වෙබ් ලිපිනය:

Monday, October 7, 2024

2024 පළමු මාස හයේ විදේශ අංශයේ ප්‍රගතිය


මේ සමඟ පළ කර තිබෙන වගුවෙහි පෙන්වා දී තිබෙන්නේ 2024 පළමු මාස හයේ විදේශ අංශයේ ප්‍රගතිය. පෙර (2023) වසරේ පළමු මාස හය සමඟ සැසඳීමක්ද එහි තිබෙනවා. අප මෙම සැසඳීම කරන්නේ විදේශ අංශය ඉතාම දුර්වලව පැවති 2021 හෝ 2022 වැනි වසරක් සමඟ නොවන බවද මතක තබා ගත යුතුයි.

වසරේ පළමු මාස හය තුළ ඩොලර් මිලියන 1,104ක ජංගම ගිණුම් අතිරික්තයක් වාර්තා වී තිබෙන අතර එය පෙර වසරට සාපේක්ෂව 74%ක වර්ධනයක්. 1956 වසරෙන් පසුව 2023 දක්වා කාලය තුළ ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා වූයේ 1965 හා 1977 දෙවසර තුළ පමණක් බවද අප මෙහිදී මතක් කර ගත යුතුයි. 

මෙම වසර තුළ රුපියලේ අගය අධිප්‍රමාණය වූයේ ණය ගත් නිසා හෝ ණය නොගෙවා සිටි නිසා නොවන බව ඉහත වගුව දෙස බැලූ විට පැහැදිලි විය යුතුයි. රජය විසින් නිවැරදි රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්තියකුත්, මහ බැංකුව විසින් නිවැරදි මුදල් ප්‍රතිපත්තියකුත් පවත්වා ගත් විට විදේශ අංශය "ඉබේටම" වර්ධනය වෙනවා. 

මෙහිදී "ඉබේටම" යන්නෙන් අදහස් වන්නේ දේශීය හා විදේශීය සමාගම් හා පුද්ගලයින් විශාල පිරිසක් තනි තනිව පවතින තත්ත්වයට ප්‍රතිචාර දැක්වීම තුළ මෙය සිදු වන බවයි. සැලසුම් සහගත රාජ්‍ය මැදිහත්වීම් මගින් විදේශ අංශය වඩාත් ශක්තිමත් කර ගැනීම කළ නොහැක්කක් නොවෙතත්, ප්‍රායෝගිකව බොහෝ අවස්ථා වලදී එවැනි සැලසුම් නිශේධනාත්මකව බලපෑමේ අවදානම දැකිය හැකියි. 

වසරේ පළමු මාස හය තුළ, පෙර වසරේ පළමු මාස හයට සාපේක්ෂව, භාණ්ඩ අපනයන ආදායම් 4.6%කිනුත්, සේවා අපනයන ආදායම් 36.2%කිනුත්, ප්‍රාථමික ආදායම් 17.8%කිනුත්, ද්වීතියික ආදායම් 10.8%කිනුත් වර්ධනය වී ඇති අතර සමස්තයක් ලෙස ජංගම ගිණුමේ ලැබීම් ඩොලර් මිලියන 1,501කින් වර්ධනය වී තිබෙනවා.

මීට අනූරූප ලෙස භාණ්ඩ ආනයන වියදම්, සේවා ආනයන වියදම් මෙන්ම ප්‍රාථමික වියදම්ද ඉහළ ගොස් තිබෙනවා. සේවා ආනයන වියදම් 53%කින් පමණ ඉහළ ගොස් ඇති අතර එයට හේතුව ශ්‍රී ලාංකිකයින් විශාල ලෙස විදේශගත වීමයි. ද්වීතියික වියදම් වල පමණක් අඩු වීමක් දැකිය හැකියි. මෙයින් පෙනෙන්නේ රටේ ආර්ථිකය නැවත යහපත් අතට හැරෙද්දී ශ්‍රී ලංකාවේ වෙසෙන විදේශිකයින් තමන්ගේ අරමුදල් රටින් පිටතට ප්‍රේෂණය කිරීම විශාල ලෙස සීමා වී ඇති බවයි. මේ අනුව ජංගම ගිණුමේ ගෙවීම් කොටස ඉහළ ගොස් තිබෙන්නේ ඩොලර් මිලියන 1,032කින් පමණයි.

වසරේ පළමු මාස හයේ ජංගම ගිණුමේ අතිරික්තය ඩොලර් මිලියන 1,104ක් වුවත්, එම කාලය තුළ නිල සංචිත ඊට වඩා වැඩියෙන් ඉහළ ගොස් තිබෙනවා. ඊට හේතුව මූල්‍ය ගිණුමේ ගෙවීම් වලට වඩා වැඩියෙන් එම ගිණුමටද අරමුදල් ලැබීමයි. මෙම තත්ත්වයන් සමඟ අපට ඉදිරි (2025) වසරේ පළමු මාස හය පිළිබඳ යම් විනිශ්චයකට පැමිණිය හැකියි.

වාහන ආනයනය ආරම්භ වීමෙන් පසුව ආනයන වියදම් ඉහළ යාමක් සිදු වෙනවා. එමෙන්ම ණය ප්‍රතිව්‍යුහගත කිරීම් අවසන් වූ පසු ණය වාරික හා පොලී ආපසු ගෙවීමටද සිදු වෙනවා. නමුත් මෙම වසරේ ජංගම ගිණුම් ශේෂය දෙස බැලූ විට පෙනී යන්නේ මෙම වසරේ තත්ත්වය එලෙසම පැවතියද එය ප්‍රශ්නයක් නොවන බවයි. එමෙන්ම පසුගිය දෙවසර තුළ සිදු වූ වර්ධනය අනුව, විශේෂ සැලසුමක් නැතත්, ඉදිරි වසර තුළ විදේශ අංශයේ ලැබීම් වල සැලකිය යුතු වර්ධනයක් අපේක්ෂා කළ හැකියි.

සැප්තැම්බර් මාසය අවසන් වෙද්දී නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 5,992 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මාසය තුළ වැඩිවීම ඩොලර් මිලියන 33ක් පමණයි. මීට හේතුව මහ බැංකුව විසින් ලොකු මැදිහත් කිරීමක් නොකිරීමද, එසේ නැත්නම් මිල දී ගත් විදේශ විණිමය කිසියම් ණයක් ගෙවීම වෙනුවෙන් යෙදවීමද යන්න පැහැදිලි නැහැ. එය බොහෝ විට මේ සතිය අවසානයේදී දැනගන්න ලැබෙයි. 

7 comments:

  1. ඉකොනොමැට්ටා,

    ලංකාවේ දේශපාලන මතවාද ඉදිරියේ ආර්ථිකයේ හැරවුම දිශානතිය පිළිබඳව බලපෑම කෙසේ වෙයි ද කියල ඔබට කියන්න පුලුවන්ද?

    විශේෂයෙන්ම මේවන විට පැහැදිලිව පෙනෙන්නට තිබෙන ලංකාවේ එජාප/ සජබ "කොළපාට" දේශපාලනයේ මළගම සමග ඉතාම ඉක්මනින්ම එම පක්‍ෂ වල පාක්ෂික ජනතාව ජාජබ මාලිමාවට එකතු වෙයිද නැත්නම් මාලිමාවට එරෙහිව ඉදිරියේදී නැගී එන්නට නියමිත ජාතිවාදී දේශපාලන බලවේගයට ඔවුන්ගෙන් කොටසක් එකතු වේවිද? ඒ සමගම ඔවුන්ගේ දෘෂ්ටිවාදය ආර්ථිකය සම්බන්ධව කෙසේ වෙනස් වේවිද?

    ඊට අමතරව ගෝලීය ආර්ථික භූදේශපාලන සැලසුම් දිහා බලනකොට දැන් බොහෝ රටවල් ඇමරිකානු අවනීතික ආර්ථික සම්බාධක වලට එරෙහිව නැගී සිටින බව වගේම ඩොලර් ට්‍රිලියන 31 ක අධික ණය බරකින් යුක්ත වුවත් ඇමරිකා එක්සත් ජනපදය අධික ලෙස ඩොලර් අච්චු ගැසීම දිගටම සිදුකරමින් තම රටේ උද්ධමනය ඩොලර් මගින් ගනුදෙනු කරන අනිත් රටවලට අපනයනය කරමින් පවතින මොහොතක ශ්‍රී ලංකාව වැනි කුඩා රටවල් බොරතෙල් ආනයනය සදහා තවමත් ඩොලර් භාවිත කිරීමෙන් වියහැකි විපාක පිළිබඳව වැඩිදුර විස්තර කළ හැකිද?

    මේ පිළිබඳව ජාතික ජන බලවේගයේ ආර්ථික අංශ වගේම හිටපු මහබැංකු නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය විජයවර්ධන වගේ අයත් යම් තරමකට අදහස් දක්වන බව පෙනෙනවා නමුත් චීනය ඉන්දියාව ප්‍රමුඛ බොහෝ රටවල් තම තමන්ගේ මුදල් ඒකක හා ඩිජිටල් මුදල් භාවිතා කරමින් මේ වන විට ගණුදෙනු කරනවා මෙන්ම සංචිත ලෙස ඩොලරය සම්පූර්ණයෙන්ම වගේ අතහැර රත්රන් හෝ වෙනත් වටිනා ලෝහ වර්ග භාවිතය ආරම්භ කර තිබෙනවා. ඉදිරියේදී එක්සත් ජනපද ලෝක ආධිපත්‍යය බිඳ වැටීම සමග ක්ෂණිකව වගේ ඩොලරය කඩා වැටීමට පෙර ලංකාවේ ආර්ථික විශේෂඥයන් මෙම තත්වය හදුනාගත යුතු වෙනවා නේද? මේ පිළිබඳව ඔබට අපක්ෂපාතීව මධ්‍යස්ත ලෙස විග්‍රහ කළ හැකිද?

    ReplyDelete
  2. එන සුබ නිමිති දනවයි කාටත් සතුට
    පිවිසෙන හැඩයි සිරිලක සරු යුගයකට
    ඇරැඹෙන්නත් කලින් මෘගසන් වැස්සකට
    තෙමිලා වගෙයි ලොකු පොඩි හොරු රැල එකට!

    ReplyDelete
  3. I have a question.
    SL development bonds counted as internal or external debt? They are taken under local law in a foreing currency, right?

    ReplyDelete
    Replies
    1. They were considered domestic debt. A small portion was owned by foreigners.

      Delete
  4. ඉකෝන් වෙනදා ඔය සල්ලි වලින් රෝසිට කාර් පදින්න දීලා සීයා කෝටි ගණන් නාස්තිකාර වියදම් කරමින් ඇල්ගී කෑවා ඒත් මාලිමාවට ඵලය ලැබුණාම ඒකත් නැති කලා, එහෙම කියලා මාලිමාවට බනින්නේ නැද්ද? 😳😳

    ReplyDelete
    Replies
    1. නාකි සොම්බියා ලොරි කැඳ බොන්නත් ඉස්සර ඉඳන් මනාපයි.

      Delete
  5. දේශීය ණය ගත්තත් ඒක ඩොලර් වලින් ගනනය කරන්න ඕන කියල imf එකඟතාවයක් තියෙනවද?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: