වෙබ් ලිපිනය:

Wednesday, October 8, 2025

ඩොලර් බිලියන හතේ සංචිත ඉලක්කය

 

සැප්තැම්බර් මාසය අවසන් වන විට දළ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6,243 දක්වා ඉහළ ගොස් තිබෙන බව කලින් සටහනේ ලිවුවා. අවුරුද්ද ඉවර වෙන්න තව තියෙන්නේ මාස තුනක් පමණයි. පසුගිය මාස වල රටාව අනුවනම්, ඔය මාස තුනක කාලය ඇතුළත මහ බැංකුවට ඩොලර් මිලියන 500ක පමණ විදේශ විණිමය ප්‍රමාණයක් තමයි වෙළඳපොළෙන් මිල දී ගැනීමේ හැකියාවක් තිබෙන බව පෙනෙන්නේ. 

අවසන් කාර්තුව ඇතුළත ඉන්දියාවට ඩොලර් මිලියන 225ක් ගෙවන්න වෙනවා. මූල්‍ය අරමුදලේ පරණ ණය වෙනුවෙන් තවත් ඩොලර් ප්‍රමාණයක් වෙන් කළොත්, සංචිත වැඩි වෙන්න ඉඩ තිබෙන්නේ තව ඩොලර් මිලියන 200කින් පමණ වෙන්න පුළුවන්. එහෙම වුනොත්, වසර අවසන් වෙද්දී සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 6.5 වගේ මට්ටමකට වඩා වැඩි නොවෙන්න පුළුවන්. 

නමුත් මේ දවස් වල මූල්‍ය අරමුදලේ පස්වන විමර්ශනය සිදු වෙනවා. එය අවසන් වීමෙන් පසුව සහ අයවැය සම්මත කර ගැනීමෙන් පසුව, හයවන වාරිකය ලැබීමට නියමිතයි. ඒ එක්කම, ආසියානු සංවර්ධන බැංකුවෙන් සහ ලෝක බැංකුවෙන්ද කලින් පොරොන්දු වූ ණය වාරික ලැබීමට නියමිතව තිබෙනවා. මෙම මුදල් වසර ඇතුළත ලැබුනොත්, වසර අවසන් වෙද්දී නිල සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 7 ඉක්මවන්න ඉඩ තිබෙනවා. එසේ වුවත්, මේ මුදල් ලැබෙන එක ජනවාරි හෝ පෙබරවාරි දක්වා කල් යන්න බැරිකමකුත් නැහැ. එහෙම වුනොත් බිලියන 7 ඉලක්කයට යන්න වෙන්නේ තරමක් පහු වෙලා.

ඇත්තටම වසර අවසන් වෙද්දී ඩොලර් බිලියන හතක සංචිත ඉලක්කයකට යා යුතුමද? මූල්‍ය අරමුදල විසින් එවැනි ඉලක්කයක් දී තිබෙනවද?

මේ ප්‍රශ්නයට පිළිතුර ඔව් වගේම නැහැ. මූල්‍ය අරමුදල විසින් ඔය විදිහේ ඉලක්කයක් දීලා නැහැ. ඔවුන් කරලා තිබෙන්නේ වසර අවසානයේ තිබිය හැකි සංචිත ප්‍රමාණය පිළිබඳ ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරන එක. විදේශ සංචිත ඉලක්ක ඇත්තටම කිවුවොත් මූල්‍ය අරමුදල විසින් දී තිබෙන ඉලක්ක නෙමෙයි. ඒවා ලංකාවේ දිගුකාලීන ඉලක්කයක පියවර කියා කියන එක වඩා නිවැරදියි. 

මූල්‍ය අරමුදල එක්ක ගිවිසුමකට ගිය කාලය නැවත මතක් කර ගත්තොත්, ඒ වෙද්දී රටේ ආනයන හා අදාළව මෙන්ම විදේශ විණිමය හා අදාළවද සීමා කිරීම් ගණනාවක් කරලයි තිබුණේ. විදේශ විණිමය ප්‍රශ්නය හේතුවෙන් එසේ කරන්න සිදු වී තිබුණා. මූල්‍ය අරමුදලේ කොන්දේසිය වුනේ ඔය සියලුම සීමාවන් ක්‍රමයෙන් ඉවත් කළ යුතු බව. මේ වෙද්දී ඔය වැඩේ කරලා අවසානයි. වාහන ආනයන සීමාව තමයි අන්තිමටම ඉවත් කළ යුතුව තිබුණේ.

මේ සීමා ඉවත් කිරීමෙන් පසුව විණිමය අනුපාතය ඉල්ලුම හා සැපයුම අනුව තීරණය වෙන්න ඉඩ දිය යුතු බව තමයි මූල්‍ය අරමුදලේ ප්‍රධාන කොන්දේසියක් වුනේ. ඒ කියන්නේ විණිමය අනුපාතය මත මහ බැංකුව විසින් මැදිහත් කිරීම් සිදු නොකළ යුතු බවයි. රට ඔය තරම්ම අර්බුදයකට ගියේ මහ බැංකු මැදිහත්වීම් මගින් විණිමය අනුපාතය පාලනය කරන්න ගිහින් කියන එක තවමත් ගොඩක් අයට මතක ඇතිනේ. 

නමුත් මහ බැංකුවේ විදේශ සංචිත බිංදුවටම හිඳිලා බිංදුවෙනුත් පහළට ගිහින් ණය වෙලා තිබුණු පසුබිමක මහ බැංකුව විසින් හැකි ඉක්මණින් යම් අවම විදේශ සංචිත ප්‍රමාණයක් ගොඩ නගා ගත යුතුව තිබුණා. ඒ සඳහා පමණක් මහ බැංකුවට විණිමය වෙළඳපොළට මැදිහත්වීම් කිරීමට ඉඩක් ලැබුණා. 

රට විදේශ විණිමය අර්බුදයකට ගියේ ණය ගෙවීම සඳහා අලුත් ණය ලබා ගත නොහැකි වූ නිසා කියලත් කියන්න පුළුවන්නේ. මූල්‍ය අරමුදල විසින් සකස් කළ වැඩ සටහනේ ප්‍රධානම ඉලක්කයක් වුනේ වැඩ සටහන අවසන් වෙද්දී නැවත ණය ලබා ගත හැකි තත්ත්වයකට රටේ ආර්ථිකය දියුණු කිරීම. ඒ අනුව, වැඩ සටහනේ අපේක්ෂාව වුනේ වැඩසටහන ක්‍රියාත්මක වන කාලය ඇතුළත ක්‍රමක්‍රමයෙන් විදේශ ප්‍රාග්ධනය රටට එයි කියන එකයි. මෙහි විදේශ ප්‍රාග්ධනය යන්නෙන් අදහස් කළේ ජංගම ගිණුමට එන අපනයන ආදායම්, ශ්‍රමික ප්‍රේෂණ, සංචාරක ඉපැයීම් වැනි විදේශ විණිමය ඉපැයීම් නෙමෙයි. ආයෝජන ලෙස රටට එන, නැවත ආපසු යා හැකි විදේශ විණිමය.

ආයෝජන ලෙස මූල්‍ය ගිණුම හරහා රටට එන විදේශ විණිමය වලින් තමයි විදේශ සංචිත ගොඩ නගා ගන්න සැලසුම් කර තිබුණේ. නමුත් රටට ඒ විදිහට විදේශ විණිමය රැගෙන එන කෙනෙක් එසේ කරන්නේ එම විදේශ විණිමය තමන්ට අවශ්‍ය විටක රටෙන් නැවත ආපසු රැගෙන යා හැකියි කියන විශ්වාසය හා සහතිකය ඇත්නම් පමණයි. මහ බැංකුව විදේශ විණිමය වෙළඳපොළට මැදිහත් වන තරමට ඒ සහතිකය නැති වෙනවා. නමුත් පැවති තත්ත්වය තුළ රටේ විදේශ සංචිත වැඩි කර ගැනීම සඳහා මැදිහත්වීම් කරන්නත් සිදු වෙනවා.

ඔය දෙපැත්තම බේරා ගත හැකි ක්‍රමයක් ලෙස වැඩ සටහන ආරම්භයේදී ඉදිරි එක් එක් වසර සඳහා විදේශ සංචිත වැඩි කර ගැනීමේ ඉලක්ක සකස් කළා. මේ ඉලක්ක අවම ඉලක්ක නෙමෙයි. රටට ප්‍රාග්ධනය රැගෙන එන අයගේ පැත්තෙන් බලා ඉදිරිපත් කළ උපරිම ඉලක්ක කියන එකයි වඩා නිවැරදි. ඒ කියන්නේ එක් එක් වර්ෂය තුළ මේ ඉලක්ක දක්වා විදේශ සංචිත වැඩි කරගත්තොත්, මහ බැංකුව විසින් එයින් එහාට තව දුරටත් මැදිහත් වීම් කරන්නේ නැහැ.  

පහත තිබෙන්නේ වැඩ සටහන ආරම්භයේදී සකස් කළ ඉලක්ක.

2023 අවසානයේදී - ඩොලර් මිලියන 4,431

2024 අවසානයේදී - ඩොලර් මිලියන 6,128

2025 අවසානයේදී - ඩොලර් මිලියන 8,520

2026 අවසානයේදී - ඩොලර් මිලියන 10,888

2027 අවසානයේදී - ඩොලර් මිලියන 14,208

2028 අවසානයේදී - ඩොලර් මිලියන 15,875

ඔය විදිහට ඉලක්ක හැදුවට පස්සේ ලංකාවේ පැත්තෙන් කරන්න තිබෙන හොඳම දේ ඔය ඉලක්ක මට්ටම දක්වා සංචිත වැඩි කරගන්න එක. නමුත් ඒ වැඩේ කරගන්න බැරි වුනා කියලා මූල්‍ය අරමුදල එය ප්‍රශ්නයක් කරගන්නේ නැහැ. ඒ පැත්තෙන් දමලා තිබෙන්නේ මහ බැංකු මැදිහත්වීම් පිළිබඳ උපරිම සීමාවක්. 

ලංකාවේ පැත්තෙන් බැලූ විට සංචිත පුළුවන් තරම් වැඩි කරගන්න එක හොඳයි වගේ පෙනුණත්, මහ බැංකුවට මැදිහත් වී සංචිත වැඩි කරගන්නනම් රටට විදේශ ප්‍රාග්ධනය අවශ්‍ය පමණ පැමිණිය යුතුයි. නමුත් මහ බැංකුව ඕනෑවට වඩා මැදිහත් කිරීම් කළොත්, ඒ හේතුව නිසාම රටට විදේශ ප්‍රාග්ධනය පැමිණෙන එක සීමා වෙනවා. ඔය පසුබිම තුළ, මූල්‍ය අරමුදල වැනි තෙවන පාර්ශ්වයක් විසින් ඔය විදිහේ අනාගත සැලසුමක් සකස් කර ඉදිරිපත් කළ විට අවිනිශ්චිතතාවය අඩු වෙනවා.

දැන් මේ සැලසුමේ විදිහට සංචිත එකතු වුනොත්, 2028 වෙද්දී රටට අවශ්‍ය සංචිත ප්‍රමාණය එකතු වෙලා ඉවරයි. ඉන් පසුව, සංචිත ගොඩ නැගීමක් අවශ්‍ය වන්නේ නැහැ. ආර්ථිකය ප්‍රසාරණය වෙද්දී ඊට අනුරූපව යම් වැඩි වීමක් වෙනවා පමණයි. ඒ වගේම, මේ සංචිත එකතු කරගන්නේ 2028දී ණය ආපසු ගෙවන්න නෙමෙයි. එය වැරදි අදහසක්. ණය ගෙවන්න වෙන්නේ එක්කෝ තව ණය අරගෙන. එහෙම නැත්නම් උපයන විදේශ විණිමය ඉතිරි කරලා. සංචිත පවත්වා ගන්නේ අලුත් ණය ලබා ගැනීමේදී ඒ ණය නැවත ආපසු ගෙවීමේ හැකියාව තහවුරු කිරීම සඳහායි.

ඔය විදිහට මුලින්ම සංචිත ඉලක්ක හැදුවට පස්සේ මූල්‍ය අරමුදල විසින් පළමු විමර්ශනය සිදු කළා. ඒ අවස්ථාවේදී ඔවුන්ට පෙනී ගියේ කලින් හිතපු තරමටම සංචිත වැඩි වීමක් සිදු වීමේ ඉඩක් නොමැති බවයි. නමුත් දෙවන විමර්ශනය වන විට ලැබී තිබුණු දත්ත අනුව, 2023 අවසානයේදී සංචිත ප්‍රමාණය මුල් ඇස්තමේන්තු කිට්ටුවටම ගිහින් තිබුණා. ඒ නිසා, 2024 ඇස්තමේන්තුව තරමක් උඩට දැම්මා. නමුත් මුල් ඉලක්කයට වඩා අඩුයි. එහෙත් 2025 සිට පසු වසර වල ඇස්තමේන්තු තවත් පහළට දැම්මා.

කෙසේ වුවත්, 2024 වසර අවසන් වෙද්දී, 2023දී වගේම, මුල් ඇස්තමේන්තුව ආසන්නයටම සංචිත වැඩි වෙලා තිබුණා. ඒ කියන්නේ ඔය අවුරුදු දෙකේදීම එකතු කර ගත හැකි උපරිම ප්‍රමාණයම මෙන් මහ බැංකුව විසින් එකතු කර ගෙන තිබුණා. 

2023 මුල් ඉලක්කය - ඩොලර් මිලියන 4,431

2023 සත්‍ය විදේශ සංචිත - ඩොලර් මිලියන 4,392

2024 මුල් ඉලක්කය - ඩොලර් මිලියන 6,128

2024 සත්‍ය විදේශ සංචිත - ඩොලර් මිලියන 6,122

ඉන් පසුව පැවති තුන්වන හා හතරවන විමර්ශන වලදීද 2025 සිට ඉදිරි වසර සඳහා විදේශ සංචිත ඇස්තමේන්තු යාවත්කාලීන කෙරුණා. හතරවන විමර්ශනයේ 2025 වර්ෂාවසාන විදේශ සංචිත ප්‍රමාණය පිළිබඳ ඇස්තමේන්තුව තමයි ඩොලර් මිලියන 7,255 කියන්නේ. මෙය අරමුදලේ පැත්තෙන් ඇස්තමේන්තුවක් මිසක් අනිවාර්යයෙන් ලඟා කරගත යුතු ඉලක්කයක් නෙමෙයි. නමුත් ලංකාවේ පැත්තෙන් බලද්දී ලඟා කරගත්තානම් හොඳ ඉලක්කයක්. මුල්ම ඉලක්කය වූ ඩොලර් මිලියන 8,520 දක්වාම යන්න පුළුවන්කමක් තිබුණානම් තවත් හොඳයි. නමුත් දැන් ඒ ගැන කතා කරලාවත් වැඩක් නැහැනේ. 

දැන් පෙනෙන විදිහට ඩොලර් මිලියන 7,255 ඉලක්කයට යන්න තවමත් බැරිකමක්ම නැතත්, බැරි වෙන්න තමයි වැඩි ඉඩක් තිබෙන්නේ. මේ විදිහට ඉලක්කයට යන්න බැරි වුනේ ඇයි?

මීට හේතුව වාහන ආනයනනම් නෙමෙයි. ඔය ඉලක්ක හා ඇස්තමේන්තු මුල සිටම සකස් කර තිබුණේ වාහන ආනයන නිදහසේ සිදු වෙනවා කියන පදනමිනුයි.

මුල් ඇස්තමේන්තුව (2023 මාර්තු)

2025 ආනයන වියදම - ඩොලර් මිලියන 22,506

ජංගම ගිණුම් හිඟය - ඩොලර් මිලියන 1,077

වර්ෂාවසාන සංචිත ප්‍රමාණය - ඩොලර් මිලියන 8,520

මෙහි පෙනෙන පරිදි, ආනයන වෙනුවෙන් ඩොලර් මිලියන 22,506ක් වැය කරලා, වර්ෂය තුළ උපයන විදේශ විණිමය ප්‍රමාණයට වඩා ඩොලර් මිලියන 1,077ක් වියදම් කළාටත් පසුවයි ඔය සංචිත ප්‍රමාණයට යන්න පුළුවන් වෙයි කියලා ඇස්තමේන්තු කරලා තිබුණේ. ඒ කියන්නේ සංචිත ගොඩ නගා ගැනීම සඳහා අවශ්‍ය අරමුදල් එන්නේ මූල්‍ය ගිණුමට. 

මේ මුල් ඇස්තමේන්තු සකස් කිරීමෙන් පසුව, අරමුදලේ විමර්ශන හතරකදීම ඉහත ඇස්තමේන්තු යාවත්කාලීන කෙරුණා. පහත තිබෙන්නේ හතරවන විමර්ශනයේ ඇස්තමේන්තු.

හතරවන විමර්ශනයේ ඇස්තමේන්තුව (2025 ජූලි)

2025 ආනයන වියදම - ඩොලර් මිලියන 21,363

ජංගම ගිණුම් හිඟය - ඩොලර් මිලියන 36

වර්ෂාවසාන සංචිත ප්‍රමාණය - ඩොලර් මිලියන 7,255

දැන් මේ අවසන් ඇස්තමේන්තු අනුව වුනත්, ජංගම ගිණුමේ අතිරික්තයක් නැහැ. සුළු වුවත්, තිබෙන්නේ හිඟයක්. ඒ කියන්නේ උපකල්පනය වී තිබෙන්නේ මහ බැංකුව මැදිහත් නොවී, ආනයන ආදිය වෙනුවෙන් උපයන විදේශ විණිමය සියල්ල වැය කරන්න ඉඩ හරියි කියන එකයි. එහෙමනම්, මහ බැංකුවට සංචිත වැඩි කර ගන්න වෙන්නේ මූල්‍ය ගිණුමට එන විදේශ විනිමය එකතු කරගෙනයි. 

පසුගිය අගෝස්තු මාසය දක්වා වූ මාස අටක කාලය ඇතුළත ආනයන සඳහා ඩොලර් මිලියන 13,341ක් වැය වී තිබෙනවා. මේ අනුව, වසර අවසන් වෙද්දී ආනයන වියදම මුල් ඇස්තමේන්තුවේ සඳහන් ඩොලර් මිලියන 22,506 මට්ටමට යාමේ ඉඩක් පෙනෙන්න නැහැ. බොහෝ විට හතරවන විමර්ශනයේ ඇස්තමේන්තුව වූ ඩොලර් මිලියන 21,363 මට්ටමටවත් යන එකක් නැහැ. ඒ කියන්නේ කලින් සැලසුම් කළ මට්ටමට සාපේක්ෂව ආනයන වියදම් අඩු වෙලා මිසක් වැඩිවීමක් වෙලා නැහැ.

වැදගත්ම කාරණය පළමු මාස අට ඇතුළත ජංගම ගිනුමේ ඩොලර් මිලියන 2,040ක අතිරික්තයක් වාර්තා වී තිබීමයි. වසර අවසන් වන විට මේ අතිරික්තය තවදුරටත් සැලකිය යුතු ලෙස ඉහළ යා හැකියි. නමුත් හතරවන විමර්ශනයේ ඇස්තමේන්තුව අනුව වුනත් තිබෙන්නේ ඩොලර් මිලියන 36ක හිඟයක්. ඒ කියන්නේ අනෙක් හැම දෙයක්ම ඇස්තමේන්තු වල විදිහට සිදු වුනානම්, දැනටම තිබෙන අතිරික්තය හේතුවෙන්, වර්ෂාවසාන සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 7,255ටත් වඩා මිලියන 2,076කින් වැඩි විය යුතුයි. එහෙමනම්, එවැන්නක් සිදු නොවුනේ ඇයි?

මීට හේතුව මූල්‍ය ගිණුම හරහා හිතපු තරමට විදේශ විණිමය නොලැබීම. කෙටියෙන් කිවුවොත් රටට හිතපු තරමට ආයෝජන නොපැමිණීම. උදාහරණයක් විදිහට, මහ බැංකුවේ සංඛ්‍යාලේඛණ අනුව, පළමු මාස හය ඇතුළත සෘජු ආයෝජන ලෙස ලැබී තිබෙන්නේ ඩොලර් මිලියන 314ක් පමණයි. එයිනුත් බාගයක්ම නැවත ආයෝජනය කළ පසුගිය වසරේ ලාබ. ඒ කියන්නේ ඇත්තටම රටට ඇවිත් තියෙන්නේ ඩොලර් මිලියන 157ක් පමණයි. එයින් කොටස් ආයෝජන ලෙස ඇවිත් තියෙන්නේ ඩොලර් මිලියන 62යි. ආයෝජන මණ්ඩලය හරහා ඩොලර් මිලියන 18ක් හා කොටස් වෙළඳපොල හරහා ඩොලර් මිලියන 44ක් ලෙස. ඉතිරි කොටස ණය. මේවා සොච්චම් ගණන් බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. (ආයෝජන මණ්ඩලයේ දත්ත අනුවනම්, ආයෝජන ප්‍රමාණය මීට වඩා වැඩියි. වෙනසට හේතුව මම දන්නේ නැහැ.)

සෘජු විදේශ ආයෝජන වල අඩුවටත් වඩා, මෙහි වැඩිපුරම තිබෙන්නේ රජයට මූල්‍ය ගිණුම හරහා ලැබෙනු ඇතැයි අපේක්ෂා කළ අරමුදල් වල අඩුව කියලයි මම හිතන්නේ. ඉලක්ක කළ තරමට සංචිත වැඩි නොවීමට ප්‍රධානම හේතුව එය විය යුතුයි. 

යම් හෙයකින් මේ අරමුදල් අපේක්ෂිත පරිදි ලැබුණානම්, ඒ අරමුදල් එකතු වෙන්නේ විදේශ ණය ගොඩටයි. පෙරලුනු පැත්ත හොඳයි කීමක් නොවුනත්, ඒ නිසා විදේශ ණය වර්ධනය සීමා වීමකුත් වෙනවා. ඒ හරහා යම් දුරකට සංචිත වර්ධනය නොවීමේ හානිය මග හැරෙනවා. නමුත් ආර්ථික වර්ධනය කෙරෙහි වන බලපෑම සහ අරමුදලේ වැඩ සටහන අවසන් වෙද්දී නැවත ණය ලබා ගත හැකි තත්ත්වයකට රටේ ආර්ථිකය වැඩි දියුණු කර ගැනීමේ ප්‍රධාන ඉලක්කය එක්ක බලද්දී මේ තත්ත්වය හොඳ තත්ත්වයක් කියන්න බැහැ. ණය ගන්න පුළුවන්කම තියෙද්දී ණය නොගෙන සිටීම හොඳ තත්ත්වයක් වුනත්, ණය ගන්න බැරි නිසා ණය නොගෙන සිටීම හොඳ තත්ත්වයක් නෙමෙයි. 

1 comment:

  1. @ Economatta

    ඇත්තටම ලංකාවේ ආර්ථික ස්ථාවරත්වයේ ප්‍රධානතම දර්ශකය වන්නේ විදේශ විනිමය සංචිත (Foreign Reserves) නේද? විශේෂයෙන්ම විදේශ අංශය ස්ථාවර වීම ලංකාවේ වගේ අධික ලෙස ආනයන මත රඳාපවතින කුඩා ආර්ථික වලට ඉතාමත්ම වැදගත්ම කරුණක්

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග ඇති ගිවිසුමේදී පවා, මෙම සංචිත ගොඩනැගීම සඳහා නිශ්චිත ඉලක්ක (ඇස්තමේන්තු) සකස් කරනු ලැබුවේ ජාත්‍යන්තර විශ්වාසය ගොඩනැගීමටයි. එහෙත් වත්මන් තත්ත්වය දෙස බලන විට, මෙම ඉලක්ක කරා යාමේ දුර්වලතාව ආර්ථිකයේ අක්‍රිය භාවය මනාව පෙන්නුම් කරයි.

    සංචිත ඉලක්කවල දුර්වල තත්ත්වය පිටුපස ඇති සැබෑ හේතුව ගැන කියද්දී මේ 17 වන IMF වැඩසටහනේදී, අවසන් රිවිෂන් එකට අනුව 2025 වසර අවසානය වන විට රටේ විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 7.255 (නවතම යාවත්කාලීන ඇස්තමේන්තුව) මට්ටමකට ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරිණි.

    එහෙත්, සැප්තැම්බර් අවසන් වන විට සංචිතය ඩොලර් මිලියන 6,243ක් පමණක් වූ පසුබිමක, ඉතිරි මාස කිහිපය තුළ මෙම ඉලක්කය කරා යාම දැඩි අභියෝගයකි.

    ​මෙම දුර්වලතාවට ප්‍රධාන හේතුව වන්නේ රටේ ආර්ථික ව්‍යුහයේ නූතන ලෝක ප්‍රවණතාවන්ට අනුකූලව නිසිලෙස වෙනසක් සිදු නොවීම සහ ආයෝජක විශ්වාසය බිඳවැටී තිබීමයි.

    ​මූල්‍ය ගිණුමේ හිස්බව සහ ආයෝජන නොපැමිණීම ගැන කියද්දී මේ සංචිත ගොඩනැගීමේ ප්‍රධාන සැලැස්ම වූයේ ජංගම ගිණුමට (අපනයන, ප්‍රේෂණ) අමතරව මූල්‍ය ගිණුම (Financial Account) හරහා විදේශ ප්‍රාග්ධනය (ආයෝජන සහ ණය) රටට ගලා ඒමයි.

    ​අධිවේගී මාර්ග ඉදිකිරීම් ඇනහිටීම රටේ ආනයන වියදම් අඩු වීම සහ ජංගම ගිණුමේ සුළු අතිරික්තයක් තිබුණද, ඉලක්කයට යාමට අවශ්‍ය ප්‍රධාන මුදල් එන්නේ ආයෝජනවලින්. උදාහරණයක් ලෙස, මහ බැංකු දත්ත අනුව, වසරක මුල් මාස හය තුළ සෘජු විදේශ ආයෝජන (FDI) ලෙස ලැබී ඇත්තේ ඩොලර් මිලියන 314ක් වැනි සොච්චම් මුදලක් පමණි.

    "විශ්වාසයේ අර්බුදය" ලෙස පැවසෙන ජාතික ජන බලවේග (ජාජබ) ආණ්ඩුවේ මන්දගාමී තීරණ ගැනීමේ රටාව, දේශපාලන අවිනිශ්චිතතාව සහ ප්‍රතිපත්ති වෙනස් වීමේ අවදානම හේතුවෙන් විදේශීය ආයෝජකයෝ ශ්‍රී ලංකාවට මුදල් ගෙන ඒමට බිය වෙති. ඔවුන්ට අවශ්‍ය ස්ථාවරත්වය සහ සහතිකය රට තුළ නොමැතිවීම නිසා, මූල්‍ය ගිණුම හරහා අපේක්ෂිත විදේශ විනිමය රටට ගලා නොඑයි.

    ​ණය නොගැනීම තීරණයක් නොව, දඬුවමක් බව ඔබ කී කතාව ඇත්ත
    ​ණය බර ඩොලර් බිලියන ගණනකින් අඩුවී පෙනුනද, එය රටේ ශක්තිය නිසා වූවක් නොවේ.

    දෙවැනි අවදානම, රටට නව ණය මාර්ග විවෘත නොවීම හේතුවෙන්, අපේක්ෂිත ණය ආධාර (උදා: ලෝක බැංකුවෙන්, ADB වෙතින්) පවා ප්‍රමාද වීමට හෝ සීමා වීමට ඉඩ තිබේ.

    ණය ගැනීමේ හැකියාව දුර්වල වීම යනු, ජාත්‍යන්තරය ශ්‍රී ලංකාව කෙරෙහි තබා ඇති විශ්වාසය තවමත් අඩු මට්ටමක පවතින බවට පැහැදිලි සාක්ෂියකි.

    IMF ඉලක්කය කඩවීම සහ IMF වැඩසටහනේ ප්‍රධාන ඉලක්කය වූ වැඩසටහන අවසන් වන විට නැවත ණය ලබා ගත හැකි තත්ත්වයකට ආර්ථිකය දියුණු කිරීම යන කරුණු සියල්ල දුර්වල වීම බරපතල අභාග්‍යසම්පන්න තත්වයක් IMF එකට ඕනේ ඇත්තටම ලංකාව දිගින් දිගටම IMF ණය වැඩසටහන්වල නිතරම හිරවෙලා ඉන්න ඔවුන්ගේ කොන්දේසිවලට යටත්ව ක්‍රියාත්මක වන රටක් ආර්ථිකයක් බවට පත් කරගෙන තබාගැනීම, මේකෙන් ඒක අවුල් වෙයිද?

    විදේශ ප්‍රාග්ධනය නොපැමිණීමෙන් මෙම ඉලක්කය බිඳ වැටේද? විදේශ ණය ගන්න බැරි නිසා ණය නොගැනීම, ආර්ථික අංශභාගයකි.

    විදේශ සංචිතවල අරමුණ සහ අවිනිශ්චිත අනාගතය
    ​සංචිත ඉලක්ක මූල්‍ය අරමුදල විසින් නිකුත් කරන ලද උපරිම සීමාවක් වුවද, රටේ පැත්තෙන් මෙම ඉලක්ක සපුරා ගැනීම වැදගත් වන්නේ
    ​ණය ගෙවීමේ හැකියාව තහවුරු කිරීමට සහ ණය හිමියන්ට (විශේෂයෙන් 2028න් පසු) ණය ආපසු ගෙවිය හැකි බවට පෙන්වා දීමටයි.

    ​මුදල් ඒකකයේ ස්ථාවරත්වය සහ විදේශ විනිමය වෙළඳපොළේ ස්ථාවරත්වය පවත්වා ගැනීමට නම් ​වත්මන් මන්දගාමී ආර්ථිකය යටතේ සංචිත ඉලක්ක සපුරා ගැනීමට නොහැකි වීම, දේශපාලන පක්ෂපාතීත්වය (අල්ලස් කොමිසමේ පත්කිරීම් වැනි), නීතියේ ආධිපත්‍යයේ දුර්වලතාව (අතුරුදන් වූවන්ගේ නඩු ඇනහිටීම වැනි) සහ ආර්ථික ප්‍රතිපත්තිවල අවිනිශ්චිතතාව යන සාධක විසින් ආයෝජකයන්ව රටින් ඈත් කර ඇති බවට පැහැදිලි සංඥාවක් නේද? මේ තත්ත්වය යටතේ ඉදිරියට කුමන ආකාරයක ප්‍රශ්න වලට ලංකාවට මුහුණ දීමට සිදුවෙයි ද?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: