වෙබ් ලිපිනය:

Showing posts with label කෘෂිකර්මය. Show all posts
Showing posts with label කෘෂිකර්මය. Show all posts

Thursday, January 2, 2025

ආණ්ඩුවට පොල් ගහද්දී ආණ්ඩුව පොල් ගානවද?

ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ දත්ත අනුව, 2024 දෙසැම්බර් මාසයේදී පොල් ගෙඩියක සාමාන්‍ය මිල රුපියල් 168.90ක්. 2023 දෙසැම්බර් මාසයේදී එම මිල රුපියල් 111.67ක්. ඒ කියන්නේ වසරක කාලයක් ඇතුළත 51.24%ක මිල ඉහළ යාමක්!

මේ විදිහට වසරක් ඇතුළත පොල් මිල 51.24%කින් ඉහළ ගිහින් තියෙන්නේ රටේ සමස්ත මිල මට්ටම 1.7%කින් පහත වැටෙද්දී. ඒ කියන්නේ අවධමනයක් තියෙද්දී. දෙසැම්බර් මාසය තුළ පමණක් පොල් මිල 15.10%කින් ඉහළ ගිහින් තිබෙනවා. 

මීට සාපේක්ෂව, වසරක කාලය සහ මාසයක කාලය තුළ හාල් මිල ඉහළ ගොස් තියෙන්නේ පහත පරිදියි. 

පසුගිය වසරක කාලය:

රතු කැකුළු - 15.08%

සුදු කැකුළු - 11.25%

සුදු නාඩු - 8.81%

රතු නාඩු - 10.19%

සම්බා - 14.48%


පසුගිය මාසයක කාලය:

රතු කැකුළු - 5.77%

සුදු කැකුළු - 6.61%

සුදු නාඩු - 4.09%

රතු නාඩු - 4.91%

සම්බා - 1.63%

පොල් මිල වගේම හාල් මිලත් ඉහළ ගිහින් තිබුනත්, හාල් මිල ඉහළ යාමෙහි පොල් මිල ඉහල යාමේ පෙනෙන තරම්ම අමුත්තක් නැහැ. නමුත්, මේ මිල ඉහළ යාම් දෙකට ආණ්ඩුව ප්‍රතිචාර දක්වන්නේ වෙනස් ආකාර වලින්.

හාල් මිල ඉහළ යාම සම්බන්ධව කර්මාන්තයේ අතරමැදියන්ට සෘජුව චෝදනා එල්ල කෙරෙනවා. ඊට හේතුව එම කර්මාන්තයේ අතරමැදියන් අතර පහසුවෙන් ඇඟිල්ල දික් කළ හැකි, ඇහැට පෙනෙන පුද්ගලයින් සිටීම. නමුත් පොල් කර්මාන්තයේ ඒ වගේ පහසුවෙන් ඇඟිල්ල දික් කර පෙන්විය හැකි අතරමැදියෝ නැහැ. ඒ නිසා, ඒකේ වැරැද්ද පටවලා තියෙන්නේ පැත්තක ඉන්න රිලවු මත. 

හාල් මිල ඉහළ යාමේ ප්‍රශ්නය වගේම පොල් මිල ඉහළ යාමේ ප්‍රශ්නයත් වසර හතරකට පමණ වරක් චක්‍රීය ලෙස ඇති වන, සාමාන්‍යයෙන් එකටම එන, ප්‍රශ්න දෙකක්. මේ ප්‍රශ්නයට ප්‍රධාන හේතුව කාලගුණ රටාවන්හි දැකිය හැකි චක්‍රීය විචලනයන් නිසා සැපයුම චක්‍රීය ලෙස විචලනය වීම. නමුත් ලංකාවේ හාල්, පොල් පරිභෝජනයේ ස්වභාවය අනුව ඔය දෙකේම දේශීය ඉල්ලුම බොහෝ දුරට නියතයි. 

ඉල්ලුම නියතව තියෙද්දී සැපයුම විචලනය වන කර්මාන්තයක ඉල්ලුම්-සැපයුම් පරතරයේ විචලනය වීම් අනුව මිල විචලනය වීම සාමාන්‍ය තත්ත්වයක්. ඉල්ලුමට සාපේක්ෂව සැපයුම අඩු වෙද්දී මිල වැඩි වෙනවා. ඉල්ලුමට සාපේක්ෂව සැපයුම වැඩි වෙද්දී මිල අඩු වෙනවා. මිල වැඩි වෙද්දී පාරිභෝගිකයෝ කෑ ගහනවා. මිල අඩු වෙද්දී නිෂ්පාදකයෝ කෑ ගහනවා. කවුරු හෝ කෑ ගහන කණ්ඩායම එක්ක ඒ වෙලාවේ විපක්ෂයත් කෑ ගහනවා. 

ලංකාවේ සාමාන්‍ය පාරිභෝගිකයාට වගේම සුළු පරිමාණ ගොවීන්ටත් ඉල්ලුම හා සැපයුම අනුව මිල විචලනය වීම ගැන හොඳ අවබෝධයක් නැහැ. කිසිම දේශපාලන කඳවුරක් ඔවුන්ව දැනුවත් කරන්නෙත් නැහැ. ඒ වෙනුවට හැම විටම මෙන් කරන්නේ ආණ්ඩුව පැත්තට ඇඟිල්ල දික්කරන්න ඔවුන්ව පුහුණු කරන එක. ඒ නිසාම, මෙහි ආණ්ඩුව විසින් විසඳිය යුතු ප්‍රශ්නයක් තිබෙන බව මිනිස්සු හිතනවා.

වත්මන් ආණ්ඩුවේ ඉන්නේ මේ විදිහේ ප්‍රශ්න වෙළඳපොළ විසින් ස්වයංක්‍රීය ලෙස විසඳනු ලැබීමට එරෙහිව දිගින් දිගටම ජනතාව දැනුවත් කළ සහ සක්‍රිය රාජ්‍ය මැදිහත්වීම් හරහා පාරිභෝගිකයින්ට වගේම නිෂ්පාදකයින්ටත් සහන සැලසීමේ හැකියාව ගැන දිගින් දිගටම කතා කළ සහ දැනටත් කතා කරන කණ්ඩායමක්. ඒ නිසාම, හාල් පොල් මිල ගණන් ඉහළ යද්දී මිනිස්සු රාජ්‍ය මැදිහත්වීමක් අපේක්ෂා කරනවා.

ආණ්ඩුවේ ඉන්න කණ්ඩායම කාලයක් තිස්සේ හාල් කර්මාන්තයේ අතරමැදියන්ට චෝදනා කළ පිරිසක්. ඒ වගේම ඒ සම්බන්ධව යමක් නොකිරීම ගැන පෙර ආණ්ඩු වලට චෝදනා කළ පිරිසක්. ප්‍රශ්නයට හේතුව අතරමැදියන් කියා, ඇතැම් විට අවංකවම, තවමත් හිතන පිරිසක්. වෙළඳපොළ ගැන අවබෝධයක් නැති අයෙක් ඔය විදිහට හිතන එක අසාමාන්‍ය දෙයක් නෙමෙයි.

හාල් කර්මාන්තයේදී මෙන් පොල් කර්මාන්තයේදී වැරැද්ද පැටවිය හැකි අතරමැදියන් සොයා ගන්න අමාරුයි. ඒ නිසා, වැරැද්ද පටවලා තියෙන්නේ රිලවු මත. නමුත් ප්‍රශ්නය තියෙන්නේ විපක්ෂ කණ්ඩායමකට ඔය විදිහට හේතුවක් ඉදිරිපත් කරලා ප්‍රශ්නය විසඳීමේ වගකීම ආණ්ඩුව පැත්තට තල්ලු කළ හැකි වුනත්, ආණ්ඩු බලය තිබෙන කණ්ඩායමකට එසේ කළ නොහැකි වීමයි. මිනිස්සුන්ට විසඳුම් මිසක් හේතු ඉදිරිපත් කිරීම් වලින් වැඩක් නැහැ. 

මේ හේතුව නිසා හාල් මිල හා පොල් මිල මත පදනම්ව බොහෝ අය ආණ්ඩුවට පොල් ගහනවා. තව සමහර අය ආණ්ඩුව පොල් ගානවද කියලත් අහනවා. 

පැහැදිලි ලෙසම ලංකාවේ රිලා ප්‍රශ්නයක් තිබෙනවා. ඉත්තෑ, මොණර ආදී ප්‍රශ්නත් තිබෙනවා. ඒ ප්‍රශ්න විසඳිය යුතු ප්‍රශ්න. නමුත් වත්මන් හාල් මිල ඉහළ යාමට හේතුව අතරමැදියන් නොවන්නාක් මෙන්ම පොල් මිල ඉහළ යාමට හේතුව රිලා ප්‍රශ්නයද නෙමෙයි. ඒ වගේම, මැතිවරණ වලින් පස්සේ එක පාරටම රටේ රිලා ගහණය වැඩි වුනේ නැහැ. මොකද මැතිවරණ ප්‍රචාරණයට හෝ ඡන්දය දමන්න කියලා පිටරටින් රිලවු ආවෙවත්, ඇවිත් ලංකාවේ නැවතුනේවත් නැහැනේ. ඔය ඉන්නේ මැතිවරණ වලට කලිනුත් රටේ හිටපු රිලවුම තමයි. 

ආණ්ඩුව විසින් පොල් මිල ඉහළ යාමේ ප්‍රශ්නය නිෂ්පාදන ප්‍රශ්නයක් ලෙස හඳුනා ගන්නා බව පේනවා. නිෂ්පාදනය වැඩි කිරීම සඳහා කළ යුතු දේවල් කළ යුතු වුවත්, මේ ප්‍රශ්නය නිෂ්පාදනය අඩු වීමේ ප්‍රශ්නයක් නෙමෙයි. අණ්ඩර දෙමළයක් මෙන් එක පාරට පෙනී යා හැකි වුවත්, යම් දුරකට මෙය නිෂ්පාදනය වැඩි වීම නිසා ඇති වූ ප්‍රශ්නයක්. ඒ කොහොමද කියලා මම පැහැදිලි කරන්නම්.

මේ සමඟ පළ කෙරෙන කෘතීම බුද්ධිය උපයෝගී කරගෙන හදා තිබෙන පොල් ගස් දෙකක රූපය සමාජ ජාලා වල සංසරණය වූ එකක්. එහි සඳහන් පරිදි "සීයා යද්දී" පොල් ගස් තිබිලා තියෙන්නේ ඔය විදිහටයි. මෙයින් කියන්න හදන්නේ මේක "සීයා" දීලා ගිය ප්‍රශ්නයක් බවයි. 

ඔය කතාව කියන්නේ සමච්චලයට බව ඉතාම පැහැදිලියි. එහි කියන්න හදන දෙය "සීයා යද්දී" පොල් ගස් තිබුණේ ඔය විදිහට නෙමෙයි කියන එකයි. හැබැයි ඇත්තටමනම් සීයාගේ කාලයේ පොල් ගස් ඔය විදිහට නොතිබුණත් සීයාගේ අවුරුදු දෙක ඉතිහාසයේ වැඩිම පොල් අස්වැන්නක් ලැබුණු අවුරුදු දෙකක්. 

පහත තිබෙන්නේ මහ බැංකුවේ දත්ත අනුව, පසුගිය අවුරුදු දහයක කාලයේ ලංකාවේ වාර්ෂික පොල් නිෂ්පාදිතය පොල් ගෙඩි මිලියන වලින්.

2014 - 2,870

2015 - 3,056

2016 - 3,011

2017 - 2,450

2018 - 2,623

2019 - 3,086

2020 - 2,792

2021 - 3,120

2022 - 3,391

2023 - 3,170

ඔය අවුරුදු දහයක කාලය ඇතුළත වැඩිම පොල් අස්වැන්නක් ලැබී තියෙන්නේ 2022දී. දෙවෙනි වැඩිම අස්වැන්න 2023දී.

මේ විදිහට සීයාගේ කාලයේදී පොල් අස්වැන්න වැඩි වුනේ සීයාගේ පිං මහිමයෙන් කියලාවත්, සීයා කෙමක් කරපු නිසා කියලාවත් මම කියන්නේ නැහැ. පොල් අස්වැන්න වැඩි වුනේ අඩු වශයෙන් සීයාගේ ආණ්ඩුවෙන් කරපු විශේෂ දෙයක් නිසාවත් නෙමෙයි. තනිකරම මෙන්, ආණ්ඩුවකට පාලනය කළ නොහැකි, ස්වභාවික හේතු නිසා. හැබැයි කරුණක් ලෙස එම වසර දෙකේදී පොල් අස්වැන්න විශාල ලෙස ඉහළ ගියා. ඔය අවුරුදු දෙකේදීත් රටේ රිලවු හිටියා. 

දැන් පොල් අස්වැන්න අඩු වී තිබෙන්නේත්, මේ ආණ්ඩුවේ හෝ කලින් පැවැති ආණ්ඩුවේ වැරැද්දක් නිසා නෙමෙයි. රිලා ප්‍රශ්නය නිසාත් නෙමෙයි. වසර 3-4කට පමණ වරක් සිදු වන කාලගුණ රටාවන්ගේ චක්‍රීය විචලන වල බලපෑම නිසා.  2015/16, 2019, 2022/23 පොල් අස්වැන්න වැඩියි. 2014, 2017, 2020 වගේ අවුරුදු වල පොල් අස්වැන්න අඩුයි. 2024 පොල් අස්වැන්න අඩු වෙන අවුරුද්දක්. පොල් අස්වැන්න අඩු වෙද්දී මිල ඉහළ යනවා. ඔය චක්‍රයම හාල් වලටත් බලපානවා.

පොල් අස්වැන්න වෙනස් වී සැපයුම අඩු වැඩි වෙද්දී දේශීය පොල් ඉල්ලුම ලොකුවට වෙනස් වෙන්නේ නැහැ. පහත තිබෙන්නේ දේශීය පොල් පරිභෝජන ඉල්ලුම පොල් ගෙඩි මිලියන වලින්.

2014 - 1.830

2015 - 1,874

2016 - 1,787

2017 - 1,656

2018 - 1,794

2019 - 1,807

2020 - 1,826

2021 - 1,833

2022 - 1,848

2023 - 1,850

වාර්ෂික පොල් ඉල්ලුමේ සාමාන්‍ය අගය පොල් ගෙඩි මිලියන 1,810ක්. මෙහි සම්මත අපගමනය පොල් ගෙඩි මිලියන 60ක් පමණයි. මීට සාපේක්ෂව වාර්ෂික පොල් සැපයුමේ සාමාන්‍ය අගය පොල් ගෙඩි මිලියන 2,957ක් වුවත් සම්මත අපගමනය පොල් ගෙඩි මිලියන 278ක්. ප්‍රශ්නයේ මුල තියෙන්නේ ස්වභාවික හේතු නිසා සිදු වන ඔන්න ඔය විචලනය. 

ලංකාවේ ජනතාව, විශේෂයෙන්ම සිංහල ජනතාව, සියවස් ගණනක් තිස්සේ පොල් ආහාරයට ගන්නවා. ලංකාව ඒක පුද්ගල පොල් පරිභෝජනය ඉහළම රටක්. ඒ වගේම, ලංකාවට කවදාවත් පරිභෝජනය පිණිස පොල් ආනයනය කරන්න සිදු වී නැහැ. රටේ පොල් නිෂ්පාදනය හැමදාමත් පරිභෝජන අවශ්‍යතාවයට වඩා ඉහළින් තිබුණා.

ලංකාවේ බොහොමයක් ගෙවල් වල, නාගරික ප්‍රදේශ වල පවා, අඩු වශයෙන් පොල් ගහක් හරි තියෙනවා. පොල් නිෂ්පාදනයෙන් වැඩි ප්‍රමාණයක් සිදු වෙන්නේ කුඩා පොල් ඉඩම් වලයි. ගෙදර පොල් ගහක් හෝ කීපයක් තිබෙන අය සාමාන්‍යයෙන් තමන්ගේ ගෙදර ගස් වල පොල් පරිභෝජනය සඳහා ගන්නවා. කඩෙන් පොල් මිල දී ගන්නේ මදි පාඩුවට. 

ගෙදර පොල් ගස් කීපයක් පමණක් තිබෙන ගොඩක් අය පරිභෝජනයට අවශ්‍ය ප්‍රමාණයට වඩා පොල් තිබුනා කියලා තමන්ගේ පොල් විකුණන්නේ නැහැ. පොල් නොකඩා පොල් වැටෙනකම් සිටීම, වැටෙන පොල් වේලෙන්න ඇරීම, ඉඳහිට කුරුම්බා වල්ලක් බා ගැනීම වගේ දේවල් වලින් සැපයුම සහ පරිභෝජන අවශ්‍යතාවය අතර වෙනස තුලනය වෙනවා. කාලයකට කලින්නම් ගෙවල් වලම තෙල් හිඳින වැඩේත් සිදු වුනා.

පොල් අස්වැන්න අඩු වෙද්දී කුරුම්බා බාන එක වගේ දේවල් සීමා වෙනවා. තැඹිලිත් පොල් වෙන්න අරිනවා. යාන්තම් පැහෙද්දී පොල් කඩවනවා. ඔය වගේ දේවල් කරලා සැපයුම අඩු වෙන එක යම තරමකින් පාලනය කරන්න පුළුවන්. පරිභෝජනය වුනත් යම් තරමකින් සීමා කරන්න පුළුවන්. 

ලංකාවේ ගොඩක් ගෙවල් වල ඔය විදිහට නිවාස ඒකකය ඇතුළේම පොල් ඉල්ලුම සහ සැපයුම සෑහෙන මට්ටමකට තුලනය වන නිසා ඒ ගෙවල් වලින් කඩෙන් පොල් මිල දී ගන්න තිබෙන ඉල්ලුම සීමිතයි. එහෙත් මේ පාරිභෝගික කණ්ඩායමට අමතරව හැමදාම කඩෙන් පොල් ගන්න වෙනම පිරිසක් ඉන්නවා. 

පොල් අස්වැන්න එක සීමාවක් ඉක්මවා පහත වැටුණු විට වෙන්නේ අර සාමාන්‍යයෙන් කඩෙන් පොල් මිල දී නොගන්න හෝ අඩුවෙන් මිල දී ගන්න විශාල පිරිසට එක වරටම කඩේ පොල් අවශ්‍ය වීම. මේ හේතුව නිසා, පොල් අස්වැන්න යම් සීමාවක් ඉක්මවා අඩු වුනාට පස්සේ වෙළඳපොළේ පොල් ඉල්ලුම එක වරම කිහිප ගුණයකින් ඉහළ යනවා. ඒක වෙන්නේ පොල් පරිභෝජනයේ ඉහළ යාමක් නැතිවයි. බොහෝ විට පරිභෝජනය අඩු වෙන අතරදී. 

මේ විදිහට පොල් ඉල්ලුම එක පාරටම ඉහළ යන්නේ ලොකු පොල් වතු වලත් අස්වැන්න අඩු වෙලා වෙළඳපොලට එන පොල් සැපයුම අඩු වෙලා තිබෙන වෙලාවකයි. එක පැත්තකින් සැපයුම අඩු වෙද්දී අනෙක් පැත්තෙන් ඉල්ලුම ඉහළ යනවා. මෙහි ප්‍රතිඵලය මිල එකවර විශාල ලෙස ඉහළ යාමයි. 

මෙය වාණිජ කෘෂිකර්මයට සාපේක්ෂව ගෘහාශ්‍රිත කෘෂිකර්මය ව්‍යාප්තව තිබීමේ අතුරුපලයක් කියා කියන්නත් පුළුවන්. ගෙවල් වල පොල් ගස් හිටවා නොගෙන හැමෝම කඩෙන්ම පොල් මිල දී ගන්න පුරුදු වී සිටියානම් මේ තරමේ මිල විචලනයක් සිදු වන්නේ නැහැ. ගෘහාශ්‍රිත කෘෂිකර්මයේදී පොල් ගස් වලට සාත්තු කිරීමක් නොකෙරෙන නිසා මෙහි බලපෑම තවත් වැඩියි. (මෙය ගෘහාශ්‍රිත කෘෂිකර්මය අධෛර්යමත් කිරීම සඳහා දෙන උපදෙසක් නෙමෙයි). 

ඔය චක්‍රය අනෙක් පැත්තට යද්දී ගෙවල් වලින් එන පොල් ඉල්ලුම ටිකෙන් ටික අඩු වෙලා යනවා. ගෙදර ගහේ පොල් හැදෙද්දී කඩෙන් පොල් මිල දී ගන්න අවශ්‍ය නැහැ. හැමදාම කඩෙන් පොල් මිල දී ගන්න පාරිභෝගිකයෝ ටික පමණක් ඉතිරි වෙනවා. අනෙක් පැත්තෙන් පොල් සැපයුම ඉහළ ගිහින්, අතිරික්තයක් හැදිලා පොල් මිල පහත වැටෙනවා.

ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවට අනුව, 2020 දෙසැම්බර් මාසයේ අවසාන සතියේදී මධ්‍යම ප්‍රමාණයේ පොල් ගෙඩියක සාමාන්‍ය මිල රුපියල් 96.67ක්. නමුත් 2019 දෙසැම්බර් මාසයේ අවසාන සතියේදී එම මිල 56.75ක් පමණයි. ඒ කියන්නේ වසරක් ඇතුළත 70.6%ක මිල ඉහළ යාමක්. 

නමුත් 2023 දෙසැම්බර් මාසයේ අවසාන සතියේදී මධ්‍යම ප්‍රමාණයේ පොල් ගෙඩියක සාමාන්‍ය මිල රුපියල් 105.71ක් පමණයි. ඒ කියන්නේ 2020-2023 අතර වසර තුනක කාලය ඇතුළත පොල් මිල ඉහළ ගිහින් තියෙන්නේ 9.4%කින් පමණයි. ඒ ඔය අවුරුදු තුන ඇතුළත සාමාන්‍ය මිල මට්ටම 83.3%කින් ඉහළ යද්දී. ඒ කියන්නේ ඔය වසර තුනක කාලය ඇතුළත පොල් මිල නාමිකව 9.4%කින් වැඩි වී තිබුණත්, අනෙක් භාණ්ඩ හා සේවා මිල ගණන් එක්ක බලද්දී විශාල මිල අඩු වීමකුයි සිදු වෙලා තියෙන්නේ.

මේකට හේතුව කලින් කියපු "සීයාගේ කාලයේදී" සිදු වූ නිෂ්පාදනය ඉහළ යාම. නමුත් එය වාරිකව සිදු වූ දෙයක් පමණයි. දැන් නිෂ්පාදනය සාමාන්‍ය මට්ටමට පහත වැටෙද්දී පොල් මිල රටේ පැවති උද්ධමනය හා ගැලපෙන මට්ටමකට ඉහළයමින් තිබෙනවා. මේ වැඩේ කෙටි කාලයක් තුල සිදු වෙන නිසා පාරිභෝගිකයින්ට දැනෙනවා. නමුත් ඔය වැඩිවීම දිගින් දිගටම සිදු වෙන එකක් නෙමෙයි. යම් මට්ටමකට වැඩි වෙලා ස්ථාවර වුනාට පස්සේ තවත් අවුරුදු තුනක් පමණ ඒ මට්ටමේ තියෙයි.

හාල් මිල විචලනය වෙන්නෙත් ඔය විදිහටම තමයි. ඒක අතරමැදියන් විසින් සැලසුම් කර කරන මිල වැඩි කිරීමක් නෙමෙයි. 

රිලවු ප්‍රශ්නය විසඳිය යුතු ප්‍රශ්නයක් වුනත් ඒ ප්‍රශ්නය විසඳුවා කියලා මේ ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. ඇතැම් විට ප්‍රශ්නය තවත් උග්‍ර වෙන්න වුනත් පුළුවන්. 

රිලවු නිසා සිදු වන අස්වනු හානිය පාලනය වුනොත් නිෂ්පාදිතයේ සාමාන්‍ය අගය ඉහළ යයි. එය හොඳ දෙයක්. එහෙත් ඒ නිසා සැපයුමේ සිදු වන කාලික විචලනයන් නවතින්නේ නැහැ. නිෂ්පාදිතයේ සාමාන්‍ය අගය වැඩි වෙද්දී ඊට අනුරූපව විචලනයන්ද වැඩි වෙන එකයි සාමාන්‍යයෙන් වෙන්නේ. චක්‍රයේ අස්වනු ඉහළ යන අවස්ථාවේදී මිල දැනටත් වඩා පහත වැටෙයි. ඒ නිසාම, අනෙක් අදියරේදී එකවරම දැනටත් වඩා මිල ඉහළ යයි. මිල අඩු වෙන එක ගැන කවුරුවත් කතා කරන එකක් නැහැ. නමුත් එක වර මිල වැඩි වෙද්දී නැවතත් ඔය දැන් කෙරෙන සාකච්ඡාව මතු වෙයි.

දැනට තිබෙන හාල් ප්‍රශ්නය වගේම පොල් ප්‍රශ්නයත්, ආණ්ඩුව කිසිවක් නොකළත්, ස්වභාව ධර්මය සහ වෙළඳපොළ විසඳීමට නියමිතව තිබුණු ප්‍රශ්න. ඒ සඳහා යම් කාලයක් යයි. සමහර විට තව මාස හයක් පමණ ගත වෙන්න පුළුවන්. ඊට පස්සේ තව වසර දෙක තුනකට හාල් මිල හෝ පොල් මිල මාතෘකා බවට පත් වීම නවතියි. 2028 පමණ වෙද්දී නැවතත් මේ ප්‍රශ්න දෙක උඩට එයි. ඕකට හොඳම විසඳුම බොරු බිල්ලෝ මවන්නේ නැතිව වෙළඳපොළ යාන්ත්‍රණය ගැන ජනතාව දැනුවත් කරන එක. එහෙම කළොත් අඩු වශයෙන් ඊළඟ චක්‍රයේදී මිනිස්සු මේ නැති ප්‍රශ්නය නැති ප්‍රශ්නයක් බව තේරුම් ගනියි. 



Wednesday, July 26, 2023

බිත්තර කටුවෙන් එහා ලෝකය (හතරවන කොටස)

මෙම ලිපිය හතරවන කොටසක් ලෙස නම් කළේ මෙම මාතෘකාව යටතේම මීට පෙර ලිපි තුනක් ලියා පළ කර තිබෙන නිසා. එම ලිපි කියවා නැති, කැමති අයෙකුට මාස හයකට පෙර පළ කර තිබෙන එම පැරණි ලිපිද කියවිය හැකි වුවත්, එය අවශ්‍යම නැහැ. මෙම ලිපිය වෙනම කියැවිය හැකි ලිපියක්.


මේ වන විට වෝල්මාට් සුපිරි වෙළඳසැලකින් ඇමරිකන් ඩොලර් 1.80ක මිලකට ග්‍රේඩ් A, ලොකු, සුදූ බිත්තර 18ක් මිල දී ගන්න පුළුවන්. ඒ කියන්නේ එක බිත්තරයක මිල ඩොලර් ශත 10ක් හෙවත් අද ඩොලරයක සාමාන්‍ය මිල අනුව ශ්‍රී ලංකා රුපියල් 32.94ක්. ඒ වගේම, කීල්ස් සුපිරි වෙළඳසැලක හැපී හෙන් හෝ නෙල් ෆාර්ම් සන්නාමයේ මධ්‍යම ප්‍රමාණයේ බිත්තර 10ක මිල රුපියල් 545ක්. මෙය එහි අඩුම මිල වන අතර ඔවුන්ගේ වෙබ් අඩවිය අනුව එම මිලටද බිත්තර තොග නැහැ. 

මේ විදිහට එක වෙළඳසැලක මිල ගණන් දෙස බලා රටක බිත්තර මිල ගැන නිගමනයකට එන එක නිවැරදි නැහැ. ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවට අනුව 2023 ජූලි තුන්වන සතියේදී බිත්තරයක සාමාන්‍ය මිල රුපියල් 54.64ක්. එය විවිධ තැන් වලින් ලබා ගන්නා විවිධ ප්‍රමාණ වල බිත්තර වල මිල ගණන් වල සාමාන්‍ය අගයක්. සුදු බිත්තරයක සාමාන්‍ය මිල රුපියල් 55.27ක්. රතු බිත්තරයක සාමාන්‍ය මිල රුපියල් 54.00ක්. 

-මෙම වසරේ ජනවාරි මාසයේදී ලංකාවේ බිත්තර වලට උපරිම සිල්ලර මිලක් නියම වුනා. ඒ අනුව, සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 44ක්ද රතු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 46ක්ද වුනා.

-පෙබරවාරි මාසයේදී ආනයනික බිත්තර මත රුපියල් 50ක බද්දක් පනවනු ලැබුවා. බිත්තරයක් විකිණිය හැකි උපරිම සිල්ලර මිලටත් වඩා වැඩි විශාල බද්දක් පැනවීම බිත්තර ආනයනය තහනම් කිරීමකට සමානයි. එහෙත්, රජයට (ශ්‍රී ලංකා රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාවට) පමණක් රුපියලක නාමික බද්දක් ගෙවා බිත්තර ආනයනය කිරීමේ ඉඩකඩ ඉතිරි කරගනු ලැබුවා. (නියාමකයා තරඟකරුවෙකුද වූ විට ඇති වන එක් ප්‍රශ්නයක් වන්නේ මෙයයි)

-මාර්තු මාසයේදී බිත්තර ලෙසම ආනයනය නොකරන බිත්තර ආහාර (බිත්තර සාරු ආදිය) මත කිලෝග්‍රෑමයකට රුපියල් 1,300ක බද්දක් පනවනු ලැබුවා.

-අප්‍රේල් මාසයේදී බිත්තර වල උපරිම සිල්ලර මිල බිත්තරයක මිල අනුව මෙන්ම බර අනුවද සීමා කෙරුණා. ඒ අනුව, බිත්තර කිලෝවක උපරිම සිල්ලර මිල බිත්තර 20ක උපරිම සිල්ලර මිලට සමාන කෙරුණා. එහෙත්, මෙම සීමා කිරීමේ බලපෑමක් තිබෙන්නේ කුඩා ප්‍රමාණයේ බිත්තර වලට පමණයි. බිත්තර කිලෝග්‍රෑමයකට ලොකු බිත්තර 17-18කට වඩා අල්ලන්නේ නැහැ. මධ්‍යම ප්‍රමාණයේ බිත්තරනම් 20ක් පමණ. කුඩා බිත්තරනම් 23-24ක් පමණ විය හැකියි. මේ අනුව, කුඩා බිත්තරයක් රුපියල් 37ක පමණ මිලකටත්, මධ්‍යම ප්‍රමාණයේ හෝ ලොකු බිත්තරයක් රුපියල් 44ක මිලකටත් වඩා වැඩියෙන් විකිණිය නොහැකි වුනා. රතු බිත්තරනම් මීට වඩා රුපියල් දෙකක් පමණ මිලකට විකිණිය හැකි වුනා. 

-මැයි මාසයේදී බිත්තර ආනයන බද්ද වලංගු කාලය තවදුරටත් දීර්ඝ කෙරුණා.

-ජූනි මාසයේදී අනෙකුත් බිත්තර නිෂ්පාදන ආනයනය මත පනවා තිබුණු බද්ද වලංගු කාලයද තවදුරටත් දීර්ඝ කෙරුණා.

-ඊයේ (ජූලි 25) බිත්තර සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කර තිබෙනවා. 

ඉහත පෙන්වා දී ඇති පරිදි බිත්තර වල මිල පාලනය කිරීම සඳහා පමණක් ශ්‍රී ලංකා රජය විසින් ජනවාරි මාසයේ සිට ජූලි මාසය දක්වා මාසයකට වරක් ගැසට් ගසා තිබෙනවා. මේවා ශ්‍රී ලංකා රජය විසින් එදිනෙදා කරන සාමාන්‍ය දේවල්. මේ වගේ දේවල් පිරිවැයක් නැති දේවල් නෙමෙයි. ඔය තීරණ ගැනීම සඳහා යෝජනා පිළියෙළ කිරීම, එම යෝජනා සාකච්ඡා කර තීරණ ගැනීම, තීරණ ක්‍රියාත්මක කිරීම ආදී හැම දෙයකටම පොදු අරමුදල් වැය කළ යුතුයි. නමුත්, ඒ විදිහට පොදු අරමුදල් වැය කිරීම නිසා එම අරමුදල් වලට දායක වූ අයට ලැබී තිබෙන වාසි මොනවාද?

රජයේම ආයතනයක් වන ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ දත්ත අනුව පැහැදිලිව පෙනෙන්නේ බිත්තර මිල පාලනය සාර්ථක ලෙස ක්‍රියාත්මක වී නොමැති බවයි. එහෙත් එයින් බලපෑමක් සිදු නොවුනා කියා කියන්න බැහැ. මෙයින් අනිවාර්යයෙන්ම යම් තරමකින් හෝ නිෂ්පාදනය අධෛර්යමත් වීමක් වෙන්න ඇති. එහෙත්, අවසාන වශයෙන් මිල පාලනය අවශ්‍ය විදිහට ක්‍රියාත්මක කරන්න රජය සමත් වී නැහැ. 

කීල්ස් මිල ගණන් මෙන්ම ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ මධ්‍යන්‍ය මිල ගණන් අනුවද පෙනෙන්නේ බිත්තරයක සාමාන්‍ය මිල රුපියල් 55ක් පමණ බවයි. මුලින් කී පරිදි මේ දවස් වල රුපියල් 33ක පමණ මිලකට ඇමරිකාවෙන් බිත්තරයක් මිල දී ගන්න පුළුවන්. 

ඉහත වෝල්මාට් මිල කියන්නේ ඇමරිකාවේ බිත්තරයක සාමාන්‍ය මිල නෙමෙයි. සාමාන්‍ය මිල මීට වඩා වැඩියි. එහෙත්, වෝල්මාට් කියන්නේ ඇමරිකාව පුරා විසිරී තිබෙන සුපිරි වෙළඳසැල් ජාලයක්. ඒ නිසා, ප්‍රායෝගිකව ඇමරිකාවේ ඕනෑම කෙනෙකුට මීට ආසන්න මිලකට බිත්තර මිල දී ගන්න පුළුවන්. විවිධ නිර්ණායක අනුව ගුණාත්මක භාවයෙන් වැඩි හා/හෝ අගය එකතු කළ බිත්තර වල මිල මීට වඩා වැඩි බැවින් ඇමරිකාවේ බිත්තරයක සාමාන්‍ය මිල මීට වඩා තරමක් වැඩි වුනත්, මේ විදිහට රුපියල් 32කට විකිණෙන බිත්තරයක් වුනත් ගුණාත්මක භාවය අතින් ලංකාවේ සාමාන්‍ය බිත්තරයකට වඩා ඉහළ මට්ටමක තිබෙන බිත්තරයක්. සරල කරුණක් ගත්තොත්, ලංකාවේ රුපියල් 55කට විකිණෙන්නේ මධ්‍යම ප්‍රමාණයේ බිත්තරයක්. ඉහත වෝල්මාට් බිත්තරය ලොකු බිත්තරයක්. මේ වෙනසම වුනත් සැලකිය යුතු වෙනසක්.

නිල සංඛ්‍යාලේඛණ අනුව (USDA Egg Markets Overview) ජූලි 21 දිනෙන් අවසන් වූ සතියේ ඇමරිකාවේ ලොකු, සුදු, සාමාන්‍ය බිත්තර දුසිමක මිල ඩොලර් 1.38ක්. ලොකු, දුඹුරු, කේජ් ෆ්‍රී බිත්තර දුසිමක් ඩොලර් 3.28ක්. මේවා රටේම සාමාන්‍ය මිල ගණන්. ඕගනික් බිත්තර මීටත් වඩා මිල වැඩි විය යුතුයි. මේ මිල ගණන් තීරණය වෙන්නේ ඉල්ලුම හා සැපයුම අනුව. 

ජනවාරි මාසයේදී "බිත්තර කටුවෙන් එහා ලෝකය (පළමු කොටස)" ලිපිය පළ කරන විට වෝල්මාට් (ග්‍රේට් වැලියු) ලොකු බිත්තර දුසිමක් ඩොලර් 3.92ක්. මේ වෙද්දී එම මිල ඩොලර් 1.22 දක්වා අඩු වෙලා. පහත ෆෙඩරල් රිසර්ව් ප්‍රස්ථාරයෙන් පෙනෙන පරිදි, පසුගිය දෙසැම්බර් මාසයේදී ග්‍රේඩ් A, ලොකු බිත්තර දුසිමක සාමාන්‍ය මිල ඩොලර් 4.250 දක්වා ඉහළ ගොස් තිබුණා. එම මිල ඉතිහාසයේ ඉහළම මිල විය යුතුයි. මැයි මාසය වන විට මෙම අගය ඩොලර් 2.666 දක්වා පහත වැටිලා. මේ වන විට, ඉහත වෝල්මාට් මිලට වඩා තරමක් වැඩි මට්ටමකට පහත වැටී තිබිය යුතුයි.


වෝල්මාට් මිල සැලකුවොත් ජනවාරි මාසයේ බිත්තර මිල දැන් මිල මෙන් 321%ක්. ඒ වන විට පොදුවේ ඇමරිකාවේම බිත්තර මිල ඉහළ ගිහිල්ලයි තිබුණේ. නමුත්, ඒ හේතුව මත ඇමරිකාවේ රජය වෙළඳපොලට මැදිහත් වී මිල පාලනය කළේ නැහැ. ආනයන සීමා දැම්මේත් නැහැ.

බිත්තර කියන්නේ මිනිස් ඉතිහාසය තුළ මුලින්ම මෙන් නිෂ්පාදනය කරගන්න පටන් ගත් ආහාරයක්. ලෝකයේ හැම සංස්කෘතියක වගේම මෙය සිදු වී තිබෙනවා. ලෝකයේ බිත්තර නිපදවන්නේ නැති රටවල් ඇත්දැයි මා දන්නේ නැහැ. සිංගප්පූරුව වැනි නාගරික රාජ්‍ය පවා සැලකිය යුතු බිත්තර නිෂ්පාදනයක් කරනවා. ලෝකයේ විවිධ රටවල බිත්තර නිෂ්පාදන තාක්ෂන සමාන නැතත්, ලොකු තාක්ෂණික දියුණුවක් නැති රටකට වුවත් බිත්තර නිපදවන්න පුළුවන්. ඒ වගේම, මේ වැඩේට අනිවාර්යයෙන්ම විශාල ප්‍රාග්ධන ආයෝජන අවශ්‍ය වෙන්නෙත් නැහැ. ලංකාවට බිත්තර වැනි දෙයක්වත් තරඟකාරී ලෙස නිපදවිය නොහැකිනම් එහි අවධානය යෙදිය යුතු මූලික ප්‍රශ්න මොනවා හෝ තිබෙනවා. 

ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ දත්ත අනුව 2020 වසරේදී ලෝක බිත්තර නිෂ්පාදනය ටොන් මිලියන 86.7ක්. එයින්, ටොන් මිලියන 30.2ක්, එනම් 35%ක්ම නිපදවා තිබෙන්නේ චීනයේ. ලෝක බිත්තර නිෂ්පාදනය අතින් දෙවන තැන සිටි ඇමරිකාව බිත්තර ටොන් මිලියන 6.6ක්ද, ඉන්දියාව බිත්තර ටොන් මිලියන 6.3ක්ද නිපදවා තිබෙනවා. එම වසරේදී ලංකාවේ බිත්තර නිෂ්පාදනය ටොන් 104,700ක්. මෙය රටේ ජනගහණයට සාපේක්ෂව නරක ප්‍රමාණයක් නෙමෙයි. 

ලෝක බිත්තර නිෂ්පාදනයෙන් 35%ක්ම සිදුවන්නේ චීනය තුළ වුවත් මෙම බිත්තර මුළුමනින්ම මෙන් පරිභෝජනය කරන්නේද චීනයයි. චීනය විසින් බිත්තර යම් ප්‍රමාණයක් අපනයනය කළත් එසේ අපනයනය කරන බිත්තර වලින්ද 75%ක්ම යන්නේ හොංකොං වෙතයි. ලෝකයේ ප්‍රධානම බිත්තර අපනයනකරු නෙදර්ලන්තය වන අතර දෙවන තැන සිටින්නේ ඇමරිකාවයි. ඉන්දියාවේ බිත්තර නිෂ්පාදනයද බොහෝ දුරටම රට තුළම පරිභෝජනය කෙරෙන නිසා අපනයන සිදු වන්නේ ඉතා සුළු වශයෙනුයි. 

ඇමරිකාවේ වාර්ෂික බිත්තර නිෂ්පාදනය බිලියන 110ක් පමණ. බිත්තර දමන කිකිළියන් ගණන මිලියන 380ක් පමණ. 2022 වසර අවසාන වන විට කිකිළියන් මිලියන 2කට වඩා සිටි සමාගම් ප්‍රමාණය 39ක්. 2022 වසරේදී ලංකාවේ කිකිළිගහණය මිලියන 6.8ක් පමණයි. 2018දී මෙම ප්‍රමාණය මිලියන 9.1 මට්ටමේ පැවතී ඇතත්, ඉන්පසු ක්‍රමයෙන් පහත වැටී තිබෙනවා.

ඇමරිකාවේ වාර්ෂික බිත්තර නිෂ්පාදනය රටේ බිත්තර ඉල්ලුමට වඩා වැඩියි. ඇමරිකාව ලෝකයේ දෙවන විශාලතම බිත්තර අපනයනකරුව සිටින්නේ ඒ නිසා. එහෙත්, ඒ හේතුව නිසා ඇමරිකාව බිත්තර ආනයනයට වැට බැඳ නැහැ. 2021 වසර තුළ ඇමරිකාව විසින් ඩොලර් මිලියන 596ක බිත්තර අපනයනය කර ඇති අතර ඩොලර් මිලියන 79ක බිත්තර ආනයනය කර තිබෙනවා. 

ඇමරිකාව වැඩියෙන්ම බිත්තර ආනයනය කරන්නේ (45%ක්) කැනඩාවෙන්. එහෙත්, ඒ අතරම, කැනඩාවේ බිත්තර ආනයන වලින් 96%ක්ම එන්නේ ඇමරිකාවෙන්. ඇමරිකානු-කැනඩා දේශ සීමාව ආසන්නයේ සිටින පාරිභෝගිකයෙකුට, ඉන්නේ කොයි පැත්තේ වුනත්, තමන්ගේ රටේ නිපදවන බිත්තර මිල දී ගන්නවාට වඩා ලාබදායක වන්නේ ලඟම සිටින නිෂ්පාදකයෙකුගෙන් බිත්තර මිල දී ගන්න එකයි. නිෂ්පාදකයෙකයාගේ පැත්තෙන් වඩා වාසිදායක වන්නේද ලඟම සිටින පාරිභෝගිකයාට බිත්තර විකුණන එකයි. ප්‍රවාහන වියදම් නිසා එකතු වන පිරිවැය නිෂ්පාදකයාට හෝ පාරිභෝගිකයාට නොලැබී අපතේ යන වියදමක්. ආනයන බදු හරහා දේශ සීමා හරහා සිදුවන වෙළඳාම වැළැක්වීමෙන් දෙපැත්තටම වෙන්නේ අවාසියක් පමණයි. 

ලෝක බිත්තර වෙළඳාම ඩොලර් බිලියන 4.73ක් (2021 දත්ත). මෙයින් 14.3%ක පමණම එක පැත්තක ඉන්නේ ඇමරිකාවයි. ඇමරිකාවේ බිත්තර කර්මාන්තය ඩොලර් බිලියන 10ක පමණ කර්මාන්තයක්. ඒ කියන්නේ, ලෝකයේ සෑම රටක් විසින්ම අපනයනය කරන බිත්තර සියල්ල මිල දී ගත්තත්  ඇමරිකාවේ බිත්තර ඉල්ලුමෙන් බාගයක්වත් සපුරන්න බැහැ. 

වෙනත් බොහෝ ආහාර හා අදාළව තත්ත්වයද මෙවැන්නක්. මම හිතන්නේ ඇමරිකාවට ඇමරිකාවේ බිත්තර නිපදවන්නේ නැතිව වෙනත් රටකින් ආනයනය කරන්න බැරි ඇයි කියන එක ඉහත සංසන්දනය දෙස බැලූ විට පැහැදිලි විය යුතුයි. 

මෙම වසර මුලදී කුරුළු උණක් පැතිරී ඇමරිකාවේ බිත්තර දමන කිකිළියන් විශාල ප්‍රමාණයක් මිය ගියා. කුරුළු උණ වැනි හේතුවකින් කිකිළිගහණය අඩු වූ විට බිත්තර රක්කවා කිකිළියන් හදාගෙන නැවත බිත්තර දමන තරමට ලොකු කරගන්න මාස කිහිපයක් යනවා. ඒ හේතුව නිසා බිත්තර නිෂ්පාදනය අඩු වී බිත්තර මිල විශාල ලෙස ඉහළ ගියා. බිත්තර වල මිල සංවේදීතාව අඩු නිසා මිල ඉහළ යාමට සාපේක්ෂව ඉල්ලුම පහළ යන්නේ අඩුවෙන්. ඒ නිසා, සැපයුමේ සාපේක්ෂව පොඩි අඩුවීමකින් මිල සැලකිය යුතු ලෙස ඉහළ යන්න පුළුවන්. ජනවාරි මාසයේදී වුනේ එයයි. 

ඇමරිකාවේ බිත්තර වෙළඳපොළේ ප්‍රමාණය අනුව බිත්තර ආනයනය කරන්න ඉඩ තිබුණු පමණින් මිල ක්ෂණිකව පහත වැටෙන්නේ නැහැ. මොකද ඉල්ලුම හා සැපයුම අතර හිඟය පියවන්න ලෝක වෙළඳපොළෙන් වැඩියෙන් බිත්තර ආනයනය කරද්දී ලෝක වෙළඳපොළේ ඉල්ලුම හා සැපයුම අතරද අසමතුලිතතාවයක් ඇති වී එම මිලද ඉහළ යන එකයි වෙන්නේ. කුඩා ආර්ථිකයක් තිබෙන රටකට මෙවැනි ප්‍රශ්නයක් නැහැ. 

මේ හේතුව නිසාම ඇමරිකාව වැනි විශාල ආර්ථිකයක් තිබෙන රටකට ප්‍රමාණවත් දේශීය කෘෂිකර්මයක් නැතිව රටේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කරන්න බැහැ. සල්ලි තිබුණට, විදේශ විණිමය තිබුණට, රටෙන් පිටත ප්‍රමාණවත් සැපයුමක් නැහැ. සිංගප්පූරුව වගේ පොඩි රටකට මේ වගේ ප්‍රශ්නයක් නැහැ. අවශ්‍ය සල්ලි පමණයි. සල්ලි තිබෙනවානම් ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ ප්‍රශ්නය පහසුවෙන් විසඳගන්න පුළුවන්. 

ඇමරිකාවට තිබෙන ඔය ප්‍රශ්නයම, ඊටත් වඩා වැඩියෙන්, ඉන්දියාවට හා චීනයට තිබෙනවා. විශාල ජනගහණයක් සිටින වෙනත් ඇතැම් රටවලටත් තිබෙනවා. එවැනි රටවලට දේශීය කෘෂිකර්මය මග හැර යන්න බැහැ. 

දේශීය කෘෂිකර්මය වෙත වැඩියෙන් අවධානය යොමු කරද්දී ඊළඟට මතු වන ප්‍රශ්නය තරඟකාරිත්වය හරහා කාර්යක්ෂමතාවය පවත්වා ගැනීම. ඇමරිකාව වගේ රටකට මේකත් ප්‍රශ්නයක් නෙමෙයි. බිත්තර දමන කිකිළියන් මිලියන දෙකකට වඩා ඉන්න තරඟකාරී සමාගම් 39කට ඉන්න පුළුවන් තරමේ වෙළඳපොළක් රට ඇතුළේම තිබෙනවා. ඒ නිසා, එක පැත්තකින් ප්‍රමාණයේ වාසිය (economy of scale) ලබා ගන්නා අතරම තරඟකාරිත්වයද අවුලක් නැතිව පවත්වා ගන්න පුළුවන්. 

ලංකාවේ වගේ රටක් හා අදාළව තත්ත්වය වෙනස්. ඇමරිකාවේ තරම් විශාල සමාගම් ප්‍රමාණයක් ලංකාවේ හැදෙනවා කියන්නේ එක සමාගමක් ගොඩක් පොඩි වෙනවා කියන එක. එය තාක්ෂණික කාර්යක්ෂමතාවය කෙරෙහි අහිතකර ලෙස බලපානවා. අනෙක් අතට තාක්ෂණික කාර්යක්ෂමතාවය පිළිබඳ ප්‍රශ්නය විසඳෙන පරිදි සමාගම් ප්‍රමාණය අඩු වුනොත් තරඟය අඩු වී වෙළඳපොළ කාර්යක්ෂමතාවය නැති වෙනවා. 

ඇමරිකාවට සාපේක්ෂව කුඩා ජනගහණයක් සිටින, කුඩා ආර්ථිකයක් තිබෙන, කැනඩාව වගේ රටක් මේ ප්‍රශ්න දෙකම එකවර විසඳාගන්නේ ඇමරිකානු ආර්ථිකයට නිරාවරණය වීමෙන්. රටවල් දෙකම එකම වෙළඳපොළක් වූ විට වෙළඳපොළ පරිමාවේ වාසිය වගේම තරඟයේ කාර්යක්ෂමතාවයත් තිබෙනවා. 

කැනඩාවට ඔය වගේ වාසියක් තියෙනවානම් ඇමරිකාවට තියෙන වාසිය කුමක්ද? ප්‍රමාණාත්මකව අඩු වුනත්, ඔය වාසි දෙකම ඇමරිකාවටත් තිබෙනවා. කැනඩා වෙළඳපොළ එකතු වෙනවා කියන්නේ වෙළඳපොළ තවත් විශාල වීම. ඒ වගේම කැනඩා සමාගම්ද සාධාරණ තරඟයකට එකතු වෙනවා කියන්නේ ඇමරිකානු සමාගම් තවදුරටත් කාර්යක්ෂම වීම.

ඔය වාසි දෙකම ලොකු කුඩා භේදයක් නැතිව ඕනෑම රටකට තිබෙනවා. නමුත්, ඇමරිකාව, ඉන්දියාව වගේ රටක් විවෘත වූ පසුවද විශාල දේශීය ආර්ථිකයක් තව දුරටත් ඉතිරි වෙනවා. රට කුඩා වන තරමට විවෘත වෙද්දී ජාතික ආර්ථිකයේ පංගුව අඩු වෙනවා. මේ හේතුව නිසා ලොකු රටකට විවෘත නොවීමේ අවාසිය අඩුයි. පොඩි රටකට එය ගොඩක් වැඩියි. 

Saturday, July 22, 2023

තේ කහට යට හිතේ කහට...


පසුගිය වසරේ ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් බිලියන 24,148ක්. මේ සඳහා කෘෂිකාර්මික, කාර්මික හා සේවා අංශ වලින් ලැබී තිබුණු දායකත්වය පහත පරිදියි

කෘෂිකර්මාන්තය, වන වගාව හා ධීවර කර්මාන්තය - රුපියල් බිලියන 2,113යි. එනම්, 8.7%ක් පමණයි.

කර්මාන්ත - රුපියල් බිලියන 7,309යි. එනම් 30.3%ක්.

සේවාවන් - රුපියල් බිලියන 13,549යි. එනම් 56.1%ක්. 

මේ කොටස් තුනේ එකතුව 100%ක් නොවීම කාට හෝ ප්‍රශ්නයක්නම් ඉතිරි කොටස එනම් රුපියල් බිලියන 1,177ක් (4.9%ක්) රජය විසින් භාණ්ඩ හා සේවා මත අය කරන බදු. මෙහිදී අවධානය යොමු කරන්න අවශ්‍ය ඉහත සංයුතිය දෙසයි. විශේෂයෙන්ම වන වගාව, කරදිය හා මිරිදිය ධීවර කර්මාන්ත, කෘෂිකාර්මික ආධාරක සේවා ආදියද ඇතුළත්ව මුල් කොටසේ සමස්ත දායකත්වය. 

දළ දේශීය නිෂ්පාදිතයට කෘෂිකර්මාන්තය, වන වගාව හා ධීවර කර්මාන්තය තුළින් ලැබෙන දායකත්වය 8.7%ක් පමණයි කියන එකෙන් අදහස් වෙන්නේ එම කර්මාන්තය වෙනුවෙන් යොදවන ශ්‍රමය හා ප්‍රාග්ධනය වෙනුවෙන් ප්‍රතිලාභ විදිහට කවර ආකාරයකින් හෝ බෙදී යා හැක්කේත් ඔය කොටස පමණයි කියන එක. 

පසුගිය වසර අවසානයේදී ලංකාවේ ජනගහණයෙන් කිසියම් ආර්ථික කාර්යයයක නියැලුණු පිරිස 8,147,731ක් පමණයි. වැටුප් ලබන රැකියාවක් කළ අය වගේම (වැටුප් ලබමින් විවිධ හේතු මත රැකියා නොකළ අයද ඇතුළත්ව), ස්වයං රැකියා කළ අය, තමන්ගේ පවුලේ නිෂ්පාදන කාර්යයකට උදවු කළ අය, වෙනත් අයව සේවයේ යෙදවූ අය ආදී සියල්ලන්ම මෙම ඇස්තමේන්තුවට ඇතුළත්.

මේ විදිහට කවර හෝ ආර්ථික කාර්යයක නියැළුණු පිරිස කෘෂිකාර්මික, කර්මාන්ත හා සේවා අංශ අතර බෙදී ගොස් සිටියේ කවර ආකාරයකින්ද?

කෘෂිකාර්මික - 2,158,559 (26.5%)

කාර්මික - 2,158,199 (26.5%)

සේවා - 3,830,973 (47.0%)

මෙයින් පෙනෙන පරිදි කාර්මික හා සේවා අංශ වල ශ්‍රම යෙදවුම් වලින් සාපේක්ෂව වැඩි අගය එකතු කිරීමක් සිදු වෙනවා. කෘෂිකාර්මික අංශයේ එය සිදු වෙන්නේ ගොඩක් අඩුවෙන්. එක් එක් අංශයේ ශ්‍රමිකයෙකුගේ අගය එකතු කිරීම සාමාන්‍ය වශයෙන් පහත පරිදියි. (මෙයින් අදහස් වන්නේ ශ්‍රමය නිසා පමණක් සිදු වන අගය එකතු කිරීම නෙමෙයි. ප්‍රාග්ධනයේ කොටස ඇතුළත්ව.)

කෘෂිකාර්මික - රුපියල් මිලියන 0.98ක් පමණ 

කාර්මික - රුපියල් මිලියන 3.37ක් පමණ 

සේවා - රුපියල් මිලියන 3.57ක් පමණ 

මෙයින් පැහැදිලිව පෙනෙන පරිදි, රටම කෘෂිකර්මය කරා යොමු වුනොත් වෙන්නේ මුළු රටේම සාමාන්‍ය ජීවන තත්ත්වය දැන් තිබෙන මට්ටමෙන් 25%-30% පමණ පහළ මට්ටමකට වැටෙන එක. ඒ වගේම, රටම කෘෂිකර්මයෙන් ඉවත් වුනොත් වෙන්නේ රටේ 26.5%කගේ ජීවන තත්ත්වය තුන් හතර ගුණයකින් ඉහළ යන එක. (මේ දෙකම පැහැදිලි කිරීම සඳහා පමණක් පෙන්වන උපකල්පිත තත්ත්වයන් පමණයි).

දැන් ඉහත පෙන්වා ඇති පරිදි කෘෂිකාර්මික අංශයේ ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර මොන විදිහකින් හෝ බෙදී යා හැක්කේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 8.7%ක් වන කොටසක් පමණයි. ඒ ටික බෙදාගන්න රටේ ශ්‍රම බලකායෙන් 26.5%ක් බලාගෙන ඉන්නවා. මේ අයගෙන් යැපෙන අය වෙනම ඉන්නවා. තේ වගා කර්මාන්තය කියා කියන්නේ ඔය 8.7%ක කොටසෙනුත් එක් කොටසක් පමණයි.

පසුගිය වසරේදී රටේ දළ දේශීය නිෂ්පාදිතයට තේ වගා කර්මාන්තයේ දායකත්වය රුපියල් මිලියන 203,024ක් පමණයි. එය ප්‍රතිශතයක් ලෙස 0.84%ක් පමණයි. මෙයින් තේ වතු සමාගම් වල දායකත්වය ආසන්න වශයෙන් 25%ක් පමණයි. ඉතිරි 75%ම එන්නේ පෞද්ගලික තේ වතු වලින්. එයින්ද 60%ක් පමණ කුඩා තේ වතු හිමියෝ. 

ඓතිහාසික තත්ත්වයන් මත අවවරප්‍රසාදිත ජන කණ්ඩායමක් වී තිබෙන ඉන්දීය සම්භවයක් ඇති වතු කම්කරුවෝ සේවය කරන්නේ ප්‍රධාන වශයෙන්ම ඔය වතු සමාගම් වල. ලොකු පෞද්ගලික වතුහිමියන් යටතේද ඔවුන්ගෙන් යම් පිරිසක් සේවය කරනවා විය හැකියි. එහෙත්, මේ කොටස් දෙක ගත්තත් මේ වෙද්දී තේ වගා කර්මාන්තයේ නියැලෙන ශ්‍රමිකයින් සියළු දෙනා ඉන්දීය සම්භවයක් ඇති අය නෙමෙයි.

ලංකාවේ සමස්ත තේ නිෂ්පාදනයෙන් 60%-65%ක් පමණ වන පහත රට තේ වලින් 96%ක්ම නිපදවන්නේ කුඩා තේ වතුහිමියෝ. මැදරට තේ වලින් 65% නිපදවන්නේත් ඔවුන්. ලොකු තේ වතු වැඩි ප්‍රමාණයක් තිබෙන්නේ උඩරට. 

ලක්ෂ හතරකට වැඩි කුඩා තේ වතුහිමියන් විසින් වසරකට තේ කිලෝග්‍රෑම් මිලියන 200කට වඩා හදනවා. වතු වල තේ නිෂ්පාදනය එයින් තුනෙන් එකක් පමණයි. ඉහත මිලියන 200 ලක්ෂ හතරෙන් බෙදුවොත් එක් කුඩා තේ වතුහිමියෙක් විසින් වසරකට නිපදවන්නේ තේ කිලෝග්‍රෑම් 500ක පමණ ප්‍රමාණයක්. මෙම සංඛ්‍යාලේඛණ වල තිබෙන්නේ සකස් කළ වියලි තේ කොළ විය යුතුයි. එසේනම්, මාසයකට අමු දළු කිලෝග්‍රෑම් 200කට වඩා නොවැඩි ප්‍රමාණයක්. මෙවැනි ප්‍රමාණයක් දළු කඩන්න සහ අනෙකුත් ශ්‍රම යෙදීම් වෙනුවෙන් සාමාන්‍ය වශයෙන් මාසයකට මිනිස් දින දහයකට වඩා අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ මට්ටමේ ශ්‍රම යෙදවුමක් බොහෝ විට පවුලේම ශ්‍රමය මිස කුලී ශ්‍රමය නෙමෙයි. 

අනෙක් අතට, අමු තේ දළු කිලෝවක මිල රුපියල් 200 සේ සැලකුවොත්, තේ දළු කිලෝග්‍රෑම් 200ක් විකුණා ලැබිය හැකි ආදායම රුපියල් 40000ක් පමණයි. මේ ආදායම කියන්නේ ලාබයක් නෙමෙයි. කුලියට දළු කඩා ගෙන අනෙක් කටයුතුද කුලියට කර ගත්තොත් ඔය මුදලින් සැලකිය යුතු කොටසක් ඒ වෙනුවෙන් යනවා. ඊට අමතරව පෝර වැනි අනෙකුත් වියදම් ගියාට පස්සේ තේ වතුහිමියෙකු වීම නිසා ලැබෙන ප්‍රතිලාභය විශාල එකක් නෙමෙයි. එම ප්‍රතිලාභය ලැබෙන්නේ ශ්‍රමය, ප්‍රාග්ධනය සහ ගන්නා අවදානම යන සියල්ල වෙනුවෙන්.

අද වෙද්දී ලංකාවේ කුඩා තේ වතු හිමියන් බොහෝ දෙනෙක් තමන්ගේම වත්තේ පැත්තක තේ ටිකක් වවාගෙන, තමන්ගේ පවුලේ ශ්‍රමය ඒ වෙනුවෙන් යොදවන දුප්පතුන් නොවේනම් එසේ නොවන්නේ වෙනත් රැකියාවක් කරන නිසා හෝ වෙනත් ආදායම් මාර්ග තිබෙන නිසා. කුඩා තේ වතුහිමියන් අතර සිටින තරමක් විශාල තේ ඉඩමක් තිබෙන අය හා අදාළව පමණක් තත්ත්වය වෙනස් වෙන්න පුළුවන්. නමුත් එවැන්නෙකුගේ ආදායම ගැන හිතද්දීත් වතුහිමියා ලෙස යොදවන මානසික හා ශාරීරික ශ්‍රමයේ මිල අඩු කර ගණන් බැලිය යුතුයි. 

ඔය ආකාරයේ කුඩා තේ වතු හිමියෙකුගේ ශ්‍රමය වෙනුවෙන් ලැබෙන දෙය හා සංසන්දනය කළ විට ලොකු තේ වත්තක ශ්‍රමිකයෙකු සේ වැඩ කරන, සාමූහික ගිවිසුම් හා කම්කරු නීති වලින් අවම වැටුප් හා වරප්‍රසාද තීරණය වී ඇති අයෙකුගේ තත්ත්වය අද වෙද්දී ගොඩක්ම නරකයි කියා මම හිතන්නේ නැහැ. එයින් මම අදහස් කරන්නේ ඔවුන්ගේ ජීවන තත්ත්වය කතා කරන්න අවශ්‍ය නැති තරම් හොඳ බව නෙමෙයි. එය නරකනම්, එය සමස්තයක් ලෙස කර්මාන්තයේ ප්‍රතිලාභ පිළිබඳ ප්‍රශ්නයක් මිසක් වතුහිමියන් විසින් ශ්‍රමිකයින්ගේ කොටස ඔවුන්ට නොදීම පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි.

ලංකාවේ වැවිලි සමාගම් විසින් යොදවා ඇති ප්‍රාග්ධනයට සාපේක්ෂව හා ගෙන ඇති අවදානමට සාපේක්ෂව ඉතා සාමාන්‍ය ලාබ මිසක් සුපිරි ලාබ ලබන්නේ නැහැ. අභාවප්‍රාප්ත වූ මෙරිල් ප්‍රනාන්දුට අයත් සමාගම් විසින් මෑත වසර වලදී පාලනය කළ කහවත්ත ප්ලාන්ටේෂන් වැනි සමාගම් පසුගිය කාලය මුළුල්ලේම පවත්වාගෙන ගොස් තිබෙන්නේ පාඩුවටයි. එම පාඩු ආවරණය කරගෙන තිබෙන්නේ වෙනත් සමාගම් වලින් මුදල් පොම්ප කිරීමෙන්. පහත තිබෙන්නේ පසුගිය වසර වල එම සමාගමේ ලාබ. 

2021 - රුපියල් මිලියන 106ක ශුද්ධ පාඩුවක්.

2020 - රුපියල් මිලියන 246ක ශුද්ධ පාඩුවක් 

2019 - රුපියල් මිලියන 510ක ශුද්ධ පාඩුවක් 

2018 - රුපියල් මිලියන 249ක ශුද්ධ පාඩුවක් 

2017 - රුපියල් මිලියන 18ක ශුද්ධ ලාබයක් 

2016 - රුපියල් මිලියන 138ක ශුද්ධ පාඩුවක් 

2015 - රුපියල් මිලියන 192ක ශුද්ධ පාඩුවක් 

ඔය සමාගම යටතේ පාලනය වන වතු රජය විසින් පෞද්ගලික අංශයට දිගුකාලීනව බදු දී නොතිබුණානම් මේ වෙද්දී ඔය පාඩු වල බර දරන්න වෙන්නෙත් බදු ගෙවන්නටයි. දැන් එම පාඩු අදාළ සමාගමේ කොටස් හිමියන්ගේ ප්‍රශ්නයක්.

සමාගමක් මේ අයුරින් දිගින් දිගටම පාඩු ලබද්දී එම සමාගමේ සේවකයින්ගේ තත්ත්වය එන්න එන්නම යහපත් වීමේ ඉඩක් නැහැ. (ඇතැම් රාජ්‍ය ආයතන වලනම් එහෙම වෙනවා.) අනෙක් අතට ලංකාවේ වැවිලි කර්මාන්තයේ ස්වභාවය අනුව වැවිලි සමාගමක් පාඩු ලබද්දී එහි සේවකයින් එළවා දමා පාඩු මකා ගැනීමේ හැකියාවක් නැහැ. එයට නීතිමය බාධා වලට අමතරව සංස්කෘතික හා දේශපාලන බාධාද හරස් වෙනවා. ඒ වගේම, ඒ විදිහට ඉන්න සේවකයින් ඉවත් කර අලුතෙන් සේවකයින් හොයා ගැනීම පහසු නොවන නිසා ආර්ථික වශයෙන් වුවද එවැන්නක් බොහෝ විට හොඳ තීරණයක් නෙමෙයි. මේ හේතුව නිසාම අධික සේවක පිරිවැය නිසා සිදුවන පාඩු පියවා ගන්න වෙන්නේ කවදා හෝ ලාබ ලබන අවස්ථාවකයි. ඒ වගේ වෙලාවකදී ලාබයෙන් සේවකයින්ට යන කොටස අඩු වෙනවා. 

ප්‍රතිලාභ අඩු වුනත් කෘෂිකාර්මික ශ්‍රමිකයින් මහා පරිමාණයෙන් කර්මාන්තයෙන් ඉවත් නොවන්නේ ඔවුන්ට එසේ ඉවත් වී කළ හැකි වෙනත් දේ නැති නිසයි. මෙය කුසලතා නැති වීමේ ප්‍රශ්නයක් නෙමෙයි. යම් ආකාරයකින් කුසලතා ගොඩ නගා ගත්තත් එවැනි විශාල පිරිසකට රැකියා සැපයිය හැකි වෙළඳපොළක් ලංකාවේ නැහැ. මම මුලින් කියපු "සියලු කෘෂිකාර්මික ශ්‍රමිකයින් කෘෂිකර්මයෙන් ඉවත් වීම" වැනි දෙයකින් සෛද්ධාන්තිකව එම ශ්‍රමිකයින්ගේ ජීවන තත්ත්වය වගේම රටේ ආර්ථිකයද වර්ධනය වන නමුත් මෙවැනි අදහසක් ලංකාවේ වත්මන් සන්දර්භය තුළ මනෝරාජික අදහසක් පමණයි. මේ තිබෙන පසුබිමේ කෘෂිකර්මයේ නියැලෙන අය කෘෂිකර්මයෙන් ඉවත් වුනොත් වෙන්නේ ඔවුන් කබලෙන් ලිපට වැටී රටේ ආර්ථිකයද පසුපසට යාමක් පමණයි. කෙසේ වුවත්, දිගුකාලීනව බැලූ විට මෙය විසඳුමක් නැති ප්‍රශ්නයක් නෙමෙයි.

රටේ කාර්මික හා සේවා අංශ වල ප්‍රමාණවත් රැකියා ඇත්නම් කෘෂිකර්මය තුළ හිර වී තිබෙන ශ්‍රමය ඒ වෙත විතැන් වෙනවා. එහිදී කෘෂිකර්මය තුළ ඉතිරි වන සීමිත පිරිස අතර එම අංශයේ සීමිත දදේනි දායකත්වය බෙදී යාමෙන් එම අංශය තුළ ශ්‍රමය වෙනුවෙන් වගේම ප්‍රාග්ධනය වෙනුවෙන්ද ලැබෙන ප්‍රතිලාභ ඉහළ යනවා. එය නොවන්නේ රටේ කාර්මික හා සේවා අංශ වල ප්‍රමාණවත් රැකියා ජනනය කිරීමක් සිදු නොවන නිසා. 

මෙය රට තුළ ප්‍රාග්ධනය නැතිකම පිළිබඳ ප්‍රශ්නයකට වඩා ආකල්ප පිළිබඳ ප්‍රශ්නයක්. වෘත්තිකයෙකුට ලැබෙන ගෞරවය ව්‍යසායකයෙකුට රටෙන් ලැබෙන්නේ නැහැ. ඒ නිසාම, ප්‍රාග්ධනය එක්රැස් කරගෙන සිටින, ව්‍යසායකයකත්ව කුසලතා තිබෙන හෝ ගොඩ නගා ගැනීමේ හැකියාව තිබෙන බොහෝ දෙනෙකු ඒ සඳහා දිරිමත් වන්නේ නැහැ. ශ්‍රමය සූරාකන්නන් ලෙස ලේබල් කර අපහාස කරනු ලැබීමේ අවදානමට බිය වන එවැන්නන් අනෙක් පැත්තෙන් තමන් සතු ප්‍රාග්ධනය වෙනුවෙන් ඉහළ ප්‍රතිලාභ ලබා ගැනීමේ අනවරත උවමනාවකින්ද පෙළෙනවා. ඒ සඳහා මාර්ග සීමා වෙද්දී විදේශගත වීම විසඳුම ලෙස දකිනවා. 

තේ කර්මාන්තයේ නියැලෙන ඉන්දීය සම්භවයක් ඇති ශ්‍රමිකයින්ගේ ජීවිත වල සියවස් එකහමාරක තේ කහට පැල්ලම් තිබෙනවා. ඒ කහට පැල්ලම් ඉවත් කළ යුතුයි. එහෙත්, ඒ කහට පැල්ලම් ගැන කතා කරන බොහෝ දෙනෙකු විසින් ප්‍රදර්ශනය කරන්නේ රටේ සිටින ධනය උපදවන්නට එරෙහි ඔවුන්ගේ හිතේ කහටයි. වැවිලි සමාගම් සතු තේ වතු වල මෙන්ම තමන්ගේම කුඩා තේ වතු වල ශ්‍රමය වැය කරන කර්මාන්තයේ ශ්‍රමිකයින්ගේ ජීවිත වඩා යහපත් වීමටනම් මේ ශ්‍රමිකයින්ගෙන් සැලකිය යුතු පිරිසක් කර්මාන්තයෙන් ඉවත් වී කර්මාන්තයේ ස්වභාවය වෙනස් විය යුතුයි. එය සිදු වීමටනම් විකල්ප රැකියා අවස්ථා බිහිවිය යුතුයි. ඒ සඳහා වැඩි වැඩියෙන් ලාබ සොයන්නන් රටට අවශ්‍යයි. එවැන්නන් ගොඩ නැගෙන්නේ ලාබ සෙවීම පිළිබඳව වැරදි මතවාද කාලයක් තිස්සේ ජනගත කිරීම නිසා එකතු වී තිබෙන හිතේ කහට රටේ සාමූහික විඥානයෙන් ඉවත් වන්නේනම් පමණයි.

Tuesday, February 28, 2023

මිරිස් සහ ගම්මිරිස්


කලින් ලිපිය ලිවීම සඳහා පාදක කරගත් පාඨක ප්‍රතිචාරයේ සඳහන්ව තිබුණු පරිදි ලංකාව විසින් වසරකට මිරිස් මෙට්‍රික් ටොන් 50,000ක් පමණ ආනයනය කරනවා. ඒ වෙනුවෙන්, ඩොලර් මිලියන 110ක් පමණ වැය කරනවා. 

ලිපිය ලියන්නට පෙර මම මේ ගණන් පරීක්ෂා කළේ නැහැ. ඒ බව ලිපියේ සඳහන් කළා. එසේ පරීක්ෂා නොකළේ බැලූ බැල්මටම එම ගණන් වල වරදක් පෙනෙන්නට නොතිබුණු නිසයි. ඒ වගේම, අදාළ ප්‍රතිචාරය වගකීමකින් යුතුව දැමූ ප්‍රතිචාරයක් බව පෙනෙන්නට තිබුණු නිසා. මීටත් අමතරව, ප්‍රශ්නය ඇසීමේදී දැනගන්නට අවශ්‍යව තිබුණු බව පෙනුණේ සංකල්පීය කරුණු නිසා මේ ගණන් වල එතරම් වැදගත් කමක් තිබුණේ නැහැ. 

ඉහත ගණන් නිවැරදි බව පරීක්ෂා කිරීමේදී තහවුරු වුනා. 2021 වසර තුළ ලංකාව විසින් ආනයනය කර තිබෙන වියලි මිරිස්, වියලි මිරිස් කුඩු, වියලි ගම්මිරිස් හා වියලි ගම්මිරිස් කුඩු ප්‍රමාණය කිලෝග්‍රෑම් 50,205,561 හෙවත් මෙට්‍රික් ටොන් 50,206ක්. ඒ වෙනුවෙන් වැය වී ඇති මුදල ඩොලර් 99,621,105ක් හෙවත් ඩොලර් මිලියන 99.6ක්. මෙම කාණ්ඩය තුළ ප්‍රධාන වශයෙන්ම තිබෙන්නේ වියලි මිරිස්. 

කොහොම වුනත්, වැදගත්ම කරුණ මේකයි.  එම (2021) වසර තුළදීම ලංකාව විසින් වියලි මිරිස්, වියලි මිරිස් කුඩු, වියලි ගම්මිරිස් හා වියලි ගම්මිරිස් කුඩු කිලෝග්‍රෑම් 18,571,166ක් හෙවත් මෙට්‍රික් ටොන් 18,571ක් අපනයනය කර ඩොලර් 124,459,116ක හෙවත් ඩොලර් මිලියන 124.5ක මුදලක් උපයා තිබෙනවා. මෙහි මිරිස් හා මිරිස් කුඩු යම් ප්‍රමාණයක් තිබුණත් වැඩි වශයෙන්ම තිබෙන්නේ ගම්මිරිස්.

ඉන්දියාව ලෝකයේ මිරිස් නිපදවන ප්‍රධානම රටයි. කවර හෝ හේතු නිසා ඉන්දියාවට තරඟකාරී ලෙස මිරිස් නිපදවිය හැකියි. ඇතැම් විට ඉන්දීය රජයේ සහනාධාරද එයට උදවු වෙනවා විය හැකියි. ප්‍රතිචාරයේ එම කොටස මම පරීක්ෂා කර බලා නැහැ. එය එසේනම්, එම හේතුව නිසා, ලංකාවේ රජයත් මිරිස් වැවීමට සහනාධාර දිය යුතුද? එසේ නැත්නම් ඉන්දීය මිරිස් සඳහා තීරු බදු දැමිය යුතුද? 

මගේ අදහසනම් මිරිස් වගාව සඳහා යොදාගත හැකි ප්‍රයෝජනයට නොගන්නා ඉඩම් ලංකාවේ විශාල වශයෙන් නැති බවයි. මිරිස් වගාව අත හරින ගොවියෙකු බොහෝ විට වෙනත් වගාවකට යොමු වෙනවා. එය සහනාධාර නොලබා ලාබ ලැබිය හැකි වගාවක් වීමට ඉඩකඩ වැඩියි. මිරිස් වගාවට සහනාධාර දීම මගින් ඔවුන්ව නැවත මිරිස් වගාව වෙත තල්ලු කළ විට සිදුවන්නේ අදාළ ඉඩම් වල එතෙක් වවනු ලැබු වඩා ලාබදායක වෙනත් බෝගයක නිෂ්පාදනය පහත වැටීමයි.

ලංකාවට මිරිස් වලින් ඉන්දියාව සමඟ තරඟ කළ නොහැකි වුවත්, ගම්මිරිස් වලින් ලෝකය සමඟ තරඟ කළ හැකියි. එසේනම්, ලංකාවට වඩා වාසිදායක ගම්මිරිස් අපනයනය කර උපයන මුදලින් මිරිස් ආනයනය කරන එකද? එසේ නැත්නම්, ගම්මිරිස් ගලවා මිරිස් වවන එකද? 

ඉන්දියාව මිරිස් වලට සහනාධාර දෙනවානම්, ඒ නිසා ලංකාවට අඩුවට මිරිස් එනවානම්, ලංකාවට කළ හැකි වාසිදායකම දෙය ඉන්දියාවේ මිරිස් සමඟ අමාරුවෙන් තරඟ කරන්නට මහන්සි නොවී පහසුවෙන් සල්ලි ඉපැයිය හැකි ගම්මිරිස් වෙත අවධානය යොමු කරන එකයි. බොහෝ විට එකම ඉඩම් ප්‍රමාණය හා ශ්‍රමය යොදාගෙන ගම්මිරිස් වැවීමෙන් වැඩි වාසියක් ගන්න පුළුවන්. 

මිරිස් වවන එක නවතා ගම්මිරිස් වැවිය යුතු බව මෙයින් අදහස් වන්නේ නැහැ. බොහෝ විට මිරිස් සඳහා සුදුසු ඉඩම් හා ගම්මිරිස් සඳහා සුදුසු ඉඩම් එකිනෙකට ආදේශක නෙමෙයි. තමන්ගේ ඉඩමේ වැවිය යුතු වාසිදායක බෝගය මිරිස්ද නැත්නම් ගම්මිරිස්ද කියා මිනිස්සු තීරණය කරයි. පැත්තක ඉන්න ගොවීන් විසින් ඔවුන්ට අනවශ්‍ය දේ වවා රට ස්වයංපෝෂණය කරනු දැකීමේ මධ්‍යම පාන්තික සිහිනය වෙනුවෙන් රටද ණය කර, ගොවීන්ගේ ජීවිත බිලි දිය යුතු නැහැ. 

Tuesday, November 30, 2021

උතුරු මැද ගොඩ දා ගොඩ යා හැකිද?


ලංකාවේ පළාත් නවයෙන් ලොකුම පළාත උතුරු මැද පළාත. වර්ග කිලෝ මීටර 65,610ක් වන ලංකාවේ සමස්ත භූමි ප්‍රමාණයෙන් වර්ග කිලෝමීටර 10,472ක්ම තියෙන්නේ උතුරු මැද පළාතේ. ප්‍රතිශතයක් ලෙස 16.0%ක්. නමුත්, උතුරු මැද පළාතෙන් ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට ලැබෙන දායකත්වය 5.4%ක් පමණයි. මේ ප්‍රශ්නය විසඳන්නේ කොහොමද?

හරිම සරලයි. කරන්න තියෙන්නේ විසඳන්න ප්‍රශ්නයක් නැති බව තේරුම් ගන්න එක පමණයි.

පළාතක භූමි ප්‍රමාණය හා එම පළාතෙන් දළ දේශීය නිෂ්පාදිතයට ලැබෙන දායකත්වය අතර සෘජු සම්බන්ධයක් තිබෙන්න හෝ තිබිය යුතු වෙන්න කිසිම හේතුවක් නැහැ. එහෙම සම්බන්ධයක් නොතිබීම ප්‍රශ්නයක් සේ පෙනීමම ශත වර්ෂ දෙක තුනකට පමණ පෙර පැවතුනු ලෝකය දිහා බලාගෙන හදපු න්‍යාය වලින් එහාට කිසි දෙයක් ගැන යාවත්කාලීන වී නැති අයගේ පසුගාමී අදහසක්. 

රටක නිෂ්පාදිතය හා භූමි ප්‍රමාණය අතර සම්බන්ධයක් තිබුණු කාලයක් තිබුණා. ඒ බොහොම ඉස්සර. කෝපි කාලෙටත් කලින්. ලෝකයේ භූමි ප්‍රමාණය සීමිත නිසා මිනිස්සුන්ට දියුණු විය හැක්කේත් එක්තරා සීමාවක් දක්වා පමණයි කියන අදහසටත් ඒ කාලයේ යම් පිළිගැනීමක් තිබුණා. මේ අදහසේම සාපේක්ෂව මෑතකාලීන වර්ෂන් එකක් වුනේ ලෝකයේ පොසිල ඉන්ධන සීමාසහිත නිසා පොසිල ඉන්ධන අවසන් වෙද්දී මිනිස් ශිෂ්ඨාචාරයේ දියුණුවත් නවතිනවා කියන එක. හැබැයි ඔය දෙකෙන් එකක්වත් වුනේ නැහැ.

සිංගප්පුරුවේ භූමි ප්‍රමාණය වර්ග කිලෝ මීටර 709යි. මුහුද ගොඩ කරලා එකතු කරගත් කොටසුත් එක්ක. සිංගප්පුරුවේ දදේනි ඇමරිකන් ඩොලර් බිලියන 340ක්. කසකස්ථානයේ භූමි ප්‍රමාණය වර්ග කිලෝ මීටර 2,724,900ක්. ඒ කියන්නේ කසකස්ථානය සිංගප්පූරුව වගේ 3,843 ගුණයක් ලොකුයි. නමුත්, කසකස්ථානයේ දදේනි ඇමරිකන් ඩොලර් බිලියන 170ක් පමණයි. සිංගප්පූරුවේ ප්‍රමාණයෙන් බාගයයි. එතකොට මොන්ගෝලියාවේ භූමි ප්‍රමාණය වර්ග කිලෝ මීටර 1,564,116ක්. ඒ කියන්නේ මොන්ගෝලියාව සිංගප්පූරුව වගේ 2,206 ගුණයක් ලොකුයි. නමුත්, මොන්ගෝලියාවේ දදේනි ඇමරිකන් ඩොලර් බිලියන 14ක් පමණයි. ඒ කියන්නේ සිංගප්පූරුවේ දදේනි මොන්ගෝලියාවේ දදේනි වගේ 25 ගුණයක්.

දැන් මේ කසකස්ථානය, මොන්ගෝලියාව වගේ රටවල් මාක්ස්වාදී, සමාජවාදී, මධ්‍යගත සැලසුම් ක්‍රමයක් විශාල කාලයක් තිස්සේ ක්‍රියාත්මක කරමින් සූරාකෑම්, ආදායම් විෂමතා අඩු කරපු රටවල්නේ. ඒ නිසා, ධනවාදයයේ ප්‍රශ්නයක් කියලා කාටවත් ඇඟ බේරගන්නත් බැහැ. හැබැයි මේ වෙනසට ප්‍රධාන හේතුව සමාජවාදය නෙමෙයි. නූතන ආර්ථිකයකට වර්ධනය වෙන්න ඉඩම් අවශ්‍ය නැහැ. ඉඩම් තිබුණා කියලා නූතන ආර්ථිකයකට වර්ධනය වෙන්නත් බැහැ. එහෙම කවුරු හෝ හිතනවානම් ඒක යල් පැනලා, මුල් ඇදලා, අල බැහැලා, අලත් පැල වෙච්ච අදහසක්.

ආර්ථිකයේ ප්‍රමාණය භූමි ප්‍රමාණය එක්ක සසඳන එක කිසිම තේරුමක් නැති දෙයක් වුනත් ආර්ථිකයේ ප්‍රමාණය ජනගහණය එක්ක සසඳන එකේනම් තේරුමක් තිබෙනවා. උතුරු මැද පළාතේ ජනගහණය රටේ ජනගහණයෙන් 6.2%ක්. එහෙම බැලුවහම උතුරු මැද පළාතෙන් ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට ලැබෙන දායකත්වය වන 5.4% පොඩ්ඩක් මදි. හැබැයි බස්නාහිර පළාත හැර ලංකාවේ අනෙක් හැම පළාතම තත්ත්වය ඕකයි. 

ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 39.1%කටම දායක වන බස්නාහිර පළාතේ ඉන්නේ රටේ ජනගහණයෙන් 28.7%ක් පමණයි.  බස්නාහිර දායකත්වය වැඩි නිසා, අනෙක් හැම පළාතකම ජනගහන අනුපාතයට වඩා දදේනි දායකත්වය ටිකක් අඩුයි.

යම් කිසි අයෙකුට හෝ ප්‍රදේශයකට ආදායම සේ ලැබෙන්නේ එම පුද්ගලයා හෝ ප්‍රදේශයේ වෙසෙන පුද්ගලයින් විසින් දළ දේශීය නිෂ්පාදනයට ලබා දෙන දායකත්වය. ඒකනම් කලින් අදහස වගේ පසුගාමී අදහසක් නෙමෙයි. ධනවාදී අදහසක්. එහෙම බැලුවහම උතුරු මැද පළාතේ සාමාන්‍ය ආදායම බස්නාහිරට වඩා අඩුයි. හැබැයි ලංකාවේ අඩුම සාමාන්‍ය ආදායම තිබෙන පළාත උතුරු මැද පළාත නෙමෙයි. තව පළාත් හතරක්ම තිබෙන්නේ ඊට පහළින්. කොහොම වුනත්, බස්නාහිර පළාත ඇරුනහම අනෙක් පළාත් අටේ සාමාන්‍ය ආදායම් අතර විශාල වෙනසක් නැහැ.

ඒ කියන්නේ කොළඹට කිරි පිටට කැකිරිද?

එහෙමමත් නැහැ. කොළඹ ජීවත් වෙන්නේ සහ වැඩ කරන්නේ කොළඹ ඉපදුණු අයම නෙමෙයි. උතුරු මැද ඇතුළු හැම පිට පළාතකම අය කොළඹට එනවා. ඒ එන්නේ දළ දේශීය නිෂ්පාදිතයට වැඩි දායකත්වයක් දිය හැකි අය. උතුරු මැද ඉතුරු වෙන්නේ එහෙම බැරි අය. ඒ නිසා, උතුරු පළාතේ සාමාන්‍ය ආදායම පහළ ගිහින් බස්නාහිර සාමාන්‍ය ආදායම ඉහළ යනවා. හැබැයි පුද්ගලයින් වශයෙන් ගත්තොත් උතුරු මැද ඉපදුනු කෙනෙකුට ලොකු අවාසියක් වෙලා නැහැ. 

අනෙක් අතට බස්නාහිර පළාතේ රැකියා කරන බොහෝ දෙනෙක් බස්නාහිර පළාතේ ස්ථිර පදිංචිකරුවෝ නෙමෙයි. අනුරාධපුරෙන් කොළඹ එන ගාමන්ට් නංගිලා, ස්පා නංගිලා බස්නාහිර පළාතේ දළ දේශීය නිෂ්පාදිතය වැඩි කළත් ඒ ආදායම උතුරු මැද පළාතට යනවා. පොළොන්නරුවෙන් කැම්පස් ගිහින් කොළඹ පදිංචි වෙලා ඉන්න දොස්තර අක්කලා, ඉංජිනේරු අයියලා බස්නාහිර පළාතේ දළ දේශීය නිෂ්පාදිතයට එකතු කරන දෙයිනුත් කීයක් හරි උතුරු මැද පළාතට යනවා. ඒ නිසා, උතුරුමැද පළාතේ දදේනි කියන්නේ උතුරුමැද පළාතේ ආදායම වුනත් උතුරුමැද පළාතේ පරිභෝජනයේ ප්‍රමාණය නෙමෙයි.


ඉතා පැහැදිලිවම උතුරු මැද පළාත ලංකා සිතියමේ ලොකුවට තිබෙන නිසා ඒ අනුපාතයට ඒ පළාතෙන් ලැබෙන දදේනි දායකත්වය වැඩි කරන්න සැලසුම් හදන එක ඉතාම සිඟිති, ඒ වගේම අන්තරායකාරී වැඩක්. ඔය වැඩේ අවසන් ප්‍රතිඵලය විදිහට තියෙන ජාතික ආදායමත් අඩු වෙන එක විතරයි වෙන්නේ.

හැබැයි එක ප්‍රශ්නයක් තියෙනවා. රටේ භූමි ප්‍රමාණයෙන් 16.0%ක් තියෙන උතුරු මැද පළාතෙන් දළ දේශීය නිෂ්පාදිතයේ කෘෂිකාර්මික කොටසට ලැබෙන දායකත්වය 8.7%ක් පමණයි. මෙයට සාපේක්ෂව රටේ ඉඩම් වලින් 5.6%ක් පමණක් තිබෙන, කුඩාම පළාත වූ බස්නාහිර පළාතෙන් දළ දේශීය නිෂ්පාදිතයේ කෘෂිකාර්මික කොටසට 9.7%ක දායකත්වයක් ලැබෙනවා. දෙවෙනි ලොකුම පළාත වූ, රටේ භූමි ප්‍රමාණයෙන් 15.2%ක් තියෙන නැගෙනහිර පළාත ගත්තත් උතුරු මැද ප්‍රශ්නයම තියෙනවා. නැගෙනහිරින් දළ දේශීය නිෂ්පාදිතයේ කෘෂිකාර්මික කොටසට ලැබෙන දායකත්වය 10.3%ක් පමණයි. අනෙක් අතට 8.5%ක භුමි ප්‍රමාණයක් තියෙන දකුණු පළාතෙන් 15.9%ක දායකත්වයකුත්, 8.7%ක භුමි ප්‍රමාණයක් තියෙන මධ්‍යම පළාතෙන් 11.5%ක දායකත්වයකුත් කෘෂිකාර්මික කොටසට ලැබෙනවා.

උතුරු මැද හා නැගෙනහිර පළාත් කියන්නේ දේශීය වෙළඳපොළ ඉලක්ක කරගත් වී ගොවිතැනේ හිරවෙලා ඉන්න පළාත්. හරියටම කිවුවොත් හිර කරලා තිබෙන පළාත්. මෙයින් වෙනස්ව තෙත් කලාපයේ හා මධ්‍යම කඳුකරයේ ඉඩම් බොහෝ විට යොදා ගැනෙන්නේ අපනයන කෘෂිකර්මය සඳහා. උතුරු මැද හා නැගෙනහිර පළාත් වලට ගෙවන්න වී තිබෙන්නේ අපි හදාගෙන අපි කන එකේ මිල. උතුරු මැද පළාතේ තත්ත්වය වෙනස් කරන්න අවශ්‍ය වෙන්නේ මධ්‍යගත සැලසුමක් නෙමෙයි. උතුරු මැද ගොවියා නිදහස් කර ඉඩම් වෙළඳපොළ සක්‍රිය කරන පුළුල් ඉඩම් ප්‍රතිසංස්කරණයක්. 

රටක් දියුණු වෙද්දී ඒ රටේ කෘෂිකාර්මික නිෂ්පාදිතයේ පංගුව එන්න එන්නම කුඩා වෙනවා මිසක් ලොකු වෙන්නේ නැහැ. එහෙම ලොකු කරන්න හදන එකෙන් වෙන්නේ ආර්ථිකය පස්සට යන එකයි. කෘෂිකාර්මික නිෂ්පාදිතයේ පංගුව කුඩා වෙනවා කියා කියන්නේ කෘෂිකාර්මික නිෂ්පාදිතය කුඩා වෙනවා කියන එක නෙමෙයි. අනෙක් අංශ වඩා වේගයෙන් ප්‍රසාරණය වෙනවා කියන එක. මේ වැඩේ වෙද්දී ලොකු භුමි ප්‍රමාණයක් තිබෙන, ජන ඝනත්වය අඩු පළාත් වලින් දළ දේශීය නිෂ්පාදිතයට ලැබෙන දායකත්වයේ ප්‍රතිශතය පහළ යන එක සාමාන්‍ය දෙයක්. එය සතුටු විය යුතු කරුණක් මිසක් කණගාටු විය යුතු හෝ වෙනස් කළ යුතු කරුණක් නෙමෙයි.

Friday, November 5, 2021

කෘෂිකර්මයේ කාබනික අදියර


කිසියම් රටක වෙළඳපොළ කොයි තරම් දියුණුද, නිෂ්පාදන ක්‍රියාවලිය කොයි තරම් කාර්යක්ෂමද, ඒ රට කොයි තරම් ධනවාදීද ආදී කරුණු අදාළ රටේ ජාතික ආදායමෙන් හා ශ්‍රම බලකායෙන් කෘෂිකර්මයේ පංගුව දෙස බලා නිර්නය කළ හැකියි. ආර්ථික අර්ථයකින් රටක් ප්‍රගතියේ දිශාව කරා ගමන් කරන තරමට ජාතික ආදායමෙහි හා ශ්‍රම බලකායෙහි කෘෂිකාර්මික කොටස කුඩා වෙනවා.

මෙය මෙසේ විය යුත්තේ ඇයි?

ආහාර කියා කියන්නේ මිනිහෙකුගේ මූලිකම අවශ්‍යතාවය. කන්න තියෙනවානම්, නිදාගන්න අගු පිලක්වත් නැත්නම්, අඩු ගානේ ගලක් උඩ හෝ ගහක් යට වුවත් නිදා ගෙන ජීවත් වෙන්න පුළුවන්.  කන්න තියෙනවානම්, රෙදි නැතුව ජීවත් වෙන්න පුළුවන්. කන්න තියෙන නිසා, කෑම  හොයාගෙන රෙදි නැතුව කඩේ යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි කෑම නැතිව වැඩි දවසක් ජීවත් වෙන්න බැහැ. බඩගිණි දැනෙන කොට කොහෙන් හෝ ලෙමන් පෆ් එකක් හරි හොයා ගන්න වෙනවා.

මිනිසෙකුගේ මූලිකම අවශ්‍යතාවය ආහාර නිසා ඕනෑම මිනිහෙකුගේ පළමු ප්‍රමුඛතාවය වන්නේ තමන්ට අවශ්‍ය ආහාර සම්පාදනය කර ගැනීම. වෙළඳපොළක් නැත්නම්, හුවමාරුවක් සිදු නොවේනම් මිනිහෙකුට තමන්ගේ ආහාර තමන් විසින්ම නිපදවා ගන්න සිදු වෙනවා. මිනිහෙක් වෙනත් නිෂ්පාදනයක් වෙනුවෙන් කාලය හා ශ්‍රමය වැය කරන්නේ කවර හෝ ආකාරයකින් තමන්ගේ ආහාර සුරක්ෂිතතාව තහවුරු වී ඇත්නම් පමණයි.

හැමෝම තම තමන්ට අවශ්‍ය ආහාර තමන් විසින්ම නිපදවා ගන්නවා කියා කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලියේ ප්‍රාථමිකම අවස්ථාව. මේ වගේ පසුබිමක, හැමෝටම තමන්ගේ බඩ ගැන හිතනවා හැර වඩා සංකීර්ණ නිෂ්පාදනයක් ගැන හිතන්න ඉඩ සැලසෙන්නේ නැහැ. එහෙත්, තමන්ට අවශ්‍ය ආහාර වෙනත් අයෙකු විසින් නිපදවනු ඇති බවට සහතිකයක් ඇති විට මිනිස්සු වඩා සංකීර්ණ නිෂ්පාදන වෙනුවෙන් තමන්ගේ කාලය හා ශ්‍රමය වැය කරනවා. ඒ හරහා, සමාජයක් ප්‍රගතියේ දිශාව කරා ගමන් කරනවා.

මේ ආකාරයෙන් කෘෂිකර්මයෙන් විතැන් වන සමාජයක කිසියම් පිරිසක් විසින් ලබා දෙන දායකත්වය නිසාම කෘෂිකාර්මික නිෂ්පාදන ක්‍රියාවලියේ ඵලදායීතාවය ඉහළ යනවා. කෘෂිකර්මයෙහි නිරත එක් අයෙකුට පිරවිය හැකි බඩවල් ගණන ඉහළ යනවා. ආහාර සුරක්ෂිතතාව ගැන වද නොවී, වෙනත් දේවල් කිරීම සඳහා වැඩි පිරිසක් නිදහස් වෙනවා. 

ඇමරිකාවේ කෘෂිකර්ම, වන, ධීවර හා දඩයම් අංශ වල සේවය කරන ශ්‍රමිකයන් ප්‍රමාණය රටේ ජනගහනයෙන් 0.7%ක් හා ශ්‍රම බලකායෙන් 1.5%ක් පමණයි. මේ පිරිස රටේ ඉතිරි 99.3%ටම අවශ්‍ය ආහාර හදනවා පමණක් නොව, ශුද්ධ ලෙස ආහාර අපනයනය කරන අතර විශාල ලෙස නාස්ති කර දැමීමටත් ප්‍රමාණවත් ආහාර ප්‍රමාණයක් හදනවා. 2019 වසරේදී ඇමරිකාවේ කෘෂිකාර්මික අංශය ඉපැයූ ශුද්ධ අපනයන ආදායම, එනම් අපනයන ආදායමෙන් ආනයන වියදම් අඩු කළ පසු ශේෂය, ඩොලර් බිලියන 5.6ක්. (මුළු කෘෂිකාර්මික අපනයන ආදායම ඩොලර් බිලියන 136.7ක්). ඒ වගේම, ඇමරිකාවේ නිෂ්පාදිත ආහාර වලින් පසු අස්වනු අදියරේ සිට සිල්ලර වෙළඳසැල් දක්වා පැමිණෙන ආහාර ප්‍රමාණයෙන් 31%ක් පමණ නාස්ති වෙනවා. 2010 ඇස්තමේන්තුවකට අනුව ඉහත කී නාස්ති වූ ආහාර වල වටිනාකම ඩොලර් බිලියන 161.6ක්.

රටේ මිනිස්සුන්ට ඇති තරමට කන්න, නාස්ති කරන්න වගේම පිටට විකුණන්නත් ප්‍රමාණවත් තරම් ආහාර රටේ ජනගහණයෙන් 0.7%ක් විසින් හදනවා කියන එකෙන් පැහැදිලි වන්නේ ඇමරිකාව ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ ගැටළුව විසඳීමෙන් පසුවත් සෑහෙන දුරක් ගමන් කර තිබෙන බවයි. මෙය මේ කරුණ තුළින් පමණක්ම ගම්‍ය නොවේනම් තවත් කරුණු ගණනක් ඉදිරිපත් කර පැහැදිලි කළ හැකියි.

ප්‍රාථමික කෘෂිකාර්මික නිෂ්පාදන ක්‍රියාවලියක මූලික අදියරේදී කෘෂිකර්මයෙන් විතැන් වන ශ්‍රමිකයන් හමුවේ තිබෙන අභියෝගය වන්නේ කෘෂිකාර්මික ශ්‍රමිකයන් සමඟ හුවමාරු කළ හැකි ඔවුන්ට වටිනා දෙයක් නිෂ්පාදනය කරන්නේ කොහොමද කියන එකයි. යම් සීමිත පිරිසක් විසින් මේ වැඩේ සාර්ථකව කරනවා. මේ සීමිත පිරිසට ගැනුම්කරුවන් (කෘෂිකාර්මික ශ්‍රමිකයන්) විශාල පිරිසක් සම්මුඛ වෙනවා. උදාහරණයක් විදිහට උදළු තලයක් හදන කම්මල්කරුවෙක් ගනිමු. දැන් මේ කම්මල්කරුවාට තමන් හැදූ උදළු තලය හුවමාරු කර ගැනීමට සූදානම් ගොවි-ගැනුම්කරුවන් විශාල පිරිසක් සම්මුඛ වෙනවා.

හුවමාරුව සිදු වන්නේ වී සමඟ කියා හිතමු. දැන් මේ කම්මල්කරුවා උදළු තලය හුවමාරු කරන්නේ වැඩිම වී ප්‍රමාණයක් තමන්ට දෙන ගොවි-ගැනුම්කරුවා සමඟ. මෙහිදී උදළු තලයක් ලබා ගන්න අවශ්‍ය අනෙක් ගොවි-ගැනුම්කරුවන්ට කෙසේ හෝ තමන්ගේ වී නිෂ්පාදනය වැඩි කර ගන්න වෙනවා. මොකද හුවමාරුවක් ගැන හිතන්න පුළුවන් වෙන්නේ තමන්ගේ ආහාර සුරක්ෂිතතාවය සැපිරුනු පසුව පමණයි.

කෘෂිකාර්මික නිෂ්පාදන හුවමාරු භාණ්ඩයක් වූ වහාම. ගොවීන් අතර තරඟය වැඩි වී ඒ තුළින් සමස්ත කෘෂිකාර්මික නිෂ්පාදිතය ඉහළ ගියත් ඒ හේතුව නිසාම කෘෂිකාර්මික නිෂ්පාදන වල මිල පහළ යනවා. උදළු තලයේ හුවමාරු වටිනාකම ඉහළ යනවා. ඒ එක්කම අර ගොවි-ගැනුම්කරුවන්ට උදළු තලයක් මිල මිල අධික භාණ්ඩයක් වෙනවා. උදළු තල හදන තැනැත්තෙකුගේ ආහාර සුරක්ෂිතතාවය ගොවියෙකුගේ ආහාර සුරක්ෂිතතාවයටත් වඩා ඉහළ යනවා. 

ඉහත ආකාරයෙන් යමෙකුට තමන්ගේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කර ගැනීම සඳහා තිබෙන වඩා හොඳ විකල්පය තමන්ම කෘෂිකර්මයෙහි නියැලීම නොව කෘෂිකර්මයෙන් ඉවත් වීම වූ විට එවැන්නන් කෘෂිකර්මයෙන් ඈත් වෙන්න පටන් ගන්නවා. එහිදී සමාජ ප්‍රගමනයට හේතු වන දේවල් දෙකක් සිදු වෙනවා. එක පැත්තකින් එසේ කෘෂිකර්මයෙන් ඉවත් වන අය එතෙක් බොහෝ දෙනෙකුගේ පරිභෝජන පැසෙහි නොතිබුණු දේවල් අලුතෙන් නිර්මාණය කරන්න පටන් ගන්නවා. ඒ දේවල් ගොවි-ගැනුම්කරුවන් සමඟ හුවමාරු කිරීම හරහා, අඩු මහන්සියකින් ඔවුන්ගේ ආහාර සුරක්ෂිතතාවය සපුරා සපුරා ගන්න අවස්ථාව ලැබෙනවා. අනෙක් පැත්තෙන් මේ විදිහට අලුතෙන් හදන හෝ හොයා ගන්නා ඇතැම් දේවල් වලින් කෘෂිකාර්මික ඵලදායීතාවය ඉහළ යනවා. ඒ නිසා, සෘජුව කෘෂිකර්මයෙහි යෙදෙන අයටත් අඩු මහන්සියකින් ඔවුන්ගේ ආහාර සුරක්ෂිතතාවය සපුරා ගන්න අවස්ථාව ලැබෙනවා.

මානව ඉතිහාසය කියා කියන්නේ මිනිස්සු බඩගින්න සමඟ සටන් කළ ඉතිහාසයක්. ඉතාම මෑතක් වන තුරු සමස්තයක් ලෙස මිනිස්සු හිටියේ බඩගින්නේ. දැනටත් ලෝකයේ බඩගින්නේ සිටින මිනිස්සු ඉන්නවා. එහෙත්, අඩු වශයෙන් මේ වෙද්දී ඇමරිකාවේ හෝ ධනවාදී සංවර්ධනයේ සමාන අදියරක සිටින වෙනත් රටවල ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ ගැටළුවක් නැහැ. මේ තත්ත්වය අත් කර ගැනීමට රසායනික පොහොර, කෘෂිරසායන ආදියෙන් ලැබී තිබෙන දායකත්වය ඉතා විශාලයි.

බඩගින්නේ සිටින අයෙක් මුලින්ම බලන්නේ බඩගින්න නිවාගත හැකි මොනවා හෝ දෙයක්. එහෙත්, ආහාර සුරක්ෂිතතාවය තවදුරටත් කණස්සල්ලට කාරණයක් නොවූ පසු මිනිස්සු තමන්ගේ ආහාර වල ගුණාත්මක භාවය ගැන සැලකිලිමත් වෙන්න පටන් ගන්නවා. ප්‍රධාන ඉලක්කය ආහාර සුරක්ෂිතතාවය වූ විට ගොවි-සැපයුම්කරුවන් එකිනෙකා සමඟ තරඟ කරන්නේ අස්වැන්න වැඩි කරගෙන, අඩු මිලකට කෘෂි නිෂ්පාදන සැපයීම මගින් වුවත් මේ අදියරට පැමිණි පසු ඔවුන්ට තමන් විකුණන ආහාර වල ගුණාත්මක භාවය වෙනුවෙන් අධිභාරයක් අය කරන්න ඉඩ ලැබෙනවා.

ඔය ආකාරයෙන් ධනවාදී ක්‍රමයක් තුළ ගොවි-සැපයුම්කරුවන් අතර තරඟය මුලදී අඩු මිලට කෘෂිකාර්මික නිෂ්පාදන සැපයීමේ තරඟයක් වුවත්, මේ තරඟය තුළින් රටේ හැමෝගෙම වගේ ආහාර සුරක්ෂිතතාව තහවුරු වුනාට පසුව මිල සාධකයේ වැදගත්කම අඩු වෙලා යනවා. ඉන් පසුව, ගොවි-සැපයුම්කරුවෙකුට ලාබ ලැබිය හැක්කේ අනෙක් තරඟකරුවන්ට වඩා ගුණාත්මක භාවයෙන් වැඩි නිෂ්පාදිත වෙළඳපොළට දැමීමෙන්. 

හැබැයි එක් අයෙක් මේ දේ කළාට පස්සේ අනෙක් අයත් ගුණාත්මක භාවය ඉහළ දමනවා. එසේ නොකර වෙළඳපොළ තුළ පැවැත්මක් නැහැ. අවසානයේදී වෙන්නේ සමස්තයක් ලෙස ගුණාත්මක භාවය ඉහළ යාම. 

මෙය ලංකාවෙන් වුවත් නිදර්ශන අරගෙන පැහැදිලි කරන්න පුළුවන්. අපි පොඩි කාලේ හාල් ගරනවා කියන එක බත් ඉවීමේ අනිවාර්ය අංගයක්. හරියට හාල් ටික ගැරුවේ නැත්නම් දත් සෙට් එක ඉවරයි!

ගල් වැලි නැති සම්බා සහල් කිලෝ පහේ කවර වෙළඳපොළට ආවේ ඔය වගේ පසුබිමක. මුලදී මේ හාල් විකිණුනේ සැලකිය යුතු අධිභාරයක් එක්ක. මිල සංවේදී අය ඔය ගල් වැලි නැති හාල් පස්සේ ගියේ නැහැ. අඩුවට තිබෙන හාලක් ගෙනත් ගරලා ලිපේ තියා ගත්තා. එහෙත් කාලයක් යද්දී ගල් වැලි සහිත හාල් වලට වෙළඳපොළක් නැතිව ගියා. 

රටක මිනිස්සුන්ගේ බඩවල් පුරවන්න ප්‍රමාණවත් තරමට ආහාර ඒ රටේ හැදෙන්න පටන් ගත්තට පස්සේ තව දුරටත් නිෂ්පාදන කාර්යක්ෂමතාවය වැඩි කරන්න ඒ තරම් අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. මොකද නිෂ්පාදනය වැඩි කළා කියලා ඉල්ලුම තවත් වැඩි වෙන්නේ නැහැ. තව බෙදාගන්න අවශ්‍ය නැති තරමට කාගේත් බඩවල් පිරිලා. 

රටක ආහාර නිෂ්පාදනය ආහාර අවශ්‍යතාවය ඉක්මවූ පමණින් රටේ හැමෝගෙම ආහාර සුරක්ෂිතතාවය තහවුරු වෙන්නේ නැහැ. පහළ ආදායම් ස්ථර වලට තව දුරටත් බඩගින්න දැනෙන්න පුළුවන්. එහෙත්, ඇමරිකාව වැනි රටවල ක්‍රියාත්මක සුබසාධන වැඩ සටහන් නිසා මේ ප්‍රශ්නය ඇති වන්නේත් නැහැ. ඒ නිසා, ඇමරිකාව වැනි රටවල කෘෂිකාර්මික අංශයේ කාර්යක්ෂමතාවය වැඩි වීම කාලයක සිටම සිදු වන්නේ ගුණාත්මක භාවය වැඩි වීම හරහා.

මේ ආකාරයෙන් ගුණාත්මක භාවය වැඩි වීමත් මේ වෙද්දී යම් සංතෘප්ත මට්ටමකට ඇවිත්. අඩුම මිලකට මිල දී ගන්නා අවම ගුණාත්මක භාවය තිබෙන ආහාරයක ගුණාත්මක භාවය වුනත් මේ වෙද්දී ගොඩක් ඉහළයි. ඒ කියන්නේ, ඇමරිකාව වැනි රටක අඩුම ආදායම් ලබන පහළම සමාජ ස්ථර වල සිටින අයට පවා මේ වෙද්දී ආහාර සුරක්ෂිතතාවය ගැටළුවක් නොවනවාක් මෙන්ම ඔවුන්ට ලබා ගත හැකි ආහාර වල ගුණාත්මක භාවයද ගොඩක් වැඩියි. 

කෘෂිකාර්මික නිෂ්පාදිත මේ වගේ මට්ටමක් දක්වා දියුණු වුනාට පස්සේ ගුණාත්මක භාවය ඉහළ දමලා ලාබ ලබා ගැනීමේ හැකියාවත් අහෝසි වී යනවා. එහෙත්, ධනවාදී තරඟය තුළ දිගින් දිගටම කිසියම් ආකාරයක අගය එකතු කිරීමක් සිදු විය යුතුයි. කාබනික කෘෂිකර්මය තුළ සිදු වන්නේ මේ වැඩේ. 

කාබනික ආහාරයක් වෙනුවෙන් අධිභාරයක් ගෙවන අයෙක් එසේ කරන්නේ ගල් වැලි නැති හාල් මිල දී ගනිද්දී මෙන් එයින් තමන්ට සෘජුව ලැබෙන දෙයක් දිහා බලාගෙන නෙමෙයි. මෙහිදී කාබනික ආහාරය වෙනුවෙන් ගෙවන මිලට පරිසරය රැක ගැනීම වැනි වෙනත් අරමුණු වෙනුවෙන් ගෙවන මිලක්ද එකතු වෙනවා. 

මේ වගේ තත්ත්වයකට එන්න රටක කෘෂිකර්මාන්තය මා පෙර සඳහන් කළ අදියර දෙකම පසු කළ යුතුයි. පළමු අදියරේදී මොන ක්‍රමයෙන් හෝ නිෂ්පාදනය ඉහළ දැමීමෙන් රටේ සමස්ත ආහාර ඉල්ලුම සම්පූර්ණ කෙරෙනවා. දෙවන අදියරේදී එම ආහාර වල ගුණාත්මක භාවය ඕනෑම කෙනෙකුට සෑහීමට පත් විය හැකි මට්ටමකට ඉහළ යනවා. මෙතැනින් එහාට කෘෂිකාර්මික නිෂ්පාදිතයකට තව දුරටත් අගය එකතු කිරීමක් කරන්න අවශ්‍යනම් එය කරන්න වෙන්නේ එම නිෂ්පාදනයට සෘජුව සම්බන්ධයක් නැති දෙයක් සමඟ සම්බන්ධ කිරීමෙන් පමණයි.

කාබනික කෘෂිකර්මයේදී නිෂ්පාදිතයට අගය එකතු කරන ක්‍රමය නිසාම නිෂ්පාදිතය සීමා වෙනවා. ඒ නිසා, මිල අඩු වන්නේ නැහැ. කාබනික අධිභාරය දිගටම පවත්වා ගත හැකියි. තමන් මිල දී ගන්නා භාණ්ඩය තුළ සෘජුව දැකිය නොහැකි දෙයක් වෙනුවෙන් මේ අධිභාරය ගෙවන්න කැමැති අය කාබනික ආහාර මිල දී ගන්නවා. 

මේ වෙළඳපොළට පැවතිය හැක්කේම මිල සංවේදී පාරිභෝගිකයන් වෙනුවෙන් සමාන්තර ලෙස කාබනික නොවන වෙළඳපොළක්ද තිබෙන නිසා. මොකද බහුතර පාරිභෝගිකයන්ගේ ආහාර සුරක්ෂිතතාවය හා එම ආහාර වල ගුණාත්මකභාවය තහවුරු නොවන තාක් කෘෂිකර්මාන්තයේ අගය එකතු කිරීම් වැඩි වන යාන්ත්‍රනයක් තිබෙනවා. කාබනික කෘෂිකර්මාන්තයට අවස්ථාව සැලසෙන්නේ එම වෙළඳපොළ සංතෘප්ත වීමෙන් පසුවයි.

Thursday, November 4, 2021

කාබනික ආහාර උන්මාදය

ලංකාවේ කාබනික ගොවිතැන ගැන මේ වෙද්දී ගොඩක් අය කතා කරලා තියෙනවා. කෝච්චිය අද්දලා ටිකක් වෙලා වුනත් තවම අපිටත් ගාඩ් පෙට්ටියේ හරි එල්ලෙන්න පුළුවන්නේ! අනිත් එක කාබනික ගොවිතැන ගැන කතා නොකළත්, අපිත් පොදුවේ කෘෂිකර්මය ගැන වගේම, ලංකාවේ කෘෂිකර්මය ගැනත් මොනවා හරි කතා කරලා තියෙනවනේ!

ලෝකයේ ලොකුම කාබනික ආහාර වෙළඳපොළ ඇමරිකා එක්සත් ජනපදයයි. 2019 වසරේදී යුරෝ බිලියන 106.4ක් වූ සිල්ලර කාබනික ආහාර වෙළඳාමෙන් 42%ක, එනම් යුරෝ බිලියන 44.7ක සිල්ලර වෙළඳාමක් සිදු වුනේ ඇමරිකා එක්සත් ජනපදය තුළයි. ඇමරිකාවෙන් පසුව ලෝකයේ ලොකුම කාබනික ආහාර වෙළඳපොළවල් වන්නේ පිළිවෙලින් ජර්මනිය (යුරෝ බිලියන 12.0ක්) හා ප්‍රංශයයි (යුරෝ බිලියන 11.3ක්). සමස්තයක් ලෙස යුරෝපීය සංගමය තුළ සිදු වන කාබනික ආහාර සිල්ලර වෙළඳාම ඇමරිකාවේ එම වෙළඳ පරිමාවට ආසන්නයි (යුරෝ බිලියන 41.4%ක් හෙවත් 39%ක්).

ඒක පුද්ගල පදනම මත බැලුවොත් කාබනික ආහාර වෙනුවෙන් වැඩිම වියදමක් දරන අය සිටින්නේ පිළිවෙලින් ඩෙන්මාර්කය (යුරෝ 344ක්), ස්විට්සර්ලන්තය (යුරෝ 338ක්) හා ලක්සම්බර්ග් (යුරෝ 265ක්) යන රටවලයි. මේ රටවල් ඒක පුද්ගල ආදායම අතින් ඉහළින්ම සිටින රටවල් බව පැහැදිලිව නිරීක්ෂණය වන කරුණක්.

කාබනික ආහාර වෙළඳපොළ ඉතා වේගයෙන් වර්ධනය වන වෙළඳපොළක්. 2000 වසරේදී යුරෝ බිලියන 15.1ක සීමා වූ මෙම වෙළඳපොළ 2019 වෙද්දී එමෙන් හත් ගුණයක් දක්වා විශාලනය වීමෙන් මේ බව පැහැදිලිව පේනවා. කෙසේ වුවත් කාබනික කෘෂිකර්මය වෙනුවෙන් තවමත් යොදා ගැනෙන්නේ ලෝකයේ ගොවිබිම් වලින් 1.5%ක් පමණයි.

ලෝකය පුරා විසිරී තිබෙන, කාබනික ගොවිතැන සඳහා යොදා ගන්නා වගාබිම් හෙක්ටයාර මිලියන 72.3කින් අඩක් පමණම, එනම් හෙක්ටයාර මිලියන 35.7ක්ම පිහිටා තිබෙන්නේ ඕස්ට්‍රේලියාවේ. ප්‍රතිශතයක් ලෙස ගත්තොත් එරට වගාබිම් ප්‍රමාණයෙන් 26.1ක්. රටේ වගාබිම් වලින් ඊට වඩා වැඩි කොටසක් කාබනික ගොවිතැන වෙනුවෙන් වෙන් කර තිබෙන එකම රට ලෝකයේ කුඩාම සහ පොහොසත්ම රටක් වන ලික්ටන්ස්ටයින් රට පමණයි. 

ඉහත සඳහන් කාබනික වගාබිම් වලින් තුනෙන් දෙකක් පමණම (හෙක්ටයාර මිලියන 49ක් පමණ) තණබිම්. ඒ කියන්නේ තණබිම් ඉවත් කළ විට කාබනික කෘෂිකර්මය වෙනුවෙන් තවමත් යොදා ගැනෙන්නේ ලෝකයේ ගොවිබිම් වලින් 0.5%ක් පමණයි. 2019 වසරේදී ලංකාවේ වගාබිම් හෙක්ටයාර 70,432ක කාබනික ගොවිතැන් සිදු වී තිබෙනවා. 2018 වසරේදී ලාංකිකයින් හෝ ලාංකික සමාගම් 318ක් විසින් කාබනික ආහාර අපනයනය කර තිබෙනවා. 2015 වසරේදී ලංකාව කාබනික ආහාර අපනයනය කිරීමෙන් යුරෝ මිලියන 259ක ආදායමක් උපයා තිබෙනවා.

ඇමරිකාවේ විකිණෙන ආහාර වලින් 5.8ක් පමණම මේ වෙද්දී කාබනික ආහාර. කාබනික ආහාර භාවිතය වැඩි වශයෙන්ම ඉහළ ආදායම් ලබන්නන්ගේ කටයුත්තක් වුවත්, ඇමරිකානුවන්ගෙන් හතරෙන් තුනක් පමණම යම් තරමකට හෝ කාබනික ආහාර මිල දී ගන්නවා. 

ඇමරිකාවේදී කාබනික ආහාර හොයා ගන්න එක අමාරු වැඩක් නෙමෙයි. බොහෝ තැන් වල කාබනික ආහාර විකුණන්න තිබෙනවා. බැලූ බැල්මට කාබනික ආහාර හා අනෙකුත් ආහාර අතර හඳුනාගත හැකි කිසිම වෙනසක් නැහැ. උදාහරණයක් විදිහට, කාබනික ඇපල් ගෙඩියක් හා එම වර්ගයේම සාමාන්‍ය ඇපල් ගෙඩියක් ලඟින් තැබුවොත් කාබනික ඇපල් ගෙඩිය වෙන් කර හඳුනා ගන්න බැහැ. එහෙත්, කාබනික ඇපල් ගෙඩියක මිල සාමාන්‍ය ඇපල් ගෙඩියක මිලට වඩා වැඩියි. 

කාබනික ආහාර වල මිල සාමාන්‍ය වශයෙන් එම වර්ගයේම සාමාන්‍ය ආහාර මිල මෙන් දෙගුණයක් පමණ වෙනවා. මෙම "කාබනික අධිභාරය" 50% පමණ සිට 300% පමණ දක්වා වෙනස් වෙනවා. කාබනික ආහාර වල යම් සෞඛ්‍යමය ප්‍රතිලාභ ඇති බව තහවුරු වී තිබුණත්, එම ප්‍රතිලාභ ඉහත මට්ටමේ විශාල අධිභාරයක් ගෙවීමට තරම් විශාල ප්‍රතිලාභ නෙමෙයි. 

කාබනික ආහාර වෙනුවෙන් මෙවැනි විශාල අධිභාරයක් ගෙවන බොහෝ දෙනෙක් එයින් සෘජුව තමන්ට ලැබෙන සීමිත සෞඛ්‍යමය ප්‍රතිලාභ වලට අමතරව පසෙහි හා ජලයෙහි ගුණාත්මකභාවය පවත්වා ගැනීම, පරිසර දූෂණය අඩු කිරීම, ආහාර පිණිස ඇති කරන සතුන්ට ස්වභාවික පරිසරයක ජීවත් වීමට ඉඩ සැලසීම වැනි වෙනත් බොහෝ දේවල් අපේක්ෂා කරනවා. වැඩිපුර සල්ලි ගෙවන්නේ ඒ දේවල් වලටත් එක්ක. හරියට ඇමරිකානුවෙක් ලංකාවේ මහන ඇඳුමක් මිල දී ගනිද්දී එම ඇඳුම් මහන ශ්‍රමිකයන් වැඩ කරන වාතාවරණය හොඳ මට්ටමක නඩත්තු කිරීම වෙනුවෙන්ද මුදලක් ගෙවනවා වගේ.

කාබනික ආහාර වෙනුවෙන් වැඩි මිලක් ගෙවන බොහෝ පාරිභෝගිකයින් විසින් එසේ කරන්නේ යම් සමාජයීය අරමුණක්ද පෙරදැරිව නිසා අදාල අරමුණ ඉටු කර ගත හැකි යාන්ත්‍රණයක්ද අවශ්‍ය වෙනවා. කාබනික ආහාර කියා සාමාන්‍ය ආහාර අලෙවි කළොත් අවශ්‍ය වැඩේ වෙන්නේ නැහැ. එක පැත්තකින් මෙය අප මීට පෙර කතා කර ඇති හලාල් ආහාර සම්බන්ධ තත්ත්වයටද සමානයි.

පාරිභෝගිකයෙකුට කාබනික ආහාර වෙන් කර හඳුනා ගැනීම සඳහා කිසියම් නිර්ණායකයක් අවශ්‍ය වෙනවා. මෙහිදී හලාල් ආහාර සහතික කරනවාක් මෙන් කාබනික ආහාරද නිපදවන ක්‍රමය පරීක්ෂා කර සහතික කිරීමක් කළ යුතු වෙනවා. මෙවැනි සහතිකයක් ලබා ගැනීම සඳහා සම්පූර්ණ කළ යුතු අවශ්‍යතා ලැයිස්තුවක් තිබෙනවා. 

කාබනික වගාවේදී කෘතීම පොහොර, නාගරික අපද්‍රව්‍ය හෝ නාගරික අපද්‍රව්‍ය අඩංගු ජලය, කෘතීම කෘමිනාශක (කලාතුරකින් හැර), ආහාර කල් තබා ගැනීම සඳහා යොදන රසායන, වර්ධක හෝමෝන හා ප්‍රතිජීවක ආදිය යොදාගත නොහැකි අතර, රෝග වලින් හෝ  කෘමීන්ගෙන් ආරක්ෂා විය හැකි පරිදි හෝ අස්වැන්න වැඩි කරගැනීම සඳහා ජාන තාක්ෂනය යොදා ගත නොහැකියි. ඒ වෙනුවට, බෝග කොටස්, කොම්පෝස්ට් පොහොර, ආවරණ ශාක, පරිවාරක ශාක කොටස් (mulch), ස්වභාවික කෘමිනාශක, කාබනික වගාව සඳහා අනුමත සීමිත කෘතිම කෘමිනාශක (අවසාන විකල්පයක් ලෙස කලාතුරකින්), සශ්‍ය මාරුව හා ජෛව පාලනය වැනි ක්‍රම යොදා ගැනෙනවා.

ඇමරිකාවේ සිල්ලර වෙළඳපොළේ විකිණෙන කාබනික ආහාර කාණ්ඩ කිහිපයකට බෙදිය හැකියි.


100%ක් කාබනික- මෙම සහතිකය යෙදිය හැක්කේ ජලය හා ලුණු හැර අනෙකුත් අමුද්‍රව්‍ය සියල්ල කාබනික ක්‍රමයට හදා තිබෙන ආහාර සඳහා පමණයි.


කාබනික- ජලය හා ලුණු හැර අනෙකුත් අමුද්‍රව්‍ය වලින් අවම වශයෙන් 95%ක් කාබනික ක්‍රමයට හදා තිබිය යුතු අතර ඉතිරි 5% තුළ වෙනත් අනුමත ආහාර ද්‍රව්‍ය අඩංගු විය හැකියි.

කාබනික ආහාර වලින් සදා ඇති (Made with organic)- ජලය හා ලුණු හැර අනෙකුත් අමුද්‍රව්‍ය වලින් අවම වශයෙන් 70%ක් කාබනික ක්‍රමයට හදා තිබිය යුතු අතර එම අමුද්‍රව්‍ය මොනවාදැයි පැහැදිලිව සඳහන් කළ යුතුයි.

අමුද්‍රව්‍ය වලින් අවම වශයෙන් 70%ක් කාබනික ක්‍රමයට හදා නැත්නම් එවැනි ආහාර වල අමුද්‍රව්‍ය ලැයිස්තුවෙහි ඒ බැව් සඳහන් කරනු මිස කාබනික ආහාර සේ හැඳින්විය නොහැකියි.

ඇමරිකාව, යුරෝපය ඇතුළු බටහිර ලෝකයේ කාබනික ආහාර සඳහා වන ඉල්ලුම ක්‍රමක්‍රමයෙන් ඉහළ යන්නේ ඇයි? මේ ගැන අපි දෙවන කොටසකින් කතා කරමු.


Wednesday, September 15, 2021

කහ ගන්නවත් බැරිතැනට වැටුනේ ඇයි?

 

ටික කලකට පෙර ලංකාව කහ ආනයනය තහනම් කළා. රටේ කහ හිඟයක් ඇති වුනා. කහ මිල විශාල ලෙස ඉහළ ගියා. හැබැයි ඉන් පසුව බොහෝ දෙනෙක් කහ වවන්න පෙළඹුනා. දැන් ලංකාවේ කහ නිෂ්පාදනය ඉහළ ගිහින්. එහෙත් මිල පහත වැටී නැහැ. රටේ බොහෝ දෙනෙකුට කහ ගන්නවත් බැරි තරමට කහ මිල ඉහළ ගිහින්. එහෙම වුනේ ඇයි?

වෙනත් ඕනෑම භාණ්ඩයක වගේම කහ වලත් නිෂ්පාදන පිරිවැය නිෂ්පාදකයාගෙන් නිෂ්පාදකයාට වෙනස් වෙනවා. ඇතැම් අය අනෙක් නිෂ්පාදකයන්ට වඩා කාර්යක්ෂමයි. මෙහිදී කාර්යක්ෂමයි කියන එකෙන් අදහස් වන්නේ දක්ෂකම, මහන්සි වී වැඩ කිරීම වගේ දේවල්ම නෙමෙයි. කාලගුණය, දේශගුණය, පසේ ස්වභාවය ආදී විවිධ හේතු මත නිෂ්පාදන පිරිවැය වෙනස් වෙන්න පුළුවන්.

කහ නිෂ්පාදකයින් දහ දෙනෙකුගේ කහ කිලෝවක නිෂ්පාදන පිරිවැය පහත ආකාරයෙන් වෙනස් වෙනවා කියලා අපි හිතමු.

අමල් - රුපියල් 500යි 

බිමල් - රුපියල් 1000යි 

චමල් - රුපියල් 1500යි 

දිලාන් - රුපියල් 2000යි 

එරාන් - රුපියල් 2500යි 

ෆයිසාල් - රුපියල් 3000යි 

ගයාන් - රුපියල් 3500යි 

හෙක්ටර් - රුපියල් 4000යි 

අයිවන් - රුපියල් 4500යි 

ජෙගන් - රුපියල් 5000යි 

මේ එක් එක් නිෂ්පාදකයාගේ නිෂ්පාදන ධාරිතාව හරියටම කිලෝ 1000 බැගින් බවත්, රටේ සමස්ත කහ ඉල්ලුම කිලෝ 8000ක් ලෙසත් අපි සලකමු. මේ අනුව, ඉල්ලුම හා සැපයුම සමතුලිත වන මිල රුපියල් 4000ක්. එම මිලට ලැයිස්තුවේ හෙක්ටර් දක්වා සිටින අය කහ සපයනවා. අන්තිම දෙන්නා කහ සපයන්නේ නැහැ. එසේ කළොත් ඔවුන්ට පාඩුයි. එහෙත් ඔවුන් නැතුව ඉල්ලුම හා සැපයුම සමතුලිතයි.

හැබැයි මේ වැඩේ වෙන්නේ කහ ආනයනය නොකරනවානම්නේ. අපි හිතමු ආනයනික කහ කිලෝවක මිල රුපියල් 1000ක් කියලා. ඒ මිලට ඕනෑ තරම් කහ සපයන්න පුළුවන්. දැන් වෙළඳපොළේ කහ මිල රුපියල් 1000 දක්වා අඩු වෙනවා. ඒ එක්කම අමල් සහ බිමල් හැර අනෙකුත් සියලුම නිෂ්පාදකයින් වෙළඳපොළෙන් ඉවත් වෙනවා. අමල් හා බිමල් පමණක් තව දුරටත් කහ සපයනවා. දේශීය ඉල්ලුමෙන් 25%ක් පමණක් රට ඇතුළේ හැදෙනවා. ඉතිරි 75% ආනයනය කෙරෙනවා.

ඔහොම තියෙද්දී එකවරම ආනයන තහනම් කළාම මොකද වෙන්නේ? දැන් ඉල්ලුම කිලෝ 8000ක් වුනත් සැපයුම කිලෝ 2000ක් පමණයි. රටේ විශාල කහ හිඟයක් ඇති වෙනවා. අමල් හා බිමල් රුපියල් 7000 දක්වා කහ මිල ඉහළ දමනවා. පාරිභෝගිකයන්ගෙන් යම් පිරිසක් ඒ මිලට කහ මිල දී ගන්නවා. අමල් හා බිමල් සතු කහ ප්‍රමාණය විකිණෙනවා. කහ කිලෝවකට රුපියල් 7000ක් ගෙවන්න සූදානම් නැති පාරිභෝගිකයන්ට කහ ගන්න වෙන්නේ නැහැ. එහෙත් ඉල්ලුම හා සැපයුම සමතුලිතයි.

දැන් ඉහළ ගිය කහ මිල නිසා දිරිමත් වන දිලාන්, ෆයිසාල් වැනි අයත් කහ හදන්න පටන් ගන්නවා. කහ සැපයුම ඉහළ යනවා. අවසානයේදී ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙනවා. එහෙත් මිල රුපියල් 1000 දක්වා පහත වැටෙන්නේ නැහැ. මිල ස්ථාවර වන්නේ රුපියල් 4000 මට්ටමේ. මොකද හෙක්ටර්ට ඊට වඩා අඩුවෙන් කහ සපයන්න බැහැ. හෙක්ටර් කහ සැපයුවේ නැත්නම් ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙන්නේ නැහැ.

මිල අඩු කිරීම සඳහා රජය විසින් සුළු කහ ප්‍රමාණයක් ආනයනය කරන්න ඉඩ දුන්නා කියා කියමු. උදාහරණයක් ලෙස කිලෝ 1000ක්. දැන් වෙන්නේ කුමක්ද?

ආනයනික කහ කිලෝ 1000ක් සැපයෙන නිසා දේශීය ඉල්ලුම කිලෝ 7000 දක්වා අඩු වෙනවා. හෙක්ටර්ට වෙළඳපොළෙන්  ඉවත් වෙන්න සිදු වෙනවා. ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙනවා. කහ කිලෝවක මිල රුපියල් 4000 සිට රුපියල් 3500 දක්වා අඩු වෙනවා. ආනයනකරු විසින්ද එම මිලට කහ විකුණා හොඳ ලාබයක් ලබා ගන්නවා. 

රට ඇතුළේ නිපදවිය හැකි ඕනෑම දෙයක් ආනයන වලින් ආරක්ෂා කළ විට වෙන්නේ ඔය වගේ දෙයක්. ආනයන පාලනය තිබෙන තුරු දේශීය නිෂ්පාදනය ඉහළ යනවා. එහෙත් ඒ සමඟම මිලද ඉහළ යනවා. කොයි වෙලාවක හෝ ආනයන පාලනය ඉවත් කළ වහාම දේශීය නිෂ්පාදකයා වෙළඳපොළෙන් ඉවත් වෙනවා. 

ඩොලරයක මිල රුපියල් 200 සිට 400 දක්වා ඉහළ ගියොත් වෙන්නේ කුමක්ද? 

දැන් ආනයනික කහ කිලෝවක මිල රුපියල් 2000 දක්වා ඉහළ යනවා. ඒ එක්කම චමල්ට හා එරාන්ටද වෙළඳපොළ අවස්ථාවන්  හිමි වෙනවා. ආනයන ආවා කියා ඔවුන්ව වෙළඳපොළෙන් ඉවත් කෙරෙන්නේ නැහැ. දැන් දේශීය ඉල්ලුමෙන් 50%ක් රට ඇතුළේ හැදෙනවා. ආනයනය කෙරෙන්නේ 50%ක් පමණයි. එයට අනුරූපව වෙළඳ හිඟය පහළ යනවා. ආනයන පාලනයේදී මෙන් නොව මෙය ස්ථිර තත්ත්වයක්.

Monday, December 28, 2020

මැදවච්චි නොයන කිලිනොච්චි හරක්



ඉහත ඡායාරූප හා තොරතුරු උපුටා ගත්තේ කිලිනොච්චිහි ජීවත්වන මාධ්‍යවේදියෙකු ලෙස තමන්ව හඳුන්වාදෙන තමිල්සෙල්වන් මුරුගයියාගේ වත්පොත් පිටුවෙන්. මා ඔහුව පෞද්ගලිකව හඳුනන්නේ නැහැ. 

මුරුගයියා කියන විදිහට මේ වෙද්දී කිලිනොච්චි හරක් සාගින්නෙන් මිය යමින් සිටිනවා. ඡායාරූප වල දැකිය හැකි හරකුන්ගේ අයිතිකරු සුවේන්ද්‍රන් නමැත්තෙක්. ඔහුගේ පියා එළු තංගවේල් එහෙමත් නැත්නම් හරක් තංගවේල් ලෙස කවුරුත් දැන සිටි, හරක් දහස් ගණනක් අයිතිව සිටි කෙනෙක්ලු. 

මේ හරක් කාලයක් තිස්සේම පොදු ඉඩම් වල තණකොළ උලා කමින් ජීවත්ව තිබෙන බවයි පෙනෙන්නට තිබෙන්නේ. කිලිනොච්චි ඉඩම් වගා බිම් ලෙස සංවර්ධනය වෙද්දී හරකුන්ට තණකොළ කන්න තිබෙන ඉඩම් ටිකෙන් ටික අඩු වෙලා. හරක් තැන් තැන් වල වගා පාළු කරන විට එහි වගකීම අයිතිකරුට ගන්න වීමේ අවසන් ප්‍රතිඵලය විදිහට හරකුන්ට බඩගින්නේ ඉන්න වෙන එකයි වෙලා තියෙන්නේ. දැනටම හරක් අට දෙනෙක් මැරිලලු.

කිලිනොච්චි දිස්ත්‍රික්කය මඩකලපුව, අම්පාර, වවුනියාව, අනුරාධපුර, මන්නාරම, කුරුණෑගල හා අනුරාධපුර දිස්ත්‍රික්ක වලින් පසුව ලංකාවේ වැඩිම හරක්ගහණයක් සිටින දිස්ත්‍රික්කයයි. ඉහත කී අනෙකුත් දිස්ත්‍රික්ක වලට සාපේක්ෂව පසුගිය වසර වලදී කිලිනොච්චි දිස්ත්‍රික්කය තුළ මස් පිණිස හරක් මරා තිබෙන්නේ ඉතාම අඩුවෙන්. 

එහෙම වුනා කියා කිලිනොච්චි හරක්ගහණය අනෙකුත් දිස්ත්‍රික්ක වලට වඩා වේගයෙන් වර්ධනය වී නැහැ. කිරි නිෂ්පාදන කාර්යය තුළ ඵලදායී නොවන කිලිනොච්චි හරක් එම දිස්ත්‍රික්කය තුළදී මස් වුනේ නැතත් වෙනත් දිස්ත්‍රික්කයකදී මස් වුනු බව විශ්වාස කරන්න අමාරු නැහැ. සමහර විට කිලිනොච්චි හරක් මැදවච්චියේදී මස් වෙන්න ඇති!

මාස කිහිපයකට පෙර ආණ්ඩුව විසින් මස් පිණිස හරක් මැරීම තහනම් කිරීමට තීරණය කළා. ආණ්ඩුවේ ඉලක්කය ලෙස සඳහන් කළේ රට තුළ හරක්ගහණය වර්ධනය කර ගැනීමයි. ලංකාව වැනි රටේ ජනගහණයට සාපේක්ෂව සීමිත වගා ඉඩම් ප්‍රමාණයක් ඇති රටක වී වවන්න තිබෙන්නේත්, බඩ ඉරිඟු වවන්න තිබෙන්නේත්, කහ වවන්න තිබෙන්නේත්, හරකුන්ට තණකොළ කන්න තියෙන්නේත් ඔය තියෙන සීමිත ඉඩම් ටිකේ. ලංකාවේ කෘෂිකර්මය දියුණු කළ හැක්කේ රටේ තිබෙන ඉඩම් ප්‍රමාණයේ සීමාව තුළයි.

මස් පිණිස නොමැරෙන හරකුන්ගේ අවසන් ඉරණම සාගින්නෙන් මැරෙන එකද?

Sunday, September 20, 2020

හතරවෙනි 25%?


මෑතකදී දිලිත් ජයවීර විසින් ව්‍යවසායකත්වය පිළිබඳ බෞද්ධ අදහස ගැන හෝ ඊට සමාන දෙයක් ගැන කතා කර තිබුණා. මේ කතාවේ පදනම සිඟාලෝවාද සූත්‍රයේ සඳහන් බුදු හිමියන් විසින් සිඟාලකට දුන් අවවාද අතර තිබෙන පහත කොටසයි.

ඒකේන භෝගේ භුඤෙජය්‍ය

ද්වීහි කම්මං පයෝජයෙ

චතුත්ථංච නිධාපෙය්‍ය

ආපදාසු භවිස්සති

මේ ගාථා ඛණ්ඩය අර කාලාම සූත්‍රයේ ජනප්‍රිය පාඨය වගේම අධිනිශ්චය වී ඇති පාඨයක්. පුද්ගලයෙක් තමන්ගේ ආදායම වැය කළ යුත්තේ කොහොමද කියා උගන්වන එක බුදු හාමුදුරුවන්ගේ ඉලක්කයක් වුනේ නැහැ. බුදු හාමුදුරුවන් ඉලක්ක කළේ හාත්පසින්ම වෙනස් දෙයක්. ඒ අතරේ බුදු දහමේ මූලික කරුණු වලට අදාළ නැති වෙනත් අවශේෂ කරුණු ගැන සඳහන් කළ මෙවැනි අවස්ථාද තිබෙනවා. ඒවාට ඕනෑවට වඩා බරක් දැමිය යුතු නැති බව බොහෝ බෞද්ධයින් විසින් පිළිගනු ඇතැයි මා සිතනවා. කොහොම වුනත් අපේ කතාවට ප්‍රවේශයක් විදිහට අපි මේ ගාථා ඛණ්ඩය යොදා ගනිමු.

දැන් මෙහි කියන ආකාරයට කිසියම් පුද්ගලයෙක් විසින් තමන්ගේ ආදායම කොටස් හතරකට බෙදා එයින් එක් කොටසක් පරිභෝජනය කළ යුතුයි. කොටස් දෙකක් කර්මාන්තයෙහි ආයෝජනය කළ යුතුයි. හතරවන කොටස හදිසි ආපදාවකදී ප්‍රයෝජනයට ගැනීම සඳහා නිදන් කළ යුතුයි. දිලිත් ජයවීර කියන විදිහට ඔහු සාර්ථක වී තිබෙන්නේ මේ ක්‍රමය අනුගමනය කරලා. ඔහු එසේ කියනවානම් මට ඔහුගේ ඒ ප්‍රකාශයට විරුද්ධ වීමේ හැකියාවක් නැහැ.

සිඟාලෝවාද සූත්‍රය අනුව බුදු හිමියන් විසින් මේ අවවාදය දී තිබෙන්නේ එක් නිශ්චිත පුද්ගලයෙක්ටයි. මෙහි සඳහන් 1:2:1 අනුපාතය සිඟාලකගේ ආදායම් මට්ටම අනුව ප්‍රශස්තම අනුපාතය වෙන්න පුළුවන්. සමහර විට මේ අනුපාතය දිලිත් ජයවීරටත් ගැලපෙනවා වෙන්න පුළුවන්. නමුත්, එම අනුපාතය ඕනෑම කෙනෙකුට හරියනවාද නැද්ද කියා අපට කියන්න බැහැ. බුදු හිමියන් විසින් මෙහි කර තිබෙන්නේ එවැනි සාධාරණ ප්‍රකාශයක් කියා කියන්න අපට සාධක නැහැ. 

කොහොම වුනත් මට කතා කරන්න අවශ්‍ය කරුණ එය නෙමෙයි. මෙහි පළමු කොටස ඉතා පැහැදිලිවම පරිභෝජන වියදම්. දෙවන කොටස ආයෝජන වියදම්. එතකොට හතරවෙනි කොටස කුමක්ද? දිලිත් ජයවීර තේරුම් අරගෙන තිබෙන ආකාරයටනම් බුදු හාමුදුරුවෝ කියල තියෙන්නේ හතරවෙනි කොටසත් ආයෝජනය කරන්න කියලයි. ඒ කියන්නේ, 25%ක් පරිභෝජනය කරලා 75%ක් ආයෝජනය කරන්න කියලා. එහෙමනම්, ඒ බව කෙළින්ම නොකියා හතරවෙනි කොටසක් ගැන වෙනම කතා කරන්නේ ඇයි? 

මෙහි කියැවෙන හතරවන පංගුව තවත් ආයෝජනයක් නෙමෙයි. එය හරියටම එම ගාථා ඛණ්ඩයෙන් කියැවෙන දෙයමයි. එය හදිසි ආපදාවකදී ප්‍රයෝජනයට ගැනීම සඳහා නිදන් කරන කොටසක්. අද ලෝකයේ ව්‍යාපාරික භාෂාවෙන් කියනවානම් රක්ෂණ වාරිකයක්. 

රක්ෂණ වාරිකයක් කියා කියන්නේ එක පැත්තකින් බැලුවොත් පරිභෝජන වියදමක් හෝ ආයෝජන වියදමක් නෙමෙයි. අනෙක් පැත්තෙන් බැලුවොත් පරිභෝජන වියදමක් වගේම ආයෝජන වියදමක්. පරිභෝජන වියදමක් කියන්නේ තමන්ගේ ආදායමෙන් තමන්ගේ මේ මොහොතේ සතුට වෙනුවෙන් වැය කර අවසන් කරන කොටසක්. එයින් වෙනත් අනාගත ප්‍රතිලාභ ලැබෙන්නේ නැහැ. ආයෝජන වියදමක් කියා කියන්නේ අනාගත ප්‍රතිලාභ අපේක්ෂාවෙන් අද වැය කරන මුදලක්. අනාගතයේදී එම අපේක්ෂිත ප්‍රතිලාභ නොලැබී යාමේ අවදානමක්ද තිබෙනවා. 

රක්ෂණ වාරිකයක් කියන්නේ අවදානමක් අරගෙන කරන ආයෝජනයක් නෙමෙයි. අනාගත අවදානම් වල හානිය අවම කර ගැනීම සඳහා වෙන් කර තබා ගන්නා මුදලක්. මේ කොටස ආයෝජන කොටස මෙන් දිගින් දිගටම සමුච්ඡය වන කොටසක් නෙමෙයි. නමුත්, පරිභෝජන කොටස මෙන් කිසිසේත්ම සමුච්ඡය නොවන කොටසක්ද නෙමෙයි. කෙටිකාලීනව සමුච්ඡය වන එහෙත් දිගුකාලීනව සමුච්ඡය නොවන කොටසක්. ආයෝජන කොටස දිගින් දිගටම සමුච්ඡය වීම සඳහා මෙවැනි සිවුවන කොටසක් අනිවාර්යයෙන්ම පවත්වා ගත යුතුයි. දිගුකාලීනව පරිභෝජන කොටස ටිකෙන් ටික වර්ධනය කර ගැනීම සඳහා ආයෝජන කොටස දිගින් දිගටම සමුච්ඡය විය යුතුයි. මේ අනුව, දිගුකාලීනව පරිභෝජනය වැඩි කර ගැනීම සඳහා ඉහත හතරවන කොටස අනිවාර්යයෙන්ම අවශ්‍යයි. 

ලංකාවේ ගොවියාගේ ප්‍රශ්නය ආයෝජන කොටස පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. එය මූලික වශයෙන්ම හතරවන කොටස පිළිබඳ ප්‍රශ්නයක්. 

පොදුවේ ගත් විට ලංකාවේ ගොවීන් පාඩු ලබන්නේ නැහැ. ඔවුන්ට තමන්ගේ පරිභෝජන වියදම් හැර සැලකිය යුතු මුදලක් ඉතිරි කරගත හැකිවාක් මෙන්ම ඔවුන් එම මුදල ආයෝජනය කරනවා. ඒ කියන්නේ ඔවුන් අපේක්ෂිත අනාගත ප්‍රතිලාභ වෙනුවෙන් අවදානමක් ගන්නවා. බොහෝ විට එම අපේක්ෂිත ප්‍රතිලාභ ලැබෙනවා. එහෙත් සමහර වෙලාවට අවදානම මතු වෙනවා. එවිට ගොවියන් අන්ත අසරණ තත්ත්වයකට පත් වෙනවා. ගොවියන් ගැන මූලිකවම කතා කළත් මෙය වෙනත් ව්‍යවසාය වලටත් අදාළයි.

ඇතැම් විට බොහෝ ලාංකිකයින් ව්‍යවසායකයින් සේ අසාර්ථක වීමට හේතුව, දිලිත් ජයවීර කියනාවක් මෙන්, ආයෝජන භාගය ප්‍රමාණවත් නොවීම වෙන්න පුළුවන්. එහෙත්, දිලිත්ගේ ප්‍රකාශය හරහා මතුවන වැරදි අදහස ආයෝජන භාගය වැඩි කරන තරමට ප්‍රතිලාභද වැඩි වන බවයි. ඇතැම් අය හා අදාළව "වාසනාවට" එසේ විය හැකි වුවත්, අධි-ආයෝජනය යනු සූදුවක්. එය හානිකරයි. ආයෝජනයේ ප්‍රතිලාභ ලබාගත යුතු අතරම අවදානම් කලමණාකරණය කර ගැනීමද ඉතා වැදගත්. ඒ නිසා අන්තිම හතරෙන් පංගුව කිසිසේත්ම ආයෝජනය කළ යුතු නැහැ.

කෘෂිකර්මය ගත්තොත් කෘෂිකාර්මික ව්‍යවසායකයෙකු මුහුණ දෙන ප්‍රධාන අවදානම් දෙකක් තිබෙනවා. පළමුවැන්න වගා හානි අවදානමයි. වියලි කාලගුණය, අධික වර්ෂාව, සේනා දළඹුවන් වැනි කෘමි උවදුරු, වල් අලි වැනි සතුන් වගාව විනාශ කිරීම ආදිය උදාහරණ සේ පෙන්වන්න පුළුවන්. ආයෝජන වැඩි කළ පමණින් මෙවැනි හානි දුරු වන්නේ නැහැ. දෙවන අවදානම මිල පහත වැටීමේ අවදානමයි. බොහෝ විට මිල පහත වැටෙන්නේ අස්වනු ඉහළ යාමට සමාන්තරවයි. අස්වනු ඉහළ යද්දී දැනෙන සතුට මිල දැනගත් වහාම නැති වී යනවා.

මේ අවදානම් වල හානිය අවම කර ගත හැකි ධනවාදී විසඳුම රක්ෂණයයි. වගා හානි රක්ෂණ හා මිල හානි රක්ෂණ ප්‍රචලිතව ඇත්නම් ගොවීන්ගේ ජීවිත අදට වඩා බොහෝ සැපවත් වෙනවා. සිඟාලකගේ යුගයට ගියොත්, ගොවීන්ට මේ හානි අවම කර ගත හැකි වූයේ තමන්ගේ ආදායමෙන් හතරෙන් එකක් නැවත ආයෝජනය නොකර, පරිභෝජනයද නොකර, නිදන් කර තබා ගැනීමෙනුයි. වසර හතරක් මෙසේ කළ විට තමන්ගේ වාර්ෂික ආදායමට සමාන කොටසක් පැත්තක එක්රැස් වෙනවා. ඒ නිසා, වසර හතරකට වරක් තමන්ගේ අපේක්ෂිත ආදායම නැත්තටම නැති වී ගියත් ඒ හේතුව නිසා ගොවියාගේ සාමාන්‍ය පරිභෝජන මට්ටම පහළ බහින්නේ නැහැ. ආයෝජන අඩුවී ප්‍රාග්ධන සංචිතය වර්ධනය වීම නවතින්නේත් නැහැ. වට්ටක්කා විකුණා ගන්න බැරි වුනා කියා හෝ හේනට අලි ගැහුවා කියා හෝ වගා ණය ගෙවන්න විදිහක් නැහැ කියා රජයට බැගෑපත් වෙන්න හෝ කණේරු ඇට කන්න අවශ්‍ය වෙන්නේ නැහැ.

වගා හානි රක්ෂණ හා මිල හානි රක්ෂණ හරහා තමන්ගේ අවදානම් කළමනාකරණය කර ගත හැකි බව අවබෝධ කර ගැනීමට ගොවීන්ට කාලයක් යන්න පුළුවන්. එතෙක්, රජයට මැදිහත් වී යම් දිරිගැන්වීමක් කළ හැකියි. ඇමරිකාවේ රජය විසින් ගොවීන් සුබසාධනය කරන ප්‍රධානම ආකාරය වගා හානි රක්ෂණ හා මිල හානි රක්ෂණ සඳහා ගෙවිය යුතු වාරික මුදල් වලින් කොටසක් සුබසාධනය කිරීමයි. 

ලංකාවේ තිබෙන වී සඳහා වන සහතික මිල ක්‍රමයෙන් කෙරෙන්නේද මිල හානි අවදානම අඩු කරන එකයි. මෙහි ඇති ගැටළුව රජයට සහතික මිලට මිල දී ගත හැකි වී ප්‍රමාණය රජය සතු ගබඩා පහසුකම් ධාරිතාවට සීමා වීමයි. වී ගොවියන්ගෙන් සහතික මිලට වී මිලදී ගන්නවා වෙනුවට ඔවුන්ට වෙළඳපොළ මිලට වී විකුණන්නට ඉඩ හැර ඒ හේතුව නිසා සිදුවන පාඩුව රජය විසින් ප්‍රතිපූරණය කරනවානම් මේ ප්‍රශ්නය මතු වන්නේ නැහැ. මේ ක්‍රමය තක්කාලි හෝ වට්ටක්කා වැනි වෙනත් ඕනෑම වගාවක් සඳහාද ක්‍රියාත්මක කළ හැකියි. මෙහිදී පිරිවැය ආවරණය කර ගැනීම සඳහා ගොවීන්ට රක්ෂණයක් විකිණිය හැකියි. එවිට එම රක්ෂණ වාරිකයේ වියදමද ඔවුන්ගේ සාමාන්‍ය වියදම් වලම කොටසක් බවට පත් වෙනවා. කාලයක් යද්දී රජයේ මැදිහත්වීමක් නැතිවම රක්ෂණ වෙළඳපොළ ක්‍රියාත්මක වෙයි.

Saturday, May 30, 2020

ආච්චිට හාල් ගරන්න වී මෝලක්!


ලංකාවේ පැවති ගම් මට්ටමේ ස්වයංපෝෂිත ආර්ථිකය ගැන අපි පෙර ලිපියකින් කතා කළා. ඇත්තටම ලෝකයේ හැම රටකම වගේ යම් කාලයකදී තිබෙන්න ඇත්තේ ඔය ආකෘතියේ ස්වයංපෝෂිත ආර්ථිකයක්. වවපු බෝග විතරයි වෙනස් වෙන්න ඇත්තේ. ලංකාවේ මේ ආකෘතියට ආසන්නව තිබුණු ගම් මට මතක ඇති කාලයේත් තිබුණා.

මේ වගේ ගමක සාමාන්‍ය ගෙදරක බොහෝ විට කොස් ගහක්, පොල් ගස් කිහිපයක්, කෙසෙල් පඳුරු කිහිපයක් එහෙමත් තිබුණා. ඒවාට අමුතුවෙන් සාත්තුවක් කෙරුණේ නැහැ.

දැන් අපි කලින් ලිපිය අවසානයේදී අහපු ප්‍රශ්නයට එමු.

ලංකාවට ඉංග්‍රීසින් විසින් තේ හා රබර් හඳුන්වා දෙන විට සහශ්‍ර තුනක පමණ කාලයක් තිස්සේ පැවති වී වගාව ආශ්‍රිත කෘෂිකර්මාන්තයක් ලංකාවේ තිබුණා. එහෙම තියෙද්දී ඉංග්‍රීසින් විසින් අපනයන කර්මාන්තයක් ලෙස වී වගාව දියුණු නොකර ලංකාවේ නොතිබුණු තේ හා රබර් වගා කරමින් අවදානමක් ගත්තේ ඇයි? අඩු වශයෙන් දේශීය පරිභෝජනය සැපිරිය හැකි  තරමට වී ගොවිතැන දියුණු නොකර වී හෝ සහල් ආනයනය කරන්න පෙළඹුණේ ඇයි?

මේ ප්‍රශ්නයට පිළිතුරු ලෙස සංස්කෘතික හෝ දේශපාලන හේතු ඉදිරිපත් කරන්න පුළුවන්. කවුරු හෝ එවැනි හේතු ඉදිරිපත් කළොත් මම ඒවා ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. එහෙත්, මෙය මෙසේ වෙන්න පැහැදිලි ආර්ථික හේතු තිබෙනවා. ලංකාවේ අනාදිමත් කාලයක් තිස්සේ වැවුණු වී රටට ආනයනය කරන වටපිටාවක් හැදෙන්නත්, එවැනිම කෘෂිකාර්මික බෝගයක් වූ පොල් ප්‍රධාන අපනයන බෝගයක් වෙන්නත් ආර්ථික සාධක බලපෑවා.

හාල් සඳහා රට ඇතුළේ විශාල ඉල්ලුමක් තිබුණා. එහෙත් අර මුලින් කී ස්වයංපෝෂිත ඒකක ඇතුළේ පිටට දිය හැකි වී අතිරික්තයක් නිෂ්පාදනය වුනේ නැහැ. කන්නයක් අවසානයේ වී අස්වැන්න වී බිස්සට හෝ අටුවට ගියා. ඉන් පසුව ටිකෙන් ටික අඩු වුනා. වී බිස්ස හිස් වේ ගෙන එන කොට මිනිස්සු කොස් දෙල් බතල වලට බැහැලා වී ටික පරිස්සම් කර ගත්තා. එක දිගට අස්වනු හොඳ වූ විට වී බිහි, අටු කොටු පිරුණා. එක දිගට අස්වනු පාළු වෙන කොට වී බිහි හිස් වෙලා වෙන මොනවා හෝ දෙයක් හොයා ගෙන කන්න වුනා. නැත්නම් බඩගින්නේ ඉන්න වුනා. මේ වගේ තත්ත්වයක් තියෙද්දී පිටට වී විකුණන්න පුළුවන්කමක් තිබුණේ නැහැ.

ඔය තත්ත්වයේ තිබුණු ලංකාවේ වී ගොවිතැන ගොඩ දමන්නනම් පසුකාලීනව කළා වගේ වියලි කලාපය සංවර්ධනය කර මිනිස්සු පදිංචි කරවීම වගේ සංකීර්ණ වෙනසක් ක‍රන්න වෙනවා. නමුත්, ඒ වෙනුවෙන් මුදල් හා කාලය වැය කරනවාට වඩා පහසුවෙන් හා අඩු වියදමකින් කලාපයේ වෙනත් රටකින් සහල් ආනයනය කරන්න පුළුවන්කම තිබුණු නිසා ඉංග්‍රීසින්ට එවැනි වැඩකට අතගහන්න අවශ්‍ය වුනේ නැහැ. වී ගොවිතැන සඳහා ලංකාවට වඩා වාසිදායක තත්ත්වයන් කලාපයේ වෙනත් රටවල තිබුණා.

ඉංග්‍රීසීන් විසින් වැඩේ අත ඇරියේ සොයා බැලීමක් නොකර නෙමෙයි. ඔවුන් මී හරකුන් ආනයනය දක්වා විවිධ දේවල් අත් හදා බලා තිබෙනවා. නමුත්, ඒ වැඩෙන් මී හරකුන්ට වූ තරම්වත් යහපතක් වී ගොවීන්ට වුනාද කියන එක සැකයි. ආනයනය කරපු සමහර මී හරක්නම් කැලේට හරි පැනගත්තා.

ඇත්තටම ලන්දේසි කාලයේදී පවා ලංකාවේ වී ගොවිතැන ගොඩදාන්න උත්සාහ කර තිබෙනවා. පැරණි වී අමුණු ප්‍රතිසංස්කරණය, ඉන්දියාවෙන් ශ්‍රමිකයින් රැගෙන ඒම, වී වැපිරීම වෙනුවට පැල හිටවීම හඳුන්වා දීම වගේ බොහෝ දේ කරමින් ඒ කාලයේදීත් උත්සාහ කර ඇති බවට වාර්තා ඇතත් වැඩේ සාර්ථක වී නැහැ. බෙංගාලය, සුමාත්‍රා වාගේ පැති වල එකට විස්සක හෝ තිහක අස්වැන්නක් ලැබෙද්දී ලංකාවේ වී අස්වැන්න එකට හයකට හෝ දොළහකට වඩා වැඩි වී නැහැ.

එක පැත්තකින් මෙයට සමාජය සංවිධානය වී තිබුණු ආකාරයත් සැලකිය යුතු තරමකින් බලපානවා. ගණුදෙනුවක පාර්ශ්ව දෙකම මිනිසුන් වශයෙන් සමාන සේ නොසැලකේනම් ගනුදෙනු සිදු වුවත් ඒවා නිදහස් ගනුදෙනු නෙමෙයි. එක පාර්ශ්වයකට මිල තීරණය කිරීමේ බලය වැඩියි. ඒ වගේම, වැඩියෙන් ප්‍රාග්ධනය රැස් කළා කියලා සමාජ ධුරාවලියේ ඉහළට යන්න පුලුවන් කමක් නැත්නම් තමන් දැනට ඉන්න තත්ත්වය පවත්වාගත හැකි යමක් ලැබීම ප්‍රමාණවත්. ඊට වඩා මහන්සි වී ප්‍රාග්ධනය එක්රැස් කරගත්තා කියලා කොහොමටත් උඩට යන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා, පැල හිටවන්න මහන්සි නොවී වී ටික ඉහලා දාලා ගෙදර ඇවිත් බුලත් විටක් හපලා නිදාගන්න එක සැපයි.

වී ගොවිතැනේදී ලංකාව සතු නොවූ සාපේක්ෂ වාසිදායක තත්ත්වය පොල් වගාවේදී තිබුණා. ඒ වගේම පොල් සඳහා බාහිර ඉල්ලුමක්ද තිබුණා. ඒ නිසා, පොල් ලංකාවේ අපනයන බෝගයක් බවට පත් වුනා. කොස් දෙල් කෙහෙල් වගේ දේවල් වී හා පොල් මෙන් කල් තබාගත හැකි නොවූ නිසා ඒවා ආනයන හෝ අපනයන බවට පත් වුනේ නැහැ. මේ දේවල් වලට හාල් පොල් වලට වගේ විදේශ ඉල්ලුමක් තිබුණෙත් නැහැ.

ලංකාවේ පැරණි ස්වයංපෝෂිත ආර්ථිකය ක්‍රමයෙන් වාණිජකරණය වෙද්දී පැරණි සමාජ ධුරාවලිය ක්‍රමයෙන් බිඳ වැටෙමින් අලුත් ඉඩම් හිමි ධනවතුන් බිහි වෙන්න පටන් ගත්තා. මේ ධනවතුන් බොහෝ විට බිහි වුනේත් පොල් වගාව ආශ්‍රිතව මිසක් වී වගාව ආශ්‍රිතව නෙමෙයි.

ලංකාවට නිදහස ලැබෙන විට ලංකාවේ සහල් ඉල්ලුමෙන් විශාල කොටසක් ආනයනය කරන්න සිදු වී තිබුණා. එහෙත්, තේ, රබර්, පොල් අපනයනය කර ලැබූ විදේශ විණිමය ප්‍රමාණවත් වූ නිසා මේ වැඩේ අවුලක් තිබුණේ නැහැ. නිදහස ලැබී ටික කාලයක් යද්දී ලංකාවේ අපනයන වල මිල එසේම තිබියදී ආනයන මිල ඉහළ යාම නිසා ගෙවුම් ශේෂ හිඟයක් ඇති වී එම හිඟය ටිකෙන් ටික උග්‍ර වෙන්න පටන් ගත්තා. රජය මගින් ලබා දුන් සහල් සලාකයේ බරපැන ඉහළ යාම නිසා ආනයනික සහල් මිල ඉහළ යාම ගෙවුම් ශේෂ හිඟයට අමතරව රජයේ අයවැය හිඟයද ඉහළ යවන්න හේතු වුනා.

ලංකාව මේ වගේ ප්‍රශ්නයක පැටලුනේ නිදහස ලැබෙද්දී උරුම වූ තේ, පොල්, රබර් ආර්ථිකයේ දිගටම හිර වී සිටි නිසයි. නිදහස ලැබූ අලුතම අපනයන විවිධාංගීකරණය හා කාර්මීකරණය ගැන බරපතල ලෙස හිතුවානම් අපනයන වියදම් ඉහළ යද්දී ආනයන වියදම්ද සමාන්තරව ඉහළ යා හැකිව තිබුණා. ඉංග්‍රීසීන් දිගටම රට පාලනය කළානම් ඔවුන් බොහෝ විට කල් තියාම මේ වැඩේ කරනවා. නමුත්, නිදහස් ලංකාව ඊට වඩා බර තැබුවේ ආනයන ආදේශනය වෙතයි.

වී ගොවිතැන නගා සිටුවීම කෙරෙහි නිදහස් ලංකාවේ හැම ආණ්ඩුවකින් වගේම විශේෂ අවධානයක් යොමු වුනා. ආර්ථික සාධක  වලට වඩා චිත්තවේගීය සාධක එයට මුල් වුනා. අජිත් පැරකුම්ගේ වචන වලින් කියනවානම් ලංකාවේ බලයේ සිටි හා නොසිටි දේශපාලන පක්ෂ විසින් වී ගොවිතැන නැංවීමේ ලේබලය ගහගෙන දිගින් දිගටම කළේ ලාංකිකයාගේ මානසික කිරිපල්ල අතගාන එකයි.

වී ගොවිතැන වෙත විශාල ලෙස සම්පත් යෙදවීමේ වාසිය ලබමින් රටේ වී වවන බිම් ප්‍රමාණය වගේම අක්කරයකින් ලැබිය හැකි වී ප්‍රමාණයත් වසරින් වසර ඉහළ ගියා. එයට සමාන්තරව රටේ සහල් ආනයන අවශ්‍යතාවය ටිකෙන් ටික පහත වැටුණා. මහවැලි ගොවි බිම් වල වී අස්වනු රටේ සමස්ත වී නිෂ්පාදිතයට එකතු වීමෙන් පසුව 1982 පමණ වන විට ලංකාව රටේ සහල් පරිභෝජන අවශ්‍යතාවය රට තුළින්ම සපුරා ගත හැකි තත්ත්වයකට පත් වුනා.

මේ කාලය වෙද්දීත් ලංකාවේ මා පෙර කතා කර ඇති ස්වයංපෝෂිත ගම් තිබුණා. විශේෂයෙන්ම තෙත් කලාපයේ වී ගොවිතැන සිදු කෙරුණේ වාණිජ පදනමකින් නෙමෙයි. දැනට වුවත් මේ තත්ත්වයේ ලොකු වෙනසක් නැහැ.

හැත්තෑව දශකයේදී මට සමීප ඇසුරක් තිබුණු බොහෝ නිවෙස් වල තමන්ගේම කුඹුරකින් ලබා ගත් වී සංචිත තිබුණා. මේ වී සහල් කිරීමේ ක්‍රියාවලිය පටන් ගත්තේ ගෙදරින්මයි. ලොකු හැළියක වී තැම්බීමෙන් පසුව මිදුලේ මාගල් එළා අව්වේ වී වේලුවා. වැස්ස එනකොට හනිකට වී ගෙට ගන්න ඕනෑ. ආනන්ද සමරකෝන් විසින් ලියපු ජනප්‍රිය ගීයකත් කියන්නේ ඔය කතාවනේ.

අක්කේ වී පැදුරත් මිදුලේ
අකුලා ගෙට ගන්නේ ..//
අම්මත් අර නා ගෙන එන්නේ //
මල්ලි තවම කුඹුරේ //

සුළං තදයි විදුලියද කොටයි හෙණ හඬ පැතිරෙයි
මහ වලාකුළක් මේ එන්නේ...

ඔය විදිහට තම්බා වේලා ගන්නා වී සමහර වෙලාවට ගෙදර වංගෙඩියේ කොටලා, කුල්ලෙන් පොලලා හාල් කර ගත්තා. හුණු සාලුත් එකතු වෙනවා. කිරිබත් එහෙම හදාගන්න වී තම්බන්නේ නැතුව කැකුලෙන් කෙටුවා. හැබැයි ඔය කාලේ වෙද්දී ගොඩක් ගම් වලට ආසන්න කඩ මණ්ඩියක වී මෝලකුත් තිබුණා. ගෙදර තම්බා වේලා ගන්නා වී මෝලේ ගන්නත් පුළුවන්කම තිබුණා. සමහර වෙලාවට මෝලේ ගාස්තුව වී හෝ හාල් වලින්ම ගෙවන්නත් පුළුවන්කම තිබුණා. මමත් ඕනෑ තරම් වී ගෝනි ඔලුවේ තියාගෙන වී මෝල් වලට ගෙනිහින් හාල් කරගෙන ඇවිත් තියෙනවා.

හැත්තෑ ගණන් වලදී බොහෝ විට ගෙදර වී ඉවර වෙන කොට කඩෙන් මිල දී ගත්තේ රට හාල්. පස්සේ පස්සේ කඩවලට වියලි කලාපයෙන් හාල් එන්න පටන් ගත්තා. මේ හාල් වල අප්‍රසන්න ගඳක් තිබුණා. එයට හේතුව වී තිබුණේ තම්බන්නේ නැතිව ටැංකියක දමා වී පල් කරන එක කියලා ඒ දවස් වල අහලා තිබුනත් එහෙම එකක් දැක්කේ වසර ගණනකට පසුවයි. මම හිතන විදිහට වියලි කලාපයේ වුනත් මුල් කාලයේදී මෝලකින් වී කොටාගන්න ඇත්තේ ගෙදර පරිභෝජනය සඳහා වෙන්න ඇති.

ඔය පොඩි වී මෝල් වලින් මුල් කාලයේ කළේ යැපුම් කෘෂිකර්මයේ නිරතව සිටි මිනිසුන්ගේ වංගෙඩියට හා මෝල්ගහට ආදේශකයක් වෙමින් වී කොටන රාජකාරිය කරන එක පමණයි. වී කෙටීම සඳහා ගාස්තුව විදිහට එකතු කරගත් හාල් ඔය වගේ මෝලකින් මිල දී ගන්නත් පුළුවන්කම තිබුණා. ඊට අමතරව මේ වගේ වී මෝල් හිමියන් විසින් වී මිල දී ගෙන පසුව විකිණීමක් කළේ නැහැ.


ගෙදර වී වලින් කොටා ගත් හාල් වුනත්, කඩේ හාල් වුනත් ඔය හාල් ලිපේ තියන්න කලින් මුලින්ම වී අහුලන්න ඕනෑ. ඊට පස්සේ ගරන්න ඕනෑ. නෑඹිලියක් උපයෝගී කර ගනිමින් හාල් ගරන එකත් පුහුණුවක් අවශ්‍ය කලාවක්. පුහුණුව නැති කෙනෙක් හාල් ගැරුවොත් කාලා හමාරයි. ඒ නිසා, තමන්ට හරියට හාල් ගරන්න බැරිනම් ආච්චිට හාල් ගරන්න කියන්න වෙනවා.

මම හිතන විදිහට අරලිය ආකෘතියේ පෞද්ගලික වී මෝල් ව්‍යාප්ත වෙන්න පටන් ගත්තේ අනූව දශකය එළැඹෙන්න ආසන්නවයි. කඩෙන් ගෙනාපු හාල් වතුර දමා කෙළින්ම ලිපේ තියන එක ඒ කාලයේ හැටියට සුවිශේෂී අත්දැකීමක්. අරලිය ආකෘතිය දක්වා පරිණාමය වුනේ කලින් යුගයේ ගම් වල තිබුණු කුඩා පරිමාණයේ වී මෝල් වුවත් මේ අලුත් ආකෘතියේ වී මෝල් වලින් ඉටු කරපු ආර්ථික කාර්යය අර පරණ වී මෝල් වලින් කරපු දෙයම නෙමෙයි. පරණ වී මෝල් වලින් කළේ වංගෙඩියේ දමා මෝල්ගහෙන් වී කොටන එකට විකල්පයක් සැපයීමයි. එහෙත්, මේ අලුත් ආකෘතියේ වී මෝලක ආර්ථික කාර්ය භාරය වී කෙටීමට සීමා වී නැහැ.

මේ අලුත් ආකෘතියේ වී මෝලකින් වී-සහල් සැපයුම් දාමය ඇතුලෙ කරන කටයුතු කිහිපයක්ම තිබෙනවා. පළමුව, කෙළින්ම ගොවියාගෙන් හෝ අතරමැදියෙකු හරහා වී මිල දී ගැනීම. දෙවනුව, මේ මිල දී ගන්නා වී සුරක්ෂිතව ගබඩා කර තබා ගැනීම. තෙවනුව, වී සහල් බවට පත් කිරීම. අවසාන වශයෙන්, සහල් තොග වෙළෙන්දන් වෙත ප්‍රවාහනය කිරීම. ඔය කටයුතු හතරෙන් සම්ප්‍රදායික වී මෝල් හිමියෙකු විසින් කළේ තෙවන කටයුත්ත පමණයි. ඒ නිසා, අරලිය ව්‍යාපාරය වගේ ව්‍යාපාර වී මෝල් ලෙස හඳුන්වන එකේම වැරැද්දක් තිබෙනවා. වී මෝල් හිමියාගේ ලාබ පාඩු හෝ ඒකාධිකාර ගැන කතා කරන්න කලින් පළමුව මේ වෙනස නිවැරදිව විග්‍රහ කරගෙන තේරුම් ගත යුතුයි.

ලංකාවේ වී ගොවිතැන කියන්නේ කාලයක් තිස්සේ විවිධ රාජ්‍ය මැදිහත්වීම් හරහා හොඳටම පටලවා තිබෙන නූල් බෝලයක්. ගොඩක්ම පැටලුනු නූල් බෝලයක පැටලුම් අරින එක ලේසි වැඩක් නෙමෙයි. ගොඩක් වෙලාවට පැටලුම් අරිනවා කියා ඇත්තටම හිතාගෙන වැඩේට බහින කෙනෙක් වුනත් වැඩේ ඉවර කරන්නේ නූල් ටික තවත් පටලවලා. ඒ නිසා, මොනවා හෝ විකල්ප යෝජනාවක් ඉදිරිපත් කරන්න කළින් මුලින්ම කළ යුත්තේ මේ පැටලුම් ලිහලා විසඳුම් සෙවිය යුතු සැබෑ ප්‍රශ්න මතු කර ගන්න එකයි. මේ වගේ සංකීර්ණ අවුලක් ක්ෂණිකව ලිහන්න බැහැ. අපි අවශ්‍ය තැනට හෙමිහිට යමු. දැනට අපි මේ කරුණු මතක තියා ගනිමු.

- ලංකා ඉතිහාසයේ කවරදාකවත් අද තරම් සමස්ත වී නිෂ්පාදනයක් රටේ සිදු වෙලා නැහැ.

- බොහෝ විට ඒක පුද්ගල පදනමකින් වුවත් අද තරම් වී නිෂ්පාදනයක් රටේ සිදු වෙලා නැහැ. අතරින් පතර එවැනි වකවානු තිබුණා වෙන්න පුළුවන්.

- නිදහසින් පසු දිගින් දිගටම ලංකාවේ ආණ්ඩු විසින් වී ගොවිතැනට විශේෂ සැලකිලි දක්වමින් සම්පත් යෙදෙවීම නිසා සමස්තයක් ලෙස රටට වූ යහපත හෝ අයහපත කවරක් වුවත්, වී ගොවිතැනේ සැලකිය යුතු දියුණුවක් ඇති වී තිබෙනවා.

අතීතයේ කළ දේවල් නිසා සිදු වූ පාඩු ආපසු හැරවිය නොහැකි ගිලුණු පිරිවැය නිසා දැන් කළ යුත්තේ මත්තල ගුවන් තොටුපොළ පර්යන්තය වී වේලන්න ගත්තා වගේ වැඩ නොකර අනාගතය දෙස බලා කළ යුතු හොඳම දේ කිරීමයි.


නිදහසෙන් පසු ලංකාවේ වී වගාව වෙනුවෙන් යොදා ගැනෙන බිම් ප්‍රමාණය දෙගුණයකටත් වඩා වැඩියෙන් වැඩි වී තිබෙනවා. ඒ තත්ත්වය නැවත ආපසු හරවන්න උත්සාහ කළ යුතු නැතත්, මේ බිම් ප්‍රමාණය තවත් වැඩි කරන්නට යාම කාර්යක්ෂම නැහැ. රටට අවශ්‍ය සහල් ප්‍රමාණය නිපදවාගන්න ඔය ඉඩම් ටික ඕනෑවටත් වඩා ප්‍රමාණවත්. වී වගාව සඳහා තව තවත් ඉඩම් වෙන් කිරීම කාර්යක්ෂම නොවන බව වඩා විස්තරාත්මකව පැහැදිලි කළ හැකි කරුණක්.


නිදහස ලැබූ තැන් පටන් අද දක්වාම රටේ බොහෝ දෙනෙක් විවාදයකින් තොරව එකඟ වී ඇති කරුණක් වන්නේ ඉඩම් අක්කරයකින් ලබා ගත හැකි අස්වැන්න වැඩි කර ගැනීමේ අවශ්‍යතාවයයි. මෙය ලංකාවේ සමාජවාදී සැලසුම් වලද ප්‍රමුඛ ඉලක්කයක් වුනා.

ලංකාවේ ඉඩම් අක්කරයකින් ලබා ගත හැකි අස්වැන්න ඇමරිකාවට සාපේක්ෂව ගොඩක් අඩු බව ඇත්ත. එහෙත්, ඉතිහාසයේ කවර කලෙකවත් ඉඩම් අක්කරයකින් නොගත් තරමේ විශාල අස්වැන්නක් දැන් ලංකාවේ වී ගොවියා විසින් ලබා ගන්නවා. නිදහසෙන් පසු ලංකාවේ වී ගොවිතැනේ ඵලදාව තුන් ගුණයකින් පමණ ඉහළ ගොස් තිබෙනවා. මෙය තවත් ඉහළ දමා ගැනීමට උත්සාහ කළ යුතු බව පිළිබඳව විවාදයක් නැහැ. හැබැයි ලංකාවට අවශ්‍ය සහල් ප්‍රමාණය රට ඇතුළේම නිපදවා ගැනීම ඉලක්කයක්නම් ඒ සඳහා දැන් ලැබෙන අස්වැන්න හොඳටම ඇති.


එහෙමනම් සැබෑ ප්‍රශ්නය කුමක්ද? ආණ්ඩුව විසින් හෝ බොහෝ දේශපානඥයින් විසින් නිවැරදිව හඳුනාගෙන නැති, ඩඩ්ලි සිරිසේන වැනි මෝල් හිමියන් විසින් ව්‍යවසායික ඉවෙන් හෝ වෙනත් ක්‍රමයකින් හඳුනාගෙන මිලක් අය කරමින් විසඳුම් දී ඇති ලංකාවේ වී-හාල් සැපයුම් දාමයේ ප්‍රශ්න ගැන අපි ඉදිරියේදී කතා කරමු.


Thursday, May 28, 2020

ඩඩ්ලි සිරිසේනගේ හයේ පාර


තරඟය උණුසුම්. කොරෝනා අස්සේ ගෙවල් වලට හිර වෙලා ඉන්න ප්‍රේක්ෂකයෝ කට ඇරගෙන රූපවාහිණී තිරය දිහා බලා ඉන්නවා. ඉතිරි වී තියෙන්නේ අවසන් ඕවරයේ අවසන් පන්දුව පමණයි. "නියාමකයෝ" කණ්ඩායමේ  ජයග්‍රහණය සඳහා "නිදහස්" කණ්ඩායම ලකුණු 90කට සීමා කර ගත යුතුයි. ඩක්වර්ත්-ලුවිස් ක්‍රමයට විනිසුරුකරුවන් විසින් නියම කර ඇති ඉලක්කය පසුපස හඹා ගිය "නිදහස්" කණ්ඩායමේ කඩුලු එකින් එක දැවී ගිහින්. සමහර ක්‍රීඩකයෝ දැවී යන්න කලින්ම ක්‍රීඩාගාරයට ආපහු ගිහින්. ඉතිරි වී තියෙන්නේ අන්තිම කඩුල්ල පමණයි.

නියාමකයෝ කණ්ඩායමේ නායකයා විසින් තමන්ගේ කණ්ඩායමේ ක්‍රීඩකයින්ව යාර තිහේ සීමාව ඇතුළේ ස්ථානගත කරනවා. පන්දුවට පහර දෙන්න නියමිතව සිටින්නේ පොළොන්නරුව අරලිය ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් නිදහස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන ඩඩ්ලි සිරිසේන. නියාමකයෝ කණ්ඩායමේ නායකයා වගේම ක්‍රීඩකයිනුත් කලින්ම තරඟය දිනලා. ටෝක් කෝටියයි. කණ්ඩායමේ දක්ෂතම පන්දු යවන්නා පාරිභෝගික අධිකාරී අන්තයේ සිට පන්දු එවීම සඳහා දිව එනවා. දැවී ගියාද?

ෆුල්ටොස් පන්දුවක්. ඩඩ්ලි සිරිසේන යාර තිහේ සීමාව ඉහළින් වේගවත් පහරක් එල්ල කරනවා. උඩ පන්දුවක්ද?

නියාමකයෝ කණ්ඩායමේ ක්‍රීඩකයෝ කට ඇරගෙන බලා ඉන්නවා. පන්දුව පසුපස දිව යන්න කවුරුවත් නැහැ. හතරේ සීමාව පසු කර පන්දුව බිම පතිත වෙනවා. හයේ පාරක්! ලකුණු 96යි!!

ලකුණු පුවරුවේ 90 ඉලක්කම ගැලවිලා පොල් ගෙඩි අකුරින් 96 ඉලක්කම සටහන් වෙනවා. රුපවාහිණී කැමරා කාච 96 ඉලක්කම වෙත නාභිගත වෙනවා. රට පුරා ප්‍රේක්ෂකයෝ කටවල් ඇරගෙන බලා ඉන්නවා.

නිදහස් පිල දිනුම්! තරඟයේ වීරයා ඩඩ්ලි සිරිසේන!!

***

ඩඩ්ලි සිරිසේන වීරයෙක් කියා මම කියන්නේ නැහැ. ඔහු ව්‍යාපාරිකයෙකු ලෙස අද සිටින තැනට ඇවිත් තිබෙන්නේ කාලයක් තිස්සේ රටේ දේශපාලන බලාධිකාරියේ සහයෝගයද ලබමිනුයි. ඉදිරියේදීත් එය එසේම වෙයි. කොහොමටත් දේශපාලනයෙන් මුළුමනින්ම ඈත් වී ලංකාවේ ව්‍යාපාරිකයෙකුට සාර්ථක වෙන්න අමාරුයි. එය වෙනස් විය යුතු දෙයක්. හැබැයි මේ මොහොතේ ඩඩ්ලි සිරිසේන විසින් නියෝජනය කළේ නිදහස් වෙළඳපොළයි.

ඩඩ්ලි සිරිසේන විසින් විධිමත් ලෙස ආර්ථික විද්‍යාව හදාරා නැතුව ඇති. බොහෝ විට ආර්ථික විද්‍යාව හදාරා ඇති අය ඔහුගේ හාල් මෝලේ වැඩ කරන්නෙත් නැතුව ඇති. නමුත්, ඔහු වෙළඳපොළ කියන්නේ කුමක්ද කියා ඉතා නිවැරදිව අවබෝධ කරගෙන තිබෙන බව පේනවා.

ලංකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවකයින් 10,123 ඉන්නවා. කෘෂිකර්ම සංවර්ධන දෙපාර්තමේන්තුවේ සේවකයෝ 14,161ක් ඉන්නවා. අමාත්‍යාංශය යටතේ තිබෙන අනෙකුත් ආයතන එකතු කළාම (2018 ජූනි 30 දත්ත අනුව) සේවකයෝ 36,315ක් ඉන්නවා. ඔය ගණන වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, මහවැලිය වගේ තැන් වල ඉන්න පිරිස් නැතුව. මේ අය අතරේ කෘෂිකර්ම උපාධිධාරීන් වගේම පශ්චාත් උපාධිධාරීන් විශාල පිරිසක් ඉන්නවා. තව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තුමේන්තුවේ පිරිස් බලයෙන් කොටසකුත් යෙදෙවෙන්නේ කෘෂිකර්මය හා අදාළ තොරතුරු එකතු කරන්නයි. ඔය සියලු දෙනාම යොදාගෙන හදන රජයේ සංඛ්‍යාලේඛණ වලට තනි ඩඩ්ලි සිරිසේන අභියෝග කරනවා.

මම මේ රජයේ ආයතන වල සේවය කරන පුද්ගලයින්ගේ අධ්‍යාපනය හෑල්ලු කරන්නේ නැහැ. මෙය එවැනි දෙයක් නෙමෙයි. ඒ වගේම තනි පුද්ගලයින් වශයෙන් ගත්තොත් මේ බොහෝ දෙනෙක් දක්ෂ, කාර්යක්ෂම පුද්ගලයින් වෙන්න පුළුවන්. රජයේ අකාර්යක්ෂමතාවය කියන එක රජයේ සේවකයින් හරියට වැඩ නොකිරීමට ලඝු කළ හැකි දෙයක් නෙමෙයි. ඒ වගේම ඩඩ්ලි සිරිසේන කියන්නේ පට්ට මීටරයක්, මාර මොළයක්  කියලා මම කියන්නේ නැහැ. හැබැයි අර විශාල කණ්ඩායම ඩඩ්ලි සිරිසේනට පරාදයි.

ධම්මික පෙරේරා ළඟ වගේ ඩඩ්ලි සිරිසේන ළඟත් ඉතා දක්ෂ පර්යේෂකයින් කණ්ඩායමක් ඉන්නවද? බොහෝ විට නැතුව ඇති. එහෙමනම්, රජයේ පරිණත විශේෂඥයින් කණ්ඩාමට වඩා වෙළඳපොළ ගැන ඩඩ්ලි සිරිසේන දන්නේ කොහොමද?

මෙතැන තිබෙන්නේ රජයට සම්බන්ධ ආයතන වල සේවය කරන පුද්ගලයින්ගේ අකාර්යක්ෂමතාවය පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. මධ්‍යගත සැලසුම් ක්‍රමය ක්‍රමයක් විදිහටම අකාර්යක්ෂමයි. අසාර්ථකයි. කොයි තරම් දක්ෂ, උගත් කෙනෙක් දැම්මත් ඒක එහෙමයි.

රට පුරා ලොකු කුඩා වී මෝල් වල, තොග හා සිල්ලර කඩ වල, ගෙවල් වල තිබෙන වී හෝ සහල් තොග හරියටම ඇස්තමේන්තු කරන්න විශාල මිනිස් සම්පත් ප්‍රමාණයක් අවශ්‍යයි. නමුත්, මිල සංඥාව තේරුම් ගත හැකි පුද්ගලයෙකුට ඔය දැවැන්ත කාර්යය නොකර පැත්තක සිට ඔය ඇස්තමේන්තුව සෑහෙන්න නිවැරදිව කරන්න පුළුවන්.

තමන්ට පෙනෙන්නට තිබෙන ඉල්ලුම දිහා බලලා ඩඩ්ලි සිරිසේන රටේ හාල් ඉල්ලුම හා සැපයුම නිවැරදිව ඇස්තමේන්තු කරනවා. අනෙක් ලොකු කුඩා ව්‍යාපාරිකයිනුත් ඒ වැඩේ කරනවා. ඔවුන් ව්‍යාපාරිකයින් වී සිටින්නේ ඒ වැඩේ හරියට කරන්න ඔවුන්ට පුළුවන් නිසයි. ඒකට කෘෂිකර්ම උපාධි හෝ ආර්ථික විද්‍යා උපාධි අවශ්‍යම නැහැ. අවශ්‍ය වන්නේ මිල සංඥාව නිවැරදිව තේරුම්ගන්න හැකිවීම පමණයි.

මුලින්ම කිවුවා වගේ මම ඩඩ්ලි සිරිසේන මාර පොරක් කියා කියන්නේ නැහැ. ඒකාධිකාර වෙනුවෙන් පෙනී සිටින්නේත් නැහැ. හැබැයි මේ වෙලාවේ ඩඩ්ලි සිරිසේන විසින් මධ්‍යගත සැලසුම් වෙනුවෙන් පෙනී සිටින්නන්ගේ ඔලු වලට උඩින් දැවැන්ත හයේ පහරක් ගහලා තියෙනවා. ඒක මධ්‍යගත සැලසුම් විශ්වාස කරන අයට රිදෙන්නම ගහපු කණේ පාරක්ද වෙනවා.

වෙබ් ලිපිනය: