රජය විසින් මේ වන විට තවත් ඉන්ධන මිල සංශෝධනයක් සිදු කර අවසන්. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පණතේ 66 වන වගන්තිය අනුව, බලශක්ති විෂය භාර අමාත්‍ය වරයාට ගැසට් නිවේදනයක් නිකුත් කිරීම මගින් මෙවැනි මිල සංශෝධනයක් කළ හැකියි. මෙවැනි අවස්ථාවකදී බොහෝ විට කරන්නේ නමට එක් ගැසට් පිටපතක් පමණක් මුද්‍රණය කරන එකයි. ඒ නිසා, අවශේෂ පුද්ගලයින්ට ඒ වහාම ගැසට් නිවේදනය හරියටම බලා ගන්න ලැබෙන්නේ නැහැ. ගැසට් නිවේදනයේ තිබෙන දේ හරියටම දැන ගැනීම සඳහා එය ප්‍රසිද්ධ කරන තෙක් බලා ඉන්න සිදු වෙනවා.
මේ හා අදාළව මීට පෙර නිකුත් කර තිබුණු ගැසට් නිවේදනය අනුව, නීතිමය අවදානමක් නොගෙන ලංකාව ඇතුළත, ඉන්ධන අලෙවි කළ හැකි වූයේ හරියම ගැසට් නිවේදනයේ සඳහන්ව තිබුණු මිල ගණන් වලට පමණයි. සිනොපෙක් සමාගම විසින් මිල ගණන් සංශෝධනය කරමින් මේ වන විට නිකුත් කර ඇති නිවේදනය අනුව, ඉන්ධන වර්ග දෙකක මිල ගණන් ස්වාධීනව තීරණය කිරීම සඳහා සිපෙට්කෝ හැර අනෙකුත් සමාගම් වලට නිදහස ලැබී ඇති බව පෙනී යනවා.
මේ අනුව, සිනොපෙක් සමාගම විසින් සුපිරි ඩීසල් සහ සුපිරි පැට්‍රෝල් (95) මිල ගණන් සිපෙට්කෝ මිලට සාපේක්ෂව සැලකිය යුතු මට්ටමකින් ඉහළ දමා තිබෙනවා. එහෙත්, සාමාන්‍ය ඩීසල් සහ පැට්‍රෝල් වල මිල තීරණය කිරීම සඳහා ඔවුන්ට එවැනි අවසරයක් ලැබී ඇති බවක් පෙනෙන්නට නැහැ.
මෙතෙක් සිපෙට්කෝ සමාගම අනුව යමින් මිල ගණන් තීරණය කළ LIOC සමාගම විසින්ද මෙවර සිනොපෙක් සමාගම අනුව මිල තීරණය කර තිබෙනවා. ඒ අනුව, මිල තීරණය කිරීම හා අදාළව මෙතෙක් සිපෙට්කෝ සමාගම සතු වූ වෙළඳපොළ පුරෝගාමියාගේ භූමිකාව මේ වන සිනොපෙක් සමාගම වෙත මාරු වී තිබෙනවා.
මිල සූත්‍රය අනුව, මෙම අවසන් සංශෝධනය හා අදාළ මිල ගණන් වෙනස් වී ආකාරය හෝ මීට පෙර වටයේදී එය සිදු කළ ආකාරය තවමත් ප්‍රසිද්ධ කර නැහැ. එහෙත් පෙබරවාරි මාසය අවසානය දක්වා එම තොරතුරු ප්‍රසිද්ධ කර තිබෙනවා. පහත තිබෙන්නේ මිල සූත්‍රය අනුව, පසුගිය පෙබරවාරි 27 දින සාමාන්‍ය (92) පැට්‍රෝල් ලීටරයක මිල තීරණය වූ ආකාරයයි.
ගොඩ බෑමේ පිරිවැය = රුපියල් 153.95
බදු = රුපියල් 115.39
අනෙකුත් පිරිවැය හා ගැලපුම් = 18.23
ලාබ ආන්තිකය = රුපියල් 5.43
එකතුව = රුපියල් 293.00
පෙබරවාරි 27 වන විට ඉන්ධන මිල කෙරෙහි යුද්ධයේ බලපෑමක් තිබුණේ නැහැ. ඒ වන විට සිංගප්පූරුවේ පිරිපහදු කළ පැට්‍රෝල් බැරලයක මිල ඩොලර් 79.30ක් වූ අතර ඩොලරයක විකිණුම් මිල රුපියල් 313.06ක්. මේ වන විට (2026 මාර්තු 20) සිංගප්පූරුවේ පිරිපහදු කළ පැට්‍රෝල් බැරලයක මිල ඩොලර් 145.00ක් වන අතර (මහ බැංකුවේ දත්ත අනුව - ඇමති ජයතිස්සට අනුවනම් ඩොලර් 150.61ක්). ඩොලරයක විකිණුම් මිල රුපියල් 315.94ක්. මේ අනුව, පෙබරවාරි 27 මිල සංශෝධනයෙන් පසුව පෙට්‍රෝල් ලීටරයක ගොඩ බෑමේ පිරිවැය 84.5%කින් ඉහළ ගොස් තිබෙනවා (ඇමති ජයතිස්සට අනුව වැඩිවීම 89%ක්). මේ අනුව, මහ බැංකු දත්ත අනුව සහ ප්‍රවාහන හා රක්ෂණ ගාස්තු ආදියද අනුපාතිකව වැඩි වී ඇතැයි යන උපකල්පනය යටතේ, ගොඩබෑමේ පිරිවැය ආසන්න වශයෙන් රුපියල් 130.14කින් ඉහළ ගොස් තිබෙනවා.
ඉහත කාලය ඇතුළත සාමාන්‍ය පැට්‍රෝල් ලීටරයක මිල රුපියල් 105කින් ඉහළ දමා තිබෙනවා. අනෙකුත් පිරිවැය හා ගැලපුම් හා ලාබ ආන්තිකය නොවෙනස්ව පැවති සේ සැලකුවද, ගොඩ බෑමේ පිරිවැය ඉහළ යාම හේතුවෙන් රුපියල් 130.14ක මිල වැඩි වීමක් සිදු විය යුතු අතර එයට වැට් බද්දේ බලපෑම එකතු කළ විට රුපියල් 153.57ක මිල වැඩි වීමක් සිදු විය යුතුයි. ඒ අනුව, මේ වන විට සාමාන්‍ය පැට්‍රෝල් ලීටරයක මිල රුපියල් 445.57ක් පමණ විය යුතුයි. එහෙත්, මේ වන විටද එම මිල රුපියල් 398ක් පමණයි. මේ අනුව, තවමත් රුපියල් 47.57ක මිල වෙනසක් දැකිය හැකිව තිබෙනවා. ඇමති ජයතිස්සට අනුව එම වෙනසින් රුපියල් 20ක් රජය මගින් සුබසාධනය කෙරෙනවා. ඊට අමතරව බදු ආදායම් ඉහළ යාම 7.27කින් අඩු වෙනවා. ඒ නිසා රජයේ සමස්ත පාඩුව රුපියල් 27.27ක්. ඉතිරි රුපියල් 20.30 සිපෙට්කෝ ඇතුළු අනෙකුත් තෙල් අලෙවිකරුවන්ට දරාගන්නට සිදු වෙනවා.
ඉහත ගණනය කිරීම සුපිරි පැට්‍රෝල් සඳහා ආදේශ කළ විට අපේක්ෂිත මිල වන්නේ රුපියල් 488.90ක්. සිපෙට්කෝ මිල වන රුපියල් 455මීට වඩා රුපියල් 24කින් පමණ අඩු වුවත්, සිනොපෙක් සහ LIOC මිල වන රුපියල් 487 මීට ආසන්නයි. මේ අනුව පෙනෙන පරිදි, සුපිරි පැට්‍රෝල් සඳහාද රුපියල් 20 සහනාධාරය ලැබේනම්, සිපෙට්කෝ සමාගම විසින් ඔවුන්ගේ පිරිවැය ආසන්න වශයෙන් ආවරණය කර ගන්නවා. අනෙකුත් සමාගම් එම මුදල තමන්ගේ ලාබයට එකතු කර ගන්නවා. සහනාධාරය ලැබෙන්නේ සාමාන්‍ය පැට්‍රෝල් සඳහා පමණක්නම්, අනෙකුත් සමාගම් ඔවුන්ගේ පිරිවැය ආසන්න වශයෙන් ආවරණය කර ගන්නවා. සිපෙට්කෝ සමාගම සුපිරි පැට්‍රෝල් වලින්ද පාඩුවක් ලබනවා.
සාමාන්‍ය හා සුපිරි ඩීසල් හා අදාළවද මෙවැනිම ගණනය කිරීමක් කළ හැකියි. මහ බැංකු දත්ත අනුව, ඩීසල් හා අදාළ ගොඩ බෑමේ පිරිවැය 142.6%කින් ඉහළ ගොස් ඇති අතර ඒ අනුව සාමාන්‍ය ඩීසල් ලීටරයක මිල රුපියල් 314.83කින් රුපියල් 597 පමණ දක්වාද, සුපිරි ඩීසල් මිල රුපියල් 320.91කින් රුපියල් 647 පමණ දක්වාද ඉහළ යා යුතුයි.
සාමාන්‍ය ඩීසල් ලීටරයක පාලන මිල වන රුපියල් 382 සුත්‍රය අනුව පිරිවැය වන රුපියල් 597ට වඩා රුපියල් 215කින් අඩුයි. මෙම වෙනසින් රුපියල් 100ක් රජය විසින් සුබසාධනය කරන්නේනම්, ඉන්ධන අලෙවිකරුවන්ට තවත් රුපියල් 76.70ක පාඩුවක් දරාගන්නට සිදු වෙනවා. වැට් බලපෑමද සමඟ රජයට සමස්තයක් ලෙස රුපියල් 138.79ක පාඩුවක් සිදු වෙනවා.
සිනොපෙක් සහ LIOC සමාගම් සුපිරි ඩීසල් විකුණන රුපියල් 572ක මිල පිරිවැය අනුව මිල විය යුතු රුපියල් 647ට වඩා අඩු වුවත්, සුපිරි ඩීසල් වෙනුවෙන්ද රුපියල් 100ක සහනාධාරයක් ලැබේනම් එම මිලට විකිණීම මගින් ඔවුන්ට සැලකිය යුතු ලාබයක් ලැබෙනවා. එහෙත්, එවැනි සහනාධාරයක් ලැබුනේ වුවද, සිපෙට්කෝ මිල වන රුපියල් 443ට සුපිරි ඩීසල් අලෙවි කළ හැකි වන්නේ පාඩුවක් දරමිනුයි.
සමස්තයක් ලෙස ගත් විට වැඩි කළ මිල ගණන් යටතේ සහ රජයෙන් ලැබෙන සහනාධාරයෙන් පසුවද, සිපෙට්කෝ සමාගමට යම් පාඩුවක් සිදු වෙනවා. එමෙන්ම, සිනොපෙක් සහ LIOC සමාගම් වලටද සාමාන්‍ය පැට්‍රෝල් සහ ඩීසල් අලෙවියෙන් පාඩුවක් සිදු වෙනවා. නමුත්, සහනාධාරය ලැබේනම්, සුපිරි ඩීසල් සහ පැට්‍රෝල් අලෙවියෙන් පාඩුවක් සිදු වන්නේ නැහැ. ඔවුන් විසින් උත්සාහ කරන්නේ සාමාන්‍ය පැට්‍රෝල් සහ ඩීසල් අලෙවියේදී සිදු වන පාඩුව සුපිරි ඩීසල් සහ පැට්‍රෝල් අලෙවිය මගින් උපයා ගැනීමට විය හැකියි.
මේ අයුරින් ගණනය කිරීමක් කළද, කලින් මිල දී ගත් ඉන්ධන අලෙවි කිරීම මගින් පාඩුව අඩු කර ගැනීමට හෝ කිසියම් ලාබයක් ලැබීමට මේ සියලුම සමාගම් වලට යම් හැකියාවක් තිබෙනවා. සිනොපෙක් සමාගම විසින් මිල නියම කර ඇති ආකාරය සහ එයට LIOC සමාගම විසින් දක්වා ඇති ප්‍රතිචාරය අනුව පෙනී යන්නේ මෙම මිල ගණන් යටතේ සිනොපෙක් සමාගම විසින්, අවම වශයෙන් සුපිරි පැට්‍රෝල් සහ ඩීසල් වලින් ලාබයක් ලබන බවයි. LIOC සමාගම විසින් සිනොපෙක් සමාගම අනුව මිල තීරණය කර තිබෙන්නේ එම සමාගමට සිනොපෙක් සමාගම සමඟ මිල තරඟයකට යා නොහැකි බැවිනුයි. ඒ කියන්නේ, සිනොපෙක් සමාගම විසින් ලාබයක් ලබන නමුත් එම ලාබය විශාල ලාබයක් නොවන බවයි.
අවසාන වශයෙන් සිනොපෙක් සහ LIOC සුපිරි ඩීසල් මිල සහ සිපෙට්කෝ සමාගමේ එම මිල අතර රුපියල් 129ක පරතරයක්ද, සුපිරි පැට්‍රෝල් හා අදාළව රුපියල් 32ක එවැනිම පරතරයක්ද ඇති වී තිබෙනවා. පාරිභෝගිකයෙකු විසින් මෙවැනි විශාල වැඩි මිලක් ඉන්ධන වෙනුවෙන් ගෙවීමට පෙළඹෙන්නේ පෝලිමේ සිටීමේ ආවස්ථික පිරිවැය ඊට වඩා වැඩිනම් පමණයි. ඒ නිසා, සිනොපෙක් සහ LIOC සමාගම් වලට තමන්ගේ පිරවුම්හල් වල පෝලිම් නැති බවට වග බලා ගන්නට සිදු වෙනවා.
සිපෙට්කෝ මිලටම සාමාන්‍ය පැට්‍රෝල් සහ ඩීසල් අලෙවි කිරීමට සිදු වී ඇති බැවින් සිනොපෙක් සහ LIOC පිරවුම්හල් වල එම ඉන්ධන අලෙවියට ඇත්නම් පෝලිම් ඇතිවීම වැළැක්විය නොහැකියි. මෙය ඔවුන්ගේ සුපිරි ඉන්ධන අලෙවිය කෙරෙහිද බලපානවා. ඒ නිසා, තව දුරටත් මෙම සමාගම් විසින් සාමාන්‍ය පැට්‍රෝල් සහ ඩීසල් ආනයනය කර අලෙවි කිරීම සඳහා උනන්දු නොවී සිටිය හැකියි.
No comments:
Post a Comment
මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.