වෙබ් ලිපිනය:

Wednesday, August 31, 2016

ඔබේ ලග්නය කුමක්ද? (පළමු කොටස)


මෙම ලිපිය සංශෝධන සහිතව වෙනත් මාතෘකාවක් යටතේ නැවත පළ කර තිබේ. සුළු එකතු කිරීමක් හා මාතෘකාවේ වෙනසක් ඇතත් මේ ලිපියේ ඇති කරුණු කිසිවක් ඉවත් කර නැත. එමෙන්ම, මෙම ලිපියේ ප්‍රස්තුතය හා අදාළ ප්‍රතිචාර හා ප්‍රති-ප්‍රතිචාරද එහි උපුටා දක්වා තිබේ. එබැවින්, එම පිටුව කරා යොමු වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

පස්සට යන ගස් හා පස්සෙන් එන හඳ...
http://economatta.blogspot.com/2016/09/blog-post.html


පෙරදිග මෙන්ම බටහිරද දවස නම් වූ සංකල්පය බිහි වූයේ පෘථිවි කේන්ද්‍රීයව සිතූ විට පොළොව වටා ඉරට වටයක් යාමට ගතවන කාලය සහ ඒ හේතුවෙන් ඇතිවන දිවා රාත්‍රී චක්‍ර අනුවය. මේ දිවා රාත්‍රී චක්‍ර යනු ඇහැට පෙනෙන, 'ඇඟට දැනෙන' දෙයකි. එමෙන්ම, ඉර, හඳ හා තාරකා පොළොව වටා යාමද අපට ඇහැට පෙනෙන, 'ඇඟට දැනෙන' දේවල්ය. දැන් අප හැම විටම වාගේ යොදා ගන්නා සූර්ය කේන්ද්‍රීය ආකෘතිය අනුව, දවසක් යනු පෘථිවියට සිය අක්ෂය වටා වරක් භ්‍රමණය වීමට ගත වන කාලයයි. මේ ආකෘති දෙකෙන් කවර ආකෘතියක් අනුව වුවද, දවස යන සංකල්පයේ පදනම වනුයේ පෘථිවිය හා සූර්යයා අතර සාපේක්ෂ චලිතයයි. මේ ගැන අපි පෙර ලිපියකින් කතා කළෙමු.

දවසට පැය කීයක්ද එහේ?

අවුරුද්ද යන සංකල්පය දවස යන සංකල්පයට වඩා තරමක් සංකීර්ණය. මේ සංකල්පය විවිධ සංස්කෘති තුළ වර්ධනය වන්නේ එකම ආකාරයෙන් නොවේ. ඒ නිසා, සිංහල, හින්දු, මුස්ලිම්, ග්‍රෙගෝරියන් ආදී විවිධ 'අවුරුදු' ගැන අපට අසන්නට ලැබේ. මේ ඇතැම් අවුරුදු සංකල්ප සූර්ය චලිතය මතද, වෙනත් අවුරුදු සංකල්ප චන්ද්‍ර චලිතය මතද, තවත් සමහරක් අවුරුදු සංකල්ප චන්ද්‍ර හා සූර්ය චලිතයන් දෙකම මතද පදනම් වේ. මේ ගැනද අපි පෙර කතා කළෙමු.

මුස්ලිම් වයස, සිංහල වයස හා ග්‍රෙගෝරියන් වයස


හින්දු ශක වර්ෂ ක්‍රමය මත පාදක වූ සිංහල කැලැන්ඩරය මෙන්ම, දැනට ලොව පුරා ප්‍රචලිතව ඇති ග්‍රෙගෝරියන් කැලැන්ඩරයද සැලකිය හැක්කේ සූර්ය කැලැන්ඩර ලෙසිනි. සූර්ය කේන්ද්‍රීය ආකෘතිය අනුව, වසරක් යනු තම අක්ෂය වටා භ්‍රමණය වෙමින් සූර්යයා වටා ගමන් කරන පෘථිවියට එසේ එක් වටයක් සම්පූර්ණ කිරීමට ගතවන කාලයයි.

සහශ්‍ර දෙකකට පමණ පෙර විසූ පෙර අපර දෙදිග විද්‍යාර්තීහු නක්ෂත්‍ර තාරකා වලට සාපේක්ෂව සූර්යයාගේ පිහිටීම දිනපතාම වෙනස් වන බව නිරීක්ෂණය කළහ. පොළොව වටා දිනපතා ගමන් කරන බව පෙනෙන්නට තිබුණු, ගිණිය නොහැකි තරම් විශාල ගණනක් වූ තාරකා එසේ ගමන් කිරීමේදී එකිනෙකා අතර දුර නොවෙනස්ව තබා ගත්තත්, 'ග්‍රහ වස්තු' ලෙස හඳුනාගත් ඉර, හඳ, අඟහරු, සිකුරු, බ්‍රහස්පති ආදීන් එසේ අනෙකුත් තාරකාවන් සමඟ එක්ව ගමන් ගත්තේ නැත.

සහශ්‍ර ගණනකට පෙර භෞතික විද්‍යාව දියුණු කිරීමට දායක වූ පෙර අපර දෙදිග තාරකා නිරීක්ෂකයින්ට සූර්යයා පොළොව වටා ගමන් කරනු පෙනුණේ නක්ෂත්‍ර තාරකාවන් පොළොව වටා ගමන් කළ වේගයට වඩා තරමක් අඩු වේගයෙනි. එය එසේ නොවන්නට පොළොව මත විසූ නිරීක්ෂකයෙකුට තාරකා ගෝලයෙන් අර්ධයක් කිසිදා පියවි ඇසින් නිරීක්ෂණය කළ නොහැකි විය හැකිව තිබුණි. දැනට භාවිතා වන සූර්ය කේන්ද්‍රීය ආකෘතිය අනුව, මේ වෙනසට හේතුව පොළොව සිය අක්ෂය වටා ගමන් කරමින් ඉර වටාද ගමන් කිරීම බව අපි 'දනිමු'.

ගමන් කිරීම හෝ චලිතය යන සංකල්පය අර්ථදැක්වීම අනුවම සාපේක්ෂ සංකල්පයකි. ගමන් කරන දුම්රියක ඉදිරියෙන් පිහිටි  මැදිරියක සිට පසුපසට ඇවිදින අයෙකුට සිතෙන්නේත්, දැනෙන්නේත් තමන් පසුපසට යන බවයි. දුම්රියෙහි අසුනක වාඩි වී සිටින, ඉහත පුද්ගලයාව නිරීක්ෂණය කරන අයෙකුට 'පෙනෙන්නේත්', සිතෙන්නේත් එම පුද්ගලයා පසුපසට යන බවයි. එහෙත්, මේ පුද්ගලයා ඇත්තටම ගමන් කරන්නේ ඉදිරියටද නැත්නම් පසුපසටද?

ඉහත ප්‍රශ්නයට නිරපේක්ෂ පිළිතුරක් නැත.

-දුම්රියට සහ එහි අසුන්ගෙන සිටින මඟීන්ට සාපේක්ෂව ඔහු පසුපසට ගමන් කරයි.
-මේ පුද්ගලයා දුම්රිය තුළ (අනෙක් මඟීන්ට සාපේක්ෂව) පසුපසට ඇවිදින වේගය දුම්රිය දුම්රියෙන් පිටත නිශ්චලව සිටින අයෙකුට සාපේක්ෂව ඉදිරියට යන වේගයට වඩා අඩු බව උපකල්පනය කළ හොත් එසේ දුම්රියෙන් පිටත සිටින අයෙකුට සාපේක්ෂව මේ පුද්ගලයා යන්නේ ඉදිරියටය.
-දුම්රිය තුළ අසුන්ගෙන සිටින මගීහු දුම්රියට සාපේක්ෂව නිසලව සිටිති. එහෙත්, පිටත සිටින නිරීක්ෂකයෙකුට සාපේක්ෂව දුම්රියේ වේගයෙන්ම ඉදිරියට ඇදෙති.

මේ ටික තේරුම් ගැනීම අපහසු නැත. එහෙත්, සාපේක්ෂ චලිතය හා අදාළ එවැනිම නිරවද්‍ය කියමන් වන පහත ප්‍රකාශ දිරවා ගැනීම බොහෝ දෙනෙකුට එතරම්ම පහසු නොවිය හැකිය.
-අර පසුපසට යනවායයි කී පුද්ගලයාට සාපේක්ෂව දුම්රියෙහි අසුන්ගෙන සිටින මඟීහු ඉදිරියට යති.
-දුම්රියට සාපේක්ෂව දුම්රියෙන් පිටත ඇති ගහකොළ, ගොඩනැඟිලි ආදී බොහෝ දේ පසුපසට චලනය වේ.

ඉදිරියට ඇදෙන දුම්රියක සිට පිටත බලා සිටින විට ඇතැම් විට අප නිසලව සිටින බවත් බාහිර ලෝකය පසුපසට චලනය වන බවත් අපට පෙනේ. 'ඇඟට දැනේ'. එහෙත්, බාහිර වස්තු නිසලව පවතිද්දී, අප සමඟ දුම්රිය ඉදිරියට ඇදෙන බව ක්ෂණිකව අපේ මනස අපට මතක් කර දෙයි. ඉන්පසුව, අර මුල් අත්දැකීම වෙනස් වේ. එය එසේ වන්නේ පොළොව මත ඇති අනෙකුත් වස්තු චලනය නොවන බවත්, චලනය වන්නේ දුම්රිය බවත් අප 'දන්නා' බැවිනි. අප ඒ බව දන්නේ විධිමත් ලෙස හෝ අවිධිමත් ලෙස ඒ බව අප ඉගෙනගෙන ඇති නිසා සහ එසේ උගත් දෙය අප විශ්වාස කරන නිසාය.

හැකිනම් වයස අවුරුදු තුනක් පමණ වූ ඔබේ ළමා කාලයට යන්න. ඒ කාලයේ බසයක හෝ දුම්රියක ගිය ගමනක් මතක් කරගන්න. ගමන අවසන් වන තුරුම ගහකොළ, ගෙවල් පසුපසට යනු නැරඹු අපූරු අත්දැකීම ඇතැම්විට ඔබට මතක් කර ගත හැකි වනු ඇත. ඒ, ඔබ ඔබේ ඇහැට පෙනෙන දේ විශ්වාස කළ කාලයයි. ගහකොළ, ගෙවල් පස්සට නොයන බව කාලයත් සමඟ ඔබ 'දැන ගන්නා' තුරු මෙහි කිසිම අවුලක් නොතිබුණු නිසා ඒ අත්දැකීම රස විඳින්නට ඔබට හැකි විය. එහෙත් දැන් එසේ නොවේ. ඔබේ ඇස් ඔබට පෙන්වන දේ පිළිගන්නට ඔබේ 'දැනුම' ඔබට බාධා කරයි.

ඉරත් පොළොවත් අතර සාපේක්ෂ චලිතයක් පවතී. (ඇත්තටම මේ සාපේක්ෂ චලිතයත් සාපේක්ෂ සාපේක්ෂ චලිතයකි.) මේ සාපේක්ෂ චලිතය අපේ පහසුව තකා නිශ්චලව ඇති ඉරට සාපේක්ෂව පොළොවේ චලිතය ලෙස හෝ නිශ්චලව ඇති පොළොවට සාපේක්ෂව ඉරේ චලිතය ලෙස ආකෘතිගත කළ හැකිය. පෙර අපර දෙදිග විද්‍යාර්ථින් සහශ්‍ර ගණනක සිට මේ ඉර, පොළොව හා අනෙකුත් ග්‍රහ වස්තු අතර සාපේක්ෂ චලනයන් ආකෘතිගත කළේ පොළොවට සාපේක්ෂවය. මේ ග්‍රහ වස්තු නිරීක්ෂණය කෙරෙන්නේ පොළොව මත සිට බැවින්, එවැනි ආකෘතියක් පරීක්ෂනාත්මක දත්ත සමඟ ගැලපීම අඩුවෙන් ආයාසකර කටයුත්තකි.

පොළොවේ සිට පියවි ඇසින් අහස නිරීක්ෂණය කරන්නෙකුට ඉර, හඳ, අනෙකුත් ග්‍රහ වස්තු හා ඈතින් පිහිටි තාරකා අති මහත් රාශියක් පෙනේ. දැන් අප 'දන්නා' පරිදි ඉර, හඳ, අනෙකුත් ග්‍රහ වස්තු මෙන්ම ඈතින් පිහිටි තාරකාද එකිනෙකට සාපේක්ෂව චලනය වේ. එහෙත්, මේ තාරකා පිහිටා ඇත්තේ පොළොවට ඉතා ඈතින් නිසා, කෙටි කලක් ඇතුළත සිදුවන එවැනි චලනයන් නිසා පොළොවට නිරීක්ෂණය වන 'අහසේ' සිදුවන වෙනස්කම්  අපේ පියවි ඇහැට සංවේදී නැත. එමෙන්ම, මෙසේ 'හෙමින්' සිදුවන අන්තර්-තාරකා චලනයන් ගැන හැදෑරීමේ අවශ්‍යතාවයක්ද මෑතක් වන තුරුම පෙර අපර දෙදිග විද්යාර්ථීන්ට නොතිබුණේය.

ආර්ථික විද්‍යාවේදී, භෞතික විද්‍යාවේදී හෝ වෙනත් ඕනෑම නූතන විද්‍යාවක විචල්‍ය දෙකක් හෝ කිහිපයක් අතර ඇති සම්බන්ධතාවය ආකෘතිගත කිරීමේදී අපේ පහසුවට අප කරන්නේ අපේ අධ්‍යයනයට එතරම් වැදගත් නොවන අනෙකුත් විචල්‍ය නොවෙනස්ව ඇති බව උපකල්පනය කිරීමයි. එවිට, අපට අවශ්‍ය සම්බන්ධතාව හෝ සම්බන්ධතා පහසුවෙන් හැදෑරිය හැකි සෛද්ධාන්තික රාමුවක් අපට ඉතිරි වේ.

ඒ අනුව, පොළොව, ඉර, හඳ සහ නිරීක්ෂනය කිරීමට හැකි තරමේ චලිතයක් පෙන්වූ අනෙකුත් ග්‍රහ වස්තු අතර සාපේක්ෂ චලිතය ආකෘතිගත කිරීමේදී පැරැන්නෝ අහසේ පෙනෙන අනෙකුත් සිය දහස් ගණනක් වූ තාරකා එකිනෙක අතර සාපේක්ෂ  චලිතය නොසලකා හරිමින්, ඒ සියල්ල පොළොව වටා ගමන් කරන එක් කණ්ඩායමක් ලෙස සැලකූහ. ඒ කණ්ඩායම සමඟ එක්ව ගමන් නොකරන ඉර, හඳ ඇතුළු අනෙකුත් ග්‍රහ වස්තූන්ගේ චලිතය වෙන වෙනම නිරීක්ෂණය කෙරිණි. හැදෑරිණි.

එසේ පරීක්ෂණ, නිරීක්ෂණ හා නිගමන ඇසුරෙන් 'දැනගත්' දේ ගැනත්, මේ දැනුම උපයෝගී කරගෙන හදා ගත් සහ පසුව නැවත නැවතත් තහවුරු කරගත් (එමෙන්ම, නිරීක්ෂනය කිරීමේ හා විශ්ලේෂණය කිරීමේ හැකියාවන් වර්ධනය වෙද්දී වරින් වර සංශෝධනය වුණු හා ඇතැම් විට වෙනත් ආකෘතියකින්  ප්‍රතිස්ථාපනය වුණු) ආකෘති හා සංකල්ප ගැන පසුව කතා කරමු.

අවවාදයයි: මෙම ලිපිය සඳහා ලැබී ඇති ප්‍රතිචාර අතර ලිපියේ ප්‍රස්තුතයට කිසිදු අදාළත්වයක් නොමැති, අපහාසාත්මක හා සම්මත අසභ්‍ය වචන බහුලව අඩංගු ප්‍රතිචාර රැසක් තිබේ. මේ ප්‍රතිචාර ඔබේ දරුවෙකු හෝ වැඩිහිටියෙකු වැනි අයෙකු සමඟ එකට කියවීමෙන් ඔබ දැඩි අපහසුතාවයකට පත් විය හැකිය. මෙම ලිපිය සුළු සංශෝධන සහිතව වෙනත් මාතෘකාවක් යටතේ නැවත පළකර ඇති අතර ලිපියේ ප්‍රස්තුතයට අදාළ ප්‍රතිචාර සහ ප්‍රති-ප්‍රතිචාරද එහි උපුටා දක්වා තිබේ.  

පස්සට යන ගස් හා පස්සෙන් එන හඳ...
http://economatta.blogspot.com/2016/09/blog-post.html


(Image: ramukaviyoor.blogspot.com)

Friday, August 26, 2016

කිකිළිද? බිත්තරේද?


පිරුණු කළේ දිය නොසැලෙන බව සිංහල ප්‍රස්තා පිරුළකින් කියවේ. මෙයින් මතු කරන මුඛ්‍ය අදහස වෙනකක් වුවත් දැනුම එකතු කරගෙන, දැනුමෙන් පිරිපුන් වූවන් අගය කිරීමක්ද මේ ප්‍රස්තා පිරුළේ තිබේ. තවත් ප්‍රස්තා පිරුළකින් කියවෙන්නේ පෙරළෙන ගලේ පාසි නොබැඳෙන බවයි. මෙහි අදහස වෙනස් නොවන දැනුමෙහි අගය කාලයත් සමඟ ක්ෂය වන බවයි.

අපේ කළගෙඩි හිස්ව තබා ගන්නවාට වඩා වැඩි වැඩියෙන් පුරවා ගැනීම හැම අතින්ම හොඳය. එහෙත්, කළේ කටටම පුරවාගෙන එලෙසම තබා ගැනීමේද ලොකු අවුලක් තිබේ. එසේ කළ විට, එහි අළුතින් තවත් යමක් දමන්නට ඇති ඇති අවස්ථාව අපට අහිමි වේ. මෙසේ ඉඳහිටවත් වතුර මාරු කරගත්තේ නැත්නම් කළේ වතුර පල් වී ගඳ ගසන්නට ගනී. ඇතැම් විට ඒ ගඳ අහල පහළින් යන අයටත් දැනෙන්නට පුළුවන.

අපට ඉගෙන ගන්නට ඇති ලොකුම බාධාවක් වන්නේ අළුත් දැනුම ලබා ගැනීමට ඇති ඉඩ ප්‍රස්තා නැති කමට වඩා අප දැනටමත් 'දන්නා' දේ වලින් අපේ ඔළු ගෙඩි පිරී තිබීමයි. ඒ නිසා මෙසේ අප දන්නා දේ ගැනද ඉඳහිට හෝ පසු විපරමක් කිරීම වැදගත්ය. එසේම, කලින් කලට අපේ පවතින දැනුමෙන් කොටසක් ඉවත් කිරීමද (unlearning) දැනුම එකතු කරගැනීම මෙන්ම වැදගත් දෙයකි. කුඩා කාලයේදී (අපේ මනස විසින් 'මා' නමැති ඉපදෙන හා මැරෙන පුද්ගලයා මැවීම සම්පූර්ණ කරන තුරු) මෙය සැලකිය යුතු ගැටළුවක් නොවේ. මේ කාලයේදී, අපේ කළයේ මැටි වේලී නැති නිසා වැඩිපුර වතුර වැටෙන කොට කලයේ පරිමාව තරමක් ලොකු කරගන්නට වුවත් බැරි නැත. එහෙත්, මේ අයුරින් ටික ටික වතුර පුරවා ගනිමින් කාලය ගෙවද්දී, එක්තරා අවස්ථාවක අපට 'කළය පිරී ඇති බව' දැනෙන්නට පුළුවන. අවුල පටන් ගන්නේ එදාය!

බොහෝ කලක් තිස්සේ මා මෙසේ 'දැනගෙන සිටි' බව සිතා සිටි දෙයක් වූයේ පහත ප්‍රශ්නය හා ඒ ප්‍රශ්නයට පැවති සම්මත විසඳුමයි.

"ඉස්සෙල්ල හැදුනේ කිකිළිද? බිත්තරේද?"

මෙතැන බිත්තරේ යන්නෙන් අදහස් වෙන්නේ කටුසු බිත්තරයක් හෝ වටු බිත්තරයක් වැනි ඕනෑම බිත්තරයක් නොවේ. කිකිළියක විසින් දමන බිත්තරයකි.

බිත්තරයක් දමන්නට කිකිළියක සිටිය යුතුය. එහෙත්, ඒ කිකිළිය හැදෙන්නටනම් බිත්තරයක් තිබිය යුතුය. මේකේ කෙළවරක් නැත. අගක් මුලක් නැත. ඒ නිසා, මේ ප්‍රශ්නයට තර්කානුකුල උත්තරයක් නැත. මේ ප්‍රශ්නය හා මේ ප්‍රශ්නයට උත්තරයක් නැති බව මා 'දැන ගත්තේ' වයස අවුරුදු හතරක් හෝ පහක් වන කාලයේදී විය යුතුය. ලෝකයේ සිදුවන බොහෝ දේ මට 'හරියටම' 'දැනගතහැකි බව' මම ඒ කාලයේදී විශ්වාස කළෙමි. දැනුමෙහි ඇති සාපේක්ෂ බව හා ඒ නිසාම දැනුමෙහි ඇති අවිනිශ්චිත බවත්, දැනුම හා විශ්වාස අතර ඇති වෙනස හා සම්බන්ධතාවය ගැන මා අද 'දන්නා' හා විශ්වාස කරන දේ ඒ කාලයේදී දැන නොසිටියෙමි. 

ඇතැම් ආකෘතීන්හි ප්‍රශ්න වලට උත්තර නොමැති බවට මා දැන සිටි හොඳම උදාහරණයක් වූයේ "ඉස්සෙල්ල හැදුනේ කිකිළිද? බිත්තරේද?" යන්නයි. මේ ප්‍රශ්නයට නිවැරදි පිළිතුර 'කිකිළිය' හෝ 'බිත්තරය' යන්න නොවන බව මම ඉතා මෑතක් වන තුරුම විශ්වාස කළෙමි.

මගේ ඉහත විශ්වාසය මත පදනම්ව, ඉතා මෑත දිනක මගේ දරුවෙකුගේ ගැටළුවකට මගේ පිළිතුර ඔහුට විස්තර කිරීමේ ප්‍රවේශයක් ලෙස මම ඔහුගෙන් මේ ප්‍රශ්නය ඇසුවෙමි.

"ඔයාට පුළුවන්නනම් කියන්න ඉස්සෙල්ල හැදුනේ කිකිළිද? බිත්තරේද?"

කොල්ලා කල්පනාවට වැටෙනු ඇතැයි මම සිතුවෙමි. එහෙත්, එය එසේ සිදු නොවීය.

"බිත්තරේ!"

උත්තරය ප්‍රශ්නය ඇසූ පමණින්ම ඇවිත් ඉවරය. මා එක්වරම හිතුවේ මේ පිළිතුර දුරදිග නොසිතා දුන් පිළිතුරක් බවයි.

"කොහොමද ඔයා එහෙම කියන්නේ?"

"කාලෙකට කලින් කුකුළෝ හිටියේ නැහැ. හිටියේ කුකුළන්ගේ පූර්වජයින් වන මූල-කුකුළන් (proto-roosters) විතරයි. මූල-කිකිළියකගේ බඩේ බිත්තරයක් හැදුණා. ඒක මූල-කුකුළෙකු විසින් සංසේචනය කළා. කෙසේ වුවත්, අළුත් ජනිතයෙක් බිහිකිරීම සඳහා මේ මූල-කුකුළාගේත් මූල-කිකිළියගේත් ජාන එක් වීමේදී කිසියම් විකෘතියක් (mutation) සිදුවුනා. ඒ නිසා, මේ මූල-කිකිළිය දැමූ බිත්තරයෙන් එළියට ආවේ දැන් අප දකින විදිහේ කිකිළියක්!"

මෙය මා ඔහුගෙන් බලාපොරොත්තු වූ පිළිතුරක් නොවීය. ඔහුගේ විශ්ලේෂණ හැකියාව ඒ වෙලාවේ මාව විමතියට පත් කළේය. කෙසේ වුවද, මේ ලිපිය ලිවීම පටන් ගැනීමට මොහොතකට පෙර අන්තර්ජාලය පිරික්සීමේදී මා දුටුවේ මේ පිළිතුර අන්තර්ජාලයේ සටහන්ව ඇති පිළිතුරක් බවයි. ඇතැම් විට ඔහු මෙය අන්තර්ජාලයෙන් දැක තිබුණා විය හැකිය.

කෙසේවුවද, වැදගත් කරුණනම් කිකිළිද බිත්තරයද ප්‍රශ්නයට විකල්ප පිළිතුරක් සොයන්නට මා මෙතෙක් නොපෙළඹුනේ ප්‍රශ්නයට පිළිතුර මා දැන සිටි බව මා විශ්වාස කළ නිසාය.

***
මගේ ඉහත ප්‍රශ්නයට මගේ දරුවා දුන් පිළිතුර අඩු වශයෙන් ඒ මොහොතේ මා අමන්දානන්දයට පත් කළ 'නිවැරදි' පිළිතුරකි. කෙසේවුවද, මේ පිළිතුර නිවැරදි පිළිතුරක් වන්නේ ඔහුගේ දැනුමට සාපේක්ෂවය. ඔහු 'දන්නා' හා විශ්වාස කරන පරිණාමවාදයට අනුව, එක්වරම මූල-කිකිළියක විසින් දමන බිත්තරයකින් ඒ මූල-කිකිළියට මෙන්ම බිත්තරය සංසේචනය කළ මූල-කුකුළාටද වඩා වෙනස් අළුත් සතෙකු වන අප දන්නා කුකුළෙකු බිහි විය හැකිය.

මගේ දරුවා පරිණාමවාදය විශ්වාස කරයි. ඔහු මේ වන තුරු පාසැලේදී පරිණාමවාදය ඉගෙනගෙන නැත. ඒ පිලිබඳ ඔහුගේ දැනුම ඔහුගේ ස්ව-කැමැත්තෙන් බාහිරව ලබාගත් දැනුමකි. පරිණාමවාදය විශ්වාස කරන්නට ඔහුට පාසැලේදී හෝ නිවසේදී කිසිවකු කිසිම බලකිරීමක් කර නැත. පරිණාමවාදය ගැන මෙන්ම ලෝකයේ ප්‍රධාන ආගම් හා දර්ශන ගැනද ඔහු කියවා ඇත. ඒ කියවා ඇත්තේද විෂය බාහිර කියවීම් වශයෙනි. එහෙත්, මේ ආගම් හා දර්ශන වල කියැවෙන පරිණාමවාදය හා ගැටෙන්නේයැයි ඔහු සිතන ඇතැම් දේ වෙනත් බොහෝ අය විශ්වාස කරන බව ඔහු දන්නා නමුත් ඔහු විශ්වාස නොකරයි. එය තනිකරම ඔහුගේ තෝරා ගැනීමකි.

මෙහි යම් දුරකට මාධ්‍ය මඟින් පතුරුවන දැනුම් ආධිපත්‍යයේ බලපෑම තිබීමේ ඉඩක් ඇතත්, මාධ්‍ය වල ඇති තොරතුරු වලින් තමන්ට අවශ්‍ය දේ නිදහසේ තෝරාගැනීමට ඔහුට පුළුල් ඉඩකඩක් තිබීමත්, ඔහු එසේ කිරීමත් සැලකූ විට මේ ඉඩකඩ විශාල නැත. මා මගේ වයස දහයක් හෝ එකොළහක් වූ කාලයේදී කොවූර්ගේ පොත් දෙකක් කියවූ පමණින් 'බොක්කෙන්ම' හේතුවාදියෙක් වූයේත්, අඥෙයවාදියෙකු ලෙස වෙනස් වන තුරු එතැන් සිට වසර හයක් පමණ සමාජ ක්‍රියාකාරකම් වලදී කෙසේ වුවත් මගේ පෞද්ගලික විශ්වාස තුළ හේතුවාදියෙක් ලෙස සිටියේත්, නිවසේදීත්, පාසලේදීත්, දහම් පාසලේදීත් කොවූර් ඉදිරිපත් කළ හේතුවාදය සමඟ දැඩිව ගැටෙන මතවාදී, සංස්කෘතික හා දැනුම් ආධිපත්‍යයකට යටත්ව සිටියදීය.

පරිණාමවාදය අනුව ඇත්තටම මූල-කිකිළියක විසින් දමන බිත්තරයකින් එක පාරටම වෙනස්ම සතෙක් බිහි වෙන්නේ නැත. ජාන විකෘතියක් නිසා කිසියම් වෙනස්කමක් ඇති සතෙක් බිහි වී ඒ වෙනස්කම පරම්පරාවෙන් පරම්පරාවට යාමත්, මෙවැනි වෙනස්කම් ගණනාවක් වරින් වර සිදු වීමත් හේතුවෙන් අන්තිමේදී සිය පූර්වජයාගේ ලක්ෂණ ඒ විදිහටම ඇති සතෙකු සමඟ එක් වී සරු ජනිතයෙකු බිහි කළ නොහැකි වෙනස් සතෙක් බිහි විය හැකි බව පරිණාමවාදයෙන් විස්තර කෙරේ.

යුරෝපයේ කෙසේ වෙතත් ඇමරිකාව තුළ අදටත් පරිණාමවාදය ප්‍රමුඛ මතවාදය නොවේ. පසුගිය 2014දී සිදු කළ අවසන් ගැලප් ජනමත සමීක්ෂණය අනුව ඇමරිකානුවන්ගෙන් 42%ක් තවමත් සිතන්නේ වසර 10,000කට පමණ පෙර දෙවියන් විසින් වත්මන් ස්වරූපයෙන් මිනිසා මැවූ බවයි. ඇමරිකානුවන්ගෙන් තවත් 31%ක් වසර මිලියන ගණනක් තිස්සේ මිහිමත ජීවය පරිණාමය වූ ආකාරය ගැන ඩාවින්ගේ සිට වැඩිදියුණු වූ ප්‍රවාදය පිළිගන්නා නමුත් ජීවී පරිණාමය මෙසේ සිදුවන්නේ දෙවියන්ගේ කැමැත්ත අනුවයැයි සිතති. පරිණාමය සිදුවන්නේ දෙවි කෙනෙකුගේ සම්බන්ධයකින් තොරව බව සිතන්නේ ඇමරිකානුවන්ගෙන් 19%ක් පමණි. (ඉතිරි 8% පිළිතුරු නොදුන් අය විය හැකිය.)

මා ඉහතින් ඉදිරිපත් කළ මගේ දරුවාගේ පිළිතුර නිවැරදි පිළිතුරක් වන්නේ පරිණාමවාදය 'දේව කැමැත්තට යටත්ව' යන සංශෝධනය සහිතව හෝ විශ්වාස කළ හැකි පදනමකදී පමණි. දෙවියන් විසින් වසර දසදහසකට පෙර එක් වර (දින හතක් ඇතුළත) ලෝකයත්, මිනිසා ඇතුළු අනෙකුත් සියළු සතුනුත් මැවුවේය යන මැවුම්වාදය විශ්වාස කළ හැකි පදනමකදී ඉහත ප්‍රශ්නයට නිවැරදි පිළිතුර වන්නේ බිත්තරය නොව කිකිළිය යන්නයි. (අවශ්‍යනම් චක්‍රීය චින්තනයක මේ ප්‍රශ්නයට පිළිතුරක් නැති බව හෝ මෙහි අඩු වශයෙන් ප්‍රශ්නයක්වත් නැති බව කෙනෙකුට කියන්නට පුළුවන.)

ප්‍රශ්නයකට නිවැරදි පිළිතුරක් පවතින්නේ කිසියම් දැනුම් පද්ධතියක් (knowledge system) හා විශ්වාස පද්ධතියක් (belief system) තුළය. ඒ නිසා, එක් දැනුම් හා විශ්වාස පද්ධතියක් තුළ නිවැරදි වන දෙය වෙනත් දැනුම් හා විශ්වාස පද්ධතියක් තුළ නිවැරදි නොවිය හැකිය. ඇතැම් විට වැරදි විය හැකිය.

මගේ දැනුම සාපේක්ෂ දැනුමක් බව මා දන්නා නිසා කිසියම් ප්‍රශ්නයකට මා 'දන්නා' පිළිතුර නිවැරදි වීමේ සම්භාවිතාව එකට වඩා අඩු බව මගේ විශ්වාසයයි. ඒ බව මා 'දන්නා' නමුත්  ප්‍රායෝගිකව ක්‍රියාකිරීමේදී බොහෝ විට මා උපකල්පනය කරන මේ සම්භාවිතාව මත කිසියම් 'ඔට්ටු ඇල්ලීමක්' කිරීමට මට සිදුවේ. එහිදී, යමක් නිවැරදි වීමේ සම්භාවිතාව ලෙස මා විශ්වාස කරන අගය ඉතා අඩුනම් මා ප්‍රායෝගිකව කරන්නේ එම සම්භාවිතාව නොසලකා හැරීමයි.

දැනුම බොහෝ දුරට බාහිරින් ලැබෙන දෙයක් වුනත් විශ්වාස යනු අපේ 'ඇඟේම තියෙන' දේවල් බව මගේ අදහසයි. ඒ නිසා, දැනුම ලබාගත් පමණින් විශ්වාස වෙනස් නොවේ. එහෙත්, දැනුම පුළුල් වූ තරමට විශ්වාස යාවත්කාලීන කරගැනීම සඳහා ඇති වන අභ්‍යන්තර තෙරපුම වැඩි වේ.


(Image: www.headlinesciencenow.com)

Tuesday, August 23, 2016

හැන්ඩියන්ට බඩු නැත්තේ ඇයි?

"ක්රෑමන්ට ක්ලාස් නැත. හැන්ඩියන්ට බඩු නැත."

ඉහතින් ඇත්තේ ජනප්‍රිය සරසවි ප්‍රස්තා පිරුළකි. මෙහි ප්‍රභවය ගැන මා නොදන්නා නමුත් එය මගේ සරසවි කාලයට වඩා බොහෝ පැරණි බවනම් ස්ථිරය. අඩු වශයෙන් පස්වන ශ්‍රේණියේදී පමණ මම මේ කියමන දැන සිටියෙමි. මතක හැටියට මුලින්ම මේ කෑල්ල දැක්කේ කිසියම් නවකතාවකය.

'ක්රෑමෝ' යනු හැම වෙලාවේම අධ්‍යයන කටයුතු වල ඇලී ගැලී සිටින, වෙනත් බාහිර සමාජ ක්‍රියාකාරකම් වලට අඩුවෙන් සම්බන්ධ වන සිසුන්ය. මා සරසවියේ සිටි කාලයේදී මේ වචනය වෙනුවට ජනප්‍රියව තිබුණේ 'බොගාලා' යන වචනයයි. හැම වෙලාවේම අධ්‍යයන කටයුතු වල ඇලී ගැලී සිටින සිසුවෙකු එසේ කරන්නේ එසේ මහන්සි වී වැඩ කිරීමෙන් විභාගය වඩා හොඳින් සමත් වීමට හැකි වේය යන අපේක්ෂාවෙනි. ක්ලාස් එකක් හෙවත් පන්ති සාමාර්ථයක් ගත හැකි වන්නේ එවිටය. කෙසේ වුවද, දවස තිස්සේම ක්රෑම දැමීමෙන්, බොග දැමීමෙන් හෙවත් පොතපතෙහි ඇලී ගැලී සිටීමෙන් පසුවත් සිසුවෙකුට පන්ති සාමාර්ථයක් නොලැබේනම් එහි ඇත්තේ විසංවාදයකි.

'හැන්ඩියන්' යනු කඩවසම් පුද්ගලයින්ය. කාන්තා පාර්ශ්වයේ ආකර්
ශනය දිනා ගැනීම සඳහා අනෙක් පිරිමින් සමඟ තරඟ කිරීමේදී හැන්ඩියන්ට එසේ නොවන අයට වඩා වැඩි වාසියක් ඇති බව කිව යුතු නොවේ. මේ අයුරින්ම, කාන්තා පාර්ශ්වයේ 'කිරි ටොයියන්ට' පිරිමි පාර්ශ්වයේ ආකර්ශනය වැඩිය. ඒ අනුව, සරසවියක් වැනි විශාල තරුණ තරුණියන් රැසක් ඉන්නා ස්ථානයක අනෙක් අයට පෙර 'හැන්ඩියන්ට බඩු සෙට් වීමත්' 'කිරි ටොයියන්ට පොරවල් සෙට් වීමත්' සිදු විය යුතු සාමාන්‍ය දෙයයි. සිදු විය යුතුයැයි පෙනෙන දෙය එසේ වුවත්, ඇතැම් විට දිගු කලක් පෙම්වතෙකු හෝ පෙම්වතියක නොමැතිව සිටින, ප්‍රසිද්ධියේ නොපෙන්වුවත් ඒ සම්බන්ධව සිත් තැවුලෙන් පෙළෙන කඩවසම් තරුණයින් මෙන්ම රූ සපුවෙන් නොඅඩු තරුණියන්ද සරසවි වල මෙන්ම වෙනත් තැන් වලද සිටිනු පෙනේ. 'කබ්බන්' හා 'යක්කු' හිච් වෙද්දී 'හැන්ඩියන්ට' හා 'කිරි ටොයි කෑලි වලට' මෙසේ වේලෙන්නට වීම විසංවාදයකි.

ඉහත සරසවි ප්‍රස්තා පිරුළෙහි අදහස වන්නේ මෙසේ බැලූ බැල්මටම සිදුවිය යුතුයැයි පෙනෙන දේ සිදු නොවන අවස්ථා තිබීමයි. ඇතැම් වෙළදපොළවල් වල මේ අයුරින් තත්ත්වයෙන් හොඳ භාණ්ඩ නොවිකිණී බාල බඩු විකිණෙන්නේ, එසේත් නැත්නම් මිණිකැට යට වී ගොමරිටි මතු වන්නේ ඇයි?

1970දී එවකට කැලිෆෝර්නියාවේ බර්ක්ලි සරසවියේ සහකාර මහාචාර්යවරයෙකු වූ ජෝජ් අකර්ලොෆ් විසින් මේ සංසිද්ධිය විධිමත් ලෙස පැහැදිලි කරමින් පර්යේෂණ පත්‍රිකාවක් පළ කළේය. "The Market for `Lemons': Quality Uncertainty and the Market Mechanism" නම් වූ මේ පර්යේෂණ පත්‍රිකාවෙහි ඔහු විසින් කළ පැහැදිලි කිරීම හේතුවෙන් 2001 වසරේදී ආර්ථික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය අකර්ලොෆ්ට හිමි විය. ඔහු මේ වන විට ජෝජ්ටවුන් සරසවියේ මහාචාර්ය වරයෙකු ලෙස සේවය කරන අතර, දැනට ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුවේ (මහ බැංකුවේ) සභාපතිනිය (අධිපතිනිය) වන හා බර්ක්ලි, හාර්වඩ් ආදී සරසවි වල මහාචාර්යවරියක ලෙසද සේවය කළ ජැනට් යෙලන් ඔහුගේ බිරිඳයි.

ඉහත පර්යේෂණ පත්‍රිකාවේ 'ලෙමන්' යනුවෙන් අදහස් වන්නේ තත්ත්වයෙන් බාල, පාවිච්චි කළ මෝටර් රථයි. මෙය සාමාන්‍ය ජන වහරේ ඇති වචනයකි. 'සෙකන්ඩ් හෑන්ඩ්' වාහන සඳහා වන වෙළඳපොළෙහි හොඳ වාහනයක් ලේසියකට විකිණෙන්නේ නැත. එහෙත්, 'ලෙමන්' ඉතා ඉක්මණින් විකිණේ. ඒ ඇයි?

අකර්ලොෆ් පැහැදිලි කළ පරිදි මෙයට හේතුව විකුණන්නා සහ මිලදී ගන්නා යන ගනුදෙනුවේ පාර්ශ්ව දෙක අතර පවතින තොරතුරු අසමමිතියයි. ඉංග්‍රීසියෙන් adverse selection problem ලෙස හැඳින්වෙන මේ ප්‍රශ්නය විස්තර කිරීමට වචනයෙන් වචනය කරන පරිවර්තනයකට වඩා 'ගොමරිටි මතුවීම' වැනි පරිවර්තනයක් වඩා ගැලපෙන අතර අදහස තේරුම් ගැනීම පහසු කරයි. (දන්න කෙනෙක් සිටීනම් කරුණාකර විධිමත් සිංහල වචනය කියන්න.)

අකර්ලොෆ්ගේ කතන්දරය මෙවැන්නකි. කම්හලෙන් නිපදවා විකුණන්නට ඇති, එකම මාදිලියේ අළුත් මෝටර් රථ වල මිල සමානය. උදාහරණයක් ලෙස මේ මිල රුපියල් ලක්ෂ විස්සක් කියා අපි සිතමු. එමෙන්ම මේ මෝටර් රථ එකිනෙක අතර වෙනසක් සොයාගැනීම අපහසු නිසා ගැනුම්කරුවෙකුට අමුතුවෙන් තෝරන්නට දෙයක් නැත. එසේ වුවත්, එයින් අදහස් වන්නේ සියළුම මෝටර් රථ තත්ත්වයෙන් සමාන බව නොවේ. මේවා අතර යම් යම් ප්‍රශ්න තිබෙන ඒවා තිබිය හැකිය. එහෙත්, මේ ප්‍රශ්න එළියට එන්නේ පාවිච්චියට ගත් විටය. ගැනුම්කරුවෝ මේ බව දනිති.




පාරිභෝගිකයෙකු වාහනයකට ගෙවන්නට කැමති මිල එහි තත්ත්වය මත තීරණය වේ. එහෙත්, මෙහිදී පාරිභෝගිකයා මිල දී ගැනීමට පෙර වාහනයේ තත්ත්වය හරියටම නොදනී. මෙහි ඇත්තටම ඇත්තේ විෂමජාතීය වෙළඳපොළක් වුවත්, තත්ත්වයෙහි වෙනස්කම් නොදකින පාරිභෝගිකයාට කොයි වාහනයත් පෙනෙන්නේ එක වගේ නිසා, ඔහු දකින වෙළඳපොළෙහි විකුණන්නට ඇත්තේ සමජාතීය භාණ්ඩයකි. දැන් මේ වෙළඳපොළේ ඉල්ලුම හා සැපයුම සමතුලිත වී රුපියල් ලක්ෂ විස්සක් ලෙස මිල තීරණය වුනේ කොහොමද?

මිල දී ගන්නා වාහනයේ කිසිම අවුලක් නැත්නම් පාරිභෝගිකයාට එහි වටිනාකම රුපියල් ලක්ෂ විසි එකක් ලෙස සලකමු. එහෙත්, එහි ඇති 'ලෙඩ' (manufacturing defects) ප්‍රමාණය අනුව මේ මිල රුපියල් ලක්ෂ දහනමයක් දක්වා ඕනෑම ගණනක් විය හැකිය. මේ අනුව, පාරිභෝගිකයා ලක්ෂ විසි එකක් ගෙවන්නට කැමති වෙන්නේ නැත. එහෙත්, ලක්ෂ දහනමයක් දක්වා පහළට යන්නේත් නැත. මේ අනුව, තත්ත්වයෙන් සාමාන්‍ය (average) මෝටර් රථයක්, ලෙඩ කිහිපයක් තිබුණත් ලෙඩ වාට්ටුවක් නොවන එකක්, වෙනුවෙන් ඔහු ගෙවන්නට කැමති මිල වන රුපියල් ලක්ෂ විස්ස ලෙස ආරම්භක මිල තීරණය වේ.


අළුත් නිෂ්පාදන කාණ්ඩයක (බැච් එකක) මෝටර් රථ සියයක් විකිණුනේයැයි අපි සිතමු. මේවායින් පණහක සාමාන්‍ය මෝටර් රථයක තරම් අවුල් නැති නිසා ඇත්ත වටිනාකම රුපියල් ලක්ෂ විස්සට වඩා වැඩි බව ඒවා මිලදී ගැනීමට වාසනාවන්ත වූ පාරිභෝගිකයෝ දැන ගනිති. ඒ වගේම, ඉතිරි පණහේ ඇති අවුල් සාමාන්‍ය මෝටර් රථයක ඇති අවුල් ප්‍රමාණයට වඩා වැඩි නිසා සැබෑ වටිනාකම ලක්ෂ විස්සකට අඩුය. මිලදී ගත් වහාම 'සෙකන්ඩ් හෑන්ඩ්' වාහනයක මිලද අළුත් වාහනයක මිලට වඩා වෙනස් නැතැයි මොහොතකට සිතමු. දැන්, තමන් මිලදී ගත් වාහනය අනික් අතට විකුණන්නට හදන්නේ කවුද?

සාමාන්‍ය තත්ත්වයට වඩා හොඳ වාහනයක් අහුවුණු කෙනා එය එහි වටිනාකමට වඩා අඩුවෙන්, ලක්ෂ විස්සට විකුණන්නේ නැත. එහෙත්, බාල වාහනයක් හිමි වූ අය උත්සාහ කරන්නේ තමන් සතු වාහනය හැකි ඉක්මණින් වෙන කෙනෙකුගේ ඇඟේ ගැසීමටය. මේ නිසා, සෙකන්ඩ් හෑන්ඩ් වෙළඳපොළට එන අළුත් වාහන සියල්ලම සාමාන්‍ය මට්ටමට වඩා තත්ත්වයෙන් බාල වාහනයි. ඒ වාහනයක වටිනාකම ලක්ෂ දහනමයත් විස්සත් අතර වන අතර සාමාන්‍ය අගය ලක්ෂ දහනමය හමාරකි.

කෙසේ වුවද, සෙකන්ඩ් හෑන්ඩ් වෙළඳපොළට එන්නේ අළුත්ම වාහන වලට වඩා බාල වාහන බව ඉතා ඉක්මණින් පාරිභෝගිකයෝ දැන ගනිති. ඒ නිසා, මේ වෙළඳපොළෙහි වාහනයක මිල එවැනි වාහනයක සාමාන්‍ය අගය වන ලක්ෂ 19.5 දක්වා අඩුවේ.

දැන් වෙන්නේ කුමක්ද? අර කලින් වෙළඳපොළට ආ වටිනාකම ලක්ෂ 19.5-20 අතර වූ වාහනත් වෙළඳපොළට පැමිණීම නැවතීමයි. එවිට විකිණීමට ඇති වාහනයක සාමාන්‍ය තත්ත්වය හා සාමාන්‍ය වටිනාකම තවත් අඩුවී මිල රුපියල් ලක්ෂ 19.25 දක්වා අඩුවේ. මෙය දිගින් දිගටම මෙසේ සිදුවන නිසා අන්තිමේදී මිල ලක්ෂ 19 දක්වාම අඩුවී සෙකන්ඩ් හෑන්ඩ් වෙළඳපොළක් නැති වන්නට සෛද්ධාන්තිකව ඉඩ ඇතත් එය එසේම වෙන්නේ නැත. මුදල් හදිස්සියට සිය වාහනය අඩුවට හෝ විකුණන ටික දෙනෙක් හෝ සිටින නිසා මේ වෙළඳපොළෙහි මිල ලක්ෂ 19ට මඳක් වැඩියෙන් තීරණය වේ.

දැන් මේ වෙළඳපොළෙහි අලෙවි වන වාහන මොනවාද? වැඩිපුරම විකිණෙන්නේ වටිනාකම මේ මිලට වඩා අඩු 'ලෙඩ ගොඩවල්ය'. අතරින් පතර හදිස්සිකාරයෙකු අතින් තරමක් හොඳ වාහනයක්ද අඩුවට විකිණෙන්නට පුළුවන. මේ වෙළඳපොළට එන තරමක් එන්නේම ගොමරිටිය. මැණිකක් ආවොත් ඒ ඉතාම කලාතුරකිනි.

දැන් මෙහි ඇති අවුල කුමක්ද? යම් කිසිවෙකුට තමන් සතු කිසිම ලෙඩක් නැති, ඒ නිසාම ලක්ෂ 21ක් වටින වාහනය විකුණන්නට අවශ්‍යයයි සිතමු. ඇය වාහනය මිලදී ගෙන ඇත්තේ ලක්ෂ 20කට නිසා ඇය මෙය ලක්ෂ 20.5කට විකුණන්නට කැමතිය. එහෙත්, ඇයට සිය වාහනය ලක්ෂ 21ක් වටින කිසි ලෙඩක් නැති එකක් බව තහවුරු කළ නොහැකිය.

"ඔය තරං හොඳ වාහනයක්නම් විකුණයියැ? ලෙඩ ගොඩක් වෙන්න ඇති!"

පාරිභෝගිකයින් කවුරුත් හිතන්නේ එහෙමය. ඒ නිසා, ඔවුන් ගෙවන්නට කැමති වන්නේ වැඩිම වුනොත් ලක්ෂ 19කට පොඩ්ඩක් වැඩියෙනි. එහෙත්, මේ වාහනය ඇත්තටම ලක්ෂ 21ක් වටින බව දන්නවානම් ලක්ෂ 20.5ක් ගෙවා එය මිල දී ගන්නට ඉදිරිපත් වන්නේ එක පයිනි. එවැනි ගණුදෙනුවක් වූයේනම් දෙදෙනාටම වන්නේ වාසියකි. එහෙත්, තොරතුරු අසමමිතිය හේතුවෙන් ඇති වන අවිශ්වාසය නිසා මේ ගණුදෙනුව වැළකේ.

මෙය වෙනත් බොහෝ දේ වලටද අදාළය. පිරිමියෙකුගේ සිහිනය වන චරිතවත් තරුණියක් තමන්ව මාකට් කර ගැනීමට උත්සාහ කළ වහාම 'ගොනෙක්' ලෙස ලේබල් වීමේ අනතුරට මුහුණ දෙයි. ඒ නිසා, බොහෝ විට තමන්ව මාකට් කර ගැනීමට පැකිලීමක් නැතිව ඉදිරියට එන්නේ ඒ ලේබලය එතරම් අවුලක් නැති තැනැත්තියකි. දේශපාලනයේ සිටින බොහෝ දෙනා ලැජ්ජා නහරය කපාගත් අයයි. කොතරම් හොඳ කෙනෙක් වුවත්, දේශපාලනයට පිවිසි වහාම හොරෙක්, වංචා කාරයෙක් ආදී ලේබල් සියල්ල වදී. මේ නිසා, එසේ නොවන 'කොලිටියෙන් වැඩි' කෙනෙක් දේශපාලනයට පැමිණීමට පැකිලේ. එහි ප්‍රතිපලය ලෙස අන්තිමේදී වෙන්නේ ඒ ලේබලය අවුලක් නැති හොරුන්, වංචා කාරයින් ආදීන්ම වැඩි වශයෙන් දේශපාලනයට පැමිණීමයි.

Saturday, August 20, 2016

ඔබෙන් තොර ලෝකයක් කොයින්දෝ...

ඉයන් විසින් ඇති කළ සොඳුරු රැල්ල පසුව කුණාටුවක් වී මේ වන විට සෙමින් බැස යමින් පවතී. වෙනත් මාතෘකා කිහිපයක් ගැනම ලියන්නට පටන් ගත් නමුත් රැල්ල ඊට වඩා ප්‍රබලය. ඇසළ පෙරහැර අවසන් වීමට පෙර ඒ ගැන ලිපියක් පළ කරන්නට  සිතා සිටියත් දිය කපා අවසන් වන තුරුම ඒ ලිපිය අවසන් කරන්නට නොහැකි විය. එසේ පළ කළද, නැදුන්ගමුවේ හස්ති රාජයා වුවද ගසා ගෙන යන තරමේ මේ රැල්ලට මේ දවස් වල පළ කරන වෙනත් ඕනෑම ලිපියක් ගසා ගෙන යාමට ඉඩ තිබේ.

මේ වන විට අඩු වශයෙන් දහනව දෙනෙකු සිය ගීත ලැයිස්තු පළ කර තිබේ. මේ ගීත ලැයිස්තු වල සැලකිය යුතු විවිධත්වයක් මෙන්ම සමානකම්ද තිබේ.

තිලකසිතෙහි කමෙන්ටුවක් දමමින්, මේ ගැන රසික කියා තිබුණේ මේ සිංදු ලැයිස්තු දෙස බැලූ විට අප එකිනෙකා කොයි තරම් වෙනස්ද යන්න නැවත වැටහුණු බවයි. ඇත්තටම අප එකිනෙකාගේ රුචි අරුචිකම් අතර සුළු හෝ වෙනස්කම් තිබේ. එක් අයෙකුගේ තෝරාගැනීම් ගැන වෙනත් අය ප්‍රශ්න කිරීම හෝ ඒ තෝරාගැනීම් වලට මැදිහත් වීම එතරම් සුදුසු නොවන්නේ ඒ නිසාය.

අප එකිනෙකා අතර මෙවැනි වෙනස්කම් තිබුණද, සමානකම්ද තිබේ. වයස, රැකියා, දේශපාලන අදහස් වැනි විවිධ මාන අනුව වෙනස් පුද්ගලයින් ලෙස සැලකිය හැකි බොහෝ දෙනෙකු තමන් කැමති සිංදු පළ කිරීමට ඉදිරිපත් වීමම මේ කරුණ පෙන්වා දෙයි.

ඇත්තටම මෙහිදී සිදු වී ඇත්තේ, ඉයන්ගේ 'තරඟ කොන්දේසි' අනුව අප අතර ඇති ඉතා සියුම් වෙනස්කම් පවා කැපී පෙනීමයි. ආර්ථික විද්‍යා ආකෘති මඟින් කරන්නේ රුචි අරුචිකම් හා අදාලව පුද්ගලයින් අතර ඇති මෙවැනි සියුම් වෙනස්කම් තේරුම් ගැනීමට උත්සාහ කිරීමයි. තේරීමක් කිරීමේදී ඇති විකල්ප ප්‍රමාණය වැඩි වන තරමට විවිධ පුද්ගලයින් අතර ඇති මෙවැනි වෙනස්කම් තේරුම් ගැනීම පහසු වෙයි.

දස දහස් ගණනක් හෝ ලක්ෂ ගණනක් වන සිංහල සිංදු අතරින් තමන් කැමති සිංදු දහසයක් තෝරාගැනීම කාට වුවත් ඉතා අසීරු කටයුත්තකි. ඒ, මෙහිදී ඇති තෝරා ගැනීම් ගණන ඉතා විශාල බැවිනි. සිංදු ගණන දස දහසක් පමණක් ලෙස සැලකුවද, ඒ සිංදු වලින් හැදිය හැකි සිංදු දහසයේ 'පැකේජ' ගණන අංක පණහක සංඛ්‍යාවකි. ඒ නිසා, අහඹු ලෙස දෙදෙනෙකු විසින් එකම තේරීම කිරීමට ඉඩක් ඇත්තේම නැති තරම්ය. යම් හෙයකින් එසේ වෙනවානම් එයින් පෙනෙන්නේ ඒ දෙදෙනාගේ රුචි අරුචිකම් 'පුදුමාකාර ලෙස' සමාන බවයි.


අනෙක් අතට, මෙවැනි විශාල විකල්ප ගණනක් ඇති විට ඒ විකල්ප අතරින් හොඳම විකල්පය තෝරා ගැනීම ඕනෑම පුද්ගලයෙකුට ප්‍රායෝගිකව කළ නොහැකි දෙයකි. සම්භාව්‍ය ආර්ථික විද්‍යාවේ මූලික සංකල්පයක් වන්නේ පුද්ගලයින් තමන්ට වඩාත්ම හොඳ විකල්පය තෝරාගන්නා බවයි. එහෙත්, ඇතැම් තත්ත්වයන් යටතේ එය එසේ සිදු නොවන බව පරීක්ෂණාත්මක ආර්ථික විද්‍යාඥයින් (experimental economists) විසින් නැවත නැවතත් පෙන්වා දී තිබේ. ඒ පදනම මත, බොහෝ චර්යාත්මක ආර්ථික විද්‍යා ආකෘතීන් තුළ සියළු පුද්ගලයින් සියළු අවස්ථා වලදී තාර්කික තීරණ (rational decisions) නොගන්නා බව උපකල්පනය කෙරේ. කෙසේ වුවද, බොහෝ පුද්ගලයින් විසින් බොහෝ අවස්ථා වලදී තාර්කික තීරණ ගැනීම, ආර්ථික විද්‍යාවේ මූලික න්‍යායයන්හි පැවැත්මට ප්‍රමාණවත්ය.

ඇතැම් පුද්ගලයින් බොහෝ විටත්, බොහෝ පුද්ගලයින් ඇතැම් විටත් තාර්කික නොවන ලෙස තමාගේ යහපතට වැඩිපුරම හේතුවන විකල්පය නොවන වෙනත් විකල්පයක් තෝරා ගැනීමට හේතුවන කරුණු අතර ඒ තීරණය ගැනීමට විශාල දත්ත සැකසුමක් කිරීමට සිදුවීම හා ඒ සඳහා විශාල කාලයක් ගතවීමද හේතු වේ. එමෙන්ම, හොඳම තීරණය නොවන වෙනත් තීරණයක් ගැනීම නිසා සිදුවන පාඩුව විශාල නොවීමද මෙවැනි අතාර්කික තීරණ වලට තවත් හේතුවකි. (තවත් හේතු රැසක්ම තිබේ.) සිංදු දහසයක් තෝරාගැනීමේදී අප බොහෝ දෙනෙකුට එය 'හරියටම කිරීම' අසීරු වීමට මේ කරුණු තුනම හේතු වේ.

අප කැමති සිංදු සියල්ල මතක් කර ලැයිස්තුගත කර, අපේ කැමැත්තේ ප්‍රමුඛතාවය අනුව තෝරන්නට ප්‍රමාණවත් කාලයක් අප කිසිවෙකුට නැත. එමෙන්ම, මේ ලැයිස්තුව පොඩ්ඩක් වැරදුණා කියා සිදුවන ලොකු පාඩුවක්ද නැත.

සිංදු තේරීමේ ඇති අමාරුව ගැන රසික විසින් විස්තර කර තිබේ. කෙසේ වුවද, මේ ප්‍රශ්නය පැන නඟින්නේ වඩා කැමති හෙවත් 'හදවතට සමීප' සිංදු තේරීමේදීය. මෙයම නොවන 'ජීවිතයට සමීප' ගීත දහසයක ලැයිස්තුවක් සෑදීම ඊට වඩා පහසු දෙයකි.

ඇතැම් ගීත අසන විට, ගායකයා, ගීත රචකයා හෝ ගීත නිර්මාණයට සම්බන්ධ වෙනත් අයෙකු තබා වෙනත් කිසිදු රසිකයෙකුගේ සිතෙහි හෝ නොමැවෙන වෙනස්ම චිත්ත රූප අපේ හිතේ මැවෙන අවස්ථා තිබේ. එය එසේ වන්නේ අප අපේ පෞද්ගලික අත්දැකීමක්, ජීවිතයේ යම් කාල වකවානුවක් හෝ පුද්ගලයක් කිසියම් ගීතයකට සම්බන්ධ කර මතක තබා ගත් විටය. මා හිතන්නේ මෙය මගේ පුද්ගලික අත්දැකීමක් නොව බොහෝ දෙනෙකුගේ පොදු අත්දැකීමක් බවයි. මේ පදනමින් 'ජීවිතයට සමීප ගීත' ලැයිස්තුවක් පළ කිරීම වඩා පහසු වුවත් එය කිරීමේදී පෞද්ගලික තොරතුරුද සටහන් කරන්නටම සිදුවේ. ඒ නිසා, ඒ ලැයිස්තුව පසුවට තබා 'හදවතට සමීප ගීත' ගැන සිතමු.

හදවතට සමීප ගීත ලැයිස්තුවක් සැදීම පහසු කරුණක් නොවන නිසා එය කළ හැකි පහසුම ක්‍රමය තිලකසිත කියා ඇති පරිදි වැඩිපුර නොසිතා ඔහේ ඔළුවට එන විදිහට ලැයිස්තුවක් සැදීමයි. මා පහතින් පළ කරන්නේ එවැනි 'සම්පාදක තෝරයි' මාදිලියේ ලැයිස්තුවකි. ලැයිස්තුව සැදූ වහාම, එහි තිබුණානම් හොඳයැයි සිතුණු තවත් සිංදු ගණනක් මතක් වුවත් ලැයිස්තුව සංශෝධනය කර අවසන් කිරීම කවදාවත් සිදු නොවන දෙයක් නිසා එය එසේම ප
කරමි. ඒ අනුව, මගේ ඇතැම් ප්‍රියතම ගායකයින් හා ගීත එහි ඇතුළත් නොවීම නොසලකා හරිමි.

තිලකසිත විසින් මගේ පෙර ලිපියට කමෙන්ටුවක් දමමින් "මම හිතුවා ආර්ථික විද්‍යාව ගෑවිලා හරි තියෙන සින්දුවක් දෙකක් ගැනත් ලියයි කියල" යැයි කියා තිබුණේය. එයට මගේ පිළිතුර වූයේ "ආර්ථික විද්‍යාව හැම තැනකම වගේ තියෙන නිසා බොහොමයක් සිංදු වලට කොහෙන් හරි ගෑවිලා තියෙනවා" යන්නයි. සිංදු තේරීමේදී මා ආර්ථික විද්‍යාව ගැන නොසිතුවත්, තේරීමෙන් පසු එවැනි කිසියම් සම්බන්ධයක් ඇත්දැයි සිතා බැලුවෙමි. ඇත්තටම, මේ අහඹු සිංදු දහසයෙන් බොහෝ ගණනකට ආර්ථික විද්‍යාව කොහෙන් හෝ ගෑවී තිබේ.

දැන් මෙන්න ඔබ පුන පුනා බලා සිටි හෝ නොසිටි සම්පාදක තෝරයි ලැයිස්තුව. අද සම්පාදක ඉකොනොමැට්ටා.


1. වලාකුළෙන් බැස සමන් කුළත් වැඳ...
සංගීතය හා ගායනය - සුනිල් ශාන්ත සහ ශිෂ්‍යාවක්
ගී පද - අරිසෙන් අහුබුදු

සිංහල ගීතයෙහි හැඩය තීරණය කළ මුල් ගායකයින්ගෙන් අයෙකු ලෙස සැලකිය හැකි සුනිල් ශාන්තයන්ගේ එදා මෙදාතුර ජනප්‍රියව පවතින අනෙකුත් ගීත අතර "මිහිකත නලවාලා", "කෝකිලයන්ගේ කෝකිල නාදේ", "හඳපානේ", "හෝ.. හෝ ගා රැල්ල නැඟේ",  "සුවද රෝස මල් නෙලා" වැනි මා කැමති තවත් ගීත රැසෙකි. මේ ගීත වල මා ඉතා ප්‍රිය කරන "රාබීන්ද්‍ර ශාන්ගීත්" වලද ඇති ජන ගී රිද්මය ඇත. සුනිල් ශාන්තයෝ වරක් සිය වෘත්තිය හා අදාළ ප්‍රතිපත්ති හේතුවක් මත ගුවන් විදුලියේ රැකියාව අහිමි කරගත්තේය. ඒ කාලය තුළ ඔහු ස්වයං රැකියා ගණනාවක් කර තිබේ. ප්‍රසිද්ධ ගායකයෙකු සමඟ යුග ගීයකට හවුල් වන එතරම් ජනප්‍රිය නැති ගායිකාවකගේ නම හෝ අඩුවශයෙන් ප්‍රචාරය නොවීම මේ යුගයේ ලක්ෂණයක් විය. වලාකුළෙන් බැස ගීතය පසුව අයිවෝ ඩෙනිස් විසින්ද ගායනා කළේය.



වලාකුළෙන් බැස ගීයේ අදහස වනුයේ සමන් ගිරෙන් බැස රට හරහා සයුර බලා ගලා යන ගංගාවන්ගේ ජලය හැකිතාක් ප්‍රයෝජනයට ගත යුතු බවයි. මේ කතා කරන්නේ ආර්ථික විද්‍යාඥයෙකුගේ මූලික කාර්ය භාරය ගැනය. අපට අසීමිත අවශ්‍යතා ඇතත්, ඒ අවශ්‍යතා සපුරා ගැනීමට ඇති සම්පත් ප්‍රමාණය සීමිත නිසා මේ සීමිත සම්පත් හැකි උපරිම කාර්යක්ෂමතාවයෙන් ප්‍රයෝජනයට ගත යුතුය. ආර්ථික විද්‍යාවේ විෂය පථය මෙසේ සම්පත් වඩා කාර්යක්ෂම ලෙස ප්‍රයෝජනයට ගත හැකි ආකාර ගැන සෙවීමයි.


2. ගංගා එන්නකෝ ගංගා...
ගායනය - අබේවර්ධන බාලසූරිය
ගී පද - සුනිල් ආරියරත්න
සංගීතය- වික්ටර් රත්නායක 




සමන් ගිරට වැටී රට හරහා මුහුදට යන ජලය අපතේ නොහැර ප්‍රයෝජනයට ගත යුතු බව අරිසෙන් අහුබුදු මතක් කර දුන්නත්,   එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරමින් (ඩඩ්ලි සේනානායක ආණ්ඩු සමයේදී සිදුකළ මූලික සැලසුම් ඉදිරියට ගෙනයමින්) මහවැලි බහුකාර්ය යෝජනා ක්‍රමය ඇරඹෙන්නේ සමඟි පෙරමුණු ආණ්ඩු කාලයේදීය. මේ සමඟි පෙරමුණු රජයේ ආර්ථික ප්‍රතිපත්ති අද වන විට අගය කරන්නේ ඉතා සීමිත පිරිසකි. එම රජය අනුගමනය කළ සෝවියට් පන්නයේ මධ්‍යගත, සංවෘත ප්‍රතිපත්තිය සමස්තයක් ලෙස රටට අත් කර දුන්නේ ඉතා අහිතකර ප්‍රතිඵලයකි. එහෙත්, ඒ කාලය තුළ හා ක්‍රමය යටතේ සිදුවූ එක් සාධනීය දෙයක් වූයේ රටේ ආර්ථික ඉලක්ක සමඟ සංගීතය ඇතුළු කලාව පවා සම්පාත වීමයි.

මුලින්ම තිස් අවුරුදු ව්‍යාපෘතියක් ලෙස සැලසුම් කෙරුණු මහවැලි ව්‍යාපෘතියේ පළමු අදියරේ කොටසක් වූ පොල්ගොල්ල ව්‍යාපෘතිය සමඟි පෙරමුණු ආණ්ඩු කාලය තුළම අවසන් විය. එයින් උද්දාමයට පත් වන රජරට වැවක්, මෙතෙක් අහක බලාගෙන ගිය මහවැලි සොඳුරිය පැමිණෙන තුරු අපේක්ෂා දල්වාගෙන බලා සිටින ආකාරය මේ ගීතයෙන් සුනිල් ආරියරත්නයන් විසින් ඉතා සියුම් ලෙස චිත්‍රනය කරයි.

"දිරූ ඉපල් අත් දඬු ඔසවාගෙන
නියඟින් දා ගිය සිරුර වාරුකර
බලා සිටිද්දී මා
අහක බලාගෙන යන්න ගියා ඔබ
නෑ නේද ඉතින් යළි අහක බලන් යන්නේ..."



3. සිනිඳු සුදු මුතු තලාවේ...
ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව සහ පිරිස
ගී පද - මහගම සේකර
සංගීතය - සෝමදාස ඇල්විටිගල
චිත්‍රපටය- සත් සමුදුර (1967)




සමන් ගිරට වැටෙන වතුර බිංදු රට හරහා ගලා ගොස් අන්තිමේදී මුහුදට වැටේ. ලංකාව වටා ඇති රටේ භූමි ප්‍රමාණය මෙන් අට ගුණයක් පමණ විශාල (වර්ග කිලෝමීටර 517,000ක්) අනන්‍ය ආර්ථික කලාපය ලංකාව සතු ඉතා වැදගත් ස්වභාවික සම්පතකි. රටේ ධීවර කර්මාන්තය හා ආශ්‍රිත රැකියා වල නිරත පුද්ගලයින් හා ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් ගණන මිලියනයකට වඩා අධිකය. කෙසේ වුවද, මේ ගීතයෙන් කියවෙන පරිදි, මුහුද විශ්වාස කළ නොහැකිය.

"ගැඹුරු සත් සමුදුරු පතුල බිඳ (ගැඹුරු සත් සමුදුරු පතුල බිඳ)
ඇඹරි ඇඹරී වියරු දළ රළ
තුමුල මහමෙර දෙදරවයි
බුර පුරා නැගි කුරිරු ජල කඳ //
දෙරණ සම්පත ගිල ගනියි
දෙරණ සම්පත ගිල ගනියි
ගිල ගනියි (ගිල ගනියි)"

අපි මෙය 2004දී අත් දැක්කෙමු. සුනාමිය විශාල සමාජ ව්‍යසනයක් වුවත්, සුනාමි ආධාර හේතුවෙන් ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුණ පා සිටි ආණ්ඩුවටනම් සැලකිය යුතු වාසියක්ද සැලසුණේය.



4. මහ බෝ වන්නම
සංගීතය හා ගායනය - පණ්ඩිත් අමරදේව
ගී පද - ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ



මෙයද අමරදේවයන් විසින්ම ගයන තවත් මා ඉතා කැමති ගීයකි. බෞද්ධ ගීයක් වුවත්, මෙය පරිසර වර්ණනාවක් ලෙස ලියැවී ඇත. ගීතය ඇසෙන විට නේරංජනා නදියේ ජලය ගලා බසිද්දී ඇසතු බෝධි වෘක්ෂයේ කොළ සෙලවෙන හඬ ඇසෙන්නාක් මෙනි.

මහ බෝ වන්නම ගීය ආර්ථික විද්‍යාවට සෘජු ලෙස සම්බන්ධයක් නැත. එහි වස්තු විෂය සිද්ධාර්ථ ගෞතමයන් බුද්ධත්වයට පත්වීමේදී පිටදුන් බෝධි වෘක්ෂයයි. පසුකාලීනව බුද්ධාගම ලංකාවේ රාජ්‍යාගම වීමත්, මේ වෘක්ෂයේ ශාඛාවක් ලංකාවට ගෙන එනු ලැබීමත් සිදුවිය. එතැන් සිට මේ දක්වාම ලංකාවේ ප්‍රමුඛ ආගම බුද්ධාගමයි.

රටක ජීවත්වන මිනිසුන්ගේ ආගමික විශ්වාස ඒ රටේ ආර්ථිකයට සැලකිය යුතු බලපෑමක් කරයි. හොඳම උදාහරණය ඉහත කතා කළ ධීවර කර්මාන්තයයි. බුද්ධාගම අනුව මසුන් මැරීම පාපයකි. එහෙත්, වෙනත් ඇතැම් ආගම් අනුව එය වරදක් නොවේ. මේ නිසා, ලංකාවේ බෞද්ධයෝ ධීවර කර්මාන්තයට යොමු වීමට වෙනත් ඇතැම් ආගමිකයින් තරම් උනන්දුවක් නොදක්වති. ලංකාවේ ධීවර කර්මාන්තයෙන් දළ ජාතික නිෂ්පාදිතයට ලැබෙන දායකත්වය සියයට දෙකකටත් වඩා අඩු වීමට මෙයද හේතුවකි.



5. සැනසුම් සුසුමන් පාවීලා...
ගායනය - ටී. එම්. ජයරත්න
ගී පද - රංජිත් වීරසිංහ
සංගීතය - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස

චිත්‍රපටය- නෑදෑයෝ (1976)
 

ආර්ථික විද්‍යාව අනුව, යමක වටිනාකම මැනිය හැක්කේ තවත් යමකට සාපේක්ෂවය. ඒ අනුව, වටිනාකම යනු යමක් ලබා ගැනීම සඳහා 'නැති කර ගත යුතු' දේවල් වල වටිනාකමයි. මෙය ආවස්ථික පිරිවැය ලෙස හැඳින්වේ.

"රෑ සඳ පානේ - සීතල පවනේ..
නාමල් අරණේ - ලා දළු සෙවනේ..
මා ලයකර ඔබගේ සුව යහනේ..
ගෙවූ අතීතය මතකද මිහිරි...
ගෙවූ අතීතය මතකද මිහිරි..."

යමක් ළඟ ඇති විට නොදැනෙන වටිනාකම හොඳින් පසක් වන්නේ එය තාවකාලිකව හෝ දුරස් වූ විටය. ඇය මා ලයේ නිදන විට දැනෙන සුවයේ වටිනාකම මැනිය හැක්කේ ඇය නොමැතිව තනිව හිඳීමට සාපේක්ෂවය. දෙවන අත්දැකීම විඳින තුරු පළමු අත්දැකීමෙහි වටිනාකම හරියටම නොතේරේ.



6. කීන දම් මිටක් කඩන් ආවා මගේ නංගෝ...
ගායනය - මිල්ටන් මල්ලවආරච්චි සහ නීලා වික්‍රමසිංහ
ගී පද - ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය - සරත් දසනායක
චිත්‍රපටය - චංචල රේඛා (1981) 




චංචල රේඛා සේන සමරසිංහයන් විසින් නිපදවූ ඉතා ජනප්‍රිය චිත්‍රපටයකි. මේ සිනමාපටය තිරගත වීමෙන් පසු ජනවහරට එකතු වූ 'දං චූටි' යෙදුම සෑහෙන කලක් භාවිතයේ තිබුණේය. මේ චිත්‍රපටය තිරගත වන කාලයේ දං වලට වාණිජ වටිනාකමක් තිබුණේ නැත. ඒ කාලයේ රටේ බොහොමයක් ප්‍රදේශ වල දං කැලෑ ඕනෑ තරම් තිබුණු අතර, දං කන්නට අවශ්‍ය අයෙකුට කරන්නට තිබුණේ මේ දං කැලෑවකට වැදී ඇති තරම් දං කඩාගෙන කෑමයි. එයට කාගෙන්වත් තහනමක් තිබුණේ නැත. රටේ තිබුණු දං ඉල්ලුමට වඩා ඉබේට හැදෙන දං ගස් වල දං සැපයුම වැඩි වූ බැවින් ඒ දවස් වල දං වලට මිලක් තිබුණේ නැත. එහෙත් දැන් ත්ත්වය එසේ නොවේ. දශක ගණනක් තිස්සේ සිදු වූ නාගරීකරණය හා ඉඩම් කට්ටි කර විකිණීම නිසා දැන් මේ දං කැලෑවල් ලේසියකට හොයාගන්නට නැත. ඒ අතරම, කොයිතරම් පලතුරු වර්ග තිබුණත් මිනිස්සු ස්වභාවයෙන්ම විවිධත්වයට කැමති නිසා දං වලට සැපයුම ඉක්මවන කිසියම් ඉල්ලුමක් තිබේ. ඒ නිසා දැන් දෙල්කඳ පොළ, මහරගම පොල වැනි තැන් වල කිසියම් මිලකට දං විකිණේ. 



7. ළඳුනේ ………. ළඳුනේ ………….
ගායනය  - අමරසිරි පීරිස්
ගී පද - රන්බණ්ඩා සෙනෙවිරත්න
සංගීතය - ප්‍රේමසිරි කේමදාස




ඉල්ලුම හා සැපයුම අතර වෙනසක් ඇති විට කිසියම් මිලකට විකිණෙන්නේ දං පමණක් නොවේ. දං චූටිලාත් එසේ විකිණේ. මේ ගීයෙන් ආලෝකය හෙලන්නේ එසේ විකිණෙන ලෙයින් මසින් හැදුණු දං චූටිලාගේ ජීවිත දෙසටය.



8. වියෝ ගී ගැයෙනා...
ගායනය - නීලා වික්‍රමසිංහ
ගී පද - සුනිල් ආරියරත්න
සංගීතය - නිමල් මෙන්ඩිස්

චිත්‍රපටය- ගැහැණු ළමයි (1978)


මුදල් සම්බන්ධ නොවුණත්, පෙම් සබඳතාවයක තියෙන්නේ ගණුදෙනුවක ලක්ෂණය. දෙදෙනෙකු අතර ගණුදෙනුවක් සිදුවිය හැක්කේ එහි දෙදෙනාටම වාසි ඇත්නම් පමණි. එක් අයෙකුට පමණක් වාසි ඇති විට ගණුදෙනුවක් සිදු විය නොහැකිය.


9. රන් ටිකිරි සිනා...
ගායනය - නිරාෂා පෙරේරා හා වික්ටර් සිල්වා
ගී පද - සුනිල් ආරියරත්න
සංගීතය – නිමල් මෙන්ඩිස්
සංගීත සංයෝජනය - ප්‍රේමලාල් දන්වත්ත
ගඟ අද්දර (1980)



අපේ ළමා කාලය තුළ අප ලබන අත්දැකීම් වැඩිහිටියන් ලෙස අප ගන්නා ආර්ථික තීරණ වලට බොහෝ සේ බලපායි. ළමුන් වෙනුවෙන් කරන ආයෝජනය රටක අනාගතය වෙනුවෙන් කරන ආයෝජනයකි.

10. නිම් හිම් සෙව්වා...
ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය - ඔගස්ටස් විනයාගරත්නම්
සංගීතය - නිමල් මෙන්ඩිස්
චිත්‍රපටය - සීතාදේවී 



සීතාදේවි චිත්‍රපටයේ මේ ගීතය ඇතුළත් ජවනිකාව ඇස් ඉදිරිපිට මැවෙන සටහනක් රවී විසින් ලියා තිබුණේය. ඇතැම් විට ගනුදෙනුවකින් දෙපාර්ශ්වයටම වාසි ඇතත් අසමමිතික තොරතුරු (asymmetric information) හේතුවෙන් ඇති වන අවිශ්වාසය නිසා ගනුදෙනුවක් සිදු නොවන්නට පුළුවන. දෙදෙනෙකු එක දිගටම ගනුදෙනු කරන විට (repeated transactions) විශ්වාසය තහවුරු වීමත්, ඒ හේතුවෙන් තොරතුරු අසමමිතිය නැති වීමත් නිසා කාර්යක්ෂමතාවය ඉහළ යයි.


11. සැදෑ කළුවර කුර ගගා විත්...
ගායනය - විශාරද නන්දා මාලිනී
ගී පද - මඩවල එස්. රත්නායක
සංගීතය - විශාරද නන්දා මාලිනී





අසමමිතික තොරතුරු නිසා (moral hazard) ඇතැම් විට සිදු නොවිය යුතු ගනුදෙනුවක් වුවද සිදුවිය හැකිය. එවැනි විටෙක අනෙක් පාර්ශ්වය විසින් තමන්ව රවටනු ලැබ ඇති බව එක් ගනුදෙනුකරුවෙකුට දැනගන්නට ලැබෙන්නේ ගනුදෙනුව අවසන් වීමෙන් පසුවය. ඒ වන විට, ගනුදෙනුව ආපසු හැරවිය නොහැකි තත්ත්වයෙහි තිබෙන්නට පුළුවන.



12. මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි...
ගායනය - මර්වින් පෙරේරා
ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය - මර්වින් පෙරේරා



මර්වින් පෙරේරාගේ කතෝලික ආභාෂය නිසා ගීතිකා රිද්මය ඇතැයි සැලකෙන මේ මියුරු ගීයේ තේමාවද තේරීම්ය. අපේ තේරීම් වලට පාදක වන්නේ අපේ රුචිකත්වයන්ය. එහෙත්, මේ රුචිකත්වයන් කලින් කලට වෙනස් වන නිසා හොඳම තේරීමද වෙනස් වන්නට පුළුවන. රුචිකත්වය ඇතිවන්නේ යම් මොහොතක අප වෙත ඇති තොරතුරු ප්‍රමාණයට සාපේක්ෂව නිසා අපට අළුතින් තොරතුරු ලැබෙන විට අපේ රුචිකත්වයන් වෙනස් වී, අප විසින් අප වෙත ඇති විකල්ප ශ්‍රේණිගත කර ඇති අනුපිලිවෙලද වෙනස් විය හැක. එවිට, දැනට තෝරාගෙන සිටින විකල්පයට වඩා වෙනස් විකල්පයක් හොඳම විකල්පය ලෙස පෙනී යමෙකුට පෙනී යන්නට පුළුවන. පෙර කළ සෑම තේරීමක්ම ආපසු හැරවිය නොහැකි වුවත් ඇතැම් තේරීම් ටික කලක් යනතුරු වෙනස් කළ හැකිය. මේ ගීතයෙන් කියවෙන්නේ එසේ තමන් වරෙක ගත් තීරණයක් පසුව වෙනස් කර බොහෝ කලකට පසු ඒ වෙනස් කිරීම ගැන කරන පසු විපරමකි.



13. සඳකඩපහණක කැටයම් ඔපලා...
ගායනය - සුනිල් එදිරිසිංහ
ගී පද - වොලී නානායක්කාර
සංගීතය - වික්ටර් රත්නායක
චිත්‍රපටය - මාතර ආච්චි  (1973)




මේ ගීය සුනිල් එදිරිසිංහගේ පළමු ගීය මෙන්ම වොලී නානායක්කාරගේ පළමු ගී පද රචනයද, වික්ටර් රත්නායකයන්ගේ පළමු චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණයද, සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ කුළුඳුල් චිත්‍රපට අධ්‍යක්ෂණයද වශයෙන් සිංහල ගීත ඉතිහාසයේ එකම සිවු කුළුඳුල් ගීය වන බව කොට්ටාවේ සමිත හිමියන් මෙහි ලියා තිබේ.

ඒ හිමියන් විසින් ලියා ඇති පරිදි සිංදුව තේරුම් ගත යුත්තේ චිත්‍රපටයේ කතා පුවත සමඟ ආබද්ධවය. "මෙම චිත්‍රපටයට තේමා වන්නේ පෙම් පුවතකි. තරුණයා වැඩිදුර අධ්‍යාපනය සඳහා විදේශගත වූ පසු වෙනත් තරුණයෙකු හා විවාහ වන ලෙස තරුණියට ඇගේ පවුලෙන් දැඩි බලපෑමක් එල්ල වෙයි. තරුණියට ද අකමැත්තෙන් වුව ද එයට එකඟ වන්නට සිදුවෙයි. කලකට පසු ලංකාවට එන තරුණයාගේ සිතේ ඇය කෙරෙහි එතෙකුදු දැල්වෙන ඇල්ම සහ පවතින විරහ වේදනාව මේ ගීයට කැටිවෙයි." ඒ අනුව, මෙහි ඇත්තේද තෝරාගැනීම් හා ඒ තෝරාගැනීම් වල ආවස්ථික පිරිවැය පිළිබඳ කතාවකි.







14. පොඩි දුවගේ සිනා වැලයි...
ගායනය - සෝමතිලක ජයමහ
ගී පද - සුනිල් ආරියරත්න
සංගීතය - රෝහණ වීරසිංහ



විවාහයකට එළඹීම බොහෝ මිනිසුන් විසින් ගන්නා තීරණයකි. එක් අතෙකින් විවාහය යනු දෙදෙනෙකුට වාසි සැලසෙන ගනුදෙනුවකි. කෙසේ වුවද, විවාහය හා අදාළ ආවස්ථික පිරිවැය බොහෝය. එසේ තිබියදී, මිනිසුන් විවාහ වලට පෙළඹෙන්නේ එහි උපයෝගීතා වටිනාකම (utility value) මේ ආවස්ථික පිරිවැය ඉක්මවන බැවිනි.

"ලබන නමුත් දුක් පීඩා
කූඩු වුනොත් පුංචි පැලේ
අඹුදරුවන් අතර තුරේ
මට නිම්නැති සුවය දැනේ.."



15. රුවන් අඹර සෙමර සලන වලා පෙළ ගැසේ...
ගායනය - රූපා ඉන්දුමතී සහ ජයතිස්ස හෙට්ටිආරච්චි, පසුව ලතා දිසානායක
ගී පද - ලයනල් සී ද අල්විස්
සංගීතය - පැට්රික් දෙනිපිටිය 




මේ මධුර ගීතය මුලින්ම ගායනා කළේ රූපා ඉන්දුමතී සහ ජයතිස්ස හෙට්ටිආරච්චි විසිනි. එහෙත්, රූපා ඉන්දුමතී
ට එක්තරා නිශ්චිත අවස්ථාවක සිය විවාහ ජීවිතය සහ වෘත්තීය ජීවිතය යන දෙකෙන් එකක් තෝරා ගැනීමට සිදු වේ. මෙහිදී ඇගේ තේරීම වූයේ ගායනයෙන් සමු ගැනීමයි. රූපා ඉන්දුමතී වෙනුවට ලතා දිසානායක ආදේශ වන්නේ ඉන් පසුවය. ලතා දිසානායක පසුව මේ ගීය වෙනත් ගායකයින් සමඟද ගැයුවාය.


16. දවසක් පැල නැති හේනේ...
ගායනය හා සංගීතය - විශාරද ගුණදාස කපුගේ
ගී පද - රන්බංඩා සෙනෙවිරත්න 




මේ ගීය තවත් කිහිප දෙනෙකුගේම ලැයිස්තු වල ඇති හැමෝම වාගේ දන්න, අමුතුවෙන් විස්තර කළ යුතු නැති ගීතයකි. මුලින්ම සම්ප්‍රදායික සංගීත භාණ්ඩ සමඟ ගැයුනු මේ ගීය ඇතුළු කපුගේගේ ජනප්‍රිය ගී රැසක් පසුව සන්ෆ්ලවර් වාදක කණ්ඩායම සමඟ නවීන සංගීතය මුසුව ගායනය කෙරිණි. ආර්ථික තීරණයක් ලෙස සැලකුණු කපුගේගේ මේ තේරීම ඔහුගේ බොහෝ රසිකයින්ගේ කනස්සල්ලට හේතුවක් විය. කපුගේ සන්ෆ්ලවර් සමඟ කැසට් පටයක් එළිදක්වා ලබා ගත් මුදල් සම්පූර්ණයෙන්ම වැය කළේ සිය මිතුරකුගේ වකුගඩු ශල්‍ය කර්මයක් වෙනුවෙන් බවත්, සමාජයෙන් ගැරහුම් ලබද්දීත් හොඳ චේතනාවකින් කළ මේ ක
යුත්ත ගැන එළිදරවු කරන්නට කපුගේට අවශ්‍ය නොවූ බවත් පසු කලෙක සඳහන් විය. ඇත්තටම සිදුවුනේ මේ කරුණ වුවත්, එයද ආර්ථික තීරණයක් බව මා අමුතුවෙන් කිව යුතු නැත.


***

ආර්ථික විද්‍යාව පැත්තකින් තබා ඔළුවට එන පිළිවෙලට සිංදු තේරුවත් අන්තිමට හැම
සිංදුවකම ආර්ථික විද්‍යාව පොඩ්ඩක් හෝ ගෑවී තිබේ. ඉකොනොමැට්ටා අවිඥානකව තෝරා ඇත්තේ ආර්ථික විද්‍යාවට සම්බන්ධයක් ඇති සිංදුද? එහෙම නැත්නම්, ඕනෑම සිංදුවක ආර්ථික විද්‍යාව පොඩ්ඩක් හරි තියෙනවාද?

මේ ගැන මටනම් හිතෙන්නේ මෙහෙමය.

ඔබෙන් තොර ලෝකයක් කොයින්දෝ...
ගායනය- අබේවර්ධන බාලසූරිය
ගී පද- සුනිල් ආරියරත්න
සංගීතය- වික්ටර් රත්නායක




දැන් මෙන්න මගෙනුත් පොඩි අභියෝගයක්! පුළුවන්නම් ආර්ථික විද්‍යාවේ විෂය පථයට සෘජුව හෝ වක්‍රව සම්බන්ධ නැති සිංදු, වැඩිය නෙමෙයි, තුනක් කියන්න පුළුවන්ද?


(Image: www.pinterest.com)

Monday, August 15, 2016

මා කැමතිම ගීත දහසය?

ඉයන් විසින් ඔහු කැමති ගීත දහසයක් පළකරමින් වෙනත් අයටත් එසේ කරන්නට අභියෝගයක් (ආරාධනාවක්) කර තිබේ. කල්‍යාණ මිත්‍ර විසින් දැනටමත් මේ අභියෝගයට ප්‍රතිචාර ලෙස සටහනක් පළ කර ඇති අතර තවත් කිහිප දෙනෙකු විසින් මේ වන විට එවැනි සටහන් පළ කර තිබෙන්නට පුළුවන.

ඉකොනොමැට්ටා මේ හදන්නේ ඔහු කැමති ගීත දහසය පළ කරන්නට නොවේ. පුළුල් පරාසයක විහිදුනු රුචිකත්වයක් ඇති ඉකොනොමැට්ටාට ඒ කටයුත්ත පහසු වැඩක්ද නොවේ. මේ ලිපියෙන් කතා කරන්නට හදන්නේ ඉහත සටහන් දෙක කියවූ පසු ඔළුවට ආ, චර්යාත්මක ආර්ථික විද්‍යාවට (Behavioral economics) විශේෂයෙනුත්, ආර්ථික විද්‍යාවට පුළුල් ලෙසත් සම්බන්ධ 'තෝරා ගැනීම්' ගැන කතා කරන්නටය.

ඔබ කැමති ගීත දහසයක් තෝරන්නට ඔබට සිදු වුණොත් ඔබ එය කරන්නේ කොහොමද?

ඉයන්, කල්‍යාණ මිත්‍ර හෝ වෙනත් අයෙකු හිතන ආකාරය මා නොදන්නා නිසා මට වැරදීමක් වෙන්නට බොහෝ දුරට ඉඩ ඇතත්, ඔවුන්ගේ ලැයිස්තු දෙස බැලූ විට මට හිතෙන්නේ මේ දෙදෙනා විසින්ම අවිඥානිකව සිදු කර ඇත්තේ සිංදු දහසයක 'පැකේජයක්' තේරීම බවයි. එම පැකේජයන් ඇතුළත සැලකිය යුතු විවිධත්වයක් තිබේ. වෙනත් අයුරකින් කිවහොත්, තමන්ට ඉදිරි ජීවිත කාලයේදී අසන්නට ලැබෙන්නේ සිංදු දහසයක් පමණක්නම් ඔවුන් තෝරා ගන්නා පැකේජය ඔවුන් විසින් ඉදිරිපත් කර ඇති බවයි. මේ උපරිම සිංදු සීමාව සියයක්නම්, ඇතැම් විට ඒ සිංදු සියය අතර උඩින්ම ඇති සිංදු දහසය මේ සිංදුම නොවිය හැකිය. මෙය සාමාන්‍යයෙන් මිනිසුන් තෝරාගැනීම් කරන ආකාරයයි.

කමී සම්බන්ධවනම් මෙය වඩාත් පැහැදිලිය.

"හිතුවට දැන් බැලුවම ඒක කාලෙකින් හම්බවෙච්චි ලොකුම අමාරු වැඩක්.. ඒ කියන්නේ මගේ කැමැත්ත සිංදු දාසයකට සීමා කරන එක.."

කළ යුත්තේ සරල ශ්‍රේණිගත කිරීමක් පමණක්නම් මෙය එතරම් අසීරු වැඩක් නොවේ. එහෙත්, මේ සිංදු දහසය තේරීමේදී අටවන සිංදුව තෝරන විට දැනට තෝරාගෙන ඇති සිංදු හත ගැනද හිතන්නට සිදු වේ.

මේ කතාව තවත් පැහැදිලි කිරීමට අපි උදාහරණයක් ගනිමු. ගීතිකාගේ ප්‍රියතම ගායකයා (ගායිකාවන්ද ඇතුලත්ව) කපුගේය. කපුගේගේ සෑම ගීතයකටම පාහේ ඇය කැමතිය. එමෙන්ම, ඇය වඩා කැමති ගායක ගායිකාවන් අතර සිටින අමරදේවගේ, නන්දා මාලිනීගේ, දිවුල්ගනේගේ හා අමරසිරි පීරිස්ගේ ගීත බොහොමයකටද ඇය කැමතිය. දැන් ඇයට තමන් කැමතිම ගීත දහයක් තෝරන්නට සිදුවුවහොත් ඒ අතරින් මුල් පහටම එන්නේ කපුගේගේ ගීතයි. අන්තිම පහට ඉතිරි සිවු දෙනාගේ ගීත පහක් ඇතුළු වනු ඇත. ඇතැම් විට ඇගේ ප්‍රියතම ගායක ලැයිස්තුවේ නොසිටියත්, ප්‍රියතම ගීත අතර ඇති ගී ගයන සුනිල් පෙරේරා, අජිත් කුමාරසිරි හෝ චින්තක ගීතදේව වැනි වෙනත් අයෙකුගේ ගීයක්ද ඒ ගී දහයේ ලැයිස්තුවේ අග කොටසට ඇතුළත් විය හැකිය.

යම් හෙයකින්, ඇයට තෝරා ගැනීමට ඇත්තේ ගීත පහක් පමණක්නම් ඒ පහම කපුගේගේ ගීත වනු ඇතිද?

සාමාන්‍යයෙන් එය එසේ නොවේ. කපුගේට කොයි තරම් කැමති වුවත්, ජීවිත කාලයම කපුගේගේ සිංදු පමණක් අසන්නට ගීතිකා කැමති නොවනු ඇත. ඒ නිසා, ඇගේ සීමාව පහක්නම් ඒ පහට කපුගේගේ නොවන වෙනත් ගීතද ඇතුළත් වනු ඇත.

අපේ වෙනත් තේරීම් අප කරන්නේද මේ අයුරිනි. ඔබට ආප්ප, අයිස්ක්‍රීම් හා ප්ලේන් ටී යන තුනෙන් එකක් තෝරා ගැනීමට ඇති විට ඔබේ තේරීම අයිස් ක්‍රීම් වූ පමණින්, දෙකක් තෝරා ගත හැකි විට ඒ දෙකට අයිස් ක්‍රීම් ඇතුළත් වන බව අදහස් නොවේ.

පොදුජන එක්සත් පෙරමුණු ලැයිස්තුව යටතේ තරඟ කළ ජවිපෙට 2000 පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔවුන් තරඟ කළ බොහෝ දිස්ත්‍රික්ක වල වැඩිම මනාප ගණනක් ගැනීමට හැකි වූයේත්, පසුගිය මැතිවරණයේදී ප්‍රධාන පක්ෂ සමඟ සන්ධානගත වූ හෙළ උරුමය හා ජානිපෙ වැනි සුළු පක්ෂ වල ජනප්‍රිය අපේක්ෂකයින්ට තේරී පත් වීමට හැකි වෙද්දී එසේ නොකළ සරත් ෆොන්සේකාට ජයගත නොහැකි වූයේත්, ඡන්දදායකයින් විසින් තෝරන්නේ අපේක්ෂකයින් තිදෙනෙකුගේ 'පැකේජයක්' බැවිනි. මේ පැකේජයේ විවිධත්වයක් දකින්නට ඔවුන් බොහෝ දෙනෙකු කැමතිය.


සටහන සිංදු ගැන නිසා ඔන්න එහෙනම් සිංදු කිහිපයක්! හැබැයි මම කැමතිම සිංදු හෝ සිංදු පැකේජයනම් නෙමෙයි.

අම්මද තාත්තද? සිරි අයියත් නෑනේ අහන්න.


දකුණු ඇහැද? වම් ඇහැද?


තුම්මුල්ලෙන් කොයි මුළු දෙකද?

සමහර තෝරාගැනීම් ලේසි තෝරාගැනීම් නෙමෙයි...


අපිට තියෙන තෝරාගැනීම් ප්‍රමාණය වැඩි වූ විට ජීවිතය වඩාත් සුන්දරයි!

Friday, August 5, 2016

යුරෝපීයයන්ගේ ලෝකය හා ඉන්දියානුවන්ගේ ලෝකය


පහළොස්වන සියවසෙහිදී ඉන්දියාව සොයා ගිය ක්‍රිස්ටෝපර් කොලොම්බස් විසින් ඇමරිකානු මහාද්වීපයට ආසන්න බහමාස් දූපතකට ගොඩ බසින විටත්, යුරෝපීයයන් දැන සිටි ලෝකය නිශ්චිත සීමාවන්ගෙන් වටවුණු පැතලි ලෝකයකි. එයින් මා අදහස් කරන්නේ තත්කාලීන යුරෝපය ලෝකය පැතලියැයි සිතා සිටි බව නොවේ. ලෝකය ගෝලාකාර බව ඒ වන විට යුරෝපීය විද්‍යාර්ථීන්ගේ පොදු දැනුමකි. එමෙන්ම, තමන් හොඳින් දැන සිටි සීමාවන්ගෙන් බාහිරව ලෝකයක් නොපැවති බව යුරෝපීයයන් විශ්වාස කළ බවද නොවේ. ඔවුන්ගේ එවකට පැවති සංකල්පීය ලෝකයේ තමන් වඩා හොඳින් දැන සිටි කොටසක්, යාන්තමින් දැන සිටි හෝ අසා සිටි කොටසක් සහ ඇතැයි සිතා සිටි කොටසක් වූ බවය. මේ කාලයේදී යුරෝපීය ලෝක දැක්ම සකස් වුනේ ඔවුන් හොඳින් දැන සිටි ලෝකය පාදකවය.

ඉහත තත්ත්වය පහළොස්වන සියවස දක්වා ලෝකයේ වෙනත් ප්‍රදේශ වල පැවති ලෝකය පිළිබඳ දැනුමට ආකෘතිමය ලෙස සමානය. යුරෝපීයයන් විසින් අළුතින් 'හොයාගත්' ඇමරිකාව, ආසියාව හෝ ඕස්ට්‍රේලියාව ඇතුළු ක්‍රිස්තියානි නොවූ ලෝකය එවකට මිනිසුන්ගෙන්, සංස්කෘතියෙන් හෝ දැනුමින් හිස් බිම් නොවූ බව අමුතුවෙන් කිවයුතු නොවේ. යුරෝපීයයන් මෙන්ම මේ එක් එක් පෙදෙස්වල විසූ මිනිසුන්ද දැන සිටි ලෝක පැවති අතර ඒ ලෝක වලටද සීමා මායිම් තිබුණේය.

පස්වන සියවසේදී වත්මන් ඉන්දියාව දැන සිටි ලෝකයේ මධ්‍යය වූයේ ලංකා දිවයිනයි. මේ ලංකා දිවයින සමකය මත පිහිටියේය. ආර්යභටියේ හා සූර්ය සිද්ධාන්තයේ සියළු ගණනය කිරීම් සඳහා කේන්ද්‍ර කරගන්නේ සමකය මත මේ කියන ලංකා දිවයින පැවති තැනයි. සමකය මත, ලංකා දිවයිනට අංශක 90ක් බටහිරින් රෝමකයත්, අංශක 90ක් නැගෙනහිරින් යවකෝටියත්, අංශක 180ක් දුරින් එනම් ප්‍රතිවිරුද්ධ පැත්තේ, සිද්ධපුරයත් පිහිටියේය. ලංකා දිවයිනට අංශක 22.5ක් උතුරින් උදේනි නුවර පිහිටියේය. එමෙන්ම, උත්තර ධ්‍රැවයෙහි සුරයන් වසන මහා මේරුවත්, දක්ෂිණ ධ්‍රැවයෙහි ප්‍රේතයින් වසන වඩබාමුඛයත් පිහිටියේය. ඔවුන් එවකට දැන සිටි පරිදි, ලෝක ගෝලයේ සමකයෙන් උතුරු අර්ධයේ ගොඩබිම්ද, දකුණු අර්ධයේ සාගරයද පැතිරී තිබුණේය.

සූර්ය සිද්ධාන්තයේ සඳහන් ලංකා දිවයින වත්මන් ලංකාවද යන්න විවාදිත කරුණකි. දැන් අප දන්නා පරිදි, උදේනි නුවර පිහිටා ඇත්තේ උතුරු අක්ෂාංශ 23.3හි හා නැගෙනහිර දේශාංශ 75.5හිය. ශ්‍රී ලංකාව පිහිටා ඇත්තේ උතුරු අක්ෂාංශ 5-10 හා නැගෙනහිර දේශාංශ 79-82 අතරය. මේ අනුව, වත්මන් ලංකාවේ කිසිම තැනක් සමකය මත හෝ උදේනි නුවරට සෘජුව දකුණින් පිහිටා නැත. අනෙක් අතට, සූර්ය සිද්ධාන්තය හා ආර්යභටිය අනුව ලංකා දිවයින පිහිටිය යුතු, උදේනි නුවරට සෘජුව දකුණින් සමකය මත ඇත්තේ ඉන්දියානු සාගරයයි. එහි කිසිදු දිවයිනක් නැත. එම ස්ථානයට ආසන්නයේම ඇති මාල දිවයින් සමූහයට අයත් දිවයින් පිහිටා ඇත්තේද මේ ස්ථානයට අංශක දෙකක් පමණ නැගෙනහිරිනි.

කෙසේවුවද, මේ අවුල ඇති වන්නේ අද අපට ඇති භූගෝලීය දැනුම එදා ඉන්දියානුවන්ටද තිබුණේයැයි උපකල්පනය කළ විටය. එය එසේ නොවේ. පහළොස්වෙනි සියවසේ යුරෝපීයයන්ගේ භූගෝලීය දැනුමේ සැලකිය යුතු සීමාවන් පැවතියාක් මෙන්ම, ඊට සහශ්‍රයකට පෙර විසූ ඉන්දියානුවන්ටද තිබෙන්නට ඇතැයි සිතිය හැක්කේ සීමිත භූගෝලීය දැනුමකි. මේ අනුව, මේ වෙනසට හේතුව ලංකා දිවයිනේ නිවැරදි පිහිටීම පිළිබඳව පැවති දැනුමේ අඩුවක් විය හැකිය. (මේ ගැන තවත් අදහසක් තිබේ. ඒ ගැන පසු ලිපියක කතා කරමි.)

ඉරට හා හඳට ඇති දුරත්, පෘථිවියේ පරිධියත් ඉතා ආසන්නව දැන ගෙන සිටි ඉන්දියානුවන්ට, ඉන්දියාවට යොදුන් කිහිපයක් පහළින් පිහිටි ලංකා දිවයිනේ පිහිටීම නිවැරදිව දැන ගත නොහැකි වීම විය හැක්කක්ද? පිළිතුර සරලය. පළමු කී කරුණු පිළිබඳ දැනුමට පාදක වන්නේ උදේනි නුවර සිට හෝ වෙනත් තැනක සිට කළ හැකි තාරකා නිරීක්ෂණ හා එවකට ඉන්දියානුවන් දැන සිටි ගණිතමය සිද්ධාන්තයි. එහෙත්, ලංකාවේ පිහිටීම ගැන දැන ගන්නට වෙන්නේ මේ කාලයේ ලංකාවට යාත්‍රා කර ආපසු පැමිණ සිටි සීමිත නාවිකයින් පිරිසෙන් අයෙකු හෝ කිහිප දෙනෙකු ලබාදුන් තොරතුරු මතය. රෝමකයේ පිහිටීම සම්බන්ධවද මේ අවුලම තිබේ. රෝමකය වත්මන් රෝමයයැයි ඇතැම් අය සිතතත් උදේනි නුවර සිට අංශක 90ක් දුරින් පිහිටා ඇත්තේ අත්ලාන්තික් සාගරයයි. රෝමය පමණක් නොව එවකට පැවති රෝම අධිරාජ්‍යයේ බටහිර මායිමද පිහිටියේ සූර්ය සිද්ධාන්තයේ සඳහන් රෝමකය පිහිටිය යුතු තැනට වඩා කිට්ටුවෙනි.

පස්වන සියවසෙහිදී උදේනි නුවර විසූ විද්‍යාර්ථින් විසින් එවකට සමුද්‍ර ගවේෂණයන්හි යෙදුණු නාවිකයින් හරහා දැන සිටි උදේනි නුවර සිට වඩාත්ම දකුණින් පිහිටි ස්ථානය ලංකා දිවයිනද, වඩාත්ම බටහිරින් පිහිටි ස්ථානය රෝමකයද, වඩාත්ම නැගෙනහිරින් පිහිටි ස්ථානය යමකෝටියද වන්නට ඇතැයි සිතිය හැකිය. මහාමේරුව, වඩබාමුඛය හා සිද්ධපුර යනු මෙසේ දැන හෝ අසා සිටි කරුණු වල දිගුවක් ලෙස ඇති කරගත් උපකල්පන හෝ ප්‍රවාද පමණක් විය යුතුය. 


තත්කාලීන ඉන්දියාව දැන සිටි උතුරුම බිම් පෙදෙස් වූයේ හිමාල කඳු පංතියයි. ක්‍රමයෙන් උස්වන මේ කඳු පංතිය තරමක් දුරට හෝ තරණය කළ අයෙකු හමුවීම එවකට දුලබ කරුණක් වන්නට ඇත. ඒ අනුව, මේ කඳු පංතියෙන් එපිට සුරයන්ගේ වාසස්ථානය වන යොදුනක් උසැති මහාමේරුව ඇතැයි ඔවුන් සලකන්නට ඇත. එමෙන්ම, දකුණු මුහුදේ සංචාරය කළ නාවිකයින් අතරින් ලංකාවෙන් එපිටට ගිය කිසිවකු බොහෝ විට ආපසු නොඑන්නට ඇත. මේ නිසා, ලංකාවෙන් දකුණේ සාගර මධ්‍යයෙහි සියල්ල පොළොව තුළට ඇදගන්නා වඩබාමුඛයක් ඇතැයි ඔවුන් සිතන්නට ඇත. ඉන්දියානු විද්‍යාර්ථින් නාවිකයින් මඟින් දැන සිටි පරිදි, උදේනි නුවරට දකුණින් පිහිටි කෙළින්ම ඉර මුදුන් වන තැනක් වූ ලංකා දිවයින සමකය මත පිහිටි ලෝකයේ මධ්‍යය ලෙස ගිණීමට සුදුසු තැනක් ලෙස සලකන්නට ඇත.

(Image: http://shyamasundaradasa.com/jyotish/resources/articles/non-jyotish_articles/lanka.html)

Thursday, August 4, 2016

බටහිර රටවල්, ටොඩෙසියස් සම්මුතිය හා ලෝකයේ මැද


අපි නිතරම බටහිර සංස්කෘතිය ගැන කතා කරමු. බටහිර සංස්කෘතියක් ගැන කතා කරන්නේ බටහිර රටවල් කියා රටවල් ඇති නිසාය. මේ බටහිර රටවලට එක්සත් රාජධානිය, ජර්මනිය, ප්‍රංශය හා ඉතාලිය වැනි බටහිර යුරෝපීය රටවල්ද, ඇමරිකාව, කැනඩාව, ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය වැනි යුරෝපයෙන් පිටත පිහිටි යුරෝපීයයන් විසින් සිය සංස්කෘතිය ප්‍රමුඛ සංස්කෘතිය බවට පත් කෙරුණු රටවල්ද අයත් වේ. මේ සම්මතය අනුව ඉන්දියාව, චීනය හා ලංකාව වැනි රටවල් පෙරදිග රටවල් ලෙසත්, පෝලන්තය, හංගේරියාව හා රුමේනියාව වැනි රටවල් නැගෙනහිර යුරෝපීය රටවල් ලෙසත් හැඳින්වේ.

පෘථිවිය මත පිහිටි බොහෝ නිශ්චිත ස්ථාන වලට සාපේක්ෂව අපට නැගෙනහිරක් හා බටහිරක් ගැන කතා කළ හැකිය. එවැනි කිසියම් ස්ථානයකට ඉර නැගෙනු පෙනෙන්නේ පෙරදිගින් හෙවත් නැගෙනහිරිනි. ඉර බසිනු පෙනෙන්නේ අපරදිගින් හෙවත් බටහිරිනි. ඒ අනුව, කිසියම් රටකට බටහිරින් පිහිටි රටක් බටහිර රටක් ලෙසත්, නැගෙනහිරින් පිහිටි රටක් පෙරදිග රටක් ලෙසත් හැඳින්විය හැකිය. ගෝලාකාර පෘථිවියේ නැගෙනහිරට හෝ බටහිරට දිගටම ගියහොත්, එහි ප්‍රතිවිරුද්ධ දිශාවට එසේම ගමන් කිරීමේදී හමුවිය හැකි ඕනෑම රටක් හමුවන නිසා මේ සංකල්පයේද අවුලක් තිබුණත් සීමිත ප්‍රායෝගික තත්ත්වයන් යටතේ මේ සංකල්පයේ අවුලක් නැත.

කෙසේ වුවද, ඉහත අර්ථ දැක්වීම හරියන්නේ පෘථිවිය මත කිසියම් නිශ්චිත තැනකට සාපේක්ෂවය. එසේම, ලෝකයේ කාටත් එකඟ විය හැකි පෙරදිග හා අපරදිග රටවල් පිලිබඳ සම්මුතියක් ඇතිවන්නේ කෙසේද? මෙවැනි බෙදීමක් පැවතිය හැක්කේම කිසියම් නිශ්චිත ස්ථානයකට සාපේක්ෂවය.



බටහිර රටවල් යන වත්මන් සංකල්පය පාදක වී ඇත්තේ වතිකානුව කේන්ද්‍ර වී බව යුරෝපීය සිතියමක් දෙස බැලු විට පැහැදිලි වේ. ඒ අනුව, පැරණි ලෝකයේ වතිකානුවට බටහිරින් පිහිටි එංගලන්තය, ප්‍රංශය, ස්පාඤ්ඤය, පෘතුගාලය වැනි රටවල් බටහිර යුරෝපීය රටවල් වන අතර, වතිකානුවට නැගෙනහිරින් පිහිටි හංගේරියාව, රුමේනියාව වැනි රටවල් නැගෙනහිර යුරෝපීය රටවල්ද, ඉන්දියාව, චීනය, ලංකාව වැනි රටවල් පෙරදිග රටවල්ද ලෙස සම්මත වී තිබේ. ලෝකයේ මැද දෙස සැලකිය හැකි කිසිදු සුවිශේෂී තැනක් නැතත් පහළොස්වන සියවසෙහිදී යුරෝපීයයන් දැනගෙන සිටි ලෝකය වතිකානුව හරහා බටහිර හා නැගෙනහිර ලෙස බෙදී තිබුණු එකකි. අද වන විට ලෝකයේ මැද තවත් ටිකක් බටහිරට තල්ලුකර එංගලන්තයේ ග්‍රිනිච් රේඛාව වෙත ගෙනගොස් තිබුණත් බටහිර රටවල් පිළිබඳ වතිකානු-කේන්ද්‍රීය සම්මතය එසේම පවතී.

පහළොස්වන සියවසේදී, ප්‍රබලම කතෝලික රාජ්‍ය දෙකක් වූ ස්පාඤ්ඤය හා පෘතුගාලය විසින් සාගර තරණය කරමින් සිදු කළ ගවේෂණ හේතුවෙන් එවකට යුරෝපය දැන සිටි ලෝකය පුළුල් විය. ක්‍රිස්ටෝපර් කොලොම්බස්ගේ සාර්ථක මුහුදු ගවේෂණ වලින් අනතුරුව ඔහු විසින් අළුතින් හඳුනාගත් බිම් පෙර පැවති ගිවිසුමකට අනුව පෘතුගාලය සතු විය යුතුයැයි එරට පැවසීම හේතුවෙන් ස්පාඤ්ඤය හා පෘතුගාලය අතර යුද්ධයක් ඇති වීමේ ඉඩකඩක් ඇති වී හතරවන ඇලෙක්සැන්ඩර් පාප්තුමාට මැදිහත් වීමට සිදු වූ අතර 1494 ජූනි 7 දින එම දෙරට අතර අත්සන් කෙරුණු ටොඩෙසියස් සම්මුතිය (Treaty of Tordesillas) එහි අවසන් ප්‍රතිඵලයයි.

ටොඩෙසියස් සම්මුතිය මඟින් ලෝක සිතියමෙහි ඉරක් ඇඳ, එවකට පැවති ක්‍රිස්තියානි නොවන ලෝකය ස්පාඤ්ඤය හා පෘතුගාලය යන දෙරට අතර බෙදා දෙනු ලැබීය. මේ ඉර අඳිනු ලැබුවේ පෘතුගාලය විසින් එවකට ලඟා වී සිටි බටහිරින්ම පිහිටි ස්ථානය වූ කේප් වර්ඩ් දිවයින හා කොලොම්බස් විසින් අළුතින් හඳුනාගත් බටහිර ඉන්දීය දිවයින් අතර හරි මැදිනි. කෙසේවුවද, පසුව ස්පාඤ්ඤය හා පෘතුගාලය අතර කෙරුණු හෙට්ටු කිරීම් මඟින් ඉහත රේඛාව වඩාත් බටහිරට තල්ලු කෙරුණු අතර ඒ හේතුවෙන් එවකට හඳුනාගෙන නොතිබුණු වත්මන් බ්‍රසීලයට අයත් බිම් පෙදෙස් ස්පාඤ්ඤයට අයිති නොවී පෘතුගාලයට අයිති විය. ඉතිරි දකුණු ඇමරිකානු බිම් මුළුමනින්ම පාහේ ස්පාඤ්ඤයට අයිති විය.

ඒ වන විට විශ්වාස කෙරුණේ කොලොම්බස් විසින් ලඟා වූ තැන ඉන්දියාවේ නැගෙනහිර කොන බවයි. එහෙත්, ලෝකය පහළොස්වන සියවසෙහිදී යුරෝපීයයන් දැන සිටියාට වඩා බොහෝ විශාල බව වැඩිකල් නොයාම ඔවුන්ට අවබෝධ විය.

ටොඩෙසියස් සම්මුතිය අනුව, දකුණු ඇමරිකාවේ බ්‍රසීලය හැර ඉතිරි පෙදෙස් ස්පාඤ්ඤය සතු වෙද්දී ටොඩෙසියස් රේඛාවට නැගෙනහිරින් පිහිටි අප්‍රිකානු හා ආසියානු රටවල් පෘතුගාලය සතු විය. ලංකාව ස්පාඤ්ඤ යටත් විජිතයක් නොවී පෘතුගීසි කොලනියක් වන්නේ මේ නිසාය.

ලෝකය ස්පාඤ්ඤය හා පෘතුගාලය අතර බෙදා දීම කෙසේ වුවත් ටොඩෙසියස් සම්මුතිය මඟින් ඉටු කෙරුණු වෙනත් සාධනීය දෑ  රැසකි. අද වන විට ජාත්‍යන්තර නීතියේ කොටස් බවට පත්වී ඇති අභ්‍යන්තර ජලාශ හා රටවලට අයත් මුහුදු සීමා පිළිබඳ අදහසේත්, විශේෂයෙන්ම කාටත් නිදහසේ භාවිතා කළ හැකි ජාත්‍යන්තර මුහුදු පිළිබඳ අදහසේත් මුල් මේ ටොඩෙසියස් සම්මුතිය තුළ තිබේ.

මුල සිටම හරියටම ක්‍රියාත්මක නොවුණත්, සෑහෙන මට්ටමකට ක්‍රියාත්මක වූ ටොඩෙසියස් සම්මුතිය මුලින්ම ලොකු අර්බුදයකට ලක්වන්නේ ස්පාඤ්ඤයේ හා පෘතුගාලයේ මුහුදු ගවේෂණ වත්මන් නැගෙනහිර ආසියානු කලාපය කරා පුළුල් වීමේදීය. ඒ, ටොඩෙසියස් රේඛාවේ අනෙක් (නැගෙනහිර) අර්ධය සම්බන්ධයෙනි. මේ වන විට දේශාංශ වල නිවැරදි පිහිටීම කිසිවකු දැන නොසිටි නිසා දෙරට අතර ලෝක ගෝලයෙහි අර්ධය බැගින් බෙදා ගැනීමේදී එහි නැගෙනහිර මායිම නිශ්චය කර ගැනීම ගැටළුකාරී කරුණක් විය.

වත්මන් ඉන්දුනීසියාවට අයත්, කුළුබඩු වෙළඳාම එවකට ජයටම කෙරුණු, මලාකු දිවයිනට ස්පාඤ්ඤය හා පෘතුගාලය යන දෙරටම අයිතිවාසිකම් කීමත් සමඟ ප්‍රශ්නය උග්‍ර වූ අතර දෙරට අතර සංහිඳියාවක් ඇති කර ගැනීම සඳහා දෙරටේ තාරකා විද්‍යාඥයින්, සිතියම් විද්‍යාඥයින් (cartographers), සමුද්‍ර ගවේෂකයින් හා ගණිතඥයින්ගෙන් සමන්විත කමිටුවක් පත් කෙරුණු අතර 1529 අප්‍රේල් මස 22 දින අත්සන් තැබුණු සරගොසා සම්මුතිය (Treaty of Zaragoza) මෙහි අවසන් ප්‍රතිඵලයයි.

සරගොසා සම්මුතිය මඟින් ලෝකය ස්පාඤ්ඤය හා පෘතුගාලය අතර බෙදාගැනීම සම්පූර්ණ වුවද, දෙරට අතර සිදුවූ හෙට්ටු කිරීම් වලත්, එවකට පැවති සීමිත භූගෝලීය දනුමේත් ප්‍රතිඵලයක් ලෙස මේ බෙදීම සමානව සිදු නොවීය. ඒ අනුව, පෘතුගාලයට 191/360ක 'ලොකු කෑල්ලත්', ස්පාඤ්ඤයට 169/360ක 'පොඩි කෑල්ලත්' හිමි විය. ආසියාවේ නැගෙනහිරින්ම පිහිටි පිලිපීනය ස්පාඤ්ඤ යටත් විජිතයක් බවට පත් වෙද්දී, ලංකාව ඇතුළු ඉතිරි ආසියාතික රටවල් පෘතුගීසි කොලනි බවට පත් විය. දකුණු ඇමරිකාවේ නැගෙනහිරින්ම පිහිටි බ්‍රසීලය පමණක් පෘතුගීසි කොලනියක් වූ අතර ඉතිරි රටවල් ස්පාඤ්ඤ යටත් විජිත බවට පත් විය.

ඉහත කී ලෙස හතරවන ඇලෙක්සැන්ඩර් පාප්තුමා විසින් එවකට ක්‍රිස්තියානි නොවූ ලෝකය ස්පාඤ්ඤය හා පෘතුගාලය අතර බෙදාදීමේ අරමුණ වූයේ ලොව පුරා ක්‍රිස්තියානි ශුභාරංචිය පැතිරවීමයි. මේ අයුරින්, අදාළ රටවලට ඒකාධිකාරයක් ලබා දීම හේතුවෙන් එම රටවලට විශාල ආර්ථික වාසි සැලසුන අතර අනෙකුත් යුරෝපීය රටවලට නැති සුවිශේෂී වාසියක් ලැබුණේය. දහසයවන සියවස පමණ වන විට යුරෝපයේ නැඟී ආ ආර්ථික බලයන් වූ එංගලන්තය හා ඕලන්දය වැනි රටවලට මේ බෙදීම 'දිරෙවුවේ' නැත. කෙසේවුවද, යුරෝපය තුළ වතිකානුවේ ආධිපත්‍යය ස්ථාවරව පැවති පදනම තුළ ටොඩෙසියස් හා සරගොසා සම්මුතීන්ට රාජ්‍යතාන්ත්‍රික හා නීතිමය පදනමකට අමතරව ආධ්‍යාත්මික හා ආචාර ධාර්මීය පදනමක්ද පැවති බැවින් ඒ සම්මුති නොසලකා හැරීම පහසු කරුණක් නොවීය.

එංගලන්තය හා ඕලන්දය වැනි රටවල ප්‍රොතෙස්තන්ත ව්‍යාපාර ඉස්මතු වන්නේ මෙවැනි පසුබිමකය. ඒ සමඟම වතිකානුවේ ලෝක ආධිපත්‍යය තර්ජනයට ලක්වන අතර ටොඩෙසියස් හා සරගොසා සම්මුතීන් රඳවා තිබුණු ආධ්‍යාත්මික හා ආචාර ධාර්මීය පදනම ගිලිහී යයි. එංගලන්තය හා ඕලන්දය වැනි රටවලට වර්ධනය වූ නාවික බලය ශක්තියක් කරගනිමින් රාජ්‍යතාන්ත්‍රික හා නීතිමය පදනමකින් ස්පාඤ්ඤය හා පෘතුගාලය සමඟ හෙට්ටු කර ගිවිසුම් අළුත් කර ගැනීමට ඉඩ සැලසේ. ලෝකයේ මැද වතිකානුවේ සිට එංගලන්තයට විතැන් වේ. පෘතුගීසි කොලනියක්ව පැවති ලංකාව පිළිවෙලින් ඕලන්ද හා ඉංග්‍රීසි ආධිපත්‍යයට නතු වේ. කෙසේ වුවද, ටොඩෙසියස් හා සරගොසා සම්මුතීන්හි බලපෑම් ලෝකය පුරා අදටත් දක්නට හැකිය.


(Image: www.reddit.com)

Wednesday, August 3, 2016

සුදු සහ කළු


ලංකාවේ ගත කළ කාලය තුළ අපට සුදු සහ කළු වේදිකා නාට්‍යයේ නව නිෂ්පාදනය නැරඹීමට අවස්ථාවක් ලැබුණේය. මා මෙම නළුව මෙවර නැරඹුයේ තෙවන වරටය.

සයිමන් නවගත්තේගමගේ සුදු සහ කළු මුල් නිෂ්පාදනය අසූව දශකයේ දෙවන අර්ධයේ කිසියම් දිනෙක මම ලුම්බිණි රඟහලෙහිදී හෝ ලයනල් වෙන්ඩ්ට්හිදී නැරඹුවෙමි. එවකට එහි ප්‍රධාන චරිතය රඟපෑවේ නැසී ගිය ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන එච් ඒ පෙරේරාය. පසු කලෙක, මම එච්ඒගේ ආයතන ප්‍රධානියා ලෙසද කටයුතු කළෙමි.

දෙවන වරට මා මේ වේදිකා නළුව නැරඹුවේ එදිරිවීර සරච්චන්ද්‍ර එළිමහන් රංගපීඨයේදී හෙවත් පේරාදෙණිය වලේදීය. ඒ 1991දී හෝ ආසන්න වසරකදීය. මා පේරාදෙණියේ ගතකළ කාලය තුළ වලේ පෙන්වූ එකදු නාට්‍යයක් හෝ මගෙන් ගිලිහී නැත. පේරාදෙණිය ගවේෂණ සංගමය මුල් වී මේ වසර මුලදී ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ  සුදු සහ කළු නව නිෂ්පාදනයද වලේ පෙන්වා තිබුණේය.

මෙවර මා මේ නාට්‍යය නැරඹුවේ කොළඹින් පිටත නගරයකදීය. අවසන් වරට පේරාදෙණියේ වලේදී සුදු සහ කළු නරඹා සියවස් කාලක් ගෙවී ඇති බැවින් එම නළුව පිළිබඳව මගේ පැරණි මතක එතරම්ම පැහැදිළි නොවීය. අළුත් නිෂ්පාදනයේ ප්‍රධාන චරිතය රඟපෑවේ දක්ෂ නළුවකු වන ශ්‍රියන්ත මෙන්ඩිස් විසිනි. දෙබස් වැරදීම් දෙකක් හැරුණු විට ඔහුගේ රඟපෑම් ඉතා හොඳ මට්ටමක පැවැතිණි. එවැනිම ප්‍රතිභාපූර්ණ රංගධරයෙකු මෙන්ම මොරටුව සරසවියේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වරයෙකුද වන ජයලාල් රෝහණ තවත් ප්‍රධාන චරිතයකට පණ පෙවුවේය.

මේ නාට්‍ය දර්ශනය නැරඹීමට අප පෙළඹුණේ එහි ප්‍රධාන සංවිධායකයකු වූ අප හිතවතෙකු අපේ පැමිණීම විශේෂයෙන් බලාපොරොත්තු වෙමින් ඉදිරි පෙළ ප්‍රවේශපත්ද අප වෙනුවෙන් වෙන් කර තිබුණු බැවිනි. මට මගේ දරුවන් නිවසක රඳවා මෙම නාට්‍යය නැරඹීම ප්‍රායෝගිකව අපහසු කරුණක් වූ බැවින් නාට්‍යය දරුවන් සඳහා යෝග්‍යද යන ප්‍රශ්නය පළමුව මතු විය. මෙහිදී, මගේ සොයුරිය විසින් පෙන්වා දුන්නේ එහි පාසැල් දර්ශනයක්ද ඇති බැවින් දරුවන් රැගෙන යාමෙහි වරදක් තිබිය නොහැකි බවයි. ඒ අනුව, අපි පෙර කී සංවිධායක හිතවතා අමතා ඔවුන් වෙනුවෙන්ද ආසන වෙන් කරවා ගත්තෙමු. මේ අවස්ථාවේදී, මගේ සොයුරිය යෝජනා කළේ පළමු පෙළ අසුනකට වඩා දෙවන පෙළ අසුන් යෝග්‍ය බවයි.

"කලින් ඔතනම ලෝරන්ස්ගේ මනමාලි පෙන්නුවා. අපි හිටියේ ඉස්සරහම පේළියේ. අන්තිමට දුලීකා ස්ටේජ් එක අතුගාන කොට දුවිලි ඔක්කොම අපේ ඇඟේ!"

ඒ අනුව, අපි දර්ශනය ඇරඹීමට නියමිත වෙලාවට විනාඩි පහකට පෙර දෙවන පේලියේ අසුන් ගත්තෙමු. නියමිත වෙලාව පසුවී විනාඩි විස්සකින් රංගනය ඇරඹුණු අතර මෙම දර්ශනයට විවේක කාලයක් නොමැති බව ශ්‍රියන්ත මෙන්ඩිස් විසින් මුලින්ම නිවේදනය කළේය.

නාට්‍යය අතරතුර ජයලාල් රෝහණගේ රඟපෑම් අපව මහත් අපහසුතාවයකට පත් කළේය. ඒ ඔහු තමා රඟපෑ චරිතය ඕනෑවටත් වඩා තාත්ත්වික ලෙස රඟ පෑ බැවිනි. නාට්‍ය දර්ශනය අතරතුර දෙවරක්ම (නිරූපණය කළ චරිතය තුළ) ලොකු කළු සුරුට්ටු පත්තු කරගෙන පැමිණි ඔහු මේ සුරුට්ටු උරමින් (හෝ උරන බව පෙන්වමින්) එහි දුම ප්‍රේක්ෂකාගාරය වෙතට වරින් වර පිට කළේය. මා සිගරැට් හා සුරුට්ටු දුම අප්‍රිය කළත් දුම්පානය කරන මිතුරන් සමඟ ටික වෙලාවක් ගත කිරීම මට ලොකු ප්‍රශ්නයක් නොවේ. එහෙත්, මගේ බිරිඳ, සොහොයුරිය හා දරුවෝ මෙයින් මහත් අසීරුතාවයකට පත් වූහ. මා පෙර ලිපියෙන් අවධානයට ලක් ක, පෙනහළු ආශ්‍රිත රෝග තත්ත්වයන්ගෙන් පීඩා විඳින අයද මේ ප්‍රේක්ෂකාගාරයේ සිටින්නට ඇත.

කොටු කරන ලද පොදු ස්ථානයක් වන නාට්‍ය රඟහලක් තුළ දුම්පානය කිරීම වසර දහයක පටන්ම ලංකාව තුළ නීතිමය වරදක් බව ජයලාල් රෝහණ නොදන්නවාදැයි නොදනිමි. 2006 අංක 27 දරන දුම්කොළ හා මධ්‍යසාරය පිලිබඳ ජාතික අධිකාරිය පණතේ 39 වන වගන්තියේ මේ ගැන සඳහන්ව ඇත්තේ පහත පරිදිය.

"යම් කොටු කරන ලද පොදු ස්ථානයක් ඇතුළත කිසිම තැනැත්තෙකු විසින් යම් දුම්කොළ නිෂ්පාදන පානය කිරීම හෝ යම් තැනැත්තෙකුට එසේ කිරීමට ඉඩදීම නොකළ යුතුය."

"මේ වගන්තියේ කාර්යය සඳහා පොදු ස්ථානයක් යන්නෙන් මහජනයාට අයිතියක් වශයෙන් හෝ අන්‍යාකාරයකට ප්‍රවේශ විය හැකි වූද යම් ස්ථානයක් අදහස් වේ."

"කොටු කරන ලද පොදු ස්ථානයක් යන්නට රජයේ දෙපාර්තමේන්තුවක්, ව්‍යවස්ථාපිත මණ්ඩලයක් හෝ අධිකාරියක් හෝ රජයේ ආයතනයක්, කාර්යාල පරිශ්‍ර, බැංකු, අධිකරණ ශාලා, ශ්‍රවනාගාර, ක්‍රීඩා සංකීර්ණ, ආරෝග්‍ය ශාලා, සායන, බෙහෙත් ශාලා, විද්‍යාගාර, පාසල්, විශ්ව විද්‍යාල හෝ වෙනත් අධ්‍යාපනික ආයතන, පුස්තකාල, කෞතුකාගාර, ආගමික ස්ථාන, හෝටල්, ආගන්තුක නිවාස, තාවකාලික නවාතැන්පොළ (ලොජ්), නේවාසිකාගාර, ආපනශාලා, සමාජශාලා, අන්තර්ජාල මධ්‍යස්ථාන, චිත්‍රපටිශාලා, නාට්‍ය රඟහල්, සුපිරි වෙළඳසැල්, ගුවන් තොටුපළ, දුම්රියපළ වල හෝ බස් නැවතුම්පළ වල විවේකාගාර, යම් පොදු වැසිකිළි, ගොඩනැඟිලි, ගොඩනැඟිලි තනා ඇති ස්ථාන හා විදුලි සෝපාන ඇතුළත් වේ."


මෙයට අමතරව, ඉහත නාට්‍යයේ ආකෘතිය අනුව ඉවත් කළ නොහැකියැයි මා සිතන නමුත්, ප්‍රදර්ශනාත්මකව මත්පැන් හා දුම්වැටි පානය කිරීමද වරදක් විය හැකිය.

නීතිමය තත්ත්වය අමතක කළත්, සරසවි කථිකාචාර්ය වරයෙක්ද වන, ජයලාල් රෝහණ වැනි ජනතාවට සමීප (මා පෞද්ගලිකවද ප්‍රිය කරන) කලාකරුවෙකු මෙවැනි කරුණක් ගැන මීට වඩා සැලකිලිමත් හා සංවේදී විය යුතුයැයි සිතමි.

Tuesday, August 2, 2016

නිකං ලැබෙන හුළං ටික?


ලංකාවේ සමහර අය මේ දවස්වල කියන ආකාරයට ආණ්ඩුව බදු ගහන්නේ නැත්තේ හුස්ම ගන්න හුළං ටිකට විතරය. සාමාන්‍යයෙන් කිසිම රටක හුස්ම ගන්න හුළං ටිකට කෙළින්ම මිලක් අය කරන්නේ හෝ බදු ගහන්නේ නැත. එහෙත්, වක්‍ර ලෙස අපි නිකං ලැබෙනවාක් මෙන් පෙනෙන හුස්ම ගන්න හුළං ටිකට මිලක් ගෙවනවාට අමතරව බදුද ගෙවන්නෙමු.

හුස්ම ගන්න
හුළං ටිකට අපට මිලක් ගෙවන්නට සිදුවන ආකාර කිහිපයකි. එක පැත්තකින් වායු දූෂණය වැඩි වන තරමට සෞඛ්‍ය වියදම් ඉහළ යන අතර මේ වියදම් මත බදු ගෙවන්නට සිදු වේ. අනෙක් අතෙන්, අනෙක් සියළුම සාධක සමාන තත්ත්වයන් යටතේ වායු දූෂණය අඩු තැන්වල නිවාස හා දේපළ වෙනුවෙන් එසේ නැති තැනක ගෙවනවාට වඩා වැඩි මිලක් ගෙවන්නට සිදුවන අතර මේ වැඩි මිල මතද බදු අය කෙරේ.

වායු දූෂණය විශාල සෞඛ්‍යමය ප්‍රශ්නයකි. මාස කිහිපයකට පෙර නේචර් සඟරාවේ පළ වූ අධ්‍යයනයකට අනුව, ආශ්වාස කරන වාතයේ තත්ත්වය හේතුවෙන් වසරක් තුළ සිදු වන ඇති අකල් මරණ ගණන මිලියන 3.3ක් වන අතර එයින් වැඩි ගණනක් සිදු වන්නේ ආසියානු කලාපයේය.

ලෝකයේ බොහෝ කලාප වල අපේක්ෂිත ආයු කාලය වැඩි වීමේදී මුලින්ම එය සිදුවන්නේ මාතෘ හා ළදරු මරණ අඩු වීම හේතුවෙනි. විශේෂයෙන්ම ළදරු මරණයක් වලක්වාගත් විට ජනගහණයේ සාමාන්‍ය අගයක් වන අපේක්ෂිත ආයු කාලයට සැලකිය යුතු තල්ලුවක් ලැබේ. කෙසේවුවද, ළදරු මරණ අනුපාතිකය සැලකිය යුතු ලෙස අඩු කරගැනීමෙන් පසු රටක අපේක්ෂිත ආයු කාලය කිසියම් ස්ථාවර මට්ටමකට පත්වන අතර එය තවදුරටත් ඉහළ නංවා ගැනීම වඩවඩාත් අපහසු වෙයි. මේ උගුලෙන් ගැලවිය හැකි එක් ක්‍රමයක් වන්නේ වායු ගෝලයේ තත්ත්වය දියුණු කර ගැනීමයි.

මා පසුගිය කාලයේ ජීවත්වීම සඳහා තැනක් තෝරාගන්නා අවස්ථා වලදී, වැඩිම ප්‍රමුඛතාවයක් දුන්නේ එක් එක් ප්‍රදේශයේ පාසැල් වල අධ්‍යාපන තත්ත්වය හා අපරාධ අනුපාතය වැනි කරුණු වලට වුවද වායුගෝලයේ තත්ත්වය ගැනද යම් සැලකිල්ලක් දැක්වූයෙමි. අවි ආයුධ පරිහරණය කිරීමේ නිදහස ඇති ඇමරිකාවේ ගෙවන ජීවිතය ගිණි අවි වලට බියෙන් ගෙවන දිවියක්යැයි ඇමරිකාවෙන් පිටත සිටින ඇතැම් අය සිතති. එහෙත්, සැබෑ තත්ත්වයනම් මෙවැනි සුරක්ෂිත නොවන තත්ත්වයක් පවතින්නේ රටේ ඇතැම් සීමිත භූගෝලීය කලාප වල පමණක් වීමයි. ජාතික සංඛ්‍යාලේඛණ නරක ලෙස පෙනෙන්නේ එවැනි පෙදෙස් නිසාය. මා ජීවත් වූ පෙදෙසක පසුගිය වසරේ මිනීමැරුමක් සිදු වූ අතර ඉහළ මධ්‍යම පන්තියේ වැදගත් පවුලක පාසැල් දරුවකු විසින් කවර හෝ හේතුවක් මත සිදුකළ එම මිනීමැරුම සඳහා උපයෝගී කරගෙන තිබුණේ ගිණි අවියක් නොව පෑන පිහියකි. මා පෙර ජීවත් වූ වෙනත් පෙදෙසක අවසන් වරට මිනීමැරුමක් සිදුවී තිබුණේ හැත්තෑව දශකයේදීය. ඇමරිකාවේ විවිධ පෙදෙස් වල පාසැල් වල අධ්‍යාපන තත්ත්වයේද සැලකිය යුතු වෙනස්කම් ඇති අතර එයට ප්‍රධාන හේතුව පාසැල් වල පහසුකම් වල ඇති වෙනස්කම් හෝ ගුරුවරුන්ගේ තත්ත්වයේ ඇති වෙනස්කම් නොවේ. විවිධ පෙදෙස් වල ජීවත්වන සිසුන්ගේ ඇති වෙනස්කම්ය.

අප ජීවත්වන හා ජීවත්වූ පෙදෙස්වල වායුගෝලයේ තත්ත්වය අපට නිතර අවධානයට ලක් නොවන කරුණකි. එහෙත්, එහි වටිනාකම එක වරම අවබෝධ වන්නේත්, ලංකාවේ වායුගෝලයේ තත්ත්වය පසුගිය කාලය තුළ සැලකිය යුතු ලෙස නරක අතට හැරී ඇති බව පසක් වන්නේත් කලකට පසු ලංකාවට පැමිණි විටය. ඇත්ත වශයෙන්ම කිවහොත්, බොහෝ කලක් ලංකාවේ ඇති තත්ත්වයෙන් වඩා අයහපත් වාතය ආඝ්‍රාණය කරමින් ජීවත්වී, ඒ තත්ත්වයට ආඝ්‍රානේන්ද්‍රිය සංවේදීව ඇති මට හෝ මගේ බිරිඳට මේ වෙනස්කම් එතරම් සංවේදී නොවේ. එහෙත්, වඩා හොඳ වාතය ආඝ්‍රාණය කරමින් ජීවත්වී පුරුදු වී සිටින අපේ දරුවන් හා අදාළ තත්ත්වය එසේ නොවේ.

ලංකාවේ සිටි කාලයේදී අසල්වැසි නිවසක දල්වන ගිණි ගොඩකින්, වාහන දුමින් හෝ වෙනත් එවැනි දෙයකින් අපේ දරුවන් අපහසුතාවයට පත්වූයේ වරක් දෙවරක් නොවේ. මැජස්ටික් සිටි වැනි වායු සමීකරණය කර ඇති, එහෙත් හඳුන්කූරු හෝ කට්ටකුමන්ජල් දුමින් අපිරිසිදු වුනු තැන් වලදීද ඔවුන් සිටියේ ඉතා අසීරුවෙනි. ලංකාවේ වාහන ලියාපදිංචි කිරීමේදී මේ වන විට දුම් පරීක්ෂාවද අනිවාර්යයෙන්ම කළ යුතුය. මේ ඒ ගැන අයෙකු මට කියූ දෙයකි.

"ඕවට ක්‍රම සහ විධි තියෙනවා. ටෙස්ට් එකට කලින් ගාණක් අරන් වැඩේ ගොඩ දාල දෙන තැන් තියෙනවා. වාහනේ රේස් කරගෙන ඉන්න ගමන් සයිලන්සරේට ප්‍රෙෂර් කරලා වතුර පාරක් ඇල්ලුවහම හරි. කළු පාටට ඇතුළේ බැඳිලා තියෙන ඔක්කොම කැඩිලා යනවා. ටෙස්ට් එක ගොඩ."

ඇතැම් දේවල් නීති වලින්ම වෙනස් කරන්නට නුපුළුවන. මෙවැනි දේ නිසි ලෙස සිදුවීම සඳහා රටේ සාමාන්‍ය ජනතාවට නිසග පෙළඹවීමක්ද අවශ්‍යය. එසේ නොවූ විට එහි මිල ගෙවන්නට වෙන්නේද ඔවුන්ටමය. මේ මිල ලංකාවේ බොහෝ දෙනා දැනටම ගෙවති.

ලංකාවේ ජීවත්වන මගේ ඥාතීන්ගේ හා මිතුරන්ගේ කුඩා දරුවෝ බොහෝ දෙනෙකු කිසියම් හෝ පෙනහළු ආශ්‍රිත රෝග තත්ත්වයකින් පීඩා විඳිති. ඔවුන්ට මෙය ඉතා සාමාන්‍ය තත්ත්වයකි. කුඩා දරුවන් සිටින ලංකාවේ බොහෝ ගෙවල් වල ආනනක (ඉන්හේලර්) යනු සීනි තේකොළ මෙන් එදිනෙදා පාවිච්චියට ගන්නා පාරිභෝගික භාණ්ඩයකි !


පෙනහළු ආශ්‍රිත රෝග ඉදිරි කාලයේදී වකුගඩු රෝග මෙන් ලංකාවේ බරපතල සෞඛ්‍ය ප්‍රශ්නයක් බවට පත් වීමට ඉඩ ඇතැයි මට සිතේ. 

(Image: www.allergyclinical.com)

Monday, August 1, 2016

අරමණ යුදවිරුවන් ඇගයීම



පෙර ලිපි වලින් කතා කළ පැරකුම්බාවන්ගේ අරමණ ආක්‍රමණය සඳහා මුල් වූයේ ආර්ථික හේතූන්ය. මේ යුද මෙහෙයුම වියදම් අධික එකක් විය. එහි අවසන් ප්‍රතිඵලය ලෙස ලක් රජයේ ආදායම් වැඩි වන්නට ඇතැයි සිතිය හැකි වුවත් ඒ වැඩි වූ ආදායම වැය කළ යුද වියදමට තරම් වීද යන්න එතරම් පැහැදිලි නැත. වත්මන් නිදසුන් අනුව බැලූ විට බොහෝ විට පෙනෙන දෙයනම් බාහිර යුද මෙහෙයුම් වල මෙවැනි ශුද්ධ මූල්‍යමය වාසියක් නොමැති බවයි. කෙසේ වුවද, ප්‍රබල රාජ්‍යයන්හි නායකයින් මෙවැනි බාහිර යුද මෙහෙයුම් වලට නිරන්තරයෙන් යොමු වීමෙන් පෙනෙන්නේ එහි කවර හෝ වාසියක් තිබිය යුතු බවයි.

මහ පැරකුම්බාවන් අරමණ ආක්‍රමණයට යොමු වන්නේ ගජබාහු හා මානාභරණ ඇතුළු රජුන් සමඟ යුද වැද ලංකාව එක් සේසත් කර රට තුළ සිය දේශපාලන ස්ථාවරත්වය තහවුරු කරගෙන සිටින පසුබිමකය. අරමණ ආක්‍රමණයෙන් අනතුරුව මහ පැරකුම් අණ අනුව ක්‍රියා කරන ලංකා හමුදා දකුණු ඉන්දියාවේ යුද්ධයකටද මැදිහත් වී එහි කොටසකද සිය ආධිපත්‍යය කෙටි කලක් පතුරුවයි.

මෙසේ සිය බලය රටින් පිටතට පැතිරවීම මඟින් රටක පාලකයන්ට ලැබෙන ප්‍රධානම වාසියක් වන්නේ රට තුළ ජීවත් වන වැසියන් රාජ්‍යයේ ග්‍රහණයට වඩා පහසුවෙන් නතු කර ගත හැකි වීමයි. යුද ජයග්‍රහණ වලින් උත්කර්ෂයට පත් වන රටේ ජනතාව නොපැකිළ රජයට බදු ගෙවීමටත්, රාජ්‍ය විරෝධී කැරලි වලට එක් නොවීමටත් පෙළඹෙති.

රජයක් විසින් ඉහත වාසි ලබා ගැනීම සඳහා බාහිර යුද ජයග්‍රහණයට රට තුළ විශාල ප්‍රචාරයක් දීම මඟින් එය උත්කර්ෂයට නැංවිය යුතුය. අරමණ ජයෙන් පසුව පැරකුම්බාවන්ගේ රජයද මෙවැනි විජයග්‍රහණ සැමරුම් පවත්වන්නට ඇත. යුද ජයග්‍රහණයේ නියමුවන්ට රාජ්‍ය සම්මාන සමඟ ගම්වර ආදියද ලබා දෙන්නට ඇත.

මාවනැල්ල නගරයට සැතපුම් තුනක් පමණ ආසන්නව පිහිටි දෙවනගලින් හමුවන දෙවනගල සෙල්ලිපියෙන් අරමණ ආක්‍රමණයේ නියමුවකු වූ කීර්ති නගරගිරි හෙවත් කිත් නුවරගල් වෙත සිදු කළ මෙවැනි ගම්වර ප්‍රදානයක් ගැන තොරතුරු හමු වේ. මහ පැරකුම්බාවන්ගේ තේජස වනන සෙල්ලිපියේ මුල් කොටසින් පසු අදාළ කොටස මෙසේය.

"...සිංහ පරාක්‍රම ඇති පරාක්‍රමබාහු වත් හිමියන් වහන්සේ තමන් මුතුන් විජයරජපා ස්වර්ගස්ථභූත තැනැ සිටැ දෙසාලිස් හවුරුද්දක් නැසී තුබූ ලොසසුන් ඇති කරවමි යන සිතින් ගජබාහු මානාභරණ යන දෙදෙනා සමඟ යුධ කොට ලංකාජීපයෙහි එකච්චත්ර කොට පුලස්ති පුරවරෙහි රජ ශ්‍රී වළන්දන සමාහි දොළොස්වනු පොසොනැ පුර දසවකැ අරමණධිපති භුවනාදිත්තනම් කෙනෙකුන් රජ කරන කලැ ලක්දිවු සන්තාන නොකරම්හයි කී හෙයින් නැවු දහස් ගණනකට පිරිස් නඟා යවා අරමණය පාරනේ වදාළ කලැ කිත් නුවරගලුන් කුසුමිය යැයි යන නුවරක් පැහරැ පස් මසක් ර... ...... ... ගත් කලැ අරමණයන් සන්තාන කරම්හයි දූතයන් එවූ හෙයින් කිත් නුවරගලුන්ට හිරිසන්ද පවත්නා තෙක් සිටින පරිද්දෙන් මෙ ගලැ කොටා දුන් මලබටුව හා ... ... ... ... කිත්සෙන්පවුයෙන් බිජුවට දොළොසමුනු දෙ පෑළක් ඇතුළුවැ දෙයාලක් පමුණු කොට දුන්නේයි."

පැරකුම්බාවන් අරමණ ආක්‍රමණයට හමුදා යොදවන විට එහි පාලකයා වූයේ (භුවනාදිත්ත) අලවුන්සිතු රජුය. ඔහු බුරුමය පාලනය කළ ප්‍රබල රජෙකු වුවත් මේ කාලය වන විට ඔහු ඉතා වයස්ගතව මෙන්ම ඔහුගේ පුතුන් නිසා අභ්‍යන්තර ආරවුල් වලට මැදිවද හුන්නේය. පරණවිතානයන්ගේ ලිපියකට අනුව, අලවුන්සිතු රජු සිය පාලනයේ මුල් කාලයේදී ලංකාවට පැමිණ කාල නම් වූ සිය තානාපතියෙකු ලංකාවේ නවත්වා ගොස් තිබේ. කෙසේවුවද, මහාවංශයේ සඳහන් පරිදි ලංකා හමුදාවන් විසින් භුවනාදිත්ත අලවුන්සිතු මරා දමනු ලැබීම විශ්වසනීය නොවන කරුණකි. බුරුම මූලාශ්‍ර අනුව, ඔහු මේ සිදුවීමෙන් පසුවද ජීවත් වී වෙනත් අයුරකින් මිය ගොස් තිබේ. අරමණ රජු මරා දැමීමද, දහයක හෝ පහළොවක නැවු කණ්ඩායමක් නොකියා 'නැවු දහස් ගණනකට පිරිස් නඟා' යැවූ බව කීම වැනිම අතිශයෝක්තියක් විය හැකිය. සැබෑවටම මරා දමනු ලැබුවේ කුසුම්තොට පාලනය කළ ප්‍රදේශාධිපතියෙකු වන්නට පුළුවන.

විජයග්‍රහණ සැමරුමකදී එහි අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීම සඳහා මෙවැනි අතිශයෝක්තීන්ද අවශ්‍ය වේ. ඒ කාලයේදී අඬබෙර ආදිය මඟින් යම් තරමකට මෙවැනි මාධ්‍ය මවාපෑම්ද සිදු කරන්නට ඇත. ඒ අනුව, අරමණ රජු මරා දැමූ පුවත මෙන්ම මේ යුද මෙහෙයුම සඳහා නැවු දහස් ගණනක් යෙදවුණු බවද ඒ කාලයේ ලංකාවේ ජීවත් වූ බොහෝ දෙනෙක්ද විශ්වාස කරන්නට ඇත. එසේ විශ්වාස කළ නිසා ලොකු පැකිලීමකින් තොරව රජයේ බදු මුදල් හා නොමිලේ ලබා දෙන ශ්‍රමය ආදිය ලබා දෙන්නටද ඇත.


කෙසේවුවද, මේ අතිශයෝක්තීන් විය හැකි කරුණු නොසලකා හැරියද අරමණ ආක්‍රමණය ලංකා ඉතිහාසයේ විශාලම යුද මෙහෙයුමකි.


(Image: mazinglanka.com)

වෙබ් ලිපිනය: