ලංකා විදුලිබල මණ්ඩලය සිය වසර පණස් හතක දිවි සැරිය නිමා කරමින් අද (2026 මාර්තු 8) අවසන් ගමන් යනවා. එසේ කරන්නේ හෙට සිට බිහිවන සහ පසුව බිහිවීමට නියමිත දරු මුණුපුරන් ගණනකට අවස්ථාව ලබා දෙමින්. මෙය ඕනෑවට වඩා බොහෝ සේ කල් පසු වී ඇති ශ්‍රී ලංකා විදුලි බල කර්මාන්තයේ අපේක්ෂිත ප්‍රතිසංස්කරණ හා අදාළව සුවිශේෂී සන්ධිස්ථානයක්.
දහ නවවන සියවසේ අවසානයේදී ලංකාවට මුලින්ම විදුලි බලය හඳුන්වා දෙනු ලැබූයේ පෞද්ගලික අංශයේ මැදිහත් වීමෙනුයි. මුල් කාලයේදී විදුලි බල සැපයුම සිදු වුනේද පෞද්ගලික අංශයේ මැදිහත් වීමෙන්. එහෙත් කාලයත් සමඟ මේ කාර්යය රාජ්‍ය ඒකාධිකාරයක් බවට පත් වුනා.
ලංවිම පිහිටුවනු ලැබූ 1969 වසරේ සිට 1995 දක්වා වසර 26ක් රටේ විදුලි ජනනය මුළුමනින්ම සිදු වූයේ ලංවිම ඒකාධිකාරයක් යටතේයි. එහෙත්, 1995 වසරේ දැවැන්ත විදුලි අර්බුදයකට මුහුණ දීමෙන් අනතුරුව පෞද්ගලික අංශයටද විදුලි ජනනය සඳහා සම්බන්ධ වීමට අවස්ථාව ලබා දීමට සිදු වුනා.
ඉන් පසුව, මෑතකදී රට මුහුණ දුන් ආර්ථික අර්බුදය හා ගැට ගැසී තිබුණු විදුලි අර්බුද කාලයේදී කුඩා පරිමාණ සූර්ය විදුලි නිෂ්පාදකයින් විශාල පිරිසක් මේ කාර්යයට සම්බන්ධ වුනා. මෙහි ප්‍රතිඵලයක් ලෙස 2024 වසර අවසන් වන විට රටේ විදුලි ජනන ධාරිතාවයෙන් ලංවිම පංගුව 55%කට සීමා වී තිබෙනවා. ලංවිම සතු ජනන මධ්‍යස්ථාන 29කින් රටේ විදුලි බල සැපයුමෙන් 66%ක් සපයද්දී පෞද්ගලික නිෂ්පාදකයින් 346 දෙනෙකු සහ වහල මත සවි කර ඇති සූර්ය විදුලි ජනක 93,064කින් ඉතිරි කොටස සපයනවා.
විදුලිය බෙදා හැරීම හා අදාළව ලංවිම සතු වූ ඒකාධිකාරය අවසන් කරමින් 1983දී ලෙකෝ සමාගම පිහිටුවනු ලැබුවත්, එම සමාගමද රාජ්‍ය සමාගමක්. ඉන් පසුව, ලෙකෝ සමාගම සහ ලංවිම ඒකක හතරක් අතර කලාප පහක් ලෙස වෙන් කර රටේ විදුලිය බෙදා හැරීමේ කටයුතු සිදු වුනා. කෙසේ වුවද, සම්ප්‍රේෂණය සහ පද්ධති පාලනය මුළුමනින්ම සිදු වූයේ ලංවිම යටතේයි.
හෙට සිට මෙතෙක් ලංවිම යටතේ සිදු වූ විදුලි ජනනය, සම්ප්‍රේෂණය, බෙදා හැරීම සහ පද්ධති පාලනය අලුතෙන් පිහිටුවනු ලබන වෙන වෙනම සමාගම් වෙත පැවරෙන අතර ලංවිම වත්කම් එම සමාගම් අතර බෙදා හරිනු ලැබෙනවා. 2025 අවසන් වන විට ලංවිම සතු වූ වත්කම් වල වටිනාකම රුපියල් බිලියන 1,326.5ක්.
ඉහත සඳහන් වත්කම් ප්‍රමාණය රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.5%ක් පමණ වන විශාල වත්කම් ප්‍රමාණයක් වුවත් මේ අයුරින් ආයෝජනය කර තිබෙන මහජන ධනය වෙනුවෙන් කොපමණ ප්‍රතිලාභ ලැබී ඇත්ද යන්න ප්‍රශ්නයක්. පසුගිය 2025 වසර තුළද ලංවිම විසින් රුපියල් බිලියන 38.7ක අලාභයක් වාර්තා කළා. යෝජිත ප්‍රතිසංස්කරණ වලින් පසුව මෙම තත්ත්වයේ වෙනසක් අපේක්ෂා කෙරෙනවා.
මේ අයුරින් ලංවිම කොටස් කරනු ලැබුවද, ඒ හේතුවෙන් පාරිභෝගිකයින්ගේ පැත්තෙන් ක්ෂණික බලපෑමක් සිදු වන්නේ නැහැ. එහෙත්, මේ මගින් යෝජිත ජාතික විදුලි බල ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අවකාශ ලැබෙන අතර ඒ යටතේ ඉදිරි කාලයේදී වෙළඳපොළ හිතවාදී ප්‍රතිපත්ති රැසක් ක්‍රියාත්මක වීමට නියමිතයි. ඒ අනුව, ඉදිරි කාලයේදී තරඟකාරී මිලකට විදුලිය මිල දී ගැනීම පිළිබඳව පාරිභෝගිකයින්ට යම් බලාපොරොත්තුවක් තියා ගන්න පුළුවන්.
මෙයින් අනතුරුව මෙතෙක් ලංවිම යටතේ සිදු වූ විදුලි ජනන කටයුතු සිදු වන්නේ ඉලෙක්ට්‍රිසිටි ජෙනරේෂන් ලංකා පුද්ගලික සමාගම යටතේයි. තව දුරටත් රාජ්‍ය අයිතිය යටතේ ඇති සමාගමක් වුවද, මෙම සමාගමටද අනෙකුත් පෞද්ගලික විදුලි බල නිෂ්පාදකයින් මෙන්ම, ගිවිසුම් යටතේ තොග වශයෙන් විදුලිය විකිණීමට සිදු වෙනවා. එක් සමාගමක් යටතේ වුවද, එක් එක් විදුලි ජනන මධ්‍යස්ථානය සඳහා වෙන වෙනම ගිවිසුම් අත්සන් කිරීමට නියමිත බැවින් පසුකාලීනව මෙම ඒකක වෙන් කිරීම වුවද වඩා පහසුවෙන් සිදු කළ හැකිව තිබෙනවා.
දැනට ලංවිම කොටස් හතරක් යටතේ සිදු වන විදුලිය බෙදා හැරීමේ කටයුතු ඉදිරියේදී සිදු වන්නේ ඉලෙක්ට්‍රිසිටි ඩිස්ට්‍රිබියුෂන් ලංකා පුද්ගලික සමාගම යටතේයි. එම සමාගම් යටතේ ඇති කොටස් හතරට සහ ලෙකෝ සමාගමට ඉලෙක්ට්‍රිසිටි ජෙනරේෂන් ලංකා පුද්ගලික සමාගම ඇතුළු විදුලි නිෂ්පාදකයින්ගෙන් තොග වශයෙන් විදුලිය මිල දී ගෙන සිල්ලරට බෙදා හැරීමේ කටයුත්ත කරන්නට සිදු වෙනවා. කෙසේ වුවද, ආරම්භයේදී පාරිභෝගිකයින්ට තමන්ගේ විදුලි බල සැපයුම්කරු තෝරා ගැනීම සඳහා අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.
ඉහත සමාගම් දෙකටත්, පද්ධති පාලනය සහ සම්ප්‍රේෂණ කටයුතු සිදු කිරීම සඳහා පිහිටුවා ඇති සමාගම් දෙකටත්, ඔවුන් වෙත පවරා ඇති වත්කම් වෙනුවෙන් අවම වශයෙන් 2%ක ප්‍රතිලාභයක් ලබා දීමට සිදු වෙනවා. මෙවැනි ඉතා අඩු ප්‍රතිලාභ අනුපාතිකයක් යෝජනා කර තිබෙන්නේ වෙනස් වන තත්ත්වය යටතේ රාජ්‍ය අංශයට පෞද්ගලික අංශය සමඟ තරඟ කිරීම පහසු කිරීමේ අරමුණින් විය යුතුයි.
ඉදිරි කාලයේදී සූර්ය විදුලි බලය නිපදවන්නන්ට මෙතෙක් ලැබුණු සහනාධාරය ක්‍රමයෙන් ඉවත්ව යන අතර ඔවුන් නිපදවන අතිරික්ත විදුලිය මිල දී ගනු ලබනු ඇත්තේද තරඟකාරී මිල ගණන් යටතේයි. එමෙන්ම, එක් එක් කාණ්ඩයේ පාරිභෝගිකයන්ට පිරිවැය හා ගැලපෙන විදුලි ගාස්තුවක් ගෙවීමට සිදු වෙනවා. එහිදී විදුලි නිෂ්පාදනය, සම්ප්‍රේෂණය සහ බෙදා හැරීම වෙනුවෙන් ඔවුන්ට ගෙවන්නට සිදු වන මිල මෙන්ම රජයට ගෙවිය යුතු බදුද ඔවුන්ට වෙන වෙනම දැනගන්නට ලැබෙනවා. ඊට අමතරව වීදි ලාම්පු දැල්වීම ආදී පොදු කටයුතු වල පිරිවැය වෙනුවෙන්ද විදුලි පාරිභෝගිකයින්ට යම් ගාස්තුවක් ගෙවන්නට සිදු වෙනවා.
කෙසේ වුවද, අවප්‍රසාදිත කොටස් වලට තව දුරටත් රජයෙන් සහනාධාරයක් හිමි වෙනවා. මෙහි විශේෂත්වය වන්නේ එම සහනාධාරයේ බර අනෙකුත් විදුලි පාරිභෝගිකයින් මත නොපටවා රජයේ අයවැයෙන් අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමයි. සහනාධාරයක් හිමි විය යුතු සේ දැනට හඳුනාගෙන තිබෙන්නේ මසකට විදුලි ඒකක තිහ නොඉක්මවා පරිභෝජනය කරන නිවාස ඒකකයි.
මෙම යෝජිත ප්‍රතිසංස්කරණ සියල්ල අවසන් වීමට යම් කාලයක් ගත විය හැකියි. කෙසේ වුවත්, මෙය අවශ්‍ය දිශාවට තබා ඇති නිවැරදි පියවරක්.
ඇත්තටම ඉකොනොමැට්ටා මේ IMF එක කියන්නේ ලෝකේ හැම රටකටම එකම බෙහෙත දෙන "පොතේ ගුරු" දොස්තර කෙනෙක් වගේ. ඒගොල්ලෝ ලංකාවේ ඇත්තම තත්ත්වය (Ground reality) බලන්නේ නැතුව උඩින් පල්ලෙන් දාන කොන්දේසි නිසා අපේ ආර්ථිකය තවත් අමාරුවේ වැටෙන්න පුළුවන්.
ReplyDeleteමෙන්න මේ කරුණු ටික බලන්න
1. ස්වභාවික ඒකාධිකාරය (Natural Monopoly) විනාශ කිරීමෙන් වෙන impact එක
විදුලිය කියන්නේ ඕනෑම රටක Natural Monopoly එකක්. ඒ කියන්නේ එකම පද්ධතියක් හරහා බෙදාහරින්න ඕන දෙයක්. දැන් මේක කෑලි වලට කඩලා (Generation, Transmission, Distribution) පුද්ගලික අංශයට දෙනවා කියන්නේ, ලාභය විතරක් බලන සමාගම් අතට මේක යනවා කියන එකයි.
ප්‍රතිඵලය තමයි ලාභය අඩු දුෂ්කර පළාත්වලට විදුලිය දෙන එක අතපසු වෙන්න පුළුවන්. ඒක විශාල ආර්ථික සමාජ සහ දේශපාලන ප්‍රශ්නයක් නිර්මාණය කරාවි මොකද පුද්ගලික අංශය බලන්නේ "පාරිභෝගික සේවය" නෙවෙයි "ලාභය" විතරයි.
2. මේ මෝඩ තකතීරු IMF ගොන් උපදෙස් මත තෙල් වෙළඳාමේ කරපු "විකාරය" විදුලියටත් ඒවිද?
ඉකොනෝ ඉස්සර මේ වගේ මෝඩ යෝජනා කරපුවා වගේම තෙල් වෙළඳාමට වෙනත් සමාගම් (LIOC, Sinopec) ආවට තෙල් මිල අඩු වුණේ නැහැනේ? වුණේ තෙල් සංස්ථාවට තිබුණු වෙළඳපොළ අහිමි වෙලා ඒක තව තවත් බරපතල විදියට පාඩු ලබන තත්ත්වයට පත් වුණු එක විතරයි.
විදුලිබල මණ්ඩලයත් කෑලි වලට කැඩුවාම වෙන්නේ, ලාභ ලබන කොටස් ටික (උදාහරණයක් විදිහට කොළඹ වගේ නාගරික කලාප බෙදාහැරීම) පුද්ගලික සමාගම් අරගෙන, පාඩු ලබන දුෂ්කර ප්‍රදේශ ටික රජයට ඉතිරි වෙන එකයි. එතකොට රජයේ බදු සල්ලි තවත් නාස්ති වෙනවා.
3. IMF එකේ "Pricing Formula" උගුල තව ලෙඩක් ඇත්තටම ලෝක ලෙඩක්
IMF එක කියන්නේ වියදමට සරිලන මිලක් (Cost-reflective pricing) අය කරන්න කියලා.
උදා: වැස්ස නැති කාලෙට තාප බලාගාර වලින් විදුලිය නිපදවන්න යන අධික වියදම කෙලින්ම පාරිභෝගිකයාගේ බිලට එකතු වෙනවා.
මේකත් එක්ක ලංකාවේ නිෂ්පාදන අංශය (කර්මාන්තශාලා) මේ අධික විදුලි බිල නිසා වැහිලා යනවා. එතකොට රටේ නිෂ්පාදනය අඩාල වෙලා ආර්ථිකය තවත් හැකිලෙනවා මිසක් ගොඩයන්නේ නැහැ.
විදුලිබල මණ්ඩලය කෑලිවලට කඩන සෙල්ලම හරියට "කෑම පිඟාන බෙදලා දීලා, අන්තිමට බඩගින්නේ ඉන්න වෙනවා" වගේ වැඩක්. IMF එකේ පොතේ ගුරුවරු කියන විදිහට මේක මාකට් එකට විවෘත කළාම තරගයක් හැදිලා මිල අඩු වෙයි කිව්වට, ලංකාව වගේ පුංචි රටක වෙන්නේ තියෙන රජයේ ඒකාධිකාරය වෙනුවට පුද්ගලික මාෆියාවක් හැදෙන එක විතරයි; මොකද තෙල් සංස්ථාවට වුණෙත් ඒකමයි, කෝ IOC, Sinopec ආවා කියලා තෙල් මිල සතයක්වත් අඩු වුණේ නැති අතරේ ලංකාවේ සල්ලි නිකරුණේ පිටරටට ඇදෙන එකයි වුණේ.
ReplyDeleteලෝකේ උදාහරණ ගත්තොත්, නයිජීරියාව 2013දී ඔය කියන විදිහටම විදුලිය පෞද්ගලීකරණය කරලා අන්තිමට විදුලි බිල අහස උසට ගියා විතරක් නෙවෙයි, අදටත් මුළු රටම අඳුරේ වැටෙන වාර අනන්තයි, මොකද පුද්ගලික සමාගම් ලාභය මිසක් නඩත්තුව ගැන බැලුවේ නැති නිසා. ඒ වගේම බ්‍රිතාන්‍යය (UK) වගේ දියුණු රටක පවා මේක කෑලි වලට කඩලා විකුණුවට පස්සේ, දැන් මිනිස්සුන්ට විදුලි බිල ගෙවාගන්න බැරුව ඒක ආයෙත් රජයට ගන්න ඕන කියලා උද්ඝෝෂණය කරනවා. මේකෙ තියෙන ලොකුම භයානකකම තමයි, විදුලිය නිපදවන එක (Generation) ලාභ ලබන සමාගම් අතට ගියාම, පායන කාලෙට Cost = Revenue සූත්‍රය දාලා උඹේ මගේ විදුලි බිල දරාගන්න බැරි තරම් වැඩි කරන එක. අන්තිමට වෙන්නේ IMF එකේ "බකපණ්ඩිත" කොන්දේසි නිසා අපේ රටේ නිෂ්පාදන පද්ධතියම විනාශ වෙලා, දේශීය කර්මාන්ත වැහිලා, අපි හැමදාම ණයකාරයෝ වෙලා ඉන්න එක විතරයි.
ලංකාවේත් පහුගිය දශක හතරකට අධික කාලයක සිට රජයේ ආයතන පෞද්ගලීකරණය කරාම ඒවායින් 90% ක් විතර බංකොලොත් වෙලා වැහිලා ගියා. ඊටපස්සේ ඒ දේවල් ආනයනය කරන ආයතන හෝ වෙනත් පෞද්ගලික අංශයේ ආයතනවලින් හෝ අත්පත් කරගෙන තියෙනවා. ලංකාවටත් විදුලිය නිපදවීම නවත්වලා ඉන්දියාවෙන් ආනයනය කරන්න තමයි වෙන්නේ ඉස්සරහට.