වෙබ් ලිපිනය:

Thursday, January 2, 2025

ආණ්ඩුවට පොල් ගහද්දී ආණ්ඩුව පොල් ගානවද?

ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ දත්ත අනුව, 2024 දෙසැම්බර් මාසයේදී පොල් ගෙඩියක සාමාන්‍ය මිල රුපියල් 168.90ක්. 2023 දෙසැම්බර් මාසයේදී එම මිල රුපියල් 111.67ක්. ඒ කියන්නේ වසරක කාලයක් ඇතුළත 51.24%ක මිල ඉහළ යාමක්!

මේ විදිහට වසරක් ඇතුළත පොල් මිල 51.24%කින් ඉහළ ගිහින් තියෙන්නේ රටේ සමස්ත මිල මට්ටම 1.7%කින් පහත වැටෙද්දී. ඒ කියන්නේ අවධමනයක් තියෙද්දී. දෙසැම්බර් මාසය තුළ පමණක් පොල් මිල 15.10%කින් ඉහළ ගිහින් තිබෙනවා. 

මීට සාපේක්ෂව, වසරක කාලය සහ මාසයක කාලය තුළ හාල් මිල ඉහළ ගොස් තියෙන්නේ පහත පරිදියි. 

පසුගිය වසරක කාලය:

රතු කැකුළු - 15.08%

සුදු කැකුළු - 11.25%

සුදු නාඩු - 8.81%

රතු නාඩු - 10.19%

සම්බා - 14.48%


පසුගිය මාසයක කාලය:

රතු කැකුළු - 5.77%

සුදු කැකුළු - 6.61%

සුදු නාඩු - 4.09%

රතු නාඩු - 4.91%

සම්බා - 1.63%

පොල් මිල වගේම හාල් මිලත් ඉහළ ගිහින් තිබුනත්, හාල් මිල ඉහළ යාමෙහි පොල් මිල ඉහල යාමේ පෙනෙන තරම්ම අමුත්තක් නැහැ. නමුත්, මේ මිල ඉහළ යාම් දෙකට ආණ්ඩුව ප්‍රතිචාර දක්වන්නේ වෙනස් ආකාර වලින්.

හාල් මිල ඉහළ යාම සම්බන්ධව කර්මාන්තයේ අතරමැදියන්ට සෘජුව චෝදනා එල්ල කෙරෙනවා. ඊට හේතුව එම කර්මාන්තයේ අතරමැදියන් අතර පහසුවෙන් ඇඟිල්ල දික් කළ හැකි, ඇහැට පෙනෙන පුද්ගලයින් සිටීම. නමුත් පොල් කර්මාන්තයේ ඒ වගේ පහසුවෙන් ඇඟිල්ල දික් කර පෙන්විය හැකි අතරමැදියෝ නැහැ. ඒ නිසා, ඒකේ වැරැද්ද පටවලා තියෙන්නේ පැත්තක ඉන්න රිලවු මත. 

හාල් මිල ඉහළ යාමේ ප්‍රශ්නය වගේම පොල් මිල ඉහළ යාමේ ප්‍රශ්නයත් වසර හතරකට පමණ වරක් චක්‍රීය ලෙස ඇති වන, සාමාන්‍යයෙන් එකටම එන, ප්‍රශ්න දෙකක්. මේ ප්‍රශ්නයට ප්‍රධාන හේතුව කාලගුණ රටාවන්හි දැකිය හැකි චක්‍රීය විචලනයන් නිසා සැපයුම චක්‍රීය ලෙස විචලනය වීම. නමුත් ලංකාවේ හාල්, පොල් පරිභෝජනයේ ස්වභාවය අනුව ඔය දෙකේම දේශීය ඉල්ලුම බොහෝ දුරට නියතයි. 

ඉල්ලුම නියතව තියෙද්දී සැපයුම විචලනය වන කර්මාන්තයක ඉල්ලුම්-සැපයුම් පරතරයේ විචලනය වීම් අනුව මිල විචලනය වීම සාමාන්‍ය තත්ත්වයක්. ඉල්ලුමට සාපේක්ෂව සැපයුම අඩු වෙද්දී මිල වැඩි වෙනවා. ඉල්ලුමට සාපේක්ෂව සැපයුම වැඩි වෙද්දී මිල අඩු වෙනවා. මිල වැඩි වෙද්දී පාරිභෝගිකයෝ කෑ ගහනවා. මිල අඩු වෙද්දී නිෂ්පාදකයෝ කෑ ගහනවා. කවුරු හෝ කෑ ගහන කණ්ඩායම එක්ක ඒ වෙලාවේ විපක්ෂයත් කෑ ගහනවා. 

ලංකාවේ සාමාන්‍ය පාරිභෝගිකයාට වගේම සුළු පරිමාණ ගොවීන්ටත් ඉල්ලුම හා සැපයුම අනුව මිල විචලනය වීම ගැන හොඳ අවබෝධයක් නැහැ. කිසිම දේශපාලන කඳවුරක් ඔවුන්ව දැනුවත් කරන්නෙත් නැහැ. ඒ වෙනුවට හැම විටම මෙන් කරන්නේ ආණ්ඩුව පැත්තට ඇඟිල්ල දික්කරන්න ඔවුන්ව පුහුණු කරන එක. ඒ නිසාම, මෙහි ආණ්ඩුව විසින් විසඳිය යුතු ප්‍රශ්නයක් තිබෙන බව මිනිස්සු හිතනවා.

වත්මන් ආණ්ඩුවේ ඉන්නේ මේ විදිහේ ප්‍රශ්න වෙළඳපොළ විසින් ස්වයංක්‍රීය ලෙස විසඳනු ලැබීමට එරෙහිව දිගින් දිගටම ජනතාව දැනුවත් කළ සහ සක්‍රිය රාජ්‍ය මැදිහත්වීම් හරහා පාරිභෝගිකයින්ට වගේම නිෂ්පාදකයින්ටත් සහන සැලසීමේ හැකියාව ගැන දිගින් දිගටම කතා කළ සහ දැනටත් කතා කරන කණ්ඩායමක්. ඒ නිසාම, හාල් පොල් මිල ගණන් ඉහළ යද්දී මිනිස්සු රාජ්‍ය මැදිහත්වීමක් අපේක්ෂා කරනවා.

ආණ්ඩුවේ ඉන්න කණ්ඩායම කාලයක් තිස්සේ හාල් කර්මාන්තයේ අතරමැදියන්ට චෝදනා කළ පිරිසක්. ඒ වගේම ඒ සම්බන්ධව යමක් නොකිරීම ගැන පෙර ආණ්ඩු වලට චෝදනා කළ පිරිසක්. ප්‍රශ්නයට හේතුව අතරමැදියන් කියා, ඇතැම් විට අවංකවම, තවමත් හිතන පිරිසක්. වෙළඳපොළ ගැන අවබෝධයක් නැති අයෙක් ඔය විදිහට හිතන එක අසාමාන්‍ය දෙයක් නෙමෙයි.

හාල් කර්මාන්තයේදී මෙන් පොල් කර්මාන්තයේදී වැරැද්ද පැටවිය හැකි අතරමැදියන් සොයා ගන්න අමාරුයි. ඒ නිසා, වැරැද්ද පටවලා තියෙන්නේ රිලවු මත. නමුත් ප්‍රශ්නය තියෙන්නේ විපක්ෂ කණ්ඩායමකට ඔය විදිහට හේතුවක් ඉදිරිපත් කරලා ප්‍රශ්නය විසඳීමේ වගකීම ආණ්ඩුව පැත්තට තල්ලු කළ හැකි වුනත්, ආණ්ඩු බලය තිබෙන කණ්ඩායමකට එසේ කළ නොහැකි වීමයි. මිනිස්සුන්ට විසඳුම් මිසක් හේතු ඉදිරිපත් කිරීම් වලින් වැඩක් නැහැ. 

මේ හේතුව නිසා හාල් මිල හා පොල් මිල මත පදනම්ව බොහෝ අය ආණ්ඩුවට පොල් ගහනවා. තව සමහර අය ආණ්ඩුව පොල් ගානවද කියලත් අහනවා. 

පැහැදිලි ලෙසම ලංකාවේ රිලා ප්‍රශ්නයක් තිබෙනවා. ඉත්තෑ, මොණර ආදී ප්‍රශ්නත් තිබෙනවා. ඒ ප්‍රශ්න විසඳිය යුතු ප්‍රශ්න. නමුත් වත්මන් හාල් මිල ඉහළ යාමට හේතුව අතරමැදියන් නොවන්නාක් මෙන්ම පොල් මිල ඉහළ යාමට හේතුව රිලා ප්‍රශ්නයද නෙමෙයි. ඒ වගේම, මැතිවරණ වලින් පස්සේ එක පාරටම රටේ රිලා ගහණය වැඩි වුනේ නැහැ. මොකද මැතිවරණ ප්‍රචාරණයට හෝ ඡන්දය දමන්න කියලා පිටරටින් රිලවු ආවෙවත්, ඇවිත් ලංකාවේ නැවතුනේවත් නැහැනේ. ඔය ඉන්නේ මැතිවරණ වලට කලිනුත් රටේ හිටපු රිලවුම තමයි. 

ආණ්ඩුව විසින් පොල් මිල ඉහළ යාමේ ප්‍රශ්නය නිෂ්පාදන ප්‍රශ්නයක් ලෙස හඳුනා ගන්නා බව පේනවා. නිෂ්පාදනය වැඩි කිරීම සඳහා කළ යුතු දේවල් කළ යුතු වුවත්, මේ ප්‍රශ්නය නිෂ්පාදනය අඩු වීමේ ප්‍රශ්නයක් නෙමෙයි. අණ්ඩර දෙමළයක් මෙන් එක පාරට පෙනී යා හැකි වුවත්, යම් දුරකට මෙය නිෂ්පාදනය වැඩි වීම නිසා ඇති වූ ප්‍රශ්නයක්. ඒ කොහොමද කියලා මම පැහැදිලි කරන්නම්.

මේ සමඟ පළ කෙරෙන කෘතීම බුද්ධිය උපයෝගී කරගෙන හදා තිබෙන පොල් ගස් දෙකක රූපය සමාජ ජාලා වල සංසරණය වූ එකක්. එහි සඳහන් පරිදි "සීයා යද්දී" පොල් ගස් තිබිලා තියෙන්නේ ඔය විදිහටයි. මෙයින් කියන්න හදන්නේ මේක "සීයා" දීලා ගිය ප්‍රශ්නයක් බවයි. 

ඔය කතාව කියන්නේ සමච්චලයට බව ඉතාම පැහැදිලියි. එහි කියන්න හදන දෙය "සීයා යද්දී" පොල් ගස් තිබුණේ ඔය විදිහට නෙමෙයි කියන එකයි. හැබැයි ඇත්තටමනම් සීයාගේ කාලයේ පොල් ගස් ඔය විදිහට නොතිබුණත් සීයාගේ අවුරුදු දෙක ඉතිහාසයේ වැඩිම පොල් අස්වැන්නක් ලැබුණු අවුරුදු දෙකක්. 

පහත තිබෙන්නේ මහ බැංකුවේ දත්ත අනුව, පසුගිය අවුරුදු දහයක කාලයේ ලංකාවේ වාර්ෂික පොල් නිෂ්පාදිතය පොල් ගෙඩි මිලියන වලින්.

2014 - 2,870

2015 - 3,056

2016 - 3,011

2017 - 2,450

2018 - 2,623

2019 - 3,086

2020 - 2,792

2021 - 3,120

2022 - 3,391

2023 - 3,170

ඔය අවුරුදු දහයක කාලය ඇතුළත වැඩිම පොල් අස්වැන්නක් ලැබී තියෙන්නේ 2022දී. දෙවෙනි වැඩිම අස්වැන්න 2023දී.

මේ විදිහට සීයාගේ කාලයේදී පොල් අස්වැන්න වැඩි වුනේ සීයාගේ පිං මහිමයෙන් කියලාවත්, සීයා කෙමක් කරපු නිසා කියලාවත් මම කියන්නේ නැහැ. පොල් අස්වැන්න වැඩි වුනේ අඩු වශයෙන් සීයාගේ ආණ්ඩුවෙන් කරපු විශේෂ දෙයක් නිසාවත් නෙමෙයි. තනිකරම මෙන්, ආණ්ඩුවකට පාලනය කළ නොහැකි, ස්වභාවික හේතු නිසා. හැබැයි කරුණක් ලෙස එම වසර දෙකේදී පොල් අස්වැන්න විශාල ලෙස ඉහළ ගියා. ඔය අවුරුදු දෙකේදීත් රටේ රිලවු හිටියා. 

දැන් පොල් අස්වැන්න අඩු වී තිබෙන්නේත්, මේ ආණ්ඩුවේ හෝ කලින් පැවැති ආණ්ඩුවේ වැරැද්දක් නිසා නෙමෙයි. රිලා ප්‍රශ්නය නිසාත් නෙමෙයි. වසර 3-4කට පමණ වරක් සිදු වන කාලගුණ රටාවන්ගේ චක්‍රීය විචලන වල බලපෑම නිසා.  2015/16, 2019, 2022/23 පොල් අස්වැන්න වැඩියි. 2014, 2017, 2020 වගේ අවුරුදු වල පොල් අස්වැන්න අඩුයි. 2024 පොල් අස්වැන්න අඩු වෙන අවුරුද්දක්. පොල් අස්වැන්න අඩු වෙද්දී මිල ඉහළ යනවා. ඔය චක්‍රයම හාල් වලටත් බලපානවා.

පොල් අස්වැන්න වෙනස් වී සැපයුම අඩු වැඩි වෙද්දී දේශීය පොල් ඉල්ලුම ලොකුවට වෙනස් වෙන්නේ නැහැ. පහත තිබෙන්නේ දේශීය පොල් පරිභෝජන ඉල්ලුම පොල් ගෙඩි මිලියන වලින්.

2014 - 1.830

2015 - 1,874

2016 - 1,787

2017 - 1,656

2018 - 1,794

2019 - 1,807

2020 - 1,826

2021 - 1,833

2022 - 1,848

2023 - 1,850

වාර්ෂික පොල් ඉල්ලුමේ සාමාන්‍ය අගය පොල් ගෙඩි මිලියන 1,810ක්. මෙහි සම්මත අපගමනය පොල් ගෙඩි මිලියන 60ක් පමණයි. මීට සාපේක්ෂව වාර්ෂික පොල් සැපයුමේ සාමාන්‍ය අගය පොල් ගෙඩි මිලියන 2,957ක් වුවත් සම්මත අපගමනය පොල් ගෙඩි මිලියන 278ක්. ප්‍රශ්නයේ මුල තියෙන්නේ ස්වභාවික හේතු නිසා සිදු වන ඔන්න ඔය විචලනය. 

ලංකාවේ ජනතාව, විශේෂයෙන්ම සිංහල ජනතාව, සියවස් ගණනක් තිස්සේ පොල් ආහාරයට ගන්නවා. ලංකාව ඒක පුද්ගල පොල් පරිභෝජනය ඉහළම රටක්. ඒ වගේම, ලංකාවට කවදාවත් පරිභෝජනය පිණිස පොල් ආනයනය කරන්න සිදු වී නැහැ. රටේ පොල් නිෂ්පාදනය හැමදාමත් පරිභෝජන අවශ්‍යතාවයට වඩා ඉහළින් තිබුණා.

ලංකාවේ බොහොමයක් ගෙවල් වල, නාගරික ප්‍රදේශ වල පවා, අඩු වශයෙන් පොල් ගහක් හරි තියෙනවා. පොල් නිෂ්පාදනයෙන් වැඩි ප්‍රමාණයක් සිදු වෙන්නේ කුඩා පොල් ඉඩම් වලයි. ගෙදර පොල් ගහක් හෝ කීපයක් තිබෙන අය සාමාන්‍යයෙන් තමන්ගේ ගෙදර ගස් වල පොල් පරිභෝජනය සඳහා ගන්නවා. කඩෙන් පොල් මිල දී ගන්නේ මදි පාඩුවට. 

ගෙදර පොල් ගස් කීපයක් පමණක් තිබෙන ගොඩක් අය පරිභෝජනයට අවශ්‍ය ප්‍රමාණයට වඩා පොල් තිබුනා කියලා තමන්ගේ පොල් විකුණන්නේ නැහැ. පොල් නොකඩා පොල් වැටෙනකම් සිටීම, වැටෙන පොල් වේලෙන්න ඇරීම, ඉඳහිට කුරුම්බා වල්ලක් බා ගැනීම වගේ දේවල් වලින් සැපයුම සහ පරිභෝජන අවශ්‍යතාවය අතර වෙනස තුලනය වෙනවා. කාලයකට කලින්නම් ගෙවල් වලම තෙල් හිඳින වැඩේත් සිදු වුනා.

පොල් අස්වැන්න අඩු වෙද්දී කුරුම්බා බාන එක වගේ දේවල් සීමා වෙනවා. තැඹිලිත් පොල් වෙන්න අරිනවා. යාන්තම් පැහෙද්දී පොල් කඩවනවා. ඔය වගේ දේවල් කරලා සැපයුම අඩු වෙන එක යම තරමකින් පාලනය කරන්න පුළුවන්. පරිභෝජනය වුනත් යම් තරමකින් සීමා කරන්න පුළුවන්. 

ලංකාවේ ගොඩක් ගෙවල් වල ඔය විදිහට නිවාස ඒකකය ඇතුළේම පොල් ඉල්ලුම සහ සැපයුම සෑහෙන මට්ටමකට තුලනය වන නිසා ඒ ගෙවල් වලින් කඩෙන් පොල් මිල දී ගන්න තිබෙන ඉල්ලුම සීමිතයි. එහෙත් මේ පාරිභෝගික කණ්ඩායමට අමතරව හැමදාම කඩෙන් පොල් ගන්න වෙනම පිරිසක් ඉන්නවා. 

පොල් අස්වැන්න එක සීමාවක් ඉක්මවා පහත වැටුණු විට වෙන්නේ අර සාමාන්‍යයෙන් කඩෙන් පොල් මිල දී නොගන්න හෝ අඩුවෙන් මිල දී ගන්න විශාල පිරිසට එක වරටම කඩේ පොල් අවශ්‍ය වීම. මේ හේතුව නිසා, පොල් අස්වැන්න යම් සීමාවක් ඉක්මවා අඩු වුනාට පස්සේ වෙළඳපොළේ පොල් ඉල්ලුම එක වරම කිහිප ගුණයකින් ඉහළ යනවා. ඒක වෙන්නේ පොල් පරිභෝජනයේ ඉහළ යාමක් නැතිවයි. බොහෝ විට පරිභෝජනය අඩු වෙන අතරදී. 

මේ විදිහට පොල් ඉල්ලුම එක පාරටම ඉහළ යන්නේ ලොකු පොල් වතු වලත් අස්වැන්න අඩු වෙලා වෙළඳපොලට එන පොල් සැපයුම අඩු වෙලා තිබෙන වෙලාවකයි. එක පැත්තකින් සැපයුම අඩු වෙද්දී අනෙක් පැත්තෙන් ඉල්ලුම ඉහළ යනවා. මෙහි ප්‍රතිඵලය මිල එකවර විශාල ලෙස ඉහළ යාමයි. 

මෙය වාණිජ කෘෂිකර්මයට සාපේක්ෂව ගෘහාශ්‍රිත කෘෂිකර්මය ව්‍යාප්තව තිබීමේ අතුරුපලයක් කියා කියන්නත් පුළුවන්. ගෙවල් වල පොල් ගස් හිටවා නොගෙන හැමෝම කඩෙන්ම පොල් මිල දී ගන්න පුරුදු වී සිටියානම් මේ තරමේ මිල විචලනයක් සිදු වන්නේ නැහැ. ගෘහාශ්‍රිත කෘෂිකර්මයේදී පොල් ගස් වලට සාත්තු කිරීමක් නොකෙරෙන නිසා මෙහි බලපෑම තවත් වැඩියි. (මෙය ගෘහාශ්‍රිත කෘෂිකර්මය අධෛර්යමත් කිරීම සඳහා දෙන උපදෙසක් නෙමෙයි). 

ඔය චක්‍රය අනෙක් පැත්තට යද්දී ගෙවල් වලින් එන පොල් ඉල්ලුම ටිකෙන් ටික අඩු වෙලා යනවා. ගෙදර ගහේ පොල් හැදෙද්දී කඩෙන් පොල් මිල දී ගන්න අවශ්‍ය නැහැ. හැමදාම කඩෙන් පොල් මිල දී ගන්න පාරිභෝගිකයෝ ටික පමණක් ඉතිරි වෙනවා. අනෙක් පැත්තෙන් පොල් සැපයුම ඉහළ ගිහින්, අතිරික්තයක් හැදිලා පොල් මිල පහත වැටෙනවා.

ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවට අනුව, 2020 දෙසැම්බර් මාසයේ අවසාන සතියේදී මධ්‍යම ප්‍රමාණයේ පොල් ගෙඩියක සාමාන්‍ය මිල රුපියල් 96.67ක්. නමුත් 2019 දෙසැම්බර් මාසයේ අවසාන සතියේදී එම මිල 56.75ක් පමණයි. ඒ කියන්නේ වසරක් ඇතුළත 70.6%ක මිල ඉහළ යාමක්. 

නමුත් 2023 දෙසැම්බර් මාසයේ අවසාන සතියේදී මධ්‍යම ප්‍රමාණයේ පොල් ගෙඩියක සාමාන්‍ය මිල රුපියල් 105.71ක් පමණයි. ඒ කියන්නේ 2020-2023 අතර වසර තුනක කාලය ඇතුළත පොල් මිල ඉහළ ගිහින් තියෙන්නේ 9.4%කින් පමණයි. ඒ ඔය අවුරුදු තුන ඇතුළත සාමාන්‍ය මිල මට්ටම 83.3%කින් ඉහළ යද්දී. ඒ කියන්නේ ඔය වසර තුනක කාලය ඇතුළත පොල් මිල නාමිකව 9.4%කින් වැඩි වී තිබුණත්, අනෙක් භාණ්ඩ හා සේවා මිල ගණන් එක්ක බලද්දී විශාල මිල අඩු වීමකුයි සිදු වෙලා තියෙන්නේ.

මේකට හේතුව කලින් කියපු "සීයාගේ කාලයේදී" සිදු වූ නිෂ්පාදනය ඉහළ යාම. නමුත් එය වාරිකව සිදු වූ දෙයක් පමණයි. දැන් නිෂ්පාදනය සාමාන්‍ය මට්ටමට පහත වැටෙද්දී පොල් මිල රටේ පැවති උද්ධමනය හා ගැලපෙන මට්ටමකට ඉහළයමින් තිබෙනවා. මේ වැඩේ කෙටි කාලයක් තුල සිදු වෙන නිසා පාරිභෝගිකයින්ට දැනෙනවා. නමුත් ඔය වැඩිවීම දිගින් දිගටම සිදු වෙන එකක් නෙමෙයි. යම් මට්ටමකට වැඩි වෙලා ස්ථාවර වුනාට පස්සේ තවත් අවුරුදු තුනක් පමණ ඒ මට්ටමේ තියෙයි.

හාල් මිල විචලනය වෙන්නෙත් ඔය විදිහටම තමයි. ඒක අතරමැදියන් විසින් සැලසුම් කර කරන මිල වැඩි කිරීමක් නෙමෙයි. 

රිලවු ප්‍රශ්නය විසඳිය යුතු ප්‍රශ්නයක් වුනත් ඒ ප්‍රශ්නය විසඳුවා කියලා මේ ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. ඇතැම් විට ප්‍රශ්නය තවත් උග්‍ර වෙන්න වුනත් පුළුවන්. 

රිලවු නිසා සිදු වන අස්වනු හානිය පාලනය වුනොත් නිෂ්පාදිතයේ සාමාන්‍ය අගය ඉහළ යයි. එය හොඳ දෙයක්. එහෙත් ඒ නිසා සැපයුමේ සිදු වන කාලික විචලනයන් නවතින්නේ නැහැ. නිෂ්පාදිතයේ සාමාන්‍ය අගය වැඩි වෙද්දී ඊට අනුරූපව විචලනයන්ද වැඩි වෙන එකයි සාමාන්‍යයෙන් වෙන්නේ. චක්‍රයේ අස්වනු ඉහළ යන අවස්ථාවේදී මිල දැනටත් වඩා පහත වැටෙයි. ඒ නිසාම, අනෙක් අදියරේදී එකවරම දැනටත් වඩා මිල ඉහළ යයි. මිල අඩු වෙන එක ගැන කවුරුවත් කතා කරන එකක් නැහැ. නමුත් එක වර මිල වැඩි වෙද්දී නැවතත් ඔය දැන් කෙරෙන සාකච්ඡාව මතු වෙයි.

දැනට තිබෙන හාල් ප්‍රශ්නය වගේම පොල් ප්‍රශ්නයත්, ආණ්ඩුව කිසිවක් නොකළත්, ස්වභාව ධර්මය සහ වෙළඳපොළ විසඳීමට නියමිතව තිබුණු ප්‍රශ්න. ඒ සඳහා යම් කාලයක් යයි. සමහර විට තව මාස හයක් පමණ ගත වෙන්න පුළුවන්. ඊට පස්සේ තව වසර දෙක තුනකට හාල් මිල හෝ පොල් මිල මාතෘකා බවට පත් වීම නවතියි. 2028 පමණ වෙද්දී නැවතත් මේ ප්‍රශ්න දෙක උඩට එයි. ඕකට හොඳම විසඳුම බොරු බිල්ලෝ මවන්නේ නැතිව වෙළඳපොළ යාන්ත්‍රණය ගැන ජනතාව දැනුවත් කරන එක. එහෙම කළොත් අඩු වශයෙන් ඊළඟ චක්‍රයේදී මිනිස්සු මේ නැති ප්‍රශ්නය නැති ප්‍රශ්නයක් බව තේරුම් ගනියි. 



3 comments:

  1. "ඔය ඉන්නේ මැතිවරණ වලට කලිනුත් රටේ හිටපු රිලවුම තමයි. "

    ඉකොනො මහත්තය කියන්නේ පච ලප කොටාට චන්දෙ දුන්නේ රිලව් කියලා නේද

    ReplyDelete
  2. ආණ්ඩුව පොල් බිස්නස් කරන එක හොදයි නේද. සංස්ථාවේ පොල් ගජ ලාබයි.

    ඉකොනො මහත්තයා, ඇමරිකාවේ පොල් සංස්ථාවේ ජොබ් එකක් හොයලා දෙන්න අපිට. රිලව් දම්මලා පොල් කඩමු.

    ReplyDelete
  3. පොල් සංස්ථාව
    කජු සංස්ථාව
    ලුණු සංස්ථාව
    ධීවර සංස්ථාව
    සිමෙන්ති සංස්ථාව
    තෙල් සංස්ථාව
    ගුවන් විදුලි සංස්ථාව
    රුපවාහිනී සංස්ථාව
    සංස්ථා මත්පැන්
    දැව සංස්ථාව
    පැවිදි සංස්ථාව
    පිඟන් සංස්ථාව
    ඉංජිනේරු සංස්ථාව
    ආයු‍ර්වේද ඖෂධ සංස්ථාව
    ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව
    රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව
    ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව
    ජාතික චිත්‍රපට සංස්ථාව
    ශ්‍රී ලංකා රබර් නිෂ්පාදන සහ අපනයන සංස්ථාව
    රාජ්‍ය වැවිලි සංස්ථාව
    නැව් සංස්ථාව
    ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව
    ශ්‍රී කල්‍යාණී ‍යෝගාශ්‍රම සංස්ථාව
    ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව
    රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව
    තල් සංස්ථාව
    රක්ෂණ සංස්ථාව

    මේ වගේ සංස්ථාව තියෙන එකේ කුකුළු මස් වලට සංස්ථාවක්‌ නැත්තේ ඇයි ඉකොනො.
    ලංකා කුකුළු මස් සංස්ථාව පිහිටුවා අපිට රසවත් කුකුළු මස් අඩුවට ලබා දෙන මේන් ආණ්ඩුවෙන් ඉතා ඕනෑම කමකින් ඉල්ලා සිටිමු.

    අවශ්‍ය නම් ලංකා කුකුළු මස් සංස්ථාවේ සභාපති ගේ රියදුරා ලෙස ඉකොනොමැට්ටා (57) මැතිතුමා පත් කිරීමට හැකියාව ඇත.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: