Saturday, August 20, 2016

ඔබෙන් තොර ලෝකයක් කොයින්දෝ...

ඉයන් විසින් ඇති කළ සොඳුරු රැල්ල පසුව කුණාටුවක් වී මේ වන විට සෙමින් බැස යමින් පවතී. වෙනත් මාතෘකා කිහිපයක් ගැනම ලියන්නට පටන් ගත් නමුත් රැල්ල ඊට වඩා ප්‍රබලය. ඇසළ පෙරහැර අවසන් වීමට පෙර ඒ ගැන ලිපියක් පළ කරන්නට  සිතා සිටියත් දිය කපා අවසන් වන තුරුම ඒ ලිපිය අවසන් කරන්නට නොහැකි විය. එසේ පළ කළද, නැදුන්ගමුවේ හස්ති රාජයා වුවද ගසා ගෙන යන තරමේ මේ රැල්ලට මේ දවස් වල පළ කරන වෙනත් ඕනෑම ලිපියක් ගසා ගෙන යාමට ඉඩ තිබේ.

මේ වන විට අඩු වශයෙන් දහනව දෙනෙකු සිය ගීත ලැයිස්තු පළ කර තිබේ. මේ ගීත ලැයිස්තු වල සැලකිය යුතු විවිධත්වයක් මෙන්ම සමානකම්ද තිබේ.

තිලකසිතෙහි කමෙන්ටුවක් දමමින්, මේ ගැන රසික කියා තිබුණේ මේ සිංදු ලැයිස්තු දෙස බැලූ විට අප එකිනෙකා කොයි තරම් වෙනස්ද යන්න නැවත වැටහුණු බවයි. ඇත්තටම අප එකිනෙකාගේ රුචි අරුචිකම් අතර සුළු හෝ වෙනස්කම් තිබේ. එක් අයෙකුගේ තෝරාගැනීම් ගැන වෙනත් අය ප්‍රශ්න කිරීම හෝ ඒ තෝරාගැනීම් වලට මැදිහත් වීම එතරම් සුදුසු නොවන්නේ ඒ නිසාය.

අප එකිනෙකා අතර මෙවැනි වෙනස්කම් තිබුණද, සමානකම්ද තිබේ. වයස, රැකියා, දේශපාලන අදහස් වැනි විවිධ මාන අනුව වෙනස් පුද්ගලයින් ලෙස සැලකිය හැකි බොහෝ දෙනෙකු තමන් කැමති සිංදු පළ කිරීමට ඉදිරිපත් වීමම මේ කරුණ පෙන්වා දෙයි.

ඇත්තටම මෙහිදී සිදු වී ඇත්තේ, ඉයන්ගේ 'තරඟ කොන්දේසි' අනුව අප අතර ඇති ඉතා සියුම් වෙනස්කම් පවා කැපී පෙනීමයි. ආර්ථික විද්‍යා ආකෘති මඟින් කරන්නේ රුචි අරුචිකම් හා අදාලව පුද්ගලයින් අතර ඇති මෙවැනි සියුම් වෙනස්කම් තේරුම් ගැනීමට උත්සාහ කිරීමයි. තේරීමක් කිරීමේදී ඇති විකල්ප ප්‍රමාණය වැඩි වන තරමට විවිධ පුද්ගලයින් අතර ඇති මෙවැනි වෙනස්කම් තේරුම් ගැනීම පහසු වෙයි.

දස දහස් ගණනක් හෝ ලක්ෂ ගණනක් වන සිංහල සිංදු අතරින් තමන් කැමති සිංදු දහසයක් තෝරාගැනීම කාට වුවත් ඉතා අසීරු කටයුත්තකි. ඒ, මෙහිදී ඇති තෝරා ගැනීම් ගණන ඉතා විශාල බැවිනි. සිංදු ගණන දස දහසක් පමණක් ලෙස සැලකුවද, ඒ සිංදු වලින් හැදිය හැකි සිංදු දහසයේ 'පැකේජ' ගණන අංක පණහක සංඛ්‍යාවකි. ඒ නිසා, අහඹු ලෙස දෙදෙනෙකු විසින් එකම තේරීම කිරීමට ඉඩක් ඇත්තේම නැති තරම්ය. යම් හෙයකින් එසේ වෙනවානම් එයින් පෙනෙන්නේ ඒ දෙදෙනාගේ රුචි අරුචිකම් 'පුදුමාකාර ලෙස' සමාන බවයි.


අනෙක් අතට, මෙවැනි විශාල විකල්ප ගණනක් ඇති විට ඒ විකල්ප අතරින් හොඳම විකල්පය තෝරා ගැනීම ඕනෑම පුද්ගලයෙකුට ප්‍රායෝගිකව කළ නොහැකි දෙයකි. සම්භාව්‍ය ආර්ථික විද්‍යාවේ මූලික සංකල්පයක් වන්නේ පුද්ගලයින් තමන්ට වඩාත්ම හොඳ විකල්පය තෝරාගන්නා බවයි. එහෙත්, ඇතැම් තත්ත්වයන් යටතේ එය එසේ සිදු නොවන බව පරීක්ෂණාත්මක ආර්ථික විද්‍යාඥයින් (experimental economists) විසින් නැවත නැවතත් පෙන්වා දී තිබේ. ඒ පදනම මත, බොහෝ චර්යාත්මක ආර්ථික විද්‍යා ආකෘතීන් තුළ සියළු පුද්ගලයින් සියළු අවස්ථා වලදී තාර්කික තීරණ (rational decisions) නොගන්නා බව උපකල්පනය කෙරේ. කෙසේ වුවද, බොහෝ පුද්ගලයින් විසින් බොහෝ අවස්ථා වලදී තාර්කික තීරණ ගැනීම, ආර්ථික විද්‍යාවේ මූලික න්‍යායයන්හි පැවැත්මට ප්‍රමාණවත්ය.

ඇතැම් පුද්ගලයින් බොහෝ විටත්, බොහෝ පුද්ගලයින් ඇතැම් විටත් තාර්කික නොවන ලෙස තමාගේ යහපතට වැඩිපුරම හේතුවන විකල්පය නොවන වෙනත් විකල්පයක් තෝරා ගැනීමට හේතුවන කරුණු අතර ඒ තීරණය ගැනීමට විශාල දත්ත සැකසුමක් කිරීමට සිදුවීම හා ඒ සඳහා විශාල කාලයක් ගතවීමද හේතු වේ. එමෙන්ම, හොඳම තීරණය නොවන වෙනත් තීරණයක් ගැනීම නිසා සිදුවන පාඩුව විශාල නොවීමද මෙවැනි අතාර්කික තීරණ වලට තවත් හේතුවකි. (තවත් හේතු රැසක්ම තිබේ.) සිංදු දහසයක් තෝරාගැනීමේදී අප බොහෝ දෙනෙකුට එය 'හරියටම කිරීම' අසීරු වීමට මේ කරුණු තුනම හේතු වේ.

අප කැමති සිංදු සියල්ල මතක් කර ලැයිස්තුගත කර, අපේ කැමැත්තේ ප්‍රමුඛතාවය අනුව තෝරන්නට ප්‍රමාණවත් කාලයක් අප කිසිවෙකුට නැත. එමෙන්ම, මේ ලැයිස්තුව පොඩ්ඩක් වැරදුණා කියා සිදුවන ලොකු පාඩුවක්ද නැත.

සිංදු තේරීමේ ඇති අමාරුව ගැන රසික විසින් විස්තර කර තිබේ. කෙසේ වුවද, මේ ප්‍රශ්නය පැන නඟින්නේ වඩා කැමති හෙවත් 'හදවතට සමීප' සිංදු තේරීමේදීය. මෙයම නොවන 'ජීවිතයට සමීප' ගීත දහසයක ලැයිස්තුවක් සෑදීම ඊට වඩා පහසු දෙයකි.

ඇතැම් ගීත අසන විට, ගායකයා, ගීත රචකයා හෝ ගීත නිර්මාණයට සම්බන්ධ වෙනත් අයෙකු තබා වෙනත් කිසිදු රසිකයෙකුගේ සිතෙහි හෝ නොමැවෙන වෙනස්ම චිත්ත රූප අපේ හිතේ මැවෙන අවස්ථා තිබේ. එය එසේ වන්නේ අප අපේ පෞද්ගලික අත්දැකීමක්, ජීවිතයේ යම් කාල වකවානුවක් හෝ පුද්ගලයක් කිසියම් ගීතයකට සම්බන්ධ කර මතක තබා ගත් විටය. මා හිතන්නේ මෙය මගේ පුද්ගලික අත්දැකීමක් නොව බොහෝ දෙනෙකුගේ පොදු අත්දැකීමක් බවයි. මේ පදනමින් 'ජීවිතයට සමීප ගීත' ලැයිස්තුවක් පළ කිරීම වඩා පහසු වුවත් එය කිරීමේදී පෞද්ගලික තොරතුරුද සටහන් කරන්නටම සිදුවේ. ඒ නිසා, ඒ ලැයිස්තුව පසුවට තබා 'හදවතට සමීප ගීත' ගැන සිතමු.

හදවතට සමීප ගීත ලැයිස්තුවක් සැදීම පහසු කරුණක් නොවන නිසා එය කළ හැකි පහසුම ක්‍රමය තිලකසිත කියා ඇති පරිදි වැඩිපුර නොසිතා ඔහේ ඔළුවට එන විදිහට ලැයිස්තුවක් සැදීමයි. මා පහතින් පළ කරන්නේ එවැනි 'සම්පාදක තෝරයි' මාදිලියේ ලැයිස්තුවකි. ලැයිස්තුව සැදූ වහාම, එහි තිබුණානම් හොඳයැයි සිතුණු තවත් සිංදු ගණනක් මතක් වුවත් ලැයිස්තුව සංශෝධනය කර අවසන් කිරීම කවදාවත් සිදු නොවන දෙයක් නිසා එය එසේම ප
කරමි. ඒ අනුව, මගේ ඇතැම් ප්‍රියතම ගායකයින් හා ගීත එහි ඇතුළත් නොවීම නොසලකා හරිමි.

තිලකසිත විසින් මගේ පෙර ලිපියට කමෙන්ටුවක් දමමින් "මම හිතුවා ආර්ථික විද්‍යාව ගෑවිලා හරි තියෙන සින්දුවක් දෙකක් ගැනත් ලියයි කියල" යැයි කියා තිබුණේය. එයට මගේ පිළිතුර වූයේ "ආර්ථික විද්‍යාව හැම තැනකම වගේ තියෙන නිසා බොහොමයක් සිංදු වලට කොහෙන් හරි ගෑවිලා තියෙනවා" යන්නයි. සිංදු තේරීමේදී මා ආර්ථික විද්‍යාව ගැන නොසිතුවත්, තේරීමෙන් පසු එවැනි කිසියම් සම්බන්ධයක් ඇත්දැයි සිතා බැලුවෙමි. ඇත්තටම, මේ අහඹු සිංදු දහසයෙන් බොහෝ ගණනකට ආර්ථික විද්‍යාව කොහෙන් හෝ ගෑවී තිබේ.

දැන් මෙන්න ඔබ පුන පුනා බලා සිටි හෝ නොසිටි සම්පාදක තෝරයි ලැයිස්තුව. අද සම්පාදක ඉකොනොමැට්ටා.


1. වලාකුළෙන් බැස සමන් කුළත් වැඳ...
සංගීතය හා ගායනය - සුනිල් ශාන්ත සහ ශිෂ්‍යාවක්
ගී පද - අරිසෙන් අහුබුදු

සිංහල ගීතයෙහි හැඩය තීරණය කළ මුල් ගායකයින්ගෙන් අයෙකු ලෙස සැලකිය හැකි සුනිල් ශාන්තයන්ගේ එදා මෙදාතුර ජනප්‍රියව පවතින අනෙකුත් ගීත අතර "මිහිකත නලවාලා", "කෝකිලයන්ගේ කෝකිල නාදේ", "හඳපානේ", "හෝ.. හෝ ගා රැල්ල නැඟේ",  "සුවද රෝස මල් නෙලා" වැනි මා කැමති තවත් ගීත රැසෙකි. මේ ගීත වල මා ඉතා ප්‍රිය කරන "රාබීන්ද්‍ර ශාන්ගීත්" වලද ඇති ජන ගී රිද්මය ඇත. සුනිල් ශාන්තයෝ වරක් සිය වෘත්තිය හා අදාළ ප්‍රතිපත්ති හේතුවක් මත ගුවන් විදුලියේ රැකියාව අහිමි කරගත්තේය. ඒ කාලය තුළ ඔහු ස්වයං රැකියා ගණනාවක් කර තිබේ. ප්‍රසිද්ධ ගායකයෙකු සමඟ යුග ගීයකට හවුල් වන එතරම් ජනප්‍රිය නැති ගායිකාවකගේ නම හෝ අඩුවශයෙන් ප්‍රචාරය නොවීම මේ යුගයේ ලක්ෂණයක් විය. වලාකුළෙන් බැස ගීතය පසුව අයිවෝ ඩෙනිස් විසින්ද ගායනා කළේය.



වලාකුළෙන් බැස ගීයේ අදහස වනුයේ සමන් ගිරෙන් බැස රට හරහා සයුර බලා ගලා යන ගංගාවන්ගේ ජලය හැකිතාක් ප්‍රයෝජනයට ගත යුතු බවයි. මේ කතා කරන්නේ ආර්ථික විද්‍යාඥයෙකුගේ මූලික කාර්ය භාරය ගැනය. අපට අසීමිත අවශ්‍යතා ඇතත්, ඒ අවශ්‍යතා සපුරා ගැනීමට ඇති සම්පත් ප්‍රමාණය සීමිත නිසා මේ සීමිත සම්පත් හැකි උපරිම කාර්යක්ෂමතාවයෙන් ප්‍රයෝජනයට ගත යුතුය. ආර්ථික විද්‍යාවේ විෂය පථය මෙසේ සම්පත් වඩා කාර්යක්ෂම ලෙස ප්‍රයෝජනයට ගත හැකි ආකාර ගැන සෙවීමයි.


2. ගංගා එන්නකෝ ගංගා...
ගායනය - අබේවර්ධන බාලසූරිය
ගී පද - සුනිල් ආරියරත්න
සංගීතය- වික්ටර් රත්නායක 




සමන් ගිරට වැටී රට හරහා මුහුදට යන ජලය අපතේ නොහැර ප්‍රයෝජනයට ගත යුතු බව අරිසෙන් අහුබුදු මතක් කර දුන්නත්,   එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරමින් (ඩඩ්ලි සේනානායක ආණ්ඩු සමයේදී සිදුකළ මූලික සැලසුම් ඉදිරියට ගෙනයමින්) මහවැලි බහුකාර්ය යෝජනා ක්‍රමය ඇරඹෙන්නේ සමඟි පෙරමුණු ආණ්ඩු කාලයේදීය. මේ සමඟි පෙරමුණු රජයේ ආර්ථික ප්‍රතිපත්ති අද වන විට අගය කරන්නේ ඉතා සීමිත පිරිසකි. එම රජය අනුගමනය කළ සෝවියට් පන්නයේ මධ්‍යගත, සංවෘත ප්‍රතිපත්තිය සමස්තයක් ලෙස රටට අත් කර දුන්නේ ඉතා අහිතකර ප්‍රතිඵලයකි. එහෙත්, ඒ කාලය තුළ හා ක්‍රමය යටතේ සිදුවූ එක් සාධනීය දෙයක් වූයේ රටේ ආර්ථික ඉලක්ක සමඟ සංගීතය ඇතුළු කලාව පවා සම්පාත වීමයි.

මුලින්ම තිස් අවුරුදු ව්‍යාපෘතියක් ලෙස සැලසුම් කෙරුණු මහවැලි ව්‍යාපෘතියේ පළමු අදියරේ කොටසක් වූ පොල්ගොල්ල ව්‍යාපෘතිය සමඟි පෙරමුණු ආණ්ඩු කාලය තුළම අවසන් විය. එයින් උද්දාමයට පත් වන රජරට වැවක්, මෙතෙක් අහක බලාගෙන ගිය මහවැලි සොඳුරිය පැමිණෙන තුරු අපේක්ෂා දල්වාගෙන බලා සිටින ආකාරය මේ ගීතයෙන් සුනිල් ආරියරත්නයන් විසින් ඉතා සියුම් ලෙස චිත්‍රනය කරයි.

"දිරූ ඉපල් අත් දඬු ඔසවාගෙන
නියඟින් දා ගිය සිරුර වාරුකර
බලා සිටිද්දී මා
අහක බලාගෙන යන්න ගියා ඔබ
නෑ නේද ඉතින් යළි අහක බලන් යන්නේ..."



3. සිනිඳු සුදු මුතු තලාවේ...
ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව සහ පිරිස
ගී පද - මහගම සේකර
සංගීතය - සෝමදාස ඇල්විටිගල
චිත්‍රපටය- සත් සමුදුර (1967)




සමන් ගිරට වැටෙන වතුර බිංදු රට හරහා ගලා ගොස් අන්තිමේදී මුහුදට වැටේ. ලංකාව වටා ඇති රටේ භූමි ප්‍රමාණය මෙන් අට ගුණයක් පමණ විශාල (වර්ග කිලෝමීටර 517,000ක්) අනන්‍ය ආර්ථික කලාපය ලංකාව සතු ඉතා වැදගත් ස්වභාවික සම්පතකි. රටේ ධීවර කර්මාන්තය හා ආශ්‍රිත රැකියා වල නිරත පුද්ගලයින් හා ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් ගණන මිලියනයකට වඩා අධිකය. කෙසේ වුවද, මේ ගීතයෙන් කියවෙන පරිදි, මුහුද විශ්වාස කළ නොහැකිය.

"ගැඹුරු සත් සමුදුරු පතුල බිඳ (ගැඹුරු සත් සමුදුරු පතුල බිඳ)
ඇඹරි ඇඹරී වියරු දළ රළ
තුමුල මහමෙර දෙදරවයි
බුර පුරා නැගි කුරිරු ජල කඳ //
දෙරණ සම්පත ගිල ගනියි
දෙරණ සම්පත ගිල ගනියි
ගිල ගනියි (ගිල ගනියි)"

අපි මෙය 2004දී අත් දැක්කෙමු. සුනාමිය විශාල සමාජ ව්‍යසනයක් වුවත්, සුනාමි ආධාර හේතුවෙන් ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුණ පා සිටි ආණ්ඩුවටනම් සැලකිය යුතු වාසියක්ද සැලසුණේය.



4. මහ බෝ වන්නම
සංගීතය හා ගායනය - පණ්ඩිත් අමරදේව
ගී පද - ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ



මෙයද අමරදේවයන් විසින්ම ගයන තවත් මා ඉතා කැමති ගීයකි. බෞද්ධ ගීයක් වුවත්, මෙය පරිසර වර්ණනාවක් ලෙස ලියැවී ඇත. ගීතය ඇසෙන විට නේරංජනා නදියේ ජලය ගලා බසිද්දී ඇසතු බෝධි වෘක්ෂයේ කොළ සෙලවෙන හඬ ඇසෙන්නාක් මෙනි.

මහ බෝ වන්නම ගීය ආර්ථික විද්‍යාවට සෘජු ලෙස සම්බන්ධයක් නැත. එහි වස්තු විෂය සිද්ධාර්ථ ගෞතමයන් බුද්ධත්වයට පත්වීමේදී පිටදුන් බෝධි වෘක්ෂයයි. පසුකාලීනව බුද්ධාගම ලංකාවේ රාජ්‍යාගම වීමත්, මේ වෘක්ෂයේ ශාඛාවක් ලංකාවට ගෙන එනු ලැබීමත් සිදුවිය. එතැන් සිට මේ දක්වාම ලංකාවේ ප්‍රමුඛ ආගම බුද්ධාගමයි.

රටක ජීවත්වන මිනිසුන්ගේ ආගමික විශ්වාස ඒ රටේ ආර්ථිකයට සැලකිය යුතු බලපෑමක් කරයි. හොඳම උදාහරණය ඉහත කතා කළ ධීවර කර්මාන්තයයි. බුද්ධාගම අනුව මසුන් මැරීම පාපයකි. එහෙත්, වෙනත් ඇතැම් ආගම් අනුව එය වරදක් නොවේ. මේ නිසා, ලංකාවේ බෞද්ධයෝ ධීවර කර්මාන්තයට යොමු වීමට වෙනත් ඇතැම් ආගමිකයින් තරම් උනන්දුවක් නොදක්වති. ලංකාවේ ධීවර කර්මාන්තයෙන් දළ ජාතික නිෂ්පාදිතයට ලැබෙන දායකත්වය සියයට දෙකකටත් වඩා අඩු වීමට මෙයද හේතුවකි.



5. සැනසුම් සුසුමන් පාවීලා...
ගායනය - ටී. එම්. ජයරත්න
ගී පද - රංජිත් වීරසිංහ
සංගීතය - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස

චිත්‍රපටය- නෑදෑයෝ (1976)
 

ආර්ථික විද්‍යාව අනුව, යමක වටිනාකම මැනිය හැක්කේ තවත් යමකට සාපේක්ෂවය. ඒ අනුව, වටිනාකම යනු යමක් ලබා ගැනීම සඳහා 'නැති කර ගත යුතු' දේවල් වල වටිනාකමයි. මෙය ආවස්ථික පිරිවැය ලෙස හැඳින්වේ.

"රෑ සඳ පානේ - සීතල පවනේ..
නාමල් අරණේ - ලා දළු සෙවනේ..
මා ලයකර ඔබගේ සුව යහනේ..
ගෙවූ අතීතය මතකද මිහිරි...
ගෙවූ අතීතය මතකද මිහිරි..."

යමක් ළඟ ඇති විට නොදැනෙන වටිනාකම හොඳින් පසක් වන්නේ එය තාවකාලිකව හෝ දුරස් වූ විටය. ඇය මා ලයේ නිදන විට දැනෙන සුවයේ වටිනාකම මැනිය හැක්කේ ඇය නොමැතිව තනිව හිඳීමට සාපේක්ෂවය. දෙවන අත්දැකීම විඳින තුරු පළමු අත්දැකීමෙහි වටිනාකම හරියටම නොතේරේ.



6. කීන දම් මිටක් කඩන් ආවා මගේ නංගෝ...
ගායනය - මිල්ටන් මල්ලවආරච්චි සහ නීලා වික්‍රමසිංහ
ගී පද - ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය - සරත් දසනායක
චිත්‍රපටය - චංචල රේඛා (1981) 




චංචල රේඛා සේන සමරසිංහයන් විසින් නිපදවූ ඉතා ජනප්‍රිය චිත්‍රපටයකි. මේ සිනමාපටය තිරගත වීමෙන් පසු ජනවහරට එකතු වූ 'දං චූටි' යෙදුම සෑහෙන කලක් භාවිතයේ තිබුණේය. මේ චිත්‍රපටය තිරගත වන කාලයේ දං වලට වාණිජ වටිනාකමක් තිබුණේ නැත. ඒ කාලයේ රටේ බොහොමයක් ප්‍රදේශ වල දං කැලෑ ඕනෑ තරම් තිබුණු අතර, දං කන්නට අවශ්‍ය අයෙකුට කරන්නට තිබුණේ මේ දං කැලෑවකට වැදී ඇති තරම් දං කඩාගෙන කෑමයි. එයට කාගෙන්වත් තහනමක් තිබුණේ නැත. රටේ තිබුණු දං ඉල්ලුමට වඩා ඉබේට හැදෙන දං ගස් වල දං සැපයුම වැඩි වූ බැවින් ඒ දවස් වල දං වලට මිලක් තිබුණේ නැත. එහෙත් දැන් ත්ත්වය එසේ නොවේ. දශක ගණනක් තිස්සේ සිදු වූ නාගරීකරණය හා ඉඩම් කට්ටි කර විකිණීම නිසා දැන් මේ දං කැලෑවල් ලේසියකට හොයාගන්නට නැත. ඒ අතරම, කොයිතරම් පලතුරු වර්ග තිබුණත් මිනිස්සු ස්වභාවයෙන්ම විවිධත්වයට කැමති නිසා දං වලට සැපයුම ඉක්මවන කිසියම් ඉල්ලුමක් තිබේ. ඒ නිසා දැන් දෙල්කඳ පොළ, මහරගම පොල වැනි තැන් වල කිසියම් මිලකට දං විකිණේ. 



7. ළඳුනේ ………. ළඳුනේ ………….
ගායනය  - අමරසිරි පීරිස්
ගී පද - රන්බණ්ඩා සෙනෙවිරත්න
සංගීතය - ප්‍රේමසිරි කේමදාස




ඉල්ලුම හා සැපයුම අතර වෙනසක් ඇති විට කිසියම් මිලකට විකිණෙන්නේ දං පමණක් නොවේ. දං චූටිලාත් එසේ විකිණේ. මේ ගීයෙන් ආලෝකය හෙලන්නේ එසේ විකිණෙන ලෙයින් මසින් හැදුණු දං චූටිලාගේ ජීවිත දෙසටය.



8. වියෝ ගී ගැයෙනා...
ගායනය - නීලා වික්‍රමසිංහ
ගී පද - සුනිල් ආරියරත්න
සංගීතය - නිමල් මෙන්ඩිස්

චිත්‍රපටය- ගැහැණු ළමයි (1978)


මුදල් සම්බන්ධ නොවුණත්, පෙම් සබඳතාවයක තියෙන්නේ ගණුදෙනුවක ලක්ෂණය. දෙදෙනෙකු අතර ගණුදෙනුවක් සිදුවිය හැක්කේ එහි දෙදෙනාටම වාසි ඇත්නම් පමණි. එක් අයෙකුට පමණක් වාසි ඇති විට ගණුදෙනුවක් සිදු විය නොහැකිය.


9. රන් ටිකිරි සිනා...
ගායනය - නිරාෂා පෙරේරා හා වික්ටර් සිල්වා
ගී පද - සුනිල් ආරියරත්න
සංගීතය – නිමල් මෙන්ඩිස්
සංගීත සංයෝජනය - ප්‍රේමලාල් දන්වත්ත
ගඟ අද්දර (1980)



අපේ ළමා කාලය තුළ අප ලබන අත්දැකීම් වැඩිහිටියන් ලෙස අප ගන්නා ආර්ථික තීරණ වලට බොහෝ සේ බලපායි. ළමුන් වෙනුවෙන් කරන ආයෝජනය රටක අනාගතය වෙනුවෙන් කරන ආයෝජනයකි.

10. නිම් හිම් සෙව්වා...
ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය - ඔගස්ටස් විනයාගරත්නම්
සංගීතය - නිමල් මෙන්ඩිස්
චිත්‍රපටය - සීතාදේවී 



සීතාදේවි චිත්‍රපටයේ මේ ගීතය ඇතුළත් ජවනිකාව ඇස් ඉදිරිපිට මැවෙන සටහනක් රවී විසින් ලියා තිබුණේය. ඇතැම් විට ගනුදෙනුවකින් දෙපාර්ශ්වයටම වාසි ඇතත් අසමමිතික තොරතුරු (asymmetric information) හේතුවෙන් ඇති වන අවිශ්වාසය නිසා ගනුදෙනුවක් සිදු නොවන්නට පුළුවන. දෙදෙනෙකු එක දිගටම ගනුදෙනු කරන විට (repeated transactions) විශ්වාසය තහවුරු වීමත්, ඒ හේතුවෙන් තොරතුරු අසමමිතිය නැති වීමත් නිසා කාර්යක්ෂමතාවය ඉහළ යයි.


11. සැදෑ කළුවර කුර ගගා විත්...
ගායනය - විශාරද නන්දා මාලිනී
ගී පද - මඩවල එස්. රත්නායක
සංගීතය - විශාරද නන්දා මාලිනී





අසමමිතික තොරතුරු නිසා (moral hazard) ඇතැම් විට සිදු නොවිය යුතු ගනුදෙනුවක් වුවද සිදුවිය හැකිය. එවැනි විටෙක අනෙක් පාර්ශ්වය විසින් තමන්ව රවටනු ලැබ ඇති බව එක් ගනුදෙනුකරුවෙකුට දැනගන්නට ලැබෙන්නේ ගනුදෙනුව අවසන් වීමෙන් පසුවය. ඒ වන විට, ගනුදෙනුව ආපසු හැරවිය නොහැකි තත්ත්වයෙහි තිබෙන්නට පුළුවන.



12. මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි...
ගායනය - මර්වින් පෙරේරා
ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය - මර්වින් පෙරේරා



මර්වින් පෙරේරාගේ කතෝලික ආභාෂය නිසා ගීතිකා රිද්මය ඇතැයි සැලකෙන මේ මියුරු ගීයේ තේමාවද තේරීම්ය. අපේ තේරීම් වලට පාදක වන්නේ අපේ රුචිකත්වයන්ය. එහෙත්, මේ රුචිකත්වයන් කලින් කලට වෙනස් වන නිසා හොඳම තේරීමද වෙනස් වන්නට පුළුවන. රුචිකත්වය ඇතිවන්නේ යම් මොහොතක අප වෙත ඇති තොරතුරු ප්‍රමාණයට සාපේක්ෂව නිසා අපට අළුතින් තොරතුරු ලැබෙන විට අපේ රුචිකත්වයන් වෙනස් වී, අප විසින් අප වෙත ඇති විකල්ප ශ්‍රේණිගත කර ඇති අනුපිලිවෙලද වෙනස් විය හැක. එවිට, දැනට තෝරාගෙන සිටින විකල්පයට වඩා වෙනස් විකල්පයක් හොඳම විකල්පය ලෙස පෙනී යමෙකුට පෙනී යන්නට පුළුවන. පෙර කළ සෑම තේරීමක්ම ආපසු හැරවිය නොහැකි වුවත් ඇතැම් තේරීම් ටික කලක් යනතුරු වෙනස් කළ හැකිය. මේ ගීතයෙන් කියවෙන්නේ එසේ තමන් වරෙක ගත් තීරණයක් පසුව වෙනස් කර බොහෝ කලකට පසු ඒ වෙනස් කිරීම ගැන කරන පසු විපරමකි.



13. සඳකඩපහණක කැටයම් ඔපලා...
ගායනය - සුනිල් එදිරිසිංහ
ගී පද - වොලී නානායක්කාර
සංගීතය - වික්ටර් රත්නායක
චිත්‍රපටය - මාතර ආච්චි  (1973)




මේ ගීය සුනිල් එදිරිසිංහගේ පළමු ගීය මෙන්ම වොලී නානායක්කාරගේ පළමු ගී පද රචනයද, වික්ටර් රත්නායකයන්ගේ පළමු චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණයද, සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ කුළුඳුල් චිත්‍රපට අධ්‍යක්ෂණයද වශයෙන් සිංහල ගීත ඉතිහාසයේ එකම සිවු කුළුඳුල් ගීය වන බව කොට්ටාවේ සමිත හිමියන් මෙහි ලියා තිබේ.

ඒ හිමියන් විසින් ලියා ඇති පරිදි සිංදුව තේරුම් ගත යුත්තේ චිත්‍රපටයේ කතා පුවත සමඟ ආබද්ධවය. "මෙම චිත්‍රපටයට තේමා වන්නේ පෙම් පුවතකි. තරුණයා වැඩිදුර අධ්‍යාපනය සඳහා විදේශගත වූ පසු වෙනත් තරුණයෙකු හා විවාහ වන ලෙස තරුණියට ඇගේ පවුලෙන් දැඩි බලපෑමක් එල්ල වෙයි. තරුණියට ද අකමැත්තෙන් වුව ද එයට එකඟ වන්නට සිදුවෙයි. කලකට පසු ලංකාවට එන තරුණයාගේ සිතේ ඇය කෙරෙහි එතෙකුදු දැල්වෙන ඇල්ම සහ පවතින විරහ වේදනාව මේ ගීයට කැටිවෙයි." ඒ අනුව, මෙහි ඇත්තේද තෝරාගැනීම් හා ඒ තෝරාගැනීම් වල ආවස්ථික පිරිවැය පිළිබඳ කතාවකි.







14. පොඩි දුවගේ සිනා වැලයි...
ගායනය - සෝමතිලක ජයමහ
ගී පද - සුනිල් ආරියරත්න
සංගීතය - රෝහණ වීරසිංහ



විවාහයකට එළඹීම බොහෝ මිනිසුන් විසින් ගන්නා තීරණයකි. එක් අතෙකින් විවාහය යනු දෙදෙනෙකුට වාසි සැලසෙන ගනුදෙනුවකි. කෙසේ වුවද, විවාහය හා අදාළ ආවස්ථික පිරිවැය බොහෝය. එසේ තිබියදී, මිනිසුන් විවාහ වලට පෙළඹෙන්නේ එහි උපයෝගීතා වටිනාකම (utility value) මේ ආවස්ථික පිරිවැය ඉක්මවන බැවිනි.

"ලබන නමුත් දුක් පීඩා
කූඩු වුනොත් පුංචි පැලේ
අඹුදරුවන් අතර තුරේ
මට නිම්නැති සුවය දැනේ.."



15. රුවන් අඹර සෙමර සලන වලා පෙළ ගැසේ...
ගායනය - රූපා ඉන්දුමතී සහ ජයතිස්ස හෙට්ටිආරච්චි, පසුව ලතා දිසානායක
ගී පද - ලයනල් සී ද අල්විස්
සංගීතය - පැට්රික් දෙනිපිටිය 




මේ මධුර ගීතය මුලින්ම ගායනා කළේ රූපා ඉන්දුමතී සහ ජයතිස්ස හෙට්ටිආරච්චි විසිනි. එහෙත්, රූපා ඉන්දුමතී
ට එක්තරා නිශ්චිත අවස්ථාවක සිය විවාහ ජීවිතය සහ වෘත්තීය ජීවිතය යන දෙකෙන් එකක් තෝරා ගැනීමට සිදු වේ. මෙහිදී ඇගේ තේරීම වූයේ ගායනයෙන් සමු ගැනීමයි. රූපා ඉන්දුමතී වෙනුවට ලතා දිසානායක ආදේශ වන්නේ ඉන් පසුවය. ලතා දිසානායක පසුව මේ ගීය වෙනත් ගායකයින් සමඟද ගැයුවාය.


16. දවසක් පැල නැති හේනේ...
ගායනය හා සංගීතය - විශාරද ගුණදාස කපුගේ
ගී පද - රන්බංඩා සෙනෙවිරත්න 




මේ ගීය තවත් කිහිප දෙනෙකුගේම ලැයිස්තු වල ඇති හැමෝම වාගේ දන්න, අමුතුවෙන් විස්තර කළ යුතු නැති ගීතයකි. මුලින්ම සම්ප්‍රදායික සංගීත භාණ්ඩ සමඟ ගැයුනු මේ ගීය ඇතුළු කපුගේගේ ජනප්‍රිය ගී රැසක් පසුව සන්ෆ්ලවර් වාදක කණ්ඩායම සමඟ නවීන සංගීතය මුසුව ගායනය කෙරිණි. ආර්ථික තීරණයක් ලෙස සැලකුණු කපුගේගේ මේ තේරීම ඔහුගේ බොහෝ රසිකයින්ගේ කනස්සල්ලට හේතුවක් විය. කපුගේ සන්ෆ්ලවර් සමඟ කැසට් පටයක් එළිදක්වා ලබා ගත් මුදල් සම්පූර්ණයෙන්ම වැය කළේ සිය මිතුරකුගේ වකුගඩු ශල්‍ය කර්මයක් වෙනුවෙන් බවත්, සමාජයෙන් ගැරහුම් ලබද්දීත් හොඳ චේතනාවකින් කළ මේ ක
යුත්ත ගැන එළිදරවු කරන්නට කපුගේට අවශ්‍ය නොවූ බවත් පසු කලෙක සඳහන් විය. ඇත්තටම සිදුවුනේ මේ කරුණ වුවත්, එයද ආර්ථික තීරණයක් බව මා අමුතුවෙන් කිව යුතු නැත.


***

ආර්ථික විද්‍යාව පැත්තකින් තබා ඔළුවට එන පිළිවෙලට සිංදු තේරුවත් අන්තිමට හැම
සිංදුවකම ආර්ථික විද්‍යාව පොඩ්ඩක් හෝ ගෑවී තිබේ. ඉකොනොමැට්ටා අවිඥානකව තෝරා ඇත්තේ ආර්ථික විද්‍යාවට සම්බන්ධයක් ඇති සිංදුද? එහෙම නැත්නම්, ඕනෑම සිංදුවක ආර්ථික විද්‍යාව පොඩ්ඩක් හරි තියෙනවාද?

මේ ගැන මටනම් හිතෙන්නේ මෙහෙමය.

ඔබෙන් තොර ලෝකයක් කොයින්දෝ...
ගායනය- අබේවර්ධන බාලසූරිය
ගී පද- සුනිල් ආරියරත්න
සංගීතය- වික්ටර් රත්නායක




දැන් මෙන්න මගෙනුත් පොඩි අභියෝගයක්! පුළුවන්නම් ආර්ථික විද්‍යාවේ විෂය පථයට සෘජුව හෝ වක්‍රව සම්බන්ධ නැති සිංදු, වැඩිය නෙමෙයි, තුනක් කියන්න පුළුවන්ද?


(Image: www.pinterest.com)

61 comments:

  1. තවත් ඒකතුවක්... අපරුයි... ෙමතනත් කැමති සිංදු ෙගාඩයි...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, නිර්මාණී! ඒ තමයි වෙනස් වුවත් අප අතර තියෙන සමානකම්.

      Delete
  2. සීමිත කෙස් ප්‍රමාණයකින් අසීමිත තට්ටය වසා ගැනීමට එදි නෙදා වලිකන අපි, ආර්තික විද්‍යාව කොහෙන් හෝ නොහෑවුනු ගීත කොහෙන් හොයන්නද ! රු. ශත ඩොලර් නොගෑවුනත් හැමතැනකම ‍තෝරා ගැනීම හා ආවස්තික පිරිවැය අතර දෝලනය වන නිසා, ආර්තික විද්‍යාවම හැම අහු මුල්ලකින්ම අපිව වෙලාගෙන කියලයි මගේ හැඟීම .ඉතින් ඔබෙන් තොරවූ ගීතයක් කොහෙන් හොයන්නද ?

    ReplyDelete
    Replies
    1. මොනවද කියන්නේ, සෙන්නා. තට්ටය පැදීමේ හේතු, තට්ටයට ඇති අකැමැත්ත, තට්ටය පෑදීම වලක්වා ගන්නා ආකාර ආදී මෙකී නොකී සියල්ල පිටුපස තියෙන ආර්ථික විද්‍යා න්‍යාය ගණන තට්ට හිසක කෙසේ ගණනටත් වැඩියි!

      Delete
  3. නියමයි!. මෙන්න අර අභියෝගෙට ආර්ථිකේ නැති ( අවම ) සින්දු තුනක් : 1. අඩවන් වූ දෙනෙතින් 2. පාවේ වලා 3. ගුමු ගුමුව ගඟුලේ

    ReplyDelete
    Replies
    1. මේක කියෙව්වට පස්සේ බොන්න නිකන් මොකක්ද මොකක්ද වගේ , අර නිම්නයක හීන පැත්තටවත් යන්න ඕනේ

      Delete
    2. මේ සිංදුනම් ආර්ථික විද්‍යාවට වැඩිය සම්බන්ධයක් නැහැ තමයි.

      "අඩවන් වූ දෙනෙතින් ගලනා
      මෙත් මුදිතා කරුණා ධාරා..."

      සිංදුව ඇහෙන කොට රසිකයා මනසින් මහමෙවුනාවේ...සවණට වැටෙන ගී නද සමඟ සමාධි පිළිමයට පණ පෙවී එහි අඩවන් වූ දෙනෙත් වලින් බුදු හිමිගේ සතර බ්‍රහ්ම විහාර රැස් දහරක් මෙන් ගලා එනවා. මොන තරම් නිරාමිස ප්‍රීතියක්ද?

      මේ පිළිමය තැනූ අභයගිරි යුගයේදී මෙහි සතර දිශාව වෙත යොමු වුණු මෙවැනි පිළිම හතරක් පැවති බව විශ්වාස කෙරෙනවා. එහෙත්, දැනට ඉතිරිව ඇත්තේ මේ පිළිමය පමණයි. පාහියන් හිමිගේ වාර්තා අනුව මේ කාලයේ අභයගිරි විහාරයේ බෞද්ධ භික්ෂූන් පන් දහසකුත්, මහා විහාරයේ තවත් තුන් දහසකුත් වාසය කර තිබෙනවා. මෙවැනි විශාල සංඝ සංස්ථාවක් නඩත්තු කරමින්, සමාධි පිළිමය වැනි සහශ්‍ර ගණනක් පවතින කලා නිර්මාණත්, තවත් වැව්, දාගැබ් විශාල ගණනාවකුත් තැනීමට හැකි වීමෙන් පෙනෙන පරිදි ඒ කාලයේ රාජ්‍ය අයවැය අතිරික්තය කොපමණ වෙන්න ඇතිද?

      මිනිසුන් මත බදු බර පටවා මෙවැනි ආයෝජන සිදු කළ බව යමෙකුට පැවසිය හැකියි. ඒ කාලයේ ඇතැම් නිෂ්පාදන මත 30% ක බද්දක් අය කළ බව පාහියන් වාර්තා පෙන්වා දෙනවා. ඒත්, බදු අය කර ගැනීම කියන්නේ කොයි රජයෙනුත් කරන දෙයක්. වැදගත් කරුණ ඒ බදු මුදල් එදිනෙදා පුනරාවර්තන වියදම් (recurrent expenditure) වලට නාස්ති නොකර මෙවැනි දැවැන්ත ආයෝජන සඳහා යෙදවීමයි.

      ඒත්, සමාධි පිළිමය කොහොමද ආයෝජනයක් වෙන්නේ? එයින්, අනාගතයේදී කන්න පුළුවන් දෙයක්වත්, අඳින්න පුළුවන් දෙයක්වත් නිෂ්පාදනය කරන්න උදවුවක් ලැබෙන්නේ නැහැ. නමුත්, මේ පිළිමය දෙස බලා සිටීමෙන් පමණක් කෑමෙන් හෝ ඇඳීමෙන් ලබන සතුටට වඩා සතුටක් ලැබූ කී දෙනෙක් එදාමෙදාතුර ඉන්න ඇතිද? එතකොට ඕකම නේද පාරිභෝගික අතිරික්තය (consumer surplus) කියන්නේ? සහස්‍ර ගණනක් විශාල පිරිසකගේ පාරිභෝගික අතිරික්තය ඉහළ නංවන ආයෝජනයක් ප්‍රාග්ධන ආයෝජනයක් (capital investment) නොවෙන්නේ කොහොමද?

      මේ වගේ පාරිභෝගික අතිරික්තය ඉතා පහසුවෙන් ඉහළ නංවන දෑ තව කොපමණද? අර කියන්නේ,

      "හාදව පෙම් බැන්ද රුවින්
      පාළුව මැකුනා
      ආදර ලොව අන්ධ නොවේ
      දෙහදක නැගෙනා..."

      අන්ධ නොවේ කියල කිවුවට ඔහොම ආදර හැඟීමකින් හිත පිරුණු වෙලාවට අහසේ පැත්තක පාවෙන වලාකුළක් පෙනෙන විටත් ඒ ආදරය මතක් වෙලා පාරිභෝගික අතිරික්තය ඉහළ යනව නේද? එහෙමට පිරිවැයක් නැතුවම උපයෝගීතාවය (utility) වැඩි වන විට ඒක වෙන බව බොරුවක් නෙමෙයිනේ...

      "පාවේ වලා ඈත කඳු බලා
      පෑ ආදරේ අමා මා හද මවා... මා හද මවා..."

      ඒ වගේ වෙලාවට මෙතෙක් නෑසුණු දේ ඇසෙන්න ගන්නවා. නොදුටු දේ පේන්න ගන්නවා.

      "ගුමු ගුමුව වදුලේ
      සිලිසිලිය සුළඟේ
      මුනු මුනුව නදියේ
      කසු කුසුව ගඟුලේ
      අදයි මට ඇසුනේ
      අදයි මට ඇසුනේ..."

      මේ ගුමුගුමුව, සිලිසිලිය, මුනුමුනුව, කසුකුසුව මෙතෙක් නෑ සුනෙ ඇයි? අපේ එදිනෙදා කාර්ය බහුල ජීවිතය සමඟ ඔට්ටු අල්ලද්දී කොහෙද ඕවා ගැන හිත යොදවන්න වෙලාවක්? කාලය සීමිත සම්පතක්. ඒත්, ඒ කාලයෙන් කරන්න තියෙන වැඩ අසීමිතයි. ඉතිං අපි අපේ මේ වටිනා කාලය අපට වැඩි ප්‍රතිලාභයක් ලැබෙන, 'අතට කීයක් හරි හම්බ වෙන' දෙයකට යෙදවීම වැරැද්දක්ද?

      නෑ. කිසිම වැරැද්දක් නැහැ. ඒත්, කාලය මෙවැනි මුදල් උපයන වැඩ වලට යෙදවීමේ ආවස්ථික පිරිවැයක් තියෙනවා. ඒ තමයි, අර වදුලේ ගුමුගුමුව, සුළඟේ සිලිසිලිය, නදියේ මුනුමුනුව, ගඟුලේ කසුකුසුව අහන්න තියෙන අවස්ථාව අපට අහිමි වීම. සල්ලි හොයන්නම කාලය යොදවන විට එක අවස්ථාවක් එනවා මුදල් වල ආන්තික උපයෝගීතාවය (marginal utility) ටික ටික ක්‍රමයෙන් අඩු වෙලා, අර ගුමුගුමුවේ, සිලිසිලියේ, මුනුමුනුවේ, කසුකුසුවේ වටිනාකම මුදල් වලට වඩා වටින බව අපිට දැනෙන. අන්න ඒ වෙලාවට තමයි අපිට හිතෙන්නේ මේ කාර්ය බහුල ජීවිතයෙන් මඳකට අත්මිදිලා අර ගුමුගුමුවට, සිලිසිලියට, මුනුමුනුවට, කසුකුසුවට පොඩ්ඩක් සවන් යොමු කරන්න ඕනෑ කියල.

      මළා. නෑ කිවුවට මේ සිංදු තුනෙත් ටිකක් විතර ආර්ථික විද්‍යාව තියෙනව වගේ!

      Delete
    3. උඩ මගේ කමෙන්ට් එකේ ටයිප්/කොපි කිරීමේ අඩුපාඩු දෙකක් පමණක් හදා නැවත පළ කළා. ඒ නිසා එය යටට ආවා. අජිත්ගේ කමෙන්ටුව මගේ කමෙන්ටුවට පසුවයි තිබිය යුත්තේ.

      Delete
    4. මේක කියවලා අජිත්ට බොන්න එපා වුනා . මට වැටෙන්නම බොන්න ඕනි කියල හිතුනා .හෙහ් හේ

      Delete
    5. අභයගිරියෙ ඉන්න කාලෙ අපේ ලොක්කා ( ඩිරැක්ටර් තුමා ) පොතක් ලිව්ව ලංකාවේ බුද්ධප්‍රතිමා කලාවේ විකාශනය කියල පොතක්.

      ඕකට සමාධි පිළිමෙ මිනුම් ගන්න ඕන වුනා. උරහිස්වල පළල, නහයෙ දිග, නිකටෙ ඉඳල නාභියට දිග ඔන්න ඔය වගෙ. ඔය මිනුම් බිම ඉඳල ගතෑක? පිළිමෙට නඟින්ට වුනා.

      ඔහොම පිළිමෙ කරට නැඟල මිනුම් ගද්දි වෙච්චි ජංජාලෙ ගැන ලඟදිම ලියන්ට ඕන....:)

      Delete
    6. රවී උන්නැහේ සමාධි පිළිමෙ කරටත් නැග්ග එහෙනං! නහයේ දිගනම් අළුත්වැඩියා කරද්දී වෙනස් වෙලයි කියනවනේ.

      Delete
  4. මොනවාද කියන්නේ මේ තියෙන්නේ කුණාටුව හිමින් බැස යන සින්දු ටිකක්. දැන් මට හිතා ගන්න බැහැ මගේ දහසය දහසයම ද කියල. තව බ්ලොග් පොස්ට් එකක් ලියන්න හිතුන. මේ සින්දු තම මම නිවී සැනහී ඉන්න වෙලාවට අහන්නේ. අද සෙනසුරාදා හවස ග්ලෙන් මොරේ speyside single මෝල්ට් එකක් ගහන ගමන් මේ සින්දු ටික අහන්නේ හරියටම මේ මොහොතේ. යාලුවෝ දෙතුන් දෙනෙකුත් සෙට් වෙලා ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. මාතා තිලකෙගෙන් අහල තිබුණනේ "තිලකේ ෂෝට් එකක් දැම්මම කැමතිත් මේවලටමද...?" කියලා. ඒ වෙලාවට තමයි මේ සිංදු වැඩිපුරම වදින්නේ.

      Delete
  5. විශිෂ්ඨයි. බොහොම හොඳ ගීත එකතුවක්.

    ReplyDelete
  6. හැම සින්දුවකටම කොහෙන් හරි සුළුවෙන් ආර්ථික විද්‍යාව ගාවලා නේ...

    කොහොම මචෝ එහෙම කලේ..

    පුදුම හිතෙන විදියට එකින් එකට සින්දුවට ඉකොන් ක්ලාස් දාලා තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ඕක ඒ තරම් අමාරු නැහැ, මචෝ! ඉකෝන් කොහොමත් හැමතැනම වගේ තියෙනවනේ.

      Delete
  7. නියම ලිස්ට් එකක් ඉකෝන් .. මේ දවස් වල අපේ පුතාගෙ ආසම සිංදුව " වැලි තල අතරේ" මුලු සින්දුවම කියන්නම් එයාට පුලුවන්.. සමහර වචන නම් තාම එයට හරියට කියා ගන්න බැ. ඒත් තාලෙත් තියාගෙන කියන කොට හරි හුරතල්...

    ReplyDelete
    Replies
    1. ඔබේ දරුවන්ටත් දැනටම හොඳ රුචිකත්වයක් තියෙනවා වගේ. දෙමවුපියන්ගෙන් ලැබෙන දෙයක් වෙන්න ඇති.

      Delete
  8. Very interesting.

    ReplyDelete
  9. සුනිල් ශාන්තගේ සින්දු හොයද්දී
    එම්බා ගංගා නවතිනු නවතිනු ගංගාවේ
    මතක්වුනේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඔව්, එයත් ඔහුගේ ගී ගොඩට ඇතුළත් විය යුතු එකක්. ලිපිය ලියන වෙලාවේ මතක් වුනේ නැහැ.

      Delete
  10. සින්දු ලැයිස්තුවල පොදු සමානකමක් තියෙනවා.
    හැමෝම තෝරන්නේ මුමුනන්න පුළුවන් සින්දු.

    ReplyDelete
    Replies
    1. වෙනස් රුචිකත්වයන් අතර ඇති පොදු සමානකමක් වගේ!

      Delete
  11. සින්දු ටික නම් අපූරුය. ඔබ නම් අපූරු ආර්ථික විසේසඥ්ඥයෙක් මෙන්ම අපූරු රසිකයෙකි. අන්තිමට මට සිතෙන්නේ අපි හුස්ම ගන්නේද රුපියල් සත බවය. එහෙත් ඔබගේ අභියෝකය බාරගෙන එක උදාහරණයක් දෙමි. ඒ නන්දා මාලිණියගේ චන්ද්‍ර මඩුලු යට ගීතයයි.

    ReplyDelete
    Replies
    1. දැන් ඔය සංවර්ධිත රටවල් ඔය තත්ත්වයට දියුණු වීමටත්, ලංකාව වැනි රටවල් ඒ තත්ත්වයට නොයාමටත් මූලිකම හේතුවක් ලෙස සැලකෙන්නේ ඒ රටවල් වලට ඉතා හොඳින් දේපල අයිතිවාසිකම් (property rights) තහවුරු කිරීමට හැකි වීමයි. එසේ වීමට එක් එක් රටවල් තුළ අධිරාජ්‍යවාදීන් විසින් ගෙනගිය ප්‍රතිපත්ති හේතු වී ඇති බව පර්යේෂකයින් පෙන්වා දී තිබෙනවා. ස්වදේශිකයින්ගෙන් වගේම පරිසරයෙනුත් යුරෝපීයයන්ට වැඩි අභියෝගයක් එල්ල වුණු තැන් වලදී එදිනෙදා හැකි තරම් ආදායමක් උපයාගැනීම ගැන මිස දීර්ඝකාලීනව දේපල අයිතිවාසිකම් හොඳින් තහවුරු කෙරෙන නීති පද්ධති ඇති කිරීමට ඔවුන් උත්සුක වී නැහැ. එසේ නොවන තැන් වලදී ඔවුන්ගේ උපාය මාර්ගය වී ඇත්තේ සම්පත් හැකිතාක්, හැකි ඉක්මණින් ප්‍රයෝජනයට ගැනීම නොව ඒ රටවල් දිගුකාලීනව දියුණු වීමට හේතුවන පරිදි දේපල අයිතිවාසිකම් හොඳින් තහවුරු කිරීමයි. මේ වන විට මෙය විශේෂයෙන්ම බලපාන්නේ බුද්ධිමය දේපල (intellectual property) සම්බන්ධවයි.

      ඔබ මහන්සි වෙලා කරන දෙයක ක්‍රෙඩිට් එක යන්නේ වෙන කෙනෙක්ටනම් මහන්සි වී වැඩ කර රටක් දියුණු කරන්න ඔබ දිරිමත් වෙනවද? උදාහරණයක් ලෙස හිතන්න උඩින් තියෙන ගඟ අද්දර චිත්‍රපටයේ 'රන් ටිකිරි සිනා' ගීතය ගැන. දැන් මේ ගීය ඇහෙන කොට චිත්‍රපටය සඳහා එය මුලින්ම ගායනා කළ එවකට සංඝමිත්තා බාලිකා විදුහලේ සිසුවියක වූ නිරාශා පෙරේරා හෝ වික්ටර් සිල්වාව කී දෙනෙකුට මතක් වෙනවද? ඇතැම් විට මේ සිංදුව ජනප්‍රිය වීමෙන් පසුව ප්‍රසිද්ධ ගායක දේපලක් විසින් 'හයිජැක්' නොකළානම් නිරාශා මේ වනවිට ප්‍රසිද්ධ ගායිකාවියක විය හැකිව තිබුණු බව පදනමක් නැති අදහසක් නෙමෙයිනේ. එතකොට ඔය ආනන්ද සමරකෝන්, සුනිල් සාන්ත වගේ අය සමඟ යුග ගායනා වලට එක් වූ 'ශිෂ්‍යාවෝ' ගැන අද කවුරුවත් කතා කරනවද?

      දැන් මේ ගීයේ කියවෙන්නෙත් එවැනි අසාධාරණයකට ලක්වූ තැනැත්තියක් ගැන නේද? ඈ මහන්සි වී කියන නැළවිලි ගී වල ක්‍රෙඩිට් එක යන්නේ චන්ද්‍ර මඬුල්ලක් යට ඉන්න ලොවෙත් නැති සුරංගනාවියකට! අම්මා මහන්සි වෙලා දුවට කවනවා. පොවනවා. කැත කුණු අහක් කරනවා. ලේ කිරි කර පොවනවා. හරිනම් ඇහෙන්න ඕනෑ 'සා මේ ඛීරං පායෙසි' වගේ ගාථා. ඒත් මොකක්ද වෙන්නේ? කොහෙවත් ඉන්න ලොවෙත් නැති හඳහාමියෙක්ට හැමෝම ක්‍රෙඩිට් එක දෙනවා.

      මේ ගීතය තමන් වසන සමාජයේ ආර්ථික අභිවෘද්ධිය ලඟා කර ගැනීම සඳහා නැතුවම බැරි දෙයක් වන දේපල අයිතිවාසිකම් තහවුරු කිරීමේ අවශ්‍යතාවය හා වැදගත්කම ගැන හඬ නඟන කාන්තාවක් ගැන ලියැවුණු වැදගත් ගීයක්!

      Delete
    2. මට ඒ දවස් වල ඔය සින්දුව නිකම් "සමාජවාදී" ගතියක් තියෙන එකක් වගේ හිතුනේ. මේ නිර්වචනය හොඳයි.

      Delete
    3. කාලයක් මටත් තිබුණු හැඟීම විරෝධාකල්ප කියන්නේ සමාජවාදී කාසියේ අනිත් පැත්ත බව. ඒ දෙක දෙකක් බව පසුව වැටහුණා.

      Delete
  12. අනිත් සිංදු ගැන ලියපු දේවල් සමඟ අඩු වැඩි වශයෙන් එකඟ වෙන්න පුලුවන් උනත් නීලා වික්‍රමසිංහ ගායනා කරපු ගැහැනු ළමයි චිත්‍රපටියේ "වියෝ ගී ගැයෙනා හදේ" ගීතය ගැන ලිව්ව දේ ගැන නම් එකඟ වෙන්න බෑ . . .
    //මුදල් සම්බන්ධ නොවුණත්, පෙම් සබඳතාවයක තියෙන්නේ ගණුදෙනුවක ලක්ෂණය. දෙදෙනෙකු අතර ගණුදෙනුවක් සිදුවිය හැක්කේ එහි දෙදෙනාටම වාසි ඇත්නම් පමණි. එක් අයෙකුට පමණක් වාසි ඇති විට ගණුදෙනුවක් සිදු විය නොහැකිය. //
    අනිත් ගීත ගැන තබපු සටහන් කියෙව්වාම තේරුනේ කලාව ගැන බොහෝම ගැඹුරු දැනීමක් තියෙන කෙනෙක් බව. ඒක නිසා කරුණාසේන ජයලත්ගේ ගැහැනු ළමයි - පිරුනු හදක් - හතුරු හිතක් - ත්‍රිත්වය නොකියවපු කෙනෙක් කියලා උපකල්පනය කරන්න බෑ .. කොහොම නමුත් මේ ගීතය කුසුම් ගේ හදවතේ පිලිබුඹුව. ප්‍රේමය සහ අනෙකක් අයගේ සතුට වෙනුවෙන් ස්වලාභය පසෙකලා කඳුලකට උරුම කිව්, කඳුල ම ජීවිතය කර නොගෙන මැදි සිතින් තමා සම්බන්ද සියලුම දෙනා කෙරෙහි මානව දයාවෙන්, දිරියෙන් ජීවිතයට මුහුන දුන් කුසුම්ගේ ජීවන ගීතය ගනුදෙනුවක ප්‍රතිපලයක් ලෙස උපන් ශෝකයකැයි හඳුන්වා දීම ගැන මගේ බලවත් විරෝධය.
    ගනු දෙනු කියන වචනේ අර්ථය සමපාත කරනන් හැදුවාට ඇය අනුන්ගේ සතුට වෙනුවෙන් තමන්ගේ සතුට පුදකිරීම ප්‍රේමය ට්‍රේඩ් කිරීමක් කියලා හඳුන්වන්න බෑ නේහ්

    ReplyDelete
    Replies
    1. දුකා, ඔබ කියන දේ ඇත්තක් තියෙනවා. කලාව ගැන එතරම්ම ගැඹුරු දැනීමක් නැතත් ඔය පොත් තුනනම් කියවලා තියෙනවා. මම මෙය ලිවුවේ පොදුවේ පෙම් සබඳතා සහ පෙම් සබඳතා බිඳ වැටීම් ගැන සිතලා. කතාව ගැන (මතක හැටියට) මතක් කළාම ඔබ කියන දේට පදනමක් තියෙනවා. මේ සබඳතාව නැතිවෙන්නේ නිමල් හතුරුසිංහ විසින් ලියනගේ දෝන කුසුමාවතීව 'හලපු' නිසා නෙමෙයිනේ. ඇගේ නැන්දා වන නිමල්ගේ අම්මා ඇවිත් "දුවේ, මට උඹව මගේ එකාට වඩා විශ්වාසයි" කියා කරන ඉල්ලීමෙන් පස්සෙනේ. එතැනදී ඇයට නැන්දා සමඟ ඇති සම්බන්ධතාවය සහ වෙනත් අයෙකු සමඟ නිමල් විවාහ වීමෙන් නිමල්ගේ ජීවිතය ඇය සිතන පරිදි වඩා යහපත් වීම නිසා වියෝදුක පරයා තමන්ට ලැබෙන සතුට යන පැකේජයත්, නැන්දාව තරහ කරගෙන වුවත් සබඳතාව දිගටම පවත්වාගෙන ගෙන යාමෙන් ලබන සතුටත් යන දෙකෙන් එකක් තෝරා ගන්න වෙනවා. ඇගේ තේරීම වන්නේ පළමුවැන්නයි. බැලූ බැල්මට මිනිසුන් අනුන් වෙනුවෙන් කරනවාක් මෙන් පෙනෙන දේ වලට හේතුව ඇතැම් මිනිසුන්ට අනුන් සතුටු වනවායයි තමන් සිතන දේ වලින් සතුටක් ලැබීමයි. හැබැයි මෙය දෙපැත්ත කැපෙන දෙයක්. මේ කතාවේ පරිදිම කුසුම් නිමල්ට කැමති වුනානම් ඇගේ වගේම ඔහුගේ අනාගත ජීවිතයත් වඩා යහපත් විය හැකිව තිබුණා. එහෙත්, ඒ වෙලාවේ කුසුම් සතු සීමිත තොරතුරු සහ විශ්ලේෂණ හැකියාව අනුව ඇයගේ තේරීම වන්නේ සම්බන්ධතාවය නැවැත්වීම (හෝ ඒ බව පෙන්වීම). මෙවැනි දේ දුලබ නැහැ. දෙමසකට පෙර මා ලංකාවේ සිටියදී මගේ ඇතැම් ඥාතීන් දුරබැහැර සිට වැලිතලප වැනි කෑම හදාගෙන මාව බලන්න ආවා. එයින් මා සතුටු වන බව ඔවුන් සිතනවා ඇති. එහෙත්, ඔවුන්ගේ මහන්සියට සාපේක්ෂව එයින් මට ලැබෙන දෙයක් නැහැ. ඒ නිසා ඒ ගැන මට ඇති වන්නේ කණගාටුවක්. එහෙත්, එසේ කිරීමෙන් ඔවුන් සතුටු වනවා ඇතැයි යන්න මගේ අදහසයි.

      Delete
    2. ඔව් ඔබ කියන දේත් වැරදි නෑ සාපේක්ෂව හිතල බැලුවොත්. අම්මලට හොරෙන් බඳිමු කියන එක නිමල් නොකියා කියද්දී කුසුම් නැන්දගේ හිත රිද්දලා සතුටු වෙන්න බෑ කියලා අයින් වෙනවායින් හැමෝගෙන සතුට නැහිවෙන එක - ඇල්බට් ඩ්‍රැයිවර් උන්නැහේ, නිමල් පසුව පද්මිනී බඳින එකෙන් නිමල්ගේ ජීවිතය අවුල් වීම නිසා කමලාවර්තීගේ සතුට නැතිවෙන එකත් . .

      ඒත් කුසුම්ට ඕන කරන්නේ කිසි කෙනෙක්ගේ හිත නොරිද්දා පරාර්ථකාමී සටුටක් ලබන්න. එහෙම නොවුනනම් කමලාවතීට කුද ගහගන්න කියලා නිමල්ව බඳිනවනේ

      (බලන්න ඒ චරිත මනඃකල්පිත උනත් අපේ හදවත් වල කොයි තරම් ගැඹුරට කාවැදිලද කියලා අපි මේ වාද කරන එකෙන්ම තේරෙනවනේ හෙ හෙ හේ)

      හැමදේම අහිමි කරගෙනත් කුසුම් ප්‍රාර්ථනා කරන්නේ නිමල්ගේ යහපත්
      "මගේ පැලේ තනිවී . .
      මා සුසුම් හෙලන වේලේ . .
      ඔබේ ලොවේ හිරු පායා
      සදා සිනා සේවා . .!"
      කියලා ප්‍රාර්ථනා කරන්නේ නිකළැල් ආදරය පිදුවා මිසක් ගනුදෙනුවක් නොකල නිසා නෙමේද?

      Delete
    3. අහ් කමලාවතී කුසුම්ගේ නැන්දා නෙමේ - ගමේ කමට නැන්දා කියන්නේ. කමලාවතී දුප්පත් පුන්චි කුසුම්ගෙන් කෙසෙල් ගෙඩියක් ලොසින්ජරයක් දීලා ගෙදර වැඩ කරවා ගන්න කෙනෙක්. එහෙම කෙනෙක්ට වත් රිද්දන්න හිතක් නැති චරිතයක් කුසුම් කියන්නේ.

      තව දෙයක් - අර අජිත් ධර්ම කීර්තිගේ ගෙදර සෙට් වෙලා උන්නෙ අයගෙන් ස්කිනී එකක් ඇඳන් ඉන්නේ ඔබතුමාද?

      Delete
    4. පොඩි පැහැදිලි කිරීමක් - මට හදිස්සියේම හිතුන සින්දු අහන ගමන් යහළුවන් කිහිප දෙනෙකුට කතා කරන්න. පස්සේ තේ බෝතල් දෙක තුනකුත් සෙට් වුණා. ඔය පින්තුරය දැම්මේ එක තේ බෝතලයක් අහවර වෙන්න ලං වී තිබියදී. ඒ ලියල තියෙන්නේ එකොනො ගේ, නිමනයක තනි වී ගේ, අටමගේ සින්දු ලිස්ට් එක අහන බවයි. අන්තිමට ලිස්ට් පැත්තට දමා සින්දු කියන්න පටන් ගත්තා . අමාරුවෙන් උදේ 3.00 ට විතර නවත්ත ගත්තේ. පින්තූර දැම්මේ ඉයන්ට මොරල් සපෝර්ට් එකටත් එක්ක. එතනදී ඇත්තටම වාදයකුත් ගියා මේ සින්දු ලියන්නේ බ්ලොග් වලින් වෙන දේශපාලන සංවාද නවත්වන්න කියල. මගේ අදහස වුනේ අපි ඔය වාද භේද ටිකකට මතක කරලා මිනිසුන්ගේ සොඳුරු ගති ඉස්මතුවන මේ වගේ දේවල් ඉඳහිට හෝ කළ යුතුයි කියල. අනික බ්ලොග් ලෝකයේ කිසියම් උනන්දුවකුත් තිබෙනවා.
      ******************
      දුකාගෙ අදහස මයි මටත් යම් පමණකට තියෙන්නේ ගැහැණු ළමයි පොත හා චිත්‍රපටිය ගැන

      Delete
    5. සමහර මනඃකල්පිත චරිත ජීවත්වන චරිත වලට වඩා ප්‍රබලයි. කමලාවතී කුසුම්ගේ නැන්දා නොවන බව මතක් කර දුන්නට ස්තුතියි! මා මේ පොත් කියවූයේ වසර තිස්පහකටවත් පෙර. මා දැනට ජීවත් වන්නේ අජිත් ජීවත්වන රටේ නෙමෙයි.

      Delete
    6. දුකා,

      මගේ අදහසනම්.. කිසියම් දෙයක කිසියම් හෝ ‍තෝරාගැනීමක් ඇත්නම් එතන ආර්තික විද්‍යාව තියන බවයි.. ඒක රු. ශත වෙන්නම ඕනා නෑ...අනුන්ගේ සතුට වෙනුවෙන් තමන්ගේ සතුට කැප කිරීමට ගන්න ‍තෝරාගැනීමත් එහෙම එකක් බවයි මගේ හැඟීම... එහෙම බලපුවම අපිට ආර්තික විද්‍යාවෙන් තොර සිංදුවක් තියා සිතුවිල්ලක්වත් නෑ....

      Delete
    7. සෙන්නා කියන අදහසින් තමයි මම කමෙන්ට් එක දැම්මේ. ප්‍රශ්නය මතුවෙන්නේ ගනුදෙනු කියන්නේ හැම විටම මුදල් සම්බන්ධ දෙයක් ලෙස සැලකූ විටයි.

      Delete
    8. //එතනදී ඇත්තටම වාදයකුත් ගියා මේ සින්දු ලියන්නේ බ්ලොග් වලින් වෙන දේශපාලන සංවාද නවත්වන්න කියල.//
      ඇත්තටම කියනවනම් මේ අදහස මගේ ඔළුවටත් ආවා. ට්‍රේඩ්ඕෆ් එකක් තියෙන නිසා එහි ඇත්තකුත් තියෙනවා. (ඒ වගේම, ඉයන්ගේ මුල් පෝස්ට් එක නැවත කියෙවුවොත්නම් තේරෙනවා මෙය මේ තරම් දුරට ඇදෙයි කියා ඔහුවත් හිතා නැති බව). කොහොම වුණත්, ඔබ කියා ඇති පරිදිම හැම කෙහෙම්මලේම කුමන්ත්‍රණ දකින්න ගියොත් ජීවිතයක් නැති වෙනවා. විවිධ දේශපාලන මති මතාන්තර ඇති අය මේ වැඩේට හවුල් වීමම මම දකින්නේ සාධනීය දෙයක් ලෙස. මේ නිසා අපි එකිනෙකාගේ වෙනස්කම් වඩා හොඳින් පෙනෙන බව (නිවැරදි ලෙස) රසික කියන කොට, ඒ එක්කම අපේ ඇති සමානකමුත් ඉස්මතු වී පෙනෙන බව මම එකතු කළේ ඒ නිසයි.

      Delete
    9. //සමහර මනඃකල්පිත චරිත ජීවත්වන චරිත වලට වඩා ප්‍රබලයි// woow what a saying !!

      Delete
  13. රන් ටිකිරිසිනා ගීතය හයිජැක් කළ ගායිකාව ඇගේ ගී වෙනත් අයකු විසින් රසවින්දනය සඳහා වත් ගායනා නොකළයුතු යැයි ලිඛිතව කළ දැනුම්දීමක් මතක්වී සිනහවක් නැඟීමයි පළමුවෙන්ම වූයේ..
    ආර්ථික විද්‍යාවත් ගීතයත් 'අහසයි වැටකොළුයි' වගේ සිතුනත් වැටකොළු එල්ලෙන්නේ පොළොවට සාපෙක්ශව අහසේ බැවින් අහසෙන් තොර වැටකොළු නොමැත කියා දෙවැනියට සිතුනි..
    හෙහ් හෙහ්.... රසවින්දා ඔබේ ලිපිය.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. වැටකොලු හැදෙන්න අහසේ තත්ත්වයත් බලපානවනේ. :)

      Delete
  14. මාත් බෝම කැමති ගීත දහයක්ම තියෙනවා. හැබැයි පොඩි අප්සැට් එකක් තියෙනවා බීපු වෙලාවට ඔය එකක් වත් මතක නෑ. ඒක නිසා බීපු වෙලාවට කියන හොදම සිංදු 16 වගේ එකක් එනකං මං ඉවසනවා.. හැක්.. ජය

    ළගද තබ්ලා, රවුං බොංගෝ සමග පොත් ගුලක මිටි තට්ට සුදු (??) පොරක් සමග සිටියාද?? හැක්..

    ReplyDelete
    Replies
    1. බීපු වෙලාවට වගේම නොබීපු වෙලාවටත් මේ සිංදු වගේම, රිද්මයෙන් මෙයට වඩා වෙනස් සිංදුත් රස විඳිනවා. ඒත් බොහෝ විට බාත්රූම් එකේදී කියවෙන්නේ මේ වගේ සිංදු. ඔබ කියන අවස්ථාව උඩින් දුකා අසා ඇති තැනනම්, ඒ මා නොවෙයි.

      Delete
    2. මම ලියපු දේ වෙනස් කළා. තේ බීල වැඩි වුනහම ලියවෙන දේවල්නේ හේ හේ. එකොනොගේ ලිස්ට් එක අහන බවයි කිව්වේ.
      //මිටි තට්ට සුදු (??) පොරක්// එහෙම කෙනෙකුත් හිටියද?

      Delete
  15. indumathie adikariAugust 22, 2016 at 6:52 AM

    වෙනස්ම ආකාරයේ ගී තේරීමක්. අපූරුයි

    ReplyDelete
    Replies
    1. තේරුවේනම් සාමාන්‍ය විදිහටම තමයි, ඉන්දු. මගේ නිර්ණායකය වුණේ ඉතා දිග කාලයක් මා එක දිගටම රස විඳි සිංදු මොනවාද කියන එකයි. ඒ වුණත්, මේ ගොඩට එක් විය යුතු පසුව මතක් වුණු සිංදු තවත් ගොඩක් තියෙනවා.

      Delete
    2. indumathie adikariAugust 22, 2016 at 8:40 PM

      මට බ්ලොග් එකක් නැති නිසා ඉයන්ගේ බ්ලොග් එකේ ආස සින්දු දැම්ම .මාත් කළේ මතකයට ආ විවිධ ගායකයන්ගේ ගී තේරීම . අන්තිමට බැලුවාම ආත්මෙටම වැදුණු සමහර ගීත නැහැ .
      ඔබේ ගී තේරීමේ විශේෂත්වයක් දැක්කා . අන්තිමේ අපේ ජීවිතවල හැරවුම් තීරණය කරන විෂයට බද්ධ කරලා !!

      ඒ වගේම ඔබේ ලිපි ආසාවෙන් කියවන බවත් කියන්න ඕනෑ .තුති

      Delete
    3. ඔබ බ්ලොග් එකක් පටන් ගන්නවනම් හැමෝම උදවු කරයි.

      Delete
  16. ආර්ථීික විද්‍යාවේ මූලිකම න්‍යාය වන්නේ ඉල්ලුම-සැපයුම මත මිල තීරණය කෙරෙනවාය යන සංකල්පයයි. සාමාන්‍ය පාරිබෝගීක භාණ්ඩ ගැන සලකන විට, මිල අඩු නම් ඉල්ලුම වැඩියි, මිල වැඩි නම් ඉල්ලුම වැඩියි. මේකට නේද මිල නම්‍යතාවය කියන්නේ?

    ගීත බහුතරය ලියවී ඇත්තේ ආදරය ගැන නිසාත්, ආදරය යනු ඒ නම්‍යතාවය අඩු දෙයක් නිසාත් (මිල ඉහල නම් ඩිමාන්ඩ් එක වැඩියි!) මිළ න්‍යායයට කෙලින් ම ගැලපෙන ගීයක් සොයා ගැනීම ඉතා අසීරු බවයි මට පෙන්නේ!

    ReplyDelete
    Replies
    1. මෙය මූලික මිල න්‍යායයෙන් පමණක් පැහැදිලි කරන්න අමාරුයි. එය එලෙසම යොදාගත හැක්කේ විකිණෙන දෙය සමජාතීය (homogeneous) වූ විටයි. මේ වෙළඳපොළ විෂමජාතීය (heterogeneous) එකක්. භාණ්ඩ වල තත්ත්වය (quality) එකින් එකට විශාල ලෙස වෙනස් වෙනවා. ඒ අතරම, පාරිභෝගිකයෙකුට මිල දී ගැනීමට පෙර භාණ්ඩයක තත්ත්වය හරියටම දැන ගන්න ක්‍රමයකුත් නැහැ. එය තක්සේරු කළ හැක්කේ භාණ්ඩයේ නිරීක්ෂණය කළ හැකි ලක්ෂණ මතයි. මෙතැනදී සිදුවන්නේ ඉහළ මිල භාණ්ඩයේ ඉහළ තත්ත්වය පිලිබඳ සංඥාවක් ලෙස ක්‍රියා කිරීමයි.

      මීගමුව පැත්තේ ධීවරයෝ, පොළොන්නරුවේ වී ගොවියෝ, රත්නපුර මැණික් පතල්කරුවෝ වගේ විචල්‍ය ආදායමක් ඇති අය අතට ගානක් ලැබුනහම ෂර්ට් ගන්න විදිහත් මේ වගේනේ.

      "මුදලාලි, ෂර්ට් එකක් බැලුවේ. හොඳ එකක්.."

      දැන් මුදලාලි ෂර්ට් එකක් පෙන්වනවා.

      "කීයද ගාන?"

      "තුන්සිය පණහයි!"

      (මේක ෂර්ට් එකක් තුන්සිය පණහ කාලේ කතාවක්!)

      දැන් පාරිභෝගිකයාගේ මූණ ඇඹුල්.

      "ඇයි? හොඳ නැද්ද? නැත්නම් ගාණ වැඩිද?"

      මුදලාලි අහනවා.

      "නෑ. මම මේ බැළුවේ අර එක්දාස් දෙසීයේ ෂර්ට් එකක්. නැත්නං කමක් නෑ. ගිහිං එන්නං.."

      "කියන්න එපායැ. ඔහොම පොඩ්ඩක් ඉන්න එකක් ඉතුරු වෙලා තිබුණා."

      දැන් මුදලාලි කඩේ ඇතුළට ගිහිං අර කලින් ජාතියේම ෂර්ට් එකක් අරං එනවා.

      "මේක හැබැයි දැන් පොඩ්ඩක් ගාණ වැඩි වෙලා. එක්දාස් පන්සීයයි!"

      "ඔය තියෙන්නේ! ඕක තමයි මම හෙවුවේ. ගාණ වැඩි වුනාට කමක් නෑ දෙන්න."

      අම්මෝ, පාරිභෝගිකයාගේ හිනාව!

      ඔය වගේම තව දෙයක් තමයි සමහර වෙලාවට මේ වෙළඳපොළේ බාල බඩු විකිණෙද්දී හොඳ බඩු නොවිකිණී වේලෙන්නේ ඇයි කියන එක. එතැනට අදාළ වෙන්නේ adverse selection සංකල්පය. ගැලපෙන සිංහල වචනේනම් දන්නේ නැහැ. (කාට හරි අවශ්‍යනම් විස්තර කරන්නම්. රසික දන්න නිසා ලියන්නේ නැහැ.)

      Delete
    2. http://economatta.blogspot.com/2016/08/blog-post_23.html#comment-form

      Delete
  17. තවත් අපූරු එකතුවක්.... නිවාඩු පාඩුවේ ඉදගෙන රස විඳිය යුතුම ගී ගඟුළක්

    ReplyDelete
  18. ගීත සමග ඔබේ අපූරු විග්‍රහයන්ද 'රස විඳින්නෙමි'. අපූරු ප්‍රවේශයක්. විවිධ වෘත්තිකයින් තමන්ගේ විෂය ප‍දනම් කොටගෙන ගීතයක් විග්‍රහ කරන අාකාරයේ තවත් වැඩක් පටන්ගත්තොත් අපූරු බ්ලොග් පෝස්ට් ටිකක් සිංහල බ්ලොග් ලෝකයට එකතු වේවි කියා හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, ප්‍රභාත්! ඔබ පළ කළ අදහස ගැන ඇත්තටම මටත් හිතුනා.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

Gadget

This content is not yet available over encrypted connections.