වෙබ් ලිපිනය:

Thursday, October 31, 2019

පෑඩ් එකේ වැදී නිකම්ම ලැබුණු බවුන්ඩරිය


සමාජ ආර්ථික තත්ත්වය අනුව පහළින් සිටින ජන කණ්ඩායම් වෙනුවෙන් ආධාර ලෙස ලබා දීම පිණිස භාණ්ඩ එකතු කිරීම (supply drives) ඇමරිකාවේ සුලභ දෙයක්. පාසැල්, කාර්යාල, සරසවි, සුපිරි වෙළඳසැල් වැනි බොහෝ තැන් වල මේ වැඩේ නිතර කෙරෙනවා. පාසැල්, කාර්යාල වගේ තැන් වල මේ වගේ ආධාර එකතු කිරීමක් තිබෙන දවසක ඒ ගැන කලින් දැනුම් දී නියමිත දිනයේ විවිධ අය රැගෙන එන බඩු දමන්න ලොකු පෙට්ටියක් තැබීම සාමාන්‍ය ක්‍රමයයි. සුපිරි වෙළඳසැලකදීනම් අපට මේ ආකාරයට කිසියම් ජන කණ්ඩායමකට අවශ්‍ය භාණ්ඩ ලැයිස්තුවේ (needs list) ඇති දෙයක් මිල දී ගෙන එය මුදල් ගෙවීමේ කවුන්ටරයටම ආපසු දුන් විට අදාළ භාණ්ඩය කවුන්ටරය අසල තිබෙන පෙට්ටියකට දමනවා.

පසුගිය සතියේත් මෙවැනි භාණ්ඩ එකතු කිරීමක් ගැන විද්‍යුත් ලිපියක් ලැබුණා. එහි තරමක විශේෂත්වයක් තිබුණා. විද්‍යුත් ලිපිය එවා තිබුණේ සමාජ විද්‍යා මහාචාර්යවරියක් විසින්. ඇය මේ සෙමෙස්ටරයේ ප්‍රථම උපාධිය හදාරන සිසුන්ට "ඒඩ්ස් සහ සමාජය" නම් පාඨමාලාවක් උගන්වනවා. ඇමරිකාවේ සරසවි වල පාඨමාලා වල විෂය නිර්දේශ සෑම වසරකම අලුත් වෙනවා වගේම උගන්වන විෂයනුත් අලුත් වෙනවා.

කෘතිම බුද්ධිය වැනි අලුත් දේවල් එකතු කරමින් රටේ අවශ්‍යතා අනුව වෙනස් වෙන්නේ තාක්ෂණ විෂයයන් පමණක් නෙමෙයි. සමාජ විද්‍යා විෂයනුත් රටේ අවශ්‍යතා අනුව අලුත් වෙනවා. ඒ නිසා, උපාධියක් හදාරන කෙනෙකුට රස්සාවක් හොයා ගන්න පිකටිං කරන්න අවශ්‍ය නැහැ. උසස් අධ්‍යාපනය වෙනුවෙන් අතින් මුදල් ගෙවිය යුතු නිසා කරන ආයෝජනයට ප්‍රතිඵලයක් ලැබෙන බව තහවුරු නොවන පාඨමාලා වලට තිබෙන ඉල්ලුම ටිකෙන් ටික නැති වෙලා එවැනි පාඨමාලා අහෝසි වෙලා යනවා. ඒ වෙනුවට අලුත් පාඨමාලා එනවා.

ඔය විදිහට ලංකාවේ සරසවි වල සමාජ විද්‍යා පීඨ වල ඉගැන්විය හැකි "මැද පෙරදිග රැකියා වල නිරත කාන්තාවන්ගේ පවුල් වල සමාජ ප්‍රශ්න", "යුද්ධයට සහභාගී වී ආපසු ආ සෙබළුන් හා සමාජය", "අන්තර්-වාර්ගික ආතතීන් හා සමාජය" වගේ ඕනෑ තරම් අලුත් විෂයයන් ගැන හිතන්න පුළුවන්. ඒ වගේ අලුත් විෂයයන් ලංකාවේ සරසවි වල උගන්වනවාද නැද්ද කියා මම දන්නේ නැහැ. ඇමරිකාවේනම් එසේ වෙනවා. ඔය "ඒඩ්ස් සහ සමාජය" පාඨමාලාව එක උදාහරණයක්.

දැන් මේ පාඨමාලාව හදාරන සිසුන් විසින් එය සමත් වෙන්න කළ යුතු දේවල් අතර විභාග වලට අමතරව ප්‍රායෝගික ක්‍රියාකාරකම් ගණනාවක් තියෙනවා. සහභාගිත්ව පරීක්ෂණයක් කරමින් අවම පැය ගණනක් ඒඩ්ස් රෝගීන් බහුල ප්‍රජාවන් සමග ගත කළ යුතුයි. ඒ වගේම, එච්අයිවී ආසාදනය වීමේ අවදානම වැඩිම ජන කොටස් වෙනුවෙන් නිශ්චිත අවම පැය ගණනක් ස්වේච්ඡාවෙන් සේවය කළ කළ යුතුයි. ඔවුන් වෙනුවෙන් ඔවුන්ට අවශ්‍ය දේ එකතු කර බෙදා දීමත් මේ පාඨමාලාවේම කොටසක්. මා මුලින් කී විද්‍යුත් ලිපිය ලැබුණේත් මෙවැනි ආධාර එකතුවක් හා අදාළවයි.

අවශ්‍ය ද්‍රව්‍ය ලැයිස්තුවේ ඉහළින්ම තිබුණේ කාන්තාවන්ගේ සනීපාරක්ෂක තුවා. සබන්, ෂැම්පු, දත්බෙහෙත්, දත් බුරුසු ආදී භාණ්ඩ ගණනාවක් පහළින් තිබුණා. අදාළ දවසේ මේ වෙනුවෙන් තබා තිබුණු පෙට්ටියට ඔය දේවල් ගොඩක් එකතු වී තිබුණා. ගොඩක් අය පැකිලීමක් නැතුව සනීපාරක්ෂක තුවා ගෙනත් පෙට්ටියට දැම්මා.

මේ වටෙන් ගොඩෙන් එන්නේ සජිත්ගේ සනීපාරක්ෂක තුවා කතාවට බව කියවන අයට නොතේරෙන්න හේතුවක් නැහැනේ. මේ ගැන අජිත් පැරකුම්, රසික, අජිත් ධර්මා වගේ තවත් ගොඩක් අයත් ලියා තිබුණා. සජිත් ඔය කතාව කිවුවේ කොයි තරම් සීරියස් විදිහටද කියා මම දන්නේ නැහැ. ඒ වගේම, සජිත් යම් විදිහකින් දිනුවොත් ඔය වැඩේ කරයිද කියන්නත් මම දන්නේ නැහැ. කොහොම වුනත් මේ කතාව නිසා දැන් සජිත්ට ලොකු ගැම්මක් ඇවිත් තිබෙනවා. බෝලෙට හරියට පාරක් ගහගන්න බැලුව දඟල දඟල හිටපු මනුස්සයගෙ පෑඩ් එකේ වැදිලා බවුන්ඩරියක් ගියාම කොහොමද ආතල් එක?

ඔසප් දරිද්‍රතාවය කියන එක දැන් ලෝකය පුරාම කතාබහට ලක්වන කරුණක්. මේ ප්‍රශ්නය තුන්වන ලෝකයේ ප්‍රශ්නයක් පමණක් නෙමෙයි. සංවර්ධිත රටවල් බොහොමයක කාන්තාවන් මුහුණ දෙන ගැටලුවක්. මේ සම්බන්ධව අවධානය යොමු කිරීම සඳහා පසුගිය 19 වෙනිදා පළමු වරට ඇමරිකාවේ ජාතික ඔසප් දිනයකුත් පැවැත් වුනා. වෙන මොනවා නැතත් සජිත් නිසා මේ ප්‍රශ්නය ගැන කතාබහක් ඇති වීමම ලොකු දෙයක්.

මෙවර ජනාධිපතිවරණයේ විශේෂත්වය වුනේ වැඩි සද්දයක් නැති වීමයි. එක පැත්තකින් එයට හේතු වී තිබෙන්නේ ස්වාධීන මැතිවරණ කොමිසමයි. ලෝකයේ ස්වාධීන මිනිස්සු හෝ ස්වාධීන කොමිසම් නැහැ කියා කාට හෝ තර්ක කරන්න පුළුවන්. ඒ තර්ක කොහොම වුනත්, මැතිවරණය පැවැත්වෙන ආකාරය සෑහෙන තරමකින් නියාමනය කරන්න මැතිවරණ කොමිසම සමත් වී සිටින බව කාට වුනත් පිළිගන්න වෙනවා.

ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සාපේක්ෂව එතරම් සක්‍රිය නැති වීමට එකම හේතුව ස්වාධීන මැතිවරණ කොමිසම කියා මා හිතන්නේ නැහැ. මෙහි ඊට වඩා දෙයක් තිබෙනවා. බොහෝ දෙනෙක් නිරීක්ෂණය කර තිබෙන ආකාරයට ඉදිරියෙන්ම සිටින අපේක්ෂකයෙක් වන ගෝඨාභය රාජපක්ෂ වැඩි සද්දයක් නැහැ. ඇතැම් අය හිතන්නේ එයට හේතුව ඔහුට ටෙලිප්‍රොම්ටරයක් නැතිව කතා කරන්න බැරිකම කියලයි. එයත් එක් හේතුවක් වෙන්න පුළුවන්. නමුත්, එකම හේතුවනම් නෙමෙයි. මේ සාපේක්ෂ නිහඬතාවයට, මම හිතන හැටියට, ප්‍රධාන හේතුව මේ වන විට ලංකාවේ ඡන්දදායකයින් සිටින තැනයි.

හැත්තෑ හතේ ඉඳන් අවුරුදු දාහතක් බලයේ සිටි එජාප ආණ්ඩුව පරාජය කරලා මිනිස්සු චන්ද්‍රිකාව පත් කරගත්තේ ඒ වන විට එජාපය එපාවටම එපා වෙලා හිටපු නිසයි. එයින් පස්සේ එජාපය කවදාවත් කලින් තිබුණු එජාපය වුනේ නැහැ. 2015දී මිනිස්සු එජාපය ප්‍රමුඛ සන්ධානයට ඡන්දය දුන්නේ රාජපක්ෂලා පරාජය කරන්න මිසක් එජාපය නැවතත් ආකර්ශනීය වූ නිසා නෙමෙයි. 2015දී වුනෙත් ඔය වගේම දෙයක්. සැලකිය යුතු පිරිසකට රාජපක්ෂලා එපාවටම එපා වුනා. ඒ එපා වුනු රාජපක්ෂලාව ඒ පිරිසට තවමත් නැවත ආකර්ශනීය වෙලා නැහැ. නමුත්, රාජපක්ෂලා වෙනුවට තෝරාගත් එජාපයත් ඒ තරමටම හෝ වැඩිපුර එපා වෙලා.

වත්පොතේ කෙනෙක් පළ කර තිබුණු අදහසක් වුනේ ලංකාවේ මිනිස්සුන්ට කළ හොඳ ඉක්මනින් අමතක වන නමුත් කළ නරක ලේසියෙන් අමතක වෙන්නේ නෑ කියන එකයි. මේ හේතුව නිසා එජාප හා රාජපක්ෂලා දෙගොල්ලන්ම එපා වීමේ වාසිය ජවිපෙට ලොකුවට ලැබෙන්නෙත් නැහැ. දැන් වෙනස් වී හිටියත් ජවිපෙ අපකීර්තිමත් ඉතිහාසයත් මිනිස්සුන්ට තවම මතකයි. ඒ නිසා, මේ පාර ගොඩක් දෙනෙක් ඡන්දය දෙන්නේ තමන් අකැමැතිම පුද්ගලයාව පරද්දන්න මිසක් කැමැතිම පුද්ගලයාව දිනවන්න නෙමෙයි. විශේෂයෙන්ම මැතිවරණ ප්‍රතිඵලය තීරණය කරන පාවෙන ඡන්දදායක පිරිස. සාපේක්ෂ නිහඬතාවයට හේතුව ඔන්න ඕකයි.

ගෝඨාභය රාජපක්ෂ කතා කරන තරමට ඔහුව වැඩි අවධානයට ලක් වෙනවා. එවිට ඔහුගේ හොඳට වඩා මතක් වෙන්නේ අඩුපාඩුයි. ඒ නිසා, ඔහු කතා කරන තරමට වාසිය සජිත්ටයි. ඕකේ අනිත් පැත්තත් ඔහොමමයි. සජිත් කතා කරන තරමට ඡන්ද වැඩිවෙන්නේ ගෝඨාභයටයි. ඒ නිසා, මේ වෙලාවේ ප්‍රතිවාදී අපේක්ෂකයාට මතු වෙන්න දී නිහඬව සිටීම තමයි සජිත්ට වගේම ගෝඨාභයටත් වාසි. දෙන්නම වේගවත් ප්‍රහාර එල්ල කරන්න ගියොත් වෙන්නේ දෙන්නම අවුට් වෙලා ජවිපෙ පැත්තට වාසිය කැරකෙන එකයි.

මෙච්චර දවස් වැඩිපුර කතා කළේ සජිත්. ගෝඨාභයගෙන් වැඩි සද්දයක් ඇහුණේ නැහැ. සජිත් කතා කරන තරමට ඡන්ද වැඩි වුනේ ගෝඨාභයට. සජිත් තමන්ට ඡන්ද එකතු කරන හැටි ගෝඨාභය පැත්තකට වෙලා බලා හිටියා. දැන් පෑඩ් කතාවෙන් පස්සේ තත්ත්වය ටිකක් වෙනස් වෙලා. මේ කතාව අල්ලාගෙන කරපු විවේචන නිසා වුනේ ගෝඨාභය කඳවුරේ වහගෙන හිටපු අඩුපාඩු මතු වුන එකයි.

ගැහැණු කියන්නේ ඡන්දදායකයින්ගෙන් 50%ක් හෝ ඊටත් වැඩි ප්‍රතිශතයක්. මතුපිටින් නිරීක්ෂණය කරලා ඔවුන් හිතන හැටි තේරුම් ගන්න ලේසි නැහැ. ගැහැණු නැගිට්ටහම නොහිතන දේවල් වෙන්න පුළුවන්. සජිත් සනීපාරක්ෂක තුවා නිකම් දෙයිද, නොදෙයිද, දෙනවානම් කවර ආකාරයකින් දෙයිද කියන එක වගේ දේවල් එතරම් වැදගත් කරුණු නෙමෙයි. හිතාමතා හෝ අහම්බෙන් සජිත්ට අහුවුනේ නිලයක්. මේ කතාව කරපු දවසේ ඉඳලා පොදුජන පෙරමුණු පාක්ෂිකයෝ සජිත්ට ඡන්ද එකතු කරනවා.

Wednesday, October 30, 2019

සිදුරු ළිඳේ ඛේදවාචකය හා ඇපලෝ මානසිකත්වය


ඇපලෝ මානසිකත්වය කියන සංකල්පය ගැන මම මුලින්ම දැනගත්තේ අනූව දශකයේදී කොළඹ සරසවියේ පශ්චාත් උපාධි දේශනයකදී. දේශකයා විසින් විස්තර කළ ආකාරයට මෙය හැත්තෑව දශකයේ මුල් කාලයේ සංකල්පයක්.

අනූව දශකයේදී ගුවන් ප්‍රවේශපතක් මිල දී ගන්න අවශ්‍ය වූ බොහෝ දෙනෙක් එය කළේ ගුවන් ප්‍රවේශපත් නියෝජිතවරයෙකු හරහා. ලංකාවේ බොහෝ දෙනෙක් තවමත් ගුවන් ප්‍රවේශපත් නියෝජිතවරයින් හරහා ප්‍රවේශපත් මිල දී ගන්නවා. මමනම් පසුගිය වසර දහයක හෝ ඊටත් වැඩි කාලය ඇතුළත ගුවන් ප්‍රවේශපත් මිල දී ගෙන තිබෙන්නේ අන්තර්ජාලය හරහා පමණයි. එය පහසුයි වගේම ලාබයි.

ප්‍රයිස්ලයින්, කයාක් වගේ සමාගම් කාලයක සිට අන්තර්ජාලය හරහා ගුවන් ප්‍රවේශපත් විකුණනවා. ශ්‍රීලන්කන් ඇතුළු ගුවන් සමාගම්ද සෑහෙන කාලයක සිට මේ වැඩේ කරනවා. එහෙත්, ගුවන් සමාගම් ප්‍රමුඛතාවය දෙන්නේ තමන්ගේ හා හවුල්කාර ගුවන් සමාගම් වල ප්‍රවේශපත් විකිණීමට පමණක් නිසා එහි පහසුවක් මිස ලොකු ලාබයක් නැහැ. ප්‍රයිස්ලයින්, කයාක්  වගේ වෙබ් අඩවියකට ගිය විට ගුවන් සමාගම් විශාල ගණනක මිල ගණන් සසඳා බැලිය හැකියි. මෙවැනි අන්තර්ජාල වෙළඳාම් ප්‍රචලිත වෙන්න කලින් ගුවන් ප්‍රවේශපත් නියෝජිතවරයින් අතින් සිදු වුනෙත් ඔය කටයුත්තයි.

ගුවන් සමාගම් විසින් ප්‍රවේශපත් නිකුත් කිරීම ස්වයංකරණය කිරීම පටන් අරන් තියෙන්නේ හැටේ දශකයේදී වුවත් ගුවන් ප්‍රවේශපත් නියෝජිතවරයින්ට සෘජුවම ගුවන් සමාගමක් වෙනුවෙන් ප්‍රවේශපත් නිකුත් කරන්න හැකි වී තිබෙන්නේ 1976 සිටයි. ඒ යුනයිටඩ් ගුවන් සමාගම විසින් වැඩි දියුණු කළ ඇපලෝ ගුවන් ආසන වෙන් කිරීමේ පද්ධතිය භාවිතා කිරීමේ අවස්ථාව ගුවන් ප්‍රවේශපත් නියෝජිතයින්ටත් ලැබීමෙන් පසුවයි.

ඇපලෝ ගුවන් ආසන වෙන් කිරීමේ පද්ධතිය හා තවත් එවැනිම එකක් වූ ඇමරිකන් ගුවන් සමාගමේ සේබර් මධ්‍යම ආසන වෙන් කිරීමේ පද්ධතියත් හේතුවෙන් ඇමරිකන් හා යුනයිටඩ් ගුවන් සමාගම් වැඩි වැඩියෙන් ගුවන් මගීන් ආකර්ශනය කර ගනිමින් සිටිද්දී එයට ප්‍රතිචාරයක් ලෙස යුරෝපීය ගුවන් සමාගම් නවයක් එකතු වී 1987දී ගැලීලියෝ ගුවන් ආසන වෙන් කිරීමේ පද්ධතිය නිර්මාණය කරනවා. ඉන් පසුව, 1992දී ගැලීලියෝ හා ඇපලෝ පද්ධති එක පද්ධතියක් ලෙස සම්බන්ධ කෙරෙනවා. 2000 වසර වන විට ලෝකය පුරා අලෙවි වූ ගුවන් ප්‍රවේශපත් වලින් හතරෙන් එකක් පමණ අලෙවි වී තිබෙන්නේ මේ පද්ධතිය හරහා. මා ඉහත දේශනයට සවන් දෙන කාලයේ ලංකාවේ ගුවන් ප්‍රවේශපත් නියෝජිතයින් බොහෝ දෙනෙකු විසින්ද මේ ගැලීලියෝ/ඇපොලෝ පද්ධතිය භාවිතා කළා.

ලෝකයේ ගුවන් සමාගම් ගණනාවක් විසින් ලෝකය පුරා ඇති ගුවන් තොටුපොල ගණනාවක් අතර පවත්වාගෙන යන ගමන් වාර සම්බන්ධීකරණය කරමින් ලෝකය පුරා විසිරී සිටින ගුවන් ප්‍රවේශපත් නිකුත් කිරීමේ නියෝජිතයින් අති විශාල පිරිසක් විසින් එකම ආසනය දෙදෙනෙකුට නොවිකුණා සමාන්තරව ගුවන් ප්‍රවේශපත් විකිණීම අද තාක්ෂනය අනුව සරල දෙයක් වුවත් ඒ කාලයේ හැටියට සෑහෙන දෙයක්. මා සවන් දුන් දේශනයේදී කතා කළේ එවැනි සංකීර්ණ මෘදුකාංගයක් හදා තිබීම ගැනයි. දේශකයා විසින් ඇපොලෝ මානසිකත්වය කියන සංකල්පය ගැන කතා කළේ මේ හා අදාළවයි.

ඇපොලෝ මධ්‍යම ප්‍රවේශපත් වෙන් කිරීමේ පද්ධතිය වගේ ඉතා සංකීර්ණ මෘදුකාංගයක් සාර්ථකව හදන්න පුලුවන්නම්, ඊට වඩා ගොඩක් සරල මෘදුකාංගයක් හරියට හදා ගන්න බැරි ඇයි? ඔන්න ඕකයි ඇපොලෝ මානසිකත්වය.

මේ දේශනයේදී වැඩි බරක් තිබ්බේ ඇපොලෝ මධ්‍යම ප්‍රවේශපත් වෙන් කිරීමේ පද්ධතියට වුනත් ඔය සංකල්පය බිහි වෙලා තිබෙන්නේ ඇමරිකාවේ නාසා ආයතනයේ ඇපොලෝ අභ්‍යවකාශ ව්‍යාපෘතිය හා අදාළවයි. සාර්ථක ව්‍යාපෘතියක් සේ බොහෝ දෙනෙක් සලකන ඇපොලෝ අභ්‍යවකාශ ව්‍යාපෘතිය යටතේ මිනිසුන් ගණනාවක් හඳට ගියා. ඉතා සංකීර්ණ කටයුත්තක් වන මිනිහෙක් හඳට යැවීම සාර්ථකව කරන්න පුලුවන්නම් ඊට වඩා ගොඩක් සරල සූපිං වැඩ අනාගන්නේ ඇයි? ඔන්න ඇපොලෝ මානසිකත්වය.

ඔය දේශනයෙන් පස්සේ නැවත කවදාවත් අහන්න නොලැබුණු ඇපොලෝ මානසිකත්වය කියන අදහස නැවත මතක් වුනේ සුජිත් විල්සන් ඛේදවාචකයෙන් පසු බොහෝ දෙනෙකුගේ ප්‍රතිචාර දැකලයි. නමුත්, දැන් සොයා බැලු විට මේ සංකල්පය ගැන ගූගල් දෙයියාවත් දන්නේ නැහැ.

ඇපොලෝ මානසිකත්වය ගැන මා පෙර කී දේශකයා විසින් පැහැදිලි කරපු ආකාරයට මේ මානසිකත්වය නිවැරදි එකක් නෙමෙයි. ඇපොලෝ අභ්‍යවකාශ ව්‍යාපෘතිය, ඇපොලෝ මධ්‍යම ප්‍රවේශපත් වෙන් කිරීමේ පද්ධතිය වගේ සංකීර්ණ ව්‍යාපෘති ඉතා සාර්ථකව අවසන් කරලා තිබෙන එක ඇත්ත. නමුත්, මෙවැන්නක් වෙන සූපිං වැඩක් එක්ක සංසන්දනය කිරීමේදී මේ ව්‍යාපෘති සඳහා ගත කළ කාලය, වැය කළ මුදල් කන්දරාව, සම්බන්ධ වූ මිනිස්සු ගණන ආදිය අපි පහසුවෙන් අමතක කරනවා. ඒ වගේම, මෙවැනි ව්‍යාපෘති කිහිපයක් සාර්ථක වෙද්දී එවැනිම සම්පත් ප්‍රමාණයක් යොදවා අසාර්ථක වූ ව්‍යාපෘතිත් අමතක කරනවා. ඔන්න ඇපොලෝ මානසිකත්වය.

දැන් අර දරුවා බේරගන්න බැරි වීම ගැන තිබෙන ප්‍රචලිත අදහසක් වන්නේ හඳට යන්න පුළුවන් ඉන්දියාවට අඩි අනූවක් යට හිර වී සිටි දරුවා බේරගන්න බැරි වුනා කියන එකයි. ඔතන තියෙන්නෙත් ඇපොලෝ මානසිකත්වය. සමහර සූපිං වැඩ (වගේ පෙනෙන වැඩ) ගොඩක් සංකීර්ණ වැඩ වලට වඩා අමාරුයි.

ඉන්දියාව හඳට යානයක් යැවුවා තමයි. නමුත්, ඒක දවස් දෙක තුනක් ඇතුළත සිදු වූ දෙයක් නෙමෙයි. චන්ද්‍රයාන්-2 ව්‍යාපෘතිය දශකයකට වැඩි කාලයක් තිස්සේ සිදු වූ ක්‍රියාවලියක ප්‍රතිඵලයක්. ඒ වෙනුවෙන් විශාල මුදලක් වැය වුනා වගේම විශාල පිරිසක් සම්බන්ධ වුනා. ඒ තරම් කාලයක් තිස්සේ සැලසුම් කරලත්, ඒ තරම් සම්පත් යොදවලත් අන්තිම මොහොතේදී අවුලක් වුනා. ඉන්දියාවට වික්‍රම් ලෑන්ඩරය සාර්ථක ලෙස හඳට ගොඩ බස්වන්න බැරිවුනා. එය කඩා වැටුණු බවයි සැලකෙන්නේ.

ඇමරිකාවේ අභ්‍යාවකාශ ව්‍යාපෘති ගත්තත් අසාර්ථක වූ අවස්ථා ඕනෑ තරම් තියෙනවා. චැලෙන්ජර් ඛේදවාචකය මතක ඇතිනේ. ඔය ඇපලෝ-11 ව්‍යාපෘතියේ සාර්ථකත්වය ගැන වුවත් අවසන් මොහොත දක්වාම විශාල සැක සංකා තිබී තිබෙනවා.

සුජිත් විල්සන් සිදුරු ළිඳකට වැටී මිය ගිය එකම ඉන්දියානු දරුවා නෙමෙයි. පසුගිය වසර කිහිපය තුළම වුවත් ඉන්දියානු දරුවන් ගණනාවක් සිදුරු ලිං වලට වැටී මිය ගොස් තිබෙනවා. ඒ වගේම, තවත් දරුවන් ගණනාවක් මෙලෙස සිදුරු ලිං වලට වැටීමෙන් පසුව බේරාගෙන තිබෙනවා. ඇතැම් දරුවන් පණ පිටින් ගොඩට ගත්තත් පසුව රෝහලේදී මිය ගොස් තිබෙනවා. මේ සිද්ධිය විශේෂ වන්නේ එයට වැඩි මාධ්‍ය අවධානයක් ලැබීම නිසයි.

ඉන්දියාවේ ජනාධිපතිවරයාගේ සිට සාමාන්‍ය මිනිසුන් දක්වා විශාල පිරිසක් මේ සිද්ධියේදී තමන්ට කළ හැකි දේ කර තිබෙනවා. ඔවුන් හිතා මතා දරුවාට මැරෙන්න ඇර නැහැ. මෙවැනි තැනක හිර වූ දරුවෙකු ගොඩ ගැනීම හඳට යානයක් යැවීම හා සසඳා සූපිං වැඩක් කියා කියන්න බැහැ. එය සංකීර්ණ කටයුත්තක්. කිසියම් විශේෂඥතාවයක් ඇති අය දරුවා බේරා ගැනීමේ කටයුත්තට සම්බන්ධ වී තිබෙනවා. නමුත්, කාගේත් අවාසනාවට අවසානයේදී වැඩේ සාර්ථක වී නැහැ.

ලංකාවේත් බොහෝ දෙනෙක් මැතිවරණ ප්‍රතිඵලයක්, ක්‍රීඩා තරඟයක් නරඹන අයුරින් මේ දරුවා බේරා ගැනීමේ ක්‍රියාවලිය දෙස බලා සිට ඇති බව පේනවා. ඈත සිට වුවත් එසේ බලා සිටින තරමට බලා සිටින කෙනෙකුට වියදමක් යනවා. දත්ත වල මුදල් වියදම අමතක කළත්, මෙවැන්නක් වෙනුවෙන් යොදවන කාලයේ ආවස්ථික පිරිවැය විශාලයි. දරුවා බේරා ගැනීම පමා වෙන තරමට වියදම ඉහළ යනවා. මෙසේ ඈත සිට මෙවැනි දෙයක් නරඹන කෙනෙක් විසින් කරන්නේ ආයෝජනයක්. යමෙක් ආයෝජනයක් කරන්නේ ලාබයක් බලා ගෙනයි. මැතිවරණයකදීනම් ඒ ලාබය තමන් කැමති අපේක්ෂකයා ජයග්‍රහණය කිරීමේ සතුට. ක්‍රීඩා තරඟයකදීනම් ඒ ලාබය තමන් කැමති කණ්ඩායම ජයග්‍රහණය කිරීමේ සතුට.

මැතිවරණයකදී හෝ ක්‍රීඩා තරඟයකදී නරඹන්නන් හැම දෙනෙකුගේම සතුට තිබෙන්නේ එකම තැනක නෙමෙයි. එක් එක් පුද්ගලයා තමන්ගේ කාලය ආයෝජනය කරන්නේ වෙනස් අපේක්ෂකයින් හෝ කණ්ඩායම් වෙනුවෙන්. ඒ නිසා, වැඩේ අවසන් වෙන්නේ කවුරු හෝ පිරිසකට ලාබයක් ලබා දෙමින්. නමුත්, මේ වගේ මානුෂික කරුණකදී තත්ත්වය වෙනස්. පැත්තක සිට බලා සිටින හැම දෙනෙක්ම බලා සිටින්නේ දරුවාව බේරා ගන්නා තුරුයි. දරුවාව බේරා ගන්න හැකි වුනානම් සියලු දෙනාටම වෙන්නේ වාසියක්. නමුත්, සිදු වුනේ එහි විලෝමයයි.

දරුවා බේරා ගැනීමේ මෙහෙයුම කල් ගන්නා තරමට පැත්තක සිට බලා ඉන්න අයගේ ආයෝජනය ඉහළ යනවා. දරුවාගේ ජීවිතයේ වටිනාකම තව තවත් වැඩි වෙනවා. කතාව කෙළවර වෙද්දී බලා සිටි සියල්ලන්ටම විශාල පාඩුවක් වෙලා. ඔවුන් සියල්ලන්ම මානසිකව කඩා වැටෙනවා. එයින් ගැලවෙන්න කවුරු හෝ වැරදිකරුවෙක් අවශ්‍යයි. ඇපොලෝ මානසිකත්වය එළියට එන්නේ ඒ පසුබිමේදී.

මේ දරුවා පහළට වැටී තිබෙන්නේ අඟල් කිහිපයක සිදුරක් ඇතුළෙන්. ඒ තුළින් වෙනත් අයෙකුට දරුවා වෙත යන්න බැහැ. දරුවා ඉන්නේ ඔහුව බේරා ගන්න උත්සාහ කරන අයට සහයෝගය දිය හැකි වයසක නෙමෙයි. කඹයක් දැම්මා කියා එය අල්ල ගන්නවත් ඔහුට තේරෙන්නේ නැහැ. ඒ වුනත් හිර වී සිටින්නේ පණ තියෙන දරුවෙක් නිසා පණ නැති දෙයක් වගේ දරුවාව ඇදලා ගන්නත් බැහැ. හිතහිතා ඉන්න ලොකු කාලයකුත් නැහැ. මේ වගේ වෙලාවක තිබෙන විකල්ප සීමිතයි. හඳට යානයක් යවද්දී වගේ ලොකු සැලසුම් හදන්න කාලයක් නැහැ.

දරුවා බේරා ගන්න යොදාගෙන තිබෙන ක්‍රම දෙකම මීට පෙර සාර්ථක වී තිබෙන ක්‍රම. නමුත්, අවාසනාවට මෙවර වැඩේ සාර්ථක වී නැහැ. මෙවැනි සිදුරු ළිඳක් හදන්නේ පොළොවේ මතුපිට පෘෂ්ඨය ඉතාම තද තැන් වලයි. මතුපිට තිබෙන පාෂාණයක් හෝ වෙනත් තද පසක් අඩි ගණනක් සිදුරු කළාට පස්සේ පහළ ස්ථරය ලිහිල් පස්. මේ සිද්ධියේ විශේෂත්වය වන්නේ මුලින් දරුවා අඩි 26ක් පමණ දුරකින් සිර වී සිටීමයි. දරුවා බේරා ගැනීම සඳහා යන්ත්‍ර මගින් සමාන්තර සිදුරු කැණීමට යාමේදී පස බුරුල් වී දරුවා පහළට වැටෙන්නට ඉඩ තිබීම ගැන දරුවා බේරා ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කළ අය මුලින් සැලකිලිමත් වී තිබෙනවා. පළමු ක්‍රමය යොදා ගෙන තිබෙන්නේ ඒ නිසයි. අදාළ උපාංගය නිර්මාණය කර තිබෙන පුද්ගලයාගේ දරුවෙකුත් මීට පෙර මෙවැනි සිදුරු ලිඳකට වැටී ගොඩ ගෙන තිබෙන්නේ ඉතා අසීරුවෙන්. ඔහු උපාංගය නිර්මාණය කර තිබෙන්නේ ඉන් පසුවයි. කෙසේ වුවත්, මෙහිදී අන්තිමේදී සිදු වී තිබෙන්නේ දරුවා තවත් පහළට වැටීමයි. සමාන්තර ළිං කැණීම කෙරෙහි යොමු වී තිබෙන්නේ ඉන් පසුවයි.

මේ සමාන්තර ලිං ක්‍රමය මීට පෙර වාර ගණනාවක් සාර්ථක වී ඇති ක්‍රමයක්. උඩ ඡායාරූපයේ දැකිය හැක්කේ මාස කිහිපයකට පෙර අඩි 60ක සිදුරු ළිඳකට වැටුණු හර්යානා ප්‍රාන්තයේ මාස 18ක දරුවෙකු මේ ක්‍රමයට පැය 47කට පසු බේරාගත් අවස්ථාවයි. ශල්‍යකර්මයකට භාජනය කෙරෙන ඇතැම් රෝගීන් මිය යන්නේ අදාළ වෛද්‍යවරයාගේ වරදක් නිසා නෙමෙයි. මෙහිදී සිදු වී තිබෙන්නේත් එවැන්නක්.

කොහොම වුවත් මේ ආකාරයට වසරකට දරුවන් ගණනක් සිදුරු ළිං වලට වැටීමනම් ප්‍රශ්නයක්. වැටෙන ළමයින් බේරා ගන්න උපකරණ හදනවාට වඩා වැදගත් වන්නේ මේ විදිහට ළමයින් සිදුරු ළිං වලට වැටෙන එක වලක්වා ගැනීමයි. ඒ වෙනුවෙන් නීති පවා පනවා ඇතත් එම නීති ක්‍රියාත්මක වී ඇති බවක් පෙනෙන්නේ නැහැ. නීති තිබුණත්, නිසියාකාරයෙන් ක්‍රියාත්මක නොවීම ලංකාව, ඉන්දියාව වැනි රටවල පොදු ප්‍රශ්නයක්.

කොහොම වුනත් මේ අනාරක්ෂිත අත් හැර දැමූ සිදුරු ළිං ගැන ආණ්ඩුවට දොස් කියන එක තේරුමක් නැහැ. ඔය වගේ වලවල් වහමින් ඉන්න එක ආණ්ඩුව විසින්ම කළ යුතු නැහැ. තමන්ගේ ළමයින් සෙල්ලම් කරන තැන් වල සිදු විය හැකි මෙවැනි අනතුරු ගැන සැලකිලිමත් වීම දෙමවුපියන්ගේ වගකීමක්. විශේෂයෙන්ම මෙවැනි අනතුරු දුලබ නැති වටපිටාවක. කොයි තරම් ගැඹුරු හා භයානක වුවත්, මෙවැනි ලිඳක මතුපිට සිදුර ඉතා කුඩා එකක්. තරමක ගලක් හෝ ලෑල්ලක් දමා මෙවැනි සිදුරක් වැසීම විනාඩි කිහිපයක වැඩක්. වැටක් ගහන්න වුවත් පුළුවන්. තමන්ගේ දරුවන්ගේ ජීවිතාරක්ෂාව ගැන සැලකිල්ලක් නැතිව, බල්ලෝ බළල්ලු මෙන් ඔහේ ළමයි හදන දෙමවුපියන් සිටීම අනාරක්ෂාකාරී සිදුරු ළිං වලටත් වඩා ප්‍රශ්නයක්.

අනිත් එක මේ වගේ දේවල් වෙන්නේ ඉන්දියාවේ විතරක් නෙමෙයි. පසුගිය දවස් වල ගම්පොළ පැත්තෙන් අතුරුදහන් වූ තරුණ ගුරුවරියගේ සිරුර දවස් කිහිපයකට පසු හමුවුනේ සැතපුම් ගණනක් ඈත ජලාශයකින්. ඇය පාර අයිනේ කාණුවකට වැටී මේ ඉරණම අත් වෙන්නට ඇති බව සඳහන්ව තිබුණා. ඒ කරුණ තහවුරු වී නැතත්, එම කාණු සිදුරටම වැටුණු වෙනත් තරුණියක් ජීවිතය බේරා ගෙන තිබෙන්නේ ඉතා අසීරුවෙන් බව වාර්තා වී තිබුණා. මේ වගේ දේවල් වලක්වා ගැනීමනම් රොකට් යවන තරම් අමාරු නැහැ.

Monday, October 28, 2019

ගෝඨාභයගේ කැලිෆෝර්නියා නඩුව


ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධව චෝදනා නගමින් ඔහුගේ දියණිය වන අහිංසා වික්‍රමතුංග විසින් ලොස් ඇන්ජලීස්හි, කැලිෆෝර්නියා මධ්‍යම දිස්ත්‍රික්කයට අයත් ඇමරිකන් දිස්ත්‍රික් අධිකරණයෙහි පවරා තිබුණු සිවිල් නඩුව පසුගිය 17 වනදා විභාගයට නොගෙන නිෂ්ප්‍රභා කරනු ලැබුවා. එම නඩුව මේ අයුරින් නිෂ්ප්‍රභා කරනු ලැබුවේ නඩුව විභාගයට ගැනීම සඳහා අදාළ අධිකරණයට අධිකරණ බලයක් නැති බවට ගෝඨාභය පාර්ශ්වය විසින් ඉදිරිපත් කළ විරෝධතාව සැලකිල්ලට ගනිමිනුයි. අදාළ අධිකරණ තීන්දුවට එරෙහිව අභියාචනාවක් ඉදිරිපත් කරන බව අහිංසා වික්‍රමතුංග පාර්ශ්වය ප්‍රකාශ කර තිබෙනවා.

අහිංසා වික්‍රමතුංග ඕස්ට්‍රේලියානු පුරවැසියෙක් හා පදිංචිකාරියක්. ගෝඨාභය රාජපක්ෂ මෙම නඩුව පවරනු ලබන විට ඇමරිකන් පුරවැසියෙක්. එමෙන්ම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය සිදු වූ 2009 ජනවාරි 9 වන විටත් ඔහු ඇමරිකන් පුරවැසියෙක්. මෙම සිද්ධිය සිදුවන විට ඔහු ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළා. අදාළ කාලයේ ආරක්ෂක ඇමති ධුරය දැරුවේ ගෝඨාභය රාජපක්ෂගේ සොහොයුරු හා එවක විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ වූ නිසාත්, රටේ සිවිල් යුද්ධයක් පැවතීමත් නිසා එම තනතුර සමඟ විශාල බලයක් කේන්ද්‍රගතව තිබූ බව නොරහසක්.

ඇමරිකාවේ ආරක්ෂක ලේකම් යනු ලංකාවේ ආරක්ෂක අමාත්‍ය තනතුරට සමාන තනතුරක්. ඇමරිකාවේ කැබිනට් මණ්ඩලය සමන්විත වන්නේ ආරක්ෂක ලේකම්, රාජ්‍ය ලේකම්, භාණ්ඩාගාර ලේකම් ඇතුළු ලේකම් වරුන්ගෙන්. ගෝඨාභය රාජපක්ෂගේ තනතුරද බොහෝ විට ආරක්ෂක ලේකම් ලෙස හැඳින්වුනත්, එය ඇමරිකාවේ ආරක්ෂක ලේකම් තනතුර සමඟ සැසඳිය හැකි තනතුරක් නෙමෙයි. අදාළ කාලයේම පී බී ජයසුන්දර මුදල් අමාත්‍යංශයේ ලේකම් ලෙස මිස මුදල් ලේකම් ලෙස හැඳින්වුනේ නැහැ. ගෝඨාභය රාජපක්ෂට එරෙහිව කැලිෆෝර්නියා අධිකරණයේ පවරා තිබුණු නඩුවේ ලේඛන වලද ඔහුගේ තනතුර සඳහන් කර තිබෙන්නේ ආරක්ෂක ලේකම් ලෙසයි.

ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පවරා තිබුණු නඩුව සිවිල් නඩුවක්. යම් හෙයකින් එම නඩුව විභාගයට ගෙන ඔහුව වරදකරු කරනු ලැබුවානම් ඔහුට අගතියට පත් පාර්ශ්වයට වන්දියක් ගෙවීමට සිදු විය හැකිව තිබුණු නමුත් සිර දඬුවමක් පැනවෙන්නේ නැහැ.

නඩුව විභාගයට ගැනීම තාවකාලිකව අත් හිටවන මෙන් ඉල්ලමින් හා නඩුව විභාගයට නොගෙන නිෂ්ප්‍රභා කරන මෙන් ඉල්ලමින් ගෝඨාභය රාජපක්ෂ විසින් මෝසම් දෙකක් ඉදිරිපත් කළා. පළමුවන මෝසමෙන් ඉල්ලා සිටියේ ලංකාවේ ජනාධිපතිවරණය පැවැත්වෙන තුරු හා එම ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ තේරී පත් වුවහොත් ධුරය භාර ගන්නා තුරු නඩු විභාගය අත් හිටවන ලෙසයි. මේ ඉල්ලීම සාධාරණීකරණය කර තිබුණේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් වීමට විශාල ඉඩකඩක් තිබීම හා එසේ ජනාධිපති ධුරයට පත් වුවහොත් ඔහුට රාජ්‍ය නායක මුක්තිය ලැබෙන නිසා මෙම නඩුව ඉදිරියට ගෙනයාමේ හැකියාවක් නොමැති වන බව පෙන්වා දෙමිනුයි.

දෙවන මෝසමෙන් කරුණු හතරක් ඉදිරිපත් කරමින් මෙම කරුණු වලින් එකක් හෝ කිහිපයක් මත මෙම නඩුව විභාගයට නොගෙන නිෂ්ප්‍රභා කරන මෙන් ගෝඨාභය රාජපක්ෂ විසින් ඉල්ලා සිටියා.
1. ගෝඨාභය රාජපක්ෂ චෝදනාවට අදාළ සිද්ධියට වගකිවයුතුනම් එසේ වගකිව යුත්තේ ස්වාධීන විදේශ රජයක නිලධාරියෙකු ලෙස තනතුරට අදාළව සිදුකළ දෙයක් වෙනුවෙනුයි.
2. පෞද්ගලික හා පොදු යහපත සැලකූ විට මෙම නඩුව විභාග කිරීම වඩාත්ම පහසු ලංකාවේයි.
-ශ්‍රී ලංකාවේ ස්වාධීන හා හොඳින් ස්ථාපිත අධිකරණ පද්ධතියක් තිබෙනවා.
-අහිංසා වික්‍රමතුංග ඕස්ට්‍රේලියානු පුරවැසියෙක් හා පදිංචිකාරියක නිසා ඇමරිකාවේ නඩුව විභාග කළත් ලංකාවේ එය කළත් ඇයට වෙනසක් නැහැ.
-ඒ වගේම, සාක්ෂිකරුවන් වැඩි දෙනෙකු සිටිය හැක්කේ ලංකාවේ.
3. ස්වාධීන විදේශ රාජ්‍යයක් වන ලංකාවට හා එහි නීති පද්ධතියට ගරු කිරීමක් වශයෙන්
4. වෙනත් විවිධ හේතු මත
-මේ සිදුවීමට ඇමරිකාවේ කිසිදු සම්බන්ධයක් නොතිබීම
-පැමිණිලිකාරිය විසින් ලංකාවේදී ගත හැකිව තිබුණු සියලුම නීතිමය ක්‍රියාමාර්ග උත්සාහ කර නොතිබීම
-චෝදනා නගා ඇති පණතේ ඇතැම් (තාක්ෂනික) සීමාවන්

අධිකරණය මඟින් නඩුව විභාගයට නොගෙන නිෂ්ප්‍රභා කිරීමට තීරණය කර ඇත්තේ ඉහත පළමු කරුණ, එනම් ගෝඨාභය රාජපක්ෂ චෝදනාවට අදාළ සිද්ධියට වගකිවයුතුනම් එසේ වගකිව යුත්තේ ස්වාධීන විදේශ රජයක නිලධාරියෙකු ලෙස තනතුරට අදාළව සිදුකළ දෙයක් වෙනුවෙන් වීම නිසයි. මේ විරෝධතාව පිළිගැනීමෙන් පසු ඉතිරි කරුණු සලකා බැලීම අවශ්‍ය නොවන නිසා අනෙකුත් කරුණු සැලකිල්ලට ගෙන නැහැ. එමෙන්ම, මේ විරෝධතාව පිළිගැනීමෙන් පසුව අනෙකුත් මෝසමට අදාල නඩු නිමිත්ත අහෝසි වී ඇති නිසා නඩුව තාවකාලිකව අත් හිටුවීම ගැන සලකා බැලීමත් අවශ්‍ය වී නැහැ.

නඩුව නිෂ්ප්‍රභා කිරීමේදී සැලකිල්ලට ගෙන තිබෙන්නේ පළමු කරුණ පමණයි. මේ ආකාරයට පිළිගත් විදේශ රාජ්‍යයක නිලධාරියෙකු ලෙස කළ ක්‍රියාවක් සඳහා මුක්තිය ලැබෙන්නටනම් කරුණු දෙකකින් එකක් සම්පූර්ණ විය යුතුයි.
-අදාළ විදේශ රාජ්‍යය විසින් එවැනි මුක්තියක් ලබා දෙන මෙන් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් එම එල්ලීම පිළිගැනීම
-අදාළ විදේශ රාජ්‍යය විසින් එවැනි ඉල්ලීමක් කර නැති අවස්ථාවක, යම් හෙයකින් එවැනි ඉල්ලීමක් කර තිබුණේනම් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් එම ඉල්ලීම පිළිගැනීමට ඉඩකඩ තිබීම

මේ නඩුව හා අදාළව ගෝඨාභය රාජපක්ෂට රාජ්‍ය නිලධාරී මුක්තිය ලබා දෙන මෙන් ලංකාවේ රජය විසින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර නැති නිසා දිස්ත්‍රික් අධිකරණය විසින් සලකා බලා තිබෙන්නේ ඉහත දෙවන කරුණයි. පැමිණිලිකාර පාර්ශ්වය විසින් චෝදනා ගොනු කිරීමේදී ගෝඨාභය රාජපක්ෂගේ ආරක්ෂක ලේකම් ධුරයේ බලතල ගැන විස්තර කිරීමට ලොකු බරක් දී තිබීම හා ලසන්ත වික්‍රමතුංග ඝාතනයට ඔහු වගකිවයුතු බව සඳහන් කර තිබෙන්නේ ආරක්ෂක ලේකම් ධුරයේ බලතල යොදාගනිමින් බව කියා තිබීම මෙහිදී ගෝඨාභය රාජපක්ෂගේ වාසියට හේතු වී තිබෙනවා. පැමිණිලිකාර පාර්ශ්වය විසින් ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනයට ආරක්ෂක ලේකම් ලෙස ගෝඨාභය රාජපක්ෂ වගකිවයුතු බව මිස සෘජුව සම්බන්ධ වී ඇති බව කියා නැහැ. මේ අනුව දිස්ත්‍රික් අධිකරණයේ මතය වන්නේ යම් හෙයකින් මේ ඝාතනයට ගෝඨාභය රාජපක්ෂ වගකිවයුතුනම් එසේ වගකිවයුතු වන්නේ එවක ලංකාවේ ආරක්ෂක ලේකම් ලෙස මිස පෞද්ගලිකව නොවන බවයි. ඒ අනුව ඔහුට පිළිගත් විදේශ රාජ්‍යයක නිලධාරියෙකු එම රාජ්‍යය වෙනුවෙන් කළ ක්‍රියාවන් සඳහා පොදු නීතිය යටතේ ලැබෙන මුක්තිය ලැබී තිබෙනවා.

අහිංසා වික්‍රමතුංග පාර්ශ්වය මේ තීන්දුවෙන් සෑහීමකට පත් වන්නේ නැහැ. ඔවුන්ගේ මතය වන්නේ ලසන්ත වික්‍රමතුංග හෝ වෙනත් ජනමාධ්‍යවේදියෙකු ඝාතනය කිරීමට ශ්‍රී ලංකා රජය තීරණයක් ගෙන නැති නිසා ගෝඨාභය රාජපක්ෂ විසින් කර තිබෙන්නේ ලංකාවේ රජය වෙනුවෙන් කටයුතු කිරීමක් නොවන බවයි. ඒ අනුව, ඔවුන් මෙම තීන්දුවට එරෙහිව අභියාචනා කිරීමට අදහස් කරන බව ප්‍රකාශ කර තිබෙනවා. එවැනි අභියාචනා කිරීමකින් පසුව මෙම නඩුව ඉදිරියට ගෙන යාමට තීරණය වුවත්, ඒ වන විට ගෝඨාභය රාජපක්ෂ ලංකාවේ ජනාධිපති ලෙස තේරී පත්වී සිටියහොත් ඔහුට රාජ්‍ය නායක මුක්තිය ලැබෙන්න බොහෝ දුරට ඉඩ තිබෙනවා.

(Image: http://asiantribune.com/node/93111)

Sunday, October 27, 2019

ඔක්තෝබර් කුමන්ත්‍රණයට අවුරුද්දයි!


ජනාධිපති සිරිසේන විසින් සිදු කළ ව්‍යවස්ථා කුමන්ත්‍රණයට මේ වන විට වසරක් ගත වී තිබෙනවා. මේ කුමන්ත්‍රණය මහින්ද හා මෛත්‍රී එක්ව සිදු කළ බවත්, කුමන්ත්‍රණයට එරෙහිව විවිධ බලවේග පෙළ ගැසී අවසානයේදී දින පනස් එකකට පසු කුමන්ත්‍රණය පරාජය කරනු ලැබීම මහින්ද-මෛත්‍රී පිලේ පරාජයක් බවත් එම පිලේ මෙන්ම ප්‍රතිවිරුද්ධ පිළේ බොහෝ දෙනෙකුගේ අදහසයි. ඇත්තටම මේ කුමන්ත්‍රණය මහින්ද-මෛත්‍රී පාර්ශ්ව වල සැලසුමක්ද? එහෙම නැත්නම්, ඔවුන්ද නොදැන ඔවුන් වෙන කාගේ හෝ සැලසුමක ඉත්තන් වුනාද?

මා දන්නා තරමින් ඔක්තෝබර් කුමන්ත්‍රණයේදී සිදු වූ ආකාරයට ජනාධිපති සිරිසේන විසින් රනිල්ව අගමැති ධුරයෙන් ඉවත් කර මහින්දව එම ධුරයට පත් කළ යුතු බවත්, ව්‍යවස්ථාව අනුව එසේ කළ හැකි බවත්, මුලින්ම කරුණු සහිතව පැහැදිලි කරමින් යෝජනා කළේ නලින් ද සිල්වා විසිනුයි. පහත තිබෙන්නේ ඔහු විසින් 2017 නොවැම්බර් 25 දින පළ කළ ලිපියක්.

ආණ්ඩුව වෙනස් කළ යුතුයි වෙනස් කළ හැකියි

ඉහත ලිපියෙන් නලින් ද සිල්වා විසින් යෝජනා කළේ කඩිමුඩියේ ගෙන ආ දහනවවන සංශෝධනයේ තිබෙන පරස්පර වල වාසිය ගනිමින් මෙය කළ හැකි බවයි.

රනිල්ව ඉවත් කිරීම ගැන ඒ වන විටත් කාලයක් තිස්සේ කතා කරමින් සිටිය ඔහු මේ කරුණ දිගින් දිගටම අවධාරණය කරන්න පටන් ගත්තේ 2018 පෙබරවාරියේ පැවැත්වුණු පළාත් පාලන මැතිවරණ වලින් පසුවයි. පහත ලිපිය ඔහු විසින් පළ කර තිබුණේ 2018 පෙබරවාරි 17 වනදා.

ව්‍යවස්ථා අර්බුදයක් නැහැ රනිල් ඉවත් කළ හැකියි

එම ලිපියේ ඔහු විසින්ම "දේශපාලනඥයන් ජනමාධ්‍යවේදීන් මුහුණු පොතේ පඬි පෝතකයන් මා ලියන කිසිවක් සතපහකට ගණන් ගන්නෙ නැහැ." යනුවෙන්ද ලියා තිබුණා. ඔහුගේ එම ප්‍රකාශය අවතක්සේරුවක් බව පැහැදිලි වුවත්, අගමැති ඉවත් කිරීමේ ඔහුගේ යෝජනාව මාස හතකට පසු සැබෑවක් වේයැයි මා හිතුවේ නැහැ. අඩු වශයෙන් ඔහු හෝ එසේ සිතුවාදැයි සැක සහිතයි.

එක පැත්තකින් නලින් ද සිල්වාගේ යෝජනාවේ බරපතල අඩුපාඩු තිබුණා. ඔහු තර්කනයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති අර්ථනිරූපණය කරන්න උත්සාහ කළත්, තර්කනය මේ වගේ කරුණකදී යොදාගන්නා එක් මූලධර්මයක් පමණක් වීමත්, මහින්ද-මෛත්‍රී වටා නීති විශාරදයින් ගණනාවක් සිටීමත් නිසා නලින් ද සිල්වාගේ යෝජනාව සැබෑවක් වීමේ ඉඩක් පිළිබඳ සැකයක් එසේ සිදුවන තුරුම මට තිබුණේ නැහැ. ආණ්ඩු වෙනස නලින් ද සිල්වාගේ යෝජනාවක් වුවත්, අවසානයේදී ආණ්ඩු වෙනස සිදු වුනේ ඔහු නිසා කියා කියන්න බැහැ.  ඔහුගේ යෝජනාව අවසානයේදී කාගේ හෝ සැලසුමක කොටසක් වුනා.

ඔක්තෝබර් කුමන්ත්‍රණය හා ආසන්නව සුවිශේෂී සිදුවීම් කිහිපයක් සිදු වුනා. රෝ ඔත්තුකරුවෙකු විසින් තමන්ව (හා ගෝඨාභය රාජපක්ෂව) ඝාතනය කිරීමට සැලසුමක් ඇති බව ජනාධිපති සිරිසේන විසින් ඔක්තෝබර් 16 දින කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කළ බව වාර්තා වී තිබුණා. පසුව ජනාධිපති සිරිසේන විසින් ඔක්තෝබර් 17 දින දුරකථනයෙන් ජනාධිපති මෝදී අමතා මේ පුවත සාවද්‍ය එකක් බව පවසා තිබුණා. හදිසියේ මතු වූ නාමල් කුමාරනම් අයකුගේ ප්‍රකාශ මත අත් අඩංගුවට ගැනුණු මාර්සලි තෝමස්නම් ඉන්දියානු ජාතිකයෙකු ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් මානසික රෝගියෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසුව නිදහස් කර මානසික ප්‍රතිකාර සඳහා යවා තිබුණා.

මේ වන විට රනිල් මෛත්‍රී ගැටුමද උඩටම මතු වී තිබුණා. ඔක්තෝබර් 20-22 අතර රනිල් වික්‍රමසිංහ ඉන්දියානු සංචාරයක නිරත වුනා. ඊට පෙර මහින්ද රාජපක්ෂද ඉන්දියාවේ සංචාරය කළා. ඔක්තෝබර් 26 වෙනිදා රනිල්ව ඉවත් කර මහින්දව පත් කෙරුණා. මහින්ද පිලට මුලින්ම ගිය අය අතර වඩිවේල් සුරේෂ් එක් අයෙක්. ඔහු බදුල්ල දිස්ත්‍රික්කයේ ඉන්දියානු දෙමළ ප්‍රජාව නියෝජනය කරන්නෙක්. ඉන් පසු, දින කිහිපය තුළ ඔහු දෙපැත්තට දෝලනය වුනා. තවත් කිහිප දෙනෙක්ද පැති මාරු කළා. නොවැම්බර් 3 වෙනදා ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී සතාසිවම් වියලේන්තිරන් රාජපක්ෂ පිලට මාරු වුනා. මේ ආකාරයට මන්ත්‍රීවරු කිහිප දෙනෙක් පමණක් පිල් මාරු කළත්, ඒ වෙලාවේ මහින්දලාට බහුතර මන්ත්‍රීන්ගේ සහයෝගය ලබාගත හැකි ආකාරයේ රැල්ලක් තිබුනේ නැහැ.

ඔක්තෝබර් කුමන්ත්‍රනය සිදු වන විට තිබුණු දේශපාලන වාතාවරණය කොයි වගේ එකක්ද? ඒ වන විට එජාපය බිමටම සමතලා වෙලයි හිටියේ. එජාපය වෙනුවෙන් කතා කරන්න කෙනෙක් නොසිටි තරම්. අනෙක් අතට 44%ක් ලෙස මාධ්‍ය කිහිපයක් හරහා ජනගත කර තිබුණු 40.5%ක ඡන්ද ප්‍රතිශතයෙන් පොදුජන පෙරමුණ හා එම පක්ෂයේ ආධාරකරුවන් හිටියේ ටොප් ෆෝර්ම් එකේ. ඒ වගේම, 2015දී එජාපය එක්ක හිටපු බලවේග එකින් එක හැලී ගිහින් අවසානයේදී ජාතික ආණ්ඩුවේ පාර්ශ්ව දෙකත් ඒ වෙලාවේ දෙපිලකයි හිටියේ.

පසුගිය ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන ජයගත්තේ ඉන්දියාවේ හා බටහිර රටවල උදවුවෙන් කියන එක බොහෝ දෙනෙකු විසින් නොයෙක් වර කියා ඇති දෙයක්. විශේෂයෙන්ම මහින්ද පාර්ශ්වයේ අය. ජනාධිපතිවරණය පැවැත්වෙන විටත් එජාපය සතුව විශාල ජන පදනමක් තිබුණේ නැහැ. ද්‍රවිඩ සන්ධානයේ හා ජවිපෙ සහයෝගය නොලැබුනානම් මෛත්‍රීපාල සිරිසේනට ජනාධිපති වෙන්න ලැබෙන්නේ නැහැ. ද්‍රවිඩ සන්ධානය, ජවිපෙ හා එජාපෙ එකතු වීමෙන් පසුව රාජපක්ෂලා එපා වී සිටි විශාල පිරිසක්ද ඒ පැත්තට විතැන් වුනා. එසේ වුනේ, මෛත්‍රීපාල සිරිසේන ඇතුළු කිහිප දෙනෙකු පිල් මාරු කළ නිසා නෙමෙයි. එහෙත්, 2015දී රාජපක්ෂලාගෙන් විතැන් වූ ඡන්දදායකයින් පිරිසත්,  අඩු වැඩි වශයෙන් මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිල් මාරු කළ පිරිස සිටි දේශපාලන මානසිකත්වයේම සිටි පිරිසක්.

ද්‍රවිඩ සන්ධානය, ජවිපෙ හා එජාපෙ අතර වූ මැතිවරණ සන්ධානය ඒ ආකාරයටම තිබුණේ ජනාධිපතිවරණය අවසන් වන තුරු පමණයි. ද්‍රවිඩ සන්ධානයට හා ජවිපෙට තමන්ගේ අනන්‍යතා හා ඡන්දදායක පදනම් රැකගෙන එජාපය (හෝ වෙනත් ප්‍රධාන පක්ෂයක්) හා එක්ව කටයුතු කළ හැකි සීමාවක් තිබෙනවා. එම පක්ෂ මහ මැතිවරණයට තරඟ කළේ වෙන වෙනමයි.

ජනාධිපතිවරණ ගණිතය හා මහ මැතිවරණ ගණිතය වෙනස්. එජාපය ශ්‍රීලනිපයේ මෛත්‍රී කණ්ඩායම හා එක්ව, ජවිපෙ හා ද්‍රවිඩ සන්ධානය වෙන වෙනම තරඟ කරද්දී,  ශ්‍රීලනිපයේ ප්‍රධාන කණ්ඩායමට එරෙහිව මහ මැතිවරණයට ගියානම් 2015 අගෝස්තු අවසන් ප්‍රතිඵලය වෙන්නේ වෙනෙකක්. එය වෙනස් වුනේ මෛත්‍රීපාල සිරිසේන එජනිස සභාපති වීම හා මහින්ද එම ධුරය මෛත්‍රීට භාර දී පැත්තකට වීම සමඟයි. මේ සමඟ ඇති වුනේ විශාල දේශපාලන විකෘතියක්.

මෛත්‍රීපාල සිරිසේන විසින් භාර ගත්තේ තමන්ට එරෙහිම තමන්ගේ ප්‍රතිවාදියාට ඡන්දය දුන් කණ්ඩායමේ නායකත්වයයි. මේ වැඩේට රනිල් වික්‍රමසිංහ වක්‍රව සහයෝගය දුන් බවක් මිසක් විරුද්ධ වූ බවක් පෙනෙන්න තිබුණේ නැහැ. මම හිතන්නේ රනිල්, මෛත්‍රී ඇතුළු බොහෝ දෙනෙකුට වගේම මහින්ද පිලටත් ශ්‍රීලනිපයේ සංකේතාත්මක වටිනාකම පිළිබඳව තිබුණේ අධි තක්සේරුවක්. එතෙක් ලංකාවේ දේශපාලන ඉතිහාසය දෙස හැරී බැලූ විට ඒ අධි තක්සේරුව නිවැරදි බව පෙනෙන්නට තිබුණා. 2018 පළාත් පාලන මැතිවරණ පැවැත්වෙන තුරුම වෙනත් බොහෝ දෙනෙක් වගේම මගේ ඇස්තමේන්තුව වුනේත් ශ්‍රීලනිප කියන පක්ෂය සමඟ මීට වඩා විශාල පිරිසක් සිටින බවයි. පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල වලින් තහවුරු වුනේ එය එසේ නොවන බවයි.

පළාත් පාලන මැතිවරණ පැවැත්වෙන විට එජාපයට රටේ 50%ක ඡන්ද නොතිබුණු බව පැහැදිලිව පෙනෙන්නට තිබුණු කරුණක් වුවත් ඒ ප්‍රමාණය 29%ක් තරම් පහළ බවක් පැහැදිලිව පෙනෙන්නට තිබුණේ නැහැ. නමුත්, එජනිස ඡන්ද මීට වඩා වෙනස් ලෙස පොදුජන පෙරමුණ හා එජනිසය අතර බෙදුනානම් 40%ක පමණ ඡන්ද ප්‍රතිශතයකින් වුවත් එජාපයට රටේ පළාත් පාලන ආයතන විශාල ප්‍රමාණයක බලය ලබාගත හැකිව තිබුණා. 2015 අගෝස්තුවේදී එජාපය 45.7%ක ඡන්ද ප්‍රතිශතයකුත්, එජනිසය 42.4%ක ඡන්ද ප්‍රතිශතයකුත් ලබාගෙන තිබුණා.

පළාත් පාලන මැතිවරණ අවස්ථාවේදී මෛත්‍රීපාල සිරිසේන එජාපය හා සහයෝගීතාවය ගැන කතා කරමින්ම දිගින් දිගටම එජාපය විවේචනය කිරීමද කළා. එහිදී ඔහුගේ උපක්‍රමය වුනේ එජනිස ඡන්ද පොදුජන පෙරමුණට යාම වැළැක්වීම මිස එජාපයේ ඡන්ද ආකර්ශනය කර ගැනීම නෙමෙයි. එහෙත්, සිදු වුනේ එජනිස ඡන්ද පොදුජන පෙරමුණට යාම හා 2015 අගෝස්තුවේ එජාපය ලැබූ ඡන්ද එජනිසය වෙත විතැන් වීමයි. පළාත් පාලන මැතිවරණ වලදී 29% මට්ටමට වැටුණු එජාපයට තව දුරටත් පැවැත්මක් ඇති බවක් පෙනෙන්නට තිබුණේ නැහැ. යහපාලන ආණ්ඩුව පිහිටුවීමට උදවු කළත්, ඉන් පසුව, විශේෂයෙන්ම බැඳුම්කර වංචාව සිදු වීමෙන් පසුව, දිගින් දිගටම එජාපය විවේචනය කළ ජවිපෙට එජාපයට සෘජුව සහයෝගය දීමේ හැකියාවක් තිබුණේ නැහැ. ඒ වගේම, ද්‍රවිඩ සන්ධානයට උතුරට ගොස් පෙන්විය හැකි එජාපය දෙමළ ජනතාව වෙනුවෙන් කළ සුවිශේෂී දෙයක් තිබුණේත් නැහැ. ඒ වගේම, යහපාලන ආණ්ඩුව රාජපක්ෂලාගේ හොරකම් අල්ලා ඔවුන්ට නඩු දමා තිබුණේ නැහැ. ඒ නිසාත්, එජාපය බැඳුම්කර වංචාවට පැටලීමත් නිසා රාජපක්ෂ විරෝධයේ දේශපාලන වාසිය මේ වන විට තුනී වෙලයි තිබුණේ. ඔක්තෝබර් කුමන්ත්‍රණය සිදු වුනේ මෙවැනි දේශපාලන වටපිටාවකයි.

ඔක්තෝබර් කුමන්ත්‍රණය සමඟ සියල්ල කණපිට හැරුණා. ජවිපෙට, එජාපයට, ද්‍රවිඩ සන්ධානයට මෙන්ම නිර්පාක්ෂිකයින්ටත් නැවත එකට එකතුව කටයුතු කරන්න එයින් අවස්ථාවක් සැලසුණා. රාජපක්ෂලා සමඟ සිටි ඇතැම් අය බලය අපහරණය පිළිබඳ නිදර්ශන රට හමුවේ ප්‍රදර්ශනය කරන්න පටන් ගත්තා. වඩිවේල් සුරේෂ් වැනි මන්ත්‍රීවරුන් පිල් මාරු කිරීමත් සමඟ මන්ත්‍රීවරුන් වෙන්දේසි වීම ගැන කතාබහ මතු වුනා. රංගෙ බණ්ඩාර සිදුවීමෙන් මෙය තහවුරු වෙන්න පෙර සිටම මන්ත්‍රී වෙන්දේසිය ජාත්‍යන්තර අවධානය දිනාගත්තා. ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම ඉදිරියට දමා ආණ්ඩුව ආරක්ෂා කිරීම සඳහා කටයුතු කරන්න ජවිපෙට පදනමක් හැදුනා. සතාසිවම් වියලේන්ද්‍රන්ගේ පිල් මාරුවත් එක්ක ද්‍රවිඩ සන්ධානයට ප්‍රසිද්ධියේ එජාපයට සහයෝගය දිය හැකි පසුබිමක් හැදුනා. 2015දී මෙන් නැවතත් රාජපක්ෂ විරෝධී බලවේග එක කඳවුරකට ආවා.

ඔක්තෝබර් කුමන්ත්‍රණය වෙලාවේ රනිල්ගෙන් දැක ගත හැකි වුනේ තරමක් උදාසීන ප්‍රතිචාරයක්. අරලියමන්දිරය අත් නොහැරියත්, අගමැතිකම නමට තියාගෙන හිටියත්, තමන්ගේ නීත්‍යානුකූල අගමැතිකම රැක ගන්න ඔහු ලොකු සටනක් කළේ නැහැ. ඔහු කළේ බටහිර රටවලට නඩු කියන එක පමණයි. අඩු වශයෙන් ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේ හෝ නැහැ.  තත්ත්වය වෙනස් වෙන්න ප්‍රධාන වශයෙන් හේතු වුනේ ජවිපෙත්, ආණ්ඩුව ඇතුළේ සිටි චම්පික හා රාජිත වැනි අයත් සක්‍රිය වීමයි. ඔවුන් එසේ සක්‍රිය වුනේ රටේ බොහෝ මිනිසුන් මේ අවස්ථාවේදී සංවේදී වූ නිසා විය හැකියි. එසේ නැතත්, ඔවුන් එසේ සක්‍රිය වීම ප්‍රයෝජනවත් වුනේ රටේ බොහෝ මිනිසුන් මේ වෙලාවේ සංවේදී හා සක්‍රිය වූ නිසයි.

අවසානයේදී දින පනස් එකකින් පසු එම ආණ්ඩුව බිඳ වැටුණා. ඒ වෙලාවේ එකට එකතු වූ බලවේග නැවත විසිරී ගියා. දිගුකාලීනව එජාපයට ලොකු වාසියක් හෝ පොදුජන පෙරමුණට ලොකු අවාසියක් වුනේ නැහැ. නමුත්, යම් හෙයකින් රාජපක්ෂලාට තවත් මන්ත්‍රීවරු කිහිප දෙනෙකු මිල දී ගත හැකි වුනානම් තත්ත්වය වෙනස් වෙනවා. රාජපක්ෂලා විසින් බලෙන් ගත් ආණ්ඩුව වැඩි කලක් පැවතුනානම් රාජපක්ෂ විරෝධීන් දිගටම එක්ව කටයුතු කිරීම හා රාජපක්ෂ විරෝධය එන්න එන්නම වර්ධනය වීමත් සිදු වෙනවා. අරලියගහ මන්දිරයට පහර දී රනිල්ව ඉවත් කළානම් තත්ත්වය බොහෝ සේ වෙනස් වෙනවා. ඉතා පහසුවෙන් විදේශ මැදිහත්වීමකට අවස්ථාව සැලසෙනවා. එවැන්නක අවසන් ප්‍රතිඵලය හිතා ගන්නත් අමාරු තරම් භයානකයි.

ඔක්තෝබර් කුමන්ත්‍රණය හා එය බිඳ වැටීම නිසා එක් එක් පාර්ශ්ව වලට සිදු වූ වාසි අවාසි ඇස්තමේන්තු කිරීම ඉතා සංකීර්ණ කටයුත්තක්. ඒ වගේම, සමහර සැලසුම් වෙනත් සැලසුමක ප්‍රතිඵලයක් විය හැකි බව කූඹියෝ බලපු අය දන්නවා. ඔක්තෝබර් කුමන්ත්‍රණය සැලසුම් වුනේ කොහොමද කියන එක බොහෝ විට කවදාවත් හරියටම දැනගන්න නොලැබෙන්න පුලුවන්.

Monday, October 21, 2019

කෘතිම බුද්ධිය සහ වගවීම


පසුගිය (2019) මාර්තු 10 වෙනිදා අනතුරට පත් වූ ඉතියෝපියානු ගුවන් යානය ගැන මෙය කියවන ගොඩක් අයට තවමත් මතක ඇති. ගුවන් ගත වී ටික වෙලාවකින් කඩා වැටුණු මේ යානයේ ගමන් කළ ගුවන් නියමුවන්, සේවකයින් හා රටවල් 35ක මගීන් ඇතුළු 157 දෙනෙකු මේ ගුවන් අනතුරෙන් ජීවිතක්ෂයට පත් වුනා. ඊට මාස කිහිපයකට පෙර, 2018 ඔක්තෝබර් 29 වෙනිදා මේ ආකාරයටම කඩා වැටුණු ඉන්දුනීසියාවේ ලයන් එයාර් ගුවන් අනතුරෙන්ද 189 දෙනෙකු මිය ගියා.

මේ අනතුරු දෙකටම හේතු වී තිබෙන්නේ ගුවන් යානයේ ස්වයංක්‍රීය පාලකයට එහි සංවේදකයක් මගින් වැරදි තොරතුරු ලබා දීම හා එම වැරදි තොරතුරු මත පදනම්ව අදාළ ගුවන් යානා වල ස්වයංක්‍රීය පාලක මගින් දිගින් දිගටම වැරදි තීරණ ගැනීමයි. ගුවන් නියමුවන් විසින් ස්වයංක්‍රීය පාලක අකර්මන්‍ය කර තත්ත්වය නිවැරදි කිරීමට උත්සාහ කර ඇතත් එය සාර්ථක වී නැහැ. එකම හේතුවක් නිසා සිදු වූ ඉහත අනතුරු දෙක නිසා වටිනා ජීවිත 346ක් අහිමි වුනා. මේ ජීවිත වලට වග කියන්නේ කවුද?

ඉහත උදාහරණය කෘතිම බුද්ධි භාවිතය නිසා ඇති වී තිබෙන වගවීම පිළිබඳ ගැටළුවක් කියා කිව හැකියි.

මේ වන විට ගුවන් යානාවක් ගුවන් ගත කිරීමෙන් පසුව එහි පාලනය බොහෝ දුරට සිදු වන්නේ ස්වයංක්‍රීය ලෙසයි. ගුවන්ගත කිරීම හෝ ගොඩබැස්වීම නියමුවෙකුගේ සහායෙන් සිදුවුනත්, එහිදීද නියමුවා විසින් සෑහෙන තරමකින් ස්වයංක්‍රීය පාලක පද්ධතියේ සහාය ලබා ගන්නවා.

ඉතාම නුදුරු කාලයකදී ඇමරිකාවේ මාර්ග වල දිවෙන වාහන විශාල ප්‍රමාණයක් රියැදුරෙකු නැතිව ධාවනය වන ඒවා වන බව පැහැදිලියි. මෙවැනි වාහනයක් අනතුරට ලක් වූ විට වගවීම තිබෙන්නේ කා අතේද?

රියැදුරෙකු නැතිව ස්වයංක්‍රීය ලෙස ධාවනය වන වාහනයක් අනතුරට ලක් වෙන්න තිබෙන සම්භාවිතාව මිනිස් රියැදුරෙකු විසින් එළවන වාහනයක එම සම්භාවිතාවට වඩා ගොඩක් අඩුයි. එහෙත්, එය සිදු විය හැකියි. මේ වගේ වෙලාවක අතතුර සම්බන්ධ වගවීම තිබෙන්නේ වාහනය නිපදවූ සමාගමටයි. මෙය තරමක් සංකීර්ණ තත්ත්වයක්. අප ජීවත් වන්නේ රිය අනතුරක් සිදු වූ පසු රියැදුරා අල්ලාගෙන තඩිබෑම, රියැදුරා පලායාමෙන් පසුව වෙනත් අයෙකු ඉදිරිපත් වී අනතුරේ වගකීම ගැනීම වැනි දේත් සිදුවන ලෝකයකයි.

මිනිසෙකු විසින් කරන වැඩක් යන්ත්‍රයකට භාර දීමෙන් අනතුරුව කිසියම් වැරැද්දක් වුනොත් වැරැද්දට චෝදනා කර අල්ලාගෙන තඩිබාන්න කෙනෙක් නැහැ. ඇඳුම් ටික හෝදලා නැත්නම් භාර්යාවට අල්ලගෙන තඩිබාන්න පුළුවන් වුනත් (මේ වගේ දේවල් වෙන ලෝකයකනේ අපි ජීවත් වෙන්නේ!) රෙදි සෝදන යන්ත්‍රයේ දෝෂයක් ඇති වූ විට යන්ත්‍රයට තඩිබාලා වැඩක් නැහැ. නමුත්, මෙය රෙදි සෝදන යන්ත්‍රයක් නොගෙන ඉන්න හේතුවක් නෙමෙයි.

වැදගත් වෙන්නේ රෙදි ටික හේදිලා නැති වෙලාවක වැරැද්දට වගවෙන, චෝදනා කළ හැකි, නිශ්චිත පුද්ගලයෙකු සිටීම නෙමෙයි. වැරැද්ද සිදුවීමේ ඉඩකඩ හැකි තරම් අඩුවීමයි.

රාජ්‍ය පාලනයත් එක අතකින් ගුවන් යානයක් පියාසර කරවනවා වැනි වැඩක්. නියමුවා විසින් කරන පොඩි වැරැද්දක් නිසා විශාල ජීවිත ගණනක් අහිමි වෙන්න පුළුවන්.  ඒ නිසා, යානය පියාසර කරන්න නියමුවෙකු තෝරා ගැනීමේදී මේ විදිහට තෝරා ගන්නා නියමුවා අතින් වැරදි හෝ අත්වැරදි සිදුවෙන්න තිබෙන ඉඩකඩ ගැන හැකි තරම් සැලකිලිමත් විය යුතුයි. යානය ගුවන්ගත වුනාට පස්සේ නියමුවා මාරු කරන්න බැහැ.

අද නොහැකි වුවත් අනාගතයේදී හෝ කෘතිම බුද්ධිය යොදාගනිමින් මිනිස් නියමුවෙකුට වඩා හොඳින් රාජ්‍ය පාලනය පිළිබඳ වැදගත් තීරණ ගන්න පුළුවන් විය හැකියි. රාජ්‍ය පාලනය කියන්නේ ගුවන් යානයක් පියාසර කරනවාට වඩා ගොඩක් සංකීර්ණ හා ඉතා විශාල පිරිසකට බලපෑමක් සිදුවන කාර්යයක් කියා කාට හෝ කියන්න පුළුවන්. මේ කටයුත්තේදී කෘතිම බුද්ධිය මිනිස් පාලකයින්ට වඩා සාර්ථක වෙන්න ඉඩ තියෙන්නේමත් ඒ නිසාමයි. තීරණයක් ගැනීමේදී සලකා බැලිය යුතු කරුණු සංකීර්ණ වන තරමට නිසි පරිදි සැලසුම් කළ කෘතිම බුද්ධි වැඩසටහනක් එක් මිනිස් මොළයකට හෝ පොදුවේ මිනිස් මොළයට වඩා කාර්යක්ෂම වෙන්න තිබෙන ඉඩකඩ වැඩියි.

එවැනි කෘතිම බුද්ධි වැඩසටහනකට වුවත් වරදින්න පුළුවන්. ඒ වගේ වෙලාවක වැරැද්ද පටවන්න පුද්ගලයෙක් නැති වෙනවා. නමුත්, වැදගත් වෙන්නේ වැරදි වෙන්න ඉඩහැර කාට හෝ වැරැද්ද පැටවීම නෙමෙයි. යහපාලන ආණ්ඩුව පිටින් වැරැද්ද දැම්මත්, ඊට කලින් හිටපු රාජපක්ෂලා පිට වැරැද්ද දැම්මත්, අවුරුදු 71ක් රට පාලනය කරපු සියලුම පාලකයින් පිට වැරැද්ද දැම්මත්, ඊටත් කලින් හිටපු සුද්දන් පිට වැරැද්ද දැම්මත් වැරැද්දක් වුනාට පස්සේ එයින් ඇති වැඩක් නැහැ. වැදගත් වෙන්නේ අනාගතයේදී වැරදි අඩුවෙන් සිදු වෙන බවට වග බලා ගැනීමයි.

කෘතිම බුද්ධිය යොදාගනිමින් රාජ්‍ය පාලනයේදී සිදුවන වැරදි අවම කර ගන්නේ කොහොමද? කෘතිම බුද්ධිය යොදාගනිමින් රාජ්‍ය පාලන ක්‍රමවේදයේ තිබෙන අඩුපාඩු අවම කර ගන්නේ කොහොමද?

පළමුවෙනි ප්‍රශ්නයට පිළිතුරු දීම සාපේක්ෂව පහසුයි. එහෙත්, දෙවන ප්‍රශ්නය වඩා ගැඹුරු ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නය කෘතිම බුද්ධිය හමුවේ ප්‍රජාතන්ත්‍රවාදය ලෙස තරමක් පටු ලෙස ස්ථානගත කරන්නත් පුළුවන්.

අද වන විට ප්‍රජාතන්ත්‍රවාදය වඩාත්ම සාර්ථක දේශපාලන ආකෘතිය සේ සැලකෙනවා. අනෙකුත් විකල්ප වලට සාපේක්ෂව ප්‍රජාතන්ත්‍රවාදය සතු සාධනීය අංග රාශියක් තිබෙනවා. යම් සීමාවන් තිබුණත්, ප්‍රජාතන්ත්‍රවාදය යටතේ සෑම පුද්ගලයෙකුගේම කැමැත්තට සමාන වටිනාකමක් ලැබෙනවා. නමුත්, එය එසේ වූ පමණින් වඩා ප්‍රජාතන්ත්‍රවාදී විසඳුම හැම විටම වඩා කාර්යක්ෂම විසඳුම වෙන්නේ නැහැ.

මූලධර්මයක් සේ සැලකුවහොත්, ප්‍රජාතන්ත්‍රවාදය කියා කියන්නේ සියලු දෙනාගේම අදහස් සාකච්ඡාවට බඳුන් කර සියලු දෙනා විසින්ම වඩාත්ම හොඳ තීරණයකට එළැඹීමයි. ප්‍රායෝගිකව බොහෝ අවස්ථා වලදී සියලු දෙනාටම එකම තීරණයකට එකඟ වෙන්න බැහැ. ඒ වගේ වෙලාවක සිදු වන්නේ බහුතරයේ තීරණයට සියලු දෙනාම එකඟ වීමයි. බහුතරයේ තීරණය නිගමනය කෙරෙන්නේ ඡන්ද විමසීමක් හරහා. එහිදී සෑම අයෙකුටම එක් ඡන්දයක් හිමි වෙනවා.

සමහර වෙලාවට බහුතර මතය මගින් නියෝජනය වෙන්නේ හොඳම විකල්පය නොවෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට කිසියම් වෙනසක් කිරීම සඳහා දහ දෙනෙකුගේ කැමැත්ත විමසන අවස්ථාවක් ගැන හිතමු. දහ දෙනාගෙන් හතර දෙනෙකුට මේ වෙනස නිසා රුපියල් පහ බැගින් වාසි සැලසෙනවා. ඉතිරි හය දෙනාට රුපියල බැගින් පාඩු වෙනවා. සමස්තයක් ලෙස රටට රුපියල් 14ක වාසියක් තිබෙනවා. නමුත්, මේ යෝජනාව බහුතර ඡන්දයෙන් සම්මත වෙන්න ඉඩක් නැහැ.

කෙනෙකු ඡන්දය දෙන ආකාරය දෙස බලා ඔහුගේ හෝ ඇයගේ වැඩිම කැමැත්ත තිබෙන විකල්පය දැනගන්න පුළුවන්. එහෙත්, ඔහු හෝ ඇය දෙවනුවට කැමති විකල්පයට වඩා පළමු විකල්පයට කොතරම් කැමතිද කියන එක දැන ගන්න බැහැ. ඒ නිසා, වැඩි පිරිසකට සුළු වාසියක් තිබෙන ක්‍රියාමාර්ග ප්‍රජාතන්ත්‍රවාදය තුළ ඉදිරියට එන නමුත් අඩු පිරිසකට විශාල වාසි තිබෙන විකල්ප යටපත් වෙනවා.

එහෙමනම්, ඒකාධිපති ක්‍රමයක් වඩා කාර්යක්ෂමද? ඇතැම් තත්ත්වයන් යටතේදී එහෙම වෙන්න පුළුවන්. ඉහත උදාහරණයේදී රටේ එක් එක් පුද්ගලයාට තිබෙන වාසි අවාසි ඇස්තමේන්තු කර, ඒ වාසි අවාසි තුලනය කර හොඳම විකල්පය තෝරා ගැනීම, සෛද්ධාන්තිකව හිතුවොත්, ඒකාධිපතියෙකුට කළ හැකි දෙයක්. නමුත්, ප්‍රායෝගිකව එවැන්නක් කළ හැකි තරමේ විශ්ලේෂණ හැකියාවක් කිසිදු තනි පුද්ගලයෙකුට නැහැ.

ප්‍රජාතන්ත්‍රවාදය යටතේ වුවත් රජය කියන ආයතනය විසින් කරන්න උත්සාහ කරන්නේත් ඉහත කී ආකාරයයේ කටයුත්තක්. මේ විශ්ලේෂණය තනි පුද්ගලයෙකුට කළ නොහැකි නිසා රජය කියන ආයතනික ලේබලය යටතේ විශාල පිරිසක් එකතු වී ඔය විශ්ලේෂණය කර හොඳම තීරණ ගන්නවා. අඩු වශයෙන් සෛද්ධාන්තිකව සිදු වෙන්නේ එයයි.

කෙසේ වුවත්, රජයකට වැඩි දෙනෙකු අකැමැති දේවල් කරන්න බැහැ. ඒ නිසා, මොන විශ්ලේෂණය කළත් කිසියම් ක්‍රියා මාර්ගයක් අවසන් වශයෙන් සාර්ථකව ක්‍රියාත්මක කළ හැක්කේ වැඩි දෙනෙකුගේ කැමැත්ත ලැබේනම් පමණයි. වැඩි දෙනෙකුට වාසි සැලසේනම් වැඩි දෙනෙකුගේ කැමැත්ත ලබාගත හැකියි.

නිසි විශ්ලේෂණයක් කිරීමෙන් පසුව, කිසියම් විකල්ප ක්‍රියා මාර්ගයකින් සමස්තයක් ලෙස වාසියක් ලැබෙන බව පෙනේනම් ඒ වාසිය වැඩි දෙනෙකු අතර බෙදී යන ආකාරයේ වෙනසක් කිරීම සුළු දෙයක්. ඉහත උදාහරණයේ වාසි ලබන හතර දෙනාගෙන් රුපියල් තුන බැගින් එකතු කරගෙන ඒ රුපියල් 12 ඉතිරි හය දෙනා අතර රුපියල් දෙක බැගින් බෙදා දෙන ආකාරයට යෝජනාව සංශෝධනය කළොත් හතර දෙනෙකුට රුපියල් දෙකක බැගින් වාසියකුත්, හය දෙනෙකුට රුපියල බැගින් වාසියකුත් ලැබෙන නිසා යෝජනාවට කාගේත් කැමැත්ත ලැබෙනවා.

බැලූ බැල්මටම පෙනෙන්නේ රජයට මැදිහත් වී පවතින තත්ත්වය වඩා යහපත් ලෙස වෙනස් කළ හැකි බවයි. නමුත්, මෙය කරන්න පළමුව කිසියම් වෙනසක් කිරීමෙන් රටේ එක් එක් පුද්ගලයාට තිබෙන වාසි අවාසි නිවැරදිව ගණනය කළ යුතුයි. ඒ වාසි හැම විටම මුදල් වාසිම නොවන නිසා මෙය කළ හැක්කේ කවර හෝ ආකාරයකින් හැම පුද්ගලයාගේම රුචිකත්වය දැනගත හැකිනම් පමණයි. නෙළුම් කුළුණට ජීවිතේට නොයන කෙනෙක් නෙළුම් කුළුණ නිසා සතුටු වෙනවා වෙන්න පුළුවන්. මේ ආකාරයට එක් එක් පුද්ගලයාගේ වාසි අවාසි නිවැරදිව දැනගත හැකිනම්, ඒ තොරතුරු මත පදනම්ව විශ්ලේෂණ කිරීම සාපේක්ෂව අමාරු නැහැ.

රටක සෑම පුද්ගලයෙකුගේම රුචි අරුචිකම් දැන ගැනීම අසීරුයි. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය තුළ මහජන නියෝජිතයන්ගෙන් අපේක්ෂා කෙරෙන්නේ තමන් විසින් නියෝජනය කරන ප්‍රජාවන්ගේ රුචි අරුචිකම් හඳුනාගෙන සන්නිවේදනය කිරීමේ අසීරු කාර්යයයි. මහජන නියෝජිතයින් මෙන්ම රජයේ නිලධාරීන් විශාල පිරිසක් විසින්ද මේ කාර්යය කරනවා. ප්‍රශ්නය තිබෙන්නේ මේ සියලු පිරිස් නඩත්තු කිරීම සඳහා දැරිය යුතු වියදමේ.

ඉහත උදාහරණයට නැවත ආවොත්, සමස්තයක් ලෙස ලැබෙන රුපියල් 14ක වාසිය වෙනුවෙන් රජයේ වියදම් ලෙස රුපියල් 20ක් වැය වුනොත්, මේ දහ දෙනාට ඒ වියදම රුපියල් දෙක බැගින් දරා ගන්න වෙනවා. අන්තිමේදී කිසිවෙකුට අවාසියක් මිස වාසියක් සිදු වී නැහැ. ඒ වගේම, රජය විසින් සෛද්ධාන්තිකව යෝජනා කළ හැකිව තිබෙන ප්‍රශස්ත විසඳුම රජයේ මැදිහත්වීමක් නැතිවම ඉදිරිපත් විය හැකියි. සභාකක්ෂ මන්ත්‍රණ කණ්ඩායම් (lobby groups) හරහා සිදුවෙන්නේ එයයි. ඉහත උදාහරණය වෙත ආවොත්, රජයේ මැදිහත්වීම අවම වටාපිටාවක ඉහත යෝජනාවෙන් වාසි ලබන හතර දෙනා විසින් ඉතිරි අයව යෝජනාවට එකඟ කර ගැනීමේ අරමුණින් ඔවුන්ට රුපියල් දෙක බැගින් දෙන්න කැමති වෙන්න පුළුවන්. එවිට රජය නඩත්තු කිරීම සඳහා වැය වෙන මුදල්ද ඉතිරි වී, ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළම අවශ්‍ය කටයුත්ත ඒ අයුරින්ම කෙරෙනවා.

අනෙක් අතට රජයේ මැදිහත්වීම මත හැම දෙයම තීරණය වෙන වටාපිටාවක මෙය සිදු වෙන්නේ වෙනස් ආකාරයකටයි. යෝජනාවෙන් වාසි ලබන හතර දෙනාට බහුතර කැමැත්ත ලබා ගැනීම පිණිස රුපියල් 12ක් වැය කරනු වෙනුවට තීරණය ගැනීමේ බලය තිබෙන පුද්ගලයා හෝ පිරිස පොළඹවාගෙන අඩු වියදමකින් තමන්ට අවශ්‍ය කටයුත්ත කරගන්න පුළුවන්. මේ උදාහරණයේදීනම් එහෙම කළා කියා සමස්තයක් ලෙස නරකක් වෙන්නේ නැහැ. එහෙත්, සමස්තයක් ලෙස අවාසියක් වන තීරණයකදී වුවත් සුළු වාසියක් ලබන පිරිසකට ඔය වැඩේම කරන්න පුළුවන්.

කෘතිම බුද්ධිය යොදා ගැනීමෙන් රජයයන් විසින් කරන තොරතුරු එකතු කිරීම, විශ්ලේෂණය කිරීම හා තීරණ ගැනීම වඩා කාර්යක්ෂමව කළ හැකියි. මෙහිදී කාර්යක්ෂමතාවය යන්නෙන් අදහස් කළේ අඩු කාලයකින් හා වැඩි නිරවද්‍යතාවයකින් කියන එකයි. ඇතැම් කටයුතු වලදී මෙය අඩු වියදමකින්ද කළ හැකියි. නමුත්, මේ වාසි ලබා ගන්නනම් වගවීම කියන එක අමතක කර තීරණ ගැනීම කෘතිම බුද්ධිය වෙතම පවරා මිනිස් පාලකයින් තීරණ ගැනීමේ කටයුත්තෙන් ඉවත් විය යුතුයි. එසේ නැතිව, තොරතුරු එකතු කිරීම හා විශ්ලේෂණය කිරීම පමණක් කෘතිම බුද්ධිය වෙත පවරා ඒ මත පදනම්ව තීරණ ගැනීම නායකයෙකු වෙත ඉතිරි කර ගත්තොත් වෙන්නේ බලයෙන් පහ කිරීම ඉතා අසීරු මහා බලසම්පන්න ආඥාදායකයෙකු ගොඩ නැගෙන එකයි.

(Image: https://www.forbes.com/sites/cognitiveworld/2019/02/25/troubling-trends-towards-artificial-intelligence-governance/#6e3d319f25a5)

Tuesday, October 15, 2019

කෘතිම බුද්ධිය හා නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය


සජිත්ලාගේ මෙගා මයින්ඩ්ස් තොරණ ගැන ලියපු ලිපිය හා අදාළව ප්‍රතිචාරයක් දමමින් පරිණත බ්ලොග්කරුවෙකු වන ජාලිය විසින් ප්‍රශ්නයකින් අවසන් වන පහත කමෙන්ටුව වත්පොතේ දමා තිබුණා.

"මට එකපාරටම මතක් උනේ අර දොස්තර හොඳ හිත කාටුන් එකේ කැප්ටන් දියරකුස්ගේ ආර් ටූ ඩී ටූ කොම්පියුටර් එක...මට මේ විහිලුවට වඩා ටිකක් ගැඹුරු ප්‍රශ්නයක් තියෙනවා. කෘතිම බුද්ධිය භාවිතය නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය හා ගැලපෙන්නේ කොහොමද..ඒ තීරණවලට වගවීම ගලපා ගන්නේ කොහොමද කියන එක මොකක්ද ඔබේ අදහස?"

පළමුවෙන් කියන්නේ ඕනෑ, සජිත්ගේ මෙගා මයින්ඩ්ස් තොරණ කිසිසේත්ම කෘතිම බුද්ධිය රාජ්‍ය පාලනය සඳහා යොදා ගැනීමක් නෙමෙයි. තොරණේ විච්චූරණ ටික අයින් කළොත්, තොරණ පිටුපස්සේ තිබෙන සංකල්පය ඇතුළේ රාජ්‍ය පාලනය සඳහා වඩා පුළුල් පදනමකින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය යොදාගැනීම කියන අදහස තියෙනවා. එය හොඳ අදහසක්. නමුත්, අලුත් අදහසක් නෙමෙයි. තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය යොදාගැනීම කියන්නෙත් කෘතිම බුද්ධිය යොදා ගැනීම කියන්නෙත් කරුණු දෙකක්.

කෘතිම බුද්ධිය කියන වචනයෙන් සාමාන්‍යයෙන් පොදුවේ අදහස් වන්නේ මෙතෙක් මිනිස් මොළය යොදවා සිදු කළ ඇතැම් කටයුතු හා ගත් තීරණ පරිගණකයකට භාර දීමයි. එසේ මිනිස් මොළය වෙනුවට පරිගණකයක් ආදේශ කිරීමෙන් අපේක්ෂා කරන වාසි අතර වැඩි නිරවද්‍යතාවය, වේගය හා අඩු වියදම කියන කරුණු තුනෙන් එකක් හෝ කිහිපයක් තිබෙනවා. නැත්නම් තේරුමක් නැහැනේ.

මානව ඉතිහාසයේ අති දීර්ඝ කාලයක් පුරාවට මිනිසුන්ගේ නිෂ්පාදන ධාරිතාව මාංශ පේශි වල ශක්තිය විසින් සීමා කෙරුණා. කොයි තරම් ශක්තිමත් මිනිසෙකුට වුවත් යෙදවිය හැකි වූ උපරිම ශක්තිය ප්‍රමාණවත් වුනේ සීමිත නිෂ්පාදන කාර්යයක් සඳහා පමණයි. මාංශ පේශි වල ශක්තිය වැය වන විට නැවත ඒ ශක්තිය ප්‍රතිස්ථාපනය කර ගැනීම සඳහා හදපු නිෂ්පාදන වලින් විශාල කොටසක් නැවත වැය කිරීම අවශ්‍ය වූ නිසා මේ යුගයේදී ප්‍රාග්ධනය එකතු කර ගැනීම පහසු කටයුත්තක් වුනේ නැහැ. බොහෝ විට යමෙකුට එසේ කළ හැකි වුනේ වෙනත් අයෙකුගේ මාංශ පේශි ශක්තිය යොදවා හදන නිෂ්පාදනයක අතිරික්තය "සූරාකෑම" මගිනුයි.

එහෙත් මේ වන විට නිෂ්පාදන කාර්යයන් සඳහා මාංශ පේශි වල ශක්තිය යොදා ගැනෙන්නේ ඉතාම සීමිතවයි. සමාජයක් විදිහට අප සතු නිෂ්පාදන ධාරිතාව ලෝකයේ සියලුම මිනිසුන්ගේ මාංශ පේශි වල ශක්තිය යොදවා කළ හැකි උපරිම නිෂ්පාදනය මෙන් සිය දහස් ගුණයක්. අපි දැන් කරන්නේ අපේ මාංශ පේශි වලට නිවාඩු දී යන්ත්‍ර සූත්‍ර විසින් අප විසින් කලින් කළ දේවල් කරන හැටි බලා ඉන්න එකයි. සතියක් පුරා ඇඳපු කිළුටු රෙදි ටික එකතු කර ගෙන ගඟට ගිහින් ගලේ ගසා අතුල්ලා සෝදා අවුවේ දමා වේලාගන්න කාලය නොයොදවා රෙදි සෝදන හා වේලන යන්ත්‍රයක් විසින් ඒ කටයුතු කර දෙන තුරු පැත්තකට වී විවේක ගන්න දැන් අපට පුළුවන්. එසේ වුවත්, මේ යන්ත්‍ර වලට හිතන එක හෝ තීරණ ගන්න එක කරන්න බැහැ. ඒ නිසා, හිතන්න හෝ තීරණ ගන්න අවශ්‍ය කාර්යයන් අප විසින්ම කර ගත යුතුයි.

කෘතිම බුද්ධිය යොදා ගැනීමේදී වෙන්නේ මෙතෙක් අප විසින්ම කර ගත් හිතීමට හා තීරණ ගැනීමට අවශ්‍ය කටයුතුත් යන්ත්‍ර වලටම පැවරීමයි. එහෙත්, එක දෙයක් පැහැදිලි කළ යුතුයි. පරිගණකයකට හෝ වෙනත් යන්ත්‍රයකට මිනිසෙකුට මෙන් හිතන්න බැහැ. කෘතිම බුද්ධිය කියා කියන්නේ මිනිසුන් විසින් කරන හිතීමට හා තීරණ ගැනීමට ආදේශකයක් වුවත් යන්ත්‍රයක් විසින් මිනිසෙකු මෙන් හිතීම හෝ තීරණ ගැනීම නෙමෙයි. බොහෝ විට කෘතීම බුද්ධිය කියන එකෙන් අදහස් වෙන්නේ ඇතැම් කාර්යයන්හිදී මිනිස් මොළයට වඩා කාර්යක්ෂම ඉතා සංකීර්ණ පරිගණක වැඩ සටහනක්.

උදාහරණයක් විදිහට කෘතිම බුද්ධිය භාවිතයෙන් ස්වයංක්‍රීයව ධාවනය වන මෝටර් රථයක් පෙන්වන්න පුළුවන්. වාහනයක් ධාවනය කිරීම ඉතා සංකීර්ණ කටයුත්තක්. ඒ සඳහා අඛණ්ඩ අවධානය සමඟ ක්ෂණික විශ්ලේෂණ හා තීරණ ගැනීමේ හැකියාව රියැදුරෙකුට අවශ්‍යයි. මේ වන විට මේ සියල්ල මිනිසෙකුට වඩා හොඳින් පරිගණකයකට කළ හැකියි.

තවත් උදාහරණයක් විදිහට ගුවන් තොටුපලකදී ගමන් බලපත්‍රය හා වීසා පරීක්ෂා කර රටට ඇතුළු වෙන්න අවසර දීමේ කාර්යය පෙන්වන්න පුළුවන්. දැනටමත් කෙරෙන මෙවැනි කටයුතු වලට අමතරව කෘතීම බුද්ධිය යොදාගෙන වෛද්‍යවරයෙකු විසින් කරන රෝග විනිශ්චය වැනි දේවල් වුවත් කළ හැකියි.

රාජ්‍ය පාලනයේදී කෘතිම බුද්ධිය යොදා ගත හැක්කේ කවර ආකාරයකටද?

මෙහිදී අප විසින් මුලින්ම විමසිය යුත්තේ රාජ්‍ය පාලනයේදී කෘතිම බුද්ධිය යොදා ගත යුත්තේ කවර තත්ත්වයන් යටතේද කියන එකයි. මුලින් කියූ පරිදි, රාජ්‍ය පාලනය සඳහා කෘතිම බුද්ධිය යොදා ගැනීමෙන් නිරවද්‍යතාවය, වේගය හා අඩු වියදම කියන වාසි තුනෙන් එකක් (හෝ කිහිපයක්) ලැබෙන්න පුළුවන්. කෘතිම බුද්ධිය යොදා ගැනීම නිසා වියදම අඩු වෙනවානම් එහි ගැටළුවක් නැහැ. එහෙත්, ලැබෙන්නේ මුල් වාසි දෙකෙන් එකක්නම් ඒ වාසි වෙනුවෙන් කොපමණ මුදලක් වැය කළ යුතුද කියන එක ගැන රජයක් විසින් සැලකිලිමත් විය යුතුයි. ඒ වගේම වැඩි වූ නිරවද්‍යතාවයේ හෝ වේගයේ වාසිය වෙනුවෙන් වැඩි වූ පිරිවැය දරන්න රටේ මිනිස්සු සූදානම්ද කියන එකත් සොයා බැලිය යුතුයි. එසේ නැතිව රජයක් විසින් කෘතිම බුද්ධිය යොදා ගැනීමේ අරමුණින් කෘතිම බුද්ධිය යොදා ගැනීම තේරුමක් නැති සෝබන වැඩක් හා මුදල් නාස්තියක් පමණයි.

කෘතිම බුද්ධිය යොදාගෙන රජයකට වියදම් අඩු කර ගත හැක්කේ, එහෙම නැත්නම් ආදායම් ඉහළ නංවා ගත හැක්කේ කවර ආකාර වලින්ද කියන එකත්, ජාලියගේ ප්‍රශ්නයේ හරය වන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය හා වගවීම මෙයට සම්බන්ධ වන ආකාරය ගැනත් කතා කිරීම පසුවට තබමු.

Monday, October 14, 2019

තනපට අහසට No BRA day


අවුරුදු හතරකට පෙර එන්රිකේ ඉග්ලේශියස් ලංකාවට ආපු වෙලාවේ තරුණියන් කිහිප දෙනෙකු විසින් තනපට ගලවා විසි කිරීම බොහෝ කතාබහට ලක් වූ සිදු වීමක්. මේ සිදුවීමට වඩාත් ලොකු ප්‍රසිද්ධියක් ලැබුණේ ජනාධිපති සිරිසේනගේ මඩු වලිග කතාවත් එයට එකතු වූ නිසයි.

ඊයේ (ඔක්තෝබර් 13) දිනය උතුරු ඇමරිකාවේ කාන්තාවන් රැසක් තනපටයක් නොපැළඳ සැහැල්ලුවෙන් සිටි දිනයක්. හැබැයි ඒ එන්රිකේ වැනි ගායකයෙකුගේ ගීයක් අසා කුල්මත් වූ නිසා නෙමෙයි. No BRA day ලෙස නම් කර තිබෙන මේ දිනයේ තමන්ගේ පියයුරු ගැන වැඩි අවධානයක් යොමු කරමින්, පියයුරු පිළිකාවක මූලික ලක්ෂණ ඇත්දැයි හඳුනා ගැනීම දිරි ගන්වනු ලබන නිසයි. ඒ වගේම පියයුරු පිළිකා ගැන අවධානය යොමු කෙරෙමින් පියයුරු පිළිකා පර්යේෂණ සඳහා මුදල් ආධාර එකතු කිරීමද මෙදින සිදු වෙනවා. ඔක්තෝබර් මාසය ඇමරිකාවේ මෙන්ම ලංකාවේද පියයුරු පිළිකා ගැන දැනුවත් වීමේ ජාතික මාසයද වෙනවා.

මේ දිනය මුලින්ම නම් කෙරී තිබෙන්නේ BRA day හෙවත් පියයුරු පිළිසකර කිරීම් පිළිබඳව දැනුවත් කිරීමේ (Breast Reconstruction Awareness) දිනය ලෙසයි. එහි අරමුණ වී තිබෙන්නේ සුවය ලැබූ පියයුරු පිළිකා රෝගීන්ව පියයුරු පිළිසකර කර ගැනීම පිණිස  උනන්දු කරවීමයි. පසුව මේ දිනය වඩා පුළුල් අරුතක් සහිතව No BRA day ලෙස විකාශනය වී තිබෙනවා.

පසුගිය 2018 වසර තුළ පමණක් ලංකාවෙන් පිළිකා රෝගීන් 23,530 දෙනෙකු හඳුනාගනු ලැබුණා. ඒ අතරින් වැඩිම පිරිසක් හෙවත් 3,091ක් පියයුරු පිළිකා රෝගීන්. පිළිකා රෝගීන් ලෙස හඳුනාගත් කාන්තාවන් අතරින් 24%ක්ම පියයුරු පිළිකා රෝගීන්. වසර තුළ පිළිකා හේතුවෙන් සිදුවූ මරණ ගණන 14,013ක්. ඒ අතරින් 1,183ක් පියයුරු පිළිකා හේතුවෙන් සිදු වූ මරණ.

මුල් අදියරේදී හඳුනා ගතහොත් පියයුරු පිළිකා ඇතුළු ඕනෑම පිළිකාවකට ප්‍රතිකාර කිරීම පහසුයි. පියයුරු පිළිකාවක ලක්ෂණ මුල් අදියරේදීම හඳුනා ගැනීම පිණිස අඩු වශයෙන් මසකට වරක්වත් තමන්ගේ පියයුරු වල ගැටිත්තක් හෝ අසාමාන්‍ය තද ගතියක් ඇති තැනක් ඇත්දැයි විමසිලිමත් වීම නිර්දේශ කෙරෙන අතර මාස් ශුද්ධියෙන් පසු දහවන දිනයේ හෝ එවැනි නිශ්චිත දිනයක මේ ස්වයං පරීක්ෂාව සිදු කිරීම වඩා යෝග්‍ය බව පැවසෙනවා.

මේ ස්වයං-පරීක්ෂාව කරන ආකාරය පිළිබඳව ලංකාවේ ජාතික පිළිකා මර්දන වැඩසටහනේ උපදෙස් පහත තිබෙනවා.



Sunday, October 13, 2019

ඇල්පිටි වැල්ලට නොආ රැල්ල

ටික කලක සිට සජිත් පාක්ෂිකයින් විසින් සජිත් රැල්ලක් ගැන කතා කරමින් හිටියා. මෑතකාලීනව දේශපාලන අදහස් අතින් සජිත්ට සමාන සේ සැලකිය නොහැකි මංගල, චම්පික වගේ පිරිසුත් මේ රැල්ල හමන අතටම හබල් ගාන්න පටන් ගැනීමත් එක්ක රටේ කොහොම වුනත්, එජාපය ඇතුළේ ලොකු සජිත් රැල්ලක් ඇති වුනා. ඒ රැල්ලට අහු වෙලා එජාප ජනාධිපති අපේක්ෂකයා විය හැකිව සිටි අනෙකුත් ප්‍රබල තරඟකරුවන් වූ කරු හා රනිල්ගේ නම් වැල්ලේ දිය වී ගියා. එජාප ගාලුමුවදොර රැළියේදීත් එජාප පාක්ෂිකයින්ගේ උද්‍යෝගය කැපී පෙනුනා. නමුත්, ඇල්පිටියේ ඡන්ද ප්‍රතිඵලය තුළ සජිත් රැල්ලක් පේන්න නැහැ.

ඒ වගේම, පහුගිය කාලයේ මතු වී ආ තවත් රැල්ලක් වුනේ 225ම එපා කියන රැල්ලයි. මේ රැල්ල එක්ක ගොඩයන්න බලාගෙන විවිධ ස්වාධීන අපේක්ෂකයින් විසින් රුවල් දැම්මා. මේ රැල්ල නිසා වඩාත්ම කලබල වුනු අය අතර ජවිපෙ ඉදිරියෙන්ම හිටියා. කලක සිටම ජවිපෙ විසින් උනුත් එපා මුනුත් එපා කියන අදහස සමාජගත කරමින් සිටි අතර ඒ අදහස යම් පිරිසක් විසින් පිළිගත්තා. 225ම එපා කියන අදහස ආවේ උනුත් එපා මුනුත් එපා කියන අදහස වඩා පුළුල් වෙලා උනුත්, මුනුත් ගොඩට අරුනුත් එකතු වෙලයි. මේ රැල්ලත් එක්ක ජවිපෙ එක්තරා උභතෝකෝටිකයට මුහුණ දුන්නා. ජවිපෙට ඉදිරියට යන්න "උනුත් එපා මුනුත් එපා" කියන අදහස ප්‍රවර්ධනය කරන්න අවශ්‍ය වුවත්, ඒ අදහස වර්ධනය වීමේ ස්වභාවික ප්‍රතිඵලයක් විදිහට "225ම එපා" කියන අදහස ප්‍රවර්ධනය වීම වලක්වා ගැනීමේ අභියෝගයට ඔවුන්ට මුහුණ දෙන්න වුනා. ඒ නිසා, ස්වාධීන පුද්ගලයකු සඳහා වූ ඉල්ලීම යටපත් කරමින් පක්ෂ ක්‍රියාකාරිකයෙකු තරඟයට දමන්න ජවිපෙට සිදු වුනා. ජවිපෙ සාමාජිකයින් තුළත් ජනාධිපතිවරණය පිළිබඳ ලොකු බලාපොරොත්තු තිබුණු බව ඔවුන්ගේ ගාලු මුවදොර රැළියෙන් පෙනුණත් ඇල්පිටියේ ඡන්ද ප්‍රතිඵලය තුළනම් ජවිපෙ රැල්ලක් පේන්න තිබුණේ නැහැ.

ගෝඨා රැල්ල ඔය දෙකටම වඩා පරණ රැල්ලක්. කලින්ම ආ ගෝඨා රැල්ල කලින්ම බිඳී ගියා. ගෝඨා තරඟයට ඉදිරිපත් වන විට පීක් එක ඉවරයි. නමුත්, ගෝඨා හිටියේ අනෙක් අපේක්ෂකයින්ට වඩා ගොඩක් ඉදිරියෙන්. මගේ තක්සේරුව අනුවනම් ඇල්පිටියේ ඡන්ද ප්‍රතිඵලය තුළ ගෝඨා රැල්ලක් කියා එකකුත් නැහැ.

පහුගිය දවස් වල මා ලංකාවේ මා සාමාන්‍යයෙන් කතා කරන කිහිප දෙනෙකුට කතා කළා. විවිධ දේශපාලන පක්ෂ වලට කඩේ යන්නන්, රැල්ල හමන අතට ඔරුව පදින්නන් හා නිර්පාක්ෂිකයින් ඇතුළු විවිධ කොටස් ඇතුළත් මේ පිරිස ලංකාවේ දේශපාලන ප්‍රවණතා ගැන අදහසක් ගැනීම සඳහා ප්‍රමාණවත් නියැදියක් බව බොහෝ වර තහවුරු වී තිබෙනවා. පසුගිය පළාත් පාලන මැතිවරණ වලට පෙර මේ පිරිසට කතා කළ විට පොදුජන පෙරමුණ අනපේක්ෂිත ලෙස ඉදිරියට එන බව පෙනුනත්, ඒ වෙලාවේ එවැන්නක්‌ සිදු වේයැයි මට හිතුනේ නැහැ. එහෙත්, මැතිවරණයෙන් පසුව තේරුණේ මගේ නියැදිය මත විශ්වාසය තැබිය හැකිව තිබුණු බවයි.

මෙවර කතා කළ විට පෙනුනේ ගම් වල ඇත්තටම සජිත් රැල්ලක් ඇති බවයි. ඒ වගේම ගෝඨාභය පිළිබඳව බොහෝ දෙනෙකු තුළ කිසියම් වික්ෂිප්ත භාවයක් ඇති බවයි.

ගම් වල ඇත්තටම සජිත් රැල්ලක් තිබෙනවා. නමුත්, මේ රැල්ල තිබෙන්න අරටු බැහැපු එජාප පාක්ෂිකයින් අතරම මිස එයින් පිටත නෙමෙයි. මේ වෙද්දී ගම් වල ඉතිරි වී ඉන්නේ ඉතා සීමිත එජාප පවුල් ගණනක්. ඔවුන් ඉතාම අභියෝගාත්මක තත්ත්වයන් යටතේත් පක්ෂය අත් හැර නොගිය අයයි. රනිල්ගේ නායකත්වය යටතේ මේ පිරිසට ලැබුණු දෙයක් නැහැ. සජිත්ගේ නායකත්වය යටතේ තමන්ට යමක් ලැබෙයි කියා මේ පිරිස හිතනවා. ඒ නිසා, ගම් වල සජිත් රැල්ලක් තිබෙනවා. නමුත්, ඒ රැල්ල එජාප ඡන්ද ප්‍රතිශතය ඉහළ දමන මට්ටමකට ඇවිත් නැහැ. සිදු වී තිබෙන්නේ පාක්ෂිකයින්ගේ උද්‍යෝගය වැඩි වීමක් පමණයි.

ඒ වගේම, ගම් වල බොහෝ දෙනෙක්ට ගෝඨාභය වැදගත් චරිතයක් නෙමෙයි. බොහෝ දෙනෙක්ට ඔහු වැදගත් වන්නේ මහින්දගේ සහෝදරයා හා නියෝජිතයා ලෙසයි. ගම් වල බොහෝ පිරිසක් තවමත් භක්තිමත් මහින්දවාදීන්. මහින්දගේ සහයෝගය ලබන කාට වුවත් මේ පිරිසගේ ඡන්ද ලැබෙනවා. ඇල්පිටියේදී පොදුජන පෙරමුණට ලැබී තිබෙන්නේත් මේ මහින්දවාදීන්ගේ ඡන්දයි.

මේ වන විට එජාපයට හා පොදුජන පෙරමුණට (පැරණි ශ්‍රීලනිපයට) වගේම ජවිපෙටත් රටේ ස්ථිර ඡන්ද පදනමක් තිබෙනවා. ජවිපෙ රැල්ලක් තිබෙනවානම් තිබෙන්නේ මේ ඡන්ද පදනම තුළයි. ඔවුන් මේ ඡන්ද පදනම පුළුල් කරගන්න විශාල උත්සාහයක් දරනවා.

එක පැත්තකින් එජාප හා පොදුජන පෙරමුණු පාක්ෂිකයින් අතර තිබෙන විරෝධයට වඩා ලොකු විරෝධයක් ජවිපෙ හා පොදුජන පෙරමුණු පාක්ෂිකයින් අතර තිබෙන නිසා ජවිපෙට පොදුජන පෙරමුණු පාක්ෂිකයින් ආකර්ෂණය කර ගැනීම සිහිනයක්. අනෙක් පැත්තෙන්, මේ වෙද්දී එජාපය මොනවා කළත් අත නොහරින පිරිසක් හැර අනෙක් සියලු දෙනාම වගේ එජාපය හැර ගොස් අවසන් නිසා ජවිපෙට ආකර්ශනය කර ගත හැකි ඡන්ද ඒ ගොඩේත් නැහැ. ජවිපෙ විසින් ඉලක්ක කරන්නේ ඔය දෙකටම නැති පිරිසයි.

ජවිපෙ තුළ තිබෙන රාජපක්ෂ විරෝධය එජාප විරෝධයට වඩා වැඩියි. මේ නිසා, කලක සිටම ජවිපෙට රතු අලි ලේබලයක් වැදී තිබෙනවා. මේ ලේබලය ගැන ජවිපෙ එතරම් වද වෙන්නේත් නැහැ. ජවිපෙ විසින් දැන් හදාගෙන තිබෙන ජාතික ජන බලවේගයේ ලාංඡනයත් ටිකක් විතර රතු අලියෙක්ගේ රූපයක් වගේ.

ජවිපෙ විසින් මේ වෙලාවේ උත්සාහ ගනිමින් ඉන්නේ සමාජවාදීන්ගේ හෝ ධනපති විරෝධීන්ගේ ඡන්ද ආකර්ශනය කර ගන්න නෙමෙයි. එහෙම කරලා දැන් ඉන්න තැනින් අඩියක්වත් ඉස්සරහට තියන්න බැරි බව ඔවුන් නිවැරදිව අවබෝධ කරගෙන ඉන්නවා. ඇත්තටම කියනවානම් ජවිපෙට දැන් ඇණයක් වී තිබෙන්නේ ඔවුන්ගේම ඉතිහාසයයි. ඒ නිසා, ඔය රතු අලි හංවඩුව එක පැත්තකින් බැලුවහම ජවිපෙට වෙස් වලාගත් ආශීර්වාදයක්. ඇතැම් පොදුජන පෙරමුණු පාක්ෂිකයින් ජවිපෙට මඩ ගහන්න හිතාගෙන විවිධ දේ ප්‍රචාරය කරනවා. එවැනි එක පොස්ටුවක සැබෑ අව්‍යාජ විප්ලවවාදී නායකයින් කියා රෝහණ විජේවීර ඇතුළු පිරිසකුත්, ධනපතියන්ට කඩේ යන නායකයින් කියා අනුර කුමාර ඇතුළු පිරිසකුත් පෙන්වනවා. මම හිතන්නේ මේ වෙලාවේ මේ වගේ පෝස්ට් ජවිපෙට වාසියි.

ඇල්පිටියට නැවත ආවොත්, එහි ප්‍රතිඵලය මා ඉහත සඳහන් කළ ප්‍රවාද සියල්ල සමඟ මනාව සැසඳෙනවා. එජාපය විසින් ලබාගෙන තිබෙන්නේ 2015 ජනවාරියට පෙර ඔවුන් ලබාගත් අවම එජාප ඡන්ද ප්‍රතිශතය පමණයි. ජවිපෙ ලබාගෙන තිබෙන්නේත් ඔවුන්ගේම පාක්ෂික ඡන්ද පමණයි. පොදුජන පෙරමුණ කියලාත් වෙනසක් නැහැ. පළාත් පාලන මැතිවරණ වලදී පොදුජන පෙරමුණ විසින් (ඔවුන්ගේ සහාය ලැබූ ස්වාධීන කණ්ඩායම්ද ඇතුළත්ව) ලබාගත්තේ 41.2%ක ඡන්ද ප්‍රතිශතයක් වුවත්, 2015 ජනාධිපතිවරණයේදී මහින්ද විසින් 47.6%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත්තා. ඇල්පිටිය ප්‍රතිඵලය අනුව පෙනෙන්නේ පොදුජන පෙරමුණ තවමත් ඉන්නේ ඒ මට්ටමට පහළින් බවයි. මෙයින් පෙනෙන්නේ ගෝඨාගමනයෙන් පසුව මහින්දවාදී ඡන්ද අඩු වී මිස වැඩි වී නැති බවයි.

සමස්ත ප්‍රතිඵලයම විශ්ලේෂණය කළ විට පෙනෙන්නේ පොදුජන පෙරමුණේ, එජාප හෝ ජවිපෙ ඡන්ද අඩු වී මිස වැඩි වී නැති බවයි. එසේනම් ඉතිරි ඡන්ද ටික කෝ?

ඇල්පිටිය ඇතුළේනම් මේ ඡන්ද ටික තිබෙන්නේ එජනිස ගොඩේ. නමුත්, මේ එජනිස ඡන්ද ඇත්තටම එජනිස ඡන්දද?

මම හිතන විදිහටනම් මේ ඡන්ද එජනිස ඡන්දම නෙමෙයි. වෙනත් විකල්පයක් නැති තැන පොදුජන පෙරමුණ, එජාප හා ජවිපෙ තුනම එපා වී සිටින පිරිස ඒ විරෝධය පෙන්වීම පිණිස එජනිසය තෝරා ගෙන තිබෙනවා වෙන්න පුළුවන්. වෙනත් අයුරකින් කිවුවොත්, පාවෙන ඡන්ද ටික තියෙන්නේ එජනිස ගොඩේ. ජනාධිපතිවරණයට එජනිස අපේක්ෂකයෙකු ඉදිරිපත්ව නැති පසුබිමක මේ ඡන්ද වල ඉදිරි හැසිරීම ගොඩක් වැදගත්.

ගොඩක් අය චම්පිකව හඳුනා ගන්නේ රැල්ල හමන පැත්ත ගැන ඉවක් තිබෙන දේශපාලනඥයෙකු ලෙසයි. මංගලත් මේ ගොඩට දැමිය හැකි, තියුණු දේශපාලන ඉවක් තිබෙන දේශපාලනඥයෙක්. ඔවුන් සජිත්ගේ පැත්ත ගත්තේ මෙවර ඔවුන්ට ගණන් වැරදුනු නිසාද? පැත්තක සිටින අපට නොපෙනෙන බොහෝ දේ දේශපාලනය ඇතුළේ සිටින ඔවුන්ට පෙනෙන නිසා එය එසේයැයිම හිතන්නත් අමාරුයි.

මේ වන විට දැකිය හැකි ඡන්ද සංයුතිය අපට 2015 ජනාධිපතිවරණයට පෙර පැවති ඡන්ද සංයුතිය සමඟ සැසඳිය හැකියි. ජනාධිපතිවරණයට පෙර අවසන් වලට පැවැත්වුණේ පළාත් සභා මැතිවරණයි. වට හතරකින් පැවැත්වුණු එම මැතිවරණ වල සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය මෙසේයි.

එජනිස- 54.0%
එජාප- 26.4%
ජවිපෙ- 4.0%
ප්‍රපෙ- 4.0%
වෙනත්- 11.6%

මෙවැනි පසුබිමක පැවති ජනාධිපතිවරණයෙන් එජනිස අපේක්ෂක මහින්ද රාජපක්ෂ ජයගත්තේ නැහැ. ප්‍රතිඵලය වුනේ මෙවැන්නක්.

මහින්ද රාජපක්ෂ- 47.6%
මෛත්‍රීපාල සිරිසේන- 51.3%

එජාප, ජවිපෙ, ප්‍රපෙ හා දෙමළ මුස්ලිම් පක්ෂ වල ඡන්ද සියල්ල ලැබුණේ මෛත්‍රීපාල සිරිසේනට කියා හිතුවත්, ඔහු එජනිස ඡන්ද වලින් 6.5%ක් පමණද ලබාගෙන තිබෙන බව පැහැදිලියි. මේ ඡන්ද එජාප හෝ ජවිපෙ ඡන්ද නොවන, රාජපක්ෂ විරෝධී ඡන්දයි. එම පළාත් සභා ඡන්ද වටයේදී ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට ලැබුණු ඡන්ද දමන්න වෙන්නේත් මේ ගොඩටයි. එවිට, එජාප, ජවිපෙ හෝ සුළු ජාතික පක්ෂ වල ඡන්ද නොවන රාජපක්ෂ විරෝධී ඡන්ද එකතුව 10.5%ක් පමණ වෙනවා. මා හිතන විදිහට ඇල්පිටියේදී එජනිසයට ලැබුණු ඡන්ද වැඩි ප්‍රමාණයක් මේ ඡන්දයි.

පසුගිය ජනාධිපතිවරණයට පෙර තත්ත්වය හා සැසඳූ විට එජාප හා ජවිපෙ පක්ෂ දෙකම ඉන්නේ තරමක් ඉදිරියෙන්. ඒ වගේම, පොදුජන පක්ෂය තනිව ගතහොත් ඉන්නේ 2016දී මහින්ද රාජපක්ෂ සිටියාට වඩා දුර්වල තැනකයි. එජාප, ජවිපෙ හා සුළු ජාතික පක්ෂ සියල්ලේම ඡන්ද එකතු කළත්, පොදුජන පෙරමුණේ ඡන්ද ප්‍රතිශතයට අඩුයි. එහෙත්, වෙනස එතරම් විශාල නැහැ. ඒ වගේම, මේ දෙගොඩෙන් එක් ගොඩක්වත් 50% මට්ටම ආසන්නයේ නැහැ. ඒ නිසා, මැතිවරණ ප්‍රතිඵලයට තීරණාත්මක ලෙස බලපාන්නේ එජනිස ඡන්ද සේ පෙනෙන්නට තිබෙන, එහෙත් එජනිස ඡන්ද කියා මා නොසිතන සැලකිය යුතු තරම් විශාල පාවෙන ඡන්ද ප්‍රතිශතයයි.

පසුගිය ජනාධිපතිවරණයේදී ගිලිහුණු ඡන්ද නැවත ආකර්ශනය කර ගැනීමට පොදුජන පෙරමුණ අසමත් වීම විශේෂ අවධානයට යොමු විය යුතු කරුණක්. එයින් පෙනෙන්නේ, 2015 ජනවාරියේදී වූ මේ පිරිසගේ රාජපක්ෂ විරෝධය මේ වන විටත් මුළුමනින්ම සමනය වී නැති බවයි. එසේ වුවත්, මේ ඡන්ද එජාපය හෝ ජවිපෙ වෙත ආකර්ශනය වී නැහැ. ඒ වගේම, මේ පිරිස දේශපාලනිකව  සබුද්ධික පිරිසක් නිසා ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ නොකර ඉන්න හේතුවක් නැහැ. එය බොහෝ විට තමන් අකැමැති විකල්ප අතරින් අඩු නරක තෝරා ගැනීමක් විය හැකියි කියා සිතන්න පුළුවන්. ඒ නිසා, අවසන් ප්‍රතිඵලය තීරණය විය හැක්කේ ඉදිරි මාසය ඇතුළත ප්‍රධාන අපේක්ෂකයින් හා මේ වෙලාවේ ලංකාවේ දේශපාලනයට සැලකිය යුතු බලපෑමක් කළ හැකි මෛත්‍රීපාල සිරිසේන වැනි වෙනත් ඇතැම් අය හැසිරෙන ආකාරය මතයි.

Saturday, October 12, 2019

ගම් උදා රොබෝ සහ කෘතිම බුද්ධිය


ජේආර් ජයවර්ධනගේ ආණ්ඩුවේ හිටපු දෙවන පෙළ නායකයින් බොහෝ දෙනෙක්ට ඔවුන් වැඩිපුරම අවධානය යෙදවූ කටයුතු හා බැඳුනු ප්‍රතිරූපයක් හැදී තිබුණා. ලලිත්නම් මහපොළ, ගාමිණීනම් මහවැලිය, රනිල්නම් යොවුන්පුර, ප්‍රේමදාසනම් ගම්උදාව...

මේ එක් එක් පුද්ගලයා විසින් තමන්ගේ ප්‍රතිරූප පුම්බා ගනු පිණිස විශාල වියදමක් දරමින් විවිධ වැඩ සටහන් සංවිධානය කළා. ගම්උදා සංවත්සර උත්සවය මේ වැඩසටහන් අතර ප්‍රමුඛතම වැඩසටහනක්. ජූනි 23 දිනට යෙදුණු රණසිංහ ප්‍රේමදාසගේ උපන් දිනයට සමාන්තරව ලංකාවේ විවිධ ප්‍රදේශ වල වාර්ෂිකව මේ උත්සවය පැවැත්වුනා. මුලින්ම යාපහුවේ. ඉන් පසුව, අම්පාර, තිස්සමහාරාමය, දඹුල්ල, නිකවැරටිය, අනුරාධපුර (පණ්ඩුලගම), හිඟුරක්ගොඩ, ඇඹිලිපිටිය, කතරගම, ආනමඩුව, මහියංගනය වගේ තැන් වල.

මේ ගම්උදා ප්‍රදර්ශන භූමි වලදී කවදාවත් කෝච්චියක ගිහින් නැති අයට කෝච්චියක යන්න ලැබුණා. කවදාවත් සිරීපාදේ ගිහින් නැති අයට සිරීපාදේ යන්න ලැබුණා. කවදාවත් මිහින්තලේ දැකලා නැති අයට මිහින්තලේ නගින්න ලැබුණා. තව ඔය වගේ බොහෝ දේවල් තිබුණා.

අසූව දශකයේ මුල් කාලය මගේ පියා තමන් කරපු රැකියාවට අමතරව ඇඟේ අමාරුවට විවිධ සංවිධාන සමඟ එකතු වී සමාජ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කළ කාලයක් නිසා ගම්උදා සංවත්සර, මහපොළ සංවත්සර ආදිය පැවැත්වෙන විට ඔහුත් සමඟ මෙවැනි ප්‍රදර්ශන භූමියක වූ කුටියක සතියක් හෝ දින කිහිපයක් ගත කිරීමේ අවස්ථාව මටත් ලැබුණා. ඔය වගේ වෙලාවක කුටිය සකස් කිරීම, පෝස්ටර් ඇඳීම වගේ කටයුතු වලට දායක වෙන්නත් ලැබුණා. ප්‍රදර්ශන භූමියේ නිදහසේ සැරිසරමින් බලන්න තිබුණු දේවල් බලාගන්නත් අවස්ථාව ලැබුණා.

අසූව දශකයේ මුල් කාලයේ පැවැත්වුණු ගම්උදා හෝ මහපොල ප්‍රදර්ශන කුටියකදී ඔය ආකාරයට දකින්න ලැබුණු ප්‍රදර්ශන භාණ්ඩයක් මට තවමත් මතකයි. ඒ රොබෝ කෙනෙක්. මේ රොබෝව ඉතා ආකර්ශනීය නිමාවකින් හදා තිබුණා.

රොබෝ කෙනෙක් කවදාවත් දැකලා නොතිබුණත්, සිංහලට පරිවර්තනය කර තිබුණු ආතර් සී ක්ලාක් වගේ අයගේ කතා කියවලා තිබුණු නිසා රොබෝව බලන්න තිබුණේ සිරීපාදේ හරි මිහින්තලේ හරි යනවාට වඩා ලොකු උනන්දුවක්. පෝලිම ටිකක් දිග වුනත්, ප්‍රදර්ශන භූමියේ දින ගණනක්ම ගත කරන්න අවස්ථාව තිබුණු නිසා කාලය බාධාවක් වුනේ නැහැ. පෝලිමේ ඉඳලා රොබෝ ළඟට යා ගත්තට පස්සේ රොබෝගෙන් ප්‍රශ්නයක් දෙකක් අහන්න ලැබෙනවා. රොබෝ උත්තර දෙනවා.

රොබෝගේ ප්‍රමාණය අනුව මේ රොබෝ අස්සේ මනුස්සයෙක්ට හැංගිලා ඉන්න බැහැ. ඒ වුනත්, උත්තර දෙන්නේ කවුරු හෝ මනුස්සයෙක් කියන එකනම් එක පාරටම තේරුම් ගියා. ඒ කියන්නේ, රොබෝ කෙනෙක් පෙන්වනවා කියා මේ කරන්නේ මිහින්තලේ සිරීපාදේ පෙන්නනවා වගේම බොරුවක්!

ඔය වගේ බොරුවක් අතටම අහුවුණාම පොඩි එකෙක්ට රොබෝව අන්නනකම් ඉවසිල්ලක් නැති වෙනවනේ. නමුත්, සංවිධායකයින් රොබෝ එක්ක ඒ තරම් වෙලාවක් ඉන්න දෙන්නේ නැහැ. පෝලිම ඉස්සරහට යා යුතුයි. මමත් අත ඇරියේ නැහැ. මේ පැත්තෙන් එළියට ගිහින් නැවත පෝලිමේ අගට එකතු වෙනවා. කාමරයට එන තුරු පෝලිමේ සිටිමින් රෝබෝගෙන් ඊළඟ වාරයේ අහන ප්‍රශ්නය ගැන හිතනවා. දෙතුන් පාරක් මේ වැඩේ කළාට පස්සේ රොබෝ දන්න දේවල් හා නොදන්න දේවල් ගැන පැහැදිලි වුනත් රොබෝගේ කටින් කවුරු හෝ කෙනෙක් කතා කරන්නේ කොහොමද කියන එකනම් හරියටම අල්ලගන්න බැරි වුනා. මම හිතන්නේ මේ කාලය වන විට මම රැහැන් රහිත මයික් එකක් දැකලා තිබුණේ නැහැ.

පොඩි කාලේ මතකයක් වූ මේ රොබෝව දශක ගාණකට පස්සේ නැවත මතකයට ආවේ සජිත්ගේ කෘතීම බුද්ධි වීඩියෝව දැකලා. සජිත්ගේ කෘතීම බුද්ධිය ගැන කාට වුනත් තේරෙන නිසා ඒ ගැන කතා කිරීම පැත්තකින් තියලා, සජිත් විසින් ඔහුගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න තෝරාගෙන තියෙන මනුස්සයාගේ සාමාන්‍ය බුද්ධිය ගැන විතරක් පොඩ්ඩක් කතා කරමු.

සජිත් විසින් තිරය පිටුපස සිටින කවුරු හෝ මනුස්සයාව සහ වේදිකාවේ අටවා තියෙන විච්චූර්ණ ටික යොදා ගන්නේ පසුගිය සතියේ බඩුමිල වෙනස් වුනු ආකාරය ගැන දැන ගන්න සහ උද්ධමනය පාලනය කරන ආකාරය ගැන උපදෙස් ලබා ගන්නයි. ඔහුට ලැබෙන දත්ත අනුව කිරිපිටි මිල වැඩි වෙලා. ගෑස් මිල අඩු වෙලා. සජිත්ගේ සාමාන්‍ය බුද්ධියට වැටහෙන ආකාරයට මේ වගේ වෙලාවක රාජ්‍ය පාලනය කියා කියන්නේ කිරිපිටි මිල නැවත පෙර මට්ටමට අඩු කිරීම හා අඩු වූ ගෑස් මිල නැවත වැඩි නොවන බවට වග බලා ගැනීමයි.

කිරිපිටි මිල නැවත අඩු කරන්නේත්, ගෑස් මිල නැවත වැඩි වෙන්න නොදී තියෙන මට්ටමේම තියා ගන්නේත් කොහොමද කියා සජිත්ගේ සාමාන්‍ය බුද්ධියට නොවැටගෙන නිසා ඔහු මේ ගැන ඔහුගේ කෘතීම බුද්ධියෙන් උපදෙස් ගන්නවා. කෘතීම බුද්ධියෙන් සජිත්ට උපදෙස් ලැබෙනවා. සරල උපදෙස්!

කිරිපිටි මිල අඩු කිරීම සඳහා බදු අඩු කළ යුතුයි. ගෑස් මිල ඒ මට්ටමේම තියා ගන්නනම් ගෑස් වල ආනයනික මිල නැවත ඉහළ යන විට රජය මැදිහත් වී අඩු මිලට ගෑස් ලබා දිය යුතුයි. ඒ කියන්නේ, රජය විසින් ආදායම් අඩු කරගෙන වියදම් වැඩි කළ යුතුයි.

කෘතීම බුද්ධියකින් උපදෙස් නොගත්තත් මෙතෙක් කල් ආණ්ඩු කළ ගොඩක් අය කළේත් ඔය ටිකම තමයි. රජයේ අයවැය හිඟය මේ තරම් වැඩි වෙලා තියෙන්නෙත්, ණය බර මේ තරම් ඉහළ ගිහින් තියෙන්නෙත් ඔය කෙරුවාවේ ප්‍රතිඵලයක් විදිහටයි. රටේ තිබෙන අවුල් සියල්ලටම වගේ හේතු වී තිබෙන්නේ රාජ්‍ය මැදිහත්වීම් වුවත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින් සියළු දෙනාම වගේ අඩු වැඩි වශයෙන් පෙනී සිටින්නේ රාජ්‍ය මැදිහත්වීම් තවදුරටත් වැඩි කිරීම වෙනුවෙනුයි. සජිත්ගේ කෘතීම බුද්ධි සහායකයාත් ඒ වෙනුවෙන් පෙනී සිටින කෙනෙක්.

අයවැය හිඟය තවත් ඉහළ යන්න ඉඩ අරිමින්, ඒ හිඟය පියැවීමට වැඩි වැඩියෙන් ණය ගැනීම හෝ සල්ලි අච්චු ගැසීම කෙළවර වෙන්නේ උද්ධමනය වැඩිවී රටේ භාණ්ඩ හා සේවා සියල්ලේම මිල ඉහළ යාමෙන් බව තේරුම් ගන්න ලන්ඩන් ආර්ථික විද්‍යා උපාධි හෝ කෘතිම බුද්ධියක් අවශ්‍ය වෙන්නේ නැහැ. ආර්ථික විද්‍යාව පිළිබඳ මූලික දැනුමක් තිබෙන කෙනෙකුට වුවත් එය තේරෙන්න ඕනෑ.

(Image: http://newshub.lk/en/2019/10/10/sajith-says-future-govt-will-be-based-on-artificial-intelligence-management/)

Friday, October 11, 2019

ඇල්පිටි සංඥාව


ඇල්පිටියේ පොඩි ඡන්දයේ ප්‍රතිඵල මේ වන විට පිට වී තිබෙනවා. ප්‍රතිඵලය මෙවැන්නක්.

ශ්‍රීලපොප- 56.3%
එජාප - 24.4%
එජනිස - 12.7%
ජවිපෙ - 5.9%
වෙනත් - 0.7%

පසුගිය පළාත් පාලන ඡන්ද විමසීම් වලදී ගාල්ල දිස්ත්‍රික්කයේ අනෙකුත් ප්‍රාදේශීය සභා වල සමස්ත ප්‍රතිඵලය මෙවැන්නක්.

ශ්‍රීලපොප- 51.9%
එජාප - 25.2%
එජනිස - 12.1%
ජවිපෙ - 6.1%
වෙනත් - 4.7%

ඉහත ප්‍රතිඵල සසඳා බැලූ විට පසුගිය මාස 20 ඇතුළත සිදු (නො)වී තිබෙන වෙනස්කම් නිරීක්ෂණය කළ හැකියි.

1. සජිත් රැල්ලක් කියා එකක් නැත. එජාප ග්‍රාමීය ඡන්ද තරමකින් හෝ අඩු වී මිස වැඩි වී නැත.
2. ජවිපෙ රැල්ලක් කියා එකක්ද පෙනෙන්නටවත් නැත.
3. පොදුජන පෙරමුණේ ඡන්ද යම් තරමකින් වැඩි වී ඇත. එහෙත්, ඒ වැඩි වූ ඡන්ද ප්‍රතිශතය සමඟ වුවද පොදුජන පෙරමුණ තනිව රටේ 50%ක ඡන්ද ගත හැකි තැනක නැත.
4. ශ්‍රීලනිප ඡන්ද යම් තරමකින් හෝ වැඩි වී මිස අඩු වී නැත.

පුංචි ඡන්දය පිළිබඳව මා අනාවැකි පළ නොකළත්, මගේ ඇස්තමේන්තුව වූයේ 2018 පෙබරවාරියේදී ශ්‍රීලනිපය විසින් ලබාගත් ඡන්ද වලින් අඩක්වත් මේ වන විට පොදුජන පෙරමුණ වෙත ආකර්ෂණය වී තිබිය යුතු බවයි. එහෙත් එය එසේ වී නැත. එයින් පෙන්නේ රාජපක්ෂලා සමඟ මොනවා හෝ ප්‍රශ්න තිබෙන සැලකිය යුතු පිරිසක් ශ්‍රීලනිපය සමඟ තවමත් රැඳී සිටින බවයි. මේ පිරිස පොදුජන පෙරමුණ වෙත ආකර්ෂණය වී නැති අතර එජාප හෝ ජවිපෙ වෙතද ගොස් නැත. ඇල්පිටිය ඡන්ද ප්‍රතිඵලය මත පදනම්ව මේ පිරිස ජනාධිපතිවරණයේදී කෙසේ හැසිරෙනු ඇත්දැයි නිගමනය කළ නොහැකිය.

ඇල්පිටිය ප්‍රතිඵලය ලංකාව ආදේශ කළ විට පෙනෙන චිත්‍රය මෙවැන්නකි.

ශ්‍රීලපොප- 44.7%
එජාප - 28.6%
එජනිස - 12.7%
ජවිපෙ - 5.6%
වෙනත් - 8.4%

මේ අනුව පෙනෙන්නේ ජනාධිපතිවරණ ප්‍රතිඵලය තීරණය කෙරෙන්නේ පොදුජන පෙරමුණ වෙත ගොස් නැති ශ්‍රීලනිප ඡන්ද වලින් බවයි.

(Image: https://www.arabnews.com/node/1562771/world)

රටම බලා සිටින ඇල්පිටිය



මේ වන විට පැවැත්වෙන ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දයේ ප්‍රතිඵලය දෙස රටම බලා සිටිනවා. තව පැය විසිහතරක් ඇතුළත ප්‍රතිඵලය දැන ගන්න පුළුවන් වෙයි.

ඇල්පිටිය කියන්නේ ලංකාව නෙමෙයි. සමස්ත ලංකාවට සාපේක්ෂව ඇල්පිටිය කියන්නේ සිංහල, බෞද්ධ, ග්‍රාමීය ප්‍රදේශයක්. ඒ නිසා, ඇල්පිටිය ප්‍රතිඵලය සෘජුවම ලංකාවට ආදේශ කළ නොහැකි වුවත්, ඇල්පිටිය ප්‍රතිඵලය දෙස බලා සමස්ත ලංකාව ගැන නිගමන වලට එළැබීමේ හැකියාවක් නැත්තේම නැහැ. ඇල්පිටිය ප්‍රතිඵලය කියන්නේ පසුගිය මාස 20 ඇතුළත ඡන්දදායකයන්ගේ හැසිරීම වෙනස් වී ඇති ආකාරය පරීක්ෂා කළ හැකි කැඩපතක්.

ගාල්ල දිස්ත්‍රික්කයේ පසුගිය පළාත් පාලන ඡන්ද ප්‍රතිඵල පිරික්සූ විට කිසියම් පැහැදිලි රටාවක් හඳුනාගත හැකියි. ඒ රටාවෙන් වෙනස් රටාවක් දැකිය හැක්කේ වෙනස් ජනවාර්ගික සංයුතියක් ඇති නාගරික ප්‍රදේශයක් වන ගාල්ල මහ නගර සභා බල ප්‍රදේශය තුළ පමණයි. ගාල්ල මහ නගර සභා බල ප්‍රදේශය හා ඡන්දය නොපැවැත්වුණු ඇල්පිටිය හැර ගාල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය මෙවැන්නක්.

ශ්‍රීලපොප- 51.8%
එජාප - 25.3%
එජනිස - 12.1%
ජවිපෙ - 6.1%
වෙනත් - 4.7%

ඇල්පිටිය ප්‍රතිඵලය ප්‍රකාශයට පත් වීමෙන් පසුව එම ප්‍රතිඵලය සැසඳිය යුත්තේ ඉහත ප්‍රතිඵලය සමඟයි.

Thursday, October 10, 2019

ඡන්ද බිඳෙයි පය බුරුලින්!


ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ඇතැම් අපේක්ෂකයින් එසේ ඉදිරිපත් වී සිටින්නේ වෙනත් අපේක්ෂකයෙකුට ලැබෙන ඡන්ද කඩන්න කියා ජනප්‍රිය චෝදනාවක් තිබෙනවා. ස්වරූපය අනුවම, මේ චෝදනාව පරස්පර විරෝධී එකක්. කවර හෝ අපේක්ෂකයෙකුගේ ඡන්ද කැඩෙනවා කියන ප්‍රකාශය ඇතුළේ තිබෙන මූලික උපකල්පනය වන්නේ ඒ අපේක්ෂකයාට අනිවාර්යයෙන්ම ලැබෙන ඔහුට හෝ ඇයට "අයිති"  කිසියම් ඡන්ද ප්‍රමාණයක් තිබෙනවා කියන එකයි. අනෙක් අතට, වෙන කෙනෙක්ට ඉදිරිපත් වී මේ ඡන්ද වලින් කොටසක් ඔහුට හෝ ඇයට ලැබෙන එක වැළැක්විය හැකිනම් එයින් තහවුරු වන්නේ ඒ ඡන්ද අදාළ අපේක්ෂකයාට අනිවාර්යයෙන්ම ලැබෙන්නට නියමිතව තිබුණු ඡන්ද නොවන බවයි. ඒ කියන්නේ ඡන්ද කඩන කතාවට තාර්කික පදනමක් නැති බවයි.

කොහොම වුනත් අමතර අපේක්ෂකයෙකු ඉදිරිපත් වන හැම විටෙකම අනෙකුත් අපේක්ෂකයින්ගේ ඡන්ද වලට සුළු හෝ සෘණාත්මක බලපෑමක් වෙනවා කියන එක පැහැදිලි කරුණක්. වටින් ගොඩින් කතා නොකර අපි දැනට තරඟයට ඉදිරිපත් වී ඉන්න අපේක්ෂකයින්ගේ නම් වලින්ම කතා කරමුකෝ. කවුරුත් වගේ පිළිගන්න පරිදි දිනන්න ඉඩක් තිබෙන්නේ ගෝඨාභය හෝ සජිත්නේ. අපි හිතමු තරඟයට ඉදිරිපත් වුනේ මේ දෙන්නා පමණයි කියා. එහෙම වුනානම්, ඡන්දදායකයෙකුට තිබෙන්නේ විකල්ප තුනක් පමණයි. ඒ ගෝඨාභයට ඡන්දය දීම, සජිත්ට ඡන්දය දීම හා ඡන්දය නොදා සිටීම කියන විකල්ප තුනයි. වැඩිම ඡන්ද ගන්න අපේක්ෂකයා වලංගු ඡන්ද වලින් 50%කට වඩා අරගෙන ජනාධිපති වෙනවා.

දැන් ගෝඨාභය හා සජිත්ට අමතරව තෙවන අපේක්ෂයෙකු ලෙස අනුර කුමාර එකතු වෙනවා කියමු. එතකොට මොකක්ද වෙන්නේ? අනුර කුමාරටත් කිසියම් ඡන්ද ප්‍රමාණයක් ලැබෙනවා. ඒ ඡන්ද කොටස් තුනකට වර්ග කළ හැකියි. ඒ ගෝඨාභයට ලැබිය හැකිව තිබුණු ඡන්ද, සජිත්ට ලැබිය හැකිව තිබුණු ඡන්ද හා ඒ දෙදෙනාටම ලැබිය නොහැකිව තිබුණු ඡන්ද ලෙසයි. මෙහිදී අනුර කුමාර තරඟයට ඉදිරිපත් වීම නිසා ගෝඨාභය හා සජිත් දෙදෙනාගේම ඡන්ද අඩු වෙනවා. ඔවුන්ගේ ඡන්ද ප්‍රතිශත සමානුපාතිකව ඊටත් වඩා වැඩියෙන් අඩුවෙනවා.

යම් හෙයකින් අනුර කුමාර විසින් ගෝඨාභයට ලැබිය හැකිව තිබුණු ඡන්ද හෝ සජිත්ට ලැබිය හැකිව තිබුණු ඡන්ද එකක්වත් නොගෙන ඒ දෙදෙනාටම ලැබිය නොහැකිව තිබුණු ඡන්ද පමණක් ගත්තත් ගෝඨාභය හා සජිත් දෙදෙනාගේම ඡන්ද ප්‍රතිශත අඩු වෙනවා. එහෙත්, එය සිදු වන්නේ සමානුපාතිකව නිසා ජයග්‍රාහකයා කවුද කියන කරුණ වෙනස් වන්නේ නැහැ. ජයග්‍රාහකයාට 50% නොලැබෙන්නට ඉඩක් තිබුණත් ජයග්‍රහණය වැළකෙන්නේ නැහැ. (මේ උදාහරණයේදී අනුර කුමාර විසින් ලබා ගන්නේ සජිත්ට හා ගෝඨාභයට කොහෙත්ම කැමති නැති අයගේ ඡන්ද පමණක් නිසා ඔවුන් දෙවන මනාපයක් ලබා නොදෙයි කියා උපකල්පනය කළ හැකියි.)

නමුත්, තෙවන අපේක්ෂකයෙකු ඉදිරිපත් වූ විට ඔහුට ලැබෙන්නේ ප්‍රධාන අපේක්ෂකයින්ට ලැබිය නොහැකිව තිබුණු ඡන්ද පමණක් නොවන නිසා ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාගේ ඡන්ද ප්‍රතිශත වඩා වැඩියෙන් අඩු වෙනවා. ඒ වගේම, එය සිදු වන්නේ සමානුපාතිකව නෙමෙයි. ඇතැම් විට කලින් මුල් තැන සිටි අපේක්ෂකයාගේ ඡන්ද ප්‍රතිශතය වඩා වැඩියෙනුත්, දෙවන තැන සිටි අපේක්ෂකයාගේ ඡන්ද ප්‍රතිශත අඩුවෙනුත් අඩු වීම නිසා (පළමු මනාපය පමණක් සැලකූ විට) ජයග්‍රාහකයා කවුද කියන එක වෙනස් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ තෙවන අපේක්ෂයෙකු ඉදිරිපත් වීම නිසා ප්‍රතිඵලය වෙනස් වෙනවා. මෙහිදී සිදු වුනේ තෙවන අපේක්ෂකයා විසින් ඡන්ද කැඩීමක්ද?

එහෙම කියන්න පුළුවන්කමක් නැහැ. තෙවන අපේක්ෂකයෙකු වෙනුවෙන් පළමු මනාපය දෙන අයෙකු එසේ කරන්නේ ඔහු හෝ ඇය ප්‍රධාන අපේක්ෂකයින් දෙන්නාටම වඩා මේ තෙවන අපේක්ෂකයාට කැමති නිසයි. ඒ කියන්නේ තෙවන අපේක්ෂකයා විසින් ලබා ගන්නේ ඔහුගේ හෝ ඇයගේම ඡන්ද මිසක් කාගෙන්වත් කඩා ගන්න ඡන්ද නෙමෙයි. සිවුවන, පස්වන හෝ තිස්පස්වන අපේක්ෂකයාටත් මේ කතාව අදාළයි.

(Image: http://www.dailymirror.lk/article/Towards-the-Presidential-Elections-151637.html)

Wednesday, October 9, 2019

බර ඔබේ උර මතයි!


මැතිවරණ කොමිසම විසින් කියා තිබෙන ආකාරයට ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් ගණන "අසාමාන්‍ය ලෙස" වැඩි වීම නිසා මැතිවරණ වියදම රුපියල් බිලියනයකින් ඉහළ ගොස් තිබෙනවා. කොහොම වුනත්, පසුගිය ජනාධිපතිවරණ දෙකේදීත් පිළිවෙලින් අපේක්ෂකයින් 22ක් හා 19ක් ඉදිරිපත් වූ නිසා මැතිවරණ කොමිසම විසින් මුලින් වියදම ඇස්තමේන්තු කිරීමේදී අඩු වශයෙන් අපේක්ෂකයින් 20-25 අතර ප්‍රමාණයක්වත් තරඟ කරනු ඇතැයි නොහිතන්න හේතුවක් නැහැ. ඒ නිසා, අනපේක්ෂිත වැඩි වීම අපේක්ෂකයින් 10-15 අතර ප්‍රමාණයකට වඩා වැඩි වෙන්න විදිහක් නැහැ. වියදම රුපියල් බිලියනයකින් ඉහළ යනු ඇතැයි ඇස්තමේන්තු කර තිබෙන්නේ මේ ආකාරයට අනපේක්ෂිත ලෙස වැඩි වූ අපේක්ෂකයින් 10-15 නිසයි. ඒ කියන්නේ එක් අපේක්ෂකයෙකු තරඟයට එකතු වීම නිසා රුපියල් මිලියන 70-100 අතර ප්‍රමාණයකින් ඇස්තමේන්තුගත වියදම ඉහළ ගොස් තිබෙනවා කියන එකයි.

අපේක්ෂකයින් ප්‍රමාණය ඉහළ යන කොට මේ ආකාරයට වියදම ඉහළ යන්නේ කොහොමද?

අපේක්ෂකයින් ගණන වැඩි වන තරමට ඡන්ද පත්‍රිකාවේ දිග වැඩි වෙනවා. මෙවර ඡන්ද පත්‍රිකාව අඩි 2කුත් අඟල් 2ක් (සෙන්ටි මීටර 66ක්) දිග එකක්. ඡන්ද පත්‍රිකාව දිග වැඩි වන තරමට මුද්‍රණ වියදම්ද ඉහළ යනවා. එහෙත්, ඉහළ යන මුද්‍රණ වියදම් කියන්නේ මැතිවරණයේ සමස්ත වියදම ඉහළ යන එක් ආකාරයක් පමණයි. වියදම විශාල ලෙස වැඩි වන්නේ මුද්‍රණ වියදම් ඉහළ යාම නිසාම නෙමෙයි.

ඡන්ද පත්‍රිකාව විශාල වන විට ඡන්ද පෙට්ටියකට දැමිය හැකි ඡන්ද පත්‍රිකා ප්‍රමාණය අඩු වෙනවා. බොහෝ විට එක ඡන්ද මධ්‍යස්ථානයක ඡන්ද දමන්නේ එක් පෙට්ටියකට හෝ ගැහැණු හා පිරිමි ලෙස පෙට්ටි දෙකකට වුවත්, මෙවර එසේ කිරීම අපහසු වෙන්න පුළුවන්. ඒ නිසා, මෙවර අමතර ඡන්ද පෙට්ටි ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. අමතර ඡන්ද පෙට්ටි සකස් කිරීම හෝ අළුතින් ප්ලාස්ටික් ඡන්ද පෙට්ටි ආනයනය කිරීම සඳහා මැතිවරණ කොමිසම විසින් දැනටමත් කටයුතු කරමින් සිටිනවා. ඡන්ද පෙට්ටි ගණන වැඩි වන විට ඡන්ද පොළකට අවශ්‍ය නිලධාරීන් ගණනත් වැඩි වෙනවා. එවිට වියදමත් ඉහළ යනවා.

ඡන්ද මධ්‍යස්ථානයක් තුළ රැඳී සිටීමට එක් අපේක්ෂකයෙකුගේ නියෝජිතයින් දෙදෙනෙකුට ඉඩ දෙනවා. අපේක්ෂකයින් 35ක් කියා කියන්නේ නියෝජිතයින් 70ක්. ඡන්ද මධ්‍යස්ථානයක් ඇතුළේ අපේක්ෂකයන්ගේ නියෝජිතයින් 70කට පහසුකම් සැලසීම ඉතා අසීරු කටයුත්තක්. මේ සඳහා ලොකු ඉඩක් අවශ්‍යයි. ඒ වගේම 70 දෙනෙකුගේ අනන්‍යතා පරීක්ෂා කිරීම ආදිය වෙනුවෙන් සැලකිය යුතු කාලයක් ගත වෙනවා. මේ ආකාරයට උදෙන්ම ඡන්ද මධ්‍යස්ථානයකට පැමිණෙන නියෝජිතයින් හවස් වන තුරුම එක දිගට එහි රැඳී ඉන්නේ නැහැ. බොහෝ දෙනෙක් කෑම, තේ ආදිය සඳහා පිටත යන්නේ තමන් වෙනුවට ආදේශකයින් අසුන් ගන්වලා. එහෙම ඡන්දපොළ නියෝජිතයින් මාරු වන සෑම විටෙකම ඔවුන්ගේ අනන්‍යතා පරීක්ෂා කළ යුතු වෙනවා. ඒ වගේම, මෙවැනි පිරිසක් ඡන්ද මධ්‍යස්ථානය ඇතුළේ ගැවසෙන විට ඔවුන්ව නිරීක්ෂණය කිරීමට හා පාලනය කර ගැනීමට නිලධාරීන් වැඩි පිරිසක් අවශ්‍ය වෙනවා. ඒ වගේම, අමතර පොලිස් නිලධාරීන් ප්‍රමාණයක්ද අවශ්‍ය වෙනවා.

දැනට තෝරාගෙන තිබෙන ඇතැම් ඡන්ද මධ්‍යස්ථාන වල ඡන්දපොළ නියෝජිතයින් 70කට පහසුකම් සැලසීමට ඉඩකඩ මදි විය හැකියි. මැතිවරණ කොමිසමට එවැනි තැන් වෙනුවට වඩා ඉඩකඩ තිබෙන විකල්ප ස්ථාන හඳුනා ගන්න වෙනවා. මේ තත්ත්වය ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලටත් බලපානවා. ගණන් කිරීමේ මධ්‍යස්ථානයක රැඳී සිටීමට එක් අපේක්ෂකයෙකුගේ නියෝජිතයින් 5 දෙනෙකුටම අවසර ලැබෙනවා. මේ අනුව මෙවර නියෝජිතයින් 175 දෙනෙකුට පහසුකම් සැලසිය යුතුයි. ඔය තරම් පිරිසකට එකවර ඡන්ද ගණන් කිරීමේ ක්‍රියාවලිය නිරීක්ෂණය කළ හැකිද කියන එකත් ප්‍රශ්නයක්. මෙවැනි පිරිසකට ඉඩ ලබා දෙන්න පුළුවන් තරම් ඉඩකඩ නැති ගණන් කිරීමේ මධස්ථාන වෙනුවට විකල්ප ස්ථාන හොයා ගන්න වෙයි.

ඔයාකාරයට ඉඩකඩ ඇති තැන් හොයා ගත්තත්, ගණන් කිරීමේ කටයුත්තට වෙනදාට වඩා වැඩි කාලයක් යනවා. ඒ වගේම වැඩි නිලධාරීන් පිරිසක්ද අවශ්‍ය වෙනවා. එයට සමාන්තරව ඔවුන්ට කෑම බීම, වැසිකිලි, ප්‍රවාහන පහසුකම් වැනි සුබසාධන සේවා සැපයීම සඳහා යන වියදම් වගේම ඒ වැඩ වලට අවශ්‍ය නිලධාරීන් ප්‍රමාණයත් ඉහළ යනවා. ඒ වගේම විදුලි බිල්, ජල බිල්, ජෙනරේටර් සඳහා වියදම් ආදී අනෙකුත් වියදම්ද වැඩි වෙනවා. මැතිවරණ කොමිසම විසින් ඉහත කී පරිදි රුපියල් බිලියනයකින් වියදම ඉහළ යනු ඇතැයි ඇස්තමේන්තු කරන්න ඇත්තේ මේ කරුණු සියල්ල සලකා බැලීමෙන් පසුවයි.

මැතිවරණ කොමිසමේ ඇස්තමේන්තු අනුව එක් අමතර අපේක්ෂකයෙකු නිසා මැතිවරණ වියදම රුපියල් මිලියන 70-100කින් පමණ ඉහළ යන පේනවා. නමුත්, අපේක්ෂකයෙකු විසින් ඇප සේ තැන්පත් කළ යුත්තේ රුපියල් 50,000ක් හෝ 75,000ක් පමණයි. ඉතිරි වියදම් පැටවෙන්නේ සාමාන්‍ය මහ ජනතාවගේ උර මතයි. මැතිවරණයේ මුළු වියදම ඡන්දදායකයන් සියල්ලන්ම විසින් සම සමව දරා ගන්නවා කියාත්,  ඒ ආකාරයට වියදමට දායක වෙන්නේ තමන් වඩාත්ම කැමති අපේක්ෂකයා නිසා කියාත් හිතුවොත්, කිසියම් අවම ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්නා අපේක්ෂකයින් තරඟයට එකතු වීම හේතුවෙන් වෙනත් අයට අනවශ්‍ය බරක් වැටෙන්නේ නැහැ කියා නිගමනය කරන්න පුළුවන්.

මේ අවම ඡන්ද ප්‍රමාණය කොපමණද? එක් ඡන්දදායකයෙකු තරඟයෙන් ඉවත් වුවහොත් මැතිවරණයේ වියදම පහළ යන්නේ රුපියල් මිලියන 70-100කින්. එනම්, මුළු වියදමෙන් 1.5%-2%ක් පමණ අඩු වෙනවා. ඒ නිසා, කිසියම් අපේක්ෂකයෙකු විසින් අඩු වශයෙන් මුළු ඡන්ද වලින් 2%ක් පමණවත් ලබා ගන්නවානම් එවැන්නෙකු ඡන්දයට ඉදිරිපත් වීමේ වියදම ඔහුගේ හෝ ඇයගේ ඡන්දදායකයින් විසින් පියවා ඇතැයි නිගමනය කරන්න පුළුවන්. එසේ නැත්නම්, අදාළ අපේක්ෂකයා තරඟයට එකතු වීම නිසා ඉහළ ගිය වියදම ගෙවන්න වෙන්නේ ඒ අපේක්ෂකයාගේ දේශපාලනය සමඟ එකඟ නොවන, ඔහුට හෝ ඇයට අකැමැති වෙනත් ඡන්දදායකයින්ටයි.

ලංකාවේ පැවැත්වුණු පළමු ජනාධිපතිවරණ දෙකට ස්වාධීන අපේක්ෂයින් ඉදිරිපත් වුනේ නැහැ. පළමු ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ හය දෙනෙකුගෙන් හතර දෙනෙකු හා දෙවන ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ තිදෙනාම 2% ඉක්මවා ඡන්ද ලබාගත්තා. එහෙත්, ඉන් පසුව, 1999 ජවිපෙ අපේක්ෂකයා හැර වෙනත් කිසිදු තෙවන අපේක්ෂකයෙකු 1% ඉක්මවා ඡන්ද ලබා නැහැ. මෙවර ඉදිරිපත්ව සිටින අපේක්ෂයින්ගෙන් සිවු දෙනෙකු හැර ඉතිරි අය 1% මට්ටම නොඉක්මවන බව පැහැදිලියි. ඔවුන් නිසා ඉහළ යන වියදම වැටෙන්නේ ඔවුන්ට කැමැත්තක් නොදක්වන ඡන්දදායකයින්ගේ උර මතයි.

ජනාධිපති අපේක්ෂකයන්ගෙන් ඇතැම් අය තරඟයට ඉදිරිපත්ව සිටින්නේ තමන්ගේ මතවාදය ප්‍රවර්ධනය කිරීමටයි. ඔවුන්ට තමන්ගේ මතවාදය ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය වී තිබෙන්නේ ඒ මතවාද වලට ඉල්ලුමක් නැති නිසයි. ඉල්ලුමක් නැති මතවාදයක් කවුරු හෝ විසින් ප්‍රවර්ධනය කිරීමේ වරදක් නැහැ. හැබැයි තමන්ගේ වියදමෙන් හෝ තමන්ගේ මතවාදයට කැමති අයගේ වියදමෙන්!

Monday, October 7, 2019

ජනාධිපති තරඟය ලාබ වැඩියිද?

මේ වන විට නොවැම්බර් ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීමේ කටයුතු අවසන් වෙලා තිබෙනවා. ඇප මුදල් තැන්පත් කළ අයගෙන් හය දෙනෙකු නාම යෝජනා භාර දී නැහැ. ඒ අය අතරින් චමල් රාජපක්ෂ නාම යෝජනා භාර නොදීමට හේතුව පැහැදිලි කරුණක්. ඔහු ඇප මුදල් තැන්පත් කළේ ගෝඨාභයට එරෙහි නඩුවේ තීන්දුව අවාසිදායක එකක් වුනානම් ගෝඨාභය වෙනුවට තරඟ කිරීමටයි. නාම යෝජනා නුදුන් ඉතිරි අය අතර කුමාර් වෙල්ගමත් කැපී පෙනෙනවා.

කොහොම වුනත්, අවසාන වශයෙන් මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයින් 35 දෙනෙකු ඉදිරිපත්ව සිටිනවා. මෙය වාර්තාගත තරඟකරුවන් ගණනක්. තරඟකරුවන් ප්‍රමාණය ඉහළ යාම නිසා ජනාධිපතිවරණය පැවැත්වීමේ වියදම රුපියල් බිලියන හතරේ සිට පහ දක්වා රුපියල් බිලියනයකින් ඉහළ යනු ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය විසින් ප්‍රකාශ කර තිබෙනවා.

ජනාධිපතිවරණයට තරඟ කරන අපේක්ෂකයින් ගණන ඉහළ යන තරමට ජනාධිපතිවරණය පැවැත්වීමේ වියදමත් ඉහළ යනවා. නමුත්, එය සිදු වන්නේ රේඛීය ලෙස නෙමෙයි. ඒ කියන්නේ වැඩිවන සෑම අපේක්ෂකයෙකු හේතුවෙන්ම වියදම වැඩි වන්නේ සමාන මුදලකින් නෙමෙයි.

තරඟ කරන්නේ එක් අයෙක් පමණක්නම්, ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු නැහැ. ඒ නිසා, වියදම නොසලකා හැරිය හැකි තරම් සුළු වියදමක් පමණයි. එහෙත්, තරඟකරුවන් ගණන දෙදෙනෙකු වූ වහාම වියදම විශාල ලෙස ඉහළ යනවා. ජනාධිපතිවරණය පැවැත්වීමේ අවම වියදම මෙන්ම දෙවන තරඟකරුවකු ඉදිරිපත් වීමේ ආන්තික වියදම රුපියල් බිලියන 3.5 කට අඩු නැතැයි මා හිතනවා. මැතිවරණ රාජකාරි වල නිරත වන නිලධාරීන් වෙනුවෙන් ගෙවිය යුතු දීමනා, ඉන්ධන වියදම් ඇතුළු ප්‍රවාහන වියදම් හා ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ වියදම් ආදිය මෙයට ඇතුළත්.

තරඟකරුවන් ගණන වැඩිවන තරමට මේ සියලුම වියදම් ඉහළ යනවා. මා හිතන ආකාරයට තෙවන අපේක්ෂකයාගෙන් පසුව වැඩිවන සෑම අපේක්ෂකයෙකු නිසාම ඉහළ යන ආන්තික පිරිවැය යම් තරමකින් හෝ ටිකින් ටික ඉහළ යනවා. ඒ කියන්නේ, තෙවන අපේක්ෂකයෙකු එකතු වීම නිසා වියදම රුපියල් මිලියන 30කින් ඉහළ යනවානම්, සිවුවන අපේක්ෂකයෙකු එකතු වූ විට වියදම රුපියල් මිලියන 30කට වඩා වැඩියෙන් ඉහළ යනවා.


මේ ආකාරයට තරඟයට අමතර අපේක්ෂකයෙකු එකතු වීම නිසා ඉහළ යන මැතිවරණ වියදම තරඟ කරන මුළු අපේක්ෂයින් ගණන මත තීරණය වන්නක් වුවත්, අපට කිසිදු අපේක්ෂකයකු පළමු අපේක්ෂකයා හෝ අවසන් අපේක්ෂකයා ලෙස නම් කරන්න පදනමක් නැති නිසා කිසියම් නිශ්චිත අපේක්ෂකයෙකු තරඟයට එකතු වීම නිසා ඉහළ ගිය මැතිවරණ වියදම ඇස්තමේන්තු කිරීමේ හැකියාවක් නැහැ. ඒ නිසා, එක් අපේක්ෂයෙකුගේ වියදම ලෙස අපට සලකන්න වෙන්නේ මුළු වියදම අපේක්ෂකයින් ගණනෙන් බෙදූ විට ලැබෙන මුදලයි.

රුපියල් බිලියන පහක වියදම තිස් පහෙන් බෙදූ විට රුපියල් මිලියන 143ක පමණ මුදලක්. නමුත්, එයින් කියැවෙන්නේ එක් අපේක්ෂකයෙකු තරඟයෙන් ඉවත් වූවානම් රුපියල් මිලියන 143ක පමණ මහජන මුදල් ඉතිරි වන බව නෙමෙයි. එසේ ඉතිරි වන මුදල රුපියල් මිලියන 30කට පමණ ආසන්න මුදලක් විය හැකියි. පසුගිය ජනාධිපතිවරණ සඳහා වැය වූ මුදල් ප්‍රමාණ පිළිබඳ දත්ත තිබේනම් මේ මුදල වඩා නිවැරදිව ඇස්තමේන්තු කළ හැකියි.

හරි. ගණන කීය වුනත් තරඟකරුවෙකු එකතු වීමේ සැලකිය යුතු වියදමක් තියෙනවනේ. දැන් මේ වියදම දරන්නේ කවුද?

වියදම දරන්නේ රටේ ජනතාව මිස ජනාධිපතිවරණයට තරඟ කරන අපේක්ෂකයින් නෙමෙයි. අපි 18ට අඩු අය අයින් කරලා රටේ ඡන්දදායකයින් ගණනින් බෙදලා බලමු. මේ ගණන මිලියන 15.7ක්නේ. ඒ කියන්නේ එක් ඡන්දදායකයෙකු විසින් දරන වියදම රුපියල් 320ක් පමණ වෙනවා.

මැතිවරණ පැවැත්වීම වෙළඳපොළ යාන්ත්‍රනය තුළ තීරණය වන ක්‍රියාවලියක් නොවන නිසා ඡන්දදායකයකුට මැතිවරණයේ වටිනාකම රුපියල් 320ට වඩා වැඩිද කියා අපිට හරියටම නිගමනය කරන්න බැරි වුනත්, එය එසේයැයි අපි උපකල්පනය කරමු. බොහෝ දෙනෙක් මැතිවරණයෙන් තමන් කැමති අපේක්ෂකයාව තෝරා පත් කර ගන්න විශාල උනන්දුවක් දරනවනේ. ඒ උනන්දුව එක්ක බැලුවහම ඔය රුපියල් 320 ලොකු ගාණක් නෙමෙයි කියා හිතන්න අමාරු නැහැ.

එතකොට ඡන්දය නොදාන අය? ඒ අය අතරෙන් වුවත් සෑහෙන පිරිසකට ජනාධිපතිවරණය රුපියල් 320ක් වටිනවා කියා මම හිතනවා. ඔවුන් ඡන්දය නොදැමීමෙන් අදහස් වන්නේ ඡන්දය දමන අයගේ බහුතර තීරණය සමඟ අනුගත වීමට තිබෙන කැමැත්ත මිසක් ඡන්දය පැවැත්වෙනවාට තිබෙන අකැමැත්තක් කියා මම හිතන්නේ නැහැ. නමුත්, මැතිවරණ අවශ්‍ය නැති, මැතිවරණය වෙනුවෙන් රුපියල් 320ක් වැය කරන්න කැමති නැති යම් පිරිසකුත් ඇති. ඒ අයටනම් සිදු වෙන්නේ අකැමැත්තෙන් මැතිවරණ වියදම් වලට දායක වෙන්නයි. එහෙම අය ගොඩක් ඉන්නවා කියා මම හිතන්නේ නැහැ. මොකද මැතිවරණ තියන්න කියා ඉල්ලන අය මිසක් මැතිවරණ එපා කියා කියන අය එතරම් නැහැනේ.

මේ විදිහට රටේ ගොඩක් අය ජනාධිපතිවරණය වෙනුවෙන් රුපියල් 320 බැගින් ගෙවන්න කැමැත්තෙන් ඉන්නවා කියා හිතුවොත්, ඔවුන් ඒ මිල කැමැත්තෙන් ගෙවන්නේ තමන් කැමති අපේක්ෂකයා ජයග්‍රහණය කරනු දැකීමෙන් ලබන මානසික සතුට හා වෙනත් මුදල් වාසි ඇත්නම් ඒවා වෙනුවෙනුයි. වෙනත් අයෙකු ජයග්‍රහණය කළොත් ඒ සතුට ලැබෙන්නේ නැහැ.

තමන් කැමති අපේක්ෂකයා ජයග්‍රහණය කරනු ඇතැයි සහතිකයක් කිසිදු ඡන්දදායකයෙකුට නැහැ. එහෙත්, ඒ සඳහා කිසියම් සම්භාවිතාවක් තිබෙන බව ඔවුන් දන්නවා. අපේක්ෂයා දිනුවොත් ලැබෙන මානසික හෝ මුදල් වාසිය මේ සම්භාවිතාවයෙන් ගුණ කළ විට ඡන්දදායකයෙකුගේ අපේක්ෂිත වාසියේ වටිනාකම ලැබෙනවා. ඡන්දදායකයෙකු ඡන්දයකට කැමති වන්නේ මේ අපේක්ෂිත වාසිය මැතිවරණය වෙනුවෙන් ගෙවිය යුතු මිලට වඩා වැඩිනම් පමණයි.

ඇතැම් ඡන්දදායකයින්ට මේ විදිහට මැතිවරණය වෙනුවෙන් ගෙවිය යුතු මිල ගෙවීමෙන් පසුව ලැබෙන අතිරික්ත වාසිය වුවත් ගොඩක් වැඩියි. මැතිවරණ වලදී තමන්ගේ අපේක්ෂකයා වෙනුවෙන් මුදල් හා ශ්‍රමය වැය කරන්නේ එවැනි අයයි. තවත් ඇතැම් අයට කවුරු දිනුවත් වෙනසක් නැහැ. ඒ නිසා, මැතිවරණයෙන් වැඩක් නැහැ. නමුත්, එහෙම කියලා එවැන්නෙකුට මැතිවරණයේ වියදම් වලට දායක නොවී සිටීමේ හැකියාවක් නැහැ. රජය ඒ මුදල කොහොමටත් බලෙන්ම ගන්නවා. ඒ නිසා, එවැන්නෙකුට කළ හැක්කේ මැතිවරණය හා අදාළව තමන්ගේ පාලනය යටතේ තිබෙන වියදම් කොටස අඩු කර ගැනීම පමණයි. ඡන්දය නොදා සිටීම එය කරන එක් ක්‍රමයක්.

දැන් මේ ඡන්දදායකයාගේ පැත්තනේ. එතකොට අපේක්ෂකයාගේ පැත්ත?

අපේක්ෂකයෙකුට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමෙන් ලැබෙන ප්‍රධානම වාසිය වන්නේ එසේ ඉදිරිපත් වීමෙන් රටේ ජනාධිපති වීමට අවස්ථාවක් ලැබීමයි. ජනාධිපති වීමේ වාසි ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. නමුත්, මේ වාසි ලැබෙන්නේ දිනුවොත් පමණයි. දිනන එක සහතික නැහැ. එහෙත්, දිනන්න යම් සම්භාවිතාවක් තිබෙනවා. ඒ අනුව, ලැබෙන අපේක්ෂිත වාසිය ගණනය කළ හැකියි. දිනන්න කවර හෝ සම්භාවිතාවක් පෙනෙන්නට ඇති අයෙකුට මේ අපේක්ෂිත වාසිය ඉතා විශාල එකක්. එයට සාපේක්ෂව දැරිය යුතු වියදම එතරම් විශාල නැහැ.

නමුත්, මේ වාසිය තිබෙන්නේ ජයග්‍රහණය කිරීමට කවර හෝ සම්භාවිතාවක් ඇත්නම් පමණයි. එහෙමනම්, ජයග්‍රහණය කරන්න කිසිම ඉඩක් නැති බව හොඳින්ම දන්නා අපේක්ෂයින් බුරුතු පිටින් තරඟයට ඉදිරිපත් වෙන්නේ ඇයි?

මෙයට හේතුව, ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කිරීමට කිසිදු ඉඩක් නැතත්, තරඟයට ඉදිරිපත් වීමේ වෙනත් වාසි තිබීමයි. මේ වෙනත් වාසි යනු ප්‍රධාන වශයෙන්ම ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම නිසා ලැබෙන ප්‍රචාරනාත්මක වාසියයි.

මේ වාසියත් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඇතැම් අපේක්ෂකයින් හා ගත් විට ඔවුන් මේ ප්‍රචාරනාත්මක වාසිය යොදා ගන්නේ තමන්ගේ අනාගත දේශපාලන ව්‍යාපෘතියක් වෙනුවෙන්. නමුත්, මේ වන විට මීට අමතරව මේ ප්‍රචාරනාත්මක වාසිය දේශපාලනික නොවන පෞද්ගලික වාසි වෙනුවෙන් ලබා ගැනීමේ ප්‍රවනතාවක්ද ඇති වී තිබෙනවා. ඒ පෞද්ගලික වාසිය වෙනත් අපේක්ෂයෙකු දිනවීමෙන් හෝ වෙනත් අපේක්ෂයෙකුගේ ජයග්‍රහණය වැළැක්වීමෙන් ලබන වාසියක් වෙන්නත්, ඒ දෙකම නොවන වඩා පෞද්ගලික ආකාරයේ වාසියක් වෙන්නත් පුළුවන්.

මේ යන ආකාරයට ගියොත් අනාගතයේදී වෙළඳ ප්‍රචාරණය අරමුණු කර ගනිමින් වුවත් අපේක්ෂකයින් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකියි. උදාහරණයක් විදිහට කුඩ නිෂ්පාදකයෙකුට තමන්ගේ කුඩ ප්‍රචාරණය කර ගැනීම පිණිස කුඩය ලකුණින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න පුළුවන්කමක් තිබෙනවා. එය වෙළඳ දැන්වීම් වෙනුවෙන් මුදල් වැය කරනවාට වඩා ලාබ විය හැකියි.

ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම අනුව බැලුවොත්, දිනන්න ඉඩක් තිබුණත් නැතත්, ඕනෑම කෙනෙකුට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න ඉඩ හැරීමේ වැරැද්දක් නැහැ. ඒ වගේම, නිදහස් වෙළඳපොළ මූලධර්ම අනුව බැලුවොත් කවුරු හෝ තමන්ට කවර හෝ වාසියක් ලැබෙන කටයුත්තක නිරත වීමේ වැරැද්දක් නැහැ. ඒ නිසා යමෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ දිනීමේ අරමුණින්ද එහෙම නැත්නම් වෙනත් අරමුණකින්ද කියන එක අදාළ කරුණක් නෙමෙයි. එහෙමනම්, මේකේ තියෙන වැරැද්ද මොකක්ද?

මෙතැන තිබෙන වැරැද්ද මෙහිදී අනුන්ගේ පානෙන් එළිය බැලීමක් හෙවත් ෆ්‍රී රයිඩින් ප්‍රශ්නයක් තිබීමයි. කෙනෙක් කිසියම් වාසියක් ලැබීමේ කිසිදු අවුලක් නැතත්, එහි මිල ගෙවන්න වෙන්නේ වෙන අයෙකුටනම් එහි වැරැද්දක් තිබෙනවා. මෙහිදී, සුළු පිරිසක් විසින් අනිසි සේ ලබා ගන්නා ප්‍රචාරාත්මක වාසියේ මිල ගෙවන්න සිදු වන්නේ ඒ මිල ගෙවීමට කිසිදු අවශ්‍යතාවයක් හෝ කැමැත්තක් නැති පිරිසකටයි.

උදාහරණයක් විදිහට ටියුෂන් ගුරුවරයෙක් තමන්ට වැඩිපුර සිසුන් ආකර්ශනය කර ගැනීමේ අරමුණින් ජනාධිපතිවරණයට තරඟ කරනවා කියා හිතමු. ඔහුට දිනන්න කිසිදු අරමුණක් නැහැ. ජනාධිපතිවරණයට තරඟ කර ලබන ප්‍රචාරනාත්මක වාසිය වෙන ආකාරයකින් ලබා ගන්නනම් ඔහුට මිලියන ගණනක් වැය වෙනවා. මේ වැඩේ ඊට වඩා ලාබයි. ඒ නිසා, ඔහුට විශාල වාසියක් ලැබෙනවා. එහි ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නය තිබෙන්නේ ඔහු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීම නිසා මිලියන ගණනකින් මැතිවරණ පිරිවැය ඉහළ යාමයි. එය ගෙවන්න වෙන්නේ වෙනත් පිරිසකටයි. ඔවුන්ට ඒ මිල නොගෙවා සිටීමේ හැකියාවක් නැහැ. රජයෙන් ඒ මුදල ඔවුන්ගෙන් බලෙන්ම අය කර ගන්නවා.

ඉහත කී තත්ත්වය වලක්වා ගන්නනම් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂයෙකුගෙන් එහි මිල අය කර ගත යුතුයි. තරඟකරුවන් විසින් තැන්පත් කළ යුතු ඇප මුදල හරහා සිදු වන්නේ මේ කාර්යයයි. අවශ්‍ය අවම ඡන්ද ප්‍රතිශතය ලබා ගන්නා අපේක්ෂකයෙකුට තමන් විසින් තැන්පත් කළ ඇප මුදල ආපසු ලැබෙනවා. ඔවුන්ගේ මැතිවරණ පිරිවැය කොටහ ගෙවන්නට කැමැත්තෙන් සිටින පිරිසක් රටේ සිටින බව තහවුරු වී තිබෙන නිසා ඇප මුදල ආපසු දීමේ වැරැද්දක් නැහැ. එහෙත්, ඒ බව තහවුරු කළ නොහැකි අය තමන් නිසා ඉහළ ගිය මැතිවරණ වියදම් පියවිය යුතුයි. ඇප මුදල් රාජසන්තක කිරීමේ මූලධර්මය මෙයයි.

ජනාධිපතිවරණයට තරඟ කරන පිළිගත් දේශපාලන පක්ෂයක අපේක්ෂකයෙකු විසින් රුපියල් 50,000ක මුදලක්ද ස්වාධීන අපේක්ෂකයෙකු විසින් රුපියල් 75,000ක මුදලක්ද ඇප සේ තැන්පත් කළ යුතුයි. මේ ඇප මුදල ආපසු ලැබෙන්නේ 12.5%ක අවම ඡන්ද ප්‍රතිශතයක් ලබාගතහොත් පමණයි. මෙතෙක් ලංකාවේ පැවති සෑම ජනාධිපතිවරණයකදීම සිදුවී තිබෙන්නේ වැඩිම ඡන්ද ලබාගත් අපේක්ෂකයින් දෙදෙනාගේ හැර අනෙකුත් සියලුම අපේක්ෂයින්ගේ ඇප මුදල් රාජසන්තක වීමයි. මේ ආකාරයට තමන්ගේ ඇප මුදල රාජසන්තක වන බව දැන දැනම බොහෝ දෙනෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ ඇප ලෙස තැන්පත් කරන සොච්චම් මුදලට සාපේක්ෂව තමන්ට ලැබෙන ප්‍රචාරනාත්මක වාසිය ගොඩක් වැඩි නිසයි.

මේ ඇප මුදල් නිර්ණය වී තිබෙන්නේ 1981 අංක 15 දරණ ජනාධිපතිවරණ පණතේ ප්‍රතිපාදන අනුවයි. 1981දී රුපියල් 50000ක් කියා කියන්නේ සැලකිය යුතු මුදලක්. ඒ වසරේදී ලංකාවේ ඒක පුද්ගල ආදායම රුපියල් 5,725ක් පමණයි. එහෙත්, 2018 වන විට ලංකාවේ ඒක පුද්ගල ආදායම රුපියල් 666,817 දක්වා 116 ගුණයකින් වැඩි වී තිබෙනවා. මේ වැඩි වීමට උද්ධමනය හේතුවෙන් රුපියලේ මූර්ත අගය පහළ යාම සහ මූර්ත ආර්ථික වර්ධනය යන කරුණු දෙකම හේතු වී තිබෙනවා. එයට සමාන්තරව මැතිවරණ වියදම්ද ඉහළ ගොස් ඇතත් අපේක්ෂයින් විසින් තැන්පත් කළ යුතු ඇප මුදල් ප්‍රමාණ වෙනස් වී නැහැ.

පළමු ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ දේශපාලන පක්ෂයක අපේක්ෂයෙකු විසින් තැන්පත් කළ යුතු වූ ඇප මුදල එවක රටේ ඒක පුද්ගල ආදායම මෙන් 8 ගුණයකටත් වැඩියි. එසේ තිබියදීත් අපේක්ෂකයින් 6 දෙනෙකු තරඟයට ඉදිරිපත් වුනා. ඉන් පසුව, රටේ ආදායම් ක්‍රමයෙන් ඉහළ යද්දී ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අවශ්‍ය ඇප මුදල ක්‍රමක්‍රමයෙන් සුළු මුදලක් බවට පත් වුනා. රුපියල් 50,000ක් කියා කියන්නේ 2018දී ලංකාවේ ඒක පුද්ගල ආදායමෙන් 1/13කටත් අඩු මුදලක්. මේ ආකාරයට ඇප සේ තැන්පත් කළ යුතු මුදලේ නාමික අගය වෙනස් නොවීම හා මූර්ත අගය පහළ යාමට සමාන්තරව ජනාධිපතිවරණයට ඉදිරිපත් වන තරඟකරුවන් ප්‍රමාණය ක්‍රමයෙන් ඉහළ ගොස් තිබෙනවා.

1982- 6
1989- 3
1994- 6
1999- 13
2005- 13
2010- 22
2015- 19
2019- 35

රටේ ඒක පුද්ගල ආදායම ඉහළ යාම සැලකුවොත් 1981දී නිර්ණය වූ රුපියල් 50,000 හා 75,000 මුදල් ප්‍රමාණ 2018 වන විට රුපියල් මිලියන 5.8 හා රුපියල් මිලියන 8.7 මට්ටමට ඉහළ ගොස් තිබිය යුතුයි. නමුත්, එසේ වී නැහැ. ඊළඟ ජනාධිපතිවරණයට පෙර හෝ මේ ඇප මුදල් ප්‍රමාණ විශාල ලෙස ඉහළ නොදැම්මොත් ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂයින් ගණන සීය පන්නයි.

Sunday, October 6, 2019

රනිල් වික්‍රමසිංහ- ගමනක අවසානය?


නොවැම්බර් 16 වෙනි දින පැවැත්වීමට නියමිතව තිබෙන ජනාධිපතිවරණයට තරඟ කිරීම සඳහා නාම යෝජනා දීමට පෙර ඇප මුදල් තැන්පත් කළ හැකිව තිබුණු කාලය මේ වන විට අවසන්ව තිබෙන අතර විවිධ පක්ෂ යටතේ හා ස්වාධීනව පුද්ගලයින් 41 දෙනෙකු විසින් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. ඒ අනුව, ලංකාවේ මීළඟ ජනාධිපතිවරයා වනු ඇත්තේ මේ 41 දෙනාගෙන් එක් අයෙකුයි. ඒ කවුද කියා හරියටම කීමේ හැකියාවක් තවමත් නැහැ.

ලංකාවේ මීළඟ ජනාධිපතිවරයා පිළිබඳව එක් දෙයක්නම් දැන් ස්ථිරවම කිව හැකියි. ඒ, ඔහු අලුත් කෙනෙක් බවයි. මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කෙරී නැහැ. ලංකාවේ මීළඟ ජනාධිපතිවරයා අලුත් කෙනෙක් වනවාට අමතරව ඔහු මෙතෙක් ලංකාවේ අගමැති ධුරය හෙබවූ අයෙකුද නොවෙයි. මහින්ද රාජපක්ෂට හෝ රනිල් වික්‍රමසිංහට ලංකාවේ මීළඟ ජනාධිපති වීමේ ඉඩක් දැන් නැහැ. ගෝඨාභය කඳවුර හා සජිත් කඳවුර විසින් අදාළ පක්ෂ ඇතුළේ ගෙනගිය අරගල මේ වෙද්දී ජයග්‍රහණයෙන් කෙළවර වී තිබෙනවා.

රනිල් වික්‍රමසිංහට එජාපයට පිටින් වගේම එජාපය ඇතුළෙනුත් කලක සිටම විශාල ප්‍රතිරෝධයක් තිබුණා. බොහෝ දෙනෙකු ඔහුව හැඳින්වූවේ විශාල වාර ගණනක් පරාජය වීත් එජාප නායකත්වය අත නොහරින අයෙකු ලෙසයි. ඔහු තවමත් එජාප නායකත්වය අතහැර නැහැ.

රනිල් වික්‍රමසිංහ මුලින්ම පාර්ලිමේන්තුවට තේරී පත් වුනේ 1977දී අටවෙනි පාර්ලිමේන්තුවේ බියගම මන්ත්‍රීවරයා ලෙසයි. එවිට ඔහු වයස අවුරුදු 28ක තරුණයෙක්. එදා සිට අද දක්වාම ඔහු දිගටම ලංකාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් අතරින් රනිල් වික්‍රමසිංහට වඩා පැරණි පාර්ලිමේන්තු ඉතිහාසයක් තිබෙන්නේ මහින්ද රාජපක්ෂට පමණයි. මහින්ද රාජපක්ෂ 1970දී පාර්ලිමේන්තුවට තේරී පත්වන විට ඔහුගේ වයස අවුරුදු 24ක් පමණයි. එහෙත්, මහින්ද රාජපක්ෂට ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අඛණ්ඩව රැක ගැනීමට හැකි වූයේ නැහැ. 1977දී මහින්ද රාජපක්ෂ රන්ජිත් අතපත්තුට පරාද වුනා. ඉන්පසු, මහින්දට නැවත පාර්ලිමේන්තු එන්න ලැබුණේ 1989දීයි.

අටවෙනි පාර්ලිමේන්තුවට තේරී පත් වූ රනිල්ට ජේආර්ගේ ආණ්ඩුවේ කැබිනට් මන්ත්‍රීධුරයක්ද හිමි වුනා. රැකියා හා යෞවන කටයුතු ඇමති ලෙස රනිල් වික්‍රමසිංහ කටයුතු කළ මේ කාලයේදී ඔහු විසින් සංවිධානය කළ යොවුන්පුර කඳවුරු වැඩසටහන් ඒ කාලයේ විවිධ විවේචන වලටද පාත්‍ර වුනා.

සමානුපාතික ක්‍රමයට පැවැත්වුණු 1989 මහ මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් තේරී පත් වීමට රනිල් වික්‍රමසිංහට හැකි වුවත් ගම්පහ මනාප ලැයිස්තුවේ ඔහු සිටියේ තෙවැනි තැනයි. ජෝශෆ් මයිකල් පෙරේරා හා ජෝන් අමරතුංග රනිල්ට වඩා ඉදිරියෙන් සිටියා. ඒ වෙද්දී එජාපයේ දෙවන පෙල නායකයන් සේ කැපී පෙනුණේ ලලිත් ඇතුලත්මුදලි හා ගාමිණී දිසානායකයි. 1989 මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ කළ ලලිත් ඇතුලත්මුදලි දිවයිනේ වැඩිම මනාප වාර්තා කරද්දී නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් තරඟ කළ ගාමිණී දිසානායක දිවයිනේ වැඩිම මනාප ප්‍රතිශතය (තමන් තරඟ කළ දිස්ත්‍රික්කයේ වලංගු ඡන්ද වල ප්‍රතිශතයක් ලෙස) වාර්තා කළා. ඒ වෙද්දී, රනිල් වික්‍රමසිංහ එජාපයේ සිටි මේ දැවැන්ත චරිත වල අහලකින්වත් හිටියේ නැහැ.

ජනාධිපති ප්‍රේමදාසට එරෙහිව ලලිත්, ගාමිණී ඇතුළු කණ්ඩායම විසින් ගෙන ආ දෝෂාභියෝග යෝජනාව, ඉන්පසුව එම කණ්ඩායම එජාපයෙන් ඉවත් වීම හා ප්‍රේමදාස, ලලිත්, ගාමිණී ඝාතන ආදී සිදුවීම් රැසකින් පසුව රනිල් වික්‍රමසිංහ එජාප නායකයා බවට පත් වුනා. ඉන්පසුව, එජාපය පක්ෂයක් ලෙස ලබාගත් ජයග්‍රහණයන් කෙසේ වුවත්, දිගින් දිගටම එජාපය ඇතුලෙ සිටි ජනප්‍රියම නායකයා වූයේ රනිල් වික්‍රමසිංහයි. එතෙක් මෙතෙක් පැවති සෑම මහා මැතිවරණයකදීම විශාල ඡන්ද ප්‍රමාණයක් හා ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට රනිල් වික්‍රමසිංහ සමත් වුනා.

රනිල් වික්‍රමසිංහ කිහිප වරක්ම ලංකාවේ අගමැති ධුරය දැරුවත් ඔහුට කිසි විටෙකත් ලංකාවේ ජනාධිපති ධුරය දැරීමේ වාසනාව හිමි වුනේ නැහැ. ඔහු දෙවරක්ම එම ධුරය සඳහා තරඟ කළත් පළමු වර චන්ද්‍රිකා කුමාරතුංගටත්, දෙවන වර මහින්ද රාජපක්ෂටත් පරාජය වුනා. ඒ පරාජයන් දෙකටම එල්ටීටීඊ සංවිධානයෙන් දායකත්වයක් ලැබුණා.

චන්ද්‍රිකා කුමාරතුංග පළමු වර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන විට ජනප්‍රියතාව අතින් ඉතා ඉහළ තැනක හිටියත් ඇය 1999දී දෙවන වර තරඟ කරන විට ඒ තත්ත්වය බොහෝ දුරට වෙනස් වී තිබුණා. ඒ නිසා රනිල් වික්‍රමසිංහට එවර ජයග්‍රහණය කරා යාමට සැලකිය යුතු ඉඩක් තිබුණා. නමුත්, ජනාධිපතිවරණයට දින තුනක් තිබියදී අවසන් ප්‍රචාරණ රැළියේදී චන්ද්‍රිකා කුමාරතුංගට එල්ටීටීඊ ප්‍රහාරයක් එල්ල වීමත් සමඟ රටේ බොහෝ දෙනෙකුගේ අනුකම්පාව දිනා ගැනීමට ඈ සමත් වුනා. මේ සිදුවීම නොවන්නට ඇතැම් විට එවර රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කළ හැකිව තිබුණා.

මේ අයුරින්ම 2005 ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහගේ පරාජයට හේතු වූයේත් එල්ටීටීඊ සංවිධානය විසින් උතුරේ ඡන්ද වර්ජනයක් ක්‍රියාත්මක කිරීමයි. එවර රනිල් මහින්දට පැරදුනේ ඉතා සුළු ඡන්ද ප්‍රතිශතයකින්. එල්ටීටීඊ සංවිධානය විසින් එජාපයේ ප්‍රමුඛ නායකයින් තිදෙනෙකුම කෙටි කලක් තුළ ඝාතනය කිරීමේ වාසිය නිසා එජාප නායකත්වයට පත් වුනු රනිල්ට ලංකාවේ ජනාධිපති වීමට තිබුණු අවස්ථාව එල්ටීටීඊ සංවිධානයේ ක්‍රියා හේතුවෙන්ම දෙවරක්ම වැළැකීම දෛවයේ සරදමක්.

ඉහත කී සුවිශේෂී තත්ත්වයන් යටතේ ජනාධිපතිවරණ දෙකකින්ම පරාජය වුවත්, මා දන්නා තරමින්, රනිල් වික්‍රමසිංහ ඔහු පෞද්ගලිකව තරඟ කළ අනෙක් මැතිවරණ සියල්ලම ජයගත් අයෙක්. ඔහු ඇතැම් අය කියන ආකාරයට දිගින් දිගටම මැතිවරණ පැරදුණු අයෙක් නෙමෙයි. රනිල්ට දිගින් දිගටම එජාප නායකත්වයේ ඉන්න හැකි වුනෙත් ඔහු දිගින් දිගටම එජාපය තුළ සිටි ජනප්‍රියම නායකයා වූ නිසයි. තමන්ගේ පක්ෂ නායකත්වයට එරෙහිව වරින් වර නැගුනු විවිධ අභියෝග හමුවේ නායකත්වය රැක ගැනීමට ඔහු මෙතෙක් සමත් වුනා. එහෙත්, මේ වෙද්දී රනිල් වික්‍රමසිංහ හැරවුම් ලක්ෂ්‍යයක් කරා එළැඹ සිටින බව පැහැදිලියි. සජිත් ප්‍රේමදාස එජාප අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම රනිල්ගේ අවශ්‍යතාවය ඉටුවීමක් සේ සැලකිය නොහැකියි. එය රනිල්ගේ පරාජයක්!

රනිල් වික්‍රමසිංහ හා ඔහුගේ මාමණ්ඩිය වන ජේ ආර් ජයවර්ධන අතර සමානතා ගණනාවක් තිබෙනවා. ඔවුන් දෙදෙනාම කිසියම් දැක්මක් තිබුණු නායකයින්. ඒ දැක්ම කෙතරම් පරිපූර්ණ දැක්මක්ද කියන එක වෙනම කරුණක්. ඔවුන් දෙදෙනාම තමන්ගේ දැක්ම පරිදි කටයුතු කිරීමට අවස්ථාවක් එළැඹෙන තුරු බලා සිටියා මිස කෙටි මං හොයන්න ගියේ නැහැ. ජේ ආර්ට ඔහු විසින් දශක ගණනාවක් බලා සිටි අවස්ථාව ලැබෙන විට ඔහු සෑහෙන තරමකට වයස්ගත පුද්ගලයෙක්. රනිල් වික්‍රමසිංහට ඒ අවස්ථාව කවදාවත් ලැබුණේ නැහැ.

ජේ ආර් ජයවර්ධනට 1977දී හයෙන් පහක බලයක් ලැබුණේ හදිසියේම ලංකාවේ ඡන්දදායකයින්ට ජේ ආර්ගේ ආර්ථික දේශපාලන වැඩපිළිවෙළ ගැන පැහැදීමක් ඇතිවූ නිසා නෙමෙයි. සමඟි පෙරමුණු ආණ්ඩුවේ ආර්ථික දේශපාලන වැඩපිළිවෙළ නිසා බොහෝ දෙනෙක් ඒ වන විට හොඳටම හෙම්බත් වී සිටි නිසයි. එසේ නොවන්නට, ජේ ආර්ට ඔහුගේ ඉදිරිගාමී ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ජේ ආර්ගේ දැක්ම සමකාලීන දේශපාලනඥයින් බොහෝ දෙනෙකුට වඩා ඉදිරිගාමී වූ බව කැපී පෙනෙන්නේ මේ වෙද්දී ශ්‍රීලනිපය වැනි පක්ෂ වලට පමණක් නොව ජවිපෙ වැනි පක්ෂ වලට පවා තමන්ගේ පසුගාමී ආර්ථික දේශපාලන ව්‍යාපෘති අතහැර අඩු වැඩි වශයෙන් ජේ ආර් ගිය මඟම යන්නට සිදු වී තිබීමෙනුයි.

ජේ ආර්ට ඔහුගේ ආර්ථික දේශපාලන වැඩපිළිවෙළ පිළිබඳව දෘඪ විශ්වාසයක් තිබුණත්, ඒ වැඩ පිළිවෙල රටට තබා පක්ෂයට හෝ අළෙවි කිරීමේ දක්ෂතාවයක් ඔහුට තිබුණේ නැහැ. ඇතැම් විට ඔහුට ඒ සඳහා උවමනාවක් නොතිබුණා වෙන්නත් පුළුවන්. ජේ ආර්ගේ මේ දුර්වලතාවය රනිල් වික්‍රමසිංහටත් එළෙසම තිබෙනවා. කොහොම වුනත්, හයෙන් පහක මැතිවරණ ජයග්‍රහණය සමඟ ලැබුණු පිටියේ වාසිය නිසා ජේ ආර්ට තමන්ගේ ආර්ථික දේශපාලන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම අසීරු වුනේ නැහැ. ඔහු සීමාවෙන් ඉදිරියට පැන අත දිග හැර ප්‍රහාර එල්ල කළා.

රනිල් වික්‍රමසිංහ ඔහුගේ මාමණ්ඩිය තරම් වාසනාවන්තයෙක් වුනේ නැහැ. ඔහුට කිහිප වරක්ම පන්දුවට පහර දීමට පිත්ත අතට ලැබුණත්, එසේ ලැබුණේ ජේ ආර්ට ලැබුණු ආකාරයේ පිටියේ වාසියක් සමඟ නෙමෙයි. කඩුල්ල රැක ගැනීම ගැන මිස ලකුණු රැස් කිරීම ගැන හිතන්න ඔහුට වැඩි ඉඩකඩක් ලැබුණේ නැහැ. නමුත්, කඩුල්ල රැක ගනිමින් ඔහු තමන්ට හැකි තරම් ලකුණු රැස් කළා. මා හිතන ආකාරයට, තමන්ට සැලකිය යුතු දේශපාලන බලයක් ලැබුණානම් දැකිය හැකිව තිබුණු රනිල් වික්‍රමසිංහගේ සැබෑ ස්වරූපය කිසිදා මුළුමනින්ම නිරාවරණය වී නැහැ. සුවිශේෂී තත්ත්වයන් යටතේ පමණක් දැකිය හැකි වූ, ලංකා ඉතිහාසයේ රනිල් වික්‍රමසිංහගේ භූමිකාව ගැන තව අවුරුදු දහයකින් අදට වඩා ගොඩක් දේවල් කතා කෙරෙයි.

මේ මොහොත වෙද්දී පවතින තත්ත්වය අනුව, ඉදිරි ජනාධිපතිවරණය ජයගන්න ඉඩ තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ හෝ සජිත් ප්‍රේමදාස යන දෙන්නාගෙන් එක් අයෙක්. යම් හෙයකින් සජිත් ප්‍රේමදාස ජයග්‍රාහකයා වුවහොත්, රනිල් වික්‍රමසිංහගේ අතේ තියාගෙන සිටින එජාප නායකත්වයේ වගේම ඔහුගේ දේශපාලනයේත් අවසානය එය විය හැකියි. අනෙක් අතට, ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණයකින් පසුව තවත් ටික කලක් එජාප නායකත්වයේ සිටීමේ අවස්ථාව රනිල් වික්‍රමසිංහට ලැබෙන්න පුළුවන් වුවත්, ඔහුට අනාගතයේදී නැවතත් බලයට එන්න අවස්ථාවක් ලැබේද යන්න සැක සහිතයි. ඒ නිසා, රනිල් වික්‍රමසිංහ ඉතිහාසයට එකතු වනු ඇත්තේ ටික දෙනෙක් ටිකක් කියවූ, කිසිවකු සම්පූර්ණයෙන්ම නොකියවූ ලොකු පොතක් ලෙසයි.

වෙබ් ලිපිනය: