දී රනිල් කියන්නේ තනි පුද්ගලයෙක්. රනිල් කියන පුද්ගලයාගෙන් මේ වෙලාවේ නියෝජනය වෙන්නේ ආර්ථික-දේශපාලන ප්‍රතිපත්ති පැකේජ් එකක්. රනිල් පැරදිලා ගෙදර ගියාට පස්සෙත් ඒ ආර්ථික-දේශපාලන ප්‍රතිපත්ති පැකේජ් එක දිගටම ක්‍රියාත්මක වෙනවානම් ජනාධිපතිවරණ ප්‍රතිඵලය කුමක් වුවත් ඒක රනිල්ගේ ජයග්‍රහණයක්. 

මම අපේ පවුලේ වැඩිමලා. පොඩි කාලේ ඉඳලම මට විභාග වලට එහෙම ටිකක් හොඳට ලකුණු තිබුණා. මගේ පවුලේ බාල සහෝදර සහෝදරියෝ පසුව කියපු දෙයක් තමයි ඒක ඔවුන්ට විශාල පීඩනයක් වුනා කියන එක. මං හිතන්නේ මම කියන දේ තේරෙනවා ඇති. පවුලේ වැඩිමලා විශ්ව විද්‍යාලයකට තේරුණාම බාල අයට ඒකේ පීඩනය එනවා. මොකද තමන් යා යුතු අවම සීමාව කලින්ම වෙන කෙනෙක් ලකුණු කරලා. 

දැන් රනිල් කරලා තියෙන්නෙත් ඔය වැඩේ. අලුත් ආණ්ඩුවකට කාර්ය සාධනය පෙන්වන්න සිදු වන අවම සීමාව රනිල් දැනටමත් ලකුණු කරලා ඉවරයි. ඒක අභියෝගාත්මක සීමාවක්. අලුත් ආණ්ඩුවක කාර්ය සාධනය ඒ සීමාවෙන් පහළට වැටුනොත් විවේචනය කරන්න බලාගෙන සෑහෙන පිරිසක් ඉන්නවා. ඒ නිසා, කාට වුනත් වැඩිය සෙල්ලම් දාන්න පුළුවන් ඉඩක් ඉතිරි වෙලා නැහැ. අවසන් ජාතික මැතිවරණ වලදී 2% සීමාවේ හිටපු රනිල් අවුරුදු දෙකකින් ඔය තරම් හරියක් කරලා ගෙදර ගියොත් එය ඔහුගේ පරාජයක් වෙන්නේ නැහැ. 

ඡන්ද ශ්‍රේණිගත කිරීම් කොහොම වුනත් අනුරගේ (මාලිමාවේ) සැබෑ ප්‍රතිවාදියා රනිල්. මේ කතාව මේ විදිහටම වගේ @Anuruddha Pradeep Karnasuriya විසින් ලියලා තිබුණා. ඔහු ලියා තිබෙන හැම දෙයකටම එකඟ වෙන්නේ නැතත්, ඔහුගේ මූලික තර්කය නිවැරදියි. ඔහු පෙන්වා දෙන විදිහට (මම හිතන්නේ මීට සමාන දෙයක් මමත් කලින් කියලා ඇති), මාලිමාව 3% සිට පටන් ගනිද්දී රනිල්ට පටන් ගන්න වෙන්නේ 2% ඉඳලා. ගොඩක් අය ඒක අමතක කරනවා වෙන්න පුළුවන්. හැබැයි මමනම් මේ කරුණ නොසලකා හැරලා නැහැ.

දැන් මෙහි තර්කය වන්නේ අනුරට වගේම රනිල්ටත් තරඟ කරන්න වෙන්නේ එකම ඡන්ද ටික වෙනුවෙන් කියන එක. ඒ කියන්නේ පොහොට්ටුවේ ඡන්ද ටික වෙනුවෙන්.

මම නිරීක්ෂණය කරපු විදිහට මුල ඉඳලම මාලිමා කණ්ඩායමේ විග්‍රහය වුනේත් මේක. එය @Anuruddha Pradeep Karnasuriyaගේ විග්‍රහය එක්ක සමපාත වීම අහම්බයක්ද නැද්ද කියන්න මම දන්නේ නැහැ. මාලිමාව දිගටම හිටියේ මේ තරඟය අවසානයට කිට්ටු වෙද්දී ප්‍රධාන තරඟකරුවන් දෙන්නෙක් අතර තරඟයක් බවට පත් වෙනවා කියන ස්ථාවරයේ. ඒ තර්කය අනුවම රනිල් 7%කට වඩා ගන්නේ නැහැ කියලා @Anuruddha Pradeep Karnasuriya කැට තියලා කියනවා. 

ඔය වගේ පුරෝකථන එක්ක එකඟ වෙන්න හෝ නොවෙන්න තරම් මට කිසිම අපේක්ෂයෙක් එක්ක ආත්මීය බැඳීමක් නැහැ. රනිල් 7%කට වඩා ගන්නේ නැහැ කියලා කෙනෙකුට කියන්න පුළුවන්. රනිල් දිනන බව තවත් කෙනෙකුට කියන්න පුළුවන්. කරුණු හා දත්ත මත පදනම්ව හෝ සංඛ්‍යානය මත පදනම්ව ඔය දෙකෙන් එකක් ගැනවත් නිශ්චිත ලෙස කියන්න බැහැ. 

රනිල්ගේ පැත්තෙන් කොහොම වුනත් මාලිමාවේ පැත්තෙන් බැලුවහම මේ තර්කය හරියටම හරි. රනිල්ව පැත්තකින් තිබ්බොත්, මාලිමාව පටන් ගත්තේ 3% මට්ටමේ ඉඳලා. ඉලක්කය 50%ක්. එතකොට 47%ක අඩුවක් තිබෙනවා. ඒක නිකම් රුපියල් පනස් දාහක් අතේ තියාගෙන කාර් එකක් ගන්න විදිහ ගැන හිතනවා වගේ වැඩක්. හැබැයි මාලිමාවට මේ ඉලක්කය හඹා යාම සඳහා අවශ්‍ය වූ වාස්තවික තත්ත්වයන් නිර්මාණය වෙලයි තිබුණේ. එහෙම චාන්ස් හැමදාම ලැබෙන්නේ නැහැ. 

මාලිමාව මුල ඉඳලම ඉව ඇල්ලුවේ ගෝඨාභයගේ 52%ට. මේ ප්‍රවේශයේදී සජිත්ගේ 42% සජිත්ටම දීලා ඒ ගැන බලාපොරොත්තු අත ඇරලයි මාලිමාව හිටියේ. සජිත්ගේ ඡන්ද ප්‍රමාණය ගැන දැනටත් @Anuruddha Pradeep Karnasuriya කියන්නේ  "ඒ ඡන්ද ප්‍රමාණය ලොකු වෙනසක් නැතිව අද වෙනතුරු තියෙනවා වගේ." කියලයි.

ඔය දෙවන මතයට මම එකඟ නැහැ. කොහොම වුනත්, @Anuruddha Pradeep Karnasuriyaගේ පළමු මතය වගේම, මාලිමාවේ පැත්තෙන් ඔවුන්ගේ ප්‍රවේශයත් සාර්ථක එකක්. මොකද සජිත්ගේ ඡන්ද ගලවන එක මාලිමාවට ලේසි වැඩක් නෙමෙයි. නමුත් අයිතිකාරයෙක් නැති පොහොට්ටු ඡන්ද එකතු කරන එක ඒ තරම් අමාරු නැති වැඩක්. මේ වෙද්දී මාලිමාව ඒ වැඩේ සෑහෙන තරම් සාර්ථක ලෙස කරලා තියෙනවා.

ඒ වගේම මෙහි මූලධාර්මික කරුණකුත් තිබෙනවා. සාමාන්‍යයෙන් වාමාංශික පක්ෂ වලට කවුරු හෝ සතුරෙක්ව අවශ්‍යයි. ඔවුන් තමන්ගේ කඳවුර ගොඩ නගා ගන්නේම මේ සතුරු කඳවුරට ප්‍රතිපක්ෂව ස්ථානගත කරමිනුයි. සමහර වෙලාවට සතුරාව අර්ථ දක්වද්දී ජාතිකවාදී හෝ ජාතිවාදී මුහුණුවරක් එන්නත් පුළුවන්. ඔවුන්ට ලෝකය දකින්න පුළුවන් ඔය රාමුව ඇතුළේම තමයි. ජවිපෙ ඉතිහාසය දිහා බැලුවත් මේක පැහැදිලිව පේනවා. (වාමාංශික නොවන පක්ෂයක වුනත් මේ ලක්ෂණය තියෙන්න පුළුවන්.).

ජවිපෙ ඉතිහාසය බැලුවොත්, ලංකාවේ ප්‍රධාන පක්ෂ දෙකම ඔවුන් විසින් හඳුනාගෙන තිබුණේ සතුරු කඳවුරු විදිහටයි. වරින් වර තාප්පය පාත් කරපු වෙලාවල් තිබුණත් පටු ඉඩක ගහගත්ත තාප්පයක් තිබුණා. තාප්පය ඇතුළේ තිබුණු ඉඩ ප්‍රමාණයේ හැටියට තමයි ජවිපෙ 3%ට සීමා වුනේ. 

ජවිපෙ මාලිමාව වෙද්දී කළේ ඔය තාප්පය ඉස්සරහට ගෙනියන එක. ඒ එක්ක, කලින් ඇතුළට රිංගන්න බැරි විශාල පිරිසකට ඉඩ හැදුනා. පොහොට්ටු කණ්ඩායමේ උඩම තට්ටුවේ ටික දෙනෙක්ට ඇරෙන්න වෙන ඕනෑම කෙනෙකුට ඉතාම සුළු මහන්සියකින් මාලිමාවේ වේදිකාවක වාඩිවෙන්න පුළුවන් තත්ත්වයකට තමයි දැන් ඔවුන් පක්ෂය වෙනස් කරලා තියෙන්නේ. 

ප්‍රධාන පක්ෂ වලට ඔය වගේ පටු සීමා මායිම් තිබුණේ නැහැ. කලින් ජවිපෙ ක්‍රියාකාරීන් ප්‍රධාන පක්ෂ වලට යන එක දිගින් දිගටම සිදු වුනු දෙයක්. 

මාලිමාව ඔය වෙනස්කම කර ගත්තත් ජවිපෙ උරුමය නිසා මාලිමාවට ස්ථානගත වෙන්න පුළුවන් සතුරු කඳවුරකට ප්‍රතිපක්ෂවම තමයි. මේ වෙලාවේ තෝරාගත්ත සතුරු කඳවුර සජිත්ගේ කඳවුර. පොහොට්ටු කඳවුර පෝෂක කඳවුර. වෙනත් සන්දර්භයකදී වුනත්, 88/89දී පැවතුනෙත් ඔය වගේම තත්ත්වයක්. එජාපය සතුරු කඳවුර. ඒ වෙද්දී දුර්වල වෙලා හිටපු ශ්‍රීලනිපය පෝෂක කඳවුර. 

දැන් මාලිමාවට මේ තමන්ගේ පෝෂක කඳවුරෙන් පොහොට්ටු ඡන්ද එකතු කරද්දී තරඟ කරන්න වෙන්නේ රනිල් එක්කයි. ප්‍රධාන ප්‍රතිවාදියා විදිහට සජිත්ගේ කඳවුර පැත්තක තියෙද්දී මාලිමාව දිගින් දිගටම සජිත්ට ගහනවා වෙනුවට රනිල්ට ගහන ප්‍රවේශයක හිටියේ ඒ නිසායි. පෙසපෙ මාලිමාවට ගහන්නෙත් ඔය හේතුව නිසා. මොකද පෙසපෙට සාපේක්ෂව පෝෂක කඳවුර මාලිමා කඳවුර. ඉතිං ඒ නිසා @Anuruddha Pradeep Karnasuriyaගේ පළමු තර්කය හරියටම හරි.

හැබැයි මාලිමාවට තරඟය තියෙන්නේ රනිල් එක්ක කියන එකෙන් එහි විලෝමය ඒ විදිහටම අදහස් වෙන්නේ නැහැ. මොකද රනිල්ගේ පැත්තෙන් තියෙන්නේ වෙනත් තත්ත්වයක්.

රනිල් මුල සිටම සිටියේ සතුරු මිතුරු සේ කඳවුරු බෙදන ප්‍රවේශයකට වඩා සියලු කඳවුරු එක් සේසත් කරන ප්‍රවේශයක. ඒ ප්‍රවේශය සාර්ථක වීම හෝ නොවීම වෙනම කරුණක්. මාලිමාව 3% ඉඳලා පටන් ගනිද්දී රනිල්ට පටන් ගන්න වුනේ 2% ඉඳලා කියන එක ඇත්ත. නමුත් රනිල්ට පෝෂක කඳවුරු දෙකක් තිබුණා. ඔය දෙක එකතු කළොත් එතැන 94%ක්. ඒ වගේම, රනිල්ට යම් තරමකින් හෝ දෙවන මනාපයේ වාසියත් තිබුණා. ඒ නිසා, අනුරට වගේ 50% ඉලක්ක කරන්න අවශ්‍ය වුනේ නැහැ. 

නමුත්, දෙවන මනාපයේ වාසිය ගන්න පුළුවන් වෙන්නේ පළමු වටයේ මුල් අපේක්ෂයින් දෙන්නා අතරට පැමිණියොත් පමණයි. රනිල් තරඟයට එනකොට අනෙක් අපේක්ෂකයෝ දෙන්නාම සෑහෙන දුරක් දුවලා ඉවරයි. ඒ නිසා, අඩු වශයෙන් දෙවන තැනට එන්නනම්, ඉන්න දෙවෙනියාව පහු කරන්න වෙනවා.

අනුර ගොඩක් ඉස්සරහට ගිහින් තිබුණත් පොහොට්ටු ඡන්ද සියල්ලම අනුර විසින් එකතු කරගෙන තිබුණේ නැහැ. ප්‍රමාණය හරියට දැන සිටියේ නැතත් තවත් පොහොට්ටු ඡන්ද ඉතිරිව තිබෙනවා කියන එක පෙනෙන්න තිබුණු දෙයක්. ඒ වගේම, සජිත් පටන් ගත්තේ 42% ඉඳලා නෙමෙයි. ඒක වැරදි උපකල්පනයක්. 2019දී සජිත් 42%ක් ගත්තත්, 2020දී ඒ ප්‍රමාණය 24%ට බැහැලයි තිබුණේ. රනිල් තරඟයට එනකොටත් සජිත් ඒ මට්ටමෙන් ගොඩක් උඩට ගිහින් තිබුණේ නැහැ. 

ඇත්තටම කියනවානම් සජිත් හිටියේ 24% මට්ටමටත් පහළින් වෙන්නත් පුළුවන්. මොකද අරගලය එක්ක ආපු විරෝධය රාජපක්ෂලාට තරම්ම නැති වුනත් බලයේ හිටපු පක්ෂ දෙකටම ආවා. ඒ නිසා, සජිත් පටන් ගත්තේ 24%ටත් පහළ තැනකින්. සජිත් කොයි වෙලාවකවත් 42% මට්ටමට ආවේ නැහැ. 

එජාපය දෙකඩ වෙද්දී සම්ප්‍රදායික එජාප පාක්ෂිකයාට තිබුණු ප්‍රධාන ප්‍රශ්නය රනිල්ට දිනන්න බැහැ කියන එක. වැඩි පිරිසක් රනිල් එක්ක එකතු නොවී සජිත් එක්ක එකතු වුනේ ඒ නිසා. ඒ ඇරෙන්න සම්ප්‍රදායික එජාප පාක්ෂිකයාට රනිල් සහ සජිත් අතර ලොකු වෙනසක් නැහැ. 

රනිල් ඇත්තටම දැන් වුනත් නියෝජනය කරන්නේ එජාපය මිසක් පොහොට්ටුව නෙමෙයි. රනිල්ගේ භාෂාව එජාප භාෂාව. ඒ භාෂාව පොහොට්ටු ඡන්දදායකයාට ආගන්තුක භාෂාවක්. ඒ නිසා රනිල්ගේ ප්‍රචාරණය නිසා පහසුවෙන්ම එකතු වෙන්නේ සජිත්ට නොගිය එජාප ඡන්ද. ඇත්තටම සජිත්ට ගිය එජාප ඡන්ද වුනත් රනිල්ට එකතු වෙන්න පුළුවන්. 

ඒ වගේම, දැන් තිබෙන තත්ත්වය අනුව රනිල්ට වඩා වැදගත් දෙවන තැනට එන එක. ඒ සඳහා රනිල්ට තරඟය තියෙන්නේ සජිත් එක්ක. 

මේ මැතිවරණ වටයේදී මුල සිටම මාලිමාවේ ප්‍රධාන උපාය මාර්ගයක් වුනේ මාලිමාවට දිනන්න පුළුවන් කියන මතය ජනගත කිරීම. ඉන් පසුව එය මාලිමාව දිනනවා කියන එක දක්වාත්, දැන් දැන් මාලිමාවට කෝටියක් වගේ ටැග් ලයින් දක්වාත් වෙනස් කර තිබෙනවා. මේ ප්‍රචාරණ ව්‍යාපෘතිය ඇත්තටම සාර්ථකයි. මාලිමාවේ ඡන්ද ගැන ඔවුන්ට සතුටු විය නොහැකි තක්සේරුවක් දකින විට බොහෝ මාලිමා ආධාරකරුවන්ට මළ පනින්නේ මේ ප්‍රොපගැන්ඩා කැම්පේන් එක ඔවුන්ට ඉතාම වාසිදායක නිසා. 

මුලින් මාලිමාව හිටියේ කවුරුවත් නැති පිට්ටනියක. සජිත් තරඟයට ආවට පස්සේ ඒ තත්ත්වය වෙනස් වෙලා මාලිමාව කොහොමටත් දිනනවා කියන එක අභියෝගයට ලක් වුනා. ඒ එක්ක මාලිමා රැල්ලත් පසු බැස්සා. නමුත් රනිල් තරඟයට ආවාට පස්සේ නැවතත් මාලිමාවට පහසුවෙන් දිනන්න පුළුවන් කියලා බොහෝ දෙනෙකුට ඒත්තු ගිහින් තියෙනවා. ඒ එක්ක ඉතිරි වී තිබුණු පොහොට්ටු ඡන්ද වලින් තවත් කොටසක් මාලිමාව පැත්තට ගිහින් හා යමින් තියෙනවා. 

රනිල් ඉදිරියට යද්දී වෙන්නේ දිනන අපේක්ෂකයා ලෙස කලින් හඳුනාගෙන සිටි සජිත්ට දිනන්න බැහැ කියන එක වැඩි වැඩියෙන් පේන එක. එහෙම වෙද්දී පාවෙන පොහොට්ටු ඡන්ද වැඩි වැඩියෙන් අනුරට ආකර්ෂණය වෙනවා. රනිල් ඉදිරියට එන එක මාලිමාවට වාසියක් වෙන්නේ ඔය විදිහටයි. ඕක වෙනස් වෙන්නේ රනිල් දෙවැනි තැනට පැමිණ ඇති බව පැහැදිලිව පෙනුනොත් පමණයි. තවමනම් එවැනි තත්ත්වයක් පේන්න නැහැ. පොහොට්ටු ඡන්ද වැඩි වැඩියෙන් මාලිමාව පැත්තට යද්දී රනිල්ගේ පෝෂක කඳවුර එන්න එන්නම කුඩා වීමකුත් වෙනවා.

රනිල්ගේ ප්‍රවේශය එකතු කිරීමේ ප්‍රවේශයක් වුනත් ප්‍රචාරණ ව්‍යාපෘතිය ඇතුළේ දැකිය හැක්කේ මාලිමාව සතුරෙක් ලෙස පෙන්වන ප්‍රවේශයක්. ඇත්තටම මේක තමයි මාලිමාවට අවශ්‍යම ප්‍රවේශය. ජවිපෙ අතින් "සිදු නොවිය යුතු දේ සිදු වී තිබෙනවා" කියලා අනුරම කියලා තියෙනවනේ. මේවා නැවත නැවත මතක් කළා කියලා අනුරට අවාසියක් වෙන්නේ නැහැ. ඇත්තටම වෙන්නේ වාසියක්. ඒ දවස් වලම වුනත්, වැඩි වැඩියෙන් බය දැනෙද්දී වුනේ මිනිස්සු ඒ පැත්තටම හේත්තු වෙන එක. උතුරේ තිබුනෙත් ඔය වගේම තත්ත්වයක්නේ. ගොඩක් අය බලන්නේ කෝකටත් හොඳයිනේ කියලා "වෙනසේ කොටස්කරුවෙක්" වෙන්න. අර අරගලයට කලාකරුවෝ එක දාගන්න ගියා වගේ. 

මම හිතන්නේ රනිල් සහ පොහොට්ටුවේ උඩ තට්ටුව ඉතිරි වී තිබෙන පොහොට්ටු ඡන්ද පිළිබඳව ඉඳලා තියෙන්නේ ලොකු අධි තක්සේරුවක විය හැකි බවයි. පේන්න තියෙන්නේ පොහොට්ටුව දිය වෙලාම ගිහින් වගේ තත්ත්වයක්. ඒ "හිටපු පොහොට්ටු" මාලිමාවට දැනටමත් ගොස් නැත්නම් අතර මං වූ ගන්ධබ්බ ඡන්ද මිසක් පොහොට්ටු ඡන්ද නෙමෙයි. මේ මැතිවරණයේදී ඒවා භාවිතා නොවෙන්න පුළුවන්. 

ගොඩක් අය ගණන් හදන්නේ මුළු ඡන්ද වලින් 83%ක් පමණ වැටෙයි කියලා උපකල්පනය කරගෙන. සාමාන්‍යයෙන් ජනාධිපතිවරණයකදී ඡන්ද භාවිතය ඔය වගේ ඉහළ මට්ටමක තිබෙනවා. නමුත් මෙවර එසේ නොවෙන්න පුළුවන්. භාවිතා වෙන ඡන්ද ප්‍රමාණය ප්‍රතිඵලය කෙරෙහි විශාල බලපෑමක් කරන්න ඉඩ තිබෙනවා. ඡන්ද භාවිතය 75%ක් වුනොත්, 38%ක් එයින් බාගයකට වඩා වැඩියි. 

Wednesday, September 4, 2024

කළුතර, රත්නපුර හා කෑගල්ල


පෙර සටහන් වල දකුණු පළාතේ හා බදුල්ල දිස්ත්‍රික්කයේ තත්ත්වයන් විග්‍රහ කළා. ඊයේ මාතර දිස්ත්‍රික්කයේ තනි නියැදියට තවත් නියැදියක් (දික්වැල්ල) එකතු වී තිබෙනවා. ඒ අනුව. මාතර සඳහා වඩා නිවැරදි ඇස්තමේන්තුවක් සකස් කරගන්න පුළුවන්. නියැදි දෙකක් වුනත් ප්‍රමාණවත් නැහැ. නමුත්, නියැදි  එකකට වඩා නියැදි දෙකක එකතුවක් නිවැරදියි.

මාතර දිස්ත්‍රික්කය (N = 360)

අනුර = 38.7%

සජිත් = 18.1%

රනිල් = 5.8%

නාමල් = 0.3%

බත්තරමුල්ලේ සීලරතන හිමි = 0.3%

තීරණය කර නැති = 37.0%

මාතර දිස්ත්‍රික්කයේ 2019 ඡන්ද ප්‍රතිඵල අනුව මාලිමාව විසින් පොහොට්ටු ඡන්ද වලින් 62.0%ක් ආකර්ශනය කරගෙන තිබෙනවා. 

සජිත්ගේ 18.1% ඔහුගේ 2019 ප්‍රතිශතය වූ 22.6%ට ආසන්න වුවත් අඩුයි. සජිත්ගේ හා රනිල්ගේ ප්‍රතිශත එකතු කළ විට එම ප්‍රතිශතයට වඩා මදක් වැඩියි. නමුත්, සජබ හා එජාප නියැදි කුඩා නිසා ඒ අනුසාරයෙන් බරපතල නිගමන වලට පැමිණිය නොහැකියි. දික්වැල්ල ප්‍රතිඵලය අප වෙත යොමු කළ පාඨක හිතවතාට අනුව දික්වැල්ලේ සමීක්ෂණය සිදු කර ඇති ප්‍රදේශය එජාපයට වඩා බර ප්‍රදේශයක්. (මෙම ඇස්තමේන්තු සකස් කිරීම අපට පහසු වී තිබෙන්නේ පාඨක හිතවතුන් කිහිප දෙනෙකු විසින් මෙවැනි මත විමසුම් ගැන සොයා බලමින් ඒවා අප වෙත යොමු කරන බැවිනුයි. ඔවුන්ට ස්තුතියි!)

වඩා වැදගත් ප්‍රශ්නය වන්නේ පොහොට්ටු ඡන්ද මේ වන විට මාලිමාව වෙත ආකර්ෂණය වී ඇත්තේ කෙසේද යන්නයි. දැනට දකුණු පළාතේ තත්ත්වය මෙසේයි.

හම්බන්තොට - 67.1%

මාතර - 62.0%

ගාල්ල - 67.1%

හම්බන්තොට ප්‍රතිඵලය වඩා නිවැරදියි. මාතර ප්‍රතිඵලයේ නිරවද්‍යතාවය අඩුයි. ගාල්ල ප්‍රතිඵලයේ නිරවද්‍යතාවය ඊටත් වඩා අඩුයි. මාතරෙන් හා ගාල්ලෙන් තවත් නියැදි ලැබුනොත් මෙම ප්‍රතිඵල කෙලෙස වෙනස් වෙයිද?

හම්බන්තොට හා ගාල්ල අනුව මාතර ප්‍රතිශතයද 67.1% විය යුතුද?

එසේ නැත්නම්, වඩා රතු හම්බන්තොට සිට තරමක් අඩුවෙන් රතු මාතරට එද්දී සිදු වන අඩු වීම අනුව ගාල්ලේ ප්‍රතිශතය මාතර ප්‍රතිශතයට වඩා අඩු විය යුතුද?

මේ දෙකෙන් ඕනෑම එකක් වෙන්න පුළුවන්. පිළිතුරු දීම සඳහා දත්ත ප්‍රමාණවත් නැහැ. 

දැන් අපි දකුණු පළාතේ සිට යාබද සපරගමු පළාත වෙත යමු.

රත්නපුර දිස්ත්‍රික්කය 

පසුගිය සතියේදී රත්නපුර දිස්ත්‍රික්කය තුළ සමීක්ෂණ හතරක් සිදු කර තිබෙනවා. ඒ රත්නපුර, ඇඹිලිපිටිය, ගොඩකවෙල හා පැල්මඩුල්ල ප්‍රදේශ වලදී. රත්නපුර සමීක්ෂණ හතරේ (N = 804) සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය පහත තිබෙනවා. 

අනුර = 28.0%

සජිත් = 26.4%

රනිල් = 9.2%

නාමල් = 2.5%

දිලිත් ජයවීර  = 3.7%

තීරණය කර නැති = 35.8%

රත්නපුර දිස්ත්‍රික්කයේ 2020 ඡන්ද ප්‍රතිඵල අනුව මාලිමාව විසින් පොහොට්ටු ඡන්ද වලින් 51.0%ක් ආකර්ශනය කරගෙන තිබෙනවා. එමෙන්ම, 2019 සජිත්ගේ ඡන්ද ප්‍රතිශතය වූ 30.6% මට්ටමට සජිත් පැමිණ නැති බවත්, ඉතිරි එජාප ඡන්ද ප්‍රතිශතයට වඩා වැඩි කොටසක් රනිල් සතුව ඇති බවත් පෙනෙන්නට තිබෙනවා. ඒ අනුව පෙනී යන්නේ රනිල් විසින් රත්නපුර දිස්ත්‍රික්කයේ පොහොට්ටු ඡන්ද වලින් යම් කොටසක් ආකර්ශනය කරගෙන ඇති බවයි. 

කෑගල්ල දිස්ත්‍රික්කය 

දෙමසකට පෙර දෙහිඕවිට හා යටියන්තොට ප්‍රදේශ වලදී සමීක්ෂණ දෙකක් සිදු කර තිබුණා. පහත තිබෙන්නේ සංයුක්ත ප්‍රතිඵලයයි (N = 276). 

අනුර = 14.5%

සජිත් = 26.1%

රනිල් = 18.8%

නාමල් = 1.8%

තීරණය කර නැති = 38.8%

මෙහි දැකිය හැක්කේ පොහොට්ටු ඡන්ද වලින් 25.3%ක් පමණයි. කෙසේ වුවත්, නියැදි දෙකක් මත පමණක්ම පාදක වූ මෙම ඇස්තමේන්තු ඒ තරම්ම විශ්වාසනීය නැහැ. 

කළුතර දිස්ත්‍රික්කය 

කළුතර දිස්ත්‍රික්කය පිහිටා තිබෙන්නේ දකුණු හා සපරගමු පළාත වලට යාබදවයි. මසකට පමණ පෙර කළුතර දිස්ත්‍රික්කය තුළ සමීක්ෂණ දෙකක් සිදු කර තිබෙනවා. ඒ කළුතරදී හා හොරණදී. පහත තිබෙන්නේ සංයුක්ත ප්‍රතිඵලයයි (N = 276). 

අනුර = 25.8%

සජිත් = 28.4%

රනිල් = 9.6%

ධම්මික පෙරේරා  = 4.8%

තීරණය කර නැති = 31.5%

එතරම් විශ්වාසනීය නොමැති මෙම ප්‍රතිඵලය තුළින් පිළිබිඹු වන්නේ මාලිමාව විසින් පොහොට්ටු ඡන්ද වලින් 48.5%ක් ආකර්ශනය කරගෙන ඇති බවයි. 

දත්ත එතරම් විශ්වාසනීය නොමැති වුවත්, කෑගල්ල දිස්ත්‍රික්කය "කොළ" දිස්ත්‍රික්කයක් බව පැහැදිලියි. එහෙත් රත්නපුර හා කළුතර දිස්ත්‍රික්ක පැහැදිලි ලෙස රතු හෝ කොළ ලෙස වර්ග කිරීම අසීරුයි. මෙම දිස්ත්‍රික්ක වලින්  මාලිමාව විසින් ආකර්ශනය කර ගෙන ඇති බව පෙනෙන පොහොට්ටු ඡන්ද ප්‍රමාණය ආසන්න වශයෙන් 50%කට සමානයි. ඒ නිසා, දැනට අප‍ට මෙම දිස්ත්‍රික්ක සලකුණු කළ හැක්කේ අතරමැදි වර්ණයකින්. ඒ සඳහා අපි කහ පැහැය යොදා ගනිමු. 

එමෙන්ම, ගාල්ල දිස්ත්‍රික්කයට යාබදව ඇති රත්නපුර, කළුතර හා මාතර දිස්ත්‍රික්ක වල රටාව අනුව අප‍ට නිගමනය කළ හැක්කේ ගාල්ල දිස්ත්‍රික්කය තුළ මාලිමාව විසින් පොහොට්ටු ඡන්ද වලින් 55%-60% අතර ප්‍රමාණයක් ආකර්ශනය කරගෙන තිබිය යුතු බවයි. 

Tuesday, September 3, 2024

ගාල්ල හා මාතර


පසුගිය දවස් වල විවිධ අය විවිධ දේවල් ගැන ලියන මෙන් ඉල්ලීම් කර තිබුණා. සමහර විට ප්‍රසිද්ධියේ. සමහර විට පෞද්ගලිකව. සාමාන්‍යයෙන් මම එවැනි ඉල්ලීම් වලට ප්‍රතිචාර දක්වනවා. නමුත් මේ වෙලාවේ ලිවිය යුත්තේ මොන වගේ දේවල්ද කියන එක ගැන දෙවරක් හිතන්න වෙනවා.

ජනාධිපතිවරණයට තවත් තියෙන්නේ දවස් 18ක් පමණයි. මේ වෙද්දී ලංකාවේ සමාජය හොඳටම ධ්‍රැවීකරණය වෙලා. කලාතුරකින් කෙනෙක්ගේ ඇරුණු විට අපේ පාඨකයින් බොහෝ දෙනෙක්ගේත් ඔලුවේ තියෙන්නේ ජනාධිපතිවරණය. මේ වගේ වෙලාවක ආර්ථිකය හා සම්බන්ධ බරසාර දේවල් කතා කරලා වැඩක් නැහැ.

සමහර අය සමහර දේවල් ගැන ලියන්න කියන්නේ අභියෝග විදිහට.

"පුලුවන්නම් මේක ගැනත් ලියන්න!"

ඔය එකම වචන ටික සමහර වෙලාවට ඇත්තටම කාරුණික ඉල්ලීමක්. තවත් වෙලාවට අභියෝග කිරීමක්. තවත් සමහරක් වෙලාවට "මාර්ගෝපදේශනයක්". ඉල්ලීම ඔය කොයි කැටගරියේ වුනත්, ලියන එකෙන් කාට හෝ වැඩක් වෙයි කියා හිතෙනවානම් මම ලියනවා. 

හැබැයි ගොඩක් වෙලාවට අභියෝග විදිහට එන ඉල්ලීම් වලට ප්‍රතිචාර දක්වන්න මම මහන්සි වෙන්නේ නැහැ. මොනවා හෝ වලින් පුරවා ගත්ත භාජන වලට අලුතෙන් දේවල් පුරවන්න බැහැ. ඒවා අපතේ යනවා පමණයි. 

ඒ වගේම, වෙනත් අයට "පහර දීමට" අවි සපයා ගැනීම සඳහා කරන මාර්ගෝපදේශන මාදිලියේ ඉල්ලීම් වලට ඒ බව දැන දැනම සමහර වෙලාවට ප්‍රතිචාර දක්වන්නේ ඒ මහින් කවර හෝ ආකාරයක දැනුවත් කිරීමක් සිදු කළ හැකි නිසා. මේ වගේ අවස්ථාවක ඒ වැඩේ වෙන්නේ නැහැ. 

විශේෂයෙන්ම ජනාධිපතිවරණ අපේක්ෂයින්ගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන ගැන හෝ ඡන්ද පොරොන්දු ගැන මේ වෙලාවේ කතා කරන එක කිසිම තේරුමක් නැති දෙයක්. ඒ වගේ දෙයක් ඕනෑම කෙනෙක් කියවා ගන්නේ තමන්ගේ දේශපාලන පක්ෂපාතිත්වය එක්ක ගලපා ගනිමිනුයි. 

ඔය දේවල් ගැන කතා කළා කියලා මැතිවරණ ප්‍රතිඵලයට බලපෑමක් වෙන්නෙත් නැහැ. දැන් මැතිවරණ ප්‍රතිඵලය බොහෝ දුරට තීරණය වෙලා ඉවරයි. තවමත් ප්‍රතිඵලයට බලපෑමක් කළ හැකි ලොකු අයිස් කන්දක් පැත්තක තියෙනවා තමයි. ඒ අයිස් කන්ද ගැන කෙටි අර්ථදැක්වීමක් කළොත් "ෆේස්බුක් එන්නේ නැති ඡන්දදායකයෝ" කියලයි කියන්න වෙන්නේ. ඒ නිසා, ෆේස්බුක් සටන් වලින් තව දුරටත් මහ පොළොවේ ලොකු වෙනසක් වෙන්නේ නැහැ. 

ගොඩක් අයට අවශ්‍ය මාලිමා ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබෙන කරුණු ගැන දැනගන්න. මම එහි පිටකවරය දැක්කා. ඒ හැර එය කියවා බැලුවේ නැහැ. මේ වගේ වෙලාවක එය කියෙවුවා හෝ ඒ ගැන ලිවුවා කියලා ඇති වැඩකුත් නැහැ. 

මීට කලින් මාලිමා ආර්ථික ප්‍රතිපත්ති ගැන සටහනක් ලියා තිබෙනවා. එය ලිවුවේ අලුත් ප්‍රතිපත්ති හදන්න කලින්. අවශ්‍යනම් එයින් ගන්න තියෙන දෙයක් ගන්න. නමුත් දැන් අලුත් එක හදලා ඉවරයි. දැන් මොනවා ලිවුවත් ඒක වෙනස් වෙන්නේ නැහැ. මාලිමාව දිනුවොත් වඩා වැදගත් වෙන්නේ ඇත්තටම කරන දේවල් මොනවාද කියන එකයි. ඒ ගැන කතා කරන්න (හෝ නොකරන්න) තව ඕනෑ තරම් කල් තිබෙනවා. 

ඊළඟට මේ ඡන්ද කටේ ආණ්ඩුව කියන දේවල්. ඒවා අදාළ වෙන්නෙත් ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය කුමක්ද කියන එක මතයි. ආර්ථිකය හා අදාළව බැලුවත්, මේ වෙලාවේ වැදගත්ම දේ ඊළඟ ආණ්ඩුව කුමක්ද කියන එකයි. අනෙක් හැම දෙයක්ම ඒ මත වෙනස් වෙන්න පුළුවන් දේවල්. 

හැබැයි කිසිම ස්වයං වාරණයක් දාගෙන නැහැ. ඒ වෙලාවට හිතෙන දෙයක් ලියනවා. ඉදිරි සති දෙක තුනේ කියලා ඒකේ වෙනසක් නැහැ. ඒ නිසා, විවිධ ඉල්ලීම් කරන අයට එහෙම කරන්න එපා කියලා මම කියන්නේ නැහැ. 

අපි මොනවා ලිවුවත් කියවන අය ඒවා කියවා ගන්නේ තමන්ට අවශ්‍ය විදිහට. ඡන්ද කාලයක ඒ තත්ත්වය වඩා දරුණුයි. මගේ පෙර සටහන් කිසිවක මම මැතිවරණ ප්රතිඵල පුරෝකථනය කරලා නැහැ. මම කරලා තියෙන්නේ වෙනත් අය විසින් සිදු කර තිබෙන සමීක්ෂණ හෝ පුරෝකථන පිළිබඳව පැහැදිලි කිරීම් කරන එක. 

මැතිවරණ ප්රතිඵලය ගැන යම් අදහසක් ගන්න පුළුවන් දත්ත අප අවට තිබෙනවා. ඒවා නිවැරදිව කියවා ගන්න එක කාට වුනත් ප්‍රයෝජනවත් කියලා මම හිතනවා. තමන්ගේ දේශපාලන පක්ෂපාතිත්වය අනුව එය වෙනස් වෙන්නේ නැහැ. 

පසුගිය සතියේ මම බදුල්ල හා හම්බන්තොට දිස්ත්‍රික්ක ගැන කතා කළා. බදුල්ල දිස්ත්‍රික්කය හා අදාළව ඉතා හොඳ මට්ටමේ දත්ත තිබෙනවා. මේවා විද්‍යාත්මක සමීක්ෂණ නොවුනත් සමහර විට විද්‍යාත්මක සමීක්ෂණ වලටත් වඩා ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. 

ඊයේ ඉදිරිපත් කළ ප්‍රතිඵලයට අද තවත් නගරයක් එකතු කරන්න පුළුවන්. ඒ ඇටම්පිටිය. ඒ එක්ක බදුල්ලේ නියැදිය 1,686 දක්වා ඉහළ යනවා. ප්‍රතිඵලය විශාල ලෙස වෙනස් වී නැහැ. අලුත් දත්ත එකතු වෙද්දී ප්‍රතිඵලයේ දැනෙන වෙනසක් සිදු නොවීමෙන් පෙනෙන්නේ එය බොහෝ දුරට නිවැරදි බවයි. 

අනුර = 17.4%

සජිත් = 21.7%

රනිල් = 9.3%

නාමල් = 0.5%

සරත් ෆොන්සේකා = 0.1%

තීරණය කර නැති = 51.2%

සුදත්තගේ සමීක්ෂණ වල විශ්වාසනීයත්වය පිළිබඳව මතු වන ප්‍රධානම ගැටලුව ඔහුගේ දේශපාලන නැමියාවයි. ඔහු සෘජු ලෙස කිසිදු දේශපාලන ධාරාවක් වෙනුවෙන් පෙනී සිටින්නේ නැතත්, රාජපක්ෂලා හා පොහොට්ටුව ඉතා දැඩි ලෙසත්, රනිල්ව සෑහෙන තරමකිනුත් විවේචනය කරනවා. මේ විවේචන කරන්නේ ප්‍රසිද්ධියේ. ඒ නිසා, ඔහු සමීක්ෂණ වීඩියෝ ඉදිරිපත් කිරීමේදී හොර බොරු කරන්නේ නැහැ කියා උපකල්පනය කළත්,  ඔහුගේ මත විමසුම් වල නිරවද්‍යතාවය ගැන යම් සැකයක් මතු වෙනවා. උදාහරණයක් ලෙස නාමල්ට ඡන්දය දීමට සිටින කෙනෙක් සුදත්තට ඒ බව නොකියන්න පුළුවන්. 

බදුල්ලේ සමීක්ෂණ කරන්නේ සුදත්ත නෙමෙයි. නමුත් එම සමීක්ෂණ ප්‍රතිඵල සහ සුදත්තගේ සමීක්ෂණ ප්‍රතිඵල අතර විශාල නොගැලපීම් දැකිය නොහැකියි. ඒ අනුව පෙනී යන්නේ සුදත්තගේ සමීක්ෂණ සම්බන්ධව ඉහත සැකය පහසුවෙන්ම දුරු වන බවයි. මෙයට හේතුව ඔහුගේ සමීක්ෂණ වලට සහභාගී වන වැඩි දෙනෙක් ඔහුව නොදන්නා අය වීම වෙන්න පුළුවන්.

සුදත්ත විසින් ඊයේ වලස්මුල්ලේ අලුත් සමීක්ෂණයක් සිදු කර හම්බන්තොට නියැදිය 866 දක්වා වැඩි කර තිබෙනවා. පහත තිබෙන්නේ හම්බන්තොට අලුත් තත්ත්වයයි. 

අනුර = 44.6%

සජිත් = 11.4%

රනිල් = 4.4%

නාමල් = 1.5%

නුවන් බෝපගේ = 0.1%

දිලිත් ජයවීර = 0.1%

තීරණය කර නැති = 37.9%

බදුල්ල හා හම්බන්තොට යන දිස්ත්‍රික්ක දෙකේම තීරණය කර නැති ඡන්ද ප්‍රතිශතයේ යම් අඩු වීමක් දැකිය හැකියි. මෙහි ප්‍රතිඵලයක් ලෙස බදුල්ලේදී සජිත්ගේ ගොඩත්, හම්බන්තොටදී අනුරගේ ගොඩත් සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. මෙය මැතිවරණ දිනය ආසන්න වෙද්දී සිදු විය හැකි දෙයක්. 

"පොහොට්ටු ඡන්ද ඔක්කොම දැන් මාලිමාවට ගිහින් ඉවරයි!"

"පොහොට්ටු ඡන්ද ඕනෑනම් වැඩිම වුනොත් 30%ක් මාලිමාවට යයි!"

"සජිත් දැන් 2019 ඡන්ද ටික අරගෙන ඉවරයි!"

ඔය වගේ "පුරෝකථන" ඕනෑම කෙනෙකුට කරන්න පුළුවන්. නමුත් මම කරන්නේ එවැනි දෙයක් නෙමෙයි. මම කරන්නේ සොයාගත හැකි දත්ත වල තිබෙන තොරතුරු ග්‍රහණය කර ගන්න උත්සාහ කරන එක. ඒ දත්ත සියයට සියයක් නිවැරදි නැහැ. නමුත් නිකම්ම හිතන එක සහ දත්ත මත පදනම්ව හිතන එක අතර පැහැදීලි වෙනසක් තිබෙනවා. 

බදුල්ල හා හම්බන්තොට තරමටම අනෙකුත් හැම දිස්ත්‍රික්කයක් හා අදාළවත් තොරතුරු තිබෙනවානම් එයින් එහාට වෙනත් ආකෘතියක් අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් අවාසනාවට අනෙකුත් හැම දිස්ත්‍රික්කයක් හා අදාළවම මෙවැනි දත්ත නැහැ. ඒ නිසා, යම් ආකාරයකින් ඒ දිස්ත්‍රික්ක වල තත්ත්වය අපෝහණය කරගන්න වෙනවා. ඒ සඳහා ආකෘතියක් අවශ්‍ය වෙනවා.

පොහොට්ටු ඡන්ද කොපමණ ප්‍රතිශතයක් මාලිමාවට ගිහින්ද?

මට මේ ප්‍රශ්නයට පිළිතුරක් අවශ්‍ය වෙන්නේ ඒ පිළිතුරේ උදවුවෙන් වැඩිමනත් තොරතුරු නැති දිස්ත්‍රික්ක ගැන යම් අවබෝධයක් ලබා ගන්න පුළුවන් නිසා. උදාහරණයක් විදිහට හම්බන්තොට හා ගාල්ල දිස්ත්‍රික්ක වල පොහොට්ටු ඡන්ද වලින් 70%ක් මාලිමාවට ගිහින් බව පේනවානම් මාතර තත්ත්වයත් ඒකමයි කියන නිගමනයට එන්න පුළුවන්. ඊට පස්සේ මාතර 2020 ප්‍රතිඵල මත පදනම්ව ඇස්තමේන්තුවක් හදාගන්න පුළුවන්. 

දැනට තිබෙන තොරතුරු අනුව, 

- බදුල්ලේ පොහොට්ටු ඡන්ද 31.3%ක් මාලිමාවට ගිහින්.

- හම්බන්තොට පොහොට්ටු ඡන්ද වලින් 67.1%ක් මාලිමාවට ගිහින්. 

මේ දිස්ත්‍රික්ක වලින් ලබාගෙන තිබෙන නියැදි ප්‍රමාණය සහ නියැදි වල ප්‍රමාණ අනුව මේ ඇස්තමේන්තු විශාල ලෙස වෙනස් වෙන්න බැහැ. 

බදුල්ල හා හම්බන්තොට කියන්නේ ලංකාවේ දේශපාලන ධ්‍රැවීකරණයේ අන්ත දෙකක්. ඒ නිසා, අපිට මේ දිස්ත්‍රික්ක දෙක දිහා බලලා ලංකාවේ අනෙකුත් දිස්ත්‍රික්ක වල පොහොට්ටු ඡන්ද කොපමණ මාලිවාවට ගිහින්ද කියන එක ගැන යම් අදහසක් ගන්න පුළුවන්. 

මාතර දිස්ත්‍රික්කය 

මාතර දිස්ත්‍රික්කය කියන්නේ හම්බන්තොට හැරුණු විට ලංකාවේ වඩාත්ම රතු දිස්ත්‍රික්කය කියා කියන්න පුළුවන්. ඒ නිසා ප්‍රතිඵලය හම්බන්තොට ප්‍රතිඵලයට ආසන්න විය යුතුයි. මේ බව පරීක්ෂා කිරීම සඳහා අප සතුව තිබෙන්නේ එක් නියැදියක් පමණයි. ඒ දෙවිනුවර නියැදිය. එක නියැදියක් පමණක් යොදාගෙන ඒ තරම්ම නිවැරදි ඇස්තමේන්තුවක් ලබා ගන්න බැහැ. එහෙමයි කියලා කරන්න දෙයකුත් නැහැනේ. ලද දෙයින් සතුටු වෙන්න වෙනවා. 

පහත තිබෙන්නේ දෙවිනුවර සමීක්ෂණ ප්‍රතිඵලය.(N = 167)

අනුර = 50.6%

සජිත් = 16.9%

රනිල් = 6.3%

නාමල් = 1.3%

බත්තරමුල්ලේ සීලරතන හිමි = 0.6%

තීරණය කර නැති = 30.0%

මාතර දිස්ත්‍රික්කයේ 2019 ඡන්ද ප්‍රතිඵල අනුව මාලිමාව විසින් පොහොට්ටු ඡන්ද වලින් 84.3%ක් ආකර්ශනය කරගෙන තිබෙනවා. 

ගාල්ල දිස්ත්‍රික්කය 

දකුණු පළාතේ ඉතිරි දිස්ත්‍රික්කය ගාල්ලනේ. ගාල්ල දිස්ත්‍රික්කයේ අලුත් සමීක්ෂණ කිසිවක් නැහැ. මාස පහකට කලින් අම්බලන්ගොඩදී කළ එක සමීක්ෂණයක් පමණක් තිබෙනවා. මෙය තනි නියැදියක් වීමේ ප්‍රශ්නයට අමතරව තවත් ප්‍රශ්න දෙකක් තිබෙනවා. එකක් මාස පහකට පසුව තත්ත්වයේ වෙනසක් සිදු වී තිබිය හැකි වීම. දෙවැන්න අම්බලන්ගොඩ ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරනවද කියන එක. ඒ නිසා, ප්‍රතිඵලයේ නිරවද්‍යතාවය ගැන ලොකුවට බලාපොරොත්තු තියන්න බැහැ. නමුත් නියැදිය තරමක් විශාල වීම වාසියක්. 

අම්බලන්ගොඩ ප්‍රතිඵලය (N = 296)

අනුර = 29.4%

සජිත් = 22.0%

රනිල් = 4.4%

නාමල් = 3.7%

තීරණය කර නැති = 40.5%

දැන් මේ නියැදියෙන් ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය වෙනවා කියලා උපකල්පනය කළොත් ගාල්ල දිස්ත්‍රික්කයේ පොහොට්ටු ඡන්ද වලින් 67.1%ක් මාලිමාව විසින් ආකර්ශනය කරගෙන තිබෙනවා. මෙම අගය හම්බන්තොට ප්‍රතිඵලය සමඟ හරියටම ගැලපෙනවා. 

ගාල්ල හා මාතර තනි නියැදි වලින් ලොකු නිගමන වලට එන්න බැහැ. නමුත් ඒ නියැදි දෙක සහ හම්බන්තොට නියැදි එකට ගත් විට කියැවෙන්නේ එකම කතාවක්. ඒ අනුව, අප‍ට දකුණු පළාත ගැන පොදුවේ යම් තක්සේරුවක් කරන්න පුළුවන්. දකුණේ පොහොට්ටු ඡන්ද වලින් 70%ක් පමණ මාලිමාවට ගිහින් බව පැහැදිලියි. 

Monday, September 2, 2024

හම්බන්තොට හා බදුල්ල


හම්බන්තොට දිස්ත්‍රික්කය

රාජපක්ෂලාගේ මූල කඳවුර වන හම්බන්තොට දිස්ත්‍රික්කය යනු රටේ දිස්ත්‍රික්ක අතරින් පොහොට්ටු පක්ෂයට වැඩිම සහයෝගයක් ලබා ගත හැකි වූ දිස්ත්‍රික්කයයි. 2019 ජනාධිපතිවරණයේ මුළු ඡන්දදායකයින් සංඛ්‍යාවෙන් 57.4%ක්ද, 2020 මහ මැතිවරණයේදී මුළු ඡන්දදායකයින් සංඛ්‍යාවෙන් 57.0%ක්ද ඡන්දය දුන්නේ එම පක්ෂයටයි. 

හම්බන්තොට දිස්ත්‍රික්කය යනු පසුගිය දශක කිහිපය පුරාවටම ජවිපෙට මෙන්ම ඉන් පසුව මාලිමාවටද වැඩිම සහයෝගයක් ලබා ගත හැකි වූ දිස්ත්‍රික්කයයි. 2019 ජනාධිපතිවරණයේ මුළු ඡන්දදායකයින් සංඛ්‍යාවෙන් 5.4%ක්ද, 2020 මහ මැතිවරණයේදී මුළු ඡන්දදායකයින් සංඛ්‍යාවෙන් 6.4%ක්ද ඡන්දය දුන්නේ එම පක්ෂයටයි. 

සජිත් ප්‍රේමදාස දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ දේශපාලනය කළේ හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ වුවද, ඔහු තරඟ කළ 2019 ජනාධිපතිවරණයේදී එජාපයට අඩුම සහයෝගයක් ලබාගත හැකි වූ දිස්ත්‍රික්කය වූයේ හම්බන්තොට දිස්ත්‍රික්කයයි. එම ප්‍රතිශතය 22.4%ක් පමණයි.

දෙමළ බහුතරයක් සිටින යාපනය හා මඩකලපුට දිස්ත්‍රික්ක හැර අනෙකුත් දිස්ත්‍රික්ක අතරීන් 2020දී සජබයට වඩාත්ම අඩු සහයෝගයක් ලැබුණු දිස්ත්‍රික්කය හම්බන්තොට දිස්ත්‍රික්කයයි. එය 10.5%ක් පමණයි.

දෙමළ බහුතරයක් සිටින යාපනය, වන්නි හා මඩකලපුට දිස්ත්‍රික්ක හැර අනෙකුත් දිස්ත්‍රික්ක අතරීන් 2020දී එජාපයට වඩාත්ම අඩු සහයෝගයක් ලැබුණු දිස්ත්‍රික්කයද හම්බන්තොට දිස්ත්‍රික්කයයි. එය 1.0%ක් පමණයි. අනෙක් දිස්ත්‍රික්කය මොණරාගල දිස්ත්‍රික්කයයි (0.9%).

ඉහත ඓතිහාසික සංඛ්‍යාලේඛණ අනුව, අවසන් ජාතික මැතිවරණයේදී පැවති තත්ත්වය.

පොහොට්ටුව = 57.0%

මාලිමාව = 6.4%

සජබ = 10.5%

එජාප = 1.0%

2019දී භාවිතා වූ 2020දී නොවැටුණු එජාප ඡන්ද = 22.4% - 10.5% - 1.0% = 10.9%

හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් කිසිසේත්ම ලංකාවේ තත්ත්වය නියෝජනය වන්නේ නැහැ. ලංකාවේ දිස්ත්‍රික්ක අතරින් වඩාත්ම "රතු" දිස්ත්‍රික්කය හම්බන්තොට දිස්ත්‍රික්කය බව බොහෝ දෙනෙකු විසින් පිළිගනු ඇතැයි මා සිතනවා. එම දිස්ත්‍රික්කයේ ඡන්දදායක නැමියාව පිළිබඳව අප‍ට දැනට කිව හැක්කේ කුමක්ද?

ආසන්න වශයෙන් පසුගිය සතියක පමණ කාලය තුළ සුදත්ත තිලකසිරි විසින් හම්බන්තොට දිස්ත්‍රික්කයයේ ස්ථාන හතරක මත විමසුම් සිදු කර තිබෙනවා. ඒ වීරකැටිය, මිද්දෙනිය, බෙලිඅත්ත හා තංගල්ල යන ස්ථානයි. මේ මත විමසුම් අහඹු නියැදි සමීක්ෂණ නොවන බැවින් එම මත විමසුම් වලින් දිස්ත්‍රික්කයේ ජනමතය හරියටම නිවැරදිව මැනීමේ හැකියාවක් නැහැ. එහෙත්, එවැනි "පිරිසිදු දත්ත" නොමැති විටෙක කවර හෝ තිබෙන දත්ත නොසලකා නොහැර ප්‍රයෝජනයට ගැනීම සාමාන්‍ය මූලධර්මයයි. 

අදාළ මත විමසුම් හතරේ සංයුක්ත ප්‍රතිඵලය (N = 710) පහත දක්වා තිබෙනවා. මෙම නියැදි හතරෙන් එක් එක් නියැදියේ ප්රතිඵලය සංඛ්‍යානමය ලෙස අසමාන නොවන බවද පරීක්ෂා කර තහවුරු කරගත හැකියි. ප්‍රමාණවත් නියැදියක් තිබීමත්, එම නියැදිය වෙනස් ස්ථාන හතරකින් එකතු කර ගෙන තිබීමත්, ඒ නියැදි සංඛ්‍යානමය ලෙස අසමාන නොවීමත් සැලකූ විට මෙම ප්‍රතිඵලය තුළින් සෑහෙන තරම් නිවැරදිව හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය වන බව සිතිය හැකියි. 

අනුර = 43.0%

සජිත් = 12.0%

රනිල් = 4.8%

නාමල් = 1.1%

නුවන් බෝපගේ = 0.1%

තීරණය කර නැති = 39.0%

මෙවැනි මත විමසුමකදී තමන්ගේ අභිප්‍රාය සෘජුව ප්‍රකාශ කරන පිරිස අදාළ අපේක්ෂකයාට ඡන්දය ලබා දෙනු ඇති බව විශ්වාස කළ හැකියි. එසේ නොවන්නේනම්, කැමරාවක් ඉදිරිපිට ඒ බව කියන්නේ නැහැ. 

දැන් මෙම දත්ත අනුව, අනුරගේ 43.0%ක ප්‍රතිශතයෙන් 6.4%ක් සම්ප්‍රදායික ජවිපෙ ඡන්ද බැවින් අලුතෙන් එකතු වී ඇති කොටස 36.6%ක් පමණයි. එම එකතු වීම සිදු වුනේ සම්ප්‍රදායික එජාප ගොඩෙන් කියා හිතන්න අමාරුයි. මේවා 2020 පොහොට්ටු ඡන්ද. එම පොහොට්ටු ඡන්ද ප්‍රමාණය 57.0%ක් සේ සැලකූ විට එයින් 64.2%ක් අනුර වෙත ආකර්ෂණය වී තිබෙනවා. 2019 පොහොට්ටු ඡන්ද සැලකුවොත්, 63.8%ක්. 

පොහොට්ටු ඡන්ද වලින් නාමල් වෙත ඉතිරිව තිබෙන්නේ 1.9%ක් පමණයි. මේ අනුව, පොහොට්ටු ඡන්ද වලින් 34%ක් පමණ තවමත් "ඉතිරිව" තිබෙනවා. මුළු ඡන්ද ප්‍රමාණයෙන් 19.4%ක් පමණ. 

සජිත්ගේ ගොඩ දෙස බැලුවොත්, 2020 ඔහුගේ ප්‍රතිශතය වූ 10.5%ට අලුතෙන් එකතු වී තිබෙන්නේ තවත් 1.5%ක් පමණයි. දැන් අපි 2019දී භාවිතා වූ 2020දී නොවැටුණු එජාප ඡන්ද දෙස බැලුවොත්, එයින් සජිත්ට ගොස් ඇති සේ සැලකිය හැක්කේ 1.5%ක් පමණක් බැවින් තවත් 9.4%ක් ඉතුරුයි. ඒ කියන්නේ 2019දී භාවිතා වූ 2020දී නොවැටුණු එජාප ඡන්ද වලින් සජිත් විසින් ලබා ගෙන තිබෙන්නේ 13.8%ක් පමණයි. තවත්, 86.2%ක්ම ඉතුරුයි. 

රනිල්ට 3.8%ක් අලුතෙන් එකතු වී තිබෙනවා. එම කොටස එකතු වුනේ 2019දී භාවිතා වූ 2020දී නොවැටුණු එජාප ඡන්ද ගොඩෙන්ද නැත්නම්, ඉතිරි පොහොට්ටු ඡන්ද ගොඩෙන්ද කියා නිශ්චිතව කියන්න අමාරුයි. නමුත් සම්ප්‍රදායික එජාප ඡන්ද සජිත් වෙත නොගොස් ඉතිරිව තිබීම සහ රනිල්ගේ ගොඩ වැඩිවීම සැලකූ විට වඩා හොඳ උපකල්පනය වන්නේ මේ ඡන්ද සම්ප්‍රදායික එජාප ඡන්ද ලෙස සැලකීමයි. මෙම ප්‍රමාණය 2019දී භාවිතා වූ 2020දී නොවැටුණු එජාප ඡන්ද වලින් 34.9%ක්. ඒ අනුව, මෙම ඡන්ද වලින් 13.8%ක් සජිත්ට හා 34.9%ක් රනිල් වෙත යාමෙන් පසුව තවත් 51.3%ක් ඉතිරිව තිබෙනවා. මුළු ඡන්ද ප්‍රමාණයෙන් 5.6%ක්.

අනුර හෝ නාමල් සතුව නැති ඉතිරිව තිබෙන පොහොට්ටු ඡන්ද ප්‍රමාණය 19.4%ක් පමණ වෙද්දී ඉතිරිව තිබෙන එජාප ඡන්ද ප්‍රමාණය 5.6%ක්. මේ ගොඩවල් දෙකම එකතු කළ විට මුළු ඡන්ද ප්‍රමාණයෙන් 25.0%ක්. 

දැනට තීරණය කර නැති ගොඩෙන් (39%) ඉහත 25.0% ඉවත් කළ විට ඉතිරි වන 14% නොවැටෙන ඡන්දයි. ඊට අමතරව මෙම 25.0%ක ඡන්ද ප්‍රමාණයෙන්ද යම් කොටසක් නොවැටෙන්නට ඉඩ තිබෙනවා. ඉතිරි කොටස රනිල්, අනුර හා සජිත් අතර යම් අනුපාතයකින් බෙදී යා යුතුයි. 

දැනට සජිත් හා රනිල් අතර පරතරය 7.8%ක්. සජිත්ගේ ප්‍රතිශතය එසේම තිබියදී රනිල් විසින් ඉහත 25.0%ක ගොඩෙන් 31.2%ක් ලබා ගතහොත් හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ රනිල්ට දෙවන තැනට පැමිණිය හැකියි. මෙම 25.0%ක ගොඩෙන් 22.4%ක් සම්ප්‍රදායික එජාප ඡන්ද. එම කොටස තවමත් රනිල් හෝ සජිත් විසින් ලබා ගෙන නැහැ. මේ ඡන්ද ඔවුන් දෙදෙනාගෙන් කෙනෙකුට ලැබෙනවා. ඉතිරි කොටස තවමත් තීරණය නොවූ පොහොට්ටු ඡන්ද. ඒ ඡන්ද රනිල්, නාමල්, අනුර, දිලිත් වගේම සජිත් වැනි ඕනෑම කෙනෙක්ට ලැබෙන්න පුළුවන්. මේ අය අතරින් අනුර හා සජිත් කාලයක් තිස්සේම තරඟය තුළ සිටියා. අලුතෙන් තරඟයට ආවේ රනිල්, නාමල් සහ දිලිත්. ඒ අය අතරින් ජයග්‍රහණය කිරීමේ යම් විභවයක් තිබෙන්නේ රනිල්ට පමණයි. 

හම්බන්තොට දිස්ත්‍රික්කය වැනි සාපේක්ෂව වාසිදායක ස්ථානයකදී අනුර වෙත ආකර්ෂණය වී තිබෙන පොහොට්ටු ඡන්ද ප්‍රමාණය ආසන්නව 64%ක් පමණයි. එම කඳවුරට ඉතිරි ගොඩෙන් තවත් ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමට ඇති ඉඩකඩ සලකමින් මා දැනට ඔවුන්ට පොහොට්ටු ඡන්ද වලින් 70%ක් පමණ ලබා ගත හැකි සේ උපකල්පනය කර තිබෙනවා. 

පොහොට්ටු ඡන්ද වලින් නාමල් විසින් ලබාගෙන තිබෙන්නේ 2%ක් පමණයි. මම මෙය 5%ක් සේ සලකා තිබෙනවා.

සජබ 2020 ඡන්ද ප්‍රමාණයට අමතරව, 2019දී භාවිතා වූ 2020දී නොවැටුණු එජාප ඡන්ද ගොඩෙන් සජිත් විසින් දැනට ලබා ගෙන තිබෙන්නේ 14%ක් පමණයි. මා උපකල්පනය කර තිබෙන්නේ සජිත්ට මෙම ඉතිරි එජාප ඡන්ද ප්‍රමාණයෙන්  20%-50% අතර ප්‍රමාණයක් ලබා ගත හැකි බවයි. 

හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් දැනට රනිල් වෙත ගොස් තිබෙන ඡන්ද ප්‍රමාණය සමාන වන්නේ 2020 එජාප ප්‍රතිශතයේ සහ 2019දී භාවිතා වූ 2020දී නොවැටුණු එජාප ඡන්ද ප්‍රතිශතයෙන් 35%ක එකතුවටයි. පොහොට්ටු ඡන්ද කිසිවක් එහි නැහැ. පොහොට්ටු ඡන්ද ලබා ගැනීමේ විභවයක් රනිල් සතුව ඇතත්, ඒ විභවය මිස ඇත්තටම ඒවා ලබා ගැනීමක් තවමත් සිදු වී නැහැ. 

ඉහත කී අයුරින් අනුරට, නාමල්ට හා සජිත්ට යම් වාසිදායක සීමාවක් සලකුණු කිරීමෙන් පසුවද, විශාල ඡන්ද ප්‍රතිශතයක් ඉතිරි වෙනවා. එම ප්‍රමාණය කිසිසේත්ම දැනට රනිල් සතුව නැහැ. එහෙත් මේ ඉතිරි කොටස ප්‍රතිඵලය තීරණාත්මක ලෙස වෙනස් කළ හැකි තරම් විශාලයි. හම්බන්තොට දිස්ත්‍රික්කය සැලකුවහොත් තවමත් තීරණය වී නැති හා භාවිතා වීමට ඉඩ ඇති සම්ප්‍රදායික එජාප හා පොහොට්ටු ඡන්ද ප්‍රමාණය මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 25.0%ක්. ඊට සාපේක්ෂව සජිත් ඉන්නේ 12.0% මට්ටමේ. රනිල් ඉන්නේ 4.8% මට්ටමේ. 

දැනට දැකිය හැකි තත්ත්වය තුළ ඉදිරියෙන් සිටින අපේක්ෂකයින් දෙදෙනා වන්නේ අනුර හා සජිත්. රනිල් සිටින්නේ තෙවන තැනයි. එහෙත්, රනිල් විසින් ලබා ගන්නා ඡන්ද ප්‍රමාණයට මුල් අපේක්ෂකයින් දෙදෙනාගේ බල තුලනය කෙරෙහි විශාල බලපෑමක් කිරීමේ විභවයක් තිබෙනවා. 

බදුල්ල දිස්ත්‍රික්කය 

සිංහල බහුතර දිස්ත්‍රික්ක අතරින් (එනම් උතුරු නැගෙනහිර පළාත් හා නුවරඑළිය දිස්ත්‍රික්කය හැර අනෙකුත් දිස්ත්‍රික්ක) පසුගිය 2019 ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාසට වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත හැකි වූ දිස්ත්‍රික්කය බදුල්ල දිස්ත්‍රික්කයයි. එම ප්‍රතිශතය 38.3%ක්. එහෙත්, 2020 මහ මැතිවරණයේදී සජබ ලබා ගත් ඡන්ද ප්‍රතිශතය 21.6%ක් පමණයි. කෙසේ වුවද, එම ප්‍රතිශතයද එම මැතිවරණයේදී සජබ විසින් ලබාගත් වැඩිම ඡන්ද ප්‍රතිශතයක්. සජබ ඊට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කළේ කොළඹ, නුවරඑළිය හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක වලදී පමණයි. බදුල්ල දිස්ත්‍රික්කය පොහොට්ටුවට, මාලිමාවට මෙන්ම, සජබ නැති එජාපයටද සුවිශේෂී දිස්ත්‍රික්කයක්ව පැවතුණේ නැහැ. 

බදුල්ල දිස්ත්‍රික්කය ලංකාවේ දිස්ත්‍රික්ක අතරින් වඩාත්ම "කොළ" දිස්ත්‍රික්කය ලෙස මා හඳුන්වන්න කැමතියි. අවසන් ජාතික මැතිවරණ වලදී බදුල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද බෙදී ගොස් තිබුණේ පහත පරිදියි. 

පොහොට්ටුව = 46.3%

මාලිමාව = 2.9%

සජබ = 21.6%

එජාප = 1.4%

2019දී භාවිතා වූ 2020දී නොවැටුණු එජාප ඡන්ද = 38.3% - 21.6% - 1.4% = 15.3%

බදුල්ල ටීවී විසින් පසුගිය සතිය තුළ බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ හතක සිදු කර ඇති මත විමසුම් අප විසින් සලකා බැලුවා. එම ප්‍රදේශනම්, වැලිමඩ, ඌවපරණගම, බණ්ඩාරවෙල, මහියංගනය, හපුතලේ, දියතලාව, හාලිඇල සහ කන්දකැටිය-වියලුව ප්‍රදේශයි. 

අදාළ මත විමසුම් හතේ සංයුක්ත ප්‍රතිඵලය (N = 1,641) පහත දක්වා තිබෙනවා.

අනුර = 17.5%

සජිත් = 21.3%

රනිල් = 9.3%

නාමල් = 0.5%

සරත් ෆොන්සේකා = 0.1%

තීරණය කර නැති = 51.5%

දිස්ත්‍රික්කය තුළ ඉදිරියෙන් සිටින්නේ සජිත්. එහෙත්, සජිත් විසින් තහවුරු කරගෙන තිබෙන ඡන්ද ප්‍රතිශතය සජබ 2020 ප්‍රතිශතයටද වඩා අඩුයි. ඒ කියන්නේ 2019දී භාවිතා වූ 2020දී නොවැටුණු එජාප ඡන්ද කිසිවක් සජිත් විසින් ආකර්ෂණය කරගෙන නැහැ. ඒ අනුව, රනිල් විසින් 7.9%ක් වැඩි කරගෙන තිබෙන්නේ එම ඡන්ද ආකර්ෂණය කර ගැනීමෙන් කියා සිතන්න පුළුවන්. එම ප්‍රමාණය 2019දී භාවිතා වූ 2020දී නොවැටුණු එජාප ඡන්දවලින් 51.6%ක්. 

වැදගත්ම කරුණ වන්නේ 2019දී සජිත් වඩාත්ම ශක්තිමත්ව සිටි බදුල්ල දිස්ත්‍රික්කයේ දැන් සජිත් සිටින්නේ 2020දී සිටි තැනටත් පහළින් බවයි. රනිල්ගේ හා සජිත්ගේ ප්‍රතිශත ඉවත් කළ විට සම්ප්‍රදායික එජාප ඡන්ද ප්‍රතිශතය සේ සැලකිය හැකි 38.3%ක ප්‍රමාණයෙන් 7.7%ක ප්‍රමාණයක් තවමත් තිබෙන්නේ අතීරක ඡන්ද ලෙසයි. 

බදුල්ල දිස්ත්‍රික්කය තුළ මාලිමාව ස්ථානගත වී සිටින්නේ කොහොමද?

මාලිමාව විසින් ආකර්ෂණය කරගෙන ඇති 17.5%ක ඡන්ද ප්‍රමාණයෙන් 2.9%ක් සම්ප්‍රදායික මාලිමා ඡන්දයි. ඒ අනුව, ඉතිරි කොටස 14.6%ක්. එම ප්‍රමාණය පොහොට්ටුවේ 46.3% ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස 31.5%ක්. මේ අනුව, බදුල්ල දිස්ත්‍රික්කයේ පොහොට්ටු ඡන්ද වලින් 31.5%ක් මාලිමාව විසින් ආකර්ෂණය කරගෙන තිබෙනවා. නාමල් සතු කරගෙන තිබෙන්නේ එම ඡන්ද වලින් 1.1%ක් පමණයි. ඒ අනුව, ඉතිරි කොටස 67.4%ක්. මුළු ඡන්ද ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස 31.2%ක්.

බදුල්ල දිස්ත්‍රික්කයේ මුළු ඡන්ද ප්‍රමාණයෙන් 31.2%ක් තවමත් "පාවෙන" පොහොට්ටු ඡන්ද. තවත් 7.7%ක් පාවෙන එජාප ඡන්ද. එකතුව 38.9%ක්. තීරණය කර නැති 51.5%ක ප්‍රමාණයෙන් ඉතිරි 12.6% සාමාන්‍යයෙන් භාවිතා නොවන ඡන්ද. කොයි පැත්තකට හෝ පා වී යා හැකි මෙම 38.9% අනුර, සජිත් හා රනිල් විසින් අයිති කරගෙන තිබෙන ප්‍රතිශත වලට වඩා බෙහෙවින්ම වැඩියි. 

සියලුම ජනමත සමීක්ෂණ හා මත විමසුම් වල පිළිබිඹු වන්නේ අයිස් කන්දක මතුපිට කොටස පමණයි. දිය යට තිබෙන කොටස විශාල කොටසක්. කෙසේ වෙතත්, හම්බන්තොට හා බදුල්ල දෙස බලා යම් නිගමන වලට පැමිණිය හැකියි.

1. සාපේක්ෂව අවාසිදායක බදුල්ල වැනි "කොළ" දිස්ත්‍රික්කයකදී පවා මාලිමාව විසින් පොහොට්ටු ඡන්ද වලින් 31%ක් ආකර්ෂණය කරගෙන ඇති බව.

2. සාපේක්ෂව වාසිදායක හම්බන්තොට වැනි "රතු" දිස්ත්‍රික්කයකදී පවා එම ප්‍රමාණය 64%ක් නොඉක්මවන බව.

3. සජිත් විසින් දැනට ආකර්ශනය කරගෙන තිබෙන්නේ 2020 සජබ ඡන්ද ප්‍රමාණය මිස 2019දී ඔහු විසින් ලබාගත් සම්ප්‍රදායික එජාප ඡන්ද සියල්ල නොවන බව.

4. රනිල් හා සජිත් එකතුව ආකර්ෂණය කරගෙන තිබෙන්නේද සම්ප්‍රදායික එජාප ඡන්ද ප්‍රමාණයෙන් කොටසක් පමණක් බව සහ ඉතිරි කොටස තවමත් "ඉතිරිව" ඇති බව.

5. නාමල් සතුව පොහොට්ටු ඡන්ද එපමණ ප්‍රමාණයක් රැඳී නොමැති බව. 

6. මාලිමාව වෙත දැනටමත් විතැන් වී නොමැති පොහොට්ටු ඡන්ද විශාල ප්‍රමාණයක් තවමත් "පාවෙමින්" ඇති බව සහ එම ඡන්ද රනිල් විසින් තවමත් ආකර්ශනය කරගෙන නොමැති බව.

මේ සටහන් පළ කිරීමේ අරමුණ මැතිවරණ ප්‍රතිඵල පුරෝකථනය කිරීම නොව අපට ලබාගත හැකි දත්ත වල ඇති තොරතුරු තේරුම් ගත හැකි ආකාරය, අඩු වශයෙන් මා පෞද්ගලිකව තේරුම් ගන්නා ආකාරය, පැහැදිලි කිරීමයි. මැතිවරණ ප්‍රතිඵල කෙරෙහි වෙනත් කරුණු රැසක් බලපෑ හැකියි. එහෙත්, එවැනි කරුණු පිළිබඳව විග්‍රහ කළ හැක්කේ වෛෂයික ලෙස (subjectively) පමණයි.

Sunday, September 1, 2024

දැන් තත්ත්වය මොන වගේද?


ජනාධිපතිවරණයට තවත් තිබෙන්නේ තෙසතියකට වඩා අඩු කාලයක්. පෙර ලිපි කිහිපයකින්ම විවිධ මත විමසුම් හා සමීක්ෂණ පිළිබඳව තාක්ෂණික පැහැදිලි කිරීම් කළා. ඒ හැම එකකම අඩු වැඩි වශයෙන් අඩුපාඩු තිබුණත් ප්‍රතිඵලය පිළිබඳව යම් අදහසක් ගැනීම සඳහා ඒවා ප්‍රයෝජනවත්.

සියලුම මත විමසුම් හා සමීක්ෂණ වල තිබෙන තොරතුරු සැලකිල්ලට ගැනීමෙන් පසුව මට පෙනී යන්නේ මේ වන විටද ප්‍රධාන අපේක්ෂකයින් තිදෙනා අතර විවෘත තරඟයක් පවතින බවයි. පහත එක්සෙල් වර්ක්ෂීට් එකේ තිබෙන්නේ විය හැකියාවන් තුනක්. ලැබෙන අලුත් තොරතුරු අනුව මා මෙහි පරාමිතීන් දිනපතා වෙනස් කරනවා. මේ අද මා දකින තත්ත්වයයි.

ඔබට ඔබේ දැක්ම අනුව මෙහි උපකල්පන වෙනස් කර ප්‍රතිඵලය පරීක්ෂා කළ හැකියි.

https://docs.google.com/spreadsheets/d/1BHyD8UhD1DtYwEhQRcaKuab6PAlqujjP/edit?gid=1638881459#gid=1638881459

සජබ හා මාලිමා කඳවුරු වල ප්‍රචාරක කටයුතු මුල සිටම ඉහළ මට්ටමකින් පැවති බැවින් ඉදිරි තෙසතිය තුළ ප්‍රතිඵලය සඳහා තීරණාත්මක ලෙස බලපාන්නේ රනිල් කඳවුර කොපමණ ක්‍රියාශීලී වනු ඇත්ද යන්නයි. රනිල් කඳවුර ක්‍රියාශීලී වීම මාලිමා කඳවුරට වාසිදායක ලෙස බලපාමින් තිබෙනවා.


2024 Presidential Election- Possible Outcomes

Definitions:

SLPP_block = Average of SLPP vote percentages in 2019 and 2020

NPP_block = Average of NPP vote percentages in 2019 and 2020

SJB_block = SJB percentage in 2020

UNP_block = UNP percentage in 2020

TNA_block = TNA percentage in 2020

UNPR_block = UNP percentage in 2019 - UNP percentage in 2020 - SJB percentage in 2020 - TNA percentage in 2020

Other_block = Other percentage in 2019

(All percentages are based on the total number of voters, not actual votes or valid votes).

Red_belt = Western, Sothern and North Central provinces and Puttalam and Monaragala Districts which include 10 districts.

Green_belt = Central, Sabaragamuwa, Northern and Eastern provinces and Kurunegala and Badulla districts.

 

Assumptions:

NPP votes = NPP_block  + 70% of SLPP_block in Red_belt + 50% of SLPP_block in Green_belt

Other votes = 5% of of SLPP_block + Other_block

 

Derivation:

SLPPR_block = 25% of SLPP_block in Red_belt + 45% of SLPP_block in Green_belt

 

Scenario 1 (No strong RW campaign):

SJB votes = SJB_block + TNA_block + 50% 0f UNPR_block

UNP votes = UNP_block + 50% 0f UNPR_block + 50% of SLPPR_block

 

Scenario 2 (Aggressive RW campaign):

SJB votes = SJB_block + TNA_block + 20% 0f UNPR_block

UNP votes = UNP_block + 80% 0f UNPR_block + 100% of SLPPR_block

 

Scenario 3 (In between situation):

SJB votes = SJB_block + TNA_block + 35% 0f UNPR_block

UNP votes = UNP_block + 65% 0f UNPR_block + 75% of SLPPR_block

 

Scenario 1 Results:

AKD: 4,888,140 (38.5%)

SP: 4,414,957 (34.8%)

RW: 2,656,190 (20.9%)

Others: 724,193 (5.7%)

Total valid votes: 12,683,479 (75.3%)

Outcome: SP is more likely to win during the second round.

 

Scenario 2 Results:

AKD: 4,888,140 (35.1%)

SP: 3,749,769 (26.9%)

RW: 4,574,107 (32.8%)

Others: 724,193 (5.2%)

Total valid votes: 13,889,923 (82.4%)

Outcome: RW is more likely to win during the second round.

 

Scenario 3 Results:

AKD: 4,888,140 (36.8%)

SP: 4,054,720 (30.5%)

RW: 3,615,148 (27.2%)

Others: 724,193 (5.5%)

Total valid votes: 13,395,466 (79.5%)

Outcome: AKD is more likely to win during the second round.

 

I think now we are moving away from Scenario 1 towards Scenario 3.


වෙබ් ලිපිනය: