පසු ගිය (2025) වසර අවසානයේදී ශ්‍රී ලංකාවේ මධ්‍යම රජයේ ණය ප්‍රමාණය රුපියල් බිලියන 31,109ක් ලෙස වාර්තා වෙනවා. මෙම ණය ප්‍රමාණය පෙර (2024) වසර අවසානයේදී පැවති මට්ටමේ සිට 5.1%කින් ඉහළ ගොස් තිබෙනවා.
ඉහත ණය ප්‍රමාණයට පළාත් පාලන ආයතන වල සහ රාජ්‍ය සංස්ථා වල ණය ඇතුළත්ව නැහැ. එම ණයද එකතු කළ විට, රාජ්‍ය අංශයේ මුළු ණය ප්‍රමාණය රුපියල් බිලියන 32,195ක් දක්වා ඉහළ යනවා.
රාජ්‍ය ණය යනු අනාගතයේදී රටේ බදු ගෙවන්නන්ගෙන් අය කර ගන්නට සිදු වන මුදලක් සේ සැලකිය හැකියි. බිලියන ගණන් ඇඟට දැනෙන්නේ නැති නිසා මෙම ගණන රටේ ජනගහණයෙන් බෙදුවහොත්, එක් අයෙකුට රුපියල් 1,479,822ක හෙවත් රුපියල් ලක්ෂ පහළොවකට ආසන්න ණය ප්‍රමාණයක්.
මේ වන විට ශ්‍රී ලංකාවේ මධ්‍යම රජය විසින් ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගෙන යන නමුත් සමස්තයක් ලෙස තවමත් සැලකිය යුතු අයවැය හිඟයක් නඩත්තු වන බැවින් වසරක් පාසා රාජ්‍ය ණය ඉහළ යමින් ඇති ආකාරය නිරීක්ෂණය කළ හැකියි. වසරකින් හෝ දෙකකින් ලඟා කර ගත හැකි ඉලක්කයක් නොවුනත්, සැලකිය යුතු ප්‍රාථමික අයවැය අතිරික්තයක් එක දිගටම පවත්වා ගෙන ගියහොත්, වසර දහයකින් පමණ පසුව සමස්ත අයවැය තුලනය කර ගැනීමේ හැකියාවක් තිබෙනවා.
මධ්‍යම රජයේ ණය ප්‍රමාණය වසර ඇතුළත 5.1%කින් ඉහළ ගොස් ඇතත්, වසර ඇතුළත නාමික දළ දේශීය නිෂ්පාදිතය ඊට වඩා වැඩි වේගයකින් ඉහළ ගොස් තිබිය යුතු බැවින් දදේනියෙහි අනුපාතයක් ලෙස රාජ්‍ය ණය අඩුවීමක් අපේක්ෂා කළ හැකියි. එබැවින් ණය තිරසාරත්වය පිළිබඳ ගැටළුවක් මතු වන්නේ නැහැ.
වසර ඇතුළත මධ්‍යම රජයේ විදේශ ණය ඩොලර් මිලියන 983කින් (2.7%කින්) ඉහළ ගොස් ඇති අතර, දේශීය ඩොලර් ණය තවත් ඩොලර් මිලියන 46කින් (2.1%කින්) ඉහළ ගොස් තිබෙනවා. රුපියල් ණය ඉහළ යාම රුපියල් බිලියන 490ක් (2.7%ක්). ඩොලරයක මිල ඉහළ යාමේ බලපෑමද සමඟ සමස්ත ණය ප්‍රමාණයේ රුපියල් අගයේ වැඩි වීම 5.1%ක් වී තිබෙනවා.
No comments:
Post a Comment
මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.