වෙබ් ලිපිනය:

Showing posts with label ආර්ථික වර්ධනය. Show all posts
Showing posts with label ආර්ථික වර්ධනය. Show all posts

Tuesday, September 15, 2026

ආර්ථික වර්ධනය - 2026 දෙවන කාර්තුව


මෙම (2026) වසරේ දෙවන කාර්තුවේ ආර්ථික වර්ධන වේගය 4.2% දක්වා පහත වැටී තිබෙනවා. වසරේ පළමු කාර්තුවේ ආර්ථික වර්ධනය 5.1%ක්ව පැවතුනු අතර, ඊට පෙර, 2024 සහ 2025 වසර වලදී 5.0% බැගින් වූ වර්ධන වේගයන් වාර්තා වුනා. 

සේවා ආර්ථිකයේ වර්ධන වේගය 2.7% දක්වා පහත වැටී ඇති අතර, කෘෂිකාර්මික නිෂ්පාදිතය 2.3%කින් සංකෝචනය වී තිබෙනවා. කාර්මික නිෂ්පාදිතය 7.3%කින් වර්ධනය වී ඇතත්, ඊට ප්‍රධාන හේතුව එම නිෂ්පාදිතය තවමත් ආර්ථික අර්බුදයට පෙර පැවති මට්ටම ආසන්නයටවත් පැමිණ නොතිබීමයි. 2018 දෙවන කාර්තුවට සාපේක්ෂව කාර්මික නිෂ්පාදිතය තවමත් තිබෙන්නේ 10.1%ක් පසුපසිනුයි. 2.7%කින් සංකෝචනය වීමෙන් පසුව, කෘෂිකාර්මික නිෂ්පාදිතයද නැවත වරක් 2015 දෙවන කාර්තුවේදී පැවති මට්ටමෙන් පහතට වැටී තිබෙනවා. කෙසේ වුවද, සේවා ආර්ථිකය මෙතෙක් ඉහළම අගයක් වාර්තා වූ 2019 දෙවන කාර්තුවේදී පැවති මට්ටමට වඩා 1.0%කින් ඉහළ ගොස් තිබෙනවා.

සමස්තයක් ලෙස, දෙවන කාර්තුවේ මූර්ත දළ දේශීය නිෂ්පාදිතය තවමත් තිබෙන්නේ 2018 දෙවන කාර්තුවට වඩා 2.9%ක් පසුපසිනුයි. එයින් අදහස් වනුයේ ආර්ථික අර්බුදයට පෙර වසර කිහිපය තුළ සිදු වූ හැකිලීමෙන් ගොඩ යාම ඉක්මවා ගිය සත්‍ය වර්ධනයක් දැක ගැනීම සඳහා අඩු වශයෙන් තවත් වසරක්වත් බලා ඉන්නට සිදුවනු ඇති බවයි. 

පසුගිය (2015) වසරේ දෙවන කාර්තුවට සාපේක්ෂව සහල් නිෂ්පාදනය 15.1%කින්ද, තේ නිෂ්පාදනය 1.9%කින්ද, රබර් නිෂ්පාදනය 2.2%කින්ද පහත වැටී ඇති අතර පොල් නිෂ්පාදනය 6.2%කින් ඉහළ ගොස් තිබෙනවා. කරදිය ධීවර කර්මාන්තයේ 10.1%ක හැකිලීමක් පෙන්නුම් කරන අතර මිරිදිය ධීවර කර්මාන්තයේ හැකිලීම 61.0%ක්. 

කර්මාන්ත අංශය තුළ, ඇඟලුම් නිෂ්පාදන 1.4%කින් පහත වැටී ඇති අතර, පෙට්‍රෝලියම් නිෂ්පාදන කර්මාන්තයේ 15.2%ක හැකිලීමක්ද, රබර් හා ප්ලාස්ටික් නිෂ්පාදන කර්මාන්ත වල 4.2%ක හැකිලීමක්ද දකින්න පුළුවන්. එහෙත්, ඉදිකිරීම් කර්මාන්තය 13.9%කින් වර්ධනය වී තිබීම නිසා සේවා ආර්ථිකය සමස්තයක් ලෙස වර්ධනය වී තිබෙනවා. කර්මාන්ත අංශයේ වර්ධනයෙන් 70%කටම දායක වී තිබෙන්නේ ඉදිකිරීම් කර්මාන්තයයි.

සේවා අංශයේ ප්‍රධානම සංරචක වන තොග හා සිල්ලර වෙළඳාම් වර්ධනය 1.4%කට සීමා වී ඇති අතර භාණ්ඩ හා මගී ප්‍රවාහන සේවා සැපයීම් 3.1%කින් වර්ධනය වී තිබෙනවා. සංචාරක හා නවාතැන් සේවා සැපයීම් වර්ධනය වී තිබෙන්නේ 2.9%කින් වන අතර මූල්‍ය සේවා සැපයීම් 7.7%කින් වර්ධනය වී තිබෙනවා. 

Wednesday, July 1, 2026

ලංකාව නැවතත් ඉහළ මැදි ආදායම් මට්ටමට!


ලෝක බැංකු වර්ගීකරණය අනුව ලංකාව නැවතත් ඉහළ මැදි ආදායම් කාණ්ඩය දක්වා උසස් වී තිබෙනවා.

ලෝක බැංකුව විසින් රට රටවල ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය මත පදනම්ව, පහළ, පහළ මැදි, ඉහළ මැදි හා ඉහළ ආදායම් රටවල් ලෙස රටවල් වර්ගීකරණය කරනවා. මෙම වර්ගීකරණය හඳුන්වා දුන් 1988 වසරේදී පහළ ආදායම් රටක් සේ හඳුනා ගැනුණු ලංකාවට 1997 වසරේදී පහළ මැදි ආදායම් කාණ්ඩය දක්වා උසස් වීමට ඉඩ ලැබුණා. ඉන් පසුව, 2018දී ලංකාවට ඉහළ මැදි ආදායම් රටක් විය හැකි වුනත්, ඒ තත්ත්වය පවත්වා ගත හැකි වූයේ එම වසර තුළදී පමණයි. 2019 සිට 2025 දක්වා ලංකාව නැවතත් වර්ගීකරණය වූයේ පහළ මැදි ආදායම් කාණ්ඩයේ රටක් ලෙසයි.

මේ වන විට ලංකාවට නැවත වරක් ඉහළ මැදි ආදායම් කාණ්ඩය දක්වා උසස් වීමට හැකි වී තිබෙනවා. 2025 ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය පදනම්ව ලෝක බැංකුව විසින් වර්ගීකරණය කර ඇති රටවල් 218ක් අතරින් රටවල් 87ක් ඉහළ ආදායම් රටවල් ලෙසත්, රටවල් 59ක් ඉහළ මැදි ආදායම් රටවල් ලෙසත්, රටවල් 47ක් පහළ මැදි ආදායම් රටවල් ලෙසත්, ඉතිරි රටවල් 25 පහළ ආදායම් රටවල් ලෙසත් හඳුනාගෙන තිබෙනවා. 

පසුගිය වසරේ සිදු කළ වර්ගීකරණයට සාපේක්ෂව සිදු වී ඇති ප්‍රධානම වෙනස වන්නේ කලින් පහළ මැදි ආදායම් කාණ්ඩයේ සිටි ශ්‍රී ලංකාව ඇතුළු රටවල් පහක් ඉහළ මැදි ආදායම් කාණ්ඩය දක්වා උසස් වී තිබීමයි. අනෙකුත් රටවල් හතර වන්නේ වියට්නාමය, පිලිපීනය, ජෝර්දානය සහ මයික්‍රොනීසියාවයි. ඊට අමතරව, ටෝගෝ රාජ්‍යය පහළ ආදායම් කාණ්ඩයේ සිට පහළ මැදි ආදායම් කාණ්ඩය දක්වා ගමන් කිරීමට සමත් වී තිබෙනවා. 

අලුත්ම වර්ගීකරණය සිදු කර තිබෙන්නේ පහත පදනම මතයි.

ඩොලර් 1,175 දක්වා - පහළ ආදායම් 

ඩොලර් 1,176 සිට 4,635 දක්වා - පහළ මැදි ආදායම් 

ඩොලර් 4,636 සිට 14,375 දක්වා - ඉහළ මැදි ආදායම් 

ඩොලර් 14,376ට වැඩි - ඉහළ ආදායම් 

මහ බැංකුවේ ඇස්තමේන්තු අනුව, 2025දී ලංකාවේ ඒක පුද්ගල පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය ඩොලර් 4,910ක් වුවත්, ලෝක බැංකුව විසින් අදාළ සංඛ්‍යාලේඛනය ඇස්තමේන්තු කරන්නේ ඔවුන්ගේම ක්‍රමවේදයකට අනුවයි. ඊට හේතුව, විණිමය අනුපාතයේ විචලනයන් හේතුවෙන් සිදු වන බලපෑම නිවැරදි කළ යුතු වීමයි. 2025දී ලංකාවේ ඒක පුද්ගල පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය ඩොලර් 4,670ක් ලෙස ලෝක බැංකුව විසින් ඇස්තමේන්තු කර තිබෙනවා. මේ අනුව, ලංකාවට යාන්තමින් ඩොලර් 4,636 සීමාව ඉක්මවා යාමට හැකි වී තිබෙනවා.

මෙම අලුත් වර්ගීකරණයන් ඉදිරිපත් කරමින් ලංකාව ගැන විශේෂ සඳහනක්ද ලෝක බැංකුව විසින් සිදු කර තිබෙනවා.

"Sri Lanka is a story of recovery. Just three years after a severe economic crisis brought the country to the brink of collapse in 2022, real GDP grew by 5% in 2025, driven by a rebound across industries and growth in financial and tourism services. The reclassification is a marker of resilience, though the country only narrowly crossed the threshold."

"ශ්‍රී ලංකාව යනු නැවත හිස ඔසොවා නැගී සිටීම පිළිබඳ කතාවකි. 2022 දී රටේ ආර්ථිකය මුළුමනින්ම බිඳ වැටෙන තත්ත්වයක ආසන්නය දක්වා රට තල්ලු කළ දැඩි ආර්ථික අර්බුදයක් නිමා කර යාන්තමින් වසර තුනක් ගත වීමටත් පෙර, කර්මාන්ත ක්ෂේත්‍රයන් නැවත ප්‍රබෝධමත් වීම සහ මූල්‍ය හා සංචාරක සේවා ක්ෂේත්‍ර වල වර්ධනය හේතුවෙන් 2025 දී රටේ මූර්ත දළ දේශීය නිෂ්පාදිතය 5% කින් වර්ධනය විය. වර්ගීකරණ සීමාව පසු කර ගොස් ඇත්තේ යාන්තමින් වුවද, මෙසේ ඉහළ මැදි ආදායම් රටක් ලෙස නැවත වර්ගීකරණය වීම ශ්‍රී ලංකාවේ දරා ගැනීමේ හැකියාව සංකේතවත් කරන්නකි."

Monday, June 15, 2026

පළමු කාර්තුවේදී 5.1%ක වර්ධනයක්!


පසුගිය දෙවසරක කාලය තුළ දැකිය හැකි වූ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන ප්‍රවණතාව තව දුරටත් එලෙසම පවතින බව පෙන්නුම් කරමින්, 2026 පළමු කාර්තුව තුළ ශ්‍රී ලංකාවේ මූර්ත ආර්ථික වර්ධන වේගය 5.1%ක් ලෙස ඇස්තමේන්තු වී තිබෙනවා. කෘෂි ආර්ථිකය 1.1%කින් වර්ධනය වී ඇති අතර, කාර්මික නිෂ්පාදිතය 7.2%කින්ද, සේවා ආර්ථිකය 3.4%කින්ද වර්ධනය වී ඇති ආකාරය දැකිය හැකියි.

මේ වන තුරුද බොහෝ දුරට සිදු වෙමින් පවතින්නේ ආර්ථික අර්බුදය හමුවේ හැකිළුණු ආර්ථිකය නැවතත් පෙර පැවති මට්ටම දක්වා පැමිණෙමින් තිබීමයි. විශේෂයෙන්ම කාර්මික නිෂ්පාදිතය, මෙම 7.2%ක වර්ධනයෙන් පසුවද, පවතින්නේ 2018 පළමු කාර්තුවේදී පැවති මට්ටමට වඩා 1.6%ක් පසුපසිනුයි. කෘෂි ආර්ථිකය පවතින්නේද 2021 පළමු කාර්තුවට වඩා 0.7%ක් පසුපසින්. එහෙත් සේවා ආර්ථිකයේ 3.8%ක සැබෑ ප්‍රසාරණයක් සිදුව ඇති බැවින්, පසුගිය කාර්තුවේ සමස්ත ආර්ථිකයේ ප්‍රමාණය පෙර වාර්තා වී ඇති ඉහළම අගයට සාපේක්ෂව 2.5%කින් ප්‍රසාරණය වී තිබෙනවා. 

සමස්තයක් ලෙස සලකද්දී මෙම වසර තුළ රටේ ආර්ථික ක්‍රියාකාරකම් ආසන්න වශයෙන් ආර්ථික අර්බුදයට පෙර පැවති මට්ටම ආසන්නයට පැමිණෙමින් ඇති ආකාරය දැකිය හැකියි. මෙම මට්ටමෙන් ඔබ්බට සිදු වන වර්ධනයක් ආර්ථිකයේ ප්‍රමාණය සැබෑවටම විශාල වීමක් සේ සැලකිය හැකියි. 

Sunday, April 5, 2026

රටේ ආර්ථිකය දැන් තිබෙන තැන...


කිසියම් නිශ්චිත වසරක් තුළ රටක ආර්ථිකය වර්ධනය වෙන්න වගේම හැකිළෙන්නත් පුළුවන්. නමුත් ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටක් වසරින් වසර එක දිගටම වර්ධනය වීම සාමාන්‍ය තත්ත්වයයි. මෙහිදී ආර්ථිකය කියන එකෙන් අදහස් කරන්නේ මූර්ත දළ දේශීය නිෂ්පාදිතය. ඒ කියන්නේ රටේ නිපදවන භාණ්ඩ හා සේවා ප්‍රමාණය. 

නිදහසෙන් පසුව 2019 දක්වා කාලය තුළ ලංකාවේ ආර්ථිකය එක දිගටම මෙන් වර්ධනය වුනා. එම දීර්ඝ කාලයේදී ආර්ථිකය හැකිළුනේ කටුනායක ගුවන් ප්‍රහාරය එල්ල වුනු 2001 වසරේදී පමණයි. කාලයක් ඇදුණු සිවිල් යුද්ධයක් රටේ උතුරු නැගෙනහිර ප්‍රදේශ වල තිබුණත්, දකුණේ ආර්ථික ක්‍රියාකාරකම් දිගින් දිගටම වර්ධනය වූ නිසා අනෙකුත් වසර වලදී ආර්ථික වර්ධන වේගය ඉහළ මට්ටමක තිබුණා. 

රට පුරාම දේපොළ විනාශයක් සිදු වූ 1971දී රටේ ආර්ථික වර්ධන වේගය 0.2% මට්ටම දක්වා පහත වැටුණත්, ආර්ථිකය යාන්තමින් හෝ වර්ධනය වුනා මිසක් හැකිළුනේ නැහැ. ඉන් පසුව, 1987-89 කාලයේදී සිදු වූ දේපොළ විනාශය නිසා සිදු වුනෙත් ආර්ථික වර්ධන වේගය අඩු වීම පමණයි. මහ බැංකු ප්‍රහාරය එල්ල වූ 1996දීත් ආර්ථික වර්ධන වේගය තරමක් අඩු වුනා පමණයි. ඔය කිසිම අවුරුද්දක ආර්ථිකය යම් තරමකින් හෝ වර්ධනය වුනා මිසක් හැකිළුනේ නැහැ. 2001දී ආර්ථිකය හැකිළුනත්, ඊළඟ වසරේදී (2002) ඒ හැකිලීම ඉක්මවා ආර්ථිකය ප්‍රසාරණය වුනා. ඒ නිසා, ලංකාවට 2019 වන තුරුම ආර්ථිකයේ හැකිළීමක් හරියකට අත් විඳින්න ලැබිලා තිබුණේ නැහැ.

එහෙත්, 2019 සිට ගත වුනු වසර පහක කාලයෙන් වසර හතරකදීම රටේ ආර්ථිකය හැකිළුනා. ඔය අතර, 2021දී යම් වර්ධනයක් සිදු වුනත්, එම වර්ධනය පෙර (2020) වසරේදී වසංගතය හමුවේ ආර්ථිකය 4.6%කින් හැකිලීම ඉක්මවා ගිය වර්ධනයක් නෙමෙයි. ඉන් පසුව, 2022දී ආර්ථිකය පෙර කිසිදු වසරක සිදු නොවූ අයුරින්, 7.3%කින් විශාල ලෙස හැකිළුනා. 2020දී වසංගතයේ බලපෑම තිබුණත්, 2022දී ආර්ථිකය මේ විදිහට විශාල ලෙස හැකිළුනේ බාහිර හෝ අභ්‍යන්තර කම්පනයක් නිසා නෙමෙයි. සාර්ව ආර්ථික ස්ථාවරත්වය නැති වූ නිසා. වසංගතයට පෙරම රටේ සාර්ව ආර්ථික ස්ථාවරත්වය නැති වෙලයි තිබුණේ.

පසු ගිය 2024 සහ 2025 දෙවසර තුළ රටේ ආර්ථිකය 5.0% බැගින් වන වේගයකින් වර්ධනය වී ඇතත්, එමගින් 2019-2023 හැකිළීම ආවරණය වන්නේ නැහැ. ඒ නිසා, දැනටද රටේ මූර්ත දළ දේශීය නිෂ්පාදිතය පවතින්නේ 2018 පැවති මට්ටමට වඩා 0.8%කින් අඩු මට්ටමකයි. 2018 සිට වසර අටකට පසුව රටේ ආර්ථිකය යම් තරමකින් හෝ ඇත්තටම වර්ධනය විය හැක්කේ 2026 වසරේදීයි. ඒ කියන්නේ, තවමත් රටේ ආර්ථික ක්‍රියාකාරකම් සිදු වන්නේ ධාරිතා මට්ටමට පහළින්.

ඉහත කතා කළේ රටේ මූර්ත ආර්ථික වර්ධනය හෙවත් සැබෑ ආර්ථික වර්ධනය ගැනයි. මූර්ත ආර්ථික වර්ධනයක් නැතත්, උද්ධමනය නිසා නාමිකව ආර්ථිකය වර්ධනය වී තිබෙනවා. ඒ නිසා, නාමිකව රටේ ආදායම්ද ඉහළ ගොස් තිබෙනවා. 2018දී රටේ ආදායම රුපියල් 100ක් සේ සැලකුවහොත්, 2025දී එම ආදායම රුපියල් 213.33ක්. නමුත් එම මුදල වැය කර 2025දී මිල දී ගෙන පරිභෝජනය කළ හැක්කේ 2018දී මිල දී ගත හැකිව තිබුණු භාණ්ඩ හා සේවා ප්‍රමාණයෙන් 99.2%ක් පමණයි. ඒ නිසා, කවුරු හෝ කෙනෙක් 2018 වැනි වසරක් එක්ක සංසන්දනය කරලා පසුගිය දෙවසරක කාලය තුළ වූ ආර්ථික වර්ධනය තමන්ට දැනෙන්නේ නැහැ කියනවානම්, ඒ කියන දෙයෙහි වැරැද්දක් නැහැ,

උද්ධමනය නිසා භාණ්ඩ හා සේවා මිල ඉහළ යනවා. එහිදී නාමිකව දළ දේශීය නිෂ්පාදිතයද ඉහළ යනවා. ඒ වගේම, රටේ ආදායම්ද නාමිකව ඉහළ යනවා. නමුත් ඒ හා සමානව හෝ ඊටත් වඩා වැඩියෙන් වියදම් ඉහළ ගියහොත් පරිභෝජනය අනුපාතිකව වැඩි වෙන්නේ නැහැ. 2018-2025 කාලය සමස්තයක් ලෙස සැලකුවොත් වෙලා තියෙන්නේ ඔය වැඩේ. 

මූර්ත ආර්ථික වර්ධනය යනු උද්ධමනයේ බලපෑම ඉවත් කිරීමෙන් පසු රටේ නිෂ්පාදනයෙහි සැබෑවටම සිදු වන වර්ධනයයි. පරිභෝජනය ඉහළ යන්නේ මූර්ත ආර්ථික වර්ධනය නිසා. ජීවන තත්ත්වය ඉහළ යන්නේ ආර්ථික වර්ධනය නිසා. උද්ධමනය නිසා වෙන්නේ අතට ලැබෙන රුපියල් ප්‍රමාණය ඉහළ යන එක පමණයි. හැබැයි අතට ලැබෙන රුපියල් ප්‍රමාණය ඉහළ යන නිසා උද්ධමනයෙන් ජීවන තත්ත්වය පහත වැටීමක් වෙන්නෙත් නැහැ. එසේ වෙන්නේ උද්ධමනයක් ඇතිව හෝ නැතිව ආර්ථිකය හැකිළෙන විටයි. සමස්තයක් ලෙස රටේ ආර්ථිකය, ඒ කියන්නේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය, මේ වෙද්දී තියෙන්නේ 2018 මට්ටමට වඩා 0.8%ක් පහළින් වුවත්, ඇතැම් අංශ මේ වන විට කඩා වැටීම ඉක්මවා වර්ධනය වී තිබෙනවා. විශේෂයෙන්ම සේවා ආර්ථිකය.

සේවා ආර්ථිකය:

සමස්තයක් ලෙස රටේ ආර්ථිකය හැකිළුණු සෑම වසරකදීම රටේ සේවා ආර්ථිකය හැකිළුනේ නැහැ. සේවා ආර්ථිකය හැකිළුනේ 2020 සහ 2022 වසර දෙකේදී පමණයි. 2020 හැකිළීම ඉක්මවා යමින් 2021දී සේවා ආර්ථිකය වර්ධනය වුනා. 2022 හැකිළීම ආවරණය වෙන්න වසර දෙකක් ගියා. නමුත් 2024 වෙද්දී ඒ හැකිළීම ඉක්මවා උඩට ආවා. 2025දී තවත් උඩට ආවා. 2025 වෙද්දී රටේ සේවා ආර්ථිකය 2018දී පැවති මට්ටමට වඩා 8.1%කින් විශාලයි. ඒ කියන්නේ සේවා අංශ වල, සමස්තයක් ලෙස, උද්ධමනය එපමණකින් ඉක්මවා යන ආදායම් වර්ධනයක් සිදු වී තිබෙනවා. 

සේවා ආර්ථිකය කියන්නේ රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 58.5%ක (2025දී) විශාල කොටසක්. සේවා නිෂ්පාදන සිදු කරන ආයතන සහ එම ආයතන වලට සම්බන්ධ පුද්ගලයින් මේ වන විටත් ආර්ථික අර්බුදයේ කඩා වැටීම ඉක්මවා පරිභෝජනය වැඩි කරගෙන ඉවරයි. මෙම වසරේදී සේවා ආර්ථිකය තව දුරටත් ප්‍රසාරණය වෙයි.

සංචාරක කර්මාන්තය:

ලංකාවේ සේවා ආර්ථිකයේ එක් කොටසක් වන සංචාරක කර්මාන්තය ලංකාවට ගොඩක් වැදගත්. නමුත් සංචාරක කර්මාන්තයෙන් රටේ ආර්ථික වර්ධනයට ලැබෙන සෘජු දායකත්වය ඒ තරම්ම විශාල නැහැ. සංචාරක කර්මාන්තය වැදගත් වෙන්නේ විදේශ අංශයේ තුලනය තියා ගන්නයි. වෙනත් විදිහකින් කිවුවොත් රටේ සාර්ව ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා මේ කර්මාන්තය ගොඩක් වැදගත්. සංචාරක කර්මාන්තය ප්‍රධාන වශයෙන්ම රටේ නිෂ්පාදනය කෙරෙහි බලපාන්නේ හෝටල් සහ ආහාරපාන සේවා සැපයීම් හරහා. 

- 2019 පාස්කු ප්‍රහාර වලින් පසුව හෝටල් සහ ආහාරපාන සේවා සැපයීම් 6.0%කින් අඩු වුනත්, සමස්තයක් ලෙස සේවා ආර්ථිකය වර්ධනය වුනා.

- 2020දී වසංගතය හා රට වැසීම නිසා ඉහත අංශ වල 40.8%ක දැවැන්ත සංකෝචනයක් සිදු වුනත්, රටේ සේවා ආර්ථිකය හැකිළුනේ 1.9%කින් පමණයි.

- 2022දී ඉහත අංශ 27.0%කින් වර්ධනය වෙද්දී සේවා ආර්ථිකය 2.6%කින් හැකිළුනා.

- 2023දී ඉහත අංශ 25.9%කින් වර්ධනය වෙද්දී සේවා ආර්ථිකය වර්ධනය වුනේ 0.6%කින් පමණයි.

- 2024දී ඉහත අංශ 32.4%කින් වර්ධනය වෙද්දී සේවා ආර්ථිකය වර්ධනය වුනේ 2.6%කින් පමණයි.

- 2025දී ඉහත අංශ වල වර්ධනය 12.4%ක් පමණක් වුවත් සේවා ආර්ථිකය 3.3%කින් වර්ධනය වුනා. 

මේ අනුව පෙනෙන පරිදි, සංචාරක කර්මාන්තයේ සිදු වන වර්ධනයන් වගේම පසුබෑම් වලින් සමස්තයක් ලෙස රටේ ආර්ථිකයට වගේම සමස්තයක් ලෙස සේවා ආර්ථිකයට වුවද විශාල බලපෑමක් වන්නේ නැහැ. ඒ නිසා, කවර ආකාරයකින් හෝ, එහි බලපෑම විශාල වශයෙන් දැනෙන, විදේශ අංශය කළමනාකරණය කරගත හැකිනම්, සංචාරක කර්මාන්තයේ සිදු වන කඩා වැටීමක් හමුවේ වුවද, ආර්ථික වර්ධන වේගය සැලකිය යුතු හොඳ මට්ටමක පවත්වා ගන්න පුළුවන්.


කෘෂිකාර්මික ආර්ථිකය:

රටේ ආහාර සුරක්ෂිතතාවය, රැකියා නියුක්තිය වැනි හේතු නිසා වැදගත් වුනත්, කෘෂිකාර්මික අංශයෙන් රටේ ආර්ථිකයට ලැබෙන දායකත්වය 7.1%ක් පමණයි. ඒ නිසා, මෙම කොටසේ සිදු වන විචලනයන් රටේ ආර්ථික වර්ධන වේගය කෙරෙහි කරන්නේ සීමිත බලපෑමක්.

සේවා ආර්ථිකය වගේම, 2018 වර්ෂයෙන් පසුව, කෘෂිකාර්මික ආර්ථිකය හැකිළුනේත් 2020 සහ 2022 දෙවසර තුළදී පමණයි. එයින් 2020 හැකිළීම 0.9%ක සුළු හැකිලීමක්. වසංගත කාලයේ සිදු වූ ඒ හැකිලීම 2021 වෙද්දී ආවරණය වුනා. නමුත් ඉන් පසුව 2022දී සිදු වූ 4.1%ක "කාබනික" හැකිලීමෙන් තවමත් ගොඩ යා හැකි වී නැහැ. 2018 වසරට සාපේක්ෂව කෘෂිකාර්මික නිෂ්පාදිතය තවමත් තිබෙන්නේ 1.7%ක් පසුපසින්. 2021ට සාපේක්ෂව 2.2%ක් පසුපසින්. 

මේ අඩුව 2026දී හෝ 2027දී ආවරණය කරගන්න පුළුවන් වෙයි. එහෙත් මේ අංශයේ මූර්ත ආදායම් තවමත් අර්බුදයට පෙර පැවති මට්ටමට ඇවිත් නැහැ. ආර්ථිකයට ලැබෙන දායකත්වය අඩු වුනත් රටේ ශ්‍රම බලකායෙන් සැලකිය යුතු පිරිසක් ඉන්නේ කෘෂිකාර්මික ආර්ථිකය ඇතුළේ.


ඉදි කිරීම් අංශය:

ලංකාවේ ආර්ථික අර්බුදය ඉදි කිරීම් බුබුළ පුපුරා යාමක් ලෙසත් හඳුන්වන්න පුළුවන්. මෙය ආරම්භ වූයේ 2018 සිටයි. ඉන් පසුව, 2023 දක්වාම ඉදිකිරීම් අංශයේ අඛණ්ඩව සිදු වූ හැකිලීම පැහැදිලිව නිරීක්ෂණය කරන්න පුළුවන්. 2017 මට්ටමට සාපේක්ෂව, 2023 වන විට ඉදි කිරීම් අංශයේ ක්‍රියාකාරකම් 53.6%කින් පහත වැටී තිබුණා. පසුගිය දෙවසර තුළ ඉදි කිරීම් අංශයේ වර්ධනයක් දැකිය හැකි වුවත්, 2025 මට්ටම සැලකුවද, එය 2017 මට්ටමට වඩා 39.1%කින් අඩු මට්ටමක්.

ලංකාවේ ඉදි කිරීම් කර්මාන්තය තවමත් "පැරණි ශ්‍රී විභූතිය" ගැන සිහින මවනවා වෙන්න පුළුවන්. රාජ්‍යමූලික, පරපෝෂිත කර්මාන්තයක් විදිහට කාලයක් පවත්වා ගත් ඉදි කිරීම් අංශයේ "ශ්‍රී විභූතිය" නැවත ගොඩ නගා ගත හැකි එකක් නෙමෙයි. එම කර්මාන්තයට රාජ්‍ය ව්‍යාපෘති වල උදවු නොමැතිව ස්වාධීනව ගොඩ නැගෙන්නට සිදු වෙනවා. රටේ ආර්ථිකය සමස්තයක් ලෙස ගොඩ ගියත් ඉදි කිරීම් කර්මාන්තයට තවත් විශාල කාලයක් යන තුරු පෙර පැවති මට්ටමට යා නොහැකියි. (කර්මාන්තය වෙනුවෙන් රජයට මුදල් වැය කිරීම අසීරු මේ වගේ වෙලාවක තමන්ට දෙමවුපියන්ගෙන් හෝ වෙනත් ක්‍රමයකින් ලැබුණු විශාල මුදලක් තිබෙන කෙනෙකුට අවශ්‍යනම් ලොකු ගෙයක් හදලා කඩා වැටී තිබෙන ඉදි කිරීම් කර්මාන්තයට පොඩි තල්ලුවක් දෙන්න පුළුවන්!)


කර්මාන්ත අංශය:

ඉදි කිරීම් අංශයද ඇතුළුව කර්මාන්ත අංශය සමස්තයක් ලෙස ගත් විට 2018-2023 වසර හයෙන් 2021 වසර හැර අනෙක් වසර පහේදීම හැකිලීමක් දැකිය හැකි වුවත්, මේ සඳහා ප්‍රධාන වශයෙන්ම දායක වූයේ ඉදි කිරීම් අංශයේ සිදු වූ හැකිලීමයි. ඉදි කිරීම් අංශය ඉවත් කළ විට, වසංගතය හමුවේ 2020දී සිදු වූ හැකිලීම 2021දී ආවරණය වුනා. ඉන් පසුව, ආර්ථික අර්බුදය හේතුවෙන් 2022 හා 2023 වසර වලදී හැකිලීමක් සිදු වුනා. 

මේ වන විට (2025) ඉදි කිරීම් අංශය හැර කර්මාන්ත අංශයේ නිෂ්පාදිතය පවතින්නේ 2018 මට්ටමට වඩා 0.5%ක් පසුපසින් වන අතර 2021 මට්ටමට වඩා 4.8%ක් පසු පසින්. මේ අනුව, 2026දී හෝ 2027දී මෙම අංශ වල සැබෑ ප්‍රසාරණයක් දකින්නට හැකි විය හැකියි. 


සමස්ත චිත්‍රය:

රටේ ආර්ථිකයට වැඩිම දායකත්වයක් ලබා දෙන සේවා අර්ථීකය මේ වන විටද ආර්ථික අර්බුදයට පෙර පැවති ප්‍රමාණය ඉක්මවා ප්‍රසාරණය වී ඇති අතර තව දුරටත් ප්‍රසාරණය වෙමින් තිබෙනවා. එහෙත් කෘෂිකාර්මික හා කර්මාන්ත අංශ තවමත් ආර්ථික අර්බුදයට පෙර පැවති නිෂ්පාදන මට්ටම් වලට පැමිණ නැහැ. කෘෂිකාර්මික නිෂ්පාදිතය මෙන්ම ඉදි කිරීම් කර්මාන්තය හැර අනෙකුත් කර්මාන්ත අංශ වලටද 2026 වසර තුළ හෝ 2027 වසර තුළ ආර්ථික අර්බුදයට පෙර පැවති මට්ටම ඉක්මවා යා හැකියි. එහෙත් ඉදි කිරීම් අංශයටනම් නැවත පහසුවෙන් පෙර සිටි මට්ටමට පැමිණිය නොහැකියි. එම කර්මාන්තයට රජයේ උදවු නොමැතිව ස්වාධීනව දියුණු වීමට සිදු වෙනවා. 

සේවා අංශයට අඩු හානියක් සිදු වීමට හේතු වූයේ මුදල් ප්‍රතිපත්ති හා රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති වල උදවුවෙන් එම අංශය යම් සීමාවක් දක්වා උත්තේජනය කිරීමේ හැකියාවක් පැවතීමයි. එහෙත්, එය සීමාව ඉක්මවා යද්දී විදේශ අංශයේ තුලනය කෙරෙහි බලපෑමක් ඇති වෙනවා. ආර්ථික අර්බුදය හමුවේ ඉදි කිරීම් අංශය පමණක් නොව කෘෂි කාර්මික නිෂ්පාදිතය පවා බිඳ වැටෙන තත්ත්වයක් ඇති වීමට හේතු වූයේ විදේශ අංශයේ තුලනය පවත්වා ගැනීමට නොහැකි වීමයි. ඒ නිසා, රජයට විදේශ අංශයේ තුලනය පවත්වා ගනිමින් ඉදි කිරීම් කර්මාන්තය උත්තේජනය වන මට්ටමක ආයෝජන කිරීමේ හැකියාවක් තවමත් නැහැ. එහෙත් ආර්ථිකයේ හැකිලීමක් සිදු නොවන සහ යම් වර්ධන වේගයක් පවත්වා ගත පරිදි, විදේශ අංශයේ බාහිර කම්පන හමුවේ වුවද, සාර්ව ආර්ථික තුලනය පවත්වා ගැනීමට බැරිකමක් නැහැ. 

මේ සඳහා කළ යුතු අනිවාර්ය සහ වැදගත්ම දෙය විණිමය අනුපාතය ඉල්ලුම හා සැපයුම අනුව සකස් වීමට ඉඩ හැරීමයි. විණිමය අනුපාතය ඉන්ධන ඇතුළු ආනයනික භාණ්ඩ වල මිල ගණන් කෙරෙහිද බලපානවා. ඒ අනුව, ආනයන වියදම් මත පදනම්ව මිල ගණන් හා සේවා ගාස්තු පිරිවැය හා ගැලපීමද අනිවාර්යයෙන්ම කරන්නට සිදු වෙනවා. එය උද්ධමනය කෙරෙහි බලපානවා. උද්ධමනය පාලනය කළ යුතු වුවත්, එය කළ යුත්තේ ඉල්ලුම පාලනය කිරීම මගින් මිස විණිමය අනුපාතය හෝ මිල පාලනය කිරීම මගින් නෙමෙයි. 

Tuesday, March 17, 2026

ආර්ථිකය 5%කින් වර්ධනය වෙයි!


පසුගිය (2025) වසර තුළ ශ්‍රී ලංකා ආර්ථිකය 5.0%කින් වර්ධනය වී තිබෙනවා. මේ අනුව, ඇතැම් අයගේ දිත්වා හානිය පිළිබඳ අධි තක්සේරු මෙන්ම, රජයේ ප්‍රාග්ධන වියදම් අඩු වීමේ බලපෑම පිළිබඳ මිථ්‍යාවන්ද බිඳ වැටී තිබෙනවා. 

පෙර (2024) වසර තුළද ශ්‍රී ලංකා ආර්ථිකය 5.0%ක වේගයකින් වර්ධනය වුනා. කෙසේ වුවද, දිත්වා හානිය මෙන් නොව, ඉරාන යුද්ධය විසින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සැලකිය යුතු බලපෑමක් කරමින් තිබෙනවා. ඒ නිසා, මේ (2026) වසරේදී ආර්ථික වර්ධනය පවත්වා ගැනීම අභියෝගයක්. 

දිත්වා බලපෑම නිරූපණය වූ සිවුවන කාර්තුව තුළද ආර්ථිකය 4.8%කින් වර්ධනය වී තිබෙනවා. දළ දේශීය අවධමනකය මත පදනම් වූ වාර්ෂික උද්ධමනය 3.6% ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, ඒ අනුව නාමික දළ දේශීය නිෂ්පාදිතය රුපියල් බිලියන 32,751 දක්වා 8.7%කින් වර්ධනය වී තිබෙනවා. රටේ ඒක පුද්ගල දළ ජාතික ආදායම ඩොලර් 4,909 දක්වා ඉහළ ගොස් ඇති අතර එය ඉතිහාසයේ ඉහළම අගයයි. එමෙන්ම, ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය, ඉතිහාසයේ ප්‍රථම වරට, ඩොලර් 5000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

Monday, December 15, 2025

ආර්ථික වර්ධනය 5.4% මට්ටමට!



තුන්වන කාර්තුව තුළ ශ්‍රී ලංකා ආර්ථිකය 5.4%ක වර්ධන වේගයක් වාර්තා කර තිබෙනවා. කෘෂිකාර්මික අංශය 3.6%කින් වර්ධනය වී ඇති අතර, කර්මාන්ත අංශය 8.1%කින්ද, සේවා අංශය 3.5%කින්ද වර්ධනය වී තිබෙනවා. මෙම (2025) තුන්වන කාර්තුවේ ආර්ථික වර්ධන වේගය 2017දී 6.0%ක වර්ධන වේගයක් වාර්තා වීමෙන් පසුව තුන්වන කාර්තුවකදී වාර්තා වන ඉහළම ආර්ථික වර්ධන වේගයයි. 

වසරේ පළමු හා දෙවන කාර්තු වල ආර්ථික වර්ධන වේගයන් පැවතුණේ පිළිවෙලින් 4.8% හා 4.9% මට්ටම් වලයි. මේ අනුව, සමස්තයක් ලෙස වසරේ පළමු මාස නවයේ ආර්ථික වර්ධන වේගය 5.0%ක් ලෙස වාර්තා වෙනවා.

ආපදා තත්ත්වයේ බලපෑම හේතුවෙන් හතරවන කාර්තුවේ ආර්ථික වර්ධන වේගය අඩු වීමට ඉඩ ඇතත්, පළමු කාර්තු තුනේ ප්‍රතිඵල අනුව, මෙම වර්ෂයේ ආර්ථික වර්ධන වේගය 4.0%-4.5% සීමාවෙන් පහතට වැටීමේ ඉඩක් නැහැ. ආර්ථික වර්ධනය කෙරෙහි ස්වභාවික ආපදා හේතුවෙන් ඇති වන බලපෑම තාවකාලික බැවින් එමගින් රටක දිගුකාලීන ආර්ථික වර්ධන වේගය කෙරෙහි බලපෑමක් සිදු වන්නේ නැහැ. 

Monday, December 8, 2025

ඉන්දියාවේ 8.2%ක ආර්ථික වර්ධනයක්!


මෙම වසරේ දෙවන කාර්තුවේදී ඉන්දියාවේ ආර්ථික වර්ධන වේගය 8.2% දක්වා ඉහළ ගොස් තිබෙනවා. කෘෂිකාර්මික කටයුතු 3.5%කින් වර්ධනය වෙද්දී ඉදිකිරීම් අංශය 7.2%කින්ද නිෂ්පාදන අංශ 9.2%කින්ද වර්ධනය වී ඇති අතර සේවා අංශ (මූල්‍ය, නිවාස හා දේපොළ සහ වෘත්තීය සේවා) 10.2%කින් වර්ධනය වී තිබෙනවා. පළමු කාර්තුවේ 7.8%ක වර්ධන වේගය හා එක්ව ගත් විට වසරේ පළමු අර්ධයේ වර්ධන වේගය 8.0%ක් ලෙස වාර්තා වෙනවා. 

Thursday, December 4, 2025

ආපදාවෙන් පසු විදේශ අංශය

අප බොහෝ දෙනෙකුට මතක තිබෙන ඉතිහාසය තුළ ලංකාවට මුහුණ දීමට සිදු වූ ලොකුම ස්වභාවික ආපදාව සුනාමියයි. සුනාමිය ජීවිත 35,000ක් පමණ බිලි ගත්තා. පසුගිය සුළි කුණාටුව සුනාමියෙන් පසුව ලංකාවට මුහුණ දීමට සිදු වූ ලොකුම ස්වභාවික ආපදාවයි. සුළි කුණාටුව විසින් බිලිගෙන ඇති, දැනට වාර්තා වී ඇති මරණ ප්‍රමාණය 500කට ආසන්න වන අතර අවසන් ගණනයේදී මෙම ගණනට තවත් මරණ සිය ගණනක් එකතු විය හැකියි. 

අහිමි වූ ජීවිත ගණන පිළිබඳව සලකන්නේනම් සුනාමියේ හානියේ මෙම සුළි කුණාටුවේ හානිය හා කිසිසේත්ම සැසඳිය නොහැකි වුවත්, ජීවිත හානිය දෙස නොබලා දේපොළ හානිය දෙස පමණක් බලන්නේනම්, සුළි කුණාටුවේ හානිය සුනාමියෙන් සිදු වූ දේපොළ හානියටද වඩා වැඩි හානියක් විය හැකියි. මෙම දේපොළ හානිය ආර්ථිකයේ සියලු අංශ කෙරෙහි දැනෙන බලපෑමක් කරන බව පැහැදිලියි. 

සුළි කුණාටුව අතර මහ බැංකුව විසින් ඔක්තෝබර් මාසයේ විදේශ අංශයේ තත්ත්වය පිළිබඳ සංඛ්‍යාලේඛණ ප්‍රකාශයට පත් කර තිබුණා. එම සංඛ්‍යාලේඛණ අනුව එම මාසය තුළ ජංගම ගිණුමෙහි ඩොලර් මිලියන 200ක හිඟයක් වාර්තා වී තිබුණා. ඊට පෙර සැප්තැම්බර් මාසය තුළද ජංගම ගිණුමෙහි ඩොලර් මිලියන 183ක හිඟයක් වාර්තා වුනා. ඒ වසරේ පළමු මාස අට තුළ එක දිගටම ජංගම ගිණුම් අතිරික්තයක් වාර්තා වීමෙන් පසුවයි. 

අගෝස්තු මාසය අවසන් වන විට ජංගම ගිණුමෙහි ඩොලර් මිලියන 2,039.5ක සමුච්ඡිත අතිරික්තයක් දැකිය හැකිව තිබුණත්, පිට පිටම දෙමසක් හිඟයන් වාර්තා වීමෙන් පසුව, ඔක්තෝබර් අවසානය වන විට එම අතිරික්තය ඩොලර් මිලියන 1,657.4 දක්වා පහත වැටී තිබුණා. පැවති ප්‍රවණතා අනුව, නොවැම්බර් මාසය තුළ මෙම අතිරික්තය තව දුරටත් අඩු වී තිබෙන්නට ඉඩ තිබෙනවා. සුළි කුණාටුවේ බලපෑම නිසා යම් වෙනසක් සිදු විය හැකි වුවත්, එතෙක් අපේක්ෂා කළ හැකිව තිබුණේ දෙසැම්බර් මාසය තුළද මෙම ප්‍රවණතාවය තව දුරටත් එලෙසම පැවතීමයි. 

නොවැම්බර් මාසය අවසන් වන විට ලංකාවට සංචාරකයින් 2,103,593 දෙනෙකු පැමිණ තිබුණා. මීට පෙර ලංකාවට සංචාරකයින් වැඩිම ප්‍රමාණයක් පැමිණියේ 2018 වසරේදීයි. එම ප්‍රමාණය 2,333,796ක්. ආපදා බලපෑම හමුවේ වුවද, මෙම වසර අවසන් වන විට වසරක් තුළ ලංකාවට පැමිණි වැඩිම සංචාරකයින් ගණන වාර්තා විය හැකියි. එම ප්‍රමාණය රජයේ ඉලක්ක හා ඇස්තමේන්තු වලට වඩා බෙහෙවින්ම අඩු විය හැකි බව වෙනම කරුණක්. 

ආර්ථිකය හා අදාළව වඩා වැදගත් වන්නේ රටට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය නොව ඔවුන් හරහා රටට ලැබෙන විදේශ විණිමය ප්‍රමාණයයි. 2018 වසරේදී සංචාරක කර්මාන්තය තුළින් ඩොලර් මිලියන 4,380.6ක විදේශ විණිමය ප්‍රමාණයක් රටට ලැබුණා. එහෙත් මෙම වසරේ ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ සංචාරක කර්මාන්තයෙන් ලැබී තිබුණේ ඩොලර් මිලියන 2,659.0ක මුදලක් පමණක් බැවින් වසර අවසානයේදී මෙම ආදායම 2018 මට්ටම ආසන්නයට යාමේ ඉඩක් නැහැ. ආපදා තත්ත්වය හේතුවෙන් මෙම ආදායම කෙරෙහි තව දුරටත් නිශේධනීය බලපෑමක් සිදු විය හැකියි.

සංචාරක ආදායම් පිළිබඳ තත්ත්වය එසේ වුවද, මෙම වසර තුළ ශ්‍රමික ප්‍රේෂණ ලැබීම් වල සැලකිය යුතු වැඩිවීමක් දකින්නට ලැබෙනවා. ආපදා තත්ත්වය හමුවේ දෙසැම්බර් මාසය තුළ ශ්‍රමික ප්‍රේෂණ ලැබීම් වල සැලකිය යුතු ඉහළ යාමක් අපේක්ෂා කළ හැකි බැවින් එමගින් සංචාරක කර්මාන්තයේ ආදායම් අඩු වීම පහසුවෙන්ම නිශේධනය විය හැකියි. කෙසේ වුවද, සංචාරක කර්මාන්තයේ බලපෑම තිබෙන්නේ විදේශ අංශයට පමණක් නෙමෙයි. මූර්ත අංශයටද, එනම් ආර්ථික වර්ධනයටද, එහි බලපෑමක් තිබෙනවා.

මෙම වසරේ පළමු කාර්තු දෙක තුළ ශක්තිමත් ආර්ථික වර්ධන වේගයක් දැකිය හැකි වූ අතර, තවමත් ඇස්තමේන්තු පිළියෙල කර නැතත්, තෙවන කාර්තුව තුළද සාපේක්ෂව හොඳ ආර්ථික වර්ධන වේගයක් දැකිය හැකි ලකුණු පෙනෙන්නට තිබුණා. එහෙත්, ආපදා තත්ත්වයට පෙර වුවද, සිවුවන කාර්තුව තුල ආර්ථික වර්ධන වේගය අඩු වන ලකුණු දැකිය හැකිව තිබුණා. ආපදා බලපෑම හේතුවෙන් සිවුවන කාර්තුවේ ආර්ථික වර්ධන වේගය තව දුරටත් අඩු විය හැකියි.

සුළි කුණාටුවේ බලපෑම පැවතුණේ සතියක පමණක කාලයක් වුවද, එහි ආර්ථික බලපෑම මාස හයක පමණ කාලයක් පැවතිය හැකියි. ඒ අනුව, මෙම වසරේ අවසන් කාර්තුවේ සහ ලබන වසරේ මුල් කාර්තුවේ ආර්ථික වර්ධන වේග කලින් හිතුවාට වඩා අඩු වෙන්න පුළුවන්. 

කෙසේ වුවත්, මෙවැනි ස්වභාවික ආපදාවකින් රටක දිගුකාලීන ආර්ථික වර්ධන වේගය කෙරෙහි බලපෑමක් කරන්නේ නැහැ. ඒ නිසා, සමස්තයක් ලෙස ඉදිරි වසරේ ආර්ථික වර්ධන වේගය ලොකුවට වෙනස් වෙන එකක් නැහැ. 2026 පළමු කාර්තුවේ ආර්ථික වර්ධන වේගය අඩු වුවත්, 2025 අවසන් කාර්තුවේ වර්ධන වේගය අඩු වීම යථා තත්ත්වයට පත් වෙද්දී 2026 අවසන් කාර්තුවේ වර්ධන වේගය ඊට අනුරූපව ඉහළ ගොස් එහි බලපෑම නිශේධනය වෙයි. ඒ නිසා, මෙම වසරේදී 4.0%ක පමණ ආර්ථික වර්ධන වේගයක් සහ ඉදිරි වසරේදී 3.5%ක පමණ ආර්ථික වර්ධන වේගයක් තව දුරටත් අපේක්ෂා කරන්න පුළුවන්. 

ආපදාව හේතුවෙන් ධීවර ඇතුළු කෘෂිකාර්මික අංශයේ නිෂ්පාදිතය විශාල ලෙස අඩු වෙන්න පුළුවන්. ඊට අමතරව කර්මාන්ත හා සේවා අංශ වලටද බලපෑමක් සිදු වෙන බව පැහැදිලියි. කෙසේ වුවත්, පෙර සඳහන් කළ පරිදි, මේ බලපෑම් සියල්ල කෙටිකාලීනයි. 

නොවැම්බර් මාසයේ උද්ධමන ප්‍රවණතාව දෙස බැලූ විට පෙනී යන්නේ ආපදාවට පෙරද ආර්ථික ක්‍රියාකාරිත්වය මන්දගාමී වෙමින් පැවති බවයි. මෙයට ආපදාවේ බලපෑම එකතු වූ විට, විදේශ අංශය හා අදාළ ආනයන හා අපනයන ආදියේද තාවකාලික අඩුවීමක් අපේක්ෂා කරන්න පුළුවන්. ජංගම ගිණුම් ශේෂය සෘණ අතට හැරී ඇති තත්ත්වයක් තුළ, විදේශ අංශයේ ක්‍රියාකාරකම් සමස්තයක් ලෙස අඩු වෙද්දී එයින් සිදු වන්නේ ජංගම ගිණුම් හිඟයද අඩු වීමයි. ආර්ථික ක්‍රියාකාරකම් අඩු වීම සමස්තයක් ලෙස නරක තත්ත්වයක් වුවත්, විදේශ අංශය හා අදාළව එහි බලපෑම නරක එකක් නෙමෙයි. මෙම තත්ත්වය තුළ රටට ලැබෙන ප්‍රේෂණ වල සැලකිය යුතු ඉහළ යාමක්ද අපේක්ෂා කළ හැකි බැවින් ඇතැම් විට පැවති ප්‍රවණතාව වෙනස් වී දෙසැම්බර් මාසය තුළ ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා වෙන්න වුනත් ඉඩ තිබෙනවා. 

මේ ආණ්ඩුවට හා ආණ්ඩු පක්ෂයට හිතවත් බොහෝ දෙනෙකු මෙම ස්වභාවික විපත රටේ (හා බලයේ සිටින පක්ෂයේ) වාසියට හරවා ගත හැකි තත්ත්වයක් සේ දකින බවක්ද පෙනී යනවා. එහි පදනම සුනාමියෙන් පසුව රටට ලැබුණු විශාල විදේශාධාර ප්‍රමාණයයි. 

විදේශාධාර එකතු කරගැනීමේ අරමුණ පෙරදැරිව ආණ්ඩු පක්ෂය විසින් ලෝකය පුරාම සංවිධානාත්මක මෙහෙයුමක් සිදු කරමින් සිටින බවක්ද පෙනෙනවා. මේ ආණ්ඩුවේ ඉන්නේ, අනෙක් දේවල් කෙසේ වුවත්, කැට හෙල්ලීම පිළිබඳව විශේෂ ප්‍රාගුණ්‍යයයක් ඇති පිරිසක්. කෙසේ වුවද, අපට කිව හැක්කේ, මෙවැනි සංවිධානාත්මක මෙහෙයුමකින් පසුව වුවද, සුනාමියේදී ලැබුණු මට්ටමේ විදේශාධාර රටට ලැබෙන්නේ නැති බවයි. 

සුනාමි ආධාර ගලා ඒමට හේතු වූයේ එම ස්වභාවික ආපදාව නිසා අහිමි වූ විශාල ජීවිත ප්‍රමාණයයි. මරණ ප්‍රමාණය තවත් එක් සංඛ්‍යාලේඛණයක් සේ සැලකීම බොහෝ දෙනෙකුට අප්‍රසන්න දෙයක් විය හැකි වුවත්, මෙම ආපදාව හා අදාළ තිත්ත ඇත්ත වන්නේ සිය ගණනින් ගැනෙන මරණ ප්‍රමාණයක කම්පනය මරණ දස දහස් ගණනක කම්පනයකට වඩා බෙහෙවින්ම අඩු බවයි. එමෙන්ම, මෙම මරණ වලක්වා ගත හැකිව තිබුණු මරණ බවට ආණ්ඩුවට එල්ල වූ චෝදනාව හමුවේ ආණ්ඩුව සහ ආණ්ඩුවේ හිතවතුන් විසින් හානිය අවතක්සේරු කිරීමට ගත් උත්සාහයන් හේතුවෙන් සිදු වූයේද ආපදාව නිසා ඇති විය හැකිව තිබුණු කම්පනය තව දුරටත් අඩු වීමයි. 

ආපදා තත්ත්වයක් හමුවේ ලෝකයෙන් ආධාර ඉල්ලීම සෑම රටක් විසින්ම කරන දෙයක් නෙමෙයි. ඇතැම් රටවල් මෙවැන්නක් සලකන්නේ රටේ ජාතික අභිමානයට බලපාන කරුණක් ලෙසයි. ඒ වගේම, රජය විසින් රටක ආපදාවක් හා ආපදා ආධාර ලෙස ලැබෙන අරමුදල් හොඳින් කළමනාකරණය කිරීම හේතුවෙන් එම රටට ලැබෙන ආධාර ඉහළ යාමක් සිදු වෙන්නේ නැහැ. ඇත්තටම සිදු වන්නේ එහි අනෙක් පැත්තයි. කිසියම් රටක රජයෙන් එම කටයුතු නිසියාකාරව සිදු නොවෙද්දී එම රටේ ජනතාව කෙරෙහි වෙනත් රටවල මිනිසුන් තුළ ඇති වන සහකම්පනය ඉහළ යනවා. මේ සියලු හේතු නිසා මෙම ආපදාව පෙන්වා විදේශාධාර ලබා ගැනීමට උත්සාහ කිරීමේ ආණ්ඩුවේ හා ආණ්ඩු පක්ෂයේ අභිප්‍රාය සහ ඒ සඳහා යොදා ගන්නා ක්‍රමෝපායයන් අතර පැහැදිලි ප්‍රති විරෝධයක් තිබෙනවා.

ලෝකය පුරා සිදු කරන සංවිධානාත්මක මෙහෙයුමක් මගින් වැඩි පිරිසකගෙන් කීය කීය හෝ එකතු කර ගන්න පුළුවන්. එහෙත් සතෙන් සතෙන් එකතු කර ධනවතෙකු වීම වෙළඳ දැන්වීම් වලින් පිට ප්‍රායෝගික ලෝකය තුළ කිරීමට අසීරු දෙයක්. මෙම ආපදාව හමුවේ ඩොලර් බිලියන් ගණන් වලින් විදේශාධාර ලංකාවට ලැබෙන එකක් නැහැ. දැනට ලැබෙන ආධාර ගැන බොහෝ විට කියැවෙන්නේ වැඩිම වුනොත් ඩොලර් මිලියනයකට තරමක් වැඩි ගණන් වලිනුයි. ඒ නිසා, බොහෝ විට මෙම ආපදාව හමුවේ රටට අමතරව ලැබෙනු ඇත්තේ ඩොලර් මිලියන සිය ගණන් වලින් කියැවෙන ගණනක්. මාසයකට ඩොලර් මිලියන දෙසීයක ජංගම ගිණුම් හිඟයක් ඇති රටක ආර්ථිකයට එයින් විශාල බලපෑමක් වෙන්නේ නැහැ.

නොවැම්බර් මාසය අවසානයේදී රටේ නිල විදේශ සංචිතය පිළිබඳ තොරතුරු මහ බැංකුව විසින් මේ වන විටද ප්‍රසිද්ධ කර නැහැ. එම ප්‍රමාණය බොහෝ විට ඔක්තෝබර් මාසය අවසානයේදී පැවති ඩොලර් බිලියන 6.2 ආසන්නයේම තිබෙනවා විය හැකියි. කෙසේ වුවද, තවත් දෙසතියකින් ලංකාවට මූල්‍ය අරමුදලේ ඊළඟ වාරිකය ලැබීමට නියමිතව ඇති අතර මෙම මාසය තුළ අනෙකුත් ජාත්‍යන්තර ආයතන වලින්ද යම් ණය ප්‍රමාණයක් ලැබීමට නියමිතව තිබෙනවා. ඊට අමතරව, ශ්‍රී ලංකා රජය විසින් ඩොලර් බැඳුම්කර විකුණා දේශීය වෙළඳපොළෙන් ඩොලර් මිලියන 50ක මුදලක් ලබා ගැනීමට සමත්ව තිබෙනවා. මෙම ලැබීම් වලට, ආපදාව හමුවේ ලැබෙන යම් විදේශ ප්‍රේෂණ ප්‍රමාණයක් එකතු වීම නිසා දෙසැම්බර් මාසය තුළ රටේ දළ නිල සංචිත වල සැලකිය යුතු වැඩි වීමක් සිදු වෙන්න පුළුවන්. 

පහත වගුවේ තිබෙන්නේ ඩොලර් බැඳුම්කර වෙන්දේසිය හා අදාළ සංඛ්‍යාලේඛණයි. ණය පැහැර හැරීමෙන් පසු මුල් වරට ඩොලර් වලින් කීයක් හෝ ණයට ගැනීමට හැකි වීම නරක තත්ත්වයක් නොවෙතත්, ශ්‍රී ලංකා රජයට ඩොලර් මිලියන 50ක් වැනි සාපේක්ෂව සොච්චම් මුදලක් දේශීය වෙළඳපොළෙන් ණයට ගැනීමට හැකි වී තිබෙන්නේද සැලකිය යුතු පොලියක් යටතේයි. එක් වසර ඩොලර් බැඳුම්කර වෙනුවෙන් රජයට 5.7%ක පොලියක් ගෙවන්නට සිදු වන අතර, දෙවසරක ඩොලර් බැඳුම්කර වෙනුවෙන් 6.1%ක පොලියක් ගෙවන්නට සිදු වෙනවා. මේ වන විට ශ්‍රී ලංකා රජයට එක් වසර රුපියල් බැඳුම්කර වෙනුවෙන් 8%කට ආසන්න පොලියක් ගෙවන්නට සිදු වෙනවා. මේ අනුව පෙනී යන්නේ රජය විසින් ඉදිරි වසරක කාලය තුළ ඩොලරයක මිල 2.3%කින් පමණ ඉහළ යා හැකි බව උපකල්පනය කර ඇති බවයි. 

Tuesday, October 14, 2025

උත්පාදක නාශනය: ආර්ථික වර්ධනය තිරසාරව පවත්වා ගන්නේ කෙසේද?


පසුගිය සියවස් දෙකක කාලය තුළ, ඉතිහාසයේ පළමු වරට, ලෝකය පුරාම තිරසාර දිගුකාලීන ආර්ථික වර්ධනයක් දැකිය හැකි වුනා. එහි ප්‍රතිඵලයක් ලෙස, මානව සංහතියේ සෞභාග්‍යය සඳහා අත්තිවාරමක් දමමින්, ලෝකයේ බොහෝ දෙනෙකු දරිද්‍රතාවයෙන් මිදුනා. මෙම ප්‍රගතිය තව දුරටත් පවත්වා ගනිමින් ඉදිරියට යාම සඳහා නවෝත්පාදන වල කාර්ය භාරය පැහැදිලි කළ විද්‍යාර්ථීන් තිදෙනෙකු වන ජොයෙල් මොකර් (Joel Mokyr), ෆිලිප් අගියන් (Philippe Aghion) හා පීටර් හවිට් (Peter Howitt) විසින් මෙවර ආර්ථික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය දිනාගෙන තිබෙනවා. 

අප සියල්ලන්ගේ ජීවිත කෙරෙහි බලපෑම් කරමින් තාක්ෂණය ඉතා වේගයෙන් වැඩි දියුණු වන අතර, නව තාක්ෂනයන්ගෙන් පැරණි තාක්ෂනය විස්ථාපනය වීම දිගින් දිගටම සිදු වෙමින් පවතිනවා. මෙම ක්‍රියාවලිය උත්පාදක නාශනය (creative destruction) ලෙස හැඳින්වෙනවා. උත්පාදක නාශනය දිගුකාලීන ආර්ථික වර්ධනය සඳහා මග තනන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස සමස්ත ලෝක ජනතාවට වඩා හොඳ ජීවන තත්ත්වයක් හිමි වෙනවා.

කෙසේ වෙතත්, ඉතිහාසයේ සෑම යුගයකදීම ආර්ථික වර්ධනය හා අදාළව පසුගිය දෙසියවස තුළ දැකිය හැකි වූ ආකාරයේ අඛණ්ඩ ප්‍රගතියක් දැකිය හැකිව තිබුණේ නැහැ. ඉතිහාසයේ බොහෝ කාල වකවානු තුළ සාමාන්‍ය තත්ත්වය වූයේ අපගේ ජීවන තත්ත්වයෙහි ලොකු වෙනසක් සිදු නොවී එකම මට්ටමක පැවතීමයි. ඇතැම් කාල වකවානු වලදී වැදගත් සොයාගැනීම් හා නවෝත්පාදන නිසා ජීවන තත්ත්වයේ ඉහළ යාමක් හා ආදායම් වැඩි වීමක් සිදු වූවත්, ඉතා ඉක්මණින්ම එම වර්ධනය නැවතුනා. 

ජොයෙල් මොකර් විසින් දිගුකාලීන ආර්ථික වර්ධනය සාමාන්‍ය තත්ත්වය බවට පත් වීමට හේතු වූ කරුණු අනාවරණය කර ගැනීම සඳහා ඓතිහාසික මූලාශ්‍ර භාවිතා කළා. ඔහු පෙන්වා දුන්නේ නවෝත්පාදන බිහිවීම එකින් එකට අඛණ්ඩව සිදුවන ස්වයං ජනක ක්‍රියාවලියක් බවට පත් වීම සඳහා අපිට කිසියම් නවෝත්පාදනයක් "වැඩ කරන" බව පෙනී යාම පමණක් නොව, එසේ "වැඩ කරන්නේ ඇයි" යන්න පිළිබඳ විද්‍යාත්මක පැහැදිලි කිරීමක්ද අවශ්‍ය බවයි. 

කාර්මික විප්ලවයට පෙර මෙවැනි විද්‍යාත්මක පැහැදිලි කිරීම් සුලභ නොවූ බැවින්, එක් නවෝත්පාදනයක් විසින් තවත් නවෝත්පාදන ගණනාවකට පාර පෙන්වීමක් ලොකුවට සිදු වූයේ නැහැ. මීට අමතරව සමාජය නව අදහස් සඳහා විවෘත වීමේ වැදගත්කමත්, වෙනස්කම් පිළිගැනීමට සූදානම් වීමේ වැදගත්කමත් මොකර් විසින් අවධාරණය කළා. 

ෆිලිප් අගියන් සහ පීටර් හවිට් යන දෙදෙනාද දිගුකාලීන තිරසාර ආර්ථික වර්ධනය සඳහා දායක වන හේතු අධ්‍යයනය කළ විද්‍යාර්ථින් දෙදෙනෙක්. ඔවුන් දෙදෙනා විසින් 1992දී, උත්පාදක නාශනය (creative destruction) යන අදහස ගණිතමය ආකෘතියක් ඇසුරෙන් පැහැදිලි කළා. මෙහි අදහස වන්නේ නවෝත්පාදන බිහි වෙද්දී පවතින දැනුම හා තාක්ෂනය වැඩකට නැති වන බැවින් නවෝත්පාදන බිහි වීමෙහි විනාශකාරී මානයක්ද ඇති බවයි. මෙහිදී ඇති වන අනිවාර්ය ගැටුම නිසි ලෙස කළමනාකරණය කර නොගතහොත්, පැරණි තාක්ෂණයේ හා ක්‍රමවේද වල වාසිය ලැබූ සංස්ථාපනය විසින් ඇති කරන ප්‍රතිරෝධය නිසා නවෝත්පාදන බිහි වීම අධෛර්යමත් වී ප්‍රගතිය නවතිනවා.  

ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාග කමිටුවේ සභාපති වරයා විසින් ඉහත විද්‍යාර්ථින් විසින් පෙන්වා දී ඇති කරුණු මත පදනම්ව ප්‍රකාශ කරන්නේ ආර්ථික වර්ධනය ඕනෑම තත්ත්වයක් යටතේ ස්වයංක්‍රීය ලෙස සිදු වන දෙයක් සේ නොසැලකිය යුතු බවයි. එමෙන්ම, ඒ නිසා, නැවතත් ලෝක ආර්ථිකය වර්ධනය නොවී එක තැන පල් වෙන තත්ත්වයක් ඇති වීම වලක්වා ගැනීමටනම්, අප විසින් උත්පාදක නාශනය දිරිමත් කෙරෙන යාන්ත්‍රණයන් ආරක්ෂා කර ගත යුතු බවයි.

ජොයෙල් මොකර් නෙදර්ලන්තයේ ඉපදී, ඊශ්‍රායලයේ හීබෘ සරසවියෙන් ප්‍රථම උපාධියත්, ඇමරිකාවේ යේල් සරසවියෙන් ආචාර්ය උපාධියත් ලබා ගෙන ඇමරිකාවේ නෝර්ත්වෙස්ටර්න් සරසවියේ මෙන්ම ඊශ්‍රායලයේ ටෙල් අවිව් සරසවියේද මහාචාර්ය වරයෙකු ලෙස කටයුතු කරන අයෙක්. ප්‍රංශයේ ඉපදී, එහිදීම මූලික අධ්‍යාපනය ලබා, ඇමරිකාවේ හාවඩ් සරසවියෙන් ආචාර්ය උපාධිය ලබා ඇති ෆිලිප් අගියන් ප්‍රංශයේ කොලේජ් ඩි ෆ්‍රාන්ස් සහ ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස්හි මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කරනවා. කැනඩාවේ ඉපදී ඇමරිකාවේ නෝර්ත්වෙස්ටර්න් සරසවියෙන් ආචාර්ය උපාධිය ලබා ඇති  පීටර් හවිට් ඇමරිකාවේ සහ කැනඩාවේ සරසවි කිහිපයකම සේවය කර ඇති අතර මේ වන විට බ්‍රවුන් සරසවියේ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කරනවා.

ස්වීඩිෂ් ක්‍රෝන මිලියන 11ක් වන (ඇමරිකන් ඩොලර් මිලියනයකට වඩා තරමක් වැඩි) ත්‍යාග මුදලෙන් අඩක් ජොයෙල් මොකර්ට හිමි වන අතර ඉතිරි අඩ ෆිලිප් අගියන් හා පීටර් හවිට් අතර බෙදී යනවා. ඔවුන් තිදෙනාටම සුබ පැතුම්!

Saturday, October 11, 2025

ආර්ථික වර්ධනය හා ප්‍රාග්ධන ආයෝජන


රටක ආර්ථික වර්ධනය හා ප්‍රාග්ධන ආයෝජන අතර තිබෙන්නේ කවර ආකාරයේ සම්බන්ධයක්ද? මේ ප්‍රශ්නයට 1987දී නොබෙල් ත්‍යාගය දිනූ රොබට් සොලෝ විසින් න්‍යායාත්මක පිළිතුරක් ලබා දී තිබෙනවා. 2021 පෙබරවාරි 4 දින පළ කර ඇති "රටවල් දියුණු වෙන්නේ කොහොමද?" ලිපියෙහි මෙම සොලෝ ආකෘතිය තාක්ෂනික (ගණිතමය) ලෙස විස්තර කර තිබෙනවා. මෙය ඊට වඩා බොහෝ සරල, වැඩි දෙනෙකුට තේරුම් ගත හැකි වත්පොත් සටහනකට වඩා ගැලපෙන, පැහැදිලි කිරීමක්. 

රටේ ප්‍රාග්ධන සංචිතය වර්ධනය වෙනවා කියන්නේ රටේ නිෂ්පාදන හැකියාව ඉහළ යනවා කියන එකයි. මෙහිදී ප්‍රාග්ධන සංචිතය යන්නෙන් අදහස් වන්නේ ශ්‍රමය (මානව ප්‍රාග්ධනය) හැර නිෂ්පාදනය සඳහා අවශ්‍ය වන අනෙකුත් නිෂ්පාදන සාධක සියල්ලයි. යන්ත්‍ර සූත්‍ර, ගොඩනැගිලි, යටිතල පහසුකම් ආදී සියල්ල එයට ඇතුළත්. ඒ වගේම පරිගණක මෘදුකාංග වැනි අරූපික (අස්පර්ශනීය) දේවල් තියෙන්නේත් මේ  ප්‍රාග්ධන සංචිතය ඇතුළේ. ප්‍රාග්ධන සංචිතය වැඩි කර ගැනීම සඳහා මූල්‍ය ප්‍රාග්ධනය (මුදල්) අවශ්‍ය වන නමුත් මෙහිදී ප්‍රාග්ධනය යන්නෙන් (සීමිත සන්දර්භ වලදී හැර) මූල්‍ය ප්‍රාග්ධනය අදහස් වන්නේ නැහැ. 

රටක ප්‍රාග්ධන සංචිතය වර්ධනය වන තරමට ආර්ථිකයද වර්ධනය වෙනවා. නමුත් ආර්ථිකය වර්ධනය වන්නේ ප්‍රාග්ධන සංචිතය වර්ධනය වන වේගයට වඩා අඩු වේගයකින්. කාලයක් තිස්සේ නැවත නැවත කර ඇති නිරීක්ෂණ අනුව, වෙළඳපොළ ආර්ථිකයක් තිබෙන බොහොමයක් රට වල මෙම අනුපාතය ආසන්න වශයෙන් 30%ක් පමණ. මෙයින් අදහස් වන්නේ රටක ප්‍රාග්ධන සංචිතය 10%කින් වර්ධනය වෙද්දී ආර්ථිකය 3%කින් වර්ධනය වනවා යන්නයි. 

කෙසේ වුවද, ප්‍රාග්ධන සංචිතය වර්ධනය වීම කිසියම් නිශ්චිත රටක ආර්ථික වර්ධන වේගය කෙරෙහි දායක වන ආකාරය ඒ රටේ ආර්ථිකයේ ප්‍රමාණයට (දදේනියට) සාපේක්ෂව ප්‍රාග්ධන සංචිතය කොපමණද යන්න අනුව වෙනස් වෙනවා. අඩු ප්‍රාග්ධන සංචිතයක් ඇති රටකට ප්‍රාග්ධනයේ වටිනාකම වැඩියි. 

මෙය පැහැදිලි කර ගැනීම පිණිස, එක සමාන ප්‍රමාණයේ ආර්ථිකයන් ඇති (ඩොලර් බිලියන 100ක), එහෙත් වෙනස් මට්ටම් වල ප්‍රාග්ධන සංචිත ඇති (පිළිවෙලින් ඩොලර් බිලියන 50, 100 හා 200), රටවල් තුනක් සලකමු. ඩොලර් බිලියන 10කින් ප්‍රාග්ධන සංචිතය ඉහළ යාම මේ එක් එක් රටේ ආර්ථික වර්ධනය කෙරෙහි බලපාන්නේ කෙසේද?

පළමු රට: 

ආර්ථිකයේ ප්‍රමාණය = ඩොලර් බිලියන 100

ප්‍රාග්ධන සංචිතයේ ප්‍රමාණය = ඩොලර් බිලියන 50

ප්‍රාග්ධනය සංචිතය ඉහළ යාම = ඩොලර් බිලියන 10

ප්‍රාග්ධනය සංචිතයේ වර්ධන වේගය = 20%

ආර්ථික වර්ධන වේගය = 6%


දෙවන රට: 

ආර්ථිකයේ ප්‍රමාණය = ඩොලර් බිලියන 100

ප්‍රාග්ධන සංචිතයේ ප්‍රමාණය = ඩොලර් බිලියන 100

ප්‍රාග්ධනය සංචිතය ඉහළ යාම = ඩොලර් බිලියන 10

ප්‍රාග්ධනය සංචිතයේ වර්ධන වේගය = 10%

ආර්ථික වර්ධන වේගය = 3%


තෙවන රට: 

ආර්ථිකයේ ප්‍රමාණය = ඩොලර් බිලියන 100

ප්‍රාග්ධන සංචිතයේ ප්‍රමාණය = ඩොලර් බිලියන 200

ප්‍රාග්ධනය සංචිතය ඉහළ යාම = ඩොලර් බිලියන 10

ප්‍රාග්ධනය සංචිතයේ වර්ධන වේගය = 5%

ආර්ථික වර්ධන වේගය = 1.5%


මෙහිදී අප විසින් සලකා බලා තිබෙන්නේ ආර්ථික වර්ධනය කෙරෙහි ප්‍රාග්ධනය සංචිතය වර්ධනය වීමේ බලපෑම පමණයි. වෙනත් හේතු නිසාද ආර්ථිකය වර්ධනය වීමට හෝ හැකිලීමට හැකි වුනත්, අපේ අරමුණ ආර්ථික වර්ධනය හා ප්‍රාග්ධන ආයෝජන අතර සම්බන්ධය තේරුම් ගැනීම බැවින් ඒ අනෙකුත් කරුණු සලකා බලා නැහැ. 

ඉහත කාල්පනික උදාහරණ අනුව, පෙනී යන්නේ රටක දදේනියට සාපේක්ෂව (දදේනියෙහි ප්‍රතිශතයක් හෝ ගුණකයක් ලෙස) ප්‍රාග්ධන සංචිතය ඉහළ යන තරමට අමතර ප්‍රාග්ධනය එකතු වෙද්දී එමගින් ආර්ථික වර්ධනය කෙරෙහි ලැබෙන දායකත්වය ක්‍රමක්‍රමයෙන් අඩු වන බවයි. 

මේ අයුරින් ප්‍රාග්ධන සංචිතය වර්ධනය වීම ආර්ථික වර්ධන වේගය ඉහළ දමන අයුරින්ම ප්‍රාග්ධන සංචිතය අඩු වෙද්දී ආර්ථික වර්ධන වේගය අඩුවීමද සිදු වෙනවා. අනෙකුත් සාධක වලින් ආර්ථිකය වර්ධනය නොක‍රන්නේනම්, ප්‍රාග්ධන සංචිතය අඩු වීමේ ප්‍රතිඵලය වන්නේ ආර්ථිකය හැකිලීමයි. එනම්, ආර්ථික වර්ධන වේගය සෘණ වීමයි. මෙම බලපෑමද ප්‍රාග්ධන සංචිතය දදේනියට සාපේක්ෂව අඩු රටකදී වඩා වැඩියි. 

රටක ප්‍රාග්ධන සංචිතය වර්ධනය වන්නේ හෝ හැකිලෙන්නේ කෙසේද?

කිසියම් රටක් විසින් දැනටම එක්රැස් කරගෙන තිබෙන ප්‍රාග්ධන සංචිතය හැමදාම දිගටම ඒ මට්ටමේම තියෙන්නේ නැහැ. සෑම වසරකදීම ප්‍රාග්ධනය යම් තරමකින් ක්ෂය වෙනවා. උදාහරණයක් ලෙස ප්‍රාග්ධන සංචිතයට අලුතෙන් පරිගණක පද්ධතියක් එක් කළහොත්, ප්‍රාග්ධන සංචිතය ඉහළ යන නමුත් වසර හතරක් පමණ යද්දී මේ පරිගණක කල් ඉකුත් වෙනවා. මහාමාර්ගයක් හෝ ගොඩනැගිල්ලක්නම්, මේ සඳහා වසර විස්සක හෝ තිහක කාලයක් යා හැකියි. නමුත් කිසියම් වේගයකින් ප්‍රාග්ධනය ක්ෂය වෙනවා.

රටක ප්‍රාග්ධන සංචිතය වර්ධනය වීමටනම්, ප්‍රාග්ධනය ක්ෂය වන වේගයට වඩා වැඩි වේගයකින් ආයෝජන සිදු කළ යුතුයි. ආයෝජන සිදු වන්නේ ඊට වඩා අඩුවෙන්නම්, එහිදී සිදු වන්නේ ප්‍රාග්ධන සංචිතය පහළ යාම හේතුවෙන් ආර්ථිකයේ ප්‍රමාණයද ක්‍රමයෙන් අඩු වීමයි. 

ප්‍රාග්ධනය ක්ෂය වන වේගය බොහෝ දුරට තාක්ෂණික ලෙස තීරණය වන, භෞතික දෙයක්. පරිගණකයක්, ගොඩනැගිල්ලක්, යන්ත්‍රයක් හෝ අධිවේගී මාර්ගයක් කොපමණ කාලයක් ප්‍රයෝජනයට ගත හැකිද යන්න මිනිස් හැසිරීම් මත වෙනස් වෙන්නේ නැති තරම්. ඒ නිසා, එය අපට සලකන්න සිදු වෙන්නේ වෙනස් කළ නොහැකි දෙයක් ලෙසයි. මීට සාපේක්ෂව බලන විට ආයෝජන සිදු වන ප්‍රමාණය කිසියම් රටක මිනිසුන්ගේ චර්යාවන් මත වගේම, රාජ්‍ය ප්‍රතිපත්ති මතද වෙනස් වන දෙයක්. 

විදේශ ආයෝජන දැනට පැත්තකින් තිබ්බොත්, ආයෝජන කියා කියන්නේ දළ දේශීය නිෂ්පාදිතයෙන් පරිභෝජනය නොකර ඉතිරි කරන කොටස. ආයෝජන සිදු වෙන්නේ රාජ්‍ය මැදිහත්වීමකින් වුනත්, සෘජුව පෞද්ගලික අංශය හරහා වුනත්, මෙහි වෙනසක් නැහැ. ඒ නිසා, පරිභෝජනය සීමා වන තරමට ආයෝජනය ඉහළ යනවා. පරිභෝජනය යන්නට රජයේ "පරිභෝජන" වියදම්ද ඇතුළත්. ඒ කියන්නේ පුනරාවර්තන වියදම්. 

සාමාන්‍යයෙන් කිසියම් රටක ජනතාවගේ පරිභෝජන නැඹුරුව සංස්කෘතික සාධක ඇතුළු බොහෝ කරුණු මත තීරණය වන දෙයක්. සමාජයක චර්යාවන් දිගුකාලීනව වෙනස් වන නමුත් කෙටිකාලීනව ලොකුවට වෙනස් වෙන්නේ නැහැ. රජයේ පුනරාවර්තන වියදම් සැලකුවත්, දිගුකාලීනව මිසක් කෙටිකාලීනව ලොකුවට වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් පරිභෝජනය නොකර ඉතිරි කරන කොටස, ඒ කියන්නේ කිසියම් රටක දේශීය ඉතුරුම් අනුපාතය, කෙටිකාලීනව විශාල ලෙස වෙනස් වෙන්නේ නැහැ. නමුත් රටරටවල් අතර දේශීය ඉතුරුම් අනුපාතයන්හි විශාල වෙනස්කම් තියෙන්න පුළුවන්. ඒ වගේම, කිසියම් නිශ්චිත රටක වුනත්, කෙටිකාලීනව යම් ප්‍රමාණයක් විචලනයන් සිදු වෙන්න පුළුවන්.

අපි හිතමු රටක සාමාන්‍ය දේශීය ඉතුරුම් අනුපාතය දළ දේශීය නිෂ්පාදිතයෙන් 20%ක් කියලා. ඒ කියන්නේ දදේනියෙන් 20%කට සමාන ආයෝජන සිදු වෙනවා. එපමණකින් ප්‍රාග්ධන සංචිතය ඉහළ යනවා. ඩොලර් බිලියන 100ක ආර්ථිකයක් සැලකුවොත් වසරකට ඩොලර් බිලියන 20කින්. 

දැන් මේ විදිහට ඩොලර් බිලියන 20කින් ප්‍රාග්ධන සංචිතය ඉහළ යාම නිසා ආර්ථික වර්ධනයට සිදු වෙන බලපෑම තීරණය වෙන්නේ එමගින් ප්‍රාග්ධන සංචිතය කොපමණ ප්‍රතිශතයකින් වෙනස් වෙනවද කියන එක මතයි. 

- ප්‍රාග්ධන සංචිතයේ ප්‍රමාණය ඩොලර් බිලියන 50නම් 40%කින් 

- ප්‍රාග්ධන සංචිතයේ ප්‍රමාණය ඩොලර් බිලියන 100නම් 20%කින් 

- ප්‍රාග්ධන සංචිතයේ ප්‍රමාණය ඩොලර් බිලියන 200නම් 10%කින් 

නමුත් අනෙක් අතට තිබෙන ප්‍රාග්ධන සංචිතයෙන් යම් ප්‍රමාණයක් ක්ෂය වෙනවනේ. අපි හිතමු මේ අනුපාතය සාමාන්‍ය අගයක් ලෙස 5%ක් කියලා. ඒ කියන්නේ සාමාන්‍ය අගයක් ලෙස වසර 20ක් ප්‍රාග්ධනය ආර්ථික කටයුතු සඳහා ප්‍රයෝජනයට ගන්න පුළුවන් කියන එක. ක්ෂය වීමත් සැලකිල්ලට ගත්තට පස්සේ ප්‍රාග්ධන සංචිතය කොපමණ ප්‍රතිශතයකින් වෙනස් වෙනවද?

- ප්‍රාග්ධන සංචිතයේ ප්‍රමාණය ඩොලර් බිලියන 50නම් 35%කින් 

- ප්‍රාග්ධන සංචිතයේ ප්‍රමාණය ඩොලර් බිලියන 100නම් 15%කින් 

- ප්‍රාග්ධන සංචිතයේ ප්‍රමාණය ඩොලර් බිලියන 200නම් 5%කින් 


මේ අනුව ආර්ථිකය වර්ධනය වෙන්නේ කොහොමද?

- ප්‍රාග්ධන සංචිතයේ ප්‍රමාණය ඩොලර් බිලියන 50නම් 10.5%කින් 

- ප්‍රාග්ධන සංචිතයේ ප්‍රමාණය ඩොලර් බිලියන 100නම් 4.5%කින් 

- ප්‍රාග්ධන සංචිතයේ ප්‍රමාණය ඩොලර් බිලියන 200නම් 1.5%කින් 


ඔය විදිහට ආර්ථිකය වර්ධනය වෙද්දී ඉතුරුම් අනුපාතය 20% මට්ටමේම දිගටම තිබුණත් එහි ප්‍රමාණය ආර්ථිකයත් එක්ක වර්ධනය වෙනවා. එසේ වර්ධනය වීම නිසා ප්‍රාග්ධන සංචිතයේ ප්‍රමාණය ටිකෙන් ටික ඉහළ යනවා. ප්‍රාග්ධන සංචිතයේ ප්‍රමාණය අඩු වූ තරමට මේ වැඩේ වඩා වේගයෙන් සිදු වෙනවා. නමුත් ප්‍රාග්ධන සංචිතය වැඩි වන තරමට එය වර්ධනය වන වේගය වගේම ප්‍රාග්ධනය වැඩි වීම නිසා ආර්ථිකය වර්ධනය වන වේගයද එන්න එන්නම අඩු වෙනවා. 

අපි හිතමු ආර්ථිකයේ ප්‍රමාණය ඩොලර් බිලියන 100 වන රටක ප්‍රාග්ධන සංචිතය ඔය විදිහට වැඩි වෙලා ඩොලර් බිලියන 400 මට්ටමට ආවා කියලා. ඉතුරුම් අනුපාතය 20%යි. ඒ කියන්නේ ඩොලර් බිලියන 20ක ආයෝජන සිදු වෙනවා. රටේ ප්‍රාග්ධන සංචිතයේ ප්‍රතිශතයක් ලෙස එය 5%ක්. නමුත් ක්ෂය වන වේගයත් 5%ක්. ඒ කියන්නේ දදේනියෙන් 20%ක් ආයෝජනය කළත්, එයින් වෙන්නේ රටේ ප්‍රාග්ධන සංචිතය දැනට තිබෙන මට්ටමේම පවත්වා ගෙන යා හැකි වීම පමණයි. ප්‍රාග්ධන සංචිතය තව දුරටත් වර්ධනය වෙන්නේ නැහැ. ඒ නිසාම ප්‍රාග්ධනය ආර්ථික වර්ධනයට දායක වෙන එකත් නවතිනවා. රොබට් සොලෝ විසින් පෙන්වා දුන්නේ ඔන්න ඔය කාරණාව.

කිසියම් වසරක ඉතුරුම් අනුපාතය 20% සිට 21% දක්වා ඉහළ ගියොත් එහි උදවුවෙන් ආර්ථිකය තරමක් වර්ධනය වෙන්න පුළුවන්. ඒ වගේම, ඉතුරුම් අනුපාතය 19% දක්වා පහත වැටුනොත් ආර්ථිකය තරමක් හැකිලෙන්නත් පුළුවන්. රටේ ප්‍රාග්ධන සංචිතයේ ප්‍රමාණය තීරණය වෙන්නේ සාමාන්‍ය ඉතුරුම් අනුපාතය මතයි. එම අනුපාතය කොපමණ වුණත්, එය එකවර විශාල ලෙස වෙනස් වල අවස්ථාවකදී හැර, ආයෝජන හරහා ලැබෙන ප්‍රාග්ධනය නිසා ආර්ථිකය දිගුකාලීනව වර්ධනය වෙන්නේ හෝ හැකිළෙන්නේ නැහැ. 

රටේ සාමාන්‍ය ඉතුරුම් අනුපාතය කිසියම් හේතුවක් නිසා විශාල ලෙස වෙනස් වුවහොත්, උදාහරණයක් ලෙස 20% සිට 40% දක්වා වැඩි වී ඒ මට්ටමේ දිගටම පැවතුනොත්, යම් කාලයක් යන තුරු ආර්ථිකය වේගයෙන් වර්ධනය වෙන්න පුළුවන්. එහිදී රටේ ප්‍රාග්ධන සංචිතයද මුලින්ම වේගයෙන් ඉහළ යනවා. නමුත් කාලය යද්දී ඒ  වේගය අඩු වෙනවා. ඒ නිසා, ආර්ථික වර්ධන වේගයද ක්‍රමයෙන් අඩු වෙනවා. 

ප්‍රාග්ධන සංචිතය යම් මට්ටමකට ආවට පස්සේ මේ 40% ඉතුරුම් අනුපාතයෙන් වුනත් කළ හැක්කේ ක්ෂය වන ප්‍රාග්ධනය නැවත සපයන එක පමණයි. ඒ නිසා, ඉතුරුම් අනුපාතය වැඩි කළා කියලත් ආර්ථිකයක් දිගින් දිගටම වර්ධනය කරන්න බැහැ. නමුත් ඉතුරුම් අනුපාතයේ මෙවැනි විශාල වැඩිවීමක් සිදු වුනොත් දශක කිහිපයක් පුරා ආර්ථිකය වේගයෙන් වර්ධනය වෙන්න පුළුවන්. චීනය, දකුණු කොරියාව වගේ රටවල ඔය වැඩේ සිදු වුනා. පසුව වර්ධන වේගය අඩු වුනත්, ඒ කාලය ඇතුළත රටට වෙනම ලෙවල් එකකට යන්න පුළුවන්. 

දැන් ඔය වැඩේ වෙන්නේ රටේ දේශීය ඉතුරුම් අනුපාතය වැඩි කරලා ආයෝජන අනුපාතය වැඩි කළ විටනේ. ඊට අමතරව විදේශ ප්‍රාග්ධනය ලබා ගැනීම මගින් දේශීය ඉතුරුම් අනුපාතය වැඩි නොකර ආයෝජන අනුපාතය වැඩි කරන්න පුළුවන්. ලංකාව කාලයක් තිස්සේම කළේ ඔය වැඩේ. උදාහරණයක් විදිහට දේශීය ඉතුරුම් අනුපාතය 20% මට්ටමේම තියෙද්දී, තව 5%ක විදේශ ප්‍රාග්ධනය රටට ආවොත්, ආයෝජන අනුපාතය 25% දක්වා උස්සගන්න පුළුවන්. එහි ප්‍රතිඵලයක් විදිහට ආර්ථික වර්ධන වේගයද කෙටිකාලීනව ඉහළ යනවා. 

නමුත් මේ විදිහට විදේශ ආයෝජන වල උදවුවෙන් වැඩිපුර ප්‍රසාරණය කරපු ආර්ථිකය ඒ මට්ටමේ තියා ගන්නනම් දිගටම ආයෝජන අනුපාතය 25% මට්ටමේම තියා ගන්න වෙනවා. ඒක කරන්නම් සෑම වසරකදීම දදේනියෙන් 5%කට සමාන විදේශ ප්‍රාග්ධනය රටට පැමිණිය යුතුයි. නැත්නම් වෙන්නේ අර කලින් වර්ධනය වූ වේගය අඩු වෙන එක පමණක් නෙමෙයි. රටේ ආයෝජන අනුපාතය පහත වැටීම නිසා, විදේශ ප්‍රාග්ධනයේ උදවුවෙන් වර්ධනය වූ කොටස නැවත හැකිලෙනවා.

රටකට විදේශ ප්‍රාග්ධනය එන ක්‍රම දෙකක් තිබෙනවා. ඒ ණය ලෙස සහ සෘජු විදේශ ආයෝජන ලෙස. ගොඩක් වෙලාවට රජය මැදිහත් වෙලා කරන්නේ විදේශ ණය ගන්න එක. එහෙම විදේශ ණය අරගෙන ප්‍රාග්ධන ආයෝජන කිරීම මගින් ක්ෂණිකව ආර්ථික වර්ධන වේගය වැඩි කරන්න පුළුවන්. නමුත් ගත්ත ණය ආපසු ගෙවන්න වෙද්දී ඒ වර්ධනය වූ ප්‍රමාණය නැවත හැකිලෙනවා. එය වලක්වා ගන්නනම්, ඒ ණය ගෙවීම සඳහා නැවතත් විදේශ ණය ගන්න වෙනවා. 

එහෙම තවත් විදේශ ණය ගත්තත් ආර්ථිකය තව දුරටත් වර්ධනය කරන්න බැහැ. කරන්න පුළුවන් ආර්ථිකය හැකිළෙන එක වලක්වා ගන්න පමණයි. විදේශ ණය වල උදවුවෙන් ආර්ථික වර්ධනය වේගය දිගටම ඉහළ මට්ටමක තියාගන්නනම් පරණ ණය ගෙවන්න අලුතෙන් ණය ගන්නවාට අමතරව තවත් වැඩි වැඩියෙන් විදේශ ණය ගන්න වෙනවා.

අපි හිතමු දේශීය ඉතුරුම් අනුපාතය 20% මට්ටමේම තියෙද්දී, විදේශ ණය අරගෙන ඉතුරුම් අනුපතාය 21% දක්වා ඉස්සුවා කියලා. වැඩිපුර 1% විදේශ ණය. දැන් ආර්ථික වර්ධන වේගය කලින් වේගයට වඩා වැඩියි. නමුත් ඊළඟ අවුරුද්දේ ඔය වැඩි වූ වේගය තියාගන්නනම් අලුතෙන් 2%ක් විදේශ ණය ගන්න වෙනවා. පරණ ණය ගෙවන්න 1%ක් සහ වර්ධන වේගය තියා ගන්න තවත් 1%ක් විදිහට. තුන් වන අවුරුද්දේදී විදේශ ණය ප්‍රමාණය 3% දක්වා වැඩි කරන්න වෙනවා. මේක තනිකරම පිරමිඩ් ක්‍රමයක් කියන එක පැහැදිලියිනේ.

ඉහත විස්තර කළ පරිදි 1%,  2%, 3% ආදී වශයෙන් විදේශ ණය ගැනීම් වැඩි කරන්න වෙන්නේ වසරකින් පසුව ණය ආපසු ගෙවිය යුතුනම්. නමුත් සාමාන්‍යයෙන් විදේශ ණය ගන්නේ ඊට වඩා දීර්ඝ කාලයකට නිසා ඔය පිරමිඩය යම් කාලයක් පවත්වා ගෙන යන්න පුළුවන්. හැබැයි කොයි වෙලාවේ හරි කඩා වැටෙනවා. විදේශ ණය වල උදවුවෙන් ආර්ථිකය වර්ධනය කරන එක කිසිසේත්ම තිරසාර ක්‍රමයක් නෙමෙයි. උදාහරණයක් ලෙස 2005-2014 කාලයේදී ණය ලෙස රටට පැමිණි විදේශ ප්‍රාග්ධනය නිසා ආර්ථික වර්ධන වේගය ඉහළ ගියත්, ඒ වර්ධන වේගය පවත්වා ගත හැකි පරිදි දිගින් දිගටම ණය වැඩි වැඩියෙන් ලබා ගැනීමේ හැකියාවක් නොතිබුණු නිසා, පසුව ආර්ථිකය හැකිලෙන්න පටන් ගත්තා. 

විදේශ ණය වලට සාපේක්ෂව සෘජු ආයෝජන වල තිබෙන වාසිය වන්නේ, විශේෂ හේතුවක් නැත්නම්, සෘජු ආයෝජන ලෙස ලැබෙන විදේශ ප්‍රාග්ධනය, විදේශ ණය මෙන්, නැවත ආපසු යන්නේ නැති වීමයි. ඒ නිසා, ප්‍රාග්ධන සංචිතයේ හා දදේනියේ ස්ථිර වැඩිවීමක් සිදු විය හැකි වුවත්, මේ ක්‍රමයෙන් වුවත් වර්ධන වේගය දිගින් දිගටම ඉහළ මට්ටමක තියා ගන්න බැහැ. 1977න් පසුව ඉහළ ගිය වර්ධන වේගය දිගටම ඒ ඉහළ මට්ටමේ නොපැවතුණේ ඒ නිසා. 

ලංකාවේ ආර්ථිකය තිරසාර ලෙස වර්ධනය කිරීමේ ක්‍රමෝපාය ගැන හිතන්න වෙන්නේ මේ තත්ත්වයන් එක්කයි. ක්‍රමෝපාය වලට එද්දී ගොඩක් වෙලාවට ආර්ථික විද්‍යාවට දේශපාලනය සම්මුඛ වෙනවා. ආර්ථික විද්‍යාව විසින් මාර්ගෝපදේශනයක් පමණක් සිදු කරන, එහෙත් නිශ්චිත පිළිතුරක් නොසපයන ප්‍රශ්න වලට විකල්ප පිළිතුරු එකකට වඩා තියෙන්න පුළුවන්. මම දකින විකල්පය වන්නේනම්, විදේශ ප්‍රාග්ධනය පස්සේ පන්නන එක වෙනුවට දේශීය ඉතිරි කිරීම් වැඩි කරගැනීම ගැන හිතන එක. 

මෑතකදී වේගවත් වර්ධනයක් පෙන්වා ඇති ආසියානු රටවල් බොහොමයක වර්ධනයට හේතු වුනේ දේශීය ඉතුරුම් අනුපාතය විශාල ලෙස ඉහළ යාම සහ ඒ ඉහළ අනුපාතය කාලයක් එම ඉහළ මට්ටමේ පවත්වා ගැනීමට හැකි වීමයි. ගයනාව වැනි සමහර රටවල් වලට ඇදුනු "ලොතරැයි" නිසා දේශීය ඉතුරුම් අනුපාතය ක්ෂණිකව ඉහළ ගොස් තිබෙනවා. ඒවා අහම්බ. එවැනි අහම්බ සිදු නොවේනම්, මේ සඳහා නිවැරදි රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්තියක් දිගටම පවත්වාගෙන යාම වගේම සංස්කෘතික, චර්යාමය වෙනසකුත් අවශ්‍ය වෙනවා.

රටක ආයෝජන අනුපාතය දේශීය ඉතුරුම් අනුපාතයට වඩා වැඩිනම්, එයින් අදහස් වන්නේ ඒ වෙනස විදේශ ප්‍රාග්ධනය ලෙස මූල්‍ය ගිණුම හරහා රටට ඇවිත් කියන එක. මහ බැංකු මැදිහත් වීමක් නැත්නම්, මූල්‍ය ගිණුම හරහා ප්‍රාග්ධනය රටට ඇවිත් කියන්නේ ජංගම ගිණුම හරහා ඊට සමාන විදේශ විණිමය ප්‍රමාණයක් රටෙන් එළියට ගිහින් කියන එක. ඒ කියන්නේ ජංගම ගිණුමේ හිඟයක් තිබෙනවා කියන එක. මේ හේතුව නිසා, දේශීය ඉතුරුම් අනුපාතය ඉක්මවා ආයෝජන කරන රටකට ජංගම ගිණුම් හිඟයක් පවත්වා ගන්න සිදුවීම අනිවාර්යතාවයක්. 

තිරසාර ලෙස රටේ ජංගම ගිණුමේ අතිරික්තයක් තියා ගන්නනම්, රටක ආයෝජන අනුපාතය දේශීය ඉතුරුම් අනුපාතයට වඩා පහළින් තියාගන්න වෙනවා. ආයෝජන අනුපාතය අඩු වීම, අඩු වශයෙන් කෙටිකාලීනව හා මැදිකාලීනව, ආර්ථික වර්ධනය බාල කරනවා. ඒ නිසා, ජංගම ගිණුමේ අතිරික්තයක් තියාගෙන රටේ විදේශ අංශය ස්ථාවරව තියා ගන්නා අතරම, ආර්ථික වර්ධන වේගයද ඉහළ මට්ටමක තියාගන්න පුළුවන් එකම ක්‍රමය දේශීය ඉතුරුම් අනුපාතය වැඩි කරගන්න එක. රජයේ පැත්තෙන්, රටේ පුනරාවර්තන වියදම් පහළ මට්ටමක තියා ගැනීම මගින් මෙයට දායක වෙන්න පුළුවන්. ඉතිරි කොටස තියෙන්නේ රටේ සාමාන්‍ය පුද්ගලයින්ගේ අතේ. 

පහත තිබෙන්නේ 2023දී තෝරාගත් රටවල් කිහිපයක දේශීය ඉතුරුම් අනුපාත දදේනි ප්‍රතිශත ලෙස.

සිංගප්පූරුව - 58.41%

චීනය - 43.24%

වියට්නාමය - 36.84%

ඉන්දුනීසියාව - 38.12%

කාම්බෝජය - 33.60%

දකුණු කොරියාව - 32.17%

ඉන්දියාව - 29.51%

මාල දිවයින - 31.50%

බංග්ලා දේශය - 25.8%

ශ්‍රී ලංකාව - 22.40%

Monday, October 6, 2025

අවුරුදු හතරෙන් ආදායම හතර ගුණයක්!


ලෝක බැංකුව විසින් මුලින්ම ලෝකයේ රටවල් ආදායම අනුව වර්ගීකරණය කළ 1987 වර්ෂයේදී පහළ ආදායම් රටවල් සේ හඳුනා ගැනුණු රටවල් 49ක් තිබුණා. ලංකාවත් ඒ රටවල් 49 අතරින් එක් රටක්. ඒ වෙද්දී දකුණු ආසියානු කලාපයේ සියලුම රටවල් තිබුණේ මේ පහළ ආදායම් කාණ්ඩයේ. 

වසර 37කට පසුව, 2024 වන විටත්, ඉහත රටවල් වලින් 21ක්ම පහළ ආදායම් රටවල්. මේ රටවල් 21 අතරින් ඇෆ්ඝනිස්තානය හැරුණු විට අනෙක් රටවල් 20ම අප්‍රිකානු රටවල්. ලංකාව ඇතුළු රටවල් 23ක් මෙම වසර 37ක කාලය ඇතුළත තමන්ගේ වර්ගීකරණය පහළ මැදි ආදායම් මට්ටම දක්වා ඉහළ නංවාගෙන තිබෙනවා. මාල දිවයින, චීනය, ඉන්දුනීසියාව සහ සමක ගිනියාව යන රටවල් හතර ඉහළ මැදි ආදායම් මට්ටම දක්වා පියවර දෙකක් ඉදිරියට ගොස් තිබෙනවා. මෙයින් රටවල් තුනක්ම ලංකාවට සමීප ආසියානු රටවල්. වසර 37ක කාලයක් ගැනීමෙන් පසුව පහළ ආදායම් මට්ටමේ සිට ඉහළ ආදායම් මට්ටම දක්වා යාමට සමත් වී තිබෙන්නේ ලෝකයේ රටවල් අතරින් එකම එක රටක් පමණයි. ඒ දකුණු ඇමරිකානු කලාපයේ පිහිටි ගයනාව. 

මේ දත්ත දෙස බලද්දී පැහැදිලි වන කරුණු කිහිපයක් තිබෙනවා. එයින් පළමුවැන්න වසර 37ක් වැනි කාලයකට පසුව වුවද, කිසියම් රටක් පහළ ආදායම් මට්ටමේ සිට ඉහළ ආදායම් මට්ටම දක්වා යාම ඉතා දුලබ සිදු වීමක් බවයි. දෙවන කරුණ වන්නේ මෙවැනි කාලයක් ගත වෙද්දී බොහොමයක් රටවල් පහළ මැදි ආදායම් මට්ටම දක්වා ඉහළ ගොස් ඇති බවයි. එනම් එය කාලයත් සමඟ බොහෝ විට සිදුවන දෙයක් බවයි. එමෙන්ම, මෙවැනි කාලයක් තුළ ඉහළ මැදි ආදායම් මට්ටම දක්වා ඉහළ නැගීම, එතරම්ම පහසු නැති, එහෙත් කළ හැකි දෙයක් බවයි. 

මෙම නිරීක්ෂණද සමඟ පසුගිය 37 වසරක ලංකාවේ ප්‍රගතිය දෙස බලද්දී පෙනී යන්නේ ලංකාවේ තත්ත්වයෙහි ලෝකයේ අනෙක් රටවල තත්ත්වයන්ට සාපේක්ෂව විශේෂ හොඳක් මෙන්ම විශේෂ නරකක්ද පෙනෙන්නට නොමැති බවයි. වෙනත් වචන වලින් කිවහොත් "37 වසරක සාපයක්" හෝ "37 වසරක ඓශ්චර්යයක්" පෙනෙන්නට නොමැති බවයි. 

ඇත්ත වශයෙන්ම, රටක ආර්ථික වර්ධනය හා අදාළව "සාප" හෝ "ඓශ්චර්යයන්" දැකිය හැකි වන්නේ කලාතුරකිනුයි. බොහෝ විට දැකිය හැකි වන්නේ කලාපය වර්ධනය වන වේගයෙන් අදාළ කලාපයේ රටවල්ද වර්ධනය වීමයි. එම වර්ධන වේගය ඉහළ දමා රටක් වසර කිහිපයකින් ධනවත් රටක් කළ හැකි "ක්ෂණික ප්‍රතිකාර" තිබේනම්, වසර 37ක් වැනි දීර්ඝ කාලයකට පසුව පහළ ආදායම් රටවල් අතරින් වැඩි ප්‍රමාණයක් ඉහළ ආදායම් රටවල් බවට පත් වී තිබිය යුතුයි. 

එහෙත්, පසුගිය වසර 37ක කාලය තුළ, අපට ලෝකය තුළ දැකිය හැකිව තිබෙන්නේ එවැනි එක් නිදර්ශයක් පමණයි. ඒ ගයනාවයි. මතු විස්තර කෙරෙනු ඇති පරිදි, ගයනාවේ ප්‍රගතිය පසුපස ප්‍රධාන වශයෙන්ම තිබෙන්නේද දක්ෂිණාංශික හෝ වාමාංශික මූලධාර්මික න්‍යායයන් නොව වාසනාව යන සාධකයයි. ඒ නිසා, ගයනාව අනුගමනය කර ශ්‍රී ලංකාවට හෝ වෙනත් රටකට ආර්ථික වර්ධනය ඒ තරමටම වේගවත් කර ගැනීමේ හැකියාවක් නැහැ. කෙසේ වුවද, වාසනාවට අමතරව ගයනාවේ තත්කාර්යවාදී ක්‍රමෝපායික ප්‍රවේශයද ආර්ථික වර්ධනය කෙරෙහි දායක වී තිබෙනවා.

මේ සමඟ පළ කරන ප්‍රස්තාරයෙහි දැකිය හැකි පරිදි, ගයනාව යනු 1987දී දකුණු ඇමරිකානු කලාපය තුළ පිහිටි එකම පහළ ආදායම් රටයි. එමෙන්ම, දකුණු ඇමරිකාවේ පිහිටි ස්වාධීන රාජ්‍යයන් අතරින්, එකම බ්‍රිතාන්‍ය යටත් විජිතය වන්නේද, ප්‍රධාන භාෂාව ඉංග්‍රීසි වූ එකම රට වන්නේද ගයනාවයි. මුලින් කලාපය සමඟ එකට වර්ධනය නොවීමට මෙන්ම පසුව වේගයෙන් වර්ධනය වීමටද මේ සාධක දායක වී තිබෙනවා. 

පසුගිය වසර 37ක කාලය ඇතුළත ගයනාවේ ආර්ථිකය වර්ධනය වූයේ පහත ආකාරයෙනුයි.

1987-2019 සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය - 2.77%

2020 - 43.51%

2021 - 18.88%

2022 - 62.11%

2023 - 33.03%

2024 - 42.56%

මේ අනුව පෙනෙනු ඇත්තේ 2020 සිට ගයනාවේ ආර්ථිකය, හිතා ගැනීමට පවා අසීරු, "ඓශ්චර්යමත්" වේගයකින් වර්ධනය වෙමින් ඇති බවයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස, 2020දී ඇමරිකන් ඩොලර් 6,776 වූ ගයනාවේ ඒක පුද්ගල දදේනිය වසර හතරකට පසුව ඇමරිකන් ඩොලර් 29,884 දක්වා 4.4 ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා.

රටක ආර්ථික වර්ධනය හා අදාළව කලාතුරකින් මෙවැනි "ඓශ්චර්යයන්" සිදු වනු දැක ගත හැකියි. එහෙත් එවැනි "ඓශ්චර්යයන්" බොහෝ විට අහඹු සිදු වීම් වල ප්‍රතිඵල පමණයි. ගයනාවේ ආර්ථික ඓශ්චර්යයේ රහස ගයනාවට අයිති මුහුදෙන් තෙල් හමුවීමයි.

මේ වන විට ගයනාවේ රාජ්‍ය බලය හොබවන්නේ ජනතා ප්‍රගතිශීලී පක්ෂයයි. 2015-2020 වසර පහක කාලය හැරුණු විට දිගටම ගයනාවේ රාජ්‍ය බලය හොබවන්නේ එම පක්ෂයයි. මුලින් මාක්ස්-ලෙනින්වාදී පක්ෂයක් වූ එම පක්ෂය මේ වන විට මධ්‍ය-වාමාංශික සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් ලෙස රූපාන්තරණය වී තිබෙනවා. කෙසේ වුවත්, ගයනාවේ දේශපාලනය තීරණය කරන ප්‍රධාන සාධකය වන්නේ මතවාදී නැඹුරුව නොව ජනවාර්ගික බෙදීමයි. 

ගයනාවේ ජනගහණයෙන් වැඩි පිරිසක් බ්‍රිතාන්‍යයන් විසින් රැගෙන ආ ඉන්දියානු හා අප්‍රිකානු කම්කරුවන්ගෙන් පැවත එන අයයි. ඉන්දියානු ජනගහණය 40%ක් පමණ වන අතර අප්‍රිකානු ජනගහණය 30%ක් පමණද, ස්වදේශික ඇමරිකානු ජනගහණය 10%ක් පමණද වෙනවා. ඉතිරි 20% මිශ්‍ර වී ඇති අයයි. ජනතා ප්‍රගතිශීලී පක්ෂය ප්‍රධාන වශයෙන්ම ඉන්දියානුවන්ගේ පක්ෂයක් වන අතර 2015-2020 අතර බලයේ සිටි සන්ධානය බොහෝ දුරට අප්‍රිකානුවන්ගේ පක්ෂයක්. ජනවාර්ගික පදනම මත දේශපාලනය කරන මෙම පක්ෂ දෙකෙහි ආර්ථික ප්‍රතිපත්ති වල විශාල වෙනසක් නැහැ. 

මූල්‍ය අරමුදලේ ඇස්තමේන්තු අනුව ගයනා ආර්ථිකය ඉදිරි වසර 5ක කාලය තුළද 14%ක සාමාන්‍ය වේගයකින් වර්ධනය වීමට නියමිතයි. ඒ අනුව, වසර පහකට පසුව, ගයනාවේ ඒක පුද්ගල ආදායම කැනඩාවේ මට්ටම ආසන්නයට පැමිණීමට නියමිතයි. කෙසේ වුවත්, මේ "ඓශ්චර්යය" පසුපස ඇති ප්‍රධානම සාධකය ගයනා මුහුදෙන් තෙල් හමු වීම සහ ලක්ෂ අටකට මදක් වැඩි එරට කුඩා ජනගහණයයි. යම් හෙයකින් ලංකාව ආසන්න මුහුදෙන් තෙල් හමු වුවද, මිලියන 23 ඉක්මවන ජනගහණයකගේ ආදායම් ගයනාවේ තරම් වේගයෙන් ඉහළ යන එකක් නැහැ. 


ගයනාව වැනි රටකට තෙල් වාසිය නිසා ඉතා කෙටිකාලයක් ඇතුළත පහළ ආදායම් මට්ටමේ සිට ඉහළ ආදායම් මට්ටමට පැනගන්න හැකි වුනත්, ඔය විදිහට ඇදෙන ලොතරැයි වල වාසිය දිගටම තියාගන්න පුළුවන්ද කියන ප්‍රශ්නය මතු වන්නේ සමක ගිනියාව වැනි රටවල් දිහා බලද්දීයි. 

සමක ගිනියාව කියන්නෙත් මිලියන 1.9ක කුඩා ජනගහණයක් සිටින රටක්. ගයනාවෙන් වගේම සමක ගිනියාවෙනුත් තෙල් මතු වෙනවා. එහි ප්‍රතිඵලයක් විදිහට 2003දී ඩොලර් 2,931ක් පමණක් වූ සමක ගිනියාවේ ඒක පුද්ගල ආදායම, අවුරුදු පහකට පසුව, 2008 වන විට ඩොලර් 18,211 දක්වා ඉහළ යනවා. ඒ කියන්නේ 6.2 ගුණයක වර්ධනයක්! 

ගයනාවට වගේම, පහළ ආදායම් මට්ටමේ සිටි සමක ගිනියාවට ඉහළ ආදායම් මට්ටමට යන්න තෙල් ඉනිමගක් හමු වුනත්, ඉනිමගෙන් උඩට ගිහින් කොටු කීපයක් යද්දී නයෙකුත් හමු වෙනවා. දැන් (2024) සමක ගිනියාවේ ඒක පුද්ගල දදේනිය ඩොලර් 6,745ක් පමණයි.

ඉහත රටවල් එක්ක බලද්දී අපේ යාබද මාල දිවයින ක්‍රමිකව ආදායම ඉහළ නංවා ගත් රටක්. මාල දිවයින උඩට ආවේ තෙල් ලැබිලා නෙමෙයි. බොහෝ දුරට සංචාරක කර්මාන්තයේ උදවුවෙන්. නමුත් මාල දිවයිනේ ජනගහණය මිලියන බාගයකට වඩා පොඩ්ඩක් වැඩි කුඩා ජනගහණයක්. ඒ නිසා, සංචාරක කර්මාන්තයේ උදවුවෙන් පමණක් මාල දිවයින තරම් දුරක් යන්න ලංකාවට බැහැ. 

ලංකාව එක්ක එක අත්තේ ඉඳලා ඉහළ මැදි ආදායම් කාණ්ඩයේ වහපු අනෙක් රටවල් දෙක චීනය හා ඉන්දුනීසියාව. මේ රටවල් දෙක අතරින් ඉන්දුනීසියාවේ සහ සහ ලංකාවේ ආර්ථික වර්ධන වේග වල විශාල වෙනසක් නැහැ. ලංකාව 1997දී පහළ මැදි ආදායම් කාණ්ඩයට යද්දී ඉන්දුනීසියාව 1993දී පහළ මැදි ආදායම් කාණ්ඩයට යනවා. ලංකාව 2018දී ඉහළ මැදි ආදායම් කාණ්ඩයට යද්දී ඉන්දුනීසියාව 2019දී පහළ මැදි ආදායම් කාණ්ඩයට යනවා. ලංකාව වගේම ඉන්දුනීසියාවත් නැවත පහළට වැටෙනවා. ඉන්දුනීසියාව දැන් නැවතත් උඩට ඇවිත් වුනත් ලංකාව තවමත් පහළ මැදි ආදායම් කාණ්ඩයේ. ඒ හැරුණු විට ඉන්දුනීසියාව විසින් ලංකාව නොකළ අමුතු ප්‍රාතිහාර්යයක් කරලා නැහැ. 

අනාගත ප්‍රගතිය කෙසේ වුවත්, 1987දී පහළ ආදායම් තත්ත්වයේ සිටි රටවල් අතරින් ලංකාවට හැරී බැලිය හැකි ප්‍රගතියක් අත් කරගෙන තිබෙන එකම රට චීනය. චීනය ඒ වැඩේ කළේ අන්තවාදී සමාජවාදයෙන් ටික ටික ඉවත් වෙලා වෙළඳපොළ ප්‍රතිසංස්කරණ කිරීම මගිනුයි. නමුත් චීනය මේ ජයග්‍රහණය ලබා ගෙන තිබෙන්නේ රජයේ ජාතික සැලසුමක් යටතේම වෙළඳපොළ ප්‍රතිසංස්කරණ කිරීමෙන් මිස දක්ෂිණාංශික අන්තයකට ගිහිනුත් නෙමෙයි.

රටකට කෙටි කාලයකින් අනිවාර්යයෙන්ම වේගයෙන් දියුණු විය හැකි නිශ්චිත වට්ටෝරුවක් නැහැ. ඒ සඳහා පවතින ලෝක තත්වයන් අනුව ප්‍රායෝගිකව කළ හැකි හොඳම දේ කරන්න වෙනවා. හරි පාරේ ගියත්, ඒ සඳහා යම් අවම කාලයක් ගත වෙනවා. තෙල් හමුවීම වැනි ලොතරැයියක් ඇදුනත්, එයින් ලොකු ගැම්මක් ගන්න පුළුවන්කමක් තිබෙන්නේ ගයනාව හා සමක ගිනීයාව වැනි ජනගහණය ගොඩක් අඩු රටවල් වලට පමණයි. වඩා වැඩි ජනගහණයක් සිටින රටක ආර්ථිකය වර්ධනය කිරීමටනම් අංශ ගණනාවකම වේගවත් වර්ධනයක් සිදු විය යුතුයි. 

Saturday, October 4, 2025

ලංකාවට ඉහළ ආදායම් රටක් විය හැක්කේ කවදාද?


ලෝක බැංකුව විසින් රට රටවල ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය මත පදනම්ව, පහළ, පහළ මැදි, ඉහළ මැදි හා ඉහළ ආදායම් රටවල් ලෙස රටවල් වර්ගීකරණය කරනවා. මෙම වර්ගීකරණය හඳුන්වා දුන්නේ 1988 වසරේදීයි. එම වසරේදී රටවල් වර්ග කළේ පහත පරිදියි.

ඇමරිකන් ඩොලර් 480 දක්වා - පහළ ආදායම් රටවල් 

ඇමරිකන් ඩොලර් 481 සිට 1,940 දක්වා - පහළ මැදි ආදායම් රටවල් 

ඇමරිකන් ඩොලර් 1,941 සිට 6,000 දක්වා - ඉහළ මැදි ආදායම් රටවල් 

ඇමරිකන් ඩොලර් 6000ට වඩා වැඩි - ඉහළ ආදායම් රටවල් 

මෙසේ මුලින්ම මෙම වර්ගීකරණය හඳුන්වා දෙන අවස්ථාවේදී, 1987 ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය මත පදනම්ව, රටවල් 41ක් ඉහළ ආදායම් රටවල් සේ හඳුනා ගැනුනා. ඇත්ත වශයෙන්ම සිදු වූයේ ඒ වන විට ඉහළ ආදායම් රටවල් (සංවර්ධිත රටවල්) සේ සැලකුණු රටවල් සියල්ල ඉහළ ආදායම් රටවල් කාණ්ඩයට වැටෙන පරිදි එම කාණ්ඩයේ පහළ සීමාව තෝරා ගැනීමයි. 

ඉන් පසුව, වාර්ෂිකව, ලෝක බැංකුව විසින් මෙම වර්ගීකරණය සිදු කරනවා. එසේ වර්ගීකරණය කරද්දී, උද්ධමනය නිසා මුදලේ වටිනාකම වෙනස් වීම සැලකිල්ලට ගනිමින්, කාණ්ඩ වෙන් කරන අගයයන් යාවත්කාලීන කරනවා. ඉන් පසුව, පෙර වර්ෂයේදී එක් එක් රටේ ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය මත පදනම්ව රටවල් කාණ්ඩ වලට වෙන් කරනවා. පසුගිය වසරේදී රටවල් වර්ග කළේ පහත ආකාරයෙනුයි.

ඇමරිකන් ඩොලර් 1,145 දක්වා - පහළ ආදායම් රටවල් 

ඇමරිකන් ඩොලර් 1,146 සිට 4,515 දක්වා - පහළ මැදි ආදායම් රටවල් 

ඇමරිකන් ඩොලර් 4,516 සිට 14,005 දක්වා - ඉහළ මැදි ආදායම් රටවල් 

ඇමරිකන් ඩොලර් 14,005ට වඩා වැඩි - ඉහළ ආදායම් රටවල් 

මෙහි ඇමරිකන් ඩොලර් 14,005 යනු 1987දී ඇමරිකන් ඩොලර් 6,000ක 2023දී වටිනාකමයි. අනෙකුත් අගයයන්ද එසේයි. ඒ කියන්නේ උද්ධමනයේ බලපෑම සඳහා ගැලපීමක් කරනු හැර, රටවල් වෙන් කරන සීමා මූර්ත පදනමින් වෙනස් කර නැහැ. 1988දී 41ක් පමණක් වූ ඉහළ ආදායම් රටවල් ප්‍රමාණය 2024 වන විට 87ක් දක්වා ඉහළ ගොස් තිබුණා. රටවල් 54ක් ඉහළ මැදි ආදායම් රටවල් ලෙසත්, තවත් රටවල් 50ක් පහළ මැදි ආදායම් රටවල් ලෙසත් හඳුනා ගැනුණු අතර, 1987දී 49ක් වූ පහළ ආදායම් රටවල් ප්‍රමාණය 25 දක්වා අඩු වී තිබුණා.

මේ සමඟ පළ කර ඇති සිතියම දෙස බැලූ විට පෙනී යනු ඇත්තේ පහළ ආදායම් රටවල් වලින් කිහිපයක් හැර අනෙක් සියල්ලම තිබෙන්නේ අප්‍රිකානු කලාපයේ බවයි. එමෙන්ම  පහළ මැදි ආදායම් රටවල් බොහොමයක් තිබෙන්නේ අප්‍රිකාවේ සහ දකුණු ආසියාවේ බවයි. සාමාන්‍ය මූලධර්මයක් ලෙස ලෝකයේ රටවල් සංවර්ධනය වන්නේ කලාප වශයෙනුයි. 

මුල් වර්ගීකරණයේදී පහළ ආදායම් රටක් සේ හඳුනා ගැනුණු ලංකාවට 1997 වසරේදී පහළ මැදි ආදායම් කාණ්ඩය දක්වා උසස් වීමට ඉඩ ලැබුණා. ඉන් පසුව, 2018දී ලංකාවට ඉහළ මැදි ආදායම් රටක් විය හැකි වුනත්, ඒ තත්ත්වය පවත්වා ගත හැකි වූයේ එම වසර තුළදී පමණයි. 

ලංකාවේ බොහෝ දෙනෙකුගේ සිහිනය ලංකාව ඉහළ ආදායම් රටක් වනු දැකීමයි. ඒ සඳහා අවම වශයෙන් කොපමණ කලක් ගත වෙයිද?

මේ වන විට (2024දී) ලංකාවේ ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය ඇමරිකන් ඩොලර් 4,404ක් වන අතර 2024 වසරේදී ඉහළ ආදායම් රටවල් සේ හඳුනා ගත්තේ ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය ඇමරිකන් ඩොලර් 14,005 ඉක්මවූ රටවලුයි. 

පසුගිය වසර 12 ඇතුළත (2012-2024) ශ්‍රී ලංකාවේ ජනගහණය වසරකට 0.5%කින් වර්ධනය වී තිබෙනවා. ඉදිරි කාලයේදීද එම වර්ධන වේගය එලෙසම පැවතුනු ඇතැයි අපි උපකල්පනය කරමු. 

රටේ ආර්ථික වර්ධන වේගය මූල්‍ය අරමුදල විසින් පුරෝකථනය කර ඇති 3.1%නම්, ලංකාවට ඉහළ ආදායම් රටක් වීම සඳහා වසර 46ක් ගත වෙනවා. ඒ කියන්නේ 2070 වන තුරු බලා සිටින්නට සිදු වෙනවා.

රටේ ආර්ථික වර්ධන වේගය 5% මට්ටමේ පවත්වා ගතහොත්, ලංකාවට වසර 27කින්, ඒ කියන්නේ 2051දී, ඉහළ ආදායම් රටක් විය හැකියි. 

රටේ ආර්ථික වර්ධන වේගය 6% මට්ටමේ පවත්වා ගතහොත්, ලංකාවට වසර 22කින්, ඒ කියන්නේ 2046දී, ඉහළ ආදායම් රටක් විය හැකියි. 

දැනට පවතින තත්ත්වය තුළ ප්‍රායෝගිකව අපේක්ෂා කළ හැක්කේ 5%ක පමණ ආර්ථික වර්ධන වේගයක්. එම වේගයෙන් වර්ධනය වුවහොත්, 2051 වන විට, ඇමරිකන් ඩොලර් 28,000ක පමණ ඒක පුද්ගල ආදායම් මට්ටමක් කරා යා හැකියි. ඒ වන විට ඉහළ ආදායම් රටක් සේ හඳුනා ගනු ඇත්තේ ඒ මට්ටමේ ඒක පුද්ගල ආදායමක් ඇත්තේනම් පමණයි. 

ඒ එක්කම කිව යුත්තේ දැනට ඇමරිකන් ඩොලර් 90,000 ආසන්න මට්ටමක ඇති ඇමරිකාව, සිංගප්පූරුව වැනි රටක ඒක පුද්ගල ආදායම ඒ වන විට ඇමරිකන් ඩොලර් 300,000 ඉක්මවා තිබෙනු ඇති බවයි. ඉහළ ආදායම් රටක් සේ හඳුනා ගනු ලැබීම යන්නෙන් අදහස් වන්නේ 1987 වසරේදී එසේ හඳුනා ගනු ලැබූ රටවල් 41 අතරෙන් පහළම මට්ටමේ සිටි රට එදා සිටි මට්ටම දක්වා ආදායම වැඩි කරගන්නවා කියන එකයි. 

Thursday, September 18, 2025

ප්‍රාග්ධන වියදම් අඩු නිසා වර්ධනය බාල වෙයිද?


වාහන ආනයන ඇස්තමේන්තු ඉක්මවා ඉහළ යාමේ ප්‍රතිඵලයක් විදිහට රජයේ බදු ආදායම්ද ඉලක්ක ඉක්මවා ඉහළ ගොස් තිබෙනවා. නමුත් මේ ආදායම් ඉහළ යාම තාවකාලික සංසිද්ධියක ප්‍රතිඵලයක්. හරියටම කිවුවොත්, කාලයක් වාහන ආනයන නවත්වා තිබීමෙන් පසුව වාහන ආනයන වලට නැවත ඉඩ ලැබීමෙන් පසුව එක වර ඉහළ ගිය වාහන ඉල්ලුමේ ප්‍රතිඵලයක්. 

මේ තත්ත්වය දිගටම පවතින එකක් නැහැ. ඒ නිසා මේ ආදායම් වැඩි වීම දිහා බලාගෙන වියදම් වැඩි කරන එක කිසිසේත්ම සුදුසු දෙයක් නෙමෙයි. වඩා සුදුසු වන්නේ ණය අඩු කරගන්න එකයි. එහෙත් ඉදිරි වසරේ මැද භාගය පමණ තෙක් මේ තත්ත්වය මේ විදිහට පවතින්න පුළුවන්. ඒ නිසා, කලින් සැලසුම් කළ වියදම් ඒ විදිහටම කරන්න බය වෙන්න දෙයක් නැහැ. 

වියදම් පැත්ත දිහා බලද්දී ප්‍රාග්ධන වියදම් වල විශාල අඩු වීමක් පෙනෙන්න තිබෙනවා. නමුත් පුනරාවර්තන වියදම් වලනම් කැපී පෙනෙන වෙනසක් සිදු වී නැහැ. 

කජු වෙනුවට කඩල ආදේශ කළා කියලා හෝ ජනාධිපති වරප්‍රසාද අඩු කළා කියලා පුනරාවර්තන වියදම් වල පෙනෙන අඩුවක් වෙන්නේ නැහැ. ඒ වගේ දේවල් වල තියෙන්නේ සංකේතාත්මක වටිනාකමක් පමණයි. 

පුනරාවර්තන වියදම් වලින් විශාල කොටසක් රාජ්‍ය සේවකයින් නඩත්තු කිරීමේ සෘජු වියදම්. අනෙක් වියදම් වලින් සැලකිය යුතු කොටසකුත් රාජ්‍ය සේවකයින් ප්‍රමාණයට සමානුපාතිකව වෙනස් වන වියදම්. රාජ්‍ය සේවකයින් ප්‍රමාණය වැඩි වෙද්දී ඔවුන් සඳහා අවශ්‍ය ගොඩනැගිලි ප්‍රමාණය, කාර්යාල උපකරණ ප්‍රමාණය, ඉන්ධන වියදම්, විදුලි බිල් වගේ දේවලුත් ඉහළ යනවා. 

ලංකාවේ රාජ්‍ය සේවකයින්ගෙන් වැඩි කොටසක් ඉන්නේ අධ්‍යාපන, සෞඛ්‍ය හා ආරක්ෂක ක්ෂේත්‍ර වල. ඒ නිසා, රාජ්‍ය සේවකයින් කප්පාදු කරනවා කියන්නේ අධ්‍යාපන, සෞඛ්‍ය හා ආරක්ෂක වියදම් කප්පාදු කරනවා කියන එකයි. ඒ කියන්නේ අදාළ සේවාවන් කප්පාදු කරනවා කියන එක. මෙහි ප්‍රායෝගික සීමාවන් ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. විශේෂයෙන්ම අධ්‍යාපනය හා සෞඛ්‍යය සම්බන්ධව. ඒ නිසා, පුනරාවර්තන වියදම් අඩු කරන්න තිබෙන්නේ ඉතාම සීමිත ඉඩක්. පසුගිය දෙවසර තුළ කපන්න පුළුවන් පුනරාවර්තන වියදම් බොහෝ දුරට කපා තිබීමත් ඊට හේතුවක්. 

පුනරාවර්තන වියදම් අඩු කරන්න අමාරු නිසා ප්‍රාග්ධන වියදම් අඩු කරලා කියන එක ඒ තරම්ම හොඳ පැහැදිලි කිරීමක් කියලා මම හිතන්නේ නැහැ. ප්‍රාග්ධන වියදම් අඩු වී තිබෙන්නේ හිතාමතාම ඒ වියදම් සීමා කර තිබෙන නිසා නෙමෙයි. 

රජයේ ප්‍රාග්ධන වියදම් සහ ආණ්ඩුකරණ දේශපාලනය අතර පැහැදිලි සම්බන්ධයක් තිබෙනවා. ඔය ප්‍රාග්ධන වියදම් වලින් සැලකිය යුතු කොටසක් වැය වන්නේ කොන්ත්‍රාත්, උප කොන්ත්‍රාත් ආදී වශයෙන්. මේ හරහා රජයේ වියදම යම් පිරිසකගේ ආදායමක් බවට පත් වෙනවා. රැකියා යම් ප්‍රමාණයක් ජනනය වෙනවා. 

මෙවැනි කොන්ත්‍රාත්කරුවන්ගෙන් ඇතැමෙක් ප්‍රාදේශීය දේශපාලනයට පැමිණීම සහ ප්‍රාදේශීය දේශපාලනයට සම්බන්ධ ඇතැමුන් කොන්ත්‍රාත්කරුවන් වීම පසු ගිය කාලය තුළ නිරීක්ෂණය කළ හැකි වූ දෙයක්. මෙසේ වූ පමණින්ම මෙවැන්නක් අයථා මුදල් ඉපැයීමක් වන්නේ නැහැ. 

කෙසේ වුවත්, මේ විදිහට රජය එක්ක ගණුදෙනු කිරීම් සිදු වෙද්දී එමගින් අයථා මුදල් ඉපැයීමේ ඉඩකඩක්ද විවර වෙනවා. උදාහරණයක් විදිහට රාජ්‍ය නිලධාරීයෙකුට හෝ දේශපාලනඥයෙකුට තමන්ට අවශ්‍ය අයෙකුට අවස්ථාව ලබා දෙමින් අත යටින් වාසියක් ගැනීමේ ඉඩක් තිබීම. ඇත්තටම එවැන්නක් සිදු වුනත් නැතත්, එවැන්නක් සිදු වෙනවා කියන සැකය කෙනෙකුට පහසුවෙන්ම ඇති කළ හැකියි.

වත්මන් ආණ්ඩුවේ දේශපාලනය වූයේ මේ වගේ අයථා මුදල් ඉපැයීම් විශාල ලෙස සිදු වෙනවා කියන එක අවධාරණය කිරීමේ දේශපාලනයක්. එවැනි දේශපාලනයක් හරහා බලයට පැමිණීමෙන් පසුව රජයක් විසින් සාමාන්‍යයෙන් කරන මූල්‍ය ගනුදෙනු කරගෙන යාම තුළ වුවත් යම් කිසි ආකාරයක පිළිගැටුම් තත්ත්වයක් නිර්මාණය වෙනවා. ඉලක්ක මට්ටමට ප්‍රාග්ධන වියදම් කර ගත නොහැකි වීමට මෙයද හේතුවක්. 

මේ දවස් වල සමාජ මාධ්‍ය වල ප්‍රධාන ඉලක්කයක් වී තිබෙන්නේ මේ ආණ්ඩුවේ දේශපාලනඥයින්ද අනෙක් කණ්ඩායම් වගේම පෞද්ගලික වත්කම් එක්රැස් කර ගැනීමට නොපැකිළෙන පිරිසක් බව අවධාරණය කිරීමයි. මේ වැඩේ කරන්නේ ආණ්ඩුවට ප්‍රතිපක්ෂ කොටස්. නමුත්, එක පැත්තකින් බලද්දී, මේ වැඩෙන් ඇත්තටම වෙන්නේ ආණ්ඩුවට කරගන්න අවශ්‍ය, ආණ්ඩුවට වාසිදායක වැඩක්. 

ආණ්ඩුකරණ දේශපාලනයට ආවාට පස්සේ වත්මන් ආණ්ඩු පක්ෂ කණ්ඩායමටත් අවශ්‍ය වී තියෙන්නේ විපක්ෂ හැව ගලවා දමලා අලුත් වෙන්න. ඒ කියන්නේ පුළුවන් තරම් ඉක්මණින් සාමාන්‍යකරණය වෙන්න. එක්තරා ආකාරයකින් දැන් වෙන්නේ ආණ්ඩුව විසින් විපක්ෂයේ උදවුවෙන් ඒ වැඩේ කරගන්න එක. 

ආණ්ඩුව ජනතාව අතර සාමාන්‍යකරණය වන තරමට ආණ්ඩුවට සාමාන්‍ය ලෙස හැසිරෙන්න පහසු වෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය ආණ්ඩුකරණ දේශපාලනය වඩා පහසු වෙනවා කියන එක. ඔය වැඩේ වෙද්දී ආණ්ඩුවේ ප්‍රාග්ධන වියදම් කොටසත් ටිකෙන් ටික ඉහළ යයි. 

ප්‍රාග්ධන වියදම් කතාවම සැලකුවත්, මේ වෙලාවේ ආණ්ඩුවට අවශ්‍ය වැඩේ කරලා දීලා තියෙන්නේ විපක්ෂ දේශපාලනඥයෙක් විසිනුයි. ආණ්ඩුව මුල් වී ප්‍රාග්ධන වියදම් වැඩි කර ආර්ථිකය වර්ධනය කිරීම වාමාංශික අදහසක්. මේ ආණ්ඩුවට මේ හා අදාළව අභ්‍යන්තර දේශපාලනික ප්‍රතිරෝධයක් නැහැ. සාමාන්‍යයෙන් වාමාංශික ආණ්ඩුවකට දක්ෂිණාංශික ප්‍රතිවාදීන් එක්ක ගැටෙන්න වෙන්නේ වියදම් වැඩි කරද්දී. 

ප්‍රාග්ධන වියදම් ඉලක්ක පරිදි සිදු වී නැත්තේ ආණ්ඩුවට එම වියදම් අඩු කරන්න අවශ්‍ය නිසා නෙමෙයි. එක පැත්තකින් මේ ආණ්ඩුව විසින් ප්‍රවර්ධනය කරපු දේශපාලන සංස්කෘතිය එක්ක මේ වගේ වැඩ වලින් දේශපාලනඥයින්ට හා නිලධාරීන්ට වාසියක් ගන්න අමාරුයි. ඒ නිසා, ඔවුන්ගේ උනන්දුව අඩුයි. යම් අවාසියක් සිදුව තිබුණත් මේ දේශපාලන සංස්කෘතිය නරක එකක් නෙමෙයිනේ. නමුත් ප්‍රශ්නය එවැනි අනිසි වාසි නොගන්න කෙනෙකුට වුනත්, වැඩකට අත ගහද්දී අසාධාරණ චෝදනාවකට ලක් වෙන්න සිදු වීමේ අවදානම ගන්න වෙන එක.

මේ පසුබිම තුළ ආණ්ඩු පක්ෂයේ දේශපාලනඥයින් හා සම්බන්ධව හැදී තිබෙන ප්‍රතිරූපය බිඳ වැටෙන එකෙන් ආණ්ඩුවට යම් ආකාරයක වාසියක් තිබෙනවා. මොකද හොරකම්, කොමිස්, දූෂණ චෝදනා වලට බය කෙනෙකුට කිසිම වැඩකට අත ගහන්න බැහැ. ඒ නිසා, යම් සීමාවක් දක්වා, ඔය බය ඇරෙන එක හොඳයි. නමුත් බය ඇරුනට පස්සේ සීමාව පනින්න හිතෙන එකේ අවදානමත් තියෙනවා. ඔය කවුරුත් මිනිස්සුනේ. සීමාව පනින එක වලක්වා ගන්න සංවරණ හා තුලන ශක්තිමත් කරගන්න එකයි ආණ්ඩුවට කරන්න තියෙන්නේ.

කරුණක් ලෙස ගත්තොත් ආණ්ඩුවේ ප්‍රාග්ධන වියදම් ආර්ථික වර්ධනය කෙරෙහි දායක වෙනවා. ඒ කියන්නේ මේ වියදම් සිදු නොවුනොත් එය ආර්ථික වර්ධනය කෙරෙහි සෘණාත්මක බලපෑමක් කළ හැකියි කියන එක. 

ආණ්ඩුවක වියදම් කියන්නේ බදු වියදම් නිසා වියදම් අඩු වෙද්දී සාමාන්‍යයෙන් බදු ආදායම් ඉතිරි වීමක් වෙනවා. ඒ විදිහට ඉතිරි වන බදු ආදායම් පෞද්ගලික අංශය විසින් ආයෝජනය කරන නිසා ඉහත සඳහන් සෘණාත්මක බලපෑම බොහෝ විට නිශේධනය වෙනවා. නමුත් ලංකාව අයවැය හිඟයක් තිබෙන රටක් නිසා ප්‍රාග්ධන වියදම් අඩු වුනා කියලා ඊට සමානව බදු ආදායම් ඉතිරි වීමක් වෙන්නේ නැහැ.

අයවැය හිඟයක් තවමත් තිබුණත්, මේ වෙද්දී ලංකාවේ ප්‍රාථමික අයවැය අතිරික්තයක් තිබෙනවා. ඒ නිසා, ප්‍රාග්ධන වියදම් සීමා වෙද්දී රජයේ ණය ගැනීමේ අවශ්‍යතාවය අඩු වෙනවා. ඊට සමානව පෞද්ගලික අංශයේ ණය ගැනීමේ හැකියාව ඉහළ යනවා. 

පෞද්ගලික අංශය ණය ගන්නේ ආයෝජනය සඳහා පමණක් නෙමෙයි. මේ ණය වලින් කොටසක් පරිභෝජන ණය. නමුත් 76%ක් පමණම ආයෝජන ණය. ඒ කියන්නේ රාජ්‍ය අංශයේ ආයෝජන වියදම් රුපියල් 100කින් අඩු වෙද්දී, පෞද්ගලික අංශයේ ආයෝජන වියදම් රුපියල් 76කින් ඉහළ යනවා. 

සාමාන්‍ය මූලධර්මයක් විදිහට පෞද්ගලික අංශයේ ආයෝජන වඩා කාර්යක්ෂමයි. ඒ නිසා, අනිවාර්යතාවක් නොවුනත්, රාජ්‍ය අංශයේ රුපියල් 100ක ආයෝජන වලින් ආර්ථිකයට ලැබෙන දායකත්වය පෞද්ගලික අංශයේ රුපියල් 76ක ආයෝජන වලින් ලැබෙන්න විශාල ඉඩකඩක් තිබෙනවා. මේ හේතුව නිසා රාජ්‍ය අංශයේ ප්‍රාග්ධන වියදම් සිදු නොවීම නිසා ආර්ථික වර්ධනය අඩුවෙයි කියන එක විශාල පදනමක් තිබෙන තර්කයක් නෙමෙයි. 

කොහොම වුනත් මේ වෙලාවේ වාමාංශික ආණ්ඩුවකට ඔවුන්ට සාපේක්ෂව දක්ෂිණාංශික විපක්ෂයකින් වියදම් වැඩි නොකිරීම ගැන චෝදනාවක් එල්ල වී තිබෙනවා. ඒ චෝදනාවට සම්බන්ධයක් ඇතිව හෝ නැතිව ආණ්ඩුව විසින් වසරේ ඉදිරි කාලය තුළ ප්‍රාග්ධන වියදම් වැඩි කිරීමේ උත්සාහයක් පෙනෙන්න තිබෙනවා. අපේක්ෂා කළ හැකි පරිදිම, ප්‍රවාහන ක්ෂේත්‍රයට වැඩි අවධානයක් ලැබී තිබෙන බව පේනවා. 

රජයේ අරමුදල් අධ්‍යාපනය හා සෞඛ්‍යය වෙනුවෙන් වැඩියෙන් වෙන් කිරීම පිළිබඳව පෞද්ගලිකව මට දේශපාලනික ප්‍රතිවිරෝධයක් නැහැ. නමුත් රටේ ආර්ථික වර්ධනය ගැන හිතනවානම් මේ දෙකෙන් එකක්වත් හොඳ ආයෝජන නෙමෙයි. ඊට හේතුව දැනට රටේ තිබෙන මානව සම්පත් වලින් හෝ උපරිම කාර්යක්ෂමතාවයෙන් වැඩ ගත හැකි ආර්ථිකයක් නැති රටක මානව සම්පත් තවත් වර්ධනය වුනා කියලා පෞද්ගලිකව මිසක් රටේ මට්ටමෙන් කෙටිකාලීනව ලොකු ප්‍රතිලාභයක් ලබා ගත නොහැකි වීම. පෞද්ගලික මට්ටමෙන් බැලුවොත්නම් වඩා වැඩි පිරිසකට රටෙන් පිටතට සංක්‍රමණය වීම සඳහා අවශ්‍ය කුසලතා හදාගන්න මෙය උදවුවක් වෙයි. 

ප්‍රවාහන අංශය තුළ ප්‍රාග්ධන ආයෝජන කිරීම මගින් මීට සාපේක්ෂව ඉක්මන් ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන් වගේම මේ වෙලාවේ එහෙම කරන එකේ සාධාරණත්වයකුත් තිබෙනවා. 

ප්‍රවාහන යටිතල පහසුකම් වැඩි දියුණු වෙනවා කියන්නේ රටේ තිබෙන මොනවා හෝ සම්පත් ඒවා වඩාත්ම අවශ්‍ය තැන් වලට කාර්යක්ෂමව, ඒ කියන්නේ අඩු කාලයකින් හා අඩු වියදමකින්, චලනය කිරීමට ඉඩක් ලැබෙනවා කියන එක. සම්පත් කියන එකට මානව සම්පත්, නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සහ අවසන් නිෂ්පාදන යන සියල්ලම ඇතුළත්. අඩු වශයෙන් වත්මන් ලංකාවේ සන්දර්භය තුළ ප්‍රවාහන යටිතල පහසුකම් වැඩි දියුණු කරන එක පෞද්ගලික අංශයෙන් සිදු නොවන නිසා මේ වැඩේ කරන්න වෙන්නේ රජයටයි. 

රාජපක්ෂ දශකය තුළ වුවත්, ප්‍රවාහන යටිතල පහසුකම් සංවර්ධනය කරපු එකෙන් ආර්ථික වර්ධනයට සෑහෙන තල්ලුවක් ලැබුණා. සිදු වුනු වැරැද්ද ණය ගොඩ ගසා ගනිමින් ඒ වැඩේ කරපු එකයි. රාජ්‍ය අයවැය තුලනය සහ විදේශ අංශයේ තුලනය තියාගෙන, කළ හැකි සීමාව තුළ ප්‍රවාහන යටිතල පහසුකම් වැඩි දියුණු කළ හැකිනම් එහි ප්‍රතිඵල ආර්ථික වර්ධන වේගය තුළ නොපෙනෙන්න හේතුවක් නැහැ.

මේ වෙලාවේ රාජ්‍ය ආදායම් වැඩි වීමට ප්‍රධානම හේතුවක් වන්නේ වාහන ආනයන මත අය කරන බදු. මේ බදු පහසුවෙන්ම විවේචනය කළ හැකි වුනත්, වාහනයක් රටට ගෙන්වනවා කියන්නේ තමන්ගේ සල්ලි වලින් ඩොලර් මිල දී ගෙන තමන්ට අවශ්‍ය වාහනය ගෙන්වා ගන්නවා වගේ සරල දෙයක් නෙමෙයි. මොකද මේ වාහන ගෙන්වන්නේ තමන්ගේ වත්තේ තියාගෙන හවසට වාඩි වෙලා තේ බොන්න නෙමෙයි. ගමන් යන්න. ඒ යන්නේ පොදු පාරවල් වල මිසක් තමන්ට අයිති පාරවල් වල නෙමෙයි.

රටේ කවුරු හෝ කෙනෙක් අලුතෙන් වාහනයක් පාරට දමන හැම වෙලාවකම කලින් වාහන වල ගමන් කළ හැම දෙනෙක්ටමත් ඒ වෙනුවෙන් යම් මිලක් ගෙවන්න සිදු වෙනවා. කලින් තමන්ගේ ගෙදරට යන පාරේ තිබුනේ වාහන හතරක් පමණක්නම් පාර බෙදෙන්නේ ඒ වාහන අයිතිකරුවන් හතර දෙනා අතර පමණයි. තව වාහනයක් පාරට එකතු වෙනවා කියන්නේ ඒ හතර දෙනාගේම පංගුව ටික ටික අඩු වෙනවා කියන එකයි. ඒ නිසා, අලුත් වාහනයක් ගේන කොට එයින් බද්දක් අය කරන එකේ වැරැද්දක් නැහැ. ඒ වගේම, ඒ විදිහට අය කරන බදු මුදල් මාර්ග සංවර්ධනය වෙනුවෙන් යෙදවීම මගින් අනෙක් වාහනහිමියන්ට හා මගීන්ට සිදු වන පාඩුව නිශේධනය කරන එකයි රාජ්‍ය මැදිහත්වීම මගින් සිදු විය යුත්තේ. 

පොදු ප්‍රවාහනය දියුණු කරද්දී වුනත් මේ වැඩේ වෙනවා. වැඩි දෙනෙක් පොදු ප්‍රවාහනය තෝරා ගනිද්දී පෞද්ගලික වාහන වල යන වාහනහිමියන්ගේ පාරේ පංගුවත් ඉහළ යන නිසා ගෙවපු බද්ද වෙනුවෙන් ඔවුන්ට යම් සාධාරණයක් ඉටු වෙනවා. අවසාන වශයෙන් ආර්ථික වර්ධනය හරහා පොදුවේ රටටත් වාසියක් වෙනවා. 

Monday, September 15, 2025

ආර්ථිකය 4.9%කින් වර්ධනය වෙයි!


මෙම (2025) වසරේ දෙවන කාර්තුව තුළ ශ්‍රී ලංකා ආර්ථිකය 4.9%ක වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. මෙය පළමු කාර්තුවේ වර්ධන වේගය වූ 4.8% සුළු වශයෙන් ඉක්මවන්නක්. මේ අනුව පෙනී යන්නේ මෙම වසර තුළද ඉලක්කගත 3.1% වර්ධන වේගය බෙහෙවින්ම ඉක්මවා යන 5%කට ආසන්න වූ ආර්ථික වර්ධන වේගයක් පිළිබඳව බලාපොරොත්තු තැබිය හැකි බවයි. 

කෘෂිකාර්මික, කර්මාන්ත හා සේවා අංශ පිළිවෙලින් 2.0%, 5.8% හා 3.9%කින් වර්ධනය වී තිබෙනවා. එහෙත්, දෙවන කාර්තුවේ ආර්ථික ක්‍රියාකාරකම් තවමත් පවතින්නේ 2018දී පැවති මට්ටමට වඩා 7.6%ක් පහළින්. 2018 මට්ටමට නැවත යා හැකි වනු ඇත්තේ 2027 දෙවන කාර්තුවේදීයි. මෙම ප්‍රකෘතිමත් වීමේ අවදියේදී (recovery phase) ඉහළ ආර්ථික වර්ධනයක් ලබා ගැනීමේ වැඩි හැකියාවක් තිබෙනවා. වඩා අසීරු වනුයේ ඉන් පසුව ආර්ථිකය සැබවින්ම ප්‍රසාරණය කිරීමයි.

කෙසේ වුවද, සාර්ව ආර්ථික වැඩ සටහනේ ඉලක්කය වූ 3.1% ඉක්මවන වර්ධනයක් කියන්නේ යහපත් තත්ත්වයක්. එවැනි වැඩි වර්ධන වේගයක් පවත්වා ගැනීම මගින් රජයේ ණය බර වඩා ඉක්මණින් අඩු කර ගැනීමේ හැකියාවක් තිබෙනවා. වඩා වැඩි ප්‍රාථමික අතිරික්තයක් පවත්වා ගත හැකිනම් එය මේ සඳහා තව දුරටත් දායක වෙනවා.

Saturday, June 21, 2025

පොලී අනුපාතික අඩු වෙද්දී ආර්ථික වර්ධන වේගය ඉහළ යන්නේ කොහොමද?


හොඳ මූල්‍ය වෙළඳපොළක් තිබෙන රටක ව්‍යාපාරික ආයෝජනයක් කිරීම සඳහා අවශ්‍ය වන ප්‍රධාන සාධකය ව්‍යවසායකත්වය මිසක් ප්‍රාග්ධනය නෙමෙයි. හොඳ මූල්‍ය වෙළඳපොළක් තිබේනම්, ව්‍යවසායකත්වය තිබෙන කෙනෙකුට පහසුවෙන් ප්‍රාග්ධනය හොයා ගන්න පුළුවන්. 

ව්‍යවසායකයෙක් කියා කියන්නේ ප්‍රාග්ධනහිමියෙකුට කවුරුත් වගේ දන්නා සාමාන්‍ය ආයෝජන මගින් තමන්ගේ ප්‍රාග්ධනය සඳහා උපයා ගත හැකි උපරිම ප්‍රතිලාභයට වඩා වැඩි ප්‍රතිලාභයක් ඉපැයිය හැකි ක්‍රමයක් ගැන අදහසක් තිබෙන කෙනෙක් කියලා සරලව කියන්න පුළුවන්. එවැනි ව්‍යවසායකත්ව අදහස් හැමෝටම, හැම වෙලාවෙම පහළ වෙන්නේ නැති වුනත්, ඕනෑම කෙනෙකුට ඕනෑම වෙලාවක පහළ වෙන්න පුළුවන්. 

ව්‍යවසායකත්ව අදහසක වටිනාකම කොපමණද කියන එක තීරණය වෙන්නේ ඒ මගින් සාමාන්‍ය ප්‍රාග්ධන වෙළඳපොළ ප්‍රතිලාභ අනුපාතිකයට වඩා කොපමණ ප්‍රතිලාභයක් ලබා ගන්න පුලුවන්ද කියන එක මතයි. උදාහරණයක් විදිහට මේ දවස් වල ලංකාවේ භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතිකය ආසන්න වශයෙන් 7.5%ක් පමණ වෙනවා. භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කිරීමේ අවදානමක් නොමැති තරම්. ලංකාවේ සිදු වූ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී වුනත්, භාණ්ඩාගාර බිල්පත් ආයෝජන වල ප්‍රතිලාභ අඩු වුනේ නැහැ.

මේ අනුව, ලංකාවේ ප්‍රාග්ධනහිමියෙකුට මේ මොහොතේදී ඇස් දෙක පියාගෙන තමන්ගේ ප්‍රාග්ධනය වෙනුවෙන් 7.5%ක ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන්. එහෙම පුළුවන්කමක් තියෙද්දී කිසිම ප්‍රාග්ධනහිමියෙක් ඊට වඩා අඩු ප්‍රතිලාභයක් ලැබෙන ආයෝජනයකට තමන්ගේ මුදල් යොදවන්නේ නැහැ. ඒ නිසා, කාට හෝ පහළ වන ව්‍යවසායකත්ව අදහසක අපේක්ෂිත ප්‍රතිලාභය 7.5% හෝ ඊට වඩා අඩුනම්, ඒ අදහසට අදහසක් විදිහටම මැරිලා යනවා මිසක් ඊට වඩා දුරක් යන්න බැහැ. ඇත්තටම කියනවානම් අපේක්ෂිත ප්‍රතිලාභය 7.5%ට වඩා පොඩ්ඩක් වැඩි වුනත්, අවදානම නිසා ප්‍රාග්ධනහිමියෙක් මුදල් යොදවන්න පෙළඹෙන්නේ නැහැ. 

ඉහත හේතුව නිසා, ලංකාවේ වත්මන් සන්දර්භයේදී හොඳ ව්‍යවසායකත්ව අදහසක් කියා කියන්නේ 7.5%ට වඩා සැලකිය යුතු ප්‍රතිලාභයක් ලබා දෙන ව්‍යවසායකත්ව අදහසක්. උදාහරණයක් විදිහට 30%ක් වැනි ඉහළ ප්‍රතිලාභයක් කියා අපි හිතමු. අදහස පහළ වූ ව්‍යවසායකයාට මේ 30% ප්‍රතිලාභ අනුපාතිකය ගැන හොඳටම විශ්වාසනම්, බය නැතුව වෙළඳපොළෙන් ණයක් ගන්න පුළුවන්. එය බැංකු ණයක් හෝ ප්‍රාග්ධනහිමියෙකුගෙන් පෞද්ගලිකව ලබා ගන්නා ණයක් වෙන්න පුළුවන්. මේ සඳහා කළ යුතු වන්නේ තමන්ගේ අදහස ගැන සහ එහි අපේක්ෂිත ප්‍රතිලාභ අනුපාතිකය ගැන බැංකුවට හෝ ප්‍රාග්ධනහිමියාට ඒත්තු ගන්වන එකයි.

ඔය විදිහට බැංකුවකට හෝ ප්‍රාග්ධනහිමියෙකුට ව්‍යවසායකත්ව අදහසක් ගැන ඒත්තු ගැන්වුවත්, වෙන්ඩ ව්‍යවසායකයෙකුට භාණ්ඩාගාර බිල්පත් පොලිය වන 7.5%ට ණය ලැබෙන්නේ නැහැ. ණයක් දෙන ඕනෑම පුද්ගලයෙක් හෝ ආයතනයක් විසින් අදාළ ව්‍යාපෘතියේ අවදානම සලකා බලලා භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික වලට අවදානම් අධිභාරයක් එකතු කරනවා. අපි හිතමු මේ අධිභාරය 5%ක් කියලා. දැන් 12.5%ක පොලී අනුපාතිකයට ණය ගන්න පුළුවන්. ඒ කියන්නේ පොලිය එක්ක ණය බේරුවට පස්සෙත්, තවත් 17.5%ක ප්‍රතිලාභයක් අතේ ඉතිරි වෙනවා. 

කෙටියෙන් කිවුවොත්, ඔය වගේ ඉහළ ප්‍රතිලාභයක් ලැබිය හැකි ව්‍යවසායකත්ව අදහසක් කාට හෝ පහළ වුනොත්, සාපේක්ෂව හොඳ මූල්‍ය වෙළඳපොළක් ඇත්නම්, ප්‍රාග්ධනය නැතිකම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ නිසාම, ඒ විදිහට පහළ වුන ව්‍යවසායකත්ව අදහස අපතේ යන්නේ නැහැ. එය සැබෑ නිෂ්පාදනයක් බවට පත් වෙලා රටේ දදේනියට එකතු වෙනවා.

භාණ්ඩාගාර බිල්පත් පොලිය 7.5%නම්, 5%ක අවදානම් අධිභාරයක් හා ගැලපෙන ව්‍යවසායකත්ව අදහසක් සැබෑවක් විය හැක්කේ එයින් අවම වශයෙන් 12.5%ක ප්‍රතිලාභයක්වත් ලැබෙනවානම් පමණයි. නමුත්, මූල්‍ය වෙළඳපොළ කාර්යක්ෂමනම්, ඊට වඩා වැඩි අපේක්ෂිත ප්‍රතිලාභයක් තිබෙන අදහසක් සැබෑවක් වෙනවා.

දැන් භාණ්ඩාගාර බිල්පත් පොලිය 7.5% දක්වා අඩු වී තිබුණත්, එම පොලී අනුපාතික 32% වැනි ඉහළ මට්ටමක තිබුනේ අපට මතක නැති අතීතයකදී නෙමෙයි. භාණ්ඩාගාර බිල්පත් පොලිය 32% වැනි ඉහළ මට්ටමක තියෙනවා කියන්නේ ප්‍රාග්ධනහිමියෙකුට අවදානමක්‌ නැතිව 32%ක ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන් කියන එක. එහෙම පුළුවන්කමක් තියෙද්දී ප්‍රාග්ධනහිමියෙක් තමන්ගේ සල්ලි ඊට වඩා අඩු ප්‍රතිලාභයක් තියෙන, කවුරු හෝ වෙනත් අයෙකුගේ ව්‍යවසායකත්ව අදහසක හිර කරන්නේ නැහැ. ඒ නිසා, 30% වැනි ප්‍රතිලාභයක් ලැබිය හැකි ව්‍යවසායකත්ව අදහසක් වුනත් උපන් ගෙයි මැරිලා යනවා. ඒ වගේම, ඒ මගින් දදේනියට එකතු විය හැකිව තිබුණු දායකත්වය නැති වෙනවා. 

සමහර රට වල පොලී අනුපාතික තිබෙන්නේ ලංකාවට සාපේක්ෂව ඉතාම ඉහළ මට්ටමක. උදාහරණයක් ලෙස ආජන්ටිනාව වැනි රටක් සැලකුවොත් (2025 ජූනි දත්ත), බැංකු වල ණය පොලී අනුපාතික අවම වශයෙන් 40% ඉක්මවන අතර 140% දක්වා ඉහළ අගයක් වෙන්න පුළුවන්. තවත් සමහර රටවල පොලී අනුපාතික තිබෙන්නේ ලංකාවට සාපේක්ෂව ඉතාම පහළ මට්ටමක. උදාහරණයක් විදිහට ස්විට්සර්ලන්තයේ භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික මේ දවස් වල තිබෙන්නේ 0.1% වගේ පහළ මට්ටමක. 

ව්‍යවසායකත්ව අදහසක් ඉදිරියට යනවාද නැත්නම් උපන් ගෙයිම මැරිලා යනවාද කියන එකට පොලී අනුපාතික සෘජුව බලපානවා. ස්විට්සර්ලන්තය වගේ රටක ව්‍යවසායකත්ව අදහසක් සාර්ථක ලෙස ඉදිරියට යන්න එහි ප්‍රතිලාභ අනුපාතිකය 5%ක් පමණ වීම හොඳටම ප්‍රමාණවත්. ඒ නිසා, ප්‍රාග්ධනය නැති කෙනෙකුට වුනත් තමන්ගේ අදහස් වල වටිනාකම නිසා සාපේක්ෂව පහසුවෙන් ධනවතෙක් වෙන්න පුළුවන්. නමුත් ආජන්ටිනාව වගේ රටක 50%ක ප්‍රතිලාභයක් ලබා ගත හැකි අදහසක් පහළ වුන කෙනෙකුට වුනත්, තමන් සතුව ප්‍රාග්ධනය නැත්නම්, ඒ අදහස එතැනින් එහාට ගෙනියන්න බැහැ. ඒ වගේ තත්ත්වයක් තුළ සිදු වෙන්නේ ප්‍රාග්ධනය හිමි අයම තව තවත් ධනවත් වෙන එක. ලංකාවේ තියෙන්නේ ඔය දෙක අතර අතරමැදි තත්ත්වයක්.

ව්‍යාපාරයක පිරිවැය කෙරෙහි බලපාන ප්‍රධානම සාධකයක් වන්නේ ප්‍රාග්ධනයේ පිරිවැය. ප්‍රාග්ධනයේ පිරිවැය ඉහළ යන තරමට ව්‍යපාරයක් කරලා ලාබ ගන්න අමාරු වෙනවා. ප්‍රාග්ධනයේ පිරිවැය පහළ යන තරමට වැඩි ව්‍යවසායකත්ව අදහස් ප්‍රමාණයක් සැබෑ ව්‍යාපාර බවට පත් වෙනවා. 

කලින් කිවුවා වගේ ව්‍යවසායකත්ව අදහසක් ඕනෑම කෙනෙකුට ඕනෑම වෙලාවක පහළ වෙන්න පුළුවන්. නමුත් 50% ඉක්මවන ප්‍රතිලාභ අනුපාතිකයක් ලැබිය හැකි අදහසක් කෙනෙකුට පහළ වෙන එක ඉතාම දුලබ සිදු වීමක්. නමුත් 10-15% වැනි ප්‍රතිලාභ අනුපාතිකයක් ලැබිය හැකි අදහස් ඊට වඩා සුලබවත්, 5% වැනි ප්‍රතිලාභ අනුපාතිකයක් ලැබිය හැකි අදහස් ඉතාම සුලබවත් පහළ වෙන්න පුළුවන්. ඒ නිසා, ව්‍යවසායකත්ව අදහස් පහළ වීම අතින් ලංකාවේ, ස්විට්සර්ලන්තයේ සහ ආජන්ටිනාවේ මිනිස්සු සමානයි කියා සැලකුවත්, මේ එක් එක් රටවල එම අදහස් වලට ඉදිරියට යාමට ලැබෙන අවස්ථාවන් සමාන නැහැ. 

ආජන්ටිනාව වගේ රටක මේ මොහොතේ පහළ වන ව්‍යවසායකත්ව අදහස් බොහොමයක් අපතේ යනවා. නමුත්, ආජන්ටිනාවේ උද්ධමනය ක්‍රමයෙන් අඩු වෙලා පොලී අනුපාතික සාමාන්‍ය මට්ටමකට ආවොත් ඒ අදහස් වලටත් අවස්ථාවක් ලැබෙනවා. ඒ මගින් අපේක්ෂිත දිගුකාලීන ආර්ථික වර්ධනය 3% මට්ටමෙන් උඩට ගන්න ඉඩක් තිබෙනවා. ඊට සාපේක්ෂව ස්විට්සර්ලන්තය වැනි රටක  ව්‍යවසායකත්ව අදහස් අපතේ යාමක් වෙන්නෙම නැහැ. ඉතා පහළ මට්ටමක ප්‍රතිලාභ සහිත අදහසක් ක්‍රියාත්මක කරන්න වුනත්, අඩු පිරිවැය ප්‍රාග්ධනය වෙළඳපොළෙන් ලබා ගන්න පුළුවන්. ප්‍රාග්ධනහිමියන්ට අවදානමක් නොගෙන ලේසියෙන් ධනය වැඩි කරගන්න තිබෙන අවස්ථා අඩුයි.

පොලී අනුපාතික 32% වැනි මට්ටමක තියෙද්දී ලංකාවේ ව්‍යවසායකත්ව අදහස් බොහොමයක් අපතේ ගියා. ඉතා කලාතුරකින් මිස කෙනෙකුට 40% වැනි ප්‍රතිලාභ අනුපාතිකයක් ලැබිය හැකි ව්‍යාපෘතියක් ගැන අදහසක් පහළ වන්නේ නැහැ. නමුත් 15% වැනි ප්‍රතිලාභ අනුපාතිකයක් ලැබිය හැකි ව්‍යාපෘති ගැන අදහස් ඊට වඩා වැඩි පිරිසකට පහළ වෙන්න පුළුවන්. පොලී අනුපාතික පහළ යද්දී ඒ අදහස් වලට ඉඩක් ලැබෙනවා. ඒ හරහා දදේනියට යම් එකතු වීමක් සිදු වෙනවා. 

නමුත් ලංකාවේ දැන් තිබෙන පොලී අනුපාතික වුවත් ස්විට්සර්ලන්තය හෝ ජපානය වැනි රටකට සාපේක්ෂව ඉහළ මට්ටමක්. එහෙම වෙලා තිබෙන්නේ භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික එම රටවලට සාපේක්ෂව ඉහළ මට්ටමක තිබෙන නිසා. භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික අඩු කරගත හැකි ක්‍රමය රජයේ අයවැය තුලනය දිගටම හොඳ මට්ටමක පවත්වා ගැනීම. 

මේ වෙද්දී ලංකාව ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වාගෙන යමින් සිටියත්, පැරණි ණය සඳහා ගෙවිය යුතු පොලිය නිසා, තවත් කාලයක් යන තුරු ලංකාවට සමස්තයක් ලෙස අයවැය අතිරික්තයක් පෙන්වීමේ හැකියාවක් නැහැ. ඒ අතින් ලංකාවේ රාජ්‍ය අයවැය තුලනය තිබුණේ සහ තවමත් තිබෙන්නේ ආජන්ටිනාවේ මෙන් පහසුවෙන් ගොඩ දැමිය හැකි තැනක නෙමෙයි. 

කෙසේ වුවත්, යම් කාලයක් එක දිගට සැලකිය යුතු ප්‍රාථමික අයවැය අතිරික්තයක් තියාගෙන ගියොත් වසර ගණනාවකට පසුව ලංකාවටත් සමස්ත අයවැය අත්රික්තයක් හදා ගන්න පුළුවන්. පොලී අනුපාතික තවත් අඩු කරගෙන, ඒ මගින් ප්‍රාග්ධනයේ පිරිවැය අඩු කරගෙන අපතේ යන ව්‍යවසායකත්ව අදහස් වලට අවස්ථාවක් ලබා දී ආර්ථික වර්ධනය වැඩි කර ගැනීම සඳහා රජය පැත්තෙන් කළ හැකි සහ කළ යුතු ප්‍රධානම කාර්යය ඒකයි.

Tuesday, June 17, 2025

ආර්ථිකය වර්ධනය වුනේ කොහොමද?


මෙම වසරේ (2025) පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා ආර්ථිකය 4.8%ක වර්ධන වේගයක් පෙන්නුම් කර තිබෙනවා. "බල සුබ නිමිති පෙර මග නැකතටත් වැඩි" කියලා කියනවනේ. පළමු කාර්තුවේ මේ වර්ධන වේගය මේ වසරේ සමස්ත ආර්ථික වර්ධන වේගය පිළිබඳව සුබ පෙර නිමිත්තක් ලෙස හඳුනා ගන්න පුළුවන්.

ලංකාවේ ආර්ථිකය තවමත් අර්බුදයට පෙර පැවති මට්ටමට පැමිණ නැහැ. මේ වැඩි වෙන්නේ ආර්ථික අර්බුදය හමුවේ අඩු වූ ප්‍රමාණයෙන් කොටසක්. පළමු කාර්තුව පමණක් සැලකුවොත් තවමත් ඉන්නේ 2021 සිටි මට්ටමට වඩා 2.5%ක් පහළින්. නමුත් පසුගිය (2024) වසරේ පළමු කාර්තුව තුළ 5.1%කින් වර්ධනය වීමෙන් පසුව, එම වර්ධනය මත තවත් 4.8%ක වර්ධනයක් වාර්තා වෙනවා කියන්නේ හොඳ තත්ත්වයක්. ඉදිරි (2026) වසරේ පළමු කාර්තුවේදී ආර්ථික අර්බුදයට පෙර සිටි මට්ටමට සාපේක්ෂව වුවද යම් ප්‍රගතියක් වාර්තා වෙන්න පුළුවන් බව දැන් පෙනෙන්න තිබෙනවා. 

මේ විදිහට 4.8%ක වර්ධනයක් ලබා ගැනීමට දායක වුනේ ආර්ථිකයේ කවර අංශද? පහත තිබෙන්නේ ඒ පිළිබඳ විශ්ලේෂණාත්මක සාරාංශයක්.

ඇඟලුම් නිෂ්පාදන - 0.77%

ඉදිකිරීම් - 0.69%

මූල්‍ය හා රක්ෂණ - 0.62%

ආහාරපාන හා නවාතැන් පහසුකම් - 0.35%

ප්‍රවාහන සේවා - 0.27%

ආහාරපාන හා දුම්කොළ නිෂ්පාදනය - 0.47%

තොග හා සිල්ලර වෙළඳාම - 0.18%

නිවාස හා ඉඩකඩම් සේවා - 0.14%

අනෙකුත් සියලු අංශ - 0.75%

අගය එකතු කිරීම් එකතුව - 4.24%

බදු වල ශුද්ධ බලපෑම - 0.53%

ආර්ථික වර්ධනය - 4.77%

ආසන්න ලෙස - 4.8%

මෙම අංශ අතරින් ඇඟලුම් නිෂ්පාදන පිළිබඳව වැඩිපුර විස්තර කළ යුතු නැහැ. එයින් අදහස් වන්නේ කුමක්ද කියන එක කාට වුනත් පැහැදිලියි. නමුත් සංචාරක කර්මාන්තයේ බලපෑම මෙම බෙදීම තුළ සෘජුව දැකිය නොහැකියි. එම දායකත්වය තිබෙන්නේ ආහාරපාන හා නවාතැන් පහසුකම් සහ ප්‍රවාහන සේවා යන කාණ්ඩ තුළයි. ඇඟලුම් නිෂ්පාදන වගේම සංචාරක කර්මාන්තයද බාහිර සාධක මත තීරණය වෙනවා.

ඉහත අංශ දෙකට සාපේක්ෂව, මූල්‍ය හා රක්ෂණ, ඉදිකිරීම්, තොග හා සිල්ලර වෙළඳාම, නිවාස හා ඉඩකඩම් සේවා ආදී කාණ්ඩ වලින් පෙනෙන්නේ දේශීය ඉල්ලුම ඉහළ යාම සහ ඊට අනුරූප ලෙස ආර්ථිකය ප්‍රසාරණය වීම. ආහාරපාන හා දුම්කොළ නිෂ්පාදනය තුළ වුනත් වැඩි වශයෙන්ම නිරූපණය වෙන්නේ දේශීය ඉල්ලුම. ඒ වගේම, සංචාරක කර්මාන්තයේ බලපෑම නිරුපණය කරන ආහාරපාන හා නවාතැන් පහසුකම් සහ ප්‍රවාහන සේවා යන කාණ්ඩ දෙක ගත්තත් එයින් කොටසක් හැදෙන්නේ දේශීය ඉල්ලුම නිසා. 

මම හිතන්නේ මේ වෙද්දී රටේ ආර්ථික අර්බුද මානසිකත්වය ඉවරයි. දැන් නැවතත් රටේ මිනිස්සු කලින් විදිහටම වියදම් කරන්න පටන් අරගෙන. ආනයන කොටසේ පමණක් යම් පාලනයක් දකින්න පුළුවන්. මේ තත්ත්වයන් එක්ක දේශීය ඉල්ලුම ඉදිරි කාර්තු තුනේදී තවත් වැඩි වෙනවා මිසක් අඩු වෙන්න හේතුවක් නැහැ.

සංචාරක කර්මාන්තය ගත්තත් පළමු කාර්තුව තුළ දැකිය හැකි වූ ප්‍රවණතාව වසර පුරාම ඒ විදිහටම තියෙන්න පුළුවන්. කුමක් හෝ විශේෂ නරක සිදු වීමක් සිදු නොවුනහොත් එම අංශයේ දායකත්වය තවත් වැඩි වෙන්න මිසක් අඩු වෙන්න හේතුවක් නැහැ. 

ප්‍රශ්නයකට තියෙන්නේ ඇඟලුම් නිෂ්පාදන අංශය. ඇමරිකාවේ බදු ප්‍රතිපත්තිය නිසා එම අංශයට යම් බලපෑමක් වෙන්න පුළුවන්. ඒ ගැන හරියටම කියන්න තවමත් කල් වැඩියි. 

පසුගිය වසර අවසන් වුනේ 5.0%ක ආර්ථික වර්ධනයක් එක්ක. මේ අවුරුද්ද තුළත් ඒ කිට්ටුවට යන 4.5%-5.0% සීමාවේ ආර්ථික වර්ධනයක් වාර්තා වෙන්න වැඩි ඉඩක් තිබෙනවා. තීරුබදු නිසා ඇඟලුම් කර්මාන්තයේ කඩා වැටීමක් සිදු වුනොත් වර්ධනය 4.0-4.5% මට්ටමෙන් එහාට නොයන්න පුළුවන්. නමුත් දේශීය ඉල්ලුම දෙස බලද්දී, නරක තත්ත්වයක් යටතේ වුනත්, වර්ධනය 4.0% මට්ටමෙන් පහතට වැටීමේ ඉඩක් පෙනෙන්න නැහැ. ඒ කියන්නේ ජාත්‍යන්තර ආයතන විසින් පුරෝකථනය කර තිබෙන මට්ටමට වඩා හොඳ මට්ටමක්. 

තීරු බදු ප්‍රශ්නය ඒ තරම්ම අවුලක් නැතිව විසඳෙන්න පුළුවන්. එහෙම වුනොත් ඇඟලුම් කර්මාන්තයේ දායකත්වය අඩු වෙන්නේ නැහැ. ඒ වගේම, රාජ්‍යමූල්‍ය කළමනාකරණය යහපත් ලෙස සිදු වන නිසා පෞද්ගලික අංශයට ප්‍රාග්ධනය විතැන් වීමක් සිදු වෙනවා. ඒ එක්ක පොලී අනුපාතික පහළ ගිහින් දේශීය ඉල්ලුම ඉහළ යනවා. 

මේක වෙන්නේ රජය වැඩිපුර බදු අය කර ගන්නා නිසා නේද කියලා කෙනෙකුට අහන්න පුළුවන්. ඔව්. නිෂ්පාදන මත රජය විසින් අය කර තිබෙන බදු ප්‍රමාණය වැඩි වූ දළ දේශීය නිෂ්පාදිතයෙන් ප්‍රතිශතාංක 0.53%ක් නිරුපණය කරනවා. ඒ කියන්නේ පෞද්ගලික අංශය විසින් සිදු කර තිබෙන සැබෑ අගය එකතු කිරීම ඔවුන්ගේ ලාබ වලින් නිරූපණය කරන 4.24%ක වර්ධනයට වඩා තවත් 0.53%කින් වැඩියි කියන එක. වර්ධන වේගය 4.77%ක් වෙන්නේ ඒ නිසා. 

රජය විසින් මේ කොටස බදු ලෙස එකතු කරගෙන තිබුණත්, එහිදී සිදු වී තිබෙන්නේ අගය එකතු වීම සිදු වෙද්දී හෝ සිදු වීමෙන් පසුව රජය විසින් එයින් කොටසක් එකතු කර ගැනීම. මේ නිසා රජයට වෙළඳපොළෙන් ණය ගන්න අවශ්‍ය වී තිබෙන්නේ අඩුවෙන්. වෙළඳපොළේ ඉතිරි වන ඒ සල්ලි ප්‍රාග්ධනය විදිහට පෞද්ගලික අංශයට ගලාගෙන යනවා. ඒ මගින් නිෂ්පාදනය ඉහළ යනවා. බදු වෙනුවට ණය ගනිද්දී මේ විදිහට ප්‍රාග්ධනය ඉතිරි වීමක් සිදු නොවන නිසා අදාළ නිෂ්පාදන කොටස සිදු වෙන්නෙම නැහැ. ඒ නිසා, ඔය දෙකම එක සමාන නැහැ. 

රාජ්‍යමූල්‍ය විනය දිගටම පවත්වාගෙන යද්දී රාජ්‍ය අංශයේ හිර වී තිබෙන ප්‍රාග්ධනය තවතවත් නිදහස් වෙනවා. එය ආර්ථික වර්ධනයට හොඳයි. මහ බැංකුව ඉන්නෙත් ආර්ථිකය ප්‍රසාරණය වෙන්න ඉඩ හරින ප්‍රතිපත්තියක. ඒ වගේම, පළමු කාර්තුවේදී තරමක් සංකෝචනය වී තිබෙන කෘෂිකාර්මික අංශය නැවතත් යථා තත්වයට පත් වීමට නියමිතයි. මේ සියලු යහපත් ප්‍රවණතා එක්ක වඩා හොඳ තත්ත්වයක් යටතේ 5% සීමාවට යාම හෝ එම සීමාව ඉක්මවීම වුනත් සිදු විය නොහැකි දෙයක් නෙමෙයි.

සියල්ල සාරාංශගත කළොත් අපට දැනට පෙනෙන විදිහට මේ අවුරුද්දේ ආර්ථික වර්ධන වේගය 4.5%-5.0% සීමාවේ තියෙන්න වැඩි ඉඩක් තිබුණත්, හොඳ තත්වයක් යටතේ 5% සීමාව යාන්තමින් ඉක්මවන්න බැරිකමක් නැහැ. ඒ වගේම නරක තත්ත්වයක් යටතේ වුනත් 4.0% සීමාවෙන් පහළට වැටීමේ ඉඩක් පෙනෙන්න නැහැ. 4.0% මට්ටම වුනත්, ජාත්‍යන්තර ආයතන වල පුරෝකථන වලට සාපේක්ෂව ඉහළ මට්ටමක්. 

Tuesday, March 18, 2025

ආර්ථික වර්ධනය - 2024


පසුගිය 2024 වර්ෂය තුළ, 2023 වසරට සාපේක්ෂව, ශ්‍රී ලංකාවේ ආර්ථිකය 5.0%කින් වර්ධනය වී තිබෙනවා. මෙය 2017 වර්ෂයෙන් පසුව වාර්තා වන ඉහළම ආර්ථික වර්ධන වේගයයි. 

කෘෂිකාර්මික අංශය 1.2%කින් වර්ධනය වී ඇති අතර, කර්මාන්ත අංශය 11.0%කින්ද, සේවා අංශය 2.4%කින්ද වර්ධනය වී තිබෙනවා. මේ අනුව පෙනී යන්නේ 5.0% වර්ධනයට ප්‍රධානම හේතුව කර්මාන්ත අංශය නැවත යථා තත්ත්වයට පැමිණීම බවයි. කර්මාන්ත අංශය තුළ, 19.4%කින් වර්ධනය වී ඇති ඉදි කිරීම් අංශය කැපී පෙනෙනවා.

වසරේ පළමු කාර්තු තුන ඇතුළත පිළිවෙලින් 5.1%, 4.1% හා 5.3% ලෙස වර්ධනය වූ ආර්ථිකය සිවුවන කාර්තුවේදී 5.4%කින් වර්ධනය වී තිබෙනවා. එම වර්ධනයට හේතුවද කර්මාන්ත අංශයේ 13.7%ක වර්ධනයයි. සිවුවන කාර්තුව තුළ සේවා අංශය වර්ධනය වී තිබෙන්නේ 2.5%කින් පමණක් වන අතර කෘෂිකාර්මික අංශය 2.2%කින් හැකිලී තිබෙනවා.

මෙවැනි වර්ධනයක් අත්පත් කර ගැනීමෙන් පසුවද, රටේ ආර්ථිකය තවමත් තිබෙන්නේ 2018දී පැවති මට්ටමට වඩා 5.8%ක් පහළින්. මේ වසරේදී කෙසේ වුවත්, 2026 වසරේදී නැවත 2018 මට්ටමට පැමිණීම පිළිබඳව බලාපොරොත්තු තැබිය හැකියි. 2018 වසරට සාපේක්ෂව කෘෂිකාර්මික අංශය 0.9%ක් පහළින් සහ සේවා අංශය 4.0%ක් පහළින් ඇති අතර, 11.0%ක වර්ධනයකින් පසුවද කර්මාන්ත අංශය තවමත් පවතින්නේ 18.7%ක් පහළින්. වසර තුළ 19.4%කින් වර්ධනය වී තිබෙන ඉදිකිරීම් අංශය තිබෙන්නේ 2018 මට්ටමට වඩා 39.7%ක් පහළින්. එමෙන්ම, 2017 පැවති මට්ටමට වඩා 44.6%ක් පහළින්.

ලංකාවේ ආර්ථිකය කඩා වැටීමේදී බොහෝ දුරට සිදු වුනේ "ඉදිකිරීම් බුබුල" කඩා වැටීමක්. ඉදිකිරීම් අංශය නැවත 2017 මට්ටමට වර්ධනය වීම සඳහා වසර ගණනාවක් යනු ඇතත්, විශාල කඩාවැටීමක තිබෙන එම අංශය වඩා වැඩි වේගයකින් වර්ධනය වීමට සහ එමගින් ඉදිරි වසර වල ආර්ථික වර්ධනයට වැඩි දායකත්වයක් ලබා දීමට නියමිතයි. පුද්ගල ආදායම් බදු අඩු වීම සහ පෞද්ගලික අංශයේ ණය වර්ධනය තුළින් පිළිබිඹු වන්නේ ඉදි කිරීම් අංශය වේගයෙන් යථා තත්ත්වයට පැමිණෙමින් ඇති බවයි. 

කෙසේ වුවද, කෘෂිකාර්මික සහ සේවා අංශ වල අඩු වර්ධන වේගයන්ගෙන් පෙන්නුම් කරන්නේ ආර්ථික වර්ධනයට පුළුල් පදනමක් නොමැති බවයි. ඒ නිසා, මෙම 5.0% ආර්ථික වර්ධනය තුළින් රටේ දිගුකාලීන වර්ධන විභවය පිළිබිඹු වන්නේ නැහැ. 

පසුගිය වසරේ නාමික දදේනිය රුපියල් බිලියන 29,899ක්. මෙය ඩොලර් බිලියන 99.0කට සමාන වන අතර මෙතෙක් වාර්තා වී ඇති දදේනියේ වැඩිම ඩොලර් අගයයි. 2018දී ඩොලර් බිලිය 92.4ක් වූ ලංකාවේ ආර්ථිකය 2022දී ඩොලර් බිලියන 74.9 දක්වා පහත වැටුණා. මේ අනුව, 2024 වර්ෂයේදී ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 4,516 පමණ දක්වා ඉහළ ගොස් තිබිය යුතුයි. මෙය මෙතෙක් වාර්තා වී ඇති ඉහළම අගයයි. 2017දී ඩොලර් 4,290ක් වූ ලංකාවේ ඒක පුද්ගල ආදායම 2022දී ඩොලර් 3,378 දක්වා පහත වැටුණා. 

Sunday, March 2, 2025

මූල්‍ය අරමුදලේ තුන්වන විමර්ශනය


මූල්‍ය අරමුදලේ තුන්වන විමර්ශනයේ වාර්තාව තවමත් ප්‍රසිද්ධ කර නැහැ. නමුත්, හතරවන වාරිකය අනුමත කරමින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයෙහි ඔවුන්ගේ යාවත්කාලීන කළ ඇස්තමේන්තු තිබෙනවා.

අපි මුලින්ම ඔවුන්ගේ ආර්ථික වර්ධන ඇස්තමේන්තු වලින් පටන් ගනිමු. 

2024 - 4.5%

2025 - 3.0%

2026 - 3.0%

2027 සිට - 3.1%

දැන් අපට මෙම ඇස්තමේන්තු ඔවුන්ගේ 2023 මාර්තු ඇස්තමේන්තු සමඟ සංසන්දනය කළ හැකියි. 

2024 - 1.5%

2025 - 2.6%

2026 - 3.0%

2027 සිට - 3.1%

මේ ඇස්තමේන්තු සකස් කරන විට 2024 තුන් වන කාර්තුවේ දදේනිය ගණන් හදා තිබුණේ නැහැ. එම අගය, අනපේක්ෂිත හොඳ මට්ටමක (5.5%) තිබුණා. ඒ අනුව, 2024 ආර්ථික වර්ධන වේගය 4.5% මට්ටමේ තියෙන්නනම් හතරවන කාර්තුවේ වර්ධන වේගය 2.5% පමණ විය යුතුයි. එම අගය බොහෝ විට ඊට වඩා ඉහළ අගයක් වෙන්න ඉඩ තිබෙනවා. ඒ නිසා, පසුගිය 2024 වසරේ ආර්ථික වර්ධන වේගය 4.5% මට්ටම ඉක්මවා ඇතැයි සිතන්න පුළුවන්. 

පෙන්විය යුතු වැදගත් කරුණ එය නෙමෙයි. පසුගිය වසරේ ආර්ථික වර්ධන වේගය මුලින් හිතූ මට්ටමට වඩා සැලකිය යුතු ලෙස වැඩි වී තිබුණත්, අරමුදල ඔවුන්ගේ දිගුකාලීන ආර්ථික වර්ධන ඇස්තමේන්තු වෙනස් කරලා නැහැ. 2025 ඇස්තමේන්තුව පොඩ්ඩක් උස්සලා තිබුණත්, එය 2026 මට්ටමට වඩා උඩට උස්සලා නැහැ. ඒ වගේම, 2026 සිට ඉදිරියට ඇස්තමේන්තු වෙනස් කරලා නැහැ.

මේ අනුව පෙනෙන්නේ අරමුදලට අනුව කෙටිකාලීනව ආර්ථික වර්ධන වේගය තරමක් වැඩි වී තිබුණත් රටේ දිගුකාලීන වර්ධන විභවයේ වෙනසක් වී ඇති බවක් ඔවුන් නොදකින බවයි. ඇත්තටම රටකට වැදගත් දිගුකාලීනව සාමාන්‍ය වශයෙන් කොයි තරම් වේගයකින් වර්ධනය විය හැකිද කියන එකයි. අතරින් පතර අවුරුදු කීපයක් ඉහළ වර්ධන වේගයක් තිබු පමණින් රටක මිනිසුන්ගේ ජීවන තත්ත්වයේ දැනෙන වෙනසක් වෙන්නේ නැහැ. 

අලුත් ඇස්තමේන්තු අනුව වුවද, 2025-2027 අවුරුදු තුනේ වර්ධන වේග වල එකතුව 9.1%ක් පමණයි. ප්‍රතිව්‍යුහගත කළ ස්වෛරිත්ව බැඳුම්කර සඳහා ලැබුණු හෙයාකට් එක අඩු වෙන්නේ මේ වසර තුනේ වර්ධන වේග වල එකතුව 11.1%ට වඩා වැඩි වුනොත් පමණයි. වර්ධන වේගය ඒ සීමාවෙන් එහාට නොයන්නත් සැලකිය යුතු ඉඩක් තිබෙනවා.

අරමුදලේ ඇස්තමේන්තු වල විදිහට ආර්ථිකය වර්ධන වුනොත්, යාන්තම් 2018 හිටපු තැනට එන්න ලැබෙන්නේ 2028දී. ඒ කියන්නේ අහිමි වූ දශකයකට පසුව. ඊට වඩා වේගයෙන් ආර්ථිකය වර්ධනය වුනොත් 2027දී හෝ ඇතැම් විට 2026දී 2018 හිටපු තැනට එන්න පුළුවන් වෙයි.

දෙවනුව මම අවධානය යොමු කරන්නේ සංචිත ඉලක්ක වලට. පහත තිබෙන්නේ සංශෝධිත සංචිත ඉලක්ක. 

2025 - ඩොලර් මිලියන 7,056

2026 - ඩොලර් මිලියන 9,303

2027 - ඩොලර් මිලියන 13,118

මේ අනුව, ඉදිරි (2025) වසරේ ඉලක්කයට යන එක ඒ තරම්ම අමාරු වැඩක් නෙමෙයි. එකතු කරගන්න තියෙන්නේ ඩොලර් බිලියනයක පමණ මුදලක්. අභියෝගය තියෙන්නේ 2026 හා 2027 අවුරුදු දෙකේදී. එම අවුරුදු දෙකේදී පිළිවෙළින් ඩොලර් බිලියන දෙකක් හා ඩොලර් බිලියන හතරක් (ආසන්න වශයෙන්) එකතු කරගන්න වෙනවා. ඊට අමතරව චීනයෙන් ගත් යුවාන් බිලියන දහය ආපසු ගෙවන්න තවත් ඩොලර් බිලියන 1.4ක් අවශ්‍ය වෙනවා. 

සංචාරක ආදායම් ඉදිරි වසර වලදී ඉහළ යයි. නමුත් එහි සීමාවක් තිබෙනවා. ඒ නිසා, විදේශ විණිමය ආදායම් වල කිසියම් දැනෙන වැඩිවීමක් සිදු වුනේ නැත්නම්, මේ අවුරුද්දේ කොහොම වෙතත්, 2026දී සහ ඊටත් වඩා වැඩියෙන් 2027දී ඩොලරයක මිල මත සැලකිය යුතු පීඩනයක් එන්න පුළුවන්. 

ආර්ථික වර්ධනය වැඩිවීමට සහ විදේශ විණිමය ආදායම් ඉහළ යාමට හේතු වන අමුතු විශේෂ දෙයක් සිදු වන බවක් දැනටනම් පෙනෙන්න නැහැ. ඒ සඳහා කළ යුත්තේ කුමක්ද කියන ප්‍රශ්නය මගෙන් අහන්න එපා. එවැනි නිශ්චිත අත් දුටු ප්‍රතිකාර මා ළඟ නැහැ. හම්බන්තොට පිරිපහදුව වගේ ආයෝජන නිසා කොයි තරම් විදේශ විණිමය රටට ආවත්, ඒ විදේශ විණිමය නැවත ආනයන ලෙස ආපසු යන නිසා සංචිත වලට එයින් වාසියක් ලැබෙන්නේ නැහැ. 

වෙබ් ලිපිනය: