මේ ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව රටේ ආර්ථිකය ගැන වගේම පොදුවේ ආර්ථික කරුණු හා අදාළව කාලයක් තිස්සේ ජනගතව තිබුණු මිථ්‍යාවන් ගණනාවක් බිඳ වැටී තිබෙනවා. මේ මොහොත වෙද්දී තවත් ජනප්‍රිය මිථ්‍යාවක් බිඳ වැටෙමින් තිබෙනවා. ඒ රටේ බලශක්ති සුරක්ෂිතතාවය ආරක්ෂා කරගැනීම සඳහා බලශක්ති කර්මාන්තය රජය සතුව තිබිය යුතුයි කියන ජනප්‍රිය මිථ්‍යාවයි.
රටේ ජනාධිපතිවරයා විසින්ම ප්‍රකාශයක් කරමින් ජනතාවට දැනුම් දී තිබෙන්නේ ඉරාන යුද්ධය මාස දෙකකට වඩා කාලයක් පැවතුනහොත් ඉන්ධන අඛණ්ඩව සැපයීම පිළිබඳව සහතික විය නොහැකි බවයි. මෙම ප්‍රකාශය හරහා රජයට රටේ බලශක්ති සුරක්ෂිතතාවය තහවුරු කිරීම අපහසු බව රටේ ජනාධිපතිවරයා විසින්ම ජනතාවට පැහැදිලි කර තිබෙනවා.
රටක බලශක්ති සුරක්ෂිතතාවය තහවුරු කිරීම පිළිබඳව රජයකට වගකීමක් තිබෙනවා. එහෙත්, ඉතා සුවිශේෂී තත්ත්වයන් යටතේ හැර සාමාන්‍යයෙන් රටක පාරිභෝගිකයින්ට ඉන්ධන හිඟයකට මුහුණ දීමට සිදු වන්නේ නැහැ. එවැනි අවස්ථා විරලයි. කෙසේ වුවත්, ලංකාව හා අදාළව මෙවැනි අවස්ථා ඒ තරම්ම විරල නැහැ.
තෙල් සඳහා තිබෙන්නේ "අනම්‍ය" ඉල්ලුමක්. මෙයින් අදහස් වන්නේ තෙල් මිල වැඩි වෙද්දී ඉල්ලුම අඩු වෙන්නේ නැහැ කියන එක නෙමෙයි. මිල වැඩි වෙද්දී තෙල් ඉල්ලුම පහළ යනවා. එහෙත්, මිල 1%කින් වැඩි වෙද්දී තෙල් ඉල්ලුම 1%කින් අඩු වෙන්නේ නැහැ. ඒ නිසා, මිල ඉහළ යද්දී, පුද්ගලයින් ලෙස මෙන්ම රටක් ලෙසද, තෙල් වෙනුවෙන් වැය කළ යුතු මුදල ඉහළ යනවා.
ඉහත හේතුව නිසා, ඇමරිකාව වැනි ධනවත් රටවල පවා පාරිභෝගිකයින් තෙල් මිලට සංවේදීයි. තෙල් මිල ඉහළ යාම ඇමරිකාවේ වුවද දේශපාලන ප්‍රශ්නයක් බවට පත් වෙනවා. කෙසේ වුවත්, එවැනි බොහොමයක් රටවල තෙල් මිල ඉහළ යාමේ ප්‍රශ්නයකට මිස තෙල් හිඟ වීමේ ප්‍රශ්නයකට පාරිභෝගිකයින්ට මුහුණ දීමට සිදු වන්නේ නැහැ. යම් අවස්ථා වලදී තෙල් පිරවුම්හල් වල පෝලිම් හැදීමේ ඉඩකඩක් තිබුණත් එවැනි පාරිභෝගික හැසිරීමකට හේතු වන්නේ මිල ඉහළ යාමට පෙර කීයක් හෝ අඩුවෙන් තෙල් මිල දී ගැනීමේ නැඹුරුව මිස තෙල් මිල දී ගැනීමට නොහැකි වේය යන බය නෙමෙයි.
ලංකාව තෙල් නිපදවන රටක් නෙමෙයි. ඒ වගේම, ලංකාවේ ආනයන වලින් සැලකිය යුතු පංගුවක් තෙල්. ඒ නිසා ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යාම ලංකාවේ තෙල් වෙළඳපොළෙන් ඔබ්බට ගොස් විදේශ විණිමය වෙළඳපොළටද බලපෑමක් කරනවා. එසේ විදේශ විණිමය වෙළඳපොළට සිදු වන බලපෑම ඇතැම් තත්ත්වයන් යටතේ රටේ සමස්ත ආර්ථිකයම අස්ථාවර කිරීමට වුවද දායක විය හැකි තරමේ කම්පන ඇති කරනවා.
අවස්ථා කිහිපයකදී ලෝක වෙළඳපොළේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 100 ඉක්මවා ගොස් තිබෙනවා. මුලින්ම මෙවැන්නක් සිදු වූයේ 2008 වසරේ මුල් භාගයේදීයි. ඉන් පසුව, ලෝක ආර්ථික අර්බුදය හමුවේ තෙල් මිල විශාල ලෙස පහත වැටුණත්, නැවත තෙල් මිල එම සීමාව ඉක්මවා ගියා. 2011-2014 කාලය තුළ තෙල් බැරලයක මිල ඩොලර් 100 සීමාවට ඉහළින් හෝ ඒ ආසන්නයේ විචලනය වුනා.
ඉහත තත්ත්වය ලංකාවට මුහුණ දීමට සිදු වූ විශාල අභියෝගයක්. ඒ වෙලාවේ තිබුණේ අවසානය පැහැදිලිව පෙනෙන්නට තිබුණු ප්‍රශ්නයක් නෙමෙයි. ප්‍රශ්නයට විසඳුමක් ලෙස නිවැරදි හා නිර්මාණාත්මක විසඳුමක් යෝජනා වුනා. ඒ ඉන්ධන මිල දී ගැනීම් හා අදාළව හෙජිං ගිවිසුම් වලට එළඹීමයි. ලංකාව වැනි රජය විසින් මධ්‍යගතව තෙල් වෙළඳපොළ පාලනය කරන රටකට එවැනි ප්‍රශ්නයකට මුහුණ දීම සඳහා තිබුණු විකල්ප අතරින් එය හොඳම විකල්පයක්.
තමන්ගේ පාලනයෙන් තොර අනපේක්ෂිත මිල ඉහළ යාම් වල අවදානමෙන් මිදීම සඳහා තිබෙන හොඳම විකල්පය වන්නේ හෙජිං ගිවිසුම් වලට එළඹීමයි. එහෙත්, මේ වෙනුවෙන් යම් මිලක් ගෙවන්නට සිදු වෙනවා. ඒ, මිල පහත වැටෙද්දී එහි වාසිය ලබා ගැනීමට නොහැකි වීමයි. ඉහත හේතුව නිසා ලංකාව විසින් එළඹුණු ඇතැම් හෙජිං ගිවිසුම් වලින් ලාබයක් ලැබුනත් ඇතැම් ගිවිසුම් වලින් පාඩු වුනා. ඒ අවස්ථාවේදී ඇතැම් පාර්ශ්වයන් විසින් මෙය දේශපාලන ප්‍රශ්නයක් බවට පත් කරගත්තා. හෙජිං ගිවිසුම් සඳහා මුල් වූ පුද්ගලයින්ට පෞද්ගලිකව පවා ප්‍රශ්න වලට මුහුණ දීමට සිදු වුනා. හෙජිං ගිවිසුම්ද නැවතුනා. කෙසේ වුවත්, බොරතෙල්බැරලයක මිල ඩොලර් 125 පමණ වූ 2008දී හෝ එම මිල කාලයක් එක දිගට ඩොලර් 100 සීමාව ඉක්මවා පැවති 2011-2014 කාලය තුළ ලංකාවේ පාරිභෝගිකයින්ට තෙල් හිඟයකට මුහුණ දෙන්න සිදු වුනේ නැහැ.
ඉන් පසුව, 2022 මැද භාගයේදී නැවතත් බොර තෙල් බැරලයක මිල ඩොලර් 100 සීමාව ඉක්මවා ගියා. ඒ වන විටද විදේශ විණිමය අර්බුදයක සිර වී සිටි ලංකාවේ විදේශ විණිමය ප්‍රශ්නය මේ හරහා තවත් තීව්‍ර වුනා. මේ කතා කරන්නේ මතක තිබෙන අතීතයක් ගැන නිසා මේ ගැන වැඩි විස්තර අවශ්‍ය වන්නේ නැහැ.
පළමු වට වලදී මෙන් නොව, 2022 අර්බුද සමයේදී ලංකාවේ පාරිභෝගිකයින්ට තෙල් හිඟයකට මුහුණ දෙන්නට සිදු වුනා. ඒ අනුව, පාරිභෝගිකයින් තෙල් පෝලිම් වලට එකතු වුනේ තෙල් මිල ඉහළ යයි කියන බිය නිසා නෙමෙයි. තෙල් නැති වෙයි කියන බිය නිසා. ඒ කාලයේදී තෙල් බවුසරයක් පැමිණීම විශාල ප්‍රවෘත්තියක් වුනා. මේ ප්‍රශ්නයට කෙටිකාලීන විසඳුමක් ලෙස තවත් නිර්මාණාත්මක අදහසක් යෝජනා වුනා. ඒ QR කෝඩ් ක්‍රමයයි. එය හෙජිං ක්‍රමයටද වඩා මධ්‍යගත විසඳුමක්.
හෙජිං විසඳුම මධ්‍යගත විසඳුමක් වූයේ එය රජය මුල් වී සිදු කිරීමේ හේතුවෙන් පමණයි. එසේ නොවන්නට එය වෙළඳපොළ විසඳුමක්. QR කෝඩ් ක්‍රමය සැපයුම සීමා කරන තනිකරම මධ්‍යගත ආකෘතියේ විසඳුමක්. එය කිසිසේත්ම දිගුකාලීන විසඳුමක් හෝ වෙළඳපොළ විසඳුමක් නෙමෙයි. කෙසේ වුවද, එවැනි හදිසි තත්ත්වයක් තුළ රාජ්‍ය ඒකාධිකාරය නිසා ඇති වී තිබුණු දිගුකාලීන ප්‍රශ්නයකට කෙටිකාලීනව ඊට වඩා හොඳ විසඳුමක් ලබා දිය හැකිව තිබුණේ නැහැ.
කෙටිකාලීන ප්‍රශ්නය විසඳා ගැනීමෙන් පසුව QR කෝඩ් ක්‍රමය තව දුරටත් අවශ්‍ය වූයේ නැහැ. එය ඒ වෙලාවේ ගඟෙන් එතෙර වීම සඳහා අවශ්‍ය වූ පාරුවක් පමණයි. කෙටිකාලීන ප්‍රශ්නය විසඳා ගැනීමෙන් පසුව එවකට බලයේ සිටි ආණ්ඩුව විසින් මේ ප්‍රශ්නය දිගුකාලීනව විසඳා ගැනීම පිණිස යම් ක්‍රියාමාර්ග ගත්තා. සිනොපෙක් වැනි සමාගම් රටට පැමිණියේත්, මිල සූත්‍රයක් අනුව මසකට වරක් ඉන්ධන මිල සංශෝධනය කිරීම ආරම්භ වූයේත් මෙහි ප්‍රතිඵලයක් ලෙසයි. කෙසේ වුවද, මේ ක්‍රියාමාර්ග අවශ්‍ය අවසන් ඉලක්කය කරා යාම සඳහා අවශ්‍ය වන මූලික පියවර පමණයි. දිගුකාලීනව ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා එම ක්‍රියාමාර්ග ප්‍රමාණවත් වන්නේ නැහැ.
දැන් නැවතත් ඉන්ධන මිල ඩොලර් 100 සීමාවට ලං වෙමින් තිබෙනවා. මේ තත්ත්වය හමුවේ පවතින ආණ්ඩුව විසින් නැවතත් QR කෝඩ් ක්‍රමය හඳුන්වා දී තිබෙනවා. තාවකාලික විසඳුමක් ලෙස එසේ කිරීමේ වැරැද්දක් නැහැ. එහෙත්, දැන් තිබෙන තත්ත්වය 2022 දී පැවති තරම් නරක තත්ත්වයක් නෙමෙයි. ඒ වගේම QR කෝඩ් ක්‍රමය ඒ වෙලාවේ පැවති තත්ත්වය අනුව හොඳම හෝ එකම සහ ප්‍රමාණවත් විසඳුමක් වුවත් දැනට තිබෙන තත්ත්වය අනුව එය එසේ නොවෙන්න පුළුවන්.
එදා රටේ නොසිටි සිනොපෙක් වැනි සමාගම් මේ වෙද්දී රටේ සිටියත්, එදාට සාපේක්ෂව ඉන්ධන වෙළඳපොළ ආකෘතියේ විශාල වෙනසක් සිදු වී නැහැ. එක පැත්තකින් ඉන්ධන වෙළඳපොළ තවමත් රජයේ ඒකාධිකාරයක්. පවතින ආකෘතිය තුළ අනෙකුත් සමාගම්ද ඒ ඒකාධිකාරයේම කොටස් පමණයි. අනෙක් පැත්තෙන් ඉන්ධන මිල මිල තීරණය කරන්නේ රජය විසිනුයි. එය ඉල්ලුම හා සැපයුම අනුව තීරණය වන්නේ නැහැ. ඒ නිසාම පවතින මිල යටතේ ඉල්ලුම හා සැපයුම ගැලපෙන්නේ නැහැ.
පවතින මිල යටතේ ඉල්ලුම හා සැපයුම නොගැලපුණු විට ඉන්ධන හිඟයක් ඇති වෙනවා. QR කෝඩ් ක්‍රමය මගින් සිදු වන්නේ ප්‍රශ්නයට විසඳුමක් ලෙස සැපයුම සීමා කිරීමයි. එහෙත් නිවැරදි හා තිරසාර විසඳුම වන්නේ ඉල්ලුම හා සැපයුම තුලනය වීමට ඉඩ සැලැස්වීමයි.
මේ වන විට වෙනත් සැපයුම්කරුවන්ද රටේ සිටින නිසා රටට අවශ්‍ය ඉන්ධන සැපයීම තනිකරම රජයේ කාර්ය භාරයක් කරගත යුතු නැහැ. එහෙත් පවතින ආකෘතිය තුළ එය එසේ සිදු වී තිබෙනවා. ඒ නිසා, රටේ ජනාධිපතිවරයාට අනෙක් කාර්යයන් පැත්තක දමා තෙල් මුදලාලි කෙනෙකුගේ රස්සාව කිරීමට සිදු වී තිබෙනවා. නමුත් ඔහුම කියා ඇති පරිදි ඔහු සතුව තෙල් ලිං නැහැ. ඒ නිසා ඔහු කළ යුත්තේ තෙල් ලිං තිබෙන අයට අවස්ථාව ලබා දීමයි.
ලංකාවේ තෙල් වෙළඳපොළ නිදහස් වී නැතුවා වගේම එහි පූර්ණ තරඟයක් ඇති වීද නැහැ. පවතින හදිසි තත්ත්වය තුළ, කෙටි කලකින් ඒ තත්ත්වයේ වෙනසක් කිරීමේ හැකියාවක්ද නැහැ. එහෙත්, පවතින තත්ත්වය තුළ වුවද, මිල හැසිරීම වඩා නම්‍යශීලී වීමට ඉඩ හැරීම මගින් ප්‍රශ්නය සෑහෙන දුරකට විසඳාගන්න පුළුවන්.
මේ වෙලාවේ කරනවානම් කළ හැකි දේවල් කිහිපයක් තිබෙනවා.
1. නිශ්චිත, සරල මිල සූත්‍රයක් අනුව පිරවුම්හල්හිමියන්ට ලබා දෙන සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් දිනපතා විචලනය කිරීම.
2. සිනොපෙක් වැනි තරඟකාරී සමාගම් වලට ඉන්ධන විකිණිය හැකි උපරිම මිල ඉවත් කිරීම හෝ අවම වශයෙන් සිපෙට්කෝ මිලට සාපේක්ෂව යම් සීමාවක් දක්වා නම්‍යශීලී වීමට ඉඩ හැරීම.
3. සිපෙට්කෝ නියෝජිත ඉන්ධන පිරවුම්හල්හිමින්ට ඉන්ධන විකිණිය හැකි සිල්ලර මිල දෛනිකව තීරණය කරන සිපෙට්කෝ තොග මිලට සාපේක්ෂව යම් සීමාවක් දක්වා විචලනය වීමට ඉඩ දීම.
මේ තුන කිරීම මගින් ලංකාවේ ඉන්ධන වෙළඳපොළ ප්‍රශ්න විසඳෙන්නේ කොහොමද? දැන් අපි තරමක් විස්තරාත්මක ලෙස මේ ගැන කතා කරමු.
තෙල් සංස්ථාව ඇතුළු රාජ්‍ය ආයතන වල කාර්යක්ෂමතාවය පිළිබඳ බරපතල ප්‍රශ්න තිබෙනවා. නමුත්, ඇත්ත කතා කළොත්, සිල්ලරට විකුණන ඉන්ධන ලීටරයක පිරිවැයෙන් විශාල කොටසක් එම ඉන්ධන ආනයනය කිරීම සඳහා වැය වන පිරිවැය. එම පිරිවැය විචලනය වීමට මූලික වශයෙන් බලපාන්නේ ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල සහ ඩොලරයක මිල කියන ප්‍රධාන කරුණු දෙකයි. ඒ නිසා, ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල සහ ඩොලරයක මිල යන සාධක දෙක මත පමණක් පදනම්ව සරල මිල සූත්‍රයක් සාදා ප්‍රසිද්ධ කළොත් එය කාට වුනත් තේරෙනවා. ඒ වගේම, මිල සූත්‍රය ප්‍රසිද්ධ කිරීම වත්මන් ජනාධිපති විපක්ෂයේ සිටියදී එවකට බලයේ සිටි ආණ්ඩුවෙන් කළ ඉල්ලීමක්.
ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල දිනපතා විචලනය වෙනවා. විශේෂයෙන්ම මේ දවස් වල. මේ මිල ගණන් ප්‍රසිද්ධ තොරතුරු. ඒ වගේම ලංකාවේ දැන් තියෙන්නේ පාවෙන විණිමය අනුපාත ක්‍රමයක්. මහ බැංකුව විසින් දිනපතා විණිමය අනුපාත ප්‍රසිද්ධ කරනවා. ඒ නිසා, මේ සාධක දෙක මත පමණක් පදනම්ව දිනපතා ඉන්ධන මිල ගණන් නිවේදනය කිරීම සරල, පහසු වැඩක්.
පිරිවැය කෙරෙහි බලපාන වෙනත් සාධක ගණනාවක් තිබුණත් සාමාන්‍යයෙන් ඒ සාධක දිනපතා වෙනස් වෙන්නේ නැහැ. අවශ්‍යනම් එම සාධක වෙනස් වීම සලකා දැන් වගේම මාසයකට වරක් යම් අමතර ගැලපීමක් කරන්න පුළුවන්. වැදගත් දේ මිල දිනපතා විචලනය වීමට ඉඩ හැරීම.
මේ වගේ වැඩක් කරද්දී "දැනට වැඩි මිලට ගෙනත් තියෙන තෙල්" වගේ කතා අමතක කරන්න වෙනවා. ඒ කියන්නේ මිල තීරණය වෙන්නේ ආවස්ථික පිරිවැය මත මිසක් සත්‍ය පිරිවැය මත නෙමෙයි. ලෝක වෙළඳපොළේ තෙල් මිල අඩු වුනොත් හෝ ඩොලරයක මිල අඩු වුනොත් තෙල් සංස්ථාවට කෙටිකාලීනව යම් පාඩුවක් වෙනවා. අනෙක් අතට වෙළඳපොළේ තෙල් මිල වැඩි වෙද්දී සහ ඩොලරයක මිල වැඩි වෙද්දී තෙල් සංස්ථාවට කෙටිකාලීනව අමතර ලාබයක් ලැබෙනවා. මේ ලාබ පාඩු ගලපා ගැනීම තෙල් සංස්ථාව විසින් කළ යුතු දෙයක්. මේ වගේ සරල ව්‍යාපාරික අවදානමක්වත් කළමනාකරණය කර ගන්න බැරිනම් තෙල් සංස්ථාව ව්‍යාපාර කිරීමෙන් ඉවත් විය යුතුයි.
මේ ක්‍රමයේ තිබෙන එක් ප්‍රශ්නයක් වන්නේ, විශේෂයෙන්ම දැන් පවතින වාතාවරණය තුළ, දිනපතා මිල ගණන් විශාල ලෙස විචලනය විය හැකි වීම. මේ ප්‍රශ්නයට විසඳුමක් ලෙස ආරම්භයේදී දෛනික උපරිම විචලන සීමාවක් හඳුන්වා දෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට දිනක් තුළ මිල අඩු හෝ වැඩි වීම උපරිම වශයෙන් 1%කට සීමා කරන්න පුළුවන්. එවිට මාසයක් ඇතුළත 30%ක් දක්වා මිල වෙනස් වෙන්න ඉඩක් තිබෙනවා. ප්‍රායෝගිකව දැනට මිල ඊට වඩා වෙනස් කෙරෙන්නේ නැහැ.
දෙවනුව, මේ ක්‍රමයේදී ඉන්ධන පිරවුම්හල් හිමියන්ටත් යම් ව්‍යාපාරික අවදානමක් ගන්න වෙනවා. නමුත් ඔවුන්ට මේ ව්‍යාපාරික අවදානම දැනටත් තිබෙනවා. ඇත්ත වශයෙන්ම මාසයකට වරක් 10%කින් පමණ මිල වෙනස් වෙද්දී ඔවුන්ට තිබෙන අවදානම මීට වඩා වැඩියි. ඒ නිසා මෙය ප්‍රශ්නයක් නෙමෙයි.
දෙවනුව කළ යුත්තේ සිනොපෙක් වැනි තරඟකාරී සමාගම් වලට ඉන්ධන විකිණිය හැකි උපරිම මිල ඉවත් කිරීම හෝ අවම වශයෙන් සිපෙට්කෝ මිලට සාපේක්ෂව යම් සීමාවක් දක්වා නම්‍යශීලී වීමට ඉඩ හැරීම. මම දන්නා තරමින් තෙල් සංස්ථා පණතේ 66 වගන්තිය අනුව දැනට ඇමති වරයා විසින් නියම කරන්නේ උපරිම සිල්ලර මිල ගණන්. එය එසේය යන උපකල්පනය යටතේ, මේ තරඟකාරී සමාගම් වලට මේ මිලට වඩා අඩුවෙන් තෙල් විකිණිය හැකි වුවත් වැඩියෙන් තෙල් විකුණන්න බැහැ.
අදාළ රටවල රාජ්‍ය අයිතියක් තිබෙන සමාගම් වුනත් සිනොපෙක්, LIOC වැනි සමාගම් ලාභ වැඩි කරගැනීමේ අරමුණින් කටයුතු කරනවා. ඒ නිසා, ලංකාවේ තෙල් විකුණලා ලබා ගන්න පුළුවන් ලාභය චීනයේ හෝ ඉන්දියාවේ තෙල් විකුණලා ගන්න පුළුවන් ලාබයට වඩා වැඩිනම්, ඔවුන් උත්සාහ කරන්නේ පුළුවන් තරම් තෙල් ගෙනත් විකුණන්න. ක්ෂණික ප්‍රශ්නය තෙල් මිලට වඩා තෙල් හිඟ වීමේ අවදානමනම්, ලංකාවේ පැත්තෙන් මේ වෙලාවේ කළ හැකි හොඳම දේ සිනොපෙක්, LIOC වැනි සමාගම් වලට තෙල් සැපයීමේ බර වැඩියෙන් දමන එක. එයින් කෙටිකාලීනව රටේ විදේශ විණිමය ඉතිරි වීමකුත් වෙනවා.
දැනට මේ වැඩේ වෙන්නේ නැත්නම්, එයින් අදහස් වෙන්නේ ඇමතිවරයා විසින් තීරණය කර ඇති උපරිම සිල්ලර මිල සීමාකාරී සාධකයක් වී ඇති බවයි. මිල ප්‍රමාණවත් තරම් ඉහළනම්, තෙල් සංස්ථාවට කවර හෝ හේතුවක් නිසා තෙල් ප්‍රමාණවත් තරම් සපයන්න අසීරු වෙද්දී ඔය සමාගම් විසින් ඒ අඩුව පුරවනවා. ඒ නිසා රටේ තෙල් හිඟයක් ඇති වෙන්නේ නැහැ.
මිල එක වර මුළුමනින්ම නිදහස් කරන්න බයනම්, අඩු වශයෙන් තෙල් සංස්ථාව විසින් දෛනිකව නියම කරන මිල මෙන් 10%ක උපරිමයකට මිල යටත් කරන්න පුළුවන්. එවිට අඩුවට තෙල් අවශ්‍ය අය පෝලිමේ ඉඳලා තෙල් සංස්ථාවෙන් තෙල් ගනියි. පෝලිම් වල ඉන්න කැමැති නැති අය 10%ක් වැඩියෙන් ගෙවා තෙල් මිල දී ගනියි.
ඔය පියවර දෙකත් එක්ක සිපෙට්කෝ නියෝජිත ඉන්ධන පිරවුම්හල්හිමින්ට, යම් සීමාවකට යටත්ව, වැඩි මිලකට තෙල් විකිණීමේ අවස්ථාවද ලබා දිය හැකියි. අපි හිතමු 5%ක් කියලා. ඔය අවස්ථාව ලබා දුන්නා කියලා සියලුම ඉන්ධන පිරවුම්හල් හිමියෝ 5%ක් වැඩියෙන් තෙල් විකුණන්නේ නැහැ. ඊට හේතුව මිල සුළු වශයෙන් අඩු කර අලෙවිය වැඩි කර ගැනීම මගින් වැඩි ලාබයක් ලබා ගැනීමේ අවස්ථාවක් තිබීමයි. ඒ නිසා, තෙල් සංස්ථාවේ පිරවුම්හල් අතර වුනත්, දෛනිකව සිදු වන මිල විචලනයට අමතරව, පිරවුම්හල් අතරද මිල වෙනසක් ඇති වෙනවා. මේක වුනාට පස්සේ පාරිභෝගිකයින් අඩු මිලට තෙල් තිබෙන තැන් හොයන්න පටන් ගන්නවා. ඒ තැන් වල පෝලිම් හැදෙයි. නමුත් අනෙක් තැන් වලින් සුළු ගණනක් වැඩියෙන් ගෙවා පෝලිමක් නැතිව තෙල් ගන්න පුළුවන්.
සිපෙට්කෝ මිල ගණන් දිනපතා වෙනස් වන නිසා සිනොපෙක්, LIOC වැනි සමාගම් වලටද ඒ අනුව දිනපතා මිල ගණන් වෙනස් කරන්න වෙනවා. ඔවුන්ට ප්‍රමාණවත් ඉල්ලුමක් නැත්නම් මිල අඩු වෙනවා. නමුත් තෙල් සංස්ථාවට අවශ්‍ය පමණ තෙල් සපයන්න බැරි වෙන අවස්ථා වලදී, මිල වැඩි වන නමුත්, එම සමාගම් හරහා තෙල් සැපයුම අඛණ්ඩව සිදු වෙනවා.
ඔය වගේ තත්ත්වයක් යටතේ පාරිභෝගිකයින් අනවශ්‍ය පරිදි ඉන්ධන මිල දී ගෙන ගබඩා කරගන්න පෙළඹෙන්නේ නැහැ. දැන් තිබෙනවා වගේ අවිනිශ්චිත තත්ත්වයක් යටතේ වුවත් යම්කිසි නිශ්චිත දවසක මිල වැඩි වෙන්න වගේම අඩු වෙන්නත් පුළුවන්. ඒ නිසා කලින් තෙල් මිල දී ගන්න එකෙන් පාඩුවක් වෙන්නත් පුළුවන්. මිල වැඩි වෙද්දී වුනත්, දවසක් කලින් තෙල් ගැහුවා කියලා උපරිම වශයෙන් ලැබෙන්නේ 1%ක වාසියක්.
හැබැයි ඔය 1%ක වාසිය වුනත්, පරිමාව වැඩි නිසා, ඉන්ධන පිරවුල්හල් හිමියන්ට සැලකිය යුතු වාසියක්. ඒ නිසා, මිල වැඩි වන කාල වකවානු වලදී ඔවුන් පුලුවන් තරම් තොග එක්රැස් කරගන්නවා. මෙයින් වෙන්නෙත් සිදු විය යුතු දේ. රටේ තෙල් සංචිත ඉහළ යනවා. මිල අඩු වෙද්දී ඔවුන් මේ සංචිත අඩු කරයි. නමුත් මිල අඩු වෙන කාලයකදී සංචිත වල වැදගත්කම අඩුයි.
ඔය සියල්ල කරන අතර, අවශ්‍යනම් රජයට උපාය මාර්ගික තෙල් සංචිතයක් පවත්වා ගන්නත් පුළුවන්. තෙල් සංස්ථාවේ සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු වලින් වෙන් කරලා, තෙල් සංස්ථාවේ පහසුකම් යොදාගෙනම මෙවැනි හදිසි සංචිතයක් නඩත්තු කරන්න පුළුවන්.
දැනට තිබෙන තත්ත්වය තුළ වුවත්, තාවකාලික විසඳුමක් ලෙස QR කෝඩ් ක්‍රමය ක්‍රියාත්මක කරන අතරම, ස්ථිර විසඳුමක කොටසක් ලෙස ඔය දේවල් කරන්න පුළුවන්.
මේ ටිකට අමතරව අවසාන වශයෙන් තවත් එක් දෙයක් එකතු කළ යුතුයි. ඒ ලංකාවේ තෙල් නිධි කතාව. රටට විදේශ විණිමය ප්‍රශ්නයක් හෝ තෙල් ප්‍රශ්නයක් එන හැම වෙලාවකම ඔය තෙල් නිධි උඩට එනවා. හරියට පොල් ගණන් යද්දී රිලා ප්‍රශ්නය උඩට එනවා වගේ. දැන් පොල් මිල අඩුයි. ඒ නිසා රිලා ප්‍රශ්නය ගැන කතාවකුත් නැහැ. මෙහි ලිවුවා කියල මතක තියාගන්න 2028දී හෝ 2029දී නැවත රිලා ප්‍රශ්නයක් එනවා.
ලංකාව අවට නිධි වල තෙල් ඇති. නමුත් ඒ තෙල් ගොඩට අරගෙන විකුණලා ලාබයක් ගන්න එකේ විශාල ව්‍යාපාරික අවදානමක් තිබෙනවා. නමුත් ඔය වැඩේට අත ගහන්න සමාගමක් හොයාගන්න බැරි වෙන්න එකම හේතුව ඒ ව්‍යාපාරික අවදානම නෙමෙයි. ලංකාව හා අදාළව ව්‍යාපාරික අවදානමට අමතරව දේශපාලනික අවදානමකුත් තිබෙනවා.
ව්‍යාපාරිකයෝ කියන්නේ අවදානමක් ගන්න අය. අවදානමක් ගන්නේ ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන්. ව්‍යාපාරික අවදානමක් ගැනීම වෙනුවෙ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබෙනවා. නමුත් අමතර දේශපාලනික අවදානම වෙනුවෙන් කිසිදු ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැහැ. ප්‍රශ්නය තිබෙන්නේ ඔතැනයි. ලංකාවේ සිල්ලර ඉන්ධන වෙළඳපොළ වඩා නිදහස් කිරීම මගින් මුලින් කී වාසි වලට මේ දේශපාලනික අවදානම අඩු වීමේ වාසියත් එකතු වෙනවා.
ඉකොනෝ අයියන්ඩි මහන්සි වෙලා හොඳ පෝස්ට් එකක් දාල තියෙනවා, ඒත් ඔය හෙජිං සීන් එක ගැන නම් සැකයි මොකද ඔය හෙජිං සූදුව නැත්නම් දූෂිත හෙජිං වංචාව කරේ රාජපක්ෂ හොර රැල සහ කබරයා එකතු වෙලා රටේ සල්ලි කෝටි ප්‍රකෝටි ගණනක් හොරා කන්න නේද?
ReplyDeleteඇත්තටම කබරයා ග්‍රීක් බැඳුම්කර වල ආයෝජනය කරලා පාඩු කරපු කෝටි 184 ක් ද කොහෙද මාස තුනක් ඇතුළත ගෙවන්න ඕන කියලා මාලිමාවට රෙදි නැතුව කඩේ ගිය ඩෝබිලා මීට මාස පහ හයකට හතකට විතර ඉස්සර උඩ පැන්නා මතකද? දැන් ඒ මාස තුනේ කෑලිත් නෑනේ ඌ ඒ සල්ලි ගෙවලා ඉවර ද?
හැබැයි ඔය තෙල් මිල කේස් එකට මම නම් යෝජනා කරන්නේ ඔය නන්දසේන රාජපක්ෂගේ සහ කාංචනගේ QR කෝඩ් මගුල වෙනුවට මන්ද බුද්ධික ජෙපි ඩෝබි මාලිමා වහල්ලු ටික ෆෝම් කරලා ඔය යුද්ධ කරන රටවල නිල පේජ් වලට උන්ව යවලා උන් ලවා කමෙන්ට් කරවන්න ඕනේ " අඩෝ..ව් නවත්තපම් U-tto ඔය මඟුල... මේ පොඩි පොඩි රටවල් වල මිනිස්සු අනාථයි..
විශේෂයෙන් "හුණ්ඩුවේ" උන්ට එකෙන්ම කෙළවෙනවා උඹලා මරාගත්තම.
ඒ තරං පජාත ආණ්ඩුවකුයි නන්නා වෙච්චි පච කෙලින රෙද්දේ revee ඉන්න මොංගල් ජනාධිපතියෙකුයි ඩෝ අපට ඉන්නෙ 🥲" ඔය වගේ කමෙන්ට් දාල බලමු ත? 🫣