වෙබ් ලිපිනය:

Saturday, October 5, 2024

රාධා පසුපස යන අනුර...


ජනාධිපතිවරණ සටනේදී අනුර කුමාර දිසානායකගේ තේමා ගීතයෙහි "සුබ නැකතට රට අනුරට"යැයි කියැවුනා. වැදගත් වැඩක් කරද්දී ඒ සඳහා සුබ නැකතක් යොදා ගන්න එක ලංකාවේ වගේම ඉන්දියානු කලාපයේ තවත් බොහෝ රටවල ප්‍රචලිත පුරුද්දක්. අනුර රට බාර ගත්තෙත් තේමා ගීතයෙන් කියවුනු විදිහේ සුබ නැකතකටද නැද්ද කියලා මම දන්නේ නැහැ. 

සමහර දේවල් සාර්ථකව සිදු වෙන්නනම් ඒ දේවල් සුදුසු වෙලාවක සිදු විය යුතුයි. උදාහරණයක් විදිහට විවිධ බෝග වර්ග වගා කරද්දී හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්නනම් සුදුසු දවසක වගා කළ යුතුයි. වාර්ෂිකව ගංවතුර එන ප්‍රදේශයකනම් ඒ දවස ගංවතුර ඇවිත් බැස ගියාට පසුව දවසක් වෙන්න පුළුවන්. ඒ වගේම, වැස්ස නැති පායන දවසක්නම් වඩා හොඳ වෙන්න පුළුවන්. වැඩේ පටන් ගන්න උදේ කාලය වඩා සුදුසු වෙන්නත් පුළුවන්. 

ඔය වගේ දේවල් ගැන අත්දැකීම් ඇසුරෙන් ඉගෙන ගත් දේවල් මිනිස්සු කාලයක් තිස්සේ ඉදිරි පරම්පරා වලට දැනුම විදිහට සම්ප්‍රේෂණය කළා. එසේ කිරීම එකම වැරැද්ද නැවත නැවත නොකර සිටීමට උදවු වුනා. වැරදි දවසක බීජ වපුරලා එක පාරක් වරද්දා ගත්තට පස්සේ ඒ වැරැද්දම තවත් පාරක් කරන්න මිනිස්සු පෙළඹෙන්නේ කලාතුරකින්. 

වැඩක් කරන්න සුදුසුම දවස හොයා ගන්නනම්, පළමුව කාලය නිවැරදිව සලකුණු කර ගත හැකි ආකාරයේ දැනුමක් අවශ්‍ය වෙනවා. පොළොවේ දැකිය හැකි චක්‍රීය රටාවන් හා අහසේ දැකිය හැකි චක්‍රීය රටාවන් අතර සම්බන්ධය මේ සඳහා උදවු කරගන්න පුළුවන්. ඒ මගින්, මේ රටාවන් තුළ ගෙවෙන යම් මොහොතක් නිශ්චිත ලෙස ලකුණු කරගන්න පුළුවන්. නැකැත් හා ලග්න කියන්නේ මේ කාර්යයේදී යොදාගත් මං සලකුණු. 

ලග්න කියා කියන්නේ පොළොවේ සිට දැකිය හැකි අහස කොටස් දොළහකට බෙදීමෙන් පසුව ඒ එක් කොටසක් සංකේත තරු රටා ඇසුරෙන් හඳුනා ගන්නා ක්‍රමය. ඔය විදිහටම කොටස් විසි හතකට බෙදූ විට එක් කොටසක් නැකතක්. 

ඔය නැකැත් විසිහතෙන් එකක් තමයි අනුර නැකැත. එය අනුර රට බාර ගත් "සුබ නැකත" නෙමෙයි. හැබැයි අනුරගේ ගම් පළාත වූ අනුරාධපුරයට වගේම ලංකා ඉතිහාසයටත් සම්බන්ධ නැකතක්. 

සිංහලෙන් අනුර නැකත වී තිබෙන්නේ අනුරාධ නැකත. ඒ කියන්නේ අනුර කියන නම බිඳී ඇවිත් තියෙන්නේ අනුරාධ කියන නමෙන්. අනුරාධ කියන නම ලංකාවේ මහා වංශ ඉතිහාසය අනුව විජය සමඟ ලංකාවට පැමිණි ඇමතියෙකුගේ නමක්.

මහා වංශය (හත් වන පරිච්ඡේදය) අනුව අනුරාධ ගාම කියන්නේ විජයාවතරණයෙන් පසුව පිහිටුවනු ලැබූ පළමු ගම් පහෙන් එකක්.

 "ඔහුගේ ඇමැතියෝ ඒ ඒ තැන ගම් පිහිටවූහ. අනුරාධ නම් ඇමැති තෙමේ කොළොම් හෝ ගම් ඉවුරෙහි අනුරාධ නම් ගම පිහිට විය"

මහා වංශයට වඩා පැරණි මූලාශ්‍රයක් ලෙස සැලකිය හැකි දීප වංශයෙහි අනුරාධ යන නම "අනුරක්ඛ" ලෙස සඳහන්ව තිබෙනු දැකිය හැකියි. 

"විජයෝ විජිතෝච සෝ නාවං අනුරක්ඛෙනච - අච්චුතගාමෝ උපතිස්සෝ පඨමං තෝ ඉධාගතෝ"

"විජය, විජිත හා අනුරක්ඛද, අච්චුතගාම සහ උපතිස්සද පළමුව මෙහි පැමිණි අයයි."

ඉන් පසුව, දීප වංශයේ මෙසේද සඳහන් වෙනවා.

"විජිතෝ විජිතං මාපේසි, සෝ උරුවෙලං මාපයි - නක්ඛත්ත නාමකො මච්චෝ මාපෙසි අනුරාධපුරං"

මෙයින් කියන්නේ විජිත ඇමති විසින් හා උරුවේල ඇමති විසින් ඔවුන්ගේ නම් වලින් ගම් පිහිටුවද්දී, "නැකතක නම ඇති ඇමතියා" විසින් අනුරාධපුරය පිහිටවූ බවයි.  මේ කියන්නේ "අනුරාධ" හෙවත් "අනුර" නැකත ගැනයි. ඒ අනුව, අනුරාධ/ අනුර නම් ලංකා ඉතිහාසය තරමටම පැරණියි. උරුවේල නම දැන් භාවිතයේ නැතත්, "විජිත ඇමතිලා" තවමත් දැකිය හැකියි. 

අනුරාධ නැකතට එම නම ලැබී තිබෙන්නේ "රාධා පසුපස යන" යන අර්ථයෙන්. මෙහි රාධා ලෙස හැඳින්වෙන්නේ අනුර නැකතට පෙර නැකත වන විසා නැකතයි. "විසා" යන නම බිඳී එන්නේ "විශාඛ" යන්නෙන්. "වෙසක්" යන්න බිඳී එන්නේද "විශාඛ" යන්නෙන්. ලංකාවේ ක්‍රමය තරමක් වෙනස් වුනත්, තායිලන්තය වැනි ථෙරවාදී බෞද්ධ රටවල වෙසක් පෝය නිර්ණය කරන්නේ විසා නැකත මත පදනම්වයි. 

"විශාඛ" යන්නෙන් අදහස් වන්නේ අනුර නැකත සංකේතවත් කරන තරු රටාවට ආසන්නව පිහිටි තරු රටාවක්. පොළොව සිට අක්ෂය වටා බ්‍රමණය වෙද්දී මුලින් "විශාඛ" තරු රටාව දැකිය හැකි අතර "අනුරාධ" තරු රටාව ඒ පසුපස ගමන් කරනු දැකිය හැකියි.

"විශාඛ" නැකත රාධා දෙවඟනගේ ජන්ම නැකත සේ සැලකෙනවා. 

"යමුනා ගං තෙර තමළු ලතා සෙවණේ - යොහොඹු කුසුම් යහනේ...රාධා බලා හිඳී...."

රාධා නම බොහෝ විට කියැවෙන්නේ ක්‍රිෂ්ණා නමද සමඟයි.

"රාධා ක්‍රිෂ්ණා රාමා සීතා කිසි ලෙසකින් හෝ නොවෙමු අපි..."

අනුරාධ හෙවත් අනුර යනු රාධා අනුව (රාධා පසුපස) යන නැකැත් තාරකාවයි. ඒ අනුව, අනුර රාධා පසුපස යද්දී, රාධා කරන්නේ ක්‍රිෂ්ණාගේ බටනලා තනුවට නටන එකයි. 

අනුරාධ තාරකාව පිහිටියේ වෘශ්චික හෙවත් ස්කෝපියන් තාරකා පන්තියේ. මෙම තාරකා පංතිය හඳුනාගන්නේ ගෝනුස්සෙකු ලෙසයි. තාරකා පංතියේ ගෝනුස්සාගේ ඉදිරි අඬු දෙකෙන් අල්ලාගෙන සිටින සේ පෙනෙන්නේ අනුර නැකතයි.

හරියටම කිවුවොත් මේ විදිහට එක තරුවක් සේ පෙනෙන්නේ ප්‍රධාන තාරකා දෙකක් සහ තවත් තරු ගණනාවක්. මෙම ප්‍රධාන තාරකා දෙක  β¹ Scorpii සහ β² Scorpii ලෙස හැඳින්වෙනවා. මෙයින්  β¹ Scorpii ආලෝක වර්ෂ 530ක් ඈතින් පිහිටා ඇති අතර, β² Scorpii ආලෝක වර්ෂ 1,132ක් ඈතින් පිහිටා තිබෙනවා. 


ලෝකයේ රටවල ජාතික කොඩි අතරින් සංකීර්ණම සහ අපූරුම ජාතික කොඩියක් වන බ්‍රසීලයේ ජාතික කොඩියෙහි තරු සලකුණු අතරද β Scorpii හෙවත් අනුර නැකත දැකිය හැකියි. එම තාරකාවෙන් බ්‍රසීලයේ මරඤ්ඤෝ (Maranhão) ප්‍රාන්තය සංකේතවත් වෙනවා. 

4 comments:

  1. සුපුරුදු රටාවෙන මිදිච්ච, වෙනස්ම ආරක ලිපියක්. කියෙව්වා. හොඳයි.👌😊

    ReplyDelete
  2. ඉහත ලිපිය මගින් අනුර කුමාර සහෝදරයා කාන්තාවන් පසු පස යන කෙනෙකු බව හුවා දැක්වේ. ඒ සම්බන්දයෙන් අපගේ විරෝධය මෙසේ දක්වා සිටිමු.

    අනුර කුමාර සහෝදරයාට මඩ ගහන්නේ රනිල් හාමුගේ කොන්ත්‍රාත් එකට නේද ඉකොනෝ.

    ReplyDelete
    Replies
    1. ඔබ වැනි විශිෂ්ඨ බුද්ධිමතුන්ගේ සහයෝගයෙන් අනුර මැතිඳු මෙවර පාර්ලිමේන්තුවේ වැඩි ආසන ගනනක් දිනාගෙන මෙසිරිලක, සසිරි බර රටක් කරනවා නොඅනුමානයි.

      Delete
    2. "ඉහත ලිපිය මගින් අනුර කුමාර සහෝදරයා කාන්තාවන් පසු පස යන කෙනෙකු බව හුවා දැක්වේ. ඒ සම්බන්දයෙන් අපගේ විරෝධය මෙසේ දක්වා සිටිමු."

      ඔබ වැනි විශිෂ්ඨ බුද්ධිමතුන්ගේ සහයෝගයෙන් අනුර මැතිඳු මෙවර පාර්ලිමේන්තුවේ වැඩි ආසන ගනනක් දිනාගෙන මෙසිරිලක, සසිරි බර රටක් කරනවා නොඅනුමානයි.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: